ආරක්ෂක අමාත්යංශයේ හිටපු ලේකම් ගෝඨාභය රාජපක්ෂට එරෙහිව පොදු දේපොළ පනත යටතේ කටයුතු කිරීම වළක්වමින් නිකුත් කළ අතුරු තහනම් නියෝගය ලබන 23 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (27) තීරණය කර තිබේ. අභියාචනාධිකරණ සභාපති ප්රීති පද්මන් සූරසේන සහ ශිරාන් ගුණරත්න විනිසුරුවරුන් ඉදිරියේ අදාළ පෙත්සම කැඳවා තිබිණි. ඩී.ඒ.රාජපක්ෂ ස්මාරකය ඉදිකිරීමේදී රජයේ මුදල් අවභාවිතා කිරීම ඇතුළු මූල්ය චෝදනා කිහිපයක් යටතේ ආරක්ෂක අමාත්යංශයේ හිටපු ලේකම්වරයා අත්අඩංගුවට ගැනීමේ සූදානමක් බවතින බව මීට පෙර මාධ්ය මගින් හෙළි කර තිබිණි. ඊට ප්රතිචාර දක්වමින් ගෝඨාභය රාජපක්ෂ මහතා මේ පෙත්සම ගොනුකර ඇත.
Wednesday, February 28, 2018
පාදුක්කේ තරුණ ව්යාපාරිකයෙක් කපා කොටා මරා දමලා

පාදුක්ක අරුක්වන්ත ප්රදේශයේ තරුණ ව්යාපාරිකයකු ඝාතනය කර ව්යාපාරික
ස්ථානය අසලම දමා ගොස් තිබියදී ඊයේ (27) උදැසන හමු වු බව පාදුක්ක පොලිසිය පවසයි.
ඝාතනයට ලක් වූ ව්යාපාරිකයා පෙරේදා (26) දින රාත්රී දා නිවසට නොපැමිණි බැවින් ඔහුගේ බිරිඳ විසින් දුරකථන ඇමතුම් කිහිපයක් ලබා ගෙන ඇති මුත් එයට පිළිතුරු ලබා නොදුන් නිසා නැවතත් ඊයේ (27) අලුයම ද දුරකථන ඇමතුම් කිහිපයක් ලබා ගෙන ඇති අතර එයට ද පිළිතුරු ලබා නොදුන් නිසාවෙන් උදෑසනම පැමිණ ව්යාපාරික ස්ථානයේ සොයා බැලීමේදී ඒ අසල කැපුම් තුවාල රාශියක් සහිතව වැටී සිටි ව්යාපාරිකයා දැක පාදුක්ක පොලිසියට දැනුම් දී ඇති බවද පොලිසිය පවසයි.
මෙම ඝාතනය වෙනත් තැනක සිදු කර ව්යාපාරික ස්ථානය අසලට ගෙනවිත් දමන්නට ඇති බවට පොලිසිය සැක කරන අතර මරණකරුගේ ශරීරයේ බොහෝ ස්ථානවල කැපුම් තුවාල දක්නට ලැබුණු බවද පොලිසිය පවසයි. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ පාදුක්ක
අරුක්වත්ත අමරසිංහ මාවතේ පදිංචිව සිටි කඹුරු ගොඩගේ ඩෙන්සිල් නමැති 36 හැවිරිදි තිදරු පියෙකු වන අතර රථ වාහන අලුත්වැඩියාව සහ ගෙවීමේ ක්රමයට භාණ්ඩ විකිණීමේ නිරතව සිටි වපාරිකයෙකි.
සිද්ධිය වූ ස්ථානයට පැමිණි නුගේගොඩ මිරිහාන අපරාධ ස්ථාන පරීක්ෂණ නිලධාරීන් සහ මිරිහාන
පොලිස් කොට්ඨාසයේ පොලිස් නිල සුනඛ "සාරා” ද කැදවා පරීක්ෂණ කටයුතු සිදු කරන ලදී
මළසිරුර තිබූ ස්ථානයට පැමිණි අවිස්සාවේල්ල වැඩබලන මහෙස්ත්රාත් පී.එස්. රත්නායක මහතා මූලික මහෙස්ත්රාත් පරීක්ෂණ කටයුතු සිදු කළ අතර අවිස්සාවේල්ල අධිකරණ වෛද්ය නිලධාරී වෛද්ය ප්රවීන් ඩයස් මහතා මුලික වෛද්ය පරීක්ෂණ කටයුතු පැවැත්විය.
නායකත්ව පුහුණුව අතරතුර දී මිය ගිය සුචි ජාතික පාසලේ විදුහල්පතිනිය වෙනුවෙන් සිසු / ගුරු / දෙමාපියන් විරෝධතාවයක...
විදුහල්පති නායකත්ව පුහුණුවක් අතරතුරදී මියගිය හම්බන්තොට සුචි ජාතික පාසලේ විදුහල්පතිනියගේ මරණය සම්බන්ධයෙන් මේ වනතෙක් නිසි පරික්ෂණයක් කිරීමට බලධාරීන් කටයුතු නොකිරීම සම්බන්ධයෙන් විරෝධය පළකරමින් ගුරු සංගම් හා සුචි ජාතික පාසලේ මවිපියන් - දරුවන් එක්ව ඊයේ (27) දහවල් හම්බන්තොට බස්නැවතුම්පොළ ඉදිරිපිට විරෝධතාවක් පැවැත්වූහ. මීට පෙර ද මේ සම්බන්ධයෙන් බලධාරින් නිසි පරික්ෂණයක් සිදු නොකළ බව පවසමින් 21 දින පෙරවරුවේ හම්බන්තොට පරිපාලන සංකීර්ණය ඉදිරිපිටදී ද ඔවුන් විසින් විරෝධතාවක් පවත්වන ලදි. හම්බන්තොට බස්නැවතුම්පොළ ඉදිරිපිට 27 දින පෙරවරුවේ සිදුකරන ලද විරෝධතාව සදහා 700 කට අධික ගුරුවරුන්, මව්පියන් සහ දරුවන් පිරිසක් සහභාගි වී සිටි අතර, ඔවුන් සටන් පාඨ කියමින් අවධාරණය කර සිටියේ විදුහල්පතිනියගේ මිය යෑම සම්බන්ධයෙන් රජය නිහඩ ප්රතිපත්තියක් අනුගමනය කරන බවයි.
2015 උ/පෙ ප්රතිඵල මත 2017 වසර සඳහා ශික්ෂණලාභීන් බඳවා ගැනේ...
2015 උසස් පෙළ ප්රතිඵල මත 2017 වර්ෂය සඳහා ජාතික අධ්යාපන විද්යාපීඨ වලට ශික්ෂණලාභීන් බඳවාගැනීම්මේ සම්මුඛ පරික්ෂණ මාර්තු මස 12 වන සඳුදා දින සිට ආරම්භ කිරිමට නියමිතය. බදවාගැනීමේ ගැසට් නිවේදනය ප්රකාරව දිස්ත්රික් පදනමින් බඳවා ගැනීමට නියමිත සංඛ්යාව මෙන් තුන් ගුණයක අයදුම්කරුවන් ප්රමාණයක් ඔවුන්ගේ සුදුසුකම් අනුපිළිවෙළට අදාළ ජාතික අධ්යාපන විද්යාපීඨ මගින් සම්මුඛ පරීක්ෂණ සඳහා කැඳවන බව ද අධ්යාපන අමාත්යාංශය නිවේදනය කරයි. දිවයින පුරා පිහිටි ජාතික අධ්යාපන විද්යාපීඨ 19 ක පාඨමාලා 27ක් සඳහා අයදුම්කරුවන් 4,745 දෙනෙකු මෙවර බදවා ගැනීමට නියමිතය.
බසයක් නිවසක් මතට පෙරළී 38 දෙනෙකු තුවාල ලබයි... එක් අයෙකුට බරපතලයි...
නිල්දණ්ඩාහින්න සිට තෙරිපැහැ දක්වා ධාවනය කරමින් තිබූ පෞද්ගලික මගී බස් රථයක් අඹන්ඇල්ල ප්රදේශයේදී මාර්ගයේ ඉවුර කඩාගෙන අඩි 10ක් පහළ නිවෙසක් මතට පෙරළීමෙන් සිදුවූ අනතුරින් බස් රථයේ ගමන් ගත් 38 දෙනකු තුවාල ලබා රෝහල් ගත කොට ඇතැයි තෙරිපැහැ පොලිසිය පවසයි. ඊයේ (27) උදේ 8.30ට පමණ මෙම අනතුර සිදුව තිබිණි. තුවාල ලැබූ 38 දෙනා අතරින් එක් අයකුගේ තත්වය බරපතළ වන අතර අතපය කැඩීම් බිදීම්වලට ලක්ව තිබූ 13 දෙනකු නුවරඑළිය මහ රෝහල වෙත යවා ඇත. සුළු තුවාල ලබා ඇති අනෙක් පිරිස වලපනේ සහ නිල්දණ්ඩාහින්න ප්රාදේශීය රෝහල් වල ප්රතිකාර ලබති. බස් රථය පෙරළීමෙන් නිවෙසට බරපතළ හානියක් හෝ නිවෙසේ සිටි කිසිවකුට හෝ තුවාල සිදුව නැත. අනතුර සම්බන්ධයෙන් තෙරිපැහැ පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.
කිරිඳි ඔයේ තිබී පුද්ගල මළ සිරුරක් හමුවෙයි...
කිරිඳි ඔයේ තිබී මියගිය පුද්ගලයකුගේ මළ සිරුරක් ප්රදේශවාසීන් විසින් කළ දැනුම්දීමකට අනුව ඌව කුඩාඔය පොලිසිය විසින් ඊයේ උදෑසන (27) සොයාගෙන තිබේ. මෙසේ මියගොස් ඇත්තේ ඌව කුඩාමය පොලිස් බල ප්රදේශයට අයත් කුඩා ඔය - පාසල අසල පදිංචි නාඋරැත්ත ගුරුගේ ප්රමෝද් රොෂාන් නමැති 39 හැවිරිදි විවාහක දෙදරු පියෙකි. මෙම පුද්ගලයා පෙරේදා සවස 5ට පමණ තම මස්සිනාගේ වාඩියට ගොස් නැවත සවස 5.45 ට පමණ එන්නට පිටත්ව තිබේ. නිවෙසට යළි නොපැමිණීම සම්බන්ධයෙන් සොයා බලන අවස්ථාවේ ඔහු කිරිඳි ඔයේ වැටී මියගොස් සිටින අයුරු දැක ඒ බව පොලිසියට දැනුම් දී තිබේ. මේ මරණයට අදාළ හදිසි මරණ පරීක්ෂණය ඊයේ දහවල් (27දා) පැවැත්වීමට නියමිතව තිබිණි. කලක සිට මොහු අසනීප තත්වයෙන් පසුවී ඇති බවත් මේ මරණයට හේතුව අසනීප තත්වයක් ද නැතිනම් වෙනත් හේතුවක් ද යන්න පරීක්ෂා කිරීම සඳහා පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත. මොනරාගල ජ්යෙෂ්ඨ පොලිස් අධිකාරී සුජිත් වෙදමුල්ල මහතාගේ නියෝගයෙන් කුඩාඔය ස්ථානාධිපති ප්රධාන පොලිස් පරීක්ෂක ප්රභාත් දිසානායක මහතාගේ ප්රධානත්වයෙන් පරීක්ෂණ පැවැත්වෙයි.
දින දෙකක සිට අතුරුදන්ව සිටි 10 හැවිරිදි පිරිමි දරුවාගේ නිරුවත් සිරුර අසළ කැළෑවකින් හමු වේ

ගිරව් අල්ලා දීමට යැයි පවසා දස හැවිරිදි පිරිමි දරුවෙකු කැලයට රැගෙන ගොස් අපයෝජනයට ලක්කර, පහරදී ඝාතනය කර පලාගිය පොල් කඩන්නකු සොයා හලාවත මූලස්ථාන පොලිසිය පරීක්ෂණයක් අරඹා ඇත.
මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ හලාවත, ඉරණවිල, අක්කර 40 ප්රදේශයේ පදිංචිව සිටි, ඉරණවිල ශාන්ත පීතර විදුහලේ ඉගෙනුම ලැබු ජුවාන් පේඩිගේ සුසිත් නිර්මාල් නමැති දස හැවිරිදි පිරීමි දරුවෙකි. මොහු පස්දෙනකුගෙන් යුත් පවුලක සිවිවන දරුවාය.
ඉකුත් 25 දා සිට අතුරුදන්ව දරුවාගේ, මළ සිරුර හලාවත,ඉරණවිල,සමිඳුගමට ආසන්නයේ ලදු කැලවක තිබී ගම්වාසීන් විසින් ඊයේ (27) පෙරවරුවේදී සොයාගෙන හලාවත පොලීසියට දැනුම්දී ඇත.
ඉරණවීල අක්කර 40 ප්රදේශයට සතියකට දෙකකට වරක් පොල් කඩන්නෙකු පැමිණෙන අතර, ඉකුත් 25 වැනිදා පෙරවරු 7 ට පමණද මෙම පුද්ගලයා ගම්මානයේ වෙළෙඳසලක සිට ඇත.

දස හැවිරිදි ළමයාද එම අවස්ථාවේ වෙළෙදසරේ සිට ඇති අතර, පොල් කඩන්නා ළමයාට චුයින්ගම් එකක්ද දුන් බව සඳහන් වේ. පසුව මොහු පොල් කැඩීමෙන් අනතුරුව බත් පාර්සල් දෙකක්ද රැගෙන වෙළෙඳසලෙන් පිටවී ගොස් ඇත, මෙම ළමයා තවත් ළමයකුද සමග එදින පෙරවරු 8.30 ත් 9.00 ත් අතර කාලයේදී ගම්මානයේ ක්රීඩා පිටිටනියට වී සිටියදී මෙම පොල් කඩන්නා එම ස්ථානයට පැමිණ "ගිරව් අල්ලලා දෙන්නම්. යමු දෙන්නම කැලයට" යැයි ළමුන් දෙදෙනාට පවසා තිබේ. නමුත්, සුසිත් නිර්මාල් පොල් කඩන්නා සමග ගිරව් ඇල්ලීමට කැලයට ගියද අනෙක් ළමයා ඔවුන් සමග නොගිය බව සඳහන් වේ.
එදින දහවල් 11 ට පමණ මෙම පොල් කඩන්නා ගම්මානයේ නිවසකට පැමිණ බීමට ජලය වීදුරුවක්ද ඉල්ලා ඇත. ඔහු නිවැසියන්ට පවසා ඇත්තේ ලී දඬු කැපීමට කැලයට ගිය නිසා දැඩි පිපාසයක් ඇති බවය. සිය දරුවා යළි නිවසට නොපැමිණීම නිසා දස හැවිරිදි සුසිත් නිර්මාල්ගේ මව හලාවත පොලීසියට පැමිණිලිකර ඇත. අනතුරුව ගමිවාසීන් හා ළමයාගේ පවුලේ ඥාතීන් ගමේ අස්සක් මුල්ලක් නෑරම ළමයා සොයා ඇත.
මෙම අවස්ථාවේදී සුසිත් සමග ක්රීඩා පිටියේ සිටි ඔහුගේ මිතුරා පවසා ඇත්තේ පොල් කඩන්නා සමග සුසිත් හිරව් ඇල්ලීමට ගිය බවත්, පොල් කඩන්නාගේ ඉනේ තිබූ පිහිය දැක බියවී තමා එහි නොගිය බවත්ය. මෙම සිද්ධියන් පසුව හලාවත පොලීසිය පුළුල් පක්ෂයක් ඇරඹීය. පොල් කඩන්නා මෙම ළමයා සමග වෙළෙඳසලේ සිටින අයුරු ඉරණවිල වෙළෙඳසලක ඇති සී.සී.ටී.වී. කැමරාවක සටහන්ව තිබී ඇත.

ගම්වාසීන් ළමයාගේ නිරුවත් මළ සිරුර කැළෑවේ තිබී සොයාගෙන ඇත්තේ සැකකරු ජලය ඉල්ලා බිව් නිවසේ වැසියන්ගේ තොරතුරු මතය. ළමයාගේ හිසේ පහරදීමේ ලක්ෂන තිඛෙන බව පොලිසිය පවසයි.
සැකකාර හතළිස් වියැති පොල් කඩන්නා ප්රදේශයෙන් පලාගොස් ඇති බවත්, ඔහු සොයා මෙහෙයුමක් අරඹා ඇති බවත් පොලීසිය පවසයි. සැකකාර පොල් කඩන්නා මීට පෙරද ප්රදේශයේ නිවාසවලට එබිකම් කිරීම හේතුවෙන් ගම්වාසීන් අල්ලා ගස් බැඳ ඇතැයිද පැවසේ.
දරුවාගේ මළ සිරුර තිබූ ස්ථානයට පැමිණි හලාවත අතිරේක දිසා විනිසුරු හා මහෙස්ත්රාත් රඛිත පී. අබේසිංහ මහතා විසින් මුලික මහෙස්ත්රාත් පරීක්ෂණය සිදු කරන ලදී. දරුවාගේ මරණය සම්බන්ධයන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වන ලෙස හලාවත මහා රෝහලේ අධිකරණ වෛද්ය නිලධාරීවරයාට නියෝග කළ මහෙස්ත්රාත්වරයා වැඩිදුර විමර්ශන කටයුතු සිදු කර සැකකරු අත්අඩංගුවට ගන්නා ලෙස හලාවත පොලිසියට නියෝග කළේය. හලාවත මහා රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්ය නිලධාරී ඩී.කේ. වීජේවර්ධන මහතා ඇතුළු වෛද්ය කණ්ඩායමක් මළ සිරුර තිබු ස්ථානයට පැමිණ නිරීක්ෂණ කටයුතු සිදු කළහ. දරුවා ඝාතනය කරන්නට පෙර කිසියම් අපයෝජන සිදු කරන්නට ඇති බවට සාධක ඇතැයි විමර්ශන කටයුතු සිදු කරන පොලීසිය කියයි,
හලාවත පොලීසිය විසින් මේ පිළබඳ වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇත.
අම්පාර හෝටලයක කෑමට මුසු කර තිබුනු පෙත්ත පිළිබඳ ව හෙළිදරව් වේ...
අම්පාර නගරයේ පන්සල් හන්දිය ආසන්නයේ හෝටලයක ආහාර ගැනීමට දුන් මස් හොද්දේ වඳ පෙති දමා තිබුණේ යැයි පවසමින් පෙරේදා (26දා) රාත්රි 11ට පමණ ඇතිවූ ගැටුමකින් වෙළෙඳසැල් හතරකට, ආගමික ස්ථානයකට සහ වාහන කිහිපයකට හානි සිදුව තිදෙනකු තුවාල ලබා ඇත. මෙම හෝටලයට තරුණයන් තිදෙනකු ගොස් ආහාරයට කොත්තු රොටි මිලදී ගෙන තිබේ. එම අවස්ථාවේ එම කොත්තු රොටි ආහාරයට ගැනීමට ලබා දුන් මස් හොද්දේ බාගෙට දියවූ යමක් තිබෙන බව දැක ඒ බව එම වෙළෙඳසැලේ සිටි අයගෙන් මේ මොනවා දැයි තරුණයන් විමසා ඇත. ඒ අවස්ථාවේදී මොනවද දන්නේ නැහැ කියා එම සේවකයන් මුලදී පවසා ඇති අතර පසුව මේ වඳ පෙති දැයි එම තරුණයන් දිගින් දිගටම විමසා සිටින විට වෙළෙඳසලේ සේවකයෙක් ඒවා වඳ පෙති බව පවසා ඇත. අමිපාර නගරය ආසන්නයේ මළ ගෙවල් කිහිපයක් තිබුණු අතර මෙම සිදුවීම දැනගත් එහි සිටි පිරිසක් එම ස්ථානයට සැණෙකින් පැමිණ වඳ පෙති දමා ආහාර දුන්නේ යැයි පැවැසෙන වෙළෙඳසලට පහරදී තිබේ. ඒ ආසන්නයේ තිබුණු තවත් වෙළෙඳ සලකට ඒ අවස්ථාවේ හානි සිදුව තිබේ. ඉන් පසුව අම්පාර නගරයේ තිබුණු තවත් වෙළෙඳසැලකට සහ ආගමික ස්ථානයකට ද මේ පිරිස් පහරදී තිබේ. ඒ අවස්ථාවේ එම ආගමික මධ්යස්ථානයේ තිබුණු වැන් රථයකට, ලොරි රථ තුනකට සහ යතුරුපැදි කිහිපයකටද හානි සිදුව තිබේ. මෙම සිදුවීම නිසා එම අවස්ථාවේ ආගමික සිද්ධස්ථානයේ සිටි තිදෙනකු තුවාල ලබා අම්පාර රෝහලට ඇතුළත් කර ඇත. මෙම සිදුවීමට විරෝධය පාමින් අම්පාර අක්කරපත්තුව - කොතලාවල හන්දියේ ඊයේ (27දා) උදෑසන ටයර් දමා මාර්ගය හරස් කර තිබුණු අතර විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් ඒවා ඉවත් කරන ලදී. මෙම සිදුවීම වූ ස්ථානයට ඒ මොහොතේ පැමිණි අම්පාර මහ දිසාපති තුසිත පී. වනිගසිංහ මහතා සහ අම්පාර ජ්යෙෂ්ඨ නියෝජ්ය පොලිස්පතිවරයා ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීන් මෙම ගැටුම් දුර දිග යාම වැළැක්වීම සඳහා ගතයුතු පියවර යොදා මාර්ග වලට විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් යොදා ඇත. මේ සිදුවීම පිළිබඳව එම ආහාර මිලදී ගත් තරුණයකු අම්පාර පොලිසියට ද පැමිණිලි කර තිබෙන අතර එම ආහාර සාම්පලය අධිකරණ නියෝගයක් ලබාගෙන වැඩිදුර පරීක්ෂාව සඳහා රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කරන බව අම්පාර ජ්යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසුවේය. ඊයේ (27) දහවල් අම්පාර දිසාපතිවරයාගේ ප්රධානත්වයෙන් ආරක්ෂක අංශ සහ අදාළ පාර්ශවයේ දේශපාලන නායකයන් සහ ආගමික නායකයන් සාකච්ඡා කර මෙම ගැටලුව සාමකාමීව විසඳීමට කටයුතු කිරීමට සාකච්ඡා කරන ලදී. මේ වන විට අම්පාර ප්රදේශයේ තත්වය සාමකාමී අයුරින් පවතින අතර ප්රදේශයේ ආරක්ෂාවට පොලිසිය සහ පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන් ද කැඳවා තිබේ. පුද්ගලයන්ට සහ දේපළ වලට පහරදීමේ සිද්ධිවලට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා පරික්ෂණ කටයුතු ආරම්භ කළ බව ද ප්රදේශයභාර උසස් පොලිස් නිලධාරින් පැවසීය.
ත්රී රෝද රථයක් තුළ පිළිස්සුණු මළ සිරුරක්
තණමල්විල, කුකුල්කටුව ප්රදේශයේ ත්රිරෝද රථයක් තුළ පිළිස්සීමෙන් මරණයට පත්ව ඇති පුද්ගලයෙකුගේ සිරුරක් ඇති බවට ඊයේ (27දා) සවස ලැබුණු තොරතුරක් අනුව පරීක්ෂණ ආරමිභ කර ඇතැයි තණමල්විල පොලීසිය පවසයි.
මෙලෙස මරණයට පත්ව ඇත්තේ තානායම පාර ප්රදේශයේ පදිංචිකරුවෙකු බවට අනාවරණය වී තිබේ. මරණකරු පුද්ගල ඝාතනයකට සමිබන්ධ අයෙකු බවට තොරතුරු ලැබී ඇතැයි පොලීසිය සඳහන් කරයි.
මේ සම්බන්ධ මහේස්ත්රාත් පරීක්ෂණය අද (28දා) පැවැත්වීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් මොනරාගල පොලීසිය වැඩිදුර පක්ෂෂණ පවත්වති.
Tuesday, February 27, 2018
නැතිවුණු පෙම ඉල්ලා බීමතින් පැමිණ තරුණියකට ප්රසිද්ධියේ පහර දුන් ගුවන් හමුදා සෙබලා අත්අඩංගුවට...
පැරණි පෙම්වතියගෙන් අහිමි වූ ආදරය නැවත ඉල්ලා එය නොලැබුණු විට නාරාහේන්පිට ප්රදේශයේදී ඇයට ප්රසිද්ධියේ බිම පෙරළාගෙන පහර දී රන් මාලයක් කඩා ගත් බව කියන ශ්රී ලංකා ගුවන් හමුදාවේ නායක ගුවන් භටයකු පෙරේදා (2) සවස නාරාහේන්පිට පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ මකුල්දෙණිය, උතුරුවෙලගහතැන්න පදිංචි විසි අට හැවිරිදි තරුණයෙකි. මොහු ගුවන් හමුදාවේ බුද්ධි අංශයේ නායක ගුවන් භටයකු ලෙස සේවය කරන අයෙකු බව පොලීසිය පවසයි. මෙසේ පහර කෑමට ලක්ව ඇත්තේ එම ප්රදේශයේම පදිංචි විසි එක් හැවිරිදි තරුණියකි. ඇය කොළඹ ප්රධාන පෙළේ පෞද්ගලික සමාගමක පෞද්ගලික ලේකම්වරියක් ලෙස කටයුතු කරන තැනැත්තියකි. මෙම තරුණයා හා තරුණිය වසර හතරක් පුරා පෙම්වතුන්ව සිට පසුව තරුණිය විසින් මීට මාස හතරකට පමණ ඉහතදී ඇගේ තනි තීරණයක් මත සම්බන්ධතාව නවතා තිබේ. ඒ පිළිබඳ කනස්සල්ලෙන් සිටි තරුණයා නිතරම ඇගෙන් නැවත ආදරය ඉල්ලා කරදර කර ඇති බව ඇය පොලීසියට පවසා ඇත. අදාළ දින ඇය සේවය නිමවා ජයකොත්ත පටුමගේ පැමිණෙන විට මෙම තරුණයා බිමත්ව ඇය ඉදිරියට පැමිණ නැවත යහළු වන ලෙස පවසා තර්ජනය කර ඇත. ඇය ඊට විරුද්ධත්වය ප්රකාශ කිරීමත් සමඟ කෝපයට පත් තරුණයා ඇය එම ස්ථානයේදීම බිම පෙරළාගෙන ප්රසිද්ධියේ පහර දීමට පටන් ගෙන ඇති අතර අවට සිටි පිරිස් විසින් මේ පිළිබඳ නාරාහේන්පිට පොලීසියට දන්වා ඇත. එම අවස්ථාවේ නාරාහේන්පිට පොලිස් ස්ථානාධිපති ප්රධාන පොලිස් පරික්ෂක ගයාන් ප්රසන්න මහතා ප්රමුඛ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් තරුණයා අත්අඩංගුවට ගෙන තිබේ. මෙහිදී තරුණිය ප්රකාශ කර ඇත්තේ ඇගේ රන් මාලය ද ඔහු කඩා ගත් බවය. ඒ අනුව ඔහුව පරීක්ෂා කරන විට ඔහුගේ කලිසම් සාක්කුවේ තිබි එම මාලය ද පොලීසියට හමුව තිබේ. අත්අඩංගුවට පත් තරුණයා කළුබෝවිල රෝහලේ අධිකරණ වෛද්ය නිලධාරිවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ඔහු බීමතින් සිටි බව තහවුරු වී තිබේ. සැකකාර තරුණයා ඊයේ (22) දින අධිකරණය වෙත ඉදිරිපත් කෙරුණි. මේ සම්බන්ධයෙන් නාරාහේන්පිට පොලීසිය වැඩිදුර පරීක්ෂණ සිදුකරනු ලබයි.
අම්පාරේ හෝටලයක කෑම වල යම්කිසි පෙති වර්ගයක් තිබී හමුවෙයි..
අම්පාර ප්රදේශයේ හෝටලයකින් ගත් ආහාරයක මත් පෙති හෝ වඳ පෙති සේ සැකකෙරෙන දම් පැහැති පෙති වර්ගයක් තිබීම හේතුකොට ඊයේ (26) රාත්රී එම හෝටලයට කඩා වැදුණු දෙසීයකට අධික පිරිසක් එහි සිටියවුන්ට පහර දී බඩුබාහිරාදියට ගිණි තබා ඒ අද්දර තිබෙන ආගමික ස්ථානයකට සහ ඒ අසල නවතා තිබූ වාහන කිහිපයකට ප්රහාරයක් එල්ලකොට ඇත. මෙම පෙති වර්ගය 'පාටි පෙති' යනුවෙන් හැඳින්වෙන මන්ද්රව්ය බවත් ඒවා භාවිතයෙන් මිනිසුන් ඒ සඳහා ඇබ්බැහි වන බවත් ඇතැමෙකුගේ මතය වූ අතර තවත් පිරිසක් පවසා සිටියේ එම පෙති වලින් කාත්තාවන් සහ පිරිමින් වඳ භාවයට පත්කරන බවය. මේ සම්බන්ධයෙන් එම වෙළඳසැල් හිමියන්ගේ පාර්ශවය ප්රකාශ කර තිබුණේ මෙහි කිසිදු සත්යතාවයක් නොමැති බවත් මෙය තම ආයතනය විනාශ කිරීම පිණිස කිසියම් පිරිසක් විසින් කුමන්ත්රණකාරී ලෙස අටවන ලද උගුලක් බවත් ය. කෙසේ හෝ මෙම සිද්ධියත් සමඟ පොලිසිය සහ විශේෂ කාර්ය බලකාය එම ස්ථානයට පැමිණ තත්වය පාලනය කොට ඇති අතර ඒ සම්බන්ධ වැඩිදුර පොලිස් පරීක්ෂණ ආරම්භ කොට තිබේ.
තව සති දෙකකින් නීතිය හා සාමය සරත් ෆොන්සේකාට භාර දෙනවා -ඇමති රාජිත සේනාරත්න

නීතිය හා සාමය පිළිබඳ අමාත්ය ධුරය ඉදිරි සති දෙක තුළ දී ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතාට භාර දෙන බව සෞඛ්ය ඇමැති දොස්තර රාජිත සේනාරත්න මහතා සඳහන් කරයි.
අගමැති රනිල් වික්රමසිංහ මහතා නීතිය හා සාමය පිළිබඳ අමාත්ය ධුරය භාර ගත්තේ සති දෙකක කාලයක් සඳහා පමණක් යැයි ද ඇමැතිවරයා පෙන්වා දෙයි. ඔහු මේ අදහස් පළ කළේ සෞඛ්ය අමාත්යංශයේ ඊයේ (28) පැවැති සාකච්ඡාවකදීය. සරත් ෆොන්සේකා මහතා පත්කිරීම සම්බන්ධයෙන් පොලිස් දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන් අකැමැති වුවත් පහළ ශ්රේණියේ නිලධාරීන් කැමති යැයි ද ඇමැතිවරයා සඳහන් කරයි.
ඩබල් ගේම් ගහන අය මේ තනතුරට සුදුසු නොවන බවත් රණවිරුවන් ගැන කතා කරන අය පිළිගත යුතු බවත් ඇමැතිවරයා පෙන්වා දෙයි.
ඇමැති ධුර සදාකාලික නොමැති බව සඳහන් කළ ඇමැතිවරයා පුද්ගලයන් දෙස බලා තීන්දු තීරණ නොගත යුතු බව මෙන්ම දෙපැත්තේ කකුල් තබාගෙන සිටින අය ඉවත් කළ යුතු යැයි ද අවධාරණය කළේය.
කැබිනට් සංශෝධනය සිදු කළේ රජය විවේචනය කරන අමාත්යවරුන් මට්ටු කිරීමට යැයි එහි දී සෞඛ්ය ඇමැතිවරයා සදහන් කළේය.
ඇතැම් කැබිනට් අමාත්යවරුන් අදහස් පළ කරනුයේ තමින් සිතු අමාත්යංශ නොලැබීම හේතුවෙන් බව ද මැති ඇමැතිවරුන්ට අවශ්ය පරිදි කැබිනට් මණ්ඩලය පත් කිරීමේ හැකියාවක් නොමැති බව ද පැවසුවේය.
පළාත් පාලන මැතිවරණයේ දී ජනතාව රජයට පාඩමක් උගන්වා ඇතත් පළාත් පාලන ආයතන පිහිටුවීමේ දී එක්සත් ජාතික පක්ෂය සහ ශ්රී ලංකා නිදහස් පක්ෂය ඒකාබද්ධව පළාත් පාලන ආයතන පිහිටුවීමෙන් වැඩි බලය හිමිකරගෙන ඇතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය.
ඌවේ මහ ඇමතිගෙන් විදුහල්පතිනියට නැවත බලපෑම්

ඌව පළාත් ප්රධාන අමාත්ය චාමර සමිපත් දසනායක මහතා බදුල්ල දෙමළ බාලිකා විද්යාලයේ විදුහල්පතිනි ආර්. භවානි මහත්මියට තචදුරටත් බලපෑම් කරමින් සිටින බව ශ්රී ලංකා මානව හිමිකම් කේන්ද්රය පවසයි.
දණගැස්වීම් සිද්ධිය සම්බන්ධව ශ්රී ලංකා මානව හිමිකම් කොමිසම පවත්වන විමර්ශනය අතරතුර මහ ඇමතිවරයා විදුහල්පතිනියගෙන් රුපියල් මිලියන 500ක මුදලක් ඉල්ලා එන්තරවාසි යොමු කිරීමෙන් සාක්ෂිකාරියට බලපෑමක් සිදුවන බව එම සංවිධානය ප්රකාශ කරයි.
ශ්රී ලංකා මානව හිමිකම් කොමිසම හමුවේ විභාග වෙමින් පවතින කරුණක් සාක්ෂිකරුවන් වෙත බලපෑම් කිරීම නීත්යනුකූල නොවන බැවින් මේ සම්බන්ධව සොයා බලා පියවරක් ගත යුතු බවද මානව හිමිකමි කේන්ද්රය සඳහන් කරයි, මේ පිළිබඳ සදහන් කරමින් ශ්රී ලංකා මානව හිමිකම් කොමිසම වෙත ලිපියක් යොමු කරමින් එම සංවිධානය පවා දෙයි.
ඇලෝසියස් ට - පලිසේන ට නැවත ඇප ඉල්ලයි.

ආන්දෝලනාත්මක බැඳුම්කර සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කර සිටින පර්පචුවල් ට්රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ එම සමාගමේ ප්රධාන විධායක නිලධාරී කසුන් පළිසේන යන මහත්වරුන් දෙදෙනාට ඇප නියම කරන්නැයි ඉල්ලමින් ප්රතිශෝධනා ඇප අයැදුම්පතක් කොළඹ මහාධිකරණය වෙත ඊයේ (26) ඉදිරිපත් කර තිබුනා.
සැකකරුවන් වෙනුවෙන් කරන ලද ඇප ඉල්ලීම ඉකුත් 16 වැනි දින ප්රතික්ෂේප කළ කොළඹ කොටුව මහෙස්ත්රාත් ලංකා ජයරත්න මෙනවිය සැකකරුවන් මාර්තු මස 02 වැනි දින පොත් තවදුරටත් රිමාන්ඩ් භාරයේ තබන ලෙස නියෝග කළාය. මහෙස්ත්රාත්වරිය ලබාදුන් එම නියෝගය ප්රතිශෝධනය කරමින් සැකකරුවන් ඇප මත මුදාහරින ලෙස ඉල්ලා නීතිඥ සනත් විජේවර්ධන මහතා විසින් කොළඹ මහාධිකරණය වෙත අදාළ ප්රතිශෝධන ඇප අයැදුම්පත ඉදිරිපත් කර තිබුණි.
දරු දෙදෙනාත් සමග හොරකමේ යෙදුනු පියා අත්අඩංගුවට

බිරිද විදේශගත වූ අතරවාරයේදී දරු දෙදෙනා යොදාගෙන සොරකමේ යෙදුණු පුද්ගලයෙකු ඊයේ (26) දා අලුයම රයිගම මිල්ලගස් හංදියේ ගරාජයක් තුළදී සැකපිට අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය පවසයි. සැකකරු එලෙස සොරාගත් බස් රථයක ආම් හතරක්, වාහන කිහිපයක අමතර කොටස් මෙන්ම සොරකම සඳහා යොදා ගත් කුඩා ලොරියක් පොලිස් බාරයට ගෙන ඇත.
රයිගම මිල්ලගස් හංදියේ ගරාජයක වාහනවලීන් ගලවා තබන ලද අමතර කොටස් කිහිපයක් රාත්රී කාලයට වරින් වර අස්ථාන ගතවීමත් ඒ සෑම දිනකම ගරාජය ඉදිරිපිට මාර්ගයේ විදුලි කණුවේ විදුලි ලාම්පුව නිවා තිබීම සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කළ ගරාජ් හිමියා දින කිහිපයක සිට අලුයම තවත් කිහිපදෙනෙකු සමග ගරාජය අසල රැක සිට ඇතැයි පරීක්ෂණවලදී අනාවරණය විය.
අත්අඩංගුවට ගත් සැකකරු කුඩා ලොරියෙන් අඹ විකිණීමේ ව්යාපාරයක් කරගෙන ගොස් තිබු අතර, ඒ අතරතුර වසරකට පමණ ඉහතදී බිරිඳ දරු දෙදෙනාව යාබද නිවසක වයෝවෘද්ධ කාත්තාවකට මාසිකව රුපියල් දස දහසක් ලබාදීමේ පොරොන්දුව මත ඔවුන්ව ඇයට බාර කර විදේශගතව ඇති බවත්, බිරිඳ වීදේශගත වීමත් සමග තම වෙළඳාම අත්හැර තිබූ සැකකරු මත්කුඩු පානයට තදින් ඇබ්බැහිවී ඇති බවද පොලීසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.
සැකකාර පියා හා දරු දෙදෙනා හොරණ අධිකරණයට ඉදිරිපත් කිර්මට නියමිතය.
සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරගම පොලිසිය වැඩිදුර පරීක්ෂන පවත්වයි.
ශ්රී දේවිගේ මරණය සිදුවූයේ නාන තටාකයේ ගිලීමෙන් බව තහවුරු වෙයි...

බොලීවුඩ් සුපිරි නිළි ශ්රී දේවී මියගොස් ඇත්තේ දියේ ගිලීමෙන් බව ඇයගේ මරණය සම්බන්ධයෙන් ඩුබායි හි පැවැත්වූ පරීක්ෂණයෙන් පසු නිකුත් කළ අධිකරණ වෛද්ය වාර්තාවේ සඳහන් වේ. සිය ඥාති පුත්රයකුගේ විවාහ මංගල්යයකට සහභාගි වීම සඳහා ඩුබායි ගොස් සිටියදී ඉකුත් සෙනසුරාදා රාති්රයේ ශ්රී දේවි මියගියේ හදිසියේ ඇතිවූ බරපතළ හෘදයාබාධයකින් බව මුලදී කියැවිණ. මේ අනුව 54 හැවිරිදි වියේ පසුවෙද්දී මියගිය සුපිරි නිළි ශ්රී දේවිගේ මරණය ඇයට ආදරය කරන ලක්ෂ සංඛ්යාත ජනතාවට සැකයක් ඇතිකරන අභිරහසක් බවට පත්වන ආකාරයක් දිස්වේ. ශ්රී දේවිගේ මරණය පිළිබඳ අධිකරණ වාර්තාව ඩුබායි පොලිසිය විසින් ශ්රී දේවිගේ පවුලේ සාමාජිකයන්ට ද මෙම ඩුබායි හි පිහිටි ඉන්දීය කන්සියුලර් කාර්යාලය වෙතද ලබාදී තිබේ. ඊයේ සවස් වනතුරු අවසන් පශ්චාත් මරණ පරික්ෂණ වාර්ථාව නිකුත් කොට නොතිබිණි.
සෙනසුරාදා රාත්රියේ මියගිය ශ්රී දේවිගේ දේහය ඉරිදා ඉන්දියාවට රැගෙන ඒමට නියමිතව තිබුණත් මළ සිරුර සම්බන්ධයෙන් පැවැත්වෙන අධිකරණ වෛද්ය පරීක්ෂණය සහ පශ්චාත් මරණ පරීක්ෂණයද, දේහය රැගෙන ඒමේ ආගමන විගමන කටයුතු සඳහා එම වාර්තා අවශ්ය වීම මත ප්රමාද විය. ඊයේ සවස් වනතුරු ඇයගේ දේහය ඩුබායි හි තිබිණ. ශ්රී දේවි ඇය නැවතී සිටි හෝටලයේ නාන බේසමේහි ගිලීමෙන් මියගිය බව මුලික පරීක්ෂණ මඟින් තහවුරු වූ බව ඩුබායි පොලිසිය ඊයේ සවස් වරුවේදී ප්රකාශ කළ බව විදෙස් පුවත් සේවා වාර්තා කළේය. ඇයගේ ශරීරයේ මත්පැන් වූ බචත් එය මරණයට මග පෑදූ අනතුරට හේතුවන්නට ඇති බවත් තැනක සඳහන් වේ. කෙසේ නමුත් ශ්රී දේවිගේ මරණයට හේතුව තීරණය කිරීම සඳහා අනතුර සිදුවූ වටපිටාව සම්බන්ධයෙන් විමර්ශන තවදුරටත් ක්රියාත්මක බවත්, අධිකරණ වෛද්ය වාර්ථාව මඟින් ඇය "දියේ ගිලී මරණයට පත්වූ බව" පමණක් සඳහන් වන බවත් ඩුබායි නිලධාරියකු ගල්ෆ් නිව්ස් සේවයට පවසා ඇත.
සිදුවීමට අදාළ සියලු කරුණු එක් රැස් කරමින් මරණයට පත්වන අවස්ථාවේ ඇය සමග හෝටල් කාමරයේ සිටියේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් සෙවීමට පොලිසිය විමර්ශන කටයුතු සිදුකරන බවද ගල්ෆ් සඳහන් කරයි. ඇය නැවතී සිටියේ ඩුබායි පිහිටි Jumeirah Emirates Towers හෝටලයේ බව Khalees පුවත් සේවය කියයි. ශ්රී දේවිගේ දේහය මුම්බායි හි පිහිටි ඇයගේ සැමියාගේ සොහොයුරා වන අනිල් කපුර්ගේ නිවෙසට රැගෙන ඒමට සුදානමක් තිබුනෙන් සඳුදා දවස පුරා ප්රකට බොලිවුඩ් නළු නිළියෝ සහ සිනමා රසිකයෝ එහි ඇදෙමින් සිටියහ.
අර්ජුන් මහේන්ද්රන් සිංගප්පූරු ලිපිනයේ නෑ

මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්රන් මහතා සිංගප්පූරු ලිපිනයේ නොමැති බව අධිවේගී තැපැල ඩි.එච්.එල්. කුරියර් සේවය) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත වාර්තා කර ඇතැයි ආරංචිමාර්ග සඳහන් කරයි.
ලබන මාර්තු මස 08 වැනිදාට පෙර ලංකාවට පැමිණ අපරාධ පරිකෂණ දෙපාර්තමේන්තුවට
ප්රකාශයක් දෙන ලෙස දෙවැනි වරටත් නියම කරමින් කොටුව මහේස්ත්රාත් ලංකා ජයරත්න මහත්මිය විසින් කළ නියෝගය අධිවේගී තැපැල ඔස්සේ ශ්රී ලංකා මහ බැංකුවේ හිටපු අධිපති අජුන් මහේන්ද්රන් මහතාට බාරදීමට උත්සාහ කළ අවස්ථාවේදී මහේන්ද්රන් මහතා සිංගප්පූරු ලිපිනයේ නොමැති බව අනාවරණය වී ඇතැයි වාර්තා වේ. රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස නියම කරමින් ඉංග්රීසි භාශාවෙන් නිකුත් කළ නියෝගය අඩංගු නොතීසිය මහේන්ද්රන් මහතා පදිංචිව සිටින අංක 201, Cascaden Road, # 18-1, The Tamlison, Singapore 2407726 නිවසට අධිවේගී තැපෑල ඔස්සේ බාරදෙන ලෙස අධිකරණය විසින් කළ නියෝගය අනුව රහස් පොලිසිය කටයුතු කළත් මහේන්ද්රන් මහතා අදාළ ලිපිනයේ නොමැති බව ඩි.එච්.එල්. කුරියර් සේය විසින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දැනුම් දී ඇතැයි වාර්තා වේ.
ලොරි රථ අනතුරෙන් වෙළඳසැල් පහකට හානි

දඹුල්ල හබරණ ප්රධාන මාර්ගයේ ඉනාමළුව ප්රදේශයේදී ඊයේ (26) අලුයම ලොරියක් මාර්ගයෙන් ඉවතට පැන වෙළෙඳසල් පහකට දැඩි අලාභහානි සිදුකරමින් වෙළෙඳසල් තුළට කඩා වැදී ඇතැයි සීගිරිය පොලිසිය කියයි. මෙම අනතුන් ලොරි රථයේ රියදුරු සහ රිය සහායක තුවාල ලබා දඹුල්ල මුලීක රෝහලට ඇතුළත් කර තිබේ.
අලුයම 4.50ට පමණ මෙම අනතුර සිදුවී තිබෙන ආකාරය ආසන්නයේ වෙළඳසැලක සවි කොට තිබූ සීසීටීවී කැමරා පද්ධතියක ද සටහන්ව තිබේ.
පොළොන්නරුව සිට කොළඹ බලා හාල් උර ප්රවාහනය කරමින් තිබූ ලොරී රථයක් රියදුරුට නින්ද යාම හේතුවෙන් මාර්ගයෙන් ඉවතට පැන මෙසේ වෙළෙඳ සැල තුළට කඩා වැදී ඇතැයි පොලිසිය සිදු කළ පරීක්ෂණවලදී හෙළි වී තිබේ. අසල්වැසි කාන්තාවක කියා සිටියේ එකවරම විශාල ශබ්දයක් සමග ලොරි රථය වෙළෙඳසල් තුළට කඩා වැදුණු බවත් එම වෙළෙඳසල්වල කිසිවකුත් රාත්රී කාලයේ නොසිටි නිසා ජීවිත අනතුරක් සිදුව නොවූ බවයි. අනතුර සමීබන්ධයෙන් සීගිරීය පොලීසිය පරීක්ෂණ පවත්වනු ලබයි.
චීනයේ ව්යවස්ථා සංශෝධනයක් චීන ජනපති දිගටම බලයේ

ජනාධිපතිධුරය දැරිය යුතු ධුර කාලය සම්බන්ධයෙන් තිබෙන සීමා ඉවත් කරමින් චීනයේ කොමියුනිස්ට් පක්ෂය ව්යවස්ථා සංශෝධනයක් කරමින් එරට ජනාධිපති ෂී ජින්පීන්ග්ට දිගටම බලයේ රැඳී සිටීම සඳහා පෙරේදා (25) ඉඩ සකසා දුන්නේය. සීමාවක් නොමැතිව බලයේ රැඳී සිටීමට ෂී ජින්පීන්ග් ජනාධිපතිවරයාට අවස්ථාව සකසා
දෙමින් චීනයේ කොමියුනිස්ට් පක්ෂය දගක ගණනක් පැවැති නීතිරිති වෙනස් කළේය. මෙම නව සංශෝධන සමඟ චීනය මාවෝ සේකූයේ සමයේ පැවැති ආගමික, වන්දනිය සහ කීකරු පාලන සමයට ගමන් කරන බව "නිවීයොක් ටයිම්ස්' පුවත්පත වාර්තා කර කිබිණි. ව්යවස්ථාව වෙනස් කිරිම සඳහා අදාළ යෝඡනාව ඉදිරිපත් වූයේ පෙරේදා (25) වන අතර එය ෂී ජින්පීන්ග්ජනාධිපතිවරයාගේ පාලනය ගන්නා ලද එඩිතරම තීරණයකි.
ෂී ජින්පීන්ග් ජනාධිපතිවරයා චීන සමාජය නවීකරණය කර චීනය ගෝලීය දේශපාලනයේ බලවතකු කරමින් චීනයට හිමි ස්ථානය සඳහා කොමියුනිස්ට් පක්ෂයේ පාලනය ශක්තිමත් කිරිමේ ක්රියාවලියක නිරත වී සිටියි. මෙම වැඩ පිළිවෙළ සඳහා ෂී ජින්පීන්ග් ජනාධිපතිවරයාගේ පෞද්ගලික නායකත්වය ශක්තිමත් කළ යුතු යැයි ජනාධිපතිවරයාගේ මිත්ර පාර්ශව යෝඡනා කර තිබේ.
මතභේදාත්මක දකුණු චීන මුහුදේ අයිතිය චීනයට හිමිවිය යුතු යැයි ජනාධිපති ෂී ජින්පීන්ග් අවධාරණය කර තිබේ. විසි එක්වැනි සියවසේ සේද මාවත සහ සාගර සේද මාවන, එසේ නැතිනම් 'වන් බෙව් වන් රෝඩ්” ගෝලිය යටිතල පහසුකම් ව්යාපෘතිය ක්රියාත්මක කරන්නේ ද චීන ජනාධිපති ෂි ජින්පින්ගේ නායකත්වය යටතේය. චිනය නවීකරණය කිරිමේ වැඩසටහන් රැසක පුරෝගාමියා වන්නේ ද චීන ජනාධිපති ෂී ජින්පීන්ග්ය. ලෝක බල දේශපාලනයේ ප්රමුඛ පෙළේ චරිතයක් වන චීන ජනාධිපති ෂී ජින්පින්ගේ කොමියුනිස්ට් සහ කොන්ෆියුසිස් මූලධර්මවලට මුල්තැන දි කටයුතු කරයි.
චීන ජනාධිපතිවරයාට දිගටම බලයේ රැඳී සිටීම සම්බන්ධයෙන් වන නිවේදනය මේතරම් ඉක්මනින් ප්රකාශයට පත්වීම චීන
දේශපාලනය නිරික්ෂු ණය කරන අත්දැකීම් ඇති විල්ලේෂකයන් ද පුදුමයට පත් කර තිබේ. චීන ජනාධිපතිවරයාගේ පළමු ධුර කාලය අවසන් වන්නේ ලබන මාසයේදීය.
දෙවැනි ධුර කාලයෙන් පසු ජනාධිපතිධුරයෙන් ඉවත් වී රට පාලනය කිරිම හැකියාවද චීන ජනාධිපතිවරයාට තිබුණේය. මීට පෙර චීනයේ සිටි ජනාධිපතිවරුන් ද එසේ කර තිබේ. මෙම තිරණයන් සමඟ චීනය තුළ දේශපාලන ලිබරල්කරණය වෙනුවෙන් හඩ නගන පිරිස්වලටද බලපෑමක් එල්ල වී තිබේ. දීර්ඝ කාලයක් බලයේ සිටිම මේ වනවිට ප්රවණතාවක් බවට පත්ව තිබේ. රුසියානු ජනාධිපති පුටින් මේ වසරේදි සිව්වැනි වරටත් ජනාධිපතිවරණයට තරග වදී. වසර 2000දී බලයට පත්වූ පුටින් 2008 වනතෙක් ඡනාධිපතිධුරය දැරිය. රුසියානු ආණ්ඩුක්රම ව්යවස්ථාවට අනුව අඛණ්ඩව තෙවරක් ජනාධිපතිධුරය හෙබවිය නොහැකි බැවින්
හෙතම 2008 වසදී අග්රාමාත්යධුරයට පත්වූ අතර තෙවැනි වරට 2012දි ජනාධිපතිධුරයට පත්විය. වැලැදිමිර් පුටින් 2013 වසරේ සිට රුසියාවේ ජනාධිපතිවරයා ලෙස කටයුතු කරයි. ලබන මස පැවැත්වෙන ජනාධිපතිවරණයෙන් ඡයග්රහණය කළහොත් හෙතම 2024 දක්වා ජනාධිපතිවරයා ලෙස කටයුතු කිරිමට සුදුසුකම් ලබනු ඇත. දිගටම බලයේ රැඳී සිටීම කටයුතු සකස් කරගත් අනෙක් ප්රධානතම රාජ්ය නායකයා තුර්කි ජනාධිපති රිචෙප් තායිප් එර්දොවාන්ය.
සංශෝධනයට පෙර ව්යවස්ථාවේ පැවැති තත්වය අනුව ෂී ජනාධිපතිවරයාට බලයේ රැඳී සිටිය හැකිව තිබුණේ වසර 10ක් පමණි. ෂී ජින්පින් ජනාධිපතිවරයා පළමු වරට ජනාධිපතිධුරයට පත්වූයේ 2013 වසරේදීය. එහෙන් චීන කොමියුනිස්ට් පක්ෂ නායකත්වය ජනාධිපතිවරයා සහ උප ජනාධිපතිවරයා දෙවරක් පමණක් ධුරයේ රැඳී සිටිය යුතු බවට ව්යවස්ථාවේ දැක්වෙන වගන්තිය ඉවත් කිරීමට යෝඡනා කරමින් අදාළ සංශෝධන සිදු කරමින් ජනාධිපති ෂී ජින්පින් දිගටම බලයේ සිටීමට මාර්ගය සකසා දුන්නේය.
මෙම නව සංශෝධනයත් සමඟ දැනට 64 වන වියේ පසුවන ෂී ජින්පින්ගේ ජනාධිපතිවරයාට වසර 2023න් පසුද බලයේ රැඳී සිටීමට අවස්ථාව ලැබෙනු ඇත.
ආලෝක පහන් නොමැතිව ගමන් කළ ට්රැක්ටරයට පාසල් සිසුවා බිළි

ආලෝක පහන් නොමැතිව ගමන් කරමින් තිබු ට්රැක්ටරයක යතුරුපැදියක් ගැටී පාසල් සිසුවකු මියගොස් තවත් දෙදෙනකු තුවාල ලබා ප්රතිකාර සඳහා හලාවත මහා රෝහලට ඇතුළත් කර ඇත.
පසුගිය 23 වැනිදා රාත්රී 7.25 ට පමණ පල්ලම - වතුපොළ මාර්ගයේදී මෙම අනතුර සිදුවි ඇත.
අනතුරීන් මිය ගොස් ඇත්තේ පල්ලම - පොත්තුකක්කුලම පදිංචිව සිටි දිසානායක මුදියන්සේලාගේ ශ්යාල් දිසානායක (අවු16) නම් පාසල් සිසුවෙකි.
තුවාල ලබා ඇති පල්ලම - වතුපොළ පදිංචිකරුවන් වන සුධීර යොහාන් ෆොන්සේකා සහ මාරසිංහ ආරච්චිලාගේ අජිත් කුමාර (අවු:62) යන අය හලාවත මහා රෝහලේ ප්රතිකාර ලබමින් සිටී.
මියගොස් ඇති සිසුවා තම මිතුරකු සමග යතුරුපැදියකින් පල්ලම දෙස සිට වතුපොළ දෙසට ගමෙන් කරමින් සිට ඇත. ඉදිරියෙන් පැමිණ ඇති ආලෝක පහන් නොමැතිව ගමන් කරමින් තිබු ට්රැක්ටරයක යතුරුපැදිය ගැටී පෙරලී ඒ සමගම පැමිණි වෙනත් යතුරු පැදියක ගැටී අනතුර සිදුවී ඇති බව පොලීසිය කියයි.
අපරික්ෂාකාරීව ට්රැක්ටරය පැදවු රියැදුරු පල්ලම පොලීසියේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන ඇත. පල්ලම පොලිස් ස්ථානය විසින් මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු කරගෙන යයි.
එක් අයෙකුට මරු කැඳවමින් අනියම් පෙම කෙළවර වෙයි
පොල්ගහවෙල බටේකුඹුර ප්රදේශයේදී පෙරේදා (25දා) රාත්රී සිදු වූ වෙඩි තැබීමකින් තිස් හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොල්ගහවෙල පොලීසිය සඳහන් කරයි. මියගිය පුද්ගලයා සිය නිවසේ නිදා සිටි අවස්ථාවේ පැමිණ ඇතැයි කියන වෙඩික්කරු මෙම වෙඩි තැබීම සිදුකර පලාගොස් තිබේ.
පවුල් ආරවුලක් මත සිදුව ඇතැයි කියන මෙම වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ පොල්ගහවෙල බටේකුඹුර පදිංචි ජයසේකර මුදියන්සේල්ලාගේ මහේෂ් ඉන්දික දිසානායක නමැති තිස් හැවිරිදි රියැදුරෙකි.
මරණකරු සහ සැකකරු කලකට ඉහතදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ සංවර්ධන කටයුතු සිදුකළ පෞද්ගලික සමාගමක රියදුරන් ලෙස සේවය කර ඇත. එම කාලයේදී මරණකරු සැකකරුගේ බිරිඳ සමග අනියම් සබඳතාවක් ඇතිකරගෙන තිබේ.
මරණකරු විසින් සැකකරුගේ බිරිඳ සමග ඇතිකරගෙන තිබු අනියම් සබඳතාව මත මීට වසර හතරකට පමණ ඉහතදී ඔහුගේ දරුවන් තිදෙනාද සමග පොල්ගහවෙල ප්රදේශයට කැඳවාගෙන විත් එකට ජීවත්ව ඇති බවට මූලික පොලිස් පරීක්ෂණවල දී හෙළි වී තිබේ.
පළිගැනීමක් ලෙස මෙම වෙඩිතැබීම සිදු කරන්නට ඇතැයිද පොලිසිය සැක කරයි.
ෂොට්ගන් වර්ගයේ ගිනි අවියක් රැගෙන නිවසට ඇතුළු වූ සැකකරු මරණකරුට වෙඩි තබා පලාගොස් ඇත. වෙඩිතැබීම සිදුකර පලායන සැකකරු ඔහුගේ වැඩිමහල් පුත්රයා විසින් හඳුනාගෙන ඇතැයි පොලීසිය කියයි.
අම්බලන්තොට පොලීසියේ සැරයන්වරයෙකු වස පානය කර සිය දිවි හානිකර ගනී...
අම්බලන්තොට පොලිසියේ සේවයේ යෙදී සිටි පොලිස් සැරයන්වරයකු ඊයේ (26දා) දවල් වස පානය කර සිය දිවි නසාගෙන ඇතැයි සුර්යවැව පොලිසිය පවසයි. මෙලෙස මියගොස් ඇත්තේ දෙදරු පියකු වූ වයස අවූරුදු 53ක් වයසැති කන්දකැටිය, රත්මල්වෙල, මිද්දෙණිය ලිපිනයේ පදිංචි බන්දුල අබේනායක නැමති පොලිස් සැරයන්වරයෙකි. අම්බලන්තොට පොලිසියට අනුයුක්තව සේවය කළ මියගිය පොලිස් සැරයන්වරයා පසුගිය දින සුවැව කෝන්කැටියආර ප්රදේශයේ පිහිටි සිය නැඟණියගේ නිවසට පැමිණ ඇත. ඔහු 26 වන දින දහවල් වස පානය කර සිය දිවි නසා ගැනීමට උත්සාහ කර තිබේ. වස පානය කිරිමෙන් බරපතළ තත්වයේ සිටි පොලිස් සැරයන්වරයා ප්රතිකාර සඳහා සුරියවැව රෝහලට ඇතුළත් කළ ද ඔහු රෝහලට රැගෙන එන විටත් මිය ගොස් තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් වූ හදිසි මරණ පරීක්ෂණය සූරියවැව හදිසි මරණ පරීක්ෂක වී. ජී. විජයදාස මහතා විසින් පැවැත්වූ අතර පශ්චාත් මරණ පරීක්ෂණ කටයුතු සඳහා සිරුර හම්බන්තොට මහ රෝහල වෙත රැගෙන යාමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් සූරියවැව පොලීසියේ ස්ථානාධිපති පොලීස් පරීක්ෂක ක්රිෂාන්ත සමිපත් ජයසිංහ මහතාගේ උපදෙස් පරිදි වැඩිදුර විමර්ශන පවත්වයි.
බ්රිගේඩියර් ප්රියංක ප්රනාන්දුට චීනයේ මාස තුනක පාඨමාලාවක්

බ්රිතාන්යයේ ශ්රී ලංකා මහ කොමසාරිස් කාර්යාලයේ සේවය කරමින් සිටියදී මෙරටට ගෙන්වාගත් බ්රිගේඩියර් ප්රියංක ප්රනාන්දු මහතාට චීනයේ මාස තුනක පාඨමාලාවක් හැදෑම්මට අවස්ථාව ලබා දී ඇතැයි මවුබිම වෙනුවෙන් රණවිරුවෝ සංවිධානයේ කැඳවුමිකරු මේජර් අජිත් ප්රසන්න මහතා ඊයේ (26දා) පැවසීය.
යුද හමුදාපති මේජර් ජෙනරාල් මහේෂ් ස්නානායක මහතා සහ බ්රිගේඩියර් ප්රියංක ප්රනාන්දු මහතා අතර ඊයේ දිනයේදී මේ පිළිබඳ සාකච්ඡාවක් පවත්වා තිබෙන බවත්, ඒ අනුව බ්රිගේඩියර්වරයාගේ බ්රිතාන්ය තානාපති සේවය අවලංගු වන බවත් ඒ මහතා ප්රකාශ කළේය. ප්රියංක ප්රනාන්දු මහතාට බ්රිතාන්ය මහ කොමසාර්ස් කාර්යාලයේ රැකියාව ඉදිරියටත් කරගෙන යෑමට අවස්ථාව ලබාදෙන බවට ජනාධිපතිවරයා මැතිවරණයට පෙර පොරොන්දු වුවද බ්රිගේඩියර්වරයාට අමතරව ඔහුගේ බිරිද සහ දරුවන්ගේ වීසා අවලංගු කර වහාම ලංකාවට ගෙන්වන්නැයි දෙමළ ඩයස්පෝරාව ඉල්ලා ඇතැයිද ඔහු කීය.
කොළඹදී පැවැති මාධ්ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ මේජර් අජිත් ප්රසන්න මහතා,
"පිනීවා මානව හිමිකම් කවුන්සිලයේදී අද (26)දා මවුබීමට එරෙහි, රණවිරුවන්ට එරෙහි යුද්ධය පටන් ගන්නවා. දෙමළ ඩයස්පෝරාව ඇතුළු විවිධ සංවිධාන එහි ගිහින් ඉල්ලීම් කර තිබනවා. ජිනීවා මානව හිමිකම් කවුන්සිලයට මෙවරයෝජනා තුනක් එන බව අපට ආරංචියි. ලංකාව විශ්වීය අධිකරණ ක්රියාවලියකට යටත්ව නඩු ඇසීමට අවස්ථාව ලබාදීම, 30/1 යෝජනාව අනුව රණවිරුවන් යුද අපරාධ කළ බවට දෙමුහුන් අධිකරණයක් මඟින් දඩුවම් කිරීම යන යෝජනා සඳහා අමරිකාව සමග මෙරට ආණ්ඩුව එකඟ වෙලා තියෙනවා.
මේක ඇස් පනාපිටම අද බොරුවක් බවට සනාථ වෙලා තිබෙනවා. එංගලන්තය නේස්බි සාමිවරයා කේබල් මගින් පණිවුඩ මගින් තොරතුරු සොයාගෙන හයදාහකට ආසන්න පිරිසක් පමණක් මියගොස් හෝ අතුරුදන් වී තිබෙන්නේ කියලා. 40,000ක් අතුරුදන් වුණා කියන සෙයිඩ් අල්හුසේන් කුමාරයාගේ වාර්තාව සම්පූර්ණ බොරුවක් වෙලා තිබෙනවා. මේ සම්බන්ධව අපේ විදේශ අමාතහංශය, ආරක්ෂක අමාතශය, ජනාධිපතිවරයා, අගමැතිවරයා නිරුත්තරයි.රටේ රණවිරුවන් ආරක්ෂා කරගන්නට ජිනිවාවලට කණ්ඩායමක් ගිහින්30/1ශයෝජනාවට තවත් අපේ රට බැදෙන්නේ නෑ කිව යුතුයි. එම යෝජනාව ප්රතික්ෂේප කළ යුතුයි,
නමුත් එහෙම නොකරන ආණ්ඩුව බ්රිගේඩියර් ප්රියංක ප්රනාන්දු ගෙන්වෙනවා. තහනම් කරපු LTTE සංවිධානයේ කොඩිය අරගෙන නිදහස් දිනයේදී දෙමළ ඩයස්පෝරාව උඝෝෂණය කරද්දී එයට විරෝධය පෑවා කියලා මෙසේ ගෙන්වා තියෙන්නේ. ඡන්දේ කාලයේදී ජනාධිපතිවරයා කිව්වා ඔහු අයින් කළේ නැහැ සේවයේ යළි පිහිටෙව්වා කියලා. ”
යනුවෙන් පවසා සිටියේය.
රට තුළ ඩීසල් හිඟයක් නැහැ, අසත්ය ප්රචාර පතුරන්නන්ට එරෙහිව දැඩි ක්රියාමාර්ග ගන්නවා... ඛනිජතෙල් නීතිගත සංස්ථාව කියයි...
රට තුළ ඩීසල් හිඟයක් පවතින බවට පැතිරී යන ආරංචි මුළුමනින්ම අසත්ය බව ලංකා ඛනිජ තෙල් නීනිගත සංස්ථාව ප්රකාශ කරයි. එම සංස්ථාව මඟින් නිකුත් කළ නිවේදනයක සඳහන් වන්නේ රට පුරා ඩීසල් හිඟයක් සිදුවී තිබෙන බවට සමාජ ජාලා වෙබ් අඩවි සහ විවිධ ජනමාධ්ය ඔස්සේ පළ කර ඇති වාර්තා මුළුමනින්ම අසත්ය බවත් ඒවා විශ්වාස නොකරන ලෙසද මහජනතාවගෙන් ඉල්ලා සිටී. කොළොන්නාව තෙල් ගබඩා පර්යන්තයේ සහ මුතුරාජවල තොග ගබඩාවල ප්රමාණවත් තෙල් තොග පවතින බව සඳහන් කරන එම සංස්ථාව මෙවැනි අසත්ය ප්රචාර පතුරුවන පාර්ශවයන්ට එරෙහිව දැඩි නීතිමය ක්රියාමාර්ග ගන්නැයි අපරාධ විමර්ශන අංශය වෙත ද දැනුම් දී ඇතැයි වැඩි දුරටත් පවසයි.
මහවැලි වියානා ඇළට මෝටර් රථයක් පෙරළි ගුරුවරයක් අතුරුදහන්

බණ්ඩාරවෙල සිට මහියංගනය දෙසට ගමන් ගත් මෝටර් රථයක් ඊයේ (26) උදේ මාපාකඩ වැව 17 කණුව ප්රදේශයේදී මහවැලි වියානා ඇළට පෙරළිමෙන් එහි ගමන් ගත් ගුරුවරයකු අතුරුදහන් වී ඇති අතර, දියේ ගිලෙමින් සිටි තිදෙනකු ප්රදේශවාසීන් සහ මාර්ගයේ ගමන්ගත් යතුරුපැදිකරුවකු වී බේරාගෙන ඇතැයි මහියංගන පොලිසිය කියයි. මෙම රිය අනතුර සිඳුන අවස්ථාවේ මාපාකඩ වැව් තිස්සපුර විද්යාලයේ සේවය සඳහා යමින් සිටි ගුරුවරුන් තිදෙනකු ද බිබිල ප්රදේශයේ යට යමින් සිටි බැංකු ලිපිකරුවකු ද මෝටර් රථයේ ගමන් කර ඇත.
දියේ ගිලී අතුරුදන් වී ඇත්තේ තිස්සපුර විද්යාලයේ සේවය සඳහා යමින් සිටි ගුරුවරුන් තිදෙනාගෙන් එක් අයකු වෙන නලීන් කාරීයවසම් නමැත්තෙකි. ඔහු වැලිමඩ ප්රදේශයේ පදිංචිකරුවෙකි.
මෝටර් රථයේ ගමන් ගත් ගුරුවරියක වන කේ.ඩි. ඉනෝකා දිරුක්මු මහත්මිය දිරි ලැබේරාගෙන ඇති අතර, තුවාල ලබා සිටි ඇය මහියංගන මූලික රෝහලට ඇතුළත් කර ඇත.
මෝටර් රථය පැදවූ බැංකු ලිපිකරු පී.ජී.ඩී. ගුණස්කර මහතා ද ගුරුවරයකු වන ඔහුගේ සොහොයුරු පී.ජී.එස්.ඩී. ගුණස්කර මහතා ද දියේ පිහිනා ප්රදේශවාසීන්ගේ ආධාරයෙන් දිපි බේරාගෙන ඇතැයි පොලිසිය කියයි. මහියංගන පොලිසියේ නියෝජ්ය ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුවන් විරකෝන් සහ මහියංගන පොලිසියේ රථවාහන අංශයේ ස්ථානාධිපති නුවන් රණවීර යන මහත්වරුන් සහ රථවාහන අංශයේ නිලධාරින් ද මාපාකඩ වැව පොලිස් පුහුණු පාසලේ ජීවිතාරක්ෂික නිලධාරීන් හා ගම්වාසීන් ද එක්වී මෝටර් රථය වියානා ඇළෙන් ගොඩගනු ලැබුවේ මහත් පරිශ්රමයක් දරමිනි. වියානා ඇළේ නිරන්තරයෙන් සිදුවන අනතුරුවලදි දිවි පරදුවට තබා ඇළට පැන පුද්ගලයන්ගේ ජීවිත
බේරා ගැනීමට ඉදිරිපත් වින ඩි.එම්. කැලුම් නමැති ධීවර තරුණයා ද මෙම අනතුරේදි ඇළට පැන මෝටර් රථය ගොඩගැනීමට විශාල මහන්සියක් දැරීය.
මහවැලි වියානා ඇළ දෙපය ආරක්ෂිත යකඩ වැටක් නොමැතිකමින් පසුගිය කාලය පුරා සිදුවූ රිය අනතුරු පිළිබඳව මාධ්ය මගින් දිගින් දිගටම අනාවරණය කිරීම් ප්රතිඵලයක් වශයෙන් මහවැලි අධිකාරිය මගින් එම මාර්ගයේ කිලෝමීටර් පහක කොටස මේ දින යකඩ වැටක් ඉදිකෙරෙමින් පවතින අතර. මාර්ගයේ අනතුරු බහුලව සිදුවන කොටස මාර්ග සංවර්ධන අධිකාරීයට අයත් වීම නිසා ඒ කොටසේ යකඩ වැට ඉදිකිරීම ප්රමාද වී ඇත.
මාර්ගයේ මේ කොටසේ ද මහවැලිය මගින් ඉදිකර ඇති ආකාරයේ යක ආරක්ෂිත වැටක් ඉදිකර තිබුණේ නම් මෙම මාරක අනතුර වළක්වාගත හැකිව තිබූ බව ප්රදේශවාසීහු කියති.
ඇළට වැටී අතුරුදන්වූ පුද්ගලයා සෙවීමට මහියංගන සහකාර පොලිස් අධිකාරී උජිත් ලියනගේ මහතාගේ උපදෙස් මත මහියංගන පොලිසිය හා ප්රදේශවාසීන් එක්වී මෙහෙයුමක් ආරම්භ කර ඇත.
මිරිජ්ජවිලදී තවත් වෙඩි තැබීමක්...
හම්බන්තොට මිරිජ්ජවිල මසන්ධීයේදී ඊයේ (26දා) පස්වරුවේදී බස් රථයක සිදු වූ වැඩී තැබීමකින් එක් පුද්ගලයකු මියගොස් ඇති බව හම්බන්තොට පොලිසිය පවසයි. සිද්ධියෙන් මියගොස් ඇත්තේ අංක 103/02, ගල්ගේයාය, ඇතිමලේ වැව, ඇතිමලේ.. පදිංචිව සිටි එස්.ඒ. චන්දන ප්රසන්න නැමැති 33 හැවිරිදි විවාහක පුද්ගලයෙකි. මියගිය පුද්ගලයාට එරහිව 2011 වසරේදී රන්න - අඳුපැලෑන ප්රදේශයේදී සිදුවූ මිනීමැරුමක් සම්න්ධයෙන් තංගල්ල මහාධිකරණයේ නඩු විභාගයක් පැවැති අතර ඔහු ඒ සඳෙහා ඊයේ තංගල්ල මහාධිකරණයට පැමිණ නැවත ඇතිමලේ බලා යමින් සිටියදී වෙඩි ප්රහාරයට ලක්ව තිබේ. මියගිය පුද්ගලයා 2011 වසරේදී තවත් පුද්ගලයකු හා ඔහුගේ බාප්පා සමග රන්න පදිංචි පුද්ගලයකු ඝාතනය කර ඇති අතර ඊට අදාළ නඩු විභාගය ඊයේ තංගල්ල මහාධිකරණයේ පැවතී තිබේ. මිය ගිය පුද්ගලයා නඩුවට අදාළව තුන්වැනි චුදිතයා වන අතර පළමු චූදිතයා වන ඔහුගේ බාප්පා මීට පෙර අනෙක් පාර්ශ්වය විසින් ඝාතනය කර තිබෙන බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ. මියගිය පුද්ගලයා නඩු විභාගය සඳහා ඊයේ (26දා) බිරිය සමග තංගල්ල මහාධිකරණයට පැමිණ ඇති අතර නඩු විභාගයෙන් අනතුරුව ඔහු මාතර - අම්පාර පෞද්ගලික බස් රථයකින් නිවස බලා යමින් සිටියදී මෙම වෙඩි ප්රහාරයට ලක්ව තිබේ. මියගිය පුද්ගලයා මිට පෙර අංක 223/ඒ, අදුපැලන, රත්න ලිපිනයේ පදිංචිව සිට ඇති අතර ඔහුට තවත් පිරිසක් සමඟ ඉඩම් ආරවුලක් හේතුවෙන් මීට පෙර ද දෙපාර්ශ්වයේම දෙදෙනකු අවස්ථා දෙකකදී මරා දමා තිබෙන බව වාර්තා වෙයි.
ඊයේ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වූ බස් රථයේ පැමිණි මගියෙක්... ''මම බස් එකට නැග්ගේ මොනරාගල යන්න කියලා හිතාගෙන කුඩාවැල්ල ප්රදේශයෙන්. හම්ඛන්තොට - මිරිජ්ජවිල හන්දිය අසලදී එක සැරේම බස් එක ඇතුළෙන් යමක් පුපුරනවා වගේ ඇහුණා. මම මගේ බිරියත් එක්ක ඉස්සරහා සීට් එකේ හිටියෙ. ඒත් එක්කම පිටුපස හිටපු අය කෑ ගහගෙන බස් එකේ ඉස්සරහාට ආවා. ඒත් එත්කම බස් එක නවත්තපන් යකෝ කියා යමෙක් කෑ ගැහුවා. ඒත් එක්කම් බස් එක නතර කළා. එතකොට බස් එකේ හිටිය එක්කෙනෙක් පිටුපස දොරින් බිමට පැන්නා. ඒත් ඒත්කම් ක්රීම් පාටට හුරු පොඩි කාර් එකක් ඇවිත් බස් එකේ හිටිය කෙනා අරගෙන ගියා. බස් එක ලෙඩාවත් අරගෙන හම්බන්තොට රෝහලට ආවා'' යැයි පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලිසිය වැඩිදුර විමර්ශන පවත්වයි.
දියතලාව බස් බෝම්බය පිටුපස තවත් සිදුවීම් ගොන්නක්. CCTV දර්ශන පොලිස් පරීක්ෂාවට.

දියතලාවේදී බස් රථයක් තුළ පුපුරා ගිය බෝම්බය ළඟ තබාගෙන සිටි බව කියන යුද හමුදා සාජන් මේජර්වරයා පොලිස් ප්රශ්න කිරීම් හමුවේ පරස්පර ප්රකාශ කරන බව පොලිස් ආරංචිමාර්ග අනාවරණය කරයි.
දියතලාව පොලිසියේ නිලධාරීන් ඉකුත් දින දෙකේ අවස්ථා කිහිපයකදීම ඔහුගෙන් දියතලාව රෝහලේදී ඒ පිළිබඳව ප්රශ්න කර තිබේ දියතලාව රෝහලේ මේ වන විට ප්රතිකාර ලබන මෙම සාජන් මේජර්වරයාව ඉදිරි දින කිහිපයේදී අත්අඩංගුවට ගැනීමට සූදානම් බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මේ පුද්ගලයා යාපනයේ සිට බණ්ඩාරවෙල දක්වා ධාවනය වූ බස් රථයට ගොඩවී ඇත්තේ 20 වැනිදා අලුයම 1.05ට මහනුවරින් බව අනාවරණය වී තිබේ.
එම බස් රථයේ ආරක්ෂක කැමරා සවි කර ඇති බවත් ඒවා පොලීසිය විසින් පරීක්ෂා කර ඇත. බස් රථයට ගොඩ වී අසුන් ගත් ඔහු සිය ගමන් මල්ල ඔඩොක්කුවේ තබාගෙන කලබලයෙන් සිටින අයුරු කැමරා දර්ශනවලින් පෙනී ගොස් තිබේ.
ඔහු විටින් විට ගමන් මල්ලට අත දමා ඒ තුළ ඇති යමක් අතපත ගාන ආකාරයද පැහැදිළිව පෙනෙන බව පොලිස් නිලධාරියකු පැවසීය. බණ්ඩාරවෙලින් දියතලාව බලා ධාවනය වන බස් රථයට ගොඩ වූ ඔහු ගමන් මල්ල ඔහු අසුන්ගත් ආසනය යට තබන බවද එම ආරක්ෂක බස් රථයේ තිබු වීඩියෝ දර්ශනවලින් පෙනී යයි.
ඔහු බස් රථයෙන් බැසීමට නැගිට ගමන් මල්ල ආසනය යටින් ගන්නා අවස්ථාවේ බෝම්බය පුපුරා ගිය බව වීඩියෝ දර්ශනවලින් අනාවරණය වී තිබේ.
සාජන් මේජර්වරයා මාතලේ නිවසින් කඳවුර දක්වා යන බව ප්රකාශ කර ඇත්තේ ඉකුත් 19 වැනිදා බව අනාවරණය වී තිබේ. ප්රශ්න කිරීම් හමුවේ මොහු සඳහන් කර ඇත් අනුරාධපුරයේ සිටින සිය ඥාතියකුගෙන් ලැබීමට ඇති රුපියල් 5000ක මුදලක් ලබාගැනීමට එහි ගිය බවය. 5000 වෙනුවෙන් රුපියල් 500 රැගෙන ඔහු අනුරාධපුරයෙන් පිටත්ව ඇති බව විමර්ශනවලින් හෙළි වී තිබේ. එදින උදෑසන 7.00ට පමණ මෝටර් රථයකින් මාතලේ පිහිටි ඔහුගේ නිවසට පුද්ගලයන් තිදෙනෙක් පැමිණි බව විමර්ශනවලීන් අනාවරණය වී තිබේ.
ඒ අයගෙන් දෙදෙනකු නොහඳුනන බවත් එක් අයෙකු සාලියපුර කඳවුරේ සේවයේ නියතු තම මිතුරකු බවත් පොලිස් ප්රශ්න කිරීම්වලදී පවසා ඇත. සාජන් මේජර්වරයෙක් වූ ඔහු නිවසට පැමිණි අවස්ථාවේ උදෑසන ආහාර වේලක් ලබාදීමට තෙල්දෙණියට ගිය බවත් නැවත උදෑසන 10.30ට නිවසට පැමිණි බවත් ප්රශ්න කිරීම් හමුවේ පවසාතිබේ. මේ තිදෙනා සැකකටයුතු බැවින් ඔවුන් අතර සිටි සාජන් මේජර්වරයා අත්අඩංගුවට ගෙන පොලිසියට භාර දෙන ලෙස දියතලාව පොලිසිය ඊයේ (28) සවස සාලීයපුර කඳවුරට දක්වා ඇත. එම සාජන් මේජර්වරයා සමග සිටී සෙසු දෙදෙනා හඳුනා ගැනීමට කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියකු පැවසීය.
බෝම්බයෙන් තුවාල ලබා සිටින සාජන් මේජර්වරයා අනුරාධපුරයට ගොස් ඇත්තේ ණය මුදලක් ලබාගැනීමටද නැතිනම් වෙනත් කටයුත්තකටද යන පිළිබඳව සාලියපුර කඳවුරේ සාජන් මේජර්වරයාගෙන් දැන ගත හැකිවෙනු ඇතැයි පොලිසිය විශ්වාස කරයි.
නිදා සිටි මිතුරාට වෙඩි තබා සැකකරු පැන ගිහින්

පොල්ගහවෙල බටේකුඹුර පුදේශයේදී (25) රාත්රියේ සිදු වූ වෙඩි තැබීමකින් 30 හැවිරිදි පුද්ගලයකු මියගොස් ඇතැයි පොල්ගහවෙල පොලිසිය කියයි.
ජයසේකර මුදියන්සේලාගේ මනෝජ් ඉන්දික දිසානායක නමැති අයකු මෙසේ මරණයට පත්ව ඇති බව පොලිසිය හඳුනාගෙන ඇත.මියගිය පුද්ගලයා නිවසේ නිදා සිටි අවස්ථාවේ පැමිණි පුද්ගලයෙකු වෙඩි තබා පලා ගොස් ඇති බව පොලිසිය කළ මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත. වෙඩි තැබීම සිදුකර පලා යන වෙඩික්කරු මියගිය පුද්ගලයාගේ වැඩිමල් පුත්රයා විසින් හඳුනාගෙන ඇතැයි ද පොලිසිය කියයි. පවුල් ආරවුලක් මත වෙඩි තැබීම සිදුකර ඇති බව අනාවරණය වී ඇතැයි පොලිසිය කියන අතර අනියම් සම්බන්ධතාවයක් මත මෙම ඝාතනය හේතුවී ඇත් දැයි සොයා බැලීමට පරික්ෂණ සිදුකරන බවද පොලිසිය කියයි. සැකකරු හා මියගිය පුද්ගලයන් මිතුරන් බවද ඔවුන් දෙදෙනා කාලයක් පෞද්ගලික සමාගමක රියදුරන් ලෙස ය කරමින් සිට ඇතැයි ද පොලිසිය කියයි. පලාගොස් සිටින සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොල්ගහවෙල පොලිසිය පරීක්ෂණ සිදුකරයි.
වන අලි තර්ජන මැද ජීවිත අරගලයක යෙදෙන අහිංසක දෙමාපියන් යුවළක්...
වන අලින්ගෙන් එල්ල වන ජීවිත තර්ජන හා දේශපාලනඥයන්ගේ පළිගැනීම් මැද තම ජීවිතය ගැට ගසාගන්නා මහලු යුවළක් ගැන පලාගල ප්රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉහළ උල්පතගමින් වාර්තා වේ. ඔවුහු ඒ. අබිලීනු (77) හා ඒ. නන්දාවතී (67) යන යුවළයි. අබිලීනු අප හමුවේ මෙසේ පැවැසීය. ''මහත්තයෝ අපේ උපන්ගම ගම්පහ. මෙහෙ පදිංචියට ආවේ 1972දී. අපිට දරුවන් තිදෙනෙක් ඉන්නවා. ඔවුන් විවාහ වෙලා වෙනම පදිංචි වෙලා ඉන්නේ. මම බිරිය සමඟ වෙනම ගෙයක් හදාගෙන ජීවත් වෙනවා, දරුවන්ට කරදර කරන්නට කැමැති නැති නිසා වෙනම ඉන්නවා. තියෙන දෙයක් තම්බලා කාලා වෙනම ජීවත් වෙන එක සැපයි. ඒත් ඒකට බාධා කරන්නේ වන අලි. මීට පෙර අප ඉදිකර තිබූ ගෙවල් 7ක් වන අලි කඩා දැමුවා, මේ දැන් ඉන්නෙ අටවැනි ගෙදරයි. අපේ ජීවිත බේරාගෙන ඉන්නේ අනූනවයෙන්, අපි වවා තිබූ පොල්, කෙසෙල් ආදිය වන අලි පැමිණ කීපවිටකදිම විනාශ කර දැම්මා.

අපිට පසුගිය කාලයේ මහවැලි කුඹුරක් දීමට නියමිතව තිබුනා. දේශපාලන හේතු නිසා ලැබුණේ නෑ, අපි දැන් නිවෙස අසල කුඹුරක් වැඩ කරලා ජීවත් වෙනවා. අපි දෙන්නම ලෙඩ්ඩු. අධිරුධිර පීඩනය, දියවැඩියාව ආදී රෝග වලින් පෙළෙනවා. ඉතා අමාරුවෙන් වේල පිරිමහගෙන අපි දෙන්නා ජීවත් වෙනවා. අපි ගැන හොයන්න බලන්න කෙනෙක් නෑ, අබලන් වූ නිවෙස වෙනුවට මියයාමට පෙර උළු සෙවිලි කළ නිවෙසක ජීවත් වීමේ සිහිනය ඉටුකරගන්න හැකිවෙනවා නම් ලොකු පිනක්. අපේ දුක බලලා අපට පිහිට වන ලෙසට රජයෙන් ඉල්ලා සිටිනවා'' යැයි ඔහු පැවැසීය. මේ අහිංසක යුවළගේ සතුට වෙනුවෙන් යමක් කළ හැකි වුවහොත් එය ලොකු පින්කමක් වනු ඇත, ඔවුන්ගේ දුරකතන අංකය 0711962535

අපිට පසුගිය කාලයේ මහවැලි කුඹුරක් දීමට නියමිතව තිබුනා. දේශපාලන හේතු නිසා ලැබුණේ නෑ, අපි දැන් නිවෙස අසල කුඹුරක් වැඩ කරලා ජීවත් වෙනවා. අපි දෙන්නම ලෙඩ්ඩු. අධිරුධිර පීඩනය, දියවැඩියාව ආදී රෝග වලින් පෙළෙනවා. ඉතා අමාරුවෙන් වේල පිරිමහගෙන අපි දෙන්නා ජීවත් වෙනවා. අපි ගැන හොයන්න බලන්න කෙනෙක් නෑ, අබලන් වූ නිවෙස වෙනුවට මියයාමට පෙර උළු සෙවිලි කළ නිවෙසක ජීවත් වීමේ සිහිනය ඉටුකරගන්න හැකිවෙනවා නම් ලොකු පිනක්. අපේ දුක බලලා අපට පිහිට වන ලෙසට රජයෙන් ඉල්ලා සිටිනවා'' යැයි ඔහු පැවැසීය. මේ අහිංසක යුවළගේ සතුට වෙනුවෙන් යමක් කළ හැකි වුවහොත් එය ලොකු පින්කමක් වනු ඇත, ඔවුන්ගේ දුරකතන අංකය 0711962535
රනිල්ට එරෙහිව විශ්වාස භංගයක් ?
අගමැති රනිල් වික්රමසිංහ මහතාට එරෙහිව විශ්වාසභංග යෝජනාවක් ගෙන ඒමට එජාප මන්ත්රී කණ්ඩායමක් සූදානමින් සිටින බව එක්සත් ජාතික පක්ෂ රාජ්ය ඇමැති පාලිත රංගේ බන්ඩාර මහතා ඊයේ (26) සඳහන් කර තිබුනා.
රනිල්ට එරෙහිව එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයේ වෙනසක් කළ යුතුයි. එජාපයේද පුර්ණ වෙනසක් සිදු කළ යුතුයි. මෙය ආණ්ඩුවේ පුත්තලමේ ජනතාවගේ හඬ නොවෙයි. ශ්රී ලංකාව පුරාම ඉන්න එක්සත් ජාතික පාක්ෂිකයන්ගේ හඬ බවද ඇමතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
රුසියාවට එරෙහි ඔලිම්පික් තහනම ඉවතට...
මෙවර ශීත සෘතු ඔලිම්පික් උළලේදී සැලසුම් සහගත ලෙස තහනම් උත්තේජක භාවිතය පිළිබඳ චෝදනා එල්ල නොවීම නිසා රුසියාවට එරෙහි ඔලිම්පික් තහනම ඉවත් කර තිබේ. අන්තර් ජාතික ඔලිම්පික් කමිටුව විසින් මෙතෙක් කාලයක් ඔවුන්ට එහිව පනවා තිබූ තහනම ඉවත් කිරීමට ඒ අනුව එම කමිටුව තීරණය කර ඇත. කෙසේ වෙතත් මෙවර ශීත සෘතු ඔලිම්පික් උළෙලේ සමාප්ති උත්සවය සඳහා ද රුසියානු ධජය යටතේ ගමන් කිරීමට රුසියානු ක්රීඩකයන්ට ඔලිම්පික් කමිටුව විසින් අවස්ථාව ලබාදී නොතිබිණි. 2014 වසරේ පැවති සෝචි ඔලිම්පික් උළෙලේදී රාජ්ය සහාය සහිතව තහනම් උත්තේජක භාවිත කළ බවට ඔප්පු වීම හේතුවෙන් ඔවුන්ට එරෙහිව එම තහනම පැනවිණි.
මෙවර ස්වාධීන කණ්ඩායමක් ලෙස ශීත සෘතු ඔලිම්පික් උළෙලට සහභාගි වූ රුසියානු ක්රීඩක ක්රීඩිකාවන් අතරින් දෙදෙනෙකු තහනම් උත්තේජක ගත් බවට චෝදනා එල්ල වී තිබිණි. ඔවුන් තහනම් උත්තේජෙන පරික්ෂණ වලින් අසමත් වීම නිසා රුසියානු තහනම ඉවත් කිරීමට නැවත වරක් සලකා බැලිය යුතු බව ජාත්යන්තර ඔලිම්පික් කමිටු සභාපති තෝමස් බැව් ප්රකාශ කර තිබිණි. නමුත් අවසානයේ තීරණය වුණේ ඔවුන් දෙදෙනා සැලසුම් සහගතව උත්තේජක ලබාගෙන නොමැති බවය. ඒ සඳහා රුසියානු ඔලිම්පික් කමිටුවේ මැදිහත්වීමක් සිදු වී නොමැති බවද තහවුරු වීමත් සමග රුසියාවට එරෙහි ඔලිම්පික් තහනම ඉවත් කිරිමේ තීරණයට එළඹ තිබණි.
Subscribe to:
Posts (Atom)






























