Showing posts with label education 3. Show all posts
Showing posts with label education 3. Show all posts

Tuesday, October 13, 2026

වසර 10 ක් ගියත් උපාධිය සම්පූණ කර නෑ

 


රන්ජන් කටුගම්පොල


පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ වෛද්‍ය සිසුන් පස් දෙනකුගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීම කරමින් අවලංගු උපාධියේ අවසාන වසර විභාගයට පෙනී සිටීමට අවසර දෙමින් අභියාචනාධිකරණය නිකුත් කර තිබූ නියෝගය ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (12) බලරහිත කළේය.


 උපාධිය වසර දහයක කාලයක් ඇතුළත අවසන් කළ යුතු බවට සඳහන් රෙගුලාසි උල්ලංඝනය කරමින් වසර දහයක් තුළ වෛද්‍ය උපාධිය නොකළ සිසුන් අවසන් පස් දෙනකුගේ ශිෂ්‍යභාවය අහෝසි කිරීම අවලංගු කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ නියෝගයට එරෙහිව පේරාදෙණිය විශ්ව විද්‍යාලය ගොනුකර තිබූ විශේෂ අභියාචන පෙත්සමකට අවසර දෙමින් ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේය.


පේරාදෙණිය විශ්ව විද්‍යාලය එහි වෛද්‍ය පීඨයේ පිඨාධිපතිවරයා ඇතුළු පිරිසක් විසින් ගොනුකර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මහනුවර ප්‍රදේශයේ පදිංචි ඩී. ඩී. බන්දුල මහතා ඇතුළු පස් දෙනෙක් නම් කරනු ලැබ සිටියහ.ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන, ආචාර්ය සෝභිත රාජ කරුණා සහ  ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සමසලකා බැලිණි.


අනෙකුත් විනිසුරුවන්ගේ එකගත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ආචාර්ය සෝභිත රාජකරුණා මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලදී. තීන්දුවේ මෙසේ සඳහන් වේ.පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය අත්පොත් වෛද්‍ය සිසුවකු ලියාපදිංචි වී වසර දහයක් ගත වීමෙන් පසු ඔහුගේ ශිෂ්‍යභාවය අහෝසි වන බවට දක්වා ඇති නීතිය බල රහිත කරමින් අභියාචනාධිකරණය මගින් රිට් ආඥාවක් නිකුත් කර ඇති අතර ඊට අමතරව පෙත්සම්කරුවන්ගේ ශිෂ්‍යභාවය අහෝසි කරමින් දී තිබූ නියෝගය අවලංගු කර ඔවුන්ට වෛද්‍ය උපාධියේ අවසාන වසර පරීක්ෂණ සඳහා පෙනී සිටීමට අවසර දෙමින් අභියාචනාධිකරණය රිට් ආඥාවක් ද නිකුත් කර ඇත.


 

 

අභියාචනාධිකරණයේ එම තීන්දු වලට එරෙහිව පේරාදෙණිය විශ්ව විද්‍යාලය හා එහි වෛද්‍ය පීඨයේ පිඨාධිපතිවරයා ඇතුළු පිරිසක් මෙම අභියාචන පෙත්සම

ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ ගොනුකර තිබේ.පෙත්සම්කරුවන් 1982, 1997, 1994, 1996 සහ 1992 යන වර්ෂවලදී පස් වසරක වෛද්‍ය උපාධිය සඳහා ඇතුළත් වූ සිසුහු වෙති.


වසර දහයක් තුළ වෛද්‍ය උපාධිය සම්පුර්ණ කළ යුතු බවට සඳහන් රීතිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ශිෂ්‍ය  අත්පොතේ සඳහන් රීතිය හා රෙගුලාසිය සෑහෙන කාලයක් තිස්සේ අනුගමනය කර ඇති නමුත් වග උත්තරකාර පෙත්සම්කරුවන් විසින් අදාළ කාල සීමාව තුළ  වෛද්‍ය උපාධිය සම්පූර්ණ කිරීමට වශයෙන් වෛද්‍ය තත්වයන් අසමත් වූ හේතු වශයෙන් වෛද්‍ය තත්වයන් විශ්ව විද්‍යාලය වසා තැබීම හෝ මානසික අපහසුතා යන කරුණු දක්වා නොමැති බවත් සඳහන් කර ඇත.

 

පෙත්සම්කාර විශ්ව විද්‍යාලය වැඩිදුරටත් කියා සිටින්නේ අදාළ සංශෝධන විධානයන් සඳහන් විශේෂිත හේතු කාරණා දෙකක් මත අදාළ කාලය දික් කිරීම සිදු කරන බවත් ශිෂ්‍යයා රෝගයකින් පෙළීම සහ වෙනත් අධ්‍යයන කටයුතු වල බාධාවක් යන කාරණා දෙක පදනම් මත වසර දෙකක අධ්‍යයනය කාලය ද දික් කළ යුතු බව එම සංශෝධනවල සඳහන්ව ඇති නමුත් වග උත්තරකාර පෙත්සම්කරුවන් ඒ සම්බන්ධයෙන් කරුණු තහවුරු කිරීමට අසමත් වී ඇත.


දෙවැනි වගඋත්තරකාර පෙත්සම්කරු 2003 අවසාන විභාගයේ විෂයයන් හතරක් අසමත් වීමෙන් පසු 2004 වසරේදී විභාගයට පෙනී සිටීමට ඔහුට අවස්ථාව තිබියදී ඔහු විභාගයට පෙනී නොසිටි 2012 පෙත්සම ගොනුකර ඇති බවත් අධිකරණ ක්‍රියාවලිය අවභාවිත කර ඇති බවත් විශ්වවිද්‍යාලය කියා සිටී.


වග උත්තරකාර පෙත්සම්කරුවන් ''විජයකෝන් එදිරිව පේරාදෙණිය විශ්ව විද්‍යාලය නමැති නඩුවේ පූර්වාදර්ශඉදිරිපත් කරමින් කියා සිටින්නේ එම නඩුකරය මෙවැනි තත්වයන්ට සමාන බවත් එහිදී ද අමතර සහන ප්‍රදානය කර ඇති බවත්ය. දෙපාර්ශ්වයේ කරුණු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අධිකරණය විසින් සලකා බැලිය යුතු ප්‍රධාන ප්‍රශ්නය වන්නේ විශ්ව විද්‍යාල බලධාරීන් වගඋත්තරකාර පෙත්සම්කරුවන්ගේ ශිෂ්‍ය භාවය වසර දහයකින් අවසන් වීම සම්බන්ධයෙන් ගත් තීරණයට අධිකරණයට මැදිහත්වීමට හැකියාවක් ඇද්ද ? නැද්ද ? යන්න පිළිබඳව අධිකරණය විසඳිය යුතු ප්‍රශ්නය බව තීන්දුවේ සඳහන් කර ඇත.


ඉදිරිපත් වූ කරුණු අනුව අදාළ ශිෂ්‍යයන්ට විභාගය කල් දැමීම සම්බන්ධයෙන් අධිකරණය තෘප්තිමත් වන කරුණු පැහැදිලි කිරීමක් සිදු කර නොමැති බව අධිකරණයේ නැඟීමයි. ඒ අනුව අභියාචනාධිකරණය වගඋත්තරකාර සිසුන්ට වෛද්‍ය උපාධියේ අවසාන වසර පරීක්ෂණයට පෙනී සිටීමට අවස්ථාවක් ලැබේ යැයි නීත්‍යනුකූල බලාපොරොත්තුවක් තිබූ බවට අභියාචනාධිකරණය ගත් තීන්දුව සම්බන්ධයෙන් තමන්ට එකඟ විය බව සිය තීන්දුවේ සඳහන් කළ ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ආචාර්ය සෝභිත රාජ කරුණා මහතා නඩුවේ හේතු සහ කරුණු සැලකිල්ලට ගැනීමේදී වගඋත්තරකරුවන්ට නෛතික හෝ සමානාත්මතා මුලධර්ම යටතේ රිට් ආඥාවක් ලබා ගැනීමට කරුණු තහවුරු වී නොමැති බව අධිකරණයේ මතයයි.


ඒ අනුව අභියාචනාධිකරණය විසින් අදාළ රිටි අයැදුම්පත වෙනුවෙන් සහන ලබාදීම වැරැදි සහගත බව තීරණය කළ ශ්‍රේෂ්ඨාධිකරණය අභියාචනාධිකරණ තීන්දුව ඉවත දැමීය. පේරාදෙණිය විශ්ව විද්‍යාලය වෙනුවෙන්න නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මනෝහාර ජයසිංහ මහතා පෙනී සිටියේය. වග උත්තරකාර විශ්ව විද්‍යාල සිසුන් වෙනුවෙන් නීතිඥ කීර්ති තිලකරත්න මහතා පෙනී සිටියේය.



Tuesday, September 22, 2026

උපාධි ඩිප්ලෝමා ඇතත් තරුණ පිරිසෙන් සීයට 43ක් නිකම්ම ගෙදර

 


විමුක්ති එස්. රුද්‍රිගු


මෙරට අවුරුදු 15ත් 24ත් අතර වයස් කාණ්ඩයේ උගත් තරුණ තරුණියන් සියයට 43 ක් රැකියාවක් නොමැතිව සිටින බවත් එය මෙම වයස් කාණ්ඩයේ කලාපයේ උගතුන් අතර ඇති ඉහළම රැකියා විරහිත අනුපාතය බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නවතම විශේලේෂණ වාර්තාවක සඳහන් වේ. 


ඩිප්ලෝමාවක්, උසස් ඩිප්ලෝමාවක් හෝ උපාධියක් හෝ හිමි මෙම තරුණ තරුණියන් අධ්‍යාපනයට සුදුසු රැකියාවක් සොයා ගැනීමට නොහැකිව සිටින බවත් ශ්‍රී ලාංකාව ඇතුළු ආසියානු කලාපයේ සිටින උගත් තරුණ තරුණයන්ට කෘත්‍රිම බුද්ධියේ වේගවත් ව්‍යාප්තිය හමුවේ තවත් අභියෝගයකට මුහුණ දීමට සිදුවනු ඇති බවත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙයි. ඉන් ඔවුන්ට රැකියා සොයා ගැනීම තවදුරටත් අසීරු විය හැකි බව ද එම අරමුදල පවසයි.


ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ ආසියා හා ශාන්තිකර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ක්‍රිෂ්ණා ශ්‍රී නිවාසන් මහතා ප්‍රකාශ කර සිටියේ ආසියා කලාපයේ සිටින උගත් තරුණ තරුණියන්ට තම සුදුසුකම් වලට ගැළපෙන රැකියා සොයා ගැනීම ගැටලුවක් වී ඇති බවයි. ලෝකයේ කෘත්‍රිම බුද්ධිය භාවිතය තරුණ තරුණියන්ගේ කුසලතා වර්ධනය වන වේගයට වඩා වැඩි වේගයකින් ඉහළ ගිය හොත් ඉන් තරුණ තරුණයන්ගේ රැකියා වෙළෙඳපොළට බලපෑමක් එල්ල කළ හැකි යැයි ද ඔහු පැවැසුවේය.


තවදුරටත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙන්වා දෙන්නේ ආසියානු කලාපයේ ඉහළ අධ්‍යාපනයක් ලත් තරුණ තරුණියන් තම සුදුසුකම්වලට ගැළපෙන රැකියා සොයා ගැනීමට දැඩි ලෙස අරගල කරන බවත්, නව තාක්ෂණික වෙනස්කම් හමුවේ අධ්‍යාපන පද්ධතිය හා කුසලතා වර්ධනය කඩිනමින් ප්‍රතිසංස්කරණය කිරීම අත්‍යවශ්‍ය වී ඇති බවයි. තායිලන්තයේ අවුරුදු 15 ත් 24ත් අතර උගත් තරුණ තරුණියන්ගේ රැකියාවක් නොමැති සිටින ප්‍රතිශතය සියයට 13.225 බවත් බංග්ලාදේශයේ එම ප්‍රතිශතය සියයට 36ක් බවත් එම විශ්ලේෂණය පෙන්වා දෙයි.


Wednesday, August 12, 2026

විභාග දෙපාර්තමේන්තුවටත් හැකරු අවදානමක්..

 


 


සුරිත් හේවාජුලිගේ


විභාග දෙපාර්තමේන්තුවේ තොරතුරු වත්කම් ආරක්ෂා කිරීමට නියමිත ආරක්ෂක ක්‍රමවේද කිසිවක් අනුගමනය කර නැතැයි ජාතික විගණන කාර්යාලය නිකුත් කළ අලුත්ම වාර්තාවක සඳහන් වේ.දෙපාර්තමේන්තුවේ විද්‍යුත් තැපෑල හරහා සංවේදී තොරතුරු හුවමාරු කරන විට කේතන ක්‍රමවේද භාවිත නොකරන බවත් විද්‍යුත් තැපැල් පෙරහන් ද සක්‍රිය කර නොතිබුණු බවත් එම වාර්තාවේ දැක්වේ.


එසේම තොරතුරු හා සයිබර් ආරක්ෂණය සම්බන්ධයෙන් කිසියම්  සැක කටයුතු ක්‍රියාකාරකමක්, සම්බන්ධතාවක්, වෛරස අවදානමක්,  අනවසර ප්‍රවේශයක්, ලිපි ගොනු විකෘති කිරීමක් හෝ සයිබර් ආරක්ෂණ ප්‍රතිපත්තියක් උල්ලංඝනය කිරිමක්   ආයතනයේ  තොරතුරු  නිලධාරියාට වාර්තා කරන ලෙස කාර්ය මණ්ඩලයට කිසිදු උපදෙසක් දී නොතිබුණු බව ද වාර්තාව සඳහන් කරයි.


එමෙන්ම තොරතුරු සහ සයිබර් ආරක්ෂාව සම්බන්ධයෙන් වන වගකීම දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට විධිමත්ව පැහැදිලි කර දී නොතිබුණු බව ද එහි දැක්වේ.ආයතනයේ තොරතුරු තාක්ෂණ ආරක්ෂාව සහතික කළ යුතු ආකාරය විදහා දැක්වෙන ආරක්ෂක ක්‍රියාකාරී සැලසුම් සකස් කර ඒවා ක්‍රියාත්මක කිරීම කළ යුතු වුවත්  දෙපාර්තමේන්තුව එලෙස කටයුතු කර නොතිබුණු බව විගණන වාර්තාවේ දැක්වේ.


එසේම ආයතනය සතු සියලුම වැදගත් තොරතුරු වත්කම් හා තොරතුරු තාක්ෂණ වත්කම් හඳුනාගෙන තොරතුරු වත්කම් ලේඛනයක සටහන් කළ යුතු වුවත් එසේ තොරතුරු වත්කම් ලේඛනයක් නඩත්තු කිරීමට කටයුතු කර නොතිබුණු බව ද ජාතික විගණන කාර්යාලය පවසයි. ගබඩා කිරීමට පෙර පරිගණක ජාල සහ වෙනත් චැනලයක් හරහා ගමන් කිරීමට පෙර සංවේදී තොරතුරු කේතනය කිරීමක් කර නොතිබුණු බව පවසන විගණන වාර්තාව ද ප ා ර් ත ‍ෙම් න් තූ ‍ෙ ‍‍ෙව් පරිගණක මෙහෙයුම් පද්ධති ක්‍රම මගින් යාවත්කාලීන කර නොමැති බව ද පෙන්වා දෙයි.


එසේම සැපයුම්කරුවන් සැපයූ තීරණාත්මක ක්‍රමවේද ස්ථාපනයට පෙර ඇගැයීමකට ලක් කර නොතිබුණු බව ද සඳහන් කරයි. රහසිගත තොරතුරු වත්කම් හෝ තීරණාත්මක ජාතික තොරතුරු යටිතල පහසුකම් සහිත පද්ධති සම්බන්ධයෙන් කටයුතු කරන නිලධාරීන්ගේ පසුබිම් පරීක්ෂණ සහ ආරක්ෂණ නිෂ්කාශන කර නොතිබූ බව ද විගණන වාර්තාව සඳහන් කරයි.මෙම තොරතුරු සඳහන් වන්නේ විභාග දෙපාර්ත මේන්තුවේ 2025 වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේය.


Thursday, August 6, 2026

උසස් පෙළ කල් දමන සිසු පෙත්සම ඉවතට

 


රන්ජන් කටුගම්පොළ


මෙම අගෝස්තු මාඝයේ පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය කල් දමන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිසුන් පිරිසක් ගොනුකොට තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනීම ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රතික්ෂේප කළේය.පෙත්සම අගවිනිසුරු ප්‍රීති පද්මන් සූරසේන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සමන්විත ශ්‍රේෂ්ඨාධිකරණ  විනිසුරු  මඬුල්ලක් හමුවේ සලකා බැලිණි.


 

අපොස උසස් පෙළ විභාගය පැවැත්වීමේදී අදාළ චක්‍රලේඛවලට අනුව සම්පූර්ණ කළ යුතු අධ්‍යයන වාර සම්පූර්ණ කර නොමැති බවත් ‘දිට්වා’ ආදි ව්‍යසනයන් හේතුවෙන් නිවාඩු දීමෙන් සිසුන්ට නියමිත පරිදි සිය අධ්‍යයන කටයුතු කිරීමට නොහැකිවීමෙන් ඔවුන්ගේ මූලික අයිතිවාසිකම් කඩ වී ඇති බවත් සඳහන් කරමින් අදාළ විභාගය පැවැත්වීම වළකාලන නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා පෙත්සම සිසුන් පිරිසක් විසින් ගොනු කරනු ලැබ ඇත.


මෙහි වගඋත්තරකරුවන් වශයෙන් විභාග කොමසාරිස් ජනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.පෙත්සම අධිකරණය හමුවේ සලකා බැලූ අවස්ථාවේදී පෙත්සම්කරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරිය ප්‍රකාශ කර සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් මේ සමානව නඩුකරයක් අභියාචනාධිකරණය හමුවේ ගොනුකොට නිෂ්ප්‍රභ කළ බවත් එය රිට් පෙත්සමක් බවත් ඒ අනුව ඒ සම්බන්ධයෙන් ඊට කිසිදු බලපෑමක් නොවන බවත් පෙත්සමේ පෙත්සම්කරුවන් සහ අභියාචනාධිකරණයේ ගොනු කර තිබූ රිට් පෙත්සමේ පෙත්සම්කරුවන් වෙනස් අය බවත් දැනුම් දුන්නාය.ඒ අනුව පෙත්සමෙන් ඉල්ලා ඇති සහනයක් ලබාදෙන ලෙස නීතිඥවරිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය.


නීතිපති වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ විරාජ් දයාරත්න මහතා කියා සිටියේ පෙත්සම්කරුවන් අතුරින් එක් පෙත්සම්කරුවකු හැර අනෙක් සියලුම පෙත්සම්කරුවන් පෞද්ගලික අයැදුම්කරුවන් බැවින් දැනට අධ්‍යයන කාලය සම්බන්ධ චක්‍රලේඛ බලනොපාන බවත් අනෙක් පෙත්සම්කරුවා පළමුවරට උසස් පෙළ විභාගයට පෙනී සිටියත් නියමිත අධ්‍යයන කාලසීමාව සියයට අසූවක පැමිණීම අසම්පූර්ණ කර සියයට පනහක් පමණක් පැමිණීම කළ නියමිත සුදුසුකම් නොලැබූ අයකු බවත් ඒ අනුව පෙත්සම්කරුවන්ගේ කිසිදු ආකාරයක මූලික අයිතිවාසිකම් කඩවීමක් සිදුවී නොමැති බව ද කීය.


 

එබැවින් පෙත්සම විභාගයට නොගෙනම ඉවත දමන ලෙස සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණය පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කළේය.

Friday, July 17, 2026

උසස් පෙළ කල් දාන්න: සිසු පෙත්සමට අවසර දෙනවාද? තීන්දුව 23 දා

 



රන්ජන් කටුගම්පොල


ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය මාස දෙකකින් කල් දමන ලෙස නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ඊට පෙනී සිටින සිසු සිසුවියන් පිරිසක් ගොනු කළ පෙත්සම විභාගයට ගැනීමට අවසර දෙන්නේ ද නැද්ද යන නියෝගය මේ මස 23 වැනිදා ප්‍රකාශයට පත් කරන බව අභියාචනාධිකරණය දැනුම් දුන්නේය.



වසරේ අපොස උසස් පෙළ විභාගයට පළමුවරට හා දෙවැනි වරට පෙනී සිටින සිසු සිසුවියන් නව දෙනකු විසින් මෙම මෙම පෙත්සමේ වග උත්තරකරුවන් වශයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය ලේකම්වරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.මෙම පෙත්සම ඊයේ අභියාචනාධිකරණයේ සභාපති විනිසුරු රොහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ සලකා බැලිණි.


මෙම පෙත්සම අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ භූපති කහතුඩුව මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, අධ්‍යාපන අමාත්‍යාංශයේ චක්‍රලේඛවලට අනුව අනිවාර්යයෙන් පැවැත්විය යුතු පාසල් දින සංඛ්‍යාව නියම කර ඇති බව සඳහන් කළාය. දිට්වා සුළි කුණාටුව සහ ඉන්ධන අර්බුදය හේතුවෙන් බදාදා දිනවල නිවාඩු ප්‍රකාශයට පත් කිරීමට රජය විසින් ගනු ලැබූ තීරණය වැනි කාරණා හේතුවෙන් පාසල් නිසි පරිදි නොපැවැත්වූ බවත් නීතිඥවරයා කියා සිටියේ ය.


මෙම තත්වය යටතේ දැනට සැලසුම් කර ඇති පරිදි එළැඹෙන අගෝස්තු මස උසස් පෙළ විභාගය පවත්වනු ලැබුවොත් සිසුන්ට දැඩි අගතියක් සිදුවිය හැකි බව නීතිඥවරයා කියා සිටියේය. එම නිසා අදාළ විභාගය මාස දෙකකින් කදැමීමේ නියෝගයක් නිකුත් කරන ලෙස ද දැනට ප්‍රකාශයට පත්කර තිබෙන අපොස උසස් පෙළ විභාගය සඳහා නිකුත් කර ඇති කාල සටහන බල රහිත කිරීමේ රිට් ආඥාවක් නිකුත් කරන ලෙසද ඉල්ලා ඇත. මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි සොලිසිටර් ජනරාල් විරාජ් දයාරත්න මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින්, ඉදිරියේ දී පැවැත්වීමට නියමිත අපොස උසස් පෙළ විභාගය සඳහා සිසු සිසුවියන් 3,78,000 ක් ලියාපදිංචි වී ඇති බව සඳහන් කළේය.


ඉන් නව දෙනකු පමණක් මෙම විභාගය කල් දමන ලෙස ඉල්ලා අධිකරණය හමුවට පැමිණ තිබෙන බව සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේය.විභාගවලට පෙනී සිටීම සඳහා සිසුන් සාමාන්‍යයෙන් වාර්ෂිකව පාසල් පැමිණීමෙන් සියයට 80 ක් සම්පූර්ණ කිරීම අවශ්‍ය වුවද මෙම පෙත්සම්කරුවන් අතුරින් එක් පෙත්සම්කාර ශිෂ්‍යයකුගේ පාසල් පැමිණීම සටහන් වී ඇත්තේ සියයට 7.2 ක් ලෙස බවත් ඔහු සඳහන් කළේය.


තවත් පෙත්සම්කරුවන් කීප දෙනකු පාසල් පැමිණීම වාර්තා කර තිබෙන්නේ සියයට 50, 53 යනා දී සීමාවල යැයි පෙන්වා දුන් සොලිසිටර් ජනරාල්වරයා, නිසි ලෙස පාසල් අධ්‍යාපන කටයුතුවලට පවා සහභාගි වී නොමැති සිසුන් තමන්ට උසස් පෙළ විභාගයට පෙනී සිටීමට කාලය ප්‍රමාණවත් නොවන බව ප්‍රකාශයක් කරන්නේ කෙසේ දැයි ප්‍රශ්න කර සිටියේය.


උසස් පෙළ විභාගය කල් දමනු ලැබුවොත් විශ්වවිද්‍යාල ප්‍රවේශය වැනි කටයුතුවලට ද දැඩි අගතියක් සිදුවනු ඇති බව සොලිසිටර් ජෙනරාල්වරයා සඳහන් කළේය.ඒ අනුව පෙත්සම්කරුවන් අධිකරණයට කරුණු වසන් කිරීමක් කර තිබෙන බවත්, ඔවුන් අධිකරණයට පැමිණ තිබෙන්නේ පිරිසුදු දෑතින් නොවන බවත් මෙහිදී සොලිසිටර් ජෙනරාල්වරයා අවධාරණය කළේය.

දෙපාර්ශවය ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල පාර්ශවකරුවන්ට නියම කළේ, මෙම නඩුකරයට අදාළ ලිඛිත දේශන තිබේ නම් ඒවා ලබන සඳුදාට පෙර ගොනු කිරීමට පියවර ගන්නා ලෙස ද නියෝග කළේය.ඉන් අනතුරුව මෙම පෙත්සම විභාගයට ගැනීම සඳහා අවසර දෙන්නේද? නැද්ද? යන නියෝගය මේ මස 23 වැනිදා ප්‍රකාශයට කරන බව දැනුම් දුන්නේය.

Thursday, July 2, 2026

පාසල් සිසුන්ට සිල් මාතාවන්ට පාවහන් යුගලක්

 

 

අංජුල මහික වීරරත්න


2027 වර්ෂය සඳහා තෝරා ගනු ලබන පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි, පැවිදි සිසුන් සහ සීල මාතාවන් සඳහා පාවහන් යුගලයක් බැගින් ලබාදීමේ වැඩසටහනට කැබිනට් අනුමැතිය ලැබී ඇත.තෝරා ගත් පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි - පැවිදි සිසුන් සහ සිල් මාතාවන් සඳහා පාවහන් යුගලයක් ලබාදීමේ 2026 වර්ෂයේ වැඩසටහන ක්‍රම වේදයන් දෙකක් යටතේ පාසල් සහ පිරිවෙන් සිසුන් 836,571ක් ආවරණය කරමින් ක්‍රියාත්මක කරන ලදී.


2027 වර්ෂය සඳහා වන පාවහන් යුගලයක් බැගින් ලබාදීමේ වැඩ සටහන 2026 තෙවැනි පාසල් වාරය අවසානය වන විට නිමකිරීම සඳහා සැලසුම් කරනු ලැබ ඇත.ඒ අනුව, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍ය වශයෙන් අග්‍රාමාත්‍යවරිය ඉදිරිපත් කළ යෝජනාව සැලකිල්ලට ගෙන, 2026 වර්ෂයේදී ක්‍රියාත්මක කරන ලද ක්‍රම වේදයේ ප්‍රගතිය මත පදනම්ව බස්නාහිර, දකුණ, සබරගමුව, නැගෙනහිර හා වයඹ යන පළාත් වලට අදාළව දේශීය පාවහන් නිෂ්පාදකයන් විසින් පාසලටම ගෙනැවිත් ලබා දෙන පාවහන් මිල දී ගැනීම සඳහාත්, මධ්‍යම, උතුර, උතුරුමැද හා ඌව යන පළාත් වලට අදාළව වෙළෙඳපොළෙන් පාවහන් මිල දී ගැනීම සඳහාත්, තෝරා ගනු ලබන පාසල් සිසුන්, පිරිවෙන්වල ගිහි හා පැවිදි සිසුන් සහ සීලමාතාවන් සඳහා එක් අයෙකුට රුපියල් 3,000ක වටිනාකමින් යුත් තිළිණ පතක් බැගින් ලබා දෙමින් එම වැඩසටහන ක්‍රියාත්මක කිරීම පිණිස අමාත්‍ය මණ්ඩලයේ අනුමැතිය ලබා දෙන ලදී.

Tuesday, June 30, 2026

හෝමාගම මහින්ද රාජපක්ෂ විදුහලේ ගුරු පුටු රැසක් හිස්

 


ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න


අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයෙන් ඉදිරිපත් වූ සිසුන් හත්සිය හැත්තෑ දෙනාම උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා ඇත. එහෙත් මේවන විටත් එම පාසලට විදුහල්පතිවරයකු නියෝජ්‍ය විදුහල්පතිවරුන් සිව් දෙනෙකු හා ගුරුවරුන් තිස් දෙනෙකුගේ පුරප්පාඩු පවතින බව හිටපු අධ්‍යාපන හා උසස් අධ්‍යාපන අමාත්‍ය ආචාර්ය ඛන්ධුල ගුණවර්ධන මහතා පැවසීය.


සිසුන් හත්දහසක් අධ්‍යාපනය ලබන මිශ්‍ර පාසලක් වන මෙම පාසලට කුඩම්මාගේ සැලකිල්ල දක්වන්නේ" මහින්ද රාජපක්ෂ” නම නිසා නම් එම නම ඉවත් කර හෝ උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලැබූ සිසුන් හත්සිය හැත්තෑ දෙනා ඇතුළු සියලු සිසුන්ගේ අනාගතය පෑදීමට අවශ්‍ය අවධානය යොමු කරන ලෙස හිටපු ඇමතිවරයා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.

2025 - 2026 වසරේ පැවැති අධ්‍යයන පොදු සහතිකපත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට මෙම පාසලෙන් සිසුන් 770 දෙනෙකු ඉදිරිපත් වී ඇති අතර එම සිසුන් සියලු දෙනාම ලබන වසරේ සිට උසස් පෙළ හැදෑරීමට සුදුසුකම් ලබා ඇති බව හෙතෙම පැවසීය.


එහිදි සිසුන් 190 දෙනෙකු සාමාර්ථ නවය බැගින් ද, සාමාර්ථ පහට වැඩියෙන් ලැබූ සිසුන් ගණන 560 දෙනෙකු බවද පැවසේ.එසේම ඉංග්‍රීසි මාධ්‍යයෙන් විභාගයට ඉදිරිපත් වූ සිසුන් 124 දෙනාම උසස් පෙළ විභාගය හැදෑරීමට සුදුසුකම් ලබා ඇති බවත් ජපන් භාෂාව හැදෑරු සිසුන් පනස් පස් දෙනාගෙන් පනස් දෙනකු ද, කොරියන් භාෂාව හැදෑරූ 11 දෙනෙකුද දෙමළ භාෂාව හැදෑරූ 30 හා ප්‍රංශ භාෂාව හැදෑරූ 06 දෙනෙකු එම විෂයන්ට විශිෂ්ට සාමාර්ථ ලබා ඇති බව බන්ධුල ගුණවර්ධන මහතා පවසයි. වසර පහළොවක සිට මෙම පාසලේ කීර්තිමත් විදුහල්පතිවරුන් නියෝජ්‍ය හා සහකාර විදුහල්පතිවරුන් ඇතුළු ගුරු මණ්ඩලයක් සේවයේ නිරත වූ අතර අන් කවරදාටත් වඩා අද වන විට එම පාසලේ ගුරු පුරප්පාඩු පවතින බව ඒ මහතා පෙන්වා දුන්නේය. 


ශිෂ්‍යත්ව විභාගය සමත්ව රාජකීය, ආනන්ද, නාලන්ද විශාඛා හා දේවී බාලිකා විද්‍යාලය ඇතුළු කොළඹ පාසල් වලට තේරී පත් නොවු කොළඹට නුදුරු ගම්වල අඩුපහසුකම් සහිත නිෂ්ප්‍රභූ පවුල්වල දරුවන් මෙම පාසලට තේරී පත්වන බැවින් එම අහිංසක දරුවන්ගේ අනාගතය අතරමග කඩා බිඳ දමන්නට කටයුතු නොකරන ලෙසත් හිටපු ඇමතිවරයා බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය.


මේ සම්බන්ධයෙන් අවස්ථා කිහිපයකදී අධ්‍යාපන අමාත්‍යාංශයේ බලධාරීන් දැනුවත් කළද ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු බවත් ජනාධිපතිවරයා අධ්‍යාපන ඇමැතිවරිය ලෙස කටයුතු කරන අගමැතිවරියගේ හෝ අවධානය යොමු කොට මෙම පාසලට කඩිනමින් විදුහල්පතිවරයාගේ සහ සෙසු ගුරු මණ්ඩලය පුරප්පාඩු පුරවන ලෙසත් ඉල්ලීමක් කළේය.

Friday, June 26, 2026

1 ශ්‍රේණියට සිසුන් ගැනීමේ නව චක්‍රලේඛය එයි

 

 

 රංජන් කස්තුරි


රජයේ පාසල්වල 2027 වසරේ පළමුවැනි ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා වන උපදෙස් ඇතුළත් සංශෝධිත නව චක්‍රලේඛය අධ්‍යාපන අමාත්‍යාංශය මගින් ඊයේ (25) නිකුත් කෙරිණ.මීට පෙර වසරවලදී පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා පැවැති නීති රීති ගණනාවක් මෙවර නව චක්‍රලේඛය මගින් සංශෝධනය කර තිබීම විශේෂත්වයකි.විශේෂයෙන්ම පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කරගත් ගණ සහ ඒවාට මෙතෙක් හිමිකර තිබූ ප්‍රතිශතවලද යම් වෙනස්කම් සිදුකර තිබේ.


අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන අමාත්‍යාංශයේ සාමාන්‍ය අධ්‍යාපන අංශය යටතේ රජයේ පාසල් අධ්‍යාපනයට ඍජුවම බලපාන ආයතනයක කාර්ය මණ්ඩලයට අයත් තැනැත්තන්ගේ සහ විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යටතේ ක්‍රියාත්මක වන රාජ්‍ය විශ්ව විද්‍යාල වල අධ්‍යයන කාර්ය මණ්ඩලවල තැනැත්තන්ගේ දරුවන්ටද මෙවර ගණයක් වෙන්කර ඇත. ඒ අනුව එම ගණයට වෙන්කර ඇති ප්‍රතිශතය සියයට 6 කි. පාසලට ආසන්න පදිංචිකරුවන් සඳහා සියයට 50ක්, ආදි සිසුන්ගේ දරුවන් සඳහා සියයට 25ක්, පාසලේ දැනට අධ්‍යාපනය ලබන සිසුන්ගේ සහෝදර සහෝදරියන් සඳහා සියයට 14ක්ද ආදී වශයෙන් වෙන්කර තිබේ. රජයේ අවශ්‍යතාව මත වාර්ෂික මාරුවීම් ලබන රාජ්‍ය සංස්ථා, මණ්ඩල, බැංකු නිලධාරීන්ගේ දරුවන් සඳහා ද මෙවර සියයට 4ක්ද වෙන්කර තිබේ.


විදේශ රටක පදිංචිව සිට පැමිණෙන්නන්ගේ දරුවන්ට සියයට 1ක්ද මෙවර නව චක්‍රලේඛයෙන් වෙන්කර ඇත. රජයේ පාසලක පළමු ශ්‍රේණියේ සමාන්තර පන්තියක සිටිය යුතු සිසුන් සංඛ්‍යාව 35ක් විය යුතු අතර ක්‍රියාන්විත රාජකාරියේ නිරත නිලධාරීන්ගේ දරුවන් 5 දෙනකුද සමග පන්තියක සිටිය යුතු සිසුන් සංඛ්‍යාව 40 ක් බව නව චක්‍රලේඛයේ සඳහන් වේ.


අයැදුම්කරුවන් තමාට ආසන්න පළාත් සභා පාසල් 3ක්ද ඇතුළුව පාසල් 6කටවත් ඉල්ලුම් කිරීම අනිවාර්ය බවද නව චක්‍රලේඛයේ දක්වා තිබේ.රජයේ පාසල් හි පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීමේ උපදෙස් ඇතුළත් නව චක්‍රලේඛය සහ අයැදුම්පත් www. lankadeepa.lk යන වෙබ් අඩවියේ සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ www.moe.gov.lk යන වෙබ් අඩවිවල පළ කර තිබේ.


Tuesday, June 23, 2026

කොළඹ සරසවි සිසු ප්‍රශ්නයකට අල්ලස් කොමිසමෙන් විමර්ශන

 


මනෝප්‍රිය ගුණසේකර 


කොළඹ විශ්වවිද්‍යාලයේ ඇතැම් විභාගවලට ඉදිරිපත් වන සිසුන් මුදලට සමත් කිරීමේ හා ඩිප්ලෝමා පාඨමාලා සම්බන්ධ විභාගවල දී විශ්වවිද්‍යාල බලධාරීන් විසින් විවිධ අක්‍රමිකතාවයන් කරන ලදැයි කියන සිද්ධි සම්බන්ධයෙන් අල්ලස් කොමිසම විමර්ශනයක් ආරම්භ කර ඇත.


කොළඹ විශ්වවිද්‍යාලයේ ඇතැම් විභාගවලට ඉදිරිපත් වන සිසුන් අයථා අන්දමින් සමත් කරන බවට හා ඩිප්ලෝමා පාඨමාලා සම්බන්ධ විභාගවල දී විශ්ව විද්‍යාල බලධාරීන් විවිධ අක්‍රමිකතා කරන බවට විශ්වවිද්‍යාලයේ කළමනාකරණ උසස් ඩිප්ලෝමා පාඨමාලාව හදාරන සිසුන් පිරිසක් කළ පැමිණිල්ලකට අනුව අල්ලස් කොමිසම මෙම විමර්ශනය ආරම්භ කර ඇත.

 

 

කොළඹ විශ්වවිද්‍යාලයේ සමහර ආචාර්යවරුන් ඔවුන්ට හිතවත් සිසුන්ට විභාගයට පෙර විභාගයට එන ප්‍රශ්න හෙළි කරන බවට ද සමහර ආචාර්යවරුන් මුදල් ලබාගෙන ලකුණු දී ඇති බවටද පැමිණීලි කරන සිසුන් ආචාර්යවරුන්ගේ ඇතැම් ඕනෑ එපාකම්වලට අනුගත නොවන සිසුන් විභාග අසමත් කර ඔවුන්ගෙන් පළි ගැනීමට ක්‍රියා කරන බවට ද සිය පැමිණිල්ල මඟින් අල්ලස් කොමිසමට පෙන්වා දී තිබිණි.


විභාග සඳහා සම්මත ක්‍රමවේද, කණ්ඩායම් ව්‍යාපෘති, ලකුණු දීමේ සම්මත ක්‍රම වේද, විශ්ව විද්‍යාල පාඨමාලා සඳහා ඇති සම්මත ක්‍රමවේද, සියල්ල ඇතැම් ආචාර්යවරුන්ගේ වුවමනාකම් වලට උල්ලංඝනය කර ඇති බවට ද විභාග සඳහා පෙනී සිටි ඇතැම් සිසුන් විභාග අසමත් කිරීමෙන් පසු ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමේ දී අසමත් කළ සිසුන් යළි සමත් කරමින් ප්‍රතිඵල ලේඛන නිකුත් කර ඇති බවට ද චෝදනා කරන සිසුන් ඒ සම්බන්ධයෙන් කළ පැමිණිලි විභාග කිරීමකින් තොරව විශ්ව විද්‍යාල බලධාරීන් උපාධි ප්‍රදානය කර ඇති බවද පෙන්වා දී ඇත.


විශ්වවිද්‍යාල බලධාරීන්ගේ ක්‍රියාකලාපය අල්ලස් පනත යටතේ වැරැදි බව පෙන්වා දෙන සිසුන් කොළඹ විශ්වවිද්‍යාලයේ ඩිප්ලෝමා පාඨමාලාවන්ගේ ගුණාත්මකභාවය ආරක්‍ෂා කිරීමට කටයුතු කරන ලෙසත් සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙසත් ඉල්ලමින් අල්ලස් කොමිසමට මෙම පැමිණිල්ල යොමු කර ඇත. 

 

 

මේ සම්බන්ධයෙන් කොළඹ විශ්වවිද්‍යාලයේ ස්ථාවරය දැන ගැනීම සඳහා එහි උප කුලපති ඉන්දික මහේෂ් කරුණාතිලක මහතාගේ කාර්යාලයට ඇමතුමක් ගත් විට මේ පිළිබඳව ලේඛකාධිකාරී සංජීවනී පෙරේරා මහත්මියගෙන් විමසන ලෙස දැනුම් දුන් අතර, ඒ අනුව සංජීවනී පෙරේරා මහත්මියගේ කාර්යාලයට ඇමතුමක් ගත් විට එහි සිටි නිලධාරිනියක දැනුම් දුන්නේ 'රේජිස්ට්‍රාර් මිස් මීටීන් එකක සිටින බවය.

Friday, June 19, 2026

පාසල් ආපනශාලාවල අලෙවිය තහනම් කළ නවතම ආහාර ලැයිස්තුව ප්‍රකාශයට පත් කෙරේ

 

පාසල් දරුවන්ගේ සෞඛ්‍ය තත්ත්වය නංවාලීමේ පියවරක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පාසල් ආපනශාලාවල විකිණීම තහනම් කර ඇති ආහාර වර්ග ඇතුළත් නවතම ලැයිස්තුවක් මේ වන විට නිකුත් කර තිබේ. දරුවන් අතර සීඝ්‍රයෙන් වර්ධනය වන තරබාරුකම, දියවැඩියාව, අධි රුධිර පීඩනය සහ හෘද රෝග වැනි බෝ නොවන රෝග වළක්වා ගනිමින් නිරෝගී අනාගත පරපුරක් නිර්මාණය කිරීම මෙම නව වැඩපිළිවෙළේ මූලික අරමුණ වී ඇත.


මෙම නව මාර්ගෝපදේශයන්ට අනුව අධික ලෙස සීනි, ලුණු සහ අහිතකර මේදය අඩංගු ආහාර මෙන්ම කෘත්‍රිම රසකාරක යෙදූ නිෂ්පාදන පාසල් භූමිය තුළ අලෙවි කිරීම සම්පූර්ණයෙන්ම තහනම් වේ. මීට අමතරව කිසිදු පෝෂණ ගුණයක් නොමැති එහෙත් කැලරි ප්‍රමාණයෙන් ඉහළ ආහාර සහ කර්මාන්තශාලාවලදී අධික ලෙස සැකසූ ආහාර වර්ග ද (ultra-processed foods) මෙම තහනම් ලැයිස්තුවට ඇතුළත් කර ඇති අතර, එවැනි ආහාර දරුවන්ගේ පෝෂණ ඌනතා සහ විවිධ සෞඛ්‍ය අවදානම් කෙරෙහි සෘජුවම බලපාන බව සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.


සෞඛ්‍ය අමාත්‍යාංශයේ පෝෂණ ඒකකයේ අධ්‍යක්ෂිකා, විශේෂඥ ප්‍රජා වෛද්‍ය මොනිකා විජේරත්න මහත්මිය සඳහන් කරන පරිදි මෙම මාර්ගෝපදේශ හඳුන්වා දී ඇත්තේ පාසල් දරුවන්ගේ දීර්ඝකාලීන යහපැවැත්ම උදෙසා යහපත් ආහාර පුරුදු ඇති කිරීමේ අපේක්ෂාවෙනි. කුඩා අවධියේ සිටම සෞඛ්‍යාරක්ෂිත ආහාර රටාවකට දරුවන් හුරු කිරීම හරහා අනාගතයේදී ඔවුන්ට ඇතිවිය හැකි ජීවන රටාව හා සබැඳි රෝගාබාධ වළක්වා ගැනීමට මෙමඟින් හැකියාව ලැබෙනු ඇති බව ද ඇය අවධාරණය කළාය. ඒ අනුව පාසල් ආපනශාලා තුළින් දරුවන්ට ලබාදෙන ආහාර නියාමනය කිරීම සඳහා මෙලෙස දැඩි පෝෂණ මාර්ගෝපදේශ මාලාවක් ක්‍රියාත්මක කිරීමට පියවර ගෙන තිබේ.


Friday, May 15, 2026

උසාවිය​ට අපහාස කළාට ජාතික අධ්‍යාපනයේ හිටපු අධ්‍යක්ෂ වසර හයක් හිරේ

 


රන්ජන් කටුගම්පොල


2024 වසරේ පැවැති පහ වසර ශිෂ්‍යත්ව විභාගයේදී ප්‍රශ්න තුනක් කලින් පිටවීමේ සිද්ධියට අදාළව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම්වලට සම්බන්ධ ශ්‍රේෂ්ඨාධිකරණය නිකුත් කළ නියෝගයක් ක්‍රියාත්මක කිරීම පැහැරහැරීමෙන් අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවලට වරදකරු කෙරුණු ජාතික අධ්‍යාපන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ අයි.ජී.එස්. ප්‍රේමතිලක මහතාට ශ්‍රේෂ්ඨාධිකරණය ඊයේ (14) බරපතළ වැඩ සහිත වසර හයක සිර දඬුවම් නියම කළේය.


 

ඊට අමතරව රුපියල් ලක්ෂ 30 දඩයක් නියම කළ විනිසුරු මඩුල්ල එම දඩ මුදල ගෙවීම පැහැරහැරියොත් අමතරව වසරක සිර දඬුවම් නියම කළේය.මෙම පැමිණිල්ල අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරු අවල ගප්පුලි සහ ගිහාන් කුලතුංග යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ (14) සලකා, බැලිණි.මෙම පැමිණිල්ල පසුගිය මාර්තු 26 වැනිදා කැඳ වූ අවස්ථාවේදී වග උත්තරකරුට චෝදනා බාරදීම සිදු වූ අතර ඔහු එම චෝදනාවලට නිවැරදි කරු බව දැනුම් දුන්නේය.


ඒ අනුව එම චෝදනාවලට අදාළ විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය විසින් ඊයේ දිනට නියම කෙරිණි. ඉන් අනතුරුව විත්තිකරු අධිකරණයට දැනුම් දී තිබුණේ චෝදනාවලට තමන් නිවැරැදිකරු බව සඳහන් කරමින් කළ ප්‍රකාශය ඉවත් කරගෙන චෝදනාවලට වරද පිළිගන්නා බවයි.මෙම පැමිණිල්ල ඊයේ කැඳවූ අවස්ථාවේදී වග උත්තරකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයාට අධිකරණයට අපහාස කිරීමේ චේතනාවක් නොතිබූ බවත් පැවති අපහසුතා හේතුවෙන් මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණය කළ නියෝගයකට අනුව වන්දි මුදල් ගෙවීමට නොහැකි තත්වයක් උද්ගත වූ බවය.


එම නිසා ඔහුට ලිහිල් දඬුවමක් නියම කරන ලෙස නීතිඥවරු ඉල්ලා සිටියහ. තීන්දුව ප්‍රකාශයට පත් කළ අග විනිසුරුවරයා 2024 වසරේ පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රශ්න තුනක් කලින් පිටවීමේ සිද්ධියට අදාළව ඉදිරිපත් කළ මුලික අයිතිවාසිකම් පෙත්සම් විභාග කළ ශ්‍රේෂ්ඨාධිකරණය එහි තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මෙම වගඋත්තරකරුට රුපියල් ලක්ෂ 30ක වන්දියක් ගෙවන ලෙස 2024 වසරේ දෙසැම්බර් 31 වැනිදා නියෝග කළ බව පැවසුවේය.


එම නියෝගය ප්‍රකාශයට පත් කළ දින සිට මාසයක් තුළ එම වන්දි මුදල ගෙවා අවසන් කළ යුතු බවට නියෝගයේ සඳහන් වී තිබුණි.එහෙත් එම වන්දි මුදල් තමන්ට ගෙවිය නොහැකි බව මෙම වග උත්තරකරු අධිකරණයට දැනුම් දී තිබූ බවත් නියෝගයේ සඳහන් විය. වැඩි දුරටත් තීන්දුව ප්‍රකාශයට පත් අගවිනිසුරුවරයා කියා සිටියේ මෙම  වන්දි මුදල ගෙවීම සම්බන්ධයෙන් පැහැරහැරීමෙන් විය උත්තරකර ශ්‍රේෂ්ඨාධිකරණ නියෝග සැහැල්ලුවෙන් කටයුතු කර ඇති බවයි.


මෙවැනි තත්වයන් සම්බන්ධයෙන් ලිව්ව ටයුතු කළහොත් අධිකරණ ක්‍රියාදාමය සම්බන්ධයෙන් පවතින මහජන විශ්වාසය බිඳ වැටෙනු ඇතැයි පෙන්වා දුන් අගවිනිසුරුවරයා දඬුවම් දඬුවම් නියම කිරීමේදී පෙත්සම්කරුගේ පෞද්ගලික කරුණුවලට වඩා මහජන විශ්වාසය සහ වගකීම සම්බන්ධයෙන් අධිකරණයට අවධානය යොමු කිරීමට සිදුවන බවත් සඳහන් කළේය. ඒ අනුව මෙම දඬුවම් නියම කරන බවත්, අගවිනිසුරුවරයා ප්‍රමුඛ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නිකුත් කළ නියෝගයේ සඳහන් විය.

Tuesday, May 12, 2026

පේරාදෙණියේ ලිංගික හිංසන වළක්වනු

 


රන්ජන් කටුගම්පොල


පේරාදෙණිය විශ්වවිද්‍යාලය තුළ සිදුවන ලිංගික හිංසන වැළැක්වීමට අවශ්‍ය පියවර වහාම ගන්නා ලෙස පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ සනාතන සභාවට ශ්‍රේෂ්ඨාධිකරණය නියම කළේය.ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේ ලිංගික හිංසනයට ලක්වූ බව කියන පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය විද්‍යාව පිළිබඳ කථිකාචාර්යවරියක ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි.


 

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ජනක් ද සිල්වා, අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම විභාගයට ගැනිණි.දන්ත වෛද්‍ය උදාරි අබේසිංහ මහත්මිය, ගොනුකර තිබූ පෙත්සමේ වගඋත්තර කරුවන් වශයෙන් පේරාදෙණිය දන්ත වෛද්‍ය පීඨයේ පිඨාධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඒ. තිලකරත්න මහතා පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ උපකුලපති ඇතුළු  සනාතන සභාව නම් කර ඇත.

 

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන අචල වෙන්ගප්පුලි සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගේ එකඟත්වයෙන් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු ජනක් ද සිල්වා මහතා විසින් ප්‍රකාශයට පත් කරන ලද තීන්දුවේ මෙසේ සඳහන්ය.පෙත්සම්කාරිය පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ දන්ත වෛද්‍ය පීඨයේ දෙවැනි ශ්‍රේණියේ කථිකාචාර්වරියක වන අතර ඇය දැනට දන්ත වෛද්‍ය විද්‍යාව පිළිබඳ දර්ශනපති උපාධිය හදාරමින් සිටින්නීය. ඇය හදාරන එම උපාධියේ සමීක්ෂකයකු වන්නේ පළමු වගඋත්තරකාර මහාචාර්යවරයාය.

පළවැනි වග උත්තරකාර මහාචාර්යවරයා පෙත්සම්කාරියට විටින් විට කරන ලද හිංසන සම්බන්ධයෙන් ඇගේ මව විසින් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ බලධාරීන්ට කරන ලද පැමිණිල්ලකට අනුව විමර්ශනයක් පවත්වා මහාචාර්යවරයාට චෝදනා පත්‍රයක් ඉදිරිපත් කළ අතර එම චෝදනා පත්‍රයේ සමහර චෝදනා වලට පළමු වග උත්තරකාර මහාචාර්යවරයා වරදකරු කළත් ඒ සම්බන්ධයෙන් ඔහුට එරෙහිව විශ්වවිද්‍යාල සනාතන සභාව කිසිදු පියවරක් ගෙන නැත.


මෙම තත්වය තුළ පෙත්සම්කාරිය සිද්ධිය පිළිබඳ මානව හිමිකම් කොමිසමට ද පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇති අතර පසු අවස්ථාවක සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මෙම අයිතිවාසිකම් පෙත්සම ගොනු කරනු ලැබීය. වගඋත්තරකාර විශ්වවිද්‍යාල සනාතන සභාව මූලික විරෝධතාවක් ගෙන එමින් මේ සම්බන්ධයෙන් පවසා ඇත්තේ පෙත්සම කාලාවරෝධී වී ඇති බවයි.

 

‘කණ්ඩම්බි එදිරිව රාජ්‍ය දැව සංස්ථාව' පූර්වාදර්ශ නඩුවේ තීන්දුව අනුව විමර්ශනය කිරීමේ දී වගඋත්තරකරුවන් විසින් ඉදිරිපත් කරනු ලැබූ කාලාවරෝධීතාව සම්බන්ධ මූලික විරෝධතාව පිළිගත හැකි බව අධිකරණයේ මතයයි.


එහෙත් සාධාරණත්ව සහ සමානාත්මතාවට අදාළ නීතිය ක්‍රියාත්මක කිරීමට ශ්‍රේෂ්ඨාධිකරණයට බලයක් ඇති බැවින්, ඒ සම්බන්ධයෙන් ඇති තීන්දු හා ඊට සම්බන්ධ නඩු ගණනාවක් පිළිබඳ ශ්‍රේෂ්ඨාධිකරණය අවධානය හා විමර්ශනය යොමුවිය. ඒ අනුව පෙත්සම්කාරිය සම්බන්ධයෙන් සාධාරණත්ව සහ සමානාත්මතාවය පිළිබඳ නීතිය අනුව සහනයක් ලබා දීමට හැකි බව ශ්‍රේෂ්ඨාධිකරණ මතයයි. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14 (1) වගන්තිය ප්‍රකාරව පුරවැසියන්ට නිදහසේ වෘත්තියක් හෝ වෙනත් ව්‍යාපාරයක් කිරීමට නීතියෙන් හිමිකමක් ඇත. ශ්‍රේෂ්ඨාධිකරණයට සාධාරණත්ව සහ සමානාත්මතාව පිළිබඳ ලැබී ඇති අධිකරණ බලය අනුව පහත නියෝග නිකුත් කරන බවද තීන්දුවේ සඳහන්ය”පළමුවැනි වගඋත්තරකාර මහාචාර්යවරයාට කිසිදු ආකාරයක තනතුරක් හෝ ගරු තනතුරක් හෝ විශ්වවිද්‍යාල පද්ධතිය තුළ හෝ උසස් අධ්‍යාපන ආයතන තුළ හෝ දැරීම තහනම් කරන බව ද ඒ සම්බන්ධයෙන් කටයුතු කිරීමට විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසමට නියෝග කළේය.


ඊට අමතරව පේරාදෙණිය විශ්ව විද්‍යාල කාර්ය මණ්ඩලයට සහ සිසුන්ට ලිංගික හිංසන කිරීම වැළැක්වීමට අවශ්‍ය පියවර ගැනීමට සහ ඒ සම්බන්ධයෙන් මාර්ගෝපදේශ මාලාව බලාත්මක කිරීමට ද පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ සනාතන සභාවට නියෝග කළේය.පෙත්සම්කාරිය වෙනුවෙන් නීතිඥ අමීෂා ටීකල් මහත්මිය පෙනී සිටියාය.පළවැනි වගඋත්තරකාර මහාචාර්යවරයා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සාලිය පීරිස් මහතා පෙනී සිටියේය.වග උත්තරකරුවන් වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ සුරේකා අහමඩ් මහත්මිය පෙනී සිටියාය.

Thursday, April 30, 2026

සබරගමු සරසවි සිසුවෝ 3 ක් බඹරකන්ද බලන්න ගිහින් අතරමං

 


 සමන් පාලිත නානායක්කාර 


බඹරකන්ද දිය ඇල්ල නැරඹීමට ගිය සබරගමුව විශ්ව විද්‍යාලයේ හයදෙනකුගෙන් සමන්විත සිසුන් කණ්ඩායමක සිසුන් තිදෙනකු ඊයේ (29) පස්වරුවේ කැලෑවේ අතරමංව ඇති බවත් සිසුන් තිදෙනකු නිරුපද්‍රිතව පැමිණ ඇති බවත් හල්දුම්මුල්ල පොලිසිය පවසයි.


සබරගමුව විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය හදාරන මෙම සිසුන් හයදෙනෙකු ඊයේ (29) හල්දුම්මුල්ල බඹරකන්ද දියඇල්ල නැරඹීමට ගොස් ඊට ඉහළින් කිලෝ මීටර් දෙකක් පමණ දුරින් පිහිටි ලංකා ඇල්ල නැරඹීමට ගොස් ඇති බවත් පස්වරුවේ හදිසියේම පතිතවූ ධාරානිපාත වර්ෂාවත් සමග අධික ජලපහරක් දියඇල්ලේ ගලාවිත් ඇතැයි පොලිසිය කීය.


හයදෙනකුගෙන් සමන්විත මෙම සිසු කණ්ඩායමේ සිසුන් තිදෙනකු දියඇල්ලෙන් නිරුපද්‍රිතව බේරී පැමිණ ඇති බවත්, සෙසු සරසවි සිසුන් තිදෙනා පැමිණීමට නොහැකිව අතරමංව ඇති බවත් පොලිසිය සඳහන් කළේය.හල්දුම්මුල්ල පොලිසිය මේවනවිටත් එම අතරමංව සිටින සරසවි සිසුන් තිදෙනා සොයා ගැනීමේ මෙහෙයුම් කරන බවත් බණ්ඩාරවෙල සහකාර පොලිස් අධිකාරි 1 රුවන් ප්‍රනාන්දු මහතා පවසයි.


හල්දුම්මුල්ල වැඩබලන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජයරත්න මහතා ඇතුළු නිලධාරිහු කණ්ඩායාමක් එම අතරමංවූ සරසවි සිසුන් තිදෙනා සොයාගැනීමේ මෙහෙයුම් කටයුතුවල නිරතව සිටිති.


Tuesday, April 28, 2026

වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය සිසුන් විරෝධතාවක

 

රංජන් කස්තුරි


ගම්පහ – වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්ව විද්‍යාලයේ සිසුන්ගේ අධ්‍යයන හා සුභසාධන ගැටලුවලට වහා විසඳුම් ලබා දෙන්නැයි ඉල්ලමින් එම විශ්වවිද්‍යාලයේ දේශීය සෞඛ්‍ය විද්‍යා හා තාක්ෂණ පීඨ ශිෂ්‍ය සංගමය ඉසුරුපාය අධ්‍යාපන අමාත්‍යංශය ඉදිරිපිටදී ඊයේ (27) පෙරවරුවේ විරෝධතාවක නිරත විය. විශ්වවිද්‍යාලයේ පවත්නා ගැටලු පිළිබඳ සොයා බලා විසඳුම් ඉදිරිපත් කිරීමට පත්කළ විශේෂඥ කමිටුවේ නිර්දේශ වාර්තාව ඉකුත් ජූලි මස 2 වැනිදා අග්‍රාමාත්‍යවරියට ඉදිරිපත් කළ නමුත් මේ වනවිට විසඳුමක් නොමැති බවද විරෝධතාවේ නිරත සිසුහු පැවසූහ. තවද මෙතෙක් එම වාර්තාවේ නිර්දේශ ක්‍රියාත්මක කිරීමට බලධාරීන් පියවර ගෙන නොමැති බවද විරෝධතාවේ නිරත සිසුහු කීහ.


හේතුවෙන් විශ්ව විද්‍යාලයේ දෛනික අධ්‍යයන කටයුතු කඩා වැටී ඇති බවද ඔවුහු කියති. එම විරෝධතාව පැය දෙකකට අධික කාලයක් පැවති අතර පසුව සිසුහු විසිර ගියහ.

Thursday, April 2, 2026

උසස් පෙළ විභාගයෙන් ඉහළ සාමාර්ථයක් මම බලාපොරොත්තු වුණා

 


තිලකරත්න දිසානායක


අධ්‍යයන පොදු සහතික පත්‍ර (උසස් පෙළ) විභාගයේ ඉංජිනේරු තාක්ෂණවේදය විෂයෙන්, දිවයිනේ ප්‍රථම ස්ථානය හිමිකර ගැනීමට හම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ හේෂාන් අනුජය වනිගසූරිය ශිෂ්‍යයා සමත්ව ඇත. ගම්පහ, බණ්ඩාරවත්ත පරාක්‍රම විදුහලෙන් ප්‍රාථමික අධ්‍යාපනය ලබා ඇති හේෂාන් සිසුවා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්වයෙන් ලකුණු 170ක් ලබා බණ්ඩාරනායක විද්‍යාලයෙහි 6 වන ශ්‍රේණියට ඇතුළත්ව සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයයන් නවයක්ද සහිතව සමත්ව උසස් පෙළින් මෙම ජයග්‍රහණය හිමිකර ගෙන තිබේ.


ගම්පහ. ඉහළගම පදිංචි දරුවන් තිදෙනකුගෙන් යුත් පවුලක නිවුන් දරුවෙකු වන හේෂාන්ගේ සොයුරියද රත්නාවලී බාලිකා විද්‍යාලයෙන් මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිට ඇති අතර බාල සොයුරා කොළඹ නාලන්ද විද්‍යාලයේ 11ශ්‍රේණියේ ඉගෙනුම ලබමින් සිටී.හේෂාන් සිසුවා තාක්ෂණවේද සංගමයෙහි සභාපති ලෙසද කටයුතු කර ඇති අතර ශිෂ්‍යහට සහ තූර්ය වාදක අංශය වැනි විෂය බාහිර කටයුතුවලද නිරත වෙමින් බණ්ඩාරනායක විද්‍යාලයට මෙවන් කීර්තියක්  අත්කර දීමට සමත් වූයේය. එම ඉහළ ජයග්‍රහණය සම්බන්ධයෙන් ඔහු අදහස් දැක්වූයේ මෙලෙසිනි.


"උසස් පෙළ විභාගයෙන් ඉහළ සාමාර්ථයක් මම බලාපොරොත්තු වුණා. දිවයිනේ ප්‍රථමයා වීමට අවස්ථාව ලැබීම ගැන විශාල සතුටක් තිබෙනවා.   මේ ජයග්‍රහණය මට ලබාදීමට පළමු ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා අධ්‍යාපනය දුන් සියලුම ගුරු මහත්ම මහත්මින් වගේම උපකාරක පන්තිවල ගුරු භවතුන්ද මේ මොහොතේ සිහිපත් කරනවා. දිවා රෑ නොබලා විශාල මහන්සියක් වෙමින් මා මේ තත්වයට ගෙන ආ මගේ අම්මා තාත්තා කියා නිමකළ නොහැකි භක්තියෙන් සිහිපත් කිරීමට මෙය අවස්ථාවක් කර ගන්නවා. 


මගේ පවුලේ විස්තර කියනවනම්, තාත්තා අනිල් වනිගසූරිය ව්‍යාපාරික කටයුතුවල නිරතව සිටිනව. අම්ම ගම්පහ දිස්ත්‍රික් මහ රෝහලේ හෙද නිලධාරිනියක්. ඇය නමින් ඉරෝෂා චාන්දනී. මගේ නිවුන් සොයුරිය හේෂනී වනිගසූරිය. මල්ලි රෙෂාන් වනිගසූරිය. මගේ අනාගත බලාපොරොත්තු ගැන කියනව නම් විශ්වවිද්‍යාල අධ්‍යාපනය ලබා තොරතුරු තාක්ෂණවේද අංශයේ කථිකාචාර්ය වරයකුවීමේ අදහසක් තිබෙනව. "මම අධ්‍යාපන ලබන නංගිල, මල්ලිලාට කියන්නෙ පාසල් කාල සීමාවෙදි ඉලක්කයක් ඇතිව කැපවීමෙන් කටයුතු කර එම ඉලක්කය සපුරා ගැනීමට කටයුතු කරන්න කියලයි.


සිසුවාගේ ඉහළ සාමාර්ථය පිළිබඳව බණ්ඩාරනායක විද්‍යාලයේ විදුහල්පති කුසුමන් රණසිංහ මහතා අදහස් දක්වමින් ප්‍රකාශ කර සිටියේ, විෂය බාහිර ක්‍රියාකාරකම්වලද නිරත වෙමින් මෙවන් ජයග්‍රහණයක් හිමි කරගත් බවත් ඉහළ සාමාර්ථයක් ලබා ගනිමින් විදුහලට කීර්තියක් අත්කර දීම ගැන සතුටුවන අතර අනෙකුත් සිසුන්ද හේෂාන් දරුවා ආදර්ශයට ගෙන කටයුතු කරනු ඇති බවත්ය.


මොහුගේ ජයග්‍රහණය ගැන මව සහ පියා අදහස් දක්වමින්, ඉහළ සාමාර්ථයක් දරුවාගෙන් බලාපොරොත්තුවූ බවත් කුඩා කාලයේ සිටම ඉලක්කයක් ඇතිව සියලුම කටයුතු සිදු කළ බවත් පැවසූ අතර මව සඳහන් කර සිටියේ, රජයේ සේවයක් කරමින් දරුවා මෙවන් ස්ථානයකට ගෙන ඒමට හැකිවීම පිළිබඳව ඇත්තේ කියා නිමකළ නොහැකි තරමේ සතුටක් බවය

කලා අංශයෙන් පළමුවැනියා වයඹ රාජකීයයේ අචින්ත මිහිරංග

 




ප්‍රථම වතාවට වයඹ රාජකීය විද්‍යාලය දිවයිනේ ප්‍රථමයා ලෙස කලා අංශයෙන් ඉගෙනුම ලැබූ අචින්ත මිහිරංග ශිෂ්‍යයා බිහිකරන්නට සමත් විය.2025 අපොස උසස් පෙළ විභාගයෙන් කලා අංශයෙන් ප්‍රථමයා බවට පත් වූ අචින්ත මිහිරංග කෑගල්ලෙන් කුරුණෑගලට පැමිණෙන්නේ අධ්‍යාපන කටයුතු සඳහා මය.


සිංහල, ඉංග්‍රීසි, කොරියන්, ජපන්, ජර්මන් ඇතුළු භාෂා කිහිපයක නිපුණතාව ඇති අචින්ත මිහිරංග ශිෂ්‍යයා වයඹ රාජකීය විද්‍යාලයට ඇතුළු වන්නේ, කුරුණෑගල ආරක්ෂක සේවා විද්‍යාලයෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථ නවයක් ලබාගැනීමෙන් පසුවය.අපොස සාමාන්‍ය පෙළ විභාගයට සූදානම් වන අවධියේදී භාෂාවන් ඉගෙන ගැනීමට වැඩි ඇල්මක් දැක්වූ අචින්ත ඒ සඳහා තෝරාගෙන ඇත්තේ වයඹ රාජකීය විද්‍යාලයයි.


කෑගල්ල, බෙලිගල, මැටියගනේ ප්‍රදේශයේ පදිංචි ඔහුගේ පියා විශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියකු වන උදය ප්‍රිය ශාන්ත රත්නායක මහතා වන අතර, ඔහු දැනට විදෙස්ගතව රැකියාවේ නිරතව සිටී. ගෘහණියක වන අචින්තගේ මව නිලන්ති නදී කුමාරි මහත්මියයි. ආදිත්‍යා තිලක්ෂණා රත්නායක අචින්ත මිහිරංග ගේ එකම නැගණිය වන අතර ඇය, මෙවර මලියදේව බාලිකා විද්‍යාලයෙන් අපොස සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට බලාපොරොත්තුවෙන් සිටී.


විෂය බාහිර හැකියාවන් රැසක් සහිත අචින්ත ශිෂ්‍යයා ජාත්‍යන්තර කොරියානු භාෂා පදනම මගින් කොරියාවේදී වාර්ෂිකව සංවිධානය කරනු ලබන වැඩමුළුවට සහභාගි වී රටවල් 35ක ශිෂ්‍යයන් අනූ අට දෙනකු අතරින් කොරියන් සංස්කෘතික පද්‍ය ගායනා අංශයෙන් ප්‍රථමයා වීමට ද සමත් වී ඇත.


විවිධ භාෂාවන් පිළිබඳව ඉගෙන ගැනීමත්, එම භාෂාවන් ඉගෙන ගැනීමෙන් ඉහළට යාමත් අනාගත බලාපොරොත්තුව කරගත් අචින්ත අනාගත නංගිලා මල්ලිලාට දෙන පණිවිඩය ලෙස ලංකාදීප සමඟ සඳහන් කළේ, “තම තමන් කැමැති විෂයන්වලින් හොඳින් ප්‍රතිඵල ලබාගැනීම මිසක්, රැල්ලට ගොස් එක විෂයක් තෝරාගෙන ජීවිතය අඩාළ කර නොගත යුතුයි ” යන්නයි.


අචින්ත මිහිරංගට අධ්‍යයන කටයුතු කරගෙන යාමට ශක්තියක් වූ පාසලේ අධ්‍යාපන කටයුතු වලදී විශාල ලෙස සහයෝගය දුන් හිටපු විදුහල්පති එච්.එම්. ආරියදාස මහතා විශ්‍රාම ගොස් සිටිය ද, ඔහු සමග වර්තමාන විදුහල්පති ප්‍රභාත් දිසානායක මහතා, පන්තිභාර ආචාරිනී අනුෂා බස්නායක මහත්මිය ඇතුළු විද්‍යාලයේ ගුරු මණ්ඩලයටත්, අමතර පන්ති වල ගුරු මණ්ඩලයටත් මෙහිදී ස්තූතිය පළ කළේය.


ජීව විද්‍යා අංශයෙන් පළමුවැනියා කොළඹ රාජකීයයේ ඩිලාන් කරුණාරත්න

 


අරුණ එස්. කුමාර


“මම පාසලේ පමණක් නොවේ අමතර පන්තිවලත් වැඩ නියමිත පරිදි එදිනෙදා සිදු කළා. මම හැමදාම පාසලට ගියා. ඉලක්කයක් ඇතිව වැඩ කළා. මගේ අම්මාගෙන් තාත්තාගෙන් මගේ අධ්‍යාපන කටයුතුවලට විශාල සහායක් ලැබුණා” යැයි ජීව විද්‍යා අංශයෙන් දිවයිනෙන්ම ප්‍රථම ස්ථානය හිමි කරගත් කොළඹ රාජකීය විද්‍යාලයේ ඩිලාන් කරුණාරත්න සිසුවා අප සමග පැවැසීය.


තංගල්ල ප්‍රථමිකයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඩිලාන් පහවසර ශිෂ්‍යත්ව කඩඉම් විභාගයෙන් ලකුණු 184ක් ලබාගෙන කොළඹ රාජකීය විද්‍යාලයට ඇතුළත් විය. අපොස සාමාන්‍ය පෙළ විභාගය ඒ සාමාර්ථ නවයක් සහිතව සමත් වූ ඩිලාන් කරුණාරත්න ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ විභාගයට සූදානම් විය.


ඔහුගේ මව දිල්කා සරණසිංහ විශේෂඥ වෛද්‍යවරියක වන අතර, ඇය දැනට පොලොන්නරුව ජාතික වෘක්කවේදී විශේෂ රෝහලේ අධ්‍යක්ෂවරිය ලෙස සේවය කරන්නීය. පියා ලසන්ත කරුණාරත්න මහතා වෘත්තියෙන් ව්‍යාපාරිකයෙකි.


ලබාගත් ජයග්‍රහණය ගැන හඬ අවදිකළ ඩිලාන් මෙසේද පැවැසීය. “මෙම ජයග්‍රහණය පිටුපස මගේ අම්මා තත්තා සේම කොළඹ රාජකීය විදුහලේ විදුහල්පති අතුල විජේවර්ධන ගුරු පියා වගේම මගේ පන්ති බාර අමල් ගුණරත්න ගුරුතුමා, ඒ වාගේම චලනි කලවාන, දුලානි, විකුම් සෙනෙවිරත්න, රංග හෙට්ටිගේ සහ අචලා ධර්මවික්‍රම යන ගුරු මෑණිවරුන් ඇතුළු සියලු ගුරුවරුන් සිටිනවා.


අම්මාගේ අඩි පාරේ යමින් වෛද්‍යවරයකු වෙලා රටට හොඳ සේවයක් කිරීම මගේ එකම බලාපොරොත්තුවයි. අනාගතයේ විභාගවලට පෙනී සිටින නංගිල මල්ලිලාට දෙන එකම අවවාදය තමා දිනපතා පාසල් යන්න, එහි අධ්‍යාපන කටයුතුවලට සහභාගීවෙමින් එදිනෙදා කටයුතු කලට වේලාවට කරන්න. එවිට ජයග්‍රහණය අත ළඟම තියෙනවා” යැයි කීවේය.


සිය පුතාගේ ජයග්‍රහණය ගැන අපමණ සතුටෙන් යුතුව මළු විශේෂඥ වෛද්‍ය දිල්කා සරණසිංහ මහත්මිය මෙසේ පැවසුවාය. “පුතා හරිම කරුණාවන්ත කෙනෙක්. ඒවාගේම එයා හරිම වාසනාවන්තයි. හැමෝටම උදවු කරනවා. පන්තියේ යාළුවන්ට හරියට උදවු කළා. එයා දිනපතාම පාසල් ගියා. පාසලට පැමිණීමේ ප්‍රතිශතය සියයට 87ක්. 12 - 13 ශ්‍රේණිවල හැම විභාගයකින්ම පන්තියේ පළමු වැනියා. දෙවැනියා වුණේ බොහොම කලාතුරකින්. පාඩම් කටයුතු ඉතා සාර්ථකව සිදුකළා. මූලික අධ්‍යාපන කටයුතු හොඳින් කළා. ශිෂ්‍යත්වයෙන් ලකුණු 184ක් ලබාගත්තා. සාමාන්‍ය පෙළත් එහෙමයි. ඒ සාමාර්ථ නවයක් ගත්තා. මෙයා ඉගෙන ගත්ත හැම පන්තියකම ගුරුවරුන් මෙයාට හරිම ආදරෙයි. පුතාත් එහෙමයි. ගුරුවරුන්ගේ සිත් කිසිම වෙලාවක රිදෙව්වෙ නෑ.

මගේ පාසලේ හොද ගුරුවරු හිටියා



 චමිලා අල්විස් 


“මම පුංචි කාලේ ඉදලම ආසාවෙන් හිටියේ වෛද්‍යවරයෙක් වෙලා මගේ රටට සේවය කරන්න. ඒත් ලංකාවෙන්ම දෙවෙනි ස්ථානය ලබාගන්න පුළුවන් වෙයි කියලා නම් හිතුවේ නැහැ" යැයි මෙවර උසස් පෙළ ප්‍රතිඵල අනුව ජීව විද්‍යා අංශයෙන් දිවයිනේම දෙවන ස්ථානයත් කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානයත් දිනාගත් හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ ජී.ඞී. පෙෂාන් සසිදු නිම්සර සිසුවා පැවසීය.තමා ලැබූ ජයග්‍රහණය පිළිබඳව පෙෂාන් සසිදු නිම්සර සිසුවා මෙසේද පැවසීය.


“මම පදිංචිවෙලා ඉන්නේ උහඳගොඩ, රෙමුණ, අඟුරුවාතොට ප්‍රදේශයේ. මම පවුලේ එකම දරුවා. මම මුලින්ම පාසල් ගියේ හොරණ තක්ෂිලා කනිෂ්ඨ විද්‍යාලයට. මම ශිෂ්‍යත්වයෙන් ලකුණු 178 ලබාගෙන හොරණ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයට ඇතුළත් වුණා.මගේ තාත්තා පොලිස් නිලධාරියෙක්. අම්මා ගෘහණියක්. මට මේ ජයග්‍රහණය සඳහා විශාල සහයෝගයක් මගේ දෙමාපියෝ ලබාදුන්නා. මම හිතුවෙම නෑ ලංකාවෙන්ම දෙවෙනියා වෙයි කියලා. ඒත් කළුතර දිස්ත්‍රික්කයේ මුල් පහ, හතර අතර එයි කියලා හිතුවා. මගේ පාසලේ හොඳ ගුරුවරු හිටියා. ඒ අය මට ගොඩක් උදව් කළා. ප්‍රශ්න පත්‍රවල ගොඩක් අඩුපාඩු අහගත්තේ පාසලේ ගුරුවරුන්ගෙන්. මොකද එයාලා සතියේ දින පහේම මට හම්බවුණ නිසා. මම ගිය පෞද්ගලික පන්තිවල ගුරුවරුන්ගෙන් මට හොඳ සහයක් ලැබුණා.


මම නිදා ගත්තේ විභාග කාලේ පැය හතරහමාරක් විතර. පාන්දර දෙක තුන විතර වෙනකම්ම පාඩම් කරනවා. ඒ හැම දවසකම මගේ අම්මා නිදි නැතුව මම පාඩම් කරලා ඉවර වෙනකම් ඇහැරගෙන ඉන්නවා. තේ හදල දෙනවා. අම්මා තමයි මාව පන්තිවලට එක්කන් ගියේ. තාත්තා මම රෑට සහභාගී වන පන්තිවලින් ගන්න එනවා. මම විභාග කාලේ කිසිම බාහිර වැඩකට සම්බන්ධ වුණේ නෑ. විභාගේ හරියට කරගන්න ඕන හින්දා අවුරුදු දෙකේම සම්පූර්ණ මහන්සිය විභාගෙට යොමු කළා. මම හය, හත වසරවලදි පිහිනුම් ක්‍රීඩාව හොඳින් කළා. දහය, එකොළහ පන්තිවලදී කෘෂි විද්‍යාව සමස්ත ලංකා තරගවලට සහභාගි වුණා.


මම කැමතියි ගොඩක් පරිවර්තන පොත් කියවන්න. උසස් පෙළ හදාරන විට මම ගොඩක් වෙලාවට කියෙව්වේ මගේ විෂයන්වලට අදාළ පොත් විතරයි. මම ගොඩක් පරණ මහාචාර්යවරුන්ගේ පොත් කියෙව්වා.මම හැමදාම ඉස්කෝලෙ ගියා. මම ගොඩක් පසුගිය විභාග ප්‍රශ්න පත්‍රවලට පිළිතුරු ලිව්වා. පන්ති බාර ගුරුතුමිය දිනේෂි මිස් මට මේ ජයග්‍රහණය ලබන්න විශේෂ සහයෝගයක් ලබාදුන්නා. ඒ වගේම රසායන විද්‍යාව උගන්නපු චමිලා මිස්, භෞතික විද්‍යාව උගන්නපු රුවිනි මිස්ගෙනුත් විශාල සහයෝගයක් ලැබුණා. සමහර ප්‍රශ්න පත්‍රවලට මට ලකුණු අඩු වුණොත් මට ඒ අය බැනලාත් තියෙනවා. ලකුණු වැඩි කර ගන්න විදිහ මට කියලා දෙනවා.

 

පාසලේ වර්තමාන විදුහල්පති නිලූක වීරසිංහ මහතාගෙනුත්, අංශභාර තනුර ගයාන් අමරතුංග මහතාගෙනුත් මේ ජයග්‍රහණය සඳහා විශාල සහයෝගයක් මට ලැබුණා.මම ජීව විද්‍යාව හදාරන මගේම සහෝදර සහෝදරියන්ට කියන්නේ මුල ඉඳලම ඉලක්කයක් ඇතුව වැඩ කරන්න. අපි මේ විෂය තෝර ගනිද්දී සමහරවිට අපි ළඟින්ම ඉන්න යාළුවෝ නෑදෑයෝ ඔයාට මේක කරන්න පුළුවන්ද අහනවා. ඒ උනාට මම කියන්නේ දෙයක් කරන්න පුළුවන් කියන අයට වඩා ඔයාට ඕක බෑ කියන අය වැඩියි. ඒත් ඒවායින් වැටෙන්නෙ නැතුව තමන්ගේ ඉලක්කයට වැඩ කළොත් ජයග්‍රහණය කරන්න පුළුවන්”


පෙෂාන් සසිඳු නිම්සර සිසුවාගේ මව වන එස්.ඒ.පී. මහේශිකා මහත්මිය තම පුතනුවන්ගේ ජයග්‍රහණය පිළිබඳව මෙසේ පැවසුවාය.


“මට ඉතින් ගොඩක් සතුටුයි ගොඩක්. දරුවා විභාගෙ වෙනුවෙන් මහන්සි වුණා. පුංචි කාලෙ ඉඳලම වෛද්‍යවරයෙක් වෙලා සේවය කරනවා කිව්වා. එයාගේ බලාපොරොත්තුව ඉෂ්ට වුණා කියලා මම හිතනවා.


පෙෂාන් සසිඳු සිසුවාගේ පියා වන පී.ඩී. සුභසිංහ මහතා සිය පුතණුවන්ගේ ජයග්‍රහණය පිළිබඳව මෙසේ පැවසුවේය.


“ගොඩක් සතුටුයි. මම දැනගෙන හිටියා පුතා මේ වගේ ජයග්‍රහණයක් ලබාගනියි කියලා. පුතා මේ ජයග්‍රහණය ලබන්න ගොඩක් මහන්සි වුණා‍ 

සසිඳු සිසුවාගේ ජයග්‍රහණය පිළිබඳ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ විදුහල්පති නිලූක වීරසිංහ මහතා ද අදහස් දක්වමින් මෙසේ පැවසීය.


“තක්ෂිලා මධ්‍ය විද්‍යාලය නියෝජනය කරන පෙෂාන් සිසුවා ලබාගත් ජයග්‍රහණය පාසලට මෙන්ම හොරණ ප්‍රදේශයට ද රටට ද ගෞරවයක්. මම එම සිසුවාට සහ විශිෂ්ට ජයග්‍රහණයන් ලැබූ තක්ෂිලා මධ්‍ය විද්‍යාලයේ අනෙකුත් සිසු සිසුවියන්ට සුබපැතුම් එක්කරනවා”

ජෛව පද්ධති තාක්ෂණවේදයෙන් පළමුවැනියා වේයන්ගොඩ බණ්ඩාරනායකයේ ඊශානි මනෝදා

 


 පුෂ්ප කුමාර මල්ලව ආරච්චි


ලොකු කුඩා කාගේත් උදවු අරගෙන තමන්ගේ අධ්‍යාපනය සාර්ථක කරගෙන රටට දැයට වැඩදායි පුරවැසියකු වන්නට ඉටාගෙන ගිය ගමනක ප්‍රතිඵලයක්  ලෙස තමන්ට මෙවර උසස් පෙළ විභාගයේ ජයග්‍රහණය ලබාගැනීමට හැකිවූ බව  වේයන්ගොඩ බණ්ඩාරනායක ජාතික පාසලේ  ඩබ්ලිව්.එම්.ආර්. ඊශානි මනෝදා ශිෂ්‍යාව පැවසුවාය. මනෝදා ශිෂ්‍යාව මෙවර අපොස උසස් පෙළ විභාගයෙන් ජෛව පද්ධති තාක්ෂණවේදය විෂය ධාරාවෙන් දිවයිනේ ප්‍රථම ස්ථානය හිමි කරගැනීමට සමත්ව සිටී.


නිට්ටඹුව හොරගොල්ල වත්තේ පදිංචි මනෝදා සිසුවිය ක්‍රීඩා උපදේශකවරයකු වන උපුල් ප්‍රියන්ත මහතාගේ සහ බැංකු ක්ෂේත්‍රයේ සේවයේ නිරත ජනනී පෙරේරා මහත්මියගේ එකම දියණියයි. ඇගේ එකම සොහොයුරා නිට්ටඹුව සංඝබෝධි විද්‍යාලයේ ඉගෙනුම ලබයි.

පත්තලගෙදර විද්‍යාලෝක මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ ඇය පස්වන ශ්‍රේණියේ ශිෂ්‍යත්වය සමත් වීමෙන් පසු බණ්ඩාරනායක ජාතික පාසලට ඇතුළත්ව ඇති අතර ඇය එහිදී සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ නවයක් ලබාගනිමින් දස්කම් දක්වා ඇත. විද්‍යාලයේ කනිෂ්ඨ අංශ මෙන්ම ජ්‍යෙෂ්ඨ අංශ ශිෂ්‍ය නායිකාවක ලෙස තූර්ය වාදක කණ්ඩායම ඇතුළු විද්‍යාලයීය බාහිර ක්‍රියාකාරකම් රැසකටද දායක වී ඇති ඇය තමන්ගේ ජයග්‍රහණය සමම්බන්ධයෙන් මෙසේ අදහස් පළ කළාය.


මම උසස් පෙළ විෂයන් ලෙස තාක්ෂණවේදය සඳහා විද්‍යාව සහ ජෛව පද්ධති තාක්ෂණවේදයත් සිංහල හැදෑරුවා. තාක්ෂණය භාෂාවෙන් තොරතුරු හැදෑරුවේ ඉංග්‍රීසි භාෂාවෙන්. මම අධ්‍යාපන කටයුතු කරන අතර විද්‍යාලයේ බාහිර කටයුතුවලටත් සහභාගි වුණා. පාසලේ අධ්‍යාපන කටයුතු කරන අතර උපකාරක පන්ති සහයත් ලබා ගත්තා. උසස් පෙළ විෂයන් හදාරද්දී විදුහල්පතිතුමා ඇතුළුව විද්‍යාලයීය ආචාර්ය මණ්ඩලය අපේ අධ්‍යාපන කටයුතු ඉහළ නංවන්නට මහත් කැපවීමක් කළා.

 

එසේ මගේ අධ්‍යාපන කටයුතුවලට අත හිත දුන් ගුරුවරුන් දෙමාපියන් ඇතුළු හිතවතුන් සියලු දෙනාටම මේ අවස්ථාවේ ස්තුතිවන්ත වෙනවා. තොරතුරු තාක්ෂණ අංශයෙන් තවදුරටත් ඉහළට රටට වැඩදායි ඉගෙන ගෙන සේවයක් කරන්නට විම බලාපොරොත්තු වෙනවා.අපේ නංගිලා මල්ලිලාගෙන් මම ඉල්ලා හිටින්නේ අධ්‍යාපනයට මුල් තැන දෙන ගමන් බාහිර කටයුතුවලටත් සහාය දක්වන්න.එයින් කිසිසේත්ම තමන්ගේ අධ්‍යාජන කටයුතුවලට බාධාවක් වෙන්නේ නැති බව මම විශ්වාස කරනවා. 


වේයන්ගොඩ බණ්ඩාරනායක ජාතික පාසලේ විදුහල්පති සමීර සෝමරත්න මහතා මෙහිදී සඳහන් කළේ පාසලේ විෂය සමගාමී කටයුතු මෙන්ම බාහිර කටයුතුවලටද දායක වෙමින් තමන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක කර ගනිමින් කීර්තියක් පාසලට මෙන්ම දිවයිනේ පළමුවැනි ස්ථානයක් දිනාගත් සිසුවියට පාසල  වෙනුවෙන් බෙහෙවින්ම ස්තුතිවන්ත වන බවයි. ඇය රටේම සිසුන්ට ආදර්ශයක් දුන් ශිෂ්‍යාවක බවද විදුහල්පතිවරයා අවධාරණය කළේය.

Wednesday, March 25, 2026

උසස් පෙළ 2026 අයැදුම්පත් අද සිට ඔන්ලයින්වලින්

 

රංජන් කස්තුරි


අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ 2026 විභාගය සදහා අද (24) සිට අප්‍රේල් 24 වැනිදා දක්වා මාර්ගගත ක්‍රමය ඔස්සේ අයැදුම්පත් කැදවන බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කරයි.අයැදුම්කරුවන්ට www.doenets. lk සහ www.onlineexams.gov.lk/ eic යන නිල වෙබ් අඩවි වෙත පිවිස, ලබාදී ඇති උපදෙස් අනුව නිවැරැදිව අයැදුම්පත් ඉදිරිපත් කළ හැකි බවද එම දෙපාර්තමේන්තුව කියයි.


රජයේ සහ රජයේ අනුමත පෞද්ගලික පාසල්වල සිසුන්, තම පාසලේ විදුහල්පති මගින් අයැදුම්පත් යොමු කළ යුතු අතර, පෞද්ගලික අයැදුම්කරුවන් තම ජාතික හැඳුනුම්පත් අංකය භාවිත කරමින් පෞද්ගලිකව අයැදුම්පත් යොමු කළ යුතු බවද විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරයි.විදුහල්පතිවරුන් තමන් වෙත ලබාදී ඇති පරිශීලක නාම සහ මුරපද භාවිතා කරමින් අයැදුම්පත් යොමු කළ යුතු අතර, අයැදුම්පත් ඉදිරිපත් කිරීමෙන් පසු අයැදුම්කරුවන් එහි මුද්‍රිත පිටපතක් ලබාගෙන සුරක්ෂිතව තබා ගැනීමද අත්‍යවශ්‍ය බවද එම දෙපාර්තමේන්තුව කියයි.


මේ සම්බන්ධයෙන් වැඩිදුර විමසීම් සඳහා 1911 හෝ 0112785922,0112786616,0112784537,0112784208 යන දුරකතන අංක හරහා හෝ gcealexamf@gmail.com වෙත විද්‍යුත් තැපැල් මගින් සම්බන්ධ විය හැකි බවද දෙපාර්තමේන්තුව සදහන් කරයි.