Showing posts with label crime g3. Show all posts
Showing posts with label crime g3. Show all posts

Friday, April 3, 2026

ශමින්ද්‍ර-කපිල චන්ද්‍රසේන බිරිය දුටු තැන අල්ලනු

 

රෝෂන් තුෂාර


ශ්‍රී ලංකන් ගුවන් සමාගමට 2013 වසරේදී යානා දහයකින් සමන්විත ගුවන් බළඇණියක් මිලදී ගැනීමේදී යුරෝපීය ගුවන් සමාගමකින් ඇමරිකන් ඩොලර් මිලියන 2ක අල්ලසක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුවන් ලෙස නම් කළ හිටපු ඇමැති චමල් රාජපක්ෂ මහතාගේ පුත් ශමීන්දු රාජපක්ෂ සහ ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතාගේ බිරිද වන ප්‍රියංගා නියෝමාලී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (02) විවෘත වරෙන්තු නිකුත් කළේය.


 

විදේශගතව සිටින සැකකරුවන් දිගින් දිගටම අධිකරණය විමර්ශන හා අධිකරණය  මගහරිමින් සිටින බවට සාක්ෂි ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් අනුව මෙම වරෙන්තුව නිකුත් කළේය.බෲනායි රටේ ව්‍යාජ සමාගමක් පිහිටුවා ප්‍රකට (ඇමෙරිකන් ඩොලර් මිලියන දෙකක) අල්ලසක් ලබාගැනීම සම්බන්ධයෙන් පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම වරෙන්තු නියෝග නිකුත් කළේය.පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී රක්ෂිත බන්ධනාගාරගත ලංකන් ගුවන් සමාගමේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන මහතා බන්ධනාගාර නිලධාරින් විසින් අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.


අල්ලස් කොමිසම පසුගිය නඩු වාරයේදී කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව ඊයේ දින සිය නියෝගය ප්‍රකාශයට පත් කළ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අදාළ වරෙන්තුව ආගමන විගමන පාලකවරයාට යොමු කිරිමට ද නියෝග කළේය. සැකකරුවන්ට එරෙහිව ඉංග්‍රීසි භාෂාවෙන් ජාත්‍යන්තර රතු වරෙන්තු නිකුත් කිරීම සම්බන්ධයෙන් කටයුතු කර ඉදිරි පියවර ගන්නා ලෙසටද මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කළේය.


සැකකරුවන් දෙදෙනා විදේශගත වී ඇත්තේ කුමන දිනයේද? කුමන රටකටද? යන්න සම්බන්ධයෙන් පූර්ණ විස්තර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා අල්ලස් කොමිසමට නියෝග කළේය.පැමිණිල්ලේ පළමු සැකකරු වන ශ්‍රී ලංකන් ගුවන් සේවයේ හිටපු ප්‍රධාන විධායක නිලධාරි කපිල චන්ද්‍රසේන ලබන 17 දක්වා යළි රක්ෂිත කිරිමටද  බන්ධනාගාරගත නියෝග කෙරිණි.


පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී අල්ලස් කොමිසම වැඩිදුර වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ, අධිකරණයට ඉදිරිපත් කළ ලේඛනයක් සමාජ මාධ්‍ය හරහා සංසරණය වන බවය. සැකකරු දුන් දිවුරුම් ප්‍රකාශයේ තොරතුරු ද එහි අන්තර්ගත වන බවද අල්ලස් කොමිසම වැඩිදුරටත් පැවැසීය.සැකකරු දුන් දිවුරුම් ප්‍රකාශයේ තොරතුරු අල්ලස් කොමිසම් අධිකරණයට රහසිගතව ඉදිරිපත් කිරීමට සුදානම්ව සිටියද කිසියම් පාර්ශ්වයක් විසින් මෙලෙස සමාජ මාධ්‍ය වෙත යොමු කරනු ලැබීම සැකකරුගේ ජීවිතයට තර්ජනයක් වන බවද කීය.


ඊට ප්‍රතිචාර දැක්වූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා, සමාජ මාධ්‍යයේ සංසරණය වන අදාළ ලේඛනයේ අධිකරණ නිල මුද්‍රාව තිබේද යන්න විමර්ශනය කර අධිකරණයට කරුණු දක්වන ලෙසට අල්ලස් කොමිසට නියෝග කළේය. අල්ලස් කොමිසම වෙනුවෙන් එම කොමිසමේ සහකාර අධ්‍යක්ෂ ජනරාල් නීතිඥ තනූජා බණ්ඩාර මහත්මිය කරුණු දක්වමින් මෙසේ පැවසුවාය.

 

සිද්ධිය සම්බන්ධයෙන් මර්ශන සිදු  කරනවා. මුදල් සංසරණය වීමට අදාළව එස්.එල්. ඇග්‍රෝ යන ආයතනයේ අධ්‍යක්ෂවරයකුගෙන් ප්‍රකාශ ලබාගැනීම සිදුකළා.එම ආයතනවල තවත් අධ්‍යක්ෂවරුන්ගෙන් ප්‍රකාශ ලබාගැනීමට  තිබෙන බැවින් හා තවදුරටත් විමර්ශන කටයුතු සිදුවන බැවින් සැකකරු තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසද  ඉල්ලා සිටිනවා.

 

එහිදී මහේස්ත්‍රාත්වරයා යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින්  අල්ලස් කොමිසම කියා සිටියේ, සැකකරු මුදල් තැන්පත් කළ බව කියන හොංකොං, සිංගප්පූරුවේ සහ ලංකාවේ සියලු බැංකු ගිණුම් පිළිබඳව විමර්ශන තවදුරටත් සිදු කරන බවය. සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ රියන්සි  අර්සකුලරත්න මහතා කරුණු දක්වමින් කියා සිටියේ, සිද්ධිය වී වසර ගණනාවකට පසුවත් විමර්ශන කටයුතු සිදු කරන බවය.ජනාධිපති නීතිඥවරයා මෙසේද පැවැසීය.


මෙම සිද්ධියට අදාළ පළමු විමර්ශනය ආරම්භ වන්නේ 2020 වර්ෂයේ. එහිදී සැකකරුට ඇප දී තිබෙනවා. දැන් අල්ලස් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් කොටුව මහේස්ත්‍රාත්වරයා වශයෙන්  සිටියදී තමයි මෙලෙස ඇප ලබා දී තිබෙන්නේ. එම ඇප කොන්දේසි සඳහන් වෙනවා. ඇප නොදීමට තරම් කරුණු අනාවරණය නොවන බව ඇප දීමේදී සඳහන් කර තිබෙනවා. විමර්ශනය සම්බන්ධයෙන් දවස් පහළොවෙන් පහළොවට අධිකරණයට කරුණු වාර්තා කළ යුතුයි. අවුරුදු හයක් ගිහින් තමයි මෙම විමර්ශනයට අදාළව අධිකරණයට කරුණු වාර්තා කරන්නේ. මගේ සේවාදායකයාගේ අත්අඩංගුවට ගැනීමට ඇප දීම බාධාවක් නොවන බවද නීතිඥවරයා පැවසීය.

 

ඊට ප්‍රතිචාර දැක්වූ අල්ලස් කොමිසම මෙසේ පැවැසීය. 2023 අංක 23 දූෂණ විරෝධී පනතට අනුව විමර්ශනය සම්බන්ධයෙන් කරුණු දැක්විය යුත්තේ අවශ්‍ය අවස්ථාවේදී පමණයි. සැකකරුට ඇප දූනහොත් සැකකරුගේ ජීවිතයට තර්ජනයක් එල්ල විය හැකියි. එබැවින් සැකකරුට ඇප දීම සම්බන්ධයෙන් තරයේ විරුද්ධ වනවා.


දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා සැකකරු ලබන 17 දින දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කරමින් විමර්ශන ප්‍රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කළේය.


Friday, January 12, 2024

ගුවන් සේවා නිලධාරිනියගේ ඝාතනය සැකකරු රිමාන්ඩ්



රූමත් සිවිල් ගුවන් සේවා නිලධාරිනියකට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ සැකකරු ඊයේ (11) කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මෙම මස 23 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ තබන ලෙස මහේස්ත්‍රාත් අසන්ග බෝදරගම මහතා නියෝග කළේය.මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කෙරුණේ පානදුර බෙක්කේගම ප්‍රදේශයේ පදිංචිව සිටි එල්ලාවල ලියනගේ ඩන්ස්තන් ප්‍රසාද් පෙරේරා නමැති 48 හැවිරිදි පස් දරු පියෙකි.

ඉකුත් 9 වැනි වැනි දින මෙලෙස ඝාතනයට ලක්වූයේ දුලාංජලී අනුරුද්ධිකා නමැති කාන්තාවකි. ඇය පිළියන්දල මඩපාත ජඹුරලිය ප්‍රදේශයේ පදිංචි එක්දරු මවකි. ඇය වෛද්‍යවරයකුගේ බිරිඳකි.සැකකරු ඝාතනයට ලක් වූ ගුවන් සේවා නිලධාරිනිය සමඟ වසර ගණනාවක් අනියම් පෙම් සබඳතාවයක් පවත්වාගෙන ගොස් තිබූ අතර ඇය සමග හටගත් විරසකයක් හේතුවෙන් මෙම ඝාතනය සිදුකර තිබූ බව පොලිසිය අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.

ඝාතනයට ලක් වූ කාන්තාව ඉකුත් නවවැනි දින රැකියාව නිමවා කහතුඩුව අධිවේගී පිවිසුමෙන් බැස නිවසට යෑම සඳහා හොරණ කොළඹ ප්‍රධාන මාර්ගය වෙත පැමිණීමේ දී ඇය එන පෙරමග රැඳී සිටි සැකකරු මෝටර් රථයේ ඩිකීයේ සඟවාගෙන ආ තියුණු ආයුධයෙන් ඇයගේ ශරීරයේ ස්ථාන කීපයකටම දරුණු පහරවල් කීපයක් එල්ල කර පලා ගොස් තිබූ බව පොලිසිය අධිකරණ හමුවේ පැවසීය.අනතුරුව සැකකරු විදේශ රටකට පලා යෑම සඳහා කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළ වෙත ගොස් සිටිය දී අත්අඩංගුවට ගත් බවත් ඝාතනයට යොදා ගත් තියුණු ආයුධය සහ ඒ සඳහා පැමිණි මෝටර් රථයද පොලිස් භාරයට ගත් බවත් පොලිසිය වැඩිදුරටත් අධිකරණයට කරුණු දක්වමින් පැවසීය.


බිමල් ශ්‍යාමන් ජයසිංහ

Wednesday, December 27, 2023

පාතාලයෝ විසිනවයක් ඩුබායි පැනලා

 


ඩුබායි සහ ප්‍රංශයේ සැඟවී සිටිමින් මෙරට මත්කුඩු ජාවාරම් කරන සහ පාතාලය මෙහෙයවන පාතාල ප්‍රබලයන් තිස් දෙනකු සම්බන්ධයෙන් රජයට බුද්ධි අංශවලට තොරතුරු වාර්තාවී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා පැවැසීය.එම සියලුම දෙනා අත්අඩංගුවට ගෙන ලංකාවට ගෙන ඒම සඳහා රජය ඩුබායි සහ ප්‍රංශ රාජ්‍යයන් සමග රාජතාන්ත්‍රික සාකච්ඡා ආරම්භ කර ඇතැයිද අමාත්‍යවරයා කීවේය.එම පාතාලකරුවන් අත්අඩංගුවට ගැනීමට විශේෂ සැලසුමක් ක්‍රියාත්මක කර ඇතැයිද ඔහු පැවැසීය.

මෙම පාතාල ප්‍රබලයන්ගෙන් 29 දෙනකු ඩුබායි  රාජ්‍යයේ සිටද එක් අයකු ප්‍රංශයේ සිටද ජාවාරම් මෙහෙය වන බවට තොරතුරු ලැබී ඇතැයි මහජන ආරක්ෂක අමාත්‍යවරයා සඳහන් කළේය. මෙරට පාතාලය සහ කුඩු ජාවාරම් යුක්තිය මෙහෙයුමෙන් ඉදිරි මාස හයේදී සම්පූර්ණයෙන්ම නතර කරන බව කී මහජන ආරක්ෂක අමාත්‍යවරයා කවුරු බාධා කළත් ඒ කාර්යය නතර නොකරන්නේ යැයි ද ප්‍රකාශ කළේය.කුඩු සහ පාතාලය සියයට සියයක් අතුගා දමන්නේ යැයි සහතිකයක් දීමට නොහැකි නමුත් අනිවාර්යයෙන්ම ලොකු වෙනසක් කරන බවද අමාත්‍යවරයා කීය. කිරිඳිවැල අධ්‍යාපනික හා වෙළෙඳ ප්‍රදර්ශන සැණකෙළියකට පෙරේදා (25) සහභාගි වෙමින් මහජන ආරක්ෂක අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.


අංජුල මහික වීරරත්න

Friday, December 15, 2023

ගල් කොරියකින් ලොරියක් - කම්ප්‍රේෂර් 2ක් ඉස්සුවාට තිදෙනෙකු රිමාන්ඩ්

 


කහහේන වග ප්‍රදේශයේ ඉකුත් 7 වැනිදා රාත්‍රියේ කළු ගල් කොරියක (ගල් වළක) මුරකරුට පහරදී අත්පා ගැටගසා එහි ගාල්කර තිබූ ලොරි රථයක් සහ ගල් විදීමට ගන්නා යන්ත්‍ර සොරා ගත් සැකකරුවන් තිදෙනෙකු බඩුත් සමග අත්අඩංගුවට ගත් බව හංවැල්ල පොලිසිය කියයි. මෙහි ප්‍රධාන සැකකරු අම්පාර ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර වයස අවුරුදු හතළිහක් වන විවාහකයෙකි. 

සෙසු දෙදෙනා මතුගම ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර ඔවුන්ද අවුරුදු තිහත් තිස් පහත් අතර වයස්වල පසුවන විවාහක පුද්ගලයන්ය. ප්‍රධාන සැකකරු වෘත්තියෙන් ගල් බෝර සවිකරන්නෙකි. ඔහු මීට වසර අටකට පෙර මෙම සිද්ධියට අදාල කළුගල් කඩන ගල් කොරියෙහි ගල්බොර සවිකරන්නෙකු ලෙස සේවය කර ඇත.ඉකුත් (7) රාත්‍රියේ මොවුන් කළුගල්වලට පැමිණ එහි වාඩියේ සිටි මුරකරුට පහරදී ගාල්කර තිබූ බැකෝ යන්ත්‍රවල සහ ලොරි රථයක යතුරු සොරාගෙන කටේ රෙදි කැබලි ඔබා අත්පා බැඳ බැකෝ යන්ත්‍රයකින් ගල්විදීමට උපයෝගී කරගන්නා (කම්පෙෂර්) යන්ත්‍ර දෙකක් සහ ගල් විදින යන්ත්‍රයක් (හෝමර් එකක්) ලොරි රථයට පටවාගෙන පලාගොස් තිබේ.

මුරකරු රාත්‍රියේම ඔහු ගැටගසා සිටි ලණු මහත් පරිශ්‍රමයකින් ලිහාගෙන අසල ගල් කොරියක මුරකරුවකු ගේ ජංගම දුරකතනයකින් ගල්වල හිමිකරුට දැනුම් දීමෙන් අනතුරුව හංවැල්ල පොලිසියට පැමිණිලි කර ඇත. ඒ අනුව සිදු කළ පරීක්ෂණවලදී පොලිසියට ලද තොරතුරකට අනුව සිදුකළ මෙහෙයුමකදී මතුගම ප්‍රදේශයේ සැඟව සිටි සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට හැකි වී තිබේ. පසුව ලොරි රථය සහ ගල්විදීමට උපයෝගී කරගන්නා යන්ත්‍ර සූත්‍ර සොයාගැනීමට හැකි වී ඇත. සොරාගත් භාණ්ඩවල වටිනාකම රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වෙතැයි ගණන් බලා ඇත. සැකකරුවන් මෙම සොරකම් කර ඉංගිරිය ප්‍රදේශයේ ගල්වැඩපොළක වෙඩි බෙහෙත් ගබඩාවක් ද බිඳ ඇතැයි පොලිසිය කීය. 

මොවුන් කාලයක් තිස්සේ විවිධ සොරකම් කර ඇති බවට පොලිසිය සැක කරයි.සැකකරුවන් අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහේස්ත්‍රාත් ජානක සමරසිංහ මහතා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය.සිද්ධිය සම්බන්ධව හංවැල්ල පොලිසියේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රදීප් කුමාර මහතාගේ උපදෙස් හා මඟ පෙන්වීම යටතේ අපරාධ අංශයේ නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ කටයුතු මෙහෙයවති.

එච්.එස්.එස්. නන්දන

Tuesday, November 21, 2023

කෝටියක දේපළ ඉස්සු මෘදුකාංග ඉංජිනේරුවා කොටු

 


පොලිස් වසම්10කින් රුපියල් කෝටියක් පමණ වටිනා මෝටර් රථ තුනක් සහ යතුරුපැදි හයක් සොරාගෙන කොල්ලකෑම් සහ සොරකම් සිදු කළ සංවිධානාත්මක කල්ලියක ප්‍රධාන සැකකරු වූ මෘදුකාංග ඉංජිනේරුවකු මහබාගේ නිවසක සැඟව සිටියදී අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.අත්අඩංගුවට ගත් සැකකරුට විරුද්ධව අධිකරණ කීපයක ඊට පෙර සිදු කළ සොරකම් සම්බන්ධයෙන් නඩු 21 ක් විභාග වෙමින් පවතින බවත් වරෙන්තු 6ක් ඇත්තෙකු බවත් උසස් පොලිස් නිලධාරියෙක්  පැවැසීය. සැකකරු රැඳී සිටි එම නිවස තුළ තිබී රෙදි කැපීමට යොදා ගන්නා ලක්ෂ ගණනාවක් වටිනා යන්ත්‍රයක්, ප්‍රින්ටර් දෙකක්, යකඩ කපන මැෂිමක්, ඡායා පිටපත් මැෂින් දෙකක්, ලැප්ටොප් පරිගණකයක් වයර් රෝල් හයක්, ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන හතරක්, විදේශීය මුදල්, පැරණි නෝට්ටු, පිත්තල භාණ්ඩ ඇතුළු වටිනා උපකරණ රැසක් පොලිස් භාරයට ගෙන ඇත.

මහ මග නතර කර තිබෙන මෝටර් රථ සහ යතුරු පැදි හිටි හැටියේ සොරාගෙන යාම සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඊට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ලෙස බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයට කරන ලද නියෝගයක් අනුව පොලිස් කොස්තාපල් (84762) කුමාර මහතා ලද රහසිගත තොරතුරකට අනුව එම කල්ලියේ ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකි වී ඇත.

සැකකරු සමඟ ඔහු අලුබෝමුල්ල, බොරැල්ල, කිතුල්වත්ත ප්‍රදේශ වලින් සොරා ගත් මෝටර් රථයක් සහ යතුරුපැදි දෙකක් පොලිස් භාරයට ගෙන ඇත.සැකකරු අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවකු බවත්, රිමාන්ඩ් බාරයේ සිට මෙම වසරේ මුල් භාගයේදී ඇප මත පැමිණි පුද්ගලයෙක් බවත් පොලිසිය සඳහන් කළේය.අනතුරුව තවත් සිව් දෙනෙකු සම්බන්ධ කරගෙන මිරිහාන, මහරගම, හෝමාගම, කඩුවෙල, තලංගම, වැලිකඩ, සපුගස්කන්ද, කහතුඩුව, හොරණ හා අලුබෝමුල්ල පොලිස් වසම්වල මෝටර් රථ සහ යතුරුපැදිසොරා ගෙන මහ මග ගමන් ගත් කාන්තාවන්ගේ අත්බෑග් සහ එකී පොලිස් වසම්වල වෙළෙඳසල් කඩා දේපළ සොරා ගෙන තිබූ බව පොලිසිය කීය.

සැකකරු ඇතුළු ඔහුගේ කල්ලිය එක්ව සිදු කළ සොරකම් 31 ක් ඒ ඒ පොලිසිවලට වාර්තා වී ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.සොරාගත් මෝටර් රථ දෙකක් සහ තවත් යතුරුපැදි හතරක් කොල්ලකෑම්වලට යොදා ගැනීමෙන් අනතුරුව වෙනත් පොලිස් වසම්වල අත්හැර ගොස් තිබියදී සොයාගත් බවද පොලිසිය පැවැසීය.සංවිධානාත්මක කල්ලියට සම්බන්ධ සෙසු සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා සඳහා විශේෂ පොලිස්  කණ්ඩායමක් යොදවා ඇතැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කළේය.

 බිමල් ශ්‍යාමන් ජයසිංහ

Monday, November 13, 2023

බාල තක්කාලි සොස් නිපදිවීම විකිණීම ඇතුළු චෝදනා 40කට වරද පිළිගනි


කෘත්‍රිම වර්ණක යෙදූ හා තත්වයෙන් බාල “සන්රයිස්” නමැති තක්කාලි සෝස් නිෂ්පාදනය කිරීම, විකිණීම ඇතුළු චෝදනා 40 කට වරද පිළිගත් පුද්ගලික සමාගමක අධ්‍යක්ෂ දෙදෙනකු ඇතුළු විත්තිකරුවන් පස්දෙනකුට මාලිගාකන්ද අධිකරණයේ අතිරේක මහේස්ත්‍රාත් ධම්මික හේමපාල මහතා රුපියල් 80,000 ක දඩයක් ඊයේ (10) නියම කළේය.

මෙලෙස දඩ මුදල් නියම වූයේ මීගොඩ නිව් සවුත් ඒෂියන් කැනරිස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ දෙදෙනකු සහ සෝස් අලෙවි කළ තිදෙනකුටය. පසුගිය අගෝස්තු මස 7 වැනිදා ලැබුණු පැමිණිල්ල මත කෙසෙල්වත්ත මහජන සෞඛ්‍ය පරික්ෂක චමිදු නිමේෂ් දිල්ෂාන් හා අලුත්කඩේ මහජන සෞඛ්‍ය පරික්ෂක අමීන් වාසික් අහමඩ් යන මහත්වරුන් අලුත්කඩේ පසුල් නානා හෝටලයේ කළ වැටලීමක දී එහි භාවිත කරන ලද තක්කාලි සෝස් පිළිබඳව ඇති වූ සැකයක් මත එම සන්රයිස් තක්කාලි සෝස් සාම්පල් කොළඹ නාගරික රස පරීක්ෂක රසායනාගාරයට යොමු කර වාර්තා ලබාගෙන ඇතැයි අධිකරණයේ දී ප්‍රකාශ විය.

කෘත්‍රිම වර්ණක යොදා තත්වයෙන් බාල තක්කාලි සෝස් නිපදවීම, පාරිභෝගිකයා නොමග යවන සුළු ආකාරයෙන් ලේබල් සකස් කර තක්කාලි සෝස් අලෙවි කිරීම ඇතුළු චෝදනා 40 ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව අධිකරණය හමුවේ චෝදනා ගොනුකර තිබිණි. මෙම නඩුව අධිකරණය හමුවේ ඊයේ (10) කැඳවූ අවස්ථාවේ විත්තිකරුවන් අදාළ චෝදනාවලට අධිකරණ හමුවේ වරද පිළිගැනීම හේතුවෙන් මහේස්ත්‍රාත්වරයා ඔවුන්ට අවවාද කර මෙලෙස දඩ මුදල් නියම කළේය.

 ඉන්දිකා රාමනායක


Friday, September 22, 2023

තල්දූවේ වෙඩි වරුසාවකින් දෙකක් මරුට



යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු අවිස්සාවේල්ල තල්දූව ඉහළමංකඩ හන්දියේ දී පෙරේදා (21) මධ්‍යම රාත්‍රියේදී ත්‍රිරෝද රථයකට දිගට හරහට එල්ල කළ වෙඩි ප්‍රහාරවලින් ත්‍රිරෝද රථයේ ගමන් ගත් දෙදෙනකු මියගොස් ඇති අතර දෙදෙනකු බරපතළ තුවාල ලබා ඇතැයි අවිස්සාවේල්ල පොලිසිය පවසයි. බරපතළ තුවාල ලැබූ දෙදෙනා අවිස්සාවේල්ල රෝහලට ඇතුළත් කර ඇති අතර එක් අයකුගේ තත්වය අසාධ්‍ය බව අවිස්සාවේල්ල පොලිසියේ නිලධාරියෙක් ලංකාදීපයට පැවැසීය. මෙසේ වෙඩි කා මිය ගොස් ඇත්තේ, තල්දූව පරණ අවිස්සාවේල්ල පාරේ පදිංචිව සිටි 36 හැවිරිදි ඩබ්ලිව්. ධනුෂ්ක ප්‍රේමලාල් සහ තල්දූව දන්ගල්ල පාරේ පදිංචිව සිටි 27 හැවිරිදි එච්.ජී.අයි. මධුෂාන් නමැති දෙදෙනෙකි.

ඔවුන් සිවුදෙනා ප්‍රදේශයේ පැවති මළ ගෙදරකට ගොස් ආපසු එමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරයට ලක්වී ඇතැයි පොලිසිය කියයි.යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු අතරින් පිටුපස අසුනේ වාඩිවී සිටි පුද්ගලයා ටී-56 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියකින් එහි ජීව උණ්ඩ සියල්ල අවසන් වනතෙක්ම දිගට හරහට වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.ත්‍රී රෝද රථය පදවාගෙන ගිය පුද්ගලයාට වෙඩි වැදුණු පසු ඔහුගේ පාලනයෙන් ගිලිහුණු ත්‍රීරෝද රථය මාර්ගයෙන් ඉවතට පැන අසල තිබූ වෙළෙඳසැලක බැම්මක වැදී නතර වී ඇත.වෙඩි වැදී තුවාල ලබා සිටි අවන්ත නමැත්තකු මළගෙදර සිටි ඔහුගේ හිතවතකුට ජංගම දුරකථනයෙන් කතා කර සිද්ධිය දැනුම් දීමෙන් පසු එහි සිටි පිරිසක් පැමිණ වෙඩි කා සිටි සිවු දෙනාම රෝහලට රැගෙන ගොස් ඇතැයි කියති.

ඉන් දෙදෙනකු රෝහලේදී මියගිය බව පොලිසිය කියයි.පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ අවට පොලිස් ස්ථානවලින් ගෙන්වන ලද 200කගෙන් පමණ සමන්විත විශේෂ පොලිස් බලඇණියක් පලාගිය ඝාතකයන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් ආරම්භ කර ඇතැයි පොලීසිය සඳහන් කරයි.ඩුබායි රටට පලාගොස් සැඟවී සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු ලෙස සැලකෙන මන්නා රමේෂ් නමැත්තාගේ ගෝලයන් දෙදෙනකු මෙම වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට පැමිණ ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත.

සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු ලෙස සැලකෙන මෙම මන්නා රමේෂ් නැමැත්තාගේ සහෝදරයකුට අවන්ත නමැත්තාගේ සහෝදරයෙකු වන පොඩ්ඩා නමින් හැඳින්වෙන අයකු පොල්ලකින් පහර දීමෙන් බරපතළ තුවාල ලබා අසාධ්‍ය තත්වයෙන් රෝහල්ගතව සිටින බව පොලීසිය කියයි.මෙම අවන්ත නමැත්තා ද සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු ලෙස සැලකෙන මන්නා රමේෂ් නමැත්තාගේ සහෝදරයාට පහරදීමට සම්බන්ධ යැයි සැක කර ඔහු ඝාතනය කිරීමේ අරමුණෙන් මෙම වෙඩි ප්‍රහාරය එල්ලකරන්නට ඇතැයි පොලිසිය සැක කරයි.මෙම අවන්ත නමැත්තාට පසුගිය මැයි මස26 තල්දූව හන්දියේදී එල්ල වූ වෙඩි ප්‍රහාරයකින් තුවාල ලබා රෝහල්ගතව ප්‍රතිකාර ලබා ජීවිතය බේරාගෙන ඇතැයි පොලිසිය කියයි. අවන්ත නමැත්තාට වෙඩි තබා ඝාතනය කිරීමට උත්සාහ කළ බව කියන පුද්ගලයා අවිස්සාවේල්ල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ රිමාන්ඩ් භාරයේ පසුවන බව පොලීසිය කියයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

Thursday, August 17, 2023

පාතාල වැඩ වැඩිවේ - වෙඩි තබා විනාඩි විස්සට දෙදෙනකු මරලා

 


දකුණු පළාත තුළ පාතාල ක්‍රියාකාරකම් යළිත් හිස ඔසවමින් පෙරේදා (15) රාත්‍රියේ විනාඩි 20 ක කාලයත් ඇතුළත තංගල්ලේ දී හා දික්වැල්ලේ දී පුද්ගලයන් දෙදෙනකු වෙඩි තබා ඝාතනය කර ඇත. යතුරු පැදි දෙකකින් පැමිණි වෙඩික්කරුවන් ටී 56 වර්ගයේ ගිනි අවියකින් හා මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් මෙම ඝාතන සිදුකර ඇති බව පොලිසිය පවසයි. තංගල්ල, කුඩාවැල්ල, බෝකොටුව ප්‍රදේශයේ දී පෙරේදා රාත්‍රි 7.00 ට පමණ යතුරුපැදියකින් පැමිණ දෙදෙනකු මිලිමීටර් 9 වර්ගයේ පිස්තෝලයකින් වෙඩි තබා තිස්හය හැවිරිදි දෙදරු පියකු ඝාතනය කර ඇති බව පොලිසිය සඳහන් කරයි.

ඔහු නාකුළුගමුව, දකුණු කුඩාවැල්ල ප්‍රදේශයේ පදිංචි අයකු බව පොලිසිය කියයි. මෙලෙස මියගොස් ඇත්තේ බහුදින යාත්‍රා ස්කීපර්වරයකු වශයෙන් කටයුතු කරමින් සිටි එල්.බී. නිමේෂ් රංග නමැත්තකු බව පොලිසිය පවසයි. ඔහු නිවසට යෑමට පෙර මිතුරන් පිරිසක් සමග මාර්ගයේ කතා කරමින් සිටියදී මෙලෙස වෙඩි ප්‍රහාරයට ලක්ව ඇත. යතුරු පැදියකින් පැමිණි දෙදෙනකු එම පිරිස අසලට ගොස්, රංග කවුද යන්න විමසා, ඔහු සමග යමක් කතා කිරීමට අවශ්‍ය බවට පවසා මිතුරන් එම ස්ථානයෙන් ඉවත් කර මෙම  වෙඩි තැබීම කර ඇති බවට පොලිසියට තොරතුරු ලැබී තිබේ. සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ ඔහු නාකුළුගමුව රෝහලට රැගෙන ගොස් ඇති අතර, ඒ වන විටත් ඔහු මිය ගොස් සිටි බව රෝහල් ආරංචිමාර්ග කියයි.

ඔහුට වෙඩි ප්‍රහාර 4 ක් පමණ එල්ල කර ඇති අතර, එම ස්ථානයේ තිබී හිස් උණ්ඩ කීපයක් හමුවූ බව කියයි. මේ අතර, එම ඝාතනය සිදු කර විනාඩි 20 ක පමණ කාලයක් තුළ තංගල්ල, කුඩාවැල්ලට කිලෝමීටර 7 ක්  පමණ දුරින් දික්වැල්ල, වලස්ගල, බෝදරකන්දවත්ත ප්‍රදේශයේ සිදු වූ වෙඩි තැබීමකින් තවත් පුද්ගලයකු ඝාතනයට ලක්ව ඇත. සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ මාතර, උයන්වත්ත ප්‍රදේශයේ පදිංචි සංජීව පුෂ්පකුමාර (46) හෙවත් “මොරටු සංජීව" නමැති අයකු බව පොලිසිය කියයි. ඔහු කිසිවකු දුන් ඇමතුමකට අනුව ගොස් වලස්ගල සණස ශාලාව අසල රැඳී සිටියදී යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු ඔහුට වෙඩි තබා පලාගොස් ඇති බවට තොරතුරු හෙළි වූ බව පොලිසිය පවසයි.

මෙම වෙඩි තැබීම ටී 56 වර්ගයේ ගිනි අවියකින් කර ඇති අතර, පොලිසිය එම ස්ථානයේ තිබී හිස් පතුරම් කොපු 20 ක්  පමණ සොයාගෙන ඇත. එම මියගිය පුද්ගලයා මීට පෙර මනුෂ්‍ය ඝාතනයකට හා කොල්ලකෑම් කිහිපයකට සම්බන්ධ පුද්ගලයකු බවත්, ඒ සම්බන්ධයෙන් අධිකරණයේ නඩු විභාග වන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ නිහාල් තල්දුව මහතා පැවසීය. මියගිය පුද්ගලයා සිද්ධිය වන අවස්ථාවේ හෙල්මටයක් පැළඳ සිටියද එම ස්ථානයේ යතුරු පැදියක් තිබී නොමැති බවත්, ඔහු එම ස්ථානයට කිසිවකුගේ යතුරු පැදියකින් පැමිණ ඇති බවට සැකකරන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය ඔහු කිසියම් අපරාධයක් මුල්කරගෙන මෙලෙස ඝාතනය කරන්නට ඇති බවට සැක කරන බවත්, ඝාතනයට හේතුව අනාවරණය කර ගැනීමට පොලිස් කණ්ඩායම් කිහිපයක් යොදා විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.

මෙම පුද්ගලයා “හරක් කටාගේ" කල්ලියට ප්‍රතිවිරුද්ධ කල්ලියේ පුද්ගලයකු බවට තොරතුරු ලැබී ඇති බවත්, ඒ බව තහවුරු කර ගැනීමට මෙම විමර්ශන සිදුකරගෙන යන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.තංගල්ල, කුඩාවැල්ල ප්‍රදේශයේදී වෙඩි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා අපරාධවලට සම්බන්ධ පුද්ගලයකු බවට මෙතෙක් තහවුරු වී නොමැති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. ඔහු ඝාතනය කිරීමට හේතුව අනාවරණය කර ගැනීමට විමර්ශන සිදු කරන බව ද හෙතෙම පැවසීය. මෙම ඝාතනයට සම්බන්ධ පුද්ගලයන් පැමිණි බවට සැක කරන යතුරු පැදියක් තංගල්ල සැමුවෙල් මාවතේ දමා ගොස් තිබියදී (16) දහවල් පොලිසිය විසින් සොයාගනු ලැබ ඇත.

දකුණු පළාත තුළ පසුගිය කාලයේ වෙඩි තබා පුද්ගලයන් ඝාතන කිරීම දිගින් දිගටම සිදුවීම හේතුවෙන් එම තත්ත්වය පාලනය කිරිමට පොලිස් විශේෂ කාර්ය බළකායේ භට කණ්ඩායම් හා පොලිස් බුද්ධි අංශ කණ්ඩායම් යොදවා ආරක්ෂක වැඩපිළිවෙළක්ද ක්‍රියාත්මක කර තිබුණි. විශේෂ කාර්ය බළකායේ හා පොලිස් කණ්ඩායම් දකුණේ යම් යම් ප්‍රදේශවලට අනුයුක්ත කරමින්, ක්ෂණික මාර්ග බාධක, පුද්ගල පරීක්ෂණ, යතුරු පැදි කණ්ඩායම් යොදා පුද්ගල පරික්ෂා කිරීම් නිතරම සිදු කිරීම හේතුවෙන් වෙඩි තැබීම් වල යම් අඩුවක් දක්නට ලැබුණු බවත්, එසේ තිබියදී සංවිධානාත්මක අපරාධ කල්ලි යළිත් කරළියට පැමිණ ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙක් කීය.

මෙම වෙඩි තැබීම් දෙකත් සමග මේ මාසයේ ගත වූ දින 16 තුළ වෙඩි තැබීම් හතරක් වාර්තා වී ඇති අතර, පුද්ගලයන් තිදෙනකු මියගොස් තවත් අයකු තුවාල ලබා ඇත.  ඉකුත් 2022 මැයි මස 30 වැනිදා සිට පෙරේදා දක්වා කාලය තුළ දකුණු පළාතේ සහ බස්නාහිර පළාතේ වෙඩි තැබීම් 98 ක්ද සිදුව ඇති අතර, පුද්ගලයන් 84 දෙනකු මියගොස් ඇත. බස්නාහිර පළාතෙන් වෙඩි තැබීමේ සිද්ධි 57 ක් හා දකුණු පළාතෙන් සිද්ධි 41 ක් වශයෙන් මෙම වෙඩි තැබීම් වාර්තා වී ඇත.

ඉන්දිකා රාමනායක

Wednesday, August 16, 2023

පොහොර සමාගමට කෝටි 15ක් පාඩුයි - ලක්ෂ 200ක බෝනස් ගෙවලා


සීමාසහිත ලංකා පොහොර සමාගම දියර පොහොර ගෙන්වීමට විදේශීය සමාගමක් සමග ගිවිසුම් අත්සන් කිරීමේදී සිදු වී ඇතැයි කියන අනීතික ගනුදෙනුවක් හේතුවෙන් රුපියල් කෝටි 10කට ආසන්න පාඩුවක් සිදු වී ඇතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ. මේ අතර, සීමාසහිත ලංකා පොහොර සමාගම සහනාධාර ලෙස බෙදා හැරීමට සූදානම් කර තිබූ පොහොර මෙට්‍රික් ටොන් 896ක් ගොවීන්ට බෙදාහැරීමට නොහැකි ලෙස හානියට පත්වීම හේතුවෙන් රජයට රුපියල් පන් කෝටි තිස් අට ලක්ෂයක මුදලක් පාඩු වී ඇතැයි ද එම වාර්තාවේ දැක්වේ. එම පොහොර මෙලෙස හානි වී ඇත්තේ, ඒවා නිසි කළමනාකරණයෙන් යුක්තව බෙදා හැරීමට කටයුතු නොකිරීම හේතුවෙන් බව ද එහි සඳහන් කර ඇත.

රුපියල් කෝටි හතරකට අධික වටිනාකමින් යුත් පොහොර මෙට්‍රික් ටොන් 671ක් 2019 වර්ෂයේදීත්, රුපියල් එක් කෝටි තිස් පන් ලක්ෂයක් වටිනා පොහොර මෙට්‍රික් ටොන් 225ක් 2020 වර්ෂයේදීත් මෙලෙස හානියට පත්ව තිබූ බව එම වාර්තාවේ දැක්වේ. ලක් පොහොර සමාගම විදේශීය සැපැයුම්කාර සමාගමක් සමග 2017 වර්ෂයේ අප්‍රේල් මස 17 වැනිදා ඇති කරගත් ගිවිසුම ප්‍රකාරව සපයන ලද දියර පොහොරවලින් රුපියල් කෝටි අටක පමණ කල් ඉකුත් වූ පොහොර ලීටර් 109,408ක ප්‍රමාණයක් හුණුපිටිය ප්‍රධාන ගබඩාවේ 2021 වර්ෂයේ මාර්තු මාසය වන විටත් ගබඩා කර තිබූ බව ද විගණන වාර්තාවේ දැක්වේ.

පිරිවැය අඩු බෙදාහැරීමේ ක්‍රමවේදයක් ස්ථාපිත කිරීමෙන් තොරව දිවයිනේ විවිධ ප්‍රදේශවල ගබඩා හතළිස් හයක් පවත්වාගෙන ගොස්, වැටුප් පරිපාලන මෙහෙයුම් හා ප්‍රවාහන වියදම් අත්‍යවශ්‍ය නොවන ලෙස ඉහළ නැංවීම හේතුවෙන් සමාගම අඛණ්ඩව මෙහෙයුම් අලාභ ලබා තිබූ බව ද එහි සඳහන් වේ. සමාගම අධ්‍යක්ෂ මණ්ඩල තීරණයට අනුකූල නොවන සේ රුපියල් දෙකෝටි දෙලක්ෂයකට වැඩි මුදලක් දිරිදීමනා ලෙස 2020 වර්ෂයේදී ගෙවා ඇතැයි ද ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවේ සඳහන් වේ. මේ අතර, බෝග සඳහා පොහොර සපයන සැපැයුම්කරුගෙන් ණය පදනම මත ලබාගෙන තිබූ යූරියා මෙට්‍රික් ටොන් තුන්දහස් පන්සියයක් රජයෙන් නොමිලේ දෙන සහනාධාර පොහොර ලෙස නම් කිරීමකින් තොරව, සමාගමේ ඇසුරුම් සහිතව ගොවිජන සේවා මධ්‍යස්ථානවලට බදු දීම හේතුවෙන් රජයේ සහනාධාර පොහොර අවභාවිත කිරීම සඳහා අවස්ථාව සැලසී තිබූ බව ද විගණන වාර්තාවේ දැක්වේ.

 සුජිත් හේවාජුලිගේ

Friday, August 11, 2023

15 හැවිරිදි සිසුවිය දූෂණය කළැයි 26 ෆේස්බුක් පෙම්වතා අත්අඩංගුවට


පහළොස් හැවිරිදි සිසුවියක නිවැසියන්ට හොර රහසේ මුහුණු පොතෙන් හඳුනාගත් තරුණයකු සොයා මුල්ලේරියාව ප්‍රදේශයට ගොස් එහිදී එම තරුණයා අතින් ඇය දූෂණයට ලක්වී ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් අලුත්ගම පොලිසිය විමර්ශන සිදුකර තිබේ. තම දියණිය තනිව නිවසෙන් පිටව ගොස් නැවත නිවසට නොපැමිණීම පිළිබඳ සොයා බලා ඇගේ මව අලුත්ගම පොලිසියට කළ පැමිණිල්ල ඔස්සේ විමර්ශන සිදුකර තිබේ . ඒ අනුව සිදුකළ විමර්ශනවලදී අලුත්ගම පොලිසිය අනාවරණය කරගත් තොරතුරු මත සැකකාර තරුණයා හා එම සිසුවිය අත්අඩංගුවට ගෙන සිදුකළ වැඩිදුර විමර්ශන වලින් අනතුරුව 26 හැවිරිදි සැකකරු මුල්ලේරියාව පොලිසියට භාරදී ඇති බව අලුත්ගම පොලිසිය කියයි.

මෙම තරුණයා හා සිසුවිය අතර මුහුණු පොතේ මිතුදමක් පවත්වා ඇති අතර ඒ අනුව දින කීපයකට පෙර 15 හැවිරිදි සිසුවිය එම තරුණයා සොයා මුල්ලේරියාව ප්‍රදේශයට ගොස් එහිදී ඔහු අතින් ඇය දූෂණයට ලක්වී ඇති බව කියයි. ඒ අනුව එම සිසුවියගෙන් ප්‍රකාශ සටහන් කරගෙන කළුතර නාගොඩ රෝහලට ඇතුළත් කර සිද්ධියට සම්බන්ධ සැකකාර තරුණයා මුල්ලේරියාව පොලිසිය මගින් අධිකරණට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බව අලුත්ගම පොලිස් ස්ථානාධිපති රාමේෂ් රත්නසිංහම් මහතා පැවසීය.

තුසිත කුමාර ද සිල්වා

Thursday, August 10, 2023

කඩෙන් බඩු උස්සන්න ආ අඹුසැමි යුවළ පහරදී සේවක තිදෙනකුට තුවාල

කොට්ටාව, මාලපල්ල  ප්‍රදේශයේ අලෙවිසලකින් භාණ්ඩ සොරාගත් අඹුසැමියන් අල්ලා ගැනීමට යාමේදී සොරුන් අත තිබූ තියුණු ආයුධ ප්‍රහාරයකින් වෙළෙඳසලේ තිදෙනකු බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ බව කොට්ටාව පොලීසිය පවසයි. සොරකමට පැමිණි පුද්ගලයා පලාගොස් ඇති අතර කාන්තාව අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි. රෝහල් ගතකළ තිදෙනාගෙන් දෙදෙනෙකුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචි මාර්ග පවසයි. කොට්ටාව, මාලපල්ල ප්‍රදේශයේ පාසලක් ඉදිරිපිට පිහිටි අලෙවිසලකට භාණ්ඩ මිලදීගන්නා මුවාවෙන් ඉකුත් 08 දා රාත්‍රී 07 පමණ කාන්තාවක සහ පුද්ගලයකු පැමිණ තිබේ.

දෙදෙනා පැයක පමණ කාලයක් විවිධ මාදිලියේ භාණ්ඩ තෝරා ගනිමින් කාලය ගත කර ඇති අතර ඒ පිළිබඳව වෙළෙඳසැලේ හිමිකරුට සැක සිතී එහි සිටි තවත් දෙදෙනකු සමග සෝදිසියෙන් සිටින අතරතුරදී බෑගයකට භාණ්ඩ තොගයක් දමාගන්නා කාන්තාව ඊට මුදල් නොගෙවා පලායන අයුරු දැක ඇත. එම අවස්ථාවේදී වෙළෙඳසලේ සිටි තිදෙනා ක්ෂණිකව  ක්‍රියාත්මක වී පලායමින් සිටි දෙදෙනා අල්ලාගෙන පොරබදන අවස්ථාවේ  දී සැකකරු සන්තකයේ තිබූ තියුණු ආයුධයකින් වෙළ‍ෙසලේ   පුද්ගලයන් තිදෙනා කපා බරපතළ තුවාල සිදු කොට පලා ගොස් තිබේ. එහිදී අසල්වාසීන්ගේ සහායෙන් පලා යමින් සිටි සොරාගත් භාණ්ඩ තොගයක් ද සමඟ අල්ලාගෙන ඇති අතර පසුව ඇය පොලීසියට භාර දී ඇත.

තියුණු ආයුධ ප්‍රහාරයෙන් වෙළෙඳසල් හිමිකරුගේ සහෝදරයා, ඔහුගේ ඥාතියෙකු සහ සේවකයෙකු මෙසේ තුවාල ලබා ඇති අතර ඔවුන් අතරින් දෙදෙනකු ශල්‍යකර්ම සඳහා යොමු කර ඇති බවත් එක් අයකුගේ තත්වය සාමාන්‍ය බවත් රෝහල් ආරංචි මාර්ග කියයි. අත්අඩංගුවට ගත් කාන්තාව අධික ලෙස අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහි වූ තැනැත්තියකි. පලාගිය සැකකරු හෙරොයින් පානයට ඇබ්බැහිවූවකු බවත් මත්ද්‍රව්‍ය පානය කිරීම සඳහා දෙදෙනා හෝමාගම කොට්ටාව අවට ප්‍රදේශවල අතුරු මාර්ගවල පිහිටි වෙළෙඳසල්වලට ගොස් මෙසේ භාණ්ඩ සොරාගෙන ඒවා විකුණා උපයා ගන්නා මුදලින් මත්ද්‍රව්‍ය පානයට පුරුදුව ඇති බව විමර්ශනවලදී අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් කාන්තාවගෙන් වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔවුන් දෙදෙනා හෝමාගම කිරිවත්තුඩුව ප්‍රදේශයේ පදිංචි දෙදෙනෙකු බවත් දෙදෙනා අඹු සැමියන් බවට තොරතුරු අනාවරණය වූ බවත් පැවසේ. පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට නියමිතය. අත්අඩංගුවට ගත් 22 හැවිරිදි කාන්තාව 09 දා හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

Wednesday, August 2, 2023

සැමියා කුඩු විකුණා හිරේ: දරුවා කිහිල්ලේ ගහගෙන බිරිය කුඩු විකුණලා



මත්කුඩු චෝදනාවට මහාධිකරණයෙන් සැමියා බන්ධනාගාරගත කර සිටියදී වසර එක හමාරක පිරිමි දරුවා ඇකයේ තබාගෙන හෙරොයින් මත්කුඩු ජාවාරම් කළ කාන්තාවක අත්අඩංගුවට ගත් බව කහතුඩුව පොලිසිය කියයිමෙම සැකකාරිය සන්තකයේ තිබී මත්කුඩු මිලිග්‍රෑම් 5200 ක් පොලිසිය භාරයට ගෙන ඇත. එම සැකකාරියට පස් හැවිරිදි දැරියකද සිටින බව පොලීසිය කියයි. කහතුඩුව, කන්දකැටිය ප්‍රදේශයේ සැකකාරිය මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදෙන බවට කහතුඩුව පොලිසියට ලද තොරතුරක් අනුව එම නිවස වටලා පොලිස් කාන්තාවක සැකකාරිය පරීක්ෂා කිරීමේදී තනපටේ සඟවාගෙන තිබූ මත්කුඩු සොයාගැනීමට හැකි වූ බව පොලීසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකාරියගේ සහෝදරයා ද මත්ද්‍රව්‍ය චෝදනාවට මහාධිකරණය මගින් බන්ධනාගාරගත කර ඇති බව සඳහන්ය. සැකකාරිය සමග පොලිස් භාරයට ගත් වයස අවුරුදු එකහමාරක පිරිමි දරුවා සහ වයස අවුරුදු පහක ගැහැනු දරුවා පරිවාස භාරයට පත් කිරීම සඳහා කැස්බෑව අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

බිමල් ශ්‍යාමන් ජයසිංහ

මාලිගාවත්ත දුම්රිය අංගණයේ තෙල් ජාවාරමක්



මාලිගාවත්ත ප්‍රධාන දුම්රිය අංගණයේ සිදුවන බව කියන මහා පරිමාණ ඉන්ධන  වංචාවක් සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර  ඇත. රාත්‍රියේ දී ගාල් කරන සුඛෝපභෝගී දුම්රිය මැදිරිවල වායු සමීකරණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා සවිකර තිබෙන ඉන්ධන ටැංකි වල මුද්‍රා කඩා ඉන්ධන ජාවාරමක් සිදු වන බවට ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා කළ පැමිණිල්ලක් අනුව මෙම විමර්ශනය ආරම්භ කර ඇත. ඒ අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක් මාලිගාවත්ත දුම්රිය අංගනයට ගොස් කළ මූලික විමර්ශන වල දී අනාවරණය වී ඇත්තේ වායු සමීකරණ දුම්රිය මැදිරිවලට ඉන්ධන සපයන ටැංකිවල මුද්‍රා කඩා ඉන්ධන සොරා ගැනීමට අමතරව දුම්රියවලට ඉන්ධන සැපයීමේදී ද ප්‍රධාන මීටරය හරහා හොරකම් අක්‍රමිකතා සිදුව ඇති බවය.

විශේෂ විමර්ශන කණ්ඩායම දුම්රිය අංගණයට ගොස් ඉන්ධන සපයන ආකාරය සම්බන්ධයෙන් සොයාබලා ඇති අතර එම ස්ථානය පිහිටා තිබෙන දුම්රිය මාර්ග හතෙන්ම දුම්රිය එන්ජින්වලට ඉන්ධන සැපයීමට (ලයින් හතක් හරහා) හැකි බවත් ඒ සියල්ලටම ඉන්ධන සැපයීම සඳහා එකම ප්‍රධාන මීටරයක් ක්‍රියාත්මක වන බවත් එහිදී අනාවරණය කරගෙන ඇත. විමර්ශන නිලධාරීන් එහි ඉන්ධන සැපයීමේ මීටරය සටහන්ව තිබූ දත්ත සහ දුම්රිය එන්ජිමේ ඉන්ධන මීටරයේ එම අවස්ථාවේ තිබෙන ඉන්ධන ප්‍රමාණය සටහන් කරගෙන පසුව පොම්පකරු ඉන්ධන සපයන ආකාරය සම්බන්ධයෙන් ද සොයා බලා ඇත. පොම්පකරු මීටරයේ සටහන්ව තිබූ ප්‍රමාණයට වඩා ඉන්ධන ලීටර් සීයක් වැඩියෙන් ලේඛනයේ සලකුණු කර තිබෙන ආකාරය එහිදී දක්නට ලැබුණු බව මේ පිළිබඳව පරීක්ෂණ කරන විමර්ශන නිලධාරියෙක් පැවැසීය.

ඒ සම්බන්ධයෙන් ෆෝමන්වරයාගෙන් විමසීමේ දී ඔහු නිරුත්තර වී ඇති අතර පසුව ඔහු පවසා ඇත්තේ ඉන්ධන සටහන් ලේඛනයේ පෙන්නුම් කරන බවත් එම හිඟය පියවීම සඳහා එලෙස කටයුතු කරන බවත්ය. ඒ අනුව වහා ක්‍රියාත්මක වූ විමර්ශන නිලධාරීන් ඉන්ධන සැපයුම සටහන් කරන ලේඛනය මුද්‍රා තබා එය එම අංගණයේ ඉංජිනේරුවරයාට බාරදුන් බව පොලිසිය කියයි. විමර්ශන නිලධාරීන් ඉන්ධන ජාවාරම සම්බන්ධයෙන් පුද්ගලයන් හත් දෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි ද පොලිසිය කියයි. දුම්රිය එන්ජින්වලට ඉන්ධන සැපයීමේ දී එහි රියදුරුගේ හෝ සහායකගේ අවධානයක් යොමු නොවන බව ද විමර්ශනවල දී අනාවරණය වී ඇත.

මෙම මහා පරිමාණ ඉන්ධන ජාවාරම සම්බන්ධයෙන් චෝදනා එල්ල වන ප්‍රධාන නිලධාරියා ආරක්ෂක අධිකාරි යටතට ගෙන ඔහුට දෙමටගොඩ ජෝන් හොලන්ඩ් අංගණය බාරදී ඇති බවත් ආරක්ෂක අධිකාරි තනතුර දරන තැනැත්තා සම්බන්ධයෙන් ද ප්‍රවාහන අමාත්‍යාංශය මගින් චෝදනා දහනවයක් යටතේ විමර්ශනයක් සිදු වන බවත් දුම්රිය අභ්‍යන්තර ආරංචිමාර්ග සඳහන් කරයි. මාලිගාවත්ත ප්‍රධාන දුම්රිය අංගණයට ඇතුළු වන ස්ථානයේ කිසිදු ආරක්ෂක නිලධාරියකු නොමැති බවත් ලිහිසි තෙල් ගබඩාවට සහ ඉන්ධන පිරවුම්හලට ද කිසිදු ආරක්ෂාවක් නොමැති බවත් එම ආරංචිමාර්ග කියයි.


 බිමල් ශ්‍යාමන් ජයසිංහ

Wednesday, July 19, 2023

කොළඹ තරු හෝටලයකදී තරුණියකට තරු පෙන්වූ කෝටිපතියෙක් අත්අඩංගුවට


කොළඹ තරු පහේ හෝටලයකදී තරුණියක දූෂණය කළේ යැයි කියන කෝටිපති ව්‍යාපාරිකයෙක් පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (17) අත්අඩංගුවට ගනු ලැබීය. මෙසේ අත්අඩංගුවට ගනු ලැබුවේ, කොළඹ ප්‍රදේශයේ පිහිටි ශිෂ්‍ය වීසා මත තරුණ තරුණියන් වැඩිදුර අධ්‍යාපනය සඳහා යුරෝපා රටවලට යැවීමේ ආයතනයක් පවත්වාගෙන ගිය කෝටිපති ව්‍යාපාරිකයෙකි. දූෂණයට ලක්වූයේ යැයි කියන තරුණිය ද එම ආයතනයේ සේවය කරන තැනැත්තියක  යැයි පොලීසිය සඳහන් කරයි.

කොළඹ තරු පහේ හෝටලයක ආයතනය විසින් සංවිධානය කරන ලද විශේෂ සාකච්ඡාවක් පැවැත්වෙන බැවින්, එයට පැමිණෙන ලෙස සැකකාර කෝටිපති ව්‍යාපාරිකයා මෙම තරුණියට ද දැනුම්දී ඇතැයි කියති. කෝටිපති ව්‍යාපාරිකයාගේ දැනුම්දීම මත තරුණිය ද එම තරු පහේ හෝටලයට ගොස් ඇත. සැකකරු එම හෝටලයේ රැස්වීම් ශාලාවක් කල් තියා වෙන් කරගෙන තිබී ඇති අතර, තරුණ සේවිකාව එම ශාලාවට ගිය අවස්ථාවේ දොර වසා, ඇය දූෂණයට ලක්කර ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි. තරුණිය මේ පිළිබඳව පොලිස් ළමා හා කාන්තා අපයෝජන වැළැක්වීමේ  කොට්ඨාසයට පැමිණිලි කර ඇත. තරුණිය කැමැත්තෙන් තමා සමග පැමිණි බව සැකකරු පොලීසියට පවසා ඇතැයි ද කියති. 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

Monday, July 17, 2023

පොලිස් නෝනාගේ නිරුවත් රූ ෆේස්බුක් දැම්මැයි රාලහාමි අත්අඩංගුවට



පොලිස් කොස්තාපල්වරියකගේ නිරුවත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන වට්ස් ඇප් සහ ෆේස් බුක් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ බව කියන පොලිස් කොස්තාපල්වරයෙක් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (15) අත්අඩංගුවට ගනු ලැබීය. මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ පොලිස් මූලස්ථානයට අනුයුක්තව රාජකාරි කරන කොස්තාපල්වරයෙකි. අත්අඩංගුවට ගත් සැකකාර කොස්තාපල්වරයා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර පරික්ෂාවට ලක්කර ඇත.

ඔහු අයිස් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවී සිටින අයකු බව සඳහන් කරමින් වෛද්‍ය වාර්තාව ඉදිරිපත් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් ‘ලංකාදීප'යට පැවැසීය. මීගමුව කොට්ඨාසය යටතේ පාලනය වන පොලිසියක කොස්තාපල්වරියක විසින් පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාසයට කරන ලද පැමිණිල්ලකට අනුව සැකකාර කොස්තාපල්වරයා අත්අඩංගුවට ගෙන ඇත. මේ අතර මෙම කොස්තාපල්වරියගේ වැඩ ද තහනම් කළ බව මීගමුව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් සඳහන් කළේය. මෙම සිද්ධියට අදාළව මූලික විමර්ශනයක් පවත්වා කොස්තාපල්වරියගේ වැඩ තහනම් කරනු ලැබ ඇත්තේ මීගමුව සහකාර පොලිස් අධිකාරිවරයකු විසිනි.

මෙම කොස්තාපල්වරිය මිල්ලනිය පොලිසියේ රාජකාරිය කරමින් සිටින වකවානුවේ දී ඇය පොලිස් ස්ථානයේ කාන්තා භට නිවාසයේ සිට දුරකථන සංවාදයක නිරත වෙමින් නිල ඇඳුමෙන් සැරසී පපු ප්‍රදේශය පෙනෙන ආකාරයට පටිගත කළ වීඩියෝ දර්ශන මුහුණු පොත හා වට්ස්ඇප් සමාජ මාධ්‍ය මගින් පළ කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා කීය. පොලිස් කොස්තාපල්වරියගේ වැඩ තහනම් කර ඇත්තේ, මෙම විෂමාචාර ක්‍රියාව හේතුවෙන් යැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

Thursday, July 6, 2023

ඔබ මොහු දුටුවාද? නිවාස තනා දෙනවැයි දෙකෝටියක් වංචා කරලා


නිවාස ඉදිකර දෙන බවට සහ ණය පහසුකම් මත නිවාස ඉදිකර දෙන බවට පවසා අන්තර්ජාලය ඇතුළු විවිධ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් ලබාදෙමින් රුපියල් කෝටි 2කට ආසන්න  මුදලක් වංචා කළ පෞද්ගලික ඉදිකිරීම් සමාගම් හිමිකරුවකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය ඉල්ලයි. මෙම සැකකරුට එරෙහිව 14 දෙනකුගෙන් නුගේගොඩ කොට්ඨාසයේ මිරිහාන විශේෂ අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිලි ලැබී ඇති බව පොලිසිය පවසයි.

මෙම පැමිණිලිකරුවන්ට පමණක් සැකකරු රුපියල් එක්කෝටි අනූ දෙලක්ෂ පහළොස් දහසක (192,15,000) මුදලක් වංචා කර ඇති බව පොලිස් මූලස්ථානය කියයි. පොලීසිය මගහරිමින් සැඟවී සිටින ඉහත ඡායාරූපයේ සිටින පුද්ගලයා සම්බන්ධයෙන් තොරතුරක් වෙතොත් නුගේගොඩ කොට්ඨාස භාර පොලිස් අධිකාරිවරයාගේ 071 8591641 දුරකථන අංකයට හෝ විශේෂ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපතිවරයාට  011 2852556, 071 - 8137373 අංක ඔස්සේ අමතා තොරතුරු ලබාදෙන ලෙස පොලිස් මාධ්‍ය අංශය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

ඉන්දිකා රාමනායක

Wednesday, June 28, 2023

1967 වසරේ දොස්තර ලයිසමක් හොරකම් කරලා ,අවුරුදු තිහේ හොර දොස්තර වසර 2 ක් බේත් දීලා


ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ 1967 වසරේ දී ලියාපදිංචි වූ වෛද්‍යවරයකුගේ අංකයක් ව්‍යාජ ලෙස භාවිත කරමින් පානදුර සරික්කමුල්ල  ප්‍රදේශයේ පුද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක් පවත්වාගෙන ගිය පුද්ගලයෙක් රුපියල් කෝටියකට අධික වටිනාකමින් යුත් ඖෂධ හා වෛද්‍ය උපකරණ තොගයක් ද සමග පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය විසින් ඊයේ (27) අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරු දෙහිවල ප්‍රදේශයේ පදිංචි තිස් හැවිරිදි පුද්ගලයකු බවත්, ඔහුට වෛද්‍ය සභාවේ ලියාපදිංචියක් නොමැති බවත් පොලිසිය කියයි. ඔහුට ඖෂධ සම්බන්ධයෙන් ද කිසිදු පුහුණුවක් නොමැති බව අනාවරණය වූ බව ද පොලිසිය සඳහන්  කරයි. සැකකරු මෙම ස්ථානයේ ගබ්සාද කර ඇති බවට පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත. සැකකරු සමග මෙම වෛද්‍ය මධ්‍යයස්ථානයේ සේවය කළ හෙදියද කිසිදු පුහුණුවක් නොල ද තැනැත්තියක බව පොලිසිය පවසයි. මෙම ස්ථානය සම්බන්ධයෙන් පානදුර වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂකවරයාට ලැබුණු තොරතුරකට අනුව උපාය දූතයකු යොදවා කිසියම් රෝගයකට ඖෂධයක් ලබාගෙන, වෛද්‍ය වාර්තාවක් ද ලබාගත් බව පොලිසිය පවසයි. 

සැකකරුගේ වෛද්‍ය වාර්තාව වෛද්‍ය සභාව වෙත ඉදිරිපත් කිරීමේ දී ඔහුගේ නමින් කිසිදු  අංකයක් ලියාපදිංචි වී නොමැති බව හෙළිවී  ඇතැයි ද ඔහු භාවිත කළ ලියාපදිංචි අංකය 1967 වර්ෂයේ වෛද්‍ය සභාවේ වෙනත් වෛද්‍යවරයෙකුට අයත් ලියාපදිංචි අංකයක් බවට හෙළිවිණි යැයි ද පොලිසිය පවසයි. මෙම අංකය හිමි වෛද්‍යවරයා වයෝවෘද්ධ අයකු බවත් ඔහු දැනට ජීවතුන් අතර නොමැති පුද්ගලයකු විය හැකි බවටත් පොලිසිය කියයි. මෙම තොරතුරු අනුව පොලිසිය වෛද්‍ය කණ්ඩායමක් සහ මහජන සෞඛ්‍ය  පරීක්ෂකවරුන් පිරිසක් ද සමග එක්ව එම වෛද්‍ය මධ්‍යස්ථානය ඊයේ (27) වැටලීය. 

එම ස්ථානය වැටලූ අවස්ථාවේ දී එහි රෝගීන් 18 දෙනකු පමණ ප්‍රතිකාර ගැනීම සඳහා පැමිණ සිට ඇති අතර ඔහු වෛද්‍යවරයකු  නොවන බවට හෙළිවීමත් සමඟම ඔවුන් විමතියට පත් වූ බව පොලිසිය සඳහන් කරයි. සැකකරු වසර දෙකක පමණ කාලයක සිට මෙම වෛද්‍ය මධ්‍යස්ථානය පවත්වාගෙන  ගොස් ඇති බවත්, රෝගීන් විශාල පිරිසක් ඔහුගෙන් ප්‍රතිකාර ලබා ගැනීමට දිනපතා පැමිණෙන බවත් පොලිසිය පවසයි. සැකකරු රෝගවලට ප්‍රතිකාර කිරීමට අමතරව ගබ්සා ද සිදුකර ඇති බව පෙලිසිය කියයි. 

එම ගබ්සා සඳහා භාවිත කළ ඖෂධ රැසක් ද පොලිසිය භාරයට ගෙන ඇත. සැකකරුගේ ඥාතියකු මෙම ස්ථානයේ වෛද්‍ය මධ්‍යස්ථානයක් මීට පෙර පවත්වාගෙන ගොස් ඇති අතර, ඔහුද ව්‍යාජ වෛද්‍යවරයකු බවට හෙළි වූ බව පොලිසිය පවසයි. රෝගීන්ට ප්‍රතිකාර කිරීමට හා ඖෂධ ලබා දීමට සැකකරුට කිසිදු බලයක් නොමැති බවද පොලිසිය සඳහන් කරයි. සැකකරු භාරයේ තිබූ ඖෂධ අතර වැඩි ප්‍රමාණයක් කල් ඉකුත්වී ඇති ඖෂධ බවත් වෛද්‍ය උපකරණ රැසක් ද ඔහු බාරයේ තිබී පොලිසිය භාරයට ගෙන ඇති බවත් පොලිසිය කියයි. සැකකරු විදේශ රටක ඖෂධ සම්බන්ධයෙන් පුහුණුවක් ලැබූ බවට ප්‍රකාශ කළ ද එය සනාථ කිරීම සඳහා කිසිදු ලේඛනයක් ඔහු සතුව තිබී නොමැත.

විදේශ රටවල පුහුණුව ලැබුවද වෛද්‍ය සභාවේ අනුමැතිය නොමැතිව කිසිදු පුද්ගලයකුට මේ ආකාරයෙන් වෛද්‍ය  මධ්‍යස්ථාන පවත්වාගෙන යාම නීති විරෝධී බවද පොලිසිය සඳහන් කරයි. සැකකරු භාරයේ තිබූ ඖෂධ වර්ගද නියාමන අධිකාරිය භාරයට ගෙන ඇති බව පොලිසිය පවසයි. සැකකරු අත්අඩංගුවට ගත් බවට සැලවීමත් සමගම ඔහුගේ ඥාතීන් එම ස්ථානයට පැමිණ පොලිස් නිලධාරින්ට මුදල් ලබාදී සිද්ධිය සමතයට පත් කිරීමට උත්සාහ ගෙන ඇතැයි ද පොලිසිය කියයි.  එම පිරිසට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද පොලිසිය සඳහන් කරයි.

 ඉන්දිකා රාමනායක 

Monday, June 19, 2023

කුඩා දැරියන්ගේ ඡායාරූප යොදා ෆෙස්බුක් පොස්ටුවක් පළකර නරුම වැඩක කරලා

 

ලිංගික කටයුතු සඳහා කුඩා දැරියන් මුදලට ලබා දිය හැකි බව කියමින් මුහුණු පොතේ පෝස්ටුවක් පළ කළ බව කියන ප්‍රධාන පෙළේ පෞද්ගලික සමාගමක පරිගණක ශිල්පියෙක් නුගේගොඩ ප්‍රදේශයේ දී පොලිස් ළමා හා අපයෝජන නිවාරණ කාර්යාංශයේ පොලිස් කණ්ඩායමක් විසින් ඊයේ (18) අත්අඩංගුවට ගනු ලැබීය. මෙසේ අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ නුගේගොඩ ප්‍රදේශයේ පදිංචි තිස්තූන් හැවිරිදි අවිවාහක අයෙකි.

අත්අඩංගුවට ගත් සැකකරු පදිංචිව සිටින නුගේගොඩ ප්‍රදේශයේ පිහිටි සුවිසල් නිවසේ තිබී ඔහු පරිහරණය කළ ලැප්ටොප් පරිගණකයක් සහ ජංගම දුරකථනයක් ද පොලිස් බාරයට ගෙන ඇත. අවුරුදු පහත් දහයත් අතර වයස්වල පසුවන කුඩා දැරියන් සිය ගණනකගේ ඡායාරූප, පොලිස් භාරයට ගත් ලැප්ටොප් පරිගණකයේ ඇතුළත්ව තිබෙන බව පොලිසිය පවසයි. මෙම කුඩා දැරියන් ගේ ඡායාරූප යොදා ගනිමින් සැකකරු මුහුණු පොතේ මෙම පෝස්ටුව පළ කර ඇති බවද පොලිසිය කියයි.

පොලිස් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කාර්යාංශයේ නියෝජ්‍ය පොලිස්පති රේණුකා ජයසුන්දර මහත්මියට ලැබුණු තොරතුරක් මත සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරු විවිධ අවස්ථාවලදී මෙම කුඩා දැරියන්ගේ ඡායාරූප ගෙන ඒවා සිය ලැප්ටොප් පරිගණකයට ඇතුළත් කරගෙන ඇති බව මූලික පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි.  එම ඡායාරූප අතර විවිධ උත්සව අවස්ථාවලදී සිඟිති කුමරියන් ලෙස ඉදිරිපත් වූ දැරියන්ගේ ඡායාරූප ද ඇති බව පොලිස් ආරංචිමාර්ගවලින් දැන ගැනීමට ඇත. මෙම සැකකරු බාල වයස්කාර දරුවකුව සිටියදී නිවසේ සිටි රියැදුරා අතින් බරපතළ ලිංගික අපයෝජනයකට ලක් වී ඇතැයි  කියති. අත්අඩංගුවට ගත් සැකකරු මේ බව හෙළි කළේ යැයි පොලිසිය සඳහන් කරයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


Friday, June 16, 2023

අවිධිමත් ආකාරයෙන් කනත්තට මෘතදේහ ගෙනා මල්ශාලා හිමිකරුට විමර්ශනයක්


පන්නිපිටිය බැරෝඩා වත්තේ ජොරානිස් පිරිස් සුසාන භූමියට මෘත දේහ බැහැර කිරීම සඳහා බිම්කඩ පහසුකම් පමණක් නගර සභාවෙන් ලබා දී ඇති බවත් වෛද්‍ය පීඨ පරික්ෂණවලින් ඉවත් කෙරෙන මළ සිරුරු භූමදානය කිරීමේ කාර්යය මහරගම ප්‍රදේශයේ මල් ශාලාවකින් සිදුකර ඇති බවත් එම ආයතනයෙන් මෙසේ අධිමත් ලෙස මළසිරුරු පරිසරයට මුදා හැරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් ආරම්භ කළ බවත් මහරගම නගර සභාවේ ලේකම් අරුණ ඩී. ඩයස් මහතා පැවසීය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨ බලධාරීන්ගෙන් විමසීමක් සිදු කොට මහරගම දෙහිවල පාරේ පිහිටි මල් ශාලාවේ හිමිකරු කැඳවා ප්‍රකාශයක් ලබා ගත් බව ද ලේකම් වරයා කීය. එම තොරතුරු ඇතුළත් සම්පූර්ණ වාර්තාවක් පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් වරියට හා බස්නාහිර පළාත් ආණ්ඩුකාරවරයාට යොමු කිරීමට පියවර ගත් බවද පැවසේ.

මේ සම්බන්ධයෙන් මහරගම නගර සභාවේ ලේකම් අරුණ ඩී. ඩයස් මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් මෙසේද කීය.

අවමංගල්‍ය ශාලාවල මෘත දේහ එම්බාම් කිරීමෙන් අනතුරුව බැහැර කෙරෙන අපද්‍රව්‍ය සුසාන භූමි වල භුමදාන කිරීම සඳහා පළාත් පාලන ආයතන වලින් මල් ශාලාවලට අවසර ලබා දීම සාමාන්‍ය ක්‍රමවේදයක්. ඒ අනුව වාර්ෂික ගෙවීමකට යටත්ව නිසි ක්‍රමවේදයට මළ සිරුරු කොටස් බැහැර කිරීමට මහරගම - දෙහිවල පාරේ පිහිටි රෝහිණී මල් ශාලාවට අවසරය දී තිබුණා. ඒ අනුව ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ සිසුන්ගේ අධ්‍යයන කටයුතුවලින් පසුව ඉවත් කෙරෙන මළ සිරුරු භූමදාන කිරීමේ වගකීම ද එම මල් ශාලාවෙන් භාරගෙන තිබෙනවා. ඒ සම්බන්ධයෙන් නගර සභාව ලිඛිතව දැනුවත් කොට අදාළ පාර්ශ්ව දෙක ගිවිසුමකට ද එළඹ තිබෙනවා.

එහිදී වෛද්‍ය පීඨයෙන් ඉවත් කෙරෙන මළ සිරුරු හා එහි කොටස් කළු පැහැති පොලිතීන් කවරයක බහා මුදා තබා නිර්දේශිත ගැඹුරකින් යුත් වළක් කපා භූමදානය කිරීමටයි වෛද්‍ය පීඨ නීති අංශය මල් ශාලාවට උපදෙස් ලබා දී තිබෙන්නේ. ලබා දී ඇති උපදෙස් නිසි පරිදි ක්‍රියාත්මක නොකර ඉන් අදාළ සිරුරු කොටස් සුසාන භූමියට රැගෙන විත් මෙසේ අවිධිමත්ව හා අනාරක්ෂිත ලෙසින් පරිසරයට මුදා හැර තිබෙනවා. මේ සම්බන්ධයෙන් මාධ්‍ය හරහා තොරතුරු ප්‍රචාරය වීමත් සමඟ අදාළ ආයතන දෙකෙන් කරුණු විමසා වගකීම් විරහිතව කටයුතු කළ මශාලා හිමිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කරගෙන පූර්ණ විමර්ශනයක් කිරීමට පියවර ගත්තා. මේ අතර පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම්වරිය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකොට වාර්තාවක් ලබාදෙන ලෙස මට උපදෙස් දී තිබෙනවා. බස්නාහිර පළාත් ආණ්ඩුකාරතුමාට ද අදාළ වාර්තාව 14 දා ලබාදීමට පියවර ගන්නවා. ඉන්පසුව ලැබෙන උපදෙස් අනුව මෙම මල්ශාලාවට එරෙහිව අවශ්‍ය පියවර ගන්නවා යැයි මහරගම නගර සභාවේ ලේකම් අරුණ ඩී. ඩයස් මහතා පැවසීය.

 ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

Tuesday, June 13, 2023

සංගීත ප්‍රසංගයකදී බීමතින් හැසුරුණු චීවරධාරියෙක් දැලෙ


ඌරාපොල ප්‍රදේශයේ පසුගිය පැවැති සංගීත ප්‍රසංගයකදී අධික ලෙස මත්පැන් පානය කර කලහකාරි ලෙස හැසිරුණු චීවරධාරියෙකු අත්අඩංගුවට ගත් බව අත්තනගල්ල පොලීසිය කියයි. අත්අඩංගුවට ගැණුනු චීවරයක් දරාගත් පුද්ගලයාට භික්ෂු හැඳුනුම්පතක් නොමැති බව ද හෙළි වී ඇත. අධික ලෙස බීමත්ව සංගීත ප්‍රසංග භූමියේ කලහකාරි ලෙස හැසිරුණු චීවරධාරියා සංගීත ප්‍රසංගය නරඹමින් සිටි සෙසු පුද්ගලයන් සමග ආරවුලක් ඇතිකරගෙන ඇත. ඒ අවස්ථාවේ අත්තනගල්ල පොලීසිය මැදිහත්ව චීවරධාරියාගේ ආරක්ෂාව වෙනුවෙන් පොලීසියට රැගෙන ගොස් තිබේ. පසුව චීවරධාරියා පොලිස් ස්ථානයෙන් පැන යාමට උත්සාහ කළ අවස්ථාවේ පොලිස් නිලධාරීන් විසින් දැඩි පරිශ්‍රමයක් යොදා චීවරධාරියා අල්ලාගෙන ඇත. 

එම අවස්ථාවේ චීවරධාරියා විසින් නිලධාරීන් කිහිපදෙනෙකුටද පහරදී ඇතැයිද පොලීසිය පවසයි. පසුව චීවරධාරියා පොලීසිය තුළදී ද කලහකාරි ලෙස හැසිරෙමින් පොලිස් ස්ථානයේ වීදුරුවකට පහරදී එය බිද දමා ඇත. එහිදී චීවරධාරියාගේ දෑත් එම වීදුරුවට කැපී තුවාල වීම නිසා පොලිස් අත්අඩංගුව යටතේ වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කරනු ලැබ තිබේ. තමන් සංගීත භූමියේ බවුන් වඩමින් සිටියදී අත්අඩංගුවට ගත් බව සැකකාර චීවරධාරියා පොලීසියට පවසා ඇත. චීවරධාරියාගේ අනන්‍යතාව පිළිබඳ තහවුරු කරගැනීමට අත්තනගල්ල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.එම්.වයි. නාලක මහතාගේ අධීක්ෂණය යටතේ වැඩිදුරටත් විමර්ශන පවත්වති.

ආනන්ද ඉ, ජයකොඩි