Monday, December 31, 2018

සේනා දළඹුවා අම්පාරේ අක්කර 35,000ක් විනාශ කරයි



අම්පාර ප්‍රදේශයේ අක්කර 35,000ක බඩ ඉරිගු වගා 'සේනා දළඹුවා' විනාශ කර අවසන් බවත් අනුරාධපුර, පොළොන්නරුව, කුරුණෑගල හා මොනරාගල ප්‍රදේශවලට  එම දළඹුවා බෝවී ඇති බවත් කෘෂිකර්ම දෙපාර්තමේතුව පවසයි. ෙ මෙම දළඹුවාට අක්කර 1000ක වගාවක් එක දවසකින් විනාශ කිරීමට හැකියාවක් පවතින බවත් කිලෝමීටර් 100ක දුරක් සලඹ අවස්ථාවේදි පියඹා හැකි බවත් පෙන්වා දෙන දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ එක් වරකට ගැහැනු සේනා දළඹුවා බිත්තර 200ක් පමණ දමන බවයි.

එම නිසා ශ්‍රී ලංකාවට පමණක් නොව ලෝකයේම සේනා දළඹුවා මර්දනය කිරීමේ අභියෝගයක් වී ඇති අතර මේ සඳහා මේ වනවිට කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විසින් කෘමිනාශක වර්ග 4ක් නිර්දේශ කර ගොවින්ට එම කෘමිනාශකය ලබා ගැනීමට 50% සහනාධාරයක් ලබා දී ඇති බවත් සදහන් කරයි.


-නුවන් හෙට්ටිආරච්චි-

මොළය මියගිය තරුණයාගේ වකුගඩු, වෙනත් රෝගීන් දෙදෙනෙකුට බද්ධ කිරීමේ සැත්කම සාර්ථකයි






ලබන වසරේ ඉංජීනේරු පීඨයකට ප්‍රවේශ වීම සඳහා සුදුසුකම් ලබා සිටියදී සිය දිවි නසා ගැනීමට ගොස් මොළයට හානි සිදුවී කුරුණෑගල ශික්ෂණ රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මොළය මියගිය 21 හැවිරිදි තරුණයකුගේ වකුගඩු දෙක ඉවත් කරගෙන වකුගඩු රෝගී තරුණයන් දෙදෙනකුට සාර්ථක ලෙස බද්ධ කළ බව මහනුවර ශික්ෂණ රෝහලේ දී මියගිය අයගේ අවයව ලබාගැනීමේ  සම්බන්ධිකරණ ඒකකයේ ප්‍රධානී වෛද්‍ය අරුණ අබේසිංහ මහතා පවසයි.

සිය දිවි නසා ගැනීමට යාමේදී මොළයට හානි සිදුවී මොළේ මියගිය අයකුගේ වකුගඩු දෙකක් බද්ධ කිරිම මීට පෙර සිදුකොට නොතිබුණ බවත්. මෙවැන්නක් මෙරට සිදුවූයේ පළමුවරට බවත් වෛද්‍ය අබේසිංහ මහතා සඳහන් කළේය.

මෙම තරුණයාගෙන් ලබාගත් වකුගඩු දෙක සාර්ථක ලෙස කරුණයන් දෙදෙනකුට බද්ධ කර ඔවුන් සුවය ලබමින් සිටින බව ද වෛද්‍ය අබේසිංහ මහතා කීය.

මෙම වකුගඩු දෙකෙන් එකක් මහනුවර ශික්ෂණ රෝහලේ දි හසලක මිනිපේ ප්‍රදේශයේ පදිංචි 24 හැවිරිදි තරුණයකුට වකුගඩු බද්ධ කිරිමේ ඒකකයේ ශල්‍ය වෛද්‍ය විශේඝඥ පී.කේ. හරිස්චන්ද්‍ර මහනා විසින් බද්ධ කරනු ලැබීය.
අනෙක් වකුගඩුව පොල්ගහවෙල ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි තරුණයකුට බද්ධ කරනු ලැබුවේ පේරාදෙණිය ශික්ෂණ රෝහලේදී ශල්‍ය වෛද්‍ය විශේෂඥ බන්දුල සමරසිංහ මහතා විසිනි.

තම එකම පුතාගේ වකුගඩු දෙක ඔහුට පින් පිණිස රෝගීන් දෙදෙනකු ජීවත් කරවීම සඳහා පරිත්‍යාග කිරීමට එම තරුණයාගේ මව සහ පියා කැමැන්ත ප්‍රකාශ කිරිමෙන් පසුව ශල්‍ය වෛද්‍ය විශේෂඥ හරිස්චන්ද්‍ර මහතා කුරුණෑගල ශික්ෂණ රෝහලට ගොස් වකුගඩු දෙක ශල්‍යකර්මයක් මගින් පෙරේදා (20) ඉවත් කරගත්තේය.

කුරුණෑගල ශික්ෂණ රෝහලේ නිර්වින්දන වෛද්‍ය විශේෂඥ දීපානි විජේසිංහ මහත්මිය. වෛද්‍ය අබේසිංහ මහතාට මෙම මොළේ මියගිය තරුණයා ගැන දැනුම්පදීමේ ප්‍රතිඵලයක් වශයෙන් වකුගඩු රෝගීන් දෙදෙනකුට ජීවත්වීමේ වාසනාව ලැබී ඇත.

මහනුවර ශික්ෂණ රෝහලේ වෛද්‍ය ගෝතම  රකිනවසම් මහනා, එම රෝහලේ මොළේ මියගිය අයගේ ශරිර අවයව ලබාගැනීමේ ඒකකය බාර හෙද නිලධාරී අනුර රත්නායක, සහකාර සම්බන්ධිකරණ නිලධාරී හෙද නිලධාරිනි ආර්.එම්. ජයවර්ධන යන  මහත්වරුන් සහ හෙද නිලධාරිනියක් වන පවිත්‍රා බුලත්ගම සහ රසිකාමණී විජේවීර යන මහත්මීන් වකුගඩු දෙක ඉවත් කර ගැනීමේ කාර්යයේදී  විශේෂඥ වෛද්‍යවරයාට සහාය දී තිබේ.
තමන්ට සිටි එකම පුතාගේ වකුගඩු දෙකෙන් තවත් පුතුන් දෙදෙනකු ජීවත් කරවීමට ලැබීමෙන්  පුතා මියයාමේ දුක යම් තරමකට හෝ තුනී කර ගැනීමට හැකි වන බව එම තරුණයාගේ මව සහ පියා පැවසු බව වෛද්‍ය අබේසිංහ මහතා කීය.

වකුගඩු දෙකට අමතරව අක්මාව සහ හදවන ද ලබාදීමට එම තරුණයාගේ මවුපියන් කැමැත්ත  දී තිබුණත් ඒවා බද්ධ කිරිමට ලබාගැනීම සුදුසු තත්වයක නොතිබුණ බව වෛද්‍ය අබේසිංහ මහතා පවසයි.

-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය -

වැඩිම ජන ප්‍රසාදය මිෂෙල් ඔබාමාට



පසුගියදා ප්‍රකාශයට පත් කරන ලද ගැලප් මත විමසුම් ප්‍රතිඵලයට (Gallup poll) අනුව ඇමෙරිකා එක්සත් ජනපද ජනතාව ලොව වඩාත්ම අගය කරන කාන්තාව ලෙස මිෂෙල් ඔබාමා මහත්මිය පළමු ස්ථානය හිමි කරගෙන ඇත. මින්පෙර නොකඩවා 17 වරක් එම ස්ථානය අයත් කරගනිමින් සිටි තවත් හිටපු ජනාධිපති ආර්යාවක් වන හිලර් ක්ලින්ටන් මහත්මියට මෙවර හිමිවී ඇත්තේ තුන් වැනි ස්ථානයයි. දෙසැම්බර් 3 සිට 12 වැනිදා දක්වා පැවති මේ වසරේ ගැලප් මත විමසුමට ඇමරිකානුවන් 1,025ක් දායක වූ අතර, ඉන් 15%ක් මිෂෙල් ඔබාමා හට වැඩි මනාපය ප්‍රකාශ කර ඇත.

ඇය මේ දිනවල සිටින්නේ "Becoming” නමැති සිය චරිතාපදාන ග්‍රන්ථයේ ප්‍රචාරක කටයුතුවල නිරත වෙමිනි. දෙවැනි ස්ථානය ඔප්රා වින්ෆ්‍රි හට අත් වන අතර වත්මන් ජනාධිපති ආර්යාව වන මෙලනියා ට්‍රම්ප් හට සිව් වැනි ස්ථානය හිමි වී ඇත. මේ අතර ඇමෙරිකානුවන්ගේ ප්‍රියතම පුරුෂයා ලෙස බැරක් ඔබාමා මහතා නොකඩවා 11 වැනි වරටත් වැඩිම මනාප ලබා ඇතැයි ගැලප් සමීක්ෂණ වාර්තාව තවදුරටත් සඳහන් කරයි. ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් මහතා සිව් වැනි වරටත් දෙවැනි ස්ථානය ලබා සිටී. 1935 දී ජෝර්ජ් ගැලප් විසින් අරඹන ලද සමාගම ලොව පුරා ජනමත විමසුම් පැවැත්වීම පිළිබද ප්‍රසිද්ධියක් උසුලයි. 1948 වසරේ සිට (1976 හැර) වාර්ෂිකව ඔවුන් ජනමත විමසුම් පවත්වා තිබේ.

රත්මලානේ හදිසි හෝටල් වැටලීමක්-හසුවූ ජරා කෑම තොග පිටින් එම ස්ථාන වලදීම විනාශ කරලා






රත්මලාන වෙඩිකන්ද හා විහාර යන කොට්ඨාසවල සිදු කළ හෝටල් බේකරි, ගොසරි වෙළදසල් හදිසි පරික්ෂාවකදී පරිභෝජනයට නුසුදුසු ලෙස අලෙවියට තබා තිබූ පරාටා, රොටී, බිත්තර, පිසූ ආහාර විශාල තොගයක් මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන් විසින් අත්අඩංගුවට ගෙන එම ස්ථානවලදී විනාශ කළ  රත්මලාන ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.

 මෙම වැඩසටහන දෙහිවල ගල්කිස්ස නගරාධිපති නාවලගේ ස්ටැන්ලි ඩයස්  මහතාගේ උපදෙස් පරිදි රත්මලාන ප්‍රධාන සෞඛ්‍ය නිලධාරි වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතාගේ මෙහෙයවීම යටතේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක එච්.ලලිත් පෙරේරා මහඡන සෞඛ්‍ය පරික්ෂක එච්.එස්. කල්දේරා , ආර්.පී.පී.එස්.රාජපක්ෂ ඩබ්.පී. රමිත, ජේ.පී.ජී.අයි. නුවන් මධුර, ඩී.ජී.එස්.එච්. කුමාරතුංග යන මහත්වරුන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරිණි.

මෙහිදී ඇතැම් හෝටල් ශීතකරණ තුළ අවිධිමත් ලෙස පිසූ හා පිසීමට සූදානම් කළ ආහාර ද්‍රව්‍ය මස් මාළු සමග එකට ගබඩාර කර තිබියදී හමුවූ බවත් සමහර ආහාර ද්‍රව්‍ය කල් ඉකුත්වී මහජන පරිභෝඡනයට නුසුදුසු තත්වයෙන් පැවැති බවත් පුස් පිපී තිබූ අලබෝල තොගයක් අලෙවියට තබා තිබූ බවත් එල්ලාවල මහතා වැඩිදුරටත් පැවැසිය.


මෙම  වැටලීම්වලට  ප්‍රථම පසුගිය දිතවල ප්‍රදේශයේ ආහාර සපයන හිමිකරුවන් සහ ඒවායේ සේවකයින්  දැනුම්වත් කිරීමේ වැඩසටහන් ස්ථාන  කීපයකදී සිදු කළ අවස්ථාවට සහභාග වී සිටි ආයතන හිමිකරුවන් කිහිප දෙනකු  තම වෙළඳසල නිසි උපදෙස් මත සකසා තිබූ අතර එවැනි ස්ථානවල ආහාර ද්‍රව්‍ය  නිෂ්පාදනය හා ගබඩා කිරීම් අලෙවිය නිසි ලෙස සිදු කරනු ලැබූ බවත් තවදුරටත්  එම සේවා වැඩි දියුණු කරගන්නා ලෙසත්
උපදෙස් ලබා දුන් බවත් සෞඛ්‍ය වෛද්‍ය ඉන්දික එල්ලාවල මහතා පැවසීය.

- .එච්.එම්. ධර්මපාල -

අලුත් අවුරුද්දට අලුත් කාසි පෙළක්





අලුත් අවුරුද්ද වෙනුවෙන් නව කාසි පෙළක් හදුන්වා දෙන බව ශ්‍රී ලංකා මහ බැංකුව පවසයි.

මෙම කාසි පෙළට රුපියල් දහය, පහ, දෙක හා රුපියල වටිනාකම් සහිත කාසි ඇතුළත් වන අතර, වටිනාකම වැඩි වන අනුපිළිවෙළට විෂ්කම්භය හා ඝනකම වෙනස් කර දෘෂ්‍යාබාධිත පුද්ගලයන්ට වෙන් කර හදුනාගත හැකි වන සේ වෙනස් වූ දාර ද යොදා මෙම කාසි නිෂ්පාදනය කර ඇතැයි ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රකාශකයෙක් පැවසීය.

 මෙම කාසි අඩු මිලක් සහිත මළ නොබැඳෙන වානේවලින් නිෂ්පාදනය කර තිබෙන බවත්. කාසිවල බර හා ප්‍රමාණය අවම කිරිමෙන් නිෂ්පාදන පිරිවැය අඩු කරගෙන ඇති බවත් එම ප්‍රකාශකයන් සඳහන් කළේය.

 මුදල් පසුම්බියක පහසුවෙන් රැගෙන යා හැකි පරිදි සැහැල්ලු නිමාවකින් යුක්ත මෙම කාසි මළ නොබැඳෙන වානේ යොදා නිපදවා ඇති හෙයින් ලෝහාලේපික කාසිවලට වඩා වැඩි කල් පවතින බව ද මහ බැංකුව පවසයි.
ඕනෑම අයකුට ශ්‍රී ලංකාවේ ඕනෑම වාණිජ බැංකු ශාඛාවකින් මෙම නව කාසි කිසිදු හිඟයකින් තොරව ලබා ගැනීමට හැකි බව මහ බැංකු නිලධාරිහු පවසති.


-සුජිත් හේවාපුලිගේ-

චීන වරායේ තෙල් ටැංකි කපා යකඩවලට විකුණන්න තැත් කළ පුද්ගලයින් කොටු








දෙවන ලෝක යුද සමයට පෙර බ්‍රිතාන්‍ය ජාතිකයන්ගේ විශ්මිත නිර්මාණයක් ලෙස ලංකාවට දායාද වූ චීන වරායේ පිහිටි තෙල් ටැංකි යකඩවලට විකිණීමට කැපූ අටදෙනකු ඉකුත් 27 වැනිදා අත්අඩංගුවට ගත් බව චීන වරාය පොලිසිය කියයි.

දැනට මෙම තෙල් ටැංකි ලංකා ඉන්දීය තෙල් සමාගම  (අයි.ඕ.සී) පරිශ්‍රයේ පිහිටා ඇති අතර එම සමාගමේ ආරක්ෂක අංශය කළ පැමිණිල්ලකට අනුව විමර්ශනයක් සිදුකර මෙම සැකකරුවෝ ටැංකිවලින් කපා ඉවත් කළ තහඩු තොගයක් සමග අත්අඩංගුවට ගනු ලැබූහ.   කැලෑවට වැසි ඇති කොටසින් තෙල් ටැංකි පරිශ්‍රයට ඇතුළු වී මෙම විනාශය සිදුකර ඇති අතර එය කාලයක් තිස්සේ සිදුකර ඇතැයි පොලිස් පරික්ෂණවලින් හෙළිකර ගැනීමට මූතූර්. චීනවරාය භාර සහකාර පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සමත් වූයේය.

කලක සිට යකඩ හොරු විසින් ටැංකි කිහිපයක් කපා ඇති අතර අත්අඩංගුවට ගත් සැකකරුවන් ටැංකි දෙකක් කපා යකඩ තහඩු ඉවත්  කරගෙන ගොස් තිබේ. ලංකා ඉන්දීය තෙල් සමාගම චීන වරාය පොලිසියට කළ පැමිණිලෙත් මෙම ටැංකි දෙකට කළ හානිය ලක්ෂ අනූවක් ලෙස දැනුම් දී තිබේ.

ත්‍රිකුණාමල වරායට අවශ්‍ය ඉන්ධන ලබාගැනීම සඳහා එවකට ලංකාව යටත් කරගෙන සිටි බ්‍රිතාන්‍යය ඡාතිකයන් 1924 දී ටැංකි 101ක් ඉදිකර 1930 දී වැඩ අවසන් කර තිබුණි. මෙම ටැංකි අගල් 2 1/2 යකඩ තහඩු රිවට් ඇණවලින් සවිකර ඉදිකර තිබුණු විශ්මිත නිර්මාණයක් ලෙසින් සැලකේ. අක්කර 685 වපසරියක් තුළ විහිදී ඇති ටැංකි වැඩි කොටසක් කැලෑවට ගොස් තිබුණි.

අත්අඩංගුවට ගත් සැකකරුවන් සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරි බුද්ධික මනතුංග මහතාගේ මෙහෙයවීම යටතේ චීන වරාය වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරික්ෂක කුඹුරේගම මහතා වැඩිදුර පරීක්ෂණ මෙහෙයවයි.

 -අමදෝරු අමරජීව-

බිරිය මරා හිස රැගෙන ගිය සැමියා අද අධිකරණයට



තම බිරිය මරා හිස රැගෙන ගිය දෙදරු පියා කලවාන නාවලකන්ද කැලෑබද ප්‍රදේශයේදී හිසත් සමඟ රත්නපුර පොලිසිය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. ඔහු අද දින (31දා) අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට කටයුතු කර ඇත. සිය බිරිය ආයුධවලින් දරුණු ලෙස කපා කොටා ඝාතනය කර කඳෙන් හිස වෙන් කර පුරුෂයා විසින් එම හිසද රැගෙන පලා ගොස් තිබිණි. මෙසේ කපා කොටා ඝාතනය කර ඇත්තේ රත්නපුර පිට රවුම් පාරේ පදිංචිව සිටි දෙදරු මවක් වන පෙරුමාල් මුනියන් වසන්තා කුමාරි නමැති හතළිස් හැවිරිදි කාන්තාවක් බව පොලිසිය පවසයි.

පසුගිය 29 වැනිදා අලුයම 1.30ට පමණ පදිංචිව සිටින නිවෙසේ කාමරයක් තුළ මෙම කාන්තාව ඝාතනය කළ පුරුෂයා බිරියගේ හිසද රැගෙන ඔහුට අයත් යතුරුපැදියෙන් පලාගොස් සිටි බවද පොලිසිය පවසයි. මෙය පෞද්ගලික ආරවුලක් මත සිදුවූ එකක් බවට පොලිසිය පවසයි. පුරුෂයා විසින් සිය බිරියගේ උදර ප්‍රදේශවලටත්, දකුණු අත වැළමිට අසලින් කැපී යන සේ තියුණු ආයුධවලින් කපා ඇති බවත්, පොලිසිය පවසයි. මෙම සිද්ධිය බේරීමට ගිය එකම දියණියගේ අත්වලටත් තුවාල සිදුව ඇති අතර අවුරුදු 16ක් වයසැති බාල සහෝදරයා සමඟ සැඟවී සිට පියාට හොරෙන් පවුලේ වාහනය සහෝදරයා ලවා පොලිසියට ගෙන ගොස් සිද්ධිය සම්බන්ධව පැමිණිලි කර දියණිය රෝහල් ගත කර ඇති බවද පොලිසිය පවසයි.

පොලිසිය විසින් සිදු කරන ලද පරික්‍ෂණයේදී ඝාතනයට යොදා ගන්නා ලද කැත්තක්ද අසල දිය පහරකට විසි කර ඇති අතර තියුණු පිහියක්ද සොයා ගත් බව පොලිසිය පවසයි. සැකකාර ගනේෂන් සත්‍යරාජ (43) නමැත්තා සහ පවුලේ අය විසින් පැරැණි අබලි යකඩ එකතු කරන ව්‍යාපාර කරගෙන යන අය බවත් තම පියා මානසික රෝගයකින් පෙළෙන අතර බාහිර ප්‍රතිකාර ගන්නා බවට බාල පුතු විසින් ප්‍රකාශ කර ඇතැයි පොලිසිය පවසයි.

මෙම මරණය සම්බන්ධව මහෙස්ත්‍රාත් පරික්‍ෂණ රත්නපුර අතිරේක මහෙස්ත්‍රාත් ගාමිණී පුෂ්පකුමාර මහතා විසින් සිදු කරන ලද අතර පශ්චාත් මරණ පරීක්‍ෂණය රත්නපුර රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරි ඒ. දයාපාල මහතා විසින් සිදුකරන ලද අතර තියුණු බර ආයුධවලින් ගෙලට සිදුවූ කැපුම් හා ඇනීම් හේතුවෙන් සිදුවූ මරණයක් බවට තීරණය කරන ලදී.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ලද තොරතුරුවලට අනුව එම ප්‍රදේශයේ වළ දමා තිබූ කාන්තාවගේ හිස ද රත්නපුර පොලිසිය වෙත රැගෙන විත් මරණ පරීක්‍ෂණය සඳහා හිස සහ කඳ රත්නපුර මහ රෝහලේ අධිකරණ විශේෂඥ වෛද්‍ය ඒ. දයාපාල මහතා වෙත ඉදිරිපත් කර ඇත. අධිකරණ වෛද්‍යවරයා මරණ පරීක්‍ෂණය සිදුකරමින් සටහන් කර ඇත්තේ මෙම මරණය තියුණු ආයුධයකින් ගෙල කැපීම නිසා සිදුව ඇති බවයි.

-කේ.ඒ.එස්. පියතිලක-

අනියම් සැමියා අවුරුද්දක් වයසැති දරුවකු දුම්වැටිවලින් පුලුස්සලා



සියඹලාණ්ඩුව පොලිස් බල ප්‍රදේශයට අයත් මුතුකණ්ඩිය පහේ කණුව ප්‍රදේශයේ වයස අවුරුදු 1 මාස 10ක පිරිමි දරුවකු මවගේ අනියම් පුරුෂයා විසින් බීමත්ව පැමිණ මාස දෙකකට අධික කාලයක් තිස්සේ දුම් වැටියකින් පිලිස්සූ දරුවා සියඹලාණ්ඩුව පොලිස් භාරයට ගෙන ඇත. මෙම දරුවාගේ පිටුපස, කොන්ද, කකුල්, අත්, මුහුණ ඇතුළු ශරීරය පුරා පිලිස්සුම් තුවාල 100කට අධික සංඛ්‍යාවක් දක්නට ලැබේ. මේ දරුවාගේ මව රත්නපුර ප්‍රදේශයේ පදිංචි අයකු සමඟ විවාහ වී සිටි අතර එහිදී මෙම දරුවා ලැබී ඇත. ද

දරුවා ලැබීමෙන් පසු දරුවාගේ පියා මවත් දරුවත් දමා ගොස් ඇත. අනතුරුව පිලිස්සුම්වලට සම්බන්ධ සැකකරු සමඟ දරුවාගේ මව, අනියම් සම්බන්ධතාවක් ඇති කරගෙන අනියම් පුරුෂයාගේ ගමට පැමිණ ඇත. ඔහුද විවාහක පුරුෂයකු වන අතර බිරියගෙන් වෙන් වී සිටින්නෙකි. අධික බීමතින් පැමිණ මේ දරුවා විටින් විට පුලුස්සා ඇති බව මව පොලිසියට පාපෝච්චාරණය කර ඇත. මේ දරුවාට කෙරෙන අඩන්තේට්ටම් ගැන ආච්චිට දැනගන්නට ලැබී ඇත්තේ දරුවාගේ මව ඇයට දුරකථන ඇමතුමක් ගත් අවස්ථාවේ දරුවාට අනියම් සැමියා පහරදෙන ශබ්ද ඇසුණු අවස්ථාවකදීය.

එවිට දරුවා එපා නම් තමාට දරුවා ලබාදෙන ලෙස කරන ලද ඉල්ලීමට අනුව දරුවා ආච්චිට භාරදෙන අවස්ථාවේ දරුවාගේ පිලිස්සුම් තුවාල දැක පොලිසියට දැනුම් දී ඇත. මේ අනුව සියඹලාණ්ඩුව පොලිසිය මඟින් දරුවාත් සැකකාර මවත් පොලිස් භාරයට ගෙන ඇත. පිලිස්සීම් කළ අනියම් සැමියා ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු සොයා පරීක්‍ෂණ පැවැත්වේ. දරුවාට ප්‍රතිකාර කිරීම සඳහා සියඹලාණ්ඩුව මූලික රෝහලට ඇතුළත් කර ඇති අතර සැකකාර මව සියඹලාණ්ඩුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

-බුත්තල නයන කුමාර-

බස් රථය තුළදී රූමත් කාන්තාවන්ගේ රහස් පෙදෙස් වීඩියෝ කළ අයෙක් අත්අඩංගුවට


පෞද්ගලික බස්රථවල ගමන් ගන්නා සුරූපී කාන්තාවන් හා පාසල් දැන් ඉන්නේ බසින අවස්ථාවේ තම ජංගම දුරකථනය මගින් සූක්ෂමව වීඩියෝ කළ බවට මිටියාගොඩ පොලීසිය මගින් අත්අඩංගුවට ගන්නා ලදී.

සැකකරුවකු එළඹෙන ජනවාරි (10) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස බළපිටිය මහේස්ත්‍රාත් සම්පත් ගමගේ මහතා පසුහියදා 28දා නියම කළේය.

තංගල්ල රැකව ප්‍රදේශයේ පදිංචි 29 හැවිරිදී බස් රථ කොන්දොස්තරවරයෙකු මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.
සැකකරු සමග නවීන ජංගම දුරකථන තුනක්ද ඒවාට යොදන විවිධ දුරකථන සමාගම් විසින් නිකුත් කරන ලද සිම්පත් 07ක්ද පොලීසිය මගින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

සැකකරු, කාන්තාවන් හා පාසල් දැරියන් බස් රථයෙන් බසින අවස්ථාවේදී බසයේ පහළ පඩියට ගොස් ඉතා සූක්ෂම අයුරින් සිය ජංගම දුරකථනයෙන් ඔවුන්ගේ නිරුවත විඩියෝ කර තිබෙන බව පරික්ෂණවලදී අනාවරණය වී ඇති බව පොලීසිය පවසයි.

 මෙසේ විඩීයෝ කරන ලද දර්ශන රැසක් සැකකරු සතුව තිබූ ජංගම දුරකථනවල තිබී සොයා ගත් බවද මීටියාගොඩ පොලීසියේ ප්‍රකාශකයෙක් සඳහන් කළේය.

 සිද්ධිය සම්බන්ධයෙන් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු ප්‍රකාශ කර ඇත්තේ විදේශිකයන්ට පෙන්වීමට ම‍ෙම දර්ශන වීඩියෝ ගත කළ බවයි.

 ඇතැම් පෞද්ගලික බස් රථවල මෙය ජාවාරමක් ලෙසින් ක්‍රියාත්මක කරන බවද සැකකරුගෙන් ප්‍රශ්න කිරීම්වලදී පොලීසිය අනාවරණය කරගෙන ඇත. එම නිසා පෞද්ගලික බස් රථවල ගමන් කරන  කාන්තාවන් සහ පාසල් දරුවන් ඉතා විමසිලිමත්ව බස් රථවල ගමන් කරන ලෙසද මීටියාගොඩ පොලිසිය ඉල්ලා සිටියි.

-නන්දු මධුසර ලියනගේ -  ජිනේෂ් හානායක්කාර-

ඇම්පියර් 5-15 විදුලි කෙවෙනි අද සිට තහනම්



මෙරට භාවිත කරන ඇම්පියර් 5 සහ 15න් යුතු විදුලි පේනු (Plug Top) සහ විදුලි කෙවෙනි (Plug Base) විකිණීම, ප්‍රදර්ශනය සහ ගබඩා කොට තබා ගැනීම අද (31දා) සිට තහනම් වන බව මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ විදුලි පරීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ නිලන්ත සපුමානගේ පැවැසීය. ඒ අනුව මෙරට ජාතික ප්‍රමිතිය ලෙස ඇම්පියර් 13 G වර්ගයේ හතරැස් කොටු විදුලි පේනු සහ කෙවෙනි පමණක් විකිණීම සිදු කළ යුතු බවද ඔහු පැවැසුවේය.

විදුලි අනතුරු අවම කර ගැනීම සඳහා මහජන උපයෝගිතා කොමිෂන් සභාව ඇරැඹූ වැඩපිළිවෙළේ දිගුවක් ලෙස මේ කටයුත්ත අද (31දා) සිට ක්‍රියාත්මක වන බවත් ඔහු පැවැසුවේය. මේ වන විට වසරකට ලංකාවේ විදුලි අනතුරු හේතුවෙන් ජීවිත 75-100ත් අතර ප්‍රමාණයක් අහිමි වන බවත් සිදු කළ සමීක්ෂණවලින් ඊට හේතුවන ප්‍රධාන සාධක 13ක් හඳුනාගෙන ඒ අතරින්ද 80%ක්ම මරණ සිදුවීමට අදාළ හේතුන් විශ්ලේෂණය කිරීමෙන් අනතුරුව මින් වැළැකීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීමට මේ වැඩපිළිවෙළ දියත් කළ බවද හෙතෙම පැවැසීය.

මහජන උපදෙස් සම්මන්ත්‍රණ, සමීක්ෂණ ඇතුළු දිගු ක්‍රියාදාමයකින් පසුව කැබිනට් අනුමැතිය සහිතව ඇම්පියර් 13ට අදාළ පේනු සහ කෙවෙනි භාවිතය නීතිගත කිරීමට අදාළ වැඩකටයුතු සිදු වූ බවද ලංකාවේ ඒකල ජාතික ප්‍රමිතිය ලෙස හතරැස් කොටු සහිත ඇම්පියර් 13 G වර්ගයේ පේනු සහ කෙවෙනි ප්‍රමිති ආයතනය මඟින් නම් කළ බවද අධ්‍යක්ෂවරයා සඳහන් කළේය.

එසේ නම් කිරීමෙන් අනතුරුව මෙරටට විවිධ වර්ගයේ පේනු සහ කෙවෙනි පිටරටින් ගෙන්වීම තහනම් කිරීමට අදාළ ගැසට් පත්‍රය 2017/08/16 නිකුත් කළ බවද ඉන් අනතුරුව මෙරට ඒකල ප්‍රමිතියට අදාළ පේනු සහ කෙවෙනි පමණක් ගෙන්වීමට හැකිවන පරිදි වැඩ කටයුතු සිදු වූ බවද ඔහු පැවැසුවේය.

-සුනිල් එස්. පැල්ලන්දෙණිය-


වඩමාරච්චි වෙරළට හඳුනා නොගත් වස්තුවක් ගොඩ ගහලා


යාපනයේ වඩමාරච්චි නැඟෙනහිර ප්‍රදේශයේ ධීවරයන් පිරිසකට පෙරේදා (29දා) සවස හඳුනා ගැනීමට නොහැකි වස්තුවක් හමුවී තිබේ. මුහුදේ රළ සමඟ ගොඩගසා ඇති මෙම වස්තුව උපකරණයක හැඩයෙන් යුක්ත වුවත් එය කුමන අන්දමේ උපකරණයක් දැයි නිශ්චිතව හඳුනා ගැනීමට නොහැකි බව වඩමාරච්චි ධීවරයෝ කියා සිටිති. එම වස්තුව යම් ලෝහයකින් තනා ඇති බවක් බාහිරින් පෙනෙන්නට ඇති බවත් දිගින් අඩි පහක් පමණ වන                                                                                      බවත් මුලින්ම එය දුටු ධීවරයෝ පිරිස කියා සිටිති.

කිසි දිනෙක දැක නොමැති මේ වස්තුව දැකීමෙන් පසුව ධීවරයෝ විවිධ මත පළ කරති. එක් කණ්ඩායමක් ප්‍රකාශ කොට ඇත්තේ එය මුහුදු බෝම්බයක් බවයි. අනෙක් පිරිස මේ ප්‍රකාශයෙන් පසුව බිය වී මේ වස්තුව පිළිබඳව නිලධාරීන්ට දැනුම් දී තිබේ. නිලධාරීන් උපදෙස් දී ඇත්තේ ආරක්‍ෂක අංශ සමඟ පැමිණෙනතුරු ඒ ස්ථානයට නොයන ලෙසයි.


-රසාදි චතුරංගි ගමගේ-

ලෝකයේ විශාලතම ගුවන් යානයක් හදිසියේ කටුනායක ගුවන්කොටුපොළට



ලෝකයේ විශාලතම මගී ගුවන් යානා විශේෂය වන  ඒ - 380 (ඒ - 380) වර්ගයේ ගුවන් යානයක් , එහි කාර්ය මණ්ඩල සාමාජිකයකු හදිසියේම අසනීප වීම නිසා පසුගියදා උදෑසන කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළ වෙත ගොඩබස්වනු ලැබූ බව ගුවන්තොටුපොළ කාර්යභාර නිලධාරීවරයා පැවැසීය. එමිරේට්ස් ගුවන් සේවා සමාගමට අයත් මෙම ගුවන් යානය ඩුබායි සිට ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් බලා ගමන් ගනිමින් තිබූ අතර එහි මගීන් 420 දෙනකු සහ කාර්ය මණ්ඩලයේ විසි දෙදෙනෙක් සිටියහ.

මෙම ගුවන් යානය ශ්‍රී ලංකාවට ඉහළ අහසේ ගුවන් ගනිමින් තිබියදී එම යානයේ සේවය කළ 32 හැවිරිදි කාර්ය මණ්ඩල සාමාජිකයකුට උදරාබාධයක් වැලදීම නිසා මෙම ගුවන් යානය 28දා දින උදෑසන 10.25ට කටුනායක ගුවන්තොටුපොළ වෙත හදිසියේම ගොඩබස්වා තිබේ. ඉන් අනතුරුව මෙම රෝගී ගුවන් යානා කාර්ය මණ්ඩල සාමාජිකයා ගුවන්තොටුපොළ වෛද්‍ය මධ්‍යස්ථානය වෙත භාර දුන් අතර, ඔහු වාහම ගිලන්රථයකින් මීගමුව පෞද්ගලික රෝහලක් වෙත යොමු කිරීමට පියවර ගෙන තිබිණි.

-ගයා තිරිමාදුර-

බේරාගැනීමට ආ තරුණයාට පිහියෙන් ඇන අමනාප වී සිටි පෙම්වතිය පැහැරගෙන ගිය හමුදා සෙබළා අත්අඩංගුවට-පිහි පහරකෑ තරුණයාට බරපතලයි


ගාල්ල ටැල්බට් ටවුමේ වෙළෙඳසලක් ඉදිරිපිට දී පෙරේදා (29) දා පෙරවරුවේ තරුණයකු තමා සමග අමනාප වී සිටි පෙම්වතිය පැහැර ගෙන යෑමට සූදානම් වූ අවස්ථාවේ ඇය බේරා ගැනීමට ඉදිරිපත් වූ තරුණයකුට පිහියෙන් ඇන ඇති අතර, පෙම්වතිය රැගෙන පලා යමින් සිටියදී ගාල්ල පොලිසිය විසින් තරුණිය බේරා ගෙන සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

පිහි ඇනුම් කෑ තරුණයා කරාපිටිය රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කර ඇති අතර ඔහුගේ තත්ත්වය බරපතළ බවද රෝහල් ප්‍රකාශකයකු පැවැසීය.

තරුණයාට පිහියෙන් ඇන පෙම්වතිය ද රැගෙන ත්‍රිරෝද රථයේ නැඟී පලා යමින් සිටියදී පොලිස්‌ නිලධාරීන් කණ්‌ඩායමක්‌ ඒ පසුපසු හඹා ගොස්‌ සැකකාර තරුණයා හා ත්‍රිරෝද රියදුරු පිහිය ද සමග අත් අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දොඩන්දූව කටුදම්පේ පදිංචි මරදාන යුද හමුදා කඳවුරේ සේවය කරන සෙබළකු සහ එම ප්‍රදේශයේ ම පදිංචි ත්‍රිරෝද රථ රියදුරෙකි.

බද්දේගම ප්‍රදේශයේ පදිංචි විසිනව හැවිරිදි තරුණිය ගාල්ල නගරයේ වෙළෙඳසලක සේවය කරන අතර ඇය 2008 වසරේ දොඩන්දූව ප්‍රදේශයේ පදිංචි සැකකාර තරුණයා සමග ප්‍රේම සම්බන්ධයක්‌ ඇති කර ගෙන ඇත. ඔහු 2009 වසරේ යුද හමුදාවට බැඳී ඇති අතර, 2013 වසරේ තරුණිය ප්‍රේම සම්බන්ධය නතර කර ඇත.

අනතුරුව 2015 වසරේ දෙදෙනා යළිත් මිතුරු වී ඇතත් ආරවුල් ඇති වී තිබේ. මේ නිසා තරුණිය ඔක්‌තෝබර් මාසයේදී යළිත් සම්බන්ධතාවය නතර කර ඇත. පෙම්වතා අවස්‌ථා කිහිපයකදීම තරුණිය පැහැර ගෙන යන බවට තර්ජනය කිරීම නිසා ඇය පොලිසියට පැමිණිල්ලක්‌ කර ඇති බව ද පරීක්‍ෂණවලදී අනාවරණය වී තිබේ.

මේ අතර ඇය පෙරේදා උදේ වෙළෙඳසලට පැමිණ එය විවෘත කරන තුරු එහි සිටි අය සමග කතා බස්‌ කරමින් සිටියදී සැකකරු එක්‌වරම පිහියක්‌ රැගෙන ඇය වෙත පැමිණ කොණ්‌ඩෙන් අල්ලා ඇද ගෙන ගොස්‌ ත්‍රිරෝද රථයට දමා ගෙන ඇත. එම අවස්‌ථාවේ ඇයගේ කෑ ගැසීම ඇසී වෙළෙඳසලේම සේවය කරන තරුණයකු පැමිණ ඇය බේරා ගැනීමට ඉදිරිපත් වූ අවස්‌ථාවේ සැකකරු ඔහුට පිහියෙන් ඇන තරුණිය ද රැගෙන පලා ගොස්‌ ඇත.

සිද්ධිය සැල වීමත් සමග වහා ක්‍රියාත්මක වූ පොලිස්‌ කණ්‌ඩායමක්‌ ත්‍රිරෝද රථය පසුපස හඹා ගොස්‌ වක්‌වැල්ල පාරේ මිනුවන්ගොඩදී තරුණිය බේරාගෙන සැකකරුවන් සහ ත්‍රිරෝද රථය ද අපරාධයට යොදාගත් පිහිය ද අත්අඩංගුවට ගෙන ඇත

 - සුගතපාල දීයගහගේ-,  - සංඛ විජේසූරිය-

නව ජාතික හැඳුනුම් පත නිකුත් කිරීම හෙට සිට



පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව විසින් නව හැඳුනුම්පතක් හෙට (ජනවාරි 01දා) සිට නිකුත් කිරීමට නියමිත බව එම දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් පියානි ගුණතිලක මහතා පවසයි. සුහුරු ජාතික හැඳුනුම්පත් (Smart National Card)ලෙස හඳුන්වා දෙන මෙම නව හැඳුනුම්පත සඳහා අයැදුම්කරුගේ ඡායාරූපය විද්‍යුත් තැපෑල මඟින් දෙපාර්තමේන්තුව වෙත ලබාදීම ප්‍රමාණවත් බවත් හෙතෙම සඳහන් කරයි.

ඊට පුද්ගලයන් ලියාපදිංචි කිරීමේ දෙපාර්තමේන්තුව යටතේ ලියාපදිංචි වී ඇති ඡායාරූප ශාලාවලින් පමණක් මෙම ඡායාරූප රැගෙන රිසිට් පත පමණක් හැඳුනුම්පතේ අයැදුම්කරු විසින් ඇලවීම කළ යුතු බවත්, එවැනි ලියාපදිංචි ඡායාරූපශාලා 2100ක් දිවයින පුරා ඇති බවත් ගුණතිලක මහතා පවසයි.


-නුවන් හෙට්ටිආරච්චි-

යාපනය විශ්වවිද්‍යාල සිසුවා නිවසේ කාමරය තුළදී ගෙළ කපාගෙන මැරෙන්න හදලා







යාපනය විශ්වවිද්‍යාලයට අනුබද්ධ කිළිනොච්චිය මණ්ඩපයේ දෙවන වසරේ සිසුවකු සියදිවි හානිකරගැනීම සඳහා පිහියකින් ගෙළ කපා ගැනීම නිසා ඔහු බරපතල තුවාල සහිතව 29 දා කිළිනොච්චිය පලෙයි රෝහල වෙත ඇතුළත් කොට තිබේ.

මේ සිසුවා පලෙයි ප‍්‍රදේශයට නුදුරු ගම්මානයක පදිංචිකරුවකු වන අතර ඔහු විශ්වවිද්‍යාලයේ සිට පැමිණ නිවසට වී කල්පනා කරමින් සිටි බවත් ඔහුගේ කාමරයෙන් කෙදිරිලි හඬක් ඇසී ඒ බව බැලීමට නිවසේ අයෙකු යනවිට ඔහුගේ සිරුර පුරාම ලේ තැවරී තිබූ බවත් ඔහු අසල පිහියක් වැටී තිබූ බවත් නිවසේ උදවිය පොලීසියට ප‍්‍රකාශ කොට තිබේ.

ඔහු සියදිවි හානිකර ගැනීමට තැත් කළ හේතුව මෙතෙක් අනාවරණය වී නොමැත.

කිළිනොච්චිය පොලීසිය පැවසුවේ ඔහුගෙන් කට උත්තරයක් ලබාගැනීමට තරම් සුදුසු සෞඛ්‍ය තත්වයක් තවමත් නොමැති බවයි.

සිද්ධිය පිළිබඳ කිළිනොච්චිය පොලීසිය පරීක්ෂණ පවත්වාගෙන යයි.

-දිනසේන රතුගමගේ-

මෙවර 1,67,907කට සරසවි වරම් 119 දෙනකුගේ ප්‍රතිඵල අත්හිටුවයි



අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාගයේ නිකුත් වූ ප්‍රතිඵල අනුව 1,67,907 දෙනකු විශ්වවිද්‍යාල ප්‍රවේශයට  සුදුසුකම් ලබා තිබේ. විභාගයට පෙනී සිටි සිසු සිසුවියන් 119කගේ ප්‍රතිඵල අත්හිටුවා ඇතැයි  විභාග කොමසාරීස් ජනරාල් බී. සනත් පූජිත මහතාගේ අස්සනින් නිකුත් කළ නිවේදනයක දැක්වේ.

උසස් පෙළ විභාගයට මෙවර පෙනී සිටි අයදුම්කරුවන්ගේ සංඛ්‍යාව 3,21,469කි. ප්‍රතිඵල නැවත සමීක්ෂණය සඳහා 2019 ජනවාරි 16 වැනි දිනට පෙර අයැදුම් කළ යුතුය. ප්‍රතිඵල සම්බන්ධ විමසීම්  සඳහා ක්‍ෂණික ඇමැතුම් අංක 1911 හෝ 0112 784208, 0112784537, 0113188350, 0113 140314 යන දුරකථන අංකවලින්, පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව අමතන ලෙස විභාග කොමසාරිස් ජනරාල් දන්වා සිටී.

-ජේ.ටී.ද.සිල්වා-

රණවිරුවන් අපිට ඕනේ-අපි ඔවුන්ට ගරු කරනවා-උතුරේ දමිළ ජනතාව පෝස්ටර් ගසති


උතුරේ ආරක්‍ෂක අංශවල සහයෝගය තමන්ට අවශ්‍ය බව කියමින් කිළිනොච්චිය හා මුලතිව් ප්‍රදේශවල ජනතාව පෝස්‌ටර් හා බැනර් ප්‍රදර්ශනය කර තිබේ.

ඔවුන් ඒ පෝස්‌ටර් හා බැනර් මගින් කියා ඇත්තේ ගංවතුර උවදුරෙන් තමන් බේරා ගත්තේ දෙමළ දේශපාලනඥයන් නොව ආරක්‍ෂක අංශ බවයි. මේ නිසා වන්නියේ දෙමළ ජනතාව ආරක්‍ෂක අංශ සාමාජිකයන්ට ගරුකරන බවත් ඔවුන්ගේ සේවාව තවදුරටත් වන්නියේ ජනතාවට අවශ්‍ය බවත් එම පෝස්‌ටර්වල සඳහන්ව ඇත.

උතරු පළාත් සභාව විසින් කිළිනොච්චිය හා මුලතිව් පළාත්වල සිදුකළ විවිධ සංවර්ධන කටයුතු විස්‌තර කිරීම සඳහා යොදා ඇති බෝඩ්වලට පහළින්ද ආරක්‍ෂක අංශ වෙත වන්නියේ ජනතාවගේ ප්‍රණාමය පුද කරමින් බැනර් එල්ලා පෝස්‌ටර් අලවා තිබුණි.

යුද හමුදාව උතුරෙන් පිටව යා යුතු නොවේ හමුදාවේ සහයෝගය අපට අවශ්‍යයි. වැනි වැකි ඇතුළත් පෝස්‌ටර් හා බැනර් මෙන්ම ආරක්‍ෂක අංශ අපට කළේ මොනවාද? යන්න විස්‌තර කරමින් ලියන ලද පෝස්‌ටර්ද මේ අතර දක්‌නට ලැබෙයි.

කිළිනොච්චිය හා මුලතිව් පළාත්වල ගංවතුරින් විපතට පත්ව සිටින ජනතාව මේ පෝස්‌ටර්වලින් විශාල ප්‍රමාණයක්‌ ලියා තිබුණේ ඔවුන්ට ආහාර පාර්සල් දමාගෙන විත් තිබූ කාඩ්බෝඩ් පෙට්‌ටිවලින් ඉරා ගත් කාඩ්බෝඩ් කැබලිවලය.

කඩදාසිවල හා රෙදිවල ලියන ලද බැනර් හා පෝස්‌ටර්ද කිළිනොච්චිය හා මුලතිව් පළාත්වල අලවා තිබේ.

දිනසේන රතුගමගේ

අසියාවේ හොඳම සංචාරක ගමනාන්තය ශ්‍රි ලංකාවයි



එළැඹෙන 2019 වසරේ ආසියාවේ නැගී එන හොඳම සංචාරක ගමනාන්තය ලෙස ශ්‍රී ලංකාව, අන්තර්ජාතික  වශයෙන් සම්මානයට පාත්‍රවී තිබේ. "ට්‍රැවල් ලෙමින් ඩොට් කොම්" වෙබ් අඩවිය විසින් ලෝකය පුරා වෙසෙන ප්‍රසිද්ධ සංචාරක බලපෑම් කරන්නන්ගෙන් හා බ්ලොක්කරුවන්ගෙන් සමන්විත මණ්ඩලයක් මඟින් පවත්වනු ලැබූ ඡන්ද විමසීමකින් මෙලෙස ශ්‍රී ලංකාව ආසියාවේ හොඳම නැගී එන සංචාරක ගමනාන්තය  වශයෙන් තේරී පත්ව තිබේ.

සංස්කෘතික සහ ඓතිහාසික වටිනාකමින් යුත් ස්ථාන මෙන්ම වනාන්තර සහ දර්ශනීය වෙරළ තීරය, ශ්‍රී ලංකාවේ  සංචාරය කිරීමේදී දැක ගැනීමට හැකි බව එම වෙබ් අඩවිය සඳහන් කර තිබේ. මීට අමතරව යුරෝපා මහද්වීපයෙන් සංචාරය සඳහා හොඳම රට ලෙස සර්බියාව තේරී පත්වී ඇත. උතුරු ඇමෙරිකා මහද්වීපයෙන් මෙක්සිකෝවද, අප්‍රිකා මහද්වීපයෙන් මලාවි රාජ්‍යයද තේරී ඇත. 2019 වසරේ සංචාරය කිරීමට සුදුසුම රටවල් තෝරා ගැනීම සඳහා ලෝකයේ මහද්වීප 6ක් යොදා ගනිමින් මේ ඡන්ද විමසීම සිදුකර ඇත.

-උදයන්ති මුණසිංහ-

අනියම් බිරිඳ බලන්න මහ රෑ රෝහලෙන් පැන ආ පොලිස් ලොක්කාට නිවැසියන්ගෙන් ප්‍රහාරයක්


සිය අනියම් බිරිය බැලීමට ඉකුත් 28 දා රාත්‍රි සූරියවැවට පැමිණි සූරියවැව පොලිසියේ හිටපු ස්‌ථානාධිපතිවරයකුට නිවැසියන් විසින් තියුණු ආයුධයකින් පහරදී තුවාල සිදුකර ඇතැයි සූරියවැව පොලිසිය පවසයි.

මෙලෙස පහරකෑමට ලක්‌ව තුවාල ලබා රෝහල් ගත කර ඇත්තේ සූරියවැව පොලිස්‌ ස්‌ථානයේ 2008-2009 වසරවලදී ස්‌ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ දැනට වැඩ තහනමකට ලක්‌ව සිටින පොලිස්‌ පරීක්‍ෂකවරයෙකි.

තුවාලකරු සූරියවැව පොලිස්‌ ස්‌ථානාධිපතිවරයා ලෙස කටයුතු කරන සමයේ ඇතිවූ මිත්‍රත්වයක්‌ දුරදිග ගොස්‌ මෙම අනියම් සබඳතාව ඇතිවී ඇති බවත් එම කාන්තාවගේ සැමියාද එම කාලයේදීම කිසියම් අයකුගේ වෙඩි පහරකට ලක්‌ව මියගොස්‌ ඇතැයිද පැවසේ.

දෙදෙනාගේ අනියම් සබඳතාව මීට කලකට පෙර නැවතී ඇති අතර එතැන් පටන් දෙදෙනා අතර මුදල් ගනුදෙනු සම්බන්ධයෙන් ආරවුල් ඇතිවී තිබේ. අනියම් බිරිය ඔහු පැමිණෙන විට මගහැර යැම හේතුවෙන් ආරවුල් දුරදිග ගොස්‌ තිබේ. හිටපු ස්‌ථානාධිපතිවරයා පසුගිය දින කිහිපයේම දිගින් දිගටම ඇය සොයා සූරියවැවට පැමිණ ඇති අතර පසුගිය 28 දින රාත්‍රි සූරියවැව නගරයේ පිහිටි ඇයගේ නිවසට පැමිණ ඇති හෙතෙම නිවැසියන්ගෙන් කාන්තාව කොහිදැයි විමසා තිබේ. එහිදී ඇය නිවසේ නොමැති බව පැවසීමෙන් දෙපාර්ශ්වය අතර ගැටුමක්‌ ඇතිවී තිබේ. පසුව නිවසේ සිටි කාන්තාවගේ පියා සහ සහෝදරයා විසින් මොහුට පහරදී තිබේ. පහරකෑමට ලක්‌වූ හිටපු ස්‌ථානාධිපතිවරයා සූරියවැව පොලිසියට පැමිණිල්ලක්‌ කර සූරියවැව රෝහලට ඇතුළත් වී තිබේ.

රෝහල් ගතව සිටි පහර කෑමට ලක්‌ වූ පුද්ගලයා රාත්‍රි 10 ට පමණ රෝහලෙන් පලාගොස්‌ නැවත එම නිවැසියන් සමග ආරවුලක්‌ ඇතිකර ගෙන තිබේ. එහිදී බහින් බස්‌වීම දුරදිග ගොස්‌ නිවැසියන් විසින් මොහුට තියුණු ආයුධයකින් පහරදී තිබේ. මේ සම්බන්ධයෙන් සූරියවැව පොලිසියට ලැබුණු තොරතුරක්‌ මත තුවාල ලබා සූරියවැව නගරයේ නිවසක්‌ අසල වැටී සිටි හිටපු ස්‌ථානාධිපතිවරයා පොලිසිය විසින් හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කිරීමට පියවරගෙන තිබේ.

මෙම පහරදීම සම්බන්ධයෙන් සූරියවැව පදිංචි අනියම් බිරියගේ පියා සහ සොහොයුරා

සූරියවැව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන හම්බන්තොට මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් ලක්‍ෂය බැගින් වූ ශරීර ඇප දෙකක්‌ මත මුදාහැර තිබේ. ඉදිරි නඩු දිනයේදී සැකකරුවන්ට එරෙහි චෝදනා ගොනු කරන ලෙස මහෙස්‌ත්‍රාත්වරයා සූරියවැව පොලිසියට නියෝග කර තිබේ.

පහරකෑමට ලක්‌ව හම්බන්තොට මහ රෝහලේ ප්‍රතිකාර ලබන සූරියවැව හිටපු පොලිස්‌ ස්‌ථානාධිපතිවරයාට එරෙහිව සූරියවැව ප්‍රදේශයේ තරුණියක විවාහ කරගන්නා බවට පොරොන්දු වී රුපියල් තිස්‌එක්‌ලක්‍ෂ හතළිස්‌දහසක මුදලක්‌ වංචා කිරීම, විශ්වාසය කඩ කිරීම හා ජීප් රථයක්‌ සාපරාධී සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනා යටතේ හම්බන්තොට මහෙස්‌ත්‍රාත් අධිකරණයේ තවත් නඩුවක්‌ද විභාග වෙයි.

සිද්ධීන් සම්බන්ධයෙන් සූරියවැව පොලිසියේ ස්‌ථානාධිපති පොලිස්‌ පරීක්‍ෂක කේ.කේ. රංගජීව මහතාගේ උපදෙස්‌ පරිදි වැඩිදුර පරීක්‍ෂණ පැවැත්වෙයි.

 - ඩී. එන්. ජයසේකර-

Friday, December 28, 2018

මීටරය වෙනස් කරන්න 150ක් යන නිසා ත්‍රීරෝද ගාස්තුව බස්සන්න බෑ-ත්‍රීරෝද රථ සංගමය






ත්‍රීරෝද රථ පළමු කිලෝමීටරය සඳහා නියම කර තිබෙන රුපියල් 50 නව ගාස්තුවට අවශ්‍ය පරිදි ගාස්තු මීටරය සංශෝධනය කිරීමට මිටර් සමාගම් රුපියල් 150ක මුදලක් අයකිරීම හේතුවෙන් බොහෝ ත්‍රිරෝද රථ රියදුරන්ට පළමු කිලෝමීටර ගාස්තුව අඩුකිරිමට ඊයේ (27) නොහැකි වූ බව සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සංගමයේ සභාපති සුදිල් ජයරුක් මහතා පවසයි.

 ත්‍රිරෝද රථ ගාස්තු සංශෝධනය කරන සෑම අවස්ථාවකදීම මීටර සමාගම් ත්‍රිරෝද රථ හිමියන්ගෙන් රුපියල් 150ක මුදලක් අයකරන බව කී හෙතෙම එවැනි මුදලක් ගෙවීම ත්‍රිරෝද රථ රියැදුරාට දරාගත නොහැකි  බැවින් සේවාවක් වශයෙන් සලකා ත්‍රිරෝද රථ මීටරය නොමිල් සංශෝධනය කරගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්නා ලෙස සංගමය ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතාගෙන් ඉල්ලා සිටින බවද කීය.

 පළමු කිලෝමීටර ගාස්තුව අඩුකළ මිලට ගාස්තු මීටරය සංශෝධනය කරගැනීමේ දී අදාළ සමාගම් මුදල් අයකර  ගැනීම හේතුවෙන් කොළඹ නගරයේ මගී ප්‍රවාහනයේ යෙදෙන ලක්‍ෂයක පමණ ත්‍රිරෝද රථ රියැදුරන්ගෙන් ඊයේ (27) උදේ ගාස්තු අඩු කිරිමට හැකියාව ලැබී ඇත්තේ 30,000ක පමණ පිරිසකට පමණක් බවද ඔහු කීවේය.

මගී ප්‍රවාහනයේ යෙදෙන සියලු ත්‍රිරෝද රථ පළමු  කිලෝමිටරයේ ගාස්තුව අද වනවිට අනිවාර්යයෙන්ම අඩු කළ යුතු බවද සංගමයේ සභාපති ඡයරුක් මහතා කීය. පළමු කිලෝමීටර ගාස්තුව අඩු නොකරන ත්‍රිරෝද රථවලින් ගමන් බිමන් යාම ප්‍රතිෂ්ප කරන ලෙසත් ඔහු ඡනතාවගෙන් ඉල්ලීමක් කළේය.

මේ අතර, ලංකා ස්වයං රැකියා වෘත්තිකයන්ගේ ජාතික ත්‍රිරෝද රථ සම්මේලනයේ සභාපති සුනිල් ජයවර්ධන මහතා ප්‍රකාශ කළේ ත්‍රිරෝද රථ පළමු කිලෝ මීටර ගාස්තුව රුපියල් 50 දක්වා අඩු නොකර මගියන් තවදුරටත් කොල්ලකන ත්‍රිරෝද රථ රියදුරන්ට විරුද්ධව ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා අමාත්‍ය අර්ජුන රණතුංග මහතා වහා නීතිය ක්‍රියාත්මක කළ යුතු බවයි. එසේ නොකළොත් ප්‍රවාහන අමාත්‍යවරයාට විරුද්ධව අධිකරණ ක්‍රියාමාරිගයක් ගන්නා බවද සංගමයේ සභාපති ජයවර්ධන මහතා කීය.

-මහින්ද නිශ්ශංක-

නරහේන්පිට පොලිස් රෝහලේ සැරයන්ට පිහියෙන් අනලා මරලා



නාරාහේන්පිට රෝහල් පොලීසියට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයකු තියුණු ආයුධයකින් ඇන සිය නිවෙස තුළදී ඝාතනය කර ඇත.  මෙලෙස ඝාතනය වී ඇත්තේ දකුණු  නිවන්දම ජා-ඇළ පදිංචිව සිටි නිශ්ශංක ජයවර්ධන (49) නමැති දෙදරු පියකු වූ පොලිස් සැරයන්වරයෙකි. ඉකුත් 26දා රාත්‍රී 7.30ට පමණ සැරයන්වරයාගේ නිවෙස අසල පදිංචි අසල්වාසියකු හා සැරයන්වරයා අතර රාත්‍රි 8.00ට පමණ යම් ආරවුලක් ඇතිවී බහින්බස් වීමක් සිදුව ඇත.

එම අවස්ථාවේදී අසල්වැසියා විසින් තියුණු පිහි පාර කිහිපයක් සැරයන්වරයාගේ පපු ප්‍රදේශයට හා පිට ප්‍රදේශයට එල්ල කර තිබේ. ගැටුම සිදුවන අවස්ථාවේ සැරයන්වරයාගේ බිරිය හා නව හැවිරිදි දියණිය නිවෙසේ සිට ඇත. බරපතළ තුවාල ලැබූ සැරයන්වරයා ප්‍රදේශවාසීන් එක්ව රාගම රෝහලට ඇතුළත් කරන විටත් මිය ගොස් තිබී ඇත. මෙම ඝාතනය සිදුකළ සැකකරූ ජා-ඇළෙ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරුව අද (28දා) මිනීමැරුම් චෝදනා මත මීගමුව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරීපත් කිරීමට නියමිතව තිබිණි.

-ප්‍රසංග පාවුළුහේවා-


අවස්ථාවක් ලද සැනින් මේ ආණ්ඩුව පෙරලනවා-එස්.බී දිසානායක







ලැබෙන පළමු අවස්ථාවේදීම ආණ්ඩුව පෙරළා දමා නව ආණ්ඩුවක්  පිහිටුවීමට කටයුතු කරන බව හිටපු අමාත්‍ය, එක්සත් ජනතා නිදහස් සන්ධාන  පාර්ලිමේන්තු මන්ත්‍රී එස්. බී. දිසානායක  ඊයේ (27) පැවසිය.

ඡන්දයකින් හෝ වෙනත් ආකාරයකින්  එය සිදුකරන බව කී හෙතෙම  ඉක්මනින් ඡන්දයක් පැවැත්විමේ යෝජනාවක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් වුවහොත් එයට සහය ලබාදෙන බව ද කීව්වේය.

රටට ආදරය කරන දේශප්‍රේමී මන්ත්‍රීවරුන් පක්ෂ බේදයකින් තොරව එවැනි යෝජනාවකට සහය ලබාදෙනු ඇතැයි ද මන්ත්‍රීවරයා සඳහන්
කළේය.

නියමිත කාලයට පෙර ඡන්දයක් නොපැවැත්වුවහොත් කෙසේ හෝ ආණ්ඩුව  පෙරළා යළිත් අලුත් ආණ්ඩුවක් පිහිටුවීමට තම කණ්ඩායම සූදානම් බවද එස්.බි. දිසානායක  වැඩිදුරටත් සඳහන් කළේය.

පාර්ලිමේන්තුවේ බහුතර බලය ලබාගැනීමෙන් ද නව ආණ්ඩුවක් පිහිටුවිය හැකි බව කී හිටපු අමාත්‍යවරයා ආණ්ඩුව ඉදිරිපත් කළ අතුරු සම්මත ගිණුම සඳහා ඡන්ද 103ක් පමණක් ලැබීමේන් ඔවුන්ට ද බහුතර බලයක් නොමැති බව පෙනී යන්නේයැයි පැවසිය. එස්.බී. දිසානායක  මේ බව පැවසුවේ පුංචි බොරැල්ලේ පිහිටි පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමීතිපාලගේ නිවසේ පැවති මාධ්‍ය හමුවක් අමතමිනි.


(ඩයනා උදයංගනී)

ධීවර වෙස්ගත් පොලිස් නිලධාරීහු බොල්ගොඩ ගං ඉවුරේ කසිප්පු ස්කාගාරයක් වටලයි


ධීවරයන් ලෙස වෙස්වළාගෙන සිටි පිංවත්ත පොලිසියේ නිලධාරීහු වාද්දුව තල්පිටිය බොල්ගොඩ ගං ඉවුරේ කාලයක් තිස්සේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය නීති විරෝධී මත්පැන් ජාවාරමක් 26 වැනිදා වැටලූහ. එහිදී රුපියල් ලක්ෂ විසිපහකට ආසන්න  වටිනාකමින් යුත් කසිප්පු  හා ගෝඩා තොගයක් සමග පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. කසිප්පු මිලිලීටර් අසූපන් දහසක්, බැරල් විසි දෙකක අඩංගුව තිබු ගෝඩා මිලි ලීටර් අසූපන් ලක්ෂයක්,  ගෑස් සිලින්ඩර්, ගෑස් ළිප්, දඟර, යීස්ට් හා සීනි ඇතුළු භාණ්ඩ තොගයක් මෙහි තිබී පොලිසිය                                                                                         භාරයට ගෙන ඇත.

පිංවත්ත පොලිස් මුරපොළේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එම්.පී. ආර්. දිසානායක මහතාට ලද රහසිගත තොරතුරක් අනුව වැටලීම කර ඇතැයි පොලිසිය කියයි. ධීවර වෙස්ගත් ස්ථානාධිපති හා නිලධාරීන් ඔරු දෙකකින් හා බෝටුවකින් කසිප්පු පෙරන ස්ථානයට උපක්‍රමශීලීව ළගා වී ඇත. සැකකරුවන්ට පලායමට සිතීමටවත් ඉඩ නොතබා මෙම වැටලීම සාර්ථකව කළ බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. ගං ඉවුරේ පෙරන ලද මත්පැන් ඔරුවක දමාගෙන කිලෝමීටර් දෙකක් පමණ බොල්ගොඩ ගඟෙන් ගොස් පසුව ත්‍රිරෝද රථයක පටවාගෙන ගොස් ඇත.

එම කසිප්පු ඉටි උරවල බහා බෙදාහරින බව සැකකරුවන් දෙදෙනාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගෙන තිබේ. සැකකරුවන් වයස අවුරුදු 23 හා 24 අතර පානදුර හා පිංවත්ත පදිංචි පුද්ගලයන්ය. පිංවන්ත පදිංචි පුද්ගලයාට මේ ආකාරයේ පෙර වැරැදි හතරක් ඇතැයි පොලිසිය කියයි. සැකකරුවන් දෙදෙනා පානදුර මහෙස්ත්‍රාත්වරයා වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

-එම්.සී.පෙරේරා-


කැබිනට් ඇමතිකමක් නැත්තම් තීරණයක් ගන්නවා -රංගේ බණ්ඩාර



මාසයක් තුළ තමන්ට කැබිනට් ඇමති ධුරයක් නොලැබුණහොත් දැඩි තීරණයකට පැමිණෙන බව පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බංඩාර මහතා පැවසීය. ගම්පෙරළිය ව්‍යාපෘතිය යටතේ ආඩිගම සියඹලාවැව ජනතාවට උපකරණ ලබා දීමේ අවස්ථාවට පෙරේදා (26) එක්වෙමින් පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව කියා සිටි අතර එහිදී ඔහු වැඩිදුරටත් කියා සිටියේ ව්‍යවස්ථා විරෝධී අගමැතිවරයකු පත්කළ අවස්ථාවේ එක්සත් ජාතික පක්ෂයේ හැරවුම් ලක්ෂය බවට පත්ව නැවතත් එක්සත් ජාතික පක්ෂයට බලය ලබාගත්ත කැපවීම් කරන ලද රංගෙ බණ්ඩාරට කැබිනට් ඇමැතිධුරයක් දෙන්නේ නැත්නම් ලබන අවුරුද්දේ දැඩි තීරණයක් ගන්නා බවයි. එහිදී හෙතෙම මෙසේද පැවසීය.

"කැබිනට් එක පත් කර මාසයක් විතර ගියත් එක්සත් ජාතික පක්ෂයේ හැරවුම් ලක්ෂය වුණු රංගේ බණ්ඩාරට කැබිනට් ඇමැති ධුරයක් නැහැ. මම වාරිමාර්ග ජල කළමණාකරන හා ආපදා රාජ්‍ය ඇමති වෙලා ඉන්න කොට ජපානයට ගිය අවස්ථාවේ තමයි ව්‍යවස්ථා විරෝධී අගමැතිවරයෙක් පත්වුණේ. ඒ එක්කම මට කථා කරලා අහනවා 'රංගේ ඔයා කෙහෙද, අපි ගාවට එන්න. අපි ඔයාට කැබිනට් ඇමතිකමක් සමග කෝටි පනහක් දෙන්නම්' කියලා. එත් එක්කම තවත් දුරකථන ඇමතුමක් එනවා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලයෙක්ගෙන් 'රංගේ ඔයා. එන්න, අපි ඔයාට අවශ්‍ය දේවල් දෙන්නම්' කියලා.

නමුත් මේ රංගේ බණ්ඩාර එහෙම ගියේ නැහැ. ඒත් රංගේ බණ්ඩාර එක්සත් ජාතික පක්ෂය දාලා ගියේ නැහැ. එක්සත් ජාතික පක්ෂයේ හැරවුමක් සිදුකළේ රංගේ බණ්ඩාර කියලා ජනතාව පිළිගන්නවා. නමුත් මට තාම කැබිනට් ඇමැති ධුරයක් ලැබුණේ නැහැ. ජනතාව අහනවා කෝටි ගණනක් අරගෙන ඇමැති ධුරයක් ලබා ගත්තේ නැත්තේ ඇයි කියලා. ඒ නිසා පුත්තලම දිස්ත්‍රික්කයේ ජනතාව වෙනුවෙන් තීරණයක් ගන්න කාලේ හරි. 2019 මුල් කාලය තුළ මේ ගැටලුව විසදා කැබිනට් ඇමැතිකමක් දුන්නේ නැත්නම් මේ හැරවුම් ලක්ෂයටත් තීරණයක් ගන්න කාලේ හරි" යනුවෙන් පැවසීය.



-මිහිර විජේසේකර-


ගිනිපෙල්ලෙන් දරුවාගේ කකුල පිළිස්සූ මව අත්අඩංගුවට





බාලවයස්කාර පිරිමි දරුවකුගේ පාදය ගිනි පෙනෙල්ලෙන් පිළිස්සු බව කියන එම දරුවාගේ මව සැකපිට අත්අඩංගුවට ගැනීමට මාතලේ මූලස්ථාන පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.

 මාතලේ උකුවෙල රත්වන ප්‍රදේශයේ වයස අවුරුදු (6) කුඩා දරුවෙකු පාදයක පිළිස්සුම් තුවාල සහිතව ඊයේ (27) මාතලේ දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත. ඒ පිළිබඳව මාතලේ පොලිසිය වෙතද පැමිණිලි
කර ඇත.

 දරුවා තම මිත්තනියගේ රැකවරණය යටතේ ලයින් කාමරයක ජීවින්ව ඇති අතර දරුවාගේ මව සහ මිත්තනිය අතර ඇති වූ ගැටුමක් හේතුවෙන් කුඩා දරුවාගේ පාදය මව විසින් පිළිස්සූ  බවට මිත්තනිය පොලිසියට පැමිණිලි කර තිබේ.

මාතලේ මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්‍ෂක චානක ද සිල්වා මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශය සිද්ධිය පිළිබඳව වැඩිදුර පරීක්‍ෂණ පවත්වයි.

-රවින්ද්‍ර විරාජ් අබයසිරි-

ඉඩම් හබයක් දුරදිග ගිහින්-අසල්වැසි පොලිස් සැරයන්ට දිවි අහිම් වෙයි








තියුණු ආයුධයකින් පහරදී පොලිස් සැරයන්වරයෙකු ඝාතනය කිරීම සම්බන්ධයන් පුද්ගලයකු ජා-ඇල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙම ඝාතනය කොට ඇත්තේ ජා-ඇල, නිවන්දම, දකුණ රබර්වත්ත ප්‍රදේශයේ පදිංචිව  සිටි වාසල මුදියක්ලාගේ නිශ්ශංක ජයවර්ධන නමැති (49) හැවිරිදි දෙදරු පියෙකි.  මෙම සිද්ධියට අත්අඩංගුවට ගෙන ඇත්තේ ඔහු ජීවත් වූ නිවසට යාබද නිවසේ පදිංචිව සිටි 28 හැවිරිදි එක්දරු පියෙකි.

ඔහු හිටපු හමුදා සෙබළක් බවද පැවසේ.  නාරාහේන්පිට පොලිස් රෝහලේ සේවයේ නියුතුව සිටි ඝාතනයට ලක්වූ අදාළ පොලිස් සැරයන්වරයා සිය නිවස තුළ සිටියදී පෙර්දා (26දා) රාත්‍රී 7.30ට පමණ මෙම ප්‍රහාරයට ලක්වී ඇති අතර, මෙම ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලද ඔහු රාගම ශික්ෂණ  රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇති බව පොලීසිය පවසයි.

මෙම ඝාතනය ඉඩම් ආරවුලක් දුරදිග යෑමෙන්  සිදු වුවක් බවද ජා-ඇල පොලීසිය පවසයි.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.ජා-ඇල පොලිසිය  සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ   සිදුකරයි.



ශ්‍රි ලංකා බොක්සිං වළල්ලට වෛද්‍යවරු තිදෙනෙක්



පසුගිය නොවැම්බර් මාසයේ ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැති ලෝක කාන්තා බොක්සි ශූරතා තරගාවලියට සමගාමීව පැවැති Ring side citification පාඨමාලාව සමත්වීමට ශ්‍රී ලාංකික වෛද්‍යවරුන් තිදෙනෙකු සමත්වූහ. ඒ අනුව තවත් ශ්‍රීලාංකික වෛද්‍යවරු තිදෙනෙක් රින්ග් සයිඩ් වෛද්‍යවරුන් ලෙස බොක්සිං වළල්ලට අවතීර්ණ වීමට සුදුසුකම් ලබා ගෙන ඇතැයි ශ්‍රී ලංකා බොක්සිං සංගමය පැවසිය.

මෙසේ ශ්‍රී ලංකාව වෙනුවෙන් රින්ග් සයිඩ් වෛද්‍යවරුන් ලෙස බොක්සි වළල්ලට අවතීර්ණ වූයේ වෛද්‍ය සුපුන් හල්පිට, වෛද්‍ය සුනෙත් විජේවර්ධන සහ වෛද්‍ය අමිල ගුණසේකරයි. ඔවුන් තිදෙනා සමග ශ්‍රී ලංකාවේ රින්ග් සයිඩ් වෛද්‍යවරුන් හය දෙනෙක් සිටින අතර ඔවුන් ඕනෑම ජාත්‍යන්තර තරගාවලියක වෛද්‍යවරුන් ලෙස කටයුතු කිරීමට සුදුස්සන් ලෙස සැලකෙයි.

ඕනෑම බොක්සිං තරගයක රින්ග් සයිඩ් වෛද්‍යවරයෙක් සිටීම අනිවාර්යය වන අතර එම වෛද්‍යවරයා බොක්සිං ක්‍රීඩාවට අදලව සියලුම කාරණා පිළිබඳව දැනුම ඇති Ring side citification පාඨමාලාව සමත්වූවෙකු විය යුතුය.

-ඩබ්ලිව්.ආර්.කුමාර-


ගුරුවරියකගේ ලක්ෂ ගණනක භාණ්ඩ සොරගත් සිසුන් 4ක් අල්ලයි


පාසල් ගුරුවරියකගේ නිවෙසකින්  රුපියල් ලක්ෂ ගණනක භාණ්ඩ සොරකම් කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් යාපනයේ අරියාලේ  ප්‍රදේශයේ පාසල් සිසුන් හතර දෙනකු යාපනය පොලිසිය මඟින් පෙරේදා  (26) අත්අඩංගුවට ගෙන තිබේ.  අරියාලේ පළාතේ පදිංචිව සිටින  මෙම පාසල් ගුරුවරියගේ දියණිය  ඉගෙනුම ලබන පාසලේ මිතුරන්  හතර දෙනකු කලාන්තරයක් තිස්සේ මෙම නිවසට යෑමට ඒමට පටන් ගැනීම  නිසා ගුරුවරියගේ විශ්වාසය දිනාගෙන  ඔවුන් පවුලේ සාමාජිකයන් ලෙස කාලයක් ඇසුරු කොට තිබේ.

මෙම සිසුන් හතර දෙනා වරින් වර නිවසේ තිබූ මුදල් හා භාණ්ඩ සොරකම් කොට ඇතත් ගුරුවරියට හා  දැරීයට ඒ පිළිබදව දැනීමක් නොමැතිව සිටියදී හදිසියේම ගුරුවරියගේ ලැප්ටෝප් පරිගණකය හා ජංගම දුරකථනයක් අතුරුදන් වී තිබේ. මේ පිළිබදව විපරම් කොට බැලීමේදී ගුරුවරියගේ බැංකු ගිණුම්වල සියලු කඩ්පත්ද අතුරුදන්ව ඇති බව පෙනී යෑමෙන් පසුව ගුරුවරිය ඒ පිළිබඳව පොලිසියට පැමිණිලී කොට තිබේ. පොලිසිය සැකපිට මෙම එක් සිසුවකු අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී හෙළි වී ඇත්තේ මෙම සිසුන් ගුරුවරියගෙන් මුදල් හා භාණ්ඩ විශාල ප්‍රමාණයක් වරින් වර සොරකම් කොට ඇති බවයි.

බැංකු ගිණුම්වලින් මුදල්ද ලබාගෙන ඇති අතර කාඩ්පත්වලින් යාපනය නගරයේ වෙළඳසල්වලින් මත්පැන්ද මිලට ගෙන තිබේ.  මේ සිසුන් හතර දෙනාම සියලුම දේ හොරකම් කොට ඇත්තේ මත්පැන්  පානය කිරීමට බව හෙළි වී තිබේ. යාපනය පොලිසිය සැකකරුවන් හතර දෙනා අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට පියවර ගෙන තිබේ.


රූමත් ගණකාධිකාරීවරියක් සමග හාදවී ලක්ෂ ගණන් මුදල් ගැරූ නිවේදකයා අත්අඩංගුවට-නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට එක්කරන බව කියමින් තර්ජනය කරලා





කැනඩාවේ ගණකාධිකාරිවරියක් ලෙස රැකියාව කරන රූමත් කාත්තාවක් හා සම්බන්ධතාවක් පවත්වාගෙන යමින් ඇයගෙන් වරින් වර ලක්ෂ 18කට අධික මුදලක් ලබාගත් බව කියන විද්‍යුත් නාළිකාවක නිවේදකයකු සම්බන්ධතාව කැඩී යාමෙන් පසු එම මුදල් ආපසු දීම ප්‍රතික්ෂේප කිරීම නිසා ඔහු ඊයේ (27) අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය කියයි.

තමාගේ ඡායාරූප නිරුවත් ඡායාරූප ලෙස සකසා අනර්ජාලයට මුදාහරින බවට ඔහු තමාට නර්ජනය කරන බව ද ගණකාධිකාරිනිය පැමිණිල්ලක් කරමින් සඳහන් කර ඇතැයි පොලිසිය කියයි.

තමාගේ මුදල් ආපසු ඉල්ලා සිටින විට මෙසේ තර්ජනය කරමින් ඔහු මුදල් නොගෙවා මගහැර සිටින බව ද ඇය සඳහන් කර ඇතැයි කියති.

ගනකාධිකාරිවරිය හා නිවේදකයා අතර මීට වසර 4කට පමණ ඉහතදී සම්බන්ධයක් ගොඩනැගී ඇත්තේ මුහුණු පොත ඔස්සේ දැන හදුනා ගැනීමෙන් බව ද පොලිසිය කියයි.

තිස් හත් හැවිරිදි ගණකාධිකාරීවරිය පළමු විවාහයෙන් දික්කසාද වී සිටින එක් දරු මවක වන අතර, නිවේදකයා ද තිස් පස් වන වියේ පසුවන විවාහකයකු බව පොලිසිය කියයි.

වසර හතරක් පුරා වරින් වර ගණකාරීවරියගෙන් නිවේදකයා රුපියල් ලක්ෂ දහ අටක මුදලක් ඉල්ලාගෙන තිබූ බව ද ගණකාධිකාරිවරිය පොලිසියට ප්‍රකාශ කර ඇත.

කොට්ටාව ප්‍රදේශයේ උසස් පවුලක කාන්තාවක වූ ගණකාධිකාරිවරිය ඇය හා නිවේදකයා අතර පවතින සබඳනාව් පවුලේ අයට දැනුම් දීමෙන් පසු ඔවුන් නිවේදකයා පිළිබඳ සොයා බලා ඇති බව පොලිස් නිලධාරියෙක් පැවසිය.  සිය මවුපියන්ගේ හා සහෝදර සහෝදරයන් නිවේදකයා හා පවතින සබඳතාවට අකැමැත්ත ප්‍රකාශ කිරීමෙන් පසු ගනකාධිකාරිවරිය ඒ බව නිවේදකයාට දන්වා තිබේ.

 පසුව වසර හතරක් පුරා වරින් වර ලබා දුන් රුපියල් ලක්ෂ දහ අටක මුදල ඉල්ලා සිටීමේදී එය ලබාදීම ප්‍රතිකේෂ්ප කල සැකකාර නිවේදකයා ඔහු සතුව තිබෙන ඇයගේ ඡායාරූප නිරුවත් ඡායාරූප හා බද්ධ කර අන්තර්ජාලයට මුදාහරින බවට තර්ජනය කළ බව ගණකාධිකාරීවරිය පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වන බව පොලිසිය කියයි.

කැනඩාවේ සිට ඉකුන් 16 වැනි දින මෙරටට පැමිණ ඇති ගණකාධිකාරිවරිය. මෙම සිද්ධිය සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර නිවේදකයාට ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා අවස්ථා දෙකකදී දැනුම් දුන්න ද ඔහු එය මගහැරට සිටි හෙයින්, ඊයේ (27) ඔහු සිටි නිවස වෙත  පොලිස් කණ්ඩායමක් නිවේදකයා අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවසීය.

සැකකරු ඊයේ (27) හොරණ අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව

- බිමල් ශ්‍යමන් -

කොඩිවිනයක් කිරීම නිසා ව්‍යාපාර බංකොලොත් වුවායි බාප්පාගේ පුතුන් දෙදෙනාට පහර දීලා



බාප්පා විසින් කොඩිවින කිරීමේ හේතුවෙන් සිය ව්‍යාපාරය බංකොලොත් වී යැයි කම්පාවට පත්ව බාප්පා සමඟ ඇති වූ ආරවුලක් දුරදිග යෑමේන් බාප්පාගේ පුතුන් දෙදෙනකුට පහරදී තුවාල සිදුකර ඇති පුද්ගලයකු ගාල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. ගාල්ල - තනිපොල්ගහ හන්දිය අසල පදිංචි පුද්ගලයෙක් මෙසේ අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු කුඩා වෙළෙඳසලක් පවත්වාගෙන ගොස් ඇති අතර පසුගිය කාලයේ එම ව්‍යාපාරය බංකොළොත් වී ඇත.

මේ අතර එම ප්‍රදේශයේ සැකකරුගේ පියාගේ සහෝදරයාද සාර්ථකව වෙළෙඳසලක් පවත්වාගෙන ගොස් ඇත. ඔහුගේ ව්‍යාපාරය බංකොලොත් වූයේ බාප්පා විසින් කොඩිවින කිරීම නිසා යැයි පවසා පවුල් දෙක අතර නිතරම ආරවුල්ද සිදුව ඇත. මේ සම්බන්ධයෙන් ඇති වූ බහින්බස්වීමක් දුරදිග යෑම නිසා සැකකරු තම බාප්පාගේ කඩයට පැමිණ බෝතලයක් කඩා පහරදීමට තැත් කරද්දී පියා බේරා ගැනීමට පුතුන් දෙදෙනා ඉදිරිපත් වූ අවස්ථාවේ සැකකරු එම දෙදෙනාට පහරදී තුවාල සිදුකර තිබේ.

-තරිඳු විජේහේවා-

කාන්තාවක් රවටමින් ලක්ෂ 18ක මුදලක් ගත් විද්‍යුත් නාළිකා නිවේදකයා මාට්ටු

ගණකාධිකාරීවරියක් ලෙස කැනඩාවේ සේවය කරන රූමත් කාන්තාවකගේ ඡායාරූප නිරුවත් ඡායාරූප ලෙස සකසා අන්තර්ජාලයට මුදා හරීන බවට තර්ජනය කරමින් ඇයගෙන් ලබාගත් රුපියල් ලක්ෂ 18කට ආසනින මුදලක් ලබාදීම ප්‍රතික්ෂේප කළ විද්‍යුත් නාළිකාවක නිවේදකයෙක් ඊයේ (27දා) අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලිසිය කියයි. මීට වසර හතරකට පමණ පෙරදී මුහුණු පොත හරහා ගණකාධිකාරීවරිය හා නිවේදකයා දැන හඳුනාගෙන ඔවුනොවුන් අතර සබඳතාවක් ගොඩනැගී ඇති බව පොලීසිය සිදුකළ මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත.

තිස් හත් හැවිරිදි ගණකාධිකාරීවරිය පළමු විවාහයෙන් දික්කසාද වී සිටින එක් දරු මවක් වන අතර නිවේදකයාද පළමු විවාහය අත්හැර සිටින තිස්පස්වැනි වියේ පසුවන්නෙක් බව පොලිසිය කියයි.  ඉකුත් වසර හතර පුරා වරින් වර ගණකාධිකාරීවරියගෙන් නිවේදකයා රුපියල් ලක්ෂ දහ අටක මුදලක් ඉල්ලාගෙන තිබූ බව පොලිසිය කියයි. කොටුව ප්‍රදේශයේ උසස් පවුලක කාත්තාවක් වූ ගණකාධිකාරීවරිය ඇය හා නිවේදකයා අතර පවතින සබඳතාව පවුලේ අයට දැනුම් දීමෙන් පසු ඔවුන් නිවේදකයා පිළිබඳ සොයා බලා ඇති බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

සිය මවුපියන් හා සහෝදර සහෝදරියන් නිවේදකයා හා පවතින සබඳතාවට අකැමැත්ත ප්‍රකාශ කිරීමෙන් පසු ගණකාධිකාරීවරිය ඒ බව නිවේදකයාට දන්වා වසර හතරක් පුරා වරින් වර ලබා දුන් රුපියල් ලක්ෂ දහ අටක මුදල ඉල්ලා සිටීමේදී එය ලබාදීම ප්‍රතික්ෂේප කර ඇති සැකකාර නිවේදකයා ඔහු සතුව තිබෙන ඇයගේ ඡායාරූප නිරුවත් ඡායාරූප හා බද්ධ කර අන්තර්ජාලයට මුදා හරින බවට තර්ජනය කළ බව ගණකාධිකාරීවරිය පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන් වේ.

ඉකුත් 16 වැනි දින කැනඩාවේ සිට මෙරටට පැමිණ සිටි ගණකාධිකාරීවරිය ඒ සම්බන්ධයෙන් ඉංගිරිය පොලිසියට කරන ලද පැමිණිල්ලක් අනුව සැකකාර නිවේදකයා සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වීම සඳහා අවස්ථා දෙකකදී දැනුම් දුන්නද ඔහු එය මඟහැර සිටි හෙයින් ඊයේ (27දා) ඔහු පදිංචි නිවස වෙත ගිය පොලිස් කණ්ඩායමක් අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. සැකකරු ඊයේ (27දා) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.


-එම්.සී.පෙරේරා-

අධිවේගයේ සිදු වූ අනතුරින් දහස් ගණනක් දරු දැරියන්ට නැණ පහන් දැල්වූ නිර්මලා සදහටම නිහඬ වුවාය


තිදරු මවක වූ නිර්මලා හෙට්ටිආරච්චි මහත්මිය ගාල්ල ජනාධිපති බාලිකා විද්‍යාලයේ සේවය කළාය. ඈ නිහඬ චරිතයකි. වැඩි කතා බහක් නැත. එහෙත් ඇය තම රාජකාරිය දේව කාරියක් ලෙස සැලකුවාය. දහස් ගණනක් වූ සිසු දරු දැරියගේ දෑස් පෑදවීමට මේ ගුරු මාතාව කටයුතු කළාය. ඇය පාසල් කාලය තුළ පමණක් දැයේ දරු දැරියන්ට තම දැනුම බෙදා දුන් ගුරුවරියක් නොවූවාය. ඈ පාසල් වෙලාවෙන් පසුවද අමතර පත්ති පවත්වමින් සිසු දරු දැරියන්ගේ නැණ නුවණ පෑදීම සඳහා කටයුතු කළාය. ජනාධිපති බාලිකාවේ සිසු දැන් ඇය හැදින්වූයේ නිර්මලා ටිචර් යනුවෙනි.  නොඑසේ නම් නිර්මලා ගුරුතුමිය කියාය.

ඈ ජනාධිපති බාලිකාවේ සිසු දැරියන්ගේ පමණක් නොව ගුරු මණ්ඩලයේ පමණක් නොව අනධ්‍යයන කාර්ය මණ්ඩලයේද සිත දිනාගෙන කටයුතු කළ ගුරු මාතාවකි. නිර්මලා ගුරු මාතාවගේ උපන් ගම කරන්දෙණියයි. ඇය ඉගෙනුම ලැබුවේ කරන්දෙණිය මධ්‍ය මහා විද්‍යාලයෙනි. ක්‍රියාශීලී ගුරු මාතාවක වූ නිර්මලා මහත්මිය එම පාසලේ ආදි ශිෂ්‍ය සංගමයේ ප්‍රබල ක්‍රියාකාරී සාමාජිකාවක වූවාය. ඇය තමන් අකුරු කළ පාසලටද දැක්වූයේ දැඩි ආදරයකි. නිර්මලා ගුරු මාතාවගේ සැමියා ආනන්ද ලාල්ය. ඔහු දුම්රිය දෙපාර්තමේන්තුවේ සේවය කළේය.

මෙම යුවළගේ වැඩිමහල් දියණිය රුහුණ විශ්වවිද්‍යාලයේ අවසන් වර්ෂයේ ඉගෙනුම ලබන විශ්වවිද්‍යාල සිසුවියකි. පුතු පෞද්ගලික ආයතනයක සේවය කළේය. බාල දියණිය මෙතුලි දහම්සා (13) ජනාධිපති බාලිකා විද්‍යාලයේ නවය වසරේ ඉගෙනුම ලබන්නීය. නිර්මලා ගුරු මාතාව තම අනික් දරුවන්ට මෙන්ම තම දරු තිදෙනාට මෙන්ම සැමියාටද දැක්වූයේ දැඩි ආදරයකි. සෙනෙහසකි. නිරතුරුව දරුවන් ගැන සොයා බැලුවාය.

නිර්මලා ගුරු මාතාවගේ සැමියා එක් අවස්ථාවකදී හදවත් රෝගී තත්ත්වයකින් පෙළුණාය. මේ නිසා ඔහුට හදවත් සැත්කමක් කිරීමට අවශ්‍ය වූයේය. ඒ අවස්ථාවේ ඇය තම සැමියා වෙනුවෙන් සෙවණැල්ලක් මෙන් පෙනී සිටියාය. ඒ සියලු අභියෝගයන්ට දිරිය ගැහැනියක ලෙස ඇය මුහුණ දුන්නාය.  සැමියා වෙනුවෙන් සිය යුතුකම් කොටස මනා ලෙස ඉටු කළාය. දරු තිදෙනාගේ අනාගතය සැපවත් කිරීම මේ ගුරු මාතාවගේ එකම බලාපොරොත්තුව වූවාය. 2018 වර්ෂයේ දෙසැම්බර් මාසයේ අවසන් දින කිහිපය ගෙවී යමින් පැවතුණි.

නිර්මලා ගුරු මාතාව පවුලේ අය සමඟ දළඳා සමිඳුන් වැඳපුදා ගැනීම සඳහා නුවර යාමට සූදානම් කරගත්ත. මීට මාස 6-7කට පමණ පෙර නිර්මලා ගුරු මාතාවගේ නිවෙසට අලුතෙන් වෑන් රථයක්ද ගෙනැවිත් තිබිණි. නිර්මලා ගුරු මාතාවගේ සහෝදරීයක් පදිංචිව සිටින්නේ පිළියන්දල ප්‍රදේශයේය. ඇය පදිංචිව සිටියේ අක්මීමන වළහන්දුව සේනානායක මාවතේය. මොවුන් පදිංචි නිවෙසේ සිට දක්ෂිණ අධිවේගී මාර්ගයේ පින්නදුව මුරපොළ පිහිටා ඇත්තේ  අතේ දුරිනි. නිර්මලා ගුරු මාතාව ඇතුළු පවුලේ අය අලුතෙන් මිලදී ගත් වෑන් රථයෙන් මුලින්ම පිළියන්දල ප්‍රදේශයේ පිහිටි තම නැගණියගේ නිවෙසට ගියේය.

ඉන්පසු නැඟණියගේ පවුලේ අය සමඟ නුවර බලා පිටත්ව ගියහ. එදින අලුයම කාලයේ මොවුන් නුවර සිට පිළියන්දල ප්‍රදේශයේ නැගණියගේ නිවසට පැමිණියේය. ඒ වනතෙක් වෑන් රථය පදවාගෙන එනු ලැබුවේ නිර්මලා ගුරු මාතාවගේ නැඟණියගේ සැමියා විසිනි. ඔහු රියැදුරු අසුන නිර්මලාගේ පුතුට ලබා දුන්නේය. පුතා ප්‍රවේශමෙන් යන්න ඔහු කීවේය. නිර්මලා ගුරු මාතාව තම පවුලේ අය සමඟ යළි ගාල්ල බලා ඒමට පිටත් වූහ. වැන් රථය පැදවූයේ නිර්මලාගේ පුතුය. ඉදිරිපස අසුනේ නිමලාගේ සැමියා අසුන්ගෙන සිටියේය. දියණියන් දෙදෙනා හා නිර්මලා ගුරු මාතාව වෑන් රථයේ පසුපස අසුන්ගෙන සිටියහ.

එහෙත් සිදුවුයේ කිසිවකුත් බලාපොරොත්තුව  නොවූ සිද්ධියකි. මොවුන් ගමන් ගත් වෑන් රථය අධිවේගී මාර්ගයේදී මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටුණේය.  අනතුරෙන් නිර්මා ගුරු මාතාව මිය ගියේය. දරු තිදෙනා හා සැමියා බරපතළ තුවාලය ලැබූහ. නිර්මලා ගුරු මාතාව මිය යන විට 49 හැවිරිදි වියේ පසුවූවාය. ඇයගේ සැමියා පුතු හා එක් දියණියක් නාගොඩ රෝහලේ ප්‍රතිකාර ලබති. බාල දියණිය කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබන්නීය.  මේ ඛේදවාචකයෙන් අක්මීමන වලහන්දුව ප්‍රදේශය ශෝකයෙන් ඇලළී ගොස් ඇත්තේය.

නිර්මලා ගුරු මාතාවගේ හදිසි වියෝවෙන් ජානාධිපති බාලිකා විද්‍යාලයේ සිසුන දැරියන් ආචාර්ය මණ්ඩලය හා ගම්වාසීහු දැඩි  ශෝකයට පත්ව සිටිති. "අනේ මම නිසා අම්මා යන්න ගියා. අම්මා අපිව දාලා ගියා" පුතු නාගොඩ රෝහලේදී ඔහු බැලීමට ගිය හිතවතුන් සමඟ කීවේය. දහස් ගණනක්වූ දරු දැරියන්ට නැණ පහන් දැල්වූ ඒ මිණිපහන අකාලයේ මිලින වී ගොසිනි. නිමලා හෙට්ටිආරච්චි ගුරු මාතාවන්ගේ දේහය පෙරේදා (26දා) රාත්‍රි වලහන්දුව සේනානායක මාවතේ පිහිටි ඇයගේ නිවෙසට රැගෙන එනු ලැබීය.

ඒ වන විටත් මෙම දුක්මුසු පුවත අසා ජනාධිපති බාලිකාවේ ගුරු භවතුන් හිතවතුන් ඥාතීහු ඇතුළු විශාල පිරිසක් නිමලා ගුරු මාතාවගේ නිවෙසට පැමිණ සිටියහ. එහෙත් මවගේ දේහය දකින්නට සැමියා හා දරු තිදෙනා නිවෙසේ නැත. ඔවුන් මෙම අනතුරෙන් තුවාල ලබා රෝහල් ගතව සිටි බැවිනි. නිර්මලා ගුරු මාතාවගේ අඩුව දැනෙන්නේ දරු තිදෙනාට හා සැමියාට පමණක් නොවේ. ඇය විසින් අකුරු කියා දුන් දහස් ගණනක් වූ සිසු දරු දැරියන්ට නිර්මලා ගුරු මාතාවගේ අඩුව පිරිමැසිය නොහැකිය. ගුරු පරපුරේ තාරකාවියක් බඳු වූ ඒ පහන නිවී ගොස් ඇත්තේය.


ගාල්ලේ රූපලාවාන්‍යගාරයකින් ලක්ෂ 19ක් වංචා කළැයි සේවිකාවන් දෙදෙනෙක් අත්අඩංගුවට


ගාල්ල නගරයේ ප‍්‍රසිද්ධ රූපලාවන්‍යාගාරයකින් රුපියල් දහනම ලක්ෂ හැත්තෑපන් දහසක මුදලක් වංචා කිරීම සම්බන්ධයෙන් එම රූපලාවන්‍යාගාරයේ සේවිකාවන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බව ගාල්ල පොලිසිය පවසයි.

පොලිසියට ලැබී ඇති පැමිණිල්ල අනුව හපුගල ප්‍රදේශයේ කාන්තාවක විසින් ගාල්ල නහරයේ පවත්වා ගෙන යන රූපලාවන්‍යාගාරයක සැකකාරියන් දෙදෙනා ඇතුළු සේවිකාවන් තිදෙනෙකු සේවය කරනු ලබන අතර ඇණවුම් බාර ගැනීම. ගනුදෙනුකරුවන්ගෙන් එදිනෙදා මුදල් බාර ගෙන ඒවා බැංකු ගත කිරිම ආදි කටයුතු ඔවුනට පැවරි තිබිණි.

 මේ අතර එම ආයතනයේ ගිණුම් ලිපිකරු ගිණුම් පවත්වාගෙන යන ලේඛන පරීක්ෂා කිරීමේදී 2017 මැයි 7 වැනි දින සිට 2018 ඔක්තෝබර් 4 දක්වා කාලය තුළ රුපියල් 1975000ක මුදලක් අඩු වී ඇති බව අයිතිකාරියට දන්වා ඇත.

 පසුව වැඩිදුරටත් කරන ලද පරීක්‍ෂණවලදී  අනාවරණය වී ඇත්තේ මෙම කාලය තුළ මුදල් බැංකු ගත කළ බවට පසුගිය වසරවල එම දිනවල මුදල් තැන්පත් කරන ලද රිසිට් පත් ලේඛනයේ අලවා මෙම මුදල් වංචාකර ඇති බවය. සැකකාරියන් තිදෙනාගෙන් එක් අයෙකු මුදල් බැංකුගත කිරීමට ගිය දිනවල පමණක් මෙම වංචාව සිදුව ඇති බවටත් වැඩිදුරටත් අනාවරණය වී තිබේ.

සැකකාරියන් තිදෙනාම මෙම වංචාවට සම්බන්ධ බවට සැකකරන පොලිසිය පැවසුවේ තවත් සැකකාරියක් අත්අඩංගුවට ගැනීමට ද සිටින  බවයි. සැකකාරියන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

උණවටුන ඩී.පී. සුගතපාල

වැස්සත් එක්කම විසබීජයකින් දැරියක් මියයයි



මුලතිව්, මුත්තයන්කට්ටු පළාතේ වයස අවුරුදු 9ක දැරියක් වර්ෂාව සමඟ ශරීරගත වූ විසබීජයක් හේතුවෙන් මියගිය බවට මුලතිවී මාන්චෝලේ රෝහලේ වෛද්‍යවරුද සැක පහළ කොට තිබේ. චන්ද්‍රකාන් කෞෂියා වයස අවුරුදු 9ක දැරීය මුලතිව් මාන්චෝලේ රෝහලට පසුගිය 23දා සවස ඇතුළත් කොට ඇත්තේ ඇයට උණ රෝගය වැලඳීම නිසාය.

එම දැරිය රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී 25දා මියගොස් ඇති අතර ඇගේ මළ සිරුර පරික්ෂණ කටයුතුවලින් පසුව මවුපියන් වෙත භාරදී තිබේ. දැරීය සම්බන්ධයෙන් පැවැති පශ්චාත් මරණ පරීක්ෂණයේදී සනාථ වී ඇත්තේ විසබීජයක් ශරීර ගතවීමෙන් ඇගේ මරණය සිදුවූ බවටයි. දැරීයට උණ රෝගය වැලඳුණේ අධික වර්ෂාව මැද අනාථ වී ආරක්ෂිත ස්ථානයක් කරා යමින් සිටියදී වැස්සට තෙමීම නිසා බව දැරියගේ මවුපියන් වෛද්‍යවරුන්ට පැවැසීම නිසා ඔවුන් සැක පහළ කොට සිටින්නේ වර්ෂාව හේතුවෙන් එම විසබීජය දැරීයට ශරීරගත වන්නට ඇති බවයි.


-රසාදි චතුරංගී ගමගේ-

තිලංගගේ ගෙදර මාධ්‍ය සාකච්ඡාවට ආ වාසු ත්‍රීරෝද රථයෙන් ගෙදර යයි





පුංචි බොරැල්ල, තිලංග සුමතිපාල මහතාගේ නිවසේ පිහිටි නිදහසේ මාධ්‍ය කේන්ද්‍රයේදී ඊයේ (27) පැවති මාධ්‍ය හමුවට පැමිණි පාර්ලිමේන්තු මන්ත්‍රී වාසුදේව නානායක්කාර මහතා මාධ්‍යහමුව නිමවී ත්‍රිරෝද රථයක නැගී එතැනින් පිටව යනු දක්නට ලැබිණි.

එක් ආරක්‍ෂක නිලධාරියකු සමඟ පැමිණ සිටි වාසුදේව නානායක්කාර මහතා මාධ්‍ය  හමුව නිමවූ පසු එම ස්ථානයෙන් පිටත්ව  මාර්ගය හරහා ගොස් පදික වේදිකාවේ මඳ වේලාවක් රැදී සිටියේය.

ඉන්පසු පැමිණි ත්‍රිරෝද රථයක් අත දමා නවතා ගත් මන්ත්‍රීවරයා ආරක්‍ෂක නිලධාරියාට පළමුව එයට නැගීමට අවස්ථාව දී ඉන් අනතුරුව ඔහුද එයට නැග පිටත්ව  ගියේ අවට සිටියවුන් පුදුමයෙන් බලා  සිටියදීය.

-ඩයනා උදයංගනී-

මාවනැල්ලේ බුදුපිළිම කැඩු 6ක් මාට්ටු



මාවනැල්ල පොලිස් වසමේ ස්ථාන කීපයකදී බුද්ධ ප්‍රතිමාවලට මිටිවලීන් පහරදී හානි කිරීම සම්බන්ධයෙන් මේ වනවිට සැකකරුවන් හය දෙනකු ඊයේ (27දා) වනවිට අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.  මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ මාවනැල්ල පොලිස් වසමේ පදිංචි අවුරුදු 20ත් 30ත් අතර වයසේ පසුවන පුද්ගලයන් හයදෙනෙකි. අත්අඩංගුවට ගෙන ඇති තරුණයන් හය දෙනා ඉකුත් 23දා රාත්‍රි මාවනැල්ල පොලිස් වසමේ රන්දිවෙල හා හිඟුල, මහන්තෙගම යන ප්‍රදේශවල මංසන්ධි දෙකක ඉදිකර තිබූ බුද්ධ ප්‍රතිමාවලට යතුරුපැදිවලින් ගොස් යකඩ මිටිවලින් පහරදී ප්‍රතිමාවලට අලාභහානි සිදු කර තිබිණි.

පසුව හිඟුල - මහන්තෙගම පිළිමය විනාශ කරන අයුරු අසල්වැසි ජනතාව දැක එක් පුද්ගලයකු අල්ලා ගස් බැඳ මාවනැල්ල පොලිසිය වෙත භාරදී තිබිණි. එහි සිටි අනෙක් සැකකරු පලාගොස් තිබිණි. ප්‍රදේශවාසීන් අල්ලා ගස් බැඳ පොලීසියට භාර දුන් පුද්ගලයා දැනට කෑගල්ල මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියි.   බුදු පිළිමවලට අලාභහානි සිදු කිරීම සම්බන්ධයෙන් පුර්ණ විමර්ශනයක් සිදු කළ කෑගල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරික්ෂක අබේරත්න මහතා ඇතුළු කණ්ඩායමක් පෙරේදා (26දා) මාවනැල්ල පොලිස් වසමේ දෙල්ගහගොඩ ප්‍රදේශයේදී පුද්ගලයන් දෙදෙනකු අත්අඩංගුවට ගෙන තිබිණි.

තවත් පුද්ගලයකු පෙරේදා (26දා) රාත්‍රි කෑගල්ල -  කළුගල්ල මාවතේ හෝටලයක සේවය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇත.  සෙසු පුද්ගලයන් දෙදෙනා කෑගල්ල පොලිසියට පැමිණ භාර වූ බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් පස්දෙනා ඊයේ කෑගල්ල, මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමෙන් පසු මාවනැල්ල අධිකරණය වෙත ඉදිරීපත් කිරිමට නියමිතව තිබිණි.

අත්අඩංගුවට ගත් එක් සැකකරුවකු ප්‍රකාශ කර ඇත්තේ තමන් කුරාණය නමැති පොත කියවා ඇති බවත් එහි අල්ලා දෙවියන් හැර මේ ලෝකයේ වෙනත් කිසිවකු නොමැති බවත් ඒ හේතුවෙන් මෙලෙස බුදු පිළිම විනාශ කිරීමට සිතු බවත්ය. අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ නිවෙසක තිබී බුදු පිළිම විනාශ කිරීමට යොදා ගත් මිටියක්ද පොලිසිය විසින් සොයාගෙන තිබිණි.

-චාමර අමරසුරිය-

මැද පෙරදිගට වෙනම පාස්පොට් 31දා සිට නෑ


ආගමන හා විගමන දෙපාර්තමේන්තුව මෙතෙක් නිකුත් කළ මැද පෙරදිග රටවල් සඳහා පමණක් වලංගු වන  ගමන් බලපත්‍රය මේ මස 31 වැනිදා සිට නිකුත් නොකරන බව ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පාලක ජනරාල් එම්.එන්. රණසිංහ පවසයි.

මැදපෙරදිග රටවල් සඳහා පමණක් වලංගු වන ගමන්  බලපත්‍රය නිකුත් කිරීම අවසන් කොට එළැඹෙන ජනවාරි 01දා සිට සියලුම රටවල් සඳහා වලංගු වන ගමන්  බලපත්‍ර පමණක් නිකුත් කරන බවද ඔහු පැවැසුවේය. මේ සම්බන්ධයෙන් ආගමන හා විගමන  දෙපාර්තමේන්තුව නිල නිවේදනයක්ද මේ වනවිට නිකුත් කොට තිබේ.


                                                                                    -හර්ෂනී අර්සකුලරත්න-

මසක් ඇතුලත කැබිනට් ඇමතිකමක් නොලැබුනොත් දැඩි තීරණයක් ගන්නවා-පාලිත රංගෙ බණ්ඩාර







මාසයක් තුළ තමන්ට කැබිනට් ඇමැති ධුරයක් නොලැබුණහොත් තමන් දැඩි තීරණයකට පැමිණෙන බව පුත්තලම දිස්ත්‍රික් එක්සත් ජාතික පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාර මහතා පවසයි. පාලිත රංගේ බණ්ඩාර මහතා මේ බව පවසා සිටියේ ගම්පෙරළිය ව්‍යාපෘතිය යටතේ ආඬිගම සියඹලාවැව ජනතාවට උපකරණ ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

 ''එජාපයේ හැරවුම් ලක්‌ෂ්‍යය කළෙත් රංගේ බණ්‌ඩාර කියලා කියනවා. හැබැයි දැන් කැබිනට්‌ මණ්‌ඩලය පත් කරලත් මාසයක්‌ විතර වෙනවා. ඒ වෙලත් රංගේ බණ්‌ඩාරට කැබිනට්‌ ඇමැතිකමක්‌ නැහැ. මම වාරිමාර්ග ජල කළමනාකරණ හා ආපදා රාජ්‍ය ඇමැති වෙලා ඉඳිද්දී ජපානයට ගිහින් හිටියා. එහිදී තමා මේ සේරම සිද්ධ වුණේ. රජයෙන් ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂය ඉවත් වෙනවා කියලා ඒකේ ලේකම් මහින්ද අමරවීර ප්‍රකාශ කරලා පැය දෙකක්‌ යද්දී තවත් අගමැති කෙනෙකු පත් කරනවා. මෙන්න මේ විදිහටයි රටේ නීතිය අනිත් පැත්ත හරවලා තිබුණේ.

 ඒ එක්‌කම රටේ ප්‍රධාන කෙනා මට කතා කරනවා රංගේ ඔයා කොහෙද, අපි ගාවට එන්න අපි ඔයාට කැබිනට්‌ ඇමැතිකමක්‌ සමග කෝටි පනහක්‌ දෙන්නම් කියලා.

 ඒත් එක්‌කම තවත් දුරකථන ඇමතුම් එනවා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ප්‍රබල අයගෙන්. රංගේ ඔයා එන්න අපි ඔයාට අවශ්‍ය දේවල් දෙන්නම් කියලා. නමුත් මේ රංගේ බණ්‌ඩාර එහෙම ගියේ නැහැ. කෙළින් කතා කරන කෙළින් වැඩ කරන රංගේ බණ්‌ඩාර එක්‌සත් ජාතික පක්‍ෂය දාලා ගියේ නැහැ. එහෙමයි අපි වැඩ කළේ. නමුත් මේ විදිහට මන්ත්‍රීවරුන්ට ඇමැතිවරුන්ට කතා කෙරුවා කියනවා හැබැයි කොන්ද කෙළින් තියාගෙන කවුරුත් කිව්වේ නැහැ. ඒකත් හෙළි කරලා එක්‌සත් ජාතික පක්‍ෂයේ හැරවුම් ලක්ෂය කළේ රංගේ බණ්‌ඩාර කියලා ජනතාව හැම කෙනාම කියනවා.

 හැබැයි ඒ ආකාරයට එජාපයේ හැරවුම් ලක්ෂය කරපු මිනිහා අද පැත්තක දැන් ආණ්‌ඩුව පිහිටුවලා ඉවරයි. ආණ්‌ඩුවේ හැරවුම් ලක්ෂය කරලා ආණ්‌ඩුව පිහිටුවේ රංගේ බණ්‌ඩාර කියලා මිනිස්‌සු කියනවා.

 හැබැයි එහෙම එක්‌සත් ජාතික පක්‍ෂයේ හැරවුම් ලක්ෂය කරපු රංගේ බණ්‌ඩාරට මොකද වුණේ. දැන් ආණ්‌ඩුව පිහිටුවලා ඉවරයි රංගේ බණ්‌ඩාරගෙන් එළියේ ජනතාව අහනවා ඇයි මේ කෝටි ගණනත් ඇමැතිකමත් අරගෙන එකතු වුණේ නැත්තේ කියලා. නොගත්තේ කියලා දැන් ජනතාව අහනවා.

 මේ ඔක්‌කොම කරලා තියෙන්නේ, හරවලා තියෙන්නේ ආණ්‌ඩු පිහිටුවලා තියෙන්නේ හැරවුම් ලක්ෂය කරලා තියෙන්නේ රංගේ බණ්‌ඩාර. නමුත් ඇමැතිකම් අරන් තියෙන්නේ වෙන කට්‌ටිය.

 මේ නිසා පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ ජනතාව වෙනුවෙන් මටත් දැන් තීරණයක්‌ ගන්න වෙනවා. ලබන 2019 මුල් කාලය තුළදී මේ ප්‍රශ්නය බේරුවේ නැත්නම් කැබිනට්‌ ඇමැති කමක්‌ නොලැබුණහොත් හැරවුම් ලක්ෂය ගැන දැඩි තීරණයක්‌ ගන්න වෙනවා.

 පුත්තලමේ මිනිසුන්ගේ අධ්‍යාපන ප්‍රශ්න, සෞඛ්‍ය ප්‍රශ්න සහ ජනතාවගේ අනිකුත් ප්‍රශ්න විසඳන්න මම කැබිනට්‌ එකේ ඉඳගන්න ඕනා.

 ජනතාව හඬමින් කතා කරනවා අපි කොළඹ යන්න එන්නම් උපවාස කරන්නම්, විරෝධතා කරන්නම් මේ ප්‍රශ්න විසඳ ගන්න කියලා. මම දැනට ජනතාව නිහඬ කරලා තියෙන්නේ. ජනතාව දන්නවා රංගේ බණ්‌ඩාර කවුද කියලා. පුත්තලම දිස්‌ත්‍රික්‌කයේ මිනිස්‌සු දන්නවා රංගේ බණ්‌ඩාර ජනතාවට කරපු සේවය

තඹ, රත්රන් කරන හැටි චීනය සොයා ගනී



සුලබ ලෝහ වර්ග, විවිධ රසායනික ප්‍රතික්‍රියාවන්ට බඳුන් කිරීම් මගින් රන් වැනි අගනා ලෝහ බවට පත් කළ හැකි ක්‍රමයක් සොයාගැනීමට අනාදිමත් කාලයක සිට විද්‍යාඥයන් බොහෝ පරීක්ෂණ පවත්වා ඇත. අවසානයේ එවැනි පරිවර්තන ක්‍රමයක් තමන් සොයාගත් බව, චීනයේ, රසායනික භෞතික විද්‍යාව පිඛඳ ඩාලියන් අධ්‍යයන ආයතනයේ විද්‍යාඥයන් පිරිසක් ප්‍රකාශයට පත් කර තිබේ. මෙම නව සොයාගැනීම පිළිබඳ තොරතුරු ඔවුන් පළ කර ඇත්තේ ජර්නල් සයන්ස් ඇඩ්වාන්සස් නමැති විද්‍යා ප්‍රකාශනයේය.

සාමාන්‍ය තඹ ලෝහය, රන් හෝ රිදීවලට අතිශය සමාන ලෝහයක් බවට පත් කළ හැකි ආකාරය එම ලිපියේ විස්තර කර ඇත. ඔවුන්ගේ පර්යේෂණවල ප්‍රතිඵලයක් ලෙස නිමවුණු නව ලෝහයට, ගල්අඟුරුවලින් මද්‍යසාර නිපදවීමේ ප්‍රතික්‍රියාවක දී රත්රන් හා සමාන උත්ප්‍රේරකයක් ලෙස ක්‍රියා කිරීමේ හැකියාව ඇති බව පෙනී ගොස් තිබේ. තඹ කැබැල්ලක් මතට විද්‍යුත් ආරෝපිත උණුසුම් ආගන් වායු දහරාවක් වේගයෙන් පතිත කිරීමෙන් ලෝහයේ පරමාණු අයනීකරණය වීමට සලස්වනු ලැබේ. මෙවිට තඹ ලෝහයේ ඉලෙක්ට්‍රෝන වඩාත් ස්ථාවර තත්ත්වයකට පත් වන අතර, අවසානයේ උපදින එලය මල නොබැදීම, ඔක්සිකරණය නොවීම හා අධික උෂ්නාත්වයට ඔරොත්තු දීම වැනි රන් ලෝහය හා සමාන සුවිශේෂ හැකියාවක් රැසකින් සමන්විත වෙයි.

මේ නිසා අගනා විද්‍යුත් උපාංග නිපදවීම පිණිස තඹ වෙනුවට ඉදිරියේදී මෙම නව ලෝහය යොදාගත හැකිය. ව්‍යාජ රන් භාණ්ඩ නිෂ්පාදනය කිරීමේ ජාවාරම් සඳහා මෙම නව ලෝහය යොදාගත නොහැකි බවද පර්යේෂකයන් විශේෂයෙන් සඳහන් කර ඇත. ඊට හේතුව නව ලෝහයේ ඝනත්වය තවදුරටත් තඹ ලෝහයේ ඝනත්වයට නොවෙනස්ව පැවතීමයි.

Thursday, December 27, 2018

ඉන්දියානු කෝටිපති මහේෂ් සවානි, තම වියදමින් පියවරුන් අහිම් දියණියන් 261 කගේ විවාහ මංගල‍‍ උත්සව සිදුකරලා


 පියවරුන් අහිමි දියණියන් විශාල පිරිසක් විවාහ කරදුන් පුවතක් ඉන්දියාවෙන් වාර්තා වේ.  දැවැන්ත විවාහ මංගල්‍යයක් පවත්වමින් එම තරුණියන් විවාහ කර දී තිබෙන අතර ඒ සියලු වියහියදම් දරා ඇත්තේ ඉන්දියාවේ  කෝටිපති දියමන් ව්‍යාපාරිකයකු වන මහේෂ් සවානිය.

පසුහිය අට වසරක කාලයේදී මහේෂ් සවානි එලෙස තරුණියන් 3,000කට වැඩි පිරිසක් විවෘහ කර දී ඇතැයි පැවසේ.

තරුණියන් විවාහ කරදීම දෙවියන්ගෙන් ලැබෙන ආශිර්වාදයක්  යැයි විස්වාස කරන මහේෂ් ස්වානි ගුජරාට් ප්‍රාන්තයේ සුරාත් නගරයේ වෙසෙන පියවරුන් අහිමි තරුණියන් විවාහ කර දී ඇත. ඔහු මෙම ක්‍රියාව ආරම්භ කර ඇ ත්තේ 2010 වසරේදී වන අතර එතැන් පටන් සෑම වසරකදීම එලෙස තරුණියන් විවාහ කර දී ඇත.

මෙවර විවාහ මංගල්‍යය උත්සවයේදී තරුණියන් 261 දෙනකු විවාහ කර දී තිඛෙන අතර ඊට මුස්ලිම් තරුණියන් හය දෙනකු සහ ක්‍රිස්තියානි තරුණියන් තිදෙනකු අයත් යැයි ද ඊට ගුජරාට් ප්‍රාන්තයේ මහ ඇමැති විජේ රූපානීගේ ආශීර්වාදය හිමි වූ බව ද ඉන්දියා ඩී.එන්.ඒ. ඉන්දියා පුවත් සේවය වරිතා කර තිබිණි.






වෙනත් අයකුගේ දියණියක විවාහ කර දීමේදී ''කන්යාඩාන්" නැමැති හින්දු ආගමික චාරිත්‍රයක් අනුගමනය කරන අතර මහේෂ් සවානි, ඉන්දීය පරිපාලන සේවයේ නිලධාරින් කිහිපදෙනෙක් සහ පොලිස් නිලධාරීන් ද එක්ව එම චරිත්‍රය ඉටු කලහ.

අලුත විවාහ වූ යුවළවලට ඔවුන්ගේ ජීවිත ආරම්භ කිරිමට සඳහා ගෘහ උපකරණ ලබාදුන් අතර සෑම යුවළකටම ඉන්දීය රුපියල් 200,000 රක්ෂිණාවරණයක් ද ප්‍රදානය කරන ලදි. මීට පෙර
වසරවලදී සවානි ඉන්දීය රුපියල් 500,000 මුදල් ත්‍යාග  ලබාදුන් බව ද පැවසේ.

මෙම දැවැන්ත විවාහ මංගල්‍යය උත්සවය නත්තල් දින පැවැත්විණි. එදින විවාහ වූ තරුණියන් 261 දනාගෙන් 118 දෙනකුට සහෝදර සහෝදරියන් නොමැති බව පැවසෙන අතර 54 දෙනකු අනාත දරුවන් යැයි ද පැවසේ.
තමන්ගේ විවාහය සිදු කරගැනීමට හැකි තරුණියන්ට උදවු උපකාර කිරිම සමාජ වගකීමක් ලෙස තමන්ට දැනෙන බව මෙහේෂ් සවානි මීට පෙර පවසා තිබිණි. ඉන්දියාවේ විවාහ මංගල්‍යය උත්සවය යනු දැවැන්ත මුදල්  වියදම් වන උත්සව මාලාවකි. එහිදි මනාලියගේ පවුල මනාලයාගේ පවුලට මුදල් සහ ත්‍යාග ඇතුළත් විශාල දෑවැද්දක් ගෙවීම් සම්ප්‍රදායයි.

 එම තත්වය මත දියණියගේ විවාහයේ සියලු බරපැන දරන්නේ පියාය. දියණියගේ පියා මියගොස් හෝ අතිශය දුප්පත් නම් දියණිය විවාහ වීමේ අවස්ථාව ඉතාම සීමිතය. ඇතැම් විට බොහෝ  දියණියන් විවාහ නොවන අවස්ථා වැඩිය.





තම ඥාතියෙකු මියගිය පසු 2008 වසරේදී මෙලෙස පුණ්‍ය හා ත්‍යාගශීලි වැඩසටහන් ආරම්භ කළ බවත් දියණියගේ විවාහ සංවිධානය තමන්ට වගකීමක් ලෙස පැවැරුණු බවත් මහේෂ් කීවේය. එතැන් පටන් මේ දක්වා කාලයේදී මහේෂ් සවානි තරුණියන් 3,172 දෙනකු විවාහ කර දී ඇත.

-ඩේලිමේල් ඇසුරිනි-

මුදල් සොරකමේ යෙදුණු තරුණියන් තිදෙනකු දැලේ


රූමත් නව යොවුන් තරුණියන් පිරිසක් එක්වී සංවිධානාත්මකව  සිදුකළ ජාවාරමක් පිළිබඳ වාර්තා වේ. වාර්තා වන අන්දමට සිද්ධිය මෙසේය.  මෙම තරුණියන් පිරිස මගීන් අධික බස් රථවල හා සෙනඟ  ගැවසෙන ස්ථානවල ගැවසෙමින් අත් බෑග් සහ සාක්කුවල ඇති  මුදල් සොරකම් කිරීමෙහි යෙදී තිබේ.  ත්‍රිකුණාමලයේ සෙල්වනායගපුරම්හි වල්ලුර් වීදියේ පදිංචි 21 හැවිරිදි තරුණියක්, ඇගේ පුංචි අම්මා සහ කොළඹ ජින්තුපිටිය  නාගරික ආසනයේ පදිංචි කාන්තාවක් සිද්ධීන් සම්බන්ධයෙන්  අත්අඩංගුවට ගෙන ඇත.

උත්සව සමයේ බස් රථවල සහ ජනතාව ගැවසෙන ස්ථානවල  සිවිල් ඇඳුමින් සැරසුණු පොලිස් නිලධාරීන් සේවයේ යෙදවීම ද තුළින් නීතිය බලගැන්වීමේ ඒකකයේ නිලධාරීන් මෙලෙස සැකකාර  කාන්තාවන් තිදෙනා පසුපස ඔවුන්ට නොදැනෙන සේ බස්රථවල ගමන් කරමින් ලුහුබැඳ යමින් සිටියදී ඉකුත් 23දා බස් රථයකදී මහියකුගේ සාක්කුවකින් රුපියල් 2000ක මුදලක් සොරාගන්නා ද අවස්ථාවේදී අත්අඩංගුවට ගෙන තිබේ.

මුදල් හිමි පුද්ගලයා දෙපස සිටිමින් ඔහුගේ ඇඟට තෙරපෙමින් ද කාන්තාවන් දෙදෙනකු සිට අනෙක් කාන්තාව සාක්කුවේ ඇති මුදල් සොරකම් කරන විටදී පොලිසියට කොටු වී තිබේ.  අත්අඩංගුවට ගත් කාන්තාවන් දෙදෙනකු ත්‍රිකුණාමලයේ පදිංචිකරුවන් වන අතර ඔවුන් දෙදෙනාටම සිංහල භාෂාව ද සාමාන්‍යයෙන් කතා කිරීමේ හැකියාව තිබිණි. කොළඹ පදිංචි ද කාන්තාවට හොඳින් කතා කිරීමේ හැකියාව ඇති බවත් ඔවුන් ද තිදෙනා ළඟ රුපියල් ලක්ෂ 5කට ආසන්න වටිනාකමින් යුත්  ස්වර්ණාභරණ තිබූ බවත් පොලිස් පරීක්ෂණවලදී හෙළිවී ඇත.

-ආරියරත්න ගනේගොඩ-

ගැසට්ටුව ප්‍රමාද නිසා අායතන ප්‍රධානීන් පත්කිරීමත් කල්යයි










නව කැබිනට් ඇමැතිවරුන්ට පැවැරෙන විෂය පථය ඇතුළත් ගැසට් නිවේදනය නිකුත් කිරීම ප්‍රමාදවීම නිසා රාජ්‍ය සංස්ථා හා මණ්ඩල රැසකට ප්‍රධානීන් ඇතුළු අධ්‍යක්ෂ මණ්ඩල පත්කිරීමට මෙතෙක් නොහැකි වී ඇතැයි අමාත්‍යංශ ආරංචි මාර්ගවලින් පැවසේ.

විදේශ සංචාරයක යෙදී සිටින ජනාධිපතිවරයා ලබන 31 වැනිදා පැමිණෙන තුරු මෙම ගැසට් නිවේදනය නිකුත්  කිරීමට හැකියාවක් නොලැබෙන බව පොදු සැපයුම් හා ආර්ථික ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා  ඊයේ පැවැසීය. ගැසට් නිවේදනය කෙටුම්පත් කර අවසන් වී ඇතැයි ද ඇමැතිවරයා කීය.

ඇමැතිවරුන්ට පැවැරෙන විෂය පථය ඇතුළත් ගැසට් නිවේදනය ඉකුත් 21 වැනිදා නිකුත් වීමට නියමිතව තිබුණත් ඊට සංශෝධන කිහිපයක් ඇතුළත් කිරිමට සිදුවූ හෙයින් එය එදින නිකුත් කිරීමට නොහැකි විය.

-සුජිත් හේවාපුලිගේ-

අවුරුදු එකහාමාරේ දරුවාට වස පොවලා මවත් වස බීලා



මාතලේ පල්ලේපොළ, අරීයගම ප්‍රදේශයේ 30 හැවිරිදි මවක් වයස අවුරුදු 1 1/2ක් වූ සිය දරුවාටද වස පොවා ඇයද වස පානය කිරීමේන් මියගොස් ඇති බවත් දරුවාගේ ජීවිතය බේරී ඇති බවත් මහවෙල පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ පල්ලේපොළ ආරියගම පදිංචි ඉන්ද්‍රානි නිරංජලා සරෝජිනී නමැති 30 හැවිරිදි එක්දරු මවකි. මියගිය කාන්තාව සිය දරුවාට වස පොවා නිවස තුළ වස පානය කොට ඇති බව ප්‍රදේශවාසීන් දැනගැනීමෙන් පසු මාතලේ රෝහලට ඇතුළත් කොට ඇතැයිද පසුව රෝහලේදී මව මියගොස් දරුවාගේ ජීවිතය බේරාගැනීමට හැකිවූ බවත් පොලිසිය කියයි.  දැනට දරුවා මාතලේ රෝහලේ ප්‍රතිකාර ලබන බවද පොලිසිය කියයි. මූලික පරීක්ෂණවලදී හෙළි වී ඇත්තේ කාලයක් තිස්සේ අඹුසැමියන් අතර ඇතිවූ ආරවුලක් දුරදිග ගොස් එම ජීවිත හානිය සිදුකරගෙන ඇති බවය.

මහවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ලක්මාල් විරත්න මහතා කියා සිටියේ මෙවැනි සිත්තැවුලක් වූ විටෙක දරුවන්ට හෝ තමන්ගේ ජීවිත විනාශ  කර ගන්නවාට වඩා ළඟම ඇති විහාරස්ථානයකට හෝ ආගමික ස්ථානයකට ගොස් තමන්ගේ සිත් තැවුල ප්‍රකාශ කරන ලෙසත් එසේත් නොමැති නම් මහවෙල පොලිසියේ ස්ථාපිත කොට ඇති මහජන සම්බන්ධතා අංශය හෝ තමා මුණ ගැසී එම ප්‍රශ්නය කියන ලෙස තමන් ප්‍රජාවගෙන් ඉල්ලා සිටින බවය.  මියගිය කාන්තාවගේ පශ්චාත් මරණ පරීක්ෂණය මාතලේ පොලිසියේදී සිදු කිරීම නියමිතය. මහවෙල පොලිසියේ උප පොලිස් පරික්ෂක ජේ.එම්. දිවාකර බණ්ඩාර මහතා ඇතුළු නිලධාරිහු පරීක්ෂණ පවත්වති.

-කේ.කේ.ආරියදාස-

ඉන්දියාවේ දිගම දුම්රිය පාලම විවෘත කෙරේ



ඇසෑමයේ බ්‍රහ්මපුත්‍ර ගාංගාවේ උත්තර හා දක්ෂිණ ඉවුරු යාකරමින් අභිනවයෙන් ඉදිකරන ලද බොගිබීල් හෙවත් ඉන්දියාවේ දිගම දුම්රිය මාර්ග පාලම ඉන්දියානු අගමැති නරේන්ද්‍ර මෝදි විසින් දෙසැම්බර් 25 දා විවෘත කරන ලදී. මෙහි ඉදිකිරිම්න් අවසන් කිරීම සඳහා වසර 21ක් ගත වී ඇත. 1997 ජනවාරියේදී එවකට ඉන්දීය අගමැති ධුරය හෙබ වූ දේව් ගවුඩා විසින් මෙහි මුල්ගල තබන ලද නමුත් එහි ඉදිකිරීම් කටයුතු සැබවින් ආරම්භ වූයේ 2002 අප්‍රේල් මස හිටපු  අගමැති අතල් බිහාරී වජ්පායිගේ පාලන                                                                                         යුගයේදීය.

කිලෝමීටර් 5කට ආසන්න  දිගින් යුත් බොගිබීල් පාලම  නිසා ඇසෑමයේ ටින්සුකියා හා  අරුණාචල් ප්‍රදේශ් හි නාහර්ගුන් අතර කිලෝමීටර් 400ක පමණ දුර ගමන් කිරීමට මෙතෙක් ගත වූ පැය 10ක කාලය ඉතිරී වනු ඇත. චීන දේශසීමාවේ පිහිටි අරුණාචල් ප්‍රදේශ් වෙත මෙම පාලම හරහා පහසුවෙන් හමුදා යැවීමට හැකිවීම නිසා, උපාය මාර්ගික වශයෙන් වැඩි වැදගත්කමක් මෙයට හිමි වී ඇත. මෙම පාලම සතුව වසර 120ක ආයු කාලයක් ඇතැයි ඇස්තමේන්තු කර තිබේ.

දුම්රිය ලොක්කෙක් වංචා සහගත ලෙස නිල නිවාස 02ක් එකවර පරිහරණය කරලා







දුම්රිය දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරියකු වංචාසහගත ලෙස රුපියල් හත් ලක්ෂ පනස් දහසක මුදලක් ලබාගත් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පරීක්ෂණයක් ආරමිභ කර තිබේ.

එම නිලධාරියා වංචනික අයුරින් වසර හතක අටක පමණ කාලයක සිටම දුම්රිය නිවාස දෙකක් පාවිච්චි කර තිබෙන අතර ඔහු එක් නිවසක පදිංචිව සිට කොල්ලුපිටියේ පිහිටි තවත් දුම්රිය නිවාසයක දරුවන් පාසල්වලට ඇතුළත් කර ගැනීමේ අරමුණින් භාවිත කර තිබෙන බවට දුම්රිය සේවකයන් පිරිසක් කර ඇති පැමිණිල්ලකට අනුව අල්ලස්  කොමිසම එම පරික්ෂණය ආරම්භ කර තිබේ.

  එම නිලධාරියා කොල්ලුපිටියේ පිහිටි දුම්රිය නිවාසයෙහි හවුල් පදිංචිකරුවකු වන අතර නාගරික සංවර්ධන අධිකාරිය මගින් එම නිවස කඩා ඉවත්කරන බව කල්තියා දැනගෙන අනිත් හවුල්කාර දුම්රිය සේවකයා බදුල්ලට මාරුකර තිබෙන බවද දුම්රිය සේවකයන්ගේ පැමිණිල්ලේ සඳහන් වේ.

 පසුව නාගරික සංවර්ධන අධිකාරිය දුම්රිය නිවාස කඩා ඉවත් කළ පසුව ඒ වෙනුවෙන් ගෙවු රුපියල් ලක්ෂ හත හමාරක මුදල ඉහළ නිලධාරියා ලබාගෙන ඇති අතර හවුල් පදිංචිකරුට ඉන් මුදලක් ලබාදී නැතැයිද එය වංචා සහගත ක්‍රියාවකැයිද එම පැමිණිල් දක්වා තිබේ.

එම නිලධාරියා තමන්ගේ බලය යොදාගෙන තවත් ඉහළ නිලධාරියකුට රුපියල් දෙලක්ෂ පනස් දහසක අල්ලසක් ලබාදී කරුණු වසන් කිරීමේ උත්සාහයක් ගෙන ඇති බව ද එම පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

-රංජන් කස්තුරි-

සෙල්ෆි ගහන්න යද්දී බඹරගම දිය ඇල්ලට වැටී අතුරුදන් වූ තරුණයන්ගේ මළ සිරුරු සොයා ගනී



ඇල්ල, රාවණාඇල්ලේ ඉහළ කොටසේ පිහිටි බණ්ඩාරවෙල, අඹදණ්ඩේගම, බඹරගම දියඇල්ලට වැටී අතුරුදන් වූ තරුණයන් දෙදෙනාගේ මළ සිරුරු නාවික හමුදා කිමිඳුම්කරුවන්ගේ සහායෙන් ඊයේ (26දා) සොයාගත් බව බණ්ඩාරවෙල පොලීසිය පවසයි. සෙල්ෆි ඡායාරූප ගැනීමට උත්සාහ කළ ස්ථානයේ දියවළ තුළ තිබියදී මළ සිරුරු හමුවී ඇති අතර නත්තල් දා දහවල් තවත් පිරිසක් සමඟ දිය නෑමට ගිය අවස්ථාවේ මෙම තරුණයන් දෙදෙනා දියඇල්ලට වැටී අතුරුදන් වූ බවත් ඔවුන් දෙදෙනා සමඟම දියට වැටුණු  එක් තරුණයෙක් අසීරුවෙන් බේරී හිසේ තුවාල  සහිතව බණ්ඩාරවෙල දිසා රෝහලට ඇතුළත් කළ බවත් පොලිසිය පවසයි.

මිතුරන් වන මේ තරුණයන් තිදෙනා සමඟ පවුලේ ඥාතීන් කීපදෙනෙක්ද දිය නමට ගොස් තිබූ අතර එක් තරුණයෙක් සෙල්ලම ඡායාරූපයක් ගැනීමට සැරසෙද්දී ඔහු දියට වැටී ඇති බවත් අනෙක් දෙදෙනා ඔහු බේරාගැනීමට යෑමේදී දියට වැටී ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී ඇත. මිය ගිය දෙදනා කොළඹ ප්‍රදේශයේ පෞද්ගලික බස්රථවල කොන්දොස්තරවරුන් ලෙස කටයුතු කරමින් සිටින අය වන අතර නත්තල් නිවාඩුව ගත කිරීම සඳහා ගම්බිම් බලා පැමිණ සිටියදී ඔවුන් මෙම අනතුරුවලට ලක්ව ඇත.

-රුවන් කුමාර-

චීනය හා පැවැති ඓතිහාසික සබඳතා ගැන හොයන්න චීන විශ්වවිද්‍යාලයක් මන්නාරමේ ගවේෂණ අරඹයි



ශ්‍රී ලංකාව හා චීනය අතර පැවැති ඓතිහාසික සබඳකම් අනාවරණය කරගැනීම සඳහා චීන විශ්වවිද්‍යාලයක් කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශය හා පුරාවිද්‍යා දෙපාර්තමේතුවත්  සමඟ මන්නාරම මාන්තෙයි ප්‍රදේශයේ ගවේෂණ කටයුතු ආරම්භ කොට තිබේ. මේ ගවේෂණ කටයුතු සිදු කරනු  ලබන්නේ අතීතයේදී මාතොට ලෙසින් හැදින් වූ ප්‍රදේශය ආශ්‍රිතවය. චීනයේ සිචුවාන් (SICHUAN) විශ්වවිද්‍යාලයේ මහාචාර්යවරු දෙදනකුගෙන් සමන්විත පස් දෙනකුගෙන් යුත් පිරිසක් මේ දිනවල මන්නාරමේ මාන්තෙයි ප්‍රදේශයට පැමිණ එම ප්‍රදේශයේ නික්ෂණ කටයුතු ආරම්භ කොට ඇත්තේ පුරාවිද්‍යා නිලධාරීන් පිරිසක්ද සමඟය.

අතීතයේදී චීනය හා ශ්‍රී ලංකාව අතර ඉතා දැඩි සමීප සම්බන්ධතාවක් තිබූ අතර යාපනයේ හා සීගිරියේ කරන ලද කැණීම්වලදී ඒ බව තහවුරු කෙරෙන සාධක රැසක් හමු වී තිබේ. යාපනයේ අල්ලම්පිඩි ප්‍රදේශයේදී චීන විශ්වවිද්‍යාලයේ  පිරිසක් හා පුරාවිද්‍යා නිලධාරීන් පිරිසක් ඒක්ව කැණීම් කටයුතු සිදු කරන අතර මීට මාස තුනකට පමණ ඉහතදී එම ස්ථානයෙන්ද පැරැණි චීන මැටි බඳුන් කීපයක කැබලි හමු විය.මේ දිනවල මාන්තෙයි ප්‍රදේශයේ සිදුවන නිරීක්ෂණ කටයුතු හා ගවේෂණ කටයුතුවලින් පසුව එම ස්ථානවල කැණීම් කටයුතු පුරාවිද්‍යා දෙපාර්තමේත්තුව හා එක්ව සිදුකරන බව කැලණිය විශ්වවිද්‍යාලයේ පුරාවිද්‍යා අංශයේ අංශාධිපති ආචාර්ය මංගල කටුගම්පොළ මහතා පැවැසිය.

-රසාදි චතුරංගි-

14 හැවිරිදි සිසුවා නිවසේ කාමරයක් තුළම ගෙලවැල ලාගෙන?








ඇහැටුවැව, හිද්දෑව, ප්‍රදේශයේ නිවසක බාල්කයක ගැට ගැසූ ලණුවක එල්ලෙමින් තිබූ වයස අවුරුදු දෑතරක පාසල් ශිෂ්‍යයකුගේ මළසිරුරක් පෙරේඳා  (25) පස්වරුවේ සොයාගත් බව ගල්ගමුව පොලීසිය  කීය.

මේ සිරුර ඇහැටුවැව, හීන්දෑව රැස්වෙහෙර  ලිපිනයේ පදිංචිව සිටි ඩබ්ලිව්.ඩබ්ලිව්.එම්. ජනනාථ චූලාභය වන්නිනායක නමැති ශිෂ්‍යාගේ බවට හදුනාගත් බව පොලිසිය කියයි.

මේ ශිෂ්‍යයාගේ පියා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුවේ සැරයන්වරයකු ලෙස දැනට යාපනය ප්‍රදේශයේ සේවය කරන බවත් ඔහුට බාල  නැගණියක සිටින බවත් මරණය සම්බන්ධයෙන් පැවති හදිසි මරණ පරික්‍ෂණයේ දී අනාවරණය වී තිබේ.

 මේ ශිෂ්‍යයාගේ මව පෙරේදා (25) සිය බාල  දියණිය රැගෙන අධ්‍යපන සමන්ත්‍රණයකට සහභාගි කරවීමට උදේ අටට පමණ නිවසින් පිටව ගොස් ඇති බවත් ඇය ආපසු නිවසට පැමිණ ඇත්තේ සවස තුනට පමණ බවත් මරණ පරික්‍ෂණයේ දී අනාවරණය වී තිබේ. දහවල් දොළහයි හතළිස් පහට පමණ මේ ශිෂ්‍යා  සිය පියාට දුරකථන ඇමතුමක් ලබගෙන ඇති බවත් ඊට පසුව මවට ද ඇමතුමක් දී ඇති බවත් ඒ අනුව මෙම සිද්ධිය පස්වරු එකත් තුනත් අතර කාලයේ සිදුව ඇති බවට සිතන බව හදිසි මරණ පරීක්‍ෂක සෝමරත්න දිවාකර මහතා කියයි.

ශිෂ්‍යයාගේ සිරුර එල්ලී තිබුණේ ඔහුගේම කාමරයේ බාල්කයක ගැට ගැසූ ලණුවක බවත් ඒ ලණුව මදුරු දැල එලීමට යොදාගත් එකක් බවත් පරික්‍ෂණවල දී අනාවරණය වී තිබේ. ශිෂ්‍යයාගේ මව නිවසට පැමිණි විට සිය පුතුගේ සිරුර දැක ඇති බවත් ඒ සම්බන්ධයෙන් පොලීසියට පැමිණිලි කිරීමෙන් පසු පරීක්ෂණ ආරම්භ කළ බවත් පොලිසිය කීය.

රනිල්ට බහුතරය නෑ



දෙමළ ජාතික සන්ධානය සමඟ එකතු වුවද වර්තමාන ආණ්ඩුවට පාර්ලිමේන්තුවේ සරල බහුතරය වන 113  නොමැති බව පසුගිය 21 වැනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුමට අදාළ ඡන්ද විමසීමේදී  හොඳින්ම පෙන්නුම් කෙරුණු නිසා පාර්ලිමේන්තුව විසුරුවා  මේ යෝජනාවක් කඩිනමින් පාර්ලිමේන්තුවට ගෙන ඒමට ආණ්ඩුව වහාම ක්‍රියා කළ යුතු බව එක්සත් ජනතා  නිදහස් සන්ධානයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජාතික නිදහස් පෙරමුණේ නායක විමල් වීරවංශ මහතා  ප්‍රකාශ කළේය.

දෙමළ ජාතික සන්ධානය සමඟ ආණ්ඩුවක් පවත්වාගෙන යාම අපහසු බව එක්සත් ජාතික පක්ෂයේ ජාතික සංවිධායක නවීන් දිසානායක අමාත්‍යවරයා ඇතුළු එක්සත් ජාතික පෙරමුණේ නායකයන් කිහිප දෙනකුම ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමෙන් වත්මන් ආණ්ඩුව මුහුණ දී තිබෙන ගැටලුකාරී තත්ත්වය මනාව පැහැදිලි වන බවද  පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා පෙන්වා දෙයි. කිසිදු හිඟයකින් තොරව ජනතාව අපහසුතාවට පත් නොවන ආකාරයකට ඉන්ධන රට පුරා බෙදාහැරීමට නොහැකි ආඩුවකින් රටේ පොදු මහජනතාවට කිසිදු සෙතක් සිදුනොවන තත්ත්වයක් හමුවේ පාර්ලිමේන්තුව විසුරුවා හැර මහ මැතිවරණයක් පවත්වා නව ආණ්ඩුවක් පත්කරගැනීමේ අවස්ථාව මේ රටේ පොදු මහජනතාවට  ලබාදිය යුතු බවත් මන්ත්‍රී විමල් වීරවංශ මහතා ප්‍රකාශ කෙළේය.

වර්තමාන ආණ්ඩුව පළමුවෙන්ම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන ලද අතුරු සම්මත ගිණුමට පක්ෂව දෙමළ ජාතික සන්ධානය සමඟ එක්වූ පසුවද හිමි වූයේ ඡන්ද 102ක් පමණක් බවත් දෙමළ ජාතික සන්ධානය නොමැති වූ විට ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය භාවිත කර තිබෙන්නේ එක්සත් ජාතික පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 88 දෙනකු පමණක් බවත් වීරවංශ මහතා පෙන්වා දෙයි. වර්තමාන ආණ්ඩුව ගැන කලකිරී සිටින ආණ්ඩු පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 14 දෙනකු ආණ්ඩුව වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ නොකිරීමට තීරණය කිරීමෙන්ම ආණ්ඩුව තුළ පවතින බරපතළ අර්බුදය ඉතා හොඳින් පෙන්නුම් කෙරෙන බවද ඔහු ප්‍රකාශ කෙළේය.

-ඩබ්ලිව්.කේ.ප්‍රසාද් මංජු-






කංසා වලින් නවතම මත්ද්‍රව්‍යක් නිපදවා අළෙවි කළ නවසීලන්ත ජාතිකයා අත්අඩංගුවට-ග්‍රෑම් 01ක් 4500ට විකුණලා






 අක්මීමන පොලිස් වසමට අයත් වලහන්දූව ප්‍රදේශයේ පිහිටි නිචසක කාමරයක කංසා වගාකර ඒවායින් මත්ද්‍රව්‍ය විශේෂයක් නිෂ්පාදනය කර විකිණිමේ  ජාවාරමක නිරතව සිටි බව කියන නවසීලන්ත ජාතිකයෙක් කොළඹ සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ සහ පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් පෙරේදා (25) අත්අඩංගුවට ගනු ලැබිය.

 මෙම නවසීලන්ත ජාතිකයා කුලියට පදිංචි වී සිටි නිවසේ කාමරයක් තුළ මල් පෝච්චිවල සිටුවා තිබූ කංසා පැළ රැසක්ද ෆුෂ් නමැති මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 ක් ද පොලිස් බාරයට ගෙන ඇත. හරිතාගාරයක ආකාරයට සකස් කළ කාමරයක් තුළ පැළ වගා කොට තිබු බව ද පොලිසිය කියයි.

ගංජා පැළ තවාන් කර තිබූ කාමරයේ උෂ්ණත්වය පාලනය කිරීමට සවිකර තිබූ යන්ත්‍රයක් සහ එම පැළ වලට පොහොර සහ රසායනික ද්‍රව්‍ය ඉසිමට ඔයාදාගන්නා උපකරණ ද මෙහිදී පොලිස් බාරයට ගෙන තිබේ.

සැකකරු විසින් සංජා පැල වලින් නිෂ්පාදනය කරන පුෂ් නමැති මන්ද්‍රව්‍ය ග්‍රෑම් 1 ක් රුපියල් 4500 කට පමණ ගාල්ල ප්‍රදේශයේ සමහර ලැගුම්හල්වලට පැමිණෙන දෙස් විදෙස් සංචාරකයින්ට විකුණන බවට තොරතුරු පරික්ෂණ වලින් අනාවරණය වූ බව සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ පොලිස් නිලධාරියෙක් පැවසීයි.

ශ්‍රී ලාංකික කාන්තාවක සමක මිට වසරකට පමණ ඉහතදී විවාහවී  ඇති මෙම නවසීලත්ත ඡාතිකයා අක්මිමන වලහන්දූව ප්‍රදේශයෙන්  නිවසක් මාසිකව රුපියල් 35,000 ක පමණ මුදලකට කුලී පදනම් මත  ලබාගෙන ඇතැයි පොලිසිය කියයි.  මේ ආකාරයට ගංජා පැළ සිටුවා ඒවායින් පුෂ් නමැති මින්ද්‍රව්‍ය නිෂ්පාදනය කිරීමක නිරතව සිටි අයකු මිට පෙර පොලිසියකට කොටුවී නොමැති බව එම පොලිස් නිලධාරියා කීය.