රටේම අවධානය යොමුවී තිබුණේ ඇල්පිටිය ප්රාදේශීය සභා ඡන්ද විමසීම කෙරෙහිය. ජනාධිපතිවරණයෙන් අනුර කුමාර දිසානායක ජයග්රහණය ලබා මසක් ගතවන විට පවත්වන මැතිවරණයක් හෙයින් මාලිමාවට අතිවිශිෂ්ට ජයග්රහණයක් හිමිවනු ඇතැයි ද අනෙක් පක්ෂ සෝදාපාළුවට ලක්වනු ඇතැයි ද පුරෝකථනය වෙමින් තිබිණි. විශේෂයෙන්ම අතීතයේ පටන් ඇල්පිටිය ජනතා විමුක්ති පෙරමුණ බල කඳවුරක්ව පැවතීම එයට එක් හේතුවක් විය.
“ලොකු දෙයක් බලාපොරොත්තු වෙන්න බෑ. මේ වෙලාවේ රැල්ල තියෙන්නේ මාලිමාවටයි. ඒත් අපි සටන අතහරින්න හොඳ නෑ." සමගි ජන බලවේගයේ ගාල්ල දිස්ත්රික් නායක ගයන්ත කරුණාතිලක තමන්ගේ හිතවතුන් සමග කියා සිටියේ එහෙම කතාවකි.
‘‘මට නම් ඒ පැත්තේ යන්නවත් බැරි වුණා" ශ්රී ලංකා පොදුජන පෙරමුණේ ලේකම් නීතිඥ සාගර කාරියවසම් එහෙම කිව්වේ කළුතර දිස්ත්රික් පාර්ලිමේන්තු මන්ත්රී සංජීව එදිරිමාන්න සමගය. “ඔව් අයියේ ඡන්දෙ හින්දා මමත් කොහේවත් ගියේ නෑ" සංජීව එදිරිමාන්න පිළිතුරු වශයෙන් කීවේය.
ඒ අනුව ඇල්පිටියේ තිබුණේ තනි අශ්වයකුගේ රේස් එකකි. එහෙත් ප්රතිඵලවලින් කියැවුණේ වෙනත් කතාවකි. මාලිමාවට මන්ත්රීධුර 15ක් ලැබෙනවිට සමගි ජන බලවේගය ඇතුළු විපක්ෂයේ ආසන 15ක් ලැබී තිබිණි. ඇල්පිටිය ප්රාදේශීය සභාව කොට්ඨාස 17 කින් සමන්විත වන අතර ඉන් 15 ක බලය මාලිමාවට හිමිවීම කැපී පෙනේ.
ඇල්පිටිය ප්රාදේශීය සභා මැතිවරණයේ ප්රතිඵලය වන්නේ ජනාධිපතිවරණයේ දී මාලිමාව ලබාගත් ඡන්ද ප්රතිශතය අඩුවීම හා සමගි ජන බලවේගයේ ඡන්ද ප්රතිශතය අඩුවීමය. එයට සමාන්තරව පොහොට්ටුවේ ඡන්ද ප්රතිශතය වර්ධනය වී තිබේ.
"සහෝදරයා ඇල්පිටියෙ ප්රතිඵලය මදියි වගේ නේද? අනුරාධපුරයේ ඡන්ද ප්රචාරක කටයුතු වල නියැළී සිටින අතරතුර මාලිමාවේ අනුරාධපුර දිස්ත්රික් නායක වසන්ත සමරසිංහගෙන් එසේ විමසුවේ පක්ෂයේ කාඩර්වරයෙකි.
“අපේ ජයග්රහණයත් එක්ක මිනිසුන්ගේ උනන්දුව අඩුවෙලා තියෙනවා. ඒක සාමාන්ය දෙයක්. කොහොම වුණත් ඇල්පිටියේ ප්රතිඵලය අනුව මහ මැතිවරණයක දී අපිට ආසන 125 කට වඩා ගන්න පුළුවන් කියලා පේනවා. වසන්ත සමරසිංහ පිළිතුරු වශයෙන් කියා සිටියේය.
සමගි ජන බලවේගයේ ලේකම් රංජිත් මද්දුම බණ්ඩාර
ජනාධිපතිවරණය ආරම්භයේ සිටම රැඳී සිටියේ කොළඹය. ඇල්පිටිය ඡන්දය පැවති දා රාත්රියේම ඔහු ප්රතිඵල ලේඛනය අතට ගෙන දෙතුන් වරක් ප්රතිඵලය විශ්ලේෂණය කළේය. අනතුරුව ඔහු ඇමතුමක් ගත්තේය. ඒ සජබ නායක හිටපු විපක්ෂ නායක සජිත් ප්රේමදාසටය.
‘‘නායකතුමා මහ මැතිවරණයට උත්තේජනයක් ලැබෙන විදියේ ප්රතිඵලයක් ඇල්පිටියෙන් ලැබිලා තියෙනවා." රංජිත් මද්දුම බණ්ඩාර කීවේය.
‘ලේකම්තුමා ඔබතුමා කැම්පේන් එක දිහා බලාගෙන ඉන්න. තැන් තැන්වල පොඩි පොඩි අවුල් තියෙනව කියලා ආරංචියි. සජිත් කීවේය.
'' මම ඒවා ඔක්කොම බලා ගන්නම්'' රංජිත් යළිත් කීවේය.
හිටපු පාර්ලිමේන්තු මන්ත්රීවරුන් වන රංජිත් බණ්ඩාර, ජයන්ත කැටගොඩ සමග පොහොට්ටු කාර්යාලයේ දී කතා කරමින් සිටියේ පොහොට්ටු පක්ෂයේ ලේකම් සාගර කාරියවසම්ය. මාතෘකාව ඇල්පිටිය ප්රතිඵලය ගැනමය.
“මේ ප්රතිඵලය ඉතාම හොඳයි. ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු * ජාතික ජන බලවේගයත් පහළට වැටිලා තියෙනවා. අපේ ඡන්ද ප්රතිශත්ය සියයට 10කින් වර්ධනය වෙලා තියෙනවා. මේක මහ ඡන්දෙට හොඳ තල්ලුවක්'' සාගර කාරියවසම් කීවේය.
“අපේ අය කලබල නොවුණා නම් පක්ෂයට මෙහෙම වෙන්නේ නෑ. කොහොමත් ගිය දේ ගියාදෙන්. අපි ශක්තිමත්ව ඉමු." හිටපු මන්ත්රී රංජිත් බණ්ඩාර කීවේය.
ආණ්ඩු මාරුවීම ජොන්ස්ටන් ප්රනාන්දුට කොහොමත් අපල ඵල දෙන්නකි. යහපාලන ආණ්ඩු සමයේ දී ජොන්ස්ටන් වැඩි වශයෙන් සිටියේ බන්ධනාගාරවලය. අනුර කුමාර ජනාධිපති වීමෙන් පසුව පළමුව බන්ධනාගාරගත වූ දේශපාලනඥයා ලෙස ජොන්ස්ටන් ඉතිහාසයට එක්විය. ඔහු මෙවර බන්ධනාගාරගත වූයේ දේශපාලන කාරණාවකට නොව නීති විරෝධී වාහනයක් ළඟ තබා ගැනීමේ චෝදනාවටය. මෙවර මහ මැතිවරණයට කුරුණෑගල දිස්ත්රික්කයෙන් තරග වදින ජොන්ස්ටන් බන්ධනාගාරයේ සිට සිය පාක්ෂිකයන් අමතමින් ලිපියක් නිකුත් කර තිබේ.
එහි මෙසේ දැක්වේ.
ආදරණීය හිතවත,
2024 මැතිවරණය වෙනුවෙන් ඔබ වෙත ආමන්ත්රණය කරන ලිපිය මෙවැනි එකක් වේ යැයි ඔබ කිසිසේත් අපේක්ෂා නොකළ බව මම හොඳින් දනිමි.
එහෙත් 2015 දී මෙන්ම අදත් දේශපාලනිකව පරාජය කළ නොහැකි චරිත චෝදනා අවලාද මතින් අක්රිය කර ගත් ඉන් නොනැවතී රාජ්ය බලය යොදා හිරේ විලංගුවේ දමා හෝ මර්දනය කිරීමෙන් තම දේශපාලනික වුවමනාවන් ඉටුකර ගැනීමට උත්සාහ කරන අවස්ථාවාදීන්ගේ කූඨ ප්රාප්තිය රඟ දැක්වීම ආරම්භ කර ඇත.
එදාට වඩා අද ඇති එකම වෙනස නම් තිරය යට සිට නුල් ඇඳි සූත්තර පුංචා අද ජනාධිපති පුටුවේ සිට එය මෙහෙයවීම පමණි. මම විශ්වාස කරන දේශපාලනය වෙනුවෙන් මෙවැනි අභියෝග මට නම් නිය තුඩක තැවරී දුහුවිල්ලක් තරම් නොවේ.
මා ජීවිතයේ මුහුණ දුන් අභියෝග හා සැසඳීමේ දී මේවා කිසිසේත් තැකිය යුත්තක් නොවන්නේය.
මේ රටේ මිනිසුන් වෙනුවෙන්, කුරුණෑගල ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් මා විශ්වාස කරන දර්ශනය වෙනුවෙන් පෙනී සිටීම වරදක් කොට, මාගේ මවුපියන් ගොඩනගන ලද මා උපන් නිවස පවා දවා අලුකර බිමට සමතලා කර නැවැත්විය නොහැකි මා හිර ගෙදර පෙන්වා නැවැත්විය හැකි යැයි සිතීම විහිළුවකි.
ආදරය විශ්වාසය හා ලෙන්ගතුකමින් පිරීගිය ලක්ෂ සංඛ්යාත පිරිසකට තමාගේම නිවස හා කාර්යාලය වූ මා උපන් රත්කරව්ව නිවසත් විල්ගොඩ කාර්යාලයත් වෛරයේත් කුහකකමේත් ගිලුණු අතලොස්සක් එක්ව ගිනි තබා අලු කළ ද ඔබ වන් මිනිසුන්ගේ ආදරණීය විශ්වාසය ඇති තාක් මා වැන්නන් බිම දැමිය නොහැකි බව අප එයින් ඔප්පු කළ යුතු කාලය පැමිණ ඇත.
කුරුණෑගල මිනිසුන්ගේ ආදරය හා විශ්වාසය මතින් ශක්තිමත් වූ මාගේ දේශපාලනයට තිත තැබීමට තබා සෙලවීමටත් නොහැකි බව පෙන්විය යුතු අවස්ථාව උදාවී ඇත.
වසර තිස් ගණනක් වූ මාගේ දේශපාලන ගමන් මග කවදත් ශක්තිමත් කළේ ඔබ වැන්නන්ගේ කැපවීමයි.
සෑම මැතිවරණයකදිම දිස්ත්රික්කයේ මා ලැබූ ඉහළම මනාප සංඛ්යාවෙන් කියවෙන්නේ ඔබ වැන්නන්ගේ ශක්තියයි.
කහපත්වල, දඹදෙනිය වැනි ග්රාමීය සෞඛ්ය මධ්යස්ථානවල සිට ක්රීඩාපිටි, ගෘහස්ථ ක්රීඩාගාර හරහා කාපට් පාරවල් මෙන්ම අධිවේගී මර්ග දක්වා විහිදෙන්නේ ඔබගේ ආදරයේ මහඟු ඵලයයි.
නිකවැරටිය ඈත වන්නියේ නිවසක් දැල්වූ කුප්පි ලාම්පුව නිවා දැල්වූ විදුලි බුබුලේ සිට කුරුණෑගල වැව රවුම බඩගමුව, බතලගොඩ රක්ෂිතයේ ඇවිදින මංතීරු දක්වා විහිදුණේ ඒ ලෙන්ගතුකමයි.
ඒ කැපවීම ශක්තිය ආදරය ලෙන්ගතුකම වෙන කිසිදාටත් වඩා ඔබගෙන් මා වෙත ඇවැසි මොහොතක් පැමිණ ඇත. විරුද්ධවාදීන් නගන අශික්ෂිත අවලාද බොරු චෝදනා සඳහා සත්යයේ ශක්තිය මත පිහිටා නිශේධනය කිරීමට මා කටයුතු කරන බව මගේ ජනතාවට දැනුම් දෙන්න.
අප විශ්වාස කරන දේශපාලනය වෙනුවෙන් ඕනෑම පරිත්යාගයක් ඉටු කිරීමට සූදානම් බව අපගේ පාක්ෂිකයන්ට දැනුම් දෙන්න. මහින්ද රාජපක්ෂ නමැති මේ රට බේරාගත් නායකයා වෙනුවෙන් ඇති ගෞරවය හා ආදරය එලෙසම බව පවසන්න.
කිනම් බාධක මැද හෝ නාමල් රාජපක්ෂ ප්රමුඛ පොදුජන පෙරමුණත් අපේ පාක්ෂිකයනුත් සුරකින බව පවසන්න.
මාගේ අවසන් හුස්ම දක්වාම මා විසින් ඔප්පු කොට සහතික කළ ඔබගේ විශ්වාසයත් බලාපොරොත්තුවත් නොබිඳින බව පවසන්න. මා තවමත් ඔබ දන්නා ජොනීම බව පවසන්න.
එය සපත කිරීම සඳහා ඔබගේ සහය හැකි ඉහළම අයුරින් ලබා දෙන්න.
එක්ව ජයගමු. එක්සත්ව නැගිටිමු.
බොරුව යටපත් කර සත්ය තහවුරු කරමු. ජයවේවා!
ජොන්ස්ටන් ප්රනාන්දු
මැගසින් බන්ධනාගාරයේ සිට
ලංකා දේශපාලනය තුළ ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර ගැටුම් අලුත් දේ නොවේ. ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන අගමැති ආර් ප්රේමදාස අතර බරපතළ මත ගැටුම් තිබිණි. ඊට පසුව පැමිණි චන්ද්රිකා බණ්ඩාරනායක කුමාරතුංග ජනාධිපතිනිය හා අගමැති රනිල් වික්රමසිංහ අතර උග්ර ගැටුමක් විය. දෙදෙනා පක්ෂ දෙකඩ වීම නිසා එම තත්ත්වය ඇතිවූ බවද කියවිණි.
මෛත්රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ අගමැතිවරයා වූයේ රනිල් වික්රමසිංහය.
‘හොදි බෑග් එක ඇඟේ ඉහිරවා ගන්නේ නැතිව ලෙහා ගන්න ඕනැ " ජනාධිපති මෛත්රී ප්රසිද්ධියේම කීවේය. අවසානයේ දී හොදි බෑග් එක ඇඟේ හලාගත්තා පමණක් නොව ඇඟ පුරාම ගා ගත්තේය. ප්රතිඵලය වූයේ අගමැති රනිල් ඉවත් කර මහින්ද රාජපක්ෂ අගමැති ධුරයට පත් කිරීමට ජනාධිපති මෛත්රී පියවර ගැනීමයි.
ජනාධිපති අනුර කුමාර දිසානායක ජනතා විමුක්ති පෙරමුණේ නායකයා මෙන්ම ජාතික ජන බලවේගයේද නායකයා වේ. ජවිපෙ කියන පරිදි ජනතා විමුක්ති පෙරමුණ යනු ජාතික ජනබලවේගයේ හවුල්කාර පක්ෂයක් පමණි. අගමැතිනි හරිනි අමරසූරිය ප්රසිද්ධියේම කියා ඇති පරිදි ඇය ජාතික ජන බලවේගයේ සාමාජිකාවකි. ඉකුත් සතියේ එක් මාධ්ය වාර්තාවක සඳහන් වූයේ ජනාධිපතිවරයා හා අගමැතිනිය අතර මත ගැටුමක් නිර්මාණය වී තිබෙන බවය.
විශ්වවිද්යාල කොමිෂන් සභාවේ සභාපතිවරයා පත් කිරීමේ දී හිටපු සභාපති මහාචාර්ය සමරතුංග මහතා දිගටම සභාපති ධුරයේ තබා ගැනීමට අගමැතිනියට අවශ්ය වූ බවත් වෘත්තිය සමිතිවල බලපෑම මත මහාචාර්ය කපිල සෙනෙවිරත්න මහතා සභාපතිවරයා ලෙස පත් කිරීමට ජනාධිපති අනුර කුමාර කටයුතු කළ බවත් එමගින් මතබේදාත්මක තත්වයක් නිර්මාණය වී ඇති බවත් මාධ්ය වාර්තාවේ සඳහන් විය.
අග්රාමාත්ය මාධ්ය ඒකකය මාධ්ය නිවේදනයක් නිකුත් කරමින් එම පුවත ප්රතික්ෂේප කර තිබුණි.
අපි මේ ගැන සාකච්ඡා කරපු කාමරයේ අහගෙන ඉඳලා වගේ මේ නිවුස් ලියන්නේ. අපි අතර එහෙම ප්රශ්නයක් නෑ. අගමැතිනි හරිනි කීවාය.