Friday, March 29, 2019

තැරුව්කරුවන්ගේ හිරිහැර නිසා සංචාරකයින් 1650ක් ලංකාවෙ අළෙවිසැල් වලට නොගොස්ම පිටව යයි











කොළඹ නගරයට පැමිණි සංචාරකයන් පිරිසකට ත්‍රිරෝද රථ රියදුරන් හා මග පෙන්වනගේ වෙස් ගත් තැරැව්කරුවන්ගෙන් එල්ල වූ බාධා කිරීම් නිසා සංචාරකයෝ පිරිසක් ඉකුත්දා දැඩි අපහසුතාවකට පත්වූහ.

 නාමිකව ලොව වටා යන එම්.වී. ආකේඩියා මහී නෞකාවෙන් එක්දින සංචාරයක් සඳහා ඉකුත් 23 වැනිදා මෙරටට පැමිණි සංචාරකයන් 1650 දෙනකු මෙම අමිහිරි අත්දැකීමට මුහුණ පා ඇති බව වාර්තා වේ. ආකේඩියා නැවෙන් පැමිණි සියලු සංචාරකයන්ට අවශ්‍ය හස්ත කර්මාන්ත නිෂ්පාදන මිලදී ගැනීම සදහා තුම්මුල්ල ප්‍රදේශයේ පිහිටි නිෂ්පාදන අලෙවිසලකට කැදවාගෙන විත් ඇති අතර ඒ සදහා කොළඹ වරායේ සිට එම ස්ථානය දක්වා බස් රථ සේවාවක් ද ක්‍රියාත්මක කර තිබිණි.

එම සංචාරකයෙන් බස් රථ මගින් අලවිසල් භූමිය පැමින විටම ත්‍රිරෝද රථකරුවන්, හා මග පෙන්වන්නන් වෙස් ගත් තැරැව්කරුවන් විශාල පිරිසක් එහි පැමිණි සංචාරකයත් ඉන් පිටතට රැගෙන යාමට උත්සාහ දරා ඇත.

මෙම අනපේක්ෂිත සිදුවීම නිසා සංචාරකයන් බස් රථයෙන් පිටතට පැමිණීමට පවා බිය වූ බව වාර්තා වන අතර මෙම අවස්ථාවේ එහි රාජකාරියේ නිරතව සිටි කුරුඳුවත්ත පොලිසියේ හා සංචාරක පොලිසියේ නිලධාරින් දැඩි වහසක් දරා එම තැරැව්කරුවන් අලවිසල් භූමියයන් පිටතට යැවීමට පියවර ගෙන ඇත.

ඉන් අනතුරුවද එම පිරිස අලෙවිසලේ ප්‍රධාන ගේට්ටුව අවහිර කරමින් කෑකෝ ගසමින් දිනය පුරා එහි රැඳී සිටිමින් පැමිණෙන  සංචාරකයන් පිටතට ගෙනයාමට උත්සාහ දරා ඇති අතර පොලීසිය මහත් වෙහෙසක් දරා තත්වය සමනය කර තිබේ.

 මෙම මගි නෞකාවෙන් පැමිණෙන සංචාරකයන් අවට පිහිටි ආපනශාලා, අලෙවිසල්, සාප්පු සංකීර්ණ හා සංචාරක වටිනාකමක් ඇති ස්ථාන වෙත යාමට පුරුදුව සිටියත්
මෙදින මෙම සිදුවීම නිසා ඔවුන්ට එසේ කිරීමට නොහැකි වී ඇති අතර ඒ හේතුවෙන් රටට සැලකිය යුතු විදේශ විනිමය ප්‍රමාණයක් අහිමිව ඇතැයි ද වාර්තා වේ.





(ඩයනා උදයංගනී)

රට වටේ ATM වලින් සල්ලි ඇද්ද කුඩ්ඩා අලව්වේදී මාට්ටු



ප්‍රදේශ ගණනාවක ATM මුදල් යන්ත්‍ර මගින් වංචනික ලෙස මුදල් ලබා ගන්නා පුද්ගලයකු අනුව ලංකා බැකුව ආසන්නයේදී 28 වැනි දින අත්අඩංගුවට ගත්බව අලව්ව පොලීසිය පවසයි.
අනුරාධපුර ප්‍රදේශයේ මුල් පදිංචිකරුවකු වන සැකකරු කොළඹ සිට මහනුවර හා කොළඹ සිට අනුරාධපුරය දක්වා මාර්ගවල පිහිටි බැංකු ATM මුදල් යන්ත්‍ර මගින් වසර කිහිපයක සිට වංචනික ලෙස රුපියල් ලක්‍ෂ 50කට අධික මුදලක් ලබාගෙන ඇත.  ATM මුදල් යන්ත්‍රයට මුදල් කාඩ්පත ඇතුළත් කරන ස්ථානයට සැකකරු විසින් කඩදාසි කැබැල්ලක් ඇතුළු කර තබා මුදල් යන්ත්‍රය ආසන්නයේ පසෙකට                                                                                      වී සිටී.

මුදල් ලබා ගැනීමට පැමිණෙන පිරිස් තම කාඩ්පත යන්ත්‍රයට ඇතුළත් කර ගැනීමට නොහැකි නිසා සැකකරු උදවු කිරීමට ඉදිරිපත් වී රහස්‍ය අංකයද ඔවුන්ගෙන් දැනගෙන නියමිත කාඩ්පත සැකකරු විසින් සඟවාගෙන ව්‍යාජ කාඩ්පතක් මුදල් යන්ත්‍රයට ඇතුළත් කර කාඩ්පත ආපසු ගැනීමට නොහැකි බව පවසා සැකකරු ඉවත්ව යයි. සැකකරු විසින් සඟවාගත් නියමිත ඒ.ටී.එම්. කාඩ්පත වෙනත් ප්‍රදේශයක ATM මුදල් යන්ත්‍රයකට දමා මුදල් ලබා ගැනීම මොහු වසර ගණනාවක සිට කර ඇති බව පොලිසිය කියයි.

දිනකට රුපියල් විසි හතරදාහක මුදලක් හෙරොයින් ඇතුළු මත්ද්‍රව්‍ය සඳහා වැය කිරීමට සිදුවන හෙයින් ඔහු මෙලස වංචනිකව මුදල් සෙවීමට පෙලඹී තිබේ. මහනුවර ප්‍රදේශයෙන් කුලී පදනම මත දිනකට රුපියල් හාරදාහක් ගෙවිය යුතු ඇල්ටෝ වර්ගයේ කාරයකින් පැමිණ සිටි සැකකරු අලව්ව ලංකා බැංකු ATM මුදල් යන්ත්‍රයෙන් කාන්තාවකට මුදල් ලබා ගැනීමට උදවු කිරීමට ගොස් ඇත. එම කාන්තාවට ඔහු පිළිබද සැක සිතී අසල තැනැත්තකුට ඒ බව පවසා ඒ ස්ථානයේ සිටි අලව්ව පාලීසියේ පොලිස් කොස්තාපල් විජිත කුමාර (68887) මැදිහත් වී ඔහු සැකකරු අල්ලා පොලිසියට රැගෙන ගොස් පරීක්‍ෂණ පැවැත්වීමේදී මෙම කරුණු අනාවරණය වූ බව අලව්ව පොලිසිය පවසයි.

-සුසන්ත අබේරත්න-

රජයේ කාර්යාලවල විදුලිය අරපිරිමැස්මෙන් භාවිත කරන්න-අරලියගහ මැදුරටත් විදුලිය ජෙනරේටර් වලින්-අගමැති කියයි

 උද්ගතව ඇති විදුලිබල අර්බුදය නිමවනතුරු රඡයේ කාර්යාලවල අරපිරිමැස්මෙන් විදුලිය පරිභෝජනය කරලීමට සාධනීය පියවර ගන්නා අලස අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ශ්‍රී ලංකා පරිපාලන සේවා නිලධාරීන්ගෙන් ඊයේ (28) ඉල්ලීමක් කළේය.

අත්‍යවශ්‍ය කාර්යයන් සඳහා පමණක් විදුලිය පාවිච්චි කරන ලෙසත්, හැකි සෑම අවස්ථාවකදීම ජාතික විදුලිබල පද්ධතියෙන් විදුලිය ලබාගැනීම තාවකාලිකව නතර කර රාජ්‍ය ආයතන සතු විදුලි ජනක යන්ත්‍ර මගින් විදුලිය ලබාගැනීමට පියවර ගන්නා ලෙසත් වික්‍රමසිංහ මහතා ඉල්ලා සිටියේය.

අග්‍රාමාත්‍යවරයා මෙම ඉල්ලීම කළේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ. නෙළුම් පොකුණ රඟහල පරිශ්‍රයේදී පැවැති ශ්‍රී ලංකා පරිපාලන සේවා සංගමයේ වාර්ෂික සම්මේලනයට එක්වෙමිනි.

විදුලිය අර්බුදය සම්බන්ධයෙන් ගතයුතු පියවර සොයා බැලීම සඳහා ජනාධිපතිවරයාගේ උපදෙස් පරිදි අමාත්‍ය කමිටුවක් පත්කර තිබෙන බවත්, එම කමිටුවේ වාර්තාව ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට සහ පාර්ලිමේත්තුවට ඉදිරිපත් කරන බවත් අගමැතිවරයා කීය. විදුලිබල අර්බුදය නිමවනතුරු අරලියගහ
මන්දිරයට ජාතික පද්ධතියෙන් විදුලිය ලබා නොගෙන විදුලිජනක යන්ත්‍ර මගින් විදුලිය ලබාගැනීමට පියවර ගෙන තිබෙන බවද රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී වැඩිදුරටත් සඳහන් කළේය.

ඇමති ජෝන්-ලන්සා ඉඩමක් වෙනුවෙන් මැතිසභය දෙවනත් කරලා







වත්තල නගර සභා බලප්‍රදේශයේ ඇති ඉඩමක් විකුණා රුපියල් ලක්‍ෂ3,000ක මුදලක් ගසාකෑමට වත්තල නගර සභාවේ සාමාජිකයන් කටයුතු කර ඇති බැවින් මේ සම්බන්ධයෙන් අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේත්තුව මගින් පරීක්ෂණයක් කරන්නැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නිමල් ලන්සා මහතා පාර්ලිමේන්තුවේදී ඊයේ (28දා) ඉල්ලීමක් කළේය.  මේ ගැන තමන් අපරාධ පරික්‍ෂණ  දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන බව පැවසූ මන්ත්‍රීවරයා, මීට අමතරව මහානගර හා බස්නාහිර නගර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා හරහා වෙනම පරික්ෂණයක් කරන ලෙසද ඉල්ලා සිටියේය.

එම අවස්ථාවේ ජෝන් අමරතුංග අමාත්‍යවරයා නැගී සිටිමින් එම කරුණු ප්‍රතිෂේප කළේය.

"මම ඔබතුමා සම්බන්ධයි කියලා කිව්වේ නෑ. තොප්පිය හරිනම් දාගන්න. වත්තල ඉඩම් ටික ඔක්කොම ගොඩකරනවා. මේ සල්ලි ඔබතුමාට ගියාද මම දන්නේ නෑ" යැයි මන්ත්‍රීවරයා පැවසීය.

එයට පිළිතුරු දුන් පෝන් අමරතුංග අමාත්‍යවරයා පැවසුවේ, "තොප්පිය ගැන මගෙන් අහගන්න එපා. මේකට මහ ඇමති අවසර දුන්නා. මොනාද මේ කියන්නේ, මෙතැන වැඩපිළිවෙළ හරියට වෙලා තියෙනවා. මට ආරංචියක් තියෙනවා ලන්සා
මන්ත්‍රීතුමා වත්තලින් ඉල්ලන්න යනවා කියලා. ඒක තමයි මේ වගේ කෑගහන්නේ” යනුවෙනි.

ත්‍රිපිටක උළෙලේදී මෝඩ පුරුෂයන් පිරිසකගේ අසුන් පැනවීම ගැන රාමඤ්ඤ නිකායේ කණගාටුව ජනපතිට දන්වයි








ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කරලීම  සඳහා මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේ ඉකුත්දා පැවැති උත්සව සභාවේ මහානායක හිමිවරුන්ට ආසන පනවා තිබූ ආකාරය අතිශයින්ම විනය විරෝධී හා සිලාචාර විරෝධී  යැයි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක  සංඝ සභාව ජනාධිපතිවරයා වෙත ලිපියක්  යවමින් දැනුම් දී තිබේ.  සාසනික ව්‍යවහාරය නොදත් තිලධාරින්  පිරිසක් එම විකෘතිය කර තිබෙන බව ද ඔවුන්ට එරෙහිව පියවරක් ගත යුතු බව ද එම ලිපියේ සඳහන් වේ.

ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකාය වෙනුවෙන් එහි මාධ්‍ය ප්‍රකාශක ආචාර්ය  ඕමල්පේ සෝභිත මහ නා හිමියන්ගේ අත්සනින් යුතුව ඡනාධිපතිවරයාට යවා ඇති ලිපියේ මෙසේ සඳහන් වේ.


ථේරවාදී ත්‍රිපිටකය ඡාතික උරුමයක් බවට පත්කරලීම සඳහා පියවර ගැනීම පිළිබඳවත්, එය ලෝක උරුමයක් බවට පත්කරලීම සඳහා ක්‍රියාමාර්ග ගැනීම පිළිබඳවත් ඔබතුමන් වෙත සමස්ත බෞද්ධ ලෝකයේ ම ගෞරවය හිමි වන බව සතුටින් ප්‍රකාශ කර සිටිමු.

2017.03.23 දින මහනුවර ශ්‍රී දළදා මාළිගා පරිශ්‍රයේදී ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කරලීම අරභයා පවත්වන්නට යෙදුණු උත්සව මහා සභාවේ මහානායක මාහිමියන් වහන්ස්ලා සඳහා ආසන පනවා තිබූ ආකරය අතිශයින්ම විනය විරෝධි හා සදාචාර විරෝධීය යන්න අප ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ කාරක සංඝ සභාවේ අදහසයි.

භික්ෂූන් වහන්ස්ලා සඳහා ආසන පැනවීම පිළිබඳ විනය පිටකයේ චුල්ලවග්ග පාලියේ සේනාසනක්ඛන්ධකයේ  "අනුජානාමි භික්ඛවේ යථාවුධ්ධං අභිවාදනං පච්චුට්ඨානං අඤ්ජලිකම්මං අග්ගාසනං අග්ගොදකං...."

යනුවෙන් සඳහන් වන බුද්ධ නීතියට අනුව ප්‍රමුඛස්ථානය දිය යුත්තේ උපසම්පන්න වස් ගණනින් වැඩසිටි මහ තෙරවරුන්ගේ වෘද්ධ පටිපාටිය අනුවය. නොඑසේව රහත් භික්ෂු නමකටවත් මුල් අසුන හිමි වන්නේ නැත.

එසේම උසමහත, නිකාය, පාර්ශවය ආදී කරුණු එහිලා කිසිසේත් වැදගත් වන්නේ නැත.  එසේ තිබියදී ඉහත උත්සවයේ අසුන් පනවා තිබුණු ආකාරය තතුදත් මැදහත් ගිහි පැවිදි හැමදෙනාගේ ම පිළිකුලට හා උපහාසයට යොමු වූ අයුරු පැහැදිලිවම දක්නට ලැබුණි.

එයට හේතුව වූයේ වයසින් 98ක් වූ ද වස් ගණනින් හැත්තෑ වසර ඉක්මවා සිටියා වූ ද ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අතිපූජ්‍ය මහා නායක මාහිමියන් වහන්සේ ද, වයසින් 98ක් වූ ද වස් ගණනින් හැටපස් වසර ඉක්මවා සිටිනා වූ ද ශ්‍රී ලංකා අමරපුර සංඝ සභාවේ අතිපූජ්‍ය උත්තරීතර මහා නායක මා හිමියන් වහන්සේ ද පහත් පෙළේ අසුන් පනවා අඩු වස් ගණනක් සහිත මල්වතු අස්ගිරි පාර්ශව දෙකෙහි  නාහිමි දෙනමට වේදිකා මස්තකයේ උස් අසුන් පනවා තිබිමයි.

සාසනික ව්‍යවහාරය නොදත්, නිලධාරී පිරිසක් විසින් කොහේ හෝ විරාජමානව සිටින මෝඩ පුරුෂයන් පිරිසකගේ උපදෙස් යටතේ සිදු කර ඇති මේ විකෘතිය නිසා එදා ඒ සභාවේ ප්‍රධාන සංවිධායකවරයා මෙන්ම කැඳවුම්කරු වශයෙන් ක්‍රියා කළ ඔබතුමගේ කීරිති නාමයට මහත් වූ කැළලක් සිදු වූ බව් ද මෙහිලා ප්‍රකාශ කරමු.  ත්‍රිපිටකය ලෝක උරුමයක් බවට පත්කරලීම සඳහා ජාත්‍යන්තරයට හඩ නගන ඒ සම්භාවනීය මොහොතේම, ත්‍රිපිටකයේ අන්තර්ගගතය අප අතර ක්‍රියාත්මක නොවන බවටත්, ඒ වෙනුවට බුදු රදුන් විසින් නින්දාසහගතව ප්‍රතික්ෂේප කළා වූ සදාචාර විරෝධී, ගෝත්‍රවාදී, ගණින්නාන්සේලාගේ තුච්ඡ වූ බමුණු මතවාදයම ඉදිරියට පැමිණ ඇති බවත් යම් අමනෝඥ ක්‍රියාව මගින් කාටත් පැහැදිලිය. එනිසා මේ අවකල් ක්‍රියාව සිදු කළ නිලධාරි බලධාරි පිරිස් වෙතින් වහාම කරුණු විමසා අප සංඝ සභාව දැනුවත් කරන ලෙසට දන්වා සිටින අතර, මේ සම්බන්ධයෙන් ප්‍රමාණවත් පියවරක් නොගන්නේ නම්, ශ්‍රී ලංකා අමරපුර මහා නිකාය ද සමග එක්ව අප දෙනිකායේ ශාසනික ගෞරවය ආරක්ෂා වන පරිදි ඉදිරි ක්‍රියාමාර්ග සඳහා කටයුතු කරන බවත් සාසන දයාවෙන් හා කරුණාවෙන් යුතුව මෙයින් දන්වා සිටිමු.
තෙරුවන් සරණයි.

පාර්ලිමේන්තුවේ ගැටුම ගැන "අපට විරුද්ධව නඩු දාලා හිරකරන්න හැදුවොත් මැරෙනකම්ම උපවාස කරනවා"-මහින්දානන්ද

 පාර්ලිමේත්තුව තුළ සිදු වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් මන්ත්‍රීවරුන්ට එරෙහිව නඩු පවරා සිරගත කිරීමට කටයුතු කළහොත් මියයන තුරු උපවාස කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේ  ඊයේ (28දා) පාර්ලිමේන්තුවේදී පැවසීය.

පසුගිය නොවැම්බර් මාසයේදී පාර්ලිමේන්තුවේදී සිදු වූ කලහකාරී සිදුවීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු කමිටු වාර්තාව කථානායක කරු ජයසූරිය මහතාට භාර දී ඇති අතර, ඒ සම්බන්ධයෙන් මෙතෙක් නීතිය ක්‍රියාත්මක කර නොමැත.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආනන්ද අලුත්ගමගේද එම සිදුවීමේදී කලහකාරී ක්‍රියාවට සම්බන්ධව ඇති බවට එම වාර්තාවේ සඳහන් කර ඇති අතර, එම  වාර්තාවට විරෝධය පළ කරමින් මන්ත්‍රීවරයා,

"අපට විරුද්ධව නඩු දාලා හිරකරන්න හදනවා. පුළුවන් නම් කරලා බලන්න. වීජේකලාට ඒක නීතියක්, අපට එක නීතියක්. අපිව හිරේ දැම්මොත් මැරෙනකම්ම උපවාස කරනවා" යැයි පැවසීය.

-චාමර සම්පත්-

දාහතර හැවිරිදි පාසල් දැරියට පෙම්හසුන් ලියු හතළිස් තුන් හැවිරිදි දෙදරු පියා මාට්ටු




පාසල් දැරීයකට ආදර හසුන් ලියු හතළිස් තුන් හවිරිදි විවාහකයෙක් අත්අඩංගුවට ගත් බව නොච්චියාගම පොලිසිය පැවසීය. වයස අවුරුදු දාහතරක් වන දැරිය මේ පිළිබදව තම මවට පැවැසීමෙන් පසු මව කළ පැමිණිල්ලකට අනුව අත්අඩංගුවට ගෙන ඇත්තේ පහළ හල්මිල්ලෑව මානෙල්වැව පදිංචී දෙදරු පියෙකි. සැකකරුගේ බිරිය කලක සිට ඔහු අතහැර ගොස් ඇති අතර ඔහුගේ වයස එකොළහක සහ වයස අටක දරුවන් දෙදෙනා කිරි අම්මා ළග ජීවත් වෙයි. සැකකරු කම්කරු වැඩ සඳහා යන නිවසක පාසල් දරීයකට මෙලෙස පෙම්පත් ලියා දී ඇතැයි පොලිසිය කීවේය.

පොලිසිය වෙත ප්‍රකාශයක් ලබාදී ඇති බාල  වයස්කාර දැරීය පවසා ඇත්තේ කිසිදු නමක් සඳහන් නොකරමින් සැකකරු ප්‍රථමයෙන් පිටුපහක ලිපියක් තමාට දුන් බවයි. ඒ සමඟ ගවුමක් මිලදී ගන්නා ලෙස පවසා රුපියල් දහසක්ද ලබා දුන් බවය. එහි නමක් හෝ සඳහන් නොවූ නිසා තමන් එම ලිපිය විසිකර දැමූ බවත් පසුවද ගණ දෙවියන්, විෂ්ණු දෙවියන් වැනි දෙවියන් ගැන සඳහන් කරමින් විවිධ වර්ණනා කරමින් සිංහල හා ඉංග්‍රීසි මිශ්‍ර කර ලියූ ලිපි ලියා කියවිය හැකිදැයි බලන ලෙස පවසා ලබා දුන් බවත් මින් ලිපි කිහිපයක් බලා විසිකර දැමූ බවත් ලිපි කිහිපයක් නොබලා විසිකර දැමූ බවත් පවසා ඇත.

පසුගිය 21 වැනි දින මෙම පුද්ගලයා නැවත තමන්ට ලිපියක් ලබා දුන් බවත් එහි තම ආදරය ඉල්ලා ඇති අතර එම ලිපිය මවට පෙන්වූ බවත් ඇය පවසා ඇත. පසුව මව සිද්ධිය පිළිබඳව පොලිසියට පැමිණිලි කර ඇත.  ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක තිස්ස රත්නායක මහතා උපක්‍රමශීලීව දුරකථන ඇමතුමක් ලබාදී සැකකරු පොලිසිය වෙත කැඳවා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගෙන ඇත. සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී මෙම දැරීය පිළිබඳව ආදර සිතක් පහළ වූ නිසා මෙලෙස කළ බව පවසා ඇත. සැකකරු ඊයේ (28දා) දින උදෑසන තඹුත්තේගම මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන බව පොලිසිය පැවසීය.

-ඒ.ඩී.යූ.කුමාර-

දකුණු වෙරළ තීරයේ සම්බාහන මධ්‍යාස්ථාන වලින් සියයට 81ක්ම ප්‍රමිතියෙන් තොරයි


දකුණු වෙරළ තීරය ආශ්‍රිතව ඇති ආයූර්වේද සම්බාහන මධ්‍යස්ථාන අතුරින් බොහෝමයක් නිසි ප්‍රමිතියෙන් යුතුව පවත්වාගෙන නොයන බව දකුණු පළාත් ආයූර්වේද කොමසාරිස් සී. එල්. ගුරුගේ මහතා පැවසීය. දකුණු වෙරළ තීරයේ බෙන්තොට සිට ලුණුගම්වෙහර දක්වා සම්බාහන මධ්‍යස්ථාන විශාල සංඛ්‍යාවක් ඇතත් ආයූර්වේද මුලධර්මවලට අනුව නිසි ප්‍රමිතියෙන් යුතුව පවත්වාගෙන යනු ලබන්නේ ඉන් සියයට 10කටත් වඩා අඩු සංඛ්‍යාවක් බවද පළාත් ආයූර්වේද කොමසාරිස්වරයා සදහන් කළේය.

ඇතැම් සම්බාහන මධ්‍යස්ථානවලින් කරනු ලබන්නේ දේශීය වෛද්‍ය ක්‍රමය හා ආයුර්වේද වෛද්‍ය ක්‍රමය මුවාවෙන් ලිංගික ශ්‍රමික වෘත්තියේ යෙදවීම බවත්  මේ හේතුවෙන් ආයුර්වේද වෛද්‍ය ක්‍රමයට සහ වෛද්‍යවරුන්ට විශාල හානියක්  සිදුවන බවත් ඒ මහතා පැවසීය. මේ පිළිබඳව ලැබුණු පැමිණිලි මත පොලිසිය  හා ආයුර්වේද දෙපාර්තමේන්තුවේ වෛද්‍යවරුන් සමග එක් වී වැටලීම් සිදු කර අදාළ ආයතනවලට එරෙහිව නඩු පවරා තිබේ.

එසේම ආයූර්වේද සම්බාහන මධ්‍යස්ථානවලට අදාළ ප්‍රඥප්තියක් දකුණු පළාත් සභාව තුළ නීතිගත කිරීම
සඳහා අවශ්‍ය කටයුතු කරමින් පවතින බවත් එම ප්‍රඥප්තිය සම්මත වූ පසු අදාළ වැටලීම් කිරීමට පළාත් සභාවටද බලයක් ලැබෙන බවත් දකුණු පළාත් ආයූර්වේද කොමසාරිස්වරයා වැඩිදුරටත් පැවසීය. හෙතෙම වැඩිදුරටත් මෙසේද සඳහන් කළේය.

"මෑතක සිට සම්බාහන මධ්‍යස්ථාන ආරම්භ කිරීමට යොමු කරන අයදුම්පත්‍රවලින් සියයට 1ක් හෝ 2ක් පමණයි අපි අනුමත කරන්නේ . ඒ සදහා සුදුසු පංචකර්මය පිළිබද දැනුවත් වෛද්‍යවරයකු සිටිය යුතුයි. පාරම්පරික වෛද්‍යවරයකුටත් එක කරන්න බැහැ. නමුත් නීති විරෝධී අයුරින් පවත්වාගෙන යන සම්බාහන මධ්‍යස්ථානවල පාරම්පරික ඖෂධවලට වඩා බටහිර ක්‍රීම් ජාති බොහොමයක් භාවිත කරනවා. ඒ වගේම සම්බාහන මධ්‍යස්ථාන කරන මුවාවෙන් ලිංගික ශ්‍රමික වෘත්තියක් සිදුකරනවා. මේ තත්වය පාලනය කළ යුතුයි."

නීතිය 2021 සිට පාසල් විෂයට



නීතිය විෂය 2021 වර්ෂයේ සිට පාසල් විෂය නිර්දේශයට ඇතුළත් කිරීමට බලාපොරොත්තු වන බව අධ්‍යාපන අමාත්‍යාංශයේ පාසල් කටයුතු අතිරේක ලේකම් ආර්.එම්.එම්. රත්නායක මහතා ඊයේ (28)  කළ විමසීමකදී පැවසීය. ඒ සදහා පළමු අදියරේ කටයුතු මේ වන විට අධ්‍යාපන අමාත්‍යාංශය සහ ජාතික අධ්‍යාපන ආයතනය එක්ව ක්‍රියාත්මක කරන බවද ඔහු සදහන් කළේය.

පාසල් විෂය නිර්දේශයට නීති විෂය ඇතුළත් කිරීම්  සඳහා අධිකරණ සහ බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය ඉදිරිපත් කළ කැබිනට් පත්‍රිකාවට අමාත්‍ය මණ්ඩල අනුමැතිය හිමිවීමෙන් අනතුරුව අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් පරිදි එහි විෂය මාලාව සකස් කිරීම සදහා ජාතික අධ්‍යාපන ආයතනයට පවරා තිබේ. නීතිය පාසල් විෂයට ඇතුළත් කිරීමේදී එහි විෂය මාලාව සකස් කිරීම, ගුරුවරුන් පුහුණු කිරීම සහ පෙළපොත් සැකසීම ආදිය සකස් කළ යුතු බැවින් මේ සදහා කැබිනට් පත්‍රිකාවේ අන්තර්ගත වී ඇති ආකාරයට 'විෂය විශේෂඥ කමිටුවක්' මේ වන විට පත් කර ඇති බවද ඒ මහතා පැවසීය.

-නිර්මාණී බණ්ඩාරනායක-


පොලිසියට අලුත් ඇඳුමක්




දැනට භාවිත වන කාකි ඇඳුම වෙනුවට වඩා සුදුසු නිල ඇදුමක් පොලිස් නිලධාරින්ට හඳුන්වාදීම පිළිබදව අදාළ අංග සමග සාකච්ඡා කරන බව  ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ඊයේ (28)  කොස්ගම පොලිස් ස්ථානයේ නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් පැවසීය.

 පොලිසිය පිළිබඳ ජනතාව තුළ පවතින අයහපත් ආකල්ප වෙනස් කරමින් ගුණාත්මක සහ ගෞරවාන්විත පොලිස් සේවාවක් ගොඩනැගීමට පොලිසිය තුළ සිදු කරන අභ්‍යන්තර වෙනස්කම්වල පියවරක් ලෙස ඉදිරියේදී මෙලෙස පොලිස්  නිල ඇඳුමද යම් වෙනසකට ලක් කරන බව ජනාධිපතිවරයා පැවසීය.

                                                -තියේෂාද සිල්වා-

Thursday, March 28, 2019

කොළඹට විදුලි කැපිල්ලක් නෑ










රට පුරා සියලු ප්‍රදේශවල විටින් විට විදුලිය විසන්ධි කෙරුණ ද කොළඹ නගරයේ විදුලිය කැපීමක් සිදු නොකරන බව ලංකා විදුලිබල මණ්ඩලය කියයි.

පෞද්ගලික ආයතන හා කර්මාන්තශාලාවල තිබෙන විදුලිජනක යන්ත්‍ර භාවිත කර විදුලිය ජනනය කරන්නැයි විදුලිබල මණ්ඩලය ඉල්ලීමක් කර තිබෙන  අතර එමගින් මෙගාවොට් 50ක පමණ විදුලි ජනනයක් සිදුවන බව ද එම නිසා කොළඹ නගරයේ විදුලිය කැපීමක් කිරීමට අවශ්‍ය නොවන බව ද ලංවිම ප්‍රකාශකයෙක් පැවැසීය.

පෞද්ගලික විදුලි ජනක යන්ත්‍ර ක්‍රියාත්මක කර විදුලි ජනනය කරන ආයතනවලට ඒකකයකට  රුපියල් 36ක් බැගින් ගෙවීමට ලංකා විදුලිබල මණ්ඩලය කටයුතු කරයි.

-රංජන් කස්තුරි-

බැඳුම්කර වංචාවට ප්‍රභල ඇමතිවරයෙක් ළඟදිම ඇතුළට ගන්නවා-මහින්දානන්ද කියයි







බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින රජයේ ප්‍රබල අමාත්‍යවරයෙකු අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් ඉදිරි දින කිහිපයේදී අත්අඩංගුවට ගැනීමට නියමිත බව මහනුවර දිස්ත්‍රික් පාරිලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ ඊයේ (27) පැවැසීය.

මෙම වංචාව සම්බන්ධයෙන් අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන් හා රජයේ නිලධාරින් කිහිපදෙනකුගෙන් ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව ප්‍රකාශ ලබාගැනීමට නියමිත යැයි මන්ත්‍රීවරයා කීය.

බැඳුම්කර වංචාවට සම්බන්ධ සියලු පුද්ගලයින්ට එරෙහිව ඉදිරියේදී තරාතිරම නොබලා නීතිමය පියවර ගැනීමට ඡනාධිපතිවරයා තීරණය කර තිබෙන බව ද මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා සඳහන් කළේය. ඔහු මෙසේ පැවැසුවේ කොළඹ-07, විපක්‍ෂ නායක කාර්යාලයේ ඊයේ (27) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

(නාලක සංජීව දහනායක)

ලංවිම ඉංජිනේරුවෝ වැස්ස ඉල්ලා ශ්‍රී මහා බෝධියට පැන් පූජාවක්






නිසිකලට වැසි ලැබී විදුලිබලාගාර ආශ්‍රිත ජලාශ ජලයෙන් පිරී විදුලිබල උත්පාදනය අඛණ්ඩව පවත්වා ගැනීමට හැකිවේවායි ප්‍රාර්ථනා කරමින් ලංකා විදුලිබල මණ්ඩලය පවත්වන පැන් පූජාව අද (28) සිට හෙට (20) අනුරාධපුර ශ්‍රී මහා බෝධීන්වහන්සේ අබියසදී පැවැත්වේ .

මෙහිදි බලාගාර ආශ්‍රිත ඡලාශවලින් ලබාගන්නා පැන් ශ්‍රී මහා බෝධීන් වහන්සේට පූජා කෙරෙන බවද ලංකා විදුලිබල මණ්ඩලය සඳහන් කරයි. ඒ අනුව අද පස්වරු 3 ට පැන් කළ සහිත රිය පෙරහර ගල්කුලම විහාරස්ථානයට පැමිණෙන අතර එතැන් සිට පැන් කළ රුවන්වැලි සෑයටත් වැඩමකරන අතර පස්වරු 6.30 ට ශ්‍රී මහා බෝධීන් වහන්සේ අසලදී ගිලන්පස පූජාවක් පැවැත්වේ. පස්වරු 7 ට රුවන්මැලි සෑයේ සිට ශ්‍රී මහා බෝධීන් වහන්සේ දක්වා  පහන් දැල්වීමත් පස්වරු 8.15 ට ශ්‍රී මහා බෝධීන් වහන්සේ අභියස පැන් පූජාවක් සිදුකෙරන බව ලංවිම සිදු කරයි.

අම්මාට කිව්වොත් මරණවා කියලා තම පස් හැවිරිදි දැරියට බරපතළ ලිංගික අපයෝජනයක් කරලා




මවට කියා තිබුණත් මරා දමන බවට තර්ජනය කර පස් හැවිරිදි දැරියකට බරපතළ ලිංගික අපයෝජනයක් කළ පියකු සැකපිට ඇතිමලේ  පොලිසිය අත්අඩංගුවට ගෙන ඇත. දැරියගේ මව පවුල් සෞඛ්‍ය සේවිකාවක් හරහා ඇතිමලේ පොලිසියට කළ පැමිණිල්ලකට අනුව කළ විමර්ශනයකින් පසු සැකකරු අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු තිස්පස් හැවිරිදි කුලී වැඩවල නිරතවන්නකු බව හෙළි වී ඇත.

සැකකරු හා පැමිණිලිකාර බිරිය කුලී වැඩවල නිරතවන බවත් නිවසේ නැති අවස්ථාවල සැකකරු ඔහුගේ පස් හැවිරිදි දැරීය මාස 03ක පමණ කාලයක සිට වරින් වර බරපතළ ලිංගික  අපයෝජනයට ලක්කර තිබෙන බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබේ. දැරීය තමන්ට තාත්තා මෙවැනි දේ කරන්න කියනවා කියමින් සැකකරු දැරියට කරන විවිධ අපයෝජන ක්‍රියාවන් අසල්වැසි කාන්තාවකට හා දැරියගේ අත්තම්මා කෙනකුට පවසා තිබෙන බව පොලිසිය පවසයි.

මේ බව අම්මාට නොකියන ලෙසත් අම්මා දැනගත්තොත් අම්මා සහ තමන්ව මරා දමන බවට තාත්තා පැවැසු බවත් මෙම පස් හැවිරිදි දැරිය ඇගේ අත්තම්මාට පවසා තිබෙන බවද හෙළි වී ඇත. දැරියගෙන් පොලිසිය ලබාගත් ප්‍රකාශයන්ට අනුව ඇය බරපතළ ලිංගික අපයෝජනයකට ලක්වී තිබෙන බව මේ පිළිබඳව විමර්ශන කටයුතු කළ ඇතිමලේ පොලීසියේ ප්‍රකාශකයකු අප කළ විමසීමකදී කීය. අත්අඩංගුවට ගත් සැකකරු (27දා) සියඹලාණ්ඩුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණීමට නියමිතව තිබිණි.

-සංජීව බණ්ඩාර-

බුත්තල ත්‍රීරෝද රථගාලේ කවුරුත් ආදරේ කරන දිරිය තරුණිය


පුරුෂ පාර්ශවය සමග කරට කර ගැටෙමින් බහුල වශයෙන් පුරුෂ පාර්ශ්වය විසින් සිදුකරනු ලබන රැකියාවක් වන ත්‍රිරෝද රථ රැකියාවේ නිරත වන තරුණියක් පසුගියදා අපට හමුවිය.

ඇය බුත්තල මොරටුගම පදිංචි අනුෂා ලක්මාලිය. ඇය අද වන විට බුත්තල බස්නැවතුම්පොළ ආසන්නයේ ඇති ත්‍රිරෝද රථ ගාලේ කැපී පෙනෙන ත්‍රිරෝද හිමිකාරියක් වන අතර,ඇය පදවන ත්‍රීරෝද රථයෙන් ගමන්බිමන් යාමට බොහෝ දෙනෙක් ප්‍රියකිරීම හේතුවෙන් ඇගේ දෛනික ආදායමද දිනෙන් දින ඉහළ යමින් තිබේ. ඇය අප සමගින් මෙලෙස කතා බහකට එක්විය.

ඔයාගේ නම මොකක්ද ?

මගේ නම අනුෂා ලක්මාලි .

කොහොමද ඔබ මේ රැකියාවට යොමු වුණේ?

ඒක දිග කතාවක්. "ගම් ඉකෝලේ 8 වැනි පන්තියෙන් ඉහළට ඉගෙන ගන්න බැරි වුණා. ආර්ථික ප්‍රශ්න නිසා තමයි එහෙම වුණේ. තාත්තාත් ලෙඩ වුණා. පස්සේ එකතැන් වුණා.  ඊට පස්සේ මම කුලියට උක් කපන්න ගියා. එතකොට මගේ වයස අවුරුදු 15යි. ගස් 50ක් ඇතුළත් උක්මිටියකට ගෙව්වේ රුපියල් 03යි. මම මහන්සි වෙලා දවසට උක්මිටි 50ක් විතර කපලා රුපියල් 150ක් විතර හෙව්වා. ඒත් ඒක අපේ ගෙදර වියදමටත් තාත්තට බේත් ගන්නත් මදි නිසා මම වැලි ගොඩදාන්න පටන්ගත්තා.

ඒකෙන් ලැබුණ මුදල් එකතු කරගත්තාම රුපියල් හැටදාහක් විතර තිබුණා. ඒ සල්ලිත් දාලා ලීසිං කරලා මේ ත්‍රීවිලර් එක ගත්තා. මම දැන් ලීසිං වාරිකයත් ගෙවලා හොද ආදායමක් ලබනවා.

 ත්‍රිවිල් පාක් එකේ රස්සාව කරනකොට ප‍්‍රශ්න එන්නේ නැද්ද?

අපෝ නැහැ. මට ඉන්න ගොඩාක් යාළුවෝ පිරීමි අය, අපි කිසිම නරක වැඩක් කරන්නේ නැහැ, පාක් එකේ අයියල මාත් එක්ක හරිම යාළුයි. ඒගොල්ල මාව එයාලගෙම නංගි කෙනෙක් විදියට රැක බලාගන්නවා.



මගේ තාත්තා ඔත්පල වුණා විතරක් නෙවෙයි මගේ අයියත් කොස් ගෙඩියක් කඩන්න ගොස් ගහකට නැග්ගම ගහෙන් වැටිල දැන් ආබාධිතයෙක්. දැන් ඉන්නේ රෝද පුටුවක. අයියාත් සනීප කරන්න බැහැ කියලා තමයි කියන්නේ. එයා බැඳල ළමයෙකුත් ඉන්නවා, ඉතින් මගේ එකම උත්සාහය තාත්තයි අම්මයි ජීවත්කරවනවා වගේම අයියගෙ පවුලටත් පුළුවන් විදියට උදව් කරන එක.


- නලින් ආරියවංශ-

ATM කාඩ් එකෙන් කොස්තාපල් මුදල් අරන් පෙම්වතියට පහළොස්දහක් දීලා තව පන්දාහක බීලා



ජනාධිපති ආරක්ෂක අංශ පොලීස් කොස්තාපල්ලා රැදී සිටින ජනාධිපති මන්දිරය ඉදිරිපිට පිහිටි පොලිස් නේවාසිකාගාරයක ඇඳක මෙට්ටයක් යට තිබූ හිතවත් පොලිස් කෝස්තාපල් කෙනකුගේ ඒටීඑම් ATM කාඩ්පතක් සොරාගෙන එමඟින් ලබාගත් රුපියල් විසිදහසකින් රුපියල් පහළොස් දහසක් තම පෙම්වතියටද ඉතිරි රුපියල් පන් දහසෙන් මත්පැන් පානය කර ඇති බව කියන ජනාධිපති ආරක්ෂක අංශ පොලිස් කොස්තාපල් කෙනකු කොටුව පොලීසිය මඟින් ඊයේ (26දා) අත්අඩංගුවට ගෙන ඇත.

අස්ථානගත වූ ඒ.ටී.එම්. ATM කාඩ්පතේ හිමිකරු කොටුව පොලීසියට කරන ලද පැමිණිල්ලක් සම්බන්ධයෙන් කළ විමර්ශනයකින් සැකකාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ. හිතවතුන් වන ජනාධිපති ආරක්ෂක අංශයට අයත් එකී කොස්තාපල්ලා දෙදෙනා එම නේවාසිකාගාරයේ ආසන ඇඳන් දෙකක නිදාගෙන ඇති බවත් පැමිණිලිකාර කොස්තාපල් සිය ඒ.ටී.එම්. (ATM) කාඩ්පත සහිත මුදල් පසුම්බිය ඇදෙහි මෙට්ටය යට තබා නාන කාමරයට ගොස් සිටි අවස්ථාවේ සැකකාර කොස්තාපල් එකී කාඩ්පත සොරාගෙන ඇති බව පොලීසිය පවසයි. කාඩ්පාතෙන් මුදල් ගෙන ඇති එකී කොස්තාපල් පසුව එම කාඩ්පත නේවාසිකාගාරයේ කුණු බහාලන භාජනයකට දමා සිටියදී සොයාගත් බවද සැකකාර කොස්තාපල්වරයා තමන් එම සොරකම කළ බව පිළිගෙන ඇති බවද පොලිසිය පවසයි. සැකකාර පුද්ගලයා ඊයේ (26දා) කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසු රුපියල් දස ලක්ෂයක ශරීර ඇපයක් මත මුදාහැර ඇති බවදඅ පොලිසිය වැඩිදුරටත් පැවැසීය.

කොළඹ මධ්‍යම  සහකාර පොලිස් අධිකාරී ඩීකේ. ප්‍රියන්ත, කොළඹ කොටුව වැඩ බලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සාගර ලියනගේ, විවිධ පැමිණිලී අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක ප්‍රදීප් වික්‍රමරත්න හා පොලිස් සැරයන් ලෙස්ලි (28746) යන නිලධාරීහු විමර්ශන මෙහෙයවූහ.

-කුමුදු උපුල් ශාන්ත-

මවගේ බැංකු කාඩ්පතින් ලක්ෂ 04ක් අරන් දියණිය පෙම් සුව විඳලා-පෙම්වතාට ත්‍රීරෝද රථයකුත් අරන් දීලා

 තම මවට අයත් බැංකු කාඩ්පතක්  සොරාගෙන ඉන් රුපියල් ලක්ෂ හතරක මුදලක් විටින් විට ගෙන පෙම්සුව විඳීමට වැයකළ දියණියක් හා ඇගේ  පෙම්වතා අත්අඩංගුවට ගත් බව කිරුළපන පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මෝදර ප්‍රදේශයේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයෙකු හා 19 හැවිරිදි තරුණියකි.  කිරුළපන කිරුළ ව්‍යාපාරයේ නිවසක පදිංචි කාන්තාවකගේ බැංකු කාඩ්පතක් අස්ථාන ගතවී ඇති බවට  පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති අතර, ඒ අනුව පොලිස් නිලධාරින් විමර්ශන ආරම්භ කරමින් සිටියදී විටින් විට කාඩිපතින් මුදල් ලබාගන්නා

අවස්ථාවලදී ඊට අදාළ කෙටි පණිවුඩ කාඩ්පත් හිමියාගේ ජංගම දුරකථනයට ලැබෙන බව පොලිස් නිලධාරින්ට පැවසීමත් සමග ඊට අදාළ ඒ.ටී. එම්. යන්ත්‍රය සොයා ගැනීමෙන් පසු මෙම සො‍රකමේ සුලමුල අනාවරණය කරගැනීමට හැකිවූ බව පොලීසිය පවසයි.

මෙහිදී පොලීසිය අදාළ ATM යන්ත්‍රයේ CCTV දර්ශන මගින් මේ පිළිබඳව විමර්ශනය සිදුකර ඇති අතර, එහිදි සැක සිතුණු පුද්ගලයෙකු පිළිබඳ විමර්ශනය කිරීමේදී ඔහු හා සමාන පුද්ගලයෙකු සමග කාඩ්පත හිමියාගේ දියණිය ඇසුරු කරන බවට පොලීසියට තොරතුරක් ලැබී ඇති අතර, ඒ අනුව ඔවුන් දෙදෙනාගෙන් ප්‍රශ්න කර විමර්ශන පවත්වා ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.

ඒහිදී දියණිය පොලීසියට පවසා ඇත්තේ පෙම්වතාගේ ඉල්ලීම පරිදි සිය මවගේ කාඩ්පත සොරාගෙන මෙසේ මුදල් ලබා ගත් බවයි. එම මුදල් වැයකොට රුපියල් ලක්ෂයකට ත්‍රිරෝද රථයක්ද, රුපියල් 65,000ක සෙටප් යන්ත්‍රයක්ද මිලදී ගෙන ඇති බව පොලීසිය පවසයි.  ඒ අනුව සැකකරු අත්අඩංගුවට ගෙන ඔහුගේ නිවස පරීක්ෂා කිරීමේදී එහි තිබී සොරාගත් මුදලින් මිලදී ගත් ත්‍රිරෝද රථය සහ සෙටප් යන්ත්‍රය පොලිස් භාරයට ගත් බව පොලීසිය පවසයි. තවදුරටත් මේ පිළිබඳව විමර්ශනය කිරීමේදී මාස තුනක් ඇතුළත විටින් විට මෙසේ රුපියල්. ලක්ෂ 4ක මුදලක් ලබාගෙන ඇති බවටද අනාවරණය වූ බව පොලීසිය පවසයි.

සැකකරුවන් දෙදෙනා අලුත්කඩේ (අංක III) අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

අම්බලන්ගොඩ ගෙදරකට ලක්ෂ 25ක වතුර බිලක් ඇවිත්



රුපියල් ලක්‍ෂ 25ක අරුම පුදුම වතුර බිලක්  අම්බලංගොඩ පටබැඳිමුල්ල ප්‍රදේශයේ නිවසකට ලැබීමේ පුවතක් අම්බලන්ගොඩින් වාර්තා වේ. ඒ සම්බන්ධයෙන් ජල පාරිභොගික එම්.ඒ.පී. සිල්වා යන අය සිද්ධිය මෙසේ විස්තර කළේය. අපි දවල්ට ගෙදර වහල දාල තියෙන්නේ. ගිණුම් අංක 33-040-090-157-13 යටතේ ළඟක් වන තෙක් රුපියල් 600ක පමණ බිලක් තමයි ආවේ. එකපාරටම නොවැම්බර් මාසේ ලක්ෂ 15ක බිලක් ආවා. අපි මේ ගැන ජල සම්පාදන මණ්ඩලයට කීවා. ලියලත් දුන්නා. මේ කාලය තුළ රතු නිවේදන 15ක් විතර ඇවිල්ලා තියෙනවා. අපි කිව්වා ජලය කපන්න කියලා. එහෙම කළෙත් නහැ. ගිය සතියේ රුපියල් ලක්ෂ 25ක බිලක් ආවා. මේ නිලධාරීන්ට සාමාන්‍ය දැනීමක්වත් නැද්ද කියලා මං අහන්නේ.  හෘද රෝගියෙක් වුණා නම් ජීවිතයකුත් අහිමි වෙන්න ඉඩ තිබුණයි පැවැසීය.

මේ සම්බන්ධයෙන් අම්බලන්ගොඩ ජල සම්පාදන මණ්ඩලයේ ඉන්ජිනේරු නඳුන් වික්‍රමනායක මහතාගෙන් විමසූ විට මෙසේ පැවැසීය. මේ නිවස තාප්පවලින් වටවෙලා තියෙන්නේ. අපේ නිලධාරීන්ට මීටරය බලන්න විදිහක් නෑ. ඒ අනුව ඇස්තමේන්තු බිලක් දාලා තියෙනවා. ජල සම්පාදන මණ්ඩලයේ නීති රීති වලට එකඟවයි. ඔය බීල නිකුත් කරලා තියෙන්නේ. පසුව ස්ථානීය පරීක්‍ෂණයක් කරලා බිලෙන් ලක්ෂ 18ක් විතර අඩු කළා. ඒ අනුව දැනට ලක්‍ෂ 07ක් වගේ මුදලක් මිය යුතුයි. ඒ බීල ඉදිරියේදී යවනවා. මේ මුදල ඇස්තමේත්තු කරලා තියෙන්නේ අවුරුදු 06ක් සඳහා, මෙම නිවෙසේ කාන්දුවක් තිබිය හැකියි. මෙහි පාරිභෝගික ගැටලු රැසක් තිබෙනවා. ඒ සියල්ල නිවැරැදි කර ඉදිරි බිලකින් සංශෝධිත වතුර බිල යැවීමට කටයුතු කරනවා යනුවෙන් පැවැසීය.

-ධර්මදාස සිරිවර්ධන-

Wednesday, March 27, 2019

බස්නාහිර පුද්ගලික බස් 01දා සිට නිල්පාට විය යුතුයි-පාට වෙනස් කරන්න මස 03ක කාලයක්









බස්නාහිර පළාතේ මගී ප්‍රවාහනයේ යෙදෙන බලපත්‍රලාභී පෞද්ගලික බස් රථවල වර්ණය ලා නිල් පාට විය යුතු බවට පවතින නීතිය අප්‍රේල් පළමුවැනිදා සිට බලාත්මක කරන බව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සභාපති තුසිත කුලරත්න මහතා ඊයේ (26) පැවසීය.

 බස් රථවලින් අනෙකුත් වර්ණ ඉවත් කර ගැනීම සඳහා බස් හිමියන්ට අප්‍රේල් 1දා සිට මාස දෙකක කාලයක් ලබා දෙන බව කී සභාපතිවරයා, ලබන ජූලි පළමුවැනිදා සිට මෙම නීතිය අකුරටම ක්‍රියාත්මක කරන බව ද සදහන් කළේය.

විවිධ වර්ණ යෙදීම නිසා පෞද්ගලික බස් රථ අනතුරුවලට ලක්වන බව පරීක්ෂණවල දී අනාවරණය වී ඇතැයි කී සභාපතිවරයා මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස්වරයා විසින් අනුමත කර තිබෙන ලා නිල් වර්ණය පළාතේ සියලු පෞද්ගලික බස් රථවලට නියම කිරීමට තීරණය කළ බව පැවසීය.  බස්නාහිර පළාතේ මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ ඊයේ පැවැති ප්‍රවෘනි සාකච්ඡාවක දී ඔහු මෙම කරුණු සඳහන් කළේය.

පළාතේ බස් රථවල රියැදුරු, කොන්දොස්තරවරු මත්ද්‍රව්‍ය භාවිත කර අසුවුවහොත් ඔවුන්ට ප්‍රවාහන අධිකාරියෙන් ලබාදී තිබෙන රියැදුරු කොන්දොස්තර බලපත්‍රය අහෝසි කරන බවද සභාපතිවරයා කීය.

මෙම නීතිය අප්‍රේල් 1 වැනිදා සිට ක්‍රියාත්මක කරන බව ද ඔහු කීය. මෙම පෞද්ගලික බස් රථවල ඇතැම් රියැදුරන් හා කොන්දොස්තරවරුන් මත්ද්‍රව්‍ය භාවිත කරන බවට අධිකාරියට පැමිණිලි ලැබී ඇතැයි කී සභාපතිවරයා, ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහනට අනුව අප්‍රේල් 1දා සිට පළාතේ සියලු මාර්ගවල බස් පරික්ෂාවට ලක් කර මත්ද්‍රව්‍ය භාවිත කර තිබෙන රියැදුරන් සහ කොන්දොස්තරවරුන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා බව ද එයට අමතරව මත්ද්‍රව්‍ය භාවිත කරන අධිකාරියේ කාර්ය මණ්ඩල අයෙකු වෙතොත් ඔහුට විරුද්ධව ද විනය ක්‍රියා මාර්ග ගන්නා බව ද පැවසීය.

මගී බස් රථවල තිබෙන අධික ශබ්දයෙන් යුතු නලා, කැසට්, ගුවන් විදුලි යන්ත්‍ර පාලනය කිරිමට පියවර ගන්නා බව ද ඔහු කිය.

බීමත් පියාගේ පහරදීමෙන් දුව-පුතා රෝහලේ








පියාගේ අමානුෂික  පහරදීම හේතුවෙන් බාල වයස්කාර දියණිය සහ පුතෙකු තුවාල ලබා ප්‍රතිකාර සදහා කරාපිටිය රෝහලට පෙරේදා (25) ඇතුළත් කළ බව හික්කඩුව පොලිසිය කියයි.

මෙම පහරදීම සම්බන්ධයෙන් පියා අත්අඩංගුවට ගෙන සිටින බව ද පොලිසිය කියයි.

කෝටුවකින් පහරදිම නිසා 12 හැවිරිදි දැරියගේ සහ සිවු හැවිරිදි දරුවාගේ බෙල්ලේ, පාදවල සහ පිට ප්‍රදේශයේ පැලීම් සහිත බරපතළ තුවාල සිදුවී ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.

බිමතින් පැමිණි බව කියන පියා පළමුවෙන් දියණියට පහරදී ඇති අතර, ඇය තම පියාගෙන් මිදී පලා ගිය අස්ථාවේ ඒ අසල සිටි සිව් හැවිරිදි දරුවා පාද දෙකෙන් අල්ලාගෙන පහරදී ඇතැයි මූලික පරීක්ෂණවලින් අනාවරණය වූ බව පොලිසිය කියයි.  මෙම සිද්ධිය පොලිස් හදිසි ඇමතුම් අංශයට කිසියම් පුද්ගලයකු දන්වා ඇති අතර, එම තොරතුර ඔස්සේ පොලිසිය පැමිණ දරුවන් දෙදෙනා බේරාගෙන ආරච්චිකන්ද රෝහලට ඇතුළත් කර ඇති අතර, වැඩිදුර ප්‍රතිකාර සඳහා දරුවන් කරාපිටිය රෝහලට මාරු කර යවා ඇත.
පහරකෑමට ලක්වූ දරු දෙදෙනාගේ මව් කලකට පෙර දරුවන් තනිකර දමා නිවාසින්  පිටව ගොස් ඇති අතර, තම මිත්තනිය ළඟ දරුවන් හැදී වැඩී ඇත.

සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිත සිටියේය. හික්කඩුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

මන්ද මානසික තරුණියට රුපියල් විස්සක් දීලා විශ්‍රාමික ග්‍රාම නිළධාරියා ලිංගික අතවර කරලා



මන්ද මානසික තරුණියකට රුපියල් විස්සක් දී ලිංගික අතවරයක් සිදුකර පලා ගොස් ඇති විශ්‍රාමික ග්‍රාම නිලධාරීවරයා අත්අඩංගුවට ගැනීමට කෑගල්ල පොලිසිය පරීක්‍ෂණ සිදු කරයි.  මෙලෙස ප්‍රදේශයෙන් පලාගොස් ඇත්තේ ගලිගමුව පෙහෙරඹේ පදිංචී හැත්තෑ හැවිරිදී විශ්‍රාමික ග්‍රාම නිලධාරීවරයෙකි. මෙම ග්‍රාම නිලධාරීවරයා සෑම පුර පසළොස්වක පෝය දිනකම සිය පදිංචි ගම්මානයේ පිහිටි ඓතිහාසික රජමහ විහාරස්ථානයේ අෂ්ටාංග ශීලය සමාදන් වෙයි.

මොහුගේ දරු දෙදෙනා විවාහ වි වෙනම නිවාස තනාගෙන පදිංචිව සිටියි.  ග්‍රාම නිලධාරිවරයා හා  බිරිය පමණක් නිවෙස් පදිංචිව සිටින  අතර ඉකුත් 20 වැනිදා මැදින්  පුර පසළොස්වක පෝය දා සිල් සමාදන් වී පසුදා 21 වැනිදා අලුයම  සිල් මුදවා නිවෙසට පැමිණ ඇත. මොහු කිලෝමීටර් එකහමාරක් පමණ ඈතින් පිහිටි මන්ද මානසික තරුණියක් සිටින නිවසකට බුලත් විට කොටන්නට යන බව වෙළෙඳසල් හිමියකුට පවසා ගොස් ඇත.

එම අවස්ථාවේ නිවෙසේ සිට ඇත්තේ මෙම තරුණිය පමණි. විශ්‍රාමික ග්‍රාම නිලධාරීවරයා මන්ද මානසික තරුණියගේ නිවසට ගොස් ඇයට රුපියල් විස්සක් දී ලිංගික අතවරයක් සිදුකිරීමට උත්සාහ කර ඇත. ලිංගික අතවරය සිදු කිරීමට සුදානම් වූ අවස්ථාවේ තරුණියගේ පියා නිවසට පැමිණ ඇති අතර පසුව පියා ග්‍රාම නිලධාරීවරයාට පහරදී ඇත. පහරකෑමට ලක්වූ ග්‍රාම නිලධාරීවරයා නිවසින් පැනගොස් ඇති අතර අද වන තුරුත් ප්‍රදේශයේ නොමැති බව කෑගල්ල පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල මූලස්ථාන පොලිසිය ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මානවඩු මහතාගේ උපදෙස් මත ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනිය පරීක්‍ෂණ පවත්වයි.

-චමින්ද ජයලත්-

ජනපතිගේ මහවැලි-පරිසර අමාත්‍යංශවල බිල ගෙවා නැතුව ටෙලිෆෝන් කපලා








ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  යටතේ පවතින මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ස්ථාවර දුරකථන  ඊයේ (26) සිට විසන්ධි කර ඇත.

මේ හේතුවෙන් විෂය භාර අමාත්‍යවරයා වන ජනාධිපතිවරයාගේ දුරකථන සම්බන්ධතාව, රාජ්‍ය අමාත්‍ය අජිත් මාන්නම්ප්පෙරුම මහතාගේ දුරකථන සම්බන්ධතාව සහ අමාත්‍යාංශ ලේකම්වරයාගේ දුරකථන සම්බන්ධතාවයේ සිට සියලුම ස්ථාවර දුරකථන සම්බන්ධතා ඇනහිට ඇත.

ස්ථාවර දුරකථන සම්බන්ධතා එසේ විසන්ධි කර තිබීම හේතුවෙන් අමාත්‍යාංශයේ කටයුතු රැසක් ඇනහිට පැවැති බවත් වාර්තා විය.

මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී අමාත්‍යාංශයේ ඉහළ නිලධාරියකු සඳහන් කළේ ඊයේ උදෑසන සිටම ස්ථාවර දුරකථන සම්බන්ධතා ඇනහිට පැවති බවය.

ඒ සම්බන්ධයෙන් අදාළ අංශවලින් කළ විමසීමක දී මුදල් ගෙවා නොමැතිවීම හේතුවෙන් ස්ථාවර දුරකථන විසන්ධි කර තිබූ බවට දැනුම් දුන් බවද ඔහු පැවැසීය.

මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය බත්තරමුල්ල පිහිටි සොබාදම් පියස ගොඩනැගිල්ලේ පිහිටා තිබේ.

-නිමල කොඩිතුවක්කු-

ගැලපෙන ඇඳුමක් නැති නිසා ගගනගාමිනියකට අභ්‍යවකාශයේ ඇවිදීම අහිමි වෙයි









ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානයේ රැඳී සිටින ඇමෙරිකා එක්සත් ජනපද කාන්තා ගගනගාමීන් දෙදෙනකු සිදු කිරීමට සැලසුම් කර තිබූ ඓතිහාසික අභ්‍යවකාශ ඇවිදීම අත්හිටුවීමට නාසා ආයතනය කටයුතු යොදා තිබේ.

මෙම කාන්තා ගගනගාමීන්ට එවැන්නක් සඳහා සුදුසු අභ්‍යවකාශ ඇඳුමක් නොමැතිවීම මීට හේතුව ලෙස ඔවුන් දක්වා ඇත. මීට පෙර සැලසුමට අනුව අභ්‍යවකාශයේ රැදීසිටින ගගනගාමිනියක වන ක්‍රිස්ටිනා කොච් තවත් එක්සත් ජනපද ගගනගාමීවරියක වන ඇන් මැක්ක්ලේන් සමගින් ලබන සිකුරාදා අභ්‍යාවකාශයේ ඇවිදීමට සූදානමින් සිටියාය.

ඒ අනුව එය කාන්තා ගගනගාමීනියන් දෙදෙනකු එකවර අභ්‍යාවකාශ ඇදීමක් සිදු කළ පළමු අවස්ථාව බවට පත්වීමටද නියමිතව තිබුණි. එහෙත් ක්‍රිස්ටිනා සමගින් අදාළ ඇවිදීම සඳහා තවත් එක්සත් ජනපද ගගනගාමියකු වන නික් හේග්  සහභාගි වන බව නාසා ආයතනය ප්‍රකාශයට පත් කර ඇත.

ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය පිහිටවූ 1998 වසරේ සිට මේ දක්වා ගගනගාමීන් අභ්‍යවකාශ ඇවිදිම් 214ක් සිදු කර තිබේ. එහිදී  ගගනගාමීන් දෙදෙනකු හෝ ගගනගාමිනියක සහ ගගනගාමියකු මේ අවස්ථාව සඳහා සම්බන්ධ වි ඇත.

ඒ අනුව ඇන් මැක්ක්ලේන් මීට පෙර නික් හේග් සමගින් අවකාශ ඇවිදීමක නිරත වී ඇත. එහෙත් ඇය ඇඳි අවකාශ ඇඳුම ඇයගේ සිරුරේ ප්‍රමාණයට සරිලන්නක් නොවන බව පසුව හඳුනාගත තිබේ. ඇයට සරිලනනේ මධ්‍යම ප්‍රමාණයේ අඳුමකි.

මේ වනවිට අවකාශ මධ්‍යස්ථානයේ ඇත්තේ එවැනි එක් ඇදුමක් පමණක් බව නාසා ආයතනය පවසයි. මේ හේතුවෙන් ලබන සිකුරාදා ඇන් මේ ඇවිදිමට සම්බන්ධ නොවී එම ඇඳුම කොච් විසින් පලදිනු ඇතැයි ආයතනය වැඩිදුරටත් පවසා සිටියි.

අයි.පී.එල්. යන්න මාලිංගට අවසර



අයි.පී.එල්. තරගාවලියට අදාළව ලසිත් මාලිංගගේ සහභාගිත්වය සම්බන්ධයෙන් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලය හා ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අතර පැන නැගුණු අර්බුදය සමථයකට පත්කරමින් ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ (අයි.පී.එල්.) ඉදිරි සියලුම තරගවලට සහභාගි වීම සඳහා ලසිත් මාලිංගට අවසර ලබාදෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිල නිවේදනයක් නිකුත් කරමින් ඊයේ(26දා) ප්‍රකාශයට පත් කළේය.

එළැඹෙන ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සහභාගි වන ශ්‍රී ලංකා සංචිතය තෝරාගැනීමේ අරමුණ ඇතිව අප්‍රේල් මස 4 වැනිදා සිට 11 වැනිදා දක්වා මෙරටදී පැවැත්විමට නියමිත අන්තර් පළාත් සුපිරි ක්‍රිකට් තරගාවලිය හේතුවෙන් මාලිංග හට මුම්බායි ඉන්දියන් කණ්ඩායමේ පළමු තරග කිහිපයක් සඳහා සහභාගි වීමට අවසර නොදිමේ තත්වයක් ඇතිවීමත් සමග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ඉන්දීය ක්‍රිකට් ආයතනයෙන් දැඩි දෝෂාරෝපණයක් එල්ල වී තිබිණි.

කෙසේ නමුත් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කරන ලද එකී නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ අයි.පී.එල්. තරගාවලියේදී ප්‍රතිවාදීන් ලෙස ප්‍රබල ජාත්‍යන්තර ක්‍රීඩකයන් සමග ක්‍රීඩා කිරීමේ අවස්ථාව ලසිත් මාලිංගට හිමි වන බැවින් සහ එම අත්දැකීම් වඩාත් ඉහළ මට්ටමක පවතින බැවින් ඔහුව අන්තර් පළාත් තරගාවලියෙන් නිදහස් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් කළමනාකාරිත්වය තීරණය කළ බවයි.

මන්නාරම් ද්‍රෝණියේ තෙල් දත්ත සොයන්න එංගලන්තය හා ගිවිසුමක්



මන්නාරම් ඛනිජ තෙල් ද්‍රෝණියේ තෙල් ගවේෂණය කරන බිම් කොටස්වල පරික්ෂාවට අදාළව ඉදිරියේදී නෝර්වේජියානු රාජ්‍යය සමග ඒකාබද්ධ අධ්‍යයනයක් සිදු කිරීමට නියමිත බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන ලේකම් කාර්යාලයේ අධ්‍යක්ෂ ජනරාල් වජිර දසනායක මහතා ඊයේ (26)  කළ විමසීමකදී පැවසීය.

මෙම පරික්ෂවන් සඳහා මේ වන විට කැබිනට් අනුමැතිය හිමිව ඇති අතර ඊට අදාළ කටයුතු මේ දිනවල කෙරෙමින් පවතී. ඉදිරියේදී නීතිපතිවරයාගේ උපදෙස් මත අදාළ ගවේෂණ කටයුතු සිදු කිරිමට බලාපොරොත්තු වන බවත් මෙම ගවේෂණ බිම් කොටස්වල චුම්බක හා ගුරුත්වාකර්ෂණ දත්ත රැස් කිරීම සඳහා එංගලන්තය සමග ගිවිසුමකටද එළඹීමට නියමිත බවත් ඒ මහතා වැඩිදුරටත් සදහන් කළේය.

-සඳමිණි කළුආරච්චි-

නවතින ශිෂ්‍යත්වයට පහසු විකල්පයක් එයි



ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් සිදුකරන ලද යෝජනාවක් අනුව 5 වසර ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීමට රජය තීරණය කර තිබේ. ශිෂ්‍යත්ව විභාගය හේතුවෙන් දරුවන්ට මුහුණදීමට සිදුව ඇති පිඩාවන් පිළිබද අවධානය යොමු කරමින් එම තීරණයට එළඹි බව පෙරේදා (25) පොළොන්නරුව රාජකීය විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ  "මෛත්‍රී ශිල්ප කලා මණ්ඩපය" සිසු අයිතියට පවරා දීම් අවස්ථාවට සහභාගී වෙමින් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පැවැසීය.

ශිෂ්‍යත්ව විභාගය ආරම්භ වූයේ දුප්පත් දරුවන්ට සම්පත් සහිත පාසලක අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව සහ ඒ වෙනුවෙන් දීමනාවක් ලබාදීමේ අරමුණින් වුවත් වර්තමානය වනවිට එය ජනප්‍රිය යැයි සම්මත පාසලකට ඇතුළත් වීමේ තරගයක් වී ඇති බව ජනාධිපතිවරයා සදහන් කළේය. විශ්වවිද්‍යාල අධ්‍යාපනය සදහා සුදුසුකම් ලබන්නන් වැඩි පිරිසක් ශිෂ්‍යත්වය සමත්වූවන් නොවන බවට සංඛ්‍යා ලේඛන මගින් හෙළි වී ඇති බව ද ජනාධිපතිවරයා පැවසුවේය.

එබැවින් සිදුවිය යුත්තේ ජනප්‍රිය යැයි සම්මත පාසල් සඳහා ඇතුළත් වීමේ තරගයක් නොව දිවයිනේ සියලු පාසල්වලට සම්පත් ලබාදෙමින් ඒවා භෞතිකව මෙන්ම ගුණාත්මකව සංවර්ධනය කිරීම බවත් එහි වගකීම අදාළ ප්‍රදේශවල මැති ඇමැතිවරුන්ට මෙන්ම මහජන නියෝජිතයන්ට පැවරෙන බවත් ජනාධිපතිවරයා එහි දී වැඩිදුරටත් පැවැසීය. ශිෂ්‍යත්වය ගැන තීන්දුවක් ගැනීමට මීට මාස කිහිපයට පෙර විශේෂඥයින්ගෙන් සමන්විත කමිටුවක් පත්කළ අතර ඔවුන් ශිෂ්‍යත්ව විභාගය පැවැත්වීම සම්බන්ධයෙන් නිර්දේශ කිහිපයක්ද ඉදිරිපත් කර තිබේ. එම විශේෂඥයින් ශිෂ්‍යත්ව විභාගය හඳුන්වා දී තිබෙන්නේ ශිෂ්‍යාධාර ලබාදීම සහ ජනප්‍රිය පාසැල් සඳහා සිසුන්ට ඇතුළත් වීම සඳහා අවස්ථාව සලසා දෙන විහාගයක් ලෙසිනි.

නමුත් විහාගයෙහි පවත්නා තරගකාරිත්වය හේත්තුකොටගෙන සිසුන්ගේ මනසට අයුතු බලපෑමක් සිදුවන බව ඔවුන් පවසා තිබේ. ඒ අනුව අධ්‍යාපන අමාත්‍යවරයා චක්‍රලේඛයක් මගින් ශිෂ්‍යත්වය අනිවාර්ය විහාගයක් නොවන බවට සහ ශිෂ්‍ය හිතකාමී විභාග ක්‍රමයක් බවට පත්විය යුතු බවට ප්‍රකාශ කළේය. මෙකී නිර්දේශ මත කඩිනමින් ශිෂ්‍යත්වය ගැන තීන්දු තීරණ ගන්නා බව අධ්‍යාපන අමාත්‍යගය පවසයි. එසේම ඉදිරියේදී යම් හෙයකින් ශිෂ්‍යත්ව විභාගව නැවැත්වුවද සිසුන් සදහා ලබා දෙන ශිෂ්‍යාධාර නොනවත්වන බවත් අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙක් පැවැසීය.

-දිනුක මලින්ද හේරත්-

Tuesday, March 26, 2019

බන්ධනාගාරවල සිරකරුවන් 200කට ක්ෂය රෝගය








මෙරට බන්ධනාගාරවල සිරකරුවන් 200කට ආසන්න සංඛ්‍යාවක් ක්ෂය රෝගයෙන් පෙළෙන බව කොළඹ දිස්ත්‍රික් ක්ෂය රෝග මර්දන ජාතික වැඩසටහන මගින් සිදු කරන ලද සමීක්ෂණයකින් හෙළිවී ඇත.  මෙයින් සිරකරුවන් 100-120ත් අතර සංඛ්‍යාවක් වැලිකඩ, කොළඹ, රිමාන්ඩ් හා මැගසින් යන බන්ධනාගාරවලින් හමුවී ඇතැයි මෙම වැඩසටහනේ වෛද්‍ය ලක්මාල් රත්නායක මහතා පෙරේදා (24) පැවැසීය.

කොළඹ ඇතුළුව සියලුම බන්ධනාගාරවලින් ක්ෂය රෝගය වැළදුණු සිරකරුවන් 160කට අධික සංඛ්‍යාවක් හදුනාගෙන ඇති අතර, තවදුරටත් ඔවුන්ගේ ලේ සාම්පල ලබාගන්නා බව ද වෛද්‍යවරයා කීය.

වැලිකඩ කාන්තා අංශයේ කාන්තා රැඳවියන් ද මේ අතර වන බවත් වැලිකඩ බන්ධනාගාර රෝහල් දැනටමත් සිරකරුවන් සියයකට ආසන්න පිරිසක් ප්‍රතිකාර ලබන බවත් හෙතෙම සඳහන් කළේය.

මේ පිළිබඳ ඩිඡිටල් එක්ස් කිරණ යන්ත්‍ර ඇතුළුව විශේෂ පරික්ෂාවන් කරන යන්ත්‍ර කිහිපයක්ම මේ වනවිට ක්ෂය
රෝහ හා ළය රෝග මර්දන ඡාතික වැඩසටහන යටතේ  වැලිකඩ බන්ධනාගාර රෝහල වෙත ලබාදී තිබේ.

-ජයන්ත සමරකෝන්-

ගණිකා ජාවාරමේ ගියපු මෝස්තර නිරූපිකවෝ අටදෙනා ළඟ ගංජා



අධික මිල ගණන්වලට ගණිකා වෘත්තියේ යෙදුණු රූමත් මෝස්තර නිරූපිකාවන් හයදෙනකු ඇතුළු පුද්ගලයන් අටදෙනකු කේරළ ගංජා ග්‍රෑම් දහයක් සමඟ පෙන්වා (23දා) බණ්ඩාරගම ගැලනිගම අධිවේගී ගුවන් පාලම අසලදී සුබෝපභෝගී වෑන් රථයක් සමග අත්අඩංගුවට ගත් බව පානදුර, වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක ඒකකය කියයි. අත්අඩංගුවට ගත් පිරිස පුද්ගලයන් දෙදෙනාගෙන් අයකු ඔවුන්ගේ ආරක්ෂකයකු බවත් අනෙක් අය වෑන් රථ රියැදුරු බවත් පොලිසිය කියයි.

කේරළ ගංජා මෙම ගණිකා ජාවාරම මෙහෙයවන මෝස්තර නිරූපිකාවන්ගේ හිසකෙස් අතර සඟවාගෙන සිටියදී අත්අඩංගුවට ගත් බව පොලිස් නිලධාරිනියක් පැවැසුවාය.කොට්ටාව, පන්නිපිටිය, මහල්වරාව ප්‍රදේශයේ රූපලාවණගාරයක් පවත්වාගෙන යන රූපලාවණ්‍ය ශිල්පිනියක් මෙන්ම මෝස්තර නිරූපිකාවක් වන සුරූපී කාත්තාව එවැනිම සුරූපී කාන්තාවන් මුදලට අලෙවී කිරීමේ රහසිගත ව්‍යාපාරයක් කරන බවට පානදුර, වලාන දූෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි හේමාල් ප්‍රසන්න මහතාට ලද තොරතුරක් අනුව මෙම පිරිස වටලා ඇත.

ඒ අනුව උප පොලිස් පරීක්ෂක ධර්මසිරී මහතාට ඔවුන් සියලු දෙනා අත්අඩංගුවට ගන්නා ලෙස සහකාර පොලිස් අධිකාරීවරයා කරන ලද උපදෙස් අනුව එම ජාවාරම පවත්වාගෙන යන කාන්තාවගේ දුරකථන අංකය සැරයන් විසින් සොයාගෙන ඇත. රන් භාණ්ඩ නිෂ්පාදනය කර අලෙවි කරන ව්‍යාපාරිකයකු සේ රඟපා මෝස්තර නිරූපීකාව හා දුරකථනයෙන් සම්බන්ධ වූ සැරයන්වරයා රාත්‍රියක් ගත කිරීම සඳහා කාන්තාවක් ලබාදෙන ලෙස පැවැසූ බව පොලිසිය කියයි. ඒ සඳහා රුපියල් හතළිස් දහසක් අය කරන බව එම සුරූපී කාත්තාව ව්‍යාපාරික වෙස්ගත් සැරයන්වරයාට පවසා ඇති අතර එයට කැමැත්ත ලබාදීමෙන් පසු එකී කාත්තාව සමඟ බණ්ඩාරගම ගැලනිගමට පෙරේදා (23දා) වෑන් රථයෙන් පැමිණ තිබූ බව පොලිස් නිලධාරියා පැවැසීය.

ගැලනිගම ප්‍රදේශයේ අතුරු මාර්ගයකට වෑන් රථය යොමු කිරීමෙන් අනතුරුව සැරයන්වරයා රුපියල් පන්දහසක අත්තිකාරම් මුදලක් කළමනාකාරීනිය අතට පත් කරනවාත් සමගම ඒ අවට රැකවල්ලා සිටි පොලිස් නිලධාරීහු ඔවුන් අත්අඩංගුවට ගත්හ. අත්අඩංගුවට ගත් කාත්තාවන් පොලිස් නිලධාරිනියන් දෙදෙනකු ලවා පරීක්ෂාවට ලක් කිරීමේදී ජාවාරම්කාරිගේ හිසකෙස් අතර සඟවා තිබූ කේරළ ගංජා සොයා ගැනීමට හැකි වූ බවත් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මෙම සැකකාර කාන්තාව ගැනුම්කරුවන්ට කාන්තාවන් සැපයීමට අමතරව මත්ද්‍රව්‍යද සපයන බවට මෙය කදිම සාක්ෂියක් බව පොලීසිය කියයි. පොලිස් අත්අඩංගුවට පත්වූ ප්‍රධාන සැකකරුවන් ඇතුළු සියලුම කාන්තාවෝ රූපවාහිනි තිරයේ මේ දිනවල විකාශය වන ටෙලි නාට්‍යවල සුළු චරීත මෙන්ම පෞද්ගලික දුරකථන සමාගම්වල මෙන්ම වෙනත් සමාගම්වල දැන්වීම් සඳහා පෙනී සිටින අය බව පොලිස් නිලධාරියෙක් පැවැසූහ.

ගණිකා ජාවාරම මෙහෙයවන ප්‍රධාන සැකකාරිය ස්වාමියාගෙන් වෙන්ව ජීවත් වන කාන්තාවක් බව පරීක්ෂණවලදී හෙළි වූ බව පොලිසිය කියයි. වයස අවුරුදු 23 හා 38 අතර පසුවන කාන්තාවන් කැලණිය-බණ්ඩාරවෙල, හෝමාගම හා මොනරාගල පදිංචිකාගෝ වෙති. ඔවුන් සියලු දෙනා හොරණ මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


-එම්.සී.පෙරේරා-


රනිල්ට සහය දුන් ශ්‍රිලනිප 04ක් කැබිනට් මණ්ඩලයට ගන්න එජාපයෙන් ජනපතිට ලිපියක්





අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කළ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන් හතරදෙනකුගේනම් ලැයිස්තුවක් අමාත්‍යධුර ලබාදීම සඳහා එක්සත් ජාතික  පක්ෂයෙන් ජනාධිපති මෙමත්‍රීපාල සිරිසේන  මහතා වෙත යොමු කර ඇති බව එජාප  ආරංචි මාර්ගවලින් පැවසේ.

මේ අනුව පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ගාමිණී විජිත් විජයමුණි සොයිසා, පියසේන ගමගේ, ලක්ෂ්මන් සෙනවිරත්න සහ ඒ.එච්.එම්.ෆවුසි යන මහත්වරුන් අමාත්‍යවරුන් ලෙස නම් කරන ලෙස  ජනාධිපතිවරයාට යෝජනා කර ඇත. එක්සත් ජාතික පක්ෂය ජාතික ආණ්ඩුවක් පිහිටුවන්නේය යන පදනමේ සිට කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුර සංඛ්‍යව වැඩි කරන ලෙස ඉල්ලා එම යෝජනාව ඉදිරිපත් කර තිබේ.

කැබිනට් අමාත්‍යවරුන්ගේ සංඛ්‍යාව වැඩි කිරීමට සහ ආණ්ඩුවට  සහය පළ කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මන්ත්‍රීවරුන්ට අමාත්‍යධුර ලබා දීමට ජනාධිපතිවරයාගේ අකමැත්තක් නොමැති බව ප්‍රකාශ වි ඇතැයිද එක්සත් ජාතික පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.


 නිමල කොඩිතුවක්කු

අම්මා පාසලේ අපනශාලාව කරගෙන යද්දී පුතා පාසල ඉස්සරහා කුඩු විකුණලා



අනුරාධපුර රජයේ පාසලක ආපනශාලාවක් මවක් විසින් පවත්වාගෙන යන අතර ආපනශාලාවට සම්බන්ධව විද්‍යාලය ඉදිරිපිට රැඳෙමින් හෙරොයින් අලෙවීයේ නිරතවූ චාරා සහ චමී යන අන්වර්ථ නාමයන්ගෙන් හඳුන්වන ජාවාරම්කරුවන් දෙදෙනකු උතුරුමැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක දිසා වැටලීම් ඒකකය මඟින් හෙරොයින් පැකට් දෙකක් සමඟ අත්අඩංගුවට ගෙන ඇත. අනුරාධපුර නගරය ආසන්නයේ විද්‍යලයක පාසල් ආපනශාලාවක් පවත්වාගෙන යන කාත්තාවකගේ පුත්‍රයකු ඊට මුවා වී හෙරොයින් අලෙවි කරන බවට දිසා වැටලීම් ඒකකයට ලැබුණු රහසිගත ඔත්තුවකට අනුව සැකකරුවන් දෙදෙනා හෙරොයින් සමඟ අත්අඩංගුවට ගෙන තිබිණි.

විද්‍යාලයේ ආපනශාලාව සැකකරුගේ මව හා බිරිය විසින් පවත්වාගෙන යන බවත් සැකකරු විද්‍යාලයේ ආපනශාලාවට සම්බන්ධ වෙමින් මත් ජාවාරම සිදු කරන බවට ඔත්තුකරු ලබාදුන් තොරතුරකට අනුව වැටලීම් කර තිබිණි. ඔහුගේ මිතුරා බව කියන චාරා නමින් හඳුන්වන සැකකරු විද්‍යාලය ඉදිරිපිටට වී හෙරොයින් අලෙවිකරන බවත් මොවුන් වෙනත් පුද්ගලයන් හෙරොයින් බීමට ඇබ්බැහි කරනු ලැබුවත් ඔවුන් හෙරොයින් පානය නොකරන බවත් පොලිසිය පැවැසීය. සැකකරුවන් දෙදෙනාම විද්‍යාලයට ආසන්නයේ පදිංචි වී සිටින 39 හා 29 වැනි වියේ පසුවන සැකකරුවන් වන අතර දෙදෙනා අනුරාධපුර මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණි.

-මහේෂ් විජේසුරිය-

ඉල්ලීම් කිහිපයක් මුල් කරගෙන හෙද හෙදියෝ අද-හෙට ලෙඩ නිවාඩු








රාජ්‍ය සේවා එක්සත් හෙඳ සංගමය විසින් දිවයින පුරා  ක්‍රියාත්මක කළ විරෝධතාවට සමගාමීව ගාල්ල කරාපිටිය  රෝහලේ හෙද හෙදියෝ ඊයේ (25) කළු පටි පැළඳගෙන සේවයේ යෙදුණහ.

සැමට හෙද උපාධිය ලබාදීම සහ හෙද සේවය දීපව්‍යාප්ත  ඉවත් කිරීම ඇතුළු ඉල්ලිම් රැසක් පිළිබඳව රජයට බල  කරමින් ඔවුහු විරෝධතාවයේ නිරත වූහ.

කරාපිටිය රෝහලේ රාජ්‍ය සේවා එක්සත් හෙද සංගමයේ සාමාජිකයින් 1100ක් පමණ සිටින බවත් ඔවුන් සියලු දෙනාම විරෝධතාවට සහභාගි වූ බවත් සංගමයේ කරාපිටිය ශාඛාවේ සභාපති රනිල් මල්ලියාවඩු මහතා පවසයි.

හෙද හෙදියන්ට පෞද්ගලික ආයතනවලට මුදල් ගෙවා  උපාධි ලබා ගැනීමට සිදුවී ඇති බවත් 2006/6 චක්‍රලේඛය මගින් හෙද හෙදියන්ගේ මාණ්ඩලික තත්වය නැතිවීම ඇතුළු අසාධාරණකම් විශාල ප්‍රමාණයක් සිදුවූ බවත් ඔහු වැඩිදුරටත් පවසයි. මීට අමතරව සියලුම හෙද විදුහල් උසස් අධ්‍යාපන අමාත්‍යාංශය යටතට පවරා ගන්නා ලෙස තම සංගමය රජයෙන් ඉල්ලා ඇති බව ද මල්ලියාවඩු මහතා සඳහන් කරයි.

අද (26) සහ හෙට (27) ලෙඩ නිවාඩු දමා සේවයට වාර්තා නොකිරිමේ වෘත්තීය ක්‍රියාමාර්ගයකට අවතීර්ණ වීමට මවු  සංගමය තීරණය කර ඇති බව ද හෙතෙම වැඩිදුරටත්
පැවසීය.

එම දින දෙකෙහි රෝහල්වල අත්‍යවශ්‍ය සේවා පවත්වාගෙන යන බවත් පිළිකා හා ළමා වාට්ටු ඇතුළු අත්‍යවශ්‍ය සේවා සඳහා නිල ඇඳුම් රහිතව සේවයේ යෙදෙන බවත් සඳහන් කරති.
එහිදී දෛනික සායන, බාහිර රෝගී අංශය හා සැත්තම් ඇතුළු රෝහල්වල සාමාන්‍ය කටයුතු සඳහා හෙද හෙදියන් සහභාගී නොවන බව ද මල්ලියාවඩු මහතා පැවසීය.

 -සිරංගිකා ලොකුකරවිට-

ඉන්දියාවේ ලංකික සරණාගතයෝ ලක්ෂයක්



යුද්ධය පැවති කාලයේ පිවිතාරක්ෂාව පතා දකුණු ඉන්දියාව වෙත ගිය සරණාගතයන් ලක්ෂයක් (100,000) පමණ ඉන්දියාවේ සිටින බව ජාතික ප්‍රතිපත්ති, ආර්ථික කටයුතු, නැවත පදිංචි කිරීම හා පුනරුත්ථාපන, උතුරු පළාත් සංවර්ධන, වෘත්තීය පුහුණු, නිපුණතා සංවර්ධන හා යෞවන කටයුතු අමාත්‍යාංශය කියයි. මෙම පිරිස අතුරින් 65,000කට ආසන්න පිරිසක් සරණාගත කඳවුරුවල ජීවත්වන අතර සෙසු පුද්ගලයන් 35,000 ඉන් පිටත ජීවත්වන බවට සරණාගතයින් සදහා වන එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය (UNHCR) විසින් ගණනය කර ඇත.

"මෙසේ යුද්ධය පැවැති කාලවකවානුව තුළ සරණාගතයන් වශයෙන් දකුණු ඉන්දියාව බලා පිටත්ව ගිය දමිළ ජනතාව අතුරින් පවුල් 24කට අයත් සාමාජිකයන් 54 දෙනෙකු අද (26) සහ ලබන 25 වැනිදා මෙරටට පැමිණීමට නියමිත අතර එම පිරිසට පිරිමි 24 දෙනෙකු සහ ගැහැනු 30 දෙනෙකු අයත්ය. මෙරටට පැමිණීමෙන් පසු ඔවුන් යාපනය, මන්නාරම, වවුනියාව, මුලතිව් සහ ත්‍රිකුණාමලය යන දිස්ත්‍රික්කවලට පිටත් කර හැරිමට නියමිතය.

මෙම පිරිසට නොමිලයේ ගුවන් ටිකටිපත්, ඒකාබද්ධ කිරිම යටතේ ලබාදෙන දීමනාව වශයෙන් වැඩිහිටියන්ට රුපියල් 10,000ක්, වැඩිහිටියන් නොවූ අයට රුපියල් 5,000ක් ප්‍රවාහන දීමනාව වශයෙන් රුපියල් 2,500ක් ආහාර නොවන ද්‍රව්‍ය සදහා එක් සාමාජිකයකුට රුපියල් 5,000ක් එක් පවුලකට රුපියල් 10,000ක් බැගින් සරණාගතයින් සඳහා වූ එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස් කාර්යාලය මගින් ලබාදීමට නියමිතය. තවද නැවත පදිංචි කිරීමේ අමාත්‍යාංශය විසින් ගුවන් තොටුපළේදී රුපියල් 5,000ක් තාවකාලික පැල්පතක් ඉදිකර ගැනීම සඳහා රුපියල් 25,000ක්, උපකරණ සඳහා රුපියල් 3,000ක්, ඉඩම් එළිපෙහෙලි කිරීම සඳහා ද රුපියල් 5,000ක දීමනා ලබාදීමට නියමිතය.

-දිනුක මලින්ද හේරත්-

පළවෙනිදා කුඩු කිලෝ 750ක් අළු කරයි



'අත්අඩංගුවට ගන්නා ලද හෙරෝයින් ඇතුළු නීතිවිරෝධී මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 750කට වැඩි ප්‍රමාණයක් එළඹෙන අප්‍රේල් මස 01 වැනිදා විනාශ කිරීමට සූදානම් බව ඊයේ (25)  කළ විමසීමකදී මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි මහතා පැවසීය.

පුත්තලම ප්‍රදේශයේ ජනශුන්‍ය ප්‍රදේශයක පිහිටි සිමෙන්ති කර්මාන්ත ශාලාවක සෙල්සියස් අංශක 1000කට වැඩි උෂ්ණත්වයක් යටතේ මෙම මත්ද්‍රව්‍ය පුළුස්සා විනාශ කිරීමට නියමිතය. පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ මූලිකත්වයෙන් අන්තර්ජාතික ප්‍රමිතීන්ට අනුව මෙම විනාශ කිරීම සිදු කරන බව මත්ද්‍රව්‍ය නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ අධ්‍යක්ෂ වෛද්‍ය සමන්ත කිතලවආරච්චි මහතා ද වැඩිදුරටත් පැවසීය.

-රසිකා හේමමාලි-

හමුදා 'කැමා' ඇන්දොත් වික්කොත් මාස 6ක් හිරේ



ත්‍රිවිධ හමුදා නිලධාරින් හාවිත කරන නිල ඇඳුමට
 (කැමා ඇදුම්) සමාන ලෙස නිපදවන සහ විකුණන ඇඳුම් සාමාන්‍ය ජනතාව භාවිත කිරීම වැළැක්වීම සදහා පියවර ගන්නා බව යුද හමුදාව කියයි. හමුද පනතට අනුව හමුදාව හාවිත කරන නිල ඇඳුමට සමාන ඇඳුම් භාවිත කරන පුද්ගලයන්ට එරෙහිව දඩ හෝ මාස 6ක සිර දඩුවම් නියම කළ හැකි බව ඊයේ (25)  කළ විමසීමකදී යුද හමුදා මාධ්‍ය ප්‍රකාශක සුමිත් අතපත්තු මහතා පැවසීය. හමුදා නිල ඇඳුම් රෙගුලාසි යටතේද හමුදා නිල ඇඳුම්  හෝ නිල ඇඳුමට සමාන ඇඳුම් භාවිත කිරීමට නීතිමය බාධා පවතින බව හෙතෙම පැවසීය.

විශේෂයෙන් රට තුළ විවිධ අවස්ථාවලදී පාතාල කල්ලි සම්බන්ධයෙන් සිදු කළ වැටලීම්වලදී හමුදා ඇඳුමට සමාන ඇඳුම් විශාල වශයෙන් හමු වී ඇති නිසා මෙවැනි නීතිමය පියවර ගැනීමට ඉදිරියේදී කටයුතු කරන බව යුද හමුදා මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් පැවසීය. “හමුදා ඇඳුම් සිනමා නිර්මාණයකට යොදා ගන්නවා නම් ඒ සඳහා අනුගමනය කළ යුතු පියවර තිබෙනවා. මේ එක් අතකින් යුද හමුදාවේ අභිමානය සම්බන්ධ ගැටලුවක්. අනෙක් අතින් ජාතික ආරක්ෂාව සම්බන්ධ ගැටලුවක්. මේ සම්බන්ධයෙන් යුද හමුදාව මේ දිනවල අධ්‍යයනය කරමින් සිටිනවා.” යැයි පැවසීය.

-රසිකා හේමමාලි-

Monday, March 25, 2019

සතුන් ඇල්ලීමට ඇටවූ උගුලට හසු වී පුද්ගලයෙක් මරුට-තිදෙනෙක් අත්අඩංගුවට





සතුන් ඇල්ලීම සදහා අනවසරයෙන් විදුලිය ලබාගෙන ඇටවූ උගුලකට හසුව මියගිය පුද්ගලයෙකු හඳපාන්ගොඩ, කැකුන්දොල, ගෝනකුඹුර ඇළට දැමූ බවට පැවසෙන පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව ඉංගිරිය පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 42,48 හා 52 වසසේ පසුවන පුද්ගලයන් තිදෙනෙකි.

සැකකාර පුද්ගලයන්ගේ ප්‍රකාශ මත මළ සිරුර ගැට ගැසීමට උපයෝගී කරගත් ලණු හා එය රැගෙන යාමට උපකාර කරගත් පොල්ලක් මෙන්ම මියගිය පුද්ගයාට අයත් ජංගම දුරකථනයක්ද සොයාගත් බව පොලීසිය පවසයි.

මෙලස මියගොස් තිබුණේ හඳපාන්ගොඩ, බටුගම්පොළ ජන උධ්‍යාන ගම්මානයේ පදිංචිව සිටි අටුගෙදර සුමතිපාල (50) නමැති තිදරු පියෙකි.

පසුගිය ජනවාරි 19 දින රාත්‍රියේ මළ ගෙදරකට යන බව පවසමින් යතුරුපැදියෙන් නිවසින් පිටත් වු සිය සැමියා දින දෙකක් ගත වුවද නිවසට නොපැවිදි බවට මියගිය පුද්ගලයාගේ බිරීඳ ඉංගිරිය පොලීසියට කරන ලද පැමිණිල්ලක් අනුව පරීක්ෂණ පවත්වමින් සිටියදී එම පුද්ගලයාගේ මළ සිරුර ගෝකුඹුර ඇළේ පාවෙමින් තිබියදී ඊට පසුදින (22දා) හමුවූ බවත්, අනතුරුව ඒ පිළිබඳව මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකර මහේස්ත්‍රාත් නියෝග මත අධිකරණ වෛද්‍යවරයකු ලවා පැවැති මරණ පරීක්ෂණයේදී මරණයට විවෘත තීන්දුවක් ලබාදී තිබූ බවත් පොලීසිය පවසයි.

මෙම මරණය පිළිබඳව ඇති වූ සැකයක් මත ඉංගිරීය පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නලින් දර්ශන මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එස්.කේ.සංජීව මහතා මියගිය පුද්ගලයා පරිහරණය කරන ලද ජංගම දුරකථන දෙකෙහි අංකයන් අධිකරණයට ඉදිරිපත් කර ලබාගත් නියෝග මත අදාළ දුරකථන සාමාගම් දෙකෙහි විෂ්ලේෂණ වාර්තා බලා ගැනීමට කටයුතු කළ බව පොලිස් නිලධාරියකු පැවසීය.

 ඒ අනුව පරීක්ෂණ පවත්වා සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔවුන්ගෙන් සිදුකරන ලද ප්‍රශ්න කිරීමේදී මෙම සිද්ධිය සමිබන්ධයෙන් අනාවරණය කර ගැනීමට හැකියාව ලැබුණ බව පොලීසිය පවසයි.  පසුගිය 19 වැනි දින රාත්‍රියේ මෙම පුද්ගලයන් තිදෙනා ඔවුන්ගේ වගාව සතුන්ගෙන් ආරක්ෂා කර ගැනීම සදහා විදුලි රැහැනකින් අනවසරයෙන් ලබාගත් විදුලියෙන් මීටර් එකසිය පනහක පමණ දුරකට වන්නට කැලෑබද පෙදෙස හා කුඹුරු යාය ආවරණය වන පරිදි උගුලක් අටවා ඇති බව ඔවුන් ලබාදුන් ප්‍රකාශයක සදහන් වේ.

එදින රාත්‍රියේදී විදුලි පන්දම් එළියක් වීදුලි රැහන ඇදතිබූ කැලෑ පෙදෙසින් දැකීමත් සමග විමසිලිමත් වීමේදී යම් පුද්ගලයෙකු දුටු බවත්, තමන් එම පුද්ගලයාට ඇසෙන්නට කෑ ගැසූවිට එම පුද්ගලයා විදුලි වයරය තිබුන පැත්තට දිවගෙන ගිය අතර, ඒ සමගම ඔහු වැටුණු බවත්, සැකකරුවන්ගේ ප්‍රකාශවල සඳහන්ව තිබේ.


- බිමල් සමන් ජයසිංහ-
  - නිමාලී කහවල-

රිවස්ටන් යන මාර්ගය වහලා-සංචාරකයින් විකල්ප මාර්ග භාවිතා කරන්න


මාතලේ - ඉළුක්කුඹුර - ලග්ගල මාර්ගයේ රිවස්ටන් කඳු මුදුනේ සිට පිටවල පතන දක්වා කොටස අද 25දා සිට ලබන මස 05 වැනිදා දක්වා වසා තැබෙන බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි.

අදාළ මාර්ගයේ සංවර්ධන කටයුතු හේතුවෙන් මෙම පියවර ගෙන ඇත. මාර්ගය වසා තබන දිනයන්හිදී රිවස්ටන් හා පිටවල පතන නැරඹීමට පැමිණෙන යතුරුපැදි ඇතුළු සියලු රථවාහන වලට ඇතුළු විය නොහැකි බව එම අධිකාරිය නිවේදනය කරයි.

මාර්ග සංවර්ධන අධිකාරියේ මාතලේ විධායක ඉංජිනේරුවරයා විසින් නිකුත් කර ඇති නිවේදනයකට අනුව මීට විකල්පයක් වශයෙන් අදාළ දිනයන්හිදී ලග්ගල - නාඋල - මාතලේ මාර්ගය භාවිත කරන ලෙස රිවස්ටන් නැරඹීමට පැමිණෙන සංචාරකයන්ට දන්වා තිබේ.


 -ඉන්දික අරුණ කුමාර-

- රුවන් ධනංජය-

බිරිඳ අතින් කෝටිපති ව්‍යාපාරික සැමියා මරුට


සිය කෝටිපති ව්‍යාපාරික සැමියාට තියුණු ආයුධයකින් පහරදී ඝාතනය කළ කාන්තාවක් පසුගියදා අත්අඩංගුවට ගත් බව කොට්ටාව පොලීසිය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ 36 හැවිරිදි කාන්තාවකි. මෙලෙස ඝාතනයට ලක්වී ඇත්තේ කොට්ටාව විද්‍යාල හන්දියේ ලියනගොඩ පදිංචිව සිටි රෙදිපිළි ව්‍යාපාරිකයෙකු වූ ලලිත් ෆොන්සේකා නමැති 42 හැවිරිදි තිදරු පියෙකි.

මෙම අඹුසැමියන් දෙදෙනා අතර බහින් බස් වීමක් සිදුවී ඇති අතර, නිවසේ පහත මහලේ එම බහින් බස් වීම සිදුවන අවස්ථාවේදී නිවසේ කිසිවෙකු සිට නොමැති බවට සිදුකළ මූලික පරීක්ෂණවලදී හෙළි වූ බව පොලීසිය පවසයි.

සැමියා බැණ වදිමින් පහර දෙන්නට වූයෙන් තමා මුළුතැන්ගෙට පැමිණි අවස්ථාවකදී ඔහුට මෙම ප්‍රහාරය එල්ල කළ බව සැකකාරීය පොලීසියට පවසා තිබූ බව පොලිස් නිලධාරියෙකු  පැවසීය.

 සිද්ධියට සම්බන්ධ ලේ තැවරුණු තියුණු ආයුදයද සොයාගත් බව පොලීසිය පවසයි.මෙම අඹු සැමියන් දෙදෙනා අතර, වසර දෙකක පමණ සිට ආරවුල් පැවතී ඇති බවත්, ඒ සම්බන්ධයෙන් පැමිණිලි කිහිපයක් කොට්ටාව පොලීසිය වෙත ලැබී තිබුණු බවත්, පොලිස් නිලධාරීයකු පැවසීය. දෙනාගෙන්ම ලද එම පැමිණිලි සමහරක් විභාග කර සමාදාන කළ බවත්, ඇතැම් පැමිණිලි සමථ මණ්ඩල වෙත යොමුකළ බවත් එම පොලිස් නිලධාරීයා වැඩිදුරටත් පැවසීය.‍ෙ

 - බිමල් ශ්‍යාමන් ජයසිංහ -

 - ශාන්ත ප්‍රදීප් කුලරත්න -

බාලදක්ෂ පුහුණුවට කඹයක ගැටදාන්න ගිය සිසුවා ගැටය බෙල්ලේ හිරවී මිය යයි



බාල දක්ෂ කඳවුරකට අවශ්‍ය ලණු මඟින් සිදුකරනු ලබන විවිධ වර්ගයේ ගැට දැමිම නිවෙසේ පුහුණු වෙමින් සිටි 14 හැවිරිදි ශිෂ්‍යයකු එම ගැටසහිත තොණ්ඩුවක් ගෙලට දමා පුහුණුවිමට යෑමේදි ගෙල සිර වී මියගොස් ඇතැයි ගම්පොළ - කුරුඳුවත්ත පොලිසිය පැවැසීය. මෙසේ මියගොස් ඇත්තේ කරගල-මීතලාව පදිංචි කරුණාපේඩිගෙදර නිමෝන් ඉෂාන් චන්ද්‍රරත්න නමැති ශිෂ්‍යයායි. මොහු ගිරිඋල්ල විද්‍යාලයේ 10 වසර ඉගෙනුම ලබන සිසුවෙකි.

පාසලේ සවස 4 වනතුරු බාලදක්ෂ පුහුණුවේ නිරතව සිට නිවෙසට පැමිණි පසුව නිවෙසේ තිබූ ලණුවක් රැගෙන කාමරයකට ගොස් එම ලණුවෙන් නැවත ගැට ගැසීම් පුහුණු වී තිබේ. පසුව එම පාඩමට අයත් රුවල් ගැටේ යොදා ලණුව බෙල්ලට දමාගැනීමෙන් පසු කාමරයේ වහලේ ලණුව දමා පහළට බැසීමට උත්සාහ ගැනීමේදී ගෙල සිර වී මෙම සිසුවා මියගොස් තිබේ. පසුගිය සිකුරාදා (22දා) සවස 5.30ට පමණ මෙම සිද්ධිය සිදුවී ඇති අතර කුරුඳුවත්ත පොලිසිය පැමිණ සිසුවාගේ සිරුර ගම්පොළ රෝහලට රැගෙන යෑමට කටයුතු කර තිබේ.

සෙනසුරාදා (23දා) දින එම සිසුවාගේ මරණ පරීක්ෂණය එහිදී සිදුකිරීමට සූදානම් වුවත් එහි අධිකරණ වෛද්‍යවරයකු නොමැතිකමින් එම සිරුර නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලට නොයෑමට සිදුව තිබේ. එහිදී ගඟඉහළකෝරලේ හදිසි මරණ පරික්ෂක එස්.බි.සී. ආනන්ද තිලක මහතා විසින් මෙහි මරණ පරීක්ෂණ සිදුකළ අතර කුරුඳුවත්ත පොලිසියේ පොලිස් සැරයන් චන්ද්‍රසිරි (20772) මහතාගේ සාක්කි මෙහෙයවීම මත සිසුවාගේ මව වන බුළුගහකොටුවේ ගෙදර මාධනී සමන්තා කුමාරි (35) මෙසේ පැවැසුවාය.

“මට දරුවෝ තුන් දෙනෙක් ඉන්නවා. මියගිය දරුවා තමයි වැඩිමහල් කෙනා. එයා ඉස්කෝල්ලේ ගිහින් හවස 4ට විතර ගෙදර ආවා. ඇඳුම් ගලවලා ඇඟපත හෝදාගෙන කෑම කාලා ගෙදර තිබුණු ලණුවත් අරන් එයා කාමරයට ගියා. මම ඇහුවා මොනවද කරන්න ලෑස්ති කියලා. අපිට බාලදක්ෂඝ පුහුණුවක් තියෙනවා ඒක පුරුදු වෙන්න ලෑස්තියි කීවා. මම ඒ කාමරයට අල්ලපු කුස්සියේ රෑට කෑම හදන්න ලෑස්ති වුණා. ගෙදර වහලේ සිවිලිමක් නෑ. එයා කාමරයේ උඩට නැගලා බාල්කයට ලණුව දානවා මම දැක්කා. මම සැර වෙනකොට කීවා අම්මා කෑගහන් නැතුව ඉන්න කෝ මට මේ පුහුණුව කරගන්න බැරි වෙනවා කීවා.

ටික වේලාවක් යනකොට සද්දයක් නැති වුණා. මම ගිහින් බලනකොට එයා ලණුවෙන් එල්ලිලා හිටියා. මම එළියට ගිහින් කෑගැහුවා. එතකොට දරුවාගේ බාප්පයි ගමේ අයයි ඇවිත් බලලා කීවා වැඩක් නෑ පොලිසියට කියමු කියලා.' පශ්චාත් මරණ පරික්ෂණය පැවැත්වූ නාවලපිටිය අධිකරණ වෛද්‍ය නිලධාරි ඒ.බී.එම්. අයිසාල් මහතා ගෙල සිරවීමෙන් ශ්වාසනාලය අවහිර වීම නිසා මෙම මරණය සිදු වී ඇති බව ප්‍රකාශ කොට තිබිණි.
මෙහිදී අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා පැවැසුවේ සිසුන් මෙවැනි අනතුරුදායක ක්‍රියාවලට යොමු කිරිමේදි ගුරුවරු හා මවුපියන් දැඩි වගකීමෙන් කටයුතු කළ යුතු බවයි. පුහුණුකරුවකු ඉදිරියේ පමණක් මෙවැනි අනතුරුදායක ක්‍රීඩා සිදුකරන්නේ නම් ආධුනිකයෝ  අවදානමකට පත් නොවන බව ඔහු සඳහන් කළේය.

-මාධව බණඩාර-

නව තීරුබද්දෙන් හයිබ්‍රිඩ් රථයක් ලක්ෂ 4කින් නඟී


මෙරට ජනප්‍රියම හයිබ්‍රිඩ් මෝටර් රථය වන සුසුකි වැගන් ආර්. රථය සඳහා ශ්‍රී ලංකා රේගුව පනවා ඇති නව පෙට්රල් බද්දක් නිසා එම රථයක මිල රුපියල් ලක්ෂ හතරකින් පමණ ඉහළ ගොස් තිබ මෙතෙක් කලක් හයිබ්‍රිඩ් (දෙමුහුන්) මෝටර් රථයක් ලෙස වැගන් ආර්. රථය සැලකීම නිසා සාමාන්‍ය පෙට්රල් රථයකට අය කළ බදුවලින් එම රථය නිදහස් කළද ඉකුත් සතියේ සිට වැගන් ආර්. මොටර් රථය සාමාන්‍ය පෙට්රල් මෝටර් රථයක් ලෙස සලකා බදු අය කර ගැනීමකට රේගුව පියවර ගෙන ඇත.

ජර්මනියේ නිෂ්පාදනය කරන සී. 200 මෝටර් රථය හා සුසුකි වැගන් ආර්. රථයේ තාක්ෂණය එක සමාන බව කියමින් ශ්‍රී ලංකා රේගුව වැගන් ආර්. රථ ආනයනයේදි මෙම පෙට්රල් බද්ද අය කිරීමට පියවර ගෙන තිබේ. මේ සම්බන්ධව මෝටර් රථ ආනයනකරුවන්ගේ සංගමයේ ලේකම් කීර්ති ගුණවර්ධන මහතාගෙන් විමසු විට ඒ මහතා කියා සිටියේ ජපානයේ සුසුකි සමාගම් 'හයිබ්‍රිඩ්' රථයක් ලෙස වැගන් ආර්. රථ හඳුන්වාදී තිබුණද ශ්‍රී ලංකා රේගුව එය පිළිනොගැනීමට පටන්ගෙන ඇති බවයි. මේ පිළිබඳ සාකච්ඡා කිරීම සඳහා ශ්‍රී ලංකා රේගුවෙන් අවස්ථාවක් ලබාදෙන ලෙස තම සංගමය ඉල්ලා යවා ඇතැයිද ඒ මහතා කීය.

වත්මන් රජය පනවා තිබෙන බදු බර හා අනෙකුත් කාරණා නිසා වාහන ව්‍යපාරය බංකොලොත් ව්‍යාපාරයක් වී ඇතැයිද ඒ මහතා කීය. ඒ නිසා බොහෝ අය වාහන ව්‍යාපාරයට මුදල් ආයෝජනය නොකර වෙනත් ව්‍යාපාර වෙත මුදල් ආයෝජනය කිරීමේ ප්‍රවණතාවක් ඇති වී තිබෙන බවද කීර්ති ගුණවර්ධන මහතා කීය.

-ශිරාන් රණසිංහ-

තාත්තා කසිප්පු බොන්න දින පහේ බිලිඳාව විකුණලා



මත්වතුර බීම සඳහා මුදල් නොමැතිවීම නිසා දින පහක් (5) වයසැති බිළිදා මවගෙන් රැගෙන ගොස් අසල්වැසි කාන්තාවකට රුපියල් දහසක (1000) මුදලකට අලෙවි කළ සිවු දරු පියකු ගැන තොරතුරක් පසුගියදා දික්වැල්ල පොලිසියෙන් වාර්තා විය. ලැබුණු තොරතුරු අනුව දික්වැල්ල පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් වහාම ක්‍රියාත්මක වී සැකකාර පියා අත්අඩංගුවට ගෙන පසුගියදා (22දා) මාතර අතිරේක මහෙස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු චම්පික රාජපක්ෂ මහතා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ සැකකරු රුපියල් පන්දහසක් (5,000) මුදල් ඇපයක් තබන ලෙසටත් රුපියල් ලක්ෂ දෙකක ශරීර ඇපයක් තබන ලෙසටත් නියෝග කෙරිණි.

ඇප තැබීමෙන් පසු ලබන මැයි 30 දින අධිකරණයේ පෙනී සිටින ලෙසද සැකකරුට නියෝග කළේය. මෙසේ ඇප තැබීමට නියෝග කළේ දික්වැල්ල ප්‍රදේශයේ පදිංචි වික්‍රමසිංහ කන්දගේ දමිත් ප්‍රියන්ත නමැති දරුවන් හතර දෙනකුගේ (4) පියකුටය. පැමිණිල්ල වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි දික්වැල්ල පොලිසියේ ප්‍රධාන පොලිස් පරික්ෂක දුමින්ද කුලසේකර මහතා කරුණු වාර්තා කරමින් බීමත්කමට ඇබ්බැහි වූ දරුවන් හතර දෙනකුගේ පියකු මත්පැන් පානය කිරීම සඳහා මුදල් නොමැතිව තමන්ට දාව බිරියට ලැබුණු දින 5ක් වයසැති බිළිදා බිරියගෙන් රැගෙන ගොස් අසල්වැසි නිවෙසක කාන්තාවකට රුපියල් දහසක (1000) මුදලකට විකුණා ඇති බවට පසුගිය 21 දින පොලිසියට තොරතුරක් ලැබුණා.

පොලිසියට ලැබුණු තොරතුරු අනුව පරීක්ෂණයක් පවත්වා මුදලට බිලිඳා ලබාගත් අසල්වැසි කාන්තාවත් බිලිඳා අලෙවි කළ සිවුදරු පියාත් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට කටයුතු කළ බවට පැමිණිල්ල වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කළාය.

-අතාවුද පතිරණ-

අභියාචනාධිකරණ සභාපතිධුරය යසන්ත කෝදාගොඩට



අභියාචනාධිකර සභාපති ධුරයට අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතාගේ නම ව්‍යවස්ථාදායක සභාව මගින් පෙරේදා (23) ඒකමතිකව තීරණය කර ඇති බව කථානායක මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය පැවසීය.  අතිරේක සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ යසන්ත කෝදාගොඩ මහතා අභියාචනාධිකරණ සහාපතිධුරය සඳහා යෝජනා කළේ ජනාධිපති මෛත්‍රීපාල සිරින්සේන මහතාය.

-රසිකා හේමමාලි-

විල්පත්තුව මුවාවෙන් ජාතිවාදය අවුසන්න එපා




විල්පත්තු රක්ෂිතය හා අවට රජයේ සංවර්ධන ක්‍රියාවලිය පිළිබදව දකුණේ ඇතැම් පිරිස් විසින් ගෙන යන වැරදි සන්නිවේදනය තුළින් යළි ජාතිවාදය ඇවිස්සීමේ අවධානමක් ඇති බැවින් එවැනි උත්සහයන් වහාම නවත්වන ලෙස උතුරේ භික්ෂූන් වහන්සේලා ඉල්ලා සිටිති. වවුනියාව ශ්‍රී බෝධිදක්ෂිණාරාමයේදී උතුරු නැගෙනහිර දෙපළාතේ ප්‍රධාන සංඝනායක පූජ්‍ය සියඹලාගස්වැව විමලසාර හිමියන්ගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව ප්‍රකාශ කර සිටි අතර එහිදී අදහස් දැක්වූ පූජ්‍ය සියඹලාගස්වැව විමලසාර හිමියන් කියා සිටියේ පටු දේශපාලන අරමුණු වෙනුවෙන් දකුණේ ඇතැම් පිරිස් විසින් විල්පත්තු වනය පිළිබඳ අතීතය නොසොයා පදනම් විරහිත ප්‍රකාශ කරන බවයි.

"මීට වසර 30 කට පෙර යුද්ධය නිසා ඒ ප්‍රදේශවල ජනතාව ඉවත් වුණා. දැන් යුද්දෙන් පසුව ඒ අය නැවත ආවම කැලෑ එළි පෙහෙලි කරන්න ඕන. අනිත්  කාරණාව මේ ජනතාව මේ වෙනකොට ගිය පිරිසට වඩා වැඩි වෙලා ඉන්නේ. රාජ්‍ය අනුග්‍රහය යටතේ පදිංචි වූ ජනතාවට ආර්ථික වශයෙන් සවියක් වීමට තමයි මේ ප්‍රදේශ සංවර්ධනය කරන්න පියවර අරන් තියෙන්නේ." උන්වහන්සේ පැවසූහ.

-ශේෂලා කංකානම්ගේ-

Friday, March 22, 2019

පා පැදියක ගැට ගැසූ තුවක්කුව පත්තු පත්තු වී 11 හැවිරිදි සිසුවා රෝහලේ.










 පන්නල ,ඊරියගොල්ල ප්‍රදේශයේ පිහිටි නිවසක් ඉදිරිපිට දී පාපැදියක ගැටගසා තිබූ මෙරට නිෂ්පාදිත බඳින තුවක්කුවක් හදිසියේ ක්‍රියාත්මක වීමෙන් 11 හැවිරිදි පාසල් සිසුවකු තුවාල ලබා කුලියාපිටිය මූලික රෝහලට ඇතුළත්කර ඇති බව පන්නල පොලීසිය කියයි.

මෙලෙස තුවාල ලබා ඇත්තේ හයවන වසරේ ඉගෙනුම ලබන සිසුවකු වන අතර ඔහු එම තුවක්කුව බැඳ තිබූ පාපැදිය පැදීමට යාමත් සමග එය පෙරළීයාමෙන් තුවක්කුව ක්‍රියාත්මකවී මෙම අනතුර සිදුව ඇති බව මූලික පරික්ෂණවල දී අනාවරණය කරගැනීමට හැකිවූ බව පොලීසිය පවසයි.  සිද්ධිය සම්බන්ධයෙන් ඊරියගොල්ල ප්‍රදේශයේ පදිංචි 68 හැවිරිදි පුද්ගලයෙක් ඊයේ (21) පන්නල පොලීසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

තුවක්කුව රැගෙන පාපැදියෙන් ගමන්ගත් අත්අඩංගුවට ගත් සැකකරු තුවාල ලැබූ සිසුවාගේ පියාගේ මිතුරකු වන බවත් ඔහු පාපැදිය මිතුරාගේ නිවසෙහි ඉදිරිපිට නවතා තබා සිසුවාගේ පියාත් සමග යතුරුපැදියේ නැගී එම නිවසෙන් බැහැරව ගිය අවස්ථාවේ දී මෙසේ අනතුර සිදුව ඇති බවත් සඳහන් වේ.

අත්අඩංගුවට ගෙන ඇති  සැකකරු මීට පෙර ද බලපත්‍රයක් නොමැති ගිනි අවියකින් වන සතුන් දඩයම් කිරීමට ගොස් හසුවී අධිකරණයෙන් චෝදනා ලැබූ අයෙකු බව ද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් සැකකරු සමග තුවක්කුව ඊයේ (21) කුලියාපිටිය මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

-හේමලතා ඩී හේවගේ-

තවම නඩුවක්වත් දාලා නැහැ-විරුද්ධ පක්‍ෂය අපට ගහන්න අර්ජුන්ට මහේන්ද්‍රන්ව පාවිච්චි කරනවා.-ඇමති සුජීව සේනසිංහ





මහ බැංකුවේ හිටපු අධිපති අර්ජුන් මහේන්ද්‍රන්ට විරුද්ධව මේ දක්වා නඩුවක් ගොනුකර ගැනීමට නොහැකිව තිබෙන බව විද්‍යා, තාක්ෂණ හා පර්යේෂණ කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා ඊයේ (21දා)පැවසීය.

 මහේන්ද්‍රන්ට විරුද්ධව නඩු පැවරීමට තරම් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට කරුණු නොමැති බවද හෙතෙම පවසා සිටියේය.

හිටපු අධිපතිවරයා වැරැද්දක් කළාද නැද්ද යන්න සම්බන්ධව තීරණය කළ යුත්තේ අධිකරණය විසින් බවද ඇමතිවරයා සඳහන් කළේය.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට ගෙන්වා ගැනීම සඳහා මෙරට රජය සිංගප්පූරුවෙන් ඉල්ලීමක් කළේද, නැද්ද යන්න සම්බන්ධව තමන් නොදන්නා බවද ඒ මහතා ප්‍රකාශ කළේය. සිරිකොත එක්සත් ජාතික පක්‍ෂ මූලස්ථානයේ පැවැති මාධ්‍ය හමුවකදී වැඩිදුරටත් අදහස් දැක්වූ සුජීව සේනසිංහ මහතා,

 "තවම නඩුවක්වත් දාලා නැහැ. ඕක තමයි ඇත්ත කතාව, විරුද්ධ පක්‍ෂය අපට දේශපාලන වශයෙන් ගහන්න අර්ජුන්ට  මහේන්ද්‍රන් පාවිච්චි කරනවා. අපිටත් ගැහුවා. කෝප් කමිටුවේ  ඉදගෙන අපි කටයුතු කළ විදිය ගැනත් මඩ ගැහුවා. කොමිෂන් සභා වාර්තාවේ තිබනවා අපි යෙදූ පාද සටහන් හරි කියලා.

ඒක තමයි නීත්‍යනුකූලභාවය. සී.අයි.ඩී ඒකට තවම නඩුවක්වත් ගොනුකර ගන්න බැහැ. හැබැයි මිනිස්සු හොයනවා. මගේ දැනුමේ හැටියට සිංගප්පුරුව උදර්පණ නීතියට අයත් වෙනවාද කියා දන්නෑ. මීට වඩා ලංකාවේ තව නඩු 1,000ක් විතර තිබෙනවා. අර්ජුන් මහේන්ද්‍රන් ගැන රටම කතා කළාට තවම නඩුවක්වත් ෆයිල් කරලා නැහැ. අදාළ අංශයටවත් තවම  මේක ෆයිල් කර ගන්න බැහැ. මහ බැංකුවේ වංචාවක් වෙලාද නැද්ද කියලා තීන්දු කරන්න ඕන අධිකරණය. ඒක වෙනත් අයට තීරණය කරන බැහැ" යනුවෙන් පවසා සිටියේය.


-අමිත් මධුරංග-

බෝයිං සමාගම අභ්‍යවකාශ අත්හදාබැලීම් තාවකාලිකව නවතයි







ඇමෙරිකා එක්සත් ජනපදයේ බොයිං සමාගම ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත සිදු කිරීමට නියමිතව තිබූ අත්හදා බැලීමක් කල් දැමීමට තීරණය කර ඇතැයි වාර්තා වෙයි.

එම සමාගමේ බෝයිං 737 මැක්ස් 8 මාදිලියේ ගුවන්යානා සම්බන්ධයෙන් උද්ගතව ඇති. ගැටලුවෙන් පසුව ඔවුන් මෙම තීරණය ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි. නාසා ආයතනය හා එක්ව දියත් කිරීමට සැලසුම් කර තිබූ මානව අභ්‍යවකාශ - පියාසැරී වැඩසටහන යටතේ මෙලෙස මිනිසෙකු රහිතව ජාත්‍යත්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත අත්හදා බැලීමක් සිදු කිරීමේ සැලසුම වී තිබුණි. 

එහි පළමු අදියර ලබන අප්‍රේල් මාසයේදී සිදු කිරීමට නියමිතව තිබුණි. එහෙත් දැන් එය අගෝස්තුවට කල් ගොස් ඇත. ඒ අනුව මෙම අත්හදා බැලීම්වලින් අනතුරුව මිනිසුන් රහිතව සිදු කිරීමට නියමිතව තිබූ පියාසැරිය ලබන නොවැම්බර් මාසය දක්වා කල් දැමීමට ඔවුන් පියවර ගෙන ඇත.

 එක්සත් ජනපදයේ සිට ජාත්‍යන්තර අභ්‍යවකාශ මධ්‍යස්ථානය වෙත ගගනගාමීන් රැගෙන යාම සඳහා අවශ්‍ය පහසුකම් සලසන රොකට්ටුවක් සහ කැප්සුල දියත් කිරීමේ පද්ධතියක් සකස් කිරීම සඳහා නාසා ආයතනය මේ වනවිටත් බෝයිං සමාගමට සහ ස්පේස්එක්ස් සමාගම ඩොලර් බිලියන 6.8ක් ලබා දී තිබේ. 2011 වසර දක්වාම යොදා ගැනුණු අභ්‍යාවකාශ ෂටල ව්‍යාපෘතිය නවත්වා දැමීමෙන් අනතුරුව එක්සත් ජනපදය ඒ සදහා යොදා ගන්නේ රුසියාවේ සොයුස් රොට්ටුවයි.

අම්මයි පුතයි එකතුවෙලා පොලිස් නිලධාරීන්ට පහරදී බල්ලන් උසිගන්වා හපා කවලා



කසිප්පු වැටලීමකට ගිය අවස්ථාවේ පොලිස් පිරිසකට පහරදී බල්ලන් උසි ගන්වා හපා කෑමට සලස්වා රාජකාරියට බාධා  කළැයි කියන සිද්ධියක් සම්බන්ධයෙන් පල්ලෙවෙල කැන්දලන්ද ප්‍රදේශයේ  මවක හා පුතකු සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ. එම සිද්ධියේදී පිහි ඇනුමකට ලක්වූ උප පොලිස් පරීක්ෂා කවරයකු ඇතුළු පොලිස් නිලධාරින් සිවු දෙනකු වතුපිටිවල මූලික රෝහලට ඇතුළත් කරනු ලැබ ඇතැයි පල්ලෙවෙල පොලිසිය කියයි. පොලිස් නිලධාරීන් පිරිසක් ලත් තොරතුරක් අනුව පෙරේදා (20දා) කැන්දලද ප්‍රදේශයේ කසිප්පු වැටලීමකට ගිය අවස්ථාවේ නිවෙසක තිබී කසිප්පු බෝතල් 30ක්                                                                                            පොලිස් භාරයට ගෙන ඇත.

මෙම නිවෙසේ කසිප්පු වෙළෙඳාම් කරන බව කියන කාන්තාව අත්අඩංගුවට ගෙන පොලිසියට කැඳවාගෙන ඒමට සුදානම් වූ අවස්ථාවේ එම කාන්තාවගේ පුතා ඇතුළු පවුලේ පිරිසක් ඊට විරෝධය පළ කරමින් බැන වැදී ඇත. සැකකාර කාත්තාව කසිප්පු විකිණිම සමිබන්ධයෙන් පෙර අවස්ථාවන්හිදී වැරැදිකාරීය වීම නිසා අත්හිටුවූ සිර දඬුවම් නියමවූ අයකු වන නිසා ඇය පොලිසියට ගෙන යෑම සම්බන්ධයෙන් පවුලේ පිරිස විරෝධය පළ කර ඇති අතර පොලිස් නිලධාරීන් ඊට එකඟ නොවූ අවස්ථාවේ සැකකාරියගේ පුතා උප පොලිස් පරීක්ෂකවරයාගේ වම් අත පිහියකින් කපා තුවාල කර ඇතැයි පොලිසිය කියයි.

මේ අතර පවුලේ සාමාජිකයන් පොලිස් පිරිසට සවලකින් හා ගල්මුල්වලින්ද පහරදී තිබේ. මේ අවස්ථාවේ සැකකාරිය නිවෙස පිටුපසට ගොස් කුඩුවක සිටි බල්ලා මුදා හැර උසි ගන්වා ඇති බවද පොලිසිය සඳහන් කරයි. අනතුරුව බල්ලා පොලිසියේ දෙදෙනකු සපා කා ඇත. සැකකාරියගේ පුතා මෙල්ල කිරීමට ගිය පොලිස් සැරයන්වරයකුද මෙහිදී තුවාල ලබා තිබේ.  පොලිසිය මහත් පරිශ්‍රමයක් දරා සැකකාරිය හා ඇගේ පුතා අත්අඩංගුවට ගෙන ඇති අතර පහරදීමට යොදාගත් පිහි දෙකක්, සවලක් ඇතුළු දේපළද අත්අඩංගුවට ගෙන ඇත.

සිද්ධියේදී පිහි ඇනුමට ලක්වූ උප පොලිස් පරීක්ෂකවරයා හා බල්ලා සපා කෑමට ලක්වූ පොලිස් නිලධාරින් දෙදෙනා වතුපිටිවල මූලික රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් පසුවන අතර අනෙක් පොලිස් නිලධාරියා මූලික ප්‍රතිකාර ලබා පිටව ගොස් ඇතැයි පොලිසිය කියයි. අත්අඩංගුවන ගත් සැකකාරිය හා ඇගේ පුතා ඊයේ (21දා)අන්තනගල්ල  අධිකරණයට ඉදිරිපත් කිරීමට නියව තිබිණි.

-දිනුෂි කේ.එම්.ආරච්චි-


මහේන්ද්‍රන් පිටුවහල් කරන්න අපේ රජය ඉල්ලුවේ 2018දි ලු







මහ බැංකු බැඳුම්කර වංචාවේ වූදිතයකු වන හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට උදර්පණය කරන ලෙස ශ්‍රී ලංකා රජය ආරක්‍ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා හරහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ඉකුත් 2018 මැයි මස 18 වැනිදා නිල ඉල්ලීමක් කර ඇති බවත්, එම ඉල්ලීම සිංගප්පූරු නීතිපතිවරයාගේ අවධානයට දැනටමත් යොමු වී ඇති බවට එරට විදේශ කටයුතු අමාත්‍යනංශය ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යංශයේ ලේකම්වරයා ඇතුළු අදාළ අංශ වෙත දන්වා ඇති බවත්, ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනයක් නිකුත් කරමින් ප‍්‍රකාශ කරයි. 

සිංගප්පුරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ  ප්‍රකාශකයකු සිදුකළ බවට එරට මාධ්‍යවල පළකර තිබූ වාර්තාවක් උපුටා දක්වමින් ශ්‍රී ලංකාවේ මාධ්‍යවල පළකර ඇති වාරිතා සිංගප්පුරු රජයේ නිල ප්‍රකාශ ලෙස පිළිගත නොහැකි බව ද ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ එම නිවේදනයේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයේ මෙසේ ද සඳහන් වේ.

සිංගප්පූරුවේ විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු සිදුකළ බවට එරට මාධ්‍ය පළ කර තිබූ වාර්තාවක් උපුටා දක්වමින් ශ්‍රී ලංකාවේ මාධ්‍ය පළ කර ඇති වාර්තාව සම්පූර්ණයෙන් සත්‍යයෙන් තොර වාර්තාවකි.

සිංගප්පූරුවේ පිටුවහල් නීතියට අනුව යම් පුද්ගලයකු එරටින් පිටුවහල් කිරීම සඳහා ඉල්ලීම් කිරීමට පදනම් වන ලිපි ලේඛන කිසිවක් ශ්‍රී ලංකා රජයෙන් ලබාදී නොමැති බව එම පුවත්පත් වාර්තාවල සඳහන් කර තිබුණි.  එරට විදේශ කටයුතු අමාත්‍යාංශයේ ප්‍රකාශකයෙකු එවන් ප්‍රකාශයක් සිදුකරන ලද්දේ මෑතක දී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා  මහබැංකු බැඳුම්කර වංචාවට සම්බන්ධව සිංගප්පූරුවේ වෙසෙන බවට පැවසෙන අර්ජුන්  මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට උදර්පණය කරන  ලෙස සිංගප්පූරු රජයේ අවධානයට යොමු කරමින් එරට අග්‍රාමාත්‍ය ලී ෂියෑන් ලූන්ග් මහතාගෙන් කරන ලද ඉල්ලීම පිළිබඳ නිල ප්‍රකාශය පදනම් කොට ගෙනය. 

කෙසේ නමුත් මේ වන තෙක් ඒ පිළිබඳ කිසිදු නිල ප්‍රකාශයක් සිංගප්පූරු රජය මගින් ශ්‍රී ලංකා රජයේ අදාළ බලධාරීන් වෙත ලබා දී නොමැත.

අර්ජුන් මහේන්ද්‍රන් මහතා ශ්‍රී ලංකාවට උදර්ෂණය කරන ලෙස ශ්‍රී ලංකා රජය විසින් ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා හරහා රාජ්‍ය තාන්ත්‍රික මට්ටමින් නිල ඉල්ලිමක් 2018 මැයි මස 28 වන  දින සිදු කර තිබේ. එසේම එම ඉල්ලීම දැනටමත්  සිංගප්පූරු නීතිපතිවරයාගේ අවධානයට යොමුවී ඇති බවට එරට විදේශ කටයුතු අමාත්‍යාංශය විසින්  ශ්‍රී ලංකාවේ ආරක්ෂක අමාත්‍යාංශයේ ලේකම්වරයා ඇතුළු අදාළ අංශ වෙත දන්වා ඇත. 

සිංගප්පුරුවට අදාළ උදර්පණ නීතිය වන්නේ එරට ක්‍රියාත්මක වන උදර්පණ පනතයි. එකී පනතේ දෙවැනි පරිච්ඡේදයට අනුව 18 වන වරදට සමාන වරදක් අර්ජුන් මහේන්ද්‍රන්  සිදුකර ඇති බව කොටුව මහේස්ත්‍රාත්වරයාට අපරාධ පරික්ෂණ  දෙපාර්තමේන්තුව විසින් කරුණු වාර්තා කරන ලද  8266/2018 ඊ වාර්තාවේ සඳහන් කර ඇත. 

එකී වාර්තාව පදනම් කරගෙන 2018-04-19 වන  දින ජාත්‍යන්තර පොලිසිය විසින් රතු වරෙන්තුවක්  නිකුත් කර ඇති අතර, එකී රතු වරෙන්තුව ද ඉහත කී සිංගප්පූරු රජය වෙත ඉදිරිපත් කරන ලද උදර්පණ ඉල්ලීම සමග ඉදිරිපත් කර තිබේ. ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පසුගියදා සිංගප්පූරුවේ සිදුකරන ලද නිල සංචාරයේ දී ද  අර්ජුන් මහේන්ද්‍රන්ව ශ්‍රී ලංකාවට උදර්පණය කරන ලෙස සිංගප්පූරුවේ අගමැතිවරයාගෙන් ඉල්ලා තිබුණේ එකී පදනමෙනි.

 ඒ අනුව අර්ජුන් මහේන්ද්‍රන්ව උදර්පණය  කිරීමට අවශ්‍ය හරයාත්මක තොරතුරු ශ්‍රී ලංකා රජය මගින් මේ වන විට සිංගප්පූරු රජයට ලබා  දී ඇති බවත්, එම පදනමෙන් සිංගප්පූරු රජයේ බලධාරින් මගින් අර්ජුන් මහේන්ද්‍රන් මහතාට නොතීසි නිකුත් කිරීම සිදුකළ යුතුව ඇති බවත් කියා තිබුණි.

අර්ජුන් මහේන්ද්‍රන්ට අදාළ චෝදනා  සම්බන්ධයෙන් තවදුරටත් කරුණු පැහැදිළි කරන ලෙස සිංගප්පූරු නීතිපතිවරයා ශ්‍රී ලංකාවේ විදේශ කටයුතු අමාත්‍යාංශය හරහා ශ්‍රී ලංකාවේ  නීතිපතිවරයා වෙත දන්වා ඇති අතර මෑතක දී ලැබුණු එම ලිපියට අදාළ කරුණු සිංගප්පූරුව වෙත යැවීම සඳහා මෙරට නීතිපතිවරයා මේ වන  විට විධිමත් ලෙස කරුණු සකස් කරමින් පවති.

ඉහත සිද්ධිය සම්බන්ධයෙන් සිංගප්පූරු විදේශ අමාත්‍යාංශ ප්‍රකාශකයකු කරන ලදැයි කියන වාර්තාවක් පදනම් කර ගනිමින් එරට මාධ්‍ය පළකර තිබූ වාර්තා උපුටා දක්වමින් මෙරට මාධ්‍ය පළවී තිබූ ප්‍රකාශ කිසිසේත් සිංගප්පූරු රජයේ නිල  ප්‍රකාශ වශයෙන් පිළිගත නොහැකි බව අප රජයේ  අදහසයි.