Tuesday, December 31, 2024

ඒකපාරටම මා විසිවුණා -අනෙක් අය පලංචියේ වැටි සිටියා

 



හිරාන් ප්‍රියංකර ජයසිංහ


නොරෝචෝල මාන්පුරිය ප්‍රදේශයේ අනාරක්ෂිත ලෙස ඉදිකිරීමක නිරත වු කම්කරුවන් පිරිසක් යකඩ පලංචියක් මත සිටියදී විදුලි සැරට ලක්ව මරණයට පත්වීම සේවක ආරක්ෂාව කොන්ත්‍රාත්කරු හා එම කොන්ත්‍රාත්තුව ලබා දුන් ව්‍යාපාරිකයා නොසලකා හරිමින් කටයුතු කර ඇති බවට මූලික පොලිස් විමර්ශනවලදි තහවුරු වී ඇත


මාම්පුරිය ප්‍රදේශයේ ව්‍යාපාරිකයකු විසින් හෝටලයක් ඉදි කිරීමට පුත්තලම ප්‍රදේශයේ කොන්ත්‍රාත්කරුවකුට ලබා දී අදාළ කොන්ත්‍රාත්කරු විසින් කුලී පෙදරේරුවන් හා මේසන්වරුන් යොදා ගනිමින් එම ඉදිකිරිම සඳහා කටයුතු කරමින් සිටියදී මෙලෙස විදුලි සැරට ලක්ව තිදෙනෙකු මරණයට පත්වීම සිදුව තිබිණි.අදාළ දැවැන්ත හෝටලය හිමි ව්‍යාපාරිකයා විසින් නීති විරෝධී ලෙස ලබා දී තිබු අනාරක්ෂිත විදුලි රැහැනකින් විදුලිය කාන්දු වී මෙලෙස කම්කරුවන් තිදෙනෙකු මරණයට පත්ව තිබුණේ පුත්තලම සෝල්ටන් 1 ගම්මානය හා මදිනා නගර් ගම්මාන දැඩි කම්පනයට පත් කරමිනි.


කොන්ත්‍රාත්තුව ලබා දුන්ත මුදලාලීයි. (හෝටල් හිමිකරු) ඒ වයර් යොදා ගෙන වැඩ කරද්දි තමා අපිට විදුලිය සැර වැදුණේ මම හිතන්නේ වයර් වල ෂෝට් එකකින් තමා එහෙම වුණේ. මට එකපාරම ඈතට විසිකළා මාව වැටිලා ගියා ඒ එක්කම අනිත් අය පලංචියෙ වැටිලා හිටියා වාගේ මතකයි. මොකද එයින් පසු මට එක පාරම කම්පනයක් වාගේ ඇතිවුණු නිසා.දැනටත් හිතා ගන්න බැහැ වුන දේ ගැන මම අවුරුදු 20 ක් විතර වැඩ කරලා තියෙනවා මේ වාගේ දෙයක් සිදුවුන පළමු පාර මේ තමා යැයි පුත්තලම රෝහලට ඇතුළත් කර සිටියදී පවසන්නට විය. අදාළ ඉදි කිරීම සඳහා පෙදරේරු හා මේසන්වරුන් ලෙසත් අත් උදව්කරුවන් ලෙසත් එම කටයුත්තට 11දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොදවා ගෙන තිබී ඇති බව පරික්ෂණවලදී තහවුරු වී ඇත.


මෙලෙස විදුලි සැරට ලක්ව මරණයට පත්ව සිටියේ පුත්තලම පැරණි මන්නාරම මාර්ගයේ පදිංචි පැරණි සෝල්ටන් කදවුර ලෙස හැඳින්වෙන සෝල්ටන් 2 ගම්මානයේ 17 හැවිරිදි එස්.එම්.ජේන්සාත් නැමති තරුණයකු ඔහුගේ මව හා පියා දෙදෙනාම විදේශ රටක රැකියාවක නිරත වීම හේතුවෙන් මෙම දරුවා අසල්වාසින් සමග කිසියම් වැඩක නිරතව එයින් ලැබෙන මුදල තම කටයුතු සදහා යොදා ගෙන ඇති බව කියයි.


ඒ සමගම එම ගම්මානයේම පදිංචි 29 හැවිරිදි තිදරු පියකු වු එම්. එම්.එස්.හමීඩ් සබ්රි තම රැකියාවෙන් ලැබෙන මුදලින් තම පවුල ජීවත් කරවන්නට දැඩි කැපවීමක නිරත වුවකු බව කියයි.මෙම දෙදෙනා සමගම මරණයට පත්වු . පුත්තලම මදිනා නගර් ගම්මානයේ පදිංචි 27 හැවිරිදි දෙදරු පියකු වන මුර්සත් ද පවතින ආර්ථික තත්වයන් හමුවේ මෙලෙස රැකියාවේ නිරත වී ලැබෙන මුදලින් පවුල නඩත්තු කිරීමට මහත් වෙහෙසක් ගෙන තිබිනි.


අදාළ ඉදි කිරීමේ නිරතව සිටි මෙසේ මරණයට පත්වු තිදෙනා සමග අනිකුත් සේවකයින් සේවය සඳහා යෙදවූ ප්‍රධාන වඩු හා පෙදරේරු කාර්මිකයකු ලෙස කටයුතු කරන මොහොමඩු මනාස්ගේ දිවි බේරි ඇත්තේ හාස්කමකින් වැනිය.

ඒ පිළිබදව ඔහු මෙලෙස විස්තර කරන්නට විය. මමත් එක්ක යකඩ පලංචියේ තවත් තුන් දෙනෙකු වැඩ කළා ඒ වැඩ සදහා විදුලිය ලබා දුන්නේ අපේ බොස්ට් කොන්ත්‍රාත්තුව ලබා දුන්න මුදලාලීයි. (හෝටල් හිමිකරු) ඒ වයර් යොදා ගෙන වැඩ කරද්දි තමා අපිට විදුලිය සැර වැදුණේ මම හිතන්නේ වයර් වල ෂෝට් එකකින් තමා එහෙම වුණේ.


මාව එකපාරම ඇතට විසිකළා මාට වැටිලා ගියා ඒ එක්කම අනිත් අය පලංචියෙ වැටිලා හිටියා වාගේ මතකයි. මොකද එයින් පසු මට එක පාරම කම්පනයක් වාගේ ඇතිවුණු නිසා.දැනටත් හිතා ගන්න බැහැ වුන දේ ගැන මම අවුරුදු 20 ක් විතර වැඩ කරලා තියෙනවා මේ වාගේ දෙයක් සිදුවුන පළමු පාර මේ තමා යැයි පුත්තලම රෝහලට ඇතුළත් කර සිටියදී පවසන්නට විය.අදාළ ඉදි කිරීම සඳහා පෙදරේරු හා මේසන්වරුන් ලෙසත් අත් උදව්කරුවන් ලෙසත් එම කටයුත්තට 11දෙනෙකුගෙන් සමන්විත කණ්ඩායමක් යොදවා ගෙන තිබී ඇති බව පරික්ෂණවලදී තහවුරු වී ඇත.


එම කණ්ඩායම කොටස් දෙකකට කඩා කොටසක් බිත්ති බැඳීමටත් අනෙක් කණ්ඩායම කොන්ක්‍රිට් දැමීමට සැටලින් ගැසීමටත් යොදවා සිටි බව පරික්ෂණවලදී තහවුරු වී තිබේ.කෙසේ නමුත් විදුලි සැරට ලක්වු පිරිස මන්නාරම හා යාපනය ප්‍රදේශවල සිට පුත්තලම එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදි කලබල හේතුවෙන් තම මව්පියන් සමග පැමිණ තාවකාලික කඳවුරුවල පදිංචිව සිට පසුව එම කඳවුරු තුළම ස්ථීර පදිංචිකරුවන් ලෙස වාසය කිරීමට මේ වන විට අදාළ පසුබිම ලබා දී තිබේ.


විදුලි සැරට ලක්වු සිව් දෙනා කඩිනමින් පුත්තලම මූලික රෝහලට ඇතුළත් කර තිබුණද ඒ වන විටත් තිදෙනකු මෙලෙස මරණයට පත්ව තිබු බව පුත්තලම මූලික රෝහලේ ප්‍රකාශකයෙක් පැවැසීය.

එකම ස්ථානයකදි විදුලි සැරට ලක්ව මෙලෙස තිදෙනෙකු අවාසනාවන්ත ලෙස මරණයට පත්වු මෑත කාලයේ පළමු සිදුවීම මෙය වන අතර එම ස්ථානය නිරික්ෂණය කිරීමට පුත්තලම හදිසි මරණ පරික්ෂක බදුර්දින් මොහොමඩ් හිෂාම් මහතා එම ස්ථානයට සිදුවීම සිදුවු 29 වැනිදා රාත්‍රියේම ගොස් තිබු අතර එම ඉදිකිරිම පිළිබදව දැඩි නිරික්ෂණයට ලක්කර තිබිණි.


එහිදී කිසිදු ආරක්ෂිත ක්‍රමවේදයකින් තොරව සේවකයින් සේවයට යෙදවීම ගැන කොන්ත්‍රාත්කරුට දැඩි අවවාද කිරීමටත් ඒ සමගම මෙම ව්‍යාපාරික ස්ථානය හිමි ව්‍යාපාරිකයා නිත්‍යානුකූල ක්‍රම වේදයකින් තොරව අනාරක්ෂීත ලෙස මෙම ඉදිකිරීම සදහා විදුලිය ලබා දීම ගැන එහි හිමිකරුට දැඩි ලෙස අවවාද කරන්නට විය. අදාළ ව්‍යාපාරිකයා ඔහුගේ නිවසේ සිට වයර් යොදා ගනිමින් ප්‍රධාන පරිපථයෙන් මෙලෙස අදාළ ඉදි කිරිමට විදුලිය ලබා දීම හේතුවෙන් විදුලිය විසන්ධි වීමක් පවා සිදුව නොමැති වීම ගැන හදිසි මරණ පරික්ෂකවරයාගේ දැඩි අවධානයට යොමු වන්නට විය.


එහිදී මෙම කරුණු සම්බන්ධව පොලිසිය හරහා අධිකරණයට කරුණු වාර්තා කිරීමටත් ඔහු කටයුතු කර තිබිණි. ඒ අනුව මෙවැනි ඉදි කිරීම්වලදි සිදුවන මෙවැනි සිදුවීම් වළක්වා ගැනීමට ගත යුතු පියවර ගැනද ඔහු අවධානය යොමු කරන්නට විය.විදුලි සැරට ලක්ව මරණයට පත්වු තිදෙනාගේ පශ්චාත් මරණ පරික්ෂණ පුත්තලම මූලික රෝහලේදි සිදු කිරීමට නියමිතව තිබිණි. සියල්ල සිදුව අවසන්ය. ජීවිත තුනක් බිලි ගත් සිදුවීම හේතුවෙන් මහත් වේදනාවට පත්වු ඥාතින් මව්පියන් හා දරුවන් සමග බිරින්දෑවරු හඬා වැටෙමින් පුත්තලම මූලික රෝහල් භූමිය දෙවනත් කළ ලෙසින් මහා හඬින් හඬා වැටුණාහ.

අදාළ මරණ සම්බන්ධව පශ්චාත් මරණ පරික්ෂණ පුත්තලම මූලික රෝහලේදී ඊයේ (30) සිදුකිරිමට නියමිතව තිබු අතර නොරෝව්වෝල පොලිසිය හා පුත්තලම මූලස්ථාන පොලිසිය එක්ව විමර්ශන ආරම්භ කර ඇති බව ඉහළ නිලධාරියෙක් පැවැසීය.


කලින් sri Lanka ජාතික වැඩසටහන හෙට සිට

 



 අංජුල මහික වීරරත්න 


රටේ හැම අංශයක්ම පිරිසුදු කරන clean sri Lanka ජාතික වැඩසටහන හෙට (01) සිට අරඹන බව ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් පී.එන්. ආර්.ඩී. අපොන්සු මහතා පැවැසීය.ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ ජනාධිපති ලේකම් කාර්යාල පරිශ්‍රයේදී හෙට (01) උදෑසන 9.00 ට මෙම ජාතික වැඩපිළිවෙළ ආරම්භ කරන බව ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා සඳහන් කළේය.


 

Clean Sri Lanka ජාතික වැඩසටහන කිසිදු දේශපාලන පක්ෂයකට අයිති එකක් නොව රටේම පුරවැසියන් හා බද්ධවූ ජාතික වැඩපිළිවෙළක් බව ද ජී.එන්. ආර්.ඩී. අපොන්සු මහතා කීය.පොහොසත් රටක් ! ලස්සන ජීවිතයක් ! යන තේමාවෙන් ක්‍රියාත්මක කෙරෙන රජයේ වැඩපිළිවෙළ යටතේ මුළු රටේම පරිසරය පිරිසුදු කරනවාට අමතරව ලොව දියුණු රටවල ජනතාව බුක්ති විඳින ආකාරයේ ඉහළ සමාජ ආර්ථික තත්ත්වයක් සහ නිදහසක් උරුම කරදීමේ අරමුණෙන් Clean Sri Lanka වැඩසටහන ක්‍රියාත්මක වන්නේයැයි ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම්වරයා කීය. කොළඹ ජනාධිපති ලේකම් කාර්යාලයේ ඊයේ පැවැති Clean Sri Lanka ජාතික වැඩසටහන පිළිබඳ මාධ්‍ය දැනුවත් කිරීමේ වැඩසටහනට සහභාගී. වෙමින් අපොන්සු මහතා මේ බව කීය.


පාසල් අධ්‍යාපනය ලබන දරුවන්ගේ සිට වැඩිහිටියා දක්වා සෑම පුරවැසියන්ගේ සෘජු දායකත්වය ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරිමට සැලසුම් කර ඇතැයිද ඒ වැඩ පිළිවෙළ ජනගත කිරිමට මාධ්‍යයට විශාල වගකීමක් පැවරෙන්නේ යැයිද ඔහු අවධාරණය කළේය.


Clean Sri Lanka ජනාධිපති ජාතික කාර්ය සාධක බළකායේ චමින්ද ජයසූරිය මහතා පැවසුවේ ජනාධි පති ව ර යා ගේ ප්‍රධානත්වයෙන් ජනවාරි වැනිදා පැවැත්වෙන උත්සවයේදී Clean Sri Lanka වෙබ් අඩවිය සහ නව "ඇප් එක" හඳුන්වා දෙන බවයි. මුළු රටම ආවරණය වනපරිදි හෙට 1 වැනිදා සිට වසර පහක් තෝරාගත් නගර මුල් කර ගනිමින් නියමු ව්‍යාපෘති ලෙස මෙම වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරයි.


මේ සඳහා දෙස් විදෙස් ආයතන වලින් දැනටමත් මූල්‍ය ආධාර සහ තාක්ෂණික උපදෙස් ලැබී ඇතැයි ද ජයසූරිය මහතා කීය.මෙම වැඩපිළිවෙළට දායකවීමට කැමැති අයට මූල්‍ය ප්‍රදානයන් සහ තමන්ට හැකි පමණින් සහයෝගය සහ දායකත්වය ලබා දීමට අවස්ථාව උදාකර ඇතැයි ද පරිත්‍යාග ලෙස ලැබෙන සෑම සතයක්ම වඩාත් විනිවිද භාවයෙන් එම යොදා ගන්නා බව ද ජයසූරිය මහතා සඳහන් කළේය.


මහේස්ත්‍රාත් ඉදිරියේ පහරදුන් සැකකරු රිමාන්ඩ්

 

 


උපාලි ආනන්ද 


අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා නඩු විභාග කරමින් සිටින අතරතුර අධිකරණ සිරමදිරියේ රඳවා සිටි තවත් සැකකරුවකුට පහරදීමේ සිද්ධියකින් අනතුරුව පහර දුන් සැකකරු සහ පහර කෑ සැකකරු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිටට කැඳවීමෙන් අනතුරුව නැවතත් එම සැකකරුම අනෙක් සැකකරුට මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිට දී පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවට ඉදිරිපත් කළ සැකකරුවකු ජනවාරි 8 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස අනුරාධපුර ප්‍රධාන මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු නාලක සංජීව ජයසූරිය මහතා නියෝග කළේය.


මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ තිරප්පනේ තිත්තිගම පදිංචිකරුවකු වන ආර්.එම්. චන්දන සිසිර කුමාර නමැත්තෙකි.මෙම සැකකරු අධිකරණ සිර මැදිරිය තුළ සිටියදී එම සිර මැදිරියේම රඳවා සිටි තවත් සැකකරුවකුට පහරදීමෙන් අනතුරුව බන්ධනාගාර නිලධාරීන් සහ පොලිස් නිලධාරින් විසින් ඔහු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට රැගෙන ආවේ දෑත්වලට විලංගු (මාංචු) දමාය.


එලෙස මෙම සැකකරුගේ දෑත්වලට විලංගු දමා තිබියදී ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිටදීම පෙර පහර දුන් සැකකරුට නැවතත් පහරදීම අධිකරණයේ සිටි නීතිඥවරුන් අධිකරණ කාර්ය මණ්ඩලය බන්ධනාගාර නිලධාරින් සහ පොලිස් නිලධාරින් මවිතයට පත් කළේය.


මෙම සැකකරු ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කරමින් අනුරාධපුර අධිකරණ සංකීර්ණ පොලිස් මුරපොළේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ධර්මසිරි මහතාගේ උපදෙස් මත අධිකරණ පොලිස් නිලධාරින් සඳහන් කළේ වරෙන්තු මත තිරප්පනේ පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇති මෙම සැකකරු අදාළ නඩුව කැඳවන තුරු අධිකරණ සිරමැදිරියේ රඳවා සිටි බවයි.


එසේ සිටින අතරතුර මෙම සැකකරු එම අධිකරණ සිර මැදිරියේම රඳවා සිටි තවත් සැකකරුවකු සමග ගැටුමක් ඇති කරගෙන පසුව ඔහුට පහර දී ඇති බව ද පොලිසිය කීවේය.පසුව පහර දීම සිදු කළ මෙම සැකකරු සහ පහර කෑමට ලක් වූ සැකකරු අධිකරණයට ඉදිරිපත් කළ අවස්ථාවේ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා ඉදිරිපිට දී ඔහුගේ දෑත්වලට විලංගු දමා තිබියදීම පෙර පහර දුන් සැකකරුටම යළිත් පහර දුන් බවද අධිකරණයට ප්‍රකාශ කළ පොලිසිය මේ තුළින් මෙම සැකකරු අධිකරණ කටයුතුවලට බාධා කරමින් අධිකරණයට අපහාස කර ඇති බව ද සඳහන් කළේය.


සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස ද පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මහාධිකරණ සංකීර්ණ පොලිස් මුරපොළේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජී.ජී.එල්. ධර්මසිරි මහතාගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ජයසිංහ, කාන්තා පොලිස් සැරයන් මැණිකේ රාමනායක සහ සැරයන් චන්දන යන මහත්ම මහත්මිහු සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට කරුණු දැක්වූහ. සැකකරු වෙනුවෙන් කිසිදු නීතිඥයකු පෙනී සිටියේ නැත.රිමාන්ඩ් භාරයට පත් කෙරුණු සැකකාර ආර්. එම්. චන්දන සිසිර කුමාර නැමැත්තාගෙන් පහර කෑමට ලක් වූ සැකකරුද අධිකරණ සිර මැදිරියේ කලහකාරී ලෙස හැසිරිමෙන් අධිකරණ කටයුතුවලට බාධා කිරීමේ චෝදනාව මත රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.


ගුරුගොඩ ඔයට වැටි සිසුවෙක් මරුට

  


චමින්ද වැවතැන්න


මිතුරියකගේ උපන් දිනයේ කෑගල්ල ගුරුගොඩ ඔයේ පෙරේදා 29 වැනිදා සවස දිය නෑමට ගිය ශිෂ්‍යාවක ඔයේ වළකට වැටී මිය ගොස් ඇතැයි කෑගල්ල පොලිසිය කියයි.පාසල් ශිෂ්‍යාවන් සිවු දෙනකු ඇතුළු හය දෙනකු දිය නෑමට ගොස් ඇති අතර ඔයට බැසීමේ දී සිසුවියක ඔයේ වළක වැටී ඇතැයි කියයි.


මිතුරිය බේරා ගැනීමට ඔයේ සිටි එක් මිතුරියක වළට පැනීමෙන් පසු ඔයේ සිටි තවත් සිසුවියක ද අසල්වාසීන්ට කෑගසමින් අනෙක් දෙදෙනා බේරා ගැනීමට වළට පැනීමත් සමග අසල්වාසීන් පැමිණ දෙදෙනකු බේරා ගෙන කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇතැයි කෑගල්ල පොලිසිය පැවැසීය.අනෙක් සිසුවිය පසුව හමු වී ඇති අතර ඇය කෑගල්ල මහ රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ දී මිය ගොස් ඇති බව පොලිසිය පැවැසීය. මියගොස් ඇත්තේ කෑගල්ල කෙහෙල්වත්ත මහා විද්‍යාලයේ 10 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටි කෙටලදෙණිය, වතුර ලිපිනයේ 15 හැවිරිදි සඳලි ගිතාංජලි කුමාරි නැමැති පාසල් ශිෂ්‍යාවකි.


ඇයගේ උපන් දිනය ඊයේ 30 වැනිදාට යෙදී තිබූ බව පොලිසිය පැවැසීය.මියගිය පාසල් ශිවගේ මිතුරියක මොරොන්තොට හපුවිට පල්ලේගම ප්‍රදේශයේ පදිංචිව සිටින බවත් ඇගේ උපන් දිනය පෙරේදා 29 වැනිදාට යෙදී ඇති බවත් පොලිසිය පැවැසීය.පාසල් ශිෂ්‍යාවන් සිව්දෙනා 24 හැවිරිදි තරුණියක හා වයස අවුරුදු 08 ක පිරිමි දරුවකු සමග හය දෙනකු පෙරේදා 29 වැනිදා දහවල් හපුවිට පල්ලේගම ප්‍රදේශයෙන් ගලා බසින ගුරුගොඩඔයේ දිය නෑමට ගොස් ඇත.


තිදෙනකු දිය නෑමට ඔයට බැස ඇති අතර සෙසු තිදෙනා ඔය ආසන්නයේ සිට ඇති බවත් පොලිසිය පැවැසීය.මියගොස් ඇති පාසල් ශිෂ්‍යාව ටිකෙන් ටික ගැඹුරු ප්‍රදේශයේ තිබුණු වළකට ඇදී ගොස් ඇති බවත් වළට ගිය මිතුරිය බේරා ගැනීමට දිය නාමින් සිට ඇතැයි කියන තවත් පාසල් ශිෂ්‍යාවක හා ගොඩ සිට ඇතැයි කියන 24 හැවිරිදි තරුණිය ද කෑ ගසා වළට ගොස් ඇතැයි පොලිසිය පැවැසීය.


මිය ගිය පාසල් ශිෂ්‍යයාවගේ හදිසි මරණ පරීක්ෂණය කෑගල්ල හදිසි මරණ පරික්ෂිකා රේණුකා සුබෝධනී කළුආරච්චි නිශ්ශංක මහත්මිය ඉදිරියේදී ඊයේ 30 වැනිදා පැවැති අවස්ථාවේ දී පියා වන උපාසක රාළලාගේ නිහාල් කියා සිටියේ තමන්ට ගැහැනු දරුවන් තිදෙනකු සිටින බවත් වැඩිමහල් දියණිය පෙර පාසල් ගුරුවරියක බවත්ය. දෙවැනි දියණිය විශ්ව විද්‍යාලයේ ඉගනුම ලබන බවත් මිය ගිය බාල දියණියගේ උපන් දිනය ඊයේ 30 වැනිදාට යෙදී තිබුණු බවත්ය. දියණිය සිසු නායිකාවක බව ද පියා පැවැසීය.කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුචිර නදීර මහතා විසින් පශ්චාත් මරණ පරික්ෂණය ඊයේ 30 වැනිදා දහවල් පවත්වනු ලැබීය.



 

මයික්වලට කතාකරනවාට වඩා ජනතාවට වැඩ ඇමැති නලින්ද කරන්න තියෙනවා ජයතිස්ස කියයි

 


අංජුල මහික වීරරත්න


මාධ්‍යවලට ප්‍රකාශ නිකුත් කරනවාට වඩා ජනතාවට ඵලදායී අයුරින් වගකීම් ඉටු කිරීමට කැබිනට් මණ්ඩලයට සහ නියෝජ්‍ය අමාත්‍යවරුන්ට කාලය වෙහෙස නොබලා නිහඬව වැඩ කිරීමට සිදුවී ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.වර්තමානයේ රට පවතින තත්වය අනුව රජයේ ශක්තිමත් පදනම සකස් කිරීමේ බාරඳුන් වගකීම අංගසම්පූර්ණව ඉෂ්ට කිරීම සඳහා කාලය වැය කළ යුතුව ඇතැයිද අමාත්‍යවරයා කීය.


අමාත්‍ය මණ්ඩලයට ජනමාධ්‍යවලින් නැගෙන චෝදනා සම්බන්ධයෙන් අදහස් දක්වමින් අමාත්‍යවරයා මේ බව පැවසීය.මේ දිනවල “අමාත්‍යවරුන් අල්ල ගන්න බැහැ. මාධ්‍යයට ප්‍රකාශ නිකුත් කරන්නේ නැහැ. සම්මුඛ සාකච්ඡා දෙන්නේ නැහැ' යනුවෙන් චෝදනා නැගෙන බව ද නලින්ද ජයතිස්ස මහතා සඳහන් කළේය.


මාධ්‍යයට වාරණ පැනවීමට නව රජයට කිසිදු අදහසක් නොමැති බවත් ජනතාව වෙනුවෙන් මාධ්‍ය නිසි ලෙස මෙහෙයවීමේ වගකීම රජය ඉටු කරන බවත් අමාත්‍යවරයා කීය. සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා මේ බව කීවේ ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ නියෝජිතයින් පිරිසක් සමග ජනමාධ්‍ය අමාත්‍යාංශයේ දී පැවැති සාකච්ඡාවකදීය. ශ්‍රී ලංකා විද්‍යුත් විකාශකයන්ගේ සංගමයේ අදහස් සහ යෝජනා අමාත්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමත්, ඉල්ලීම් කිහිපයක් පිළිබඳව සාකච්ඡා කිරීමත් සඳහා එම සංගමය ජනමාධ්‍ය අමාත්‍යවරයාගෙන් කළ ඉල්ලීමක් අනුව මෙම සාකච්ඡාව කැඳවා තිබිණි.


මාධ්‍ය සහ රජය අවබෝධයෙන් කටයුතු කළ යුතු බවද රජය ජනතාව වෙනුවෙන් මාධ්‍ය නිසි ලෙස මෙහෙයවීමේ වගකීම ඉටු කරන අතර මාධ්‍යයට වාරණ පැනවීමට රජයට කිසිඳු අදහසක් නොමැති බවත් මෙරට ජනමාධ්‍ය අමාත්‍යාංශය වගකීමක් නැති අක්‍රීය තැනක් බවට පත්කර ඇතැයිද ජනමාධ්‍ය අමාත්‍යාංශය නිසි තැන තැබීම වර්තමාන රජයේ මූලිත අරමුණක් වන්නේ යැයිද අමාත්‍යවරයා කීය.


හිටපු ඇමැති හරීන් අවන්හලක යකානටයි

 


ගයාන් සූරියආරච්චි


සංචාරක කටයුතු හිටපු අමාත්‍ය හරින් ප්‍රනාන්දු මහතා කොළඹ ප්‍රසිද්ධ රගරි ක්‍රීඩාංගනයක අවන්හලකදී පුද්ගලයකුට බැන වදිමින් අශෝභන අයුරින් හැසිරෙන බව කියන දර්ශන ඇතුළත් වීඩියෝවක් සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වේ.


එම ස්ථානයේ සිටි අයකු සමග ඇති වූ කතාබහක් දුරදිග යෑමෙන් ඔහුට බැණ වදිමින් කලහකාරි ලෙස මෙසේ හැසිරෙන බව කියන අවස්ථාවේදී ඔහුගේ ආරක්ෂක නිලධාරීන් හිටපු අමාත්‍යවරයා එම ස්ථානයෙන් රැගෙන යන ආකාරය ද එම වීඩියෝවේ දැක්වේ.අවන්හලේ සිටි විදේශ ජාතිකයකු සිද්ධිය වීඩියෝ ගත කර තිබූ බව ආරංචි මාර්ග පවසයි. 


විදේශිකයා සිද්ධිය වීඩියෝ කරන අවස්ථාවේදී  අමාත්‍යවරයාගේ ආරක්ෂකයකු වීඩියෝ නොකරන ලෙස දැන්වීමේදී එම විදේශිකයා වීඩියෝ කිරීමට අවශ්‍ය බව පවසමින් වීඩියෝ කරන ආකාරය ද එහි දැකගත හැකිය. හිටපු අමාත්‍යවරයා දැඩි පරිශ්‍රයක් දරා රැගෙන යන ලදැයි කියන අවස්ථාවේ දී එම ස්ථානයේ සිටි පිරිසක් ‘හූ' තබන ආකාරය ද දක්නට ඇත. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසියට කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.


හතර අතේ රන්බඩු සොරගත් සයදරු මව අත්අඩංගුවට

 



ඩී. ඥානසිරි හෙට්ටිආරච්චිගේ


දිවයිනේ විවිධ ප්‍රදේශවල සැරිසරමින්, රන් භාණ්ඩ අලෙවිසල්වලින් රන් භාණ්ඩ මිලට ගන්නා බවට අඟවමින්, රන් භාණ්ඩ සොරාගන්නා බවට සැකකරන කාන්තාවක, සොරකම් කරන ලද බවට සැකකරන රන් භාණ්ඩ උකස්කළ රිසිටි සහ රුපියල් 2,30,000 ක මුදලක් සමඟ ඉකුත් 28වැනිදා සවස අම්පාර සිට බස් රථයකින් ගමන් කරමින් සිටිය දී, අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඇති බව අම්පාර පොලිසිය පවසයි.


මෙලෙස අත්අඩංගුවට පත්ව ඇත්තේ ඇහැලියගොඩ පදිංචි 43 හැවිරිදි සයදරු කාන්තාවක වන අතර, ඇය අම්පාර මුවංගල අරුණපුර ගම්මානයේ නිවසක් කුලියට ගෙන තාවකාලිකව පදිංචි වී රන් බඩු සොරකම් කිරීමේ නිරතව ඇති බව පොලිසිය සඳහන් කරයි.අම්පාර දිසා බුද්ධි අංශයට ලද තොරතුරකට අනුව ඉකුත් 28 වැනිදා සවස අම්පාර -පන්නල්ගම දක්වා ධාවනය වෙමින් පැවති බස් රථය පරීක්ෂා කළ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන්ට සැකකාරිය අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇති අතර ඒ අවස්ථාවේ ඇය සන්තකයේ රුපියල් 2,30,000ක මුදලක් සහ රන් භාණ්ඩ උකස්කළ රිසිට් පත් හමුවී ඇත.


වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී එක් රන් වළල්ලක් අම්පාර නගරයේ ව්‍යාපාරික ස්ථානයකට උකස්කර ඇති බවත්, එය වවුනියාව ප්‍රදේශයේ වෙළඳසලකින් සොරකම් කරන ලද්දක් බවටත් අනාවරණය වී ඇත. ඇය අත්අඩංගුවට ගැනීමත් සමග පොලිස් ස්ථාන රැසකින් ඇය සම්බන්ධ තොරතුරු ලැබෙමින් පවතින බවත් වවුනියාව, යාපනය, මොණරාගල යන ප්‍රදේශවල වෙළඳසල්වලින් රන් භාණ්ඩ සොරකම්කර ඇති බවට තොරතුරු අනාවරණය වී ඇති අතර සම්මන්තුර, කෑගල්ල, අනුරාධපුර, අධිකරණවල සහ ක්‍රෙට්කාඩ් පතක් සොරකම් කර ලෙස මුදල් ලබාගැනීමේ සිදුවීමක් සම්බන්ධව අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයේ ද නඩු පවතින බව පොලිසිය ප්‍රකාශ කරයි.අත්අඩංගුවටගත් සැකකාරිය අම්පාර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියාය.


සැමියාගේ හිර කුටිය අතුගාන්න ගෙනා කොස්සේ මත්ද්‍රව්‍ය

 


සුමිත් පොතුපිටිය


ප්ලාස්ටික් කොස්සක සූක්ෂම ලෙස සඟවා රුපියල් ලක්ෂ 3 කට අධික වටිනාකමකින් යුත් හෙරොයින්, අයිස් ආදී මත්ද්‍රව්‍ය කළුතර බන්ධනාගාරයට රැගෙන ආ බව කියන කාන්තාවක අත්අඩංගුවට ගත් බව කළුතර උතුර පොලිසිය පවසයි.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර, අළුබෝමුල්ල ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි කාන්තාවක බව පොලිසිය කියයි. සැකකාරිය සිය සැමියා බැලීම සඳහා ආහාර පාන රැගෙන විත් එය භාරදී පසුව වාට්ටුව ඇතුගෑම සඳහා බව පවසමින් ප්ලාස්ටික් කොස්සක් ලබාදී තිබේ.


අමුත්තන් නැරඹුම් මැදිරියේ සිටි ජේලර් පී.එස්. ජයරත්න මහතාගේ උපදෙස් පරිදි බන්ධනාගාර නියාමක පුෂ්පකුමාර සහ උදාර යන නිලධාරීන් විසින් මෙය පරික්ෂා කිරීමේදී කොස්සේ ප්ලාස්ටික් කවරය අස්සේ සගවා තිබූ හෙරොයින් මත්කුඩු ග්‍රෑම් 15 ක්, අයිස් ග්‍රෑම් 5 ක්, ගංජා ග්‍රෑම් 11 ක් සහ දුම්වැටි 20 ක් සඟවා තිබියදී සොයාගත් බව බන්ධනාගාර ආරංචි මාර්ග සඳහන් කරයි. සැකකාර කාන්තාව නඩු භාණ්ඩ සමග කළුතර උතුර පොලිසියට භාර දුන් බවත් ඇය කළුතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියාය.



ගාලුමුවදොරට අද විශේෂ රථ වාහන සැලැස්මක්

 

 ගයාන් සූරියආරච්චි


නව අවුරුදු උදාව වෙනුවෙන් අද (31) ගාලුමුවදොරට පැමිණෙන ජනතාව වෙනුවෙන් සවස 4.00 සිට විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා පැවැසීය.ගාල්ල - කොළඹ ප්‍රධාන මාර්ගයේ පිහිටි රථ නැවතුම් පොළවල රථවාහන නැවැත්වීමට ඉඩ නොදෙන අතර සියලුම රථවාහන පිටකොටුව බැස්ටියන් මාවත පරණ මැනිං වෙළෙඳපොළ, කොටුව විමලධර්මසූරිය ඔරලෝසු කණුව අසල චාමස් රථගාල, රාෂීක් ෆරීඩ් මාවත හේමාස් රථගාල, ඩී.ආර්. විජයවර්ධන මාවත ලේක් හවුස් රථගාල, කොම්පඤ්ඤවීදිය යුනියන් පෙදෙස ඩෝසන් වීදිය හන්දිය ඇක්සස් ටවර් රථගාල සහ මරදාන ගාමිණී වටරවුම ශාන්ත ක්ලෙමන්ට් රථගාල යන නැවතුම්පොළවල වාහන නැවැත්වීමට හැකියාව ඇත.


එමෙන්ම මුදල් ගෙවීමකින් තොරව කොටුව, බාලදක්ෂ මාවත එම්.ඕ.ඩී. රථගාල, කොල්ලුපිටිය මුහුදුබඩ මාර්ගය, කොටුව හා මරදාන ඩී.ආර්. විජයවර්ධන මාවත, කොම්පඤ්ඤවීදිය පාසන්ස් පාර පිටවීමේ තීරුව, කොටුව පොලිස් වසමේ බ්‍රිස්ටල් වීදිය, ඩියුක් වීදිය, වැල්ලවත්ත සැවෝයි අසල සිට බගතලේ පාර හන්දිය දක්වා නැවතුම් ස්ථාන, කුරුඳුවත්ත පොලිස් වසමේ ආනන්ද කුමාරස්වාමි මාවත, නෙළුම් කුලුන වටරවුම සිට පුස්තකාල වටරවුම දක්වා, කුරුඳුවත්ත පොලිස් වසමේ එෆ්.ආර්. සේනානායක මාවත, රිඩ් මාවත, තර්ස්ටන් හන්දිය, නිදහස් චතුරස්‍රය, මෙට්ලන්ඩ් පෙදෙස පදනම් ආයතන පාර යන ස්ථානවල වාහන නැවැත්විය හැකිය.


කොළඹින් පිට වන බර වාහන හා බස් රථ සෙරමික් හන්දිය ඊගල් හන්දිය ඔස්සේ ඩී.ආර්. විජයවර්ධන මාවත සහ චිත්තම්පලම් ඒ. ගාර්ඩ්නර් මාවතෙන් කොම්පඤ්ඤ වීදිය හන්දිය දෙසටත් සැහැල්ලු වාහන සෙරමික් හන්දියෙන් ලෝටස් පාර, එන්.එස්.ඒ. වටරවුම, ගාලු මැද පාර එම්.ඕ.ඩී. හන්දියට පැමිණ බාලදක්ෂ මාවත ඔස්සේ අලියා නාන වටරවුම, උත්තරානන්ද මාවත, ශාන්ත මයිකල් වටරවුම සහ ලිබර්ටි වටරවුම දෙසින් පිටවිය හැකිය.


ගාලු මුවදොර පිටිය දෙසට ඇතුළු වන බර වාහන හා බස් රථ කොල්ලුපිටිය හන්දියෙන් ධර්මපාල මාවත, ලිප්ටන් වටරවුම, ඉබ්බන්වල හන්දිය, ඩාර්ලි පාර, මරදාන පාලම හන්දිය, කාර්මික විද්‍යාල හන්දිය ඔස්සේ කොළඹට ඇතුළුවිය හැකි අතර සැහැල්ලු වාහන කොල්ලුපිටිය හන්දිය, ගාලු මුවදොර වටරවුම, ගාලු මැද පාර, එන්.එස්.ඒ. වටරවුම, ජනාධිපති මාවත, ලංකා බැංකු මාවත ඔස්සේ ඇතුළු විය හැකිය.


මෙම රථවාහන සැලැස්ම ක්‍රියාත්මක කිරීමේදී කොළඹ නගරයේ පදික වේදිකා මත සහ ප්‍රධාන මාර්ගය අවහිර වන සේ කිසිදු රථවාහනයක් නවතා තැබීමට ඉඩ නොදෙන අතර මෙම රථවාහන නීති උල්ලංඝනය කරන රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවැසීය.


ත්‍රීරෝද රථ සොරාගත් තිදෙනෙකු බඩුත් සමඟ පොලිස් දැලේ

 


බිමල් ශ්‍යාමන් ජයසිංහ


කොළඹ සහ ඊට ආසන්න පොලිස් වසම්වලදී සංවිධානාත්මක අයුරින් ත්‍රීරෝද රථ සොරා ගත් පුද්ගලයන් තිදෙනකු හා එම සොර බඩු සන්තකයේ තබා ගත් පුද්ගලයන් දෙදෙනෙකු අත්අඩංගුවට ගත් බව කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සඳහන් කරයි.සීදූව, ඔරුගොඩවත්ත, කොළඹ 10 හා 14 යන ප්‍රදේශවල පදිංචිකරුවෝ පදිංචිකරුවෝ පිරිසක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති.


අත්අඩංගුවට පත් වූවන් අතර ගරාජ් හිමියෙකුද වන බවද පොලීසිය සඳහන් කරයි.මොවුන් සතුව තිබූ රුපියල් කෝටියකට ආසන්න වටිනා ත්‍රිරෝද රථ නවයක්ද පොලිස් භාරයට ගෙන ඇත.කොළඹ බාල දක්ෂ මාවත රථ ගාලේදී කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකයේ උපපොලිස් පරීක්ෂක තමාල් මහතා ඇතුළු නිලධාරීන් විසින් ලද තොරතුරු මත වැටලීමක් සිදුකර අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදු කරන ලද ප්‍රශ්නකිරීමේදී මෙම සොරකම් වල තොරතුරු අනාවරණය වූ බවද පොලීසිය සඳහන් කරයි.


ඒ අනුව සැකකරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණය ගත් තොරතුරු අනුව සොරා ගත් ත්‍රීරෝද රථ සන්තකයේ තබා ගෙන සිටි ගරාජ් හිමියා සහ තවත් පුද්ගලයෙකු ඔරුගොඩවත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන සිදු කළ ප්‍රශ්න කිරීමේදී අයිස් මත්ද්‍රව්‍ය සමග අත්අඩංගුවට ගත් පුද්ගලයා වර්ණ වෙනස් කිරීම සහ ඇන්ජින් සහ චැසි අංක වෙනස් කිරීමට එලෙස ත්‍රීරෝද රථ නවයක් තමන්ට ලබා දුන් බවට අනාවරණය කළ බව පොලීසිය සඳහන් කරයි.ඒ අනුව එම ත්‍රීරෝද රථ මාලිගාවත්ත ග්‍රෑන්ඩ්පාස් හා වැල්ලම්පිටිය පොලිස් වසම්වලදී පොලිස් භාරයට ගත් බවත් ඒ වෙන විටත් එම ත්‍රීරෝද රථ වර්ණ ගන්වා වෙනස් කර තිබූ බවද පොලීසිය පවසයි.සැකකරුවන් සහ ත්‍රීරෝද රථ වැඩිදුර විමර්ශන සඳහාකොළඹ කොටුව පොලිස් ස්ථානයට ඉදිරිපත් කර ඇත. කොළඹ මධ්‍යම කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.


මීළඟට ජනතාවගෙන් විරෝධතා සුනාමියක් එන්නේ රාජ්‍ය සේවකයන්ටයි

 


බී.ඊ. චතුරංග


මීළඟට ජනතාවගෙන් විරෝධතා සුනාමියක් පැමිණෙන්නේ , දේශපාලඥයන්ට නොව රාජ්‍ය සේවකයන්ට බව ස්ථිරවම ප්‍රකාශ කළ හැකි බැවින් එය තේරුම් ගෙන රාජ්‍ය නිලධාන්ද කටයුතු කළ යුතු බව කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල් කාන්ත මහතා පැවසීය.අමාත්‍යවරයා මේ බව කියා සිටියේ, ජපානයේ වී ගොවිතැන් තාක්ෂණය අනුව නාච්චාදූව ගොවි ව්‍යාපාරයේ පිට ඇළ යාය ලියදි විශාල කිරීමේ ව්‍යාපෘතිය පිළිබඳව සොයා බැලීම සඳහා ඉකුත් 27 දා සිදු කළ නිරීක්ෂණ චාරිකාවකින් අනතුරුව එළවළු සහ පලතුරු අපනයන සැකසුම් මධ්‍යස්ථානයේ පැවැති රැස්වීමකදී ය.


ජනාධිපතිවරයාගේ සිට මන්ත්‍රීවරු දක්වාත්, පෞද්ගලික කාර්ය මණ්ඩලය දක්වාත් තිබුණු විවේචන වත්මන් ආණ්ඩුව මගින් අහෝසි කරමින් යන බවත්, මේ වන විට එම තත්ත්වය යම්තාක් දුරට අහෝසි කර ඇති බවත් කෘෂිකර්ම අමාත්‍ය කේ.ඩී. ලාල්කාන්ත මහතා පවසයි. සියලු සංවර්ධනයන්ට පෙර අනාගත ලෝකයට සරිලන ලෙස දේශපාලනය සහ රාජ්‍ය සේවය සම්පූර්ණයෙන්ම වෙනස් විය යුතු බවත්, ජාතික ඉලක්ක සපුරා ගැනීම සඳහා ඉඩම් පරිහරණය ඇතුළු කන්නයට අදාළ වගා නිර්දේශ අනුව ගොවි ජනතාව හැසිරවීමට නිලධාරීන්ට බලය ලැබෙන නීති ගෙන ආ යුතු බවත් අමාත්‍යවරයා කීය.

ජාත්‍යන්තර සහ ජාතික වශයෙන් වාරිමාර්ග වෙනුවෙන් විශාල ව්‍යාපෘති සහ විශාල මුල්‍ය දායකත්වයක් ලබා දී තිබුණද මෙතෙක් සිදුව ඇත්තේ ගොවියා ගොඩ නැගීම වෙනුවට, දේශපාලඥයන් හා රාජ්‍ය නිලධාරීන්ගේ ආර්ථිකය දියුණු වීම පමණක් බව ද පවසන අමාත්‍යවරයා තවදුරටත් කියා සිටියේ මාස් කන්නයේ දී සැලකිය යුතු වී නිෂ්පාදනයක් වී අලෙවි මණ්ඩලය මගින් ගබඩා කර ගැනීමට කටයුතු කරන බවත්ය.


මවගේ අනියම් පෙම නිසා 13 හැවිරිදි දියණිය තියුණු ආයුධ ප්‍රහාරයකින් ජීවිතක්ෂයට

 


ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න


සිය අනියම් බිරිඳ වෙනත් පුද්ගලයෙකු හා සමීප ඇසුරක් පවත්වා ගෙන යෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිග යාමෙන් ඇයට හා ඇගේ දරු දෙදෙනාට එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් දහතුන් හැවිරිදි පාසල් සිසුවියක මිය ගොස් මව සහ දැරියක බරපතළ කැපුම් තුවාල ලබා ඇතැයි පිළියන්දල පොලීසිය සඳහන් කරයි. පිළියන්දල, බෝකුන්දර තාවකාලිකව පදිංචිව සිටි 13 හැවිරිදි පාසල් ශිෂ්‍යාවක මෙසේ මියගොස් ඇති බවද පොලීසිය පවසයි. සිද්ධියෙන් තුවාල ලැබූ අගේ මව හා සහෝදරිය ප්‍රතිකාර සඳහා රෝහල්ගත කොට ඇත.


මියගිය දැරිය, 15 හැවිරිදි සහෝදරිය, මව හා ඇගේ අනියම් සැමියා සමග වසර තුනක පමණ සිට මහව සමගි පුර ප්‍රදේශයේ සිට පැමිණ පිළියන්දල, බෝකුන්දර ප්‍රදේශයේ දෙමහල් නිවසේ ඉහළ මහලක් කුලියට ගෙන එහි වාසය කරමින් සිට තිබේ.ඉකුත් 26 දා සවස 16.40 පමණ එම කාන්තාව සේවය කරන ස්ථානයේ පුද්ගලයකු හා සමීප ඇසුරක් පවත්වාගෙන යන බව පවසමින් අඹුසැමි යුවළ අතර බහින්බස්වීමක් සිදුව ඇති අතර එහිදි මවට සිදු කරන කරදර ඉවසා ගැනීමට නොහැකිව දියණියන් දෙදෙනා එම පුද්ගලයාට බැණ වැදී තිබේ.


පසුව මේ පිළිබඳව උරන වූ එම පුද්ගලයා මුළුතැන්ගෙයි තිබූ තියුණු ආයුධයක් රැගෙන දැරියන් දෙදෙනා සිටි කාමරයට ගොස් ඔවුන්ට පහර දී තිබේ. එහිදී පහර කෑමෙන් (13) හැවිරිදි දැරියගේ ගෙල ප්‍රදේශයට තුවාල සිදුව තිබූ අතර ඇය සිහිසුන්ව ඒම ස්ථානයේ වැටි සිටියදී ඇයව බේරා ගැනීමට (15) හැවිරිදි දැරිය පැමිණ තිබේ. එම අවස්ථාවේදී සැකකරු ඇයට ද තියුණු ආයුධයෙන් පහරදී ඇති අතර ඉන් බේරීමට උත්සාහ දැරීමේදී ඇගේ වම් අතට වැදී කැපුම් තුවාල සිදුව තිබූ බව පැවසේ.එම අවස්ථාවේදි කාමරයට පැමිණි දරුවන් දෙදෙනාගේ මවට ද සැකකරු පහර දී ඇගේ හිසට හා දකුණු අතට තුවාල සිදු කර පොලීසියට භාර වන බව පවසා නිවසින් පිටව ගොස් තිබූ බව පොලීසිය සඳහන් කරයි.


ඉන් පසු නිවසේ හිමිකරුවන් හා අසල්වාසීන් එක්ව තුවාලකරුවන් ප්‍රතිකාර සඳහා වේරහැර කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාල රෝහලට ඇතුළත් කර ඇති අතර එහි දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටි දහතුන් හැවිරිදි පාසල් සිසුවිය (27දා) මියගිය බව පොලීසිය සඳහන් කරයි.


සිද්ධියට සම්බන්ධ මහව, සමගිපුර ප්‍රදේශයේ පදිංචි (46) හැවිරිදි සැකකරු මේ වන විට ප්‍රදේශයෙන් පළා ගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට නියමිත බව පවසන පොලීසිය අපරාධය සිදු කිර්මට භාවිත කළ තියුණු ආයුධය අධිකරණයට ඉදිරිපත් කර ඇති බවද සඳහන් කරයි. පිළියන්දල පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


සූකර උණ විල්පත්තුවේ වල් ඌරන්ටත් බෝවෙලා



 හිරාන් ප්‍රියංකර


අප්‍රිකානු සූකර උණ විල්පත්තුවේ සැරිසරන වල් ඌරන්ට ආසාදනය වීමත් සමග වන උද්‍යානයට වල් ඌරු මාංශ පිටතින් රැගෙන යාම සම්පූර්ණයෙන් නවතා ඇති බව වනජීවි පශු වෛද්‍ය ඒකකයෙහි අධ්‍යක්ෂ පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා පවසයි.

මේ වන විට දිවයින පුරා ඌරන් ඇති කරනු ලබන ගොවිපළවල පැතිර් යමින් ඇති සූකර උණ මෙලෙස විල්පත්තුවේ සැරිසරණ වල් ඌරන් අතර පැතිරෙමින් ඌරන් මරනයට පත්වීම් රැසක් වාර්තා වී ඇති බවද පශු වෛද්‍ය තාරක ප්‍රසාද් මහතා වැඩි දුරටත් පවසයි.


විල්පත්තුවේ වල් ඌරන්ට සූකර උණ වැලඳී මරණයට පත්ව සිටියදී තලවිල,පල්ලේකන්ඩල් ප්‍රදේශ ආශ්‍රිතව හමුව තිබු අතර එහිදී මිය ගිය වල් ඌරන්ගේ මාංශ කොටස් රැගෙන සිදුකළ පරීක්ෂණවලදී සූකර උණ වැලඳී තිබූ බවට සැක හැර වාර්තා වූ බව වනජීවි පශු වෛද්‍ය ඒකකයෙහි අධ්‍යක්ෂවරයා පැවසීය.අප්‍රිකානු සූකර උණ ලංකාවේ ඌරු ගොවිපළවල් ආශ්‍රිතව පැතිරී යාමෙන් මේ වනවිටත් දහස් ගණනක් ඌරන් මරණයට පත්ව ගොවිපළ හිමියන් දැඩි අසරණ කමකට ලක්වී තිබේ.


කෙසේ වෙතත් විල්පත්තුවේ වල් ඌරන්ට සූකර උණ ආසාදනය වීම කුමන ලෙස සිදුවූවා දැයි කළ විමසීමේදී පශු වෛද්‍ය ඒකකයෙහි අධ්‍යක්ෂවරයා පවසා සිටියේ විල්පත්තුවට නේවාසිකව රැඳී සිටිමට පැමිණෙන සංචාරකයන් විසින් රැගෙන ආ ඌරු මස්වලින් ඉතිරි කොටස් පරිසරයට මුදා හැරීමෙන් මෙය

සිදුව ඇති බවට සැක කරන බවයි. ඔහු වැඩි දුරටත් ඔහු පැවසුවේ විල්පත්තුවේ වල් ඌරන්ට මෙලෙස සූකර උණ වැලඳී මරණයට පත්වූ සංඛ්‍යාව අඩුවෙන් වාර්තා වුවත් එය විශාල සංඛ්‍යාවක් ලෙස වාර්තා නොවන්නේ මරණයට පත් වල් ඌරන්ගේ ශරීර වෙනත් මාංශ භක්ෂක සතුන් ආහාරයට ගැනීම හේතුවෙන් බවට තහවුරු වන බවයි. 


එය සිය ගණනක් හෝ එයට එහා ගිය සංඛ්‍යාවක් විය හැකි බවත්, මේ හේතුවෙන් විල්පත්තුව ඇතුළු වන උද්‍යානවල වල් ඌරන් වඳවී යාමට යම් බලපෑමක් සිදුව්ය හැකි බවත් හෙතෙම පැවසීය.කෙසේ වෙතත් ගොවිපළවල ඇති කරන වල් ඌරන්ට සූකර උණ පැතිරී යාමත් සමග සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව විශේෂ ගැසට් නිවේදනයක් මගින් රට පුරා ආසාදිත හා අවදානම් කලාප නම් කිරීමට කටයුතු කර තිබේ. අදාළ ගැසට් නිවේදනය ඔක්තෝබර් 25 සිට ඉදිරියට මාස තුනක වලංගු කාලයක් සඳහා නම් කිරීමට කටයුතු කර ඇත.


කෙසේ නමුත් අප්‍රිකානු සූකර උණ මිනිසුන්ට වැලඳීම සිදු නොවුණද රෝගය පැතිරි ගිය ඌරන් මිය යාමෙන් පසු බැක්ටීරියා ආසාදනය වීම හේතුවෙන් මෙය යම් හානිදායක කරුණක් බවට පත්විය හැකි බව සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තුමේන්තුව නිකුත් කළ ගැසට් නිවේදනය මගින් තහවුරු කර ඇත. මේ සියල්ල හමුවේ වන උද්‍යානවලට නැවත දැනුම් දෙන තුරු ඌරු මස් රැගෙන ඒම සංචාරකයන්ට තහනම් කර ඇති බව වනජීවි නිලධාහු පවසති.


රජයේ සේවකයන්ට රු.4000ක අත්තිකාරමක්

 



ජේ.ඉඳුරුවගේ


සියලුම රජයේ සේවකයන්ට ලබන වසර වෙනුවෙන් මහා භාණ්ඩාගාරයේද එකඟතාව පරිදි රු. 4000 කට නොවැඩි වන විශේෂ අත්තිකාරම් මුදලක් ගෙවීමට රජය තීරණය කරයි.ඒ අනුව මෙම අත්තිකාරම් මුදල ලබාදීම 2025 ජනවාරි පළමුදා ආරම්භ කර පෙබරවාරි 28 න් අවසන් කර එම වසර තුළදීම ආපසු අයකර අවසන් කළ යුතු බවද, මෙම අත්තිකාරම් ගෙවීම සම්බන්ධයෙන් රාජ්‍ය පරිපාලන පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශයේ ලේකම් එස්.ආලෝක බණ්ඩාර මහතා නිකුත් කළ චක්‍රලේඛයේ සඳහන් වේ.


සියලුම ස්ථිර තනතුරු දරන රාජ්‍ය නිලධාරීන්ට මෙන්ම අත්තිකාරම් ගෙවීම් දිනට පෙර තුන් මසකට නොඅඩු අඛණ්ඩ සේවා කාලයක් සහිත අවම වශයෙන් 2025 දෙසැම්බර් අවසානය දක්වා අඛණ්ඩ සේවයේ යෙදවීමට නිශ්චිත ලෙස අවකාශ සහිත තාවකාලික හෝ අනියම් සේවා නිලධාරීන්ට මෙම විශේෂ අත්තිකාරම හිමිවේ.මීට පෙර වර්ෂවලදී ලබාගත් විශේෂ අත්තිකාරම් ආපසු ගෙවීම පැහැර හැර ඇති නිලධාරීන්ට මෙම අත්තිකාරම හිමි නොවේ.


Monday, December 30, 2024

ශාන්තිකර්මයට ආ කපුවා ලක්ෂ 22ක රන්බඩුවලට ගේමක් දිලා

 


 



එච්.එම්.ධර්මපාල


බොරලැස්ගමුව, ගංගාරාම පාර ප්‍රසිද්ධ ඇලුමිනියම් නිෂ්පාදන ව්‍යාපාරික නිවසක ශාන්තිකර්මයක් කරන අතරතුර ව්‍යාපාරිකයාගේ රුපියල් ලක්ෂ විසි දෙකකට අධික වටිනා රන්භාණ්ඩ විHන්ජ රන්හාණ්ඩ වලට මාරු කර වංචාසහගතව සොරාගෙන පලාගිය කපුවකු හා එයට උදව් අනුබලදුන් පුද්ගලයාද සමග දෙදෙනකු ඉකුත් (27) වනදින බොරලැස්ගමුව පොලිස් අපරාධ අංශය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලීසිය පැවසීය.


පොළොන්නරුව දියබෙදුම පදිංචිව සිටින වයස අවුරදු 20 ක්ද වන ඒ සඳහා අනුබල දෙමින් සහායදුන් අයගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අරණායක පැගිරි හන්දිය ප්‍රදේශයේ පදිංචිව සිටින කපුවා වයස අවුරුදු 30ක අයෙකු බවට හඳුනාගත් බවත් පොලීසිය කියා සිටී.


ව්‍යාපාරිකයාගේ බිරිය එම නිවසේ පදිංචිව සිටින අතර, පසුගිය 21 වනදින හදිසියේ රෝගී තත්ත්වයට පත්වීම නිසා ව්‍යාපාරිකයා රෝහලට ඇතුළත් කරනු ලැබ ඇත. ඒ වනවිට ව්‍යාපාරිකයා පැලඳ සිටි රුපියල් ලක්ෂ විසි දෙකකට අධික රන්භාණ්ඩ ගලවා ජංගම දුරකථනයද සමග බිරියට නිවසට රැගෙන යාමට භාරදෙනු ලැබ ඇති බව පොලිසිය කළ පරීක්ෂණ වලින් හෙළිවී ඇත.


ඒ අතර නිවසට ගිය බිරියට 21 වනදින උදෑසන 8.00 ට පමණ ව්‍යාපාරිකයාගේ දුරකතනයට කතා කළ පුද්ගලයකු කියා ඇත්තේ තම සැමියා දැනට රෝහල්ගතව සිටින්නේ කවුරුන් හෝ කරන ලද කොඩිවිනයක බලපෑම නිසා වන අතර, ඒ සඳහා අද දිනම නිවසේදී ශාන්තිකර්මය කළයුතු බවත් නැතිනම් බරපතළ හානියක් බවත් කපුමහතා ලෙස පෙත් පුවලට සිදුවිය හැකි පුද්ගලයා බිරියට දැන්වීමෙන් පසු බිරිය එයට එකගවී ඇතැයි පොලිසිය කියයි. ඒ අනුව 21 වනදිනම ශාන්තිකර්මයට අවශ්‍ය කළමනා සමග කපුමහතා ගංගාරාම පිහිටි නිවසට පැමිණ දවස පුරාවට ශාන්තිකර්මය සිදුකරනු ලැබ ඇත. ඒ අතර ව්‍යාපාරික මහතා පැලඳ සිටි රන්භාණ්ඩ සියල්ලද දෝෂ මග හැරවීම සඳහා පේ කිරීමට රැගෙන එන ලෙස බිරියට දන්වා ඒ සඳහා නැවුම් මුට්ටියක් සහ සුදු රෙදි කඩක් ලබා දෙන ලෙසත් දන්වා ඇති බව පොලිසිය කියයි.


කපු මහතා එම රන්භාණ්ඩ සියල්ල මුට්ටිය තුළට දමා සුදුරෙදි කඩින් ආවරණය කර යහන තට්ටුව මත තමා ශාන්තිකර්මය සිදුකරගන යනු ලැබ ඇති අතර සැමියා ඉක්මනට සනීපකර නිවසට ගෙන්වා ගැනීමට හා සැමියාට ඇති ආදරය නිසාම මෙම ශාන්තිකර්මය පිළිබඳව කිසිදු සැකයක් නොමැතිව යාගය අතර එම ස්ථානයෙන් නික්ම නිවසේ වැඩ කටයුතු වලද නිරතව සිටිය බව බිරිය කළ ප්‍රකාශයේ සඳහන් වන බව පොලිසිය කියයි..

මෙයින් උපරිම ඵල නෙළාගත් කපුවා තමා රැගෙන ආ ව්‍යාජ රන්භාණ්ඩ සියල්ල ආරක්ෂා කරන මුට්ටියට දමා ව්‍යාපාරික සියලු රන්භාණ්ඩ මාරුකර ඉවත්කර මුට්ටිය පෙර ලෙසටම සකස්කර සැකයක් ඇති නොවන ආකාරයට ශාන්තිකර්මය සිදුකරගෙන ගොස් ඇත.


දහවල් වනවිට ශාන්තිකර්මය අවසන්කර බිරිය කැඳවා උපදෙස් ලබා දෙමින් කියා ඇත්තේ මෙම ආරක්ෂක මුට්ටිය සැමියා සනීපවී නිවසට පැමිණෙනතුරු කිසිම ආකාරයකින් විවෘත නොකර සුදුසු බුදුපිළිමයට පුදපූජා කරන තැන තැන්පත් කර තබන ලෙසත්ය.


මේ අතර 22 දින බිරිය විසින් මුට්ටිය සොලවා බලා රන්භාණ්ඩ සෙලවෙන බැවින් රෙදිකඩ මදක් ඉවත්කර බැලීමේදී තමා දුන් රන්භාණ්ඩ එහි නොමැති බවත් තමා වංචනික කපුවකුට අසුවී ඔහු රන්භාණ්ඩ සියල්ල මාරුකර පලාගොස් ඇති බව තේරුම් ගිය පසු ඒ අනුව 22 දිනම බොරලැස්ගමුව පොලීසිය වෙත පැමිණිලි කරනු ලැබ ඇත.


ඒ අනුව වහාම ක්‍රියාත්මක වූ අපරාධ විමර්ශන අංශය බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වරයාගේ නිර්දේශමත විද්‍යාත්මක සාක්ෂි ක්‍රමවේදයට අනුව පොලිස් කණ්ඩායමක් බිරියගේ ඥාතීන් සිටින ප්‍රදේශයට ගොස් ඒ වන විටත් එම නිවසට එම ප්‍රදේශයේ නිධානයක් ගැනීම සඳහා පෙර හොර කපුවාම ලෙසින් කථාකර පිල තොරතුරු විමසා ඇති බැවින් ඒ ඔස්සේ පරීක්ෂණ ආරම්භ කර  එම ඇමතුම් ලබාදුන් 20 හැවිරිදි තරුණයා ගෙන් ප්‍රශ්න කිරීමේදී අරණායක පැගිරි හන්දිය සිටින වයස 30. වෙද මහතා ලෙස රගපෑ පුද්ගලයකුගෙන් ප්‍රශ්න කිරීමේදී දින කීපයක් පුරා සිදුකළ විමර්ශනයකින් පසු ඉකුත් 27 වන දින මෙම පුද්ගලයන් දෙදෙනා සොරාගත් සියලු රන්භාණ්ඩ සමග අත්අඩංගුවට ගනු ලැබ ඇත .


මවගේ පාදයේ ගාන බෙහෙතක් පෙවි ළදරුවෙකු මරුට

 



හිරාන් ප්‍රියංකර ජයසිංහ


මවගේ පාදයේ ආබාධයකට රැගෙනවිත් තිබූ වේදනා නාශක දියරයක් පානය කළ බව කියන කුඩා දරුවකු එයින් ඇති වූ අධික විෂ හේතුවෙන් හලාවත මහ රෝහලින් කොළඹ ඊර්ෂ්‍යා ආරියා ළමා රෝහලට රැගෙන යමින් සිටියදී මරණයට පත්ව ඇති බව පුත්තලම මූලස්ථාන පොලිසිය කියයි.මෙලෙස මිය ගොස් ඇත්තේ, පුත්තලම කල්අඩිය ප්‍රදේශයේ පදිංචි, වයස අවුරුදු දෙකයි මාස හතක් වූ, එස්.ඒ. විනුක මන්දිත් නමැති දරුවෙකි.


දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලක ඔහු බාල දරුවාය. ඥාති නිවෙසකට යෑම සඳහා මවුපියන් දරුවන් තිදෙනා සුදානම් කරමින් සිටියදී, උස් ස්ථානයක තබා තිබූ මවගේ පාදයේ ගෑමට ගෙන ආ වේදනා නාශක දියරයක් කුඩා දරුවා රැගෙන, එහි මූඩිය ඉවත් කරමින් සපමින් සිටිනු දුටු පියා එකවර එය උදුරා ගෙන ඉවත් කර ඇති බව කියයි.


මවුපියන් පුතු පරික්ෂා කිරීමේදී, වේදනා නාශක දියරය පෙවී ඇතැයි පෙනී ගොස් නැති අතර, පාලවිය ප්‍රදේශයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයක වෛද්‍යවරයකුට දරුවා පෙන්වා ඇත. එහිදී ද වෛද්‍යවරයා පවසා ඇත්තේ, අදාළ වේදනා නාශක දියරය දරුවාට පෙවී නොමැති බවට පෙනී යන බවයි.


එසේ වුව ද, දරුවා යම් හෙයකින් ආසාත්මිකතාවකට පත් වුවහොත් කඩිනමින් රෝහල්ගත කරන ලෙස වෛද්‍යවරයා ඔවුන්ට දැනුම් දී ඇත.මවුපියන් දරවා රැගෙන මාදම්පේ බලා ගමන් කරමින් සිටියදී මුන්දලම ආසන්නයේදී දරුවා එකවර ගැහෙමින් යම් රෝගී තත්වයක් මතු කිරීමත් සමග මුන්දලම ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත.


මුන්දලම රෝහලින් දරුවා පරික්ෂා කළ වෛද්‍යවරුන්, කඩිනමින් ගිලන් රථයකින් හලාවත මහ රෝහලට දරුවා මාරු කර යැවූ අතර, හලාවත මහ රෝහලේදී ද දරුවාගේ අවදානම් තත්වය පරීක්ෂා කර වෛද්‍ය කාර්යමණ්ඩලයක් සමග කඩිනමින් ගිලන් රථයකින් කොළඹ රිජ්ගේ ආර්යා ළමා රෝහල වෙත යැවීමට කටයුතු කර ඇත. රෝහලට ආසන්න වෙත්ම දරුවා ගිලන් රථයේදීම අවසන් හුස්ම හෙළා ඇති බව කියයි.


දරුවාගේ මරණය සම්බන්ධ පශ්චාත් මරණ පරීක්ෂණය අධිකරණ වෛද්‍ය හා විෂවේද වෛද්‍ය ආයතනයේ සහකාර අධිකරණ වෛද්‍ය නිලධාරි ජානක පොලොන්වෙල මහතා සිදු කළ අතර, එහිදී නිගමනය කර ඇත්තේ, වේදනා නාශකයක් ශරීරගත වීමෙන් ඇති වූ සංකූලතාවක් හේතුවෙන් මෙම මරණය සිදු වී ඇති බවය.මරණ පරීක්ෂණයෙන් පසු දරුවාගේ සිරුර මවුපියන්ට භාර දී ඇත.


ලක්ෂ අනූවක අල්ලස් හිටපු පළාත් මන්ත්‍රී සුලෝචන රිමාන්ඩ්

 

 නාගරික සංවරිධන අධිකාරියට පවරා ගත් කොළඹ ටොරින්ටන් ඇවනිව් ප්‍රදේශයේ ඉඩමකට රුපියල් කෝටි 25ක පමණ වන්දි සහ වන්දි පොලී ගෙවීම සදහා අවශ්‍ය කටයුතු කර දීමට රුපියල් ලක්ෂ අනූවක අල්ලසක් ඉල්ලා ලබා ගන්නා අවස්ථාවේදී අත්අඩංගුවට ගත්තේ යැයි අධිකරණයට ඉදිරිපත් කළ බස්නාහිර පළාත් සභාවේ හිටපු මන්ත්‍රී සුලෝචන ගමගේ මහතා සහ ව්‍යාපාරිකයකු ලබන වසරේ ජනවාරි 6 වැනිදා දක්වා ඊමාන්ඩ් බාරයේ රඳවා තැබීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාන් බණ්ඩාර ඉලංගසිංහ මහතා ඉකුත් දා (27) නියම කළේය. 


සැකකරුවන් සහ නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර සිදු වූ දුරකතන සාකච්ඡා පිළිබඳව වැඩිදුරටත් විමර්ශනය කරන බව දැනුම් දෙමින් අල්ලස් කොමිසම කළ ඉල්ලීමක් පිළිගත් මහේස්ත්‍රාත්වරයා සැකකරු රිමාන්ඩ් භාරයේ රඳවා තැබීමට නියම කළේය.හිටපු පළාත් සභා මන්ත්‍රී සුලෝචන ගමගේ මහතාට අමතරව මෙලෙස රිමාන්ඩ් භාරයට පත් කරන ලද්දේ, දුෂාන්ත දිනේෂ් රත්නායක නමැති ව්‍යාපාරිකයෙකි.


වමින්ද තුෂාර වර්ණසූරිය නමැති ව්‍යාපාරිකයකු කළ පැමිණිල්ලකට අනුව පසුගිය 27 වැනිදා කළ වැටලීමකදී පිටකෝට්ටේ ප්‍රදේශයේ වෙළෙඳසලක් ඉදිරිපිටදී රුපියල් ලක්ෂ 90ක අල්ලස් මුදලක් ලබා ගන්නා අවස්ථාවේදී සැකකරුවන් අත්අඩංගුවට කියමින් ගත් බව අල්ලස් කොමිසමේ නිලධාරීන් විසින් සැකකරුවෝ අධිකරණයට ඉදිරිපත් කරනු ලැබූහ.


 

සිද්ධියට අදාළව කෙරුණ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් අල්ලස් කොමිසමේ නිලධාරීහු, පැමිණිලිකාර චමින්ද තුෂාර වර්ණසූරිය නමැති ව්‍යාපාරිකයාගේ නැන්දණියට අයත් කොළඹ ටොරින්ටන් ඇවිතිහි ඉඩමක් නාගරික සංවර්ධන අධිකාරිය විසින් පවරාගෙන ඇතැයි ද, එම ඉඩම සඳහා රුපියල් කෝටි 11ක වන්දි මුදලක් ද වන්දි පොලී වශයෙන් රුපියල් කෝටි 14ක මුදලක් ද ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු කර දීම වෙනුවෙන් සැකකරු රුපියල් ලක්ෂ අනූවක මුදලක් අල්ලස් වශයෙන් ඉල්ලා ඇතැයි දැනුම් දුන්හ.


චමින්ද තුෂාර වර්ණසූරිය නමැත්තා මේ සම්බන්ධයෙන් අල්ලස් කොමිසමට පැමිණිල්ලකට අනුව කළ වැටලීමකදීපිටකෝට්ටේ ප්‍රදේශයේ ‘ගැමි ගෙදර නමැති වෙළෙඳසල ඉදිරිපිටදී සැකකරුවන් රුපියල් ලක්ෂ 90ක අල්ලස ලබා ගන්නා අවස්ථාවේදී ඔවුන් අත්අඩංගුවට ගත් බව දැනුම් දුන් නිලධාරීහු, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇතැයි ද දැනුම් දුන්හ. සිද්ධිය සම්බන්ධයෙන් තවත් කිහිපදෙනකුගේ සටහන් කරගත යුතු බවත්, සැකකරුවන් හා නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් අතර සිදු වූ බව කියන දුරකතන සංවාද පිළිබඳ විමර්ශනය කළ යුතු බවත්, එම තත්වය යටතේ සැකකරුවන්ට ඇප නියම කළහොත් විමර්ශන කටයුතුවලට බවත් දැනුම් දුන් නිලධාරීහු, සැකකරුවන් රිමාන්ඩ් භාරයට පත් කරන්නැයි ඉල්ලා සිටියහ. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු කරුණු දක්වමින්, තම සේවාදායකයන් අල්ලසක් ලබා ගෙන නැතැයි ද, පැමිණිලිකරු තම සේවාදායකයන්ට ලබා දී ඇති චෙක්පත් වලට අදාළ මුදල් ලබා ගැනීම සඳහා පැමිණෙන්නැයි ඔවුන් කළ දැනුම්දීමකට අනුව එහි ගිය අවස්ථාවේදී තම සේවාදායකයන් අල්ලස් කොමිසමේ නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ද කීහ.


චෙක්පත් ආදිය ඉදිරිපත් කිරීමට තම සේවාදායකයන්ට හැකියාව ඇතැයි කී නීතිඥවරු, මෙම චෙක්පත් ආදිය ඉදිරිපත් කිරිම සඳහා අද 30 වැනිදා මෙම පැමිණිල්ල යළි කැඳවන්නැයි ඉල්ලා සිටියහ.ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, සැකකරුවන් ලබන වසරේ ජනවාරි 6 වැනිදා දක්වා රිමාන්ඩ් භාරයට පත් කළ මහේස්ත්‍රාත්වරයා, සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය එදින අධිකරණයට වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියම කළේය.


බාල වයස් සිසු පුතාට යතුරුපැදිය දුන්නාට අම්මාට නඩු

 


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


අවුරුදු 16ක් වයස පාසල් සිසුවකු පදවාගෙන ආ යතුරුපැදියක් පොලිස් විශේෂ කාර්ය බළකායේ පොලිස් පරීක්ෂකවරයකු පදවාගෙන ගිය යතුරුපැදියක හප්පා අනතුරක් කිරීමේ සිද්ධියක බාල වයස්කාර සිසුවාට යතුරුපැදිය දුන් සිසුවාගේ මවට එරෙහිව රථවාහන අණ පනත් යටතේ අධිකරණයේ නඩු පැවැරීමට මල්වතුහිරිපිටිය පොලිසිය කටයුතු යොදාගෙන යයි.මෙම අනතුරෙන් පොලිස් පරික්ෂකවරයකු සහ ඔහුගේ බිරිය තුවාල ලබා ඇති අතර, බාල වයස්කාර සිසුවා ගම්පහ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර ඇතැයි පොලිසිය කියයි. 


බාල වයස්කාර සිසුවකුට පැදගෙන යාමට යතුරුපැදියක් ලබා දීම නීතියට පටහැනි ක්‍රියාවක් බව පොලිසිය ත්‍වසයි. පොලිස් විශේෂ කාර්ය බළකා මූලස්ථානයේ රාජකාරි කරන පොලිස් පරීක්ෂකවරයාගේ අතකට සහ එක් පාදයකට බරපතළ තුවාල සිදු වී ඇති බවත්, පොලිස් විශේෂ කාර්ය බළකායේ ගෝනහේන කඳවුරේ සැරයන්වරියක ලෙස සේවය කරන ඔහුගේ බිරියගේ ද එක් පාදයකට තුවාල සිදු වී ඇති බවත් පොලිසිය කියයි. යතුරුපැදිය පදවාගෙන ආ දහසය හැවිරිදි පාසල් සිසුවා ද මෙහිදී තුවාල ලබා ගම්පහ රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබා ගෙන තිබිණි. මෙම බාල වයස්කාර සිසුවා පදවාගෙන ගිය යතුරුපැදිය පොලිස් පරීක්ෂකවරයා පදවාගෙන ගිය යතුරුපැදියේ ද හප්පා, පසුව ත්‍රිරෝද රථයක ද හප්පා තිබිණි යැයි පොලිසිය සඳහන් කරයි.


බාල වයස්කාර සිසුවා යතුරුපැදිය අධික වේගයෙන් පදවාගෙන පැමිණ ඇති බවත් පොලිසිය කියයි. මල්වතුහිරිපිටිය පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක චන්ද්‍රවංශ මහතාගේ මෙහෙයුම යටතේ, රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක කුමාරසිංහ මහතා ඇතුළු පොලිස් නිලධාරිහු පිරිසක් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යති.


සීයා පැදවූ ලොරියට සිඟිත්තිය මිදුලේම බිලි

 


රංජිත් කරුණාවීර


මිණිපේ, හසලක, කීනපැලැස්ස ප්‍රදේශයේ අවුරුද්දයි මාස අටක් වයසැති සිගිති දැරියක පෙරේදා (28) ඇයගේ පොඩි සීයා පැදවූ ලොරි රථයකට යට වී මියගොස් ඇතැයි හසලක පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ, සෙනුෂි සිහංසා නමැති සිඟිත්තියකි.


මියගිය සිඟිත්තියගේ මාතර පිහිටි මවගේ නිවෙසට යෑම සඳහා නිවෙසට ජලය රැගෙන යෑමට නිවෙසේ තිබූ ලොරි රථය පණගන්වාගෙන කඩපිලට යෑමට පිටත් වූ දරුවාගේ සීයා පැදවූ ලොරි රථයට නිවෙස ඉදිරිපසදීම යට වී සෙනුෂි සිහංසා ජීවිතයෙන් සමුගෙන ඇති බව පොලිසිය පවසයි. මියගිය දියණියගේ මාපියන් ඩුබායි රාජ්‍යයේ සේවයේ නියුතුව සිටින අතර, මියගිය දියණිය ඇතුළු මව මීට මාස දෙකකට පෙර ඩුබායි සිට මාතර පිහිටි මවගේ නිවෙසට පැමිණ ඇත. ඉන් පසු සති කිහිපයකට පෙර හසලක කීනපැලැස්සේ පිහිටි පියාගේ නිවෙසට ඔවුන් පැමිණ ඇති බව හෙළි වී තිබේ. හසලක රැඳී සිටි ඔවුන් ඊයේ (29) යළි මාතර බලා යෑමට සූදානම්ව සිට ඇති අතර, ඒ සඳහා අවශ්‍ය කළමනා හා නිවෙසට අවශ්‍ය ජලය රැගෙන යෑමට ඊට පෙර දින (28) සවස දැරියගේ පොඩි සීයා නිවෙසේ තිබූ ලොරි රථය රැගෙන කඩපිලට යෑමට සූදානම්ව ඇත. ඒ වන විටත් සෙනුෂි දියණියට මව කෑම කවමින් සිට ඇත.


දියණියට කෑම කවා අවසන් වූ පසු, මව අත සෝදා ගැනීම සඳහා මුළුතැන්ගෙට ගොස් ඇති මොහොතේ, රොටී කැබැල්ලක් ද අතට ගෙන සිගිත්තිය නිවෙසින් බැහැරට පැමිණ ඇති අතර, ඒ පිළිබඳ සෝදිසියක නොසිටි ඇයගේ පොඩි සීයා කඩපිලට යෑමට නිවෙස ඉදිරිපිට නවතා තිබූ ලොරි රථය ඉදිරියට ගැනීමේදී ලොරි රථයේ පිටුපස රෝදයට දියණිය යට වී තිබේ. ලොරි රථයට යට වූ දියණිය නිවැසියන් කඩිනමින් රෝහල්ගත කළ ද, ඇයගේ ජීවිතය බේරා ගැනීමට නොහැකි වී ඇත. කුඩා දියණිය නිවෙස ඉදිරිපිට ලොරිය දෙසට පැමිණෙනු නිවැසියන් කිසිවකු දැක නොමැති බව පැවැසේ. සිද්ධිය පිළිබඳ විමර්ශන කටයුතු හසලක පොලිසිය විසින් සිදු කරනු ලැබ ඇති අතර, ලොරි රථය පැදවූ පොඩි සීයා අත්අඩංගුවට ගෙන ඇත.


ආචාර්ය හුටපටය: මැතිසබේ ලොක්කෙක් අද සීඅයිඩීයට

 


සුජිත් හේවාජුලිගේ


පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් වැරැදි ආකාරයට ආචාර්ය පදවියක් සඳහන් කිරීම සම්බන්ධයෙන් එම වෙබ් අඩවියට තොරතුරු ඇතුළත් කරන සභා ලේඛන කාර්යාලයේ ප්‍රධානි ප්‍රසන්න කුමාරසිංහ මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට අද (30) කැදවා ඇත. මේ සිද්ධිය සම්බන්ධයෙන් ඔහුගෙන් දීර්ඝව ප්‍රශ්න කිරීමට නියමිතය. 


ඉන් අනතුරුව සභා නායක කාර්යාලයේ සහ ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක කාර්යාලයේ ප්‍රධානින්ගෙන් ද මේ සම්බන්ධයෙන් ප්‍රකාශ සටහන් කරගන්නා බව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය. පාර්ලිමේන්තු වෙබ් අඩවියේ අධිකරණ අමාත්‍ය, නීතිඥ හර්ෂණ නානායක්කාර මහතාගේ නම ඉදිරියෙන් ආචාර්ය පදවියක් සඳහන් කිරිම සම්බන්ධයෙන් පසුගිය දිනවල සමාජයේ දැඩි ආන්දෝලනාත්මක කතාබහක් ඇති විය. පාර්ලිමේන්තු වෙබ් අඩවියේ තමාගේ නම ඉදිරියෙන් එලෙස ආචාර පදවියක් සඳහන් කිරීමෙන් අපහාසයක් සිදු වූ බව පවසමින් හර්ෂණ නානායක්කාර මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පසුගිය දා පැමිණිල්ලක් කළේය. එම දෙපාර්තමේන්තුව මෙම පරික්ෂණය ආරම්භ කළේ ඒ අනුවය. සිද්ධිය පිළිබඳව පරික්ෂණ ආරම්භ කිරීමෙන් පසු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු කණ්ඩායමක් පසුගිය 20 වැනිදා පාර්ලිමේන්තු පරිශ්‍රයට පැමිණ අදාළ සේවකයන්ගෙන් ප්‍රශ්න කිරීම ආරම්භ කළේය.


තරුණයන් දෙදෙනකු සුදු ගඟට බිලි‍

 


මාතලේ සුදු ගඟ හරහා ඉදිකර ඇති කිවුල ජල පවිත්‍රාගාරයේ දැලෙහි රැඳී තිබූ බැරලයක් ඉවත් කිරීමට ගිය එහි සේවය කළ තරුණයන් දෙදෙනකු ගඟට වැටී ගසාගෙන ගොස් අතුරුදන්ව තිබූ ඔවුන්ගේ මෘත ශරීර පෙරේදා (28) ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන ඇති බව කන්දෙනුවර පොලිසිය කියයි.මෙසේ මරණයට පත්ව ඇත්තේ, මෙම ජල පවිත්‍රාගාරය පිහිටි මාතලේ කිවුල ප්‍රදේශයේම පදිංචි මීගහගේ දොන් චාතක මදුවන්ක (23) තරුණයා හා කලක් නාවික හමුදාවේ සේවයේ නියුතුව සිට එයින් ඉවත්ව මෙහි සේවයට බැඳුණු මාතලේ කළුදෑවල ප්‍රදේශයේ පදිංචි මේනක මධුසංක අබේසිංහ (23) යන අවිවාහක තරුණයන් දෙදෙනාය.


කොන්ත්‍රාත් පදනම මත මෙහි සේවය අදාළ තරුණයන් දෙදෙනා ජල පවිත්‍රාගාරයේ දැලෙහි රැඳී තිබූ බැරලයක් ඉවත් කිරිමට යාමේදී එක් තරුණයකු ලිස්සා ගඟට වැටී ඇති අතර, ගඟට වැටුණු මිතුරා බේරා ගැනීමට අනෙක් තරුණයා ද ගඟට පැන ඔහු බේරා ගැනීමට උත්සාහ කිරීමේදී ඔවුන් දෙදෙනා ජල පහරට හසු වී ගසා ගෙන යන්නට ඇති බවට කන්දෙනුවර පොලිසිය සැක කරයි.


මේ දිනවල ඇදහැලෙන වර්ෂාවත් සමග සුදු ගඟෙහි විශාල ජලයක් පැමිණෙන අතර, මොවුන් දෙදෙනා ගඟට වැටී ගසාගෙන යෑම හේතුවෙන් මහනුවර පොල්ගොල්ල ප්‍රදේශයෙන් සුදු ගඟට පැමිණෙන ජලය වසා දමා ප්‍රදේශවාසීන් හා පොලිසිය එක්ව අනතුරට පත් වූ තරුණයන් දෙදෙනාගේ වෘත ශරීර සොයා පැය ගණනක මෙහෙයුමක් සිදු කර මොවුන් දෙදෙනාගේ සිරුරු ගොඩට ගැනීමට ප්‍රදේශවාසීහු සමත්ව සිටිති. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ කටයුතු කන්දෙනුවර පොලිසිය සිදු කරයි.


සීදුව බස් ව්‍යාපාරිකයා ඝාතනයට ආවේ රියැදුරු කතක්ද?

 

 


 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, 


සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ නිවෙසකට පෙරේදා (28) රාත්‍රී කාලයේ කඩාවැදී නිවෙසේ සිටි ව්‍යාපාරිකයකු ඝාතනය කර,ඔහුගේ වයෝවෘද්ධ පියාට සහ ඔහුගේ සහෝදරයාට තුවාල කළ ඝාතකයන් දෙදෙනා පැමිණි සුදු පැහැති මෝටර් රථය පදවාගෙන පැමිණ ඇත්තේ කාන්තාවක බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැනගැනීමට ඇත.


කාන්තාවක ලෙස වෙස් වළාගත් පිරිමියකු මෙම මෝටර් රථය පදවාගෙන ආවේ. දැයි පොලිසිය සොයා බලාගෙන යයි.කිසියම් පුද්ගලයකු විසින් දෙනු ලැබූ කොන්ත්‍රාත්තුවක් මත මෙම ඝාතන සැලැස්ම ක්‍රියාත්මක කර බවට සැක කෙරෙන බව පොලිසිය කියයි. මේ හා සම්බන්ධයෙන් තවදුරටත් තොරතුරු අනාවරණය කරගැනිමට පොලිසිය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.  

 

වෙඩික්කරුවන් පැමිණි බව කියන සුදු පැහැති මෝටර් රථය කෝවින්න ප්‍රදේශයේ අතහැර දමා, එයට ගිනි තබා තිබියදී පොලිසියට එදිනම රාත්‍රියේ හමු වී ඇත. මෙම රථයට සවිකර ඇත්තේ ව්‍යාජ අංක තහඩු බවට පොලිස් පරීක්ෂණවලදී හෙළි වී ඇත. සාක්ෂි වසන් කිරීමේ අරමුණින්, වෙඩි ප්‍රහාරය එල්ල කිරිමට පැමිණි අය මෙම මෝටර් රථයට ගිනි තබා ඇති බව පොලිසිය කියයි.


වෙඩි වැදී මියගොස් ඇත්තේ, සිදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ පදිංචිව සිටි, පනස් හතර හැවිරිදි, එන්.ටී. ප්‍රසන්න නමැති ව්‍යාපාරිකයකු බව පොලිසිය සඳහන් කරයි.මොහු වෙනත් ව්‍යාපාර ද කරගෙන යන අතරවාරයේ රුපියල් ලක්ෂ ගණනින් මුදල් පොලියට දීම ද සිදු කරගෙන ගොස් ඇති බවට තොරතුරු හෙළි වී ඇතැයි පොලිසිය පවසයි. ඝාතකයන්ගේ තොරතුරු ඉලක්කය කරගැනීමට වන්නට ඇත්තේ ප්‍රසන්න මහතා විය හැකි බවට පොලිසිය සැක පළ කරයි.

 

 මුදල් පොලියට ලබා දීමේ සිද්ධියක් මෙම ඝාතනයට හේතු වූයේ දැයි යන්න ගැන ද පොලිසිය සොයා බලාගෙන යයි.වෙඩි වැදී මියගිය ප්‍රසන්න මහතා, ඔහුගේ පියා වන අවුරුදු 74ක් වයස නොයෙල් ප්‍රනාන්දු මහතා සහ ප්‍රසන්න මහතාගේ සහෝදරයකු වන අවුරුදු 45ක් වයස වසන්ත ප්‍රනාන්දු මහතා සමග ගෙවත්තේ ගරාජය අසල  කතාබහ  කරමින් සිටියදී මෙම වෙඩි ප්‍රහාරය එල්ල වී ඇති බව පොලිසිය කියයි.


වෙඩි වැදී බිම ඇදවැටුණු තිදෙනාම මීගමුව රෝහලට රැගෙන ගොස් ඇති අතර, වෛද්‍යවරුන් පරික්ෂා කර බලා ප්‍රසන්න මහතා මියගොස් ඇති බව දැනුම් දී ඇත. බරපතළ තුවාල ලබා මීගමුව රෝහලේ ප්‍රතිකාර ලමින් පසු වන 74 හැවිරිදි නොයෙල් ප්‍රනාන්දු මගී ප්‍රවාහන බස් රථ කිහිපයකම අයිතිකරුවකු වන අතර, එම මගී ප්‍රවාහන බස් රථ සේවා කටයුතු මේ වන විට මෙහෙය වන්නේ වසන්ත ප්‍රනාන්දු මහතා යැයි පැවැසේ.බස් රථ කිහිපයකම හිමිකරුවකු නිසා මෙම අය පදිංචි නිවෙස හඳුන්වනු ලබන්නේ 'බස් ගෙදර' යැයි කියාය.


මුදල් පොලියට ලබා දීමේ සිද්ධියක් මුල් කරගෙන ප්‍රසන්න මහතා ඉලක්ක කරගනිමින් එම වෙඩි ප්‍රහාරය එල්ල කරන්නට ඇතැයි සැක කරන නමුත්, වෙනත් සිද්ධියක් මෙයට බලපෑවේ ද යන්න ගැන ද සීදුව පොලිසිය සොයා බලාගෙන යයි.මෙම වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට පැමිණි සුදු පැහැති මෝටර් රථයේ සිවු දෙනකු සිට ඇති බවට ද තොරතුරු හෙළි වී ඇතැයි පොලිසිය පැවැසීය.

ඝාතකයන් ගැන තවම කිසිදු තොරතුරක් පොලිසියට ලැබී නොමැත.අවට පිහිටි නිවාස සහ වෙළෙඳසල්වල සවිකර ඇති සී.සී.ටී.වී. කැමරාවල රූප රාමු පරික්ෂා කර, ඝාතකයන් දෙදෙනා සහ ඒ සඳහා උදව්වට පැමිණි අනෙක් දෙදෙනා හඳුනා ගැනීමට වෙනම පොලිස් කණ්ඩායම් පත් කර ඇත.ඝාතකයන් හෝඩුවාවක් ලබා ගැනීමට පොලිස් බුද්ධි අංශ නිලධාරීන් ද යොදවා ඇත. 


වෙඩි වැදීම නිසා බරපතළ තත්වයේ පසු වන බැවින් පියාගෙන් සහ පුතාගෙන් සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කර, තවමත් ප්‍රකාශ ලබා ගැනීමට පොලිසියට නොහැකි වී ඇත.  පලා  ගිය ඝාතකයන් අත්අඩංගුවට ගැනීම සඳහා මීගමුව කොට්ඨාසය යටතේ පාලනය වන පොලිස් ස්ථානවල ස්ථානාධිපතිවරුන් ඇතුළු විශේෂ පොලිස් කණ්ඩායම් යොදවා මෙහෙයුමක් ද ක්‍රියාත්මක කර ඇත.


යෝෂිත සි.අයි.ඩි යට කැඳවයි

 

 

 මනෝප්‍රිය ගුණසේකර


අයථා ලෙස වත්කම් උපයා ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රකාශ ලබා ගැනීම සඳහා හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා රහස් පොලිසියට කැඳවා ඇත.යෝෂිත රාජපක්ෂ මහතාට ලබන 3 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී ඇතැයි එම දෙපාර්තමේන්තු ප්‍රකාශකයෙක් සදහන් කළේය. 


අයථා ලෙස වත්කම් උපයා ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි, මේජර් නෙවිල් වන්නිආරච්චි මහතාගෙන් ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීට පෙර ප්‍රකාශ ලබා ගෙන තිබිණි.පසුගිය රාජ්‍ය පාලන සමයේ අයථා ලෙස මුදල් හා දේපළ උපයා ගත් බවට ලැබුණු පැමිණිලි සම්බන්ධයෙන් ආරම්භ කළ විමර්ශනවලට අනුව ප්‍රකාශ ලබා ගැනීම සදහා ඔවුන් රහස් පොලිසීයට මෙලෙස කැඳවනු ලැබ ඇත.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධාන ආරක්ෂක නිලධාරි, මේජර් නෙවිල් වන්නිආරච්චි මහතාගෙන් ප්‍රකාශ සටහන් කරගැනීම සඳහා මීට පෙර අවස්ථා දෙකකදී ඔහුට රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දුන්නත්, විවිධ හේතු නිසා ඔහු එහි පෙනී නොසිටි අතර, පසුගිය 27 වැනිදා ඔහු රහස් පොලිසිය හමුවේ පෙනී සිට සිද්ධියට අදාළව ප්‍රකාශ දී ඇතැයි එම ප්‍රකාශකයා සදහන් කළේය.


පසුගිය 27 වැනිදා උදේ 9.30ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි මේජර් නෙවිල් වන්නිආරච්චි මහතා ප්‍රකාශ දී පස්වරු 1.30ට පමණ රහස් පොලිසියෙන් පිටව ගිය බව ආරංචි මාර්ග සදහන් කරයි.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා අයථා ලෙස වත්කම් උපයා ගන්නා ලදැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රහස් පොලිසිය ආරම්භ කර ඇති විමර්ශනයකට අදාළව ප්‍රකාශයක් ලබා ගැනීම සඳහා යෝෂිත රාජපක්ෂ මහතා ලබන 3 වැනිදා රහස් පොලිසියට කැඳවනු ලැබ ඇත.එදින පෙරවරුවේ රහස් පොලිසිය හමුවේ පෙනී සිටින ලෙස යෝෂිත රාජපක්ෂ මහතාට දැනුම් දී ඇතැයි ද වාර්තා වේ.


Thursday, December 26, 2024

සිරියානු නායකලේ බිරිය දික්කසාදය ඉල්ලයි

 


මේ මාසය මුලදී අරගලකරුවන් නෙරපන ලද සිරියානු නායකයා වන බෂාර් අල් - අසාද්ගේ බිරිය බ්‍රිතාන්‍ය - සිරියානු සම්භවයක් ඇත්තියකි. අස්මා අල් - අසාද් නමැති ඇය දික්කසාදය සඳහා ඉල්ලුම් කර තිබේ.සිරියාවෙන් නෙරපීමෙන් පසු දෙදෙනා ජීවත් වූයේ රුසියාවේ මොස්කව් නුවරය. අස්මාගේ දික්කසාද වීමට හේතුව ලෙසින් දක්වන්නේ එකිනෙකා පිළිබඳව ඇති අතෘප්තිමත්භාවයයි.


බෂාර් විසි වසරක් රට පාලනය කළේය.අස්මා සිය මවුරට වූ බ්‍රිතාන්‍යයට යෑමට බලාපොරොත්තු වන්නීය. ඇය ඉපදී තිබෙන්නේ ලන්ඩන් නුවර වන අතර හදා වඩාගෙන ඇත්තේ සිරියානු මවුපියන් යුවළකි.වසර 2000දී සිරියාවට ගිය ඇය වයස විසිපහේදී තමන්ට වඩා දස වසරක් වැඩිමල් බෂාර් සමඟ විවාහ වූවාය. බෂාර්ට රුසියාවේ ජීවත් වීමට අවසර ලැබුණද මොස්කව් හැර යෑම සහ දේශපාලන කටයුතුවල නිරත වීම සපුරා තහනම්ය.


උපතීන් පැහැගැන්වීමේ රෝගයකින් පෙළෙන බිලිඳු දරුවකු අනුරාධපුර රෝහලෙන් හඳුනාගෙන

 


 නිමල් අල්ගෙවත්ත


උපදින දරුවන් මුළුමනින්ම නිල් පැහැගැන්වීමේ නවතම රෝගයකින් පෙළෙන බිලිඳු දරුවකු ලංකාවේ ප්‍රථම වතාවට අනුරාධපුර රෝහලෙන් හඳුනාගෙන ඇති බව අනුරාධපුර රෝහලේ නව ජන්ම ඒකකයේ විශේෂඥ වෛද්‍ය එම්. ආර්. එස්. යූ. සී.රණවක මහතා පැවැසීය. මෙම රෝගය ලංකාවේ ප්‍රථම වතාවට හඳුනාගෙන ඇති බව ඔහු කීය. එම රෝගය කන්ජෙන්ටල් මෙතෙමොග්ලො බිනේමියා (Congenital Methemoglog) යනුවෙන් හඳුනාගෙන ඇති බවද හෙතෙම වැඩි දුරටත් පැවැසීය.


මෙය සංකීර්ණ ජානමය රෝගයක් ලෙස සරලව හඳුන්වා දිය හැකි බව ද හෙතෙම ප්‍රකාශ කළේය.මෙය ජානගත රෝගයක් බවත් දරුවා මෙයට මාස 08කට පෙර ඉපදුණු දරුවෙක් බවත් තිබිය යුතු රුධිර සංඝටක සියයට 3 සිට 24 දක්වා තත්ත්වයක් තිබුණු නිසා අප මෙය පරීක්ෂා කළ බවත් එහිදී මෙම රෝගය හඳුනාගත් බවද ඔහු කීය.මේ අනුව ජානමය පරීක්ෂණ සිදු කිරීමෙන් පසුව මෙම රෝගය හඳුනාගත් බවද ඔහු කීය.


දරුවාගේ රුධිර පද්ධතියට නියමිත ආකාරයට ඔක්සිජන් එක් නොවීම නිසා මෙම රෝගය හටගන්නා අතර එය අවශ්‍ය පරිදි බිලිඳු දරුවාට ඔක්සිජන් නියමිත ආකාරයට දින තුනක් පුරාවට ලබාදීම මඟින් ප්‍රතිකාර කරන්නට කටයුතු කළ බවත් මේ වන විට මෙම බිලිඳු දරුවා සුවසේ පසුවන බවද වෛද්‍යවරයා කීය. මෙම රෝගය ලංකාවේ ප්‍රථම වතාවට හඳුනාගෙන ඇති බවත් පවසන වෛද්‍යවරයා ශරීරය මුළුමනින්ම නිල් පැහැගැන්වීම, හුස්ම ගැනීමේ අපහසුතාව, මස්පිඬු නියමිත ආකාරයට වර්ධනය නොවීම හා වේදනාව, ආබාධ බව හඳුනාගෙන තිබෙන බවද අනුරාධපුර රෝහලේ විශේෂඥ වෛද්‍ය එම්.ආර්.එස්. යූ. සී රණවක මහතා පැවැසීය.


ගිය පැය 24 තුළ බිමත් රියැදුරන් 251 දැලේ

 


නිමල් අල්ගෙවත්ත


උත්සව සමයේ මාර්ග නීතිර්ති අනුගමනය කරමින් විනීතව රිය ධාවනය කර මහජනතාවගේ ජීවිත සුරක්ෂිත කරන්නට සහයෝගය දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ බුද්ධික මනතුංග මහතා රියැදුරන්ගෙන් ඉල්ලා සිටියි. පසුගිය පැය විසිහතර තුළ බීමතින් රිය ධාවනය කළ රියැදුරන් 251 දෙනෙක් අත්අඩංගුවට ගත් බවද හෙතෙම කියා සිටියේය.


අනතුරුදායක ලෙස රිය ධාවනය කළ රියැදුරන් 81ක්ද, අධික වේගයෙන් රිය ධාවනය කළ රියැදුරන් 128 දෙනකුද, මාර්ග නීතිර්ති උල්ලංඝනය කළ රියැදුරන් 1,368 දෙනකුද, රියැදුරු බලපත්‍ර වැරැදි සම්බන්ධව අත්අඩංගුවට ගත් පිරිස 615ක් වන බවත් ඔහු කීය.මෙයට අමතරව වෙනත් රථ වාහන වැරැදි සම්බන්ධයෙන් රියැදුරන් 6,304 දෙනකුද අත්අඩංගුවට ගෙන ඇති බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ බුද්ධික මනතුංග මහතා සඳහන් කළේය.මේ අනුව උත්සව සමයේ මාර්ග නීතිර්ති උල්ලංඝනය කරමින් රිය ධාවනය කළ රියැදුරන් 8,747 දෙනකුට එරෙහිව නීතිමය පියවර ගන්නට කටයුතු කළ බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ බුද්ධික මනතුංග මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.


කුරුළු රෑනක් ගුවන් යානයක් බිම හෙළයි

 




අසර්බයිජානයේ සිට දකුණු රුසියාව බලා පියාසර කරමින් තිබූ ගුවන් යානයක් ඊයේ උදේ කසකස්තානයේ අක්ටව් (Aktau) නගරය ආසන්නයේ දී අනතුරට පත්වීමෙන් එහි ගමන් ගත් පිරිසෙන් 39ක් මියගොස් ඇත. යානය අනතුරට පත්ව ඇත්තේ අක්ටව් ගුවන්තොටුපළ කරා හදිසි ගොඩබෑමකට සැරසෙද්දීය.


මෙම ගුවන් යානය අනතුරට පත්වීමට හේතු වී ඇත්තේ එම යානය කුරුල්ලන් සමූහයක්සමඟ ගැටීම බව කසකස්තානය හදිසි අවස්ථා අමාත්‍යාංශය පවසයි. මෙම කුරුලු රෑන ගැටීමෙන් යානයේ එන්ජිමට හානියක් සිදුවන්නට ඇති බව මූලික වාර්තාවන්හි දැක්වෙයි. කුරුල්ලන් ගැටීමෙන් පසුව නැවත යානයේ පාලනය පවත්වා ගැනීමට කපිතාන්වරයා දැරූ උත්සාහය ව්‍යවර්ථ වීමෙන් පසු ඔහු හදිසි ගොඩබෑමට අවසර ඉල්ලා ඇත.


අනතුරට පත්වන අවස්ථාවේ යානයේ පස්දෙනකුගෙන් යුත් කාර්ය මණ්ඩලය සමඟ 67 දෙනකු සිට ඇති අතර ඉන් 28 දෙනකු දිවි ගලවා ගැනීමට වාසනාව ලබා තිබේ. දිවි බේරාගත් අය අතර 11 හැවිරිදි ගැහැනු ළමයකුද වෙයි. ඉන් පස්දෙනකු බරපතළ තුවාල ලබා ඇත.මෙසේ අනතුරට පත්ව ඇත්තේ අසර්බයිජාන් ගුවන් සේවයට අයත් J2-8243 දරන යානයයි. මෙම ගුවන් යානය අසර්බයිජානයේ අගනුවර වන බකු සිට දකුණු රුසියාවේ චෙච්නියාහි ග්‍රොස්නි නගරයට ගමන් කරමින් සිටියදී ගමනාන්තයට කි.මී. 3ක් තිබියදී හදිසි ගොඩබෑමකට මුහුණ දී තිබේ. එහෙත් මෙම හදිසි ගොඩබෑමේදී යානය ගිනිගෙන ඇති බව කසකස්තාන හදිසි අවස්ථා අමාත්‍යාංශය පවසයි.


ටී-56 ගිනි අවියත් සමඟ අතුරුදන් වු ටි නාවික සෙබළා අත්අඩංගුවට

 


ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සිට කොළඹ බලා භාණ්ඩ ප්‍රවාහනය කරමින් තිබුණු ලොරි රථයකට ආරක්ෂාව සපයමින් සිටියදී වරකාපොළදී ටී-56 ගිනි අවිය හා උණ්ඩ 30 සමඟ අතුරුදන්ව සිටි නාවික හමුදා සෙබළා ඊයේ (25දා) නාවික හමුදා විනය ආරක්ෂක නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන නාරම්මල පොලිසියට භාරදී තිබේ.


මෙලෙස නාරම්මල පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත්තේ ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සේවය කරන නාවික සෙබළ එම්.ආර්.බී. කුමාර (63480) නමැති 39 හැවිරිදි සෙබළෙකි. ත්‍රිකුණාමලය නාවික හමුදා කඳවුරේ සිට පෙරේදා (24දා) නාවික හමුදාවට අයත් ලොරි රථයකින් භාණ්ඩ තොගයක් කොළඹ බලා ප්‍රවාහනය කර ඇති අතර ලොරි රථයේ රියැදුරුවරයා ලෙස නාවික සෙබළ රියැදුරු ටී.ඒ.ජයවර්ධන (62708) නිලධාරියා සේවය කර තිබේ. මෙම ලොරි රථයේ ආරක්ෂාවට නාවික හමුදා සෙබළ එම්.ආර්.බී. කුමාර (63480) නිලධාරියා ටී-56 ගිනි අවිය හා ඊට යොදන උණ්ඩ 30ක් සමඟ කොළඹ බලා පැමිණෙමින් සිට තිබේ.


කුරුණෑගල, අලව්ව නගරය පසු කර වරකාපොළ පොලිස් වසමට ඇතුළුවී කොළඹ දෙසට ලොරි රථය ධාවනය කරමින් සිටිය වාරියගොඩ ප්‍රදේශයේදී සවස 6.45ට පමණ ආරක්ෂාවට සිට ඇති සෙබළා තම සහෝදරයාගේ නිවසින් කෑම එකක් ගැනීමට අවශ්‍ය බව රියැදුරුවරයාට දන්වා තිබේ. පසුව රියැදුරුවරයා ලොරි රථය වාරියගොඩ ප්‍රදේශයේ මාර්ගය ආසන්නයේ නතර කර තිබේ. ආරක්ෂාවට සිටි නාවික සෙබළා පසුව ටී-56 ගිනි අවිය හා උණ්ඩ 30 රැගෙන ලොරි රථයෙන් බැස ගොස් ඇති අතර ආපසු ආරක්ෂක සෙබළා නොපැමිණීම හේතුවෙන් සිද්ධිය සම්බන්ධයෙන් ආසන්නයේ පිහිටි අලව්ව පොලිසියට ගොස් තිබේ. පසුව අලව්ව පොලිසිය කියා ඇත්තේ සිදුවීම සිදුව ඇති ස්ථානය වරකාපොළ පොලිස් ස්ථානයට අයත් බවත්ය. පසුව නාවික සෙබළ රියැදුරුවරයා වරකාපොළ පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ගොස් තිබේ. නාවික සෙබළ රියැදුරුවරයා වරකාපොළ පොලිසියට ගොස් තමන් සමඟ කොළඹ බලා ධාවනය කරමින් සිටි ලොරි රථයේ ආරක්ෂාවට පැමිණි නාවික සෙබළා අතුරුදන්ව ඇතැයි පවසා පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබිණි.


පසුව නාවික හමුදාව විසින් සිදු කරන ලද විමර්ශනයකට අනුව සැකකාර නාවික සෙබළා ඔහු පදිංචිව සිටින නාරම්මල පොලිස් වසමේ දීකිරිකෑව පනාපිටිය නිවසේ සිටියදී ඊයේ (25දා) අලුයම නාවික හමුදා විනය ආරක්ෂක නිලධාරි කණ්ඩායමක් විසින් අල්ලාගෙන ටී-56 ගිනි අවිය සහ උණ්ඩ 30 සමඟ නාරම්මල පොලිසියට භාරදී තිබේ.අත්අඩංගුවට ගත් සෙබළා ගිනි අවිය හා උණ්ඩ 30 රැගෙන ගියේ මන්දැයි මේ වන විට නාවික හමුදාව හා පොලිසිය විමර්ශනයක් සිදු කරයි.


චමින්ද ජයලත්


බසයට ඉස්සර කළැයි කඩුවෙලදි මහනුවර ඉසයේ රියදුරුට පහරදිලා

 


 සුගත් ලියනගේ


පානදුර සිට මහනුවර බලා ධාවනය වූ මාර්ග අංක 17 පෞද්ගලික බස් රථයක රියැදුරකුට ඊයේ අලුයම තවත් බස් රථයක කොන්දොස්තරවරයකු පහර දීම නිසා මුල්ලේරියාව රෝහලට ඇතුළත් කර තිබේ. මෙම පහරකෑමට ලක්වූ බස් රථයේ රියැදුරා එම මාර්ගයේම ගමන් කරන අංක 17 දරන මීට කලින් පිටත් වූ බස් රථය ඉස්සරකොට පැමිණියේ යැයි උරණ වූ අනිත් බස් රථයේ රියැදුරා කඩුවෙල නගරයේදී බස් රථය හරස් කර ඇති අතර කොන්දොස්තරවරයා රියැදුරුට පහරදී තිබේ. එසේ පහර දීමෙන් අනතුරුව ඔවුන් තමන්ගේ බස් රථය රැගෙන ගොස් ඇත.


පහර දීමෙන් බරපතළ තුවාල ලබා සිටි රියැදුරු එහි ගමන්ගත් මගීන් විසින් 1990 ගිලන් රථයක් ගෙන්වාගෙන රෝහල්ගතකර තිබේ. මෙම ගැටුම නිසා යනඑන මං නැති වූ මගී ජනතාව පැය තුනක් පමණ කඩුවෙල මංසන්ධියේ වෙනත් බස් එනතුරු රැඳී සිට ඇත්තේ බලවත් අපහසුතාවයෙනි.කඩුවෙල පොලිසිය පහරදීමේ සැකකාර කොන්දොස්තරවරයා අත්අඩංගුවට ගැනීමට මෙහෙයුමක් අරඹා තිබේ. සිද්ධිය ඇසින් දුටු අය පවසන්නේ රියැදුරුට අතින් පයින් මෙන්ම කේබල් වයරයකින්ද පහර දුන් බවය.


අධ්‍යාපන මොඩියුල චකලේඛයක් රිවස් කරගනි

 


අමිත් මධුරංග ගමගේ


ගුරුවරුන්ට මොඩියුල විස්සක් අනිවාර්ය කරමින් අධ්‍යාපන අමාත්‍යාංශයේ අධ්‍යාපන අධ්‍යක්ෂවරිය (ගුරු අධ්‍යාපන පරිපාලන) නිකුත් කළ ලිපිය එම අමාත්‍යාංශයේ ලේකම් නාලක කළුවැව මහතා ඊයේ (25දා) අවලංගු කර තිබේ.ගුරු සේවා ව්‍යවස්ථාවට අනුව ගුරුවරුන්ගේ කාර්යක්ෂමතා කඩඉම් සම්බන්ධයෙන් විස්තරාත්මක උපදෙස් මාලාවක් නුදුරේදී නිකුත් කරන බව අමාත්‍යාංශයේ ලේකම්වරයා සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරු, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු, කලාප අධ්‍යක්ෂවරු සහ ගුරු මධ්‍යස්ථාන කළමනාකරුවන්ට ලිඛිතව දැනුම් දී ඇත.


ගුරු සේවා ව්‍යවස්ථානුකූලව ගුරු කාර්යක්ෂමතා කඩඉම් සඳහා ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථාන මඟින් ක්‍රියාත්මක පවත්වනු ලබන මොඩියුල වැඩසටහන පිළිබඳව අධ්‍යාපන අධ්‍යක්ෂ (ගුරු අධ්‍යාපන පරිපාලන) ඩබ්ලිව්.එස්.පී.එම්. දිසානායකගේ අස්සනින් යුතුව පසුගිය 17 වැනිදා ලිපියක් මඟින් දැනුම්දී තිබිණි.


සියලුම පළාත් අධ්‍යාපන ලේකම්වරු, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරු, කලාප අධ්‍යක්ෂවරු සහ ගුරු මධ්‍යස්ථාන කළමනාකරුවන් ආමන්ත්‍රණය කරමින් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය දැනුම්දී තිබුණේ ගුරුවරුන්ගේ කාර්යක්ෂමතා කඩඉම් සඳහා (EB 1, EB 2, EB 3ට අදාළව) මොඩියුලර් 20ක් හැදෑරිය යුතු බවත් ඒ සඳහා අදාළ ගුරුවරුන් ඔවුන් අයත් කලාපයේ ගුරු වෘත්තීය මධ්‍යස්ථානයේ ලියාපදිංචි විය යුතු බවත්ය. අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ගේ ප්‍රධානත්වයෙන් පළාත් අධ්‍යාපන ලේකම්වරුන්ගේ, පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරුන්ගේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ අතිරේක ලේකම්ගේ (ආයතන) නායකත්වයෙන් පසුගිය 13 වැනිදා සූම් තාක්ෂණය ඔස්සේ පැවැත්වූ සාකච්ඡාවකදී මේ පිළිබඳව සාකච්ඡා කළ බවත් එහි දක්වා තිබේ.


දැනට ක්‍රියාත්මක මොඩියුලර් වැඩසටහනට සහභාගි නොවූ ගුරුවරුන් තවදුරටත් පළාත්වල සිටින බවත්, 2025.06.30 දින දක්වා කාර්යක්ෂමතා කඩඉම් විභාගය හැදෑමට සිටින ගුරුවරුන් හඳුනාගෙන කඩිනමින් ගුරු වෘත්තීය මධ්‍යස්ථානවලට යොමුකරන ලෙසත් අධ්‍යක්ෂවරිය සඳහන් කර තිබිණි.ගුරු කාර්යක්ෂමතා කඩඉම් සම්බන්ධයෙන් නිසි කලට ගුරු වෘත්තීය සංවර්ධන මධ්‍යස්ථානවල ලියාපදිංචි වීම අදාළ ගුරුවරුන්ගේ වගකීමක් බව එමඟින් අවධාරණය කර තිබූ දිසානායක මහත්මිය ලියාපදිංචි නොවීමෙන් ඇති වන ගැටලුකාරී තත්ත්ව මඟහරවා ගැනීමට ගුරුවරුන්ගේ සක්‍රිය සහභාගිත්වය වැදගත්කොට සලකන ලෙසත් මෙම කාර්යයට ප්‍රමුඛත්වය ලබාදෙන ලෙසත් එහි දක්වා ඇත. 


ගුරුවරුන්ට උසස්වීම් ලබාදීමේදී ඉගෙනු - ඉගැන්වීම් ක්‍රමවේද, තොරතුරු තාක්ෂණය, පාසල් කළමනාකරණය, පාඩම් සැලසුම් සකස් කිරීම, අධ්‍යාපන ක්‍රම ශිල්ප, ඉංග්‍රීසි භාෂාව ආදී වශයෙන් මාතෘකා කිහිපයක් යටතේ පැවරුම් සිදුකර විභාගයන්ට පෙනී සිටීමට සිදුවන අතර මොඩියුලර් යනුවෙන් එය හඳුන්වනු ලබයි. 

මේ සම්බන්ධව අදහස් දැක්වූ කම්කරු නියෝජ්‍ය අමාත්‍ය මහින්ද ජයසිංහ මහතා මෙසේ කීය.මොඩියුලර් කරන විට ගුරු මධ්‍යස්ථානවලින් ගුරුවරුන් මත විශාල පීඩනයක් මුදාහැරියා. දින දානවා. ඒවට එන්න කියනවා. ආවේ නැත්නම් නැවත කරන්නෑ කියනවා. ඇතැම් ගුරු මධ්‍යස්ථානවල මොඩියුලර් කරන්න මුදලුත් එකතු කළා. මේවා සියල්ල සැලකිල්ලට අපි අධ්‍යාපන අමාත්‍යාංශය අවුරුද්දක කාලයක් තිස්සේ දීර්ඝ ලෙස සාකච්ඡා කරලා මොඩියුලර් දහයකට අඩු කරන්නත්, ස්වයං අධ්‍යයනයක් යටතේ එය සිදුකරන්නත් එකඟතාවකට ආවා. එවිට ගුරුවරුන් ගුරු මධ්‍යස්ථානවලට යන්න ඕන නැහැ. කාගෙවත් බලකිරීම්වලට යටත් වෙන්නත් ඕන නෑ. එවිට විභාගයක් පවත්වා යම් ඇගයීමක් කළ හැකියි. ඒකට ගුරු සංගම් එකඟ වුණා. මෙම තීරණය තිබියදී අතිරේක ලේකම්වරියක් හදිස්සියේ ලේකම්ගෙන් විමසන්නැතිව ලියුමක් ගහලා තිබුණේ. ඇමැති දන්නෙත් නෑ. ලේකම් දන්නෙත් නෑ මේ ලියුම ගහපු විත්තිය. මෙම ලේකම්වරියගේ ලිපිය අනුව දෙකයි දෙක ශ්‍රේණියේ සිටින ගුරුවරුන් දෙකයි එකට උසස්වීමක් ලබා ගිය විට එම ශ්‍රේණියේ මොඩියුලර් සහ ඊට පෙර ශ්‍රේණියේ මොඩියුලර් කරන්න වෙනවා. ඒ නිසා අපි මේකට විරෝධය පළ කළා. එය අවලංගු කරන්න අධ්‍යාපන ලේකම්වරයා එකඟ වුණා. ඒ අනුව අතිරේක ලේකම්වරියගේ ලියුම අවලංගු කරලා තිබෙනවා. ඉදිරියේදී මොඩියුලර්වල් 10ට අදාළ ස්වයං අධ්‍යයනයක් අනුව පියවර ගැනීමට නියමිතයි.


සමන් දේවාලයටත් විගණනයක්

 


 


රත්නපුර මහා සමන් දේවාලයේ වියහියදම් සම්බන්ධයෙන් විගණනයක් කරන බවට ජාතික ජන බලවේගය රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ශාන්ත පත්මකුමාර මහතා තමන්ට පොරොන්දුවී යැයි රත්නපුර මහා සමන් දේවාලය සුරැකීමේ සංවිධානය පවසයි.

 

මහා සමන් දේවාලයේ වැඩකටයුතු ගැන එම සංවිධාන සාමාජිකයන් සමඟ කළ සාකච්ඡාවකදී මන්ත්‍රිවරයා මේ බව පවසා ඇත.දේවාලයට අභිනව බස්නායක නිලමේවරයකු පත් කර ගන්නා තෙක් ඉදිරි මාස තුනක කාලය සඳහා එම ධුරයේ වැඩ කටයුතු තාවකාලික භාරකාරත්වයක් යටතට පත් කරන ලෙස රත්නපුර මහා සමන් දේවාලය සුරැකීමේ සංවිධාන සාමාජිකයන් මන්ත්‍රිවරයා හමු වී ඉල්ලීමක් කර ඇත. 


ආණ්ඩු නියෝජනය කළ ඇතැම් දේශපාලකයන් කළ අනවශ්‍ය මැදිහත්වීම් හේතුවෙන් එම ධුරය සඳහා නුසුදුසු පුද්ගලයන් තේරී පත් වූ බවත් එවැනි තත්ත්වයක් ඉදිරියේදී අපේක්ෂා නොකරන බවත් සංවිධාන සාමාජිකයෝ මන්ත්‍රිවරයාට පවසා තිබේ.එහිදී රත්නපුර මහා සමන් දේවාලය සුරැකීමේ සංවිධානයේ සාමාජිකයන් අමතමින් මන්ත්‍රිවරයා සඳහන් කර ඇත්තේ තම රජය යටතේ ඉදිරියේදී එවැනි තත්ත්වයක් ඇති නොවන බවය.

වත්මන් බස්නායක නිලමේවරයාගේ නිල කාලය අවසන් වූ පසු මාස 3ක කාල සීමාවක් සඳහා වැඩ බැලීමට ස්වාධීන පුද්ගලයකු පත් කරන බව ද පසුගිය වියහියදම් සොයා බැලීම සඳහා අපක්ෂපාතී විගණනයක් කිරීමටද සැලසුම් කර ඇති බවද එහිදී ශාන්ත පත්මකුමාර මහතා පවසා ඇත. එයින් පසුව ඡන්දයකින් නව බස්නායක නිලමේවරයා පත් කර ගන්නා බවද මන්ත්‍රිවරයා වැඩිදුරටත් සඳහන් කර තිබේ.


අප්‍රේල් සිට දුම්රියෙන් යන්න පෙර ගෙවුම් කාඩ් පතක්

 


අනුර බාලසූරිය


දැනට භාවිත කරන දුම්රිය ප්‍රවේශපත්‍ර වෙනුවට පෙරගෙවුම් කාඩ්පතක් හඳුන්වාදීමට දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගන්නා බව දුම්රිය දෙපාර්තමේන්තුවේ ගමනාගමන නියෝජ්‍ය  සාමාන්‍යාධිකාරි එන්.ජේ. ඉදිපොලගේ මහතා  පැවැසීය.


නියමු ව්‍යාපෘතියක් හැටියට පසුගිය සැප්තැම්බර් සිට පෙරගෙවුම් ප්‍රවේශ පත්‍ර ක්‍රියාත්මක වන බවත් ලබන අප්‍රේල් සිට මුළුමනින්ම ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවත් ඔහු පැවැසීය.මගීන් 1,000ක් 1,500ක් පමණ සංඛ්‍යාවක් දැනට පෙරගෙවුම් ප්‍රවේශ පත්‍ර භාවිත කරන්නේ යැයිද චස්ගකන වෙබ් අඩවිය මඟින් ප්‍රවේශපත් ලබාගත හැකි යැයි ද ඔහු කීය. 


පෙරගෙවුම් ප්‍රවේශ පත්‍ර ප්‍රවර්ධනය හරහා දුම්රිය පොළවලදී වාර ප්‍රවේශපත් ලබාදීම ඉදිරි වසර හතර ඇතුළත අහෝසි කිමට අපේක්ෂා කරන බවද ඉදිපොලගේ මහතා පැවැසීය. ඉදිරියේදී මේ සඳහා ඇප් එකක් හඳුන්වා දීමට නියමිත යැයිද ඔහු වැඩිදුරටත් පැවැසීය.


Tuesday, December 24, 2024

පෙරළුණු හැටන් බස් රථය ධාවනයට නුසුදුසුයි

 

 


මිනිස් ජීවිත තුනක් බිලිගෙන තවත් විශාල පිරිසක් බරපතළ තුවාල ලැබූ හැටන් ප්‍රදේශයේ හෙළකට පෙරැළී අනතුරට පත් බස් රථය ධාවනයට නුසුදුසු තත්ත්වයේ පවතින බැවින් එම බස් රථයේ හිමිකරුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නීතිමය පියවර ගන්නා බව හැටන් පොලිසිය පවසයි.මේ අතර අනතුරට පත් පෞද්ගලික බස් රථය නුවරඑළිය දිස්ත්‍රික් ප්‍රධාන මෝටර් රථ පරීක්ෂක දමින්ද සේනානායක මහතා විසින් 23දා පක්ෂාවට ලක් කෙරිණි.


හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන්ගේ ඉල්ලීමක් මත පොලිස් භාරයේ ඇති අනතුරට පත් බස් රථය ප්‍රධාන මෝටර් රථ පරීක්ෂකවරයාගේ පරීක්ෂාවට ලක් කෙරිණි.මෙම පරික්ෂාවේදී ධාවනය වෙමින් තිබූ බස් රථයේ රියැදුරු දොරටුව විවෘත වී ඇත්තේ කාලයක් තිස්සේ එම දොරේ අගුල ක්‍රියා විරහිතව තිබීම නිසා බවත් එම දොර තාවකාලිකව වසා දැමීමට ක්‍රමවේදයක් අනුගමනය කර ඇති බවට මෝටර් රථ පරීක්ෂකවරයා තහවුරු කරගෙන ඇත.


තවද රියැදුරුගේ ආරක්ෂිත බඳ පටිය නොමැති බවත් බස් රථය තුළ අනතුරු සිදුවිය හැකි සුදුයකඩ උපාංග රැසක් සවිකර තිබීම නිසා මගීන් තිදෙනකු මියගොස් මගීන් විශාල පිරිසකට බරපතළ තුවාල සිදු වීමට හේතුව වී ඇති බවද මෝටර් රථ පරීක්ෂකවරයා පොලිසිය වෙත පැවැසීය.


බස් රථයේ ආසන ප්‍රමිතියකට සවිකර නොතිබීම නිසා ආසන සියල්ල ගැලවී ගොස් එකිනෙක ගැටීම නිසා මගීන්ට සිදු වූ තුවාල බරපතළ වීමට හේතුව වී ඇති බවද මෝටර් රථ පරීක්ෂකවරයා පැවැසීය. මගී ප්‍රවාහන වාහනවල අමතර උපාංග කිසිවක් සවි කිරීමට ඉඩ ලබානොදෙන ලෙසත්, එසේ සවිකර ඇති උපාංග ගලවා ඉවත් කිරීමට කටයුතු කරන ලෙසත් ප්‍රධාන මෝටර් රථ පක්ෂකවරයා රථ වාහන පොලිසියේ නිලධාරීන්ට පැවැසීය.ධාවනයට නුසුදුසු තත්ත්වයේ තිබූ බස් රථයක් ධාවනයට එක් කිරීම සම්බන්ධයෙන් බස් රථයේ හිමිකරුට එරෙහිව හැටන් මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගැනීමට කටයුතු කරන බවද හැටන් පොලිසිය පැවැසීය.


කුඩු සළිඳු - පොඩි ලැසී රටින් පැන්නාද ?

 

 


පසුගියදා අධිකරණයෙන් ඇප මත නිදහස් වුණු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කාර අපරාධකරුවන් ලෙස හඳුනා ගැනුණු අරුමාහන්දි ජනිත් මධුසංඛ හෙවත් "පොඩි ලැසී" සහ සළිදු මල්ෂික ගුණරත්න නොහොත් "කුඩු සළිඳු” ඇප මත නිදහස් වී ගිය දින සිට කිසිදු තොරතුරක් වාර්තා නොවන බව බුද්ධි අංශවලට සම්බන්ධ ආරංචිමාර්ග හෙළි කරයි.


ඇප කොන්දේසි සම්පූර්ණ නොකිරීම හේතුවෙන් දීර්ඝ කාලයක් රක්ෂිත බන්ධනාගාරයේ රැඳී සිටි "පොඩි ලැසී" බලපිටිය අධිකරණයෙන් ඇප මත නිදහස් වන්නේ පසුගිය සතියේ සඳුදා (09දා) ය. මෙතෙක් කල් ඇප කොන්දේසි සම්පූර්ණ නොකර බන්ධනාගාරයේ සිට එක්වරම ඇප කොන්දේසි සපුරා නිදහස් වන පොඩි ලැසී රට තුළ සිටින්නේද නැද්ද යන්න පිළිබඳව සැකයක් මතුව ඇති බව මෙම ආරංචිමාර්ග සඳහන් කරයි. සළිඳු මල්ෂික ගුණරත්න නොහොත් “කුඩු සළිඳු” පානදුර අධිකරණයෙන් ඇප ලබා ගත්තේ පසුගිය සිකුරාදා (20දා) ය. සැකකරු 2023 මාර්තු මස 15 දින මැඩගස්කරයේදී අත්අඩංගුවට ගෙන දිවයිනට රැගෙනවිත් අංක 96863 සහ 85145/22 දරන නඩුවලට අදාළව රිමාන්ඩ් බන්ධනාගාරගතකර සිට පානදුර මහාධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මෙසේ ඇප මත නිදහස් කර තිබිණි. ඔහු ත්‍රස්තවාදී ක්‍රියා සිදුකිරීම සහ මනුෂ්‍ය ඝාතනයක් සිදු කර ඇති බවට චෝදනා ලැබූවෙකි.


ඇප ලැබූ කුඩු සළිඳු අඳුරු කරන ලද වාහනයකින් සිය ගෝලයන් පිරිසක් සහ නීතිඥවරුන්ද සමඟ අධිකරණ භූමියෙන් පිටත් වී මීගමුව ප්‍රදේශයට පැමිණ ඇති බවට තොරතුරු ඇතැයිද ඔහුත් රට තුළ සිටිනවාද නැද්ද යන්න සම්බන්ධව නිශ්චිත තොරතුරක් වාර්තා නොවන බවද දැනගන්නට ඇත.ඔහුට සෑම ඉරිදාවකම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී සිටින ලෙස නියෝග කර තිබුණද ඔහුට එසේ පෙනී සිටීමට තිබූ පළමු දිනයේම එනම් පසුගිය 22 වැනිදා ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්මේන්තුව ඉදිරියේ පෙනී නොසිටීම හේතුවෙන් ඊයේ (23දා) පානදුර අතිරේක මහෙස්ත්‍රාත්වරයා ඔහුට යළි වරෙන්තු නිකුත් කළේය.

 

කළුතර තොග වෙළෙඳසලකට පැන සහල් කිලෝ 1000ක් සොරගත් සොර කල්ලියක දෙදෙනක් දැලේ

  සුමිත් රණවක


සහල් මිල ඉහළ ගිය කාලසීමාවේ කළුතර තොග වෙළෙඳසලක් කඩා සහල් සොරකම් කළ කල්ලියක දෙදෙනකු සහල් කිලෝ 1000ක් සමඟ අත්අඩංගුවට ගෙන ප්‍රවාහනයට යොදාගත් ත්‍රිරෝද රථයද භාරයට ගත් බව කළුතර දකුණ මූලස්ථාන පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කළුතර, නාගොඩ, ගල්අස්නෙන ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් බව පොලිසිය සඳහන් කළේය.


කළුතර, සෙන්ට්‍රල් හන්දිය ප්‍රදේශයේ තොග වෙළෙඳසලකින් සතියක සිට සහල් සොරකම් කීරීම සිදුවන බවට ලද පැමිණිල්ලක් මත අවට සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කිරීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.සොරකම සඳහා සිවු දෙනෙකු සම්බන්ධ බවටත් වෙළෙඳසලේ කාලයක පටන් සේවය කළ සේවකයකු සම්බන්ධ වී ඇති බවත් පොලිසිය මඟහැර සිටින සැකකරුවන් දෙදෙනා සොයා විමර්ශන සිදුකරන බවත් පොලිසිය පැවැසීය.


සැකකරුවන් වෙළෙඳසලේ යතුරට ගැළපෙන යතුරක් සකස් කර සොරකම සිදු කර ඇති බවද පොලිසිය කියයි.සැකකරුවන් කළුතර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිර්පත් කිරීමට නියමිතව තිබිණි.


පරුස්සැල්ල වී ඔයෙ නාන්න ගිය තරුණයා දියේ ගිලී ගිලි මරුට

 



අසේල වික්‍රමනායක 


යටියන්තොට පොලිස් බල ප්‍රදේශයට අයත් පරුස්සැල්ල වී ඔයෙන් දිය නෑමට ගිය තරුණයකු පසුගියදා (22දා) දියේ ගිලී මරණයට පත්ව ඇතැයි යටියන්තොට පොලිසිය පවසයි.මෙම අනතුරින් මරණයට පත්වූයේ තලවකැලේ, ශාන්ත කුම්බස්වත්ත පදිංචිව සිටි ලෝගනාදන් සදේෂ් රාජා අවු: 26 යන තරුණයෙකි.


අසාධ්‍ය තත්ත්වයේ රෝහලක ප්‍රතිකාර ලබන තම පියා බැලීමට මීට දින කිහිපයකට පෙර සිය සොහොයුරා සමඟ විදේශ රටක සිට මොවුන් පැමිණ ඇති බවත් පසුව පියා බලා නැවත පසුදා විදේශගත වීමට සිටියදී මෙම අනතුර සිදුව ඇති බවත් පොලිසිය කියයි.තම රෝගීපියාබලා නැවත සොහොයුරකුගේ නිවෙසට යන අතරමඟදී මෙම ඔය දැක පවුලේ පිරිස එයින් දිය නෑමට කතිකා කරගෙන දිය නාමින් සිටියදී මෙම අවාසනාවන්ත ඉරණම සිදුව ඇති බවත් කියයි.


කරවනැල්ල මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂක එච්.එම්.ජී.ඩබ්ලිව්, පරුස්සැල්ල මහතා අදාළ ස්ථානයට පැමිණ මෙහි පරීක්ෂණ කටයුතු සිදු කළේය.එහිදී හදිසි මරණ පරීක්ෂක පරුස්සැල්ල මහතා කියා සිටියේ මෙම ස්ථානයෙන් දිනකට බොහෝ දුර ප්‍රදේශවල සිට පැමිණෙන පිරිස් දිය නාන බවත් මෙහි අනතුරුදායක පුවරුවක්වත් සවි නොකර තිබීම කනගාටුදායක සිදුවීමක් බවය. එබැවින් අදාළ බලධාරීන්ට මේ සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස තමා දැනුවත් කරන බවද හදිසි මරණ පරීක්ෂකවරයා එහිදී පැවැසීය.


ජාරා කෑම විකුණු හෝටල් 12කට නඩු

 



කේ. දුමින්ද 


නත්තල් හා අලුත් අවුරුදු උත්සව සමය වෙනුවෙන් නගරයට පැමිණෙන ජනතාව වෙනුවෙන් අලෙවියට තබා ඇති ආහාරපාන මිනිස් පරිභෝජනයට සුදුසු පරිදි තිබේද යන්න වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ මහජන සෞඛ්‍ය පරීක්ෂක පර්ක්ෂාවට නිලධාර්න් විසින් ලක් කළේය.


වැලිසර, හැඳල, පමුණුගම ප්‍රදේශවල හෝටල් 43ක් පරීක්ෂා කර පර්භෝජනයට නුසුදුසු තත්ත්වයේ තිබූ ආහාර පාන සැකැසීම හා ගබඩා කිරීම යටතේ හෝටල් 12කට නඩු පවරා වත්තල මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිත බව වත්තල මහජන සෞඛ්‍ය පරීක්ෂක එස්.ඒ.ආර්.එස්. පෙරේරා මහතා පැවැසීය.


වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි එස්. හිනස් මහතාගේ උපදෙස් මත පරිපාලන මහජන සෞඛ්‍ය පක්ෂක වරුණ අමරසේකර, මහජන සෞඛ්‍ය පක්ෂකවරුන් වන එස්.ඒ.ආර්.එස්. පෙරේරා, එච්.ඒ.එන්. ශෂික, කල්ප දිල්හාර, කසුන් මහේෂ්, මොහොමඩ් මුස්තාපා, ඒ.ආර්. කුමාර, ගයාන් චමෝද් යන නිලධාහු මෙම වැටලීමට එක් වූහ.


අනුරාධපුර නව නගර දුම්රිය ස්ථානයේ මාරක අනතුර

 


වේගයෙන් ඉදිරියට පැමිණි ශීඝ්‍රගාමී දුම්රිය, දුම්රිය වේදිකාවේ ගෑවී නොගෑවී ධාවනය කරන බව දුටු තමා දුම්රිය වේදිකාවට අත තබා ඉක්මනටම වේදිකාවට නැඟගත් බවත් එම අවස්ථාවේ දුම්රියේ හැපුණු රංජනී නැන්දා රෝල් වී යනවා දුටු බවත් කන්කසන්තුරේ සිට කොළඹ කොටුව දක්වා පෙරේදා(22දා) සවස ධාවනය වූ ශීඝ්‍රගාමී දුම්රියේ ගැටීමෙන් මරුමුවට පත් තිස්හත් හැවිරිදි කාන්තාව සහ ඇගේ අසල්වාසී තරුණියක වන දහහත් හැවිරිදි තරුණියගේ මරණ පරීක්ෂණ සම්බන්ධයෙන් ඊයේ(23දා) අනුරාධපුර නාගරික හදිසි මරණ පරීක්ෂක ජේඑම්. ජයතිලක මහතා විසින් සිදු කරනු ලැබූ මරණ පරීක්ෂ ණයේදී සාක්ෂි දුන් සිද්ධිය සියැසින් දුටු රත්නපුර ශ්‍රී පාද මධ්‍ය විද්‍යාලයේ 13 ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන රත්නපුර මාපලාන පහළ පාරේ පදිංචි දහ අට හැවිරිදි බිලින්ගස්තැන්නගේ සිතුවම් ඒකනායක සිසුවා පැවැසීය.


පෙරේදා (22දා) සවස සිදු වූ එම දුම්රිය අනතුරින් රත්නපුර මාපලාන ප්‍රදේශයේ පදිංචිව සිටි තිස්හත් හැවිරිදි කේ. විමලා රංජනී සහ දහහත් හැවිරිදි කේ. තරණි සපුමලී නිසාදනී නමැති තරුණියන් ජීවිතක්ෂයට පත් වූහ. අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ සැරයන් ආර්.එම්.ජී. රත්නායක(47902) මහතාගේ මෙහෙයවීමෙන් මෙම සාක්ෂි විමසීම සිදුකෙරිණි.


එහිදී වැඩිදුරටත් සාක්ෂි දුන් සාක්ෂිකරු මෙසේද පැවැසීය.පසුගිය 20 වැනිදා අප අනුරාධපුර සල්ගාදු ක්‍රීඩාංගණයේ ගෘහස්ථ ක්‍රීඩාගාරයේ පැවැත්වෙන ටයිකොන්ඩෝ තරගාවලියට ක්‍රීඩා කිරීමට මගේ මල්ලිලා දෙදෙනා ඉදිරිපත්වන නිසා ඊට සහභාගි වීමට මමත්, මගේ මවත් පියාත්, මල්ලිලා දෙදෙනාත් අනුරාධපුරයට පැමිණියා.ගෙදර තනිවම සිටීමට නොහැකි නිසා මමත් මවුපියන් සමඟ අනුරාධපුරයට පැමිණියා.


එසේ පැමිණ සිටි අප මියගොස් සිටින තරණී නිසාදර් නංගිගේ අනුරාධපුර නව නගරයේ දුම්රිය ස්ථානය ආසන්නයේ පදිංචිව සිටින ලොකු අම්මාවන ලලීනා නැන්දාගේ නිවෙසට ගියා. තරණි නංගි සමඟින් විමලා රංජනී නැන්දාත් මමත් එහි ගියා.රංජනී නැන්දා රත්නපුර පිහිටි මාගේ නිවස අසල පදිංචිව සිටියා. ඇයව මා අඳුරනවා. අප රත්නපුරේ සිට අනුරාධපුරයට පැමිණ පූජා නගරයේ සංඝමිත්තා මාවතේ පිහිටි මහාබෝධි විද්‍යාලයේ තාවකාලිකව නවාතැන් ගෙන සිටියා. රත්නපුරේ සිට අනුරාධපුරට පැමිණි අප කණ්ඩායමට තිස්දෙනකු පමණ ඇතුළත් වුණා. ඔවුන් සියලුදෙනාම මහාබෝධි විද්‍යාලයේ

නවාතැන් ගෙන සිටියේ. තරණි නංගිත් විමලා රංජනී නැන්දා ඇතුළු අපි තිදෙනා අනුරාධපුර නගරයේ සිට නාච්චාදූව බලා ධවනය වූ බස් රථයෙන් අනුරාධපුර නව නගර නැවතුම්පොළෙන් බැස නව නගරය  දුම්රිය ස්ථානය අසලින් දුම්රිය මාර්ගයේ ගමන් කොට තරණි නංගිගේ ලොකු අමාගේ නිවෙසට ගොස් එහිදී බීම පානය කොට අප නැවැත දුම්රිය මාර්ගය දිගේ අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානය දෙසට පයින් ගමන් කළා. අනුරාධපුර පොලිස් ස්ථානය පැත්තෙන් සල්ගාදු ක්‍රීඩා පිටියට යෑමේ අදහසින් අපි දුම්රිය මාර්ගය ඔස්සේ ගමන් කළේ. මම පෙර පාසල් යන කාලයේ එක වතාවක් පමණක් දුම්රියක ගමන් කළ බව මතකයක් තියෙනවා. ඒ හැර දුම්රිය මාර්ගය සම්බන්ධයෙන් දැනුවත් බවකුත් තිබුණේ නැහැ. 


අපි අලුතෙන් ඉදිකරන අනුරාධපුර නව දුම්රිය ස්ථානයේ පදික වේදිකාව අතරින් ගමන් කළේ.අනුරාධපුර ප්‍රධාන දුම්රිය ස්ථානය දෙසට අප පයින් රේල් පාරේ ගමන් කරන විට එහි නතර වී රංජනී නැන්දාගේ ඉල්ලීම මත මාගේ ජංගම දුරකථනයෙන් ඡායාරූප ලබා ගත්තා.එම අවස්ථාවේ රංජනී නැන්දා මා හට ඡායාරූප ලබාගන්නා ලෙස තරහෙනුත් කිව්වා. ඉන්පසු මා ඔවුන්ගේ ඡායාරූප හයක් පමණ ලබා ගත්තා. අවසාන ඡායාරූපය ගන්නා විට සවස 4.11ට පමණ ඇති.


රේල් පීල්ලයි දුම්රිය වේදිකාවයි අතර ඉතා කුඩා ඉඩ ප්‍රමාණයක් තිබුණේ. මා තමයි ඉදිරියෙන් ගමන් කළේ. තරණි නංගි සහ රංජනී නැන්දා මා හට පසු පසින් එකට ගමන් කළේ.එම අවස්ථාවේ ශීඝ්‍රගාමී දුම්රියක් වේගයෙන් දුම්රිය වේදිකාවේ ගෑවී නොගෑවී ධාවනය කරන බව මා දුටුවා. එම අවස්ථාවේ දුම්රිය වේදිකාවට අත තබා ඉක්මනටම මා වේදිකාවට නැග්ගා.එම අවස්ථාවේ දුම්රියේ හැපුණු රංජනී නැන්දා රෝල් වී යනවා දුටුවා. මා ඒ වෙලාවේ තරණි නංගිව දුටුවේ නෑ.මම පසුව කැලේ පැත්තෙන් බැස ගොස් තරණි නංගිගේ ලොකු අම්මටත් සඟිති අක්කටත් තරණි නංගියි රංජනී නැන්දයි දෙදෙනා කෝච්චියට හැපුණු බව කියා සිටියා.


පසුව තරණි නංගිගේ ලොකු අම්මා ඇතුළු පිරිසක් එම ස්ථානයට පැමිණියා. මම පසුව මගේ මවට කෝල් කරල කිව්වා තරණි නංගිවයි රංජනී නැන්දවයි කෝච්චියට හැපුණු බව සල්ගාදු ක්‍රීඩාංගණයේ සිටි මගේ අම්මයි තාත්තයි දෙන්නා ඉක්මනට ඒ ස්ථානයට පැමිණියා.ඉන්පසු තරණි නංගිගේ සහ රංජනී නන්දාගේ මෘත දේහ ශ්‍රාවස්තිපුර දුම්රිය ස්ථානයට රැගෙන ගිය බව මා හට දැන ගැනීමට ලැබුණා.


 ආනන්ද ජයසිරි


මේ අවුරුද්දට අලි ඇතුන් 50ක් විදුලියට බිලි

 

 


අනවසර විදුලි රැහැන් යෙදීමෙන් මේ වසරේ (2024) මේ දක්වා පමණක් අලි ඇතුන් 50ක් පමණ මරණයට පත්ව ඇතැයි ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. විදුලි සැපයුම අනවසරයෙන් වැටවලට හෝ රැහැන්වලට යෙදීමෙන් වන අලි විශාල වශයෙන් මියයන බව සඳහන් කරන මණ්ඩලය ඉකුත් වසරේදීත් මේ හා සමාන අලි ඇතුන් සංඛ්‍යාවක් මෙලෙස මියගොස් තිබේ.


මෙම නීති විරෝධී ක්‍රියාව සම්බන්ධයෙන් දැනටමත් සුදුසු ක්‍රියාමාර්ග ගෙන ඇති බවත්, විදුලි සැපයුම මෙලෙස අනවසරයෙන් වැටවලට හෝ රැහැන්වලට සම්බන්ධ කිරීම් පිළිබඳව 0112118767 දුරකථන අංකය හෝ 1987 හදිසි ඇමතුම් අංකය ඔස්සේ වහා විදුලිබල මණ්ඩලය දැනුවත් කරන ලෙස ඉල්ලා සිටී.මෙවැනි මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙන් රටේ වන අලි සම්පත දිනෙන් දින අහිමි වී යන බැවින් එය රැක ගැනීමට මණ්ඩලය ජනතා සහාය අපේක්ෂා කරයි.


කුඩු සළිඳුට යළි වරෙන්තු

 

 

ප්‍රබල මත් ජාවාරම්කරුවකු ලෙස සැලකෙන පානදුර සළිඳු නොහොත් සෙල්ලප්පෙරුමගේ සළිඳු මල්ෂික ගුණරත්න අධිකරණයෙන් ලබා දුන් ඇප කොන්දේසි මත පසුගිය දෙසැම්බර් 22 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටිය යුතු බවට නියෝග කර තිබුණත් ඔහු එසේ පෙනී නොසිටීම හේතුවෙන් පානදුර අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු එන් සිල්වා මහතා විසින් ඊයේ (23දා) අත්අඩංගුවට ගන්නා ලෙස වරෙන්තු නිකුත් කළේය.


සැකකරුට පානදුර මහාධිකරණයෙන් ලබාදී ඇති ඇප කොන්දේසි මත පෙරේදා ඉරුදින අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මහජන පෙනී සිටින ලෙස ලබාදී ඇති උපදෙස් පරිදි දෙසැම්බර් 22 ඉරුදින අපරාධ පක්ෂණ දෙපාර්තමේන්තුවේ පෙනී නොසිටි බවට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාර්න් පානදුර අතිරේක මහෙස්ත්‍රාත්වරයා හමුවේ ඉදිරිපත් කළ කරුණු සලකා බලා එකී වරෙන්තුව නිකුත්කර තිබේ.


සිය සේවාදායකයා අසනීප තත්ත්වයෙන් පසුවන බැවින් එදින නොපැමිණි බවත් ඉදිරි නඩු වාරයේදී වෛද්‍ය වාර්තාවක් ඉදිරිපත් කරන බවත්, ඉදිරි නඩු වාරයේදී අධිකරණය හමුවේ පෙනී සිටින බවත් සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මනෝර්කා විජේතුංග මහත්මිය අධිකරණය හමුවේ කියා සිටියාය. එමෙන්ම සැකකරු හට මරණ තර්ජන පවතින බැවින් නිතර නිතර අධිකරණ සහ පොලිස් ස්ථාන වෙත ගමන් කිර්ම සැකකරුගේ ජීවිතයට තර්ජනයක් බවටද නීතිඥ මහත්මිය සඳහන් කර සිටින ලදී.


Monday, December 23, 2024

ඓතිහාසික දිඹුලාගල වනසති

 

 

නිමල් ජයරත්න


ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ කඳු මුදුනේ, නිධන්ගල ප්‍රදේශයේ මලියදේව මහරහතන් වහන්සේ සහ බක්කුල මහරහතන් වහන්සේ ධර්ම දේශනා කර ඇති බවට සැලකෙන ස්ථානයේ, චෛත්‍ය ඇතුළු පරිවාර චෛත්‍ය, සඳකඩපහණ, මල් ආසන, පුරාවස්තු රැසක් නිධන් හොරුන් විසින් විනාශ කර වනසා ඇති බව ප්‍රදේශවාසීහු සඳහන් කරති.


මේ පිළිබඳව ආරක්ෂක අංශ නිලධාරීන් සහ පුරාවිද්‍යා නිලධාරීර්න් දැනුවත් කළද ඊට මෙතෙක් කිසිදු විසඳුමක් ගෙන නොමැති බවත් කඳු මුදුනේ තිබූ ඉපැරණි චෛත්‍ය සඳකඩපහන්, ඇතුළු වටිනා පුරාවස්තු ස්ථාන හොරුන් විසින් වැනසීම නිසා ඓතිහාසික වටිනාකම්, අතීතයට පෙන්වීමට අවස්ථා නොමැති බව පුල්ලිගොඩ රජමහ විහාරාධිපති සිංහපුර චේතියාලංකාර නාහිමියෝ සඳහන් කළහ.


නිදන් හෑරීමෙන් අනතුරුව හොරුන් විසින් දමා ගිය වයර්, පහන්, බාල්දි, තාච්චි ඇතුළු උපකරණ කිහිපයක් ප්‍රදේශවාසීන් විසින් සොයාගෙන තිබේ.මීට දින කිහිපයකට පෙර සිට ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ නිදන්ගල ප්‍රදේශයේ නිදන් හොරුන් ජාවාරම සිදුකරගෙන ගොස් ඇති බවට තොරතුරු අනාවරණය වී තිබෙන බවත් රාත්‍රි කාලයේදී කඳු මුදුනේ ගල්වෙඩි දමන ශබ්ද පවා තමන්ට ඇසුණු බවත් ඒ පිළිබඳ අදාළ බලධාර්න් දැනුවත් කළද බලධාරීන් නිහඬ පිළිවෙතක් අනුගමනය කිරීම කනගාටුවට කරුණක් බවත් සිංහපුර චේතියාලංකාර නාහිමියෝ මේ පිළිබඳ අදහස් දක්වමින් සඳහන් කළහ.


පොළොන්නරුව ඇතුළු අවට ප්‍රදේශය සංචාරක ව්‍යාපාරයක් ආරම්භ කිරීමට සැලසුම් කර තිබුණද එම සංචාරකයන්ට දැක බලා ගැනීමට පවතින, ඓතිහාසික දිඹුලාගල ආරණ්‍ය සේනාසනයේ පුරාවස්තු මෙන්ම පෞරාණික සිද්ධස්ථාන මෙලෙස නිදන් හොරුන් විසින් විනාශ කිර්මට එරෙහිව ස්ථීර වැඩපිළිවෙළක් සකසන ලෙසද, චේතියාලංකාර නාහිමියෝ අදාළ බලධාරීන්ගෙන් ඉල්ලීමක් කළහ.


හැටන් - මහනුවර පාරේ බස් අනතුර රියැදුරුගේ වරදින්

 


හැටන් සිට මහනුවර දක්වා ධාවනය වූ පෞද්ගලික බස් රථයක් 21 දින හැටන් මල්ලිඅප්පුව ප්‍රදේශයේදී මාර්ගයෙන් ඉවතට පැන අඩි 20ක් පමණ පහළින් පිහිටි තේ වත්තකට පෙරළී සිදු වූ අනතුරෙන් ජීවිතක්ෂයට පත් තිදෙනාගේ අනන්‍යතාව තහවුරු කරගත් බව හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් ජයසේන මහතා පැවැසීය.රියැදුරුගේ නොසැලකිල්ල නිසා මෙම අනතුර සිදුවී ඇතැයි මූලික පරීක්ෂණවලදී තහවුරු වී ඇත.


මෙම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වී ඇත්තේ මහනුවර යටිනුවර වීදියේ පදිංචිව සිටි අබ්දුල් උවයිස් (68), හැටන් වත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි දේවරාජ් දිනේෂ් කුමාර් (14) සහ නොර්වුඩ් ඉහළ කොටසේ පදිංචිව සිටි මුත්තුරාකු (67) යන අයයි.අනතුරෙන් බස් රථයේ ගමන් ගත් 53 දෙනකු තුවාල ලබා දික්ඔය මූලික රෝහලට ඇතුළත් කළ බවත්, ඉන් තිදෙනෙකු ජීවිතක්ෂ යට පත් වූ බවත් බරපතළ තත්ත්වයේ සිටි තුවාලකරුවන් හත්දෙනකු මහනුවර ශික්ෂණ රෝහල වෙත මාරු කර යැවූ බවත් තවත් තුවාලකරුවන් 43 දෙනකු දික්ඔය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව දික්ඔය මූලික රෝහලේ අධ්‍යක්ෂ වරයා පැවැසීය.


අනතුරෙන් තුවාල ලැබූ බස් රථයේ රියැදුරු සහ කොන්දොස්තරවරයා දික්ඔය මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බවත්, බස් රථයේ රියැදුරා හැටන් පොලිසියේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබන බව හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා කියා සිටියේ.එම බස් රථයේ රියැදුරා අතින් මීට මාස කිහිපයකට ප්‍රථම ගිනිගත්තේන ප්‍රදේශයේ සිදුවූ රිය අනතුරකින් එක් අයකු ජීවිතක්ෂයට පත්වූ බවත්, නාවලපිටිය ප්‍රදේශයේදීද විශාල රිය අනතුරක් සිදුවී ඇති බව ගිනිගත්තේන සහ නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරුන් පැවැසීය.


ජංගම දුරකථනයෙන් ඇමැතුමක් ලබා ගනිමින් බස් රථය රියැදුරු විසින් ධාවනය කළ බවට මගීන් විසින් හැටන් පොලිසියට ප්‍රකාශයක් ලබාදී ඇති අතර අධික වේගයෙන් ධාවනය වූ බස් රථයේ රියැදුරුගේ දොර එකවරම විවෘත වීම නිසා දොර වැසීමට රියැදුරු උත්සාහ කිරීමේදී බස් රථය රියැදුරු පාලනයෙන් මිදී තේ වත්තට පෙරළුණු බවට සාක්ෂි ලැබී ඇති බව අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වන හැටන් පොලිසිය කියා සිටී. අනතුරට පත් බස් රථයේ අනුමත ආසන සංඛ්‍යාවට වඩා තවත් ආසන කිහිපයක් සවිකර තිබූ බවට හැටන් පොලිසිය සැකකරන අතර අනතුරට පත් බස් රථය තුළ තිබූ ආරක්ෂිත කැමරා දර්ශන පරීක්ෂා කර බැලිමේදී බස් රථය අනතුරට පත් වී විනාඩි කිහිපයක් තුළ එම කැමරාවේ දර්ශන ජංගම දුරකථනය ඔස්සේ අධීක්ෂණය කරන අයකු විසින් මකා දමා ඇති බවට හැටන් පොලිසිය විසින් සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.


එම දත්ත අපරාධ විමර්ශන දෙපාර්තුමේන්තුව වෙත යොමු කිර්මට පොලිසිය විසින් පියවර ගෙන ඇති අතර, අනතුරට පත් බස් රථය 22 වැනි දින රාත්‍රියේ හැටන් පොලිසිය විසින් ගොඩගනු ලැබීය.අනතුරෙන් ජීවිතක්ෂයට පත් අවු. 14 දරුවා වකුගඩු රෝගියකු වන අතර ඔහු සායන කටයුතු සඳහා සහභාගිවීමට සිය සොහොයුරිය සමඟ මහනුවර දක්වා ගමන් කරමින් සිටියදී මෙම අනතුරට මුහුණපා ඇත.ජීවිතක්ෂයට පත් එම දරුවාගේ සොහොයුරියද අනතුරෙන් තුවාල ලබා දික්ඔය මූලික රෝහලේ ප්‍රතිකාර ලබයි.


හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් සහ මධ්‍යම පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් එක්ව රිය අනතුරු අවම කිරීම සඳහා පසුගියදා හැටන් ප්‍රදේශයේදී පෞද්ගලික බස් රථ රියැදුරන් සහ කොන්දොස්තරවරුන්ට වැඩමුළුවක්ද පැවැත්විය.හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතාගේ අධීක්ෂණය යටතේ හැටන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජිත් ජයසේන මහතාගේ ප්‍රධානත්වයෙන් හැටන් රථ වාහන අංශයේ නිලධාරීන් අනතුර සම්බන්ධයෙන් විමර්ශන සිදු කරනු ලබයි. මියගිය අයගේ සිරුරු පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසු ඥාතීන් වෙත භාරදෙන බව හැටන් පොලිසිය පැවැසීය.


දොස්තර විශ්‍රාම වයස 63ක් වෙයි

 

රවිශාන් ප්‍රනාන්දු


සියලු වෛද්‍යවරුන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව අවුරුදු 63ක් විය යුතු බව සඳහන් කරමින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ.  විශ්‍රාම වැටුප් ව්‍යවස්ථා සංශෝධන පනත ප්‍රකාරව 2022 දෙසැම්බර් මස 12 වැනි දින පළ කර තිබූ ගැසට් නිවේදනය සංශෝධනය කරමින් එම ගැසට් නිවේදනය නිකුත් කර ඇති බව සඳහන්ය.


ඒ අනුව විශේෂඥ වෛද්‍යවරුන්ගේ, ශ්‍රේණිගත වෛද්‍ය හා දන්ත වෛද්‍ය නිලධාරීන්ගේ, වෛද්‍ය පරිපාලන ශ්‍රේණිවල සියලුම නිලධාරීන්ගේ, විශේෂඥ දන්ත වෛද්‍යවරුන්ගේ සහ ලියාපදිංචි වෛද්‍ය වෘත්තිකයන්ගේ අනිවාර්ය විශ්‍රාම ගැන්වීමේ වයස අවුරුදු 63 විය යුතු බව අංක 2415/61 දරන ගැසට් නිවේදනයේ දැක්වේ.රාජ්‍ය පරිපාලන, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යවරයා නිකුත් කර ඇති මෙම ගැසට් නිවේදනයේ විධිවිධාන 2023 වසරේ ජනවාරි මස 01 වැනි දින සිට බලාත්මක විය යුතු බවද එහි වැඩිදුරටත් සඳහන් වේ.


පැය 24කදී රිය අනතුරු වලින් 13ක් මරුට

 

 


ගතවූ පැය 24 තුළ මාරක රිය අනතුරු 10ක් වාර්තා වී ඇති අතර ඉන් මරණයට පත්වූ සංඛ්‍යාව 13කි.මෙම අනතුරු දෙස බලද්දී අනතුරු සිදුව ඇත්තේ ප්‍රධාන නගර ආශ්‍රිතව බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිවේදී බුද්ධික මනතුංග මහතා සඳහන් කරයි.


එමෙන්ම මියගිය පුද්ගලයන් 13 දෙනාගෙන් හතර දෙනකු පදිකයන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි. උත්සව සමය එළැඹීමත්සමඟ මහා මාර්ගවල වාහන ගමනාගමනය වැඩි වීමත් පදිකයන් බහුලව ගැවසීමත් නිසා මෙලෙස අනතුරු සිදුවන බවද වාර්තා වේ.එබැවින් පදිකයන් මාර්ගයේ ගමන් කරද්දී සුපරික්ෂාකාර්ව ගමන් කළ යුතු බවත් වාහන පදවන රියැදුරන්ද ඉතා සැලකිල්ලෙන් මාර්ගයේ රිය ධාවනය කළ යුතු බවත් පොලිස් මූලස්ථානය අවධාරණය කරයි.


මිහින්තලා විහාරාධිපතිට අපහාස කළැයි යූටියුබ් නාළිකාවක පාලක උසාවියෙන් කැඳවයි

 


මිහින්තලා රජමහ විහාරය සම්බන්ධයෙන් සහ එහි විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් සම්බන්ධයෙන් කිසිදු අපහාසාත්මක හෝ වෙනත් යම් යම් ප්‍රකාශ සමාජ මාධ්‍යයට හෝ වෙනත් මාධ්‍යයන් වෙත මුදාහැරීමෙන් වැළකී සිටින ලෙසට අධිකරණය පනවා තිබූ නියෝගයක් කඩකිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අධිකරණය හමුවේ චෝදනා ලබා සිටින “මිහින්තලාවට හඬක්” නමැති යූටියුබ් නාළිකාවේ පරිපාලකවරයාට ජනවාරි 10 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස කොටුව මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය නියෝග කළාය.


මෙසේ අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස නියෝග කළේ මිහින්තලේ නුවර පාර පදිංචි “මිහින්තලාවට හඬක්” නමින් හැඳින්වෙන යූටියුබ් නාළිකාවේ පරිපාලකවරයා වන ඊ. එම්. අජිත් බණ්ඩාර ඉදිරිසිංහ නමැත්තකුටය.මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද මහෙස්ත්‍රාත්වය තවදුරටත් නියෝග කරනු ලැබුවාය.


මෙසේ නියෝග කළේ, මිහින්තලා පුදබිමට සහ එහි විහාරාධිපති හිමියන්ට "මිහින්තලාවට හඬක්” නමින් හඳුන්වන යූටියුබ් නාළිකාවේ පරිපාලකවරයා අපහාස කර ඇති බව කියන සිද්ධියට අදාළ නඩුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදීය. මෙහිදී පැමිණිලිකාර මිහින්තලා රජමහ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමියන් වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පැවැසුවේ, මිහින්තලා පුදබිමට හෝ එහි විහාරාධිපති වහන්සේට අපහාස වන ආකාරයේ වෙනත් කිසිදු ප්‍රකාශයක් සමාජ මාධ්‍යයට මුදානොහරින ලෙසට නියම කරමින් අධිකරණය මඟින් අජිත් බණ්ඩාර ඉදිරිසිංහ නමැති විත්තිකරුට එරෙහිව දැඩි ඇප කොන්දේසියක් අධිකරණය මඟින් පනවා ඇති බවයි.


එසේ එකී අධිකරණ නියෝග කඩ කරමින් විත්තිකරු තවදුරටත් මිහින්තලා පුදබිමට සහ එහි විහාරාධිපතීන් වහන්සේට අපහාස වන ආකාරයේ ප්‍රකාශ ඔහු විසින් පවත්වාගෙන යනු ලබන “මිහින්තලාවට හඬක්” යන යූටියුබ් නාළිකාව ඔස්සේ සහ වෙනත් මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කරමින් සිටින බවද ජනාධිපති නීතිඥවරයා අවධාරණය කළේය.මේ තුළින් විත්තිකරු අධිකරණ නියෝග කඩ කරමින් බරපතළ ලෙස අධිකරණයට අපහාස කර ඇති බවද අධිකරණයට පවසා සිටි ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා විත්තිකරුට අධිකරණය හමුවේ පෙනී සිට මේ සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙසට නියෝග කරන ලෙසත් ඔහු සම්බන්ධයෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාව යටතේ ක්‍රියාකරන ලෙසත් අයද සිටියේය. 


ජනාධිපති නීතිඥවරයාගේ කරුණු දැක්වීම සැලකිල්ලට ගත් කොටුව මහෙස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය අධිකරණ නියෝග කඩ කළ බවට චෝදනා එල්ල වී සිටින “මිහින්තලාවට හඬක්” යන යූටියුබ් නාළිකාවේ පරිපාලකවරයාට ජනවාරි මස 10 වැනිදා කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටිමින් කරුණු දක්වන ලෙස නියෝග කළාය.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදුකරන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවටද එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටත් නියෝග කෙරිණි.මිහින්තලාවට හඬක් නම් වූ යූටියුබ් නාළිකාවෙන් මිහින්තලා පුදබිමට සහ එහි විහාරාධිපතීන් වහන්සේට අපහාස කළ බවට චෝදනා ලබා සිටින අජිත් බණ්ඩාර ඉදිරිසිංහ නමැත්තා මීට පෙර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.පසුව අධිකරණය මඟින් ඔහු දැඩි ඇප කොන්දේසි මත මුදාහැරිණි.මිහින්තලා රජමහ විහාරාධිපති වලවාහැංගුණවැවේ ධම්මරතන හිමි වෙනුවෙන් නීතිඥ මනුජය ද සිල්වා මහතා සහ ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියහ.


මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ දෙදෙනෙක් දඹවින්නේදි අත්අඩංගුවට

 



සමන් නැදුන්ගමුව 


මෙරට නිෂ්පාදිත ගිනි අවියක් සමඟ පුද්ගලයන් දෙදෙනෙක් අත්අඩංගුවට ගැනීමට පසුගිය 19දා රාත්‍රියේදී වැලිමඩ පොලිසියේ නිලධාරීන්ට හැකිව තිබේ. රාත්‍රි මුර සංචාරයේ යෙදී සිටි වැලිමඩ පොලිසියේ නිලධාරීන්  විසින් වැලිමඩ, හපුතලේ ප්‍රධාන මාර්ගයේ දඹවින්න විදුලිබල මණ්ඩල කාර්යාලය ආසන්නයේදී මාර්ගයේ ගමන් කළ කාර් රථයක් පරික්ෂා කිරීමේදී එහි තිබී මෙම ගිනි අවිය සොයා ගෙන තිබේ. 


ගිනි අවිය සොයා ගැනීමෙන් පසු තවදුරටත් සිදු කළ පරීක්ෂා කිරීමේදී මෙම ගිනි අවිය සඳහා භාවිත කරන උණ්ඩ 04ක් සහ හක්කපටස් දෙකකුත් පොලිසිය විසින් සොයා ගැනීමට සමත්ව තිබේ. මෙලෙස අත්අඩංගුවට පත් බදුල්ල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයන් දෙදෙනෙක් වන අතර ඔවුන් මෙම ගිනි අවියද රැගෙන කුමන කාර්යයක් සඳහා මෙලෙස යමින් සිටින්නට ඇත්දැයි මේ වන විට විමර්ශන ආරම්භ කර තිබේ.


ලක්ෂ 76ක රට සිගරැට් ගෙනා කතුන් දෙදෙනෙක් අත්අඩංගුවට

 

 ටී. කේ. පී. කපිල


රුපියල් හැත්තෑහය ලක්ෂ පනස්දහසක් පමණ වටිනා විදේශීය නිෂ්පාදිත දුම්වැටි තොගයක් කටුනායක ගුවන්තොටුපොළෙන් පිට කරගෙන යමින් සිටියදී ඒවා නීති විරෝධී ලෙස මෙරටට රැගෙන ආ ගුවන් මගී කාන්තාවන් දෙදෙනකුද සමඟ (21දා) දින අලුයම පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාර්න් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.


මොවුන් අතරින් එක් කාන්තාවක් 31 හැවිරිදි වියේ පසුවන තිස්සමහාරාම ප්‍රදේශයේ පදිංචි අයෙකි. අනෙක් කාන්තාව 40 හැවිරිදි වියේ පසුවන ඇත්කඳුර ප්‍රදේශයේ පදිංචි අයෙකි. මොවුන් දෙදෙනා 21 වැනි දින අලුයම 12.30ට පමණ අබුඩාබි නුවර සිට එයාර් ඇරේබියා ගුවන් සේවයේ 3 එල්.-708 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබිණි.ඔවුන් විසින් රැගෙන ආ ගමන්මලු තුළ විදේශීය නිෂ්පාදිත ‘මැන්චෙස්ටර්’ වර්ගයේ දුම්වැටි 51,000ක් අඩංගු දුම්වැටි කාටූන් 255ක් සඟවාගෙන සිටියදී පොලිස් මත්ද්‍රව්‍ය කාර්යාංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගැනීමට සමත් වී තිබේ.


මේ වන විට මොවුන් දෙදෙනා පොලිස් ඇප මත මුදාහැරීමට පියවර ගෙන ඇති අතර මෙසේ අත්අඩංගුවට ගත් දුම්වැටි තොගය සමඟ මෙම ගුවන් මගී කාන්තාවන් දෙදෙනා 30 වැනි දින මීගමුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.


කණ්ඩලම වැවේ මසුන් මරන්න ගිය ධීවරයකුගේ මළ සිරුර දැලක පැටලී තිබි සොයා ගනි

 



දඹුල්ල - කේ. කේ. අරියදාස 


රාත්‍රි කාලයේ කණ්ඩලම වැවේ මසුන් මැරිම  සඳහා ගිය විසි හය හැවිරිදි ධීවරයකුගේ මළ සිරුරක් 20 වැනි දින පස්වරුවේ කණ්ඩලම වැවේ දැලක පැටලී දියමත පාවෙමින් තිබියදී පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් විසින් සොයාගත් බව දඹුල්ල පොලිසිය කියයි.මෙසේ මියගොස් ඇත්තේ දඹුල්ල, කණ්ඩලම, දියවර ගම්මානයේ පදිංචි එම්. ජී. ප්‍රේම තරංග හේරත් නමැති එක්දරු පියෙකි.


තවත් ධීවරයන් පිරිසක් සමඟ මියගිය පුද්ගලයාද රාත්‍රි කාලයේ මසුන් මැර්ම සඳහා කණ්ඩලම වැවේ පරණ ගම්මානය ප්‍රදේශයේ දියඹ මහා කැලෑව පිහිටි ප්‍රදේශයට ගොස් ඇතැයි පොලිසිය කියයි. එම ප්‍රදේශයේ ජලය පිරුණු ගස්වල ඉහළ වාඩි සකසාගෙන ඔවුන් රැය පහන් කරමින් මසුන් මරණ බව පොලිසිය කියයි. ඒ අනුව තවත් ධීවරයන් කිහිපදෙනකු සමඟ වාඩියක මත්පැන් සාදයක්ද පවත්වා මියගිය පුද්ගලයා ඔරුව රැගෙන නිවෙසට යන බව පවසා නික්ම ගොස් ඇති බව පොලිසිය කියයි. ඔහු ගමන් ගත් ඔරුව වෙනත් ප්‍රදේශයකට ගසාගෙන ගොස් තිබෙන අයුරු පසුදා දැක නිවැසියන් මේ පිළිබඳව පොලිසියට පැමිණිලි කොට තිබේ.


දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක වසන්ත කුමාර මහතා පොලිස් ජීවිතාරක්ෂක ඒකකයේ උප පොලිස් පරීක්ෂක රාජකරුණා මහතා සහ පොලිස් ජීවිතාරක්ෂක කණ්ඩායම් දැනුවත්කොට ධීවරයන්ගේ සහ ප්‍රදේශවාසීන්ගේ සහාය ඇතිව අතුරුදන්ව සිටි පුද්ගලයා සෙවීමේ මෙහෙයුමක් දියත් කොට තිබිණි. දින දෙකක කාලයක් මෙම මෙහෙයුම ක්‍රියාත්මක කළද මියගිය පුද්ගලයාගේ තොරතුරක් හමුවී නොමැත. කෙසේ වෙතත් ඔවුන් සමඟ මත්පැන් සාදයේ සිටි පුද්ගලයන් තිදෙනා පොලිස් භාරයට ගෙන ප්‍රශ්නකොට නිදහස් කර තිබේ. ප්‍රදේශවාසීහු සහ මියගිය අයගේ ඥාතීන් දැඩි ලෙස චෝදනා කරන්නට වූයේ තම ඥාතියාට කිසියම් හෝ අනතුරක් සිදුකරන්නට ඇති බවට සැක කරන බවය.


කෙසේ වෙතත් පොලිස් ජීවිත ආරක්ෂක නිලධාර්න් සහ ප්‍රදේශවාසීන් ධීවරයන් සිදුකරන ලද මෙහෙයුමේදී මහා දිය මැද දැලක පැටලී පාවෙමින් තිබූ ඔහුගේ මළ සිරුර සොයාගත් බව පොලිසිය කියයි.මියගිය පුද්ගලයාගේ පශ්චාත් මරණ පරීක්ෂණය 21 වැනි දින දඹුල්ල රෝහලේදී පැවැත්වීමට නියමිතව තිබේ. සිද්ධිය සම්බන්ධයෙන් ඔහු සමඟ සිටි සහ මසුන් මැරීමේ වාඩියේ සිටි පුද්ගලයන් තිදෙනාගෙන් ප්‍රකාශය සටහන් කර ගත් බව පොලිසිය සඳහන් කර සිටී.සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්ෂණ දඹුල්ල පොලිසිය පවත්වනු ලබයි.


Friday, December 20, 2024

නිති විරෝධි ගබ්සාවකදි මියගිය කතකගේ රණ පරීක්ෂණ ජනවාරි 7 පවත්වන්නැයි නියෝග

 


කුමුදු උපුල් ශාන්ත


කොළඹ ප්‍රසිද්ධ පෞද්ගලික රෝහලක වෛද්‍යවරයකු නීත්‍යනුකූල නොවන ආකාරයෙන් සිදුකළ ගබ්සාවකදී 30 හැවිරිදි කාන්තාවක් ජීවිතක්ෂයට පත්වූ බව කියන සිද්ධියකට අදාළ මරණ පරීක්ෂණය ලබන ජනවාරි මාස 7 දින පැවැත්වීමට කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් තරංගා මහවත්ත මහත්මිය පසුගියදා (17) දින නියෝග කළාය.


එසේ ගැබ් ගැනීමෙන් අනතුරුව එම කලලයට මාස 5ක් ගතව තිබියදී එම කලලය තුළ ඇති වූ රෝගී තත්ත්වයක් හේතුවෙන් ඇය වෛද්‍යවරු කිහිපදෙනකු වෙත ගොස් පරීක්ෂා කර බලා ඇති බවත් කුස තුළ සිටි දරුවාට කිසියම් සංකූලතාවක් ඇති බවට එම වෛද්‍යවරුන්ද සිය වාර්තාව මඟින් පෙන්වා දී ඇති බවද නීතිඥවරයා පැවැසීය. ඉන් අනතුරුව එම අඹුසැමි යුවළ කොළඹ ප්‍රදේශයේ පිහිටි පෞද්ගලික රෝහලක් වෙත ගොස් එහි සිටි ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍ය මහාචාර්යවරයකු හමු වී ඇති බවත් දරු ගැබ තුළ සිටින දරුවාගේ වකුගඩුවල පවතින ගැටලුවක් හේතුවෙන් බිරියගේ ජීවිතයට මෙන්ම දරුවාගේ ජීවිතයටද අවදානමක් පවතින බැවින් දරුවා ඉවත් කිරීමට කටයුතු කළ යුතු බවත් ඒ සඳහා රුපියල් 250,000 මුදලක් අවශ්‍ය බව වෛද්‍යවරයා එම අඹුසැමි යුවළට දන්වා ඇති බවද නීතිඥවරයා අධිකරණයට දැන්වීය.


එම අඹුසැමි යුවළ ඊට එකඟතාවය පළ කිරීමෙන් අනතුරුව අදාළ වෛද්‍යවරයා ඔවුන්ට දෙමටගොඩ මහවිල ගාර්ඩ්න් නමැති ස්ථානයකට පැමිණෙන ලෙස දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් ඉකුත් නොවැම්බර් මස 20 දින එම ස්ථානය වෙත ගොස් ඇති බවද නීතිඥවරයා අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි විය.සිය සැමියාද සමඟ එම ස්ථානයට ගිය බිරියව එම වෛද්‍යවරයා එහි රඳවා තබාගෙන අඬුවක් යොදා දරුගැබ කෑලි වශයෙන් ඉවත් කර ඇති බවට එම කාන්තාව පැමිණිලිකාර සැමියාට දන්වා ඇති බවත් එම සිද්ධියෙන් අනතුරුව ඇයට අධික රුධිර වහනයක් සිදුව ඇති බවද නීතිඥවරයා අධිකරණයට දැන්වීය.


ගබ්සාවෙන් අනතුරුව අධික රුධිර වහනය හේතුවෙන් ඇය දැඩි අසාධ්‍ය තත්ත්වයකට පත්ව ඇති බවත් එසේ අසාධ්‍ය තත්ත්වයට පත් ඇයව අදාළ වෛද්‍යවරයා විසින් ඔහු සේවය කරන රෝහල වෙතට ඉකුත් 22 දින රැගෙන යෑමෙන් අනතුරුව පැය එකහමාරකට ආසන්න කාලයකදී ඇය ජීවිතක්ෂයට පත්ව ඇති බවද සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් නීතිඥවරයා අධිකරණය හමුවේ පැවැසීය.


එම ගබ්සාව සිදුකළ ස්ථානයේ කිසිදු ශල්‍යකර්මයකට සුදුසු ස්ථානයක් නොවන බවට පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇති බවද නීතිඥවරයා අධිකරණයට දැක්වූ කරුණුවලින් හෙළි විය.සිය බිරිය දැඩි අසාධ්‍ය තත්ත්වයට පත්ව සිටින මොහොතේ ඇයව කොළඹ ජාතික රෝහල වෙත රැගෙන යන ලෙසට පැමිණිලිකාර සැමියා එම වෛද්‍යවරයාට කිහිප අවස්ථාවකදීම දැනුම්දී ඇතත් එම ඉල්ලීම නොසලකා හැර ඇති වෛද්‍යවරයා ඔහු සේවය කරන පෞද්ගලික රෝහල වෙත ඇයව එසේ රැගෙන ගොස් ඇති බවට පැමිණිලිකරු සිය පැමිණිල්ල මඟින් පොලිසිය වෙත දැනුම් දී ඇති බවද සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුරටත් කරුණු දක්වමින් නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය. මෙම සිද්ධියේදී අදාළ වෛද්‍යවරයා වගකීම් විරහිතව කටයුතු කර ඇති බවට මෙම සිදුවීම් දෙස බැලීමේදී පෙනී යන බවද නීතිඥවරයා වැඩිදුරටත් කරුණු දක්වමින් අධිකරණය හමුවේ පැවැසීය.


සමස්ත ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමය ඉල්ලයි

 

 


වර්තමානය වන විට ලංකාව පුරා සිටින හදිසි මරණ පරීක්ෂකවරුන් ප්‍රමාණවත් නොවන බවත් එම පරීක්ෂකවරුන් අර්බුද රැසකට මුහුණපා සිටින බවත් මේ නිසා හදිසි මරණ පරීක්ෂක තනතුර මඟින් ස්වාධීන ප්‍රශස්ත සේවාවක් ලබා දීම සඳහා, හදිසි මරණ පරීක්ෂක තනතුරේ තිබෙන ගැටලු විසඳීම සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් ඇති කරන මෙන් සමස්ත ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයේ අනුශාසක හා ඇඹිලිපිටිය හිටපු හදිසි මරණ පරීක්ෂක ආර්.එස්. ගුණසේන මහතා පවසයි.


දිවයින පුරා හදිසි මරණ පරීක්ෂකවරුන් හාරසියයකට(40) ආසන්න පිරිසක් සේවය කරන බවද ඒ මහතා සඳහන් කළේය. මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ ආර්.එස්. ගුණසේන මහතා මෙසේද පැවැසීය. මරණ පරීක්ෂකවරුන් පත්කිරීම, මරණ පරීක්ෂණ සිදු කිරීම, මරණ පරීක්ෂණ දීමනා ලබාදීම හා මරණ පරීක්ෂණ වාර්තා අධිකරණයට ඉදිරිපත් කිර්ම යන සමස්ත ක්‍රියාවලියම වර්තමානය වන විට අවුල් ජාලාවක් බවට පත්ව තිබෙනවා. පසුගිය කාලවල ඇතැම් දේශපාලන වුවමනාවන් මත කිසිම සුදුසුකමක් නොමැති, කිසිම අත්දැකීමක් නොමැති පුද්ගලයන් හදිසි මරණ පරීක්ෂක තනතුරට පත් කිරීමට කටයුතු කර තිබෙන බවත් ඒ වගේම දේශපාලන වුවමනාවන් මත හදිසි මරණ පරීක්ෂකවරුන් තනතුරෙන් පහකිරීම වැනි ක්‍රියා නිසා හදිසි මරණ පරීක්ෂක තනතුර සමාජය තුළ හෑල්ලුවට පත් වී තිබෙනවා.


හදිසි මරණ පරීක්ෂ කටයුතුවලදී දේශපාලන සහ අධිකරණ අමාත්‍යාංශයේ සිටින ඇතැම් නිලධාරීන්ගේ අනිසි බලපෑමක් නිසා හදිසි මරණ පරීක්ෂකවරුන්ට ස්වාධීනව කටයුතු කිරීමට නොහැකි තත්ත්වයක් ඇති වී තිබෙනවා. හදිසි මරණ පරීක්ෂකවරුන් සඳහා ලබාදෙන දීමනාව වසර ගණනාවක සිට සංශෝධනය කර නොමැතිකම නිසා එම දීමනාව කිසිසේත්ම ප්‍රමාණවත් නැහැ. මේ හේතුවෙන් ඇතැම් හදිසි මරණ පරීක්ෂකවරුන් අල්ලස් ලබා ගත් බවටද චෝදනා එල්ල වී සිටිනවා.


සමස්ත ලංකා හදිසි මරණ පරීක්ෂකවරුන්ගේ සංගමයේ අනුශාසක හැටියට අප නව රජයේ අධිකරණ අමාත්‍යාංශයෙන් ඉල්ලා සිටින්නේ මෙම ගැටලුවට සාධනීය විසඳුමක් ලබාගැනීම සඳහා හදිසි මරණ පරීක්ෂක තනතුරු සඳහා ස්වාධීන කොමිෂන් සභාවක් ඇති කිර්ම සඳහා කටයුතු කරන ලෙස බව ඒ මහතා වැඩිදුරටත් පැවැසීය. 


නලින්ද වලේබොඩ


විමර්ශනත් අවසන් නෑ!

 


 


පහ වසර ශිෂ්‍යත්ව විභාග අක්‍රමිකතා චෝදනා සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩ තහනමට ලක්ව සිටි විභාග ශාලාධිපතිවරයා චෝදනාව සම්බන්ධයෙන්  මූලික විමර්ශනය අවසන් වීමටත් පෙර වැඩ තහනම ඉවත් කර සේවයේ පිහිටුවා තිබේ.


ශාලාධිපතිවරයාගේ බිරිය පසුගිය පළාත් පාලන මැතිවරණයට ජාතික ජන බලවේගයෙන් නාමයෝජනා ඉදිරිපත් කර ඉදිර්පත් වූ අපේක්ෂිකාවක් වන අතර මේ ශාලාධිපතිවරයාද ප්‍රබල දේශපාලන ක්‍රියාකාරිකයකු බව කියැවේ. ශාලාධිපතිවරයා නැවැත සේවයේ පිහිටුවීමට ආණ්ඩුවට සම්බන්ධ වෘත්තීය සමිතියක් පෙත්සම් අස්සන් කරමින් පසුගිය කාලය පුරා බලධාරීන්ට දැඩි බලපෑම් සිදුකරමින් සිටියේය.


අනුරාධපුර තිස්ස විද්‍යාලයේ පැවැති ශිෂ්‍යත්ව අකටයුත්ත සම්බන්ධයෙන් (නැවැත සේවයේ පිහිටුවීම) දේශපාලන භේදයෙන් තොරව අධ්‍යාපන අමාත්‍යවරිය වශයෙන් අගමැතිනිය මැදිහත් වී පරීක්ෂණ අවසන් වනතුරුවත් විභාගයේදී ප්‍රශ්න පත්‍රය ඡායාරූපගත කර (whatsapp) මඟින් යැවීමක් ශාලාධිපතිවරයාගේ නැවැත වැඩ තහනම්ස ම්බන්ධව තවත් ගුරුවරු දෙදෙනකුගේද වැඩ තහනම් කර ඇති අතර ඔවුන්ට මේ අවස්ථාව හිමිව නොමැත.


විභාග අක්‍රමිකතා චෝදනාව සම්බන්ධයෙන් වැඩ තහනමට ලක් වූ විභාග ශාලාධිපතිවරයා නැවැත සේවයේ පිහිටුවා ඇත්තේ ද තමා සේවය කළ විදුහලේම වීමද විශේෂත්වයකි. ශිෂ්‍යත්ව විභාග අක්‍රමිකතා සම්බන්ධයෙන් තවමත් විමර්ශන සිදුකෙරෙන අතර මේ  අකටයුත්ත සම්බන්ධයෙන් (නැවැත සේවයේ පිහිටුවීම) දේශපාලන භේදයෙන් තොරව අධ්‍යාපන අමාත්‍යවරිය වශයෙන් අගමැතිනිය මැදිහත් වී පරීක්ෂණ අවසන් වනතුරුවත් ශාලාධිපතිවරයාගේ නැවැත වැඩ තහනම් කර පරීක්ෂණවලට බලපෑම් කිරීමට නොහැකි වන පරිදි ව්නිවිදභාවයෙන් පරීක්ෂණ සිදු කර දෙන ලෙසට අගමැතිවරියගෙන් මවුපියෝ ඉල්ලා සිටිති.


අගමැතිවරියගෙන් සාධාරණයක් ඉටුවනු ඇතැයිද මවුපියෝ විශ්වාසය පළ කරති. තවදුරටත් මේ පත් කිරීම සම්බන්ධව.මේ සම්බන්ධයෙන් විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතාගෙන් “මව්බිම” කළ විමසීමේදී කියා සිටියේ විමර්ශන කටයුතු අඛණ්ඩව සිදුවන බවත් විනය ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බලධාරියා තමා නොවන බවත්ය. මේ සිද්ධිය සම්බන්ධයෙන් විනය ක්‍රියාමාර්ග ගැනීම සම්බන්ධයෙන් තීරණය ගනු ලබන්නේ පළාත් සභාව බවද විභාග  කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

 

මේ වන තුරුත් අඩුම තරමින් ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර ඇගයීමක්වත්සිදු නොකර තිබෙන පසුබිමක මෙවැනි අකටයුත්තක් සිදු කිරීම කිසිසේත් අනුමත කළ නොහැකි බව පළාත් සභාවේ ඉහළ පරිපාලන නිලධාහු කිහිප දෙනකුම සඳහන් කළහ.තවදුරටත් මේ වැඩ තහනම ඉවත් කිරීම සම්බන්ධව උතුරු මැද පළාත් ප්‍රධාන සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් සිරිමෙවන් ධර්මසේන මහතාගෙන් කළ විමසීමේදී මෙසේ පැවැසීය. "එවැනි වැඩ තහනම් කිරීමකදී “ වැඩ තහනම් වීමට ලක්වෙච්ච නිලධාරියාට අයිතියක් තියෙනවා අභියාචනයක් ඉදිරිපත් කරන්න. 


යළි සේවයේ පිහිටුවීම සම්බන්ධව මෙම අභියාචනය ආණ්ඩුකාරතුමාට යොමුකළා අනිත් ගුරුවරු දෙන්නාම වැරැද්ද භාර අරගෙන තිබෙනවා. නමුත් ශාලාධිපතිවරයා මේ වගකීමෙන් සම්පූර්ණයෙන් බැහැර වන්නේ නෑ. ඉදිරියේදී පැවැත්වීමට නියමිත ඕනෑම විධිමත් පරීක්ෂණයකට යටත්ව ආයතන සංග්‍රහය පරිදි යළි සේවයේ පිහිටුවා තිබෙනවා” යැයිද " සිරිමෙවන් ධර්මසේන මහතා සඳහන් කළේය. 


 චූල බණ්ඩාර කුලසේකර