Wednesday, July 31, 2024

බේකරිවලින් 25%ක්ම නිපදවන්නේ අඩු බර පාන්



කීර්ති ප්‍රනාන්දු


සමස්ත බේකර්වලින් 25%ක් පමණ බේකර්වල නිපදවනු ලබන්නේ ග්‍රෑම් 450ට වඩා අඩු බර පාන් බව සමස්ත ලංකා බේකර් හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පැවසීය .මෙම අඩුබර පාන් නිපදවන බේකරිවල නිෂ්පාදන කටයුතු මාස 06 කටවත් තහනම් කරන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවද ඔහු කීය.මේ අතර ඇතැම් බේකරිවල නිපදවන පාන් ග්‍රෑම් 380, 390, 400, 420, වැනි බර ප්‍රමාණයෙන් යුක්ත බව පාරිභෝගිකයෝ පවසති .


මෙම අඩුබර පාන් නිපදවීම හා අලෙවි කිර්ම පිළිබඳව කළ විමසීමකදී මෙම කරුණු අනාවරණය කළ සභාපති ජයවර්ධන මහතා අඩුබර පාන් නිපදවන බේකරිවලට විරුද්ධව ක්‍රියා කිරීමට පවතින නීති ර්ති සහ නිලධාරීන් කිසිසේත් ප්‍රමාණවත් නොවන බවත්, අඩුම තරමින් අඩුබර පාන් නිපදවන බේකර්වලට විරුද්ධව ක්‍රියා කිර්ම සඳහා පොලීසියට බලය ලබා දෙන ලෙස රජයෙන් ඉල්ලා සිටින බවත් පැවසීය .අඩුබර පාන් නිපදවීම සම්බන්ධව කළ විමසීමකදී පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරියේ වැටලීම් සහ විමර්ශන අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතා පැවසුවේ එම පාන් නිපදවන බේකර් හිමියන්ට සහ අලෙවි කරන වෙළෙඳුන්ට විරුද්ධව දැඩි නීතිමය s ක්‍රියාමාර්ග ගන්නා බවය .


පාන් අලෙවි කරන බේකරිවල මෙන්ම වෙළෙඳසැල්වල පාන්වල බර කිරා බැලීම සඳහා තරාදියක් අනිවාරේයන්ම තිබිය යුතු අතර තරාදියක් නොමැති බේකරි සහ වෙළෙඳසැල්වලට විරුද්ධව නීතිමය පියවර ගන්නා බවත්, පාන් සම්බන්ධව වැටලීම් අධිකාරියේ විමර්ශන නිලධාර්න් විසින් අඛණ්ඩවම සිදුකරන බවත් අධ්‍යක්ෂ සංජය ඉරසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.


උදරයේ පුළුන් හා ගෝස් ගුලි ඉතිරිකර මැසුවාට ලක්ෂ 30ක වන්දියක් ගෙවන්න



සිසේරියන් සැත්කමකට ලක් කළ තරුණ කාන්තාවකගේ උදරයේ 'පුළුන් හා ගෝස්” ගුලි ඉතිරිකර මසා දමා නොසැලකිලිමත් අන්දමින් කටයුතු කර ඇගේ ජීවිතය අනන්තරාදායක තත්ත්වයට පත් කිර්ම සම්බන්ධයෙන් සැත්කම කළ විශේඥ වෛද්‍යවරයාට හා ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලකට රුපියල් ලක්‍ෂ 30ක වන්දියක් ගෙවීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (30දා) නියම කළේය.


සැත්කම කළ විශේෂඥ වෛද්‍යවරයාගේ හා ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලේ නොසැලකිල්ල හේතුවෙන් මාස 05කට අධික කාලයක් තමන්ට විඳීමට වූ අනේක වූ දුක් කරදර සඳහා රුපියල් කෝටියක වන්දියක් අයකර දෙන්නැයි ඉල්ලා පැවරූ නඩුව සම්බන්ධයෙන් පවැති දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව පැමිණිලිකාර මවගේ වාසියට තීන්දුව දුන් දිසා විනිසුරුවරයා සැත්කම කළ විශේඥ වෛද්‍යවරයා සහ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහල එක්ව පැමිණිලිකාරියට රුපියල් ලක්‍ෂ 30ක වන්දියක් ගෙවිය යුතු බවට නියම කළේය.


කැලණිය දළුගම ජොනික්වත්තේ පදිංචි එම්.සී.ටී.ඩී. පෙරේරා මහත්මිය ගොනු කළ නඩුවක් විභාග කිරීමෙන් අනතුරුව මෙලෙස වන්දි ගෙවීමට නියම කරන ලද්දේ එම නඩුවේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කර සිටි විශේඥ වෛද්‍ය සී. වර්ණකුලසූරිය මහතා සහ කොළඹ 10 නොරිස් කැනල් පාරේ සෙන්ට්‍රල් රෝහලටය.23 හැවිරිදි වියේ පසුවූ පෙත්සම්කාර පෙරේරා මහත්මිය ඇගේ දෙවැනි දරු ප්‍රසුතිය සඳහා විශේඥ වෛද්‍ය සී. වර්ණකුලසූරිය මහතා යටතේ 2016 ජනවාරි 03වැනිදා සෙන්ට්‍රල් රෝහලට ඇතුළත් කළ බවත්, එදිනම කළ සිසේරියන් සැත්කමක් මඟින් ඇය නිරෝගී දරුවකු බිහිකළ බවත් දැනුම් දුන් නීතිඥ සමන්ති ගමගේ මහත්මිය දරුවා බිහිකිරීමෙන් අනතුරුව දිගින් දිගටම අධික වේදනාවක් සමඟ විවිධ සංකූලතා මතුවීම හේතුවෙන් මේ පිළිබඳ විශේඥ වෛද්‍ය සී. වර්ණකුලසූරිය මහතාට අවස්ථා කිහිපයකදීම දැනුම් දුන්නත් ඔහු ඒ පිළිබඳ නිසි සැලකිල්ලක් දක්වා නැතැයිද සඳහන් කළාය.


ඇගේ රෝගී තත්ත්වය වඩාත් දරුණු අතට පත්වීම නිසා ඇය විශේඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා හමුවීමෙන් අතුරුව කළ ස්කෑන් පරීක්‍ෂණයේදී ඇගේ බඩවැල් ආශ්‍රිතව පුළුන් වැනි ද්‍රව්‍යයක් හඳුනා ගැනීම නිසාත් ඇගේ රෝගී තත්ත්වය උත්සන්න වීම නිසා විශේඥ වෛද්‍ය මහාචාර්ය මොහාන් ද සිල්වා මහතා ලවා වහාම ශල්‍යකර්මයකට ලක් කළ බව දැනුම් දුන් නීතිඥ සමන්ති ගමගේ මහත්මිය එම ශල්‍යකර්මයේදී ඇගේ කුස තුළ තිබී ‘පුළුන් හා ගෝස්’ ගුලි දෙකක්ද ඒ සමඟ ඇලී තිබූ බඩවැලේ කොටසක්ද ඉවත් කළ බව දැනුම් දුන්නාය.


විශේඥ වෛද්‍ය සී. වර්ණකුලසූරිය මහතා නොසැලකිලිමත් අන්දමින් ශල්‍යකර්මය කිරීම හේතුවෙන් මෙන්ම ඒ පිළිබඳ කළ පැමිණිලි පවා නොසලකා හැරීම නිසා මේ තත්ත්වය උද්ගත වූ බවත්, ඇයට මාස 05ක පමණ කාලයක් ගතවන තුරු කිසිවකුගේ පිහිටක් නොමැතිව ස්වාධීනව කටයුතු කිරීමට නොහැකි වූ බවත්, පවසන නීතීඥ සමන්ති ගමගේ මහත්මිය මේ සිද්ධිය හේතුවෙන් අලුත උපත් දරුවාට කිරි දීමට නොහැකි වූ බවත්, වැඩිමහල් දරුවා පිළිබඳ නිසි සැලකිල්ලක් දැක්වීමට ඇයට නොහැකි බවත් පෙන්වා දුන්නාය. 


සැත්කම කළ විශේඥ වෛද්‍යවරයාගේ හා ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලේ නොසැලකිල්ල හේතුවෙන් පෙත්සම්කාරියට මාස 05කට අධික කාලයක් පුරා විඳීමට සිදු වූ අනේක වූ දුක් කරදර පිළිබඳ නීතිඥ සමන්ති ගමගේ මහත්මිය දැනුම් දුන් අතර මේ සම්බන්ධයෙන් පැවැති නඩු විභාගයේදී පැමිණිලිකාරිය වෙනුවෙන් විශේඥ වෛද්‍ය මහාචාර්ය අර්ජුන ද සිල්වා මහතා සාක්කි දෙමින් ඇගේ උදරයේ බඩවැල් ආශ්‍රිතව 'පුළුන් හා ගෝස්’ ගුලි තිබූ බව සනාථ කරමින් සාක්කි දුන්නේය.

ඉදිරිපත් වූ සාක්කි සලකා බැලීමෙන් අනතුරුව පැමිණිල්ලේ වාසියට තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා පැමිණිලිකාරියට රුපියල් ලක්‍ෂ 30ක වන්දියක් ගෙවීමට විශේඥ වෛද්‍යවරයාට හා ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලට නියම කළේය. පෙත්සම්කාර පෙරේරා මහත්මිය වෙනුවෙන් නීතිඥ ප්‍රාර්ථනා ධර්මරත්න මහත්මියගේ උපදෙස් මත නීතිඥ ඉමාෂා කාවින්දි මහත්මිය සමඟ නීතිඥ සමන්ති ගමගේ මහත්මිය පෙනී සිටියාය.


මරණය හා දේපොළ අහිමිවීම් පෙන්වා ලක්ෂ 20ක රන් ආභරණ සොරාගත්තැයි කපු කාන්තාවක් දැලේ

 



ඉදිරියේදී මරණය හෝ දේපළ අහිමිවීමේ තර්ජනයක් ඇතිවන බවට කාන්තාවක බිය ගන්වා මුලා කර රුපියල් ලක්ෂ විස්සක් පමණ වටිනා රන් ආභරණ තොගයක් සොරා ගත් බව කියන ශාන්තිකර්ම සිදු කිර්මේ යෙදී සිටි එක්දරු මවක අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලීසිය සඳහන් කරයි. මිනුවන්ගොඩ කෝපිවත්ත ප්‍රදේයේ කුලී නිවසක පදිංචිව සිටින කාන්තාවක මෙසේ අත්අඩංගුවට ගනු ලැබ තිබේ. මෙම කාන්තාව මිනුවන්ගොඩ කනත්ත පාර පදිංචිව සිට ඇති අතර එම ඉඩම් දේපල විකුණා කාලයක් තිස්සේ නිල්පනාගොඩ නිවසක කුලී පදනම මත රැඳී සිට ඇත. එසේ සිටින අතර අසල්වැසි නිවසක පදිචිව සිටි 85 හැවිරිදි වයෝවෘද්ධ මාතාවක සහ ඇගේ 63 හැවිරිදි අවිවාහක දියණිය සමීපව ඇසුරු කරමින් මිත්‍රත්වයක් ගොඩ නගා ගෙන තිබේ.


මෙම අවිවාහක කාන්තාවට ඉදිරියේදී මරණය හෝ දේපල අහිමිවීමේ අවදානමක් ඇති බවට මෙම කපු කාන්තාව වරින් වර කියා ඇය මුලාවට පත් කර ඇතැයිද ජීවිතය හා දේපල ආරක්ෂා කර ගැනීමට සෙත් ශාන්තියක් කරදිය හැකි බව දන්වා තිබේ. මෙම කාන්තාව කෝපිවත්ත කුලී නිවසට යාමෙන් පසු ද වරින් වර පෙර කී කාන්තාවට කතා කරමින් ඇතිවිය හැකි තර්ජනය ගැන අනතුරු අඟවා තිබේ. 


ඒ අනුව එම කාන්තාව ශාන්තිකර්මයක් කර ගැනීමට කැමැත්ත පළ කර ඇති අතර ඇයගේ අතේ ඇති මුද්ද ද ඇතුළුව සියලු රන් ආභරණ සෙත් ශාන්තියට පත් කිර්මට ඇවැසි බව කියා රතු රෙද්දක් දී එහි ඔතාගෙන එන ලෙසට දන්වා ඇත. කපු කාන්තාව ඉකුත් 28දා රාත්‍රි දේවාලයට එන ලෙස දන්වා මව සහ දියණිය කැදවාගෙන ඒමට ත්‍රිරෝද රථයක්ද එවා ඇතැයි හෙලිවී ඇත. කාන්තාව පවුම් දහයක් පමන වන රන් ආභරණ ආදියද මල්ලක දමාගෙන කපු කතගේ දේවාලයට ගිය පසු මල්ල එහි තැබීමට පියවර ගෙන ඇති අතර ත්‍රීරෝද රියේම ගොස් තුන් මං හන්දියක පොල් ගෙඩි තුනක් ගසා එන ලෙසට කපු කාන්තාවගෙන් උපදෙස් ලැබී ඇත.


එසේ කර ආ පසු තැඹිලි හා වතුර පානයට දි ඇති අතර ඒවා පානයෙන් පසු කාන්තාව තරමක සිහි විකල් තත්තවයකට පත්ව තිබේ.රාත්‍රි 11.30 ට පමණ ඔවුන්ව ත්‍රිරෝද රථයෙන්ම පිටත් කරවා ඇති අතර කපු කාන්තාව විසින් කාන්තාව ගෙනා මල්ල ඇය අතට දී ඇතැයි පොලීසිය සඳහන් කරයි. අතරමගදී ඇය ප්‍රකෘති තත්තවයට පත්ව රන් ආභරණ සොයා නැති බව දැන යළි ආපසු කපු කාන්තාව හමුවී ඒ බව දන්වා ඇත. කපු කාන්තාව කිසිත් නොදන්නා බව ප්‍රකාශ කර ඇති අතර පසු දින මේ බව පොලීසියට පැමිණිලි කර තිබේ.ඒ අනුව අපරාධ පරීක්ෂක නිලධාරීන්ගේද සහාය ඇතිව විමර්ශන පැවැත්වූ පොලීසිය සිද්ධියට සම්බන්ධ සැකකාරිය අත්අඩංගුවට ගනු ලැබ තිබේ. අනතුරුව සැකකාරිය අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු ඇප මත මුදා හැර ඇත. 


රනිල් ශක්තිමත් කිරිමට පොහොට්ටුව වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කළාදැයි සැකයක්



උතුරු නැගෙනහිර ඡන්ද ලබා ගැනීමට රනිල් වික්‍රමසිංහට ඇති බාධාව ඉවත් කිරිිම වෙනුවෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වෙනම අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීමට තීරණය කළ දැයි සැකයක් මතුවන බව ජිවිතුරු හෙළ උරුමය නායක හා සර්වජන බලය විධායක සභික පා.ම. නීතිඥ උදය ගම්මන්පිල මහතා පවසයි.රාජපක්ෂ පවුලේ අය ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමග සිටීමෙන් උතුරු නැගෙනහිර ඡන්ද ලබා ගැනීමට හා සමගි ජන බලවේගයේ මන්ත්‍රීවරුන්ට රනිල් වික්‍රමසිංහ මහතා සමග එකතු වීමට බාධාවක් වන බැවින් එම බාධාව ඉවත් කර, ඔහුව තවදුරටත් ශක්තිමත් කිර්ම වෙනුවෙන් මෙම තීරණය ගත්තා විය හැකි යැයිද ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය.


ගෝඨාභය රාජපක්ෂ මහතාට ඡන්දය දුන්න හැටනව ලක්ෂයක් ජනතාවගේ අපේකෂාවන් ඉටු කළ හැකි අපේක්ෂකයෙක් මෙතෙක් ජනාධිපතිවරණයට ඉදිර්පත් කර නොමැති බවද ගම්මන්පිල මහතා පැවසුවේය. ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (30දා) සර්වජන බලය සන්ධානය විසින් පැවැත්වූ මාධ්‍ය හමුවේදීය.


එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රීවරයා,


“ඉදිරි ජනාධිපතිවරණයේදී තමන්ට සහාය දෙන්න කියලා ජනාධිපතිවරයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට එවූ ලිපිය එම පෙරමුණ විසින් ප්‍රතික්ෂේප කරමින් එම පෙරමුණෙන්ද වෙනම ජනාධිපති අපේක්ෂකයෙක් ඉදිරිපත් කරනවා කියලා තීරණයක් අරන් තියෙනවා.මේක දුර්වල රනිල් තවදුරටත් දුර්වල කරන්න කරපු දෙයක්ද, එහෙමත් නැත්නම් දුර්වල රනිල්ව ශක්තිමත් කරන්න කරපු දෙයක්ද කියලා සාධාරණ සැකයක් අපිට තියෙනවා.


රාජපක්ෂවරුන් ආණ්ඩුවේ සිටීම තමයි දෙමළ ඊළම වෙනුවෙන් පෙනී සිටින දෙමළ ජාතික සන්ධානය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දැක්වීමට තියෙන ලොකුම බාධාව.ඒ වගේම කොවිඩ් කාලයේ මුස්ලිම් මෘත දේහයන් පිලිස්සීමට කටයුතු කළ රාජපක්ෂවරු ආණ්ඩුවේ සිටීම තමයි රනිල් වික්‍රමසිංහ මහත්තයාට සහාය දැක්වීමට සමහර මුස්ලිම් පක්ෂවලට තිබුණු බාධාව. ඒ වගේම සමගි ජන බලවේගයට එකතුවෙලා ඉන්න පිරිස් රනිල් වික්‍රමසිංහ මහත්තයව අතෑරියේ ඔහුට දිනන්න බෑ කියලා මිසක, රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රතිපත්ති රටට හානි කරයි කියලා නෙවෙයි. මෙලෙස ඉවත් වුණු සජබයේ අයට නැවත රනිල් වික්‍රමසිංහ මහතා ගාවට යන්න තිබුණු බාධාව තමයි රාජපක්ෂවරුන් රනිල් වික්‍රමසිංහ මහතා සමග සිටීම. ඒ නිසා රාජපක්ෂවරුන් රනිල් වික්‍රමසිංහ මහතාට යම් ප්‍රමාණයක ශක්තියක් ලබාදීම සඳහා මේ ඉවත්වීම සිදු කළාද යන්නත් සැකයක් තියෙනවා.” යනුවෙන් පැවසීය.

 නවෝද්‍යා පවනි

ත්‍රිරෝද රියැදුරු ඝාතනයේ තවත් සැකකරුවෙක් කොටුවෙයි


 බිමල් ශශ්‍යාමන් ජයසිංහ


කුරුඳුවත්ත වෝම්පෙදෙස ජාතික දන්ත රෝහල ඉදිරිපිට දී ත්‍රිරෝදරථ රියැදුරකුට පිහියකින් ඇන ඝාතනය කර පලා ගිය තිදෙනකුගෙන් යුත් කල්ලියේ අනෙක් සාමාජිකයාත් ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.එම සැකකරු සමග හොරෙයින් මත්කුඩු මිලිග්‍රෑම් 13200 ක් පොලිස් බාරයට ගෙන ඇත. ප්‍රධාන සැකකරු ඇතුළු තවත් සැකකරුවකු මීට දින කිහිපයකට ඉහතදී අත්අඩංගුවට ගෙන ඝාතනයට යොදාගත් උල් පිහිය සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 30 මිලිග්‍රෑම් 130 ක් කොල්ලකන ලද ජංගම දුරකතනය සමඟ පොලිස් භාරයට ගත් බව පොලිසිය කියයි.


ඝාතනයට ලක්වූයේ ගොඩක වෙල බලවින්න පදිංචි ඩී.ඩබ්ලිව්. චමින්ද කුමාර 34 යන අයයි.ඝාතනය සම්බන්ධයෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ආර්.එම්.ආර්. චතුරංග මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් එදින සිට දිවා රෑ නොතකා සීසීටීවී දර්ශන 70 කට අධික ප්‍රමාණයක් කුරුඳුවත්ත වෝඩ් ප්‍රදේශයේ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශය දක්වා පරීක්ෂා කර මෙම සැකකරුවන් සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන අත්අඩංගුවට ගැනීම් කළ බව පොලිසිය කියයි.


අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා අධිකරණය වෙත ඉදිරිපත් කළ දින හතක කාලයකට රැඳවුම් නියෝග ලබාගෙන ප්‍රශ්න කරමින් සිටින අතරවාරයේදී මෙම සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය කරගෙන අත්අඩංගුවට ගෙන තිබිණි.සැකකරු 47 හැවිරිදි කහටගස්දිගිලිය පදිංචිකරුවෙකි.


පොහොට්ටුවේ සීතල යුද්ධයක්




ජනාධිපති රනිල්වික්‍රමසිංහ මහතාට සහාය දක්වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ කණ්ඩායම සහ සහාය නොදක්වන කණ්ඩායම අතර මන්ත්‍රීවරුන් දිනා ගැනීමේ සීතල යුද්ධයක් ආරම්භ වී ඇතැයි එම පක්ෂ ආරංචි මාර්ගවලින් පැවැසේ.මෙම සීතල යුද්ධය ආරම්භ වී ඇත්තේ ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ දේශපාලන මණ්ඩලය ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය නොදී වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගත් තීරණය සමග බව ද එම ආරංචි මාර්ග සඳහන් කළේය.


මන්ත්‍රීවරුන් දිනා ගැනීම සඳහා එම දෙපාර්ශ්වයම මන්ත්‍රීවරුන් සමග රහසිගත සාකච්ඡා අරඹා ඇතැයි ද දැනගන්නට ඇත. ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන් වැඩි පිරිසක් දැනට සහාය දීමට ඉදිරිපත්ව සිටින්නේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාටය.එසේම ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ වෙනම අපේක්ෂකයකු ඉදිරිපත් කිරීමට ගත් තීරණය රටේ ජනතාව ගැන හිතා ආපස්සට හරවන ලෙස එම පක්ෂය නියෝජනය කරන මැති ඇමැතිවරුන් රැසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගෙන් ඊයේ ඉල්ලීමක් කර ඇත.මේ අතර ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ ජනාධිපති අපේක්ෂකයා මේ සතියේදී ප්‍රකාශයට පත් කෙරේ.

 සුජිත් හේවාජුලිගේ

ජනාධිපතිවරණය තියන්න වෙනවා නොතිබ්බොත් නොවැම්බර් මැදවෙද්දී ජනපති ගෙදරම තමයි

 


 පීති ජයවර්ධන


ජනාධිපතිවරණය මේ වසරේ ඔක්තෝබර් 17 වැනිදාට පෙර පැවැත්විය යුතුයි. දිව්‍ය ලෝකෙ කඩන් වැටුණත් ජනාධිපතිවරණය තියන්න වෙනවා. යම් විදියකින් ජනාධිපතිවරණයතියන්න බෑ කියල ජනාධිපතිවරණය නොපැවැත්වුවත් වත්මන් ජනාධිපතිවරයාට නොවැම්බර් 17 වැනිදායින් පසු එක තත්පර පහක්වත් බලයේ සිටීමට නොහැකි යැයි මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා පැවැසීය.මුලටියන කලාපයේ ශිෂ්‍ය පාර්ලිමේන්තුවේ නියෝජිතයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කඹුරුපිටිය උපාලි විජයවර්ධන සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්විණි. ඉන් අනතුරුව මාධ්‍යයට අදහස් දැක්වූ මැතිවරණ කොමිෂන් සභාවේ හිටපු සභාපති මහින්ද දේශප්‍රිය මහතා මෙසේ ද කීය. 


පොලිස්පතිතුමාගේ  රාජකාරි ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අත්හිටුවා තියෙනවා. ඒ නිසා ජනාධිපතිවරයාගේ වගකීම තමයි වැඩ බැලීමට පොලිස් නිලධාරියකු පත් කිරීම. ඒ කාරණය සිදු නොකර ඡන්දය පැවැත්වීමට නොහැකිනම් වරුණ කරුණාතිලක සහ තවත් අයෙකුට එරෙහිව මාර්ක් ප්‍රනාන්දු විනිශ්චකාරවරයා දී තිබෙන තීන්දුව අනුව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසලා ඒ බාධාව ඉවත් කර ගැනීමේ හැකියාව මැතිවරණ කොමිෂන් සභාවට තියෙනවා. මැතිවරණ කොමිෂන් සභාව ඒක කරාවි.මුලටියන කලාපයේ මානව ශාස්ත්‍ර විෂය භාර අධ්‍යක්ෂ ජේ.පී. සියාසිංහ, විෂයභාර ගුරු උපදේශක සුගත් විදානගම යන මහත්වරුන් ඇතුළු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.


දයාසිරිලාගේ පක්ෂයේ සහාය සජිත්ට



මෙවර ජනාධිපතිවරණයේ දී සිය පක්ෂයේ සහාය සමගි ජන බලවේගයට ලබාදෙන බව මානුෂීය ජනතා සන්ධානයේ ප්‍රචාරක ලේකම් සමන් ප්‍රියන්ත විජේවික්‍රම මහතා ඊයේ (30) පෙරවරුවේ කරන්දෙණියේ පැවති මාධ්‍ය හමුවකදී කීවේය.මානුෂීය ජනතා සන්ධානයේ නායක ශ්‍රී  ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර මහතාගේ පූර්ණ අනුමැතිය සහ අනුබලය මේ සඳහා ලැබී ඇති බව ද විජේවික්‍රම මහතා කීය.


සමගි ජන බලවේගයේ නායක විපක්ෂ නායක ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතා සමග සිය පක්ෂය සාකච්ඡා වට කිහිපයක්ම පැවැත්වූ බවත් ඒ හැම සාකච්ඡා වටයක්ම ඉතා සාර්ථක අන්දමින් නිමාවට පත්වීමත් සමගම මේ නව තීරණයට මානුෂීය ජනතා සන්ධානය පැමිණි බව ද විජේ වික්‍රම මහතා කීවේය. මෙවර ජනාධිපතිවරණයේදී අනිවාර්යයෙන්ම ජනාධිපති වනුයේ සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතා බවත් එම ජනතා තීන්දුවට සිය පක්ෂය ද හිස නමා ආචාර කරන බවත් එසේ ආචාර කරන ගමන්ම සිය පක්ෂය ද ඊට දායක වූවේ යැයි කියන සතුට පක්ෂයේ නායක දයාසිරි ජයසේකර මහතා සමග පක්ෂ සාමාජිකයන්ද භුක්ති විදින බව ද විජේවික්‍රම මහතා කීවේය.


මානුෂීය ජනතා පක්ෂය සමග ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ඇතුළු පක්ෂ විසිදෙකක් මේ වනවිට සන්ධානගත වී ඇති බවත් මේ සියලු පක්ෂයන්ගේ නායකයා ලෙස දයාසිරි ජයසේකර මහතා කටයුතු කරන බවත් මෙවර ජනාධිපතිවරණයේ දී ඒ මහතාගේ පූර්ණ ආශීර්වාදයෙන් සජිත් ප්‍රේමදාස මහතාට ජනාධිපතිවීමට සිය පක්ෂයෙන් විශාල දායකත්වයක් ලැබෙන බවත් විජේවික්‍රම මහතා කීය.මෙවර ජනාධිපතිවරණයේ දී එක්සත් ජාතික පක්ෂයේ රනිල් වික්‍රමසිංහ, ජාතික ජන බලවේගයේ අනුර කුමාර දිසානායක යන මහත්වරුන්ට මානුෂීය ජනතා සන්ධානයේ කිසිදු සහායක් නොලැබෙන බවත් පූර්ණ සහාය සමගි ජන බලවේගයේ සජිත් ප්‍රේමදාස මහතාට පමණක් බවත් එම සහයෝගය ලබාදීමේ ගිවිසුම ඉදිරි දින කිහිපයේදී අත්සන් කරනු ලබන බවත් විජේවික්‍රම මහතා මෙහිදී වැඩිදුරටත් කීවේය.

 එම්. සුසිල් ප්‍රියන්ත

බලු සුරතලාට වැඩියෙන් කන්නදී හිමිකාරිය දෙමසක් හිරේ

 


 ඕක්ලන්ඩ්හිදීය (නිවුස්වීක්)


බලු සුරතලාට අධික ලෙස ආහාර දුන්නේ යැයි කියන චෝදනාවට එම බලු සුරතලාගේ හිමිකාරියට නවසීලන්ත අධිකරණයක් මාස දෙකක සිරදඬුවමක් නියම කළේය.නවසීලන්තයේ ඕක්ලන්ඩ් දිස්ත්‍රික් අධිකරණයක් මෙසේ එම තැනැත්තියට මාස දෙකක සිර දඬුවමක් නියම කළේ, ඇය ඇගේ ‘නූගි’ නමැති බලු සුරතලාට සීමාවකින් තොරව ආහාර දීමත් එහි ප්‍රතිඵලයක් ලෙස එම බලු සුරතලා අධික ලෙස තරබාරු වී මියයෑමත් නිසාය.


මිය යන විට නුගිගේ බර කිලෝ 54 කි. බලු සුරතලා කොතරම් තරබාරුවී ද යත්, වෙද නළාවකින් ‘නූගී'ගේ හෘද ස්පන්දනය පවා බැලීමට පශු වෛද්‍යවරුන්ට නොහැකි වූ බව ද පැවැසෙයි. නඩු තීන්දුව පසුගිය දා ප්‍රකාශයට පත් කෙරුණු අතර, ‘නූගි' මියගොස් ඇත්තේ 2021 දීය.හිමිකාරිය සීමාවකින් තොරව ආහාර දීම හේතුවෙන්, ‘නූගි' රෝගී වෙද්දී, ඕක්ලන්ඩ් නුවර 'ප්‍රිවෙන්ෂන් ඔෆ් කෲවෙල්ට් ටු ඇනිමල්ස්' ආයතනය, පශු වෛද්‍යවරුන්ගෙන් ලැබුණු තොරතුරු අනුව ක්‍රියාත්මක වී, පොලිසියේ ද සහාය ලබා ගනිමින්, නූග' හිමිකාරියගෙන් වෙන් කර, රැකවරණය දුන් බව පැවැසෙයි.


කෙසේ නමුත් ඒ වන විට, ‘නූගි' දැඩි අසාධ්‍ය තත්වයෙන් පසුවූ අතර, ‘නූගි' මියගොස් ඇත්තේ, 'ප්‍රිවෙන්ෂන් ඔෆ් කෲවෙල්ටි ටු ඇනිමල්ස්' ආයතනයේ රැකවරණය යටතේ සිටිද්දී යැයි ද මාධ්‍ය පවසයි.'නූගි ' වෙනුවෙන් පෙනී සිටිමින් ඇගේ හිමිකාරියට චෝදනා කරමින්, ඇයට එරෙහිව නීති මගින් ක්‍රියා කිරීමට මැදිහත් වූයේ ද ' ප්‍රිවෙන්ෂන් ඔෆ් කෲවෙල්ටි ටු ඇනිමල්ස්' ආයතනයයි. ප්‍රිවෙන්ෂන් ඔෆ් කෲවෙල්ටි ටු ඇනිමල්ස්' අධිකරණයට පෙන්වා දී ඇත්තේ, නූගි'ගේ හිමිකාරිය, දිනකට කුකුළු මස් කැබලි අටක් හෝ දහයක් ද සුනඛයන්ට දෙන විස්කෝතු අහුරු පිටින් ද‘නූගි’ට දී ඇති බවය.

නූගි'ගේ මරණ පරීක්ෂණයක් ද කෙරුණු බවත්, අධික ස්ථුලභාවයෙන් පෙළුණු ‘නූගී'ගේ අක්මාව ඉදිමී නරක් වී තිබුණු බවත් පශු වෛද්‍යවරුන් ඔවුන්ගේ වාර්තාවේ සඳහන් කර ඇත.සිර දඬුවමට අමතරව, හිමිකාරියට, නවසීලන්ත ඩොලර් 720 ක දඩ මුදලක් ද නියම කළ අතර, බල්ලන් ඇති කිරීමට ඇයට වසරක කාලයක තහනමක් ද පැනවුණු බව පැවැසෙයි.


බසයේදී හෙදිය අත ගාලා -හිටපු විදුහල්පති අත්අඩංගුවට

 


සුමිත් පොතුපිටිය


බස් රථයක් තුළදී 25 හැවිරිදි රූමත් හෙද නිලධාරිනියකගේ ළැම පෙදෙස ස්පර්ශ කළ බව කියන 63 හැවිරිදි විශ්‍රාමික විදුහල්පතිවරයකු අත්අඩංගුවට ගත් බව කළුතර දකුණ පොලිසිය පවසයි.පැමිණිලිකාර හෙදිය කොළඹ සිට මාතර බලා ධාවනය වූ බසයේ ගමන් කරන අතරතුර ඇය අසල වාඩිවී සිටී සැකකරු ළැම පෙදෙස ස්පර්ශ කළ බවට කොන්දොස්තරවරයාට කළ දැනුම් දීමක් මත බසය කළුතර දකුණ පොලිසිය ඉදිරිපිට නතර කර කළ දැනුම් දීමෙන් පසු සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.


මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කරන්දෙනිය ප්‍රදේශයේ පදිංචි 63 හැවිරිදි පුද්ගලයෙකු බවත්, ඔහු ගාල්ල ප්‍රදේශයේ රාජකාරි කළ විශ්‍රාමික විදුහල්පතිවරයෙකු බවත් පොලිසිය සඳහන් කරයි. සැකකරු කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතයි


මෛත්‍රී ඇතුළු කණ්ඩායමේ වාරණ 9ක් ඔක්:9 දාට දික්කරයි



රෝෂන් තුෂාර


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති, ලේකම් හා ජාතික සංවිධායක තනතුරු සඳහා නව නිලධාරීන් පත් කිරීමට පක්ෂ විධායක කමිටුව ගත් තීරණ ක්‍රියාත්මක කිරීම වලකාලමින් පක්‍ෂයේ හිටපු සභාපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඇතුළු නියෝජිතයන්ට නිකුත් කර තිබූ වාරණ නියෝග නවයක් ඔක්තෝබර් 09 වැනිදා දක්වා දීර්ඝ කිරීමට කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සඳුන් විතාන මහතා ඊයේ (30) නියම කළේය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර, ජාතික සංවිධායක දුමින්ද දිසානායක හා භාණ්ඩාගාරික ලසන්ත අලගියවන්න මහත්වරුන් විසින් හිටපු ජනපති මෛත්‍රීපාල සිරිසේන, සාරථි දුෂ්මන්ත, ෆයිසර් මුස්තාපා හා සරත් ඒකනායක යන මහත්වරුන් වගඋත්තරකරුවන් කරමින් අප්‍රේල් මාසයේදී පැවරූ නඩු තුන සඳහා නිකුත් කර තිබූ වාරණ මෙසේ දීර්ඝ කළේය.වාරණ නියෝගවලට එරෙහි විත්තියේ විරෝධතා ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණත් වග උත්තරකරුවන් විරෝධතා ඉදිරිපත් නොකිරීම හේතුවෙන් විරෝධතා ඉදිරිපත් කිරීමට දිසා විනිසුරුවරයා වගඋත්තරකරුවන්ට අවසන් වරට දින දුන්නේය.


ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ විධායක කමිටුව පසුගිය මාර්තු මස 30 වැනිදා රැස්වී ගත් තීරණ නීති විරෝධී බවට තීන්දුවක් ඉල්ලා මෙම නඩු තුන පවරා තිබිණි.කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළ පැමිණිලිකරුවන් දැරූ තනතුරුවලින් අත්තනෝමතික ආකාරයෙන් ඉවත් කිරීමට ගනු ලැබූ තීරණය නීති විරෝධී බවට තීන්දුවක් දෙන ලෙස ඉල්ලා – මෙම නඩු තුන ගොනුකර ඇත. පැමිණිලිකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ දරන තනතුරු විත්තිකරුවන් වෙත ලබාදීම හා එම තනතුරුවල කටයුතු කිරීමට එරෙහිව නියෝග නිකුත් කරන ලෙසද පැමිණිලි මගින් ඉල්ලා තිබිණි.


Tuesday, July 30, 2024

තැපැල් ඡන්ද අයදුම්පත් භාරගැනීම අගෝ. 05දා දක්වා




ජනාධිපතිවරණයට අදාළ තැපැල් ඡන්ද අයදුම්පත්‍ර ලබන මස 05 වැනි දින දක්වා භාර ගන්නා බැවින් එදිනට පෙර ලැබෙන සේ අයදුම්පත් ඉදිරිපත් කළ යුතු බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.මෙවර ජනාධිපතිවරණයේ තැපැල් ඡන්දදායකයන්ගේ පහසුව සඳහා ඡන්ද හිමි නාමලේඛන ස්ථාන කිහිපයක ප්‍රදර්ශනය කර තිබෙන බවද එම සභාව පෙන්වා දෙයි.


මේ අනුව පසුගිය 26 වැනි දින සිට සාමාන්‍ය කාර්යාල වෙලාවන්හිදී සියලුම දිස්ත්‍රික් ලේකම් කාර්යාල, ප්‍රාදේශීය ලේකම් කාර්යාල, ග්‍රාම නිලධාර් කාර්යාල, රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය, කම්කරු දෙපාර්තමේන්තුව,රේජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුව, තැපැල් මූලස්ථානය, ධීවර හා ජලජ සම්පත් අමාත්‍යාංශය හා නාගරික සංවර්ධන අධිකාරිය ඇතුළු කොළඹ දිස්ත්‍රික්කයේ රජයේ කාර්යාලවල මේ වසරට අදාළ ඡන්ද හිමි නාමලේඛනය ප්‍රදර්ශනය කර තිබෙන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.


සියලුම දිස්ත්‍රික්කවල තැපැල් ඡන්ද අයදුම්කරුවන් ඒ ඒ දිස්ත්‍රික්කයේ තෙරිම්භාර නිලධාරීන් වෙත එනම් දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලයේ ලිපිනයට යොමු කළ යුතු වේ.එක හා සමාන පුද්ගල නාම පවතින හෙයින් තමන්ගේ තොරතුරු වෙනත් අයෙකු ලවා පරීක්ෂා කොට තැපැල් ඡන්ද අයදුම්පත් සම්පූර්ණ කිරීමෙන් වළකින ලෙස තැපැල් ඡන්ද අයදුම්කරුවන්ගෙන් මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලීමක් කරයි. තැපැල් ඡන්ද පහසුකම් ලබාගැනීම සඳහා සම්පූර්ණ කළ යුතු වන අයදුම් පත් ඡන්දහිමි නාමලේඛන ප්‍රදර්ශනය කරනු ලබන ස්ථානවලින් හා දිස්ත්‍රික් මැතිවරණ කාර්යාවලින් නොමිලේ ලබාගත හැකි අතර, මැතිවරණ කොමිෂන් සභාවේ වෙබ් අඩවියෙන් ද ලබාගත හැකිය.


අයදුම් පත් භාරගැනීම අවසන් දිනයේ දී එනම් අගෝස්තු 5වැනි දින මධ්‍යම රාත්‍රී 12.00ට පෙර ඒවා නියමිත දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවලට ලැබිය යුතු අතර, එදිනට අයදුම්පත්‍ර තැපෑලට භාරදීම පමණක්, එම අයදුම්පත්‍ර පිළිගැනීම සඳහා හේතුවක් නොවන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි. තැපැල් ඡන්ද අයදුම්පත්‍ර භාරගැනීමේ අවසන් දිනය 2024.08.05 වැනි දින බැවින් එදිනට පෙර ලැබෙන සේ අයදුම්පත් ඉදිරිපත් කළ යුතුය.එදිනට පසු ලැබෙන අයදුම්පත් සලකා බැලීමකින් තොරව ප්‍රතික්ෂේප කරන බැවින් කඩිනමින් අයදුම්පත නියමිත සහතික කිරීමේ නිලධාරී මඟින් අදාළ දිස්ත්‍රික් තේම්භාර නිලධාර් වෙත යොමු කරන ලෙස ද මැතිවරණ කොමිෂන් සභාව ඉල්ලා සිටියි.

ඉන්දික හේවාවිතාරණ

ජූලි මාසයේ දින 28 තුළ ඩෙංගු රෝගීන් 4,062 ක් වර්තා වෙලා

 


ඉන්දික හේවාවිතාරණ


මාස හතරකට පසු මාසයක කාලයක් තුළදී වාර්තා වන වැඩිම ඩෙංගු රෝගීන්ගේ ප්‍රමාණය මේ මාසයේ ගෙවී ගිය දින 28ක කාලය තුළ වාර්තා වී තිබේ.මීට අමතරව මේ මාසය තුළදී ඩෙංගු රෝගය නිසා මරණ04ක් වාර්තා වී තිබෙන අතර, මේ අනුව ජනවාරි 01වන දින සිට මේ මස 28වන දිඝ දක්වා කාලය තුළදී ඩෙංගු මරණ 13ක් වාර්තා වී ඇත. මේ මාසයේ ගෙවී ගිය දින 28ක කාලය තුළදී ඩෙංගු රෝගීන් 4,062ක් වාර්තා වී තිබෙන අතර, පසුගිය මාසයේදී ඩෙංගු රෝගීන් 3,319ක් වාර්තා වී තිබේ. 


පසුගිය මැයි මාසයේදී ඩෙංගු රෝගීන් 2,647ක් වාර්තා වී තිබෙන අතර, අප්‍රේල් මාසයේදී රෝගීන්2,234ක් හා මාර්තු මාසය තුළදී ඩෙංගු රෝගීන් 3,615ක් වාර්තා වී තිබේ. පෙබරවාරි මාසයේදී රෝගීන් 6,007ක් හා ජනවාරි මාසයේදී රෝගීන් 10,417ක් වාර්තා වී තිබෙන බව සෞඛ්‍ය අංශ පෙන්වා දෙයි.වැසි සමග ඩෙංගු රෝගය පැතිර යාම ඉහළ යමින් තිබෙන බවත් මේ වන විට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස බලප්‍රදේශ 22ක ඩෙංගු අධිඅවදානම් මට්ටමින් පැතිර යන බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.


මේ වසරේ ජනවාරි 01වන දින සිට මේ මස 28 වන දින දක්වා කාලය තුළදී දිවයින පුරා ඩෙංගු රෝගීන් 32,301ක් වාර්තා වී තිබෙන අතර, මේ වසරේ ගෙවී ගිය කාලය තුළදී වාර්තා වන සමස්ත රෝගීන්ගෙන් 12,847ක් බස්නාහිර පළාත තුළින් වාර්තා වී තිබෙන අතර, එය සමස්ත රෝගීන්ගෙන් ප්‍රතිශතයක් ලෙස 39.8'කි. දිස්ත්‍රික්ක වශයෙන් සැලකීමේදී කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 7,613ක්, ගම්පහ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 3,453ක්, කළුතර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,781ක්, යාපනය දිස්ත්‍රික්කයෙන් රෝගීන් 4,023ක් වාර්තා වී තිබේ. යාපනය දිස්ත්‍රික්කයෙන්  වාර්තා වන රෝගීන්ගේ ප්‍රමාණය සමස්ත රෝගීන්ගේ ප්‍රතිශතයක් ලෙස 12.5 'කි. මහනුවර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2,670ක්, කුරුණෑගල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,391ක්, පුත්තලම දිස්ත්‍රික්කයෙන් රෝගීන් 834ක්, ගාල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,451 ස්කෑගල්ල දිස්ත්‍රික්කයෙන් රෝගීන් 1,321ක්, රත්නපුර දිස්ත්‍රික්කයෙන් රෝගීන් 2,021ක්ද වාර්තා වී තිබේ.


යල කන්නයේ දී වී කිලෝවකට රුපියල් 150ක සහතික මිලක් ඉල්ලයි

 



වී කිලෝවක් නිෂ්පාදනය කිරීමට යන වියදම සැලකිල්ලට ගනිමින් මෙවර යල කන්නයේ වී කිලෝවක් සඳහා රුපියල් 150ක සහතික මිලක් රජය මගින් ජනාධිපතිවරණයට පෙර නියම නොකළොත්, පොළොන්නරුව ඇතුළු මහවැලි බී කලාපයේ ගොවි ජනතාව දැවැන්ත ගොවිජන අරගලයක් ක්‍රියාත්මක කරන බව මහවැලි බී කලාපයේ සෙවණපිටිය කොට්ඨාසයේ ගොවි සංවිධාන 21 ක නියෝජිතයන් ඊයේ (29දා) වෙනිදා පෙරවරුවේ සෙවණපිටිය වෙල් යායේදී මාධ්‍ය සාකච්ඡාවක් පවත්වමින් සඳහන් කළහ.


මේ වන විට යල කන්නයේ වී අස්වනු නෙළමින් පවතින අතර, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පෞද්ගලික වී මෝල් හිමියන් තමන්ගේ වී අස්වනු තුට්ටු දෙකට ලබා ගනිමින් පවතින බවත් කිසිදු ස්ථානයක රජය මගින් වී මිලදී ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකරන බවත් වහාම රජය මැදිහත් වී ගොවියාගේ වී අස්වනු සහතික මිලකට හෝ සාධාරණ මිලකට වී ලබා ගැනීමෙ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසද මෙහිදී සංවිධාන නියෝජිතයෝ රජයෙන් ඉල්ලීමක් කළහ.මහවැලි බී කලාපයේ සෙවණපිටිය කොට්ඨාස ගොවි සංවිධාන සභාපති, අසංක සංජීව මහතා මෙම මාධ්‍ය හමුව සංවිධාන කර තිබූ අතර, මෙම අවස්ථාවට ගොවි සංවිධාන 21ක නියෝජිතයන් පැමිණ අදහස් දැක්වූහ.


පොළොන්නරුවේ මහා පරිමාණ වී මෝල් හිමියන් මේ වන විට කීරි සම්බා මිලදී ගැනීමෙන් වැළකී සිටින අතර, නාඩු හා සම්බා වී කිලෝවක මිල රුපියල් 100 දක්වා වී මෝල් හිමියන් පහළ දමා ඇති බැවින් තම වී නිෂ්පාදන සාධාරණ මිලකට ලබා ගැනීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන ලෙසද ගොවි සංවිධාන නියෝජිතයෝ මෙහිදී සඳහන් කළහ. දින තුනක් ඇතුළත රජය වී කිලෝවක සහතික මිල රුපියල් 150ක් බවට පත් නොකළහොත් මහවැලි බී කලාපයේ සියලු ගොවි සංවිධාන එක්ව සෙවණපිටිය නගර මධ්‍යයේ දැවැන්ත අරගලයක් ක්‍රියාත්මක කරන බව සෙවණපිටිය කොට්ඨාස ගොවි සංවිධාන සභාපති අසංක සංජීව මහතා මෙහිදී සඳහන් කළේය. මෙවර යල කන්නයේ වී නිෂ්පාදනය සඳහා ප්‍රමිතියෙන් තොර වල්නාශක සහ කෘමිනාශක මෙන්ම පොහොර ලබා දී තිබෙන බවත් ඒ තත්ත්වය අනුව අක්කර දෙකහමාරකින් තමන් අපේක්ෂා කළ වී අස්වැන්න ලබා ගැනීමට නොහැකි වී ඇති බවත් එවැනි තත්ත්වයන් මත තවත් අමතර වියදම් දරමින් කෘමිනාශක, හා වල්නාශක අවස්ථා කිහිපයකදී යෙදීමට සිදු වූ බවද ගොවි සංවිධාන නියෝජිතයෝ මෙහිදී අවධාරණය කළහ.


සාමාන්‍යයෙන් අක්කර දෙකහමාරකින් වී කිලෝ 5000ක් පමණ ලැබෙන බවත් එම වී කිලෝ 5000 රුපියල් 100 බැගින් අළෙවි කිර්මට සිදුවුවහොත් සම්පූර්ණ කුඹුරකින් ලබා ගැනීමට හැකිවන්නේ රුපියල් ලක්‍ෂ 5ක පමණ මුදලක් බවද ගොවීහු සඳහන් කළහ.මෙවර යල කන්නයේ අක්කර දෙකහමාරක කුඹුර අස්වනු නෙළීම සඳහා භූතයා හා සුනාමිය යන යන්ත්‍රසූත්‍රවලට රුපියල් 45,000ක් 50,000 ක මුදලක් ගෙවීමට සිදුවන බවත් මෙම තත්ත්වයන් සැලකිල්ලට ගෙන රජය වහාම වී කිලෝවකට රුපියල් 150ක මිලක් කඩනිමින් නියම කරන ලෙසද මහවැලි බී කලාපයේ සෙවණපිටිය කොට්ඨාස ගොවි සංවිධාන 21 ක ගොවි නියෝජිතයෝ සහ ගොවීහු මෙහිදී ඉල්ලීමක් කළහ.


මෙවර යල කන්නයේ වී කිලෝවක් සඳහා සහතික මිල නියම නොකළහොත් ඉදිරියේ පැවැත්වන ජනාධිපතිවරණයේදී ගමට කිසිදු නියෝජිතයකුට පැමිණීමට ඉඩ නොදෙන බවත් ඊට පෙර වී කිලෝවකට රුපියල් 150ක මිලක් නියම කරන ලෙස තමන් ජනාධිපතිවරයාගෙන් මෙන්ම කෘෂිකර්ම අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටන බවද ගොවි නියෝජිතයෝ සඳහන් කළහ. මෙවර මහවැලි බී කලාපයේ ගොවි පවුල් 25,000ක පිරිසක් කුඹුරු 65,000කට වැඩි ප්‍රමාණයක් වී වගා කොට තිබේ.


නිමල් ජයරත්න

විවාහ හෝටලයකට ගෙවු ලක්ෂ 10ක් කළමනාකරුවෙකු වංචා කරලා

 


ඔස්ට්‍රේලියාවේ  පදිංචි තරුණයෙකුගේ විවාහ මංගල උත්සවයක් පැවැත්වීම සඳහා තරු පංතියේ හෝටලයකට ගෙවන ලද රුපියල් ලක්ෂ 10ක මුදලක් වංචාකළ එම හෝටලයේම සේවය කළ කළමනාකරුවෙකු අත්අඩංගුවට ගත් බව කළුතර විශේෂ අපරාධ විමර්ශන ඒකකය පවසයි.53 හැවිරිදි සැකකරු කළුතර දකුණ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.


සැකකරු කළුතර තරු පංතියේ හෝටලයක උත්සවශාලා කළමනාකරුවෙකු ලෙසින් මීට මාස කිහිපයකට පෙර සේවය කර ඇති අතර, ඔස්ට්‍රේලියාවේ පදිංචි සිය පුත්‍රයාගේ විවාහ මංගල උත්සවය සඳහා මතුගම ප්‍රදේශයේ කාන්තාවක රුපියල් ලක්ෂ දෙකක මුදලක් අත්තිකාරම් ලෙස තැන්පත් කර තිබේ.ඉන්දින කිහිපයකට පසු සැකකරු සේවයෙන් ඉවත්ව ඇති අතර, පසුව එම කාන්තාවට ඇමතුමක් ලබාදී රුපියල් ලක්ෂ 30කට ආසන්න මුළු මුදලින් තවත් ලක්ෂ 10ක මුදලක් හෝටලයට රැගෙන එන ලෙස දැනුම් දී තිබේ.


ඒ අනුව සැකකරුද කිසිවෙකුට සැක නොසිතෙන සේ නියමිත වේලාවට හෝටලයට පැමිණ සිසිටීවී කැමරා නොමැති ස්ථානයකට කැටුව ගොස් මුදල් ලබාගෙන රිසිට්පත පසුව ලබාදෙන බව පවසා ඇති බව පොලීසිය කළ පැමිණිල්ලේ සඳහන් කරයි. විවාහ මංගල උත්සවය අගෝස්තු 9වැනිදා පැවැත්වීමට නියමිත බැවින් නැවත හෝටලයට පැමිණ විමසීමේදී සැකකරු හෝටලයෙන් ඉවත්ව ඇති බවට දැනගැනීමෙන් පසු පැමිණිලි කර තිබේ.රුපියල් ලක්ෂ දහයම රැගෙන එදින රාත්‍රි කොළඹ පැමිණ තුරඟ තරග සඳහා ඔට්ටු අල්ලා පරාද වූ බවට ප්‍රකාශ දී ඇති බව පොලීසිය පවසයි.


අගමැතිත් කැබිනට්ටුවත් උසාවි කැඳවයි




විද්‍යුත් වීසා නිකුත් කිරීමේ සේවය විදේශීය සමාගම් මගින් ක්‍රියාත්මක කිරීමට ගෙන ඇති තීරණය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කිරිමට අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු කැබිනට් මණ්ඩලයට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (29) නියම කළේය.ජාතික ආරක්ෂාවට තර්ජන වන බව සඳහන් කරමින් පාඨලී චම්පික රණවක සහ එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව එලෙස තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය කරුණු පැහැදිලි කිරිම සඳහා අගෝස්තු 02 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙස දැනුම් දෙමින් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලයට නොතීසි නිකුත් කළේය.

විද්‍යුත් වීසා නිකුත් කිරීමේ සේවය විදේශීය සමාගම්වලට දීමට සෘජුව සම්බන්ධ අමාත්‍යවරුන්ට නොතීසි භාරදීමට නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය අනෙකුත් අමාත්‍ය වරුන්ට නොතීසි භාරදීමට නියම කරමින් එම නොතිසි අමාත්‍ය මණ්ඩල ලේකම්වරයා වෙත බාර දීමට ද නියම කළේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සුරසේන, අර්ජුන ඔබේසේකර සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල එලෙස නියම කළේය.

හිටපු අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් යන මහත්වරුන් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා ඇතුළු අමාත්‍ය මණ්ඩලය නම් කර ඇත.විද්‍යුත් වීසා ලබාදීමේ මෙතෙක් පැවති ක්‍රමය වෙනස් කරමින් විද්‍යුත් වීසා නිකුත් කිරීම විදෙස් සමාගම් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇතැයි ද ඒ හේතුවෙන් ජාතික ආරක්ෂාවට විශාල තර්ජනයක් මෙන්ම සංචාරක ව්‍යාපාරයට විශාල බලපෑමක් වීමට හැකියාව ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරුවෝ වීසා ගාස්තු ශීඝ්‍රයෙන් ඉහළ යෑමට හැකියාව ඇතැයි ද සඳහන් කරති.

රජයේ මෙම තීරණය හේතුවෙන් රජය කෙරෙහි මහජනතාව තුළ ඇති විශ්වාසය බිඳී යන බවත් මුළු මහත් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවන බවත් සඳහන් කරන පෙත්සම්කරුවෝ වීසා නිකුත් කිරීම විදෙස් සමාගම් වෙත පැවරීමට අමාත්‍ය මණ්ඩල ගෙන ඇති තීරණය බල රහිත කරන්නැයි ඉල්ලා සිටිති.ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කළ ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම අගෝස්තු 02 වැනිදා යළි කැඳවීමට ද නියම කළේය.

රන්ජන් කටුගම්පොල

මිතුරන් ඒක්ක නාන්න ගිය සිසුවා දියේ ගිලි මරුට



 කේ. බුද්ධික කුමාරසිරි


අවිස්සාවේල්ල නුගදණ්ඩ නාච්චිමල ඇළෙ හි ගෝනවල නැමැති දිය වළක මිතුරන් පිරිසක් සමඟ දිය නෑමට ගිය 17 හැවිරිදි වොලිබෝල් ශූරයකු වන පාසල් සිසුවකු දියේ ගිලීමෙන් මියගොස් ඇතැයි අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය පවසයි.මෙලෙස මියගොස් ඇත්තේ කහතුඩුව, පොල්ගඕවිට පාලගම පදිංචිව සිටි හොරණ විද්‍යාරත්න විද්‍යාලයේ දොළොස්වන වසරේ ඉගෙනුම ලැබූ සහ විද්‍යාලයීය වොලිබෝල් කණ්ඩායමේ පන්දු ඔසවන්නා ලෙස කටයුතු කළ ජේ.ඒ.ඩී. සෙව්මින නමැති සිසුවෙකි.


මියගිය සිසුවා තවත් මිතුරන් දස දෙනෙකු සමගින් කැබ් රථයකින් අදාළ දිය වළෙහි දිය නෑමට ගොස් ඇති අතර ඒ අතුරින් මියගිය සිසුවා සහ තවත් මිතුරකු එක්වරම දිය වළට පැනීමේදී දෙදෙනාම දිය යටට ගොස් නොපෙනී ගොස් ඇති බවත් සිදුකළ මූලික විමර්ශනයේ දී අනාවරණය වූ බව පොලිසිය පවසයි.පසුව අනෙක් මිතුරන් විසින් තම මිතුරන් දෙදෙනා දියේ ගිලුණු බවට පවසමින් ඒ දෙදෙනා බේරා ගැනීමට උදව් කරන ලෙස ඉල්ලා කෑ ගසා ඇති අතර අසල්වාසීන් පැමිණ දියේ ගිලී සිටි එක් අයකු බේරා ගෙන ඇති බවත් අනෙක් සිසුවා දිය යටින් සොයා ගන්නා විටත් මිය ගොස් සිට ඇති බවත් අනාවරණය වූ බවද පොලිසිය පවසයි.


සිද්ධිය සම්බන්ධයෙන් මියගිය සිසුවාගේ මවුපියන්ගෙන් විමසීමේ දී තම පුතා මාළුවෙකු රැගෙන එන බවට පවසා නිවසින් පිටත්ව ගිය බවත් ඔහු කුමන ප්‍රදේශයට ගියා ද යන්න නොදැන සිටි බවත් පවසා ඇතැයි අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසියේ උසස් නිලධාරියෙක් පැවසීය.මියගිය සිසුවාගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා රත්නපුර මූලික රෝහලේ තැන්පත් කර ඇති අතර හදිසි මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිත ව තිබුණි. අවිස්සාවේල්ල මූලස්ථාන පොලිසිය මගින් පරීක්ෂණ පැවැත්විය.


ව්‍යවස්ථා සභාව මැතිසබා කමිටුවක් නොවන නිසා ඊට මැදිහත්වීමට අධිකරණයට හැකියි



 යොහාන් භාසුර


ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තුවේ ක්‍රියාත්මක වන කමිටුවක් නොවන නිසා අධිකරණයට එම සභාවට මැදිහත්වීමේ හැකියාවක් ඇති බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා ඊයේ (29) පැවසීය.මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එසේ පැවැසුවේ කොළඹ දී ඊයේ (29) පැවැති සාකච්ඡාවක දී ය.පාර්ලිමේන්තු වරප්‍රසාදවලට මුවාවී අගමැතිවරයා පාර්ලිමේන්තුවේදී අධිකරණ නියෝගවලට අභියෝග කිරීම තරයේ හෙළා දකින බවත් ව්‍යවස්ථා සභාව පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන කමිටුවක් බැවින් එයට මැදිහත්වීම සඳහා කිසිදු බාහිර පාර්ශ්වයකට ඉඩ නොමැති යැයි ඔහු නගන තර්කය අසත්‍ය එකක් බවත් ඔහු කීය.


කථානායකවරයා ව්‍යවස්ථා සභාවේ මුලසුන දැරුවත් එය පාර්ලිමේන්තුව තුළ ක්‍රියාත්මක වන කමිටුවක් නොවන බවත් ව්‍යවස්ථා සභාවේ කාර්යභාරය විධායක හෙවත් පරිපාලන කාර්යභාරයක් බව 2002 දී ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිශ්චයකාරවරුන් හත් දෙනකුගෙන් සමන්විත විනිශ්චය මණ්ඩලයක් බලාත්මක තීරණයකින් ප්‍රකාශය කර ඇති බවත් හෙතෙම පැවසීය.


ජනාධිපතිවරයා සහ අගමැතිවරයා අතර මත ගැටුමක් පවතින බැවින් රජය දෙබිඩි ප්‍රතිපත්තියක් අනුගමනය කරන බවත් අධිකරණය හෑල්ලුවට ලක්කිරීම සඳහා කිසිවකුට ඉඩ නොතබන බවත් මහාචාර්යවරයා කීය.සැප්තැම්බර් 21න් පසු අධිකරණය සෘජුව හෝ වක්‍රව හෑල්ලුවට ලක්කරන පුද්ගලයන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කරන බව කී මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා දින 14ක් සඳහා වැඩබලන පොලිස්පතිවරයකු පත්කිරීමට ජනාධිපතිවරයාට බලය ඇති බව ද පැවැසීය. ජනාධිපති අපේක්‍ෂකත්වයට ඇප මුදල් තැන්පත් කළ බැවින් වත්මන් ජනාධිපතිවරයා ජනාධිපතිවරණ අපේක්ෂකයකු වන නිසා ඔහුට පොලිස්පතිවරයකු පත් කිරීමට නොහැකි යැයි පැවසීම කිසිදු පදනමක් නොමැති බව ද පීරිස් මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


මුල් පුටුව හිස්වී පොලිසිය අවුල් ජාලයක්

 


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


පොලිස්පතිවරයකු නොමැති නිසා පොලිසියේ කටයුතු බොහෝ සෙයින් ඇනහිට දැඩි අර්බුදකාරී තත්වයක් මේ වනවිට උද්ගත වී ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.සියලුම මිලදී ගැනීම් නඩත්තු කටයුතු ඇතුළු පොලිසියේ ප්‍රසම්පාදන ක්‍රියාවලිය, ජාතික පොලිස් කොමිසම සමග සම්බන්ධීකරණය කටයුතු කිරීම, විශේෂ රාජකාරි කටයුතු සඳහා පළාතකින් තවත් පළාතකට පොලිස් නිලධාරී කණ්ඩායම් යොමු කිරීම, සානුකම්පිත හේතූන් ඇතුළු හේතූන් මත ස්ථාන මාරුවීම් ඉල්ලා ඇති කනිෂ්ඨ නිලධාරීන්ගේ ස්ථාන මාරුවීම් දීම, නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට සහ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්ට නිවාඩු ලබා ගැනීම, ඇතැම් පොලිස් නිලධාරීන්ට විනය නියෝග දීම, පොලිස් ත්‍යාග අරමුදලේ මුදල් අනුමත කිරීම සහ විදේශීය පාඨමාලා හැදෑරීමට පොලිස් නිලධාරීන් යොමු කිරීම ඇතුළු තවත් අංශ ගණනාවක කටයුතු කරගෙන යාමට පොලිස්පතිවරයකු නොමැති නිසා දැඩි බලපෑම් එල්ල වී තිබෙන බව උසස් පොලිස් නිලධාරීහු පිරිසක් පැවැසූහ.

උද්ගත වී ඇති මෙම තත්වය හමුවේ පොලිසියේ කටයුතු ඉදිරියට කරගෙන කරගෙන යාම යාම අවුල්සහගත තත්ත්වයක් නිර්මාණය වී ඇති බව ද පැවැසේ.මෙවැනි තත්ත්වයක් උද්ගත වී ඇත්තේ පොලිස් ඉතිහාසයේ පළමු වතාවට බව ද සැලකේ. යුක්තිය මෙහෙයුමේ නිරතව සිටි පොලිස් නිලධාරීන්ට දෛනිකව ආහාර දීමනාව වශයෙන් ගෙවූ මුදල් ගෙවීමට ද නොහැකි තත්ත්වයක් උද්ගතව තිබෙන බව පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

දේශබන්දු තෙන්නකෝන් මහතාට පොලිස්පති ධුරයේ කටයුතු ශ්‍රේෂ්ඨාධිකරණය අතුරු නියෝගයක් ඉකුත් 24 වැනිදා නිකුත් කළ අතර ඒ වෙනුවට වැඩ බලන පොලිස්පතිවරයකු පත් කරන ලෙස ද නියෝග කර තිබිණි.මේ වන තෙක් වැඩ බලන පොලිස්පතිවරයකු ද පත් කර නොමැති බව එම උසස් පොලිස් නිලධාරීහු පෙන්වා දුන්හ.වැඩ බලන පොලිස්පතිවරයකු කඩිනමින් පත් නොකළහොත් තත්ත්වය මීට වඩා උග්‍ර විය හැකි බව උසස් පොලිස් නිලධාරීහු කිහිප දෙනෙක්ම පෙන්වා දුන්හ. පොලිසියේ පරිපාලන කටයුතු භාරව සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන මහතා ද අනිවාර්ය නිවාඩු යවනු ලැබ සිටී.


නුවන් බෝපගේ ජන අරගලයෙන් ජනපති සටනට



අමිල චින්තක ගමගේ


පෙරටුගාමී පක්ෂය ප්‍රමුඛව පිහිටුවා ගත් ජන අරගල සන්ධානයේ ජනාධිපති අපේක්ෂකයා වශයෙන් නුවන් බෝපගේ නම් කරන බව එම සන්ධානය ඊයේ (29) මහජන පුස්තකාලයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් සඳහන් කළේය.අන්තරේ හිටපු කැඳවුම්කරුවකු වන ලහිරු වීරසේකර මෙවර ජනාධිපතිවරණයට නුවන් ඉදිරිපත් වන බවට නිවේදනය කළේය. එම නිවේදනය භාෂා තුනෙන්ම ඉදිරිපත් කිරීම විශේෂ සිදුවීමක් විය.


කොළඹ කොළොන්නාව ප්‍රදේශයේ උපත ලැබූ නුවන් බෝපගේ කොළඹ ඩී.එස්. සේනානායක විද්‍යාලයෙන් පාසල් අධ්‍යාපනය ලබා කොළඹ විශ්වවිද්‍යාලයෙන් නීති උපාධිය ලබා දැනට ශ්‍රේෂ්ඨාධිකරණ නීතිඥයකු ලෙස සේවය කරයි.තම උපන් ප්‍රදේශය වන මීතොටමුල්ල කුණු කන්ද ඉවත් කිරීමේ සටනට නායකත්වය දුන් ඔහු තවත් මහජන අරගල ගණනාවකට සහභාගි විය. මානව හිමිකම්, පරිසර ආරක්ෂාව, ව්‍යවස්ථා සංශෝධන ආදී විෂය ක්ෂේත්‍ර ගණනාවකට සමාජ ක්‍රියාකාරිකයකු ලෙස එක්වූ ඔහු 2022 ගාලු මුවදොර අරගලයේදී එහි ක්‍රියාකාරිකයකු ලෙස ද ක්‍රියා කළේය. 


දැනට ජන අරගල සන්ධානයේ විධායක සභිකයකු ලෙස ද ඔහු කටයුතු කරයි.බොරු විකල්ප පසුපස නොගොස් සැබෑ විකල්පය නියෝජනය කරන ජන අරගල සන්ධානය හා එක්වන ලෙස ඔහු ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරීමෙන් පසු මාධ්‍ය හමුව අමතමින් සඳහන් කළේය.


ජනපතිවරණය නිරීක්ෂණයට මෙහෙයුම් මධ්‍යස්ථානයක්

 


දමිත් වික්‍රමසේකර


ජනාධිපතිවරණයට සූදානම් වීමේ දී ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු යටතේ මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් නිරීක්ෂණය කිරීමට මෙහෙයුම් මධ්‍යස්ථානයක් පිහිටුවීමට ප්‍රමුඛතාව ලබාදෙන බවත් එම සැලැස්ම ලබන සතිය වන විට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවත් මැතිවරණ කොමසාරිස් ජෙනරාල් ආර්.එම්.ඒ.එල් රත්නායක මහතා ප්‍රකාශ කළේය.ඒ යටතේ පළමු මධ්‍යස්ථානය කොළඹ පිහිටවනු ඇති බවත් ඉන්පසුව සෑම දිස්ත්‍රික්කයකටම මධ්‍යස්ථානය බැගින් පිහිටුවීමට අදහස් කර ඇති බවත් මැතිවරණ කොමසාරිස්වරයා පැවැසුවේය.එලෙස සෑම දිස්ත්‍රික්කයකම පිහිටුවනු ලබන මධ්‍යස්ථානවලට මැතිවරණ ප්‍රචණ්ඩ ක්‍රියා සහ මැතිවරණ නීති උල්ලංඝනය කිරීම් සම්බන්ධයෙන් ජනතාවට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බව ද ඔහු ප්‍රකාශ කළේය.

 

මැතිවරණය සම්බන්ධ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම සඳහා මේ වන විටත් පත්කර ඇති ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ජේ. කරවිට මහතා මාර්ගයෙන් ඒ සඳහා සම්බන්ධීකරණය කිරීමේ කටයුතු කරන බව ද මැතිවරණ කොමසාරිස්වරයා පැවැසුවේය.සියලු දිස්ත්‍රික්ක සම්බන්ධීකරණය කිරීම සඳහා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු පත් කරනු ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය. පැමිණිලි ඉදිරිපත් කළ හැකි දුරකතන අංක, වස්ඇප් අංක සහ ෆැක්ස් අංක ඉදිරියේ දී ප්‍රසිද්ධ කරනු ඇති බවත් ඒ ඔස්සේ ජනතාවට පැමිණිලි ඉදිරිපත් කළ හැකි බවත් මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේය. මෙහෙයුම් මධ්‍යස්ථාන පිහිටුවීමෙන් පසුව ප්‍රමුඛතාව ලබා දෙනු ලබන්නේ නාම යෝජනා දිනයේ ආරක්ෂක විධිවිධාන සම්පාදනය කිරීමට බවත් දැනටමත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කරවිට මහතා සහ තවත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරුන් තිදෙනකු සමග ඒ පිළිබඳ සාකච්ඡා කර ඇති බවත් මැතිවරණ කොමසාරිස්වරයා පැවැසුවේය.


එහි ප්‍රතිඵලයක් ලෙස අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සම්පාදනය කිරීමට උපදෙස් මේ වන විටත් ලබා දී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේය. පොලිස්පතිවරයකු නොමැති වීම ඊට බාධාවක් නොවනු ඇතැයි ඔවුන් විශ්වාස කළ බවත් එහෙයින් අවශ්‍ය ආරක්ෂක විධිවිධාන සම්පාදනය කිරීමට අවශ්‍ය උපදෙස් ලබා දුන් බවත් මැතිවරණ කොමසාරිස්වරයා සඳහන් කළේය.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව යටතේ මැතිවරණයක් ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව පොලිසියට නියෝග ලබාදීමේ බලය මැතිවරණ කොමිසමට ලැබේ.


තොණ්ඩමන් තවමත් සැකකරුවකු කර නෑ

 


ආර්.එම්. සුහේල්


පීඩෲ  වත්තේ වතු අධිකාරිවරයා නිවාස අඩස්සියේ තබා ඔහුට බැණ තර්ජනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෝෂමක් මාර්ගයෙන් අධිකරණයට බාර වීමට පැමිණි ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා එම සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම් කර නොමැති බව නුවරඑළිය මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ප්‍රබුද්ධිකා ලංකාංගනි මහත්මිය හමුවේ හෙළි විය.


පීඩෲ වත්තේ වතු අධිකාරීවරයා පසුගිය මැයි 30 වැනිදා නුවරඑළිය මූලස්ථාන පොලිසියට කළ පැමිණිල්ල සම්බන්ධයෙන් නුවරඑළිය පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇත්තේ සිද්ධියෙන් මාස 1 1/2ක පමණ කාලයකට පසු ජූලි 22 වැනිදා වන අතර සිද්ධියට අදාළ සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියම කර තිබුණත් පොලිසිය ජීවන් තොණ්ඩමන් මහතා සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම් කිරීමට හෝ පියවර ගෙන නොතිබූ බව අධිකරණයේ දී අනාවරණය විය.


ඉදිරිපත් වූ කරුණු පිළිබඳ අවධානය යොමු කළ මහෙස්ත්‍රාත්වරිය සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් පරීක්‍ෂණයක් කර අධිකරණයට කරුණු වාර්තා කිරීමට නුවරඑළිය සහකාර පොලිස් අධිකාරී (01) නියම කළාය.පීඩෲ වත්තේ වතු අධිකාරීවරයා නිවාස අඩස්සියේ තබාගෙන ඔහුට බැණ තර්ජනය කිරීම මෙන්ම අයුතු ඇතුළු වූ බව කියන සිද්ධියට අදාළ නඩුව මෝෂමක් මාර්ගයෙන් කැඳවනු ලැබූ අවස්ථාවේ දී ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් මහතා මෙම සිද්ධියට අධිකරණයට බාර වීමට පැමිණ ඇතැයි ඔහුගේ නීතිඥවරු දැනුම් දුන්හ.


අධිකරණයට බාර වීමට තම සේවාදායකයා පැමිණියත් සිද්ධියේ සැකකරුවකු වශයෙන් ඔහු නම්කර නැතැයි නීතිඥවරු වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්හ. ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝගය නිකුත් කළ මහෙස්ත්‍රාත්වරිය මෙම පැමිණිල්ල යළි කැඳවන අගොස්තු 26 වැනිදා සිද්ධිය පිළිබඳ වහාම විමර්ශනයක් කර එදින කරුණු වාර්තා කිරීමට නුවරඑළිය සහකාර පොලිස් අධිකාරී (01) නියම  කළාය. 


Monday, July 29, 2024

නියමිත මධ්‍යස්ථානයේදී ඡන්දය දීමට බය අයට වෙනත් තැනක්




තමන්ගේ ඡන්ද මධ්‍යස්ථානය පිහිටි ප්‍රදේශයේ පවතින තත්ත්වය හේතු කොටගෙන ඡන්දය භාවිතා කිරීමට නොහැකි වෙතැයි සාධාරණ බියක් ඇති ඡන්දදායකයන්ට වෙනත් මධ්‍යස්ථානයකදී ඡන්දය ප්‍රකාශ කිරීමට අවස්ථාව තිබෙන බව මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.මෙවර මැතිවරණයේදී වෙනත් ඡන්ද මධ්‍යස්ථානයකදී ඡන්දය භාවිත කිරීම සඳහා ඉල්ලුම්පත් යොමු කළ යුතු බවත් අදාළ ඉල්ලුම්පත් දිස්ත්‍රික් තේම් භාර නිලධාරීන් සහ ප්‍රාදේශීය ලේකම් හා ග්‍රාම නිලධාරී කාර්යාලවලින් ලබාගත හැකි බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

මෙම අයදුම්පත් සම්පූර්ණ කර අගෝස්තු මස 01වන දිනට පෙර මැතිවරණ කොමසාරිස් ජනරාල්, මැතිවරණ කොමිෂන් සභාව, සරණ පාර, රජගිරිය යන ලිපිනයට එවිය යුතු වේ. ඉල්ලුම්කරු විසින් මේ වසරට අදාළ ඒකාබද්ධ ඡන්ද නාමලේඛනය පදනම් කරගෙන අදාළ විස්තර ඉල්ලුම්පත්‍රයේ සඳහන් කළ යුතු වන අතර, නාමලේඛනයට අදාළ තොරුතුරු සියලුම දිස්ත්‍රික්ක ලේකම් කාර්යාලවල, කච්චේරිවල සහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල තබා තිබෙන බවද පෙන්වා දෙයි.

මීට අමතරව මේ වසරට අදාළ ඡන්ද හිමි ලේඛනයේ ලියාපදිංචි විස්තරය www. Elections.gov.lk වෙබ් අඩවියෙන් ලබා ගත හැක.ඉල්ලුම්පත්‍රයේ සඳහන් තොරුතරු ඉල්ලුම්කරු පදිංචි ප්‍රදේශයේ ග්‍රාම නිලධාර්වරයා විසින් සහතික කළ යුතු වන අතර, ග්‍රාම නිලධාර් සහතිකය නොමැති ඉල්ලුම්පත්‍ර ප්‍රතික්ෂේප කරන බවද මැතිවරණ කොමිෂන් සභාව සඳහන් කරයි.

ඉන්දික හේවාවිතාරණ

දඹදිව වන්දනාකරුවන්ට දුන් හදිසි ගමන් බලපත් සහතිකය නිකුත් නොකිරීම ගැටලුවක් වෙලා

 




වසර 30කට වැඩි කාලයක් තිස්සේ දඹදිව වන්දනාකරුවන් වෙනුවෙන් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ලබාදුන් හදිසි සහතික ගමන් බලපත්‍ර ඉකුත් ජූලි 19වැනි දින සිට නිකුත් නොකිරීම හේතුවෙන් මහත් ගැටලුවක් උද්ගතවී ඇතැයි විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයන්ගේ සංගමයේ ලේකම් ආචාර්ය මහේන්ද්‍ර හල්ලොලුව මහතා ප්‍රකාශ කළේය .මේ සම්බන්ධයෙන් මාධ්‍යයට අඅදහස් දැක්වීම සඳහා සංවිධානය කොර තිබූ ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ඒ මහතා මෙසේද කීය.

මේ අපේ රටේ බැතිමතුන් දඹදිව වන්දනා ගමන් යන කාලයයි. ඇතැම් වයස්ගත වන්දනාකරුවන් ළඟ හැඳුනුම් පතක් නැහැ. එවන් අයට සහනයක් වශයෙන් තමයි මෙම හදිසි ගමන් බලපත්‍රය නිකුත් කළේ.එය සතියක් ඇතුළත ලබා ගන්නට හැකි වුණා. විදේශ බෞද්ධ චාරිකා සංවිධානය කරන ආයතන 270ක් අප සංගමය නියෝජනය කරනවා.ඉක්මනින් හදිසි ගමන් බලපත් ලබා ගැනීමේ විශ්වාසය ඇතිව අපි බොහෝ වන්දනාකරුවන් වෙනුවෙන් ගුවන් ටිකට් පත් මෙන්ම ඉන්දියාවේ දුම්රිය මැදිරිද,හෝටල්ද මුදල් ගෙවා වෙන් කරගෙන තිබෙනවා.

ගමන් බලපත් නිකුත් නොකිරිම  නිසා අපට එම මුදල් නැවත ලබා ගැනීමේ හැකියාවක් නැහැ .ඒ අනුව සියලුම චාරිකා සංවිධායකයන් දැඩි අර්බුදයකට මුහුණ දී සිටිනවා .රුපියල් 20 දාහ බැගින් ගෙවා එක් දින සේවාව යටතේවත් ගමන් බලපත් ලබා ගැනීමේ හැකියාවක් නැහැ.අපට දැන ගන්නට ඇති පරිදි ගුවන් බලපත් පොත් මුද්‍රණය කර ගෙන්වන්නේ මැලේසියාවෙන්. නොවැම්බර් මාසයේ විද්‍යුත් විදේශ ගමන් බලපත් නිකුත් කිරීමට තීරණය කර ඇති නිසා අවශ්‍ය ප්‍රමාණයට ඒවා ඇණවුම් කොට නැහැ.මේ දිනවල කොතරම් ඉල්ලුමක් තිබුණත් විදේශ ගමන් කාර්යාලයෙන් 100කට 150කට වඩා ගමන් බලපත් නිකුත් කරන්නේ නැහැ. මේ තත්ත්වය රජය වටහා ගත යුතුව ඇතැයි අප විශ්වාස කරනවා. ගමන් බලපත් පොත් නැතිනම් ඉන්දීය රජය සමග සාකච්ඡා කර විකල්ප පියවරක් ගන්නා ලෙසද අප ඉල්ලා සිටිනවා.මෙහිදී විදේශ බෞද්ධ චාරිකා සංවිධායකයන්ගේ සංගමයේ නියෝජ්‍ය ලේකම් හිග්ගොඩ උදයදම්ම හිමියෝ අදහස් දක්වමින් මෙසේ කීහ.

මෙරට වන්දනාකරුවන් වස් කාලයේදී දඹදිව ස්ථාන වන්දනාමාන කිරිමට වැඩි කැමැත්තක් දක්වනවා. අමාරුවෙන් මුදල් එකතු කරගෙන දහස් ගණනක් සූදානම්ව සිටිනුයේ ඒ සඳහායි .බුදු හාමුදුරුවෝ ලංකාවේ ඉපදුණා කියන මතයක ඉන්න පිරිසකුත් සිටිනවා. මෙවැනි තත්ත්වයක් ඇතිවීමට ඔවුන්ගේ බලපෑමක් සිදු වූවාදැයි යන සැකයකුත් අපට තියෙනවා. කෙසේ වෙතත් වන්දනාකරුවන්ට මෙන්ම චාරිකා සංවිධායකවරුන්ටත් මෙම තත්ත්වය යටතේ මහත් අසාධාරණයක් සිදුවී තිබෙනවා.

සුනිල් එස් තන්ත්‍රිආරච්චි

රනිල්ද ධම්මිකද ?

 


ඉදිරි ජනාධිපතිරණයේදී අපේක්ෂකයෙකු තෝරාපත් කර ගැනීම සදහා වන ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ විධායක සභාවේ විශේෂ සාකච්ඡාවක් පක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (29දා) පැවැත්වීමට නියමිතය. ඒ අනුව එම සාකච්ඡාව පස්වරු 4.00ට කොළඹ විජේරාම මාවතේ පිහිටි හිටපු ජනාධිපතිවරයාගේ නිවසේදී පැවැත්වේ. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පිරිසක් තම සහාය රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කර ඇති අතර, පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළ යුතු බවටත් ඒ සදහා ව්‍යාපාරික ධම්මික පෙරේරා මහතාව ඉදිරිපත් කළ යුතු බවට තවත් පිරිසකගේ මතය වී තිබේ. 

ඒ අනුව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දෙකඩ වනවාද නොඑසේනම් එක්ව ඉදිරියට ගමන් කරනවාද නැද්ද යන්න මෙම සාකච්ඡාවේදී තීරණය වනු ඇතැයි දේශපාලන ආරංචි මාර්ග සදහන් කරයි.එමෙන්ම ඉකුත් බ්‍රහස්පතින්දා පාර්ලිමේන්තුවේදී, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තිහකට අධික පිරිසක් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා මුණගැසී මේ මොහොතේදී ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුවේ ආර්ථික වැඩපිළිවෙළට සහාය දැක්විය යුතු බවද ප්‍රකාශ කර තිබේ. එබැවින් මේ මොහොතේ පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයෙකු ඉදිරිපත් කළහොත් පක්ෂයද දෙකඩ වනු ඇතැයිද ඔවුහු හිටපු ජනාධිපති මහින්ද රාපක්ෂ මහතාට පෙන්වා දී තිබේ. එහිදී හිටපු ජනාධිපතිරයා පවසා ඇත්තේ මේ මොහොතේදී පක්ෂයෙන් අපේක්ෂකයෙකු ඉදිරිපත් නොකර සිටීමට තමන් වැඩි කැමැත්තක් දක්වන බවයි. සිකුරාදා නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ආසන සංවිධායකවරුන්ගේ සමුළුවද ඉතා උණුසුම් මුහුණුවරක් ගත් බවද වාර්තා වේ.

 නවෝද්‍යා  පවනි

ලොව බලවත්ම විදෙස් ගමන් බලපත සිංගප්පුරුවේ: ලංකාව 93 ට





ශ්‍රී ලංකා විදේශ ගමන් බලපත්‍රය 2024 ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍ර අතර 93 වැනි ස්ථානය හිමි කර ගනිද්දී සිංගප්පූරු නගර රාජ්‍යය සිවුවැනි වතාවටත් ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රය හිමි රට ලෙස කිරුළ හිමි කර ගත්තේය.ගියවර සිංගප්පූරුව තවත් රටවල් පහක් සමග ලොව බලවත්ම විදේශ ගමන් බලපත්‍රයට හිමි කිරුළ බෙදා හදා ගත්තත් මෙවර එම සියලු රටවල් පරදා තනිව කිරුළ හිමි කර ගැනීමට සිංගප්පූරුව සමත් විය.

ලොව ගමන් කළ හැකි බවට හඳුනාගෙන ඇති රටවල් 227 න් 195 කට වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ගමන් කිරීමට සිංගප්පූරු විදේශ ගමන් බලපත්‍රයක් හිමි පුද්ගලයකුට අවස්ථාව ලැබීම හේතුවෙන් එරටට මෙම කිරුළ හිමිව ඇත. සිංගප්පූරු විදේශ ගමන් බලපත්‍රයකට පසුගිය වසරේදී වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ගමන් කළ හැකි රටවල් ගණන 192 ක් වූ අතර මෙම වසරේදී එම ගණන 195 දක්වා වැඩි කර ගැනීමට සිංගප්පූරුවට හැකියාව ලැබී තිබේ. මෙවර ශ්‍රේණිගත කිරීමේ දෙවැනි ස්ථානය ජපානය, ජර්මනිය, ඉතාලිය, ප්‍රංශය සහ ස්පාඤ්ඤ හිමිකරගෙන ඇති අතර එම රටවල විදේශ ගමන් බලපත්‍රයක් හිමි පුද්ගලයකුට රටවල් 192කට කට වීසා බලපත්‍රයක් නොමැතිව ගමන් කිරීමට හැකියාව ඇත.

එසේම ශ්‍රේණිගත කිරීමේ තෙවැනි ස්ථානය ඔස්ට්‍රියාව, ෆින්ලන්තය, අයර්ලන්තය, ලක්ෂිම්බර්ග්, නෙදර්ලන්තය, කොරියාව සහ ස්වීඩනය හිමිකරගෙන ඇති අතර එම රටවල විදේශ ගමන් බලපත්‍රයක් හිමි පුද්ගලයකුට රටවල් 191 කට වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ගමන් කළ හැකිය.ශ්‍රී ලංකාව පසුගිය වසරේදී මෙම ශ්‍රේණිගත කිරීමේ 100 ස්ථානය හිමිකරගත් අතර මෙම වසරේදී ස්ථාන හතක් ඉදිරියට එමින් 93 වැනි ස්ථානය හිමි කර ගැනීමට සමත්ව ඇත.

මෙම වසරේදී ඉන්දියාව මෙම ශ්‍රේණිගත කිරීමේ 82 ස්ථානය හිමිකරගෙන ඇති අතර ඉන්දියානු විදේශ ගමන් බලපත්‍රයක් හිමි පුද්ගලයකුට රටවල් 58 කට වලංගු වීසා බලපත්‍රයක් නොමැතිව ගමන් කළ හැකියි.පාකිස්තානයට මෙම ශ්‍රේණිගත කිරීමේ 100 වැනි ස්ථානය හිමිව ඇති අතර මෙම ශ්‍රේණිගත කිරීමේ අවසාන ස්ථානය ඇෆ්ගනිස්තානය හිමිකරගෙන ඇත.

විමුක්ති එස්. රුද්‍රිගු

ඇමෙරිකානු ඉංජිනේරුවා කරන්දෙණියේදී මහණවෙයි

 


ඇමෙරිකාවේ කැලිෆෝනියාවේ ප්‍රකට දානපති, ඉංජිනේරුවකු වූ ජොහාන්ස් ලූඩෝස් මහතා කැලිෆෝනියාවේ සරණ හිමි නමින් කරන්දෙණිය ගලගොඩ ශෛලතලාරාමයේදී සසුන්ගත විය.ගලගොඩ ශෛලතලාරාමාධිපති කුඩුමීරියේ සෝමිස්සර හිමියන්ගේ ශිෂ්‍යයකු ලෙස ජොහාන්ස් ලූඩෝස් ලූඩෝස් මහතා සසුන්ගත විය.බුදු දහම ගැන දීර්ඝ අධ්‍යයනයකින් පසු බුදු දහම පිළිබඳව පැහැදී, තමා මෙසේ සසුන්ගත වූ බව මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කැලිෆෝනියාවේ සරණ හිමියෝ කීහ.

 තමා ගිහියකු ලෙස සිට වෘත්තීයමය ඉංජිනේරුවකු ලෙස සේවය කරමින් හා ව්‍යාපාරිකයකු ලෙස සාර්ථක වෙමින් මේ වන විට මිලියන ගණන් මුදල් හරිහම්බ කරගෙන සිටින බවත්, ඒ කිසිවකින් තමාට නොලැබූ සතුට බුදු දහමින් ලැබුණු බවත් සරණ හිමියෝ පැවැසූහ. මෙහි සියලුම ගෞරවය සහ පින සිය ගුරු හාමුදුරුවන් වන කුඩුමීරියේ සෝමිස්සර හිමියන්ට ලැබිය යුතු බවත්, උන්වහන්සේ තමාට ගැඹුරු බුදු දහම ඉතා සරලව අවබෝධ කර දුන් බවත් උන්වහන්සේ කීහ.


විදෙස් රටක පළමු පැවිදි ශිෂ්‍යයා කැලිෆෝනියාවේ සරණ හිමියන් බවත්, උන්වහන්සේ‍ ගිහි කල ඇති තරම් ලෞකික සැප සම්පත් විඳ ඇති බවත් පැවැසූ කුඩුමීරියේ සෝමිස්සර හිමියෝ, දැනට ද සරණ හිමියන්ට ලෝකයේ ඕනෑම රටකට යෑමට වීසා ඇති බවත්, ඒ සඳහා ගුවන් බලපත දනොමිලයේ ලැබෙන  බවත් පැවැසූහ.ශාසනයට  අලුතින් එකතු  වූ කැලිෆෝනියාවේ සරණ හිමියන් මේ රටට සරණක් වීම නොවැළැක්විය හැකි නිසාම, උන්වහන්සේට සරණ යන නම තැබූ බව ද සෝමිස්සර හිමියෝ වැඩිදුරටත් කීහ.

 එම්. සුසිල් ප්‍රියන්ත

රාජ්‍ය සේවයේ පුරප්පාඩු පිරවිම - ජනපති ශ්‍රේෂ්ඨාධිකරණ මතය විමසයි

 


රංජිත් පද්මසිරි - සන්ඩේ ටයිම්ස්


ජනාධිපතිවරයා රාජ්‍ය සේවයේ පුරප්පාඩුවක් සඳහා සුදුසු යැයි නම් කළ අපේක්ෂකයකු ව්‍යවස්ථාදායක සභාවෙන් අනුමත කළ පසු, එම අපේක්ෂකයා ඉවත් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් අධිකරණයට බලය දී ඇත්දැයි යන්න පිළිබඳව ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බලාපොරොත්තු වන බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට පවරා ඇති බලතල යොදා ගනිමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයේ මතය විමසීමට මෙලෙස සූදානම් වන බවත්, පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එම තනතුරේ කටයුතු කිරීම වළකාලමින් ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් පසුගිය දා අතුරු තහනම් නියෝගයක් නිකුත් කිරීම ඊට හේතුව වී ඇති බවත්, ආරංචි මාර්ග පැවැසුවේය.

එසේම, ජනාධිපතිවරයා විසින් රාජ්‍ය සේවයේ තිබෙන පුරප්පාඩුවක් සඳහා සුදුසු බවට නම් කරනු ලැබූ අපේක්ෂකයකු අනුමත කිරීම සඳහා ඡන්ද විමසීමක් පවත්වන විට, ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයකු එම ඡන්ද විමසීමට නොපැමිණීම හෝ ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටීම හෝ එම අපේක්ෂකයා අනුමත කිරීමක් ද, එසේත් නැති නම් ප්‍රතික්ෂේප කිරීමක් ද යන්න පිළිබඳව අර්ථ නිරූපණයක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා ගැනීමට නියමිත බව ද ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.

රාජ්‍ය සේවයේ පවතින පුරප්පාඩුවක් සඳහා ජනාධිපතිවරයා නම් කළ අපේක්ෂකයකු අනුමත කිරීම සඳහා ඡන්ද විමසීමක් පවත්වන විට, ව්‍යවස්ථාදායක සභාවේ සාමාජිකයකු ඡන්දය දීමට නොපැමිණීම හෝ ඡන්දය දීමෙන් වැළකී සිටීම එම අපේක්ෂකයා අනුමත කිරීමක් ද, එසේත් නැති නම් ප්‍රතික්ෂේප කිරීමක් ද යන්න පිළිබඳව තීරණය කිරීමට පැහැදිලි නීතිමය ප්‍රතිපාදන නොමැති වීම හේතුවෙන්, මෙලෙස ඒ පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් අර්ථ නිරූපණයක් ලබා ගැනීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තීරණය කර ඇතැයි ආරංචි මාර්ග සඳහන් කළේය. 

ශ්‍රේෂ්ඨාධිකරණයෙන් මෙම කරුණු දෙක සම්බන්ධයෙන් අර්ථ නිරූපණයක් ලබා ගැනීම සඳහා ඉල්ලීමක් කිරීමට ප්‍රථමයෙන් ඒ පිළිබඳ නීතිපති උපදෙස් ලබා ගනු ඇති බවත්, නීතිපති උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීම ශ්‍රේෂ්ඨාධිකරණයේ ගොනු කෙරෙනු ඇති බවත්, ආරංචි මාර්ග පැවැසුවේය.ඒ අනුව, ඉදිරියේදී ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 41 වගන්තියේ උප වගන්ති කිහිපයක් සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය අර්ථ නිරූපණයක් ලබා දීමට නියමිත බව ද ආරංචි මාර්ග සඳහන් කළේය.


රේගු නිලධාරියා විවේක කාමරයේ මියගිහින්




මත්තල ජාත්‍යන්තර ගුවන් තොටුපොළේ සේවය කරන රේගු නිලධාරියකු පෙරේදා (27) රාත්‍රි ඔහුගේ විවේක කාමරය තුළ මියගොස් සිටියදී සොයාගෙන ඇතැයි මත්තල පොලිසිය පැවැසීය. මියගොස් ඇත්තේ රුක්මලේ, පන්නිපිටියේ පදිංචි ඩබ්ලිව්.එම්.එන්.එස්. විජේතුංග නමැති 36 හැවිරිදි රේගු නිලධාරියාය.විවාහකයකු වන මෙම රේගු නිලධාරියා ඉකුත් 22 වැනිදා කොළඹ රේගු අධිකාරි කාර්යාලයේ සිට ස්ථාන මාරු ලබා මත්තල ජ්‍යාතන්තර ගුවන් තොටුපොළේ සේවය සඳහා පැමිණ ඇත.


ඔහු රාජකාරි නිවාඩු ලබා ඊයේ (28) සිය නිවෙසට යාමට නියමිතව සිට ඇතැයි පොලිසිය පැවැසීය.මියගිය රේගු නිලධාරියාගේ බිරිඳ පෙරේදා (27) රාත්‍රි 8 ට පමණ ඔහුට දුරකතන ඇමතුමක් ලබාදී ඇති අතර එයට ප්‍රතිචාර නොදැක්වූ බැවින් වෙනත් රේගු නිලධාරියකුට දුරකතන ඇමතුමක් දී සිය සැමියා පිළිබඳව සොයා බලන ලෙසට දැනුම්වත් කර ඇතැයි පොලිසිය පැවැසීය. ඒ අනුව සිදු කළ සොයා බැලීමේදී මියගිය රේගු නිලධාරියා සිය විවේක කාමරයේ ඇද මත නිහඬව වැතිර සිටියදී ගුවන් තොටු පොළේ සේවකයන්ට හමුවී ඇතැයි පොලිසිය පැවැසීය. පසුව ගුවන් තොටු පොළ රෝහලේ වෛද්‍ය ඩබ්ලිව්.එම්.එච්. ක්‍රිෂාන්ත මහතා රෝගියා පරීක්ෂා කර පැය හතරකට පෙර ඔහු මියගොස් ඇතැයි ප්‍රකාශ කර ඇත.මත්තල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එම්.පී.එම්.බණ්ඩාර මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.


පද්මසිරි ගාර්දියවසම් 

කතක් මුලා කර ලිංගික අතවරත් කරලා: පොලිස් පරීක්ෂක වෙසින් රන්බඩු-මුදල් කොල්ලකෑ හිටපු සෙබළා මාට්ටු


 


පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ පොලිස් පරීක්ෂකවරයකු බවට හඟවා, කාන්තාවන් මුළා කර බියගන්වා, රන් ආභරණ, මුදල් ඇතුළු දේපොළ කොල්ලකා, ඔවුන්ව ලැගුම්හල්වලට රැගෙන ගොස් ලිංගික අතවර කළ බව කියන හිටපු යුද හමුදා සෙබළුකු හා ආධාර අනුබල දුන් ත්‍රිරෝද රථ රියැදුරකු අත්අඩංගුවට ගත් බව කැස්බෑව පොලිසිය කියයි.සැකකරු එලෙස කොල්ලකන ලද මුදල් ටෙලිනාට්‍ය නිළියන් හා සුරූපී කාන්තාවන්ගේ ඇසුර සඳහා අත දිගහැර වියදම් කර ඇතැයි, පොලිස් භාරයට ගත් ජංගම දුරකතන දෙකක, සැකකරු ටෙලිනාට්‍ය නිළියක් හා තවත් සුරූපී කතුන් කිහිපදෙනකු සමග පැවැත්වූ ලිංගික දර්ශන අන්තර්ගතව තිබීමෙන් ඒ බව තහවුරු වූ බව පොලිසිය සඳහන් කරයි.


එම ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී ඔහු සන්තකයේ තිබී ව්‍යාජ පොලිස් හැඳුනුම්පතක්, අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 10,200ක්, ටෙලිනාට්‍ය නිළියකගේ ජාතික හැඳුනුම්පත සහ තවත් කාන්තාවන් සිවු දෙනකුගේ ජාතික හැඳුනුම්පත් 4ක්, පිරිමි පුද්ගලයකුගේ ජාතික හැඳුනුම්පතක්, දුරකතන සිම්පත් 18ක් හා ස්මාර්ට් ජංගම දුරකතන 5ක් මෙන්ම, ආධාර අනුබල දුන් ත්‍රිරෝද රථ රියැදුරුගේ ත්‍රිරෝද රථය ද පොලිස් භාරයට ගෙන ඇත.සැකකරු ව්‍යාජ පොලිස් හැඳුනුම්පත සාදා ගැනීම සඳහා යොදාගෙන ඇති ඡායාරූපය, මීට වසරකට පමණ ආසන්න කාලයකදී රාජකාරි ගිනි අවියෙන් හිසට වෙඩි තබාගෙන සිය දිවි නසාගත් ඇහැලියගොඩ පොලිසියේ ස්ථානාධිපති ලෙස කටයුතු කළ ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියංක සිල්වා මහතාගේ ඡායාරූපය බව පොලිසිය කියයි.


පානදුර ප්‍රදේශයේ ප්‍රසිද්ධ ඇඟලුම් කර්මාන්තශාලාවක ඇඟලුම් සේවිකාවක පෙම්වතා හමු වීම සඳහා පානදුර නගරයට පැමිණ, ඔහු සමග පානදුර මුහුදු පාරේ ලැගුම්හලකට ගොස් පැය කිහිපයක් රැඳී සිට, අනතුරුව පෙම්වතා කඩුවෙල නිවෙස කරා පිටත්ව යාමෙන් අනතුරුව, ඇඟලුම් සේවිකාව අරුක්ගොඩ නිවෙස කරා බස් රථයෙන් බැස පා ගමනින් යමින් සිටියදී එම දිශාවටම ධාවනය වීමට පැමිණි ත්‍රිරෝද රථයක් නවතා “ඇරලවන්නම් නගින්න” යයි පැවැසීමෙන් අනතුරුව ඇඟලුම් සේවිකාව ත්‍රිරෝද රථය වෙත ගොඩ වී තිබූ බව පොලිසිය සඳහන් කරයි.


මඳ දුරක් ගමන් කරද්දී පොලිස් හැඳුනුම්පතක් ඇගලුම් සේවිකාව වෙත පෙන්වා, ඔහු පොලිස් නිලධාරියකු බවත්, තමන් අනාචාරයේ හැසිරෙන තැනැත්තියක් බවට සියලු තොරතුරු සොයාගත් බවත් පවසා බිය කර තිබූ බව පොලිසිය කියයි. අනතුරුව ඇඟලුම් සේවිකාව කැස්බෑව සුපිරි වෙළෙඳසලක් අසලට රැගෙනවිත්, ඇය පැළඳ සිටි රන් මාලය, පෙන්ඩන් දෙක, අත් පළඳනාව බලහත්කාරයෙන් ගලවාගෙන, ඇයගේ අත් බෑගයේ තිබූ ඒ.ටී.එම්. කාඩ්පතින් රුපියල් 150,000ක මුදලක් ලබාගෙන, ඇඟලුම් සේවිකාව පිළියන්දල මොරටුව පාරේ ලැගුම්හලකට රැගෙන ගොස් ඇයව නිරුවත් කර, ඡායාරූප ලබා ගැනීමෙන් අනතුරුව ඇයට ලිංගික අතවර කර, පිළියන්දල නගරය වෙත රැගෙනවිත් ත්‍රිරෝද රථයක නංවා තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.


අතවරයට පත් ඇඟලුම් සේවිකාව ඒ සම්බන්ධයෙන් පසු දින (15) ත්‍රිරෝද රථයේ ලියාපදිංචි අංකය සමග කැස්බෑව පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව, සීසීටීවී කැමරා දර්ශන 40කට ආසන්න සංඛ්‍යාවක් ද විමර්ශනය කර, ත්‍රිරෝද රථයේ ලියාපදිංචි හිමිකරු හොරණ ප්‍රදේශයේ අයකු බවට අනාවරණය කරගත් බව පොලිසිය කියයි.එම පුද්ගලයා ත්‍රිරෝද රථය බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පුද්ගලයකුට ලබා දුන් බවට අනාවරණය වීමෙන් අනතුරුව, එකී පුද්ගලයා කුලී ගමනක් යමින් සිටියදී කැස්බෑව පොලිසිය ආසන්නයේදී අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී, ප්‍රධාන සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි.ඒ අනුව, ප්‍රධාන සැකකරු වන හිටපු හමුදා සෙබළා බටුවන්දර ලූල්වල ප්‍රදේශයේ ආපණ ශාලාවක් තුළදී අත්අඩංගුවට ගෙන ඇත.සැකකරු කැස්බෑව මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර, දින හතක කාලයකට රැඳවුම් නියෝග ලබා ගැනීමට කටයුතු කෙරිණි.

 බිමල් ශ්‍යාමන් ජයසිංහ

කෑම දෙන්න පරක්කු වුණාම කුවෙට් ජාතිකයෙක් වෙඩි තියලා

කුවේට් රාජ්‍යයේ ආපණ ශාලාවක ආහාර ඇණවුම් බෙදාහැරීමේ නිරත වී සිටියදී, එම ඇණවුම ලබා දීමට මඳක් ප්‍රමාද වීම නිසා උරණ වූ කුවේට් ජාතිකයකු තැබූ වෙඩි පහරකින් ඔත්පළ වී, ඇඳි වත පමණක් රැගෙන, ශ්‍රී ලංකාවේ තම දූ දරුවන් සහ අසනීප වී සිටින බිරිය ජීවත් කිරීම සඳහා හිඟා කෑමට මහ පාරට බැසීමට සූදානමින් මෙරටට ඉකුත් දා (26) අලුයම රාජාංගණය ප්‍රදේශයේ පදිංචිකරුවකු කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියේය.ඔහු රාජාංගණය යාය - 11 ප්‍රදේශයේ පදිංචි, සාගර ලක්ෂ්මන් තිලකරත්න නමැති, 46 හැවිරිදි පුද්ගලයෙකි. ඔහු මෙසේ පැවැසුවේය.


“මම ගම් ප්‍රදේශයේ මේසන් වැඩ කරමින් සිටියේ. පසුව මම රියැදුරු බලපත්‍රය අරන් කුවේට්වල කුවේට් වල අබුතහම් කියන ආපණ ශාලාවේ ආහාර ඇණවුම් රැගෙන ගොස් භාර දෙන්නකු වශයෙන් සේවයට ගියා. මම එහෙ අවුරුදු 7ක් වැඩ කළා. මම අවුරුදු 5ක් වැඩ කරලා ලංකාවට ආවා. ඇවිත් 2023 දී ආයෙමත් කුවේට්වලට ගියා.

ඒ අබුතහම් ආපණ ශාලාවේ ඔවුන්ට අයිති තවත් ආපණ ශාලා දෙකක් තියෙනවා. ඔය සිද්ධිය වුණේ 2024 ජනවාරි 11 වැනිදා පාන්දර මම එතකොට මේ අබුතහම් ආපණ ශාලාවේ වෙනත් ශාඛාවක වැඩ කර කර හිටියේ. මට එදා පාන්දර 4.45ට විතර මම වැඩ කරමින් සිටි ආපණ ශාලාවට කතා කර කිව්වා, දැන් ඕඩරයක් ආවා, ඒක දැනටමත් පරක්කු වෙලා තියෙන්නේ, ගිහින් භාර දෙන්න කියලා.


ඒ ආපණ ශාලා සමූහයේ වාහන 3ක් තියෙනවා. අපි ඒවායින් ආහාර ඇණවුම් රැගෙන ගොස් භාර දීම සිදු කරනවා. මම වැඩ කරමින් සිටි ආපණ ශාලාවේ සිට ඒ ආපණ ශාලාවට ගිහින්, ඒ ඇනවුම භාර දීමට නියමිත බර්’ නමැති කාන්තාර ප්‍රදේශයේ පිහිටි නිවෙස වෙත ගියා. ගිහින් ආහාර ඇණවුම් කළ පුද්ගලයාට දුරකතන ඇමතුමක් දුන්නා. ඔහු ඒකට පිළිතුරු දුන්නේ නැහැ.ඔහු ඔහුගේ මෝටර් රථයෙන් පැමිණ මගේ මෝටර් රථය පිටු පසින් නවතා ගෙන සිටියදී මම ඔහුට ආහාර ඇණවුම භාර දීමට ඔහුගේ මෝටර් රථය අබියසට යනවාත් සමගම ඔහු මෝටර් රථයේ වීදුරුව පහත් කර මට වෙඩි තැබුවා.


එසේ වෙඩි තබා ඔහු එරට භාෂාවෙන් පලයන් යන්න කියා පැවැසුවා.මම මෝටර් රථයට ආපසු පැමිණ ආපණ ශාලාව වෙත පැමිණීමට තැත් කළත්, මට මෝටර් රථය පදවාගෙන එන්න පාර පේන්නේ නැතිව ගියා. මම මෝටර් රථය පාරෙන් අයින් කර නවත්වලා මම ඉන්න ලොකේෂන්' එක ආපණ ශාලාවේ අනෙක් මෝටර් රථයක රියැදුරුවරයකුට යවා, මම මෝටර් රථය තුළ දිගා වුණා. එම රියැදුරුවරයා පැමිණ මාව රෝහලකට ඇතුළත් කළා.මාසෙකට පස්සෙ එරට පොලිසියට මාව රැගෙන ගිහින් කටඋත්තර ප්‍රකාශයක් අරන් යළිත් මාව රෝහල්ගත කළා.


ලංකාවට මේ සිද්ධිය ආරංචි වෙලා බලපෑම් ආවාම මාව එරට ශ්‍රී ලංකා තානාපති කාර්යාලය වෙත රැගෙන ගියා.මේ පිළිබඳ නඩු විභාගය ඉකුත් ජුනි 6 වැනිදා උදේ 9.30ට පැවැත්වීමට නියමිතව තිබුණත්, තානාපති කාර්යාලයේ නිලධාරින් මාව අධිකරණය වෙත රැගෙන ගියේ දහවල් 11.30ට විතර එතකොට නඩු විභාගය පවත්වන විනිශ්චයකාරතුමා සිය කටයුතු අවසන් කර අධිකරණය තුළින් පිට වී ගිහින් තිබුණා.ඊට පස්සෙ යළිත් මගේ නඩුව විභාග  කරන දවසක් ගැන දන්නේ නැහැ. මට පාසල් යන දරුවො දෙන්නෙක් ඉන්නවා. මගේ බිරිය අසනීපෙන් ඉන්නේ. ඇය සතිපතා බෙහෙත් ගන්න ඉස්පිරිතාලෙට යනවා. මම නඩුව පිළිබඳව නීතිඥතුමාගෙන් ද ඇහුවා. ඔහුත් ඒ පිළිබඳ නිශ්චිත තොරතුරු හරියටම දන්නේ නැහැ.


ඉතින් මේ පසුබිම යටතේ මම තානාපති කාර්යාලයට වෙලා ඉන්න එක තේරුමක් නැහැ. ඒ නිසා මම වැඩ කරපු ආපණ ශාලාවට ගිහින් ඩිනාර් 100ක් ඉල්ලා ගෙන ශ්‍රී ලංකාවට එන්න ටිකට් හදා ගෙන ලංකාවට ආවා. මම දැන් මොකද කරන්නේ?" යැයි ඔහු මාධ්‍යවේදීන්ගෙන් විමසීමක් කළ අතර, මඳ නිහැඬියාවකින් පසුව, “මම මගේ දරුවන් දෙදෙනා සහ බිරිය සමග හිගා කනවා" යැයි පවසා, කටුනායක ගුවන්තොටුපොළෙන් දෙනෝ දහසක් බලා සිටියදී සිය ගම් පියස වන රාජාංගණය බලා ඔහු පිටත්ව ගියේය.


සාගර ලක්ෂ්මන් තිලකරත්න මෙදින අලුයම 2.30ට දෝහා සිට කටාර් සේවයේ කිව්.ආර්. 662 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබූ අතර, ඔහු පිළිගැනීමට ලංකා මානව හිමිකම් සංවිධානයේ සභාපති, ආචාර්ය සරත් ජයන්ත පීරිස් මහතා ඇතුළු එම සංවිධානයේ නිලධාරීන් පිරිසක් ද ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටියහ. එහිදී ශ්‍රී ලාංකිකයකුට මේ ආකාරයට බල්ලන්ට බළලුන්ට මෙන් වෙඩි තබා පලවා හැරීම අනීතික බවත්, සාගර ලක්ෂ්මන්ට මෙරට තුළදීවත් සාධාරණයක් ඉටු කරන ලෙසද ඉල්ලීමක් කළේය.

ටී.කේ.ජී. කපිල

Friday, July 26, 2024

හරීන්ට හා මනුෂට ඒරෙහිව අල්ලස් පැමිණිල්ලක්

 


නවෝද්‍යා පවනි


ක්‍රීඩා හා යෞවන කටයුතු අමාත්‍ය හරීන් ප්‍රනාන්දු හා කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනූෂ නානායක්කාර යන මහත්වරුන්ට එරෙහිව පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ වසන්ත යාපා බණ්ඩාර මහතා විසින් ඊයේ (25දා) පෙරවරුවේ අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිෂන් සභාව වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.


ඒ ඔවුන් දෙදෙනා ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන රාජ්‍ය දේපළ සහ මුදල් අනිසි ලෙස වියදම් කරමින් රට පුරා සංගීත සංදර්ශන සහ උත්සව පවත්වමින් අනියමින් මැතිවරණ ප්‍රචාරණ කටයුතු සිදු කරන බවට චෝදනා කරමිනි.

 

අමාත්‍ය හරීන් ප්‍රනාන්දු ඉදිරි ජනාධිපතිවරණය ඉලක්ක කොට ගනිමින් තරුණ සේවා සභාවේ මුදල් නාස්තිකාර ලෙස වියදම් කරමින්, වාර්ෂික සැලැස්මද පසෙක ලා රට පුරා විවිධ සංගීත ප්‍රසංග පවත්වමින්, විදේශ ගායක ගායිකාවන්ට මිලියන ගණන් මුදල් වියදම් කරමින් ඉදිරි මැතිවරණයේදී තම අපේක්ෂකයා යග්‍රහණය කරවීමේ මැතිවරණ ප්‍රචාරණ ක්‍රියාවලියක් සිදු කරන බවට මන්ත්‍රීවරයා මෙහිදී චෝදනා කර තිබේ.


ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවක් දුන්නම ජනාධිපතිවරයාටයි ,කැබිනට් ඒකටයි ඔන විදියට තීන්දු ගන්න බැ

 


දිනේෂ් සමරකෝන්


පොලිස්පතිවරයාට ශ්‍රේෂ්ඨාධිකරණය ලබා දුන් නඩු තීන්දුව ක්‍රියාත්මක නොකර ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරවල් එල්ල කිරීම සිදු නොකළ යුතු බව විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය. පාර්ලිමේන්තුවේදී ඊයේ (25දා) ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.මෙහි අවසන් තීරණයක් ගැනීමට ව්‍යවස්ථාදායක සභාවට යොමු කළ යුතු බවට තමාගේ මතය බව ඊට ප්‍රතිචාර දක්වමින් සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේමප්යන්ත් මහතා පැවසීය.


විපක්ෂනායක සජිත් ප්‍රේමදාස - රටේ උත්තරීතර නීතිය ක්‍රියාත්මක කරන මේ පද්ධතිය තුළ අපි යුක්තිගරුක වෙන්නත් ඕනි, නීතිගරුක වෙන්නත් ඕනි. නීතියේ ආධිපත්‍ය අපි සුරක්ෂා කරන්න ඕනි. අපිට ඕනි විදියට රටේ නීතිය හසුරවන්ත, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව හසුරවන්න බෑ. මම මේ කාරණාව කියන්නේ අධිකරණය තීන්දුවක් දෙනකොට, ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් ලබාදෙනකොට අපි ඒ තීන්දුව ක්‍රියාත්මක කරන්න බැඳී ඉන්නවා. අපිට ආපසු ඒ ප්‍රශ්න කරන්න බෑ. අධිකරණයට ලබා දිය යුතු ඒ ගරුත්වය අපි ලබා දෙන්න ඕනි. ඊයේ ලබා දුන්න ශ්‍රේෂ්ඨාධිකරණයේ අත්හිටුවීම ගැන විම විවිධ කතා මතුවෙනවා. කැබිනට් එකත් මේ ගැන සාකච්ඡා කළාලු. 


දින දෙකක් මේ ගැන පරීක්ෂණ කරන්න අවශ්‍යලු. ඇත්තට බොහොම පැහැදිලි තීන්දුවක් දීලා තියෙනවා. ඒ පැහැදිලි තීන්දුව ක්‍රියාත්මක කරන්නට අනිවාරේයන්ම ව්‍යවස්ථාදායකයක්, විධායකයත් බැඳිලා ඉන්නවා. අපිට ඒවගෙන් පැනලා යන්න බෑ. ඒ නිසා මම ඉල්ලනවා ප්‍රජාතන්ත්‍රවාදයට මරු පහරවල් එල්ල කරන්න යන්න එපා. ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දුන්නම ජනාධිපතිවරයාටයි, කැබිනට් එකටයි ඕන විදියට තීන්දු තීරණ ගන්න බෑ. 

සභානායකතුමා අදාළ තැන්වල උපදෙස් දීලා මේ නීතිය ක්‍රියාත්මක කරන්න ඕනි විදිය ගැන පංතියක් කරන්න.


සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් - ව්‍යවස්ථාදායක සභාව විධායකයේ කොටසක්. කැබිනට් එකේ සාකච්ඡා කරලා තීන්දු කරන්න බෑ. කැබිනට් එකේ කතා කරන්න පුළුවන්. අපි නීතිඥයෝ වුණාට උසාවිය ඇතුළෙ හිටියේ නෑනේ තීන්දුව දෙනකොට. ඒකේ පාර්ශ්වකරුවොත් නෙවෙයි අපි. ඒ නිසා මට වුණත්, ඕනෑම කෙනෙකුට කාලයක් අවශ්‍ය වෙනවා මේක පරිශීලනය කරලා මතය කියන්න. ඒකේ කිසිදු වරදක් නෑ. මේ වගේ නියෝගයක් දුන්නම ඒක ක්‍රියාත්මක කරන්නේ කවුද? එතනයි ප්‍රශ්නය තියෙන්නේ. දැන් කථානායකතුමා නෑ. එතුමා තමයි ව්‍යවස්ථාදායක සභාවේ ප්‍රධානියා. ඒ නිසා කථානායකතුමා ආවම අපිට එතුමාට ඒ ප්‍රශ්නය යොමු කරන්න පුළුවන්. මගේ මතය මේක ව්‍යවස්ථාදායක සභාවට නැවත යොමු විය යුතුයි.


විපක්ෂයේ ප්‍රධාන සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල - ව්‍යවස්ථාදායක සභාව විධායකයේ කොටසක්. ජනාධිපතිතුමත් කිව්වා. ඒක අපි කවුරුත් පිළිගෙන තිබෙනවා. ඒ අනුව 19වැනි ව්‍යවස්ථා සංශෝධනයෙයි, 21වැනි ව්‍යවස්ථා සංශෝධනයෙයි මූලික අයිතිවාසිකම් පෙත්සම් ගේන්න පුළුවන් විධායකයට විරුද්ධව. දැන් පොලිස්පති පත් කළේ ජනාධිපතිතුමා. දැන් අධිකරණය තීන්දුවක් දීලා තියෙනවා. ආණ්ඩුවට කල් මරන්න බෑ. ඉතින් මුලින් තීන්දුව ක්‍රියාත්මක කරලා පසුව පැමිණිලි කරන්න. ඊයේ මේක පැය 03ක් කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා කළා කියලා පුවත්පත්වල තියෙන්වා. ඒ අනුව හිතාමතා මේ නඩු තීන්දුව ක්‍රියාත්මක නොකර මේක ඇදගෙන යන්න හැදුවොත් මුළු කැබිනට් මණ්ඩලයම අධිකරණයට අපහාස කිරීමක් කළා සේ සිදු වෙනවා. 


පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී.එල් පීරිස් - බොහොම නිවැරදිව සභානායකතුමා ඊයේ කිව්වා මේක කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වුණේ නෑ, ඒක කැබිනට් මණ්ඩලයට කාර්යභාරයට ඒක අයත් වෙන්නේ නෑ කියලා. මම එකඟ වෙන්නේ නෑ ආයෙත් ව්‍යවස්ථාදායක සභාව කැඳවලා මේක ව්‍යවස්ථා සභාවට යමු කරන්න ඕනි කියලා. මේක ශ්‍රේෂ්ඨාධිකරණයේ නියෝගයක්. වැඩබලන පොලිස්පති කෙනෙක් පත් කරන්න ව්‍යවස්ථා සභාවේ අනුමැතිය අවශ්‍ය නෑ.


පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර - වැඩබලන නීතිපතිවරයෙක් පත්කරන්න පුළුවන් නම් ජනාධිපතිට වැඩබලන පොලිස්පතිවරයෙක් පත් කරන්නේ නැත්තේ ඇයි?


සභානායක, අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත්- අපි ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුවලට ගර කරනවා. කැබිනට් එකේ සාකච්ඡා වුණේ නෑ මේ සම්බන්ධයෙන්. මොකද කැබිනට් එක දුත්තේ විනාඩි 45යි. කැබිනට් එකට අයිති දේකුත් නෙවෙයි මේක.


ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක අමාත්‍ය ප්‍රසන්න රණතුංග - විපක්ෂය හැමදාම පොලිස්පතිවරයා යුක්තිය මෙහෙයුම කරනකොට විරුද්ධයි. ඊයේ වැඩියෙන්ම සන්තෝස වුණේ පාතාලේ අය. විපක්ෂයට රැකවරණය දෙන්නේ පාතාලය.


ජාජබයෙන් මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයක්


නවෝද්‍යා පවනි


ජාතික නබලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය අද (26දා) සිට පැය 24 පුරා ක්‍රියාත්මක වේ. ඒ අනුව අංක: 27 ඒ, දකුණු වටරවුම් පාර, ජයන්තිපුර, බත්තරමුල්ල ලිපිනයේ එම මධ්‍යස්ථානය පිහිටුවා ඇති අතර, 0112 796388, 071 435 6301, 0777 307409 යන දුරකථන අංක ඔස්සේ හා bmc@npp.lkයන විද්‍යුත් ලිපිනය ඔස්සේ ඊට සම්බන්ධ විය හැකිය.නිදහස් හා සාධාරණ මැතිවරණයක් අපේක්ෂාවෙන් පූර්ව මැතිවරණ ක්‍රියාවලිය පිළිබඳ තොරතුරු රැස්කිරීම සහ මැතිවරණ ක්‍රියාවලියට බාධා වන සියලු කටයුතු පිළිබඳ තොරතුරු රැස්කිරීම හා අවශ්‍ය වූ විටෙක අධිකරණ ක්‍රියාමාර්ගවලට යොමුවීම මෙම මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය හරහා සිදු කිරීමට නියමිතය.


අනීතික ක්‍රියාවලින් වැළකී සිටින ලෙස පොලිස් නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින බව ජාතික ප්තබලවේගයේ විශ්‍රාමික පොලිස් සාමූහිකයේ ප්‍රධානී, විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙවිරත්න මහතා පැවසීය.ජාතික ජනබලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානයේ මාධ්‍ය හමුව අමතමින් ඊයේ (25දා) ඒ මහතා මෙම අදහස් පළ කළේය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා


"2024 පැවැත්වෙන ජනාධිපතිවරණය අරමුණු කරගෙන අංක: 27 ඒ, දකුණු වටරවුම් පාර, ජයන්තිපුර, බත්තරමුල්ල, යන ස්ථානයේ ජාතික නබලවේගයේ මැතිවරණ නිරීක්ෂණ මධ්‍යස්ථානය, 2024 ජූලි මස 26වන දින ආරම්භ කිරීමට බලාපොරොත්තු වෙනවා. මෙම නිරීක්ෂණ මධ්‍යස්ථානය පිහිටුවීමේ අරමුණ නිදහස් හා සාධාරණ මැතිවරණයක් අපේක්ෂාවෙන් පූර්ව මැතිවරණ ක්‍රියාවලිය පිළිබද තොරතුරු රැස්කිරීම සහ ඒ මැතිවරණ ක්‍රියාවලියට බාධා වන සියලු කටයුතු පිළිබද තොරතුරු රැස්කිරීම මෙම මධ්‍යස්ථානයෙන් කිරීමට අපේක්ෂා කරනවා. ඒ වගේම ඒ ලබා ගන්නා තොරතුරුවලට අදාළ ක්‍රියාමාර්ගවලට යොමුවීම මෙම මධ්‍යස්ථානය මගින් සිදුකරනවා. එයට සමගාමීව බලධාරීන් දැනුවත් කිරීම, මාධ්‍ය දැනුවත් කිරීම, ජනතාව දැනුවත් කිරීම, මෙම මධ්‍යස්ථානය මගින් සිදුකරනවා. අවශ්‍ය වූ විටෙක අධිකරණ ක්‍රියාමාර්ග කරා යොමුවීමට අපේක්ෂා කරනවා.


මෙම මැතිවරණ කාර්යාලය භාරව ජාතික ජන බලවේගයේ සාමාජික, විශ්‍රාමික පොලිස්සාමූහිකයේ සාමාජික, විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති ඩේවිඩ් ගසිංහ මහතාත්, විශ්‍රාමික පොලිස් අධිකාරී උපාලි පියනන්ද මහතා ඇතුළු කාර්ය මණ්ඩලයත් හෙට දින සිට පැය 24 පුරාම ඉහත ලිපිනයේ ක්‍රියාත්මක වෙනවා. 0112 796388, 071 435 6301, 0777 307409 යන දුරකථන අංක තුන ඉහත සදහන් ලිපිනයේ ස්ථාපිත කොට තිබෙනවා. ඊට අමතරව bmc@npp.lkයන විද්‍යුත් ලිපිනය අපි ස්ථාපිත කොට තිබෙනවා. යනුවෙන් පැවසීය.”


ආණ්ඩුවේ 48කගේ සහාය රනිල්ට

 


නවෝද්‍යා පවනි


ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් හා පසුපෙළ මන්ත්‍රීවරුන් 48දෙනෙකු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළකිරීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් පවත්වා ඇති බව වාර්තා වේ. පෙරේදා (24දා) රාත්‍රියේ දී කොළඹ ස්ථාන දෙකකදී කණ්ඩායම් දෙකක් වශයෙන් හමුවී මෙම සාකච්ඡා පවත්වා ඇතැයි වාර්තා වෙයි.ඒ අනුව ආණ්ඩු නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් 30දෙනෙකු කොළඹ මල් පාරේදී හමුවී සාකච්ඡා කර ඇති අතර, ආණ්ඩුවේ පසුපෙළ මන්ත්‍රීවරුන් 18දෙනෙකු තලවතුගොඩ ප්‍රදේශයේ හෝටලයකදී හමුවී සාකච්ඡා පවත්වා පවත්වා තිබේ.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ඉදිරි ජනාධිපතිවරණයට පොහොට්ටුව ලකුණින් ඉදිරිපත් කළහොත් ඇතිවන තත්ත්වයන් සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශ්වයම දීර්ඝ වශයෙන් සාකච්ඡා කළ බවද වාර්තා වෙයි. එමෙන්ම මෙහිදී දෙපාර්ශ්වයේම අවසන් එකඟතාව වී ඇත්තේ මේ මොහොතේදී තම සහය වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදීම සුදුසු බවයි.


ඒ අනුව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ජනාධිපතිවරණ ප්‍රචාරණ කටයුතු සිදුකිරීම,දේශපාලන කාර්යාලය පිහිටුවීම, ඡන්ද පොළ නියෝජිතයන් පත්කිරීම, මාධ්‍ය කටයුතු සිදුකිරීම වැනි කරුණු සම්බන්ධයෙන් මෙහිදී දෙපාර්ශ්වයේම වැඩි අවධානය යොමුව ඇති බවද දේශපාලන ආරංචිමාර්ග පවසයි.එමෙන්ම පාර්ලිමේන්තුව නියෝජනය කරන දේශපාලන පක්ෂ හා කණ්ඩායම්වල සහාය ජනාධිපතිවරයාට ලබා ගැනීම සම්බන්ධයෙන් පුළුල් වැඩපිළිවෙළක් සැකසීම පිළිබඳවද මෙහිදී දීර්ඝව සාකච්ඡා වී ඇති බවද දේශපාලන ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.


ඊට අමතරව රජය විසින් දැනට ආරම්භ කර ඇති සංවර්ධන ව්‍යාපෘති ඇතුළු රජයේ ව්‍යාපෘති සමග ජනතාව දැනුවත් කිරීම ඡන්ද කොට්ඨාස මට්ටමින් විධිමත් යාන්ත්‍රණයක් සකස් කිරීම පිළිබඳවද මෙහිදී සාකච්ඡා වී ඇති බවද වාර්තා වේ.මේ අතර ආණ්ඩුව නියෝජනය කරන කැබිනට් හා රාජ්‍ය අමාත්‍යවරුන් ඇතුළු මන්ත්‍රීවරුන් 30 දෙනෙකු පමණ ඊයේ (25දා) පාර්ලිමේන්තුවේදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හමුවී ඉදිරි ජනාධිපතිවරණයේ දී සිය සහය රනිල් වික්‍රමසිංහ මහතාට ලබාදෙන බව පවසා ඇතැයි වාර්තා වේ. මහින්ද රාජපක්ෂ මහතා හමු වී එම මන්ත්‍රීවරුන් විශේෂ සාකච්ඡාවක් පවත්වා තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි.


එහිදී එම මන්ත්‍රීවරුන් පවසා ඇත්තේ ඉදිරි ජනාධිපතිවරණයේදී තමන් ඇතුළු පොදුජන පෙරමුණේ පිරිසක් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහය දැක්වීමට තීරණය කර ඇති බවයි.මේ මොහොතේ පක්ෂයේ බහුතරයක් දෙනා වත්මන් ජනාධිපතිවරයාට සහය පළ කිර්මට තීරණය කර ඇති බැවින් පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් කළහොත් එය පක්ෂයේ ඡන්ද පදනමට හානි විය හැකි බවද ඔවුන් හිටපු ජනාධිපතිවරයාට පෙන්වා දී තිබේ.එබැවින් පක්ෂයෙන් වෙනත් අපේක්ෂකයකු ඉදිරිපත් නොකරන ලෙසද ඔව්හු හිටපු ජනාධිපතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇතැයි වාර්තාවේ. එහිදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසා ඇත්තේ තමන් පක්ෂය සමඟ සාකච්ඡා කර කඩිනමින් තීන්දුවක් ලබා දෙන බවය.


රනිල්ට උදවු කරලා වුණේ පක්ෂය දෙකට කැඩීමයි



ආරියරත්න රණබාහු


ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදවු කිරීමෙන් අපට ලැබුණු දායාදය පක්ෂය දෙකට කැඩීම යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවැසීය.එම පක්ෂ කාර්යාලයේ ඊයේ (25) පැවැති සාකච්ඡාවකින් පසුව මාධ්‍යයට අදහස් දැක්වූ රාජපක්ෂ මහතා මෙසේ ද කීය.


රනිල් වික්‍රමසිංහ මහතාට අපි පූර්ණ සහයෝගය දුන්නා අපට නොගැළපෙන දේවල් කළත් අද වෙනකම් අපි වචනයකින්වත් මොනවත් කළේ නෑ. හැබැයි ඉතින් පක්ෂයක් විදියට අපට ලැබිච්ච දායාදය නම් පක්ෂය දෙකට කඩපු එක අපි දේශපාලන තීන්දුවක් ගනිමු. අපි අවංකව රනිල් මහත්තයාට උදවු කළා. එතුමා මෙහෙම කරන්නේ පොහොට්ටුවට නෙමෙයි. පුරුද්දට. එතුමා ගේන කොටත් අපි ඒක දන්නවා. එජාපය කැඩුවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කැඩුවා. යහපාලන ආණ්ඩුව කැඩුවා. ජනතා විමුක්ති පෙරමුණත් කැඩුවා. එල්ටීටීඊ සංවිධානයත් කැඩුවා. ඒ තමයි එතුමාගේ පුරුද්ද. ඉදිරියටත් අපි එතුමා සමග සාකච්ඡා පවත්වනවා. ගැළපෙන තැනකට ආවොත් ආණ්ඩුවක් ගැන සාකච්ඡා කරන්න සූදානම් යැයි ද කීය.


කටාරයේ ගින්නකින් ලාංකික කාන්තාවන් 10 කට තුවාල

 


සුනිල් එස්. පැල්ලන්දෙණිය


කටාර් රාජ්‍යයේ අල්-කීසා ප්‍රදේශයේ පිහිටි තෙමහල් නේවාසිකාගාරයක පෙරේදා (24) සවස ඇතිවූ ගින්නකින් ශ්‍රී ලාංකික හා නේපාල ජාතික කාන්තාවන් විශාල පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.තට්ටු තුනකින් යුත් මෙම මහල් ගොඩනැගිල්ලේ දෙවැනි මහලේ මෙම ගින්න හටගෙන ඇති අතර, එහි සිටි ලාංකික හා නේපාල් ජාතික කතුන් විශාල පිරිසක් සිය ජීවිතය බේරා ගැනීමට ඉහළ මහලේ සිට බිමට පැනීම නිසා වැඩි දෙනා තුවාල ලබා ඇතැයි කියති.


එයින් කිහිපදෙනෙකුටම බරපතළ තුවාල සිදුවී ඇතැයි ද වාර්තා වේ.ගින්න හට ගැනීමෙන් පසුව කටාර් රජය සිය ගිනි නිවන හමුදාව හා ගැලවීම් හමුදාව යොදා ගනිමින් අනතුරට ලක්ව සිටි නේවාසික පිරිස් බේරා ගැනීමට කටයුතු කර ඇත. ඒ සඳහා කටාර් ගුවන් හමුදාවේ හෙලිකොප්ටර් යානා ද යොදාගෙන ඇත.ගින්න හටගත් ගොඩනැගිල්ලෙහි කාන්තාවන් හයසියයකට ආසන්න පිරිසක් නේවාසිකව සිටින අතර ඔවුන් කටාර් රාජ්‍යයේ විවිධ ආයතනවල පිරිසුදු කරන්නියන් බව ද කියති.


“හදිසියේ මුළු බිල්ඩිමම දුමින් වැහිලා ගියා. ඒ වෙලාවේ අපි බොහෝ දෙනෙක් සේවය නිම කරලා ඇවිත් නේවාසිකාගාරය තුළ ගිමන් හරිමින් සිටියේ. සමහරුන් හවස සේවයට යන්න සූදානමින් හිටියා. ඒ අතර තමයි මේක සිද්ධ වුණේ. අපට මොකුත් හිතාගන්න බැරුව ගියා. අපේ බොහෝ දෙනෙක් බයටම උඩ තට්ටුවේ ඉඳල පහළට පැන්නේ ජීවිත බේරාගන්නයි. එහෙම පැනපු අය තමයි තුවාල වෙලා ඉන්නෙ".

‘ලංකාවේ කාන්තාවන් දහ දොළොස් දෙනකුට වැඩිය ඒ විදියට තුවාල වෙලා ඉන්නවා. සමහරුන්ගේ කකුල් අතපය පවා කැඩිල තිබුණා ' යැයි මෙම අනතුරට මැදිවූ ශ්‍රී ලාංකික කාන්තාවක් කියා සිටියාය.


ගින්න හේතුවෙන් නේවාසික පිරිසේ විදේශ ගමන් බලපත්‍ර ඇතුළු වටිනා ලියකියවිලි ද විනාශ වී ඇති බව ද සඳහන්ය. මෙම හදිසි ගින්නට හේතුව ගොඩනැගිල්ලෙහි දෙවැනි මහලෙහි සිදුවූ විදුලි කාන්දුවක් බව ද අනාවරණය කරගෙන තිබේ.


සරසවි සිසුවියගේ ගිණුමේ කෝටි 1 1/2ක්



වැඩි ප්‍රතිලාභයක් ලබා දෙන බවට පවසමින් මෙරට ප්‍රධාන පෙළේ බැංකු 09ක ගිණුම් 55 හරහා රුපියල් කෝටි 30කට අධික මුදල් වංචනිකව ලබා ගත්තේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කළ ‘ෆූගෝ ඔන්ලයින්’ පිරමීඩාකාර මූල්‍ය ආයතනයේ ලේකම්වරිය වශයෙන් කටයුතු කරන විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක ලබන 06 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (25) නියම කළේය.


විශ්ව විද්‍යාල ශිෂ්‍යාවක වන සැකකාරියගේ බැංකු ගිණුමේ රුපියල් කෝටි 1 1/2කට අධික මුදල් ප්‍රමාණයක් තිබූ බව කියමින් රහස් පොලිසිය දැක්වූ කරුණු පිළිගනිමින් සැකකරිය රිමාන්ඩ් බාරයේ රඳවා තැබීමට මහෙස්ත්‍රාත්වරයා නියම කළේය. සමාගමේ මුදල් ආයෝජනය කිරීමෙන් මාසිකව වැඩි ප්‍රතිලාභයක් ලබා දෙන බවට පවසමින් වංචා කිරීමේ අරමුණින් රුපියල් කෝටි ගණනක් ජනතා මුදල් පිරමීඩ සමාගම වෙනුවෙන් තැන්පතු වශයෙන් බාරගත් පුද්ගලයන් හා බැංකු ගිණුම් අයත් පුද්ගලයන් කවුරුන්දැයි විමර්ශන කරන බවද දැනුම් දුන් රහස් පොලිස් නිලධාරීහු සිද්ධියට අදාළව කෙරුණ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ද සිද්ධියට අදාළව අත්අඩංගුවට ගැනුණ විශ්වවිද්‍යාල ශිෂ්‍යාව ද අධිකරණයට ඉදිරිපත් කළහ. 


පැමිණිල්ල වෙනුවෙන් කරුණු ඉදිරිපත් කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු ශ්‍රී ලංකා මහ බැංකුවේ තැන්පතු හා රක්ෂණ නිරාවරණ දෙපාර්තමේන්තුව කළ පැමිණිල්ලකට අනුව පසුගිය මාර්තු මාසයේදී මෙම විමර්ශනය ආරම්භ කළ බව දැනුම් දුන්හ.රහස් පොලිසිය අදාළ සමාගමේ අධ්‍යක්ෂවරුන් වන වලස්මුල්ලේ පදිංචි එදිරිසිංහ ආරච්චිගේ එරන්ද දිල්ෂාන් සමරජීව සහ මෙම සැකකාරියට එරෙහිව රහස් පොලිසිය පොලිසිය පසුගිය අප්‍රේල් මාසයේ දී විදෙස් ගමන් තහනමක් ගෙන තිබිණි.

 

සැකකාරියගේ බැංකු ගිණුමේ රුපියල් එක්කෝටි පනස් ලක්ෂයකට අධික මුදලක් ඇති බවත් සමාගමේ ගිණුම් 50කට අධික ප්‍රමාණයක් ඇති බව මේ වන විට අනාවරණය කරගෙන ඇති බවත් දැනුම් දුන් රහස් පොලිස් නිලධාරීහු එම ගිණුම් මගින් රුපියල් කෝටි 30කට අධික මුදලක් වංචා කර ඇති බවට මේ වන විට කරුණු අනාවරණය වී ඇති බවත් පැවසීය. මෙම පිරමීඩාකාර සමාගම රුපියල් 9000/- සිට 250000/- දක්වා ජනතා මුදල් ආයෝජන වශයෙන් භාරගෙන ඇතැයි ද මෙරට ප්‍රධාන පෙළේ බැංකු 09ක් ගිණුම් 55 හරහා පිරමීඩාකාර සමාගම තැන්පතු භාරගෙන ඇතැයි ද කී රහස් පොලිසිය පිරමීඩ සමාගම වෙනුවෙන් තැන්පතු භාරගත් පුද්ගලයන් කවුරුන්දැයි හෙළි කර ගැනීම සඳහා විමර්ශන කරන බවද පැවසීය.ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකාරියේ රක්ෂිත බන්ධනාගාර ගත කළ මහේස්ත්‍රාත්වරයා වැඩිදුර විමර්ශනවල ප්‍රගතිය අගෝස්තු 06 වැනිදා අධිකරණයට දැනුම් දුන්නේය.

  රෝෂන් තුෂාර

විපක්ෂයේ විරෝධය මැද ආර්ථීක පනත් 2ක් සම්මතයි

 


අංජුල මහික වීරරත්න


රාජ්‍ය මූල්‍ය කළමනාකරණ පනත් කෙටුම්පත සහ ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඡන්ද විමසීමකින් තොරව සංශෝධන සහිතව පාර්ලිමේන්තුවේ දී ඊයේ 25 පස්වරුවේ සම්මත විය.පනත් කෙටුම්පත් දෙකට කාරක සභාව අවස්ථාවේ දී සංශෝධන එක් කෙරිණ. අනතුරුව තෙවැනි වර කියවීම ඡන්ද විමසීමකින් තොරව සම්මත විය.පනත් කෙටුම්පත් දෙක පසුගිය මැයි 22වැනිදා   පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනු ලැබීය.


ආර්ථිකයේ පරිවර්තන සඳහා ප්‍රතිපාදන සැලසීම මෙම ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පත ඉදිරිපත් කිරීමේ අරමුණයි.පනත් කෙටුම්පත් දෙකට විරෝධය පළ කරන බව විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා සභාව ආරම්භයේ දී පැවසීය.ආර්ථික පරිවර්තන පනත් කෙටුම්පතට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතාවලට අදාළ සංඛ්‍යා ලේඛන ඇතුළත් කර ඇතැයි පැවසූ කිරිඇල්ල මහතා මෙවැනි දේවල් පනතකට ඇතුළත් කිරීමෙන් අනාගත ආණ්ඩුවකට ගැටලුකාරී තත්වයක් මතුවන බව ප්‍රකාශ කළේය.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කරගත් එකඟතා මේ පනතට ඇතුළත් කිරීම අසීලාචාර ක්‍රියාවක් බවද ඔහු පෙන්වා දුන්නේය.


“මෙවැනි පනත් ඉදිරිපත් කරන්නේ අපේ ආණ්ඩුව අපහසුතාවට පත් කරන්න” යැයි ලක්ෂ්මන් කිරිඇල්ල මහතා වැඩිදුරටත් පැවසුවේය.


සමගි ජන බලවේගයේ කරගන්නා බව මුලසුනේ විරෝධය සටහන් සිටි නියෝජ්‍ය කතානායක අජිත් රාජපක්ෂ මහතා එහිදී පැවැසීය. පනත් කෙටුම්පත් පිළිබඳ විවාදය ඊයේ උදේ 10.00 සිට සවස 6 දක්වා පැවැත්විණ.


සමරිසි පනත සදාචාරය වනසන මර උගුලක්

 යොහාන් භාසුර


රජය ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති ‘සමලිංගික පනත් කෙටුම්පත්' ශ්‍රී ලංකාවේ සංස්කෘතියට ඔරොත්තු නොදෙන බවත් මෙය සමරිසි අයිතිවාසිකම් යැයි සංස්ථාගත කර මුදල් සහ දේශපාලන බලය මත සදාචාරය විනාශ කිරීමේ උගුලක් බවත් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමෝ ඊයේ (25) පැවසූහ.රජය ඉදිරිපත් කිරීමට සූදානම් වන ‘සමලිංගික පනත් කෙටුම්පත්' පිළිබඳව ජනතාව දැනුවත් කිරීම වෙනුවෙන් ‛ජාතික සමගිය සඳහා වූ ආගමික සන්ධානය' කොළඹදී ඊයේ (25) පෙරවරුවේ පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවේදී කාදිනල්තුමෝ එසේ සඳහන් කළහ.


කාන්තා අයිතිවාසිකම් පිළිබඳව කිසිදු ගැටලුවක් නොමැති සහ කාන්තාවට ගරු කළ යුතු මෙන්ම සම අයිතිවාසිකමක් දිය යුතු බවත් කාන්තා අයිතිවාසිකම් යටතේ තමන් කැමැති කැමැති විදියට ගබ්සා කිරීම් වැනි දේවල්වලට ඉඩදිය නොහැකි බවත් අගරදගුරුතුමෝ කීහ.කතෝලික ආගමට අනුව සෑම දරුවකුම දෙවියන්වහන්සේ දෙන තෑග්ගක් ලෙස සලකන බව කී අගරදගුරුතුමෝ වැරැදි අංශ වලින් ගබ්සාවන් වැනි දෙයට නිදහස දීමට එකඟවිය නොහැකි බව ද සඳහන් කළහ.


ශ්‍රී ලංකාවේ සංස්කෘතියේ පදනම වන බෞද්ධ ආගම ඇතුළු සෙසු ආගම් ප්‍රකාශ කරන පරිදි පවුල් ජීවිතය ආරක්‍ෂා කළ යුතු බවත් සංස්කෘතිය විකෘතිය කරන ව්‍යාපාරවලට අවස්ථාව දිය නොහැකි බවත් කාදිනල්තුමෝ පැවසූහ.මෙම නීති ගෙන ඒමට ජාත්‍යන්තර මට්ටමේ ව්‍යාපාර සංවිධානවලට අරමුදල් ලැබෙන බවත් විශේෂයෙන්ම තුන්වැනි ලෝකයේ රටවල්වල බලපෑම් ගෙනත් සංස්කෘතිය විනාශ කර මනුස්සත්වය පහළම තත්වයට පාගා දැමීමට උත්සාහ කරන බවත් අගරදගුරුතුමෝ කීහ.


බටහිර ලෝකයේ රටවල් විශේෂයෙන්ම මානව හිමිකම් යැයි පවසමින් මෙම සමරිසි ව්‍යාපාරය ක්‍රියාත්මක කරන බව කී අගරදගුරුතුමෝ සමහර බලවත් රටවල තානාපති කාර්යාල ප්‍රසිද්ධියේ මේ සඳහා කටයුතු කරමින් සිටින බව ද සඳහන් කළහ.විශේෂයෙන් ශ්‍රී ලංකාවේ දේශපාලන ක්ෂේත්‍රයේ මේවායේ නියෝජිතයන් සිටින බවත් බටහිර ලෝකයට ගැතිකම් කරන, බටහිර විදිහට ඇඳුම් අඳින, බටහිර ලෝකයේ චින්තනය පුළුවන් තරම් ව්‍යාප්ත කිරීමට උත්සාහ කරන නායකයන් රට පාලනය කරන බවත් කාදිනල් තුමෝ කීහ. දොළවත්ත මහතා ඉදිරිපත් කර ඇති පනත රජය ඉදිරිපත් කිරීමට සැලසුම් කර ඇති කාන්තා අයිතිවාසිකම් පිළිබඳ පනත යන දෙකේ කරුණු පැහැදිලි කරගෙන යද්දී ඉතාම භයානක තත්වයක් ශ්‍රී ලංකාවේ නිර්මාණය කිරීමට පියවර තබමින් සිටින්නේ යැයි පෙනී යන බවත් මෙය විවාහය සහ පවුල් ජීවිතය කඩාකප්පල් කිරීමේ උත්සාහයක් ලෙස හැඳින්විය හැකි බවත් අගරදගුරුතුමෝ පැවසූහ.


නිදහස පිළිබඳව වැරැදි අදහසක් ඉදිරිපත් කර ඒ පදනම මත මෙම පනත් දෙකේ සමහර දේවල් ඉදිරිපත් කර ඇති බවත් විශේෂයෙන්ම සමරිසි අයිතිවාසිකම් පිළිබඳ පනත එක්තරා විදියක වැරැදි ක්‍රමයක් අනුගමනය කිරීමට උත්සාහ කරමින් එය මානුෂික අයිතිවාසිකමක් ලෙස හඳුන්වා දීමට උත්සාහ කර ඇති බවත් කාදිනල්තුමෝ කීහ. විවාහ ජීවිතය ජීවිතය සිදුවිය යුත්තේ පුරුෂයකු සහ ස්ත්‍රියක අතර පමණක් යැයි කතෝලිකයන් විශ්වාස කරන බවත් පුරුෂයන් දෙදෙනකු හෝ ස්ත්‍රීන් දෙදෙනකු අතර විවාහයක් සිදුවිය නොහැකි බවත් අගරදගුරුතුමෝ සඳහන් කළහ.පවුල් සංස්ථාව සමාජයේ පළමු අත්තිවාරම වීම නිසා සෑම ආගමකම එය පදනම් කරගෙන සත්‍යතාවක් ලෙස පිළිගෙන ඇති බව කී කාදිනල්තුමෝ පවුල් සංස්ථාව දෙදරා යෑමට දුන්නහොත් අපේ රට විනාශය කරාගෙන යෑමට දොර විවෘත කිරීමක් බවද පැවසූහ.


සමහර පුද්ගලයන් උපතින්ම සමරිසි ආකල්ප ඇතිව බිහිවීම නිසා එවැනි අයගේ අයිතිවාසිකම් ආරක්‍ෂා කිරීමට බැඳී සිටින බවත් ඔවුන්ට සමාජයේ පිළිගැනීම ඇතිව වෙනත් අයට තිබෙන අයිතිවාසිකම් ලැබිය යුතු යැයි පිළිගන්නා බවත් උන්වහන්සේ සඳහන් කළහ.සමරිසි අයිතිවාසිකම් පිළිබඳ වැඩපිළිවෙළ සංස්ථාගත කර ඕනෑම කෙනකුට නිදහසේ තෝරාගත හැකි ක්‍රමයක් යැයි හඳුන්වා ඒ අයිතිවාසිකම් ඉදිරිපත් කිරීමට සහ තමන්ට කැමැති කැමැති විදියට සමරිසිකම පෙන්වීම වැරැදි යැයි විශ්වාස කරන බව ද කී අගරදගුරුතුමා පැවසුවේ සමහර රටවල් වල ඉතාම අසික්ෂිත ලෙස සම්පූර්ණයෙන්ම ඇඳුම් නැතුව පෙරහරවල් විකෘති කාම ආශාවල් ප්‍රදර්ශනය කරමින් පාරේ ගමන් කරන බවත්ය.මෙම මාධ්‍ය හමුවට භික්‍ෂූන් වහන්සේ ඇතුළු ආගමික නියෝජිතයෝ සහභාගි වූහ.


Thursday, July 25, 2024

පාසල් නිල ඇඳුම් චීනයෙන් නොමිලේ ලැබීමෙන් රු.බි. 6ක් ඉතිරි වුණා


නවෝද්‍යා පවනී


තමාගේ මැදිහත් වීමෙන් 2025 වර්ෂයට අවශ්‍ය සියලු පාසල් නිලඇඳුම් රෙදි චීන රජයේ ප්‍රදානයක් ලෙස සම්පූර්ණයෙන්ම නොමිලේ ලැබීම හේතුවෙන් රුපියල් බිලියන හයක් ඉතිරි කර ගැනීමට හැකි වූ බව අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය.පසුගිය 2019 – 2021 වර්ෂවල පැවති කොවිඩ් 19 ව්‍යසනය, අරගලය හා වෘත්තීය ක්‍රියාමාර්ග මෙන්ම ආර්ථික පසුබැස්ම නිසා අහිමි වූ සියලු පාසල් අධ්‍යයන කටයුතු 2025 වර්ෂය වන විට යාවත්කාලීන කර අවසන් කරන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත් මහතා පැවසීය. 


ඒ වෙනුවෙන් පසුගිය වසර දෙකක කාලය පුරා අධ්‍යාපන ක්ෂේත්‍රයේ සියලු දෙනා කළ සුවිශාල කැපවීම පිළිබඳ බොහෝ දෙනෙකුට අවබෝධයක් නොමැති බවත් විදුලිය, ඉන්ධන අද අවශ්‍ය පමණ ඇති නිසා රට යථා තත්ත්වයට පත් වෙමින් පවතින අවස්ථාවක එම වෙහෙසකර මතකයන් බොහෝ දෙනෙකුගෙන් ගිලිහී යමින් පවතින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවේය.අමාත්‍යවරයා මේ බව පැවසුවේ ප්‍රාදේශීය මධ්‍යස්ථාන වෙත පෙළපොත් බෙදාහැරීමේ සමාරම්භක වැඩසටහනට සහභාගි වෙමින් පිටිපන ප්‍රධාන ගබඩා සංකීර්ණයේදීය.


එසේම 2024 වර්ෂයට අදාළ පාසල් නිලඇඳුම් සම්පූර්ණයෙන්ම සිසුන්ට ලබා දී අවසන් කර ඇති බවත් ඒවා ලබා ගත්තේද මෙරට ආර්ථිකයට බරක් නොවන ලෙස 80%ක චීන ප්‍රදානයක් වශයෙන් බවත් පැවසූ අමාත්‍යවරයා ඉදිරි 2025 වර්ෂයට අවශ්‍ය පාසල් නිලඇඳුම් රෙදිද සම්පූර්ණයෙන්ම නොමිලේ චීන රජයෙන් ලබා දීමට එකඟ වී ඇති බවත් ඒ සියල්ල නිසි කලට ලබා දීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගනිමින් පවතින බවත් පැවසීය. ඒ අනුව රුපියල් බිලියන හයක් රජයට ඉතුරු වන බව කී අමාත්‍යවරයා 2025 වර්ෂයට අවශ්‍ය පෙළපොත්ද දරුවන්ට නිසි කලට ලබා දීමට අවශ්‍ය පියවර ගනිමින් සිටින බවත් පැවසීය. නව පරිවර්තනීය අධ්‍යාපන ක්‍රමවේදය අනුව 2025 වර්ෂයේ සිට 1, 6, 10 ශ්‍රේණිවල මොඩ්‍යුලර් ක්‍රමයට පන්ති කාමරය තුළ ඉගැන්වීම් සිදු කිරීමට අවශ්‍ය පොත් නිර්මාණය කර ඇති අතර, 2025 ජනවාරි මස එම පොත් ලබා දීමට අපේක්ෂා කරන බවත් ඒ මහතා මෙහිදී සඳහන් කළේය.


ගුවන්තොවේ විද්‍යුත් විසා ක්‍රමය රටේ ආරක්ෂාවට තර්ජනයක්



බුද්ධිමාල් රුබේරු


ගුවන්තොටුපොළ ආශ්‍රිතව පිහිටුවීමට නියමිත විද්‍යුත් වීසා ක්‍රමවේදය මගින් රටේ වැදගත් ආරක්ෂක තොරතුරු ලෝකයට විවෘත වීමේ අවදානමක් ඇති බව සඳහන් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයේ මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කළ හිටපු අමාත්‍යවරුන් පිරිසක් එම ක්‍රමවේදය අවලංගු කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිති. හිටපු අමාත්‍යවරුන් වන පාඨලී චම්පික රණවක, රාවුෆ් හකීම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්දිරන් යන මහත්වරු ගොනු කළ මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම්වල වගඋත්තකරුවන් වශයෙන් නීතිපතිවරයා නම් කර ඇත.


ගුවන්තොටුපොළ ආශ්‍රිතව විද්‍යුත් වීසා ක්‍රමවේදයක් පිහිටුවීමට නියමිත බවත්, එම විද්‍යුත් වීසා ක්‍රමවේද හේතුවෙන් රටේ වැදගත් ආරක්ෂක තොරතුරු ලෝකයට හෙළිවීමේ අවකාශ ඇති බවත් පෙන්වා දෙන පෙත්සම්කරුවෝ එමගින් රටේ ආරක්ෂාවට තර්ජනයක් එල්ල විය හැකි බවද පවසති.මේ තත්ත්වය හේතුවෙන් ජනතාවට ඉදිරියේදී අහිතකර ප්‍රතිඵලවලට මුහුණ දීමට සිදුවිය හැකි යැයි පවසන පෙත්සම්කරුවෝ අදාළ ක්‍රමවේදය අවලංගු කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිති.


මාධ්‍යවේදීන්ටත් තැපැල් ඡන්දයට අවස්ථාව දෙන්න




දිනේෂ් සමරකෝන්


මැතිවරණවලදී ලියාපදිංචි හැඳුනුම්පත් සහිත මාධ්‍යවේදීන්ට තැපැල් ඡන්ද භාවිත කිරීමට අවස්ථාව ලබා දීම සඳහා පාර්ලිමේන්තුව මැදිහත්ව මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමු කරන ලෙස ඉල්ලීමක් කරන බව ජනමාධ්‍ය රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා පැවසීය.පාර්ලිමේන්තුවේදී ඊයේ (24දා) ප්‍රකාශයක් කරමින් හෙතෙම මේ බව සඳහන් කළේය.එහිදී වැඩිදුරටත් රාජ්‍ය අමාත්‍ය ශාන්ත බණ්ඩාර මහතා මෙලෙස අදහස් දක්වා සිටියේය.


“අපි දන්නවා ජනාධිපතිවරණය සහ මැතිවරණ පැවැත්වෙනවා. අපේ රටේ මාධ්‍ය ආයතනවල සේවය කරන අයට කවදාවත් ඡන්දය දාන්න ලැබෙන්නේ නෑ. අපේ රටේ ලියාපදිංචි රූපවාහිනී නාලිකා 17ක් තියෙනවා.ගුවන්විදුලි නාලිකා 52ක් තියෙනවා. මේ වගේ සේවය කරන අය ඡන්දේ දවසේදී මේ ක්‍රියාවලියේ ඉන්නේ. ගොඩක් අය සජීවී විකාශවලට සම්බන්ධ වෙලා ඉන්නේ. මාධ්‍යවේදීන් මගෙන් ඉල්ලීමක් කළා විශේෂයෙන්ම මැතිවරණ කොමිසමේ අවධානය යොමු කරලා ලියාපදිංචි නිල හැඳුනුම්පත් තිබෙන මාධ්‍යවේදීන්ටත් තැපැල් ඡන්දය භාවිත කරන්න අවස්ථාව දෙන්න කියලා. අපි මේ සභාව ලෙස මැතිවරණ කොමිෂන් සභාවේ අවධානය යොමු කරන්න කියලා ඉල්ලීමක් කරනවා."


ඡන්දය ඉලක්ක උත්සව 30ක් කොමිසමෙන් නවත්වයි

 


සුජිත් හේවාජුලිගේ


නිදහස් මැතිවරණයකට බාධාකාරී වූ දේශපාලන මැදිහත්වීමෙන් කෙරුණු උත්සව සහ වැඩසටහන් – තිහකට ආසන්න ප්‍රමාණයක් කොමිසමේ නියෝගයෙන් නතර කෙරුණු බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආර්.එම්.ඒ.එල්. රත්නායක මහතා පැවැසීය.කොමිසමට ලැබුණු පැමිණිලි අනුව, දේශපාලන මැදිහත්වීමෙන් ඡන්ද දායකයන්ට භාණ්ඩ බෙදාදීම් සහ පත්වීම් ලබාදීම් ඇතුළු වැඩසටහන් කිහිපයක් මෙසේ නතර කෙරුණු බව ද ඔහු සදහන් කළේය.පළාත් පාලන මැතිවරණ තවමත් ක්‍රියාත්මක වෙමින් පැවැතීම සහ ජනාධිපතිවරණය පැවැත්වීමේ දිනය ආසන්නවීම යන කරුණු සැලකිල්ලට ගෙන කොමිෂන් සභාව මෙම පියවර ගෙන ඇත.


නිදහස් මැතිවරණයකට බාධාවන සිද්ධීන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව මේ දිනවල දැඩි විමසිල්ලෙන් මේ පසුවන බව පැවැසූ කොමිසමේ සභාපතිවරයා, ජනාධිපතිවරණ දිනය ප්‍රකාශයට පත් කිරීමෙන් පසු ඒ සම්බන්ධයෙන් දැඩිව ක්‍රියාත්මක වීමට නිලධාරී කණ්ඩායම් සූදානමින් තබන බව ද ප්‍රකාශ කළේය.මේ අතර නිදහස් හා සාධාරණ මැතිවරණයකට බාධාවන සිද්ධීන් සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාවට දැන් දැන් පැමිණිලි ගලා එමින් තිබෙන බව මැතිවරණ  කොමිෂන් සභාව පවසයි.මේ අතර ඡන්ද අල්ලස් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ද මේ දිනවල විමසිල්ලෙන් පසුවන බව එහි ආරංචි මාර්ග සඳහන් කළේය.


ශ්‍රී ලංකාවට සෙල්ලම් කරනවා නම් පච්ච-මාල -කොණ්ඩ -කරාබු බෑ

 



දමින්ද විජේසූරිය


ශ්‍රී ලංකාවේ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් අන්තර්ජාතික තරගවලට සහභාගි වීමට නම් පච්චා කෙටීම්, මාල හෝ කරාබු පැළඳ ක්‍රීඩා කිරීම අතහැර, කොණ්ඩය නිසි පරිදි කපා විනයක් ඇතිව පැමිණිය යුතු යයි ශ්‍රී ලංකා කණ්ඩායමේ තාවකාලික ප්‍රධාන පුහුණුකරු සනත් ජයසූරිය මහතා ක්‍රීඩකයන්ට පවසා තිබේ. තමන් පුහුණුකරුවා වශයෙන් සිටින්නේ තාවකාලික පදනමකින් වුවත්, ජාතික ක්‍රීඩකයන් දෙස බලාගෙන ඔවුන්ව ආදර්ශයට ගනිමින් සිටින පාසල් ක්‍රිකට් ක්‍රීඩකයන් ද සිටින බැවින් “විනයක් ඇතුව අඳින්න පළඳින්න” ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයන් පුරුදු පුහුණු විය යුතු බව ද සනත් ජයසූරිය මහතා ක්‍රීඩකයන්ට කියා තිබේ.


“අපි ලොකු දේවල් කරන්න හදන්නේ නෑ. ඒත් පොඩි පොඩි දේවල් වුණත් පිළිවෙළක් ඇතුව කෙරෙන්න ඕන"


“දැනට අපි කියලා තියෙන්නේ අන්තර්ජාතික තරග වලට එනකොට ඔය කොණ්ඩා මෝස්තර, කරාබු, පච්ච වගේ දේවල් ගෙදර තියල එන්න කියලයි" යයි සනත් ජයසූරිය මහතා පැවසීය.


ශ්‍රී ලංකා කණ්ඩායමේ කඩාවැටීම ආරම්භ වූයේ 2015 පමණ සිටය. ඒ කාලයේදී කණ්ඩායමට රිංගා ගත් කොණ්ඩා මෝස්තර, පච්ච කෙටීම් සහ කරාබු පැළඳීම් නිසා එක් එක් ක්‍රීඩකයන් මහත් සේ ජනප්‍රිය වූ නමුත් ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩාව බිංදුවටම වැටිණ. 2014 දී විස්සයි-20 ලෝක කුසලාන දිනාගත් ශ්‍රී ලංකා කණ්ඩායම, විස්සයි-20 අන්තර්ජාතික ශ්‍රේණිගත කිරිම් හඳුන්වා දුන් දිනයේ පටන් වසර දෙකකට ආසන්න කාලයක් අංක 1 ස්ථානය හිමිකරගෙන සිටි නමුත් මේ වන විට විස්සයි-20 කණ්ඩායම් ශ්‍රේණිගත කිරීම් අතරේ 8 වැනි ස්ථානයට ඇදවැටී තිබේ. ටෙස්ට් සහ එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව අංක 7 ස්ථානයේ සිටි නමුත් ලබන වසරේදී පැවැත්වීමට නියමිත ශූරයන්ගේ කුසලාන තරගාවලියෙන් ද ශ්‍රී ලංකා කණ්ඩායම හැලී ගොස් තිබේ.


ජාතික කණ්ඩායමේ ක්‍රීඩකයන් තම තමන්ගේ ප්‍රතිරූප ප්‍රවර්ධනයට මෙන්ම සමාජ ජාල ගිණුම් ප්‍රවර්ධනයට උත්සුක වනවා විනා තමන්ට පැවරී ඇති වගකීම ඉෂ්ඨ නොකරන ආකාරයක් පෙනෙන්නට තිබේ. අන්තර්ජාතික පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් අනුව පළමු 10 දෙනා අතර සිටින්නේ දිමුත් කරුණාරත්න (ටෙස්ට් - 9) සහ පැතුම් නිස්සංක (එක්දින- 8) පමණි. ඊයේ (24 වැනිදා) පෙරවරුවේදී ශ්‍රී ලංකා ක්‍රිකට් මූලස්ථානයේදී පැවැති පුවත් පත් සාකච්ඡාවකදීත් මේ සම්බන්ධයෙන් විමසීම් කෙරුණ නමුත් ජයසූරිය මහතා ඒ සම්බන්ධයෙන් පිළිතුරු දුන්නේ පරෙස්සමෙනි.



මධුෂ්ගේ අනියම් බිරිදට මරණ තර්ජන



 බිමල් ශ්‍යාමන් ජයසිංහ


පොලිස් වෙඩි පහරින් මියගිය පාතල නායක මාකදුරේ මධුෂ්ගේ අනියම් බිරිදට හා මධුෂ්ගේ සහෝදරයාට සංවිධානාත්මක කල්ලියකින් මරණීය තර්ජනය එල්ල වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.කළු තුෂාරගේ පුතා සහ තවත් තිදෙනකු පිස්තෝල ගිනි අවියක් සමග මාතර ප්‍රදේශයේදී විශේෂ පොලිස් කණ්ඩායමක් මගින් මීට දින කීපයකට ඉහතදී අත්අඩංගුවට ගැනුණ අතර ඔවුහු මේ වනවිට බන්ධනාගාර ගත කරනු ලැබ සිටිති.


මියගිය කළු තුෂාරගේ පුතා බැලීම සඳහා මධුෂ්ගේ සහෝදරයා බන්ධනාගාරයට ගිය අවස්ථාවේ දී සංවිධානාත්මක අපරාධකරුවකු වන රොටුඹ අමිල නමැත්තාගේ ගෝලයකු "උඹලා මදුෂ් ගිය තැනටම යන්න ලෑස්ති වෙයන්” උඹලා ආයි මාතරට එන්න එපා යයි පවසමින් තර්ජනය කර ඇති බව එම නිලධාරියා කීය.මියගිය කළු තුෂාරගේ බිරිඳ වන පසුකාලීනව පාතාල නායක මධුෂ් ගේ බිරිඳ වූ තිලනී නිශායා තිලකරත්න මහරගම පොලිසිය වෙත පැමිණ ඇයට දුරකථනයෙන් යම් පුද්ගලයකු තර්ජනය කළ බවත් මධුෂ්ගේ මල්ලිට ද නාඳුනන පුද්ගලයකු මාතර දී මරණීය තර්ජනය කර ඇති බවත් එම පැමිණිල්ලේ සඳහන් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියා කීය.වසන්ත සුරේන්ද්‍ර පෙරේරා නොහොත් ක්ලබ් වසන්ත ඝාතනයක් සමගම පාතාලය අතර ගැටුම්කාරි තත්ත්වයක් නිර්මාණය වී කොළඹ ආශ්‍රිත ප්‍රදේශවල පසුගිය දිනවල තැන තැන තර්ජනාත්මක පෝස්ටර් ප්‍රදර්ශනය කෙරිණි.


දානපති දොස්තර යුවළකගෙන් සසුනට දෙමහල් නිවෙසක්

 

 ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න



එංගලන්තයේ ධච් ආයුර්වේද ආයතනයේ හා මාලඹේ ධච් ආයුර්වේද රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය චන්න පීනසේන මහතාට හා එහි අධ්‍යක්ෂිකා වෛද්‍ය ධනුෂ්කා ග්‍රේරෝ මහත්මියට අයත් පන්නිපිටිය පැලැන්වත්ත ඉදිගහදෙණිය පාරේ පිහිටි පර්චස් දහයක භූමිය සහ අංගසම්පූර්ණ දෙමහල් නිවස සසුනට පූජා කිරීමේ ආදර්ශමත් පින්කමක් පේරාදෙණිය ශ්‍රී සුබෝධාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති විශ්ව කීර්ති ශ්‍රී ධර්ම විශාරද මහෝපාධ්‍යාය පණ්ඩිතාචාරිය වත්තේගම ශ්‍රී ධම්මාවාස, ශ්‍රී ලංකා උඩරට අමරපුර නිකායේ ශාසන ජෝතික පාර්ශ්වයේ මහා නායක හිමිපාණන් වහන්සේගේ ප්‍රධානත්වයෙන් ඉකුත් ඇසළ පුර පසළොස්වක පෝය දා සිදු කෙරිණි.


වෛද්‍ය චන්න ජිනසේන මහතාගේ මියගිය ඒ.ජී. ජිනසේන පියාගේ ගුණානුස්මරණය කරමින් සසුනට පූජා කළ එම ස්ථානය පන්නිපිටිය පැලැන්වත්ත ශ්‍රී ජිනසේනාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය ලෙස නම්කර තිබේ.  මේ පිළිබඳව උඩරට අමරපුර මහා නිකායේ ශාසන ජෝතික පාර්ශ්වයේ අනු නායක ධුරන්දර, මහා ලේඛකාධිකාරී මාදිපොළ ධම්මික අනු නා හිමියන් විසින් පූජා ඔප්පුව ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව වෛද්‍ය චන්න ජිනසේන මහතා අතින් එම පූජා ඔප්පුව මහා නාහිමියන් වෙත පිළිගන්වන ලදී.


 ශ්‍රී ජිනසේනාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සසුනට පූජා කළ එම දිනයේදීම වෛද්‍ය යුවළ ඇතුළු දායක පින්වතුන් විසින් බෞද්ධ මධ්‍යස්ථානාධිපති මැදිරිගිරියේ ශාසන රතන හිමියන් ඇතුළු මහා සංඝරත්නය විෂයෙහි වස් ආරාධනා කිරීමේ පින්කම ද සිදු කෙරිණි.මීට අමතරව වෛද්‍ය චන්න ජිනසේන මහතාගේ බිරිය වෛද්‍ය ධනුෂ්කා ග්‍රේරු මහත්මියගේ මියගිය පත්මා චන්ද්‍රලතා මවට පින් පිණිස මාතර කඹුරුගොඩ කොටවිල ප්‍රදේශයේ කෝටි ගණනක මුදලක් වැය කර “පත්මා අරණ" නමින් ආරාමයක් ඉදිකර එය 2022 වසරේදී මෙහෙණි සසුනට පූජා කර තිබීම විශේෂත්වයකි.මේ පිළිබඳව ශ්‍රී ජිනසේනාරාම ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානාධිපති මැදිරිගිරියේ සාසන රතන හිමියන් අදහස් දක්වමින්. 


“මම මැදිරිගිරිය මණ්ඩලගිරි මහා විද්‍යාලයේ උගන්වන කාලයේ එහි විදුහල්පතිවරයාට වැළඳී තිබූ හෘදයාබාධයක් සඳහා ප්‍රතිකාර ගන්න. තලංගම ප්‍රදේශයේ වෛද්‍ය මධ්‍යස්ථානයකට ආවා. ඒ මීට වසර 10 පමණ පෙර. ඒ අතරෙදී වෛද්‍ය මධ්‍යස්ථානයේ වෛද්‍ය චන්න ජිනසේන මහතා සහ එතුමාගේ බිරිය වෛද්‍ය ධනුෂ්කා ග්‍රේරු යන වෛද්‍ය යුවළ හඳුනාගන්න ලැබුණා.


පසුව ඔවුන් දෙපළගේ දැඩි ආශාවක් තිබුණා පොළොන්නරුව ප්‍රදේශයේ වකුගඩු රෝගී පවුල්වල ළමුන්ට උදව් කරන්න. ඒ සඳහා මා මැදිහත් වී ළමුන් විශාල ප්‍රමාණයක් සම්බන්ධ කර දී වසර පහක සිට පාසල් උපකරණ නිල ඇඳුම් සහ සෑම අලුත් අවුරුද්දකදීම අලුත් ඇඳුම් ලබාදීමේ සත්කාර රැසක් කරගෙන එනවා. ඊට අමතරව කවුඩුල්ල ජාතික පාසලේ අඩුපාඩුවක් පැවැති බුද්ධ මන්දිරයක් මෙම යුවළගේ ධන පරිත්‍යාගයෙන් ඉදිකළා.


මේසා විශාල සත්කාර රැසක් සිදුකරමින් එන අතර තුරෙදි වෛද්‍ය යුවළ විසින් මාතර කඹුරුගොඩ කොටවිල ප්‍රදේශයේ ඉඩමක් මිලට ගෙන එහි අංගසම්පූර්ණ විහාරාරාංග ඉදිකොට වෛද්‍ය ධනුෂ්කා ග්‍රේරු මහත්මියගේ මියගිය (මව) පද්මා චන්ද්‍රලතා මහත්මියට පින් පිණිස ‘“ පත්මා අරණ" නමින් මෙහෙණි ආරාමයක් ඉදිකොට එය මෙහෙණි සසුනට පූජා කිරීමේ මහා පින්කමක් ද ඉකුත් 2022 වසරේදී සිදු කෙරුණා.


එදින පින්කම සඳහා ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ සාසන ජෝතික පාර්ශ්වයේ මහා නායක මහෝපාධ්‍යාය වත්තේගම ධම්මාවාස මහානාහිමි, උඩරට ශාසන ජෝතික පොළොන්නරුව දිසාවේ ප්‍රධාන සංඝනායක මැදිරිගිරියේ අස්සජි නාහිමි, ශ්‍රී සරභඤ්ඤ විශාරද මාපලගම බුද්ධසිරි ගාලු කෝරළයේ ඇතුළු හිමිදුම් පත්තුවේ ප්‍රධාන සංඝනායක නා හිමි, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ විශ්‍රාමික උපකුලපති මහාචාර්ය ඉත්තමල්දෙනියේ ඉන්දසාර නා හිමි, ජාතික නාමල් උයන නිර්මාතෘ වනවාසී රාහුල නාහිමි, ශ්‍රී ලංකා රාමඤ්ඤ මහානිකායේ මහෝපාධ්‍යාය පන්විල ශ්‍රී සෝරත නාහිමි, වෛද්‍ය චන්න ජිනසේන මහතා, බිරිය වෛද්‍ය ධනුෂ්කා ග්‍රේරු, පුත් ඩේ‍ව් ජිනසේන මහතා ඥාතීන් ඇතුළු ගිහි පැවිදි විශාල පිරිසක් සහභාගී වී සිටියහ.


පොලිස්පති පත්කලේ කතානායක යැවූ විකෘති ලියුමකට

 


 අංජුල මහික වීරරත්න


කතානායකවරයා යැවූ විකෘති ලියුමකට ජනාධිපතිවරයා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කරමින් පොලිස්පතිවරයා පත්කළ බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (23) පැවැසීය.ඔහු මෙසේ පැවැසුවේ සභාවේ කටයුතු ආරම්භයේ දී විශේෂ ප්‍රකාශයක් කරමිනි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා මෙසේ ද සඳහන් කළේය.


ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ ඇත්ත තීරණය විකෘති කරලා කතානායකතුමා ජනාධිපතිතුමාට යවපු ලියුම මම මේ සභාවට දැන් ඉදිරිපත් කරනවා. මේ පත් කිරීම පැහැදිලිවම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීමක්. මේ වංචා සහගත ලියුම පදනම් කරගෙන ජනාධිපතිතුමා පොලිස්පති පත්කිරීම නීති විරෝධීයි. ජනපති ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කළා. ඔහු සම්පූර්ණයෙන්ම වැරදි ක්‍රියාවක් කළේ. අගමැතිතුමා මේක දන්නවා. ඒත් අගමැතිතුමාට මේකට උත්තර දෙන්න බැහැ. මෙතැන දී කතානායකතුමාත් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව අමු අමුවේ උල්ලංඝනය කළා. ඒ ගැන ගන්නා පියවර කුමක්ද? ජනාධිපතිතුමා හොඳ දැන උගත් පුද්ගලයෙක්. මේ වගේ තුට්ටු දෙකේ ලියුමකට පොලිස්පති පත්කිරීම කරනවද?


විපක්ෂයේ ප්‍රධාන සංවිධායක නීතිඥ ලක්ෂ්මන් කිරිඇල්ල මහතා: ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව ඡන්දයෙන් පොලිස්පතිතුමා පත් කළේ නැහැ. සභාව අවසන් වුණාට පස්සේ කතානායකතුමා ජනාධිපතිතුමාට ලියුමක් යැව්වා. ඒ ලියුම උපයෝගී කරගෙන ජනාධිපතිතුමා පොලිස්පති පත්කළා. මේක පාර්ලිමේන්තුවට ලජ්ජාවක්. අපකීර්තියක්. පාර්ලිමේන්තුව වැඩ කරන ආකාරය ගැන ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව පෙන්නුම් කරලා තියෙනවා. කිසිම වගකීමක් නැතිව දේශපාලනය අරමුණු කරගෙන තමයි මේ වැඩ කරන්නේ. 


ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පති ධූරය අත්හිටුවනවා නම් ඒකෙන් පේන්නේ අපි ස්ථාවර නියෝග අනුගමනය නොකරනවා කියන එකයි. මේක අද රජයේ කච්චේරියක් වෙලා. පාර්ලිමේන්තු කෝච්චිය පීලිපැනලා. හැම තැනම පෙට්ටි. මම එදා මේක නීති විරෝධීයි කියලා කිව්වා. අපි කියපු දේ ශ්‍රේෂ්ඨාධිකරණය සනාථ කරලා තියෙනවා


සභානායක අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා: අතුරු තහනම් නියෝගයක් තමයි දීලා තියෙන්නේ. පෙත්සම් විභාගය තව යනවා. තාම අවසන් තීරණයක් දීලා නැහැ. 


විපක්ෂ නායක: සාධාරණීය කරුණු තියෙනවා නම් තමයි අතුරු නියෝගයක් දෙන්නේ. මම කැමැති නෑ ඔබතුමාට නීතිය උගන්වන්න. ඒත් මේ වෙලාවෙදී මම උගන්වනවා.


පෙරටුගාමියෝත් ජනපති සටනට


අමිල චින්තක ගමගේ


ඉදිරියේදී පැවැත්වෙන ජනාධිපතිවරණයට ජන අරගල සන්ධානය අනිවාර්යයෙන්ම තරග කරන බව ජනඅරගල සන්ධානයේ විධායක කමිටු සාමාජිකා සුරේඛා සමරසේන මෙනවිය පැවැසුවාය.එම අපේක්ෂකයා පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ  අපේක්ෂකයා නොවන බවත් අලුත්ම අපේක්ෂකයකු වීමට බොහෝ දුරට ඉඩ ඇති බවත් ඇය කීවාය.


ලබන සතියේදී ජන අරගල සන්ධානයේ ප්‍රතිපත්ති ප්‍රකාශය එළි දක්වන බවත් එහි කටයුතු අවසන් අදියරේ පවතින බවත් ඇය පැවැසුවාය.මේ වන විට ජන අරගල සන්ධානය වටා පෙරටුගාමී සමාජවාදී පක්ෂය, නව ප්‍රජාතන්ත්‍රවාදී මාක්ස් ලෙනින්වාදී පක්ෂය, සමාජවාදී ජනතා සංසදය ආදී සමාජවාදී පක්ෂ මෙන්ම වාමාංශික සමාජ ක්‍රියාකාරීන්, සිවිල් සංවිධාන රාශියක් එක්ව සිටින බව ද විධායක කමිටු සාමාජිකාව පැවැසුවාය.


ජනාධිපතිවරණයෙන් පසු මහ මැතිවරණය පැවැත්වුවහොත් ඊට ද අලුත්ම කණ්ඩායමක් ඉදිරිපත් කරන බව ද ඇය කීවාය.කිසි ලෙසකින්වත් ඉදිරි ජනාධිපතිවරණයේදී ජාතික ජන බලවේගය අපේක්ෂකයාට සහාය නොදක්වන බව ද කිසිදු සමාජවාදී වැඩපිළිවෙළක් ඔවුන් සතුව තිබෙන බවක් පෙනෙන්නට නැති බව ද ඇය කීවාය.


ජනපති අපේක්ෂක පිටින් ඒනවා නම් අගමැතිකම පොහොට්ටුවට ඔන

 


සුජිත් හේවාජුලිගේ


ජනපති අපේක්ෂකයා එළියෙන් එනවා නම් පක්ෂයට අගමැතිකම ලැබිය යුතු යැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ නාමල් රාජපක්ෂ මහතා පැවසීය.අගමැතිකම දෙනවනම් පක්ෂය සමග මිස තමා සමග කතා කිරීමෙන් පලක් නැතැයි ද ඔහු කීවේය.නාමල් රාජපක්ෂ මහතා මෙසේ පැවැසුවේ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ විජේරාම නිල නිවසේ පැවැති පොදුජන පෙරමුණේ රැස්වීමක් අවසානයේ මාධ්‍ය කළ විමසුමකදීය.නාමල් රාජපක්ෂ මහතා මෙසේ ද පැවැසීය.


අද මැතිවරණ කමිටු පිහිටු වීම, කාර්යාල දැමීම, ගෙන් ගෙට යෑම වැනි දෑ ගැන සාකච්ඡා කළා. පොහොට්ටුවේ අපේක්ෂකයා පිළිබඳව සාකච්ඡා කළේ නැහැ. ඒ ගැන සාකච්ඡා කළ යුත්තේ දේශපාලන මණ්ඩලයයි. මැතිවරණ කොමිසම ජනාධිපතිවරණය ගැසට් කළාට පස්සේ රටට ගැලපෙන අපේක්ෂකයා තෝරා ගැනීමට බලාපොරොත්තු වෙනවා. අපි තෝරා ගන්නා අපේක්ෂකයා රටේ ආර්ථිකය ශක්තිමත් කරන, අපේ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කරන, අපේ දේශපාලන කඳවුර ගැන මනා අවබෝධයක් තිබෙන කෙනෙකු විය යුතුයි. 


එසේ නිර්මාණය වන ආණ්ඩුවේ පක්ෂයට තිබෙන තැන ගැන අපි තීරණය කළ යුතු වෙනවා. අපි එල්ලීලා දේශපාලනය කරන්න කැමති නැහැ. වර්තමාන ජනාධිපතිතුමා ගැන සමහරුන් ඉරක් ඇඳගෙන ඉන්නවා. ඒ අය ජනාධිපතිතුමා එක්ක ගමනක් යනවා. අපි තීන්දු ගන්නේ පක්ෂයක් විදිහට මිසක් පෞද්ගලිකව නොවෙයි. ඒ නිසා අපි පෞද්ගලිකව ඉරි ඇඳගන්නේ නැහැ. පක්ෂයක් විදිහට අපි තීන්දු තීරණ ගන්නවා. අපි හිතනවා ඒ අවස්ථාවේ දී පක්ෂය අපි වෙනුවෙන් හිට ගනීවි කියලා.


Wednesday, July 24, 2024

ජ්‍යෙෂ්ඨ පුරවැසි ස්ථාවර තැන්පත් පොලිය 7% දක්වා පහත වැටීලා

 




ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ ස්ථාවර තැන්පත් පොලිය මේ වන විට 7% දක්වා පහත වැටී තිබෙන බවත් මේ නිසා ලක්ෂ තිහකට ආසන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන් දැඩි දුෂ්කරතාවන්ට පත්ව සිටින බවත් විශ්‍රාමිකයන්ගේ හිමිකම් සුරැකීමේ ජාතික සංවිධානය සඳහන් කරයි.පසුගිය වසරේ ජනවාරි මාසය වන විට ස්ථාවර තැන්පත් සඳහා 15%ක පොලියක් ලබා දුන් බවත් ක්‍රමානුකූලව පොළී අනුපාත පහත වැටීමට අමතරව පොලී මුදලට අදාළව 5%ක බදු මුදලක්ද අයකර ගනිමින් තිබෙන බවද එම සංගමයේ ලේකම් සරත් ලාල් පෙරේරා මහතා සඳහන් කළේය.

5%ක බදු අය කිරීමට අදාළව විශ්‍රාමිකයන් විරෝධය දැක්වීම නිසා අදාළ මුදල නැවත ලබා දෙන බවට බලධාරීන් පොරොන්දු වුවත් එහෙත් කපා ගත් බදු මුදල නැවත ලබා ගැනීමට ලිපි ලේඛන විශාල ප්‍රමාණයක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කිරීමටත් සිදු වී තිබෙන බවද පැවසීය.මේ නිසා ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගේ බැංකු පොලියෙන් අයකර ගත් 5%ක මුදල නැවත ලබා ගත නොහැකි තත්ත්වයක්ද ඇති වී තිබෙන බවද කියා සිටියේය.

ලක්ෂ තිහකට ආසන්න ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ප්‍රමාණයක් තමන්ට හිමි වූ අර්ථ සාධක අරමුදලට අදාළ මුදල් හෝ විශ්‍රාමික පාරිතෝෂිත මුදල බැංකුගත කර අදාළ පොලියෙන් ජීවත් වන බවත් මේ නිසා ගෙවී ගිය කාලය පුරාම සමාන්‍ය බැංකු පොලියට වැඩි පොලී මුදලක් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට ලබා දුන් බවද සඳහන් කළේය.එහෙත් මේ වන විට අදාළ ප්‍රමුඛතාවය ඉවත් කර තිබෙන බවත් පසුගිය වසරේ සිට මේ දක්වා කාලය තුළදී ජ්‍යෙෂ්ඨ පුරවැසි ගිණුම්වලට අදාළ පොලී මුදල 50%කට වැඩි මුදලකින් අඩු වී තිබෙන බවද පැවසීය. මේ නිසා දැනට ලැබෙන පොලී මුදල ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ට මාසයකට අවශ්‍ය ඖෂධ ටිකවත් මිලදී ගැනීමට ප්‍රමාණවත් නොවන බවත් ජ්‍යෙෂ්ඨ පුරවැසියන්ගෙන් අතිබහුතරයක් විවිධ රෝගාබාධවලින් පෙළෙන බවද සඳහන් කළේය.

ඉන්දික හේවාවිතාරණ

බංගලාදේශයේ සිටින ශ්‍රීලාංකික ශ්‍රමිකයන් 2,835ට හානියක් නෑ

 


දිනේෂ් සමරකෝන්


විදේශසේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි දත්ත අනුව වර්තමානයේ බංග්ලාදේශයේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 2,835ක් ජීවත් වන බවත්, බංග්ලාදේශයේ ඇතිවී තිබෙන කලහකාරී තත්ත්වයත් සමග එම පිරිසෙන් කිසිවෙකුට හානියක් සිදුව නොමැති බවත් කම්කරු හා විදේශ රුකියා අමාත්‍ය මනූෂ නානායක්කාර මහතා පැවසීය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ මහත්මිය ඊයේ(23දා) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.


එමෙන්ම බංග්ලාදේශයේ සිටින ශ්‍රී ලාංකිකයන් නැවත මෙරටට ගෙන්වා ගැනීමට අවශ්‍ය වුවහොත් ඒ සඳහා විදේශ කටයුතු අමාත්‍යාංශය සහ විදේශ රැකියා අමාත්‍යාංශය එක්ව කටයුතු කරන බවද අමාත්‍යවරයා පැවසීය.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී රාජිකා වික්‍රමසිංහ - අපි දැක්කා පසුගිය කාලයේ කෝටා ප්‍රශ්නයක් මුල් කරගෙන ලොකු ගැටුමක් ඇති වෙලා තියනවා. අපේ රටේ අධ්‍යාපනය ලබන තරුණ පිරිස වගේම රුකියාවලට ගිහින් ඉන්න අයට කිසියම් ප්‍රශ්නයකට මුහුණ දෙන්න සිදුවෙලා තියෙනවාද?


කම්කරු හා විදේශ රුකියා අමාත්‍ය මනූෂ නානායක්කාර - මේ වෙලාවේ බංග්ලාදේශයේ අපේ ශ්‍රමිකයන් අතරින් පුහුණු ශ්‍රමිකයක් 2,690ක් ඉන්නවා. කාන්තාවන් 107ක්, පුරුෂයන් 2,583ක් වශයෙන්. ඒ වගේම අඩු පුහුණුව ලබපු පිරිස වශයෙන් කාන්තාවන් 06ක්, පිරිමි පුද්ගලයන් 139ක් වශයෙන් 145ක් ඉන්නවා.සමස්තයක් ලෙස 2,835 දෙනෙක් මේ වන විට බංග්ලාදේශයේ ජීවත් වෙනවා. ඒ වගේම විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය 2019 සිට 2024 දක්වා ගත්තම 2,835ක් ජීවත් වෙනවා. සිසුන්ගේ සංඛ්‍යාව ගන්න බැරි වුණා. 


නමුත් අපිට පුළුවන්කම ලැබිලා තියෙනවා දැනගන්න අපේ තානාපති කාර්යාලය හරහා අපේ කිසිදු ශ්‍රී ලාංකිකයෙකුට බංග්ලාදේශයේදි අනතුරක් සිදුවෙලා නෑ කියන එක. ඔවුන් නැවත ලංකාවට ගෙන්වා ගැනීමට අවශ්‍ය වුණොත්, ඔවුන්ගේ ආරක්ෂිත වැඩපිළිවෙළ සම්බන්ධයෙන් විදේශකටයුතු අමාත්‍යාංශය ඒ සඳහා මැදිහත්වීම් සිදු කරනවා. ඒ වගේම විදේශ රැකියා අමාත්‍යාංශය ලෙසත් ඒ සඳහා මැදිහත්වීම සිදු කරනවා. බංග්ලාදේශයේ ඇතිවුණු තත්ත්වය පිළිබඳ අපේ කණගාටුව පළ කරනවා.