Friday, April 30, 2021

රට පුරා කොරෝනා අලුත්ම වාර්තා

 අලුත් පොකුර “අලුත් අවුරුදු කොවිඩ් පොකුර” වෙයි"

-ඩයනා උදයංගනී-

මේ දිනවල හමුවන කෝවිඩ් රෝගීන් අයත් වන පොකුර "අලුත් අවුරුදු කෝවිඩ් පොකුර' යනුවෙන් නම් කර තිබේ. රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව ඊයේ (29) පස්වරුවේ නිකුත් කළ නව කොවිඩ් රෝගීන් පිළිබඳ වාර්තාවේ එම රෝගීන් අලුත් අවුරුදු කොවිඩ් පොකුරට අයත් බව සඳහන් කර තිබිණි. මීට පෙර කොවිඩ් රෝගීන් වාර්තා වූ පොකුරු මිනුවන්ගොඩ කොවිඩ් පොකුර, බ්‍රැන්ඩික්සි කෝවිඩ් පොකුර, පෑලියගොඩ කොවිඩ් පොකුර, බන්ධනාගාර කොවිඩ්  පොකුර ආදී වශයෙන් නම් කර තිබිණි. ඒ අනුව මෙරටින් වාර්තා වන නවතම කොවිඩ් පොකුර වන්නේ අලුත් අවුරුදු කොවිඩ් පොකුරයි.



කාරෝනා රෝගිහු තවත් 1531- අලුතින් මරණ 06යි

-රංජන් කස්තුරි-

කොරෝනා ආසාදිත රෝගීන් 1531 ක් ඊයේ (29) සොයාගත් බව කොරෝනා පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි.  ඒ අනුව මෙරටින් වාර්තතා වන කොරෝනා රෝගීන්ගේ මුළු සංඛ්‍යාව 106494 දක්වා ඊයේ ඉහළ ගියේය. රෝහල්වල ප්‍රතිකාර ලබමින් සිටින කොරෝනා රෝගීන්ගේ මුළු සංඛ්‍යාව මේ වන විට 1643ක් වන අතර සැක සහිත රෝග ලක්ෂණ ඇති 9209 දෙනෙක් රෝහල්වල වෛද්‍ය අධීක්ෂණය යටතේ පසුවෙති. 


කොරෝනා ආසාදිතව ප්‍රතිකාර ලබමින් සිටි තවත් රෝගීන් 362ක් සුවය ලබා ඊයේ (29) රෝහල්වලින් පිටව ගිය අතර සුවය ලැබූ කොරෝනා රෝගීන්ගේ මුළු සංඛ්‍යාව 95,44ක් දක්වා ඉහළ ගිය බව ද එම මධ්‍යස්ථානය සඳහන් කරයි. මේ අතර අලුතින් කොරෝනා මරණ 06ක් වාර්තා වූ බවද එම මධ්‍යස්ථානය කියයි. ඒ අනුව කොරෝනා මරණ සංඛ්‍යාව 667 දක්වා ඉහළ ගියේය. 


බණ්ඩාරගම ප්‍රා. සභාව ඇතුළු ආයතන දෙකක් වසයි 


 -බිමල් ශ්‍යාමන්  ජයසිංහ-

බණ්ඩාරගම ප්‍රාදේශීය සභාව සහ ඊට අනුයුක්ත ආයතන දෙකක සේවක සේවිකාවන් තිදෙනකුට කොරෝනා වයිරසය ආසාදිත වීම හේතුවෙන් ප්‍රාදේශීය සභාව ඇතුළු එම ආයතන දෙක ඊයේ (29) දින සිට තාවකාලිකව වසා දැමු බව බණ්ඩාරගම ප්‍රාදේශීය සභාවේ සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා පැවසීය.  බණ්ඩාරගම නගරයේ ආයුර්වේද මධ්‍යස්ථානයේ ඖෂධ සංයෝජකවරයාට, කායවර්ධන මධ්‍යස්ථානය මුරකරුට මෙන්ම ප්‍රාදේශීය සභාවේ ප්‍රධාන කාර්යාලයේ ගිණුම් අංශයේ ලිපිකාරිණියකට කොරෝනා වයිරසය ආසාදිත වී ඇති බව සභාපතිවරයා කීය.


ඊට අමතරව තවත් සේවක සේවිකාවන් කිහිප දෙනෙක් විවිධ රෝග ලක්ෂණ පහළ කරමින් සිටින බව සභාපති දේවේන්ද්‍ර පෙරේරා මහතා පැවසීය. එම සේවක සේවිකාවන්ගේ මුල් ආශ්‍රිතයන් හඳුනාගෙන අද 30 දින බණ්ඩාරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ දී පී.සී.ආර්. පරික්ෂණ සිදුකිරීමටත් කටයුතු යොදා ඇතැයි ඇමැතිවරයා වැඩිදුරටත් පැවසීය. 


හෝමාගම රෝහලේ වාට්ටු 4ම පිරෙයි -


බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ-

හෝමාගම මූලික රෝහලේ කායික වෛද්‍ය වාට්ටු සහ ශල්‍ය වෛද්‍ය වාට්ටුව හතරම කොරෝනා ආසාදිත රෝගීන්ගෙන් පිරි ඇතැයි එම රෝහලේ වෛද්‍ය අධිකාරි ජනිත හෙට්ටිආරච්චි මහතා පැවසීය. මේ වන විට රෝගීන් එකසිය අසූ දෙකක පමණ පිරිසක් ප්‍රතිකාර ලබන බව වෛද්‍යවරයා කීය. ඊයේ 29 දින වන විට කොරෝනා ආසාදිත ගර්ෂණී මාතාවන්ට ප්‍රතිකාර ලබා දෙන වාට්ටුවේ රෝගීන්  දහතුන් දෙනෙක් ද, කොරෝනා ආසාදිත කුඩා දරුවන්  දොළොස් දෙනෙක්ද මෙහි ප්‍රතිකාර ලබන බව වෛද්‍ය අධිකාරිවරයා කීය

ප්‍රතිකාර ලබන රෝගීන් සුවය ලබා පිටව යන තත්වය බලා නව රෝගීන් ඇතුළත් කර ගන්නා බව වෛද්‍ය අධිකාරිවරයා වැඩිදුරටත් පැවසීය.


අසාධ්‍ය රෝගීන්ට දිසාවක් පාසා විශේෂ ඒකක: තෙවැනි රැල්ලට සුදානමක්


කොරෝනා තෙවැනි රැල්ලට මුහුණ දීම සඳහා පුව සැලසුමක් සකස් කිරිමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත  රෝග හා කොවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය අමාත්‍ය විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දු පුල්ලේ මහත්මියගේ  අවධානය යොමු වී තිබේ.  කොවිඩ් මර්දනය සඳහා දැනට යොදා ඇති ක්‍රියාමාර්ග තවදුරටත් පුළුල් කිරීමේ මූලික අරමුණ කරගෙන ඒ සඳහා අවශ්‍ය පූර්ව සැලසුමක් සකස් කළ යුතු බව ද එම අමාත්‍යාංශයේ ඊයේ (29) පැවැති රැස්වීමක දී රාජ්‍ය ඇමැතිවරිය කීවාය. 


කොවිඩ් රෝගීන්ගේ ඔක්සිජන් අවශ්‍යතාව ඉහළ යන බැවින් ඒ සඳහා අවශ්‍ය ඔක්සිජන් සංචිතය පවත්වා ගැනීම සඳහා කටයුතු කිරීමටත් අදාළ සැපයුම් ආයතන සමග සාකච්ඡා කර හදිසි අවස්ථාවක දී අවශ්‍ය ඔක්සිජන් ප්‍රමාණය පිළිබඳ තක්සේරුවක් සිදුකිරිමටත් මෙම රැස්වීමේ දී තීන්දු කර ඇත. ඉතා අසාධ්‍ය රෝගීන් සඳහා විශේෂ ප්‍රතිකාර ඒකක ස්ථාපිත කිරීමට ද එහිදී සාකච්ඡා වී තිබිණ. 

ගම්පහ දිස්ත්‍රික්කයේ පී.සී.ආර්. පරික්ෂණ ධාරිතාව වැඩිකිරීම කෙරෙහි ද වතුපිටිවල රෝහලේ නව පී.සී.ආර්. යාන්ත්‍රයක් සවිකිරීම කෙරෙහි ද එහි දී අවධානය යොමු වී ඇත.  සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පරිදි ඇඳන් 200 කට වැඩි ප්‍රතිකාර මධ්‍යස්ථාන ස්ථාපිත කිරීමට ද ඒ සඳහා රජයේ සහ පුද්ගලික අංශයේ ගොඩනැගිලි ලබා ගැනීමට ද මෙම රැස්වීමේ දී තීන්දු කර ඇත.


පී..ආර්. පරීක්ෂණ  වැඩිකරයි 

-සුජිත් හේවාජුලිගේ-

කොරෝනා ආසාදිතයන් හඳුනාගැනීම සඳහා යොදා ගන්නා  පී.සී.ආර්. පරික්ෂණ වැඩි කිරීමට රජය තීරණය කර ඇත.   රජය මෙම තීරණය ගෙන ඇත්තේ කොරෝනා අවදානම් තත්වය සැලකිල්ලට ගෙනය.  පී.සී.ආර්. පරීක්ෂණ 23,700 ක් ඊයේ (28) දිනයේදී පමණක් කළ බව සෞඛ්‍ය අමාත්‍යාංශය පවසයි. එය දිනකදී කළ වැඩිම පී.සී.ආර්. පරික්ෂණ සංඛ්‍යාව බව පැවසේ.  මේ රටේ මේ දක්වා ඇති පී.සී.ආර්. පරික්ෂණ සංඛ්‍යාව විසි ලක්ෂය ඉක්මවා ඇතැයි සෞඛ්‍ය නිලධාරීහු පවසති.  මේ අතර දිවයිනේ විවිධ ප්‍රදේශවලින් ජෛව සාම්පල හාරදහසක් පමණ කොවිඩ් පරික්ෂණ සඳහා ශ්‍රී ජයවර්ධනපුර  විශ්වවිද්‍යාලයේ පර්යේෂණාගාරවලට පෙරේදා (28) ලැබී තිබූ බව එහි ප්‍රකාශකයෙක් පැවැසීය.


මුල්ලේරියාව  ප්‍රා. සභා අඩවියෙන් කොවිඩ් 60ක්

-ඉන්දිකා රාමනායක-

කොටිකාවත්ත, මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ ඊයේ (29) දිනය තුළ කොවිඩ් ආසාදිතයන් 60 දෙනකු  හඳුනාගෙන ඇති බව සෞඛ්‍ය අංශ පවසයි. පුද්ගලයන් 283 දෙනකු පී.සී.ආර්. පරික්ෂණයට ලක් කිරිමෙන් අනතුරුව මෙම පිරිස හඳුනාගෙන ඇත.  අංගොඩ කර්මාන්තපුරයේ ඇඟලුම් කම්හලක සේවිකාවන් සහ තවත් පුද්ගලික ආයතනයක සේවකයන්  37ක් ද මෙම පිරිස අතර සිටින බව ගොතටුව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක නලින් ෆොන්සේකා මහතා පැවසීය. සෙසු ආසාදිතයන් හමුවී ඇත්තේ අංගොඩ සහ හිඹුටාන ප්‍රදේශවලින් බවද හෙතෙම කීය.



බස්නාහිර කපොලු 12කදී කොවිඩ් පරීක්ෂණ

-රංජන් කස්තුරි-



කොවිඩ් වයිරසය පළාත් අතර පැතිරයාම වැළැක්වීම සඳහා බස්නාහිර පළාතින් පිටවන හා ඇතුළු වන පුද්ගලයන් පරික්ෂා කිරිමේ විශේෂ ඒකාබද්ධ මෙහෙයුමක් ඊයේ (29) දහවල් සිට ස්ථාන 12 කදී ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා සඳහන්  සෞඛ්‍ය අංශ, පොලිසිය හා ත්‍රිවිධ හමුදාවේ පිරිස් යොදා මෙම විශේෂ මෙහෙයුම ආරම්භ කර ඇති බවත්, එහිදී ඇන්ටිජන් පරික්ෂාවක් ද සිදුකරන බවත් හෙතෙම කියා සිටියේය. 


 කොච්චිකඩේ තෝප්පුව පාළම, කොටදෙණියාව බඩගම පාලම, නිට්ටඹුව හැලගල හන්දිය, මීරිගම ගිරිඋල්ල පාලම, දොම්පේ සමනබැද්ද පාලම, හංවැල්ල වනහගොඩ පාලම, අළුත්ගම බෙන්තර පාලම, තිනියාවල තිනියාවල හන්දිය, ඉංගිරිය කැටකැදැල්ල පාලම, බදුරලිය කලවානේ සමන්දේවාලය අසල, මීගහතැන්න ගොරකදූව අවිත්තාව පාලම, දක්ෂිණ අධිවේගී මාර්ග සංචාරක කොට්ඨාසයේ වැලිපැන්න හුවමාරුව අසල යන ස්ථානවලදී මෙම මෙහෙයුම් ක්‍රියාත්මක කෙරෙන බවද හෙතෙම කියා සිටියේය. බස්නාහිර පළාතට ඇතුළු වන හා පිටවන පුද්ගලයන් නියමිත සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රම අනුගමනය කරන ලෙසට  පොලිසිය ඉල්ලා සිටියි.



කොන්සියුලර් කාර්යාලවල කටයුතුත් සීමා කරයි

-තිළිණි ද සිල්වා-

විදේශ අමාත්‍යංශයේ කොන්සියුලර් කටයුතු අංශයේ සේවා සැපයීමේ කටයුතු ඉදිරි දිනවලදී සීමාකරන බව විදේශ කටයුතු අමාත්‍යාංශය නිවේදනයක් නිකුත් කරමින් කරමින් සඳහන් කරයි. රටපුරා පැතිර යමින් තිබෙන කොවිඩ් වයිරස අවදානම සැලකිල්ලට ගෙන මෙම පියවර ගෙන ඇතැයි එම නිවේදනයේ සඳහන් වේ. ඉදිරි සතිවලදී කොන්සියුලර් කටයුතු අංශය හදිසි  අවශ්‍යතා සඳහා ලබාදෙන සේවාවලට පමණක් ප්‍රමුඛතාවක් ලබාදෙන බවද එහි සඳහන් කර ඇත.


විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ අභාවය හා අපනයන ලිපි ලේඛන සහ අදාළ විදෙස්ගත ශ්‍රී ලාංකිකයින්ගේ අභාවය හා අපනයන ලිපි ලේඛන සහ අදාළ අනෙකුත් ලේඛන සහතික කිරීම හැර අනෙකුත් කොන්සියුලර් සේවා ලබාදෙන්නේ  පූර්ව දැනුම් දීමකින් සිදුකළ වෙන්කර ගැනීමකින් පමණක්  බවද අමාත්‍යාංශයේ කොන්සියුලර් කටයුතු අංශය කියා සිටී.

එසේ පූර්ව වෙන්කර ගැනීම් සඳහා දුරකථන අංක  0112335942, 0112338836 සහ 0112338812 ඇමතීමෙන් හෝ  Consular@mfa.gov.lk විද්‍යුත් තැපෑලට යොමුකිරීම මගින්  සිදුකරගත හැකි යැයි ද විදේශ අමාත්‍යාංශය කියයි.


අත්තනගල්ල පිරිවෙනක් වසාදමයි

- එස්.යූ.ඩබිලිව්.කේ. ජවර්ධන -


අත්තනගල්ල ශාසනාරක්ෂක බල මණ්ඩලය තුළ පිහිටි ස්වාමීන් වහන්සේලා 25කට අධික පිරිසක් වැඩ වාසය කරන පිරිවෙන් විහාරස්ථානයක් මුළුමනින්ම වසා දමා එහි හිමිරුන් පිරිසක්  ස්වයං නිරෝධායනට ලක්කළ බව අත්තනගල්ල සෞඛ්‍ය වෛද්‍ය  නිලධාරී කාර්යාලය පවසයි.

නිවසක පැවැති උදෑසන දානයක දී මෙම විහාරස්ථානයේ ස්වාමීන් වහන්සේලා පස් දෙනකුට කිසිදු මුඛ ආවරණයක් ද නොමැතිව දන් පිළිගන්වන ලද සහ පිරිකර පූජා කරන ලද බව පැවසෙන වැඩිහිටියකු දානයෙන් දින කිහිපයක් තුළ කොරෝනා වසංගතයට ගොදුරුවීම නිසා පිරිවෙන් විහාරස්ථානය වසා දමා එහි හිමිවරුන් පිරිසක් මෙසේ නිරෝධායනය කිරීමට සිදුවූ බව ප්‍රදේශයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක කේ.සී. රාජස්පක්ෂ මහතා පැවැසීය.


කොරෝනා රෝගීන්ට මාතර සමුපකාර රෝහලත් සුදානම්

-ක්‍රිෂාන් ජීවක ජයරුක්-


කොරෝනා ආසාදිත රෝගීන් සඳහා වෛද්‍ය ප්‍රතිකාර කිරීමට පෞද්ගලික අංශයට අවසර ලබා දෙන්නේ නම් ඒසඳහා තම රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය සුදානම් බව මාතර සමුපකාර රෝහලේ සභාපති චමින්ද ගුණසේකර මහතා පැවසීය. විශේෂයෙන්ම මාතර මැද්දවත්තේ පිහිටි සමුපකාර මණ්ඩල ගොඩනැගිල්ලේ ඒ සඳහා කාමර පහසුකම් ඇති බවද එම පරිශ්‍රය ප්‍රමාණවත් නොවන්නේ නම් සංචාරක හෝටලයක් හෝ කුලී පදනම මත ලබාගෙන කොරෝනා ප්‍රතිකාර සිදුකිරීමට කැමැත්තෙන් පසුවන බවද ඒ මහතා කීය.


කොරෝනා වෛද්‍ය ප්‍රතිකාර මධ්‍යස්ථානවල අධික තදබදය එමගින් අවම කරගත හැකි බව කී ගුණසේකර මහතා දිවයිනේ අනෙකුත් පෞද්ගලික රෝහල් ද බොහෝ විට ඒ සඳහා ඉදිරිපත් වනු ඇති බව ප්‍රකාශ කළේය.  සහනදායි හා සාධාරණ මිල ගණන් යටතේ එම සේවාව සිදුකරන බවද ඔහු කීය. රට තුළ උද්ගතව ඇති තත්ත්වයත් සමග සෞඛ්‍ය කාර්ය  මණ්ඩලය හා ජනතාව ආරක්ෂා කර ගැනීමේ අරමුණින් එම තීරණය ගත් බවත් එය රජයට ද විශාල අස්වැසිල්ලක් වනු ඇති බවත් හෙතෙම ප්‍රකාශ කළේය.


කළුතර හිරගෙදර රැඳවියන් 40කට කොරෝනා


කළුතර බන්ධනාගාරයේ රැඳවියන් 40 දෙනකු සඳහා කරන ලද පී.සී.ආර්. පරික්ෂණවල දී රැඳවියන් 32කට කොවිඩ් 19  වෛරසය වැළඳී ඇති බවට තහවුරු වී ඇතැයි කළුතර සෞඛ්‍ය බලධාරියෙක් ඊයේ (29) පස්වරුවේ පැවසීය.  අහඹු ලෙස තෝරාගත් රැඳවියන් 40 දෙනෙක් වෙනුවෙන් ඉකුත් 27 දා කරන ලද පී.සී.ආර්. පරීක්ෂණවල ප්‍රතිඵල ඊයේ (29) පස්වරුවේ ලැබීමෙන් පසු මේ බව තහවුරු වී ඇතැයි ඒ මහතා පැවසීය. 


 මේ බව තහවුරු කර ගැනීම සඳහා කළුතර සෞඛ්‍ය බලධාරින් සහ බන්ධනාගාර බලධාරිගෙන් විමසීමක් කළ අතර, ඔවුන්ට තොරතුරු ලබා දීමේ බලයක් නොමැති බව ප්‍රකාශ කළේය.


බුලත්සිංහල 170කට පීසී.ආර්. පරික්ණෂ 


බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ කොරෝනා සැත 170 කට පමණ ඊයේ (29) බුලත්සිංහල මහජන ක්‍රීඩාංගණයේදී පීසීආර් පරික්ෂණ සිදුකළ බව බුලත්සිංහල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.  රෝගීන්ගේ ආශ්‍රිතයන් හා අහඹු ලෙස තෝරාගත් පිරිසක්  මෙම පරීක්ෂණ සඳහා යොමුකර තිබේ.


ගම්පහින් අලුතින් රෝගීහු 234ක්

- තිලකරත්න දිසානායක-

කොරෝනා දෙවැනි රැල්ලේ ඊයේ (29) උදෑසන වනවිට ගම්පහ දිස්ත්‍රික්කයේ ආසාදිතයින් 20,026 ක් දක්වා ඉහළ  ගොස් ඇති බවත් ගත වූ පැය 24 ක කාලයක් තුළ ආසාදිතයින්  234 දෙනකු හමුව ඇති බවත් දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය කියයි..  ගතවූ පැය 24 තුළ බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් 43 දෙනකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් හමුව ඇති බවත් දිවුලපිටිය කොට්ඨාසයෙන් -33 ක්, සීදුව-25 ක්, ගම්පහ-22ක් සහ වත්තල කොට්ඨාසයෙන්  21 දෙනකු වශයෙන් හමුව ඇති බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා කීය. 


මෙම ආසාදිතයින් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය මගින් සිදු කළ ක්ෂේත්‍ර පී.සී.ආර්. පරීක්ෂාවේදී 189 දෙනකු සහ රෝහල්වල සිදු කළ පරීක්ෂාවේදී  45 දෙනෙකු හමුවී තිබේ. දිස්ත්‍රික්කයේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන හයෙහි ඇඳන් 511 න් ඊයේ (29) උදෑසන වනවිට ඇඳන් 437 ක් පිරී තිබූ බව සඳහන් කළ අධ්‍යක්ෂවරයා ගතවූ පැය 24 තුළ ප්‍රතිකාර මධ්‍යස්ථාන හයට ආසාදිතයින් 92 කු ඇතුළත්ව ඇති බවද කීය.


ගම්පහ දිස්ත්‍රික්කයෙහි ආසාදිතයින්ගේ ළඟම ආශ්‍රිතයින් 4575 දෙනකු ස්වයං නිරෝධායනයට ලක් කිරීමට පියවර ගෙන ඇති අතර ඊයේ (29) දිනයේ පුද්ගලයින් 2517 දෙනකු පී.සී.ආර්. පරික්ෂණයට ලක්කොට ඇත.


 කොරෝනා එන්නත දෙවැනි මාත්‍රාව ගම්හපට අද සිට 

-තිලකරත්න දිසානායක-

කොරෝනා මර්දන ඔක්ෂ්ෆර්ඩ් ඇස්ටා සෙනෙකා එන්නතෙහි දෙවන මාත්‍රාව ගම්පහ දිස්ත්‍රික්කයෙහි සෞඛ්‍ය අංශවලට ලබාදීම අද (30) දින සිට ආරම්භ කරන බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලීන් ආරියරත්න පැවැසීය. මේ සඳහා එන්නත් 8000 ක් ලැබී ඇති බවත් මෙම එන්නත් රෝහල් කාර්ය මණ්ඩල, සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය කාර්ය මණ්ඩල, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් ඇතුළු අදාළ කාර්ය මණ්ඩල සඳහා ලබාදීමට කටයුතු යොදා ඇති බවත් අධ්‍යක්ෂවරයා සඳහන් කළේය. මෙහි පළමු මාත්‍රාව  දිස්ත්‍රික්කයේ 2,50,000 ක පිරිසක්  සඳහා ලබාදීම සිදු කොට ඇති බවත් එම සියලුම අයට මාස තුනක් අවසන් වීමට පෙර අදාළ එන්නත ලබා දීම සිදු කෙරෙන බවත් වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවැසීය.

 

තරු හෝටලයේ මහ කෝකියාටත්  ලොක්කකුටත් කොරෝනා 


 මාතලේ ප්‍රධාන පෙළේ තරු පන්තියේ හෝටලයක ප්‍රධාන සුපවේදියාට සහ මානව සම්පත් ඒකකයේ නිලධාරියකුට කොරෝනා ආසාදනය වී ඇති බව මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරිහු පවසති. මේ වන විට ඔවුන් ප්‍රතිකාර සඳහා යොමුකර ඇති බව මාතලේ මහ නගර සභාවේ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු තහවුරු කළහ.  කෙසේ වෙතත් නිසි සෞඛ්‍ය ක්‍රමවේද අනුගමනය කරමින්  හෝටලයේ කටයුතු පවත්වාගෙන යන බවත් ඊයේ (29 වැනිදා) මංගල උත්සව ඇතුළු උත්සව කිහිපයක් පැවැත්වුණ   බවද සෞඛ්‍ය නිලධාරියෙක් සඳහන් කළේය.


 අතුරුගිරිය-කඩුවෙල වෙළඳුන්ට පී.සී.ආර්. 


කඩුවෙල සෞඛ්‍ය වෛද්‍ය අධිකාරි කොට්ඨාසය ඇතුළත ආසාදිතයින් සංඛ්‍යාව ඉහළ යමින් පවතින අතර අතුරුගිරිය හා කඩුවෙල නගරාශ්‍රිතව වෙළෙඳ ප්‍රජාව පී.සී.ආර්. පරික්ෂණවලට ලක් කිරීමේ වැඩසටහන් කිහිපයක් ආරම්භ කළ බව එම කාර්යාලය පවසයි. 

පසුගිය 27 වන බදාදා අතුරුගිරිය නගරයේ වෙළෙඳ ව්‍යාපාරිකයන් 250ක ගෙන් ලබාගන්නා ලද පී.සී.ආර්. පරික්ෂණවල ප්‍රතිඵල ලැබීමට නියමිතව ඇති අතර ලබන මැයි පළවන සෙනසුරාදා කඩුවෙල සති පොළ වෙළෙඳුන් පී.සී.ආර්. පරික්ෂණවලට යොමු කිරීමට සැලසුම් කර ඇතැයි ද සෞඛ්‍ය  වෛද්‍ය නිලධාරී චන්දන පත්බේරිය මහතා පැවසීය. දැනට කඩුවෙල ග්‍රාම සේවා 56 අතරින් කිහිපයක වාර්තාවන කොරෝනා ආසාදිතයින් වැඩිවීමත් සමග අයි.ඩී.එච්. හා හෝමාගම රජයේ රෝහල්වල යැවීමට පියවර ගන්නා බව ද ඒ මහතා පැවසීය.

බංග්ලාදේශය රුසියාවේ Sputnik-V එන්නත අනුමත කරයි

COVID-19 වෛරසයට එරෙහිව රුසියාවේ නිෂ්පාදිත Sputnik-V එන්නත බංග්ලාදේශය වෙත ආනයනය කිරීම සහ එය භාවිත කිරීම සදහා අනුමැතිය ලබාදීමට බංග්ලාදේශ රජය තීරණය කර තිබේ. එරට ඖෂධ පාලනාධිකාරියේ අධ්‍යක්ෂ ජනරාල් මේජර් මහබුබුර් රහ්මාන් පසුගියදා මේ පිළිබඳව නිවේදනය සිදුකර ඇත. බංග්ලාදේශය වෙත ඇණවුම් කර ඇති AstraZeneca එන්නතේ  සැපයුම් පමාවීම හේතුවක් කරගනිමින් එරට බලධාරින් මෙම තීරණය ගෙන තිබේ.මෙතෙක් කලක් ඉන්දියාවේ නිපදවුණු AstraZeneca එන්නත් මාත්‍රා බංග්ලාදේශ ජනතාව වෙත ලබාදීම සිදුවීය. එහෙත්,ඉන්දියාව මේ වනවිට එම එන්නත් අපනයනය නවත්වා ඇති නිසා එන්නත් සැපයුමට බාධා පැමිණි වී තිබේ.මේ තත්වයත් සමග දැනට තමන් සතු AstraZeneca එක්නත් යොදාගනිමින් තවත් පිරිසකට පළමු වැනි එන්න මාත්‍රාව ලබාදීමේ කටයුතු පසුගිය සඳුදා සිට නැවැත්වීමටද බලධාරීන් පියවර ගෙන තිබුණි. මේ දක්වා බංගලාදේශයේ මිලියන හයකට ආසන්න පිරිසකට AstraZeneca එන්නත් පළමු වැනි මාත්‍රාව ලබාදී තිබේ.මේ අතර බංගලාදේශය තුළ පසුගිය අප්‍රේල් 14 සිට ක්‍රියාත්මක කෙරී ඇති ලොක්ඩවුන් සීමා තවත් සතියකට දිගු කිරීමටද බලධාරීන් තීරණය කර තිබේ.

එංගලන්ත ප්‍රභේදය පැතිරීම වැඩියි

අලුත් අවුරුදු සමයෙන් පසු නැවතත් කොවිඩ් පැතිර ගොස් ඇති අතර, මේ වන විට ඒ රැල්ලක් බවට පත්ව තිබේ. දිනෙන් දින වාර්තා වන ආසාදිතයන් ප්‍රමාණය වැඩි වෙමින් පවතින අතර, රට තුළ පැතිරෙන මෙම ප්‍රභේදයේ ප්‍රබලය වැඩි බැවින් උපරීමයෙන් ආරක්ෂ වීම වැඳගත් බව සොඛ්‍ය අංශ පෙන්වා දෙයි. මේ සම්බන්ධයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ අසාත්මිකතා, ප්‍රතිශක්ති විද්‍යා හා මසල ජෛව විද්‍යා ආයතනයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවදන්ර මහතා සහ වෛද්‍ය හර්ෂ සතිස්චන්ද්‍ර මහතා සඳහන් කළ තොරතුරු ඇසුරිනි එංගලන්ත ප්‍රභේදය අලුත් අවුරුද්දෙන් පසුව කෝවිඩ් ව්‍යාප්තිය වැඩි වශයෙන් සිදුවුණා. මෙවර රෝග ලක්ෂණ වැඩි වශයෙන් පෙන්නුම් කරන බවක් පෙනෙන්නට තිබෙනවා. මේ සමිබන්ධයෙන් අපි පර්යේෂණ කරලා පැතිරන ප්‍රභේදය කුමක්ද කියන කාරණය සොයා ගත්තා. ඒ අනුව මේ පැතිරෙන්නේ කෝවිඩ් වෛරසය එංගලන්ත ප්‍රභේදයයි. මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුම්වත් කරලා තිබෙනවා. මෙම ප්‍රභේඳය මුලින්ම ලංකාවේ ඇතිවු නිරෝධායන මධ්‍යස්ථානවල. නමුත් දැන් සමාජයෙන් වාර්තා වෙන ආසාදිතයන් සියල්ලම මේ කාඩයේ බව අපි තහවුරු කරගන තිබෙනවා.මේ ප්‍රභේදය කරදරකාරි, ගැටලුකාරී ප්‍රභේදයක්. මෙහි මරණ ඇතිවීම 55%ක් වැඩියි. ඒ වගේම පැතිරීම 50%ක් වැඩියි. ඒනිසා ඉදිරි මාස 03ක කාලය අපිට තීරණාත්මක කාලයක්. මේ නිසා ආරක්ෂිත ක්‍රම අනුගමනය කිරීම ඉතාම වැදගත්. රෝග ලක්ෂණ වැඩියි මෙවර වාර්තා වන රෝගීන් ප්‍රමාණය වැඩිවෙමින් තිබෙනවා. ඒ වගේම වාර්තා වන රෝගීන්ගේ රෝග ලක්ෂණ පෙන්නුම් කිරීමත් වැඩියි. දෙවැනි රැල්ලේදී රෝග ලක්ෂණ එතරම් පෙන්නුම් කළේ නැහැ. මෙම ප්‍රභේදයේ ඇතැම් රෝගීන් දැඩි ලෙස අපහසුතාවට පත්වනවා. ඔවුන්ට ඇතැම්විට ඔක්සිජන් දෙන්නට සිදුවෙනවා. ඔවුන් දැඩිසත්කාර ඒකකවලට ඇතුළත් කිරීමේ අවශ්‍යතාව වැඩි වෙන බවක් අපි දකිනවා. මේ නිසා මේ රෝගය තීව්‍ර වෙමින් තිබෙන බව කියන්න පුළුවන්. රෝග ලක්ෂණ මෙහිදී කෝවිඩි ආසාදනය වූ විට ඇතිවන රෝග ලක්ෂණවල විශේෂ වෙනසක් අපි දකින්නේ නැහැ. ඊට අමතරව හුස්ම ගැනීමේ අපහසුතාව, වියළි කැස්ස ආදිය ඇතිවන්න පුළුවන්. ඒ අතරතුර ඇගපත වේදනාව, හිසරදය, ගද සුවද නොදැනී යාම ආදී රෝග ලක්ෂණ ඇතිවෙන්න පුළුවන්. ඒ රෝග ලක්ෂ කලිනුත් අපි දැක්කා. මෙවර එය ක්‍රමයෙන් වැඩිවෙන්න පුළුවන්. මේ වනවිට රෝහල්වල 6000කට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබනවා.මහජනතාව ලෙස ඔබට ඒ රෝග ලක්ෂණ එකක් හෝ කිහිපයක් තිබෙනවා නම් කළයුතු හොදම දේ නිවසේ රැදී සිටීමයි. ඉන්පසුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා,වෛද්‍යවරයා ආදී බලධාරීන්ට දැනුම් දෙන්න. ඉත්පසුව ඔබව ආරක්ෂා සහිතව පරීක්ෂණ කරන තැනකට රැගෙන යයි. එහි ප්‍රතිඵල අනුව ඉදිරි කටයුතු සිදුකරයි. තුන්වැනි රැලේ ආරම්භය. තුන්වැනි රැල්ල පටන් ගත්තේ බොරලැස්ගමුන්වෙද නැද්ද කියලා අපි දන්නෙ නැහැ. බොරලැස්ගමුන්නේ ඉදිකිරීම් කරන ස්ථානයක සේවකයන් කිහිපදෙනෙකුගේ සාම්පල අප්‍රේල් 08 අපිට ලැබුණා. ඒවා පරික්ෂා කරදි ඒ එංගලන්ත ප්‍රභේදය බව අපි හඳුනාගත්තා, එදින හවසම අපි ඒ බව අදාළ අංශවලට දැනුම් දුන්නා. එංගලන්ත ප‍්‍රභේදය අපි මුලින්ම හඳුනා ගත්තේ එදා. ඔවුන්ගේ ආශ්‍රිතයන්ගෙන් රෝගය පැතිරීම වැළැක්වීමට අවශ්‍ය සියලු පියවර සෞඛ්‍ය අංශ විසින් එම දින කිහිපය තුළ අරගෙන තිබුණා. කෝවිඩ් වලින් ආරක්ෂා වෙන්න. අවශ්‍ය පියවර ගන්න කියලා මේ වෛරසය ලංකාවට ආපු දවසේ සිට දැනුම් දුන්නා.එම පියවර ගත්තා.පහුගිය අවුරුදු කාලයේදී ජනතාව එම ආරක්ෂිත මූලික සංකල්පවලින් බැහැර වුණා. එහෙම සෞඛ්‍ය පිළිවෙත් ආරක්ෂා කරන්න එපා කියලා කිසිම අවස්ථාවක සෞඛ්‍ය අංශ දැනුම් දුන්නේ නැහැ. ඒ නිසා සෞඛ්‍ය අංශවලට වරද පැටවීම හොද දෙයක් නෙවෙයි. ආරක්ෂා වීමේ පිළිවෙත් වැඩි කරන්න මෙම වෛරසය දැඩි ලෙස සම්ප්‍රේෂණය වීමේ හැකියාවක් තිබෙන බව සොයාගෙන තිබෙනවා. 

එහෙනම් අපි විසින් සිදුකළ යුත්තේ කුමක්ද? 

අපි ආරක්ෂා කරන සොඛ්‍ය පිළිවෙත් දෙගුණ තෙගුණ කළ යුතුයි. සම්ප්‍රේෂණය වීමේ හැකියාව වැඩියි නම් අපි ඒ වෙනුවෙන් වැඩි වශයෙන් ආරක්ෂා විය යුතු වෙනවා. ඔබ හැකිතාක් දුරට නිවසේ රැදී සිටින්න. අත්‍යවශ්‍ය කාරණයකට පමණක් නිවසින් බැහැර වන්න. ඒ වගේම නිවසින් බැහැර වෙනවා නම් මුඛ ආවරණයක් පැලදීම අනිවාර්යයි. එය නිසි පරිදි පැලදීමත් අවශ්‍යයි. පැලද සිටින මුහුණු ආවරණය ඇල්ලීම සුදුසු නැහැ. ඒ වගේම නිසි වෙලාවට මුඛ ආවරණය මාරු කිරීමත් සිදුකළ යුතුයි.තවත් වැදගත් දෙයක් තිබෙනවා. මීටපෙර අපි කිව්වේ පොදු ස්ථානවලදී මීටරයක පරතරය තබාගන්න කියලා. නමුත් මෙවර මීටර් දෙකකට වැඩි පරතයක් තබා ගන්නවා නම් සුදුසුයි. ඒවගේම නිතර අත් සේදීම කළ යුතුමයි.

මෙම කෝවිඩි වෛසරය සම්ප්‍රේෂණය වළක්වාගන්න මෙම ක්‍රියාමාර්ග අපි ගත යුතුයි. මෙම ආරක්ෂණ පියවර අනුගමනය කරලත් ඔබට රෝගය වැලදුණත් බිය විය යුතු නැහැ. මොකද ඔබට රෝගය වැලඳුනොත් සොඛ්‍ය කාර්ය මණ්ඩල විදිහට අපි ඔබව ඉතාම හොදින් රැකබලා ගැනීමට කටයුතු කරනවා. දැනට තිබෙන දැඩිසත්කාර ඒකකවලට අමතරව අනිකුත් රෝහල්වල දැඩිසත්කාර ඒකකත් අපිට භාවිත කරන්න පුළුවන්. සුළගින් බෝ වීම මෙම නව ප්‍රභේදයෙන් මරණ සිදුවීම වැඩියි කියලා ලෝක සෞඛ්‍ය සංවිධානය පවා පිළිගෙන තිබෙනවා. එවැනි පසුබිමක තමයි මේ වෙසරයේ ව්‍යාප්තිය ගැන කතා වෙන්නේ වෛරසය ව්‍යාප්ත වීම සම්බන්ධයෙන් අවසන් තීරණය ලබාදෙන් ලෝක සෞඛ්‍ය සංවිධානයෙන්, සාමාන්‍යයෙන් ලෝක සෞඛ්‍ය සංවිධානය යම් තීරයන් ලබාදෙන්නේ අධ්‍යයනයකින් පසුවයි. කෝවිඩි රෝගය වසංගතයක් කියලා නම් කරන්න ලෝක සොඛ්‍ය සංවිධානය මාස තුනක විතර කාලයක් ගත්තා. එය ඔවුන් කළේ සියලු දත්ත ලබාගෙනයි. නමුත් එසේ ප්‍රකාශ කරනකම් ඉන්නෙ නැතිව අවශ්‍ය සෞඛ්‍ය පුරුදු ආරක්ෂා කරන එක අපේ වගකීම. මෙය වාතයෙන් බෝ වෙනවාද නැද්ද කිය කියා ඉන්නෙ සොඛ්‍ය පුරුදු ආරක්ෂා කළ යුතුයි. ඒවගේම මෙම වෙරයිරසය වාතයෙන් සම්ප්‍රේෂණය වනවා කියන්න මේ වනවිට ඕනෑතරම් සාක්ෂි සාධක තිබෙනවා. ඇතැම් ලෝකයේ පිළිගත්තු සගරාවල ඒවා පළකර තිබෙනවා. කොහොම උනත් මෙය ස්වසන පද්ධතිය ආශ්‍රිතව සිදුවන රෝගයක්. ඒ නිසා එයින් ආරක්ෂා වෙන්න අපි දැනගත යුතුයි. මේ වෙසරය සුළග මගින් ව්‍යාප්ත වෙනවා කියලා හිතාගෙන එයින් ආරක්ෂා වෙන්න කටයුතු කළ යුතුයි. ඒවගේම වෛරසය කොයිතරම් ප්‍රබල උනත් ඒ වෛරසය තවත් කෙනෙකුගේ ශරීරගත නොවන ආකාරයට ඔබ හැසිරුණත් කිසිම අවස්ථාවක එය ශරීරගත වෙන්නේ නැහැ. ඔබෙන් අඩුපාඩුකම් උනොත් තමයි ඔබ එහි ගොදුරක් වෙන්නේ. ඒ නිසා ඉදිරි මාස තුන ඉතාම ආරක්ෂාකාරීව ජීවත් වෙන්න හැකි උපරිම දායකත්වය ලබාදත්ත කියලා මම ජනතාවගෙන් ඉල්ලන්න කැමතියි. එන්නත්කරණය ලංකාවේ එන්නත් කිරීම යම් පිරිසකට පමණක් සිදුකළත්, එය හොඳින් සිදුකරගෙන යනවා. එම එන්නත් කිරීම තුළ ඒක මාත්‍රාවකින් පවා ඉතා හොද ප්‍රතිදේහ මට්ටමක් ගොඩනැගිලා තිබෙනවා. ඇට්‍රසනිකා කියන එන්තත මාත්‍රා දෙකකින් සමන්විතයි. ඒ දෙකම ලබාගැනීම වැදගත්. ඔබට අවශ්‍ය කරන නිසි ප්‍රතිශක්තිය ලබාගන්න එම මාත්‍රා දෙකම ලබාගැනීම වැදගත්. මේ දිනවල දෙවැනි මාත්‍රාව ලබාදෙමින් තිබෙනවා. පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන් දෙවැනි මාත්‍රාව යුහුසුළුව ලබාගන්නා ලෙස මම ඉල්ලා සිටිනවා, දැඩිසත්කාර ඒකක මේ වන විට දැඩිසත්කාර ඒකකවල වැඩිපුර රෝගීන් සිටිනවා. ඒ අතර වයසක ප්‍රජාව මෙන්ම තරුණ පිරිත් ඉන්නවා. මේ කාලයේදී තරුණ පිරිසත් වැඩි වශයෙන් දැඩිසත්කාර ඒකක වලට යොමු කරනවා අපි දකිනවා. එහෙම වෙන්නේ වෛරසයේ ප්‍රබලත්වය වැඩි නිසා. නමුත් කෝවිඩ්වලට නිර්දේශ කර තිබෙන රෝහල් හෝ මධ්‍යස්ථානවල ප්‍රමාණවත් පරිදි දැඩිසත්කාර ඇඳන් තිබෙනවා. ඒ අතරතුර දිවයින පුරා පැතිරිලා තිබෙන රෝහල් පද්ධතියේ තිබෙන හදිසි ප්‍රතිකාර අංශ රෝගීන් වෙනුවෙන් ලබාගන්නට පුළුවන් හැකියාව තිබෙනවා.

 (චාමර සම්පත්)

දැන් වෙන දේවලුත් එක්ක මම ලංකාවේ ඉඳවිද දන්නේ නැ- ලෝචනා ඉමාෂි


බොහෝදෙනෙකු ආදරය කරන කලාකාරිනියක ලෙස ලෝචනා ඉමාෂි හැඳින්විය හැකිය. විවිධ  චරිත අතරින් රසික ආදරය දිනාගත් ඇය පසුගිය කාලයේ සිටම ලංකාවට පැමිණ නැවත නිර්මාණ සඳහා එකතු විය. ඇයගේ කලා දිවිය පිළිබඳ  කතාබහ කිරීමට අද තරු කතාබහට අපි ඇයව මෙලෙස  එක් කර ගත්තෙමු. 


මේ දවස්වල මොකද වෙන්නේ? 

 මේ දවස්වල අයි.ටී.එන්. එකේ 'සංසාර සිහිනේ" කියලා ටෙලිනාට්‍යයක් විකාශය වෙනවා. ඒවගේම අවුරුදු සමයේ ටිකක්  කාර්යබහුල වුණා. නාලිකාවල අවුරුදු උත්සව සහ වඩසහටත්වලට සහභාගි  වූණා, අපේ ගෙදරත් පොඩි අවුරුදු  උත්සවයක් තිබුණා. යාළුවොත් එක්ක විනෝද ගමනකුත් ගියා. ඒ දේවල් එක්ක ටිකක් කාර්යබහුල වෙලා හිටියා. 


ඔබ දැන් දිගටම ලංකාවේ ඉන්නවාද?

මෙහෙමයි. මගේ බබා දැන් ඉන්නේ නදර්ලන්තයේ. ලංකාවේ දැන් වන

දේවලුත් එක්ක මට ස්ථීර වශයෙන් කියත්ත බැහැ මම දැනට මෙහේ ඉදිවි කියලා.  දැනට මෙහේ ඉන්නවා වැඩ ටිකක් තියන නිසා. කොහොම වෙයිද දන්නේ නැහැ  ඉස්සරහට. 


ලංකාවට කොවිඩ් එක්ක ආයෙත් පරණ තත්ත්වයට වටෙන්න වෙලා තියෙන්නෙ.. ඒක කලාකරුවන්ට කොහොමද බලපාන්නේ ?

සහරාන්ගේ බෝම්බ සිද්ධියෙන් පටන්ගත්ත දේ නිසා දිගටම ෆීල්ඩ් එක්

අයට වැඩ කරන්ට බැරි වුණා. සංදර්ශන පවත්වන් බැරි වුණා. ඊට පස්සේ කෝවිඩ් -19 ආවා. ඒ එක්කම අපේ වැඩ අපිට නතරකරන්න වුණා. දත් ආයෙත්  චුට්ටක් ඔළුව උස්සාගෙන ආවා විතරයි ආයෙමත් අපිට වැටෙන්නම දීලා තියනවා. සොබාදහමෙන් දෙන දෙවල්නේ ඉතින්. ඒකට අපි මොනවා කරන්නද?.සොබාදහම අපිට ආරක්ෂාව, සුන්දරත්වය දෙනවා  වගේම මේ දේවලුත් භාර ගන්න වෙනවා.  හැබැයි වැඩි වුණේ අපේම වැරදි නිසායි. පෞද්ගලිකව මම වුනත් මුල් කාලේදී හරියට පරිස්සම් වුණා. පස්සේ  පස්සේ අපිත් එක්ක හුරු වෙලා සාමාන්‍ය දෙයක් බවට පත්වුණා.  ඒකට හුරු වුණට පස්සේ අපි හෙමිට අත්හැරලා දැම්මා. ඒකෙන් තමයි අපිට  ආයෙත් මේ තත්වයට පත්වන්ත වුණේ. ආයෙත් අපිට දරුණුවටම මේකට මුහුණ දෙන්න සිද්ධවෙයි කියලා තමයි මටත් හිතන්නේ. 



මෙයින් කලාවට සිදුවුණු හානිය ගැන මොකද හිතෙන්නේ?


ඔව්. කලාකරුවන් හැටියට අපිට තමයි ලොකුම පාඩුව සිද්ධ වෙන්නේ. මොකද අපි වැඩසටහනකට වුණත් තනි තනියෙන් සම්බන්ධ වෙනවා ඉතාමත් අඩුයි. අපිට තියන්නේ කණ්ඩායම් වැඩනේ. නීතිමය පැත්තෙන් බැලුවත් දැන් ගොඩක් අයට එකතුවෙලා උත්සව, වර්ඩසටහත් තියන්න බැහැනේ. නමුත් ඉතින් මොනවා කරන්නද. අපි කාලයක් හිටියානේ ගෙවල්වලට වෙලා. ආර්ථික මට්ටමෙන් ගොඩක් අය වැටුණා. මේකටත් අපිට තනියම මුහුණ දෙන්න සිදු වෙනවා. ඉතින් කොහොමහරී ඒකටත් මුහුණ දෙමු. 


නිර්මාණවලට ලැබෙන ප්‍රතිචාර කොහොමද?

හොඳයි. දැන් යන ටෙලිනාට්‍යයටත් ගොඩාක් හොද ප්‍රතිචාර ලැබෙනවා. අදටත් මම දායක වුණු චිත්‍රපට, ටෙලිනාට්‍ය ගැන ගොඩාක් අය කතා වෙනවා. ඒ තිබුණු ආදරය තවමත් තියෙනවා, එලියට බැස්සත් තාමත් හැමෝම කතාබහ කරනවා. ඒ ආදරය හැමදාම තිඛෙනවා, මට ඒක කවදාවත් අඩු වෙන එකක් නැහැ. 




ඔබ සමාජ මාධ්‍ය තුළ නිතර දකින චරිතයක්, අද සමාජ මාධ්‍ය ගැන මොකද හිතෙන්නේ? 


 මේ ළඟදී අපේ පවුලේ අය එකතු වෙලා පොඩි අවුරුදු උත්සවයක් පැවැත්වුවා.

ඒක් කඹ අදින වීඩියෝවක් අපි සමාජ මාධ්‍යයට දැම්මා. එතන හිටියේ මගේ

දෙමවුපියෝ. නෑදැයෝ . ඒකට හරී කැත විදිහට සමහරු කමෙන්ට් කරලා තිබුණා. ඒ කමෙන්ට් දිහා බැලුවාම මට හරියට දුක හිතුනා. අපි කවුරුත් කැමති නැහැන් අපේ දෙමවුපියන්ට කවුරුත් මුකුත් කියනවාට. අර වැඩක් නැති මිනිස්සු

ඉන්නවානේ. ඔවුන් තමයි ඒ වගේ වැඩ  කරන්නේ. ඇත්තටම මට නම් වෙලාවක් නැහැ මිනිසුන්ට කමෙන්ට් එකක්වත් කරත්ත. නමුත් හොද දේවල් තිබෙනවා. 


මගේ පුතාගේ දේවල් දැම්මාම පුතාට සුබ පතලා ආදරණීය ප්‍රතිචාර දෙන මිනිස්සුත් ඉන්නවා. හැබැයි ඒ හා සමානව වැඩක්  නැති මිනිස්සුත් ඉන්නවා. අපි දිග ඇදුමක් ඇන්ඳත් බනිනවා. කොට ඇඳුමක් ඇන්ඳත් බනිනවා. මට හොදයි නම් කාටවත් ඒක ප්‍රශ්නයක් නැහැ. ඇත්තටම සමාජ  මාධ්‍ය දැන් හොද පැත්තට වගේම නරක පැත්තටත් ගිහිල්ලා තියෙනවා.


සමාජ මාධ්‍ය තුළ ඉන්න අය ගැන සැහීමකට පත්වන්න බැරිද?

ඔවුන් ඔවුන්ගේ වේලාව, හැකියාව හොද දේවල්වලට පාවිච්චි කරනවා නම් කමක් නැහැ. හැබැයි විවේචනය කරන්ක, කැත කමෙන්ට් දාන්න ඒ කාලය පාවිච්චි කරනවා නම් ඒක ඒ අයටත් හානියක්. අපිටත් හානියක්. හොද දේ වෙනුවෙත් ඒ දේවල් පාවිච්චි කරන්න. නරක දේවල්වලට කාලය මහන්සි කරවන්න එපා. ඒක හරීම අපරාධයක්.


 ඔබ හැමවිටම නිර්මාණ තෝරා  බේරා ගැනීමක් කරන්නේ ඇයි?

මට හැම තිස්සේම එකකට එකක් වෙනස් නිර්මාණ කරන්න ඕනේ. නැතුව අපි තේරුමක් නැතුව එකම විදිහේ චරිත කළොත් මට වගේම බලන ප්‍රේක්ෂකයටත්

තේරුමක් නැතිවනවා,  ඉතින් ඒක නිසා මට ඕනේ වෙනස් චරිත කරන්න. මොකද මට දෙයක් කරන්න තියනවානම්, ඒකට මම ආසයි නම් ඒ චරිතය ඇතුලේ

ප්‍රේක්ෂකයන්ට බලන්න දෙයක් තියෙනවා. මම හැමදාම එකම චරිත කරනවා නම් ප්‍රේක්ෂකයන්ට බලන්න දෙයක් නැහැ. එතකොට ඔවුන්ට මගෙන් වැඩක් නැහැ. මම හැම එකකටම යන්නේ නැහැ. නිර්මාණ තෝරා බේරාගෙන කරපු නිසායි අදටත් මා එක්ක ප්‍රේක්ෂකයෝ ඉන්නේ.


නිර්මාණ තෝරා බේරා ගැනීම ඔබේ සාර්ථකත්වය කියලා හිතනවාද? 

ඔව්. මම එහෙම හිතනවා. හැම දේටම යන්නේ නැතුව නිර්මාණ තෝරාබේරාගෙන ඒකට උපරිම සාධාරණය කරන නිසා වෙන්න ඇති අදටත් මම  ක්ෂේත්‍රයේ රැදිලා ඉන්නේ. 


ඔබේ ආදරණීය ප්‍රේක්ෂකයන්ට මොනවාද කියන්න තියෙන්නේ? 

කෝවිඩ් -19 නිසා අපිට අපේ ජීවිත  නවත්වගන්න බැහැනේ. අපිට මේකත් එක්ක ඉස්සරහට යන්න වෙනවා. ඉතින් අපි ඉස්සරහට යනකොට හැමතිස්සේම පරිස්සම් වෙන්න ඕනේ වගේම අපි වටේ ඉන්න අයත් පරිස්සම් කරගන්න ඕනේ.


මේක අපිට විතරක් පෞද්ගලිකවම බලපාන දෙයක් නෙවෙයි. අපේ වටේ ඉන්න සියලු දෙනාට බලපාන දෙයක්. මම නිසා  තවත් කෙනකුට ප්‍රශ්නයක් ඇතිවෙනවාට මම කැමති නැහැනේ. මේකත් ඒවගේ, ඒක නිසා තමන් පරිස්සමින් කටයුතු කළොත් තමයි අනිත් අයත් පරිස්සම් වෙන්නේ.  මේකත් එක්ක තමයි අපිට ඉස්සරහට යන්න වෙන්නේ. ඒ නිසා පරිස්සම් වෙන්න. එහෙම වුනොත් අපිට ආයෙත් ඉක්මනටම නිදහසේ පරණ විදිහටම ඉන්න පුළුවන්.


-ඩිලාන් ක්‍රිෂාන්ත-

ගර්භණී මවුවරුන් සඳහා කෝවිඩ් එන්නත ලබාදීම සුදුසුයි

ගර්භණී මවුවරුන් සඳහා කෝවිඩ්-19 මර්දන එන්නත ලබාදීමට සුදුසු බව ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ප්‍රකාශ කළේය. එම විද්‍යායතනය අවධාරණය කර සිටියේ රට තුළ පවතින තත්වයත් සමග ගර්භණී මවුවරුන් අතිශයින් ෆ්‍රවේශම් විය යුතු බවත්, එසේ නොවුණහොත් අතිශයින් ඛේදනීය ඉරණමක් අත්වනු නොඅනුමාන වන බවත්ය.අවදානම් ගර්භණී කාත්තාවන් සදහා කෝවිඩි-19 මර්දන එන්නත ලබාදීම බ්‍රිතාන්‍ය රාජකීය ප්‍රසව වෛදවරුන්ගේ විද්‍යායතනයද නිර්දේශ කර ඇති බවත්, එසේම එන්නත ලබාගැනීමෙන් කලලයට හානියක්සිදු නොවන බවට විද්‍යාත්මකව තහවුරු කර ඇති බවත් පෙන්වා දෙන ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය, ශ්‍රී ලංකාව විසින් එය ක්‍රියාත්මක කළ යුතුව ඇති බව වැඩිදුරටත් අවධාරණය කළේය.මේ අතර ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයේ සභාපති, විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා පෙන්වා දුන්නේ දිවයින පුරා රෝහල් සූතිකාගාරවල මානව සම්පත් හා භෞතික සම්පත් අඩුපාඩු රුසක් පවතින බවයි.විශේෂයෙන් නේවාසික වෛද්‍යවරයෙකු සූතිකාගාරවල පැය 24 පුරා රැදී සිටීමේ අවශ්‍යතාවක් හඳුනාගෙන ඇති නමුත් මෙතෙක් එය ක්‍රියාත්මකව නොමැති බව හෙතෙම සඳහන් කර සිටියේය. එසේම නවීන තාක්ෂණයෙන් යුත් යන්ත්‍රසූත්‍ර ඇදන් නොමැතිවීම බරපතළ ගැටලුවක් වන බවට පෙත්වා දුන් විශේෂඥ වෛදවරයා, සූතිකාගාරවල නිසි පරිදි විදුලි පහන් නොමැතිවීම සහ වේදනා සමනය කරන වායු පහසුකම් නොමැතිවීම සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යංශයේ අවධානය යොමු විය යුතු බවද ප්‍රකාශ කළේය.මෙම සියලු කරුණු සම්බන්ධයෙන් වැඩිදුර පැහැදිලි කිරීමක් සිදු කළ විශේෂඥ වෛද්‍ය ප්‍රදීප් ද සිල්වා මහතා,"ගැබිනි මවුවරුන්ට කෝවිඩි-19 වෛරසය ආසාදනය වීමේ ප්‍රවණතාව වැඩි වෙමින් තිබෙනවා. වෛරසය වැලදුණු ගැබිනි මවුවරු තිදෙනෙක් දැඩි සත්කාර ඒකකවල මේ වනවිටත් ප්‍රතිකාර ලබමින් සිටිනවා. ඉන් නැගෙන කොළඹ ශික්ෂණ රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන ගැබිනි මවක් දැඩි අසාධ්‍ය තත්වයේ පසුවෙමින් සිටින්. එබැවින් ගර්භණී  මවුවරුන් සොඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කිරීම මේ මොහොතේ අත්‍යවශ්‍ය බව අවධාරණයෙන් සිහිපත් කළ යුතුයි. රජයේ සහ පෞද්ගලික අංශයේ රැකියා කරන ගැබිනි කාන්තාවන් සදහා කෝවිඩි-19 වෛරසය දෙයාකාරයකින් අවදානම් විය හැකියි. පළමුව පොදු සංකුලතා ඇති කරන ශාරීරික තත්වයන්, එනම් තරබාරුව, දියවැඩියාව,අධික රුධිර පීඩනයයි. දෙවනුව කෝවිඩ් 19 වෛරසය බෝවීමට අධික අවදානමක් ඇති හේතුවක්වත්ගැබිනි කාන්තාවන් රුකියා සදහා පොදු ප්‍රවාහන භාවිත කිරීම,මහජනයා සමග සෘජුව ගැටෙමින් රැකියා කිරීම, සේවකයන් වැඩි ස්ථානවල වැඩ කිරීම යනාදියයි.ගැබිනි කාන්තාවන් සදහා කෝවිඩ් 19 එන්නත ලබාදීම සුදුසු වන බව ප්‍රසව හා නාරිවේද විශේඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනය ලෙස අපි අවධාරණය කරනවා. අවදානම් ගැබිනි මවුවරුන්ට එන්නත් ලබාදීම බ්‍රිතාන්‍ය රාජකීය ප්‍රසව වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයද නිර්දේශ කර තිබෙනවා. ඒ අනුව ශ්‍රී ලංකාවේ ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරුන්ගේ විද්‍යායතනයද ගැබිනි මවුවරුන්ට එන්නත් ලබා දිය යුතු යැයි අනුමාන කරනවා. 

එන්නත ලබාගැනීමෙන් කලලයට හානියක් නොවන බවද විද්‍යාත්මකව තහවුරු කර තිබෙනවා.ඒ වගේම කෝවිඩි වැලදුණු ගැබිනි මවුවරුන් රෝහලකට පැමිණි පසුව පරික්ෂා කර බැලීම සදහා වෙනත් ස්ථානයක් ලබාදීමද ඉතා වැදගත්. එසේ නොමැති වුවහොත් සාමාන්‍ය රෝගීන්ට වෛරසය වැලදීමේ අවදානමක් පවතිනවා. කෝවිඩ් වැලදුණු ගැබිනි මවුවරුන් සඳහා සූතිකාගාරයක්, නැගෙනහිර කොළඹ ශික්ෂණ රෝහලේ ස්ථාපිත කර තිබෙනවා. කොහොම වුණත් දිවයින පුරා රෝහල  සූතිකාගාරවල මානව සහ භෞතික සම්පත්වල අඩුපාඩු රැසක් පවතිනවා. විශේෂයෙන් නේවාසික වෛද්‍යවරයෙකු සූතිකාගාරවල පැය 24 පුරා සිටීමේ අවශ්‍යතාවක් හඳුනාගෙන ඇති නමුත් එය මෙතෙක් ක්‍රියාත්මක වී නෑ.නවීන තාක්ෂණයෙන් යුත් ප්‍රසූත ඇඳන් නොමැති වීමද බරපතළ ගැටලුවක්. අනුරාධපුර ශික්ෂණ රෝහලේ සහ කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලේ සූතිකාගාරවල නවීන තාක්ෂණයෙන් යුතු ඇඳන් දැනට තිබෙන අතර, දිවයින පුරා රෝහල්වල සූතිකාගාරවලටද එවැනි අවදන් ලබාදිය යුතුයි. ඒ බව සෞඛ්‍ය අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා. සූතිකාගාරවල නිසි අන්දමින් විදුලි පහන් නොමැති වීම සහ වේදනා සමනය කරන වායු . පහසුකම් නොමැතිවීමද ගැටලුවක්. මේ පිළිබද සොඛ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමු විය යුතුයි. දිවයින පුරා රෝහල්වල ප්‍රසව හා නාරිවේදෙ විශේෂඥ වෛද්‍යවරුන් 200 දෙනෙකු සේවය කරනවා. තවත් වෛද්‍යවරුන් 100දෙනෙකු සේවයට එක්වීමට නියමිතයි. ඔවුන් මේ වනවිට වසර 02ක විදේශීය පුහුණුව ලබමින් සිටිනවා.ඒ අයත් රෝහල් පද්ධතියේ සේවයට එක්වූ පසු මෙරට සෞඛ්‍ය සේවයට විශාල මෙහෙවරක් සිදු කළ හැකියි" යනුවෙන්ද ප්‍රකාශ කළේය.

 (නිදර්ශනී වික්‍රමසිංහ)

දඹුල්ලෙ කොරෝනා රෝගීහු 37ක් ගිලන් රථ නැතිව නිවෙස්වල


දඹුල්ල නගර සභා බල ප්‍රදේශයේ සහ දඹුල්ල ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ කොරෝනා ආසාදිත පුද්ගලයන් තිස්හත් දෙනකු ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රැගෙන යාමට ප්‍රවාහන පහසුකම් නොමැතිව නිවෙස්වල රඳවා සිටින බව දඹුල්ල නගරාන්ධිපති ජාලිය ඕපාත මහතා පැවසීය.  දඹුල්ල හීන්මොරගොල්ල, දඹුලුගම, නව පාදෙණිය ආදී ප්‍රදේශවල මෙන්ම නගර සභා බල ප්‍රදේශයෙන් පිට පුද්ගලයන් දෙදනකුද දින දෙකක් පමණ තිස්සේ ප්‍රවාහන අපහසුතා නිසා ප්‍රතිකාර මධ්‍යස්ථානවලට රැගෙන යෑමට නොහැකිවී ඇති බව නගරාධිපතිවරයා සඳහන් කළේය. දඹුල්ල නාගරික මහජන සෞඛ්‍ය පරික්ෂක ප්‍රියන්ත ද සිල්වා මහතා කියා සිටියේ මෙම වයිරසය ආසාදිත වූ පුද්ගලයන් කඩිනමින් ප්‍රවාහනය කිරිම සඳහා දැඩි උත්සාහයක නිරතව සිටියද ගිලන්රථ නොමැතිවීම නිසා මේ තත්වය උදා වී ඇති බවයි.  නිවෙස්වල සිටින එම පුද්ගලයන් දඹුල්ල සතිපොළ භූමියට සීගිරිය රෝහලේ ගිලන් රථයෙන් රැගෙන විත් බස් රථයකින් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යැවීමට අවශ්‍ය පියවර ගන්නා බව ඔහු සඳහන් කළේය.


දඹුල්ල ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ජයනාත් ජයසුන්දර මහතා කියා සිටියේ තම බල ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනෙකු වයිරසය ශරිරගත වී නිවෙස්වල සිටින බවය. ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යැවීම සඳහා එම ස්ථානවලින් පහසුකම් ලැබීම පිළිබඳවද ප්‍රශ්නයක් තිබෙන බව හෙතෙම කීවේ.  දඹුල්ල ප්‍රදේශයේ ජනතාව තම සෞඛ්‍ය ආරක්ෂාව පිළිබඳව මායිම් නොකොට ඉතා අනාරක්ෂිතව හැසිරිම නිසා ප්‍රදේශයේ තත්ත්වය බරපතළ වී ඇති බවද දඹුල්ල ප්‍රාදේශීය වෛද්‍ය නිලධාරිවරයා සඳහන් කළේය.


 දඹුල්ල කාංවන කුමාර 


කොවිඩ් පැතිරීම ගැන GMOA අනතුරු අඟවයි

කොවිඩ්-19 තත්වය සම්බන්ධයෙන් රජයේ බලධාරීන් තීන්දු තීරණ ගැනීමේදී ප්‍රමාදයන් සිදුවන බවත් මෙසේ අදාළ තීන්දු ගැනීමට තවදුරටත් ප්‍රමාද වීම යනු ඉදිරියේදී රටම වසාදැමීමට ලොක්ඩවුන් කිරීමට වුවද සිදුවිය හැකි බවත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.දිගින් දිගටම කෝවිඩ් 19 රෝගීන් වාර්තා වන නිසා කඩිනමින් පළාත් අතර සංචරණ සීමා පැනවීම සිදුකළ යුතු බවත්, මීට අමතරව කෝවිඩ්-19 රෝගීන් වාර්තා වන මොහොතේදීම අදාළ ප්‍රදේශ හුදෙකලා තත්වයට පත් කළ යුතු බවත් එම සංගමයේ සහකාර ලේකම් වෛද්‍ය නවින් ද සොයිසා මහතා පැවසීය.රෝගීන් හමුවන ප්‍රදේශ හුදෙකලා කිරීමේදී දිනක් දෙකක් ගත වන බවත්, මේ නිසා රෝගීන් වාර්තා වන ප්‍රදේශ ඒ මොහොතේදීම වසා දැමීමට තීන්දු තීරණගත යුතු බවත් ඒ මහතා පවසා සිටියේය. කෝවිඩ්-19 තත්වය පාලනය කිරීම සඳහා පළාත් අතර සංචරණය අත්‍යවශ්‍ය කටයුතුවලට පමණක් සීමා කළයුතු බවත්, ජනතාවත් අත්‍යවශ්‍ය කටයුතු සඳහා පමණක් නිවසින් බැහැරව යායුතු බවත් හෙතෙම පැවසීය. මීට අමතරව විනෝද චාරිකා ඇතුළු ජනතාවගේ අනවශ්‍ය ගමන් බිමන් හා අනවශ්‍ය උත්සව නවතා දැමීමට බලධාරීන් තීන්දු තීරණගත යුතු බවත්, එහෙත් බලධාරීන් ඒ පිළිබඳ අවධානය යොමුකර නොමැති බවත් නවීන් ද සොයිසා මහතා පවසා සිටියේය. ප්‍රවාහන අමාත්‍යාංශය තම වගකීම නිසි ලෙස ඉටු නොකරන බවත් ජනතාවට සෞඛ්‍ය ආරක්ෂිතව ගමන් බිමන් යාමට වැඩපිළිවෙළක් සකස් කරන බවට මීට පෙර සඳහන් කළත්, මෙතෙක්ම එවැනි වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවත්, මේ නිසා පොදු ප්‍රවාහන සේවයේදී ජනතාවට තෙරපී ගමන් බිමන් යාමට සිදුව තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.සමහර පිරිස්වලට හා සමහර ආයතනවලට මීටරේ දුර අමතක වී තිබෙන බවත්, මීට අමතරව මුහුණු ආවරණ පැලදීම, දැත් සේදීම වැනි සෞඛ්‍ය පුරුදු පවා අමතක වී තිබෙන බවත් වෛද්‍යවරයා ප්‍රකාශ කළේය. බලධාරීන් තීන්දු තීරණ නිසි අවස්ථාවේ ගෙන නිසි අවස්ථාවේ ක්‍රියාත්මක කළහොත් සහ ජනතාව තම වගකීම නිසි ලෙස ඉටු කළහොත් ඉදිරියේදී රට වසා තැබීමෙන් වළක්වාගත හැකි බවත්, මේ වනට කෝවිඩ් 19 රෝගීන් වාර්තා වීම ඉහළ යාමට අමතරව ඔක්සිජන් මත යැපෙන රෝගීන්ගේ ප්‍රමාණයත් වැඩී ඇති බවත් හෙතෙම පැවසීය.

 (ඉන්දික හේවාවිතාරණ)

තුර්කිය ප්‍රථමවතාවට රටම ලොක්ඩවුන් කිරීමට සැරසෙයි

ආසන්න සති කිහිපයේදී තුර්කිය ප්‍රථමවතාවට COVID-19 ආසාදිතයන්ගේ වර්ධනයත් සමගින්ගේ ප්‍රථමවරට සමස්ත රට පුරාම ක්‍රියාත්මක වෙන ලෙස ලොක්ඩවුන් සීමා පැනවීමට බලධාරින් තීරණය කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. ඒ අනුව ඊයේ (29) සන්ධ්‍යාවේ සිට මෙම ලොක්කවුන් සීමා පැනවීමට නියමිතව තිබුණි.මේ සමගම එරට ජනතාව දැඩි කලබලයට පත්ව අත්‍යවශ්‍ය භාණ්ඩ රැස්කරගැනීම් වෙත යොමු වූ බව වාර්තා සඳහන් කරයි. එහිදී බොහෝ පිරිසක් මත්පැන් ශාලා ඉදිරිළි රැදමින් මත්පැන් මිලදී ගැනීමේ යෙදෙන ආකාරයද විදෙස් මාධ්‍ය හරහා දැකගත  හැකි විය. තවත් පිරිසක් ඉස්තාන්බුල් අගනුවර පිටවීම සදභා උනන්දු වූ බව පවසෙයි. තුර්කිය මේ දක්වා COVID-19 පාලනයේ සාර්ථක රටක් ලෙස හදුනා ගැනුණි. එරට දියුණු සෞඛ්‍ය පහසුකම් සඳහා වැඩි දායකත්වයක් සැපයීය. එහෙත් ආසන්න කාලසීමාවේදී එරටින් වාර්තා වන නව ආසාදිතයන් සහ මරණ සංඛ්‍යාවේ ඉහළ යාමක් සිදුව තිබේ. ඒ අනුව අද වනවිට යුරෝපය තුළ ඉහළ ආසාදන වේගයක් සහිත රටක් බවටද තුර්කියපත්ව ඇත. මීටපෙර පසුගිය වසරේනොවැම්බර් මාසයේදී ආසාදිතයන් ඉහළ යාමත් සමග රට තුළ යම් සීමා පැනවීමක් සිදුකිරීමට බලධාරින් පියවාගෙන තිබුණි. එහි ප්‍රතිඵලයක් ලෙස පෙබරවාරිය මැද වනවිටදෙනික ආසාදිතයන් 6,000ක් දක්වා අඩු විය. පසුව මාර්තුවේදී එය ලිහිල් කෙරුණු අතර ආසාදිතයන් ඉහළ යාමත් සමග අප්‍රේල් මාසයේදී එම සීමා යළිපැනවුණි. කෙසේ වෙතත් එම සීමා ප්‍රමාණවත් නොවීම නිසා තුර්කි බලධාරිමෙවන් සමරටටම ලොඬවුන් සීමා පැනවීමට තීරණය කර තිබේ. අද වනවිට එරටදෙනික ආසාදිතයක්සඛ්‍යාව 60,000ක් වන අතර මරණ 300වාර්තා වෙයි.


හමුදා ගොඩනැගිලි වලත් ප්‍රතිකාර


යුද හමුදාවේ ගොඩනැගිලි සහ සංචාරක හෝටල්ද කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වශයෙන් ඉදිරියේදී යොදාගැනීමට සැලසුම් කර ඇතැයි කොවිඩ් පාලනය කිරීමේ ජාතික ක්‍රියාවින මධ්‍යස්ථානයේ ප්‍රධානී යුද හමුදාපති ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසිය.  මුලින්ම එම කටයුතු සඳහා යුද හමුදාවේ ගොඩනැගිලි යොදාගන්නා බවත් ඒවා ප්‍රමාණවත්  නොවුණහොත් සංචාරක හෝටල් ද ඒ සඳහා යොදා ගන්නා බවත් යුද හමුදාපතිවරයා කීය. කොග්ගල ප්‍රදේශයේ සංචාරක හෝටල් කීපයක් කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන ලෙස දැනටමත් යොදාගෙන ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය. 



කොරෝනා රෝගීන්ට ප්‍රතිකාර කිරීම සඳහා ප්‍රමාණවත් පහසුකම් නොමැති වේ යැයි අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින යුද හමුදාපතිවරයා රෝගීන්ට ප්‍රතිකාර ලබාදීම සඳහා රෝහල් පද්ධතිවල ධාරිතාව ද වැඩිකිරීමට පියවර ගෙන ඇතැයි පැවසීය.  රෝගීන් සඳහා කිසිදු අඩුපාඩුවක් කිරිමට ත්ථෙබලාපොරොත්තුවක් නැතැයි යුද හමුදාපතිවරයා කීවේය.  මේ අතර කොවිඩ් ව්‍යාප්තිය හමුවේ රට  තිබෙන්නේ තීරණාත්මක සන්ධිස්ථානයක යැයිද ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා පැවසීය.  ආසාදිතයන් වාර්තා වීම 1500 දක්වා මට්ටමට  පැමිණ ඇති බවත් ඉදිරි සතිය දෙක වන විට මීට වැඩි අගයක් ගැනීමට ඉඩ ඇති බවත් යුද හමුදාපතිවරයා කීය.


ප්‍රභේදයේ තත්වය අනුව රට සැලකිය යුතු මට්ටමක පවතින්නේ යැයි කී සිල්වා මහතා මෙය තිබිය යුතු තත්වයක් නොවේ යැයි ද ප්‍රකාශ කළේය.  කොවිඩ් පැතිරි ඇති ප්‍රභේද පිළිබඳව සෞඛ්‍ය අශ දැනුම් දුන් වහාම එම ප්‍රදේශ හුදෙකලා කරන බවත් මේ වතාවේදී එසේ හුදෙකලා කරන ප්‍රදේශ කල්තියා දැනුම් දීමට හැකියාවක් නැති බවත් ඔහු පැවසුවේය.  යම්කිසි ප්‍රදේශයක් හුදකලා කිරීමට අවශ්‍ය වුවහොත් එය වහාම කරන බවත් රටම වසා දැමීමට  කිසිසේත්ම බලාපොරොත්තුවක් නැති බවත් යුද හමුදාපතිවරයා සඳහන් කළේය. 


ජනතාව සෞඛ්‍ය නීති අකුරටම නොපිළිපැදහොත් තත්ත්වය බරපතළ විය හැකි යැයිද සෞඛ්‍ය මාර්ගෝපදේශ නිවැරදිව පිළිපදින්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන්නේ යැයිද ඔහු කීවේය.  මෙරට ජනයා කිසිවිටෙක පැරදුණු ජාතියක් නොවේ යැයි කී යුද හමුදාපතිවරයා මේ ප්‍රශ්නයත් සාර්ථකව ජය ගන්නේ යැයි ප්‍රකාශ කළේය.

දරුවන් තුළ දිගුකාලීන COVID-19 රෝග ලක්ෂණ පැවතීමේ අවදානමක්

COVID-19 වෛරසය ආසාදනය වී සුව අතට පත්වූ පිරිස් අතර යම් කාලයක් යනතුරු එම රෝගරෝග ලක්ෂණ පවතින බවත්, මේ අතරින් රෝගය වැලදෙන දරුවන් තුළ එම රෝග ලක්ෂණ යම් වැඩි කාලයක් පැවතීමේ අවදානමක් ඇති බවත් ජාත්‍යන්තර විද්‍යාඥයන් පිරිසක් එක්ව සිදුකළ නවතම අධ්‍යයනයක් මගින් අනාවරණය කර සිටියි. විද්‍යාඥයන් මෙම තත්වය 'දිගුකාලීන-කෝවිඩ්' තත්ත්වය ලෙසින්ද හඳුන්වයි. මෙහිදී රෝගය සුව අතට පත්වූවන් අතර ඔක්කාරය, හුස්ම ගැනීමේ අපහසුතා මෙන්ම සිරුරේකැසීම් යනාදියද හටගන්නා බව හඳුනාගෙන තිබේ. මීට අමතර විඩාබර ගතියක්ද මෙම පිරිතුළ පවතින බව පවසයි. කෙසේවෙතත් මෙම අලුත්ම අධ්‍යයනයට අනුව දරුවන් තුළ මෙම 'දිගුකාලීන කෝවිඩ්’ තත්වය පැවැතීමේ අවදානම ඉහළ බව හඳුනාගෙන තිබේ. ඒ අතරින් නිමා නොවන විඩාබර ගතියක් මෙම දරුවන් තුළ හටගන්නා බව හදුනාගෙන තිබේ. මෙම අධ්‍යයනය සදහා විද්‍යාඥයන්. රුසියාවේ මොස්කව් නුවර රෝහලක් තුළ පසුගිය වසරේ අප්‍රේල් සිට අගෝස්තු දක්වා කාලය තුළදී ප්‍රතිකාර ලැබූ  COVID-19 ආසාදිත දරුවන් 500 දෙනෙකුට වඩා වැඩි පිරිසකගේ සම්මුඛ සාකච්ඡා උපකාරී කරගෙන ඇත. ඒ අනුව මෙම දරුවන් අතරින් හතරෙන් පංගුවකට ආසන්න සංඛ්‍යාවක් තුළ මෙම COVID-19 රෝග ලක්ෂණ රෝගය සුව වී මාස පහක පමණ කාලයක් යනතුරුම පැවති බව හඳුනාගෙන තිබේ. එහිදී බොහෝදෙනෙකු තුළ තිබී ඇති ලක්ෂණ විඩාබර ගතිය, නින්ද යාම සහ සංවේදනා පිළිබඳ ගැටලුයි.


නව වයිරසය ආවේ ඉන්දියාවෙන්



බ්‍රිතාන්‍යයේ පැතිර ඇති බී 117 සැර කොරෝනා වයිරස ප්‍රභේදය මෙරටට පැමිණියේ ඉන්දියාවෙන් විය හැකි යැයි සෞඛ්‍ය විශේෂඥයෝ සැක පළ කරති.  මෙරට මුහුදේ මසුන් මරණ ඉන්දීය ධීවරයන්, භාණ්ඩ ප්‍රවාහනය කරන්නන්  හෝ වෙනත් සංක්‍රමණිකයන්ට මාර්ගයෙන් වයිරසය මෙරටට පැමිණෙන්නට ඇතැයි සැක කෙරෙන බව සෞඛ්‍ය අංශ ප්‍රකාශකයෙක්  පැවසීය. ඉන්දියාවේ මේ දිනවල පැතිර ඇත්තේ බ්‍රිතාන්‍යයේ ව්‍යාප්තව ඇති බී  117 සැර කොරෝනා වයිරසය බව ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨයේ ආසාත්මිකතා ප්‍රතිශක්තිවේද හා  සෙල ජෛව විද්‍යා අධ්‍යයනාංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහතා ද පෙරේදා (28) සනාථ කළේය. 



ඉන්දියාවේ සිට පැමිණෙන පිරිස් මේ තත්වය යටතේ දී ජෛව බුබුළු ක්‍රමයක් යටතේ රැගෙන ඒමටත් ඒ අය සම්බන්ධයෙන් වෙනම නිරෝධායන වැඩපිළිවෙළක් අනුගමනය කිරීමටත්  රජය තීරණය කර ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පැවසීය.  ඉන්දියාවේ සිට පැමිණෙන්නන් පී.සී. ආර්. පරික්ෂණ 2කට හෝ තුනකට ලක් කිරීමට ද කටයුතු යොදා ඇතැයි ඇමැතිවරයා සඳහන් කළේය.  මෙම නව කොරෝනා වයිරස ප්‍රභේදය පෙර වයිරසයට වඩා ව්‍යාප්ත වීමේ ශීඝ්‍රතාව සියයට 55 කින් පමණ වැඩි යැයි වෛද්‍ය විශේෂඥයෝ පවසති.


 -සුජිත් හේවාජුලිගේ  -


අවංකවම කිව්වොත් මම ජනප්‍රිය නළුවන්ගේ ලැයිස්තුවේ නැහැ

ගීත රූප රචනා හරහා නිතර දකින රංගන ශිල්පියෙකු වන විරාජ් පෙරේරා ගැන හඳුන්වා දීමක් සිදුකිරීම අත්‍යවශ්‍ය නොවන්නකි. ලංකාවේ වැඩිම ගීත රූප රචනා ප්‍රමාණයකට දායක වූ රංගන ශිල්පියා බවට පත්ව සිටින විරාජ් වර්තමානයේ ටෙලිනාට්‍යය රංගන ශිල්පියෙකු ලෙස ප්‍රේක්ෂක ඔබ අතරට පැමිණන් සිටී. අද තරු කතාබහ දිග හැරෙනුයේ ඔහු සමගයි. 

(කතාබහ - බුද්ධික ස්නාධිර)

*කොවිඩ් වසංගතයත් සමග කලා කටයුතුවලට දායක වෙන ප්‍රවණතාවේ අඩුවක් තියෙනවාද? 

        ''එහෙම නැහැ. මේ ටිකේම අලුත් වැඩ කිහිපයකට දායක වුණා. කොහොමත් මම අනිවාර්යෙන්ම මාසෙකට ගීත රූප රචනා හතරක් පහක් කරනවා. ජීවත් වෙන්න මුදලක් හොයා ගැනෙන්නේ ඒ හරහාත්. ඊට අමතරව මේ දිනවල අලුත් ටෙලිනාට්‍යය කිහිපයකම වැඩ කරමින් ඉන්නවා. වසංගත තත්වය කියලා වෙනසක් නැහැ. ලැබෙන වැඩ ටික සුපුරුදු පරිදි කරගෙන යනවා.....''

*අලුත් වැඩ මොනවද? 

        ''අජිත් ලොකු අයියාගේ අලුත් ටෙලියක වැඩ කරමින් ඉන්නවා. තාම මේ ටෙලිනාට්‍යය විකාශය වෙන්නේ නැහැ. නමුත්, අපි කොටස් කිහිපයක් දැන් මේකේ රූපගත කරලා ඉවර කරලා තියෙනවා. මාත් එක්ක ජගත් චමිල, සරත් කරුණාරත්න දෙන්නා තමයි ප්‍රධාන චරිත කරන්නේ. ගම් තුනකින් නගරයට ඇවිල්ලා ජීවිතය වෙනස් කරගන්න උත්සාහ කරන තරුණියන් තුන්දෙනෙකුගේ කතාවක් තමයි මේක. මම මෙහි රගපාන්නේ ආසිරී විදිහට. ඊට අමතරව මම රංගනයෙන් දායක වුණ තව ටෙලිනාට්‍ය හතක් විතර විකාශය වෙන්න නියමිත වෙලා තියෙනවා....''

*ගීත රූප රචනාවල නිතර දැක්කත් ටෙලිනාටය පැත්තෙන් අපි විරාජ් දකින්නේ හරි අඩුවෙ?

                  ''මම කලාවට සම්බන්ධ වුණේ ටෙලිනාට්‍ය නළුවෙක් විදිහට. නමුත් හිතපු නැති විදිහට ආරාධනා ලැබුණේ ගීත රූප රචනා සදහා යොමු වෙන්න.ආර්ථිකය අතිනුත් ශක්තිමත් වෙන්න ඒ හරහා අවස්ථාව ලැබුණ නිසා දිගින් දිගටම මම ගීත රූප රචනා සඳහා යොමු වුණා. දැනට මම ගීත රූප රචනා හත්සියයකට ආසන්න ප්‍රමාණයක් රගපාලා තියෙනවා. නමුත්, ටෙලිනාට්‍ය පැත්තෙන් ගත්තොත් මම දැනට කරලා තියෙන්නේ නාට්‍ය පහළොවක් විතර ප්‍රමාණයක්. සමහර විට ටෙලි නිර්මාණවලට දායක වෙන්න තියෙන අවස්ථාව මට අඩු ඇති. මම රැකියාවත් කරන ගමන් තමයි කලා කටයුතුවලට සම්බන්ධ වන්නේ. කොහොමත් තව වසර තුනකින් විතර මම කලා කටයුතුවලට පූර්ණකාලීනව කැප වෙත්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මම දන්නේ නැහැ ඒ වෙන කොට මට පෙම්වතාගේ චරිතයට සීමා වෙන්න පුළුවන් වෙයිද කියලා. ඒත්, රූගත ශිල්පියෙක් කියන්නේ ඕනෑම චරිතයක් අභියෝගයක් විදිහට බාරගෙන කරන්න පුළුවන් කෙනෙක්ට. මාත් එහෙමයි. පෙම්වතාගෙන් මිදිලා ඕනෑම චරිතයක් ඉදිරියේදී කරන්න සූදානමින් ඉන්නවා....''

*එදා සහ අද ගත්තොත් ගීත රූප රචනාවල තියෙන ගුණාත්මක භාවයේ අඩුවක් තියෙනවනේ?

                 ''මාත් හිතනවා....හැබැයි ඒකට හේතු කිහිපයක්ම මම දකිනවා. රූපරචනා ලංකාව තුළ හැදුණ මුල් කාලයේදී රූපවාහිනී නාළිකා පැකේජ් ක්‍රමයකට මේ ගීත රූප රචනා පෙන්වන්න ගත්තා, සල්ලි තියෙන ගායකයා ඒ පැකේජ් මුදල දීලා ගීතය විකාශය කරගත්තා. සල්ලි නැති කෙනාට ඒක ගැටලුවක් වුණා. නමුත්, දැන් තත්වය වෙනස්. හැමෝම තමන්ගේ කියලා යූටියුබ් එකක් හදාගෙන ගීත ඒකේ විකාශය කරන්න අරගෙන තියෙනවා. මුල් කාලයේ හොදට වියදම් කරලා රූප  රචනා හැදුවත් දැන් නම් ගොඩක් අඩු බජට්වලට තමයි රූප රචනා හදන්නේ. ඒවත්ම පසුගිය කාලේ එක එක රැළි ආවා. එහෙම වෙනකොට ඒකේ තියෙන ගුණාත්මකභාවයේ අඩුවක් තියෙනවා. අනෙක කතාවේ වුණත්, බොහෝ වෙලාවට එකම දේ තමයි අපි දැක්කත්. ගොඩක් වෙලාවට ඉතින් බලන මිනිස්සුත් කැමති ඒ වගේ නිර්මාණවලට තමයි.....''

*විරාජ් අද ඉන්න ජනප්‍රිය නළුවන්ගේ ලැයිස්තුවේ ඉන්නවාද?

         ''අවංකවම කිව්වොත් ඒ ප්‍රශ්නයට මම උත්තරයක් දෙනවා නැහැ කියලා. අද ගොඩක් රූපවාහිනී නාළිකා තමන්ගේ නිර්මාණයේ ඉන්න නළු නිළියෝ ජනප්‍රිය කරවන උත්සාහයක නිරත වෙලා ඉන්නෙවා දකිනවා. උදාහරණයක් විදිහට ගත්තොත් බලත්න සම්මාන උළෙලවලදී ජනප්‍රියම නළු නිළියෝ හැමදාම එකම ලයිස්තුව. හොද දක්ෂ නළු නිළියෝ සමහර වෙලාවට මේ ලැයිස්තුවල නැහැ. අද නාළිකාවලටම වෙන්වුණ නළු නිළි කොට්ඨාසයක් ඉන්නවා. අධ්‍යක්ෂවරු, නිෂ්පාදකවරු තමන්ගේ නිර්මාණවලට ගන්නේ එකම පිරිසක්. අද මේක මහා පරිමාණ ව්‍යාපාරයක් බවට පත් වෙලා තියෙනවා. මෙහිදී අපි වගේ නළු නිළියන්ට ඉතින් ලොකු අසාධාරණයක් වෙලා තියෙනවා. නමුත්, කියන්න සතුටුයි මාව ජනප්‍රිය නළුවන්ගේ ලැයිස්තුවට නැති වුණාට මට අවංකවම ආදරය කරන, මට අවංකවම කැමති රසික පිරිසක් මා වටා ඉන්නවා. මාව නමින් අඳුන නොගත්තත් අන්ත අහවල් නාට්‍යයේ නළුවා යනවා, අන්න අහවල් මියුසික් වීඩියෝ එකේ රගපාන අයියා යනවා කියලා මිනිස්සු මට කතා කරනවා. ඒ ප්‍රතිචාර ඇති මාව ජනප්‍රියයි කියලා තේරුම් ගන්න....''

*කාලයක් වෙනවා ඔබ කලාවට සම්බන්ධ වෙලා. නළුවෙක් විදිහට ගත කරපු කාලය සම්බන්ධයෙන් ඔබ තෘප්තිමත්ද?

                ''තාප්තිමත් නම් නැහැ. මොකද, මට මීට වඩා දායකත්වයක් කලාවට දෙන්න තිබුණා කියලා හිතෙනවා. මිල මුදල් මම කලාව තුළින් හම්බ කළත් මගේ හැකියාවන් මම පෙන්වූයේ අඩුවෙන්. මට අවශ්‍යයි මගේ හැකියාවන් තව තවත් ප්‍රේක්ෂකයන්ට පෙන්වන්න තිබුණා නම් කියලා. තවත් වසර තුනකින් මා කලින් සඳහන් කළා මෙන් කලාවට පූර්ණකාලීනව එකතු වෙන්න හිතාගෙන ඉක්නවා. සමහර විට ඒ කාලය වෙන කොට මට හිතෙන්න පුළුවන් නළුවෙක් විදිහට මම තෘප්තිමත් වුණා කියලා......''

*සැමියෙක්, පියෙක් විදිහට වගකීම් වැඩිවෙද්දී කලා කටයුතුවලට දෙන දායකත්වයට කාලය සොයා ගන් කොහොමද?

         ''මගේ බිරිද මට ලොකු සහයෝගයක් දෙනවා. ඇය වසර අටක කාලයක් චන්න උපුලි නර්තන කණ්ඩායමේ සාමාජිකාවක් විදිහට කටයුතු කළා.අය දන්නවා කලාවත් එක්ක කටයුතු කළ යුතු ආකාරය. ඒ වගේම තමයි . ඇය ඉතාමත් හොදින් මාව තේරුම් අරගෙන ඉන්න කෙනෙක්. මගේ දුවයි පුතායි තමයි මට ඉන්න පළමු රසිකයෝ දෙන්නා. අනික මම රැකියාවක නිරත කෙනක්. ඒ හැමෝගෙම සහයෝගය මට හැමදාම ලබුණා.


තලංගම තලාහේන ව්‍යාපාරිකයා මරා ඇත්තේ කෝටි ගණනක මුදල් සහ මැණික් ගල් ගන්නයි


තලංගම තලාහේන ප්‍රදේශයේ තරුණ ව්‍යාපාරිකයකු ඝාතනය කර මාතලේ රත්තොට කැලයකදී පුලුස්සා දමන ලදැයි කියන සිද්ධියට අදාළ ඝාතකයන් ව්‍යාපාරිකයාගේ ගෙල කපා මරා දමා ඇත්තේ රුපියල් කෝටි ගණනක මුදල් සහ මැණික් ගල් වෙනුවෙන් බවට සැක පළ වී ඇතැයි  ජෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසිය.  මෙම ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් පසුගියදා (27) තලංගම පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ මහනුවර මන්දාරම්නුවර පදිංචි යුද හමුදාවෙන් පලා ගොස් සිටි 28 හැවිරිදි සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වලදී මෙම කරුණු හෙළිවී ඇතැයි ද එම නිලධාරියා සඳහන් කළේය.  මේ වනවිට මෙම ඝාතනයේ ප්‍රධාන සැකකරු වන යුද හමුදාවෙන් පලාගොස් සිටි සැකකරු  සොයා පොලිසිය ඇඹිලිපිටිය ප්‍රදේශයේ විශේෂ  මෙහෙයුමක් ද ආරම්භ කර ඇති බව පොලිසිය සඳහන් කරයි.



තලංගම පොලිසිය විසින් ඉකුන්දා (27) රාත්‍රියේදී අත්අඩංගුවට ගනු ලැබූ සැකකරු සහ මෙම සිද්ධියේ ප්‍රධාන සැකකරු, ඝාතනය වූ ව්‍යාපාරිකයා යටතේ සේවය කරමින් සිට ඇති අතර ඔවුන් ව්‍යාපාරිකයාට අයත් මහරගම සහ පොතුහැර ප්‍රදේශවල ගොඩනැගිලි ඉදිකිරීම් අංගණ දෙකේ භාරකරුවන් ලෙස සේවය කර ඇති අය බවද පොලිසිය පවසයි. පොතුහැර ගොඩනැගිලි ඉදිකිරීම් අගණය බාරව සිටි මාතලේ ප්‍රදේශයේ පදිංචි ප්‍රධාන සැකකරු අත්අඩංගුවේ පසුවන සැකකරුට  දුරකතන ඇමතුමක් ලබාදී වහාම තමා හමුවන  ලෙසට පවසා ඇති අතර ඉකුත් 18 වැනිදා ඔහු වහාම තලාහේන ප්‍රදේශයේ ව්‍යාපාරික ස්ථානයට පැමිණ ඇති බවත් පොලිසිය සඳහන් කරයි. 


පසුව එදින දහවල් ඝාතනය වූ ව්‍යාපාරිකයාත් සැකකරුවන් තිදෙනාත් අසල කඩයකට ගොස් දහවල් ආහාර ගැනීමෙන් අනතුරුව නැවත ව්‍යාපාරික ස්ථානයට පැමිණ ඇති අතර නිවසට පැමිණි විගස ප්‍රධාන සැකකරු පුටුවක හිඳ ගෙන සිටි ව්‍යාපාරිකයාගේ බෙල්ල සිය ඉනේ සඟවාගෙන සිටි පිහියකින් කපා ඇතැයි ද සඳහන් වෙයි.  “උඹව මරනවා මං කියන දේ ඇහුවේ නැත්නම්. මූ ළඟ තියෙන ඩොලර් 10,000 යි මැණික් ටිකයි මට ඕන. උඹ මගේ කකුල් අතපය ගැට ගහපන්" යැයි ප්‍රධාන සැකකරු තමා බියට පත් කළ බැවින් තමන් ඔහුට අවනත වූ බව අත්අඩංගුවට ගත් සැකකරු පොලිසියට ප්‍රකාශ  කර ඇතැයි ද පැවසෙයි.


මළ සිරුර එම ස්ථානයේ තිබියදී වෙනත් ලියකියවිලි කිහිපයක් ලබා ගැනීම සඳහා සැකකරුවන් දෙදෙනා මෝටර් රථයෙන්  පොතුහැර අංගණය වෙත ගොස් නැවත පැමිණ ඇති අතර පසුව මළ සිරුරේ ලේ වහනය වැළැක්වීම සඳහා පොලිතින් උරවල ඔතා මෙට්ටයකට මැදි කොට වාහනයේ ඩිකියේ තැත්පත් කර මාතලේ රත්තොට කැලෑ ප්‍රදේශයට  ගෙන ගොස් ඇති බවත් පොලිසිය කරුණු හෙළිකරගෙන තිබේ. රත්තොට ප්‍රදේශයට පැමිණි සැකකරුවන් දෙදෙනා එහි ඉන්ධන පිරවුම්හලකින් පෙට්‍රල් කෑන් දෙකක් ද මිලයට ගෙන ඇතැයි පැවසෙයි.  පසුව මළසිරුර පුලුස්සා එම මෝටර් රථයෙන් ම අනුරාධපුරයට පැමිණ ඇති සැකකරුවන් දෙදෙනා එම රථය අනුරාධපුර බස් නැවතුමේ නතර කරදමා බස් රථයෙන් කුරුණෑගල ප්‍රදේශයට ගොස් එහි හෝටලයක දින තුනක් නතර වී සිට ඇති බවත් පසුව දෙදෙනා වෙන්ව  ගොස් ඇති බවත් හෙළිවී තිබේ. 


මාතලේ රත්තොට දොඹගොඩ ප්‍රදේශයේ තේ වත්තක තිබී සොයාගත් පිලිස්සී ගිය මෘත ශරීරයක කොටස් මේ වනවිට අතුරුදන්වූ ව්‍යාපාරික කොළඹ තලාහේන මාලබේ ප්‍රදේශයේ පදිංචිව සිටි රාජපක්ෂ මුදියන්සේලාගේ චන්දන තිලක් රාජපක්ෂ (46) නමැත්තාගේ බවට පොලිසිය සැක කරන අතර, ඔහුගේ දෙමාපියන්ගේ ලේ සාම්පල ලබා ගෙන ඩී.එන්.ඒ. වාර්ත සඳහා යවා ඇතැයි ද පොලිසිය කියයි. මෙම ව්‍යාපාරිකයාගේ බවට සැක කෙරෙන පිලිස්සී ගිය මෘත ශරීරයක කොටස් පොලිසිය විසින් සොයාගනු ලැබුවේ ඉකුත් 21 වැනිදාය.


-නිමන්ති රණසිංහ-




කැබිතිගොල්ලෑව ප්‍රා.සභාපති සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියාට ගොරවලා



 කැබිතිගොල්ලෑව නගරයේ පීසීආර් පරික්ෂණ සිදුකිරීමේදී තමාගෙන් නොවිමසා තමන් දැනුම්වත් නොකර සිදුකළේ මන්දැයි විමසමින් කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තමාගේ හක්ක පන්නන බව සඳහන් කරමින් දුරකතනයෙන් තර්ජනය කර රාජකාරියට බාධා කළේ යැයි පවසමින් කැබිතිගොල්ලෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය චරින්ද ද සිල්වා මහතා අනුරාධපුර මූලස්ථාන පොලිසියට පෙරේදා (28) වැනිදා රාත්‍රියේ පැමිණිලි කර තිබේ.  


සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය චරින්ද ද සිල්වා මහතා අනුරාධපුර මූලස්ථාන පොලිසියට කර ඇති එම පැමිණිල්ලේ තවදුරටත් සඳහන් වන්නේ තමාගේ අධීක්ෂණය යටතේ කැබිතිගොල්ලෑව නගරයේ පීසීආර් පරික්ෂණ සිදුකළ මහජන පරික්ෂකවරුන් තිදෙනා අතරින් එක මහජන සෞඛ්‍ය පරික්ෂකවරයකු වන නලීන් චන්ද්‍රවංශ මහතාට දුරකතනයෙන් අමතා ඇති කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා මට කියන්නේ නැතිව උඹලා කොහොමද? මේකේ පීසීආර් කරන්නේ. ඇයි මගෙන් විමසුවේ නැත්තේ යැයි විමසමින් මහජන සෞඛ්‍ය පරික්ෂකවරයාට බැණවැදී ඇති බවයි.


පසුව ඒ පිළිබඳව මහජන සෞඛ්‍ය පරීක්ෂක නලීන් චන්ද්‍රවංශ මහතා තමන්ට පැමිණිලි කළ බවද වෛද්‍ය චරින්ද ද සිල්වා මහතා පොලිසියට කර ඇති පැමිණිල්ලේ සඳහන්.  පසුව තමා ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ ජංගම දුරකතනය අමතා සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය සහ තමා සිදුකරන රාජකාරි සහ සෙසු සියලු කාර්යයන් සභාපතිවරයාට  දැනුම් දීමේ කිසිදු අවශ්‍යතාවක් නොමැති බව පවසමින් සභාපතිවරයාට කරුණු පැහැදිලි කර දී දුරකතන සංවාදය එතනින් අවසන් කළ බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ පැමිණිල්ලේ සඳහන් වේ. 


පසුව සභාපතිවරයා නැවත ඔහුගේ ජංගම දුරකතනයෙන් තමාගේ ජංගම දුරකතනයට ඇමතුම් ලබා ගත්තත් ඊට තමා ප්‍රතිචාර නොදැක්වූ බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සිය පැමිණිල්ලෙන් පවසා තිබේ.  ප්‍රාදේශීය සභා සභාපතිවරයාගේ දුරකතන ඇමතුම්වලට තමා ප්‍රතිචාර නොදැක්වූ නිසා ඉන් අනතුරුව තමා යටතේ සේවය කරන මහජන සෞඛ්‍ය පරික්ෂක චන්දික අබේරත්න මහතාගේ ජංගම දුරකතනට අමතා ඇති ප්‍රාදේශීය සභා සභාපතිවරයා මම අරකන්ගේ (එම්. ඕ.එච්. ගේ) හක්ක පන්නනවා. ඕකා ඉන්න තැන මම දන්නවා. ඕකා ඉන්නේ සාලියපුර. උගේ හක්ක පන්නන මම මේ දැන් කට්ටියක් එක්ක යන  ප්‍රාදේශීය සුන් පවසා තිබුනේ° නිලධාරිවරය  ගමන් බව කියමින් තර්ජනය කර ඇති බවද සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ පැමිණිල්ලේ සඳහන්ය.



කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයා තමන්ට තර්ජනය කළ බව පවසමින් අනුරාධපුර මූලස්ථාන පොලිසියට පැමිණිලි කිරිමෙන් පසුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය චරින්ද ද සිල්වා මහතා ඒ පිළිබඳව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයටත් එම සංගමයේ අනුරාධපුර ශාඛාවටත් පැමිණිලි කර තිබේ. සෞඛ්‍ය වෛද්‍යවරුන් නිලධාරිවරයා අනුරාධපුර මූලස්ථාන පොලිසියට මෙම පැමිණිල්ල යොමුකර ඇත්තේ උතුරු මැද පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය පාලිත බණ්ඩාර මහතා ගැන මුලින් දැනුම්වත් කර  ඔහුගේ උපදෙස් ලබා ගැනීමෙන් අනතුරුවය. අනුරාධපුර මූලස්ථාන පොලිසියට යාමයි පෙර  වෛද්‍ය චරින්ද ද සිල්වා මහතා උතුරු මැද නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතා හමුවී මේ පිළිබඳව පැමිණිලි කිරීමට ගොස් ඇතත් ඒ අවස්ථාවේ නියෝජ්‍ය පොලිස්පතිවරයා කාර්යාලයේ නොසිටි නිසා ඔහු හමුවීමට නොහැකි වීම නිසා අනුරාධපුර මූලස්ථාන පොලිසියට ගොස් මෙලෙස පැමිණිලි කර තිබේ. 


 මෙම චෝදනා සම්බන්ධයෙන් අප කළ විමසුමේදී කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ සභාපති මංජුල ටිකිරි බණ්ඩාර මහතා සඳහන් කළේ කැබිතිගොල්ලෑව නගරයේ සිදු කළ පීසීආර් පරික්ෂණ පිළිබඳව තමා මහජන සෞඛ්‍ය පරිවරුන්ගෙන් විමසු බවයි. ප්‍රාදේශීය සභාවේ සේකයින්ටද පීසීආර් පරික්ෂණ සිදු කළ යුතු බවට තමා එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට යෝජනා කළ බවද ඔහු කීය. පසුවට  කැබිතිගොල්ලෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා  දුරකතනයෙන් තමාට බැනවැදුණු බවත් තමාට එල්ල කරන චෝදනා ප්‍රතික්ෂේෂ්ප කරන බවත්  සභාපතිවරයා තවදුරටත් කියා සිටියේය.


කැබිතිගොල්ලෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගේ හක්ක පන්නන බව පවසමින් තර්ජනය කළ බවට එල්ල කරන චෝදනාවද තමා ප්‍රතික්ෂේප කරන බව ඔහු ප්‍රකාශ කළේය. කැබිතිගොල්ලෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි  වෛද්‍ය චරින්ද ද සිල්වා මහතාගේ අධීක්ෂණය යටතේ කැබිතිගොල්ලෑව නගරයේ පීසීආර් පරික්ෂණ සිදුකර ඇත්තේ මහජන සෞඛ්‍ය  පරික්ෂකවරුන් වන නලීන් චන්ද්‍රවංශ සහ චන්දික අබේරත්න සහ සී.පී. ගාල්ලගේ යන මහත්වරුන් විසින්ය.


  -උපාලි ආනන්ද-

සෑම දිස්ත්‍රික්කයකම ඇඳන් 200කට වැඩි අතරමැදි සත්කාර මධ්‍යස්ථාන

සෑම දිස්ත්‍රික්කයක්ම ආවරණය වන පදි ඇඳන් ධාරිතාව 200කට වැඩි කෝවිඩ්-19 අතරමැදි සත්කාරක සේවා (Intermediate Care Centers) ස්ථාපිත කිරීමට ප්‍රාථමික සෞඛ්‍ය සේවා වසංගත රෝග සහ කෝවිඩ් රෝග පාලන කටයුතු රාජ්‍ය ඇමතිනී, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය තීරණය කර තිබේ. ඇය මෙම තීරණය ගෙන ඇත්තේ, කෝවිඩ්-19 ආසාදිත රෝගීන්ගේ වාර්තා වීම වැඩි වීමත් සමග රෝහල් පද්ධතියට ඇති විය හැකි බර අවම කිරීම සඳහාය.ඒ අනුව මේ සඳහා රජයේ සහ පෞද්ගලික ආයතනවල ගොඩනැගිලි ලබාගැනීම කෙරෙහි එම රාජ්‍ය අමාත්‍යාංශයේ අවධානය යොමුව ඇති අතර, මේ වනවිටද ආයතන කිහිපයක් විසින් තම ගොඩනැගිලි ලබාදීමටකැමැත්ත පළ කර ඇති බවද සඳහන් වේ. කෝවිඩ්-19 අවදානම් තෙවැනි මට්ටමට මුහුණදීම සඳහා වූ පූර්ව සැලසුමක් සකස් කරීම සඳහා වූ විශේෂ සාකච්ඡාවක් රාජ්‍ය ඇමතිනී, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ මහත්මිය විසින් සෞඛ්‍ය අමාත්‍යාංශයේදී ඊයේ (29දා) කැඳවා තිබූ අතර, ඒ සඳහා ක්‍ෂේත්‍රයේ විශේෂඥයන් රැස්කර තිබිණි.ඒ අනුව නව කෝවිඩ්-19 වෛරසය හේතුවෙන් රෝහල්ගත වන රෝගීන්ට ඔක්සිජන් අවශ්‍යතාව ක්‍රම ක්‍රමයෙන් ඉහළ යන බැවින් ඒ සඳහා අවශ්‍ය ඔක්සිජන් සංචිතය පවත්වා ගැනීමට කටයුතු කිරීමත්, අදාළ සැපයුම් ආයතන සමග සාකච්ඡා කොට හදිසි අවශ්‍යතාවකදී ලබාගත හැකි ඔක්සිජන් ප්‍රමාණයන් පිළිබඳවද තක්සේරුවක් සිදුකිරීමටත් මෙහිදී තීරණය වී ඇත.එසේම කෝවිඩ්-19 තත්වය වෙනුවෙන් වෙන් වූ රෝහල් සඳහා ජම්බෝ සිලින්ඩර් ලබාදීම සම්බන්ධයෙන්ද සාකච්ඡාවීමේදී වැඩි අවධානයක් යොමු කර තිබේ. මීට අමතරව ඉතා අසාධ්‍ය නොවන නමුත් විශේෂ අවධානයක් දියයුතු රෝගීන් සඳහා 'High Dependency Unit' (HDUS)ඇති කිරීමටත් ඒ සඳහා 'High Flow machines’ සවි කිරීමටත් තීරණය වී ඇත. ගම්පහ දිස්ත්‍රික්කය තුළ පී.සී.ආර්. පරීක්ෂා කිරිමේ ධාරිතාව වැඩි කිර්මටද මෙහිදී තීරණය වී ඇති අතර, ඒ සඳහා වතුපිටිවල රෝහලේ නව පී.සී.ආර්. යන්ත්‍රයක් සවි කිරීමට අවධානය යොමුව තිබේ.

 (නිදර්ශනී වික්‍රමසිංහ)

ලොරියක හැපී රෝහලේ දී මියිගිය කතට කොරෝනා




මොරටුව, එගොඩඋයන, පානදුර, අලුත්කටුකුරුන්ද ප්‍රදේශයේදී කහ ඉරෙන් පාර මාරුවමින් සිටි දෙදරු මවක කහ ඉර මත දී ලොරි රථයක හැපී හිසට සිදුවූ අනතුරන් ඊයේ (29 වැනිදා) අලුයම ජීවිතක්ෂයට පත්වූ බව මොරටුව එගොඩඋයන පොලිසිය පැවසීය. අනතුරෙන් තුවාල ලැබූ අදාළ කාන්තාව පානදුර මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව දැඩි සත්කාර  ඒකකයට යොමුකර ඇති අතර එහිදී වැඩිදුර ප්‍රතිකාර සඳහා කොළඹ ජාතික රෝහලට යැවීමට සැලසුම් කොට ඇත.  කොළඹ ජාතික රෝහලට යැවීමට පළමුව සිදුකළ පී.සී  ආර්. පරික්ෂදී ඇය කොරෝනා ආසාදිත රෝගියකු  ලෙස අනාවරණය වූ බව පොලිසිය පවසයි. 



පානදුර මූලික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දෙදරු මව ජීවිතක්ෂයට පත්වී ඇත. මෙම අනතුරෙන් මියගියේ කටුකුරුන්ද, මොරටුව ලිපිනයේ පදිංචිව සිටි (35) කාන්තාවක බව පොලිසිය කියයි.  ලොරි රථය වාද්දුව දෙස සිට මොරටුව දෙසට ගමන් කරමින් තිබියදී මෙම අනතුර සිදුව ඇති අතර මේ සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණ ලොරි රියැදුරු  මොරටුව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.  


 -රේඛා තරංගනී ෆොන්සේකා-


Thursday, April 29, 2021

හෙද හෙදියන් විසිපස්දෙනෙකුට කෝවිඩ්

හෙද හෙදියන් විසිපස්දෙනෙකුට ඊයේ (28)දා දිනය වනවිට කෝවිඩ්-19 ආසාදනය වී තිබෙන බවත්, මීට අමතරව හෙද හෙදියන් හා සෞඛ්‍ය කාර්යමණ්ඩල සාමාජිකයන් පිරිසක් නිරෝධායනයට ලක් කර සිටින බවත් සමස්ත ලංකා හෙද සංගමය සඳහන් කරයි. රෝගී සත්කාර සේවාවල නිරත වන හෙද හෙදියන්ට හා සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට කෝවිඩ්-19 ආරක්‍ෂ වීමට අවශ්‍ය ආරක්‍ෂිත ඇඳුම්, අත්මේස්, මුහුණු ආවරණ ප්‍රමාණවත් තරම් නොලැබෙන බවද එම සංගමයේ සභාපති හෙද නිලධාරී එස්.බී. මැදිවත්ත මහතා පැවසීය. මීට පෙර අවස්ථා දෙකේදී කෝවිඩ් 19 රෝගීන් වාර්තා වී ටික කාලයකට පසු හෙද කාර්යමණ්ඩල හා සෞඛ්‍ය කාර්යමණ්ඩල සාමාජිකයන් පිරිසකට කෝවිඩ්-19 ආසාදනය වූ බවත්, එහෙත් මෙවර රෝගීන් වාර්තා වීමත් සමග හෙද නිලධාරීන් ඇතුළු සෞඛ්‍ය කාර්යමණ්ඩල තුළින්ද කෝවිඩ්-19 රෝගීන් වාර්තා වූ බවත් ඒ මහතා පවසා සිටියේය. කොළඹ ඇතුළු ප්‍රධාන රෝහල් සැලකීමේදී හෙද හෙදියන්ට නිසි ලෙස නවාතැන් පහසුකම් ලබාදී නොමැති බවත්, මේ නිසා හෙද හෙදියන් කිහිපදෙනෙකුට කුඩා කාමර තුළ නවාතැන් ගෙන සිටින බවත් හෙතෙම සඳහන් කළේය.පවතින තත්වය තුළ විශාල පිරිසක් එක් ස්ථානයක රැඳී සිටීම තුළින් එම සියලුම දෙනාටම කෝවිඩ් 19 ආසාදනය වීමේ අවදානමක්ද තිබෙන බවද පවසා සිටියේය. වාර්ෂික ස්ථාන මාරු මේ දිනවල සිදුවෙමින් තිබෙන බවත් මේ අනුව කොළඹ ජාතික රෝහල තුළ සේවය කරන හෙද හෙදියන් දෙසිය පනහක් (250) ඊයේ ස්ථානමාරු ලබාගෙන යාමට නියමිතව සිටියත් පෙරේදා (27දා) දිනයේදී ක්ණිකව ස්ථානමාරු අවලංගු කල බවද කියා සිටියේ. මෙම ස්ථානමාරුවලට අදාළව හෙද හෙදියන් තුන්සිය අසූඑකක් (381) ජාතික රෝහලට පැමිණ සිටියේදී ස්ථානමාරු අවලංගු කළ බවත් මෙය දැඩි අසාධාරණ ක්‍රියාවක් බවද සඳහන් කළේය. මේ ආකාරයට බලධාරීන් හෙද හෙදියන් දිගින් දිගටම අපහසුතාවයන්ට පත්වන වැඩ කටයුතු සිදුකරන බවත් මෙම නිසා කඩිනමින් නවතා දැමීමට කටයුතු නොකළහොත් එයට එරෙහිව ඉදිරි දින කිහිපය තුළදී සෞඛ්‍ය අමාත්‍යාංශය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවද පවසා සිටියේය.

 (එච්.අයි. තුෂාර)

ඉන්දියානු ප්‍රභේදය තවත් රටවල් 17 ක

ඉන්දියාව තුළ මේ වනවිට ව්‍යාප්තව පවතින COVID-19 වෛරසයේ නව ප්‍රභේදය මේ වනවිට තවත් රටවල් 17කදී හමුවී ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි. මෙම නව ප්‍රභේදය B.1.617 ලෙස නම් කර තිබේ. ප්‍රථම වරට ඉන්දියාව තුළින් හමු වූ මෙම නව ප්‍රභේදය සතුව ඉතාමත් වේගවත් ව්‍යාප්තියක් සහ දරුණු ආසාදිත බවක් පැවතීම ඉන්දියාවේ තත්වය බරපතළ කිරීමටද හේතු වී තිබේ. මෙහිදී එම B.1.617 නව ප්‍රභේදය සතුවන තවත් එකිනෙකට සුළු වශයෙන්වෙනස් විකෘතිතා සහිත ලක්ෂණ පවතින බවත් ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙයි. ඒ අනුව මෙම නව ප්‍රභේදය වෛරසයේ මුල් අවස්ථාව හා සැසදීමේදී වඩාත් භයානක තත්වයෙන් ඉහළ බවත්, එය ඉක්මනින් ව්‍යාප්තවීම සහ මාරාන්තික බව වැඩිවීම ඊට හේතුව බව එම සංවිධානය පවසයි.

කමලා හැරිස් ජනාධිපති ධුරයට සුදුසු නෑලු

ඇමෙරිකා එක්සත් ජනපදයේ උපජනාධිපතිනිය වන ඉන්දියානු සම්භවයක් සහිත කමලා හැරිස් එරට ජනාධිපති ධුරය සඳහා සුදුසු තැනැත්තියක නොවන බව සිදුකළ අලුත්ම මත විමසුමක ප‍්‍රතිඵල අනුව සටහන්ව ඇතැයි වාර්තා වෙයි. මෙහිදී තෝරාගත් පුද්ගලයන් 1,000කගේ අදහස් විමසීමෙන් මෙම මත විමසුම සිදුකර තිබේ.විශේෂයෙන්ම වත්මන් ජනපති ජෝ බයිඩන් සිය සම්පූර්ණ ධුර කාලය ධවල මන්දිරයේ රැඳී නොසිටිනු ඇති බවත්, ඔහු සිය ධුරයේ කටයුතු ඉක්මනින්ම උප ජනපතිනිය වෙත භාරදෙනු ඇති බවටත් මතයක් එක්සත් ජනපද ජනතාව අතර පැවතීම මෙවැනි ජනමත විමසුමකට හේතුව වී තිබේ. එරට පර්යේෂණ ආයතනයක් වන Rasmussen Reports මගින් මගින්මෙම මත විමසුම පවත්වා ඇත.මෙම ඡන්දවිමසීමේදී කමලා හැසන් කෙසේවත් සුදුසු නැතිද? නැත්නම් එතරම් සුදුසු නැතිද? යන්න විමසා තිබේ. ඒ අනුව ඉන් හරි අඩකට ආසන්න ප්‍රමාණයක් එනම් රිපබ්ලිකන් හෝ ඩිමොක්‍රැටික් පක්ෂ දෙකෙන් තොර ස්වාධීන මතධාරී පිරිසගෙන් 60%ක්ම කමලා හැරීසි ජනපති ධුරය සඳහා සුදුසුකම් රහිත තැනැත්තියක බව ප්‍රකාශ කර ඇතැයි එහි සඳහන් වෙයි. මෙහිදී ප්‍රකාශ කර ඇති සමස්ත ඡන්ද අතරින් 41%ක ප්‍රතිශතයක් හැරිස් ජනපති ධුරය සඳහා "කෙසේවත් සුදුසු නැති" අයෙකු ලෙස නම් කර ඇත. එසේම 97%ක් ඇය "එතරම් සුදුසු නැති" බව පවසා තිබේ. එසේම රිපබ්ලිකන්වරුන්ගෙන් 74%ක්ම ඇය ජනපති ධුරයට සුදුසු නැති බව සඳහන් කර ඇත. කෙසේ වෙතත් වත්මන් පාලක ඩිමොක්‍රැටික් පක්ෂයේ සාමාජීකයන්ගෙන් ඇය ජනපති ධුරය සදහා සුදුසු නැති බව පවසා ඇත්තේ 18%ක් පමණකි.


පල්ලෙවෙල නිවසකින් සීසී 1000 ඉක්ම වූ යතුරුපැදි දෙකක් සොයාගනී

පල්ලෙවෙල ප්‍රදේශයේ නිවසක සගවා තිබූ අධිබලැති ධාරිතාවකින් යුතු රුපියල් ලක්ෂ 90ක් පමණ වටිනා යතුරුපැදි දෙකක් ගම්පහ දිස්ත්‍රික් අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගෙන ඊයේ (28දා) පස්වරුවේ පල්ලෙවෙල පොලිසියට භාරදී තිබේ. මෙසේ පොලිස් භාරයට ගෙන ඇත්තේ එන්ජින් ධාරිතාව සීසී 1000 ඉක්ම වන ඉතාලියේ හා ජර්මනියේ නිෂ්පාදිත යතුරුපැදි දෙකකි.මෙම යතුරුපැදි කුමන ආකාරයෙත් මෙරටට ගෙ‍න ආවා ද කුමක් සඳහා භාවිතා කළාද එමෙන්ම යතුරුපැදි ආනයනයේදී තීරුබදු ගෙවා ඇත්දැයි හෙළි කරගැනීමට පරීක්ෂණ පැවැත්වේ. යතුරුපැදි ධාවන තරග සදහා භාවිතා කිරිමට ගෙන එන ලද ඒවා බව යතුරුපැදිවල අයිතිකරු ප්‍රකාශ කර ඇතැයි පොලීසිය සඳහන් කරයි. ඉදිරි විමර්ශනවලදී හෙළි වන තොරතුරු මත අධිකරණ ක්‍රියාමාර්ග ගන්නා බව පොලීසිය සඳහන් කරයි.

(මීරිගම - කාන්ති)

සේප්පු කම්හලේ 5කට කොරෝනා

දිවයිනේ සේප්පු නිෂ්පාදනය කරන සමාගමකට අයත් මත්තේගොඩ පිහිටි කර්මාන්ත ශාලාවේ සේවකයන් පස් දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි කහතුඩුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. මේ හේතුවෙන් ආසාදිතයන්ගේ සමීපතම දසදෙනකු නිරෝධායනයට ලක් කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පැවසුහ. දිවයින්නේ විවිධ සමාගම්වල ඉදි කිරීම් සඳහා මෙම සමාගමට ඇණවුම් ලැබෙන අතර එසේ ලැබෙන ඇණවුම් වලට අනුව ඉදිකිරීම් සඳහා පහළොස් දෙනකුගෙන් පමණ යුත් කණ්ඩායමක් මෙම සමාගමෙන් යොදවා ඇති අතර එම කණ්ඩායමේ සේවකයන් පස්දෙනකුට මෙසේ රෝගය ආසාදනය වී ඇති බව කියති. එසේ බැහැරට ගිය එක් සේවකයකුට පළමුව රෝගය ආසාදනය වී තිබූ අතර පසුව ඔහුගේ ආශ්‍රිතයන් ඉලක්ක කරගනිමින් සිදු කළ පී.සී.ආර්. පරික්ෂණයේදී තවත් සිවුදෙනකුට මෙසේ රෝගය ආසාදනය වී ඇති බවට වාර්තා ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. දැනට මෙම කර්මාන්ත ශාලාවේ තුන්සියයකට ආසන්න සේවකයන් පිරිසක් සේවයේ නිරත වන අතර ආසාදිතයින්ගේ ආශ්‍රිතයන් සොයා කඩිනමින් නිරෝධායන කටයුතු සිදුකිරීමට නියමිත බව සෞඛ්‍යා වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි.

 (මත්තේගොඩ - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න)

රන්ජන්ට සමාව දීමට ජනාධිපති සූදානම්

අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවට වැදිකරුවකු වී සිව් අවුරුදු සිර දඬුවමට ලක්ව සිටින හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතාට සමාව දීම සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එකගතාව පළකර ඇතැයි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා ඊයේ (28) අගුණකොලපෑලැසේ දී පැවසීය. අගුණකොළපෑලැස්ස බන්ධනාගාරයේ සිටින රන්ජන් රාමනායක මහතාගේ සුව දුක් බැලීම සඳහා පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා මාධ්‍ය හමුවක දී එසේ ප්‍රකාශ ක ළේය. මෙම තිස්ස අත්තනායක මහතා මෙසේ ද කීවේය. රන්ජන් රාමනායක හිටපු මන්ත්‍රීතුමා මාස 04 ක පමණ සිර දඩුවම් විඳ තිබෙනවා. එතුමා සිර ගතව සිටින්නේ අපරාධකාරයකු විධියට නොවෙයි. අධිකරණයට අපහාස කිරිමේ චෝදනාව යටතේ අධිකරණයට අපහාස කිරීම හේතුකොටගෙනයි. රන්ජන් රාමනායක මහතාට ජනාධිපති සමාව දීමට පක්ෂ විපක්ෂ හැමෝම අකමැති වෙන එකක් නැහැ. එතුමාත් හැකි ඉක්මනින් බන්ධනාගාරයෙන් නිදහස්ව එනතුරු බලා සිටිනවා. විපක්ෂ නායක පවා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් රංජන් රාමනායක හිටපු මන්ත්‍රීවරයාට සමාව දෙන ලෙසට ඊට ජනාධිපති එකඟ වී අදාළ ලියකියවිලි සකස්කර ඉල්ලා සිටියා. අපේ බලාපොරොත්තුව නුදුරු දිනයක දීම රංජන් රාමනායක මහතාට බන්ධනාගාරයෙන් නිදහස්ව එන්නට හැකි වේවි යන්නයි.එමෙන්ම රට තුළ සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙමින් යන කෝවිඩ් වසංගතය මර්දනය කිරීම සඳහා දියත් කර ඇති ආණ්ඩුවේ වැඩපිළිවෙල පිළිබඳව ගැටලු තිබෙනවා. ආණ්ඩුව කොහොම කිව්වත් වසංගතය අද වෙන විට සමාජ ගත වී හමාරයි. ආණ්ඩුවේ කෝවිඩ් එන්නත් වැඩ පිළිවෙළ පිළිබඳව සතුටු වෙන්න බැහැ. ඒ පිළිබඳව ගැටලු තිබෙනවා.  එමෙන්ම ආණ්ඩුවට විරුද්ධව අදහස් ප්‍රකාශ කරන අය මර්දනය කිරීමේ ක්‍රියාවලිය ද ආණ්ඩුව යෙදෙමින් ඉන්නවා. එහි එක් ප්‍රතිඵලයක් විධියට හරින් ප්‍රනාන්දු මන්ත්‍රීවරයා අත් අඩංගුවට ගන්න ආණ්ඩුවේ සූදානමක් තිබෙනවා. නීතිය කාටත් එක ලෙස ක්‍රියාත්මක විය යුතුයි. කම්කරු දිනයේ විරුද්ධ පක්ෂයේ නැගිටීම පාලනය කිරීම සඳහා කොවිඩ් අණ පනත් යොදා ගන්නා බවට සමහර මාධ්‍ය වාර්තා කරනවා. කොහොම නමුත් සමගි ජනබලවේගය මැයි දින සැමරුම රටේ තත්වය යහපත් වූ විටෙක පැවැත්වීමට කටයුතු කරනවා.

(රන්න චන්ද්‍රස්න ගමගේ)


තරුණියකට අතවර කිරීමට උත්සාහ කළේ යැයි කියන ක්‍රිකට් ක්‍රීඩකයාට පරිපාලන කමිටුවෙන් අවවාද

මාතර, වැලිගම ප්‍රදේශයේ පැවැති සාදයකදී තරුණියකට අතවර කිරීමට උත්සාහ කළේ යැයි කියන සිද්ධියට සම්බන්ධ ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයාට ශ්‍රී ලංකා පරිපාලන කමිටුව අවවාද කර තිබේ. මෙම මෙම සිද්ධිය සම්බන්ධයෙන් කළ පරික්ෂණයේදී අදාළ ක්‍රීඩකයා වැරැදිකරු වී ඇති බවත් ඔහුට නැවත එවැනි සිද්ධියකට සම්බන්ධ නොවන ලෙස අවවාද කළ බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් පවසයි. අදාළ ක්‍රීඩකයා වසරක කාලයක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නම් කරන වෛද්‍යවරයකු යටතේ මනෝ උපදේශන සේවා සඳහා යොමු කිරීමට තීරණය කළ බව ක්‍රිකට් ආයතනය පවසයි. නීතීඥවරයකුගේ ප්‍රධානත්වයෙන් යුත් ත්‍රිපුද්ගල කමිටුවක් විසින් මේ සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන ලදී.

 (යොහාන් භාසුර )

දියණිය හිඟමනේ යැව්වයි මව්පිය දෙදෙනා රිමාන්ඩ්

වයස අවුරුදු හතර හමාරක දැරියක් යාචක වෘත්තියේ යෙදවීමට දුන්නේයැයි කියන සිද්ධියේ සැකකාර මව්පිය යුවළක් හා එම දැරිය යාචක වෘත්තියේ යෙදවීමට රැගෙන ගිය බව කියන කාන්තාව ලබන 12 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට අත්තනගල්ල අංක 02 මහේස්ත්‍රාත් තරංගා රාජපක්ෂ මහත්මිය ඊයේ 28 වැනිදා පස්වරුවේ නියෝග කළාය. බාදුරාගොඩ ගස්පේ පදිංචි විත්තිකාරින්ගේ මධුමාධ අරවින්ද හා වර්ණකුලසූරිය සඳමාලි ගංගානි යන තරුණ අඹු සැමි යුවළක් හා දෙල්වල කිතලවලාන පදිංචි හේවා ගමගේ රුවන්ති මධුෂානි යන තිදෙනෙක් එසේ රිමාන්ඩ් කරනු ලැබූහ. වයස අවුරුදු හතර හමාරක දැරියක යාචක වෘත්තියේ යෙදවීමේ සිද්ධියක් සම්බන්ධව පල්ලෙවෙල පොලිසිය පරික්ෂණ පවත්වා සැකකාරියන් දෙදෙනා හා සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණ.එම නඩුව ඊයේ 28 වැනිදා පස්වරුවේ කැඳවූ අවස්ථාවේ පල්ලෙවෙල පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල් මහින්ද කුමාර (67675) මහතා කරුණු දක්වමින් ලද තොරතුරකට අනුව රුවන්ති මධුෂානි නමැත්තිය සැකකාර අඹු සැමි යුවළගේ වයස අවුරුදු හතර හමාරක දැරියක රැගෙන කොළඹ කොටුව ප්‍රදේශයේ හිඟමන් ඉල්ලමින් සිටියදී අත්අඩංගුවට ගත් බව කියා සිටියේය. සැකකාර කාන්තාව අඹු සැමි යුවළගෙන් දිනපතා උදෑසන දැරිය ඉල්ලා ගෙන ගොස් හිඟමන් ලබාගැනීමෙන් පසුව සවස කිසියම් මුදලක් ද සමග ආපසු ගෙනවිත් බාරදෙන බව මූලික පරික්ෂණවලදී හෙළි වී ඇති පොලිස් කොස්තාපල්වරයා කීය.මෙහිදී දැරිය රන්මුතුගල ළමා නිවාසයේ රඳවා තැබීමට නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකාර මව්පිය යුවළ හා අනෙක් සැකකාරිය එසේ රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියෝග කළාය. නැවත කැඳවීම මැයි 12 වැනිදාට කල් තැබිණ. පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රියන්ත රත්නායක මහතාගේ උපදෙස් පරිදි එහි උප පොලිස් පරික්ෂිකා අනුෂා කුමාරි මහත්මිය හා එහි නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල් මඟින්ද කුමාර (67675) යන නිලධාරිහු පැමිණිල්ල මෙහෙයවූහ.

 (වාරණ-ආනන්ද ඉ. ජයකොඩි)

ලක්ෂ 25ක කොකේන් කුරීය ආයතනයකින් අල්ලයි

රුපියල් ලක්ෂ 25ක පමණ වටිනාකමකින් යුත් කොකේන් මත්ද්‍රව්‍ය ග්‍රෑම95 ක් සීදුව ප්‍රදේශයේ විදේශ භාණ්ඩ ප්‍රවාහනය කරන ආයතනයක තිබියදී ශ්‍රී ලංකා රේගු මත්ද්‍රව්‍ය පාලන අංශය විසින් පෙරේදා (27) අත්අඩංගුවට ගනු ලැබීය. ජමෙයිකාවේ සිට නාරාහේන්පිට පදිංචි පුද්ගලයකුගේ නමට එවා තිබූ පාසලයක් පරික්ෂා කිරීමේදී මෙම කොකේන් සොයාගත් බවත්, අදාළ පුද්ගලයා 44 හැවිරිදි සංචාරක මාර්ගෝපදේශකයකු බවත් රේගු මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ (නීති කටයුතු) සුදත්ත සිල්වා මහතා පැවැසීය. පාර්සලය පිළිබඳව ඇති වූ සැකයක් මත අදාළ පුද්ගලයා ගෙන්වා ඔහු ඉදිරියේ පාර්සලය විවෘත කළ බවත් කොකේන් තොගය කාඩ්බෝඩ් පෙට්ටියක සූක්ෂම ලෙස සඟවා තිබූ බවත් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය. සැකකරු සහ මත්ද්‍රව්‍ය තොගය වැඩිදුර විමර්ශන කටයුතු සඳහා ශ්‍රී ලංකා පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයට බාරදීමට නියමිත බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

(යොහාන් භාසුර)

නව වයිරසය අවුරුදු 30ත් 40ත් අතර වයස්වල අයට බෝවෙනවා වැඩි

මේ දිනවල රටේ ව්‍යාප්තව ඇති නව කොරෝනා වයිරසය ආසාදනය වූ රෝගීන්ට ඔක්සිජන් වැඩියෙන් අවශ්‍ය වන තත්වයක් පෙනෙන්නට තිබෙන බව අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ අධ්‍යක්ෂ වෛද්‍ය හසිත අත්තනායක මහතා පැවැසීය.නව වයිරසයට අවුරුදු 30ත් 40ත් අතර වයස් කාණ්ඩවල පුද්ගලයන් ගොදුරු වීමේ වැඩි ප්‍රවණතාවක් දක්නට ලැබෙන බවත්, අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ ද කොවිඩ් ආසාදනය වූ තරුණ පිරිසක් ප්‍රතිකාර ලබන බවත් ඔහු ප්‍රකාශ කළේය.තමා මෙවැනි අවදානමක් කල් තියා දුටු හෙයින් ඔක්සිජන් සැලකිය යුතු ප්‍රමාණයක් ගබඩා කළ හැකි ටැංකියක් කොරෝනා මුල් රැල්ල අවස්ථාවේදී රෝහලේ ස්ථාපනය කළ බව කී අත්තනායක මහතා එය මේ වනවිට බොහෝ ප්‍රයෝජනවත් වී ඇති බව ද පැවැසීය. එම ඔක්සිජන් ටැංකි රෝහලේ අනෙකුත් අංශවලට ද ව්‍යාප්ත කිරීමට සැලසුම් කර ඇතැයි අධ්‍යක්ෂවරයා කීය. අංගොඩ බෝවන රෝග විද්‍යායතනයේ රෝගීන් එකසිය හතළිපස්දෙනකු ප්‍රතිකාර ලබන බවත්, ඉන් අටදෙනකු දැඩිසත්කාර ඒකකයේ පසුවන බවත් ඔහු පැවැසුවේය.රෝහලට ඇතුළත් කෙරෙන රෝගීන්ගේ සංඛ්‍යාවේ සියයට 40ක පමණ වැඩිවීමක් මේ දිනවල දක්නට ලැබෙන බව එම රෝහල් ප්‍රධානීහු පවසති. අංගොඩ බෝවන රෝග විද්‍යායතනයට රෝගීන් බාර ගැනීම නවතා ඇති බවට පැතිර යන කතා අසත්‍ය බවත්, රෝගීන් බාර ගැනීම දිගටම කරන බවත් එම ප්‍රධානීහු සඳහන් කරති.රෝගීන්ට ප්‍රතිකාර සඳහා අවශ්‍ය සියලු පහසුකම් රෝහලේ ඇතැයි ද ඔවුහු පෙන්වා දෙති.

 (සුජීත් හේවාජුලිගේ)

එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් අයට ආසාදනය වුවද බරපතළ වන්නේ නෑ

කොරෝනා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට එම වයිරසය ආසාදනය වුවද රෝගී තත්වය උත්සන්නම හෝ සංකූලතා ඇතිවීම හෝ සිදුවන්නේ අවම මට්ටමකින්නැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍යවරයෙක් පැවසීය.ඇට්‍රාසෙනිකා එන්නතේ පළමු මාත්‍රාව ලබාගත් පුද්ගලයන්ට වයිරස වැළඳීමේ සම්භාවිතාව අවම මට්ටමක පවතින බව ද කොවිඩ් නව ප්‍රභේදයට ද ඔවුන් හොඳින් ඔරොත්තු දෙන බව ද එම වෛද්‍යවරයා කීය. කොරෝනා මර්දන එන්නත් සියල්ලම කොරෝනා ප්‍රභේදයන්ට ඉතා හොඳින් ප්‍රතිචාර දක්වන බව ද ඔහු පැවසීය. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මෑතකදී සිදුකළ අධ්‍යයනයකට අනුව එන්නත් ලබාගත් පුද්ගලයන්ට වැඩි ප්‍රතිශක්තියක් ලැබෙන බව තහවුරු වී ඇතැයි ද ඔහු කීය.එම නිසා කොරෝනා මර්දනයට ඇති එකම මාර්ගය එන්නත් ලබාගැනීම බව ද සියලු දෙනාම එන්නත් ලබාගැනීම අතිශය වැදගත් බව ද එම වෛද්‍යවරයා සඳහන් කළේය. නව ප්‍රභේදය සුළඟින් බෝවන බවක් ප්‍රකාශ වන හෙයින් සෑම පුද්ගලයකුම මුඛ ආවරණ දෙකක්වත් පැළඳීම අවශ්‍ය බව ද ඔහු කීය. විවෘත ස්ථානවලට වඩා ආවරණය වූ ප්‍රදේශවල එනම් නිවාස තුළ, කාර්යාල තුළ කොරෝනා වයිරසය පැතිරයාමේ අවදානම වැඩි බව ද වෛද්‍යවරයා පැවසීය.ගොඩනැගිලි හා කාර්යාල තුළ විනාඩි 30කට වඩා රැඳී නොසිටිය යුතු බව කී එම වෛද්‍යවරයා කාර්යාල හා ගොඩනැගිලි නිසි පරිදි සකස් කරගත යුතු බව ද පැවසීය. කාර්යාල හා ගොඩනැගිලිවල වායුසමීකරණ යන්ත්‍ර ක්‍රියාවිරහිත කර වාතාශ්‍රය ලැබෙන අයුරින් සකස් කරගැනීම වැදගත් බව ද ඔහු කීය. මේ වනවිට ඉදිරි පෙළ සෞඛ්‍ය සේවකයන් ඇතුළු මෙරට වැසියන් ලක්‍ෂ 9කට අධික පිරිසකට කොවිඩ් මර්දන එන්නත් ලබාදී තිබේ.

 ( ජැමිලා හුසේන් - ඩේලි මිරර්)

රට පුරා කොරෝනා අලුත්ම වාර්තාව

*අළුගොල්ල හුදෙකලා කරයි.

(මාතලේ නාඋල - ඉන්දික අරුණ කුමාර)

මාතලේ - නාඋල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් අළුගොල්ල ග්‍රාම නිලධාරි වසම ඊයේ (28) උදෑසන සිටම හුදෙකලා කර ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය කියයි. පවුල් 217කට අයත් පුද්ගලයන් 643 දෙනකු වාසය කරන අළුගොල්ල ග්‍රාම නිලධාරි වසම තූළ ගොවිතැන ප්‍රධාන ජීවනෝපාය කරගත් විශාල පිරිසක් ජීවත් වෙති.මෙම ප්‍රදේශයෙන් පසුගිය දින කිහිපයේ කොරෝනා වයිරසය ආසාදිත වූ 16 දෙනකු හමු වූ බව නාඋල මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය කියා සිටියේය.නාඋල මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලයේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී නිරෝෂනී සෙනවිරත්න මහත්මිය කියා සිටියේ හුදෙකලා කළ අළුගොල්ල ග්‍රාම නිලධාරි වසමේ ජීවත් වන ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂව වෙනුවෙන් අවශ්‍ය කටයුතු සලසා ඇති බවයි. 

*මධ්‍යම පළාත් කොරෝනා මධ්‍යස්ථාන පිරිලා

(මහනුවර - ෂේන් සෙනෙවිරත්න) 

මධ්‍යම පළාතේ කොරෝනා ප්‍රතිකාර මධ්‍යස්ථාන සියල්ලම මේ වනවිට උපරිම ධාරිතාවට ළගා වී තිබෙන බවත් ඒ හේතුවෙන් අලුතෙන් ප්‍රතිකාර මධ්‍යස්ථාන කීපයක් ස්ථාපිත කිරීමේ අවශ්‍යතාව පැන නැගී තිබෙන බව මධ්‍යම පළාත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නිහාල් වීරසූරිය මහතා

පැවැසීය.මධ්‍යම පළාත් ආණ්ඩුකාර කාර්යාල ශ්‍රවණාගාරයේ දී ඉකුත්ද (24) පැවැති මාධ්‍ය හමුවක දී අධ්‍යක්ෂවරයා මේ බව පැවසීය.එහිදී ඒ මහතා වැඩිදුරටත් පවසා සිටියේ මහනුවර දිස්ත්‍රික්කයේ පාසල් සිසුන් 21දෙනකු කොවිඩ් වයිරසයට ගොදුරු වී සිටින බවත් ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් 500ක පමණ සිසු පිරිසක් නිවෙස්වල ස්වයං නිරෝධායනයට යොමුකර තිබෙන බවත්ය.දැනට පවතින තත්වය තුළ මධ්‍යම පළාතෙන් හමුවන කොවිඩ් ආසාදිත පිරිමි පුද්ගලයන් වෙනත් පළාත්වල ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කිරීමට සිදුව තිබෙන බව ද ඒ මහතා ප්‍රකාශ කළේය. මාතලේ අඹන රෝහල සහ මස්කෙළිය ප්‍රාදේශීය රෝහල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයක් බවට පත් කිරීමට තීන්දු කර තිබෙන බව ද අධ්‍යක්ෂවරයා පැවැසුවේය.

*සේවකයකුට කොරෝනා පළාත් සභා කාර්යාල සංකීර්ණයේ ආපන ශාලාවේ වසයි

(ජේ.ඒ.එල්. ජයසිංහ)

පල්ලේකැලේ ගම්උදා භූමියේ පිහිටි මධ්‍යම පළාත් සභා කාර්යාල සංකීර්ණයේ ආපනශාලාවක සේවකයකුට කොරෝනා ආසාදිත වීමත් සමග සෞඛ්‍ය අංශ නිලධාරින්ගේ අධීක්ෂණය මත එම ආපනශාලාව තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බව පළාත් ජ්‍යෙෂ්ඨ විධායක පරිපාලන

නිලධාරියෙක් පැවැසීය.එම ආසාදිතයා හමුවීමත් සමග පළාත් සභා කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් දෙදෙනකුට ද කොවිඩ් ආසාදිත වී තිබෙන අතර ඔවුන් සෞඛ්‍ය අංශ උපදෙස් මත කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථාන වෙත යොමුකර ඇත.

*උඩුගම 57 කට පී.සී.ආර්

(නාගොඩ හේමපාල ලියනගේ)

උඩුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ පී.සී.ආර්. පරික්ෂණ සිදු කිරීම ඊයේ (28) තල්ගස්වල රණවිරුගම ග්‍රාමෝදය සෞඛ්‍ය මධ්‍යස්ථානයේ දී සිදු කෙරිණි.එහිදී කොරෝනා වයිරස ආසාදිත පුද්ගලයන්ගේ ආශ්‍රිතයන් 57 දෙනකු සඳහා පී.සී.ආර්. පරික්ෂණ සිදු කෙරිණි. උඩුගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය එන්.පී. වෙදගේ සමග මහජන සෞඛ්‍ය පරික්ෂක එම්.ඒ. ඩයස්, මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් වන යූ.කේ. ජයන්ත, මහේෂ් උදයංග එච්.එල්. නන්දන කුමාර, ජනිත ලියනආරච්චි යන මහත්වරුද සහභාගී වූහ.

*දොම්පේ රෝහලේ කොරෝනා වාට්ටු 2 පිරිලා

(කිරිදිවැල උපාලි රණවීර) 

දොම්පේ දිස්ත්‍රික් රෝහලේ ස්ථාපිත කොට ඇති කොරෝනා රෝගීන් සඳහා ප්‍රතිකාර වාට්ටු දෙක මේ වන විට රෝගීන්ගෙන් පිරී ගොස් ඇති බව එම රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි.එම රෝහලේ ස්ථාපිත කොට ඇති වාට්ටු දෙකෙහි රෝගීන් හතළිස් දෙකකට ප්‍රමාණවත් පහසුකම් ඇති බව පවසන එම රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරීනි වෛද්‍ය කුමාරි ගුණරත්න මහත්මිය සිංහල අලුත් අවුරුද්දට පෙර රෝහලේ ප්‍රතිකාර ලැබුවේ නම දෙනකු පමණක් බව ද බවද පැවසීය.දොම්පේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය කුමාරි විජේසූරිය මහත්මිය පැවසුවේ දොම්පේ කොට්ඨාස සතිපොළවල් මූලික කොටගෙන රෝගය ව්‍යාප්ත වීමේ තත්වයක් උද්ගත වී ඇති බවය. ඉකුත් දා සිදුකළ හදිසි පරික්ෂණ හා පී.සී.ආර්. පරික්ෂණ 175කට අනුව වෙළඳුන් විසි එක් දෙනෙකු හඳුනාගැනීමට හැකි වූ බවය.

*කැලණි සරසවියේ සිසුන් 5 කට කොරෝනා: ආශ්‍රිත 93 කට අද පී.සී.ආර්.

( රංජන් කස්තුරි)

කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පස්දෙනකුට කොරෝනා ආසාදනය වී ඇතැයි එම විශ්වවිද්‍යාල ආරංචි මාර්ග සඳහන් කරයි.විභාගවලට පෙනී සිටීම සඳහා විශ්වවිද්‍යාලයට පැමිණ සිටි විද්‍යාපීඨයේ ශිෂ්‍යාවන් 4 දෙනකුට සහ ශිෂ්‍යයකුට එලෙස කොරෝනා ආසාදනය වී ඇතැයි එම ආරංචි මාර්ග කියයි.එම සිසුන් පස්දෙනා නිරෝධායන මධ්‍යස්ථානවලට යොමුකර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් වූ සිසුන් 93කට අද (29) පී.සී.ආර්. පරික්ෂණ සිදුකරන බව ද විශ්වවිද්‍යාල ආරංචි මාර්ගවලින් පැවසේ.

*වැල්ලම්පිටියේ පෞද්ගලික බැංකුවක් වසයි සේවකයකුට කොරෝනා 13 ක් නිරෝධායනයට 

(ඉන්දිකා රාමනායක)

කොරෝනා ආසාදිත සේවකයකු වාර්තා වීමත් සමගම වැල්ලම්පිටිය නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක් ඊයේ (28) සිට වසා දැමූ බව සෞඛ්‍ය අංශ කියයි.එම ආසාදිතයන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන් වශයෙන් හඳුනාගත් බැංකුවේ 13 දෙනකු නිරෝධායනය සඳහා යොමු කළ බව ද සෞඛ්‍ය අංශ සඳහන් කරයි.මෙම පිරිස අතර සේවකයන් 09 දෙනකු, ආරක්ෂක අංශයේ දෙදෙනකු හා සනීපාරක්ෂක අංශයේ දෙදෙනකු සිටින බව ද සෞඛ්‍ය අංශ පවසයි. කොරෝනා රෝග ලක්ෂණ පහළවීමත් සමගම එහි සේකයකුට පී.සී.ආර්. පරීක්ෂණය සිදුකර ඇති අතර එම වාර්තාව අනුව ඔහු ආසාදිතයකු වශයෙන් ඊයේ හඳුනාගෙන ඇත.ඒ අනුව ඔහුගේ පළමු ආශ්‍රිතයන් පිරිස මෙලෙස නිරෝධායනයට යොමුකර බැංකුව වසා දැමීමට පියවර ගෙන තිබිණි. බැංකුව සම්පුර්ණයෙන්ම විෂබීජහරණය කිරීමෙන් අනතුරුව ඉදිරි දිනවල වෙනත් කාර්ය මණ්ඩලයක් යොදවා බැංකුවේ කටයුතු ආරම්භ කිරීමට නියමිත බව ද සෞඛ්‍ය අංශ පවසයි.

*ගම්පහ රෙජිස්ටාර් කාර්යාලය වසයි

(ගම්පහ තිලකරත්න දිසානායක)

ගම්පහ ප්‍රාදේශීය ලේකම් කාර්යාල පරිශ්‍රයෙහි පිහිටි උප්පැන්න හා විවාහ රෙජිට්‍රාර් කාර්යාලයෙහි සේවිකාවක කොවිඩ් ආසාදිත බවට තහවුරු වීම මත නැවත දැනුම් දෙන තුරු එම කාර්යාලය වසා තැබෙන බව දිසාපති සුනිල් ජයලාල් මහතා පැවසීය.ජනතාවගේ උප්පැන්න හා විවාහ රෙජිස්ට්‍රාර් අවශ්‍යතා සඳහා විද්‍යුත් පහසුකම් සහිත වෙනත් ප්‍රාදේශීය කාර්යාලයකින් ලබා ගත හැකි බව දිසාපතිවරයා කීය. 

*මහජන බැංකු ශාඛා 17 ක්  ඉතිරිකිරීමේ බැංකු ශාඛා 7ක් වැසෙයි

(තිළිණි ද සිල්වා)

කොවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් මහජන බැංකු ශාඛා 17ක් සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ශාඛා 7ක් ද ඊයේ (28) දිනයේ වසා තිබිණි.මෙම හදිසි වසා දැමීම පිළිබඳව මෙම බැංකු ඔවුන්ගේ නිල ෆේස්බුක් ගිණුම් ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ගනුදෙනුකරුවන්ට ඊයේ දැන්වීය.බදුල්ල දිස්ත්‍රික්කයේ කැප්පෙටිප්පොළ, කොළඹදිස්ත්‍රික්කයේ කටුබැද්ද සහ සොයිසාපුර, ගම්පහ දිස්ත්‍රික්කයේ කොටදෙණියාව, හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඩාවැල්ල, හම්බන්තොට සහ සයුරුපාය, මහනුවර දිස්ත්‍රික්කයේ පිළිමතලාව, කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල, මාකඳුර, කොබෙයිගනේ, කටුපොත,බොරලුවැව සහ පන්නල, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ශාඛා 17ක් සහ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ශාඛා 7ක් ද ඊයේ (28) දිනයේ වසා තිබිණි.මෙම හදිසි වසා දැමීම පිළිබඳව මෙම බැංකු ඔවුන්ගේ නිල ෆේස්බුක් ගිණුම් ඔස්සේ නිවේදනයක් නිකුත් කරමින් ගනුදෙනුකරුවන්ට ඊයේ දැන්වීය.බදුල්ල දිස්ත්‍රික්කයේ කැප්පෙටිපොළ, කොළඹ දිස්ත්‍රික්කයේ කටුබැද්ද සහ සොයිසාපුර, ගම්පහ දිස්ත්‍රික්කයේ කොටදෙණියාව, හම්බන්තොට දිස්ත්‍රික්කයේ කුඩාවැල්ල, පිළිමතලාව, කෑගල්ල දිස්ත්‍රික්කයේ රඹුක්කන, කුරුණෑගල දිස්ත්‍රික්කයේ නාරම්මල, මාකඳුර, කොබෙයිගනේ, කටුපොත,බොරලුවැව සහ පන්නල, ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ කන්තලේ සහ මොල්ලිපොතාන යන මහජන බැංකු ශාඛා මෙලෙස වසා ඇත. ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ පිටකොටුව, දෙහිවල, තලවතුගොඩ, බොරැල්ල, වැල්ලවාය, කුලියාපිටිය සහ දංකොටුව යන ශාඛාවන් ද කොවිඩ්-19 වසංගත තත්වය හමුවේ ඊයේ වසා තිබිණි. 

*කොටිකාවත්ත- මුල්ලේරියාව තෙදිනට කොරෝනා රෝගීහු 77 ක්

(නිමන්ති රණසිංහ)

කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල සීමාවේ දින තුනක් තුළ කොරෝනා ආසාදිතයන් 77 දෙනකු වාර්තා වූ බව පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක නලින් ෆොන්සේකා මහතා ඊයේ (28) පැවසීය.මෙම ආසාදිතයන් වැඩි වශයෙන් හමුවීමත් සමග අංගොඩ කර්මාන්තපුරයේ ප්‍රධාන පෙළේ කර්මාන්ත ශාලා දෙකක් ද තාවකාලිකව වසා දැමූ බව ඔහු සඳහන් කළේය.ඒ අනුව රෝගය ආසාදිත අයගේ පවුල්වල සාමාජිකයන් | 200කට වැඩි පිරිසක් නිවෙස්වල නිරෝධායනයට යොමු කළ බව ද හෙතෙම පැවසීය. කොටිකාවත්ත මුල්ලේරියාව ප්‍රාදේශීය සභා බල ප්‍රදේශයේ 200 දෙනකුට පී.සී.ආර්. පරික්ෂණ සිදුකළ බවත් ඊයේ (28) සවස ලැබුණු එම ප්‍රතිඵල වාර්තතා අනුව 77 දෙනකු ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති බවත් ඔහු කීය. මෙලෙස හඳුනාගත් රෝගීන්ගෙන් බරපතළ තත්වයේ පසුවන අය රෝහල් වෙතත් අනෙක් අයව නිරෝධායන මධ්‍යස්ථාන වෙතත් යොමු කළ බව ද පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ශකවරයා පැවසීය.

*රජයේ මුද්‍රණාලයේ අංශ ප්‍රධානියකු ඇතුළු සිවු දෙනකුට කොරෝනා පොත් මුද්‍රණ නිමැවුම් අංශය වසයි

(සුජිත් හේවාජුලිගේ)

රජයේ මුද්‍රණාලයේ අංශ ප්‍රධානියකු ඇතුළු සේවකයන් සිවුදෙනකුට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇතැයි තහවුරු වීමෙන් පසුව එහි පොත් මුද්‍රණ නිමැවුම් අංශය ඊයේ (28) වසා දැමූ බව රජයේ මුද්‍රණාලයාධිපතිනි ගංගානි කල්පනා ලියනගේ මහත්මිය පැවැසුවාය. කොවිඩ් ආසාදිත මෙම සේවකයන් සිවුදෙනාගේ ළඟම ආශ්‍රිතයන් වූ සේවකයන් විසිනවදෙනකු නිරෝධායනයට යොමු කර ඇතැයි ද ඇය සඳහන් කළාය.

කොවිඩ් ආසාදිතයන් වාර්තා වීමෙන් පසුව රජයේ මුද්‍රණාල පරිශ්‍රය ඊයේ සම්පූර්ණයෙන්ම විෂබීජහරණය කළ බව එහි නිලධාරීහු පවසති. මේ අතර කොවිඩ් අවදානම හේතුවෙන් රජයේ මුද්‍රණාලයේ සේවකයන් ඉදිරියේදී කොටස් වශයෙන් සේවයට කැඳවීමට කටයුතු යොදා ඇතැයි කී කල්පනා ලියනගේ මහත්මිය මුද්‍රණාලයේ ලියකියවිලි හා පොත්පත් පරිශීලනය කරන ආකාරය සම්බන්ධයෙන් ද සේවකයන්ට සෞඛ්‍ය නීති මාලාවක් හඳුන්වා දුන් බව පැවැසුවාය.

Wednesday, April 28, 2021

රටපුරා කොරෝනා අලුත්ම වාර්තා

 ගම්න්පහි අලුතින් 189ක්

-තිලකරත්න දිසානායක-


ගම්පහ දිස්ත්‍රික්කයේ මුළු ආසාදිත ගණන ඊයේ 27 වන විට 19,532ක් බවට පත් වෙද්දී ගතවූ පැය 24ක කාලයේ කොරෝනා ආසාදිතයින් 189 දෙනකු හමුවූ බව දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි. දිස්ත්‍රික්කයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාල මගින් සිදු කළ පරික්ෂණ වාර්තා අනුව ආසාදිතයින් 144 දෙනකු සහ රෝහල්වලින් සිදු කළ පරික්ෂණ වාර්තා අනුව 45 දෙනෙකු හමුව ඇත. " මේ අතුරින් 33 දෙනෙකු වන වැඩිම ආසාදිතයින් සංඛ්‍යාවක් දිවුලපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් හමුව ඇති බවත්, ජාඇල සහ මහර කොට්ඨාසවලින් ආසාදිතයින් 23 දෙනෙකු බැගින්ද, ගම්පහ සහ දොම්පේ කොට්ඨාසයගෙන් 21 දෙනකු බැගින් සහ බියගම කොට්ඨාසයෙන් 19 දෙනකුද හමු වූ බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය නලීන් ආරියරත්න මහතා පැවසීය.


මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ මිරිස්වත්ත ගම්පහ දිස්ත්‍රික් (2) කාර්යාලයේ කළමනාකරණ සහකාරවරියක කොවිච් ආසාදිත බවට තහවුරු වීම හේත්තුවෙන් ඇය ප්‍රතිකාර සඳහා යොමු කළ බව කීය. ප්‍රදේශය බාර මහජන සෞඛ්‍ය පරික්ෂක සුසන්ත බණ්ඩාර මහතා කියා සිටියේ, ගම්පහ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සුභාෂ් සුභසිංහ මහතාගේ උපදෙස් මත එම නිලධාරිනිය සමග සේවය කළ පිරිස නිරෝධායනය කිරිමට කටයුතු යොදා ඇති බවය.


අවුරුදු පාටියට ගිය 10 දෙනකුට කොරෝනා

- ටෝනි කරුණානායක -

මිනුවන්ගොඩ මාබොදල නාගහවත්ත ප්‍රදේශයේ නිවසක පැවති අවුරුදු සාදයකට සහභාගි වූ පිරිසකගෙන් දස දෙනකු කොවිඩ් ආසාදිතයන් බවට ඊයේ (27) හඳුනාගත් බව නයිවල මහජන

සෞඛ්‍ය පරීක්ෂක ඒ.ඒ.ආර්.පී. අමරසිංහ මහතා පැවසීය.

මිනුවන්ගොඩ වල්පිටමුල්ල ප්‍රජා ශාලාවේ දී ඊයේ (27) පැවැති එම අවුරුදු සාදයට සහභාගි වූ 24 දෙනකු ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණයට යොමු කළ බවත් එම 24 දෙනාගෙන් 10 දෙනකු ආසාදිතයින් බවට හඳුනා ගත් බවත් හෙතෙම පැවසීය. නයිවල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක රැකියාවක් සඳහා සම්මුඛ පරීක්ෂණයට ගිය තරුණියකට රැකියාවට බඳවා ගැනීමට පෙර සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණයෙන් පසු එම තරුණිය කොවිඩ් ආසාදිතයෙක් බවට අනාවරණය වී තිබේ. මහජන පරික්කෂවරුන් සිදු කළ පසුවිපරමේ දී එම ආසාදිත තරුණියට කොවිඩ් වයිරසය ආසාදනය වී ඇත්තේ අවුරුදු සාදයේදී බවට කරුණු අනාවරණය වීමෙන් අනතුරු ව එම සාදයට සහභාගි වූ 24 දෙනෙකු මෙසේ ඊයේ (27) ක්ෂණික ප්‍රතිදේහ පරික්ෂණයට ලක්කර ඇත.


කිරිබත්ගොඩින් 8ක්

- ලාල් එස්. කුමාර-

කිරිබත්ගොඩ නගරයේ ව්‍යපාරික ස්ථානවල සේවකයින් සහ නගරය අවට නිවැසියන් සඳහා කරන ලද අහඹු පී.සී.ආර්. පරික්ෂාවකදී අට දෙනකු කොරෝනා ආසාදිතයන් බව වාර්තා වූ බව කැලණිය ප්‍රාදේශීය සභාවේ මහජන සෞඛ්‍ය පරිකවරු පවසති. ඊට අමතරව ඊයේ (21) දින කිරිබත්ගොඩ නගරය අවට ව්‍යාපාරික ස්ථාන රැසක සහ නගරයට පැමිණෙන අය සහ නිවැසියන් 220 දෙනකු පී.සී.ආර්. පරික්ෂාවට යොමු කළ බව ද පරික්වෂකරු පවසති. දළුගම්ගොඩ ප්‍රදේශයේ 133 දෙනකුට අහඹු ලෙස පී.සී.ආර්. පරික්ෂාව සිදු කළ බව ද කීය.


අවිස්සාවේල්ලේ කඩ රැසක් වසයි

-හේමසිරි හිගුරලආරච්චි-


අවිස්සාවේල්ල නගරයේ කරන ලද පී.සී.ආර්. පරික්ෂාවලින් කොරෝනා ආසාදිතයන් 19ක් ඊයේ (27) වාර්තා වීමත් සමග අවිස්සාවේල්ල ප්‍රදේශයේ රාජ්‍ය සහ පෞද්ගලීක වෙළෙඳසල් රැසක් තාවකාලිකව වසාදමා ඇතැයිඅවිස්සාවේල්ල සිතාවකපුර නගර සහා ප්‍රධාන මහජන සෞඛ්‍ය පරීක්ෂක නිලධාරී එන්.ආර්. වික්‍රමසිංහ මහතා පැවැසීය. අවිස්සාවේල්ල නගරයේ කරන ලද පී.සී.ආර්. 189කින් (26) රෝගීන් 17ක්ද, 27 වැනිදා රෝගීන් 2ක්ද වශයෙන් වාර්තා වූ බවත්, තවත් අහඹු පී.සී.ආර්. පරික්ෂණයක් 29 වැනිදා අවිස්සාවේල්ල නගරයේදී සිදු කිරීමට නියමිත බවත් සෞඛ්‍ය පරීක්ෂකවරයා කීය.


කටානෙ 33ක් හමුවෙලා


කිර්ති ප්‍රනාන්දු

කටාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසයේ කරන ලද පී.සී. ආර්. පරීක්වෂණලින් කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 33 දෙනකු ඊයේ 20 සවස වාර්තා වූ බව කටාන පරීපාලත මහජන සෞඛ්‍යය පරීක්ෂක එස්.ඒ.යූ.ටී. කුලතිලක මහතා පවසයි. මෙම ආසාදිතයන් 33 දෙනාම වයස අවුරුදු 40ට අඩු වයසේ පසුවන අයවලුන් බව ද කුලතිලක මහතා පවසයි.


කටාන ප්‍රදේශයේ පිහිටි යකඩ කර්මාන්ත ශාලාවකින් ඇඟලුම් කම්හලකින්, බෑග් නිෂ්පාදන ආයතනයකින් සහ රෙදි නිෂ්පාදන ආයතනයකින් මෙම රෝගීන් වාර්තා වූ බව ද කුලතිලක මහතා පැවසීය.


දවස් 5ට වලල්ලාවිටින් රෝගීහු 67 ක්


- ප්‍රේමතිලක පෙරමුණ-

වලල්ලාවිට සෞඛ්‍ය බල ප්‍රදේශයේ ගත වූ දින පහක් තුළ ආසාදිතයින් 67 දෙනකු වාර්තා වී ඇතැයි වලල්ලාවිට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සඳහන් කරයි. රෝගීන් බහුල වශයෙන් වාර්තා වූ පැලවත්ත පහළ හෙවෙස්ස දකුණ, පැලවත්ත මිරිස්වත්ත යන ප්‍රදේශවල සංචරණ නීති පනවා ඇති බවත්, වලල්ලාවිට ලේදොල ප්‍රදේශයේද ආසාදිතයන් බහුලව වාර්තාවී ඇති බවත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. ආසාදිතයන් වැඩිවීමට ප්‍රධාන වශයෙන්ම බලපෑ හේතූව වී ඇත්තේ පැලවත්ත 1 කණුව ප්‍රදේශයේ මුදල් ඔට්ටුවට පැවැත්වූ වූ සූදු පිටිවලට නීති විරෝධීව හා අනාරක්ෂිතව එකතු වූ පිරිස් සහ විවිධ උත්සව අවස්ථා බව වලල්ලාවිට පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක අතුකෝරල මහතා පැවසීය.


කැලණි සරසවියටත් කොරෝනා රිංගලා


-ලාල් එස්. කුමාර-


කැලණිය විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලයේ දෙදෙනකු සහ සිසුන් හතරදෙනකු කොරෝනා ආසාදිතයන් ලෙස හඳුනාගෙන ඇතැයි විශ්වවිද්‍යාලය පවසයි. විශ්වවිද්‍යාලයේ කාර්ය මණ්ඩලය සහ ඉකුත් දිනවලදී පැවැති විභාගවලට සහභාගි වූ සිසුන් අහඹුව ගෙන සිදු කළ පරික්ෂාවකදී මෙලෙස ආසාදිතයන් හඳුනාගෙන ඇත. මේ හේතුවෙන් ඉදිරි දිනවල පැවැත්වීමට නියමිත විභාග දින නියමයක් නොමැතිව කල් දැමීමට නියමිත බව ද විශ්වවිද්‍යාලය පවසයි.


අලුත්මගම 5ක් අත්අඩංගුවට


-තුසිත කුමාර ද සිල්වා -


අලුත්ගම නගරයේදී කොරෝනා නීති උල්ලංඝනය කරමින් සැරිසැරූ පස් දෙනකු අත්අඩංගුවට ගත් බව අලුත්ගම පොලිසිය කියයි. ගතවූ දින කිහිපය තුළ අලුත්ගම පොලිස් බල සීමාවේ නව කොරෝනා ආසාදිත පුද්ගලයින් 12 දෙනකු ඊයේ (27) වන විට වාර්තා වී ඇතැයි අලුත්ගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අශෝක කරුණාරත්න මහතා පැවැසීය.



මීගහවත්ත පොලිසියේ 17 ක් නිරෝධායනයට


-සුදත් පුබුදු කිර්තී-


කොරෝනා හේතුවෙන් වසා දමා අති මීගහවත්ත පොලිසිය නිලධාරීන් 40 දෙනකුට සිදුකළ පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රතිඵල ඊයේ (27) නිකුත් වූ අතර, පොලිස් පරීක්ෂකවරයකු කොවිඩ් ආසාදිතයකු බවට හඳුනාගෙන ඇත. ඒ සමගම ඔහුගේ ආශ්‍රිතයින් වූ පොලිස් නිලධාරින් 17 දෙනකු නිරෝධායනය සඳහා යොමුකර ඇති බව බියගම සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලය පවසයි.



කැස්බැව අවදානමක


-බිමල් ශයාමන් ජයසිංහ-


කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බලප්‍රදේශය පුරාම මේ වන විට කොරෝනා ආසාදිත රෝගීන් වාර්තා වන බව කැස්බෑව සෞඛ්‍ය නිලධාරී කාර්යාලයේ වැඩබලන පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක කෝසල මුණසිංහ මහතා පැවසීය. මීට දින පහකට පමණ ඉහත දී සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයේදී ආසාදිත බවට තහවුරු වූ 65 දෙනාගේ පළමු පෙළ ආශ්‍රිතයන් ඇතුළු අහඹු ලෙස තෝරාගත් 200 දෙනකුගේ පමණ පීසීආර් පරික්ෂණ කැස්බෑව ධර්මසේන ආටිගල බාලිකා මහා විද්‍යාල ක්‍රීඩාංගණයේදී සිදු කිරීමෙන් අනතුරුවය. කැස්බෑව සෞඛ්‍ය බල ප්‍රදේශයෙන් මේ දක්වා වාර්තා වී ඇති සමස්ත කොරෝනා ආසාදිත රෝගීන්ගේ පිරිස 568 ක් බවත් ඒ අතුරින් 10 දෙනකු සිංහල හා හින්දු අලුත් අවුරුද්දෙන් පසුව ආසාදිත වූවන් බව මුණසිංහ මහතා වැඩිදුරටත් පැවසීය.


කැස්බෑව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ අතිරේක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය දුලාංජලී හෙට්ටිආරච්චි මහත්මිය ඇතුළු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු මෙම අවස්ථාවට සහභාගි වූහ.


නිරෝධායන නීති කඩා බූරුවා ගැසූ 5ක් දැලේ

-ජේ.කේ.එල්.චාමින්ද-


නිරෝධායන නීති රීති උල්ලංඝණය කරමින් බූරුවා ගැසීමේ නිරතව සිටි පුද්ගලයන් පස් දෙනකු පෝද්දල මීපාවල ප්‍රදේශයේ දී පෙරේදා (26) අත්අඩංගුවට ගත් බැව් පෝද්දල පොලිසිය පවසයි. මීපාවල ප්‍රදේශයේ නිවසක මුදල් ඔට්ටුවට මොවුන් බූරුවා ගැසීමේ නිරතව සිටි මෙම පිරිස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


අත්අඩංගුවට ගත් සැකකරුවන් 05 දෙනා පොලිස් ඇප මත මුදාහැර ඇති අතර මොවුන් ඉදිරි දිනකදී අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව ඇත. පෝද්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එස්.පී. සංජීව මහතාගේ උපදෙස් මත ප්‍රධාන පොලිස් පරික්ෂක දුණුවිල මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් මෙම වැටලීම කරනු ලැබීය.


අම්බලන්තොටින්-දඹුල්ලට ගිය අය ගැන තොරතුරු නෑ


-සනත් ගමගේ-


අම්බලන්තොටින් දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට ගිය වෙළෙඳුන් සම්බන්ධයෙන් තොරතුරු තවමත් හෙළිවී නැති බව සෞඛ්‍ය බලධාරිහු පවසති. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ කොරෝනා රෝගීන් හමුවී එය වසා දමා තිබෙන අතර අම්බලන්තොට වෙළඳුන් 30කට ආසන්න ගණනක් දඹුලු ගොස් ඇති බවට තොරතුරු ලැබී ඇති හෙයින් නිශ්චිත වශයෙන් එක් පුද්ගලයෙකු පමණක් දැනට ඉදිරිපත් වී ඇති අතර සෙසු පුද්ගලයින් කවුරුන්ද යන්න තවමත් සොයාගෙන නැති බවද සෞඛ්‍ය අංශ කියයි. ග්‍රාමීය මට්ටමින් කොරෝනා කමිටු සක්‍රිය නොවීම හේතුවෙන් මෙම තොරතුරු අනාවරණය කර ගැනීමට නොහැකිවී ඇත. එසේ දඹුලු ගොස් ඇති වෙළඳුන් ස්වෙච්ඡාවෙන් ඉදිරිපත් වන ලෙසටද සෞඛ්‍ය බලධාරිහු ඉල්ලා සිටිති. නිලධාරි එස්.එච්. පියසුමන මහතා කියා සිටියේය.


ත්‍රිමලේ කොරෝනා 59ක් සොයාගෙන‍ෙ


-අමදෝරු අමරජීවා -


ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශ හයකින් පෙරේදා 26 වැනිදා පමණක් කොරෝනා ආසාදිතයන් 59 දෙනකු සොයාගත්බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය ඩී.ජි.එම්. කොස්තා මහතා පැවසීය. ආසාදියන් 38 දෙනකු පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා අනුව උප්පුවේලි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයෙන් සොයාගත් අතර ඉතිරි 21 දෙනා සොයා ගනු ලැබුව්වේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශ හයක සිදුකළ රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණවලින් බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය. ආසාදිතයන් 21 දෙනා අතරින් ත්‍රිකුණාමල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි බල ප්‍රදේශයෙන් නවයක්ද, කින්නියා

බල ප්‍රදේශයෙන් එකක්ද, කන්තලේ බල ප්‍රදේශයෙන් දෙකක්ද, කුච්චවේලි බල ප්‍රදේශයෙන් එකක්ද, ගෝමරන්කඩවල බල ප්‍රදේශයෙන් හතරක්ද, උප්පුවේලි බල ප්‍රදේශයෙන් හතරක්ද වන බව ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා පෙන්වා දුන්නේය. හුදෙකලා කෙරුණු ත්‍රිකුණාමල පුම්පුහාර් ග්‍රාම නිලධාරි වසමේ පවුල් 250කට ආසන්න පිරිසක් තවදුරටත් හුදකලා භාවය තුළ රදවා තබා ගැනීමට තීරණය කළ බව ද ප්‍රාදේශීය සෞඛ්‍ය සේ අධ්‍යක්ෂවරයා වැඩිදුරත් කීය.


සියඹලාණ්ඩුවේ සතිපොළ වැසේ



- කේ.එම්.පි. බංඩාර -


සියඹලාණ්ඩුව ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ සති පොළවල් සියල්ල ඊයේ (27) දින සිට වසා දමන බව ප්‍රාදේශීය සභාව පවසයි. සෞඛ්‍ය අංශවල උපදෙස් පරිදි මහජනතාවගේ ආරක්ෂාව සඳහා, ඇතිමලේ සතිපොළ, ගොවිඳුපුර සතිපොළ, දොඹගහවෙල සතිපොළ හා සියඹලාණ්ඩුව සතිපොළ මෙලෙස තාවකාලිකව වැසූ බව, එහි ඉහළ නිලධාරියෙක් පැවැසීය. සෞඛ්‍ය අංශවලින් යළි දැනුම් දෙන තුරු මෙය ක්‍රියාත්මක වන බවත්, අවදානම පහව ගිය පසු, සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව යළි අරඹන බවත්, එම නිලධාරියා වැඩිදුරටත් සඳහන්ක කළේය.



පහත්ගම පිය-පුතු දෙදනකුට පොසිටිව්

- නිහාල් වෙත්තසිංහ-


හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී බල ප්‍රදේශයේ පහත්ගම නගරය ආසන්නයේ පිය පුතු දෙපළකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි අවිස්සාවේල්ල රෝහලේදී සිදු කළ ඇන්ටිජන් පරීක්ෂණවලින් තහවුරු වී යැයි මහජන සෞඛ්‍ය පරීක්ෂක ලක්ෂ්මන් රාජපක්ෂ මහතා පැවසීය. මෙම පවුල්වල පිරිස නිවෙස්වල නිරෝධායනය කර මහරගම කුඩාකන්ද- සාලාව සහ මොරගහහේන යන ප්‍රදේශවල පදිංචි මොවුන්ගේ පළමු පෙළ ආශ්‍රිතයන්ද ඔවුන්ගේ නිවෙස්වල නිරෝධායනය කිරීමට උපදෙස් දුන් බව මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවැසීය.


වතුපිටිවල මධ්‍යස්ථානයේ ඇඳන් 137ම පිරිලා

- එස්.යූ.ඩබ්ලිව්.කේ. ගුණවර්ධන-


වතුපිටිවල කොරෝනා රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ස්ථාපිත ඇදන් 137ම මේ වනවිට කොරෝනා රෝගීන්ගෙන් පිරීගොස් ඇතැයි එම මධ්‍යස්ථානය භාරකාර නිලධාරිනී වෛද්‍ය නදීකා ජයවර්ධන මහත්මිය පැවසුවාය. සිංහල අලුත් අවුරුද්දට පෙර මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානයේ ප්‍රතිකාර ලබමින් සිටියේ කොරෝනා රෝගීන් නව දෙනකු පමණක් බවද වෛද්‍ය නදීක ජයවර්ධන මහත්මිය වැඩිදුරටත් පැවසුවාය.


වතුපිටිවල අපනයන සැකසුම් කලාපයට යාබදව පිහිටි අත්තනගල්ල යොවුන් සේනාංක මධ්‍යස්ථාන පරිශ්‍රයේ වතුපිටිවල මෙම කොරෝනා රෝගී ප්‍රතිකාර මධ්‍යස්ථානය ඉකුත් වසරේ ආරම්භ කෙරුන අතර වතුපිටිවල මූලික රෝහලේ පූර්ණ අධීක්ෂණය යටතේ මෙම ප්‍රතිකාර මධ්‍යස්ථානය ක්‍රියාත්මක වෙයි.



සිසුවියකට කොරෝනා: පාසලම පාළු වෙයි

- සමන් පාලිත නානායක්කාර-

හල්දුම්මුල්ල ප්‍රදේශයේ පාසලක තුන ශ්‍රේණියේ ඉගෙනුම ලබන නිකපොත ශිෂ්‍යාවකට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි හල්දුම්මුල්ල මහජන සෞඛ්‍ය පරික්ෂක අසංක සම්පත් මහතා ඊයේ (20 වැනිදා පැවසීය. මේ නිසා ගුරුවරියන් දෙදෙනකු සමග ශිෂ්‍යාවන් හතර දෙනකු ස්වයං නිරෝධානයට යොමු කිරීමට පියවර ගෙන ඇතැයි ද මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා සඳහන් කළේය. ආසාදිත ශිෂ්‍යත්ව ප්‍රතිකාර මධ්‍යස්ථානයකට ඇතුළත් කිරීමට පියවර ගැනුන බවත් ඇයගේ අනෙකුත් ආශ්‍රිතයන් පිළිබඳව සොයා බැලීමට පරික්ෂණ ආරම්භ කර ඇති බවත් සම්පත් මහතා පැවසීය. සිද්ධිය සැලවීමත් සමග මෙම පාසලට ඊයේ (27 වැනිදා) එකම සිසුවකුවත් නොපැමිණි බව පාසල් ආරංචිමාර්ග පවසයි.


රහතන්ගම හුදකලා කරන්න ඉල්ලයි

-නයනජීව බණ්ඩාර-


වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් කොටිකම්බොක්ක වෙහෙරයාය අතිලිවැව සහ වැල්ලවාය යන ග්‍රාම නිලධාරී වසම් හතරෙන් බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් රහතන්ගම ග්‍රාම නිලධාරී වසමත් හුදෙකලා කිරීමට මොනරාගල දිස්ත්‍රික් කොරෝනා මර්දන කමිටුව ජාතික කොරෝනා මර්දන කමිටුවෙන් ඊයේ 27වැනි ඉල්ලීමක් කළ බව මොනරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මතා පවසයි. මොනරාගල දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා ප්‍රධාන සෞඛ්‍ය අංශ විසින් මෙම ග්‍රාම නිලධාරි වසම් ආශ්‍රිතව ශීඝ්‍රයෙන් පැතිරියන කොවිඩ් 19 වයිරසය පාලනය සඳහා දිස්ත්‍රික් කොවිඩ් මර්දන කමිටුවෙන් කළ ඉල්ලීමක් සලකාබලා මෙම තීරණයට එළැඹි බව මොනරාගල දිස්ත්‍රික් ලේකම්වරයා පවසයි. වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මෙම ග්‍රාම නිලධාරි වසම් ආශ්‍රිතව වැල්ලවාය ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලය සිදුකළ අහඹු පරික්ෂාවකදී 53 දෙනකුගෙන් 46 දෙනකුට කොවිඩ් 19 ආසාදනය වී ඇතැයි අනාවරණය විය.


මොනරාගල දිස්ත්‍රික් ලේකම් ගුණදාස සමරසිංහ මහතා පවසන්නේ ජාතික කොවිඩ් මර්දන කමිටුවේ තීරණය ලැබුණු පසු වැල්ලවාය හා බුත්තල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට අයත් පෙර කී ග්‍රාම නිලධාරි වසම් හුදෙකලා කිරිමට කටයුතු කරන බවයි.



කොත්මලේ ප්‍රා. ලේකම්වරියට දෙවැනි වතාවටත් කොරෝනා - ගැමුණුපුර පාසලේ පන්ති 2 කුත් වසයි


-සුරංග රානායක-


කොත්මලේ ප්‍රාදේශීය ලේකම්වරිය දෙවැනි වරටත් කොරෝනා වයිරසයට ගොදුරුවීම සමඟ ඇයගේ දරුවන් ඉගෙනුම ලැබූ ඩෙල්ටා ගැමුණුපුර ජාතික පාසලේ පන්ති දෙකක් ඊයේ 27 වැනිදා වසා දැමීමට පියවර ගත් බව සෞඛ්‍ය අංශ පවසයි. ප්‍රාදේශීය ලේකම්වරිය හට දීර්ඝව පැවති උණ රෝගී තත්වය නිසා ඇය පෞද්ගලික රෝහලකින් සිදු කළ පී.සී.ආර් පරික්ෂණයකින් පසු පෙරේදා (26) වැනිදා රාත්‍රියේ ලැබුණු ප්‍රතිඵල අනුව ආසාදනයට ලක්ව ඇති බව තහවුරු වී ඇත. මේ සමඟ ඇයගේ ආශ්‍රිතයන් සෙවීමේ කටයුතු අරඹා ඇති බව සෞඛ්‍ය අංශ හා කොත්මලේ පොලිසිය පවසන අතර ඩෙල්ටා පාසලේ විදුහල්පතිවරයා පවසන්නේ ඊයේ (27) වැනිදා මේ බව දැන ගැනීමෙන් පසු පාසලේ ඉගෙනුම ලැබූ ඇයගේ දරුවන් සිටින 5 වැනි පන්තිය හා 8 වැනි පන්තිය සෞඛ්‍ය උපදෙස් මත තාවකාලිකව වසා දැමීමට පියවර ගත් බවයි.


මේ වන විට කොත්මලේ පොලිස් බල ප්‍රදේශය පනම්ගම්මන ගම්මානයේ හමු වූ නාවිකා හමුදා ආසාදිතයකු නිසා ඔහුට ආශ්‍රිත පවුල් 18 කට අයත් 67 දෙනකු නිරෝධානයට ලක්කර ඇති අතර ඔහු නිසා තවත් 4 දෙනකුද රෝගයට ගොදුරුව ඇති බව සෞඛ්‍ය අංශ පවසයි.දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයෙන් හමු වූ කොරෝනා රෝගියකුගේ පදිංචියද කොත්මලේ තවලන්තැන්න ප්‍රදේශයේ බව හෙළිවීම නිසා ඒ සම්බන්ධ ආශිතයන් සොයා පරීක්ෂණ ද සිදුකරන බවද කොත්මලේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ආර්.එම්. රත්නායක මහතා සඳහන් කරයි. ආසාදනයට ලක් වූ ප්‍රාදේශීය ලේකම්වරිය අලුත් අවුරුදු උදාවෙන් පසු රාජකාරි ඇරඹීමෙන් 19 වැනිදා ලේකම් කාර්යාලය තුළ පිරිත් පිංකමක්ද සංවිධානය කර තිබී ඇති අතර එයට සහභාගී වූ පිරිස් නිරෝධානයට ලක්කිරීමට පියවර ගෙන ඇති බවද සෞඛ්‍ය අංශ පවසයි.


මාතලේ පාසල් 5 ක සිසුන් 13 ක් පොසිටිව්


-මහේෂ් කීර්තිරත්න-


මාතලේ අධ්‍යාපන කලාපයේ පාසල් පහකින් කොරෝනා ආසාදිත පාසල් සිසුන් 13 දෙනකු ඊයේ (27) වැනිදා දහවල් වන විට වාර්තා වී ඇතැයි කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා විජයන්ති ජයසූරිය මහත්මිය පැවසුවාය. වැඩිදුරටත් අදහස් දැක්වූ අධ්‍යක්ශවරිය කියා සිටියේ කිරිමැටියාව මහානාම විද්‍යාලය, තැන්න මහා විද්‍යාලය, මාතලාපිටිය විද්‍යාලය, මුවදෙණිය විද්‍යාලය, කයිකාවල ප්‍රාථමික විද්‍යාලය යන විදුහල්වලින් මෙසේ කොවිච් ආසාදනය වී ඇති සිසුන් හමුවී ඇති බවය. අධ්‍යක්ෂිකා විජයන්ති ජයසූරිය මහත්මිය කියා සිටියේ ඊයේ (27 වැනිදා) හුදකලා කළ පල්ලේකුඹුර ග්‍රාම නිලධාරි වසමට ආසන්නයේ ඇති කිරිමැටියාව මහානාම විද්‍යාලයේ සිසුන් කිසිවෙකු 27වැනිදා පැමිණ නොසිටි බවය.


කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිත පාසල් සිසුන් 101 දෙනකු පීසීආර් පරික්ෂණවලට ලක්කර ඇති බවත් සිසුන් 82 දෙනකු නිරෝධායනයට යොමුකර ඇති බවත් කිසිදු අනධ්‍යයන කාර්ය මණ්ඩලය අයකුට හෝ ගුරුවරයකුට හෝ කොවිච් 19 ආසාදනය වී නොමැති බවද ඇය වැඩිදුරටත් පැවසුවාය.



හලාවත සතොස වැහෙයි


- ඔගස්ටින් ප්‍රනාන්දු-


හලාවත සතොස වෙළෙඳසලේ සේවකයකු කෝවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වූ නිසා එම වෙළෙදසල ඊයේ 27වැනිදා සිට යළි දැනුම් දෙන තෙක් වසා දැම්මට උපදෙස් දුන් බව හලාවත නගර සභා සෞඛ්‍ය ඒකකය කියයි. හලාවත, මයික්කුලමේ සිටි පැමිණෙන මෙම සේවකයා සම්බන්ධයෙන් සිදුකෙරුණ වෛද්‍ය පරික්ෂණ අනුව ඔහු කෝවිඩ් 19 ආසාදිතයකු ලෙසින් හඳුනාගත් බැවින් මෙම තීරණය ගත් බවත් එම ඒකකය කියයි.


මෙම වෙළඳසලේ සියලු සේවක සේවිකාවන් සඳහා පී.සී.ආර්. පරික්ෂණයන් අද (28 දා) සිදු කිරිමට නියමිතව ඇති අතර, ඉන් අනතුරුව වෙළෙඳසැල විවෘත කරන්නේ දැයි තීරණයක් ගන්නා බවත් කියයි.


පොල්පිතිගම පී.සී.ආර්.


- සිසිර කැලේගම -


පොල්පිතිගම බල ප්‍රදේශයේ ස්වයං නිරෝධායනයට ලක් කර තිබෙන පවුල් අතරින් 150 දෙනකුගේ පී.සී.ආර්. පරික්යෂණන් අද (28) වැනිදා පෙරවරුවේ සිට සවස් වන තෙක් පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ සිදු කරන බව පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී සුනිල් රත්නායක මහතා පවසයි. පොල්පිතිගම බල ප්‍රදේශයෙන් මේ වනවීට හඳුනාගත් රෝගි තත්වයේ පසුවන රෝගීන්ගේ පිරිස දස දෙනෙකි. වයඹ පළාත තුළ යම් අවදානම් තත්වයක් තිබුණත් පොල්පිතිගම කොරෝනා ආසාදිතයන්ගේ වැඩිවීමක් දක්නට නොමැති බව පොල්පිතිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සුනිල් රත්නායක මහතා වැඩිදුරටත් පැවසීය.



ගලෙන්බිඳුනුවැව පොලේ ඇන්ටිජන් පරික්ෂාවේදී වෙළඳුන් නිලධාරින් ඇරගෙන


-රමුසු රත්නායක -


ගලෙන්බිඳුනුවැව සතිපොළේ වෙළඳුන් අහඹු ඇන්ටිජන් පරීක්ෂාවක් සිදු කිරීමට යාමේදී වෙළෙඳුන් හා නිලධාරීන් අතර ඊයේ (27 වැනිදා) ඇති වූ නොසන්සුන්තාවක් දුරදිගයාමෙන් පසු සෞඛ්‍ය නිලධාරින්ගේ රාජකාරියට බාධා කළ බව කියන සිව් දෙනකු අත්අඩංගුවට ගත් බව ගලෙන්බිඳුණුවැව පොලීසිය කියයි. සෞඛ්‍ය බලධාරීන් පැමිණ සතිපොළේ අහඹු ලෙස ඇන්ටිජන් පරික්ෂාව සිදු කරමට සුදානම් වූ ප්‍රදේශයේ අය හැර සෙසු වෙළෙඳුන්ට පොළෙන් ඉවත්වන්නැයි දැනුම් දී තිබේ. ඒ අවස්ථාවේදී එසේ නොකර සියලු දෙනාම පරික්ෂණයට භාජනය කරන ලෙස වෙළඳුන් ඉල්ලා සිටීමෙන් පසුව දැඩි උණුසුම්කාරී තත්ත්වයක් ඇති විය.


මෙහිදී වහාම ක්‍රියාත්මක වූ සෞඛ්‍ය නිලධාරිහු එම ස්ථානයට පොලීසිය කැඳවූහ. අනතුරුව පොළෙහි සිටි මාළු වෙළෙඳුන් 6 දෙනකු ඔවුන්ගේ කැමැත්ත මත ඇන්ටිජන් පරික්ෂාවට ලක් කර එයින් පස් දෙනකු ආසාදිතයන් බවට හඳුනාගත් බවට සෞඛ්‍ය අංශ සඳහන් කිරීමෙන් පසු දහවල් 12.30 ට පමණ පොළ වසා දැමීමට කටයුතු කළේය. ඇති වූ නොසන්සුන්තාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ පොලීසියට කළ පැමිණිල්ලක් මත සෞඛ්‍ය සේවකයන්ගේ රාජකාරියට බාධා කිරීමේ චෝදනාව මත වෙළෙඳුන් සිව්  දෙනකු අත්අඩංගුවට ගත් බව ගලෙන්බිඳුණුවැව පොලීසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක සුජීව කුමාර මහතා සඳහන් කළේය. ඔවුන් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිත බව පොලීසිය කියයි.