Showing posts with label sport3. Show all posts
Showing posts with label sport3. Show all posts

Tuesday, April 20, 2021

ක්‍රීඩා වැරදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය ජයනන්ද වර්ණවීරගෙන් ප්‍රකාශයක් ගනී




වසර 2017 දී  අල් ජසීරා රූපවාහිනී නාලිකාවේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණ තීරුව සම්බන්ධයෙන් විකාශය වූ පුවතට අදාළව විමර්ශනයක් ආරම්භ කර ඇති ක්‍රීඩා වැරැදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකය ඊයේ 19 එහි හිටපු ප්‍රධාන තණ තීරු භාරකරු ලෙස කටයුතු කළ  ජයනන්ද වර්ණවිර මහතාගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. කොළඹ සුගතදාස ක්‍රීඩා සංකීර්ණ පරීශ්‍රයේ පිහිටි ක්‍රීඩා වැරැදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකයට ඊයේ  පෙරවරුවේ පැමිණි වර්ණවිර මහතාගෙන් එම ඒකකයේ ප්‍රධානීහු පැය කීපයක්ම ප්‍රශ්න කරමින් ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ.


වසර 2017 දී අල්ජසීරා රූපවාහිනී නාලිකාව විකාශය කළ පුවතකින් කියැවුණේ ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණ තීරුව ශ්‍රී ලංකාවට වාසිදායක අන්දමින් සකස් කෙරෙන  බවයි. ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ දී රහසිගතව කළ පටිගත කිරීම්වල දී එහි තණ තීරුව සකස් කරමින් සිටි සේවකයන් කීප දෙනකුගේ හඩ පටද අල්ජසීරා පුවතට පසුබිම් කරගත් බව වාර්තාවේ. ක්‍රීඩා වැරැදි සෙවීමේ පොලිස් ඒකකයේ ප්‍රශ්න කිරීම්වලට ලක්වූ ජයනන්ද වර්ණවීර මහතා ගාල්ල  ක්‍රීඩාංගණයේ තණතීරුව සම්බන්ධයෙන් කළ බව කියන ප්‍රකාශයක් ද අල්ජසීරා පුවත් විකාශනය වී තිබේ.


‘අල්ජසීරා' පුවත පාදක කර ගනිමින් අන්තර් ජාතික ක්‍රිකට් සභාවේ ඇරැඹු විමර්ශනය මඟහැර සිටි බව කියන, එවකට ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ තණතීරුව බාරව සිටි, ජයනන්ද වර්ණවීර  මහතා ඇතුළු කීප දෙනකුට තහනමක් පැනවීමට ද අන්තර් ජාතික ක්‍රිකට් සභාව  පියවර ගත්තේය.  වසර 2017 දී වූ මෙම සිදුවීමට අදාළව  විමර්ෂණයක් ආරම්භ කරන ලෙස රජයේ  නීතිපතිවරයා උපදෙස් දුන්නේ පසුගිය මාර්තු මාසයේ දීය. ක්‍රීඩා වැරැදි සෙවීමේ  විශේෂ පොලිස් විමර්ශන ඒකකයේ ප්‍රධානි, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් ෆොසේකා මහතා කළ විමසුමක දී පැවැසුවේ පුවතට අදාළව වර්ණවීර මහතා හැරෙන්නට ගාල්ල ක්‍රිකට් ක්‍රීඩාංගණයේ කටයුතු කළ තණතීරු සකස් කරන්නන් හා  සේවකයන් සිවු දෙනකුගෙන් මේ වනවිට  ප්‍රකාශ සටහන් කරන්ගෙන තිබෙන බවයි. 


 ෆොන්සේස්කා මහතා පවසන්නේ මෙම පුවතට අදාළව ශ්‍රී ලංකාවේ හිටපු එක්දින ක්‍රීඩක දින්හාර ලොකුහෙට්ටි මහතා ද, ඉදිරියේ දී ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා සිය ඒකකයට කැඳවීමට නියමිත බවයි. දිල්හාර ලොකුහෙට්ටිගේට වසර අටක තහනමක් පනවා ඇති බව අන්තර් ජාතික ක්‍රිකට් සභාව ඊයේ (19) නිවේදනය කළේය. ‘අල් ජසීරා' පුවතට අදාළව ශ්‍රී ලංකාවේ විමර්ශන කටයුතු ක්‍රීඩා වැරැදි සෙවීමේ විශේෂ පොලිස් ඒකකයේ නියෝජ්‍ය ප්‍රධාන පොලිස් අධිකාරි ඩී.ජී. සමරනායක මහතාගේ අධීක්ෂණයෙන් පැවැත්වේ .



-නාමල් පතිරගේ-

ලොකුහෙට්ටිගේට වසර 8ක් ක්‍රිකට් තහනම්

ශ්‍රී ලංකා එක්දින කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයකු වන දිල්හාර ලොකුහෙට්ටිගේට අන්තර්ජාතික ක්‍රිකට් සභාව විසින් වසර 8ක තහනමක් පනවනු ලැබ තිබේ. අත්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන නීති සංග්‍රහය කඩකිරීම සම්බන්ධයෙන් වරදකරු වී ඇති  ලොකුහෙට්ටිගේට වසර 8ක් යනතුරු කිසිම ආකාරයේ ක්‍රිකට් තරගයකට හෝ ක්‍රිකට් ක්‍රීඩාව සම්බන්ධ වෙනත් කටයුත්තකට සහභාගි විය නොහැකිය. ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින අන්තර්ජාතික තරග 9 කට සහ විස්සයි-20 තරග 2 කට ක්‍රීඩා කර ඇති දිල්හාර ලොකුහෙට්ටිගේ වේග පන්දු යවන්නකු මෙන්ම වේගයෙන් ලකුණු ලබාගත හැකි පිතිකරුවෙකි. එහෙත් ඔහු අවසන් වරට ශ්‍රී ලංකාව වෙනුවෙන් ක්‍රීඩා කළේ 2013 දී ඉන්දියාවට එරෙහිවය. ඔහුගේ වසර 8 ක තහනම 2019 අප්‍රේල් 3 වැනිදා සිට ක්‍රියාත්මක වන පරිදි පසුදාතමක් යොදා තිබේ. ඔහුගේ මූලික තහනම ක්‍රියාත්මක වූයේ 2019  අප්‍රේල් 3 වැනිදා සිටය. 


“අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩකයකු වශයෙන් ශ්‍රී ලංකාව නියෝජනය කර ඇති දිල්හාර, දූෂණ විරෝධී අධ්‍යාපන සැසිවාර ගණනාවකට සහභාගී වී ඇති අතර ඔහුගේ ක්‍රියා කලාපය, දූෂණ  මර්ධන නීති සංග්‍රහය උල්ලංඝණය කිරීමක් බව ඔහු දැන සිට ඇත” යයි අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකයේ සාමාන්‍යධිකාරී ඇලෙක්ස් මාෂල් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියයි.  අන්තර්ජාතික ක්‍රිකට් දූෂණ වැළැක්වීමේ විනිශ්චය සභාව විසින් කරන ලද පරීක්‍ෂණ අනුව  ලොකුහෙට්ටිගේ දූෂණ මර්ධන විනය පද්ධතියේ වගන්ති 3 ක් කඩකිරීම සම්බන්ධයෙන් වරදකරු වී තිබේ.


 දිල්හාර ලොකුහෙට්ටිගේ වරදකරු වීමට අදාළ වගන්ති 2.1.1වන වගන්තිය

   තරගයක ප්‍රතිඵලය, ප්‍රගතිය, පැවැත්ම හෝ වෙනත් අංශ නුසුදුසු ලෙස වෙනස් කිරීමට හෝ සැලසුම් කිරීමට නැතහොත් වෙනත් ආකාරයකින් බලපෑම් කිරීම සඳහා ගිවිසුමකට හෝ උත්සාහයකට සම්මාදම් වීම. 


2.1.4 වගන්තිය 

2.1. වගන්තිය උල්ලංඝණය කිරීම සඳහා ඕනෑම ක්‍රීඩකයකුගෙන් සෘජුව හෝ වක්‍රව ඉල්ලීම, පෙළඹවීම,  පොළඹවාගැනීම, උපදෙස් දීම, ඒත්තු ගැන්වීම, දිරිගැන්වීම හෝ හිතාමතාම පහසුකම් සැපයීම. 


2.4.4 වන වගන්තිය 

දූෂණ මර්ධන විනය නීති පද්ධතියට පටහැණිව, දූෂිත කටයුතු වල යෙදීමට ලැබුණ ඕනෑම ප්‍රවේශයක් හෝ ආරාධනා පිළිබඳ සම්පූර්ණ තොරතුරු අන්තර්ජාතික ක්‍රිකට් සභාවේ දූෂණ මර්ධන ඒකකය වෙත හෙළි කිරීමට අපොහොසත් වීම.


Tuesday, July 28, 2020

ගැහැනු පිරිමි සියලු දරුවන් ගැනම නිරතුරුවම අවධානයෙන් සිටිය යුතුයි



පිරිමි දරුවන්ද ගැහැනු  දරුවන්ද යන කාරණය නොසලකා සියලුම දරුවන් පිළිබඳව දෙමාපියන් නිරතුරුවම අවධානයෙන් සිටිය යුතු බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. ස්ත්‍රී පුරුෂ භාවය නොසලකා ඕනෑම දරුවෙකු ලිංගික අපචාරවලට ලක්විය හැකි බවත්, මේ නිසා උපකාරක පත්තිවලට යොමු කිරීමේදී හා විවිධ වැඩසටහන්වලට යොමු කිරීමේදී ඒ පිළිබඳව දෙමාපියන්, භාරකරුවන් වැඩි අවධානයක් යොමු කළ යුතු බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර් නීතිඥ ජාලීය ස්නාරත්න මහතා සඳහන් කළේය. ළමා අපයෝජන පිළිබඳව 1929 දුරකථනයට තොරතුරු ලබාදීමට හැකියාව තිබෙන බවත්, ගාස්තු අය වීමකින් තොරව මෙම දුරකථන අංකයට තොරතුරු ලබාදිය හැකි බවත් ඒ මහතා පවසා  සිටියේය.

උපකාරක පන්ති හෝ වැඩසටහන්වලට දරුවන් යොමු කිරීමේදී අදාළ කටයුත්ත අවසන් වූ පසු  දරුවන් පිටස්තර වැඩිහිටියන් සමග තනිවම ගතකරන අවස්ථා අවම කරන ලෙසටද, පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා දෙමාපියන්ගෙන් හා භාරකරුවන්ගෙන් ඉල්ලා සිටී.  දරුවන් තිදෙනෙකු අපයෝජනය කිරීම පිළිබඳව අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාරගත කළ රූපවාහිනී රියැලිටි වැඩසටහන් පසුතල නිර්මාණකරුවකු ලෙස හා උපකාරක පන්ති ගුරුවරයකු ලෙස කටයුතු කළ පුද්ගලයා සතුව තිබී දරුවන් ගණනාවකගේ ඡායාරූප 17ක් සොයාගෙන තිබෙන බවත්,  මෙම දරුවන් අපයෝජනයට ලක්ව තිබෙනවාද යන්න සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.

අපයෝජනයට ලක්ව තිබෙන දරුවන් තිදෙනා වයස අවුරුදු 16ට අඩු බවත්, ඊට අදාළ වීඩියෝ දර්ශන අතර්ජාලයට මුදාහැර තිබෙනවාද යන්න පිළිබඳව සොයා බැලීමට විමර්ශන පවත්වන බවත් ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය. අදාළ වීඩියෝ දර්ශන අන්තර්ජාලයට මුදා හැර තිබුණහොත් ඒවා ඉවත් කිරීමට කටයුතු කරන බවත්, මීට අමතරව රක්ෂිත බන්ධනාගාරගත කළ සැකකරු සතුව තිබී සොයාගත්  විද්‍යුත් උපකරණ රජයේ රස පරීක්ෂකවරයාට හෝ  පරිගණක විශේෂඥවරයෙකු  වෙත යොමු කර වාර්තා ලබාගෙන ඉදිරි කටයුතු සිදුකරන බවත් ඒ මහතා සඳහන් කළේය. අදාළ අපයෝජනය පිළිබඳව දෙමාපියන්ගෙන් හෝ භාරකරුවන්ගෙන් තොරතුරු පොලීසියට නොලැබුණු බවත්, පිටස්තර පුද්ගලයෙකු විසින් බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට ලබාදුන් තොරතුරු මත විමර්ශනය කර සැකකරු අත්අඩංගුවට ගත් බවත් ඒ මහතා පවසා සිටියේය.

-ඉන්දිකා හේවාවිතාරණ-

Thursday, July 23, 2020

තරඟ පාවාදීමක් ගැන සාවද්‍ය ප්‍රකාශ කළ මහින්දානන්දට එරෙහිව නීතිය ඕනෑ

.

තරග පාවාදීමක් පිළිබඳ සාවද්‍ය ප්‍රකාශයක් කළ හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත්ගමගේ මහතාට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා ඊයේ (22දා) සමාජවාදී තරුණ සංගමය විසින් පොලිස්පතිවරයාට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබිණි. සමාජවාදී තරුණ සංගමයේ ජාතික සංවිධායක, එරංග ගුණසේකර හා නීතිඥවරුන් වන සුනිල් වටගල, සුසන්ත දොඩවත්ත යන මහත්වරු මෙම පැමිණිල්ල ඉදිරිපත් කළහ.

 2011 වසරේ පැවැති ලෝක කුසලාන අවසන් තරගයේදී තරග පාවාදීමක් සිදුකළ බවට හිටපු අමාත්‍යවරයා සිදුකළ පැමිණිල්ල සම්බන්ධයෙන් ක්‍රීඩා වැරදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකය විමර්ශනයක් සිදුකළ බවද එරංග ගුණස්කර මහතා සඳහන් කළේය. එහෙත් අදාළ චෝදනාව සනාථ කිරීමට කරුණු නොමැති නිසා පරීක්ෂණ කටයුතු අවසන් කළ බවත්, මේ නිසා සාවද්‍ය ප්‍රකාශයක් කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කරන ලෙසට තම සංගමය මේ මස 06 වැනිදා ක්‍රීඩා අමාතයාංශයට පැමිණිලි කළ බවත් ඔහු පවසා සිටියේය.එහෙත් ක්‍රීඩා අමාත්‍යාංශය මෙතෙක් අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග නොගැනීම නිසා ඊයේ (22දා) පොලිස්පතිවරයාට හා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කළ බවත් හෙතෙම පවසා සිටියේය.

Tuesday, February 25, 2020

ලෝක පාපන්දු අලුත්ම ශ්‍රේණිගත කිරිම්



ලෝක පාපන්දු සමුළුව (ෆීෆ) පසුගිය බ්‍රහස්පතින්දා (20) කළ අලුත්ම ශ්‍රේණිගත (පිරිමි) කිරීම අනුව ශ්‍රී ලංකාව 206 වැනි ස්ථානය දක්වා තවදුරටත් පහළට වැටී තිබේ. ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව රටවල් 210ක සාමාජිකත්වය හෙබි ලෝක පාපන්දු සමුළුවේ මෙතරම් පහළට වැටුණු පළමු අවස්ථාව මෙය වේ. මෙම නවතම ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව මෙතෙක් ශ්‍රී ලංකාවට පහළින් සිටි එර්ත්‍රියාව ශ්‍රී ලංකාව අභිබවා ගොස් 205 වැනි ස්ථානයට පත්ව සිටියි. මෙම නවතම ශ්‍රේණිගත කිරීම්වලට පෙර පසුගිය දෙසැම්බර් 19 වැනිදා අවසන් වරට සිදු කර තිබූ ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම අනුව ශ්‍රී ලංකාව පසුවූයේ 205 වැනි ස්ථානයේය. එම ශ්‍රේණිගත කිරිමේ අවස්ථාවේදී ද ශ්‍රී ලංකාව ආසියානු ශ්‍රේණිගත කිරීම අනුව අවසන් (45) ස්ථානයේ පසුවූයේ එහි පහළටම වැටෙමිනි.


ශ්‍රී ලංකාව අලුත්ම ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව මෙසේ 206 වැනි  ස්ථානයට පත්වෙද්දී  ඔවුන්ට පසුපසින් සිටින්නේ තවත් රාජ්‍යයන් හතරක් පමණි.  ඒ ඇමරිකානු වර්ජිනියා (207),  බ්‍රිතාන්‍ය වර්ජිනියා (208), ශාන්ත  මරිනා (209) හා ඇන්ගියුලා (210) යන  රාජ්‍යයන්ය. එම සියලු රාජ්‍යයන් කුඩා ජනගහනයක් වෙසෙන ඇමරිකාවේ හා බ්‍රිතාන්‍යයේ පාලනයේ පවතින ඉතා කුඩා දූපත් රාජ්‍යයන් වෙති.

මෙම නවතම ලෝක ශ්‍රේණිගත කිරිම අනුව අංක එකට පත්ව සිටින්නේ බෙල්ජියමයි. දෙවැනි හා තෙවැනි ස්ථාන පිළිවෙළින් ප්‍රංශයට හා බ්‍රසීලයට හිමිව තිබේ. ප්‍රංශය අවසන් වරට පැවති (2018) ලෝක කුසලාන පාපන්දු තරගාවලියේ ශූරතාව දිනාගත් රාජයයි. එම ශ්‍රේණිගත කිරීම් අනුව ආසියාවේ රාජයන් අතර ඉහළම ස්ථානය වන 28 වැනි ස්ථානය ජපානයට හිමිව තිබේ. ලෝක පාපන්දු නවතම ශ්‍රේණිගත කිරීම අනුව ඉන්දියාව ලබා තිබෙත 108 වැනි ස්ථානයේ තවදුරටත් රැඳී සිටියි. ශ්‍රී ලංකාව නියෝජනය කරන දකුණු ආසියානු කලාපයේ සෙසු රටවල් අතර මාලදිවයින 155 වැනි ස්ථානයේ ද, නේපාලය 170 වැනි ස්ථානයේ ද, බංගලාදේශය 187 වැනි ස්ථානයේ ද, භූතානය 189 වැනි ස්ථානයේ ද, පාකිස්ථානය 200වැනි ස්ථානයේ ද, පසුවේ. එහිදී පාකිස්ථානය 201 වැනි ස්ථානයේ සිට ඉහළට පැමිණිමට සමත්ව සිටියි.

ශ්‍රී ලංකාවේ පාපන්දු ක්‍රීඩාවේ තවදුරටත් කඩා වැටීම මෙම නවතම ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම් අනුව හෙළිදරව් වන්නේ වසර 2019 දී ශ්‍රී ලංකාව සහභාගි වූ ජාත්‍යන්තර තරග 11කදී කිසිදු ජයග්‍රහණයක් වාර්තා කිරීමට සමත්  නොවීමෙනි. කෙසේ වුවත් පසුගිය මැයි මාසයේදී ලාඕසය සමග පැවති තරගයක් ජය පරාජයෙන් තොරව අවසන් කිරිමට (2-2) ශ්‍රී ලංකාවට හැකි විය. එහෙත් මැකාවෝ රාජ්‍යය සමග පැවති දෙවැනි තරගයේදී නිතරග ජයක් වාර්තා කරමින් ශ්‍රී ලංකාව වසර 2022 කටාර් ලෝක ශූරතා පාපන්දු තරගාවලියේ ආසියානු කලාප දෙවැනි වටයට ප්‍රවේශ විය. එසේ වුවත් මෙතෙක්  එහි මුහුණ දුන් සියලු තරග ශ්‍රී ලංකාව පරාජයට පත්ව  සිටින අතර ලබන මාර්තු 26 වැනිදා උතුරු කොරියාවේදී එරටට එරෙහිව තවත් එම වටයේ තරගයකට මුහුණදීමට සූදානම්ව සිටියි.

 මේ අතර ශ්‍රී ලංකාවේ වත්මන් පාපන්දු කඩ වැටීම සැලකිල්ලට ගනිමින් ලංකා පාපන්දු සම්මේලනය නොබෝදා විදේශීය පුහුණුකරුවකු ශ්‍රී ලංකාවේ සේවයට කැඳවීය. ඔහු බොස්නියානු ජාතික පාපන්දු පුහුණුකරු අමිර් ඇලජික් මහතාය. මෙතෙක් වසර දෙකක් පුරා ජාතික පාපන්දු පුහුණුකරු ධුරයේ කටයුතු කළ නිශාම් පකීර් අලි මහතා යටතේ ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම ප්‍රගතියක් අත්කර ගැනීමට  අපොහොසත් වූයේ සහභාගි වූ නිල ජාත්‍යන්තර පාපන්දු තරග 17කදී එක් සුහද තරගයක් පමණක් (බංග්ලාදේශයට එරෙහිව) ජය ගැනීමේනි. එහිදී තරඟ 15ක්ම ශ්‍රි ලංකාව පරාජයට පත්විය.

-නාමල් පතිරගේ-