Thursday, March 31, 2022

ගුරුවරිය උසාවියට බාරවෙයි ඇපමත මුදා හැරෙයි

වයස අවුරුදු 20ක තරුණයකු වයස අවුරුදු 16 සිට අයුතු ලිංගික අවශ්‍යතා සඳහා පොළඹවා ගනිමින් ලිංගික අතවර කළැයි කියන සිද්ධියට අදාළව අධිකරණයට බාර වූ කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරිය රුපියල් ලක්ෂ 10ක ශරීර ඇපයක් මත මුදාහැරීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඊයේ (30) නියෝග කළාය.මෙම ගුරුවරිය විසින් අධිකරණය හමුවේ ඉදිරිපත් කරනු ලැබ තිබූ අපේක්ෂිත ඇප අයැදුම්පත්‍රය ඉවත් කරගැනීමෙන් පසුව අපයෝජන සිද්ධියට අදාළව සැකකාරියක වශයෙන් අධිකරණය හමුවේ නම් කරනු ලැබීමෙන් පසුව අධිකරණය ඇය එලෙස ඇප මත මුදාහැරියේය.මෙම සිද්ධියට අදාළ නඩු දෙකෙහිම විස්තර ඇතුළත් නඩු ගොනුවක් නීතිපතිවරයා වෙත යොමු කර නීතිපති උපදෙස් ලබා ගන්නා ලෙසට ළමා හා  කාත්තා අපයෝජන නිවාරණ කොට්ඨාසයට නියෝග කළ අධිකරණය, නොතීසියක් ලද පසු අධිකරණයේ පෙනී සිටින ලෙසට සැකකාරියට නියම කළේය.මෙම අපයෝජන සිද්ධියට අදාළව සැකකාරියගේ පින්තූර සම්බන්ධයෙන් පරික්ෂා කර බැලිය යුතුව ඇති අතර, දුරකතන වාර්තා ලබාගැනීමේ අවශ්‍යතාව ඇති බැවින් සැකකාරියට පොලීසියට පැමිණ ප්‍රකාශයක් ලබා දෙන ලෙසට නියෝගයක් නිකුත් කරන්නැයි ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසය අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.ඒ අනුව, වහාම එම කොට්ඨාසයේ පෙනී සිටින ලෙසට ද අධිකරණයෙන් සැකකාරියට නියෝගක් නිකුත් විණි. ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි ජානකී සෙනෙවිරත්න සහ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂිකා සමන්ති රේණුකා යන මහත්මීහු අධිකරණය හමුවේ පෙනී සිටියහ. සැකකාරිය වෙනුවෙන් නීතිඥ සහන් ප්‍රනාන්දු, නීතිඥ දිලුම් බණ්ඩාර, නීතිඥ සුජීව සෙනෙවිරත්න යන මහත්වරුන් සමග නීතිඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.



(නිමන්ති රණසිංහ) 


නිවසක තිබු ජෙනරේටරයක් පිපිරීමෙන් මව හා දරුවන් දෙදෙනාට තුවාල

වැලිමඩ, කැප්පෙටිපොල අත්කම් නිවාස ප්‍රදේශයේ නිවසක පෙරේදා (29දා) රාත්‍රියේ පේනරේටරයක් පිපිරී යාම හේතුවෙන් තිදෙනෙකු තුවාල ලබා ඇතැයි වැලිමඩ පොලීසිය පවසයි. අදාළ නිවසේ සිටි 38 හැවිරිදි කාන්තාවක් සහ ඇගේ නව හැවිරිදි සහ පස් හැවිරිදි දරුවන්දෙදෙනා මෙම අනතුරින් තුවාල ලබා සිටිති. අනතුරින් තුවාල ලැබූවෝ වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට මාරු කර යවා තිබේ. එදින රාත්‍රියේ විඳුලිය විසන්ධි කර තිබූ අවස්ථාවේ මෙම නිවසට පේනරේටරයක් මගින් විදුලි බලය ලබාගෙන ඇති අතර මෙම ජෙනරය නිවසේ කාමරයක තිබී ඇත. එක් වරම රාත්‍රී 8.30 ට පේනරේටරය නැවතී තිබෙන අතර ඒ ගැන විපරම් කිරීමට නිවසේ සිටි කාන්තාව ඇගේ දරුවන් දෙදෙනාද එය අසලට ගොස් තිබේ.  ඒත් සමගම වීශාල ශබ්දයද සමග ජෙනරේටරය පුපුරා ගොස් ඇති බව මේ වනවිට සිදු කරන ලද විමර්ගර්ශනවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.මෙම අනතුර සිදුව අවස්ථාවේ මෙම තුවාල ලබා ඇති කාත්තාවන්ගේ ස්වාමියා නිවසේ සිට නොමැත. පිපිරීම සමග ගින්නක්ද හටගෙන ඇති අතර ප්‍රදේශවාසීන් එක්ව ගින්න නිවා දැමීමට කටයුතු කර තිබේ. ගිත හේතුවක් අදාළ නිවසටද දැඩි අලාභහානි සිදුව තිබේ. ප්‍රදේශවාසීන් එක්ව තුවාල ලැබූවන් වැලිමඩ මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර ඔවුන් වැඩිදුර ප්‍රතිකාර සදහා බදුල්ල මහ රෝහලට මාරුකර යවා තිබේ. වැලිමඩ පොලිසිය සිද්ධිය සම්බන්ධය වැඩි දුර විමර්ශන සිදු කරයි.




(වැලිමඩ - කුමාරගේ)

දුරකථන ඇමතුමක් ගැනීමට වහලයට නැගි සිසුවෙක් ඇදවැටීමෙන් මරුට

දුරකථන ඇමතුමක් ලබා ගැනීමට ගිය අවස්ථාවේ නිවසේ වහලයෙන් අද වැටීමත් පාසල් සිසුවෙකු මියගොස් ඇතැයි ඌරුබොක්ක පොලීසිය පවසයි.බෙරලපනාතර, කැකුන්දෙණිය, පුහුල්හේනකන්ද ඉලුක්තැත්න ප්‍රදේශයේ පදිංචිව සිටි බෙරලපනාතර මහා විද්‍යාලයේ 10 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන 16 හැවිරිදි සේනානායක උදාර පුන්සර නමැත්තකු මෙසේ ජීවිතක්ෂයට පත්ව තිබේ. පෙරේදා (29) දින රාත්‍රී 7.45-8.00 අතර කාලයේ විදුලිය විසන්ධි කර තිබූ අවස්ථාවේ පාසල් සිසුවා දුරකථන ඇමතුමක් ලබා ගැනීමට නිවසේ වහල වෙනුවට දමා ඇති කොන්ක්‍රිට් (ස්ලැබ්) එක උඩට නැග ඇති අතර දුරකථන ඇමතුම ලබා ගැනීමට සිග්නල් අඩුවීම නිසා කොන්ක්‍රිට් එක උඩ පස්සෙන් පස්සට ගොස් ඇති අතර එම අවස්ථාවේ කොන්ත්‍රීට් එකෙන් බිමට ඇද වැටී ඇත. අනතුරින් තුවාල ලබා සිටි පාසල් සිසුවා දෙණියාය මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර පසුව මාතර මහ රෝහලට මාරු කර යවා ඇති බවත් ඒ යන අතරතුර අසාධ්‍ය වීම හේතුවෙන් මොරවක කොස්නිල්ගොඩ දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර ඇති අතර එහිදී මියගොස් ඇති බවද පොලීසිය පවසයි. මියගිය පාසල් සිසුවාගේ ස්ථානීය මහේස්ත්‍රාත් පරික්ෂණය සහ පශ්චාත් මරණ පරිමාණය පැවැත්වීමට නියමිතය. ඌරුබොක්ක පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි. 



(ඌරුබොක්ක - ඩී.ඒ.පතිරණ)


අපුරු ලොක්කෙක් - යන යන තැන් වල බජව්දන්න 15ක්



රජයේ එක්තරා ආයතනයක හිටපු ප්‍රධානියකු එම ආයතනයේ කටයුතු කළ සමයේ දී ඔහු සහභාගි වූ උත්සව සඳහා සංගීතය සැපයීමට පහළොස් දෙනකුගෙන් සමන්විත සංගීත කණ්ඩායමක් පත්කරගෙන ආයතනයෙන් ඔවුන්ට වැටුප් ගෙවා ඇතැයි වාර්තාවේ.එසේම එම සංගීත කණ්ඩායම පුහුණු කිරීම සඳහා පුහුණුකරුවකු පත්කරගෙන ඔහුට ද වැටුපක් ගෙවා ඇති බව එම ආයතන ආරංචිමාර්ගවලින් පැවසේ. මේ ආයතන ප්‍රධානියා මෑතක දී වෙනත් ආයතනයක මුල් පුටුවකට මාරුවීම් ලබා ගොස් සිටින නමුත්, එම සංගීත කණ්ඩායමේ සාමාජිකයන් සහ පුහුණුකරු තවදුරටත් ඒ ආයතනයේ නිකරුණේ රැඳී සිටිමින් වැටුප් ලබන බව දැනගන්නට ඇත.  

එසේම මෙම හිටපු ප්‍රධානියා සිය ආරක්ෂාව සඳහා පෞද්ගලික ආරක්ෂකයන් 6 දෙනකු ද රජයේ වියදමින් යොදවා ගෙන සිටි බව එම ආරංචිමාර්ග වැඩිදුරටත් අනාවරණය කළේය.  පුද්ගලයකුගේ හුදු විනෝදාස්වාදය සඳහා සංගීත කණ්ඩායමක් පත් කරගෙන මෙලෙස කටයුතු කිරීම විශාල මුදල් නාස්ති කිරීමක් බව එම ආයතනයේ සේවකයෝ පෙන්වා දෙති.

 සුජිත් හේවාජුලිගේ

කැලණිමුල්ල විහාරයක් ළඟ භූගත ස්කාගාරයක් වටලයි


කැලණිමුල්ල ගඟ අසබඩ පාරේ විහාරස්ථානයකට යාබද ඉඩමක භූගත ලෙස පවත්වාගෙන ගොස් තිබූ නීති විරෝධී මත්පැන් පෙරිමේ ස්ථානයක් වටලා රුපියල් ලක්ෂ 5ට ආසන්න වටිනා ගෝඩා සමග සැකකරුවෙක් මුල්ලේරියාව පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබීය.  විහාරස්ථානයට හා මෙහෙණි ආරාමයකට මැදිව පචස් 70ක පමණ පාළු ඉඩමක සැකකරු වසර ගණනාවක සිට භූගත මත්පැන් ස්කාගාරය පවත්වාගෙන ගොස් ඇති අතර, වසර 4-5 ක කාලය තුළ මෙම ස්ථානය වටලා නොමැති බව පොලිස් ආරංචි මාර්ග පවසයි.  කැලණි ගගට මායිම්ව මෙම මැත්පැන් ස්කාගාරය  පවත්වාගෙන ගොස් ඇති බවත්, එහි සියලු ගෝඩා බැරල්  ඉඩමේ වළ දමා ඉතාමත් රහසිගතව මෙම ජාවාරම  සිදුකරගෙන ගොස් ඇති බවද පොලිසිය පවසයි. 

මෙම ස්ථානය සම්බන්ධයෙන් මුල්ලේරියාව පොලිසියට ලැබුණු තොරතුරකට අනුව (27) පස්වරුවේ වැටලීම සිදුකර ඇති අතර, එහි තිබී බැරල් 6 ක්, මත්පැන් පෙරීමට භාවිතා කරන උපකරණ සමග එහි හිමිකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු කැලණිමුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවද පොලිසිය කියයි. මුල්ලේරියාව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුනිමල් සුසන්ත මහතාගේ මෙහෙයවීමෙන් පරික්ෂණ පැවැත්වේ.

 -ඉන්දිකා රාමනායක-

දඹුල්ලේ එළවළු මිල පහත වැටීමෙන් ගොවීන් අසීරුතාවට

දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ පසුගිය සතියේ ශීඝ්‍රයෙන් ඉහළ ගොස් තිබූ එළවළු තොග මිල විශාල වශයෙන් 30 දින දහවල් වනවිට පහත වැටී එළවළු අළවි නොවන තත්වයකට පත්ව ඇතැයි ගොවීහු පැවසූහ. එළවළු මිල පහත වැටීම හා අලෙවි නොවීමට ප්‍රධාන හේතුව වී ඇත්තේ එළවළු මිලදී ගැනීමට පැමිණෙන වෙළෙන්දන් නොපැමිණීම හා ඉන්ධන හිගය බවදගොවීහු පවසා සිටියහ. පසුගිය සතියේ බෝංචි කිලෝවක තොග මිල රුපියල් 230 - 280 ත් අතර ඉහළ අගයක් ගෙන තිබුණද මෙදින බෝංචි කිලෝවක තොග මිල රුපියල් 100 - 130 දක්වා පහත වැටී තිබීම විශේෂත්වයකි.බෝංචි මිල පහත වැටීම නිසා අනෙකුත් සෑම එළවළු කිලෝවකම තොග ගැනුම් මිල පහත වැටෙන බව ආර්ථික මධ්‍යස්ථාන ව්‍යාපාරිකයෝ පවසා සිටියහ. තෙල් පොහොර නොමැතිව දැඩි දුෂ්කරතා හමුවේ  තම එළවළු වගාව සිදුකළද ඉන්ධන නොමැතිව වතුර දමා ගැනීමට පවා නොහැකිව නෙළාගත් අස්වැන්න පෝලිම්වල සිට ඉන්ධන සොයාගන ආර්ථික මධ්‍යස්ථානයට අලවි කිරීම් සදහා රැගෙන ආවද ඒවා අලෙවි නොවීම බරපතළ ප්‍රශ්නයක් බව ගොවීහු පවසති. සිංහල අලුත් අවුරුද්ද ඉලක්ක කරගෙන තමන් එළවළු වගා කළද දිවයිනේ සෑම භාණ්ඩයක්ම මිල ඉහළ යදී එළවළු මිල මේ ආකාරය පහත වැටීම නිසා ගොවීන් දැඩි අසීරුතාවකට පත්වන බවද ඔවුහු පවසති. තමන් පිළිබද සොයා බැලීම හෝ මෙවැනි සිද්ධි පිළිබද සොයා බැලීමක් නොකිරීම නිසා මේ තත්වය උදාවී ඇති බවද ගොවීහු පවසා සිටියහ. ඒ අනුව බෝංචි 130 -140, ගෝවා 50 - 55, අමුමිරිස් 250 - 360, ලීක්සි 50- 60, දඹල 70 - 80, කරවිල 90 -110, කැරට් 130- 150, වට්ටක්කා 50 - 60, මාළු මිරිස් 180- 200, පිපිචඤ්ඤා 15 -20, වම්බටු 85 -100, මැකරල් 90 - 100 පතෝල 70 -80, වැටකොළු 80 -100, නෝකෝල් 60 - 80, බීට් 50 - 80, තක්කාලි 40 - 50, කැකිරී 10 - 20, රාබු 20- 35, අතර මිලකට අලෙවි වූ බවද වෙළෙන්දෝ පවසා සිටියහ.ඇතැම් එළවළු සදහා ඉහල මිලක් තම පවසා සිටියද ඒවා අළඳී නොවීම බරපතළ ප්‍රශ්නයක් බවද වෙළද පොළට පැමිණ සිටින වෙළ තම නිෂ්පාදන ඉතා අඩු මුදලකට ලබා ගැනීමේ උත්සාහයක නිරත වූ බවද ඔවුහු පවසා සිටියහ. දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයට මෙදින යාපනය ප්‍රදේශයෙන් වම්බටු, මෑකරල්, රතු ලූනු, මඤ්ඤොක්කා, නයි මිරිස් ආදී එළවළු වර්ග රැසක් ලැබී තිබුණු බව කී පාරිභෝගිකයන් කියා සිටී.ඉදිරී දින කිහිපයේදීත් ඇතැම් විට යාපනය අර්ධද්වීය දඹුල්ලට ලැබුණහොත් තොග මිල තවත් පහළ යනු ඇති බවයි. මෙමෙ ආර්ථික මධ්‍යස්ථානයේ පුරා විශාල හිගය පැවැති අමු මිරිස් තොගද මෙදින ආර්ථික මධ්‍යස්ථානයට සැලකිය යුතු ප්‍රමාණයක් ලැබීමත් සම‍ඟ රුපියල් 750 -1000 අතර අළෙවිඅමු මිරිස් කිලෝව මෙදින රුපියල් 250ක් දක්වා අඩු මුදලකට අලෙවි වීම තවත් කරුණකි.


(එස්.කරුණාරත්න)


පුතා ගෙල වැලලාගෙන මියගියේ කොල්ලෙක්ගේ ගැටයකට අසුවෙලා

පසුගිය වසරේ සැප්තැම්බර් මස ගෙලවැල ලා මියගිය තම 16 හැවිරිදි පුතාගේ මරණය පිළිබදව විශාල සැකයක් හා ඊට අදාළ සාක්ති ඇති බව එම සිසුවාගේ පියා සහ මව පානඳුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතාට ලිඛිත පැමිණීල්ලක් ඉදිරිපත් කර ඇත. තම පුතාගේ චරිතය  කෙලෙසන බවට බියගන්වා කිසියම් පුද්ගලයකු කටයුතු කිරීමෙන් එය දරාගත නොහැකිව පුතාගේ මරණය සිදු වූ බවට පැහැදිලි සාක්කි තිබෙන බව ද මියගිය දරුවාගේ පියා පවසයි. මෙම පුද්ගලයා අනාවරණය කරගෙන ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා  සිටිමින් බණ්ඩාරගම ගුමුව ප්‍රදේශයේ පියකු පානදුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන්ත වෙදගේ මහතාට ලිඛිත පැමිණිල්ලක් සිදුකර ඇත.  බණ්ඩාරගම ගුමුව ප්‍රදේශයේදී ඉකුත් වසරේ ඔක්තෝබර් 11 වැනිදා නිවස තුළදී ගෙල වැළලාගෙන අශේන් ඉසුරු වික්‍රමාරච්චි නැමැති 16 හැවිරිදි පාසල් සිසුවෙක් මියගියේය.

ඔහුගේ පියා වන මෝලි වික්‍රමාරච්චි මහතා ඒ පිළිබදව පැමිණිලි කර ඇත. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරයාට ලිඛිතව ඉවත් කරන ලද පැමිණිල්ලේ මෙසේද සඳහන් වේ. 

මාගේ පුතාගේ මරණයට හේතුව ජංගම දුරකතනයෙන් වීඩියෝ ක්‍රීඩා කර පරාජය දරාගත නොහැකිව යැයි බණ්ඩාරගම පොලිසිය  ක්ෂණීකව තීන්දු කළ අතර, විද්‍යුත් මාධ්‍යයේ හා සමාජ මාධ්‍ය ජාලාවල ද ඒ අයුරින් ප්‍රචාරය විය. පුතුගේ මරණය සිදු වූ දා සිට ඔහුගේ ස්මාර්ට් වර්ගයේ දුරකථනය මාස දෙකක පමණ කාලයක් බණ්ඩාරගම පොලීසිය බාරයේ තිබූ අතර පසුව එය මා විසින් ලබාගන්නා ලදී. මීට දින කිහිපයකට ඉහත දී මාගේ ඥාති දියණියක විසින් දුරකතනයේ අභ්‍යන්තර දත්ත පරික්ෂා කිරිමේදී කිසියම් පුද්ගලයකු තරුණියකගේ වෙන්ගෙන පුතා හා මිතුරු වී ඉතා සුක්ෂම ලෙස ඔහුගේ නිරුවත් ඡායාරූපයක් ලබාගෙන අනතුරුව ඔහු කොල්ලෙක් යැයි පවසා පුතුගේ නිරුවත් ඡායාරූපය මුළු  ලංකාවෙම ප්‍රසිද්ධ කරන බවට තර්ජනය කරමින්, එසේ නොකිරීමට නම් වරින් වර මුදල් මෙන්ම අන්තර්ජාල කාඩ්පත් ද කුප්පම් වශයෙන් ලබාගෙන තිබූ බව පැහැදිලිව සටහන්ව තිබුණි.


ඉන්ස්ටග්‍රෑම් තාක්ෂණය හරහා මාගේ පුතු හා තරුණියකගේ වෙස්ගෙන සම්බන්ධව තිබූ එම  පුද්ගලයා වරින් වර පුතුගේ ජංගම දුරකථනයට යොමු කරන ලද  කෙටි පණිවිඩ දෙසීයකට ආසන්න සංඛ්‍යාවක් අන්තර්ගතව තිබිය දී සොයා ගැනීමට හැකිවිය. පුතුගේ ජංගම දුරකථනය තවදුරටත් පරික්ෂා කිරිමේ දී පුතුගේ ක්‍රීඩා ගිණුම්, මුහුණු පොතේ ගිණුම් ආදී සියලු දේ ඇපයට  තබාගෙන විවිධ අයුරින් පරුෂ වචන පවා භාවිතා  කරමින් එම පුද්ගලයා මගේ පුතු මානසිකව පීඩාවට පත්කර පුතුට සියදිවි නසා ගැනීමට  තරම් අන්ත අසරණභාවයට පත්කර ඇති අයුරු එම කෙටි පණිවිඩ සියල්ල හොඳින් පරික්ෂා කිරිමේදී ඔබතුමාට ද අවබෝධ කරගත හැකි වේ යැයි විශ්වාස කරමි. එම පුද්ගලයා මාගේ පුතුගේ ජංගම  දුරකථනයට ඉස්ටග්‍රෑම් තාක්ෂණය ඔස්සේ යොමු කරන ලද කෙටි පණිවිඩවල ඡායාරූපවල ඡායාපිටපත් ද ඔබතුමාගේ අවධානය සඳහා මේ  සමඟ ඉදිරිපත් කරමි. මාගේ එකම පුතුගේ වියෝව මා මෙන්ම මාගේ බිරිඳටත් මුළු ජීවිත කාලයටම දරාගත නොහැකි වේදනාවකි. අප දෙදෙනා ලබන ඒ වේදනාව තවත් මවුපියවරුනට නොවන්නට, මෙන්ම එවැනි. පාපතරයකු විසින් සිදුකළ වංචනික ක්‍රියාව නැවත වතාවක් තවත් දරුවකුට නොකරන්නට විධිමත් පරික්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන ලෙසත්, ඉතා බැගෑපත්ව ඉල්ලා සිටිමි යැයි එම ලිපියේ වැඩිදුරටත් සඳහන් වේ. 


මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් පානදුර කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතා මෙසේ පැවසීය.  

මියගිය දරුවාගේ පියාගෙන් ලිඛිත පැමිණිල්ලක් ලැබුණා, දරුවා සිය දිවි නසාගන්න තරමට කිසියම් පුද්ගලයකුගෙන් යම් සිදුවීමක් තිබෙන බවට පැහැදිලියි. එම පැමිණිල්ල සම්බන්ධයෙන් විමර්ශන සිදුකිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමකට පවරා තිබෙනවා.


 -බිමල් ශ්‍යාමන් ජයසිංහ-

දෛනික විදුලි කප්පාදුව පැය 10ක් වුයේ මහජන උපයෝගිතා කොමිසම ආණ්ඩුව සතුටු කිරීමට කටයුතු කල නිසායි

දෛනික විදුලි කප්පාදුව පැය 10ක කාලයක් බවට පත් වූයේ, විදුලි ඉංජිනේරුවන්ගේ අදහස් හා යෝජනා ඉවත දමා ආණ්ඩුව සතුටු කිරීමට මහජන උපයෝගිතා කොමිසම කටයුතු කිරීම නිසා බව විදුලි. තෙල්, වරාය සමගි වෘත්තීය සමිති සන්ධානය සඳහන් කරයි. මේ නිසා මෙම කොමිසමේ වර්තමාන නිලධාරීන් තවදුරටත් මහජන මුදලීන් යටතේ නොකළ යුතු බවත්, මෙම සියලුම දෙනා කඩිනමින් ඉවත්කර රටට වැඩක් කළ හැකි පිරිසක් පත් කරන ලෙස විදුලිබල අමත්‍යවගෙන් ඉල්ලා සිටින බවත් එම සන්ධානයේ මධ්‍ය ප්‍රකාශක ආනන්ද පාලිත මහතා පැවසීය. අමාත්‍යවරිය එම වගකීම ඉටු නොකරනවා නම්, එය ජනතාවට සිදුකරන අසාධාරණයක් නිසා විදුලිබල අමාත්‍යවරයත් කොමිසමේ නිලධාරීනුත් ඉවත් කර ඒ සඳහා වැඩක් කළ හැකි පිරි පත් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්‍ෂ මහතාගෙන් ඉල්ලා  සිටින බවද හෙතෙම පවසා සිටියේය. විදුලී අර්බුදයක් ඇති වන නිසා යම් විදුලි කප්පාදුවක් සිදුකිරීමට විදුලිබල මණ්ඩලය විසින් මේ වසර ආරම්භයේදී මහජන උපයෝගිතා කොමිසමෙන් ඉල්ලීමක් කළ බවත්, එයට අවසර ලබා නොදී අඛණ්ඩව විදුලි සැපයුම් ලබාදෙන ලෙස කොමිසම විදුලිබල මණ්ඩලයට උපදෙස් ලබාදී තිබූ බවත් ආනන්ද පාලිත මහතා සඳහන් කර සිටියේය. මේ නිසා ලදුලිය වැඩියෙන් භාවිත කර විදුලිය නිෂ්පාදනය කළ බවත්, මේ වනවිට විදුලි බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම් විශාල ලෙස පහත වැටී තිබෙන බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. එබැවින් ඉන්ධන යොදාගෙන අධික ලෙස විදුලිය නිෂ්පාදනය කිරීමට සිදු වූ බවත්, මේ වනවිට ඉන්ධන අර්බුදයක් ඇති වීම නිසා විදුලි කප්පාදුව දිනකට පැය දහයක් දක්වා දීර්ඝ වූ බවත් ආනන්ද පාලිත මහතා පැවසීය. එහෙත් විදුලි බලමණ්ඩලය විසින් යෝජනා කර තිබූ ආකාරයට දිනකට පැය දෙක තුනක් විදුලි කප්පාදු කරමින් පවතින අර්බුදය කළමනාකරණය කරමින් ඉදිරියට ගමන් කළේ නම්, මේ ආකාරයේ අර්බුදයක් ඇති නොවන බවත්, මේ නිසා කොමිසම වගකීම් පැහැරහැර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.



(එච්.අයි. තුෂාර)


ආසියාව ලෝක බලවතුන්ගේ චෙස් ලෑල්ලක් නෙමෙයි

ආසියාව යනු ලෝකයේ බලවතුන් එකිනෙකා සමග සටනට වැදෙන 'චෙල් ලෑල්ලක්" නොවන බව චීනයේ විදේශ ඇමති වැ යි පවසයි. රුසියාවේ යුර්ෂ ආක්‍රමණය හමුවේ මතුව තිබෙන භූදේශපාලනික අර්බුදකාරි තත්වය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු මේ බව අවධාරණය කරයි.පසුගිය සති දෙකේදී තමන් නිරත වූ ආසියානු කලාපීය රාජ්‍යයන්හි නිල සංවාරයෙන් අනතුරුව සඳුදා දිනයේදී මාධ්‍ය අමතමින් අමාත්‍යවරයා මේ බව සදහන් කිරීමත් විශේෂත්වයකි. මෙහිදී ඔහු පාකිස්තානය, ඇෆ්ගනිස්තානය, ඉන්දියාව සහ නේපාලය යන ආසියානු රාජ්‍යයන්හි සංචාරය කරමින් එම රාජ්‍යයන්හි නායකයන් ඇතුළු දේශපාලන කණ්ඩායම් හමුවිය. ඒ අනුව මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වා ඇති චීන විදේශ අමාත්‍යවරයා  මෙම රුසියානු යුක්රේන අර්බුදයේ වර්ධනය අග්නිදිග ආසියානු කලාපීය රාජ්‍යයන්ද ඇතුළුව බොහෝ දියුණු වෙමින් පවතින රාජ්‍යයන් වෙත දැඩිව බලපෑම් එල්ල කර තිබෙන බව පවසා තිබේ. "මෙහිදී ඒකපාර්ශ්වික ලෙස වැටී ඇති සම්බාධක හේතුවෙන් ගෝලීය කර්මාන්ත දාමය සහ සැපයුම් දාමය වෙත දැඩි ලෙස බලපෑම් එල්ල වෙලා. ඒ අනුව මෙම අර්බුදය සඳහා වඩාත් හොද විකල්පය වන්නේ යුද්ධයද, එසේත් නැත්නම් සම්බාධකද යන්න ගැන අද වනවිට අග්නිදිග ආසියානු කලාපීය රටවල පොදු එකගත්වයක් පැමිණ තිබෙනවා.” යනුවෙන්ද ඔහු පවසයි.  ඒ අනුව මෙම අවස්ථාවේදී ජාත්‍යන්තර ප්‍රජාව අතින් සිදුවිය යුතුව ඇත්තේ ඇවිලෙන ගින්නට තවත් ඉන්ධන යෙදිම නොව සාමය සහ සාකච්ඡාවන් ප්‍රවර්ධනය කිරීම බවත් ඔහු අවධාරණය කර තිබේ. විශේෂයෙන්ම එක්සත් ජාතීන්ගේ "අභිප්‍රායන් සහ ප්‍රතිපත්ති” යටතේ යම් රටක ස්වෛරිත්වය, ස්වාධීනත්වය සහ භෞමික අඛණ්ඩතාව ආරක්ෂව සම්බන්ධයෙන් ගරු කිරීමක් පැවතිය යුතු බවත්, එහිදී 'දෙබිඩි පිළිවෙත් අනුගමනය සුදුසු නොවන බවත් ඔහු පවසයි‍ "එක් රටක ආරක්ෂාව තවත් රටවල ආරක්ෂක වියදම් සමග සන්සන්දනය කරන්න බැහැ. ඒ වගේම කලාපීය ආරක්ෂාව කියන දේ ආරක්ෂක බලමුළු ශක්තිමත් කිරීමකින් සහතික කරන්නත් බැහැ." ඒ අනුව ජාත්‍යන්තර ප්‍රජාව දැන්වත් මෙවැනි අර්බුදයක් අවස්ථාවකදී මිතුරන්ගේ හෝ සතුරන්ගේ පැත්ත නොගෙන කටයුතු කළ යුතුව ඇති බවත්, ඒ හරහා තවත් සීතල යුද්ධයක මානසිකත්වයක් ඇති නොකළ යුතු බවත් ඔහු වැඩිදුරටත් පෙන්වා දෙයි. "ආසියාව කිසිදු විටෙකත් මෙවැනි ලෝක බලවතුන් එකිනෙකා ඇනකොටා ගත්තා චෙස් ලෑල්ලක් බවට පත්වීම ප්‍රතික්ෂේප කරනවා. ඒ වගේම ආසියානු රටවල් මේ ලෝක බලවතුන්ගේ ගැටුම්වලදී උකසට තැබිය හැකි දෙයක් නෙමෙයි." චීන විදේශ අමාත්‍යවරයා මෙහිදී සඳහන් කර තිබේ.ඒ අනුව යුක්රේන අර්බුදය හමුවේ බටහිර රාජ්‍යයන් රුසියාව සම්බන්ධයෙන් පැනවූ සම්බාධක දැඩි ලෙස විවේචනය කර ඇති අමාත්‍යවරයා, ඒ හරහා රුසියාව වෙත අනවශ්‍ය හානියක් සිදුවන බවත්, එය චීනයේ හවුල්කරුවෙකු සමග සිදුකරන වෙළඳ සබදතා වෙත බලපාන බවත් පෙන්වා දෙයි.  කෙසේ වෙතත් මෙම රුසියානු - යුක්රේන අර්බුදය අවස්ථාවේදී චීනය රුසියාවට පක්ෂග්‍රාහීව කටයුතු කරන බවට සහ රුසියාවට අවශ්‍ය යුද ආධාර ලබාදෙන බවට බටහිර රාජ්‍යයන් සිදුකර චෝදනාද අමාත්‍යවරයා ප්‍රතික්ෂේප් කර සිටියි. ඒ අනුව මේ කරුණු සියල්ලම බටහිර රාජ්‍යයන් විසින් සිදුකරන වැරදි තොරතුරු ප්‍රචාරය කිරීම් බව ඔහු පෙන්වා දෙයි.


ලිට්‍රෝ ගෑස් මිල ඉහළට?


ලිට්‍රෝ ගෑස් මිල ඉදිරියේදී සැලකිය යුතු ගණනකින් ඉහළ යනු ඇති බවත්, මිල වැඩි කිරීමට අදාළ ඉල්ලීම කැබිනට් මණ්ඩලයට දැනටමත් ඉදිරිපත් කර ඇති බවත් ලිට්‍රෝ සමාගමේ සහාපති තෙෂාර ජයසිංහ මහතා ඊයේ (30) පැවසීය. ගෑස් මිල කොපමණ මුදලකින් ඉහළ යනවා දැයි මේ මොහොත වනවිට පැවසිය  නොහැකි බව කී සභාපතිවරයා, මෙම මිල ඉහළ දැමීම කොයි මොහොතේ හෝ සිදුවිය හැකි බව ද සඳහන් කළේය. ලිට්‍රෝ ගෑස් සිලින්ඩර් 30,000ක් පමණ වෙළෙඳපොළට දෙනිකව නිකුත් කරන අතර, පසුගිය දින 10ක කාලය තුළ, ගෑස් සිලින්ඩර ලක්ෂ 10ක පමණ ප්‍රමාණයක් වෙළෙඳපොළට නිකුත් කර ඇති බව ද ඔහු පැවසීය. 

ලබන අප්‍රේල් මාසයේදී ගෑස් මෙට්‍රික් ටොන් 30,000ක ඇණවුමක් ලබාගැනීමට මේ වනවිට සැලසුම් සකස් කර ඇති බව ද ඔහු සඳහන් කළේය. නියමිත මිලට වඩා වැඩියෙන් ගෑස් අලෙවි කරන අලෙවි නියෝජිතයන් හෝ කිසියම් පුද්ගලයකු සම්බන්ධයෙන් තොරතුරු වාරතා වුවහොත් ඒ පිළිබඳව පොලිසිය නීතිමය කටයුතු කරනු ඇති බවත්, එවැනි අලෙවි නියෝජිතයන්ගේ වෙළඳ බලපත්‍රය අවලංගු කිරීමට පියවර ගන්නා බවත් සභාපතිවරයා පැවසීය.  ඔහු මෙසේ පැවසුවේ, ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ ඊයේ (30) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදීය.


නිමන්ති රණසිංහ

එන්නත් තුන නැත්තම් පොදු තැන් දොර වහනවාට එරෙහි පෙත්සම් ඉවතට


කොවිඩ් මර්දන එන්නත් මාත්‍රා තුනම ලබාගත් පුද්ගලයන්ට හැර අනෙකුත් අයට අප්‍රේල් 30 වැනිදායින් පසු ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීම තහනම් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිකුත් කර ඇති ගැසට් නිවේදනය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා වෘත්තිකයන් ඇතුළු පිරිසක් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් විභාගයට ගැනීම පංච පුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල ඊයේ (30) ප්‍රතික්ෂේප කළේය. බහුතර විනිසුරුවන්ගේ තීරණය මත මෙම පෙත්සම් විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කරන බව ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ලේ සභාපති විනිසුරු ප්‍රියන්ත ජයවර්ධන මහතා පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී ප්‍රකාශ කළේය. 

මෙම පෙත්සම්, ප්‍රියන්ත ජයවර්ධන, ප්‍රීති පද්මන් සූරසේන, ගාමිණී අමරසේකර, ශිරාන් ගුණරත්න, සහ කුමුදිනී වික්‍රමසිංහ යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ෙමඬුල්ලක් හමුවේ සලකා බැලිණි. නීතිඥ නුවන් බෙල්ලන්තූඩුව මහතා මගින් මෙම මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනු කරනු ලැබ ඇත්තේ ශ්‍රී ලංකා වීවෘත විශ්ව විද්‍යාලයේ දේශීය වෛද්‍ය විද්‍යාව පිළිබද කථිකාචාර්ය හේමසිරි ජයතිලක, වෛද්‍ය ඩැනිස්ටර් ද සිල්වා, මීගමුව හිටපු නාගරික මන්ත්‍රී සුලෝචන පෙරේරා යන මහත්වරුන් ඇතුළු පිරිසකි.කෝවිඩ් මර්දනය සඳහා වන එන්නත් මාත්‍රා තුනම ලබාගත් පුද්ගලයන්ට හැර අනෙකුත් අයට අප්‍රේල් මස 30 වැනිදායින් පසුව ප්‍රසිද්ධ ස්ථානවලට ඇතුළුවීම තහනම් කරමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් ඉකුත් ජනවාරි මස 25 වැනිදා නිකුත් කරන ලද 2264/22 දරන ගැසට් නිවේදනය ප්‍රකාශයට පත් කර ඇති බව පෙත්සම්වලින් දක්වා තිබිණි. 

මෙමගින් ජනතාව බිය ගැන්වීමක් සිදුවන බවත් එන්නත් ලබා ගැනීම හෝ නොගැනීම එම පුද්ගලයාගේ පෞද්ගලික අභිමතය වන බවත් සිය පෙත්සමෙන් ඉදිරිපත් කර ඇති පෙත්සම්කරු, එන්නත් විදීම සම්බන්ධයෙන් කිසිවකුට හෝ බල කළ නොහැකි බවද පෙත්සම්වලින් දක්වා තිබිණි. මෙම එන්නත් තවමත් පර්යේෂණ මට්ටමේ පවතින අතර, එන්නත් විදීම හේතුවෙන් කොවිඩ් මර්දනය සඳහා දේශීය වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනීමට ජනතාව යොමුවීම වළක්වන බවත්, එමගින් දේශීය වෛද්‍ය ක්‍රමයට මරු පහරක් එල්ලවන බවත් පෙත්සම්කරු සිය පෙත්සමෙන් දක්වා ඇත. මේ හේතුවෙන් ජනතාවගේ මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවන බැවින් මෙම පෙත්සම විභාගයට ගැනීමට අවසර ලබාදෙන ලෙසත්, මෙමගින් මූලික අයිතිවාසිකම් කඩවී ඇති බවට ප්‍රකාශ කරන ලෙසත් පෙත්සම්කරු ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා ඇත. එසේම, මෙම ගැසට් නිවේදනය බල රහිත කරන රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද පෙත්සම්කරු සිය පෙත්සමෙන් ඉල්ලා තිබේ.

 -නිමන්ති රණසිංහ-

ඉරානයේ හල්ක් කියන තරම් ලොකු නෑලු

ඉරානයේ හල්ක් ලෙස විරුදාවලියට පත්ව සිටින සජාඩ් ඝාරිබි සතුව ඔහුගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමේ දැක්වෙන ආකාරයේ දැවැන්ත ශරීරයක් නොමැති බව බ්‍රිතාන්‍යයේ බොක්සිං තාරකාවක වන මාර්ටින් ෆෝර්ඩ් පවසයි. පසුගියදා ඩුබායි නුවරදී තමන්ට ඔහු ප‍්‍රථම වරට මුහුණට මුහුණ හමුවූ බවත්, එහිදි මෙය තේරුම් ගත් බවත් මාර්ටින් සඳහන් කරයි.ලබන අප්‍රේල් 30දා සජාඩ් සහ මාර්ටින් අතර ලන්ඩන් නුවර 02Arena ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතව ඇති බොක්සිං තරගයකට පූර්ව ප්‍රචාරක කටයුත්තක් සඳහා මෙලෙස දෙදෙනාම ඩුබායි නුවරදී එකිනෙකා හමුවීම සිදුව ඇත.මේ අනරීන් මාටින් අඩි 6යි අඟල් 8ක් උසකින් යුක්ත වන අතර, ඔහු අද වන විට ලෝකයේ භයානකම මිනිසා යන විරුදාවලියට හිමිකම් කියයි. ඒ අනුව දැවැන්ත සිරුරක් , හිමි ඉරානයේ හල්ක් සහ මාර්ටින් අතර බොක්සිං තරගයක් දැකබලා ගැනීම වෙනුවෙන් එම දෙදෙනාගේම රසිකයන් මහත් උනන්දුවෙන් පසුවූ බව සඳහන් වෙයි. කෙසේ වෙතත් පසුගියදා මෙම දෙදෙනාම ඩුබායි නුවරදී හමුවූ අවස්ථාවේදී ලබාගත් බව පැවසෙන කෙටි වීඩියෝ පට දෙකක් මේ වනවිට අන්තර්ජාලය වෙත මුදාහැර ඇති අතර, එම විඩියෝ පට තුළද මාර්ටින් සඳහන් කළ ආකාරයට සජාඩ් යනු දැවැන්ත සිරුරකට හිමිකම් කියන පුද්ගලයෙකු නොවන බව මනාව පැහැදිලි වෙයි. "ඔහු මම අපේක්ෂා කළ පුද්ගලයා නෙමෙයි. හරී නම් ඔහු මම වගේ දෙගුණයක් විශාල වෙන ඕනේ. මම හිතන්නේ ඔහු ෆොටෝෂොප් යොදාගෙන ලෝකයම මෝඩයට අන්දවලා. ඔහුගේ ඡායාරූපවලදී ඔහු දකින තරම් පුදුමසහගත බවක් ඔහුව සැබෑ ජීවිතයේදී දැක්කම පෙනෙන්නේ නෑ. ඔහු විශාල වුණාට එහි බියජනක බවක් නෑ. ඔහු හරීයට පුහුණුවක් නොලබපු සිරුරින් විශාල දරුවෙක් වගේ." යනුවෙන් මාර්ටින් මෙහිදී පවසා ඇත. එම අවස්ථා දෙකේදීම සජාඩ් සහ මාර්ටින් එකින්නෙකා සමග ගැටුමේ යෙදෙන අතර, අවස්ථා දෙකේදිම මාර්ටින් කිසිදු අපහසුවකින් තොරව සජාඩ් තල්ලු කර බිම වටවන ආකාරයද දැකගත හැකිය. මෙම වීඩියෝ දර්ශන ප‍්‍රසිද්ධියට පත්වීමෙන් අනතුරුව ඉරාන රූපවාහිනියක් වෙන හඩමින් අදහස් දක්වා ඇති සජාඩ්,"මට අද මගේ පවුලේ අයට කතා කරන්න බෑ. මම ඩුබායි ඉඳන් ආයිත් ඉරානයට ගියාම මට ගෙදරට යන්න බැරී වුණා. මට මගේ අම්මටයි තාත්තටයි කතා කරන්න බැහැ. අම්මට කතා කළාම ඇය කිව්වේ මේ විඩියෝ වේ ඉන්නේ තමන්ගේ පුතා නෙමෙයි කියලයි. ඇගේ පුතා මීට වඩා ශක්තිවන්තයි කියලා ඇය කියනවා." යනුවෙන් පවසා තිබේ. සජාඩ්ගේ ඉස්ටග්‍රෑම් ගිණුමේ මේ වනවිට මිලියන 1.1ක පමණ පරිශීලකයන් පිරිසක් සිටින අතර, ඉරානය තුළ ඔහු ඉහළ ජනප්‍රියත්වයක් හිමි කරගත් පුද්ගලයෙකු ලෙස සැලකෙයි. එසේම මාර්ටින් හා තරගයට පෙරාතුව ඔහු සිය ක්‍රියාකාරකම් කිහිපයක්ම සමාජ මාධ්‍ය වෙත නිකුත් කළ අතර, එහිදී මෝටර් රථ කිහිපයක් ඇදගෙන යෑම, කොන්ක්‍රීට් කුට්ටි ඔසවාගෙන යැම සහ සිය දෑතින් බිත්ති වෙත පහරදීම යනාදී ලෙස සිය ශක්තිය පෙන්වන අවස්ථා කිහිපයක්ම විය. 

මව සමඟ දබර වී ගෙදරින් ආ දැරියට අතවර කළැයි 8ක් රිමාන්ඩ්

සිය මව සමග දබරවී නිවසින් පැන ගිය 14 හැවිරිදි බාල වයස්කාර පාසල් දැරියක සංගීත ප්‍රසංග භූමියක සිටිය දී රවටා රැගෙන ගොස් දින 10 ක් විවිධ ස්ථානවල බලහත්කාරයෙන් රඳවා ගනිමින් රංචු ගැසී බරපතළ ලෙස දූෂණය කිරීමේ චෝදනාවක් සම්බන්ධයෙන් කැකිරාව සහ ඉපලෝගම පොලීසි මගින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ අට දෙනකු සහ මෙම අපරාධයට ආධාර අනුබල දුන් බව කියන හෝටලයක කළමනාකාරිණියක ලබන 6 වැනිදා දක්වා රිමාන්ඩ් කරන ලෙස කැකිරාව වැඩ බලන මහේස්ත්‍රාත් පී.එම්. ගස්සාලි මහතා නියෝග කළේය. අතවරයට පත් දැරිය දැඩි ආරක්ෂාව මධ්‍යයේ පරිවාස බාරයට පත් කරන ලෙසට කැකිරාව මහෙස්ත්‍රාත් අධිකරණයේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරි කරුණා කීර්තිරත්න මහතාට තවදුරටත් නියෝග කළ වැඩ බලන මහේස්ත්‍රාත්වරයා දැරිය අධිකරණ වෛද්‍ය නිලධාරිවරයකු සහ විශේෂඥ මනෝ වෛද්‍යවරයකු හමුවට ඉදිරිපත් කර ඊට අදාළ වෛද්‍ය වාර්තා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කළේය. මෙම අපරාධයට සම්බන්ධ සෙසු සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසට ද  වැඩ බලන මහෙස්ත්‍රාත්වරයා කැකිරාව සහ ඉපලෝගම පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන්ට තවදුරටත් නියෝග කළේය.  මෙසේ රිමාන්ඩ් කළේ ටී. කුමාරසේකර, අසිස් අහමඩ්, සහරාන් නියාස්, එස්. විශ්වනාත්, එම්. ආයාස්, එස්.එල්. ඒකනායක, කිත්සිරි ඉලංගසිංහ, කරුණාතිලක ජයසිංහ සහ ඉපලෝගම කැකිරාව පාර පිහිටි ඒ වූ ඉසඩ් හෝටලයේ කළමකාරිනි සබීතා කුමාරිහාමි යන නව දෙනාටය. ඔවුහු කැකිරාව රත්මල්කන්ද තිබ්බටුවැව සහ ඉපලෝගම පදිංචිකරුවෝ වෙති.


සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කැකිරාව සහ ඉපලෝගම පොලිසි සඳහන් කළේ, සිය මව සමග දබරව අමනාප වී ඇති මෙම දැරිය ඉකුත් 14 වැනිදා සිය නිවෙසින් පැන ගොස් ඇති බවයි. එසේ පැනගොස් සංගීත සංදර්ශනයක් පැවැති ස්ථානයකට ගොස් එහි සිටින අතරතුර සැකකරුවන් කිහිප දෙනකු දැරිය රවටාගෙන රැගෙන ගොස් බරපතළ  ලෙස රංචු ගැසී වරින් වර දූෂණය කර ඇති බව ද අධිකරණයට කියා සිටි පොලිසිය පසුව සෙසු සැකකරුවන්ට ද දැරිය දූෂණය කිරීම සදහා ලබා දී ඇති බව ද කීවේය.  කැකිරාව සහ ඉපලෝගම පොලිස් බල ප්‍රදේශවල පිහිටි පැන්නුම වලව්වේගම සහ කන්නන්මඩුව සහ තවත් ප්‍රදේශ කිහිපයක පිහිටි හෝටල සහ නිවාස කිහිපයක දින 10 ක් බලහත්කාරයෙන් රඳවා ගනිමින් දැරිය දූෂණය කර ඇති බව ද අධිකරණයට සැළකළ පොලිසිය තම දැරිය ආගිය තැනක් නොමැති බවට ඇගේ මව පොලිසියට කළ පැමිණිල්ලකට අනුව විමර්ශන මෙහෙයවා සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ද ප්‍රකාශ කළේය.  මෙම අපරාධයට සම්බන්ධ බවට සැක කෙරෙන තවත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පුළුල් විමර්ශනයක් අරඹා ඇති බව ද පොලිසිය තවදුරටත් අධිකරණයට දැන්වීය. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් උතුර මැද පරිවාස හා ළමාරක්ෂක සේවා කොමසාරිස් සුරිතා පෙරේරා මහත්මියගේ උපදෙස් මත කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණයේ ජ්‍යෙෂ්ඨ පරිවාස නිලධාරි කරුණා කීර්තිරත්න මහතා වෙනමම තවත් විමර්ශනයක් සිදු කරයි.


 -උපාලි ආනන්ද- 

සංචාරක කලාප විදුලි කප්පාදුවෙන් නිදහස් කිරීමට සැලසුමක්

සංචාරක ක්ෂේත්‍රයේ නියුතු වූවන් සඳහා ඉන්ධන ලබාදීමේ ක්‍රමවත් වැඩපිළිවෙළක් සකස් කර ඇති අතර, එම පිරිස සඳහා ගෑස් හිඟයකින් තොරව ලබාදීමටත්, සංචාරක කලාප විදුලි කප්පාදුවෙන් නිදහස් කිරීමටත් සැලසුම් කර තිබේ. පවතින ඉන්ධන, ගැස් හා විදුලිබල අර්බුදය හමුවේ සංචාරක කර්මාන්තය බාධාවකින් තොරව පවත්වාගෙන යාමේ අරමුණින් කැඳවා තිබූ සාකච්ඡාවකදී මෙම තීරණවලට එළඹ ඇත. දැනට සංචාරකයන් ප්‍රවාහනය කෙරෙන බස් රථ සඳහා ලංගම ඩිපෝ මගින් ඩීසල් ලබාදීම සිදුවේ. දැනට එය සිදු වන්නේ සංචාරක කලාප ආශ්‍රිත ඩිපෝ මගින් පමණි. එය තවදුරටත් පුළුල් කරමින් දිවයින පුරා පිහිටි හඳුනාගත් ලංගම ඩිපෝ මගින් සංචාරක බස් රථවලට ඩීසල් ලබාදීමට මෙහිදී තීරණය කර ඇත. සංචාරක සංවර්ධන අධිකාරිය මගින් එම ඩිපෝ හඳුනාගෙන ප්‍රවාහන අමාතයංශයට දැනුම් දීමෙන් පසු අදාළ ඩිපෝවලට අවශ්‍ය අමතර ඩීසල් තොග ලබාදීමට බණිජ තෙල් නීතිගත සංස්ථාව ඒහිදී එකඟතාව පළ කර තිබේ. විදුලි කප්පාදුව සිදුවන අවස්ථාවලදී සංචාරක හෝටල්වල කටයුතු පවත්වාගෙන යාම සඳහා ඇති ජෙනරේටර් සඳහා අවශ්‍ය ඉන්ධනද මෙම ඩිපෝ මගින් ලබාදීමට පියවර ගැනීමට නියමිතය. සංචාරක බස් රථ හා ජෙනර් සඳහා ඉන්ධන ඩිපෝ මගින් ලබාදීම සඳහා විශේෂ හඳුනා ගැනීමේ කාඩ්පතක් සංචාරක සංවර්ධන අධිකාරිය මගින් නිකුත් කිරීමටද මෙහිදී තීරණය කර තිබේ. සංචාරකයන් ප්‍රවාහනය කරනු ලබන අනෙකුත් වාහන සඳහාද මෙම කාඩ්පත හඳුන්වාදීමටත්, ඉන්ධන ලබාදීමේදී ඔවුන්ට ප්‍රමුඛතාව ලබාදීමේ වැඩපිළිවෙළක් අදාළ අංශ මගින් ක්‍රියාත්මක කිරීමටත් අපේක්ෂිතය. ප්‍රසන්න රණතුංග අමාත්‍යවරයා මෙහිදී විදුලිබල මණ්ඩල නියෝජිතයන්ගෙන් ඉල්ලා ඇත්තේ ඇතැම් ආර්ථික මර්මස්ථාන විදුලි කප්පාදුවෙන් නිදහස් කර ඇති ආකාරයට සංචාරක කලාපද විදුලි කප්පාදුවෙන් නිදහස් කරන ලෙසයි. රටේ විදුලි බලය බෙදා හැරිමේ ක්‍රමවේදය තුළ සංචාරක කලාපවෙන් කිරීම පිළිබඳ ගැටලුවක් පවතින බවත්, කෙසේ වෙතත් ඒ සඳහා ඇති හැකියාව පිළිබඳ විදුලිබල මණ්ඩල ඉන්ජිනේරුවන් සමග සාකච්ඡා කර කඩිනමින් වාර්තාවක් ලබාදීමටත් විදුලිබල මණ්ඩලය මෙහිදී එකඟතාව පළ කර තිබේ. සංචාරක කලාප විදුලි කප්පාදුවෙන් නිදහස් කිරීමට හැකි උපරීම පියවර ගන්නා බවද විදුලිබල මණ්ඩල නිලධාරින්හු මෙහිදී සඳහන් කර ඇත. ගෑස් බෙදාහැම සම්බන්ධයෙන්ද මෙහිදී විශේෂ අවධානය යොමු වූ අතර, ගෑස් සමාගම් නියෝජිතයන් දුරකථන ඔස්සේ සම්බන්ධ කරගත් ප්‍රසන්න රණතුංග මහතා සංචාරක හෝටල් සඳහා ගෑස් අලෙවි නියෝජිතයන් හරහාගෑස් ලබාදීමේදී ප්‍රමුඛතාව ලබාදෙන ලෙස ඉල්ලීමක් කර තිබේ. ඒ සඳහාද කඩිනම් වැඩපිළිවෙළක් සකස් කිරීමට ඔවුහු එකඟතාව පළ කර ඇත. පවතින බලශක්ති අර්බුදය හමුවේ සංචාරක කර්මාන්තය බාධාවකින්තොරව පවත්වාගෙන යාම සඳහා මෙම සාකච්ඡාවේදී ගත් තීරණ සම්බන්ධයෙන් කඩිනමින් කැබිනට් මණ්ඩලය දැනුම්වත් කිරීමටද නියමිතය. ප්‍රසන්න රණතුංග මහතා මෙහිදී අවධාරණය කර ඇත්තේ සංචාරක සංවර්ධන අධිකාරියේ ලියාපදිංචි හෝටල් හා සංචාරකයන් ප්‍රවාහනය කරන්නන් මෙන්ම මෙම ක්ෂේත්‍රයේ නිරත එලෙස ලියාපදිංචි නොවූ හෝටල් හා සංචාරකයන් ප්‍රවාහනය කරන පුද්ගලයන්ටද මෙම සහනය හිමි විය යුතු බවයි. ඒ පිළිබඳ අවධානය යොමු කර අවශ්‍ය ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා ලෙස අමාත්‍යවරයා සංචාරක සංවර්ධන අධිකාරියට මෙහිදී උපදෙස් දී තිබේ. මෙම සාකච්ඡාව සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා විසින් කැඳවා තිබූ අතර, ප්‍රවාහන, විදුලිබල, බලශක්තිය අමාතයංශවල ප්‍රධානීන් හා ඛණිජ තෙල් නීතිගත සංස්ථාවේ, ත්‍රිවිධ හමුදාවේ, පොලීසීය, සංචාරක අමාතයංශයේ හා සංචාරක සංවර්ධන අධිකාරියේ ප්‍රධානීන් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ. 





 (නවෝද්‍යා පවනි)


පාස්කු ඉරිදා ප්‍රහාරයේදී මරාගෙන මැරුණ දෙදෙනකුගේ පියාට එරෙහි නඩුව මැයි 25 කැඳවයි


පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට සූදානම් බව දනිමින් ඒ පිළිබඳව පොලීසියට තොරතුරු වසන් කළ බවට පාස්කු ඉරුදින කතෝලික පල්ලි හා තරු හෝටල් ඉලක්ක කරගෙන මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කළ ස්වයං ඝාතකයන් වන ඉන්ස්ෆ් අහමඩ් හා ඉස්ලාම් අහමඩ් යන අන්තවාදීන් දෙදෙනාගේ පියා ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුව ලබන මැයි මස 25 වැනිදා යළි කැඳවීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා පෙරේදා (29) නියම කළේය. පාස්කු ඉරුදින මරාගෙන මැරෙන ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බව දනිමින් ඒ පිළිබඳව පොලීසියට තොරතුරු වසන් කළේ යැයි චෝදනා කරමින් දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රහීම් ඇතුළු විත්තිකරුවන් තිදෙනෙකුට එරෙහි නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරුවරයා එලෙස නියම කළේය.

2019 වසරේ අප්‍රේල් මස 21 වනදා පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයක් එල්ල වන බවට සහ ඒ හරහා ජාතිවාදී කෝලාහල ඇති විය හැකි බවට තොරතුරු දැන ගනිමින් ඒ පිළිබඳව පොලිස් නිලධාරියකුට දැනුම් නොදී තොරතුරු වසන් කිරීම තුළින් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි චෝදනා කොට නීතිපතිවරයා විසින් කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් ඊබ්‍රාහිම් ඇතුළු විත්තිකරුවන් තුන් දෙනාට එරෙහිව මෙම නඩුව ගොනුකර ඇත. මෙලෙස චෝදනා ලැබ සිටින්නේ දෙමටගොඩ ප්‍රදේශයේ පදිංචි කෝටිපති ව්‍යාපාරික මොහොමඩ් යුසුප් මොහොමඩ් ඊබ්‍රාහිම්, මොහොමඩ් ඉජාස් අහමඩ්, මොහොමඩ් ඊබ්‍රාහිම් ඉස්මයිල් අහමඩ් යන විත්තිකරුවය.  ඔවුන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත හා දණ්ඩ නීති සංග්‍රහය යටතේ නීතිපතිවරයා මෙම නඩුව පවරා ඇත.

මෙම නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේ බන්ධනාගාර නිලධාරීන් විසින් විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලදී. විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥයන් කරුණු ඉදිරිපත් කරමින් තම සේවාදායකයන් වෙනුවෙන් ඇප අයැදුම් කිරීමට බලාපොරොත්තු වන්නේ යැයි දැනුම් දුන්නේය. ඒ සම්බන්ධයෙන් අභියාචනයක් ඉදිරිපත් කිරීමට හැකියාව ඇතැයි විනිසුරුවරයා දැනුම් දුන්නේය. මෙම නඩුව ලබන මැයි 25 වැනිදා යළි කැඳවීමට නියම කළ විනිසුරුවරයා එදින විත්තිකරුවන් අධිකරණයට ඉදිරිපත් කරන ලෙස බන්ධනාගාරයට නියම කළේය.

 -මනෝප්‍රිය ගුණසේකර-


Wednesday, March 30, 2022

කොටස් වෙළෙඳ පොළ ශීඝ්‍ර කඩාවැටීමක


කොළඹ කොටස් වෙළෙඳ පොළ සියලු කොටස් මිල දර්ශක අගය ඊයේ (29දා) දිනය තුළදී ඒකක 494.74ක පහළ යාමක් හෙවත්, පෙර දිනයට සාපේක්ෂව 4.88%ක කඩා වැටීමක් පෙන්වමින් ගනුදෙනු දිනය අවසානයේදී ඒකක 9,647.55ක් ලෙස සටහන් විය.  ඒ අනුව, මෙය පසුගිය වසරේ ඔක්තෝබර් 25 වැනි දිනෙන්  පසු සියලු කොටස් මිල දර්ශකය ඒකක 10,000ක සීමාවෙන් පසුපසට පැමිණි පළමු වැනි අවස්ථාවද වෙයි. මේ අතර S " P ශ්‍රී ලංකා 20 දර්ශකය ඒකක 167.12ක පහළ යෑමක් වාර්තා කරමින්, ගනුදෙනු දිනය අවසානයේදී ඒකක 3,338.03ක් ලෙස සටහන් විය.

විශේෂයෙන්ම S " P ශ්‍රී ලංකා 20 දර්ශකය පෙර දිනයට වඩා 05%ක ප්‍රමාණයකින් කඩා වැටුණු බැවින්, දිනයේ  ගනුදෙනු අතරවාරයේදී ඊයේ ප.ව. 1.10 සිට 1.40 දක්වා මිනිත්තු 30ක කාලයක් සඳහා තාවකාලිකව ගනුදෙනු අහිටුවීමක්ද සිදු විය.  කොළඹ කොටස් වෙළෙඳ පොළ ඊයේ දිනයේ සමස්ත පිරිවැටුම රුපියල් බිලියන 2.70ක් ලෙස වාර්තා විය. එමෙන්ම සමස්ත වෙළෙඳ පොළ ප්‍රාග්ධනීකරණය රුපියල් බිලියන 4,166.02ක් ලෙස දැක්වුණු අතර, ගෙවුණු සතිය අවසානයේ (25දා) එය දැක්වුණේ රුපියල් බිලියන 4,552.70ක් ලෙසිනි. ඒ අනුව ගෙවුණු දින දෙක (28 සහ 29) තුළදී පමණක් කොළඹ කොටස් වෙළෙඳ පොළට රුපියල් බිලියන 386.67ක් අහිමි වී තිබේ.

 ෂමිල පෙරේරා


වරෙන්තුවකට අත්අඩංගුවට ගත් කාන්තාවක් පොලිසියේදි මරුට

මොරවක මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර තිබූ තිදරු මව මොරවක පොලීසිය අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ, වරල්ල, නිදිගම පදිංචිව සිටි තිදරු මවක වන ලෙවිචමන් ශාන්ති (අවු.36) නමැත්තෙකි. පසුගිය පෙබරවාරී 21දා මොරවක මහේන්සේත්‍රාත් අධිකරණයේ විභාග වූ ගෘහස්ථ ප්‍රචණ්ඩ ක්‍රියා වැළැක්වීම් පනත යටතේ මියගිය කාන්තාව විසින් පවරපු නඩුවකට පෙනී නොසිටීම හේත්තුවෙන් මරණකාරීණියට වරෙන්තු නිකුත් කර තිබේ. නඩුව පැමිණිලි කරන අවස්ථාවේ සිටි ලිපිනයත්. හැදුනුම්පතේ ඇති ලිපිනයත් කාන්තාව නොසිටි බැවින් සොයා බැලීමේදී වරල්ල ප්‍රදේශයේ නිවසක දරුවා සමග සිටින බවට ලද තොරතුරකට අනුව පෙන්වා (28දා) සවස 6.30ට පමණ කාන්තාව වයස අවුරුදු 2යි මාස 10ක දරුවාද සමග අත්අඩංගුවට ගත් බවට මොරවක පොලීසිය පවසයි. පොලීසිය විසින් අත්අඩංගුවට ගත් කාන්තාව පසුදින  අධිකරණයට ඉදිරිපත් කිරීම සඳහා පොලිස් ස්ථානයේ රදවා තබාගෙන ඇති අතර රාත්‍රි 8.45ට පමණ දරුවා අඩන ශබ්දය ඇති සොයා බැලීමේදී කාන්තාව කතා නොකිරීම හේත්තුවෙන් වහාම මොරවක කොස්නිල්ගොඩ දිස්ත්‍රික් රෝහලට ඇතුලත් කර ඇති අතර ඒ වනවිටත් කාන්තාව ජීවිතක්ෂයට පත්ව ඇති බව පරික්‍ෂවලදී අනාවරණය විය. මියගිය කාන්තාවට දරුවන් තිදෙනෙකු සිටින බවත් පළමු විවාහයෙන් දරුවන් දෙදෙනෙකුත්, දෙවන විවාහයෙන් දරුවකුත් සිටින අතර පළමු විවාහයේ දරුවන් දෙදෙනා මියගිය කාන්තාවගේ සහෝදරයකුගේ නිවසේත් දෙවන විවාහයේ දරුවා මිය ගිය මව සමගත් සිට ඇත. මියගිය කාන්තාව වරල්ල ප්‍රදේශයේ නිවසක ගෘහ සේස්විකාවක් වශයෙන් සිට ඇති අතර ඒ සිටින අතරතුර මෙසේ වරෙන්තුවකට පොලීසිය විසින් අත්අඩංගුවට ගත් බවට පොලීසිය පවසයි. මියගිය කාත්තාව මිය යාමට පෙර ගෘහ සේවිකාවක වශයෙන් සිටී නිවසේ හිමිකරු මෙලස පවසා සිටියේය. "ඉකුත් 28 වැනිදා සවස මට නිවසට අවශ්‍ය ආහාරපාන රැගෙන ඒම සඳහා වෙළඳ සැලට ගිය අවස්ථාවේ තම ගෙදර සිටින කාන්තාවට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් වරෙන්තු නිකුත් කර ඇති බැවින් අත්අඩංගුවට ගැනීම සදහා පැමිණි බවට පොලිස් නිලධාරින් පැවසුවා.හෙට මෙම කාන්තාව මොරවක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන්නම්. දැන් පොලීසියට එක්කගෙන යන්න අවශ්‍ය නෑ යනුවෙන් මා පොලිස් නිලධාරීන්ට පැවසුවත් අත්අඩංගුවට ගත යුතුමයි කියා රැගෙන ගියා.‍මෘත දේහය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරික්ෂණය මොරවක මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු අජිත් ලියනගේ මහතා විසින් පැවැත්වීමෙන් පසු පශ්චාත් මරණ පරීක්ෂණය සදහා සිරුර මාතර දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයාට යොමු කරන ලෙසට නියෝග කළේය.සිද්ධිය සම්බන්ධයෙන් දෙනියාය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක චන්දන අමරරත්න මහතා ඇතුළු නිලධාරිහු වැඩිදුර පරික්ෂණ පවත්වති.


(ඌරුබොක්ක - ඩී.ඒ. පතිරණ)

මෛත්‍රිගේ පැජට් පාරේ නිවසට තහනමක්

හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පරිහරණය කළ කොළඹ, මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහුටම ලබාදීමට 2019 වසරේ ඔක්තෝබර් මාසයේදී අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය අත්හිටුවමින් ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ 29වැනිදා අතුරු නියෝගයක් නිකුත් කළේය. පෙත්සම් විභාගය අවසන් වන තෙක් බලපැවැත්වෙන පරිදි නිකුත් කළ මෙම අතුරු තහනම් නියෝගය අද දින සිට සති හතරකින් පසුව ක්‍රියාත්මක කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.2019 වසරේ ඔක්තෝබර් මාසයේදී අමාත්‍ය මණ්ඩලය ගනු ලැබූ තීරණය අනුව කටයුතු නොකරන ලෙස දැනුම් දෙමින් වගඋත්තරකරුවන්ට තවත් අතුරු නියෝගයක් නිකුත් කිරීමටද ශ්‍රේෂ්ඨාධිකරණය වැඩිදුරටත් පියවර ගත්තේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීති පද්මන් සූරසේන, යසන්ත කෝදාගොඩ සහ මහින්ද සමයවර්ධන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ද විසින් මෙම නියෝග  නිකුත් කරන ලදි. විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්‍ෂ ආචාර්ය පාක්‍යසෝති සරවනමුත්තු මහතා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමකට අදාළ අතුරු ඉල්ලීම් පිළිබඳ විභාගයෙන් අනතුරුව විනිසුරු මඩුල්ල මෙම තීරණය නිකුත් කළේය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිව සිටියදී භාවිත කළ කොළඹ-07, මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු විශ්‍රාම යාමෙන් පසුවත් ඔහුටම ලබාදීමට 2013 ඔක්තෝබර් මස 15 වැනිදා අමාත්‍ය මණ්ඩලය විසින් තීරණයක් ගෙන ඇතැයිද, එම තීරණය ගනු ලැබූ අවස්ථාවේ අමාත්‍ය මණ්ඩලයේ ප්‍රධානියා ලෙස මෛත්‍රීපාල සිරිසේන මහතා කටයුතු කළේ යැයිද තමන්ට හිමි වරප්‍රසාද ලබාගැනීම සඳහා තමන්ම මෙලෙස මැදිහත්වීම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට මෙන්ම ජනාධිපති වරප්‍රසාද පනතට පටහැණි යැයිද සඳහන් කරමින් පෙත්සම්කාර පාක්‍යසෝති සරවනමුත්තු මහතා විසින් මෙම පෙත්සම ඉදිරිපත් කරන ලදී. එම ක්‍රියා කලාපයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සීරිසේන මහතා සිය බලය අයුතු ලෙස පරිහරණය කොට ඇතැයිද, එම කාල සීමාවේදී මහජන මුදල් රුපියල් මිලියන 180ක් වැය කර අදාළ නිවස අලුත්වැඩියා කර ඇතැයිද පෙන්වාදෙන පෙත්සම්කරු පාරදෘෂයභාවයකින් තොරව ගනු ලැබූ මෙම අමාත්‍ය මණ්ඩල තීරණය මගින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තිය යටතේ සහතික කර තිබෙන මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වන බවද පෙන්වාදී තිබිණි. මෙම පෙත්සමට අදාළ අතුරු ඉල්ලීම් පිළිබඳ විභාගය පැවැත්වූ අවස්ථාවේදී හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෆායිස් මුස්තාපා මහතා කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදක වන නිවස සිය සේවාදායකයාගේ නිල නිවස මිස පුද්ගලික නිවසක් නොවන්නේ යැයිද පැවසීය. එම නිල නිවස විශ්‍රාමික ජනාධිපතිවරයා වූ සිය සේවාදායකයා වෙත පිරිනමන ලද්දේ, අමාත්‍ය මණ්ඩලය විසින් ගනු ලැබූ තීරණයක් අනුව යැයිද මෙම නිවස සඳහා අයවැය තුළින් පාර්ලිමේන්තුව මුදල් ප්‍රතිපාදන පවා අනුමත කර ඇතැයිද පෙන්වා දුන් ජනාධිපති නීතිඥවරයා, පෙත්සම්කරු ඉල්ලා සිටින අතුරු නියෝගය නිකුත් කළහොත් සිය සේවාදායකයාගේ ආරක්ෂාවට තර්ජනයක් මතු විය හැකි යැයිද ප්‍රකාශ කළේය. වැරදි සහ නොමග යවන සුළු කරුණු පදනම් කර ගෙන පෙත්සම්කාර පාර්ශ්වය මෙම පෙත්සම ඉදිරිපත් කර ඇතැයි පැවසු මුස්තාපා මහතා, පෙත්සම්කරුවන් ඉල්ලා සිටින අතුරු තහනම් නියෝග නිකුත් නොකරන්නැයිද ඉල්ලා සිටියේය. මෙම පෙත්සම්කාර විකල්ප ප්‍රතිපත්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනීසිටි නීතිඥ සුරේන් ප්‍රනාන්දු මහතා කරුණු දක්වමින් මෙම නඩුකරයට පාදක වන නිවස සඳහා පාර්ලිමේන්තුව මගින් මුදල් ප්‍රතිපාදන වෙන්කර ඇතැයි පෙත්සම්කාර පාර්ශ්වය ඉදිරිපත් කරන කරුණු නිවැරදි නොවන්නේ යැයිද, මෙම නිවස හිටපු ජනාධිපතිවරයා වෙත ප්‍රදානය කිරීමට අමාත්‍ය මණ්ඩලය 2019 ඔක්තෝබර් මාසයේදී ගනු ලැබූ තීරණය විශ්‍රාමික ජනාධිපතිවරුන්ගේ හිමිකම් පනතට පටහැණි යැයිද පෙන්වා දුන්නේය. මෙම තත්වය හේතුවෙන් විශ්‍රාමික ජනාධිපති මෙත්‍රීපාල සිරිසේන මහතාට අදාළ නිවස පිරිනැමීමට 2019දී අමාත්‍ය මණ්ඩල ගනු ලැබූ තීරණය අහිටුවීමේ නියෝගයක් නිකුත් කරන්නයි ඉල්ලා. සිටියේය. නීතිපතිවරයා වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජනරාල් නෙරීන් පුල්ලේ මහතා කරුණු දක්වමින් ඉදිරිපත් වූ කරුණු අනුව අධිකරණයට සුදුසු යැයි හැඟෙන නියෝගයක් නිකුත් කරන්නයි. ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව මෙම අතුරු තහනම් නියෝගය නිකුත් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල මෙම පෙත්සමට අදාළ විරෝධතා ගොනු කරන ලෙස වගඋත්තරකරුවන්ට නියෝග කළ අතර, පෙත්සම විභාගය සඳහා මැයි මස 18 වැනිදා මෙම පෙත්සම යළි කැඳවීමට නියම කළේය.


 

(බුද්ධිමාල් රුබේරු)


සිවිල් ඇඳුමින් සිටි පොලිසීයේ තිදෙනෙකුගේ පහරකෑමට ලක්වු දෙදරු පියා රෝහලේ

අසල නිවසක නීති විරෝධී මත්පැන් වැටලීමකට පැමිණි සිවිල් ඇඳුමින් සැරසී බුලට්ට කමින් තම බිරිද දිය නාමින් සිටි ස්ථානය අසල සැගව සිටි පුද්ගලයන් තිදෙනෙකුට, පොලිස් නිලධාරින් බව නොදැන තමා විසින් බැණ වැදීම හේතුවෙන්, ස්නායු ආබාධයෙන් පෙළෙන තම කුඩා පුතු බිමට තල්ලු කර දමා, තමන්ට පොලීසියට රැගෙන ගොස් පහර දීම හේතුවෙන්, හිසට හානි සිදුවීමෙන් අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බවත්, රෝගී වූ දරුවා තඹුත්තේගම රෝහලට ඇතුළත් කළ බවත් දෙදරු පියෙක් ඊයේ (29දා) පැවසීය.මෙලෙස තඹුත්තේගම පොලිසියේ පහරකෑමට ලක්ව ප්‍රතිකාර සදහා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත්කර ඇතත්, තඹුත්තේගම, මලියදේවපුර පදිංචි දෙදරු පියෙකු වන පී.ඩී.පී. කලිගු ආරච්චි (අවු.30) නමැත්තෙකි.සිද්ධිය සම්බන්ධයෙන් ඒ මහතා මාධ්‍ය වෙත මෙසේ පැවසීය.

"ඉකුත් 27 දා අපේ වත්තේ නාන තැන මගේ බිරිද දිය නාමින් සිටියා. කඩතොළු වූ තහඩු කෑලි කීපයකින් තමයි එම ස්ථානය වට කරලා තියෙන්නේ. මම දැක්කා සිවිල් පුද්ගලයන් තිදෙනකු ඒ අසල සිටිනවා. බුලත්විට කමින් හිටපු ඒ අයගෙන් මං ඇහුවා ඔයාලා කවුද මොකද කරන්නේ කියලා, ඊට පස්සේ කිව්වා අපි පොලීසියෙන් කියලා. ඊට පස්සේ මම ඒ අයගෙන් හැඳුනුම්පත් තියේද කියලා ඇහුවා. ඒ වචනයට තරහා ගිහින් පස්සේ මෙයාලා කෝල් කරල තඹුත්තේගම පොලීසියේ තවත් නිලධාරීන් කීපදෙනෙකුගේ නිවසට ගෙන්වාගෙන මට පහර දිලා පොලීසියට රැගෙන ගියා. ඒ අවස්ථාවේදී මගේ කුඩා ළමයින් දෙන්න කෑ ගහගෙනමගේ ඇගේ එල්ලන කොට ස්නායු ආබාධයෙන් පෙළන මගේ අවුරුදු පහක කුඩා පුතා මෙයාලා තල්ලු කරලා බිමට ඇද දාලා තිබ්බා. ඒ දරුවා තඹුත්ගම රෝහලට ඇතුළත් කළා. පොලීසියේ රැගෙන ගිහිල්ලා කරුවල කාමරයක දාලා මාවු තද කරල මට පහර දුන්නා. මගේ අත්දෙක ඉදිමුනාට පසුව පොලීසිය විසින්ම මාව තඹුත්තේගම රෝහලට රැගෙන ආවා. මට හිසට සිදු වුණු පහරදීම හේතුවෙන් මේ වනවිට ඔළුව රිදෙනවා දැන් අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් වී ප්‍රතිකාර ලබනවා. ඒ අය කියන්නේ මම පොලිසියේ රාජකාරියට බාධා කළා කියලා, වැඩිය දැගලුවොත් දවස් 14කට ඇතුලට දානවා කියලත් කිව්වා. මගේ ජීවිතේට මම කිසිම වැරැද්දක් කරල නෑ. පොලීසියක පොතක නමක්වත් ලියවිලා නෑ. මම තඹුත්තේගම ආර්ථික මධ්‍යස්ථානයේ කුලී වැඩ කරලා තමයි දරුවො දෙන්නා ජීවත් කරවන්. තඹුත්තේගම පොලිසියෙන් මට කිසිම සාධාරණයක් ඉෂ්ට වෙන්නේ නැහැ. අපරාධකාරයො නිදැල්ල ඉදිදි අපි වගේ අහිංසකයන්ට පහර දෙනවා. පොලිසියේ උසස් නිලධාරිගන් මා ඉල්ලා සිටින්නේ මේ පිළිබදව අවධානය යොමු කරලා මට සාධාරණයක් ඉෂ්ට කරල දෙන්න කියලයි".මේ සම්බන්ධයෙන් අප අනුරාධපුර කොටිඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කේ. ජයන්ත පුෂ්පකුමාර මහතාගෙන් කළ විමසීමකදී පැවසුවේ මෙවැනි සිදුවීමක් සම්බන්ධයෙන් තමන් ද දැනුවත් වී නොමැති බවත්, මේ සම්බන්ධයෙන් වහාම සොයා බලන බවත්ය.


 (අනුරාධපුර - බී.ජී.චතුරංග)


ගුරුවරිය දිගින් දිගටම පොලිසිය මඟහරිමින් සිටිනවා


වයස අවුරුදු 20ක තරුණයකු වයස අවුරුදු 16 සිට අයුතු ලිංගික අවශ්‍යතා සඳහා පොළඹවා ගනිමින් ලිංගික අතවර කළැයි කියන  කොළඹ ප්‍රදේශයේ ප්‍රධාන පෙළේ පාසලක ගුරුවරිය දිගින් දිගටම පොලීසිය මගහරිමින් සිටින බව ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලෝචනී අබේවික්‍රම මහත්මිය ඉදිරියේ ඊයේ (28) දැනුම් දුන්නේය. ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 2006 අංක 16 දරන සංශෝධිත පනතේ 360 (1) ඊ වගන්තිය ප්‍රකාරව මෙම තැනැත්තිය වරදක් සිදුකර ඇති අතර අවස්ථා කිහිපයකදීම ඇයට තම කාර්යාංශයට පැමිණෙන ලෙසට දැනුම් දුන්නද ඇය එය මග හරිමින් සිටින බව ද ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසය අධිකරණයට ප්‍රකාශ කළේය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපේක්ෂිත ඇපයක් ඉල්ලුම් කරමින් අදාළ ගුරුවරිය අධිකරණය හමුවේ ඉදිරිපත් කර තිබූ ඉල්ලීමක් අධිකරණය හමුවේ ඊයේ (29) කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් විණි.

ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී ජානකී සෙනෙවිරත්න සහ එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සමන්ති රේණුකා මහත්මීහු අධිකරණය හමුවේ පෙනී සිටියහ. ඉල්ලුම්කාරිය වෙනුවෙන් නිතීඥ සහන් ප්‍රනාන්දු, නීතීඥ දිලුම් බණ්ඩාර, නීතීඥ සුජීව සෙනෙවිරත්න යන මහත්වරුන් සමග  නීතීඥ අජිත් පතිරණ මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය. මෙම තැනැත්තිය අදාළ දරුවන්ගේ ගිණුමට රුපියල් 50,000 ක මුදලක් බැර කර ඇති බවත්, පරිගණක විද්‍යාගාරයේ සිට නිලඇඳුමින් ලබාගත් ඡායාරූප ද ඇති බවත් ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. 

ළමා හා කාන්තා අපයෝජන නිවාරණ කොට්ඨාසය:- ස්වාමිනී, මෙහි ඉල්ලුම්කාරිය ඉකුත් පෙබරවාරි මස 19 වැනිදා කළ පැමිණිල්ලකට අනුව සිය පෙම්වතා වන අදාළ තරුණයා (එවකට සිසුවා) ඇයගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදාහැර ඇති බවත් තමන්ට හිරිහැර සිදුකරන බවත් සඳහන් කර තිබුණා. ඒ අනුව එම සිද්ධිය විමර්ෂනය කළා. ඔහු අදාළ පාසලේ පරිගණක අංශයෙන් ඉගෙන ගත් සිසුවකු ලෙසින් වයස අවුරුදු 18ට අඩු කාලයේදී මෙම සිද්ධිය වී ඇති බවට කරුණු අනාවරණය වුණා. ඔවුන් ගල්කිස්සේ පිහිටි හෝටලයකට විවිධ අවස්ථා ගණනාවකදී ගිහින් තියෙනවා. ඒ සඳහා ඔන්ලයින් මගින් තමයි කාමර ස්වෙන්කරගෙන තිබුණේ. ඒ සඳහා ගිය මුල් දවස සම්බන්ධයෙන් මේ වන විට විමර්ෂනයක් කරමින් තිබෙනවා. මේ දරුවාගේ උපන්දිනය 2001 වශයෙන් සඳහන් වුණා."

මහේස්ත්‍රාත්වරිය:- නීතියට අනුව වයස අවුරුදු 18ට වැඩිවුණා නම් මේක නඩුවක් වෙන්නේ නැහැ. 18ට අඩු නිසා තමයි මේ නඩුවක් වුණේ. ඉල්ලුම්කාරිය වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතීඥ අජිත් පතිරණ මහතා සඳහන් කර සිටියේ තම සේවාදායිකාවට මෙම සිද්ධිය මාධ්‍යවල ප්‍රචාරය වීම හේතුවෙන් උණ රෝගය වැළඳුණ බවත්,  මේ වන විට මෙම ආදර සබඳතාවයක් හේතුවෙන් ඇය දඬුවම් විඳින බවත්ය. 

නීතීඥ අජිත් පතිරණ මහතා- ස්වස්වාමිනී, මගේ සේවාදායිකාව පශ්චාත්  උපාධිධාරිනියක්. ඇය උසස් පෙළ ළමයින් සඳහාත් තොරතුරු තාක්ෂණය ඉගැන්වීම් සිදුකළා. මෙම දරුවා අධ්‍යාපනයට උනන්දුයි. ඒ නිසාම නිතරම වාගේ ගුරුවරියට දුරකතනයෙන් කතා කරලා එක එක දේවල් ගැන අහගත්තා. පසුව ඇසුරකට ආවා. මගේ සේවාදායිකාව ඒ ඇසුර සමනය කරන්න නැත්නම් මග හරින්න උත්සාහ ගත්තා. ඇය පාසල් එන්නේ නැතුව ඒ දේ මගහැරියා. 

පාසල් භූමියේ ඇසුරක් පැවැත්වූයේ නැහැ. 2019 වර්ෂයේ ඔක්තෝබර් මාසේ දවසක හෝටලයට ගියා කියනවා. එතකොට පිරිමි ළමයාට වයස අවුරුදු 18යි. මේ පිරිමි ළමයාගේ පියා උසස් පොලිස් නිලධාරියෙක්. මේ විමර්ශනය ඒක පාර්ශවිකයි. මේ විමර්ශනයට අදාළ කතාව නිෂ්පාදනය කරලා අධ්‍යක්ෂණය කරන්න ළමා හා කාන්තා කාර්යාංශයට දීලා තිබෙනවා. මගේ සේවාදායිකාවට අපහාස කරන්නයි මේ දේවල් කරලා තියෙන්නේ. මේ දේවල් මාධ්‍යවල ගියාම ඇයට උණ ගත්තා. ආදර සම්බන්ධතාව නිසා ඇය දැන් ජාත්‍යන්තර වශයෙනුත් දඬුවම් විඳිමින් සිටිනවා.

මහේස්ත්‍රාත්වරිය:- දරුවන් සම්බන්ධයෙන් පාසල තුළදී වත්ම පාසල් කාලයේදී මෙවැනි ඇසුරවල් දෙමාපියන් කිසිදු විටෙක අපේක්ෂා කරන්නේ නැහැ. මෙහිදී දරුවා සම්බන්ධයෙන් වන වෛද්‍ය වාර්තා පොලීසිය අධිකරණයට ඉදිරිපත් කළ අතර, අධිකරණය එම වාර්තා පරික්ෂා කර බැලීය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය නඩුව අද (30) දක්වා කප්තැබීමට නියෝග කළේය. අදාළ බාලවයස්කාර දරුවා ඉගෙන ගත් පාසලේ තොරතුරු තාක්ෂණ ගුරුවරියක වූ මෙම තැනැත්තිය වසර හතරක් තිස්සේ පාසල තුළදී මෙන්ම විවිධ ස්ථානවලදීත් ගල්කිස්ස ප්‍රදේශයේ හෝටලයකදීත් දරුවා අපයෝජනයට ලක්කර ඇතැයි ළමා හා කාන්තා කාර්යාංශය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.


නිමන්ති රණසිංහ

රුසියා - යුක්රේන නවතම සාම සාකච්ඡා තුර්කියේදි ඇරඹෙයි

රුසියාව සහ යුක්රේනය අතර පවතින යුද ගැටුම් තත්වය සමථයකට පත් කිරිම් අරමුණින් පැවැත්වෙන නවතම සාම සාකච්ඡා වටය ඊයේ (29දා) දිනයේදී තුර්කියේ ඉස්තාන්බුල් නුවරදි ආරම්භ විය. මේ සදහා සහභාගිවීම වෙනුවෙන් රුසියානු - යුක්රේන නියෝජිතයෝ පෙරේදා දිනයේ සිටම තුර්කිය වෙත පැමිණෙමින් සිටියහ.මේ දක්වා දෙරට අතර මුහුණට මුහුණ සාකච්ඡාවට තුනක් පැවැත්වී ඇති අතර, එක් අවස්ථාවකදී අන්තර්ජාලය හරහා අතථ්‍ය ආකාරයෙන් පැවැත්වුණු සාකච්ඡාවක්ද සංවිධානය විය. එහෙත් එම සාකච්ඡාවලදී කිසිදු ප්‍රතිඵලයක් ලබාගැනීමට නොහැකි විය.මෙම සාකච්ඡා අරඹමින් දෙරටේම නියෝජිතයන් පිළිගත් තුර්කි ජනාධිපති රෙසෙප් ටයිප් වඩාගාන්, "අපි බලාපොරොත්තු වෙනවා, මේ සාකචිඡා මේ රටවල් දෙකටම වගේම කලාපය වෙතත් ප්‍රතිලාභ ළගාකර දේවි කියලා. මොකද තුර්කියත් මේ ගැටුම් ගැන ඉතාමත්  කනගාටුවකිනුයි පසුවෙන්නේ.” යනුවෙන් පවසා ඇත. එසේම මෙම නියෝජිත සමුළුව හරහා ඉදිරියේදී රුසියානු ජනාධිපති විලැදිමීර් පූටින් සහ යුක්රෙන ජනාධිපති වැලැදිමීර් සෙලෙන්ස්කි අතර ඍජු සාකච්ඡාවක් සදහා අවස්ථාව සැලසෙනු ඇතැයිද තුර්කි ජනපතිවරයා අපේක්ෂා කර සිටියි. විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට මෙම සාකච්ඡාවන් සාර්ථක වීමට නම් රුසියානු පාර්ශ්වයෙන් කොන්දේසි කිහිපයක්ම ඉදිරිපත් කර ඇත. ඒ යටතේ යුක්රෙනය NATO සංවිධානය සමග සම්බන්ධ නොවී මධ්‍යස්ථ රාජ්‍යයක් ලෙස පවතින බවට ප්‍රකාශ කිරීම මූලික කොන්දේසියයි. එහිදී මෙම කොන්දේසියට යුක්රේනය දැනටමත් එකගතාව පළකර ඇත.එහෙත් එවැනි පියවරකට යාමට පෙර බටහිරින් මෙන්ම රුසියාවෙන්ද තම රටට ආරක්ෂාව පිළිබද තහවුරුවක් අවශ්‍ය බව දුක්රේනය පවසයි. මේ අතර යුක්රේනය සහ රුසියාව අතර සාම සාකච්ඡා ආරම්භයේ සිටම රුසියානු නියෝජිතයෙකු ලෙස කටයුතු කළ එරට ධනවත් ව්‍යාපාරික රොමන් ඇබ්‍රොමොවිච් හට යම් කිසි විෂ ශරීරගතවීමක් සිදුව ඇතැයි බී.බී.සී පුවත් සේවය ඊයේ වාර්තා කර තිබුණි. ඔහුට සමීතම තොරතුරු උපුටා දක්වමින් ඔවුන් මේ කරුණු අනාවරණය කර තිබේ.දැනට වාර්ත වන ආකාරයට මෙම විෂ හේතුවෙන් එක් අවස්ථාවකදී ඔහුගේ ඇස් නොපෙනී ගොස් ඇති අතර, සම මතුපිට යම් ආසාත්මිකතාවක්ද හටගෙන තිබේ. මෙහිදී ඔහුට අමතරව මෙම සාකච්ඡා සඳහා යුක්රේන පාර්ශ්වයෙන් සහභාගි වූ යුක්රේන මන්ත්‍රී රූස්ටෙන් ඔමෙරොව් සහ තවත් අයෙකුටද මෙම ලක්ෂණ මතුව තිබෙන බවත් පැවසෙයි.යුරෝපයේ ප්‍රකටපාපන්දු කණ්ඩායමක් වන Chelsea FC හි හිමිකරුවාද වන රෝමන්,මාර්තු මාසය මුලදී බෙලරුසයේදී ආරම්භවූ පළමු රුසියානු - යුක්රේන සාම සාකච්ඡාව සඳහා සහභාගි වූ නියෝජිතයෙකි. එසේම ඔහු රුසියානු ජනාධිපතිවරයාගේ සමීපතම මිත්‍රයෙක් ලෙසත් සැලකෙයි. මේ අතර ඊයේ දිනයේදී තුර්කියේදී ආරම්භ වූ රුසියානු - යුක්රේන නව වටයේ සාම සාකච්ඡාව සඳහාද රෝමන් රුසියානු පාර්ශ්වයේ නියෝජිතයෙකු ලෙස සහභාගි වී සිටින ආකාරයද දැකගත හැකිවිය. මෙලස විෂ ශරීරගතවීමේ සිදුවීම සම්බන්ධයෙන් රුසියාව ඉහළ ප්‍රසිද්ධියක් උසුලන අතර, මීට පෙර අවස්ථාවකදී රුසියානු විපක්ෂනායක ඇලෙක්සි නවාල්නි හටද විෂ ශරීරගත කිරීමක් සිදුව තිබූ බව විදෙස් මාධ්‍ය අනාවරණය කර තිබුණි. එසේම බ්‍රිතාන්‍යයේ වාසය කළ හිටපු රුසියානු කේ.පී.බී. බුද්ධි අංශ නිලධාරියෙකුට සහ ඔහුගේ දියණියට රහසේම  විශ ශරීර ගත කරවූ බවටද රුසියාවට මීට පෙර චෝදනා එල්ල විය. 


අභ්‍යාස පොතක් ගණන් උස්සයි

අභ්‍යාස පොත් සකස් කිරීමට ගන්නා කඩදාසි හිඟ වීම හා කඩදාසි මිල ඉහළ යාම හේතුවෙන් අභ්‍යාස පොතක මිල රුපියල් 20ත් 35ත් අතර මිලකින් ඉහළ දැමීමට කටයුතු කරන බව පාසල් උපකරණ සකස් කරන්නෝ සඳහන් කරති. පොත් සකස් කිරීමට ගන්නා කඩදාසි රිල් එකක මිල රුපියල් 1,200 සිට රුපියල් 4,500 දක්වා ඉහළ ගොස් තිබෙන බවත්, පොත්වල පිටකවරය සකස් කිරීමට ගන්නා කාඩ්බෝට්වල මිලත් ඉහළ ගොස් තිබෙන බවත් එම පිරිස් පෙන්වා දෙති. කඩ්බෝඩ් මිස්ල ඉහළ යාම නිසා බ්‍රිස්ටල් බෝඩ් එකක මිල රුපියල් 15කින් ඉහළ යන බවත්, ඩිමයි කොළයක මිල රුපියල් 10කින් පමණ ඉහළ යන බවත් ඔවුහු පවසා සිටිති.මේ අනුව පිටු 40 පොතක මිල රුපියල් 35 සිට රුපියල් 55 දක්වාත්, පිටු 80 පොතක මිල රුපියල් 55 සිට රුපියල් 75 දක්වාත්, පිටු 120 පොතක මිල රුපියල් 70 සිට රුපියල් 98 දක්වාත්, පිටු 160 පොතක මිල රුපියල් 105 සිට රුපියල් 138 දක්වාත්, පිටු200 පොතක මිල රුපියල් 125 සිට රුපියල් 160 දක්වාත් ඉහළ දැමීමට සිදුව තිබෙන බවද උපකරණ සකස් කරන්නෝ සඳහන් කරති. එසේම පිටු 40CR පොතක මිල රුපියල් 65 සිට රුපියල් 82 දක්වාත්, පිටු 80cR පොතක මිල රුපියල් 120 සිට රුපියල් 148 දක්වාත්, පිටු 120cR පොතක මිල රුපියල් 160 සිට රුපියල් 180 දක්වාත් ඉහළ යන බවද එම පිරිස් පෙන්වා දෙති. ප්‍රමිතියෙන් තොර කඩදාසි මගින් නිෂ්පාදනය කරන පොත් මිල මීට වඩා අඩු අගයන් ගත හැකි බවත්, ඉතාමත් උසස් තත්වයේ කඩදාසි මගින් නිෂ්පාදනය කරන පොත් මිල මීට වඩා ඉහළ අගයක් ගත හැකි බවත් ඔවුහු පවසා සිටිති. එමෙන්ම නව මිල ගණන් ඉදිරියේදී නිෂ්පාදනය කරන පොත් සඳහා අය කර ගන්නා බවත්, පවතින තත්ත්වය තුළ රුපියල් 10කට අලෙවි කරන පෑනක මිල රුපියල් 15ක් දක්වා ඉහළ යන බවත් ප්‍රකාශ කළ එම පිරිස්, විවිධ ගම් වර්ග, පාට පැන්සල්, පාට කූරු, දිය සායම් මිලද සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහළ යන බවද පෙන්වා දෙති. පොත් අලෙවි කරන ස්ථාන මගින් අලුත් පාසල් වාරය නිමිති කරගෙන විශාල තොග ප්‍රමාණයන් ඉල්ලීම් කළත්, පවතින කඩදාසි හිඟය නිසා අදාළ ඉල්ලීම සම්පුර්ණ කර ගැනීමට නොහැකි වී තිබෙන බවද ඔවුහු සඳහන් කරති.



(ඉන්දික හේවාවිතාරණ)

රුසියන් බිලියනපතියාට වස දුන්නැයි සැකයක්

 


මින්ස්ක්හිදීය (රොයිටර්) 


යුක්රේන බෙලරුස් දේශසීමාවේදී රුසියන් යුක්රේන රජයේ නියෝජිතයන් අතරේ සාම කතා පැවැත්වෙද්දී, යුක්රේනයට සහාය පළ කරමින් ඊට සහභාගී වූ රුසියන් බිලියනපති රෝමන් ඒබ්‍රමෝවිච් හිටි හැටියේ රෝගී වූයේ රුසියාව ඔහුට වස දුන් නිසා දැයි සැකයක් මතුවී තිබේ. රෝමන් ඒබ්‍රමෝවිච්  එංගලන්තයේ චෙල්සි පාපන්දු සමාජයේ හිමිකරුවන අතර, සාම කතාවලට සහභාගී වීමෙන් පසු ඔහු සහ යුරේන සාම නියෝජිතයන් දෙදෙනකු හිටිහැටියේ සුදුමැලි වී රෝගී වූ බව පැවැසෙයි. 

ඔවුහු චර්ම රෝගී තත්ත්වයකට ද මුහුණ දුන්නා. වෛද්‍යවරුන්ට පවා ඔවුන්ට සිදුවූයේ කුමක්දැයි නිවැරදිව පැහැදිලිව කීමට නොහැකි විය.  ඒ අනුව, බොහෝ දෙනා සැක කරන්නේ සාම කතා කඩාකප්පල් කිරීමේ අරමුණින්, රෝමන් ඒබ්‍රමෝවිච්ට වස දීමට රුසියන් ජනාධිපති පුටින් පියවර ගන්නට ඇති බවය. කෙසේ නමුත්, ඇමෙරිකාව පවසා ඇත්තේ එසේ වස දීමක් සිදුවුණු බවට තමන්ට කිසිදු තොරතුරක් ලැබී නැති බවය.

දෙමටගොඩ රුවන්ට ඇපදීමේ කේටි එකහමාරක අල්ලසක් සිද්ධියේ සැරයන්ට මාරුවක්


හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමෙන් රුපියල් කෝටි ගණන් වටිනා දේපළ උපයා ගනිමින් මුදල් විශුද්ධිකරණ පනත ප්‍රකාරව වරදක් සිදු කළැයි රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින රුවන් චමිල නොහොත් දෙමටගොඩ රුවන් නමැත්තාට ඇප ලබා දීමට යැයි රුපියල් කෝටි එක හමාරක අලස් මුදලක් ලබා ගත් බව කියන සිද්ධියට අදාළව නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ සැකකටයුතු ගනුදෙනු වාර්තා කිරීමේ අංශයේ සේවය කළ පොලිස් සැරයන් කෙනකු වහාම ක්‍රියාත්මක වන පරිදි ස්ථාන මාරු කර යවා ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.  පොලිස්පති නියමයෙන් මෙම පොලිස් සැරයන් ස්ථාන මාරු කර යවා ඇත්තේ අපරාධ පරීක්ෂණයක් දෙපාර්තමේන්තුව වෙත බවද එම ආරංචි මාර්ග පවසයි. 

මෙම සිද්ධියට අදාළ දේශපාලනඥයකුගේ සම්බන්ධීකරණ නිලධාරියකු ලෙස පෙනී සිටි "කාංචන' නමැත්තා සහ තවත් ප්‍රබල දේශපාලනඥයකු සමග සමීප සම්බන්ධතා පැවැත් වූ අයකු බව කියන "සෆ්රාස්' යන අය සම්බන්ධ කර දී ඇත්තේ මෙම පොලිස් සැරයන් බවට මේ වන විට කරුණු අනාවරණය වී ඇතැයි පොලිසිය කියයි.. මෙම පොලිස් සැරයන් කාලයක් තිසේ අදාළ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා යැයි කියන කාංචන නමැත්තා සමග සමීප සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇතැයි ද පැවසේ. මෙම කාංචන යන අයගේ පියාගේ අවමංගල්‍ය පැවැති අවස්ථාවේදී එම අවමංගල්‍ය උත්සවය ඡායාරූප ගත කර දී ඇත්තේ මෙම පොලිස් සැරයන් බව  මෙම පුද්ගලයන් දෙදෙනා සමග පොලිස් සැරයන්වරයාද සිට ඇතැයි විමර්ශනවලදී අනාවරණය වන බව පොලිසිය සඳහන් කරයි.

අදාළ අමාත්‍යවරයාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා හමුවීම සඳහා දෙමටගොඩ රුවන් යන අයගේ පුත්‍රයා සම්බන්ධකර දී ඇත්තේ රාජ්‍ය ආයතනයක සභාපති ධුරයක් දරන ප්‍රධාන පෙළේ දේශපාලනඥයකු බවද පොලිස් ආරංචි මාර්ග කියයි. මේ සම්බන්ධයෙන් දෙමටගොඩ රුවන් යන අයගේ පුත්‍රයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට ප්‍රකාශයක් දී ඇතැයිද වාර්තා වේ.  මෙම සිද්ධිය සම්බන්ධයෙන් ජනපති නියමයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධී වත්කම් විමර්ශන අංශය මේ වන විට පරික්ෂණයක් ආරම්භ කර ඇති බවත් ඊට අමතරව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පොලිස් කණ්ඩායම් දෙකක් පරික්ෂණ පවත්වන බවත් පොලිස් මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙක් පැවසීය.


-නිමන්ති රණසිංහ-


මැණික් පිච්චීමේ කොටියේ උදුන වසර 6ක් තිස්සේ පැත්තක

මැණික් හා ස්වර්ණාභරණ පර්යේෂණ හා අභ්‍යාස ආයතනය මැණික් පිලිස්සීම සඳහා රුපියල්  කෝටියකට වැඩි මුදලක් වැයකර මිලදී ගත් විශේෂිත උදුන ක්‍රියාත්මක කිරීම ආරම්භ කිරීම වෙනුවෙන් පැවැත් වූ උත්සවය සඳහා රුපියල් ලක්ෂ හයකට ආසන්න මුදලක් 2020 වර්ෂයේ දී වැයකර ඇතැයි ජාතික විගණන කාර්යාලය තොරතුරු අනාවරණය කරන්ගෙන ඇත. මැණික් පිලිස්සීම සඳහා මිලදී ගෙන ඇති මෙම උඳුන මිලදී ගත් දින සිට වසර හයක පමණ  කාලයක් කිසිදු වැඩකට යොදා නොගෙන (නිශ්කාර්යව) පැවතුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි.  උදුන මිලදී ගැනීමට වැය වූ මුදලට අමතරව උදුන ස්ථාපනය කිරීම, අමතර කොටස් සහ විදුලි පරිපථ වැඩිදියුණු කිරීම සඳහා තවත් රුපියල් විසි  නව ලක්ෂයකට වැඩි මුදලක් වැය කර ඇති අතර උදුන දීර්ඝ කාලයක් පාවිච්චි නොකිරීම හේතුවෙන් අධික අලුත්වැඩියා වියදමක්ද දැරීමට සිදුවී තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තතාවක සඳහන් වේ. 

මේ අතර මැණික් හා ස්වරණාභරණ කර්මාන්තය සඳහා තාක්ෂණ ශිල්පීන් දාහක් පුහුණු කිරීම සඳහා පවත්වා තිබුණු පාඨමාලා සඳහා 2015-2018 අතර කාලයේ දී 805 දෙනකු බඳවා ගෙන තිබුණද ඉන් 225 දෙනකු පුහුණුව අවසන් කර නොතිබූ බවත්  පාඨමාලා සඳහා දැරූ රුපියල් තිස් හය ලක්ෂයක වියදම ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියෙන් ප්‍රතිපූරණය කරන්ගෙන නොතිබුණු බවත් එම වාර්තාවේ දැක්වේ.  ආයතනයේ පර්යේෂණ අංශය 2017-2019 අතර කාලයේ දී නවෝත්පාදන හතරක් වෙනුවෙන් රුපියල් 14 ලක්ෂයකට වැඩි මුදලක් වැය කර තිබුණ ද එම නවෝත්පාදන වෙළෙඳපොළට හඳුන්වා දී ආදායම් ඉපයීමට හෝ එම නිෂ්පාදන අවශ්‍ය පාර්ශවයන්ට භාවිතය සඳහා ලබා දීමට  වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර නොතිබූ බව විගණන නිලධාරීහු පවසති. 

එමෙන්ම ආයතනයේ ජ්‍යෙෂ්ඨ පර්යේෂණ (වර්ණ වැඩි දියුණු කිරීම) ජ්‍යෙෂ්ඨ පර්යේෂණ  (නවෝත්පාදන) ඇතුළු පර්යේෂණ නිලධාරින් අටකගේ සහ කථිකාචාර්යවරුන් හතර දෙනෙකුගේ පුරප්පාඩු පැවතියත් එම පුරප්පාඩු සඳහා කලක් තිසේ බඳවා ගැනීම් කර නොතිබූ බව පවසන විගණන අංශ පුහුණු අංශය සඳහා ස්ථිර කථිකාචාර්යවරුන් බඳවා ගැනීම වෙනුවට බාහිර කථිකාචාර්යවරුන්ගේ සහ ආයතනයේ නිලධාරීන්ගේ සේවය දිගින් දිගටම ලබාගෙන තිබූ බව ප්‍රකාශ කරයි..මේ අතර ප්‍රසම්පාදන කාර්යයන් සඳහා රුපියල්  ලක්ෂ 80කට වැඩි ප්‍රතිපාදන සලසා ගෙන තිබුණ ද  එම ප්‍රතිපාදන උපයෝජනය කිරීමට කටයුතු කර නොතිබූ බව විගණන කාර්යාලය තොරතුරු අනාවරණය කරගෙන ඇත.


 -අංජුල මහික වීරරත්න- 


Tuesday, March 29, 2022

රුසියානු ජනපති පුටින් ලෝකයේම රජු වෙනවා

ලොව සිදු වූ ආසන්නතම සිදුවීම වන රුසියාවේ යුක්රේන ආක්‍රමණය ඇතුළුව තවත් ප්‍රධාන පෙළේ සිදුවීම් රැසක් සම්බන්ධයෙන් ආන්දෝලනාත්මක අනාවැකි කියූ බාබා වැන්ගාගේ එම අනාවැකි අතර රුසියානු ජනාධිපති විලැදිමීර් පූටින් ”ලෝකයේම රජු බවට පත්වීමේ අනාවැකියක්ද ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.වයස අවුරුදු 84දී එනම් 1996 වසරේදී ඇය මරණයට පත්වන වන විට විවිධ කාලවකවානුවලට අනුව ලෝකය තුළි සිදුවන සිදුවීම් සම්බන්ධයෙන් අනාවැකි පළ කර තිබුණි. කුඩාකල සිටම දෑස් නොපෙනෙමින් සිටියදීත් ඇය මෙම අනාවැකි කීමත් විශේෂත්වයක් විය.ඒ අනුව පසුගිය මාසයේදී ආරම්භ වුහු රුසියාවේ යුක්රේන ආක්‍රමණිය සම්බන්ධයෙන්ද ඇය 1979 වසරේදී පවසා තිබූ අතර, රුසියානු ජනාධිපති පූටින් ලෝකයේම රජු බවට පත්වන්නේ මෙම යුද්ධයෙන් අනතුරුව බවත් ඇය සඳහන් කර තිබේ.

"ජනපති පූටින්ගේ ප්‍රතිභාව තවත් වර්ධනය වෙනවා. ඒ හා සමාන වීමට කිසිවෙකුටත් නොහැකියි. රුසියාව නැවැත්වීමට කාටවත් අවස්ථාවක් නැහැ. පූටින් දිලෙනවා, රුසියාව දිලෙනවා. ඔහු විසින් සියල්ලන්ම ඉවත් කර දමාවි. කිසිවක් ඉතිරි නොවේවි. ඉතිරි වන්නේ රුසියාව ලෝකයේම අග්‍රස්ථානයට පත්වීමෙනුයි. "ඇය පවසා ඇත. මේ අතර ඇය විසින් තෙවැනි ලෝක යුද්ධයක් සම්බන්ධයෙන්ද අනාවැකියක් පළකර තිබෙන අතර, එහිදී බොහෝ විට න්‍යෂ්ටික අවි යොදාගැනීමේ අවදානමක් පවතින බවත් ඇය සදහන් කර ඇත. මෙම අනාවැකිවලට අමතරව ඇය විසින් සිදුකළ අනෙකුත් අනාවරණ අතර 2001 සැප්තැම්බර් 11දා එක්සත් ජනපදයේ ලෝක වෙළද මධ්‍යස්ථානට එල්ල වූ ප්‍රහාරයද වෙයි. 1989 දී ඇය ඒ පිළිබදව කියූ අතර, "විනාශයක්, විනාශයක්, යකඩ කුරුල්ලන්ගෙන් එල්ල වන ප්‍රහාරයක් නිසා ඇමරිකාව වඩා වටේවී” යනුවෙන් ඇය එහිදී පවසා තිබුණි. එසේම ඇය විසින් 1986 වසරේදී සිදුවූ එතෙක් මෙතෙක් ලොව හටගත් දරුණුතම න්‍යෂ්ටික විනාශය ලෙස සැලකෙන යුක්රේනයේ චර්ගනොබිල් විනාශය සම්බන්ධයෙන්ද අනාවැකි පළකර තිබුණි. එසේම 1997 වසරේදී සිදුවූ ඩයනා කුමරියගේ මරණය සම්බන්ධයෙන්ද ඇය අනාවැකි කියා තිබේ මීට අමතරව 2020 වසරේ පටන් ලොව පුරා පැතිරී පවතින කොරෝනා වසාගතය පිළිබදවද අය අනාවැකි පවසා ඇති අතර, "කොරෝනාව අප සියලු දෙනාම අභිභවා යනු ඇත” යනුවෙන් ඇය එහිදී සඳහන් කර තිබුණි. විදෙස් මාධ්‍ය සදහන් කරන  ආකාරයට බාබා වැන්ගා පිළිබදව ලොව පුරා කතාබහ ඉහළ ගොස් ඇත්තේ 2000 වසරේදී සිදුවන බවට ඇය විසින් ප්‍රකාශ කළ Kursk සබ්මැරීන අනතුරයි. "Kursk සබ්මැරිනය සම්පූර්ණයෙන්ම ජලයෙන් යටවේවී - ලෝකයම මේ ගැන කම්පා වේවි." ඇය පවසා තිබුණි. බාබා වැන්ගාගේ අනුගාමිකයන්ට අනුව ඇගේ අනාවැකි අතරින් 85%ක්ම නිවැරදිය. එහෙත් විශේෂඥයන්ට අනුව ඇගේ අනාවැකි අතරින් නිවැරදි වන්නේ 68%ක ප්‍රතිශතයකි. යුරෝපයේ පිහිටි වර්තමානයේදී මැසිඩෝනියාව ලෙස හැදිවන රාජ්‍යයේ ගම්මානයක් බාබා වැන්ගා උපන් ස්ථානය ලෙස සදහන්ව තිබේ. ඇය උපතින්ම දැස් නොපෙනෙන තැනැත්තියක් නොවෙයි. එහෙත් තරුණ වියේදී ඇය සුලි කුණාටුවකට මරදිව ඇති අතර, අතුරුදන්ව සිටි ඇයව සොයාගෙන ඇත්තේ දින කිහිපයකට පසුවය. එසේම එහිදී ඇතිවූ තුවාල හේතුවෙන් ඇය අන්ධභාවයට පත්ව සිට යළිත් ගම්මානයේ වැසියන් හා මුසුවීමෙන් අනතුරුව ඇය විවිධ අවස්ථාවලදී අනාවැකි පළකර තිබේ. ඒවා අතරින් කිහිපයක් නිවැරදි වී ඇති අතර, ඒ සමගම ඇය පිළිබදව රට පුරා ප්‍රසිද්ධියට පත්ව තිබේ. ඒ අනුව මෙම අනතුරත් සමග ඇයට තවත් දෙවැනි දැක්මක් හිමිව ඇති බවත්, එම හැකියාව යොදා ගනිමින් ඇය මෙලස අනාවැකි පැවසූ බවත් බොහෝ දෙනාගේ අදහස විය. අනතුරුව බාධා වැන්ගි දෑස්  නොපෙනී අනාවැකි කියන්නියක ලෙස ලොව පුරා ප්‍රසිද්ධියට පත් වූවාය.



රාජ්‍ය ආයතන පාලනය වෘත්තීයවේදින් භාරගත යුතුයි

රටේ වෘත්තීයවේදීන් මෙරට රාජ්‍ය ආයතනයන් භාර ගැනීමට ඉදිරිපත් විය. යුතු බවත්, මහබැංකුව, රේගුව, ආදායම් දෙපාර්තමේන්තුව ඇතුළු සියලු ප්‍රධාන රාජ්‍ය ආයතන වෘත්තීයවේදීන් විසින් පාලනය කිරීම තුළින් රට වැටී ඇති ප්‍රපාතයෙන් ගොඩගත හැකිවන බවත් පාඨලී චම්පික රණවක මහතා පැවසීය. ඔහු මේ බව පවසා සිටියේ ගම්පහ පැවැති වැඩසටහනකට සහභාගි වෙමිනි. ඒහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පාඨලී චම්පික රණවක මහතා, "මේ වනවිට විදුලිබල මණ්ඩලය, ඛනිජ තෙල් සංස්ථාව වැනි ආයතන බිමටම වැටී තිබෙනවා. අද වනවිට කියන කනගාටුයි මේ රටේ ඛනිජ තෙල් සම්පත, ඉන්දියානු තෙල් සමාගම විසින් ගිලගනිමින් තිබෙනවා. මොකද  අපිට ඩොලර් නැහැ, නැව් එළියේ නවතාගෙන තිබෙනවා. ඉන්දියානු තෙල් ටික ලැබෙනවා. රාජ්‍ය ආයතන ගැන හුඟ දෙනෙක් කතා කරනවා. අපි ආවොත් මෙහෙම කරනවා කියලා කියනවා. හැබැයි අපි වැඩ කරලා පෙන්නපු මිනිස්සු. දින සියයේ අවස්ථාවේ විදුලිබල මණ්ඩලය සහ ඛනිජතෙල් සංස්ථාවත් මගේ අමාත්‍යාංශ ලෙස පවත්වාගෙන ගිය අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලයේ ඉන්ධන ගැලපුම් ගාස්තුව ඉවත් කර විදුලි බිල සියයට දහතුනකින් අඩු කළා. ඒ විතරක් නෙමෙයි ඒ අවුරුද්දෙ කෝටි 4,500ක පාඩුවක් අපේක්ෂා කළා. නමුත් කෝටි 2,000ක් අපි පළමු දින සියයේදී ලාභ ලැබුවා. මම කියනවා අපි මොනවද කළේ කියලා අහන ගෝඨාභයගෙන් පුළුවන් නම් අපි කරපු දේවල්වලින් එක දශමයක්වත් කරලා පෙන්වන්න. එය අභියෝගයක්. අද මේ රට ඉන්න අධිවේගී මාර්ග හදන තැනක නොවෙයි. මේ රට ඉන්නේ පාරවල් ලක්ෂයක් කාපට් කරන්න  පුළුවන් තැනක නොවෙයි. මිනිස්සු තෙල්, ගෑස් පෝලිම්වල ශාප කරමින් ඉනෙ කන්න නැතිව. බැසිල් රාජපක්ෂ මහත්තයගේ වැඩ ලක්ෂය සමග ජුනි  මාසයේ ඡන්දයක් තියන්න යනවා. ඒකට අවශ්‍ය ඡන්දය සොයමින් සිටිනවා. ඒ වගේම අර ඉන්දියාවෙන් ලැබෙන ණය යටතේ ජනතාවට සහන දෙන්න යනවා. රාජ්‍ය සේවයේ ස්වාධීනත්වය, රාජ්‍ය සේයේ ගෙවරවය රැකගත යුතුයි. රාජ්‍ය සේයට ජෙනරාල්වරුන් දැමයි කියා සාර්ථක වී නැහැ. අන්තිම අසාර්ථකයි. රාජ්‍ය සේවයේ ඉන්නවා ඒ වෙනුවෙන් කැප වූ විධිමත් අධ්‍යාපනය ලබාගත් පිරිසක්. ඒ පිරිසට එම කටයුත්ත කරගන්න ඉඩදී මිලිටරීකරණය නතර කළ යුතුයි. ඔබලාගේ මර්දනයන්ට මේ රටේ ජනතාවගේ විරෝධය නතර කරන්නට බැහැ. රටේ සියලුම නිලධාරින්ට, මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු සියලුම නිලධාරීන්ට, ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු සියලුම දෙනාටත්, පොලිස් දෙපාර්තමේන්තුව භාර නිලධාරීන් සියලුම දෙනාටත් අපි කියන්නේ නීති විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් සියලුම දෙනා දැනුවත්. රට දැනුවත් මතක තියාගන්න ඒවාට අක්තිමට වගකියන්න වන්නේ ඔය දේශපාලනඥයන්ට නොව ඔබටයි. ඒ නිසා කිසිම ආකාරයක නීති විරෝධී කටයුතුවලින් වැළකී සිටින ලෙස අපි ආයාචනය කරනවා. කොන්ද කෙලින් තියාගෙන වැඩ කටයුතු කරන්න.අපි වෘත්තීයවේදී බල ඇණි සකස් කර තිබෙනවා. වෘත්තීයවේදීන් මේ රටේ ප්‍රධාන ආයනත භාර ගැනීමට සූදානම් විය යුතුයි. ඒ වගේම රටට ආදරය කරන අය, දූෂණයට නොගෑවිච්ච අය, මේ රටේ ප්‍රධාන ආයතන හැසිරවීමට දැන් ඉදිරිපත් විය යුතුයි. ඒ සඳහා අපි ආරාධනය කරනවා ප්‍රමුඛ වෘත්තීයවේදීන්ට. මූල්‍ය ක්ෂේත්‍රයේ වෘත්තීයවේදීන්ට, විදුලිබල ඉංජිනේරුවරුන්ට, ඒ වාගේම රසායනික ඉජිනේරුවරුන්ට, වෛද්‍යවරුන්ට, පරිපාලකයන්ට ඉදිරිපත් වෙලා ආයතන වෘත්තීය මට්ටමින් රට පාලනය කළ යුතුයි. ප්‍රායෝගිකව රට ගැන සිතා පොදු අරමුණකින් අපි එකට එකතු වෙමු” යනුවෙන් පැවසීය.


(ගම්පහ - නිලකරත්න දිසානායක)


ව්‍යාපාරිකයාගේ නිවසින් හොරකම් කළ කෝටියක ඔරලෝසුව 5000කට විකුණලා

ඉහළ පෙළේ මැණික් ව්‍යාපාරිකයකුගේ  කොල්ලුපිටිය සිරිකොත මාවතේ පිහිටි නිවස බිඳ සොරා ගෙන තිබූ රුපියල් කෝටියක් පමණ වටිනා රොලෙක්සි වර්ගයේ අත් ඔරලෝසුවක් රුපියල් 5000 කට විකුණු පුද්ගලයකු සහ ඔහුගේ මිතුරකු තවත් භාණ්ඩ කිහිපයක් සමඟ අත්අඩංගුවට ගත් බව කොල්ලුපිටිය පොලීසිය සඳහන් කරයි.ගම්පහ ප්‍රධාන පෙළේ පාසලක අධ්‍යාපනය ලැබූවෙක් වන ප්‍රධාන සැකකරු 1994 වර්ෂයේ දී එම විද්‍යාලයෙන් ඉහළම උසස් පෙළ ප්‍රතිඵල ලැබූ සිසුවා බව පොලිසිය කියයි. ප්‍රධාන සැකකරු වන එම පුද්ගලයාට ඉංග්‍රීසි, දෙමළ, සිංහල, අරාබි මෙන්ම හින්දි භාෂාව ලිවීමට මෙන්ම කතා කිරීමට සහජ දක්ෂතාවයක් ඇත්තෙක් බවද පොලීසිය කියයි. කෝටිපති ව්‍යාපාරිකයා පවුලේ සාමාජිකයන් සමග ඉකුත් ජනවාරි 27 දින නිවස වසා බේරුවල නිවස කරා ගොස් සිටියදී ප්‍රධාන සැකකරු මෙම නිවස බිඳ කෝටියක් පමණ වටිනා අත්ඔරලෝසුව පවුම් දෙක බැගින් බර වළලු හතරක්, ඇපල් වර්ගයේ අයිපෑඩ් එකක් සොරාගෙන ගොස් තිබිණි.

කිසිවෙකුත් නැති නිවසේ ප්‍රධාන දොර පා පහරක් එල්ල කළ ද විවර කර ගැනීමට නොහැකි වීමෙන් අනතුරුව විශාල ගලක් ගෙන දොර කඩා ඇතුළු වී මෙම සොරකම සිදුකර තිබූ බවත් එම අවස්ථාවේදී දී පවුම් දහයක් බර රන් මාලයක් සහ පවුම් පහක් බර රන් තැල්ලක් බිම වැටුණද සැකකරුට ඒ පිළිබඳව හැගීමක් නොවී අනෙකුත් දේපළ රැගෙන නිවසින් පිට වී තිබූ බවත් පොලිසිය කියයි.  සොරකම සම්බන්ධයෙන් කොල්ලුපිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩන්කන් ගුණවර්ධන මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක උපුල් පෙරේරා මහතා අදාළ භාණ්ඩවල විස්තර සහ ඡායාරූප ඇතුළත් කර භාණ්ඩ උගස් කරුවන්ගේ සංගමයේ සභාපතිවරයාට ලිපියක්ද යොමුකර එම දේපළවල ඡායාරූප ඔවුන්ගේ වට්සැප් ගෘප් එකට ද යෙදීමට කටයුතු කර යම් පුද්ගලයකු එම භාණ්ඩ උගස් තැබීමට හෝ විකිණීමට පැමිණියහොත් දැනුම් දෙන ලෙස දැනුම්වත් කළ බව පොලිස් නිලධාරියෙකු පැවසීය. 

එහි ප්‍රතිඵලයක් ලෙස රුපියල් කෝටියක් පමණ වටිනා අත්ඔරලෝසුව රුපියල් 5000 ක මුදලකට අලෙවි කිරීම සඳහා වැල්ලම්පිටිය උකස් ආයතනයකට ප්‍රධාන සැකකරුගේ මිතුරා පැමිණ සිටියදී අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී ප්‍රධාන සැකකරු ද අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි. එම අවස්ථාවේදී එම පුද්ගලයා සන්තකයෙහි ඇපල් වර්ගයේ අයිපෑඩය තිබුණු බවත් ප්‍රධාන සැකකරු ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමේදී මරදාන ප්‍රදේශයේ ආයතනයකට උකස් තබන ලද රන් වළලු උණු කර තිබියදී ග්‍රෑම් 28 ක ප්‍රමාණයක් සොයා ගැනීමටත් හැකි වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය. මීට අමතරව රණ්ඩු උගස් තබා ලබා ගත් මුදලින් රුපියල් පනස් දහසක් පමණ ගෙවා මිලදී ගත් ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකථනයක් මෙන්ම රුපියල් තිස් දාහක් මුදලක් ද පොලිසිය මගින් සොයාගෙන ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා ග්‍රෑන්ඩෲස් ඉස්ටේට් පුර පදිංචි වයස අවුරුදු 34 හා 39 පසුවන්නන්ය. 


 -බිමල් ශ්‍යාමන් ජයසිංහ-

පාසල් 1000ක් ජාතික පාසල් කිරීමේදි අනධ්‍යයන සේවකයන්ට ගැටලුවක්

අධ්‍යාපන අනධ්‍යයන සේවා සඳහා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් නොමැති වීම නිසා පළාත් සභා පාසල් 1,000ක් ජාතික පාසල් කිරීමේදී එම පාසල්වල සේවය කරන අනධ්‍යයන සේවකයන්ට විවිධ ගැටලුවලට මුහුණදීමට සිදුව තිබෙන බව අධ්‍යාපන අනධ්‍යයන සේවක සංගමය සඳහන් කරයි. ජාතික ප්‍රතිපත්තියක් නොමැතිවීම නිසා පළාත් සභා පාසල්වල සේවය කරන අනධ්‍යයන සේවකයන්ට ස්ථාන මාරු ලබාගැනීම නොහැකි වී තිබෙන බවත්, පළාත් සභා 09 බඳවා ගැනීම ක්‍රම 09කට සිදුවන බවත් ජාතික පාසල්වලට බඳවා ගැනීම වෙනත් ක්‍රමයකටත් සිදුකරන බවත් එම සංගමයේ ලේකම් අපිත් තිලකරත්න මහතා පැවසීය. මේ නිසා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීමට පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් 2016 වසරේදී කැබිනට් පත්‍රිකාවක් සකස් කර තිබෙන බවත්, අදාළ කටයුත්ත සඳහා නිර්දේශ ලබාදෙන ලෙස ඉල්ලා අමාත්‍ය මණ්ඩල පත්‍රිකාව 2006.11.09 වැනිදා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුවට යොමු කර තිබෙන බවත් ඒ මහතා පවසා සිටියේය.එහෙත් මේ දක්වා කළමනාකරණ සේවා දෙපාර්තමේන්තුව අදාළ නිර්දේශ ලබාදී නොමැති බවත්, මේ නිසා අධ්‍යාපන අනධ්‍යයන  සේවා සඳහා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිර්මටත් නොහැකි වී තිබෙන බවත් ලේල්කම්වරයා සඳහන් කළේය. ජාතික ප්‍රතිපත්තියක් නොමැති නිසා පළාත් සභා 09 තුළ අධ්‍යාපන අනධ්‍යයන සේවාව තුළ පාසල් කාර්ය සහායක, පුස්තකාල සේවක, රසායනාගාර සේවක, පාසල් මුරකරු හා මුරකාරියන්, සනීපාරක්‍ෂක කම්කරු තනතුරු යටතේ සේවකයන් සේවය කරන බවත්, එහෙත් ජාතික පාසල්වල පාසල් කාර්ය සහායක තනතුරු ඇතුළු පළාත් සභා පාසල්වල පවතින තනතුරු රැසක් නොමැති බවත් ඒ මහතා පවසා සිටියේය.මේ නිසා පළාත් සභා පාසල් දහසක් ජාතික පාසල් බවට පත් කිරීමේදී මෙම පීරිස් ජාතික පාසල්වල පවතින තනතුරුවලට මාරු කිරීමට සිදුව තිබෙන බවත්, එය ගැටලුකාරි තත්ත්වයක් බවට පත්ව තිබෙන බවත් ලේකම්වරයා පැවසීය.මේ නිසා ඉදිරි දින 21 කාලය තුළදී අදාළ ගැටලුවට විසඳුම් ලබාදීම සඳහා ජාතික අධ්‍යාපන ප්‍රතිපත්තියක් සකස් කිරීමට කටයුතු නොකළහොත් ලබන මස 18 වැනිදායින් පසු ජනාධිපති ලේකම් කාර්යාලය මූලික කර ගනිමින් ඒකාබද්ධ විරෝධතා ව්‍යාපාර හා වැඩවර්ජන ක්‍රියාමාර්ගයක් ගැනීමට සැලසුම් කර තිබෙන බවද හෙතෙම සඳහන් කළේය.



(ඉන්දික හේවාවිතාරණ)


ඩොලර් බිලියන ගණන් සිඟමන් යැදීමට පෙර රුපියල ශක්තිමත් කළ යුතුයි

ආහාර ගෙන්වීම සඳහා ඩොලර් බිලියන ගණන් පිටරටවලීන් සිඟමන් ඇදීමට පෙර රුපියල ශක්තිමත් කිරීමට පියවර ගත යුතු බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.ඒ හරහා නැවතත් ඩොලරයක මිල රුපියල් 250ට පමණ අඩු කර ගැනීමට කටයුතු කළ යුතු බවත්,කෙසේ වෙතත් ආණ්ඩුව තවදුරටත් පැලැස්තර විසඳුම් ගනිමින් සිටින බවත්  පුවත්පත කළ විමසීමකට පිළිතුරු ලබාදෙමින් හෙතෙම සඳහන් කළේය. එහිදී වැඩිදුරටත් අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා,  "රටේ ප්‍රශ්නය මෙපමණ බැරෑරුම් වෙලා තිබියදී තවමත් පැලැස්තර විසඳුම් සොයන තත්ත්වයකට වැටිලා. මේ අයට අද කරන්න තිබුණේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලට යනවා කියන එක ජනාධිපතිතුමා ඇවිත් විශේෂ ප්‍රකාශයක් කරන එක. ඊට පස්සේ කියන්න ඕන ණය ප්‍රතිව්‍යුහගත කරනවා කියලා. ඊට පස්සේ ඉන්දියාවෙන් හෝ කොහෙන් හරි ඩොලර් බිලියනයක පමණ මුදලක් කෑමවලට නෙවෙයි සංචිතවලට මුදලක් ගන්න ඕන. දැන් තිබෙන 7.5%ක ප්‍රතිපත්ති පොලී අනුපාතය අඩුම ගානේ 15%වත් වැඩි කරන්න ඕන. දැන් මේ කිසිදෙයක් කරන්නේ නැතිවන්නේ ආණ්ඩුව රුපියල අතහැරියේ. අද ඩොලර් එකක් කළු කඩේ රුපියල් 374ට ගත්ත කට්ටිය අපි දන්නවා. දැන් මේක පාලනය කර ගන්න බෑ. ආණ්ඩුව ආර්ථික විද්‍යාවේ මූලධර්මවලට අනුව නෙවෙයිනේ මේක කළේ. ඔවුන් හිතන්නේ ඔවුන් තමයි හොඳටම දන්නේ කියලා දේශපාලනිකව මේ ගැන හිතුවා. ජීවිතයේ හීනයකින්වත් හිතපු නැති දෙයන්නේ දැන් මේ වෙලා තිබෙන්නේ. දැන් මේක පාලනය කරන්න නම් පොලී අනුපාතය ඉතාමත් ඉහළ තැනකට ගේන්න ඕන. ඒ හරහා රුපියල තදිම ශක්තිමත් කරන්න වෙළෙඳ පොළට ඩොලර් බිලියන ගානක් අතහැරලා රුපියල නැවතත් ශක්තිමත් කර ගන්න ඕන. එහෙම නැතිව පරිප්පු ගෙන බිලියනයක් දෙන්න කියලා හිඟාකාලා මේක හරින්නේ නෑ. මුලින්ම රුපියල ශක්තිමත් කරන්න ඕන. අඩුම තරමේ ඩොලර් එක රුපියල් 250ටවත් ගේන්න ඕන. මේ ආණ්ඩුව මේ ගැන මුකුත් කරන්නේ නෑ. මෝඩයෝ සෙට් එකක් වගේ බලාගෙන ඉන්නවා"යනුවෙන් සඳහන් කළේය. 



(දිනේෂ් සමරකෝන්)


පළමු - දෙවැනි එන්නත් ලෙසත් ෆයිසර් විදගන්න පුළුවන්


ෆයිසර් එන්නනතට විශේෂ කැමැත්තක් දක්වන අයට එම එන්නත පළමු සහ දෙවැනි මාත්‍රාව වශයෙන්ද ලබා ගැනීමට අලුතින් අවස්ථාව සලසා දී ඇතැයි කොවිඩ් 19 සම්බන්ධීකාරක, සෞඛ්‍ය අමාත්‍යාංශයේ තාක්ෂණ සේවා අධ්‍යක්ෂ වෛද්‍ය අන්වර් හදානි මහතා පැවැසීය. දරුවන් හැරුණු විට අනෙකුත් අයට ෆයිසර් එන්නත් මාත්‍රාව මෙතෙක් ලබා දුන්නේ තෙවැනි මාත්‍රාව (බූස්ටර්) ලෙස පමණි. සාමාන්‍යයෙන් ඇතැම් රටවලට යෑමේදී ෆයිසර් එන්නත ලබා ගැනීම විශේෂ වාසියක් වන හෙයින් එවැනි අයට නව අවස්ථාවෙන් විශාල පහසුවක් ඇතිවනු ඇතැයි සෞඛ්‍ය අංශ විශ්වාසය පළ කරයි. සෞඛ්‍ය සේවා ආරංචි මාර්ග සඳහන් කරන අන්දමට මෙරට දැනට පවතින ෆයිසර් එන්නත් මාත්‍රා බොහොමයක් ලබන අගෝස්තු මාසයේදී  පමණ කල් ඉකුත්වීමට නියමිතය.

මෙරට සුළු ජනගහනයෙන් එක්කෝටි හතළිස් ලක්ෂයකට වැඩි පිරිසක් පළමු සහ දෙවැනි එන්නත් මාත්‍රා ලබාගෙන ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය පවසයි. තෙවැනි මාත්‍රාව (බූස්ටර්) ලබාගෙන ඇති සංඛ්‍යාව ලක්‍ෂ 76කි. මේ අතර කොවිඩ් එන්නත ලබාගැනීමට ඇති ජනතා උනන්දුව කොවිඩ් පැතිරීම පාලනය වීම හේතුවෙන් ඉතා විශාල ලෙස පහත වැටී ඇතැයි සෞඛ්‍ය අංශ ප්‍රධානීහු පවසති.  කොවිඩ් එන්නත් ඕනෑ තරම් ඇතත් ඒවා ලබා ගැනීමට ජනතාව ඉදිරිපත් නොවන තත්වයක් ඇතැයි ඔවුහු සඳහන් කරති.


 -සුජිත් හේවාජුලිගේ -

බිලිඳු දුව කරේ තියාගෙන් තාත්තා පොලිසි ඇවිත්

සිගිති දැරියක කර හොවා ගෙන බෝතලයෙන් කිරි පොවමින් පියකු යක්කල පොලීසිය වෙත පැමිණ සිටියේ අවුරුදු දෙකක සහ මාස නවයක දැරියන් දෙදෙනකු අසරණව සිටින බැවින් ඔවුන්ගේ මව සොයා දෙන ලෙස ඉල්ලා සිටිමිනි.  ගම්පහ, මිරිස්වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටින තමන්ගේ 35 හැවිරිදි බිරිඳ ආගිය අතක් නොමැති බැවින් ඉතා අසරණ  තත්වයකට පත්ව ඇති බවත් මවගේ කිරි පමණක් බීම සිදු කළ නව මස් දැරිය පිටිකිරි බීමට අකැමැති බැවින් තමන් කරකියා ගත නොහැකිව පසුවන බවත් පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සිතාර කරුණාරත්න මහතා ඇතුළු නිලධාරීන් හමුවේ එම පියා හැඬු කඳුළෙන් පවසා සිටියේය. ස්වයං රැකියාවක නියුතු තමන් නිවසෙහි නොසිටි අවස්ථාවක දරු දෙදෙනා තනි කොට නිවෙසින් පිටව ගොස්  ඇති බවත් ඇඳ සිටි ඇඳුම් පිටින් ගොස් ඇති බිරිඳ මුදල්, රන් භාණ්ඩ හෝ ජංගම දුරකතනය හෝ රැගෙන ගොස් නැති බැවින් ඇය අතුරුදන්වීම කුමක්දැයි යන්න තමාට සිතාගත නොහැකි බවත් ඔහු පොලීසිය හමුවේ පැවැසීය. 

ධම්මිකා රත්නායක නමැති සිය බිරියගේ ගම් ප්‍රදේශය බදුල්ල, පිටමාරුව බව සඳහන් කළ සැමියා එම සෑම තැනකම සොයා බැලුවද හමු නොවූ බවද ස්ථානාධිපතිවරයා  හමුවේ ඔහු පැවසුවේ ඇය කිසියම් රෝගී තත්වයකට ප්‍රතිකාර ලබාදීමට සූදානමින් සිටි බවද සඳහන් කරමිනි. මෙම දෙදරු මව අතුරුදන්වීම සම්බන්ධයෙන් ඉදිරි  ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සිතාර කරුණාරත්න මහතා පැවසීය.  මේ සම්බන්ධයෙන් විවිධ පැමිණිලි අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සරත් බණ්ඩාර සහ උපපොලිස් පරික්ෂක  කරුණාරත්න යන මහත්වරු කටයුතු සිදු කරති.

 තිලකරත්ත දිසානායක


අවු. 15 හිරේ ඉඳන් ඇවිත් මාසෙන් ආයෙත් ඔසුසල් කඩලා

කුලියාපිටිය ප්‍රදේශයේ පෞද්ගලික ඔසුසල් තිස් හයක් බිඳ රුපියල් කෝටි හතරකට ආසන්න වටිනාකමින් යුත් මුදල් හා දේපළ සොරාගැනීමේ සිද්ධීන් රැසක් සම්බන්ධයෙන් වසර පහළොවක් සිර දඬුවම් විඳ පැමිණ, මසක් ඇතුළත කොට්ටාව,  මහල්වරාව ප්‍රදේශයේ පෞද්ගලික ඔසුසලකින් දහ හත් ලක්ෂ අනු තුන් දහසක් වටිනා මුදල් හා දේපළ සොරාගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් වෙන්නප්පුවේ "ක්‍රිෂ්ටි නිහාල්" නමැත්තකු ඉකුත් 27වැනිදා අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලිසිය පවසයි.  මේ සොරකම් සියල්ලෙන් උපයාගත් මුදල් බූරුවා ගැසීම සහ රේස් බයි රේස් සූදු කෙළීම සඳහා වැය කර ඇතැයි පොලිසිය කියයි . කොට්ටාව මහල්වරාව හන්දිය ආසන්නයේ  පිහිටි පෞද්ගලික ඔසු සලක පිටුපස ආරක්ෂිත දොරක් කඩා ඇතුළුවී , එහි මුදල් අයකැමි ලාච්චුවේ තිබූ රුපියල්  දා හතර ලක්ෂ හාර දහසක මුදලක් හා රුපියල් ලක්ෂ තුනහමාරක් පමණ වටිනා අධික මිල ගණන් යටතේ අලෙවි වන විටමින් හා ආලේපන වර්ග තොගයක් මෙසේ සොරාගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි. ‍

මෙසේ සොරාගත් භාණ්ඩ පෝර උරයක බහා හයිලෙවල් මාර්ගයේ ධාවනය වෙමින් තිබූ පෞද්ගලික බස් රථයක නැග කොළඹ දෙසට යන අයුරුද එහි සවිකර තිබූ ආරක්ෂිත කැමරාවේ සටහන්ව තිබූ බව පොලිසිය සඳහන් කරයි. සොරකම සිදු වූ දිනට පසුදා ඔසුසල් හිමියන් පැමිණ දෙනික කටයුතු ආරම්භ කිරීමට යාමේදී ඔසුසලෙහි පිටුපස ආරක්ෂිත දොර කඩා ඇති අයුරු සහ ඔසුසලෙහි ස්ථාන රැසක් අවුස්සා මුදල් අයකැමි ලාච්චුව ද විවෘත කර තිබෙනු දැක කොට්ටාව පොලිසියේ පැමිණිල්ලක් සිදුකර තිබිණි. ඒ සම්බන්ධයෙන් විමර්ශන සිදු කරමින් සිටියදී , සොරකමෙන් දින දෙකකට පසුව, බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ කොස්තාපල් 77780 සම්පත් නිලධාරියාට තොරතුරක් ලැබී තිබුණේ සොරකම සිදුකළ පුද්ගලයාට සමාන පුද්ගලයකු කොට්ටාව බස් නැවතුම්පළ ආසන්නයේ රැදී සිටින බවයි. 

ඒ අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක චතුරංග මහතා ඇතුළු නිලධාරි කණ්ඩායමක් එම ස්ථානයට ගොස් සැකකටයුතු ලෙස රැඳී සිටි පුද්ගලයකු අත්අඩංගුවට ගෙන දිගින් දිගටම ප්‍රශ්න කිරීමේදී ඔසුසල බිඳ මුදල් හා දේපළ සොරා ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කර ගත් බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් තවදුරටත් ප්‍රශ්න කිරීමේදී සොරාගත් මුදලින් 2,74,900 මුදලක් සන්තකයේ තිබී බාරයට ගත් බවත්  රුපියල් 3,50,000 පමණ වටිනා කිරි පිටි, ආලේපන වර්ග හා විටමින් ඇතුළු භාණ්ඩ තොගයක් සොයාගත් බව පොලිසිය පවසයි. මේවා කොළඹ නගරය ආශ්‍රිත ඔසුසල් රැසකට අලෙවි කර තිබූ අතර රුපියල් 2000 පමණ වටිනා කිරිපිටි ටින් එකක් රුපියල් 500 කට විකුණා තිබූ බව ද පොලිසිය කියයි .

තවදුරටත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී කුලියාපිටිය ප්‍රදේශයේ පෞද්ගලික ඔසුසල් 36ක් බිඳ ඒ සම්බන්ධයෙන් වරදකරු වී වසර 15 බන්ධනාගාරගතව සිට නිදහස්ව ආ අයකු බවත් හෙළිවී යැයි පොලිසිය පැවැසීය. එසේම 2006 වසරේදී වත්තල ප්‍රදේශයේ පිහිටි දුම්වැටි ඒජන්සියකින් දුම්වැටි සොරාගැනීමට ගිය අවස්ථාවේදී එහි ආරක්ෂක නිලධාරියාට පොල්ලකින් පහර දී ඝාතනය කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හා 2021 දෙසැම්බර් මාසයේදී සිය අනියම් බිරිඳ තියුණු ආයුධයකින් කපා කොටා තුවාල සිදු කිරීමේ සිද්ධියකට සම්බන්ධවූවකු බවටත් අඹන්පොළ, පින්දෙණිය හා මහරගම යන පොලිස් වසම්වල වූ සොරකම් සම්බන්ධයෙන් දැනට අධිකරණයේ නඩු ක්‍රියාත්මක වන බවට තොරතුරු අනාවරණය වූ බවත් පොලිසිය පවසයි. සැකකරු වසර 15 ක සිර දඬුවම් විඳ නිදහස් පැමිණ ඇත්තේ ඉකුත් පෙබරවාරි මාසයේදී බවද පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් වෙන්නප්පුව ප්‍රදේශයේ පදිංචි " ක්‍රිෂ්ටි නිහාල් " නමැති (57) හැවිරිදි සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණයට  ඉදිරිපත් කිරිමට නියමිතව සිටී.

 ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

Monday, March 28, 2022

විදුලිය දෙන්න ජලාශවල වතුර තව දවස් 20කටයි


විදුලි ජනනය සඳහා ජලාශවල ජලය ඇත්තේ තවත් දින 20කට තරම් ප්‍රමාණයකැයි ලංකා විදුලිබල මණ්ඩල ආරංචි මාර්ගවලින් පැවසේ. පවතින දැඩි නියං කාලගුණික තත්වය හේතුවෙන් බලාගාර ආශ්‍රිත ජලාශවල ජල මට්ටම සියයට 28ක මට්ටමකට පහත වැටී ඇතැයි ද ලංවීම දත්ත වාර්තා සඳහන් කරයි.

කොත්මලේ ජලාශයේ ජල මට්ටම සියයට 21ක් දක්වා, කාසල්රි ජලාශයේ ජල මට්ටම සියයට 12ක් දක්වා ද මාවුස්සාකැලේට ජලාශයේ සියයට 29ක් දක්වා ද, සමනලවැව ජලාශයේ සියයට 14 ක් දක්වා සහ රන්දෙණිගල ජලාශයේ සියයට 56ක් දක්වා ආදී වශයෙන් ජලාශවල ජල මට්ටම් පහත බැස තිබෙන බව එම වාර්තතා සඳහන් කරයි. මෙරට විදුලි ජනනයෙන් සියයට 80ක්ම ජලයෙන් ලබාගත් අතර එය මේ වනවිට සියයට 15 පමණ දක්වා අඩුවී ඇතැයි ද වාර්තා වේ.

 -රංජන් කස්තුරි -

ඇතැම් මාධ්‍ය එකම ඉන්ධන පෝලිමක් හත් අට වතාවක් පෙන්වමින් රටේ භයානක තත්ත්වයක් මවනවා

ජනතාව පීඩා විඳින ඉතාමත් අපහසු කාලයක් මේ වන විට ගත වෙමින් තිබෙන බවත්, එම අවස්ථාවේ පවතින පීඩනයට අමතරව තවත් පීඩනයක් ඇති කර ජනතාව තුළ මානසික ආතතියක් ඇති නොකරන ලෙස තමන් මාධ්‍ය ආයතනවලින් ඉල්ලා සිටින බවත් සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පැවසීය. ඔහු මේ බව පවසා සිටියේ පෙරේදා (26දා) ගලගෙදර ප්‍රදේශයේ පැවැති රැස්වීමකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමිනි. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ කෙහෙළිය රඹුක්වැල්ල මහතා, "ඇතැම් මාධ්‍ය ඒකම ඉන්ධන පෝලිමක් වත් අට වතාවක් පෙන්වමින් රටේ මහා භයානක තත්වයක් ඇති බව පෙන්වීමට උත්සාහ කරනවා. කෝවිඩ් තත්ත්වයත් සමග දෛනික ජීවන රටාවේ සිදු වූ වෙනස්කම් විඳ දරා ගැනීමට නොහැකිව ලෝකයේ සෑම රටකම විශාල ජන පිරිසක් මානසික සෞඛ්‍ය පිළිබඳ ගැටලුවලින් පීඩා විඳිනවා. රටක් ලෙස අපි මේ පිළිබඳ මෙතෙක් වැඩි අවධානයක් යොමු නොකලත් මේ වන වනවිට ඒ සම්බන්ධව විශේෂ අවධානයක් යොමු කර ක්‍රියා කරමින් සිටිනවා. මාධ්‍ය මගින් ඉදිරිපත් කරන දේවල් ජාත්‍යන්තර මට්ටම දක්වා ගමන් කරනවා. එය මේ රටට අහිතකර ලෙස බලපෑ හැකියි. විශේෂයෙන් ජාත්‍යන්තර ආයෝජන අඩු වීමටත් එය බලපා හැකියි. පවතින අර්බුදය ආණ්ඩු මාරුවක් තුළින් විසඳුම් ලබාගත හැකි තත්ත්වයක නොපවතින බව ප්‍රධාන ප තේරුම්ගෙන සර්ව පාක්ෂික සමුළුවට සහභාගි වීම හොඳ ප්‍රවණතාවක්. ජනාධිපතිතුමාද එය කැඳවූයේ ඉතාම යහපත් සිතින්. නමුත් පවතින අර්බුදය වාසියක් කරගෙන ආණ්ඩු ගන්න බලා සිටින පිරිසක් පමණක් ඊට සහභාගි වුණේ නැහැ” යනුවෙන් පැවසීය.


(ෂේන් සෙනෙවිරත්න)

කොච්චර අමාරු වුණත් ජනතාවට සහන දෙනවා

ගෙවමින් සිටින් අමාරු කාලයක් බව පිළිගත යුතු වුවත් ජනතාවට දිය යුතු සෑම දෙයක්ම දෙන්නට රජය බැඳී සිටින බව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පැවසීය. ජනතා ප්‍රශ්න හඳුනාගෙන සහනයක් ලබාදීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බවද අග්‍රාමාත්‍යවරයා සඳහන් කළේය. අග්‍රාමාත්‍යවරයා මේ බව පැවසුවේ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් කුමාර මහතාගේ දේශපාලන දිවියට වසර 20 පිරීම නිමිත්තෙන් බත්තරමුල්ලේ පෙරේදා (26) පැවති උත්සවයකදීය. මෙම අවස්ථාවට වලේබොඩ ගුණසිරි රාමඤ්ඤ මහා නිකායේ අනුනාහිමියන් ඇතුළු මහා සංඝරත්නය ද වැඩම කළහ.

අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා මෙසේද කීය.  

අවුරුදු 20ක් ජනතාවත් එක්ක ඉඳගෙන දේශපාලනය කරලා මේ වගේ තත්වයකට එන්න පුළුවන් වීම ගැන ජගන්ට අපි සුබ පතනවා. ජගත් එක පැත්තකින් මේ ප්‍රදේශයට නායකත්වය දුන්න වගේම මුළු ලංකාවෙම සමෘද්ධි ව්‍යාපාරිකයන්ට නායකත්වය දෙන්නත් ඔහුට ශක්තිය තිබුණා. ඒ නිසා අපි ඔහු හඳුනා ගත්තේ එක ප්‍රදේශයක නායකයෙක් වශයෙන් නෙමෙයි. රටේම වැඩි දෙනෙකුට නායකත්වය දෙන නායකයෙක් වශයෙන්.  එතුමා හැම වෙලාවෙම ජනතාවාදීව හිතුවා. ජනතාවගේ පැත්තේ තියෙන ප්‍රශ්න ඔහු පාර්ලිමේන්තුවේ කතා කළාට කණ්ඩායමේ හිටියා. ඔහු කණ්ඩායමේ දී කතා කළ යුත්තේ  මොනවාද පක්ෂ නායකයන් ඉදිරියේ කතා කළ යුත්තේ මොනවා ද ඒ වගේන්ම ප්‍රසිද්ධ වේදිකාවේ කතා කළ යුත්තේ මොනවාද? නොකළ යුත්තේ මොනවාද? කියන එක පිළිබඳවඅවබෝධයකින් කටයුතු කළා.

අපිට අමාරු කාලයක් තියෙන්නේ. ඒ අමාරු කාලය පිළිගන්න ඕනේ. හැබැයි ජනතාවට දෙන වරප්‍රසාද ඒ නිසා අඩුකරන්න පුළුවන්කමක් නැහැ. ඒවා අපි ලබාදිය යුතුව තිබෙනවා. ජනතාවට ලැබිය යුතු සියලු දේ ලබාදෙනවා. අපිට හැකි හැම දෙයක්ම ලබා දෙන්න රජයක් වශයෙන් අපි ඊට බැඳිලා ඉන්නවා. ආණ්ඩුවක් වශයෙන් ජනතාවගේ ප්‍රශ්න ගැන අවබෝධයක් ඇතිව ඒ අයට සහනයක් ලබාදීමේ වැඩපිළිවෙළකට යන්න කටයුතු කරනවා.  මෙම අවස්ථාවට අමාත්‍යවරුන් වන ජොන්ස්ටන් ප්‍රනාන්දු, පවිත්‍රා වන්නිආරච්චි, පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රේමනාත් සී. දොලවත්ත, කඩුවෙල නගරාධිපති බුද්ධික ජයවිලාල් ඇතුළු මහජන නියෝජිතයෝ සහ නිවාස සංවර්ධන අධිකාරියේ සභාපති දුමින්ද සිල්වා මහතා ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.


 -අංජුල මහික වීරරත්ත-


විදුලිය විසන්ධි වීමෙන් කායවර්ධන තරඟ වේදිකාවෙන් ගස් යටට

46වැනි ජාතික මහා ක්‍රීඩා උළෙලේ කළුතර දිස්ත්‍රික් කායවර්ධන අවසන් මහා තරගය පැවැත්වෙමින් තිබියදී, විදුලිය විසන්ධි වීම හේතුවෙන්, ක්‍රීඩකයන්ට දැඩි අපහසුතාවට පත්වීමට සිදුවිය. ශ්‍රී ලංකා කායවර්ධන හා ශාරීරික යෝග්‍යතා සම්මේලනයේ පූර්ණ අධීක්‍ෂණය යටතේ මෙය බණ්ඩාරගම මෛත්‍රී නගර ශාලාවේදී ඊයේ (27දා) දහවල් පැවැත්විණි. කි.ග්‍රෑ. 55,60, 65 බර පන්තිවල තරග පැවැත්වීමෙන් අනතුරුව කි.ග්‍රෑ. 77 බර පන්තියේ තරගයට ක්‍රීඩකයන් වේදිකාවට කැඳවන අවස්ථාවේදී මෙලෙස විදුලිය විසන්ධි වීම සිදුවිය. එහිදී විනිසුරුවරුන් විසින් ක්‍රීඩකයන් අඳුරේ වේදිකා මත සිටියදී තරගය පැවැත්වීමට උත්සාහ කළද, එය අසාර්ථක විය. අනතුරුව එම ක්‍රීඩකයන් වේදිකාවෙන් බිමට බස්සවා තරග පැවැත්වීමට උත්සාහ කළද එයත් අසාර්ථක විය. මේ හේතුවෙන් තරගය නගර ශාලාවෙන් එළියට රැගෙන ගස් යට තබා පැවැත්වීමට සුදානම් වීමේදී විදුලි ජනන යන්ත්‍රයක් රැගෙනවිත් තරග නැවත  ආරම්භ කළේය.කෙසේ නමුත් මෙම සිදුවීමට සිය අප්‍රසාදය පළ කරමින් තරග වැදි ක්‍රීඩකයන් පවසා සිටියේ, විදුලිය විසන්ධි වීමක් සිදුවිය හැකි බවට දැනුවත්ව තිබීයදී, ඊට පෙර සුදානමක් සිදුනොකර මෙම තරගය පැවැත්වීමට සංවිධායකයන් කටයුතු කළ බවයි.


( බණ්ඩාරගම - නිමල් ශ්‍යමන් ජයසිංහ)


පාසල් සිසුවෙකු පැහැර ගත්තැයි අඹුසැමි යුවළක් අත්අඩංගුවට

උපකාරක පංතියකට සහභාගී වී ආපසු නිවස බලා යමින් සිටි 16 හැවිරිදි පාසල් සිසුවෙකු වේයන්ගොඩ නගරයේදී පැහැරගෙන ගිය සැකකාර අඹුසැමි යුවළක් පෑලියගොඩ දී පෙරේදා (26) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලීසිය පවසයි. මාරපොල මහා විද්‍යාලයේ අ.පො.ස සාමාන්‍ය පෙළ ඉගනුම ලබන දහසය හැවිරිදි පාසල් සිසුවකු පැහැර ගෙන යාම පිළිබදව ලද පැමිණිල්ලකට අනුව පරීක්ෂණ පවත්වා සැකකාර අඹුසැමි යුවළ අත්අඩංගුවට ගත් බවද පොලීසිය කීය. පැහැරගෙන ගිය බව කියන දරුවා මුහුණුපොත හරහා හදුනාගත් තාවකාලිකව මාකොළ උතුර ප්‍රදේශයේ පදිංචි තරුණියක සමග සම්බන්ධ වී සිට ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළි වී තිබිණි. දෙදෙනා මුහුණු පොත් විවිධ සටහන් කර ඇති බවත් දහසය හැවිරිදි දරුවා එම තරුණියට අපහාස වන අන්දමින් කිසියම් සටහනක් තැබූ බව කියමින් එයට උරණවී පැහැරගෙන යාම සිදු කොට ඇති බවද කියති.දරුවා පැහැරගෙන යාමට පෙර ඔහුගේ ජංගම දුරකථනයක් විකිණීමට අන්තර්ජාලයේ පළ කොට තිබූ දැන්වීමකින් ඔහුගේ ජංගම දුරකථනයේ අංකය සොයාගන දුරකථනය මිල දී ගන්නා බවට අගවා සැකකාර අඹුසැමි යුවළ අවස්ථා කිහිපයක්ම දරුවාට කතා කර ඇති බවත් පෙරේදා (26දා) දහවල් කාලයේත් දරුවාට කතා කර වේයන්ගොඩ නගරයට දුරකථනය මිල දී ගැනීමට පැමිණෙන බවට දන්වා තිබූ බවද වේයන්ගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්න වෑත්තෑව  මහතා පැවසීය.  එසේ කතා කරගත් පරිදි දරුවා වේයන්ගොඩ නගරයේ උපකාරක පංතියකට සහභාගි වී ආපසු නිවස බලා යමින් සිටියදී අඹුසැමි යුවළ මෝටර් රථයකින් වේයන්ගොඩ නගර මධ්‍යයේ ඇති බෝධි අසලට පැමිණ දුරකථනය මිල දී ගන්නා මුවාවෙන් දරුවා කාරයට ගොඩ කරගෙන පැහැර ගෙන යද්දී ලද තොරතුරකට අනුව දරුවාට කලින් කතා කළ දුරකථන අංකය ඔහුගේ මව සතුව තිබී එම අංකයට කතා කිරීමේදී දරුවා පෑලියගොඩ පොලීසියට රැගෙන යන බවට පිළිතුරු දුන් බවද පොලිස් ස්ථානාධිපති වරයා කියා සිටියේය.මේ අනුව පොලිස් නිලධාරින් පිරිසක් පෑලියගොඩ පොලීසියට ගොස් දරුවා පොලීසිය භාරයට ගෙන සැකකාර අඹුසැමි යුවළ අඅඩංගුවට ගත් බවද පොලිස් ස්ථානාධිපතිවරයා පවසා සිටියේය.දරුවා පැහැරගෙන යාමට යොදාගෙන තිබූ මෝටර් රථය රැගෙන එහි රියැදුරා පලා ගොස් ඇති හෙයින් ඔහු අත්අඩංගුවට ගැනීමට පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.  අත්අඩංගුවට ගෙන ඇති සැකකාර අඹුසැම් යුවළ මුහුණු පොතින් සම්බන්ධ වී ඇති තරුණියගේ මවුපියන් බවට පොලිස් පරික්ෂණවලදී හෙළි වී වේයන්ගොඩ පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්න වෑත්තෑව මහතාගේ මෙහෙයවීම යටතේ අපරාධ විමර්ශන අංශ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සුනිල් ප්‍රේමරත්න, පොලිස් සැරයන් රාජපක්ෂ යන මහත්වරු හා කාන්තා පොලිස් සැරයන් තුෂාරී මහත්මිය විසින් සැකකාර අඹුසැමි යුවළ අත්අඩංගුවට ගෙන තිබිණි.



(වාරණ - ආනන්ද ඉ.ජයකොඩි)

තෙල් ගන්න ඇවිත් වාහනය ඇතුළේම මැරිලා


අතුරුගිරිය නගරයේ ඉන්ධන පිරවුම් හලකින් ඉන්ධන ලබා ගැනීමට පැමිණි අයකු පෙරේදා (25) සිය මෝටර් රථ තුළදීම මිය ගොස් ඇතැයි අතුරුගිරි පොලීසිය පවසයි. මෙසේ මියගොස් ඇත්තේ අතුරුගිරිය, පෝරේ, ගල්පොත්ත පාර, අංක 191/01 හි පදිංචි මයිලගේ ජිනදාස පෙරේරා නමැති (85) හැවිරිදි අයකු බව පොලිසිය කියයි. මියගිය තැනැත්තා 26 දා උදෑසන 8.30 පමණ අතුරුගිරිය නගර මධ්‍යයේ පිහිටි ඉන්ධන පිරවුම්හලකින් ඉන්ධන ලබා ගැනීම සඳහා වෑන් රථයකින් පැමිණ ඇති අතර, ටික වේලාවක් යන තුරු නවතා තිබූ ස්ථානයෙන් වාහනය ඉවත් නොකිරීම නිසා අවට සිටි අය විපරම් කිරීමේ දී ඒ තුළ සිටි තැනැත්තා වාහනය තුළම සිහිසුන්ව ඇද වැටී සිටිනු දැක ඇතැයි පොලිසිය කීය.

පසුව අසල්වාසීන් එක්ව සුවසැරිය ගිලන් රථයක් ගෙන්වා ප්‍රතිකාර සඳහා අතුරුගිරිය දිසා රෝහලට ඇතුළත් කර ඇති අතර එහි දී රෝගියා පරික්ෂා කළ වෛද්‍යවරුන් පවසා ඇත්තේ ඔහු මිය ගොස් ඇති බවයි. ඒ අනුව මියගිය අයගේ ඥාතීන් කැඳවා තොරතුරු ලබා ගැනීමේ දී ඔවුන් පොලිසියට පවසා ඇත්තේ ඔහු හෘද රෝගයකින් පෙළෙන්නකු බවයි.  සිද්ධිය වන අවස්ථාවේ දී ඉන්ධන පිරවුම්පල් හලෙහි කිසිදු තදබදයක් හෝ තිබී නොමැති බව ද පොලිසිය සඳහන් කළේය. සිද්ධිය සම්බන්ධයෙන් අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුනිලක රූපසිංහ මහතාගේ  උපදෙස් මත ඉදිරි විමර්ශන ක්‍රියාත්මක වෙයි.


 -ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න-

දරුණු රෝගබාධායන්ට හිදිසි අනතුරුවලට ලක්වන විශේෂඥ වෛද්‍යවරුන් සඳහා රක්ෂණ ක්‍රමයක් අවශ්‍යයි

ශ්‍රී ලංකාව පත්ව ඇති වත්මන් අර්බුදය භාවිත කරමින් දෙමළ ජාතික සන්ධානය සහ දෙමළ ඩයස්පෝරාව භයානක දේශපාලන උගුලක් අටවමින් සිටින බව ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායක, හිටපු රාජ්‍ය අමාත්‍ය ජයත්ත සමරවීර මහතා පැවසීය.එම දේශපාලන උගුලට පය තබා, ඔහු ඇතුළු රණවිරුවන් දිවි පරදුවට තබා රැකගත් ඒකීය ශ්‍රී ලංකාව පාවාදීමට කටයුතු නොකරන ලෙස යන්න සමරවීර මහතා, ජනාධිපති ගෝඨාභය රාස්පක්ෂ මහතාට අනතුරු අඟවා සිටියේය.ඔහු මේ බව පවසා සිටියේ ඊයේ (27දා) පිටකෝට්ටේ පිහිටි ජාතික නිදහස් පෙරමුණ ප්‍රධාන කාර්යාලයේදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදීය. පසුගිය 25වැනිදා දෙමළ ජාතික සන්ධානය සහ ජනාධිපතිවරයා අතර පැවැති සාකච්ඡාවද පදනම් කරගනිමින් අදහස් දැක්වූ ජාතික නිදහස් පෙරමුණේ ජාතික සංවිධායකවරයා පෙන්වා දුන්නේ යුද විරුවා, පාවා දෙන්නකු බවට  පත්කර ගැනීමේ අභිලාෂයෙන් එම සාකච්ඡාව පැවැති බවයි. එම සාකච්ඡාවේදී දෙමළ ජාතික සන්ධානයේ නායක ආර්. සම්බන්ධන් මහතා එක්සත් නොබෙදුණු ශ්‍රී ලංකාවක් සෞභාග්‍ය කරා රැගෙන යාමේ යෝජනා පහක් ඉදිරිපත් කර ඇති බවත්, ජයන්ත සමරවීර මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය. ඒහිදී ජනාධිපති ගෝෂ්ඨාභය රාජපක්ෂ මහතා එක්සත් ශ්‍රී ලංකාවක් යන්න ප්‍රතික්ෂේප කර නැති. බවත්, ජනාධිපති මාධ්‍ය අංශයද එම සාකච්ඡාව පිළිබඳ මාධ්‍ය වාර්තාවක් නිකුත් කරමින් එක්සත් නොබෙදුණු ශ්‍රී ලංකාවක් යන වචන ඒ ආකාරයෙන්ම යොදා ඇති බවත් සඳහන් කළ ජයන්ත සමරවීර මහතා, එක්සත් නොබෙදුණු ශ්‍රී ලංකාවක් පිළිබඳ පූර්ව එකඟතාවක් සහිතව මෙම සාකච්ඡාව සිදුකළාද යන සැකය මතුවීම වැළැක්විය නොහැකි බවද සඳහන් කළේය. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ ශ්‍රී ලංකාවට එරෙහි 40/1 යෝජනාව අනුව මෙරට රණවිරුවන්ට යුද අපරාධ චෝදනා එල්ල කළ බවත්, එම කවුන්සිලයේ විමර්ශන යාන්ත්‍රණයකින් පසුව 2022 සැප්තැම්බර් ඉදිරිපත් කරනු ලබන ශ්‍රී ලංකාවට එරෙහි 50/1 යෝජනාව මගින් එම රණවිරුවන්ට නිල චෝදනා පත්‍ර  භාරදීමට නියමිත බවත්, එම තත්වයද දඩමීමා කරගනිමින් දෙමළ බෙදුම්වාදීන් මෙවැනි සාකච්ඡා පණගන්වා ඇති බවත් ජයක්ත සමරවීර මහතා ප්‍රකාශ කළේය.


හිටපු නි.ඇමති පණ්ඩුට ගජමුතු සිද්ධියට අමතරව තවත් විමර්ශනයක්


රජයට අයත් පිස්තෝලයක් නැවත බාර නොදී පරිහරණය කිරීමට සම්බන්ධයෙන්, හිටපු නියෝජ්‍ය අමාත්‍ය පණ්ඩු බණ්ඩාරනායක මහතාට එරෙහිව විමර්ශනයක් ආරම්භ කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව මහතා පැවැසීය. පණ්ඩු බණ්ඩාරනායක මහතා නියෝජ්‍ය අමාත්‍යවරයකු වශයෙන් කටයුතු කළ සමයේ ඔහුට මෙම පිස්තෝලය රජයෙන් ලබා දී ඇති බවත්, එය මේ දක්වා බාර දී නැති බවත් හෙතෙම කීවේය. එම ගිනි අවි බලපත්‍රය යාවත්කාලීන කිරීම සඳහා ඉල්ලීමක් ද නොකර, එය පරිහරණය කර ඇති බව ද නිහාල් තල්ලුව මහතා සඳහන් කළේය.ගජමුතු ගනුදෙනුවට අමතරව මෙම ගිනි අවිය සම්බන්ධයෙන් ද නීතිය ක්‍රියාත්මක කර ඇති බව ද හෙතෙම කියා සිටියේය.

ගජමුතු තුනක් රුපියල් කෝටි තුනකට අලෙවි කිරීමට ජීප් රථයකින් අම්පාරට ගොස් සිටියදී විශේෂ කාර්ය  බළකාය විසින් හිටපු නියෝජ්‍ය අමාත්‍ය පඩු බණ්ඩාරනායක මහතා ඇතුළු පස් දෙනකු ඉකුත් 25 වැනිදා අත්අඩංගුවට ගනු ලැබූ අතර ඔවුහු අප්‍රේල් මස 7 වැනිදා දක්වා රිමාන්ඩ් බාරයට පත් කරනු ලැබ සිටිති. එම සැකකරුවන් පස් දෙනා අතර කාන්තාවක ද සිටී..  එම ගජමුතු සමග විදේශ රටක  නිෂ්පාදිත පිස්තෝලයක්, පතොරම් 8ක්  හා හඳුනා නොගත් පාෂාණ කැබැලි 5ක් ද එහි තිබී විශේෂ කාර්ය බළකාය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

 -ඉන්දිකා රාමනායක-

යන එන තැන් FB දාලා අමාරුවේ වැටෙන්න එපා

ඉදිරි උත්සව සමයේදී ගමන් බිමන් යාම පිළිබඳව ෆේස්බුක් හෝ සමාජ මාධ්‍ය තුළ තොරතුරු පළ කිරීමෙන් වැළකී සිටින ලෙසත්, එවැනි තොරතුරු උපයෝගී කරගෙන ජාවාරම්කරුවන් නිවෙස් බිඳ කොල්ලකෑම් සිදුකළ හැකි බවත් පොලිස් මූලස්ථානය සඳහන් කරයි.මීට අමතරව ත්‍රිරෝද රථවලින් හා යතුරුපැදි මගින් නගරවලට හෝ වෙනත් ස්ථානවලට ගමන් කළ පසු එය ආරක්ෂිත ස්ථානවල පමණක් නතර කරන ලෙසත්, අදාළ ස්ථානවල නවතා යාමේදී ආරක්ෂිත ක්‍රම භාවිත කරන ලෙසත් ජ්‍යෙෂ්ඨ පොලිස් මාධ්‍ය ප්‍රකාශක, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය. මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් හා සංවිධානාත්මක අපරාධකරුවන් යතුරුපැදි හා ත්‍රිරෝද රථ සොරා ගැනීම සිදුකළ හැකි බැවින්, අදාළ ආරක්ෂිත ක්‍රමවේදයන් භාවිත කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටින බවද ඒ මහතා පවසා සිටී. මීට අමතරව ගමන් බිමන් යාම පිළිබඳව හෝ ගමන් බිමන් ගිය පසු අදාළ ස්ථාන පිළිබඳව ෆේස්බුක් හෝ සමාජ මාධ්‍ය ජාලාවල තොරතුරු පළ කිරීමෙන්, සමාජ මාධ්‍ය ජාලාවල හා මුහුණු පොතේ මිතුරන් ලෙස පෙනී සිටින ජාවාරම්කරුවන්ට ඔවුන්ගේ ජවාරම් ක්‍රියා සිදුකිරීමට පහසුවක් වන නිසා, අදාළ තොරතුරු සමාජ මාධ්‍ය ජාලාවලට එකතු කිරීමෙන් වැළකී සිටින ලෙසද ඉල්ලා සිටියි.


(ඉන්දික හේවාවිතාරණ)


වියපත් මාපියන්ට දසවස දෙනවැයි පුතාත් ලේලියත් නැන්දම්මාත් අත්අඩංගුවට


වයෝවෘද්ධ මවුපිය යුවළකට පහර දී වදහිංසා පමුණුවනේ යැයි පැවසෙන සිද්ධියක් මත ගුවන් හමුදා සැරයන්වරයකු හා ග්‍රාම නිලධාරිනියක ඇතුළු තිදෙනකු ඊයේ 26 වැනිදා සවස අත්අඩංගුවට ගත් බව නිට්ටඹුව මූලස්ථාන පොලිසිය පවසයි.  ගුවන් හමුදා සැරයන්වරයා වයෝවෘද්ධ මවුපිය යුවළගේ පුතා බව ද, ග්‍රාම නිලධාරිනිය මවුපිය යුවළගේ ලේල්ලිය බවද පොලිසිය කියයි. පහරදීමේ සිද්ධිය හා සම්බන්ධ බව පැවසෙන ග්‍රාම නිලධාරිනියන්ගේ මව ද අත්අඩංගුවට පත්ව ඇතැයි පොලිසිය කියයි.  දැනට 69 වැනි වියෙහි සහ 66 වැනි වියෙහි පසුවන මවුපිය යුවළට ඔවුන්ගේ එකම පිරිමි දරුවා වන ගුවන් හමුදා  සැරයන්වරයා සහ ඔහුගේ ග්‍රාම නිලධාරිනියක වන බිරිය හා ග්‍රාම  නිලධාරිනියන්ගේ මව යන තිදෙනා පහර දී වදහිංසා පමුණුවන බවට එම මවුපිය යුවළ  කළ පැමිණිලි දෙකකට අනුව තිදෙනා  මෙසේ සැකපිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 

මෙම මවුපිය යුවළ තම දරු තිදෙනා ද සමග හගුරන්කෙත නගරයට නුදුරුව පදිංචිව සිට ඇති බව ද තම එකම පුතා ගුවන් හමුදාවට බැඳී කටුනායක ගුවන් හමුදා කඳවුරට අනුයුක්තව සේවය කිරීම නිසා තම පුතාගේ පහසුව සලකා මවුපිය යුවළ හගුරන්කෙත තම නිවස හා ඉඩම විකුණා 2013 වසරේ නිට්ටඹුව නගරයට ආසන්නව  පිහිටි නිවෙසක් මිල දී ගෙන දරු තිදෙනා ද සමග එහි පදිංචියට පැමිණ ඇති බව ද පොලිසිය කියයි. නිවස වැඩි දියුණු කිරීම සඳහා සහ මෝටර් රථයක් මිල දී ගැනීම සඳහා බැංකු ණය මුදලක් ලබා ගැනීම වෙනුවෙන් නව නිවස හා ඉඩම පියා පුතාගේ නමට නීත්‍යානුකූලව පවරා ඇති බව ද, එසේ නිවෙස හා ඉඩම පවරා වසර 2කට පමණ  පසුව ගුවන් හමුදා සැරයන් පුත්‍රයා තම බිරිය  හා එක්ව මෙම මවුපිය යුවළට හිංසා පමුණුව ඇති බව මේ පිළිබඳව කළ පැමිණිලි දෙකේ දැක්වෙන බව ද පොලිසිය වැඩිදුරටත් පවසයි.

66 හැවිරිදි මාතාවගේ ගෙල, මුඛය හා නාසය මිරිකා නිවෙසේ බිත්තියකට හේත්තු කර ගුවන් හමුදා සැරයන් පුත්‍රයා ග්‍රාම නිලධාරිනිය හා ඇයගේ මව පහර දී ඇති බව පැවසෙන සිද්ධියකින් දැඩි ලෙස රෝගාතුරව ඇති මෙම මාතාව වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කරන ලදුව එහි දින 4ක් නේන්වාසිකව ප්‍රතිකාර ලබා ඇති බවට හෙළිවී යැයි ද පොලිසිය කියයි. මෙම ගුවන් හමුදා සැරයන්වරයා සිය මවට විදුලි පංකාවකින් දමා ගසා ඇති බවට ද අනාවරණය වී ඇතැයි පොලිසිය සඳහන් කරයි. ගුවන් හමුදා සැරයන්වරයා හා තරුණ ග්‍රාම නිලධාරිනිය අවුරුදු 4 1/2ක් සහ මාස 8ක් වයසැති දරු දෙදෙනකුගේ මවුපිය යුවළක් බව ද හෙළි වී ඇත. මෙම මවුපිය යුවළ නිවෙසේ දී වදහිංසාවලට ලක්වන බවට ගම්වැසියෙකු විසින් දෙන ලද දිවුරුම් ප්‍රකාශයක් සහ දස දෙනකු අත්සන් කළ ලිපියක් ද මවුපිය යුවළ පැමිණිලි විභාගයේ දී ඉදිරිපත් කර ඇතැයි  පොලිසිය කියයි.  මේ අතර මෙම ගුවන් හමුදා සැරයන්වරයා ද පියාට එරෙහිව පැමිණිලි දෙකක් දමා ඇති බවද පොලිස් නිලධාරීහු පවසති.


 -එස්.යූ.ඩබිලිව්.කේ. ජයවර්ධන-


සිංහරාජයේදී කටුස්සකු ඇල්ලූ ජර්මනු දෙදෙනාගේ කාමරයේ සතුන් වත්තක්

සිංහරාජ රක්ෂිතයේ සත්ත්ව හා ශාක කොටස් ඇතුළු වරළබඩ තීරයේ ජීවත්වන මුහුදු සත්ත්වයන් අල්ලා හොර රහසේ ජර්මනියට රැගෙන යාමේ ජාවාරමක නිරත වූ බව කියන ජර්මන් ජාතිකයෝ දෙදෙනෙක් ඒ සඳහා යොදා ගන්නා උපකරණ තොගයක් සමග ඊයේ (27) දෙණියාය, විහාරහේන කුරුලුගල ප‍්‍රදේශයේ දී සිංහරාජ අඩවි ආරක්ෂක කාර්යාලයේ නිලධාරීන් පිරිසක් විසින් දෙනියාය  පොලිසියේ ද සහයෝගය ඇතිව අත්අඩංගුවට ගනු ලැබූහ. අත්අඩංගුවට ගත් ජර්මන් ජාතිකයන් දෙදෙනා වයස අවුරුදු 47-52 අතර වයස්වල පසුවන දෙදෙනකු බව හෙළිවී යැයි ද සිංහරාජ අඩවි ආරක්ෂක කාර්යාලය සඳහන් කරයි.  මෙම සංචාරකයන් දෙදෙනා දෙනියාය සිංහරාජ කුරුලුගල මංපෙතේ සංචාරය කිරීමට පැමිණ ඇති අතර එහි දී වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අනුමත මාර්ග උපදේශකයකු සමග කැලෑවේ සංචාරය කරමින් සිටිය දී මින් එක් ජර්මන් ජාතිකයකු කැලෑවේ ගසක සිටි කටුස්සකු හොර රහසේ අතින් අල්ලා බෑගයක දමාගෙන ඇත.  පසුව එය දුටු මාර්ගෝපදේශකයා ඒ බව සිංහරාජ හරිත මිතුරෝ සංවිධානයට දැනුම් දී ඇත. 

ඉන්පසුව එම සංවිධානයේ දැනුවත් කිරීම මත පැමිණි පොලිස් නිලධාරීන් ඔවුන් ලැගුම්ගෙන සිටි සංචාරක නිකේතනයේ කාමරයේ ඔවුගේ බෑග්වල බහා සඟවා තිබූ මෙම සත්ව හා ශාක කොටස් සොයාගත් බව සිංහරාජ අඩවි  ආරක්ෂක කාර්යාලය පවසයි.  අත්අඩංගුවට ගත් සත්ව හා ශාක කොටස් අතර මුහුදු  කකුළුවන්, මුහුදු බෙල්ලන්, ලංකාවට ආවේණික මැඩි විශේෂ,  කැරපොත්තන්, දිමියන්, ආවේණීක බීජ, කලා මැදිරියන්, කුහුඹුවන්, කඩොලාන විශේෂ ඇතුළු ඔවුන් ඇල්ලීම සඳහා යොදා ගන්නා පිහි, විදුලි පංකා, බැටරි, අඬු, හිස පළඳින  විදුලි පංකා, කැමරා දෙකක්, ජංගම දුරකතන තුනක්, ඇසුරුම් උපකරණ, ඇතුළු භාණ්ඩ රැසක් සොයාගෙන තිබුණි.  අත්අඩංගුවට ගත් ජර්මන් ජාතිකයෝ දෙදෙනා මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව සිටියහ. සිද්ධිය සම්බන්ධයෙන් සිංහරාජ අඩවි ආරක්ෂක කාර්යාලයේ වන සත්ව අඩවි ආරක්ෂක කේ.ඩබ්ලිව්.ඩී. ජයලාල්, සත්ව නියාමක එස්.එම්.පී.පී. ප්‍රසන්න, සත්ව නියාමක ඒ.ජී.එස්.එම්. දිල්ශාන්, ස්වෙච්ඡා මාර්ග උපදේශක ඩබ්ලිව්.එම්.සී. මධුසංඛ ඇතුළු මිරිස්ස වනජීවී කාර්යාලයේ නිලධාරිහු විමර්ශන කළහ.

 එස්. ඩී. කොඩිකාර

Friday, March 25, 2022

ඩොලර් ගේන අමුතු පින්තු

පාවිච්චියෙන් ඉවතලන ද්‍රව්‍ය උපයෝගී කරගෙන විදේශ රටවල සිටින සංචාරකයන් මෙරටට ගෙන්වා ඩොලර්උපයන අමුතුම සංචාරක සත්කාර කරන තරුණයෙකු සීගිරියේදී අපට හමු විය. දිනකට විදේශීය සංචාරකයන් 150කට අධික පිරිසකට සේවා සපයන මෙම තරුණ ව්‍යවසායකයා මෙරට සංචාරක ප්‍රවර්ධනයට විශාල කර්තව්‍යයක් සිදුකරමින් සිටී. වරක් ප්‍රයෝජනයට ගෙන නැවත ප්‍රයෝජනයට ගත නොහැකි බොහෝ දෙයින් මෙම සංචාරක ප්‍රවර්ධක තරුණයා, විදේශීය සංචාරකයන්ගේ ආකර්ෂණය දිනාගැනීම මෙහි සුවිශේෂත්වයකි. සීගිරිය ප්‍රදේශයේ රස්තුරන් (Rastaran) යන නාමයෙන් සංචාරක පහසුකම් සැපයීමේ නිකේතනයක් පවත්වාගෙන යන ඔහු නමින් සුමුදු සමන් පියරත්නයි. විදේශීය රටවල බොහෝ දෙනෙක් ඔහු හඳුනා ගන්නේ 'පිත්තු' යන නාමයෙනි. එම නාමයද විදේශිකයෙකු විසින් මීට පෙර හබරණ ප්‍රදේශයේදී ඔහුට තැබූ අනුවර්ථ නාමයක් බව සුමුදු අප සමග පැවසීය.සුමුදු සමන් නොහොත් පිත්තු පවත්වාගෙන යන මෙම විදේශිකයන්ට ආහාර පාන සපයන ස්ථානයට අපි ගියෙමු.  එහිදී දිනපතා ජනතාව ඉවත් කරන බොහෝ දෑ උපයෝගී කරගෙන එම ස්ථානය නිර්මාණය කොට තිබෙනු දැක ගත හැකි විය. මෙම ස්ථානයේ සිට ලෝකයේ රටවල්වලට ඇති දුර සහ දිශාවන් දක්වන රූප රාමු මෙම ස්ථානයට ඇතුළු වන සෑම සංචාරකයෙකුගේම ආකර්ෂණය දිනා ගනී. එමෙන්ම ඉවතලන ටයර්, ලෑලි කැබලි, දොර කැබලි, මුල් කෑලි සහ කිරි හට්ටි, ජෑම් බෝතල් උපයෝගී කරගෙන මෙහි සෑම පහසුකමක්ම සපයා දීමට කටයුතු කර තිබේ. මෙහි සේවා ලබාගැනීම සදහා පැමිණෙන විදේශිකයන් හට විවිධ ක්‍රියාකාරකම් සිදුකිරීම සඳහා මෙන්ම විනෝද වීම සදහාද පහසුකම් සපයා දීමට පිත්තු කටයුතු කොට තිබේ. දර ලිප්ද ආහාර පිස ලෑලි කැබලි මත පිළිගැන්වීම, පතෝල කරල් උපයෝගී කරගෙන එම ආහාර සඳහා ආලෝකය ලබාදීම ආදී සියුම් ද තුළින් සංචාරකයන් සතුටු කරවීමද මෙහි දක්නට ලැබෙන සුවීශේෂත්වයකි.  2002 වසරේදී සංචාරක කර්මාන්තයට පිවිසි පින්තූ මේ වන විට රටවල් 14ක පමණ සංචාරයකොට තිබේ. එහිදී තමන් ලද අත්දැකීම් උපයෝගී කර ගනිමින්, විදේශිකයන් සතුටුකොට මෙරටට ඩොලර් ගෙන්වා ගැනීම ඔහු විසින් සිදුකරයි. මෙම ස්ථානයේ සේවය කිරීම සඳහාද ප්‍රදේශයේ තරුණයන් රැසක් ඉදිරිපත්ව සිටීම විශේෂත්වයකි. ඔවුන්ගේ සියලු පුහුණු කිරීම් කටයුතු මෙන්ම මෙම ස්ථානයේ ආහාර පිසීමේ ක්‍රියාවලිය පවා පිත්තුටම ආවේණික ක්‍රමයක් උපයෝගී කර ගනිමින් සිදුකිරීම තවත් විශේෂත්වයකි. ඒ අනුව මඤ්ඤොක්කා , වට්ටක්කා, මුංඇට ආදී ආහාර තමන්ම නිෂ්පාදනය කර ඉතා සරල, පහසු මිලකට විදේශිකයන්ට ලබාදීමද මෙහිදී සිදුකෙරේ. වසර පහක පමණ කාලයක සිට පින්තුට ආදරය කරන ඇමරිකන් ජාතිකයෙක් ඔහු හා මිතුරුව සිටී. එම ඇමරිකානු ජාතිකයා කියා සිටියේ ඔවුන් සහෝදරයන් වැනිය යනුවෙනි. මේ වන වීට මාස කිහිපයකට මෙරටට පැමිණ සිටින මෙම ඇමරිකන් ජාතික සංචාරකයා මෙම ස්ථානයට උදව් උපකාර කරමින් සිටින බව පිත්තු අප සමග පැවසීය.මෙම ස්ථානයේ සේවා ලබාගැනීම සදහා පැමිණි විදේශීය සංචාරකයන් එකිනෙකාට හඳුන්වාදීම සහ ඔවුනොවුන් මිතුරන් බවට පත්කිරීම මෙම ස්ථානයේ තවත් අරමුණක් බව පින්තු අප සමග පැවසුවේය. සංචාරක කර්මාන්තය කඩා වැටී ඇති මෙවැනි වකවානුවක ඉවත ලන ද්‍රව්‍ය උපයෝගී කරගෙන, ඉතා සරල ස්ථානයක් සකසා, විදේශිකයන්ට පහසුකම් සපයා දී ආකර්ෂණය දිනා ගනිමින් සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම මෙවැනි වකවානුවක ඇගයීමට ලක්විය යුතුය. 


(දඹුල්ල - කාංචන කුමාර ආරියදාස)


අයි.පී.එල් සටන හෙට සිට

ලොව දැවැන්තම ෆ්‍රැන්චයිස් ක්‍රිකට් ලීගය වන ඉන්දීය ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්.) ක්‍රිකට් තරගාවලියේ 15වැනි අදියර නැතහොත් 2022 තරග වාරය හෙට (26)දා ආරම්භ වේ. මෙවර තරගාවලියට ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 05දෙනෙකුද තේරී පත්ව සිටින හෙයින්, කලකට පසු අයි. පී.එල්. කෙරෙහි මෙරට ප්‍රේක්‍ෂයන්ගේද විශේෂ අවධානයක් යොමුව ඇත. මෙවර තරග වාරය ආරම්භ කරමින්, පළමු තරගය වත්මන් ශුර චෙන්නායි හා කොල්කටා අතර මුම්බායිහි වන්කඩේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන අතර, මෙය ප.ව.7.30ට ආරම්භ වීමට නියමිතව ඇත. මෙම වසරේ සිට කණ්ඩායම් සංඛ්‍යාව 10ක් දක්වා වැඩි කිරීම හේතුවෙන් මෙවර අදියර මූලික වටයේ තරග 70ක්, අවසන් පූර්ව (playoff) හා අවසන් මහා තරගය ඇතුළත් තවත් තරග 04කින් සමන්විත වෙයි. සමස්ත තරගාවලිය දින 65ක් පුරා පැවැත්වෙන අතර, ඉන් මූලික වටයේ තරග මැයි 22 දක්වා පැවැත්වේ. කෙසේ නමුත් සියලුම තරග මුම්බායි හා පූනේ නගර කේන්ද්‍ර කර ගනිමින් පමණක් පැවැත්වීමට කටයුතු යොදා ඇත. මෙවර තරගාවලිය වෙනුවෙන් ඉකුත් පෙබරවාරි මස සිදුකළ ක්‍රීඩක වෙන්දේසියේදී ශ්‍රී ලංකා ක්‍රීඩකයන් 05 දෙනෙකු තේරී පත් වූ අතර, එය කලකට පසු මෙරට ක්‍රීඩකයන් සහභාගි වන වැඩිම සංඛ්‍යාවයි. ඒ අනුව මෙවර තරගාලියට ක්‍රීඩා කිරීම සඳහා වනිඳු හසරංග (බැංගලෝර්), දුෂ්මන්ත චමීර (ලක්නව්), මහීෂ් තීක්ෂණ (චෙන්නායි), චාමික කරුණාරත්න (කොල්කටා) හා භානුක රාජපක්ෂ (පංජාබ්) මේ වනවිට ඉන්දියාව බලා පිටත්ව ගොස් ඇත. මේ අතර අයි.පී.එල්. ආරම්භයේ සිට චෙන්නායි කණ්ඩායමේ නායකත්වය දැරූ ඉන්දීය හිටපු නායක එම්.එස්. දෝනි නායකත්වයෙන් ඉල්ලා අස්වී ඇති අතර, ඒ වෙනුවට රවින්ද්‍ර ජඩේජා පත්කිරීමට චෙන්නායි බලධාරීන් තීරණය කර ඇත. අවස්ථා කිහිපයකදී පමණක් සුරේෂ් රයිනා චෙන්නායි කණ්ඩායම මෙහෙයවා තිබීමත්, කණ්ඩායමට පැනවූ දෙවසරක තහනමත් හැරෙන්න 2008 වසරේ ආරම්භ වූ පළමු අයි.පී.එල්. පළමු වාරයේ සිට මේ දක්වාම දෝනි චෙන්නායි කණ්ඩායමට නායකත්වය දුන්නේය. ඒ අනුව චෙන්නායි කණ්ඩායමට නායකත්වය දෙන තුන්වැනි ක්‍රීඩකයා ජඩේජා වනු ඇත.





(සංජීව ධර්මසේන)