Monday, March 31, 2025

එප්පාවල රුක් සෙවණ අසපුවේ හිමිනම ඝාතනයේ සැකකරු තොරතුරු වමාරයි

 


ගොවිතැනින් සහ කුලී වැඩ කරමින් යැපුණු එප්පාවල වැසියෝ ඉකුත්දා කඳුරුගස්වැව කිරලෝගම පිහිටි "රුක් සෙවණ අසපුව'' වෙත දිව ආවේ පැතිර යන කටකතාව සත්‍යක් දැයි දැන ගැනීම සඳහාය. ඔවුන් රුක්සෙවණ අසපුවට එන විටත් එප්පාවල පොලිසියේ නිලධාරීහු අසපුව වෙත පැමිණ සිටියහ.


"අසපුවේ හිටිය හාමුදුරුවෝ මරලා දාලා" නිලධාරියෙක් ගම්වැසියන්ට කීය. එම පුවත ළැව් ගින්නක් සේ පැතිර ගියේ ඉන් අනතුරුවය.

ඉකුත් 25 වැනිදා පස්වරුවේ වෙනත් විහාරස්ථානයක හිමිනමක් හදිසි අවශ්‍යතාවක් සඳහා මෙම අසපුව වෙත වැඩම කර ඇත. අසපුවේ විහාරාධිපති හිමියන් සංඝාවාසය අසල මියගොස් සිටිනු උන්වහන්සේ දැක ඇත්තේ ඒ අවස්ථාවේදීය. පසුව සිද්ධිය සම්බන්ධයෙන් ගම්වැසියන් දැනුවත් කර ප්‍රදේශයේ ග්‍රාම නිලධාරිවරයා හා එප්පාවල පොලිසිය දැනුවත් කිරීමට පියවර ගෙන තිබුණේය. පොලිසිය අසපුවට එන්නේ එම දැනුම්දීම මතය. "රුක් සෙවණ අසපුව' පිහිටියේ එප්පාවල පොලිසියට කිලෝමීටර් 7ක් පමණ දුනි. ඝාතනයට ලක්ව තිබුණේ එම අසපුවේ වැඩසිටි 69 හැවිරිදි හිමිනමකි.


එප්පාවල පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුළු අපරාධ විමර්ශන නිලධාර්න් අසපුවට කිසිවකුට ඇතුළු වීමට නොහැකි වන සේ අපරාධයක් සිදුව ඇති බව සංකේතවත් කරන කහ පටි ඒ වටා ඇද සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරැඹීය.

අනුරාධපුර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි තිළිණ හේවාපතිරණ මහතාටද සිද්ධිය දැනුම්දීමෙන් පසු සහකාර පොලිස් අධිකාර්වරයාද සිද්ධිය වූ අසපුවට පැමිණ විමර්ශන සිදුකළ යුතු ආකාරය ගැන නිලධාරීන්ට උපදෙස් දුන්නේය.ඝාතනයට ලක්ව තිබුණේ විලච්චියේ ප්‍රේමරතන නම් වූ හැටනව හැවිරිදි හිමිනමකි. උන්වහන්සේගේ උපන් ගම විලච්චිය වුවද මීට වසර දහයකට පමණ පෙර මෙම හිමිනම මෙම ප්‍රදේශයට වැඩමකොට මෙම රුක් සෙවණ අසපුව" ස්ථාපිත කර තිබිණි. කෙසේ වෙතත් එම අසපුවේ වැඩවාසය කර සිට ඇත්තේද උන්වහන්සේ පමණක් බවද නිලධාරීහු දැනගත්හ. මෙම අසපුව ඉදිකිරීම සඳහා කොළඹ ප්‍රදේශයේ දානපතියන් සම්බන්ධ කරගෙන ඇතත් උන්වහන්සේ විහාරස්ථානය අවට කිසිදු පිටස්තරයකු සමග ඇයි හොඳයිකමක් පවත්වාගෙන ගොස් නැත. මේ නිසා මෙම අසපුවට දානයද ගමේ පිරිසගෙන් ලැබී නැත. ගම්වාසීන් කිහිපදෙනකු ඇරෙන්නට වැඩිදෙනෙක් මේ අසපුවට ගොස් නැත. ඒ නිසා දානය පිළියෙල කර ගැනීම සිදුකර ගන්නේද උන්වහන්සේ විසින්මය.


උන්වහන්සේ මෙලෙස ඝාතනය කිරීම පොලිසියට මහත් ගැටලුවක් ගෙන දුන්නේය. තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයටද කරුණු වාර්තා කළ නිලධාරීන් වැඩ බලන මහෙස්ත්‍රාත්වරයාගේ පැමිණීමෙන් පසු ඔහුගේ නියෝග මත හිමිනමගේ දේහය අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත රැගෙන ගියේ පශ්චාත් මරණ පරීක්ෂණයක් සිදුකර පේමරතන හිමිනම ඝාතනය කර ඇත්තේ කෙලෙසද යන්න දැනගැනීමටය. පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ වෛද්‍යවරයාගේ නිගමනය වූයේ හිසට එල්ල කළ තදබල පහරක් නිසා උන්වහන්සේ අපවත් වී ඇති බවය. එමෙන්ම උන්වහන්සේගේ ගෙල ප්‍රදේශයේද කිසියම් කැපුම් තුවාලයක් දක්නට ලැබිණි.


පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවෙන් උන්වහන්සේගේ මරණය ඝාතනයක් බවට තහවුරු වීමත් සමඟ උන්වහන්සේගේ ඝාතකයා සොයා පොලිස් කණ්ඩායම විමර්ශන ඇරැඹිය. ඒත් ඝාතකයා සම්බන්ධයෙන් කිසිදු හෝඩුවාවක් පොලිසියට හමුවූයේ නැත. අසපුව අවට පදිංචිකරුවන්ද උන්වහන්සේ සමඟ හෝ අසපුව සමඟ සබඳතාවක් පවත්වා නැති නිසා අසපුවට ආගිය අය හෝ රැඳී සිටි අයවලුන් ගැනද කිසිදු තොරතුරක් පොලිසිය සතු නොවීය.


මෙලෙස දිගින් දිගටම විමර්ශන සිදු කරද්දී එප්පාවල පොලිසියට අපවත් වූ උන්වහන්සේ ගැන තවත් තොරතුරු ලැබුණේය. ඉන් එක් තොරතුරකින් කියැවුණේ උන්වහන්සේ නිතරම උඩමළුව වෙත වඩින බවකි. එමෙන්ම රුවන්වැලිසෑය සහ උඩමළුව වැඳපුදා ගැනීමට එන බැතිමතුන්ට උන්වහන්සේ , සාස්තර පවා කියා ඇති බවකි. එමඟින් ලැබෙන පඬුරු උන්වහන්සේගේ වියදමට තබාගන්නා බවට විමර්ශන නිලධාරීන්ට තොරතුරු ලැබිණි.

 

ඒ හැරෙන්නට උන්වහන්සේගේ ඝාතකයා සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් පොලිසිය සතු නොවීය. ඊට ප්‍රධානතම හේතුව වූයේ උන්වහන්සේ අසපුව වටා පදිංචි කිසිවකු සමඟ සබඳකම් නොපැවැත්වීමය.මේ අතර ගමේ පදිංචිකරුවකු පොලිසියට තවත් තොරතුරක් ලබාදී තිබිණි. ඒ උන්වහන්සේ සතුව ත්‍රිරෝද රියක් තිබූ බවය. නිලධාර්න් ඒ ගැන විපරම් කරද්දී එම ත්‍රිරෝද රථය අසපුවේ නොවීය. එය විමර්ශන නිලධාට ගෙන ආවේ කිසියම් සැකයකි. නිලධාරීර්න් උන්වහන්සේට අයත් ත්‍රිරෝද රිය සොයා විමර්ශන ආරම්භ කළේ ඉන් පසුවය. සිද්ධියෙන් දවසකට පසු එම රථය එප්පාවල නගරයේ අතහැර දමා ගොස් තිබී සොයා ගැනිණි. වැඩි කාලයක් යන්නට මත්තෙන් විමර්ශන නිලධාරීන්ට තවත් තොරතුරක් ලැබුණේය. ඒ එම ත්‍රිරෝද රිය අලුත්වැඩියාව සඳහා එප්පාවල ප්‍රදේශයේ ගරාජයකට දමා තිබූ බවය. නිලධාරීන් වහා එම ගරාජය සොයා ගියේය.


හාමුදුරුවන්ට අයිති ත්‍රීවීලර් එකක් මෙහෙ තිබ්බද?

නිලධාරී ගරාජ් හිමිකරුගෙන් විමසුවේය.

ඔව් සර්... ඒක රෙපයාර් කරලා තිබුණේ. හාමුදුරුවෝ තවත්

කොල්ලෙක් එක්ක ඇවිත් ඒක දැන් දවස් දෙක තුනකට කලින් අරන් ගියා යැයි කීය.


ඒ කොල්ලගෙ නම ගම එහෙම දන්නවද?


"අනේ නැහැ සර්..." අපි කලින් දැකලවත් නැහැ. එදා තමයි හරියටම දැක්කේ. ගරාජ් හිමිකරු ත්‍රීවීලරය රැගෙන ගිය පුද්ගලයාගේ හැඩරුව කීවද ඉන් එහාට කිසිවක් ඔහු දැන සිටියේ නැත.


නිලධාර්න් යළිත් ගැටලුවකට මැදිවිය. ඒ ත්‍රිරෝද රිය ගරාජයෙන් රැගෙන ගිය පුද්ගලයා කවුරුන්දැයි යන්න දැන ගැනීමට නොහැකිවූ නිසාය. නිලධාරීන්ගේ එම උත්සාහයද අපතේ ගියේය.


එහෙත් උත්සාහය අත්නොහළ නිලධාහු යළි අසපුවටම ගොස් එම අසපුව පිරීක්සමින් තවත් කරුණු කාරණා සොයන්නට වූහ. අසපුවේ හෝ ඒ අවට කිසිදු සී.සී.ටී.වී. කැමරාවක් ස්ථාපිත වී නොතිබීමද විමර්ශනයට මහත් බාධාවක් ගෙන දුන්නේය.


"ඔහොම අපි දිගින් දිගටම විමර්ශන කරනකොට අපිට තොරතුරක් ලැබුණා අපවත්වුණු හිමිනම සතුව ජංගම දුරකථනයක් තිබුණා. දැන් ඒක පේන්න නැහැ කියලා.


ඒ තොරතුරට අනුව අපි අසපුව අස්සක් මුල්ලක් නෑරම සෝදිසි කළත් හාමුදුරුවන්ගේ දුරකථනය සොයා ගන්න බැරිවුණා. ඒ නිසා අපි හිතුවා හාමුදුරුවෝ ඝාතනය කළ අපරාධකරුම උන්වහන්සේගේ ජංගම

දුරකථනයත් අරගෙන යන්න ඇති කියලා."


විමර්ශන නිලධාරියෙක් සඳහන් කළේය. එම සැකය මත නිලධාර්න් අපවත් වූ හිමිනමගේ ජංගම දුරකථනයේ අංකය සොයාගෙන අධිකරණ නියෝග මත ඊට අදාළ දුරකථන විශ්ලේෂණ වාර්තාවක්ද ලබාගෙන දුරකථන කුලුනු හරහා එම දුරකථනය ඇත්තේ කොහේදැයි නව තාක්ෂණ ක්‍රම ඔස්සේ සොයා බැලීය. එම දුරකථන විශ්ලේෂණ වාර්තාව හොඳින් නිරීක්ෂණය කළ නිලධාරීන් එම දුරකථනයට ආගිය ඇමතුම් සම්බන්ධයෙන් නිරීක්ෂණයක් කළේය. ''ඔන්න ඔහොම ඒ වාර්තාව බලද්දී හාමුදුරුවන්ගේ ෆෝන් එකෙන් ගත්ත කෝල් එකක නොම්මරයක් අපිට හම්බ වුණා. අපි ඒකට කතා කරලා බැලුවම ඒ පුද්ගලයා කිව්වා. ඒ මගේ යාළුවෙක්, එයා මීගමුවේ ඉඳන් මට කතා කරලා කිව්වා එයාට බෝඩිමක් හොයලා දෙන්න කියලා".


එම පුද්ගලයා පොලිස් නිලධාරීන්ට කීය. නිලධාර්න් ඔහු පදිංචිව සිටින ස්ථානය විමසා වහා මීගමුව ප්‍රදේශයට ගොස් ඔහු හමුවිය. එහිදී

ප්‍රශ්න කරන්නට වූහ. මුලින් මුලින් බොරු බේගල් ඇද දැමුවද අවසානයේ ඇත්ත කියන්නට ඔහුට සිදුවිය.


"මට ඒ හාමුදුරුවෝ හම්බ වුණේ රුවන්වැලිසෑය ළඟදී සර්" සැකකරු කීවේය.


"තමන්ගේ ගම කොහේද?" නිලධාර්යෙක් විමසීය. "මතුරට"

"මතුරට ඉඳන් මෙහාට ආවේ මොකටද?"


"රස්සාවක් සොයාගෙන. එහෙම එනකොට ඔය හාමුදුරුවෝ රුවන්වැලිසෑය ළඟ සාස්තර කිය කියා හිටියා. මාත් එතැනට ගියා. හාමුදුරුවෝ මගෙන් විස්තර ඇහැව්වා. මම කිව්වා මට කාත් කවුරුත් නැහැ. රස්සාවක් සොයාගෙන ආවේ කියලා. හාමුදුරුවෝ ඇහැව්වා මොනවද කරන්න දන්නේ කියලා. මම කිව්වා වාහන එළවන්න පුළුවන්. ඒත් මගේ ලයිසන් එක නැතිවෙලා තියෙන්නේ කියලා, ඒ පාර තමයි

හාමුදුරුවෝ කිව්වේ මමත් අසපුවක තනියම ඉන්නේ. එහෙ ත්‍රීවීලර්

ඒ කක් තියෙනවා. ඒක එළවන්න පුළුවන්ද කියලා. මම කැමැති වුණා. කැමැති වෙලා අසපුවට ගියා. ත්‍රීවීලර් එක ගරාජ් එකක තිබුණේ. හාමුදුරුවෝ මට ඒක අරන් දුන්නා. මම දවස් දෙකතුනක් ත්‍රීවීලර් එකෙන් හාමුදුරුවන්ගේ වැඩ කරලා දුන්නා." සැකකරු පොලිස් නිලධාරීන් හමුවේ

කියාගෙන ගියේය.


"ඇයි තමුසෙ එහෙම නම් හාමුදුරුවන්ව මැරුවේ..."

"මට හාමුදුරුවෝ බැන්නා. කරදර කළා. ඒ පාර තමයි මම පොල්ලක් අරන් හාමුදුරුවන්ගේ ඔළුවට ගැහැව්වේ.'' සැකකරු නිලධාරීන් ඉදිරියේ කියන්නට විය. ඔහු අසපුව වෙත රැගෙන ගිය නිලධාරීන් හිමිනමට පහරදුන් මුගුර සහ වක් පිහියක්ද ඝාතනය සිදුවූ ස්ථානයට නුදුරින් තිබී සොයා ගත්තේය.


වැඩිදුරටත් කරන ලද ප්‍රශ්න කිරීමේදී අනාවරණය වන්නේ සැකකරු හිමිනම ඝාතනය කිරීමෙන් අනතුරුව අසපුවේ හිමිනම සන්තකයේ තිබී රුපියල් 13,000ක මුදලක්ද සොරාගෙන ගොස් ඇති බව අනාවරණය විය.

එමෙන්ම විහාරාධිපති හිමියන්ගේ හැඳුනුම්පත ඇතුළු වටිනා ලිපිලේඛන කිහිපයක්ද සැකකරු රැගෙන ගොස් තිබූ අතර එම ලේඛන සහ හැඳුනුම්පත අසපුවට කිලෝමීටර් දෙකක් පමණ දුරින් තලාව-එප්පාවල ප්‍රධාන මාර්ගයේ පලුගස්වැව ප්‍රදේශයේ මාර්ගය අසල කානුවකට දමා තිබියදී සොයාගනු ලැබීය.


26 හැවිරිදි සැකකරු තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


ටීනියා ආසාදනය සමාජ රෝගයක් බවට පත්වෙලා

 


සරත්චන්ද්‍ර වික්‍රමසිංහ


'ටීනියා ආසාදනයත් සමාජ රෝගයක් බවට පත්වෙමින් තියෙනවා. මේ සඳහා අදාළ බලධාරීන්ගේ අවධානයක් යොමුවෙන බවක් දකින්නට නෑ. ඒ නිසා මේ රෝගය දිනෙන් දින වැඩිවෙනවා මිසක් අඩු වීමක් දකින්නට ලැබෙන්න. වෛද්‍යවරියක් විදිහට මට කළ හැකි උපරිමයෙන් මම මේ රටේ ජනතාව ටීනියා ආසාදනයෙන් මුදාගැනීමට අවශ්‍ය ප්‍රතිකාර හා දැනුවත් වීම් සිදු කරනවා. එහෙත් මෙය රටේ ප්‍රශ්නයක් බව කවුරුවත් වටහාගෙන නෑ යැයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ ලිංගාශ්‍රිත සෞඛ්‍ය සේවා මධ්‍යස්ථානයේ ජ්‍යෙෂ්ඨ වෛද්‍ය නිලධාරීනි හේමා වීරකෝන් මහත්මිය සඳහන් කළේය. වෛද්‍ය හේමා වීරකෝන් මහත්මිය වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය. "ටීනියා ආසාදනය තිබෙන සමහර අය කාටවත් නොකියා රෝගය සඟවාගෙන ඉන්නවා. සමහර විට එකම ගෙදර ඉන්න අයත් රෝගය සඟවාගෙන ඉඳලා අනිත් අයට රෝගය බෝවුණහම තමයි කියන්නේ. මේ විදිහට සමහර නිවාසවල හතර පස් දෙනාම ටීනියා ආසාදනයෙන් පෙළෙනවා


ආසාදිතයකුට සාමාන්‍යයෙන් ප්‍රතිකාර කිරීමට රුපියල් 10,000ත් 20,000ත් අතර වගේ මුදලක් වැයවෙනවා. මේ විදිහට මුදල් වැය කරන්න කාටද තියෙන්නේ. බොහෝ අය මුදල් නොමැතිකම නිසා ප්‍රතිකාර ගන්නේ නැතිව ඉන්නවා. ප්‍රතිකාරවලටත් ඉක්මන් සුවයක් ලැබෙන්නෑ. ඒකට කාලයක් ගතවෙනවා. එහෙම වෙද්දි වියදම් වන මුදල තවත් වැඩි වෙනවා.සමහර වෙලාවට බොහොමයක් රෝගීන්ට වැරදි ප්‍රතිකාර තමයි ලැබිලා තියෙන්නේ. ඒකත් මේ රෝගය වැඩි වෙන්න හේතුවක්.මේ වෙන විට ටීනියා ආසාදනය සඳහා බොහෝ ප්‍රතිකාරවලින් සුවයක් නොලැබෙන තැනට පත්වෙලා තියෙනවා.’


මහනුවර රිළවුන් දූපතක තනි කිරිමේ යෝජනාවක්

 


 

මහනුවර දිස්ත්‍රික්කයේ වගා හානි සිදු කරන රිළවුන් අල්ලා එම සතුන් රන්දෙණිගල ජලාශය ආශ්‍රිත අක්කර 200ක් පමණ වපසරියකින් යුත් දූපතකට මුදාහැරීම සඳහා අවශ්‍ය සියලු කටයුතු මේ වන විට සම්පාදනය කොට තිබෙන බව මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි ජගත් මනුවර්ණ පවසයි.මහනුවරදී 28 වැනි දින මාධ්‍ය හමුවේ අදහස් පළ කළ මන්ත්‍රිවරයා කියා සිටියේ මෙම වැඩසටහනේ නියමු ව්‍යාපෘතියක් වශයෙන් පහත හේවාහැට මැතිවරණ කොට්ඨාසයේ බරපතළ ආකාරයේ රිළා උවදුරු සහිත ගම්මාන 5ක කෘෂිකර්මයට මෙන්ම ජන ජීවිතයට හානි කරන රිළවුන් අල්ලා මෙම දූපතට මුදාහැරීමට පියවර ගන්නා බවය.


මේ පිළිබඳව තවදුරටත් අදහස් පළ කළ මන්ත්‍රිවරයා මෙසේද කීය. කෘෂිකර්මාන්තය මූලික ජීවන රටාවක් ඇති අප රටේ වන සතුන්ගෙන් වගාවට වන හානිය සුළුපටු නෑ. මේ සම්බන්ධයෙන් අපිට දිගින් දිගටම පැමිණිලි ආවා. ජනතාවගේ මැසිවිලිවලට ඇහුම්කන් දෙන්න වුණා. ඒ අනුව මේ පිළිබඳව ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපි දිගින් දිගටම සාකච්ඡා කළා. අදාළ පාර්ශ්ව සම්බන්ධ කරගෙන කමිටුවක් පත් කරලා එම වාර්තාව එහෙම නැත්නම් යෝජනාවලිය මහනුවර සම්බන්ධීකරණ කමිටුවට ඉදිරිපත් කරලා එය ක්‍රියාත්මක කිරීමේ අනුමැතිය ලබා ගත්තා.


මේ වැඩසටහනේ නියමු ව්‍යාපෘතිය සඳහා අපිට මධ්‍යම පළාත් සභාවෙන් රුපියල් මිලියන 10ක් ලැබිලා තියෙනවා. වැඩසටහන මහනුවර දිස්ත්‍රික්කය පුරා ක්‍රියාත්මක කරන්න අපි ඉදිරියේදී කටයුතු කරනවා. ඒ සඳහා තව මුදල් හොයාගන්න වෙනවා. මේ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව අපිට එහි ඇති අඩුපාඩු හඳුනාගෙන අවශ්‍ය කටයුතු කරන්න පුළුවන්. මේ සාකච්ඡා සඳහා ප්‍රදේශයේ ගොවි ජනතාව සම්බන්ධ කරගත්තා. ඒ අය කියපු දෙයක් තමයි මේ රිළවුන් දූපත්වලට ගිහිල්ලා දැම්මත් ආහාර හිඟවන විට නැවතත් පිහිනා ගොඩබිමට පැමිණෙන බව.


පාර එහෙම වෙන්නේ නෑ අපි අනිවාර්යයෙන්ම මෙයාලට පිටතට එන්න බැරි වෙන්න දූපත වටා විදුලි වැටක් ස්ථාපිත කරනවා. මේක ලංකාවටම හරියන උත්තරයක් නෙවෙයි. නමුත් මේ ව්‍යාපෘතිය හරහා ඒ ඒ පළාත්වලට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් අපි සාකච්ඡා කරලා මේක දිගටම කරනවා. අපි මෙහිදී කිසිම ආකාරයකින් සතුන්ට හානියක් කරන්නේ නෑ. මේ සම්බන්ධයෙන් සත්ත්වවේදීන්, සත්ත්ව හා පරිසර සංවිධාන සමඟ අපි අදහස් හුවමාරු කරගත්තා. ඉදිරි සති දෙක ඇතුළත මේ වැඩේ ආරම්භ කරනවා.


මෙහිදී අදහස් පළ කළ පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ අංශාධිපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය අශෝක දංගො‍ල්ල කියා සිටියේ මෙම සතුන් ආරක්ෂිතව අල්ලා කූඩුගත කිරීමේ ක්‍රමවේද පිළිබඳව අදාළ ප්‍රදේශවල ජනතාවට පුහුණුවක් ලබා දෙන බවය. තවදුරටත් අදහස් පළ කළ ඒ මහතා මෙසේද කීය. මේ වැඩසටහන දිගින් දිගටම ක්‍රියාත්මක කොට ගහන පාලනය, සත්ත්ව කළමනාකරණය සිදුකළ යුතුයි. පසුගියදා සිදු කළ සත්ත්ව සංගණනය සම්බන්ධයෙන් විවිධ චෝදනා එල්ල වෙනවා. රිළවුන් තියා අපේ රටේ මිනිස්සුත් එක්ක ඉන්න සුනඛ ගහනය පිළිබඳවත් නිශ්චිත සංඛ්‍යාලේඛන නෑ. මේ සංගණනයෙන් සම්පූර්ණ වාර්තාවක් ගන්න බැරි වුණත් අපිට යම් තීරණයකට මතවාදයකට එන්න පුළුවන්.


මෙම දූපතට අල්ලා දමන රිළවුන් සඳහා අවශ්‍ය ආහාර ලබාදීමට මේ වන විටද යම් යම් ආයතන හා විවිධ සමාජ සංගම් ඉදිරිපත්ව සිටින බවත් ඊට අමතරව දිවයින පුරා ආර්ථික මධ්‍යස්ථානවල ඉවතලන එහෙත් සත්ත්ව ආහාර වශයෙන් භාවිත කළ හැකි එළවළු ආදිය ලබාදීමටද බොහෝ පුද්ගලයෝ ඉදිරිපත්ව ඇති බවද මෙහිදී සඳහන් වූ අතර කලෙකට ඉහතදී සශ්‍රීක ජනාවාසව පැවැති මෙම දූපත්වල මේ වන විටද යම් යම් පලතුරු හා සතුනට ආහාර වශයෙන් ගත හැකි බෝග වර්ග රැසක් පවතින බවද දූපත නිරීක්ෂකයෝ සඳහන් කළහ.


සීදූවේ ව්‍යාජ අංක තහඩු මුද්‍රණාලයක්

 

කීර්ති මෙන්ඩිස්


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව විසින් සකස් කරනු ලබන වාහන අංක තහඩු ව්‍යාජ ලෙස සකස් කරන ස්ථානයක් වැටලීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බළකාය සමත් වී ඇත.


 මෙම ව්‍යාජ මුද්‍රණාලය පිහිටා තිබුණේ සීදුව පොලිස් ස්ථානය ඉදිරිපිටය.වලාන බළකායේ නිලධාරීන් කළ වැටලීමේදී ආරක්ෂිත මුද්‍රාව ලෙස යොදාගන්නා මෝටර් රථ දෙපාර්තමේන්තුවේ DMT ලාංඡනය සඳහන් ස්ටිකර් සහ උපාංග රැසක්ද සොයාගෙන ඇති අතර ව්‍යාජ ලෙස සකස් කරන ලද අංක තහඩු 3ක්ද හමු වී ඇත.


සිද්ධියට අදාළව මුද්‍රණාලයේ හිමිකරුද අත්අඩංගුවට ගෙන තිබේ.ප්‍රධාන පොලිස් පරීක්ෂක ඉන්දික වීරසිංහට ලද තොරතුරක් මත මෙම වැටලීම සිදුකර ඇත.වලාන දූෂණ මර්දන ප්‍රහාරක බළකායේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි උදය කුමාරගේ උපදෙස් මත මෙම වැටලීම සිදුකර තිබේ.


රට රස්සා පෙන්නා කෝටි ගාණක් ගැරූ කතක් මාට්ටු

 

බිමල් ශ්‍යාමන් ජයසිංහ


දිවයිනේ විවිධ ප්‍රදේශවල පුද්ගලයන් රැසක් රවටා රුපියල් කෝටි ගණනින් මුදල් වංචා කර සුඛෝපභෝගී ජීවිතයක් ගතකරමින් සැඟව සිටි අධිකරණ 13 කින් නඩු 47 ක් සදහා වරෙන්තු ලැබූ සැකකාරියක් අත්අඩංගුවට ගත් බව කොස්ගම පොලිසිය කියයි.මීට අමතරව සැකකාරියට විරුද්ධව රුපියල් 5,80,000/= ක හා 3,75,000/= මුදලක් වංචා කර විශ්වාසය කඩ කිරීම සම්බන්ධයෙන් අවිස්සාවේල්ල සහ කොස්ගම පොලිසිවලටද පැමිණිලි ලැබී ඇත.


මුදල් වංචාවන් රැසකට සම්බන්ධ සැකකාරියක් බොරලුගොඩ ප්‍රදේශයේ සැඟව සිටින බවට සීතාවක කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන ලියනගේ මහතාට ලද තොරතුරකට අනුව කොස්ගම පොලිසියේ ස්ථානාධිපති කේ.ඒ.ඩී. රොෂාන්ත මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීවි පෙරේරා මහතා ඇතුළු නිලධාරින් කණ්ඩායමක් විසින් සැකකාරිය අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 


සැකකාරියට එරෙහිව කෑගල්ල අධිකරණයේ නඩු 11 ක්, ඇල්පිටිය අධිකරණයේ නඩු 06 ක්, අවිස්සාවේල්ල, මහර, කොළඹ හා, ගාල්ල, අධිකරණවල නඩු පහක් වශයෙන් සහ කුරුණෑගල අධිකරණයේ නඩු හතරක්, මතුගම අධිකරණයේ නඩු තුනක් පැල්මඩුල්ල හා අගුණු කොළ පැලැස්ස හා හෝමාගම අධිකරණවල නඩුවක් වශයෙන් නඩු 47 කට එරෙහිව වරෙන්තු නිකුත් කර ඇතැයිද පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.


අත්අඩංගුවට ගත් මෙම සැකකාරිය ජපන් රටේ රැකියා ලබාදෙන බව පවසා හා සුඛෝපභෝගී නිවාස කුලී පදනම මත ලබාගෙන කුලී මුදල් ලබාදීම පැහැර හැරීම සහ ලබා දෙන බවට පොරොන්දු වී ලක්ෂ ගණනින් මුදල් ලබාගෙන විශ්වාසය කඩකිරීම ආදී වංචාවන් රැසක් සම්බන්ධයෙන් ඉහත අධිකරණ බල ප්‍රදේශවල පොලිසිවලට පැමිණිලි ලැබී තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.


ව්‍යාපාරික කාන්තාවක් ලෙසින් සමාජයට හඳුන්වා දෙමින් වංචාවන් සිදුකර ඇති මෙම සැකකාරිය සිදු කළ ඇතැම් වංචාවන් සඳහා ඇයගේ දියණිය සහ බෑනා ද සම්බන්ධ කරගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. 53 හැවිරිදි සැකකාරිය දෙහිඕවිට සමන්ගිරිගම පදිංචිකාරියකි.සැකකාරිය අවිස්සාවේල්ල මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

විශේෂඥ වෛද්‍යවරයකුගේ කනේ පහරට හෙදිය රෝහලේ

 


එස්.යූ.ඩබ්ලිව්.කේ. ජයවර්ධන


ගම්පහ නගරයේ පෞද්ගලික රෝහලක දී විශේෂඥ වෛද්‍යවරයකු කන හරහා පහර දීමෙන් දැඩි ලෙස රෝගාතුරව ඇතැයි කියන හෙද නිලධානියක වතුපිටිවල මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බව ගම්පහ මූලස්ථාන පොලිසිය පවසයි.මෙම පහරදීම ඉකුත් 28 වැනිදා පෙරවරු 7.15 ට පමණ සිදු කර ඇති බව ද පොලිසිය කියයි.


ගම්පහ දිස්ත්‍රික්කයේ රජයේ රෝහලක සේවයේ නියුතු ප්‍රසව හා නාරිවේදී විශේෂඥ වෛද්‍යවරයකු හෙදි නිලධාරිනියගේ දකුණු කනට මෙසේ පහර දී ඇති බව ද පොලිසිය පවසයි.කන හරහා එල්ල කර ඇතැයි කියන වේගවත් පහරකින් හෙද නිලධාරිනියගේ කනෙහි ශ්‍රවණය දුර්වල වී ඇය දැඩි වේදනාවකට පත්ව රෝගාතුරවීම නිසා එදින (28) පස්වරු 2.00 ට පමණ වතුපිටිවල මූලික රෝහලට ඇතුළත්ව එහි නේවාසිකව ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.


පහර කෑමට ගොදුරු වී ඇති හෙද නිලධාරිනිය අත්තනගල්ල යටචක ග්‍රාමයේ පදිංචි හතළිස් හැවිරිදි දෙදරු මවක බව ද පොලිසිය සඳහන් කරයි. පෞද්ගලික රෝහලේ නේවාසික රෝගී කාමරයක දී මෙම පහර දීම සිදු කළ බව හෙඳි නිලධාරිනිය වතුපිටිවල මූලික රෝහලේ දී ගම්පහ මූලස්ථාන පොලිසියේ නිලධාරියකුට මේ පිළිබඳව ප්‍රකාශයක් ලබා දෙමින් පවසා ඇත.


පැය 12 ක කාලයක් රාත්‍රී සේවයේ යෙදී සිට ඇති හෙද නිලධාරිනිය සේවයෙන් මිදී යාමට ආසන්නව සිටිය දී විශේෂඥ වෛද්‍යවරයාගේ ප්‍රහාරයට ගොදුරුවී ඇතැයි පැවසේ.ඇය සේවයේ යෙදී සිට ඇති කාමරයේ නේවාසිකව ප්‍රතිකාර ලබන තරුණ මවකගේ මළ දරු උපතක් සිරුරෙන් ඉවත් කිරීම සඳහා අවශ්‍ය ජෙල් වර්ගයක් නේවාසික රෝගී කාමරයේ ජංගම ඖෂධ තට්ටුවේ නොතිබීම නිසා කෝපයට පත්ව ඇති විශේෂඥ වෛද්‍යවරයා හෙදි නිලධාරිනියට අසභ්‍ය වචනයෙන් බැණ වැදී ඇයගේ දකුණු කනට වේගවත්ව පහර දී ඇති බව පොලිසිය කියයි.


පහර දීම කළ අවස්ථාවේ තවත් වෛද්‍යවරයකු සහ හෙද නිලධාරිනියන් දෙදෙනෙකු එමකාමරය තුළ සිටි බව හෙද නිලධාරිනිය කළ ප්‍රකාශයේ දැක්වෙන බව පොලිසිය කියයි.වතුපිටිවල මූලික රෝහලේ උගුර කන නාසය පිළිබඳ විශේෂඥ වෛද්‍යවරයා අද (31 දා) දිනයේ හෙද නිලධාරිනියගේ කන විශේෂ පරීක්ෂණයකට ලක් කිරීමට නියමිතව පවතින බවද පැවසෙයි.


පුනරුත්ථාපන තරුණයෙක් වටකර පහරදීමකින් රෝහලේදී මරුට



 කීරිති ප්‍රනාන්දු


මිනුවන්ගොඩ, වෑගොව්ව ප්‍රදේශයේ පවත්වාගෙන ගිය පුනරුත්ථාපන තව නවයක් මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබමින් සිටි පුද්ගලයකුට අමානුෂික ලෙස අතින් පයින් සහ පොල්ලකින් පහරදීම හේතුවෙන් රෝහල්ගත කිරීමෙන් පසු මියයාමේ සිද්ධියක් සම්බන්ධයෙන් ඒම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හිම්කරු වන කපු මහතකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගත් බව මිනුවන්ගොඩ පොලිසිය පවසයි

 

 

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මිනුවන්ගොඩ, වෑගොව්ව ප්‍රදේශයේ පදිංචි අවුරුදු 35 ත් 40 ත් අතර පසුවන කපු මහතකු සහ ඔහුගේ ගෝලයන් දෙදෙනෙකි.මියගිය පුද්ගලයාට පහරදුන් බවට සැකපිට තවත් සැකකරුවන් 9 දෙනකු අත්අඩංගුවට ගැනීමට නියමිත බවද පොලිසිය කියති.


එම පහරදීම හේතුවෙන් මියගොස් ඇත්තේ ගණේමුල්ල, කළුවලපාර ප්‍රදේශයේ පදිංචි අනුෂ්ක දයාන් වීරසිංහ නැමැති 33 හැවිරිදි පුද්ගලයෙකි.මියගිය පුද්ගලයා මිනුවන්ගොඩ වෑගොව්ව ප්‍රදේශයේ පිහිටි පුනරුත්ථාපන මධ්‍යස්ථානයක පුනරුත්ථාපනය වෙමින් සිටිය දී හදිසියේ ඇති වූ අසනීප තත්වයක් හේතුවෙන් ඉකුත් 27 දා රාත්‍රියේ රෝහල්ගත කර සිටි බව පොලිසිය පවසයි.


අනතුරුව එම පුද්ගලයා රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටිය දී මියගොස් තිබුණු අතර එම මරණය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පෙරේදා (29) පැවැත්වීමෙන් පසුව එම මරණය මොට ආයුධයකින් හිසට පහරදීම හේතුවෙන් සිදුවූ තුවාල මත අභ්‍යන්තර ලේ වහනය වීමෙන් සිදුවූ මරණයක් බවට පශ්චාත් මරණ පරීක්ෂකවරයා නිගමනය කර තිබුණු බව පොලිසිය කියයි.


ඒ අනුව මිනුවන්ගොඩ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම මරණ පිළිබඳව කළ විමර්ශනවලින් අනතුරුව එම පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ හිමිකරු වන කපු මහතකු සහ ඔහුගේ ගෝලයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව එම ඝාතනය පිළිබඳව තොරතුරු අනාවරණය වී ඇත.


මියගිය පුද්ගලයා අසනීප තත්වයකින් පෙළි ඇති අතර ඔහු නිතරම අධිකව කෑ ගැසීම හේතුවෙන් එය නවත්වන ලෙස පවසමින් කපු මහතා, ගෝලයන් දෙදෙනා සහ තවත් පිරිසක් මියගිය පුද්ගලයාට පහර දී ඇති බව පොලිසිය තොරතුරු අනාවරණය කර ගෙන තිබේ.ඒ අනුව මියගිය පුද්ගලයාට පහර දුන් බව කියන තවත් 9 දෙනකු අත්අඩංගුවට ගැනීමට පොලිසිය විමර්ශන සිදු කරයි. අත්අඩංගුවට ගත් සැකකරුවෝ අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.ගම්පහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජගත් රෝහණ මහතාගේ උපදෙස් පරිදි මිනුවන්ගොඩ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රියදර්ශන මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර විමර්ශන සිදු කරති.


දොස්තර කඩ කාමරේක කුඩු ගහයි

 

 


 ක්‍රිෂාන් ජීවක ජයරුක්


අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන පානය කරමින් සිටියේ යැයි කියන වලස්මුල්ල මූලික රෝහලේ වෛද්‍යවරයකු හා ඔහුගේ මිතුරකු මාතර දියගහ ප්‍රදේශයේ කඩ කාමරයක දී පෙරේදා (29) අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස දූෂණ මරිර්දන ඒකකය පවසයි.


වෛද්‍යවරයා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 400 ක්ද ඔහුගේ මිතුරා සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 2100 ක් හා හෙරොයින් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 180 ක් ද පොලිසිය විසින් සොයා ගනු ලැබ ඇත.ඊට අමතරව සැකකාර වෛද්‍යවරයා එම ස්ථානයට පැමිණි සුඛෝපභෝගී මෝටර් රථය ද ඔහුගේ වෛද්‍ය නළාව ද පොලිස් භාරයට ගෙන තිබේ.


තිස්හතරවැනි වියේ වයසේ පසුවන වෛද්‍යවරයාත් මිතුරාත් දෙදෙනාම කොළඹ ජනප්‍රිය පාසල්වල ඉගෙනුම ලබා ඇති බවත් සැකකාර වෛද්‍යවරයා 2016 වසරේ දී වෛද්‍ය උපාධිය ලබාගෙන ඇති බවත් පොලීසිය කියයි.මාතර කොට්ඨාස බුද්ධි ඒකකයේ ස්ථානාධිපති ටී.එල්. වසන්ත කුමාර මහතාට ලද තොරතුරකට අනුව මාතර කොට්ඨාස දූෂණ මර්දන ඒකකයේ ස්ථානාධිපති අශෝක ප්‍රියංකර මහතා ඇතුළු කණ්ඩායමක් ගොස් මෙම වැටලීම කර ඇත.


වෛද්‍යවරයා සමග සිටි ඔහුගේ මිතුරා කොළඹ ගොස් මත්ද්‍රව්‍ය රැගෙනවිත් විකුණන බවට ද තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.සැකකරු මාසිකව රුපියල් 5000 ක බදු පදනම යටතේ කඩ කාමරය කුලියට ගෙන ඇති බව ද අනාවරණය වී ඇත.මීට පෙර ද ඔහු මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ වරදට රිමාන්ඞ් භාරයේ සිට ඇප ලබා පැමිණ ඇති බව කියති.මාලිම්බඩ පොලිස් වසමේ පදිංචි සැකකාර වෛද්‍යවරයා හා ඔහුගේ මිතුරා තව දුරටත් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගැනීමෙන් අනතුරුව මාතර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.


Friday, March 28, 2025

සා.පෙළට ගිය මහියංගණය සිසුවියන් දෙදෙනෙක් අතුරුදන්

 


මහියංගණය ප්‍රදේශයේ පාසල් ශිෂ්‍යාවන් දෙදෙනකු පෙරේදා (26දා) දින පස්වරු සිට නිවෙස්වලින් අතුරුදන්ව ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි පොලිසිය පවසයි.වයස අවුරුදු 16ක් වන මෙම පාසල් සිසුවියන් දෙදෙනා මහියංගණය සේරාන, අරාවත්ත ප්‍රදේශයේ සහ දම්බරාව මහියංගණය යන ලිපිනයන්හි පදිංචි අයවලුන් වන බවද පොලිසිය කීය.


මෙම ශිෂ්‍යාවන් දෙදෙනා මෙවර පැවැත්වෙන අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අතර සුපුරුදු පරිදි 26 වැනි දිනද විභාගයට පෙනී සිටීම සඳහා මහියංගණය දම්බරාව විද්‍යාලය වෙත යෑමට පාසල් නිල ඇඳුමෙන් නිවෙසින් පිටව ගොස් ඇතැයිද පොලිසිය පැවැසීය.

එලෙස ගිය ඔවුන් නැවත නිවෙසට නොපැමිණීම සම්බන්ධයෙන් ඔවුන්ගේ මවුපියන් විසින් මහියංගණය පොලිසිය වෙත රාත්‍රියේ පැමිණ පැමිණිල්ලක් ඉදිරිපත් කළ බවද පොලිසිය සඳහන් කළේය.


බදුල්ල දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල, ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත යන මහත්වරුන්ගේ උපදෙස් මත මහියංගණය පොලිස් ස්ථානයේ වැඩබලන ස්ථානාධිපති ප්‍ර. පො.ප. චන්දන වීරසිංහ මහතා යටතේ මෙම සිසුවියන් සොයා වැඩිදුරටත් විමර්ශන ක්‍රියාත්මක බවද පොලිසිය පැවැසීය.


 නිශාන්ත අබේගුණවර්ධන


තරුණ සේවා සභාවේ දූෂණ වාර්තා නීතිපතිට

 

 


ක්‍රිෂාන් පතිරත් ජයසූරිය   


තරුණ සේවා සභාවේ පසුගිය සමයේ සිදුවූ වංචා හා දූෂණ පිළිබඳව කෝප් කමිටුවේදී හෙළිවූ කරුණුවලට අනුව එම වාර්තා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව නීති ක්‍රියාමාර්ග ගැනීමට නීතිපතිවරයාට අදාළ වාර්තා යොමු කිරීමට කෝප් කමිටුව තීරණය කර ඇති බව වාර්තා වේ.


ඊට අමතරව හිටපු ඇමැතිවරයා සම්බන්ධයෙන් ද එල්ල වී ඇති චෝදනා පිළිබඳ කෝප් කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය. මෙම වාර්තා දෙකම පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව චෝදනාවලට ලක්වූවන්ට නඩු දැමීමට නීතිපතිවරයාට අදාළ වාර්තාව යොමුකරන බව කෝප් කමිටු සාමාජික මන්ත්‍රි අසිත නිරෝෂණ පැවැසීය.


පසුගියදා ජාතික තරුණ සේවා සභාවේ නිලධාරීන්  ගෙන්වා කරන ලද ප්‍රශ්න කිරීම්වලදී රනිල් වික්‍රමසිංහ රජය එම ආයතනයේ මුදල් අවභාවිත කිරීම පිළිබඳ සිද්ධි රැසක් හෙළි වූ බවද ඒ අනුව ඊට සම්බන්ධ නිලධාරීන්ගේ වැඩතහනම් කර ඔවුන් පිළිබඳ දීර්ඝව පරීක්ෂණ කිරීමට වර්තමාන තරුණ කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයාට උපදෙස් දුන් බවද අසිත නිරෝෂණ මන්ත්‍රීවරයා කීය. තරුණ සේවා සභාවේ සිදුවූ දූෂණ පිළිබඳ චෝදනාකරුවන්ට අනිවාර්යයෙන්ම නීතිපතිවරයා හරහා නඩු දමන බවද මේ සතියේදී ඖෂධ නියාමන අධිකාරියේ නිලධාර්න් කෝප් කමිටුවට ගෙන්වන බවද අසිත නිරෝෂණ මන්ත්‍රිවරයා පැවැසීය.



අපේක්ෂකයකුට වියදම් කල හැකි උපරිම මුදල තින්දුයි

 

රවිශාන් ප්‍රනාන්දු


මැතිවරණ වියදම් නියාමන කිරීමේ පනත අනුව පළාත් පාලන ආයතන අපේක්ෂකයකු ඡන්ද දායකයකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල මැතිවරණ කොමිෂන් සභාව ප්‍රකාශයට පත්කර තිබේ. ඡන්දය පැවැත්වීමට නියමිත පළාත් පාලන ආයතන 336 සඳහා ඡන්ද කොට්ඨාස 4,877ක එම මුදල වෙන් වෙන්ව සඳහන් කර ඇති බව අතිරේක මැතිවරණ කොමසාරිස් චින්තක කුලරත්න මහතා 'මව්බිම'ට පැවැසීය.


ඒ අනුව රුපියල් 74ත් රුපියල් 160ත් අතර මුදලක් මෙලෙස ප්‍රකාශයට පත්කර ඇති බව කුලරත්න මහතා කීවේය. පළාත් පාලන ආයතන ඡන්ද විමසීමේදී අපේක්ෂකයකුට ඡන්දදායකයකු වෙනුවෙන් වැය කළ හැකි අවම මුදල රුපියල් 74 මන්නාරම පළාත් පාලන ආයතනය සඳහාද උපරිම මුදල රුපියල් 160 ලාහුගල පළාත් පාලන ආයතනය සඳහා වන බව හෙතෙම අවධාරණය කළේය.


ඡන්දදායකයකු වෙනුවෙන් වැය කළ හැකි උපරිම මුදල අංක 2428/72 අති විශේෂ ගැසට් නිවේදනය මඟින් ප්‍රකාශ කර ඇති බව චින්තක කුලරත්න මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


මෙරට ප්‍රථම පෞද්ගලික ගුවන් සේවය ඇරැඹේ

 

ක්‍රිෂාන් පතිරත් ජයසූර්ය


මෙරට පළමු පෞද්ගලික හිමිකාරීත්වය සහිත ගුවන් සේවය එළැඹෙන 4 වැනිදා සිට ක්‍රියාත්මක වීමට නියමිතය.ඒ අනුව ශ්‍රී ලංකාවේ සිට මැලේසියාවේ ක්වාලාලාම්පූර් බලා ප්‍රථමයෙන් මෙම ගුවන් සේවය ආරම්භ කිරීමට නියමිතය. ෆිට්ස් එයාර් නමින් ආරම්භ කර ඇති මෙම ගුවන් සේවය නිසා වෙළෙඳ කටයුතු හා සංචාරක ගුවන් ගමන් සඳහා වැඩි අවස්ථාවන් නිර්මාණය වන බව ෆිට්ස් එයාර් ගුවන් සේවය නිවේදනය කර ඇත.


ඊට අමතරව ගුවන් මගීන්ට දැරිය හැකි මිලකට ගුවන් සේවය ලබාගත හැකි බවද ෆිට්ස් එයාර් ගුවන් සමාගම නිවේදනය කර තිබේ.

මෙරට තුළ පෞද්ගලික ගුවන් සේවයක් ආරම්භ කරන බවට විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතාද පසුගියදා පාර්ලිමේන්තුවේදී පැවැසීය.මෙම ගුවන් සමාගම විසින් මැලේසියාවේ ක්වාලාලාම්පූර් වෙත ගොස් නැවත පැමිණෙන ටිකක් පතක් රුපියල් 65,300 සිට හඳුන්වාදීමට පියවර ගෙන තිබේ.


ගෙවල් 5කින් ලක්ෂ 25ක මලියෙක් බඩු උස්සා අයිස් ගහලා

 


 ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න

 

වෛද්‍යවරයකුගේ හා ඉංජිනේරුවරයකුගේ නිවාස දෙකක්ද ඇතුළු නිවාස පහකට ඇතුළු වී රුපියල් ලක්ෂ විසිපහකට අධික වටිනාකමින් යුත් දේපළ සොරා ගත් අයකු අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි.අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්තේගොඩ නිවාස සංකීර්ණයේ පදිංචි 41 හැවිරිදි අයකු බව ද පොලිසිය කියයි.


සැකකරු මත්තේගොඩ නිවාස සංකීර්ණය අවට වෛද්‍යවරයෙකු, ඉංජිනේරුවරයකු හා ව්‍යාපාරිකයකු ද ඇතුළු පස් දෙනකුගේ නිවාස පහකට ඇතුළුවී ගැස් සිලින්ඩර් තුනක්, රූපවාහිනී යන්ත්‍ර දෙකක්, හෝම් තියටරයක්, අඩි හතරක් උස බෆල් හතරක්, විදුලි පංකා දෙකක්, ගෑස් ළිපක්, ටූල් කිට් එකක්, විදෙස් රටකින් ගෙනා ඇඳුම්බැගයක්, පිත්තල පොල්තෙල් පහන් දෙකක්, ගිනි නිවන උපකරණයක්, රයිස් කුකරයක්, ඩී.වී. ඞී යන්ත්‍රයක් සහ විදුලි කේතලයක් ද ඇතුළු භාණ්ඩ තොගයක් සොරාගෙන තිබුණි.


මේ සම්බන්ධයෙන් ලද පැමිණිල්ලකට විමර්ශන සිදු කරමින් සිටියදී ගෘහ භාණ්ඩ තොගයක් ඉතා අඩු මිලට අලෙවි කර ඇති බවට මත්තෙගොඩ පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉන්දික කුමාර මහතාට ලද තොරතුරකට අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ප්‍රශ්නකර මත්තේගොඩ මහරගම ප්‍රදේශවලට අලෙවිකර තිබුණු භාණ්ඩ තොගය සොයාගත් බව ද පැවසේ.


භාණ්ඩ තොගයේ වටිනාකම රුපියල් ලක්ෂ 25 කටඅධික බවත් සැකකරු අධික ලෙස අයිස් මත්ද්‍රව්‍යයට ඇබ්බැහිවී ඇති බවත් අදාළ මුදල් ඒ සඳහා වැයකර ඇති බවත් පොලිසිය කියයි. සැකකරු මීට පෙර කහතුඩුව පොලිස් වසමේ ද නිවසක් බිඳ දේපළ කොල්ලකෑමේ සිද්ධියකට බන්ධනාගාරගතව සිට නිදහස්ව ආ අයෙකු බව ද පොලිසිය කියයි.


ශාන්තිකර්මයට මුවාවී ගේමක් දුන් හතරේ කල්ලිය අත්අඩංගුවට

 


 බිමල් ශ්‍යාමන් ජයසිංහ


බ්ලූ සෆයාර් මැණික් ගලක් රුපියල් කෝටියකට දෙන බව පවසා ධනවත් ව්‍යාපාරිකයකු මෝදර කාලිකෝවිලට කැදවාගෙන ගොස් ශාන්තිකර්මයක් කරන මුවාවෙන් රුපියල් කෝටියක මුදලක් රැගෙන පලා ගිය සිවු දෙනකුගෙන් යුත් සංවිධානාත්මක කල්ලිය දින කීපයක් තුළ අත්අඩංගුවට ගත් බව කොළඹ වංචා විමර්ශන කාර්යාංශය කියයි.සැකකරුවන් අතර ඥාති සහෝදරයන් තිදෙනකු ද වන බවත් පොලිසිය පවසයි.


සැකකරුවන් වංචාවට යොදාගත් බව කියන ත්‍රිරෝද රථයක් සහ කුලී මෝටර් රථයක්ද පොලිස් භාරයට ගෙන ඇති අතර 37 හැවිරිදි ධතවත් ව්‍යාපාරිකයකුගේ මිතුරකු මෙම මැණික්ගල මිලදී ගැනීමට අදාළ තැනැත්තන් සම්බන්ධ කර ඇත. ගනුදෙනුව කතාකර ගැනීම සඳහා ධනවත් ව්‍යාපාරිකයා තම මිතුරා ද සමග ඉකුත් 10 වැනිදා කොළඹ තරු හෝටලයකට ගොස් ඇති බවත් සැකකරුවන්ගේ ආරාධනාව මත එසේ ගොස් ඇති බවත් පොලිසිය පවසයි.


සැකකරුවන් බ්ලූ සෆයාර් මැණික් ගල ජංගම දුරකථනයේ වීඩියෝ දර්ශනයකින් ව්‍යාපාරිකයාට පෙන්වා ඇති බවත් එය රුපියල් එක්කෝටි විසි ලක්ෂයකට විකුණන බව පවසමින් ගල සඳහා මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ තත්ත්ව සහතිකය ඇති බව පවසා ඇති බවත් පොලිසිය වැඩිදුරටත් පැවසීය.ව්‍යාපාරිකයා මැණික් ගල සඳහා රුපියල් කෝටියක මුදලක් ලබාදෙන බව පැවසීමෙන් අනතුරුව සැකකරුවන් ද එකගතාව පළ කර දින තුනකට පසුව ගනුදෙනුව කිරීමට පොරොන්දු වී ඇතැයි ද පොලිසිය කියයි.


පොරොන්දු වූ පරිදි ඉකුත් 13 වැනිදා ව්‍යාපාරිකයාට ඇමතුමක් දුන් එක් සැකකරුවකු මෙය තමන්ගේ ප්‍රථම ගනුදෙනුව බැවින් කෝවිලට ගොස් ශාන්තිකර්මයක් කර ගැනීම අත්‍යවශ්‍යම බව පවසා ඇති අතර ඒ අනුව මෝදර කාලිකෝවිල අසලට පැමිණෙන ලෙස ව්‍යාපාරිකයාට දුරකථනයෙන් දැනුම් දී ඇතැයිද පොලිසිය කියයි.


ව්‍යාපාරිකයා තම මිතුරකුද සමග කෝවිල අසලට පැමිණ මිතුරා මෝටර් රථයේ තබා මුදල් පාර්සලයද රැගෙන කෝවිල තුළට යාමෙන් අනතුරුව එක් සැකකරුවකු මුදල් පාර්සලය බන්දේසියක තබා රුපියල් 1000ක් ද ඒ මත තබා ව්‍යාපාරිකයාටද ඒ මත රුපියල් 1000 ක් තබන ලෙස පවසා ඇත. කෝවිලේ පූසාරි වෙත බන්දේසිය දික්කර තමන්ගේ ව්‍යාපාරය දියුණු කර ගැනීමට ආශිර්වාද කරන ලෙස ද දැනුම් දී ඇතැයි පොලිසිය කියයි.


ශාන්ති කර්මයෙන් අනතුරුව තම ආගම අනුව ද ශාන්ති කර්මයක් කිරීමට තිබෙන බැවින් ප්‍රධාන ගේට්ටුව අසල සිටින ලෙස ව්‍යාපාරිකයාට දැනුම් දී ඇති සැකකරු ඔහු පිටත්කර යවා රුපියල් කෝටියක මුදලද රැගෙන කෝවිල පිටුපස කුඩා දොරටුවෙන් පිටව ත්‍රිරෝද රථයකින් පලාගොස් ඇතැයි ද පොලිසිය පවසයි.මේ සම්බන්ධයෙන් ව්‍යාපාරිකයා කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට කරන ලද පැමිණිල්ලකට අනුව එහි ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දුමින්ද බාලසූරිය මහතාගේ උපදෙස් මත ඒකක තුන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංජන සමරසිංහ මහතා ඇතුළු කණ්ඩායමක් සීසීටීවී දර්ශන අනුව මූලික විමර්ශන පවත්වා එක් සැකකරුවකු තලවකැලේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.


සෙසු සැකකරුවන් ත්‍රිකුණාමලය හෝටලයක රැඳී සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර වංචාවෙන් අනතුරුව සැකකරුවන් ගිනිගහේන, මහනුවර, යාපනය, නාගදීපය හා හැටන් ආදී ප්‍රදේශවල සංචාරය කරමින් හෝටල්වල නවාතැන්ගෙන සුපිරි ජීවිතයක් ගත කර ඇතැයිද පොලිසිය කියයි.ප්‍රධාන සැකකරු වංචාවෙන් ලබා ගත් මුදල් වලින් කොටසක් මහනුවර ප්‍රදේශයේ මිතුරකුට දුන් බව අනාවරණය වීමෙන් අනතුරුව එම මුදල් සොයාගැනීමට විමර්ශන පවත්වන බවද පොලිසිය කියයි.


මිලේනියම් සිටි නඩුවෙන් උඩුගම්පොළ නිදහස්

 


 මනෝප්‍රිය ගුණසේකර


ශ්‍රී ලංකාවේ වෛර්භාවය හා භෞමික අඛණ්ඩතාව රැකගැනීම උදෙසා මෙහෙයුම් කිරීමේ අරමුණින් අතුරුගිරිය “මිලේනියම් සිටි” නිවාස සංකීර්ණයේ යුද හමුදා ආරක්‍ෂක නිවාසයක රැදී සිටි යුද හමුදා බුද්ධි නිලධාරීන් අත්අඩංගුවට ගෙන ඔවුන් පිළිබඳතොරතුරු හෙළි කළ බවට චෝදනා කරමින් හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව නීතිපතිවරයා පවරා තිබූ නඩුවේ සියලු චෝදනාවලින් කොළඹ මහාධිකරණ විනිසුරු ආදිත්‍ය පටබැඳී මහතා ඊයේ (27) ඔහු නිදොස් කර නිදහස් කළේය.


ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාව සහ ජාතික ආරක්ෂාව අනතුරට ලක්කරන ආකාරයට කටයුතු කිරීමෙන් රාජ්‍ය නිල රහස් පනත යටතේ වරදක් කළ බවට චෝදනා කරමින් හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව වසර 20ක පමණ කාලයක් තිස්සේ විභාග කළ නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීරණය කරමින් විත්තිකරු සියලු චෝදනාවලින් නිදොස් කර නිදහස් කළේය. 


2002 ජනවාරි මස 02 වැනිදාත් සැප්තැම්බර් 03 වැනිදාත් අතර කාලයේ කොළඹ, අතුරුගිරිය, මහනුවර සහ කටුගස්තොට දී ශ්‍රී ලංකා ජනරජයේ ආරක්‍ෂාවට හා යහපතට හානිදායක විය හැකි ආකාරයට කටයුතු කරමින් ශ්‍රී ජනරජයේ ස්වෛරීභාවය හා භෞමික අඛණ්ඩතාව රැකගැනීමේ කාර්යයේ යෙදී ශ්‍රී ලංකා යුද හමුදාවේ දිගුදුර විහිදුම් නිලධාරීන් රැඳී සිටි “ මිලේනියම් සිටි” නිවාස සංකීර්ණයේ යුද හමුදා ආරක්‍ෂක නිවාසය පිළිබඳව, රැඳී සිටි යුද හමුදා බුද්ධි නිලධාරීන් පිළිබඳව, ඔවුන් සිදු කරන මෙහෙයුම් පිළිබඳව හා සඳහා භාවිත කරන උපකරණ පිළිබඳව රහස් රැස් කරන ලදැයි විත්තිකාර හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතාට එරෙහිව නීතිපතිවරයා විසින් චෝදනා නගා තිබිණි.


එලෙස රැස් කරන ලද රහස් පදනම් කරගනිමින් “මිලේනියම් සිටි” ආරක්‍ෂක නිවෙස වටලන ලද බවටද එලෙස වටලා එහි සිටි හමුදා නිලධාරීන් එහි තිබූ රහස් ලිපිගොනු අත්අඩංගුවට ගෙන ඒවා ප්‍රදර්ශනය කළ බවටද හමුදා නිලධාරීන් කුරුඳුවත්ත හා කටුගස්තොට පොලිස් ස්ථානවලට මෙන්ම මහනුවර නිල සුනඛ අංශයට රැගෙන ගොස් ප්‍රදර්ශනය කළ බවටද එම නිලධාරීන් දින 10ක් මහනුවර හා කටුගස්තොට පොලිස් ස්ථානවල රඳවා තබා ඉන් අනතුරුව නෛතික පදනමකින් තොරව ඔවුන්ට එරෙහිව මහනුවර මහේස්ත්‍රාත් අධිකරණයේ නඩුවක් පැවරු බවටද නීතිපතිවරයා වැඩිදුරටත් චෝදනා නගා ඇත.


කොටි ත්‍රස්තවාදීන් පිළිබඳ තොරතුරු රැස් කළ ශ්‍රී ලංකා යුද හමුදාවේ දිගුදුර විහිදුම් බළකා නිලධාරීන්ගේ ඡායාරූප ලබාගෙන හා ඔවුන් වීඩීයෝ කර ඔවුන් පිළිබඳ තොරතුරු පිටස්තරයන්ට දැනගැනීමට

හුස්වීම රාජ්‍ය නිල රහස්‍ය පනත යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් බවටද නීතිපතිවරයා විසින් චෝදනා 22ක් යටතේ චෝදනා ඉදිරිපත් කර ඇත.තීන්දුව ප්‍රකාශ කිරීම සඳහා නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී රෝගාතුරව සිටින විත්තිකාර හිටපු සහකාර පොලිස් අධිකාරි කුලසිරි උඩුගම්පොළ මහතා අධිකරණයේ පෙනී සිටියේය.


නඩුවේ පැමිණිල්ලේ සාක්කි විභාගය අවසානයේදී විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා කරුණු ඉදිරිපත් කරමින් විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති හෙයින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 200 වැනි වගන්තිය යටතේ විත්ති වාචක විත්තිකරු නිදහස් කරන්නැයි මීට පෙර අවස්ථාවක කළ ඉල්ලීමක් ප්‍රතික්ෂේප කළ විනිසුරුවරයා විත්ති වාචක කැඳවීය. චිත්ති වාචක සලකා බැලීමෙන් අනතුරුව නඩුවේ තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරුවරයා මහනුවර නිල සුනඛ අංශයේ සේවය කළ විත්තිකරු 2001 දෙසැම්බර් 05 වැනිදා මහනුවර උඩතලවින්න ප්‍රදේශයේදී පිරිසක් මරා දැමීමේ සිද්ධියට අදාළ විමර්ශන කිරීමට පොලිස්පතිවරයා පත්කළ බව නඩු විභාගයේදී හෙළි වූ බව සඳහන් කළේය. 


උඩතලවින්ත ඝාතන සිද්ධියේ සැකකරුවකු වූ හිටපු නියෝජ්‍ය ආරක්ෂක අමාත්‍ය අනුරුද්ධ රත්වත්තේ මහතාගේ පුත්‍රයකු වන චානුක රත්වත්තේ නමැත්තා අතුරුගිරිය මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ හමුදා නිලධාරියකුගේ නිවෙසක සැඟවී සිටින බවට ලැබුණු තවත් තොරතුරකට අනුව විත්තිකරු නිලධාරී පිරිසක් සමග ගොස් වැටලීමක් කළ බව සාක්ෂි මගින් හෙළි වු බව තීන්දුවේ සඳහන් කළ විනිසුරුවරයා අපරාධයකට අදාළ තොරතුරක් යම් පොලිස් නිලධාරියකුට ලැබුණු විට ඒ සම්බන්ධයෙන් විමර්ශන කිරීමට ඔහුට ඇති බලය මත නඩුවට පාදක වූ නිවෙස පරික්ෂා කර ඇතැයි ද එම නිවෙස පරික්‍ෂා කරනතුරු එය යුද හමුදා ආරක්ෂක නිවස්නයක් බව විත්තිකරු දැන සිට නැතැයිද තීන්දුවේ සඳහන් කළේය.


අදාළ නිවෙස යුද හමුදා ආරක්ෂක නිවස්නයක් බව විත්තිකරු දැනගෙන ඇත්තේ  නිවාස සංකීර්ණයේ   කාර්යාලයෙන් කළ විමසීමකදී බවත් 5 පසුව විත්තිකරු යුද හමුදා පොලිස් මූලස්ථානයේ සහාය මත ප්‍රශ්නගත නිවස පරීක්ෂාවට ලක්කර ඇති බවත් එම පරීක්‍ෂාවේදී නිවෙස තුළ තිබී ‘ක්ලේමෝ බෝම්බ, ‘තර්මෝ බැරික්' බෝම්බ, සයනයිඩ් කරල් ඇතුළු ද්‍රව්‍ය සොයාගෙන ඇති බවත් තීන්දුවේ සඳහන් කළ විනිසුරුවරයා එවැනි භයානක අවි ප්‍රශ්නගත නිවෙසේ තබාගැනීමට නිවෙසේ සිටි අයට නීත්‍යානුකූල අවසරයක් නොතිබූ බවද තීන්දුවේ සඳහන් කළේය.


විත්තිකරු ප්‍රශ්නගත නිවෙස පරික්ෂා කර ඇත්තේ නීත්‍යානුකූල ආකාරයට බවත් ප්‍රශ්නගත නිවෙස පරීක්ෂා කිරීමේදී විත්තිකරු බලය අබිබවා කටයුතු කළ බවට සාක්කි ඉදිරිපත්ව නැති බවත් තීන්දු කළ විනිසුරුවරයා ප්‍රශ්නගත නිවස පරීක්ෂා කිරීමට පෙර විත්තිකරු මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගෙන් ඒ සඳහා නියෝග ලබාගෙන තිබූ බව සාක්කි මගින් හෙළි වූ බව ද තීන්දුවේ සඳහන් කළේය.

 

විත්තිකරු ප්‍රශ්නගත නිවෙස පරීක්ෂා කර ඇත්තේ උඩතලවින්න ඝාතනයේ සැකකරුවන් අත්අඩංගුවට ගැනීම සඳහා ජ්‍යෙෂ්ඨ නිලධාරීන්ගේ අනුමැතිය යටතේ බව සාක්කි මගින් හෙළි වූ බවත් ඒ අනුව ප්‍රශ්නගත නිවෙස පරීක්ෂා කිරීම නීත්‍යානුකූල බවත් තීන්දු කළ විනිසුරුවරයා ප්‍රශ්නගත සිද්ධියේදී හමුදා කපිතාන් මොහොමඩ් නිලාම් ඇතුළු බුද්ධි අංශ නිලධාරීන් පස්දෙනකු සහ සුභාෂ්කරන් නමැති සිවිල් වැසියෙකු අත්අඩංගුවට ගෙන ඇති බවටද සාක්කි මගින් හෙළි වූ බවද සඳහන් කළේය.


අත්අඩංගුවට ගනු ලැබු හමුදා නිලධාරීන් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවාගෙන ප්‍රශ්න කිරීමට රැඳවුම් නියෝග නිකුත් කිරීම ආරක්ෂක ලේකම්වරයා ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් හමුදා නිලධාරීන් හැර සිවිල් සැකකරු පමණක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට විත්තිකරු කටයුතු කර ඇති බවත් තීන්දු කළ විනිසුරුවරයා විත්තිකරු හමුදා සැකකරුවන් සම්බන්ධයෙන් සද්භාවයකින් යුක්තව කටයුතු කර ඇති බවක් පෙනී යන්නේ යැයිද සඳහන් කළේය.


‘මිලේනියම් සිටි නිවාස සංකීර්ණයේ දී අත්අඩංගුවට ගත් හමුදා නිලධාරීන් සහ සිවිල් වැසියා මහනුවර සහ කටුගස්තොට පොලිසිවල අයුතු ලෙස රඳවාගත් බවට නීතිපතිවරයා චෝදනා නගා තිබුණත් ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයාගේ නියෝග මත විත්තිකරු ඔවුන් අදාළ  පොලිස් ස්ථානවල රඳවාගෙන ඇතැයිද ඒ අනුව සැකකරුවන් රඳවාගෙන ඇත්තේ නීත්‍යානුකූල ක්‍රියාමාර්ග තුළ හෙයින් හමුදා නිලධාරීන් අයුතු ලෙස සිරකර තැබීමට ආධාර අනුබල දුන් බවට විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් ඔප්පු කරනු ලැබ නැතැයිද තීන්දු කළේය.


අත්අඩංගුවට ගනුලැබු හමුදා නිලධාරීන් බේරා ගැනීමේ චේතනාවෙන් හමුදා බුද්ධි අංශයේ හිටපු ප්‍රධානීන් වන විශ්‍රාමික යුද හමුදා මේජර් ජනරාල්වරුන් වන කපිල හෙන්දාවිතාරණ, සුරේෂ් සලේ, යුද හමුදා බුද්ධි අංශයේ මාණ්ඩලික සැරයන් ප්‍රේමානන්ද උදලාගම මහත්වරුන් නඩු විභාගයේදී සාක්ෂි දී ඇති ආකාරය පෙනී යන්නේ යැයිද නඩුවට අදාළ චෝදනා ඔප්පු කිරීමට අවශ්‍ය කරුණු ඔවුන්ගේ සාක්ෂිවලින් අනාවරණය වී නැති තීන්දුවේ සඳහන් කළ විනිසුරුවරයා රාජ්‍ය ආරක්ෂාව සම්බන්ධයෙන් සංවේදී තොරතුරු හෙළිදරව් කර රාජ්‍ය නිල රහස් පනත යටතේ වරදක් කළ බවට විත්තිකරුට චෝදනා නගා තිබුණත් රාජ්‍ය ආරක්ෂාවට තර්ජනයක් විය හැකි තොරතුරු විත්තිකරු හෙළි කළ බවට කිසිදු සාක්ෂියක් පැමිණිල්ලෙන් ඉදිරිපත් කර නැති බවත් වැඩිදුරටත් තීන්දුවේ සඳහන් කළේය.


විත්තිකරු කළ වැටලීම හේතුවෙන් හමුදා බුද්ධි අංශයට සම්බන්ධ පුද්ගලයන් ගණනාවකට අනතුරු වූ බවට තොරතුරු ඇතුළත් නම් ලැයිස්තුවක් නඩු විභාගයේදී පැමිණිල්ලෙන් ඉදිරිපත් කළත් විත්තිකරුගේ ක්‍රියාවෙන් හෙළිවූ සංවේදී වලින් තහවුරු උනතුරු වූ බව සාක්ෂි තොරතුරු නිසා එම විනිසුරුවරයා සිද්ධියටසඳහන් කළ පාදක වූ සමයේ එක්සත් ජාතික පක්ෂයේ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ මැතිවරණ ප්‍රචාරක රැළියකට ප්‍රහාරයක් එල්ල කිරීමට නියමිත බවට ලැබුණු තොරතුරු විමර්ශන වලට පාදක කරගත් බවට විත්තිකරු කළ ප්‍රකාශ ප්‍රවාදක සාක්කි බවට පැමිණිල්ල සඳහන් කළත් එම කරුණු සඳහන් කරමින් ඒ සමයේ ප්‍රවෘත්ති පළවී ඇතැයිද පෙන්වා දුන්නේය.


ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමේදී මිනීමැරුම් සිද්ධියකට අදාළව කළ විමර්ශනවල දී අනාවරණය වූ කරුණු මත විත්තිකරු නඩුවට පාදක නිවස · අවස්ථාවේදී පරික්ෂා කර ඇති බවත් ඒ විත්තිකරු එහි සිටි සැකකරුවන් සහ භාණ්ඩ අත්අඩංගුවට ගෙන ඇති බවත් එම ක්‍රියාව නීත්‍යානුකූල ආකාරයෙන් සිදුවී ඇති බවත් තීන්දු කළ විනිසුරුවරයා විත්තිකරුට එරෙහිව රාජ්‍ය නිල රහස් පනත යටතේ ඉදිරිපත් කර ඇති චෝදනා සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ල ඔප්පු කර නැතැයිද තීරණය කළේය.


ඒ අනුව විත්තිකරුට එරෙහිව එල්ල කර ඇති චෝදනා විසිදෙකෙන්ම ඔහු නිදොස් කර නිදහස් කරන බව විනිසුරුවරයා වැඩිදුරටත් සදහන් කළේය. විත්තිකරු වෙනුවෙන් නීතිඥ චමීර හපුතන්ත්‍රී සහ නීතීඥ පසිඳු තිලකරත්න සමග ජනාධිපති නීතීඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියේය.


බී කොයින්ස් පිරමිඩ ආයතනය තහනම් කළේ කවදාද ?

 


රෝෂන් තුෂාර


දුප්පත්කම නැති කිරීමට ව්‍යාපෘති ක්‍රියාත්මක කරන මුවාවෙන් ජනතා මුදල් වංචා කළැයි කියන 'බී කොයින්ස්' නීති විරෝධී පිරමිඩ ආයතනය මහ බැංකුව විසින් තහනම් කරන ලද්දේ කවදාද? යන්න පිළිබඳව වාර්තාවක් ඉදිරිපත් කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය රහස් පොලිසියට ඊයේ (27) නියම කළාය.

නීති විරෝධී පිරමීඩ සමාගමක් ප්‍රවර්ධනය කළැයි සැකකරුවන් අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ දී ‘බී කොයින්ස්’ සමාගම නීති විරෝධී සමාගමක් වශයෙන් මහ බැංකුව නම්කර නොතිබූ බවට සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දුමේෂ් කාරියවසම් මහතා දැක්වූ කරුණු සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය එලෙස නියෝග කළාය.


පැමිණිල්ල කැඳවූ අවස්ථාවේ දී "බී කොයින්ස්” ප්‍රවර්ධනය කළැයි කියන සිද්ධියේ සැකකරුවන් වන හරිශ්චන්දු ද සිල්වා, දයාරත්න වලිසුන්දර හා දේශාන් ඉරේෂ් සිල්වා නමැත්තෝ අධිකරණයේපෙනී සිටියහ.සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ දුමේෂ් කාරියවසම් මහතා කරුණු දක්වමින් 2024 ඔක්තෝබර් 24 වැනිදා සැකකරුවන් අත්අඩංගුවට ගෙන මාස දෙකකට පසු 2025 ජනවාරි 20 වැනිදා ආයතනය තහනම් කිරිමට ශ්‍රී ලංකා මහ බැංකුව පියවර ගත් බව දැනුම් දුන්නේය.


බී කොයින්ස් ආයතනය තහනම් කරමින් මහ බැංකුව පුවත්පත් දැන්වීම් පළ කර ඇත්තේ 2025 ජනවාරි 20 වැනිදා බවත් කී නීතිඥවරයා මේ තත්වය යටතේ සමාගම නීති විරෝධී ආයතනයක්ද? නැද්ද? යන්න පිළිබඳ තම සේවාදායකයන් දැත නොසිටි බවද කීය.මහා බැංකුවේ තැන්පතු රක්ෂණ හා නිරාකරණ බල ගැන්වීමේ දෙපාර්තමේන්තුව කළ පැමිණිල්ලකට අනුව පිරමීඩාකාර නීති විරෝධී මූල්‍ය ආයතනය පිළිබඳ රහස් පොලිසිය විමර්ශන ආරම්භ කර ඇතත් එය නීති විරෝධී ආයතනයක් ද යන්න පිළිබඳව තම සේවාදායකයන් නොදන්නා බව නීතිඥවරයා වැඩිදුරටත් පැවසීය.


කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග කළ මහේස්ත්‍රාත්වරිය සැකකාර සමාගම හා ඊට අදාළ පරිගණක මෘදුකාංගය තහනම් කර ඇත්තේ කවදාද? යන්න පිළිබඳව වාර්තාවක් පැමිණිල්ල යළි කැඳවන සැප්තැම්බර් 11 වැනිදා ඉදිරිපත් කරන ලෙස රහස් පොලිසියට නියෝග කළාය.


මැතිසබේ හෙදියන්ගේ සාරි ගලවයි

 

 සුජිත් හේවාජුලිගේ


නියමිත නිල ඇඳුමින් සැරසී රාජකාරි කරන ලෙස කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේ හෙද නිලධාරීන් සහ නිලධාරිනියන්ට නියෝග කර ඇත. හෙද නිලධාරිනියන් මේ දක්වා සාරිවලින් සැරසීගෙනත් හෙද නිලධාරින් සාමාන්‍ය ඇඳුමෙනුත් රාජකාරි කර ඇති බව පැවැසේ. කතානායකවරයා පසුගියදා පාර්ලිමේන්තු වෛද්‍ය මධ්‍යස්ථානයේ කටයුතු හදිසියේම නිරීක්ෂණය කළ අතර ඔහු මෙසේ උපදෙස් දී ඇත්තේ ඒ අවස්ථාවේදීය. 


මේ වනවිට පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානය කුඩා කාමරයක පවත්වාගෙන යන හෙයින් එය පුළුල් කරන ලෙස ද කතානායකවරයා පාර්ලිමේන්තු ප්‍රධානීන්ට උපදෙස් දී ඇත. ඒ අනුව එම කාර්යාලය පුළුල් කිරීමේ කටයුතු ආරම්භ කර ඇතැයි දැන ගන්නට ඇත.පාර්ලිමේන්තුවේ වෛද්‍ය මධ්‍යස්ථානයේ රාජකාරි සඳහා යොදවනු ලැබ සිටින්නේ සෞඛ්‍ය අමාත්‍යාංශයේ සේවක සේවිකාවන් පිරිසකි. වෛද්‍යවරිය ද සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් එයට අනුයුක්ත කරනු ලැබ සිටින්නියකි.


පොලිස්පති පුටුවට සීතල යුද්ධයක්

 


සුජිත් හේවාජුලිගේ


පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා ධුරයෙන් පහකිරීමේ යෝජනාව ඉදිරිපත්වීමත් සමගම එම ධුරය සදහා ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන් හත් දෙනකු අතර සීතල යුද්ධයක් ආරම්භ වී ඇතැයි පොලිස් ආරංචි මාරිගවලින් දැනගන්නට ඇත.දැනට වැඩබලන නියෝජ්‍ය පොලිස්පතිවරයා ලෙස කටයුතු කරන ප්‍රියන්ත වීරසූරිය, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරුන්වන ලලිත් පතිනායක (පරිපාලන), සංජීව මැදවත්ත (පුහුණු සහ උසස් පුහුණු) , රන්මල් කොඩිතුවක්කු (අපරාධ සහ රථවාහන), සංජීව ධර්මරත්න (බස්නාහිර), කිත්සිරි ජයලත් (දකුණ) සහ එම්.ජී.ආර. එස්. දමින්ද (සහයක සේවා) යන නිලධාරීන් එම ධුරය සඳහා යෝජනාවී ඇති බව දැනගන්නට ඇත.


මීළඟට පත්වීමට නියමිතව ඇත්තේ මෙරට 37 වැනි පොලිස්පතිවරයාය. පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාට එරෙහි යෝජනාව සම්මත වුවහොත් ජනාධිපතිවරයා විසින් ඔහු අනිවාර්යයෙන්ම එම ධුරයෙන් ඉවත් කෙරෙනු ඇත. අනතුරුව මීළඟට පත් කෙරෙන පොලිස්පතිවරයා ජනාධිපතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවට නිර්දේශ කෙරෙනු ඇතැයි එම ආරංචි මාර්ග සඳහන් කළේය. මීළඟ පොලිස්පති ධුරය සඳහා චෝදනාවලින් තොර කාර්යක්ෂම අත්දැකීම් සහිත නිලධාරියකු පත් කිරීම ජාතික ජන බලවේග රජය බලාපොරොත්තුවෙන් සිටින බව දැන ගන්නට ඇත.


පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් මැල්කම් කාදිනල් රංජිත් කොළඹ අගරදගුරුතුමන් ඇතුළු පාර්ශවකරුවන් නව දෙනකු ඉදිරිපත් කළ පෙත්සම් සලකා බැලීමෙන් පසු ශ්‍රේෂ්ඨාධිකරණය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ සේවා කටයුතු අත්හිටුවමින් පසුගිය වසරේ ජූලි 24 වැනිදා නියෝගයක් නිකුත් කළේය.මාතර ප්‍රදේශයේ සිදුවූ වෙඩි තැබීමේ සිද්ධියක් සම්බන්ධයෙන් දේශබන්දු තෙන්නකෝන් මහතා ලබන මස 3 වැනිදා දක්වා රිමාන්ඩ් බන්ධනාගාර ගත කරනු ලැබ සිටී.ඔහු මේ වනවිට මහනුවර දුම්බර බන්ධනාගාරයේ රඳවා සිටී.


පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා සේවයෙන් පහ කිරීමේ යෝජනාව ආණ්ඩුවේ මන්ත්‍රීවරුන් 115 දෙනකුගේ අත්සනින් යුතුව කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාටපසුගියදා බාරදෙනු ලැබීය.විෂමාචාර සහ දූෂණ, ධුරයේ බලතල අනිසි ලෙස පාවිච්චි කිරීම, රාජකාරිය පැහැර හැරීම සහ පක්ෂග්‍රාහීව කටයුතු කිරීම යන චෝදනා හතර පදනම් කරගෙන මෙම යෝජනාව ඉදිරිපත් කර ඇත.මෙම යෝජනාවට සහාය පළ කිරීමට සමගි ජන බලවේගය දැනටමත් තීරණය කර ඇත. මේ අනුව එම යෝජනාව සම්මත කිරීමට අවශ්‍ය බහුතරය ස්ථීර වශයෙන්ම ලැබෙනු ඇතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කළේය.


Thursday, March 27, 2025

අනුරාධපුරයේ හෝටල් කළමනාකරු ජර්මන් කත පෙරෙට්ටුවේදී හඳුනා ගනි

 


 


 උපාලි ආනන්ද


අනුරාධපුර, පණ්ඩුලගම ප්‍රදේශයේ හෝටලයක නවාතැන් ගෙන සිටි ජර්මන් ජාතික කාන්තාවකට ලිංගික අතවර කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් චෝදනා ලබා සිටි අදාළ හෝටලයේ කළමනාකරු හඳුනා ගැනීමේ පෙරෙට්ටුවේදී පහසුවෙන් හඳුනා ගැනීමට පැමිණිලිකාර වින්දිත ජර්මන් ජාතික කාන්තාව සමත් වූවාය.මේ අනුව පැමිණිලිකාර ජර්මන් ජාතික කාන්තාව මෙලෙස තමාට ලිංගික අතවර සිදු කළ බවට චෝදනා ලබා සිටින සැකකාර හෝටල් කළමනාකරු හඳුනාගනු ලැබුවේ අදාළ හඳුනාගැනීමේ පෙරෙට්ටුව අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා ඉදිරියේ පැවැති අවස්ථාවේදීය. බන්ධනාගාරගත කර සිටි සැකකාර හෝටල් කළමනාකරු අනුරාධපුර බන්ධනාගාර නිලධාර්න් මඟින් හඳුනාගැනීමේ පෙරෙට්ටුවට ඉදිරිපත් කෙරිණි.


සැකකාර හෝටල් කළමනාකාරු අදාළ පැමිණිලිකාර ජර්මන් ජාතික කාන්තාව විසින් හඳුනාගනු ලැබීමෙන් අනතුරුව ඔහුට එරෙහිව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය විසින් එදිනම චෝදනා ගොනු කරනු ලැබීය.


පෙරෙට්ටුවේදී සැකකරු හඳුනාගැනීම සහ ඔහුට එරෙහිව චෝදනා පත්‍රයක් ගොනු කිරීම සැලකිල්ලට ගත් අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මෙම නඩුව අප්‍රේල් මස පළමුවැනි දින කඩිනමින් විභාගයට ගැනීමටද නියෝග කෙරිණි.තම හෝටලයේ නවාතැන් ගෙන සිටි ජර්මන් ජාතික කාන්තාවකට ලිංගික අතවර සිදුකළ බවට චෝදනා ලබා පෙරෙට්ටුවේදී මෙලෙස හඳුනාගනු ලැබුවේ අනුරාධපුර පණ්ඩුලගම ‘ලේක් හවුස් හෝම් ස්ටේ’, නමැති හෝටලයේ කළමනාකරු වන රජිත රෝහණ පොන්සේකා නමැත්තෙකි. සැකකරු කළමනාකාරීත්වය දරන පණ්ඩුලගම ‘හොලිඩේ හෝම් ස්ටේ’ නමින් හඳුන්වන නවාතැන්පොළෙහි තමා නවාතැන් ගෙන සිටියදී රජිත රෝහණ පොන්සේකා නමැති කළමනාකරු බලහත්කාරයෙන් තමන්ට ලිංගික අතවර සිදුකළ බව පවසමින් ජර්මන් ජාතික කාන්තාව සිය මුල් පැමිණිල්ල යොමුකොට ඇත්තේ අනුරාධපුර සංචාරක පොලිසියටයි.


අනතුරුව අනුරාධපුර සංචාරක පොලිසිය මඟින් අදාළ පැමිණිල්ල සහ ජර්මන් ජාතික කාන්තාව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට යොමු කිරීමෙන් පසුව මූලික විමර්ශන මෙහෙයවා සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණ නියෝග මත රිමාන්ඩ් භාරයට පත් කෙරිණි.


පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පක්‍ෂිකා නිශානි සෙනවිරත්න මහත්මියගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද මහතා පෙනී සිටි අතර සැකකාර හෝටල් කළමනාකරු වෙනුවෙන් නීතිඥ මදාරා විදේශීන් මහත්මිය පෙනී සිටියාය.


සතොස ඈවර කිරීම ආපහු හරවයි

 

බිඟුන් මේනක ගමගේ


සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව ඈවර කිරීමට පැවැති ආණ්ඩුව ගත් තීරණය ආපසු හැරවීමට කැබිනට් තීන්දුවක් ගෙන ඇත.ඒ අනුව 1949 අංක 47 දරන සමුපකාර තොග වෙළෙඳ සංස්ථා පනත පරිච්ඡින්න කර එම ආයතනය ඈවර කිරීමට එවකට අමාත්‍ය මණ්ඩලය විසින් 2024 සැප්තැම්බර් 02 ගනු ලැබූ තීරණය අවලංගු කිරීම මෙමඟින් සිදුවේ.


‛පොහොසත් රටක් - ලස්සන ජීවිතයක්' යන රාජ්‍ය ප්‍රතිපත්ති රාමුවට අනුගතව වෙළෙඳපොළ තරගකාරිත්වය ප්‍රවර්ධනය කිරීම මඟින් මහජනතාව වෙත ගුණාත්මක භාණ්ඩ හා සේවා සාධාරණ මිල ගණන් යටතේ අඛණ්ඩව සැපයීම සහතික කිරීමේ අරමුණින් වෙළෙඳපොළ මෙහෙයුම් තුළ රජයේ කාර්යභාරය ක්‍රියාත්මක කිරීම සඳහා සමුපකාර තොග වෙළෙඳ සංස්ථාවට තීරණාත්මක කාර්යභාරයක් ඉටු කිර්මට හැකියාව පවතින්නේ යැයි ඊට අදාළව යොමුකළ කැබිනට් පත්‍රිකාවේ දැක්වේ.


ශක්‍යතාවයෙන් යුත් ව්‍යාපාරික සැලැස්මක් මත පදනම්ව සතොස ව්‍යාපාරික කටයුතු නැවත ආරම්භ කිරීම එහිදී සිදුවේ. වෙළෙඳ, වාණිජ, ආහාර සුරක්ෂිතතා සහ සමුපකාර සංවර්ධන ඇමැතිවරයා ඊට අදාළව ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ ඇත.


සමුපකාර තොග වෙළෙඳ සංස්ථාව (සතොස) ආයතනය පිහිටුවීමේ අපේක්ෂිත අරමුණු ඉටු වී නොමැති බැවින් එම ආයතනයෙන් ආර්ථිකයට ඵලදායී අයුරින් දායකත්වයක් ලබා නොලැබීමත් යන කරුණු සැලකිල්ලට ගෙන සතොස ආයතනය ප්‍රතිව්‍යුහගත කිරීමේ අවශ්‍යතාව හඳුනාගෙන ඇති බව කියමින් කැබිනට් පත්‍රිකාවක් 2023 ජූලි 10 වැනිදා ඉදිරිපත් කරනු ලැබුවේ එවක වෙළෙඳ, වාණිජ හා ආහාර සුරක්ෂිතතා ඇමැතිවරයාව සිටි නලින් පෙරේරා විසිනි.


සතොස ප්‍රතිව්‍යුහගත කිරීමට අදාළ කටයුතු ඉටු කිරීම පිණිස මෙහෙයුම් හා අධීක්ෂණ කමිටුවක් මඟින් සිදුකිරීම එහි යෝජනාව වී තිබිණි.කමිටු යෝජනා යටතේ එම ආයතනයේ වැඩ කළ සේවකයන් විශාල පිරිසක් අනිවාර්ය නිවාඩු යවමින් එහි තිබූ දේපළ විකුණා දැමීම සිදු වූ අතර එම තීන්දු ක්‍රියාත්මක වීමේදී දූෂණ සිදුව ඇති බවට චෝදනා නැඟිණි.එහිදී සතොසට අයත් ලොරි රථ 51ක් විකිණීමෙන් රුපියල් කෝටි 18කට අධික මුදලක් උපයාගෙන තිබුණු බවත් ඉන් ලොරි 43ක්ම විකුණා තිබුණේ ගැනුම්කරුවන් දෙදෙනකුට පමණක් බවත් විගණන වාර්තාවක සඳහන් විය.


එප්පාවල හිමිනමගේ අබිරහස් මරණයේ සැකකරු වහා අත්අඩංගුවට ගන්න

 



පර්සි කුරුනේරු


කෲර වධහිංසනයට ලක් කොට එප්පාවල, කිරලෝගම ශ්‍රී රුක් සෙවණ අසපුවේ වැඩ විසූ හැටනව හැවිරිදි හිමිනමක් අබිරහස් ලෙස ඝාතනය කළ බව කියන සැකකරු වහා අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන ලෙසට තඹුත්තේගම වැඩ බලන මහෙස්ත්‍රාත් චන්ද්‍රිකා කහටපිටිය මහත්මිය පෙරේදා (25දා) රාත්‍රි එප්පාවල පොලිසියට නියෝග කළාය.


පෙරේදා (25දා) පස්වරුවේ 2.30ට පමණ උන්වහන්සේ අසපුව ඉදිරිපිට හාන්සි පුටුවක සිටියදී කිසියම් පුද්ගලයකු විසින් මුහුණ තියුණු ආයුධයකින් කපා විකෘති කොට අනතුරුව උන්වහන්සේගේ රහසඟ කපා රැගෙන ගොස් තිබියදී පෙරේදා (25) පස්වරුවේ එම අසපුව වෙත වැඩම කළ වෙනත් හිමිනමක් විසින් අසපුවේ වැඩ විසූ හිමිනම මියගොස් සිටි අයුරු දැක එම අවස්ථාවේදී පොලීසිය වෙත කළ දැනුම්දීමක් මත එප්පාවල පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති පොලිස් පරීක්ෂක මහින්ද රණවීර මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් විසින් පරීක්ෂණ ආරම්භ කරනු ලැබූහ.මෙලෙස ඝාතනය කොට ඇත්තේ එප්පාවල, කිරලෝගම, කදුරුගස්වැව පිහිටි ශ්‍රී රුක් සෙවණ අසපුවේ වැඩ විසූ පූජ්‍ය මහවිලච්චියේ පේමරතන හිමියන්ය.


ඝාතනය කළ බව කියන උන්වහන්සේ ඉකුත් 23 වැනිදා රාත්‍රි 8.29ට අවසන් වරට කිසියම් අයකුට දුරකථන ඇමැතුමක් ලබාගෙන ඇති බවට පොලිසිය සිදු කළ විමර්ශනවලදී අනාවරණය වී තිබේ.මේ අතර උන්වහන්සේට අයත් බව කියන රතු පැහැති ත්‍රිරෝද රථයද එම සිද්ධියෙන් පසු අතුරුදන්ව ඇති බවටත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. උන්වහන්සේගේ ඝාතනය සම්බන්ධයෙන් එප්පාවල පොලිසිය තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය වෙත පෙරේදා (25) පස්වරුවේ කරුණු වාර්තා කිරීමෙන් පසු ස්ථානීය පරීක්ෂණය පැවැත්වූ වැඩ බලන මහෙස්ත්‍රාත් චන්ද්‍රිකා කහටපිටිය මහත්මිය දේහය අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඒකකයට යොමු කොට පශ්චාත් මරණ පරීක්ෂණයක් පවත්වා ඒ පිළිබඳව අධිකරණය වෙත කරුණු වාර්තා කරන ලෙසට පොලිසියට නියෝග කළේය.


මේ අතර අදාළ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන පවත්වා ඊට සම්බන්ධ පුද්ගලයන් අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙසටද වැඩ බලන මහෙස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය.මේ පිළිබඳව එප්පාවල පොලිස් ස්ථානාධිපති මහින්ද රණවීර මහාතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන පවත්වයි.


අපරාධ විසඳන්න දායකත්වයක් දුන් අයට පොලිසියෙන් මිලියන 29ක ත්‍යාග

 


කීර්ති මෙන්ඩිස්


අපරාධ විසඳීම සඳහා සුවිශේෂී දායකත්වයක් දක්වන ලද පොලිස්, හමුදා සහ සිවිල් පුද්ගලයන් හට පොලිස් ත්‍යාග අරමුදලෙන් රුපියල් මිලියන 29කට අධික මුදලක් ත්‍යාග ලෙස පිරිනැමීමට පොලිස් දෙපාර්තමේන්තුව සූදානම්ව තිබේ.ඒ අනුව රාජ්‍ය නිවේදක නිලධාරීන් 13 දෙනෙක්, පොලිස් පරීක්ෂකවරුන් 100ක්, කාන්තා පරීක්ෂක නිලධාර්නියන් 05ක්, පොලිස් සැරයන් සහ කොස්තාපල්වරුන් 231ක්, කාන්තා පොලිස් සැරයන් සහ කොස්තාපල්වරියන් 38 දෙනෙක්, පොලිස් සැරයන් රියැදුරු සහ කොස්තාපල් රියැදුරු නිලධාරීන් 8ක් මෙම ඇගයීම සඳහා තෝරාගෙන ඇතැයි පොලිස් මූලස්ථානය කියයි.


මීට අමතරව යුද හමුදා නිලධාරීන් සහ නාවික හමුදා නිලධාර්න් 113 දෙනකුටත් සිවිල් ආරක්ෂක නිලධාරියකුටත් සිවිල් පුද්ගලයන් 6 දෙනකු ඇතුළු 515 දෙනකු වෙනුවෙන් පොලිස් ත්‍යාග අරමුදලෙන් රුපියල් මිලියන 29කට අධික මුදලක් පිරිනැමීමට කටයුතු සූදානම් කර තිබේ.

මහජන ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් සහ වැඩබලන පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සහභාගිත්වයෙන් ත්‍යාග මුදල් පිරිනැමීම අද (26දා) පස්වරුවේ අපරාධ වාර්තා කොට්ඨාසයේදී පැවැත්වේ.මෙම අවස්ථාවේදී සංකේතාත්මකව ත්‍යාගලාභීන් 140 දෙනකු වෙනුවෙන් රුපියල් මිලියන 24කට අධික ත්‍යාග මුදලක් හා පොලිස්පති ප්‍රශංසා 25ක් පිරිනැමීම සිදුකෙරේ.


ගුරුකම් කරදිමට ලක්ෂ 45ක් ගත් සැකකාර හිමිනමට ලක්ෂ පනහක ශරීර ඇප

  උපාලි ආනන්ද


යන්ත්‍ර - මන්ත්‍ර ගුරුකම් කටුයත්තක් කරදී ඉන් සාර්ථක ප්‍රතිඵල අත්කර දෙන බව පවසා පුද්ගලයකුගෙන් රුපියල් හතළිස්පන් ලක්ෂයක් ලබා ගෙන වංචා කළ බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් කරුණෑගල විශේෂ අපරාධ විමර්ශන අංශය මඟින් සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කළ හිමිනමක රුපියල් ලක්ෂ විසිපහක් වටිනා ශරීර ඇප දෙකක් මත මුදාහරින ලෙස කුරුණෑගල අතිරේක මහෙස්ත්‍රාත් නුවන් කෞෂල්‍ය මහතා නියෝග කළේය.


සැකකාර හිමිනම අධිකරණයට ඉදිරිපත් කරමින් කුරුණෑගල විශේෂ අපරාධ විමර්ශන අංශය සඳහන් කළේ යන්ත්‍ර- මන්ත්‍ර ගුරුකමක් සිදු කර ඉන් සාර්ථක ප්‍රතිඵල අත්කර දෙන බව පවසමින් සැකකාර හිමිනම රුපියල් හතළිස්පන් ලක්ෂයක් වංචනික ලෙස ලබා ගත් බව පවසමින් පැමිණිල්ලක් ලැබී ඇති බවයි. ඒ සම්බන්ධයෙන් මූලික විමර්ශන මෙහෙයවා සැකකාර හිමිනම අත්අඩංගුවට ගත් බවද අධිරකණයට පවසා සිටි පොලිසිය මේ සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශන තවමත් අවසන්ව නැති නිසා සැකකාර හිමි රිමාන්ඩ් භාරයට පත්කරන ලසද ඉල්ලා සිටියේය.


සැකකාර හිමිනම වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ කීර්ති දුනුසිංහ මහතා පැවැසුවේ සිය සේවාදායකයාට එරෙහිව එල්ල කරන චෝදනා තරයේ ප්‍රතික්ෂේප කරන බවයි. ගුරුවරයකුට මුදල් ගෙවා දරුවකුට ඉගැන්වීම් කළ පසුව දරුවා විභාගය අසමත් වුවහොත් දරුවාගේ මවුපියන් ගුරුවරයාගෙන් යළි මුදල් ඉල්ලා සිටින්නේදැයි නීතිඥවරයා ප්‍රශ්න කළේය. යම් විශේෂඥ වෛද්‍යවරයකුට මුදල් ගෙවා ශල්‍යකර්මයක් කරවාගත් පසුව යම් හෙයකින් රෝගියා මියගිය හොත් රෝගියාගේ භාරකරුවන් වෛද්‍යවරයාගෙන් යළි මුදල් ඉල්ලා සිටින්නේදැයි කියා සිටි නීතිඥවරයා යම් නඩුවකට පෙනී සිටීම සඳහා නීතිඥවරයකුට මුදල් ගෙවූ පසුව අදාළ නඩුව පරාජයට පත් වුවහොත් සේවාදායකයන් නීතිඥවරයාගෙන් යළි මුදල් ඉල්ලන්නේ දැයි විමසා සිටියේය.


යන්ත්‍ර-මන්ත්‍ර ගුරුකමක් කර ගැනීමට යමකු රුපියල් ලක්ෂ 45ක මුදලක් ලබා දුන්නා යැයි කීම හාස්‍යයට කරුණක් බවද කියා සිටි නීතිඥ කීර්ති දුනුසිංහ මහතා මේවා විහිළු සපයන පැමිණිලි බවත් සිය සේවාදායකයා ඕනෑම ඇප කොන්දේසියක් මත මුදාහරින ලෙසත් ඉල්ලා සිටියේය.


උත්සව කාලසීමාවේ අතරමැදියන්ගෙන් බඩු ගන්නේ බලාගෙන

 


 අනුර බාලසූරිය


එළැඹෙන උත්සව කාලසීමාවේ අතරමැදියන් විසින් සිල්ලර වෙළෙඳසල් වෙත සපයනු ලබන භාණ්ඩ පිළිබඳව සැලකිලිමත් වන ලෙස පාරිභෝක කටයුතු පිළිබඳ අධිකාරිය සියලු සිල්ලර වෙළෙඳුන්ට දැනුම් දෙයි.එමෙන්ම සුපිරි වෙළෙඳසල් මඟින් සත්ත්ව ආහාර සඳහා නිකුත් කරනු ලබන ආහාර අතරමැදියන් විසින් නැවත පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට නොහැකිවන අයුරින් නිකුත් කිරීමට කටයුතු කළයුතු බවත් සුපිරි වෙළෙඳසල් වෙත දන්වා සිටී.


කල් ඉකුත් වීම මත සුපිරි වෙළෙඳසල්වලින් ඉවත් කරනු ලබන ආහාර වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ සත්ත්ව ආහාර සැපයුම්කරුවකු විසින් මිලදී ගෙන නැවත මනුෂ්‍ය පරිභෝජනයට අලෙවි කිරීම සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධව පසුගිය 14 වැනි දින අධිකාරියේ නිලධාර්න් එම සත්ත්ව අහාර සැපයුම්කරුගේ ගබඩාව සහ සිද්ධියට අදාළ වෙනත් සිල්ලර වෙළෙඳසලක් ඉලක්ක කර ගනිමින් වැටලීමක් සිදුකර ඇත.

එම වැටලීමේදී සත්ත්ව ආහාර නිෂ්පාදකයා විසින් මිලදී ගෙන තිබූ කන්ඉකුත් වූ ලුණු, අතරමැදියකු යොදාගනිමින් පිටකොටුව ප්‍රදේශයේ වෙනත් වෙළෙඳසලකට අලෙවි කර තිබූ අතර එකී වෙළෙඳසල් හිමියා විසින් වැටලීම සිදුකරනු ලබන අවස්ථාව වන විටත් මනුෂ්‍ය පරිභෝජනය සඳහා එකී ලුණු පැකට් 06ක් විකුණා තිබූ බවත් විකිණීම සඳහා කිලෝග්‍රෑම් 2,700ක තොගයක් සූදානම් කර තිබූ බවත් අනාවරණය වී ඇත.


ඒ අනුව සේදවත්ත ප්‍රදේශයේ අදාළ ආයතනයට, වැල්ලම්පිටිය ප්‍රදේශයේ අතරමැදියාට සහ කොළඹ 12 සිල්ලර ව්‍යාපාරිකයාට එරෙහිව ඊයේ (25දා) දින මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබීය.එහිදී අදාළ චූදිතයන් වරද පිළිගැනීමෙන් පසුව සත්ත්ව ආහාර සැපයුම්කරුට රුපියල් 50,000ක් සහ අනෙත් චූදිතයන් දෙදෙනාට රුපියල් 7,500 බැගින් අධිකරණය මඟින් දඩ නියම කරනු ලැබීය. අදාළ නඩු භාණ්ඩ වන ලුණු කිලෝග්‍රෑම් 2,700ක ප්‍රමාණය විනාශ කිරීමටද නියෝග කර ඇත.


නිවෙසේ හිමියා රන් බඩු උගසට ගන්නෙක්

 

 


මඩොල්සිම පොලිස් වසමට අයත් රෝබෙරි වත්තේ එළමාන කොටසේ නිවෙසකින් රුපියල් ලක්ෂ හතළිහක් වටිනා ස්වර්ණාභරණ කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගෙන ඇති පොලිස් සැරයන්වරයාගේ වැඩ තහනම් කිරීමට මොනරාගල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි කමල් එන්. ගුණවර්ධන මහතා කටයුතු කර තිබේ.


මෙසේ වැඩ තහනමට ලක්කර ඇත්තේ මැදගම පොලිස් ස්ථානයට අනුයුක්තව සේවය කළ පොලිස් සැරයන්වරයෙක් බව පොලිසිය පැවැසීය.බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය විසින් අත්අඩංගුවට ගත් මෙම සැකකරු පස්සර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු මේ මස 28 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගතකර තිබේ. 2020 වසරේ මෙම කොල්ලකෑම සිදුවී තිබූ අතර බදුල්ල කොට්ඨාස භාර

ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත මහතාගේ උපදෙස් මත බදුල්ල කොට්ඨාසය අපරාධ විමර්ශන විසින් නොවිසඳුණු අපරාධ පිළිබඳව කරන ලද විමර්ශනයකදී නොබෝදා මේ කොල්ලයේ සුලමුල අනාවරණය කරගෙන තිබේ. කොල්ලකෑමට ලක්වූ නිවෙස් හිමියා රත්රන් බඩු උගසට ගන්නකු වන අතර ඔහුගේ නිවෙස වටා ඇති තේවතුවල වැඩ කරන කම්කරුවන් රැසක්ද මෙහිදී රත්රන් උගස් කර මුදල් ලබාගෙන තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.


මෙම කොල්ලකෑම සඳහා රාත්‍රි කාලයේ පුද්ගලයන් 5 දෙනෙක් පැමිණ ඇති අතර සැකකාර පොලිස් සැරයන්වරයා “අපි පොලිසියෙන්... ගේ පක්ෂා කරන්න අවශ්‍ය යැයි" කියා නිවෙසට ඇතුළු වී ඇති බවත් නිවෙස් හිමියා බියගන්වා රත්රන් පැහැරගෙන ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය පැවැසීය.ඉන්පසු නිවෙස් හිමියා සහ ඔහුගේ පුත්‍රයා සැකකරුවන් ගිය වෑන් රථයේම නංවාගෙන ටික දුරක් ගොස් ඔවුන් මහමඟ දමා ගොස් ඇති බවද අනාවරණය වී තිබේ.


මෙම කොල්ලකෑමට පැමිණි කල්ලියේ සිටි පොලිස් නිලධාරියා සිවිල් ඇඳුමින් සැරසී සිටියද පොලිස් හැඳුනුම්පතක් පෙන්වූ බවත් ඔහුගේ මුහුණ මතකයේ තබාගත් තමා සහ පුතා මුහුණුපොත පරිශීලනය කිරීමේදී සැකකරු ඔහුම බව හඳුනාගත් බවත් නිවෙස් හිමියා පොලිසියට පවසා තිබේ.සැකකරුගේ ජංගම දුරකථනය, තුන් වැනි පාර්ශ්වයක් ළඟ තිබියදී අත්අඩංගුවට ගෙන, දුරකථන වාර්තා අනුව විමර්ශන සිදුකිරීමේදී බොහෝ තොරතුරු අනාවරණය කර ගැනීමට හැකිවූ බවත් ඒ අනුව අනෙක් සැකකරුවන්ද අත්අඩංගුවට ගැනීමට සඳහා කටයුතු කරගෙන යන බවත් බදුල්ල කොට්ඨාස අපරාධ විමර්ශන අංශය පවසයි.



මන්ත්‍රී 175කගේ දේපළ වාර්තාව අල්ලස් කොමිසමට

 



මන්ත්‍රීවරුන් 175 දෙනකුගේ වත්කම් බැරකම් ප්‍රකාශ පාර්ලිමේන්තු ප්‍රධානීන් විසින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ඊයේ (26) බාර දෙනු ලැබීය.ඒ එම කොමිසමෙන් කෙරුණු දැනුම් දීමක් අනුවය.දස වැනි පාර්ලිමේන්තුවට තේරී පත්වූ මන්ත්‍රීවරුන් අතරින් එකසිය හැත්තෑ පස් දෙනකු සිය වත්කම් බැරකම් ප්‍රකාශ කතානායකවරයාට බාරදිය යුතුව ඇත.


කතානායකවරයා සහ අමාත්‍යවරුන් වත්කම් බැරකම් ප්‍රකාශ බාර දෙනු ලබන්නේ ජනාධිපති ලේකම්වරයාටය.දස වැනි පාර්ලිමේන්තුවට පත් වූ මන්ත්‍රීවරුන් සිය වත්කම් බැරකම් ප්‍රකාශ කතානායකවරයාට බාර දිය යුතු කාල සීමාව ඊයෙන් අවසන් විය. අයථා ලෙස වත්කම් ඉපයීම සහ අල්ලස් සහ දූෂණය වැළැක්වීමේ පියවරක් ලෙස රජයේ නිලධාරින්ගෙන් වත්කම් බැරකම් ප්‍රකාශ ගැනීම වාර්ෂිකව සිදුකෙරේ.තමත් වත්කම් බැරකම් ප්‍රකාශනයෙන් හෙළිදරව් කරන වත්කම්වලට වැඩියෙන් වත්කම් සන්තකයේ තිබුණහොත් යම් විමර්ශනයක් පැවැත්වෙන අවස්ථාවක ඒවා උපයා ගත් ආකාරය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට කරුණු හෙළිදරව් කළ යුතුව ඇත.


ලක්ෂ 10 ක අයිස් එක්ක ජාවාරමෙක්

 


එච්.එම්. ධර්මපාල


දුරකතන මාර්ගයෙන් මෙහෙයවන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු රුපියල් ලක්ෂ දහයකට අධික අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 50000ක් රුපියල් 64200 ක මුදල්සහ ජංගම දුරකතනයක්දසමග අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශය පවසයි.සැකකරු ගල්කිස්ස ගුණවර්ධන පාර පදිංචිව සිටින වයස අවුරුදු 19 ක්ද වන අතර, ත්‍රිරෝද රථ රියැදුරකු වශයෙන් කටයුතු කරමින් දැනට ඩුබායි රටට පලාගොස් සිටින ප්‍රධාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකුගේ ප්‍රධාන ගෝලයකු බව පොලිසිය කියයි. ලැබෙන දුරකතන ඇමතුම් අනුව තොග වශයෙන් ලබා ගන්නා අයිස් මත්ද්‍රව්‍ය නිවසේ සිට ගල්කිස්ස, පිළියන්දල, මොරටුව, බොරලැස්ගමුව, දෙහිවල යන ප්‍රදේශවල බෙදාහැර ඇති බවට අනාවරණය වී ඇතැයි ද පොලිසිය පැවසීය.


ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නාලක අලහකෝන් මහතාගේ නියෝග හා උපදෙස්මත උප පොලිස් පරීක්ෂක කුමාරසිරි මහතා ඇතුළු කණ්ඩායමක් සැකකරු සන්තකයේ තිබියදී අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 50000 ක් සහ අලෙවියෙන් උපයාගන්නා ලද රුපියල් 64200 ක් ජංගම දුරකතනයක් සමග මෙසේ අත්අඩංගුවට ගෙන ඇත.



ලේඛක වජිර කස්තුරි රිය අනතුරකින් මරුට

 


 ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න


ලේඛකයකු, තිර කතා රචකයකු, ටෙලිනාට්‍ය තිර රචකයකු වූ වජිර කස්තුරි මහතා පන්නිපිටිය මොරගහපල්ලම ප්‍රදේශයේ සිදුවූ අනතුරකින් ඊයේ (26) මියගියේය.වජිර කස්තුරි මහතා ඊයේ (26) උදේ 10.35ට පමණ පන්නිපිටිය දෙස සිට හෝකන්දර දෙසට යතුරුපැදියකින් යමින් සිටියදී මොරගහපල්ලම ප්‍රදේශයේදී විදුලි කණුවක සහ දුරකතන කණුවක ගැටී හිස විදුලි කණුවේ වැදීමෙන් බරපතළ තුවාල ලබා හෝමාගම මූලික රෝහලට රැගෙන යාමේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි කොට්ටාව පොලිසිය පවසයි.


දෙදරු පියකු වන ඔහු නවකතා 10ක් පමණ ලියා ඇති නිර්මාණකරුවෙකි. සගලවරහන්, අනුපෑවත, පොල්කිචි ප්‍රේමය, පඬුරු බඳින ගස් ඔහු විසින් රචනා කරන ලද එම කෘතින් අතර වේ.ප්‍රියන්ත කොළඹගේ සමග එක්වී “ආදරණීය කතාවක්, දේදුණු අහසේ, මන්දරා, සූරිය සුළඟ" තිරකතා ද රචනා කළේය.

කස්තුරි මහතාගේ උපන්දිනයට පසු දින මෙම අනතුර සිදුව ඇත. දුරකථන සහ විදුලි කණු දෙක අතර සිර වී සිටි ඒ මහතාගේ හිසට බරපතළ තුවාල සිදුවී තිබූ බවත් පොලිසිය කියයි.මෘත දේහය පිළිබඳ හදිසි මරණ පරීක්ෂණය හෝමාගම මූලික රෝහලේ හදිසි මරණ පරීක්ෂක සාම විනිසුරු චින්තක උදය කුමාර මහතා සිදුකිරීමට නියමිතය.අනතුරට හේතුව නින්ද යාම හෝ යතුරුපැදියේ කාර්මික දෝෂයක් බවට පොලිසිය සැක කරයි.


යුද තීරණය මගේ: හමුදාව කළේ ක්‍රියාත්මක කිරීමයි

 



හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්දු සිල්වා, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු හමුදාපති ජගත් ජයසූරිය යන මහත්වරුන්ට බ්‍රිතාන්‍ය රජය සම්බාධක පනවා ඇතත් ඔවුන්ට එරෙහි චෝදනා කිසිම ස්ථානයක ඔප්පු කර නැතැයි හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පැවසීය.එල්ටීටීඊ සංවිධානයට එරෙහිව යුද්ධ කිරිමට තීරණය කළේ ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා ලෙස තමා බවත් සන්නද්ධ හමුදා කළේ එම තීරණය ක්‍රියාත්මක කිරීම පමණක් බවත් හිටපු ජනාධිපතිවරයා සඳහන් කළේය.


ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම රාජකාරිය ඉටු කළ සන්නද්ධ හමුදා නිලධාරින් ඉලක්ක කර ගනිමින් විදේශීය රජයන් සහ සංවිධාන එල්ල කරන පීඩනවලට එරෙහිව වර්තමාන රජය සෘජුවම පෙනී සිටිනු ඇතැයි තමා අපේක්ෂා කරන බවද මහින්ද රාජපක්ෂ මහතා කීය.මේ සම්බන්ධයෙන් හිටපු ජනාධිපතිවරයා නිකුත් කර ඇති නිවේදනයක මෙසේද සඳහන් වෙයි.


එල්.ටී.ටී.ඊ. සංවිධානය සමග පැවති යුද්ධයේදී මානව හිමිකම් උල්ලංඝනය කිරීමේ චෝදනා මත ශ්‍රී ලංකාවේ හිටපු ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ශවේන්ද්‍ර සිල්වා, හිටපු නාවික හමුදාපති වසන්ත කරන්නාගොඩ සහ හිටපු හමුදාපති ජගත් ජයසූරිය යන අයට බ්‍රිතාන්‍යයට ඇතුළුවීම හා බ්‍රිතාන්‍යයේ දේපොළ අයිතිය තහනම් කිරීම ඇතුළු සම්බාධක බ්‍රිතාන්‍ය රජය ප්‍රකාශයට පත් කර ඇත. අදාළ චෝදනා කොතැනකවත් ඔප්පු කර නැති බවද සැලකිය යුතුය. එල්ටීටීඊ සංවිධානයට එරෙහිව යුද්ධ කිරිමට තීරණය කළේ එකල ශ්‍රී ලංකාවේ විධායක ජනාධිපතිවරයා වූ මමය. ශ්‍රී ලංකාවේ සන්නද්ධ හමුදා එම තීරණය ක්‍රියාත්මක කළේය.


2002 සටන් විරාම ගිවිසුම තිබියදීත්, 2002 පෙබරවාරි සිට 2005 සැප්තැම්බර් අවසානය වෙන විට එල්ටීටීඊ සංවිධානය විසින් ඝාතන 363 ක් සිදුකර තිබුණි. 2005 නොවැම්බර් මාසයේදී මා ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු, එල්ටීටීඊ ප්‍රහාර උත්සන්න විය. මගේ ජනාධිපති ධුරයේ මුල් මාස කිහිපය ඇතුළත සිදු වූ බරපතළම ප්‍රහාර අතර 2005 දෙසැම්බර් 4 සහ 6 යන දිනවල යාපනයේදී ක්ලේමෝ බෝම්බ දෙකකින් සොල්දාදුවන් දහතුන් දෙනකු මිය යෑම, 2006 ජනවාරි 5වන දින නාවික යාත්‍රාවකට එල්ල වූ කොටි මරාගෙන මැරෙණ ප්‍රහාරයකින් නාවික භටයන් 15 දෙනකු මිය යෑම සහ 2006 අප්‍රේල් මාසයේදී හමුදා මූලස්ථානය තුළ හමුදාපතිවරයාට එල්ල වූ මරාගෙන මැරෙන ප්‍රහාරය වැනි සිද්ධීන් වේ.


මේ සියල්ල සිදු වී තිබියදීත්, සාමය පවත්වාගෙන යෑම සඳහා මගේ රජය 2006 ජනවාරි සහ ජුනි මාසවලදී ජිනීවා සහ ඔස්ලෝහිදී සාම සාකච්ඡා වට දෙකක් පැවැත්වූ අතර ඒ සාකච්ඡා වට දෙකම එල්ටීටීඊය විසින් ඒකපාර්ශ්විකව නතර කරන ලදී. යුද්ධය නැවත ආරම්භ කිරීමට මට සිදු වූයේ 2006 ජුනි මාසයේදී කැබිතිගොල්ලෑවේදී සාමාන්‍ය සිවිල් වැසියන් ගමන් කළ බස් රථයකට එල්ල වූ එල්ටීටීඊ බිම් බෝම්බ ප්‍රහාරයෙන් 64 දෙනකු මිය ගොස් 86 දෙනකුට බරපතළ තුවාල සිදු වූ පසුවය. ඒ සිද්ධියෙන් මියගිය බොහෝ දෙනෙක් ළමයින් වූහ. 2006 ජුලි මාසයේදී එල්ටීටීඊ මාවිල්ආරු සොරොව්ව වසා දමා ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ගොවි ජනතාවට වාරි ජලය සැපයීම නතර කළ අවස්ථාවේ සිට හමුදා මෙහෙයුම් ආරම්භ වූ අතර 2009 මැයි 19 වන දින එල්ටීටීඊය සම්පූර්ණයෙන්ම පරාජය කරන තෙක් එම මෙහෙයුම් නතර නොවීය.යුද්ධය අතරතුර මහා පරිමාණ මානව හිමිකම් උල්ලංඝනය කිරීම සිදු වූ බවට බ්‍රිතාන්‍යයේ රජය කරන චෝදනාව මම තරයේ ප්‍රතික්ෂේප කරමි. 


2017 ඔක්තෝබර් 12 වන දින නේස්බි සාමිවරයා, බ්‍රිතාන්‍ය සාමි මන්ත්‍රී මණ්ඩලයේ කළ දේශනයකදී, එවකට කොළඹ සිටි බ්‍රිතාන්‍යයේ ආරක්ෂක කටයුතු පිළිබඳ තානාපති නිලධාරියා ලුතිනන් කර්නල් ඇන්ටන් ගෑෂ් ශ්‍රී ලංකා හමුදාවේ විනය ඉහලින් අගය කළ බවත් සිවිල් වැසියන් ඝාතනය කිරීමේ ප්‍රතිපත්තියක හමුදාව කිසිසේත්ම නොසිටි බවත් තමාට පැවසූ ආකාරය සිහිපත් කර සිටියේය. ලුතිනත් කර්නල් ඇන්ටන් ගෑෂ් යුද කාලයේ ලන්ඩන්වලට යැවූ වාර්තාවල අන්තර්ගතය, බ්‍රිතාන්‍යයේ දේශපාලන බලධාරින් ප්‍රවර්ධනය කරමින් සිටින මතයට වඩා සැලකිය යුතු ලෙස වෙනස් වන නිසා, එම වාර්තාවල දැඩි ලෙස සංස්කරණය කරන ලද අනුවාදයක් පමණක් ප්‍රසිද්ධ කර ඇත. අපි යුද්ධ කළේ දෙමළ ජනතාවට එරෙහිව නොව එල්ටීටීඊ සංවිධානයට එරෙහිව පමණක් බව අවධාරණය කරමි.


යුද්ධය අවසන් වී මාස කිහිපයකට පසු, යුද කාලීන හමුදාපතිවරයා 2010 ජනාධිපතිවරණයේදී විපක්ෂයේ පොදු අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වූ විට, දෙමළ ජාතික සන්ධානය 2010 ජනවාරි 6 වන දින ප්‍රකාශයක් නිකුත් කරමින් හිටපු හමුදාපතිවරයාට ඡන්දය දෙන ලෙස දෙමළ ජනතාවට ආයාචනා කළ අතර ඔහු උතුරු හා නැගෙනහිර

පළාත්වල ප්‍රකාශිත ඡන්දවලින් 60% කට වඩා දිනා ගත්තේය. බ්‍රිතාන්‍ය රජය ප්‍රවර්ධනය කරමින් සිටින මතය එයින්ද නිෂ්ප්‍රභ වේ. 2004 දී කොටි සංවිධානයෙන් ඉවත් වී පසුව ප්‍රජාතන්ත්‍රවාදී දේශපාලනයට පිවිසි විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන්ට සම්බාධක පැනවීම එල්ටීටීඊ විරෝධී දෙමළ ජාතිකයන්ට දඬුවම් කිරීම තුළින් එල්ටීටීඊ හිතවාදී දෙමළ ඩයස්පෝරාව පිනවීමට ගත් පියවරක් බව පැහැදිලිය.

2009 අප්‍රේල් මාසයේදී බ්‍රිතාන්‍යයේ විදේශ කටයුතු පිළිබඳ ලේකම් ඩේවිඩ් මිලිබෑන්ඩ් ශ්‍රී ලංකාවට පැමිණ හමුදා මෙහෙයුම් නතර කරන ලෙස බල කර සිටි අවස්ථාවේදී මම එය එකහෙළාම ප්‍රතික්ෂේප කළෙමි. පසුව, විකිලික්ස් විසින් ප්‍රසිද්ධ කරන ලද රහස් ලියවිලි උපුටා දක්වමින් ලන්ඩනයේ ද ටෙලිග්‍රාෆ් පුවත්පත හෙළි කළේ මිලිබෑන්ඩ් මහතා බ්‍රිතාන්‍ය කම්කරු පක්ෂයට දෙමළ ඡන්ද දිනා ගැනීම සඳහා ශ්‍රී ලංකාවේ යුද්ධයට මැදිහත්වීමට උත්සාහ කළ බවයි. අද දක්වාම, එල්ටීටීඊයට එරෙහි යුද්ධය සම්බන්ධයෙන් බ්‍රිතාන්‍යයේ ආණ්ඩුවල ස්ථාවරය මේ ඡන්ද කුට්ටි දේශපාලනයෙන් තීරණය වන බව කනගාටුවෙන් වුවත් කිව යුතුය.


දශක තුනක එල්ටීටීඊ ත්‍රස්තවාදය නිසා සන්නද්ධ හමුදා සහ පොලිස් නිලධාරින් 27,965 දෙනකුගේ ජීවිත පමණක් නොව දේශපාලන නායකයන් ඇතුළු සිවිල් වැසියන් තවත් දහස් ගණනකගේද ජීවිත නැති විය. 2009 දී ශ්‍රී ලංකාව පරාජය කළේ එක්සත් ජනපදයේ එෆ්, බී.අයි. ආයතනය විසින් ලෝකයේ දරුණුම ත්‍රස්තවාදී සංවිධානය හැටියට 2008 දී නිල වශයෙන් නම් කරන ලද සංවිධානයයි. විවිධ පාර්ශ්වයන් වෙතින් එල්ල වන නීතිමය පීඩාවලින් තමන්ගේ සන්නද්ධ හමුදාවන් ආරක්ෂා කර ගැනීම සඳහා බ්‍රිතාන්‍ය රජය 2021 දී සහ 2023 දී විශේෂ නීති සම්පාදනය කළ බවද අප මෙහිදී සිහිපත් කළ යුතුය.එබැවින්, ශ්‍රී ලංකාවේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තම රාජකාරිය ඉටු කළ සන්නද්ධ හමුදා නිලධාරීන් ඉලක්ක කරමින් විදේශීය රජයන් සහ සංවිධානවලින් එල්ල වෙන තාඩන පීඩනවලට එරෙහිව වත්මන් ආණ්ඩුව ඍජුව පෙනී සිටිනු ඇතැයි මම අපේක්ෂා කරමි.


මධ්‍යම අධිවේගියට ඉඩම් පවරා ගැනීම

 


ජේ.කේ.එල්. චාමින්ද


මධ්‍යම අධිවේගි මාර්ග ව්‍යාපෘතිය සඳහා ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියේ ප්‍රමාදය හේතුවෙන් වන්දි ගෙවීමේ දී පොලී මුදල් ලෙස රුපියල් කෝටි 112 ක මුදලක් ඉඩම් හිමියන්ට ගෙවීමට සිදුවී ඇති බව ජාතික විගණන කාරියාලය නිකුත් කළ වාර්තාවක සදහන් වේ.මෙකී පොලී වියදම ව්‍යාපෘතියේ වියදම ඉක්මවා යාමට සෘජුවම බලපා ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ.


මෙකී ව්‍යාපෘතිය සඳහා ඉඩම් කැබැලි 5245 ක් අත්පත් කරගෙන තිබිණි.ඉඩම් අත්පත් කර ගැනීමේ 44 වැනි වගන්තියට අනුව මෙම ව්‍යාපෘතිය යටතේ 2023 – වර්ෂය අවසානය වනවිට ලියාපදිංචි කර තිබුණේ ඉඩම් කැබැලි 1377ක් පමණක් බවද විගණන වාර්තාවේ සඳහන් වේ.ඉඩම් අත්පත්කර ගැනීමේ ක්‍රියාවලිය නියමිත කාලවකවානුව තුළ අවසන් කිරීමට පියවරගත යුතු බවට විගණනය මගින් නිර්දේශ කර ඇත.


මේ පිළිබඳව මධ්‍යම අධිවේගි මාර්ග ව්‍යාපෘතිය කළමනාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත්තේ ඉඩම් අත්පත් කර ගැනීමේ ක්‍රියාවලියේ ප්‍රමාදයන් ඇතුළුව නොවැළැක්විය හැකි ප්‍රමාදයන් මේ සඳහා හේතුවී ඇති බවය. මෙම කාරේය් වැදගත්කම පිළිබඳ අමාත්‍යංශය මට්ටමින් ප්‍රාදේශීය ලේකම් කාර්යාල දැනුවත් කොට ඇති බවත් එහි ප්‍රතිඵලයක් ලෙස ප්‍රාදේශීය කාර්යාල විසින් එම කටයුතු කඩිනම් කළ බව අධිවේගි මාර්ග ව්‍යාපෘතියේ කළමණාකාරිත්වය විසින් විගණනයට සඳහන් කොට ඇත.මධ්‍යම අධිවේගි මාර්ග ව්‍යාපෘතිය සම්බන්ධයෙන් 2023 වර්ෂයට අදාළව නිකුත් කොට ඇති විගණන වාර්තාවේ මෙම තොරතුරු ඇතුළත් වේ.


වැලිගම හෝටල් සිද්ධිය: සී.සී.ඩී. හිටපු ලොක්කා නොඅල්ලන්න එකඟතාව දික්කරයි

 



රන්ජන් කටුගම්පොල


මාතර වැලිගම ‘ඩබ්ලිව්. 15’හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් මෙතෙක් සැකකරුවකු වශයෙන් නම්කර නොමැති කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා මහතා අත්අඩංගුවට නොගන්නා බවට දී තිබූ එකඟතාව නීතිපතිවරයාගේ විරෝධතාවට යටත්ව අප්‍රේල් 28 වැනිදා දක්වා දීර්ඝ කිරීමට අභියාචනාධිකරණය ඊයේ (26) නියෝග කළේය.

මාතර වැලිගම 'ඩබ්ලිව්. 15 හෝටලයට වෙඩි තැබීමේ සිද්ධිය සම්බන්ධයෙන් තමත් අත්අඩංගුවට ගැනීම වැළැක්වීමේ නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි තෙවිල්ද සිල්වා මහතා ඇතුළු නිලධාරින් අටදෙනකු ගොනුකර ඇති පෙත්සම් කැඳවූ අවස්ථාවේ දී විනිසුරුවරයා එලෙස නියම කළේය. අභියාචනාධිකරණ විනිසුරු ගිහාන් කුලතුංග මහතා හමුවේ පෙත්සම කැඳවූ අවස්ථාවේ එලෙස නියම කළේය.


පෙත්සම කැඳවූ අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා කරුණු දක්වමින් සිද්ධියේ සැකකරුවන් වශයෙන් නම්කර සිටි කොළඹ අපරාධ කොට්ඨාසයේ හිටපු ස්ථානාධිපති ඇම් සිල්වා මහතා ඇතුළු නිලධාරින් හයදෙනා පෙත්සම් තවදුරටත් පවත්වාගෙන යෑමේ අවශ්‍යතාවක් නොමැති බවට දැනුම් දී ඇති හෙයින් පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට අවසර ඉල්ලා සිටියේය.


සහකාර පොලිස් අධිකාරි නෙවිල්ද සිල්වා සහ ජගත් නිශාන්ත යන පෙත්සම්කරුවන්ගේ පෙත්සම් සඳහා වැඩිදුර ලේඛන ඉදිරිපත් කර කරුණු තහවුරු කිරීම සඳහා වෙනත් දිනයක් දෙන්නැයි ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා ඉල්ලා සිටියේය.ඊට දැඩි විරෝධය පළකළ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේෂිකා සිල්වා මහත්මිය පෙත්සම්කරුවන් හයදෙනකු මේ වන විටත් පෙත්සම් ඉවත් කරගෙන ඇති පසුබිමක් තුළ මෙම පෙත්සම තවදුරටත් පවත්වාගෙන යෑමේ හැකියාවක් නැතැයි කීවාය.


මෙම පෙත්සමට පාදක වන මාතර මහේස්ත්‍රාත් අධිකරණ නඩු ගොනුවේ පූර්ණ වාර්තාවක් මෙම අධිකරණයට ඉදිරිපත් කරන බව පෙත්සම්කරුවන් මීට පෙර දැනුම් දුන්නත් මෙතෙක් එම වාර්තාව ඉදිරිපත් කර නොමැති බවත් පෙත්සම්කරුවන් කරුණු වසන් කර ඇති බවත් පෙන්වා දුන් මහේෂිකා ද සිල්වා මහත්මිය විධිමත් පෙත්සමක් අධිකරණයට ඉදිරිපත් කර නොමැති හෙයින් මෙම පෙත්සම මුල් අවස්ථාවේදීම නිෂ්ප්‍රභ කරන්නැයි අධිකරණයෙන් ඉල්ලා සිටියාය.

ජනාධිපති නීතීඥ එරාජ් ද සිල්වා මහතා කරුණු දක්වමින් මාතර නඩු වාර්තාව ලබා ගැනීමේ ප්‍රමාදයක් හටගත් හෙයින් එම තොරතුරු සහිත සම්පූර්ණ ලේඛන ඉදිරිපත් කරමින් කරුණු තහවුරු කිරිම සඳහා දිනයක් දෙන්නැයි ඉල්ලා සිටියේය.


කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම් ඉල්ලා අස්කර ගැනීමට අවසර දුන් විනිසුරුවරයා කරුණු තහවුරු කිරිම සඳහා පෙත්සම් අප්‍රේල් 28 වැනිදා යළි කැඳවීමට නියෝග කළේය.පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥ දිමුතු කුරුප්පුආරච්චි මහත්මියගේ උපදෙස් මත නීතිඥ දමින්ද විජේරත්න මහතා සමග ජනාධිපති නීතිඥ එරාජ් ද සිල්වා මහතා පෙනී සිටියේය. වගඋත්තරකරුවන් වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මහේෂිකා ද සිල්වා මහත්මිය පෙනී සිටියාය.


පාසල් සිසුන්ගෙන් සියයට 18 කට විශාදය

 


 රංජන් කස්තුරි


මේ රට නව යොවුන් වියේ පසුවන පාසල් දරුවන්ගෙන් සියයට 15.4 ක පිරිසක් සිය දිවි නසා ගැනීමට කල්පනා කර ඇතැයි නවතම සමීක්ෂණයකින් හෙළිවන බව සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය සදහන් කරයි.නව යොවුන් වියේ පසුවන පාසල් දරුවන් හෙවත් වයස අවුරුදු 13ත් 17 ත් අතර දරුවන්ගෙන් සියයට15.4ක් සියදිවි නසා ගැනීමට කල්පනා කර තිබෙන අතර ඉන් සියයට 9.6ක් සියදිවි නසා ගැනීමට උත්සාහයක නිරත වී තිබෙන බවද එම සමීක්ෂණයෙන් හෙළි වූ බව පවුල් සෞඛ්‍ය කාර්යාංශයේ විශේෂඥ වෛද්‍ය චිරන්තිකා විතාන මහත්මිය සඳහන් කළාය.


සමීක්ෂණයට භාජනය වූ පාසල් දරුවන්ගෙන් සියයට18 ක පිරිසක් විශාදයෙන් පෙළෙන බවද සමීපතම මිතුරන් ඉන්නා දරුවන් ඉන්නේ සියයට7.5කට පමණකැයි ද වෛද්‍යවරිය සඳහන් කළාය.එසේම එම පාසල් දරුවන්ගෙන් සියයට 36කට සෞඛ්‍ය ප්‍රශ්න තිබුණ ද සෞඛ්‍ය සේවයේ පිහිට ලබා ගැනීමට උනන්දුවක් දක්වා ඇත්තේ සිසුන්ගෙන් සියයට2ක් වැනි අඩු ප්‍රතිශතයක් බවද එම සමීක්ෂණයෙන් හෙළි වූ බවද විතාන මහත්මිය කීවාය.


දුම් පානයට සියයට5.7 ක් ඉ-සිගරැට් භාවිතයට සියයට5ක් මත්පැන් භාවිතයට සියය5.3ක් ගංජා භාවිතයට සියයට 3.1ක් යොමු වී ඇතැයි ද වෛද්‍ය චිරන්තිකා විතානගේ මහත්මිය සඳහන් කළාය.එම පාසල් දරුවන්ගෙන් සියයට 63ක්ම පැය 8කට වඩා අඩු නින්දක් ලබන පිරිසක් වීම කැපී පෙනෙන බවද ඔවුන්ගෙන් සියයට30ක පමණ පිරිසක් දිනකට පැය තුනකට වඩා වැඩි කාලයක් ජංගම දුරකතනය භාවිතා කරන බවට හෙළිවී ඇතැයිද වෛද්‍යවරිය කීවාය. අධිබර දරුවන් සියයට 12.1ක් ස්ථූලතාවයෙන් පෙළෙන දරුවන් සියයට 3ක් මිටි බවින් සිටින දරුවන් සියයට10.9ක් ආදී වශයෙන් ගත් බවද එම වෛද්‍යවරිය සඳහන් කළාය. මේ අතර දරුවන්ගෙන් සියයට 25ක පමණ පිරිසක් සතියකට කිසිම පලතුරක් නොගෙන ඇති බවටත් සියයට3.1 ක් සතියකට කිසිදු එළවළුවක් ආහාරයට නොගෙන සිටි බවටත් හෙළි වූ බවද වෛද්‍යවරිය සඳහන් කළාය.

 

පාසල් 40ක සිසුන්ට 2024 වසරේ ඔක්තෝබර් සහ නොවැම්බර් මාස වලදී ප්‍රශ්නාවලියක් ලබාදී එකතු කරගන්නා ලද දත්ත වලින් එම නවතම වාර්තාව සකස් කළ බවද විශේෂඥ වෛද්‍ය චිරන්තිකා විතාන මහත්මිය සඳහන් කළාය.


Wednesday, March 26, 2025

දෙව්නුවර හෙල්ලුම් කෑ ද්විත්ව ඝාතනයේ වෙඩික්කරුවන් හඳුනාගෙන

 


ගන්දර, දෙව්නුවර ශ්‍රී විෂ්ණු දේවාලය අසල ඉකුත් 21දා රාත්‍රියේ සිදුකළ වෙඩි තැබීමේ සිද්ධියට අදාළව අත්අඩංගුවට ගත් සංඛ්‍යාව මේ වන විට පස්දෙනකු දක්වා ඉහළ ගොස් තිබේ.


සිද්ධියට අදාළව කාන්තාවක් ඇතුළුව පුද්ගලයන් සිවුදෙනකු මීට පෙර අත්අඩංගුවට ගෙන තිබූ අතර පස්වැනි පුද්ගලයා අත්අඩංගුවට ගෙන ඇත්තේ ඉකුත් 23 වැනිදා උදෑසනය. ඒ මාතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ නිලධාරීර්න් විසිනි. මෙලෙස අත්අඩංගුවට ගැනුණේ 34 හැවිරිදි දෙවිනුවර පදිංචි අයෙකි. ඔහුට එල්ල වී තිබූ චෝදනාව වූයේ ද්විත්ව ඝාතනය සඳහා තුවක්කුකරුවන් පැමිණි බව කියන වෑන් රියට ගිනි තබා විනාශ කිරීමයි. දෙවිනුවරම පදිංචි මෙම පුද්ගලයාගෙන්ද ඊයේ වන විට දීර්ඝ ලෙස ප්‍රශ්න කෙරුණු අතර ඔහුගෙන් විමර්ශනයට අදාළ වැදගත් තොරතුරු රැසක් මේ වන විට හෙළිවී ඇත.


කෙසේ වෙතත් දැනට රැඳවුම් නියෝග මත ප්‍රශ්න කෙරෙන කාන්තාව ඇතුළු පුද්ගලයන් සිවුදෙනාගෙන්ද විමර්ශනයට අදාළ වැදගත් සාක්ෂි රැසක් හෙළිව ඇති අතර ඔවුන්ගෙන් ලද ප්‍රශ්න කිරීම මත වෙඩි තැබීමට පැමිණි තුවක්කුකරුවන් දෙදෙනාද හඳුනාගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකිව තිබේ. එමෙන්ම ගිනිතබා විනාශ කළ වෑන් ඊයේ තොරතුරු රැසක්ම මේ වන විට නිලධාරීර්න් අනාවරණය කරගෙන හමාරය.


එක්තරා දුරකථන සන්නිවේදන සමාගමක සන්නාම ස්ටිකර්වලින් අලංකරණය කර තිබූ වෑන් රිය එකලස් කරන ලද වාහනයක් බවටද සැක මතුව ඇත. මෙම වෑන් රියට සමාන වෑන් රථයක් සිද්ධියට පෙර දින මැරුම්කෑ තරුණයන් දෙදෙනා සහභාගි වූ මත්පැන් සාදය පැවැත්වූ ස්ථානයට යාබද නතර කර ඇති ආකාරය් සඳහන් සී.සී.ටී.වී. රූප රාමු පෙළක්ද මේ වන විට විමර්ශන නිලධාර්න් සතුව ඇත.


මේ අනුව විමර්ශන නිලධාර්න් සැක කරන්නේ මත්පැන් සාදය නිම වී ඔවුන් යතුරුපැදියේ නැඟී එම ස්ථානයෙන් පිටවන විටම කිසිවකු විසින් තුවක්කුකරුවන්ට දුරකථන ඇමතුමක් දී ඒ බව කියා ඇති බවයි. එම ඇමතුම දී ඇත්තේ මියගිය තරුණයන්ගේ සමීපතමයකු විය හැකි බව පොලිසියේ සැකයයි.


එම ඇමතුමත් සමඟ පණගැන්වුණු වෑන් රිය, යතුරුපැදියේ නැඟි තරුණයන් පිටුපසින් මඳ දුරක් පැමිණ දෙවිනුවර ශ්‍රී විෂ්ණු දේවාලයේ දකුණු වාහල්කඩ ඉදිර්පිටදී තරුණයන් ගමන් ගත් යතුරුපැදියේ ගැටීමට සලස්වා පසුව මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් විමර්ශනවලදී අනාවරණය වී තිබේ.ඔවුන් අතර සිටින තිස් හැවිරිදි කාන්තාව මෙම ඝාතනය සම්බන්ධයෙන් තොරතුරු දැනගෙන සිටි බව කියැවේ. ඇගේ සැමියා ඝාතනය සම්බන්ධ තොරතුරු ඇයට පවසා තිබී ඇති බවත් කියයි. ඇගෙන් කරන ලද ප්‍රශ්න කිරීමෙන් පසු ද්විත්ව ඝාතනය සිදුකිරීම සඳහා කොන්ත්‍රාත්තුව භාරගත් තැනැත්තාද විමර්ශන නිලධාර්න් මේ වන විට හඳුනාගෙන තිබේ. මේ සිවුදෙනා අතර වෙඩික්කරුවන්ට නවාතැන් දුන් පුද්ගලයකුද සිටින බව වාර්තා වේ. ඔහු ඩුබායි රාජ්‍යයේ සිට මෙම ද්විත්ව ඝාතනය මෙහෙයවූ සංවිධානාත්මක අපරාධකරුවන්ගේ සමීපතමයකු බව කියැවේ. කෙසේ වෙතත් අත්අඩංගුවට ගත් මෙම සැකකරුවන්ගෙන් මේවන විට රඳවාගෙන ප්‍රශ්න කිරීම සිදු කෙරෙන අතර ඒ අනුව අනාවරණය වන්නේ ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින දෙහි බාලේ සහ දෙහි රංග නමැති සොහොයුරන් විසින් මෙම වෙඩි තැබීම මෙහෙයවා ඇති බවකි. 


තුවක්කුකරුවන්ගේ ඉලක්කය මැරු දෙදෙනා අතර සිටි නදීෂාන් නමැත්තා වන්නට ඇති බව විමර්ශන නිලධාහු සැක කරති. ඔහු මත්ද්‍රව්‍ය සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්වූවෙකි. මොහුට දෙහි රංග නමැත්තාගෙන් ජීවිත තර්ජනද එල්ලව තිබූ බව කියැවේ. එහෙත් ඔහු දෙහි රංගගේ තර්ජන ගැන එතරම් තැකීම් නොකිරීම ඔහු ඝාතනයට ලක්වීමට ප්‍රබල හේතුවක් බවද කියයි. මැරුම්ක ඔහුගේ මිතුරා අපරාධවලට සම්බන්ධ වූවකු නොවුණත් ඔහුට තුවක්කුකරුවන් වෙඩි තබා තිබේ.


මෙම ද්විත්ව ඝාතනය රුපියල් ලක්ෂ 50ක කොන්ත්‍රාත්තුවක් මත සිදුවූවක් බවට ප්‍රචාරය වුවද ඒ බව මෙතෙක් තහවුරු වී නැතැයි විමර්ශන නිලධාරිහු කියති. ඒ නිසා විමර්ශන නිලධාරීන්ට ඒ ගැන ඇත්තේ සැකයකි. කෙසේ වෙතත් වෙඩි තැබීමේ සිද්ධියෙන් පසු තුවක්කුකරුවන් පැමිණි වෑන් ඊය ගාල්ල, වරාය පාරේ වැල්මඩ ප්‍රදේශයේදී ගිනි තබා විනාශකර තිබිණි. එහෙත් එම ගිනිගත් වෑන්රිය සෝදිසි කිරීමේදී එය තුළ තිබී ටී. 56 ගිනි අවියකට යොදන ලද මැගසිනයක්ද තවත් හිස් පතරොම් කොපු කිහිපයක්ද තිබී සොයා ගැනිණි. ඒ අනුව විමර්ශන නිලධාර්න් පවසනුයේ එක් තුවක්කුකරුවකු මෙම තරුණයන් දෙදෙනාට වෙඩි තබා ඇත්තේ වෑන් රිය තුළ සිට බවය. ඒ බව මනාව පැහැදිලි වන්නේ වෑන් ඊය තුළ වැටී තිබූ මැගසිනයෙන් සහ හිස් පතරොම් කොපුවලින්ය. කෙසේ වෙතත් වෑන් රිය ගිනි තැබීම සම්බන්ධයෙන් ගන්දරදී අත්අඩංගුවට ගත් පුද්ගලයාගෙන් වෑන් රිය සම්බන්ධ තොරතුරු හෙළිවෙමින් පවතින බව කියයි. වෑන් රිය මොවුන් ගිනි තබා විනාශ කර ඇත්තේ සාක්ෂි වසන් කිරීමට බව පොලිසියේ විශ්වාසයයි.


කෙසේ වෙතත් මීට පෙරද මිනිස් ඝාතනවලට යොදාගත් වාහන සහ යතුරුපැදි සිද්ධියෙන් පසු ගිනි තබා විනාශ කරලීමේ ප්‍රවණතාවක් දකින්නට ඇති බව කියන පොලිසිය ඔවුන් එලෙස ඝාතනවලට යොදාගත් වාහන ගිනි තබා විනාශ කරනු ලබන්නේ එම වාහන සොරකම් කරන ලද ඒවා හෝ එකලස් කරන ලද ඒවා නිසා බව විමර්ශන නිලධාහු පවසති. කෙසේ වෙතත් ගිනි තබා විනාශ කළ මෙම වාහනයේ චැසි අංකය හෝ එන්ජින් අංකය සොයා ගැනීම සඳහා එම රථය රස පරීක්ෂකවරයා වෙත යොමුකර ඇතැයිද වාර්තා වේ.


මේ අතර මෑතකදී සිදු කළ වෙඩි තැබීම්වලට වඩා වැඩි උණ්ඩ ප්‍රමාණයක් මෙම ද්විත්ව ඝාතනය සඳහා යොදා ගෙන ඇති බවත් එමෙන්ම ගිනි අවි දෙකක් මේ සඳහා පාවිච්චි කරගැනීමෙන් තහවුරු වන්නේ තුවක්කුකරුවන්ට ඉලක්ක ගත පුද්ගලයාගේ පණ අහිමි වන තුරුම වෙඩි තැබීමට අවශ්‍යව ඇති බවයි. එය තවත් තහවුරු වන්නේ එක් තුවක්කුකරුවකු වෑන් රියෙන් බැස එක් තරුණයකු පසුපස පන්නමින් වෙඩි තැබීම සිදුකර තිබීම නිසාවෙනි.


ඉකුත් 21 වැනිදා මෙම ද්විත්ව ඝාතනය සිදුකොට අදට දින 5කි. දින 5 තුළදී මෙම ද්විත්ව ඝතනය ඩුබායි රාජ්‍යයේ සිට මෙහෙය වූ මෙම ඝාතනයේ කොන්ත්‍රාත්තු භාරගත් පුද්ගලයන්ද හඳුනාගැනීමට මේ වන විට පොලිසියට හැකිව තිබේ. එමෙන්ම එම ද්විත්ව ඝාතනය සිදුව පැය 24ක් යන්නට මත්තෙන් මෙම ඝාතනයට ආධාර අනුබල දුන් පස්දෙනකුද අත්අඩංගුවට ගැනීමට විමර්ශන නිලධාරීන් හැකිව ඇති අතර ඝාතනය

සිදුකළ තුවක්කුකරුවන්ද හඳුනාගෙන තිබේ. ඒ අනුව විමර්ශන නිලධාර්න් පවසන්නේ අද හෙටම ද්විත්ව ඝාතනයේ තුවක්කුකරුවන් සහ වෑන් රිය පැදවූ රියැදුරා ඇතුළු තිදෙනා අත්අඩංගුවට ගන්නා බවය. ඒ සඳහා විමර්ශන කණ්ඩායම් 5ක් ක්‍රියාත්මකය.


උපුල් තරංගට තරග පවාදීමට යෝජනා කල යෝගි පටෙල් අවුරුදු 4ක් හිරේට

 


2024 වසරේ පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති ලෙජන්ඩ් ලීග් තරගාවලිදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතාට තරග පවාදීම සඳහා යෝජනා කිරීමේ චෝදනාවට වරදකරු වූ (Kandy Samp Army) කණ්ඩායමේ හිමිකරු වූ ඉන්දීය ජාතික යෝගි පටෙල්ට වසර හතරක සිරදඬුවම් නියම කරන බව මාතලේ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා ඊයේ (25දා) නියෝග කළේය.


සිරදඬුවම්වලට අමතරව රුපියල් මිලියන 85ක දඩයක් සහ එම නඩුවේ පැමිණිලිකාර උපුල් තරංග මහතාට රුපියල් මිලියන දෙකක වන්දියක් ගෙවන ලෙසද විනිසුරුවරයා නියෝග කළේය.විත්තිකරු මේ වන විට රටින් මඟහැර ගොස් ඇති අතර ඔහු නොමැතිව මෙම නඩු විභාගය සිදුකෙරුණු අතර ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර තිබේ.


නඩු විභාගයෙන් පසුව තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහාධිකරණ විනිසුරුවරයා කියා සිටියේ පැමිණිල්ල විසින් ඉදිරිපත් කර ඇති චෝදනා සාධරණ සැකයෙන් ඔප්පු වී ඇති බවත් එම නිසා මෙම දඬුවම් නියම කරන බවද සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් විනිසුරුවරයා සඳහන් කළේය.


2024 වසරේ මහනුවර පල්ලේකැලේ ක්‍රීඩාංගණයේදී පැවැති ලේජන්ඩ් ලීග් ක්‍රිකට් තරගාවලියේදී ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක උපුල් තරංග මහතාට තරග පාවාදීම සඳහා යෝජනා කිරීම තුළින් ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදුකළේ යැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව මාතලේ මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනුකර තිබිණි.


හොර විසා වලින් කැනඩා යන්න හදපු 11ක් කටුනායක ගුවන්තොටුපොළදි අත්අඩංගුවට

  ටී.කේ.ජී. කපිල


කූට ලෙස සකස් කළ කැනඩා වීසා බලපත්‍ර භාවිත කරමින් කැනඩාවට පලා යෑමට තැත් කළ ශ්‍රී ලාංකිකයන් 11 දෙනකු සහ ඔවුන් ගුවන්තොටුපොළ වෙත රැගෙන ආ තැරැව්කරුවකු , කටුනායක ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේදී ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන් පිරිසක් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

මෙසේ කැනඩාවට පලා යෑම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි ශ්‍රී ලාංකිකයන් 11 දෙනා වයස අවුරුදු 35ත් - 40ත් අතරේ පසුවන, කොළඹ, කළුතර, බදුල්ල සහ අනුරාධපුර දිස්ත්‍රික්කවල පදිංචි රජයේ සේවකයෝ, ව්‍යාපාරිකයෝ සහ මෑතකදී විදේශගත වී මෙරටට පැමිණ සිටින්නන් වීම විශේෂත්වයකි.


මොවුන් 24 වැනි දින රාත්‍රි 06.40 ට ඩුබායි බලා පිටත්ව යන ශ්‍රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 225 දරන ගුවන් යානයට පිවිසීම සඳහා කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ තිබූ අතර ඔවුන් මෙම ගුවන්යානයෙන් ඩුබායි වෙත ගොස් එතැන් සිට කැනඩාවේ ටොරොන්ටෝ වෙත යෑමට සැලසුම් කර තිබූ අතර, මොවුන් අත්අඩංගුවට ගන්නා අවස්ථාව වන විට ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචිය ද ලබාගෙන තිබී ඇත.


මොවුන් අතරින් පළමු වැන්නා ගුවන් යානා නිශ්කාශන කටයුතු සඳහා ගුවන් සේවා කවුළුව වෙත ඉදිරිපත් කළ කැනඩා වීසා බලපත්‍රය පිළිබඳ ඇති වූ සැකය මත, ගුවන්තොටුපොළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාර්න් වෙත යොමු කිරීමෙන් පසු මෙම සියලුම දෙනා අත්අඩංගුවට ගැනීම සිදු කර තිබිණි.


එසේම ඒ වන විටත් මොවුන් ගුවන්තොටුපොළ වෙත ඇරලවීම සඳහා පැමිණ, ගුවන්තොටුපොළ පිටත්වීමේ පර්යන්තයේ රැඳී සිටි තැරැව්කරුද, අත්අඩංගුවට ගත් පිරිසගෙන් ලද තොරතුරු මත, ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීර්න් විසින් අත්අඩංගුවට ගැනීමට පියවර ගෙන තිබිණි.


මෙසේ අත්අඩංගුවට ගත් තැරැව්කරුට අමතරව තවත් තැරැව්කරුවකු මෙරට අභ්‍යන්තරයේ සිට් මොවුන්ට මෙම පලා යෑම සඳහා අවශ්‍ය කූට ලේඛන සියල්ල සකස් කර දී තිබූ අතර මීට අමතරව කැනඩාවේද මොවුන්ට පහසුකම් සැලසීමට තවත් තැරැව්කරුවකු සිටින බවත්, මොවුන් මෙම ගමන සඳහා එක් අයකුට රුපියල් ලක්ෂ 45 බැගින් , මෙම තැරැව්කරුවන් වෙත ගෙවා ඇති බවත් මේ පිළිබඳ සිදුකළ මූලික විමර්ශනවලදී අනාවරණය වී තිබේ.


කැලණි විශ්වවිද්‍යාලයේ සිසුවියට පිහියෙන් ඇන්න චිවරධාරි කාන්තාව හදුනා ගැනිම 01 වැනිදා

 


 කේ. දුමින්ද


කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුවියකට පිහියෙන් ඇන තුවාල සිදු කිරීම සම්බන්ධව අත්අඩංගුවට ගත් සිවුරක් පෙරවූ කාන්තාවක් හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කීර්ම සඳහා ලබන අප්‍රේල් මස 01 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට මහර අංක 01 අධිකරණයේ මහෙස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය පෙරේදා (24දා) නියම කළාය.


තවද ඇය එදිනට හඳුනාගැනීමේ පෙරෙට්ටුවකට ඉදිරිපත් කරන ලෙසටද මහෙස්ත්‍රාත්වරිය විසින් පොලිසියට නියෝග කරනු ලැබුවාය. කැලණිය, නුවර පාර, මුරුගන්වත්ත ප්‍රදේශයේ පදිංචිකාර්යක් මෙසේ හඳුනාගැනීමේ පෙරෙට්ටුවක් සඳහා රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි.

මෙහිදී කිරිබත්ගොඩ පොලිසියේ නඩු මෙහෙයුම් අංශයේ පොලිස් කොස්තාපල් කුලසිංහ මහතා (10789) විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ කියා සිටියේය. “ඉකුත් 21 වැනිදා සවස මේ විශ්වවිද්‍යාල සිසුවිය ඔබවත්ත ප්‍රදේශයේ සිටින සිය සොහොයුරාගේ නිවෙසට ගිහින් තිබෙනවා. එසේ ගිහින් නැවත කැලණිය විශ්වවිද්‍යාලයට යෑම සඳහා බස් රථයෙන් කිරිබත්ගොඩ නගරයට පැමිණ තිබෙනවා. පසුව සිසුවිය බස් රථයකට ගොඩ වීම සඳහා නගරයේ බුදු පිළිමය දෙසට යමින් සිටියා. එවිට එම සිසුවිය ඉදිරියෙන් පැමිණි සිවුරක් පෙරවූ කාන්තාවක් එකවරම එම සිසුවියට පිහියෙන් ඇනලා.


පසුව අවට සිටි පිරිස විසින් එම සිසුවිය කිර්බත්ගොඩ රජයේ රෝහලට ඇතුළත් කරලා. එහිදී සිසුවිය තුවාලයට බෙහෙත් දමාගෙන පොලිසියට පැමිණ සිද්ධිය කීවා. ඒ සම්බන්ධව විමර්ශනය සැකකාරිය අත්අඩංගුවට ගත්තා. නමුත් පිහියෙන් ඇනීමට හේතුව අනාවරණය වුණේ නැහැ. 


අවුරුදු 9ක දැරිය අපයෝජනය කල වරදට බරපතළ වැඩ සහිතව වසර 15ක සිර දඬුවම්

 


 හංසි නානායක්කාර


වයස අවුරුදු 9ක දැරියක් නිත්‍යනුකූල භාරකාරත්වයෙන් අපහරණය කිර්ම හා බරපතළ ලිංගික අපයෝජනය කිරීම ඇතුළු චෝදනාවලට වරදකරු කරණු ලැබූ විත්තිකරුවකුට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (25) බරපතළ වැඩ සහිතව වසර 15ක සිර දඬුවම් නියම කළේය.


වින්දිත දැරියට රුපියල් ලක්ෂ 3ක වන්දියක් ගෙවීමට විත්තිකරුට නියෝග කළ විනිසුරුවරයා චෝදනා දෙකකට වෙන් වෙන්ව රුපියල් විසිනව දහසක (29,000) දඩ මුදලක් ගෙවීමටද නියම කළේය.එම වන්දි මුදල් හා දඩ මුදල් නොගෙවන්නේ නම් වසර බැගින් ලිහිල් සිරදඬුවම් නියම කරන බවද විනිසුරුවරයා සිය නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය.


දැරිය අධිකරණය හමුවේ ලබා දුන් සාක්ෂිය මෙන්ම අධිකරණ වෛද්‍යවරයා ලබා දුන් සාක්ෂි සහ වාර්තා ගැළපීම හේතුවෙන් මෙලෙස විත්තිකරු වැරැදිකරු කරමින් දඬුවම් නියම කරන බව විනිසුරුවරයා ප්‍රකාශ කළේය.වින්දිත දැරිය අවුරුදු නවයේදී පමණ නිවෙස අසල ක්‍රීඩා පිටියක සිය මිතුරන් සමඟ සෙල්ලම් කිරීමෙන් අනතුරුව අනිත් දරුවන් නිවෙස් වෙත යනකම් සිට අදාළ දැරියට චොකලට් එකක් ලබාදී පාළු ස්ථානයකට ගෙන ගොස් අමානුෂික ලිංගික හිංසනය සිදු කර ඇති බවට අධිකරණය හමුවේ හෙළි වී ඇති බව විනිසුරුවරයා සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් සඳහන් කළේය. එසේම මීට වසර 15කට පෙර තමාට සිදු වූ එම හිංසනය තරුණ වියට එළඹියද තවමත් මානසික පීඩාවක් ලෙස හිතේ පවතින බවත් ඒ අනුව මෙම විත්තිකරුට උපරිම දඬුවම් ලබාදෙන ලෙසත් එම වින්දිත තරුණිය අධිකරණය හමුවේ සාක්ෂි ලබාදෙමින් ප්‍රකාශ කර තිබිණි.


භාරකාරයකු නොමැති රෝගීන් සුවසැරියෙන් ගෙන යන්නේ නැ

 


1990 සුවසැරිය හදිසි ගිලන්රථ සේවයෙන් රෝහල කරා. රැ ගෙන යන රෝගීන්ගේ භාරකාරයකු නොමැති වුවහොත් එම ගිලන් රථයේ කාර්ය. මණ්ඩලය විසින් රෝගීන් හේතුවෙන්, හැටන් පොකොට්ඨාසයේ සේවය කරන පොලිස්. ගිලධාරීන් සහ ප්‍රදේශවාසීන් දැඩි අසීරුතාවට පත් වී ඇත. හැටන් පොලිස් කොට්ඨාසයේ නගරාසන්නව, ගබ්දව සහ ප්‍රධාන මාර්ග ආශ්‍රිතව හදිසියේ රෝගාතුර වන, රෝගීන් රෝහල් වෙත රැගෙන යෑම සඳහා 1990 සුවසැර්ය හදිසි ගිලන්රථ සේවයේ සහාය ලබාගැනීමේදී මෙම ගැටලුකාරී තත්ත්වය මතුවන බව පොලිස් නිලධාහු පැවැසූහ.


තලවකැලේ ප්‍රදේශයේ පදිංචි අවු 60ක පමණ වයසැති පුද්ගලයකු 24දා පස්වරුවේ හැටන් නගරයට පැමිණ සිටියදී හදිසියේ හෘදයාබාධයකට ලක් වී ඇති අතර එහිදී එම රෝගියාව රෝහල් ගත කිරීමට හැටන් නගරයේ ව්‍යාපාරිකයන් සහ ප්‍රදේශවාසීහු එක්ව 1990 සුවසැරිය ගිලන් රථයේ සහාය ඉල්ලා ඇත. එම පුද්ගලයා රෝගී වී වැටී සිටි ස්ථානයට පැමිණි එම ගිලන් රථ සේවයේ කාර්ය මණ්ඩලය අදාළ රෝගියා මියගොස් ඇති නිසා ගිලන් රථයෙන් රෝහල කරා රැගෙන යෑමට නොහැකි බවට පවසා ඇත. පසුව ප්‍රදේශවාසීන් විසින් හැටන් පොලිසිය වෙත කළ දැනුම් දීමක් මත හැටන් පොලිසියේ උසස් නිලධාරියෙකු එම ස්ථානයට පැමිණ රෝගියා දික්ඔය මූලික රෝහල වෙත රැගෙන යායුතු බවට ගිලන් රථයේ කාර්ය මණ්ඩලය වෙත පවසා ඇත.


එහිදී ගිලන් රථ කාර්ය මණ්ඩලය විසින් අදාළ රෝගියා මියගොස් ඇති බවට පැවසීමෙන් අනතුරුව පොලිස් නිලධාරිවරයා කාර්ය මණ්ඩලය හමුවේ කියා සිටියේ රෝගියකු මියගොස් ඇති බවට තහවුරු කිරීමට හැකියාව ඇත්තේ වෛද්‍යවරුන්ට පමණක් බවත් තමන් එම රෝගියාගේ වගකීම භාරගන්නා බවට පැවසීමෙන් අනතුරුව එම රෝගියා ගිලන් රථයෙන් රෝහල වෙත රැගෙන ගොස් ඇත.එසේ රෝහල වෙත රැගෙන ගිය රෝගියා පරීක්ෂා කර ඇති දික්ඔය මුලික රෝහලේ වෛද්‍යවරුන් අදාළ රෝගියා විනාඩි 20 ක ප්‍රථම රෝහල වෙත ඇතුළත් කර තිබුණේ නම් ජිවිතය බේරා ගැනිමට හැකියාව තිබු බවත් මේ වන විට රෝගියා මියගොස් ඇති බව වෛද්‍යවරුන් තමන් හමුවේ කියා සිටි බව පොලිස් නිලධාරිවරයා කියා සිටියේය.

අප මේ සම්බන්ධයෙන් හැටන් කොට්ඨාස භාර පොලිස් අධිකාරි ප්‍රදිප් වීරසේකර මහතාගෙන් කළ විමසුමකට ඔහු කියා සිටියේ මෙම ගැටලුව සම්බන්ධයෙන් තමන්ටද තොරතුරු ලැබී ඇති නිසා අදාළ පාර්ශ්වයන් සමඟ සාකච්ඡා කර ඒ සඳහා කඩිනමින් විසදුම් ලබාදෙන බවයි.


කඳු දෙකක් අතර වැඩි දුරක් යන කේබල් කාර් අම්බුළුවාවේ

 


කේ.එල්. සූරවීර 


ලෝකයේ කඳු දෙකක් අතර කීටරයකට වැඩි දුරක් කිසිදු ආධාරකයක් නොමැතිව ක්‍රියාත්මක කෙරෙන කේබල් කාර් ව්‍යාපෘති  දුර්ලභය. ඒ දුර්ලභ අවස්ථාවක් දැක. අත්විදීමට ශ්‍රී ලාංකික ජනතාවට මේ වසර,අගදී අවස්ථාව උදාවනු ඇත. ඒ ගම්පොළ  අම්බුළුවාව කේබල් කාර් ව්‍යාපෘතියෙහි, චීනයේ හා ඇමරිකාවේ. ඒකාබද්ධ, ආයෝජනයක ප්‍රතිඵලයක් ලෙස ඉදි වන අම්බුළුවාව සෝබල් කාර් ව්‍යාපෘතියේ ප්‍රථම – අදියර කිලෝමීටර් 1,8ක ප්‍රමාණය මේ වසර – අවසන් වීමට නියමිතය, ඒ අනුව අම්බුළුවාව ආගමික හා ජෛව විවිධත්ව සංකීර්ණයේ ප්‍රවේශ දොරටුවේ සිට මීටර් 900ක් අම්බුළුවාව . කඳු මුදුනට කේබල් කාර් මඟින් ගමන් කර එතැන් සිට කිලෝමීටර් 1.2ක ප්‍රමාණයක් කිසිදු ආධාරකයකින් තොරව කේබල් කාර් මගින්ම අමනුළුවාව ගොවිජන කුලුනට ප්‍රවේශ විය හැකිය.


මේ වසරේ ඔක්තෝබර්  මාසයට පෙර මෙරට ජනතාවට මෙම අපූර්ව අත්දැකීම විඳගන්නට අවස්ථාව ලැබෙනු ඇති බව ඉකුත්දා (24දා) අම්බුළුවාවට පැමිණි චීන රජයේ ශ්‍රී ලංකා තානාපති කිව් ෂෙන්හොන් (Ambassador Oi  Zhenhong) මහතා සමඟ අම්බුළුවාව භාරකාර මණ්ඩලයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ අනුරාධ ජයරත්න මහතා සදහන් කළේය.


"අබුළුවාව කේබල් කාව්‍යාපෘතිය පිළිබඳ ශක්ෂතා අධ්‍යයනය සිදුව තිබෙන්නෙ මීට වසර දහ අටකට පෙරයි. ඒක සිහිනයක් නොවී යථාර්ථයක් බවට පත්කර ගන්න හැකියාව ලැබී ඇත්තේ, චීනයේ, හා ඇමරිකාවේ ආයෝජකයන් නිසා බව කෘතවේදීව සිහිපත් කරන්න කැමැතියි" යැයිද නීතිඥ අනුරාධ ජයරත්න මහතා තානාපතිවරයා සම්භ කීවේය.


අම්බුළුවාවට පැමිණි ශ්‍රී ලංකාවේ විහ. තානාපතිවරයා දැනට ඉදිවෙමින් පවතින මෙම ව්‍යාපෘතියේ කටයුතු සමීබන්ධයෙන් සතුට පළ කෙළේය." ශ්‍රී ලංකාව හා වගය අතර ඇති බැදීම තවත් ශක්තිමත් කෙරෙන මෙවැනි ව්‍යාපෘතියකට චීන ආයෝජකයකු සම්බන්ධ වීම සතුටක් බව තානාපතිවරයා මෙහිදී සඳහන් කෙළේය. අම්බුළුවාව කේබල් කාව්‍යාපෘතියේ දෙවැනි අදියර ගම්පොළ දුම්රිය නැවතුම ආසන්නය දක්වා ක්‍රියාත්මක වන බවද එමඟින් බදුලූ දුම්රියෙන් ගමන් ගන්නා විදේශ සංචාරකයන්ට හා ගම්පොළ හරහා නුවරඑළියට යන විදෙස් සංචාරකයන්ටද ශ්‍රී ලංකාවේ ප්‍රථම කේබල් කාර් වව්‍යාපෘතියේ අත්දැකීම ලබන්නට හැකි වනු ඇති බවද ජයරත්න මහතා චීන තානාපතිවරයා සමඟ කීවේය. එමඟින් ගම්පොළ ලෝකයේ සංචාරක වාණිජ්‍ය නගරයක් වනු ඇති බවද නම් පියා වූ දිමු, ජයරත්නයන්ගේ සිහිනය. එය වූ බවද ඔහු සිහිපත් කළේය.


හිටපු මන්ත්‍රී නිල නිවාස 46කින් මිලියන 11ක විදුලි බිල පොල්ලක්

 


හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස, සඳහා ලබාදී ඇති - විදුලි සම්බන්ධතා 46ක් සඳහා හිඟ විදුලි බිල්පත් මුදල් ලෙස රුපියල් මිලියන 11.66ක මුදලක් අය වීමට ඇති බැව් ජාතික විගණන කාර්යාලය මඟින් නිකුත්කොට ඇති විගණන වාර්තාවක් මඟින් අනාවරණය වී ඇත.මෙකී හිඟ මුදල වසරකට වැඩි තාලයක් තිස්සේ අය වීමට තිබූ අතර රුපියල් මිලියන 5.20ක මුදලක් වසර පහකට වැඩි කාලයක්  තිස්සේ අය වීමට ඇති බවද විගණන වාර්තාවේ සඳහන් වේ. 


දීර්ඝ කාලයක් තිස්සේ රුපියල් මිලියන 12.21ක හිඟ විදුලි බිල්පත් නොගෙවීම හේතුවෙන් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ නිල නිවාස සදහා ලබාදී තිබූ විදුලි සමීබන්ධතා  46ක් 2023 වර්ෂයේදී අවසන් කරන ලද (අක්‍රිය)ණයගැතියන් ලෙස වර්ගීකරණය කර තිබිණි.

පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ නිල  නිවාසවලට ලබාදී ඇති සම්බන්ධතාවලින් හිඟ මුදුන් අයකර ගැනීමේ ක්‍රියාවලිය කඩ්නම් කිරීමට කටයුතු කළ යුතු බවට විගණනය මඟින් නිර්දේශකොට ඇත. හිඟ මුදල් අයකර ගැනීම සඳහා අඛණ්ඩව ක්‍රියාමාර්ග ගනිමින් සිටින බව විදුලිබල මණ්ඩලය විසින් විගණනයට සදහන් කොට ඇත.ලංකා විදුලිබල මණ්ඩලය සම්බන්ධයෙන් 2003 වර්ෂයට අදාළව නිතුත්කොට ඇති විගණන වාර්තාව මඟින් මෙම තොරතුරු අනාවරණය කොට ඇත.



උස්වැටකෙයියාව මත් සාද බිමේ කොටින්ගේ හඳුනුම්පතක්

 


 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


එල්ටීටීඊ සංවිධානය මෙරට ක්‍රියාත්මක වූ වකවානුවේ ඔවුන්ගේ සාමාජිකයන් වෙනුවෙන් නිකුත් කළ හැඳුනුම්පතකට බෙහෙවින් සමාන හැඳුනුම්පතක් මත්ද්‍රව්‍ය සාදයක් පැවැත්වූ බව කියන පමුණුගම උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටල් පර්ශුයේ වැටී තිබියදී සොයා ගත් බව පමුණුගම පොලිසිය කියයි. මෙම හැඳුනුම්පත වැඩිදුර පරික්ෂණ කටයුතු සඳහා ඊයේ (25) කොළඹ ත්‍රස්තවාදී විමර්ශන කොට්ඨාසයට බාර දුන් බව පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.


මෙම සාදයට සහභාගී වී සිටි පනස්හත් දෙනකු අත්අඩංගුවට ගත් අතර, ඒ අතර තරුණියන් හත් දෙනකු ද සිටි බව පොලිසිය කියයි.අත්අඩංගුවට ගැනුණු පහස්හත් දෙනා අතර කිලිනොච්චිය, පුදුකුඩුඉරිප්පු, කෝපායි, යාපනය, නල්ලූර්, පොළොන්නරුව සහ වැල්ලම්පිටිය ප්‍රදේශවල පදිංචි දමිළ ජාතිකයන් නය දෙනකු ද සිටි බවත් පොලිසිය කියයි.මෙම සැකකරුවන් හය දෙනාගෙන් ද දීර්ඝ ලෙස ප්‍රශ්න කර ඇතත්, එල්ටීටීඊ හැඳුනුම්පත මෙම සාදය පැවැති ස්ථානයට රැගෙන ආ අය ගැන තොරතුරු අනාවරණය නොවූ බව එම පොලිස් ආරංචිමාර්ග අනාවරණය  කළේය.


මන්ත්‍රී සැමියා සඟවා ගත්තැයි කි ජීප් රථය නීතිඥ බිරිය පොලිසියට බාරදිලා

 


බිමල් ශ්‍යාමන් ජයසිංහ


ජාතික ජන බලවේගයේ කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු රැගෙන ගොස් සඟවා සිටියේ යැයි කියන නීතිඥ බිරියට අයත් යැයි පැවැසෙන ජීප් රථයක් එම නීතිඥ බිරිය විසින් පෙරේදා (24) දහවල් පොලිසියට රැගෙන එනු ලැබූ බව පිළියන්දල පොලිසිය කියයි.ඇයගේ ජීප් රථය ස්වාමිපුරුෂයා වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා රැගෙන ගොස් ඇති බවට මන්ත්‍රී බිරිය පොලිසියට පැමිණිල්ලක් කර තිබිණි.

මන්ත්‍රීවරයා විදේශගතව සිටියදී මෝටර් රථය මන්ත්‍රීවරයාගේ මිතුරකු පිළියන්දල නගරයට රැගෙන ආ අවස්ථාවේදී පැමිණිලිකාර නීතිඥ බිරිය ඇයගේ බාරයට ගෙන පොලිසියට මෙසේ රැගෙනවිත් ඇත.


මෙතෙක් කලක් එම මෝටර් රථය පරිහරණය කළ පැමිණිලිකාර නීතිඥවරියගේ සැමියාගේ මිතුරා ද පොලිසියට පැමිණි බව ද පොලිසිය කියයි.ඒ අනුව ඔවුන් දෙදෙනාගෙන්ම ප්‍රකාශ ගත් පොලිසිය ජිප් රථය පොලිස් බාරයේ තබාගෙන ඇත. පිළියන්දල පොලිසිය පරීක්ෂණ පවත්වයි.


මැනිං වෙළෙඳ සංකීර්ණයේ ව්‍යාපාරිකයොත් සේවකයෝත් උද්ඝෝෂණයක

 


ලාල් එස්. කුමාර


 පෑලියගොඩ නව මැනිං වෙළෙඳ සංකීර්ණයේ උඩු මහලේ පලතුරු වෙළෙඳාමේ නිරත ව්‍යාපාරිකයන්ට හා එහි පැමිණෙන පාරිභෝගිකයන්ට විවිධ ගැටලු හා දුෂ්කරතාවලට මුහුණ දීමට සිදු වී ඇතැයි පවසමින් එම ව්‍යාපාරිකයෝ හා සේවකයෝ පෙරේදා (24) දිවා කාලයේදී උද්ඝෝෂණයක නිරත වූහ.


එම ගැටලු නිසා ඔවුන්ගේ අලෙවිය පහත වැටී ඇති බැවින් එම ගැටලු කඩිනමින් විසඳා දෙන ලෙස නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින්ට අවස්ථා කිහිපයකදී ඉදිරිපත් කළ නමුත්, මේ වන තුරු එයට ප්‍රතිචාරයක් නොමැති බැවින් වහා මේ පිළිබඳ සොයා බලා විසඳුම් ලබා දෙන ලෙස ඉල්ලා ඔවුහු පැයක පමණ කාලයක් උද්ඝෝෂණයේ නිරත වූහ.

එම වෙළෙඳ සංගමයේ ලේකම් ඉන්දික රුවන් චාමර මහතා සිය අඩුපාඩු පෙන්වමින් මෙසේ පැවැසීය.


" මැනිං වෙළෙඳපොළ පෑලියගොඩට ගෙනල්ලා අවුරුදු හතර හමාරක් වෙනවා. මෙහි ගොඩක් අඩුපාඩු තිබෙනවා. නාගරික සංවර්ධන අධිකාරියේ නිලධාරින් සමඟ පාකච්ඡා කළා. එහෙත් විසඳුම් ලැබුණේ නැහැ. මෙහි මහල් දෙකක් තිබෙනවා. පහත මහලේ එළවළු ද, උඩු මහලේ පලතුරු ද අලෙවි කිරිමට එකග වුණා.ඒත් පහත මහලේ පලතුරු කඩ තුනක් මුලදී පටන්ගත්තා. අපි එයට විරුද්ධ වුණා. ඒත් බලධාරින් පියවර ගත්තේ නෑ. මේ වන විට කඩ හැත්තෑ දෙකක් පහත මහලේ පලතුරු අලෙවි කරනවා. ඒත් කිසිම පිළියමක් තවම අරගෙන නැහැ.


මේ නිසා බිම් මහලේ එළවළු ගන්න පාරිභෝගිකයා උඩු මහලට එන්නේ නැහැ. මේ නිසා අපේ වෙළෙඳාම අඩු වෙලා. අපි බදු ගෙවන්නේ කොහොම ද?


මෙම වෙළෙඳපොළට ඇතුළු වීමේදී කඩ හිමියන්ගෙන් වාහන ගාස්තු අය කරන්නේ නැහැ කියලා කිව්වාට දැන් අය කරනවා. ත්‍රිරෝද රථයක ආවත් රුපියල් 60ක් ගෙවන්න ඕනෑ. ලොරියකට රුපියල් දෙසීයක් ගෙවත්ත ඕනෑ.


කුලී රථයකින් ඇවිල්ලා යන විට ගාස්තු අය කරනවා. පාරිභෝගිකයෙක් කුලී රථයකින් ඇවිල්ලා බැහැලා, වාහනය විනාඩි පහක් තුළ පිටවීමේදීත් කුලී රථ ගාස්තුව අය කරනවා. මේවා අසාධාරණයි. මේවා පෙන්වා දුන්නත් විසඳුමක් නැහැ.


වැසිකිළිය ටෙන්ඩර් දාලා. මේකේ වැඩ කරන කෙනෙක් වැසිකිළියට ගියත් රුපියල් තිහක් අය කරනවා. සමහර වයස්ගත සේවකයෝ දවසට තුන් හතර වතාවක් වැසිකිළි යනවා. රුපියල් සියයකට වැඩිය ගෙවන්න වෙනවා.ඒවා කම්කරුවන්ට දරාගන්න අමාරුයි.මැනිං වෙළෙඳපොළ කොළඹ ඉන්නකොට හොඳ රථවාහන සේවාවක් තිබුණා. දුම්රිය, බස් රථ ලංකාවේ සෑම ප්‍රදේශයකටම තිබුණා. නමුත් පෑලියගොඩට් ගෙනාවාට පස්සේ බස් රථ සේවාවක් නැහැ. ප්‍රධාන පාරේ සිට කිලෝමීටරයකට විඩා පයින් යන්න වෙලා, එහෙම නැත්නම් ත්‍රිරෝද

රථයකින් යන්න වෙලා. මේ නිසා එන පාරිභෝගිකයන්ගේ අඩුවක් සිදු වෙලා තිබෙනවා. කොළඹ - නුවර පාර, කොළඹ - මීගමු පාර යන මාර්ගවල ධාවනය වන බස් රථ මැනිං වෙළෙඳපොළ හරහා ගමන් කිරීමට කටයුතු කරන මෙන් අපි ඉල්ලා සිටිනවා.”


එම සමිතියේ සභාපති සුරංග පීරිස් මහතා මෙසේ පැවැසිය.

"අපේ පාරිභෝගිකයන් ප්‍රමාණය දිනෙන් දින අඩු වෙනවා. අපේ ආදායම සියයට 50කින් පමණ අඩු වෙලා. ඒ වුණාට කඩ කුලී ගෙවන්ත ඕනෑ. පොදු ප්‍රවාහනය මේ වෙළෙඳපොළට නැහැ. කුලී රථවලින් පාරිභෝගිකයන් මෙන්ම සේවකයන් පැමිණෙන්නේ ඒවාට වියදම් වැඩියි. මේ නිසා පැමිණෙත පාරිභෝගිකයන් දිනෙන් දින අඩු වෙලා.මෙහිදී අදහස් දැක්වූ සේවක අනුරුද්ධ මහතා මෙසේ පැවැසිය.


"වැසි දිනවලදී සුළගත් සමඟ මේ මාර්කට් එකේ උඩු මහලේ වෙළෙඳ කුටි තෙමෙනවා. පලතුරු තෙමිලා ඉවත් කරන්න සිදු වෙනවා. වැසි වතුරෙන් අපේ කඩ යට වෙනවා. බොහෝ අවස්ථාවලදී කඩ වතුරෙන් යට වෙලා පාඩු සිදු වෙනවා. මේවා ගැන බලධාරින්ට කිව්වාට ඵලක් නැහැ. මෙතැන හොරකම් සිදු වෙනවා.


පොහොය දිනවලට විදුලියත් විසන්ධි කරනවා. ඒ නිසා සීසීටීවී කැමරා ඇනහිටිනවා. පොහොය දිනවලට අපි ගෙදර ඉන්නේ."මේ පිළිබඳව නාගරික සංවර්ධන අධිකාරියේ මැනිං වෙළෙඳපොළ කළමනාකාර සමින් ජයසුන්දර මහතා මෙසේ පැවැසීය.


"මෙම ස්ථානයට පැමිණෙන වාහනවලට මුදල් අය කරන්නේ පැය ගණනට නොවේ. ඒ නිසා විනාඩි දහයක් ඇතුළත පැමිණෙන පාරිභෝගිකයන්ගේ ටිකට් කඩන්න බැහැ. එය සිදු වෙනවා නම් අපි සමග සාකච්ඡා කර විසඳා ගනිමු. පාරිභෝගිකයා සූරාකන්න දෙන්න බැහැ.


මේ වන විට පාක් එකේ ටෙන්ඩරය ඉවර වෙලා තිබෙනවා. නැවත ටෙන්ඩර් දාලා දෙනතුරු ඒ අයටම මාස කිහිපයක් දෙන්න සිදු වෙලා තිබෙනවා. ඒ කාලය තමයි මේ යන්නේ. දැනට ටෙන්ඩර් කැඳවලා තිබෙනවා. ඉදිරියේදී එය විසඳා ගනිමු. උඩු මහලට එන පාරේ බම්පර් බැම්ම ඉවත් කිරිමට කටයුතු යොදා තිබෙනවා. එය දින දෙකකින් සිදු වෙනවා. එහි වගකීම මා ගන්නවා.


පර්ල් නැව ගිනිගත්තේ නයිට්‍රික් අම්ලය කාන්දුවෙලා

 


රන්ජන් කටුගම්පොල


ශ්‍රී ලංකා මුහුදු වෙරළේදීඑක්ස්ප්‍රස් පරිල් නෞකාව ගිනිගැනීමට හේතුව වී ඇත්තේ එහි තිබූ කන්ටේනර් දෙකකින් ‘නයිට්රික් අම්ලය’ කාන්දු වීමෙන් ඇතිවූ ගින්නක් බව විමර්ශනවලදී හෙළි වී ඇතැයි පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ලට දැනුම් දුන් නීතිපතිවරයා නෞකාව ගිනි ගැනීමට වගකිව යුත්තේ නෞකාවේ කාර්ය මණ්ඩලය සහ නැව පාලනය කළ සමාගම යැයිද ඊයේ (25) දැනුම් දුන්නේය.


'එක්ස්ප්‍රස් පර්ල්' නෞකාව ශ්‍රී ලංකා මුහුදු වෙරළේදී ගිනි ගැනීමෙන් ධීවරයන්ට සහ පරිසරයට සිදු වූ හානියට වන්දි දෙන්නැයි ඉල්ලා ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම් හතරක් පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ විභාගය සඳහා කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් තෙරින් පුල්ලේ මහතා ඒ බව දැනුම් දුන්නේය. අගවිනිසුරු මුර්දු ප්‍රනාන්දු, ග්‍රෙෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, ශිරාන් ගුණරත්න, අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ගෙන් සමන්විත පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් විභාගයට ගැනිණි.


මැල්කම් කාදිනල් රන්ජිත් අගරදගුරුතුමන් මානව හිමිකම් ක්‍රියාකාරිකයකු වන සරත් ඉද්දමල්ගොඩ පියතුමා, වෘත්තීය ධීවරයන් දෙදෙනකු වන ඩබ්ලිව්. ගාමිණී ප්‍රනාන්දු, වර්ණකුලසූරිය ක්‍රිස්ටෝපර්, සරත් ප්‍රනාන්දු සහ පරිසර විද්‍යාඥවරියක වන ආචාර්ය අජන්තා පෙරේරා, ජේ. ජෙගතීෂ්වරන්, පරිසර යුක්ති කේන්ද්‍රය සහ එහි විධායක අධ්‍යක්ෂ හේමන්ත විතානගේ විසින් මෙම පෙත්සම් ගොනුකරනු ලැබ ඇත.


පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් පරිසර ඇමැතිවරයා, ධීවර ඇමැතිවරයා, වරාය ඇමැතිවරයා, වරාය අධිකාරියේ සභාපතිවරයා, පරිසර අමාත්‍යාංශයේ ලේකම්වරයා, එක්ස්ප්‍රස් පර්ල් නොකාවේ දේශීය නියෝජිත සමාගම වන සී. කොන්සෝටියම් ලංකා පුද්ගලික සමාගම, සමුද්‍ර දූෂණ වැළැක්වීමේ අධිකාරිය, මධ්‍යම පරිසර අධිකාරිය, නීතිපතිවරයා ඇතුළු දොළොස් දෙනකු නම් කර තිබේ.


පංචපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම් විභාගයට ගත් අවස්ථාවේදී වගඋත්තරකාර නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ නෙරින් පුල්ලේ මහතා කරුණු දක්වමින් සිදුවූ හානියට වන්දි ඉල්ලා මූලික අයිතිවාසිකම් පෙත්සම් කීපයක්ම ගොනුකර ඇතැයිද පෙත්සම් විභාග කිරීමට අධිකරණය අවසර දී ඇතැයිද පැවසීය. පෙත්සම් විභාගය තවදුරටත් පැවැත්වේ.



රේගුවට කෝටි 100ක් පාඩු කළ සුපිරි වාහන 19 ක් අල්ලන්න උසාවි නියෝග

 


රෝෂන් තුෂාර


රේගුවට හොර රහසේ 2017 වසරේදී මෙරටට ආනයනය කර මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාප් දත්ත ඇතුළත් කරමින් ලියාපදිංචි කරමින් රජයට රුපියල් කෝටි 100ක බදු මුදලක් අහිමි කළැයි කියන සුඛෝපභෝගී මෝටර් රථ 19ක් වහාම අත්අඩංගුවට ගෙන රේගුවට බාර දෙන ලෙස කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මිය අල්ලස් කොමිසමට ඊයේ (25) නියෝග කළාය.

 

මිට්සුබිෂි මොන්ටේරෝ වාහන 9ක් සහ ටොයෝටා වී-8 ජීප් රථ 10ක් වහාම අත්අඩංගුවට ගෙත රේගුවට බාර දෙන ලෙස මහේස්ත්‍රාත්වරිය අල්ලස් කොමිසමට නියෝග කළාය.එම මෝටර් රථවල වර්තමාන හිමිකරුවත් වන කොළඹ, වැල්ලවාය, කෑගල්ල, නුවර, ගම්පහ, හලාවත, වෙන්නපුව හා පුත්තලම යන ප්‍රදේශවල පදිංචිකරුවන් බව කියමින් ඔවුන්ගේ නම්, ලිපිනයන් සහ වාහන අංක අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසමේ රහසිගත බුද්ධි ඒකකය කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය එලෙස නියම කළාය. නඩු 19ක් ඉදිරිපත් කරමින් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසමේ රහසිගත බුද්ධි ඒකකය වෙනුවෙන් අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්ෂ, නීතිඥ අනුෂා සම්බන්ධප්පෙරුම මහත්මිය කරුණු දක්වමින්, ප්‍රශ්නගත මෝටර් රථ 2017 වර්ෂයේ ආනයනය කර ඇතැයි කීවාය. 2017 වර්ෂයේ ආනයනය කර ඇති ප්‍රශ්නගත මෝටර් රථ 2002 හා 2003 වර්ෂයේ ආනයනය කළ බවට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතියට ව්‍යාජ දත්ත ඇතුළත් කරමින් ලියාපදිංචි කර ඇතැයි කී නීතිඥ අනුෂා සම්බන්ධප්පෙරුම මහත්මිය, අල්ලස් කොමිසමේ රහසිගත බුද්ධි ඒකකයේ නිලධාරින් කළ විමර්ශනයේදී 2002 හා 2003 වර්ෂයේ එවැනි වාහනයක් නිෂ්කාශනය කළ බවට කිසිදු රේගු සටහනක් හෝ අංකයක් නැතැයි පැවැසුවාය. 


මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක දත්ත පරීක්ෂා කිරිමේදී එලෙස ලියාපදිංචි වූ පුද්ගලයකු හෝ නිවැරැදි ලිපිනයක් අනාවරණය කරගැනීමට නොහැකි වූ බව ද කී නීතිඥ අනුෂා සම්බන්ධප්පෙරුම මහත්මිය, 2002 වසරේ මෙම වාහන ලියපදිංචි කළේ නම් ඊට අදාළ ආදායම් බලපත්‍ර නිකුත් කිරීමේ සටහනක් තිබිය යුතු බවත්, එවැනි ආදායම් බලපත්‍ර නිකුත් කිරිම සම්බන්ධයෙන් පිළිගත හැකි කිසිදු ලේඛනයක් හමු වී නැතැයි ද කීවාය.


නිසි රේගු නිෂ්කාශනයක් නොකර රජයට රුපියල් කෝටි දහසක බදු මුදලක් අහිමි කරමින් හොර රහසේ මෙරටට ආනයනය කර ලියාපදිංචි කළ මෙවත් සුඛෝපභෝගී වාහන 200ක් අල්ලස් කොමිසම මගින් අනාවරණය කරගෙන ඇති බවත් පැවැසූ නීතිඥ අනුෂා සම්බන්ධප්පෙරුම මහත්මිය, නීති විරෝධි එම ක්‍රියාවලිය තුළින් රුපියල් කෝටි දහසක පමණ අලාභයක් රටට සිදු වී ඇතැයි ද පැවැසුවාය.

එලෙස හොර රහසේ ලියාපදිංචි කර ඇති අදාළ වාහන අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන බවත්, ඊට ආධාර අනුබල දුන් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සැකකාර නිලධාරින්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බවත් සඳහන් කළ අනුෂා සම්බන්ධප්පෙරුම මහත්මිය, මෙම වාහනවල වත්මන් හිමිකරුවන්ගෙන් එම වාහන අත්අඩංගුවට ගැනීමට නියෝග නිකුත් කරන්නැයි ඉල්ලා සිටියාය.කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ වාහන අත්අඩංගුවට ගෙන රේගුවට බාර දීමට නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය, විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙස අල්ලස් කොමිසමට නියෝග කළාය.


පල්ලෙකැලේ ක්‍රිකට් තරගාවලිය පාවා දුන් ඉන්දීය කළමනාකාරු වසර 4ක් හිරේ

  මහේෂ් කීර්තිරත්න


පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැති “ලෙජන්ට් ට්‍රොපි 2024" ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීමට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයාට බලපෑම් නිරීමේ චෝදනාවලට වරදකරු වූ ඉන්දීය ජාතික කළමනාකාරවරයාට සිවු වසරක බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ මාතලේ මහාධිකරණ විනිසුරු රවින්ද්‍ර ප්‍රේමරත්න මහතා, රුපියල් කෝටි 8 ක දඩයක් ද ඊයේ (25) නියම කළේය.


පැමිණිලිකාර උපුල් තරංග මහතාට රුපියල් මිලියන දෙකක වන්දියක් ගෙවීමට ද නියම කළ විනිසුරුවරයා, මේ වන විට රටින් පලා ගොස් සැඟවී සිටින විත්තිකරු අත්අඩංගුවට ගන්නා ලෙස නියම කරමින් විවෘත වරෙන්තු ද නිකුත් කළේය. ක්‍රීඩා දූෂණ වැළැක්වීමේ පනත යටතේ දකුණු ආසියාවෙන්ම පවරන ලද මුල්ම නඩුව වන මෙම නඩුව විභාග කිරීමෙන් අනතුරුව විත්තිකරුට එරෙහි චෝදනා සාධාරණ සැකයකින් තොරව පැමිණිල්ල විසින් ඔප්පු කරනු ලැබ ඇතැයි තීන්දු කරමින් අදාළ වරදට මෙලෙස දඬුවම් නියම කළේය.


චෝදනාවලට වරදකරු වීම නිසා මෙලෙස දඬුවම් නියම වූයේ, ඇප ගැනීමෙන් අනතුරුව හොර රහසේ රටින් පලා ගොස් සැගව සිටින ඉන්දියාවේ ‘කෑන්ඩි සෑම් ආමි' කණ්ඩායමේ ප්‍රධාන මූල්‍ය විධායක කළමනාකාර යෝගී පටෙල් නමැත්තාටය. 2024 මාර්තු 8 වැනිදාත් 19 වැනිදාත් අතර කාලයේ මහනුවරදී පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේ පැවැති “ලෙජන්ට් ට්‍රොපි 2024" ක්‍රිකට් තරගාවලියේදී මුදලට තරග පාවා දීමට ජාතික ක්‍රිකට් තේරීම් කමිටුවේ සභාපතිවරයා මෙන්ම ලෙජන්ඩ් ක්‍රීඩක උපුල් තරංග වරුෂවිතාන මහතාට බලපෑම් කළ බවට විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා චෝදනා නගා තිබිණි.


මේ සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගය අවසානයේදී විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කළ විනිසුරුවරයා, විත්තිකරු අදාළ චෝදනාවන්ට වරදකරු බවට තීන්දු කළේය. පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා කරුණු දක්වමින්, මුදලට තරග පාවා දීම ක්‍රීඩාවේ ජීව ගුණයට හානි කරන හෙයින් ඊට එරෙහිව දකුණු ආසියාවෙන්ම පවරන ලද මුල්ම නඩුව වන මෙම නඩුව විභාග කිරීමෙන් අනතුරුව විත්තිකරු වරදකරු කර ඇතැයි පැවැසීය.


මහත්වරුන්ගේ ක්‍රීඩාව වශයෙන් නම් කර ඇති ක්‍රිකට් තරගයකදී විත්තිකරු මෙම අපරාධය කර ඇති බව නඩුවේ ඉදිරිපත් වූ සාක්ෂිවලින් හෙළි වී ඇති හෙයින්, මෙවැනි වැරැදි කිරීමට සිටින අනකුත් අයට ද පාඩමක් වන අන්දමින් විත්තිකරුට දැඩි දඬුවම් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ මහේෂ් කළුගම්පිටිය මහතා කරුණු දක්වමින්, මෙම නඩුවට අදාළව ඇප ලැබුණු පසු තම සේවාදායකයාගේ ජීවිතයට එල්ල වූ තර්ජන හේතුවෙන් ඔහු රටින් පිටව ගියත් කිසිදු අවස්ථාවක මෙම නඩුවේ කටයුතුවලට බාධා කළේ නැතැයි කීය.


විදේශ රටක සිටියත් ඔහු නීතිඥවරයකු මගින් කරුණු ඉදිරිපත් කරමින් නඩුව පවත්වාගෙන යෑමට සහාය දී ඇතැයි පෙන්වා දුන් නීතිඥ මහේෂ් කළුගම්පිටිය මහතා, තම සේවාදායකයාට ලිහිල් දඬුවමක් නියම කරන්නැයි ඉල්ලා සිටියේය.කරුණු සලකා බැලීමෙන් අනතුරුව විත්තිකරුට අදාළ දඬුවම් නියම කළ විනිසුරුවරයා, ඔහු අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කළේය.පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ උදාර කරුණාතිලක මහතා පෙනී සිටියේය.


ක්‍රීඩා වැරැදි වැළැක්වීමේ විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්‍ෂක සුපුල් විදානගේ මහතා පැමිණිල්ලට සහාය දැක්වීය. විත්තිකරු වෙනුවෙන් නීතිඥ මහේෂ් කළුගම්පිටිය මහතා පෙනී සිටියේය.


සොරාගත් ත්‍රිරෝද රථ 13ක් එක්ක 8 දෙනෙක් අත්අඩංගුවට

 

 


 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


වැල්ලම්පිටිය, වැලිකඩ සහ රාජගිරිය ඇතුළු ප්‍රදේශ කිහිපයක සංවිධානාත්මකව ත්‍රිරෝද රථ සොරකම් කළ බව කියන සැකකරුවන් 8 දෙනකු සමඟ සොරාගත් ත්‍රිරෝද රථ 13ක් පෙරේදා (24) අත්අඩංගුවට ගත් බව වැල්ලම්පිටිය පොලිසිය පවසයි. සැකකරුවන් සන්තකයේ තිබූ මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10 මිලිග්‍රෑම් 400ක් පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ, මීතොටමුල්ල, වැල්ලම්පිටිය, නුවර, ඒකල, හෝමාගම, කුරුණෑගල සහ කඩවත ප්‍රදේශවල පදිංචි අවුරුදු 20ත් 45ත් අතර පිරිසකි.


ප්‍රධාන සැකකරු ඇතුළු දෙදෙනකු සොරාගන්නා ත්‍රිරෝද රථ සැකකරුවන් තවත් දෙදෙනකු විසින් මිලදී ගන්නා බවත්, පසුව ඔවුන් එම ත්‍රිරෝද රථ විවිධ පුද්ගලයන්ට අලෙවි කරන බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.මිලදී ගන්නා සැකකරුවන් විසින් එම ත්‍රිරෝද රථවල වර්ණය, එන්ජින් අංක, වැසි අංක සහ අංක තහඩු වෙනස් කර විවිධ ප්‍රදේශවල පුද්ගලයන්ට අලෙවි කර තිබියදී විමර්ශන නිලධාරින් විසින් සොයාගනු ලැබූ තිබේ.


ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවෝ අතර සොරා ගන්නා ලද ත්‍රිරෝද රථ මුදලට ලබාගත් පුද්ගලයන් ද සිටින බව පොලිසිය කියයි.අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.වැල්ලම්පිටිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කාරියවසම් මහතාගේ ප්‍රධානත්වයෙන්, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක රොෂාන් අසංක මහතා ඇතුළු නිලධාරිහු වැඩිදුර විමර්ශන සිදු කරති.


දිස්ත්‍රික්ක අටක සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 37ක් ඩෙංගු අවදානමක

 


නිමල කොඩිතුවක්කු


දිස්ත්‍රික්ක අටක ඩෙංගු අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස 37ක් හඳුනාගෙන ඇතැයි, සෞඛ්‍ය අමාත්‍යාංශයේ ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.කොළඹ, ගම්පහ, කළුතර, මාතර, මාතලේ, මඩකළපුව, රත්නපුර, ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවල මෙම අවදානම් කලාප හඳුනාගෙන ඇත.


එම ප්‍රදේශ ඉලක්ක කරමින් හෙට (27) සිට දින තුනක විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක බව ද එම ඒකකය සඳහන් කරයි. මේ වර්ෂයේ මේ දක්වා කාලයේදී ඩෙංගු රෝගීන් 10,886ක් වාර්තා වී ඇති අතර, එය 2024 එම කාල සීමාව සමග සැසඳීමේදී සියයට 43.4ක අඩු වීමකි.මේ දිනවල කඩින් කඩ පවතින වර්ෂාව හේතුවෙන් ඉදිරි දිනවලදී ඩෙංගු රෝගීන් වාර්තා වීම වැඩි වීමේ අවදානම සැලකිල්ලට ගනිමින් මෙම විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන ක්‍රියාත්මක බව ද එම ඒකකය සඳහන් කරයි. අවදානම් කොට්ඨාසවල පවතින නිවාස, පාසල්, වැඩබිම්, ආයතන, කර්මාන්තශාලා, ආගමික ස්ථාන, පොදු ස්ථාන සහ වෙනත් පරිශ්‍ර, ක්ෂේත්‍ර පරීක්ෂක කණ්ඩායම්වල සහභාගිත්වයෙන් නිරීක්ෂණ කටයුතු කරන බව ද ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.


සෞඛ්‍ය කාර්යමණ්ඩලය, ත්‍රිවිධ හමුදා නිලධාරින්, පොලිස් නිලධාරින් සහ ස්වේච්ඡා සේවකයන්ගෙන් සමන්විත මෙම ක්ෂේත්‍ර පරීක්ෂක කණ්ඩායම් අදාළ ප්‍රදේශයන්හි නිවාස, පරිශ්‍රවල මදුරුවන් බෝ වීම වැළැක්වීම සඳහා අවශ්‍ය දැනුවත් කිරීම් ද මෙම වැඩසටහනට සමගාමීව සිදු කිරීමට නියමිතය.ඕනෑම පරිසරයක ඩෙංගු මදුරුවන් බෝ වීමේ අවදානමක් ඇති හෙයින් අවම වශයෙන් සතියකට විනාඩි 30ක් පරිසරය පිරිසුදු කරමින් මදුරුවන් බෝවිය හැකි ස්ථාන විනාශ කරන ලෙස ජාතික ඩෙංගු මර්දන ඒකකය මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

යම් අයකුට තද උණ සමග හිසරදය, මස්පිඩු හා සන්ධි වේදනාව, ඔක්කාරය හා වමනය, සමෙහි රතු පැහැ ලප හටගැනීම හා රුධිර වහන තත්ව ඇත්නම් වහාම රෝහලකට හෝ සුදුසුකම්ලත් වෛද්‍යවරයකු වෙත ගොස් නිසි ප්‍රතිකාර ලබාගන්නා ලෙස ද එම ඒකකය ඉල්ලීමක් කරයි.