Friday, May 30, 2025

වායු දූෂණය ප්‍රජා සෞඛ්‍යට බරපතළ හානියක්

 


චාමර අමරසූරිය


වායු දූෂණය හා එහි අහිතකර බලපෑම් අවම කිරීමේ දිනය හෙටට (31දා) දිනට යෙදී ඇත. ජුනි 05 දිනට යෙදෙන ජගත් පර්සර දිනයට සමගාමීව මෙම දිනය සමරනු ලැබේ.මෙම දිනයට සමගාමීව වාහන වායු විමෝචන භාරකාර අරමුදල විසින් යතුරුපැදි සහ ත්‍රිරෝද රථ නොමිලේ සුසර කර දීමේ කඳවුරක් කෑගල්ල නිදහස් මාවත කේන්ද්‍ර කර ගනිමින් මැයි 31 දින උදෑසන 10.00 සිට පැවැත්වෙයි. මෙහි සමාරම්භක උත්සවය. පාරිසරික අමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වීමට නියමිතව ඇත.


මේ පිළිබඳව අදහස් දැක්වූ වාහන වායු විමෝචන භාරකාර අරමුදලේ අධ්‍යක්ෂ දසුන් ජානක ගමගේ මෙසේ පැවසීය. වාහන වායු විමෝචන භාරකාර අරමුදල ආරම්භ කරන ලද ව්යුනප් දන්සල, ටියුනෂ් කඳවුර දැන් රට පුරා සාර්ථකව ගමන් ආරම්භ කරලා තියෙනවා. අපි මෙයින් අදහස් කරන ප්‍රධානම දේ තමයි ජනතාව දැනුවත් කරන එක. මොකද තමන්ගෙ වාහනය නිසි පරිදි ටියුනප් කර ගත්තේ නැත්නම් එයින් විසදුම පිට වෙනවා. වාහනයක විස දුම කියන්නේ නොදැවුණු ඉන්ධන. ඒ වාහනේ ඉන්ධන දහනය නිසි පරිදි සිදුනොවන විට එහි ඉන්ධන අකාර්යක්ෂමතාවක් ඇති වනවා. ඒ කියන්නේ අපි ඉන්ධන සඳහා යොදන මුදලට සර්ලන දුර ප්‍රමාණයක් අපිට යන්න බැහැ කියන එක. ඉන්ධන අකාර්යක්ෂමතාව අපි වගේ රටකට කොහෙත්ම ඔරොත්තු දෙන්නේ නෑ. මොකද ඉන්ධන ආනයනය සඳහා අප විශාල මුදලක් වැය කරනවා. මේ නිසා වාහනේ සුසර කර ගැනීම ආර්ථික වශයෙනුත් වාසිදායකයි. 


පාර්සක වශයෙනුත් විශාල වාසිදායක තත්ත්වයක් තියෙනවා. මොකද සුවදායී පරිසර පද්ධතියක් තිබිම සංචාරක ව්‍යාපාරය සඳහාත් අතිශයින් අපේ රට වැදගත් වෙනවා. රටක වායුවේ ගුණාත්මකභාවය සංචාරක ව්‍යාපාරයට ඍජුව බලපානවා. ඒ වගේම තවදුරටත් දේශගුණික විපර්යාස සඳහා විශාල බලපෑමක් වායු දූෂණය විසින් සිදුකරනු ලබනවා. එසේම මෙයින් වන සෞඛ්‍ය හානිත් අතිශයින්ම බ්රපතළයි. මොකද ලෝක සෞඛ්‍ය සංවිධානයට අනුව දෙවනුවට වැඩිම සෞඛ්‍ය අවදානම් කාරකය වන්නේ වායු දූෂණයි. මෙන්න මේ හේතු නිසා වාහන විසදුම කළමනාකරණය කර ගැනීමට වාහන වායු විමෝචන භාරකාර අරමුදල වැඩසටහන් කිහිපයක්ම ක්‍රියාත්මක කරමින් සිටිනවා.


පොලිසියේ රාජකාරියට බාධා කළැයි චෝදනා ලද මන්ත්‍රි අර්දුනාට ඒරෙහි චෝනදා සැප් 10 දා

 උපාලි ආනන්ද 


වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් පදවමින් අනුරාධපුර කොට්ඨාස රථ වාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කර, සාපරාධී බලහත්කාරය  පා රථවාහන_නීති උල්ලංඝනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතාට එරෙහිව ලබන සැප්තැම්බර් 10 දින අධිකරණය හමුවේ චෝදනා ගොනුකරන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.කේ. ජයවීර මහතාට නියෝග කළේය.


මහෙස්ත්‍රාත්වරයා මෙසේ නියෝග කළේ මෙම සිද්ධියට අදාළ නඩුව පෙරේදා (28දා) අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ අනුරාධපුර පොලිසිය අධිකරණයට කළ කරුණු දැක්වීමක් සලකා බලමිනි.මෙම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලබා දැනට ඇප මත මුදාහැර සිටින, යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය රාමනාදන් අර්චුනා මහතා පෙරේදා දින වෘත අධිකරණය හමුවේ පෙනී සිටියේය.


යාපනයේ සිට කොළඹ දක්වා අනුරාධපුර හරහා මෝටර් රථයක් පදවමින් සිටියදී අනුරාධපුර රඹෑව ඒ 20 මාර්ගයේ සාලියපුර ගල්වල හන්දිය ප්‍රදේශයේදී අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාර්යට බාධා කර සාපරාධීබලහත්කාරය පා රථ වාහන නීති උල්ලංඝනය කරමින් බැනවැදුණු බවට සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රිවරයාට චෝදනා එල්ල වී තිබේ. සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා පොලිස් නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින් මෙලෙස හැසිරි ඇත්තේ, ඔහු ගමන් කරමින් සිටි මෝටර් රථය පොලිස් නිලධාරීන් විසින් නවතා රියැදුරුට බලපත්‍රය සහ මෝටර් රථයේ අනිකුත් ලිපි ලේඛන පරීක්ෂා කිරීම සඳහා ඉල්ලා සිටි අවස්ථාවේදීය.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් තමාට එරෙහිව අනුරාධපුර පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කර ඇති බව දැනගත් පාර්ලිමේන්තු මන්ත්‍රි වෛද්‍ය රාමනාදන් අර්චුනා යන අය මෝසමක් මඟින් අධිකරණයට බාර විය. එදින අධිකරණයට බාර වෙමින් සැකකාර මන්ත්‍රිවරයා අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයාට දැනුම් දුන්නේ රාමනාදන් අර්චුනා වන තමා මෙම නඩුවේ සැකකරු බවයි. ඊට ප්‍රතිචාර දක්වමින් අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා සැකකාර මන්ත්‍රිවරයාට සහ අනුරාධපුර පොලිසියට දැනුම් දුන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් මුල් බී වාර්තාවෙන් පොලිසිය කරුණු දක්වමින් සැකකරුගේ නම ලෙස සඳහන් කර ඇත්තේ අච්චුනා ලෝචනා නමැත්තකු පිළිබඳව බවයි.


ඒ අනුව රාමනාදන් අර්ජුනා නමැති සැකකරු සහ අර්ජුනා ලෝචනා නමැති සැකකරු අතර නාමයෙහි පැහැදිලි පරස්පරතාවක් තිබෙන බවද සඳහන් කළ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා මෙම නඩුවේ සැකකරු ලෙස රාමනාදන් අර්ජුනා නමැති අය පිළිගත නොහැකි බව සඳහන් කරමින් ඔහු මුදාහැරීමට නියෝග කෙරිණ.

පසුව වැඩිදුර වාර්තාවක් මඟින් අනුරාධපුර මූලස්ථාන පොලිසිය නඩුවේ නිවැරැදි සැකකරු රාමනාදන් අර්චුනා යන අය බවට නම සංශෝධනය කරමින් යළි අධිකරණයට කරුණු වාර්තා කළේය. ඒ අනුව මෙම නඩුවේ සැකකරු ලෙස අධිකරණය රාමනාදන් අර්චුනා බවට පිළිගනු ලැබීය. පැමිණිල්ල වෙනුවෙන් අනුරාධපුර මූලා ස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්. එම්.කේ. ජයවීර මහතාගේ උපදෙස් මත නිලධාරීන් කණ්ඩායමක් පෙනී සිටි අතර සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා වෙනුවෙන් නීතිඥ සුනන්ද තෙන්නකෝන් මහතා සමඟ නීතිඥවරුන් වන ආලෝක බණ්ඩාර සහ චතුරංග ගමගේ යන මහත්වරු පෙනී සිටියහ.


ජලභීතිකා මාරයා ගාල්ල ගිලිගනියි

 


ගාල්ල දිස්ත්‍රික්කය තුළ මාරාන්තික ජලභීතිකා රෝගය පැතිරීමේ දැඩි අවදානමක් මතුවී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් වසංගත රෝග වෛද්‍ය වීනා රසිකා ද සිල්වා මහත්මිය ඉකුත් 27දා පැවැති ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුවේදී ප්‍රකාශ කළාය.

පසුගිය දිනවල එක් රෝගියකු මියගිය බවත් ළමයින් හා මිනිසුන් සපා කෑ සුනඛයන් 16 දෙනකු මේ වනවිට ජලභීතිකා රෝග ලක්ෂණවලින් පෙළෙන සුනඛයන් බව කරන ලැබූ පරීක්ෂණවලින් හෙළිවී ඇති බව පෙන්වා දුන් වෛද්‍යවරිය ගාල්ල දිස්ත්‍රික්කය තුළ අයාලේ යන සුනඛයන් 7,000ක් පමණ ඇති බවද ප්‍රකාශ කළාය.


සුනඛ එන්නත් කිරීම් තවදුරටත් සිදුකළ යුතු බවත් ඒ සඳහා ඖෂධ, මානව සම්පත ඇති නමුත් වාහන පහසුකම් නොමැති නිසා එන්නත් කිර්ම් අඩපණව තිබෙන බවද ඇය කමිටුව හමුවේ පැවසුවාය. මේ සඳහා අඩු තරමින්ත්‍රිරෝද රථ දෙකක්වත් ලබාදෙන ලෙස ඉල්ලා සිටි ඇය මෙම තත්ත්වය පාලනය කළ යුතු බවත් එසේ නොවුණහොත් ඉදිරියේදී බරපතළ තත්ත්වයක් උදා විය හැකි බවටත් අනතුරු ඇඟවූවාය.


ෆර්හාන් නිසාම්දීන්


කරාපිටියේ හෘද සැත්කම් නවතී

 


ගාල්ල ජාතික රෝහලේ හෘද සහ උරස් කුහර ඒකකයේ දැනට සිටින විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයාගේ කොන්ත්‍රාත් කාලය මෙම 31 වැනිදායින් පසු නිමා වීමත් සමඟ දැනට කරන හෘද සැත්කම් නවතා දැමීමට සිදුවන බව රෝහල් ආරංචිමාර්ග ප්‍රකාශ කළේය.


දැනට ගාල්ල ජාතික රෝහලේ මෙම ඒකකයේ ස්ථිර විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයකු නොමැති බවත් දැනට එහි සේවය කරනු ලබන්නේ කොන්ත්‍රාත් පදනම මත බඳවාගත් විශ්‍රාමික විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයකු බවත් එම ආරංචිමාර්ග සඳහන් කළේය. කොන්ත්‍රාත් කාලය දීර්ඝ කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය වෙතින් ඉල්ලීම් සිදු කළද මේ දක්වාම කොන්ත්‍රාත් කාලය දීර්ඝ නොකිරීම නිසා මෙම තත්ත්වය උදා වී ඇති බව රෝහල් ආරංචි මාර්ග පවසයි.මෙම තත්ත්වය මත විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයකු නොමැති වීමෙන් සැත්කම් නතර කිරීම නිසා හෘද රෝගී ජීවිත දැඩි අවදානමකට පත්වන බව රෝගීන්ගේ ඥාතීහු පවසති.


රජය රාජකාරි වේලාවෙන් පසුවද ශල්‍යකර්ම සිදු කිරීමට කටයුතු කරමින් සිටින අවස්ථාවක නියමිත රාජකාරී කාලය තුළම ශල්‍යකර්ම නැවතීම බරපතළ ගැටලුවක් බව ඔවුහු පවසති. රෝගී ජීවිත අවදානමකට ඇද නොදමා හැකි ඉක්මනින් විශේෂඥ නිර්වින්දන වෛද්‍යවරයකු ලබා දෙන ලෙස ඔවුහු වගකිවයුතු බලධාරීන්ගෙන් ඉල්ලා සිටිති. මේ සම්බන්ධයෙන් අප ගාල්ල ජාතික රෝහලේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය එස්සූ.එම්. රංග මහතාගෙන් විමසීමක් කළ අතර එහිදී ඔහු කියා සිටියේ මෙම තත්ත්වය මත ඉදිරියේදී හෘද සැත්කම් නතර කිරීමට සිදුව ඇති බවය.


ටික්ටොක් හරහා මිතුරු වු දැරියන් අපයෝජනය කළැයි තරුණයන් දෙදෙනෙක් රිමාන්ඩ්

 


අතාවුද පතිරණ 


වයස අවුරුදු 15යි මාස 06ක දැරියක් නීත්‍යනුකූල භාරකාරිත්වයෙන් අපහරණය  කර බරපතළ අපයෝජනයක් සිදු කිරීම සම්බන්ධයෙන් තරුණයන් දෙදෙනකු අත්අඩංගුවට ගත් බවත් තවත් තරුණයකු සොයා පරීක්ෂණ සිදු කරන බවට ඌරුබොක්ක පොලිසිය කියයි. ජාතික ළමාරක්ෂක අධිකාරිය මඟින් කළ දැනුම් දීමට අනුව ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක දේවිකා මහත්මිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් පරීක්ෂණ ආරම්භ කළේය. ඒ අනුව අවුරුදු 15යි මාස 06ක බාල වයස්කාර දැරියක් ගැබිනියක් කළ සැකකරුවන් සොයා පරීක්ෂණ ආරම්භ කළ බවත් ඒ අනුව දැරිය කළ වීඩියෝවක් ටික්ටොක් සමාජ මාධ්‍ය ජාලයට මුදාහැර ඇති බවත් ඒ අනුව එම වීඩියෝව දැක තණමල්විල ප්‍රදේශයේ 17 හැවිරිදි තරුණයකු කතා කර පසුව දැරිය සමඟ ප්‍රේම සම්බන්ධයක් පටන් ගෙන ඇති බවත් මාස දෙක තුනක් පැවැති ප්‍රේම සම්බන්ධයෙන් පසුව තරුණයා දැරියට හමුවීම සඳහා පැමිණෙන ලෙස දන්වා ඇතැයි පොලිසිය පවසයි.


ඒ අනුව ඉකුත් දිනෙක දැරිය කොළඹ  කොටුවට ගොස් ඇති අතර තරුණයා පැමිණ දැරිය කිරිබත්ගොඩ ප්‍රදේශයේ බෝඩිමකට රැගෙන ගොස් ඇති බවත් පළමු දින රාත්‍රිය එහි ගත කර දෙවැනි දින හෝමාගම ප්‍රදේශයේ බෝඩ්මකට දෙදෙනා ගොස් ඇති බව පොලිසිය කියයි. රැකියාවක් සොයා ගැනීමට නොහැකි වීම නිසා නැවත දෙදෙනා කටුවන ප්‍රදේශයට පැමිණ සිටියදී තරුණයාගේ මවගේ දැනුම් දීමට අනුව දෙදෙනා තණමල්විල මවගේ නිවෙසට ගොස් ඇතැයි පොලිසිය කියයි. වයස සම්පූර්ණ නොවීම නිසා මව විසින් දැය නැවත ඌරුබොක්කේ නිවෙසට එවා ඇති බවත් නිවෙසට පැමිණ සිටි දැරියට ඇති වූ අපහසුතා නිසා ඒ බව පෙම්වතාට දැනුම් දී ඇති බවත් ඒ අනුව දැරිය මුත්‍රා පරීක්ෂණයක් සිදු කර ගැනීමෙන් පසු අනාවරණය වී ඇත්තේ ගැබ්ගෙන ඇති බව යැයි පොලිසිය පවසයි. ඒ අනුව දැරිය ගැබිනියක් කළ පළමු පෙම්වතා අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ බවට පොලිසිය පැවැසීය.


මේ අතරතුර දැරිය 2025.04.01 දින දාපනේ ප්‍රදේශයේ වයස අවුරුදු 17ක තරුණයකු සමඟ ප්‍රේම සම්බන්ධයක් ඇති කරගෙන ඇති බවත් තරුණයා විසින් දැරිය ඌරුබොක්ක ප්‍රදේශයේ ලැගුම්හලකට රැගෙන ගොස් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත. ඒ අනුව එම පෙම්වතාද පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත. 2021 වර්ෂයේද දැරිය වෙනත් තරුණයකු අතින් අපයෝජනයට ලක්ව ඇති අතර ඔහු මේ වන විට ප්‍රදේශයෙන් පලා ගොස් ඇතැයි පොලිසිය පැවැසීය.


අවුරුදු 15යි මාස 06 දැරිය ගැබිනියක් කළ බව කියන තරුණයන් දෙදෙනා මොරවක මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිර්පත් කිරීමෙග් පසු දින 14කට රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට මොරවක මහෙස්ත්‍රාත් දිසා විනිසුරු කෝසලා අනුරුද්ධිකා විදාන පතිරණ මහත්මිය නියෝග කළාය. මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබුවේ 17හැවිරිදි තරුණයන් දෙදෙනායි. ඌරුබොක්ක පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ටී.පී.ඩබ්. පල්ලියගුරුගේ මහතාගේ උපදෙස් මත පැමිණිල්ල වෙනුවෙන් කොස්තාපල් දනුෂ්ක (78230) මහතා අධිකරණයට කරුණු දක්වමින් පෙනී සිටියේය.


කෙහෙළියගෙ දුවගේන් අල්ලස් කොමිසම පැය 3ක් ප්‍රශ්න කරයි

  ගයාන් සුරියආරච්චි 


හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල මහත්මියගෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීහු ඊයේ (29) පැය 3කට ආසන්න කාලයක් ප්‍රකාශයක් සටහන් කර ගත්හ.

හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ වැටුප්, දීමනා හා අතිකාල වශයෙන් මුදල් ලබා ගනිමින් රුපියල් ලක්ෂ 80ක මුදලක් රජයට පාඩු කිරීමේ සිද්ධියට අදාළව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවේ නිලධාරීන් විසින් කරගෙන යනු ලබන විමර්ශනවලට අදාළවය. ඒ අමාලි රඹුක්වැල්ල මහත්මිය හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ පෞද්ගලික කාර්ය මණ්ඩලයේ සම්බන්ධීකරණ ලේකම්වරියක ලෙස කටයුතු කර ඇති බවද විමර්ශන නිලධාරිහු කියති.


එම සිද්ධිය සම්බන්ධයෙන්ම අමාලි රඹුක්වැල්ල මහත්මියගේ සහෝදරයා වූ රමිත් රඹුක්වැල්ල මහතා ද ඉකුත් දා අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව මගින් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රක්ෂිත බන්ධනාගාර ගත කෙරිණි. අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව වැඩිදුර විමර්ශන සිදු කරයි.


කොත්මලේ බස් අනතුරේ වරද රියැදුරු පිටම පටවන්න බෑ

 



කොත්මලේ, ගැරඬිඇල්ල බස්රථ අනතුරට කතරගම ඩිපෝව සහ මාර්ග සංවර්ධන අධිකාරිය වගකිවයුතු යැයි මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරීක්ෂණ වාර්තාව පෙන්වා දෙයි.මෙම අනතුර සම්බන්ධයෙන් පරීක්‍ෂණ කිරීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පත්කළ මෝටර් වාහන පරීක්ෂකවරුන් හය දෙනකුගෙන් යුත් පරීක්ෂණ කමිටුව එම වාර්තාව ඉදිරිපත් කර ඇත.

ඉකුත් 11 වැනිදා පෙරවරුවේ සිදුවූ මෙම අනතුරින් මගීන් 23 ක් මරණයට පත්වූ අතර තවත් මගීහු 60 දෙනෙක් තුවාල ලැබූහ. මෙම අනතුරට ප්‍රධාන හේතුව රියැදුරුගේ අවිවේකී බව සහ රියැදුරුට නිමේෂයකින් නින්ද යාම බව නිගමනය කර ඇති අතර අනතුරේ සම්පූර්ණ වරද රියැදුරු අතෙහි පමණක් නොවන බව එමගින් අවධාරණය කර ඇත.


අක්‍රමවත්ව හා ප්‍රමිතියකින් තොරව බසයේ අලුත්වැඩියා කිරීම අනතුරේ හානිය ඉහළ යෑමට ප්‍රධාන හේතුවක් වී ඇති බව ද කමිටුව පවසයි. මෙම බසය කතරගම ඩිපෝව 2023 වසරේ අලුත්වැඩියා කර තිබුන ද ඒ සඳහා පළපුරුදු කාර්මිකයන් යොදවා නොමැති අතර බසයේ බඳ කොටසේ තහඩු ගලවා අලුත්වැඩියා කිරීම සඳහා අලුතින් තහඩු භාවිතා කර නොමැති බව ද අනාවරණය වූ බව මෙම වාර්තාවෙන් පෙන්වා දී තිබේ. එහි සැකිල්ලේ කණු බොහෝමයක් තට්ටුව ආසන්නයෙන්ම දිරා ගොස් තිබීම හේතුවෙන් සැකිල්ලේ ශක්තිය සහ බසයේ ශක්තිය ද හීන වී ඇති බවත් එම කමිටුව පවසයි.


මාර්ග සංවර්ධන අධිකාරියට අයත් ප්‍රදේශයක වූ මෙම අනතුර සිදුවූ ස්ථානයේ 2022 වසරෙන් පසුව දෙපස වෙළෙඳසල් දෙකක් සඳහා අවසර දී ඇති බවත් එම වෙළෙඳසල් හිමියන් ව්‍යාපාරික ස්ථානවලට පැමිණෙන්නන්ගේ පහසුව සඳහා අනතුර වූ ස්ථානයේ තිබූ ගස් හා පස් ගොඩැලි ඉවත් කර සමතලා කර තිබෙන බවත් එම කමිටුව කියයි. එම තත්වය බසය පෙරළී යාමට තවත් එක් හේතුවක් බව කියන එම කමිටුව එම කරුණු සම්බන්ධයෙන් සොයා බැලිය යුතු බව ද සඳහන් කරයි.


හිටපු ඇමැතීන්-නිලධාරීන් 20 කට එරෙහි විමර්ශන කඩිනම් කරයි

 


කැළුම් බණ්ඩාර -ඩේලි මිරරි


හිටපු අමාත්‍යවරුන් වන මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් පුනාන්දු සිරගත කිරීමෙන් පසු, හිටපු අමාත්‍යවරුන් සහ නිලධාරීන් සම්බන්ධ එවැනිම සිදුවීම් 20 ක පමණ විමර්ශන කඩිනම් කරන්න යැයි රජය උපදෙස් ලබා දී තිබෙන බව අනාවරණය වේ.මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශකර සිටියේ විමර්ශන කඩිනම් කිරීමට උපදෙස් දී ඇති ඇතැම් විමර්ශන වසර 10 ත් 15ත් අතර පැරණි ඒවා බවයි. එම සිදුවීම් පසුගිය රජයන් විසින් යටගසනු ලැබ ඇතැයි ද ඔහු ප්‍රකාශ කළේය. පසුගිය රජයන් යට ගැසූ එම විමර්ශන නැවත විවෘත කර විමර්ශන කඩිනම් කරන ලෙස ජාතික ජන බලවේග රජය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට  උපදෙස් ලබා දී ඇතැයි ද මහජන ආරක්ෂක අමාත්‍යවරයා පැවැසුවේය.


 

එම විමර්ශන කා සම්බන්ධයෙන් සිදුවන්නේ දැයි පැවැසිය නොහැකි බවත් විමර්ශන 20 කට වැඩි ප්‍රමාණයක් එලෙස ගොඩ ගැසී ඇති බවත් විජේපාල මහතා ප්‍රකාශ කළේය. එම සියලු විමර්ශන හිටපු මැති ඇමැතිවරුන් සහ අමාත්‍යාංශ නිලධාරින් සම්බන්ධ ඒවා බව ද ඔහු පැවසීය.ඇතැම් විමර්ශන අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිසම විසින් මෙහෙයවනු ලබන ඒවා බවද අමාත්‍ය විජේපාල මහතා ප්‍රකාශ කළේය. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතේ සිදුකෙරන විමර්ශන මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට බාර වනු ඇතැයි ද ඔහු පැවැසුවේය. මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට ජාතික ජන බලවේග රජය නැවත පණදී තිබෙන බවත් මූල්‍ය අපරාධ විමර්ශනය කිරිමට ප්‍රමාණවත් සුදුසුකම් ලත් නිලධාරින් පිරිසක් එම කොට්ඨාසයේ නොමැති බවත් ඔහු ප්‍රකාශ කළේය. නිලධාරි හිගය මග හරවා ගැනීමටත් කාර්යක්ෂම කිරිම සඳහා සම්පත් සැපයීමටත් ජාතික ජන බලවේග රජය කටයුතු කර තිබෙන බවද විජේපාල මහතා වැඩිදුරටත් පැවසීය.


මහින්දානන්ද - නලීන් පොදු වාට්ටුවකට පාවිච්චියට කොට්ටයක් පැදුරක්

 


සුජිත් හේවාජුලිගේ 


බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම වූ මහින්දානන්ද අලුත්ගමගේ සහ නලින් ප්‍රනාන්දු යන හිටපු අමාත්‍යවරුන් දෙදෙනා දඬුවම් විඳින සිරකරුවන් රඳවා සිටින පොදු වාට්ටුවකට ඊයේ (29) ඇතුළත් කෙරුණු බව බන්ධනාගාර කොමසාරිස් (මාධ්‍ය) ගාමිණී දිසානායක මහතා පැවසීය.


දෙදෙනා වෛද්‍යවරයාට ඉදිරිපත් කර සෞඛ්‍ය තත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව බන්ධනාගාරයේ වැඩ පැවරීම අද (30) කරන බවද හෙතෙම සඳහන් කළේය.බරපතළ සිර දඬුවම් විඳින සිරකරුවන්ට අතුගෑමේ සිට දර පැලීම වැනි ඉතා දුෂ්කර වැඩ දක්වා රාජකාරි පැවරීම් කළ හැකි බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. දෙදෙනාට සාමාන්‍ය දඬුවම් විඳින සිරකරුවන් වශයෙන් බන්ධනාගාරයේ ජීවත්වීමට සිදුවන බවත් කොට්ටයක් පැදුරක් හැරෙන්නට වෙනත් කිසිදු පහසුකමක් නොලැබෙන බවත් ගාමිණී දිසානායක මහතා ප්‍රකාශ කළේය.


ලංකාවේ දැන් ඉන්දියාවේ කොරෝනා

 


රංජන් කස්තුරි


ශ්‍රී ලංකාවේ මේ දිනවල පැතිර යමින් තිබෙන්නේ මැලේසියාව සහ ඉන්දියාවේ පැතිර යන කොඩ් අනුප්‍රභේදය බව තහවුරු වී ඇතැයි කොළඹ වෛද්‍ය පරියේෂණ ආයතනයේ වයිරස් රෝග විශේෂඥ වෛද්‍ය ජුඩ් ජයමහ මහතා පැවැසීය. කොළඹ වෛද්‍ය පර්යේෂණ ආයතනයේ වයිරස් රෝග විශේෂඥ වෛද්‍ය ජානකී අබේනායක මහත්මිය සිදු කළ පරේක්ෂණ අනුව ශ්‍රී ලංකාවේ පැතිර යන්නේ කොවිඩ් ඔමික්‍රෝන් ප්‍රභේදයේ LF. 1 සහ NB 1.8.1 නැමති අනු ප්‍රභේද බව තහවුරු කරගත් බවද වෛද්‍ය ජයමහ මහතා ප්‍රකාශ කළේය. කෙසේ වෙතත් මෙම කොවිඩ් අනුප්‍රභේද සම්බන්ධයෙන් අනිසි බියක් ඇති කරගත යුතු නැතැයිද හෙතෙම සඳහන් කළේය.


ගර්භනී මාතාවන් වැඩිහිටි කාන්තාවන් හා නිධන්ගත රෝගීන් තමන්ගේ ආරක්ෂාව සලසා ගත යුතු බව ද හෙතෙම කීය. ඒ අනුව ඔවුන්ට මුඛ ආවරණ පැලදීම අත් සේදීම මහජනතාව වැඩිපුර ගැවසෙන ස්ථානවල නොගැවසීම ආදී සෞඛ්‍ය පුරුදු අනුගමනය කළ හැකි බවද විශේෂඥ වෛද්‍ය ජූඩ් ජයමහ මහතා පැවසීය. කොළඹ වෛද්‍ය පරේක්ෂණ ආයතනය රට පුරා සියලුම පළාත් හා ප්‍රදේශ නියෝජනය වන පරිදි රෝහල්වලින් ලබා ගන්නා සෙම පටල නිරන්තර පරීක්ෂාවට ලක්කරන බව ද හෙතෙම සඳහන් කළේය.සාමාන්‍යයෙන් මෙම කොවිඩ් නව ප්‍රභේදය ඇතැම් කාලවලදී පැතිර යන අතර ඒ පිළිබඳව අනිසි බියක් ඇතිකර ගත යුතු නැතැයි ද හෙතෙම පැවසීය.


කටානේ සුපිරි නිවෙසක ගෑස් ළිපෙන් කසිප්පු පෙරලා

 


 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


ඉතාලියේ රැකියාවක නිරතව සිටින්නකුගේ මීගමුව කටාන ප්‍රදේශයේ දෙමහල් සුඛෝපභෝගී නිවෙසක් කුලී පදනම මත ලබාගෙන ගෑස් ළිප් ආධාරයෙන් මහා පරිමාණයෙන් කසිප්පු පෙරා විකිණීමේ නිරතව සිටි බව කියන ජාවාරාමිකරුවෙක් කටාන පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (29) අලුයම අත්අඩංගුවට ගනු ලැබීය.


කසිප්පු පෙරීම සඳහා පදම් කරන ලද ගෝඩා අඩංගු බැරල් පහක්, පෙරන ලද කසිප්පු බෝතල් 45ක්, කසිප්පු පෙරිමට යොදා ගන්නා තඹ දඟර, ගෑස් සිලින්ඩර් තුනක් සහ ගෑස් ළිපක් මෙම වැටලීමේදී පොලිස් භාරයට ගෙන ඇත. මීරිගම ප්‍රදේශයේ මහා පරිමාණ කසිප්පු පෙරිමේ නිරතව සිටින්නකු ඉතාලියේ රැකියාවක නිරතව සිටින්නකුගෙන් මෙම දෙමහල් නිවෙස කුලී පදනමට ගෙන ඔහුගේ ගෝලයකු යොදවා මාස දහයක පමණ කාලයක් තිස්සේ සිට කසිප්පු පෙරා ඇති බව පොලිසිය කියයි.


පොලිසිය මෙම නිවෙස වටලන අවස්ථාවේ ගෝලයා කසිප්පු පෙරමින් සිට ඇතැයි කියයි. මොහු දිවා රාත්‍රී දෙකේ පෙරන කසිප්පු තොග මීරිගම සහ තදාසන්න ප්‍රදේශවලට විකුණා ඇති බවට තොරතුරු පොලිසියට ලැබී ඇතැයි කියති. මහා පරිමාණයෙන් කසිප්පු පෙරන ජාවාරම්කරු ද අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය පරීක්‍ෂණ පවත්වයි.ඉතාලියේ වෙසෙන මෙම නිවෙසේ හිමිකරුට බොරු කියා එම නිවෙස කුලී පදනම මත ලබාගෙන ඇති බව ද පැවැසේ. 

Thursday, May 29, 2025

කොටන් පැටවූ බූම් ට්‍රක් රර්ථයේ ආධාරකය ගැලවිලා

 



කෑගල්ල, බෙරගල ප්‍රදේශයේ පටු කොන්ක්‍රීට් කරන ලද මාර්ගයක ආධාරක සවි කර බූම් ට්‍රක් රථයකින් කොට අදිමින් සිටියදී ආධාරක ගැලවී ට්‍රක් රථය පල්ලමකට ඇදී යෑමෙන් මාර්ගයේ ධාවනය වෙමින් තිබුණු යතුරුපැදියක ගැටී පැදිකරු මියගොස් පාසල් ශිෂ්‍යාවක් බරපතළ තුවාල ලබා පෙරේදා (27දා) රෝහල් ගත කර ඇතැයි කෑගල්ල පොලිසිය පැවැසීය.


මියගොස් ඇත්තේ 53 හැවිරිදි බෝයගොඩ විදානලාගේ ප්‍රියන්ත බෝයගොඩ නමැති තිදරු පියෙකි. බරපතළ තුවාල ලබා ඇත්තේ මරණකරුගේ දියණිය වන 18 හැවිරිදි බෝයගොඩ විදානලාගේ චතුනි සසින්දි නිපුන්යා නමැති පාසල් ශිෂ්‍යවකි.

කෑගල්ල, බෙරගල ප්‍රදේශයේ අතුරු බෑවුම් පටු මාර්ගයක බූම් ට්‍රක් රථයක් මාර්ගය මැද නවතා ට්‍රක් රථයේ ආධාරක යොදා පහළක තිබුණු කොට තොගයක් ට්‍රක් රථයට පටවමින් සිට ඇති බව පොලිසිය පැවැසීය. එම ට්‍රක් රථය ඉදිරිපස දෙසට වන්නට මීටර් 3ක් පමණ ඈතින් උඩු පසින් පියෙක් හා දියණියක් අතුරු මාර්ගයක සිට යතුරුපැදියකින් මාර්ගයට පැමිණ ඉදිරියට ධාවනය කිර්මට යෑමේදී නතර කර තිබුණු ට්‍රක් රථයේ ආධාරක දෙක ගැලවී ඉදිරියට ඇදී ගොස් යතුරුපැදියේ ගැටී ඇති බවත් පොලිසිය පැවැසීය. 


අනතුරින් යතුරුපැදියේ පිටුපස ගමන් කරමින් සිටි පාසල් ශිෂ්‍යාව පසෙකට විසි වී තුවාල ලබා ඇති බවත් පැදිකරු ට්‍රක් රථයට යට වී බරපතළ තුවාල ලබා කෑගල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බවත් පොලිසිය කීය. කෑගල්ල රෝහලට ඇතුළත් කරන අවස්ථාවේදී යතුරුපැදිකරු මියගොස් ඇති අතර තුවාල ලබා සිටි ශිෂ්‍යාව මහනුවර මහ රෝහල වෙත මාරු කර යවා ඇති බවත් පොලිසිය පැවැසීය.මියගිය ගොස් ඇති තිදරු පියා පාසල්වල ප්‍රාථමික අංශයේ දරුවන්ට දිවා ආහාරය සපයා දෙමින් බිරිය, දරු තිදෙනා සමඟ ජීවත් වෙමින් සිට ඇත. වැඩිමහල් පිරිමි දරුවා මීට මාස පිට ඉහතදී ඕස්ට්‍රේලියාවේ අධ්‍යාපනය හැදෑරීමට ගොස් තිබේ.


තුවාල ලබා ඇති දියණිය කෑගල්ල ශාන්ත ජෝශප් බාලිකා විද්‍යාලයේ අධ්‍යයන පොදු සහතික පත්‍ර සමාන්‍ය පෙළ විභාගයට පෙනී සිට විෂයන් 9ට ඒ සමාර්ථ 9ක් ලබාගෙන උසස් පෙළ විෂයන් හදාරමින් සිටින බවත් පොලිසිය පැවැසීය. පියා විසින් දියණිය අමතර පන්තියකට යොමු කිර්මට යමින් සිටියදී මෙම අවාසනාවන්ත අනතුරට මුහුණ දී ඇත. අත්අඩංගුවට ගත් ට්‍රක් රථයේ රියැදුරුවරයා වන 40 හැරිදි අසුන්ත සදීප් කුමාර නමැත්තා කෑගල්ල මහෙස්ත්‍රාත් සශිකා මිතුන ආරච්චිගේ වෙත පෙරේදා (27දා) ඉදිරිපත් කෙරිණි. මියගිය පුද්ගලයා වෙනුවෙන් බිරියට රුපියල් ලක්ෂයක මුදලක් ප්‍රදානය කරන බවට අධිකරණයේදී විත්තිකරු පොරොන්දු වීමෙන් පසුව රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් මත සැකකරු නිදහස් කරන ලෙසත් යළි නඩුව ඔක්තෝබර් 07 වැනිදා කැඳවන ලෙසත් මහෙස්ත්‍රාත්වර්ය පොලිසියට නියෝග කළාය. මියගිය තිදරු පියාගේ පිරිමි දරුවා ඊයේ (28දා) දිවයිනට පැමිණීමට නියමිතව තිබුණු අතර අවසන් කටයුතු අද 29 වැනිදා සවස කෑගල්ල බෙරගලදී කිරීමට නියමිතය. කෑගල්ල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක නාලක මාගෙදරගම, රථවාහන අංශයේ ස්ථානාධිපති පොලිස් පක්ෂක සාගර මාවඩවිලගේ යන නිලධාර්න්ගේ උපදෙස් පරිදි උප පොලිස් පරීක්ෂක සුනිල් නිලධාරියා විමර්ශන කටයුතු කෙරිණ. කෑගල්ල කොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂණාගාරයේ පොලිස් පරීක්ෂක ජයලාල් මලන්දෙණිය ඇතුළු කණ්ඩායමක් ස්ථානීය පක්ෂණය කළහ.



මේ සම්බන්ධයෙන් ඉදිරියේදි විනය ක්‍රියා මාර්ගයක් ගන්නවා

 චීනයේ පැවැත්වූ "ශ්‍රී ලංකාවේ අධ්‍යාපනයේ ඩිජිටල් පරිවර්තනය පිළිබඳ සම්මන්ත්‍රණය" සඳහා මූල්‍ය චෝදනා විමර්ශනයකට යටත්ව සිටින උතුරු මැද පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරියක් රජයේ අනුමැතිය නොමැතිව සම්මන්ත්‍රණයට සහභාගි වීමට විදේශගත වීම සම්බන්ධයෙන් නැවත තවත් විමර්ශනයක් පැවැත්වීමට ත්‍රිපුද්ගල කමිටුවක් පත් කෙරේ.


උතුරු මැද පළාත් ආණ්ඩුකාර හිටපු මහාධිකරණ විනිසුරු වසන්ත ජිනදාස මහතාගේ උපදෙස් පරිදි මේ ත්‍රිපුද්ගල පක්ෂණ කමිටුව පත් කළ බව උතුරු මැද පළාත් අධ්‍යාපන සහ ප්‍රධාන අමාත්‍යාංශ ලේකම් කේ. එම්. එච්. එස්. කේ. ජයලත් මහතා "මව්බිම"ට පැවැසීය.පරිපාලන නිලධාරීන්ගෙන් සමන්විත කමිටුව මඟින් නිර්දේශ කරන විනය ක්‍රියාමාර්ග මේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරිය සම්බන්ධයෙන් ඉදිරියේදී ගන්නා බවද අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය.


රජයේ සේවකයකුට නිල විදේශ සංචාරයක් නොව පෞද්ගලික විදේශ සංචාරයක්වත් රජයේ අවසරය නොගෙන සංචාරය කිරීමට අවසර නොමැති අතර එසේ කළහොත් රැකියාව පවා අහිමි කළ හැකිය. පළාත් සභා සේවකයෙක් නම් ආණ්ඩුකාරවරයාගේ අනුමැතියද මධ්‍යම රජයේ රාජ්‍ය සේවකයෙක් නම් ජනාධිපති, අගමැති හෝ බලයලත් නිලධාර්යකුගේ අනුමැතිය ලබාගත යුතුය. එහෙත් මේ පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරිය පළාත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්ගේ හෝ නිල අනුමැතිය නොමැතිව නිල විදෙස් සංචාරයකට සහභාගි වූයේ කුමන බලයක් යටතේද යන්න පිළිබඳව පරිපාලන නිලධාහු විමතිය පළ කරති. රටක ආගමන විගමන නීතිය උල්ලංඝනය කිරීම බරපතළ වරදක් බවද ඔවුහු පෙන්වා දෙති. මේ සම්මන්ත්‍රණය 2025.05.13දා සිට 2025.05.26 දින දක්වා චීනයේදී පැවැත්විණි. මේ සඳහා සුදුසුකම් සහිත පළාත් තොරතුරු තාක්ෂණ විෂය සම්බන්ධීකරණය සිදු කරන සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරයෙක් නම් කර එවන ලෙසට 2025.04.23 දිනැති ලිපියෙන් අධ්‍යාපන උසස් අධ්‍යාපන, අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපනය අමාත්‍යාංශය මඟින් උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලීමක් සිදු කර ඇත.


එම ඉල්ලීමට අනුව සුදුසුකම් සහිත නිලධාරියකු නොමැති නම් කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ කාර්යාලයකට යොමු කර එම විෂයට අදාළ සහකාර කලාප අධ්‍යාපන අධ්‍යක්ෂ තනතුර හොබවන්නකු නම් කර එවන ලෙසටද අධ්‍යාපන අමාත්‍යාංශය විසින් යොමු කරන ලද ලිපියේ තවදුරටත් සඳහන් වේ. එසේ තිබියදී 2025.04.25 දිනැති ලිපිය මඟින් උතුරු මැද පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා විසින් නිර්දේශ කර යවා ඇත්තේ චෝදනාවකට විමර්ශනයක් පැවැත්වෙන පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරියයි.

මේ සහකාර පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරිය අනුරාධපුර කලාප අධ්‍යාපන කාර්යාලයේ සේවයේ යෙදී සිටියදී අනුරාධපුර අධ්‍යාපන කලාපයේ ගණිතය විෂය ඉහළ නැංවීමේ වැඩසටහන නොපවත්වා කූට ලේඛන සකස් කර මුදල් වංචා සිදු කිරීම යන චෝදනාව මත මේ වන විට විමර්ශනයක් පැවැත්වේ. විමර්ශනයට අදාළ චෝදනා පත්‍රය ලබාදීමෙන් පසු මෙයට මාස කිහිපයකට පෙර උසස් වීමක්ද පිරිනමා ඇයට පළාත් අධ්‍යාපන සහකාර අධ්‍යක්ෂවරියක ලෙස පත් කර ඇත.


මෙසේ පුහුණුවක් සඳහා විදේශගත වීම පිළිබඳව "මව්බිම" උතුරු මැද පළාත් ප්‍රධාන සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම් කේ. එම්. එච්. එස්. කේ. ජයලත් මහතාගෙන් කළ විමසීමේදී කියා සිටියේ මේ සඳහා මෙතෙක් අනුමැතිය ලැබී නොමැති බවයි. විදේශගත වීමට අදාළ පළාත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂවරිය ලිඛිතව ඉල්ලීමක් සිදු කර ඇති බවත් එහෙත් ඇයට එරෙහිව විමර්ශනයක් සිදු කෙරෙන බැවින් අදාළ ඉල්ලීම ඉහළ නිලධාරීන්ට යොමු කර ඇති බවත් පළාත් අමාත්‍යාංශ ලේකම්වරයා සඳහන් කළේය. ඇයට එරෙහිව විමර්ශනයක් සිදු කරන බැවින් ඒ සඳහා අනුමැතිය නොලැබී ඇති බවද වැඩිදුරටත් ජයලත් මහතා පැවැසීය.


චූල බණ්ඩාර කුලසේකර


පැහැරහැරිය කෝටි 135ක බදු ගෙවන්නැයි මත්පැන් සමාගමකට නියෝග

 

කුමුදු උපුල් ශාන්ත


නොගෙවා පැහැරහරින ලදී රුපියල් මිලියන 1,350ට අධික ආදායම් බදු හා ජාතිය ගොඩනැංවීමේ බදු රජයට ගෙවන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරණ මහත්මිය මත්පැන් සමාගමකට ඊයේ (28දා) නියෝග කළාය.


එම සමාගම 2012, 2013, 2014 යන වර්ෂ තුනට අදාළ රුපියල් 907,586,288ක ආදායම් බදු හා 2012, 2013, 2014, 2015 යන වර්ෂ හතරට අදාළ රුපියල් 50,190,596ක ජාතිය ගොඩනැංවීමේ බදු නොගෙවන ලදයි චෝදනා කරමින් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව 2024 වසරේදී ගොනු කරන ලද නඩුවක් සලකා බැලීමෙන් අනතුරුව අධිකරණයෙන් එසේ නියම කෙරිණි.


සිද්ධියට අදාළ නඩුව ජුනි මස 25 දින නැවත කැඳවීමටද අධිකරණයෙන් නියම විය. දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වෙනුවෙන් නීතිඥ දිනේෂ් පෙරේරා මහතා පෙනී සිටි අතර වගඋත්තරකාර සමාගම වෙනුවෙන් නීතිඥ ගුණවර්ධන මහතා පෙනී සිටියේය.


රජයට කෝටි 2000ක පාඩුවක්: මෙගාවොට් දහයේ සුළං විදුලි බලාගාර 6ක ගිවිසුම් අත්සන් කිරීමේ ලංවිම තැතක්

 

 

රංජන් කස්තුරි


රජයට රුපියල් කෝටි 2,000ක පමණ අති විශාල පාඩුවක් සිදු කරමින් මෙගාවොට් 10 බැගින් වන සුළං විදුලි බලාගාර හයක් සඳහා පෞද්ගලික සමාගම් කිහිපයක් සමඟ ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කිරීමට සූදානම් වන බව, එම මණ්ඩල ආරංචිමාර්ග පවසයි.


සුළං බලාගාරයක නිෂ්පාදනය කරන විදුලිය ඒකකයක් ලංකා විදුලිබල මණ්ඩලය මිලදීගත යුත්තේ රුපියල් 23ක මිලකට බවට, විදුලිබල අමාත්‍යාංශයේ කමිටුව මගින් නිර්දේශ කර තිබියදී ඒකකයකට රුපියල් 29.80ක් ගෙවීමේ පදනම මත කඩිමුඩියේ මෙම ගිවිසුම් අත්සන් කිරිමේ සූදානමක් පවතින බව ද එම ආරංචිමාර්ග කියයි. විදුලිබල අමාත්‍යාංශයේ කමිටුව මගින් 2024 වසරේදී ආයෝජනය කරන සුළං බලාගාරවලින් විදුලි ඒකකයක් මිලදීගත යුතු මුදල රුපියල් 29.80ක් ලෙස තීරණය කර ඇති අතර, 2025 වසර සඳහා එම කමිටුව තීරණය කර ඇත්තේ ඒකකයක් රුපියල් 23කට මිලදීගත යුතු බවටය.


සුළං බලාගාරවලින් නිෂ්පාදනය කරන විදුලි ඒකකයකට රුපියල් 23ක මුදලක් ගෙවිය යුතු බවට වන අමාත්‍යාංශයේ කමිටුව කර ඇති නිර්දේශය ඉකුත් මාර්තු මාසයේ කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කර ඇතත්, මුදල් අමාත්‍යාංශයේ කිහිප දෙනකු ඊට කකුලෙන් ඇදීම හේතුවෙන් මේ දක්වා එය අනුමත වී නොමැති බව ද පැවැසේ. පැරැණි මිලටම නව ගිවිසුම් අත්සන් කිරීමේ අවශ්‍යතාව හේතුවෙන් ඒ සඳහා මුදල් අමාත්‍යාංශයේ නිර්දේශ ඉදිරිපත් නොකෙරෙන බව ද එම ආරංචිමාර්ග සඳහන් කරයි. මෙගාවොට් 10ක සුළං බලාගාර සඳහා ටෙන්ඩර් කැඳවීමක් අවශ්‍ය නොවන අතර, ඒ සඳහා විදුලි ඒකකයකට ගෙවිය යුතු මුදල කමිටුවක් මගින් නිර්දේශ කිරීම ක්‍රමවේදය වේ.මේ අතර, මෙගාවොට් 10 බැගින් වන සුළං බලාගාර හයක් අලුතෙන් ස්ථාපිත කිරීමට සමාගම් 6ක් සමඟ ගිවිසුම් අත්සන් කිරිමට නියමිතව ඇතත්, එහි සැබෑ අයිතිකරුවන් ප්‍රමාණය දෙදෙනකු හෝ තිදෙනකු වන බව ද එම ආරංචිමාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.


හිඟ බදු කෝටි 135: මසකදී ගෙවන්න රන්දෙණිගල අරක්කු සමාගමට නියෝග

 


 

රෝෂන් තුෂාර


නොගෙවා පැහැර හැර ඇති රුපියල් කෝටි 135ක බදු මුදල් මාසයක් ඇතුළත ගෙවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය රන්දෙණිගල ඩිස්ටිලර්ස් මත්පැන් නිෂ්පාදන සමාගමට ඊයේ (10) නියෝග කළාය.2012 සහ 2015 අතර කාලය තුළ ආදායම් බදු. වැට් බදු සහ දේශය ගොඩනැගීමේ බදු වශයෙන් රජයට ගෙවිය යුතු රුපියල් 1,358,773,144ක මුදලක් නොගෙවා පැහැර හැර ඇති බවට චෝදනා කරමින් දේශීය ආදායම් කොමසාරිස්වරයා රන්දෙණිගල ඩිස්ටිලරිස් සමාගමට එරෙහිව පවරා ඇති නඩුව කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය එලෙස නියෝග කළාය.


2012 හා 2015 අතර කාලය තුළ වැට් බදු වශයෙන් රජයට ගෙවිය යුතු රුපියල් 907,586,288ක් ද, ආදායම් බදු වශයෙන් රජයට ගෙවිය යුතු රුපියල් 400,996,259 44ක් හා දේශය ගොඩනැගීමේ බදු වශයෙන් රජයට ගෙවිය යුතු රුපියල් 50,190,596.56ක් නොගෙවා පැහැර හැරීම හේතුවෙන් වගඋත්තරකාර අධ්‍යක්‍ෂ මණ්ඩලයට එරෙහිව මෙලෙස නඩු පවරා ඇත. කඩුවෙල, කොරතොට ප්‍රදේශයේ පවත්වාගෙන යන රන්දෙණිගල ඩිස්ටිලරිස් සමාගමේ අධ්‍යක්ෂ පියුමි විජේවික්‍රම මහත්මිය  නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණයේ පෙනී සිටියාය.


රන්දෙණිගල ඩිස්ටිලරිස් සමාගමේ අධ්‍යක්‍ෂවරුන් වන පියුමි විජේවික්‍රම, සරත් කුමාර විජේවික්‍රම, බුද්ධිකා විජේවික්‍රම හා තවත් අධ්‍යක්ෂවරියක වගඋත්තරකරුවන් කරමින් දේශීය ආදායම් කොමසාරිස්වරයා නඩු පවරා තිබිණි. දේශීය ආදායම් කොමසාරිස්වරයා විසින් 2024 වසරේදී විත්තිකරුවන්ට එරෙහිව මෙම නඩුව පවරනු ලැබ තිබූ අතර, නඩුව විභාග කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතා, වගඋත්තරකාර සමාගම හිඟ බදු මුදල් රජයට ගෙවිය යුතු බවට තීන්දු කර තිබිණි. අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය හමුවේ නඩුව කැඳවූ අවස්ථාවේදී, අතිරේක මහේස්ත්‍රාත් බණ්ඩාර ඉලංගසිංහ මහතාගේ තීන්දුව ප්‍රකාශයට පත් කෙරිණි.


වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉෂාර ගුණවර්ධන මහතා කරුණු ඉදිරිපත් කරමින්, තම සේවාදායකයන් මෙම මුදල් ගෙවීමට සූදානම් බවත්, ඊට කාලයක් ලබා දෙන ලෙසත් ඉල්ලා සිටියේය. කරුණු සලකා බැලීමෙන් අනතුතුරුව, හිඟ බදු මුදල් ගෙවීමට මාසයක කාලයක් දුන් මහේස්ත්‍රාත්වරිය, නඩුව ජුනි 25 වැනිදා කැඳවන ලෙස නියම කළාය. දේශීය ආදායම් කොමසාරිස්වරයා වෙනුවෙන් නීතිඥ දිනේෂ් පෙරේරා මහතා පෙනී සිටි අතර, විත්තිකාර සමාගම වෙනුවෙන් නීතිඥ ඉෂාර ගුණවර්ධන මහතා පෙනී සිටියේය.


සුළං -අකුණූ ඒක්ක වැස්ස දිගටම

 


නිමල කොඩිතුවක්කු


නිරිතදිග මෝසම් සක්‍රීය කාලගුණ තත්වයේ බලපෑම හේතුවෙන් බස්නාහිර සහ සබරගමුව පළාත්වලත්, ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් දැනට පවතින වැසි තත්වයේ වැඩි වීමක් ඉදිරි දිනවලදී බලාපොරොත්තු විය හැකි බව, කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. සබරගමුව පළාතේත්, නුවරඑළිය, මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් සථානවල මිලිමීටර් 75ට වැඩි තරමක තද වැසි ඇති විය හැකි බවත් එම දෙපාර්තමේන්තුව කියයි.


මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු මැද සහ වයඹ පළාත්වලත්, හම්බන්තොට සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇති විය හැක. ගිගුරුම් සහිත වැසි සමග ඇති විය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදු වන අනතුරු අවම කරගැනීමට පියවර ගන්නා ලෙස, එම දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කරයි. හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තූරය දක්වා සහ ගාල්ල සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ විටින් විට ඉතා රළු වන බැවින්, මෙම මුහුදු ප්‍රදේශයට නැවත දැනුම් දෙන තුරු යාත්‍රා නොකරන ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නාවික සහ ධීවර ප්‍රජාවලට දැනුම් දෙයි.


ඒස්.ඒස්.පී දොස්තර නෝනාගේ පසුම්බිය ග්‍රීසියේදි පොකට් ගහලා

 


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


ග්‍රීසියේ ඇතෑන්ස් නුවර ඕ මායා දුම්රිය ස්ථානයේ රැඳී සිටියදී තම රාජකාරි නිල හැදුනුම්පත සහ මුදල් පසුම්බිය කිසිවකු සොරාගෙන ගොස් ඇති බව, නාරාහේන්පිට පොලිස් රෝහලේ විශේෂඥ වෛද්‍යවරියක වන ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිනියක පෙරේදා (27) පැමිණිල්ලක් කර ඇතැයි කිරුළපන පොලිසිය කියයි.


ඇය ඕ මායා දුම්රිය ස්ථානයේ ඉකුත් දාහත් වැනිදා රැඳී සිටියදී ඒවා සොරාගෙන ගොස් ඇති බවට ඇය කිරුළපන පොලිසියට කළ පැමිණිල්ලේ සඳහන් වන බව කියති. මෙරටට පැමිණීමෙන් පසු විශේෂඥ වෛද්‍යවරිය මේ බව පොලිසියට පැමිණිලි කර ඇත. ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නිලය දරන මෙම විශේෂඥ වෛද්‍යවරිය මේ පිළිබඳව එරට පොලිසියකට ද පැමිණිලි කර ඇතැයි දැනගැනීමට තිබේ.


ලයිසන් නැතිව රිය පදවලා: පොලිසියට පාට් දැමුවැයි මන්ත්‍රී අර්චුනාට නඩු

 


බී.ජී. චතුරංග


වලංගු රියැදුරු බලපත්‍රයක් නොමැතිව මෝටර් රථයක් පදවමින් අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරීන්ගේ රාජකාරියට බාධා කරමින්,සාපරාධී බලහත්කාරය පා, රථවාහන නීති උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය රාමනාදන් අච්චුනා මහතාට එරෙහිව චෝදනා ගොනු කරන ලෙස, අනුරාධපුර මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතා අනුරාධපුර පොලිසියට ඊයේ (28) නියෝග කළේය.


සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ අනුරාධපුර පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කළ මහේස්ත්‍රාත්වරයා, නඩුව යළි කැඳවන සැප්තැම්බර් 10 වැනිදා චෝදනා ගොනු කරන ලෙස අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ආර්.එම්.කේ. ජයවීර මහතාට නියෝග කළේය. නඩුව කැඳවූ අවස්ථාවේදී සිද්ධිය සම්බන්ධයෙන් ඇප මත මුදාහැර සිටින යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී, වෛද්‍ය රාමනාදන් අර්ජුනා මහතා අධිකරණයේ පෙනී සිටියේය.

යාපනයේ සිට අනුරාධපුර හරහා කොළඹ දක්වා මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී අනුරාධපුර සාලියපුර ගල්වල හන්දිය ප්‍රදේශයේදී අනුරාධපුර කොට්ඨාස රථවාහන අංශයේ නිලධාරින් සැකකාර පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා ගමන් කළ මෝටර් රථය නවතා රියැදුරු බලපත්‍රය සහ මෝටර් රථයේ ලිපි ලේඛන පරීක්ෂා කිරීම සඳහා ඉල්ලා සිටි අවස්ථාවේදී, සැකකරු පොලිස් නිලධාරින්ගේ රාජකාරියට බාධා කරමින් මෙලෙස හැසිරි ඇති බව පොලිස් නිලධාරින් අධිකරණයට දැනුම් දී තිබිණි. නඩුව කැඳවූ අවස්ථාවේ ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව එලෙස නියම කළ මහේස්ත්‍රාත්වරයා, පැමිණිල්ල සැප්තැම්බර් 10 වැනිදා යළි කැඳවන ලෙස නියම කළේය.


නවක වදය එපා: නීතිඥ සංගමය උසාවි යයි

 


මනෝප්‍රිය ගුණසේකර 


විශ්වවිද්‍යාලවල නවක වදය අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ඉල්ලමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඊයේ (28) ගොනු කළේය.සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ සිසුවකු නවක වදය හේතුවෙන් මුහුණ දුන් ඛේදජනක සිද්ධිය සහ ඉන් අනතුරුව සිදු වූ සිය දිවි නසාගැනීමේ සිද්ධි සම්බන්ධයෙන් අවධානය යොමු කරමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙම මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළේය. විශ්වවිද්‍යාලවල නවක වදය අවසන් කිරීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති නීතිඥ රජිව් අමරසූරිය සහ එහි ලේකම්, නීතිඥ චතුර ගල්කේන යන මහත්වරුන් ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් සබරගමුව විශ්වවිද්‍යාලයේ උපකුලපති, මහාචාර්ය සුනිල් ශාන්ත මහතා ඇතුළු එහි පාලක මණ්ඩලය, චරිත් දිල්ෂාන් සිසුවා මුහුණ දුන් ඛේදජනක නවක වද සිද්ධිය සෙවීමට පත් කළ කමිටුවේ සාමාජිකයන්, විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසමේ සභාපතිවරයා, අධ්‍යාපන, උසස් අධ්‍යාපන හා වෘත්තීය පුහුණු අමාත්‍යවරයා, ආරක්‍ෂක ලේකම්වරයා, අධිකරණ අමාත්‍යවරයා, පොලිස්පතිවරයා සහ නීතිපතිවරයා ඇතුළු 69 දෙනෙක් නම් කරනු ලැබ සිටිති.


සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ චරිත් දිල්ෂාන් නමැති 23 හැවිරිදි සිසුවා මුහුණ දුන් ඛේදජනක නවක වද සිද්ධිය සහ ඉන් අනතුරුව සිදු වූ සිය දිවි නසාගැනීමේ සිද්ධි සම්බන්ධයෙන් ශ්‍රී ලංකා නීතිඥ සංගමය වශයෙන් තමන් අවධානය යොමු කළ බව පෙත්සම්කාර ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති, නීතිඥ රජීව් අමරසූරිය සහ එහි ලේකම්, නීතිඥ චතුර ගල්කේන යන මහත්වරු සිය පෙත්සමේ සඳහන් කර ඇත.

සබරගමුව විශ්වවිද්‍යාලයේ තාක්ෂණ පීඨයේ දෙවැනි වසරේ චරිත් දිල්ෂාන් නමැති සිසුවා 2025 අප්‍රේල් 26 වැනිදා එහි ජ්‍යෙෂ්ඨ සිසුන් පිරිසක් විසින් අඛණ්ඩව මෙන්ම ම්ලේච්ඡ අන්දමින් නවක වදයට ලක් කෙරුණ බව පෙන්වා දෙන පෙත්සම්කරුවෝ, සබරගමුව විශ්වවිද්‍යාලයේ බලධාරින්. විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව සහ පොලිසිය නවක සිසුන් ආරක්ෂා කිරීමට සහ නවක වදයට එරෙහි නීති ක්‍රියාත්මක කිරීමට අපොහොසත් වීම මෙම ඛේදවාචකයට හේතු වී ඇති බව ද පෙන්වා දෙයි.


සබරගමුව විශ්වවිද්‍යාලයේ චරිත් දිල්ෂාන් නමැති සිසුවා ජ්‍යෙෂ්ඨ සිසුන් විසින් අඛණ්ඩව මෙන්ම ම්ලේච්ඡ අන්දමින් නවක වදයට ලක් කිරීම හේතුවෙන් ඔහුට වූ ඛේදවාචකය කම්පා කරවන සුලු බව පෙන්වා දෙන පෙත්සම්කරුවෝ, ඔහු නවක වදයට ලක්වීම හේතුවෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බව ද පෙන්වා දෙති.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 11 සහ 12 (1) වගන්ති යටතේ විශ්වවිද්‍යාල සිසුන්ට වදහිංසනයට හෝ කෲර මෙන්ම අමානුෂික සැලකීම්වලට භාජන නොවී සිටීමට අයිතියක් ඇතැයි පෙන්වා දෙන පෙත්සම්කරුවෝ, චරිත් දිල්ෂාන් නමැති සිසුවා නවක වදයට ලක්වීම හේතුවෙන් ඔහුගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කර ඇති බවට තීන්දුවක් දෙන්නැයි ඉල්ලා සිටිති.එමෙන්ම, විශ්වවිද්‍යාලවල මෙන්ම උසස් අධ්‍යාපන ආයතනවල නවක වදයට ලක්කිරීම වළකාලීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස බලධාරින්ට නියම කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කරුවෝ, විශ්වවිද්‍යාලවල නවක වදය අවසන් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස බලධාරින්ට නියම කරන්නැයි ද ඉල්ලා සිටිති.


ඩුබායි පැන්න පාතාලයකුගේ සුපිරි ගෙයක් හසලකින් සොයාගනී

 


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


ඩුබායිවලට පලා ගොස් සැඟව සිට, සිය ගෝලබාලයන් මෙහෙයවමින් මනුෂ්‍ය ඝාතන සහ මත්ද්‍රව්‍ය ජාවාරම්වල නිරතව සිටින බව කියන දකුණේ ප්‍රබල පාතාල කල්ලි නායකයකු ලෙස සැලකෙන ජයලත් ද සිල්වා හෙවත් කරන්දෙණියේ සුද්දා නමැත්තා අපරාධ සිදු කිරීමෙන් සහ මත්දුව්‍ය ජාවාරමෙන් උපයා ගත් මුදලින් හසලක, කොවිනාපොළ ප්‍රදේශයේ ඉදිකර ඇති දෙමහල් නිවෙසක් රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසය විසින් පෙරේදා (27) සිට දින හතක කාලයක් සදහා තහනම් කර, ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කරනු ලැබ ඇත.


පර්චස් අසුවකින් සමන්විත මෙම ඉඩමේ දෙමහල් නිවාසයක් ඉදිකර ඇත්තේ කරන්දෙණියේ සුද්දා නමැත්තාගේ බිරිඳගේ නමින් යැයි රහස් පොලිසිය සඳහන් කරයි. දේපළවල වටිනාකම රුපියල් එක්කෝටි හැත්තෑපන් ලක්ෂයකට ආසන්න බව පොලිසිය කියයි. මෙම දේපළ දින හතක කාලයක් සඳහා තහනම් කර ඇත්තේ, 2006 වසරේ අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනතේ 07(01) දරන වගන්තිය ප්‍රකාරව නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි සුජීව විජේසේන මහතාට පැවැරී ඇති බලතලවලට අනුවය. ඉදිරි විමර්ශනවලදී හෙළි වන තොරතුරු අනුව මෙම කාලය දිගු කිරීමට පියවර ගන්නා බව ද පොලිස් ආරංචිමාර්ගවලින් දැන ගැනීමට තිබේ.


මෙම දේපළ දින හතක කාලයක් යන තෙක් විකිණීම, පිටස්තරයකුට පැවැරීම හෝ වෙනත් කටයුතු සඳහා යොදා ගැනීම තහනම් කර ඇති අතර ඒ බව හසලක ප්‍රාදේශීය ලේකම්වරයාට සහ කරන්දෙණියේ සුද්දා නමැත්තාගේ බිරිඳට ද නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය පෙරේදා ලිඛිතව දන්වා ඇත.


වැඩ බලන පොලිස්පති, නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ අධීක්ෂණය යටතේ, එම කොට්ඨාසය භාර නියෝජ්‍ය පොලිස්පති පවිත්‍ර දයාරත්න මහතාගේ උපදෙස් මත, එහි අධ්‍යක්ෂ, පොලිස් අධිකාරි සුජීව විජේසේන මහතාගේ මෙහෙයවීම යටතේ එම කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් රාජකරුණා මහතා ප්‍රධාන පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වයි. පාතාල කල්ලි නායකයකු සහ ජාත්‍යන්තර මත්ද්‍රව්‍ය ජාලයට සම්බන්ධ යැයි සැලකෙන කරන්දෙණියේ සුද්දා නමැත්තා අඩංගුවට ගැනීම සඳහා ජාත්‍යන්තර පොලිසිය හරහා රතු නිවේදන ද නිකුත් කර ඇති බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් පැවැසීය. පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් අන්දමට කරන්දෙණියේ සුද්දා නමැත්තාට එරෙහිව මනුෂ්‍ය ඝාතන 21ක් සහ මනුෂ්‍ය ඝාතනවලට තැත් කිරිමේ සිද්ධි නවයකට අදාළව චෝදනා එල්ල වී තිබෙන බව කියයි.


මෙම මනුෂ්‍ය ඝාතන අතර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට සහ පොලිස් පරීක්ෂකවරයකුට වෙඩි තබා ඝාතනය කිරීම ද ඇතුළත් වන බව පොලිසිය කියයි.ඇල්පිටිය, මිටියාගොඩ, හික්කඩුව, අම්බලන්ගොඩ, ගාල්ල, බටපොළ රත්ගම සහ පිටිගල යන පොලිස් වසමවල 2022 වසරේ සිට මෙම මනුෂ්‍ය ඝාතන සහ ඝාතන තැත් කිරීම් වී ඇතැයි ද පොලිස් මූලස්ථාන ආරංචිමාර්ග සඳහන් කළේය.


බෙහෙත් කෑල්ලක් හිරවී පුංචි මල් කැකුල මිලින වෙයි

 



චමින්ද වැවතැන්න 


හෙම්මාතගම පෙතිගම්මන ප්‍රදේශයේ දැරියකගේ ශ්වසන නාළයේ ඖෂධ කැබැල්ලක් සිර වීමෙන් පෙරේදා (27) වැනිදා පෙරවරුවේ මිය ගොස් ඇතැයි හෙම්මාතගම පොලිසිය පැවසීය. මෙලෙස මිය ගොස් ඇත්තේ හෙම්මාතගම පොලිස් වසමේ පෙතිගම්මන පදිංචිව සිටි ඩබ්ලිව්.එම්. මෙත්සිදි සෙනුල්යා නැමැති වයස අවුරුදු තුනක දැරියකි.

මිය ගොස් ඇති දැරියට සෙම අසනීප තත්වය උත්සන්න වීමෙන් හෙම්මාතගම නගරයේ පෞද්ගලික වෛද්‍ය මධ්‍යස්ථානයකට දින කිහිපයකට පෙර රැගෙන ගොස් මව්පියන් ප්‍රතිකාර ලබා දී ඇති බවත් දැරිය ඖෂධ පානය කිරීම ප්‍රතික්ෂේප කර ඇති බවත් පොලිසිය පැවසීය. පසුව දැරියගේ මව්පියන් ඖෂධ කුඩු කර ජලය සමග ලබා දී ඇති බවත් එය ද දිගින් දිගටම දැරිය ප්‍රතික්ෂේප කර ඇති බවත් පොලිසිය පැවසීය.

පෙරේදා (27) පෙරවරු 8 ට පමණ යළි පියා දැරියට ඖෂධ දීමට ගිය අවස්ථාවේ දී ප්‍රතික්ෂේප කර ඇති අතර පසුව පියා දැරියගේ මුඛය විවෘත කර ඖෂධ පෙත්තකින් කැබැල්ලක් උගුරට දමා ජලය දී තිබේ. සුළු මොහොතකින් දැරිය මළානික වී නිල් පැහැ ගැන් වී ඇති බවත් පසුව හෙම්මාතගම රජයේ රෝහලට රැගෙන ගොස් ඇති බවත් පොලිසිය පැවසීය.


හෙම්මාතගම රෝහලේ දී දැරියට මූලික ප්‍රතිකාර ලබා දෙන අවස්ථාවේ දී ඖෂධ කැබැල්ල දැරියගේ මුඛයෙන් පිටතට විසි වී ඇති අතර මිනිත්තු 25 න් පමණ දැරිය මිය ගොස් ඇති බවත් පොලිසිය පැවසීය. මිය ගිය දැරියගේ දේහය පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා කෑගල්ල මහ රෝහලට රැගෙන විත් තිබුණු අතර පශ්චාත් මරණ පරීක්ෂණය කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුචිර නදීර මහතා විසින් සිදු කර තිබුණි. ඖෂධ කැබැල්ලක් ශ්වසන නාළයේ සිර වීමෙන් සිදු වූ හදිසි මරණයක් බවට මාවනැල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හදිසි මරණ පරීක්ෂක ආනන්ද වීරකෝන් මහතා තීන්දු කළේය. මෙම මරණය සම්බන්ධයෙන් කෑගල්ල මහ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි වෛද්‍ය රුචිර නදීර මහතා කියා සිටියේ දරුවෙකු අසනීප වී සිටින අවස්ථාවක මව්පියන් ඖඖෂධ ලබා දීමේදී වැඩි සැලකිල්ලක් දැක් විය යුතු බවත් ඖෂධ පානය කිරීම ප්‍රතික්ෂේප කර වැලපෙමින් සිටින අවස්ථාවක බලහත්කාරයෙන් ඖඖෂධ දරුවන්ගේ මුඛයට ඇතුළු කිරීම අවදානම් බව කී වෛද්‍යවරයා දැරියගේ ශ්වසන නාලයේ ඖෂධ කැබැල්ල සිර වී ඇති බවත් වතුර වැටුණු අවස්ථාවේ දී ඖෂධ කැබැල්ල දිය වී විශාල වෙන බවත් පැවසීය. පසුව ශ්වසන නාලය අවහිර වී යන බවත් පෙනහළුවලට වාතය ගමන් නොකිරීමෙන් මරණය සිදු වන බවත් පැවැසීය. දරුවන් හඬා වැලපෙමින් සිටින අවස්ථාවක ඖඖෂධ ලබා දීමක් සිදු නොකරන ලෙසත් වෛද්‍යවරයා වැඩිදුරටත් පැවසීය.


රට පුරා පීසීආර් පරීක්ෂණ වැඩි කරයි

 

 


 රංජන් කස්තුරි


නව කොවිඞ් වයිරසය ශීඝ්‍රයෙන් ව්‍යාප්ත වන්නේ දැයි සොයා බැලීම සඳහා රටපුරා පී.සී.ආර් පරීක්ෂණ වැඩි කිරිමට  පියවර ගන්නා බව සෞඛ්‍ය සහ ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා කොළඹදී ඊයේ (28)පැවසීය. ලොව පුරා රටවල් රැසක වැඩි පිරිසක් හමුවීම නිසා නැවත වරක් ව්‍යාප්තව පවතින නව කොවිඩ්  වයිරසය සම්බන්ධයෙන්  සෞඛ්‍ය අමාත්‍යාංශය  විශේෂ අවධානයක් යොමු කරමින් ක්‍රියාමාර්ග ගනිමින් සිටින බවද සෞඛ්‍ය ලේකම්වරයා පැවසීය 

  

මේ අතර දැනට කොළඹ වෛද්‍ය පරේක්ෂණ ආයතනය පමණක් පී.සී. ආර්. පරික්ෂණ සිදු කරන අතර ඉදිරියේදී කොළඹ සහ ගාල්ල ජාතික රෝහල් මහරගම අපේක්ෂා රෝහල අනුරාධපුර මඩකලපුව ශික්ෂණ රෝහල් මහනුවර රෝහල්වලත් ජයවර්ධනපුර පේරාදෙණිය වෛද්‍ය පීඨවලත් පී.සී.ආර්. පරීක්ෂණ සිදු කිරිමට පියවර ගන්නා බවද සෞඛ්‍ය අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කරයි. ඉකුත් වසරට සාපේක්ෂව මේ වසරේ ගෙවී ගිය කාලය තුළ කොවිඩ් චිකුන්ගුන්‍යා සහ වෛරස් උණ රෝගීන්  වැඩි පිරිසක් හමුවීම නිසා මෙම පියවර ගන්නා බව ද එම අමාත්‍යාංශය කියයි.


ඒ අනුව චිකුන්ගුන්යා ඉදිරියේදී හඳුනා ගැනීමේ කට්ටල පන්දහසක් මිලදී ගැනීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය අදහස් කර ඇතැයිද එම ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.කොවිඩ් වලට අමතරව චිකුන්ගුන්යා රෝගය හඳුනා ගැනීමේ පරීක්ෂණ ද ඉදිරියේදී සිදු කිරිමට නියමිත බව එම අමාත්‍යාංශය කියයි. මේ අතර කොවිඞ් වසංගතය පැතිර ගිය කාලයේදී  සෞඛ්‍ය අමාත්‍යාංශය ලබා දී ඇති උපදෙස් නැවත ක්‍රියාත්මක කරන ලෙසද එම අමාත්‍යාංශය රෝහල් ප්‍රධානීන්ට දන්වා ඇත. ජනතාවට වයිරස් උණ රෝගයකින් පෙළෙන්නේ නම් ජනතාව අතරට නොපැමිණි ආරක්‍ෂණ ක්‍රමවේද අනුගමනය කිරීමට ද සෞඛ්‍ය අමාත්‍යාංශය උපදෙස් දී තිබේ. මේ අතර වසරේ ගතවූ කාලය තුළ මෙරටින් ඩෙංගු රෝගීන් 22396 දෙනකු වාර්තා වී ඇති අතර එම රෝගීන්ගෙන් සියයට45කට වැඩි පිරිසක් බස්නාහිර පළාතෙන් විය. මියගිය ඩෙංගු රෝගීන් සංඛ්‍යාව11කි.


Wednesday, May 28, 2025

ගාල්ලට හනුමා ඇවිත් පැළපදියම් වුණොත් අනතුරක්

 



සජීව විජේවීර


ශ්‍රී ලංකාවේ සහ ඉන්දියාවේ වියළි කලාපීය වනාන්තර සහ පහත් බිම් ප්‍රදේශවල පමණක් දක්නට ලැබෙන අළු වදුරන් තිදෙනකු ගාල්ල නගරය ආසන්නයෙන් නිරීක්ෂණය කළ හැකි වූ බව පරිසරවේදී හේමන්ත සෙනෙව්රත්න මහතා පවසයි. මෙය ඉතාමත් අසාමාන්‍ය තත්ත්වයක් වන අතර ගෝලීය කාලගුණික විපර්යාස හේතුවෙන් වියළි කලාපීය සතුන් තෙත් කලාපයට සංක්‍රමණය වීමේ පෙර නිමිත්තක් විය හැකි යැයි ද ඔහු පවසයි.


ශ්‍රී ලංකාව තුළ පැරැණි ලොව වානර විශේෂ අතර කළු වඳුරන් උප විශේෂ 04ක්, උනහපුළුවන් උප විශේෂ තුනක් සහ එක් විශේෂයක්, ඊළවුන් උප විශේෂ තුනක් සහ අළු වඳුරන් විශේෂයක් දක්නට ලැබේ. ශ්‍රී ලංකාවෙන් වාර්තාවන සියලුම කළු වඳුරන්, උණහපුළුවන් සහ ඊළවුන් විශේෂ සහ උපවිශේෂ සියල්ල ශ්‍රී ලංකාවට ආවේණික අතර අළු වඳුරා පමණක් මෙරටදී සහ ඉන්දියාවේදී දක්නට ලැබෙයි. මෙම අළු වඳුරන් විශේෂය Semnopithecus priam ලෙස විද්‍යාත්මකව හඳුන්වන අතර සාමාන්‍ය ව්‍යවහාරයේදී හනුමා ලෙසද හැඳින්වේ. මෙම විශේෂයේ වඳුරන් ශ්‍රී ලංකාවේ සිටින අනෙකුත් සියලුම වානර විශේෂවලට වඩා ප්‍රමාණයෙන් විශාල වන අතර අනෙක් සතුන් තරම් කුලෑටි හෝ ලැජ්ජාශීලී සත්ත්ව විශේෂයක්ද නොවේ. ඒ නිසා මිනිසුන් දුටුවද ඔවුන් පලා යන්නේ නැත.


පරිසරවේදී හේමන්ත සෙනෙවිරත්න මහතා පවසන්නේ මෙම වර්ගයේ සතුන් තිදෙනකු ගාල්ලේ පිහිටි තම ගෙවත්තට පැමිණ අඹ ගසක කොළ කඩා ආහාරයට ගන්නා අයුරු තම පුතු විහඟ සෙනෙවිරත්න විසින් නිරීක්ෂණය කර තිබූ බවයි. එලෙස දුටු අළු වඳුරන්ගෙන් දෙදෙනකු හොඳින් වැඩුණු වැඩිහිටි සතුන් දෙදෙනකු බවත්, එක් සතකු තවමත් තරුණ වියට පැමිණෙමින් සිටින සතකු බවත් ඔහු පවසයි. විනාඩි 20ක පමණ කාලයක් ඔහුගේ ගෙවත්තේ සිටි මෙම අළු වඳුරන් තිදෙනා පසුව ගඟ ආසන්නයේ කිරල ගස්වෙත ගමන් කළ බවද ඔහු පවසා ඇත. අදින් වසර කිහිපයකට පෙර වියළි කලාපයේ පමණක් දක්නට ලැබුණු මොනරුන් මේ වන විට නිරිතදිග තෙත් කලාපයේ පමණක් නොව උඩරට කඳුකර ප්‍රදේශවලටද පැතිරී සිටියි. එයට හේතුව ගෝලීය කාලගුණික විපර්යාස බව පරිසරවේදීන්ගේ මතයයි.මෙතෙක් වියළි කලාපයේ පමණක් දක්නට ඇති කළු වඳුරන්ද මේ වන විට තෙත් කලාපය දක්වා සංක්‍රමණය වීම ඉදිරියේදී මෙරට පරිසර පද්ධතියේ තුල්‍යතාවයට අහිතකර බලපෑමක් සිදුකරනු ඇතැයි පරිසරවේදීහු පෙන්වා දෙති.


කොළඹ ජාතික රෝහලේ අධ්‍යක්ෂ පත්වීම ඉක්මන් කරන්න‍‍

 


කුසුම් එස්. හැන්නදි


දකුණු ආසියාවේ සුවිශාලම රෝහල ලෙස හැඳින්වෙන කොළඹ ජාතික රෝහලේ දැනට මාස දෙකක් පුරා පවතින ස්ථිර අධ්‍යක්ෂවරයකුගේ පුරප්පාඩුව පිරවීමට සෞඛ්‍ය බලධාරීන්ගේ අවධානය යොමු නොවීමේ හේතුවෙන් රෝහලේ පරිපාලන කටයුතු ශීඝ්‍රයෙන් අඩාල වෙමින් පවතින්නේ යැයි එම රෝහලේ සේවයේ නිරත විශේෂඥ වෛද්‍යවරු කණ්ඩායමක් මාධ්‍යයට අදහස් දක්වමින් පැවැසූහ. 27 වැනිදා රෝහල් වැඩවර්ජනය පැවැති අවස්ථාවේදී මෙම වර්ජනයට හේතුව කුමක්දැයි විමසූ විට දැනට රෝහලේ පරිපාලනය ශීඝ්‍ර ලෙස අඩාල වී ඇතැයි එම විශේෂඥ වෛද්‍යවරුන් රෝහලේ පවතින අභ්‍යන්තර තත්ත්වය පිළිබඳව පැහැදිලි කරමින් මෙසේද පැවැසීය.


“මේ වෙන කොට ලංකාව පුරා චිකන්ගුන්‍යා වයිරසය, ඩෙංගු උණ, මී උණ වැනි රෝග බරපතළ අන්දමින් හිස ඔසවමින් පවතිනවා. යුරෝපා රටවල සංචාරකයන්ට ඒ රටවලින් ලංකාවේ සංචාරය තහනම් කර තියෙනවා. එයට හේතුව චිකන්ගුන්‍යා කියන බරපතළ වයිරසය අපේ රට පුරා වර්ධනය වෙමින් පවතින බවට වාර්තා වීම. ඊට අමතරව කොවිඩ්-19 දෙවන ප්‍රභේදය මේ වන විට ඉන්දියාවටම ඇවිත් ඉවරයි.


අපි ඉන්දියාවෙ අසල්වැසි රටනේ. කොළඹ ජාතික රෝහලේ හිටපු අධ්‍යක්ෂවරයාට උසස් වීමක් ලැබිලා එතුමා අමාත්‍යාංශයට ගියාට පස්සෙ මේ පුටුව හිස්වෙලා දැනට මාස දෙකයි. එදාමෙදා තුර කොළඹ ජාතික රෝහලට ස්ථීර අධ්‍යක්ෂවරයෙක් නැහැ.උතුරු කොළඹ ශික්ෂණ රෝහලේ අධ්‍යක්ෂවරයා දෛනිකව ඇවිත් පැය දෙක තුනක් වැඩ ආවරණය කරලා ආපසු යනවා. එතුමාගේ සේවය . ඉතිහාසගත වෙනවා. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් කොළඹ ජාතික රෝහලට කරපු මේ වින්නැහියෙන් අද සුවහසක් රෝගීන් මෙන්ම රෝහලේ සමස්ත කාර්ය මණ්ඩලයත් අමාරුවේ වැටිලා තියෙනවා.


චමින්ද විජේසිරි හැර ඉල්ලා අස්වූ සංවිධායකයන් යළි සජබෙට වැඩ

 

 


අමිත් මධුරංග ගමගේ


සමගී ජන බලවේගයේ ඉල්ලා  අස්වූ ආසන සංවිධායකයන්ගේ ගැටලු විසදාගෙන ඇතැයි එම පක්ෂයේ උසස් නිලධාරියෙකු පැවැසිය. පළාත් පාලන ආයතනවල සහික ධූර පිරිනැමීමේදී මතුව තිබු ගැටලුවලට පක්ෂ නායකත්වය විසඳුම් ලබාදී ඇතැයිද පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා මෙසේ කීවේය. එම නිලධාරියා පැවැසීය.නුවරඑළිය, ගාල්ල, රත්තොට, හොරොව්වොතාන, දඹුල්ල ඇතුළු සංවිධායක ධුරවලින් ඉල්ලා අස්වූ සංවිධායකයන් පක්ෂය සමඟ එකගතාවකට එළැඹ ඇතැයිද ඔහු කීය. මේ අතර ගාල්ල සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වූ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ලාල් බණ්ඩාරිගොඩ මහතා මෙසේ කීවේය.


"සභික ධුර පිරිනැමීමේදී යම් යම් පරිපාලන දෝෂ වගයක් තිබුණා. දැන් ඒවා නිවරැදි වෙමින් තිබෙනවා. මේ වන විට සමහර තැන්වල නිවරැදි වෙලා තිබෙනවා. තවත් තැනක ප්‍රශ්න තිබෙනවා. ඒවා නිවරැදි වුණොත් අපිට ගැටලුවක් නෑ. පරිපාලන දෝෂ හැදුන්නැති නිසා අපි අස්වුණේ. දැන් ඒවා ටිකක් නිවැරැදි වෙන පැත්තට යමින් තිබෙනවා. ඒ අනුව ගාල්ල දිස්ත්‍රික්කයේ ප්‍රශ්න සාකච්ඡා මට්ටමින් විසඳෙන මට්ටමේ තිබෙනවා. ගැසට් පත්‍රය නිකුත් වූ පසුව ඉදිරි පියවර තීරණය කරනවා."


රත්තොට ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වූ රංජිත් අලුවිහාරේ මහතා මෙසේ පැවැසීය.


"ආසන සංවිධායක ධුරයෙන් අස්වීම ගැන විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සමඟ විපක්ෂ නායක කාර්යාලයේදී සාකච්ඡා කළා. තිබෙන ගැටලු ටික විසඳා ගත්තා. වැරැදි වෙලා තිබුණු ඒවා නිවැරැදි කළා."


“මම බණ්ඩාරවෙල ආසනයෙන් ඡන්ද 6,000ක් ගන්නකොට ඇතැම් ආසනවලින් 30,000කට ආසන්න ඡන්ද ප්‍රමාණයක් ලැබුණා. ඇතැම් ආසනවල සංවිධායකවරයාට එහා ගිය ඡන්ද ප්‍රමාණයක් මා ගත්තා. මට බණ්ඩාරවෙලින් නොලැබී අනෙකුත් ආසනවලින් වැඩි ඡන්ද ලැබෙන විට බණ්ඩාරවෙල දිනවිය හැකි අලුත් නායකයකුට එම ආසනය දිය යුතුයි. මට ජයග්‍රහණය කළ හැකි, කැමැත්ත තියෙන ආසනයක් තෝරා ගැනීමට ඉඩ ලැබිය යුතුයි. ඊට යහපත් ප්‍රතිචාරයක් නොලැබුණු නිසයි ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වූයේ.


සජිත් ප්‍රේමදාස මහතා පරාජය කරපු කණ්ඩායමේ දේශපාලන කුමන්ත්‍රණය හරියට අවබෝධ කර දෙන්න පුළුවන් නම් සජිත් ප්‍රේමදාස මහතාට ජයග්‍රහණය ලබන්න පුළුවන්. ඔහු දේශපාලනික ජයග්‍රහණය අවශ්‍ය වැඩපිළිවෙළ ඔහු විසිනුත් පෞද්ගලිකව හදාගත යුතුයි. මම අද ඉදන් නිදහස්. ඊළඟ ආණ්ඩුව ලබා ගැනීමේ ශක්තිය පූර්ණකාලීනව මේ පක්ෂය වෙනුවෙන් යොදවනවා. එහිදී ඊළඟ ජනාධිපතිවරයා සමගි ජන බලවේගයෙන් බිහි කිර්මට සහාය දෙනවා.


සජිත් ප්‍රේමදාස මහතා තේරුම්ගන්න ඕන ඔහුට දිනන්න පුළුවන්කම තිබියදී ඔහු පරාජය කළ දේශපාලන කුමන්ත්‍රණ හඳුනාගෙන ඒ දේශපාලන කුමන්ත්‍රණවලින් බැහැරව හැසිමක් ගොඩනැඟිය යුතුයි. ඊට අවශ්‍ය මැදිහත් වීම මට එසේම බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වූ තනතුරු ලැබුණත් නැතත් පාක්ෂියා වෙනුවෙන් ඉටු කරනවා.



ටිල්වින්ගේ ප්‍රතිපාදන කතාවට අල්ලස් කොමිසම විමර්ශනයක් කල යුතුයි

 


 



සචිත්‍ර පෙරේරා


සභාපතිවරයෙක් හෝ නගරාධිපවවරයෙක් පත්කිරිමේදි   ජාතික ජන බලවේගයට ඡන්දය දුන්නොත් දෙගුණයක් වැඩිකර ප්‍රතිපාදන ලබාදෙන බව ජ.වී.පෙ. ලේකම් ටිල්වින්  සිල්වා ප්‍රකාශ කරන බැවින් ඒ සම්බන්ධව වහාම අවධානය යොමුකරන ලෙස අල්ලස් හෝ දූෂණ විර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින්නේ යැයි ස.ජ.බ. පාර්ලිමේන්තු මන්ත්‍රි මුජිබර් රහුමාන් මහතා ඊයේ (27දා) පැවැසීය. අල්ලස් වෙනුවට භාවිත කරන අලුත් නමක් ජනතා විමුක්ති පෙරමුණ මේ වන විට හඳුන්වාදී තිබෙන බවත් එම නම ප්‍රතිපාදන යැයි පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා කීවේය.


පළාත් පාලන ආයතන මැතිවරණයෙන් පසු ස්වාධීන කණ්ඩායම් සමඟ සාකච්ඡා කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම් ටිල්වින් සිල්වා ප්‍රකාශ කළ බවත් ඔහු කීය. ඒ අනුව ජාතික ජන බලවේගයෙන් සභාපතිවරයෙක් නගරාධිපතිවරයෙක් පත්කිරීමට සහාය දක්වනවා නම් අවශ්‍ය ප්‍රතිපාදන ලබාදීමට කටයුතු කරන බව ජනතා විමුක්ති පෙරමුණේ ලේකම්වරයා ප්‍රකාශ කළ බවත් කීය. ඒ අනුව අල්ලස් වෙනුවට අලුත් නමක් සමාජගත වී තිබෙන බව මුජිබර් රහුමාන් මහතා පැවැසීය.


ජාතික ජන බලවේගයෙන් පත්වන සභාපතිවරයා හෝ නගරාධිපතිවරයාට සහාය දැක්වුවහොත් ප්‍රතිපාදන දෙගුණයකින් වැඩි කරන බව ආණ්ඩු පක්ෂය ප්‍රකාශ කරන්නේ යැයිද ඔහු පැවැසීය. කෙසේ නමුත් වක්‍රාකාරයෙන් ටිල්වින් සිල්වා සඳහන් කරන්නේ අල්ලස් දෙන බව කී පාර්ලිමේන්තු මන්ත්‍රිවරයා, ප්‍රතිපාදන නමින් ඔවුන් මේ ලබාදෙන්නෙත් අල්ලස් යැයි කීය. මේ අනුව ඒ සම්බන්ධව වහාම අවධානය යොමු කරන ලෙස අල්ලස් හා දූෂණ විමර්ශන කොමිෂන් සභාවෙන් ඉල්ලා සිටින බව ඒ මහතා කීය.මේ අතර පළාත් පාලන ආයතන 178ක බලය පිහිටුවීමට ජාතික ජන බලවේගයට හැකියාවක් නොමැති බවත් එම පළාත් පාලන ආයතනවල බලය තිබෙන්නේ විපක්ෂයේ පක්ෂවලට සහ ස්වාධීන කණ්ඩායම්වලට බවත් ඔහු වැඩිදුරටත් පැවැසීය.


උතුරේ ඉඩම් නිරවුල් කිරිමේ ගැසට්ටුව රිවර්ස් කරයි

 

 


අමින් මධුරංග ගමිගේ


කෘෂිකර්ම, පශු සම්පත් ඉඩම් සහ වාර්මාර්ග අමාත්‍යාංශයේ ඉඩම් නිරවුල් කිරීමේ දෙපාර්තමේන්තුවේ නිරවුල් කිරීමේ නිලධාරීන් පසුගිය මාර්තු 28 වැනි දින ගැසට් කළ උතුරු ප්‍රදේශයේ ගම්මාන කිහිපයක ඉඩම් නිරවුල් කිරීම සම්බන්ධ ගැසට් නිවේදනය ඉවත් කරගන්නා බවට එම අමාත්‍යාංශයේ ලේකම් ඩී.පී. වික්‍රමසිංහ මහතා නීතිපතිවරයාට දැනුම් දී තිබේ.



 ප්‍රාදේශීය ලේකම්වරුන් මාර්ගයෙන් හා පුවත්පත් මඟින් පුළුල් ප්‍රචාරයක් ලබාදුන් මෙම දැන්වීම සම්බන්ධයෙන් උතුරු පළාතේ ජනතාව තුළ දුර්මතයක් මතුවී තිබෙන බවත් ඒ අනුව මෙම ගැසට් නිවේදනය ඉවත්කර ගන්නා ලෙසට උතුරු පළාතේ දේශපාලන අධිකාරිය තමාගෙන් ඉල්ලා තිබෙන බවත් ලේකම්වරයා කියා සිටී. හිමිකම් ඉදිරිපත් කිරීමට මාස තුනක කාලසීමාවක් ලබාදී තිබෙන බවටත් හිමිකම් ඉදිරිපත් නොකරන ඉඩම් කොටස් රජය සතු ලෙස ප්‍රකාශයට පත්කරන බවටත් මෙම ගැසට් නිවේදනය මඟින් දැනුම් දී තිබීම උතුරේ දේශපාලන අධිකාරියේ ඉල්ලීමට හේතු වී ඇතැයිද වික්‍රමසිංහ මහතා පවසයි.


එසේම උතුරු පළාතේ එවකට පැවැති යුදමය වාතාවරණය හේතුවන් ජනතාව සතු ඉඩම්වල හිමිකම් සනාථ කිරීමට ලිපි ලේඛන නොමැති බවටත්, සැලකිය යුතු පිරිසක් විදේශගතව ජීවත්වන බැවින් ඔවුන්ටද හිමිකම ඉදිරිපත් කිරීමට අවස්ථාව අහිමි වී ඇති බවටත් වර්තමාන පරම්පරාවන්ට පාරම්පරික ඉඩම් හඳුනා ගැනීමේ අපහසුතාවන් පවතින බවටත් එම දේශපාලනඥයන් පෙන්වා දී ඇතැයිද හෙතෙම කියයි.

මෙම කරුණ සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවියගේ ප්‍රධානත්වයෙන් උතුරු පළාතේ මහජන නියෝජිතයන්ගේ‍ සහභාගිත්වයෙන් පසුගිය 23 වැනිදා පාර්ලිමේන්තුවේදී රැස්වීමක් පවත්වා දීර්ඝ ලෙස සාකච්ඡා කළ බවද ඩී.පී. වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.


1931 අංක 20 දරන ඉඩම් හිමිකම් නිරවුල් කිරීමේ ආඥා පනත ප්‍රකාරව නිකුත් කළ මෙම ගැසට් නිවේදනය මඟින් කිලිනොච්චිය, යාපනය, මුලතිව් හා මන්නාරම යන දිස්ත්‍රික්කවල ඉඩම් 07ක් පිළිබඳව දක්වා තිබූ බවද ලේකම්වරයා පවසයි. හිමිකම් පෑම් පනතේ දක්වා ඇති ප්‍රතිපාදන, රෙගුලාසි හා නියෝගවලට අනුකූලව විමර්ශනය කිරීමෙන් අනතුරුව නිරවුල් කිරීමේ නිලධාරීන් ආඥා පනතේ 5 වැනි වගන්තිය පරිදි හිමිකම් තීරණය කර පනතේ 8 වැනි වගන්තිය අනුව නිරවුල් කිරීමේ අවසන් ආඥාව ගැසට් නිවේදනයෙහි පළ කළ බවද හෙතෙම කියා සිටී.


කෙහෙල්බද්දර පද්මමේට හොර පාස්පෝට් හැදීමට උදවු කළැයි සහකාර ආගමන විගමන පාලක රිමාන්ඩ්

 


 



කුමුදු උපුල් ශාන්ත


ප්‍රබල පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු මෙන්ම පාතාල කල්ලි සාමාජිකයකු බව කියන මේ වන විට ඩුබායි රටෙහි සැඟව සිටින කෙහෙල්බද්දර පද්මේ  නමැත්තා  වෙනුවෙන් විදෙස් ගමන් බලපත්‍ර සකස් කරදීමට අධාර අනුබල දීමේ චෝදනාව මත අත්අඩංගුවට ගත් ආගමන විගමන දෙපාර්තමේන්තුවේ සහකාර පාලකවරයකු වන අරුණ සම්පත් රූපසිංහ නමැත්තකු මෙම මස 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් හර්ෂණ කැකුණවෙල මහතා ඊයේ (27දා) නියෝග කළේය. අත්අඩංගුවට ගත් සැකකරු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මඟින් ඊයේ අත්අඩංගුවට ගෙන අධිකරණ නිල මැදිරිය වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එසේ රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.


මෙම ප්‍රබල පෙළේ අපරාධකරුවා භාවිත කළ විදේශ ගමන් බලපත්‍රය 2024 නොවැම්බර් මස 9 වැනි දින කල් ඉකුත්ව තිබී ඇති බව සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් විමර්ශන නිලධාහු අධිකරණයට දන්වා සිටියහ. කෙහෙල්බද්දර පද්ම නමැති එම අපරාධකරුවා ආගමන විගමන දෙපාර්තමේන්තුව හමුවේ භෞතිකව පෙනී නොසිටි තත්ත්වයක් හමුවේ ඔහු වෙනුවෙන් විදේශ ගමන් බලපත්‍රයේ සකස් කරදීමට මෙම සැකකාර පුද්ගලයා ආධාර අනුබල ලබාදී ඇති බවට සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ විමර්ශනවලදී අනාවරණය වූ බවද එම නිලධාරීහු අධිකරණයට පෙන්වා දුන්හ. ව්‍යාජ තොරතුරු සහිතව ඉදිරිපත් කරන ලද අයැදුම්පතකට අනුව සැකකරු එම ගමන් බලපත්‍රය සකස් කිරීමට කටයුතු කර ඇති බවද විමර්ශන නිලධාහු පැවැසූහ. ඒ අනුව කෙහෙල්බද්දර පස්මේ නමැත්තාගේ කල් ඉකුත් වී ඇති විදේශ ගමන් බලපත්‍රය සැකකරු විසින් යාවත්කාලීන කර ඇති බවද විමර්ශන නිලධාහු පැවැසූහ.


කෙහෙල්බද්දර පස්මේ නමැත්තාගේ විදේශ ගමන් බලපත්‍රය සැකසීමට අවශ්‍ය ඡායාරූප සැකකාර පුද්ගලයා විසින් බත්තරමුල්ල ප්‍රදේශයේ ඇති ඡායාරූප ආයතනයක් මඟින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ගෙත්වාගෙන ඇති බවට ආගමන විගමන දෙපාර්තමේන්තුවේ අතිරේක පාලක ජනරාල්වරයා විසින් ප්‍රකාශ ලබාදෙමින් පවසා ඇති බවද එම නිලධාහු අධිකරණයට පෙන්වා දුන්හ. ඡායාරූප තීරුමැදුර නාලක සිල්වා නමැත්තා යොමුකර ඇති බවට විමර්ශනවලදී කරුණු අනාවරණය වී ඇති බව විමර්ශන නිලධාහු අධිකරණයට කරුණු දක්වමින් පැවැසූහ. එම විදේශ ගමන් බලපත්‍රයේ සැකසීමට අවශ්‍ය කෙහෙල්බද්දර ප නමැත්තාගේ ඇඟිලි සලකුණු සටහන් සැකකරු විසින් මාර්ගගත ක්‍රමවේදය ඔස්සේ ගෙන්වාගෙන ඇති නමුත් ඒ සම්බන්ධයෙන් කළ විමර්ශනවලදී එම ඇඟිලි සලකුණු සටහන් කෙහෙල්බද්දර පස්මේ නමැත්තාගේ ඇඟිලි සලකුණු බවට අනාවරණය නොවූ බවද විමර්ශන නිලධාහු අධිකරණයට දන්වා සිටියහ.


විදෙස් ගමන් බලපත්‍රයක් සකස් කිරීමේ ක්‍රමවේදයෙන් තොරව මෙම සැකකරු නීති විරෝධී අයුරින් තවත් විදේශ ගමන් බලපත්‍ර දෙකක් සකස් කර ඇති බවට සිදුකරන ලද විමර්ශනවලදී කරුණු අනාවරණය වූ බවද විමර්ශන නිලධාහු අධිකරණයට පෙන්වා දුන්හ. ඒ පිළිබඳව සිදුකරන විමර්ශන අවසන්ව නැති බවත් සැකකරුට ඇප ලබා දුනහොත් මෙම සිද්ධියේ ඉදිරි විමර්ශනවලට මෙන්ම සාක්ෂිකරුවන්ටද බලපෑමක් සිදුවිය හැකි බැව්න් සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස ඉල්ලා සිටි එම නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ සිද්ධියට අදාළව තවත් කිහිපදෙනෙකු අත්අඩංගුවට ගැනීමට විමර්ශන සිදුකරන බවය.


ජනාධිපති නීතිඥ සරත් ජයමාන්න මහතා ඇතුළු නීතිඥ කණ්ඩායමක් සැකකරු වෙනුවෙන් පෙනී සිටිමින් අධිකරණය හමුවේ කරුණු දැක්වූහ. තම සේවාදායකයා එම ආයතනය තුළ කීර්ති නාමයක් දිනාගත් රාජ්‍ය සේවකයෙක් බවත් ඒ පිළිබඳව අවධානය යොමුකර තම සේවාදායකයා ඇප මත මුදාහරින ලෙසද ජනාධිපති නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය. දෙපාර්ශ්වය අධිකරණය හමුවේ දැක්වූ කරුණු සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා සැකකරු ලබන 29 දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළ අතර සිද්ධියට අදාළ ප්‍රගති වාර්තාවක් එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට විමර්ශන මෙම විදේශ ගමන් බලපත්‍රය සැකසීමට අවශ්‍ය කරන නිලධාරීන්ට නියෝග කළේය.


නීතිඥවරයකුගෙන් රුපියල් ලක්ෂ පහක අල්ලසක් ගත්තේ යැයි පුවරසන්කුලම ඔ.අයි.සී රිමාන්ඩ්

 



රෝෂන් තුෂාර


ඉඩම් ආරවුලක් විසඳා සමථයකට පත් කිරීම සදහා නීතිඥවරයකුගෙන් රුපියල් ලක්ෂ පහක අල්ලසක් ලබා ගත්තේ යැයි කියන වවුනියාව පුවරසන්කුලම පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අනුර පුෂ්ප කුමාර සැකකරු ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනූජා ලක්මාලී මහත්මිය ඊයෙ (27) නියෝග කළාය. වවුනියාව විශ්වවිද්‍යාලය ආසන්නයේ අක්කර දහයක ඉඩමක් සම්බන්ධයෙන් නීතිඥවරයකු කළ පැමිණිල්ලක් අනුව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබීය.


සිද්ධිය සම්බන්ධයෙන් කරුණු දක්වමින් එම කොමිසමේ විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ කියා සිටියේ පැමිණිලිකාර නීතිඥවරයා වවුනියාව ප්‍රදේශයේ මිලදී ගෙන තිබූ ඉඩමකට අදාළව ආරවුලක් පැන නැගී තිබී ඇති බවත් ඒ සම්බන්ධයෙන් පැමිණිලිකරු පුරව සත්කුලම් පොලිසිය පැමිණිල්ලක් කර ඇති බවත්ය.

 

පැමිණිල්ලෙන් අනතුරුව එම ඉඩම් ආරවුල සමථයකට පත් කරදිය හැකි බවට සැකකාර පොලිස් පරීක්ෂකවරයා පැමිණිලිකරුට පවසා ඇති බවත් ඒ සඳහා තමන්ට රුපියල් ලක්‍ෂ පහක මුදලක් හෝ පර්චස් විස්සක ඉඩම් කොටසක් තමාට ලබා දෙන ලෙස ඉල්ලා ඇති බවට විමර්ශන වලින් අනාවරණය වූ බවද එම නිලධාරීහු අධිකරණය හමුවේ පැවසූහ. පසුගිය 21 වැනිදා අත්අඩංගුවට පත් සැකකරු වවුනියාව මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඊයේ දින දක්වා රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබ සිටියේය. සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ඉන්දික අතුල මහතා තම සේවාදායකයා මෙසේ අල්ලස් ගැනීමක් කර නොමැති බැවින් ඇප ප්‍රදානය කරන ලෙසට ඉල්ලා සිටියේය.දෙපාර්ශවයේ කරුණු සලකා බැලූ ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය සැකකරු ලබන හය වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළාය.


වසරකට ලක්ෂ ගාණක් මත්ද්‍රව්‍ය ගත්තත් ප්‍රතිකාර ගන්නේ හාරදාහයි

 

 



කවිඳු දිල්ෂාන්


මෙරට වසරකට ලක්‍ෂ ගණනක් දෙනා මත්ද්‍රව්‍ය භාවිත කළ ද ඉන් ප්‍රතිකාර සඳහා යොමු වන්නේ හාරදහසක් වැනි ඉතා සුළු පිරිසක් බව අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ, නිවාරක අධ්‍යාපන හා පුහුණු අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ ප්‍රදීප් කොහොලානේගෙදර මහතා පැවසීය. එමෙන්ම මෙරට වැඩිපුරම අයිස් මත්ද්‍රව්‍ය භාවිත කරන්නේ අවුරුදු 23ත් 26ත් අතර තරුණයන් බව හෙළිවී ඇතැයි ද ඔහු සඳහන් කළේය.ඔහු මෙසේ පැවැසුවේ ඊයේ “සුරක්ෂා” මාධ්‍ය පාදක මත්ද්‍රව්‍ය නිවාරණ ජාතික වැඩසටහන් මාලාවේ 6 වැනි වැඩසටහනේදීය.


අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලය, කොළඹ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය සහ රජයේ ප්‍රවෘත්තී දෙපාර්තමේන්තුව මෙම වැඩසටහන සංවිධානය කළේය.කුඩා දරුවන් මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවීමට පළමු පියවර තබන්නේ දුම්කොළ වැනි සමාජයේ නිතර සංසරණය වන මත්ද්‍රව්‍යයන්ගෙන් බවත් ඉන් පසුව අයිස්, ගංජා වැනි මත්ද්‍රව්‍ය භාවිතයට දරුවන් යොමු වන බවත් කොහොලානේගෙදර මහතා පැවසීය.

එහිදී අදහස් දක්වමින් අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක චාමර කරුණාරත්න මහතා පැවසුවේ ගෝලීය ගැටලුවක් බවට පත්ව ඇති මත්ද්‍රව්‍ය භාවිතයට එරෙහි සමාජ මතයක් ගොඩනැගීම අරමුණු කරගනිමින් මෙම වැඩසටහන සංවිධානය කළ බවයි.


පුද්ගලයකු දැඩි ලෙස මත්ද්‍රව්‍ය භාවිතයට යොමු වන්නේ ඔහුගේ හෝ ඇයගේ පාසල් අවධියේදී බවද ඔහු පැවසීය.වයස අවුරුදු 12 ත් 15 ත් අතර දරුවකු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වීමේ ප්‍රවණතාව සියයට 67ක් බවත් වයස අවුරුදු 23න් පසුව පුද්ගලයකු මත්ද්‍රව්‍ය සඳහා ඇබ්බැහි වීමේ ප්‍රවණතාව සියයට 5ක් බවත් හෙතෙම කීවේය.

එබැවින් කුඩා දරුවන් කෙරෙහි වඩාත් සැලකිලිමත් වෙමින් ඔවුන් මත්ද්‍රව්‍යවලින් ගලවා ගැනීම සඳහා මවුපියන් හා සෑම අයකුම කටයුතු කළ යුතු බවද කරුණාරත්න මහතා සඳහන් කළේය.මෙම වැඩමුළුවේ දී කොළඹ දිස්ත්‍රික් ලේකම් ගිනිගේ ප්‍රසන්න ජනක මහතා, එහි අතිරේක දිස්ත්‍රික් ලේකම් කාංචනා ගුණවර්ධන, අන්තරායකර ඖෂධ පාලක ජාතික මණ්ඩලයේ සභාපති වෛද්‍ය ඉන්දික වන්නිනායක, මහත්ම මහත්මීහු ද අදහස් පළ කළහ.


මවට දියණියට බරපතළ තුවාල

 


 


එච්.එම්. ධර්මපාල 


දෙහිවල ඕඛන් පෙදෙස ඉකුත්දා (27) අලුයම 1.30 ට පමණ ඇතිවූ අධික වැසි සමග හමා ගිය තද සුළඟ නිසා ඕබන් පෙදෙස නිවසක වහල මතට අඩි 40 ක පමණ උසින් තිබූ තට්ටු නිවසක බිත්තියක් කඩා වැටීමෙන් එම නිවසේ නිදා සිටි මව සහ දියණිය බරපතළ තුවාල ලබා රෝහල්ගත කර ඇත. මේ පිළිබඳව එම නිවසේ හිමිකරු වන අමල් අපොන්සු මහතා මෙසේ පැවසීය.


“අපි පෙරේදා 26 රාත්‍රී නින්දට ගියා. දුව සහ බිරිය යාබද සාලයේත් එළියට වන්නට ඇති කාමරයේ මාත් නිදාගෙන සිටියා. 27 අලුයම 1.30 ට පමණ මහා සද්දයක් නගමින් සුළං හැමුවා. ඒ වෙලේ අධික වැසි නිසා එළියටවත් යන්න බැරිව ගියා. එකවර උඩින් ලොකු ශබ්දයක් සමග වහල මතට බිත්තියක කොටස් වැටී සීට් කඩාගෙන ගේ ඇතුළට වැටුණා. මම ශබ්දයට නැගිටලා සාලයට එන විට බිරිය සහ දුව ඇඳ මත සීට් හා ගඩොල් කෑලිවලට යටවී සිටියා. එම සද්දයත් සමග අසල්වැසියන් පැමිණ සුන්බුන් අතර සිරවී සිටි මගේ බිරිය සහ දුව අමාරුවෙන් එළියට ගෙන මගේ ත්‍රිරෝද රථයෙන්ම කළුබෝවිල රෝහල වෙත ඇතුළත් කළා හදිසි අනතුරු ඒකකයට.


එහිදී වෛද්‍යවරු වහා ක්‍රියාත්මක වී පරීක්ෂණ ආරම්භ කළා. ඒ වනවිට බිරියගේ කකුල් දෙකම කැඩී තිබූ බවත්, ඉළඇට තුනක් කැඩී ගොස් ඇයට බරපතළ තුවාල සිදුවී ඇති බවත් දැනගන්න ලැබුණා. අනතුරුව මම උදේ 7.30 ට පමණ නිවසට පැමිණ සොයා බලන විට මුළු ගෙයිම ඇඳන් හා අනෙකුත් භාණ්ඩ උඩ සිමෙන්ති ගල්, සීට් කැබලි වැටී එකම සුන්බුන් ගොඩක් බවට පත් වී තිබුණා. එයින් පසු ආපදා කළමනාකරණ ඒකකය ඇතුළු ආයතන දැනුවත් කළා. මේ නිසා නිවසට හා දේපළවලට බරපතළ හානි සිදුවී තිබෙනවා."


දුම්රිය එන්ජින් 63 ක් පවර්සෙට් 40ක් වසර 8 ක් තිස්සේ කැලෑවේ

 


 



 සුජිත් හේවාජුලිගේ


දුම්රිය දෙපාර්තමේන්තුවේ දුම්රිය එන්ජින් 63 ක් සහ බලවේග කට්ටල 40ක් අවුරුදු අටකට ආසන්න කාලයක් තිස්සේ ප්‍රයෝජනයට නොගෙන නවතා තිබෙන බව රජයේ ගිණුම් පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ දී (කෝපා කමිටුව) තොරතුරු අනාවරණය විය. මේ අතර කෝපා කමිටුවේ සාමාජික මන්ත්‍රීවරු රත්මලාන දුම්රිය නඩත්තු අංගනයේ නිරීක්ෂණ චාරිකාවක පසුගිය 22 වැනිදා නිරත වූහ. ඉවත් කළ යුතු යන්ත්‍ර සහ උපකරණවලින් වැඩබිමේ විශාල භුමි ප්‍රමාණයක් වසාගෙන ඇති බව ද මන්ත්‍රීවරු එහිදී නිරීක්ෂණය කළහ.


එසේම දුම්රිය දෙපාර්තමේන්තුවට ඇතැම් උපකරණ ප්‍රමාණය ඉක්මවා මිල දී ගෙන ඇති බවට ද තොරතුරු හෙළිවී ඇතැයි කෝපා කමිටුව පවසයි. කෝපා කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අරවින්ද සෙනරත් මහතාගේ උපදෙස් පරිදි පසුගිය 22 වැනිදා කළ මෙම නිරීක්ෂණ චාරිකාවට කාරක සභාවේ සාමාජික මන්ත්‍රීවරුන් වන චන්දන සූරියආරච්චි, ඔෂානි උමංගා, රුවන්තිලක ජයකොඩි, සුගත් තිලකරත්න, නීතිඥ තුෂාරි ජයසිංහ, ටී.කේ. ජයසුන්දර, සුසන්ත කුමාර නවරත්න සහ වෛද්‍ය ජනක සේනාරත්න යන මහත්ම මහත්මීහු ද සහභාගී වූහ.


මෙහිදී රත්මලාන දුම්රිය නඩත්තු අංගනයේ ප්‍රධාන යාන්ත්‍රික ඉංජිනේරු නිශාන්ත පෙරේරා මහතා සහ නියෝජ්‍ය යාන්ත්‍රික ඉංජිනේරු නිලූපා ඒකනායක මහත්මිය වැඩබිමේ ඒ ඒ ස්ථාන සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන් දැනුවත් කළහ. වැඩබිම්වල ප්‍රායෝගික ක්‍රියාකාරිත්වය ද එම නිලධාරීහු මන්ත්‍රීවරුන්ට පෙන්වා දුන්හ. නිරීක්ෂණ චාරිකාවෙන් හඳුනාගත් සියලු කරුණු රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාවට සහ ප්‍රවාහනය පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවට ඉදිරිපත් කිරීමට අදහස් කරන බව මන්ත්‍රීවරු පැවැසුහ. මෙම නිරීක්ෂණ චාරිකාවට පාර්ලිමේන්තුවේ නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.


ප්‍රශ්නයක් අරන් ඒන පුරවැසියකුප සිත කලකිරවා ගෙදර යවන්න ඒපා

 


අංජුල මහික වීරරත්න


මහජන ප්‍රශ්නයක් රැගෙන එන පුරවැසියකුට හිතේ කලකිරීමෙන් යුතුව ආපසු යාමට ඉඩ නොතබන ලෙස ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පළාත් පාලන ආයතනවලට ජාතික ජන බලවේගයෙන් තේරි පත්වූ නවක මන්ත්‍රීවරුන් අමතමින් කොළඹ දී පැවැසීය.

පුරවැසියාගෙන් ඉගෙන ගත යුතු දේ ඉගෙන ගනිමින් මහජන සේවය සැලසීමට කටයුතු කරන ලෙස ද ජනාධිපතිවරයා කීය.අලුතින් දේශපාලනයට ප්‍රවිෂ්ට වන පිරිසට පළාත් පාලන දොර විවෘත කිරීමට ජාතික ජන බලවේගය කටයුතු කළ බවත්, මෙවර පළාත් පාලන මැතිවරණයෙන් තේරි පත්වූ 3926ක් වන මන්ත්‍රීවරුන් අතරින් රට බාරගන්නා නායකයකු බිහි විය යුතු බවත් ජනාධිපතිවරයා සඳහන් කළේය.


සමාජයක් ඉදිරියට යාමට නම් නව ජාන, නව හුස්ම ඇතුළත් කළ යුතු බව කී ජනාධිපතිවරයා නව දැනුම, නව තාක්ෂණය හා නව අත්දැකීම් එකතු කිරීමෙන් රටත්, සමාජයත් වේගයෙන් ඉදිරියට ගෙන යා හැකි බව ද පෙන්වා දුන්නේය. ජනාධිපතිවරයා මේ බව සඳහන් කළේ ජාතික ජන බලවේගය නියෝජනය කරමින් තේරි පත් වූ පළාත් පාලන නව මන්ත්‍රීවරුන් සමග අරලියගහ මන්දිරයේ දී පැවැති හමුවේදීය.

පැරණි ගතානුගතික අගතීන්වලින් නිදහස්ව නව ප්‍රගතිශීලි සමාජ ප්‍රගමනයක් වෙනුවෙන් ආණ්ඩුව පිහිටුවා තිබෙන බවත් සමාජ ප්‍රගමනය සඳහා තබන පියවර ඉදිරියට ගෙන යනවා මිස ආපසු හැරවීමට කිසිසේත්ම ඉඩ නොතබන බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා අවධාරණය කළේය.



එහිදී ජනාධිපතිවරයා මෙසේද කීය.


මහජන නියෝජිතයා පිළිබඳ නව අර්ථකථනයක් මේ සමාජයට අවශ්‍යයි. බොහෝ දුරට අපේ රටේ පුරවැසියන් මහජන නියෝජතයන් හඳුනා ගන්නා සමීපතම කැඩපත පළාත් පාලන මන්ත්‍රීවරයායි. ඔබ තුළින් තමයි ගමේ පුරවැසියාට ජාතික ජනබලවේගය ආණ්ඩුව පිළිබඳව පළමු මතය ගොඩනැගෙන්නේ. ඒ නිසා ඔබට පැවරී ඇති කාර්යභාරය විශාලයි. ඔබ වංචාවෙන් දුෂණයෙන් තොර විය යුතුයි. ගමේ පුරවැසියාට දේශපාලනඥයා පිළිබඳ ප්‍රථම චිත්‍රය දූෂණ දේශපාලනයක් කියා හඳුන්වා දුන්නේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයායි. මෙම දූෂිත දේශපාලන කඳවුරු ඉබේ බිහිවුණේ නැහැ. උඩ සිටින අයගේ බලය ආරක්ෂා කර ගැනීම සඳහා මොවුන් අවශ්‍ය වුණා. එම අවශ්‍යතාව නිසාම දූෂණයට දිරි දුන්නා. ඒ නිසා ග්‍රාමීය දුෂණය එහි දේශපාලන බලය ආරක්ෂා කර ගැනීමේ මෙවලමක් වුණා. ඒ වගේම ගමේ ජනතාව බියට පත් කරන චණ්ඩි නිර්මාණය වුණේ ප්‍රාදේශීය සභා ඇතුළු පළාත් පාලන ආයතන වලින්, ඔවුන් ගමේ ජනතාව බියට පත් කරමින් දේශපාලන ව්‍යාපාරයකට නිදහසේ වැඩ කරන්න ඉඩ නොදී ගමේ විනාශකාරී බල අධිකාරිය පැවැතියේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී සහ සභාපතිවරයා අතේයි. එයට උඩ සිටින දේශපාලනඥයන්ගේ ආශිර්වාදය ලැබුණා. ඒ අයුරින් එදා සිටි නායකයන්ගේ යටත් කර ගැනීමේ මානසිකත්වය වෙනුවෙන් උපයෝගී කර ගත්තේ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුයි. ඒ නිසා අපි ගමට අලුත් දේශපාලන සංස්කෘතියක් සහ ප්‍රමිතියක් හඳුන්වාදිය යුතුයි. අද අපේ රටේ ගමේ දේශපාලනයේ ප්‍රමිතිය වන්නේ වැඩි බලය සහ චණ්ඩිකමයි. ඒ වගේම වැඩි ධනය වෙනුවෙන් හොරකමයි. ඒ වෙනුවට අපි ගම තුළ නව දේශපාලන ක්‍රමයක් ස්ථාපිත කළ යුතුයි. සැබෑ මහජන නියෝජිතයා යනු කවරෙක්ද,?


මහජනයාගේ ධනය සතයක් සොරකම් නොකරන, මහජනයාට අදාළ නීතියට යටත්වන, ඇතැම්විට පොදු පුරවැසියාටත් වඩා වැඩියෙන් ආදර්ශයක් තමන්ගේ ගමට ගෙනත් දෙන පුද්ගලයකු බවට ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයා පත්විය යුතුයි. අපට අවශ්‍යයි අපේ රටට නව දේශපාලන ප්‍රමිතියක්. එම දේශපාලන ප්‍රමිතිය ගම තුළට හඳුන්වාදිය යුතුයි.

අපි අද උඩින් ආරම්භ කර තිබෙන නව දේශපාලනඥයා පිළිබඳ අදහස බිම් මට්ටමට ගෙන ගොස් නව දේශපාලනය ධාරාව බවට පත් කරමින් රට තුළ ස්ථාපිත කළ යුතුයි. මෙම නව ප්‍රමිතින් අපේ රටේ දේශපාලනයට හඳුන්වා දීමට සහ ගම තුළ ස්ථාපිත කිරීමට ඒ තුළම පැරණි අගතිගාමී එකතුව පරාජය වෙනවා. ඒ නිසා නව ප්‍රමිතින් සහ නව අගයන් අපි සමාජය තුළ ස්ථාපිත කළ යුතුයි. එම අගයන් නියෝජනය කළ හැකි වන්නේත්, ඒ සඳහා පෙනී සිටිය හැකි වන්නේත්, ඊට ආදර්ශයක් සැපයිය හැකි වන්නේත් අපට පමණයි කියා අප තහවුරු කළ යුතුයි.


අපට අවශ්‍ය මහජනතාව සමග සිටින නව පුළුල් මහජන ව්‍යාපාරයක්. මෙය පරිවර්තනීය අවධියක්. රට හරි දිශාවට පරිවර්තනය වෙමින් තිබෙන අවධියක අප සිටිනවා. අප සදා නිමකර සිටින අවධියක ඉන්න අය නෙවෙයි. අප සිදු කරමින් තිබෙන්නේ ඉතාමත් නරක දේ, ඉතාමත් විනාශකාරී දේ, සිදු වෙමින් තිබුණු රටක වඩාත් යහපත් දේවල් ආදේශ කිරීමේ පරිවර්තනයක් යැයි ද ජනාධිපතිවරයා කීය.


පාතාලයට ගෑවුණ මන්ත්‍රීලාගේ නම් පක්ෂ නායකයන්ට:වැඩබලන පොලිස්පති සහතික වෙයි

 

 


අංජුල මහික වීරරත්න 


පාතාලය සමග සම්බන්ධ දේශපාලනඥයන්ගේ නම් ලැයිස්තු ඔවුන් අයත් දේශපාලන පක්ෂවල නායකයන්ට ඉදිරියේ දී බාර දෙන බව වැඩබලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවැසීය.එසේම ආරක්ෂාව අවශ්‍ය යැයි ඉල්ලීම් කරන මන්ත්‍රීවරුන්ගේ එම ඉල්ලීම් සලකා බැලීම සඳහා ජාතික ආරක්ෂක කවුන්සලයට ඉදිරිපත් කරන බව ද ඔහු සඳහන් කළේය. පොලිස්පතිවරයා බවයි. පැවැසුවේ මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මෙන්ම ආණ්ඩු පක්ෂයේ සහ විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ මූලිකත්වයෙන් පැවැති සාකච්ඡාවකදීය. මන්ත්‍රීවරුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉදිරිපත් වන තක්සේරු වාර්තාවල ප්‍රගතිය තමාට දැනුම් දෙන ලෙස කතානායකවරයා වැඩබලන පොලිස්පතිවරයාට දැනුම් දුන්නේය.


මෑත කාලයේ සිදුවූ මනුෂ්‍ය ඝාතන රැසක් අපරාධ කල්ලි සහ මත්කුඩු ජාවාරම්කරුවන් අතර සිදුවන ගැටුම්වල ප්‍රතිඵල බවත් ඒ සඳහා ප්‍රදේශීය දේශපාලනඥයන් ද සම්බන්ධ බවට හඳුනාගෙන තිබෙන බවත් වැඩබලන පොලිස්පතිවරයා කීය. ආරක්ෂාව අවශ්‍ය බවට තහවුරු වූ මන්ත්‍රීවරුන්ට අවශ්‍ය ආරක්ෂාව ලබා දීමට කටයුතු කර තිබෙන බව ද වැඩබලන පොලිස්පතිවරයා පැවැසුවේය. මෙහිදී විරුද්ධ පාර්ශ්වයේ පක්ෂ නායකයෝ තම පාර්ශ්වයේ මන්ත්‍රීවරුන්ට ආරක්ෂාව සම්බන්ධයෙන් මතුව තිබෙන අවශ්‍යතා ගැන කරුණු ඉදිරිපත් කළහ. ඒ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය රාමනාදන් අර්ජුනා මහතා අදහස් දක්වමින් පැවැසුවේ තමන්ට ආරක්ෂාව දීම සඳහා පහසුකම් නොමැති නම් ආරක්ෂාව සලසා ගැනීම සඳහා ගිනි අවි ලබා දෙන ලෙස ඉල්ලා සිටින බවයි.

 

පාර්ලිමේන්තු මන්ත්‍රී ගජේන්දු කුමාර් පොන්නම්බලම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර මහත්වරුන් අදහස් දක්වමින් පැවැසුවේ ආරක්ෂක තක්සේරු වාර්තා ගන්නා තෙක් සම්පූර්ණ ආරක්ෂාව ඉවත් නොකර ආරක්ෂාව අවශ්‍ය යැයි පවසන මන්ත්‍රීවරුන්ට එම ආරක්ෂාව ලබාදීම සුදුසු බවයි. තක්සේරු වාර්තාව ලැබීමෙන් පසු එහි නිර්දේශවලට අනුව ද කටයුතු කළ හැකි බව ඔවුහු පැවැසූහ. මේ රැස්වීමට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස, විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක යන මහත්වරුන් මෙන්ම විපක්ෂය නියෝජනය කරන පක්ෂවල නායකයන්, ඇමැති ආරක්ෂක කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහ ආරක්ෂක අංශවල නිලධාරීහු පිරිසක් ද සහභාගී වූහ.


අවිආයුධ-මූනිස්සම් බවට විශ්වාසයි

 

 



 අංජුල මහික වීරරත්න 


පරීක්ෂාවකින් වරායෙන් නිදහස් කළ බහාලූම් 323 හි තිබුණේ අවි ආයුධ සහ මූනිස්සම් බව තම විශ්වාසය යැයි පිවිතුරු හෙළ උරුමයේ නායක නීතිඥ උදය ගම්මන්පිල මහතා පැවසීය. රටේ. වෙඩි තැබීම වැඩිවෙන්නට පටන් ගත්තේ මේ බහාලුම් නිදහස් කළ දා සිට බවද ගම්මන්පිල මහතා කීය.පරීක්ෂාවකින් තොරව වරායෙන් නිදහස් කළ බහාලුම්වල තිබුණේ මොනවාදැයි තොරතුරු දැනගැනීමේ පනත යටතේ රේගුවෙන් විමසීමක් කළත් ලැබුණේ යන්නේ කොහෙද? මල්ලෙ පොල් උත්තරයක් යැයි ගම්මන්පිල මහතා පැවසීය.

ඇසූ ප්‍රශ්නවලට උත්තර දෙනවා වෙනුවට ඔවුන් ජනවාරි 29 වැනිදා නිකුත් කළ මාධ්‍ය නිවේදනයක පිටපතක් සහ “ඔබ ඉල්ලා ඇති තොරතුරු ඇතුළත් ලේඛන වර්තමානයේ ශ්‍රී ලංකා රේගුව සන්තකයේ නොමැති බව කාරුණිකව දන්වමි” යන සටහන පමණක් ඒවා තිබූ බවද උදය ගම්මන්පිල මහතා සඳහන් කළේය.


ගම්මන්පිල මහතා මේ බව කීවේ කොළඹදී ඊයේ (27) පැවති මාධ්‍ය හමුවකදීය.

පරීක්ෂා නොකර පිටත් කළ බහාලුම් වලින් කීයක් රතු මාර්ගයේ යැවීමට නිර්දේශ කළාද? බහාලුම් කීයක් තැඹිලි මාර්ගයේ යැවීමට නිර්දේශ කළාද? යනුවෙන් තමා ඇසූ ප්‍රශ්නයට පිළිතුරු දෙන්නට රේගුවේ ලිපි ලේඛන නැතැයි පැවසීම අස්වාභාවික තත්වයක් බවද ගම්මන්පිල මහතා ප්‍රකාශ කළේය. මේ අනුව රේගුව යම් දෙයක් සඟවන්නට හදන බව පැහැදිලි යැයිද ඔහු කීය. උදය ගම්මන්පිල මහතා මෙසේද පැවසීය.


ඒ බහලුම් පරීක්ෂා නොකළ නිසා ඒවායේ මොනවාද තිබුණේ කියලා අහන  ප්‍රශ්නයට ඒ අයට උත්තර දෙන්න බෑ අපි විශ්වාස කරන්නේ මේ බහලුම් වල තිබුණේ අවි ආයුධ සහ මූනිස්සම්. මොකක්ද මේ බහලුම් නිදහස් කරපු 2025 ජනවාරි 18න් පස්සේ තමයි වෙඩි තැබීම් පිම්මේ වැඩෙන්න ගත්තේ. පාතාලයට වෛරය තිබුණත් වුවමනාව තිබුණත් අවි නැතිව මූනිස්සම් නැතිව අක්‍රිය වෙලා තිබුණේ. බහලුම් නිදහස් කිරීමත් එක්ක පාතාලයත් සක්‍රිය වුණා. දැන් වෙඩි තැබීමක් නොවන දවසක් නැති තරම්. දැන් සමහර මාධ්‍යවල ප්‍රවෘත්ති විශේෂාංගයක් තිබෙනවා “දවසේ වෙඩිල්ල" කියලා. මේ වසර තුළ පමණක් මේ වන විට වෙඩි තැබීම් 49ක් වෙලා 30ක් මිය ගිහින් තිබෙනවා. මේ සෑම මරණයකම ලේ බිමල් ඇමතිතුමාගේ අත්වල ගෑවිලා තිබෙනවා කියලා අපි කියනවා.


බහලුම් නිදහස් රේගුවට නියෝගය දුන්නේ තමන් කියලා බිමල් ඇමැතිතුමා පිළිගන්නවා නම් රේගුව තිබෙන්නේ මුදල් අමාත්‍යාංශය යටතේ නම් බිමල් ඇමැතිතුමා මුදල් ඇමැති නොවේ නම් ඔහු කර තිබෙන්නේ නීති විරෝධී කටයුත්තක්. රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමා තමන්ගේ කැබිනට් ඇමැති කෙනකු වන කෙහෙළිය රඹුක්වැල්ල ඇමැතිතුමා අත්අඩංගුවට පත් කරලා අලුත් වාර්තාවක් තිබ්බා. ඊට කලින් කැබිනට් ඇමතිවරයකු අත්අඩංගුවට පත් වෙලා නෑ- දැන් නීතියෙන් බිමල් රත්නායක ඇමැතිතුමා අත්අඩංගුවට අරන් අඩුම ගණනේ රනිල් වික්‍රමසිංහ ජනාධිපතිතුමාට සම චෙන්න උත්සාහ කරන්න කියලා අපි අනුර ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටිනවා යැයිද උදය ගම්මන්පිල මහතා කීය.



අම්මේ, අප්පච්චි ආයෙ නිවාඩුවක් හම්බ වෙච්ච ගමන්ම මම ගෙදර එනව



 පාලිත මඩුගල්ලේ


“වෙසක් එකට දුව ගෙදර ආවා. ගෙදර ආව දුව අපි හැමෝම එක්ක සතුටින් කාලය ගත කළා. වෙසක් දවසෙ දුවත් එක්ක අපි හැමෝම පන්සල් ගියා. වෙසක් ඉවර වුණායින් පස්සෙ දුව කිව්වා නිවාඩු ඉවර හින්දා පීඨය  පටන් ගන්නවා. ඒ හින්දා ඉක්මනින්ම පීඨයට යන්ට ඕනැ කියලා. පුරුදු විදිහට දුව ගෙදරින් යන වෙලාවෙ මට දණ ගහල වැන්ද මගේ මහත්තයාටත් දණ ගහල වැන්දා. ‘අම්මේ, අප්පච්චි ආයෙ නිවාඩුවක් හම්බ වෙච්ච ගමන්ම මම ගෙදර එනව.‘ දුව එදා ඒ විදිහටත් අපිට කිව්ව. ඒත් අපි හිතපු නැති දෙයක් වුණේ. දුව මිය ගිහිල්ල කියල අපිට පණිවුඩයක් ලැබුණ. ඒ පණිවිඩය ලැබුණ ගමන් අපිට මොනවත් හිතා ගන්ට බැරි වුණා. අපිට විශාල වේදනාවක් දැණුනා.”


වයඹ අධ්‍යාපන පීඨයේ දෙවන වසරේ ඉගෙනුම ලබමින් සිටි පීඨයේ නේවාසිකාගාරයේදී සියතින් ගෙල වැලලාගෙන මිය ගොස් සිටි 23 හැවිරිදි ආර්.යූ.ජී. සංජීවනී කුමාරි සිසුවියගේ මව වන 53 හැවිරිදි ඇස්.ජී. මාලනී මල්ලිකා මහත්මිය එසේ පැවසුවේ හඬා වැලපෙමිනි. ඔවුන් පදිංචිව සිටින්නේ තෙල්දෙණිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස බල ප්‍රදේශයේ පුටුහපුව, වැලිකැටියේ දෙල්ගස්තැන්නේය. සංජීවනී සිසුවියගේ මව මෙසේද පැවසුවාය.


“දුව අපිට කියලා තියෙනවා පීඨයේ අධ්‍යාපන කටයුතු ඉවර වුණාට පස්සේ ගුරුවරියක් වෙලා ඉස්කෝලවල ළමයිට ඉතාමත් ආදරෙන් උගන්වනවා කියලා. දුව දරුවන්ට ගොඩක් ආදරෙයි. අපිත් ගොඩක් හිතේ සතුටින් හිටියා දුව ගුරුවරියක් වෙන හින්දා. ඒත් අපි හිතපු දෙයක් නෙවෙයි වුණේ. දුව නැති දුක මගේ හිතින් කවදාවත් අමතක වෙන එකක් නෑ. මගේ දුවගෙ මූණ මැවි මැවී පේනවා.”


මිය ගිය සංජීවනී පීඨ සිසුවියගේ පියා වන 59 හැවිරිදි ආපි.යූ.ජී. වසන්ත කුමාර මහතා :-


“අපි දන්න තරමින් දුවට ගෙදර කිසිම ප්‍රශ්නයක් තිබුණේ නෑ. පීඨයේ ඉගෙන ගන්න විට ඉගෙන ගන්නා අවස්ථාවලදී යම් යම් පීඩාකාරී අවස්ථාවන්ට මුහුණ දෙන්නට සිදු වූ බව දුව කියල තියෙනවා. දුව තමන්ගෙ පාඩුවෙ ඉගෙන ගන්න කෙනෙක්.


ඉස්කෝලෙදී ගුරුවරයෙක් හෝ ගුරුවරියක් ඉගෙන ගන්න අවස්ථාවක තදින් දොස් කිවොත් ඒක දුවට දරා ගන්ට අමාරුයි. අපිට හිතෙනවා ඉගෙන ගන්න අවස්ථාවලදී යම් පීඩනයක් ඇති වෙලා ඒක දරා ගන්ට බැරුව මේ වගේ දෙයක් කර ගන්ට ඇති කියලා. අපි ගොඩක් දුක් මහන්සි වෙලා දරුවන්ට ඉගැන්නුවේ. දුවගෙ අක්කා තක්සේරු දෙපාර්තමේන්තුවේ රැකියාවක් කරනවා. නංගී තෙල්දෙණිය ජාතික පාසලේ උසස් පෙළ පන්තියේ ඉගෙන ගන්නවා.” 


ගුරුවරයෙක් මෙන්ම තෙල්දෙණිය කලාපයේ පාසල්වල ගුරු උපදේශකවරයෙක් ලෙස සේවය කරන පියල් වීරසේකර මහතා:-


“සිසුවිය උසස් පෙළ දක්වාම ඉගෙන ගත්තේ දුන්හින්ත ඉස්කෝලෙ. තමන්ගෙ පාඩුවෙ ඉගෙන ගන්න සිසුවියක් ඇය. ඒ බව පාසලේ ගුරුවර ගුරුවරියෝ තේරුම් අරන් තිබුණා. ආදරෙන් කරුණාවෙන් ඉගැන්වූ නිසා උසස් පෙළ විභාගය ඉහළින් සමත් වෙලා අධ්‍යාපන පීඨයට ගියා ගුරුවරියක් වීමේ බලාපොරොත්තුවෙන්. පිඨයේ ගුරුවර ගුරුවරියෝ මේ සිසුවියට ආදරෙන් කරුණාවෙන් ඉගැන්නුවාද යන එක ලොකු ප්‍රශ්නයක්. ගුරුවරු සෑම විටම ළමයා අවබෝධ කර ගත යුතුයි. ඉදිරියේදී පීඨ තුළදී මෙවැනි දේවල් සිදු නොවීමට වග බලා ගත යුතුයි.” විහාරාධිපති ස්වාමීන් වහන්සේත්, වයඹ අධ්‍යාපන පිඨයේ පීඨාධිපති තුමාත් ජාතික ජන බල වේගයේ ප්‍රාදේශීය සභා මන්ත්‍රී කවිඳු උස්වැටකෙයියාව මහතාත් ඇතුළු පිරිසක් අවමංගල උත්සවයේදී කතා පැවැත්වූහ.සිසුවියගේ අවසන් කටයුතු පෙරේදා (26) සවස පවුලේ සුසාන භූමියේදී සිදු කෙරිණ.


මහේස්ත්‍රාත්වරියගේ නිවෙසින් ලැප්ටොප් රන්බඩු සොරාගෙන

 


ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය මහේස්ත්‍රාත්වරියකගේ කඩ වත ප්‍රදේශයේ පෞද්ගලික නිවෙසට ඇතුළු වී එහි බිම් මහලේ ඉදිරිපස කාමරයක තිබී ලැප්ටොප් පරිගණකයක්, රන් මුද්දක් සහ රන්මාලයක් සොරාගෙන ගොස් ඇතැයි කඩවත පොලිසිය සදහන් කරයි. මහේස්ත්‍රාත්වරියගේ මෙම නිවෙසට කොස්තාපල්වරුන් දෙදෙනකු ආරක්ෂක රාජකාරියේ යොදවා ඇති අතර ඔවුන් දෙදෙනා නිවෙස ඉදිරිපස ඇති මුරකුටියේ රාජකාරියේ නිරතව සිට ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

නිවෙස පිටුපසින් ඇති තාප්පයට ඉනිමගක් තබා පෙරේදා මධ්‍යම රාත්‍රියේ හෝ ඊයේ (27) අලුයම් කාලයේ තාප්පයට ගොඩ වී මහේස්ත්‍රාත්වරියගේ ගෙවත්තට යම් පුද්ගලයකු ඇතුළුවී ඇති බවට අනාවරණය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය. බිම් මහලේ පිහිටි මුළුතැන්ගෙයි ජනේලයකින් ඇතුළු වී මෙම දේපළ සොරාගෙන  ගොස් ඇති බවට මූලික පරීක්ෂණවල දී හෙළිවී යැයි පොලිසිය කියයි.සොරකම සිදුවන අවස්ථාවේ මහේස්ත්‍රාත්වරිය සහ ඇයගේ දියණිය නිවෙසේ සිට ඇතැයි ද පොලිසිය කියයි.

කැලණිය සොට්ඨාස අපරාධ ස්ථාන පරීක්ෂා කිරීමේ ඒකකයේ නිලධාරීහු සහ ඇඟිලි සලකුණු විශේෂඥයෝ මහේස්ත්‍රා ත්වරියගේ නිවෙසට ඊයේ පැමිණ පරීක්ෂණ ආරම්භ කළහ.සැකකරු සම්බන්ධයෙන් කිසියම් හෝඩුවාවක් ලබාගැනීම සඳහා පොලිස් නිල සුනඛයකුගේ සහාය ලබාගැනීමට ද පොලිසිය කටයුතු කර ගෙන යයි.කඩවත පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීහු පරික්ෂණ පවත්වති.


ඇමැති වී වසර 2 ට මර්වින් කෝටි 15 ක් උපයලා

 


 මනෝප්‍රිය ගුණසේකර


කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ වසර දෙකක කාලය තුළ තමාගේ නීත්‍යනුකූල වත්කම් හා ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි 15කට අධික මුදල් හා දේපළ උපයා ගත් බවට හිටපු අමාත්‍ය මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම කොළඹ මහාධිකරණයේ ඊයේ (27) නඩු පැවරිය.

කොළඹ 02 ප්‍රදේශයෙන් ඉඩමක් මිලදී ගැනීම ඔහුගේ පුත්‍රයා වන මාලක සිල්වා නමට මර්සිඩීස් බෙන්ස් කාරයක් මිලදී ගැනීම ඇතුළු වත්කම් ලැයිස්තුවක් ද ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම විත්තිකාර ආචාර්ය මර්වින් සිල්වා මහතාට එරෙහිව මෙලෙස නඩු පවරා ඇත.


අල්ලස් කොමිසමේ අධ්‍යක්‍ෂ ජනරාල් රංග දිසානායක මහතාගේ අත්සනින් යුතුව අධිචෝදනා දෙකක් යටතේ මර්වින් සිල්වා මහතාට එරෙහිව අල්ලස් කොමිසම මෙලෙස නඩු පවරා ඇත. ආචාර්ය මර්වින් සිල්වා මහතා කම්කරු හා මහජන සම්බන්ධතා අමාත්‍යවරයා වශයෙන් කටයුතු කළ 2010 මාර්තු 31 වැනිදාත් 2012 මාර්තු 31 වැනිදාත් අතර කාලසීමාව තුළ මෙම වරද කර ඇති බව අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත. 2010 මාර්තු 31 වැනිදාත් 2012 මාර්තු 31 වැනිදාත් අතර කාලයේ සිය නීත්‍යනුකූල වත්කම් හා ආදායම්වලින් උපයාගත නොහැකි රුපියල් කෝටි 15කට අධික මුදල් හා දේපළ උපයා ගත් බවට අල්ලස් කොමිසම මර්වින් සිල්වා මහතාට එරෙහිව චෝදනා නගා ඇත.


සිය නීත්‍යනුකූල ආදායමෙන් මිලදී ගත නොහැකි ඉඩකඩම්, යාන වාහන මිලදී ගැනීම මෙන්ම බැංකු ගිණුම් පවත්වාගෙන ගිය බවට අල්ලස් කොමිසම අධිචෝදනා පත්‍ර වැඩිදුරටත් සඳහන් කර ඇත. තමාගේ නීත්‍යනුකූල වත්කම් හා ආදායම්වලින් උපයාගත නොහැකි වූ කොළඹ-02 අර්නස්ට් ද සිල්වා මාවතෙන් රුපියල් 7,13,99,000/-ක මුදලක් වැයකර ඉඩමක් මිලදී ගැනීම, කඩවත ප්‍රදේශයෙන් රුපියල් 1,39,99,000/-ක මුදලක වැයකර ඉඩමක් මිලදී ගැනීම, සිය පුත්‍රයා වන මාලක සිල්වා නමට රුපියල් 3,23,75,000/ ක මුදලක් වැයකර ‘මර්සිඩීස් බෙන්ස් කාර්‍ය රථයක් මිලදී ගැනීම, රුපියල් ලක්ෂ 55 කට අධික මුදලක් වැයකර ‘හයි හුන්ඩායි' මෝටර් රථයක් මිලදී ගැනීම, රුපියල් ලක්ෂ 89 කට ආසන්න මුදලක් වැයකර ‘ඩිෆෙන්ඩර් මෝටර් රථයක් මිලදී ගැනීම සම්බන්ධයෙන් විත්තිකාය ආචාර්ය මර්වින් සිල්වා මහතාට එරෙහිව මෙලෙස නඩු පවරා ඇත.

සිය නීත්‍යනුකූල වත්කම් හා ආදායම් වලින් උපයාගත නොහැකි වූ මුදල් හා දේපළවල හිමිකරුව සිටීම අල්ල පනතේ 23 (අ) 01 සහ- 03 වගන්ති යටතේ දඬුවම් ලබිය යුතු වැරදි විත්තිකාර ආචාර්ය මර්වින් සිල්වා මහතා කර ඇති බවට ද අල්ලස් කොමිසම අධිකරණයට දැනුම් දී ඇත.


Tuesday, May 27, 2025

ගල්කිස්සේදී ප්‍රවීන්ට වෙඩි තැබ පිස්තෝලය ගෙන ආ ඔබන්සයිඩ් යුවළ මාට්ටු

 


ගල්කිස්ස, සිල්වෙස්ටර් මාවත අසලදී ගල්කිස්ස නගර සභා සේවකයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ සුලමුල අනාවරණය කරගැනීමට ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයට මේ වන විට හැකි වී තිබේ. ඒ, එම වෙඩි තැබීම සිදු කළ තුවක්කුකරු මෙන්ම යතුරුපැදිකරුද අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීම්වලින් පසුවය. ඒ අනුව හෙළිවන්නේ 19 හැවිරිදි එම තරුණයාගේ ඝාතනය බඩෝවිට අසංක පාර්ශ්වයේ “සැන්ඩෝ” නමැත්තා විසින් මෙහෙයවා ඇති බවය. 19 හැවිරිදි ප්‍රවීන් නිශ්ශංක ඝාතනය කිරීම සඳහා තුවක්කුකරු සහ පැදිකරු මෙහෙයවා ඇත්තේද සැන්ඩෝ විසින් බව විමර්ශනයේදී අනාවරණය වී ඇත. ඒ රුපියල් ලක්ෂ 10ක කොන්ත්‍රාත්තුවක් මතය.


තුවක්කුකරු, පැදිකරු, ආධාර අනුබල දුන්නවුන් අත්අඩංගුවට ගත්තද ප්‍රවීන් නිශ්ශංකට වෙඩි තැබූ පිස්තෝල ගිනි අවිය සොයා ගැනීමට පොලිසියට මෙතෙක් හැකි වී නැත. එහෙත් ඒ ඔස්සේ සිදුකළ විමර්ශනයේදී ප්‍රවීන් නිශ්ශංකට වෙඩි තැබූ ගිනි අවිය සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් අනාවරණය කරගැනීමට විමර්ශන නිලධාරීන්ට හැකි වී ඇත. ඒ ප්‍රවීන් ඝාතනය කිරීම සම්බන්ධයෙන් දෙහිවල ඕබන් පෙදෙසේ පදිංචි අඹු-සැමි යුවළක් අත්අඩංගුවට ගැනීමත් සමඟය. ප්‍රවීන් නිශ්ශංක ඝාතනය සම්බන්ධයෙන් මුලින්ම අත්අඩංගුවට ගනු ලබන්නේ වෙඩි තැබීමට තුවක්කුකරු සමඟ පැමිණි යතුරුපැදිකරුය. 


මාකුඹුර, පන්නිපිටිය ප්‍රදේශයේ පදිංචි "ඩිලා” නමැති ඔහුගෙන් කළ ප්‍රශ්න කිර්මේදී අංක තහඩු 3ක්, කැබලි කරන ලද යතුරුපැදියක කොටස් සොයා ගැනීමට නිලධාරීර්න් සමත් වන අතර ඔහුගෙන් කළ ප්‍රශ්න කිමෙන් පසු ප්‍රවීන් නිශ්ශංක ඝාතනයේ වෙඩික්කරු කොටුකරගෙන ඇත. හිටපු ගුවන් හමුදා සෙබළකු වූ ඔහුගේ කොට්ටාව කුලසෙවණ මාවතේ ඉදිකරමින් පවතින නිවෙසේ නාන කාමරයේ වළදමා තිබූ මෙරට නිෂ්පාදිත ජීව අත්බෝම්බයක් සහ 9mm වර්ගයේ ජීව උණ්ඩ 15ක්ද නිලධාර්න් සොයාගනු ලබන්නේ ඉන් පසුවය. ඒ අතර අපරාධය සිදුකිරීම සඳහා යොදාගත් යතුරුපැදිය සඳහා භාවිත කළ ව්‍යාජ ලෙස සකස් කරන ලද යතුරුපැදි අංක තහඩු යුගලක්ද සොයා ගැනීමට නිලධාර්න් සමත් විය.


වෙඩික්කරු රඳවාගෙන ප්‍රශ්න කරමින් නිලධාර්න් ඊළඟට විමසා ඇත්තේ ප්‍රවීන් නිශ්ශංක ඝාතනය කිරීමට උපයෝගී කරගත් ගිනි අවිය ගැනය. එහිදී වෙඩික්කරු නිලධාරීන්ට පවසා ඇත්තේ ප්‍රවීන්ට වෙඩි තැබීම සඳහා එම අව්ය තමාට ලබා දුන්නේ ඕබන් පෙදෙසේ පදිංචිකරුවකු බවය.ඒ අනුව හෙළිවන්නේ මෙවන් කතාවකි. ඒ අනුව විමර්ශන නිලධාරීන් පවසන්නේ වෙඩි තැබීමට දින පහකට පෙර එනම් මැයි මස 1 වැනිදා ඩුබායි රාජ්‍යයේ රැඳී සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වූ "සැන්ඩෝ" විසින් මෙම සැකකාර යුවළගේ සැමියාට දුන් දුරකථන ඇමැතුමක් මත ඔහු පානදුර ප්‍රදේශයට ගොස් එක්තරා පුද්ගලයකු හමුවී ඇති බවය. පසුව ඔහු විසින් දෙනු ලැබූ පිස්තෝල අවිය රැගෙන සුඛෝපභෝගී බසයක නැගී සැකකාර සැමියා දෙහිවල ඕබන් පෙදෙසේ සිය නිවෙසට පැමිණ එම ගිනි අවිය නිවෙසේ සඟවාගෙන සිට ඇත.


එලෙස සඟවා තිබූ පිස්තෝල අවිය සැන්ඩෝ විසින් යළි දෙන ලද උපදෙස් මත මැයි පස්වැනිදා අලුයම බෙල්ලන්විල රථ ගාලකට කුලී රියකින් ගොස් එම අවිය එතැනට යතුරුපැදියකින් පැමිණි තුවක්කුකරුට ලබාදී ඇති බව විමර්ශනයේදී හෙළි වී තිබේ. ඒ බව ඒ අවට ඇති සීසීටීවී කැමරා දර්ශනවලින් තහවුරු වූ බව නිලධාහු කියති.රථගාලේදී එම ගිනි අවිය ලබාගත් වෙඩික්කරු එම අවිය රැගෙන ගල්කිස්ස සිල්වෙස්ටර් පාරට යන්නේ ඉන් අනතුරුවය. යතුරුපැදියකින් සිල්වෙස්ටර් පාරට යන තුවක්කුකරු එහිදී මාර්ගය ශුද්ධ පවිත්‍ර කරමින් සිටි ප්‍රවීන් නිශ්ශංකට වෙඩි තබන අතර වෙඩි පහර කාගෙන ගාලුපාර දෙසට දිව යන ප්‍රවීන්ට පන්න පන්නා ගොස් වෙඩි තබා ඔහු මරා දමන්නේය.


වෙඩි තැබීමෙන් පසු තුවක්කුකරු පැමිණි යතුරුපැදියෙන්ම පැදිකරුගේ නිවෙසට ගොස් වෙඩි තැබීම සඳහා උපයෝගී කරගත් ඇඳුම් ගලවා දමා යතුරුපැදියද පැදිකරුට තබාගන්නා ලෙස පවසා එතැනින් නික්ම ගොස් ඇත. පසුදින එනම් 6 වැනිදා සැන්ඩෝගෙන් යළි දුරකථන ඇමැතුමක් අඹු - සැමි යුවළගේ සැමියාට ලැබී ඇත. අරූට ගහපු වෙපන් එක ගන්න කොට්ටාවට පලයන්. ඒක උඹට ගෙනත් දෙයි. ඒක අරගෙන මම කියන ලොකේෂන් එකේ තියපන්, සැන්ඩෝ එම කීම මත සැකකාර සැමියා සිය බිරියද යතුරුපැදියක නංවාගෙන කොට්ටාව ප්‍රදේශයට ගොස් ඇත්තේ ඉන් පසුවය. එහිදී වෙඩික්කරු විසින් ප්‍රවීන් මරා දැමීමට උපයෝගී කරගත් ගිනි අවිය සැකකාර සැමියා අතට ලබා දී තිබේ. පසුව සැමියා විසින් එම අවිය බිරියට ලබාදී ඇති අතර, බිරිය එය තම හෑන්ඩ් බෑගයේ දමාගෙන ඇත. පසුව පිළියන්දලට යන මෙම යුවළ සැන්ඩෝ විසින් ලබාදෙන “ලොකේෂන්” එකක එම ගිනි අවිය තබා පෙරළා සිය නිවෙස බලා ගොස් ඇති බව විමර්ශනයේදී හෙළිව තිබේ.


ඒ අනුව තුවක්කුකරු විසින් කරන ලද පාපෝච්චාරණය මත මෙම සැකකාර යුවළද සිද්ධියට ආධාර අනුබල දීම සහ කුමන්ත්‍රණය කිරීමේ චෝදනාව මත අත්අඩංගුවට ගෙන තිබේ. අත්අඩංගුවට ගත් එම යුවළ දෙහිවල, ඕබන් පෙදෙසේ ධීවර නිවාසවල පදිංචිකරුවෝය. සැකකාරිය අවුරුදු 28ක තැනැත්තියක් වන අතර, සැකකරුගේ වයස අවුරුදු 33කි. සැකකරු යතුරුපැදි කාර්මිකයකු ලෙස රැකියාව කරන්නෙකි. සැකකරු අත්අඩංගුවට ගෙන ඇත්තේ අයිස් මත්ද්‍රව්‍ය මිලි ග්‍රෑම් 15,000ක් සමඟිනි. සැකකරු සංවිධානාත්මක අපරාධකරු සැන්ඩෝ නමැත්තාගේ සමීපතමයෙකි.කොස් මල්ලී සහ බඩෝව්ට අසංක පාර්ශ්ව දෙක අතර ඇතිවී තිබෙන මත්ද්‍රව්‍ය ආරවුලේ ප්‍රතිඵලයක් ලෙස අසංක පාර්ශ්වය නියෝජනය කරන සැන්ඩෝ නමැත්තා විසින් ප්‍රවීන් වෙඩි තබා ඝාතනය කිරීම මෙහෙයවා තිබේ.


ප්‍රවීන් වෙඩි තබා මරා දැමීමෙන් පසු ප්‍රවීන්ගේ ඥාතියකුට තර්ජනය කරමින් තවත් අය මරා දමන බවට වස්ඇප් හරහා තර්ජනය කරන්නේද සැන්ඩෝ විසින් බව විමර්ශනයේදී හෙළිවිණි. කෙසේ වෙතත් මැරුම් කෑ ප්‍රවීන් නමැත්තා කොස්මල්ලිගේ පාර්ශ්වයේ ඥාතියකු බව හෙළි වී ඇති අතර එම ඝාතනයට එකට එක කිරීමක් ලෙස ඉකුත් 19 වැනිදා දහවල් බඩෝවිට අසංකගේ ඥාතියකුගේ දෙහිවල නැදිමාල පිහිටි වෙළෙඳසලක සිටි පුද්ගලයකු ඉලක්ක කොට වෙඩි තැබීමක්ද සිදුකර තිබේ. එහෙත් ගනි අවිය අක්‍රිය වීම නිසා එම පුද්ගලයාගේ ජීවිතය බේරී තිබේ. පසුව වෙඩි තැබීමට තුවක්කුකරුවන් පැමිණි යතුරුපැදිය මීගොඩ, කජුගහයටදෙණිය ප්‍රදේශයේ දමාගොස් තිබියදී පොලිසිය සොයාගෙන තිබේ.අසංක සහ කොස්මල්ලි පාර්ශ්ව දෙක අතර ඇති ගැටුමෙන් මේ වන විට අහිමි වී ගිය ජීවිත ගණන 8කි. අත්අඩංගුවට ගත් සැකකාර අඹු - සැමි යුවළ ගල්කිස්ස මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.


මර්වින් සහ ප්‍රසන්නගේ ඇප ඉල්ලීම ඉවතට

 


කේ. දුමින්ද


කිරිබත්ගොඩ නගරයේ ඉදිකිරීමට රජයට පවරා ගෙන තිබූ ඉඩමකට කූට ලේඛන සකස් කිරීම සම්බන්ධව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින සැකකරුවන් හය දෙනා අතුරින් හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර හා හිටපු ඇමැති මර්වින්  සිල්වාගේ එවකට පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් යන දෙදෙනාට ඇප ලබා ගැනීම සදහා ඉදිර්පත් කර තිබූ ඇප අයැදුම්පත් දෙක ප්‍රතික්ෂේප කළ මහර අංක 01 අධිකරණයේ මහෙස්ත්‍රාත් කාංචනා ද සිල්වා මහත්මිය සැකකරුවන් හය දෙනා තවදුරටත් ලබන ජුනි මස 09 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කර තැබීමට ඊයේ (26දා) නියම කළාය. නඩුව ඊයේ (26දා) පස්වරුවේ නැවත කාඳ වූ අවස්ථාවේ දෙවැනි සැකකාර හිටපු ඇමැති මර්වින් සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් තම සේවාදායකයාට ඇප ලබා ගැනීම සඳහා දෙවැනි වරටත් ඉදිරිපත් කරන ලද ඇප අයැදුම්පත සම්බන්ධව නියෝගයද එදිනට එනම් ජුනි මස 09 වැනි දිනට ප්‍රකාශ කරන බවද සදහන් කරන ලදී.


මීට ඉහත පැවති නඩු දිනයේදී හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර හා හිටපු ඇමැති මර්වින් සිල්වාගේ එවකට පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දොන් සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් යන දෙදෙනාට ඇප ලබා දෙන ලෙසට ඉල්ලමින් ඔවුන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරුන් වන අම්ල පල්ලියගුරු හා දේශාල් පෝල් යන මහත්වරුන් විසින් ඉදිරිපත් කරන ලද ඇප අයැදුම්පත් දෙක සම්බන්ධව නියෝගය ඊයේ (26දා) ලබා දෙන බවට මහෙස්ත්‍රාත්වරිය විසින් කර තිබූ ප්‍රකාශය අනුව ඔවුන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් එම නියෝගය ලබා දෙනු ලැබුවාය.


මේ අනුව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු ඇමැති මර්වින් සිල්වා, හිටපු රාජ්‍ය ඇමැති ප්‍රසන්න රණවීර, කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු උපභාපති වෛද්‍ය ජයන්ත සිංහබාහු කබ්රාල්, එහි හිටපු මන්ත්‍රී මිල්ටෝයි පෙරේරා, හිටපු ඇමැති මර්වින් සිල්වාගේ එවකට පාර්ලිමේන්තු කටයුතු හිටපු ලේකම් දො සරත් කුමාර එදිරිසිංහ නොහොත් සිංගප්පූරු සරත් හා නවීන් වීරකෝන් යන හය දෙනා මෙසේ තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කළහ.මේ දින සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර නොතිබූ අතර ඔවුන් ස්කයිප් තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කර ගැනිණි. ඔවුනට නියෝගය බන්ධනාගාරය මඟින් දන්වන බවද මහෙස්ත්‍රාත්වරිය කීවාය.


මෙ හි දී අපරාධ පක්ෂණ දෙපාර්තමේන්තුවේ මුල්‍ය අපරාධ විමර්ශන අංශයේ පොලිස් සැරයන් ප්‍රියන්ත ඩෙන්සිල් මහතා විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ පැවැසීය.'මේ නඩුවට සොයමින් සිටි හයවැනි සැකකාර කැලණිය ප්‍රාදේශීය සභාවේ හිටපු මන්ත්‍රී මිල්රෝයි පෙරේරා යන අය ඉකුත් 20 වැනිදා අධිකරණයට භාර වීමෙන් පසුව රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. ඔහුගේ ප්‍රකාශයක් ලබා ගෙන එය නීතිපතිට යැවීමට තිබෙනවා. ඒ නිසා ඔහුගේ ප්‍රකාශයක් බන්ධනාගාරය තුළදී ලබා ගැනීමට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝගයක් ලබා දෙන ලෙසට ඉල්ලා සිටිනවා. තවද මේ නඩුවට අදාළ සැකකරුවන් වර්න් වර අත්අඩංගුවට ගැනීම සිදු වුණා. ඒ වගේම වරින් වර සැකකරුවන් අධිකරණයට භාරවුණා. ඒ හේතුවෙන් එම සැකකරුවන්ගේ ප්‍රකාශ වරින් වර ලබා ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට සිදුවුණා."


දෙවැනි සැකකාර හිටපු ඇමැති මර්වින් සිල්වා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නිතීඥ මෛත්‍රී ගුණරත්න මහතා විසින් අධිකරණයට කරුණු දක්වමින් මෙසේ කීය. තම සේවාදායකයාගේ සෞඛ්‍ය තත්ත්වය දිනෙන් දිනම දුර්වල වෙමින් පවතිනවා. ඒ නිසා ඔහුගේ සෞඛ්‍ය තත්වය පිළිබඳව සලකා බලා කටයුතු කරන ලෙසට බන්ධනාගාර වෛද්‍යවරයාගේ අවධානය යොමු කරවන ලෙසට ද ඉල්ලා සිටිනවා. සැකකරුවන්ගේ ප්‍රකාශ සටහන් කොට නොපමාව නෛතික පියවර ගැනීම සදහා ඉදිරිපත් කරන්නට කියලා නීතිපති, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට දන්වා තිබුණා. එම ප්‍රකාශ ලබා දීමෙන් පසුව සැකකරුවන් පොදු දේපළ පනත යටතේ රක්ෂිත බන්ධනාගාර ගත කර තිබෙනවා. නමුත් පොදු දේපළ පනතේ නඩුවක් අප්‍රමාදිව කාලය ඇදී යනවා නම් අධිකරණය ඇප ලබා දීම ගැන අවධානය යොමු කරන ලෙසට ප්‍රකාශ කර තිබෙනවා.


පළමු මාස හතරේ අපනයන ආදායම ඩෝලර් බිලියන 5.5යි

 



සචිත්‍ර පෙරේරා


මෙම වසරේ (2025) පළමු මාස හතර තුළ ශ්‍රී ලංකාවේ අපනයන ආදායම ඩොලර් බිලියන 5.5ක් බව අපනයන සංවර්ධන මණ්ඩලයේ නවතම දත්තවලින් කියැවේ.මෙම කාලසීමාව තුළ මුළු අපනයන ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 5,583.25ක් ලෙස වාර්තා වී ඇති අතර එය 2024දී එම කාලසීමාවට සාපේක්ෂව සියයට 69ක වර්ධනයක් බව එම මණ්ඩලය පෙන්වා දෙයි. මෙම ඉහළ යෑම වර්ධනය වන ගෝලීය වෙළෙඳ පරිසරයට ශ්‍රී ලංකාව අනුකූල වීමේ හැකියාව පෙන්වන බවත් අපනයන සංවර්ධන මණ්ඩලය කියයි. ඒ අනුව 2025 අප්‍රේල් මාසයේදී පමණක් භාණ්ඩ සහ සේවා අපනයන මුළු ආදායම ඇමරිකානු ඩොලර් මිලියන 1,292,63ක් ලෙස සටහන් වී ඇත. 


මෙය 2024 අප්‍රේල් මාසයට සාපේක්ෂව සියයට 8.74ක වාර්ෂික වර්ධනයකි.එම අපනයන කාර්ය සාධනය පිළිබඳව අදහස් දැක්වූ ශ්‍රී ලංකා අපනයන සංවර්ධන මණ්ඩලයේ සභාපති හා ප්‍රධාන විධායක නිලධාරි මංගල විජේසිංහ මහතා මෙම ශක්තිමත් වර්ධනය මඟින් පෙන්නුම් කරනුයේ ශ්‍රී ලංකාව ගෝලීය වෙළෙඳ ජාලයට වඩාත් සමීපව එකතුවෙමින් ඇති ආකාරයත්, අපනයන තරගකාරීත්වය වර්ධනය කරමින් වෙළෙඳ ප්‍රවේශය පුළුල් කිර්ම සඳහා ගත් දිගුකාලීන උත්සාහයන්ගේ සාර්ථකත්වයත් බව පවසයි


පොල් මිල බස්සන්න බැරි අතරමැදියන්ගේ ගේම් නිසයි

 



 ඉන්දික ශ්‍රී අරවින්ද


වෙළෙදපොළේ පොල් මිල ඉහළ අගයක පැවැතීමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ රජයේ පොල් වෙන්දේසියේ දී ලබාගන්නා පොල් තොග අතරමැදියන් විසින් කෘත්‍රිමව ඉහළ මිලක පවත්වාගෙන යාම බව පොල් වගා කිරීමේ මණ්ඩලය පවසයි.රජයේ ඉඩම්වලින් ලබා ගන්නා පොල් වෙන්දේසියේදී අතරමැදියන් අවම මිලකට ගෙන පොල් තොග ඉහළ මිලකට වෙළෙඳපොළට නිකුත් කර විශාල ලාභයක් උපයා ගැනීම නිසා පොල් වගාකරුවන්ට මෙන්ම පාරිභෝගික ජනතාවටත් යම් අසාධාරණයක් සිදුවන බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා පැවැසීය.


පසුගිය වසරේ අගෝස්තු මාසයේ සිට පොල් අස්වැන්නේ අඩුවක් පැවතුණ ද පොල් මිල අද වනවිටත් රුපියල් 200ත් ඉක්මවා ඉහළ මට්ටමක පැවැතීම සම්බන්ධයෙන් අර්බුදයක් නිර්මාණය වී ඇතැයි ජයකොඩි මහතා කීය.මැයි ජුනි යන මාසවල පොල් අස්වැන්න ගෙඩි මිලියන 555ක් බවට පුරෝකථනය කර ඇති අවස්ථාවක මෙලෙස තවදුරටත් පොල් මිල ඉහළ යාම ගැටලුකාරි තත්ත්වයක් බව රජයෙහි ඉහළ නිලධාරින් සමග පැවැති සාකච්ඡාවකදී ආවරණය වී යැයි පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපතිවරයා කීය.

මෙම ගැටලුවට විසඳුමක් ලෙස මින් ඉදිරියට පොල් වෙන්දේසියට ඉදිරිපත් කරන පොල් තොගවලින් කොටසක් පමණක් වෙන්දේසියට ඉදිරිපත් කර ඉතිරි පොල් තොග සහන මිලට සංතාස හා සමූපකාර හරහා පාරිභෝගික ජනතාවට ලබා දීමට එකගත්වය පළවූ බව ද සභාපතිවරයා සඳහන් කළේය.


මෙලෙස පොල් මිල ඉහළ යාම සම්බන්ධයෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ද අවධානය යොමුවී ඇති අතර ජනාධිපතිවරයා කෘෂිකර්ම හා පොල් වගාව සම්බන්ධයෙන් කටයුතු කරන රජයේ ආයතනවල ඉහළ නිලධාරින්ට උපදෙස් දී ඇත්තේ පොල් මිල පාලනය කිරීම සඳහා වැඩපිළිවෙළක් සකස් කරන ලෙසයි.ඒ අනුව ලබන මාසයේ සිට පොල් අස්වැන්න වැඩි කර ගැනීම සඳහා වැඩපිළිවෙළ රැසක් සිදු කිරීමට පොල් වගා කිරීමේ මණ්ඩලය සූදානම් වෙයි.ඒ අනුව ප්‍රතිපත්තිමය වශයෙන් තීරණ රැසක් මේ වන විට ගෙන ඇති අතර පොල් කුරුමිණියා මර්දනය කිරිම, මයිටා රෝගය තුරන් කිරිම මෙන්ම රිළවුන් විසින් විනාශ කරනු ලබන පලදාව සම්බන්ධයෙන් තීන්දු තීරණය කිහිපයක් ගැනීමට එම මණ්ඩලය සූදානම් වෙයි.


මේ වනවිට රජය සතු පොල් ඉඩම් අක්කර ලක්ෂයකට ආසන්න ප්‍රමාණයක් පැවතුණ ද ඇතැම් ඉඩම්වල පොල් වගාව නිසරු බව සිදු කරනු ලැබූ සාකච්ඡාවේදී අනාවරණය විය. එහිදී එම පොල් ඉඩම් සංවර්ධනය කිරීම කෙරෙහි රජයේ වැඩි අවධානයක් යොමු වී තිබේ.මෙහිදී පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි මහතා සඳහන් කළේ තව මාස කීපයකින් පොල් අස්වැන්න තවත් අඩුවීමක් ඇතිවන බවට පුරෝකතනය කර ඇති බවත් ඒ අනුව යළිත් වරක් පොල් මිල ඉහළ අගයක් ගැනීමට ඉඩ ඇති බවත්ය.පොල් අස්වැන්න අප්‍රේල්, මැයි, ජුනි යන මාසවලදී ඉහළ යන බවට ලුණුවිල පොල් පර්යේෂණ ආයතනය සිදු කර ඇති පුරෝකථනය සම්බන්ධයෙන් පොල් වගා කිරීමේ මණ්ඩලය එම ආයතනයෙන් කරුණු විමසීමක් ද කර ඇති බව දැනගන්නට තිබේ.


කුඩු තියාගත්තැයි හිටපු ක්‍රිකට් ක්‍රීඩක ෂෙහාන් මධුසංකට රැඳවුම් නියෝග

 


දිනේෂ් උපේන්‍ද්‍ර


හෙරොයින් ග්‍රෑම් 2යි මිලිග්‍රෑම් 350ක් සමග අත්අඩංගුවට ගැනුණු ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු වේග පන්දු යවන්නකු ජූනි 1 වැනිදා දක්වා රදවා ප්‍රශ්න කිරීමට කුලියාපිටිය මහේස්ත්‍රාත් රන්දික ලක්මාල් ජයලත් මහතා අවසර දුන්නේය.මෙසේ රැදවුම් නියෝග ලැබුණේ හෙරොයින් ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 350ක් සමගින් පෙරේදා (25) අත්අඩංගුවට ගැනුණු කලක් ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ වේග පන්දු යවන්නකු වූ ෂෙහාන් මධුසංක නැමැත්තෙකි.


පන්නල පොලිසිය සැකකරු බී වාර්තාවක් මගින් ඊයේ (26) ඉදිරිපත් කරමින් සැකකරුගෙන් රඳවා ප්‍රශ්න කිරීමට නියෝගයක් ලබා දෙන්නැයි පොලිසිය කළ සලකා බලමින් ඉහත නියෝග කළේය. පන්නල ඇලබඩගම ප්‍රදේශයේ පදිංචි මෙම සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් පොලිසිය කියා සිටියේ මීට පෙර අවස්ථාවකදී ද මොහු මෝටර් රථයෙන් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන සිටි බවයි.නිවෙසේ හෙරොයින් තබාගෙන සිටින බවට ලද තොරතුරකට අනුව නිවෙසට ගොස් පරීක්‍ෂා කිරීමේදී මෙම ක්‍රිකට් ක්‍රීඩකයා පුටු සැටියකට මුවා වී සිටි බවත් ඔහුට අයත් ක්‍රීඩා කුසලාන පිරික්සීමේදී හෙරොයින් තොගය සොයාගත් බවත් පොලිසිය අධිකරණය හමුවේ කියා සිටියේය.


පොලිසිය මෙහිදී කරුණු දක්වමින් ඉල්ලා සිටියේ සැකකරුට හෙරොයින් ලැබෙන ආකාරය පිළිබඳව පුළුල් පරීක්‍ෂණයක් කළ යුතු බැවින් රඳවා ප්‍රශ්න කිරීමට අවශ්‍ය බවය.පන්නල පොලිස් නඩු මෙහෙයුම් ස්ථානාධිපති උප පොලිස් පරීක්‍ෂක තිලකරත්න මහතා සැකකරු ඉදිරිපත් කරමින් එම නියෝගය ඉල්ලා සිටියේය.


ක්‍රීඩා අමාත්‍යාංශ වෑන් රථය හොරෙන් ගෙන ගිය රියැදුරු අත්අඩංගුවට

 


බිමල් ශ්‍යාමන් ජයසිංහ


ක්‍රීඩා අමාත්‍යාංශයට අයත් සුඛෝභෝගී වෑන් රථයක් නිසි අවසරයකින් තොරව රැගෙන ගොස් පරිහරණය කළ බව කියන රියැදුරෙකු ඊයේ (26) අත්අඩංගුවට ගත් බව කුරුඳුවත්ත පොලිසිය කියයි.ක්‍රීඩා අමාත්‍යාංශයේ ප්‍රවාහන අංශයෙන් ලද පැමිණිල්ලකට අනුව සැකකාර රියැදුරා අත්අඩංගුවට ගෙන ඇත.ඉකුත් වෙසක් පොහෝ දින සැකකාර රියැදුරු ක්‍රීඩා අමාත්‍යාංශය වෙත පැමිණ සුඛෝපභෝගී වෑන් රථය ලබාගෙන එහි ආරක්ෂක නිලධාරියා වෙත ව්‍යාජ තොරතුරු ලබාදී රාජකාරි ගමනක් යන බව පවසා වැන් රථය පිටතට රැගෙන ගොස් තිබූ බව පොලිසිය කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.


එලෙස රැගෙන ගොස් තිබූ වෑන් රථය දින දෙකකට පසු හොර රහසේම නැවතත් ගෙනැවිත් දමා සැකකරු පිටව යාමෙන් අනතුරුව ඊයේ (26) සේවයට පැමිණ ඇති බවට අනාවරණය වීමෙන් අනතුරුව අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.මෙය කිසියම් අපරාධයක් සඳහා යොදා ගත්තාද? එසේ නොමැති නම් සැකකරු මුදලට කුලී ගමන් සඳහා යොදා ගත්තාද ? යන්න සොයා පැති කීපයක් ඔස්සේ විමර්ශන සිදු කිරීමට නියමිතය. අත්අඩංගුවට ගත් සැකකරු වැල්ලම්පිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.කුරුඳුවත්ත පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර සේනානායක මහතාගේ උපදෙස් මත විමර්ශන සිදු කෙරේ.


වෛද්‍යවරිය දූෂණ සිද්ධිය: සැකකාර සෙබළා උසාවියේ කීවේ අමූලික බොරු

 


 උපාලි ආනන්ද 


තමා වෛද්‍යවරිය දූෂණය කළේ බලහත්කාරයෙන් නොවන බවටත් තමා සහ වෛද්‍යාවරිය සිද්ධිය වු දිනයේ අනුරාධපුර ශික්ෂණ රෝහලේ දෙවන ගේට්ටුවේ සිට වෛද්‍යවරියගේ නේවාසිකාගාරය දක්වා ඇය සමග කතාබස් කරමින් ගිය බවටත් අලුයම දෙක දක්වා වෛද්‍යවර්යගේ නේවාසිකාගාරයේ රැඳී සිටි බවටත් සැකකාර හිටපු යුද හමුදා සෙබළා විවෘත අධිකරණයේ කළ ප්‍රකාශය සම්පූර්ණයෙන්ම අසත්‍යයක් බව අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ උප තෙලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද මහතා අනුරාධපුර මහේස්ත්‍රාත් නාලක සංජීව ජයසූරිය මහතාට ඊයේ (26) දැනුම් දුන්නේය.


සිද්ධියට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ දී විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කරමින් පොලිසිය ඒ බව දැනුම් දුන්නේය. මෙලෙස තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලද්දේ ගල්නෑව නවනගරය ඩී-තුන ඇළ පාරේ කේ.බී. මදුරංග රත්නායක නමැති යුද හමුදා හිටපු සෙබළකු මෙන්ම හිටපු චීවරධාරියෙකි. අනුරාධපුර ශික්‍ෂණ රෝහලේ සේවය කළ වෛද්‍යවරියක දූෂණය කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව කැඳවූ අවස්ථාවේ දී සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ උප පොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද මහතා සැකකරු මෙවැනි අසත්‍ය ප්‍රකාශ විවෘත අධිකරණයේ දී කරන්නේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය ඔස්සේ පුළුල් ප්‍රචාරයක් දී වින්දිත වෛද්‍යවරිය අපහසුතාවට පත්කිරීමේ අරමුණෙන් බව විමර්ශනවල දී අනාවරණය වූයේ යැයි දැනුම් දුන්නේය.


සැකකරු චේතනාන්විතවම වින්දිත වෛද්‍යවරිය අපහසුතාවට පත්කිරීමේ අරමුණින් මෙවැනි අසත්‍ය ප්‍රකාශ කිරීමට අධිකරණයේ අවසරය මින් මතුවට ලබා නොදෙන ලෙස ඉල්ලා සිටි උප පොලිස් පරීක්ෂක දයානන්ද මහතා, සැකකරු කරන මෙවැනි පදනම් විරහිත ප්‍රකාශ මගින් අධිකරණයේ කාලය නාස්ති වන්නේ යැයි ද පැවැසීය.

සිද්ධිය වූ දින අනුරාධපුර මූලස්ථාන ප්‍රධාන පොලිස් පරීක්ෂකවරයා සහ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් රාත්‍රී 9.30ට පෙර එම ස්ථානයට ගිය බව ද වින්දිත වෛද්‍යවරිය එදින රාත්‍රී 8.45 ට පමණ රෝහලේ ඇය සේවය කළ වාට්ටුවට ගොස් එහි වෛද්‍යවරියකට තමාට සිදුවූ අතවරය පවසා ඇතැයිද සඳහන් කළ උප පොලිස් පරීක්ෂකවරයා සියලු කරුණු විමර්ශන නිලධාරීන්ගේ විශේෂ අවධානයට යොමු කළ බවද දැනුම් දුන්නේය. 


වෛද්‍යවරියගේ නේවාසිකාගාරයේ අලුයම 2.00 දක්වා රැඳී සිටි බවට සැකකරු අධිකරණයට කළ ප්‍රකාශය සැලසුම් සහගතව ගොතන ලද්දක් බවත් එවැනි අසත්‍ය ප්‍රකාශ තුළින් වින්දිත වෛද්‍යවරිය අපහසුතාවට පත් කිරීමට සැකකරු දැඩි උත්සාහයක් දරා ඇති බවත් දැනුම් දුන් උප පොලිස් පරීක්ෂක දයානන්ද මහතා සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරන හෙයින් සැකකරු තවදුරටත් රිමාන්ඩ් භාරයට පත් කරන්නැයි ඉල්ලා සිටියේය. කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරු ජුනි 09 වැනිදා දක්වා තවදුරටත් රිමාන්ඞ් භාරයට පත් කළ මහේස්ත්‍රාත්වරයා සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය එදින වාර්තා කරන ලෙස පොලිසියට නියම කළේය. පැමිණිල්ල මූලස්ථාන වෙනුවෙන් අනුරාධපුර පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි ප්‍රධාන පොලිස් පරීක්ෂිකා නිශානී සෙනෙවිරත්න මහත්මියගේ උපදෙස් මත උප පොලිස් පරීක්ෂක ඒ.සී. දයානන්ද මහතා පෙනී සිටි අතර අගතියට පත් වින්දිත වෛද්‍යවරියගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජනාධිපති නීතිඥ කාලිංග ඉන්දතිස්ස මහතාගේ උපදෙස් මත නීතිඥවරයෙක් පෙනී සිටියේය. සැකකරු වෙනුවෙන් කිසිදු නීතිඥවරයකු පෙනී සිටියේ නැත.


ගිණුමේ මුදල් ඇද්දේ කෙහෙළියගේ දුව

 

 


මනෝප්‍රිය ගුණසේකර


සිය ගිණුමට ලැබුණු සියලු මුදල් හිටපු අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය වන අමාලි රඹුක්වැල්ල මහත්මිය ගත්තේ යැයි කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා ලෙස කටයුතු කළ නිශාන්ත බණ්ඩාර බස්නායක මහතා ප්‍රකාශ කළ බව අල්ලස් කොමිසම කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මියට ඊයේ (26) දැනුම්  දුන්නේය.


 තමාගේ නමට ගිණුමක් විවෘත කර ඇතත් එම ගිණුමේ පාස් පොත ඇතුළු සියලු දේ අමාලි රඹුක්වැල්ල මහත්මිය ළග තිබූ බව බස්නායක මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළ බව ද අල්ලස් කොමිසම ඔහු අධිකරණයට ඉදිරිපත් කරමින් දැනුම් දුන්නේය. කෙහෙළිය රඹුක්වැල්ල මහතා ජනමාධ්‍ය, සෞඛ්‍ය සහ පරිසර ඇමැතිවරයා ලෙස කටයුතු කළ 2021/2023 කාලයේදී ඔහුගේ පුද්ගලික කාර්ය මණ්ඩලයට 15 දෙනකු බඳවාගෙන ඔවුන්ට ගෙවන ලද වැටුප්, අතිකාල දීමනා, පුද්ගලික වියදම්වලට සහ දේශපාලන කටයුතුවලට යොදා ගැනීමෙන් රජයට රුපියල් ලක්ෂ 80කට අධික පාඩුවක් කළේ යැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට ගනු ලැබූ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ නිශාන්ත බණ්ඩාර බස්නායක මහතා අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම මේ බව දැනුම් දුන්නේය. 


සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන  වාර්තාවක් ඉදිරිපත් කළ අල්ලස් කොමිසමේ නිලධාරීහු සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීමට අල්ලස් කොමිසමට පැමිණි සැකකරුගෙන් ප්‍රකාශ ගැනීමෙන් අනතුරුව ඔහු අත්අඩංගුවට ගත්තේ යැයි දැනුම් දුන්හ. සැකකරුගේ නමින් පෞද්ගලික බැංකුවක ගිණුමක් ආරම්භ කර තිබූ බවත් එම ගිණුම සහ ඊට ලැබුණු හා ඉන් ලබාගත් මුදල් සම්බන්ධයෙන් ප්‍රකාශයක් දීම සඳහා අල්ලක් කොමිසමට පැමිණි මෙම සැකකරුගෙන් ප්‍රශ්න කළ විට බැංකු ගිණුම තමාගේ නමට තිබුණත් ගිණුම සම්බන්ධයෙන් කිසිදු තොරතුරක් නොදන්නා බව ඔහු ප්‍රකාශ කළේ යැයි දැනුම් දුන් අල්ලස් කොමිසමේ නිලධාරීහු ගිණුමට මුදල් දාන්නේ කවුරුන්ද ඒ කුමන හේතුවක් නිසාද යන්න තමන් නොදන්නා බව ප්‍රකාශ කළේ යැයි ද අධිකරණයට දැනුම් දුන්හ.  

 

බොහෝ අවස්ථාවල තමාගේ නමින් ඇති මෙම ගිණුමට රුපියල්  විසිදහසේ සිට රුපියල් ලක්ෂය දක්වා වන මුදල් ලැබී ඇතැයි ප්‍රකාශ කළ බව දැනුම් දුන් අල්ලස් කොමිසමේ නිලධාරීහු ගිණුමට අදාළ පාස් පොත ආදිය පිළිබඳව ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අදාළ පාස්පොත ඇතුළු සියලු දේවල් අමාලි රඹුක්වැල්ල මහත්මිය ළඟ තිබූ බවත් තමාගේ නමින් ඇති ගිණුමට වැටුණු සියලු මුදල් ලබාගන්නේ බවත් ඇය සඳහන් කළ බව ද දැනුම් දුන්හ.කෙසේ නමුත් සැකකරුගේ නමින් ඇති ගිණුම භාවිත කිරීමට සැකකරු ඔහුගේ අනුදැනුම ඇතිවම වෙනත් පාර්ශ්වයකට ඉඩ සලසා ඇතැයි ද ඒ අනුව ඔහු මෙම අපරාධය කිරීමට අදාළ අනුබල දී ඇතැයි ද දැනුම් දුන් අල්ලස් කොමිසමේ නිලධාරීහු මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන කරන හෙයින් සැකකරු රිමාන්ඩ් භාරයට පත් කරන්නැයි ඉල්ලා සිටියහ.


සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් තම සේවාදායකයා අල්ලස් කොමිසම විසින් මෙම සිද්ධියට අදාළව අත්අඩංගුවට ගෙන සැකකරුවකු වශයෙන් අධිකරණයට ඉදිරිපත් කරන නමුත් ඔහු මෙම නඩුවේ සාක්කිකරුවකු විය යුතු යැයි පැවසීය.අල්ලස් කොමිසමේ කැඳවීමක් හෝ නොමැතිව තම සේවාදායකයා ස්වේච්ඡාවෙන් අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමට ගොස් ප්‍රකාශයක් දෙමින් ගිණුම පිළිබඳ සියලු විස්තර හෙළි කළ බවත් ගිණුමට අදාළ පාස්පොත බැංකු කාඩ්පත් ආදිය සියල්ල ඇත්තේ කෙහෙළිය රඹුක්වැල්ල මහතාගේ දියණිය සතුව බවත් නීතිඥවරයා පැවසීය. ගිණුමට ලැබෙන මුදල් කවුරුන් විසින් දමන මුදල් ද යන්න පිළිබඳ සේවාදායකයාගේ දැනුවත්භාවයක් නැතැයි ද කී නීතිඥවරයා මෙම සිද්ධියේ සාක්කිකරුවකු විය යුතු. තම සේවාදායකයා ඇප මත මුදාහරින්නයි ඉල්ලා සිටියේය.ඉදිරිපත් වූ සියලු කරුණු සලකා බැලීමෙන් අනතුරුව සැකකරු ලබන 3 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ සිද්ධියට මහේස්ත්‍රාත්වරිය අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය දැන්වෙන වාර්තා ඉදිරිපත් කරන ලෙස අල්ලස් කොමිසමට නියම කළාය.


Monday, May 26, 2025

තොඩුවාව පොලිසියෙන් හෙළිකරගත් තවත් මහා පරිමාණ කුඩු ජාවාරමක තොරතුරු

 අපරාධකරුවන් කෙතරම් සූක්ෂ්ම ලෙස අපරාධ සිදු කළද ඔවුන්ගේ කිසියම් දුර්වලතාවක් මත පොලිසියට කොටුවන පුද්ගලයන් නිසා සූක්ෂ්ම ලෙස සිදු කෙරෙද . බොහෝමයක් අපරාධ සොයා ගැනීමට පොලිස් නිලධාරීන්ට එතරම් අපහසු නැත. නිලධාරීන්ගේ උකුසු ඇස් සහ සැකයන් මත සිදු කෙරෙන විමර්ශනවලදී මෙලෙස අනාවරණය කරගත් අපරාධ රැසක් පොලිස් පොත්වල සටහන් වී ඇත.ඉකුත්දා මෙවන් සිදුවීමක් හලාවත තොඩුවාව පොලිසියෙන්ද වාර්තා විය. ඒ මාර්ගයේ රාජකාරි කරමින් සිටි පොලිස් සැරයන්වරයකුගේ උකුසු ඇස් සහ සැකය නිසා සිදුකළ විමර්ශනයක් නිසා සැඟවුණු තවත් අපරාධයක සුලමුල මෙසේ අනාවරණය කර ගැනීමට නිලධාරීන්ට හැකිවීමය. ඉකුත් 23 වැනිදා රාත්‍රියේ තොඩුවාව පොලිසියේ සැරයන්වරුන් දෙදෙනකු වූ හෙට්ටිආරච්චි (29939) සහ මාරසිංහ (58364) තොඩුවාව ඉහළ මහවැව පන්සල් හන්දියේ යතුරුපැදි සංචාරයක නිරත වෙමින් මාර්ගයේ ධාවනය වන සැකසහිත වාහන සෝදිසි කිර්මේ යෙදී සිටියහ. මෙම අවස්ථාවේදී එතැනින් ගමන්ගත් ත්‍රි රෝද රියක් ගැන මෙම නිලධාරීන් දෙදෙනාට ඇති වූයේ සැකයක්ය. ඔවුන් වහා ඉදිරියට පැමිණ රථය නතර කරන්නට අණ දීමත් සමඟ රථයද නතර කෙරිණි. නිලධාරියකු රථයේ රියැදුරාගෙන් ලයිසන් ඉන්ෂුවරන්ස් ඉල්ලා සිටියේ "කොහෙද යන්නේ" යැයි විමසමින්ය. ඒ අතර අනෙක් සැරයන්වරයාට රථයේ පිටුපස අසුනේ සිටි තැනැත්තාගේ උකුළ මත කළු පැහැති ගමන් මල්ලක් තබාගෙන සිටින බව පෙණිනි.


"මොනවද මේකෙ තියෙන්නේ' එසේ කියමින් ඔහු එම බැගය පක්ෂා කරන්නට යුහුසුලු විය. ඒ එම බෑගය තුළ "කසිප්පු" හෝ වෙන නීති විරෝධී ද්‍රව්‍යයක් ඇති බව සිතමින්ය. එම බෑගය පර්ක්ෂා කරද්දී එම නිලධාරියා දුටුවේ එහි මුදල් නෝට්ටු මිටි කිහිපයක් ඇති බවය. ඒ සමඟම ඔහුට කිසියම් සැකයක් ඇති විය. ඔහු සිය සගයාටද ඒ බව කියා ඔවුන්ගෙන් එම මුදල් කුමක්දැයි ප්‍රශ්න කරන්නට වුවද රථයේ සිටිය යැදුරාගෙන් සහ අනෙකාගෙන් සාර්ථක පිළිතුරක් ලැබුණේ නැත."


"මුන්ව අරන් යමු පොලිසියට'' එක් නිලධාරියකු කී දේ අනෙක් සැරයන්වරයාද තහවුරු කළේය. ඒ සමඟ ත්‍රිරෝද රථයේ සිටි දෙදෙනාට මාංචු වැටිණි.


"සර් එහෙම කරන්න එපා. සර්ලාට ලක්ෂ පහ ගාණෙ දෙන්නම් අපිව යවන්න. අපි මේ සල්ලි එක්කෙනකුට දෙන්නයි යන්නේ" සැකකරුවකු කීය. එහෙත් මෙතරම් විශාල මුදලක් රැගෙන යෑම ගැන නිලධාහු සැක සිතූහ. ත්‍රිරෝද රියැදුරා සහ අනෙකාද සමඟ නිලධාරීන්ද ත්‍රිරෝද රිය සමඟින් තොඩවාව පොලිසියට ගියේ ඉන්පසුවය. සිද්ධිය ස්ථානාධිපති රණවීරටද දැනුම්දීමත් සමඟ සෙසු නිලධාරීර්න් ඉදිරියේ ත්‍රිරෝද රියේ තිබූ මුදල් බෑගය විවර කෙරිණි. ඒ රුපියල් පන්දාහේ, දාහේ, පන්සීයයේ, සීයයේ, පනහේ නෝට්ටු බණ්ඩල් විය. වහා මේ බව හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් පෙරේරා වෙත දැනුම් දීමට පොලිස් පරීක්ෂක රණවීර ක්‍රියා කළේය. එම දැනුම්දීම මත ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාත් සහකාර පොලිස් අධිකාර්වරයාත් තොඩුවාව පොලිසියට පැමිණ මුදල් සහිත බෑගය පක්ෂා කළහ. එහි රුපියල් ලක්ෂ 180ක මුදලක් තිබිණි.


"කොහෙන්ද උඹලට මේ සල්ලි..." නිලධාහු සැකකරුවන්ගෙන් විමසූහ. මේ මුදල් මත්කුඩු ජාවාරමකින් උපයන ලද මුදල් බවට නිලධාරීර්න් තුළ සැකයක් ඇති විය. නිලධාරීර්න් ඒ ඔස්සේ සැකකරුවන් දෙදෙනාගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරමින් මෙම මුදල් තොගය රැගෙන යන්නේ කුමකටද? කාට දෙන්නටදැයි විමසුවේය. ඒ සැකකරුවන් දෙදෙනා දෙපැත්තට කරමින්ය. එහිදී ඔවුන් අනාවරණය කරන්නේ එම මුදල් තොගය

තොඩුවාවේ පදිංචි අයකුට ලබාදීමට රැගෙන යන බවය. වැඩිදුරටත් කළ ප්‍රශ්න කිරීමේදී එම පුද්ගලයා බහුදින යාත්‍රාවක ස්කීපර්වරයකු බව නිලධාරීහු හඳුනා ගත්හ.

වහා ක්‍රියාත්මක වූ පොලිස් පරීක්ෂක රණවීර ඇතුළු කණ්ඩායමක් ඉන් අනතුරුව බෝට්ටු ස්කීපර්වරයා පදිංචි ඉහළ මහවැව නිවෙසට ගියහ. ඒ ස්කීපර්වරයා අල්ලා ගැනීම සඳහාය. පොලිස් කණ්ඩායම නිවෙසට පැමිණෙන තුරු ස්කීපර්වරයා ඒ බව දැන සිටියේ නැත. ඔහු සිටියේ ඔහුට ගෙවිය යුතු මුදල ත්‍රීවීලරයෙන් රැගෙන එන තුරුය. එම මුදල්වල තව කොටස්කරුවන් දෙතුන්දෙනකුද ස්කීපර්වරයාගේ නිවෙස අවට රැඳී සිටියහ. සමහර දෙනා ස්කීපර්වරයාගේ ඥාතීහු වූහ. පොලිසිය දුටු ඔවුන් වහා එතැනින් පලාගියේය. එක් අයකු මුදල් කොටස රැගෙන යෑමට පැමිණ සිටියේ බිරියද සමඟය. එම පුද්ගලයාද මෙම ජාවාරමේ මහ මොළකරුගේ සමීපතමයෙක් බව පොලිසිය කීය. පොලිසිය දුටු ඔහු පලා ගියේ  ියවද එතැන දමාය.


නිලධාරීන් ස්කීපර්වරයා අත්අඩංගුවට ගත්තේය. ඊට අමතරව එතැන සිටි කාන්තාවන් දෙදෙනකුද පොලිස් කණ්ඩායමට කොටු විය. එක් කාන්තාවක් ස්කීපර්වරයාගේ ඥාති කාන්තාවක් වූවාය. ඔවුන් අත්අඩංගුවට ගැනුණේ ආධාර අනුබලදීම යටතේය.

ස්කීපර් ඇතුළු අත්අඩංගුවට ගත් පිරිස තොඩුවාව පොලිසියට රැගෙන ගිය නිලධාහු ඔවුන්ගෙන් ප්‍රශ්න කරන්නට විය. මූලික ප්‍රශ්න කිර්ම සිදු කෙරුණේ ස්කීපර්වරයා සමඟය. ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී තවත් මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරමක සුලමුල හෙළි වන්නට විය. ඒ අනුව අනාවරණය වන්නේ මෙවන් කරුණු කාරණාය.


මෙම මත්ද්‍රව්‍ය ජාවාරමේ මහ මොළකරු සිටින්නේ ඩුබායි රාජ්‍යයේය. ඔහුගේ මෙරට සිටින සොහොයුරකුගේ මාර්ගයෙන් මෙම ජාවාරම සිදුකර තිබිණි. ඒ අනුව විදේශගතව සිටින මහ මොළකරු විසින් දෙනු ලබන උපදෙස් මත ඉකුත් අප්‍රේල් මස 30 වැනිදා මසුන් ඇල්ලීමේ මුවාවෙන් බහුදින ධීවර යාත්‍රාවක් වෙන්නප්පුව ධීවර වරායෙන් මහ සයුර වෙත පිටත්වී ගියේය. ස්කීපර්වරයා සමඟ එහි හය දෙනකු වූහ. මෙලෙස මොවුන් ගියේ දින ගණනාවකට අවශ්‍ය ඉන්ධන සහ ආහාරද රැගෙනය. මෙරට මුහුදු සීමාවෙන් කිලෝමීටර් 1,000ක දුර ගිය තැන මෙම පිරිසට තවත් යාත්‍රාවකින් පැමිණි විදෙස් ජාතිකයන් දෙදෙනකු මත්ද්‍රව්‍ය කිලෝ 347ක් අඩංගු උර 13ක් ලබාදී ඇත. මෙම ගනුදෙනුව සඳහා මෙරටින්...


ගිය බහුදින ධීවර යාත්‍රාවේ ස්කීපර්වරයාට සැටලයිට් දුරකථනයක් ලබාදී තිබිණි. සියල්ල කතාබස් කෙරෙන්නේ එම දුරකථනය හරහාය.


"උඹලා එකෙක්ට ලක්ෂ 30 ගාණේ දෙනවා. බෝට්ටුවට වෙනම සල්ලි දෙනවා. මේ බඩු ටික අරන් බේරුවලට පලයන්, එතැනදී තවත් බෝට්ටුවක් ඇවිල්ලා උඹලගේ බඩු ටික අරගෙන යාව්. උඹලා ඉන් පස්සේ ගෙවල්වලට පලයල්ලා. ගෙදරටම උඹලගේ කොටහ ගෙනත් දේවි..."


ඩුබායි සිට ලැබෙන ඇමතුමෙන් පැවැසෙන්නේ මෙවැන්නකි. ඒ අනුව විදෙස් ජාතික මුස්ලිම්වරුන් දෙදෙනකු විසින් මහ සයුරේදී තවත් යාත්‍රාවකින් ලබාදෙනු ලබන මත්ද්‍රව්‍ය උර 13ද බහුදින ධීවර යාත්‍රාවට පටවා ගන්නා මෙම පිරිස ඊළඟට පැමිණ ඇත්තේ දුන් උපදෙස්වලට අනුව දකුණේ බේරුවල ආසන්න මුහුදටය. එලෙස පැමිණෙන මෙම බහුදින ධීවර යාත්‍රාව බේරුවල ආසන්න මුහුදේදී මුණගැහෙන තවත් යාත්‍රාවක සිටි පිරිසක් විසින් මෙලෙස ගෙනෙන ලද මත්ද්‍රව්‍ය තොගය ලබාගෙන බහුදින යාත්‍රාව මුදාහැර ඇත. ඒ ඉකුත් මැයි 19 වැනිදා බව කියැවේ. පසුව ස්කීපර්වරයා ඇතුළු 6 දෙනා මීගමුවට පැමිණ එතැනින් සමුගෙන සිය නිවෙස්වලට ගොස් තිබේ.


එතැන් පටන් ඔවුන් නිවෙස්වල රැඳී සිට ඇත්තේ බෝට්ටු ගමන සඳහා ලබාදුන් පොරොන්දු වූ මුදල රැගෙන එන තුරුය. ඒ අතර මොවුහු ඩුබායි රාජ්‍යයේ සිටි මහ මොළකරු සහ ඔහුගේ සහෝදරයා සමඟ දුරකථනයෙන් සම්බන්ධ වී කතාබස් කරමින් සිට ඇතැයි කියති.


"වැඩේ නියමෙට කෙරුණා. උඹල හය දෙනාට ලක්ෂ 30 ගාණේ ලක්ෂ 180ක් 22 වැනිදා රෑට මම එවනවා. බයවෙන්න එපා. කිව්වා වගේ වැඩේ කරනවා. බෝට්ටුවේ සල්ලි වෙනමම දෙනවා"


ඩුබායි සිට ලැබෙන එම ඇමතුම ස්කීපර්වරයා ඇතුළු සෙසු පුද්ගලයන්ට දන්වන අතර එම මුදල් කොටස් ලබා ගැනීම සඳහා ස්කීපර්වරයා සිය නිවෙසට වී සිටියදී ඉකුත් 22 වැනිදා රාත්‍රියේම මෙලෙස කොටු වී තිබේ.


මේ අතර අත්අඩංගුවට ගත් ත්‍රිරෝද රියැදුරා සහ ඔහුගේ සගයාගෙන් කළ වැඩිදුර ප්‍රශ්න කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ මීගමුවේදී මෙම මුදල් ඔවුන් වෙත ලබාදුන් බවකි. මෝටර් රථයකින් පැමිණි පුද්ගලයන් මෙම රුපියල් ලක්ෂ 180 සහිත බෑගය තොඩුවාව, මහවැව පදිංචි ස්කීපර්වරයාගේ නිවෙසට රැගෙන ගොස් ඔහුට ලබාදෙන ලෙස පැවැසූ බවත් ඒ අනුව තමන් ත්‍රිරෝද රථයේ මුදල් රැගෙන පැමිණි බවත් ඔවුන් පවසා තිබේ. විමර්ශන නිලධාරීර්න් පවසන්නේ මුදල් රැගෙන පැමිණි ත්‍රිරෝද රිය හයර් එකට පැමිණ ඇති බව අනාවරණය වූ අතර රථයේ මුදල් රැගෙන පැමිණි පුද්ගලයාට ජාවාරම්කරුවන් විසින් රුපියල් ලක්ෂ 5ක් ලබාදීමට එකඟව සිට ඇති බවත්ය.


මෙම අත්අඩංගුවට ගැනීමත් සමඟ තවත් මහා පරිමාණයේ මත්ද්‍රව්‍ය ජාවාරමක සුලමුල අනාවරණය කර ගැනීමට නිලධාරීන්ට හැකිව තිබේ. ඒ තොඩුවාව පොලිසියේ සැරයන්වරුන්ගේ විධිමත් ක්‍රියා කලාපය හේතුවෙනි. ඒ සම්බන්ධයෙන් දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති නාලක ද සිල්වා සහ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර් රොහාන් පෙරේරා ඇතුළු කණ්ඩායමක්ද එම නිලධාරීන් දෙදෙනා මහත්සේ පැසසුමට ලක්කෙරිණි.


ඔවුන්ගෙන් එක් නිලධාරියකු සිද්ධිය සම්බන්ධයෙන් කීවේ මෙවැන්නකි.


""23 වැනිදා 10.05ට විතර ඇති. එදා අපේ ඩී.අයි.ජී. මහත්තයාගේ උපදෙස් මත බීමත් රියැදුරන් අත්අඩංගුවට ගන්න මෙහෙයුමක් තිබුණා. අපි ඒකට පන්සල් පාරේ අතුරු පාරේ තුස්මංහන්දියේ වාහන චෙක් කරන කොට ටවුම පැත්තේ ඉඳන් ත්‍රීවීලරයක් ආවා. අපි නැවැත්තුවා. ප්‍රශ්න කළා.


මීගමුවේ කිව්වා. යාළුවෙක්ගෙ ගෙදර යනවා කිව්වා. පිටිපස්සේ හිටිය කෙනාගේ උකුළ උඩ බෑග් එකක් තිබ්බා. මොනවද බැග් එකේ කිව්වා. උත්තර දුන්නේ නැහැ. තුන් පාරක් ඇහැව්වා. ඒත් උත්තර දුන්නේ නැහැ. බෑග් එක චෙක් කළාම සල්ලි තිබ්බා. බෑග් එකේ එච්චර සල්ලි තිබුණු නිසා අපිට සැකයක් ඇති වුණා. අපි වැඩබලන ස්ථානාධිපතිවරයාට දන්වලා ඒ අය අත්අඩංගුවට අරන් පොලිසියට අරන් ගියා. ඒ වෙලාවේ ත්‍රීවීල් එකේ හිටිය පුද්ගලයාට ආපු කෝල් එකක් පස්සේ ගිහින් ඉදිරි විමර්ශන සිදුකළා. සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට සැකකාරියන් දෙදෙනකු සහ සැකකරුවන් 6 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති අතර මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සිදුකළ පුද්ගලයන් 6 දෙනාගෙන් සිවුදෙනකු ප්‍රදේශ අතහැර පලාගොස් ඇති බවත් ඔවුන් අද හෙටම අත්අඩංගුවට ගන්නා බවත් විමර්ශන නිලධාහු පවසති.


මේ අතර ත්‍රිරෝද ඊයේ මුදල් ලක්ෂ 180 රැගෙන පැමිණෙන පුද්ගලයා නියමිත ආකාරයට එම මුදල ස්කීපර්වරයාගේ නිවෙසට රැගෙන යන්නේද ඒ අතරතුර ගමන් මාර්ගයේ ඔත්තු බැලීම සඳහා පුද්ගලයන් දෙදෙනකු යතුරුපැදියකින් ගමන් ගත් බවටද විමර්ශන නිලධාර්න් අනාවරණය කරගෙන ඇත. ඒ ඔස්සේ කළ පරීක්ෂණයෙන් පසු එලෙස පැමිණි එක් ඔත්තුකරුවක යතුරුපැදියද සමඟ අත්අඩංගුවට ගැනීමටද නිලධාරීන්ට හැකි වී තිබේ. අත්අඩංගුවට ගත් අය අතර ස්කීපර්වරයාගේ සගයකු වන බවද පොලිසිය කියයි.

මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී හලාවත කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී රොහාන් පෙරේරා කීවේ මෙම පොලිස් සැරයන්වරුන්ගේ ක්‍රියාකලාපය ඉතා අගය කරන බවත් ඒ සම්බන්ධයෙන් වැඩබලන පොලිස්පතිවරයාද දැනුවත්කොට ඔවුන්ට පොලිස්පති ප්‍රශංසාව හා ත්‍යාග මුදල් ලබාදීමට කටයුතු කරන බවය. සැකකාරියන් සහ සැකකරුවන් රඳවාගෙන ප්‍රශ්න කිරීමට නියමිතය. ඔවුන් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය වෙත භාරදෙනු ඇත.