Friday, May 29, 2020

අවුරුදු 2ට අඩු දරුවන්ට මුඛ ආවරණ පැලඳීමෙන් වළකින්න.

හුස්ම හිරවීමේ අවදානමක් ඇති බැවින් වයස අවුරුදු 2ට අඩු දරුවන්, ළදරුවන්ට හා ළමයින්ට මුහුණු ආවරණ පැලඳීමෙන් වැළකිය යුතු බවත්, වයස අවුරුදු 3 සිට 5 දක්වා පෙරපාසල් දරුවන්ට මුහුණු ආවරණ පැලදීමේ සංකල්පය ඉගැන්විය හැකි බවත් සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කළ ළමා දිවා සුරැකුම් මධ්‍යස්ථාන හා පෙරපාසල්වලට අදාළ සෞඛ්‍ය මාර්ගෝපදේශයන්ගේ සඳහන් වේ.

ප්‍රාදේශීය සෞඛ්‍ය අධිකාරිය විසින් ඉහළ අවදාද මක් සහිත ප්‍රදේශ බවට තහවුරු කළ ප්‍රදේශ තුළදිවා සුරැකුම් මධ්‍යස්ථාන හා පෙරපාසල් ක්‍රියාත්මක නොවිය යුතු බවත්, එම දිවා සුරැකුම් මධ්‍යස්ථාන හා පෙරපාසල් කළමනාකාරිත්වය මගින් අමාත්‍යාංශය විසින් ලබාදී ඇති මාගෝපදේශ අනුගමනය කරන බවට සහතික කර පළාත් පාලන ආයතනයට හා ප්‍රාදේශීය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරියා වෙත යොමු කිර්ම අනිවාර්ය බවත් එහි සඳහන් වේ.

කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, උණ වැනි යම් රෝගී තත්වයක් ඇති දරුවන් පෙරපාසල්වලට හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානය වෙත නොඑවීමට දෙමාපියන් වගබලා ගත යුතු බවත්, පෙරපාසල හෝ දිවා සුරැකුම් මධ්‍යස්ථානය තුළදී එවැනි යම් රෝගී තත්ත්වයක් මතු වුවහොත් එම දරුවන් වෙන් කර තැබීම සඳහා යහනක් සහිත ස්ථානයක් පැවතිය යුතු බවත් ඇතුළු සෞඛ්‍යාරක්ෂිත උපදෙස් මාලාවක් අමාත්‍යාංශය  මඟින් කළමනාකාරීත්වයට, ගුරුවරුන්ට හා දෙමාපියන්ට ලබා දී තිබේ.

(නවෝද්‍යා පවනි)

තනිව දුක්විදින ''කාවන්'' නිදහස් කරන්න පාකිස්තාන මහාධිකරණයෙන් නියෝගයක්.

ශ්‍රී ලංකාවෙන් 1985 වසරේදී පාකිස්තාන රජයට ලබාදී ඉස්ලාමාබාද් අගනුවර පිහිටි සත්ව උද්‍යානයේ තනිව හා පීඩාකාරි අයුරින් කල් ගෙවන ' කාවන්' නම් හස්තියා ඉන් නිදහස් කරන ලෙස එරට මහාධිකරණය පසුගියදා නියෝග කර ඇතැයි වාර්තා වේ.  මෙම හස්තියා ශ්‍රී ලංකාව විසින් පාකිස්තානයට ලබාදෙන විට වයස අවුරුද්දක් පමණ වී ඇති අතර කාවන් මේ වන විට 35 හැවිරිදි වියෙහි පසුවෙයි. එම හස්තියා 2012 වසරේ සිට එම සත්වෝද්‍යානයේ ඉතා පීඩාකාරි අන්දමින් තනිව ජීවත්වන බව එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි.
කාවන්ගේ , සහකාරිය ලෙස 1990 වර්ෂයේදී ශ්‍රී ලංකාවේ සිට පාකිස්තානයට යැවූ ''සහේලි" නම් ඇතින්න 2012 දී මියයාමෙන් පසු කාවන් හස්තියා මෙසේ අට වසරක් පුරා තනිවම ඉස්ලාමාබාද් සත්ව උද්‍යානය තුළ ජීවත්ව තිබෙන්නේ නිසි පහසුකම්හෝ   නොමැතිව බව වාර්තා වේ.

 මෙම හස්තියාගේ නිදහස හා ඔහුට යහපත්ස්ථානයක් ලබා දීමේ අරමුණින් සුප්‍රකට ඇමෙරිකානු ගායන ශිල්පිනියක් වන (Cher) ඇතුළු ස්වේච්ඡා සංවිධාන එකමුතුවක් දැවැන්ත විරෝධාතාවක් ආරම්භ කර තිබූ අතර මෙම හස්තියා නිදහස් කරන්නැයි පාකිස්තාන් අධිකරණයට පෙත්සමක් ගොනුකරමින් ඉල්ලීමක් ද කර ඇත.
 මෙම හස්තියාට නිදහස ලබා දෙන ලෙස එරට බලධාරීන්ට බලකරමින් ලක්ෂ දෙකක පිරිසක ගෙන් යුත් අන්තර්ජාල පෙත්සමක් ද අත්පත් කර ඇත.
මීට අමතරව මෙම හස්තියා පාදවල විංලගු යොදා දම් වැල් යොදා ගැට ගසා තිබෙන අයුරු ජාත්‍යන්තර මාධ්‍ය පවා වාර්තා කර ඇති අතර ටකරං මඩුවක සිටි මෙම හස්තියා ඇතැම් අවස්ථාවල සෙල්සියස් අංශක 40 ට අධික උෂ්ණත්වයෙන් දැඩි ලෙස පීඩා විඳින බවටද වාරිතා කර තිබිණි.
 මෙම සියලු කරුණු සැලකිල්ලට ගනිමින් පාකිස්තාන මහාධිකරණය කාවන් නම්   මෙම හස්තියා යොමු කළ හැකි සුදුසු සත්ව උද්‍යානයක් සම්බන්ධයෙන් ශ්‍රී ලාංකික  බලධාරින් සමග සාකච්ඡා  කොට දින 30 ක්  ඇතුලත අධිකරණයට දැනුම් දෙන ලෙස  ද එරට වනජීවී  නිලධාරීන්ට  නියෝග කර තිබේ.
මහාධිකරණ තීන්දුව ප්‍රකාශයට පත්කරමින් අගවිනිසුරු අකාර් මිනල්ලා පවසා ඇත්තේ මෙම හස්තියාට පහසුකම් සැපයීමට සහ ජීවත්වීමට සුදුසු පරිසරයක් ලබාදීමට බලධාරින් ක්‍රියාකර නැති බවයි.
ඉස්ලාමාබාද් මහාධිකරණය නියෝග කර ඇත්තේ කාවන් අලි ඇතුන් සිටින සංකීර්ණයකට හෝ රටින් පිටත ස්ථානයකට යැවිය යුතු බවයි.

 අධිකරණය විසින් ලබාදුන් එම නියෝගය ලබාදීමත් සමග අමෙරිකානු ගායිකාව වන චෙර් සිය ට්විටර් ගිණුමේ සටහනක් තබමින් ප්‍රකාශ කර ඇත්තේ "එදින ඇයගේ ජීවිතයේ වටිනාම දිනය" යනුවෙනි.
 මෙම තීන්දුව ප්‍රකාශ කිරිමෙන් පසු කාවන් යළි මෙරටට ගෙන්වා ගැනීමට ක්‍රියා කරන්නැයි මෙරට සක්ව හිමිකම් සංවිධාන සමාජ මාධ්‍ය ඔස්සේ රජයෙන් ඉල්ලීම් ද කරමින් සිටීයි.

(ඩයනා උදයංගනී)

බ්‍රසීලයේ කොරෝනා මරණ එක පිට එක ගොඩගැසෙද්දී බොල්සොනාරෝ කීවේ මොනවද?

COVD-19 වසංගතය ඇමෙරිකාව උඩු යටිකුරු කර, යුරෝපය පුරා තරග කරමින් එක්සත් රාජධානියේ අගමැතිගේ දොරටද තට්ටු කර, දැන් බ්‍රසීලයේ සිදුකරමින් සිටින්නේ මහා විනාශයකි. එවැනි පසුබිමක වෛරසය 'පුංචි උණක්' ලෙස නැවත නැවතත් බැහැර කළ බ්‍රසීල ජනාධිපති ජෙයර් බොල්සොනාරෝ අතින් මේ මහා අනතුර ගිලිහී යැම සුළුවෙන් තැකිය නොහැකි තත්ත්වයකි.
                                                                                                        
 එක්සත් ජනපදයට පසුව ගෝලීය වශයෙන්  COVID-19 ආසාදිතයන්ගේ දරුණු මාතෘකාවක් බ්‍රසීලය විසින් දැන් සපයා ඇත.වෛරසයෙන් එරට පුද්ගලයන් 25,000කට වැඩි පිරිසක් මියගොස් ඇති අතර, විශේෂඥ මතය අනුව අගෝස්තුව වනවිට මරණ සංඛ්‍යාව දෙගුණයක් වීමට පුළුවන. රෝහල් සහ සොහොන් බිම්  එක හා සමානව ඔවුන්ගේ  සීමාවන් ඉක්මවමින් සිටින්නේ, අහිංසක ආදීවාසී ජනතාවගේද ඉරණමෙ විසඳමිනි. 

 ඒ අනුව බ්‍රසීල වැසියන් මෙන්ම, ලෝක ප්‍රජාව
බ්‍රසීලයෙන් විමසන්නේ වසංගතය පාලනයෙන්  තොර වූයේ කෙසේද යන්නයි. නමුත් බ්‍රසීල ජනාධිපතිවරයා මෙන්ම, ඔහුගේ අනුගාමිකයන්ටද අනුව තවමත් මෙය බරපතළ තත්ත්වයක් නොවේ. ඊට හොඳම උදාහරණ සපයන්නේ නව කොරෝනා වෛරසය හෝ එහි ව්‍යාප්තිය පිළිබඳ විමසන විට බොල්සොනාරෝ ලබාදෙන පිළිතුරුය.

"මම මොනවද කරන්න ඕන? මට ආශ්චර්යයක් කරන්න බෑ." මේ ඔහුගේ එක් පිළිතුරකි. බ්‍රසීලය තුළ වෙරසය පැතිරීම ආරම්භයේ සිට මේ දක්වා බොල්සොනාරෝ කීවේ, කළේ මොනවාද යන්න සැකෙවින් මෙසේය.

 1වැනි මරණය

 මාර්තු මාසය වනවිට වෛරසය රට තුළ පැතිරීම ආරම්භ වෙමින් තිබූ අතර, පළමු වැනි මරණය මාර්තු 17දා සිදුවිය. නමුත් ජනප්‍රිය නොවන නිරෝධායනය සහ ලොක්ඩවුන් පියවර බොල්සොනාරෝ සමච්චලයට ලක් කළේය. ඒවා සිදුකිරීමට උනන්දු වූ ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් මෝඩයන් සේ සැලකීය.

"අපේ ජීවිතය ඉදිරියට යා යුතුයි. රැකියා පවත්වා ගත යුතුයි” මාර්තු 24දා ඔහුගේ පිළිතුර විය.

.
 මරණ 1,000ක්

 අප්‍රේල් 10දා එරට මරණ 1,000ක් වාර්තා විය.නමුත්ජනාධිපතිවරයාගේ වචන සහ හැසිරීම තවමත්
වෛරසයට සූදානම් බවක් නොපෙන්වීය. බේකර් අවන්හලක මුඛ ආවරණයක් හෝ නොමැතිව, තම ආධාරකරුවන් බදා ගනිමින්, සමාජ දුරස්ථකරණය. තඹයකට මායිම් නොකරමින් ඔහු හැසිරුණේය.

මරණ 5,000ක්

 ආර්ථිකය හා සෞඛ්‍යය මේ මොහොතේ රෝගාබාධ දෙකක් ලෙස සැලකිය යුතු යැයි ඔහු කීවේය. “ඔබට එකකට සැලකිය නොහැකියි. අනෙකා නොසලකා හැරිය නොහැකියි." අප්‍රේල් මස 29දා වනවිට බ්‍රසීලය මරණ 5000ක් ඉක්මවා ගියේය.

       ඉතින් මොකක්ද?  කනගාටුයි, නමුත් මම මොනවද කරන්න ඕනෙ?" ඔහුගේ මුල්ම පිළිතුර විය. පසුව ඔහු තවදුරටත්, "වෛරසය හේතුවෙන් අප දැනට ජීවත්වන තත්ත්වය ගැන මට කනගාටුයි. ආදරණීයයන් අහිමි වූවන්ට, බොහෝ දෙනෙකුට, වයස්ගත වූවන්ට අපගේ සහයෝගය ප්‍රකාශ කරනවා. නමුත් ඔය තමයි, ජීවිතය. එය හෙට මට විය හැකියි." යනුවෙන් කියා සිටියේය.

මරණ 10,000ක්

ආර්ථිකය කඩා වැටීමට ඉඩ ඇති බව කියමින් මැයි 7දා නිරෝධායන පියවර ලිහිල් කිරීමට කටයුතු කළේය. ඉන් දින දෙකකට පසු බ්‍රසීලයේ මරණ 10,000ක් ඉක්මවා ගියේය.

"අගුලු දැමීම, සියල්ල වසා දැමිම පිළිබඳ මේ කතාව, එය නොවෙයි මාර්ගය. එය අසාර්ථක වීමේ මාවතයි. බ්‍රසීලය බිඳ දැමීමේ මාර්ගයයි.” “සෞඛ්‍යාරක්ෂාව අත්‍යවශ්‍යයි. නිසැකවම. රූ සපුවේ අලංකාරය අත්‍යවශ්‍යද කියා මම දන්නෙ නෑ." 

මරණ 15,000ක්

 මැයි 16දා බ්‍රසීලයේ මියගිය සංඛ්‍යාව 15,000ක් ඉක්මවා ගියේය. එදින බොල්සනාරෝ බ්‍රසීලියා හි පිහිටි සිය නිල නිවසෙන් පිටත තවත් රැලියකට ඒක්විය. ඊළඟ දිනයේදී  බ්‍රසීලය එක්සත් රාජධානිය අභිභවා ලෝකයේ තුන්වැනි වැඩිම ආසාදිතයන් වාර්තා වන රට බවට පත්විය.

මරණ 20,000ක්

දින කිහිපයක් ඇතුළත බ්‍රසීලය කොරෝනා ශ්‍රේණිගත කිරීම්වල, එක්සත් ජනපදය හැර ලෝකයේ වැඩිම ආසාදිතයන් වාර්තා වන රට බවට පත්වූයේ රුසියාවද අභිභවා ගොසිණි. මැයි 21දා වනවිට මරණ 20,000ක් වාර්තා විය.

එදින රාත්‍රියේ බොල්සොනාරෝ අගනුවර හොට්ඩෝග් කරත්තයක් අසල නැවතී සිය ආධාරකරුවන් පිරිවරා හොට්ඩෝග් රස වින්දේය. නමුත් කෝපාවිෂ්ඨ වූ විරෝධතාකරුවන් "මිනීමරුවා” යනුවෙන් අවටින් කෑ ගසන හඬ ජාත්‍යන්තර මාධ්‍යවල ප්‍රචාරය විය.

මරණ 25,000ක්

 බ්‍රසීලයේ සෞඛ්‍ය අමාත්‍යාංශය බ්‍රසීලයේ ජාතික මරණ සංඛ්‍යාව 25,598ක් බව බදාදා (27දා) නිවේදනය කළේය. බ්‍රසීලයේ ප්‍රාන්ත ආණ්ඩුකාරවරුන් ප්‍රාන්ත අගුලු දැමීම හා සමාජ දුරස්ථකරණ ක්‍රියාමාර්ග ප්‍රවර්ධනය කරද්දී, ජනප්‍රිය. නොවූ එම ක්‍රියාමාර්ගවල අපකීර්තිය ඔවුන් වෙත පටවා, ජනප්‍රිය තීරණ ගැනීම බොසොනාරෝන්ගේ උපාය මාර්ගය විය. නමුත් ඔහුගේ ආදර්ශය අනුගමනය කළ බ්‍රසීල වැසියන්ට සිදුවූයේ තමාගේ වළ තමන්ටම කපා ගැනීමටය. බොසොනාරෝ මෑතක  සිට වෛරසයට එරෙහි සටන 'යුද්ධයක්' ලෙස හැඳින්වීමට පටන් ගෙන ඇතත්, ආර්ථික එකතැන පල්වීම වෛරසයට වඩා බ්‍රසීලයට හානියක් වනු ඇතැයි ඔහු දිගින් දිගටම අවධාරණය කළේය. නමුත් ආසාදිතයන් මිලියන භාගයකට ළඟා වෙද්දී, බ්‍රසීලයේ අහිංසක ජනතාව වෙනුවෙන් හැරෙන සොහොන් ගණන ඔහු වෙනුවෙන් ආපසු හැරවිය හැකිද යන්න ඔහුවත් නොදන්නා බව නම් පැහැදිලිය.


19 ධීවර පෙම්වතා 15 සිසුවිය පැහැරගෙන.


පාසල් සිසුවියක පැහැරගෙන ගොස් තම නිවෙසේදී  දී දූෂණය කළ බව කියන ධීවරයා හා එයට ආධාර අනුබල දුන් බව කියන ඔහුගේ මව සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගෙන ඇති බව වැලිගම පොලිසිය පවසයි.
 දැරිය 15 හැවිරිදිය. සිසුවිය පාසලක 11 ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිට ඇති බවට පොලිසිය තොරතුරු හෙළිකර ගෙන ඇත.
 නිවැසියන් අවදි වන්නට පෙර දැරිය
පිටුපස දොර විවෘත කරන්ගෙන සැකකරු - සමග ගොස් ඇති බවත් සැකකරු 19  හැවිරිදි ධීවරයකු බවත් ආධාර අනුබලදීම යටතේ අත්අඩංගුවට ගෙන ඇති ඔහුගේ මව 47 හැවිරිදි වියේ පසුවන බවත් පොලිසිය කියයි.     දැරිය සැකකරු සමග ප්‍රේම සම්බන්ධතාවයක් පවත්වාගෙන ගොස් ඇති අතර එයට මව හා පියා විරුද්ධ වීම නිසා පැහැරගෙන යාම සිදුව තිබේ.

දැරිය වෛද්‍ය පරික්ෂණයක් සඳහා රෝහල් ගතකර තිබේ.
 වැලිගම මූලස්ථාන පොලිස් පරික්ෂ ඩී.එම්. අබේසේකර මහතාගේ උපදෙස් අනුව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩී.ජී.ධර්මවර්ධන, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති තාත්තා
පොලිස් සැරයන් ඒ.එම්. චන්ද්‍රා කුමාරි (1557) නිලධාරීන් සැකකරු සහ සැකකාරිය අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු හා සැකකාරිය මාතර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඊයේ (28) ඉදිරිපත් කිරිමට නියමිතය.

වැලිගම සුනිල් ධර්මබන්දු ද සිල්වා


ශ්‍රී මහා බෝධීන් වහන්සේ සුළඟින් ආරක්ෂා කිරීමට සුළං බාධකයක් ලෙස ඔසු පැළ රෝපණය කරයි.

අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධින් වහන්සේ සුළඟින් ආරක්ෂා කර ගැනීම සඳහා සුළං බාධකයක් ලෙස රන්කිහිරියා, සඳුන් සහ කොහොඹ යන ඖෂධීය පැළ රෝපණය කිරීමේ ව්‍යාපෘතියක් ක්‍රියාත්මක කිර්මට භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශය කටයුතු යොදා තිබේ.                       
                                                                          

මේ පිළිබඳ 'අද' කළ විමසීමේදී එම කාර්යාංශය සඳහන් කර සිටියේ, ජුනි 05 වැනිදාට යෙදෙන ලෝක පරිසර දිනට සමගාමීව මෙම ව්‍යාපෘතිය සිදු කෙරෙන බවයි. අදාළ නායක ස්වාමීන් වහන්සේලාගේ අනුදැනුම හා උපදෙස් මත සිදු කෙරෙන මෙම ව්‍යාපෘතියට අමතරව අටමස්ථානයද ආවරණය වන අයුරින් එම සිද්ධස්ථානයන්හි ඖෂධ පැළ සිටුවීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය කටයුතු යොදා තිබේ. 

 කෙසේවුවද මෙලෙස රෝපණය කෙරෙන පැළ එම සිද්ධස්ථාන භූමියේහි වෙසෙන වඳුරන්ගෙන් ආරක්‍ෂ කර ගැනීම සඳහා විශේෂ යකඩ ආවරණ සවි කර පැළය අඩි 10ක් වර්ධනය වන තෙක් ආරක්‍ෂා කිරීමට කාර්යාංශය සැලසුම් කර ඇත.

  එසේම භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අනුරාධපුර ප්‍රාදේශීය කාර්යාලයේ ක්ෂේත්‍ර නිලධාරින් විසින් සෑම මාස 03කට වරක් මෙම ඖෂධීය පැළ සිටුවා ඇති ස්ථානයන් නිරික්‍ෂණය කර ඒ පිළිබඳ වූ සම්පූර්ණ වාර්තාවක් කොළඹ පිහිටි භූ විද්‍යා සමීක්‍ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රධාන කාර්යාලයට ඉදිරිපත් කරනු ඇත. 

මෙවර ලෝක පරිසර දිනය නිමිති කර ගනිමින් භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය මගින් දීප ව්‍යාප්තව පැළ සිටුවීමේ වැඩසටහනක් ක්‍රියාවට නැංවේ.

මෙම වැඩසටහන යටතේ බෞද්ධ, ඉස්ලාම්, කතෝලික හා හින්දු ආගමික ස්ථාන සියල්ල නියෝජනය වන අයුරින් සෑම දිස්ත්‍රික්කයකම පිහිටි ආගමික ස්ථානයකම පැළ සිටුවීමට කටයුතු යොදා ඇති අතර, මෙම වැඩසටහන භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ ප්‍රාදේශීය කාර්යාල මගින් සංවිධානය කරේ.

ඒ අනුව එක් ආගමික ස්ථානයක පැළ 05ක් සිටුවීමට සැලසුම් කර ඇති අතර, වසර 03ක පමණ කාලයක් මෙම පැළ රැක බලා ගැනීමේ පසු විපරම් යාන්ත්‍රණයක්ද ක්‍රියාත්මක වේ.

(නිදර්ශනී වික්‍රමසිංහ)

කුලියට ගත් මෝටර් රියකින් කුඩු ගංජා ගෙනගිය පෙම් යුවළ දැලේ.


 කුලී පදනම මත ලබා ගන්නා  ලද සුඛෝපභෝගී මෝටර් රථයක් උපයෝගී කර ගෙන හෙරෝයින් මත්කුඩු හා ගංජා විකිණීමේ ජාවාරමක නිරත වූ බව කියන පෙම් යුවළක් පෙරේදා (27) සැක පිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව මාලිම්බඩ පොලීසිය පවසයි. 
එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක චන්ද්‍ර ජයවික්‍රම මහතාට ලැබුණු තොරතුරකට අනුව තෙලිජ්ජවිල කිරිමැටිමුල්ල ප්‍රදේශයේ දී සැක කටයුතු එම මෝටර් රථය නවතා පරික්ෂා කරතිබේ.
  එහිදී මෝටර් රථයේ එන්ජිම කොටසේ ඉතා සූක්ෂම ලෙස සඟවා තිබු හෙරෝයින් මක්කුඩු ග්‍රෑම් 20 යි මිලි ග්‍රෑම් 430 ක් හා ගංජා ග්‍රෑම් 622 ක ප්‍රමාණයක් පොලිසිය සොයා ගෙන ඇත. ඊට අමතරව එහි සිටි තරුණියගේ කලිසම් සාක්කුවේ
තිබී හෙරෝයින් මත් කුඩු මිලි ග්රෑම් 920 ක් පොලීසිය අත් අඩංගුවට ගනු ලැබිය.

කිරිමැටිමුල්ලේ පදිංචි 22 හැවිරිදි තරුණයා හා ඔහුගේ පෙම්වතිය බව කියන තෙලිජ්ජවිල පදිංචි 19 හැවිරිදි තරුණිය දැනට මාස කිහිපයක සිට මෙම ජාවාරම කර ගෙන ගොස් ඇති බවට පොලීසිය වෙත තොරතුරු ලැබී ඇත.
ඔවුන් ලුණුගම්වෙහෙර ඇල්ලගල පදිංචි පුද්ගලයෙකුගෙන් මෝටර් රථය කුලී පදනම මත ලබා ගෙන තණමල්විල ප්‍රදේශයෙන් ගංජා මිලදී ගෙන අම්බලන්ගොඩ දක්වා බෙදා  හැර ඇති බවට ද අම්බලන්ගොඩ මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකුගෙන් මත්කුඩු මිලට ගෙන නැවත තණමල්විල දක්වා එම මක්කුඩු විකුණා ඇති බවට ද පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී ඇත.
සැකකාර පෙම් යුවළ ඊයේ (28) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි. දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රොහාන් ජේ. සිල්වා මහතාගේ උපදෙස් මත මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී අනිල් ප්‍රියන්ත මහතාගේ අධීක්ෂණය යටතේ පොලිස් අධිකාරි සුසිල් විජේගුණවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් මාලිම්බඩ පොලීසියේ ස්ථානාධිපති චන්ද්‍ර ජයවික්‍රම, පොලිස් පරික්ෂක එස්. විජේස්කර, උප පොලිස් පරීක්ෂක එච්. එච්. චන්දන, සැරයන්වරුන් වන (24666) සොයිසා, (5899) ජයවර්ධන, (55927) ඉන්දික, (56072) සරත්, (63097) ජිනදාස, (5316) ජීවනී, කාන්තා පොලිස් කොස්තාපල් (6941) තිලානි යන මහත්ම මහත්මීන් ඇතුළු කණ්ඩායමක් මෙම වැටලීමට සහභාගී වූහ.

ක්‍රිෂාන් ජීවක ජයරුක්

පාසල් සිසුවියක පැහැරගෙන ගොස් අපයෝජනය කළැයි පුතා හා මව දැලේ.

පාසල් සිසුවියක පැහැරගෙන ගොස් තම නිවසේදී අපයෝජනය කළ බව කියන තරුණයෙකු හා එයට ආධාර අනුබල දුන් බව කියන ඔහුගේ මවද සැකපිට ප්‍රශ්න කිරීම සදහා ඊයේ (28දා) අත්අඩංගුවට ගත් බව වැලිගම පොලීසිය පවසයි.

වැලිගම ප්‍රදේශයේ පදිංචි 19 හැවිරිදි සැකකරුවෙකු හා ඔහුගේ මව වන 47 හැවිරිදි තැනැත්තියක මෙසේ අත්අඩංගුවට පත්ව ඇත. නිවැසියන් ඇහැරෙන්නට පෙර දැරිය පිටුපස දොර විවෘත කරගෙන සැකකරු සමග ගොස් ඇති බවට පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

15 හැවිරිදි පාසල් සිසුවිය සැකකරු සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් ඇති අතර එයට මව හා පියා විරුද්ධ වීම නිසා ඇය පැහැරගෙන යාම සිදුව ඇති බවට හෙළිවී ඇත.

අත්අඩංගුවට පත් දෙදෙනා ඊයේ (28දා) මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබු අතර සිද්ධියට මුහුණදුන් දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සදහා රෝහල්ගත කර තිබේ.  වැලිගම මූලස්ථාන පොලිස් පරික්ෂක ඩී.එම්. අබේසේකර මහතාගේ උපදෙස් අනුව අපරාධ විමර්ෂන අංශ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ඩී.ජී. ධර්මවර්ධන, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා පොලිස් සැරයන් ඒ.එච්. චන්ද්‍රකුමාරි නිලධාරින් විසින් වැටලීම සිදු කර තිබිණි.

(වැලිගම- සුනිල් ධර්මබන්දු ද සිල්වා)

රිමාන්ඩ් පාතාලයකුට 'කුඩු' දෙන්න ගිය දෙදෙනෙක් මාට්ටු


කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයේ රඳවා සිටින කඩුවෙල ප්‍රදේශයේ පාතාල සාමාජිකයකුට බන්ධනාගාර නිලධාරියකු මාර්ගයෙන් ලක්ෂ 4ට ආසන්න වටිනා හෙරොයින් ප්‍රමාණයක් ලබා දීමට තැත්කළ දෙදෙනකු හෙරොයින් ද  සමග ඊයේ (28) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.
සැකකරුවන් දෙදෙනා මාකොළ හා මාබිම යන ප්‍රදේශවල පදිංචිකරුවෝය. පොලිස් අත්අඩංගුවට පත්වන අවස්ථාවේ  ඔවුන් දෙදෙනා ළග හෙරොයින් ග්‍රෑම් 2.2 ට අධික ප්‍රමාණයක් තිබී ඇත.
 මෙම සැකකරුවන් දෙදෙනා බන්ධනාගාර නිලධාරියකු  මාර්ගයෙන් මෙම හෙරොයින් බන්ධනාගාරයට යැවීමට සුදානමින් සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාසයේ බුද්ධි අංශයට ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් ඊයේ  පස්වරු 1.00ට පමණ එහි රැක සිට ඇති අතර එක් බුද්ධි නිලධාරියෙක් බන්ධනාගාර නිලධාරියකු වශයෙන් වෙස් වලාගෙන එම ස්ථානයේ රැඳී සිටි බව උසස් පොලිස් නිලධාරීයෙක් පැවසීය.
සැකකරුවන් මෝටර් රථයෙන් බන්ධනාගාරය අසලට පැමිණ බන්ධනාගාර නිලධාරියකු වශයෙන් වෙස් වලාගෙන සිටි පොලිස් නිලධාරියාට මත්කුඩු සහිත පාර්සලය ලබා දී ඇති අතර පසුව අවට රැක සිටි පොලිස් නිලධාරින් විසින් සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලදි.
සැකකරුවන් දෙදෙනා මත්කුඩු ලබා දීමට සුදානමින් සිටි බන්ධනාගාර නිලධාරියා නොහඳුනන බව පොලිසිය පවසයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජනක නන්දන මහතාගේ අධීක්ෂණය මත , සහකාර පොලිස් අධිකාරී (පාලන) නෙවිල් සිල්වා, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක එරංග ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ මෙහෙයවිමෙන්, කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ මර්දන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඒ.ජී.එස්. සුසන්ත, අපරාධ බුද්ධි ඒකකයේ ස්ථානාධිපති උප පොලිස් පරික දේවගිරි යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන්, පොලිස් සැරයන් (617850), කොස්තාපල්වරුන් වන අමිල (70450), කුමාර (69480), දිලංක (83973), අනුරුද්ධ (8263l) යන මහත්වරු මෙම වැටලීම සිදුකර සැකකරුවන් අත්අඩංගුවට ගත්ත.

ඉන්දිකා රාමනායක

Thursday, May 28, 2020

හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය උසාවි කැඳවීම වළකයි.

හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා හෙට (29) නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටීම වළක්වාලමින් අභියාචනාධිකරණය ඊයේ (27) අතුරු නියෝගයක් නිකුත් කළේය.
ලබන ජුනි 8 වැනිදා තෙක් බලපැවැත්වෙන පරිදි අභියාචනාධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කර ඇත.
හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග එක්වී බොරු සාක්ෂි සෑදීම සඳහා කුමන්ත්‍රණය කළා යැයි කියන චෝදනා යටතේ තමන්ට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙත නඩු විභාගය අත්හිටුවන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ගොනු කළ රිට් පෙත්සම සලකා බලමින් අභියාචනාධිකරණය මෙම අතුරු නියෝගය නිකුත් කළේය.
සභාපති ඒ.එච්.එම්.ඩී නවංස් සහ සෝභිත රාජකරුණා යන මහත්වරුගෙන් යුත් අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම සලකා බැලිණි. මෙම පෙත්සම ඊයේ අධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී පෙස්සම්කාර හිටපු මහාධිකරණ විනිසුරුවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා
මහතා කියා සිටියේ තම සේවාදායකයාට එරෙහිව, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රන්ජන් රාමනායක මහතා සමග එක්වී බොරු සාක්ෂි සෑදීම සඳහා කුමන්ත්‍රණය කළා යැයි කියන චෝදනා යටතේ නුගේගොඩ මහසේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගයට අදාළව එම මහේස්ත්‍රාත් අධිකරණය නිකුත් කළ සිතාසිය නීතියට පටහැනි බවය.
 එසේම එම සිතාසිය මගින් සිය සේවාදායකයාගේ අයිතිවාසිකම් කඩවී ඇති බවත්, එය ස්වභාව යුක්ත මූලධර්මයට පටහැනි බවත් ජනාධිපති නීතිඥවරයා අධිකරණය හමුවේ කියා සිටියේය.
කරුණු සලකා බැලූ අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හිටපු මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා ජුනි 08  වැනිදා තෙක් නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී  සිටීම වළක්වාලමින් මෙම අතුරු නියෝගය නිකුත් කළේය.  තමන්ට එරෙහිව නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැත්වෙන නඩු විභාගය නවත්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ගිහාන් පිලපිටිය මහතා ගොනු කළ මෙම රිටි පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නුගේගොඩ මහේස්ත්‍රාත්, වැඩබලන පොලිස්පති ඇතුළු තිදෙනෙක් නම් කරනු ලැබ සිටියහ.

(රංජන් කටුගම්පොළ සහ තිළිණි ද සිල්වා)

"රූපවාහිනිය බලමින් සිටියදී එක්වරම තාත්තාට සිහි නැතිවුණා" හිටපු ඇමති තොණ්ඩමන්ගේ පුතා කියයි.

පෙරේදා (26) වැනිදා පස්වරු 8.30ට පමණ තලංගම රජයේ රෝහලේදී තොණ්ඩමන් මහතා මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ (27) තලංගම දකුණ හදිසි මරණ පරික්ෂක ඒ.ඒ.එල් ප්‍රේමලතා මහත්මිය ඉදිරියේ තලංගම රජයේ රෝහලේදී පැවැත්විණි. 

 එහීදී ජීවන් තොන්ඩමන් මහතා සාක්කි දෙමින් මෙසේ කීය. මගේ පවුලේ මව්පියන් සමග අක්කලා දෙදෙනෙක් සහ මමත් සමග පස්දෙනෙක් ඉන්නවා. මගේ තාත්තාට කිසිම අසනීපයක් තිබුණේ නෑ. සිද්ධිය වුණ දින රාත්‍රි 8ට පමණ  තාත්තා ඇග හෝදගෙන ඇවිත් රාත්‍රී ආහාර. ගනිමින් රූපවාහීනිය නරඹමින් සිටියා. එම අවස්ථාවේ මා සමගින් කතාකරමින් සිටින විට තාත්තට එකවරම සිහිනැති වුණා. මම පැනලා තාත්තා අල්ල ගත්තා. මමත් අක්කත් මගේ රියදුරුත් සමග වාහනයක දාගෙන තලංගම රෝහලට ඇතුළත් කළා. ඒ මොහොතේම වෛද්‍යවරු පරීක්ෂා කරලා තාත්තා මිය ගොස් ඇති බවට පැවසුවා. මගේ තාත්තගේ මරණය පිළිබඳව කිසිම සැකයක් නැහැ. ලේ කැටියක් සිරවීම නිසා හෘදයාබාධයකින් සිදුවූ හදිසි මරණයක් බවට මම පිළිගන්නවා. 

   එහීදී සාක්ෂි දුන් ඔහුගේ දියණිය වන විජයලක්ෂ්මී තොණ්ඩමන් මහත්මිය මෙසේ කිවාය. තාත්තාට කිසිම අසනීපයක් මීට පෙරම තිබුණේ නැහැ. සිද්ධිය වෙන අවස්ථාවේ මම සිටියේ නාන කාමරයේ මට හයියෙන් කෑ ගහන ශබ්දයක් ඇහුණා. මම එළියට එන විට මම දැක්කා මල්ලි තාත්තා අල්ලගෙන ඉන්නවා. ඒ අවස්ථාවේ තාත්තට සිහී නැතිව හිටියේ. මමත් මල්ලිත් අපේ රියදුරු සමග මෝටර් රථයක දාගෙන තාත්තා තලංගම රජයේ රෝහලට ඇතුළත් කළා. එහිදී වෛද්‍යවරුන් පරික්ෂා කර බලා තාත්තා මියගොස් ඇති බව පැවසුවා.

පශ්චාත් මර්ශණ පරික්ෂණය පැවැත්වූ තලංගම රජයේ රෝහල් වෛද්‍ය එම්.ඒ අසේල මෙන්ඩිස් මහතා වෙද්‍ය වාර්තාව අනුව දකුණු හෘද ධමනියේ ලේ කැටියක් සිරවීමෙන් ඇතිවූ ස්වභාවික මරණයක් බවට තලංගම දකුණු හදිසි මරණ පරික්ෂක ඒ.එල්.ඒ. ප්‍රේමලතා මහත්මීය තීන්දු කළේය.

(හෝමාගම ප්‍රියන්ත ජයලත්)

කළුතර තරු හෝටල්වල නිරෝධානය වන්නට පොලිසියෙන් රතු එළියක්.

විදේ්ශයන්හි පැමිණ කළුතර දිස්ත්‍රික්කයේ තරු පන්තියේ හෝටල් කිහිපයක නිරෝධායනය වන පිරිසක් ජෛව සාම්පල් ලබා ගැනීම සඳහා යන වෛද්‍යවරුන් ඇතුළු කාර්ය මණ්ඩලයේ රාජකාරියට බාධා කරන්නේ නම් ඔවුන්ට නිරෝධායන නීතිය යටතේ කටයුතු කරන බව නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පවසයි.
 මේ සම්බන්ධයෙන් මාධ්‍ය මගින් පළ වූ ප්‍රවෘත්ති සම්බන්ධයෙන් පොලිසියේ අවධානය යොමු වී ඇති බවත් ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් අජිත් රෝහණ මහතා කීය.
 මොවුන් තවදුරටත් එසේ හැසිරෙන්නේ නම් නිරෝධායන නීතිය කඩකළ පුද්ගලයන් වශයෙන් සලකා නීතිමය පියවර ගන්නා බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය. විදේශයන්හී සිට පැමිණි ශ්‍රී ලාංකිකයන් පිරිසක් කළුතර දිස්ත්‍රික්කයේ හෝටල් කිහිපයක නිරෝධායන වන බවත් ඔවුන් කොවිච් 19
පාලනයට ලබා දී ඇති උපදෙස් ක්‍රියාත්මක  නොකර නිලධාරින්ගේ රාජකාරියට බාධා කරන බවත් මොවුන් තවදුරටත් නිලධාරින්ට සහයෝගය නොදෙන්නේම් තම කාර්ය මණ්ඩලයට එම රාජකාරිවලින් ඉවත් වීමට සිදුවන බව කළුතර දිස්ත්‍රික් කොවිච් 19 මර්දන සම්බන්ධීකරණ නිලධාරී වෛද්‍ය ක්‍රිශාන්
හිරිමුතුගොඩ මහතා පසුගියදා මාධ්‍යවලට අනාවරණය කර තිබිණි.
  තම සෞඛ්‍ය ආරක්ෂාව පතා මෙරටට පැමිණෙන පිරිස් කොමිස 19 වයිරසය මෙරටින් තුරන් කිරීමට සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට අවශ්‍ය සහයෝගය ලබා දිය යුතු බවත් කිසිවකු හෝ එසේ කිරීමට අපොහොසත් වන්නේ නම් ඔවුන්ට එරෙහිව නීතිය තදින්ම ක්‍රියාත්මක කරන බවත් අජිත් රෝහණ මහතා කීය.

ඉදිරියේදී ද පිට රටවල සිට මෙරටට පැමිණෙන ශ්‍රී ලාංකිකයන්ගෙන් කොවිඩ් මර්දනයට කටයුතු සඳහා උපරිම සහාය බලාපොරොත්තු වන බවද අජිත් රෝහණ මහතා තවදුරටත් පැවසීය.
(ඉන්දිකා රාමනායක)

පන්දාහෙන් භාගයක් නොඳුන්නැයි කොසු පහරදී බිරිය ගෙදරින් පන්නලා

කොරෝනා වසංගතය හේතුවෙන් රජය මගින් ලබාදෙන රුපියල් පන්දාහෙන් තමන්ටත් රුපියල් දෙදහස් පන්සියයක මුදලක් නොදුන්නා යැයි පුද්ගලයකු සිය බිරිය නිවෙසින් එළවා දමා ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පුවතක් කෑගල්ල ප්‍රදේශයේ ගම්බදකින් වාර්තාප වෙයි.

කෑගල්ල ප්‍රදේශයේ ග්‍රාමයක වයස අවුරුදු 71 ක හා 68 හැවිරිදි වයෝවෘද්ධ යුවළක් පදිංචිව සිටිති. කොරෝනා වසංගතය හේතුවෙන් රජය මගින් සෑම පවුලකටම රුපියල් 5000ක මුදලක් ලබාදෙන අතර, අප්‍රේල් මාසයේ දුන් රුපියල් 5000 මුදල සැමියා ග්‍රාම නිලධාරින්ගෙන් ලබාගෙන, සිය බිරියට ද රුපියල් 2500 ක මුදලක් ද ගෙනත් දී ඇති බව ද වාර්තා වෙයි.

 මැයි මාසයේ රුපියල් 5000ක මුදල ඉකුත් 25 දා සමෘද්ධි නිලධාරියා විසින් ගෙවන බවට සැමියාට අසල්වැසි පදිංචි  පුද්ගලයකු දන්වා තිබුණි. කෙසේ වෙතත් ඒ වෙනකොට පැවති අසනීප තත්වයක් උත්සත්ත වීම හේතුවෙන් වයෝවෘද්ධ පුද්ගලයාට මීටර් 800ක් පමණ ඈතින් පිහිටි සමෘද්ධි කාර්යාලයට පා ගමනින් යාමට නොහැකිවීම හේතුවෙන් සිය බිරිඳට එම මුදල ලබාගෙන එන ලෙස නිවසින් පිටත් කර යවා ඇත.

සමෘද්ධි නිලධාරියා අදාළ කාන්තාවට සිය සැමියාගේ නමින් තිබූ රුපියල් 5000 මුදල ලබාදී තිබුණි. රුපියල් 5000 ක මුදල රැගෙන නිවසට ආ කාන්තාවගෙන් 2500 ක් ඉල්ලා ඇති බවද වාර්තා වෙයි.

කෙසේවෙතත් කාන්තාව සිය සැමියා ඉල්ලා ඇතැයි කී මුදල දී නොමැති අතර, නිවසේ තිබූ කොස්ස ගෙන සැමියා සිය බිරියට කොස්සෙන් පහර දෙකක් එල්ල කිරීමෙන් පසුව, ඇය අසල පදිංචි පුතාගේ නිවසට දිව ගොස් නිවසේ සිටි මල්ලිට සිද්ධිය සම්බන්ධයෙන් දන්වා ඇත, පසුව ලේලිය නැන්දම්මාගේ අත තිබූ මුදල්වලින් 2500 ක මුදලක් බලහත්කාරයෙන් ලබාගෙන මාමණ්ඩියට ගිහින් දී තිබුණි.

(කෑගල්ල අධිකරණ චමින්ද වැවතැන්න)

Wednesday, May 27, 2020

කොළඹ යන්න කෝච්ච්යක් නැතුව අම්බලන්ගොඩ මගීහු රේල් පාරේ විරෝධතාවක.


කොළඹ රාජකාරියට යෑම සඳහා අම්බලන්ගොඩ දුම්රිය පොළට පැමිණ සිටි මගී පිරිසකට අබලන්ගොඩ දුම්රිය ස්ථානයෙන් ඊයේ (26 වැනිදා) උදැසන 6.22ට ධාවනය වූ දුම්රියෙන් ගමන් කිරිමට නොහැකි වූවා යැයි කියමින් දුම්රිය මාර්ගයට බැස ඔවුහු ඊයේ (26) විරෝධතාවක නිරත වූහ.
බෙලිඅත්ත සිට කොළඹ මරදාන බලා ධාවනය  වීමට තිබූ ශීඝ්‍රගාමී දුම්රිය ඊයේ (26)  අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ නොනවත්වා යෑමට තීරණය කර තිබූ හෙයින් කොළඹට යෑමට දුම්රීයක් නොමැති නිසා මෙම විරෝධතාව පැවැත් වූ බව දුම්රිය මගීහු පැවසූහ. අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයට කොළඹ බලා ගමන් කිරිමට ඊයේ (26) පැමිණි මගීන්ට දුම්රියක් නොමැතිව පැය දෙකක පමණ කාලයක් අපහසුතාවකට පත්වීමට සිදුවුවද, අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයේ නිලධාරිහු
දෙපාර්තමේන්තුව සමග සාකච්ඡා කර සේවා ස්ථානවලට යාමට සිටි මගීන්ට බෙලිඅත්ත සිට කොළඹ බලා ධාවනය කළ දුම්රියෙන් ගමන් කිරිමට අවස්ථාව ලබා දීමට කටයුතු කළහ.
දුම්රියෙන් ගමන් කිරිමට පැමිණ සිටි මගීන්ට ඊයේ (26) උදෑසන 6.22 ට ධාවනය වූ දුම්රියට ඇතුළුවීමට අවසර නොලැබීම නිසා පිරිසක් නැවත නිවෙස් බලා ගොස් සිටි
අතර තවත් මගීන් 150ක් පමණ සේවයට යා යුතු බව පවසමින් දුම්රිය මාර්ගයට බැස විරෝධතාවක නිරත වූහ. 
අම්බලන්ගොඩ පොලිසිය ද මෙම ස්ථානයට පැමිණ සිටියේය. අම්බලන්ගොඩ දුම්රිය ස්ථානාධිපති රංජිත් ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරින්ගේ මැදිහත් වීමෙන්  දුම්රිය දෙපාර්තමේන්තුව සමග සාකච්ඡාව කර බෙලිඅතේ සිට අම්බලන්ගොඩ දුම්රිය ස්ථානයට 8.10ට පැමිණි  දුම්රියෙන් මගීන්ට කොළඹ බලා යාමට අවස්ථාව ලබා දී  තිබුණි.
 උදෑසන 6.10ට දුම්රියෙන් කොළඹ බලා ගමන් කිරිමට පැමිණි මගීන්ට පැය දෙකක් පමණ කාලයක් ගමන් කිරීමට දුම්රියක් නොමැතිවීම හේතූවෙන් අපහසුතාවට පත්වීම නිසා ඔවුහු දුම්රිය ස්ථානය ඉදිරිපිට දුම්රිය මාරිගයට පැමිණි විරෝධතාවක නිරත වූහ.
 සේවය සඳහා කොළඹ බලා ගමන් කිරිමට පැමිණි විරෝධතාවයේ නියැළි සිටි පිරිසට මේ බව දැනුම් දීමෙන් පසු මගීහු පිරිස විරෝධතාවය අවසන් කර දෙපාර්තමේන්තුවට හා නිලධාරින්ට ස්තූතිය පුදකර කොළඹ බලා ධාවනය වූ දුම්රියේ ගමන් කළහ.
(බටපොල දීපාල් ද සිල්වා)


අයි.පී.එල් ඉතිහාසයේම විශිෂ්ටයන් අතරට මාලිංගත්, කෝලි හා දෝනිගේ ප්‍රේක්ෂක ප්‍රතිචාර මාලිංගට පසුපසින්

ඉන්දියන් ප්‍රිමියර් ලීග් (අයි.පී.එල්. ක්‍රිකට් තරඟාවලී ඉතිහාසයේ බිහි වූ දක්ෂතම ක්‍රිකට් ක්‍රීඩකයන් අතරට ශ්‍රී ලංකාවේ සුපිරි වේග පන්දු යවන ක්‍රීඩක ලසිත් මාලිංගද ඇතුළත් කොට තිබේ. ඒ එංගලන්ත බී.බී.සී. පුවත් සේවය මගින් "සිදුකළ සමීක්ෂණයකට අනුවය. සිය පාඨකයන් අතුරින් ඡන්ද විමසීමකින් මෙම සමීක්ෂණය සිදුකොට ඇත. මෙහිදී පාඨකයන් අතරින් සියයට 93ක් මාලිංග තෝරා ගැනීමට සිය ඡන්දය ප්‍රකාශ කොට තිබේ.
                                                                                 
  එය එම ලැයිස්තුවේ ක්‍රීඩකයෙකු ලැබූ සම ඉහළම ප්‍රතිශතයද වේ. මාලිංග සමගින්ද, අප්‍රිකා පිතිකරු ඒ.බී. ඩිවිලියර්ස්ද මෙම ප්‍රතිශතය හිමි කරගෙන ඇත. මාලිංගට මෙහි පිතිකරණ අනුපිළිවෙළෙහි (Batting order) හිමි වී ඇත්තේ 9 වැනි ස්ථානයයි. 

 අයි.පී.එල්. ඉතිහාසයේ වැඩිම කඩුලු ප්‍රමාණයක් හිමි කරගත් ක්‍රීඩකයා වන ලසිත්, තරග 122කට සහභාගි වී කඩුලු 170ක් බිඳ හෙළා ඇත. එහි සාමාන්‍ය 19.80කි. 'යෝකර් රජු" ලෙස අනවර්ථ නාමයෙන් හැඳින්වෙන හෙතෙම අයි.පී.එල්. ඉතිහාසය තුළදී පිතිකරුවන්ට යොමු කළ යෝකර් පන්දු සංඛ්‍යාව 525කි.

එය දෙවැනි ස්ථානයේ පසුවන ක්‍රීඩකයාට වඩා පන්දු 325ක වැඩිවීමක් වන අතර, මාලිංග2009 වර්ෂයේ පටන් මේ දක්වාම නියෝජනය කරනුයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි. එම  කණ්ඩායම අයි.පී.එල්.හි වැඩිම ශුරතා ප්‍රමාණයක් (4) දිනා ගැනීමටද සමත්ව තිබේ.  

මෙම ලැයිස්තුවට පන්දුවාර 20 පිටියේ විශේෂඥයන් ලෙසින් හැඳින්වෙන බ.ඉ.කොදෙව් කණ්ඩායමේ ක්‍රීඩකයන් සිවුදෙනෙකු අන්තර්ගත වී ඇත. ඊට අමතරව වැඩිම සහභාගිත්වයක් දරන  ඉන්දීය ක්‍රීඩකයන් සිවුදෙනෙකු, ඔස්ට්‍රේලියා හා දකුණු අප්‍රිකා ක්‍රීඩකයෙකු බැගින් මෙයට අන්තර්ගත වේ.

බී.බී.සී.ය මගින් තෝරාගත් මෙම ලැයිස්තුවේ ආරම්භක පිතිකරුවන් ලෙස බ.ඉ.කොදෙව් ක්‍රීඩක ක්‍රිස් ගේල් හා ඩේවිඩ් වෝනර් තෝරාගෙන තිබේ. අයි.පී.එල්. ඉතිහාසයේ බිහි වූ වඩාත්ම ප්‍රහාරාත්මක පිතිකරුවෙකු වන බ.ඉ. කොදෙව් ක්‍රීඩක ගේල් තෝරා ගැනීමට පාඨකයන් 80%ක් සිය ඡන්දය ප්‍රකාශ කොට තිබේ.

තරග 125කදී ලකුණු 4484ක් රැස් කරගෙන සිටින ගේල් පන්දුවාර විස්ස ඉහළම ඉනිමටද (175) හිමිකම් කියයි. එමෙන්ම ඔස්ටේලියා ක්‍රීඩක ඩේවිඩ් වෝනර්, ගේ සහායකයා ලෙසින් තෝරා ගැනීමට පාඨකයන් 67%ක් ඡන්දය ප්‍රකාශ කොට ඇති අතර, ඔහු තරග 126කදී ලකුණු 4706ක් ලබා සිටී. 

මේ අතර ඉන්දියාව තුළ මේ වනවිට වඩාත් කැපී පෙනෙන පිතිකරුවා වූ විරාත් කෝලි අංක 3 පිතිකරු ස්ථානයට පත් කිර්මට බොහෝ ප්‍රේක්ෂකයන් ප්‍රමාණයක් කටයුතු කර තිබේ. මේ සඳහා 92%ක් සිය ඡන්දය ප්‍රකාශ කොට තිබේ. තරග 177කදී ලකුණු 5412ක් රැස් කරගෙන ඇති කෝලි පිතිකරුවෙකු තරග සමයකදී රැස්කළ වැඩිම ලකුණු ප්‍රමාණයේ වාර්තාවද හිමිකරගෙන ඇත්තේ 2016 තරග සමයේදී ලකුණු 973ක් රැස් කරමිනි.

දකුණු අප්‍රිකා ක්‍රීඩක ඒ.බී. ඩිවිලියර්ස් මෙහි අංක 4 ස්ථානයේ පිතිකරු බවට පත්කිරීමට ප්‍රේක්ෂකයන් 93%ක් කටයුතු කර තිබීම විශේෂත්වයකි. ඉතා වේගවත් පිතිහරඹයක යෙදීමට හැකි ක්‍රීඩකයෙකු වන ඩිවිලියර්ස් මේ දක්වා තරග 154කදී ලකුණු 4395ක් රැස් කරගෙන තිබේ. 

මේ අතර ඉන්දියාවෙන් මෙතෙක් බිහි වූ සාර්ථකම  නායකයෙකු ලෙස හැදින්වෙන එම්.එස්. දෝනිට මෙහි පිතිකරු අංශයේ 5 වැනි ස්ථානය හිමි වී ඇත. ඒ 82%කගේ කැමැත්ත මතය. තරග 190කට සහභාගි වී, ලකුණු 4432ක් රැස් කරගෙන ඇති දෝනි සැලකෙනුයේ ලොව මෙතෙක් බිහි වූ දක්ෂම තරග අවසන් කරන්නෙකු ලෙසිනි.

 මේ අතර අයි.පී.එල්. පිටියේ මෙතෙක් බිහි වූ වේගවත්ම ප්‍රහාරකයෙකු ලෙස සැලකෙන කොදෙව් දේශයේ ඔන්ඩ්‍රෙ රසල්ට මෙහි අංක 6 පිතිකරු ස්ථානය හිමි වී තිබේ. තරග 64කදී ලකුණු 1538ක් රැස් කරගෙන සිටින රසල්ගේ පිති ප්‍රහාරය කෙතරම්ද කිවහොත් ඔහුගේ අයි.පී.එල්. ලකුණුවලින් සියයට 85%කටත් වඩා ලබාගෙන ඇත්තේ හයේ හෝ හතරේ පහරවලිනි. රසල් තෝරා ගැනීම සඳහා 54%ක් සිය ඡන්දය ප්‍රකාශ කොට තිබේ.

කොදෙව් කණ්ඩායමේ දක්ෂ තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන ඩිවෙයින් බ්‍රාවෝ මෙම සටහනේ හත්වැනි පිතිකරු ලෙස ස්ථානය දිනාගෙන තිබේ. තරග 134 දී ලකුණු 1438ක් ලබාගෙන ඇති බ්‍රාවෝ කඩුලු 147ක් දවාගෙන තිබේ. පන්දුවාර විස්ස පිටියේ උපක්‍රමශීලී ක්‍රීඩකයෙකු ලෙසින් ප්‍රසිද්ධ බ්‍රාවෝ තෝරා ගැනීම සඳහා 52%ක් සිය ඡන්දය ප්‍රකාශ කොට තිබේ. 

මීට අමතරව කලක් පන්දු යවන්නෙකු ලෙස විශිෂ්ට දක්ෂතා දැක්වූ කොදෙව් ක්‍රීඩක සුනිල් නාරීන් පසුව සිය පිතිකරණ අංශයද දියුණු කර ගැනීමට සමත් වීම මෙම සටහනට ඇතුළත් වීමට වඩාත්ම හේතු වී තිබේ. 52%ක් දෙනා නාරීන් කණ්ඩායමේ  8 වැනි පිතිකරු ලෙස තෝරාගෙන ඇති අතර, ඔහු තරග  110කදී ලකුණු 771ක් රැස් කරමින් කඩුලු 122ක් දවාගෙන තිබේ.

මෙම පිතිකරණ ලැයිස්තුවේ 9වැනි ස්ථානය හිමි කරගෙන සිටින මාලිංගට අගනා සහායක් ලබාදෙන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේම ජස්ප්‍රිට් බුම්රා මෙම ලැයිස්තුවේ දසවැනි ස්ථානය  හිමිකරගෙන තිබේ. ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන වේගපන්දු යවන්නා වන බුම්රා අයි.පී.එල්. පිටියේදී තරග 77කට සහභාගි වී බිඳහෙළා ඇති කඩුලු සංඛ්‍යාව 82කි.

64% දෙනෙකුගේ තේරීම වූ බුම්රා හැදින්වෙනුයේ අවසන් පන්දුවාරවලදී පන්දු යැවීමේ විශේෂඥයෙකු ලෙසිනි. මේ අතර මෙම ලැයිස්තුවේ එකොළොස් වැනි පිතිකරණ ස්ථානය හිමි වී ඇත්තේ බුවනේෂ්වර් කුමාර් හටය. 43 දෙන්නෙකුගේ තේරීම වූ බුවනේෂ්වර් පන්දුව දෝලනය උදෙසා විශිෂ්ට දස්කම් දක්වන ක්‍රීඩකයෙකු ලෙසින් හැඳින්වෙන අතර, ඔහු සන්රයිසස් හයිද්‍රාබාද් කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියාද වේ. ඒ තරග 117කදී කඩුලු 133ක් බිඳ හෙළමිනි.

(ඕෂිත වරකපිටිය)

සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව රාජිතට එරෙහි නඩු විභාගය ඔන්ලයින් ක්‍රමයට ස්කයිප් තාක්ෂණය

ආන්දෝලනාත්මක "සුදුවෑන් මාධ්‍ය සාකච්ඡාව" සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා සම්බන්ධ නඩුව ඔන්ලයින් ක්‍රමයට  ස්කයිප් තාක්ෂණය ඔස්සේ අද (27) විභාග කිරීමට තීරණය ඇතැයි අධිකරණ ආරංචි මාර්ග සඳහන් කරයි.
 මේ වන විට පල්ලන්සේ කඳවුරේ රක්ෂිත භාරයේ නිරෝධායන වෙමින් සිටින සැකකාර රාජිත සේනාරත්න මහතා අධිකරණය වෙත ඉදිරිපත් නොකර ස්කයිප් තාක්ෂණය ඔස්සේ මහේස්ත්‍රාත්වරිය වෙත ඉදිරිපත් කිරීමට තිරණය කර ඇතැයි ද එම ආරංචිමාර්ග පවසයි.
 මෙම සිද්ධියට අදාළව ඇප අවලංගු වු සැකකාර හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා ඉකුත් 13 වැනිදා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් භාරවීමෙන් අනතුරුව රක්ෂිත භාරයට පත්විණි.
 මෙම සිද්ධියට අදාළව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකාර රාජිත සේනාරත්න මහතාට ඇප දෙනු ලැබුවේ ඉකුත් 2019 දෙසැම්බර් මස 30 වැනිදාය. පසුව එම ඇප නියෝගය බලරහිත කරමින් කොළඹ මහාධිකරණය ඉකුත් 13 වැනිදා සැකකරු එසේ රක්ෂිත භාරයට පත් කළේය.
 සුදු වෑන් මාධ්‍ය සාකච්ඡාව පවත්වා ලංකා දණ්ඩ නිතී සංග්‍රහ පනත සහ ජනාධිපති වරයා තෝරා පත්කර ගැනීමේ පනත යටතට ගැනෙන වරදක් සිදුකළැයි කියන සිද්ධිය සබන්ධයෙන් හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ශනෙලුම්දෙණිය මහතා මුලින්ම විවෘත වරෙන්තු නිකුත් කළේ ඉකුත් 2019 වර්ෂයේ දෙසැම්බර් මස 20 වැනිදාය.
පසුව, නාරාහේන්පිට පෞද්ගලික රෝහලක ප්‍රතිකාර ලබමින් සිටියදී සැකකාර හිටපු අමාත්‍යවරයා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්දඅඩංගුවට ගනු ලැබීය. පසුව රෝහලෙන් ප්‍රතිකාර ලබමින් සිටියදීම කොළඹ මහේස්ත්‍රාත්වරිය සැකකරුට ඇප දුන්නේ ඉකුත් 2019 දෙසැම්බර් මස 30 වැනිදාය.
හිටපු අමාත්‍ය රාජිත සේනාරත්න මහතා මෙම සිද්ධියේ තෙවැනි සැකකරු වන අතර, මෙහි පළමු,දෙ වැනි සහ සිවුවැනි සැකකරුවන් වන්නේ, අංක 57/7, විද්‍යාල මාවත,
කොටහේන පදිංචි ඩබ්ලිව්. ජී. අතුල සංජීව මදනායක (46) නොහොත් “උණ්ඩියල් අතුල", අංක 424/ඒ, අහුගම්මත, අම්පාර පදිංචි එස්. ඩබ්ලිව්. ඒ. සරත් කුමාර (45) සහ රාජ්‍ය ඖෂධ නිතිගත සංස්ථාවේ හිටපු සභාපති ආචාර්ය මොහොමඩ් කාසිම් මොහොමඩ් රූමි යන අයයි.
 සිද්ධියට අදාළ වැඩිදුර මහේස්ත්‍රාත් පරීක්ෂණය අද (23) යළි අධිකරණය හමුවේ කැඳවෙනු ඇත.
(නිමන්ති රණසිංහ)

වෛරස පාලනය කළ රටවල් පවා අවධානය වැඩිකළ යුතු යැයි වසංගත රෝග ව්ද්‍යාඥ මාරියා වෑන් කෙර්කෙව් පවසයි.

COVID-19 වෛරසය සම්බන්ධයෙන් නිශ්චිත පුරෝකථනයක් ඇති බව සඳහන් කරමින් පෙරේදා (25 ජිනීවා නුවරදී පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් ඇය මෙම අදහස් පළ කළාය."මට හොඳින් වැටහෙනවා. මමත් ඔබ වගේම බෝට්ටුවක තමයි ඉන්නෙ. අප හැමෝටම ඕනේ මේක අවසානයක් දකින්නයි. ඒත් අපිට තව ගොඩාක් දුර යන්න තියෙනවා."වැන් කර්කොව් පැවසීය.
                                                                                               
එසේම සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා උණ සහ COVID-19 සම-ආසාදනයක් හෝ සම-සංසරණයක් සිදුවුවහොත් තත්ත්වය වඩාත් නරක අතට හැරීමට හැකි බවද ඇය අනතුරු ඇඟවූවාය. 

 "එසේ වුවහොත් එය අපගේ අවබෝධය අවුල් කිරීමට පුළුවන්. මොකද, පරික්ෂණයක් සිදු නොවූ අවස්ථාවක මිනිසුන්ට ආසාදනය වී ඇත්තේ කුමක් දැයි අපට එක්වරම අවබෝධ කරගැනීමට නොහැකි වේවි. එය සමස්ත පද්ධතියම ගංවතුරකට හසුවූවාක්  වැනි දෙයක්. එමගින් දැනට කරගෙන යන දේත් යටපත් වීමට පුළුවන්.” ඇය සඳහන් කළාය.

අවස්ථාවක් ලබාදුනොත් වෛරසය. පැතිරී යළි ආරම්භ වන බව අවධාරණය කරමින් ඇය පවසා සිටියේ, "කොරෝනා වෛරස්වල විශේෂ ලක්ෂණයක් වන්නේ, යම් යම් ස්ථානවල විස්තාරණය වීමට ඊට ඇති හැකියාවයි. එනම් සම්ප්‍රේෂණය වීමට ඇති හැකියාව හෝ සුවිශේෂී පැතිරීමක් සිදුවීමේ හැකියාවයි. විශේෂයෙන්ම සංවෘත පරිශ්‍රයන් තුළ (වාතාශ්‍රය හරිහැටි නොලැබෙන ආවරණය වූ තැන්වලට අවස්ථා ගණනාවකදී අප මෙය දැක තිබෙනවා. එවැනි ස්ථානයකදී  වෛරසයට අවස්ථාවක් ඇති විට එයට පහසුවෙන්ම සම්ප්‍රේෂණය කළ හැකියි." යනුවෙනි.

"සෑම රටක්ම මේ අවස්ථාවේදී  දැඩි අවධානයෙන් සිටිය යුතුයි. වෛරසය මර්දනයෙහි සාර්ථක වී ඇති රටවල්, ආසාදිතයන් පහළ ගොස් ඇති රටවල් ඇතුළු සියලු රටවල් ආසාදිතයන්  වේගයෙන් හඳුනා ගැනීමට සූදානම් විය යුතුයි."යනුවෙන් ඇය වැඩිදුරටත් පවසා සිටියාය.

ඇඳිරිය අසසේ පාරට පැන්න පාකිස්තානුවෝ තිදෙනෙක් පොලීසියත් සමඟ ඇරගෙන.


ඇදිරි නීතිය ක්‍රියාත්මක කර තිබු පෙරේදා (25 වැනි)  සවස මාතර වෙරළ පාරට හදිසියේ පැමිණි පාකිස්තානු  ජාතික පිරිසක් පරික්ෂා කිරීමට යාමේ දී ඔවුහු ඊට විරෝධය පළ කර පොලිසිය සමග උණුසුම් තත්වයක් ඇති කර ගත්හ.
 රතු පැහැති අංක තහඩු සහිතව මෝටර් රථයකින් පැමිණි ඔවුන්ගේ අනන්‍යතාව හෙළි කර ගැනීමට පොලිසිය උත්සාහ කරද්දී ඊට එහි සිටි පාකිස්තානු  ජාතිකයන් තිදෙනා විරුද්ධත්වය ප්‍රකාශ කර තිබුණි අතර මේ නිසා අතිරේක පොලිස් කණ්ඩායමක් ද එම ස්ථානයට කැඳවීමට සිදුවිය.
තමන් පාකිස්තානු තානාපති කාර්යාලයේ පිරිසක් බවත් රාජ්‍ය තාන්ත්‍රික සබඳතා මත පැමිණි බවත් ද ඔවුහු ආවේගශිලිව ප්‍රකාශ කළහ.
 දැඩි ලෙස කලබලකාරීව හැසිරුණු ඔවුන් සිය මෝටර්  රථය පිටුපසට ගැනීමේ දී රථ වාහන අංශයේ පොලිස් නිලධාරියකුට අයත් යතුරු පැදියක ද හැපී බිම පෙරළුණත් පොලිස් යතුරුපැදියට හානි සිදු නොවූ බව පොලිස් නිලධාරියෙක් පැවසීය.
ඉන් අනතුරුව පාකිස්තානු ජාතික පිරිස පොලිසිය ඉදිරියේ  සිගරට් දල්වා පානය කර තිබුණ අතර ඒ සමගම මාතර මූලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති නුවන් විජේතුංග හා රථ වාහන ඒකකයේ
ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රභාත් යන මහත්වරු පැමිණි පාකිස්තානු ජාතිකයන් සමග ඉංග්‍රීසි භාෂාවෙන් කතා බහ කළහ.

පසුව වෙනත් මෝටර් රථයකින් පැමිණි පුද්ගලයෙක් අදාල පාකිස්තානු ජාතිකයන් තිදෙනාගේ අනන්‍යතාව හා වලංගු රියදුරු හැදුනුම්පත ඉදිරිපත් කර ඔවුන් එම ස්ථානයෙන් කැඳවා ගෙන ගියේය.
මාතර මූලස්ථාන පොලිසිය මේ පිළිබඳව පරික්ෂණ මෙහෙයවීය.
(ක්‍රිෂාන් ජීවක ජයරුක් සහ අකුරැස්ස සුජීව සමරක්කොඩි)

කොරෝනාවෙන් මියගිය ස්වාමියා යළි එනතුරු වූහාන් රෝහලේ තෙමසක් බලා සිටි අපූරු මිතුරා

 අප බොහෝ දෙනෙකු ජීවිතයේ අඳින බැඳීම් විවිධාකාරය. එය පවුලේ ළඟම ඥාතියෙකු හෝ තම ප්‍රේමවන්තයා හෝ ප්‍රේමවන්තිය කෙරෙහි වූ බැදීමක්, එසේත්  නැත්නම් බිරිඳ හෝ ස්වාමියා ආදී වශයෙන් වන බැදීමක් හෝ ළඟම මිතුරා හෝ මිතුරිය කෙරෙහි වූ බැඳීමක් විය හැකිය. නමුත් යම් අවස්ථාවක අප හදිසියේම මියැදුණහොත් මේ බොහෝමයක් බැදීම් දේහය රැගෙන යන වළ අසලදී අපෙන් දුරස්වීම ස්වභාවිකය.
                                                                                           
 නමුත් ඇතැම් සතුන් තම ස්වවාමියා කෙරෙහි දක්වන බැඳීම මේ සියලු බැඳීම් අභිභවා යන්නකි. විශේෂයෙන්ම මිනිසාගේ ළඟම හිතවතා යන විරුදාවලිය ලැබූ සුනඛයන්, තම ස්වාමියා කෙරෙහි දක්වන මහත් වූ භක්ති ආදරය බොහෝ මිනිසුන් තුළද දැකගැනීම උගහටය. ලොව පුරා පැතිර යන කොරෝනා වසංගතය සමග, මේ භයානක වෛරසයෙන් මුලින්ම බැටකෑ චීනයේ වූහාන් නගරයෙන්ද අපට වාර්තා වන්නේ හද කම්පා කරවන එවැනිම වූ සුවිශේෂී බැදීමක කතා ප්‍රවෘත්තියකි.

දැනට මාස තුනකට පෙර කොරෝනා වෛරසය ශරීරගත වීමෙන් වූහාන් නගරයේ තායිකාං රෝහලට ඇතුළත් කෙරුණු තම ස්වාමියා පැමිණන තුරු සෑම දිනකම රෝහලට වී ඉවසීමෙන් බලා සිටින අමුත්තා එම රෝහල් කාර්යමණ්ඩලයට අමුතෙකු නොවීය. නමුදු වඩාත් කනගාටුදායක පුවත වූයේ මේ සුනඛයාගේ ස්වාමියා රෝහලට ඇතුළත් කර දින පහකට පසුව සංකුලතා උත්සන්න වීමෙන්  මියගොස් තිබීමය. සිය වයෝවෘද්ධ ස්වාමියාට වෛරසය ආසාදිතව පසුගිය පසුගිය පෙබරවාරි මාසයේදී වූහාන් රෝහලට ඇතුළු කෙරෙන විට වයස අවුරුදු 7ක් වන මේ කුඩා සුනඛයාද රෝහල් කාර්යමණ්ඩලයේ සිත් දිනාගනිමින් ස්වාමියා සමග රෝහල වෙත පැමිණ තිබුණි. නමුත් තම ස්වාමියා යළි නොඑන බව නොදැන මාස තුනකට වැඩි කාලයක් තායිකාං රෝහලේ ලොබියේ මේ සුනඛයා ඉතා උනන්දුවෙන් බලා සිටින දසුන බොහෝ දෙනෙකුගේ නෙතගට කඳුළක් ගෙනදෙන දසුනක් බවට පත්විය. කරුණාවන්ත හදවත්වලින් පිරි රෝහල් කාර්යමණ්ඩලයේ මෙන්ම, රෝහලට පැමිණෙන ඇතැම් රෝගීන්ගේද සැලකිල්ල නිසා මේ සුනඛයා මේ තාක්කල් පෝෂණය වීය.

 රෝහලේ වූ වෙළෙඳ සැලක හිමිකාරිනිය වන වූ කුයිෆෙන් මේ සිදුවීම හා සම්බන්ධ වන්නේ වූහාන් නගරය පසුගිය අප්‍රේල් මාසයේදී යළි විවෘත කිරීමත් සමගිනි. තමා මුලින්ම රෝහල වෙත යනවිට ලොබියේ නිසොල්මන්ව නමුත්, ඉතා උනන්දුවෙන් පෙරමග  බලා සිටි සුනඛයා ගැන ඇය විමසිලිමත් වූවාය. සුනඛයාගේ හිමිකරු වෛරසය ආසාදනය වී, පසුව නිව්මෝනියා තත්ත්වයක් සමග මියගිය බව දැනගත් ඇය, මේ සුනඛයා රෝහලෙන් ඉවතට ගැනීමට උත්සාහ කළාය. නමුත් එය පහසු කාර්යක් නොවූ බව දැනගත් ඇය, මේ පුංචි සුනඛයා රැකබලා ගැනීමට සිතා ගත්තාය. ඇය ඌට 'ෂියාඕ බාඕ' හෙවත් (පුංචි වස්තුව) ලෙස නමක්ද තැබීය.  “මේ පුංචි සුරතලා කිසිම අවස්ථාවක රෝහලෙන් පිටතට ගියේ නෑ. එයා තමන්ගේ ස්වාමියා සොයමින් රෝහලේ ගත කළා." රෝහලේ පළමු මහලේ වූ වෙළෙඳ සැල පවත්වාගෙන යන කුයිෆෙන් කීවාය.

"තනිවී සිටින මේ සුනඛයාට මම බොහොම ආදරයෙන් කතා කළා. එයාට මාව හුරුවුණාට පස්සෙ කඩේට රැගෙන ආවා. සෑම උදෑසනකම මම කඩේ විවෘත කිරීමට පැමිණෙන විට ෂියාඕ බාඕ මා බැලීමටත් එනවා. සෑම දවසකම අවසානයේ එයා මාව දකිනවා."  වරක් ඇය හිතමතාම සුනඛයා රෝහලෙන් පිටතට ගෙනැවිත් අත්හරිද ෂියාඕබොහෝ කෙලින්ම දිවගොස් ඇත්තේ රෝහල තුළටය. ඇය පවසන්නේ මා මේ පුංචි සුනඛයාට ආදරය. කරුණාව දැක්වූවද, තමන්ගේ මුල් ස්වාමියා කෙරෙහි වූ භක්ති ආදරය ඌ කෙරෙන් බිඳකඳු අඩුවී නොතිබුණු බවය.

කෙසේ වෙතත් ඇතැම් රෝගීන් මෙම සුනඛයා රෝහලේ සිටිනවාට විරුද්ධ වී ඇති අතර, ඒ පිළිබඳ රෝහල් බලධාරීන්ට කළ පැමිණිල්ලකින් පසුව ෂියාඕ බාඕව වූහාන් නගරයේ කුඩා සත්ත්ව ආරක්ෂණ සංගමයක් වෙත යොමු කිරීමට රෝහල් බලධාරීන්ට සිදුවිය. එම සංගමයේ අධ්‍යක්ෂ ඩු ෆෑන් කියා සිටියේ ඔවුන්ගේ ආදරය හා කරුණාව සමග පුංචි සුනඛයා සුවෙන් හා සැපයෙන් කල් ගෙවන බවය. එමෙන්ම බොහෝ දෙනෙකු මේ සුනඛයා පිළිබඳ සොයා බලන බවද ඔහු කීවේය. නමුත් ෂියාඕ බාඕ තවමත් තම මුල් ස්වාමියා ගැන වූ ස්නේහය නම් අඩු කරගන්නා කියා විශ්වාස කළ නොහැකිය.

(නරේෂ් විශ්වජිත්)

රට සිටින ලාංකිකයන් ළග ළග නොගෙන්වීමට ජනපති තීරණය කරයී.

 විදේශයන්හි ශ්‍රී ලාංකිකයන් මින් ඉදිරියට ළග ළග නොගෙන්නා කිසියම් කාල පරතරයකට අනුව මෙරටට ගෙන්වීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂය මහතා තීරණය කර ඇත.
ජනාධිපතිවරයා මේ තීරණය ගෙන ඇත්තේ සෞඛ්‍ය අංශ ප්‍රධානීන් පිරිසක් ඊයේ (26) පෞද්ගලිකවම හමුවී කළ ඉල්ලිමක් සලකා බැලීමෙන් පසුවය.
විදේශගත පිරිස් ගෙන්වීම නතර කර නොමැති බවත් ඉදිරියේදී ඔවුන් ගෙන්වනු ලබන්ගේ ළග ළග නොව කිසියම් කාල පරතරයකට අනුව පමණක් බවත් රජයේ ප්‍රකාශකයෙක් 'ලංකාදීප'යට ඊයේ (26) පැවැසීය.
රජය පසුගිය දිනවලදී විවිධ රටවලින් විශාල පිරිසක් මෙරටට එකවර ගෙන්වනු ලැබූ අතර ඒ පිරිස් 175 දෙනකුම කොරෝතා ආසාදිතයන් බවට පසුව හඳුනා ගැනිණි.
ජනාධිපතිවරයා ඊයේ හමුවී ඇති වෛද්‍ය අංශ ප්‍රධානීන් වැලිසර නාවික හමුදා කඳවුරේ කොරෝනා ව්‍යාප්තිය මුළුමනින්ම අවසන්වී නොමැති පරිසරයක හා නිරෝධායන මධ්‍යස්ථාන පිරි පවතින මොහොතක විදේශයන්හි පිරිස් මෙලෙස විශාල වශයෙන් මෙරටට රැගෙන ඒමෙන් ගැටලු සහගත තත්වයක් මතුවන බව පෙන්වා දී ඇත.
 මෙහිදී සෞඛ්‍ය අංශ ප්‍රධානීන්ගේ අදහස් පිළිගෙන ඇති ජනාධිපතිවරයා විදේශයන්හි පිරිස් කාල පරතරයකට අනුව මෙරටට ගෙන්වීමට එකගවී ඇත.
මේ අතර ශ්‍රී ලාංකිකයන් 273 දෙනකු කටාර් රාජ්‍යයේ සිට දිවයිනට ඊයේ (26) රැගෙන ඒමට සැලසුම් කර තිබූ ගුවන් ගමනද ගුවන් තොටුපළ බලධාරින් විසින් අවලංගු කරනු ලැබීය.
 මේ අතර මේ සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන ජනාධිපති කාර්යාලය පවසනේ කොරෝනා හමුවේ අතරමංව සිටින හෝ විවිධ දුෂ්කරතාවයන්ට පත්ව සිටින විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් මෙරටට ගෙන්වා ගැනීම සඳහා නව ක්‍රමවේදයක් සකස් කරන බවයි.
මේ ක්‍රමවේදය අද (27) පැවැත්වෙන සාකච්ඡාවකදී තීරණය කරන බවත් ශ්‍රී ලාංකිකයන් ගෙන්වා ගැනීමේ ජුනි මස ගුවන් ගමන් ඒ අනුව සැලසුම් කෙරෙන බවත් එම නිවේදනයේ දැක්වෙයි.
ඒ ජනතාව කෙරෙහි මානුෂීය දෘෂ්ඨියකින් බලා ඔවුන්
මෙරටට ගෙන්වා ගැනීමේ කටයුතු ඉදිරියටත් කිරීමට රජය තීරණය කර ඇතැයි ද එහි වැඩිදුරටත් සඳහන් වෙයි.
(සුජිත් හේවාජුලිගේ)

"මීළඟට කොරෝනා දෙවැනි රැල්ලක් නොවෙයි.දෙවැනි උච්චතම අවස්ථාවක් පැමිණිය හැකිය"ආසාධිතයන් පහළ ගියේ ස්වභාවිකව නොවන බැවින්,උදාසීක නොවිය යුතු යැයි WHO සෞඛ්‍ය හදිසි අවස්ථා විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් පවසයි.

COVID-19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදිතයන් යම් පහත වැටීමේ ප්‍රවණතාවක් ස්වාභාවිකවම සිදු නොවූ බවත්, එබැවින් සෑම රටක්ම උදාසීන නොවී කටයුතු කළ යුතු බවත් ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් අනතුරු අඟවයි.
                                                                                     
ලෝකය දැන් සිටින්නේ ගෝලීය වශයෙන් කොරෝනා වෛරසයේ පළමු රැල්ල මැද බව පෙන්වා දෙමින්, පෙරේදා (25දා) ජිනීවා නුවර පැවති මාධ්‍ය හමුවට එක්වෙමින් වෛද්‍ය මයික් රයන් මෙම අදහස් පළ කළේය.

"අප දැන් ඉන්නේ ගෝලීය වශයෙන් පළමු රැල්ල මැද. අප තවමත් සිටින්නේ රෝගය සැබවින්ම වර්ධනය වෙමින් පවතින අවධියකයි."

"මේ නිසා ඕනෑම වේලාවක රෝගය ඉහළ යා හැකි බව අප දැන සිටිය යුතුයි. රෝගය දැන් පහව යමින් පවතිනවා යැයි හෝ, දෙවැනි රැල්ලකට සූදානම් වීමට මාස ගණනාවක් ගත වනු ඇතැයි කියාවත් අපට උපකල්පනය කළ නොහැකියි. අපට මේ ආකාරයෙන් දෙවැනි උච්චතම අවස්ථාවකට වුවද මුහුණ දීමට සිදුවෙන්න පුළුවන්." වෛද්‍ය රයන් අවධාරණය කළේය. විශේෂයෙන්ම සාමාන්‍ය ඉන්ෆ්ලුවෙන්සා සමයේදී දෙවැනි උච්චතම අවස්ථාවක් හෝ  රැල්ලක් පැමිණිය හැකි බවට රයන් අනතුරු  ඇගවූ අතර, එය රෝග පාලනය සඳහා වූ ක්‍රියාදාමය බෙහෙවින් සංකීර්ණ කරනු ඇති බවද ඔහු කියා සිටියේය.

"මේ රෝගය පැතිරීම මැඩපැවැත්වීම සඳහා ගත යුතු ක්‍රියාමාර්ග ගැනීමේදී බොහෝ රටවල් විශාල මිලක් ගෙවා තිබෙනවා. ඔවුන්ට ඒ ගෞරවය හිමිවිය යුතුයි. නමුත් දැන් මගේ කනස්සල්ල පවතින්නේ, වර්තමාන ආසාදන පහත වැටීම ස්වාභාවික සෘතුමය බවක් නියෝජනය කරන බවට මිනිසුන් උපකල්පනය කිරීමයි. එය භයානක උපකල්පනයක් යැයි මා විශ්වාස කරනවා."

"එසේ පහත වැටීමේ ප්‍රවණතාව ස්වභාවිකවම සිදු වූ බව මිනිසුන් උපකල්පනය කළත්, සැබෑම යථාර්ථය නම්, එය සිදුව ඇත්තේ ලෝකය පුරා ජනතාව කෙරෙහි දැඩිලෙස බලපා ඇති ඉතා දැඩි මහජන සෞඛ්‍ය ක්‍රියාමාර්ග නිසයි." යනුවෙන් ලෝකයේ රටවල ආසාදිතයන් වාර්තා වීමේ වේගය තරමක් පහළ යැමේ ප්‍රවණතාව ගැන වෛද්‍ය රයන් සිය මතය ඉදිරිපත් කළේය.

ඒ අනුව මේ අවස්ථාවේදී වෛරසය සම්බන්ධයෙන් වූ උන්නදුව අත්හැර, මීළඟ සැබෑ අන්තරාය පැමිණෙන්නේ ඔක්තෝබර් හෝ නොවැම්බර් මාසවල යැයි උපකල්පනය කිරීම වඩාත් භයානක තත්වයක් බවද විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් දැඩිව අනතුරු අඟවා සිටියේය.

Tuesday, May 26, 2020

වෛද්‍යවරියත් එක්කම වාහනය පැහැරගත් නම් දෙක අයිආර්සීකාරයා රිමාන්ඩ්


වෛද්‍යවරියක සතු රුපියල් ලක්ෂ 33ක් පමණ වටිනා මෝටර් රථයක් වෙද්‍යවරිය සමගම ඉකුත් අවුරුදු දින ඇඳිරි නීතිය පැවැති අවස්ථාවේ දී පැහැරගෙන ගිය බවට චෝදුනා ලැබ දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු ජුනි 03 වැනි දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට වාරියපොළ දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් දර්ශන ද සිල්වා මහතා පසුගිය 22 වැනිදා නියෝග කළේය.
සැකකරු කුරුණෑගල ශික්ෂණ රෝහලට උපස්ථායක සේවා සපයන රෝහල ආසන්නයේම පිහිටා ඇති ආයතනයක උපස්ථායකයකු ලෙසට සේවය කරමින් සිටියදී වාරියපොළ පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළේය.
දිවයින පුරා අපරාධ නඩු ගණනාවකට සම්බන්ධ
බවට තොරතුරු අනාවරණය වී ඇති සැකකරු  හමුදාවේ සේවය කර පැනගිය 31 හැවිරිදි අයෙකි.
නුවරඑළිය කොටපොළ ප්‍රදේශයේ පදිංචිකරුවකු වන මෙම පුද්ගලයා නම් දෙකකින් පෙනී සිටින බවද පොලිස් පරික්ෂණ වලදී අනාවරණය වී ඇත.
මෙම රිමාන්ඩ් බාරයට පත් කෙරුණේ ආර්.එම්. යචිත්‍ර මධුසංඛ රත්නායක නොහොත් රංග නැමැති අයෙකු වන අතර මෝටර් රථය පැහැරගැනීම සම්බන්ධයෙන් ජුනි 03 වැනිදා සැකකරු  මහේස්ත්‍රාත්වරයා නියම කළේය. පසුගිය අප්‍රේල් 14 වැනිදා සවස 5.30 ට පමණ  වාරියපොළ නගරයේ බැංකු ශාඛාවක් ඉදිරිපිටදී මෙම සැකකරු මෝටර් රථයේ කාර්මික දෝෂයක්  ඇති බවට වෛද්‍යවරියට පවසා රවටා ඇය සමගම  රථය පැහැරගෙන හලාවත දෙසට ධාවනය කර ඇති බව සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලීසිය දන්වා සිටියේය.
එදින තදින් වර්ෂාව තිබූ දිනක්වූ අතර ගමන් කරමින් තිබූ මාර්ගයේ ජලයෙන් යටවී තිබූ ස්ථානයකදී රථයේ වේගය අඩුවීමත් සමගම බුද්ධිමත්ව කටයුතු කර ඇති වෛද්‍යවරිය වාහනයෙන් පැන බෙරි වාරියපොළ පොලිසියට පැමිණ මේ සම්බන්ධව පැමිණිලි කිරීමෙන්  පසු පොලිස් විමර්ශන ඇරුඹු බවද පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් දැනුම් දුන්නේය.
ඒ අනුව එදිනම රාත්‍රී 7.30 පමණ පැහැරගත් මෝටර් රථය වාරියපොළ නගරයේ සිට කිලෝමීටර් 10 ක් පමණ දුරින් ගිනිමාන්ත ප්‍රදේශයේ දමාගොස් තිබියදී සොයා ගත් බවද රථයේ ඉදිරිපස ටයරයක් පුපුරා යාම හේතුවෙන් කොල්ලකරු  රථය හැරදමා පලාගොස් තිබූ බවද පොලීසිය සඳහන් කළේය.
සොයාගත් රථය පරීක්ෂාවට ලක් කිරීමේදී එහිම තිබී හමුවූ ජංගම දුරකථනයක් ඔස්සේ කළ පරිණක්ෂණ වලින් අනතුරුව පසුගිය 21 වැනිදා සැකකරු කුරුණෑගලදී අත් අඩංගුවට ගැනීමට හැකිවූ බවද පොලිසිය අධිකරණයට පැවසීය.
 මෙම වාහන කොල්ලයෙන් පසුද  මෙම සැකකරු වාරියපොළ මල්වාන ප්‍රදේශයේ නිවෙසක් බිඳ රුපියල් 47550 ක මුදල් සහ රන් භාණ්ඩ සොයාගෙන ඇති බව වාරීයපොළ පොලිසිය කීය.
 සැකකරුට එරෙහිව නුවරඑළිය මහාධිකරණයේ දූෂණ නඩුවක් ඇතුළු නඩු දෙකක්, පිරවුම් හලක් කොල්ලකෑම සම්බන්ධව කෑගල්ල මහාධිකරණයේ එක් නඩුවක්, ටී 56 ගිනි අවියක් සමග අත්අඩංගුවට පත්වීම සම්බන්ධව මිරිහාන අපරාධ කොට්ඨාසයේ නඩුවක් ඇති අතර මොහු කුරුණෑගල ඇතුගලේදී රන් මාලයක් කඩාගැනීමට වරද පිළිගැනීමට සම්බන්ධයෙන්ද අධිකරණයෙන් දඬුවම් ලැබුවකු බවද පොලිස් විමර්ශන වලදී අනාවරණය වී ඇත.
වයඹ පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී විජේගුණවර්ධන සහ කුරුණෑගල දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති බුද්ධික ජයසේකර මහත්වරුන්ගේ උපදෙස් අනුව, කුරුණෑගල කොට්ඨාශය බාර පොලිස් අධිකාරි ක්‍රිශාන්ත මහතාගේ අධීක්ෂණය යටතේ, සහකාර පොලිස් අධිකාරි මංගල වික්‍රමනායක මහතාගේ මෙහෙයවීමෙන්, වාරියපොළ පොලිස්
ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නිලන්ත බණ්ඩාර මහතාගේ ප්‍රධානත්වයෙන්, අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයවීර, උප පොලිස් පරීක්ෂක කුමාරසිංහ, උප පොලිස්  පරීක්ෂක දිසානායක, පොලිස් සැරයන්වරුන් වන (30563) රත්නායක, (38297) ගුණසේන, 30550 තෙත්තකෝන්, (30976) තිලකරත්ත, කාන්තා පෞලිස් සැරයන්වරුන් වන (1624) කුසුම්, (2523) මුතුමාලි, (38,36) ගීතා, පොලිස් කොස්තාපල් (56243) මහින්ද සහ කාන්තා පොලිස් කොස්තාපල් (9383) චතුරාණී යන නිලධාරීහු පරීක්ෂණ සහ වැටලීම් වලට එක්වූහ.
(කුරුණගල අධිකරණ - රවින්ද්‍ර ප්‍රභාත් නෙත්තසිංහ)



"නව කොරෝනා වූහාන් විද්‍යාගාරයකින් බිහි වූ බවට වාර්නා මුළුමනින්ම ගෙතුවක්" වූහාන් විද්‍යාගාරයේ අධ්‍යක්ෂකවරිය පවසයි.

ලොව පුරා ව්‍යාප්ත වූ නව කොරෝනා වෛරසය චීනයේ වූහාන් නගරයේ පිහිටි විද්‍යාගාරයක් තුළ නිපදවූවක් බවට, ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපතිවරයාගේ පාලනාධිකාරිය ඉදිරිපත් කරන කරුණු මුළුමනින්ම ගොතන ලද්දක් බව වූහාන්හි වෛරස විද්‍යාව පිළිබඳ ආයතනයේ ප්‍රධානී වැන්ග් යැන්ග් පවසයි.

පසුගිය මැයි 13 වැනිදා පටිගත කරන ලද සම්මුඛ සාකච්ඡාවකට එක්වෙමින් ඇය මේ කරුණු දක්වා තිබේ. එය පසුගිය සෙනසුරාදා ප්‍රචාරය කෙරිණි.  එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එරට රාජ්‍ය ලේකම් මයික් පොපිපිඕ මෙම වෛරසය පළමුවෙන්ම හඳුනාගත්තේ චීනයේ වූහාන් නගරය තුළදී බවත්, එය කෙසේ හෝ එහි පිහිටි විද්‍යාගාරයකින් පිට වන්නට ඇති බවත් අවස්ථා කිහිපයකදීම ප්‍රකාශ කර තිබුණි.
                                                           

කෙසේ වෙතත් වූහාන් නගරයෙන් පළමුවෙන්ම වාර්තා වූ මෙම නව කොරෝනා වෛරසය වවුලන්ගෙන් ආරම්භ වූවක් වන බවත්, තවත් ක්ෂීරපායී සත්වයෙකු වන මිනිසුන් වෙත එය සම්ප්‍රේෂණය වන්නට ඇති බවත් විද්‍යාඥයන්ගේ අදහස වී තිබේ. එසේම ලෝක සෞඛ්‍ය සංවිධානය මෙන්ම එක්සත් ජනපදයේ බුද්ධි අංශයද
මෙම වෛරසය සතුව ස්වාභාවික ආරම්භයක් සතු බව ස්ථිරවම පවසා ඇත.

"මීට පෙර ඇතැම් කොරෝනා වෛරස බිහි වු වවුලන්ගෙන් කියලා සොයාගෙන තිබුණා. දැනට අවුරුදු 20කට පෙරාතුව හඳුනාගත් SARS කියන කොරෝනා වෙරස වසංගතයට හේතු වුණත් එවැනි තත්ත්වයක්. මේ වනවිට විද්‍යාගාරය සතුව සජීවී වෛරස 3ක් ගබඩා කර තබාගෙන සිටිනවා. එහෙත් ඒ කිසිවක්ම ජානමය වශයෙන් නව කොරෝනා වෛරසය හෙවත් COVID-19 (SARS-CoV-2) වෛරසයට සමාන වන්නේ නැහැ. ඒ දෙක අතර සමානාත්මතාව පවතින්නේ 79.8%ක් පමණයි." ඇය පවසා ඇත.

මේ අතර, උOVID-19 සඳහා හේතු වූ කොරෝනා වෛරසය SARS වෛරසය සඳහා හේතු වූ වෛරසය වඩා වෙනස් බවට මීට පෙර සිදුකළ පරීක්ෂණ කිහිපයකින්ම අනාවරණය වූ බවත් වූහාන් විද්‍යාගාරයේ ප්‍රධානියා පවසා සිටියි.

"අපි දන්නවා  SARS-CoV-2 වෛරසයට අදාළ සම්පුර්ණ ජීනෝමය SARS වෛරසය හා සමානකම් පෙන්වන්නේ 80%ක් විතරයි. "වූහාන්හි පිහිටි මෙම වෙරසය පිළිබඳ විද්‍යාගාරය  පවසන ආකාරයට ඔවුන් වෙත මෙම COVID-19 ලෙස හැඳින්වුණු එතෙක් හඳුනා නොගත් පළමු නව කොරෝනා වෛරස සාම්පලය ලැබී ඇත්තේ පසුගිය වසරේ දෙසැම්බර් 30 වැනිදාය. එහිදී වීම වෛරසය සතුව වෙනත් ජිනෝමයක් පවතින බවට හඳුනාගෙන ඇත්තේ ජනවාරි 02 වැනිදාය. පසුව මේ පිළිබඳව  ලෝක සෞඛ්‍ය සංවිධානය වෙත  ඔවුන් දන්වා ඇත්තේ ජනවාරි 11 වැනි දිනයේදීය.

"අපේ කණ්ඩායම කිසිම අවස්ථාවකදීවත්, මේ වෛරසයට එරෙහිව සටන් කරන්නවත්, ඒ ගැන පර්යේෂණ කරන්නවත්, එය විද්‍යාගාරය තුළ පවත්වාගෙන යන්නවත් කටයුතු කළේ නැහැ. අපේ විද්‍යාගාරය තුළ නොතිබුණු වෛරසයක් මේ විදියට එළියට යන්නේ කොහොමද?" ඇය මෙහිදී විමසා තිබේ.

ලොකු දුවත් එක්ක ගෙන යතුරුපැදි සොරකමේ යන තාත්තා අත්අඩංගුවට .


අට හැවිරිදි කුඩා දියණියද යොදා ගනිමින් ග්‍රාම නිලධාරිනියකගේ යතුරු පැදිය සොරකම් කර පලාගිය දෙදරු පියකු සීසීටීවී කැමරා දර්ශන ආධාරයෙන් අත්අඩංගුවට ගැනීමට මාවතගම පොලීසිය සමත් වි ඇත.
සොරකම සිදුවී පැය විසිහතරක් ඇතුළත සොරාගත් යතුරුපැදියද සමග සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවීම විශේෂත්වයකි.
ටිගොල 703 වසමේ ග්‍රාම නිලධාරි ලෙස  සේවය කරන ඊ.එම්.කේ. දමයන්ති ජයතිලක  මහත්මියට අයත් යතුරු පැදිය පසුගිය 23 වැනිදා සිකුරා දහවල් කාලයේදී මෙසේ
සොරකම් කර ඇතැයි පොලිසිය කියයි.
 ජයතිලක මහත්මිය වසමේ රාජකාරී කටයුතුවල යෙදී සිට දිවා ආහාරය සඳහා බරන්දන මංසන්ධියේ පිහිටි තම නිවෙසට පැමිණ යතුරුපැදිය නවතා තිබියදී සැකකරු පැමිණ යතුරුපැදිය සොරකම් කර පලාගොස්  ඇත. ආපසු රාජකාරී කටයුතු සඳහා යාමේ අරමුණෙන් ජයතිලක මහත්මිය යතුරුපැදිය පණ ගන්වන යතුර එහිම තබා තිබූ බැවින් සැකකරුට පහසුවෙන් යතුරුපැදිය රැගෙන යාමට අවස්ථාව ලැබී ඇති බව පොලිසිය කියයි.

සැකකරු යතුරුපැදිය සොරකම් කර පලායන ආකාරය දැක අසල්වසින් කීප දෙනෙකු ඒ පසුපස පන්නා ගොස් ඇතත් සැකකරු අල්ලා ගැනීමට හැකිවී නැත.
 මෙම සිද්ධිය දැනුම් දීමෙන් පසුව පැමිණි මාවතගම පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් බරන්දන මංසන්ධිය අසලම පවත්වාගෙන යන සහල් සැකසුම් ව්‍යාපාරික ආයතනයක සවිකර තිබූ සීසීටීවී කැමරා පද්ධතිය පරික්ෂා කිරිමේදී සැකකාර පුද්ගලයා යතුරුපැදිය පණ ගන්වා පලා යන ආකාරය එහි ඉතා හොඳින් සටහන්ව තිබී ඇත.
සහල් සැකසුම් ආයතනය ආසන්නයේ පිහිටි නිවෙසක සිට තම දරුවාද සමග පැමිණෙන සැකකරු සොරකම සිදු කරන ආකාරය සීසීටීවී දර්ශන වලින් තහවුරු වීමෙන් අනතුරුව එම නිවෙසේ පදිංචිකරුවන්ගෙන් කළ ප්‍රශ්න කිරීම් වලදී සැකකරු ඔවුන්ගේ ඥාතියකු බවත් රිදීගම ඉළුක්පිටිය  පදිංචි 35 හැවිරිදි දෙදරු පියකු බවත් පොලීසිය හඳුනාගෙන තිබේ.
සැකකරුගේ බිරිඳගෙන් කළ ප්‍රශ්න කිරීම් වලින් ලබාගත් තොරතුරු අනුව පරිණ මෙහෙයවූ මාවතගම පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට කුලියාපිටිය ප්‍රදේශයේ පොල් වත්තක මුරකරුවකු ලෙස සේවය කරන සැකකරු අත්අඩංගුවට ගැනීමට හැකිවී තිබේ. සැකකරු විසින් සොරකම් කරනු ලැබූ යතුරුපැදියද එම වත්තේම  සගවා තිබියදී පොලිසියට හමුවී තිබේ.
සැකකරු මේ ආකාරයටම රිදීගම ප්‍රදේශයෙන් සොරකම් කරන ලද තවත් යතුරුපැදියක්ද පොලීසිය සොයාගෙන ඇත.
රිදීගම, මාවතගම, කුලියාපිටිය ඇතුළු ප්‍රදේශ ගණනාවකම ගෙවල් බිදීම් ආදී සොරකම් රැසක් සම්බන්ධයෙන් පොලීසියට අවශ්‍යව සිටින සැකකරුවකු වන මොහු අධිකරණය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු ලබා සිටින අයකු බවද වැඩිදුර පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.
 සැකකරු මේ ආකාරයට සිදු කරන සොරකම් සඳහා අට හැවිරිදි තම වැඩිමල් දියණියද යොදාගෙන ඇති බවද අනාවරණය වී තිබේ.
මාවතගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත හෙට්ටිආරච්චි මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක
තෝරදෙණිය මහතා ඇතුළු නිලධාරිහු පිරිසක් වැඩිදුර පරීක්ෂණ මෙහෙයවති.

(පුෂ්පකුමාර ජයරත්න)

සෞඛ්‍ය අවශ්‍යතා සපුරා ගැනීමට සිසුන් 200ට අඩු සෑම පාසලකටම 30,000ක්

සිසු දරුවන් 200ට අඩු සෑම පාසලකටම සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් නියම කර ඇති සෞඛ්‍ය අවශ්‍යතා සපුරා ගැනීම වෙනුවෙන් රුපියල් 30,000 බැගින් ලබාදීමට පියවර ගන්නා බවත්, දිවයින පුරා සියලු පාසල් වෙත මෙම සෞඛ්‍යාරක්ෂණ පහසුකම් සැපයීම වෙනුවෙන් රුපියල් මිලියන 680ක් ඇස්තමේන්තුගත කර ඇති බවත් අධ්‍යාපන, ක්‍රීඩා හා තරුණ කටයුතු අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ, කොරෝනා හදිසි තත්ත්වයන් කළමනාකරණය කිර්ම සඳහා ගන්නා ලද ක්‍රියාමාර්ගයන්හි ප්‍රගතිය සම්බන්ධයෙන් පසුගියදා පැවති හමුවකට එක්වෙමිනි. නැවත පාසල් ආරම්භ කිරීමට තීරණය කරනුයේ සෞඛ්‍ය බලධාරීන් විසින් ඒ සඳහා සුදුසු පසුබිමක් රට තුළ ගොඩනැගී ඇති බවට ලබාදෙන පූර්ණ තහවුරුවකින් පසුව පමණක් බවත්, සෑම පාසලකටම ශරීර උෂ්ණත්වය මැන බැලීමේ උපකරණ, අත් සේදීමේ සින්ක්, ගිලන් කාමරයක් බැගින් ලබාදීමට රජය පියවර ගන්නා බවත්, ඒ සඳහා දෙමව්පියන්ගෙන් කිසිදු මුදලක් ලබා නොගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.

පාසල් දරුවන්ගේ සෞඛ්‍යාරක්ෂව තහවුරු කිරීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සියලු පළාත් බලධාරින් සහ ප්‍රජා සෞඛ්‍ය නිලධාරීන් ඇතුළු වගකිවයුතු සියලු පාර්ශ්ව සමග එක්ව ක්‍රියාවට නංවමින් සිටින ජාතික වැඩපිළිවෙළ ගැන නිසියාකාරව විමසා නොබලා, ඇතැම් පිරිස් විසින් සමාජය නොමග යවනසුලු අසත්‍ය ප්‍රචාර ගෙන යාම හෙළා දකින බවත්, එකිනෙකා නියෝජනය කරන්නා වූ දේශපාලන පක්ෂය,  වෘත්තීය සමිතිය කවරක් වුවත් මෙවැනි අභියෝගාත්මක අවස්ථාවකදී දරුවන් සම්බන්ධව මවක, පියෙකු මෙන් ඉතා සංවේදීව, විමසිලිමදත්ව හා නිවැරදිව කටයුතු කරන ලෙසද අලහප්පෙරුම මහතා මෙහිදී කියා සිටියේය.

එසේම 'කෝවිඩ් - 19’ වෛරසයේ ව්‍යාප්තිය හේතුවෙන් රටම අභියෝගයකට මුහුණ දී ඇති මේ අවස්ථාවේ රජය පාසල් දරුවන් හෝ ඔවුන්ගේ දෙමව්පියන් අපහසුතාවට ලක්කිරීමට කිසිසේත්ම කටයුතු නොකරන බවත්, පාසල් ආරම්භ කිරීම සඳහා අවශ්‍ය සෞඛ්‍යාරක්ෂිත පහසුකම් ස්ථාපනය කිරීමේදී දෙමව්පියන්ට අනවශ්‍ය බරක් පැටවීමට පියවර ගෙන ඇති බවට ඇතැම් වෘත්තීය සමිති නියෝජිතයන් විසින් ගෙන යන මත අතිශයින්ම සාවද්‍ය බවත් මෙහිදී අමාත්‍යවරයා අවධාරණය කළේය.

(නවෝද්‍යා පවනි)

බලු පැටවා කැත කළාට කතක් අසල්වැසි කතට ඇසිඩ් ගහලා.

බලු පැටවෙකු තාප්පයක් අසල ජරා කිරිමේ සිදුවීමකට කාන්තාවන් දෙදෙනකු අතර ඇතිවූ බහින්බස් වීමක් දුරදිග ගොස් එක් කාන්තාවක අනෙක් කාන්තාවට ඇසිඩ් ගැසීමේ සිදුවීමක් වැලිපැන්න පොලිස් වසමේ කීරයන්ඩිය ප්‍රදේශයෙන් වාර්තා විය.
බුදුගෙදර වත්ත, කීරන්තිඩිය, නවුත්තුඩුව ප්‍රදේශයේ පදිංචි ධම්මිකා දේවකුමාරි නම් දෙදරු මවක මෙසේ -ඇසිඩ් ප්‍රහාරයට ලක්වීම නිසා කළුතර නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබන අතර -ඇයගේ අසල්වැසි 36 හැවිරිදි කාන්තාවක ඇසිඩ් ගැසීමේ චෝදනාවට පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.
එකිනෙකට මුහුණලා පිහිටි නිවාස දෙකක කාන්තාවන් දෙදෙනෙකු අතර දින කීපයක සිට ඇතිවෙමින් පැවති බහින්බස් වීමක් දුරදිග යාම නිසා මෙය සිදුවී ඇති බවත් පෙරේදා (24) දිනයේ උදෑසන කාලයේ මෙම ඇසිඩ් ගැසීම සිදුවූ අතර එම සිදුවීම තමා දුටු බවත් ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ කාන්තාවගේ ඥාති සොහොයුරියක පොලිසියට ප්‍රකාශ කර ඇත.
ඇසිඩ් ගැසීමේ චෝදනාවට ලක්වූ කාන්තාව තම නිවසේ බලු පැටවුන්  දෙදෙනෙකු ඇති කරන බවත්, එම බලු පැටවුන් ඇසිඩ් ප්‍රහාරයට ලක්වූ කාන්තාවගේ ඉදිරි පස තාප්පය අසල ජරා කරන බවත්, එසේ නොකරන ලෙස  කිහිප විටක් දන්වා සිටියද එම කාන්තාව තම ඥාතී  සොහොයුරියට දෝෂාරෝපණය කරමින් පරිභව කරන බවත් පසුගිය 23 වැනි දිනත් දෙදෙනා අතර බහින්බස් වීමක් සිදුවූ අවස්ථාවේදී ඇය තම ඥාති සොහොයුරියට ඇසිඩ් ගහන බවට තර්ජනය කළ බවත් 24 වැනි දිනයේ උදැසන නැවත වරක් බහින්බස් වීමක් ඇතිවී එම අවස්ථාවේ ඉදිරිපස නිවැසී කාන්තාව ඥාති සොහොයුරියගේ නිවසේ ඉදිරියට පැමිණ අඩු කෝප්පයකින් යම් දියරයක් ඇය සිටින දෙසට විසිකළ බවත්, සාක්කිකාරිය පැවසුවාය.
ඉන්පසු ඇය නිවස පිටුපසට දිවගොස් කෙරුණු බවත්, ඊට මද වෙලාවකට පසුව ඥාති සොහොයුරිය ඇයගේ මහ ගෙදරට යාමට ස්කුටරයෙන් පිටත්වූ බවත් එවිට ඉදිරිපස නිවසේ කාන්තාව නැවත වරක් අඩු කෝප්පයේ තිබුණු කිසිවක් ඇය දෙසට විසිකළ බවත්, එවිට ඇය දැවිල්ලයි කියා කෑ ගසමින් තම නිවසට පැමිණි විට තමන් අසල්වැසියන් සමග ෂවරයෙන් ජලය සපයාගෙන ඇයගේ පිළිස්සුම් ස්ථානවලට දැමූ බවත් අනතුරුව ත්‍රීරෝද රථයකින් ඇය කටුගහහේන රෝහලට ඇතුළත් කළ බවත්, ඉන් අනතුරුව නාගොඩ රෝහලට මාරුකර යවා ඇති බවත් සාක්ෂිකාරිය වැඩිදුරටත් ප්‍රකාශ කළාය.
ඇසිඩ් ප්‍රහාරය එල්ල කළ කාන්තාව වැලිපැන්න පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති අතර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. වැලිපැන්න පොලිස් ස්ථානාධිපති ප්‍රධාන
පොලිස් පරික්ෂක ඩබලිව්.කේ. ගමගේ මහතාගේ මෙහෙයවීමෙන් අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්‍ෂක දමිත් ජයතිලක ඇතුළු නිලධාරිහු කණ්ඩායමක් වැඩිදුර පරික්ෂණ පවත්වති.

(මතුගම බන්දු තඹවිට)

මහාචාර්ය හූල්ගේ පවුලේ උදවිය රටේ නීතියට ඉහළින් සිටිනවාද?

මහාචාර්ය හුල් මහතාගේ පවුලේ උදවිය රටේ නීතියට ඉහළින් සිටින්නේදැයි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි සභාපති මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා එම පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (25දා පැවති මාධ්‍ය හමුවකදී ප්‍රශ්න කර සිටියේය. මහාචාර්යවරයා සඳහන් කර සිටියේ, සියලු දෙනා හට නිරෝධායන නීතිය තාරාතිරමක් නොබලා ක්‍රියාත්මක කරන බවට පොලීසිය ප්‍රකාශ කළද එය එසේ සිදු නොවන බවයි.

ඒ අනුව මෙම මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, "මහාචාර්ය හුල් මහතාගේ දියණිය එක්සත් රාජධානියේ සිට මෙරටට ගෙන්වීමට රජය කටයුතු කළානේ. නමුත් අන් සියල්ලටම බලපෑ නීති ඒ අයට බලපෑවේ නැහැ. නිරෝධායන නීති උල්ලංඝනය කරලා රජයේ වාහනයකින් මැතිවරණ කොමිසමට පැමිණියා. ඊට කොමිසමේ නිලධාරින් විරුද්ධ වුණා. මැතිවරණ කොමිසමේ අත්‍යවශ්‍ය ලක්ෂණය වන්නේ ස්වාධීනත්වයයි. සම්පුර්ණයෙන්ම අපක්‍ෂපාතී විය යුතුයි. එම ස්ථාවරයේ සිටින දේශපාලන පක්‍ෂත් ඉන්නවා. මැතිවරණ කොමිසම විසින් ස්වාධීනව හා  අපක්‍ෂපාතීව කටයුතු කරනවා කියලා එය ඉගැන්විය යුතුයි. කාගේවෙත් අතකොළුවක් නොවන බව පෙන්විය යුතුයි.

 මහින්ද දේශප්‍රිය මහතා පවසා සිටියා කොමිසමේ සාමාජිකයන්ට ඕනෑම වේලාවක කොමිසමට ආ හැකියි කියලා. ඒ අයිතිය  ඔවුන්ගේ පවුලේ අයටත් තිබෙනවාද කියලා අහන්න කැමතියි. ඔවුන්ට එහි යන්න අයිතියක් නැහැ. නියෝජ්‍ය පොලිස්පතිතුමා කියනවා  සියලු දෙනාටම නීතිය තරාතිරම නොබලා
ක්‍රියාත්මක කරනවා කියලා. ඒ නිරෝධායන නීති  කඩන පිරිසයි. දැන් 35,000ක් පමණ පිරිස අත්අඩංගුවට අරගෙන තිබෙනවා. එතකොට මහාචාර්ය හුල් මහතාගේ පවුලේ උදවියට මේ නීතිය බලපාන්නේ නැද්ද? ඔවුන් නීතියට උඩින්ද ඉන්නේ. මේ අයටත් නීතිය ක්‍රියාත්මක විය යුතුයි.

කොමිසමේ ගිනි පිටත දෙන්නේ නැහැලු. හැබැයි එහි ගිනි පිටත ඇවිත් ඉවරයි. කොමිසම එක ස්ථාවරයක නැහැ. ගරු ශ්‍රේෂ්ඨාධිකරණයට මත දෙකක් ඉදිරිපත් කරනවා. මේ එක කොමිසමක්ද එසේත් නැතිනම් දෙකක්ද කියලා අහන්න කැමතියි” යනුවෙන්ද පවසා සිටියේය.
(නිදර්ශනී වික්‍රමසිංහ)

කො‍ටකෙතන 42 හැවිරිදි තිදරු පියාෙගේ සිරුර වැසිකිළි වළකින් ගොඩගනී.


 කහවත්ත කොටකෙතන ඕපාත මාර්ගයේ නිවෙසට දිවිගෙවූ 42 හැවිරිදි තිදරු පියාගේ ඝාතනය ගැන 25 හැවීරිදි පුද්ගලයෙක් සහ එම පුද්ගලයාගේ බිරිඳ කහවත්ත පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූහ.

ඝාතනය කෙරුණු පුද්ගලයාගේ මව සහ පියා විසින් දරුකමට හදා වඩාගත් තැනත්තෙකු මෙලෙස අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. මියගිය අයත් සැකකරුත් එකම පවුලේ සොහොයුරන් ලෙස ජීවිත් වී ඇති අතර ඔවුන් අතර මීට පෙරදී කිසිඳු ආරවුලක් නොතිබූ බවද පරීක්ෂණ වලදී හෙළිවී තිබේ.

 පසුගිය 22 වැනිදා මියගිය අයගේ බිරිඳ කහවත්ත පොලිසියට පැමිණිලි කර තිබුණේ තම සැමියා නිවසේ නැති බවත් නිවසේ වැසිකිළිවළ දෙසිත් දුගඳක් හමන බවත් වැසිකිළිවළේ කොටසක් කඩා සැමියා ගේ සිරුර ඒ තුළට දමා ඇතැයි විශ්වාස කරන බවය.
  ඒ අනුව මිනිස් සිරුරක් වැසිකිළිවළේ ඇතැයි
පොලිසිය සොයා ගැනීමෙන් පසු සිරුර ගොඩගැනීමට කටයුතු තළේය. එම්.ඒ. නිශ්ශංක නම් කහවත්ත කොටකෙතන ඕපාත මාර්ගයේ ලිපිනයේ පදිංචි අයගේ සිරුර ඉකුත් 22 වැනිදා ගොඩ ගනු ලැබීය.
ඔහුගේ බිරිඳ සහ දරු තිදෙනා නිවසේ නැතිව සිටියදී මෙම ඝාතනය සිදු කර ඇති බව මූලික පරීක්ෂණවලදී හෙළිවී තිබේ.
මියගිය අයගේ බිරිඳ සහ දරුවන් ඉකුත් 18 වැනිදා සිට දින තුනක කාලයක් ගොඩකවෙල මහගෙදරට ගොස් ඇතැයි පරික්ෂණවලදී හෙළිවී ඇතැයි පොලිසිය කියයි.

තමන් ඉකුත් 20 වැනිදා යළි පැමිණෙද්දී තම සැමියා නිවසේ නොසිටි බවත් ඔහු කොළඹ ප්‍රදේශයේ පිහිටි වැඩ පොළට යන්නට ඇතැයි සිතු බවත් මියගිය තැනත්තාගේ බිරිඳ පොලිසියට ප්‍රකාශ කර තිබේ. වැසිකිළි වළෙන් දුගඳක් හමන බවට මුලින්ම පවසා ඇත්තේ මියගිය තැනත්තා ගේ සොහයුරියක් විසිනි. ඒ ඉකුත් 22 වැනිදාය.

සිද්ධිය වූ දින අරන් හදාගත් සොහොයුරා සහ ඔහුගේ බිරිඳ මෙම නිවසට පැමිණ සිටි බව පොලිස් පරික්ෂණවලදී හෙළිවී තිබේ.

සැකකරු පොලිසියට ප්‍රකාශ කර ඇත්තේ  ඝාතතය කෙරුණු නිශ්ශංක  තම බිරිඳට අතවර කිරීමට පැමිණි නිසා බිරිඳ බේරාගැනීමට පහරදුන් බවයි.

නිශ්ශංක මරණයට පත්වීමෙන් පසු ලේ තැවරුණු ස්ථාන සැකකරු විසින් සෝදා පිරිසුදු කර ඇතැයි පොලිස් පරික්ෂණවලදී හෙළිවී තිබේ. සැකකරුගේ 18 හැවිරිදි බිරිඳ සිද්ධිය වූ නිවෙසින් එදින රාත්‍රි පිටත්ව ගොස් ඇති අතර ඝාතනය කෙරුණු පුද්ගලයා වැසිකිළි වළට දමා සැකකරු පසුදින එම නිවෙසින් පිටත්ව කහවන්ත කෙටේතැන්නේ මහ
ගෙදරට පැමිණ තිබේ.  එහි සිටියදී සැකකරු සහ ඔහුගේ බිරිඳ කහවත්ත පොලිසිය විසින් 23 වනදා අත් අඩංගුවට ගනු ලැබූහ.

පැල්මඩුල්ල වැඩබලන මහෙස්ත්‍රාත් සරත් පිටගම්පොළ මහතා සිද්ධිය වූ නිවෙස වෙත පැමිණි ස්ථානීය පරික්ෂණය පැවැත්විය.
කහවත්ත පොලිසියේ ස්ථානාධිපති අතුල පෙරේරා මහතා ගේ මෙහෙයවීමෙන් පරික්ෂණ සිදු වේ.  රත්නපුර සහකාර පොලිස් අධිකාරී අජිත් කුමාර මහතා ද සිද්ධිය වූ ස්ථානයට පැමිණ පරික්ෂණය මෙහෙය වීය.

(රත්නපුර ලසන්ත නිරෝෂණ පෙරේරා සහ
කහවත්ත තුෂාර හෙට්ටිආරච්චි)


COVID-19 පිරිමින්ට මාරාන්තික යම් සේද,ලොක්ඩවුන් සීමා කාන්තාවන්ට අහිතකරලු

නව කොරෝනා වෛරසය හෙවත් COVID-19 වසංගතය ලොව පිරිමින් සදහා දරුණු මාරාන්තික තත්ත්වයක් ලෙස හදුනාගෙන තිබුණත්, ඒ සමග පැනවුණු ලොක්ඩවුන් සීමා හරහා කාන්තාවන්ද දරුණු තර්ජනයට ලක්ව ඇතෙයි විදෙස් මාධ්‍ය පවසයි.

කැනඩාවේ සයිමන ෆේසර් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් ඉදිරිපත් කර ඇති දන්ත උපුටා දක්වමින් මාධ්‍ය මේ කරුණු දක්වා තිබේ. විශේෂයෙන්ම ලොක්ඩවුන් සීමා පැනවීමත් සමග ගෘහස්ථ හිංසනයේ ඉහළයාම්, පවුල් සැලසුම් ක්‍රම වෙත එල්ල වන බලපෑම් මෙන්ම ආර්ථික බලපෑම් යනාදියෙන් මෙලෙස කාන්තාවන් දැඩි පීඩාවට පත්ව තිබෙන බව හඳුනාගෙන ඇත.

"මේ ලොන්ඩවුන් සීමා, වසංගතය. ව්‍යාප්ත වීම වළක්වා ගැනීමට යෙදවූවත්, ඒ හරහා පිරිමින්ට වඩා කාන්තාවන්ට වගේම ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් සියල්ලක්ම පාහේ බිඳීමටත් හේතු වෙනවා. අප සැලකිලිමත් වුණේ මේ වසංගතය සමග පවතින සෞඛ්‍ය අවදානම ගැනයි. අපට මේ යට තිබෙන විශාල පින්තුරය මඟහැරුණා."පර්යේෂණය සඳහා දායක වූ පර්යේෂිකාවක වන ජූලියා ස්මිත් පවසයි.

දැනට හඳුනාගෙන ඇති ආකාරයට කාන්තාවන්ට වඩා වැඩි ප්‍රතිශතයකින් පිරිමින් මෙම COVID-19 වසංගතය වෙත ගොදුරු වන බව සඳහන් වෙයි. එහිදී කාන්තාවන්ට වඩා පිරිමින් තුළ මෙම වෛරසය දරුණු වීම ඉහළ මට්ටමක් ගන්නා බවත්, ඒ හරහා ඔවුන්ගේ මරණ අනුපාතය ඉහළ බවත් හඳුනාගෙන තිබුණි. ඒ අනුව සැවොම සිතුවේ මේ සෞඛ්‍ය දත්තවල පවතින දරුණු බව විනා ඒ හරහා එල්ල වන අනෙකුත් බලපෑම් පිළිබඳව නොවන බවත් මෙම පර්යේෂකයන් සඳහන් කරයි.

"අපි මේ වසංගතය සඳහා මුහුණදීම ගැන කල්පනා කරනකොට, මේ වසංගතයට එරෙහි සටන්නේ ඉදිරි පෙළ සිටින පිරිසගේ ආරක්ෂාව වෙනුවෙන් ආරක්ෂක ඇඳුම් උපාංග සම්පාදනයට කටයුතු කළා. ඒ වගේම මේ සමාජ දුරස්ථකරණය, නිරෝධායනය වැනි දේ වෙත යොමු වෙද්දී ඒ හරහා සිදුවන ස්ත්‍රී - පුරුෂ බව පදනම් කරගත් අපයෝජනවලින් ආරක්ෂා වීම පිළිබඳවත් අවධානය යොමු කරන්න. තිබුණි” ඇතැම් මානව අයිතිවාසිකම් සංගම් සඳහන් කරයි.

කෙසේ වෙතත් ඇතැම් රටවල මෙම ප්‍රචණ්ඩක්‍රියා උත්සන්න වීමත් සමග එම රාජ්‍යයන් ඊට මැදිහත් වන ආකාරයද දැකගත හැකිවිය. උදාහරණ ලෙස ප්‍රංශ රජය මෙවැනි ගෘහස්ථ හිංසනයට ලක්වන කාන්තාවන්ට අවස්ථා 20,000ක් හෝටල් කාමරවල නවාතැන් ගැනීම සඳහා අවශ්‍ය අරමුදල් ලබාදෙන බව පවසා තිබුණි. එසේම සුපිරි වෙළෙඳසල් ආශ්‍රිතව උපදේශන සේවා මධ්‍යස්ථාන පිහිටුවීමටත් කටයුතු යෙදුණි. මීට අමතරව තමන්ට එල්ලවන අඩත්තේට්ටම් පිළිබඳව කේත වචන භාවිතයෙන් වාර්තා කිරීමේ ක්‍රමයක් වෙතද කාන්තාවන් උනන්දු කෙරිණි.

Friday, May 22, 2020

අවිනීත භික්ෂු වේශදාරීන් සමාජ මාධ්‍යවල සැරිසරනවා.එවැනි අය සිටීනම් නිකායෙන් නෙරපනවා.රාමඤ්ඤ මහා නිකායෙන් නිවේදනයක්

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහ නාහිමියන්ගේ උපදෙස් පරිදි එම නිකායේ ලේඛකාධිකාරි අත්තංගනේ සාසනරතන නාහිමියන් නිකුත් කළ නිවේදනයක මේ බව සඳහන් වේ .  රාමඤ්ඤ මහනිකායේ විශේෂාධිකාරි මණ්ඩල පළාත් සංඝනායක, කාරක පාලක සංස සභික, ප්‍රාදේශීය සංඝ සභා ලේඛකාධිකාරි ස්වාමීන් වහන්සේලා වෙත නිකුත් කර ඇති එම ශාසනික නිවේදනයේ මෙසේද සඳහන් වේ.

දැනටමත් ගරු ඔබ වහන්සේ ද දන්නා පරිදි වර්තමානයෙහි සම්බුද්ධ ශාසන පරිහානියට  මෙන්ම හින්දු ගෞරවයට හානි වන අන්දමේ කටයුතු රාශියක් ක්‍රියාත්මක වෙමින් පවතී. භික්ෂූන් වහන්සේ ලෙස පෙනී සිටිමින් භික්ෂුවට නොගැළපෙන විනය විරෝධී කටයුතු සිදු කරන මහජනයාගේ ශ්‍රද්ධාව, ගෞරවය නැති වන ආදී විවිධ ක්‍රියාකාරකම් සිදු කරන පුද්ගලයන් හා කණ්ඩායම් සමාජ මාධ්‍ය ජාලා තුළ සහ විද්‍යුත් හා මුද්‍රිත ආදී විවිධ මාධ්‍යයන් මගින් දැක ගැනීම සුලභ වෙමින් පවතී. ලාභාපේක්ෂාවම අරමුණු කරගෙන හෝ දුර්වල මානසික ස්වභාවයන් නිසා එම පුද්ගලයන් හා කණ්ඩායම් සම්බුද්ධ ශාසනයටද භික්ෂු ගෞරවයටද සිදු කරන හානි සුළුපටු නොවේ.

 මේ දුර්විනීත අධර්මවාදී අවීනයවාදී භික්ෂු වේශධාරින් වෙනුවෙන් මේ අවස්ථාවේදී අපට කළ හැකි වන්නේ අප නිකාය තුළ එබඳු අය ලියාපදිංචි වී ඇත්නම් නිකාය කතිකානුකූලව අවශ්‍ය පියවර ගෙන ඔවුන්ගේ සාමණේර/ උපසම්පදා ලියාපදිංචියක් බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුවේ ඇත්නම් එය අවලංගු කොට නිකායෙන් නෙරපා හැරීමය.

 ශාසන පරිහානියෙහි උපයුක්ත එබඳු භික්ෂු වේශධාරින් නිකායෙන් නෙරපා හැරිම පිළිබඳ පුර්වාදර්ශයන් ද නිකායේ ඈත හා මෑත ඉතිහාසයේ තිබේ. ශාසන සංශෝධනයක ඉක්මන් අවශ්‍යතාවය පැන නැගී ඇති මේ මොහොතෙහි ඔබ වහන්සේගේ සංඝ සභා බල ප්‍රදේශය තුළ එබඳු පුද්ගලයන් හෝ කණ්ඩායම් සිටී නම් ඒ පිළිබඳව විස්තර සතිව නිකායේ අදාළ අංශ දැනුවත් කරන ලෙසද එබඳු ශාසන විලෝපනයෙහි යෙදෙන්නන් අප නිකාය නමින් ලියාපදිංචි වී ඇත්නම් ඒ සියල්ලන් නිකායෙන් නෙරපීමාදී කතිකානුකූල පියවර ගැනීමට නිකාය මගින් කටයුතු යොදනු ඇති බවද මෙයින් ශාසනාලය පෙරටුව දන්වා සිටිමි.

යාළුවන් එක්ක පාටියක් දැමූ තාත්තා පස් හැවිරිදි පුතුට බියර් පොවලා

වයස අවුරුදු පහක් වූ තම පුතුට බීර පෙවූ පියකු අත්අඩංගුවට ගත් බව නාවලපිටිය පොලිසිය කියයි. නාවලපිටිය කඩියන්ලන ප්‍රදේශයේ පදිංචිකරුවකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇති අතර, ඔහු තිස් හැවිරිදි දෙදරු පියකු බව පොලිසිය කියයි.

මොහු මිතුරන් හා මෙම දරුවා ද සමග මහවැලි ගඟට ගොස් මත්පැන් සාදයක් දමා එහිදී මෙම බාලවයස්කාර දරුවාට බීර පොවා ඇති බවට පොලිසිය කළ පරික්ෂණවලීන් හෙළිවී ඇත. මෙම සිද්ධිය වෙනත් අයකු ජංගම දුරකතනයකින් වීඩියෝ කර ඇති අතර, මත්පැන් පෙවීම නිසා මත් වී ඇති දරුවාට නැගිට ගැනීමට නොහැකිව ගල් තලාවක වැතිර සිටින දර්ශනද එහි ඇතුළත් ව ඇතැයි පොලිසිය කියයි. 

මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න, නියෝජ්‍ය පොලිස්පති එල්.ඒ. රණවීර, ගම්පොළ කොට්ඨාස බාර පොලිස් අධිකාරි ශ්‍රියන්ත පීරිස්, සහකාර පොලිස් අධිකාරී ඕ.පී.අමරබන්දු යන මහත්වරුන්ගේ උපදෙස් මත නාවලපිටිය පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක හරේන්ද්‍ර කළුගම්පිටිය, ළමා හා කාන්තා කාර්යාංශ ස්ථානාධිපතිනි කාන්තා පොලිස් පරික්ෂක ලක්ෂනී, කාන්තා කොස්තාපල් (604) දිල්රුක්ෂි, සැරයන් (45200) සුරේන්, (35781) ප්‍රියන්ත යන නිලධාරිහු මේ සම්බන්ධයෙන් පරික්ෂණ කළහ.
(ගම්පොළ සුරංග රාජනායක)

ගේ ළඟ ළිඳට වැටී අවුරුදු ‍දෙකහමාරේ සිඟිත්තා මරුට.

නිවස පිටුපස ළිඳට වැටී වයස අවුරුදු දෙකහමාරක දරුවෙකු ඊයේ (21) මිය ගොස් ගොස් ඇතැයි පිළියන්දල පොලීසිය කියයි. මියගොස් ඇත්තේ පිළියන්දල මාම්පේ උතුර විජය  මාවතේ කේ.ඒ. දහම් සංහිඳ යන දරුවාය.

අනතුර වන අවස්ථාවේ මව  මුළුතැන්ගෙයි සිට එම දරුවාට බත් කවමින් සිට ඇති අතර දරුවා වැසිකිළි යාමට අවශ්‍ය බව පැවසූ  හෙයින් දරුවාගේ කලිසම ගලවා තබා ඇතැයි විමර්ශනවල දී හෙළි වූ බව පොලීසිය කියයි. මද වේලාවකින් කිසියම් ශබ්දයක් ඇසී දරුවාගේ මව මුළුතැන්ගෙයින් පිටතට පැමිණ සොයා බැලීමේ දී දරුවා පෙනෙන්නට නොසිටි අතර ළිද  උඩට දමා තිබෙන දැල් ආවරණයේ කොටසක් කැඩී තිබෙන අයුරු දැක එය ඉවතට විසි කර ළිද තුළ බලා  ඇතත් කිසිවකුත් එම ගැඹුරු හෙයින ළිඳට බැස නොමැති බව විමර්ෂණ වලදී අනාවරණය වූ බව  පොලීසිය කියයි.

ළිං ඉසීම කටයුතුවල යෙදෙන  පුද්ගලයකුට ඒ බව සැලවීමත් සමගම  වහා එම ස්ථානයට පැමිණි අවස්ථා දෙකක දී ළිඳට බැසීමට උත්සාහ කිරීමේදී විෂ වායුව ආඝ්‍රාහණය වීම හේතුවෙන් ඔහු නැවත ගොඩට පැමිණ මද වේලාවක දී නැවත ළිඳට බැස දැඩි ආයාසයක් දරා දරුවා ගොඩට ගෙන තිබිණි. පසුව ඔහු 1990 සුවසැරිය ගිලන් රථයෙන් පිළියන්දල රෝහලට රැගෙන යන විටත් මියගොස් සිට ඇතැයි පොලිස් නිලධාරියා කීය.

මියගිය දරුවා ළිඳ අසල සිමෙන්තියෙන් තනා තිබු අඩි 3 ක් පමණි උස කුඩා ටැංකියේ බැම්ම මතට නැග අනතුරුව ළිඳ ආවරණයට යොදා තිබෙන දැල මතට පය තැබීමේ දී එක වරම දැල කඩාගෙන ළිදට වැටී ඇතැයි පොලිසිය සඳහන් කරයි.

දරුවා ළිදෙන් ගොඩ ගන්නා විට විනාඩි 40කට ආසන්න කාලයක් ගත වී තිබූ බව පොලීස් නිලධාරියෙක්  වැඩිදුරටත් පැවසීය.

සිද්ධිය වූ ස්ථානයට පැමිණි පිළියන්දල හදිසි මරණ පරීක්ෂක අජිත් විජේසිංහ මහතා මළ සිරුර මෙන්ම එම ස්ථාන පරික්ෂාවක් සිදු කිරිමෙන් අනතුරුව මළසිරුර කලුබෝවිල මෘත ශරිරාගාරයේ තැන්පත් කර පශ්චාත් මරණ පරික්ෂණය පවත්වන ලෙස පොලිසියට නියෝග කළේය.

පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සනත් රංජිත් මහතාගේ උපදෙස් මත පොලිස් පරික්ෂක කොඩිතුවක්කු. පොලිස් කොස්තාපල් 38960 ප්‍රනාන්දු යන මහත්වරු පරික්ෂණ පවත්වයි.
 
(බිමන් ශ්‍යාමන් ජයසිංහ)

Thursday, May 21, 2020

COVID-19 වසංගතය ලෝක ජනගහනයෙන් මිලියන 60 ක් අන්ත දරිද්‍රතාවට ඇද දමාමි.

COVID-19 හෙවත් ගෝලීය කොරෝනා වසංගතය සහ එහි ප්‍රතිඵලයක් ලෙස ඇති වු ආර්ථිකයන් වසා දැමීම හේතුවෙන් ලෝකයේ මිලියන 60ක ජනතාවක් අන්ත දරිද්‍රතාවට ඇදදැමිය හැකි බව ලෝක බැංකු සමූහයේ සභාපති ඩේවිඩ් මැල්පස් පෙරේදා (19දා) මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේය.
ලෝක බැංකුව 'අන්ත දරිද්‍රතාව” ලෙස අර්ථ දක්වන්නේ දිනකට එක් පුද්ගලයෙකු ඩොලර් 1,90කට වඩා (රු.360ක් පමණ) අඩු මුදලකින් ජීවත් වීමය.
මේ අතර වසංගතයේ බලපෑමට ප්‍රතිචාර දැක්වීම සඳහා රටවල් 100ක හදිසි ප්‍රතිචාර මෙහෙයුම් ආරම්භ කර ඇති බව ජාත්‍යන්තර මූල්‍ය සංවිධානය මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී.
"වර්ධනය කරා ආපසු යාමට නම්, සෞඛ්‍ය හදිසි අවස්ථා විසදීම සදහා අපගේ ඉලක්කය වේගවත්ව හා නමශීලීව ප්‍රතිචාර දැක්විය යුතුයි. දුප්පතුන් ආරක්ෂා කිරීම, පුද්ගලික අංශය නඩත්තු කිරීම සහ ආර්ථිකයක ඉක්මනින් නැගී සිටීමේ හැකියාව සහ ප්‍රකෘතිය ශක්තිමත් කිරීම සඳහා මුදල් සහ වෙනත් පුළුල් කළ හැකි ආධාර සැපයිය යුතුයි."

මේ අතර විශේෂයෙන් අප්‍රිකාවේ තර්ජනය දරුණු බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳව මහ කොමසාරිස් මිෂෙල් බැචලෙට් සහ මානව හා ජනතා අයිතිවාසිකම් පිළිබඳ අප්‍රිකානු කොමිසමේ සභාපති සොලමන් ඩර්යෝ අනතුරු ඇඟවීය.
"මේ  සෞඛ්‍ය අර්බුදය විසින්, මහාද්වීපයේ දැනටමත් දැකිය හැකි ණය බර සහ එහි බිඳෙනසුළු ආර්ථිකයන් සමග සංචිත තවදුරටත් සිඳීමට ලක්කරනු ඇති. එසේම නව රැකියා උත්පාදනය කිරීමේ යෝජනා ක්‍රම අක්‍රිය කරනු ඇති. ඉන් නොනැවතී සමාජ සංවර්ධනයේ ලාභය සහ කාර්මිකකරණය සඳහා වන ප්‍රයත්නයන් විනාශ කිරීමටත් තර්ජනය කරනු ඇති. මේ සියලු අවසානයේදී දුගීන්, කාන්තාවන් සහ දරුවන්ද ඇතුළුව වඩාත් අවදානමට ලක් වූවන්ගේ මානව හිමිකම්වලටද විනාශකාරී ප්‍රතිවිපාක ගෙන දෙමින්, තවත් මිලියන ගණනක් ජනතාව අන්ත දුගීභාවයට ඇදදමනු ඇති.”  ඒ අනුව ඔවුන් COVID-19 රෝග විනිශ්චය, චිකිත්සක සහ එන්නත් සඳහා වැඩි ප්‍රවේශයක් ඉල්ලා සිටි අතර, අප්‍රිකානු රටවල ණය හිමියන්ගෙන් ඉල්ලා සිටියේ එම රටවල ණය මුදල් අත්හිටුවීමක් හෝ නිදහස් කිරිමක් සිදුකරන ලෙසය.
 නව කොරෝනා වෛරස වසංගතය අප්‍රිකානු ප්‍රාන්ත 54ටම ළඟා වී ඇති අතර, අඟහරුවාදා වනවිට මහාද්වීපය පුරා පුද්ගලයන් 88,172කට ආසන්න සංඛ්‍යාවක් ආසාදනය වී ඇති බව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) පෙන්වා දෙයි. එමෙන්ම මහාද්වීපයේ මියගිය සංඛ්‍යාව 2,834ක් බවද OHCHR වැඩිදුරටත් පවසයි.

නරේන් විශ්වජිත්

15 හැවිරිදි දැරියක් තරුණයන් 10 කට ගොඳුරුවෙලා

15 හැවිරිදි දැරියක තරුණයන් දස දෙනකු විසින් අවස්ථා කිහිපයකදී අතවරයට ලක් කිරිමේ පැමිණිල්ලක් සම්බන්ධයෙන් සෙවණගල පොලිසිය පරික්ෂණයක් ආරම්භ කර තිබේ.  මෙම දැරියගේ පෙම්වතා බව කියන තරුණයකු මෙම දැරිය  අවස්ථා කිහිපයකදීම ලැගුම් හලකට රැගෙන ගොස් අපයෝජනයට  ලක් කර පසුව ඔහුගේ මිතුරන් කිහිප දෙනකුටද පෙම්වතා විසින්  මෙම දැරිය හඳුන්වා දී ඇතැයි පැමිණිල්ලේ සඳහන් වේ.

  ඒ අනුව පෙම්වතාගේ මිතුරන් පස් දෙනකු මෙම දැරිය රවටා  පසුගිය දිනක ප්‍රදේශයේ පාළු නිවසකට රැගෙන ගොස් අතවරයට ලක් කර ගත් පසු තවත් තරුණයන් සිව් දෙනකුද පෙරේදා (19 | වැනිදා) පෙරවරුවේ මෙම දැරිය රවටා ත්‍රිරෝද රථයකින් රැගෙන |ගොස් අපයෝජනයට ලක් කර ඇතැයි කියයි..

දැරිය පෙරේදා (19 වැනිදා) තරුණයන් සිව් දෙනකු සමග ත්‍රිරෝද රථයකිත් යනු ඇයගේ ඥාතියකු දැක ඒ බව දැරියගේ මවට පවසා තිබේ. ඒ අනුව මව දැරියගෙන් සිදු කළ විමසීමකදී දැරිය සියලු විස්තර පැවසීමෙන් පසු සෙවණගල පොලිසියට ගොස් සිද්ධිය සම්බන්ධයෙන් පැමිණිලි කර තිබේ.

ඒ අනුව සිදුකළ විමර්ශනවලදී දැරිය විසින් ලබා දී ඇති තොරතුරු වලට අනුව තරුණයෝ හය දෙනෙක් සෙවණගල පොලිසිය විසින් 19 වැනිදා සවස අත්අඩංගුවට ගනු ලැබූහ.

 අත්අඩංගුවට පත් තරුණයන් 06 දෙනා ඇඹිළිපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත අතර සිද්ධියට සම්බන්ධ බව කියන දැරියගේ පෙම්වතා ඇතුළු තවත් සිව් දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා සෙවණගල පොලිසිය වැඩිදුර පරික්ෂණ ආරම්භ කර තිබේ.

(සූරියවැව දිලීප් ජයසේකර)

කෝරෝනා මැද අම්ෆාන් ඉන්දියාව හා බංගලාදේශය වෙත දැඩි හානියක් කරයි

 ඉන්දියාවේ බටහිර බෙංගාලය ආශ්‍රිතව ඊයේ (20දා) පස්වරු 5.00ට පමණ අම්ෆාන් සුපිරි සුළි කුණාටුව ඇතුළු වී තිබුණේ දරුණු සුළං සහ දැඩි වර්ෂාවක්ද ඇති කරමිනි.  වර්ෂ 1999න් පසුව බෙංගාල බොක්ක ආශ්‍රිතව වාර්තා වූ පළමු වැනි සුපිරි සුළි කුණාටුව ලෙසද අම්ෆාන් සැලකෙයි. එක්සත් ජනපද ඒකාබද්ධ සුළි සුළං අනතුරු ඇඟවීමේ මධ්‍යස්ථානයට අනුව, පැයට කිලෝමීටර් 160ක වේගයෙන් (පැයට සැතපුමී 100) සුළං ඇති කරමින් ගොඩබිම කරා පැමීණි අම්ෆාන්, ඒ වනවිට 2 වැනි කාණ්ඩයේ අත්ලාන්තික් සුළි කුණාටුවකට සමාන වී තිබුණි.
ආරම්භයේදී ඉන්දියාව-බංග්ලාදේශ
දේශ සීමාව අවට කඩොලාන ප්‍රදේශයක් වන සුන්දර් බන්ස් ප්‍රදේශයකට පහරදුන් අම්ෆාන්, පසුව උතුරු බෙංගාල ප්‍රාන්තයේ කොල්කටා අගනගරය අසලින් රට තුළට ගමන් කර තිබුණේ දැඩි වර්ෂාපතනය සමග ගංවතුර හා නායයැම් අවදානම්ද ඇති කරමිනි.

ඉන්දියාවට හා බංග්ලාදේශයට COVID-19 වෛරසයේ දැඩි බලපෑමටද මුහුණදී ඇති මොහොතක, සමාජ දුරස්ථ ක්‍රියාමාර්ග ආරක්ෂා කරමින්, සුළි කුණාටුවෙන් ජනතාව බේරාගැනීම උභතෝකෝටිකයක් වූ බව දෙරටේම මාධ්‍ය වාර්තා කරයි. එක්සත් ජාතීන්ගේ මානුෂීය කටයුතු සම්බන්ධීකරණ කාර්යාලයට අනුව ඉන්දියාවේ මිලියන 33.6ක් සහ බංග්ලාදේශයේ මිලියන 8ක් පමණජනතාවක් වෙසෙන ගමන් මාර්ගයක
මෙම කුණාටුව ගමන් කරමින් තිබේ.
 ඉන්දීය බලධාරීන් කියා සිටියේ මේ වනවිටත් සුළි කුණාටුව විසින් නායයැම් කිහිපයක්ම සිදුකර ඇති බවය. විශේෂයෙන්ම කටුමැටි නිවාස රැසක් සුළි කුණාටුවෙන් සම්පූර්ණයෙන්ම විනාශ විය හැකි අතර, දුරකථන හා විදුලි රැහැන් කඩා වැටීමෙන් සන්නිවේදන හා විදුලිය ඇනහිටීම්ද වාර්තා වී තිබුණි.
කෙසේ වෙතත් ඊයේ (20දා) සවස වනවිටත් සුළි කුණාටුව හේත්තුවෙන් සිදුවූ ජීවිත හානි වාර්තා වී නොතිබුණත්, මෙයින් සිදුවිය හැකි හානිය සුළුපටු නොවනු ඇති  බව  කාලගුණ අංශ පුරෝකථනය කර තිබුණි.

කෝවිලට ගොස් යතුරුපැදියේ යමින් සිටි කතගේ ලක්ෂ 6ක රන්මාලය කඩාගෙන

යතුරු පැදියක් පදවා ගෙන ගිය 31 හැවිරිදි තරුණ කාන්තාවක කර පැළඳ සිටි රුපියල් ලක්ෂ හයක පමණ වටිනා පවුම් එකොළහක රන්මාලයක ත්‍රිරෝද රථයක යන අතරතුර කඩාගෙන පළාගිය පුද්ගලයෙකු අත්අඩංගුවට ගැනීමට යාපහුව, මානිප්පායි පොලිසියේ නිලධාරින්ට හැකිවී ඇත.කාන්තාවගෙන් කඩාගත් රන් මාලයද, කොල්ලකෑම සඳහා යොදාගත් ත්‍රීරෝද රථයද පොලිසිය සොයාගෙන ඇති අතර මෙම කොල්ලකෑමට සම්බන්ධ තවත් කොල්ලකරුවකු අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටියි.

මානිප්පායි පොලිස් වසමේ නැගෙනහිර නවාලි ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකාරිය පොලිසියට පවසා ඇත්තේ තමන් නල්ලුර් කෝවිලට ගොස් දෙවියන් නැමැද සිය මව බැලීමට ඇගේ නිවස බලා යතුරු පැදියෙන් ගමන් කරමින් සිටියදී පසුපසින්පැමිණි ත්‍රීරෝද රථයක් යතුරු පැදියට සමීපව ධාවනය කරමින් එහි සිටි අයකු තමන් කර පැළඳ සිටි රන් මාලය කඩාගෙන පළාගිය බවයි.

එම කාන්තාවගේ පැමිණිල්ල මත මානිප්පායි පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජයන්ත ගුණතිලක මහතාගේ උපදෙස් අනුව පරික්ෂණ ආරම්භ කළ පොලිස් නිලධාරීන් කොල්ලකෑමට යොදාගත් ත්‍රිරෝද රථය සොයාගෙන අනතුරුව ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි. ඔහු බටහිර මානිප්පායි ප්‍රදේශයේ පදිංචි අයෙකි.

ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී වෙනත් පුද්ගලයකු ළග සංගවා තිබූ රන් මාලයද සොයා ගැනීමට හැකිවී තිබුණි.
අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (20) යාපනය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව තිබුණි.
(අතුල බණ්ඩාර)

අල්ලපු ගෙදරට යනවා කී දරුවන් දෙන්නාගේ සිරුරු මැණික් පතලේ තිබුණා.

ඇළහැර, කන්තලේ යාය ප්‍රදේශයේදී නිවෙසට ආසන්නයේ තිබූ ජලය පිරුණු මැණික් පතලකට ඇද වැටී මියගිය එකම පවුලේ කුඩා දැරියන් දෙන්නාගේ මරණ පරික්ෂණයේදී ඔවුන් දෙදෙනාගේ මව වන බුලුවල දේවයලාගේ නිශාන්ති චන්දිමා  වීරසිංහ (35) මහත්මිය සාක්කි දෙමින් කියා සිටියාය.  එම සිද්ධියෙන් මියගියේ ඇලහැර කන්තලේ යායේ මඩුගහයට හේනේගෙදර සිතුලි සිතත්මා බණ්ඩාර වයස අවුරුදු 06  මාස 8 සහ මඩුගහයට හේනේ ගෙදර  නෙතුලි නිසල්යා බණ්ඩාර අවුරුදු 03 යන දැරියන් දෙදෙනාය.

ඇලහැරකෝට්ටපිටිය කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක ශෝමා එදිරිසිංහ මහත්මිය  ඉදිරියේ පැවැති මරණ පරික්ෂණයේදී සාක්කිකාරිය මෙසේද කීවාය.

මේ මිය ගොස් සිටින්නේ මාගේ වැඩිමහල් දියණිය වන නෙතුලි සහ දෙවැනි දුව වන සිතුලි යන දෙදෙනායි. මේ දෙදෙනාට බාල තව එක දුවෙක් සිටිනවා. එයාට වයස මාස 10 යි. මගේ සැමියා රැකියාව කරන්නේ පොලිස් විශේෂ කාර්ය බළකායේ කඩවත කදවුරේයි. සැමියා මාසයකට පමණ වතාවක් නිවාඩුවට ගෙදර එනවා. එසේ නිවාඩු ලබා පැමිණ ආපසු ගියේ මීට දින කිහිපයකට කලිනුයි.

මගේ සැමියාගේ අයියාගේ ගෙදර තිබෙන්නෙත් අපේ ගෙදරට ආසන්නයේයි. වැඩිමහල් දුවලා දෙන්නා මගේ සැමියාගේ අයියාගේ ගෙදරට දහවල් කාලයේ යනවා. ඒ වගේම අපි විජේ අක්කා කියලා හඳුන්වන ඒ අක්කලාගේ ගෙදරටත් යනවා. ඒ ගෙවල්වල අය මේ දරුවන් හොඳින් රැක බලා ගන්නවා.මේ සිද්ධිය වුණ දිනයේ දහවල් දුවලා දෙන්නා සැමියාගේ අයියාගේ ගෙදරට ගිහිල්ලා ගොඩක් වෙලා ගත කරලා සවස
ගෙදර ආවා. මගේ සැමියාගේ අයියාගේ බිරිඳ ඒ අක්කා දරුවන් ගෙදරට ගෙනැත් ඇරලවලයි ගියේ. චූටි දුව නැවත එහේ යන්න ඕන කියලා අඩන්න ගත්තා. එවිට ලොකු දුව කීවා නංගි අඬන්න එපා අපි විජේ ඇන්ටිලාගේ ගෙදර යමු තව ටිකකින් කියලා. එතකොට වේලාව සවස පහට විතර ඇති. ඊට පස්සේ ලොකු දුව කීවා නංගීත් එක්කලා විජේ ඇන්ටිලාගේ ගෙදරට ගිහින් එන්නම් කියලා. එහෙම කියලා දුවලා දෙන්නාම ගියා.

 මම දරුවන්ට රෑට කෑම දෙන්න කුස්සියේ  ඉඳි ආප්ප තැම්බුවා. ටික වේලාවක් එසේ  වැඩ කරමින් සිට පසුව දුවලා දෙන්නා ගෙදර ආවේ නැති හින්දා මම අල්ලපු ගෙදර අක්කාගෙන් ඇහුවා අක්කේ ඇයි දුවලා  දෙන්නා තවම ගෙදර ආවේ නැත්තේ කියලා. එවිට අක්කා කිව්වා නංගී දුවලා  දෙන්නා අද සවස මෙහේ ආවේ නෑ කියලා. මට හිතුණා අක්ක විහිළුවක් කරනවා  කියලා. මම කිව්වා අක්කා විහිළු කරන්න එපා කියලා. අනේ නංගී ඇත්තමයි  දුවලා ආවේ නෑ කියලා අක්කා කිව්වා. ඊට පස්සේ අපි කළබල වෙලා දුවලව හෙව්වා. අහල පහළ අයත් එතැනට රැස් වුණා. මේ වෙනවිට වේලාව රාත්‍රී හත හමාර විතරක් වෙලා. අඳුර වැටිලා තිබුණේ. විදුලි පන්දම් දල්වලා හැම තැනම සොයා බැලුවා. පසුව නිවෙස අසල මැණික් පතලේ වතුරේ, දුවලා දෙන්නා පාවෙමින් ඉන්නවා දැක්කා. වහාම දරුවන් වතුරෙන් ගොඩට අරගෙන බකමූණ රෝහලට රැගෙන ආවා. එහිදී වෛද්‍යවරුන් පරික්ෂා කරලා බලලා කිවා දරුවන් මිය ගිහිල්ලා කියලා. මේ මරණ ගැන මට කිසිම සැකයක් නෑ මැණික් ගැරිම සඳහා හාරා තිබු වතුර පිරුණු පතලට වැටී දියේ ගිලීමෙන් දරුවන් දෙදෙනා මියගියා කියලා විශ්වාස කරනවා.මියගිය දරුවගේ සීයා වන මඩුගහයට හේගෙදර ඇල්බට් (76) මහතාද මෙහිදී සාක්කි දුන්නේය..

පොළොන්නරුව මහ රෝහලේ විශේෂඥ වෛද්‍ය අධිකරණ නිලධාරි වෛද්‍ය ඩී.එල්. වෛද්‍යාරත්න මහතා මිය ගිය අයගේ මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය සිදුකළ අතර දියේ ගිලීම හේතුවෙන් මරණ සිදුව ඇති බවට නිගමනය කළේය.

ඉදිරිපත්වූ සාක්‍ෂි සහ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව අනුව ජලය පිරුණු මැණික් පතලට ඇද වැටී දියේ ගිලීම හේතුවෙන් මෙම මරණ සිදුවූ බවට මරණ පරීක්ෂකවරිය නිගමනය කළාය. බකමුණ පොලිසියේ කොස්තාපල් 67605 කුමාර මහතා මෙහි සාක්කි මෙහෙයැවීය.
(පොළොන්නරුව ක.ග.කරුණාරත්න)

ශ්‍රීලනිපයෙන් නෙරපු ප්‍රකාශ සාවද්‍යයි.



ශ්‍රී ලංකා නිදහස් පක්ෂයෙන් නෙරපූ බවට සිදුකරන ප්‍රකාශ සාවද්‍ය බවත්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමෙන් පසු ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග කිසිදු සම්බන්ධතාවයක් නොමැති බව හිටපු අමාත්‍ය මහින්ද සමරසිංහ මහතා සදහන් කරයි.
මාර්තු මාසයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතා අතින් සාමාජිකත්වය ලබාගත් බවත්, එසේ තිබියදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සාමාජිකත්වය නොමැති කෙනෙකු නෙරපීම හාස්‍යයට කරුණක් බවත්හිටපු අමාත්‍යවරයා පවසා සිටියේය. මාස තුනකට පෙර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සාමාජිකත්වය ලබාගැනීමෙන් අනතුරුව ඉදිරි දේශපාලන කටයුතු සියල්ලම පක්ෂ නායක අග්‍රාමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ හා ජාතික සංවිධායක බැසිල් රාජපක්ෂ මහතාගේ ආශීර්වාදයෙන් හා ජනාධිපති ගෝඨාභය රජපක්ෂ මහෙතාගේ මගපෙන්වීම යටතේ සිදුකරන බවද සදහන් කළේය. එමෙන්ම පක්ෂ සාමාජිකත්වය ලබාගැනීමෙන් පසුව ඉදිරි මැතිවරණය සදහා කළුතර දිස්ත්‍රික් අපේක්ෂකයෙකු ලෙස තමන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් ඉදිරිපත්වන බවද ඔහු වැඩිදුඛවසා සිටියේය.

ඉන්දික  හේවාවිතාරණ



Wednesday, May 20, 2020

සුපිරි වෙළඳ සංකීර්ණයේ තොග ගබඩාවකින් ලක්ෂ 10 ක භාණ්ඩ සොරාගත් දෙදෙනෙකු දැලේ



ඇඳිරී නීතිය පැවැති පසුගිය මාස දෙකක කාලය තුළදී  සුපිරී වෙළඳ සංකීර්ණයක පිහිටි තොග භාණ්ඩ අලෙවි මධ්‍යස්ථානයකින් අවස්ථා පහළොවකදී රුපියල් ලක්ෂ දහයකට ආසන්න භාණ්ඩ සොරාගත් පුද්ගලයන් දෙදෙනෙකු ඊයේ (19දා) අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලීසිය පවසයි. සැකකරුවන් කිරුළපන, කුඹිකැලේ ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකු හා නාරාහේන්පිට ප්‍රදේශයේ පදිංචි 30 හැවිරිදි පුද්ගලයෙකි.
 වෙළෙඳ සංකීර්ණයේ ආරක්ෂාවට ආරක්ෂක නිලධාරීන් තිදෙනෙකු රාජකාරියේ යොදවා සිටියදී මෙම සොරකම සිදුව ඇති බවත්, සොරාගත් භාණ්ඩවලින් රුපියල් ලක්ෂ පහක් පමණ වටිනා භාණ්ඩ ප්‍රමාණයක් සොයාගත් බවත් පොලීසිය පවසයි.
කිරුළපන පොදු වෙළෙඳ සංකීර්ණය ඇඳිරි නීතිය හේතුවෙන් පසුගිය මාස දෙකක පමණ කාලයක් වසා දමා තිබූ අතර, ඉකුත් එකොළොස් වැනිදා නැවත අලෙවි සැල් විවෘත කිරීමේදී එක් වෙළෙඳ සලක් කඩා භාණ්ඩ සොරාගෙන තිබූ බැවින් ඒ පිළිබඳව පොලීසියට පැමිණිල්ලක් කර තිබුණි. ඒවනවිට කිසියම් පුද්ගලයෙකු අත්‍යවශ්‍ය භාණ්ඩවල වටිනාකමින් අඩක් අය කරමින් ඉතා අඩු මිලට ප්‍රදේශය පුරා භාණ්ඩ අලෙවි කරන බවට පොලීසියට තොරතුරක් ලැබී තිබූ අතර, එහෙත් ඒ පිළිබඳව විමර්ශනය කිරීම උදෙසා කිසිවෙකුගෙන් හෝ පැමිණිල්ලක් පැමිණ නොතිබූ බැවින් පොලීසිය අදාළ සැකකරු පිළිබඳව සෝදිසියෙන් සිටි බවත්, අදාළ සොරකම පිළිබඳව පැමිණිල්ල ලැබීමත් සමග මේ පිළිබඳව විමර්ශනය කොට සිද්ධියට සම්බන්ධ පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවත් පොලීසිය පවසයි. ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී තවත් පුද්ගලයෙකු සමග අලෙවි සැල කඩා අවස්ථා 15කදී රුපියල් 922.500.00 වටිනා අත්‍යවශ්‍ය භාණ්ඩ මෙසේ සොරාගෙන ගොස් ඇති බවට අනාවරණය වූ බව පොලීසිය පවසයි. සැකකරුවන්ගෙන් මේ පිළිබඳව වැඩිදුර ප්‍රශ්න කිරීමේදී අදාළ වෙළෙඳ සැලෙන් සොරාගත් භාණ්ඩ පිටුපස ඇළ මාර්ගයක් ඔන්සේ නිවෙසට ගෙන ගොස් අලෙවි කර ඇති බවට අනාවරණය වී තිබුණි. ඒ අනුව කිරුළපන සිද්ධාර්ථ මාවත, කුඹිකැලේ සහ නාරාහේන්පිට ඇතුළු ප්‍රදේශ කිහිපයකට විකුණා තිබූ හාල් කිලෝ 10 මිටි 15ක්ද, සීනි කිලෝ 50 මිටි නවයක්ද. කිරි පිටි, සබන් වර්ග, ඇතුළු අත්‍යවශ්‍ය භාණ්ඩ රැසක්ද සොයාගත් බව පොලීසිය පවසයි. සොරාගත් භාණ්ඩ අලෙවියෙන් ලද සියලු මුදල් සැකකරුවන් විසින් හෙරොයින් පානය සඳහා වැය කර ඇති බවද පොලීසිය පවසයි. මින් එක් සැකකරුවෙක් මීට වසර කිහිපයකට පෙර සුපිරි වෙළෙඳ සංකීර්ණය  ඉදිරිපිට ලොරි රථයක් තබාගෙන කුලී ගමන් ගමන් ගිය අයෙකු බවද පැවසේ.
  කිරුළපන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන   පොලිස් පරික්ෂක චන්දන කළුආරච්චි මහතාගේ උපදෙස් මත, අපරාධ විමර්ෂන  අංශයේ ස්ථානාධිපති, පොලිස් පරික්ෂක  ප්‍රදීප්එදිරිවීර මහතාගේ මෙහෙය විමෙන්  ජයවීර ඇතුළු නිලධාරීන් විසින් මෙම වැටලීම සිදුකරන ලදී.

මත්තේගොඩ - ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න



කෝරෝනා වලින් බේරෙන්න ට්‍රම්ප් හැමදාම ''හයිඩ්‍රොක්සික්ලෝරෝවින්''ඖෂධය ගන්නවලු

නව කොරෝනා වෛරසය හෙවත් COVID-19 වසංගතය ආසාදනය වීමෙන් වැළැකීම සඳහා තමන් සෑම දිනකම පාහේ හයිඩ්‍රොක්සිලෝරොක්වීන් (hydroxychloroquine) ඖෂධය ලබා ගන්නා  බව එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් පසුගියදා එරට ආපනශාලා විධායකයන් පිරිසක් හමුවේ පවසා තිබේ.  මෙම ඖෂධය නව කොරෝනා වෛරසය සඳහා සාර්ථක ප්‍රතිකාරයක් ලෙස ට්‍රම්ප් මීට පෙර අවස්ථා කිහිපයකදීම සඳහන් කර තිබුණි. ඒ අනුව ධවල මන්දිරයේ වෛද්‍යවරුන්ගේ උපදෙස් මත මෙම ඖෂධය ගන්නා බව ට්‍රම්ප් පවසා ඇත.
"දැනට සති කිහිපයකට පෙර ඉඳන්ම මම මේ ඖෂධය බොන්න පටන් ගන්නා. ධවල මන්දිර වෛද්‍යවරුන් සහ භෞතචිකිත්සකයන් මේ ඖෂධය මට නිර්දේශ කළා.” ට්‍රම්ප් පවසා ඇත.
කෙසේ වෙතත් එක්සත් ජනපදයේ ආහාර සහ ඖෂධ පාලනාධිකාරියේ සෞඛ්‍ය විශේෂඥයන්ට අනුව මෙම ඖෂධය ලබා ගැනීම හරහා දරුණු ප්‍රතිඵල ඇතිවිය හැකි බවත් එහි අතුරු ආබාධ රැසක්ම පවතින බවත් සඳහන් කර තිබේ. මැලේරියා රෝගය සඳහා ලබා දෙන මෙම ඖෂධය හරහා හදවත් රෝග ඇතිවීම ප්‍රධාන බවත් පැවසෙයි. කෙසේ වෙතත් මේ පිළිබඳව අදහස් දක්වා ඇති ධවල මන්දිර
වෛද්‍යවරුන්, ට්‍රම්ප් මෙම ඖෂධය ලබා ගැනීම හරහා යම් සාර්ථකත්වයක් පෙන්නුම් කරන බවත්, වෛරසය වැලඳීමේ අවදානම ඉවත් කරන බවත් පවසා තිබේ.  තත්ත්වය මෙසේ පවතිද්දී ඇමෙරිකා එක්සත් ජනපදය තුළ COVID-19 හේතුවෙන් මරණයට පත්වන්නන් පිළිබඳව සංඛ්‍යාලේඛන පුරෝකථනය මේ වනවිට යම් අඩුවීමක් පෙන්නුම් කර ඇතැයිද වාර්තා පවසයි.
එරට සකස් කළ ආදර්ශනයක් අනුව මෙම සංඛ්‍යාලේඛන පිළිබඳ පුරෝකථන ඉදිරිපත් විය. ඒ අනුව ලබන අගෝස්තු 4 වැනිදා වන විට එරට සිදු විය හැකි මරණ සංඛ්‍යාව 143,360ක් දක්වා පහත වැටී ඇත. එය පසුගිය මැයි 12 වැනිදා වන විට පැවැති පුරෝකථනයට අනුව මරණ 3,700 කින් අඩුවීමකි.
කෙසේ වෙතත් මීට පෙර සකස් කළ ආදර්ශයට අනුව රට තුළ ලොක්ඩවුන් සීමා ඉහිල් කිරීමත් සමග ජනතාව වැඩි වශයෙන් විවෘතස්ථාන වෙත පැමිණීම් ඉහළ යාම හේතුවෙන්  මෙම මරණ සංඛ්‍යාව ඉහළ යා හැකි බවට පුරෝකථන ඉදිරිපත්ව තිබුණි.
 ඊයේ දිනය වනවිට එක්සත් ජනපදය තුළ සමස්ත කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 1,508,957ක් ලෙස වාර්තා වී ඇති අතර එරට මරණ සංඛ්‍යාව 90,369ක් බවට පත්ව තිබේ.

ගූගල් සමාගමේ බොරැල්ල ආයතනයකින් ලක්ෂ 20ක දේපළ සොරාගැනීම; සැකකරුවෙකු කොටුවෙයි.

ගූගල් සමාගමට අයත් බොරැල්ලේ පිහිටි ආයතනයකට ඇතුළු වී රුපියල් ලක්ෂ විස්සකට ආසන්න දේපළ සොරා ගැනීම සම්බන්ධයෙන් සැකපිට පුද්ගලයකු මරඳාන ප්‍රදේශයේදී ඉකුත් 17 වැනිදා අත්අඩංගුවට ගත් බව බොරැල්ල පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් 26 හැවිරිදි සැකකරු මත්ද්‍රව්‍යවලට තදින් ඇබ්බැහි වූවකු බවත් කලක් රක්ෂිත බන්ධනාගාරගතව සිට කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් ඇප මත නිදහස්  කළ පුද්ගලයකු බවද පොලිසිය කියයි.

එම සැකකරු සමග ලැප්ටොප්, ජංගම දුරකථන, ග්‍රිල් යන්ත්‍ර,  ගුගල් ටී ෂර්ට්, ප්‍රොජෙක්ටර් ඇතුළු උපකරණ රැසක් පොලීසිය බාරයට ගෙන ඇත.
ඇඳිරි නීතිය හේතුවෙන් මාර්තු 14 වැනි දින සිට මෙම ආයතනය වසා ගොස් ඇති අතර පසුගිය මස 20 වැනිදින එම  ආයතනයේ සේවකයන් සේවය සඳහා ආයතනය කරා පැමිණි අවස්ථාවේදී එහි දොරක් විවෘත කර තිබෙනු දැක පැමිණිලි කළ බව පොලිසිය කියයි.

 ඒ අනුව බොරැල්ල පොලිසිය මඟින් කරන ලද විමර්ශනවලදී ආයතනය ආසන්නයේ නිවාසවල තිබූ සීසීටීවී කැමරා පරීක්ෂා කිරීමේදී එම සැකකරු හඳුනාගෙන තොරතුරු තහවුරු කර  ගැනීමෙන් පසු මරදාන ප්‍රදේශයේදී අත්අඩංගුවට ගැනීමට හැකියාව ලැබුණ බව පොලිස් නිලධාරීයෙක් පැවසීය.

අත්අඩංගුවට ගත් එම සැකකරුගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමේදී සොරාගත් භාණ්ඩ මරදාන හා බොරැල්ල ප්‍රදේශවල හෙරොයින් මත්කඩු විකුණන පුද්ගලයන්ට ලබාදී මත්කුඩු ලබාගත් බවට අනාවරණය වූ බව පොලිසිය කියයි.

සැකකාර පුද්ගලයා ආයතනය වසා දමා තිබූ එම දිනවල අලුයම් කාලයේ දින කිහිපයක්ම ආයතනය තුළට පැමිණ මත්කුඩු ද පානය කර ඇති බවට ප්‍රශ්න කිරීමේදී. වැඩිදුරටත් අනාවරනය වූ බවද පොලිසිය පවසයි. මොහු මීට පෙර මරදාන ප්‍රදේශයේ සම්භාහන ආයතනයට ඇතුළුවී අගල් 32 රූපවාහිනියක් ඇතුළු භාණ්ඩ කීපයක් සොරාගෙන ඇති බවද මොහුගෙන් ප්‍රශ්න කිරීමේදී හෙළිවූ බව පොලිසිය සඳහන් කරයි.
සැකකරු අධිකරණයට ඉදිරිපත්ක කිරීමට නියමිතය.  බොරැල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක දුමින්ද බාලසුරිය මහතාගේ උපදෙස් මත පරික්ෂණ පවත්වයි.

(බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ක්‍රිකට් නීති පොත වෙනස් වේ. පන්දුව ඔප දැමීමට දහඩිය පමණයි.



ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ (ICC) ක්‍රිකට් කමිටුව මගින් ක්‍රිකට් නීති පොතට අදාළ නීති රෙගුලාසි කිහිපයක් සංශෝධනය කර ඇති අතර, නව නීති කිහිපයක්ද ඇතුළත් කර තිබේ.
ඒහිටපු ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩක අනිල් කුම්බිලේගේ (අයි.සී.සී. ක්‍රිකට් කමිටුවේ ප්‍රධානී) ප්‍රධානත්වයෙන් පෙරේදා (18දා) පැවැති ක්‍රිකට් කමිටුව රැස්වීමේදී ගත් තීරණයකට අනුවය.
මෙහිදී සංශෝධනය කළ නීති අතරට කෝවිඩ් -19 වසංගතය අවසන් වන තෙක් ජාත්‍යන්තර තරගවලට  විනිශ්චය කිරීමට සත්කාරක රටේ විනිසුරුවන් යොදා ගැනීමට තීරණය වී තිබේ.
කෝවිඩ් -19 වසංගතය හේතුවෙන් දේශසීමා වසා දැමීම, සීමිත ගුවන් ගමන් හා අනිවාර්යය නිරෝධායන කාල සීමාවන් යන බාධාවන් සැලකිල්ලට ගෙන කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබේ.
එමෙන්ම ජාත්‍යන්තර තරගවලට සහභාගි වන ක්‍රීඩකයන්, පුහුණුකරුවන් සහ සහය කාර්ය මණ්ඩලය සති 02ක් අනිවාර්යයෙන් හුදෙකලා වී නිරෝධායනය විය යුතු බව, පන්දුව ඔපදැමීමට දහඩිය පමණක් භාවිත කිරීම, විනිසුරු තීරණ නැවත විමසීමේදී (DRS) එක් කණ්ඩායමකට එක් ඉනිමකට අතිරේක අවස්ථාවක් ලබාදීම යන කරුණු ඇතුළත් කර තිබේ.
 මෙම නිර්දේශ අයි.සී.සී. අධ්‍යක්ෂ මණ්ඩලය වෙත යැවෙන අතර, එය මෙම මස 28 වැනි දින වීඩියෝ සමත්‍රණයක් මගින් රැස්වීමට නියමිත අයි.සී.සී. අධ්‍යක්ෂ මණ්ඩලය මගින් අනුමත කිරීමට නියමිතය.
  පන්දුව ඔපදැමීම ඩහදියෙන් පමණයි
මේ දිනවල ලොව පුරා වසංගතයක් ලෙස පැතිර යන කෝවිඩ් -19 වසංගතය මිනිසාගේ ඛේටයෙන් (කෙළවලින්) බෝවන බව තහවුරුවීමත් සමග ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලයේ ක්‍රිකට් කමිටුව මගින් පන්දුව ඔප දැමීමට ඛේටය යොදා ගැනීම තහනම් කර තිබේ.
 කෙසේ වෙතත් ක්‍රිකට් කමිටුව මීට පෙර පන්දුව ඔපදැමීම සඳහා කෘත්‍රිම ද්‍රව්‍යවලට අවසර දීම සම්බන්ධයෙන් සාකච්ඡා කර ඇති අතර, ඒ අනුව පන්දුව කෘත්‍රිම ද්‍රව්‍යවලින් පළුදු කිරීමේ හැකියාව ඇති
හෙයින් ඊට අවසර නොදීමට තීරණය කර තිබේ. ඒ අන් කිසිවක් නිසා නොව කෘත්‍රිම ද්‍රව්‍ය නිසියාකාරයෙන් අර්ථකථනය කළ නොහැකි හෙයින් සහ ක්‍රීඩකයන් පන්දුව පළුදු කිරීමට මෙමගින් වැඩි වශයෙන්
පෙළඹීය යන්න උපකල්පනය මත පිහිටා මෙම තීන්දුව ගෙන තිබේ. ඒ අනුව මින් ඉදිරියට පන්දුව ඔප දැමීමටදහඩිය පමණක් භාවිත කිර්මට නියමිතය.

 අයි.සී.සී. ක්‍රිකට් කමිටුව සහ අයි.සී.සී. වෛද්‍ය උපදේශක කමිටුවේ සභාපති ආචාර්ය පීටර්ග හාකෝට් පන්දුව ඔපදැමීම සඳහා දහඩිය භාවිත කිරීම සම්බන්ධයෙන් පැහැදිලි කිර්මක්ද සිදුකර තිබේ.
 එම පැහැදිලි කිරීමට අනුව කෝවඩ් -19  පහසුවෙන්ම මිනිසාගේ ඛේටයෙන් සම්ප්‍රේෂණය වන හෙයින් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට පිටියේ කෙළ ගැසීම තහනම් කර තිබේ. එබැවින් ක්‍රිකට් පන්දුව ඔපදැමීම සඳහා දහදිය පමණක් භාවිත කිර්මට සුදුසු බව ඒකමතිකව නිර්දේශ කර තිබේ.
"වෛරසය දහඩිය හරහා සම්ප්‍රේෂණය වීමට බොහෝ දුරට ඉඩක් නැහැ. එහෙයින් පන්දුව ඔප දැමීම සඳහා දහඩිය භාවිතය තහනම් කිරීමේ අවශ්‍යතාවක් නැහැ. ක්‍රීඩා පිටියේ හා අවට වැඩි දියුණු කළ සනීපාරක්ෂක ක්‍රියාමාර්ග ක්‍රියාත්මක කරන ලෙස අපි ඉල්ලා සිටියා. අනෙක් කරුණ නම් කෘත්‍රිම ද්‍රව්‍ය භාවිතය කොතරම් දුරට ප්‍රායෝගික වේවිද? ඉටි සහිත රෙදිවලට ඉඩ දෙන්නද? වැස්ලීන්වලට ඉඩ දෙනවාද? මින්ට් භාවිත කිර්මට ඉඩ දෙනවාද? පන්දුව මත කිසියම් කෘත්‍රිම ද්‍රව්‍යයක් භාවිත කිරීම ක්‍රීඩාවේ. පවත්නා නීති උල්ලංඝනය කිරීමක්, එහෙයින් එවැනි නීතියක්  උල්ලංඝනය කිරීමට කමිටුවට අවශ්‍ය නැහැ.
නමුත් පන්දු යවන්නන්ට හිතකර ලෙස තණතීරු සැකසුවහොත් මෙහි සමබරතාව යථා තත්වයට පත්කළ හැකි වේවි."යැයි අයි.සී.සී. ක්‍රිකට් කමිටුවේ සහ අයි.සී.සී. වෛද්‍ය උපදේශක කමිටුවේ සභාපති ආචාර්ය පීටර් හාකෝටි වැඩිදුරටත් පැවසීය. විනිසුරු තීරණ නැවත විමසීමට අතිරේක අවස්ථාවක් විනිසුරු තීරණ නැවත විමසීමේදී (DES) එක් කණ්ඩායමකට එක් ඉනිමකට අතිරේක අවස්ථාවක් ලබාදීම කෙරෙහිද අයි.සී.සී. ක්‍රිකට් කමිටුවේ අවධානය මෙහිදී යොමුව තිබේ. ඒ අනුව තීරණ ගැනීමේදී පක්ෂග්‍රාහී වීම වැළැක්වීම සඳහා සමාලෝචන අවස්ථා වැඩි කිරීම කමිටුවේ නිර්දේශය වී තිබේ.
ලොව පුරා සිටින විනිසුරුවන්ගේ පුළුල් සංචිතයක් පත්කිර්මට සහාය වීම සඳහා තාක්ෂණය භාවිතය වැඩි කිරීමටත්, එක් කණ්ඩායමකට එක් ඉනිමකට අතිරේක ඩී.ආර්.එස්. සමාලෝචන අවස්ථාවක් හඳුන්වා දීමටත් මෙහිදී නියමිතය.
කෝවිඩ් -19 ආදේශක ක්‍රීඩකයන් නැහැ
මේ අතර ක්‍රිකට් කමිටුව අවධානය යොමුකළ තවත් කරුණක් වනුයේ අතිරේර්ක ක්‍රීඩකයන් සංඛ්‍යාව වැඩි කරන්නේද යන්න පිළිබඳවයි. ජාත්‍යන්තර පාපන්දු සම්මේලනයද කෝවිඩි -19 වෙරසය හේතුවෙන් අතිරේක ක්‍රීඩකයන් 05ක් දක්වා පවත්වාගෙන යෑමට අවස්ථාව ලබාදී තිබුණු  අතර, අතිරේක ක්‍රීඩකයන් සංඛ්‍යාව වැඩි කිරීමේ යෝජනාව පළදරා නොමැත.
 දැනටමත් සහන අවස්ථාවකදී ක්‍රිඩකයෙකු ප්‍රතිස්ථාපනය කිරීමේ ඉඩ ප්‍රස්ථාව ක්‍රිකට් ක්‍රීඩාවේ පවතින බැවින් එම යෝජනාව අනුමත වී නොමැත. එසේම කෝඩ් - 19 පරීක්‍ෂණයක් පැය භාගයකින් කළ හැකි බව අයි.සී.සී. වෛද්‍ය උපදේශක කමිටුවේ සභාපති ආචාර්ය පීටර් හාකෝටි, කමිටුවට පවසා ඇති අතර, ක්‍රීඩකයන් ඉක්මනින් පරික්ෂා කළ හැකි නම් අතිරේක ක්‍රීඩකයන් වැඩි කිරීම අනවශ්‍ය බව අවසන් නිගමනය වී තිබේ.  මීට අමතරව වෛද්‍ය ක්‍රියා පටිපාටියට අනුව කණ්ඩායම් සහ පුහුණු කාර්යමණ්ඩලය සති 02ක කාලයක් හුදෙකලා වී නිරෝධායනය අනිවාර්ය වීම හේතුවෙන් කමිටුව කෝවිඩ් ආදේශක අවශය නොවන බවට තීරණය කර තිබේ.  මෙම අයි.සී.සී. ක්‍රිකට් කමිටුවට අනිල් කුම්බිලේ, ඇන්ඩෲ ස්ටෝස්, මහේල ජයවර්ධන, රාහුල් ඩ්‍රාවිඩ්,  ටීම් මේ, මිකී ආතර්, ඩේවිඩ් වයිට්, රිචඩ් ඉලිංවර්ත්, රන්ජන් මඩුගල්ල, ජෝන් ස්ටීවන්සන්, කයිල්කෝටිසර්, ෂෝන් පොලොක්, බෙලින්ඩා ක්ලාක්,  ඩේවිඩ් කෙන්ඩික්ස්, ශෂානාක් මනෝහර්, මනු සැව්නි සහ ක්ලයිව් හිච්කොක් ඇතුළත්ව සිටිති.

පැතුම් ශ්‍රී විජේරත්න/ ඕෂිත වරකපිටිය


පොලිස් නිල හැඳුනුම්පත පෙන්වා ඇඳිරියේ කුඩු විකුණූ කොස්තාපල් දැලේ

පොලිස් නිල ලාංඡනය සහිත ක්‍රීඩා ඇඳුමකින් සැරසී නිල හැඳුනුම්පත පෙන්වමින් ඇඳිරි නීතිය පැවති කාලය පුරාම මීරිගම පල්ලෙවෙල හා වේයන්ගොඩ ප්‍රදේශයේ මත්කුඩු ජාවාරමේ යෙඳුණු බව කියන පොලිස් කොස්තාපල්වරයෙකු පෙරේදා (18) මත්කුඩු පැකට් සමග අත්අඩංගුවට ගත් බව පල්ලෙවෙල පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පල්ලෙවෙල‍ කාක්කැලේවත්ත මිහිඳුපුර ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
සැකකාර පොලිස් කොස්තාපල්වරයා මිරිහාන පොලිසියට අනුයුක්තව සේවය කර ඇති බවත් ඔහු කලක සිට මන්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූවන්ට මත්කුඩු සැපයීමේ නිරතව සිටි පුද්ගලයකු බවත් පොලිසිය හෙළිකරගෙන ඇත.
  මෙසේ මන්ද්‍රව්‍ය බෙදාහැරීමේ නිරතව ඇතැයි  කියන පොලිස් කොස්තාපල්වරයා ඇඳිරි නීතිය පනවා තිබූ කාලය පුරාවට සේවයට වාර්තා කර නැතැයි ද මූලික පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී ඇත.

ඔහු පොලිස් නිල ලාංඡනය සහිත ඇඳුමින් සැරසී හැඳුනුම්පත ද උපයෝගී කර ගනිමින් කොළඹ හා පෑලියගොඩ ප්‍රදේශවලින් ලබා ගන්නා මත්කුඩු බෙදාහැරීමේ නිරතව ඇතැයි ද මේ පිළිබඳව ලත් තොරතුරු මත පල්ලෙවෙල පොලිසියේ රථවාහන අශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව මහතා ඉකුත් 17 වැනිදා වේරගොඩ කනත්ත අසල දී සිදු කළ වැටලීමකදී සැකකාර කොස්තාපල්වරයා හෙරොයින් මිලිග්‍රෑම් 580 ක ප්‍රමාණයක් සමග අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත.

අත්අඩංගුවට ගැනුණු පොලිස් කොස්තාපල්වරයාට එරෙහිව මහාධිකරණය හමුවේම කුඩු ජාවාරම් කිරීමේ චෝදනා යටතේ නඩු පැවරීමට කටයුතු කරන බව පොලීසිය කියයි. ගම්පහ කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.කේ. ඉන්දික ද සිල්වා මහතාංගේ උපදෙස් හා අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රභාත් දයානන්ද මහතාගේ අධීක්ෂණය යටතේ පල්ලෙවෙල පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රියන්ත රත්නායක මහතා මෙහෙයවීම මත රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව මහතා වැඩිදුර පරීක්ෂණ පවත්වයි
(මීරිගම -පුෂ්පකුමාර මල්ලවාරච්චි සහ වාරණ ආනන්ද ජයකොඩි)

බාඩේ අමාරුවක් කියා රෝහලට එක්ක ආ සිසුවිය දරුවෙකු බිහිකරලා.

මාතලේ රෝහල් පොලිසිය මගින් අලවතුගොඩ පොලිසියට ලැබුණු පණිවිඩයක් අනුව පොලිසිය පරික්ෂණ කටයුතු ආරම්භ කර තිබේ. මෙම 13 හැවිරිදි පාසල් සිසුවිය පසුගිය 15 වැනිදා මාතලේ මූලික රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත්තේ තදබල උදරයේ අමාරුවක් හේතුවෙනි.

වැඩි දුර පරික්ෂා කළ වෛද්‍යවරුන් ඇය දරුවකු ප්‍රසූත කිරීමට සුදානම්ව සිටින බව හෙළිවීමෙන් පසුව ඒ අනුව අවශ්‍ය කටයුතු සිදු කර තිබේ.  මෙම සිසුවිය බිහි කර ඇති නොමේරූ ගැහැනු දරුවා මියගොස් ඇති අතර ඒ සම්බන්ධයෙන් වූ පශ්චාත් මරණ පරික්ෂණය මාතලේ මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය එච්.ඩී.එස්. ප්‍රසන්න අප්පුහාමි මහතා විසින් පවත්වනු ලැබීය.

 මෙම  මෙම සිසුවිය බිලිඳියක ප්‍රසූත කිරිම සම්බන්ධයෙන් අලවතුගොඩ පොලිසිය වැඩිදුර පරික්ෂණ පැවැත්වූ අතර  සිසුවියගේ ප්‍රකාශය අනුව ඇයගේ සොහොයුරියකගේ සැමියා පසුගිය වසරේදී තමන් අතවරයට ලක් කළ බව ප්‍රකාශ කර තිබේ.

 ඒ අනුව එම සොහොයුරියගේ සැමියා පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ සිටින අතර ඔහු තිදරු පියකු බවද පොලිස් පරික්ෂණවලින් හෙළිවී තිබේ. මේ සම්බන්ධයෙන් ඩී.එන්.ඒ පරික්ෂණ පවත්වා තහවුරු කර ගැනීමට අවශ්‍ය පියවරද පොලිසිය මගින් ගනු ලැබ තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු ඊයේ (19) වැනිදා මහනුවර  මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමට නියමිතව තිබිණි.
(හාරිස්පත්තුවේ මොහොමඩ් ආසික්)

ලොව වේගවත්ම මිනිිිසා තවත් කඩඉමකට


ලොව වේගවත්ම මිනිසා ලෙසින් සැලකෙන ජැමෙයිකානු කෙටිදුර ධාවන ශූර උසෙයින් බෝල්ට් හා ඔහුගේ පෙම්වතිය වූ කසි බෙනට් මවුපිය පදවිය ලබා තිබේ. ඒ ඔවුන් දෙදෙනාගේ සිඟිති දියණිය පෙර්දා (18දා මෙලොව එළිය දැකීමත් සමගිනි. මෙහිදී ඔවුන් දෙපළට සුබ පතා ජැමෙයිකානු අග්‍රාමාත්‍ය හෝල්නස්ද සිය සමාජ මාධ්‍ය ඔස්සේ සුභපැතුම් එක් කර ඇත.
34 හැවිරිදි බෝල්ට් පුරා ඔලිම්පික් තරගාවලි ත්‍රිත්වයකදී (2008, 2012,2016) මීටර් සියය හා දෙසීය ධාවන ඉසව්වලදී රන් පදක්කම් දිනා ගැනීමට සමත්ව තිබේ. එමෙන්ම වත්මන් මීටර් සියය හා දෙසීය ලෝක වාර්තද හොබවන බෝර්ට් මේ දක්වා කෙටිදුර ධාවන පීටියේ බිහිවූ විශිෂ්ටතම ක්‍රීඩකයා ලෙසින්ද සැලකේ.

ඕෂිත වරකපිටිය