Friday, October 31, 2025

සෞඛ්‍යයේ හිටපු තොරතුරු අධ්‍යක්ෂ 18 වතාවක් පිට පාරෙන් රට ගිහින්

 


ගයාන් සූර්යආරච්චි


සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු තොරතුරු අධ්‍යක්ෂ වෛද්‍ය නිලධාරීවරයකු අනුමැතියකින් තොරව 18 වතාවක් විදේශගතව ඇති බවට විගණන වාරිතාවෙන් තොරතුරු අනාවරණය වී ඇතැයි වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පැවසීය. විදේශ ගමන් බලපත්‍ර 2 ක් භාවිත කර 2013 ජනවාරි 21 සිට 2024 ජුලි 12 කාලය තුළ මෙසේ විදේශගත වී ඇති බව ද වෛද්‍ය සංජීව මහතා කීය. අමාත්‍යවරයාගේ තාවකාලික අනුමැතිය යටතේ විදේශගත වූ අවස්ථාවලදී ද අදාළ අනුමත කාල සීමාවට පරිබාහිරව ඔහු රටින් බැහැරව ගතකර ඇති බවට තොරතුරු විගණන වාර්තාවේ පෙන්වා දෙන බව ද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති සඳහන් කළේය.


මේ අයුරින් හිටපු තොරතුරු අධ්‍යක්ෂ වෛද්‍ය නිලධාරී විධිමත් අනුමැතියකින් තොරව දිගින් දිගටම විදේශගත වී ඇති අතර සෞඛ්‍ය අමාත්‍යාංශයේ වෛද්‍ය සේවා අධ්‍යක්ෂවරයා ඔහුගේ විදේශ නිවාඩු අවලංගු කිරීමට උපදෙස් දී තිබියදීත් ඔහු විදේශගතව ඇති බවද විගණන වාර්තාවලින් අනාවරණය වී ඇති බව වෛද්‍ය චමල් සංජීව මහතා පැවැසීය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ හිටපු තොරතුරු අධ්‍යක්ෂ විසින් ඉල්ලුම් කරන ලද දිනයට පෙර විදේශගතවීම් සහ ඉල්ලුම් කරන ලද දිනය පසු වී නැවත මෙරටට පැමිණීම අවස්ථා 20 ක් වාර්තා වන බවද සමීති වෛද්‍යවරුන්ගේ වෘත්තීය සන්ධානයේ සභාපතිවරයා කීය.

මේ සම්බන්ධයෙන් තොරතුරු විමසීම සඳහා අප සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා දුරකතනයෙන් සම්බන්ධ කරගැනීම සඳහා කෙටි පණිවුඩයක් සහ ඇමතුම් කීපයක් ලබාදුන්න ද එම උත්සාහය ව්‍යර්ථ විය.


2024 වසරේදී පෝලන්තයේ සිට සංචාරකයෝ 44,165ක් ඇවිත්

 

 


භානුක අමරසිංහ


පෝලන්තයේ Enter Air ගුවන් සේවය ශ්‍රී ලංකාව වෙත සිදු කරන සිය ශීත ඍතු ගුවන් ගමන් අරඹමින් අද දිනයේදී වෝර්සෝ නුවර සිට කොළඹ කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළට පැමිණීමට නියමිතව ඇතැයි වාර්තා වෙයි. මේ හරහා ශීත ඍතුව තුළදී පෝලන්තයේ මෙන්ම යුරෝපා සංචාරකයන් ද තවදුරටත් මෙරට වෙත සම්බන්ධ කෙරෙනු ඇතැයි අදහස වී තිබේ. එම ගුවන් සේවය ලබන අප්‍රේල් මාසය දක්වා බ්‍රහස්පතින්දා සහ ඉරිදා දිනවල සිය මෙහෙයුම් සිදු කරයි.


පසුගිය 2023 වසරේදී මෙන්ම 2024 දීද ශීත ඍතුව ඉලක්ක කරගනිමින් පෝලන්තයේ Enter Air ගුවන් සේවය මෙරට වෙත සිය ගුවන් මෙහෙයුම් ක්‍රියාත්මක කළේය. 2023 වසරේදී මෙරට වෙත පෝලන්තයෙන් සංචාරකයන් 17,946ක් පැමිණ ඇති අතර, 2024 වසරේදී එය 44,165ක් ලෙස සටහන්ව තිබේ. මේ අතර 2025 වසරේ මේ දක්වා පෝලන්තයේ සිට පැමිණ ඇති සංචාරකයන් සංඛ්‍යාව 35,606කි.


වාර්තා සඳහන් කරන ආකාරයටEnter Air ගුවන් සේවයද සමගින් මෙම සතිය තුළ දී ගුවන් සේවා පහක් ශ්‍රී ලංකාව වෙත සිදු කරන ගුවන් ගමන් යළි ආරම්භ කිරිමට පියවර ගෙන තිබේ. ඒ අනුව ක් වේට ගුවන් සේවය, ස්විස්ටර්ලන්තයේ ඊල්වයිස් ගුවන් සේවය කොළඹ බණ්ඩාරනායක ගුවන් තොටුපොළ වෙත මෙහෙයුම් ආරම්භ කළ අතර, බෙලරුස්හි බෙලාවියා ගුවන් සේවය සහ රුසියාවේ රෙඩ් වින්ග්ස් ගුවන් සේවය මත්තල ජාත්‍යන්තර ගුවන්තොටු පොළ වෙත සිය මෙහෙයුම් ආරම්භ කළේය.


මල් පාරේ වහලයක ගෑස් උණ්ඩ බෑගයක්

 


 

 බිමල් ශ්‍යාමන් ජයසිංහ


අරගල සමයේ රැගෙන ආ බවට සැක කළ හැකි ගෑස් උණ්ඩ 10 ක් අඩංගු බෑගයක් කොළඹ 7 මල් පාර පෞද්ගලික ආයතනයක වහලයෙන් හමුවූ බව කුරුදුවත්ත පොලිසිය පවසයි.කැමා වර්ගයේ බෑගයක එම උණ්ඩ තිබී ඇති අතර කොළඹ දකුණ දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස්  අධිකාරිවරයා විසින් කුරුඳුවත්ත පොලිසියේ වැඩ බලන ස්ථානාධිපතිවරයාට කරන ලද දැනුම් දීමකට අනුව එම ගෑස් උණ්ඩ තොගය සොයා ගැනිණි. 


2022 වර්ෂයේදී අගමැති කාර්යාලය ආසන්නයේ අරගලකරුවන් උද්ඝෝෂණයක නිරත වූ අතර එහිදී ආරක්ෂක අංශ විසින් රැගෙන එනු ලැබූ ගෑස් උණ්ඩ තොගයක් අරගලකරුවන් අතට පත්ව වීසිකරනු ලැබ ඇති බවත් එහිදී මෙම ගොඩනැගිල්ලේ ඒවා රැඳෙන්නට ඇතැයි සැක කරන බවත් උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. ගෑස් උණ්ඩ බහා තිබූ කැමා වර්ගයේ බෑගය සොයාගන්නා මොහොත වනවිට දිරාපත්ව තිබුණු බවද පැවසෙන අතර කුරුඳුවත්ත පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තිලක් කුමාර බණ්ඩාර මහතාගේ උපදෙස් මත පරීක්‍ෂණ පැවැත්වේ.


රෝගීහු අර්බුදයක

 


ෂෙයින් ෆර්නැන්දුපුල්ලේ (ඩේලිමිරර්)


කොළඹ අක්ෂි රෝහල අර්බුදයකට ලක්ව ඇති බවත්, ජ්‍යෙෂ්ඨ පුරවැසියන් ද ඇතුළු රෝගීන් බොහෝ දෙනෙකු අවශ්‍ය සෞඛ්‍ය පහසුකම් ලබා ගැනීමේදී දැඩි ලෙස අපහසුතාවට පත්ව ඇති බවත් වාර්තා වේ. ඩේලි මිරර් පුවත්පත කළ විමසීම වලින් අනාවරණය වී ඇත්තේ, මෙලෙස දැඩි ලෙස පීඩාවට පත් වී සිටින්නේ, මොණරාගල, වවුනියාව, බදුල්ල සහ තංගල්ල වැනි දුර බැහැර ප්‍රදේශවලින් පැමිණෙන රෝගීන් බවය. පැමිණෙන රෝගීන්ට, වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන ස්ථානවල අසුන් ගැනීම සඳහා ඇත්තේ ආසන 50 ක් පමණක් වන නමුත්, රෝගීන් 150 කට වැඩි පිරිසක් පැය පහකට වැඩි කාලයක් තිස්සේ දැඩි අපහසුතාවයකින් සිටගෙන සිටිනු දක්නට ලැබෙන බව ද ඬේලිමිරර් පුවත්පත වාර්තා කරයි. එසේ සිටින රෝගීන්ගෙන් වැඩිදෙනා වයෝවෘද්ධ පුද්ගලයන් බව ද පැවැසෙයි.ඊට අමතරව, ප්‍රතිකාර ලබා දෙන ස්ථානවලට නුදුරින් ඇති වැසිකිළිවලින් නිකුත් වන අධික දුර්ගන්ධය සහ ප්‍රමාණවත් පිරිසුදු වාතාශ්‍රයක් නොමැති වීම ද රෝගීන් තවත් අපහසුතාවට පත් කිරීමට හේතුවක් බව කියයි.


රෝහල් සේවකයන් ඇතුළු කාර්ය මණ්ඩලය, කිසිඳු ගරු සරුවක් නොමැතිව, විශේෂයෙන් අවුරුදු 65ට වැඩි වයෝවෘද්ධ රෝගීන්ට කෑ කෝ ගැසීම ද සිදුවන බව ඇසින් දුටු සාක්ෂි අනුව ඬේලිමිරර් පුවත් පත වැඩි දුරටත් වාර්තා කර ඇත. පැය ගණන් ආසන පවා නොමැතිව දැඩි දුර්ගන්ධයක් මැද සිටගෙන සිටීම, රෝහල් සේවකයන්ගෙන් වාග් ප්‍රහාරවලට මුහුණ දීම ආදී ගැටලු සම්බන්ධයෙන් සායන සඳහා පැමිණෙන රෝගීන් රෝහල් බලධාරින්ට පැමිණිලි කර ඇති බව ද පැවැසෙයි.


ජාතික අක්ෂි රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ඡයරුවන් බණ්ඩාර මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පවසා ඇත්තේ දෛනිකව පැමිණෙන රෝගීන්ගේ තදබදයක් ඇති බවය. "අනෙක් රෝහල් වගේ නෙවෙයි, අප අක්ෂි රෝහලට එන රෝගීන් සංඛ්‍යාව සීමා කරන්නේ නැහැ. රෝගීන් සමග ඔවුන්ගේ පවුල්වල සාමාජිකයන් පවා පැමිණෙනවා. ඒ සියලු දෙනා පාලනය කිරීම ගැටලුවක්. තදබදයක් ඇති වෙන්නේ ඒ නිසයි.” යැයි වෛද්‍ය ජයරුවන් බණ්ඩාර මහතා ඩේලිමිරර් පුවත් පතට පවසා ඇත. මේ අතර, ඇස් කාච හිඟයක් හේතුවෙන් ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම් සඳහා පැමිණෙන රෝගීන් ආපසු හරවා යවන බවට පැතිර යන කටකතා තිබුණ අධ්‍යක්ෂවරයා පැහැදිලි කළේ එවැනි කාච හිඟයක් නොමැති බවය.


කෝටි විසි ලක්ෂයක වංචාවට සුරාබදු 5ක් රිමාන්ඩ්

 


 රෝෂන් තුෂාර


කොළඹ මුහුදු මාවතේ වෙළදසලකින් රුපියල් දස කෝටි විසි ලක්ෂයක මුදලක් සොරා ගත්තේ යැයි අත්අඩංගුවට ගත් සුරාබදු නිලධාරීන් පස්දෙනා ලබන 06 දින හඳුනා ගැනීමේ පෙරටුවකට යොමු කරන ලෙස නියෝග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා සැකකරුවන් ලබන 07 වැනිදා දක්වා රක්ෂිත ඛන්ධනාගාර ගත කිරිමට ද ඊයේ (30) නියෝග කළේය.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගත් සුරාබදු දෙපාර්තමේන්තුවේ මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් වන සැකකරුවන් ආවරණ සහිතව අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියෝග කළේය.මීට දින පහකට පෙර කොළඹ මුහුදු මාවතේ වෙළඳ සලකින් රුපියල් දස කෝටි විසි ලක්ෂයක මුදලක් සොරා ගැනීමේ සිද්ධියකට අදාළව ප්‍රකාශයක් ලබාදීමට පැමිණි අවස්ථාවේ දී ඊයේ පස්වරුවේ දී සැකකරුවන් අත්අඩංගුවට ගත් බවත්, සැකකරුවන් පිළිබඳ විමර්ශන සිදු කරන හෙයින් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙසත් රහස් පොලිසිය අධිකරණයෙන් ඉල්ලා සිටියේය. සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ අනූජ පේමරත්න මහතා කරුණු දක්වමින් කියා සිටියේ පැමිණිල්ල ඉදිරිපත් කරන කරුණු කිසිසේත් පිළිගත නොහැකි බවය.


සොරා ගත්තේ යැයි කියන මුදලින් කොටසක් යළි සැකකරුවන් විසින් ලබා දුන්නේ යැයි කියන පැමිණිලිකරු මෙම පැමිණිල්ල ඉදිරිපත් කිරීමට දින ගණනක් ගතකොට ඇති බවද පැවසීය. කිසියම් අයකු මෙතරම් මුදලක් බැංකු ගත නොකොට සිය සන්තකයේ තබා ගැනීම විශ්වාස කළ නොහැකි බවද පැවසීය. කරුණු සලකා බැලු අතිරේක මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් හඳුනා ගැනීමේ පෙරට්ටුවකට යොමු කිරීමට නියෝග කරමින් ලබන 07 දින දක්වා ආරක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියෝග කළේය.


මම නිවැරැදියි: ඩයනා උසාවියේදී කියයි

 

 


රොෂාන් තුෂාර


ආගාමික හා විගාමික පනත උල්ලංඝනය කරමින් ව්‍යාජ තොරතුරු ඉදිරිපත් කර විදෙස් ගමන් බලපත්‍ර ලබාගැනීම හා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටියේ යැයි කියන චෝදනාවට තමන් නිවැරැදිකාරිය බව හිටපු ඇමැතිනී ඩයනා ගමගේ විත්තිකාරිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා හමුවේදී ඊයේ (30)

ප්‍රකාශ කළාය. ඩයනා ගමගේ විත්තිකාරිය අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් අනතුරුව ඇයට එරෙහිව රහස් පොලිසිය පැවරූ නඩු හතෙහි එක් නඩුවක චෝදනා පත්‍රය අධිකරණ තෝල්ක මුදලි විසින් කියවාදීමෙන් අනතුරුව අදාළ චෝදනාවන්ට තමන් නිවැරැදිකාරිය බව ඩයනා ගමගේ විත්තිකූඩුවේ සිට පැවසුවාය.


2014 ජනවාරි 20 වැනිදා හෝ ඊට ආසන්න දිනක දී බත්තරමුල්ලේදී එන්. 50191386 දරන ගමන් බලපත්‍රය ලබාගැනීම සඳහා අයැදුම් පත්‍රයක් ඉදිරිපත් කිරීම, වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටීම යන චෝදනාවන්ට මෙසේ නිවැරැදිකාරිය බව ඇය කීවාය. මෙම නඩුවට අමතරව 2016 ජූලි මස සිට 2017 ජූලි මස දක්වා 2014 ජූලි මස 17 සිට 2018 ජූලි මස 16 දින දක්වා 2018 ජූලි මස 17 සිට 2019 ජූලි මස 16 දක්වා, 2019 ජූලි මස 17 සිට 2020 ජූලි මස 16 දක්වා, 2020 සිට 2022 නොවැම්බර් පළමුවැනි දින දක්වා වලංගු වීසා බලපත්‍ර නොමැතිව ශ්‍රී ලංකාව තුළ රැඳී සිටිමින් දණ්ඩ නීති සංග්‍රහය යටතේ වරදවල් සිදුකිරීම ඇතුළු චෝදනා යටතේ තවත් නඩු හයක් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය මගින් ගොනුකර ඇති අතර ඊයේ දින එක් නඩුවක චෝදනා පත්‍රය පමණක් කියවා දුන්නේය.


චෝදනා පත්‍රය කියවාදීමෙන් අනතුරුව අදාළ චෝදනාවන්ට නිවැරැදිකාරිය බවට විත්තිකාරිය ප්‍රකාශ කළ හෙයින් නඩුවේ සාක්ෂි විභාගය කිරීමට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. පැමිණිල්ල වෙනුවෙන් රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ අකිලා දල්පදාදු මහත්මිය සාක්ෂි මෙහෙයවූවාය. ආගමන විගමන දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරීනී හංසිකා කුමාරසිරි මහත්මිය මූලික සාක්ෂි දෙමින් විත්තිකාරිය ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉදිරිපත් කර ඇති ලේඛන තොරතුරු සහ වීසා නොමැතිව රැඳී සිටීම සම්බන්ධයෙන් සාක්ෂි ඉදිරිපත් කළාය. අදාළ විදේශ ගමන් බලපත්‍ර අංක ඒවා බාර දුන් දින හා කාල වකවානු සම්බන්ධයෙන් මූලික සාක්ෂි විමසීම සිදුකෙරිණි. දීර්ඝ වශයෙන් සාක්ෂි සලකා බැලීමෙන් පසුව වැඩිදුර සාක්ෂි විභාගය දෙසැම්බර් 15 දින කැඳවීමට මහේස්ත්‍රාත්වරයා දින නියම කළේය.


ලංකාවේ ගැහැනු වැඩියි

 


 දිනේෂ් සමරකෝන්


2024 ජන හා නිවාස සංගණන වාර්තාව අනුව මෙරට ජනගහනය 21,781,800ක් බව අනාවරණය වී ඇත. 2012 ජන හා නිවාස සංගණනය වාර්තාව අනුව මෙරට ජනගහනය 20,359,439ක් විය. එමෙන්ම 2024 වාර්තාව අනුව මෙරට පිරිමි පුද්ගලයන් 10,512,344ක් එනම් ජනගහනයෙන් සියයට 48.3ක් සිටින අතර කාන්තාවන් 11,269,456ක් එනම් ජනගහනයෙන් සියයට 517ක් සිටී.


මේ අතර, වයස අවුරුදු 0-14 අතර පුද්ගලයන් 4,506,839 ක් එනම් ජනගහනයෙන් සියයට 20.7ක් ද, වයස අවුරුදු 15-59 අතර පුද්ගලයන් 13,353,837ක් එනම් ජනගහනයෙන් සියයට 61.3ක්ද, වයස අවුරුදු 60-64 අතර පුද්ගලයන් 1,183,310ක් එනම් ජනගහනයෙන් සියයට 5.4ක් ද, වයස අවුරුදු 65 හෝ ඊට වැඩි පුද්ගලයන් 2, 737,814 ක් එනම් ජනගහනයෙන් සියයට 12.6ක් සිටින බව එම වාර්තාව මගින් පෙන්වා දෙයි. ජනවර්ග අනුව ජනගහනය 2024 වාර්තාව අනුව සිංහල ජාතිකයන් 16,144,037ක් එනම් ජනගහනයෙන් සියයට 74.1ක්ද, ශ්‍රී ලංකා දෙමළ 2,681,627ක් එනම් ජනගහනයෙන් සියයට 12.3ක් ද, ඉන්දියානු දෙමළ | මලෛයහ දෙමළ 600,360ක් එනම් ජනගහනයෙන් සියයට 2.8ක්ද, ශ්‍රී ලංකා යෝනක මුස්ලීම් 2,283, 246ක් එනම් ජනගහනයෙන් සියයට 10.5ක්ද, වෙනත් ජනවර්ගවලට අයත් 72,530ක් එනම් ජනගහනයෙන් සියයට 0.3ක් ද සිටිති. එහිදී 2012ට සාපේක්ෂව සිංහල ජනගහනය සියයට 74.9 සිට 2024 වන විට සියයට 74.1ක් දක්වා සියයට 0.8කින් අඩු වී තිබේ. 


එමෙන්ම ශ්‍රී  ලංකා යෝනක මුස්ලීම් ජනගහනය 2012ට සාපේක්ෂව සියයට 9.3 සිට 2024 වන විට සියයට 10.5ක් දක්වා සියයට 1.2කින් වැඩි වී ඇත. ශ්‍රී ලංකා දෙමළ ජනගහනය 2012ට සාපේක්ෂව සියයට 11.1 සිට 2024 වන විට සියයට 12.3ක් දක්වා සියයට 1.2කින් වැඩි වී තිබේ. එමෙන්ම ඉන්දියානු දෙමළ මලෛහ දෙමළ ප්‍රජාව 2012ට සාපේක්ෂව සියයට 4.1 සිට 2024 වන විට සියයට 4.1 දක්වා සියයට 2.8කින් අඩු වී තිබේ.මේ අතර මෙරට තුළ ආගම අනුව ජනගහනය ගත් විට බෞද්ධ 15,199,093ක් එනම් ජනගහනයෙන් සියයට 68.8ක්ද, හින්දු 2,734,839ක් එනම් ජනගහනයෙන් සියයට 12.6ක්ද, ඉස්ලාම් 2,337,379ක් එනම් ජනගහනයෙන් සියයට 10.7ක් ද, රෝමානු කතෝලික 1,224,348ක් එනම් ජනගහනයෙන් සියයට 5.6ක්ද, වෙනත් ක්‍රිස්තියානි 282,185ක් එනම් ජනගහනයෙන් සියයට 1.3ක්ද, වෙනත් අගමිවලට අයත් 3,956ක් එනම් ජනගහනයෙන් සියයට 0.0ක් ද සිටිති. ශ්‍රී ලංකාවේ පවත්වන ලද ජන සංගණන මාලාවේ 15 වැනි සංගණනය වූ 2024ජන හා නිවාස සංගණනය ගණන් ගැනීමේ අදියර 2024 ඔක්තෝබර් 07 වැනිදා සිට 2025 පෙබරවාරි දෙවැනි සතිය දක්වා සිදු කළ අතර අවසන් වාර්තාව ඊයේ (30) නිකුත් කෙරිණ.


කුණ්ඩසාලේත් පිරමීඩ ජාවාරමක්

 

 


රෝෂන් තුෂාර



වගා ව්‍යාපෘති සහ සංචාරක ක්ෂේත්‍රයේ ආයෝජනය කිරීමෙන් ප්‍රතිලාභ අත්කර දෙන බවට පවසා මුදල වංචා කළේ යැයි කියන කුණ්ඩසාලේ නගරය කේන්දු කොට ගෙන රට පුරා ව්‍යාප්ත කළ තවත් මහා පරිමාණ පිරමීඩ සමාගමක් පිළිබදව විමර්ශන ආරම්භ කළ බව කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ රහස් පොලිසියේ මූල්‍ය අපරාධ වාණිජ විමර්ශන කොට්ඨාසය ඊයේ (30) පැවසීය.


ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය පරිභෝගික සබඳතා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂවරයා කළ පැමිණිල්ලක් අනුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය හා වාණිජ අපරාධ විමර්ශන අංශයේ පොලිස් පරීක්ෂක දංගල්ල මහතා මෙම කරුණු අධිකරණයට ඉදිරිපත් කළේය.

නෙට් ෆො ජාත්‍යන්තර පුද්ගලික සමාගම නමින් පවත්වාගෙන ගිය මෙම නීති විරෝධී පීරමීඩාකාර සමාගමේ අධ්‍යක්ෂවරුන් හය දෙනකු හඳුනාගෙන ඔවුන් සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බවත් ඉදිරියේදී ඔවුන්ට එරෙහිව නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට කටයුතු කරන බවත් පොලිසිය වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කරමින් පැවසීය.


මෙම සමාගමේ මුදල් ආයෝජනය කළ කීප දෙනකු මේ වනවිට රහස් පොලිසියට පැමිණ ප්‍රකාශ දී ඇති බවත්, පිරමීඩාකාර සමාගම රට පුරා ව්‍යාප්ත කළ අලෙවි ප්‍රවර්ධන නිලධාරින් හා සැකකරුවන් සිටී නම් ඉදිරියේදී අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත් කීය. ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා විමර්ශන කඩිනම් කර සැකකරුවන් වහා අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.


පියා නැති රැයේ බලෙන් ගෙට පැනලා: මවකට දූලා දෙන්නාට අතවර කළාට වසර 41 ක් හිරේ

 

 


රෝෂන් තුෂාර


පියා නොසිටි රාත්‍රියක හොරෙන් නිවසට ඇතුළු වී නිදාගෙන සිටි මව සහ දැරියන් දෙදෙනා මරණ බවට බියගන්වා බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරීමේ අධිචෝදනා හතරකට වරදකරු කළ අයකුට වසර 41 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් හෝමාගම මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (30) නියම කළේය.


නිවසට ඇතුළුවීමේ චෝදනාවට වසර පහක සිරදඬුවමක්, මව සහ දැරියන් දෙදෙනා බරපතළ ලිංගික අපයෝජනය කිරිමේ චෝදනාවන් තුනට වසර 12 බැගින් වසර තිස් හයක සිර දඬුවමක් ලෙස නියම කෙරිණි. චෝදනා හතරට රුපියල් 15,000 බැගින් 60,000ක දඩ නියම කළ මහාධිකරණ විනිසුරුවරයා වින්දිතයන්ට රුපියල් ලක්ෂ දෙක බැගින් ලක්ෂ හයක වන්දියක් ගෙවන ලෙසට නියම කළේය. වසර හතළිස් එකක සිර දඬුවම වසර දාහතකින් එකවර ගෙවී යන ලෙසට නියම කළ විනිසුරුවරයා දඩ හා වන්දි නොගෙවන්නේ නම් සිර දඬුවම් කාලය වෙන් වෙන්ව වසර 41කින් ගෙවී යා යුතු බවටද නියෝග කළේය.


ශිව රාස චන්ද්‍රරත්න නොහොත් පෝල් නමැති චූදිතට මෙම දඬුවම් නියම කළේය . 2014.05.13 වන දින වින්දිතයන්ගේ පියා රාජකාරි කටයුත්තක් සඳහා පුත්තලම ප්‍රදේශයට ගොස් සිටියදී නිවසේ ස්ථානයේ මව සහ දැරියන් දෙදෙනා සහ බාල පුතා පමණක් බව දැන දැනම චූදිත එම නිවසට ඇතුළු වී පිහියක් පෙන්වා තර්ජනය කොට වින්දිතයන් තිදෙනා බරපතළ ලිංගික අපයෝජනයට ලක් කිරිම යන චෝදනාවන්ට වරදකරු කරමින් මෙසේ සිර දඬුවම් නියම කළේය.



චූදිත මෙලෙස අයුතු ආකාරයෙන් මෙම නිවසට ඇතුළු වී ස්වාමිපුරුෂයාද නිවසේ නොසිටි අවස්ථාවේදී  ආරක්ෂාවක් නොමැතිව සිටි මෙම කාන්තාව සහ ඇයගේ අවුරුදු 14ක සහ අවුරුදු හයක දැරියන් දෙදෙනාද බරපතළ ලිංගික අපයෝජනයට ලක් කර තිබීම කිසිසේත් සාධාරණීකරණය කළ නොහැකි බව විනිසුරුවරයා සිය තීන්දුව දෙමින් ප්‍රකාශ කළේය.

නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ සයිනී වීරසූරිය මහත්මිය ප්‍රකාශ කර සිටියේ මෙම චූදිතට ගෙවල් බිඳීම සොරකම් කිරීම යන පෙර වැරදි ගණනාවක් තිබෙන බැවින්, පෙර වැරැද්දක් සඳහා අත්හිටවූ සිරදඬුවම් ලබා සිටියදී මෙලෙස අයුතු ලෙස නිවසකට රිංගා කාන්තාවන් තිදෙනකුට බරපතළ ගණයේ ලිංගික අතවර සිදු කිරීම කිසිසේත් සාධාරණීකරණයට ලක් කළ නොහැකි බවය. වින්දිතයන් තිදෙනා මහාධිකරණ විනිසුරුවරයා හමුවේ සඳහන් කර ඇත්තේ තමන්ට අධිකරණය මගින් සාධාරණයක් ඉටුවී ඇති බැවින් වන්දි මුදල් අපේක්‍ෂා නොකරන බවය. අදාළ කරුණු සලකා බැලූ මහාධිකරණ මිනිසුරුවරයා වින්දිතයන්ට ලක්ෂ හයක වන්දියක් ගෙවන ලෙසට චූදිතට නියම කළේය.තවද රුපියල් 60,000ක දඩයක්ද නියම කළේය සැක්කරු වෙනුවෙන් රජයෙන් පත්කළ නීතිඥවරියක් පෙනී සිටියාය.


මියගිය ධීවරයන් දෙදෙනාගේ සිරුරු කොටස් රස පරීක්ෂකට

 


 



 හිරාන් ප්‍රියංකර ජයසිංහ


නොරොව්වෝල, නාරක්කල්ලිය වෙරළට පාවී ආවා යැයි කියන බෝතලයක අඩංගු දෑ පානය කිරීමෙන් මරණයට පත්වූ ධීවරයන් දෙදෙනාගේ සිරුරු කොටස් රජයේ රස පරීක්ෂණකට යවා වැඩිදුර වාර්තාවක් ලබාගැනීමට පුත්තලම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි ප්‍රසන්න අප්පුහාමි මහතා පශ්චාත් මරණ පරීක්ෂණයේදී තීරණය කළේය. ඒ අනුව එම මරණ සම්බන්ධයෙන් විවෘත තීන්දුවක්ද ප්‍රකාශ කෙරිණි.


තොරෝචෝල, නාරක්කල්ලිය මාදැල් වාඩියක ධීවරයන් හත් දෙනකු මත්පැන් යැයි සිතා වෙරළට පාවී ආ බව කියන බෝතලයක අඩංගු දියරයක් පානය කිරීමෙන් පසු මරණයට පත්වූ ධීවරයන් දෙදෙනාගේ මරණ සම්බන්ධ පශ්චාත් මරණ පරික්ෂණය පුත්තලම මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණි.මෙම සිද්ධියෙන් මරණයට පත්වූ පුත්තලම, පැරැණි මන්නාරම මාර්ගයේ 4 කණුව හා 3 කණුව ප්‍රදේශවල පදිංචි 34 හැවිරිදි අවිවාහකයකු වූ තුෂාර සම්පත් හා තිදරු පියකු වූ 40 හැවිරිදි මුනිසාමි විස්වා නමැති ධීවරයන් දෙදෙනෙකි.


නාරක්කල්ලිය මාදැල් වාඩියක සේවය කරමින් සිටි ධීවරයන් පිරිසක් අතරින් එක් ධීවරයකු තමන්ට වෙරළ තීරයට ගොඩගසා තිබියදී හමුවූ බව කියමින් මත්පැන් යැයි පැවසෙන බෝතලයකින් ප්ලාසිටික් බෝතලයකට දමාගෙන හමුවූ බව කියන බෝතලය විසි කළ බවත් එම බෝතලය තුළ තිබූ මත්පැන්වලට සමාන දෙයක් සෙසු ධීවරයන් සමග බෙදා ගෙන පානය කර ඇති බවත් කියයි. නොරෝචෝල පොලිසියේ පොලිස් සැරයන් 41195 රණතුංග මහතා සාක්ෂි මෙහෙය විය.


සෙව්වන්දිගේ හොර පාස්පෝට් නේපාලයේ දී මාට්ටු වෙලා

 

 



ගයාන් සූරියආරච්චි


සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජිව නමැත්තා ඝාතන සිද්ධියේ මහ මොළකාරිය ලෙස සැලකෙන ඉෂාරා සෙව්වන්දි නමැත්තිය සංවිධානාත්මක අපරාධකරුවකු වන ජේ.කේ. බායි නමැත්තා සමග නේපාලයට පලායාමෙන් අනතුරුව එහිදී සාදා ගත් ව්‍යාප් තුර්කි ගුවන් ගමන් බලපත්‍රයේ තිබූ මුදුණ දෝෂයක් හේතුවෙන් නේපාල ආගමන විගමන දෙපාර්තමේන්තුව එය සිය භාරයට ගෙන තිබූ බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත. අනතුරුව ජේ.කේ. බායි නමැත්තා වෙනත් ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සාදා ගැනීම සඳහා සෙව්වන්දිගේ රුවට සමාන තක්ෂි නමැති කාන්තාව ඉන්දියාවේ සිට නේපාලයට ගෙන්වාගෙන තිබූ බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී යැයි ද කියයි.


 

යාපනයේ තක්ෂි නමැති කාන්තාව ඉෂාරා සෙව්වන්දිගේ රුවට සමාන බැවින් ඇය නේපාලයට ගෙන්වා ඇයගේ ගුවන් ගමන් බලපත්‍රය මාර්ගයෙන් වෙනත් ගුවන් ගමන් බල පත්‍රයක් ව්‍යාජව සාදාගෙන තුර්කියට ගොස් අනතුරුව මැලේසියාවට ගමන් කිරීමට සැලසුම් කර තිබූ බව පොලිසිය පවසයි. ඉෂාරා සෙව්වන්දි ජේ.කේ. බායි සහ සිලෝන් බායි නමැත්තන් සමග මාසයක් පමණ නේපාලයේ එකම කාමරයක සිට ඇති බවත් පසුව ඇය වෙනත් මහල් ගොඩනැගිල්ලක කාමරයක නවාතැන් ගෙන සිටි බවත් පොලිස් විමර්ශන වල  දී හෙළි වී ඇත. බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි රොහාන් ඕලුගල, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරින් ඇතුළු පොලිස් කණ්ඩායමක් ඉතා රහසිගතව කළ විමර්ශන වලින් අනතුරුව නේපාලයේ කත්මණ්ඩු නුවර සැඟවී සිටි ඉෂාරා සෙව්වන්දි, ජේ.කේ. බායි, ජැෆ්තා සුරේෂ්, තක්ෂි, ගම්පහ බබා සහ නුගේගොඩ බබී නැමැත්තන් ඇතුළු සැකකරුවෝ එරට පොලිසියේ නිලධාරින් විසින් ඉකුත් සැප්තැම්බර් 13 වැනිදා අත්අඩංගුවට ගනු ලැබූහ.


අනතුරුව සැකකරුවන් කටුනායක ගුවන් තොටුපොළට රැගෙන ඒමෙන් අනතුරුව ඉෂාරා සෙව්වන්දි, ජේ.කේ. බායි, ජැෆ්තා සුරේෂ්, තක්ෂි යන කණ්ඩායම කොළඹ අපරාධ කොට්ඨාසයටත්, නුගේගොඩ බෝ නැමැත්තා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයටත්, ගම්පහ බබා නැමැත්තා බස්නාහිර පළාත් උතුර අපරාධ කොට්ඨාසයටත් බාර දී තිබුණි. සංවිධානාත්මක අපරාධ කල්ලි නායක ගණේමුල්ල සංජීව නැමැත්තා අධිකරණ සංකීර්ණයේ දී වෙඩි තබා ඝාතනය කිරීම සඳහා ඉෂාරා සෙව්වන්දිට නඩු විධාන සංග්‍රහයේ පිටපතක් සහ නීති පොත්, නීතිඥ කබායක්, ටයි පටි දෙකක් සහ නීතිඥවරුන් මෝටර් රථයේ අලවන ස්ටිකරයක් ලබාදුන් බව කියන නීතිඥවරියක් ද කඩවත ප්‍රදේශයේ දී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වාණිජ අපරාධ විමර්ශන අංශයේ නිලධාරින් විසින් ඉකුත් දා අත්අඩංගුවට ගනු ලැබුවාය.


ලක්ෂ 18 ක බයිසිකලයකින් ඔත්තු බලා ලක්ෂ 10 ක හොර හරක් ලොරියකින් ඇදලා

 


| ඛණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ රුපියල් ලක්ෂ 18 ක් පමණ වටිනා නවීන පන්නයේ යතුරුපැදියක් ඔත්තු බැලීම සඳහා ඉදිරිපසින් යොදාගෙන මස් පිණිස ප්‍රවාහනය කළ බවට සැක කෙරෙන රුපියල් ලක්ෂ 10 කට ආසන්න වටිනාකමකින් යුත් මී භවයින් පුවාහනය කළ අධි ශීතකරණ සවිකළ ලොරි රථයක් සමග සැකකරුවන් දෙදෙනකු මොරගහහේන, ගමගොඩ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව මොරගහහේන  පොලිසිය පවසයි. එම සැකකරුවන් සමග ලොරි රථයට සහ නවීන පන්නයේ යතුරුපැදියට අමතරව මීගවයන් තිදෙනකුද පොලිස් භාරයට ගෙන ඇත.


සැකකරුවන් වැල්ලවත්ත ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 26 - 32 වයස්වල පසු වන්නන් බව පොලිසිය පවසයි. මොරගහහේන, ගමගොඩ මාර්ගයේ බලපත්‍ර රහිතව හොර රහසේ ගීතාගාර ලොරි රථයකින් ගවයන් ප්‍රවාහනය කරන බවට පොලිස් නිලධාරීන්ට ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් යොදවා – සිදුකළ වැටලීමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත. මෙම ගීතාගාර ලොරි රථය කුලී පදනම මත ලබාගෙන ඇතුළත අමතර අංග උපාංග සවිකර ගවයන් ප්‍රවාහනය සඳහාම යොදාගෙන ඇති බවට පොලිසිය සැක කරන අතර මොරගහහේන පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි. සැකකරුවන් මෙම ගවයන් සොරාගෙන ඇද්ද යන්න සොයා වැඩිදුර විමර්ශන සිදු කරන බව පොලිසිය කියයි.


දුම්රියේ ගැටෙන අලි මරණ වළකන වැඩපිළිවෙළ උසාවි ගේන්න

 


රන්ජන් කටුගම්පොල


දුම්රියවල ගැටී සිදුවන අලි ඇතුන්ගේ මරණ වැළැක්වීම සදහා සුදුසු වැඩපිළිවෙළක් සකස් කර ඒ පිළිබද වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය බලධාරීන්ට නියෝග කළේය. දුම්රියවල ගැටී සිදුවන අලි මරණ වැළැක්වීමට කටයුතු නොකිරීමෙන් මූලික අයිතිවාසිකම් කඩවන වන බව සඳහන් කරමින් පරිසර යුක්ති කේන්ද්‍රය ඇතුළු පාර්ශ්ව කීපයක් ගොනුකර තිබූ පෙත්සම් ඊයේ කැඳවූ ශ්‍රේෂ්ඨාධිකරණය මෙසේ නියෝග කළේය. පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් වනජීවී අධ්‍යක්ෂ ජනරාල්වරයා ඇතුළු පිරිසක් නම් කරනු ලැබ සිටිති.


මෙම පෙතසම් කැඳවූ අවස්ථාවේදී පරිසර යුක්ති කේන්ද්‍රය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ආචාර්ය රවින්දුනාත් දාබරේ මහතා අධිකරණය හමුවේ කරුණු දක්වමින් දුම්රියවල ගැටී සිදුවන අලි මරණ වැළැක්වීම සඳහා වැඩපිළිවෙලක් සකස් කර තිබෙන බව රජයේ නිලධාරින් විසින් ප්‍රකාශ කළත් අලි මරණ නොකඩවා  වාර්තා වන තත්වයක් පවතින බව සඳහන් කළේය. අලි මරණ වැළැක්වීම සඳහා දැනට සකස් කර තිබෙන වැඩ පිළිවෙළ ක්‍රියාත්මක කරන දින වකවානු පිළිබඳව අධිකරණයට දැනුවත් කළ යුතු බවත් එම වැඩ පිළිවෙළ අධිකරණයේ අධීක්ෂණය යටතේ වෙනස් කිරීම්වලට භාජන කළ යුතු නම් ඊට අවශ්‍ය පියවර ගැනීම වැදගත් බවත් නීතිඥවරයා කියා සිටියේය.


නීතිපති වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් අවන්ති පෙරේරා මහත්මිය අධිකරණයට දැනුම් දුන්නේ දුම්රියවල ගැටී සිදුවන අලි මරණ වැළැක්වීම සඳහා විවිධ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවයි. නමුත් මූල්‍යමය වශයෙන් මතු වී ඇති බාධා නිසා ඇතැම් කටයුතුවල ප්‍රමාදයක් හටගෙන ඇති බවත් ඇය අධිකරණය හමුවේ පෙන්වා දුන්නාය. මෙහිදී පෙත්සම්කර පාර්ශ්වයේ නීතිඥවරයා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ ඉන්දියාව, පාකිස්තානය වැනි රටවලද මෙවැනි අලි මරණ වැළැක්වීමේ වැඩසටහන් ක්‍රියාත්මක කරන බවත් ඒ සඳහා සත්ව අයිතිවාසිකම් සම්බන්ධයෙන් ක්‍රියාත්මක විදේශීය ආයතනවල සහාය ලබාගෙන ඇති බවත් පෙන්වා දුන්නේය. ශ්‍රී ලංකා රජයටත් එවැනි විදේශීය ආයතන වලින් සහය ලබාගෙන මෙම කටයුතු සාර්ථක කර ගැනීමට හැකියාව ඇති බවත් නීතිඥවරයා පැවසීය.


කෙසේ වෙතත් ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අධිකරණය සඳහන් කළේ අලි මරණ වැළැක්වීම සඳහා විධිමත් වැඩපිළිවෙළක් සකස් කිරීම අවශ්‍ය බවයි.මේ පිළිබඳ වැඩිදුර කරුණු සලකා බැලීම සඳහා අදාළ පෙත්සම ලබන පෙබරවාරි මස 18 වනදා කැඳවන ලෙසද නියෝග කෙරිණි.


සෆියා කියන්නේ බොහොම නිහඬ චරිතයක්: ඇගේ අවධානය අධිෂ්ඨානය අපූරුයි

 



මොහොමඩ් ආසික්



“මට තියෙන්නේ 2028 ඔලිම්පික් උළෙලේදී ශ්‍රී ලංකාව නියෝජනය කරලා, අපේ රටට පදක්කමක් ගේන එක එකම සිහිනයයි. ඒ වෙනුවෙන් මම දිගටම වෙහෙස වී පුහුණුවීම් කරනවා. මේ ජයග්‍රහණය මහේ හමනට තවත් විශාල ශක්තියක්,”යැයි ඉන්දියාවේ රංචිහි පැවැති දකුණු ආසියානු ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා තරඟාවලියේදී රන් පදක්කම් තුනක් ලබා ගෙන වාර්තා තුනක්ද තබමින් දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩිකාව ලෙස සිය නම සනිටුහන් කර ගත් මහනුවර විහාර මහා දේවි විදුහලේ ආදි ශිෂ්‍යාවක වන සෆියා යමක් ක්‍රීඩිකාව පැවසුවාය.


වසර 17 කට පසුව පැවැති මෙම තරඟාවලිය තුළ. වීරවරියක ලෙස ඉස්මතුවී ආ සෆියා යමික් ක්‍රීඩිකාව මෙම තරඟාවලියේදී මීටර් 100, මීටර් 200 සහ මීටර් 4x100 සහය දිවීමේ ඉසව්වලින් රන් පදක්කම් තුනක් දිනා ගනිමින් මලල ක්‍රීඩා ඉතිහාසයේ තම නම සනිටුහන් කර ගන්නට සමත් වූවාය. මෙම තරඟාවලියේදී සෆියා යමික් මීටර් 200 ඉසව්ව තත්පර 23.58 ක නව ශූරතා වාර්තාවක් තබමින් ජයග්‍රහණය කළ අතර, එමඟින් ඉන්දීය කෙටි දුර ධාවන ශූරියක වූ පී.ටී. ඌෂා විසින් මෙයට වසර 27 කට පෙර පිහිටුවා තිබූ වාර්තාව බිඳ දැමීමට මෙවර අපේ රටින් ඉදිරිපත් වූ සෆියා යමික් සමත් වූවාය.


මීටර් 100 ඉසව්වෙන් (තත්පර 11.53, නව වාර්තාවක් සමග) සහ 4x100m සහය දිවීමේ ඉසව්වේදී ද ඇය ශ්‍රී ලංකා කණ්ඩායමට රන් පදක්කමක් දිනා දීමට සමත් වූවාය. මේ නිසා ඇය මේ වන විට "දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩිකාව ලෙසින් කිරුළු දරා සිටින්නීය. ලෝකය හමුවේ උපන් රට රතින් සැරසූ ඇය පෙරළා පැමිණීමෙන් පසුව සිය අදහස් මෙසේ සඳහන් කළාය.


"මට ලැබුණු මේ ජයග්‍රහණ ගැන මට කියන්න වචන නැහැ. මම මුල ඉඳලම ඉලක්කයක් කරා ගමන් කරා මගේ එකම බලාපොරොත්තුව තිබුණේ රන් පදක්කම් ලංකාවට ගේන්න. මම දකුණු ආසියා තරගයකට සහභාගි වූ පළමු අවස්ථාවේදීම මීටර් 100 සහ 200 තරඟවලින් රන් පදක්කම් දිනා ගන්නට හැකි වීම ගැන සතුටුයි. මේ ජයග්‍රහණය මගේ පෞද්ගලික ජයග්‍රහණයක් නෙවෙයි. මගේ පාසල වන විහාර මහා දේවි බාලිකා මහ විදුහලෙන් ලැබුණු සහාය කියා නිම කරන්න බෑ. ඒ වගේම මගේ දෙමාපියන්ගෙන්ද මට විශාල ශක්තියක් ලැබුණා. මගේ පුහුණුකරු වන එස්.  විතානගේ මමහතා මේ ජයග්‍රහණය කරා යාමට මාහට දුන් පුහුණුවත් සහයෝගයත් අති විශාලයි.  එතුමා නිරන්තරයෙන්  මා පසුපස සිට මට ශක්තිය ලබා දුන්නා. නිරන්තරයෙන් මට ආශිර්වාද කරමින් මේ ජයග්‍රහණය පිටුපස සිටි සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාටත් මම ස්තුති වන්ත වෙනවා.එ වගේම මගේ ඉදිරි බලාපො රොත්තු රැසක් සමගින් ඉදිරියටම යන අධිෂ්ඨානයෙන් මම වැඩ කර ගෙන යනවා.


දකුණු ආසියාවේ වේගවත්ම ක්‍රීඩිකාව ලෙස තම දියණිය අභිෂේක ලබද්දි දෙමාපියන්ට ඇති වන සතුට කියා නිම කරන්න බෑ. මේ සෆියාගේ පියා වන ජේ.එම්.යමික් මහතාගේ හදවතින්ම මතුව ආ අදහස් මේ.


"අපි මුල ඉඳන්ම දරුවාගේ දක්ෂතාව විශ්වාස කළා. ඇය ක්‍රීඩාවට දක්වන කැමැත්ත දැකලා, අපි මව්පියන් හැටියට කරන්න පුළුවන් හැම දේම කළා. ඇය උදේ පාන්දරම නැගිටලා පුහුණු වෙන හැටි දැක්කාම අපිට ලොකු දිරියක් ලැබුණා. මේ වගේ දක්ෂතා පෙන්වන්නට දරුවන්ට අවස්ථාව ලැබීම ගැන අපි සතුටු වෙනවා. ඇය හැම විටම හිස නමා, නිහතමානීව වැඩ කළා. ඒ නිහතමානිකම නිසයි අද මේ ජයග්‍රහණය ඇය සතුටින් බාර ගන්නේ” යැයි ඔහු පවසා සිටියේ දෑස්වල කදුළු පුරවාගෙනය.


වසර දහයකට වැඩි කාලයක් ඇය පසුපස සිට ඇයගේ මේ ජයග්‍රහණය කරා ගෙන ගිය ඇයගේ ජ්‍යෙෂ්ඨ පුහුණුකරු එස්.පී.විතානගේ මහතා තමා විසින් පුහුණු කළ ක්‍රීඩිකාවක ආසියාවම ජය ගැනීම ගැන. ලංකාදීපයට මෙසේ සිය අදහස් දැක්වීය.


“ඇත්තටම සෆියා දියණියගේ මේ ජයග්‍රහණය ගැන ඇයගේ මාපියන් තරමටම සතුටු වන කෙනෙක් තමයි මම. මම ඇයව පුහුණුව සඳහා භාර ගත්තේ විහාරමහා දේවි විද්‍යාලයේ සිසුවියක්ව සිටියදී 2014 මුලදී ඇය යොමු වෙලා හිටියේ වෙනත් ඉසව්වලට. නමුත් මම ඇයගේ දස්කම් හඳුනා ගෙන මීටර් 100, 200 කරා යොමු කළා.


ඒ අනුව ඇය එන්න එන්නම දස්කම් වැඩි කර ගත්තා. මම මුලින්ම දැන ගත්තා. මේ ක්‍රීඩිකාව ඉදිරියට යනවා කියලා ඒ නිසාම මම මගේ වසර 30 කට ආසන්න පුහුණුකරුවකු ලෙස ලබා ගත් දැනුම උපයෝගි කර ගෙන මනා සැලැස්මක් සකස් කරලා ඒ අනුව ඇයව මෙහෙයවූවා. පසුව ඇයව හමුදාවේ ක්‍රීඩා කණ්ඩායමට සම්බන්ධ කර ගන්න පුළුවන් වුණා. එහෙම ආව ගමන තමයි අද මේ ජයග්‍රහණය. මා ඇය පුහුණු කළ කාලය තුළ ඇයගේ සියලු වගකීම භාර ගෙන අභියෝග රැසක් මැද ඇයම මේ තත්ත්වයට ගෙන ආවා. මුස්ලිම් දැරියක් මේ වගේ තත්වයකට ගෙන එක ඉතාම අභියෝගාත්මකයි. නමුත් ඒ සියල්ල ජයග්‍රහණය කරන්න අපට පුළුවන් වුණා. අපි යන ගමන තව දුරයි. 



සෆියාගේ මේ ජයග්‍රහණය වෙනුවෙන් සහාය දුන් සියලු දෙනාට මම පුහුණුකරු හැටියටත් ස්තුතිවන්ත වනවා යැයිද ඔහු කීය. සෆියා යමික් මෙම ජයග්‍රහණයන් ලබා ගැනීමත් සමග මාධ්‍ය  බොහෝ දෑ කතා කළද ඇයගේ පුහුණුකරු ලෙස තමන් ගැන වැඩි අවධානයක් යොමු නොවීම ගැන ඔහු තුළ කනස්සල්ලක්ද තිබෙනු දැකිය හැකිය.


“සෆියා කියන්නේ පුහුණුවීම් කරනකොට බොහොම නිහඬ, නමුත් දැඩි විනයක් තියෙන ක්‍රීඩිකාවක්. ඇයට තිබුණු අභියෝග බොහොමයි. විශේෂයෙන්ම, මේ වගේ තරගයකට යනකොට මානසිකව සුදානම් වීමත්, ඒ වගේම ශාරිරිකව ඉහළම මටේට්ටමක පවත්වා ගැනීමත් ලොකු අභියෝගයක්. නමුත් ඇය කිසිවිටෙකත් පුහුණුවීම් මගහැරියේ නැහැ. නැහැ. ඇගේ අවධානය සහ අධිෂ්ඨානය අපූරුයි. සෆියා යමික් ක්‍රීඩිකාවගේ පුහුණුකරු වන ජ්‍යෙෂ්ඨ මලල ක්‍රීඩා පුහුණුකරු එස්.පී.විතානගේ මහතා කියයි


සෆියා යමින්ගේ මෙම රන් පදක්කම් ත්‍රීත්වයේ ජයග්‍රහණය ශ්‍රී ලංකාවේ මලල ක්‍රීඩා ඉතිහාසයේ නව පිටුවක් පෙරළා තිබේ. ඇයගේ ජයග්‍රහණය පුද්ගලික සන්ධිස්ථානයක් පමණක් නොව, එය දේශයම ආඩම්බරයට පත් කිරීමට සමත්ව තිබේ. අනාගතයේදී සෆියා යාමික් දකුණු ආසියාවේ පමණක් නොව, ලෝක ජාත්‍යන්තර ක්‍රීඩාංගණවලදී ද ශ්‍රී ලංකාවට ගෞරවයක් ගෙන දෙනු ඇතැයි අපට විශ්වාස කළ හැකිය. ඇයගේ කතාව සිහිනයක් සැබෑ කර ගැනීම  සදහා නොපසුබට උත්සහාය විනය සහ  මුල්කාලීන සහයෝගය කෙතරම් බලවචත් දැයි පෙන්වන සාක්ෂියකි.



මැලේරියා-ඩෙංගු-බරවා හොඳටම හිස ඔසවලා



 නිමල කොඩිතුවක්කු


ඉකුත් වසරට සාපේක්ෂව මේ වසරේ ඩෙංගු, මැලේරියාව සහ බරවා රෝග ව්‍යාප්තියේ වර්ධනයක් පෙන්නුම් කරන බව සෞඛ්‍ය අංශ පවසයි. වසරේ ගතවූ කාලයේ මෙරටින් ඩෙංගු මරණ 22 ක් සහ ඩෙංගු රෝගීන් 41551 ක් වාර්තා වී ඇතැයි ජාතික ඩෙංගු මර්දන ඒකකය කියයි. පසුගිය වසරේදී වාර්තා වී ඇත්තේ ඩෙංගු රෝගීන් 49,870 ක් සහ ඩෙංගු මරණ 24 ක් බවත් ජාතික ඩෙංගු මර්දන ඒකකයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ප්‍රසීලා සමරවීර මහත්මිය ලංකාදීපයට පැවසුවාය. කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, මහනුවර, යාපනය, මඩකළපුව, කුරුණෑගල සහ කෑගල්ල දිස්ත්‍රික්ක ඩෙංගු අවදානම් කලාප ලෙස හඳුනාගෙන ඇති බව සමරවීර මහත්මිය කීවාය.


සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාවෙන් වැඩි ප්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වාර්තා වී ඇතැයිද විශේෂඥ වෛද්‍යවරිය ප්‍රකාශ කළාය. පවතින අධික වර්ෂාවත් සමග ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ අවදානමක් පවතින බවද ඇය පැවසුවාය. ඩෙංගු අවදානම පවතින සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස ඉලක්ක කරමින් ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක බවත් විශේෂඥ වෛද්‍යවරිය කීවාය. පවතින වර්ෂාවත් සමග වර්ධනය වන මදුරු ඝනත්වය පාලනය කිරීම සඳහා ඉදිරි දිනවලදී මදුරුවන් බෝ වන ස්ථාන විනාශ කිරීමට පියවර ගන්නැයි ජනතාවගෙන් ඉල්ලීමක් කරන බවද ඇය පැවසුවාය.


එමෙන්ම දින දෙකකට වඩා උණ වැළඳී ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසත් විශේෂඥ වෛද්‍යවරිය තවදුරටත් ප්‍රකාශ කළාය. මේ අතර පසුගිය වසරට සාපේක්ෂව මැලේරියා රෝගීන්ගේ වර්ධනයක් ඇතැයි මැලේරියා මර්දන ව්‍යාපාරය කියයි.පසුගිය වසරේදී මැලේරියා රෝගීන් 38 ක් සහ මරණයක් වාර්තා වී ඇති අතර මේ වසරේ මුල් මාස 10 තුළ මැලේරියා රෝගීන් 37 ක් සහ එක් මරණයක් වාර්තා වී ඇතැයි මැලේරියා මර්දන ව්‍යාපාරයේ ප්‍රජා විශේෂඥ වෛද්‍ය ඉන්දීවරී ගුණරත්න මහත්මිය පැවසුවාය.මැලේරියා වාර්තා වී ඇති පුද්ගලයන්ගෙන් සියයට 90 ක් පමණ අප්‍රිකානු රටවල සිට පැමිණෙන අය බවත් විශේෂඥ වෛද්‍යවරිය කීවාය.


මැලේරියාව වැළඳී ඇති පිරිසෙන් සියයට83ක්ම පිරිමි පුද්ගලයන් සහ සියයට 80ක්ම ශ්‍රී ලාංකිකයන් බවත් ඇය ප්‍රකාශ කළාය. Plsmodium falciparumයන මැලේරියා පරපෝෂිතයා ආසාදිතයන් මොලේ මැලේරියාව සහ සියලුම අවයවවල සංකූලතා ඇතිකරන මාරාන්තික තත්වයන්ට පත්වන බවත් එම තත්වය රෝගීන් අතුරින් සියයට77ක් බවත් විශේෂඥ වෛද්‍යවරිය පැවසුවාය. මැලේරියා අවදානම් කාණ්ඩ ලෙස අප්‍රිකානු රටවලට විවිධ රැකියා සඳහා පිටත්ව යන පිරිස් සහ වන්දනාවේ යන පුද්ගලයින් හඳුනාගෙන ඇති බැවින් ඔවුන් මැලේරියාව වළක්වාගැනීමේ ඖෂධ ලබා ගැනීම අනිවාර්ය බවත් ඇය කීවාය.

අප්‍රිකානු රටවල සංචාරයේ යෙදීමේදී සහ යළි පැමිණීමේදී මැලේරියා මර්දන ව්‍යාපාරය සහ ප්‍රාදේශීය මැලේරියා මර්දන ඒකක වලදී මැලේරියා මර්දන ප්‍රතිකාර සඳහා යොමුවීම අත්‍යවශ්‍ය බවත් ඉන්දීවර් ගුණරත්න මහත්මිය පැවසුවාය. මැලේරියා රෝග ලක්ෂණ ඩෙංගු වැනි රෝග ලක්ෂණවලට බොහෝ සෙයින් සමාන බැවින් සැක සහිත රෝගීන් මැලේරියා පරීක්ෂණයක් සිදුකර වෛද්‍ය ප්‍රතිකාර ලබාගත යුතු බවත් ඇය කීවාය.


මේ අතර පසුගිය වසරට සාපේක්ෂව බරවා රෝගීන්ගේ වර්ධනයක් මේ වසරේදී පෙන්නුම් කරන බව බරවා මර්දන ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ප්‍රසංග සේරසිංහ මහතා පැවසීය. පසුගිය වසරේ බරවා රෝගීන් 28ක් වාර්තා වූ බවත් එය මේ වසරේ මුල් මාස 10 තුළ 30 දක්වා ඉහළ ගොස් ඇති බවත් ඔහු කීය.



කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, පුත්තලම සහ කුරුණෑගල දිස්ත්‍රික්ක වලින් මෙම රෝගීන් වාර්තා වන බවත් සේරසිංහ මහතා පැවසීය.මුල් අවස්ථාවේදීම ප්‍රතිකාර නොගතහොත් බරවා රෝගයේ සංකූලතා ඉහළ යාමෙන් විකෘතිතා ඇති විය හැකි බවත් ඔහු ප්‍රකාශ කළේය. බරවා රෝගීන් හඳුනාගැනීමක් කරන්නේ රාත්‍රි කාලයේදී අදාළ ප්‍රජාව තුළ සිදුකරන විශේෂ රුධිර පටල පරීක්ෂාවන් මගින් බැවින් බරවා පරික්ෂාවන් සඳහා රාත්‍රි කාලයේ නිවෙස්වලට පැමිණෙන මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ඇතුළු නිලධාරීන්ට සහාය දෙන ලෙස සේරසිංහ මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.



ගෝඨාගේ සීනි නඩුවට ජනපති අනුර උසාවියට

 


 


රන්ජන් කටුගම්පොල


ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති සමයේ ආනයනික සීනි සඳහා පැනවූ බදු අඩු කිරීමෙන් රජයට රුපියල් කෝටි 1590ක මුදලක් පාඩු කිරීමේ නඩුව සම්බන්ධයෙන් කරුණු දක්වන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාට සහ මුදල් අමාත්‍යාංශයේ ලේකම් හර්ෂණ සූරියප්පෙරුම මහතාට ඊයේ (30) නියම කළේය. මුදල් අමාත්‍යවරයා වශයෙන් අනුර කුමාර දිසානායක මහතාට එලෙස කරුණු දක්වන ලෙස නියම කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය නොතිසි නිකුත් කරන ලද්දේ අමාත්‍ය සුනිල් හදුන්නෙත්ති මහතා ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සම්බන්ධයෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුවය. 


අගවිනිසුරු ප්‍රීති පද්මන් සුරසේන ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන මහින්ද සමයවර්ධන සහ කුමුදුනි වික්‍රමසිංහ යන මහත්ම මහත්මින්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ලක් හමුවේ පෙත්සම කැඳවනු ලැබීය. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ගොනුකර තිබූ මෙම පෙත්සම් වගඋත්තරකරුවන් වශයෙන් මුදල් අමාත්‍යාංශ ලේකම්වරයා, ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනයේ සභාපතිවරයා, පිරමීඩ විල්මා පෞද්ගලික සමාගම, එහි අධ්‍යක්ෂ සජන් මඩුසුන්, පාරිභෝගික සේවා අධිකාරියේ සභාපතිවරයා සහ නීතිපතිවරයා නම් කර තිබූ අතර පෙත්සම්කාර පාර්ශවය කළ ඉල්ලීමක් පිළිගත් ශ්‍රේෂ්ඨාධිකරණය වත්මන් මුදල් අමාත්‍යවරයා සහ මුදල් අමාත්‍යාංශ යේ ලේකම්වරයා පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් නම් කිරිමට ද අවසර දුන්නේය.


දේශීය සීනි නිෂ්පාදනය දිරිපත් කිරීම සඳහා ආනයනික සීනි සඳහා රුපියල් 50/- ක බද්දක් පැනවීමට 2020 වසරේදී ගැසට් නිවේදනයක් නිකුත් කර තිබූ අතර බද්ද එකවරම ශත විසිපහක් දක්වා අඩු කෙරුණු බවත්, රුපියල් 50/- ක්ව තිබූ බද්ද ශත 25 දක්වා අඩු කිරීමේ දී ලැබෙන ලාභය ජනතාවට ලැබිය හැකි පරිදි ඒකාබද්ධ අරමුදලට බැර කිරීමට නියමිතව ඇති බවත් සඳහන් කරන පෙත්සම 2020 නොවැම්බර් 10 වැනිදා පාරිභෝගික කටයුතු අධිකාරිය සීනි සඳහා උපරිම මිලක් නියම කළ බවද සඳහන් කර ඇත.


වගඋත්තරකාර පිරමීඩ් විල්මා පෞද්ගලික සමාගම, බදු මුදල් අඩුකළ අවස්ථාවේ දී මිලදී ගත් සීනි ලැබෙන ලාභය ඒකාබද්ධ අරමුදලට බැර කළ යුතු වුවත් අදාළ ලාභය ඒකාබද්ධ අරමුදලට බැර නොකර එම සමාගමටම ලැබීමෙන් රජයට රුපියල් 15,951,598,724.00ක පාඩුවක් වී ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරු රුපියල් 50/-ක්ව තිබූ බදු මුදල ශත විසිපහක් දක්වා අඩු කිරීමේ දී ලැබිය යුතු සහනය ජනතාවට නොලැබීමෙන් මූලික අයිතිවාසිකම් කඩ වී ඇතැයි ප්‍රකාශ කරන ලෙස අධිකරණයෙන් ඉල්ලා සිටී. ඒ වෙනුවෙන් රුපියල් මිලියන පන්සියයක වන්දියක් සීනි ආනයනය කළ පිරමීඩ් විල්මා පෞද්ගලික සමාගම ඇතුළු වග උත්තරකරුවන්ගෙන් අයකර ගැනීමට නියම කරන්නැයි ද පෙත්සම්කරු ඉල්ලා සිටී.


පෙත්සම සලකා බැලු අවස්ථාවේ දී පෙත්සම්කාර අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම්.ඒ. සුමන්තිරන් මහතා කරුණු දක්වමින් පෙත්සම සම්බන්ධයෙන් වගඋත්තරකරුවන් වශයෙන් නම් කර ඇති පුද්ගලයන්ගේ තනතුරු වෙනස් වී ඇති බැවින් වර්තමානයේ එම තනතුරු දරන පුද්ගලයන් ඇතුළත් කර පෙත්සම සංශෝධනය කිරිමට අවසර ලබාදෙන ලෙසත් ඔවුන්ට නොතිසි නිකුත් කරන ලෙසත් ඉල්ලා සිටියේය.

නීතිපතිවයා වෙනුවෙන් පෙනී සිටි රජයේ ජ්‍යෙෂ්ඨ නීතිඥ හසිනි ඕපාත මහත්මිය කරුණු දක්වමින් සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කළ පරීක්ෂණයේ දී මෙම වංචාව සිදුවී ඇති බවට කරුණු අනාවරණය නොවූ හෙයින් මෙම පෙත්සමට පදනමක් නැතැයි පෙන්වා දුන්නාය. කරුණු සැලකිල්ලට ගනිමින් පෙත්සම සංශෝධනය කිරිමට අවසර දුන් ශ්‍රේෂ්ඨාධිකරණය වගඋත්තරකරුවන්ට ජනවාරි 19 වැනිදා කරුණු දක්වන නියෝග කරමින් නොතීසි නිකුත් කළේය.


Thursday, October 30, 2025

නීතිඥවරියකට සමාජ මාධ්‍යයෙන් අපහාස කිරීම

 


 


කුමුදු උපුල් ශාන්ත


නීතිඥවරයකු නීතිඥවරියකට සමාජ මාධ්‍ය ඔස්සේ අපහාස කළ බව කියන සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන ඇති ජංගම දුරකථන, පරිගණක ඇතුළු නඩු භාණ්ඩ රජයේ රස පරීක්‍ෂක වෙත යවා වාර්තාවක් කැඳවන ලෙස කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අසංක එස්. බෝදරගම මහතා ඊයේ (28දා) අපරාධ පරීක්ෂණය දෙපාර්තමේන්තුවට නියෝග කළේය.


සිද්ධියට අදාළව ජංගම දුරකථන, පරිගණක ඇතුළු නඩු භාණ්ඩ දොළහක් අත්අඩංගුවට ගෙන ඇති බවත් එම නඩු භාණ්ඩ රජයේ රස පරීක්ෂකවරයා වෙත යවා වාර්තාවක් කැඳවීමට නියෝගයක් ලබාදෙන ලෙසට එම දෙපාර්තමේන්තුව කරන ලද ඉල්ලීමක් සලකා බලමින් අධිකරණයෙන් එසේ නියම කෙරිණි.අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ සිද්ධිය සම්බන්ධයෙන් 2022 වර්ෂයේ සිට විමර්ශනය කිරීමෙන් පසුව සැකකරු අනාවරණය කරගත් බව පැවැසීය.සිද්ධියට සම්බන්ධ සැකකාර නීතිඥවරයා රුපියල් ලක්ෂ දහයක ශරීර ඇපයක් හා රුපියල් දස දහසක මුදල් ඇපයක් මත මුදා හැර තිබේ.


දොස්තර කෙනෙකුගේ තර්ජන නිසා තෙල්දෙණිය රෝහල අඩපණ වෙයි

 



අසේල කුරුළුවංශ 


තෙල්දෙණිය දිස්ත්‍රික් මූලික රෝහලේ වෛද්‍යවරයකු වෙතින් දිගින් දිගටම එල්ල වන තර්ජන, බැන වැදීම් හා අපහාස කිරීමි සම්බන්ධයෙන් සෞඛ්‍ය බලධාරින් පියවර නොගැනීමට විරෝධය දක්වා රෝහල් පරිපාලන කාර්ය මණ්ඩලයේ සාමාජිකයන් පිරිසක් ඊයේ (28දා) රාජකාරි කටයුතුවලින් ඉවත් වීම නිසා ප්‍රතිකාර සඳහා අවශ්‍ය ඖෂධ ප්‍රසම්පාදන කටයුතු මෙන්ම නේවාසික රෝගීන්ට ආහාර ලබාදීමේ කටයුතුද අඩපණ වීමෙන් රෝගීහු දැඩි අසීරුතාවට පත්‍ වූහ. 



මෙම තත්ත්වය හේතුවෙන් ඊයේ (28දා) රාත්‍රි ආහාරය නේවාසික රෝගීන්ට ලබාදීමට නොහැකි වී තිබේ. රෝහලේ නොමැති ඖෂධ වර්ග අවශ්‍යතාව මත බාහිරින් මිලට ගැනීම සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශය පහසුකම් සපයා තිබුණද පරිපාලන කාර්ය මණ්ඩලය සේවයෙන් ඉවත් වීම නිසා රෝගීන්ට අවශ්‍ය එම ඖෂධ වර්ග මිලදී ගැනීමද මුළුමනින්ම අඩාළ වී ඇත. අදාළ තත්ත්වය පිළිබඳව රෝහලේ වෛද්‍ය අධිකාරී වෛද්‍ය සුනිල් සෙනරත් යාපා මහතා සෞඛ්‍ය අමාත්‍යාංශය හා පළාත් සෞඛ්‍ය අධ්‍යක්ෂවරයා දැනුවත් කිර්මට කටයුතු කර තිබේ.


රෝහල් කාර්ය මණ්ඩලයට බැන තර්ජනය කරන වෛද්‍යවරයා සම්බන්ධයෙන් ඒ මහතා තෙල්දෙණිය පොලිසියට පැමිණිල්ලක්ද සිදුකර ඇත. නැඟෙනහිර පළාතේ රෝහලකින් තෙල්දෙණිය රෝහලට මාරුවීමක් ලැබ පැමිණි අදාළ වෛද්‍යවරයා දිගින් දිගටම සිදු කරන බාධා කිරීම් සම්බන්ධයෙන් පසුගිය අගෝස්තු මස වෛද්‍ය අධිකාරිවරයා කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශන සිදු කිරීමෙන් පසු තෙල්දෙණිය පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. සැකකරු මානසික රෝග තත්ත්වයකින් පෙළෙන බව එම අවස්ථාවේ පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.


කරන බවට ඔහුගේ සහෝදරයකු අධිකරණයේදී එකඟවීම සැලකිල්ලට ගනිමින් අධිකරණය මඟින් වෛද්‍යවරයාට ඇප ලබා දුන්නද ඔහු ප්‍රතිකාර සඳහා යොමු නොවී යළිත් රෝහල් කාර්ය මණ්ඩලයේ රාජකාරිවලට බාධා කිරීම් කළ බව රෝහල් පාලනාධිකාරිය මඟින් සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිතව දැනුම් දී තිබේ.

ඒ සම්බන්ධයෙන් යළිත් සැප්තැම්බර් මස 10 වැනිදා පොලිසිය විසින් මෙම වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය. වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුකර සිටි වෛද්‍යවරයා ප්‍රතිකාර නොගෙන යළි රෝහලට පැමිණ පෙර පරිදිම රාජකාරියට බාධා කරමින් නොසන්සුන්කාරී ලෙස හැසිරෙන බව රෝහල් සේවකයෝ පවසති. මහනුවර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ කාර්යාලයට අද (29දා) සිට රාජකාරියට වාර්තා කරන බව රෝහල් පරිපාලන කටයුතුවලට දායකත්වය ලබාදෙන නිලධාරීන් වෛද්‍ය අධිකාරිවරයාට ලිඛිතව දැනුම් දී තිබේ.




හිරේ ඉඳන් අපරාධ මෙහෙයවන අය ගැන විමර්ශනය කරන්න

 

කුමුදු උපුල් ශාන්ත


වැලිකඩ බන්ධනාගාරය ඇතුළු කොළඹ බන්ධනාගාරවල රඳවා සිටින රැඳවූවන් ජංගම් දුරකථන මඟින් පිටත සිටින පුද්ගලයන් සමඟ සබඳතා පවත්වමින් මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ සිදුකර ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලියාන් වරුෂවිතාන මහතා ඊයේ (28දා) කොළඹ දිසා අපරාධ කොට්ඨාසයට නියෝග කළේය.


වැලිකඩ බන්ධනාගාරය හා කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය ඇතුළු කොළඹ බන්ධනාගාරවල රඳවා සිටින ඇතැම් රැඳවූවන් ජංගම දුරකථන භාවිත කරමින් පිටත පුද්ගලයන් සමඟ සබඳතා පවත්වා මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ සිදුකිරීමට අනුබල ලබා දී ඇති බවට තොරතුරු අනාවරණය වන බැවින් ඒ පිළිබඳව විමර්ශනයක් පවත්වා අධිකරණයට කරුණු වාර්තා කිර්ම සඳහා නියෝගයක් ලබාදෙන ලෙසට කොළඹ දිසා අපරාධ කොට්ඨාසය කරන ලද ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් එසේ නියම කෙරිණි.


බන්ධනාගාරගත රැඳවූවන් ලබාදෙන එම දුරකථන ඇමැතුම් හරහා පිටත සිටින පුද්ගලයන් මත්ද්‍රව්‍ය ජාවාරම් හා සංවිධානාත්මක අපරාධ ඇතුළු විවිධ අපරාධ සිදුකර ඇති බවට කරුණු අනාවරණය වන බවද විමර්ශන නිලධාහු අධිකරණය හමුවේ පැවසූහ. විවිධ සිද්ධීන් සම්බන්ධයෙන් මේ වන විට අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කරමින් සිටින පුද්ගලයන් ලබාදෙන ප්‍රකාශ අනුව මෙම කරුණු හෙළි වී ඇති බවද විමර්ශන නිලධාහු අධිකරණයට දැන්වීය.


එසේ පිටත පුද්ගලයන් සමඟ සබඳතා පවත්වා ඇති සැකකරුවන් කවුද කුමන බන්ධනාගාරවල සිට එම දුරකථන ලබාදී තිබේද යන්න පිළිබඳව විධිමත් විමර්ශනයක් සිදුකිරීමට අවශ්‍යව ඇති බැවින් ඒ සඳහා නියෝගයක් ලබාදෙන ලෙසට විමර්ශන නිලධාහු අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.විමර්ශන නිලධාහු අධිකරණයට දැක් වූ කරුණු සලකා බැලූ අතිරේක මහෙස්ත්‍රාත්වරයා සිද්ධිය සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් පවත්වා එහි ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙසට නියෝග කළේය.


ආදායම් බදුවලට පුද්ගලයන් සමුහ ලියාපදිංචිය

 


මේ දිනවල නගරයෙහි පමණක් ඈත ගම්මානවල පවා මෑතකදී දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) විසින් සෑම අප්පුහාමි, කන්දසාමි සහ අබුසාලි යන අයටම තැපැල් කරන ලද ගෙවීම් පත්‍රිකාව පිළිබඳව කතාබහට ලක් වේ. දැනට මාස හයකට පෙර බදු ගෙවන්නන්ගේ හඳුනාගැනීමේ අංක (TIN) සඳහා පුද්ගලයන් මිලියන දහයකට (10) ආසන්න සංඛ්‍යාවක් ලියාපදිංචි කර ඇති බව IRD සාඩම්බරයෙන් නිවේදනය කළේය. හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විසින් මුදල් අමාත්‍යවරයා ලෙස නිකුත් කරන ලද 2023.05.31 දිනැති අංක 2334/21 දරන අතිවිශේෂ ගැසට් නිවේදනය යටතේ මෙම සාඩම්බර යැයි කියනු ලබන ජයග්‍රහණය දේශීය ආදායම් දෙපාර්තමේන්තුව (IRD) විසින් අත්කරගනු ලැබිණි.


රනිල් වික්‍රමසිංහ මහතාගේ දේශපාලන ස්වරූපය පිළිබඳව දන්නා ඕනෑම පුද්ගලයකු ඔහුගේ මෙම කටයුතු පිළිබඳව පුදුමයට පත් නොවීය. ඔහු අත්තනෝමතික සහ අතිශයින් ජනප්‍රිය නොවන තීරණ ගැනීම පිළිබඳව ප්‍රසිද්ධ වන අතර, වයස අවුරුදු 18 ට වැඩි සෑම පුද්ගලයකුම 2024 ජනවාරි 01 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි IRD හි ලියාපදිංචි වී  TIN අංකයක් ලබා ගත යුතු බවට ගැසට් පත්‍රය නිකුත් කර තිබුණි. මෙහිදී වයස පමණක් පදනම් කරගත් අතර, ආදායම් මට්ටම හෝ බදු වගකීම නොසලකා හරිනු ලැබිණි.සැබවින්ම කණගාටුදායක මෙන්ම ඛේදජනක කාරණය වන්නේ, අයුක්තිය මුලිනුපුටා දමා සාධාරණත්වය යථා තත්වයට පත් කරන බවට පොරොන්දු දෙමින් බලයට පත් වූ වත්මන් ජාතික ජන බලවේගය (NPP) රජයද රනිල් වික්‍රමසිංහ පරිපාලනයේ එම අඥාන ප්‍රතිපත්තිවලටම අන්ධ ලෙස ඇලී සිටීමට තෝරාගෙන තිබීමයි.


අලුත් මාවතක් සකස් කරනවා වෙනුවට, විශේෂයෙන් විදේශ හා මූල්‍ය ප්‍රතිපත්ති ක්ෂේත්‍රවල ලබාගත් එතරම් ජනප්‍රිය නොවන සහ නින්දාසහගත අදහස් නැවත ක්‍රියාත්මක කිරීමෙන් ඔවුන් සතුටු වන බව පෙනේ. එසේ කිරීමෙන් ඉතිහාසයේ කළ වැරදි නැවත නැවතත් කිරීමේ අවදානමක් ඇති අතර “ඔක්කොම යාළුවෝ මල්ලි” යන ප්‍රසිද්ධ කියමන තවදුරටත් තහවුරු කරයි.


නිෂ්ඵල උත්සාහයක්


කළමනාකරණය පිළිබඳ තරමක් අවබෝධයක් ඇති ප්‍රතිපත්ති සම්පාදකයන් පවා පෙරෙටෝ මූලධර්මය (Pareto Principle) - නැතහොත් 80/20 රීතිය - ගැන දැන සිටිය යුතුය.එයින් ඇඟවෙන්නේ ප්‍රතිඵලවලින් සියයට 80 ක් හේතු සියයට 20 කින් පැන නගින බවයි. මෙම මූලධර්මය සෑම ක්ෂේත්‍රයකටම පොදු මෙන්ම සත්‍ය වේ. සංවිධානයක් තුළ, සේවකයන්ගෙන් සියයට 20 ක් සාමාන්‍යයෙන් ප්‍රතිඵලවලින් සියයට 80 ක් උත්පාදනය කරයි. කැබිනට්, දේශපාලන පක්ෂ, දෙපාර්තමේන්තු, ආයතන සහ පවුල්වල එකම තත්වය ඒහා සමානව දක්නට ලැබේ.


බදුකරණය සඳහා ද එම තර්කයම අදාළ වේ. බදු ආදායමෙන් සියයට 80 ක් පමණ ලැබෙන්නේ දළ වශයෙන් සියයට 20 ක් පමණ වන බදු ගෙවන්නන්ගෙනි. දේශීය ආදායම් කොමසාරිස් ජෙනරාල් (CGIR) විසින් නිකුත් කරන ලද 2024 වාර්ෂික කාර්යසාධන වාර්තාව මගින් මෙම තත්වය තවදුරටත් පැහැදිලි කරනු ලබයි. තවදුරටත් මේ සම්බන්ධයෙන් හොඳින් අධ්‍යයනය කළවිට 976,496 ක් පමණ වන තනි පුද්ගල බදු ගෙවන්ගෙන් ආසන්න වශයෙන් සියයට 16 ක් පමණ වන ආදායම් බදු එකතු කරනු ලබන බව හෙළිදරව් වේ. ඉතිරි සියයට 84 ක් වන බදු මුදල් සඳහා දායක වන්නේ 100,409 ක් වන සංස්ථාපිත ආයතන විසිනි. මුළු බදු ගෙවන්නන්ගේන්, විශාලතම බදු ගෙවන සමාගම් 621 ක් සියයට 73ක් වන මුළු බදු ආදායම වන බිලියන 2,620 ක් සඳහාම දායක වනු ලබයි, ඉතිරි සමාගම් 99,788 සහ පුද්ගලයන් 976,498 ක සංඛ්‍යාවක් දායක වනු ලබන්නේ බදු ආදායමෙන් සියයට 27 ක් සඳහා පමණි .


මුළු බදු ආදායමෙන් සියයට 06 ක් පමණක් තනි බදු ගෙවන්නන්ගෙන් එකතු කරනු ලබන බව මෙම කාර්ය සාධන වාර්තාව අධ්‍යයනය කිරීමෙන් මම අවබෝධ කර ගත්තෙමි. මෙම පසුබිම තුළ, මිලියන සංඛ්‍යාත පුද්ගලයන් ලියාපදිංචි කිරීමෙන් කෙසේ හෝ බදු ආදායමේ සමානුපාතික වැඩිවීමක් සිදුවනු ඇති බව ප්‍රතිපත්ති සම්පාදකයන් සහ බදු නිලධාරීන් අවංකවම අපේක්ෂා කරන්නේද?


පුද්ගලයන් සමූහ වශයෙන් ලියාපදිංචි කිරීමේ අහිතකර ප්‍රතිවිපාක


දේශීය ආදායම් පනතේ 127(1) වගන්තිය ප්‍රකාරව යම් පුද්ගලයකු ආදායම් බදු ගෙවීමට බැඳී සිටින බවට CGIR විසින් සෑහීමකට පත්වනු ලබන්නේ නම්, එවැනි පුද්ගලයකුට එරෙහිව බදු වාර්තාවක් ගොනු කරනු ලබන ලෙසට නියම කිරීමට CGIR බලය පවරනු ලැබ ඇති බව සත්‍යයකි.


“බදු වාර්තාවක් ඉදිරිපත් කිරීමට බැඳී සිටින ඕනෑම පුද්ගලයකු එසේ කර නොමැති බව කොමසාරිස් ජනරාල්වරයාට පෙනී යන විට, කොමසාරිස් ජනරාල්වරයාගේ ලිඛිතව දැනුම් දීමක් මගින් එම පුද්ගලයාට බදු වාර්තාවක් ඉදිරිපත් කරන ලෙසට නියම කරනු ලැබිය හැක.


බහු විනිශ්ච සහ තීරණය ලද නඩුවලදී අවධාරණය කර ඇති පරිදි සාමාන්‍යයෙන් රාජ්‍ය නිලධාරියකුට සහ විශේෂයෙන් CGIR ඇතුළු බදු නිලධාරියකුට ලබා දී ඇති අභිමතානුසාරී බලතල එම පුද්ගලයාට ලබා දී ඇති විවෘත චෙක්පතක් හෝ අසීමිත බලයක් නොවේ.


මේ පිළිබඳව හොඳින් අධ්‍යයනය කළ විට කලින් කළාක් මෙන් සාධාරණ ඇසීමක් ලබා නොදී හෝ ඒත්තු ගැන්විය හැකි සාක්ෂි නොමැතිව, ඔවුන්ගේ බදු වගකීම තහවුරු කර නොගෙන, පුද්ගලයන්ට මෙවැනි සමූහ වශයෙන් බදු ලිපිගොනු විවෘත කිරීම පනතේ බලය ඉක්මවායන මෙන්ම අත්තනෝමතික ක්‍රියාවක්බව මාගේ මතය වේ.


පසුගිය දිනවල මා දන්නා මෙන්ම නොදන්නා පුද්ගලයන් සිය ගණනක් ආදායම් බදු වාරිකය ගෙවන ලෙස ඉල්ලා ගෙවීම් පත්‍රිකා ලැබීමෙන් පසු මාව සම්බන්ධව කරගෙන මේ කුමක්දැයි විමසා සිටිති. ඔවුන්ගෙන් බොහෝ දෙනෙක් ස්වයං රැකියාලාභීන් වන අතර, බඩී ලොරි කුලියට ගැනීමෙන්, ත්‍රිරෝද රථ පැදවීමෙන් හෝ ගෙදර පිසූ ඉඳිආප්ප සහ පිට්ටු විකිණීමෙන් ස්වකීය ජීවිකාව කරගෙන යන්නෝ වෙති.


ආදායම් බදු අරමුණු සඳහා ඔවුන්ට බදුකරු හඳුනා ගැනීමේ අංකය (TIN) නිකුත් කර ඇති බව මා ඔවුන්ට පැහැදිලි කළ විට, ඔවුන්ගේ ප්‍රතිචාර එතරම් සතුටුදායක නොවීණි.


කෝපයෙන් හා අවිශ්වාසයෙන් බොහෝ දෙනෙක් අපගේ වත්මන් පාලකයන්ගේ මුතුන් මිත්තන්ගේ නම් කියන්නට පටන් ගත්හ. මෙම ලිපිගොනුව විවෘත කිරීම පෙර පරිපාලනයේ  ප්‍රතිපත්ති තීරණයක් මත 2023.05.31 දිනැති ගැසට් පත්‍රය ප්‍රකාරව මෙම TIN අංකය විවෘත කිරීම ආරම්භ වූ බව පවසමින්, වත්මන් රජයේ දැඩි ආධාරකරුවකු ලෙස මම රජය ආරක්ෂා කිරීමට උත්සාහ කළෙමි. “අපි මේ ආණ්ඩුවට ඡන්දය දුන්නේ වෙනස ගෙන ඒමට - පසුගිය අවුරුදු හැත්තෑ හයක මෝඩකම් දිගටම කරගෙන යාමට නොවේ" යනුවෙන් ඔවුහු ප්‍රතිචාර දැක්වූහ. කිසිවක් කියාගත නොහැකිව මම ගොළු වුණෙමි.


කෙටි කාලීන සහ දිගු කාලීන අහිතකර බලපෑම්


බදු ගෙවන්නන් ලෙස ලියාපදිංචි වන පුද්ගලයන් සංඛ්‍යාව වැඩිවීම පිළිබඳව ප්‍රතිපත්ති සම්පාදකයන් සහ බදු පරිපාලකයන් ආඩම්බර විය හැකි වුවද, බදු ගෙවන්නන්ගේ පදනම සංඛ්‍යාත්මකව ප්‍රසාරණය වීම පමණක් ශක්තිමත් ආදායම් පද්ධතියක් ලෙසට සැලකිය නොහැක. මෙහිදී අමිහිරි යථාර්ථය වන්නේ, මෙම සමූහ ලියාපදිංචි කිරීම ආරම්භ කිරීමෙන් රාජ්‍ය භාණ්ඩාගාරයට මුදල් රැස් කිරීමට තරම් සැලකිය යුතු වැඩිවීමක් සිදු නොවීමයි. භාණ්ඩාගාරයට මුදල් රැස් කිරීමට වඩා මෙම අදූරදර්ශී සහ වැරදි සංකල්පිත ප්‍රතිපත්තියෙන් සමස්ත බදු ක්‍රමයේ අඛණ්ඩතාව, කාර්යක්ෂමතාව සහ විශ්වසනීයත්වයට දිගු කාලීනව හානියක් සිදු විය හැකි වීමයි.


(i) බදුකරණයේ මූලික මූලධර්ම උල්ලංඝනයවීම


සාධාරණත්වය සහ කාර්යක්ෂමතාව යනුවෙන් බදුකරණයේ ප්‍රධාන මූලධර්ම දෙකකි. සාධාරණත්වය බදු ගෙවන්නන්ට ස්වකීය ගෙවීමේ හැකියාව අනුව බදු සඳහා දායක වන බව සහතික වන අතර කාර්යක්ෂමතාව බදු ගෙවන්නන්ට සහ පරිපාලනයට අවම පිරිවැයකින් බදු එකතු කිරීම සහතික කරයි. අත්තනෝමතික ලෙස මේ ආකාරයට සමූහ ලියාපදිංචි කිරීම බදුකරණ මූලධර්මවලට හානි සිදු කරයි. එය සාමාන්‍ය පුරවැසියා අනවශ්‍ය අවදානමකට නිරාවරණය අතරම අන්තර්ජාලය හරහා බදු වාර්තාවක් ඉදිරිපත් කිරීම පවා බොහෝ දෙනකුට රොකට් විද්‍යාවකි. මන්ද එය ඔවුන්ට සරල හෝ දැරිය හැකි මිලකට ලබා ගත නොහැකි බැවිනි.


(ii) ව්‍යතිරේකය වෙනුවට රීතියට අනුකූල නොවීම.


මහජන අනුකූලතා මට්ටම පද්ධතියක සාර්ථකත්වයේ ප්‍රධාන දර්ශකයයි. බාධක වැළැක්වීමේ පියවර තිබියදීත් - බහුතරය යම් නීතියකට අනුකූල වීමට අපොහොසත් වූ විට පද්ධතිය බිඳවැටීමේ අවදානමක් ඇති අතර ස්වේච්ඡාවෙන් බදු සඳහා අනුකූලවීමද අවම වේ.


2023/24 දී තනි පුද්ගල බදු වාර්තාව සඳහා අනිවාර්ය විද්‍යුත් ගොනුගත වීම කිරීම හඳුන්වා දීමෙන් අනතුරුව, තනි පුද්ගල ගොනු 776,807 න් නියමිත දිනට අනුකූල නොවීමේ අනුපාතය සියයට 86 දක්වා ළඟා විය. අනුකූල නොවීමේ අනුපාතය, තවත් මිලියන ගණනක් බදු ජාලයට ඇතුළත් කළ විට බෙහෙවින් ඉහළ යනු ඇතැයි පුරෝකථනය කිරීම එතරම් දුෂ්කර නොවේ. එවැනි තත්වය තුළ අනුකූල නොවීම ව්‍යතිරේකයක් නොව රීතියක් බවට පත්වනු ඇත. එවැනි තත්වයක් තුළ අනුකූල නොවීම වැළැක්වීමට පියවර ගැනීම ඵලදායී නොවන මෙන්ම අකාර්යක්ෂමවීම බවට පත්වේ. (iii) දේශීය ආදායම් සීමිත සම්පත් නාස්තිය රාජ්‍ය හා පෞද්ගලික ආයතන දෙකම ක්‍රියාත්මක වන්නේ සීමිත මානව සම්පත් සමග වන අතර ඒවායේ ප්‍රශස්ත යෙදවීම මත එකී රාජ්‍ය හා පෞද්ගලික ආයතන දෙකෙහිම සාර්ථකත්වය රඳා පවතී. 


දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ශ්‍රම බලකායෙන් සියයට 15 ක් පමණ මුළු බදු ආදායමෙන් සියයට 73 ක් එකතු කිරීමට දායක වන අතර, ඉතිරි ශ්‍රම බලකායෙන් සියයට 85 ක් හසුරුවන්නේ මුළු බදු ආදායමෙන් සියයට 27 ක් පමණක් බව වාර්තා වේ. මිලියන ගණනක් නව තනි ලිපිගොනු එකතු කිරීම දෙපාර්තමේන්තුවේ කාර්යක්ෂමතාව දැඩි ලෙස හානි කරනු ලැබිය හැකි අතර, ඉහළ වටිනාකමක් ඇති බදු ගෙවන්නන් සහ ප්‍රධාන ආදායම් මාර්ග උත්පාදන ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම දුබල වීමෙන් එම වටිනා සම්පත් මග හැරීම සිදුවිය හැක. එහි ප්‍රතිඵලයක් ලෙස, දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ සමස්ත කාර්යක්ෂමතාව දුර්වල වී අඩපණ වනු ඇත.



ඉදිරි ගමන්මඟ


බදු අරමුණු සඳහා මෑතකදී සිදු කරන ලද පුද්ගලයන් සමූහ වශයෙන් ලියාපදිංචි කිරීම වඩාත් සමබර හා නීත්‍යානුකූල ප්‍රවේශයක් ගත යුතුය. අව්‍යාජ සහ තිරසාර අනුකූලතාව සහතික කිරීම උදෙසා දේශීය ආදායම් දෙපාර්තමේන්තුව සාධාරණත්වය, නිසි ක්‍රියාවලිය සහ ප්‍රායෝගිකත්වයට ප්‍රමුඛත්වය ලබාදිය යුතුය.


i. ලියාපදිංචියට පෙර සාධාරණ ලෙස ආදායම් මාර්ග විමර්ශනය සහතික කිරීම


වයස හෝ අත්තනෝමතික නිර්ණායක මත පදනම් වූ සමූහ ලියාපදිංචිය සාධාරණ නඩු විභාගයකට ඇති අයිතිය උල්ලංඝනය කරයි. සෑම පුද්ගලයකුම බදු වගකීම පළමුව දේශීය ආදායම් පනතේ 127 (1) වගන්තිය යටතේ සත්‍යාපනය කළ යුතුය. සරල ස්වයං ප්‍රකාශනයක් හෝ පිරික්සුම් ක්‍රියාවලියක් මගින් සැබෑ බදු ගෙවන්නන් හඳුනා ගැනීමට සහ අනවශ්‍යය පරිපාලන කරදර වළක්වා ගත හැකිය.


ii විද්‍යුත් ගොනු කිරීමේ අවශ්‍යතාව ලිහිල් කිරීම


සෑම නව ලියාපදිංචිකරුවකුටම විද්‍යුත් ගොනු කිරීමේ පද්ධතිය භාවිත කිරීමට තත්වය අනිවාර්ය කිරීම එමෙන්ම මෙම විශේෂයෙන් ඩිජිටල් කුසලතා හෝ සම්පත් නොමැති අයට, ප්‍රායෝගික නොවේ. පළමු වරට හෝ අඩු ආදායම්ලාභී බදු ගෙවන්නන් සඳහා අතින් ගොනු කිරීමට දේශීය ආදායම් දෙපාර්තමේන්තුව අවසර ලබාදිය යුතු අතර ඔවුන්ට සහාය වීම සඳහා සේවා මධ්‍යස්ථාන හෝ ජංගම උපකාරක ක්‍රමවේද ස්ථාපිත කළ යුතුය.


iii. අදියර සහ අවදානම් පාදක ප්‍රවේශය සියල්ලන්ම එකවර ලියාපදිංචි කිරීම

 වෙනුවට, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, අදියර වශයෙන් හෝ අවදානම් මත පදනම් වූ උපාය මාර්ගයක් අනුගමනය කළ යුතු අතර, පළමුව වෘත්තිකයන් සහ ව්‍යාපාර හිමිකරුවන් වැනි හඳුනාගත හැකි ආදායම් උපයන්නන් කෙරෙහි අවධානය යොමු කළ යුතුය. මෙය පරිපාලන ධාරිතාවය බලාත්මක කිරීමේ හැකියාව සමග පෙළගස්වන අතර අනුකූලතාව ද වැඩි දියුණු කරයි.


නිගමනය


සැබෑ බදු ප්‍රතිසංස්කරණය, සංඛ්‍යාලේඛනවල විශාලත්වය මත රඳා නොපවතින අතර, එය සාධාරණත්වය, සරල බව සහ විශ්වාසය මත රඳා පවතී. පුරවැසියන්ගේ හැකියාවයට ගරු කරන දත්ත මත පදනම් වූ, සාධාරණ බදු ක්‍රමයක්, මහජන විශ්වාසය සහ ආයතනික අඛණ්ඩතාව ආරක්ෂා කරමින් තිරසාර ආදායමක් අත්කර ගනු ඇත.


වෙඩික්කරුට නීතිඥ ටයිපටිය-වාහන ලාංඡනයත් දීලා

 


 


ගයාන් සූරියආරච්චි


කොළඹ අලුත්කඩේ මහේස්ත්‍රාත් අධිකරණයේ අංක පහ උසාවියේ විත්ති කූඩුවේදී පාතාල කල්ලි නායක ගණේමුල්ල සංජීව නමැත්තා වෙඩි තබා ඝාතනය කිරීමට ගිනි අවිය ගෙන ගිය බව කියන ඉෂාරා සෙව්වන්දි නමැත්තියට නීතිඥවරියක ලෙස වෙස්වළාගෙන අධිකරණ භූමියට ඇතුළු වීමට නීතිඥ හැදුනුම්පත ව්‍යාජ ලෙස සකස් කර දී ඇත්තේ පෙරේදා (28) රාත්‍රියේ අත්අඩංගුවට ගැනුණ නීතිඥවරියක බවට තොරතුරු රහස් පොලිසිය විසින් කරන ලද පරීක්ෂණවලින් අනාවරණය වී ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක්  පැවැසීය.


මෙම සැකකාර නීතිඥවරියගේ නම හා අනෙකුත් තොරතුරු ඇතුළත් කර ව්‍යාජ නීතිඥ හැඳුනුම්පතක් සකස් කර, එම ව්‍යාප් නීතිඥ හැඳුනුම්පතට ඉෂාරා සෙව්වන්දිගේ ඡායාරූපය ඇතුළත් කර ඇත්තේ ද මෙම සැකකාර නීතිඥවරිය බවට තොරතුරු අනාවරණය වී ඇතැයි එම නිලධාරියා කීය.මීට අමතරව ගණේමුල්ල සංජීව ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනුණ හිටපු කොමාන්ඩෝ සෙබළාට නීතිඥවරයකු ලෙස වෙස්වලාගෙන යාමට අවශ්‍ය නීතිඥ ලාංඡනය සහිත ටයි පටිය සහ වාහනේ ඉදිරිපස වීදුරුවේ අලවාගෙන යාමට නීතිඥ ලාංඡනය සහිත ස්ටිකරය ලබා දී ඇත්තේද මෙම නීතිඥවරිය බවට පරීක්‍ෂණවලින් තොරතුරු හෙළි වී ඇති බවද එම නිලධාරියා කීය. පාතාල වෙඩික්කරුට නීතිඥවරයකු ලෙස පෙනී සිටිමින් අධිකරණ ශාලාවට යාමට යොදාගත් නීතිඥ හැඳුනුම්පතකට සමාන හැඳුනුම්පතක් ඔහු පුත්තලම පාලවිය ප්‍රදේශයේදී පොලිස් විශේෂ කාර්ය බළකායේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගත් අවස්ථාවේ සොයා ගැනිණි.


එම ව්‍යාජ නීතීඥ හැඳුනුම්පත පාතාල වෙඩිකරුට සකසා දුන්නේ ද මෙම නීතිඥවරිය දැයි අනාවරණය කර ගැනීමට රහස් පොලිසිය පරීක්ෂණ පවත්වයි. එසේම මෙම කටයුතු ඉටු කිරීම වෙනුවෙන් සැකකාර නීතිඥවරියට රුපියල් ලක්ෂ ගණනක මුදලක් ලැබී ඇති බවට රහස් පොලිසිය සැක කරන අතර, ඒ සම්බන්ධයෙන්ද කරුණු හෙළිකර ගැනීමට ඇයගෙන් තව දුරටත් ප්‍රශ්න කරගෙන යයි. ව්‍යාජ නීතීඥ හැඳුනුම්පත සකස් කර දීමට හවුල් වූ සෙසු අය ගැනද තොරතුරු අනාවරණය කර ගැනීමට රහස් පොලීසිය විමර්ශන පවත්වයි. මේ අතර මෙම නීතිඥවරිය පසුගිය ජුනි මාසයේදී කටුනායක ගුවන්තොටුපොළෙන් සිංගප්පූරුව හරහා ඩුබායි රටට ද ගොස් ඇති බව පැවසේ.


නීතිඥවරියගේ බැංකු ගිණුම් ද ඉදිරියේදී අධිකරණ නියෝග ලබාගෙන පරීක්ෂා කිරීමට නියමිතව ඇතැයි පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කළේය. ගණේමුල්ල සංජිව නමැත්තා ඝාතනය කිරීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබ සිටින කෙහෙල්බද්දර පද්ම නමැත්තාගෙන් ලැබුණු මුදල් සැකකාර නීතිඥවරියගේ ගිණුම්වල තැන්පත් කර ඇත්දැයි යන්න සොයා ගැනීමට අවශ්‍ය බැවින් එම ගිණුම් පරීක්ෂා කිරීමට නියමිතව ඇතැයි ද පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග සඳහන් කරයි. සැකකාර නීතිඥවරිය පරිහරණය කළ ජංගම දුරකතනයට පසුගිය කාලයේ ලැබුණු සහ ඇය ලබාගත් දුරකතන ඇමතුම් සම්බන්ධයෙන් රහස් පොලීසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.


අධිකරණ නියෝගයකින් ඉදිරියේදී දුරකතන විශ්ලේෂණ වාර්තා ලබා ගැනීමට නියමිතය. ව්‍යාජ නීතීඥ හැඳුනුම්පතක් සකස් කර දීමට අමතරව, අපරාධකරුවන් සමග සම්බන්ධවෙමින් ගණේමුල්ල සංජීව ඝාතනය කිරීමට ගිය වෙඩිකරුට නීතිඥ චෙස්වලාගෙන අධිකරණයට ඇතුළු වීම සඳහා අවශ්‍ය නීතිඥ ලාංඡනය සහිත ටයි පටියක් ලබාදීම, වාහනයේ ඇලවීම සඳහා නීතිඥ ලාංඡනය සහිත ස්ටිකරය ලබාදීම සහ ගිනි අවිය සඟවාගෙන යාම සඳහා නීති පොතක් ලබා දුන්නේ යැයි කියමින් මෙම නීතිඥවරිය අත්අඩංගුවට ගන්නා ලදැයි රහස් පොලිසියේ නිලධාරියා කීය. මේ අතර අත්අඩංගුවට ගැනුණ මෙම නීතිඥවරිය පැය 72 ක කාලයක් සඳහා රැඳවුම් නියෝග යටතේ රඳවා තබාගෙන විමර්ශන සිදු කරන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරි නීතිඥ ඩීපි වුඩ්ලර් මහතා පැවසීය.


පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අධීක්ෂණය යටතේ රහස් පොලිසිය භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසංක කරවිට මහතාගේ උපදෙස් මත, විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් නීතිඥවරිය සම්බන්ධයෙන් තවදුරටත් පුළුල් විමර්ශන පවත්වයි. අත්අඩංගුවට ගත් නීතිඥවරිය 55 වන වියේ පසු වන අතර ඇය කඩවත ප්‍රදේශයේ පදිංචි තැනැත්තියකි. ඇය වසර ගණනාවක සිට මහර මහේස්ත්‍රාත් අධිකරණයේ නීතිඥවරියක ලෙස කටයුතු කරන බවද පොලිසිය කියයි. ගණේමුල්ල සංජීව වෙඩි තබා ඝාතනය කිරීමට ආසන්න දිනවල සහ ඊට පසු ඇය ආගිය තැන් සහ සමීපව ඇසුරු කළ අයගේ පැටිකිරිය සොයා ගැනීම සඳහාද පරීක්ෂණ ආරම්භ කර ඇති බව බව පාතාල මර්දන කටයුතුවල නිරතව සිටින උසස් පොලිස් නිලධාරියෙක් කීය.මෙම නීතිඥවරිය පසුගිය කාලයේ අවස්ථා කිහිපයකදී කුලී පදනම මත නිවාස ලබාගෙන පදිංචිය වෙනස් කරමින් ඒවායේ පදිංචිව සිට ඇති බවද කියති.


මාදුරුඔය පුහුණුවකදී අත්බෝම්බයක් පුපුරා හමුදා සෙබළු 3 ක් රෝහලේ

 

 


සරත් නිශ්ශංක


මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ ඊයේ (29) පැවැති පුහුණුවක් අතරතුර අත් බෝම්බයක් පිපිරීමෙන් යුද හමුදා සෙබළුන් තිදෙනකු තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලට ඇතුළත් කර ඇති බව අරලගංවිල පොලිසිය කියයි. ශ්‍රී ලංකා යුද හමුදාව සහ රුසියානු හමුදා ඒකාබද්ධව පවත්වනු ලබන වොල්වරින් පාත් පුහුණු අභ්‍යාසය මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේදී පසුගිය 27 වැනිදා ආරම්භ විය.

මාදුරුඔය යුද හමුදා පුහුණු පාසලේ ශ්‍රී ලංකා යුද හමුදාව හා රුසියන් හමුදාවේ හැට දෙනකුට ආසන්න සංඛ්‍යාවක් සමඟ ඊයේ පෙරවරු 9.30 ට පමණ පැවැත්වූ පෙරහුරුව අතරතුර අත්බෝම්බය හෙළීමේදී, සෙබළුන් අසලම වැටී පුපුරායාම හේතුවෙන් මෙම සෙබළුන් තිදෙනා තුවාල ලබා ඇත.


අත්බෝම්බය පුපුරා යෑමෙන් තුවාල ලබා ඇත්තේ, හයවන ශ්‍රී ලංකා පාබල හමුදාව, හයවන ගැමුණු හේවා බළකාය, ශ්‍රී ලංකා ජාතික ආරක්ෂක බළකායට අයත් පුහුණු වෙමින් සිටි සෙබළුන් තිදෙනකු බව අරලගංවිල පොලිසිය පවසයි.අනතුරෙන් රුසියානු ජාතික හමුදා සෙබළුන්ට කිසිදු හානියක් සිදු වී නොමැති බව මාදුරුඔය යුද හමුදා කඳවුරේ නිලධාරියෙක් පැවසීය. සෙබළුන් තිදෙනාගේ පාදවලට තුවාල සිදුව ඇති අතර, ඔවුන්ගේ තත්වය එතරම් බරපතළ නොවන බවද පොළොන්නරුව මහ රෝහලේ ප්‍රකාශකයෙක් කීය.


ඉන්දියාවට පැන්න සැකකරුවෝ තිදෙනා කටුනායකදී අත්අඩංගුවට

 


 

ටී.කේ.පී. කපිල


සෙට්ටිකුලම ප්‍රදේශයේ සඟවා තිබූ විශාල ප්‍රමාණයේ බෝම්බ තොගයක් පිළිබද පොලිස් විමර්ශන ආරම්භවීමත් සමග ඉන්දියාවට පලා ගොස් සිටි දෙමළ ජාතිකයෝ තිදෙනා එරටින් පිටුවහල් කර කටුනායක ගුවන් තොටුපොළ වෙත එවා සිටියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් විසින් ඊයේ 29අලුයම අත්අඩංගුවට ගනු ලැබූහ.


සැකකරුවන් අතරින් එක් අයකු 30 හැවිරිදි වියේ පසුවන අතර ඔහු ගාන්ධි නගර්, සෙට්ටිකුලම, වව්නියාව යන ලිපිනයෙහි පදිංචිකරුවෙකි. අනෙක් පුද්ගලයා තුන්වන කොටස, මැණික් ෆාම්, සෙට්ටිකුලම, වව්නියාව යන ලිපිනයෙහි පදිංචි 27 හැවිරිදි අයෙකි. තුන්වැනි සැකකරු අරාලි බටහිර, වඩුකෝට්ටෙයි යන ලිපිනයෙහි පදිංචි 27 හැවිරිදි අයෙකි.


කිරිබත්ගොඩ ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් පුද්ගලයකුගෙන් ලද තොරතුරු මත වව්නියාව, සෙට්ටිකුලම ප්‍රදේශයේ සඟවා ඇති බෝම්බ තොගයක් පිළිබඳ විමර්ශන ආරම්භ වීමත් සමගම එම සිදුවීමට සම්බන්ධ බව කියන සැකකරුවෝ තිදෙනා ඉන්දියාවට පලා ගොස් සිටියහ.


ජගත් මනුවර්ණට වරෙන්තු

 

 


රෝෂාන් තුෂාර


නඩු විභාගයට පෙනී නොසිටිමින් දැන දැනම අධිකරණය මගහැරියේ යැයි කියන පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුළු දෙදෙනකු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නියෝග කරමින් කොටුව මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා ඊයේ (29) වරෙන්තු නිකුත් කළේය. රුපියල් ලක්ෂ 250ක ණය ගනුදෙනුවක් සම්බන්ධයෙන් මූල්‍ය නඩු දෙකක් කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම වරෙන්තුව නිකුත් කළ අතර පසුගිය නඩු වාරයේදී අසනීප තත්ත්වයෙන් පසුවන බව පවසමින් අධිකරණයට නොපැමිණ ඇති බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය. නඩුවක් තිබෙන බව දනිමින් ඒ සඳහා පෙනී නොසිටීම ප්‍රශ්න සහගත බවද මහේස්ත්‍රාත්වරයා වැඩිදුරටත් පැවසීය.


එක් පැමිණිල්ලක ජාතික ජන බලවේගයේ මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් මනුවර්ණ ඇතුළු සැකකරුවන් 18 දෙනකු නම්කර සිටි අතර සෙසු සැකකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ. ජගත් මනුවරණ වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් කියා සිටියේ තම සේවාදායකයා ඉඩම් ඔප්පු බෙදාදීමේ ජාතික උත්සවයකට සහභාගි වී ඇති බැවින් අධිකරණයේ පෙනී සිටීමට නොහැකි වී ඇති බවය. අධිකරණයේ නඩුවක් තිබෙන බව දැන නොපැමිණීම ප්‍රශ්න සහගත බව කියා සිටි මහේස්ත්‍රාත්වරයා වරෙන්තුවක් නිකුත් කරමින් ඇපකරුවන්ට නොතිසි ද නිකුත් කළේය.


ක්‍රීඩා පුහුණුවේදී සිසුවියගේ පපුවෙන් අල්ලා තල්ලු කරලා

 


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


ක්‍රීඩා පුහුණුවීම් අතරවාරයේ දාසය හැවිරිදි පාසල් සිසුවියකගේ පපු ප්‍රදේශයෙන් අල්ලා තල්ලු කළේ යැයි කියන පාසල් ගුරුවරයකු පෙරේදා 28 රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගත් බව මාරවිල මූලස්ථාන පොලිසිය සදහන් කරයි.මෙසේ සැකපිට අත්අඩංගුවට ගෙන ඇත්තේ මාරවිල පොලිස් බල ප්‍රදේශයේ පිහිටි විද්‍යාලයක ක්‍රීඩා බාර විසි හය හැවිරිදි ගුරුවරයෙකි. ජාතික ළමා ආරක්ෂක අධිකාරියෙන් කළ දැනුම් දීමක් අනුව මාරවිල මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ නිලධාරිනියන් කණ්ඩායමක් අදාළ සිසුවියගෙන් ප්‍රශ්න කර හෙළිකර ගත් තොරතුරු මත මෙම ගුරුවරයා සැකපිට අත්අඩංගුවට ගන්නා ලදැයි උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය. මෙම සිසුවිය වෛද්‍ය පරීක්‍ෂණයක් සඳහා යොමු කළ බවද පොලිසිය පැවසීය.


වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ, අජිත් රෝහණ මහතාගේ අධීක්ෂණය යටතේ හලාවත කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පෙරේරා මහතාගේ උපදෙස්  මත නාත්තන්ඩිය සහකාර පොලිස් අධිකාරී ධම්මික හපුගොඩ මහතාගේ මෙහෙයවීම යටතේ මාරවිල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සරත් සමර වික්‍රම මහතාගේ ප්‍රධානත්වයෙන් මාරවිල මුලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා දමයන්ති මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වයි.


Wednesday, October 29, 2025

වැලිගම ලසන්තගේ ඝාතකයන් කොටු කරගත් දින හතරේ තාක්ෂණ මෙහෙයුම

 වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර මරා දැමූ ඝාතකයන් සියල්ල පොලිසිය විසින් මේ වන විට අත්අඩංගුවට ගෙන හමාරය ඒ සභාපතිවරයා මරා දමා දින 4ක් ඇතුළතදීය. මෙය පොලිස් විමර්ශකයන් දින 4ක් තුළ සිදු කළ සාර්ථක මෙහෙයුමක් විය. වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර වෙඩි තබා මරා දමන්නේ ඉකුත් 22දා උදාසනය. යතුරුපැදියකින් පැමිණි දෙදෙනකු විසින් ලසන්ත වෙඩි තබා මරා දැමුවේ ඔහු සිය නිල කාර්යාලය තුළ සිටියදීය.


මෙදින සභාපතිවරයාගේ මහජන දිනය විය. මේ නිසා ඔහුගෙන් සිය කාර්යයන් ඉටු කර ගැනීම සඳහා වසමේ පදිංචිකරුවන් කිහිප දෙනකු සභාපතිවරයා හමුවීම සඳහා කාර්යාලය ඉදිරිපිට ඇති අසුනේ වාඩිලා සිටියහ. අත්දිග සුදු කඨිසයකින් සහ කළු කලිසමක් පැලදි පුද්ගලයකු ලිපිගොනුවක් අතැතිව සභාපතිවරයාගේ කාර්යාලය අසලට එන්නේ ඔය අතරය. ඔහු උපැස් යුවළක් පැලඳ සිටි අතර කළු පැහැති මුඛ ආවරණයක්ද මුහුණේ රඳවාගෙන සිටියේය. කනේ දුරකථන ශ්‍රවණ උපකරණයක්ද ගසාගෙන සිටි ඔහු සිය වාරය එන තුරු සෙසු පිරිස සමඟ සභාපතිවරයාගේ කාමරය ඉදිරිපස අසුනේ වාඩි වී සිටියේය. එම අවස්ථාවේ කාන්තාවක් සභාපති කාමරය තුළ සිටි අතර ඇය පිටතට පැමිණීමත් සමඟ උපැස් යුවළ පැලඳ සිටි පුද්ගලයා ලිපිගොනු කවරයද රැගෙන සභාපතිවරයාගේ කාමරයට ඇතුළු වූයේ කිසියම් රාජකාර්මය වැඩකටයුත්තකට මෙන්ය.


ඒ සමඟම ඇසුණේ වෙඩි හඬකි. වෙඩි පහර 4ක් පමණ එක දිගට ඇසිණි. ලිපි කවරය සමඟ කාමරයට ගිය පුද්ගලයා දොර විවර කරගෙන පිටතට පැමිණ දිවයන්නට විය. ඒ සමඟ ඇසුණේ විලාප හඬකි. සභාපතිවරයා වෙඩි වැදී අසුනේ බිම වැටී සිටියේය. කාර්යාලයේ නිලධාරීන් ඔහු ඔසවා ගෙන ගොස් මෝටර් රථයක දමා ගෙන මාතර මහ රෝහලට රැගෙන ගියද ඔහුගේ ජීවිතය බේරා ගැනීමට කිසිවකුට නොහැකි විය. ලසන්ත වික්‍රමසේකර හෙවත් මිදිගම ලසා ජීවිතක්ෂයට පත්විය. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරඹිණි. ඒ දකුණු පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත්ගේ මඟ පෙන්වීම යටතේය. විමර්ශන සඳහා පොලීස් කණ්ඩායම් 4ක් යොදා ගැනිණි. නිලධාරීන්ගේ මූලික ඉලක්කය වූයේ ප්‍රාදේශීය සභාවේ සවි කර තිබූ සීසීටීවී mකැමරාය. ඒ ඔස්සේ විමර්ශන සිදුවිය. එහිදී ඝාතකයන් යතුරුපැදියෙන්  ගමන් ගන්නා අයුරු නිරීක්ෂණය විය. 


මාතර දුවේ, අකුරැස්ස පාර හා යක්කලමුල්ල ප්‍රදේශය වෙත යතුරුපැදි ගමන් ගන්නා අයුරු නික්ෂණය විය. ඝාතකයන් සභාපතිවරයාට වෙඩි තබා මරා දමන්නේ FZ යතුරුපැදියකින් වුවත් කිලෝමීටරයක් පමණ දුරින් පාළු ප්‍රදේශයක නතර කර තිබු පල්සර් යතුරුපැදියකට වෙඩික්කරු නැඟ ගන්නා අයුරුද නිලධාරීන්ට දක්නට ලැබුණේය. එතැනින් එහාට ඝාතකයන් දෙදෙනා ගමන් කරන්නේ යතුරුපැදි දෙකකින්ය. සීසීටීවී කැමරා ඔස්සේ ඝාතකයාගේ හැඬරුව ඔස්සේ කළ විමර්ශනයේදී වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂක සනත් කුමාරට ඝාතකයා ගැන කිසියම් තොරතුරක් ලැබිණි. ඒ ඔහු තාරක බවට සැක කරමින්ය. මුලස්ථාන පොලිස් පරීක්ෂකවරයා කණ්ඩායමක් සමඟ කෙළින්ම ගියේ අක්මීමණ හියාරේ ප්‍රදේශයටය. ඒ තාරක පදිංචි නිවෙස සොයාය. නිවෙස වසා දමා තිබිණි. ඒ අනුව නිලධාරීන්ට තාරක සම්බන්ධයෙන් තිබූ සැකය තවත් වැඩි විය. නිලධාරීන් ඒ ඔස්සේ විමර්ශන සිදු කළේය.


උසස් පොලිස් නිලධාර්ෂයක් කීවේ තුවක්කුකරුවන් සම්බන්ධන්ධයෙන් මාධ්‍ය මඟින් විවිධ තොරතුරු පළ කිරීම මත තුවක්කුකරුවන් තැනින් තැනට පලා ගිය බවය. මේ අතර නිලධාරීන්ට තවත් තොරතුරක් ලැබුණේය. ඒ වෙඩි තැබීමේ සිද්ධියට පෙර තාරක සහ බිරිය ත්‍රිරෝද රියකින් ගාල්ල ප්‍රදේශයේ කඩ සාප්පුවකට ගිහින් අත් දිග සුදු කමිසයක් සහ කළු කලිසම්, හෙල් මට් ඇතුළු උපකරණ මෙන්ම ජංගම දුරකථනයක්ද මිලදී ගෙන ඇති බවය. දිගින් දිගටම මෙසේ කරුණු සොයා ගත් වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඉන් අනතුරුව ගියේ අම්බලන්තොට රිදියගම ප්‍රදේශයටය. ඒ තාරකගේ බිරිය එම ප්‍රදේශයේ රැඳී සිටින බවට ලද තොරතුරු මතය. ඒත් රිදියගමදී ඔවුන් සොයාගත නොහැකි වූ අතර පසුව කළ විමර්ශනයේදී ඔවුන් අම්බලන්තොට උඩ බැරගම ගම්මානයේ රැඳී සිටින බවට හෙළි විය.


පසුව එම ගම්මානයේ නිවෙසක් සෝදිසි කිර්මෙන් පසු තාරක සහ බිරිය තවත් පුද්ගලයකු සමඟ එම නිවෙසේ රාත්‍රියක් ගත කොට පසුදා උදෑසන පිටත්ව ගිය බවට තොරතුරු ලැබිණි. ඒ එම නිවෙසේ රැඳී සිටි බිරියගේ මවුපියන්ගෙන්ය. තව දුරටත් එම මවුපියන්ගෙන් ප්‍රශ්න කිරීමේදී තාරක සහ ය පැමිණි ඔවුන්ට ජංගම දුර කථනයක් ලබාදුන් බවද අනාවරණය විය. පසුව වැලිගම මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ඇතුළු කණ්ඩායම කළ විමර්ශනයේදී ජංගම දුරකථනය මිලදී ගත් දුරකථන අලෙවිහල සොයා ගැනුණු අතර එම දුරකථන හලේ

සී.සී.ටී.වී. කැමරා පරීක්ෂා කිරීමේදී තාරක සහ බිරිය ජංගම දුරකථනය මිලදී ගන්නා අයුරු දක්නට ලැබිණි. ජංගම දුරකථනය සඳහා මුදල් ගෙවා ඇත්තේ 5,000 මුදල් නෝට්ටු වලින්ය. දුරකථනයේ මිල රුපියල් 24,400 කි. එය සිය මවුපියන්ට ලබාදුන් තාරකත් ඔහුගේ බිරියත් අනෙක් පුද්ගලයාත් එදා යතුරුපැදි  දෙකකින්ම නැග පලාගොස් ඇත්තේ මහියංගණය රිදීමාලියද්ද ප්‍රදේශයටය.


අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන නිලධාර්න් සමඟ සම්බන්ධ වන්නේ එතැන් පටන්ය. ඒ නුව තාරකගේ බිරියගේ මවුපියන්ගෙන් ලබාගත් තාරකගේ ජංගම දුරකථන අංකය ඔස්සේ විශ්ලේෂණ වාර්තාවක් ලබා ගැනීමක් සිදු විය. ඉන් අනතුරුව නව තාක්ෂණ ක්‍රමවේද ඔස්සේ තාරක බිරිය සහ අනෙක් පුද්ගලයා ගමන් ගන්නා මාර්ගය  නිරීක්ෂණය කිර්ම මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් ඇරැඹීය. ඒ අනුව කළ දීර්ඝ තාක්ෂණ විමර්ශනයට අනුව සැකකරුවන් කැකිරාව ගම්මාන 5 පොතානේගම ප්‍රදේශයේ පාළු නිවෙසක රැඳී සිටින බවට නිලධාරීන්ට එත්තු ගියේය. ඒ අනුව ඉකුත් 25 වැනිදා අලුයම් විශේෂ කාර්ය බළකාය සහ මූල්‍ය අපරාධ විමර්ශන කණ්ඩායම පොතොනේගම නිවෙස වටලා සැකකරුවන් අත්අඩංගුවට ගත්හ. එම අවස්ථාවේදී තාරකද එතැන රැඳී සිටි අතර ඔහු නිලධාරීන් සමග පොර බදා එතැනින් පලා ගියේය. පසුව සැකකරුවකු සහ සංක කාර්යක් අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීමේදී සැකකරු ප්‍රාදේශීය සභාපතිවරයා ඝාතනය සඳහා යතුරුපැදිය පැද වූ පුද්ගලයා බවත් සැකකාරිය තාරකගේ බිරිය ලෙසටත් හඳුනා ගැනිණි.

ඔවුන් සන්තකයේ තිබූ රුපියල් ලක්ෂ 12 ක මුදලක්ද සොයා ගැනුණු අතර එම මුදල ඝාතන කොන්ත්‍රාත්තුව සඳහා ලබාගත් මුදල් බවට නිලධාරීන්ට ඒත්තු ගියේය. එතැන තිබූ යතුරුපැදියක් ද සිය භාරයට ගත් නිලධාරීන් එය පරීක්ෂා කිරීමේදී අනාවරණය වූයේ එම යතුරු පැදිය සභාපතිවරයා ඝාතනය සඳහා යොදාගත් යතුරුපැදිය බවය.


පසුව ඔවුන්ගෙන් කළ ප්‍රශ්න කිමේදී නිවෙසින් පලාගිය පුද්ගලයා තාරක බවට හඳුනාගැනීමෙන් පසු ඔහු දුටු තැන අත්අඩංගුවට ගැනීම සඳහා ඔහුගේ රූපය සහිත විස්තර මාධ්ය වෙතද යොමු කිරීමට නිලධාරීහු පියවර ගත්හ. එමෙන්ම තාරක ගමන් ගන්නා මාර්ගය ඔස්සේ තාක්ෂණ ක්‍රමවේද භාවිත කරමින් විමර්ශන කරද්දී ඔහු බොරැල්ල දෙසට ගමන් කරන බවත් සහස්පුර ප්‍රදේශයේ රැඳී සිටින බවටත් නිලධාරීන්ට ඒත්තු ගියේය. නිලධාරීන් කණ්ඩායමක් සහ පුර තට්ටු නිවාස සෝදිසි කරන්නේ ඉන් අනතුරුවය. එහිදී නිලධාරීන්  නිවෙසක් දැඩි ලෙස සෝදිසි කළ අතර එහි හිමිකරු නිලධාරීන්ට පවසා තිබුණේ මිතුරකු හමුවීම සඳහා තාරක එම නිවෙසට පැමිණ ගිය බවය.


තාරක සිය ජංගම දුරකථනය චාජ් කිරීම සඳහා නිවෙස් හිමියාට ලබාදී තිබූ අතර බොරැල්ල සහස්පුර ප්‍රදේශයේදී ඔහු සිය කොණ්ඩය කොටට කපා දමා ඇති බවද නිලධාර්න් අනාවරණය කරගත්තේය. දිගින් දිගටම තාරකගේ ගමන් මාර්ගය නිරීක්ෂණය කරද්දී ඔහු. මහරගම නාවින්න ප්‍රදේශයේ රැඳී සිටින බවට ඒත්තු ගිය අතර ත්‍රීවීලරයකින් ගමන් කරමින් සිටි තාරක නිලධාරීන් දැක බියට පත්ව ත්‍රිරෝද රියෙන් බැස දිව ගොස් ගරාජ්යක සැඟව ඇත. නිලධාරීන් ඔහු කොටුකර ගන්නේ එම ස්ථානයේදීය. එහිදී ඔහුගේ සිරුරේ ගසා තිබූ පච්ච සලකුණ අනුව ඔහු හිතුමතේ ජීවිතේ හෙවත් වෙඩික්කරු බවට නිළධාර්න් තහවුරු කර ගන්නා ලදී.


අල්ලාගත් මොහොතේ ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසන්නේ ඩුබායි ලොක්කා නමැත්තාගේ කොන්ත්‍රාත්තුවකට මෙම වෙඩි තැබීම සිදු කළ බවත් වෙඩි තැබීම සිදු වු දා උදෑසන තමාට සභාපතිට වෙඩි තැනීමට යොදාගත් ගිනි අවිය ලබාදුන් බවත්ය.

පසුව කළ විමර්ශනයේදී හෙළි වන්නේ රුපියල් ලක්ෂ 20කට සභාපතිවරයා ඝාතන කොන්ත්‍රාත්තුව ලබාගත් බවත් එම මුදලින් අත්තිකාරමක් ලෙස රුපියල් ලක්ෂ 12ක් මොහු වෙත ලැබී ඇති බවත්ය. වෙඩි තැබීමට පෙර තාරක සහ ඔහුගේ බිය ඇතුළු තිදෙනකු ගාල්ලට රැගෙන ගොස් කමිස, කලිසම්, ජංගම දුරකථන, හෙල්මට් ලබාදීම සිදු කළ ත්‍රිරෝද රියැදුරුද මේ වන විට වැලිගම මූලස්ථාන පොලිස් පක්ෂකවරයාගේ මෙහෙය වීම මත සිදු කළ විමර්ශනයකදී අත්අඩංගුවට ගෙන ඇති අතර හයර් එක වෙනුවෙන් තාරක විසින් ඔහුට රුපියල් 20,000ක මුදලක් ලබාදී ඇති බවත් සඳහන්ය.


මෙම ඇඳුම් පැලඳුම්, ජංගම දුරකථන මිලදී ගෙන ඇත්තේද වෙඩි තැබීමට පෙර ලබාදුන් කොන්ත්‍රාත් මුදල්වලින් බවට සැක කරයි. වෙඩි තැබීමෙන් පසු යතුරු පැදියෙන් පලායන අවස්ථාවේ තවත් පුද්ගලයකු පැමිණ වෙඩික්කරුට නිල් පැහැති බෑගයක් ලබාදී තිබු අතර එහි තුළ මෙම මුදල් තිබෙන්නට ඇති බවත් නිලධාරීන්ගේ සැකයයි. අත්අඩංගුවට ගත් සැකකරුවන් 6 දෙනා වැඩිදුර විමර්ශන සඳහා මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය වෙත භාරදී තිබේ. 


කෝටි 120ක මුදල් අවභාවිතයක් වී ඇතැයි විගණන වාර්තාවකින් හෙළිවේ

 


නිමල් අල්ගෙවත්ත


මිලියන 1000 ඉක්ම වූ ග්ලූකෝස් පටි හා ඖෂධ වෛද්‍ය සැපයුම් ඒකකය තුළ කිසිදු ප්‍රයෝජනයකට ගෙන නොමැති බව නවතම විගණන වාර්තාවක සඳහන් වේ. රුපියල් මිලියන 1200ක බරපතළ මුදල් අවභාවිතයක් සිදුව ඇති බවත් මේ සම්බන්ධයෙන් වහා විමර්ශනයක් පවත්වන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් ඉල්ලා සිටින බව වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සස්ථිති සන්ධානයේ සභාපති විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කළේය. ඊයේ (27දා) අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඒ මහතා එසේ කීය.


ලෝක බැංකුවේ ණය ආධාර ව්‍යාපෘතිය යටතේ ක්‍රියාත්මක කරන ලද කොවිඩ් 19 හදිසි ප්‍රතිචාර ව්‍යාපෘතිය යටතේ සෞඛ්‍ය අමාත්‍යාංශය මඟින් මිලදී ගෙන තිබූ Blood Glucose strips සහ Atracurium injection, Nitroglycerin sublingual tablets මිලදී ගෙන වෛද්‍ය සැපයුම් අංශ ගබඩා තුළ කල් ඉකුත්ව තිබූ බවත්, මේවා රෝහල්වලට බෙදා නොදීමට කටයුතු කර තිබූ බවත් නවතම විගණන වාර්තාවක් මගින් තහවුරු වී ඇත. කල් ඉකුත් වූ Glucose stripsවල වටිනාකම රුපියල් මිලියන 219කට ආසන්න බවත් 2023 වසරේදී වෛද්‍ය සැපයුම් ඒකකය අංක පනස් හතර තොග ගබඩා වෙත ලද මෙම රුධිරගත සීනි මට්ටම මැන බැලීමේ දර්ශක 2025 ජනවාරි – 31 වන විටත් රෝහල්වලට බෙදා නොදී කල් ඉකුත් වෙමින් පැවැති බව විගණන වාර්තාවේ සඳහන් වේ. එම විගණන වාර්තාවට අනුව නිලධාරීන්ගේ නොසැලකිලිමත්භාවය මත මෙම ආර්ථික අවාසිය සිදුව ඇති බව දත්ත සටහනේ සඳහන් වේ.


වෛද්‍ය සැපයුම් ඒකකය තුළ මෙම ග්ලූකෝස් දර්ශක පවතිද්දී රෝහල් බලධාර්න් විසින් 2022 වර්ෂයේදී රුපියල් මිලියන 59ක සහ 2023 වසරේදී රුපියල් මිලියන 52ක් වටිනා ග්ලුකෝස් දර්ශක ප්‍රාදේශීය මිලදී ගැනීම් ලෙස වැඩි මිලට ගෙන ඇති බවද විගණන වාර්තාව සඳහන් වේ. එසේම රුධිරගත ග්ලූකෝස් මට්ටම මැන බැලීම සඳහා නොමිලේ ලබාගත හැකි Glucometer මැන බැලීමේ උපකරණ, Lancet කටුද ඇමෙරිකානු ඩොලර් 87,680ක් වැය කොට මිලදී ගෙන ඇති බව විගණන දත්ත පෙන්වා දෙයි. මෙම කාල සීමාවේදීම වෛද්‍ය සැපයුම් ඒකකයේ අංක 6 ගබඩාව වෙත මිලදී ගන්නා ලද රුපියල් මිලියන 38ක් අධික වටිනාකම්කින් යුත් Atracurium injection තොගයක්ද නිසි පරිදි ශීතදාම භාවිත නොකිරීම නිසා කල් ඉකුත් වී ඇති බව නිරීක්ෂණය වී ඇත. එසේම රුපියල් මිලියන 71ක් වප්නා Nitroglycerine tablet ඖෂධ තොගද වෛද්‍ය සැපයුම් ඒකකය තුළ කල් ඉකුත් වී ඇති බව විගණනය පෙන්වා දෙන අතර ඉහත කල් ඉකුත් වු උපකරණ සහ ඖෂධවලට අමතරව තවත් රුපියල් මිලියන. නවසීයක් වටිනා වෛද්‍ය සැපයුම්, අයිතම්, 892ක් 2024 දෙසැම්බර් 31 වන විට වෛද්‍ය සැපයුම් ඒකකය තුළ කල් ඉකුත් වී ඇති බව මෙම නවතම විගණන වාර්තාව පෙන්වා දෙයි.


හිටපු සෞඛ්‍ය අමාත්‍යවරුන් වන පවිත්‍රා වන්නිආරච්චි, චන්න ජයසුමන, කෙහෙලිය. රඹුක්වැල්ල, පාලන කාලෙදී සිදු වූ දූෂණ සම්බන්ධයෙන් දිගින් දිගටම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමට පැමිණිලි කරන නමුත් ඒ සම්බන්ධව විමර්ශන ක්‍රියාත්මක වීම දැඩි ලෙස ප්‍රමාද වන බවත්, විගණනය මඟින්ම පෙන්වා දෙන පරිදි දූෂිත නිලධාරීන්ට එරෙහිව වර්තමාන සෞඛ්‍ය අමාත්‍යවරයා. පියවර නොගැනීම කනගාටුවට කරුණක් බව අප කළ විමසුමකදී වෛද්‍ය චමල් සංජීව මහතා පැවැසීය.


අනියම් සබඳතාව නවතා දැම්මැයි නීතිඥවරිය මරා දැමීමේ නඩුවේ සැකකරුට ඇප

 



තමා සමඟ පවත්වාගෙන ගිය අනියම් සබඳතාව අතරඟ නවතා දැමීම නිසා ඇති වූ බහින්බස් වීමක් දුරදිග ගෙන ගොස් තියුණු ආයුධයකින් කපාකොටා 36 හැවිරිදි එක්දරු මවක වු නීතිඥවරියක ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් පුරා වසරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතකර සිටි තරුණ සැකකරුවකු දැඩි කොන්දේසි පනවා . ඇප මත මුදාහැරීමට කොළඹ මහාධිකරණ විනිසුරු ලාල් රණසිංහ බණ්ඩාර මහතා ඊයේ. (27දා) නියෝග කළේය.


එලෙස ඇප මත මුදාහරිනු ලැබුවේ කිරින්ද, පුහුල්වැල්ල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ජයනාත් ධීරසිංහ නමැත්තෙකි. සැකකරු රුපියල් ලක්ෂ 5ක මුදල් ඇප හා ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියම කළ විනිසුරුවරයා එක් ඇපකරුවකු රජයේ සේවකයකු විය යුතු බවටත් කොන්දේසියක් පනවනු ලැබීය. එයට අතරව ඇප ලබා ගැනීමෙන් අනතුරුව සතියේ සෑම ඉර්තු. දිනකම මිරිහාන පොලිසිය හමුවේ පෙනී සිටිය යුතු බවටද කොන්දේසියක් පනවනු ලැබූ විනිසුරුවරයා සැකකරුට විදේශ ගතවීමට වළක්වමින් නියෝගයක්ද නිකුත් කළේය. එම සැකකරුට එරෙහිව මිනිමැරිමේ චෝදනා යටතේ. මහාධිකරණය හමුවේ සෘජුවම අධිචෝදනා ගොනු කිරීමට නීතිපතිවරයා අපේක්ෂා කරන සහ ඇප මත මුදාහැරීමෙන් සැකකරු අධිකරණය මඟහැරීමේ ප්‍රවණතාවක් ඇති බැවින් ඇප ලබානොදෙන ලෙසට නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අධිනීතිඥ රන්දිමා, රණසිංහ මහත්මිය අධිකරණයෙන් ඉල්ලා සිටියාය. 


සිය සේවා දායකයාට එරෙහිව එල්ල වී ඇති චෝදනාව අනුව ඇප පනතේ 16 වැනි වගන්තිය ප්‍රකාරව රක්ෂිත බන්ධනාගාරගත කර තබා ගත හැකි උපරිම කාලය මාස 12ක් බවත් මේ වන විට එකී වසරක කාලය ඉක්ම ගොස් ඇති බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඇපමත මුදාහරින ලෙසට සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ කළුපහන මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. එම සැකකරු මර්හාන ප්‍රදේශයේ පදිංචිව සිටි විවාහයෙන් වෙන් වූ මරණකාර්යගේ රියැදුරු ලෙස කටයුතු කර ඇති බවත් 2024.09.21 වැනිදා ඇගේ නිවෙස තුළදී මරණකාරියගේ හත් හැවිරිදි දියණිය හා ඇගේ මව ඉදිරිපිටදීම එම ඝාතනය සිදුකර බෙන්තර ගඟට පැන සියදිවි හානි කර ගැනීමට දැරූ වෑයම නිෂ්ඵල වීමෙන් පසුව අලුත්ගම පොලිසියට පැමිණ භාර වීමෙන් අත්අඩංගුවට ගෙන තිබිණි.


පශ්චාත් උපාධි ගන්න ගිය දොස්තරලා 68 ක් කට්ටි පැනලා

 

 


 සුජිත් හේවාජුලිගේ


පශ්චාත් උපාධි හැදෑරීමට විදේශගත වූ වෛද්‍ය නිලධාරින් 71 දෙනකුගෙන් 68 දෙනකුම එම උපාධිය සම්පූර්ණ නොකර කට්ටි පැන ඇති බව අලුත්ම විගණන වාර්තාවක සඳහන් වේ.ඒ අනුව එම නිලධාරීන්ගේ චෙනුවෙන් රජය දරන ලද සමස්ත වියදම නාස්ති වී ගොස් ඇතැයිද එහි දැක්වේ. එසේම වෛද්‍ය නිලධාරීන් දොළොස් දෙනකු සේවය අතහැර යෑම සම්බන්ධයෙන් වෛද්‍ය විද්‍යා පශ්චාත් උපාධිය ආයතනයට දැනුම් දීමට අමාත්‍යාංශය කටයුතු කර නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය පවසයි.


මේ අතර බැඳුම්කර කඩ කරන වෛද්‍ය නිලධාරීන්ගෙන් අය විය යුතු සියලුම මුදල් ඔවුන් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ ලියාපදිංචි කර ගැනීමේ දී අයකර ගැනීම සඳහා වැඩපිළිවෙළක් සකස් කිරීමට ඇති හැකියාව සොයා බලන ලෙස විගණන කාර්යාලය නිර්දේශ කර ඇත.මේ තොරතුරු සඳහන් වන්නේ සේවය හැර ගිය රජයේ වෛද්‍ය නිලධාරීන්ගෙන් රජයට අය විය යුතු හිග මුදල් හා විදේශ පුහුණුව ලද විශේෂඥ වෛද්‍ය නිලධාරීන් අනුයුක්ත කිරීම සම්බන්ධයෙන් වූ විශේෂ විගණන වාර්තාවේය.


වැලිගම වෙඩික්කරු පාරේ තියා ප්‍රශ්න කළාට විමර්ශන

 

 


 නිමල කොඩිතුවක්කු


වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනයට සම්බන්ධ වෙඩික්කරු යැයි පැවසෙන පුද්ගලයා මහරගම නාවින්න ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් අවස්ථාවේ ඔහු වීඩියෝගත කරමින් මාධ්‍ය ඉදිරියේ දී ප්‍රශ්න කිරීම සම්බන්ධයෙන් ඊට සම්බන්ධ නිලධාරීන්ට විරුද්ධව පොලිස් විශේෂ විමර්ශන ඒකකය විමර්ශනයක් ආරම්භ කර ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක සහකාර පොලිස් අධිකාරී එෆ්. යූ. වුට්ලර් මහතා පැවැසීය.

මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා දැඩි අවධානය යොමු කර ඇති බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති  කැබිනට් තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේ දී මාධ්‍යවේදීන් කළ විමසීමක දී ඔහු මේ බව සඳහන් කළේය.


“ වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපතිවරයාගේ ඝාතනය සම්බන්ධයෙන් විමර්ශන කණ්ඩායම් කිහිපයක් විමර්ශන සිදුකර ප්‍රධාන වෙඩික්කරු ඇතුළු සැකකරුන් නය දෙනෙක් පොලිස් අත්අඩංගුවට ගෙන තිබෙනවා. මේවන විට එම සැකකරුවන් පැය 72 ක් රඳවා ගැනීමේ නියෝග මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ මූල්‍ය අපරාධ කොට්ඨාසය මගින් වැඩිදුර විමර්ශන සිදුකරනවා.


සභාපතිවරයාගේ ඝාතනයේ වෙඩික්කරු අත්අඩංගුවට ගත් අවස්ථාවේ දී බාහිර පාර්ශ්වයක් හෝ අපේ පොලිස් නිලධාරියකු මගින් ඡායාරූපගත කළානම් හෝ වීඩියෝ ගත කළානම් ඒ පිළිබඳව අපි විමර්ශන කරනවා. මෙලෙස අධිකරණයේ ක්‍රියාත්මක වන නඩු කටයුත්තක් සම්බන්ධයෙන් මෙලෙස සාක්ෂි ඉදිරිපත් වීම එම නඩුවට අගතියක්. ඒ වගේම වින්දිතයා ඇතුළු වින්දිත පාර්ශ්වයට මේක අගතියක් විදියට අපි සලකනවා. ඒ නිසා හැකි සෑම අවස්ථාවකදීම යම්කිසි අපරාධයක් සම්බන්ධයෙන් සංවේ දී කරුණු සමාජගත කිරීමට පෙර ඒ පිළිබඳ අවධානය යොමු කළ යුතුයි කියලා අපි මාධ්‍යවේදීන්ගෙනුත් ඉල්ලා සිටිනවා.

අත්අඩංගුවට ගැනීම ඇතුළු මේ සියල්ල අධිකරණයක දී තමයි අවසන් විය යුත්තේ. අධිකරණමය වශයෙන් පියවර ගැනීමේ දී මේ මාධ්‍ය හරහා කරුණු ඉදිරිපත් කිරීම ඒවා ඡායාරූපගත කිරීම සහ වීඩියෝ ගත කිරීම කිසිසේත් අනුමත කළ නොහැකියි. ඒ නිසා පොලිස්පතිවරයා මේ සම්බන්ධයෙන් දැඩි අවධානය යොමු කරලා සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය සිදුවූ අවස්ථාවේ ඒ හා සබැඳි නිලධාරීන්ට විරුද්ධව මේ වෙද්දී විශේෂ විමර්ශන ඒකකය විමර්ශනයක් ආරම්භ කරලා තියෙනවා” යැයි ද ඔහු එහිදී පැවසීය.


පෙම්වතිය බලන්න ගිය තරුණයා දුම්රියට පැන්නාද? හැපුණාද?

 



 රවීන්දු ලියනගේ


කොළඹ සිට හලාවතට ධාවනය වෙමින් තිබු මගී දුම්රියකට ලුණුවිල ඛණ්ඩිරිප්පුවේදී තරුණයකු හැපී ඊයේ (28) දහවල් මිය ගොස් ඇති බව උදාසිරිගම පොලිසිය කියයි. අනතුරින් මිය ගොස් ඇත්තේ කොච්චිකඩේ මානවේරියේ පදිංචි වී සිටි 25 හැවිරිදි සෙවන් ඇඬම්පෙලා නමැති අවිවාහක තරුණයෙකි. මියගිය තරුණයා ලුණුවිල ප්‍රදේශයේ තරුණියක සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ගෙන ගොස් ඇති අතර ඇය බැලීමට පැමිණ යළි යමින් සිටිය දී දුම්රියේ ගැටී මරණයට පත්වි ඇති බව පොලිසිය කියයි.


දුම්රියේ හැපී බරපතළ තුවාල ලබා සිටි තරුණයා 119 සුව සැරිය ගිලන් රථයකින් ලුණුවිල ප්‍රාදේශීය රෝහලට ගෙන ගොස් බාරදෙන විටත් මියගොස් සිටි බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරයි. මියගිය තරුණයා සිය පෙම්වතිය සමග ඇතිකර ගත් බව කියන ආරවුලකින් පසුව දුම්රියට පැන්නා ද නැතිනම් දුම්රියේ හැපී මරණයට පත්වුණේ දැයි විමර්ශන සිදුකරන

බව පොලිසිය කියයි. මරණ පරීක්ෂණය සඳහා සිරුර මාරවිල මූලික රෝහලට ගෙන ගොස් ඇත. මරණ පරීක්ෂක නිරෝෂන් ගුණසේකර මහතා විසින් මරණ පරීක්ෂණය පැවැත්වීමට නියමිතය. උදාසිරිගම පොලිසිය අනතුර සම්බන්ධයෙන් පරීක්ෂණ පවත්වයි.


අනුරාධපුර-කොළඹ නව දුම්රිය ගමන් වාරයක්

 

 


බී. ජී. චතුරංග


උදෑසන 8ට පෙර අනුරාධපුර ජනතාවට කොළඹට ළඟාවීම සඳහා ලබන නොවැම්බර් මාසයේ සිට නව දුම්රිය ගමන් වාරයක් ආරම්භ කිරීමට රජ්ය තීරණය කර ඇත.ප්‍රවාහන අමාත්‍යාංශයේ අනුරාධපුර දිස්ත්‍රික් සම්බන්ධීකරණ ප්‍රවාහන කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා මේ බව අනාවරණය කළේය.

මෙතෙක් අලුයම කාලයේ අනුරාධපුරයෙන් පිටත්ව කොළඹට ළඟා වීමට හැකි මුල්ම දුම්රිය වූයේ බෙලිඅත්ත බලා යන "රජරට රැජිණ” දුම්රියයි. එය කොළඹට ළඟා වන විට පෙරවරු 10.30 පසු වීම හේතුවෙන් කාර්යාල සේවකයින්ට සහ අනුරාධපුරේ සිට කාර්යාල වැඩ කර ගැනීම සඳහා කොළඹට යන ජනතාව දැඩි අපහසුතාවයන්ට මුහුණ දීමට සිදුව තිබුණි.


අනුරාධපුරයේ සිට කොළඹට යන මගියකුට මේ හේතුවෙන් කොළඹ රාජකාරියක් සිදු කිරීමෙන් අනතුරුව අනුරාධපුරයට පැමිණීමට සිදු වන්නේ රාත්‍රී කාලයේය. ඒ හේතුවෙන් ප්‍රවාහන පහසුකම් නොමැතිවීමේ අපහසුතාවටත් සහ අලින්ගෙන් සිදු වන උවදුරු වලටත් ඔවුන් ලක්වී තිබෙන අතර ඒ වෙනුවෙන් අවදානමක්ද ගැනීමට සිදු වී ඇත. ලබන නොවැම්බර් මාසයේ ආරම්භ කිරීමට නියමිත අලුයම් දුම්රිය සේවාව එම මාසයේදී අත්හදා බැලීමක් වශයෙන් සති අන්තයේ කොළඹ සිට අනුරාධපුරයට ගමන් කිරිමටත් සති මුල අනුරාධපුර සිට කොළඹට ගමන් කිරිමටත් සැලසුම් කර ඇති බව ප්‍රවාහන අමාත්‍යාංශයේ ප්‍රවාහන කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුසන්ත කුමාර නවරත්න මහතා පැවසීය.


නව දුම්රියක් ආරම්භ කිරීමට අවශ්‍ය දුම්රිය එන්ජින් ලබා දීම දුම්රිය දෙපාර්තමේන්තුවට යම් අපහසු කාර්යයක් වී ඇති බැවින් දැනට සවස 6.05ට කොළඹින් මහව බලා පිටත්වන දුම්රිය දිගුවක් ලෙස අනුරාධපුරය දක්වා ධාවනය කිරීමට හැකි බවත් එය පොල්ගහවෙල දක්වා සීඝ්‍රග්‍රාමී දුම්රියක් ලෙස පවත්වමින් මඟවට රාත්‍රී 9 30 පමණ ළඟා වන බවත් සදහන් වේ. එය අනුරාධපුරය දක්වා දිගු කළහොත් කාර්යාල සේවය කරන නිලධාරින්ටත් මහජනතාවටත් මහත් අස්වැසිල්ලක් වනු ඇත.

එම දුම්රිය පාන්දර මහව ප්‍රදේශයෙන් පිටවීමට නියමිත අලුයම 4.50 වෙනුවට අනුරාධපුරයෙන් පාන්දර 3.30ට පමණ පිටත් වීම දැනට සැලසුම් වී ඇත.බස් මගින් කොළඹට යෑමට දැරිමට සිදුවන විශාල මුදලට වඩා දුම්රියෙන් ගමන් කිරීමෙන් වැඩි මුදලක් ඉතිරි කර ගැනීමටත් රාජකාරි සිදු කර ඉක්මනින් පැමිණීමටත් මෙමගින් හැකි වන බව මගී ජනතාව පෙන්වා දුන්හ. මෙම දුම්රිය ලබා දීමට රජය අවධානය යොමු කිරීම සම්බන්ධයෙන් තම ප්‍රසාදය පළ කරන බවත් මගී ජනතාව සහ කාර්යාල සේවය කරන නිලධාරීහු රජයට ප්‍රශංසාව හිමි කරන බවත් පවසති.

එස්.ඩී.අයි.පිට එරෙහිව පොලිස්පති සීඅයිඩීයට

 


විශේෂ වාර්තාකරුවකු විසිනි


පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් යන මහත්වරුන්ට සහ වත්මන් රජයට අපහාස වන අන්දමින් යූ ටියුබ් නාලිකාවක අයිතිකරුවකු සමග එක්වී අසත්‍ය ප්‍රකාශ සමාජගත කරන ලදැයි කියන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයකු සම්බන්ධයෙන් පොලිස්පතිවරයා ජාතික පොලිස් කොමිසමට සහ රහස් පොලිසියට පැමිණිලි කර ඇත.


 පොලිස්පතිවරයා විසින් කරනු ලැබූ මෙම පැමිණිල්ලට අනුව එම චෝදනාවට ලක්වී සිටින එම ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගෙන් ද රහස් පොලිසිය අද හෙටම ප්‍රශ්න කර ප්‍රකාශ ලබා ගැනීමට නියමිතව ඇත. සමාජ ක්‍රියාකාරිකයකු වන විමල් ජයසේකර මහතා මේ සම්බන්ධයෙන් පොලිස්පතිවරයාට පැමිණිලි කර ඇත. දකුණු පළාත් බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට එරෙහිව කුරුණෑගල ප්‍රදේශයේ පදිංචි යූ ටියුබ් නාලිකාවක් පවත්වාගෙන යන අයකු විසින් කරන ලදැයි කියන අසත්‍ය ප්‍රචාර සම්බන්ධයෙන් ලැබී තිබූ පැමිණිල්ලක් අනුව විශේෂ රහස් පොලිස් කණ්ඩායමක් ඔහුගෙන් පසුගියදා පැය හයකට ආසන්න කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ ලබාගෙන ඇත. ප්‍රකාශය ලබා ගත් අවස්ථාවේ එම යූටියුබ් නාලිකාවේ හිමිකරු රහස් පොලිස් නිලධාරීන් සමග නිලධාරීන් සමග පවසා ඇත්තේ තමාට තොරතුරු ලබා දුන් නිලධාරියාගේ නම මේ අවස්ථාවේ හෙළි කර නොහැකි බවයි.


පොලිස්පතිවරයාට ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති කිත්සිරි ජයලත් මහතාට සහ වත්මන් රජයට අපහාසාත්මක වන ආකාරයේ අසත්‍යය මඩප්‍රචාර කරන ලදයි කියන යූ ටියුබ් හිමිකරුට එරෙහිව සමාජ ක්‍රියාකාරිකයකු බවට පැවසෙන විමල් ජයසේකර මහතා මීට දින කිහිපයකට ඉහතදී පොලිස්පතිවරයාට පැමිණිලි කළේය. මෙම සිද්ධිවලට අදාළ හඬපට ද මෙම සමාජ ක්‍රියාකාරිකයා විසින් පොලිස්පතිවරයාට දෙනු ලැබ ඇත. පොලිස්පතිවරයා විසින්ම මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ රහස් පොලිසියට බාරදී ඇති අතර පොලිස්පතිවරයා එයි. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාට එරෙහිව ජාතික පොලිස් කොමිෂන් සභාවට ද පැමිණිලි කර ඇත. ජාතික පොලිස් කොමිෂන් සභාව ද පොලිස්පතිවරයා කරන ලද ද මෙම පැමිණිල්ලට අදාළව විමර්ශන ආරම්භ කර තිබේ.


Tuesday, October 28, 2025

වෛද්‍යවරයාගේ නිවෙසින් කෝටියක දේපළ ඉස්සූ පෙම් යුවළක් අත්අඩංගුවට

 


එච්.එම් ධර්මපාල


දෙහිවල එඛනිස පාරේ මහල් නිවාස සංකීර්ණයක දෙවන මහලේ පිහිටි ආයුර්වේද වෛද්‍යවරයකුගේ නිවසින් රුපියල් එක්කෝටි දහතුන් ලක්ෂයකට අධික වටිනා. දේපළ සොරා ගත් බව කියන පෙම්යුවළක් මීගමුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය පැවසීය. මෙලෙස සොරාගත් දේපළ අතර විදේශීය විස්කි බෝතල් 60 ක් හා තවත් වටිනා මිල අධික අරක්කු වර්ගයේ බෝතල් 50 ක්, වීසා ගාස්තු සඳහා ලබාදුන් රුපියල් ලක්ෂ හතළිස් පහක මුදලක් සහ රුපියල් ලක්ෂ තිහකට අධික වටිනා දේපළ සොරාගෙන පලාගොස් ඇති බවට ලද පැමිණිල්ලේ සඳහන් බව පොලිසිය පැවසීය.


මෙම මෙහෙකාර පෙම්වතිය හා ඇයගේ පෙම්වතා මීගමුව ටැටූ මධ්‍යස්ථානයක නවාතැන්පලක පදිංචිව සිටින වයස අවුරුදු 22 සහ 24 වියැති දෙදෙනෙකි. මෙම වෛද්‍යවරයා දීර්ඝ කාලයක සිට ජර්මනියේ පදිංචිව සිටිමින් ආයුර්වේද තෙරපි මධ්‍යස්ථානයක් පවත්වා ගෙන යයි. මේ අතර දෙහිවල නිවස පාළුවට යන නිසා දන්නා අඳුරන තරුණයෙකු මාර්ගයෙන් මෙම තරුණිය හඳුනාගන. පසුගිය ජනවාරි මස 6 වැනිදා සිට නිවස බලාගෙන සිටීමට සලස්වා ඇති අතර ඒ අතර ඇය සමග ප්‍රේම සබඳතාවක් ගොඩනගාගත් වෛද්‍යවරයා ඇයට පොරොන්දු දී ඇත්තේ පෙර පවුල් දික්කසාද කර ඇය විවාහ කරගෙන ජර්මනියට ගෙන්නා ගන්නා බවයි. මේ සඳහා යන වීසා ගාස්තු වශයෙන් රුපියල් හතළිස් පන් ලක්ෂයක මුදලක් අවස්ථා තුනකදී ඇයගේ ගිණුමට එවා ඇති බවත්, එම මුදල් තමා අඳුරන ප්‍රංශයේ ඒජන්සි ආයතනයක නියෝජිතයකු හට කොටුව ප්‍රදේශයේදී ලබාදුන් බවත් ඒ සඳහා කිසිදු ලියවිල්ලක් ලබා  නොදුන් බවත් සේවිකාව වෛද්‍යවරයා වෙත පවසා ඇත.


ඊට අමතරව මාසික වියදමට රුපියල් ලක්ෂ තුන බැගින් ඇයගේ ගිණුමට එවා ඇති බවත් හෙළිවී ඇතැයිද පොලීසිය පැවසීය. මේ අතර වෛද්‍යවරයාගේ ට්‍රේලර් කාඩ්පතේ කොපියක් රහසිගතව තම පරිගණකය වෙත බාගත කර එයින්ද මේ දක්වා මාසිකව රුපියල් ලක්ෂ තුනකට අධික මුදලක්ද ලබාගෙන වෛද්‍යවරයාට නොකියා කුලී ගමන් යමින් රිසිසේ කෑම බිම ගෙන්වාගෙන ඇති බවත් පොලීසිය පැවසීය. මේ අතර තමාගේ බිරිඳ ළඟදීම ලංකාවට එන බැවින් ඇයට වෙනත් නිවසක පදිංචිව සිටින ලෙසත් ඊට මුදල් ලබා දෙන බවටත් වෛද්‍යවරයා පවසා ඇතැයි කියයි, ඉන්පසු ඇය වෛද්‍යවරයා සමග තිබූ ප්‍රේම සබඳතාව අතහැර දමා දුරකථනයද විසන්ධි කර ඇති බැවින් ඇය ගැන කිසිඳු තොරතුරක් දැනගත නොමැති බැවින් ඉකුත් 06 වනදින ලංකාවට පැමිණ ඇය පිළිබඳව සොයා බලා ඇතත් තොරතුරක් නොලද බවද ඔහු සඳහන් කර ඇත. නිවස පරික්ෂාවට ලක් කිරීමේදී තමා විනෝදයට එකතුකර තිබූ වටිනා විදේශිය මත්පැන් බෝතල් 60 ක් හා දේශීය මත්පැන් බෝතල් 50 ක් සමග බෝතල් 110 ක්ද නිවසේ තිබූ පරිගණක, විදුලි උපකරණ ඇතුළු රුපියල් ලක්ෂ තිහකට අධික වටිනා දේපළද රැගෙන ගොස් ඇති බවත් දැන දෙහිවල පොලීසිය වෙත පැමිණි කර ඇත.


ඒ අනුව දෙහිවල පොලීසිය මේ පිළිබඳව විමර්ශනය කරන අතරතුර එම යුවළ මීගමුවේ ටැටූ මධ්‍යස්ථාන නවාතැන්පලක සිටින බවට ලද තොරතුරකට අනුව ඉකුත්දා (22) අත්අඩංගුවට ගැනීමට හැකිවී ඇත. සිදුකළ විමර්ශන වලට අනුව සොරාගත් දේපළ වලින් කොටසක් පමණක් සොයා ගත් බවත් විසා සඳහා දුන් ලක්ෂ හතළිස් පහක මුදලට සිදුවූ දෙයක් නැති බවත් පොලීසිය පැවසීය. 

සරසවි පෙම්වතියගේ නිරුවත් රූප අලුත් පෙම්වතාට යවලා

 

 


 උපාලි ආනන්ද


තව සරසවි පෙම්වතියගේ නිරුවත් ඡායාරූප පෙම්වතියගේ අලුත් පෙම්වතාට විට්ස් ඇප් ඔස්සේ යැවූ බව කියන සිද්ධියක් සමබන්ධයෙන් පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් උප ඒකකය විසින් සැකපිට අත් අඩංගුවට ගෙන රිමාන්ඩ් ඛන්ධනාගාර ගත කෙරුණු මුල් පෙම්වතා ශරීර ඇප මත මුදා හරින ලෙස ගල්ගමුව මහේස්ත්‍රාත් රවින්දු රංජන් බංඩාර මහතා නියෝග කළේය. ඒ අනුව සැකකරුට රුපියල් ලක්ෂ දෙකක් වටිනා ශරීර ඇප දෙකක් නියම කෙරිණි. පැමිණිලි පාර්ශ්වයට හෝ විමර්ශනවලට බලපෑම නොකළ යුතු බවටද සැකකරුට නියෝග කළේය.


මෙසේ ඇප මත මුදා හැරියේ පේරාදෙණිය හත් දෙස දවලදෙනිය පදිංචිකරුවෙකි. මෙම සැකකරුගේ පෙම්වතිය බව කියන ගල්ගමුව පාලුකඩවල ප්‍රදේශයේ පදිංචි සරසවි සිසුවියක පරිගණක අපරාධ විමර්ශන පළාත් වියඹ වාරියපොල උප ඒකකයට පැමිණිල්ලකට අනුව මූලික විමර්ශන මෙහෙයවා සැකකරු අත්අඩංගුවට ගැනිණි. පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් වාරියපොල උප ඒකකය සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පැවසුවේ සැකකරු සිය පෙම්වතියගේ නිරුවත් ඡායාරූප පෙම්වතියගේ අලුත් පෙම්වතා කියන පුද්ගලයකුට වට්ස් ඇප් ඔස්සේ යවා ඇති බවයි.


 

මෙම සිද්ධිය සම්බන්ධයෙන් තවදුටරත් විමර්ශන කරන බව කියා සිටි පොලිසිය සැකකරු යළි රිමාන්ඩ් බාරයට පත් කරන ලෙසද ඉල්ලා සිටියේය. සැකකරු වෙනුවෙන් අධිකරණයට කරුණු දක්වමින් නීතිඥ රන්දුනු සේනාරත්න මහතා කියා සිටියේ තම සේවාදායකයා පැමිණිලිකාර සරසවි සිසුවිය සමඟ වසර තුනක් පේරම සම්බන්ධතාවක් පවත්වා ගෙන ගොස් ඇති බවයි. 


පැමිණිලිකාරිය තම සේවාදායකයා සමඟ පේරම සම්බන්ධතාවක් පවත්වා ගෙන යන අතරතුර තවත් පුද්ගලයකු සමඟ පේරම සබඳතාවක් ඇති කර ගෙන ඇති බව කී නීතිඥවරයා තම සේවාදායකයා පැමිණිලිකාරියගේ අනෙක් පෙම්වතාට යැවූ බව කියන ඇගේ නිරුවත් ඡායාරූප තම සේවාදායකයාගේ ජංගම දුරකථනයට එවා ඇත්තේ පැමිණිලිකාරිය විසින්ම ඇගේ ජංගම දුරකතනයෙන් බව ද කීවේය. ඒ අනුව සිය සේවාදායකයා ඇප මත මුදා හරින ලෙසද නීතිඥවරයා අයැද සිටියේය. දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම් සැලකිල්ලට ගත් මහේස්ත්‍රාත් රවින්දු රංජන් බංඩාර මහතා සැකකරු යළි රිමාන්ඩ් කරන්නැයි  පොලිසිය කළ ඉල්ලීම ඉවත දමමින් සැකකරු ශරීර ඇප මත මුදා හැරිමට නියෝග කළේය. පැමිණිල්ල වෙනුවෙන් පරිගණක අපරාධ විමර්ශන වයඹ පළාත් වාරියපොල උප ඒකකයේ නිලධාරීහු පෙනී සිටියහ.


ඒකාබද්ධ විපක්ෂයේ ජන රැලියක් එන මස 21දා නුගේගොඩදී

 


 

 දිනේෂ් සමරකෝන්


ආණ්ඩුවේ වැඩපිළිවෙළට විරෝධය දැක්වීම සදහා ‘වංචනික මාලිමා ආණ්ඩුවේ මුග්ධ පාලනයට එරෙහි මහා ජන හඬ’ මැයෙන් ඒකාබද්ධ විපක්ෂය සංවිධානය කරන දැවැන්ත ජනරැලියක් ලබන මස 21 වැනිදා නුගේගොඩදී පැවැත්වේ. එම රැලියට සමගි ජන බලවේගය, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ, ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පොදුජන එක්සත් පෙරමුණ, එක්සත් ජාතික පක්ෂය, පිවිතුරු හෙළ උරුමය, එක්සත් මහජන පක්ෂය, ජාතික නිදහස් පෙරමුණ, ශ්‍රී ලංකා මහජන පක්ෂය සහ නව ජනතා පෙරමුණ යන පක්ෂ නියෝජනය කරමින් විශාල පිරිසක් සහභාගී වන බව පිවිතුරු හෙළ උරුමයේ නායක හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ උදය ගම්මන්පිල මහතා ඊයේ (27) කොළඹදී පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී පැවසීය. 


විපක්ෂයේ පක්ෂ ඒකාබද්ධව කරන මෙම වැඩපිළිවෙළ සඳහා හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ, මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන්ගේ මෙන්ම විපක්ෂනායක සජිත් ප්‍රේමදාස මහතාගේද ආශිර්වාදය ලැබෙන බව ද එහිදී ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. ජනාධිපතිවරණයට පෙර අනුර කුමාර දිසානායක මහතා ජනතාවට පොරොන්දු 1359 ක් දී ඇතත් ඉන් එකදු හෝ පෙරොන්දුවක් මෙතෙක් ඉටුකර නැතැයිද හෙතෙම පැවසීය.


එහිදී අදහස් දැක්වූ එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් හිටපු ඇමැතිනී නීතිඥ තලතා අතුකෝරල මහත්මිය පැවසුවේ දිනෙන් දින බිඳ වැටෙමින් තිබෙන ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂාකර ගැනීම සඳහා විපක්ෂයේ සියලු පක්ෂ ඒකාබද්ධ වන බවය. එම මාධ්‍ය හමුවට එක්වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මහලේකම් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරිවසම් මහතා ප්‍රකාශ කළේ වර්තමානය වන විට නීතියේ ආධිපත්‍යය දරුණු ලෙස ඛාදනය කරමින් තිබෙන බවය.


මාධ්‍ය හමුවට එක්වූ පොදුජන එක්සත් පෙරමුණේ නායක හිටපු අමාත්‍ය නීතිඥ අනුර ප්‍රියදර්ශන යාපා මහතා පැවසුවේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට කටයුතු නොකරන්නේ නම් කිසිදු පුද්ගලයකුට ජීවත් විය හැකි රටක් නිර්මාණය නොවන බවය. එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළේ වත්මන් ආණ්ඩුවට ඡන්දය දුන් පිරිස් ආණ්ඩුව එළවා දැමිය යුතුය යන මතය දරමින් කටයුතු කරන තත්වයට පත්ව ඇති බවය.


පාසල් ඇරෙන වෙලාව වෙනස් කළොත් අපි ‘ස්ට්‍රයික්

 

 ’


රංජන් කස්තුරි


පාසල් නිමවන කාලය පස්වරු 2 බවට පත් කිරීමේ අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණය වහා හකුළා නොගතහොත් දෙසැම්බර් මස මුල් සතියේ නව පාසල් වාරය ආරම්භ කළ පසු වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බව ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය කියයි.

පාසල් නිම කරන කාලය පස්වරු 2 දක්වා දීර්ඝ කිරීම කුමන පදනමකින් සිදුකරන්නේ ද යන්න ප්‍රකාශ කිරීමට අධ්‍යාපන අමාත්‍යාංශය අපොහොසත්  වී ඇති බවද ඒ සඳහා අධ්‍යාපන අමාත්‍යාංශය මනෝ විද්‍යාත්මක උපදෙස් ලබා ගත්තේ ද එසේත් නොමැතිනම් පර්යේෂණයක් සිදු කළේද යන්න ප්‍රකාශ නොකරන බවද ගුරු විදුහල්පති වෘත්තීය සමිති සන්ධානය වෙනුවෙන් ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප් ස්ටාලින් මහතා පැවසීය.


අත්තනෝමතිකව පාසල් නිම කරන කාලය පැය භාගයකින් දීර්ඝ කිරීමෙන් සිසුන්ගේ විදුහල්පතිවරුන්ගේ හා ගුරුවරුන්ගේ කාලය නිකරුණේ නාස්ති වන අතර එය සිසුන්ට ප්‍රයෝජනවත් නොවන්නක් බවද සඳහා මනෝවිද්‍යාමක පදනමක් තිබිය යුතු බවද ස්ටාලින් මහතා ප්‍රකාශ කළේය. මේ සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයේ තීරණය මෙම පාසල් වාරය අවසන් වන නොවැම්බර් මස 7 වැනි දිනට ප්‍රථම ප්‍රකාශ කළ යුතු අතර එසේ නොකරන්නේ නම් අනිවාරේන්ම නව පාසල් වාරය ආරම්භ වූ පසුව වැඩ වර්ජනයක් ක්‍රියාත්මක කරන බවද හෙතෙම සඳහන් කළේය.


විදුලි බල මණ්ඩලයේ විදුලි කාර්මිකයකු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස්

 




මනෝප්‍රිය ගුණසේකර


පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටිමින් ඇප නොමැති චෝදනාවකට අත්අඩංගුවට ගන්නා බව කියමින් පුද්ගලයකුගෙන් රුපියල් ලක්‍ෂ 04ක අල්ලසක් ඉල්ලා රුපියල් 1,30,000/-ක් ලබාගත් බවට චෝදනා ලැබ සිටි විදුලි බල මණ්ඩලයේ විදුලි කාර්මිකයකු සියලු චෝදනාවලින් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු මාපා බණ්ඩාර මහතා නියම කළේය. වැටලීම් කළ අල්ලස් කොමිසමේ නිලධාරීන්ගේ ප්‍රකාශ සහ පැමිණිලිකරුගේ සාක්ෂි එකිනෙකට පරස්පර බව පෙන්වා දෙමින් නීතීඥ රවීන්ද්‍ර සෙනරත් මහතා කළ ඉල්ලීමක් පිළිගත් විනිසුරුවරයා සියලු චෝදනා වලින් විත්තිකරු නිදොස් කොට නිදහස් කළේය.


පොලිස් නිලධාරියකු ලෙස පෙනී සිටිමින් ඇප නොමැති චෝදනාවකට අත්අඩංගුවට ගන්නා බව කියමින් පුද්ගලයකුගෙන් රුපියල් ලක්‍ෂ 04ක අල්ලසක් ඉල්ලා රුපියල් 1,30,000/-ක් ලබාගත් බවට චෝදනා ලැබ සිටි ගම්පහ මාදෙල්ගමුවේ පදිංචි විදුලි බල මණ්ඩලයේ විදුලි කාර්මිකයකයකු වන නිලංග සඳරුවන් මහතාට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නැතැයි තීරණය කරමින් මෙලෙස නිදොස් කොට නිදහස් කරන ලදී. 2019 දෙසැම්බර් 12 වැනිදා ගම්පහ උඩුගම්පොළදී ට්‍රෙවෝ ලොඩවයික් නමැත්තාගෙන් අවස්ථා කිහිපයක දී රුපියල් ලක්‍ෂ 04ක අල්ලසක් ඉල්ලා රුපියල් 1,30,000/-ක අල්ලසක් ලබාගැනීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසම නඩු පවරා තිබිණි.


 චෝදනා සම්බන්ධයෙන් පැවැති දීර්ඝ නඩු විභාගයේ දී පැමිණිලිකාර ට්‍රෙවෝ ලොඩවයික් නමැත්තා සාක්ෂි දෙමින් විත්තිකරු විසින් රුපියල් ලක්‍ෂ 03කුත් ගණනක් වශයෙන් සඳහන් කළත් ඉල්ලු අල්ලස් මුදල කිසිදු අවස්ථාවක නිශ්චිතව සඳහන් කර නැති අතර කොටුව පොලිසියේ දැනුම්දීම මත විත්තිකරුට එරෙහිව අල්ලස් කොමිසමට පැමිණිලි කළ බව සඳහන් කර ඇත. රුපියල් 1000/- නෝට්ටු වලින් තමා ඉදිරිපිටදීම අදාළ අල්ලස් මුදල තමාගේ දුව ලෙස රඟපෑ අල්ලස් කොමිසමේ පොලිස් නිලධාරිනිය විත්තිකරුට දුන් බව සඳහන් කර ඇතත් විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නිතීඥ රවීන්දු සෙනරත් මහතා වැටලීම් බාර නිලධාරියාගෙන් සහ උපයා දුතයා වශයෙන් කටයුතු කළ පොලිස් නිලධාරිනියගෙන් හරස් ප්‍රශ්න කිරිම්වලදී විත්තිකරුට අල්ලස් වශයෙන් රුපියල් 130000/-ක මුදල දුන්නේ රුපියල් 5000/- නෝට්ටුවලින් බව හෙළි කළහ.


විත්තිකරුට අල්ලස් මුදල් දීමට වැලිවේරිය බැංකුව අසලට ගියේ උදේ 11.00ට බව පැමිණිලිකරු සඳහන් කළත් නිතීඥ රවීන්දු සෙනරත් මහතා වැටලීම් බාර නිලධාරියාගෙන් සහ උපාය දුතයා වශයෙන් කටයුතු කළ පොලිස් නිලධාරිනියගෙන් හරස් ප්‍රශ්න කිරිමම්වලදී වැලිවේරිය බැංකුව අසලට ගියේ සවස 5.00ට බව සඳහන් කිරීම මෙන්ම වැටලීම කරන විට විත්තිකරු සහ උපාය දුතිය ත්‍රීරෝද රථයේ අසුන්ගෙන සිටි නිශ්චිත ස්ථාන පටලවා සඳහන් කර ඇති බව විනිසුරුවරයා තීන්දුවේ සඳහන් කර ඇත.


ඉදිරිපත් වූ සියලු කරුණු මෙන්ම විත්තිකරු වෙනුවෙන් පෙනී සිටි නිතීඥ රවීන්දු සෙනරත් මහතා පෙන්වා දුන් ඌණතා සහ පරස්පරතා පිළිබඳ අවධානය යොමු කළ විනිසුරුවරයා විත්තිකරුට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර නොමැති බව තීරණය කරමින් සියලු චෝදනාවලින් ඔහු නිදොස් කොට නිදහස් කළේය. විත්තිකරු වෙනුවෙන් නිතීඥ රවීන්ද්‍ර සෙනරත් මහතා පෙනී සිටියේය.


වායු රයිෆලයෙන් වෙඩි තබා කොස්තාපල් බෑනා මරාදාලා

 


දයාරත්න ඇබෝගම


වැඩ තහනමකට ලක්ව සිටි පොලිස් කොස්තාපල්වරයකුට බිරිදගේ පියා විසින් වායු රයිෆලයකින් වෙඩි තබා ඊයේ (27) අලුයම ඝාතනය කර ඇතැයි ගලෙන්බිදුණුවැව පොලිසිය කියයි. මෙසේ ඝාතනයට ලක්ව ඇත්තේ ඉහළගම, ගලෙන්බිඳුණුවැව ප්‍රදේශයේ පදිංචි කාරියප්පෙරුම මුදියන්සේලාගේ මහින්ද නවරත්න බංඩාර (57) නමැති හිටපු පොලිස් කොස්තාපල්වරයෙකි. මියගොස් සිටින පොලිස් නිලධාරියා අවසන් වරට ගල්කිරියාගම පොලිස් ස්ථානයේ සේවය කරමින් සිටියදී බිරිඳට සහ බිරිඳගේ පියාට පහරදීම හේතුවෙන් 2024.11.22 වැනිදා වැඩ තහනමට ලක්ව සිටි නිලධාරියකු වන අතර මොහුට ගෘහස්ථ හිංසනය යටතේ අධිකරණය මගින් බිරිඳ සිටින ස්ථානයට පැමිණීම තහනම් කර ඇති බවත් පොලිසිය කියයි. 


මියගිය පොලිස් කොස්තාපල්වරයා ඊයේ (27) අලුයම් කාලයේ දී බිරිඳගේ පියාගේ නිවසට පැමිණ බිරිඳ සමග ආරවුලක් ඇති කරගෙන කැත්තකින් පහරදීමට තැත් කිරීමට යාමේදී බිරිඳගේ පියා විසින් නිවසේ තිබූ වායු රයිෆලයෙන් වෙඩි තබා ඇතැයිද පොලිසිය පැවසීය.මෙම සිද්ධියෙන් බරපතළ තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා 1990 හදිසි ප්‍රතිකාර ගිලන් රථය මගින් ගලෙන්බිඳුනුවැව රෝහල වෙත රැගෙන ගොස් තිබූ අතර එහිදී ඔහු මියගොස් තිබුණි.  වෙඩි තැබීමේ සිද්ධියට සම්බන්ධ බිරිඳගේ පියා ඔහු සතුව තිබූ වායු රයිපෆලයත් සමග පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබේ.


ඔහු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටී. මියගිය අයගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහල වෙත භාරදී ඇත. සිද්ධිය සම්බන්ධයෙන් ගලෙන්බිඳුණුවැව පොලිසියේ වැඩ බලන ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ටී.එන්. කරුණාරත්න මහතා ඇතුළු පොලිස් නිලධාරිහු පිරිසක් පරීක්ෂණ පවත්වති.


මගේ දරුවාට ගහන මඩ දැන්වත් නතර කරන්න

 

තමාගේ පුත්‍රයාගේ වතය ඝාතනය නොකරන ලෙස ලසන්ත වික්‍රමසේකර මහතාගේ මණයන් ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලීමක් කරයි. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා හමු වූ අවස්ථාවේදී ඇය මෙසේ කීවාය. කොතැනකදීවත් මගේ දරුවාට ආරක්ෂාව දුන්නෙ නෑ. එයා හැකියද්ම අපිට කියනවා කතා කරලා මගේ ජීවිතයට ලොකු හානියක් වෙන්න යනවා කියලා. දරුවා නැති වෙලා හිටියත් අරවා කළා මේවා කළා කියනවා. ඇයි එයාට ඡන්දෙ ඉල්ලන්න ඉඩ දුන්නේ? එයා වැරදිකාරයෙක් වෙලා තියේ නම් හිර කරලා දාන්න ඕන, බොරු කියලා මගේ දරුවගේ  නම් කැත කරනවා. ඔබතුමාලට මම වැදලා කියන්නේ පාර්ලිමේන්තුවේදී කියන්න. 


දැන් ඔක්කොම වෙලා ඉවරයි. දැන් මගේ දරුවා ගැන කතා කරන්න එපා කියන්න. අපේ මුළු පවුලටම විනාශයක් වුණේ. මේ බලන්න සර් දරු පැටව් ඉන්න විදිහ. මේවා දරාගන්නේ කොහොමද? අපි ගැන පාර්ලිමේන්තුවේ වචනයක්වත් කතා කරන්න එපා. සන කතා කරන්නත් එපා, අපිට ජීවිත කාලේම හිත හදාගන්න ඕන. මොන අපරාධයක් කළාටද දරුවා මැරිලත් අරවා කළා මේවා කලා කියන ඒවා දරාගන්න හරි අමාරුයි. ඔබතුමාට වැදලා කියන්නේ, ආණ්ඩු පක්ෂයෙන් ඉල්ලීමක් කරනවා මගේ දරුවා ගැන එක වචනයක්වත් තවත් කැත විදිහට, මඩ ගහන විදිහට කතා කරන්න එපා මගේ රත්තරන් පුතා අපිට මැණිකක්. රජෙකු අපිට එයා නැති වුණා. එච්චරයි මට ඉල්ලන්න තියෙන්නේ


මෙරට අයිස් නිෂ්පානදය කිරිමේ වගකීම මාලිමා ආණ්ඩුව භාරගත යුතුයි

 


 අනුර බාලසූරිය


මත්ද්‍රව්‍ය මේ රටේම නිෂ්පාදනය කරන තත්ත්වයට පත් වීමට වගකිව යුත්තේ මාලිමා ආණ්ඩුව බව ශ්‍රී ලංකා පොදු  ජන පෙරමුණේ ප්‍රධාන ලේකමි සාගර කාරියවසම් පවසයි. පක්ෂ මුලස්ථානයේ පසුගියදා පැවැති මාධ්‍ය හමුවකදී හෙතෙම මේ අදහස් පළ කළේය.

එහිදී සාගර කාරියවසම් මහතා මෙසේද කීය. ඉතාම භයානක ව්‍යසනයක් බවට මේ වන විට මත්ද්‍රව්‍ය ජාවාරම පත් වී තිබෙනවා. අපි දන්නවා මත්ද්‍රව්‍ය උවදුර මැඬලීමට මුලින්ම නීති සම්පාදනය කරන්නේ චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ ආණ්ඩුව කාලයේ. එහෙත් ඉතිහාසයේ කවදාවත් නොවූවිරූ තරම් මත්ද්‍රව්‍ය උවදුර මේ රටේ පැතිරලා ගිහින්. රටේ මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරන තත්ත්වයට මේ රට පත් කරන්න මේ මාලිමා ආණ්ඩුව සමත් වී තිබෙනවා. මේ මත්ද්‍රව්‍ය උවදුරේ වගකීම රාජපක්ෂලා පිට පටවන්න හැදුවත් ජනතාවට මේ ආණ්ඩුවේ නිරුවත හෙළි වුණා. අයිස් මත්ද්‍රව්‍ය තොගයක් ගෙනාපු බෝට්ටුවේ හිමිකරු කවුද කියන කාරණයන් උඩ. දැන් මේ මත්ද්‍රව්‍ය ජාවාරම පිටුපස සිටින්නේ කවුද කියන කාරණය ඉතාම පැහැදිලිව   මේ රටේ ජනතාවට අවබෝධ වී තිබෙනවා. බණ්ඩාරවෙල ප්‍රදේශයේ පහුගිය යහපාලන කාලයේ ඉන්දියානු රජයේ ආධාරයෙන් හදපු නිවාස හිමිකරුවන්ට ලබා දීමේ උත්සවයකට ගිහින් ජනාධිපතිවරයා ප්‍රකාශ කරනවා මේ මත්ද්‍රව්‍ය උවදුර සම්බන්ධයෙන් ගත යුතු පළමු පියවර ගනු ලැබුවා කියලා,


හැබැයි අපිට පේන්න තිබෙන පළමු පියවර තමයි බිමල් රත්නායක ඇමැතිවරයා වරාය භාර ඇමැති ධුරයෙන් ඉවත් කිරීම. මේ බිමල් රත්නායක මහතාගේ වරාය භාර කැබිනට් අමාත්‍ය ධුරය ගැලවීමත් රේගුවෙන් කන්ටේනර් නිදහස් කිරීමත් මේ රටේ මත්ද්‍රව්‍ය භාවිතයත් අතර සහසම්බන්ධයක් තිබෙනවාද නැද්ද කියන කාරණය ඉතා ගැඹුරින් විශ්ලේෂණය කර බලන්න ඕන කාරණයක්, මේ කන්ටේනර් 323 තුළ මත්ද්‍රව්‍ය සහ අවි ආයුධ තිබුණා කියලා මුලින්ම පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ අර්ජුනා මන්ත්‍රීවරයා. ඒ වගේම මේ කන්ටේනර් සම්බන්ධයෙන් මුලින්ම රහස් පොලිසියට පැමිණිලි කළේ ඩෑන් ප්‍රියසාද්. ඉන් දින කිහිපයකට පසුව ඔහුට ඝාතනය කරනවා.



අපේ නීතිඥ සංගමය විසින් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම් සභාවට මේ සමබන්ධයෙන් පැමිණිල්ලක් කරනවා, ඒ පැමිණිල්ල සම්බන්ධයෙන් අද වනතුරු ගත් කිසිදු පියවරක් නැහැ. ඉතාම අවාසනාවන්ත ආකාරයට මේ රටේ සිදු වූ විශාලම වංචාව සම්බන්ධයෙන් පරීක්ෂා නොකරන පොලිසිය ඇමැතිවරුන්ට අපහාස කිරීම සම්බන්ධ පැමිණිලි විභාග කරනවා. පොලිස්පතිවරයාට මතක් කරන්න කැමැතියි. මේ රටේ සාපරාධී අපහාස නීතිය ඉවත් කරලා බොහෝ කාලයක් වෙනවා. අපහාසයක් සම්බන්ධයෙන් සාපරාධි වරදක් වෙන්නේ නැහැ. ඒ අනුව අපහාසයක් සම්බන්ධයෙන් කටයුතු කරන්න පොලිසියකට මැදිහත් වෙන්න කිසිදු අවශ්‍යතාවක් නැහැ.


ශ්‍රී ලංකා පොලිසියට මේ රටේ අපරාධ කියන්නේ මොනවාද? තමන්ගේ කාර්ය භාරය මොකක්ද කියන කාරණය අමතක වී තිබෙනවා. ගරු පොලිස්පතිතුමනි ඔබ තුමා තවත් පුජිත් ජයසුන්දර කෙනෙක් වෙන්න උත්සාහ දරන්න එපා. එතුමා අන්තිමේදී නතර වුණේ හිර ගෙදර අපි දකින්න අසා නැහැ තවත් පොලිස්පතිවරයෙක් හිර ගෙදරක දුක් විඳිනවා බලන්න.



තායි රාජා සහ කණ්ඩුල ආපසු ගෙන යන බවට පැතිරෙන කතා බොරු

  

අසේල කුරුළුවංශ 


තායිලන්තයෙන් මෙරටට පරිත්‍යාග කළ තායි රාජා හා කණ්ඩුල ඇත්තු යළි එ රටට රැගෙන යෑම සඳහා රාජ්‍ය මට්ටමින් කිසිදු අවධානයක් මෙතෙක් යොමුව නොමැති බව තායිලන්ත තානාපතිවරයා මල්වතු මහ නායක තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල මහ නාහිමියන් වෙත දැනුම් දී තිබේ.මේ වන විට ඒ සම්බන්ධයෙන් සමාජ මාධ්‍ය ඔස්සේ පැතිර යන ප්‍රවත්ති වල සත්‍යතාවක් නොමැති බවද ඒ මහතා ප්‍රකාශ කර ඇත. මැල්වතු මහා විහාරයේ කඨින චීවර පූජාවට පෙරේදා (25දා) පැමිණි අවස්ථාවේ තායි රාජා හා කණ්ඩුල ඇත්තු සම්බන්ධයෙන් පැතිර යන කතාව පිළිබඳව මුල්වතු මහ නාහිමියන් විමසු අවස්ථාවේ ඊට පිළිතුරු දෙමින් තායිලන්ත තානාපතිවරයා මේ බව පවසා තිබේ.


මේ වන විට ශ්‍රී දළදා මාලිගාවේ ඇත්පන්තිය නියෝජනය කරන තායි රාජා සම්බන්ධයෙන් තායි රජය කිසිදු විමසීමක් සිදුකර නොමැති බව මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී වැඩ බලන දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා පැවැසීය. මුතුරාජා ඇතා රැගෙන යෑමෙන් පසු මේ තත්ත්වය තම අධීක්ෂණය යටතේ සිදු කෙරෙන බවත් එම ඇතා යහපත් සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බවත් පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ පශු වෛද්‍ය පීඨයේ මහාචාර්ය අශෝක දංගොල්ල මහතා කීය. තායිලන්ත වෛද්‍යවරු පවා මෙරටට පැමිණි අවස්ථාවල තායි රාජා බැලීමට පැමිණි බවත් ඇතා මනා සෞඛ්‍ය තත්ත්වයෙන් පසුවන බව ඔවුන් පවා තහවුරු කර තිබෙන බවත් ඒ මහතා පැවැසුවේය.


ඇතුන් දෙදෙනා සම්බන්ධයෙන් මේ මොහොතේ කතා බහක් ඇති වූයේ ඇයිද යන්න පිළිබඳව තමන් නොදන්නා නමුත් විටින් විට මෙම කතිකාව රටේ ඇති වන බවක් පෙනෙන්නට තිබෙන බවද හෙතෙම අවධාරණය කළේය. මේ වන විට මෙරට සිටින හීලෑ අලි සංඛ්‍යාව 100කට අඩු බවත් ඒ අතර ඇතුන් සිටින්නේ 15ක් පමණක් බවත් කී දංගොල්ල මහතා සංස්කෘතික මංගල්‍යයන් සඳහා ප්‍රමාණවත් අලි ඇතුන් නොමැති වීම බරපතළ ගැටලූවක්  බවද අවධාරණය කළේය.  වන අලි විශාල සංඛ්‍යාවක් සිටින නිසා අවශතාවක් ඇත්තම් සංස්කෘතික මංගලහයන් සඳහා අවශ්‍යය ඇලි ඇතුන් මෙ රට වන අලි ගහනයෙන්ම සපුරා ගැනීමට හැකි බවද ඒ මහතා කීය.


යාල් දේවියේ ප්‍රධාන නියාමක වෙරි මතින් පොලිස් කූඩුවට

 


කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා ධාවනය කිරීට නියමිතව තිබූ යාල්දේවි දුම්රියේ ප්‍රධාන නියාම කවරයා මත්පැන් පානය කිරීම හේතුවෙන් දුම්රිය ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගෙන තිබේ. ඒ දුම්රිය ආරක්ෂක අංශ වලට ලද තොරතුරකට අනුවය. බිමතින් පසු වූ බව කියන නියාමකවරයා මෙලෙස අත් අඩංගුවට ගැනීමෙන් පසු අනුරාධපුර පොලිසිය වෙත භාර දීමට කටයුතු කර ඇත.


ඉකුත් 25 වැනිදා සවස 240 ට කන්කසන්තුරේ සිට කොළඹ කොටුව බලා මෙම දුම්රිය ධාවනය වීමට නියමිතව තිබිණි. බීමත් ප්‍රධාන නියාමකවරයා අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කිරීමට කටයුතු යොදා තිබේ.අනුරාධපුර පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


ලිංගික ශ්‍රමිකයන්ගේ කොන්ඩම් භාවිතය සියයට 93කින් ඉහළට

 

 


බිඟුන් මේනක ගමගේ


ලංකාවේ ලිංගික ශ්‍රමිකයන්ගේ උපත් පාලන කොපු භාවිතය 90% දක්වා ඉහළ ගොස් ඇතැයි ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ, වෛද්‍ය හර්ශ්චන්ද්‍ර  යකන්දාවල මහතා පැවැසීය.සෞඛ්‍ය අමාත්‍යාංශය මූලිකත්වයෙන් කළ සමීක්ෂණයකින් මේ බව හෙළි වී යැයි විශේෂඥ වෛද්‍යවරයා කීය. ලිංගික ශ්‍රමිකයන්ට පසුගිය කාලයේදී කළ දැනුවත් කිරීම ඊට ප්‍රධාන හේතුවක් යැයි ඔහු කීය.


ලංකාවේ ලිංගික ශ්‍රමිකයන් 30000ක් පමණ සිටින බව ද එම සමික්ෂණයෙන් හෙළිව ඇතැයිද වෛද්‍යවරයා පැවැසීය. ප්‍රජනන සෞඛ්ය පාසලේදී ඉගැන්වීමට සමාන්තරව  ලිංගික අධ්‍යාපනය වයසට අනුරූපව ලබාදිය යුතු යැයිද වෛද්‍යවරයා පැවැසීය.

ලිංගික ශ්‍රමිකයන් මත පටවන හිංසනය වැළැක්වීමට සමාජයද අවංක විය යුතු යැයිද හෙතෙම සඳහන් කළේය. ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය හරිශ්චන්ද්‍ර යකන්දාවල මේ අදහස් පළ කළේ ප්‍රජා ශක්ති සංවර්ධන පදනම මාධ්‍යවේදීන් දැනුවත් කිරීම සඳහා සංවිධානය කළ වැඩමුළුවකදීය.


Monday, October 27, 2025

බල්ලන්ට කන්න දුන්නාට දොස්තර නෝනට බැනලා

 


 


ශ්‍රීනාත් පුසන්න ජයසූරිය 


අම්පාර, පොතුවිල් මූලික රෝහලේ වෛද්‍යවරියන්ගේ නිල නිවාස පිහිටි භූමියට බලහත්කාරයෙන් ඇතුළු එහි සැරිසරන සුනඛයන්ට රාත්‍රි ආහාර දෙමින් සිටි වෛද්‍යවරියකට, සුනඛයන්ට කෑම නොදෙන ලෙසට තර්ජනය කර අසභ්‍ය වචනයෙන් බැණ වැදී සුනඛයන්ට ගල් ප්‍රහාරයක් ද එල්ල කර පලා ගිය දෙදෙනකු අත්අඩංගුවට ගැනීමට පොතුවිල් පොලිසිය පරීක්ෂණ පවත්වයි.


පොතුවිල් මූලික රෝහලේ සේවය කරන විශේෂඥ වෛද්‍යවරයකුට ද මේ බට දැනුම් දීමෙන් අනතුරුව එම විශේෂඥ වෛද්‍යවරයා ද සමග පෙරේදා (25) පැමිණ පෙර දින රාත්‍රියේ සිදු වූ මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදාළ වෛද්‍යවරිය පොතුවිල් පොලිසියට පැමිණිලි කළාය. වෛද්‍යවරියන්ගේ නිල නිවෙස පිහිටි භූමියේ කලක සිට සුනඛයන් කිහිප දෙනකු රැඳී සිටින අතර එම සුනඛයන් පශු වෛද්‍යවරයකු වෙත රැගෙන ගොස් අවශ්‍ය එන්නත් වර්ග ද දී ඇත.එම නිල නිවෙසේ වාසය කරන වෛද්‍යවරියෝ එම සතුන්ට අසීමිත ආදරයක් දක්වන අතර දිවා රෑ ඔවුනට අවශ්‍ය ආහාර පාන ද සපයති. මුරකරුවකු ද නිල නිවෙසේ සේවයේ යොදවා නොමැති නිසා මෙම සුනඛයන්ගෙන් එම නිල නිවෙසේ රැඳී සිටින වෛද්‍යවරියන්ට ලොකු ආරක්ෂාවක් සැපයෙන බව පැවැසේ.


 

පසුගිය සිකුරාදා නිල නිවෙස භූමියේ රැඳී සිටින මෙම සුනඛයන්ට සුපුරුදු පරිදි වෛද්‍යවරියක රාත්‍රි ආහාර ලබා දෙමින් සිටියදී නොහඳුනන දෙදෙනකු නිල නිවෙස භූමියට ඇතුළුවීමට ඇති ගේට්ටුව ඉදිරිපිටට පැමිණ මේ පැත්තේ බල්ලන් ඇති කරන්න බැහැ යනුවෙන් ඡවසා ඇතැයි දැනගැනීමටට ඇත.මෙම සුනඛයන් සිටින්නේ පාරේ නොව වෛද්‍යවරියන්ගේ නිල නිවාස භූමියේ බව එම වෛද්‍යවරිය දැනුම් දුන් අවස්ථාවේ නිල නිවෙසට ඇතුළු වීමට තිබෙන ගේට්ටුව බලහත්කාරයෙන් විවෘත කරගෙන අයුතු ලෙස ඇතුළු වී ඇතැයි පොලිසිය කියයි. 


සුනඛයන්ට කෑම දෙමින් සිටි වෛද්‍යවරියට අසභ්‍ය වචනයෙන් ද බැන වැදී යළි කෑම නොදෙන ලෙසට තර්ජනය කර එම සුනඛයන්ට ගල් ප්‍රහාරයක් ද එල්ල කර පලා ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ගවලින් දැන ගැනීමට ඇත. මෙම සිද්ධිය වූ දින බියට පත් වූ එම නිල නිවසේ රාත්‍රී රැඳී සිටි වෛද්‍යවරියන් රෝහලට  ගොස් රාත්‍රිය ගත කර ඇතැයි ද රෝහල් ආරංචි මාර්ගවලින් වැඩිදුරටත් දැන ගැනීමට ඇත. පොතුවිල් පොලිස් ස්ථානයේ නිලධාරින් කණ්ඩායමක් සී . සී.ටී. වී කැමරාවල රූප රාමු පරීක්ෂා කර බලා මෙම සිද්ධියට සම්බන්ධ දෙදෙනා අත්අඩංගුවට ගැනීමට පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.



මන්ත්‍රී ජගත්ගේ ආරක්ෂාවට පොලිසියේ දෙදෙනෙක්

 


 


 සුජිත් හේවාජුලිගේ


සමගි ජ න බලවේගයේ කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ ආරක්‍ෂාවට පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත පොලිස් සැරයන්වරු දෙදෙනෙක් යොදවනු ලැබ සිටිනි.මේ සම්බන්ධයෙන් මන්ත්‍රී ජගත් විතාන මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ තමාගේ ආරක්ෂාවට පොලිස් නිලධාරීන් දෙදෙනකු දුන් බවයි.

 

මන්ත්‍රී ජගත් විතාන මහතාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් අවශ්‍ය කටයුතු කරන ලෙස පාර්ලිමේන්තුවේ වැඩබලන මහලේකම් නීතිඥ චමින්ද කුලරත්න මහතා පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාට ලිපියක් යොමු කරමින් දැනුම් දී ඇත. වැඩබලන මහ ලේකම්වරයා පසුගිය 24 වැනි දාතමින් යුතුව මෙම ලිපිය යොමු කර ඇත්තේ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ උපදෙස් අනුවය.මේ සම්බන්ධයෙන් ගන්නා  වූ පියවර පිළිබඳව දැනුවත් කරන ලෙසට ද වැඩ බලන මහලේකම්වරයා පොලිස්පතිවරයාට දැනුම් දී  ඇත.


තමාගේ ජීවිතයට මරණීය තර්ජනයක් ඇති බවට පොලිස්පතිවරයා නිකුත් කළ නිවේදනයක සඳහන් වන හෙයින් ආරක්ෂාව තහවුරු කරන ලෙස ජගත් විතාන මන්ත්‍රීවරයා පසුගිය 24 වැනිදා සිකුරාදා කතානායකවරයාගෙන් පාර්මෙන්තුවේ දී ඉල්ලීමක් කළේය. එසේම විතාන මන්ත්‍රීවරයාගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කටයුතු කරන ලෙස විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ද පොලිස්පතිවරයාගෙන් සහ අනෙකුත් බලධාරින්ගෙන් ඉල්ලීමක් කර තිබිණි.