Monday, October 31, 2022

දිගා - මනෝ සන්ධාන කාර්යාලය විවෘත කිරීමට තොණ්ඩමනුත් එයි

 

දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ලංකා කම්කරු කොංග්‍රසයේ මහලේකම් ජීවන් තොණ්ඩමන් මහතා සහභාගි වීමත් සමග දමිළ දේශපාලන පක්ෂ අතර එකඟතාවක් සහ සාමූහිකතාවක් නිර්මාණය වෙමින් පවතින බවට දේශපාලන ක්ෂේත්‍රය තුළ කතාබහක් මතුව තිබේ. දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ ප්‍රධාන කාර්යාලය ඊයේ (30දා) හැටන්, දික්ඔය ඇන්ෆීල්ඩ් වතුයායේ විවෘත කෙරුණු අතර, ඒ අවස්ථාවට පාර්ලිමේන්තු මන්ත්‍රී ජීවන් තොණ්ඩමන් මහතාද සහභාගි විය.

ඒහිදී අදහස් දැක්වූ ජීවන් තොණ්ඩමන් මහතා කියා සිටියේ වතුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීම සඳහා දමිළ ප්‍රගතිශීලී සන්ධානය සමග එක්ව කටයුතු කිරීමට ලංකා  කම්කරු කොංග්‍රසය එකඟතාවකට පැමිණ ඇතත්, ඉදිරියේදී පැවැත්වෙන මැතිවරණවලදී වෙන් වෙන් වශයෙන් තරග කරන බවයි.  මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ජීවන් තොණ්ඩමන් මහතා,

"අද මෙතන ඉන්න ගොඩදෙනෙකුට  ප්‍රශ්නයක් වෙලා තියෙනවා මම ඇයි මෙම උත්සවයට සහභාගි වුණේ කියලා මට මෙම උත්සවයට සහභාගි වෙන්න කියලා දමිළ ප්‍රගතිශීලී සන්ධානයෙන් ආරාධනාවක් ලැබුණා. එම ආරාධනාව අනුව මම මේ උත්සවයට ආවා. අපි වෘත්තීය සමිති විදිහට වෙන් වෙන්ව කටයුතු කරලා වතුකරයේ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගන්න බැරි තත්ත්වයක් උද්ගත වෙලා තියෙනවා. ඒ නිසා දමිළ ප්‍රගතිශීලී සන්ධානයත්, ලංකා කම්කරු කොංග්‍රසයත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා එකඟතාවකට ආවා වතු කම්කරුවන්ගේ අයිතිවාසිකම් දිනාගැනීමට එකට එකතු වෙලා කටයුතු කරන්න.

අපි මැතිවරණවලදි වෙන් වෙන්ව තමයි කටයුතු කරන්නේ. මගේ පියා මියගියාට පස්සෙ මට පාර්ලිමේන්තුවෙදි සහ දේශපාලන කටයුතුවලදි දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතා පියෙක් වගේ පිටුපසින් හිඳගෙන මට උපදෙස් දුන්නා.  ඒ වගේම තමයි පලනි දිගම්බරම් මහතා මට අයියා කෙනෙක් වගේ එයත් මට උපදෙස්  දෙනවා. අපි සියලු දෙනා ශක්තිමත්ව කටයුතු කළොත් අපට ගොඩක් දේවල් දිනාගන්න පුළුවන්" යනුවෙන් කියා සිටියේය. 

දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට ජීවන් තොණ්ඩමන් මහතා ඇතුළු ලංකා කම්කරු කොංග්‍රසයේ ජ්‍යෙෂ්ඨ නායකයන් පැමිණීමත් සමග දමිළ ප්‍රගතිශීලී සන්ධානයේ නායකයන් සහ එම රැස්වීමට සහභාගි වී සිටි ජනතාවගෙන් ඉහළ ප්‍රතිචාරයක් හිමි විය.

රංජිත් රාජපක්ෂ

ඉදිරියේදී පාසල් ගණනාවක් ඒකාබද්ධ කර පාසල් පොකුරු නිර්මාණය කරනවා



ඉදිරියේදී ආසන්න වශයෙන් පිහිටි පාසල් ගණනාවක් භෞමික පදනමින් සිසු  අවශතා පාදකව ඒකාබද්ධ කර, පාසල් පොකුරු නිර්මාණය කරන බවත්, මේ එක් පාසල් පොකුරක ප්‍රමුඛ වූ පාසලක් හෝ කිහිපයක් මූලිකව ක්‍රියාත්මක වන බවත් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේම්ජයන්ත් මහතා පැවසීය. අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ, කොළඹ කලාප කාර්යාලයේ පැවති රැස්වීමක් අමතමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ලබන ජනවාරි වනවිට එවැනි පාසල් පොකුරු 1,200ක් පමණ දීපව්‍යාප්ත මට්ටමින් හඳුනාගත හැකිව පවතින බවද හෙතෙම සඳහන් කළේය.

මේ පාසල් පොකුරක් තුළ පවතින පාසල් අතර අන්තර් කළමනාකරණ ක්‍රියාවලියක් ඔස්සේ මානව සම්පත් හුවමාරුවක් හරහා සිසු අවශ්‍යතා ඉටුකර ගැනීමේ පිරීමැසුම් දායක කාර්යක්‍ෂම යාන්ත්‍රණයක් සැකසෙන බවද අමාත්‍යවරයා පැවසීය. මෙහිදී පාසල් හෝ සම්පත්වල මාරුවීමක් හෝ බෙදා වෙන් කිරීමක් සිදු නොවන බවත්, භෞතික මෙන්ම තාක්‍ෂණික ක්‍රමවේද හරහා හුවමාරුවක් පමණක් සිදුවන බවත් අමාත්‍යවරයා අවධාරණය කළේය.

සෑම සිසුවෙකුම අත් නොහැරි අවධානයට ලක් වන අතර, හුදෙකලා පාසල් ඉදිරීයේදී ඉතිරි නොවන බවත්, අධ්‍යාපන අමාත්‍යාංශයේ පිහිටුවා ඇති ජාතික අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මධ්‍යස්ථානය (NERC) හා පළාත් අධ්‍යාපන ප්‍රතිසංස්කරණ මධ්‍යස්ථාන (PERC) මගින් අධ්‍යාපන පරිපාලන ප්‍රතිසංස්කරණ ක්‍රියාවලිය යටතේ මේ ප්‍රමුඛ පාසල් සංකල්පය ක්‍රියාවට නංවනු ලබන බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.ජාතික පාසල් හා වෙනත් පාසල්වද මේ පාසල් පොකුරක ප්‍රමුඛ පාසල් (Lead School) බවට පත් වීමට ඉඩ තිබෙන අතර, මේ පාසල් පොකුරු සංකල්පය හරහා ඉදිරියේදී අපට දැකිය හැකි වන්නේ, ප්‍රාථමික පාසල්, කනිෂ්ඨ ද්විතීක පාසල්, ජ්‍යෙෂ්ඨ ද්විතීක පාසල් යනුවෙන් පොදු විධිමත් පාසල් වර්ගීකරණයක් බවත්, මෙමගින් පාසල් පද්ධතියේ ප්‍රමිතිය හා නිර්ණායක ඇතුළත් පාසල් පැතිකඩ සංකල්පය විධිමත්ව සංවර්ධනය වන බවත් අමාත්‍යවරයා පැවසීය.

නවෝද්‍යා පවනි

හිරේ ඉඳන් පොත් ලියු ඉංජිනේරුවාට සාහිත්‍ය සම්මානයක්

 


රාජ්‍ය සාහිත්‍ය සම්මාන 2022උළෙල ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් අකාළඹ, බණ්ඩාරනායක අනුස්මරන්න  ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී සිකුරාදා (28) පැවැති අතර එහිදී හොඳම ස්වතන්ත්‍ර දෙමළ නවකතාවට හිමි සම්මානය හිමි වූයේ, බන්ධනාගාරගතව සිටීන සැකකරුවකු වන සිවලිංගම් ආරූලන් මහතා රචනා කළ “ආදුරු සාලෙයි” කෘතියට වීම විශේෂත්වයකි.  

කොළඹ පිත්තල හන්දියේදී 2006 වසරේ එවක ආරක්ෂක ලේකම්, හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට එල්ල වූ බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සැකපිට බන්ධනාගාරගතව සිටින ඔහු  බන්ධනාගාර ආරක්ෂාව යටතේ පැමිණ බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු රාජ්‍ය,අමාත්‍ය වීදුර වික්‍රමනායක මහතා අතින් සම්මානය ලබාගත් අයුරු.

පාර්ලිමේන්තු බසයට පොලිස් සැරයන් බිලි


මීගමුව ප්‍රදේශයේ හෝටලයක පැවැති පාර්ලිමේන්තු සේවක සුහද හමුවට සහභාගි වූ එහි සේවක සේවිකාවන් පිරිසක් සිය නිවෙස්වලට රැගෙන යමින් සිටි පාර්ලිමේන්තු බස් රථයක හැපීමෙන් ගම්පහ වැලිවේරිය පොලිසියට අනුයුක්ත සැරයන්වරයකු මියගොස් ඇතැයි පොලිසිය පවසයි.සිද්ධිය වී ඇත්තේ ගම්පහ කිරිඳිවැල මාර්ගයේ හේනේම මල්පැලේ ප්‍රදේශයේදී පෙරේදා (29) රාත්‍රී 8.30ට පමණයි. මේ සිද්ධියෙන් පසුව පාර්ලිමේන්තු බසයේ රියැදුරා තුවාලකරු රෝහල්ගත කිරීමට පියවර නොගෙන බස් රථයද අතහැර දමා පලා ගොස් ඇතැයි පොලිසියේ නිලධාරියෙක් පැවැසීය.

මේ සැකකරු ගැන ඊයේ සවස් වනතුරුත් කිසිදු තොරතුරක් අනාවරණය වී නොතිබිණි.  අනතුරින් මිය ගියේ වැලිවේරිය පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ ආනන්ද පෙරේරා නමැති 56 හැවිරිදි පොලිස් සැරයන්වරයා ය. ඔහු මල්වතුහිරිපිටිය, විලිඹුල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. අනතුරින් තුවාල ලැබූ පොලිස් සැරයන්වරයා ප්‍රදේශවාසීන් විසින් රදාවාන රෝහලට ඇතුළත් කරනු ලැබ ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලට මාරුකර යැවීමෙන් පසුව එහිදී ජීවිතක්‍ෂයට පත්වූයේය.

සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වූ උපපොලිස් පරික්ෂක ආනන්ද පියලත් මහතා ඇතුළු කණ්ඩායමක් විසින් වැඩිදුර පරීක්‍ෂණ සඳහා පාර්ලිමේන්තු බස් රථය මතුහිරිපිටිය පොලීසියට රැගෙන එනු ලැබීය.. මියගිය සැරයන්වරයාගේ දේහය ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ මෘත ශරීරාගාරයේ තැත්පත් කර ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (30) පැවැත්විණි.සැකකාර බස් රථ රියැදුර එම සාදයට සහභාගි වී අධික ලෙස බීමත්ව සිට ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් පැවසේ. 

අධික ලෙස බීමත්ව සිටීම නිසා මත් ගතිය අඩු කිරීම සඳහා සහෝදර සේවක පිරිසක් විසින් ඔහු හෝටලයේ පිහිනුම් තටාකයට බස්සවා නෑමට සලස්වනු ලැබ ඇති බවත් කිහිපදෙනකු එකතු වී පසුව ඔහු බස් රථයට ඉතා අසීරුවෙන් රැගෙනවිත් රියැදුරු අසුනට ගොඩකර ඇති බවත් පොලිසියට තොරතුරු අනාවරණය වී ඇත.  ඔහු ඉතාමත් අසීරුවෙන් මෙන්ම අනතුරුදායක ආකාරයෙන් බස් රථය පදවාගෙන පැමිණ ඇති බවත් පොලිස් සැරයන්වරයා යටවීමට පෙර බස් රථය ප්‍රදේශයේ වෙළෙඳසලක ගැටීමෙන් ඊටද හානි සිදුව තිබූ බවත් ආරංචි මාර්ග සඳහන් කළේය. 

සැකකරු බස් රථය රැගෙනවිත් ඇත්තේ එය රැගෙන නොයන ලෙස බොහෝ අය පවසද්දී බව වාර්තා වේ. මෙම අනතුරට හේතු වූ පාර්ලිමේන්තු බස් රථයෙන් රැගෙනවිත් තිබුණේ මීගමුවේ සාදයකට සහභාගි වූ පාර්ලිමේන්තු සේවක සේවිකාවන් පිරිසකි. පාර්ලිමේන්තුවේ මේ සුහද සාදය වසරකට වරක් සංවිධාන කෙරෙන අතර කොවිඩ් තත්වය හේතුවෙන් මෙවර එය සංවිධාන කෙරුණේ වසර තුනකට පසුවය. මෙම සාදයට පාර්ලිමේන්තු ප්‍රධානීන් පිරිසක්ද සහභාගි වී ඇතැයි දැනගන්නට ඇත.


උපාලි රණවීර  

ඇමැතිගේ නෑ ගෙදරින් ලක්ෂ 37ක බඩු ඉස්සු සෙබළා අත්අඩංගුවට



ඇමැතිවරයකුගේ ඥාති නිවසකින් රුපියල් ලක්ෂ තිස් හතක් වටිනා රන් භාණ්ඩ හා ජංගම දුරකතන හතරක් සොරාගත් හමුදා සෙබළකු ඔහුගේ බිරිය සමග අත්අඩංගුවට ගත් බව නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල, දොඩන්දුව ප්‍රදේශයේ පදිංචි පල්ලෙකැලේ 6 වැනි ඉංජිනේරු බළකා කඳවුරට අනුයුක්තව සේවයේ නිරත සෙබළකු සහ ඔහුගේ බිරිඳ බව පොලීසිය කියයි. මෙම සෙබළා මීට මාස කිහිපයකට පෙර පුහුණු පාඨමාලාවක් සදහා පනාගොඩ යුද හමුදා කඳවුරට පැමිණ සිටියදී හෝමාගම ප්‍රදේශයේ පිහිටි ඇමතිවරයකුගේ ඥාති නිවසක කුලී පදනම මත පදිංචිකරුවන්ට අයත් ජංගම දුරකථන හතරක් සහ රන් භණ්ඩ තොගයක් මෙසේ සොරාගෙන තිබූ බව පොලිසිය කියයි. 

ඉකුත් පෙබරවාරි 2 මැයි 4 සහ අගෝස්තු 17 යන දිනවලදී සැකකරු මෙම නිවෙසට ඇතුළු වී එහි තිබූ රුපියල් ලක්ෂ 19 ක් වටිනා ස්මාට් වර්ගයේ ජංගම දුරකතන හතරක් සහ රුපියල් ලක්ෂ 18 ක් වටිනා රන් භාණ්ඩ තොගයක් මෙසේ සොරාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි. මේ පිළිබඳව ලද පැමිණිලිවලට අනුව හෝමාගම පොලිසිය මෙන්ම නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය ද විමර්ශන ආරම්භ කර තිබුණි.  ඒ අනුව අස්ථානගත වූ ජංගම දුරකතනයක විස්තර වාරිතාවක් කැඳවීමේ දී ඉන් එක් දුරකතනයක් ගාල්ල,  දොඩන්දුව ප්‍රදේශයේ කිසියම් අයකු පරිහරණය කරන බවට ලද තොරතුරු වාර්තාවට අනුව නුගේගොඩ  කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරින් කණ්ඩායමක් එම නිවෙසට ගොස් පරික්ෂා කිරීමේ දී සොරාගත් බවට සැක කෙරෙන එක් ජංගම දුරකතනයක් නිවසේ දරුවකු පරිහරණය කරමින් සිටියදී භාරයට ගත් බව පොලිසිය කියයි. 

පසුව එම දුරකතනයේ ඉමි අංකය පරික්ෂා කිරිමේදී එය අස්ථානගත වූ දුරකතනයක් බවට අනාවරණය වීමත් සමඟ නිවසේ කාන්තාව  අත්අඩංගුවට ගෙන හෝමාගම අධිකරණයට ඉදිරිපත්  කිරිමෙන් පසුව ඇප මත මුදාහරිනු ලැබ සිටියාය.  එහිදී සැකකාරියගෙන් ලද තොරතුරකට අනුව සැකකාර හමුදා නිලධාරියා අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ලද තොරතුරකට අනුව රන් භාණ්ඩ තොගය උකස් කර තිබියදී සොයා ගැනිණි. සොරාගෙන තිබූ අනිත් ජංගම දුරකතන තුන ද සොයාගැනිණි.  තවදුරටත් ප්‍රශ්න කිරීමේදී අත්අඩංගුවට ගත් සැකකරු ශ්‍රී ලංකා යුද හමුදාවේ හයවැනි ඉංජිනේරු බළකායට අනුයුක්තව සේවය නිරත පුද්ගලයකු බවත් පොලිසිය පවසයි. අනියම් සම්බන්ධතා කිහිපයක් පවත්වාගෙන යමින් ඔහු කාන්තාවන්ගේ මනදොළ සපුරාලීම සඳහා මෙසේ සොරකමට ඇබ්බැහි වී ඇති බවට තොරතුරු අනාවරණය වී ඇතැයිද පොලිසිය සඳහන් කරයි.

අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා ඉකුත් 29 වැනිදා හෝමාගම මූලස්ථාන පොලිසියට භාර දීමට නියමිතව සිටියේය.  සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක හේවගේ මහතා ඇතුළු නිලධාරී කණ්ඩායමක් වැටලීම සිදුකොට පරීක්ෂණ පවත්වති.


සිසුවියකගේ රන් මාලය කඩාගෙන කැලයට ඇඳගෙන ගෙල පගා මරන්න හැදු සෙබළා පොලිසියට බාරදෙයි


පලාලි තෛසෙට්ටි ප‍්‍රදේශයේදී පාපැදියකින් ගමන් කරමින් සිටි 15 හැවිරිදි පාසල් සිසුවියකගේ ගෙල බැඳී රුපියල් ලක්ෂ 1 1/2ක් පමණ වටිනා රන්මාලය කඩාගෙන ඇය කැලයට ඇදගෙන ගොස් පහර දී ගෙල පාගා මරා දැමීමට උත්සාහ කළ හමුදා සෙබළකු ප‍්‍රදේශවාසීන් විසින් අල්ලා පහර දී පොලිසියට බාර දුන් බව පොලිසිය කියයි. සැකකරු පලාලි යුද හමුදා කඳවුරකට අනුයුක්තව රාජකාරි කරමින් සිටි 31 හැවිරිදි ලාන්ස් කෝප්‍රල් කෙනකු බවත් ඔහු තිලිප්පලෙයි ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් පොලිසිය පවසයි. 

සිසුවිය ඉකුත් 22 වැනිදා සවස අමතර පන්තියට සහභාගි වී පස්වරුවේ නිවස බලා යන අතරේ සැකකරු කුටි වර්ගයේ යතුරුපැදියකින් තෛසෙට්ටි මාර්ගයේ ගමන් කරමින් සිට ඇති බව පොලිසිය කියයි. සැකකරු තරුණිය නවතා පාරක් විමසන මුවාවෙන් කතා කර ඇගේ ගෙලබැඳි රන් මාලය කඩාගෙන ඇය ඇදගෙන අසල කැලයට රිංගා ඇති බව පොලිසිය පවසයි. තරුණිය ආධාර ඉල්ලා කෑගැසීම නිසා සැකකරු ඇයට පහර දී බිම දමා ගෙල පාගා ඇති බවද පොලිසිය සඳහන් කරයි. 

සැකකරුගේ පහර කෑමට ලක්වීමෙන් සිසුවිය බිම වැටී සිහිසුන් වූ ආකාරයට සිට ඇති බවත් ඇය සිහිසුන් වී ඇති බව සිතා සැකකරු මාර්ගයේ නවතා තිබූ යතුරුපැදිය කැලය තුලට රැගෙන ඒමට ගොස් සිටියදී සිසුවිය සැකකරුගෙන් මිදී දිවගොස් ආසන්නයේ පිහිටි නිවෙස් වෙත සිද්ධිය දැනුම් දී ඇත. සිද්ධිය දැනුම් දුන් පසුව තරුණයන් තිදෙනකු එම ස්ථානයට දිව ගොස් ඇති අතර සැකකරු යතුරුපැදියෙන් පලායෑමට උත්සාහ ගෙන තිබේ. තරුණයන් පිරිස මහත් පරිශ්‍රමයක් යොදා සැකකරු  අල්ලා පහර දී පොලිසියට බාර දුන් බව පොලිසිය කියයි. 

තරුණිය ඝාතනය කිරීමට උත්සාහ කළ සැකකරු අල්ලා පොලිසියට බාරදීමට ක්‍රියා කළ තෛසෙට්ටි ප්‍රදේශයේ තරුණයන් තිදෙනාට පොලිසිය ඔවුන්ගේ ක්‍රියාව අගයමින් සම්මාන පිරිනමා ඇත. තංගරාජා මහියන්, සෙල්වරාසා විනෝද්, වරදකරන් විජයනන් නමැති තරුණයන් තිදෙනා පලාලි පොලිසියට කැඳවා සිකුරාදා (28) ඔවුන්ට සම්මාන පිරිනැමූ බව පොලිසිය කියයි.. සැකකරු අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් බාරයට පත්කර පලාලි පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක නයනජිත් මහතා ප්‍රමුඛ පොලිස් කණ්ඩායමක් සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වයි.


ඉන්දිකා රාමනායක 

පොලිස් ගිනි අවිය පත්තු වී සිසුවාට වෙඩි වැදී තුවාල


තිහගොඩ නායිම්බල - කන්දේපොල  මාර්ගයේ දී ත්‍රීරෝද රථයක ගමන් කරමින් සිටි පාසල් සිසුන් පිරිසක් පරික්ෂා කිරීමට යාමේ දී වෙඩි වැදී 15 හැවිරිදි පාසල් සිසුවකුගේ හිසට බරපතල තුවාල සිදුවීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගත් තිහගොඩ පොලිසියේ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපතිවරයා හඳුනාගැනීමේ පෙරට්ටුවක් සදහා ලබන 04 වැනිදා තෙක් රිමාන්ඩ් භාරයේ තබන ලෙස මාතර ප‍්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා පෙරේදා (29) නියෝග කළේය. එසේ රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබුවේ උපපොලිස් පරීක්ෂක සුනිල් ගමගේ (57) නමැත්තෙකි.

ඔහු එම ස්ථානයේ රැඳී සිටි බවට පිළිගන්නා බැවින් හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් පැවැත්වීමට අවශ්‍ය නොවන බවත් ඔහු විසින් මීට පෙර අත් අඩංගුවට ගත් සැකකරුවන් මාතර, ගාල්ල හා අගුණුකොලපැලැස්ස බන්ධනාගාර තුළ සිටින බැවින් එම බන්ධනාගාරවල හැර වෙනත් බන්ධනාගාරයක රඳවා තබන ලෙසත් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥයෝ අධිකරණයෙන් ඉල්ලා සිටියහ. ඒ අනුව සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා එම බන්ධනාගාරවල හැර වෙනත් බන්ධනාගාරයක රඳවා තබන ලෙසට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා මාතර බන්ධනාගාර අධිකාරීවරයා වෙත නියම කළේය. 

ඉකුත් සිකුරාදා (28) නායිම්බල, කන්දේපොල මාර්ගයේ දී සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා අත තිබු ගිනි අවිය ක්‍රියාත්මකවීමෙන් බරපතළ තුවාල ලැබුවේ කටුවන්තුඩුවේ පදිංචි හරිෂ් හංසක දේශාන් (15) නමැති නායිම්බල විද්‍යාලයේ 10වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙකි. ඔහු අවුරුදු 14 හා 15 වයසේ පසුවන තවත් පාසල් මිතුරන් පස් දෙනෙකු සමග ත්‍රී රෝද රථයකින් මොනර පිහාටු ඇහිඳීම සඳහා ගොස් තිබේ. ඒ පෙරේදා (29) මාතර තුඩාව ශ්‍රී සුධර්මාරාම විහාරස්ථානයේ පැවැත්වීමට තිබූ පෙරහරේ කාවාඩි නැටීම සඳහා ය. ඒ වන විට මත්ද්‍රව්‍ය වැටලීමකට ගොස් ආපසු පොලිස් ත්‍රීරෝද රථයකින් යමින් සිටි සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරින් තිදෙනකු පාර පුරා ගමන් කරමින් තිබු ත්‍රී රෝද රථයක් පසු පස ගොස් තිබේ. අතරමග දී එය පාර අයිනේ වළකට වැටී නතරවනවාත් සමගම සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් ඔවුන් අල්ලා ගැනීමට උත්සාහ කර තිබෙන බව කියති. එම අවස්ථාවේ දී සැකකාර උපපොලිස් පරික්ෂකවරයා අත වූ ගිනි අවිය ක්‍රියාත්මක වී පාසල් සිසුවා බරපතළ තුවාල ලබා මාතර මහ රෝහල වෙත ඇතුළත් කරනු ලැබිය. පසුව ඔහුගේ තත්වය බරපතළ නිසා ගාල්ල කරාපිටිය මහ රෝහල වෙත මාරු කර යැවීය.එහිදී පාසල් සිසුවාගේ හිසේ සැත්කම් දෙකක් සිදු කර ඇති අතර දැනට ඔහු දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටී.

මෙම සිද්ධියත් සමග ප්‍රකෝපකාරි වූ ගම්වාසීහු තිහගොඩ පොලිස් ස්ථානය ඉදිරිපිටට ගොස් වෙඩි තැබීමට එරෙහිව විරෝධතාවක නිරත වූහ. ඇති වූ උණුසුම් තත්වය පාලනය කිරීමට ඒ අවට පොලිස් ස්ථාන වල නිලධාරිහු ද කැඳවූහ. කෙසේ වෙතත් පොලිස් ස්ථානය තුළට ගිය පාසල් සිසුවාගේ ඥාති සහෝදරියකට පොලීසිය තුළදී පොලිස් නිලධාරියකු බැටන් පොල්ලකින් පහරදීමට උත්සාහ කිරීමේ සිද්ධියක් මූලික කර ගෙන එම ස්ථානයේ නොසන්සුන්කාරී තත්වයක් හට ගත්තේය. එහිදී තිහගොඩ පොලිසියේ නවතා තිබූ කඹුරුපිටිය පොලීසියට අයත් ජීප් රථයකට ද අලාභ හානි සිදු කර තිබුණි.

පසුව දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා එම ස්ථානයට පැමිණ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී පරික්ෂණයක් පවත්වා වරද සිදුකළ පොලිස් නිලධාරීන්ට එරෙහිව නීතිය තදින් ක්‍රියාත්මක කරන බවට පොරොන්දුවීමත් සමග සාමකාමී විය. ඒ අනුව සැකකාර උපපොලිස් පරික්ෂකවරයාගේ වැඩ වහාම ක්‍රියාත්මක වන පරිදි තහනම් කිරීමට ද පියවර ගත්තේය. සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය වෙත භාර දෙන ලදී. එම ඒකකයේ ස්ථානාධිපති ධම්මික මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා සැකපිට අත්අඩංගුවට ගෙන ගිනි අවියකින් වෙඩි තබා තුවාල සිදුකිරීමේ චෝදනාව යටතේ අධිකරණය වෙත ඉදිරිපත් කරනු ලැබීය.

මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව ද විමර්ශනයක් ආරම්භ කර ඇත. එහි දකුණු පළාත් සම්බන්ධීකාරක ඩී.එම්. අබේසේකර මහතා ඇතුළු විමර්ශන නිලධාරිහු කණ්ඩායමක් පෙරේදා (29) සිද්ධිය වූ ස්ථානය වෙත පැමිණ ස්ථානීය පරික්ෂණයක් සිදු කළහ. මෙම සිද්ධියෙන් පසු මාතර වැඩබලන පොලිස් අධිකාරි තනතුරට ඇල්පිටිය පොලිස් අධිකාරි මහේෂ් කුමාරසිංහ මහතා පත් කිරීමට දකුණු  පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත්  රෝහණ මහතා කටයුතු කර ඇත. මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිශාන්ත ද සොයිසා මහතා වියට්නාමයේ නිල සංචාරයකට සහභාගීවීමට ගොස් තිබූ අතර ඔහු වෙනුවට  වැඩ බැලීමට පත් කර තිබුණේ සහකාර පොලිස් අධිකාරී 1 අයි.ජී. චන්ද්‍රසේන මහතාය. දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතාගේ උපදෙස් මත මාතර වැඩබලන පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ මහතාගේ අධීක්‍ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරි අයි ජී. චන්ද්‍රසේන මහතාගේ මෙහෙයවීමෙන් මාතර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය මේ පිළිබඳව වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.


ක්‍රිෂාන් ජීවක ජයරුක් 

Friday, October 28, 2022

ඩයනා ගමගේගේ පාස්පෝට් දෙකේ සිද්ධියට සි.අයි.ඩිය ලබන 10 දා උදාවි කැඳවයි

පාර්ලිමේන්තු මන්ත්‍රී ඩයනා ගමගේ මහත්මිය බ්‍රිතාන්‍ය පුරවැසියකුව සිටිමින් ආගමන විගමන පාලකවරයා වෙත අසත්‍ය තොරතුරු ඉදිරිපත් කර ගුවන් ගමන් බලපත්‍ර දෙකක් ලබාගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් වන විමර්ශනයේ ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත් නොකිරීම සම්බන්ධයෙන් කරුණු ඉදිරිපත් කිරිම සදහා ලබන 10 වැනිදා අධිකරණයේ පෙනී සිටින ලෙසට දන්වමින් කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් නන්දන අමරසිංහ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (27) නොතීසි නිකුත් කළේය. මෙම නොතීසිය නිකුත් වූයේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම සහ ජාවාරම් කිරීමේ වැළැක්වීමේ කාර්යාංශයේ ස්ථානාධිපතිවරයාටය. මෙම පැමිණිල්ල ලැබී වසර දෙකක් ගතවී ඇති නමුත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහි ප්‍රගතිය අධිකරණයට ඉදිරිපත්නොකිරීම සම්බන්ධයෙන් වහාම කරුණු විමසීම සඳහා අදාළ ස්ථානාධිපතිවරයාට අධිකරණයේ පෙනී සිටින ලෙසට දැනුම් දෙන්නැයි නීතිඥ ගුණරත්න වන්නිනායක මහතා ප්‍රමුඛ නීතිඥ මඩුල්ලක් අධිකරණයෙන් කළ ඉල්ලීමක් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත්වරයා මෙම නියෝගය නිකුත් කළේය. සාමාන්‍ය ජනතාවට නීතිය ක්‍රියාත්මක වනවා සේම පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වැනි මෙවැන්නන්ටත් නීතිය ක්‍රියාත්මක විය යුතුව ඇති නමුත් වසර දෙකක් ඉක්ම ගොස් ඇතත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම තැනැත්තිය අත්අඩංගුවට ගැනීමක් හෝ සිදුකර නොමැති බව ද මෝසමක් ගොනුකරමින් නීතිඥවරු අධිකරණයට දැනුම් දුන්හ. මෙම සිද්ධියට අදාළව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 175 සහ 1948 අංක 20 දරන ආගාමික හා විගාමික පනතේ 45 (1) සහ (ඇ) වගන්ති යටතේ වැරදි නිරීක්ෂණය වන බව සඳහන් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම සහ ජාවාරම් කිරීමේ වැළැක්වීමේ කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුගත් අමරසිංහ මහතා මෙම සිද්ධියට අදාළව අධිකරණයට කරුණු වාර්තා කර තිබුණේ ඉකුත් මාර්තු මස 09 වැනිදාය.


(නිමන්ති රණසිංහ)

කෝටි 1400ක් ගැරූ පිරමිඩ ජාවාරමට ශ්‍රී ලාංකිකයෝ 8000ක් අහුවෙලා

ක්‍රිස්ටෝකරන්සි මිලදීගෙන වැඩි ප්‍රතිලාභ ලබා ගැනීමේ අරමුණින් මෙරටපුද්ගලයන් 8000ක් පමණ “පෝට් චේන්” නමැති පිරමිඩ ජාවාරමට සම්බන්ධ වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ නිහාල් තන්දූව මහතා පවසයි. මෙම ජාවාරමට සම්බන්ධ සැකකරුවන් මේ දක්වා මෙරට පුද්ගලයන් රවටා රුපියල් කෝටි 1400 ක පමණ මුදල් වංචා කර ඇති බවට තොරතුරු හෙළිව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කියා සිටියේය. චීන ජාතිකයන් යුවළක් හා මෙරට පුද්ගලයකු එක්ව මෙම ජාවාරම 2020 වසරේ සිට සිදුකරගෙන ගොස් ඇති බවද හෙතෙම කියා සිටියේය. මෙම ජාවාරමේ මෙරට ප්‍රධාන සැකකරු වන ශමාල් කීර්ති බණ්ඩාර නමැත්තෙක් ඉකුත් 11 වැනි දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර ඇප මත මුදාහැර ඇති පුද්ගලයකු බවත්, ඔහු සමග මෙම ජාවාරමට සම්බන්ධ වී සිටි චීන ජාතික යුවළක් රටින් පලා යාමට සූදානම් වූ අවස්ථාවේ ඉකුත් 12 දින කටුනායක බණ්ඩාරනායක ගුවන් තොටුපොළේ දී අත්අඩංගුවට ගත් බවද හෙතෙම කියා සිටියේය. මොවුන් තිදෙනා ක්‍රිස්ටෝකරන්සි (ගුප්ත මුදල්) මිලදීගෙන පිරමිඩ ජාවාරම හරහා විශාල ප්‍රතිලාභ ලබා දෙන බවට පවසා විවිධ පුද්ගලයන්ගෙන් මුදල් ආයෝජන සිදුකර ඇත. ඒ වෙනුවෙන් සකස් කළ පරිගණක මෘදුකංගයක් මොවුන් විසින් නිර්මාණය කර ඒ හරහා කිප්ටෝකරන්සි මිලදී ගෙන වැඩි ප්‍රතිලාභ ලබාගන්නා ලෙසට පෙන්නුම් කරමින් සහ එහි විවිධ ආකාරයේ ප්‍රතිලාභ ද පෙන්නුම් කරමින් මෙම සැකකරුවන් විසින් පුද්ගලයන්ගෙන් මුදල් ලබාගෙන මෙම වංචාව සිදුකර ඇති බවද හෙතෙම කීය. පුද්ගලයන් ක්‍රිස්ටෝකරන්සි මිලදී ගැනීම සඳහා යම්කිසි මුදලක් ආයෝජනය කළ හොත් ඔවුන්ගේ එම මුදල් පස් ගුණයකින් වැඩිකර ප්‍රතිලාභ ඉහත මෘදුකාංගය හරහා පෙන්නුම් කරන බවත්, එලෙස වැඩි ප්‍රතිලාභ පෙන්නුවත් එම මුදල් හා ප්‍රතිලාභ ලබාගැනීමට ගිය අවස්ථාවේ එම මුදල් ලබාගැනීමට මුදල් තැන්පත්පත් කළ අයට අවස්ථාව හිමි නොවී ඇති බවද හෙතෙම කීය. මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ හා මුල්‍ය අපරාධ විමර්ශන අංශය සහ පරිගණක අපරාධ විමර්ශන කොට්ඨාස විසින් විමර්ශන ආරම්භ කර ඇති බවද හෙතෙම කීය. වැඩි ප්‍රතිලාභ ලබාගැනීමට ගොස් මේ ආකාරයේ ජාවාරම්කරුවන්ගේ මුදල් වංචාවලට හසු නොවන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිහාල් තල්ලුව මහතා මේ බව පැවසුවේ පොලිස් මූලස්ථානයේ ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකදීය. 


(ඉන්දිකා රාමනායක සහ ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)


විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය

විස්සයි20 ලෝක කුසලාන තරගාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායමට තීරණාත්මක තවත් තරගයක් නවසීලන්ත කණ්ඩායමට එරෙහිව සිඩ්නිහිදී හෙට (29දා ) ආරම්භ වීමට නියමිතය. ශ්‍රී ලංකාව තරග වදින 'ඒ' කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහන අනුව (අද පැවැත්වෙන ඇෆ්ගනිස්තානු-අයර්ලන්ත තරගය සහ ඔස්ටේ‍්‍රලියානු-එංගලන්ත තරග පැවැත්වීමට පෙර) නවසීලන්තය ප්‍රසාද ලකුණු 03ක් ලබමින් (තරග 02ක් ක්‍රීඩා කර එක් තරගයක් ජය ගනිමින් පෙරමුණ හිමි කරගෙන තිබූ අතර, ශ්‍රී ලංකාව එහි දෙවැනි ස්ථානයට පත්ව ඇත්තේ ප්‍රසාද ලකුණු 02ක් (තරග 02ක් ක්‍රීඩා කර එක් තරගයක් ජය ගනිමින්) ලබමිනි. ඒ අනුව ඔස්ට්‍රේලියාව, එංගලන්තය, ඇෆ්ගනිස්තානය, අයර්ලන්තය, නවසීලන්තය සහ ශ්‍රී ලංකාව යන රටවල් අතර 'ඒ' කාණ්ඩයේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ හිමිකර ගැනීමට සටනක් නිර්මාණය වී ඇත.

ශ්‍රී ලංකා කණ්ඩායම ඔස්ට්‍රේලියාව හමුවේ ලද අමිහිරි පරාජය අමතක කර, මෙම තරගය තවත් අලුත් තරගයක් සේ සිතා ක්‍රීඩා කළ යුතුය. ඔස්ටේලියානු තරගයේ සිදුවූ සුළු අත්වැරදීම් මෙම තරගයේදී සිදු නොවීමටත්, විශේෂයෙන් නායකයා වශයෙන් දසුන් ශානක පන්දු යවන්නන් මාරු කිරීමේදී සිදුකළ වැරදි පිළිබඳව තවදුරටත් අවබෝධ කරගත යුතුය. ඔස්ටේ‍්‍රලියානු තරගය ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගිය ප්‍රධානතම සාධකය වනුයේ ඔස්ටේ‍්‍රලියානු ඉනිමේ 14වැනි පන්දුවාරය යොමු කිරීමට දසුන් ශානක තීරණය කිරීමයි. එම අවස්ථාවේදී මහීෂ් හෝ ලහිරු පන්දු යැවීමට යොදා ගත්තේ නම් තත්ත්වය වෙනස් වීමට ඉඩ තිබුණි. ඔස්ටේ‍්‍රලියාව ශ්‍රී ලංකා කණ්ඩායමේ හොඳ රිමයක සිටි පන්දු යවන්නන් දෙදෙනා වූ වනිඳු හසරංගට දැඩි ප්‍රහාරයක් එල්ල කරමින් මහේෂ් තීක්ෂණ හමුවේ ආරක්ෂාකාරී පියවරක් අනුගමනය කළේය. කෙසේ වෙතත් මෙම තරගයේදී වනිඳු තමාගෙන් ගිලිහුණු රිය නැවත ලබාගත යුතුය. ඊට හේතුව වනුයේ නවසීලන්ත පිතිකරුවන් දඟපන්දු හමුවේ එතරම් ද සාර්ථකව ක්‍රීඩාකරන කණ්ඩායමක් නොවන හෙයිනි. එනිසා තෙවැනි විශේෂඥ දඟපන්දු යවනා වශයෙන් ධනංජයට පන්දුවාර  04ක් යැවීමට අවස්ථාව ලබාදිය යුතු අතර, අසලංකටද පන්දුවාර කිහිපයක් යොමු ද කිරීමේ අවස්ථාව ලබාදිය යුතුය.සිඩ්නි ක්‍රීඩාංගණය ශ්‍රී ලංකාවට වාසිදායක ක්‍රීඩාංගණයක් වන අතර ද සත්කාරක ඔස්ට්‍රේලියාව පවා සමහර අවස්ථාවලදී මෙම ක්‍රීඩාංගණයේදී ශ්‍රී ද ලංකාව හමුවේ පරාජයට පත්ව ඇත. ද එහෙයින් වැඩි ශ්‍රී ලංකා ප්‍රේක්ෂක සහභාගිත්වයක් සමගින් ශ්‍රී ලංකාවට ද මෙම ක්‍රීඩාංගණයේ ක්‍රීඩා කිරීමට අවස්ථාව ද හිමිවීම මවුබිමේදී ක්‍රීඩා කරනවා සේ  දැනෙනු ඇත. එම වාසිය ශ්‍රී ලංකාව මෙම තරගයේ ජයග්‍රහණයට උපරිමයෙන් භාවිත ද කළ යුතුය.අප පසුගිය ඔස්ට්‍රේලියානු තරගයට  පෙර පවසා සිටියේ, ශ්‍රී ලංකා ප්‍රමුඛ ද වේගපන්දු යවන්නන් කිහිපදෙනෙකුම මෙම තරගාවලියේදී ආබාධවලට ලක්ව ද සිටින නිසා ලහිරු කුමාර ඔහුගේ වගකීම ද හරිහැටි තේරුම් ගනිමින්, තරග දිනවන  පන්දු යැවීමකට යොමු විය යුතු බවයි. ළහිරු ඒ ආකාරයෙන්ම පරිණත පන්දු  යවන්නෙකු සේ ඔහුගේ කාර්යභාරය අකුරට ඉටුකිරීම නවසීලන්තයට හිතකර නොවනු ඇත. විශේෂයෙන් ළහිරුගේ පන්දුවල ද ඇති වේගය සහ ඉපිලීම නිසා නවසීලන්ත  පිතිකරුවන් මෙල්ල කර ගැනීම එතරම්ම  ඔහුට අපහසුනොවනු ඇත.  නවසීලන්ත පිතිකරුවන් අතරින් නායක කේන් විලියම්සන්ගෙන් ශ්‍රී ලංකාව ප්‍රවේසම් විය යුතුය. ඔහු මේ වන විට ලකුණු අතර නොමැති නිසා මෙම තරගය ලකුණු අතරට පිවිසීමට උපයෝගී කර ගනු ඇත. කුසල් මෙන්ඩිස් සහ පැතුම් නිස්සංක මේ වන විට ලකුණු අතර සිටින නිසා ශ්‍රී ලංකාව අවධානය යොමු කළ යුතු කරුණ වනුයේ මැදපෙළින් ඉක්මනින් ලකුණු නොලැබීමේ ගැටලුව පිළිබඳවයි. විශේෂයෙන් ධනංජය ද සිල්වා, චර්ත අසලංක සහ භානුක රාජපක්ෂ මෙය තරයේ අවබෝධ කරගෙන ක්‍රීඩා කළ යුතුය. භානුක රාජපක්ෂ සහ නායක දසුන් ශානක ඉතා ඉක්මනින් ලකුණු ඉඩෝරයට තිත තැබිය යුතු අතර, මෙම තරගය ශ්‍රී ලංකාව ජයගත යුතුම තරගයක් නිසා එය සිහියේ තබා ගනිමින් ඔවුන් දෙදෙනා ක්‍රීඩා කළ යුතුය. ශ්‍රී ලංකාවට මෙම තරගාවලියේ ලොකුම හිසරදය බවට පත්ව ඇත්තේ ක්‍රීඩකයන් ආබාධවලට ලක්වීමයි. මේ වන විට ශ්‍රී ලංකා කණ්ඩායමේ ආබාධ ලැයිස්තුව 05ක් දක්වා ඉහළ ගොස් තිබේ. මීට එක්වූ නවතම ක්‍රීඩකයා වනුයේ බිනුර ප්‍රනාන්දුය. බිනුර වෙනුවට අසිත ප්‍රනාන්දු නම් කර ඇති අතර, ඊට අයිසීසී අනුමැතියද හිමිව තිබුණි. මේ වන විට ශ්‍රී ලංකාව සහ නවසීලන්තය අතර විස්සයි20 තරග 19ක් පවත්වා ඇති අතර, ඉන් තරග 07ක් ශ්‍රී ලංකාවද තරග 10ක් නවසීලන්තයද ජයගෙන එක් තරගයක් ලකුණු සමව සහ  තවත් තරගයක් තීරණයක් නොමැතිව නිමාවට පත්ව ඇත. 


(පැතුම් ශ්‍රී විජේරත්න )




ආහාරවේල් මඟහැරීමත් භයානක තත්ත්වයන්ට හේතුවක්

ආහාර කියූ විට බොහෝ දෙනකුට මතක් වන්නේ පෝෂණිය වුවත්, ආහාර කියන්නේ අතැම්විට පෝෂණයට එහා ගිය අවශ්‍යතාවක් බව බොහෝ දෙනෙකු නොදන්නවා විය හැකියි. සමහර රෝගී තත්වයන් නිසා ඇතැම් ආහාර සීමා කරන්නට උපදෙස් ලැබුණද. මුළුමනින්ම ආහාරෙ වේල් මගහරින්නට කිසිම අවස්ථාවක වෛද්‍ය උපදෙස් නොලැබෙන අතර, ආහාර පාලනය යනු මුළුමනින්ම ආහාර වර්ජනය කිරීමක් නොවන බව පළමුව සිහි තබාගන්න. සමහරු සිරුරේ බර අඩු කර ගත්තට සහ ස්ථූලතාව අඩු කර ගන්නට සිතා ආහාර වේල් මගහැරීමට හුරුපුරුදුව සිටිනුයේ. තමන්ගේ ආහාරවේල්, අධි බර සහ ස්ථූලතාව කෙරෙහි බලපාන එකම සාධකය සේ සලකමිනුයි. දියවැඩියාව සම්බන්ධයෙන් අපි කවුරුත් දන්නේ රුධිරගත සීනි ප්‍රමාණය වැඩි වීමේ රෝග තත්ත්වයක් ලෙසයි. නමුත් කිසිවිටක රුධිරගත සීනි ප්‍රමාණය නිසි ප්‍රමාණයට වඩා අඩුවුවහොත් සිදුවන්නේ කුමක්ද යන්න පිළිබඳව බොහෝ දෙනකුගේ සැලකිල්ල යොමු නොවීම අවසානයේ වඩා තීව්‍ර සංකුලතාවන් සහිත ගැටලු ජීවිතය වෙත කැදවන්නට පුළුවන්. හයිපොග්ලයිසීමියා යනු එවන් තත්වයක්. ඔබත් හයිපොග්ලයිසීමියාවට අතවනන පුද්ගලයෙක්ද? නොපමාව විමසා බලන්න.අපේ ශරීරයේ ඇති රුධිරගත සීනි මට්ටම නැතිනම් ග්ලූකෝස් මට්ටම 70mg/dc (4mmol/c) වඩා අඩු වීම වෛද්‍ය විදයානුකූලව හඳුන්වනු ලබන් හයිපොග්ලයිසීමියා (Hypoglycemia) නමින්.මෙය බැලූ බැල්මට ඔබ දකින්නේ සුළු තත්වයක් ලෙස වුවත්, මෙය ඉතාම බරපතළ තත්වයක් බව ඔබේ සාමාන්‍ය දැනුම අතරට අනිවාර්යයෙන්ම එක්විය යුතු කරුණක්. හයිපොග්ලයිසීමියාවේදී සිදුවන්නේ කුමක්ද? මොළයට ලැබෙන ග්ලූකෝස් ප්‍රමාණය අඩුවීමක් සිදුවීමයි. එයින් මොළයේ යම් යම් ක්‍රියාවිරහිතභාවයන් ඇතිකරනවා. සියලු ප්‍රශ්න ආරම්භ වෙන්නේ එයින්. සමහර විට අධික නිදිබර ගතිය. ඒ සමගම දහඩිය දැමීම, ක්ලාන්ත බවක් දැනීම, හෘද ස්පන්දනය වේගවත් වීම, හිසරදයක් ඇතිවීම, වචන ගොත ගැසීම, අධික කුසගින්න, හැසිරීම් රටාවී මතුවන වෙනදා නැති වෙනස්කම්, අතපය පණ නැති වීම, වලිප්පුව මෙන්ම සිහි නැතිවීම යම් අයෙකුගේ රුධිරගත ග්ලූකෝස් ප්‍රමාණය අඩු වීම පිළිබඳ සංඥා ලස මතුවන්නට පුළුවන්. ඔබ දියවැඩියා රෝගය නැතහොත්, රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය වැඩි බව කලින් හදුනාගෙන සිටින රෝගියෙකු නම්, මෙවන් ලක්ෂණ මතු වීම ඔබගේ රුධිරයේ සීනි ප්‍රමාණය අඩු වීම නැතිනම් පහළ බැසීම පිළිබඳ ලක්ෂණ ලෙස හඳුනාගන්නට වඩා පහසුවක් ඇති වේවි. විශේෂයෙන්ම ඔබ ඉන්සියුලින් භාවිත කරන්නෙකු නම් මේ රෝග ලක්ෂණ පිළිබඳ හොද අවධානයකින් පසුවීම සහ එවන් වෙනස්කම් එකක් හෝ කීපයක් මතුවන විටම ඒ ගැන සැලකිලිමත් වීම ඉතාම වැදගත්, ඔබ දියවැඩියාව සම්බන්ධ ප්‍රතිකාර ලබන්නෙකු නොවන නමුත්, ඔබ නොදැනුවත්වම රුධිරයේ ග්ලූකෝස් ප්‍රමාණය අඩු විය හැකි තත්ත්වයක් පැනනැගිය හැකි නිසා, එවන් ලක්ෂණ මතු වූ වහාම ඉතා ඉක්මනින් ක්‍රියාකාරී වී මෙහි සඳහන් යමක් ලබා ගැනීමට හෝ ලබාදීමට කටයුතු කරන්න. ග්ලූකෝස් ස්වල්පයක් ලබා ගැනීම, සීනි දියකරන ලද වතුර ස්වල්පයක් එසේත් නැති නම් සීනි ටිකක්, චොක්ලට් කැබැල්ලක්, ටොෆි එකක් නැතිනම් ජෑම් ස්වල්පයක් ආහාරයට ගැනීම හෝ සීනි සහිත තේ කෝප්පයක් ලබාගැනීම තුළින් රුධිරයේ සීනි මට්ටම ඉහළ නැගීමට තුඩු දෙන ක්ෂණික පිළියම් යොදන්න. ඔබ දියවැඩියා රෝගය සහිත අයෙක් යැයි කලින් හඳුනාගෙන තිබේ නම්, ඔබ සමීපයේ ඔබට එහා මෙහා ගෙන යෑමට අපහසුවක් නැති ටොෆියක් වැනි දෙයක් නිතර ළඟ තබා ගන්න. එවිට යම් අයුරකින් ඔබට මේ තත්ත්වය  ඇතිවන්නේ මගතොටක යමින් සිටින අවස්ථාවක තම්, නොපමාව ඒ සදහා ප්‍රතිකර්මයක් ලෙස එය යොදාගත හැකිය. එවන් රෝග ලක්ෂණයක් මතු වූ අවස්ථාවක, ඔබ සතුව රුධිරයේ සීනි මැන බලන උපකරණයක් නැතිනම් ග්ලූකොමීටරයක් තිබේ නම්, එය ආධාරයෙන් ඔබේ රුධිරයේ සීනි ප්‍රමාණය මත බැලීමට කටයුතු කළ යුතුය. එසේ නැතිව වුවද අප සදහන් කඳ එම රෝග ලක්ෂණ මතු වූ අවස්ථාවල එය හයිපොග්ලයිසීමියා තත්වයක් ලෙස සලකා කටයුතු කළ යුතුය. කෙසේ වෙතත් ඔබේ සරල ප්‍රතිකාරයෙන් විනාඩි දහයකින් පමණ පසු එම රෝග ලක්ෂණ පහව යනු ඇත. නමුත් එසේ විනාඩි දහයක් පමණ කාලයක් තුළ ඔබට දැනුණු හයිපොග්ලයිසීමියා ලක්ෂණ පහව නොගොස් පවතින්නේ නම්, ඔබ වහා ළගම ඇති රෝහල වෙත ඇතුළු විය යුතුය. මන්ද එය ඔබට තනිවම පාලනය කරගත නොහැකි තත්වයක් විය හැකි බැවිනි.අ කෙසේ නමුත් අප ඉහතදී සදහන් කළ ආකාරයේ රෝග ලක්ෂණවලදී ඔබට සිහි නැතිවීමේ ලක්ෂණය මතු වූයේ නම් හෝ අපස්මාරය තත්වයක් (fitattah) ඇති වූයේ නම් කඩිනමින් රෝහලකට ඇතුළු කළ යුතුමය. මන්ද එම තත්වයට පත් රෝගියාට සේලයින් මගින් සිනි ලබාදීම අත්‍යවශ්‍ය බැවිනි. කෙසේ නමුත් ‍සිහි නැතිවී සිටින රෝගියෙකුට නම් මුඛ මාර්ගයෙන් යම් යම් දියර ලබාදීමට උත්සාහ දැරීම නොකළ යුතු වනුයේ එය අනතුරුදායක පියවරක් වන බැවිනි. හයිපොග්ලයිසීමියා තත්වය ඇතිවීමට බලපානු ලබන ප්‍රධාන හේතු සම්බන්ධයෙන් දැන් ඔබ වඩාත් අවධානයක් දැක්වීම වැදගත් වනුයේ ඇතැම් හේතු ඔබගේ අතපසුවීම් හරහා මතුවීමට ඉඩකඩ ඇති නිසාය. ඔබ දියවැඩියා රෝගියෙකු නම් බොහෝ විට ඔබ ඉන්සියුලින් හෝ දියවැඩියා රෝගය සදහා ලබාදෙන පෙති නියමිත මාත්‍රාවෙන් ලබාගන්නවා විය හැකිය. නමුත් අතපසු වීමකින් හෝ අමතක වීමකින් ඔබ අතින් නියමිත ප්‍රමාණයට වඩා වැඩියෙන් එම ඖෂධ භාවිතය සිදුවුවහොත්, එය අප මේ කියූ හයිපොග්ලයිසීමියා තත්වයට අත වැනීමකි.

නියමිත ප්‍රමාණයට වඩා අඩුවෙන් ආහාර ගැනීමද හයිපොග්ලයිසීමියා තත්වය මතු කරන්නට ඉඩකඩ සලසත්තකි. බොහෝ රෝගීන්ගේ හිතුවක්කාර ආහාර පාලනය වඩාත් භයානක යැයි අප මුලින්ම සිහිපත් කළේ එබැවිනි. ඉන්සියුලින් එන්නත ලබාගත් වහාම ආහාර අනුව කළ යුතුය. ඉන්සියුලින් ලබාගෙන ආහාර නොගත සිටියහොත්, ඒ හේතූවෙක්ද හයිපොග්ලයිසීමියාව ඇතිවීමට අවශ්‍ය සාධක ගොඩනැගයි. ප්‍රධාන ආහාරවේල මගහැරීමද එවන්ම වූ හේතුවකි. සමහරු විවිධ හේත්තු දක්වා ආහාරවේල් මගහැරිම නිතර  සිදුකරන්නකි. ආහාර සදහා ප්‍රියක් නොමැති වීම, නැතිනම් ආහාර ගන්නා වේලාව වන විට වැඩවල නිරතව සිටීම, නැතිනම් නින්දේ පසුවීම වැනි හේතු දක්වා ආහාරවේල් මගහැරිම මෙන්ම ආහාරයට ගත හැකි කිසිවක් නොමැති වීමද එම හේතු අතර වෙයි. අධික ලෙස මත්පැන් භාවිතාව, සුපුරුදු ප්‍රමාණයට වඩා වැඩිපුර ව්‍යායාම් ආදියෙහි හෝ වෙහෙසවීම්වල නිරතවීම හයිපොග්ලයිසීමියාව මතුවීමට එක එල්ලේ බලපානු ලබයි. මේ නිසා හයිපොග්ලයිසීමියාවට බලපාන මෙම කරුණු අවම කර ගැනීම, මෙවන් අවස්ථාවකදී කටයුතු ද පිළිබද ඉහත දැක්වූ කරුණු පිළිබද හොද දැනුවත්භාවයක් ලබා සිටීම වඩා සුදුසුය. හයිපොග්ලයිසීමියා තත්වය නිසා  මතුවන කෝමා තත්ත්වය දිගුකාලීන සංකූලතාවන්ට හේතු වන බව මතක තබාගත යුතුය.

(සටහන - නාලීකා රාජපක්ෂ)


බාලවයස් දැරියට අතවර කළ දෙදරු පියාට වසර 12ක සිර දඩුවමක්

පාසල් නිම වී නිවසට පැමිණි බාලවයස්කාර දැරියකට අතවර කිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් දෙදරු පියෙකුට බරපතළ වැඩ සහිත වසර 12ක සිර දඬුවම් නියම කළ කොළඹ  මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා අතවරයට ලක් වූ දැයට රුපියල් ලක්ෂ 03ක වන්දියක් ගෙවීමටද නියම කළේය. උපාධි අපේක්ෂිකාවක් වන වින්දිත තරුණිය මීට වසර 09කට ඉහතදී සිදු වූ මෙම අපරාධය සම්බන්ධයෙන්  අධිකරණය හමුවේ මුල් දින සාක්ෂි ලබාදීමෙන් අනතුරුව දෙවැනි දිනයේ සාක්ෂි ලබාදීමට සුදානම් වූ අවස්ථාවේදී චෝදනාවන්ට වරද  පිළිගත් දෙදරු පියෙකුට එලෙස දඩුවම් නියම කළ විනිසුරුවරයා ස්ත්‍රී දූෂණයක් යනු මිනීමැරුම් චෝදනාවන්ට පමණක් දෙවැනි වන බරපතළ අපරාධයක් බව ද පෙන්වා දුන්නේය. සිර දඬුවමට හා වන්දි මුදලට අමතරව රුපියල් 25,000ක දඩයකටද විත්තිකරු යටත් කළ විනිසුරුවරයා එම වන්දි හා දඩ මුදල් නොගෙවන්නේ නම් තවත් වසර එකහමාරක සිර දඬුවම් නියම කළේය. 2013 වසරේදී වයස අවුරුදු 16ට අඩු බාලවයස්කාර දැරියක් බලහත්කාරයෙන් අපයෝජනය කිරීම ඇතුළු අධිචෝදනා 03ක් යටතේ නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව මෙම නඩුව පවරා තිබිණි. මෙම නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කරමින් වින්දිත කාන්තාව අධිකරණයේ සාක්ෂි ලබාදුන් අතර ඇය දෙවැනි දිනයට සාක්ෂි ලබාදීමට සූදානම් වූ අවස්ථාවේදී අදාළ චෝදනාවන්ට තමන් වරද පිළිගන්නා බව විත්තිකරු අධිකරණයට දැනුම්  දුන්නේය. පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි රජයේ නීතිඥවරයා කරුණු ඉදිරිපත් කරමින් වින්දිත තැනැත්තිය 2013 වසරේදී මෙම අතවරයට ලක්වීම ඇති බවත්, ඒ වන විට ඇය 15හැවිරිදි වියේ පසුවී ඇති බවත් පවසා සිටියේය. පාසල් නිමවී ඇය නිවසට පැමිණෙන විට ඇගේ මව නිවසේ සිට ඇති බවත්, විත්තිකරු මෙම අතවරය සිදු කර ඇති බවත්, ඉන් ඇය ගැබිනියක් බවට පත්ව ඇති බව ඩී.එන්.ඒ පරීක්ෂණ මගින් ඔප්පු වී ඇති බවත් රජයේ නීතිඥවරයා සඳහන් කළේය. තරුණිය පෙර දින ලබාදුන් සාක්ෂිවලින් තමන් වැරදිකරු වන බව දැනගෙන තමන්ට වැඩ වරදින බව විත්තිකරුට දැනුන හෙයින් ඔහු වරද පිළිගත් බව පවසූ රජයේ නීතිඥවරයා විත්තිකරුට දැඩි දඬුවම් පමුණුවන්නැයිද ඉල්ලා සිටියේයෙ. විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු ඉදිරිපත් කරමින් විත්තිකරු 2013 වසරේදී දැරියගේ නිවස අසල ඉදිකිරීම් කර්මාන්තයක අත්උදව්කරුවෙකු ලෙස සේවය කර ඇති බවත්, ඒ වන විට ඔහු 30 හැවිරිදි  වියේ පසුවී ඇති බවත් පැවසීය. විවාහක දරු දෙදෙනකුගේ පියෙකු වන තම සේවාදායකයා මුල් අවස්ථාවේදීම චෝදනාවන්ට වරද පිළිගැනීම හේතුවෙන් ඔහුට ලිහිල් දඬුවම් නියම කරන්නැයි විත්තිකරුගේ නීතිඥවරයා ඉල්ලා සිටියේය. අධිකරණයේ අවසරය මත අධිකරණය ඇමතූ වින්දිත තරුණිය මේ වන විට උසස් අධ්‍යාපනයේ නිරතව උපාධියක් අපේක්‍ෂාවෙන් සිටින තමන්ට මානසික නිදහස හා අධ්‍යාපනය හැදෑරීම පමණක් අවශ්‍ය වී ඇතැයිද පැවසුවාය. ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතු විනිසුරුවරයා දෙදරු පියෙකු වන විත්තිකරු සිදුකර ඇත්තේ මිනීමැරුම් චෝදනාවන්ට පමණක් දෙවැනි වන දැඩි අශිෂ්ඨ බරපතළ අපරාධයක් යැයි සඳහන් කළේය. දැරියගේ මව මීට වඩා විමසිලිමත් වූයේ නම් මෙම අපරාධය සිදු නොවීමට ඉඩ තිබුණු බවත්, දෙමවුපියන් සිය දරුවන් පිළිබඳ මීට වඩා විමසිලිමත් විය යුතු බවත් සඳහන් කළ විනිසුරුවරයා තම වින්දිතභාවය නොසලකා ජීවිතය ජය ගැනීමට වෙර දරන තරුණිය රටටම ආදර්ශයක් බවද සඳහන් කළේය. සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව විත්තිකරුට අදාළ දඩුවම්  නියම කෙරිණි.


(බුද්ධිමාල් රුබේරු)


මාධ්‍ය ඒකකයේ භාණ්ඩ අරගෙන යෑමට තරම් පහතට වැටුණේ නෑ

හිටපු ජනාධිපතිවරයෙකු ලෙස තමන් කිසිසේත්ම තමන්ගේ මාධ්‍ය ඒකකයේ තිබුණ භාණ්ඩ අරගෙන යාමට තරම් පහතට වැටුණු කෙනෙක් නොවන බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවසීය.ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (27දා) පොළොන්නරුවේදී විශේෂ මාධ්‍ය හමුවක් කැඳවමිනි. ඒහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ මෙත්‍රීපාල සිරිසේන මහතා, "සමහර රූපවාහිනී නාලිකාවල, සමාජ මාධ්‍යවල, වෙබ් අඩවිවල තිබුණා වැරදි ප්‍රවෘත්තියක්. පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතියෙන් කඳුරුවෙල භාගෙට ගොඩනැගිල්ලක් හදලා තියෙනවා නොයෙකුත් වැරදි එතන දැන් සිදුවෙනවා, නීතිවිරෝධී දේවල් වෙනවා කියලා කියනවා. මම පැහැදිලිව කියන්න ඕන කදුරුවෙල බස්නැවතුම්පොළට පිටුපස තියෙන මේ ගොඩනැගිල්ල රජයේ ගොඩනැගිල්ලක් නෙමෙයි. රජයේ මුදල් සතයක්වත් යොදවපු එකක් නෙමෙයි. පිබිදෙමු පොළොන්නරුව ව්‍යාපෘතියට අයිති එකකුත් නෙමෙයි. පොළොන්නරුව සමූපකාර මණ්ඩලය සහ මඩකලපුවේ ව්‍යාපාරික මහත්තයෙක් එක්ක ගිවිසුම් ගතවෙලා සිනමා ශාලාවක් හදන්න කියලා තමයි මේක කළේ. මම එතනට ගිහින් තියෙනවා. සිනමා ශාලාවක් පොළොන්නරුවේ තියෙනවා නම් හොඳයි. පස්සේ ඒ ව්‍යාපාරික මහත්මයා බංකොළොත් වෙලා දාලා ගිහිල්ලා කියලා තමයි දැනගන්න තියෙන්නේ. මම කනගාටු වෙනවා මම සම්බන්ධයි කියලා මහජනතාව නොමග යවන විදිහේ පුවත් පළ කිරීම ගැන. ඒ වගේම තමයි ජනාධිපති ලේකම් කාර්යාලයේ කෝටි තුනහමාරක බඩු භාණ්ඩ අස්ථානගත වෙලා කියලා විගණන වාර්තාවකින් කියවෙනවා කියලා. පත්තරවල පුවත් පළ වෙලා තිබුණා මට චෝදනා කරන ආකාරයෙන්. මම ඒ විගණන වාර්තාව දැක්කේ නෑ. විගණකාධිපතිතුමාගෙන් ඉල්ලා ගන්නවා එය. කිසිසේත්ම ජනාධිපතිවරයාට, ජනාධිපතිවරයාගේ කාර්යාලවල තියනෙ ගොඩනැගිලි, සම්පත් අයිති නැහැ. පෑනක් පැන්සලක්වත් ජනාධිපතිවරයා භාරයේ නෑ. ඒවා භාරව නිලධාරී මහත්වරු ඉන්නවා. අනුරාධපුරේත්, කතරගම ජනාධිපති මන්දිරවලත්  රූපවාහිනී අතුරුදන් වෙලා තියෙනලා කියලත් තිබුණා. මම ඉතාම පැහැදිලිව කියන්න ඕනෑ මාධ්‍ය අංශයේ තමයි විශාල වශයෙන් බඩු අතුරුදන් වෙලා තියෙන්නේ කියලා තිබුණා. මාධ්‍ය අංශය විතරක් නෙමෙයි අනෙකුත් සෑම අංශයක් භාරවම නිලධාරීන් ඉන්නවා. මම දන්න විදිහට මාධ්‍ය අංශයේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයා 2019 ජනාධිපති වුණ ගෝඨාභය රාජපක්ෂ මහතාට අයත් කාර්යමණ්ඩල වෙත ලිඛිතව භාරදුන්නා.යම් කිසි බඩු භාණ්ඩ හිඟයක් තිබෙනවා නම් ඒ පිළිබඳ පරීක්ෂණයක් පැවැත්විය යුතුයි. ජනාධිපතිවරයෙක් විදිහට සර්කිට් බංග්ලො එකක තියෙන කබල් රූපවාහිනියක් ගේන්න, නැත්නම් මාධ්‍ය ඒකකයේ තියෙන මොනවා හරි බඩු අරගෙන යන්න තරම් පහතට වැටිච්ච කෙනෙක් නෙමෙයි මම. මම කවදාවත් වංචාවක් දූෂණයක් කරපු නැති කෙනෙක්. මම රජයෙන් ඉල්ලා සිටිනවා මේ ගැන පරික්ෂණයක් කරන්න අපිත් ඒ සඳහා සහාය දෙනවා" ' යනුවෙන් පැවසීය.

(පොළොන්නරුව - තුෂාර තෙන්නකෝන්)

සිරමැදිරියේ දුක දැක රාලහාමි යුනිෆෝම් ගලවා ගෙදර යයි


සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයන් පිරිසක් පොලිස් සිර  මැදිරියක් තුළ රඳවා සිටින ආකාරය දැකිමේන් දරාගත නොහැකි දුකක් ඇති වූ බව කියමින් රඹුක්කන පොලිසියේ  ආධුනික පොලිස් කොස්තාපල්වරයකු ඒ ගැන ප්‍රකාශයක් ලබාදී පෙරේදා (26) සේවයෙන් ඉවත්ව ගිය බව ප්‍රදේශයේ  උසස් පොලිස් නිලධාරියෙක්  පැවැසිය. මෙම ආධුනික පොලිස් කොස්තාපල්වරයාට අයත් නිල ඇඳුම් පොලිස් නිල හැඳුනුම් පත සහ පොලිස් දෙපාර්තමේන්තුව මගින් ඔහුට නිකුත් කරන ඇති සියලුම බඩු බාහිරාදිය බාරදී  ඔහු සේවයෙන් ඉවත්ව ගිය බව පොලිසිය ය සඳහන් කරයි. 

මහියංගනය පොලිස් අභ්‍යාස විද්‍යාලයේ පුහුණුවෙන් පසු මෙම ආධුනික පොලිස් කොස්තාපල්වරයා රඹුක්කන පොලිසියේ රාජකාරි සඳහා ඉකුත්දා (10) අනුයුක්ත කරනු ලැබීය. පොලිස් ආචාර පෙළපාළියක් සඳහා පුහුණුවීම් වලට මෙම ආධුනික පොලිස් කොස්තාපල් වරයා යොමුකර තිබිණි යැයි පොලිසිය කීය. කෑගල්ල කොට්ඨාසය යටතේ පාලනය වන එම පොලිස් ස්ථානයට ගොස් සිටියදී එම පොලිස් ස්ථානයේ සිර මැදිරියේ සැකකරුවන් පිරිසක් රඳවාගෙන සිටි  ආකාරය දැකීමෙන් ඉමහත් දුකක් ඇති වූ බව සේවයෙන් ඉවත්ව යෑමට කලින් ප්‍රකාශයක් ලබාදෙමින් මෙම ආධුනික කොස්තාපල්වරයා පවසා ඇතැයි පොලිස් ආරංචි මාර්ග කියයි. 

සැකකරුවන් පොලිස් සිර සිරමැදිරියේ රඳවා සිටි ආකාරය දුටු දිනයේ ඒ ගැන මතක් වීම නිසා රාත්‍රී නින්ද නොගිය බවත් මෙයින් ඇති වූ මානසික පීඩනය දරාගත නොහැකි වූ බවත් ආධුනික  කොස්තාපල්වරයා ප්‍රකාශ කර ඇතැයි එම උසස් පොලිස් නිලධාරියා පැවැසීය. පොලිස් සේවයෙන් ඉවත්වීමට බලපෑ මෙම කරුණු කාරණා ගැන ප්‍රකාශයක් ලබාදීමෙන් පසු ආධුනික කොස්තාපල්වරයා සේවයෙන් ඉවත්ව  ගිය බව පොලිසිය සඳහන් කරයි.


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය 


හූනියම් කළැයි මරණ දඬුවම


සෞදි අරාබියේ නිවසක ගෘහ සේවිකාවක ලෙස සේවය කරමින් සිටියදී හුනියමක් කර එම නිවසේ දැරියක මරා දැමු බවට වරදකාරිය වී මරණ දඬුවම නියමවී වසර 7ක් සිරගතව සිටි ශ්‍රී ලාංකික කාත්නාවක පසුව සියලු චෝදනාවලින් නිදොස්කොට නිදහස් කර යළි ශ්‍රී ලංකාවට එවා ඇත. මෙම අකරතැබ්බයට මුහුණපා ඇත්තේ අවිස්සාවේල්ල තල්දූවේ පදිංචි 48 හැවිරිදි ෆාතිමා සමරුද්දී නමැති අවිවාහක කාන්තාවකි. තම දැරියට හූනියමක් කර ඇය සාහසික ලෙස මරා දැමුවේ යැයි චෝදනා කරමින් සෞදි අරාබියේ නිවැසියන් ෆාතිමා සමරුද්දි එරට නීතිය හමුවට පමුණුවා තිබේ.

මේ බව සැලවීමත් සමග සෞදි අරාබියේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරීන් මැදිහත්වී නීති අංශවල සහාය ලබාගනිමින් මියගිය දැරියන්ගේ ශරීර කොටස් පරීක්ෂණ සඳහා යොමු කරවා තිබිණි. සෞදි අරාබියේ රියාද්හි ඇමෙරිකාවේ සහ දමාහි සිදුකළ වෛද්‍ය පරීක්ෂණවලදී තහවුරු වී ඇත්තේ එම දැරිය මියගොස් ඇත්තේ පිලිකා රෝගයක් උත්සන්න වීමෙන් බවය. සෞදි අරාබියේ දැරිය මිය ගිය හේතුව අධිකරණයේදී සත්‍ය වශයෙන් තහවුරුවීමෙන් පසුව ෆාතිමා සමරුද්දි ඉකුත් 16 වැනිදා නිදහස් කර තිබිණි. 

දුගී භාවයට පිළිසරණක් ලෙස මුදල් සොයාගෙන සෞදි අරාබියේ රැකියාවකට ගිය තමාට සිදුවූ ඛේදවාචකය පිළිබඳව ෆාතිමා සමරුද්දි හැඬු කඳුළින් මෙසේ කීවාය. මම ලංකාවට ආවේ පසුගිය 22 දා. ඒ වෙනකොට මම අවුරුදු හතක් සිරගතව සිටියා. මගේ දෙමාපියන් මට සිදුවූ දේ ගැනම සිතමින් සිට රෝගි වී මිය ගිහින්. මම එයාලට හිටපු එකම ළමයා. දැන් මට කවුරුවත්ම නෑ. දැනට ඉන්නෙත් මගේ දුරින් නෑදෑවෙන සහෝදරියක් ගාව. මට කිසිම මුදලක් ඉතිරි වුණෙත් නෑ. 

මට කිසිම වන්දියක් ලැබුණෙත් නැහැ. මම නිරපරාදේ අවුරුදු හතක් හිරබත් කෑවා විතරයි වුණේ. දැන් මට කිසිම දෙයක් නෑ. මම අසරණ වෙලා ඉන්නේ. සෞදි අරාබිය කියන්නේ මහා ජරා රටක්. මම අපේ රටේ ජනතාවගෙන් ඉල්ලනවා කිසිම කෙනෙක් ඒ රටට යන්න එපා. නිරපරාදේ දුක් විඳින්නයි වෙන්නේ. මට සිදුවෙච්ච දේ ගැන හිතලා රජය මැදිහත් වෙලා මට සාධාණයක් කරන ලෙස ඉල්ලා සිටිනවා. 

ඉකුත් 2012 වර්ෂයේ නොවැම්බර් මස 27 වැනි දින තමන් ගෘහ සේවිකාවක ලෙස සෞදි අරාබි රාජ්‍යය බලා පිටත්ව ගොස් එම රටේ නිවසක වසර දෙකයි මාස තුනක් සේවය කර යළි මෙරටට පැමිණීමට සැරැසීමේදී තමන් සේවය කළ නිවසේ හාම්පුතාගේ දියනියට හුනියමක් කර එම දියණිය දැඩි රෝගී තත්වයට පත්කර ඇතැයි තම හාම්පුතා සොදී පොලිසියට කළ පැමිණිල්ලක් අනුව තමන් අත්අඩංගුවට ගෙන සෞදි අධිකරණයට හමුවට පැමිණවීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාරගත කළ බවත් බන්ධනාගාර ගතව සිටියදී හාම්පුතාගේ දියණිය රෝගී තත්වයෙන්ම මිය යාම  නිසා තමන්ට මරණ දඬුවම නියම කිරීමට එරට අධිකරණය කටයුතු කළ බවත් ෆාතිමා පැවැසුවාය. පසුව තමන් වසර 7 ක කාලයක් බන්ධනාගාර ගතව සිටි බවත් ඒ අතරතුරදී  ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ නිලධාරි මහත්වරුන් තමන් සමග දිගින් දිගටම කතා බහ කරමින් යළි අධිකරණය හමුවට මෙම නඩුව කැඳවීමට කටයුතු කළ බවත්  ඒ අවස්ථාවේදී වෛද්‍ය වාර්තා තුනක් අධිකරණය මගින් ඉල්ලා සිටි බවත් ඇය පැවැසුවාය.


 කේ. බුද්ධික කුමාරසිරි 

ලංගම බස් රථය ගිනි තැබු සැකකරු අවුරුදු 3ක් හිරේට

2014 වසරේදී රුපියල් ලක්‍ෂ 21ක් පමණ වටිනාකමකින් යුත් අනුරාධපුර ලංගම ඩිපෝවට අයත් බස් රථයකට ගිනි තබා මුළුමනින්ම විනාශ කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන්, අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලබා සිටි විත්තිකරුවෙකු එකී චෝදනාවට වරදකරු කරමින්, වසර තුනක බරපතළ සිරදඬුවමකට යටත් කිර්මට, අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ විනිසුරු නිශාන්ත පීරිස් මහතා නියම කළේය. මෙලෙස සිරදඩුවම් නියම වූයේ, අනුරාධපුර, මිහිඳුපුර අංක- 10 ලිපිනයේ පදිංචි රාජේන්ද්‍රන් දිනේෂ් කුමාර් නමැති පුද්ගලයෙකුටය.ඊට අමතරව රුපියල් ලක්‍ෂ 63ක දඩ මුදලක් ගෙවන (විත්තිකරු විසින් ගිනි තබා විනාශ කළ ලංගම බස් රථයේ එවකට වටිනාකම මෙන් තුන් ගුණයක්) ලෙසද නියෝග කළ මහාධිකරණ විනිසුරුවරයා, එම දඩ මුදල ගෙවීම විත්තිකරු පැහැර හරින්නේ නම්, ඔහුට තවත් වසරක බරපතළ වැඩ සහිත සිර දඩුවමක්ද නියම කරනු ලැබීය. විත්තිකරු වසර 06කට අධික කාලයක් අඛණ්ඩව බන්ධනාගාරගතව සිටීමද සැලකිල්ලට ගනිමින් විත්තිකරුට මෙම දඬුවම නියම කරන බව මහාධිකරණ විනිසුරු නිශාන්ත පීරිස් මහතා ලබාදී ඇති නියෝගයේ සඳහන් වේ. 2014 වසරේ පෙබරවාරි මස 15 වැනිදා හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුරයේදී ලංකා ගමනාගමන මණ්ඩලයේ අනුරාධපුර ඩිපෝවට අයත් ඩබ්/පී/එන්/එච්/1136 අංක දරන බස්රථයට ගිනි තබා විනාශ කළ බවට නීතිපතිවරයා විසින් මෙම විත්තිකරුට එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 410 (අනර්ථය) සහ පොදු දේපල පනත යටතේ අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ගොනු කරමින් නඩු පවරා තිබිණි.පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ දමිත සුරසේන මහතා පෙනී සිටි අතර, විත්තිකරු වෙනුවෙන් නීතිඥ අමිල කොළොන්නආරච්චි මහතා පෙනී සිටියේය.මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවති අතර, වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර මහාධිකරණයට යොමු කර තිබිණි. එසේම අනුරාධපුර මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය විසින් මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවන ලදී.


( අනුරාධපුර - උපාලි ආනන්ද)


අක්කා - නගෝගෙන් සල්ලාලයන්ට පාඩමක්


දඹුල්ල පොලිස් වසමේ පිහිටි නිවසකට කඩා වැදී එම නිවසේ සිටි සහෝදරියන් දෙදෙනකු දුෂණය කිරීමට තැත් කළ බව කියන මුහුණු ආවරණය කරගත් දෙදෙනකු සමඟ පොරබද බලවත් පරිශ්‍රමයක් යොදා ඔවුන්ගේ උත්සාහය ව්‍යර්ථ කිරීමට එම සහෝදරියන් දෙදෙනා සමත්ව ඇතැයි දඹුල්ල මූලස්ථාන පොලිසිය පවසයි. පසුව එම පුද්ගලයන් දෙදෙනා සහෝදරියකට අයත් රුපියල් 3800 ක මුදලක් සහිත පසුම්බියක් පැහැරගෙන පලාගොස් ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක්  පැවැසීය. 

මේ ගැන කිසිවකුට නොකියන ලෙස සහෝදරියන් දෙදෙනාට තර්ජනය කර ඇතැයි ද පොලිසිය සඳහන් කරයි. සැකකරුවන්ගේ තර්ජනයට බිය නොවූ සහෝදරියන් දෙදෙනා මේ බව දඹුල්ල මූලස්ථාන පොලීසියට පැමිණිලි කර ඇත. පොලීසිය පරීක්ෂණ පවත්වා හෙළි වූ තොරතුරු මත මෙම සිද්ධියට සම්බන්ධ බව කියන දඹුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙක් පෙරේදා 26 සැකපිට පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. අනෙක් සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට දඹුල්ල මූලස්ථාන පොලීසියේ අපරාධ විමර්ශන අංශය පුළුල් පරික්ෂණ පවත්වති.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය 

අවුරුදු 20ක්ම අනුන්ගේ නිවෙසේ ඡන්ද ලැයිස්තුවේ


මහනුවර මේබල් කුරේ මාවතේ පදිංචි පුද්ගලයකුගේ ඡන්ද නාම ලේඛනයට වසර 20ක් පමණ තිස්සේ නිවසේ පදිංචි නැති තැනැත්තියකගේ නම වංචනික ලෙස ඇතුළත් කර ඇතැයි මහනුවර දිස්ත්‍රික්  ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පවසයි. මහනුවර දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ඡන්ද හිමි නාම ලේඛනයට තම නිවසේ පදිංචි නොමැති තැනැත්තියකගේ නම ඇතුළත් කර ඇති බව එම නිවසේ හිමිකරු වන සුනිල් හර්ෂදේව රණතුංග මහතා මහනුවර පොලිස් මූලස්ථානයට පෙරේදා (26) පැමිණිල්ලක් ද කර ඇත.

අදාළ නිවසේ පදිංචි නොමැති තැනැත්තියකගේ නම ඡන්ද හිමි නාම ලේඛනයට ඇතුලත් කර ව්‍යාජ ලෙස මැතිවරණ කොමසාරිස්  කාර්යාලයට ඉදිරිපත් කිරීමේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් පවත්වන බව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතා පවසයි. මහනුවර පොලිස් මූලස්ථානයේ සුළු පැමිණිලි අංශයද සිද්ධිය සම්බන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කර ඇත. මහනුවර මේබල් කුරේ මාවතේ පදිංචි පුද්ගලයකුගේ ඡන්ද නාම ලේඛනයට වසර 20ක් තිස්සේ නිවසේ ස්ථිර පදිංචි නැති තැනැත්තියකගේ නම වංචනිකව මහනුවර දිස්ත්‍රික් ලේකම් චන්දන තෙන්නකෝන් මහතාට ලද පැමිණිල්ලක් මත විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබේ. 

මහනුවර දිස්ත්‍රික් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ ඡන්ද හිමි නාම ලේඛනයට තම නිවසේ පදිංචි නොමැති තැනැත්තියකගේ නම ඇතුලත් කර තිබීම සම්බන්ධයෙන් මහනුවර නගරවැසියකු වන සුනිල් හර්ෂදේව රණතුංග මහතා මහනුවර පොලිස් මූලස්ථානය වෙත (26 දින) පැමිණිලි කර ඇත.  මහනුවර තලඋයන්වත්ත පෙදෙසේ නිවසක පදිංචි නොමැති තැනැත්තියකගේ නම ඡන්ද හිමි නාමලේඛනයට ඇතුළත් කර ව්‍යාජ ලෙස මැතිවරණ කොමසාරිස් කාර්යාලය වෙත ලේඛන ඉදිරිපත් කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වන බවද මේ සම්බන්ධව කළ විමසීමකදී මහනුවර දිස්ත්‍රික් ලේකම්  චන්දන තෙන්නකෝන් මහතා කීය.  මහනුවර පොලිස් මූලස්ථානයේ සුළු පැමිණිලි අංශයද සිද්ධිය පිළිබඳ පරීක්ෂණ පවත්වයි.

ජේ.එල්.එම්. ජයසිංහ 

ප්‍රියමාලි කෝටි 4ක් වංචා කළැයි මොරටු ව්‍යාපාරිකයකුගෙන් සී.අයි.ඩී යට පැමිණිල්ලක්


අයෝජනය කර වැඩි ප්‍රතිලාභ ලබා දෙන බව පවසා පුද්ගලයන් රටවා රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කළයි අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබ සිටින තිලිණි ප්‍රියමාලි නමැත්තිය රුපියල් කෝටි 4ක මුදලක් වංචා කළ බව පවසමින් මොරටුවේ ව්‍යාපාරිකයකුද ඇයට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.   මෙම පැමිණිල්ලත් සමග මුල්‍ය වංචා සිද්ධි සම්බන්ධයෙන් තිළිණි ප්‍රියමාලිට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තූවට මේ දක්වා පැමිණිලි 12 ක් ලැබී ඇති බවත්, එම පැමිණිලි අනුව රුපියල් කෝටි 128ක මුදලක් වංචා කර ඇති බවට සඳහන් වන බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. 

මේ අතර, තිළිණි ප්‍රියමාලි නමැත්තියගේ පෙම්වතා බව කියන ඉසුරු බණ්ඩාර නමැත්තාගේ පිළිමතලාවේ නිවසේ තිබී රත්‍රං පොලු 8 ක් හමුවීමේ සිද්ධිය සම්බන්ධයෙන්, ඔහුගේ මවගෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ ප්‍රකාශ සටහන් කරගෙන ඇත. ඔහුගේ මව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට  ඊයේ කැඳවා මෙම ප්‍රකාශය සටහන් කර ගත් බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.  මේ අතර තිළිණි ප්‍රියමාලි සමග නිතරම සමීපව කටයුතු කළ තවත් සහායකයකුද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ කැඳවා ප්‍රකාශ සටහන් කර ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග කියයි. මෙම සැකකාරියට එරෙහිව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අමතරව, මුල්‍ය හා වාණිජ කොට්ඨාසයේ ඇතුළු එහි ඒකක 6 ක් ඔස්සේ විමර්ශන ආරම්භ කර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.

රසායනික පොහොර තහනමෙන් වී ටොන් ලක්ෂ 11කින් බැහැලා



රසායනික පොහොර තහනමෙන් පසුව වගාකළ පළමු මහ කන්නයේ වී අස්වැන්න පසුගිය වසරේ මහ කන්නයට සාපේක්සව මෙට්‍රික් ටොන් 11,30, 164කින් අඩුවි ඇතැයි ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුව කෘෂිකර්මාන්තය සම්බන්ධයෙන් 2021-22ට අදාළව නිකුත් කළ වාර්තාවකින් අනාවරණය වේ. රසායනික පොහොර හා කෘෂි යෙදවුම් භාවිතය  තහනම් කරනු ලැබුවේ පසුගිය වසරේ ජුනි  මාසයේදීය. ඉන්පසු එළැඹි යල කන්නයේදී ගොවීහු කලින් ගෙන්වන ලද පොහොර භාවිත කළහ. 

එහෙත් පසුගිය මහ කන්නය වන විට රසායනික කෘෂි යෙදවුම් සොයාගත නොහැකි තරමට හිග බවට ගොවීහු චෝදනා කළහ. ජන හා සංඛ්‍යාලේඛන දෙපාර්තමේන්තුවේ වාර්තාවට අනුව 2021 වසරේ මහ කන්නයේදී හෙක්ටයාර් 6,81,521කින් වී මෙට්‍රික් ටොන් 30,61,394ක් ලබා ගෙන මෙවර මහ කන්නයේදී 2021ට සාපේක්ෂව හෙක්ටයාර් 3,643ක් වැඩිපුර වගාකර ඇති නමුත් අස්වැන්න ලෙස ලැබී තිබෙන්නේ වී මෙට්‍රික් ටොන් 19,31,230ක් පමණ බවත් ඒ අනුව ආසන්න වශයෙන් මෙට්‍රික් ටොන් එකොළොස් ලක්ෂයකින් අස්වැන්න අඩුවී ඇති බවත් එම වාර්තවේ සඳහන් වේ. 

වැඩිම වී වගාවක් සිදුවන අම්පාර දිස්ත්‍රික්කයේ 2021 මහ කන්නයේදී හෙක්ටයාර් 76,391ක් වගා කර වී මෙරක් ටොන් 3,65,123ක් ලබාගෙන ඇති අතර 2022 මහ කන්නයේදී හෙක්ටයාර් 77,631ක් වගාකර ලැබී ඇති අස්වැන්න මෙට්‍රික් ටොන් 2,21,529ක් පමණක් බව එහි දැක්වේ .  අනුරාධපුර දිස්ත්‍රික්කයේ 2021මහ කන්නයේදී වී මෙට්‍රික් ටොන් 4,60,585ක් ලබාගෙන ඇති අතර මෙවර මහ කන්නයේ එය මෙට්‍රික් ටොන් 2,60,448ක් දක්වා පහත බැස ඇතැයිද, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ මෙවර මහ කන්නයේ වී අස්වැන්න  පසුගිය වසරට සාපේක්ෂව මෙට්‍රික් ටොන් 1,24,562කින් පහත වැටී ඇති බවද එහි සඳහන්වේ .


මුදිතා දයානන්ද 

තේ කම්හල් විදුලි බිල නහුතෙට නැගලා


තේ කම්හල්වල විදුලි බිල දෙගුණයකට වැඩි ප්‍රමාණයකින් ඉහළ යැම හේතුවෙන් එම කම්හල් පවත්වාගෙන යෑමේ දැඩී ගැටලුකාරී තත්වයක් පැන නැගී ඇතැයි තේ කම්හල් හිමියන්ගේ සංගමයේ සභාපති ලයනල් හේරත් මහතා පැවසීය. සාමාන්‍යයෙන් තේ කිලෝ 50,000 ක පමණ නිෂ්පාදනයක් සහිත තේ කම්හලක දළ වශයෙන් රුපියල් ලක්ෂ පහක් වශයෙන් පැවති විදුලි බිල නව සංශෝධනය සමග රුපියල් ලක්ෂ දහයක් පමණ දක්වා ඉහළ ගොස් ඇතැයිද හෙතෙම සඳහන් කළේය.

සාමාන්‍යයෙන් තේ දළු කිලෝ එකක් නිෂ්පාදනය සඳහා මෙතෙක් විදුලිය වෙනුවෙන් වැයවූයේ රුපියල් 12ත් 15ත් අතර මුදලකි. විදුලි මිල සංශෝධනයත් සමග එම මුදල රුපියල් 30ත් 35ත් අතර මිලක් දක්වා ඉහළ නැග ඇතැයිද ඔහු කීවේය. තේ මිල තවදුරටත් පහළට ගියහොත් තේ කම්හල්  පවත්වාගෙන යෑමේ බරපතළ අවදානම් තත්වයක් මතුවිය හැකි බව කී සභාපතිවරයා විදුලිය කප්පාදු කරන අවස්ථාවලදී විදුලිය උත්පාදක යන්ත්‍ර ක්‍රියාත්මක කිරිමට ඩීසල් විශාල වශයෙන් වැය කිරීමට සිදුවීම නිසා ඒ සඳහාද තේ කම්හල් හිමියන්ට අමතර වියදමක් දැරීමට සිදුව ඇති බව ප්‍රකාශ කළේය.  එසේම බැංකු පොළී වැඩිවීමද තේ කර්මාන්තයට ඉතාමත් නරක ආකාරයට බලපා ඇතැයි ලයිනල් හේරත් මහතා සඳහන් කළේය. ආර්ථිකයට දායක වන තේ කම්හල් 550 ක් රට පුරා දැනට ක්‍රියාත්මක වේ.


සුජිත් හේවාජුලිගේ 


Thursday, October 27, 2022

පොලිස් කියා ගණිකාවන් බියකර ලක්ෂ ගානක රන් බඩු කොල්ලකාලා

අන්තර් ජාලයෙන් දැන්වීම් පළකර ගණිකා වෘත්තියේ යෙදී සිටින කාන්තාවන් හඳුනාගෙන එම ස්ථානවලට ගොස් ව්‍යාජ පොලිස් හැඳුනුම්පතක් අපෙන්වා එම කාන්තාවන් අත්අඩංගුවට ගන්නා මුවාවෙන් ඔවුන් බියකර රණ් භාණ්ඩ මංකොල්ල කෑ බව කියන යුද හමුදාවේ සිට ඉවත්කළ පුද්ගලයකු ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. ඔවුන් පැමිණි මෝටර් රථයද සමග දෙහිවල දුම්රියපළ පාරදී මෙම දෙදෙනා ඉකුත් 23 වැනිදා දෙහිවල පොලිස් අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. මෙහි ප්‍රධාන සැකකරු වසර 20 කට අධික කාලයක් යුද හමුදාවේ සේවයේ සිට අත්බෝම්බයක් ළග තබා ගැනීමේ වරදට යුද හමුදා සේවයෙන් 2009 වසරේ ඉවත්කළ ගාල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 53 ක අයෙකු වන අතර, සහායට පැමිණි ඥාති සොයුරාද ගල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු (50) ක් වන අයකු බව පොලිසිය කියයි. මොවුන් දෙදෙනා එක්ව සැලසුම්කර අන්තර් ජාලයෙන් ගණිකා නිවාස සොයාගෙන ඒවාට ගොස් තමන් පොලිසියේ නිලධාරීන් ලෙස අඟවා ව්‍යාජ ලෙස සකසාගත් පොලිස් පරීක්ෂක හැඳුනුම්පතක් පෙන්වා ඔවුන් සතු රන් භාණ්ඩ හා මුදල්කොල්ලකා කාන්තාවන් කාමරවල සිරකර පලාගොස් ඇතැයිද පොලිසිය පවසයි. දෙහිවල, වැලිකඩ, වැල්ලවත්ත, ගල්කිස්ස යන ප්‍රදේශවල ස්ථාන  කීපයකදීම රුපියල් ලක්ෂ 15 කට අධික වටිනාකමකින් යුත් රන් භාණ්ඩ කොල්ලකා ඇතැයිද ඒවා කොළඹ ප්‍රධාන පෙලේ රන්භාණ්ඩ අලෙවිසල් වෙත අලෙවිකර තිබියදී තම භාරයට ගෙන ඇතැයිද පොලීසිය පැවසීය. මේ පිළිබඳව දෙහිවල පොලිස් දූෂණ මර්දන අංශයේ ස්ථානාධිපති හා අපරාධ අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරික්ෂක වීරසිංහ මහතා වෙත ලද තොරතුරකට අනුව සැකකරුවන් දෙදෙනා මෝටර් රථය සමග දෙහිවල දුම්රියපල පාරේදී අත්අඩංගුවට ගෙන ඇත. එම අවස්ථාවේද සැකකරුවන් තවත් මංකොල්ලයකට සූදානම්ව සිට ඇත. ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය, පොලිස් අධිකාරි සමන් ජයසේකර යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ දෙහිවල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුෂ්මන්ත ලියනගේ මහතාගේ උපදෙස් මත නිලධාරිහු වැටලීම සිදු කළහ.



 (දෙහිවල එච්.එම්. ධර්මපාල)



මහීෂ් ඉහළට වනිඳු පහළට

ලෝක විස්සයි20 පන්දුයවන්නන් නවතම ශ්‍රේණිගත කිරීමේ ස්ථාන ත්‍රිත්වයක් පහළට වැටීමට ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන ක්‍රීඩක වනිඳු හසරංගට සිදුවී ඇත. විස්සයි විස්ස ලෝක කුසලානයේ ඔස්ට්‍රේලියාව සමග පෙරේදා (25දා) තරගයෙන් පසු නිකුත්වූ නවතම ශ්‍රේණිගත කිරීම්වලට අනුව වනිඳු මෙම සටහනේ හයවැනි ස්ථානය දක්වා පහළට වැටී ඇති අතර, ඒ සමගින් එම ස්ථානයේ පසුවූ තවත් ශ්‍රී ලංකා සුපිරි දඟපන්දු යවන්නෙකු වූ මහී තීක්ෂණ 5වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණ ඇත. මෙම ශ්‍රේණිගත කිරීමේ පෙරමුණ තවදුරටත් ඇෆ්ගනිස්ථානයේ රෂීඩ් ඛාන්ට හිමිවී ඇත. එහි දෙවැනි ස්ථානය ඔස්ට්‍රේලියාවේ ජොෂ් හැස්ල්වුඩ්ටත්, තෙවැනි ස්ථානය දකුණු අප්‍රිකාවේ රෂීඩ් ඛාන්ටත් හිමිවී ඇත. කෙසේ වෙතත් මෙවර ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ වැඩිම කඩුළුලාභීන් අතර සමපෙරමුණේ තවදුරටත් පසුවීමට වනිඳු හසරංග සමත්වී ඇත. ඒ ඉනිම් 5කදී කඩුවී 9ක් බිඳහෙළමිනි. නමුත් ඔහු ඔස්ට්‍රේලියාව සමගින් පැවැති තරගයේදී දැඩි ප්‍රහාරයකට ලක්වීම ඔහුගේ පසුබැස්මට ප්‍රධානම හේතුව වූ අතර, ඔහුගේ පන්දුවාර 4 තුළදී ලකුණු 53ක් ප්‍රතිවාදීන්ට ලබාදුන්නේ කිසිදු කඩුල්ලක් දවා නොගනිමිනි. මේ අතර මෙම සටහනේ දෙවැනි ස්ථානයේ මහීෂ් තීක්ෂණ පසුවන්නේ කඩුළු 8ක් දවා ගනිමිනි.



(ඕෂිත වරකපිටිය)

ලොව අපිරිසිදුම මිනිසා වසර 50කට පසු ඇඟ සේදීමෙන් මරණයට පත්වෙයි

ලොව අපිරිසිදුම මිනිසා ලෙස සැලකෙන ඉරානයේ වාසය කළ 94 හැවිරිදි අමොයු හාජි පසුගියදා එරට දකුණුදිග පිහිටි ෆාර්ස් පළාතේ, ඩෙස්ගාහ් ගම්මානයේදී මරණයට පත්වූ බව බලධාරින් පවසයි.ගතවුණු වසර 50ක කාලයකදී ඔහු සිය අග සෝදා ගැනීම ඇතුළු කිසිදු සනීපාරක්ෂක කටයුත්තක් සිදු නොකිරිම මෙලෙස ඔහු ලොව අපිරිසිදුම මිනිසා ලෙස නම් කිරීමට හේතුව වී තිබේ.එහෙත් වසර 50කට පසුව පසුගිය ඉරිදා දිනයේදී ඔහු සිය ඇග සෝදා ගැනීමෙන් අනතුරුව මෙලෙස මරණයට පත්ව තිබෙන බව සදහන් වෙයි. ඔහු පිළිබදව දන්නා එම ගම්මානයේ පුද්ගලයන්ට අනුව ගතවුණු දශක කිහිපයේදී ඔහු නැවුම් ආහාර කිසිවක් ආහාරයට ගැනීමෙන් වැළකී සිටි අයෙකි. එක් අවස්ථාවකදී ගම්මානයේ පිරිසක් ඔහුව නෑවීම සදහා ගංගාව වෙත රැගෙන යාමට ගත් උත්සාහයකදී ඔහු ගමන් කළ රථයෙන් පිටත පැන ඉන් බේරි ගොස් ඇතැයිද සදහන් වෙයි. එහෙත් දැනට මාස කිහිපයකට පෙරාතුව එම ගම්මානයේම පිරිස් ඉතාමත් පරිශ්‍රමයකින් ඔහුගේ ඇගට වතුර ස්වල්පයක් දැම්මට සමත්ව තිබේ. එහෙත් මෙවර සිදුකළ අග සෝදා ගැනීමෙන් අනතුරුව හාජ් යම් රෝගී තත්වයකට පත්ව තිබේ. ඒ අනුව දින කිහිපයක් පැවැති රෝගී බවත් සමග ඔහු මෙලෙස මිය ගොස් ඇත. මීට පෙර ලොව අපිරිසිදුම මිනිසා ලෙස සැලකුනේ ඉන්දියානු

ජාතික කයිලාෂ් සිං ය. එහෙත් 2009 වසරෙන් පසුව ඔහු පිළිබදව කිසිදු තොරතුරක් වාර්තා නොවීමත් සමග හාජි මෙලෙස ලොව අපිරිසිදුම මිනිසා ලෙස පිළිගැනීමට ලක් විය.


මොකක්ද මේ අන්තරේ

ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ව්‍යපාරය අද ඊයේ ගොඩනැගුණක් නොවේ. එය අවම වශයෙන් දශක ගණනාවක ඉතිහාසයකට හිමිකම් කියයි. එම ශිෂ්‍ය ව්‍යාපාරයේ වර්තමාන ගාමක බලවේගය අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයයි. කලක් 'අවිශිබම'යන කෙටි නාමයෙන් හැඳින්වූ එය අද වන විට මෙරට ඕනෑම අයෙකුට 'අන්තරේ" යනුවෙන් හුරුපුරුදුය. මේ දිනවල අන්තරේ ගැන නිතර නිතර කතාබහ කෙරෙන නිසාත්, ඉකුත් කාලය පුරාවටම අන්තරේ විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය නිරන්තර පුවත් මවන්නක් වූ නිසාත් එහි ඉතිහාසයේ සිට විමසුමක් කළෙමු.

ශිෂ්‍ය ව්‍යාපාරයේ ඇරඹුම 

1935දී මෙරට පළමු වාමාංශික දේශපාලන පක්ෂය ලෙස සමසමාජ පක්ෂය ඇරඹී එවකට ශිෂ්‍ය ප්‍රජාව වාමාංශික අදහස්වලට ඇදගැනීමට සමත්විය. එතැන් පටන් ශිෂ්‍ය ව්‍යාපාරය වාමාංශික අදහස්වලට නැඹුරු හැඩයකින් යුක්තව ක්‍රියාත්මක විය. මෙරට විශ්වවිදහල ඉතිහාසයේ පළමු අරගලය ඇරෙඹෙන්නේ බිත්තරයක් මූලික කරගෙන 1949 වසරේදී ජේරාදෙණිය විශ්වවිද්‍යාලයෙනි. විශ්වවිද්‍යාල සිසුන් සදහා සිය ආහාර වේලට ලැබෙන බිත්තර භාගය වෙනුවට සම්පූර්ණ බිත්තරයක් ඉල්ලා මෙම අරගලය ක්‍රියාත්මක විය. ඒ ආසන්න කාලයේම සිසුන්ට වාහන ගාල් කළ හැකි පෞද්ගලික රථගාලක් ඉල්ලමින් අරගලයක්ද දියත් විය. කෙසේවුවද 1960 දශකයේදී ශ්‍රී ලංකාවේ සියලු පාසල් රජය යටතට ගැනීමත්, සිංහල භාෂාවෙන් අධ්‍යාපනය හැදෑරීම් අවස්ථාව ලැබීමත් සමග විශ්වවිද්‍යාල ශිෂ්‍ය ප්‍රජාවට මෙරට සාමාන්‍ය පවුල්වල දරුවන්ටද එකතුවීම් අවස්ථාව සැලසිණි. (ඒ දක්වා විශ්වවිද්‍යාල අධ්‍යාපනය හිමිව තිබුණේ සමාජයේ වරප්‍රසාද ලත් සීමිත පිරිසකට පමණි.) ඒ හේතුවෙන් ශිෂ්‍ය ව්‍යාපාරය පුළුල් වූ අතර, එය දේශපාලනිකවද නවමගක් ඔස්සේ ගමන්කරන්නටවිය. 

අන්තරේ ඇරඹීම

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය නාමිකව  ඇරඹෙන්නේ 1969 ජුනි මස 18වැනිදා පේරාදෙණිය විශ්ව විද්‍යාලයෙනි. එහි ප්‍රථම කැදවුම්කරු වශයෙන් එම විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ මැල්කම් විජේසිංහ පත්විය. මීට හේතු වූ ප්‍රධාන සංසිද්ධිය වූයේ 1965 දෙසැම්බර් 05වැනිදා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයන් සහ පොලීසිය අතර ඇති වූ ගැටුමෙන් දෙපාර්ශවයටම බරපතළ තුවාල සිදුවී තිබීමය. කෙසේනමුත් එය විධිමත් ලෙස ක්‍රියාකාරී වන්නේ 70 දශකයේ අගභාගයේදීය. 1978 වසරේදී මෙරට එවකට පැවති සියලු විශ්වවිද්‍යාල ශිෂ්‍ය සංගම් එක්ව අන්තරේ විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය විධිමත් සහ සංවිධානාත්මක ලෙස පිහිටුවාගනු ලැබිණි. එහි මුල්ම කැදවුම්කරු ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ශාන්ත බණඩාර ශිෂ්‍යයා පත්විය. එතෙක් ශිෂ්‍ය ඉල්ලීම් වෙනුවෙන් පෙනී සිටි අවිශිබම හෙවත් අන්තරේ 1978දී හාල්පොත් කප්පාදුවට එරෙහි අරගලයත් සමග ජනතා අයිතීන් වෙනුවෙන් මැදිහත් වීම ඇරඹීය. එතැන් පටන් ඔවුන් අද දක්වාම නිදහස් අධ්‍යාපනය, ජනතා ඉල්ලීම් ඇතුළු බොහෝ කාරණා වෙනුවෙන් අරගල කරන අතර, ඒ ඔස්සේ රටට දිනා දුන් දේ බොහෝය. 

අධ්‍යාපන ධවල පත්‍රිකාව පරාජය කිරීම 

1982 වසරේදී එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව ගෙනා අධ්‍යපන ධවල පත්‍රිකාව මෙරට ආන්දෝලනයට තුඩුදුන් මාතෘකාවක් විය. අනිවාර්ය අධ්‍යාපන සීමා 09 ශ්‍රේණියේ සිට 08 දක්වා පහතට දැමීම සහ 8 ශ්‍රේණියේදී සහතිකයක් ලබාදීම, සාහිත්‍යය හා ඉතිහාසය පාසල් විෂයමාලාවන් ඉවත් කිරීම, පාසල් අධ්‍යාපනයට අඛණ්ඩ ඇගයිම් හදුන්වාදීම, පාසල් අධ්‍යාපන වියදම් සඳහා රජයේ බර

අඩු කිරීම, පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම, පර්ෂද පාසල් හඳුන්වාදීම. මුදල් අය කරන පෞද්ගලික හා අර්ධ පෞද්ගලික පාසල් ආරම්භ කිරිම සහ සරසවී ප්‍රවේශයට ඉංග්‍රීසි අනිවාර්ය කිරීම යන යෝජනා ඊට ඇතුළත් විය. අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය මෙයට එරෙහිව අඛණ්ඩ අරගලයක් ආරම්භ කළ අතර, එය දිවයින පුරා ඇවිද ගියේය. පනත පාර්ලිමේත්තුවට ගෙනා 1982 ජනවාරි 20වැනිදා දසදහස් ගණන් සිසුන් සහ මහජනතාව පාර්ලිමේන්තුව (වර්තමානයේ ජනාධිපති ලේකම් කාර්යාලය) වටලමින් උද්ඝෝෂණයක් සිදුකලහ. එහිදී ආණ්ඩුව පොලීසිය යොදවා අමානුෂික ප්‍රහාරයක් එල්ල කරමින් දැවැන්ත මර්දනයක් ක්‍රියාත්මක කළ අතර, එයින් ආණ්ඩුව කෙරෙහි විශාල අප්‍රසාදයක් ඇති විය. අවසානයේ අදාළ පනත හකුළාගැනීමට රජයට සිදුවිය. 

උතුරු කොළඹ (රාගම) වෛද්‍ය විද්‍යාල සටන 

අධ්‍යාපන පෞද්ගලීකරණ ක්‍රියාවලිය යටත් උතුරු කොළඹ පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය 1978 අංක 16 දරණ විශ්වවිද්‍යාල සංශෝධන පනත යටතේ 1981දී ගැසට් නිවේදනයක් හරහා ඇරඹිණි. ඊට මුල සිටම විරෝධය එල්ල විය. 'පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය ජනසතුකරනු" යන සටන්පාඨය මූලික කරගනිමින් දැවැන්ත අරගලයක් ආරම්භ වූ අතර, අරගලය සඳහා නායකත්වය දුන් පද්මසිරි ත්‍රිමාවිතාන ශිෂ්‍යයා ඇතූළු ශිෂ්‍ය නායකයන් ගණනාවක් ඝාතනය කෙරිණි. කෙසේ වුවද අඛණ්ඩ අරගලය හමුවේ පෞද්ගලිකව විද්‍යාලය ජනසතු කෙරුණු අතර, එය කැලණිය සරසවියට අනුයුක්ත කරන ලදී.

අන්තරේ ප්‍රබල මර්දනයකට

මේ කාලය තුළ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලය දැඩි මතයකට ලක්විය. විශේෂයෙන් 1986 සිට 1990 දක්වා අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලයේ කදවුම්කරුවන් සියලු දෙනා උතුරු කොළඹ සටනේදී හා 1987-1990 කැරැල්ලේදී ඝාතනය කෙරිණි.රංජිතම් ගුණරත්නම්, මච්චාගම සේනාරත්න, නිමල් බාලසූරිය. වෙනුර එදිරිසිංහ, උදේනි බන්දුල දිසානායක, සිසිර කිර්ති ජයවර්ධන, අතුල සේනාරත්න ආදීහු ඒ අතර වූහ.  අදටත් අන්තරේ සටන් පාඨ අතර 'අපි යන්නේ කායිපාරේ - ත්‍රිමා වෙනුර ගිය පාරේ' යනුවෙන් සටන් පාඨයක් ඇසෙන්නේ ඔවුන් එදා ජිවිතෙ පරිත්‍යාගයෙන් කටයුතු කළ හෙයිනි. ඊට අමතරව ඒකාලය තුළ විශ්වවිද්‍යාල සිසුන් 600කට අධික පිරිසක ඝාතනය කර තිබිණි. කෙසේවුවද ජීවිත පරිත්‍යාගයෙන් සිදුකෙරුණු ඒ සටන නිමා වූයේ අදාළ පොද්ගලික විශ්වවිද්‍යාලය රජයට පවරාගනිමිනි. අදටත් එය මෙරට වාර්ෂිකව වෛද්‍යවරුන් සිය ගණනක් බිහිකරන වෛද්‍ය පීඨයක් ලෙස එය ක්‍රියාත්මක වෙමින් පවතී. 

සයිටම් අරගලය

මාලඹේ සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලයට එරෙහිව 2008 වසරේදී ඇරඹි ශිෂ්‍ය සටන මෙරට ශිෂ්‍ය ව්‍යාපාරයේ තවත් දැවැන්ත අරගලයකි. මෙම අරගලයද රාගම සටන මෙම දිවයින පුරා ව්‍යාප්තවීය. සියලු විත්තිකයන්, සමාජ ක්‍රියාකාරින් පාහේ ඊට සහයෝගය ලබාදුන්හ. උද්ඝෝෂණ, සංකේත වැඩවර්ජන, පන්ති වර්ජන, අඛණ්ඩ සත්‍යග්‍රහ, පාගමන් මෙන්ම මාරාන්තික උපවාස දක්වා වසර ගනාවක් ඇදී ගිය මෙම අරගලය ශිෂ්‍යභාවය අහෝසි කිරීම්, සිරගත කිරීම්, පැහැරගැනීම් ඇතුළු දැවැන්ත මර්දනයක් යටතේ  ක්‍රියාත්මක විය. කැලණිය විශ්වවිද්‍යාලයේ ජානක බණ්ඩාර සහ රුහුණු විශ්වවිද්‍යාලයේ සිසිත ප්‍රියංකර (ජනක - සිසිත) 2012දී අතුරුදන් වන්නේද මේ සයිටම් සටන අතරතුරදීය. කෙසේවුවද අවසානයේදී සයිටම් පෞද්ගලික වෛද්‍ය විද්‍යාලය අහෝසි කරුණු අතර, එය ශිෂ්‍ය ව්‍යාපාරය ජයග්‍රහණයකින් අවසන් කළ අරගලයක් ලෙස ඉතිහාසයට එක් විය.

කොතලාවල පෞද්ගලික විශ්වවිද්‍යාල පනතට එරෙහි සටන

කොතලාවල පනත අහෝසි කිරිමේ අරගලය ශිෂ්‍ය ව්‍යාපාරයේ තවත් වැදගත් සටනකි. මෙම පනත මුලින්ම ගෙන ආවේ යහපාලන ආණ්ඩුවෙනි. කෙසේ වෙතත් සිසු විරෝධය නිසා එවර මෙම පනත හකුළාගන්නා අතර, යළිත් එම පනත ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවත් ඉදිරිපත් විය. එහිදීද අන්තරේ පාරට බැස ඊට එරෙහිව අරගල කළ අතර, මර්දනය මද වුවද එම පනත යළි හකුළාගැනීමට ආණ්ඩුවට සිදුවිය. 

අරගලයේ ගිනිසිළුව 

පසුගිය අප්‍රේල් 09 වැනිදා ගාලුමුවදොරින් ඇරඹි මෙරට පොදු මහජන අරගලයේ කැපීපෙනෙන භූමිකාවක්  ඉටු කිරීමට අන්තරේ සමත් විය. විශේෂයෙන්ම ඔවුන් හැඳින්වෙන 'අරගලයේ ගිනිසිළුව' යන විරුදාවලියට සාධාරණයක් කරමින් ගාලුමුවදොර අරගලයට අවශ්‍යම මොහොතේ නව ජීවයක් ගෙන එන්නට ඔවුහු ක්‍රියා කළහ. අරගලයේ උද්වේගකරත්වය බැසයමින් තිබූ අවස්ථා කිහිපයකදීම ඔවුහු රට වටා රොද බැද මහ සෙනගින් කොළඹ පැමිණියහ. එමගින් රට පුරා නැවත නැවතත් අරගලය පිළිබද බලාපොරොත්තු දැල්විණි. 

එනවා, නානවා, යනවා

කෙසේ වුවද මේ සියල්ල අතරේ පසුගිය කාලයක් තිස්සේත්, දැනුත් පොදු මහජනතාව අතර ශිෂ්‍ය ව්‍යාපාරය සම්බන්ධයෙන් යම් නොරුස්නා අදහසක් ඇති වෙමින් තිබේ. විශේෂයෙන්ම පාරවල් අවහිර කරමින් පොදු ජනතාවගේ දෛනික ජීවිතවලට බලපෑම් කරමින් නිතර නිතර විරෝධතා සිදු කළද එමගින් ලැබෙන ප්‍රතිඵලයක් නැතැයි ජනතාව චෝදනා කරති. යම් හේතුවක් නිසා 'එනවා, නානවා, යනවා" යන උපහාසාත්මක යෙදුමින් අන්තරේ ක්‍රියාමාර්ග හඳුන්වන තැනටම එය සිදුව තිබේ.මීට අමතරව අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය තවත් සමාජීය හා දේශපාලන ජයග්‍රහණ ලබාදීමට සමත්ව තිබේ. 1991 දේශීය වෛද්‍ය අරගලය, 1983 ජයතිලක කමිටු වාර්තාව සහ යක්කල වික්‍රමාරච්චි වෛද්‍ය විද්‍යාලය දිනා ගැනීම, 1993 පාසල් සංවර්ධන මණ් පනත, 2001 ශ්‍රීනාත් ඩයස් කමිටු වාර්තාව, 2001 යළි පුබුදමු ශ්‍රී ලංකා වැඩසටහන, 2001 පෞද්ගලික විශ්වවිද්‍යාල පනත, 2002 ප්‍රජා මණ්ඩල පනත, 2003 රුහුණ සරසවීම කළමනාකරණ පීඨ අරගලය, 2005 තාරා හැරල්ඩි වාර්තාව. 2005 මහපොළ ශිෂ්‍යාධාර අරගලය. 2012 පොද්ගලික විශ්වවිද්‍යාල පනත, 2014 මහපොළ ශිෂ්‍යාධාර ආදිය අන්තරේ සක්‍රීයව දායකත්වය සැපයූ අවස්ථා කිහිපයකි. ස්වභාවයෙන්ම වාමවාදී දේශපාලන හැඩයකින් යුක්තව පැවතඑන අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය කලින් කලට විවීධ දේශපාලන සංවිධානව හා ව්‍යාපාරවලට සම්බන්ධිතව සහ බලය බෙදී යමින් පැවතෙයි. කෙසේවුවද එදා මෙන්ම මේ මොහොත් ශිෂ්‍ය ව්‍යාපාරය මරුට නිදහස් අධ්‍යාපනය සහ ජනතා ඉල්ලීම් දිනාගැනීම වෙනුවෙන් ක්‍රියාකාරි මදිහත්වීමක් සිදුකරමින් සිටියි. ටෙරන්ස් රොඩ්රිගෝ - වැඩබලන කැඳවුම්කරු අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බලමණ්ඩලය ශිෂ්‍ය ව්‍යාපාරය ක්‍රියාත්මකවන මූලික හර කාරණා තුනක් යටතේයි. නිදහස් අධ්‍යාපනය සහ අධ්‍යාපනය නිදහස වෙනුවෙන් කොන්දේසි විරහිතව සටන් වැදීම, විශ්වවිද්‍යාල තුළ පවතිත, විශ්වවිද්‍යාල සිසුන් මුහුණදෙන  අධ්‍යයන සහ සුබසාධන ගැටලු වෙනුවෙන් පෙනී සිටීම සහ රටේ ජනතාව පොදුවේ මුහුණදෙන ඕනෑම ගැටලුවක් වෙනුවෙන් කොන්දේසි විරහිතව සටන් වැදීම කියන ඒ කාරණා එක්ක තමයි අන්තරේ දුවන්නේ සහ සටන් කරන්නේ, අපි දන්නවා සමාජයක් ඇතුළ ගුරු, කම්කරු, ගොවි ආදී විවිධ බලවේග තියනවා. ශිෂ්‍ය ව්‍යාපාරය කියන්නේත් සමාජය ඇතුලේ ක්‍රියාත්මක බලවේගයක්. අපට සමාජය ඇතුලේ යම්කිසි කාර්යභාරයක් තියනවා සහ ඒකට සීමාවක් තියනවා. ශිෂ්‍ය ව්‍යාපාරයට දේශපාලන පක්ෂයක් සිදුකරන කාර්යභාරය කරන්න බැහැ. අපට පුළුවන් සමාජයේ සිදුවන ප්‍රශ්න වෙනුවෙන් පෙනී සිටින්න සහ මැදිහත්වෙන්න. ඒ හැර දේශපාලන පක්ෂ වගේ බලය ලබා ගන්න හෝ බලය වෙනුවෙන් ක්‍රියාත්මකව බැහැ, සමහරු විලී රාජ්‍යයේ වුණ දේවල් එක්ක සසදලා අපට එහෙම කරන්න බැරිද වගේ ප්‍රශ්න අහනවා. ශ්‍රී ලාංකේය ශිෂ්‍ය ව්‍යාපාරය ඒ ලෙවල් එක් නැහැ. අපි මැදිහත්වීම සිදුකරන්නේ වෙන විදියකට. නමුත් අපි වැඩ කරලා පෙන්නලා තියනවා. අධ්‍යාපන ධවල පත්‍රිකාවට, උතුරු කොළඹ පෞද්ගලික විශ්වවිදයාලයට එරෙහිව කරපු සටන්වල ප්‍රතිඵල විදියට අදටත් කිසිම ආණ්ඩුවකට බැරී වෙලා තියනවා පෞද්ගලික විශ්වවිද්‍යාල ක්‍රියාත්මක කරන්න. ඒ නිසා තමයි ආණ්ඩුව අපට එරහිව දරුණු විදියට මර්දනය කරන්න. දැන් වුණත් රනිල් වික්‍රමසිංහ දන්නවා අපි හරියට පාරට බැස්සොත්, එයාට ගෙදර යන්න වෙනවා කියලා. ඒ නිසා අපීව දරුණු ලෙස මර්දනය කරනවා. ඒ වගේම අපි පාරවල් අවහිර වෙන විදියේ උද්ඝෝෂණ  හරහා බලාපොරොත්තුවෙන අපේ පණිවුඩය සමාජගත කරන්න. ඒ නිසාම මිනිසුන්ට ඒක කරදරයක් විදියට දැනෙනවා ඇති. යම් ඉතිහාසයක් පුරාවටම මිනිස්සු අපට බැන්නේ. නමුත් මාස කීපයකට කලින් අරගලය පැවැති කාල මිනිස්සු අපි පිළිගත්තා, අපට ආදරය කළා. ඒක ජනතාවට දැනෙන විදිය, එයාලා දකින විදිය අනුව තමයි ඔවුන් ප්‍රතිචාර දක්වන්නේ. ඊට අමතරව ආණ්ඩුවෙනුත් ඔහොම මතවාද නිර්මාණය කරනවානේ. ඒ හරහා ඔවුන් ජනතාව අතර අපි අපකීර්තියට පත්කරන්න උත්සාහ කරනවා. නමුත් අපි ජනතාව වෙනුවෙන් අඛණ්ඩව ඉදිරියට ක්‍රියාත්මක වෙනවා.


(සමිත් බෝධිපක්ෂ) 


යාල දෙවනත් කළ වාහන 07 උසාවි බාරයට

යාල ජාතික වනෝද්‍යානනයට ඇතුළුවී වන සතුන්ට හිංසා වන පරිදි නීති විරෝධීව හැසිරුණැයි වනජීවී දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවන් නව දෙනකු එක් අයකුට රුපියල් ලක්ෂ 5 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරිය තිස්සමහාරාම මහේස්ත්‍රාත් තරිඳු සමීර සිල්වා මහතා සැකකරුවන් ධාවනය කළ ජීප් රථ 07ක් අධිකරණය භාරයට ගැනීමට ඊයේ (26) නියෝග කළේය.පලටුපාන යාල ජාතික උද්‍යාන මූලස්ථාන කාර්යාලයට ගොස් ප්‍රකාශයක් ලබාදීමට ද අධිකරණය එහිදී  සැකකරුවන්ට නියෝග කළේය. ඒ අනුව, මෙලෙස ඇප මත මුදාහරිනු ලැබුවේ, වරුණගම, බටහලේයාය, තිස්සමහාරාම පදිංචි මුණසිංහගේ ධනුෂ්ක ප්‍රසාද්, කුඩාගම්මාන 09, රන්මිණිතැන්න, තිස්සමහාරාම පදිංචි රාංවගොඩ ගම් ආචාරිගේ සුරේශ් චතුරංග, පොල්ගොල්ලවත්ත, පොල්ගොල්ල පදිංචි හස්මීඩීන් මොහොමඩ් සාෆික්, අවිස්සාවේල්ල වෙන්නවත්ත, වැල්ලම්පිටිය පදිංචි මොහොමඩ් ගවුස්  මොහොමඩ් සුවේර්, අලුත්පර, වැල්ලවාය පදිංචි සරත්නායකලාගේ චාමිකර බුද්ධික චතුරංග, නිශ්ශංක මාවත, වැහැර, කුරුණෑගල පදිංචි අල් රෂීක් රකීබ් මොහොමඩ්, පල්ලෙබොකවෙල, අඹතැන්න පදිංචි පුවක්ගහ කුඹුරේ ගෙදර සොනාල් අංජුල කුලතුංග,  මාරගහමුල්ල, හොරෙම්බුව, මූණමල්දෙණිය පදිංචි  රත්නායක මුදියන්සේලාගේ සමිත් සචින්ත රත්නායක සහ කම්ගොඩැල්ල, නුගේවත්ත, වස්කඩුව පදිංචි දුරගස්මහවිදානාලාගේ මයුර ලක්ෂන් ෆොන්සේකා සේරත්න යන අයවලුන් ය. 

මෙම සිද්ධියට අදාළව වනජීවි දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ යු පී සී බී අයි 4779, ඩබලිව් පී ජේ වයි 3902, සී ඒ එස් 7494, සී පී පී අයි 1124, 31-5495, එන් ඩබ්ලි ව් ඩී ඒ ම් 1866, සී පී කේ අයි 3907 යන වාහන සහ ඊට අදාළ යතුරු අධිකරණය භාරයට පත්කෙරිණි.  මෙම සිද්ධියට අදාළව අධිකරණයට ඉදිරිපත් කළ වාහන 32ක ලියාපදිංචි හිමිකරුවන් සම්බන්ධයෙන් මෝටර් රථ කොමසාරිස් මගින් වාර්තාවක් කැඳවීමට ද මහේස්ත්‍රාත්වරයා වනජීවි දෙපාර්තමේන්තුවට නියෝගයක් නිකුත් කළේය.   සැකකරුවන් වනෝද්‍යානය තුළ නීති විරෝධීව හැසිරෙන ආකාරය සම්බන්ධයෙන් සමාජ මාධ්‍යවල  පළවු වීඩියෝ පටය සැබෑඑකක්ද? එය සංස්කරණය කළ එකක්ද? යන්න සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා රජයේ රස පරික්ෂකවරයාට නියෝගයක් ද නිකුත් කළේය. මෙම සිද්ධියට අදාළව සැකකරුවන් නවදෙනා අදාළ  වාහන 07 ක්ද සමග වනජීවී දෙපාර්තමේන්තුවට පෙරේදා (25) පැමිණ භාරවූ පසු අත්අඩංගුවට ගත් බව දකුණු පළාත් වනජීවි සහකාර අධ්‍යක්ෂ ඉන්ද්‍රජිත් මහතා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. 

ශ්‍රී ලංකාවට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයන් බොහෝ පිරිසක් යාල ජාතික වනෝද්‍යානය නැරඹීමට පැමිණෙන බවත්, එම සියලුම සංචාරකයන්ට පොදුවේ නීති පද්ධතියක් වනෝද්‍යානය තුළ ස්ථාපනය කර ඇති බවත් වනජීවි සහකාර අධ්‍යක්ෂවරයා අධිකරණයට  දැනුම් දුන්නේය. ප්‍රධාන වශයෙන් යාල ජාතික උද්‍යානයේ ගමන් කරන ජීප් රථ පැයට කිලෝමීටර් 25කට නොවැඩි වේග සීමාවේ ධාවනය කළ යුතු බවත්, උද්‍යානයට ඇතුළු  වූ පසු කිසිදු පුද්ගලයකු ජීප් රථයෙන් බිමට බැසීම තහනම් බවත් සහකාර අධ්‍යක්ෂවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය. සතුන්ට හිරිහැර වන කිසිදු කටයුත්තක් සිදුකිරිම සපුරා තහනම් වන අතර මීට අමතරව නියමිත මාර්ගයෙන් පිටත ධාවනය කිරීමද තහනම් යැයිද නියමිත වෙලාවට උද්‍යානයෙන් පිටවීම ද සිදුකළ යුතුව ඇතැයි ද සහකාර අධ්‍යක්ෂවරයා අධිකරණයට දැනුම් දුන්නේය.

ලොව කුඩාම වන ප්‍රදේශයක් තුළ වැඩිම දිවියන් දැකිය හැකි එකම වනෝද්‍යානය මෙය වන බවත්, මුවන්, ගෝනුන්, වලසුන්, උරග ජීවින් මෙන්ම වන සතුන් සහ කුරුල්ලන් නැරඹීම සඳහා දෙස් විදෙස් සංචාරකයන් ජාතික උද්‍යානයට විශාල වශයෙන් පැමිණෙන බවත් සහකාර අධ්‍යක්ෂවරයා අධිකරණයට දැනුම් දුන්නේය. යාල වනෝද්‍යානයේ සංචාරය කිරිම සඳහා පුද්ගලයන් 80 දෙනකුගෙන් සමන්විත පිරිසක් ජීප් රථ 35කින් ඉකුත් සෙනසුරාදා පැමිණ ඇති බවත්, ඔවුන් සමග සංචාරක මග පෙන්වන්නන් 05 දෙනකු එක්වී ඇති  බවත් සහකාර අධ්‍යක්ෂවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.  

මෙම පිරිස අදාළ මග පෙන්වන්නගේ උපදෙස් පවා නොපිළිගෙන නීතිවිරෝධී ලෙසින් වනෝද්‍යානයේ හැසිරී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් උද්‍යාන භාරකරු වශයෙන් එම අවස්ථාවේ වැඩ ආවරණය කළ පී. ඩබ්ලිව්. එල්. ප්‍රේමලාල් නිලධාරියා ද අදාළ නිලධාරින් විසින් දැනුවත් කරනු ලැබ ඇති බවත් සහකාර අධ්‍යක්ෂවරයා අධිකරණයට කරුණු සඳහන් කළේය. පසුව මෙම පිරිස උද්‍යානයෙන් ඉවත් කිරීමට ද කටයුතු කර ඇති අතර, ඔවුන් සිදුකර ඇත්තේ දඬුවම් ලැබිය යුතු වරදක් බවත් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා තවත් සැකකරුවන් ඇත්නම් ඔවුන්ද අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් සහකාර අධ්‍යක්ෂවරයා අධිකරණයට දැනුම් දුන්නේය. ඉදිරිපත්වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරුවන්ට ඇප නියම කරමින් ඔවුන් ගමන්ගත් වාහන 07ක් අධිකරණය භාරයට ගෙන ලබන දෙසැම්බර් මස 09 වැනිදා තෙක් නඩුව කල් තැබීය.

නිමන්ති රණසිංහ 

භාෂාව හරස් වී හෙදියන් 422කට රට රැකියා දොර වැසෙයි


ඇමෙරිකාවේ රැකියා සදහා 2016 වසරේදී අයදුම් කළ (ඇමෙරිකා එක්සත් ජනපදය සහ මෙරට රජය අතර ඇතිකරගත් ගිවිසුමකට  අනුව හෙදියන් 425 ක පිරිසක් අතුරින් අදාළ භාෂා (ඉංග්‍රීසි) ප්‍රවීණතා විභාගය සමත්වූයේ හදියන් තිදෙනකු පමණක් බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේදී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණය විය. එම ගිවිසුම අනුව ඇමෙරිකාවේ රැකියා අවස්ථා මෙලෙස ලැබී තිබුණේ මෙරට සුදුසුකම් සහිත හෙදියන්ටය. මේ තොරතුරු අනාවරණය වූයේ විදේශ රැකියා ක්ෂේත්‍රයේ ගුණාත්මක වර්ධනය උදෙසා ඉටුවිය යුතු කාර්යභාරය ඇගැයීම පිළිබඳ වූ කාර්ය සාධන විගණන වාර්තාව පරීක්ෂා කිරීම සඳහා රාජ්‍ය ගිණුම් පිළිබඳ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් මහතාගේ සභාපතිත්වයෙන් පසුගිය 21 වැනිදා රැස්වූ අවස්ථාවේ දී ය.

මේ අතර වෘත්තීය පුහුණු ආයතන සමග ඒකාබද්ධව පුහුණු ශ්‍රමිකයන් වැඩි වශයෙන් විදේශ රැකියා සඳහා යොමු කිරීමට වඩාත් කාර්යක්ෂම වැඩපිළිවෙළක් සති දෙකක් ඇතුළත සකස් කරන ලෙස කෝපා කමිටුව විදේශ රැකියා අමාත්‍යාංශයට සහ විදේශ සේවා නියුක්ති කාර්යාංශයට නියෝග කළේය.  මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු විමසීම සඳහා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සහ විදේශ රැකියා අමාත්‍යාංශයේ ප්‍රධානීන් කෝපා කමිටුව හමුවට නැවතත් කැඳවන බවද කමිටු සභාපතිවරයා පැවසීය. 

විදෙස් රැකියා සඳහා පුහුණු ශ්‍රමිකයන්හට විශාල ඉල්ලුමක් තිබුණද ඉල්ලුමට සරිලන පුහුණු ශ්‍රමිකයන් මෙරටින් යැවීමට නොහැකි වීම බරපතළ ගැටලුවක් බවත් 2021 වසරේ පුහුණු ශ්‍රමිකයන් යැවීම සියයට 33ක පහළ අගයක් ගෙන තිබූ බවත් කමිටු සභාපතිවරයා පෙන්වා දුන්නේය. අදාළ වගකිව යුතු ආයතන මනා සම්බන්ධීකරණයෙන් නිශ්චිත වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොකිරීම ඊට හේතු වූ බව මෙහිදී සඳහන් විය. මේ අනුව විදේශ රැකියා අමාත්‍යාංශය, විදේශ සේවා නියුක්ති කාර්යාංශය මෙරට වෘත්තීය පුහුණු ආයතන සමග එක්ව ලොව නව රැකියා වෙළෙඳපොළ පිළිබද නිරන්තර අවධානයෙන් සිට ඉල්ලුම පවතින ක්ෂේත්‍රයන්ට අදාළව ශ්‍රමිකයන් පුහුණු කිරීම සඳහා නව සැලැස්මක් සහිත කාර්යක්ෂම වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමේ අවශ්‍යතාව කමිටුව අවධාරණය කළේය. 

ජාතික විගමණික ශ්‍රමික ප්‍රතිපත්තියක් සකසා තිබුණද ක්‍රියාත්මක නොවීම පිළිබඳව ද කමිටුවේ අවධානය යොමුවිය. මේ අනුව මෙම ප්‍රතිපත්ති කාලීන වශයෙන් යාවත්කාලීන කිරීම කළ යුතු බව කමිටුව පෙන්වා දු න්නේය. ජපානය, කොරියාව ඊශ්‍රායලය වැනි රටවල රජයයන් අතර පවතින ගිවිසුම අනුව පුහුණු ශ්‍රමිකයන් යැවීම සඳහා අවකාශය තිබුණද අදාළ රටවල භාෂා ප්‍රවීණත්වය මෙන්ම වෘත්තීමය කුසලතාව සහිත පිරිස අඩුවීම හේතුවෙන් ඒ අවස්ථාව අවම වන බවද තොරතුරු අනාවරණය විය.  මෙම රැස්වීමට රාජ්‍ය අමාත්‍යවරුන් වන ආචාර්ය  සුරේන් රාඝවන්, මොහාන් ප්‍රියදර්ශන සිල්වා, ලසන්ත අලගියවන්න සහ ඩයනා ගමගේ, පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන තිස්ස අත්තනායක, නිරෝෂන්  පෙරේරා, විශේෂඥ වෛද්‍ය සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ,  ජේ.සී. අලවතුවල, ඉසුරු දොඩංගොඩ, මහාචාර්ය චරිත හේරත්, වසන්ත යාපා බණ්ඩාර සහ වීරසුමන වීරසිංහ  යන මහත්ම මහත්මීහුද කම්කරු හා විදේශ රැකියා අමාත්‍යාංශයේ ලේකම් ආනන්ද විමලවීර, විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ සභාපති මහේන්ද්‍ර කුමාසිංහ යන මහත්වරු ද රාජ්‍ය නිලධාරිහු තවත් පිරිසක් ද සහභාගි වූහ.



අංජුල මහික වීරරත්න

ව්‍යාපාරිකයකුගෙන් කෝටි 4ක් වංචාකළැයි නීතිඥයෙක් රිමාන්ඩ්


ආයෝජන අවස්ථා වෙනුවෙන් යැයි පවසමින් ව්‍යාපාරිකයකුගෙන් රුපියල් කෝටි 4කට අධික මුදලක් ලබාගෙන එම මුදල් සාවද්‍ය පරිහරණය කර විශ්වාසය කඩකළයි අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගනු ලැබූ නීතිඥවරයකු ලබන 02 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමට හොරණ මහේස්ත්‍රාත් චන්දන කලංසූරිය මහතා ඊයේ (26) නියෝග කළේය. මේ හා සමාන චෝදනා සම්බන්ධයෙන් සැකකරුට එරෙහිව මහෙස්ත්‍රාත් අධිකරණ කිහිපයක සහ මහාධිකරණ කිහිපයක නඩු පවතින බවට වාර්තා වී ඇති බැවින් හා මෙම සැකකරු ඇප මත සිටිමින් වැරැදි සිදුකිරීම හේතුවෙන් ඇප පනතේ 14 වගන්තිය ප්‍රකාරව ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ මහේස්ත්‍රාත්වරයා සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය. 

මෙලෙස රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබුවේ පෝරුවදණ්ඩ, හොරණ පදිංචි රොෂාන් දෙහිවල නමැති නීතිඥවරයෙකි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබුවේ  දෙහිවල පදිංචි උදයකුමාර සමරනායක නමැති ව්‍යාපාරිකයකු විසිනි.  මෙම සැකකරු අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 400, 389,  386 වගන්ති ප්‍රකාරව වරදක් සිදුකර ඇතැයි සඳහන් කරමින් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දුක ද සිල්වා මහතා අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

ව්‍යාපාර කටයුත්තක් බවට සඳහන් කරමින් සැකකරු  පැමිණිලිකරුගෙන් රුපියල් ලක්ෂ 406ක මුදලක් ලබාගෙන ඇති බවත් පසුව එය නැවත නොගෙවා විශ්වාසය කඩකර වංචාවක් සිදුකළ බවත් සඳහන් කරමින් මෙම පැමිණිල්ල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර තිබුණේ ඉකුත් 2019 වසරේ පෙබරවාරි මස 25 වැනිදාය.  සැකකරු සහ ඔහුගේ බිරිඳ අදාළ මුදල පැමිණිලිකරු වෙත සිය මුදල් නොමැති ගිණුම්වලින් චෙක්පත් ලෙස ලබාදී ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකරු ලබන 02 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර එදින තෙක් නඩුව කල් තැබීය.


නිමන්ති රණසිංහ

වතුහිමි ඉංජිනේරු ඝාතනය - අබිරහසේ තවත් රහස් එළියට


කුරුණෑගල මැල්සිරිපුර රේස්වත්ත ප්‍රදේශයේ නිවසක පදිංචිව සිටි ඇමෙරිකන් පුරවැසිභාවය හිමි නාවික ඉංජිනේරුවරයා ඝාතනය කිරිමට සම්බන්ධ බවට සැලකෙන සේවකයා සියදිවි නසා ගැනීමට පෙර වැල්ලව ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික බැංකුවකට ගොස් ඉංජිනේරුවරයාගේ ගිණුමෙන් අවස්ථා තුනකදී ඇමරිකන් ඩොලර් නෝට්ටු රැගෙන ගොස් ඇති බව පරික්ෂණවලින් තහවුරු වී ඇතැයි පොලීසිය සඳහන් කරයි.නාවික ඉංජිනේරු චිත්‍රානන්ද ජයරත්න (72) නමැත්තා ඝාතනය කර වළ දැමීමෙන් පසු, ඔහුට අයත් බැංකු කාඩ්පත සොරාගෙන ගොස් ඇමෙරිකන් ඩොලර් 500 බැගින් අවස්ථා දෙකක දී ලබාගෙන ඇති අතර, තවත් අවස්ථාවක ඇමරිකන් ඩොලර් 250 ක් ද ලබාගෙන ඇති බව පොලිසිය හෙළි කරගෙන ඇත. මෙම බැංකුවේ සීසීටීවී කැමරා පරීක්ෂාකර බැලීමේදී, මෙම පුද්ගලයා මුදල් රැගෙන යන අයුරු දැකගැනීමට ලැබුණු බව පොලිසිය කියයි. මෙම නාවික ඉංජිනේරුවරයා ඝාතනය කිරීමෙන් පසුව එල්ලී මියගොස් ඇත්තේ මිලින්ද රුක්ෂාන් (42) නමැත්තෙකි. 

ඝාතනය කෙරුනු ජයරත්න නමැත්තා ද, රුක්ෂාන් නමැත්තා සහ තවත් අයෙක් ද හෙරොයින් සන්තකයේ තබාගෙන සිටියදී ඉකුත් සැප්තැම්බර් මස 27 වැනිදා ගොකරැල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ. අධිකරණයට ඉදිරිපත් කිරිමෙන් පසු වරද පිළිගැනීම නිසා ඔවුන් දඩ නියමකර මුදාහැර ඇතැයි ද පොලිසිය සදහන් කරයි. රුක්ෂාන් නමැති පුද්ගලයා මත්ද්‍රව්‍යවලට තදින්ම ඇබ්බැහි වී සිටි අයකු බවත් ඔහු ජයරත්න මහතා ද මත්ද්‍රව්‍ය පානය කිරීමට යොමුකර ඇති බවත් පරික්ෂණවලින් පෙනී ගොස් ඇතැයි පොලිසිය කියයි.  ඔහු අවිවාහකයෙකු ලෙස මැල්සිරිපුර තම නිවසේ තනිව ජීවත් වුවත්, කාන්තාවන් ඇසුරට දැඩි ලොල් බවක් දැක්වූ අයකු බවත්, ඔහුගේ නිවසට විවිධ කාන්තාවන් නිතර පැමිණ ඇති බවත් අනාවරණය විණි යැයි පොලීසිය කියයි. ඔහු ඇමෙරිකාවේ සිටින කාලයේ මෙරටට පැමිණි අවස්ථාවලදී හමුවූ විවිධ කාන්තාවන් සමඟ සබඳතා පවත්වා ඇති බවත්, එසේ සබදතාවක් පැවැත්වූ මහනුවර වැරැල්ලගම ප්‍රදේශයේ කාන්තාවකට ඔහුට දාව ගැහැනු දරුවෙකු ලැබී ඇති අතර, මේ වනවිට එම දරුවාගේ වයස අවුරුදු 20 ක් පමණ වන බවත් පැවසේ.  

එම දරුවාගේ භාරකාරත්වය සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ පුද්ගලයාට එරෙහිව අදාළ කාන්තාව විසින් පවරන ලද නඩත්තු නඩුවක් කුරුණෑගල දිසා අධිකරණයේදී  ඉකුත් 4 වැනිදා විභාගයට ගැනීමට නියමිතව තිබුණද  ඊට දින කීපයකට පෙර ඔහු මෙලෙස සාතනයට ලක්ව ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. මේ අතර ජයරත්න මහතා ඝාතනය වූ පසුව එම කාන්තාව අවුරුදු 20ක පමණ තරුණියක් ද කැටුව පොලිසියට ඊයේ (26) පැමිණ, තරුණිය පෙන්වා ජයරත්න මහතා ඇයගේ පියා බව පවසා, අවසන් කටයුතු කිරීමට ඔවුනට මළසිරුර බාර දෙන ලෙස  ඉල්ලීමක් කර ඇති බවත්, එම ඉල්ලීම ප්‍රතික්ෂේප කර සිරුර ජයරත්න මහතාගේ ඥාතියකුට බාරදුන් බවත් පොලිසිය සඳහන් කරයි. නාවික ඉංජිනේරුවරයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකරනු ලැබුවේ කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරි, විශේෂඥ වෛද්‍ය අජිත් ජයසේන මහතා විසිනි. ගෙල ප්‍රදේශයට සිදු වූ කැපුම් තුවාලයක් සහ මලකඩ සහිත මොට ආයුධයකින් හිසට හා මුහුණට පහරදීම හේතුවෙන් මෙම මරණය සිදුවී ඇති බව පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේ සඳහන් කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවැසිය.  

සිද්ධිය වූ ස්ථානය නිරීක්ෂණය කළ කුරුණෑගල වැඩබලන මහේස්ත්‍රාත් නීතිඥ ඩබ්ලිව්.ඩී.එච්. චන්ද්‍රරත්න  මහතාගේ නියමයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදු කෙරුනු අතර, මලින්ද රුක්ෂාන් නමැත්තාගේ මරණය ගෙල සිර වීමෙන් සිදු වූවක් බවට ද පශ්චාත් මරණ පරික්ෂණයේදී අනාවරණය වී ඇත. ඇමරිකාවේ වසර හතළිහකට ආසන්න කාලයක් ජීවත්ව සිට ඇති මෙම නාවික ඉංජිනේරුවරයා ඇමෙරිකාවේ සහ ශ්‍රී ලංකාවේ ද්විත්ව පුරවැසිභාවය හිමි අයෙකි.  විශ්‍රාමික නාවික ඉංජිනේරුවරයාගේ ඝාතනයට සැක කරන සේවකයා කොල්ලකෑම් සහ සොරකම් සම්බන්ධයෙන් විභාග වන නඩු කීපයකට පෙනී නොසිටීම  හේතුවෙන් අධිකරණය විසින් ඔහුට වරෙන්තුවක් පවා නිකුත් කරන ලද බවට අනාවරණය වී ඇතැයි පොලීසිය කියයි. 

ඔවුන් සිටි රෙස්වත්තේ නිවසට සැකකාර සේවකයාගේ හිතවතුන් බව කියන  මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ තරුණ පිරිස් ද පැමිණ ඇති අතර, ඝාතනයට ලක්වූ  පුද්ගලයා මෙම පිරිස සමග එක්ව බොහෝ අවස්ථාවල නිවසේ මත්පැන් සාද පවත්වමින් මත් කුඩු භාවිත කර ඇති බවටද පොලීසියට  තොරතුරු ලැබී ඇත. එසේ පැමිණි බව කියන තරුණයන්  දෙදෙනෙකු හඳුනාගෙන ඔවුන්ගෙන් මෙම ඝාතනය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරිමටද  කුරුණෑගල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් පියවර ගෙන ඇත. මෙම ඝාතනය මුදල් හෝ මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් සිදුවූ දෙයක්ද, නැත්නම් වෙනත් පිරිසක් හෝ සිදුවීමක් මූලික වී ඇත්දැයි යන්න සෙවීම සඳහා වැඩිදුරටත් විමර්ශන සිදුකරන බව පොලිසිය පවසයි. මියගොස් ඇති නාවික ඉංජිනේරුවරයාට අයත් බැංකු ගිණුම්වල විස්තර දැන ගැනීමට අධිකරණයෙන් නියෝගයක් ලබා ගැනීමටද කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පියවර ගෙන ඇත.


 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය 

බිත්තර දමන කිකිළියන් මස්වලට විකිණීමෙන් කුකුළු මස් මිල පහළට

බිත්තර දමන කිකිළියන් දෛනිකව විශාල ලෙස මස්වලට විකිණීම නිසා කුකුළු මස් මිල විශාල ලෙස පහළ යමින් තිබෙන බවත්, මෙම තත්ත්වය දිගටම පැවතියහොත් ඉදිරි උත්සව සමය වනවිට විශාල බිත්තර හිඟයක් ඇති වන බවත් සමස්ත ලංකා කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ගේ සංගමය සඳහන් කරයි.මීට සති දෙකකට පෙර කුකුළු මස් කිලෝවක තොග මිල රුපියල් 1,400ත්1,500ත් අතර මිලක් ගත් බවත්, ඊයේ (26දා) දිනය වනවිට කුකුළු මස් කිලෝවක තොග මිල රුපියල් 1,000 දක්වා අඩු වී තිබෙන බවත් එම සංගමයේ සභාපති නිරුක්‍ෂ කුමාර මහතා පැවසීය. කුකුළු මස් මිල විශාල ලෙස පහළ යාම නිසා කුකුළු මස් ව්‍යාපාරිකයන් හා ගොවිපොළ හිමියන් අසරණ වී සිටින බවත්, බිත්තරයක් නිෂ්පාදනය කිරීමට අධික මුදලක් වැය වුවත්, බිත්තරයක සිල්ලර මිල රුපියල් 50ක් විය යුතු බවට නීතියක් පවතින නිසා බිත්තර නිෂ්පාදන කටයුතුවලින් ගොවිපොළ හිමියන්ට ලාභ නොමැති බවත් හෙතෙම පවසා  සිටියේය.මේ නිසා බිත්තර කර්මාන්තය සඳහා යොදාගත් කිකිළියන් මස්වලට විකුණා දැමීමට ඇතැම් ගොවිපොළ හිමියන් කටයුතු කරමින් තිබෙන බවත්, මෙම තත්ත්වය පාලනය කර ගැනීමට බලධාරීන් කඩිනමින් මැදිහත් විය යුතු බවත් සභාපතිවරයා ප්‍රකාශ කළේය.

(ඉන්දික හේවාවිතාරණ )


පොලීසියේ 4000කට ෆිට්නස් නැහැ

සෞඛ්‍ය පරිසාධන මට්ටම සපුරා නැති පොලිස් නිලධාරීන් 4000ක් පමණ මේ වනවිටත් සක්‍රිය පොලිස් සේවයේ සිටින බව පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේදී පෙන්වා දුන්නේය. ඒ අනුව සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාර සේවයෙන් ඉවත් කිරීමට අදාළ යෝජනාවක් පොලිස් දෙපාර්තමේන්තුවෙන් සකස්කොට අමාත්‍යංශයට යොමු කරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය ටිරාන් අලස් මහතා උපදෙස් දුන් අතර, ඒ අනුව ඉදිරියේදී එය ක්‍රියාත්මක කිරීමට කටයුතු කරන බවද හෙතෙම පැවසීය.දැනට සෞඛ්‍ය පරිසාධන මට්ටමේ නොසිටින පොලිස් නිලධාරීන්ගේ සේවය අවසන් කිරීම පිළිබඳ මහජන ආරක්ෂක කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ පළමු රැස්වීම එහි සභාපති අමාත්‍ය ටිරාන් අලස් මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස්වූ අවස්ථාවේදී අවධානය යොමු වූ අතර, එහිදී මෙම තොරතුරු කාරක සභාවට හෙළි විය. මෙහිදී පැමිණ සිටි මන්ත්‍රීවරුන් පැවසුවේ යහපත් සෞඛ්‍ය මට්ටමේ නොසිටින බොහෝ පිරිසක් පොලීස් සේවයේ සිටින බවත්, ඔවුන් වෛද්‍ය සහතික පෙන්වා අපහසු රාජකාරීවල නොයෙදෙන බවත්ය. නමුත් මෙම ඇතැම් නිලධාරීන් එසේ සෞඛ්‍ය අපහසුතාවලින් නොපෙළෙන බවත්, මේ නිසා නිරතුරුවම රාජකාරීය.නිවැරදිව ඉටුකරන නිලධාරීන් අපහසුතාවට පත්වන බවත් ඔවුහු පෙන්වා දුන්හ.මේ අතර මෙම වසරේ විශාල පොලිස් නිලධාරින් පිරිසක් විශ්‍රාම යන බවත් එබැවින් පොලිස් නිලධාරින් 16000ක පමණ පුරප්පාඩු ප්‍රමාණයක් මේ වසරේ ඇති වන බවත් පොලිස්පතිවරයා පෙන්වා දුන්නේ ය. තවද පොලිස් නිලධාරීන් මන්ද්‍රව්‍ය භාවිත කිරීම පිළිබඳ වාර්තා වී ඇති සිද්ධි සම්බන්ධයෙන්ද මෙහිදී සාකච්ඡා විය. එසේම අන්තර්ජාලය භාවිත කරමින් පුද්ගල චරිත ඝාතනය සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කිරීම පිළිබඳවද මෙම කාරක සභාවේදී අවධානය යොමු විය. එසේම අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව, ආගමන විගමන දෙපාර්තමේන්තුව සහ රාජ්‍ය නොවන සංවිධාන පිළිබඳ ජාතික ලේකම් කාර්යාලය යන ආයතනවල වර්තමාන තත්වය පිළිබඳවද මෙහිදී සාකච්ඡා විය. 

(දිනේෂ් සමරකෝන්)


ගෙවුණු මාස 9 දි මිනීමැරුම් 435ක්


මෙම වසරේ සැප්තැම්බර් 30 දක්වා ගතවූ කාලයේ දී මනුෂ්‍ය ඝාතන 435ක් සිදුව ඇතැයි කැබිනට් ප්‍රකාශක, ප්‍රවාහන, මහාමාර්ග සහ ජනමාධ්‍ය අමාත්‍ය, ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා ඊයේ (26) පැවසීය.  ඉකුත් 2021 වසරේදී මනුෂ්‍ය ඝාතන 521ක් සිදුව  තිබෙන බව ද ඇමතිවරයා සඳහන් කළේය. ඇමති බන්දුල ගුණවර්ධන මහතා මේ බව පැවසුවේ රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ දී ඊයේ (26) පැවති කැබිනට් තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමිනි.

මෙය ඉතා විශාල ජීවිත සංඛ්‍යාවක් බව කී ඇමතිවරයා සෑම පුරවැසියකුටම ගෞරවාන්විත මරණයක් හිමිවිය යුතුය යන්න රජයේ ස්ථාවරය බව ද කීවේය. මෙම අපරාධකරුවන් පිළිබඳ සාක්ෂි මරණ පරික්‍ෂණවලින් ලැබෙන බවත්, මරණ පරීක්‍ෂණ පැවැත්වීම සම්බන්ධයෙන් දැනට පවතින නීති ක්‍රියා පටිපාටි සහ භාවිතයන් පිළිබඳ සුදුසු සංශෝධන හඳුනාගෙන නිර්දේශ ඉදිරිපත් කිරීමට මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් කමිටුවක් පත්කර ඇති බවත් ඇමතිවරයා පැවසීය. 

එම කමිටුවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය විධිවිධාන සැලසීම සඳහා අපරාධ නඩුවිධාන සංග්‍රහය පනත සංශෝධනය කිරීමට පියවර ගැනීම සඳහා අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය, ආචාර්ය විජයදාස රාජපක්‍ෂ මහතා ඉදිරිපත් කළ යෝජනාවකට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමි වූ බව ද බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.


ඩයනා උදයංගනී 

දුප්පත්කම නිසා ගැහැනු දරුවන් විවාහ කරවීමත් වැඩිවෙලා


ශ්‍රී ලංකාවේ ඇති වී තිබෙන ආර්ථික අර්බුදය හමුවේ මපියන් තම වයස අවුරුදු 18 ට අඩු ගැහැනු දරුවන් ඉක්මන් කසාදයකට යොමුකිරීමේ අවදානම ඉහළගොස් ඇතැයි රතු කුරුස සංවිධානය පවසයි. ආර්ථික අර්බුදය තවත් උග්‍රවුවහොත් තම ගැහැනු දරුවන්ට ඉක්මන් කසාදයක් කර දීමට සිතන බව රතු කුරුස සංවිධානයේ සමීක්ෂණෙයට සහභාගී වූ දිස්ත්‍රික්ක 11 න් 5 ක පවුල් මෙන්ම වතුකරයේ පවුල් වැඩි ප්‍රතිශතයක් ප්‍රකාශ කළ බවද රතු කුරුස සංවිධානයේ නවතම සමීක්ෂණ වාර්තාවේ දැක්වේ. ආර්ථික අර්බුදය හේතුවෙන් ගෘහස්ථ ප්‍රචණ්ඩත්වය, ලිංගික සහ ස්ත්‍රී පුරුෂ සමාජභාවය මත පදනම් වූ ප්‍රචණ්ඩත්වය ඉහළයාමේ අවදානමක් මතුව ඇතැයි ද රතු කුරුස සංවිධානය පවසයි. එසේම රාජ්‍ය ආයතනවල ප්‍රතිචාර දැක්වීමේ හැකියාවද සීමා වී ඇතැයි රතු කුරුස සංවිධානය පෙන්වා දෙයි.

සමීක්ෂණයට සහභාගී වූ පවුල් අතරින් මෙම  වසරේ ජනවාරි මාසයේ දී මසකට රුපියල් 10,000 කට වඩා අඩු වැටුපක් ගත් පුද්ගලයින් සංඛ්‍යාව සියයට 20 ක් වූ බවත්, එය ජුලි මස වන විට සියයට 24.8 ක් දක්වා වැඩි වී ඇති බවත්, රතු කුරුස සංවිධානය නිකුත් කළ වාර්තාවේ දැක්වේ. ආර්ථික අර්බුදය හේතුවෙන් කෘෂි සහ ධීවර කර්මාන්තවල නියැලෙන්නගේ සහ දෙනික වැටුප් ලබන්නන්ගේ ජීවනෝපායට දැඩි බාධා එල්ල වී ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ. ග්‍රාමීය පවුල්වලින් සියයට 64 ක්ද නගරබද පවුල්වලින් සියයට 51 ක් සහ වතුකරයේ පවුල්වලින් සියයට 84 ක්ද වත්මන් ආර්ථික අර්බුදය හේතුවෙන් අවශ්‍යතා සපුරාගැනීම සඳහා ණය වී ඇතැයි රතුකුරුස සංවිධාන සමීක්ෂණ වාර්තාවේ දැක්වේ. 

නමුත් වැටුප රුපියල් 80,000 කට වඩා මාසික ආදායමක් ලබන පවුල් වලින් ණය වී ඇ ත්තේ සියයට 35 ක් පමණක් බවද රතු කුරුස සංවිධානය පෙන්වා දෙයි. පවුල් තම අවශ්‍යතා සපුරා ගැනීම සඳහා තම රත්රන් භාණ්ඩ උකස්කරමින්, හිතමිතුරන්ගෙන් සහ මූල්‍ය ආයතනවලින් මෙසේ ණය ලබා ගෙන ඇතැයිද රතු කුරුස සංවිධානය පවසයි. එසේම ආර්ථික අර්බුදය හේතුවෙන් ශ්‍රී ලාංකිකයන්ගේ ආහාර සුරක්ෂිතතාවට ද බලපෑම් එල්ල වී ඇති අතර සමීක්ෂණයට සහභාගි වූ පවුල්වලින් අඩකටත් වඩා වැඩි ප්‍රතිශතයක් සත්ව නිෂ්පාදන පරිභෝජනය කිරීම නවතා දමා ඇතැයි රතු කුරුස සංවිධානය නිකුත් කළ වාර්තවේ දැක්වේ. 

ලිපි ද්‍රව්‍යවල අධික මිල, ප්‍රවාහන අපහසුතා, පාසලේදී ලබා දෙන ආහාරය නොමැතිවීම හේතුවෙන් පාසල් හැර යන සිසුන් පිරිසද ඉහළ යා හැකි බව රතු කුරුස සංවිධානය අනතුරු අගවා ඇත. එපමණක් නොව, තම දරුවන්ගේ අවශ්‍යතාව සපුරාලීමට නොහැකි වීම හේතුවෙන් දරුවන් ආයතන වෙත යොමු කිරිමටද දෙමාපියන් පෙළඹීමේ අවදානමක් තිබෙන බව රතුකුරුස සංවිධානය පෙන්වා දී තිබේ. තම පවුලේ මූලික අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකිවීම, පවුල් තුළ සහ පවුල් අතර ගැටුම් ඇතිවීම, සමාජයේ ප්‍රචණ්ඩත්වය වැඩිවීම සහ ළමයින්ගේ අධ්‍යාපනයට බාධා එල්ලවීම ශ්‍රී ලංකාවේ වත්මන් අර්බුදය හේතූවෙන් ඇති විය හැකි කෙටිකාලීන බලපෑම් ලෙස හඳුනාගෙන ඇති බවද රතු කුරුස සංවිධානය පෙන්වා දෙයි. 

එසේම පවුල්වල ණය බර වැඩිවීම, සොරකම් සහ කොල්ලකෑම් වැඩිවීම, සියදිවි නසා ගැනීම් වැඩිවීම, ප්‍රචණ්ඩත්වයට මග පාදමින් මානසික ආතතිය වැඩිවීම, පෝෂණ ඌනතා ඇතිවීම, නීති විරෝධීව මුදල් ඉපැයීමට පෙළඹීම වත්මන් අර්බුදය හේතුවෙන් ඇති විය හැකි දිගුකාලීන බලපෑම් ලෙස රතු කුරුස සංවිධානය හඳුනාගෙන ඇත.


විමුක්ති එස් රුද්‍රිගු 


විදුලි බිල යළි නංවයි


විදුලි ගාස්තුව සීයයට 2.5 කින් වැඩි කිරීමට අනුමැතිය දුන් බව මහජන උපයෝගීතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසීය. පාර්ලිමේන්තුවේ දී පසුගියදා සම්මත වූ සමාජ ආරක්ෂණ පනත අනුව විදුලි බිලට සමාජ ආරක්ෂණ බද්ද එකතු වන බවත් ඒ අනුව විදුලි බිල ඉකුත් 18 වැනිදා සිට බල පැවැත්වෙන පරිදි සියට 2.5කින් වැඩිවන බවත් ඔහු සඳහන් කළේය. 

සමාජ ආරක්ෂණ දායකත්ව බද්ද විදුලි බිල්පත්වලට බලපාන ආකාරය සම්බන්ධයෙන් කළ පැමිණිල්ලක් අනුව පරික්ෂණ පවත්වා පොලිස් සැරයන්වරයා සැකපිට අත්අඩංගුවට  ගනු ලැබ ඇත්තේ අම්පාර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ගමගේ මහත්මිය ඇතුළු කණ්ඩායමක් විසිනි.



නිමල කොඩිතුවක්කු 

Wednesday, October 26, 2022

මාවනැල්ලේ බස් ගැටුමක්



කොළඹ නුවර ප්‍රධාන මාර්ගයේ මාවනැල්ල අන්වාරම පල්ලිය ඉදිරිපිට දී පෞද්ගලික  බස්රථයක් හා ලංගම බස්රථයක් ඊයේ (25) දහවල් මුහුණට මුහුණ ගැටීමෙන් 64 හැවිරිදි විශ්‍රාමික ගුරුවරියක මියගොස් ඇති අතර 31 දෙනකු තුවාල ලබා මාවනැල්ල මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි මාවනැල්ල පොලිසිය කියයි. අනතුරට පත්ව ඇත්තේ, කෑගල්ල දෙස සිට මහනුවර බලා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් හා කෑගල්ල දෙසට ධාවන වූ මාවනැල්ල ඩිපෝවට අයත් බස් රථයක් බව සඳහන් කරයි. රෝහල් ගත කළ පිරිසෙන් පස්දෙනෙකුගේ තත්ත්වය බරපතළ බව ද රෝහල් ප්‍රකාශකයෙක් පැවසීය. 

මාවනැල්ල දෙස සිට කෑගල්ල දෙසට ධාවනය වූ ලංගම බස් රථය අපරික්ෂකාරි අයුරින් ඉස්සර කිරීමට යාමේ දී මෙම අනතුර සිදුව ඇති බවට සිදුකළ පරීක්ෂණ වලින් අනාවරණය වී ඇති බව ද පොලිසිය කියයි. බස් රථ දෙකහම රියදුරන් සුළු තුවාල ලබා ඇති බවත් ඔවුන් දෙදෙනාම මේ වනවිට පොලිස් අත්අඩංගුවේ පසුවන බවත්පොලිසිය සඳහන් කරයි. අනතුරට බස් රථ දෙකටම දැඩි හානි සිදුවී ඇති බව ද පොලිසිය කියයි.

සමන් බණ්ඩාර

දෙබරවැව රෝහලේ බිලිඳු මරණයට ආන්දෝලනයක්


මාසයකුත් දින 24ක් වයසැති ළදරුවකු දෙබරවැව රෝහලේ ළමා වාට්ටුවේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඉකුත් 20 වැනිදා මියයාමේ සිද්ධියක් හේතුවෙන් දෙබරවැව ප්‍රදේශයම කම්පාවට පත්ව සිටී. නිලේෂ් මෙත්සිළු නමැති මෙම ළදරුවා මියගියේ රෝහලේ හෙද නිලධාරිනියන්ගේ නොසැලකිල්ල හේතුවෙන් බවට එම  දරුවාගේ මව සහ පියා චෝදනා කරති. 

කිරිවමනය දැමීම නිසා දෙබරවැව ප්‍රදේශයේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකුට ඉකුත් 19 වැනිදා දරුවා පෙන්වීමෙන් පසු එම වෛද්‍යවරයාගේ උපදෙස් මත දරුවා රෝහලේ ළමා වාට්ටුවට ඇතුළත් කළ බවත්, එහිදී ෆාමසියෙන් ගෙන්වාගත් ඖෂධ සහ සේලයින් දරුවාට ලබාදුන් බවත් මවුකිරි නොදෙන ලෙස හෙදියන් තමාට දැන්වූ බවද ඇය කීවාය.. ඒ අතරතුර කිහිප වතාවක්ම දරුවා මහ හඩින් හඩා වැටුණු බවත්, අලුයම  5ට පමණ අවදි වූ දරුවා තමන් සමග සිනාසෙමින් නිරෝගීව සිටි බවත් ඇය සඳහන් කළාය. 

රෝහලේ හෙදියන් දරුවාගේ නාසයට බට දෙකක් ගසා මවුකිරි ඉවත් කළ බවද ඇය  කීවාය. ඉන්පසු ඔවුන් දරුවාගේ රුධිර පීඩනය පරික්ෂා කර ඔක්සිජන් ලබා දී දරුවාට දුම් ද ඇල්ලූ බවත්, ඉන් පසු දරුවා ඉතා අපහසුවෙන් සිටි නිසා තමන් හෙද නිලධාරිනියකට ඒ ගැන දැනුම් දුන් බවත් ද දරුවාගේ මව සඳහන් කළාය. එම හෙදිය අම්මා අපි මේක දරුවට හොඳවෙන්නයි කරන්නේ. අම්මා පාඩුවේ ඉන්න' යැයි පැවසූ බවත්, පසුව දරුවාගේ නාසයට ඇතුළු කර තිබූ බව ගලවා එන්නතක් ලබාදුන් බවත් කී ඇය ඒ අවස්ථාවේ කිහිප වරක් කෙඳිරි ගා අපහසුවෙන් හුස්ම ගත් දරුවා අප්‍රාණික වූ බව ද පැවසුවාය.

ඉන්පසු හෙදියන් පැමිණ දරුවාගේ හදවත තෙරපීම සිදුකළ බවත්, එම ස්ථානයට පැමිණි වෛද්‍යවරයකු දරුවාට දුම් ඇල්ලීම සම්බන්ධයෙන් හෙදියන්ට බැණ වැදුණු බවත් ඇය කීවාය.තම දරුවා වෙනුවෙන් සාධාරණයක් ඉටුකරන්නැයි බලධාරින්ගෙන් ඉල්ලා සිටින බව ද බිනාදරි මහත්මිය පැවසුවාය. මේ සම්බන්ධයෙන් අප කළ විමසීමකදී දෙබරවැව රෝහලේ වෛද්‍ය අධිකාරි වෛද්‍ය ප්‍රියන්ත ජීවරත්න මහතා පැවසුවේ  මවුකිරි සිරවීම හේතුවෙන් මෙම මරණය සිදුව ඇති බවයි. එම දරුවා පෞද්ගලික සායනයක දී පස්වරු 6.30 ට පමණ පරීක්‍ෂ කළ විශේෂඥ වෛද්‍යවරයා දරුවාගේ හදවතේ ක්‍රියාත්මක වන වේගය වැඩි බව පරික්ෂා කර එවෙලේම රෝහල්ගත කරන ලෙස දෙමාපියන්ට දැනුම් දී ඇතත් ඔවුන් දරුවා රෝහල් ගත කර ඇත්තේ රාත්‍රී 9.30ට පමණ බව ද ඔහු පැවසීය. 

මවුකිරි නොදෙන ලෙස දැනුම් දී තිබියදීත් මව දරුවාට විටින් විට මවුකිරි දී ඇති බවත්, එසේ මවුකිරි දීමේදී මවුකිරි පෙනහලු  වෙත ගොස් තව තවත් කිරි සිරවෙන බවත් කී වෛද්‍යවරයා දරුවා මියගොස් ඇත්තේ ඒ හේතුවෙන් බව ද කීවේය. දරුවාගේ ජීවිතය බේරාගැනීමට රෝහලේ වෛද්‍යවරුන් සහ හෙද කාර්ය මණ්ඩලය විශාල වෙහෙසක් දරා ඇති බවත්, රෝහල්වල ජීවිත බේරාගැනීම මිස මරාදැමීම නොකරන බවත් වෛද්‍ය අධිකාරීවරයා සඳහන් කළේය.


රුක්මන් රත්නායක

ජනපති මැඳුරේත් ලේකම් කාර්යාලයේත් මාධ්‍ය අංශය සතු කෝටි ගණනක බඩු වාෂ්ප වෙලා



ජනාධිපති මන්දිරයේ හා ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අංශය සතුව පැවති කෝටි ගණනාවක් වටිනා භාණ්ඩ රැසක් 2018 -20 කාලය තුළ අස්ථානගතව ඇතැයි විගණන  වාර්තාවකින් අනාවරණය වේ.  ජනාධිපති මන්දිරයේ ගබඩා භාරකරුගෙන් ලද තොරතුරු අනුව විගණනයේ සඳහන් කර ඇති පරිදි ජනාධිපති මන්දිරයේ පැවති ඉන්වෙන්ට්‍ර අයිතම 12කට අයත් භාණ්ඩ 24ක් ඉන් රැගෙන ගොස් ඇතත් ඒවා සම්බන්ධයෙන් අදාළ පොත්පත්වලට කිසිදු සටහනක් ඇතුළත්ව නැත..  ජනාධිපති ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්වරයකු 2019 නොවැම්බර් 18 වැනිදා කරන ලද දැනුම්දීමකට අනුව ජනාධිපති මන්දිරයේ ගබඩා භාරකරු කළ සොයා බැලීමකදී එහි නව ගොඩනැගිල්ලේ තිබු ඉන්වෙන්ට්‍රි ගත අයිතම 35කට අයත් භාණ්ඩ 61ක් සොයාගත නොහැකි වී ඇති අතර ඒ සම්බන්ධයෙන් 2022 මාර්තු දක්වා කිසිදු විමර්ශනයක්ද සිදුකර නැතැයි විගණන වාර්තාවේ සඳහන් වේ.

මෙම විගණන වාර්තාවට අනුව ජනාධිපති ලේකම් කාර්යාලයේ මාධ්‍ය අංශය 2019 දක්වා පවත්වාගෙන ගොස් තිබෙන්නේ ඒකක හතරක් යටතේ වන අතර 2019 නොවැම්බර් මාසයේදී එය නව මාධ්‍ය අංශය යන නාමය යටතේ පවත්වාගෙන ගොස් ඇති බවත් එය භාරගත් භාණ්ඩ පිළිබඳව ද නිසි ලේඛනයක් පවත්වාගෙන ගොස් නැති බවත් විගනක වාර්තාවේ සදහන් වේ. මාධ්‍ය අංශයේ භාණ්ඩ සම්බන්ධයෙන් ඉංජිනේරුවන් විසින් ජනාධිපති ලේකම් වෙත යොමු කරන ලද වාර්තාවකට අනුව එම ඒකකය සතුව තිබූ රුපියල් කෝටි තුනහමාරකට ආසන්න වටිනාකමින් යුත් භාණ්ඩ රැසක් අස්ථානගතව ඇතැයිද එම විගණන වාර්තාවේ සඳහන් වේ.  

එම වාර්තාවට අනුව අස්ථානගත වූ භාණඩවලට 2015 සිට 2020 ජනවාරි දක්වා කාලය තුළ මාධ්‍ය අංශය වෙත ලැබුණ රුපියල් 1,77,86,325ක් වටිනා ලැප්ටොප් හා මැක් බුක් එයාර් වර්ගයේ පරිගණක 78ක්ද, රුපියල් 1,03,80,423ක් වටිනා ඩෙක්ස්ටොප් පරිගණක අතරින් 48ක්ද මාධ්‍ය අංශයේ නිලධාරින්ට නිකුත් කරන ලද රුපියල් 34,70,742ක් වටිනා ජංගම දුරකථන හා අයිපෑඩි 45ක් අතරින් 28ක්ද ඇතුළත් වන බව එහි දැක්වේ . මාධ්‍ය අංශයේ නිලධාරින්ට ලබාදුන් ජංගම දුරකථන හා අයිපෑඩ් 45න් ආපසු ලබාදී තිබූ ජංගම දුරකතන 14කින් නවයක්ද අයිපෑඩ් තුනෙන් දෙකක්ද අක්‍රීය බවද එම වාර්තාවේ සඳහන් වේ. මීට අමතරව කතරගම ජනාධිපති මන්දිරයේ අයිතිම  12කට අයත් භාණ්ඩද අනුරාධපුර ජනාධිති මන්දිරයේ රූපවාහිනී යන්ත්‍ර දෙකක්ද අස්ථානගතව ඇතැයිද එම වාර්තාවේ සඳහන් වේ. මේ කිසිදු භාණ්ඩයක් සම්බන්ධයෙන් 2022 මාර්තු 22 වන විටත් කිසිදු විමර්ශනයක් සිදුකර නැති බවද වාර්තාවේ සඳහන් වේ.


මුදිතා දයානන්ද 


කොයිම්බතූර් කාර් බෝම්බයේ මහමොළකරු සහ සහරාන් අතර සබඳතා සොයා පරික්ෂණ

දකුණු ඉන්දියාවේ තමිල්නාඩු ප්‍රාන්තයේ කොයිම්බතුර්හිදී පසුගිය ඉරිදා මෝටර් රථයක් තුළ සිදු වුණු පිපිරීම සම්බන්ධයෙන් මේ වනවිට පරික්ෂණ ක්‍රියාත්මක බව පොලීසිය පවසයි. ඒ අනුව මෙම පිපිමෙන් මියගිය ජමීෂා මුබීන් නමැත්තා සහ 2019 වසරේ ශ්‍රී ලංකාවේදී එල්ල වූ පාස්කු බෝම්බ ප්‍රහාරය සිදු කළ සහරාන් හෂීම් සමගින් පැවැති සබඳතා පිළිබඳව මෙහිදී ප්‍රමුඛතාව හිමිවන බව සඳහන් වෙයි. මෙම මියගිය ජමීෂා මුබීන් කොයිම්බතූර් පළාත තුළ සහරාන් හමීන්ගේ අත්තවාදී ක්‍රියා ව්‍යාප්ත කිරීම සඳහා දායක වූ දැනට අත්අඩංගුවට පත්ව සිටින අසුරුදීන් නමැත්තෙකුගේ සමීපතමයෙකු ලෙසද හඳුනාගෙන ඇත. තමිල්නාඩුවේ කොට්ටායි ඊස්වරන් හින්දු දේවාලය ඉදිරිපිටදී මෙම පිපිරීම සිදුවිය. මෙය මෝටර් රථයක ඇටවූ ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක් නිසා සිදු වූ පිපිරීමක් බව හඳුනාගෙන තිබේ. ජමීෂා මුබීන් 2019 වසරේදී ජාතික බුද්ධි අංශය මගින් ප්‍රශ්න කිරීමක් සඳහා අත්අඩංගුවට ගත් පුද්ගලයෙකු බවද පැවසෙයි. ඒ අනුව මෙය පැහැදිලිවම යම්කිසි ත්‍රස්තවාදී ප්‍රහාරයක සැලසුමක් බවට පොලීසියේ අදහස වී තිබේ. මේ අතර සිදුවීම සම්බන්ධයෙන් ඊයේ දිනයේදී පස්දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන් ජමීෂා මුබීන්ගේ නිවසේ සිට පිපිරේ ගිය රථය වෙත මළු කිහිපයක් රැගෙන ආ පුද්ගලයන් පිරිසකි. ඔවුන් එම රථය වෙත ගස් සිලින්ඩරයක් රැගෙන යන ආකාරයද අසල පිහිටි ආරක්ෂිත කැමරාවල සටහන්ව ඇතැයි පොලීසිය පවසයි.


ඉරානයට පාපන්දු ලෝක කුසලානය තහනම් වෙයිද

මෙවර පාපන්දු ලෝක කුසලානය සඳහා ඉරානයට සහභාගි වීමට අවස්ථාව ලබා නොදෙන්නැයි අන්තර්ජාතික පාපන්දු සම්මේලනයට (ෆිෆා)  විවිධ පාර්ශ්ව විසින් ඉල්ලීම් කර ඇත. ඉරානයේ මේ වන විට පවතින දේශපාලනික අර්බුදය මෙන්ම යුක්රේන - රුසියා යුද්ධයට ඉරානය සහය දීම පිළිබඳ චෝදනා එල්ල වීමද මීට හේතුවක් වී ඇත. ඉරානයේ ආගමික පොලිස් අත්අඩංගුවේදී කාන්තාවක් මියයාම පිළිබඳව එරට රජයට විරුද්ධව විරෝධතා මේ වන විට උත්සන්න වී තිබීම එරට දැඩි අර්බුදයක් නිර්මාණය කර ඇත. මෙහිදී එරට කාන්තා අයිතීන් පිළිබඳ කතාකරන සංවිධාන පවා මෙවර පාපන්දු ලෝක  කුසලානයෙන් ඉරානය ඉවත් කරන මෙන් ෆිෆා වෙතින් ඉල්ලීමක් කර ඇත.එමෙන්ම රුසියා - යුක්රේන යුද්ධයේදී රුසියාව විසින් ඉරානයේ නිෂ්පාදිත ඩ්‍රෝන යානා භාවිත කිරීම සම්බන්ධයෙන්ද ඉරානයට මේ වන විට චෝදනා එල්ල වී ඇත. මේ සම්බන්ධයෙන් යුක්රේන පාපන්දු නිලධාරීන්ගේ දැඩි විරෝධයක් ෆිෆා වෙත එල්ලවෙමින් පවතින බව විදෙස් වාර්තා මගින් දැක්වේ. කෙසේ වෙතත් ෆිෆා විසින් මේ සම්බන්ධයෙන් තවමත් තීරණයක් ගෙන නොමැත. ආසියානු පාපන්දු සම්මේලනයට අනුබද්ධව මෙවර ලෝක කුසලානයට ක්‍රීඩාකරන ඉරානය ආසියානු කලාපයේ ශ්‍රේණිගත කිරීමේ ඉහළින්ම (ලෝ.ශ්‍රේ. 20) සිටින කණ්ඩායම්ද වේ. 

(ඕෂිත වරකපිටිය)


කුඩා මිනිසුන්ගේ වාර්ෂික සම්මේලනය

මෙරට සිටින දසදහසක් පමණ වන කුඩා මිනිසුන් වෙනුවෙන් මීට වසර තුනකට පෙර බිහි වූ කුඩා මිනිසුන්ගේ සංවිධානය සිය වාර්ෂික සම්මේලනය මොරටුව ඇක්වා පර්ල් හෝටලයේ රැජින ශාලාවේදී ඊයේ (23) පැවැත්විණි. හිටපු ජනපති ආර්යා ශිරන්ති රාජපක්‍ෂ මහත්මිය මෙම සම්මේලනයේ මුලසුන හෙඹ වූවාය. එසේම මිහිදු සෙත් මදුරේ අධ්‍යක්‍ෂ බ්‍රිගේඩියර් බාලසූරිය, කළුතර සෞඛය සේවා අධ්‍යක්‍ෂ වෛද්‍ය උදය රත්නායක, කළුතර Tech spase පෞද්ගලික සමාගමේ අධිපති චමින්ද පීරිස්, අධ්‍යක්ෂිකා අනුෂා ස්වාමලවිල ව්‍යාපාරික අතුල රත්නවීර ඇතුළු ආරාධිතයෝ රැසක් මෙම අවස්ථාවට සහභාගි වී සිටියහ.මෙම සංවිධානයේ සභාපති දර්ශනී නානායක්කාර මහත්මිය එහිදී සිය අදහස් දක්වමින් පවසා සිටියේ,

"තවමත් නිසි සංගණනයක් සිදුවෙලා නැහැ. නිල දත්ත සංඛ්‍යාලේඛන නැතත් මේ වනවිට ලංකාවේ පුංචි මිනිසුන්ද දසදහසක් පමණ ඉන්නා බවට අපි තොරතුරු හොයාගෙන තිබෙනවා. මේ අය මානසිකව බිඳවැටිලා ඉන්න පිරිසක්. ඔවුන්ට සම අයිතිවාසිකම් නොලබීම සමාජමය ප්‍රශ්නයක්. ඒ නිසා මේ පිරිස සමාජයේ අවාසිසහගත ප්‍රජාවක් ලෙස අලුතින් හදුනාගත තිබෙනවා. මේ ගැටලු එකින් එක ලිහා ගත්ත අපේ සංවිධානය කටයුතු කරගෙන යනවා. අපි ආරාධනා කරනවා මේ රටේ වෙසෙන අනෙකුත් ප්‍රජාවටත් අපිත් සමග අත්වැල් බැදගන තමන්ගේ ජීවිතය සාර්ථක කර ගැනීමට එකතු වෙන්න කියලා" යනුවෙනි. කුඩා මිනිසුන්ගේ සංවිධානයේ ප්‍රධාන ලේකම් චන්දිමාල් මහතාද එහිදී සිය අදහස් දක්වමින් මෙසේ පවසා සිටියේය.

"රජය මෙරට ආබාධිත ප්‍රජාව වෙනුවෙන් ලබාදෙන ප්‍රතිපාදන එහෙම නැත්නම් යම් සහනාධාරයක් තිබේ නම්, මේ කුඩා මිනිසුන්ටත් ලබාදීමට අවධානය යොමුකරන ලෙස අප ඉල්ලා සිටිනවා. කුඩා මිනිසුන් සමාජය තුළ ජීවත්වීමේදී ඔවුනට මුහුණපාන්නට වෙත ගැටලු අවම කර ගැනීම සඳහා ඉදිරියටත් අපේ සංවිධානය පෙනී සිටිනවා.”


(අඟුරුවාතොට - මංගල එදිරිසිංහ)