Friday, August 30, 2019

එජාප කෘත්‍යාධිකාරියෙන් කිසිදු මන්ත්‍රීවරයකුට එරෙහිව විනය පරීක්ෂණ තීරණයක් නෑ



ජනාධිපති අපේක්ෂකත්වය සම්බන්ධයෙන් එක්සත් ජාතික පක්ෂය තුළ සංවාදයක් තිබීම ප්‍රජාතන්ත්‍රවාදී වන අතර අවසානයේ හොඳම අපේක්ෂිකයා තෝරාගන්නා බවද මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා කොළඹ එම අමාත්‍යංශයේ ඊයේ (20) පැවැති ප්‍රවෘත්ති සකච්ඡාවකදී පැවැසීය.ඇමෙරිකාව වැනි දියුණූ රටවල පවා අපේක්ෂකයින් තෝරා ගන්නේ තරගයකින් බවද එවැනි ක්‍රම සමහරුන්ට නොතේරීම වහල් තත්වයකැයිද එහිදි මංගල සමරවිර මහතා කීය.

එම ප්‍රවෘර්ති සාකච්ඡාවේදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් මංගල සමරවීර මහතා කීවේ පක්ෂයේ මන්ත්‍රීවරයකුට එරෙහිව විනය පරික්ෂණයක් පිළිබඳව තීන්දුවක් ගත යුත්තේ කෘත්‍යාධිකාරි මණ්ඩලය මගින් වන බවය. පක්ෂයේ මහ ලේකම්වරයාට හෝ සභාපතිවරයාට හෝ එවැනි විනය තීන්දුවක් තනිව ගත නොහැකි බවද එහිදී මංගල සමරවීර මහතා සඳහන් කළේය.

එක්සත් ජාතික පක්ෂයේ කෘත්‍යධිකාරි මණ්ඩලය කිසිදු මන්ත්‍රීවරයෙකු සම්බන්ධයෙන් එවැනි විනය පියවරකට තීන්දුවක් ගෙන නැතැයි ද මංගල සමරවීර මහතා කිය.රටපුරා විශාල සංවර්ධනය වැඩපිළිවෙළක් මේ වන විට දියත් කර තිබෙන බවද ගම්පෙරළිය වැඩසටහන යටතේ ගම්වල යටිතල පහසුකම් රැසක් නැංවෙන බවද ඇමැතිවරයා සඳහන් කළේය.

රාජ්‍ය සේවකයින්ට සැලකිය යුතු ප්‍රතිශතයකින් වැටුප් වැඩිකිරීමක් ලබාදී තිබෙන බවද ජනතාවගේ ජීවන වියදම අඩු වී ඇතැයිද මංගල සමරවීර මහතා සඳහන් කළේය. මේ වන විට ඉන්ධන මිල අඩුකර තිබෙන බවද ඉකුත් ආණ්ඩුව සමයට වඩා අද වන විට ඉන්ධන මිල අඩු බවද ඇමැතිවරයා කීය.

-රංජන් කස්තුරි-

මට කේන්තිය ඉවසන්න බැරිවුණා - ඉස්සහට ආ දරු දෙන්නාට කඩුවෙන් කෙටුවා


කුණු පෙට්ටියක් එදා උදේ මහ පාරට ඇදල දාල තිබුණා. අල්ලපු ගෙදර අය මට බැන්නා, කඩේ කුණු කියලා. මම පොලිසියට පැමිණිලි කරන්න ගිහින් ඉද්දී මට ගෙදරින් කිව්වා අපේ ගෙදරට පොලිසියෙන් ඇවිත් කියලා. මම පැමිණිල්ල දාන එක නවත්තලා ගෙදර ගියා.පොලිසියේ අය යන්න ගිහින්. එයාලා කියලා ගිහින් තිබුණා පාරේ කුණු දාලා තිබුණොත් උසවි දාලා රුපියල් 18000 ක් දඩ ගහනවා කියලා. එතකොට මට ආව තරහ හිතාගන්න බැරිවුණා.



වෙන්නප්පුව වයික්කාල ප්‍රදේශයේ නිවසක සිටි දරුවන් දෙදෙනෙකු 27 දා පෙරවරුවේ කඩුවකින් කපා ඝාතනය කළ සිද්ධියේ සැකකරු වන වයික්කාල පදිංචි වර්ණකුලසූරිය මිගෙල් කුට්ටිගේ ඉෂාන් සුදීප ප්‍රනාන්දු නමැත්තා පෙරේදා (28) විශේෂ ඉල්ලීමක් කරමින් මාරවිල මහේස්ත්‍රාත් හා දිසා විනිසුරු කේමින්ද පෙරේරා මහතා ඉදිරියේ එදින පස්වරුවේ මෙම පාපොච්චාරණයක් සිදු කරන ලදී.

සිද්ධියෙන් මියගියේ 19 හැවිරිදි ගාල්ලපතිරණගේ ගිම්හරි නිෂේලි රූපසිංහ සහ 8 හැවිරිදි සිසුවකු වූ සහන් මෙත්සර රූපසිංහ යන අක්කා මලෝ දෙදෙනෙකි. එදින උසාවියේ පැවති සියලු වෙනත් නඩු විමසා අවසන් කර නීතිඥවරුන් කිහිපදෙනකු, පොලිස් නිලධාරීන් හා උසාවි නිලධාරීන් කිහිපදෙනකු ඉදිරියේ මෙම පාපොච්චාරණය සිදු කිරීමට කටයුතු යොදා තිබූ අතර, උසාවි ඉහළ මහලේ දොරටු වසා තැබිණි. සැකකරු විත්ති කුඩුවේ සිටී.

විනිසුරු :මෙම පාපොච්චාරණය කරන්නේ කාගේ හරි බලපෑමකින්ද?

සැකකරු : නැත ස්වාමීනි, මගේ කැමැත්තෙන්.

විනිසුරු : පොලිසියෙන් බලපෑමක් කළාද? තමා නැවත පොලිසියට බාර දන්නේ නෑ.

සැකකරු: නැත ස්වාමීනී.

විනිසුරු: එහෙමනම් හයියෙන් කියන්න තියෙන දේ කියන්නෙ.

සැකකරු: මාගේ බිරිඳගේ ඉඩමක් විකුණලා මේ කැන්ටින් ව්‍යාපාරය පටන් ගත්තා. අසල නිවසේ පදිංචි අයගෙන් මට දිගින් දිගටම බලපෑම් ඇති වුණා. මම ව්‍යාපාරය කරන්න ගත්තේ ඕන වෙලාවක ගලවාගෙන යන්න පුළුවන් කන්ටේනර් පෙට්ටියකයි. මේ නිසා ලිඛිත අනුමැතියක් කාගෙන්වත් ගත්තේ
මේවාට අනුමැතිය ගන්න ඕනෑ කියා දැනගත් පසුව ප්‍රාදේශීය සභාවට ආර්ඩී එකට මට විරුද්ධව පැමිණිලි කරලා තිබුණා.තේ කඩය එතනින් ඉවත් කරන්න කියලා බලපෑම් කළා.

මේ ව්‍යාපාරයට රුපියල් ලක්ෂ 25 ක මුදලක් බිරිඳගේ ඉඩම විකුණලා යෙදෙව්වා. මට ව්‍යාපාරය නවත්තන්න අමාරුයි. පසුගිය මාස දෙක ඇතුළත මගේ අම්මාට, බිරිඳට මට දැඩි මානසික පීඩනයක්, කම්පනයක් මේ අය ඇති කළා. මගේ කන්ටේනර් එකෙන් එන වතුර ඉවත්ව යන විදියට පීලි දමා හදලා තිබුණේ. ඒත් ඒක මදි වුණා. මගේ ව්‍යාපාරය අල්ලපු ගෙදරට කරදරයක් කියා ප්‍රාදේශීය සභාවට පැමිණිල්ලි කළ නිසා වී.ඕ. මහත්තයෙක් ඇවිත් බැලුවා. ඔවුනුත් මට බලපෑම් කළා.

මම සාධාරණයක් ඉල්ලුවා. මම වෙන්නප්පුව ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාට කියා මෙය දිගටම කරගෙන යනවා. කට වචනෙන් කියා තිබුණේ. ලිඛිතව දුන්නේ නෑ. ඒ ගැන මගේ දුරකතනයේ රෙකෝඩ් කර තිබෙනවා. මට අද (27) සභාපතිතුමා පරීක්ෂණයකට සභාවට එන්න කියා තිබුණා. 26 දා රාත්‍රී කඩේ ඉස්සරහා තිබුණු කුණු බක්කි පෙරළා දමා තිබුණා. හේමන්තගේ බිරිඳ ඇවිත් කුණුවලට පයින් ගසා ජංගම දුරකතනයෙන් ෆොටෝ ගෙන තිබුණා. ඊට දවස් තුනකට කලින් මම වෙන්නප්පුව පොලිසියේ අයි.පී. ලියනගේ මහත්තයා සමග සාකච්ඡා කර මගේ මතු ආරක්ෂාවට පැමිණිල්ලක් දැම්මා.

ඊයේ (27) සිදුවීමෙන් (කුණු බක්කි සිද්ධියෙන්) පස්සේ  119 ට මම පොලිසියට ලෑන්ඩ් ෆෝන් එකට කෝල් කරලා පැමිණිල්ලක් දාන්න ගියා. එතකොට අම්මා කෝල් කරලා කිව්වා පොලිසිය ගෙදර ඇවිත් කියලා. මම කිව්වේ විනාඩි පහකින් එනවා කියලා. ගෙදර යද්දී එයාලා ගිහිල්ලා. එයාලා අම්මාට කිව්වලු පාරට කුණු දාලා ප්‍රශ්නයක් ඇති වුණොත් රුපියල් 18000 ක දඩයක් නියම කරනවා කියලා.

මම ලක්ෂ 25 ක් වියදම් කරලා ඉදිකළ ගොඩනැගිල්ල වෙනස් කරන්න වෙන්නේ අල්ලපු නිවසට කුලියට ඇවිත් ඉන්න ප්‍රියංගි සහ අයිතිකාර හේමන්තත් නිල්මිණීගේත් වැරදි වැටහීම නිසා බව මට හිතුණා. මට පළිගන්න හිතුණා. මට ඒ වෙලාවේ ආපු කේන්තිය නිසා මගේ නිවසේ තිබුණු කඩුවත් රැගෙන ඔවුන්ගේ නිවසට ගියා. මම මිනීමැරීමේ චේතනාවෙන් නෙවෙයි එතෙන්ට ගියේ. ඒත් එතෙන්ට යද්දි මට කේන්තිය දරා ගන්න බැරි වුණා. මට  හේමන්තගෙන් පළිගන්න ගිය මම ඔවුන්ගේ දරුවන් ඉදිරියට ආ නිසා මට මගේ කේන්තිය පාලනය කරගන්න නොහැකි වුණා.

මම කොටලා දැම්මා. කාට කෙටුවද, මොකටද කෙටුවේ කියා මම දන්නේ නෑ. මම කඩුවත් අරන් ඉස්සරහ පාරට දුවගෙන ආවා. ප්‍රියංගිලා කුලියට අරන් තියෙන ගෙදරට ගිහින් උරහිසින් දොරට පහර දුන්නා. ඇය ඉන්නවද කියා නිරීක්ෂණය කළා. ඇය හිටියේ නැති නිසා හැරිලා එන විට ගේට්ටුව ළඟ හිටපු දෙතුන් දෙනෙක් කඩුව ඉල්ලුවා. මම කඩුව කාටවත් දුන්නේ නෑ. මම නැවත කඩේ ගාවට ආවිට මගේ අතින් කඩුව කවුරු හරි උදුරා ගත්තා. සෙනග 150 200 විතර හිටියා. කවුද කඩුව ගත්තේ කියා දන්නේ නෑ.

ඒ වන විට ඇඳන් හිටියේ ඩෙනිමයි, ටීෂර්ට් එකයි. ඊට උඩින් ෂර්ට් එකක් ඇඳන් මම නිවස අසළ ග්‍රිල් වැඩපළේ අයෙකු සමඟ පැමිණ පොලිසියට බාර වුනා.මගේ බිරිඳ ළඟ සාක්ෂි තියෙන ජංගම දුරකතනය තියෙනවා. ඇඳුම්, අයිඩෙන්ටි, වටිනා කියන දේවල් ගෙදර තියෙනවා. ඒවා දැන් ගන්න යන්න විදියක් නෑ. මගේ බිරිදට, ඥාතීන්ට ඒවා ගන්න නිවසට යන්න පොලිස් ආරක්ෂාව සපයන්න කියා මම ඉල්ලනවා.

විනිසුරු : අසල්වාසී දරුවන්ගේ අවමඟුල් කටයුතු අවසන් වූ පසුව නිවසට ඥාතීන්ට යාමට පුළුවන්.

ඒ අවස්ථාවේ වෙන්නප්පුව පොලිසියේ නිලධාරීන් අමතා ඒ සඳහා අවශ්‍ය ආරක්ෂාව සැපයීමට වෙන්නප්පුව පොලිසියේ මූලස්ථාන පොලිස් පරික්ෂකවරයාට නියෝග කෙරිණි.සැකකරු වෙනුවෙන් නීතිඥවරු පෙනී නොසිටි අතර, උසාවි කටයුතු සඳහා සැකකරුගේ පාපොච්චාරණ අවස්ථාවට නීතිඥ නිලංග හෙට්ටිආරච්චි මහතා උසාවියට සහය දැක්විය. සැකකරු සැප්තැම්බර් 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට පිනිසුරු කේමින්ද පෙරේරා මහතා නියෝග කළේය.

පලෙයි වෛද්‍යවරයාගෙන් කළ ප්‍රශ්න කිරීමට අනුව තවත් 6ක් අත්අඩංගුවට



අත්අඩංගුවේ පසුවන පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලට අනුව තවත් පුද්ගලයන් හය දෙනෙකු අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේය.

එමෙන්ම, අත්අඩංගුවේ පසුවන පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය සින්නයියා සිවරුබන් විසින් ප්‍රභූ ඝාතන දෙකක් හෙළිකර තිබෙන බවට ගෙනයන ප්‍රචාර ද අසත්‍ය බවද ඔහු සඳහන් කළේය.

ත්‍රස්ත විර්ශන කොට්ඨාස නිලධාරීන් විසින් වෛද්‍යවරයාගෙන් සිදුකළ ප‍්‍රශ්න කිරීම්වලදී හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා හා හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඝාතනය කිරීමට සැලසුම් කිරීමක් සම්බන්ධයෙන් පාපොච්චාරණයක් සිදුකර ඇතැයි ප්‍රකාශ පළවෙමින් තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.

ත්‍රස්තවාදී ක්‍රියා සම්බන්ධයෙන් පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා ලෙස කටයුතු කළ සින්නයියා සිවරූබන් අත්අඩංගුවට ගත් බවත්, ඔහුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීම්වලට අනුව තවත් හය දෙනෙකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙන බවත් ඔහු පවසා සිටියේය.

මෙම හත් දෙනාගෙන් මේ වන විට සිදුකරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීම්වලට අනුව එවැනි ඝාතන සිද්ධියක් පිළිබඳ ප්‍රකාශ කර නොමැති බවද ඒ මහතා කියා සිටියේය.

වෛද්‍ය සින්නයියා සිවරූබන්ගේ ප්‍රශ්නකිරීම්වලට අනුව සින්නමනී තනේශ්වරන්, ඉරන්තිරම් ක්‍රිෂ්ණරාසා, මෝහන සුන්දරම්, විනාගමුර්ති නෙජලන්, වී. නිමලරාජ් සහ රූබන් ජතුසන් යන 06 දෙනා අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් පිළිබඳ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය වැඩිදුරටත් පරික්ෂණ පවත්වමින් තිබේ.

වෛද්‍යවරයාගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම්වලට අනුව පසුගියදා පුපුරන ද්‍රව්‍ය, පතොරම් හා අවි ආයුධ කිහිපයක් සොයාගනු ලැබිණි.

ඉන්දික හේවාවිතාරණ

සති දෙකක් ඇතුළත සී.අයි.ඩියට ප්‍රකාශයක් දෙන්න රවිට නියෝග


බැඳුම්කර නිකුතුව පිළිබඳ ජනාධිපති කොමිසම හමුවේ අසත්‍ය සාක්ෂි ලබාදුන්නැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන පරික්ෂණයට අදාළව ඉදිරි දෙසතිය තුළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන අංශ තුනෙහි පෙනීසිට ප්‍රකාශයක් ලබාදෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය විදුලිබල බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන ඇමැති රවී කරුණානායක මහතාට ඊයේ (29) නියෝග කළාය.

මෙම නියෝගයේ දැන්වීම්, අමාත්‍ය රවී කරුණානායක මහතා වෙත වහාම බාර දෙන ලෙසද මෙහිදි මහේස්ත්‍රාත්වරිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේත්තුවට නියම කළාය.  අධිකරණය මෙසේ නියෝග කළේ මෙම සිද්ධියට අඳාළව අධිකරණයෙන් නිකුත් කළ නියෝග ප්‍රකාරව ඉකුත් ජුනි මස 20 වැනිදා රවි කරුණානායක මහතා අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණ ප්‍රකාශණයන් කොටසක් ලබාදුන්නද එහි ඉතිරි කොටස ලබා දීම සඳහා කිහිප වතාවක්ම දැනුම් දුන්නද ඔහු හිතාමතාම එය මඟ හරින බවට රජයේ ජ්‍යෙෂ්ඨ නිතීඥ නදී අපර්ණා සුවඳගොඩ මහත්මිය දැක්වූ කරුණු සැලකිල්ලට ගනිමිනි.

මෙම සිද්ධියට අදාළව නිතිපතිවරයා නියෝජනය කරමින් රජයේ ජෙයෂ්ඨ නිතීඥ නදී අපර්ණා සුවඳගොඩ මහත්මිය සමඟ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය විමර්ශන 3 හි  ස්ථානාධිපති පොලිස් පරීක්ෂක තිලක් බණ්ඩාර මහතා අධිකරණය හමුවේ පෙනී සිටියේය.

රජයේ නිතීඥ නදි අපර්ණා සුවඳගොඩ මහත්මිය : භාණ්ඩාගර බැඳුම්කර සිද්ධියට අදාළව 2107 අගෝස්තු මස 02 වැනිදා රවී කරුණානායක අසත්‍ය ප්‍රකාශ ලබාදිම සම්බන්ධයෙන් වන විමර්ශනයට අදාළව ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගන්නා ලෙස ඉකුත් සැප්තැම්බර් මස 07 වැනිදා නීතිපතිවරයා ලිඛිතව උපදෙස් ලබා දී තිබෙනවා. මේ සිද්ධියට මේ වන විට වසරක් ගත වෙලා. රවි කරුණානායකගෙන් සම්පූර්ණ ප්‍රකාශයක් ගන්න සී අයි ඩී එකට මේ වන තෙක් හැකියාවක් ලැබී නැහැ. ඔහු හිතාමතාම් මේ ප්‍රකාශය ලබා දීම මග හරිනවා කියන සැකය දැන් මතු වී තිබෙනවා.

ඉකුත් අප්‍රේල් මස 22 සහ ජුනි මස 06 වැනිදා අපරාධ පරික්ෂණ දෙපාර්තතමේන්තූවේ පෙනී සිටින්නට දැනුම් දුන්නත් ඔහු පැමිණියේ නැහැ. පසුව අධිකරණය මහින් ඉකුත් ජුනි මස 20 වැනිදා නියෝගයක් නිකුත් කළා ජුලි මස 07 වැනිදා එම ප්‍රකාශය ලබා දෙන එන්න කියලා. අධිකරණ නියෝග ප්‍රකාරව ඔහු එදින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත පැමිණියා.

නමුත් සම්පූර්ණ ප්‍රකාශය ලබා දුන්නේ නැහැ. ලබා දුනනේ ප්‍රකාශයෙන් බාගයයි. ඉතිරිය ලබා ගැනීමට අපරාධ පරික්ෂණ  දෙපාර්තමේන්තුව ඔහුට අගෝස්තු මස 01 වැනිදා දුරකතනයෙන්  ඇමතුමක් ලබා දුන්නා. ඔහු ප්‍රතිචාර දැක්වුවේ නැහැ. පසුව අගෝස්තු 05 වැනිදා නැවතත් දුරකතනයෙන් ඔහු ඇමතු පසු ඔහු සඳහන් කර තිබුණේ අගෝස්තු 07 වැනිදා සී අයි ඩි යට පැමිණෙන බවයි. ඒත් ඔහු එදිනත් ආවේ නැහැ. පසුව 21 වැනිදා එනවා කිව්වා. එදිනත් නැහැ. 26 වැනිදා කතා කළාම දහවල් 12න් පස්සේ ගන්න කීවා. 12න් පස්සේ ගත්තාම ප්‍රතිචාර නැහැ.

ඔහු මේ ප්‍රකාශය ලබාදිම හිතමතා මඟ හරින බව තමයි හැඟී යන්නේ. මේ හේතුවෙන් විමර්ශනවලට බාධාවෙලා.  ඒ හේතුවෙන්  ඉදිරි දෙසතිය තුළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිට මෙම ප්‍රකාශය ලබා දෙන ලෙස නියෝගයක් නීකුත් කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටිනවා.ඒ අනුව ඊයේ (29) දින සිට සති දෙකක කාලයක් තුළ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව වෙත ගොස් ප්‍රකාශයක් ලබා දෙන ලෙස මහෙස්ත්‍රාත්වරිය රවි කරුණානායකට නියෝගයක් නිකුත් කරමින් සිද්ධියට අදාළ නඩුව ලබන නොවැම්බර් මස 21 වැනිදා තෙක් කල් තැබිය.

2015 පෙබරවාරි මස 01 වැනිදා සිට 2016 මාර්තු මස 31 වැනිදා දක්වා වූ කාල සීමාව තුළ භාණ්ඩාගාර බැඳුම්කර නිකුතුවක් පිළිබදව පරීක්ෂා කිරීම, විමර්ශනය කිරිම හා වාර්තා කිරීම සඳහා පත්කරන ලද විමර්ශන කොමිෂන් සභාව විසින් ස්වකීය වාර්තාවේ සඳහන් කර ඇති 25 වන නිර්දේශය සම්බන්ධයෙන් 2018 ජනවාරි මස 24 වැනිදා සිට කරන ලද විමර්ශනයේදි එකී කොමිෂන් සභාව විසින් 2017 අගෝස්තු මස 02 වැනිදා පවත්වන ලද සැසිවාරයේදි රවී කරුණානායක අසත්‍ය සාක්ෂි ලබාදුන් බව අනාවරණය වන බවට අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධියට අඳාළව අධිකරණය වෙත වාර්තාවක් මඟින් කරණු ඉදිරිපත් කර තිබිණි.

-නිමන්ති රණසිංහ-

පොහොට්ටු සාමාජිකත්වය ගත් සියලු දෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි සාමාජිකත්වය ලබාගත් සියලුම දෙනාට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහන් කරයි.

වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාගත් හා පක්ෂ සම්මේලනවලට පක්ෂයේ අනුමැතිය නොමැතිව සහභාගි වන සාමාජිකයන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගතයුතු බවට පක්ෂයේ මධ්‍යම කාරක සභාව තුළ පසුගියදා යෝජනාවක් සම්මත වූ බවද එම පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්ෂමන් පියදාස මහතා සඳහන් කළේය.

මෙම යෝජනාවට අනුව පක්ෂයේ නීතිරීති උල්ලංඝනය කළ පළාත් පාලන ආයතන නියෝජිතයන්ට විනය ක්‍රියාමාර්ග ගැනීම ආරම්භ කර තිබේන බවද ඔහු පවසා සිටියේය.

මීට අමතරව ඊයේ (29දා) දිනයේදී වෙනත් පක්ෂයක සාමාජිකත්වය ලබාගත් බව කියන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සාමාජිකයන්ට විනය ක්‍රියාමාර්ග ගන්නා බවත්, විනය ක්‍රියාමාර්ගවලදී වැරදිකරුවන් වන මහජන නියෝජිතයන්ගේ නියෝජිතභාවය අහෝසි වන බවත් ඒ මහතා සඳහන් කළේය.

මෙම පිරිසට අමතරව ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුර ලබාගෙන වෙනත් පක්ෂයක් ප්‍රවර්ධනය කිරීමට කටයුතු කළ අය පිළිබඳවද ක්‍රියාමාර්ග ගන්නා බවද හෙතෙම කියා සිටීයේය.

ඉන්දින හේවාවිතාරණ

මංගලගේ කොළඹ නිවෙසේ හමුවට සජිතට සහාය පළ කරන මැති ඇමති 30ක්



එක්සත් ජාතික පක්ෂයේ නියෝජ්‍ය නායක සහ නිවාස ඉදිකිරිම් සහ සංස්කෘතික කටයුතු අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කිරිමට සහාය පළ කරන එජාප මන්ත්‍රීවරුන්ගේ විශේෂ හමුවක් මුදල් අමත්‍ය මංගල සමරවීර මහතාගේ කොළඹ නිල නිවසේදි පෙරේදා (28) රාත්‍රියේ පැවැත්විණි.

මෙම සාකච්ඡාවට සජිත් ප්‍රේමදාස මහතාට සමීපතම මැති ඇමතිවරුන් 30 කට ආසන්න පිරිසක් සහභාගි වි ඇතැයි වාරිතා වේ. අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා එජාප ජනාධිපති අපේක්ෂකයා ලෙස නම් කරන ලෙස ඉල්ලමින් දීප ව්‍යාප්තව පවත්වන රැලි මාලාවේ මීළග රැළිය ලබන 05 වැනිදා කුරුණෑගල දි පැවැත්වීම සම්බන්ධයෙන් මෙහිදී දිර්ඝ ලෙස සාකච්ඡා කෙරුණු බව විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පැවසීය.

මෙම රැලි මාලාව දිවයිනේ සෙසු දිස්ත්‍රික්කවල ද පැවැත්වීම සම්බන්ධයෙන් එහිදී සාකච්ඡා කෙරුණු බව ඔහු සඳහන් කළේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් ප්‍රේමදාස මහතා අතර සමීක්ෂණ පිළිබඳ විශ්ලේෂණයක් ද එහිදී දිර්ඝ වශයෙන් සාකච්ඡා කෙරී ඇතැයි වාර්තාවේ.

ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව ඉදිරි ජනාධිපතිවරණය මෙහෙයවන ආකාරය සම්බන්ධයෙන් ද එහිදී සාකචිඡා කර ඇත. සජිත් ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණ අපේක්ෂකයා ලෙස පත්කිරීම පිළිබදව සිවිල් සමාජ ක්‍රියාකාරීන් සහ අනෙකුත් දේශපාලන පක්ෂ සමග ඉදිරි දිනවලදි සාකච්ඡා කිරීමට ද මෙහිදී එකඟතාවක් පළවූ බව පොදු සැපයිම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ  කැබිනට් නොවන අමාත්‍ය හර්ෂ ද සිල්වා මහතා පැවසීය.

රනිල් සජීත් සුසංයෝගයෙන් ඉදිරි ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා පක්ෂයේ සියලු දෙනා එකමුතුකරගෙන කණ්ඩායමක් ලෙස තරග කිරිමටද එහිදී තීරණය වූ බව අමාත්‍යවරයා වැඩිදුරත් සඳහන් කළේය.
අමාත්‍යවරුන් වන සජිත් ප්‍රේමදාස, මංගල සමරවීර, මලික් සමරවික්‍රම, ගයන්ත කරුණාතිලක, තලතා අතුකෝරල, චන්ද්‍රානි ඛණ්ඩාර, ඉරාන් වික්‍රමරත්ත, සුජීව සේනසිංහ, අජිත්. පී පෙරේරා යන මහත්ම මහත්මින් ඇතුලු පිරිසක් මෙම හමුවට සහභාගී වී ඇත.

-නිමල කොඩිතුවක්කු-

දෙහිවල ලොරියක් දුම්රියේ ගැටී 8 දෙනෙකුට තුවාල



දෙහිවල පීටර්ස් ලේන් අසල දුම්රිය මාර්ගය දෙසට පසුපසට ධාවනය වූ(රිවර්ස්) සීඝ්‍රගාමී දුම්රියක් හා ගැටීමෙන්  අට දෙනෙකු තුවාල ලබා  රෝහල් ගතකර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

තුවාල ලැබුවන් කලුබෝවිල ශික්ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

කොළඹ මරඳාන සිට බෙලිඅත්ත දක්වා  දුම්රිය ධාවනය වෙමින් තිබියදී ගඩොල්  පටවා ගත් ලොරියක පිටර් ලේන්නේ මාර්ගයේ පසුපසට ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිඳුව ඇතැයි පොලිසිය කියයි.

ලොරිය දුම්රියේ ගැටීමත් සමඟ දුම්රියේ පා පුවරුවේ ගමන් ගත් මගීන් එයින් බිමට පැන තුවාල ලබා ඇතැයි පොලීසිය කියයි.

තුවාලකරුවන් පිරිසෙන් දෙදෙනෙකුගේ පැද වලට බරපතල තුවාළ සිඳුව ඇතැයි රෝහල් ප්‍රකාෂකයෙකු පැවසීය.

ලොරි රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර දෙහිවල පොලිසියේ වැඩිදුර පරික්ෂණ පවත්වයි.

බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ දෙහිවල එච්.එම්. ධර්මපාල

කෝටිපතිනියකගේ වෙස්ගෙන මැණික් ව්‍යාපාරිකයෙකුට කෝටි 2500ක පොල්ලක් තියලා



     කෝටිපති ව්‍යාපාරිකාවක ලෙස පෙනී සිටිමින් මැණික්  ව්‍යාපාරිකයකුට අයත් රුපියල් කෝටි 2500ක් වටිනා මැණික් ගල් 400ක් ලබාගෙන මුදල් නොදි වංචා කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත කරුණු වාර්තා කරමින් පැවසීය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වංචා කිරීම සහ විශ්වාසය කඩ කිරිමට අදාළව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 403.380 වගන්ති ප්‍රකාරව අධිකරණය වෙත කරුණු වාර්තා කර තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ෂණ ඒකක 3 ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්සක රවීන්ද්‍ර විමලසිරී මහතා විසිනි.

මැණික් වෙළෙඳාමට අදාළ තැරැව්කරුවකු විසින් කෝටිපති ව්‍යාපාරිකාවක ලෙසින් හදුන්වා දෙන ලද කාන්තාවක් තමන් සතුව තිබූ රුපියල් කෝටි 2500ක් වටිනා විවිධ වරිගයේ මැණික් ගල් 400ක් ලබාගෙන මුදල් නොදී වංචා කළැයි මෙම පැමිණිල්ල අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා නිබුනේ හිදැල්ලන, රත්නපුර පදිංචි එන්.පී.ආර්. ජයරත්න නමැති මැණික් ව්‍යාපාරිකයකු විසිනි.

තමන් ඉකුත් 1991 වසරේ සිට මැණික් ව්‍යාපාරිකයකු ලෙස සේවයේ යෙදෙන බැවින්, තැරැව්කරුවෙකු මාර්ගයෙන්  ඉකුත් 2017 වර්ෂයේ නොවැම්බර් මස 21 වැනිදා මෙම තැනැත්තිය හදුනාගත් බවින් මෙම තැනැත්තිය මෙරට ප්‍රධාන පෙළේ දේශපාලනඥයකුගේ නැගණියක් ලෙසින් ද හදුන්වා දී ඇතැයි ද සඳහන් කර ඇත.

තමන් සතු මැණික් ගල් 400ක් ලබාගත් එම තැනැන්තිය මුදල් ලබා දීම සඳහා තමන් සමග කොළඹ 07 ධර්මපාල මාවතේ පිහිටි පෞද්ගලික බැංකුවක් වෙත ගිය බවත් එහිදී කළමනාකරු මුණගැසීමෙන් අනතුරුව මුදල් තවමත් තම ගිණුමට ලැබී නැති බව සඳහන් කළ බවත් පැමිණිලිකරු සිය පැමිණිලෙන් දක්වා ඇත. පසුව ඇය පිළිබඳ සොයා බැලීමේදී ඇය ලබා දී ඇති දුරකතන අංකවලට ප්‍රතිචාර නොදක්වා මුදල් ලබා නොදී මඟහැර සැඟවී සිටින බැවින් මේ පිළිබඳව විමර්ශනයක් සිදුකරන ලෙසට පැමිණිල්ල ඉල්ලා ඇත .

මෙම සිද්ධියට අදාළව මේ වනවිට තැරැව්කරුවන් ඇතුළු පුද්ගලයන් සිව් දෙනකුගෙන් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර, සැකකාරිය සම්බන්ධයෙන් කරුණු අනාවරණය කරගෙන ඇති බවත් විමර්ශන අවසානයේදී සැකකාරිය අත්අඩංගුවට ගෙන අධිකරණය වෙන ඉදිරිපත් කරනු ලබන බවත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කළේය.

 නිමන්ති රණසිංහ

Thursday, August 29, 2019

රෝහිත ඇතුළු 4ක් විශේෂ පුහුණුවක



ලෝක රග්බි සම්මේලනය විසින් සංවිධානය කරන ලද අධ්‍යාපන වැඩසටහන්නට හිටපු ක්‍රීඩකයන් හා පුහුණුකරුවන් වන රෝහිත රාජපක්ෂ, රජිව් පෙරේරා, ෂම්ලි නවාස් සහ දුමින්ද සිල්වා යන අය සහභාගි වුහ. රග්බි පුහුණු උප දේශක වයිපර් ගුණරත්න මහතා විසින් මෙම වැඩසටහන මෙහෙ යවන ලද අතර ශ්‍රී ලංකා රග්බි සංගමය ඊට අනුග්‍රහය දැක්වීය.ශාන්ත තෝමස් විදුහලට නායකත්වය දුන් රෝහිත රාජපක්ෂ පසු කලක නාවික හමුදාව සහ සී එච් ඇන්ඩ් එෆ් සී ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කළේය.

මෙම වන විට ඔහු තර්ස්ටන් විදුහලේ අවුරුදු 19 න් පහළ රග්බි කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කරයි. ශාන්ත පිතර විදුහල් හිටපු ක්‍රීඩකයකු මෙන්ම දැනට ශාන්ත පීතර විදුහල් ප්‍රධාන රග්බි පුහුණුකරුවාද වන රජීව් පෙරේරා ද මෙම අධ්‍යපන වැඩසටහනට සහභාගි විය. ඉසිපතන විදුහලේ හිටපු ෆ්ලෑන්කර් ක්‍රීඩකයා වූ ශම්ලි නවාස්ද ඔහු සමග සිටියේය.

ශම්ලි මේ වන විට ගල්කිස්ස ශාන්ත තෝමස්  රග්බි පිළේ පුහුණුකරුවා වශයෙන් කටයුතු කරයි. හිටපු ද්විත්ව ජාත්‍යන්තර  (රග්බි පාපන්දු හා  පැසිපන්දු ) ක්‍රීඩකයෙක්  වන දුමින්ද ද සිල්වා ත්‍රිත්ව විද්‍යාලය වෙනුවෙන් ක්‍රීඩා  කළ අතර ඔහු පසුව සි එච් කණ්ඩායම වෙනුවෙන් සහ හැව්ලොක්ස් කණ්ඩායම වෙනුවෙන් ක්‍රීඩා කළේය.

ඔහු ආනන්ද විදුහලේ රග්බි කණ්ඩායම පුහුණුකරු සහ හොංකොං හි සංචාරය කළ ශ්‍රී ලාංකික සත් සාමාජික කණ්ඩායමේ 19 න් පහළ කණ්ඩායමේ කළමනාකරු ද විය. දැනට ආසියාවේ සිටින්නේ රග්බි
උපදේශකවරුන් 165 දෙනකු පමණයි.  රෝහිත රාජපක්ෂ, රජීව් පෙරේරා, ෂම්ලි  නවාස් සහ දුමින්ද සිල්වා ශ්‍රී ලංකාවේ දැනට සිටින එකම උපදේශකවරයා වන වයිපර් ගුණරත්න මහතා යටතේ වසරක කාලයක් කටයුතු කරනු ඇත.


හිටපු අධිකරණ ඇමැතිගේ ක්‍රියා කලාපය විවේචනය කළා මිස විනිසුරුවන්ට අපහාස කිරමේ චේතනාවක් තිබුණේ නෑ



තමන්ට විනිසුරුවරුන්ට අපහාස කිරීමේ චේතනාවක් නොතිබූ බවත්, තමාගේ අරමුණ වූයේ හිටපු අධිකරණ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය විවේචනය කිරීම යැයි තමන්ට එරෙහිව ගොනු කර ඇති අධිකරණ අපහාස නඩුව ඊයේ (28) ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ විභාගයට් ගනු ලැබූ අවස්ථාවේදී මහාමාර්ග හා මාර්ග සංවර්ධන රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා පැවසීය.  රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහි මෙම පැමිණිල්ල සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුන්ගෙන්  සමන්විත විනිසුරු මඩුල්ලක්                                                                                     හමුවේ සලකා බැලිණි.

රංජන් රාමනායක රාජ්‍ය අමාත්‍යවරයාට එරෙහි මෙම පැමිණිල්ල සිසිර ද ආබෲ, ප්‍රසන්න ජයවර්ධන සහ විජිත් මළල්ගොඩ යන මහත්වරුගෙ සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණි. විශ්‍රාමලත් හමුදා නිලධාරියකු වන සුනිල් පෙරේරා මහතා ඉදිරිපත් කළ පැමිණිල්ලකට අනුව නීතිපතිවරයා විසින් මෙම චෝදනා පත්‍රය රංජන් රාමනායක මහතාට එරෙහිව ගොනු කර තිබිණි.

පැමිණිල්ල වෙනුවෙන් හිරු ප්‍රවෘත්ති සේවයේ අධිකරණ වාර්තාකරු අජිත් වික්‍රමසිංහ මහතා වැඩිදුරටත් සාක්කි දෙමින් කියා සිටියේ විත්තිකාර රංජන් රාමනායක මහතා කියා සිටියේ පස්වතාවක්ම අදාළ ප්‍රකාශය ඉල්ලා අස්කර නොගන්නා බව මාධ්‍යයට පැවසූ බවය.අජිත් පික්‍රමසිංහ මහතාගේ සාක්කිය අවසන්  වීමෙන් පසු පැමිණිල්ලේ සාක්කි අවසන් බව අතිරේක සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නේය. ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතාගේ මෙහෙයවීම මත සාක්කි දුන් නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා මෙසේද කීය.

"මම දැනට පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් සහ රාජ්‍ය අමාත්‍යවරයෙක් හැටියට කටයුතු කරනවා. මා උසස් පෙළ අවසන් කිරීමන් පසුව මගේ මාමා කෙනකු වන විජය කුමාරතුංග මහතාගේ ආශිර්වාදයෙන් චිත්‍රපට ක්ෂේත්‍රයට පිවිසුණා. පළමුව සමූහ දර්ශනවල සුළු චරිතවලට රගපෑවා. ඊට පසු වීරයාගේ හිතවතා වුණා. පසුව ප්‍රධාන චරිත රැසක් රඟපෑවා. චිත්‍රපට 7ක් තිර නාටක ලියා අධ්‍යක්ෂණය කළා.

1986 වසරේ සිට මෙම රගපෑම් නිරතනවා.  ඉන්දියාවේ රගපෑමකට ගිය අවස්ථාකදි රනිල්
වික්‍රමසිංහ මහතා මුණගැසුණා. ඒ අවස්ථාවේද එතුමා මට ක්‍රියාකාරී දේශපාලනයට සම්බන්ධවන්න කියා ආරාධනා කළා. ඉන්පසුව මා කටාන ආසනයේ එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන සංවිධායක හැටියට පත් කළා.
ඔය අතරේ 2008 පළාත් සභා මැතිවරණය ප්‍රකාශයට පත් කළා. සබරගමුව මහ ඇමැති ධුරයට තරග කිරීමට සිටි උපුල් ශාන්ත සන්නස්ගල මහතා තරග කළේ නැහැ. මා ඒ වෙනුවට තරඟ කළා. ඡන්ද 119,000 ලබා ගත්තා.

අනෙක් පක්ෂයේ මහ ඇමැති ධුර අපේක්ශකයා ගත්තේ 95,000ක් පමණයි. අපේ පක්ෂය සබරගමුව පළාත් සභාවේ ජය නොගත් නිසා මා විපක්ෂ නායකයා හැටියට කටයුතු කළා. 2010 වසරේදී රත්නපුර දිස්ත්‍රික්කය ජය ගෙන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු හැටියට තේරි පත් වුණා. 2015 සිට මේ දක්වා ගම්පහ දිස්ත්‍රික්ක පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු ලෙස කටයුතු කරනවා. මා දැනට නියෝජ්‍ය ඇමැතිවරයකු හැටියට ද කටයුතු කරනවා.

මගේ ප්‍රථම තිර රචනය චාලි චැප්ලින්ගේ චිත්‍රපටියක් ඇසුරින් සැකසූ "පාර්ලිමන්ට් ජෝක්ස්” චිත්‍රපටියයි. එය දූෂිත දේශපාලනය ගැන කතා කරන චිත්‍රපටියක්. "නවරියන්" චිත්‍රපටිය දූෂිත වෛද්‍යවරුන් ගැන කතා කරන චිත්‍රපටයක්. මම කිසිම දූෂිත වැඩකට සම්බන්ධ නැහැ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 100කට මත්පැන් බලපත්‍ර තිබෙනවා. පාර්ලිමේන්තු මන්ත්‍රී 75 දෙනකුට වැලි බලපත්‍ර තිබෙනවා.

මට තිබුණේ එක චෝදනාවයි. ඒ මගේ මන්ත්‍රී වාහන බලපත්‍රය විකුණුවා කියලයි. මම ඒක විකුණලා මැදපෙරදිග සේවයට ගොස් ඇණ 20ක් ගසා තුවාල වී පැමිණි ආරියවතී නමැත්තියට ගෙයක් හදලා දුන්නා. මට තවමත් නිවසක් සහ වාහනයක් නැහැ. ස්ත්‍රියකට අඩත්තේට්ටම් කිරීමේ චෝදනා තිබුණා. ඒකෙන් මම නිදහස් වුණා. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් පැමිණීමේ දීමනාව රුපියල් 500 සිට 2500 දක්වා වැඩි කළා.
එහෙත් මා එම වැඩි වූ මුදල ගත්තතේ නැහැ.

මන්ත්‍රී වැටුප් දීමනාව රුපියල් ලක්ෂයකින් වැඩි වූවා. මා එලෙස වැඩි වූ දිමනාවත් ගත්තේ නැහැ. මා නියෝජ්‍ය ඇමැතිවරයකු ලෙස පත් වූ විට කෝටි 4ක් 5ක් වැඩි වටිනාකම් සහිත සැප වාහන ගැනීමත් ප්‍රතික්ෂේප කළා. මම දේශපාලනඥයකු ලෙස වත්කම් බැරකම් ප්‍රකාශ නිසි ආකාරයෙන් ලබා දීලා තිබෙනවා. මා ඇතුළු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් හත් දෙනකු පමණයි එලෙස වත්කම් බැරකම් ප්‍රකාශ ලබා දී තිබෙන්නනේ.
මෙම සිද්ධියට අදාළ වන්නේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායම් රැස්වීම අවසන් වී මාධ්‍යවේදින්ට මා කළ ප්‍රකාශයයි. මෙම රැස්වීම පැවැත්වූයේ එවකට අධිකරණ අමාත්‍යවරයා විසින් සිදුකළ අමාත්‍ය මණ්ඩල සාමූහික වගකීම කඩකිරීම සම්බන්ධවයි.

මා මාධ්‍යවේදීන් හමුවේ එවකට සිටි අධිකරණ ඇමැතිවරයා වනිතා කටයුතු ඇමැති ධුරයට සුදුසු යැයි පැවසුවා. එකට සිටි අධිකරණ අමාත්‍යවරයා බොහෝ ප්‍රසිද්ධ ජනාධිපති නීතිඥවරයෙක්. ඔහුට බොහෝ සේවාදායකයන් පිරිසක් හිටියා. ඔහුට විරුද්ධව විවිධ චෝදනා තිබුණා. විවිධ දේශපාලනඥයන් ආරක්ෂා කිරීම පිළිබඳ චෝදනා තිබුණා. මෙම කරුණු පැහැදිලි කිරීමටයි මට  අවශ්‍ය වූණේ. කාටවත් මඩ ගැසීමට මට අවශ්‍ය වුණේ නැහැ.

මෙම සිද්ධියට සම්බන්ධ ප්‍රකාශ කිරීමේදී නීතිඥවරයා, කළුකෝටිකාරයා, ලෝයර් යන වචන මම භාවිත කළා. මට අවශ්‍ය වූයේ හිටපු අධිකරණ අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපය විවේචනය කිරීම පමණයි. ඒ අවස්ථාවේදී මට විනිසුරුවරුන් ගැන අදහසක් තිබුණේ නැහැ. පසුව මෙම සිද්ධිය ගැන මා කළ ප්‍රකාශ ඉල්ලා අස් කර ගනේ නැහැ කියලා මාධ්‍යයට ප්‍රකාශ කළා. මා කියූ දේ බොරුවක් නොවෙයි කියන මතයේ හිටියා.

එක් හිටපු අගවිනිසුරුවරයකු නමුත් දුන් තීන්දුක් පිළිබඳව ජනතාවගෙන් සමාව ඉල්ලුවා. තවත් හිටපු අගවිනිසුරුවරයකු වත්මන් ජනාධිපතිවරයා මුණගැසී කැමති තීන්දු ලබා දෙන බව පවසා තිබුණා. ඒ අතර දූෂිත නැති ශ්‍රේෂ්ඨ පිනිසුරුවරුනුත් හිටියා. මෙම කරුණු සලකා බැලීමෙන් පසු මා කළ ප්‍රකාශය ඉල්ලා අස් කර නොගත යුතු බව හිතුණා. තවද රජා අසාධාරණකම් කරනවා නම් ඇමැතිවරු ගැන කර කතාද, ප්‍රධාන විනිසුරුරුන් මෙහෙම නම් අනිත් විනිසුරුවරුන් ගැන කවර කතා දෑයි මම හිතුවා.”

විනිසුරු සිසිර ද ආබෲ : විත්තිකරු සාක්කි දෙන්නේ හිටපු විනිසුරුවරුන් සම්බන්ධවයි. එහෙත් සිද්ධිය සම්බන්ධ ප්‍රකාශ අදාළ වන්නේ වර්තමානයේ සේවයේ යෙදී සිටින විනිසුරුවරුන් සම්බන්ධවයි. ඒ ගැන මොකද කියන්නේ ?

විත්තිකාර රාජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ.  සුමන්තිරන් මහතා: විත්තිකරු විනිසුරුවරුන්ට අපහාස කිරීමේ  චේතනාවක් තිබුණේ නැහැ. ඔහුගේ මූලික
අරමුණ වූයේ එවකට අධිකරණ ඇමැතිවරයාගේ ක්‍රියාකලාපය විවේචනය කරන එකයි. ඔහු නීතිඥවරයෙක්. ඒ පිළිබඳ ඔහු පැවසුවා. පැමිණිල්ල පිළිබඳ වැඩිදුර විභාගය සැප්තැම්බර් 10 වැනිදාට කල් තැබිණි.

-තිළිණි ද සිල්වා-

ටයිගර් වුඩිස් නැවතත් පැමිණීමට සූදානමින්


දණහිසේ ආබාධයක් හේතුවෙන් මඳ කලක් ක්‍රීඩාවෙන් විවේකගෙන සිටි ඇමෙරිකානු ගොල්ෆ් ශුර ටයිගර් වුඩිස් එළඹෙන ඔක්තෝබරයේදී නැවතත් ගොල්ෆ් පිටියට පැමිණිමට තීරණය කර තිබේ. වුඩ්ස්ගේ දණහිසේ ආබාධය සඳහා සිදුකළ ශල්‍යකර්මය සාර්ථක වීමෙන් අනතුරුව ඔහු මෙම තීරණය ගෙන ඇත.

ඒ අනුව වුඩිස් වෘත්තීය ගොල්ෆ් ශුරයන්ගේ සම්මේලන (PGA) තරගාවලිය යටතේ ඔක්තෝබර් මස (24 -27) ජපානයේදී පැවැත්වෙන  "ZOZO" තරගාවලියට සහභාගි වීමට සුදානමින් සිටී.

මේ දක්වා 'PGA'තරගාවලි 81ක ශුරතා හිමිකරගෙන සිටින වුඩ්ස්, ලොව දෙවැනි වැඩීම 'PGA' ශූරතා ප්‍රමාණයක් දිනාගත් ක්‍රීඩකයා වේ. කෙසේ වෙතත් එහි පෙරමුණේ පසුවන ඇමරිකාවේ සෑම් ස්නෙඩ් (ශුරතා 82) පසු කිරීමට ඔහුට අවශය වන්නේ තවත් ශුරතා දෙකක් පමණි,

ගොල්ෆ් ඉතිහාසයේ බිහිවූ දක්ෂතම ක්‍රීඩකයා ලෙසින් අවිවාදයෙන්ම කිව හැකි වුඩිස් මේ දක්වා ලොව ප්‍රධාන පෙළේ ගොෆ් තරගාවලි 15කම ශුරතා හිමිකරගෙන තිබේ.

කලක් සිය පෞද්ගලික දිවියේ මෙම ගොල්ෆ් පිටියේද ශීඝ්‍ර පසුබෑමකට මුහුණ දී සිටි වුඩිස්, 2017 වර්ෂයේදී එහි උච්චතම අවස්ථාවට පත්වූයේ ගොල්ෆ් ශ්‍රේණිගත කිරීම්හි 193 වැනි ස්ථානයට පත්වෙමිනි. කෙසේ වෙතත් නැවතත් ක්‍රම ක්‍රමයෙන් එහි ඉහළට පැමිණීමට වුඩිස්ට හැකිවූ අතර, මේ වසරේ අප්‍රේල් මසදී ඔහු ශ්‍රේණිගත කිර්ම්හි 06 වැනි ස්ථානය දක්වා ඉහළට පැමිණියේය.

වුඩිස් මාස්ටර්ස් ගොල්ෆ් ශුරතාවය දිනාගත් අතර, ඒ සමග ඔහුට වසර 11කට පසු ප්‍රධාන පෙළේ (Major) ගෝල්ෆ් ශුරතාවකට හිමිකම් කීමටද අවස්ථාව උදා විය.

ඕෂික වරකපිටිය

දරු ප්‍රසූතියට සූදානම්ව රෝහල්ගත කළ ගැබිනියක් මිය යෑම සම්බන්ධයෙන් පොලිස් පරික්ෂණ



ප්‍රථම දරු ප්‍රසූතිය සඳහා හොරණ මූලික රෝහලට ඇතුළත් වූ කාන්තාවක් හදිසියේ මිය යෑම සම්බන්ධයෙන් විධිමත් පරික්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා ඇයගේ සැමියා ඇතුළු ඥාතීහු පැමිණිල්ලක් කර ඇති බව හොරණ මූලස්ථාන පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ හොරණ මුණගම, දික්හේනපුර පදිංචිව සිටි ටී.එම්.නිර්මලා නිශා කුමාරී (අවු.25) නමැත්තියකි.

හොරණ මූලික රෝහලට අනුයුක්තව කරන මාතෘ හා ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයෙකු පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකදී මරණකාරිණිය අවස්ථා කිහිපයකදීම පරීක්ෂා කර තිබෙන අතර, එහිදී දරුවා හා මව හොඳින් සිටින බව අදාළ වෛද්‍යවරයා පවසා තිබූ බවත්, ඊට අමතරව පවුල් සෞඛ්‍ය සේවිකාවකගෙන් උපදෙස් ඒ අයුරින් පිළිපදිමින් කටයුතු කළ බවත්, පැමිණිල්ලේ සඳහන් වේ.

වෛද්‍ය උපදෙස් මත පසුගිය 20 වැනිදා හොරණ මූලික රෝහලට ඇතුළත් කළ මරණකාරීණිය එහිදී සාමාන්‍ය පරිදි දරුවා ප්‍රසුත කිරීමට කටයුතු කළද එය නොහැකිවූ කළ සිසේරියන් සැත්කම සිදුකර ඇති බවත් මෙම සැත්කම් නුපුහුණු වෛද්‍යවරුන් පිරිසක් සිදුකර ඇති බවත් මරණකාරියගේ ඥාතීන් පොලීසියට කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සදහන් වේ.

මේ පිළිබඳව හොරණ මූලික රෝහලේ ප්‍රධාන වෛද්‍ය අධිකාරී අයන්තිකා ජයවර්ධන මහත්මියගෙන් කළ විමසීමේදී මෙසේ පැවසුවාය..
"අප රෝහලේ මාතෘ මරණයක් සිද්ධවෙලා තියනවා. ඒ සම්බන්ධයෙන් අපි දැනගත් වහාම ක්‍රියාත්මක වුණා, ආසන්න මට්ටමින් මූලික විමර්ශනයක් හිමි වින වනවිටත් ආරම්භ කරලා තියෙනවා. ඊට අමතරව සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් මෙන්ම පවුල් සෞඛ්‍ය කාර්යාංශයෙන් මාතෘ මරණයකදී සිදුකරන විමර්ශනය සඳහා අවශ්‍ය සියලුම ලියකියවිලි අපි දැනටත් යවලා තියෙනවා. තවමත් අප ආයතන මට්ටමින් විමර්ශන සිදුකරන නිසා දැන්ම ප්‍රතිඵලය ගැන කියන්න අපහසුයි."

මේ පිළිබඳව කළුතර දිස්ත්‍රික් සෙඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතාගෙන් විමසීමේදී මෙසේ පැවසීය.
"එම මාතෘ මරණය සිදු වූ වහාම හොරණ මුලික රෝහලේ වෛද්‍ය අධිකාරීතුමිය ඒ බව වාචිකව හා ලිඛිතව දැනුම් දුන්නා. එම හදිසි මරණය සම්බන්ධයෙන් අංශ කිහිපයක්ම මේ වනවිටත් විමර්ශන ආරම්භ කරලා තියනවා. සෞඛ්‍ය. අධ්‍යක්ෂ ජනරාල්වරයාගේ අවධානය මෙම මාතෘ මරණය කෙරෙහි යොමු කරලා තිබෙනවා.අදාළ මරණය සම්බන්ධයෙන් මියගිය අයගේ ඥාතීන්ගෙන් මෙතෙක් පැමිණිල්ලක් ලැබුණේ නැහැ. ඒ කෙසේ වෙතත් විශේෂ කටයුත්තක් සේ සලකා සෑම අංශයකින්ම මේ පිළිබඳ විමර්ශන පවත්වනවා."

මියගිය කාන්තාවගේ ඥාතීන්ගෙන් පොලීසියට ලද පැමිණිල්ල අනුව හොරණ අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් අනතුරුව වැඩබලන මහේස්ත්‍රාත් චන්දන විජේසූරිය මහතා හොරණ මූලික රෝහල් මාතෘ ශරීරාගාරය වෙත ගොස් මූලික මහේස්ත්‍රාත් මරණ පරීක්ෂණය පවත්වා මළ සිරුර කළුබෝවිල රෝහලේ තැන්පත් කොට පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියෝග කළේය.

කළුබෝවිල ශික්ෂණ රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරී බන්දුල විජේසිංහ මහතා මරණය සම්බන්ධයෙන් විවෘත තීන්දුවක් ලබාදුන් බවත්, ශරීර කොටස් වැඩිදුර පරික්ෂණය සඳහා රජයේ රස පරික්ෂක වෙත යොමු කිරීමට තීරණය කළ බවත් පොලීසිය පවසයි.

සිද්ධිය සම්බන්ධයෙන් හොරණ මූලස්ථාන පොලීසියේ වැඩබලන ස්ථානාධිපති පොලිස් පරික්ෂක රුවන් ඉන්දික ඇතුළු නිලධාරීහු පරීක්ෂණ පවත්වයි.

බිමල් ශ්‍යාමන් ජයසිංහ

වල් අලියෙක් අනුරපුර පූජා නගරයට කඩාපනී - දෙදරු මවක මරා දමයි



අනුරාධපුර පූජා නගර සීමාවට ඊයේ (28) උදැසන කඩා වැදුණු වල් අලියකු තිසාවැවේ වෑකන්ද අසල නිවසක පදිංචිව සිටි 70 හැවිරිදි කාන්තාවකට පහරදී ඇය එතැනම මරා දමා ඇතැයි අනුරාධපුර පොලිසිය පවසයි.
මියගොස් ඇත්තේ දෙදරු මවක වන පියදිගමගේ කල්‍යාණි පද්මා නමැත්තියකි.

සිද්ධිය වන අවස්ථාවේ ඇය නිවසේ තනිවම සිටි බව පොලිස් පරීක්‍ෂණවලදී අනාවරණය වී ඇත.වල් අලියා ඇගේ ගෙවත්තට කඩා වැදී කෙසෙල් ගස් පෙරළා කා දමද්දී එම ශබ්දය ඇසී ඇය ඒ දෙසට යද්දී වල් අලියා ඇයට පහර දෙන්නට ඇතැයි සැකකරන බව පොලිසිය කියයි.වල් අලි ප්‍රහාරයෙන් ගෙවත්තේ මියගොස් සිටි ඇය ඊයේ පෙරවරු 10.00ට පමණ මුලින්ම දැක ඇත්තේ ඒ අසල කුඹුරක ගොයම් කැපීමට ආ අයෙකු විසිනි.

පසුව ඔහු මේ පිළිබඳ  අසල්වාසීන්ට හා උඩමළුව පොලිසියට දැනුම් දී තිබිණි. කාන්තාවට පහර දුන් වල් අලියා ඉන් පසු තිසාවැවේ වෑකන්ද  පහළින් රන්මසුඋයන හා ඉසුරුමුනිය හරහා වෙස්සගිරිය දෙසට  ගොස් තිබේ. වෙස්සගිරිය දෙසට පැමිණෙද්දි එම ප්‍රදේශයේ පදිංචිකරුවන් වල් අලියා දැක තිබිණි.

වෙස්සගිරිය දෙසට ගිය වල් අලියා ආපසු හැරි තිසාවැවට පැමිණ දියට බැස පිහිනා පැරැණි පුත්තලම පාර දෙසින් වැව්වෙන් ගොඩවී තිසාවැව පොදු සුසාන භූමියේ කම්බි වැටද කඩාගෙන සුසාන භූමියට ඇතුළුවී ඊට පිටුපස තිබෙන කැලෑ රොදට යන අයුරු බොහෝ දෙනකු දැක තිබිණි. මේ ගැන දැනගත් වහාම උඩමළුව පොලිසියේ නිලධාරිහු සහ අනුරාධපුර හා පණ්ඩුලගම වනජීවී කාර්යාලයේ නිලධාරිහු එම ප්‍රදේශයට ගොස් ප්‍රදේශවාසීන්ගේ ආරක්ෂාව තහවුරු කිරීමට කඩිනමින් පියවර ගත්හ.

එම ස්ථානයේදී අපට  හමුවූ අනුරාධපුර වනජීවී  කලාපය භාර පශු වෛද්‍ය චන්දන ජයසිංහ මහතා පැවසුවේ තිසාවැව පොදු සුසාන භූමිය හා නීරාවිය නිවාස සංකීර්ණය අතර ඇති කුඩා කැලෑ ප්‍රදේශයේ කොටුවී සිටින වල් අලියා දිවා කාලයේදි පළවා  හැරීමට ක්‍රියා කිරිම අනතුරුදායක බැවින් රෑ බෝ වූ පසු පළවා හැරීමට කටයුතු කරන බවය. පවතින නියං තත්ත්වය නිසා මේ අලියා විහාර පාළුගම පැත්තේ කැලෑවේ සිට දිය බොන්නට තිසාවැවට පැමිණෙන්නට ඇතැයි සිතන බව ද පශු වෛද්‍යවරයා වැඩිදුරටත් පැවැසිය.

-අතුල බණ්ඩාර-

ඩිස්නි සමාගම බහමාස්හී දෙවැනි දූපතත් මිලද ගනී

       සුප්‍රසිද්ධ ඩිස්නි සමාගම බහමාස් දූපත් ආශ්‍රිතව පිහිටි තවත් දූපතක් මිලදී ගෙන ඇතැයි වාර්තා වෙයි. ඒ අනුව, මේ දක්වා ඔවුන් බහමාස්හි පිහිටි පෞද්ගලික දූපත් දෙකක් මිලදී ගැනීමට කටයුතු යොදා තිබේ. සිය නවතම විනෝදාත්මක කලාපය එහි පිහිටුවීම සඳහා සමාගම මෙම මිලදී ගැනීම සිදු කරන්නට ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

විශේෂයෙන්ම, දැනටමත් මෙම කලාපය තුළ ක්‍රියාත්මක ඩිස්නි සමාගමේ සුඛෝපභෝගී මගී නෞකා යාත්‍රා ඇණියේ (Disney Cruise Line) වඩාත් ප්‍රකට ගමනාන්තයක් ලෙස මෙම කැරිබියානු දුපත් කලාපය ප්‍රකටව තිබීම ඊට හේතුවයි. දැනටමත් මෙම අණිය සතුව සුඛෝපභෝගී නෞකා පහක් පවතී.

සමාගම පවසන ආකාරයට ඔවුන් බහමාස්හි සිටින දේශීය කලාකරුවන් සහ සංස්කෘතික විශේෂඥයන් සමගින් එක්ව මෙම දූපත විනෝදාත්මක කලාපයක් ලෙස ඉදිකිරීමට සැලසුම් කර ඇත. එහිදී එය සාම්ප්‍රදායික 'කැරිබියානු සංගීතය, කලාව සහ ආහාර" මූලික කරගත් කලාපයක් වනු ඇතැයි පැවසෙයි. එසේම දැනටමත් ඩිස්නි සංරක්ෂණ අරමුදල මගින් පවත්වාගෙන යන පරිසර සංරක්ෂණ කටයුතුද මෙම දූපත ආශ්‍රිතව සිදු කිරීමත් සැලසුම වී තිබේ.

වසර 2020 දී මෙම විනෝද කලාපයේ ඉදිකිරීම ඇරඹීමට නියමිතව ඇත. එය වසර 2020දී හෝ 2023 දී අවසන් කිරීම අපේක්ෂාව වී තිබේ. විශේෂයියන්ම බහමාස් රජයේ පාරිසරික පරික්ෂණ සහතිකය හිමිවීමෙන් අනතුරුව මෙම කටයුතු ආරම්භ කරන බව ඩිස්නි සමාගම සඳහන් කරයි. එහිදී ඉදිකරන ගොඩනැගිලි අතරින් 20%කට වඩා වැඩි ප්‍රමාණයක් තිරසාර ගොඩනැගිලි ඉදිකිරීමේ ක්‍රමවේද අනුගමනය කරමින් සිදුකරන බවත් සමාගම පවසා තිබේ.

කොළඹ දුම්රිය අනතුර පිළිබඳව සේවකයන් 4කගේ වැඩ තහනම්


මරදාන සහ කොටුව දුම්රිය ස්ථාන අතරදී ඊයේ (28දී) උදෑසන සිදු වූ දුම්රිය අනතුර සම්බන්ධයෙන් සේවකයන් හතරදෙනෙකුගේ වැඩතහනම් කළ බව දුම්රිය දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව දකුණු කළුතර බලා ධාවනය වූ අංක 741 දරන දුම්රිය රියදුරු , රියදුරු සහයක,ප්‍රධාන නියාමක හා උප නියාමක යන සේවකයන්ගේ වැඩ තහනම් කර තිබේ.

කොළඹ කොටුවේ සිට හලාවත බලා ධාවනය වූ දුම්රියක් සහ මරදාන සිට දකුණු කළුතර බලා ධාවනය වූ අංක 741 දුම්රිය මරදාන කෝවිල ආසන්නයේදී මුහුණට මුහුණ ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.

මෙම අනතුර හේතුවෙන් දුමිරිය ගමනාගමනට බාධා එල්ල වූ අතර, කිසිවකුට ඉන් තුවාල සිදු වී නැතැයි දුම්රිය දෙපාර්තමේන්තුව ප්‍රකාශ කරයි.

දකුණු කළුතර බලා. ධාවනය වූ දුමිරියේ රියදුරු සංඥා නොතකා ධාවනය කිරීම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇතැයි දුම්රිය දෙපාර්තමේන්තුව සිදුකළ සොයා බැලීමකදී අනාවරණය වී තිබේ.

මෙම අනතුර සමිබන්ධයෙන් පරික්ෂණයක් ආරම්භ කළ බවද දුම්රිය දෙපාර්තමේන්තුව වැඩිදුරටත් සඳහන් කරයි.

අමිත් මධුරංග

ඉංග්‍රීසි ගුරු උපදේශිකාව සර්ප දෂ්ටයෙන් මරුට



වරකාපොළ අඹේපුස්ස ප්‍රදේශයේ පදිංචි පනස් තුන් හැවිරිදි ඉංග්‍රීසි ගුරු උපදේශිකාව සර්පයෙකු දෂ්ඨ කිරිමේන් විෂ ශරිර ගතවි දින හතරක පමණි කාලයක් වරකපොළ මුලික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදි පෙරේදා (27) මියගිය බව වරකාපොළ රෝහල් පොලිසිය කියයි.

මෙලෙස මියගොස් ඇත්තේ කෑගල්ල කලාප අධ්‍යපන කාර්යාලයේ ඉංග්‍රීසි ගුරු උපදේශාකාවක ලෙස සේවය කරමින් සිටි වරකාපොළ අඹේපුස්ස 36 කන්ද ප්‍රදේශයේ පදිංචි ඩබ්ලිව්.ඩබ්ලිව්. මනෝලා මානෙල් චන්ද්‍රසේන (53) නමැති විවාහක කාන්තාවකි. මියසිය ගුරු උපදේශිකාව ඉන්දීය ජාතිකයෙකු සමඟ විවාහ වී සිටින අතර ඔහු වරින් වර ලංකාවට පැමිණෙන බවත් ඒ අතර කාලය තුළ ඇය නිවසේ තනිව කාලය ගත කරන බවත් ඥාතීන් පොලිසියට පවසා ඇත.

මියගිය ඇයගේ වැඩිමහළු සහෝදරිය ගම්පහ ප්‍රදේශයේ ජීවත් වන අතර ඇය සිය නැගනියගේ සුවදුක් විමසීමට දුරකතන ඇමතුම් ලබා ගත්තද ඇය ඊට ප්‍රතිචාර නොදැක්වුවත් පසුව ගත් ඇමතුමකදී ඇය නිවසේ සිටින බවත් සර්පයෙකු අතට දෂ්ඨ කළ බවත් පවසා ඇත.  පසුව ඇය මියගිය ගුරු උපදේශිකාවගේ නිවසට යාබඳ නිවෙසේ පදිංචි අනෙක් සහෝදරිය මේ පිළිබඳව දැනුවත් කර ඇති අතර පසුව එම සන්ථානයට යන විටත් ඇය නිවසේ සිහිවිකල් වී බිම ඇද වැටි සිටි බව වැඩි දුරටත් පවසා ඇත.

-රුවන් පතිරණ-

බෝරා මුස්ලිම් අධ්‍යාත්මික නායකයා සෙයියදිනාට උණුසුම් පිළිගැනීමක්


ඩාවුඩි බෝරා ප්‍රජාවේ නායක සහ 53 වැනි අල්-දායි අල්-මුට්ලක් වන අධ්‍යාත්මික නායක ආචාර්ය සෙයියදිනා මුෆද්දල් සෙයිෆුද්දීන් කොළඹදී පැවැත්වීමට නියමිත අෂාරා මුබාරකා දේශනාව සදහා ඊයේ (28දා) දිවයිනට පැමිණියේය.

සංචාරක සංවර්ධන, වනජීවී හා ක්‍රිස්තියානි කටයුතු අමාත්‍ය ජෝන් අමරතුංග මහතා ප්‍රමුඛ රජයේ නිලධාරීන්න සහ බෝරා ප්‍රජාවේ සාමාජිකයන් විසින් එතුමන්ව ගුවන් තොටුපළේදී පිළිගෙන තිබුණි.

පසුව එතුමන් කොළඹ බුර්හානි උද්‍යානයට පැමිණි අතර, ඩාවුඩ බෝරා සාමාජිකයන් විශාල පිරිසක් විසින් එතුමත්ව උණුසුම් ලෙස පිළිගන්නා ලදී. සභාව අමතමින් එතුමන් කියා සිටියේ, ශ්‍රී ලංකාවට පැමිණින ලෙස තමාට ආරධනා කළ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සහ අගමැති රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ට තමාගේ විශේෂ ස්තුතිය පිරිනමන බවයි.

එසේම අෂාරා මුබාරකා සභාවටද ස්තූති කළ එතුමන්, තමන් ජීවත්වන මවුබිමට පක්ෂපාතව සිටින ලෙස තම බෝරා ප්‍රජාවට උපදෙස් දුන්නේය. එමෙන්ම, ශ්‍රී ලංකාවේ සාමය සමගිය සහ සමෘද්ධිය වෙනුවෙන් යාඥා මෙහෙයක්ද හෙතම සිදුකළේය.

ආධ්‍යාත්මික නායකයා මෙම සංචාරය අතරතුර ප්‍රජාවේ සාමාජීකයන් සමග සම්බන්ධ වෙමින් ඔවුන්ගේ කටයුතු පිළිබඳ සොයා බැලීමට නියමිත අතර, ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරින්, අනෙකුත් ආගමික ප්‍රජාවන්හි නායකයන්ද මුණගැසී රටේ අභිවෘද්ධිය සඳහා ගතහැකි ක්‍රියාමාර්ග සාකච්ඡා කරනු ඇති බව දැනුම් දී තිබේ.

ආධ්‍යාත්මික නායකයාගේ ප්‍රධානත්වයෙන් අගෝස්තු මස 31දා සිට සැප්තැම්බර් මස 09 දක්වා දින 10ක් පුරා අෂාරා මුබාරකා උත්සවය පැවැත්වෙන අතර, සෑම වසරකම එක් එක් රාජ්‍යයන් තෝරාගැනීමේදී දහස් ගණන් වූ ඩාවුඩි බෝරා සාමාජිකයන් එසේ තෝරාගන්නා රටවලට ඒකරාශී වීම අනිවාර්යයෙන් සිදුවන්නක් බව කියැවිනි. ඒ අනුව, මෙවර ශ්‍රී ලංකාවේ කොළඹ නගරය තෝරාගෙන ඇති බැවින්, ලෝකයේ විවිධ වූ රටවල් 40කට අධික සංඛ්‍යාවකින් 21,000කට අධික ඩාවුඩි බෝරා සාමාජිකයන් පිරිසක් මේ සඳහා සහභාගි වීමට නියමිතව ඇත.

මෙහිදී, විශේෂයෙන් හුසේනි මස්ජිද් මධ්‍යස්ථානය පිහිටි බම්බලපිටිය ප්‍රදේශයේ සියලුම හෝටල්, තටිටු නිවාස, යනාදී නවාතැන් බොහෝ ප්‍රමාණයක් මෙන්ම,මෙරට කොළඹ වෙසෙන බෝරා ප්‍රජාවේ සාමාජිකයන්ගේ නිවාසවලද මේසේ පැමිණෙන පිරිස් නවාතැන් ගන්නා බව කියැවෙයි. ඔවුන් වෙනුවෙන් විශේෂ බස් රථ සේවා සැපයෙන අතර, මෙම කාලය තුළ ඉමාම් හුසෙයින්ගේ නාමයෙන් ලක්ෂ සංඛ්‍යාත ආහාර වේල්ද පිරිනමනු ලබන බව සඳහන් වෙයි.

ශ්‍රී ලංකාවේ මෙහි සමිබන්ධීකරණ කටයුතු සිදුකරනු ලබන මහජන සම්බන්ධීකාරක මුෆද්දල් ආදම්ජී මහතා පවසා සිටියේ, “ලොව පුරා වෙසෙන ඩාවුඩ් බෝරා ප්‍රජාවේ ස්වෙච්ඡා සාමාජීකයන් දහස් ගණනක් මේ වනවිට කොළඹට පැමිණෙමින් සිටිනවා. මෙවැනි විශාල උත්සවයක් සාර්ථකව සංවිධානය කිරීමට සහ කළමනාකරණය කිරීමට ඔවුන් සතුව මනා දැනුමක් සහ පළපුරුද්දක් තිබෙනවා. මෙවැනි උත්සවයකදී පැන නගින සනීපාරක්ෂක කටයුතු සහ රථවාහන තදබදය වැනි ගැටලු අවම කිරීම සදහා අප දේශීය පළාත් පාලන ආයතන සමග කටයුතු කරමින් පවතිනවා" යනුවෙනි.

කොළඹ නගරයේ ඩාවුඩි බෝරා සාමාජිකයන් 2,500ක් පමණ පිරිසක් ජීවත් වන අතර, බෝරා ප්‍රජාවේ බොහෝ සාමාජිකයන් වෙළඳ සහ ව්‍යාපාර ක්ෂේත්‍රයේ නියුතු වූ පුද්ගලයෝ වෙති. එමෙන්ම, මෙරට තුළ බෝරා මස්ජිද් පල්ලි 4ක් තිබෙන අතර, කොළඹ පිහිටා ඇති. හුසෙයිනි මස්ජිද් පල්ලිය ඉන් විශාලතම එක ලෙස සැලකේ. මෙවර අෂාරා මුබාරකා දේශනාව පැවත්වනුයේද මෙම පල්ලිය ආශ්‍රිතවය.

ෂමිල පෙරේරා/ අරුණ අමරසිංහ / ටී.කේ.ජී. කපිල

Wednesday, August 28, 2019

කූට ලේඛන උපයෝගී කර ගනිමින් ප්‍රංශයට යෑමට තැත් කළ අයෙක් අත්අඩංගුවට



කූටි ලෙස සකස් කළ ගුවන් ගමන්බලපත්‍ර,වීසා බලපත්‍ර සහ ගුවන් ප්‍රවේශපත්‍ර උපයෝගී කරගනිමින්  මාලදිවයින වෙත යන බව හඟවා, ඩුබායි ඔස්සේ ප්‍රංශය වෙත යාමට තැත් කළ ශ්‍රී ලාංකික ද්‍රවිඩ ජාතික තරුණයකු ඊයේ (27දා) කටුනායක ගුවන්තොටුපොළ දේශ සීමා ආවේක්ෂණ ඒකකයේ ආගමන විගමන  නිලධාරී විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරු 31 හවිරිදි යාපනය නගරය ආශ්‍රිත ප්‍රදේශයේ පදිංචි තරුණයෙකි. ඔහු ඊයේ උදෑසන 10.00ට එමිරේට්ස් ගුවන් සේවයට අයත් ගුවත් යානයකින් ඩුබායි වෙත ගොස්, එතැන් සිට ප්‍රංශය බලා යෑම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබේ. ගුවන් ප්‍රවේශ පත්‍ර ලබාගැනීමෙන් පසු, විගමන අංශය වෙත පැමිණෙමින් සිටි මෙම තරුණයාගේ සැක කටයුතු ඉරියව් නිරීක්ෂණය කළ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ ප්‍රධාන ආගමන විගමන නිලධාරීවරයා ඔහු සතුව තිබූ ලේඛන පරීක්ෂා කිරීමේදී ඒවායේ තිබූ වෙනස්කම් කීපයක් හඳුනාගැනීමට සමත්ව තිබිණි.

තවදුරටත් පරීක්ෂාවට ලක් කරද්දී සැකකරු සතුව තිබූ ඔහුගේ සැබෑ ගුවන් ගමන් බලපත්‍රය සමග කටුනායක සිට මාලදිවයින දක්වා ගමන් කළ හැකි ව්‍යාජ ලෙස සකස් කළ ගුවන් ප්‍රවේශ පත්‍රයද සොයා ගැනීමට ආගමන විගමන නිලධාරීහු සමත්ව තිබිණි.

වැඩිදුරටත් මෙම තරුණයාගත් ප්‍රශ්න කිරීමේදී සහ සෝදිසි කිරීමේදී මඩකලපුව, කාත්තන්කුඩි ප්‍රදේශයේ තරුණයෙකු වෙත ප්‍රංශය ඔස්සේ ස්පාඤ්ඤය වෙත යැම සඳහා නීත්‍යානුකුලව නිකුත් කර තිබූ ගුවන් ගමන් බලපත්‍රයක් වෙනස් කාට මෙම සැකකරුගේ තොරතුරු මුද්‍රණය කළ වෘත් වීසා බලපත්‍රයක්ද සොයාගැනීමට ආගමන විගමන නිලධාරින්ට හැකිව තිබිණි.

-ටී.කේ.ජී.කපිල-

සිංහලයකු ලෙස අඟවා මුස්ලිම් අන්තවාදය වැපුරවයි මුස්ලිම් ජාතිකයා රිමාන්ඩ්



සිංහල ජාතිකයකු ලෙස පෙනී සිටිමින් ඉස්ලාම් අන්තවාදී කටයුතු සිදුකර රාජ්‍ය විරෝධී ක්‍රියා කිරීම සම්බන්ධයෙන් කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒක්කකය අත්ඩංගුවට ගත් සැකකරුවකු ලබන 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය ඊයේ (27) නියෝග කළාය.

මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබූවේ නිට්ටඹුවේ පදිංචි රම්සි පූනාර් අනීෆ් මොහොමඩ් ස්මයිල් අර්ෂාන් නමැත්තාය. කොළඹ මධ්‍යම කොට්ඨාස භාර පොලිස් අධිකාරි පී. නිශාන්ත ද සොයිසා මහතාට ලද
තොරතුරක් මත සිංහල නමකින් පෙනී සිටිමින් උසස් පොලිස් නිලධාරින්ගේ පවුල්වල සාමාජිකයකු බව අගවා මුස්ලිම් අන්තවාදී ත්‍රස්තවාදය සහ අයි.එස්.අයි.එස්. මතවාද පතුරුවමින් සිටි බවට සැකපිට මෙම සැකකරු ඉකුත් 22 වැනිදා අත්අඩංගුවට ගෙන රැඳවුම් නියෝග මත රඳවා ප්‍රශ්න කළ බව කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

කොළඹ මධ්‍යම කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක පැතුම් කුමාර මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් මෙම සැකකරු අත්අඩංගුවට ගෙන 1979 අංක 48 දරණ ත්‍රස්තවාදය වැළැක්වීමේ තාවකාලික පනතේ 6 (1) ප්‍රකාරව පැය 72ක කාලයක් රඳවා තබාගෙන ප්‍රශ්න කිරිමෙන් අනතුරුව අධිකරණය
වෙත ඉදිරිපත් කළ බව කෙසේල්වත්ත පොලිසිය මහේස්ත්‍රාත්වරියට දැනුම් දුන්නේය.

මෙම සැකකරු සේවය කරන මරදාන ප්‍රදේශයේ පිහිටි පෙගද්ගලික ආයතනයට "හර්ෂන්" ලෙසින් පෙනී සිට ඇති බවත්, බිරිඳ සිංහල කාන්තාවක වන අතර ඇගේ පියා බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙසත් සැකකරු එම සේවා ස්ථානයට සඳහන් කර ඇතැයිද කෙසෙල්වත්ත පොලිසියේ අධිකරණ අංශයේ උප පොලිස් පරික්ෂක ජයරත්න මහතා අධිකරණයට සඳහන් කළේය.

එසේම මෙම සැකකරු ජාතික පොලිස් කොමිෂන් සභාවේ ලිපි ශීර්ෂය යොදාගනිමින් එම කොමිසමේ සේවය කරන බවට සඳහන් ලේඛන නිට්ටඹුව ප්‍රදේශයේ පුද්ගලයින් කිහිප දෙනකුට ලබාදී ඇති බවට කරුණු අනාවරණය වී ඇති බවද කෙසෙල්වත්ත පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

සැකකරුගේ රියැදුරු බලපත්‍රයේ රම්සි පූනාර්  අනීෆ් මොහොමඩ් ස්මයිල් අර්ෂාන් ලෙසත් එහි ජාතික හැඳුනුම්පත් අංකය 793110588 ලෙසත් උපන්දිය 1979.11.06 බවටත් සඳහන්ව ඇති අතර සැකකරු එම රියැදුරු බලපත්‍රයේ ඡායාරූපයක් ලබාගෙන එය ඔහුගේ පරිගණක භාවිතා කර රම්ස්ටන්ලාගේ ජුහානිස් ආරියලාගේ  මුදියන්සේලාගේ ඉෂාර හර්ෂණ බස්නායක ලෙසත්, උපන්දිනය 1989.11.06 ලෙසත් ජාතික හැඳුනුම්පත් අංකය 853110588 ලෙසත් වෙනස් කර අන්තර්ජාලය තුළ පණිවුඩ හුවමරුකර ඇති බවද පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළේය.

එසේම මෙම සැකකරු සිංහල ජාතිකයකු ලෙස පෙනී සිටිමින් දුරකථන සංවාද පවත්වා ජාතිවාදී මුස්ලිම් අන්තවාදය ප්‍රචලිත කිරිමට කටයුතු කර ඇති බවට කරුණු අනාවරණය වන බැවින් ඒ  සම්බන්ධයෙන් දුරකථන වාර්ත කැඳවිය යුතුව  ඇතැයිද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය  සැකකරු ලබන 03 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කර සැකකරු සම්බන්ධයෙන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ප්‍රකාර චෝදනා නැගීමට අදාළ සවිස්තර වාර්තාවක් එදිනට  අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසට  කෙසෙල්වත්ත පොලිසියට නියම කළේය.

-නිමන්ති රණසිංහ-

පෙරටුගාමීන්ගේ ජනිධිපති ධූර අපේක්ෂකයා සැප්තැම්බරයේදී



පවතින වංචනික දේශපාලන ක්‍රියාදාමය වෙනුවට ජනතාවගේ ප්‍රශ්නවලට නිසි විසඳුම් ගෙන එන සමාජවාදී විකල්පය වෙනුවෙන් පරටුගාමී සමාජවාදී පක්‍ෂයේ ජනාධිපති ධූර අපේක්‍ෂකයා සැප්තැම්බර් මස පළමු සතියේදී ජනතාවට හඳුන්වාදෙන බව එම පක්‍ෂය සඳහන් කරයි.

බත්තරමුල්ල පිහිටි පෙරටුගාමී සමාජවාදී පක්‍ෂ කාර්යාලයේදී ඊයේ (27දා) මාධ්‍ය හමුවක් කැඳවමින් එහි සංවිධායක ලේකම් කුමාර්  ගුණරත්නම් මහතා මේ බව ප්‍රකාශ කළ අතර, පුද්ගලයෙකු වටා ගොනු කරන තරගයකට වඩා දේශපාලන වැඩපිළිවෙළක් මෙමඟින් හඳුන්වා දෙනු ලබන බවද ඒ මහතා පැවසීය.

මාධ්‍ය හමුවේදී මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ කුමාර් ගුණරත්නම් මහතා,
"රටේ ප්‍රධාන දේශපාලන පක්‍ෂ බල අරගලයේ කොටස්කරුවන් බවට පත්ව තිබෙනවා. තවත් පැත්තකින් ජාත්‍යන්තර දේශපාලනයේ කලාපීය දේශපාලනයේදී චීනය, ඉන්දියාව වගේත් අනිත් පැත්තෙන් එක්සත් ජනපද අදිරාජ්‍යවාදයෙන් මේ රටේ දේශපාලනයට සෘජුව දැඩි බලපෑමක් සිදු කරමින් තිබෙන වෙලාවක තමයි මේ ජනාධිපතිවරණය පැවැත්වෙන්නේ. ඒ නිසා මේ ජනාධිපතිවරණ අවස්ථාව බොහෝ ලෙසම මේ රටේ වැඩකරන ජනතාව ප්‍රමුඛ පොදු මහා ජනතාවගේ,මුලික ගැටලු, දැවෙන ප්‍රශ්න විසදීම සඳහා අවස්ථාවක් කර ගන්නවා වෙනුවට මෙය පැහැදිලිවම ඔවුන්ගේ දේශපාලන බලය තහවුරු කර ගැනීම සඳහා පසුගිය දශක ගණනාවක් පුරා අපි අත්දැක තිබෙන නව ලිබරල් ආර්ථික වැඩපිළිවෙළ සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී දේශපාලන වැඩපිළිවෙළ තවදුරටත් ක්‍රියාත්මක කිරීමේ වැඩපිළිවෙළකටයි බලාපොරොත්තු වෙන්නේ.

මෙහි ඛේදවාචකය තමයි රටේ පොදු මහ ජනතාවගෙනුත් සැලකිය යුතු පදාසයක් තමන් මුහුණ දෙන අර්බුද පැත්තක තියලා පක්ෂවලට බෙදී තමුන්ගේ අපේක්‍ෂකයා ජයග්‍රහණය කිරීම සඳහා ඒ බලගැටුමේ කොටසුකරුවන් බවට පත්ව තිබීම. ඒ අනුව මේ රටේ ජනතාවට විවිධ බොරු මවා පට්ට බොරුකාර දේශපාලනය වෙනුවට ඇත්ත දේශපාලන විකල්පයක්, ඇත්ත ආර්ථික විසඳුම් සහිත ඉදිරි ගමනක් වෙනුවෙන් අපි ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙනවා.

නිදර්ශනී වික්‍රමසිංහ

ප්‍රංශ ජනපති ආර්යාවට බ්‍රසීල ජනපති විහිළු කරලා



ප්‍රංශ ජනාධිපති ආර්යාවට අපහාස වන අයුරින් බ්‍රසීල ජනාධිපති ජාර් බොල්සරානෝ ෆෙස්බුක් සමාජ ජාලය හරහා කළ අදහස් දැක්වීමක් මුල්කොට ගනිමින්, ප්‍රංශ ජනපති ඉමැනුවෙල් මැක්රොන් සහ බ්‍රසීල ජනාධිපතිවරයා අතර ඇයි හොඳයිකම් පිළුදු වී ඇත. ඇමසන් වනයේ ළැව් ගිනි පැතිරීම සම්බන්ධයෙන් බ්‍රසීල ජනාධිපති බොල්සරානෝ දැඩි විවේචනයට ලක් වී සිටී.



බ්‍රසීල ජනාධිපතිවරයා ප්‍රසිද්ධියේ විවේචනය කළ අයකු වන්නේ ප්‍රංශ ජනාධිපති මැක්රොන්ය.බ්‍රසීලයේ ඇමසන් වැසි වනාන්තරය හිතුමතේ හෙළි පෙහෙළි කිරීමටත්, ගිනි තැබිමටත් බ්‍රසීල ජනාධිපතිවරයා සමාගම් රැසකට අවසර දී ඇත. ඇමසන් වනාන්තරයේ ළැව් ගිනි අන් කවරදාටත් වඩා මෙම වසරේ වැඩිවි ඇත්තේ එහෙයින් යැයි පරිසරවේදීහු පවා පෙන්වා දෙති.

ප්‍රංශ ජනාධිපති මැක්රොන්, බ්‍රසීල ජනාධිපති බොල්සරානෝ විවේචනය කිරීම මුල්කොට ගනිමින්, බ්‍රසීල ජනපතිගේ ආධාරකරුවකු මැක්රොන්ට අපහාස වන අයුරින් ෆේස් බුක් හරහා අදහස් දක්වා ඇත්තේ , ප්‍රංශ ජනපති ආර්යාවට අපහාස කරමිණි. 41 හැවිරිදි ජනපති මැක්රොන්ගේ විවාහ වී සිටින්නේ 67 හැවිරිදි බ්‍රිජෙත් ත්‍රොග්නෝට් සමඟය. මැය මැක්රොන්ගේ පාසල් ගුරුවරියයි.

බ්‍රසීල ජනපතිගේ ආධාරකරු ෆේස්බුක් හරහා ජනපති මැක්රොන් සහ බිරිඳ බ්‍රිජෙත්ගේත්, බ්‍රසීල ජනපති බොල්සරානෝ සහ ඔහුගේ 37 හැවිරිදි බිරිඳ මිෂෙල්ගේත් ඡායාරූප පළ කරමින් ඒවා සන්සන්දනය කරමින්, බිජෙත්ගේ පෙනුම අවලස්සන යැයි පවසා ඇත. බ්‍රසීල ජනපති බොල්සරානෝ ද ඊට උඩගෙඩි දෙමින්, ප්‍රංශ ජනපති මැක්රොන් උපහාසයට ලක් කරමින් අදහස් ඉදිරිපත් කිරීමක් කර ඇත.

ජනපති මැක්රොන්ගේ අප්‍රසාදයට එය  හේතුවක්විය. ජනාධිපති  බොල්සරානො පෞද්ගලිකව තමන්ට එසේ අපහාස කිරීම සම්බන්ධයෙන් තමන් දැඩි කනගාටුවට පත්වන බවත් ජනපතිවරයකුට නුසුදුසු අයුරින් කටයුතු කරන මෙවැනි ජනාධිපතිවරයකු බ්‍රසීලයට නායකත්වය දිම බ්‍රසීල වැසියන්ගේ අවාසනාව බවත් ප්‍රංශ ජනාධිපති මැක්රොන් මාධ්‍ය හමුවේ පවසා ඇත.


රජයේ රැකියාවලට බඳවාගත් උපාධිධාරීන් සැළකිය යුතු පිරිසකට පුටුවක් හෝ මේසයක්වත් නෑ.සමස්ත ලංකා රජයේ සංවර්ධන නිලධාරීන්ගේ ඒකාබද්ධ වෘත්තීය සංගමය



     රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබාදීම යටතේ පසුගිය දිනවල බදවාගත් සැලකිය යුතු පිරිසකට අදාළ ආයතන තුළ රාජකාරී කිරීමට අවශ්‍ය පුටුවක් හෝ මේසයක් තවමත් ලැබී නොමැති බව සමස්ත ලංකා රජයේ සංවර්ධන නිලධාරීන්ගේ ඒකාබද්ධ වෘත්තීය සංගමය පවසයි.

එබැවින් උපාධිධාරින් අදාළ ආයතනවල රැස්වීම් ශාලාවල හා වෙනත් පොදු ස්ථානවල අසුන් ගැනීමට පවා සිදුව තිබෙන බවද එම සංගමයේ ප්‍රධාන ලේකම් අශෝක රාජපක්ෂ මහතා සඳහන් කළේය.

රාජකාරී ලැයිස්තුවක් සකස් කර පුරප්පාඩු ගණනය කර අදාළ ආයතනවලට පත්වීම් සිදුකළ යුතු වුවද, එවැනි වැඩපිළිවෙළක් සකස් නොකර  බඳවා ගැනීම සිදුකිරීම නිසා රටේ උගත් පිරිස මේ ආකාරයට අපහසුතාවන්ට මුහුණදී සිටින බවද ඒ මහතා පවසා සිටියේය. 

මේ හේතුව නිසා මෙම පිරිසට කඩිනමින් රාජකාරී ලැයිස්තුවක් සකස් කරදී, අවශ්‍ය පහසුකම් සැලසිය යුතු බවත්, මින් ඉදිරියට බඳවා ගැනීම් සිදුකිරීමේදී ක්‍රමවත් වැඩපිළිවෙළක් යටත්තේ එය සිදුකළ යුතු බවත් ප්‍රධාන ලේකම්වරයා සදහන් කළේය.

ඉන්දික හේවාවිතාරණ

මාදු ගඟේ සංචාරක බෝට්ටු සඳහා භූමිතෙල් යොදාගැනීම නිසා එහි ධීවර කර්මාන්තය අනතුරේ



මාදු ගඟේ සංචාරයේ නිරත මෝටර් බෝට්ටු සඳහා ඉන්ධනයක් ලෙස භූමිතෙල් යොදා ගැනීමෙන් මේ වනවිට මාදු ගඟ දූෂණය වී ඇතැයි එහි ධීවර කර්මාන්තයේ නිරත පිරිස් පවසති.

මේ කාර්යය නිසාම භූමිතෙල් ගඟට මුසුවීමත් සමග මාදු ගඟේ ජලය දූෂණය වීමෙන් තම ජීවයිනෝපායටද බලපෑම් එල්ල වී ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

උද්ගතව ඇති මෙම තත්වය මත මාදු ගඟෙන් නෙළාගන්නා මත්ස්‍ය අස්වැන්නද භූමිතෙල් රසකින් යුක්ත වීම හේතුවෙන් තම මත්ස්‍ය අස්වැන්න මිලදී ගැනීම පාරීභෝගිකයන් ප්‍රතික්ෂේප කිරීමත් සමග තම කර්මාන්තය දැඩි අනතුරකට ලක්ව  තිබෙන බවද ධීවරයෝ කියති.

මාදු ගඟ දූෂණය වීම වළක්වාලීමේ අරමුණින් මාදු ගඟේ සංචාරක මෝටර් බෝට්ටු සංගමයේ සංචාරක මෝටර් බෝටිටු කිහිපයක් පමණක් භූමිතෙල් වෙනුවට පෙට්‍රල් භාවිත කරමින් මෝටර් බෝට්ටු යෙදෙව්වත් එම සංගමයට අයත් නැති තවත් මෝටර් බෝට්ටු විශාල සංඛ්‍යාවක් මෙසේ  භූමිතෙල් භාවිත කර බෝට්ටු ධාවනයේ යෙදෙන බවද පරිසරවේදීහු කියති.

තවදුරටත් භූමිතෙල් ඉන්ධනයක් ලෙස යොදාගෙන මෝටර් බෝට්ටු ගඟේ ධාවනය කළහොත් මාදු ගගේ මත්ස්‍ය සම්පත වඳවීයාම වළක්වාලීම දුෂ්කර කාර්යයක් වන බවත්, මේ අනතුරින් මේ වනවිට ගඟට ආවේණික මත්ස්‍ය වර්ග රැසක්ම වඳවී ගොස් ඇති බවත් ඔවුහු කියති.

අදාළ බලධාරීන් මේ පිළිබඳව කඩිනම් අවධානය යොමු කොට මාදු ගඟේ භූමිතෙල් ඉන්ධනයක් ලෙස භාවිත කරමින් තවමත් ධාවනයේ යෙදෙන මෝටර් බෝට්ටුවලට පෙට්‍රල් ඉන්ධනයක් ලෙස භාවිතා කිරීමට  වැඩපිළිවෙළක් සකසාදීම නුදුරේදීම කළ යුතු බවද පරිසරවේදීහු කියති.

බළපිටිය ප්‍රාදේශීය සභාවේ සභාපති එන්.සමන් සිල්වා මහතාගෙන් මේ පිළිබඳව කළ විමසීමකදී ඔහු පැවසූවේ මේ ගැන අධ්‍යයනයක් සිදුකොට ඊට අවශ්‍ය පියවර ගැනීමට කටයුතු කරන බවයි.

කරන්දෙනිය -  එම්.සුසිල් ප්‍රියන්ත

ක්‍රිකට් ක්‍රීඩක ඩිල්ශාන් හා ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ තීරුවේගම විහාරයේ චෛත්‍ය ඉදිකිරීමට මුල්ගල තබයි



    ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට්  කණ්ඩායමේ හිටපු නායක තිලකරත්න ඩිල්ෂාන් හා ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ ඇතුළු පිරිසක් විසින් වවුනියාවේ දුෂ්කර ගම්මානයක පන්සලකට අවශ්‍යව තිබු චෛතයක් ඉදිකිරීම් වෙනුවෙන් මුල්ගල තැබීය.

වන්නි ආරක්ෂක සේනා ආඥාපති මේජර් ජෙනරාල් එච්.ජේ.එස්. ගුණවර්ධන මහතා විසින් අලගල්ල, තීරුවේගම විහාරස්ථානයට අවශ්‍යව තිබූ චෛත්‍ය ඉදිකිරීම් පිළිබඳව සොයා බලා එයට මුල්‍යාධාර ලබාදෙන පිරිස් දැනුවත් කිරීමෙන් පසුව මෙසේ චෛත්‍ය ඉදිකිරීම වෙනුවෙන් මූල්‍යාධාර ලැබී ඇත.



ඒ අනුව ඉදිකිරීම් වෙනුවෙන් මූල්‍ය දායකත්වය ලබාදෙන තිලකරත්න ඩිල්ෂාන්, ප්‍රවීණ ගායන ශිල්පී සුනිල් එදිරිසිංහ, ජාතික උරුමයන් සුරැකීමේ මහා සම්මේලනයේ ප්‍රධාන විධායක නිලාධාරී අනුර එළියපුර යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් හා වන්නි ආරක්ෂක සේනා ආඥාපතිවරයාගේ ප්‍රධානත්වයෙන් හා 21 වන සේනාංකාධිපති මේජර් ජනරාල් කුමාර් ජයපතිරණ, සිවිල් සම්බධිකරණ නිලධාරී ලූතිනන් කර්නල් ලාල්කිත්සිරි යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් ඉදිකිරීමට නියමිත නව චෛතය වෙනුවෙන් මුල් ගල තැබීය.

චෙත්‍ය ඉදිකිරීමට මූල්‍ය  දායකත්වය ලබා දීමට අමතරව චෛත්‍ය ඉදිකිරීම් සිදු කරනු ලබන්නේ යුද හමුදා ශ්‍රම දායකත්වයෙනි.

වවුනියාව -මධුෂංඛ අමරසිංහ

පාදුක්ක නිවසක තිබූ කාන්තා මළ සිරුරක් සොයා ගැනේ


දින හතරකට පමණ පෙර මිය ගිය බවට සැක කරන කාන්තා මළසිරුරක් පාදුක්ක නාකන්දල පාර කහවල ප්‍රදේශයේ නිවසක තිබියදී පෙරේදා (26දා) හමුවු බව පාදුක්ක පොලීසිය පවසයි.මෙසේ මිය ගොස් ඇත්තේ පාදුක්ක, කහවල, නාකන්දල පාරේ පදිංචි කුරුප්පු ආරච්චිගේ දයාවතී (65) අවිවාහක කාන්තාවක බව පොලීසිය පවසයි.

මිය ගිය කාන්තාව දින හතරක පමණ සිට නොදුටු නිසාවෙන් අසල්වාසියෙකු නිවස අසලට ගොස් විපරම් කිරීමේදී නිවස තුළින් දුගඳ හැමීම පිළිබඳව සැක සිතී අසල්වාසීන්ටද මේ බව දන්වා ඇති අතර නිවස තුළට ගොස් පරික්ෂා කිරීමේදී ඇය එහි වැටී මිය ගොස් සිටිනු දැක ඇත.

පොලීසිය පවසන්නේ පොලීසිය එම ස්ථානයට ගොස් පරික්ෂා කිරීමේදී අධික දුගඳක් හමමින් තිබූ නරක් වූ කාන්තා මළ සිරුරක් සොයා ගත් බවත්, මළසිරුර සොයාගන්නා අවස්ථාව වන විටත් හඳුනාගැනීමට පවා නොහැකි තරම් ඉදිමී තිබූ බවත්,ඇය දින 04කට පමණ පෙර මිය යන්නට ඇති බවත්ය.

පසුව මෘත දේහය හෝමාගම මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර එහි පශ්චාත් මරණ පරීක්ෂණය හෝමාගම හදිසි මරණ පරික්ෂක සාමවිනිසුරු බී.එච්.කේ. චින්තක උදය කුමාර මහතා විසින් සිදුකිරීමට නියමිතය.

මේ පිළිබඳව පාදුක්ක පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මත්තෙගොඩ - ශාන්ත ප්‍රදීප් කුමාර

මධ්‍යම සංස්කෘතික අරමුදලේ කෝටි 120ක් අතුරුදන්



නිවාස ඉදිකිරීම් හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශය යටතේ පවතින මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් රුපියල් කෝටි 120 ක පමණ මුදලක් අතුරුදන්ට ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය ලේකම්වරයාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවක් පත් කරනු ලැබ ඇත.

විදුලිබල බලශක්ති හා පුනර්ජනනීය බලශක්ති අමාත්‍ය රවි කරුණානායක මහතා විසින් කරන ලද කරුණු පැහැදිලි කිරිමකින් අනතුරුව අගමැතිවරයා මෙම පියවර ගෙන තිබේ.  ඉකුත් අගහරුවාදා පැවති කැබිනට් මණ්ඩල රැස්වීමට පෙරාතුව අගමැතිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවති රැස්වීමකදී මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත්  මුදලක් අතුරුදන්ව ඇතැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් රවී කරුණානායක මහතා අගමැතිවරයාට කරුණු ඉදිරිපත්කර ඇත.

මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් රුපියල් කෝටි 120 ක පමණ මුදලක් අතුරුදන්ව ඇතැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන පැවැත්වීමට අගමැතිවරයා අග්‍රාමාත්‍ය ලේකම් සමන් ඒකනායක මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටුවකට පැවරූ බව ඇමැති රවි කරුණානායක මහතා තහවුරු කළේස්ය.

මධ්‍යම සංස්කෘතික අරමුදලට අයත් විශාල මුදලක් සිය පෞද්ගලික ප්‍රචාරණ කටයුතු සඳහා යොදවන බවට ඇමැති සජිත් ප්‍රේමදාස මහතාට එරෙහිව ඉකුත් කාලයේදී චෝදනා එල්ල විය.

-කැළුම් බණ්ඩාර-

Tuesday, August 27, 2019

සූදු ක්‍රීඩාවේ හෝ ඔට්ටු තැබීමේ ක්‍රීඩාවට සම්බන්ධ වූවන්ට ක්‍රීඩා සංගම් තහනම් වන ගැසට්ටුව මුද්‍රණය වෙයි



සූදු ක්‍රීඩාවේ හා ඔට්ටු තැබීමේ ක්‍රීඩාවට  සම්බන්ධ වූවන්ට ජාතික ක්‍රීඩා සංගම් තහනම් කරන නීති සම්පාදනය වීමත්, සමග ඒ සම්බන්ධයෙන් පියවර ගැනීමට ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතාගේ අත්සනින් යුතුව සියලුම ක්‍රීඩා සංගම්වලට ලිඛිත නියෝගයක් ඉදිරී සතිය තුළ යැවීමට නියමිත බව  වාර්තා වේ.

සූදු ක්‍රීඩාවේ හෝ ඔට්ටු තැබීම් ක්‍රීඩාවට සම්බන්ධ  වූවන්ට ජාතික ක්‍රීඩා සංගම් තහනම් කෙරෙන අතිවිශේෂ ගැසට් පත්‍රය පසුගිය සිකුරාදා (23දා) මුද්‍රණය වී තිබුණි. කෙසේ වෙතත් මේ වන විට ජාතික ක්‍රීඩා සංගම්වල මෙලෙස සූදු ක්‍රීඩාවේ හෝ ඔට්ටු තැබීම් හෝ පරදු තැබීමට සම්බන්ධ ප්‍රධාන නිලතල දරන නිලධාරීන් කිහිප දෙනෙක් තම තනතුර රැක ගැනීම වෙනුවෙන් දේශපාලන හස්තවල පිහිට පතන බවද හෙළි වේ.

මේ හේතුව නිසාම අදාළ රෙගුලාසිය සම්බන්ධයෙන් පියවර ගැනීමට ක්‍රීඩා  අමාත්‍යාංශ ලේකම් චූලානන්ද පෙරේරා මහතාගේ අත්සනින් යුතුව සියලුම ක්‍රීඩා සංගවලට ලිඛිත නියෝගයක්  කිරීමට පවා සිදුව ඇතැයි ක්‍රීඩා අමාත්‍යාංශ ආරංචි මාර්ග තහවුරු කළේය.

-පැතුම් ශ්‍රි විජේරත්න-

උ.පෙළ ජීව විද්‍යා බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයකට ගුරු අත්පොතේ වැරැද්දෙන් පිළිතුරු දෙකක්



උසස් පෙළ විභාගයේ ජීව විද්‍යාව (සිංහල  සහ ඉංග්‍රීසි මාධ්‍ය) බහුවරණ ප්‍රශ්න පත්‍රයේ ප්‍රශ්න කිහිපයකට උත්තර සැපයීමේදී ශිෂ්‍යයන් ගැටලුකාරී තත්වයකට මුහුණදී තිබෙන බව මෙවර උසස් පෙළ විභාගයට පෙනීසිටින ශිෂ්‍යයන්ගේ දෙමාපියෝ පවසති.ජීව විද්‍යා නව විෂය නිර්දේශය යටතේ සිංහල හා ඉංග්‍රීසි භාෂා යටතේ නිකුත් කළ විෂය නිර්දේශයන් අතර පරස්පරතා ඇති බැවින් ශිෂයන් විසින් ප්‍රශ්නවලට පිළිතුරු සපයා තිබෙන්නේ ආකාර දෙකකට බවද දෙමවුපියෝ පෙන්වා දෙති.

ගුරු අත්පොතේ සදහන් තොරතුරු සහ නිර්දේශිත ග්‍රන්ථවල ඇති පරස්පරතා සහිත ප්‍රශ්න කිහිපයක් බහුවර්ණ ප්‍රශ්න පත්‍රයට ඇතුළත්ව තිබෙන බවත්, ලබාදී තිබෙන පිළිතුරු එකිනෙකට වෙනස් බැවින් උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍රයට උත්තර සැපයීමේදී ශිෂ්‍ය ශිෂ්‍යාවන් ආකාර කිහිපයකට පිළිතුරු සපයා තිබෙන බවත් ඔවුහු සදහන් කරති.

මෙය ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ වරදක් නොවන බවත්, මේ නිසා අදාළ ගැටලුවට විසඳුමක්  ලෙස ජීව විද්‍යා විෂයෙන් පෙනීසිටි ශිෂ්‍ය ශිෂ්‍යවන්ට සාධාරණයක් ඉටුකළ යුතු බවත් එම පිරිස් පවසා සිටිති. එසේ නව විෂය නිර්දේශයේ පළමුවෙන් ඉංග්‍රීසි පිටපත නිකුත් කර තිබෙන අතර, සිංහල පිටපත පමා කිරීම නිසා ඇතැම් ගුරුවරුන් ඉංග්‍රීසි පිටපතක් පරිවර්තනය කර ඉගැන්වීම් කටයුතු සිදුකර තිබේ.

එහෙත් සිංහල නිර්දේශය නිකුත් වූ පසු ඉංග්‍රීසි පිටපත පරිවර්තනය කිරීමෙන් සිදුකළ සමහර ඉගැන්වීම් වැරදි බවට තහවුරු වී තිබෙන බව ගුරු විදුහල්පති වෘත්තීය සංගම් පෙන්වා දෙයි.

-එච්.අයි.තුෂාර-

මා හමුදාපති ධුරයට පත්වීම පිළිබඳව ඇතැම් රටවල් කරන ප්‍රකාශ ඔවුන්ගේ අදහස් පමණයි



හමුදාපති තනතුරට තමන් පත් කිරීම ගැන සමහර රටවල් අදහස් ප්‍රකාශ කර තිබුණද, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා රටේ ආරක්ෂාව පිළිබඳ සිතා සහ යුද හමුදා නායකත්වයට සුදුසු නායකයෙකු ලබාදුන්නැයි සිතන බව යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කළේය. තමන් යුද හමුදාපති තනතුරට පත් කිරීම ගැන සමහර රටවල් විවිධ අදහස් ප්‍රකාශ කර  තිබුණද එය ඔවුන්ගේ අදහස් බවද ඔහු පවසා සිටියේය.

බුද්ධි අංශය ඉතා වැදගත් අතර, බුද්ධි තොරතුරු අනුව භට පිරිස් යොදවන බවත්, මේ නිසා හමුදාපති ධුර කාලය තුළ යුද හමුදා බුද්ධි අංශවල කාර්යක්ෂමතාව වැඩිදියුණු කරන බවත් ඒ මහතා පවසා සිටියේය. කාර්යක්ෂමතාව වැඩිදියුණු කිරීම යටතේ සමහර ව්‍යුහාත්මක වෙනස්කම් හා වෙනත් වෙනත් ක්‍රම සිදුවිය හැකි බවත්, එහෙත් අවසාන අරමුණ වන්නේ ශ්‍රී ලංකා යුද හමුදාවේ බුද්ධි අංශය ඉතාමත් දක්ෂ බුද්ධි අංශයක් ලෙස ඉදිරියට පවත්වාගෙන යැම බවත් ඔහු කියා සිටියේය.

රටේ ජාතික ආරක්ෂාවට බුද්ධි අංශ වැදගත් බවත්, උතුරු නැගෙනහිර තිබෙන හමුදා කදවුරු මේ අවස්ථාවේදී ඉවත් කිරීමක් නොවන අතර, බුද්ධි තොරතුරුවලට අනුවට කඳවුරු පවත්වාගෙන යන බවද හෙතෙම කියා සිටියේය.

-ඉන්දික හේවාවිතාරණ-

පෙහොට්ටුවේ තරුණ සම්මේලනයේදී මාධ්‍යවේදීන් ආපසු හරවා යැවීම සැලසුම් සහගත කඩාකප්පල්කාරී ක්‍රියාවක්දැයි සැකයක්


නෙළුම් පොකුණ රඟහලේදී පසුගියදා (24) පැවැති ශ්‍රී ලංකා පොදුජන තරුණ පෙරමුණහි සම්මේලනයේ මාධ්‍ය ආවරණය සඳහා සහභාගි වූ මාධ්‍යවේදීන් ආපසු හරවා යැවීමට එහි සංවිධායකයන් කටයුතු කිරීම සැලසුම්සහගත කඩාකප්පල්කාරී ක්‍රියාවක්දැයි සොයා බැලීමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණින් තරුණ මන්ත්‍රීවරු කිහිපදෙනකු තීරණය කර ඇති බවට වාර්තා වේ.

එසේම පක්ෂයේ තරුණ මන්ත්‍රීන් ලෙස සිය පාර්ශවය විසින් දියත් කරනු ලැබූ ප්‍රථම සම්මේලනයට බාධා පැමිණවීමට කටයුතු කළ බවට සඳහන් කරමින් උද්ගත වූ තත්ත්වය පිළිබඳ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ නියෝජනය කරන එක්සත් ජනතා නිදහස් සන්ධාන තරුණ පාර්ලිම්න්තු මන්ත්‍රීවරුන් දැඩි කනස්සල්ලලෙන් හා කළකිරීමෙන් පසුවන බවට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු  ආරංචි මාර්ග සඳහන් කරයි.

ඒ අනුව පක්ෂයේ ජනාධිපතිධුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ජනප්‍රියත්වයට හානි කිරීම සදහා මෙවැනි කාර්යයක් හිතාමතා සිදු කළාද යන්න ගැන සොයා බැලිය යුතු බව මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකුගේම අදහස වී තිබේ. මේ අතර කොළඹ විපක්ෂනායක කාර්යාලයේදී පෙරේදා (25දා) මාධ්‍ය හමුවකට එක්වෙමින් එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී ශෙහාන් සේමසිංහ මහතා මාධ්‍ය වෙත සිය කනගාටුව ප්‍රකාශ කළ අතර, සිදුවූ අපහසුතාව පිළිබඳ මාධ්‍ය වෙතින් සමාවද අයැද සිටියේය.

සම්මේලනය සංවිධාන කටයුතු වෙනත් කණ්ඩායමක් වෙත ලබාදී තිබු බවත්, ඒ අනුව අදාළ සිද්ධිය පිළිබද සොයා බැලීමක් කඩිනමින් සිදුකර මාධ්‍ය වෙත ප්‍රකාශයක් සිදු කරන බවත් ඔහු එහිදී සදහන් කර සිටියේය. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තරුණ සම්මේලනයේ මාධ්‍ය ආවරණ කටයුතු සදහා මාධ්‍යවේදීන් වෙත අසුන් පැනවීමට රඟහල තුළ ඉඩකඩ ප්‍රමාණවත් නොමැති යැයි පවසමින් එහි සංවිධායකයන් ඇතුළු පාර්ශ්වයන් විසින් මෙලෙස මාධ්‍යවේදීන් ආපසු හරවා යැවීමට කටයුතු කළ අතර, එහිදී ඔවුන් මාධ්‍යවේදීන් වෙත සඳහන් කර සිටියේ යූ ටියුබ් චැනල හරහා ලබා ගන්නා තොරතුරු මත සිය මාධ්‍ය ආවරණ කටයුතු සිදු කරන ලෙසයි.

කෙසේවුවද රඟහල තුළ මාධ්‍යවේදීන් සදහා ආසන වෙන්කර නොමැති බවට වු  දැනුවත් කිරීම් සම්මේලනයේ කටයුතු ආරම්භ වීමට හෝරා කිහිපයකට ප්‍රථම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේහි මාධ්‍ය අංශය විසින් පක්ෂයේ ප්‍රධානීන් ඇතුළු එක්සත් ජනතා නිදහස් සන්ධාන මන්ත්‍රීවරුන් වෙත දැනුම්දීම් සිදු කර සිටි බවද සදහන් වේ.ඒහෙත් සම්මේලනයේ කටයුතු ආරම්භ වනතෙක්ම ඒ සඳහා නිසි ප්‍රතිචාර ලැබී නොතිබිණි.

සම්මේලනයේ මාධ්‍ය ආවරණ කටයුතු සදහා මාධ්‍යවේදීන් සහභාගි කර නොගැනීමට එදින පෙරවරුවේ තීරණය කර තිබුණු බවටද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ඇතැම් ආරංචි මාර්ග සදහන් කරන අතර, එහෙත් ඒ පිළිබඳ කිසිදු පෙර දැනුමිදීමක් මාධ්‍ය වෙත සිදු කර නොතිබිණි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු තරුණ සම්මේලනය පිළිබඳ දැනුවත් කිරීම සඳහා වූ මාධ්‍ය හමුවක් පසුගිය 20 වැනිදා එක්සත් ජනතා නිදහස් සන්ධාන පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේද සහභාගිත්වයෙන් බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මූලස්ථානයේදී පැවැත්වෙන බවට වූ ආරාධනයක් එම පක්ෂය විසින් මාධ්‍ය වෙත සිදු කර තිබුණේ පසුගිය 19 වැනිදාය.

එහෙත් අදාළ මාධ්‍ය සාකච්ඡාව සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජප්පක්ෂ මහතා සහභාහි නොවූ  අතර, දිලුම් අමුණුගම, කංචන විජේසේස්කර, රමේෂ් පතිරණ, ශෙහාන් සේමසිංහ යනාදී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් එක්ව එය පැවැත්වූහ. ඒ අනුව මෙම සම්මේලනය සඳහා පුළුල් මාධ්‍ය ආවරණයක් ලබාදීමට මාධ්‍ය වෙත ගෞරවයෙන් ආරාධනා කරන බවත් ඔවුහු එහිදී සඳහන් කර සිටියහ.

එසේම සම්මේලනයට අමතරව 24 වැනිදා උදෑසන සිට නෙළුම් පොකුණ පරීශ්‍රයේදී සිදුකරන තරුණ තරුණියන් දැනුවත් කිරීම, ලියාපදිංචිය මෙම සාකච්ඡා හරහා ඔවුන්ගේ අදහස් බෙදා හදා ගැනීම යනාදී වැඩසටහන් නිරීක්ෂණය කින්ම සදහාද මාධ්‍යවේදීන් වෙත අදාළ මන්ත්‍රීවරුන් ආරාධනා කර සිටියහ.

-නිදර්ශනි වික්‍රමසිංහ-

එස්.බී - ඩිලාන් ශ්‍රිලනිප තනතුරුවලින් ඉවතට



ශ්‍රී ලංකා නිදහස් පක්ෂ භාණ්ඩාගාරික මන්ත්‍රී එස්.බී. දිසානායක මහතා ඉවත් කර නව භාණ්ඩාගාරික ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී ලසන්ත අලගිහවත්ත මහතා ද මාධ්‍ය ප්‍රකාශක ඩිලාන් පෙරේරා මහතා ඉවත් කර නව මාධ්‍ය ප්‍රකාශක ලෙස පාර්ලිමේන්තු මන්ත්‍රී වීරකුමාර දිසානායක මහතාඳ පක්ෂයේ මධ්‍යම කාරක සභාව විසින් පතකරනු ලැබ සිටිති.ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයත් ජනාධිපති නිල නිවස ඊයේ (26) රාත්‍රී පැවැති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මධ්‍යම කාරක සභා රැස්වීමෙදී මෙම පත්වීම් සිදුකරනු ලැබ ඇත.

එස්.බී. දිසානායක සහ ඩිලාන් පෙරේරා යන මහත්වරුන් පසුගිය කාලය පුරා ශ්‍රීලනිපයේ කටයුතුවලින් ඉවත්ව පොදුජන පෙරමුණ සමග එක්ව කටයුතු කිරිම නිසා ඔවුන් පක්‍ෂයේ දැරූ තනතුරුවලින් මෙසේ ඉවත්කර ඇත. මේ අතර ශ්‍රීලනිප හිටපු මහල්කම්, මහාචාර්ය රෝහණ ලක්‍ෂමන් පියදාස මහතා පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපතිවරයකු ලෙස පත්කිරීමද මධ්‍යම කාරක සභාව තීරණය කර ඇත.

ශ්‍රීලනිප ජාතික ලැයිස්තුවෙන් පත්වී වෙනත් පක්‍ෂවලට එක්ව කටයුතු කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට එරෙහිව විනය පියවර ගත යුතු බවට යෝජනාවක්ද මධ්‍යම කාරක සභාවේදී අනුමත වී ඇත. වයඹ පළාත් ආණ්ඩුකාර පේෂල ජයරත්න මහතා එම යෝජනාවො ඉදිරිපත් කර ඇති අතර ඌව මහ ඇමැති චාමර සම්පත් දසනායක මහතා එය ස්ථිර කර ඇත.

ජනාධිපතිවරණය සම්බන්ධයෙන් ද මධ්‍යම කාරක සභා රැස්වීමේදී අදහස් ඉදිරිපත් වී ඇති නමුත් ඒ පිළිබඳව තීරණයක් නොගත් බව මධ්‍යම කාරක සභිකයෙක් සඳහන් කළේය. එහිදී අදහස් දක්වා ඇති ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා ජනාධිපතිවරණයට දින තීරණය කිරිමක් හා නාමයෝජනා කැඳවීමක් සිදුව නැති බැවින් දැන්ම ඒ ගැන තීරණයක් ගැනීමේ අවශ්‍යතාවක් නැතැයි පවසා ඇත.

ජනාධිපතිවරණයට තව කල් ඇති බැවින් ඒ ගැන පුළුල් අධ්‍යයනයක් කළ යුතුව ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කර ඇත.මේ අතර පළාත් පාලන ආයතනවල විනය කඩකර ඇති මන්ත්‍රීවරුන්ට එරෙහිව ආරම්භ කර ඇති විනය පරික්‍ෂණ කටයුතු දිගටම කරගෙන යාමට ද මධ්‍යම කාරක සභාව තීරණය කර තිබේ.

ලබන මස 3 වැනිදා පැවැත්වෙන පක්ෂයේ 68 වන සංවත්සරය ගැන ද දිර්ඝ වශයෙන් සාකච්ඡා වී ඇත.පොදුජන පෙරමුණ සමුළුවට සහභාගී වූ එස්.බී. දිසානායක. ඩිලාන් පෙරේරා, අචාර්ය සරත් අමුණුගම සහ රෙජිනෝල්ඩ් කුරේ යන මහත්වරුන් කිසිවකුත් මධ්‍යම කාරක සභා රැස්වීමට සහභාගි වී නොමැත.

-අජාන්ත කුමාර අගලකඩ-

හිසුබුල්ලාගේ සරසවි ගිණුම කෝටි 444 රුපියල් 36,000ට බස්සලා



නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර එම්. එල්. එම්. හිස්බුල්ලා මහතාට අයත් බව කියන 'බැටික්ලෝ කැම්පස් පුද්ගලික සමාගම' මගින් මඩකළපුව ප්‍රදේශයේ පුනානි ප්‍රදේශයේ ඉදිකරමින් පවතින විශ්වවිද්‍යාලය වෙනුවෙන් මෙරට රාජ්‍ය බැංකුවක ආරම්හ කර ඇති එක් ගිණුමකට විදෙස් රටවලින් රුපියල් බිලියන 4කට අධික මුදලක් බැරවී ඇති බවත් මේ වන විට එම ගිණුම් ඉතිරි වී ඇත්තේ රුපියල් 36,000 ක මුදලක් පමණක් බවත් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාස් ලංකා ජයරත්න මෙනෙවියට ඊයේ (26) දැනුම් දුන්නේය.

2016 ජනවාරි මස 14 වැනි දින සිට 2019 මැයි මස 31 දක්වා කාලසීමාවේදී අවස්ථා 206 කදී එම ගිණුමට රුපියල් කෝටි 444ක මුදලක් බැරවී ඇති බවද එම මුදලින් අවස්ථා 825කදි මුදල් ඉවත් කර ගෙන ඇති අතර මේ වන විට එම ගිණුමේ ශේෂය රුපියල් 36,298.47-ක් බවද එම කොට්ඨාසය අධිකරණයට වැඩිදුරටත් දැන්වීය.මෙම ගිණුමට බැරවී ඇති මුදල් අතුරින් රුපියල් කෝටි 364ක් අවස්ථා හතරකදී සවුදි අරාබියේ ඉන්හෙරිටන්ස් අලි අබ්දුල්ලා  අල්ජුෆාලි ජෙඩා නැමැති ආයතනය විසින් බැරකර ඇතැයි ද මෙම ගිණුමට අදාළ මුදල් ලැබිම සිදුවී ඇති ආකාරය සහ එම මුදල් වියදම් කර ඇති ආකාරය ගැන වැඩිදුරටත් විමර්ශනය කරමින් පවතින බවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සිය බී වාර්තාව මහින් අධිකරණයට කරුණු සඳහන් කළේය.

සිද්ධියට අදාළව වැඩිදුර විමර්ශන වාර්තා අධිකරණය  වෙත ඉදිරිපත් කරමින් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මහේස්ත්‍රාත්වරිය වෙත මෙම කරුණු ඉදිරිපත් කළේය. අධිකරණයෙන් ලබාගත් නියෝග ප්‍රකාර "බැටික්ලෝ කැම්පස්  පුද්ගලික සමාගම" නමින් කොල්ලුපිටිය ලංකා බැංකුවේ අධිශ්‍රේණි ශාඛාවේ අංක 78445137 දරන ගිණුමට අදාළ ගිණුම් ප්‍රකාශ හරහා බැරපත් චෙක්පත් මැන්ඩේට් පත්‍ර අත්සන් කාඩ්පත් ගනුදෙනු කිරීමට බලය පවරා ඇති පුද්ගලයින් සම්බන්ධ තොරතුරු ලබාගත් බවත්, එම තොරතුරු පරික්ෂා කිරිමේදී ඉකුත් 2016 ජනවාරි මස 04 වන දින එම සමාගම විසින් ශ්‍රී ලංකා රුපියල් මගින් ගනුදෙනු කළ හැකි ජංගම ගිණුමක් ආරම්භ කර ඇති බවත් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තනා කර ඇත.  ඒ අනුව එම ගිණුම ආරම්භ කිරිම සඳහා එහි සභාපති මොහොමඩ් ලෙබ්බේ අලි මොහොමඩ් හිස්බුල්ලා යන අය එහි අධ්‍යක්ෂවරයා‍ වන හිරජ් හිස්බුල්ලා යන අයකු සම්බන්ධ වී ඇති බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කියා සිටියේය.

‘බැරිකලෝ කැමිපස් පුද්ගලික සමාගම' නමින් මඩකළපුව පුනානි ප්‍රදේශයේ ඉදිකරමින් පවතින විශ්වවිද්‍යාලය සඳහා එම ඉඩම බදු පදනම මත ලබාදි ඇල්ලත් ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය විසින් බවත්, එම බදු ගිවිසුම 2013 වර්ෂයේ සිට ක්‍රියාත්මක වන පරිදි 2018 වර්ෂයේ දී අත්සන් තබා ඇත්තේ ජනාධිපතීවරයා බවත් මුල්‍ය අපරාධ විමර්ශන කොටිඨාසය අධිකරණයට වැඩිදුරටත් දක්වා සිටියේය.

ශ්‍රී ලංකා මහවැලි අධිකාරියට අයත් මඩකලපුවේ පුනානී ජයන්තියාය ග්‍රාමයේ පිහිටි අක්කර 35ක පමණ ඉඩමක් අංක 10/18, ලේක් ඩ්‍රයිව්, කොළඹ 08 ලිපිනයේ පවත්වාගෙන යන ශ්‍රී ලංකා හීරා පදනම වෙත බැහැරකර, පසුව එම ඉඩම බැටික්ලෝ කැම්පස් ප්‍රයිවට් ලිමිටඩ් වෙත බැහැර කර ඇති ආකාරය සම්බන්ධයෙන් විමර්ශනය කිරිමේදී මෙම කරුණු අනාවරණය වී ඇති බවද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කළේය. 

ඒ අනුව මෙම ඉඩම බැහැර කිරීමට සම්බන්ධ වි ඇති පාර්ශකරුවන් ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ (මහවැලි කලාපයේ) නේවාසික ව්‍යාපාර කළමනාකාර සමස්ත තුෂාර දන්තනාරායන, ශ්‍රී ලංකා මහවැලි අධිකාරියේ අධ්‍යක්ෂ (ඉඩම්) දික්වැල්ල ආරච්චිගේ අසන්ත උදයකුමාර ගුණසේකර, ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය අධ්‍යක්ෂ
(ව්‍යපෘති සංවර්ධන) දිවිතොටවෙල කෝනාර හේරත් වාසල මුදියන්සේගේ වසන්ති රම්‍යලතා සෙනවිරත්න යන අයගෙන්ද ප්‍රකාශ සටහන් කර ගත් බවත් එම ප්‍රකාශවලින් ඉහත කරුණු අනාවරණය වන බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොපිඨාසය වැඩිදුරටත් අධිකරණ්යට කරුණු ඉදිරිපත් කළේය.

මෙම ශ්‍රී ලංකා හීරා පදනමේ ලියාපදිංචිය සම්බන්ධයෙන් සමාජ සේවා දෙපාර්තමේන්තුවෙන් පරික්ෂා කරන ලද අතර, එම ලියාපදිංචිය සම්බන්ධයෙන් වූ මුල් අයැදුම්පත්‍රය සහිත ලේඛන ගොනුව ඉදිරිපත් කිරීමට එම දෙපාර්තමේන්තුව අපොහොසත් වී අතැයි ද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කියා සිටියේය.සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවේ අංක පී වී 106989 යටතේ ලියාපදිංචි කර ඇති "බැටිකලෝ කැම්පස් පුද්ගලික සමාගම” හි ව්‍යවස්ථාවේ අරමුණු වශයන් (1) තරුණ කටයුතු හා නිපුණතා සංවර්ධන අමාත්‍යාංශයේ සහයෝගයෙන් ජාතික වෘත්තීය සුදුසුකම් සහිත ඩිප්ලෝමා මට්ටමේ කාර්මිකයින් බිහි කිරීම, එය රජයේ හා පෞද්ගලික හවුල්කාරිත්ව ක්‍රමයක් යටපත් විද්‍යාලයක් ලෙස පිහිටුවීම, (2) එමඟින් ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය ලබා නොදීම (3) 2007 අංක 7 දරන සමාගම් පනත මඟින් වාණිජ කටයුතු සීමා කොට නොමැති නිසා පනතට අනුකුලව එවැනි ක්‍රියාකාරකම් සිදුකිරිම ලෙස කරුණු තුනක් දක්වා ඇති බවට ද මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී ඇත.

මෙම බැටික්ලෝ කැම්පස් කොලේජ් ප්‍රයිවට් ලිමිටඩ් යන නම "බැටිකලෝ කැම්පස් පුද්ගලික සමාගම" සමාගම් නමින් ඉකුත් 2016 වර්ෂයේ පෙබරවාරි මස 29 වැනිදා වෙනස් කර ඇති බවත්, ඒ අනුව එම සමාගමේ ව්‍යවස්ථාව ද වෙනස් කර නව ව්‍යවස්ථාවක් ද ඉදිරිපත් කර ඇති බවත් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු දක්වා ඇත. ඒ අනුව

01. අධ්‍යාපන පරීක්ෂණ සහ සමාජ සංවර්ධනය මුල්කරගත් උසස් අධ්‍යපන ආයතනයක් පිහිටුවිම, ප්‍රාථමික හා ද්විතීයික අධ්‍යාපනය සඳහා මැදිහත් නොවිම 02. එම (1) අරමුණු ඉටුකර ගැනීම සඳහා දේශීය හා විදේශීය විශ්වවිද්‍යාල හා උසස් අධ්‍යාපන ආයතන සමග සම්බන්ධ වි කටයුතු කිරීම  දක්වා ඇති බව ද මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය කියා සිටියේය.

එසේම, හිරා පදනම සම්බන්ධයෙන් සමාගම් රෙජිස්ට්‍රාර් දෙපාර්තමේන්තුවෙන් පරීක්ෂා කරන ලද අතර, එය 2014 වර්ෂයේ දෙසැම්බර් මස 10 දින ජේ ඒ 2991 යටතේ ලියාපදිංචි කර ඇති බවත් එහි අරමුණ ලෙස,
01. තරුණ හා නිපුණතා කටයුතු අමාත්‍යාංශයක් සමග ඒකාබද්ධව වෘත්තීය පුහුණු හා තාක්ෂණ ආයතනයක් ස්ථාපිත කිරීම, 02. දුප්පත් හා විවිධ අවශ්‍යතා ඇති පුද්ගලයන් සඳහා උදව් කිරීම, 03. දුප්පත් හා අඩු ආදායම්ලාභී අවශ්‍යතා ඇති ළමයින් හා තරුණයින් අධ්‍යාපන හා වෘත්තිය පුහුණු නගාසිටුවිම 04. දුප්පත් හා අඩු ආදායම් ලාභී අවශ්‍යතා ඇති පුද්ගලයින්ගේ පානීය ජලය, සනීපාරක්ෂක සෞඛ්‍ය පහසුකම් සඳහා මැදිහත්වීම, 05. ජනතාවගේ සංස්කෘතික ක්‍රියාකාරකම් සඳහා උදව් කිරීම්, 06. ජාතික ආපදා සහ සිවිල් ගැටුම්වලදි උදව් හා පුනරුත්ථාපන කටයුතු සඳහා ක්‍රියාකාරිව මැදිහත්වීම යනාදිය දක්වා ඇති බිවද මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට දැනුම් දී ඇත.

ඒ අනුව 'බැටික්ලෝ කැම්පස් පුද්ගලික සමාගම' සමාගම සහ හීරා පදනම යන ආයතන දෙකේ ආරම්භක අධ්‍යක්ෂකවරුන් වන මොහාමඩ් හිස්බුල්ලා අහමඩ් හිරාස් සහ මොහොමඩ් ලෙබ්බේ අලි මොහොමඩ් හිස්බුල්ලා යන දෙදෙනා "බැටික්ලෝ කැම්පස් පුද්ගලික සමාගම" සමාගම, බැටික්ලෝ යුනිවර්සිටි කොලෙජ්, හීරා පදනම සහ මලික්  අබ්දුල්ලා යුනිවර්සිටි නැමැති ආයතන නමින් සැකකටයුතු ලෙස හිණුම් පවත්වාගෙන යන බවට ශ්‍රී ලංකා මුල්‍ය බුද්ධි ඒකකය විසින් ඉකුත් ජුලි මස 22 වැනිදා තම
කොට්ඨාසය වෙත වාර්තා කොට ඇති බව ද මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු වාර්තා කළේය.

ඒ අනුව මෙම සැකකටයුතු ගිණුම් 13 සම්බන්ධයෙන් බැංකු වාර්තා කැඳවිය යුතු බවටත් එම ගිණුම්වලට මුදල් ලැබිම සහ ඒවා වියදම් කළ ආකාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ යුතුව ඇති බව සඳහන් කළ මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඒ සඳහා අවසර ලබාදෙන ලෙසට අධිකරණයෙන් ඉල්ලිමක් කළේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය නියෝග ලබාදෙමින් සිද්ධියට අදාළ විමර්ශන කඩිනමින් අවසන් කර අධිකරණය වෙත කරුණු වාර්තා කරන ලෙසට මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව 2011 අංක 40 දරන පනතින් සංශෝධිත  2006 අංක 05 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත් වගන්ති 03 යටතේ සහ 2013 අංක 3 දරන පනතින් හා 2011 අංක 41 දරන පනතින් සංශෝධිත 2005 අංක 25 දරන ත්‍රස්තවාදින්ට මුදල් සැපයීම මැඩපැවැත්විම සම්මුති පනතේ 03 වන වගන්තිය ප්‍රකාරව වරදවල් සිදුකර ඇත්දැයි යන්න සම්බන්ධයෙන් ද විමර්ශනය ආරම්භ කර ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට සිය බී වාර්තාව මඟින් කරුණු සදහන් කර ඇත.

මෙම සිද්ධියට අදාළව පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් මඩකලපුව පොලිස් අධිකාරි කාර්යාලය වෙත ඉකුත් ජුනි මස 12 වැනිදා සිදුකළ පැමිණිල්ලකට අදාළව පොලිස්පතිවරයා තම කොට්ඨාසයට එම විමර්ශනය යොමු කරනු ලැබූ බව මෙහිදී මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඒබිණි.


-නිමන්ති රණසිංහ-

අධිවේගයේ වැට කපා යකඩවල විකුණලා



දක්ෂිණ අධිවේගී මාර්ගයේ කඩුවෙල හේවාගම පිවිසුම් සිට කොතලාවල පිවිසුම දක්වා ආරක්ෂිත වැටෙහි කිලෝ මිටර් දෙකකට ආසන්න ප්‍රමාණයක් සොරෙන් කපා විකුණා තිබූ බව කියන පස් දෙනකු ඊයේ (26) දින අත්අඩංගුවට ගත් බව නවගමුව පොලිසිය පවසයි. දකීර්ෂිණ අධිවේගී මාර්ගයේ මෙහෙයුම් නිළාධාරින්ගෙන් ලද පැමිණිල්ලක් මත සිදු කළ විමර්ශනයේදී සැකකරුවන් අත්අඩංගුවට ගැනීම හැකි වූ බවද පොලිසිය පවසයි.

සැකකරුවන් පස්දෙනා විසින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ ආරක්ෂිත වැටෙහි මීටර් 1800ක ප්‍රමාණයක තිබු ආරක්ෂිත දැල හා ජී.අයි බට සොරාගෙන ගොස් යකඩ මිලට ගන්නා මාලබේ හා කඩුවෙල වෙළඳසල් දෙකකට විකුණා තිබිය දී සොයා ගැනීමට හැකි වී ඇත.
මෙලෙස අත්අඩංගුවට පත්ව අත්තේ කඩුවෙල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු  30-37 ත් අතර වන පස් දෙනෙකි. අත්අඩංගුවට ගත් සැකකරුවන් කඩවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

-කේ.බුද්ධික කුමාරසිරි-

ගිනිඅවි තොගයක් පලෙයිවලින් අල්ලයි



පලෙයි, කරන්ඩිය ප්‍රදේශයේ වළදමා තිබූ ඒ.කේ. 47 වර්ගයේ ස්වයංක්‍රීය ගිනි අවියක්, එම ගිනි අවියට යොදන මැගසින් 02ක්, ජීව උණ්ඩ 120 ක්, අත් බෝම්බ 11 ක් සහ පී.ඊ. 10 වශයෙන් හඳුන්වන අධි බලැති පුපුරණ ද්‍රව්‍ය කිලෝ 10 ක් ඇතුළු අවි ආයුධ තොගයක් ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයකට නිලධාරින් විසින් ඊයේ (26) පස්වරුවේ  අත්අඩංගුවට ගනු ලැබු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකාර මහතා පැවසීය.

දැනට අත්අඩංගුවේ පසුවන, පලෙයි රෝහලේ  අධිකරණ වෛද්‍ය නිලධාරි සින්නයියා සිවරූබන් නමැත්තාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිවූ තොරතුරුවලට අනුව සිදුකළ සෝදිසි මෙහෙයුමකදී මෙම අවි ආයුධ තොගය සොයාගෙන ඇති බවද ඔහු සඳහන් කළේය. ගිනි අවි සහ පුපුරණ ද්‍රව්‍ය තොගයට අමතරව දුරදක්නයක්ද ත්‍රස්තවාදී විමර්ගත කොට්ඨාසයේ නිලධාරින් විසින් අදාළ සෝදිසි මෙහෙයුමේදී සොයාගනු ලැබූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීවේය.

මීට පෙර අවස්ථාවක යුද හමුදා මාර්ග බාධකයක් පසුකර යෑමට උත්සාහ කළ
වෛද්‍යවරයකු යුද හමුදාව විසින් සැකපිට  අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරිමේදී හෙළිවූ  තොරතුරුවලට අනුව වැඩිදුර ප්‍රශ්න කිරීම් සඳහා ඔහු ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරින්ට බාරදී ඇති අතර, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් ඔහුගෙන් කළ ප්‍රශ්න කිරිම්වලදී තමන් පලෙයි රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරියා බව සින්නයියා සිවරූබන් හෙළි කොට ඇත.

ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් ඔහුගෙන් වැඩිදුර ප්‍රශ්ත කිරීම්වලදී, පසුගිය යුද සමයේදී කොටින්ගේ අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය ප්‍රවාහනය කිරිම බාරව සිටි බවද ඔහු පිළිගෙන ඇති අතර එලෙස ප්‍රවාහනය කිරීම සදහා බාරදුන් සමහර අවි ආයුධ හා පුපුරණ ද්‍රව්‍ය විවිධ ස්ථානවල සැඟවූ බවද හෙළිකොට ඇත.

ඒ අනුව සිදුකළ වැඩිදුර ප්‍රශ්න කිරීම්වලදී එලෙස ප්‍රවාහනය කිරීමට බාරදුන් අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය වළදමා ඇති පලෙයි, කරන්ඩිය ප්‍රදේශයේ ස්ථානයක් පිළිබඳ තොරතුරු හෙළිකොට ගෙන ඇති අතර, ඔහුගේ මඟ පෙන්වීම යටතේ පලෙයි කරන්ඩිය ප්‍රදේශයේ ස්ථානයක් හාරා සිදුකළ සෝදිසියකදී අදාළ පුපුරණ ද්‍රව්‍ය සහ ගිනි අවි තොගය සොයාගෙන ඇත.

මීට අමතරව සඟවා ඇති තවත් අවි ආයුධ සහ පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීම සඳහා පොලිසිය පරික්‍ෂණ සිදුකරන බවද ඒ සඳහා වෛද්‍ය සින්නයියා සිවරූබන් නමැත්තා මේ වන විටත් යාපනය පොලිසියේ රඳවා තබාගෙන ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරින් විසින් ප‍්‍රශ්න කරනු ලබන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

-මනෝප්‍රිය ගුණසේකර-

Monday, August 26, 2019

වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් දෙදරු මවකට අතවර කළ සිසුවා මාට්ටු



වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් දෙදරු මව අතවරයට ලක් කළ පාසල් ශිෂ්‍යයෙක් කෑගල්ල මහේස්ත්‍රාත් චාමර වික්‍රමනායක මාහතා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු ලබන 30දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ඉකුත් 23දා නියෝග කෙරිණි. මෙලස රක්ෂිත බන්ධනාගාරගත කර ඇත්තේ කෑගල්ල ප්‍රාදේශයේ පාසලක ඉගෙනුම ලබන ගලිගමුව ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි උසස් පෙළ ශිෂයෙකි. රක්ෂිත බන්ධනාගාරගත කර ඇති ශිෂ්‍යයාගේ සීයා මියගොස් ඇති අතර ඔහුට වැඩිමහල් සහෝදරයෙක් පමණක් සිටියි.

මවත් සහෝදරයාත් සමඟ නිවෙසේ පදිංචිව සිටින මෙම ශිෂ්‍යයා ගමේ පාසලෙන් පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 178ක් ලබාගෙන කෑගල්ල නගරයේ පාසලකට ඇතුළත්ව තිබිණි. මෙම ශිෂ්‍යයාගේ නිවෙසට යාබද නිවෙසක සිව්දෙනකුගෙන් යුත් පවූලක් ජීවත්වෙමින් සිටීන අතර එම පවුලේ සැමියා සංචාරක වෙළෙඳ ව්‍යාපාකයෙකි. ඔහුගේ බිරිය තිස් හැවිරිදි කාන්තාවකි. මෙම තරුණයාගේ පවුලේ අය අසල්වැසි මේ ව්‍යාපාරික පවුල සමඟ ඉතා කිට්ටු ඇසුරක් පවත්වාගෙන ගොස් තිබිණි.

ඒ හේතුවෙන් පාසල් ශිෂ්‍යයා දෙදරු මවගේ ජංගම දුරකථන අංකයද කලක සිට දැනගෙන තිබූ බව පොලිසිය කියයි. මෙම දෙදරු මව වකුගඩු ආසාදනයක් හේතුවෙන් ඉකුත් අප්‍රේල් මස දින කිහිපයක් කෑගල්ල මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා නිවෙසට පැමිණ තිබිණි. යළිදින කිහිපයකින් කාන්තාවට රෝහලට පැමිණෙන ලෙස වෛද්‍යවරු දන්වා ඇත. පාසල් ශිෂ්‍යයා මේ සියලු තොරතුරු කාන්තාවගේ නිවෙසට ආ ගිය අවස්ථාවේදී දැන ගෙන තිබේ.

කාන්තාව රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබා නිවසට පැමිණි පසු කලකට ඉහතදී මාර්ගයේ වැටී තිබී අහුලා ගත් දුරකථන අංකයකින් කට හඬ වෙනස් කරමින් ශිෂ්‍යයා කෑගල්ල මහ රෝහලේ වෛද්‍යවරයකු ලෙස පවසමින් කාන්තාවට ඇමතුමක් ගෙන තිබිණි. එමඟින් ශිෂ්‍යයා කාන්තාවට ප්‍රකාශකර ඇත්තේ තමන් කෑගල්ල රෝහලේ වෛද්‍යවරයකු බවත් අසනීප තත්ත්වයට ප්‍රතිකාර කිරීම සඳහා වයස අවුරුදු 16ත් 20ත් අතර තරුණයකුගේ පුරුෂ බීජ අවශ්‍ය බවත් එය ලබා ගන්නා තරුණයා අතේම පුරුෂ බීජ රෝහලට ගෙනත් භාරද ලෙසත්ය.

කාන්තාව තම අසනීප තත්ත්වය සුවපත් කර ගැනීම සඳහා 17 හැවිරිදි පාසල් ශිෂ්‍යයාගේ නිවසේ මිදුලට ගොස් ශිෂ්‍යයාට සිද්ධිය සම්බන්ධයෙන් කරුණු පැහැදිලි කර ඇත. පාසල් ශිෂ්‍යායද කිසිම දෙයක් නොදන්නා  සේ කාන්තාවගේ නිවෙසට පුරුෂ බීජ ලබාදීමට එදිනම පහව ගොස් තිබිණි. එදින කාන්තාවගේ සැමියා වෙළඳාම් කිරීමට නිවසින් බැහැර ගොස් තිබුණු අතර දරුවන් දෙදෙනාද පාසල් ගොස් තිබිණි.

කාන්තාව පාසල් ශිෂ්‍යයා ඇඳට රැගෙන ගොස් කාන්තාව විසින්ම තරුණයාගේ  පුරුෂ බීජ කුප්පිකට ලබාගෙන තරුණ අතේම රෝහලට යැවීමට කටයුතු කර ඇත. පසුදා වෛද්‍යවරයා ලෙස පෙනී සිටිමින් ශිෂ්‍යයා යළි කාන්තාවට ප්‍රකාශ කර ඇත්තේ තරුණයා සමඟ ලිංගිකව හැසිරී තරුණයාගේ බීජ පිටවන්නට මොහොතකට පෙර ලබා ගන්නා බීජ තරුණයා අතේම ගෙනත් භාරදෙන ලෙසය.

මෙම පාසල් ශිෂ්‍යයා මෙලෙස අවස්ථා කිහිපයකදීම ව්‍යාජ වෛද්‍යවරයෙකු ලෙසින් පෙනී සිටිමින් විවිධ ආකාරයෙන් කාන්තාවට ලිංගික අතවර කර ඇති බව පොලිසිය කියයි.  පසුව කාත්තාවට මේ සම්බන්ධයෙන් තරුණයා කෙරෙහි සැකයක් පහළ වී ඇත. තරුණයාටද එය වැටහී තිබිණි.

තරුණයා නිවසට නොපැමිණීමත් සමඟම කාන්තාවට තවදුරටත් සැක පළ වී අප්‍රේල් මස දිනක කෑගල්ල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පැමිණ පැමිණිල්ලක් කර ඇත.පැමිණිල්ලට අනුව පොලිසිය දීර්ඝ විමර්ශනයකින් අනතුරුව සැකකාර ශිෂ්‍යයා ඉකුත් 22දා අත්අඩංගුවට ගෙන ඇත. එහිදී තරුණයා පොලිසීයේදී තමා බොරු වෛද්‍යවරයකු ලෙස පෙනී සිටිමින් කාන්තාව අතවරයට ලක් කර ඇති බව අනාවරණය කර ඇත.

පසුගියදා 23දා ශිෂ්‍යයා කෑගල්ල මහෙස්ත්‍රාත් චාමර වික්‍රමනායක මහතා වෙත ඉදිරිපත් කර ශිෂ්‍යයා පිළිබඳ කරුණු අධිකරණයට වාර්තා කෙරිණි. එහිදී සැකකාර ශිෂ්‍යයා අගෝස්තු 30 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස නියෝග කෙරිණි.

-චමින්ද ජයලත්-

මත්තල සිට මාතර දක්වා ඉදිකෙරෙන අධිවේගී මාර්ගයේ තිබී ගිනිගෙන විනාශවූ ත්‍රිරෝදයක් හමුවෙයි



ඉදිකරමින් පවතින මත්තල සිට මාතර දක්වාවූ දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට පිවිසුම ආසන්නයේ මාර්ගයේ තිබී ගිනිගෙන විනාශයට පත් ත්‍රිරෝද රථයක් පෙරේදා (24දා) රාත්‍රිය සොයාගත් බව හම්බන්තොට පොලීසිය පවසයි. හම්බන්තොට පොලීසියට ලද දුරකතන ඇමතුමකට අනුව පොලීසිය සිදුකළ පරීක්ෂණයේදී දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට පිටවීමේ හා ඇතුළු වීමේ පිවිසුමට කිලෝමීටර් 05ක් පමණ මත්තල දෙසට වන්නට අධිවේගයේ මාර්ගය මධ්‍යයේ ගිනිගෙන විනාශ වූ ත්‍රිරෝද රථය සොයාගෙන තිබේ.

මෙම ත්‍රිරෝද රථය හම්බන්තොට සිට ඉදිකරමින් පවතින දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට පිවිසුමෙන් ඇතුළුවී සූර්යවැව දක්වා ගමන් කරමින්සිටියදී ඇතිවූ කාර්මික දෝෂයක් හේතුවෙන් ගිනිගෙන විනාශ වී ඇති බව පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.  ත්‍රිරෝද රථය සූරියවැව සුරුවිරුගම ගම ප්‍රදේශයේ පුද්ගලයකුට අයත් එකක් වන අතර ඔහු මෙම ත්‍රිරෝද රථය මෑතකදී ත්‍රිකුණාමලය ප්‍රදේශයේ කාන්තාවකගෙන් මිලදී ගෙන ඇති බවද ශිහළිවී තිබේ.

ත්‍රිරෝද රථය ඉදිකරමින් පවතින අධිවේගි මාර්ගය තුළදි ගිනි ගැනීමට ලක් වීම නිසා අධිවේගී මාර්ගයටද දැඩි ලෙස අලාභ හානි සිදුව තිබෙන බවත්, අධිවේගී මාර්ගය විවෘත කිරීමට පෙර අනවසරයෙන් එම මාර්ගයේ ගමන් කිරීම නිසා මාර්ගයට සිදුව ඇති අලාභය ත්‍රිරෝද රථයේ හිමිකරුගෙන් අයකරගැනීමට සිදුවන බවද අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් කරන නිලධාරියක් පැවසීය.සිද්ධිය සම්බන්ධයෙන් හම්බන්තොට පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

-නුවන් ජයසේකර-

තිහාරිය මුස්ලිම් පල්ලියක ගින්නෙන් නෝවාසිකාගාරයක් සම්පුර්ණයෙන් විනාශයි



තිහාරීය මුස්ලිම් පල්ලියක ඊයේ (26දා) ඇති වූ ගින්නකින් එහි පිහිටි අධ්‍යාපන ආයතනයක නේවාසිකාගාරය සම්පුර්ණයෙන්ම විනාශ වී ඇතැයි නිට්ටඹුව පොලීසිය පවසයි.  ජුනයිඩ් මාවතේ පිහිටි මෙම මුස්ලිම් පල්ලියේ ඉහළ මාලය තුළ මෙම හදිසි ගින්න හටගෙන ඇති අතර ඒ සමගම එහි රැදී සිටි සිසුන් වහා ඉවත් වීම නිසා ඔවුනට කිසිදු හිරිහැරයක් වී නොමැති බවද උසස් පෙළ අධ්‍යාපනය හදාරන දිවයිනේ විවිධ ප්‍රදේශවලින් පැමිණි සිසුන් 35 දෙනෙකු මෙහි නේවාසිකව ඉගෙනුම ලබන බවද පොලීසිය පවසයි.

ගම්පහ මහ නගර සභාවේ ගිනි නිවන  ඒකකය පැමිණ ගින්න මැඩ පැවැත්වීමට කටයුතු කළ අතර නේවාසිකාගාරයේ තට්ටු දෙකකින් යුත් ඇදන් ආදිය පවා ගින්නෙන් විනාශ වී ගොස් තිබිණි.එබැවින් සිදුව ඇති අලාභය ගණන් බලා නොමැති අතර රුපියල් ලක්ෂ ගණනක අලාභයක් වී ඇතැයි විශ්වාස කෙරේ.

මෙම ගින්නෙන් පහත මාලයට හානියක් වීමට පෙර ගින්න නිවා දැමීමට හැකි වී ඇත. ගොඩනැගිල්ලේ වහලද විනාශයට පත්ව තිබීණි. ගින්නට හේතුව විදුලි කාන්දුවක්ද නැතහොත් වෙනත් හේතුවක්දැයි මෙතෙක් හෙළි වී නොමැත. ගින්නට හේතුව අනාවරණය කර ගැනීම සඳහා අපරාධ ස්ථාන පරීක්ෂක නිලධාරීන් කැඳවා පරීක්ෂණ පවත්වන බව පොලීසිය පවසයි.

අත්තනගල්ල සහකාර පොලිස් අධිකාරී ප්‍රභාත් දයානන්ද මහතාගේ මෙහෙයවීම මත නිට්ටඹුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අනුර ගුණවර්ධන මහතා ඇතුළු නිලධාරී පක්ෂණ පවත්වති.

-මිරීගම කාන්ති-