නිවසේ මෙහෙකාර සේවයට යැයි පවසා රැකියා නියෝජිත ආයතන මගින් රැගෙන එන කාන්තාවන් නිවසට රැගෙනවිත් අපයෝජනය කර ඔවුන් සතු දේපළ කොල්ලකෑ විශ්රාමික යුධ හමුදා නිලධාරියෙකු පෙරේදා (28දා) රාත්රියේ අත්අඩංගුවට ගත් බව බණ්ඩාරගම පොලීසිය පවසයි. 53 හැවිරිදි සැකකරු ගාල්ල බටදූව සුමනතිස්ස මාවතේ පදිංචිකරුවෙකි. බණ්ඩාරගම වීදාගම ප්රදේශයේ නිවසක මෙහෙකාර සේවයට පැමිණි කාන්තාවක් එයින් පලාවිත් කරන ලද පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගෙන තිබෙන අතර, අගතියට පත් කාන්තාව රෝහල්ගත කිරීමට පියවර ගෙන තිබේ. හුරුලු නිකවැව කුඹුක්වැව පදිංචි පනස් පස් හැවිරිදි තමන් රැකියා නියෝජිත ආයතනයක් මාර්ගයෙන් බණ්ඩාරගම ප්රදේශයේ නිවසක මෙහෙකාර සේවය සඳහා නිවසේ හාම්පුතා විසින් කැඳවාගෙන ආ බවත් බිරිද හා දරුවා නිවසේ සිටින බව ඔහු පැවසුවත් නිවසට පැමිණි පසු එම අය කිසිවෙකු නොසිටි බවත් කාන්තාව කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.රාත්රී දෙකක් එම නිවසේ රඳවාගෙන තමන්ව හාම්පුතා විසින් බලහත්කාරයෙන් දූෂණය කළ බව එම කාන්තාව කරන ලද පැමිණිල්ලේ සදහන් වේ. හාම්පුතා දුරකථන ඇමතුමක් ගනිමින් සිටියදී තමන් නිවසින් පලා විත් පොලීසියට පැමිණි බවත් හාම්පුතාගේ නම හෝ තමන් රැඳී සිටි නිවසේ ලිපිනය නොදන්නා බවත් නමුත් එම ස්ථානය පෙන්වා දිය හැකි බවට කාන්තාව කරන ලද පැමිණිල්ලේ තවදුරටත් සඳහන් වූ බව පොලීසිය කියයි කාන්තාවගෙන් ලද පැමිණිල්ල අනුව පොලිස් නිලධාරීන් කණ්ඩායමක් බණ්ඩාරගම වීදාගම ප්රදේශයේ එම නිවස වෙත ගොස් සිදුකළ විමර්ශනවලදී කුලී පදනම මත එම නිවස ලබාගෙන තිබූ සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු මෙයාකාරයෙන් රැකියා නියෝජිත ආයතනවලට රැකියා සොයා පැමිණෙන කාන්තාවන් වරින්වර මෙහෙකාර සේවයට යැයි පවසා ලබාගෙන ඔහුන් සමඟ ලිංගිකව එක්වී ඔවුන්ගේ දේපළ කොල්ල කා පලා යන පුද්ගලයකු බවත් සැකකරු ඒ ආකාරයෙන් සිදුකළ සිද්ධීන් රැසකට අදාළ පැමිණිලි දිවයිනේ පොලිසි ගණනාවකින් වාර්තා වන බවත් අනාවරණ වී තිබේ.
( බණ්ඩාරගම - බිමල් ශ්යාමන් ජයසිංහ)





