Monday, November 30, 2020

මහර බන්ධනාගාරයේ රඳවා සිටි පාකිස්තානු සිරකරුවකු රෝගී වීමෙන් ජිවිතක්ෂයට


මහර බන්ධනාගාරයේ රඳවා සිටි පාකිස්තානු ජාතික සිරකරුවකු රෝගී වීමෙන් අනතුරුව රාගම ශික්ෂණ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (28දා) ජීවිතක්ෂයට පත්ව ඇතැයි රාගම රෝහල් ආරංචි මාර්ග පවසයි. වැලිකඩ බන්ධනාගාරයේ සිට මහර බන්ධනාගාරය වෙත මාරුකර එවා තිබියදී පාකිස්තානු ජාතික සිරකරුවා රෝගී වී ඇති අතර, අනතුරුව ඔහුව රෝහල්ගත කිරීමෙන් පසු ජීවිතක්ෂයට පත්ව ඇත.


මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ මොහොමඩ් ආසික් නමැති 45 හැවිරිදි පාකිස්තානු ජාතික සිරකරුවෙකි. ඔහු වකුගඩු රෝගී තත්වයෙන් පෙළුණු පුද්ගලයෙකු බවට අනාවරණය වී ඇතැයි රෝහල් ආරංචි මාර්ග පවසයි. ජීවිතක්ෂයට පත්වූ පාකිස්තානු සිරකරුවාට 'කෝවිඩ්-19' වෛරසය ආසාදනය වී ඇත්දැයි තහවුරු කර ගැනීම සඳහා මළසිරුර පී.සී.ආර්. පරීක්ෂණයට යොමු කර තිබේ.


 - ටෝනි කරුණාරත්න-

කෝවිඩ් සෞඛ්‍ය උපදෙස් නොතැකු බස් රථ 08ක මාර්ග බලපත් අත්හිටේව්වා



කෝවිඩ් වෛරස ව්‍යාප්තිය පාලනය කිරීමට මගී ප්‍රවාහනයේ යෙදෙන සෑම බස් රථයකම අංකය බස්රථය ඇතුළත ප්‍රදර්ශනය කරන මෙන් උපදෙස් දී ඇතැයිද,එසේ ප්‍රදර්ශනය නොකරන බස් රථයක් වෙතොත් මාර්ග බලපත්‍රය තාවකාලිකව අත්හිටුවීමට පියවර ගන්නා බවද බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ.ඩබ්. ප්‍රසන්න සජීව මහතා පැවසීය. රියැදුරන් සහ කොන්දොස්තරවරුත් අනිවාර්යයෙන්ම මුඛ ආවරණ පැළඳ සිටිය යුතු බවත්, බස් රථයට නංවාගත යුත්තේ මුඛ ආවරණ පැළද සිටින මගීන් පමණික් බවත් බස් රථයේ ඉදිරිපස සහ පිටුපස දොරටුවල විෂබීජනාශක දියර බෝතල් තැබිය යුතු බවත් සභාපතිවරයා පවසා සිටියේය.



තවද ආසන ගණනට පමණක් බස් රථවල මගීන් රැගෙන යන මෙන්ද උපදෙස් ලබා දී ඇති අතර මේ වන විට සියලු පෞද්ගලික බස්රථ නැවතුම්පොළවල් විෂබීජහරණය කර අත්සේදුම් පහසුකම්ද සලසා ඇතැයිද හෙතෙම පැවසීය. මේ වනවිට බස් රථ 08ක මාර්ග බලපත් අත්හිටුවා ඇති අතර එලෙස අත්හිටුවා ඇත්තේ මාර්ග අංක 143 හංවැල්ල-පිටකොටුව බස් රථයක්, මාර්ග අංක 190 පිටකොටුව-ගොඩගම බස් රථ 03ක්, මාර්ග අංක 122 අවිස්සාවේල්ල පිටකොටුව බස් රථයක්, මාර්ග අංක 138 කොට්ටාව-පිටකොටුව බස් රථයක්, මාර්ග අංක 341 මහරගම - පිළියන්දල බස් රථයක් බව ප්‍රසන්න සංජීව මහතා පවසා සිටියේය. බස්නාහිර පළාත් හදිසි බස් රථ පරික්ෂා කටයුතු පසුගිය දින කිහිපය පුරාම සිදු කරන ලද අතර ආසන ගණනට වඩා වැඩියෙන් මගීන් පටවාගෙන ගිය බස් රථ 4ක මාර්ග බලපත්‍රය ඒ මොහොතේම අත්හිටුවීමට කටයුතු කෙරිණි.


දිගින් දිගටම මෙවැනි සිද්ධි වාර්තා වුවහොත් එක් වරක් ධාවන බලපත්‍රය අත්හිටවූ බස් රථයක් යළිත් වරක් එම වැරැද්දම සිදුකර අසුවුවහොත් මාර්ග බලපත්‍රය සම්පුර්ණයෙන්ම අහෝසි කර දැඩි දඬුවම් කිරීමට කටයුතු කරන බවද සභාපතිවරයා පවසා සිටියේය. කෙසේ නමුත් පැතිර යන කෝවිඩ් වසංගතය පාලනයට මගීන්ගේ සහයෝගය ඉතා වැදගත් බවත්, සෞඛ්‍ය අංශ ලබා දෙන උපදෙස්වලට අනුගත වෙමින් සෞඛ්‍යාරක්ෂිතව නිසි පිළිවෙත් අනුගමනය කරමින් බස් රථවල ගමන් කිරිමෙන් කෝවිඩ් වසංගතය පාලනය කිරීමට සහයෝගය ලබාදෙන ලෙසත්, බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති බී.ඩබි.ප්‍රසන්න සංජීව මහතා වැඩිදුරටත් පැවසීය. සෞඛ්‍යාරක්ෂිතව බස්රථවලට ගොඩවන මෙන් මගීන්ගෙන්ද ඉල්ලා සිටින බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති ඕ.ඩබි. පසක්ත සංජීව මහතා වැඩිදුරටත් පවසා සිටියේය.


 - මංගල එදිරිසිංහ-


රුපියල් ලක්ෂ 5කට අධික රන් භාණ්ඩ හා මුදල් කොල්ලයට සම්බන්ධ පොලිස් නිළධාරියෙකු ඇතුළු තිදෙනෙක් අත්අඩංගුවට


මුදල්, දේපොළ කොල්ලකෑමේ සහ පුද්ගලයෙක් පහරගන යම් අපරාධ සිදු කළ බවට සැකපිට සේවයේ නිරත පොලිස් නිලධාරියකු සහ වැඩ තහනමට ලක් වූ පොලිස් නිලධාරියකු ඇතුළු තිදෙනක් හම්බෙගමුව පොලීසිය විසින් පසුගිය (27දා) අත්අඩංගුවට ගනු ලැබීය. සැකකරුවන්ගෙන් දෙදෙනෙක් බලන්ගොඩ පොලිස් වසමේදීත්, අනෙක් සැකකරු ඕපනායක පොලිස් වසමේදීත් අත්අඩංගුවට ගනු ලබූ අතර තවත් සකකරුවෙක් අත්අඩංගුවට ගැනීමට සිටින බවද හබගමුව පොලීසිය පැවසුවේය. සකකරුවන් විසින් මකොල්ල කෑමට යොදා ගත් බවට සැකකරන අංක තහඩු වෙනස් කර නවීන පන්නයේ මෝටර් රථයක් සහ හම්බෙගමුව ප්‍රදේශයේ නිවසකින් කොල්ලකන ලද ජංගම දුරකථනයක්ද සැකකරුවන් සන්තකයේ තිබී සොයා ගත් බව හම්බෙගමුව පොලීසිය පැවසුවේය.


පසුගිය 20දා රාත්‍රී හම්බෙගමුව, අලුත්වැව, කිළිම්ඹුන්න ප්‍රදේශයේ නිවසකට රාත්‍රී නවයට මෝටර් රථයකින් පැමිණි පිරිසක් තමන් පොලීසියන් යයි පවසා නිවස සෝදිසි කිරීමට අවශ්‍ය බව දන්වා තිබේ. මුලින්ම ගෙහිමියාගේ ජංගම දුරකථනය ඔවුන් භාරයට ගෙන නිවස සෝදිසි කරන අතර නිවසේ තිබූ රුපියල් 73,500ක මුදලක් ඔවුන් විසින් පැහැරගෙන තිබේ. මේ අවස්ථාවේ නිවසේ සිට ඇත්තේ 49වන වියේ පසුවූ ගෙහිමියාත් ඔහුගේ බිරිදය. පොලීසියෙන් යයි කියා පැමිණි අය ගැන සැකසිතී නිවසේ සිටි අය ආධාර ඉල්ලා කෑ ගසා තිබේ. ගෙහිමියාගේ වැඩිමහල් පුතා එම නිවසට නුදුරින් වෙනමම පදිංචිව සිට ඇති අතර තාත්තාගේ කෑ ගැසීම ඇසී ඔහු එන විට තාත්තාව මෝටර් රථයට නංවාගෙන තිබී ඇත. නිවසට පැමිණි එක් පුද්ගලයෙක් අසල සිට ඇති අතර පුතා ඔහු සමග පොරබදා තිබේ. ඒ අවස්ථාවේ මෝටර් රථයේ සිටි කෙනෙක් ඉන් බැස තරුණයාට පහරදී අනෙක් තැනැත්තා මුදාගෙන මෝටර් රථය පලාගොස් තිබුණි. තරුණයා නිවසේ මල් පෝේචියකින් මෝටර් රථයට පහර දුන්නද එය මෝටර් රථයට වැදෙන්ටන පෙර මෝටර් රථය පලා ගොස් තිබුණි.


පැහැරගත් ගෙහිමියා රු. 442,000ක් වටිනා පවුම් පහක පමණ රන් මාලයක් තිතරම කරේ පැලද සිටි තැනැත්තෙක් බවද පොලීසිය පැවසුවේය. ගෙහිමියාගේ ගලබැදි රන් මාලයද පහැරගෙන වැලිගාපොල ප්‍රදේශයේදී ඔහු වාහනයෙන් බස්සවා සැකකරුවන් පලාගොස් තිබුණි. මේ සම්බධයෙන් තම්ගබෙගමුව පොලීසියට කළ පැමිණිල්ලක් අනුව දින කිහිපයක් තිස්සේ කළ විමර්ශනවලදී සැකකරුවන් පැමිණි මෝටර් රථය අත්අඩංගුවට ගෙන තිබේ. ඒ ඔස්සේ තවදුරටත් කළ විමර්ශනවලදී දැනට පොලිස් සේවයේ සිටින පොලිස් නිලධාරියෙක් සහ වැඩ තහනමට ලක් වූ පොලිස් නිලධාරියකු 27දා බලන්ගොඩදී අත්අඩංගුවට ගෙන තිබේ.


එදිනම තවත් සැකකරුවෙක් ඕපනායකදී අත්අඩංගුවට ගැනීමට පොලීසිය සමත් වී ඇත. සැකකරුවන් සත්තකයේ තිබී පැහරරගත් ගෙහිමියාට අයත් ජංගම දුරකථනයද පොලීසියට හමුවී තිබුණි. සැකකරුවන් තිදෙනා 28දා වැල්ලවාය මහේස්ත්‍රාත් මහේෂ් වාකිෂ්ඨ මහතා හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු දෙසැම්බර් මස 1 තෙක් රිමාන්ඩ් බන්ධනාගාරයේ තැබීමට නියම කරනු ලැබීය.


- නයනජීව බණ්ඩාර-


Covid19 එන්නත් රැගෙන යා හැකි ශීතකරණ උපාංග නිපදවීමට ඉන්දියාවේ සූදානමක්

ඉදිරියේදී Covid19 එන්නත් ප්‍රවාහනය කිරීමට සුදුසු ලෙස ශීතකරණ සහිත උපාංග නිපදවීම සඳහා වන කර්මාන්තශාලාවක් පිහිටුවීමට ඉන්දියාව ලක්ෂම්බර්ග් රාජ්‍ය සමග එකඟතාවකට පිවිසීමට කටයුතු යොදා ඇතැයි වාර්තා වෙයි. ඉන්දියාවේ බටහිර පිහිටි ගුජරාට ප්‍රාන්තයේදී මෙම කර්මාන්තශාලාව පිහිටුවීමට සැලසුම් කර තිබේ. පසුගියදා ලක්ෂම්බර්ග් අගමැති ෂේවියර් බීටල් ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සමග පැවැත්වූ අන්තර්ජාල ද්විපාර්ශිවික සාකච්ඡාවකදී මේ පිළිබඳ වන යෝජනාව ඉදිරිපත් කර තිබේ. ඒ අනුව මේ සම්බන්ධයෙන් ඉක්මනින්ම ක්‍රියාත්මක වන ලෙස අගමැති මෝදි එරට බලධාරීන්ට උපදෙස් දී තිබේ.

මෙහිදී ලක්ෂම්බර්ග්හි B Systems නම් සමාගම දැනටමත් ඉන්දියාව තුළ සිය මෙහෙයුම් සඳහා වන යන්ත්‍ර ඇණවුම් කර තිබේ. මෙම කර්මාන්තශාලාවේ නිෂ්පාදන ලබන මාර්තු මස අගදී ඇරඹීමට හැකිවෙනු ඇතැයි පැවසෙයි. ඒ සඳහා එම සමාගමේ කණ්ඩායමක් ලබන සතියේදී හෝ පසු සතියේදී පැමිණීමට නියමිතව තිබේ. දැනට ලොව ඉදිරිපත් කර ඇති Covid19 එන්නත් ගබඩා කර තබා ගැනීමට ශීතාගාර පහසුකම් අවශ්‍ය අතර, ඒවා රැගෙන යාමටද සිසිල් බව ආරක්ෂා කළ හැකි පහසුකම් සහිත උපාංග අවශ්‍ය බව ඒවායේ නිෂ්පාදකයන් සඳහන් කරයි. එසේම ඇතැම් නිෂ්පාදකයන්ගේ ඒන්නත් සෙල්සියස් අංශක 2 සිට 8 දක්වා වූ උෂ්ණත්වයකදී වුවද ගබඩා කළ හැකි බව පවසා තිබේ.


නව කොරෝනා වෛරසය චීනයේ වූහාන් පළාතෙන් ආරම්භ වූවක් නොවේ


ලොව පුරා ව්‍යාප්තව ඇති, වසංගතයක් දක්වා දුරදිග ගිය නව කොරෝනා හෙවත් covid-19 වෛරසය චීනයේ වූහාන් පළාතෙන් ආරම්භ වූවක් නොවන බවත්, එහි ජාන විකෘති වීම උතුරුදිග ඉතාලියෙන් සිදුවී ඇති බවත් ජර්මනියේ මුල් පෙළේ වෛරස විද්‍යාඥයෙකු වන මහාචාර්ය ඇලෙක්සැන්ඩර් කෙකුලේ පවසයි. මෙහිදී ඉතාලියෙන් හමුව ඇති වෛරසයේ ප්‍රභේදය 'G' නම් ජාන විකෘතිතාව ලෙස හැඳින්විය හැකි බව පවසන මහාචාර්යවරයා එය චීනයේ වූහාන් පළාතෙන් හමුවූ වෙරසයට වඩා දරුණු බවත් පවසා සිටියි. මේ අතර දැනට හඳුනාගෙන ඇති covid-19 සිදුවීම්වල ජානමය ලක්ෂණ පිළිබඳව විමසා බැලීමේදී ඒවා අතරින් 99%ක්ම ඉතාලියේ සිදුවූ මෙම ජාන විකෘතිතාවට ලක්වූ වෛරසයට සමාන බවද ඔහු පවසයි.


ඒ අනුව අද වනවිට ලොව පුරා ව්‍යාප්තව පවතින මෙම covid-19 වසංගතයේ පළමු වැනි වෙඩිමුරය නිකුත්ව ඇත්තේ උතුරුදිග ඉතාලියෙන් යන්න ඔහුගේ අදහස වී තිබේ. එහිදී ඉතාලිය වෙත චීනය විසින් ලබාදුන් අනතුරු ඇඟවීමේ නිවේදන මගහැරීම මෙම තත්වයට හේතුවක් වී තිබෙන බවත්, එය එසේ නොවුණි නම් මෙම වෛරසය යම්කිසි පාලනයකට නතු කිරීමට හැකියාවක් තිබුණු බවත් මහාචාර්ය කකුලේ වැඩිදුරටත් පවසා සිටියි.


දකුණු පළාතේ සිදු වූ ප්‍රථම කෝවිඩ් මරණය අකුරැස්සෙන්



දකුණු පළාතේ සිදු වූ ප්‍රථම කෝවිඩ් මරණය අකුරැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වාර්තා වන බව දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති කෝවිඩ් -19 මෙහෙයුම් මැදිරියේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පැවසීය. මෙසේ මිය ගොස් ඇත්තේ අකුරැස්ස, අමලගොඩ පදිංචිව සිටි 70 හැවිරිදි කාත්තාවකි. කෝවිඩ් වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (28දා) මෙම කාන්තාව මිය ගොස් ඇත.


මේ අතර දකුණු පළාතේ කෝවිඩ් -19 ආසාදිතයන්ගේ සංඛ්‍යාවද මේ වනවිට 266 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව ගාල්ල දිසාවෙන් ආසාදිතයන් 3දෙනෙක් වාර්තා වී ඇති අතර, මාතර දිසාවෙන් ආසාදිතයන් 9දෙනෙක් වාර්තා වී තිබේ. මෙම නවදෙනාගෙන් අටදෙනෙක්ම වැලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වාර්තා වී තිබේ. මේ අතර දකුණු පළාතේ ආසාදිතයන්ගෙන් 149දෙනෙක් මේ වනවිට සුවය ලබා ඇත. ඒ අනුව ගාල්ල දිසාවෙන් 95දෙනෙක්ද, මාතර දිසාවෙන් 32නෙක්ද, හම්බන්තොට දිසාවෙන් 22නෙක්ද සුවය ලබා ඇතැයි චාමර මහගමගේ මහතා පැවසීය.


මේ වනවිට දකුණු පළාතේ පවුල් 1079ක පුද්ගලයන් 2519දෙනෙක් නිරෝධායනයට යොමු කර ඇති බවද වාර්තාවේ. එමෙන්ම දකුණු පළාතේ පුද්ගලයන් 31438දෙනෙක් සඳහා පී. සී. ආර්. පරීක්ෂණ සිදුකොට තිබේ. මේ අතර නිවාසවල නිරෝධායනය වෙමින් සිටින පවුල්වලට සහනයක් ලෙස රජයෙන් රුපියල් 10000ක් වටිනා බඩු මල්ලක් ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ දකුණු පළාත්තේ පවුල් 2948ක් සඳහා ඊයේ වනවිට මෙම බඩු මලු බෙදා දී තිබේ. ඒ අනුව ගාල්ල දිසාවේ පවුල් 2111ක් සහ මාතර දිසාවේ පවුල් 837ක් සඳහා මෙම බඩු මලු බෙදා දුන් බවද චාමර මහගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


-රවිඳු දියගහගේ-


අතුරුදන්ව සිටි අරක්කැමියගේ මළසිරුර දියවන්නාවෙන් හමුවෙයි

බත්තරමුල්ල, පොල්වදූ පාලම අසල දියවන්නා ඔයේ මළ සිරුරක් පාවෙමින් ඇති බවට පොලිස් හදිසි ඇමැතුම් අංශයට ලැබුණු තොරතුරක් මත එම ස්ථානය පරීක්ෂාවට ලක්කළ වැලිකඩ පොලිසියේ නිලධාරින්ට ඔයේ පාවෙමින් තිබූ නාඳුනන පිරිමි මළ සිරුරක් තෙරේ (28) දින උදෑසන සොයා ගැනීමට හැකි වූ බව වැලිකඩ පොලීසිය පැවැසීය. වැලිකඩ පොලිස් ස්ථානයේ නිලධාරින් විසින් මේ පිළිබඳව දියවන්නා ඔයේ රාජකාරි සඳහා යොදවා සිටින නාවික හමුදාවේ නිලධාරීන් දැනුම්වත් කිරීමෙන් අනතුරුව කොරෝනා වසංගත තත්ත්වය පවතින හේතුවෙන් පූර්ණ සෞඛ්‍ය ක්‍රමවේද භාවිත කරමින් දියේ පාවෙමින් තිබූ මළ සිරුර ගොඩට රැගෙන ආ බවත් පොලීසිය පැවැසීය.

පසුව සිදුකළ විමර්ශනයේදී මෙම පුද්ගලයා බත්තරමුල්ල ප්‍රදේශයේ නිවසක අරක්කැමියකු ලෙස ඉතා දීර්ඝ කාලයක් සේවය කර ඇති බවත් එම නිවසින් පසුගිය සතියේ (25) බදාදා දින සිට මියගිය පුද්ගලයා ආගිය අතක් නොමැති බවට නිවසේ අයිතිකරු තලංගම පොලිසියේ පැමිණිල්ලක් ද සිදුකර ඇති බවත් අනාවරණය වූ බවද පොලීසිය පැවැසීය. මියගිය පුද්ගලයා එච්.ඒ. ලක්ෂ්මන් කරුණාතිලක වන (62) හැවිරි දෙදරු පියකු බවත් උපන් ගම කඩවත ප්‍රදේශයේ බවත් සිදුකළ වැඩිදුර විමර්ශනයේ දී අනාවරණය වූ බවත් පොලිසිය පැවැසීය. මෘත ශරීරය දියවන්නා ඔයේ ඉවුරට රැගෙන ආපසු එම ස්ථානයට පැමිණි කොලොන්නාව කොට්ඨාස හදිසි මරණ පරික්ෂකවරිය වන කාංචනා විජේනායක මහත්මිය මෘත ශරීරය හදිසි මරණ පරීක්ෂණයක් සඳහා යොමු කිරීමට පොලිස් රෝහලේ මෘත ශරීරාගාරයට යවන ලෙස නියෝග කළාය.


මෙම මරණය ඝතනයක්ද? නැතහොත් දියට පැන දිවි නසා ගැනීමක්ද? යන්න තවමත් නිශ්චිතව සඳහන් කළ නොහැකි බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. ඒ සඳහා විශේෂ පරික්ෂණයක් පවත්වන බවද එම නිලධාරියා වැඩිදුරටත් පැවැසීය. සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ වැලිකඩ පොලිස් ස්ථානයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ඉන්දික කෝරළගේ මහතාගේ අධීක්ෂණය යටතේ නිලධාරිහු සිදු කරති.



සමාජ මාධ්‍ය වල පලවන කතා බොරු



කොවිඩ් වයිරසය ආසාදනය වී මහනුවර ජනාධිපති මන්දිරයේ සිටින බවට සමාජ මාධ්‍යවල කියැවෙන කිසිවකුට ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා මගින් ආහාර රැගෙන යන බවට පළවන වාර්තා අසත්‍ය බව ගුවන් හමුදා මාධ්‍ය අධ්‍යක්ෂ, ගෘෘප් කපිතාන් දුෂාන් විජේසිංහ මහතා පවසයි. ගුවන් හමුදා හෙලිකොප්ටර් යානා එවැනි කටයුතුවලට යොදවා නැතැයි ද ඔහු පැවසීය.


අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතාගේ බාල පුත් රෝහිත රාජපක්ෂ මහතා සමග ඔහුගේ බිරිඳ සහ කුඩා පුතු ද සමාජයෙන් වසන්වීම සඳහා මහනුවර ජනාධිපති මන්දිරයේ රඳවා සිටින බවටත් ඔවුන්ට දිනපතා ආහාර රැගෙන යන්නේ කොළඹ සිට ගුවන් හමුදාවට අයත් හෙලිකොප්ටර් යානා මගින් බවටත් ඇතැම් සමාජ මාධ්‍යවල පළවී තිබිණි. ශ්‍රී ලංකා ගුචන් හමුදාව ගුවන් පහසුකම් සපයන්නේ ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් මත, ජනාධිපතිවරයාට හා අගමැතිවරයාට පමණක් බවද ඔහු සඳහන් කළේය.


 -ඉන්දිකා රාමනායක-

හොරෙන් වැලි ඇද්ද ටිපරයට යට කර පොලිස් රලහාමි මැරූ රියදුරු අත්අඩංගුවට

කොබෙයිගන්නේ පොලිස් වසමට අයත් හතලව ප්‍රදේශයේ අතුරු මාර්ගයකදී පෙරේදා (28) රාත්‍රියේ නීති විරෝධී ලෙස ප්‍රවාහනය කරමින් තිබූ ටිපර් රථයක් අල්ලා ගැනීමට උත්සාහ කළ අවස්ථාවේ ඊට යටකර පොලිස් කොස්තාපල්වරයකු ඝාතනය කර පලාගොස් සිටි ටිපර් රථ රියැදුරා නිකවැරටිය ප්‍රදේශයේදී ඊයේ (29) දහවල් අත්අඩංගුවට ගත් බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. ටිපර් රථය කුලියාපිටිය ප්‍රදේශයේ අතහැර දමා ගොස් තිබියදී පොලිසිය සොයාගෙන තිබිණි. නිකවැරටිය මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික උපාලි රත්නමලල මහතාට ලැබුණු ඔත්තුවක් අනුව ඊයේ කරන ලද වැටලීමකදී සැකකාර ටිපර් රථ රියැදුරා අත්අඩංගුවට ගනු ලැබීය.


මෙසේ ඝාතනය කර ඇත්තේ කොබෙයිගනේ පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් කොස්තාපල් ආර්.එන්.ඒ. රත්නායක (76013) මහතාය. නිකවැරටිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් මත සැකකරු සම්බන්ධයෙන් පරික්ෂණ පවත්වා අද (30) නිකවැරටිය අධිකරණය හමුවට ඔහු ඉදිරිපත් කිරීමට නියමිතය. කොස්තාපල්වරයා ටිපර් රථයකින් යටකර ඝාතනය කළ බව කියමින් අත්අඩංගුවට ගත් සැකකාර රියැදුරාට අයත් තවත් ටිපර් රථයක් නීති විරෝධී ලෙස වැලි ප්‍රවාහනය කරමින් තිබියදී මෙම මැයි 04 වැනිදා අත්අඩංගුවට ගෙන තිබිණි. එම ටිපර් රථය තවමත් පොලිස් බාරයේ තිබෙන බවත් සැකකරු ඇප මත මුදාහැර අධිකරණයේ නඩු පවරා තිබෙන බවත් ප්‍රදේශයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.


කොස්තාපල්වරයා යටකළ බව කියන ටිපර් රථය, සැකකාර රියැදුරාගේ සහෝදරයකුගේ බිරිඳගේ පියාට අයත් එකක් බවට පරික්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය කියයි. සැකකාර රියැදුරාගේ එම සහෝදරයා හොරණ ප්‍රදේශයේ පොලිස් ස්ථානයක රාජකාරි කරන පොලිස් කොස්තාපල්වරයකු බව පැවසේ. දැදුරු ඔයෙන් නීති විරෝධී ලෙස ගොඩ දැමූ බව කියන වැලි තොගයක් ටිපර් රථයකින් ප්‍රවාහනය කරන බවට කොබෙයිගනේ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ජේ.එම්.ඒ.ඩී.බී. ජයතිලක මහතාට ඔත්තුවක් ලැබී ප්‍රධාන පොලිස් පරික්ෂක ජයතිලක මහතාට ලැබුණු ඔත්තුව අනුව උප පොලිස් පරික්ෂක රාජපක්ෂ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් එම ටිපර් රථය සහ රියැදුරා අත්අඩංගුවට ගැනීමට හතලව ප්‍රදේශයට ගොස් අතුරු මාර්ගයක රැකසිට තිබේ.


මෙම කණ්ඩායමට කොස්තාපල් රත්නායක මහතාද එක්ව සිටියේය. ටිපර් රථය එනවා දුටු කොස්තාපල් රත්නායක මහතා ඇතුළු නිලධාරීන් තිදෙනකු ඉදිරියට පැන රථය නතර කිරීමට සංඥා කර තිබෙන බව එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය. මේ අවස්ථාවේ රියැදුරා ටිපර් රථය පොලිස් නිලධාරින්ගේ ඇඟට කපා ඇතැයි කියති. පොලිස් නිලධාරීන් තිදෙනාගෙන් දෙදෙනකු මාර්ගයෙන් දකුණු පසට පැනගෙන ඇති අතර වම් පැත්තට පැනීමට උත්සාහ කළ කොස්තාපල් රත්නායක මහතා යටකර රියැදුරා පළාගොස් ඇති බවද පොලිසිය කියයි. ටිපර් රථයට යටවී බරපතළ තුවාල ලබා වැටී සිටි පොලිස් කොස්තාපල් රත්නායක මහතා ඒ මොහොතේම නිකවැරටිය රෝහලට ගෙනැවිත් ඇති අතර රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටි අතරවාරයේ ඔහු මියගොස් ඇතැයි පොලිසිය සඳහන් කරයි.


ඝාතනය වූ පොලිස් කොස්තාපල් රත්නායක මහතා නිකවැරටිය - රස්නායකපුර පොලිස් වසමට අයත් තිලෝගම දිවුල්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි 32 හැවිරිදි දෙදරු පියෙකි. කොස්තාපල්වරයාට අවුරුදු 11 ක සහ අවුරුදු 08 ක වයසේ පසුවන පිරිමි දරුවන් දෙදෙනකු සිටියි. ලපොලිස් විශේෂ කාර්ය බළකායට 2008 වසරේ බැඳී ඇති රත්නායක මහතා එම බළකායේ රාජකාරිවලින් 2017 වසරේ ඉවත්ව කොබෙයිගනේ පොලිස් ස්ථානයට රාජකාරි සඳහා පැමිණ ඇත.


ඥාතීන් මිනී පෙට්ටි දෙන්නේ නෑ


කොවිඩ් හේතුවෙන් මියයන පුද්ගලයන්ගේ මෘතදේහ බහාලීම සඳහා මිනීපෙටිටි ලබාදීම ඇතැම් පිරිස් ප්‍රතික්ෂේප කරන බව සෞඛ්‍ය අංශ ආරංචි මාර්ග සඳහන් කරයි. මේ නිසා කොළඹ ජාතික රෝහලේ සහ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මෘත දේහ කීපයක්ම දින කීපයක් තිස්සේ තබා ගැනීමට සිදුවී ඇතැයි ද පැවසේ. මිනී පෙට්ටියක් මිලදී ගැනීමට වත්කමක් නැතැයි ඇතැම් පිරිස් ප්‍රකාශ කළ ද ඔවුන් ප්‍රකාශ කරන්නේ සත්‍යයක් නොවන බව පෙනී යන්නේ යැයි ද සෑබෑ අංශ ප්‍රකාශකයෙක් පැවසීය.


ආදාහනය කිරීමට විරෝධය දැක්වීම් ලෙස, ඇතැම් පිරිස් මිනී පෙට්ටි ලබාදීම ප්‍රතික්ෂේප කරන බව ද ඔහු කීය. පවුලේ ඥාතීන් මිනී පෙට්ටි ලබා නොදීම නිසා කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරි කාර්යාලයේ මෘත ශරීරාගාරයේ ඊයේ (29) පස්වරුව වන විට මළසිරුරු පහක් තිබූ බවද වාර්තා විය.


 -රංජන් කස්තුරි-

පැය 24 ට කොළඹ දිස්ත්‍රික්කයෙන් රෝගීන් 223ක්


කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ (29) පෙරවරු 6.00න් අවසන් වූ පැය 24 තුළ වාර්තා වූ කොරෝනා ආසාදිතයන් 223 දෙනා අතරින් රෝගීන් වැඩිම පිරිසක් වාර්තා වී ඇත්තේ කොළඹ, අලුත්කඩේ ප්‍රදේශයෙන් බව කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. ඒ අනුව කොළඹ අලුත්කඩේ ප්‍රදේශයෙන් වාර්තා වී ඇති රෝගීන් ගණන 56 දෙනෙකි.


කොවිඩ් පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයෙන් නිකුත් කර ඇති නවතම වාර්තාවට අනුව ඊයේ (29) පෙරවරු 6න් අවසන් පැය 24 තුළ බ්ලූමැන්ඩල් ප්‍රදේශයෙන් 45 දෙනකුද, කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයෙන් 28දෙනකුද, කොටුව ප්‍රදේශයෙන් 19 දෙනකුද, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් 13දෙනකුද, මට්ටක්කුලිය ප්‍රදේශයෙන් 13දෙනකුද, කිරුළපන ප්‍රදේශයෙන් 09 දෙනකුද, මරදාන ප්‍රදේශයෙන් 07 දෙනකුද, කොල්ලුපිටිය ප්‍රදේශයේ 05 දෙනකුද, වැල්ලම්පිටිය ප්‍රදේශයෙන් 05දෙනකුද, අවිස්සාවේල්ල ප්‍රදේශයෙන් 04දෙනකුද, බත්තරමුල්ල ප්‍රදේශයෙන් 02දෙනකුද, පිටකොටුව ප්‍රදේශයෙන් 02 දෙනකුද, බම්බලපිටිය, වැල්ලවත්ත සහ දෙහිවල යන ප්‍රදේශවලින් එක් ආසාදිතයකු බැගින්ද කොරෝනා රෝගීන් හඳුනාගෙන ඇතැයි සඳහන් වෙයි.

 

-නිමන්ති රණසිංහ-

රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ පෞද්ගලික රෝහල් 10කත්



කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇතිදැයි තහවුරු කර ගැනීම සඳහා සිදු කරන රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂණ පෞද්ගලික රෝහල්වලදී සිදු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය අවසර දී තිබේ. ඒ අනුව කොළඹ සහ වෙනත් පළාත්වල පිහිටි පෞද්ගලික රෝහල් 10කට රැපිඩ් ඇන්ටිජන් (ක්ෂණික ප්‍රතිදේහජනක) පරික්ෂණ සිදු කිරීමට අවසර ලබා දුන් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් (රසායන සේවා) වෛද්‍ය සමන් රත්නායක මහතා පැවසීය. සෞඛ්‍ය අමාත්‍යාංශය ඒ සඳහා උපදෙස් මාලාවක් නිකුත් කරන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශයේ නියාමනය යටතේ පෞද්ගලික රෝහල් එම පරීක්ෂණ සිදු කළ යුතු බවද වෛද්‍ය රත්නායක මහතා කීය. ඒ අනුව ලබන සතියේ සිට එම රෝහල්වලට රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණ සිදු කළ හැකි බවද හෙතෙම සඳහන් කළේය.


රැපිඩ් ඇන්ටිජන් පරික්ෂණයක් සිදු කර විනාඩි 20 ක් වැනි සුළු කාලයකදී රෝගියාගේ වාර්තාව ලබාගත හැකි වීම විශේෂත්වයකි. හදිසි ශල්‍යකර්ම ආදිය සඳහා රෝහල් ගත කරන පුද්ගලයන්ට මෙම පරික්ෂණය සිදු කර ඔවුන්ගේ ශල්‍යකර්ම සිදු කරවා ගත හැකි බවද වෛද්‍යවරු පවසති. කිසියම් පුද්ගලයකුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇතිනම් සහ ඔහු තවත් පුද්ගලයන්ට වයිරසය බෝ කිරිම් තත්වයක පසුවන්නේ නම් මෙම පරීක්ෂණයේදී ඒ බව හඳුනාගත හැකි බවද වෛද්‍යවරු පවසති.


බෝගම්බර රැඳවියන් දෙදෙනකු පැනයාමට දැරූ තැන වෙඩි තබා වළක්වයි



මහනුවර පැරණි බෝගම්බර නිරෝධායන මධ්‍යස්ථානයේ රැඳවියන් දෙදෙනකු පෙරේදා (28) රාත්‍රී 11.15ට පමණ 'ඒ' සිර වාට්ටුවේ දොරවල් කඩා පැනයාමට දැරූ උත්සහාය බන්ධනාගාර නිලධාරින් විසින් වෙඩි තබා වළක්වනු ලැබ ඇතැයි එම බන්ධනාගර ආරංචි මාර්ග අනාවරණය කරයි. රැඳවියන් දෙදෙනා මෙලෙස පළා යාමට තැත් කර ඇත්තේ තුන්වනවරට බවද පොලිසිය සඳහන් කරයි.


පළායාම සඳහා මෙම රැඳවියන් දෙදෙනා උඩු මහලට නැග තාප්පයට ගොඩවීමට උත්සාහ දරා ඇතැයි ද ඒ බව දැක ඇති නිලධාරින් ඒ දෙසට වෙඩි තැබීම නිසා බියට පත්ව ඔවුන් දෙදෙනා සිර මැදිරිවලට දුවගොස් ඇතැයි ද පැවසේ. සැකකරුවන් දෙදෙනා දැනට ආරක්ෂිත සිර මැදිරිවල රඳවා තබා ඇති අතර මහනුවර පොලිසිය සිද්ධිය පිළිබඳව පරික්ෂණ පවත්වයි.


ජයන්ත සමරකෝන්

ඉතාලියේ පාවියා නගරයේ විසූ ශ්‍රී ලංකිකයකු හදිසියේ මියයයි


ඉතාලියේ පාවියා නගරයේ පිහිටි නිවසකට අලුතින් පදිංචියට ආ ශ්‍රී ලංකිකයකු හදිසියේ රෝගාතුරවී මිය ගොස් ඇති බව එරට ප්‍රවෘත්ති සේවාව වාර්තා කර ඇති බව එරටින් ලැබෙන ආරංචි මාර්ග කියයි.. විෂ වායුවක් ආඝ්‍රාහණයවීමෙන් මෙම ශ්‍රී ලාංකිකයා මිය ගොස් ඇති බවටත් මේ හේතුව නිසා ඔවුන්ගේ ශ්‍රී ලාංකික බිරිය ද රෝගාතුරව රෝහල්ගතව ප්‍රතිකාර ලබා ඇති බවත් එරට ප්‍රවෘත්ති සේවාව වාර්තා කර ඇත. එරට පුවත්පත් වාර්තාකර ඇති අන්දමට මෙසේ මිය ගොස් ඇත්තේ වෙන්නප්පුව ලුණුවිල පදිංචිව සිටි ජෝශප් එවන්ස් ප්‍රනාන්දු (58) නැමැත්තෙකි. ජෝශප් මහතා ඉතාලියේ කුරිය සේවා සමාගමක රියැදුරෙකු ලෙස සේවය කළ අයෙකු බව එරට මාධ්‍ය වාර්තාකර තිබේ.


ඉතාලි පුවත් සේවය වැඩි දුරටත් වාර්තාකර ඇති ආකාරයට ජෝශප් මහතා සහ ඔහුගේ බිරිය අලුතින් පදිංචියට ආ පාවියා නගරයේ නිවසක විදුලි බලය තිබී නොමැත. මේ හේතුව මත විදුලි උත්පාදක යන්ත්‍රයක් මගින් නිවසට විදුලිය ලබාගෙන ඇති අතර එයින් පිටවූ කාබන්මොනොක් සයිඩ් වායුව ආඝ්‍රහනයවීම නිසා ජෝෂප් මහතා මරණයට පත්ව ඇති බවට අනුමාන කරන බව එරට මාධ්‍යවල සඳහන්ව තිබේ. ජෝශප් මහතාගේ බිරිය ද රෝගාතුරව ඇත්තේ මෙම වායුව ආඝ්‍රාහණයවීමෙන් බවද එරට මාධ්‍ය වාර්තාකර තිබිණි. ඉතාලියේ මිලානෝ හි වෙසෙන සුජීවා මල්කාන්ති මහත්මිය මෙම තොරතුරු එවා තිබිණි.


 -ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරීය-

කොරෝනා ආසිදිතයන්ගේ තොරතුරු සෙවූ උප පොලිස් පරීක්ෂක රිය අනතුරෙන් මියයයි


කොරෝනා වයිරසය ආසාදිත වූ අය සම්බන්ධයෙන් තොරතුරු සොයා බැලීමේ රාජකාරියේ යොදවා සිටි මොරටුව මූලස්ථාන පොලිසියේ උප පොලිස් පරික්ෂකවරයකු හදිසි රිය අනතුරකට ලක්වී කොළඹ ජාතික රෝහල් දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී ඊයේ (29) අලුයම මියගිය බව පොලිසිය කියයි. මෙසේ මියගොස් ඇත්තේ උප පොලිස් පරික්ෂක රුචිර තාරක මහගොඩගේ (27) මහතාය.



උප පොලිස් පරික රුචිර මහතා රිය අනතුරින් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩිසත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියදී මියගියේ එම අනතුර සිදුවී දින නවයක පමණ කාලයකට පසුව බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය. උප පොලිස් පරික්ෂකවරයා යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී පාදුක්ක ප්‍රදේශයේදී ලොරි රථයක ගැටීමෙන් බරපතළ තුවාල ලබා තිබුණේ පසුගිය 22 වැනිදාය. රුචිර තාරක මහ 2016 වසරේදී පොලිසියට බැඳුණු නිලධාරියෙකි.


මොරටුව පොලිස් බල ප්‍රදේශයේ කොරෝනා වයිරසය ආසාදනය වූ අය පිළිබඳව තොරතුරු සොයා බැලීමේ විශේෂ පොලිස් ඒකකයේ මොහු රාජකාරියේ නිරතව සිටියේ යැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය. රාජකාරි කටයුත්තකට ගොස් සිටියදී උප පොලිස් පරික්ෂකවරයා මෙම මාරක අනතුරට ලක්ව ඇති බව පොලිසිය කියයි. මොරටුව මූලස්ථාන පොලිසියේ සහ පාදුක්ක පොලිසියේ නිලධාරීහු මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යති.


- ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-


ජීවිතාන්ත හා මරණ දඬුවම් හිමි වූ සිරකුරුවන්ට පොදු සමාවක්?


ජීවිතාන්ත හා මරණ දඬුවම හිමිවී සිටින සිරකරුවන් බන්ධනාගාරය තුළ ගතකර ඇති වසර ගණන අනුව පොදු සමාවක් ලබාදීම කෙරෙහි අවධානය යොමුවී ඇතැයි බන්ධනාගාර මූලස්ථාන ආරංචි මාර්ග අනාවරණය කරයි. දැනට මරණ දඩුවම හා ජීවිතාන්ත සිරදඬුවම් විඳින සංඛ්‍යාව පසුගිය සැප්තැම්බර් 30 වැනි දින වනවිට 1116 කි. සිරකරුවන් 50% ක් මරණ දඩුවමද, 611 ක් ජීවිතාන්ත සිරදඬුවම්ද ලබා සිටින අතර මරණ දඩුවම් අභියාචනා 764 ක්ද, ජීවිතාන්ත අභියාචනා 137 ක්ද වෙති.


මෙහිදී වසර 20 කට අධික කාලයක් මරණ දඬුවම විඳින්නන්ට ජීවිත සමාවක් ලබාදීම හා වසර 25 ක කාලයක් ජීවිතාන්ත සිරදඩුවම් විඳින්නන්ට සාමාන්‍ය සිරකරුවකු මෙලෙසින් පොදු සමාවක් ලබාදී නිදහස් කිරීමටත් එම දෙපාර්තමේන්තුව යෝජනා කර ඇතැයි පැවසේ. මෙම සිරකරුවන්ගේ විස්තර ඇතුළත් නාමලේඛනයක් මේ වනවිටත් වගකිවයුතු අංශ වෙත ඉදිරිපත් කර ඇතැයිද වාර්තා වේ. පසුගිය වසර 20 කට අධික කාලය පුරා දීර්ඝකාලීන සිරදඬුවම් ලබාසිටින සිරකරුවන් සඳහා සිව්වස් හා අටවස් සමාලෝචන වාර්තා ඉදිරිපත් නොවීම බන්ධනාගාර තුළ අධික තදබදයකට හා උද්ඝෝෂණ විරෝධතාවන්ට ප්‍රධාන හේතුවක්වී ඇති බවට කරුණු හෙළිවී තිබේ.

-ජයන්ත සමරකෝන් -


Friday, November 27, 2020

කුසල්, ගුර්බාස් කැන්ඩි ටස්කර්ස් ඔසවා තබති


අයි.පී.එල්, සී.පී.එල්, බිග් බෑෂ් වැනි ලෝක ක්‍රිකට් පිටියේ ඉහළම ආකර්ෂණය දිනාගත් විස්සයි20 ලීග අතරට ශ්‍රී ලාංකේය සින්නාමය ලෙස එක්වූ ලංකා ප්‍රිමියර් ලීග් (එල්.පී.එල්.) ක්‍රිකට් තරගාවලිය ඊයේ (26දා) ආරම්භ කෙරිණි. 

තරගාවලිය ආරම්භ කරමින් කැන්ඩි ටස්කර්ස් සහ කළම්බු කිංග්ස් යන කණ්ඩායම් අතර පැවති පළමු තරගයේ පළමුව පන්දුවට පහරදුන් ටස්කර්ස් කණ්ඩායම නියමිත පන්දුවාර 20 තුළදී කඩුලු  03ක් දැවී ලකුණු 219/3ක් රැස්කිරීමට සමත් විය.

ඒ අනුව හම්බන්තොට, සුරියවැව ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ පැවැත්වුණු මෙම තරගයේදී කළම්බු කිංග්ස් කණ්ඩායමට ජයග්‍රහණය සඳහා ලකුණු 220ක දැවැන්ත ඉලක්කයක් හිමිවිය.

නායක කුසල් ජනිත් සමගින් ඇෆ්ගනිස්තාන ක්‍රීඩක රහ්මනුල්ලාහ් ගුර්බාස් ටස්කර්ස් ඉනීම ආරම්භ කළ අතර, කණ්ඩායමට සාර්ථක ආරම්භයක් ලබාදෙමින් ඔවුන් දෙදෙනා පළමු කඩුල්ලට ලකුණු 75ක (පන්. 5.4) සබඳතාවක් පැවැත්වූහ.

මෙහිදී වේගවත් ඉනිමක් ක්‍රීඩාකළ තවමත් 18 හැවිරිදි වියේ පසුවන ගුර්බාස්, පන්දු 22කදී ලකුණු 53ක් රැස්කළේය.

ඔහුගේ ඉනිමට දැවැන්ත හයේ පහර 04ක් හා හතරේ පහර 06ක් ඇතුළත් විය. මෙහිදී ගුර්බාස් දැවී ගියේ ඇෆ්ගනිස්තානයේම පන්දු යවන්නෙකු වූ ක්වයිස් අහ්මඩ්ගේ පන්දුවක් හමුවේ වීම සුවිශේෂී විය. කෙසේ නමුත් කණ්ඩායමට හිමි වූ වේගවත් ආරම්භය හේතුවෙන් තරගයේ 08 වැනි පන්දුවාරය සම්පූර්ණ වනවිට ලකුණු පුවරුව 100/1ලෙස ඔසවා තබාගැනීමට ටස්කර්ස් පිතිකරුවන්ට හැකිවිය. මෙහිදී ඉනිමේ දෙවැනි කඩුල්ල ලෙස කුසල් මෙන්ඩිස් දැවී ගියේය. ලකුණු 30ක් රැස් කරගෙන සිටි මෙන්ඩිස් දැවී යන විට 134/2ක් (පන්දුවාර 12.4) ලෙස ලකුණු පුවරුව සටහන් විය. කෙසේනමුත් නායකත්වයේ වගකීම අමතක නොකළ කුසල් ජනිත්, ප්‍රහාරාත්මක ඉනිමක් ක්‍රීඩා කරමින් ටස්කර්ස් ඉනිම ලකුණු 200 සීමාවෙන් එහාට රැගෙනයාමට කටයුතු කළේය. 

තරගාවලියේ සිය කුළුදුල් ශතකයට හිමිකම් කීමට ලකුණු 13ක් පසුපසින් සිටියදී කුසල්ගේ ඉනිම අවසන් විය. තරගයේ අවසන් පන්දු වාරයේදී (19.1) ඔහු දැවී යන විට ලකුණු පුවරුව 207/3 ලෙස සටහන් විය. අශාන් ප්‍රියන්ජන් විසින් ලබාගත් විශිෂ්ට උඩපන්දුවක් හමුවේ දැවී යන විට පන්දු 52කට මුහුණදී සිටි කුසල් අලංකාර හයේ පහර 04ක් හා හතරේ පහර 09ක් සමගින් ලකුණු 87ක් රැස්කරගෙන සිටියේය. 

කිංග්ස් සියලුම පන්දු යවන්නන් දැඩි පහර කෑමකට ලක්වූ අතර, යම් තරමින් හෝ සාර්ථක වූ ක්වයිස් අහ්මඩ් එක් කඩුල්ලක් දවා ගත්තේ යොමු කළ පන්දුවාර 03 තුළදී ලකුණු 28ක් ලබාදෙමිනි. 

ශ්‍රී ලංකාව හා දකුණු අප්‍රිකාව අතර 2013 වසරේ පැවති විස්සයි20 තරගයෙන් පසු ඉහළ මට්ටමේ විස්සයි20 තරගයක් සුරියවැවදී පැවැත්වෙන පළමු අවස්ථාව ලෙස මෙය සැලකේ.


ත්‍රිකුණාමලයේ පොලිස් වැයික්කි 7ක කිසිදු තැනක මහවිරු සැමරුම් උත්සව තහනම්

මියගිය කොටි නායකයන් හා සාමාජිකයන් සමරමින් ත්‍රිකුණාමලයේ පොලිස්බල ප්‍රදේශ හතකට අයත් කිසිදු ස්ථානයකදී මහවිරු සැමරුම් උත්සව පැවැත්වීම තහනම් කරමින්, ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත්වරු විසින් තහනම් නියෝග නිකුත් කරන ලදී. දෙමළ දේශපාලන පක්ෂ නියෝජිතයින් ඇතුළු 27 දෙනෙකුට එරහිව අදාළ තහනම් නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරුන් අද (23) සිට ඉදිරි දින 14 ක කාලය තුළ කිසිදු මහවිරු සැමරුම් උත්සවයක් පැවැත්වීමට කටයුතු නොකරන ලෙසට නියෝග නිකුත් කළහ. මහවිරු සැමරුම් උත්සව පැවැත්වීම වළක්වා නොගතහොත් එය ජාත්‍යන්තර ප්‍රශ්නයක් දක්වා විහිදී ගිය හැකි බව පෙන්වා දෙමින් නියෝජ්‍යෙ සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කළ ඉල්ලීමක් පිළිගනිමින් ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් කුමාරි රත්නායක මහත්මිය සහ අතිරේක මහේස්ත්‍රාත් ලක්ෂන් ජයමාල් මහතා විසින් අදාළ තහනම් නියෝග නිකුත් කරන ලදී.

මේ අනුව ත්‍රිකුණාමල මූලස්ථාන පොලිස් බල ප්‍රදේශය, වරාය පොලිස් බල ප්‍රදේශය, උප්පුවේලි, කින්නියා, පුල්මුඩේ, කුච්චවේලි සහ නිලාවැලි පොලිස් බල ප්‍රදේශවල කිසිදු ස්ථානයක මහවිරු සැමරුම් උත්සව පැවැත්වීම වළකාලන නියෝග නිකුත් කෙරිණි. ත්‍රිකුණාමලය මූලස්ථාන පොලීසිය ඇතුළු පොලිස් ස්ථාන විසින් තම ප්‍රදේශවල පැවැත්වීමට සංවිධානය කර ඇති මහවිරු සැමරුම් උත්සව පැවැත්වීම තහනම් කරන්නැයි ඉල්ලා මීට පෙර අවස්ථාවක අධිකරණයෙන් ඉල්ලීම් කර තිබුණත් පොලීසියට ඇති බලතල අනුව මෙවැනි සැමරුම් උත්සව පැවැත්වීම වැළැක්විය හැකි බව පෙන්වා දෙමින් මහේස්ත්‍රාත්වරුන් විසින් පොලීසියේ ඉල්ලීම් ඉවත දමා තිබිණි.

ඒ පිළිබඳ අවධානය යොමු කළ නීතිපති දප්පුල ද ලිවේරා මහතාගේ නියෝගය මත නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ඊයේ (26) ත්‍රිකුණාමල මහේස්ත්‍රාත් අධිකරණයේ සහ අතිරේක මහේස්ත්‍රාත් අධිකරණයේ පෙනී සිටිමින් ජනාවාර්ගික අර්බුදයේදී මියගිය කොටි නායකයන් සහ සාමාජිකයන් සිහිකිරීම සඳහා මහවිරු සැමරුම් උත්සව රාශියක් මෙම ප්‍රදේශවල පැවැත්වීමට සංවිධානය කොට ඇති බව බුද්ධි අංශවලට වාර්තා වී ඇතැයි දැනුම් දුන්නේය. එම අවස්ථාවේදී මහේස්ත්‍රාත්වරු අධිකරණය අමතමින් පොලිසීයට ඇති බලතල අනුව මෙවැනි සැමරුම් උත්සව වළක්වාලීමට හැකියාව තිබියදී, අධිකරණයෙන් තහනම් නියෝග ඉල්ලන්නේ ඇයිදැයි ප්‍රශ්න කළහ.



ඊට පිළිතුරු දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා, ජනවාරිගික අර්බුදයේදී වැඩිම කොටි සාමාජිකයන් හා නායකයින් වැඩිම පිරිසක් මියගොස් ඇත්තේ නැගෙනහිර ප්‍රදේශයෙන් බවත්, මෙම ප්‍රදේශවල ඉදිකර ඇති කොටි සොහොන් කොත් ඒවාට සාක්ෂි දරන බව පැවසීය. මෙවැනි තත්වයක් තුළ මහවිරු සැමරුම් උත්සව පැවැත්වීමට කොටි සාමාජිකයන්ගේ ඥාතීන් උත්සාහ කරනවිට එය මැඩපැවැත්වීමට පොලීසිය කටයුතු කළහොත් එය ගැටුමක් බවට පත්වී ලේ වැගිරීම් පවා සිදුවිය හැකි බව පෙන්වා දුන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා, එය ජාත්‍යන්තර ප්‍රශ්නයක් දක්වා දුර යා හැකි බවද පෙන්වා දුන්නේය.


උත්සවයක් පවත්වන විට එය මැඩපවත්වනවාට වඩා එයට ආරම්භයේදීම වළක්වා ගැනීමට ගැටලුව අවම කරන්නක් බව පෙන්වා දුන් දිලීප පීරිස් මහතා මෙම ප්‍රදේශවල මහවිරු සැමරුම් උත්සව පැවැත්වීම තහනම් කරමින් නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරු නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයාගේ ඉල්ලීම පිළිගනිමින් ඉදිරි දින 14 කට බලපැවැත්වෙන පරිදි අදාළ තහනම් නියෝගය නිකුත් කළහ.


චීනයේ COVID-19 එන්නත් මිලියන 50ක් මිලදී ගැනීමට තුර්කිය එකඟතාවකට

 


චීනයේ සිනොවැක් සමාගම මගින් COVID-19 වෛරසයට එරෙහිව නිපදවා ඇති කොරෝනාවැක් (CoronaVac) එන්නත් මිලියන 50ක් මිලදී ගැනීම සඳහා තුර්කිය එම සමාගමත් සමග එකඟතාවක් අත්සන් තබා ඇතැයි තුර්කි සෞඛ්‍ය අමාත්‍ය ෆොහෙරෙටින් කොකා පසුගියදා අනාවරණය කළේය. 

ඔහු සඳහන් කරන ආකාරයට මෙම එන්නත් ලබන දෙසැම්බර්, ජනවාරි සහ පෙබරවාරි මාසවලදී තුර්කිය වෙත ලැබීමට නියමිතව ඇත. සිනොවැක් සමාගම නිපදවා ඇති මෙම එන්නත තවමත් අත්හදා බැලීමේ මට්ටමේ පවතින්නකි. කෙසේ වෙතත් මෙම එන්නත හරහා ක්ෂණික ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ඇති වන බව හඳුනාගෙන ඇත. එහෙත් මෙම එන්නත ලබාගත් පිරිස අතර නිපදවෙන ප්‍රතිදේහ ප්‍රමාණය COVID-19 සුව වූ රෝගීන් අතර පවතින ප්‍රතිදේහ ප්‍රමාණයට වඩා අඩු බව පැවසෙයි.

මෙම කොරෝනාවැක් එන්නතට අමතරව චීනය තුළ කොරෝනා වැළැක්වීම සඳහා තවත් එන්නත් තුනක් අත්හදා බලමින් තිබේ. ඒවාද අත්හදා බැලීමේ අවසන් අදියරේ පවතින බවත්, ඒවායේ බලපෑම් සහගත තත්ත්වය මෙතෙක් නිශ්චිත වී නැති බවත් පැවසෙයි. 

මේ සම්බන්ධයෙන්ද අදහස් දක්වා ඇති තුර්කි සෞඛ්‍ය අමාත්‍යවරයා චීනයේ අනෙකුත් එන්නත් නිෂ්පාදන සමාගම් සමගද දැනටමත් සාකච්ඡා කර තිබෙන බවත් පවසා තිබේ.


COVID-19 නිසා ගුවන් කර්මාන්තයට ඇ.ඩොලර් බිලියන 157ක අලාභයක්


ලොව පුරා ව්‍යාප්ත වී ඇති කොරෝනා වසංගතය හේතුවෙන් දැඩි අර්බුදයට ලක්ව ඇති ගුවන් සේවා කර්මාන්තය වෙත මේ වසර තුළදී සහ ලබන වසරේදී එක්සත් ජනපද ඩොලර් බිලියන 157ක අලාභයක් සිදුවන බව ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය (IATA) පවසයි. 

එසේම අද වනවිට ලොව පුරා ව්‍යාප්ත වෙමින් පවතින නව කොරෝනා දෙවැනි රැල්ල හේතුවෙන් ප්‍රධාන පෙළේ වෙළෙඳපොළ රැසක් බලපෑමට ලක්ව ඇති නිසා ගුවන් සේවා කර්මාන්තයේ ඉදිරි පුරෝකථන සියල්ලමද මේ වනවිට වෙනස් කිරීමට සිදුව තිබෙන බවත් එම සංගමය සඳහන් කරයි. 

ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමය පසුගිය ජූනි මාසයේදී සිදුකළ පුරෝකථනයට අනුව ඉදිරි වසර දෙකක කාලය සඳහා ගුවන් සේවා කර්මාන්තය ලබන පාඩුව ඇ.ඩො.බිලියන 100ක් ලෙස ගණන් බලා තිබුණි. එහෙත් අද වනවිට එම අලාභය මේ වසර තුළදී පමණක් ඇ.ඩො.බිලියන 118.5ක් වනු ඇතැයි එම සංගමය පවසයි. එසේ 2021 වසරේදී තවත් ඇ.ඩො.බිලියන 38.7ක් පාඩු වනු ඇතැයි ඔවුන් පුරෝකථනය කර තිබේ.  

විශේෂයෙන්ම අද වනවිට ලොව පුරා නව කොරෝනාව වළකන එන්නතක් සම්බන්ධයෙන් වන අදහස පැතිරී යාමත් සමග ලොව පුරා සංචාරක කර්මාන්තය යථාවත්වීමේ බලාපොරොත්තු ඉහළ නැංවී ඇති අතර, එම තත්ත්වයේ ගෝලීය දියුණුව ලබන වසර දක්වා දිවෙනු ඇතැයි පැවසෙයි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ අධ්‍යක්ෂ ජනරාල් ඇලෙක්සැන්ඩර් ඩි ජුනිඇක්, "මේ එන්නත නිසා ආර්ථිකය වෙත වඩාත් ධනාත්මක බලපෑමක් ලැබේ. ඒ වුණත් ගුවන් ගමන් යළිත් කැපී පෙනෙන ලෙස යථාවත්වීමක් ලබන වසරේ මැදක් වන තුරුම සිදු නොවේවි.

ජාත්‍යන්තර ගුවන් ප්‍රවාහන සංගමයේ ඇස්තමේන්තුවලට අනුව මේ වසරේදී ලොව පුරා වාර්තා වන ගුවන් මගීන්ගේ සංඛ්‍යාව බිලියන 1.8ක් දක්වා පහත වැටීමට නියමිතව ඇත. 2019 වසරේදී එය බිලියන 4.5ක් විය. කෙසේ වෙතත් මෙම නව තත්ත්වය ලබන වසර වනවිට බිලියන 2.8ක් දක්වා යථාවත් වනු ඇතැයි අපේක්ෂාව වී ඇත. එසේම 2020 වසරේදී ගුවන් මගීන් හරහා ලැබුණු ආදායම ඇ.ඩො.බිලියන 191ක් දක්වා 69%කින් අඩුවීමේ අවස්ථාවක්ද පවතින බව එම සංගමය පවසයි.

කෙසේ වෙතත් මේ වනවිට ගුවන් භාණ්ඩ ප්‍රවාහන කාර්ගෝ සේවා තුළ දියුණුවක් පවතින අතර එහිදී ගාස්තු අය කිරීම ඉහළ යාම ඒවායේ ආදායම් ඉහළ දැමීමට හේතු වී තිබේ. ඒ අනුව මේ වසරේදී මේ දක්වා ගුවන් භාණ්ඩ ප්‍රවාහන සේවා තුළ ගෝලීයව ඇ.ඩො.බිලියන 117.7ක ආදායමක් රැස් කරගෙන ඇති අතර එය පසුගිය වසරට සාපේක්ෂව 15%ක වර්ධනයකි. කෙසේ වෙතත් මෙලෙස ප්‍රවාහනය කෙරුණු භාණ්ඩවල ප‍්‍රමාණය පසුගිය වසරට සාපේක්ෂව ටොන් මිලියන 54.2ක් දක්වා 11.6%ක ප්‍රතිශතයකින් පහත බැස තිබේ.



හෝමාගම රෝහලේ ගේට්ටුව අභියස යකා නැටු ත්‍රිරෝද රියදුරු ඇතුළු දෙදෙනෙකු දැලේ


රතිඤ්ඤා පත්තු කරමින් බීමතින් හෝමාගම මූලික රෝහලේ ප්‍රධාන ගේට්ටුව අභියස කලහකාරීව හැසිරුණු දෙදෙනකු ඉකුත් 24 වැනි රාත්‍රී අත්අඩංගුවට ගත් බව හෝමාගම පොලිසිය පවසයි. මෙසේ අන්දඅඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම මූලික රෝහලේ ප්‍රධාන ගේට්ටුව අසල ත්‍රිරෝද රථ ගාලේ රියදුරකු සහ ඔහුගේ මිතුරෙකු බව පොලීසිය කියයි. මොවුන් දෙදෙනා 24 වැනිදා රාත්‍රී රෝහලේ ප්‍රධාන ගේට්ටුව අසලට බීමතින් පැමිණ රෝහලේ පාලනාධිකාරියට පරුෂ වචනයෙන් බැන වදිමින් එහි සේවා කටයුතුවලට බාධා වන අයුරින් රතිඤ්ඤා දල්වමින් කලහකාරීව හැසිරී ඇතැයි පොලිසිය පවසයි.


මේ පිළිබඳව ලද තොරතුරක් අනුව වහාම පොලිස් නිලධාරීන් එම ස්ථානයට ගොස් ඇති අතර ඒ බව දැනගත් එක් සැකකරුවකු ත්‍රීරෝද රථයකින් පලා ගොස් ඇති අතර පසුව ත්‍රීරෝද රථය සහ පලා ගිය සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් හෝමාගම ප්‍රදේශයේ පදිංචි සැකකරුවන් හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් හෝමාගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රේමලාල් මහතාගේ උපදෙස් මත නිලධාරීහු පරීක්ෂණ පවත්වති.


- ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න-

AstraZeneca එන්නතේ නිෂ්පාදන දෝෂයක්?

 

බ්‍රිතාන්‍ය-ස්වීඩන ඖෂධ නිෂ්පාදන සමාගමක් වන AstraZeneca සමාගම සහ බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය එක්ව නිපදවන ලද COVID-19 වළකන එන්නතේ නිෂ්පාදන දෝෂයක් පවතින බවට ලොව එන්නත් පිළිබඳ විශේෂඥයන් පවසයි. 

ඒ අනුව මේ තත්වයත් සමග එම එන්නතේ අවසන් සායනික පරීක්ෂාවෙන් අනතුරුව එහි බලපෑම් සහගත බව සම්බන්ධයෙන් සමාගම පසුගියදා සිදුකළ අනාවරණයද ප්‍රශ්නකාරී වී ඇතැයි පැවසෙයි.

පසුගියදා සිදු කෙරුණු මෙම අනාවරණයට අනුව මෙම AstraZeneca එන්නත සතුව 70%ක සාර්ථකත්වයක් පවතින බවත්, අවශ්‍ය නම් එය 90%ක බලපෑම් සහගත තත්වයක් දක්වා වර්ධනය කරගත හැකි බවත් පවසා තිබුණි. මේ දක්වා බ්‍රිතාන්‍ය සහ බ්‍රසීලය තුළ එහි සායනික පරීක්ෂා සිදුකර තිබේ. ඒවායේ ප්‍රතිඵල විශ්ලේෂණය හරහා මෙම බලපෑම් සහගත පිළිබඳ අනාවරණය කෙරිණි.

කෙසේ වෙතත් මෙම එන්නතේ සායනික පරීක්ෂාවන් සඳහා යොදාගත් ඇතැම් පිරිස් වෙත ලබාදුන් ප්‍රථම සහ දෙවැනි එන්නත් දෙකේදී ප්‍රමාණවත් තරම් මාත්‍රාවක් හිමි නොවී ඇතැයි අනාවරණය වී තිබීම මෙම දෝෂ සහගත ප්‍රතිඵලයට හේතු වී ඇත. වාර්තා වන ආකාරයට මෙම අඩු මාත්‍රාවක් හිමි වූ පිරිස් තුළ සම්පූර්ණ මාත්‍රාවක් හිමි වූ පිරිසට වඩා වැඩි ආරක්ෂාවක් හිමි වූ බව හඳුනාගෙන තිබේ. ඒ අනුව මෙම අඩු මාත්‍රා කණ්ඩායම වෙත ලබාදුන් එන්නතේ බලපෑම් සහගත බව 90%ක් බවත්, සපූර්ණ මාත්‍රාව ලබාදුන් පිරිස අතර එය 62%ක් බවත් සමාගම පවසා සිටියි. 

එහෙත් අවස්ථා දෙකකදී ප්‍රතිඵල දෙකක් ලැබීම සම්බන්ධයෙන් එන්නත් පිළිබඳ මෙලෙස විශේෂඥයන් තුළ ප්‍රශ්නකාරී තත්වයක් ඇතිව තිබේ. එහිදී ඔවුන් මෙය එම එන්නතේ නිෂ්පාදන දෝෂයක් ලෙසටද හඳුන්වා දී සිටියි.


කොරෝනා ප්‍රතිකාර ලබමින් සිටියදී පැනගොස් සිටි 8ක් අත්අඩංගුවට


කොවිඩ්-19 ආසාදනය වීම හේතුවෙන් ප්‍රතිකාර මධ්‍යස්ථානවල සහ රෝහල් වල රඳවා සිටි කාන්තාවක් ඇතුළු අට දෙනකු ගත වූ මාස තුනක පමණ කාලය තුළ පැනගොස් සිටියදී අත්අඩංගුවට පත්ව ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා පැවසීය. මොවුන් අතරින් දෙදෙනෙක් පොලිස් නිලධාරීන් බවත් ඔවුන් වාලච්චේන හා කළුතර ප්‍රදේශවලදී අත්අඩංගුවට ගෙන තිබූ බවත් හෙතෙම කියා සිටියේය. මෙසේ පැනගිය සාමාන්‍ය පුද්ගලයන් පස් දෙනෙකුම මත්කුඩු ලෝලීන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා පැවසීය. අයි.ඩී.එච්. රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 25 හැවිරිදි කාන්තාවක්ද ඇයගේ දෙහැවිරිදි දරුවා සමග පැනගොස් සිටියදී පසුගියදා අත්අඩංගුවට පත්විය.


මොවුන් පැන යන්නේ මානසික ආතතිය හේතුවෙන් නිසා බවත් පොලිස් නිලධාරින් රැකියාවට බැඳෙන අවස්ථාවේ හොඳ මානසික තත්ත්වයකින් පසු වුවද පසු කාලයේ යම් යම් හේතුමත එය වෙනස් වන බවද අජිත් රෝහණ මහතා සඳහන් කළේය. නිරෝධායන මධ්‍යස්ථානවලින් පැන ගිය සාමාන්‍ය පුද්ගලයන්ට ලිහිල් ලෙස කටයුතු කළත් පොලිස් නිලධාරීන්ට විනයානුකූලව තදින්ම නීතිය ක්‍රියා කරන බවද අජිත් රෝහණ මහතා කිවේය. සාමාන්‍ය පුද්ගලයන් පැනයෑම් තත්ත්වය වළක්වා ගැනීම සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කර ඇති බවත් ආසාදිතයන් වශයෙන් හඳුනාගන්නා ගන්නා පුද්ගලයන් ප්‍රතිකාර සදහා රැගෙන යෑමට පෙර ඔවුන් මත්කුඩු ලෝලීන් නම් ඒ බව ඥාතීන් විසින් පොලිස් නිලධාරීන්ට හෝ සෞඛ්‍ය අංශ නිලධාරීන්ට දැනුම් දිය යුතු බවත් අජිත් රෝහණ මහතා වැඩිදුරටත් පැවසීය.


 -ඉන්දිකා රාමනායක-

සිසුවියකගේ ඡායාරූප, නිරුවත් ඡායාරූප ලෙස සකසා ගුරුවරියකට යැවූ සැකකරු අත්අඩංගුවට

උසස් අධ්‍යාපනය ලබන සිසුවියකගේ ඡායාරූප ලබාගෙන ඒවා නිරුවත් ඡායාරූපවලට බද්ධකොට ඇය අධ්‍යාපනය ලබන උසස් අධ්‍යාපන ආයතනයේ ගුරුවරුන්ට දුරකථන මාර්ගයෙන් යැවූ බව කියන තරුණයෙකු දඹුල්ල පොලිසිය මගින් පෙරේදා (25දා) අත්අඩංගුවට ගෙන තිබේ.

මහියංගණය ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි තරුණයෙකු මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව දඹුල්ල පොලීසිය පවසයි. 

මීට දින කිහිපයකට ඉහතදී දඹුල්ල පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට වයස අවුරුදු 20ක දඹුල්ල ප්‍රදේශයේ උසස් අධ්‍යාපන ආයතනයක ඉගෙනුම ලබන සිසුවියක පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබිණි.

එහි සඳහන්ව ඇත්තේ එම විද්‍යාලයේම ඉගෙනුම ලබන මිතුරියක තරුණයකු සමග සබඳකමක් පවත්වා ඇති බවත් පසුව මෙම තරුණයා සමග පැවති ප්‍රේම සම්බන්ධතාව නවතා දැමීමත් සමග ඔහුගේ දුරකථන අංකයද මෙම මිතුරිය විසන්ධි කර දමා තිබුණු බවත් ඇය සිදුකරන ලද පැමිණිල්ලේ සදහන් බව පොලීසිය පවසයි.

පසුව පැමිණිලිකාර සිසුවියට සැකකාර තරුණයා ඇමතුම් කිහිපයක් ලබා ගෙන අවස්ථා කිහිපයකදීම තම මිතුරිය සම්බන්ධ කර දෙන්නැයි කළ ඉල්ලීම ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් උරණ වූ තරුණයා තමන්ගේ ෆේස්බුක්හි ඇති ඡායාරූප ලබාගෙන ඒවා නිරුවත් ඡායාරූපවලට සම්බන්ධකොට මුහුණුපොතට දමන බවට තර්ජනය කළේයැයි පැමිණිල්ලේ සඳහන්ව තිබේ. 

පසුව තමන්ගේ ඡායාරූප ලබාගෙන එම ඡායාරූප නිරුවත් ඡායාරූපවලට බද්ධ කොට ඉගෙනුම ලබන උසස් අධ්‍යාපන ආයතනයේ ගුරුවරියකට දුරකථනයෙන් එවා ඇතැයි ඇය පොලීසියට පැමිණිලි කොට තිබිණි.

එහෙත් මෙම තරුණයා පදිංචි කොහේදැයි සොයා ගැනීමට නොහැකි වී ඇති බවත් මෙම තරුණයාගේ දුරකථනය විසන්ධි කර තැබීම නිසා ඔහු සොයා ගැනීමට පොලීසියට අසීරුවී තිබේ.

පසුව මූලස්ථාන පොලිස් පරික්ෂක එස්. පී. එදිරිසිංහ මහතාගේ උපදෙස් පරිදි දඹුල්ල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා නිලූ ගයන්ති මහත්මිය ඇතුළු කණ්ඩායමක් මෙම තරුණයා ප්‍රේම සම්බන්ධතා පැවැත් වූ පැමිණිලිකාරියගේ මිතුරිය පොලිසියට ගෙන්වා ප්‍රකාශයක් සටහන් කරගෙන තිබේ. 

එහිදී ඇය ප්‍රකාශ කොට ඇත්තේ ඇය මෙම තරුණයා සමග මිතුරුකම් පවත්වද්දී දඹුල්ල ප්‍රදේශයේ ලැගුම් හලකට ගිය බවත් එම ලැගුම්හල් පොතකට මෙම තරුණයාගේ ජාතික හැදුනුම්පත් අංකය ලිපිනය සටහන් තැබූ බව ඇය පොලීසියට ප්‍රකාශ කොට තිබේ.

ඒ අනුව දඹුල්ල ප්‍රදේශයේ ලැගුම්හල් පොත පරික්ෂා කොට මෙම තරුණයා මහියංගණය ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බව හඳුනාගෙන පසුව එම නිවසට දැනුම් දී කොළඹ ප්‍රදේශයේ රැකියාවක් කරන බව අනාවරණය කර ගැනීමෙන් අනතුරුව මෙම තරුණයා පොලිසියට කැඳවා ගත හැකිවූ බවද පොලිසිය පවසයි. 

සැකකාර තරුණයා දඹුල්ල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.

දඹුල්ල මූලස්ථාන පොලිස් පරීක්ෂක එස්.පී. එදිරිසිංහ මහතාගේ උපදෙස් පරිදි ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා නිලුකා ගයන්ති, උප පොලිස් පරික්ෂක ප්‍රියානි යන නිලධාරීහු සිද්ධිය පිළිබඳ වැඩිදුර පරික්ෂණ පවත්වති.

- එස්.කරුණාරත්න -


වනජීවී නිලධාරිහු අද සංකේත වැඩවර්ජනයක


පොළොන්නරුව ජල ගැලීම් නිම්න රක්ෂිතයේ මාර්ගයක් ඉදිකිරීමට ඉඩ ලබා දෙන ලෙස වනජීවී නිලධාරින්ට බලපෑම් කරමින් වනජීවී අමාත්‍යවරයා කළ තර්ජනයට විරෝධය දක්වමින් වනජීවී නිලධාරින් දිවයින පුරා අද (27 ) සංකේත වැඩවර්ජනයක නිරත වන බව සමස්ත ලංකා එකාබද්ධ වනජීවී නිලධාරිගේ සංගමයේ සභාපති ප්‍රභාෂ් කරුණාතිලක මහතා පැවැසිය. ඔහු මෙසේ ද කීවේය. ගෘහස්ථ ගවයන් රක්ෂිතයට ඇතුළු කිරීමට ඉඩ දෙන ලෙස විනජීවී නිලධාරීන්ට බලපෑම් කරනවා. විවිධ ආකාරයෙන් තර්ජනය කරනවා. වනසත්ව සහ වෘක්ෂලතා ආඥා පනතට පටහැනිව කටයුතු කරන ලෙස ද වනජීවී නිලධාරීන්ට බලපෑම් කරනවා. දෙපාර්තමේන්තූවේ බලධාරීන් හෙළා දකිනවා. ඊට විරුද්ධව ඒකාබද්ධ වනජීවි නිලධාරිගේ සංගමය සහ විනජීවී එකමුතුව එක්ව එක්දින සංකේතාත්මක වෘත්තීය ක්‍රියා මාරියකට එළඹෙනවා.


මහවැලි කලාපයේ පොළොතරුව ජල ගැලුම් නිම්නයේ රක්ෂිතයට අනවසරයෙන් පුද්ගලයන්ට ඇතුළුවීමට අනවසර එළිපෙහෙළි කිරීමට අවසර ලබාදෙන ලෙසට බලධාරීන්ට තර්ජනය කිරීම මෙම වෘත්තීය ක්‍රියාමාර්ගය ගැනීමට මූලිකම හේතු වුණා. මේක පැහැදිලිවම තර්ජනය කිරීමක්. මේ රාජ්‍ය අමාත්‍යවරයාගේ ක්‍රියාකලාපයට විරෝධය පළ කරනවා. කිසිදු රාජකාරී කටයුත්තකට අවතීර්ණ වන්නේ නැ. වල් අලීන්ගේ ආහාර සහ ජලය තමයි වනජීවී අමාත්‍යවරයා මේ විනාශ කරන්නේ .


වල් අලින් ගම්වැදීමට වැළකීමට ඇති දේවලුයි මේ විනාශ කරන්නේ . එයට එරෙහිවයි අපි මේ කටයුතු කරන්නේ . එහි වගකීම වනජීවී රාජ්‍ය අමාත්‍යවරයා බාරගත යුතුයි. වනජීවී අමාත්‍යවරයාට මේ සම්බන්ධයෙන් ලිඛිතව ඉදිරිපත් කර තිබෙනවා. අද (27) උදේ ඒ සම්බන්ධයෙන් පිළිතුරක් නොමැති වුවහොත් වෘත්තීය සමිති ක්‍රියා මාර්ගයට එළැඹෙනවා' යැයි ද ඔහු කීවේය.


 -රංජීත් රාජපක්ෂ-


දරුවන්ගේ පාසල් පැමිණීම අවම වීමට හේතුව මාධ්‍ය තුළින් ප්‍රචාරය වූ පදනම් විරහිත ප්‍රකාශයි

නව පාසල් වාරය ආරම්භයේදී දරුවන්ගේ පැමිණීම අවම වීමට හේතුව මාධ්‍ය තුළින් ප්‍රචාරය වූ විවිධ පාර්ශව සිදුකරන පදනම් විරහිත ප්‍රකාශ බව කාන්තා හා ළමා සංවර්ධන, පෙරපාසල් හා ප්‍රාථමික අධ්‍යාපන, පාසල් යටිතල පහසුකම් හා අධ්‍යාපන සේවා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත ද සිල්වා මහතා පැවසීය.

අමාත්‍යවරයා සඳහන් කර සිටියේ රජය විසින් සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් මත නිසි වැඩපිළිවෙළක් සහිතව කෝවිඩ්-19 අවදානම අවම ප්‍රදේශවල පාසල් ආරම්භ කිරීමට කටයුතු කළ බවයි.

කෙසේ වුවද දේශපාලන අරමුණ පෙරදැඩිව ඇතැම් පාර්ශව විසින් අසත්‍ය ප්‍රචාර පතුරවන බවත්, දෙමාපියන් සහ ගුරුවරුන් එම ප්‍රතිචාර පිළිබඳ අනිසි බියක් ඇති කර නොගත යුතු බවත් පෙන්වා දුන් අමාත්‍යවරයා, පාසල් තුළ සෞඛ්‍ය ආරක්ෂිත බව තහවුරු කිරීමට අවශ්‍ය ප්‍රතිපාදන රජය විසින් ලබාදී ඇති බවද පැවසීය.

මේ සම්බන්ධයෙන් වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍ය පියල් නිශාත්ත ද සිල්වා මහතා,

" පාසල් ආරම්භ කිරීම ප්‍රමාද වීම හරහා දරුවන් ජීවිතයේ වටිනා කාලය විනාශ වීමක් සිදුවිය හැකියි. එහෙම වුණාත් රටක් ලෙස අපට විශාල ගැටලුවලට අනාගතයේ මුහුණ දීමට සිදුවිය හැකියි. කෝවිඩ් වසංගතය අවසන් වූ පසු අධ්‍යාපන කටයුතු ආරම්භ කිරීමට අදහස් කරන්නේ නම් එය අනුවණකමක්. කෝවිඩ් සමඟ ආර්ථිකය සේම අධ්‍යාපනයද ඉදිරියට ගෙනයාම රජයේ වගකීමයි" යැයිද කීය.

- නිදර්ශනී වික්‍රමසිංහ -

පොලිසියේ 1123කට කොරෝනා


පොලිස් නිලධාරින් 123 දෙනකුට මේ වන විට කොරෝනා වයිරසය ආසාදිතව ඇතැයි පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි. මොවුන් පොලිස් ස්ථාන 79කට අයත් බවද සඳහන් වේ. කොරෝනා වයිරසය ආසාදනය වූ පොලිස් නිලධාරින් 42ක් පිළිබඳව ඊයේ වාර්තා වී තිබිණ. එම නිලධාරින් අතර, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ නිලධාරින් 09 දෙනෙක්, වේල්ල වීදිය පොලීසියේ නිලධාරින් 08 දෙනෙක්, අගමැති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරින් 05 දෙනෙක්, සංදේශ කොට්ඨාසයේ නිලධාරීන් 05 දෙනෙක්, කොටහේන පොලිසියේ නිලධාරීන් 03 දෙනෙක්, කුරුඳුවත්ත පොලීසියේ නිලධාරින් දෙදෙනෙක්, ක්‍රීඩා කොට්ඨාසයේ නිලධාරීන් දෙදෙනෙක් සහ පොලිස් සුබසාධක කොට්ඨාසය, අරච්චිකට්ටුව පොලීසිය, ගල්කිස්ස පොලීසිය, නාරාහේන්පිට පොලිස් රෝහල, මිරිහාන පොලීසිය, දෙමටගොඩ පොලීසිය, බ්ලුමැන්ඩල් පොලීසිය යන ස්ථානවලින් එක් ආසාදිතයකු බැගින් රෝගින් 42 ක් වාර්තා වී තිබිණි.

කොරෝනා වයිරසය ආසාදනය වූ 1123 පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරින් 256ක්, කොටුව පොලිසියේ නිලධාරීන් 161ක්, බොරැල්ල පොලීසියේ නිලධාරීන් 107ක්, කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් 68ක්, කෙසෙල්වත්ත පොලීසියේ 60ක්, ග්රෑන්ඩ්පාස් පොලීසියේ නිලධාරීන් 39ක්, මරදාන පොලීසියේ නිලධාරීන් 23ක්, පිටකොටුව පොලිසියේ නිලධාරීන් 20ක්, අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් 15ක්, පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ නිලධාරීන් 12ක්, පේරාදෙණිය පොලීසියේ නිලධාරීන් 08ක්, ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ නිලධාරින් 08ක්, පොලිස් ක්ෂේත්‍ර බලකා මූලස්ථානයේ නිලධාරීන් 09ක්, කුරුඳුත්ත පොලිසියේ නිලධාරීන් 24ක්, වෙරළබඩ පොලීසියේ නිලධාරීන් 12ක්, වේල්ලවීදිය පොලීසියේ නිලධාරින් 37ක්, ත්‍රස්ත විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් 09ක්, මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් 14ක් සිටින බව සඳහන් වේමෙම පොලිස් නිලධාරීන් 1123 දෙනා අතුරින් 669 දෙනකු මේ වන විට සුවවී රෝහල්වලින් පිටව ගොස් ඇති අතර තවත් නිලධාරින් 454 දෙනෙකු රෝහල්ගතව ප්‍රතිකාර ලබන බව ද පොලිස් ආරංචිමාර්ග සඳහන් කරයි.


- නිමන්ති රණසිංහ -

හෙරොයින් කිලෝ 100ක් සමඟ ශ්‍රී ලාංකිකයන් 6ක් ඉන්දීය අත්අඩංගුවට


 

ඉන්දියාවේදී ශ්‍රී ලාංකිකයන් හයදෙනෙකු සමග ඉන්දීය වෙරළ ආරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගත් හෙරොයින් කිලෝග්‍රෑම් 100කට ආසන්න ප්‍රමාණය ශ්‍රී ලංකාවට රැගෙන ඒමට උත්සාහ කළ මත්ද්‍රව්‍ය තොගයක් බවට තොරතුරු ලැබී ඇතැයි පොලිස් මූලස්ථානය සඳහන් කරයි.

මෙම යාත්‍රාවේ ඉන්ධන අවසන් වීමක් නිසා ඉන්දීය වෙරළාරක්ෂක බළකාය මගින් යම් අවස්ථාවක මෙම යාත්‍රාව නික්ෂණය කර සෝදිසි කිරීමේදී මෙම මත්ද්‍රව්‍ය තොගය සමග පිස්තෝල හයක්ද අත්අඩංගුවට ගෙන තිබෙන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක නියෝජ්‍ය පොලිස්පති නීතිඥ අජිත් රෝහණ මහතා සඳහන් කළේය. 

මෙම හෙරොයින් තොගය සමග මීගමුව ප්‍රදේශයේ ලියාපදිංචි කළ ධීවර යාත්‍රාවක් අත්අඩංගුවට ගෙන තිබෙන බවත්, අත්අඩංගුවට ගත් සැකකරුවන් හයදෙනාගෙන් පස්දෙනෙකු මීගමුව ප්‍රදේශයේ පදිංචිකරුවන් වන අතර, ඔවුන් වයස අවුරුදු 64, 40, 42, 29, 25 යන වයසේ පසුවන්නන් බවත්, අනෙක් පුද්ගලයා මොරටුව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු බවත් ඔහු පවසා සිටියේය. 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත්, මීට අමතරව යාත්‍රාවේ හිමිකරු සහ ඊට සහාය ලබාදුන් පිරිස් සොයා ගැනීමට විමර්ශනයක් ආරම්භ කර තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය විසින් මෙම විමර්ශනය ආරම්භ කර තිබෙන බවත්, මෙම විමර්ශනයට අනුව මොවුන් ශ්‍රී ලංකාවෙන් පිටවී යෑම, ජාත්‍යන්තර මුහුදු සීමාවට ගමන් කිරීම ඇතුළු කරුණු මූලික කර ගනිමින් විමර්ශනය කිරීමට නියමිත බවත් හෙතෙම පවසා සිටියේය.

මෙම විමර්ශනය සඳහා ශ්‍රී ලංකා නාවික හමුදාවේ සහාය ලබා ගැනීමට කටයුතු කරන බවත්, පසුගිය සතියේදී පොලිස් විශේෂ කාර්ය බළකාය වැලිගම ප්‍රදේශයේදී කිලෝග්‍රෑම් 100කට ආසන්න ප්‍රමාණයක් අත්අඩංගුවට ගත් බවත්, එම හෙරොයින් තොගයද මුහුදු මාර්ගයෙන් රැගෙන ආ බවට වාර්තා වන බවත්, අදාළ තොගය සමග මෙම තොගය හා යම් සම්බන්ධයක් පවතින්නේද  යන්න ගැන සොයා බලන බවත් අජිත් රෝහණ මහතා පවසා සිටියේය.

මේ අතර, ඉන්දියාවේ තූත්තුකුඩි සිට දකුණට වන්නට පිහිටි ගැඹුරු මුහුදේදී හෙරොයින් කිලෝග්‍රෑම් 100කට අධික මත්කුඩු හා වෙනත් මත්ද්‍රව්‍ය සමග යාත්‍රාවක සිටි ශ්‍රී ලාංකිකයන් 06දෙනෙකු ඉන්දියානු වෙරළාරක්ෂක බළකාය විසින් අත්අඩංගුවට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය. 

පසුගිය නොවැම්බර් 17 වැනිදා මෙම මෙහෙයුම ආරම්භ කර ඇති අතර, අත්අඩංගුවට ගත් සැකකරුවන් මේ වනවිට රඳවාගෙන ප්‍රශ්න කරමින් සිටින බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

සැකකරුවන්ගෙන් කළ මූලික ප්‍රශ්න කිරීම්වලදී හෙළිව ඇත්තේ පාකිස්තානයේ කරච්චි නුවර සිට පැමිණි පුද්ගලයෙකු ගැඹුරු මුහුදේදී මෙම මත්ද්‍රව්‍ය තොගය ශ්‍රී ලංකාවේ 'ෂෙනායා දුව” නමැති යාත්‍රාවට ලබාදුන් බවයි.

වෙරළාරක්ෂක නිලධාරීන් විසින් මෙම නෞකාවේ තිබී හෙරොයින් මත්කුඩු ඇතුළත් පැකට් 99ක්, කෘත්‍රිම මත්ද්‍රව්‍ය ඇතුළත් කුඩා පෙට්ටි20ක්, මි.මී.09 පිස්තෝල 05ක් සහ චන්ද්‍රිකා දුරකථන කට්ටලයක් සොයාගෙන තිබේ. මත්ද්‍රව්‍ය තොගය හිස් ඉන්ධන ටැංකියක සඟවා තිබී ඇත.

මෙම බෝට්ටුව ශ්‍රී ලංකාවේ මීගමුවේ පදිංචි අයෙකුට අයත් බවද හඳුනාගෙන තිබේ.

සැකකරුවන් තූත්තුකුඩි වරායට රැගෙන යෑමෙන් අනතුරුව ඔවුන්ගෙන් ඉන්දීය විමර්ශන කණ්ඩායම් කිහිපයකින් සැදුම්ලත් නිලධාරීන් පිරිසක් ප්‍රශ්න කරමින් පවතින බවද ඉන්දීය මාධ්‍ය වාර්තා කරයි.

"පාකිස්තානය ජිහාඩ් අන්තවාදය ව්‍යාප්ත කරනවා පමණක් නොවේ ත්‍රස්තවාදයට අවශ්‍ය අරමුදල් රැස් කිරීමට මත්ද්‍රව්‍ය පවා අපනයනය කරනවා" යැයි මෙම විමර්ශනයට එක්ව ඇති නිලධාරියෙකු සඳහන් කර තිබේ. 

තමිල්නාඩුවේ මෙම මත්ද්‍රව්‍ය ලබාගත හැකි අය පිළිබඳ මෙන්ම මෙම මත්ද්‍රව්‍ය පාකිස්තානයේ කුමන ප්‍රදේශයක සිට පැමිණ ඇතිද යන්න පිළිබඳ ඉන්දීය මත්ද්‍රව්‍ය පාලන කාර්යාංශයේ නිලධාරීහු පරීක්ෂණ පවත්වමින් සිටිති.

මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විසින් භාවිත කරනු ලබන ජාත්‍යන්තර සැපයුම් දාමයන් විසුරුවා හැරීමට එන්.සී.බී. කටයුතු කරන නමුත්, ඉන්දියාවේ භූගෝලීය පිහිටීම නිසා මෙය දුෂ්කර කාර්යයක් බවට පත්වන බව නිලධාරීහු පැවසූහ.

නවදිල්ලිය කොළඹ සහ මාලදිවයිනේ මාලේ සමග සමීපව කටයුතු කරමින්, මත්ද්‍රව්‍ය ජාවාරම පිළිබඳ තොරතුරු හුවමාරු කරගනිමින් පවතින අතර, 2019-20 කාලය තුළ පමණක් හෙරොයින් කිලෝග්‍රෑම් 1,500ක් පමණ අත්අඩංගුවට ගැනීමට ශ්‍රී ලංකාවට සහ මාලදිවයිනට එන්.සී.බී. විසින් සහාය දක්වා තිබෙන බවද ඉන්දීය මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කරයි.

- ඉන්දික හේවාවිතාරණ -

නි්වාඩු දික්කර ගන්න මල්ලී දිවිනසා ගත්තැයි බොරු කී කෝප්‍රල් මාට්ටු


තම මල්ලි සිය දිවි නසාගත් බව පවසා සිය නිවාඩුව දීර්ඝ කර ගැනීමට යුද හමුදා කෝප්‍රල්වරයකු පොලිසියට කළ පැමිණිල්ලක් අසත්‍ය බව පරික්ෂණවල දී හෙළි වී ඇතැයි උහන පොලිසිය කියයි. මෙම පැමිණිල්ල කළ හමුදා කෝප්‍රල්වරයාට සහෝදරයකු (මල්ලි) තොමැති බවත් ඔහුට සිටින්නේ සහෝදරියක පමණක් බවත් පොලිසිය කළ සොයා බැලීමක දී හෙළි වූ බව ද උහන පොලිසියේ නිලධාරියෙක් පැවසීය. අනුරාධපුරය ප්‍රදේශයේ යුද හමුදා කඳවුරක රාජකාරි කරන කෝප්‍රල්වරයා නිවාඩු ලබා නිවසට පැමිණ ඇති අතර එම නිවාඩුව අවසන් වී යළි කඳවුරට රාජකාරි වාර්තා කිරිමට යාමට නියමිතව තිබුණේ ඊයේ (26) බවත් පොලිසිය පවසයි. තමාගේ මල්ලි සිය දිවි නසාගත් බවත් ඒ නිසා තම නිවාඩුව දීර්ඝ කරන ලෙසත් පොලිස් පණිවිඩයක් මගින් කෝප්‍රල්වරයා රාජකාරි කරන හමුදා කඳවුරට දැනුම් දී ඔහු උහන පොලිස් ස්ථානයට පෙරේදා (25) පැමිණ ඇති බව පොලිසිය කියයි.


එවැනි පොලිස් පණිවිඩයක් හමුදා කඳවුරට ඇඳීමට ප්‍රථම එය පැමිණිල්ලක් වශයෙන් පොලිසියේ සටහන් කර ගත යුතු බව පොලිසිය ඔහුට ඒ අවස්ථාවේ දී දැනුම් දී ඇත. මගේ මල්ලි සිය දිවි නසා ගත්තා. (නමක් ද පවසා ඇත) අම්පාර රෝහලේ මෘත ශරීරාගාරයේ තිබුණ සිරුර මල් ශාලාවකට අරගෙන ගියා. මගේ නිවාඩුව දික් කර ගන්න හමුදා කඳවුරට දැනුම් දෙන්නයි මේ පැමිණිල්ල කරන්නේ යැයි හමුදාවට කෝප්‍රල්වරයා පැමිණිල්ලක් වශයෙන් පොලිසියේ සටහන් කර ඇත්තේ ඒ අවස්ථාවේ දීය. මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් උහන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එල්.ඩී.එන්. කරුණාරත්න මහතාට සැකයක් ඇති වූ හෙයින් ඔහු අම්පාර රෝහලට දුරකතනයෙන් කතා කර මේ ගැන සොයා බැලූ අවස්ථාවේ එවැනි කෙනකු සියදිවි නසා ගෙන නැති බව දැනගැනීමට ලැබී ඇත. අසත්‍ය පැමිණිල්ලක් කිරිම සම්බන්ධයෙන් ඔහුට එරෙහිව කටයුතු කළ පොලිසිය හමුදා කෝප්‍රල්වරයා පසුව බැඳුම්කරයක් මත මුදාහැර අධිකරණයේ නඩු පැවරීමට කටයුතු යොදා ඇති බව ද පොලිසියේ නිලධාරියෙක් පැවසීය.


-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය -

Thursday, November 26, 2020

ගොල්ෆේස් වැඩබිමක 100කට කොරෝනා



කොටුව ගාලුමුවදොර ආසන්නයේ පිහිටි පෞද්ගලික ඉදි කිරීම් වැඩිබිමක සේවකයන් 100දෙනකුට වැඩි පිරිසකට කොරෝනා වයිරසය ආසාදනයවි ඇහි බවට වාර්තාවී ඇතැයි කොවිඩ් 19 පැතිරීම වැළක්විමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. එම පිරිස අතර ඉන්දීය ජාතිකයන් 54 දෙදෙනකු සිටින බව එම මධ්‍යස්ථානය සඳහන් කරයි.


මෙම වැඩබිම් සේවකයින් ලැගුම්ගෙන සිටි කොළඹ 02 කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ තෙමහල් ගොඩනැගිල්ලක සේවකයන් 10 දෙනකු මීට දින කිහිපයකට පෙර කොරෝනා වයිරසය ආසාදිතව රෝහල් ගත කර සිට ඇති බවත්, පසුව එහි සිටි සේවකයන් පිරිස පමුණුගම උස්වැටකෙයියාව ප්‍රදේශයේ හෝටලයක නිරෝධායනය කරමින් සිට ඇති බවත් සෞඛ්‍ය අංශය සඳහන් කරයි. එම පිරිසගේද පී.සී.ආර්. පරික්ෂණ කර ඇති අතර ඉන්දියන් ජාතිකයන් 54 දෙනා ඇතුළු සෙසු පිරිසටද කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බව එම පරීක්‍ෂණ වාර්තවලින් තහවුරු වී ඇතැයි සෞඛ්‍ය අංශ කියයි. මෙම ඉදිකිරීම් වැඩබිමේ සේවකයන් 200 මදනකු පමණ සේවය කරන අතර, කොරෝනා ආසාදිත බවට තහවුරු වූ සේවකයන්ගේ ආශ්‍රිතයන් සම්බන්ධයෙන් ද පී.සී.ආර්. පරීක්ෂණ සිදුකිරීමට නියමිතව ඇතැයි ද සෞඛ්‍ය අංශ පවසයි.



එක ගෙදර 6කටම කොරෝනා

කොරෝනා වයිරසය ආසාදනය වී ප්‍රතිකාර මධ්‍යස්ථානයක ප්‍රතිකාර ලබා සුවවී මල්වානේ රස්සපාන ප්‍රදේශයේ සිය නිවසට පැමිණි පුද්ගලයකුගේ බිරිදට, දරුවන් තිදෙනාට හා මවට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙන බවට ඊයේ (25)උදේ වාර්තාවී ඇතැයි බියගම පොලිසිය පවසයි.

එම පවුලේ පස්දෙනා ප්‍රතිකාර මධ්‍යස්ථානයකට යොමු කිරීමට කටයුතු කරන බවද පොලිසිය සඳහන් කරයි.

කොරෝනා ආසාදිතයකු වූ පුද්ගලයාට කොරෝනා වයිරසය ආසාදනය වී තිබෙන්නේ පෑලියගොඩ මත්ස්‍ය කොරෝනා පොකුරෙන් වන බවත් පොලිසිය කියයි. මේ අනුව මේ වනවිට බියගම පොලිස් බල ප්‍රදේශයේ කොරෝනා වයිරසය ආසාදිතයන් 82ක් හමුවී තිබෙන අතර ඉන් 63 දෙනෙකු පූර්ණ සුවය ලබා සිය නිවෙස්වලට පැමිණ සිටින බවද පොලිසිය කීය. 

තවද මේ වනවිට කොරෝනා ආසාදිතයන්ගේ ආශ්‍රිත පුද්ගලයන් 234 දෙනකු සිය නිවෙස්වල ස්වයං නිරෝධානයට ලක් කර තිබෙන අතර පුද්ගලයින් 300 දෙනකු පමණ සාර්ථකව ස්වයං නිරෝධායනය අවසන් කර තිබෙන බවත් පොලිසිය කීය.

මෙහි අධීක්ෂණ කටයුතු බියගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය සමග බියගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඒ.ජේ.එම්. ආර්. සමරසිංහ, ප්‍රජා පොලිස් ඒකකයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.එස්. ජයන්ත, පො.කො. පනාවල (61817), මධුශංක (34270), අසංක (60591), තාරුක (26002), ජයවර්ධන (25841) හා සුරේශ් (93663) යන නිලධාරීහු මෙහෙයවති.

- ඩබ්ලිව්.ඩී.එම්. විතානගේ -

පානදුර කේතුමතී රෝහලේ ගැබිනි දෙදෙනකුට කොරෝනා

පානදුර කේතුමතී කාන්තා රෝහලේ ගැබිනි මවුවරුන් දෙදෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි.

මෙම කාන්තාවන් දෙදෙනා බණ්ඩාරගම අටලුගම ප්‍රදේශයේ පදිංචි අය බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ උසස් නිලධාරීහු සඳහන් කළහ. 

ඉකුත් දාහත් වැනිදා කාන්තාවන් දෙදෙනා පානදුර කේතුමතී කාන්තා රෝහලට ඇතුළත් කර ඇති අතර පසුව මොවුන් දෙදෙනාට සිදුකළ PCR පරීක්ෂණයේදී කොවිඩ් ආසාදනය වී ඇතැයි තහවුරු වී ඇත.

කොවිඩ් ආසාදිත ගැබිනි මවුවරුන් දෙදෙනා වෛද්‍ය මධ්‍යස්ථානය වෙත යොමු කළ බව පානදුර නගර සභාවේ පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සම්පත් මොරමුදලි මහතා සඳහන් කළේය. 

මෙම සිද්ධියත් සමගම පානදුර කේතුමතී කාන්තා රෝහලේ සිද්ධියට අදාළ වාට්ටුවල සේවය කළ හෙද නිලධාරින් සහ කාර්ය මණ්ඩලයේ PCR පරික්ෂණ සිදුකළ බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය. 

- සමන් කාරියවසම් - 

තිඹිරිගස්යාය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය වසයි

තිඹිරිගස්යායේ පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානය හුදෙකලා කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. එහි සේවයේ නියුතු පොලිස් පරික්ෂකවරියක ඇතුළු පොලිස් නිලධාරින් 09 දෙනකුට කොරෝනා වයිරසය ආසාදිත වීම හේතුවෙන් මෙම පියවර ගෙන ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිතයන් ලෙස හඳුනාගත් පොලිස් නිලධාරින් 60 දෙනකු නිරෝධායනය සඳහා යොමුකර ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි. 

තිඹිරිගස්යාය පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථාන භූමියේ පොලිස් නිලධාරින් සහ ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් ඇතුළු 6000කට ආසන්න පිරිසක් සිටිය බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථාන භූමියේ ස්ථාපිත කර ඇති ක්‍රීඩා කොට්ඨාසයෙන් ආසාදිතයන් 16 දෙනකු ද පරිසර ආරක්ෂණ කොට්ඨාසයෙන් ආසාදිතයන් 12 දෙනකුද ඉකුත් දින කිහිපයේදී වාර්තා වී ඇති බවද පොලිස් ආරංචි මාර්ග පවසයි.  

කැරැලි මර්දන ඒකකය, පොලිස් අවි ගබඩාව, මෙන්ම පොලිස් නිල නිවාස සහ බැරැක්ක ද මෙම පොලිස් ක්ෂේත්‍ර බළකා මූලස්ථානයේ පිහිටුවා තිබේ.

- නිමන්ති රණසිංහ -

කොළඹ දිසාවේ කොරෝනා රෝගී 259 න් 255ක් නගරයේ


කොළඹ දිස්ත්‍රික්කයෙන් ඊයේ පෙරවරු 6න් අවන්සවූ පැය 24තුළදි සොයාගත් කොරෝනා වයිරස ආසාදිතයන් 259 දෙනා අතුරින් රෝගින් 255 දෙනකුම වාර්තාවී ඇත්තේ කොළඹ නගර සීමා බල ප්‍රදේශයෙන් බව කොවිඩ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පවසයි. මෙයින් ආසාදිතයන් 90 දෙනකුම වාර්තවී ඇත්තේ කොම්පඤ්ඤවීදිය ප්‍රදේශයෙන් බවද එම මධ්‍යස්ථානය සඳහන් කරයි.

කොවිඩ් 19 පැතිරීම වැළැක්වීම් ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය නිකුත් කර ඇති නවතම වාර්තාව අනුව බ්ලූමැන්ඩල් ප්‍රදේශයෙන් රෝගීන් 44 දෙනකු, මරදාන ප්‍රදේශයෙන් 39ක්, ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයෙන් 26ක්, වැල්ලවත්ත ප්‍රදේශයෙන් 23ක්, දෙමටගොඩ ප්‍රදේශයෙන් 21ක්, මට්ටක්කුලිය ප්‍රදේශයෙන් 06ක්, අලුත්කඩේ ප්‍රදේශයෙන් 06ක්, කොල්ලුපිටිය, රත්මලාන, මිරිහාන, වැල්ලම්පිටිය ප්‍රදේශවලින් එක් ආසාදිතයකු බැගින් ද වාර්තා වී ඇතැයි සඳහන් වෙයි. ඊයේ (25) පෙරවරු 6න් අවසන් වූ පැය 24 තුළදී මෙරටින් වාර්තා වූ කොරෝනා වයිරස ආසාදිතයන් ගණන 458ක් බවද එම මධ්‍යස්ථානය නිවේදනය කරයි.


 -නිමන්ති රණසිංහ-