Thursday, August 31, 2023

දසුන් පීඩනයට අත වනයි

 

දමින්ද විජේසූරිය පල්ලෙකැළේ ක්‍රිකට් ක්‍රීඩාංගණයේ සිට..

ආසියානු කුසලාන තරගාවලියේ තරග 9 ක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙයි. එහෙත් ශ්‍රී ලංකා කණ්ඩායමට සත්කාරකයන්ගේ වාසියක් නැත. අනෙක් අතට ආසියානු කුසලානයේ වත්මන් හිමිකරුවා ද ශ්‍රී ලංකාවම වන හෙයින් ශ්‍රී ලංකා කණ්ඩායමට පීඩනයෙන් අඩුවක් ද නැත.

නායක දසුන් ශානක මේ තත්ත්වයට මනාපය.

ශ්‍රී ලංකා කණ්ඩායම හඳුන්වද්දී “දැනට ශූරතාව හිමි කණ්ඩායම" ලෙසින් හැඳින්වූවද දසුන්ට එය පීඩනයක් නොවේ. උත්තේජනයක් ද නොවේ.

“අපි දන්නවා මේ වන විට අපි කොතැනද ඉන්නේ කියලා. ඒ හින්දා මේ තරගාවලිය දිහා අපි උනන්දුවෙන් බලා ඉන්නවා” යයි ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකයා ඊයේ පස්වරුවේදී පල්ලෙකැළේ අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවසීය.

ආසියානු කුසලාන තරගාවලියේදී ශ්‍රී ලංකාව සහභාගි වන පළමු තරගය අද (31 වැනිදා) බංග්ලාදේශයට එරෙහිව පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙයි. සිම්බාබ්වේහිදී පැවැති අයි.සී.සී. කුසලාන දිනාගත් නමුත් ශ්‍රී ලංකා කණ්ඩායම කෙරේ ප්‍රේක්‍ෂකයන් වැඩි බලාපොරොත්තු රඳවා නැත්තේ එක්දින අන්තර්ජාතික ශ්‍රේණිගත කිරීම් අතරේ ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටින කණ්ඩායම් තුනක්ම ආසියානු කුසලාන තරග බිමේ සිටින බැවිනි.

සීමිත ඕවර තරගයකදී ඕවර 30 ක් නැතහොත් අඩුතරමේ ඕවර 25 ක් වත් බෙදාහදාගත යුතු වේග පන්දු යවන්නන් ගැන තවදුරටත් කතා කිරීමෙන් පලක් නැත. ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉදිරිපෙළ වේග පන්දු යවන්නෝ තිදෙනෙක්ම තුවාලකරුවන්ගේ ලයිස්තුවට ඇතුළත් වී සිටිති. මේ තිදෙනාම පසුගිය 20 වැනිදා නිමාවූ එල්.පී.එල්. තරගාවලියට ක්‍රීඩා කළ නමුත්, විස්සයි-20 තරගයකදී යවන්නට තිබෙන ඕවර 4 මෙන් නොව එක්දින තරගයකදී ඕවර 10 ක් යැවීම බරක් බව වේග පන්දු යවන්නෝ දනිති.

ඉදින් ආසියානු කුසලාන තරගාවලියේදී ජයග්‍රහණ ගැන කතා කිරිම පැත්තකින් තියන්නට සිදුවී තිබේ.

අන්තර්ජාතික එක්දින ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව 08 වැනි ස්ථානයේ සිටින නමුත් ආසියානු කුසලාන තරගාවලිය වෙනුවෙන් ක්‍රීඩා කරන පාකිස්තානය (01), ඉන්දියාව (03) සහ බංග්ලාදේශය (07) යන රටවල් තුනම ශ්‍රී ලංකාවට වඩා ඉදිරියෙන් සිටිති.

"දවසේ වාසනාව" දිනාගැනීම සඳහා මෙය විස්සයි-20 තරගාවලියක් ද නොවේ. 

එබැවින්, වසර 40 කට ඉතිහාසයක් ඇති ආසියානු කුසලාන තරගාවලියේ 2023 අදියර දිහා ශ්‍රී ලංකාවට බලන්නට සිදුවී ඇත්තේ ලෝක කුසලාන තරගාවලියට යාමට පෙර තමන් සිටින්නේ කොතැනද යන්න වටහාගැනීමේ දෘෂ්ටි කෝණයෙනි.

ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේහිදී පැවැති ලෝක කුසලාන සුදුසුකම් තේරීම් තරගාවලිය ජයගනිමින් ‘අයි.සී.සී. කුසලාන' දිනාගත් නමුත් එය කිසිසේත්ම සැලකිය යුත්තක් නොවේ. මක්නිසාද යත් ඊට සහභාගි වූයේ එක්දින ක්‍රිකට් පිටියේ හාල්මැස්සන් වන බැවිනි. බටහිර ඉන්දීය කොදෙව් පිල වුවද ඊට වැඩි වෙනසක් නැත. එහෙත් ආසියානු තරගාවලිය එසේ නොවේ. ආසියානු කුසලාන තරගාවලියේදී ජයග්‍රහණයක් අත්කරගැනීමට නම් ක්‍රීඩකයන්ට තම තමන්ගේ ‘සුවදායක ඉසව්වෙන් මිදී ඉවතට පැමිණ ජයග්‍රහණය වෙනුවෙන් අරගල කිරිමට සිදුවීම සාමාන්‍යය ස්වභාවයයි. 

ආසියානු කුසලාන තරගාවලියට ශ්‍රී ලංකාව ඇතුළත් වන්නේ 'බී' කාණ්ඩයේ පළමු වැනියා ලෙසිනි. සුපිරි හතර දෙනා අතරට පැමිණෙන්නේ නම්, ශ්‍රී ලංකාව කොහොමටත් ‘බී’-1 ලෙසින් නම්කෙරෙනු ඇත. ඒ සඳහා ඇෆ්ඝනිස්ථානය තලාපෙලා දැමිය යුතු නමුත් ශ්‍රී ලංකා ඇෆ්ඝනිස්ථානු තරගය පැවැත්වෙන්නේ ශ්‍රී ලංකාවේදී නොවේ. එය පැවැත්වෙන්නේ පාකිස්තානයේ ලාහෝර් නුවරදී බැවින් අනාවැකි කීම නොහොබී.

තරගාවලිය සඳහා වර්ෂාවෙන් ද බාධා ඇතිවිය හැකිය. යම් හෙයකින් තරගයක් සම්පූර්ණකරගත නොහී, ප්‍රසාද ලකුණු දෙපිලටම බෙදී ගියහොත්, සුපිරි හතර දෙනා අතරට පිවිසීමේ සටන වඩාත් උත්සන්න විය හැකිය. එබැවින් අද (31 වැනිදා) තරගයේදීම, බංග්ලාදේශයට තලාගැනීම වඩාත් නුවණට හුරුබව ලියා තැබීම වටී.

පීඩනය යනු මෙයයි. දසුන් ශානක එයට කැමතිය.

“ඇත්තටම කියනවා නම්, සාමාන්‍යයෙන් අපි හොඳින් ක්‍රීඩා කරන්නේ පීඩනය වැඩිවන තරමටයි”

“පසුගිය කුසලාන ආසියානු තරගාවලියේදීත් (2022 දී ඩුබායිහිදී පැවැති විස්සයි20 තරගාවලියකි) ඒ  වගේම තත්ත්වයක් තිබුණා. ඒත් අපි ඉතාමත් හොඳින් ක්‍රීඩා කරලා ඒ තරගාවලිය ජයගත්තා. මේ තරගාවලියේදීත් පීඩනයක් තියෙනවා තමයි. ඒත් අපි පීඩනය හොඳින් හසුරුවාගන්නවා"යයි දසුන් ශානක කීවේය.

“අපි සැහැල්ලු පන්දු තරගයක් ක්‍රීඩා කළත්, ඒකෙත් පීඩනයක් තියෙනවා. වඩා වැදගත් වෙන්නේ අපි ඒ පීඩනය හසුරුවාගන්නේ කොහොමද කියන එකයි"

“අපි ඒකට කැමතියි. ඒකට සුදුසු ක්‍රීඩකයන් අපිත් එක්ක ඉන්නවා. විශේෂයෙන්ම පිතිකරුවන්... ඒ හින්දා මම විශ්වාස කරනවා, මේ පීඩනයත් එක්ක අපට හොඳ ගමනක් යන්න පුළුවන් කියලා”'යයි දසුන් ශානක ඊයේ පස්වරුවේ පල්ලෙකැළේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී කීවේය.

ශ්‍රී ලංකා කණ්ඩායම අද බංග්ලාදේශයට එරෙහිව තරග කිරීමෙන් පසුව ඊළඟ තරගයට සහභාගි වීම සඳහා පාකිස්තානයේ ලාහෝර් නුවර බලා යා යුතුව තිබේ. එය ඇෆ්ඝනිස්ථානයට එරෙහිව ලබන 05 වැනිදා පැවැත්වෙන තරගයයි. නේපාලයට එරෙහිව පාකිස්තානයේ මුල්තාන් නුවරදී ඊයේ (30 වැනිදා) තරග කළ පාකිස්තානු කණ්ඩායම ඉන්දියාවට එරෙහිව තරග කිරිම සඳහා අද (බ්‍රහස්පතින්දා) ශ්‍රී ලංකාව බලා පැමිණෙනු ඇත. පාකිස්තානය සහ ඉන්දියාව අතර තරගය සෙනසුරාදා (02 වැනිදා) පල්ලෙකැළේදී පැවැත්වෙයි.

එය තරගාවලියේ ස්වභාවය බවත් මේ වන විට අන්තර්ජාතික ක්‍රිකට් ක්‍රීඩාව එවන් තත්ත්වයකට පත්ව ඇති නිසා ක්‍රීඩකයන් වශයෙන් තමන් ඒ තත්ත්වයට සූදානම් වී සිටින බවත් ශ්‍රී ලංකා නායකයා කියයි. 

ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය තරග කරන අවස්ථාවන්හිදී ප්‍රෙක්‍ෂකයන්ගෙන් කුමන ආකාරයේ ප්‍රතිචාර ලැබුණ නමුත් ක්‍රීඩකයන් වශයෙන් දෙපිලේම අය අතර ඇත්තේ මනා සබැඳියාවකි.

අද තරගයේදී දෙපිලේ නායකයන් ලෙස ප්‍රතිවාදීන් වුවද, සති දෙකකට ඉහතදී පවැති එල්.පී.එල් තරගාවලියේදී බංග්ලාදේශ නායක සකිබ් අල් හසන් සහ දසුන් ශානක දෙදෙනාම 'ගෝල් ටයිටන්ස්’ කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළහ. මේ දෙදෙනාගෙන් සකිබ් අල් හසන් වඩාත් ජ්‍යෙෂ්ඨ අන්තර්ජාතික නායකයා වූවත්, එල්.පී.එල්. තරගාවලියේදී සකිබ් අල් හසන් ශ්‍රී ලංකා නායක දසුන් ශානක යටතේ ගෝල් ටයිටන්ස් පිල වෙනුවෙන් ක්‍රීඩා කළේය.


පුනරුප්පත්තිය හරි : මරණයෙන් පසු ජීවයක් තිබෙන බවට තහවුරුයි

මරණයෙන් පසු ජීවයක් තිබෙන බවත් ඒ පිළිබඳව කිසිදු සැකයක් නොමැති බවත් රෝගීන්ගේ මරණාසන්න අත්දැකීම් 5000ක් පමණ අධ්‍යයනය කළ ඇමෙරිකා එක්සත් ජනපදයේ කෙන්ටකි ප්‍රාන්තයේ පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයකු වන ජෙෆ්රි ලෝන්ග් පවසා ඇත.

ජෙෆ්රි ලෝන්ග් පිළිකා රෝග විශේෂඥ වෛද්‍යවරයකු මෙන්ම මරණාසන්න අත්දැකීම් පිළිබඳ පරේක්ෂණ පදනමේ නිර්මාතෘවරයා ද වේ.

තමාගේ වෘත්තීය ජීවිතය තුළ සිදු කළ අධ්‍යයන වලින් හමු වූ සාක්ෂි විමසා බැලූ විට මරණින් මතු ජීවිතයක් තිබෙන බවට තමන්ට විශ්වාස වූ බව වෛද්‍ය ජෙෆ්රි ලෝන්ග් ප්‍රකාශ කර ඇත.

තමන් අධ්‍යයනය කළ රෝගීන්, එම මරණාසන්න අත්දැකීම් ලද මොහොතේ මනෝකාය සිරුරෙන් වෙන්වී ඉහළ සැරිසැරූ බවත් අනතුරුව මනෝකාය වෙනත් ලෝකයකට ඇතුළු වී උමං මාර්ගයක් දිගේ ගමන් කළ බවත් ඔවුන් පැවැසූ බව වෛද්‍ය ජෙෆ්රි ලෝන්ග් පවසා ඇත.

එම උමං මාර්ගය අවසානයේ දීප්තිමත් එළියක් තිබූ බව ද ඔවුන් ප්‍රකාශ කළ බව වෛද්‍ය ජෙෆ්රි ලෝන්ග් මහතා පවසා ඇත.

එම දීප්තිමත් එළිය අබියස සිට මියගිය ආදරණීයයන් සුබ පැතූ බවත් එම අවස්ථාවේ තමාගේ සැබෑ නිවහන තිබෙන්නේ එතැන බව තමන්ට දැනුණු බවත් එම රෝගීන් ප්‍රකාශ කළ බව වෛද්‍යවරයා පෙන්වා දී ඇත.

                                                                                                                   විමුක්ති එස්. රුද්‍රිගු


සිරුර පුරා පැතිරුණු පිළිකාව නිසා රූපරාජිනී සිහිනය බොද නොකරගත් සිව්දරු මවක්

සිංගප්පූරුවේ වෙසෙන 36 හැවිරිදි ඇලිසන් වී යනු සිරුර පුරාම පැතිරුණු පිළිකාවක් හේතුවෙන් පීඩා විඳින සිව්දරු මවකි. වයස අවුරුදු 2ත් 10ත් අතර වයසේ පසුවන එම දරුවන් බලා කියා ගන්නා අතරතුරදීම සිංගප්පූරු චයිනා ටවුන් ව්වාහක රූ රැජින 2022 තරගාවලිය වෙත සහභාගි වීම ඇගේ සිහිනය විය. 

එහෙත් පසුගිය වසරේදී ඇය පිළිකා රෝගියෙකු බවට හඳුනා ගැනීමත් සමග ඇගේ සියලු අපේක්ෂා සහ සිහින බොඳවී යන්නට විය. එම ආරංචිය ඇය වෙත ලැබෙන විට ඇය එම සිංගප්පූරු චයිනාටවුන් 2022 රූපරාජිනී තරගයේ අවසන් මහා තරගයට දින 10ක් දක්වා සමීප වී සිටියාය.

එහෙත් ඇය ඒ කිසිවකින් නොසැලී එම තරගයේ අවසානය තෙක්ම ඉදිරිපත් වූයේ තමන් මෙන්ම, තමන් සමග සිටින ස්වාමියා සහ දරුවන් සිව්දෙනා වෙනුවෙනි. ඇය මුහුණදුන් තත්ත්වයට වෙනත් අයෙකු මුහුණ දුන්නේ නම් ඇතිවන කම්පනය, සිත් බිඳවැටීමත් ඇය සතුව නොතිබුණි. එහෙත් අදටත් ඇගේ එකම කම්පාව වන්නේ තමන්ට අත්වූ මෙම ඉරණම නිසා දරුවන් මුහුණදෙන අවාසනාවන්ත තත්ත්වයයි.

පිළිකා රෝගියකු ලෙස හඳුනාගන්නා පළමු වැනි අවස්ථාව වනවිටත් ඇය සිව්වැනි මට්ටමේ පියයුරු පිළිකා රෝගියෙකු වූවාය. එසේම වෛද්‍යවරුන් සඳහන් කළ ආකාරයට ඇගේ අක්මාවෙන් 70%ක් පුරාම ටියුමර් ව්‍යාප්ත වී තිබුණි. මීට අමතරව, ඇගේ වසා ග්‍රන්ථි, පෙණහලු සහ කොඳුඇට පෙළෙහිද පිළිකා සෛල වෛද්‍යවරුන් විසින් හඳුනාගෙන තිබුණි. 

ඇය රූපරාජිනී තරගයේ අවසන් තරගයට සහභාගි වූයේ සිය රෝගී තත්ත්වය සඳහා පළමුවැනි වරට කිමෝතෙරපි ප්‍රතිකාරය සඳහා සම්බන්ධවීමෙන් අනතුරුව රෝහලේ සිටම සිදු කරගත් හැඩගැන්වීම්වලින් අනතුරුවය. එහිදී ඇය තරගාවලියේ දෙවැනියා බවට පත් වූවාය.

එම තරගාවලිය අවසන් වී සති දෙකක් ගතවීමෙන් අනතුරුව කිමෝතෙරපි ප්‍රතිකාර හේතුවෙන් ඇගේ හිස කෙස්, ඇහිබැම සහ ඇස්පිහාටු හැලීම ආරම්භ විය. මෙම අවස්ථාව ඇගේ වැඩිමහලු දරුවන් දෙදෙනාට ඉමහත් කම්පනයක් ලබාදෙන අවස්ථාවක් විය. "ඔවුන් දෙදෙනා මගේ කාමරේ ඉඳගෙන මං දිහා බලාගෙන හිටියේ. මම හිතනවා, ඒ අවස්ථාවේදී ඔවුනුත් පළමුපාරට බය වෙන්න ඇති.” යනුවෙන් ඇය පවසයි.

එහෙත්, කෙසේ හෝ මාරයා පරාජයට පත් කරමින් දරුවන් වෙනුවෙන් තවදුරටත් ජීවත්විය යුතු බවට ඇය අදිටන් කරගෙන ඇත. “ජීවිතය කියන්නේ හරි අමුතු දෙයක්. අපි මේ ලෝකෙට එන්නේ කවදා හරි යන්න ඕනේ කියලා දැනගෙන. ඒත් අපි දන්නේ නෑ ඒ කවද්ද කියලා. ඒ අතර කාලයේදී ගොඩක් දේවල් වෙන්න පුළුවන්. රෝගීවීම්, හදිසි අනතුරු හරි වෙනත් ඕනෑම දෙයක් වෙන්න පුළුවන්.”

“ඒ නිසා අපි මේ මොහොතේදී අපි අපේ තීරණ ගන්න වෙනවා. අපිට තියෙන අත්දැකීම් සහ අපිට තියෙන සම්පත් ගැන අපි අවධානය යොමු කරන්න ඕනේ.” ඇය ශක්තිමත් හඬින් පවසයි.

ඇලිසන් විවාහ දිව්යට පිවිසෙන්නේ දැනට වසර 10කට පමණ පෙරාතුවය. ඒ වනවිටත් ඇය පූර්ණකාලීනව ගණකාධිකාරීවරියක ලෙස කටයුතු කර ඇති අතර, දරුවන් උපත ලබද්දී ඇය ඉන් ඉවත්ව තිබේ. ඒ අතර කාලයේදී ඇය රක්ෂණ සැලසුම් අලෙවි කරමින් පවුලට යම් ආර්ථික ශක්තිමත් බවක් ලබාදීමට උත්සාහ කර ඇත.

“මට සමාජයත් එක්ක තියෙන බැඳීම් අඩුවුණා. මම ගෙදරට කොටුවුණා. මං වැඩිය කා එක්කවත් කතාබහ කරන්න ගියෙත් නෑ,” ඇලිසන් වී පවසයි. සිංගප්පූරු චයිනාටවුන් හි විවාහක රූපරාජිනිය බවට පත්වීමට ඇය තීරණය කර ඇත්තේද මේ සීමාවෙන් මිදීම අරමුණු කරගනිමිනි. එහෙත් ඒ සිහිනයට බාධා එල්ල කරමින් ඇය පිළිකා රෝගියෙකු බවට පත්වූවාය.

“2022 අවුරුද්දේ නොවැම්බර් මාසයේ රාත්‍රියකදී එකපාරටම මගේ දකුණු ඉළඇට පෙළට පහළින් ඊදිල්ලක් ආවා. මම මුලින් හිතුවේ මගේ ඇඳුම් හිර නිසා වෙන්න ඇති කියලයි. ඒත් ඒ ඊදිල්ල අඩුවුණේ නෑ, ඊළඟ දිනයේ උදෑසන මම CT පරීක්ෂණයකට ගියා. එතැනදී තමයි දැනගන්න ලැබුණේ මගේ අක්මාව පුරාම ටියුමර් තියෙනවා කියලා.” ඇය පවසයි. 

එම දිනයේදීම ඇය රෝහල්ගත කෙරී ඇති අතර, තවදුරටත් ඇය පිළිබඳ පරීක්ෂණ සිදුකර තිබේ. එහිදී ඇය සිව්වැනි මට්ටමේ පියයුරු පිළිකා රෝගියකු බව හඳුනාගෙන ඇත. එසේම එම පිළිකාව ඇගේ සිරුර පුරාම ව්‍යාප්ත වෙමින් තිබෙන බවත් හඳුනාගෙන තිබේ. තෙවැනි දිනයේ පටන් වෛද්‍යවරුන් ඇයගේ මෙම පිළිකා සෛල මරා දැමීම සඳහා වන කිමෝතෙරපි ප්‍රතිකාර අරඹා තිබේ.

මෙලෙස වෛද්‍ය පරීක්ෂණ රැසකට මුහුණ දී ලැබූ ආතතියත් සමග ඇය සිය රූපරාජිනී තරගාවලිය වෙත ඉදිරිපත්වීමේ තීරණය තවදුරටත් පවත්වාගෙන යාමට තීරණය කර තිබේ. “පළමු දවසේදී මං කිමෝතෙරපිවලට ලක්වෙලා වාට්ටුවේ හෙදියකගෙන් මට ඇඳුමක් ඇඳලා සැරසිලා මේ තරගයට යන්න උදව්වක් ඉල්ලුවහම ඇය ගොඩක් පුදුමයට පත්වුණා.”

තරගාවලියේ විනිසුරු තීරණ දැනුම්දීමට පෙරාතුව පැවැති තරග වටයේදී සංවිධායකයන් විසින් ඇයට රෝදපුටුවක් මත සිට තරගවැදීමට අවස්ථාව ලබාදී තිබේ. එහිදී ඇය තරගයේ විනිසුරු මණ්ඩලය වෙත සිය පෞද්ගලික කතාව සහ සිය විශ්වාසයන් පිළිබඳව පවසා තිබේ. 

ඒ අනුව, දරුණු පිළිකා රෝගී තත්ත්වයකින් පෙළෙමින් සිටියදී වුවද ඇය පෙන්නුම් කළ ආත්ම විශ්වාසය සහ ධෛර්යය සම්බන්ධයෙන් එම විනිසුරු මඬුල්ලේ අගය කිරීමටද ඇය ලක්ව තිබේ.

“හැමෝම කැමති නැහැ පිළිකාවක් සමග සටන්වදින තමන්ගේ අත්දැකීම් ලෝකයාට එළිකරන්න. ඔවුන් හුඟ දෙනෙක් හිතන්නේ ඒ හරහා මිනිසුන් තමන් ගැන මොනවා කියාවිද කියලයි. ඒත් මට වුවමනා වුණේ, මගේ මේ පිළිකාව නිසා ලැබූ අත්දැකීම් තවත් අයෙකුට දීලා ඔවුන්ට උදව් කරන්න. එතැනදී ලෝකයා ඔවුන් ගැන මොනවා හිතනවාද කියන දේ ගැන බිය. වෙන්න ඕනේ නෑ කියන දේ පෙන්වන්න. “ ඇය  පවසයි.

එම වටයෙන් සතිකට පමණ පසුව එම තරගාවලියේ අවසන් මහා තරගය පැවැත් වී ඇති අතර, එහිදී ඇයට දෙවැනි ස්ථානය හිමිව තිබේ. "මම දෙවැනියා කියලා දැනගත්ත ගමන් මට පුදුම හිතුනා. මට කියන්න වචන ආවේ නෑ.” ඇය පවසයි.

ඉන් දින තුනකට පසුව ඇය යළිත් සිය කිමෝතෙරපි ප්‍රතිකාර ආරම්භ කර ඇත. ප්‍රතිකාර හේතුවෙන් ඇයගේ සම තවත් හානිවීමට ලක්ව ඇති අතර, කෙස් වැටීම තවත් වේගවත් වී තිබේ. මේ වසරේ අප්‍රෙල් මැයි වනවිට ඇය මෙම කිමෝතෙරපි ප්‍රතිකාරයේ 18වැනි සතිය සම්පූර්ණ කර ඇත. එහෙත් ඒ වනවිටත් පිළිකාව සහ ඇය අතර සටන නිමාවට පත්වී නැත.

ඉන් මාසයකට පමණ පසුව ඇයට දරුණු හිසරදයක් මතුව ඇති අතර, සිදුකළ පර්ක්ෂාවේදී ඇයගේ මොළයේද පිළිකා සෛල ඇති බවට හඳුනාගෙන තිබේ. ඒ අනුව, ඇයට රේඩියෝතෙරපි ප්‍රතිකාර අරඹා තිබේ. එය සාර්ථක ප්‍රතිඵල පෙන්නුම් කළ බව ඇය පවසයි. එහෙත් එම ප්‍රතිකාරය අවසන් වුවද ඇය, සිය ඉදිරි ජීවිත කාලය පුරාම සෑම සති තුනකට වරක් කිමෝතෙරපි ප්‍රතිකාරය වෙත යොමුවිය යුතුව ඇති බවට වෛද්‍ය නිර්දේශය වී තිබේ.

“මම තවමත් මේ රෝගයෙන් සම්පූර්ණයෙන්ම සුවවී නැති නමුත්, දැන් මං මේ පිළිකාවත් සමග ජීවත් වෙන්න සූදානම් වෙලයි ඉන්නේ, මම පිළිකාවට මගේ ජීවිතය උදුරා ගන්න දෙන්නේ නෑ." ඇලිසන් වී ශක්තිමත් ස්වරයෙන් පවසයි.


ව්‍යාපාරික කත කෝටි 29ක මැණික් හංගාගෙන පනිද්දී ගුවන්තොටේදී දැලේ



රුපියල් විසි නව කෝටි දස ලක්ෂයක් පමණ වටිනා මැණික් තොගයක් නීතිවිරෝධී ලෙස ඉන්දියාවට රැගෙන යෑමට තැත් කළ කාන්තාවක ඊයේ (30) අලුයම කටුනායක ගුවන් තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ දී අත්අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක සීවලී අරුක්ගොඩ මහතා පැවසීය.ඇය කොළඹ, ඔරුගොඩවත්ත ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි ව්‍යාපාරික කාන්තාවකි.

ව්‍යාපාරික කාන්තාව ඊයේ (30) අලුයම ඉන්දීය ගුවන් සේවයේ යානයකින් චෙන්නායි බලා පිටත්ව යාමට කටුනායක ගුවන් තොටුපොළට පැමිණ ඇත. ඇය කිලෝ ග්‍රෑම් 02 යි ග්‍රෑම් 311 ක් බරැති මෙම මැණික් තොගය ඇය ඇඳ සිට ඇඳුම්වල සඟවාගෙන තිබූ බව රේගු මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය.මෙම මැණික් තොගය කටුනායක ගුවන් තොටුපොළ ආරක්ෂක අංශයේ නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා රේගු නිලධාරීන් වෙත බාර දෙනු ලැබ ඇත.

 ටී.කේ.පී.කපිල

මුගුරකින් පහර දී සිවුදරු මව ඝාතනය කළ පුත්‍රයා අත්අඩංගුවට

අකුරැස්ස මලිදූව ප්‍රදේශයේදී පුතු විසින් මුගුරකින් පහරදීමෙන් සිය මවක නිකිනි පොහෝය දින එනම් ඊයේ (30) දින ඝාතනය කර ඇතැයි බංගම පොලීසිය පවසයි.

මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ, බංගම, අකුරැස්ස, ඉහළ මලිදූව, පාවුලවත්ත ගෙදර ලිපිනයේ පදිංචිව සිටි සිවුදරු මවක වන ගාර්දිය ළමා හේවාගේ චන්ද්‍රලතා (අවු.59) නමැත්තෙකි.

මෙම ඝාතනය සිදුව ඇත්තේ ඊයේ (30) නිකිණි පොහොය දින උදෑසන වන අතර මානසික ආබාධිත 28 හැවිරිදි පුතා විසින් මෙම ඝාතනය කර ඇතැයි පොලීසිය පවසයි.

කාලයක් මානසික ආබාධයකින් පෙළී ඇති සැකකරු අංගොඩ මානසික රෝහලේ නේවාසිකව කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලබා මානසික ආබාධය සුව වී පසුගිය 2022 වර්ෂයේ නිවසට පැමිණ ඇති අතර, ඉන්පසු විවිධ කුලී රැකියා කරමින් ජීවත්ව ඇති මොහු පෙරේදා (29) දිනද සුපුරුදු පරිදි කුලී රැකියාවකට ගොස් සවස නිවසට පැමිණ රාත්‍රි කාලයේ නිවස ආසන්නයේ පිහිටි සිය බාල සහෝදරයාගේ නිවසට පහරදී අලාභහානි කර ඇති බවත් ඊයේ (30) දිනද අලුයම සිටම නිවස තුළ කලබල කරන්නට වීම නිසා අසල්වාසීන් ඊට මැදිහත්වී ඇත. 

නිවස තුළ කළබල කිරීම වැළැක්වීම සඳහා මැදිහත්වූ අසල්වැසි පුද්ගලයෙකුටද පොල්ලකින් පහර දීමෙන් අතක් කැඩී ඇති බවට පොලීසිය පවසයි.

මේ අතරතුර නිවසේ කාමරයක බිම මෙට්ටයක් දමාගෙන නිදාගෙන සිටී මවට විශාල පරාලයක් රැගෙන විත් පහරදී ඇති අතර පහරදීමෙන් බරපතල තුවාල ලබා සිටී කාන්තාව අකුරැස්ස රජයේ රෝහලට රැගෙන යන අතරතුර මියගොස් තිබූ බව පරීක්ෂණවලදී අනාවරණය විය.

මවට පහරදී ඝාතනය කිරීමෙන් පසු සැකකරු නිවස අසල පාළු වැසිකිළියක සැඟව සිටියදී පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.

ඝාතනයට ලක්වූ කාන්තාවගේ සිරුර පිළිබඳව ස්ථානීය මහෙස්ත්‍රාත් පරීක්ෂණය මාතර මහේස්ත්‍රාත්වරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතව තිබූ අතර අත්අඩංගුවට සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් බංගම පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

                                                                                                            · ඌරුබොක්ක - ඩී.ඒ. පතිරණ


අයිස් අල්ලන්න ගියාම හිටපු නාවික භාටයා පොලිසියට පිහියෙන් කොටලා


අයිස් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පිරිසක් අත්අඩංගුවට ගැනීමට ඊයේ (30) අලුයම ගිය ඇල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.කේ.වී.ඩබ්ලිව්. අබේගුණවර්ධන මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක සිටි කොස්තාපල්වරුන් දෙදෙනකුට එම ජාවාරම්කරු පිහියකින් ඇනීමෙන් එම දෙදෙනා බරපතළ තුවාල ලබා බදුල්ල රෝහලට ඇතුළත් කරනු ලැබ සිටිති.කොස්තාපල්වරුන් දෙදෙනාට පිහියෙන් ඇනීමෙන් පසු සැකකරු පලා යෑමට උත්සාහ කර ඇති අතර එම අවස්ථාවේ දී ඒ අසල සිටි පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු නිලධාරින් ඔහු සමග පොරබදා මෙල්ල කරගෙන ඔහු අත්අඩංගුවට ගත් බව ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක්  පැවැසීය. 

සැකකරු නාවික හමුදාවෙන් පලා ආ“නේවි අසංක” යනුවෙන් හැඳින්වෙන භටයකු වන අතර සැකකරු ළඟ තිබී අත්බෝම්බයක් උල් පිහියා දෙකක් සහ රම්බෝ පිහියක් ඇතුළු ආයුධ කිහිපයක් හා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6ක් සොයාගනු ලැබූ බව ද එම නිලධාරියා සඳහන් කළේය.සැකකරු විවිධ අපරාධ සම්බන්ධයෙන් අධිකරණ වරෙන්තු පවා ලබා සිටින පුද්ගලයකු බව පොලිසිය පවසයි.සිද්ධියෙන් තුවාල ලැබුවේ ඇල්ල පොලීසියට අනුයුක්තව රාජකාරි කරන අවුරුදු 29 සහ 34 වයස් හි පසුවන පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනෙකි.

එම දෙදෙනා ශල්‍යකර්මයකට ද භාජන කර ඇතැයි රෝහල් ආරංචිමාර්ග සඳහන් කළේය. මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරු පිළිබඳව ලැබුණු තොරතුරක් අනුව ඇල්ල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු කණ්ඩායමක් ගනුදෙනුකරුවන් පිරිසක් ලෙස වෙස් වළාගෙන ගොස් මෙම වැටලීම කර ඇති බවත් වැටලීමට යෑමට පෙර ජාවාරම්කරුට ඊසි කෑෂ් ක්‍රමයට රුපියල් පන්දහක් ද ලබා දී සැකකරුගේ සැක ද දුරු කර තිබූ බවත් පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.

සුජිත් හේවාජුලිගේ 

නිවෙසකට කඩාපැන කිරිකැටියා ප්‍රාණ ඇපයට තියාගෙන සේසතම කොල්ලකාලා



යාපනය සන්දිලිප්පායි ප්‍රදේශයේ නිවෙසකට පෙරේදා (29) රාත්‍රියේ කඩා වැදුණු කොල්ල කල්ලියක් කුඩා දරුවකු ප්‍රාණ ඇපයට තබාගෙන රන්භාණ්ඩ කොල්ල කා පලාගොස් ඇතැයි පොලිසිය පවසයි.කොල්ලකෑම සිදු වූ නිවැසියන් පැවැසුවේ සිනමා පටයක ආකාරයට සිය නිවෙසට කඩා වඳුනු කොල්ලකරුවන් තමන්ට පහර දී සිය මාස 4ක් වයසැති බිලිඳා බලහත්කාරයෙන් රැගෙන මෙම කොල්ල කෑම සිදු කළ බවය.එහිදී කොල්ලකරුවකු බිලිඳාගේ ගෙලට පිහියක් තබා නිවසේ තිබෙන සියලු මුදල් හා රන්භාණ්ඩ රැගෙන එන ලෙසට අනකළ බවත් සියලු රන්භාණ්ඩ සහ මුදල් ඔවුන්ට ලබාදීමට සිදු වූ බවත් ඔවුහු සඳහන් කළහ.

රුපියල් ලක්ෂ 2ක පමණ මුදලක් දී පවුම් 12කට ආසන්න ප්‍රමාණයක් ජංගම දුරකතන සහ නිවසේ නවතා තිබූ යතුරුපැදියක් ද කොල්ලකරුවන් රැගෙන ගොස් ඇතැයි පොලිසිය කියයි. කොල්ලකරුවන් පලායන අවස්ථාවේදී ඔවුන් එතෙක් වේලා ප්‍රාණ ඇපයේ තබාගෙන සිටි බිලිඳා නැවත නිවැසියන්ට තර්ජනය කරමින් පවසා ඇත්තේ පොලීසියට දැනුම් දෙන්නේ නම් අනිසි විපාකවලට මුහුණ දීමට සිදුවන බවය. කොල්ලකරුවන් පිරිස පලාගිය පසු නිවැසියන් මාණිප්පායි පොලීසියට ඒ පිළිබඳව දැනුම් දී ඇති අතර මාණිප්පායි පොලිසිය මේ පිළිබඳව පරීක්ෂණ පවත්වයි.

රොමේෂ් මධුෂංඛ

දෑත් මත තැබූ කොන්ක්‍රීට් කුට්ටි 26ක් කඩා නව ගිනස් වාර්තාවක් පිහිටුවයි

තම දෑත් මත තබාගත් කිලෝ ග්‍රෑම් 22ක බරින් යුත් කොන්ක්‍රීට් කුට්ටියකට, කුළු ගෙඩියකින් පහර දී විනාඩියක් තුළදී එවැනි කුට්ටි 26ක් කඩා දමා නව ගිනස් වාර්තාවක් පිහිටුවීමට හඟුරන්කෙත පල්ලේබෝවල පදිංචි ජනක කාංචන මුදන්නායක පෙරේදා (29දා) සමත් විය. මහනුවර සහස් උයනේ පරිශ්‍රයේදී මෙම නව ගිනස් වාර්තාව පිහිටු වූ අතර මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහතා විසින් එය අධීක්ෂණය කිරීම සිදු කරන ලදි. 

ජනක කාංචන මීට පෙර ගිනස් වාර්තා 07ක් පිහිටුවා තිබෙන අතර ගිනස් වාර්තා 18ක් පිහිටුවීම ඔහුගේ ඉලක්කය වී තිබේ. ඔහු ශ්‍රී ලංකා වරාය අධිකාරියේ සේවය කරයි. කඩා දමන ලද එක් කොන්ක්‍රීට් කැටයක් දිගින් සෙන්ටි මීටර් 40 ක්ද පළලින් මිලි මීටර් 20 ක්ද උසින් සෙන්ටිමීටර් 05 ක්ද වන අතර, මහනුවර මහ නගර සභාවේ ඉංජිනේරු දෙපාර්තමේන්තුවේ පූර්ණ අධීක්ෂණය යටතේ ඒවා සකස් කිරීම සිදු කර ඇත. ජනක කාංවන විසින් මීට පෙර තැබූ ගිනස් වාර්තා වන්නේ ටොන් එක හමාරක් බර වාහන 32ක් අතැඟිලි මතින් ධාවනය කිරීම, මිලි මීටර් 12 වානේ කම්බි 18ක් විනාඩියක දී දත් ආධාරයෙන් නැමීම, ඇණ ලෑල්ලක් මත නිදා සිටිය දී කොන්ක්‍රීට් කැට 35ක් තත්ත්පර 54ක දී කුළු ගෙඩියකින් පහර දී කඩා දැමීම, කිලෝ ග්‍රෑම් 50 බැගින් වූ තිරිඟු පිටි බෑග් 20ක් මීටර් 30 ක දුරක් දත්වල ආධාරයෙන් රැගෙන යාම, මීල මීටර් 12 වානේ කම්බි 22ක් තත්ත්පර 48ක දී හිසේ අධාරයෙන් නැමීම, කිලෝ ග්‍රෑම් 50 බැගින් වූ අයිස් කුට්ටි 50ක් අඩි 20ක් ඉහළ සිට විනාඩි 36ක දී උදරය මතට හෙළීම, කිලෝ ග්‍රෑම් 107 බැගින් වූ කොන්ක්‍රීට් කැට 30ක් උදරය මත තබා විනාඩි 05යි තත්ත්පර 45ක දී කුළු ගෙඩියකින් පහර දී කඩා දැමීම ආදියයි.

හඟුරන්කෙත යෝධයා ලෙස ප්‍රකට මීට කලකට පෙර මියගිය ගාමිණී වසන්ත ජනක කාංචනගේ පියා වන අතර ඔහු ද ගිනස් වාර්තා හතරකට හිමිකම් කියන්නෙකි. ඉදිරියේ දී ගුවන් යානයක්, නැවක් හා දුම්රියක් කටින් ඇදීම ඇතුළු තවත් ගිනස් වාර්තා 10ක් පිහිටුවීමේ අපේක්ෂාවෙන් පසුවන බව ජනක කාංචන මුදන්නායක සඳහන් කළේය.

මෙම වාර්තාව සඳහා ගිනස් වාර්තාවක් ලෙස නිල පිළිගැනීම ලැබෙන්නේ ගිනස් කමිටුවට ඉදිරිපත් කිරීමෙන් පසු, එය ගිනස් වාර්තා පොතට ඇතුළත් කිරීමෙනි. මෙම අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය දිළුම් අමුණුගම,ගිනස් කමිටුවේ ශ්‍රී ලංකා සම්බන්ධීකාරක ඉන්දික ජයලත්,මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ අතුල ජයවර්ධන යන මහත්වරු ඇතුළු පිරිසක් සහභාගී වූහ.

                                                                                                                   • දුම්බර - එම්.ආර්. ප්‍රදීප්


කුඩු ගහන්න සල්ලි ඉල්ලා මවට පහරදුන් අයියා මල්ලී අතින් මරුට



හෙරොයින් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වී සිටි 33 හැවිරිදි අවිවාහක වැඩිමල් සහෝදරයා මුදල් ඉල්ලා නිතර නිතර මවට පහරදීම හේතුවෙන් උරණ වූ 28 හැවිරිදි බාල සොහොයුරා විසින් වැඩිමල් සහෝදරයා නිවසේ නිදා සිටියදී කැත්තකින් පහරදී පෙරේදා (29) රාත්‍රි 8ට පමණ ඝාතනය කරනු ලැබ ඇතැයි සූරියවැව පොලිසිය පවසයි. මෙලෙස ඝාතනයට ලක්ව ඇත්තේ සූරියවැව, ඇඹිලිපිටිය පාර, රන්දික නිවසේ පදිංචි 33 හැවිරිදි හෙට්ටිආරච්චිගේ රන්දික මදුෂංක නමැති අවිවාහක පුද්ගලයෙකි. මරණකරු තදින් හෙරොයින් පානයට ඇබ්බැහි වි සිටි අයකු බවත්, ඔහු නිතර නිතර මුදල් ඉල්ලා මවට පහරදෙන බවත්, මෙය ඉවසා සිටිය නොහැකිවීම හේතුවෙන් බාල සොහොයුරා විසින් වැඩිමල් සොහොයුරා ඝාතනය කරනු ලැබ ඇති බව මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

මරණකරු පෙරේදා (29) සවස නිවසේ තිබූ වී මල්ලක් රැගෙන ගොස් විකුණා මත්පැන් ගෙනැවිත් පානය කර මව සමග රණ්ඩු වී නිවසේ කාමරයක නිදාගෙන සිට ඇත. මේ අවස්ථාවේදි බාල සොහොයුරා නිවසේ නිදා සිටි අයියාගේ ගෙලට කැත්තකින් පහරදී ඝාතනය කර ඇත. සිය අයියා ඝාතනය කිරීමෙන් පසු මල්ලී සූරියවැව පොලිසියට බාර වී තිබේ. සිද්ධිය පිළිබඳ මහේස්ත්‍රාත් පරික්ෂණය හම්බන්තොට මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු ඕෂධ මිගාර මහආරච්චි මහතා විසින් ඊයේ (30) පෙරවරුවේ සිදුකරනු ලැබීය. මියගිය පුද්ගලයාගේ සිරුර හම්බන්තොට මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍යවරයා හමුවට ඉදිරිපත් කර එහි වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසට මහේස්ත්‍රාත්වරයා සූරියවැව පොලිස් ස්ථානාධිපතිවරයාට නියම කළේය.

දිලීප් ජයසේකර

අධිකරණ 2කින් ගුවන් තහනම් පනවා තිබූ අයෙක් ඉන්දියාවට පලායමින් සිටියදී යළි ගෙන්වා ගනී

ශ්‍රී ලංකාවේ අධිකරණ දෙකක් මගින් ගුවන් ගමන් තහනම් පනවා තිබූ පුද්ගලයකු , කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන කවුළුව මග හරිමින් ඉන්දියාවට පලා යමින් සිටියදී ඔහු ගමන් කළ ගුවන් යානය තුළ රඳවාගෙන ඊයේ (30දා) උදෑසන ආපසු ගෙන්වා ගැනීමට ආගමන විගමන නිලධාරීන් සමත් වී තිබේ. 

මොහු යාපනය ප්‍රදේශයේ පදිංචි අයෙකි . ඔහුට එරෙහිව යාපනය දිස්ත්‍රික්කයේ පේදුරුතුඩුව සහ මල්ලාකම් මහෙස්ත්‍රාත් අධිකරණ මගින් රටින් පිටවීම තහනම් කරමින් ගුවන් ගමන් තහනම් දෙකක් පනවා තිබුණි .

ඔහු ගුවන් යානය පිටත්වීමට ආසන්න වනවිට ගුවන් තොටුපොළ ආගමන විගමන කවුළු වෙත පැමිණ , නිලධාරීන්  කිසිවෙකු නොමැති ස්ථානයක් බලා , ඒ අතරින් රිංගා ගොස් තිබේ . මේ බැව් ආගමන විගමන නිශ්කාශන කටයුතු කර ගැනීමට පැමිණ සිටි ඔස්ට්‍රේලියානු ජාතික කාන්තාවක් විසින් දැක, ඒ බැව් ආගමන විගමන නිලධාරීන් වෙත දැනුම් දී ඇත . ඒ අනුව එම කාන්තාව සමග ආගමන විගමන නිලධාරීන් මෙම පුද්ගලයා සොයා ගිය ද ඔහු ඒ වනවිට අදාළ ගුවන් යානය වෙත ගොස් තිබුණි .

පසුව මෙම නිලධාරීන් ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා හට මේ බැව් පවසා , ගුවන් තොටුපොළ ආරක්ෂක කැමරා පද්ධතිය නිරීක්ෂණය කර, මොහුගේ ගුවන් ගමන් බලපත්‍රය සහ ගුවන් ප්‍රවේශ පත්‍රය පරිගණක පද්ධතිය මගින් ලබා ගෙන පර්ක්ෂා කිරීමේදී , මොහු ගුවන් ගමන් තහනම් දෙකක් ඇති පුද්ගලයකු බවට කරුණු අනාවරණය වී තිබේ . කටුනායක ගුවන් ගමන් පාලන මෙහෙයුම් මැදිරිය අමතා මේ තොරතුරු දැනුම් දී ඇති අතර, ඒ වනවිටත් මෙම ගුවන් යානය ශ්‍රී ලංකා ගුවන් සීමාවෙන් ඉන්දීය ගුවන් සීමාවට ඇතුළු වී තිබුණි .

පසුව කටුනායක ගුවන් තොටුපොළ ශ්‍රී ලන්කන් ගුවන් මෙහෙයුම් කළමනාකරු මගින් මේ පිළිබඳ , මෙම ගුවන් යානයේ ප්‍රධාන ගුවන් නියමුවා, ඉන්දියාවේ මුම්බායි නුවර ගුවන් තොටුපොළ මෙහෙයුම් කළමනාකරු සහ එරට ගුවන් ගමන් මෙහෙයුම් පාලන මැදිරිය දැනුවත් කිරීමටද පියවර ගෙන ඇත .

ඒ අනුව මෙම ගුවන් මගියා ඊයේ (30දා) ඉන්දියාවේ මුම්බායි සිට පැමිණි ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ ගුවන් යානයකින් ආපසු රැගෙන විත් කටුනායක ආගමන විගමන නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන තිබුණි .

මෙම ගුවන් මගියා ගුවන් තොටුපොළ විගමන කවුළුව වෙත නොපැමිණිය ද ඔහුගේ ගුවන් ගමන් බලපත්‍රයෙහි කටුනායක ගුවන් තොටුපොළ ආගමන විගමන ව්‍යාජ මුද්‍රාව සටහන් වී තිබුණි. එහිදී අත්අඩංගුවට ගත් ගුවන් මගියා පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කටුනායක ගුවන් තොටුපොළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් වෙත භාර දීමට පියවර ගෙන ඇත . 

මෙම අත්අඩංගුවට ගැනීම සහ මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු ප්‍රධාන ආගමන විගමන නිලධාරී එන්.කේ.ගුරුගේ මහතාගේ උපදෙස් සහ අධීක්ෂණය යටතේ ආගමන විගමන නිලධාරීන් වන පී.ආර්.සේනානායක , කේ.ඒ.එන්. ජී.බණ්ඩාර, පී.ඒ.සී.පී.පතිරාජ සහ ඩී.එම්. සී.ජේ.දසනායක යන මහත්වරුන් විසින් සිදු කර ඇත.

                                                                                                                    කටුනායක -ටී.කේ.ජී.කපිල


ත්‍රිරෝද රියේ කුඩෙු අල්ලද්දී පොලිස් නිලධාරීන් එක්ක පොරබදා සැමියා පනී



හෙරොයින් ජාවාරමක නිරතව සිටින බව කියන අඹුසැමි යුවළක් අත්අඩංගුවට ගැනීමට කළුගලවත්ත හන්දිය ප්‍රදේශයට පෙරේදා (29) සවස ගිය කටුගස්තොට පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරයකු සැකකරුවන් සමග පොරබැදීමේ දී තුවාල ලබා ඇතැයි කටුගස්තොට පොලිසිය පවසයි. අඹුසැමි යුවළක් ත්‍රීරෝද රථයකින් හෙරොයින් ප්‍රවාහනය කරමින් සිටින බවට ලැබුණු තොරතුරක් මත කටුගස්තොට පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයකු සහ කොස්තාපල්වරුන් දෙදෙනකු කළුගල හන්දියට ගොස් එම ත්‍රිරෝද රථය නතර කර පරීක්ෂා කිරීමට උත්සාහ කළ අවස්ථාවේ එහි සිටි කාන්තාවක පොලිස් නිලධාරින්ට පහරදීමට ඇගේ සැමියාට පොල්ලක් දී ඇතැයි පොලිසිය කියයි.

එම පුද්ගලයා පොලිස් නිලධාරින්ට පහරදීමට උත්සාහ කළ බව කියන අවස්ථාවේ එහි සිටි පොලිස් පරීක්ෂකවරයා එය වැළැක්වීමට රාජකාරි පිස්තෝලයෙන් අහසට වෙඩිල්ලක් තබා ඇතැයි පොලිසිය සඳහන් කරයි.එම අවස්ථාවේ සැකකරු පොලිස් නිලධාරීන් සමග පොරබදා ඇති අතර එහිදී ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සහ කොස්තාපල්වරයකු තුවාල ලබා ඇතැයි පොලිසිය සඳහන් කරයි. පොලිස් නිලධාරීන් සමග පොර බැදූ සැකකරු පලාගොස් ඇති අතර ඔහුගේ බිරිය හෙරොයින් ග්‍රෑම් දෙකයි මිලි ග්‍රෑම් 400 ක් සමග සැකපිට අත්අඩංගුවට ගත් බව කටුගස්තොට පොලිසිය කියයි.

හෙරොයින් ජාවාරම් කිරීම සහ පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කළේ යැයි කියන චෝදනා යටතේ කාන්තාව සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. ත්‍රීරෝද රථය ද පොලිස් බාරයට ගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකාරිය කටුගස්තොට පොලිස් වසමට අයත් ගොඩගම ප්‍රදේශයේ පදිංචි හතළිස් එක් හැවිරිදි තැනැත්තියකි. සුළු තුවාල ලැබූ පොලිස් නිලධාරීන් දෙදෙනා කටුගස්තොට රෝහලේ බාහිර රෝගී අංශයෙන් ප්‍රතිකාර ගෙන ඇත.පලාගිය සැකකරු අත්අඩංගුවට ගැනීමට කටුගස්තොට පොලිසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

මන්ත්‍රීවරුන්ටම මැතිසබා රැස්වීම් එපාවෙලා



මන්ත්‍රීවරුන් පාර්ලිමේන්තු රැස්වීම්වලට සහභාගීවීමේ උනන්දුව අඩුවී ඇතැයි විගණන වාර්තාවක සදහන් වේ.නව වැනි පාර්ලිමේන්තුවේ රැස්වීම් වාර 101ක් පවත්වා තිබූ අතර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225න් 150කට වැඩි පිරිසක් සහභාගිවී තිබුණේ රැස්වීම් වාර 81කට පමණක් බව ද එම වාර්තාවේ දැක්වේ.මුළු රැස්වීම් 101න් රැස්වීම් වාර විස්සක් සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් එකසිය පනහකට අඩුවෙන් සහභාගි වී ඇති බවත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 200කට වැඩියෙන් සහභාගි වී ඇත්තේ රැස්වීම් වාර 12කට පමණක් බවත් එහි සඳහන් වේ.

මේ අතර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සහනදායි පදනම මත මෝටර් රථ බලපත්‍ර ලබාදීම සම්බන්ධයෙන් වූ චක්‍රලේඛ විධිවිධානවලට පටහැනිව ජ්‍යෙෂ්ඨ මට්ටමට අයත් විධායක තනතුරක වසර 7ක සේවා කාලයක් සම්පූර්ණ කර නොතිබුණු නිලධාරීන් තිදෙනකුට සහනදායි මෝටර් වාහන බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් විධිමත් අනුමැතියක් විගණනයට ඉදිරිපත් කර නොතිබූ බව ද එම වාර්තාවේ දැක්වේ.කතානායක නිල නිවෙස මාදිවෙල නිල නිවාස නුවරඑළියේ සෙන්පති මැදුර නිවාඩු නිකේතනය හා අනුරාධපුරයේ මෙත් සෙවණ නිවාඩු නිකේතනයට අදාළ භාණ්ඩ සමීක්ෂණ වාර්තා (2022) විගණනයට ඉදිරිපත් කර නොතිබූ බව ද විගණන වාර්තාවේ සඳහන් කර ඇත.

මේ අතර රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව විගණකාධිපති වාර්තා විමර්ශනය සඳහා කාරක සභා රැස්වීම හැටක් 2022 වර්ෂයේදී පැවැත්වීමට අපේක්ෂිතව තිබූ නමුත් පවත්වා තිබුණේ රැස්වීම් තිස් අටක් පමණක් බව වාර්තාවේ දැක්වේ. පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාව 2022 වර්ෂයේ ඳී ආයතන හා ව්‍යාපෘති කමිටුව ඉදිරියට කැඳවීමේ ප්‍රගතිය සියයට77.94ක් බව ද එහි සඳහන් වේ.රජයේ වාහනවල රාජ්‍ය ලාංඡනය යෙදිය යුතු බව දක්වා ඇතත් පාර්ලිමේන්තුවේ සියලුම වාහන සම්බන්ධයෙන් එසේ කටයුතු කර නොතිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි. මේ තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 2022 කාර්ය සාධන වාර්තාවේය.

 සුජිත් හේවාජුලිගේ


දුම්රියේම කැබ්රියකින් දෙමටගොඩ අංගනයේ බඩු පන්නන්න හදලා



දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවකයන් දෙදෙනකු දෙමටගොඩ සංඥා හා විදුලි අංශයේ උපකරණ තොගයක් සොරාගෙන දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවකු සතු කැබ් රථයක් රැගෙන පලා යෑමට උත්සාහ කිරීමේ දී දුම්රිය ආරක්ෂක අංශ නිලධාරීන් විසින් එම සැකකරුවෝ හා කැබ් රථය අත්අඩංගුවට ගනු ලැබූහ.දුම්රිය ආරක්ෂක නිලධාරීන් පවසන්නේ මොවුන් රැගෙන ආ කැබ් රථයට මෙම දුම්රිය උපකරණ හොර රහසේ පටවා අංගනයෙන් පිටවීමට උත්සාහ කිරීමේ දී අල්ලා ගත් බවය. එහිදී එම අවස්ථාවේ රාජකාරි කරමින් සිටි ආරක්ෂක නිලධාරීන් දෙදෙනා සමග මෙම සැකකරුවන් දෙදෙනා පොරබදා කැබ්රිය ද එහි දමා පලා ගොස් ඇති අතර කැබ්රියේ යතුර ද මොවුන් රැගෙන ගොස් ඇත.

ඒ අනුව සිද්ධිය වූ 29 වැනිදා දවස පුරාම කැබ් රථය හා සොරාගත් දුම්රිය උපකරණවලට ආරක්ෂාව යෙදවීමට ආරක්ෂක අංශ පියවර ගෙන තිබිණි.මෙම සැකකරුවන් දෙදෙනා පසු දින දුම්රිය අංගනයට පැමිණ දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ගේ නම් පවසා මෙම කැරිය රැගෙන යාමට උත්සාහ ගැනීමේ දී ඔවුන් දෙදෙනා මෙසේ අත්අඩංගුවට ගෙන දෙමටගොඩ පොලිසිය වෙත බාර දී ඇත.සොරාගත් උපකරණ හා දෙපාර්තමේන්තුව සතු කැබ් රථය ද පොලිසිය වෙත බාර දී ඇති අතර සැකකරුවෝ ඊයේ (30) අලුත්කඩේ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ. 

දුම්රිය ආරක්ෂක අධිකාරි අනුර ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත සහකාර දුම්රිය ආරක්ෂක අධිකාරි ගාමිණී දිසානායක මහතාගේ මෙහෙයවීමෙන් මාලිගාවත්ත දුම්රිය ආරක්ෂක කාර්ය බාර නිලධාරි නන්දන පෙරේරා ආරක්ෂක 91234 සරත් කුමාර 91286 ජගත් සිරිවර්ධන සැරයන් ඉන්ද්‍රලාල් හේරත්, මානෙල් පුෂ්ප කුමාර, බී. නීලන්. කපිල මාරසිංහ යන නිලධාරිහු මෙම වැටලීම සිදු කළහ. කැබ් රථය දුම්රිය දෙපාර්තමේන්තුවේ සංඥා හා විදුලි උප දෙපාර්තමේන්තුව සතු එකක් බව සොයාගෙන ඇති අතර කැබ් රියේ පිටුපස කොටසේ වීදුරු කළු පැහැ ගන්වා තිබී ඇත. එසේම පිටුපස අසුන යට කොටස විශේෂ ආකාරයෙන් සකස් කර සොරා ගන්නා ලද මෙවැනි උපකරණ එහි රඳවා තබා ඇත. මෙම සොරකම දීර්ඝ කාලයක් තිස්සේ සිදුවී ඇති බව සැකකරන අතර ඒ පිළිබඳව විමර්ශනය කිරීම සඳහා සහකාර දුම්රිය ආරක්ෂක අධිකාරි ගාමිණී දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් දෙපාර්තමේන්තු විමර්ශනයක් ද ආරම්භ කර ඇත.


රාජ්‍ය බුද්ධි ප්‍රධානී සුරේෂ් සලේ රොහාන් සිල්වා පියතුමාගෙන් මිලියන 50ක වන්දියක් ඉල්ලයි

රාජ්‍ය බුද්ධි සේවයේ (SIS) අධ්‍යක්ෂ ජනරාල් මේජර් ජනරාල් සුරේෂ් සලේ විසින් සමාජ සහ ආගමික කේන්ද්‍රයේ (CSR) විධායක අධ්‍යක්ෂ රොහාන් සිල්වා පියතුමා ගෙන් රුපියල් මිලියන 50ක වන්දියක් ඉල්ලා එන්තරවාසියක් යවා තිබේ. 

රොහාන් සිල්වා පියතුමා විසින් පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී දැනට විදේශගතව සිටින පුද්ගලයන් දෙදෙනෙකුගේ ප්‍රකාශ යොදා ගනිමින් මේජර් ජෙනරාල් සලේට එරෙහිව පාස්කු ප්‍රහාරය සම්බන්ධ සිද්ධීන් පිළිබදව එල්ල කළ තැතිගන්වන සුලු සහ පදනම් විරහිත චෝදනා සහ අපහාසාත්මක ප්‍රකාශයෙන් සිදු වූ හානිය වෙනුවෙන් අදාළ වන්දි මුදල ලබාදෙන ලෙස මේජර් ජෙනරාල් සුරේෂ් සලේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ලක්ෂිකා බක්මීවැව විසින් අදාළ එන්තරවාසිය යොමුකර තිබේ.

රොහාන් සිල්වා පියතුමා වෙත යොමුකර තිබෙන එම එන්තරවාසියෙන් රොහාන් සිල්වා පියතුමා නඟන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. පාස්කු ප්‍රහාරය එල්ල කළ මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් නම් පුද්ගලයා සමග මේජර් ජනරාල් සුරේෂ් සලේ සන්නිවේදනය කර හෝ මුණගැසී ඇති බවට පියතුමා එල්ල කරන චෝදනාව තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

එමෙන්ම, මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් හෝ ඔහුගේ අනුගාමිකයෙකුට හෝ සංවිධානයකට මේජර් ජෙනරාල් සලේ විසින් සපයන ලද මූල්‍ය ආධාර හෝ සහාය ලබාදුන් බව කියැවෙන ප්‍රකාශ සියල්ල ද එම එන්තරවාසියෙන් තරයේ ප්‍රතික්ෂේප කරතිබේ.

එමෙන්ම, මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් නම් පුද්ගලයාට හෝ ඔහුගේ අනුගාමිකයෙකුට හෝ එවැනි ඕනෑම අයෙකුට හෝ ඔහු සම්බන්ධ වූ සංවිධානයකට මූල්‍ය ආධාර හෝ වෙනත් ආකාරයක සහයෝගයක් ලබා දී ඇති බවට නඟන චෝදනා ද තරයේ ප්‍රතික්ෂේප කර තිබේ. මේජර් ජෙනරාල් සුරේෂ් සලේගේ නීතිඥවරිය යවා ඇති එන්තරවාසියේ, රොහාන් සිල්වා පියතුමාගේ ප්‍රකාශයන් “පරම අසත්‍ය, ද්වේශසහගත සහ සම්පූර්ණ අපහාසාත්මක” චෝදනාවක් ලෙස විස්තර කරයි. මෙම චෝදනා මේජර් ජෙනරාල් සලේගේ කීර්ති නාමයට කැළලක් ඇති කිරීම අරමුණු කරගත් සත්‍ය නොවන, විකෘති වූ සහ හසුරුවන ලද කරුණු මත පදනම් වී ඇති බවත් සදහන් කරයි.

මේජර් ජෙනරාල් සලේ ශ්‍රී ලංකාවේ පුද්ගලයන් හා සිද්ධීන් සමඟ සම්බන්ධ කිරීමට රොහාන් සිල්වා පියතුමා දැරූ උත්සාහය අදාළ එන්තරවාසියෙන් නිෂ්ප්‍රභ කර ඇති අතර, එම කාලය තුළ මේජර් ජෙනරාල් සලේ විදේශයක හෝ වෙනත් ස්ථානයක රැකියාවක නිරත වූ බවද අවධාරණය කරයි. මෙම ද්වේශ සහගත චෝදනා මේජර් ජෙනරාල් සලේගේ කීර්ති නාමයට දැඩි හානියක් කර ඇති බවත්, ඔහුට සැලකිය යුතු පීඩාවක් ඇති කර ඇති බවත් පෙන්වා දෙමින්,ඇස්තමේන්තුගත හානියට රුපියල් මිලියන පනහක වන්දියක් ඉල්ලා තිබේ. අදාළ ඉල්ලීමට අනුකූල වීමට අපොහොසත් වුවහොත්, දැනුම් දීමකින් තොරව රොහාන් සිල්වා පියතුමාට එරෙහිව අධිකරණමය ක්‍රියාමාර්ග ගැනීමට ක්‍රියාකරන බවත් අදාළ එන්තරවාසියෙන් වැඩිදුරටත් සඳහන් වෙයි.

                                                                                                                           • සාකල්යා සඳමාලි


මෙරට කාන්තාවෝ 15ක් සවුදි කාමර අඩස්සියක


ගෘහ සේවය සඳහා සවුදි අරාබියට ගිය මෙරට කාන්තාවන් පහළොස් දෙනකු පමණ මාස ගණනාවක සිට එරට කාමරයක සිර කරගෙන සිටින බව දඹුල්ල, අනුරාධපුර, සහ පුත්තලම ප්‍රදේශවල කාන්තාවෝ තිදෙනෙක් වීඩියෝවක් ඔස්සේ හෙළිදරව් කරති. මෙම කාන්තාවන්ට ඉඩක් ලැබුණු ප්‍රථම අවස්ථාවේම ඔවුන් මෙම වීඩියෝ පටිගතකරගෙන මෙරට ජනමාධ්‍යවේදීන් වෙත එවා තිබුණේ මෙරට විදේශ සේවා නියුක්ති කාර්යංශයේ හෝ වගකිව යුතු නිලධාරීන් ගේ අවධානයට යොමු කරවන ඉල්ලීම මතය. දඹුල්ල ප්‍රදේශයේ පදිංචි කාන්තාව කියා සිටියේ මෙරට කාන්තාවන් පහළොස් දෙනකු පමණ සවුදි අරාබියාවේ මෙම කාමරයේ රඳවාගෙන දොරවල් වසා දිනකට එක වේලක් පමණක් ආහාර දී සඟවාගෙන සිටින බවය.නියෝජිත ආයතනය විසින් කාන්තාවන් දින දෙක තුන විවිධ රැකියාවලට විකුණා මුදල් උපයාගන්නා බවත් ඉතා සූක්ෂම ලෙස මෙම මිනිස් ජාවාරම සිදු කරමින් කාන්තාවන් විවිධ මානසික පීඩන වලට ලක්කරමින් සිටින බවත් ඇය වීඩියෝව ඔස්සේ සඳහන් කරන්නීය.

අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි සෞදි අරාබියාවේ එම කාමරයෙන් ම සිර වී සිටින ගෘහ සේවිකාවන් හඬා වැටෙමින් කියා සිටියේ මෙම ස්ථානයේ රඳවාගෙන සිටින බොහෝ කාන්තාවන්ට විවිධ අවශ්‍යතාවන් ඉටු කර ගැනීම සඳහා අවස්ථාව නොමැතිවීම, අපිරිසුදුභාවය, සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද නොමැතිවීම නිසා විවිධ ලෙඩ රෝගවලට ලක්වෙමින් සිටින බව ය. එමෙන්ම දිනකට එක වේලක් ආහාර දී දොරවල් සියල්ල වසා දමන බවත් අනෙක් ගෘහ සේවිකාවන් දිනපතා මාරුවෙන් මාරුවට විවිධ ආයතන සහ පුද්ගලයන් වෙත අලෙවි කිරීම සිදුවන බවත් ඇය පවසයි. අනුරාධපුර ප්‍රදේශයේ විදේශ රැකියා ආයතනය කින් සවුදි අරාබියට පැමිණි බවද ඇය කියයි.

පුත්තලම ප්‍රදේශයේ පදිංචි කාන්තාව කියා සිටියේ තමන් කොළඹ ප්‍රදේශයේ රැකියා නියෝජිත ආයතනයකින් විදේශගත වූ බවය. මාස ගණනාවක් නිවාසවල සේවය කළ ද දැඩි පීඩනය සහ විවිධ කරදරවලට ලක්ව සේවය කළ කාලයට වැටුප පවා අහිමි වී මෙම රැකියා නියෝජිත ආයතන කාමරයේ මේ වන විට සිර වී සිටින බවය. මෙම කාන්තාවන් නැවත ලංකාවට පැමිණීමට අවශ්‍ය බව පැවසූ විට රැකියා නියෝජිත ආයතනයේ හිමිකරුවන් විශාල මුදලක් දෙන ලෙස බල කරමින් බලහත්කාරයෙන් සිරකරගෙන සිටින බවද ඔවුහු පවසති.

කාංචන කුමාර ආරියදාස

Tuesday, August 29, 2023

ලක්ෂ 30ක් අරන් වෙස් මාරු කළ ජාවාරමා පොලිස් ඇමක් කයි

කැනඩා රටේ රැකියා ලබාදෙන බව පවසා රුපියල් ලක්ෂ 30කට ආසන්න මුදලක් වංචා කර සැඟව සිටි පුද්ගලයකු කිරුළපන ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

අන්තර්ජාලයේ පළකර තිබූ දැන්වීමක් අනුව කැනඩාවේ රැකියා බලාපොරොත්තුව මහනුවර, කුරුණෑගල, සූරියවැව, හම්බන්තොට ආදී ප්‍රදේශවල පදිංචි පස්දෙනකු සැකකරු වෙත 2018 වසරේ සිට මුදල් ලබා දුන් බවත් සැකකරු මුදල් නොදී මඟ හරින බවට කරන ලද පැමිණිලිවලට අදාලව සිදුකළ විමර්ශන වලදී අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

සැකකරු පැමිණිලිකරුවන්ගෙන් මුදල් ලබා ගැනීමෙන් අනතුරුව පදිංචි ප්‍රදේශ වෙනස් කරමින් රහස් ජීවිතයක් ගත කර ඇති අතර, විවිධ දෑ පවසමින් දිනෙන් දින මග හරිමින් පොරොන්දු කඩ කරමින් කටයුතු කර ඇතැයි ද පොලීසිය කියයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ ඒකක අංක 3 තුනේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජීව ප්‍රේමවර්ධන මහතාට සැකකරු සම්බන්ධයෙන් ලද රහස් තොරතුරක් අනුව උපක්‍රමශීලීව සැකකරු කිරුළපන ප්‍රදේශයට ගෙන්වාගෙන අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සැකකරු මේ ආකාරයෙන් දිවයිනේ විවිධ ප්‍රදේශවල තවත් පුද්ගලයන් රැසක් රවටා මුදල් ලබා ගෙන මගහැර මේ අයුරින් කටයුතු කර ඇති බවට බොහෝ දුරට සැක කළ හැකි යැයිද එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි නෙවිල් ද සිල්වා, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහතාගේ උපදෙස් මත ඒකක තුන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සුජීව ප්‍රේමවර්ධන මහතා පරීක්ෂණ පවත්වයි.

                                                                                                 බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ


කුඩු අල්ලන්න යද්දී කාන්තාවක් සාජන් මේජර්ගේ අත සපාකාලා

මත්කුඩු ජාවාරමක් වැටලීමට ගිය පින්වත්ත පොලිසියේ සාජන් මේජර්වරයකුගේ අතක් සපාකෑ බව කියන කාන්තාවක හෙරොයින් තොගයක්ද සමග ඊයේ (28) අත්අඩංගුවට ගත් බව පින්වත්ත පොලිසිය පවසයි.

මහවිල, මාදුපිටිය ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි කාන්තාවක මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය කියයි.

මහවිල, මාදුපිටිය ප්‍රදේශයේ නිවසක හෙරොයින් වැටලීමකට ගිය සාජන් මේජර් ජයසිංහ යන නිලධාරියාගේ අතක් මෙසේ සපාකා ඇති බව සඳහන් වේ.

සැකකාර කාන්තාවකගේ ස්වාමි පුරුෂයා අයිස් මත්ද්‍රව්‍ය පැකට් තුනක් සමග පළමුව අත්අඩංගුවට ගෙන සිර මැදිරියේ රඳවා සිට ඇති අතර, ඔහු බැලීම සඳහා තවත් පුද්ගලයකු බත් පාර්සලයක්ද රැගෙන පැමිණි බව පොලිසිය පවසයි.

පොලිසියට සැකසිතී බත් පාර්සලය පරීක්ෂා කර ඇති අතර එහි තිබූ මාළු කෑලි දෙකක සඟවා තිබූ අයිස් මත්ද්‍රව්‍ය කුඩා පැකට් පහක් එහිදී සොයාගත් බව පොලිසිය කියයි. බත් පාර්සලය රැගෙන පැමිණි පුද්ගලයාගේ ප්‍රකාශ මත එය ලබාදී ඇත්තේ සැකකරුගේ බිරිඳ බව අනාවරණයවීමෙන් පසු පොලිස් කණ්ඩායම ඇය පදිංචි නිවසට ගොස් ඇතැයිද පොලිසිය පවසයි.

එහිදී පළමුව කාන්තා කොස්තාපල්වරියන් ලවා ඇය පරික්ෂා කර ඇති අතර සැකකාරිය කාන්තා නිලධාරිනියන් සමග පොරබදා ඇති බවද පොලිසිය සඳහන් කරයි.

සැකකාරිය ඇය අසල සිටි සාජන් මේජර්වරයාගේ අත සපාකා ඇති බවත්, සැකකාරියගේ තිසරපට අස්සේ සඟවාගෙන සිටි හෙරොයින් මත්කුඩු ග්‍රෑම් පහයි මිලිග්‍රෑම් 300 ක් සොයාගැනීමට කාන්තා නිලධාරිනියන්ට හැකිවූ බවත්, පොලිසිය සඳහන් කරයි.

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ සහ සහකාර පොලිස් අධිකාරි කමල් ජයනෙත්ති යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි, වැඩබලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක වී.ඩී.එස්. ලලිත් මහතාගේ මෙහෙයවීමෙන්, සාජන් මේජර් ජයසිංහ, සැරයන් චන්ද්‍රරත්න (39077) කාන්තා කොස්තාපල්වරියන් වන දිල්හාරා (1253) සහ අනුරාධා (1095) වැටලීමට එක්වූහ.

                                                                             පානදුර සුමිත් පොතුපිටිය සහ පානදුර සමන් කාරියවසම්


පොලිස් අණට නවත්වා සැණෙකින් ඉගිලුණු කාරය කොස්තාපල් එල්ලී නවතාගනී



කලවංචිකුඩි, කල්ආර් පොලිස් මාර්ග බාධකයේ දීපොලිස් අණ නොතකා පෙරේදා (27) ධාවනය කළ සැකකටයුතු මෝටර් රථයක් නවත්වා ගැනීමට එහි එල්ලුණු බව කියන පොලිස් කොස්තාපල්වරයකු ඇදගෙන රථය නොනවත්වා ධාවනය කරගෙන ගොස් ඇතැයි කලවංචිකුඩි පොලිසිය පවසයි.මද දුරක් ධාවනය කරගෙන ගිය මෝටර් රථය පසුව නතර කර ඇති අතර පසුව එහි රියැදුරා සහ වාහනය ද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු  ලැබීය.සැකකරු විසින් පදවාගෙන යනු ලැබූ කාර් රථය ද පොලිස් බාරයට ගෙන තිබේ.තමන්ගේ ජීවිතය ගැන නොතකා පලා යමින් සිටි කාර් රථයේ එල්ලී එම රථය නතර කරගෙන ඇත්තේ මඩකලපුව, කලවංචිකුඩි පොලිසියට අනුයුක්තව රාජකාරියේ නිරතව සිටින දේවන් දේවරාසන් (90890) මහතා විසිනි.

කාර් රථයේ ඇදීගෙන ගිය පොලිස් කොස්තාපල්වරයා වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීම සදහා කලවංචිකුඩි රෝහලට ඇතුළත් කර ඇත. සැකකාර රියදුරා ද තමන්ගේ අත්වල වේදනාවක් ඇති බවට ප්‍රකාශ කිරීම නිසා වෛද්‍ය ප්‍රතිකාර  ලබා ගැනීම සඳහා කලවංචිකුඩි රෝහලට ඇතුළත් කරනු ලැබීය.පොලිස් ආරක්ෂාව යටතේ ඔහු වෛද්‍ය ප්‍රතිකාර ලබමින් පසුවේ.සැකකාර රියැදුරා ඔහු විසින් පදවාගෙන එනු ලැබූ කාර් රථය පොලිස් මාර්ග බාධකය අසල පොලිස් නියෝග අනුව නතර කර ඇත. කාර් රථය පැදවීමට තමන්ට රියැදුරු බලපත්‍රයක් නොමැති බව පවසා එක්වරම කාර් රථය පණ ගන්වාගෙන ධාවනය කරගෙන පලා යෑමට උත්සහ කළ බව කියන අවස්ථාවේ කොස්තාපල්වරයා කාර් රථයේ වයිෆරේ එල්ලී ඇතැයි පොලීසිය සඳහන් කරයි.කලවංචිකුඩි පොලිසිය සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යයි.



ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය



පිම්මේ එන යතුරුපැදිය දැක්කාම අත් දෙකෙන් මූණ වහගෙන පාරේ වාඩිවෙලා

බෝමළුව ඇමදීමට විහාරස්ථානයට ගොස් යළි නිවස කරා යමින් සිටියදී යතුරුපැදියක ගැටී තුවාල ලබා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කළ කාන්තාවක ජීවිතක්ෂයට පත්ව ඇතැයි මීගොඩ පොලිසිය පවසයි.

මෙසේ මියගොස් ඇත්තේ හෝමාගම ගොඩගම රණවිරු ජයන්ත ජයසිංහ මාවතේ පදිංචි බෙත්මගේ ප්‍රේමවතී පෙරේරා නමැති (74) හැවිරිදි අවිවාහක කාන්තාවක බවද පොලීසිය කියයි.

මෙම කාන්තාව පුරුද්දක් ලෙස දිනපතා ගොඩගම හන්දිය ආසන්නයේ පිහිටි විහාරස්ථානයට ගොස් බෝමලුව අමැද ආගමික වතාවත් සිදු කොට යළි නිවසට යාම කර ඇත. එදිනත් බෝමලුව අමැද ආගමික වතාවත් සිදුකර මාර්ගය හරහා පාර මාරු වෙමින් සිටියදී අතුරුගිරිය දෙස සිට ගොඩගම දෙසට අධික වේගයෙන් ධාවනය වූ යතුරුපැදියක ගැටී අනතුර සිදුව තිබේ.

අනතුර සිදුවන අවස්ථාවේදී දෙලොවක් අතර අතරමං වූ කාන්තාව කරකියාගත හැකි දෙයක් නොමැතිව අත්දෙකෙන් මූණ වසාගෙන මාර්ගය මැද හිඳ ගැනීමට යාමේදී යතුරුපැදිය කාන්තාවගේ මුහුණ පෙදෙසෙහි ගැටී විසි වී බරපතළ තුවාල සිදුව තිබේ.

පසුව බරපතළ තුවාල ලැබූ කාන්තාව ප්‍රතිකාර සඳහා හෝමාගම මූලික රෝහලට ඇතුළත් කොට එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මෙසේ මියගොස් ඇති බව පොලීසිය කියයි.

අනතුරුව මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරීක්ෂක සාමවිනිසුරු මානෙල් ගමගේ මහත්මිය සිදු කළාය.

මෘත දේහය පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි දමිත් අත්තනායක මහතා විසින් සිදු කරනු ලැබූ අතර ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තාවට අනුව අනතුරට පත් කාන්තාවගේ හිස ඝන පෘෂ්ඨයක ගැටීමෙන් මොලයට සිදු වූ බරපතළ තුවාල මරණයට හේතුව බව මානෙල් ගමගේ මහත්මිය නිගමනය කළාය.

අනතුර සිදුකළ යතුරුපැදිකරු අත්අඩංගුවට ගෙන හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි .

සිද්ධිය සම්බන්ධයෙන් මීගොඩ පොලිසියේ පො.සැ 80029 ඥානතිස්ස ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

                                                                                         මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න


ත්‍රි මල සංවර්ධන කමිටුවට හිමිවරු කඩාවැදී රැස්වීම නවත්වයි

නිලාවේලිහි පිහිටි බොරළුකන්ද පුරාණ රාජමහා විහාරස්ථානයේ සංවර්ධන කටයුතු කිරීම නතර කරමින් පනවා ඇති තහනම ඉවත් කරන්නැයි බල කරමින් භික්ෂූන්වහන්සේ පිරිසක් ත්‍රිකුණාමලය දිසාපති කාර්යාලයට ඊයේ (28) පෙරවරුවේ කඩා වැදී දිස්ත්‍රික් සංවරිධන කමිටු රැස්වීම අතරමග නතර කරවූහ.බොරළුකන්ද රාජමහා විහාරස්ථානයට පනවා ඇති තහනම ඉවත් කරන තුරු තමන් වහන්සේලා දිසාපති කාර්යාලයෙන් ඉවත් නොවන බවද එහිදී භික්ෂුන්වහන්සේලා නැගෙනහිර පළාත් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතාට සහ ත්‍රිකුණාමලය මහා දිසාපතිවරයාට පැවසූහ.

භික්ෂූන් වහන්සේලා එම ස්ථානයට කඩා වදිද්දි ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී කපිල නුවන් අතුකෝරාල යන මහත්වරුන්ගේ ප්‍රධානත්වයෙන් එම සංවර්ධන කමිටු රැස්වීම පැවැත්වෙමින් තිබිණි.එහිදී භික්ෂූන් වහන්සේලා සහ ආණ්ඩුකාරවරයා අතර වාද විවාද ඇතිවූ අතර උණුසුම් තත්ත්වයක්ද නිර්මාණය විය.බොරළුකන්ද රාජමහා විහාරාධිපති අම්පිටියේ සීලවංශ තිස්ස නාහිමි, මොරවැව ඉන්ද්‍රාරාමාධිපති පොල්හේන්ගොඩ උපරතන නාහිමි ඇතුළු භික්ෂූන් වහන්සේලා දිසාපති කාර්යාලයට කඩා වදිද්දී තවත් භික්ෂූන්වහන්සේ සහ විරෝධතාකරුවන් පිරිසක් ත්‍රිකුණාමලය දිසාපති කාර්යාලයේ දොරටු අවහිර කරමින් විරෝධතාවක නිරත වූහ.

භික්ෂූන් වහන්සේලාගේ දැඩි විරෝධය හමුවේ ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා එම තහනම ඉවත් කිරීමට පියවර ගත්තේය. සංවර්ධන කමිටු රැස්වීමේ සිටි ත්‍රිකුණාමලය ප්‍රාදේශීය ලේකම් පී. දනේෂ්වරන් මහතා බොරළුකන්ද රාජමහා විහාරස්ථානය සංවර්ධනය කිරීමට පනවා ඇති තහනම ඉවත් කළ බවට එහිදී ලිඛිත සටහනක් බොරළුකන්ද රජමහා විහාරාධිපති නාහිමියන්ට ලබා දුන්නේය. ත්‍රිකුණාමලය දිසාපති කාර්යාලය සහ ඒ අවට පරිශ්‍ර වටලමින් භික්ෂූන් වහන්සේලා සහ විරෝධතාකරුවන් ඊයේ පෙරවරු 9.30 සිට පැය හතරක පමණ කාලයක් විරෝධතාවේ නිරතවීම නිසා අවට මාර්ග කීපයක් ද වැසී ගොස් තිබිණි.

තහනම ඉවත් කරන බවට ත්‍රිකුණාමලය දිසාපතිවරයා ලිපියක් දුන් පසුව භික්ෂුන්වහන්සේලා සහ විරෝධතාකරුවෝ පිරිස විසිර ගියහ. ත්‍රිකුණාමලය නිලාවේලිහි අතීතයේ තිබූ බොරළුකන්ද පුරාණ රාජමහා විහාරය 2019 වසරේදී නැවත ඉදිකිරීමේ කටයුතු ආරම්භ කළ අතර ආණ්ඩුකාර සෙන්දිල් තොණ්මාන් මහතාගේ නියෝගයෙන් ඉකුත් 7 වැනිදින විහාරස්ථානයේ සංවර්ධන කටයුතු තහනම් කෙරිණි.මේ පිළිබඳව මාධ්‍යයට අදහස් දක්වමින් ආණ්ඩුකාර සෙන්දිල් තොණ්ඩමාන් මහතා සඳහන් කළේ දිස්ත්‍රික් සංවර්ධන කමිටුවට හිමිවරුන් කඩා වැදීම කිසිසේත් අනුමත නොකරන බවය. එය ඉතා නරක පූර්වාදර්ශයක් බවද ආණ්ඩුකාරවරයා කීය. තහනම ඉවත් කළද එම ස්ථානයේ ගොඩනැගිලි ඉදිකිරීමට නම් ප්‍රාදේශීය සභාවෙන් අවසරය ලබාගත යුතු බවද හෙතෙම පැවසීය.

අමදෝරු අමරජීව

බබාට බබෙක් - සිද්ධිය සැඟවු විශේෂඥ දොස්තර ගැන විමර්ශන


බාලවයස්කාර දැරියකට දරුවකු ලැබීමේ සිද්ධියක් ළමා ආරක්ෂණ අධිකාරියට වාර්තා කිරීමට ඉඩ නොදී, එය සැඟවීමට ගාල්ල, කරාපිටිය ශික්ෂණ රෝහලේ විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයකු කටයුතු කර ඇතැයි ව්යතා වෙයි.දරුවා බිහිකළ අවුරුදු 15ක් වයසැති මව බණ්ඩාරගම ප්‍රදේශයේ පදිංචිකාරියකි.එම දැරිය ගැබ්ගෙන ඇත්තේ වයස අවුරුදු 14දී වන අතර ඇය විසින් බිහි කරන ලද දරුවා අඩුබර දරුවකු බැවින් කිසියම් සංකූලතාවක් හේතුවෙන් කරාපිටිය ළමා ඒකකයට යොමුකරනු ලැබ ඇත්තේ විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයකු විසිනි.

නේවාසිකව ප්‍රතිකාර ලබන බිලිඳා සමඟ රෝහලේ නැවතී සිටි මව තවමත් බාලවයස්කාරියක බව දැනගත් රෝහල් වාට්ටුවේ කාර්ය මණ්ඩලය ඇය පිළිබඳ නීත්‍යානුකූලව කටයුතු කරමින් කරාපිටිය ශික්ෂණරෝහලේ ම අධිකරණ වෛද්‍ය අංශයට දැනුම් දී ඇත. මෙවැනි මවක සම්බන්ධයෙන් ළමා ආරක්ෂණ අධිකාරියට ද දැනුම් දිය යුතු බැවින් ඒ සම්බන්ධ අදාළ කටයුතු සිදුකරමින් සිටිය දී ඇය ප්‍රතිකාර සඳහා යොමු කරන ලද විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයා වාට්ටුවට පැමිණ ඇත. දරුවා ප්‍රසූත කළ බාල වයස්කාර දැරිය සම්බන්ධයෙන් නීත්‍යානුකූලව කටයුතු කිරීම අනවශ්‍ය බව එම වෛද්‍යවරයා වාට්ටුවේ කාර්ය මණ්ඩලයට තර්ජනය කරමින් පවසා ඇතැයි දැනගන්නට ඇත.

ඇය තමන්ගේ රෝගියකු බවත් අනවශ්‍ය වැඩ නොකරන ලෙසත් පවසමින් එම විශේෂඥ වෛද්‍යවරයා එම මව සහ බිලිඳා වාට්ටුවෙන් පසුගිය සෙනසුරාදා (26) බලහත්කාරයෙන් ඉවත්කරගෙන ගොස් ඇතැයි පැවසේ.එම මව සහ බිලිඳා ප්‍රතිකාර ලැබූ වාට්ටුවේ කාර්ය මණ්ඩලය පවසන්නේ ඇය බලහත්කාරයෙන් රැගෙන ගිය විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයාට එම වාට්ටුවේ රෝගීන් පිළිබඳ තීරණ ගැනීමට අයිතියක් නැති බවයි. වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත රෝගියකු බැහැර යැවීමේ වගකීම ඇත්තේ අදාළ වාට්ටුවේ ප්‍රධාන හෙදියට බවද ඔවුහු පෙන්වා දෙති.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කරාපිටිය ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය උදේෂ් රංග මහතාගෙන් විමසූ විට ඔහු කියා සිටියේ එම සිද්ධිය සත්‍යයක් බවයි. ළමා වාට්ටුවක ප්‍රතිකාර ලබමින් සිටි අලුත උපන් බිලිඳකු සහ බාලවයස්කාර මවක වෙනත් වාට්ටුවක විශේෂඥ ළමා ශල්‍ය වෛද්‍යවරයකු විසින් බලහත්කාරයෙන් රැගෙන යෑමේ සිද්ධියක් වාර්තා වී ඇති බවය. එම බාලවයස්කාර මව සම්බන්ධයෙන් රෝහලේ අධිකරණ වෛද්‍ය අංශයට කලින්ම දැනුම් දී තිබූ බවද හෙතෙම පැවසීය. පසුව ළමා ආරක්ෂණ අධිකාරියට සහ දැරිය පදිංචි ප්‍රදේශයේ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයාට ද සිද්ධිය දැනුම් දුන් බව අධ්‍යක්ෂවරයා කීවේය.


සිරංගිකා ලොකුකරවිට

ජල විදුලිය තව සති තුනටයි

සැලකිය යුතු වර්ෂාවක් ඉදිරි දිනවලදී නොලැබුණහොත් ජල විදුලිය නිෂ්පාදනය කළ හැක්කේ තවත් සති තුනක් පමණක් බව විදුලිබල මණ්ඩලය උසස් නිලධාරියෙක් පැවසීය.

නියඟය හේතුවෙන් ජලාශවල සක්‍රීය ජල මට්ටම පහළ බැසීමෙන් ජල විදුලි නිෂ්පාදනය සමස්ත විදුලි අවශ්‍යතාවෙන් සියයට 12 ක් දක්වා පහත බැස ඇති බව කී එම නිලධාරියා තාප බාලාගාරවලින් සියයට 66 ක් ද සූර්ය සහ සුළං බලයෙන් සියයට 11ක්ද විදුලිය නිෂ්පාදනය කරන බව සඳහන් කළේය. 

වර්තමාන තත්වය හේතුවෙන් විදුලිබල මණ්ඩලය දිනකට රුපියල් කෝටි 90ක පමණ අමතර මුදලක් වැය කිරීමට සිදුවී ඇති බව ද එම නිලධාරියා කීය.

පසුගිය වසරේ අගෝස්තු මාසයේ ද විදුලි අවශ්‍යතාවෙන් සියයට 58 කට ආසන්න ප්‍රමාණයක් ජල විදුලිය නිෂ්පාදනය කළ බවත් ඉදිරි දින කීපයේදී වැසි නොලැබුණහොත් තත්වය දරුණු වන බවත් එම නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

සියලුම ජල විදුලි බලාගාර ජලාශවල ජල මට්ටම් විශාල ලෙස පහළ ගොස් ඇති අතර ඊයේ පස්වරු වන විට සමනල වැව ජලාශයේ සියයට 0.9 ක්, උඩවලව ජලාශයේ සියයට 0.6 ක්, කාසල්රි ජලාශයේ සියයට 30 ක්, මාවුස්සාකැලේ ජලාශයේ සියයට 32 ක්, වික්ටෝරියා ජලාශයේ සියයට 26.5ක් සහ මොරගහකන්ද ජලාශයේ සියයට 13.5 ක් දක්වා සක්‍රීය ජල ධාරිතාව පහළ බැස ඇති අතර පසුගිය 19 වැනිදා සිට මොරගහකන්ද ජලාශයේ ජල විදුලිය නිෂ්පාදනය අත්හිටුවා තිබේ.

                                                                                                                            යොහාන් භාසුර


බලු මැක්කෝ බළපිටිය ජාතික පාසලේ ප්‍රථමික අංශය වසති



බලුමැක්කන් බෝවීම නිසා බළපිටිය රේවත ජාතික පාසලේ ප්‍රාථමික අංශය ඊයේ (28) සහ අද (29) වසා දමා ඇත.ප්‍රාථමික අංශය වසා දැමීම පිළිබඳව විදුහල්පතිනිය පෙරේදා (27) වට්ස්ඇප් හරහා මවුපියන් දැනුම්වත් කර ඇත. මේ පිළිබඳව බළපිටිය රේවත ජාතික පාසලේ විදුහල්පතිනි තමරා කුමාරි මහත්මියගෙන් කළ විමසීමකදී ඇය පැවැසුවේ බලු මැක්කන් සහ ඇසට නොපෙනෙන කුඩා වැලි මැක්කන් ප්‍රාථමික අංශයේ බෝවී සිටි බැවින් සෞඛ්‍ය පරීක්ෂකවරුන් සහභාගී කරගෙන බෙහෙත් වර්ග යොදා මැක්කන් මර්දනය කළ බවය.

වෛද්‍ය උපදෙස් අනුව තවදුරටත් බෙහෙත් ගැල්වීම් සිදුකරන බවත් අයාලේ යන සුනඛයන් පාසලේ සැරිසැරීම නිසා මීට පෙර මේ ආකාරයෙන් මැක්කන් බෝවීමේ ප්‍රශ්නය මතු වූ බවත් ඇය කීවාය.ඒ අනුව දරුවන්ගේ ආරක්ෂාව පිළිබඳව සලකා බලා දින දෙකක් වසා දැමීමට තීරණය කළ බවද ඇය පැවැසුවාය. මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා අනුරුද්ධිකා කලෙහෙවත්ත මහත්මියගෙන් කළ විමසීමකදී ඇය කියා සිටියේ පාසලේ වත්මන් තත්ත්වය පිළිබඳව සාකච්ඡා කිරීමෙන් අනතුරුව පාසල පවිත්‍ර කිරිම සඳහා දින දෙකක් පාසල වසා දැමීමට තීරණය කළ බවය.මේ පිළිබඳව බළපිටිය පරිපාලන මහජන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි සංජීව ද සිල්වා මහතාගෙන් කළ විමසීමකදී ඔහු මෙසේ කීවේය.

‛පාසල වසා දැමීමට අපේ අනුමැතියක් දීලා නැහැ. මීට පෙර බලු මැක්කන්ගේ ප්‍රශ්නයක් තිබුණා. අපි ඒකට බෙහෙත් වර්ග යොදල මැක්කන් මර්දනය කරන්න පියවර ගත්තා. බලු පැටව් වදපු බැල්ලියක් ඉන්නවා. ඒ සතුන් පාසලෙන් එළවන තුරු මේ මැක්කන් මර්දනය කරන්න බැහැ. මැක්කන් මර්දනය කරන්න අපට කරන්න පුළුවන් දේ කළා' යැයිද ඔහුකීය. 

එස්.ඒ.වයි. ද සිල්වා

මැති ඇමතීන්ට එන සතියේ රට ගමන් තහනම්

මැති ඇමැතිවරුන්ට සහ ආණ්ඩු පක්ෂ මන්ත්‍රීවරුන්ට ලබන පාර්ලිමේන්තු සතිය යෙදෙන සැප්තැම්බර් 5,6,7 සහ 8 දිනයන්හි විදේශගත වීම ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් තහනම් කර තිබේ.

සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහිව විපක්ෂයෙන් ගෙනා විශ්වාසභංග යෝජනාව මෙම දිනයන්හි දී විවාදයට ගෙන ඡන්ද විමසීමට නියමිත හෙයින් ජනාධිපතිවරයා ඉහත නියෝගය නිකුත් කර ඇත.

ඊයේ (28) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේ දී ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මෙම නියෝගය ප්‍රකාශයට පත් කර තිබේ.

කෙහෙළිය රඹුක්වැල්ල මහතාට එරෙහි විශ්වාසභංග යෝජනාව විවාදයට ගැනීම සඳහා දින දෙකක් හෝ තුනක් අවශ්‍ය බව සමගි ජන බලවේගය පාර්ලිමේන්තුවේ දී ඉල්ලා සිටි අතර ආණ්ඩු පාර්ශවයෙන් ඊට එකඟතාවය පළ විය.

                                                                                                              අංජුල මහික වීරරත්න


පල්ලේකැලේ ක්‍රිකට් ටිකට් එකක් ලක්ෂයයි



ඉතිහාසයේ පළමු වතාවට ක්‍රිකට් තරගයක් නැරඹීමේ ප්‍රවේශ ‘ජිත්‍රයක් රුපියල් ලක්‍ෂය ආසන්නයටම පැමිණ ඇත. ලබන සෙනසුරාදා (02 වැනිදා) මහනුවර, පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට නියමිත ඉන්දියාව සහ පාකිස්තානය අතර ආසියානු කුසලාන තරගයේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 96,000 ක් තරම් ඉහළ මිලකට නියම වී ඇත. එය ප්‍රධාන ක්‍රීඩාගාරයේ ඉහළ මාලයේ ආසනයක් වෙනුවෙනි. කෙසේ වෙතත් අනිද්දා (31) ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර තරගයේ ප්‍රවේශපත් සඳහා එතරම් ඉහළ මිලක් නියම වී නැත. ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගයේ ප්‍රවේශපත්වල මිල නියම වී ඇත්තේ රුපියල් 1600 ක්, රුපියල් 6400 ක් සහ රුපියල් 11,200 ක් ලෙසිනි.

ඉන්දියාව සහ පාකිස්තානය අතර පවතින දේශපාලනික අර්බුද හේතුවෙන් ඉන්දියාව සහ පාකිස්තානය අතර ක්‍රිකට් තරගයක් පැවැත්වෙන සෑම අවස්ථාවකදීම ඒ වෙනුවෙන් සුවිශාල අවධානයක් යොමුවීම සාමාන්‍යය තත්වයකි. පාකිස්තානයේ තරග කිරීමට ඉන්දියානුවන් අකමැත්ත ප්‍රකාශ කිරීම හේතුවෙන් මෙවර ආසියානු කුසලාන තරගාවලියේ තරග කිහිපයක් ශ්‍රී ලංකාවේදී පැවැත්වෙයි. තවත් තරග කිහිපයක් පාකිස්තානයේ දී පැවැත් වෙයි.පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේ දී තරග නැරඹිය  හැකි ප්‍රේක්‍ෂක සංඛ්‍යාව 25,000 කට ආසන්නය. ඒ අතුරෙන් ආසන පහසුකම් ඇත්තේ ප්‍රේක්‍ෂකයන් 6000 කට පමණි. ආසන පහසුකම් නොමැති ප්‍රධාන ලකුණු පුවරුව ආසන්නයේත් ඊට ප්‍රතිවිරුද්ධ අන්තයේත් පිහිටි තණබිස්ස මත ප්‍රෙක්‍ෂකයන් 15,000 ත් 16,000 ත් අතර පිරිසකට තරග නැරඹිය හැකිය.

ලබන සෙනසුරාදා පැවැත්වෙන ඉන්දු පාකිස්තාන තරගය සඳහා ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපයේ ඉහළ මාලයේ ආසනයක මිල රුපියල් 96,000 කි. ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපයේ එවන් ආසන 1000 ක් තිබේ. ඉන්දු - පාකිස්තානු තරගය සඳහාම ප්‍රධාන ක්‍රීඩා මණ්ඩපයේ පහළ මාලයේ ආසනයක මිල රුපියල් 40,000 කි. එවන් ආසන 5000 කි. කිසිම ආසන පහසුකමක් හෝ හිසට ආවරණයක් නොමැති, තණ බිස්ස මත වාඩිවී හෝ සිටගෙන, තරගය නැරඹීමේ ප්‍රවේශ පත්‍රයක් රුපියල් 9,600 කි.

ශ්‍රී ලංකා - බංග්ලාදේශ තරගය සඳහා මෙම ප්‍රවේශපත්වල අගය පිළිවෙළින් රුපියල් 11,200 ක්, රුපියල් 6400 ක් සහ රුපියල් 1600 ක් ලෙසින් සටහන් වේ.ඉන්දියාව සහ පාකිස්තානය අතර තරගය සඳහා රුපියල් 96,000 ට මිල නියම කළ ප්‍රවේශපත් 1,000 න් ඊයේ (27) සවස් වන විට ඉතිරිව තිබුණේ ප්‍රවේශපත් 58 ක් පමණි. රුපියල් 40,000 කට මිල නියම කරන ලද ප්‍රවේශපත් 5000 න් ඉතිරිව තිබුණේ 1029 කි. තණ බිස්සේ ප්‍රවේශපත් 16,000 කට ආසන්න ප්‍රමාණයකින් 11,600 ක් පමණ ඉතිරිව තිබූ බව තරගාවලියේ ප්‍රවේශපත් අලෙවි කිරීම වෙනුවෙන්ම පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලය විසින් නම්කරනු ලැබ ඇති නිල වෙබ් අඩවියේ සටහන් වේ.මෙම සියලුම ප්‍රවේශපත් අන්තර්ජාලය ඔස්සේ අළෙවි කෙරේ.

සියලුම ප්‍රවේශපත් අලෙවි කිරීමටත්, ක්‍රීඩාංගනයට ඇතුළුවීමේ දී ඒවා පරීක්‍ෂා කිරීමටත් පාකිස්තානු ක්‍රිකට් පාලක මණ්ඩලයේ නියෝජිත පිරිසක් පැමිණ සිටිති. එහෙත් ප්‍රවේශපත්වල පවතින අධික මිල ගණන් හේතුවෙන් තරගය නැරඹීමට නොහැකි ප්‍රේක්‍ෂකයන් සඳහා කෙන්ගල්ල පාසල් ක්‍රීඩාංගනයේත්, බණ්ඩාරනායක ක්‍රීඩාංගනයේත් දැවැන්ත තිර දෙකක් ස්ථාපිත කරන බව මහනුවර දිස්ත්‍රිකට් ක්‍රිකට් සංගමය කියයි.


දමින්ද විජේසූරිය

කෙහෙල්වල හිමිගේ දේහය මුස්ලිම් බැතිමතුන් කරමතින්



දිප්පිටිය, මල්පහ රාජගිරි රජ මහා විහාරස්ථානයේ වැඩ වාසය කළ අපවත්වී වදාළ කෙහෙල්වල සංඝානන්ද හිමියන්ගේ ආදාහන පූජෝත්සවය විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් අරණායක, දිප්පිටිය මහජන ක්‍රීඩාංගණයේදී ඊයේ (28) සවස සිදු කෙරිණි. අවුරුදු සියයක් ආයුවළඳා අපවත් වී වදාළ සංඝානන්ද හිමියන්ගේ දේහය විල්වල ජුම්මා මුස්ලිම් පල්ලියේ බැතිමතුන් පිරිසක් විසින් පෙරහරින් වැඩම කරවනු ලැබීම විශේෂ සිද්ධියක් විය.

මෙම අවමංගල්‍ය කටයුතු වෙනුවෙන් ප්‍රදේශයේ මුස්ලිම් ප්‍රජාව රුපියල් 60,000ක මුදල් පරිත්‍යාගයක්ද දායක සභාවේ භාණ්ඩාගාරිකවරයාට පරිත්‍යාග කළ බව එම දායක සභාවේ සමන් තිලක් නවරත්න මහතා පැවැසීය. ප්‍රදේශයේ ජාතික හා ආගමික සහජීවනය වෙනුවෙන් සංඝානන් ද හිමියන් සුවිශාල කාර්ය භාරයක් ඉටුකළ බව ප්‍රදේශවාසීහු සිංහල, මුස්ලිම් ප්‍රජාව පවසන්නේ ඉමහත් ප්‍රසාදයෙනි.

ශ්‍රීනාත් පුසන්න ජයසූරිය

Foxconn නිර්මාතෘ ටෙරි ගොයු තායිවාන ජනාධිපති සටනට

සුප්‍රසිද්ධ තාක්ෂණික උපාංග නිෂ්පාදන සැපයුම් සමාගමක් වන Foxconn හි නිර්මාතෘවරයා වන බිලියනපති ව්‍යාපාරික ටෙරි ගොයු තායිවානයේ ඉදිරි ජනාධිපතිවරණ සටන සඳහා ඉදිරිපත් වන බව ඊයේ (28දා) නිල වශයෙන් නිවේදනය කළේය.

2016 වසරේදී ඔහු එම සමාගමේ සභාපති ධුරයෙන් ඉවත්වීමෙන් අනතුරුව, එරට ප්‍රධාන විපක්ෂය වන Kuomintang KMT පක්ෂය යටතේ 2019 ජනාධිපතිවරණය වෙනුවෙන් නාමයෝජනා ලබාදුන්නද, එය ප්‍රතික්ෂේප කෙරිණි.

මෙවර ඔහු ස්වාධීන අපේක්ෂකයෙකු ලෙස ජනපතිවරණයට ඉදිරිපත්වීමට නියමිතව තිබේ. ජනාධිපතිවරයා බවට පත් වීමට නම් ටෙරි ගොයු හට ඡන්ද දායකයන් 290,000කගේ අත්සන් ලබාගත යුතුව තිබේ. තායිවානයේ මීළඟ ජනාධිපතිවරණය ලබන වසරේ ජනවාරි මාසයේදී පැවැත්වෙයි.

Foxconn සමාගම අද වනවිට සුප්‍රසිද්ධ Apple Inc. සමාගමේ ප්‍රධානතම තාක්ෂණික උපාංග නිෂ්පාදන සැපයුම්කරුවාද වෙයි.

වර්තමානයේදී තායිවාන චීනයේ පාලනය සහිත ප්‍රදේශයක් ලෙස ක්‍රියාත්මක වෙයි. එහෙත් තායිවාන පාලනය එය ප්‍රතික්ෂේප කර වෙනම රාජ්‍යයක් ලෙස පිළිගැනීමට ලක්කරන ලෙස ලොව රටවලින් ඉල්ලීම් ඉදිරිපත් කර තිබේ. Foxconn නිර්මාතෘ ටෙරි ගොයු චීනයට වැඩි පක්ෂපාතීත්වයක් සහිත පුද්ගලයෙකු ලෙසද පිළිගැනේ.

මෙවර තායිවාන ජනාධිපතිවරණයේදී ඉදිරියෙන්ම සිටින අපේක්ෂකයා ලෙස හඳුනාගෙන ඇත්තේ වත්මන් උපජනාධිපති ලායි චින්ග්-ටේය. ඔහු වත්මන් ජනාධිපති සායි ඉන්ග්-වෙන්ගේ ඩිමොක්‍රැටික් ප්‍රොගෙසිව් පක්ෂයේ අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වීමට නියමිතව සිටියි.


දිසා විනිසුරු නිල නිවසේදී වෙඩි වැදී පොලිස් සැරයන් මරුට


මාතර වෙරළ පාරේ පිහිටි මාතර දිසා විනිසුරු 3 නිල නිවසේ රාජකාරියේ යෙදී සිටි පොලිස් සැරයන්වරයකු ඊයේ (28) උදෑසන වෙඩි වැදීමෙන් ජීවිතක්ෂයට පත්ව සිටියදී සොයාගත් බව මාතර මූලස්ථාන පොලීසිය පවසයි.එසේ මිය ගොස් ඇත්තේ මාතර මූලස්ථාන පොලීසියට අනුයුක්තව රාජකාරි කරමින් සිටි සැරයන් (56508) හන්නාගල ගමගේ බන්දුල පුෂ්ප කුමාර (55) නමැති එක්දරු පියෙකි.

පිළිකාවක් වැළඳී සුව වී ඇති ඔහු එම අසනීප තත්වයත් සමග රාජකාරි කිරීමට අපහසු බවට නිතර පවසන බවත් එම නිසා විශ්‍රාම ගැනීමට අවශ්‍යතාව ඇතත් විනය පරීක්ෂණයකට අදාළ චෝදනා පත්‍රයක් ඇති නිසා විශ්‍රාම වැටුප නොලැබේවි යයි දැඩි සිත් තැවුලකින් පසු වූ බවත් සැරයන්වරයා ගේ බිරිඳ පොලීසියට ප්‍රකාශ කර ඇත. 2021 වසරේ දී පමණ එම සැරයන්වරයා වැලිකඩ පොලීසියට අනුයුක්ත රාජකාරි කරන අතරතුර මාතර, රස්සන්දෙනියේ දී ගැබිනි කාන්තාවක යතුරු පැදියේ හැපී තුවාල සිදුවීමේ සිද්ධියක් මත වැඩ තහනම් වී අදාළ චෝදනා පත්‍රය ලැබී ඇති බවද දැනගන්නට ඇත.

කෙසේ වෙතත් මෙය සිය දිවි හානි කර ගැනීමක්? අත් වැරදීමකින් ගිනි අවිය ක්‍රියාත්මක වූවාද? එසේත් නොමැති වෙනත්  සිද්ධියක් මත සිදු වූයේ ද යන්න පුළුල් විමර්ශනයක් පවත්වන බව මාතර ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. කැකණදුර, තල්පාවිල පදිංචිව සිටි එම සැරයන්වරයාගේ නිවෙසේ සම්පූර්ණයෙන් වැඩ නිම කර නොමැති නිසා මාතර වැල්ලමඩමේ නිවසක තාවකාලිකව පදිංචි වී සිට ඇති බවද පොලීසිය කියයි. ඔහුගේ පොලිස් සේවා කාලය වසර 37 ක් පමණ වන බවද කියති.

පෙරේදා සවස 05.07 ට එම සැරයන්වරයා  මාතර පොලීසිය වෙත පැමිණ රාජකාරී වාර්තා කර මාතර දිසා විනිසුරු 3 රසිකා ද සිල්වා මහත්මියගේ නිල නිවසේ රාජකාරියට පැමිණ ඇත. තවත් සැරයන්වරයකු ඔහු සමග රාත්‍රි රාජකාරියේ යෙදී සිට ඇති අතර එම සැරයන්වරයා උදෑසන මාතර පොලීසියට ගොස් සිටි අතරතුර දී මෙම සිද්ධිය වී තිබේ. දිසා විනිසුරුවරිය උදෑසන ඇහැරි මිදුලට පැමිණ බලන විට සැරයන්වරයා බිම වැටී සිටින අයුරු දැක පරික්ෂා කොට පොලීසිය වෙත දැනුම් දී ඇත. කෙසේ වෙතත් උදෑසන 4.00 ට පමණ අදාළ සැරයන්වරයා අවසන් වශයෙන් තම බිරිඳට දුරකතන ඇමතුමක් දී පුතා උදෑසන පාසල් යනවාද අසා ඇති අතර, ඔහු පාසල් නොයන බව කී විට තමා උදෑසන එන නිසා උදෑසන ආහාරය සකස් කර තබන ලෙස බිරිඳට උපදෙස් දී ඇතැයි ද පොලිස් පරීක්ෂණ වලදී හෙළි වී තිබේ.

සැරයන්වරයාගේ පපුවට වෙඩි වැදී තිබූ අතර ඔහු වැටී සිටි තැන අසල රාජකාරි ගිනි අවිය ද ඒ අසල මාතර කතරගම ප්‍රධාන පාර අයිනේ තිබී හිස් පතොරම් කොපු දෙකක් ද තිබී පොලීසියට හමු වී ඇත. මෙම සිද්ධිය සැලවීමත් සමග මහේස්ත්‍රාත්වරුන්, දිසා විනිසුරුවරුන් හා විනිසුරුවරියන් මාතර දිසා විනිසුරු 3 නිල නිවසට පැමිණෙන අයුරු දැක ගත හැකි විය. මිය ගිය පොලිස් සැරයන්වරයාගේ මහේස්ත්‍රාත් පරීක්ෂණය මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අරුණ බුද්ධදාස මහතා ඉදිරියේ දී පැවැත්වූ අතර එම සිරුර පශ්චාත් මරණ පරීක්ෂණය සදහා මාතර මහ රෝහල වෙත රැගෙන යන ලෙසට ඒ මහතා පොලීසියට නියෝග කළේය. ඒ අනුව පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (28) සවස පැවැත්වීමට නියමිතව තිබුණි.

ක්‍රිෂාන් ජීවක ජයරුක්

වැව් සිදී යාමත් සමග ජාවාරම් ඉයළ යාමෙන් වැව්වලට හානි

වැව් සිඳී යාමත් සමග බොහෝ වැව්වල වැලි කැපීම, පස් කැපීම හා ගඩොල් කැපීමේ ජාවාරම් ක්‍රියා සිදුවෙමින් තිබෙන බවත්, මේ නිසා වැවට විශාල ලෙස හානි සිදුවෙමින් තිබෙන බවත් ජාතික ගොවිජන එකමුතුව සඳහන් කරයි.

වැව් සහ ජලාශ අතිවිශාල ප්‍රමාණයක් රොන්මඩවලින් පිරි පවතින බවත්, රොන්මඩ ඉවත් කළ යුත්තේ, නවීන තක්‍ෂණය භාවිත කරමින් මඩ සොරෙව්ව උපයෝගී කරගෙන බවත් පවසා සිටි එම සංගමයේ සභාපති අනුරාධ තෙන්නකෝන් මහතා, එසේ නොමැති වුවහොත් වැවේ පතුලට හානි සිදු වී එක් රැස්වන ජලය පොළොවට වැඩි වශයෙන් උරාගත හැකි බවද ප්‍රකාශ කළේය.

පසුගිය දිනවල විශාල ආන්දෝලනයකට ලක් වූ උඩවලව ජලාශය මූලික කර ගනිමින් විශාල වැලි ජාවාරමක් සිදුවෙමින් තිබෙන බවත්, මේ පිළිබඳ බලධාරීන් වහාම අවධානය යොමුකළ යුතු බවත් ඒ මහතා පවසා සිටියේය. වැලි කැපීම සහ පස් කැපීම නිසා වැව් පතුලට විශාල වශයෙන් හානි සිදුවන බවත්, මේ නිසා ඉදිරියේදී වැසි ජලය ලැබීමේදී එය රඳවා ගැනීමේ ගැටලු ඇති විය හැකි බවත් පැවසූ සභාපතිවරයා, පවතින වියළි කාලගුණ තත්ත්වය ලෝකයේ බොහෝ රටවලට බලපාමින් තිබෙන නිසා ඉදිරියේදී ජලය ආරක්‍ෂා කරගත යුතු බවද සඳහන් කළේය.

පවතින වියළි කාලගුණ තත්ත්වය ඉදිරි කාලයේදීත් පැවතිය හැකි බවට ලෝකයා විසින් අනතුරු අඟවා තිබෙන බවත්, මේ නිසා තාක්‍ෂණය භාවිත කර රොන්මඩ ඉවත් කර, ජල මූලාශ්‍රවල උපරිම මට්ටමකින් ජලය රඳවා ගැනීමට අවශ්‍ය කටයුතු සිදුකළ යුතු බවත් හෙතෙම ප්‍රකාශ කළේය. 

ඉදිරියේදී ඇති විය හැකි වියළි කාලගුණ තත්ත්වයට මුහුණදීම සඳහා ඉන්දියාව ඇතුළු කෘෂිකාර්මික රටවල් විවිධ වැඩසටහන් ආරම්භ කර තිබෙන බවත්, එහෙත් රටක් වශයෙන් තවමත් කිසිදු වැඩපිළිවෙළක් සකස් කර නොමැති බවත් සභාපතිවරයා පැවසීය. 

අඩුම තරමින් මෙවර කන්නයේදී ලැබෙන වී අස්වැන්න ගොවීන්ගෙන් මිලදීගෙන රජයේ ආරක්‍ෂිත තොග වශයෙන් තබාගෙන රටේ සහල් අවශ්‍යතාවට අනුව අදාළ වී තොග සහල් බවට පත් කර වෙළෙඳ පොළට නිකුත් කළ යුතුව තිබෙන බවත්, එසේ නොමැති වුවහොත් ජාවාරම්කරුවන් සහල් හිඟයක් ඇති කර සහල් මිල ඉහළ දැමිය හැකි බවත් හෙතෙම සඳහන් කළේය.

                                                                                                               • ඉන්දික හේවාවිතාරණ


Monday, August 28, 2023

කෙසෙල්වත්තේ හෝටලයක තරුණයා ඝාතනය: වෙඩික්කරු අත්අඩංගුවට

කෙසෙල්වත්ත මාටින් පෙදෙසේ හෝටලයක් තුළ දී ටී 56 ගිනි අවියකින් 20 හැවිරිදි තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

ගිනි අවිය සොයාගෙන ඇත්තේ කඩවත නිවසක් පිටුපස ප්ලාස්ටික් භාජනයක බහා වළ දමා තිබියදීය. එම ගිනි අවි සමඟ උණ්ඩ 20 ක් ද සිය බාරයට ගැනුණ බව පොලිසිය කියයි.

ගිනි අවියේ රහස් අංකය මකා තිබූ අතර එය ආරක්ෂක අංශ මගින් පරිහරණය කරන ලද එකක් බව ද බොහෝ දුරට සැක කළ හැකි යැයි පොලීසිය කියයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නව ස්ථානාධිපති ලෙස පත් වූ දුමින්ද ජයතිලක මහතාට ලද තොරතුරකට අනුව ඉකුත් 20 වැනිදා දින කඩවත ප්‍රදේශයේ දී රුපියල් ලක්ෂ 25 කට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරු රඳවා ගැනීමේ නියෝග මත සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී කෙසෙල් වත්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු මෙන්ම වෙඩික්කරුවා ලෙසත් අනාවරණය වූ බව පොලිසිය කියයි.

ඊට අමතරව එම ගිනි අවිය සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි. එම ගිනි අවිය දැනට විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන ගනේමුල්ල සංජීව නමැත්තා පුද්ගල ඝාතනයක් සඳහා සන්තකයේ තබාගන්නා ලෙස ලබාදුන් එකක් බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී ඇත.

කෙසෙල්වත්ත හෝටලය තුළදී විසි හැවිරිදි තරුණයාගේ ඝාතනය සිදු කළේ මීට දින කිහිපයකට ඉහතදී ඉන්දියාවේ දී ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් බව කියන ඩනේශ් නමැත්තා ගේ හා ඩුබායිහි සැඟව සිටින ඉර්ෆොන් නමැත්තාගේ උපදෙස් මත බව සැකකරුගෙන් අනාවරණ වූ බව පොලිසිය කියයි.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටී.

කොළඹ අපරාධ කොට්ඨාසය අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහත්වරුන්ගේ උපදෙස් මත සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වේ.

                                                                                                            බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ 


ජනයාට වද දිදී පාරේ රේස් ගිය ජ'පුර සිසුවා ඇතුළු 4ක් මාට්ටු

මහජන පීඩාවක් ඇතිවන පරිද්දෙන් අපරික්ෂාකාරී ලෙස අනවසරයෙන් හයිලෙවල් මාර්ගය භාවිතා කොට යතුරුපැදි තරග පැවැත් වූ ශ්‍රී ජයවර්ධනපුර සරසවි සිසුවකු ඇතුළු සිවු දෙනකු අත්අඩංගුවට ගත් බව මහරගම පොලීසිය පවසයි .

යතුරුපැදි හතරක්ද පොලිස් බාරයට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මුල්ලේරියාව, කොලොන්නාව , කැලණිය හා පන්නිපිටිය ප්‍රදේශවල පදිංචි සිවුදෙනකු බව පොලිසිය කියයි .

මහරගම ටන්කබොඩ් හන්දිය හා පන්නිපිටිය හන්දිය අතර හයිලෙවල් මාර්ගයේ ඉකුත් 26 වැනිදා අලුයම විවිධ මාදිලියේ යතුරුපැදි භාවිත කරමින් තරගයක් පවත්වා තිබේ.

ඉන් අවට ප්‍රදේශවාසීන්ට දැඩි බාධා එල්ලවීම හා එහි පවතින අනතුරුදායක තත්ත්වය නිසා අසල්වාසීන් මේ බව පොලිසියට පැමිණිලි කර තිබේ.

ඒ අනුව ජංගම රාත්‍රී සංචාරයේ නිරත නිලධාරීන් හා රථවාහන අංශයේ නිලධාරීන් සමඟ එක්ව ක්ෂණිකව ක්‍රියාත්මක වී හයිලෙවල් මාර්ගයේ ටන්කබොඩ් හන්දියේ හා පන්නිපිටිය හන්දියේ එක්වරම මාර්ග බාධක යොදා වැටලීමක් සිදුකර තිබේ.

එහිදී යතුරුපැදි රේස් ගිය යතුරුපැදි හතරක් පැදිකරුවන් හතර දෙනකු සමඟ කොටුකර ගැනීමට හැකි වූ බවත් ඒ අතර ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ ඉගෙනුම ලබන සිසුවකු සිටි බවත් පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි තරුණයකුගේ ආරාධනයෙන් මෙම ප්‍රදේශයට පැමිණ මොවුන් මෙසේ යතුරුපැදි රේස් පැද ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත් පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගැනුණ සැකකරුවෝ නුගේගොඩ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටිති.

මහරගම පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක වේලක රාජපක්ෂ මහතාගේ උපදෙස් මත, රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මෛත්‍රීපාල මහතාගේ මෙහෙය වීමෙන් සැරයන් (42892) වීරසිංහ, (68977) කමල්, (9854) හේවානායක, පො.කො ( 103858) ගජනායක, කොස්තාපල් රියැදුරු (98992) කුමාර ඇතුළු නිලධාරීහු වැටලීම සිදුකොට ඉදිරි පරීක්ෂණ පවත්වති.

                                                                                                  මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න


වරාය අධිවේගී මාර්ග පිවිසුමක් සදහා වසර 350කට වඩා වැඩි පැරණි ගොඩනැගිල්ලක් කඩා දමයි

වරාය අධිවේගී මාර්ග පිවිසුමක් සඳහා වසර 350කට වඩා වැඩි පැරණි ගොඩනැගිල්ලක් අද (28දා) ඉවත් කර දැමීමට සැලසුම් කර තිබෙන බව වරාය පොදු සේවක සමිතිය සඳහන් කරයි. 

කැලණි පාලම අසල සිට වරාය නගරය දක්වා කණු මතින් ඉදිකරන අධිවේගී මාර්ග කොටසින් වරායට ඇතුළු වීම සඳහා මෙම ගොඩනැගිල්ල ඉවත් කරන බවද එම සංගමයේ ලේකම් නිරෝෂන් ගොරකාන මහතා පැවසීය. 

මිල කළ නොහැකි පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් මෙම ගොඩනැගිල්ල ඉවත් නොකර වරායට පිවිසුම් දොරටුවක් සකස් කිරීමට ඉඩ පහසුකම් තිබියදීත් මේ පිළිබඳ කිසිදු අවධානයක් යොමු නොකර බලධාරීන් කිහිපදෙනෙකු අදාළ සැලසුම් සකස් කරමින් සිටින බවද පවසා සිටියේය.

මේ පිළිබඳ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට තම සංගමය විසින් පැමිණිලි කළ බවත්, මෙම මාර්ග කොටස ඉදිකරන ප්‍රදේශයේ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුත් ගොඩනැගිලි විශාල ප්‍රමාණයක් තිබුණද, පුරාවිද්‍යාත්මක ඇගයීම් වාර්තාවක්වත් සකස් කර නොමැති බවත් හෙතෙම පවසා සිටියේය.

අඩි 217ක දිගකින් යුත් අඩි 93ක පළලකින් යුත් මෙම දෙමහල් ගොඩනැගිල්ල 1676 වසරේදී හෝ ඊට ආසන්න වසරකදී ඉදිකිරීම් ආරම්භ කර තිබෙන බවත්, මීට අමතරව පෘතුග්‍රීසීන් හා ඉංග්‍රීසි ජාතිකයන්ද විවිධ නිර්මාණ කර තිබෙන බවත් ලේකම්වරයා සඳහන් කළේය. 

මෙම ගොඩනැගිල්ලට යාබදව කෞතුකාගාරයක් පිහිටා තිබෙන බවත්, අනාදිමත් කාලයක සිට මෑතක් වනතුරු මෙම ගොඩනැගිල්ල තුළ වරාය කාර්යාල පවත්වාගෙන ගිය අතර, අදාළ ගොඩනැගිල්ල ඉවත් කිරීමට සිදුකරන සැලසුම්වලට අනුව මීට මාස පහකට පෙර සියලුම කාර්යාල ඉවත් කරගත් බවත් ඒ මහතා පවසා සිටියේය.

පුරාවිද්‍යා ආඥා පනතට අනුව 1815 මාර්තු 02වැනිදාට පෙර ඉදිකර තිබෙන සියලුම ඉදිකිරීම් පුරාවිද්‍යාත්මක දේවල් ලෙස සැලකෙන බවත් ලේකම්වරයා ප්‍රකාශ කළේය.

මෙම ගොඩනැගිල්ල අද (28දා) සිට කඩා ඉවත් කිරීමට සැලසුම් කර තිබෙන බවත් මිල කළ නොහැකි මෙම ගොඩනැගිල්ලට හානි සිදුකිරීම සම්බන්ධව තම සංගමය දැඩි විරෝධය පළ කළද බලධාරීන් ඒ පිළිබදව නොතකා කටයුතු කරන බවද පවසා සිටියේය.

                                                                                                                                      එච්. අයි. තුෂාර


සැමියා පොලිස් කුඩුවේදී බිරියගේ අනියම් සැමියාගේ බෙල්ල කපලා


පැල්මඩුල්ල පොලිස් සිර මැදිරියේ රඳවා සිටි බිරියගේ අනියම් සැමියා බව කියන පුද්ගලයකුගේ ගෙලට පිහියකින් ඇන තුවාල කළේ යැයි කියන එම කාන්තාවගේ සැමියා සැකපිට පෙරේදා (26) අත්අඩංගුවට ගත් බව පැල්මඩුල්ල පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පැල්මඩුල්ල උඩවත්ත ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.පොලිස් සිරමැදිරියේ සිටි සැකකරුගේ ගෙළට පිහියෙන් ඇනීමට යොදාගත් බවට සැලකෙන කුඩා පිහියක් ද පොලිස් භාරයට  ගෙන ඇත.අත්අඩංගුවට ගත් සැකකරුගේ බිරිය ඇය විසින් අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන යන බව කියන පුද්ගලයකු සමඟ පැල්මඩුල්ල නගරයේ දෙනෝදාහක් බලා සිටියදී රණ්ඩුසරුවල් කරමින් කලහකාරී ලෙස හැසිරී ඇතැයි ප්‍රදේශයේ උසස් පොලිස් නිලධාරියෙක්  පැවැසීය.

පැල්මඩුල්ල පොලිසියට මේ සම්බන්ධයෙන් ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් එහි ගොස් කලහකාරී ලෙස හැසිරෙමින් සිටි බව කියන මෙම කාන්තාව සහ පුද්ගලයා සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් ස්ථානයට රැගෙනවිත් ඇත.සැකකාර කාන්තාවට ඇප ලබා ගැනීමට ඇයගේ සැමියා ද පොලිස් ස්ථානයට පැමිණ ඇත. අත්අඩංගුවට ගත් සැකකාර කාන්තාව පොලිස් ඇප මත මුදාහැරීමෙන් පසු පොලිස් චෝදනාගාරයෙන් පිටතට ගිය අවස්ථාවේ සැමියා ඇයට පහරදීමක් කර ඇතැයි පෙම්‍රිසිය පවසයි. එය දුටු පොලිස් සැරයන්වරයකු බිරිඳට පහර දුන් බව කියන ඇයගේ සැමියා ද සැකපිට අත්අඩංගුවට ගෙන පොලිස් සිර මැදිරිය අසලට ගෙනැවිත් ඔහු ඒ තුළට දැමීමට පෙර පරීක්ෂාවට සූදානම් වූ අවස්ථාවේ සැකකරු පොලිස් සැරයන්වරයාව තල්ලු කර දමා ඉනේ සඟවාගෙන සිටි කුඩා ප්‍රමාණයේ පිහියක් ගෙන පොලිස් සිර මැදිරියේ සිටි බිරියගේ අනියම් සැමියා බව කියන පුද්ගලයාගේ ගෙල ප්‍රදේශයට ඇන තුවාල සිදුකර ඇතැයි එම නිලධාරියා කීය.


 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය 

කෝටි 4ක මුදල් දේපළ කොල්ල කෑවැයි පිරමිඩ චීනා ගැසූ ගැටේ අතේ පත්තු වෙයි


කොල්ලකරුවන් පිරිසක් බොරැල්ලේ සිය නිවසට කඩා වැදී රුපියල් කෝටි 4ක මුදල් හා දේපළ කොල්ල කෑ බවට පොලිසියට ව්‍යාජ පැමිණිල්ලක් ඉදිරිපත් කළ මහා පරිමාණ ජාත්‍යන්තර පිරමිඩ් ජාවාරමක හා දුම්වැටි ජාවාරමක නිරතව සිටින බව කියන චීන ජාතිකයකු ඇතුළු තිදෙනකු කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය පවසයි. සැකකරු මහපරිමාණ ජාත්‍යන්තර පිරමිඩ් ජාවාරම්කරුවකු බවත්, ඔහු කැසිනෝ සූදුවට තදින්ම ඇබ්බැහිවූවකු බවත් පොලිසිය කියයි. හෙතෙම වරාය නගරයේ ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිට ඇති බවද පොලිසිය සඳහන් කරයි. ඔහු බොරැල්ලේ හා කුරුඳුවත්තේ මසකට රුපියල් ලක්ෂ 17 බැගින් කුලී පදනම මත නිවෙස් දෙකක් ලබාගෙන එම නිවෙස්වල සිට චීන ජාතික තවත් කිහිපදෙනකු හා මෙරට තරුණ පිරිසක් යොදාගෙන මෙම පිරමිඩ් ජාවාරම කරගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළි වූ බව පොලිසිය සඳහන් කරයි.

සැකකරු කැසිනෝ සූදුවට ඇබ්බැහි වී, පිරිමිඩ් ජාවාරමෙන් උපයා ගත් මුදල් පරාද වීම නිසා පිරමීඩ ජාවාරමට සම්බන්ධ පුද්ගලයන්ට එම මුදල් කොල්ල කෑ බව ඇඟවීමට ව්‍යාජ කොල්ලයක් සැලසුම් කර ඇති බව පොලිසිය කියයි. පිරමිඩ් ජාවාරමේ නිරත ආයෝජකයන්ගේ කෝටි ගණනින් මුදල්වලින් කැසිනෝ ක්‍රීඩාවේ යෙදී සිට පැරදුණ බව ඔහු පොලිසියට ප්‍රකාශ කර ඇතැයි පැවසේ.සැකකරු ඔහුගේ භාෂා පිරිවර්තකයාට හා රියැදුරුට රුපියල් ලක්ෂ 15 බැගින් ගෙවා මෙම ව්‍යාජ කොල්ලය නිර්මාණය කර ඇති බවද පොලිසිය පවසයි.තිදෙනකුගෙන් සමන්විත කොල්ල කල්ලියක් පසුගිය 19 වැනිදා නිවසට කඩා වැදී පිස්තෝලයක් පෙන්වා තම භාෂා පරිවර්තකට, රියැදුරුට හා තමාට පහරදී අප්‍රය ගැට ගසා නිවසේ තිබූ දෙස් විදෙස් මුදල්, ජංගම දුරකතන 11 ක්, විදෙස් මත්පැන් හා නිවසේ තිබූ සුඛෝපභෝගී මෝටර් රථය ඇතුළු රුපියල් කෝටි 4කට අධික වටිනා දේපළ සොරාගත් බවට ඔහු බොරැල්ල පොලිසියට ඉකුත් 20 වැනිදා පැමිණිල්ලක් කර ඇත. 

පොලිස් කණ්ඩායම් ප්‍රදේශයේ සීසීටීවී කැමරා පරීක්ෂා කර ඇති අතර කොල්ල කෑ බව කියන වෑන් රථයක් ගමන් ගන්නා බවට නිරීක්ෂණ වී නැති අතර එවැනි කොල්ලයක් සිදුවී ඇති බවට තොරතුරු කිසිවක් අනාවරණය වී නොමැත. මෙය ඔවුන් කළ ව්‍යාජ පැමිණිල්ලක් බව ප්‍රධාන සැකකරුගෙන් හා ඔහුගේ භාෂා පරිවර්කතගෙන් වෙන් වෙන් වශයෙන් ප්‍රශ්න කිරීමේදී පොලිසිය තොරතුරු හෙළි කරගෙන ඇත.සැකකුරුගෙන් ප්‍රශ්න කිරීමේ දී ඔහු මෙම සියලු තොරතුරු හෙළි කර ඇති අතර සැකකරුගේ නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී නීතිවිරෝධී දුම්වැටි තිස් දහසක්, ජංගම දුරකතන විස්සක් සහ ලැප්ටොප් පරිගණක හතක් පොලිසි භාරයට ගත් බව පොලිසිය කියයි.

පැහැර ගත් බව කියන සුඛෝපභෝගි මෝටර් රථය ශ්‍රී ජයවර්ධනපුර ප්‍රදේශයේ පෞද්ගලික රථ ගාලක සඟවා තිබියදී පොලිසිය විසින් සොයා ගනු ලැබ ඇත. සැකකරු බාරයේ තිබූ වාහන තවත් 5 ක් ද පොලිසිය භාරයට ගත් බව පොලිසිය කියයි. ප්‍රධාන සැකකරු වන චීන ජාතිකයාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු මෙරට සිට සිදුකරන ජාත්‍යන්තර පිරමිඩ් ජාවාරම සම්බන්ධයෙන් ද තොරතුරු හෙළි වූ බවත් පොලිසිය පවසයි. කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් සමාගමක් පවත්වාගෙන යන බවට සැකකරු පැවසුවද ඔහුට එවැනි සගමක් නොමැති බවට ද පොලිසිය තොරතුරු හෙළිකර ගෙන ඇත. සැකකරු කුලී නිවාසවල සිට මෙම පිරමිඩ් ජාවාරම කරගෙන ගියද ඔහු කොළඹ ප්‍රදේශයේ මහල් නිවාස සංකීර්ණ හතක සුපිරි නිවාස හතක හිමිකරුවකු බවට තොරතුරු හෙළිවී ඇති බවත් ඒ බව තහවුරු කර ගැනීම සඳහා විමර්ශන සිදුකරන බවත් පොලිසිය පවසයි.

ඉන්දිකා රාමනායක‍

මඟුල් ගෙදර නටද්දී ලෙඩවී සමාගම් විධායක තරුණිය මරුට


මංගල උත්සවයක නර්තනයේ යෙදී සිටි තරුණියක හදිසියේ අසනීපව රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් ඇතැයි මොරගහහේන පොලිසිය සදහන් කරයි. මෙලෙස මියගොස් ඇත්තේ මීගොඩ උඩගෙවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි හොරණ බටුවිට ප්‍රදේශයේ පෞද්ගලික සමාගමක අලෙවි විධායකවරියක ලෙස සේවය කරමින් සිටි මංජරි ආදිත්‍යා ප්‍රනාන්දු නමැති 25 හැවිරිදි අවිවාහක තරුණියකි. මියගිය තරුණිය ඇය සේවය කරන ආයතනයේ මිතුරකුගේ විවාහ මංගල උත්සවයට අනෙකුත් පිරිස සමඟ හොරණ ගෝනපොළ උත්සවශාලාවකට ගොස් නර්තනයේ යෙදී සිටි බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී යැයි පොලිසිය කියයි.

එහිදී මියගිය තරුණිය තවත් තරුණියන් දෙදෙනෙකු සමඟ නර්තනයේ යෙදෙමින් සිටියදී එම ස්ථානයෙන් පිට වූ වේලාවේදී ඇයට අසනීප වී මෝටර්රථයකින් හොරණ ප්‍රදේශයේ පෞද්ගලික රෝහලක් වෙත රැගෙන ගොස් ඇත.ඉන් අනතුරුව එම රෝහලේ වෛද්‍යවරුන් ඇය හොරණ රෝහල වෙත රැගෙන යාම සඳහා උපදෙස් ලබාදී ඇතැයි පොලිසිය කියයි.තරුණිය හොරණ රෝහල වෙත රැගෙන යාමෙන් අනතුරුව සිදුකළ පරීක්ෂාවේදී ඇය මියගොස් ඇති බවට වෛද්‍යවරුන් දැනුම්දී ඇති බව පොලිසිය සිදුකළ වැඩිදුර විමර්ශනවලදී අනාවරණය වී ඇත.

තරුණියගේ මරණය සම්බන්ධයෙන් පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී ඉදිරිපත් වූ සාක්ෂි සහ වෛද්‍ය වාර්තා පදම් කරගෙන ඇයගේ මරණය සිදුවී ඇත්තේ ඇති වූ හෘදයාබාධ රෝගී තත්ත්වය මත ආහාරයට ගන්නා ලද ආහාර ස්වාස නාලිකාවලට යාම නිසා හුස්ම ගැනීමට වූ අපහසුතාව මත සිදු වූ මරණයක් බවට හොරණ මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂක මුලු දිවයිනට සාම විනිසුරු සුමේධ ගුණවර්ධන මහතා තීරණය කළේය.හොරණ මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ප්‍රණීත සෙනෙවිරත්න මහතා පශ්චාත් මරණ පරික්ෂණය සිදු කළේය.මොරගහහේන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක තුසිත වික්‍රමරත්න මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන් උපාලි මහතා සාක්ෂි මෙහෙයවීය.


බිමල් ශ්‍යාමන් ජයසිංහ

2030දී සමස්ත විදුලිබල අවශ්‍යතාවෙන් 70%ක් පුනර්ජනනීය බලශක්තියෙන්

2030 වනවිට සමස්ත විදුලිබල අවශ්‍යතාවෙන් 70% ක් පුනර්ජනනීය බලශක්තිය මගින් සපුරාගැනීමේ රජයේ ඉලක්කය සපුරා ගැනීම සඳහා මහා පරිමාණ පුනර්ජනනීය ව්‍යාපෘතිය 6ක් විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය ක්‍රියාත්මක කර තිබේ. 

අදානි ග්‍රීන් එනර්ජි සමාගම විසින් සංවර්ධනය කරන මන්නාරම සහ පූනරින් මෙගාවොට් 500ක සුළං විදුලිබල උත්පාදන ව්‍යාපෘතිය 2025 වර්ෂයේ ජනවාරි මාසයේ දී අවසන් කිරීමට එම සමාගම එකඟතාව පළකර ඇත. මෙම කාල රාමුව තුළ ඉදිකිරීම් අවසන් කිරීමට රජයේ අනෙකුත් අවසර සහ විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් මේ වසරේ සැප්තැම්බර් අවසන් වන විට ලබා දිය යුතු අතර, මෙම ව්‍යාපෘතියට අවශ්‍ය කිලෝවොල්ට් 400ක සම්ප්‍රේෂණ මාර්ගය ඉදිකිරීමද එම සමාගම විසින් සිදු කිරීමට නියමිතය.

පූනකරි ප්‍රදේශයේ මෙගාවොට් 700ට වැඩි බිම්ගත සූර්ය පැනල බලශක්ති ව්‍යාපෘතියේ මෙගාවොට් 134ක් සෘජුව ජාතික පද්ධතියට සම්බන්ධය වන අතර, බැටරි මතින් විදුලිය ගබඩාකිරීම මගින් මෙගා වොට් 700ක් දක්වා ජාතික පද්ධතියට පහසුකම් සලසා දීමට බලාපොරොත්තු වන බව බලශක්ති අමාත්‍යාංශය පවසයි. 2024 මාර්තු මස වනවිට ඉදිකිරීම් ආරම්භ කිරීමට බලාපොරොත්තු වේ.

හම්බන්තොට ප්‍රදේශයේ සංවර්ධනය කරන මෙගාවොට් 150ක බිම්ගත සූර්ය පැනල ව්‍යාපෘතිය, දේශීය ආයෝජනයක් සමුහයක් ලෙස ඉදිකිරීම් සිදු කරන අතර, 2024 වසරේ දෙසැම්බර් වනවිට සම්ප්‍රේෂණ මාර්ග සමග සම්බන්ධ කිරීමට යෝජිතය. ඒ අතර එය මෙගාවොට් 300ක් දක්වා උත්පාදනය වැඩි කිරීමට සුදුසු ආයෝජකයන් වෙත ලබාදීමට නියමිතය.

සියඹලාණ්ඩුව මෙගාවොට් 100ක සුර්ය පැනල බලශක්ති ව්‍යාපෘතිය ලක්දනව් සමාගම, වින්ඩ් ෆෝර්ස් සමාගම සහ බ්ලු සර්කල් සමාගම ඒකාබද්ධව සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය සමග සංවර්ධනය කරන අතර එය 2025 වසරේ දී අවසන් කිරීමට සැලසුම් කර තිබේ.

සොලාර් ෆෝජ් සමාගම මගින් මඩකලපුව මෙගාවොට් 100ක බිම්ගත සූර්ය පැනල ව්‍යාපෘතිය ද සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය සමග 2025 වසරේ අවසන් කිරීමට බලාපොරොත්තු වන අතර, ඒ සඳහා වන අවසර සහ විදුලිය මිලදී ගැනීමේ ගිවිසුම් 2023 ඔක්තෝබර් මස වන විට ලබා දිය යුතු බව විදුලිබල හා බලශක්ති අමාත්‍යාංශය පවසයි.

ඉන්දියානු ජාතික තාප බල ආයතනය සහ ලංකා විදුලිබල මණ්ඩල එක්ව ඉදිකරන සාම්පූර් මෙගාවොට් 130ක බිම්ගත සූර්ය පැනල ව්‍යාපෘතියේ අදියර දෙකක් යටතේ අවසන් කරන අතර, සම්ප්‍රේෂණ රැහැන් පද්ධතිය සමග පළමු අදියර ලෙස මෙගාවොට් 50ක් 2025 වසරේදී ජාතික පද්ධතියට එක්කිරීමට නියමිතය. මුල්‍ය ආයෝජනය සදහා අවශ්‍ය ණය පහසුකම් AIIB මුල්‍ය ආයතනය මගින් සිදු කෙරේ.

                                                                                                                                 • නවෝද්‍යා පවනි.


මිනුවන්ගොඩින් අතුරුදන් මෙහෙණියෝ තිදෙනා නුවරඑළියේ


මිනුවන්ගොඩ බොරළුගොඩවත්තේ පිහිටි මෙහෙණි ආරාමයකින් අතුරුදන් වූ බාලවයස්කාර මෙහෙණියෝ තිදෙනෙක් නුවරඑළිය පොලිසිය මගින් විසින් පෙරේදා (26) සොයාගනු ලැබූහ.අවුරුදු 11, 15 සහ 18 යන වයස්වල පසුවන මෙම මෙහෙණියන් තිදෙනා ඉකුත් 24 වැනිදා රාත්‍රියේ 32 හැවිරිදි කාන්තාවක සමඟ අතුරුදන්ව ඇති බවට මෙහෙණි ආරාමයේ වැඩිහිටි මෙහෙණියක විසින් මිනුවන්ගොඩ පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව පොලිසිය සිද්ධිය පිළිබඳව පරීක්ෂණ ආරම්භ කළේය.

මෙම මෙහෙනියන් වේයන්ගොඩ කැන්දලන්ද ආරාමයේ වැඩවාසය කර අධ්‍යාපනය කටයුතු සඳහා මිනුවන්ගොඩ බොරළුගොඩවත්ත ආරාමයට වැඩම කර සිටින බව පොලිසිය කියයි.එම ආරාමයට පැමිණ සිටි හාලිඇළ ප්‍රදේශයේ කාන්තාවක මෙහෙණියන් තිදෙනා පසුගිය 25 වැනිදා නුවරඑළිය ඇගේ ඥාතී නිවෙසකට කැඳවා ගෙන ගොස් ඇති බවත්, එම නිවෙස් හිමි කාන්තාවට සිද්ධිය දැනුම්දීමෙන් පසුව ඇය මෙහෙණියන් තිදෙනා සහ කාන්තාව නුවරඑළිය පොලිසිය බාරදී ඇති බවත් කියති. ආරාමයේ සිටින ප්‍රධාන මෙහෙණිය නිතර පහර දෙමින් කරදර කරන නිසා පිරිවෙන් අධ්‍යාපනය ගැන කලකිරීමෙම කාන්තාව සමග පැමිණි බවට මෙහෙණියන් තිදෙනා පොලිසියට පවසා ඇත.

එම ප්‍රධාන මෙහෙණිය මෙම ආරාමයේ අධ්‍යාපන කටයුතු කරන කුඩා දරුවන්ට අමානුෂික ලෙස පහර දෙන බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති. බාලවයස්කාර මෙහෙණියන් තිදෙනා නීත්‍යනුකූල භාරකාරත්වයෙන් රැගෙන ගොස් අපහරණය කිරීමේ චෝදනාව යටතේ සැකකාර නුවරඑළිය කාන්තාවද පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබුවාය. සැකකාර කාන්තාව සහ මෙහෙණියන් තිදෙනා වැඩිදුර පරීක්ෂණ සඳහා මිනුවන්ගොඩ පොලසියට බාරදී ඇත. මිනුවන්ගොඩ පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.

 ඉන්දිකා රාමනායක

01 ශ්‍රේණියේ සාධන මට්ටමට ඉන්නේ පෙරපාසල් දරුවන්ගෙන් 15%යි

පළමු ශ්‍රේණියේ අධ්‍යාපන මට්ටමට සරිලන පූර්ව අධ්‍යාපන සාධන මට්ටමෙහි පසු වන්නේ පෙරපාසල් දරුවන්ගෙන් 15%ක් පමණක් බව අධ්‍යාපන අමාත්‍යාංශය සිදු කළ සමීක්ෂණයකින් තහවුරු වී තිබේ. 

ඒ අනුව මෙම පෙරපාසල් සඳහා ජාතික ප්‍රතිපත්තියක් සැකසීම වැදගත් බවත්, එම ප්‍රතිපත්ති නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව කාර්යක්ෂ්මව හා ඵලදායීව ක්‍රියාවට නැංවීම කෙරෙහි අවධානය යොමු කරන බවත් අධ්‍යාපන අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පැවසීය.

එසේම ප්‍රාථමික අධ්‍යාපනයෙහි නිරත ගුරුවරුන්ද ඉතා විධිමත් ගුරු පුහුණුවක් ලබා ජාත්‍යන්තර මට්ටමට උචිත වන අන්දමින් දැනුමින් පමණක් නොව ආකල්ප හා කුසලතා සංවර්ධනයකින්ද පොහොසත් විය යුතු බවත් හෙතෙම සඳහන් කළේ ය.

ඉදිරියේ දී සියලු විද්‍යාපීඨ ඒකාබද්ධ කර එක ම ගුරු පුහුණු විශ්වවිද්‍යාලයක් මගින් ගුරුවරුන් උපාධිධාරීන් ලෙස පාසල් පද්ධතියට යොමු කිරීමට කටයුතු කරන බවත්, ඒ අනුව 2028 වන විට නුපුහුණු හා උපාධියක් නොමැති කිසිදු ගුරුවරයකු අධ්‍යාපන ක්ෂේත්‍රයෙහි නොසිටිනු ඇති බවත් ඒ මහතා කීය.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය සඳහා ඉදිරිපත් කරන ලද පෙරපාසල් අධ්‍යාපනය පිළිබඳ ජාතික ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ගත යුතු ක්‍රියාමාර්ග වශයෙන් කෙටුම්පත් කර දක්වා ඇති කරුණු කෙරෙහි අවධානය යොමු කරමින් නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණවලට සමගාමීව එම ප්‍රතිපත්තිය සකස් කිරීම පිළිබඳව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවැත්වුණු සාකච්ඡාවක දී ඒ මහතා මේ බව පැවසීය.

                                                                                                                                 • නවෝද්‍යා පවනි


බොන වතුර නැතිව ලක්ෂ තුනක් පීඩාවට



දැඩි නියඟය හේතුවෙන් පානීය ජලය නොමැතිව ලක්ෂ තුනකට ආසන්න පිරිසක් පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ප්‍රකාශ කරයි. ඒ අනුව දිවයිනේ සියලුම පළාත් ආවරණය කරමින් දිස්ත්‍රික්ක 19ක පවුල් 84,646කට අයත් 2,91,720 දෛනකු පානීය ජලය නොමැතිව පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. දැඩි නියගය හේතුවෙන් උතුරු සහ නැගෙනහිර පළාත්වලට වැඩිම බලපැමක් සිදුව ඇති අතර උතුරු පළාතේ පවුල් 23,688කට අයත් පුද්ගලයන් 75,607 දෙනකු ද නැගෙනහිර පළාතේ පවුල් 18,991කට අයත් පුද්ගලයන් 63,265 දෙනකු ද බලපෑමට ලක්ව ඇතැයි එම මධ්‍යස්ථානය සඳහන් කරයි.


දැඩි නියඟය හේතුවෙන් යාපනය දිස්ත්‍රික්කයේ පවුල් 22,044කට අයත් 70,408 දෙනකු ද මන්නාරම දිස්ත්‍රික්කයේ පවුල් 952කට අයත් 3244 දෙනකු ද, මුලතිව් දිස්ත්‍රික්කයේ පවුල් 242කට අයත් 835 දෙනකු ද, වව්නියාව දිස්ත්‍රික්කයේ පවුල් 450කට අයත් 1120 දෙනකු ද, රත්නපුර දිස්ත්‍රික්කයේ පවුල් 12336කට අයත් 49697 දෙනකු ද, කෑගල්ල දිස්ත්‍රික්කයේ පවුල් 1369කට අයත් 5399 දෙනකු ද පීඩාවට පත්ව ඇතැයි එම මධ්‍යස්ථානය කියයි. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ පවුල් 2360කට අයත් 7866 දෙනකු ද, මඩකළපුව දිස්ත්‍රික්කයේ පවුල් 8892කට අයත් 29508 දෙනකු ද අම්පාර දිස්ත්‍රික්කයේ පවුල් 7739කට අයත් 25891 දෙනකු ද, පුත්තලම දිස්ත්‍රික්කයේ පවුල් 953කට අයත් 2924 දෙනකු ද, කුරුණෑගල දිස්ත්‍රික්කයේ පවුල් 6190කට අයත් 20610 දෙනකු ද පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. 


බදුල්ල දිස්ත්‍රික්කයේ පවුල් 1384කට අයත් පුද්ගලයන් 5411ක්, මොණරාගල දිස්ත්‍රික්කයේ පවුල් 4869කට අයත් 14641 දෙනකු ද, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පවුල් 3867කට අයත් 17372 දෙනකු ද, ගම්පහ දිස්ත්‍රික්කයේ පවුල් 1267කට අයත් 3949 දෙනකු ද මාතලේ දිස්ත්‍රික්කයේ පවුල් 6367කට අයත් 21930 දෙනකු ද මහනුවර දිස්ත්‍රික්කයේ පවුල් 3330කට අයත් 10765 දෙනකු ද පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පවුල් 35කට අයත් 150 දෙනකු ද පීඩාවට පත්ව සිටින බවද ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සඳහන් කරයි. මෙම ප්‍රදේශවලට බවුසර්ර්රථ වලින් පානීය ජලය ලබාදීමට කටයුතු කරමින් සිටින බවද එම මධ්‍යස්ථානය කියයි.



නිමල කොඩිතුවක්කු


Friday, August 25, 2023

රත්මලානේ වෙඩි තැබීමට රගර් ක්‍රීඩකයෙක් අත්අඩංගුවට

රත්මලාන දුම්රියපොළ අසල මස් වෙළෙඳසලක හිමිකරුට වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් රගර් ක්‍රීඩකයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.

එම සැකකරු සමඟ හෙරොයින් මත් කුඩු සහ ජංගම දුරකතනයක් ද පොලිස් බාරයට ගෙන තිබේ.

ඉකුත් 21 වැනි දින රාත්‍රියේ දී රත්මලාන අරලිය මාවතේ පදිංචිව සිටි අනුර දේශප්‍රිය සිල්වා (40) නමැති කුකුල් මස් වෙළෙඳසලක හිමිකරු වෙළෙඳසල තුළ රැඳී සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා පලාගොස් තිබිණි.

සැකකාර රගර් ක්‍රීඩකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීමේ චෝදනාව මත බව පොලීසිය සඳහන් කරයි. 

එම සැකකරු මීට පෙර අවස්ථාවක පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් හොරෙන් මත්කුඩු තොගයක් සමඟ අත්අඩංගුවට පත් වූවෙකු බවත් ඔහුට විරුද්ධව මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බවත් පොලිසිය කීය.

වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය අඟුරුවාතොට කෙසෙල්කේනාව ඇළ මාර්ගයක දමා ගොස් තිබියදී ඝාතනයට පසු දින පොලිසිය මඟින් සොයාගෙන තිබිණි.

යතුරු පැදියේ චැසි අංකය හා එන්ජින් අංකය මකා තිබූ අතර ඉදිරිපස ලියාපදිංචි අංක තහඩුව පමණක් තිබූ අතර එය රජයේ රස පරික්ෂකවරයා වෙත ඉදිරිපත් කර යතුරු පැදියෙහි අනන්‍යතාව සාර්ථක කර ගැනීමට කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය, පොලිස් අධිකාරි සමන් ජයසේකර මහත්වරුන්ගේ උපදෙස් මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංග පෙරේරා, උපපොලිස් පරීක්ෂක නිල් ප්‍රියන්ත මහත්වරු පරීක්ෂණ පවත්වති.

                                                                                                           බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ


හිරේ දවස් 21ට දුරකතන ඇමතුම් 3,292ක් අරගෙන


වව්නියාව, තෝනිකල් ප්‍රදේශයේ නිවෙසක පැවැති උපන් දින සාදයක් අතරතුර එම නිවසට ප්‍රහාරයක් එල්ල කර ගිනි තබා පුද්ගලයන් දෙදෙනකු ඝාතනය කර තවත් 9 දෙනකු තුවාල සිදු කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන වව්නියාව බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රධාන සැකකරු විවිධ පුද්ගලයන්ට ජංගම දුරකතනයකින් දින 21 ක් තුළ ඇමතුම් 3,292 ක් ලබා ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.

කෝටිපති ව්‍යාපාරිකයකු වන මෙම සැකකරු ඉකුත් අගෝස්තු මස 02 වැනිදා අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත්කරනු ලැබ ඇති අතර, ඔහු එදින සිට ඉකුත් 23 දින දක්වා මෙම ඇමැතුම් ලබාගෙන ඇති බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ සම්බන්ධයෙන් වව්නියාව මහේස්ත්‍රාත් අහමඩ් රහීම් මහතා වෙත වාර්තාවක් ඉදිරිපත් කරමින් ඊයේ (24) මේ බව දැනුම් දී ඇත. මෙම සැකකරු බන්ධනාගාරයේ සිට එම ජංගම දුරකතනයෙන් සාක්ෂිකරුවන්ට පවා ඇමතුම් දී ඇති බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මිනී මැරුම් විමර්ශන අංශය සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට කළ දැනුම් දීමකට අනුව බන්ධනාගාර නිලධාරීන් සැකකරු රැඳී සිටි කුටිය පෙරේදා (23) රාත්‍රියේ පරීක්ෂා කර මෙම ජංගම දුරකතනය අත්අඩංගුවට ගෙන ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි.

සැකකරු මෙම කාලය තුළ ඔහුගේ බිරියට, අනියම් බිරියට, සාක්ෂිකරුවන් ඇතුළු පුද්ගලයන් රැසකට ඇමැතුම් ගෙන ඇති බවත්, අනියම් බිරිය ඇතුළු කිහිප දෙනකුට පැය එකහමාරක් පමණ කාලයක් පුරා කතා කළ ඇමැතුම් 39 ක් ඇති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළ වාර්තාවේ සඳහන් වන බව එම ආරංචි මාර්ග පවසයි. බන්ධනාගාරගතව සිටින පුද්ගලයකු බන්ධනාගරයේ සිට මේ ආකාරයෙන් ඇමතුම් ගෙන ඇත්තේ කෙසේද සහ මේ සඳහා සැකකරුට බන්ධනාගරයෙන් කිසිවකුගෙන් සහායක් ලැබී ඇති ද යන්න සොයා ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශනයක් ආරම්භ කර ඇති බවද එම ආරංචි මාර්ග පවසයි.

මෙම නඩුව වව්නියාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (24) කැඳවූ අවස්ථාවේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මිනී මැරුම් විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක කේ.එම්. ඉක්බාල් මහතා මේ පිළිබඳ වාර්තාවක් අධිකරණය හමුවට ඉදිරිපත් කර ඇත. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට නියමිත සැකකරුවන් තිදෙනකුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද අධිකරණයෙන් ලබාගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග පවසයි. මෙම ඝාතන සිද්ධියේ සැකකරුවන් භාවිත කළ යතුරුපැදි, කෲ කැබ්, ටිපර් ඇතුළු වාහන 6 ක් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාරයට ගෙන ඇත. මෙම සිද්ධියේ සැකකරුවන් ලබන 7 වැනිදා දක්වා යළිත් රිමාන්ඩ් භාරයේ තැබීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කර ඇත.

ඉන්දිකා රාමනායක 

සක්විති යුවළ ලක්ෂ 50ක දෙවැනි වාරිකය උසාවියට බදී

සමාගම් පනතට පටහැනි ආකාරයට මූල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොලී ලබාදෙන බව පවසා මහජනතාවගෙන් රුපියල් කෝටි 16 1/2කට ආසන්න මුදලක් තැන්පතු වශයෙන් ලබාගෙන වංචාකිරීමේ චෝදනාවන්ට වරද පිළිගත් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳට අධිකරණයෙන් කළ නියෝගයට අනුව රුපියල් ලක්‍ෂ 50ක දෙවැනි වාරිකය විත්තිකාර යුවළ ඊයේ (24) අධිකරණයේ තැන්පත් කළේය.

නීතිපතිවරයා ඉදිරිපත් කළ සංශෝධිත චෝදනා පත්‍රයට වරද පිළිගැනීමෙන් අනතුරුව වංචා කළ මුදල රුපියල් ලක්‍ෂ 50 බැගින් වූ කොටස් 20කින් ගෙවීමට මීට පෙර අවස්ථාවක අධිකරණය නියම කළේය.

එම නියමයට අනුව නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ දී රුපියල් ලක්‍ෂ 50ක වාරිකය අධිකරණයේ තැන්පත් කෙරිණි.

2006 සහ 2008 කාලවකවානු අතරතුරදී මුල්‍ය පනතට පටහැනි අන්දමට 'සක්විති කන්ට්‍රක්ෂන් හවුස් ප්‍රයිවට් ලිමිටඩ්' නමින් මූල්‍ය ආයතනයක් පවත්වාගෙන යමින් වැඩි පොලී ලබාදෙන බව පවසා මහජනතාවගෙන් රුපියල් 164185000/-ක මුදලක් තැන්පතු වශයෙන් ලබාගෙන වංචා කිරීම මුල්‍ය පනත උල්ලංඝනය කිරීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා ඇත.

නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකාර සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ අධිකරණයේ පෙනී සිටියහ.

මුලින්ම මෙම සිද්ධියට අදාළව සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ ඇතුළු විත්තිකරුවන් එකොළොස් දෙනකුට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබූ අතර මීට පෙර අවස්ථාවක ඉන් විත්තිකරුවන් 09 දෙනකු නීතිපතිවරයාගේ උපදෙස් මත නිදහස් කෙරිණි.

සමාගම් පනතට පටහැනි ආකාරයට මුල්‍ය සමාගමක් පවත්වාගෙන යමින් වැඩි පොලී ලබාදෙන බව පවසා මහජනතාවගෙන් රුපියල් කෝටි ගණනක මුදලක් තැන්පතු වශයෙන් වංචනිකව ලබා ගැනීම සම්බන්ධයෙන් සක්විති රණසිංහ සහ ඔහුගේ බිරිඳ මීට පෙර අවස්ථාවකදී වරද පිළිගත්හ.

ඒ අවස්ථාවේදී අදාළ මුදල රුපියල් ලක්‍ෂ 50 බැගින් වූ වාරික 20කින් ගෙවීමට අධිකරණය නියම කළ අතර ඒ අනුව නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවෝ දෙවැනි වාරිකය අධිකරණයේ තැන්පත් කළහ.

නඩුවේ ඊළඟ වාරිකය සැප්තැම්බර් 22 වැනිදා ගෙවීමට නියම කළ විනිසුරුවරයා නඩුව එදින යළි කැඳවීමට නියම කළේය.

විත්තිකරුවන් වෙනුවෙන් නීතිඥ රවීන්ද්‍ර සෙනරත් මහතා සමඟ නීතීඥ ගාමිණී අල්විස් මහතා පෙනී සිටියේය.

                                                                                                                      මනෝප්‍රිය ගුණසේකර


පැමිණිල්ල විභාගයට ගියාම පිහියෙන් ඇන අත හපා කාලා


පැමිණිල්ලක් විභාගයකට ගිය ලුණුගම්වෙහෙර පොලිසියේ කොස්තාපල්වරුන් දෙදෙනකුට පිහියකින් පහර දී අතක් සපා කා තුවාල කිරීම සම්බන්ධයෙන් විශ්‍රාමික යුද හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් ලුණුගම්වෙහෙර පොලිසිය පවසයි. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ උඩමත්තල පදිංචි පනස් හැවිරිදි විශ්‍රාමික හමුදා සෙබළෙකි.තුවාල ලැබූ කොස්තාපල්වරුන් දෙදෙනා ලුණුගම්වෙහෙර රෝහලට ඇතුළත් කර ඇති බව ද පොලිසිය කියයි.

ලුණුගම්වෙහෙර ප්‍රදේශයේ පුද්ගලයකුට බැණ තර්ජනය කරමින් පහරදීමට උත්සහ කරන බව 118 හදිසි ඇමතුම් අංශයට පෙරේදා (23) පස්වරුවේ ලද තොරතුරකට අනුව ලුණුගම්වෙහෙර පොලිසියේ සිවු දෙනකුගෙන් සමන්විත පොලිස් කණ්ඩායමක් සිද්ධිය වූ ස්ථානයට ගොස් පැමිණිලිකරුගෙන් ප්‍රකාශයක් සටහන් කරගත් බව පොලිසිය පවසයි. එම ප්‍රකාශයෙන් අනතුරුව සිද්ධියේ වගඋත්තරකරුවන්ගේ නිවෙසට ගිය අවස්ථාවේ සැකකරු පොලිස් නිලධාරින් සමග බහින්බස් වී නිවෙසට දිවගොස් පිහියක් රැගෙන නිලධාරීන්ට පහර දීමට උත්සාහ කර ඇති අතර එය වැළැක්වීමට ගිය කොස්තාපල්වරයකුගේ අත කැපී තුවාල වී ඇතැයි පොලිසිය කියයි.

ගැටුම මැඩපැවැත්වීමට ඉදිරිපත් වූ තවත් කොස්තාපල්වරයකුගේ අත සැකකරු විසින් සපාකනු ලැබ එම කොස්තාපල්වරයා ද තුවාල ලබා ඇත. පොලිස් කණ්ඩායම මහත් පරිශ්‍රමයක් යොදා සැකකරු මෙල්ල කර ඔහු අත්අඩංගුවට ගෙන ඇත. පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කිරීම, නිලධාරීන්ට පහර දී තුවාල සිදුකිරීම සම්බන්ධයෙන් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.


කටුවානේ ගිනිගත් කම්හලෙන් විෂ දුමක් මතුවෙලා

හෝමාගම කටුවාන කර්මාන්ත පුරයේ ගිනිගත් කර්මාන්ත ශාලාවෙන් පෙරේදා (23) රාත්‍රි හදිසියේ විෂ දුමාරයක් පරිසරයට නිකුත් වී තිබූ බව හෝමාගම මූලස්ථාන පොලිසිය පවසයි.

පළමු වරට පෙරේදා (23) 5.30ට පමණ මෙම දුමාරය හටගෙන තිබූ අතර රාත්‍රී 8.00ට පමණ දුමාරය වැඩිවීම හේතුවෙන් කර්මාන්ත ශාලාවේ බලධාරීහු අදාළ අංශ දැනුවත් කිරීමට පියවර ගත්හ.

ඒ අනුව කොළඹ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව ආපදා කළමනාකරණ ඒකකය, යුද හමුදාව හා පොලීසිය පැමිණ පැය දෙකකින් පමණ දුමාරය සම්පූර්ණයෙන්ම පාලනය කළ බව පොලීසිය කියයි.

මෙදින දුමාරයක් පමණක් හටගෙන තිබූ අතර ගිනි ගැනීමක් වාර්තා නොවුණි. ප්‍රදේශය පුරා ක්ලෝරීන් මිශ්‍ර දුගඳක් වහනය වෙමින් තිබූ බව ද ප්‍රදේශවාසීහු පැවසූහ.

මෙම විෂ දුමාරය හදිසියේ හට ගැනීමට හේතු වී ඇත්තේ පෙරදා වැසි ජලය පිළිස්සී දැවී විනාශ වී තිබූ ක්ලෝරීන් මතට පතිත වීම බව ද ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුවේ ස්ථාන භාර නිලධාරී දුමේෂ් කලංසූරිය මහතා පැවසීය.

ඒ තුළින් නිකුත් වූ විෂ දුමාරය කර්මාන්ත ශාලාව අවට ප්‍රදේශය පුරා පැතිර යනු දක්නට ලැබුණු අතර පසුව බැකෝ යන්ත්‍ර භාවිත කරමින් දුමාරය හටගෙන තිබූ ස්ථානවලට, වැලි දමා ඒ මත තහඩු දමා වසා දුමාරය පාලනය කිරීමට පියවර ගත් බව ස්ථාන භාර නිලධාරී දුමේෂ් කලංසූරිය මහතා වැඩිදුරටත් කියා සිටියේය.

සිද්ධිය සම්බන්ධයෙන් නුගේගොඩ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ජී.පී.එස් ජයමහ මහතාගේ අධීක්ෂණය යටතේ සහකාර පොලිස් අධිකාරී වෙදමුල්ල මහතාගේ උපදෙස් මත හෝමාගම මූලස්ථාන පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රණීත් මානවඩු මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රියශාන්ත මහතා ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වති.

                                                                                           මත්තේගොඩ ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න


පැන්ෂන් ගුරුවරුන් පාසල් ගෙන්වන්න පළාත් සභාවලට බලය



විශ්‍රාම ගිය ගුරුවරුන් පළාත් සභා පාසල් සඳහා බඳවා ගැනීමට පළාත් සභාවලට ඉදිරි දෙසතියේ දී බලය දෙන බව අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (24) පැවසීය.පාසල්වල ගුරු පුරප්පාඩු 32,000ක්පවතින බවද ඔහු කීවේය. මේ අතර අතුරු තහනම් නියෝගයක් හේතුවෙන් පාසල්වලට විදුහල්පතිවරුන් බඳවා ගැනීම ඇණහිට ඇතැයිද මෙයින් දරුවන් අපහසුතාවට පත්වන බව එවැනි නියෝග ලබා ගැනීමට පෙත්සම් දාන අයට නොතේරෙන්නේ මන්දැයි  ප්‍රශ්න කරන්නේ යැයිද ඔහු පැවසුවේය.අමාත්‍යවරයා මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ මාතලේ දිස්ත්‍රික් මන්ත්‍රී රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.


අධ්‍යාපන අමාත්‍යවරයා මෙසේද පැවසීය.


අතුරු තහනම් නියෝගවලට කාලයක් තියෙන්න ඕනෑ. ඒ සඳහා සිවිල් නඩු විධිවිධාන සංග්‍රහයේ සංශෝධනයක් ඇති කළ යුතුයි. සංශෝධනයක් ගේන්න කියලා අධිකරණ අමාත්‍යවරයාගෙන් ඉල්ලා සිටිනවා. අපි එය සම්මත කරල දෙනවා. මාස හයක් අතුරු නියෝගයක් දෙනවා. විදුහල්පතිවරුන් පත් කරන්න බැහැ. මේ වගේ දේවල් නිසා අසාධාරණයට පත් වන්නේ දරුවන්. මේවා දාන පෙත්සම්කරුවන්ට මේක තේරෙන්නේ නැද්ද. මේක ඉඩම් නඩුවක් නෙමෙයි. 


අතුරු තහනම් නියෝගයක් කියන්නේ ඒ වගේ දෙයක් නොවෙයි. අතුරු තහනම් නියෝගය සදාකාලික නියෝගයක් වෙන්න බැහැ. විශ්‍රාම ගුරුවරුන් බඳවා ගන්න මීළඟ සති දෙක තුළ පළාත් සභාවලට බලය දෙනවා.ගුරු පුරප්පාඩු 32,000 ක් තියෙනවා. නුපුහුණු ගුරුවරුන් ප්‍රාථමික අංශවලට යෙදවීම නිසා ඒ අංශය පිරිහීමට ලක්වෙලා තියෙනවා.


රෝහිණි කුමාරි විජේරත්න මහත්මිය


අවුරුද්දක් තිස්සේ ගුරුවරුන් පත් කරන්න බැරුව ඉන්නවා. දරුවන්ට වෙන විනාශයට මෙතැන ඉන්න හැමෝම වගකියන්න ඕනෑ.


සුජිත් හේවාජුලිගේ