1967 ඔක්තෝබර් 15 දිනට හිරු උදාවෙත්ම එදින උදෑසන සීගිරිය ස්මාරක බිමේ සේවය කළ ඕවර්සියර්වරයෙකුගෙන් පුරාවිද්‍යා ප්‍රධාන කාර්යාලයට ලද හදිසි දුරකථන ඇමතුමකි.
එය සමස්ත ශ්‍රී ලාංකිකයන්, දෙස් විදෙස් සංචාරකයන් මහත් කම්පාවට පත් කළ පුවතකි. එදා අගමැති ධුරය දැරූ ඩඞ්ලි සේනානායක මහතාද එයින් කම්පා විය. කාශ්‍යප රප්තුමාද කොතැනක හෝ සැඟවී සිට සිය ආලකමන්දාව දෙස බලා සිටියේ නම්, ඔහුද මෙපුවතින් කම්පාවට පත්වන පළමු පුද්ගලයා වනු ඇතැයි ජනතාව අනුමාන කළහ.
කෙසේ වුව අගමැතිවරයාගේ නියමයෙන් එවකට අධ්‍යාපන හා සංස්කෘතික ඇමති අයි.ඇම්.ආර්.ඒ ඊරියගොල්ල මහතාගේ මෙහෙයවීමෙන් පුරාවිද්‍යා අධ්යක්ෂ ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ වියතුන්ගේ අධීක්ෂණය යටතේ කණ්ඩායමක් වහා ක්‍රියාත්මක විය.
"සීගිරි ළඳුන්ට තීන්ත ප්‍රහාරයක්. සමහරු කියන්නේ තාර පැල්ලමක් කියලා.,” කපුටන් හතක් වමනය කළ පුවත මෙන් විවිධ කතා රට පුරා පැතිර ගියේය. එය කොළ පැහැති තීන්ත පැල්ලමක් යැයි අනාවරණය වීමත් සමග එවකට පැවති එජාප රජයට එරෙහි දේශපාලන කතාබහක් බවටද පුවත පත් විය. ඒ අතර උඩුකය නිරුවත් අගනත් ඉලක්ක කර එල්ලවූ තීන්ත පහර ලිංගිකත්වයෙන් පෙළෙන මානසික රෝගියෙකුගේ විකෘති ආශාවට පිළිසරණක් ලෙස යොදා ගත්තා දැයි තවත් කතාබහකි.
ලෝක පුදුමයක් ලෙස ජනතාව අතර ප්‍රචලිත සීගිරිය මෙතරම් අනාරක්ෂිත දැයි විද්වත්හු විමසූහ. ශ්‍රී ලාංකේය ජාතික උරුමයක අනන්‍යතාව මෙන්ම, සාහිත්‍ය සහ සිතුවම් කලාවේ මළගමක් ලෙස තවකෙකු මෙම අවස්ථාව විමසුමට ලක් කළහ.
ඒ අතර පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ බලධාරීන් ලියන තීන්ත ඉවත් කිරීමට භාවිත කරන ද්‍රව්‍යයන් විශාල තොගයක්ද සමග සීගිරියට ගියෝය. වියත්හු සියල්ල නිරීක්ෂණය කළහ. විනාශයට පත් සිතුවම් නැවත යථා තත්ත්වයට පත් කළයුතු බව ඔවුහු අවධාරණය කළහ. එහෙත් අතීතයේ ශිල්පීය දැනුම සහ තාක්ෂණය ඇසුරෙන් සැකසුණු තීන්ත ආලේප බදාම සමග මෙදා කාර්මික තාක්ෂණය විසින් නිර්මාණය කළ තාර හෝ තීන්ත කෙසේ ක්‍රියත්මක විය හැකිදැයි අතුරු පැනයකි. එයින් මෙම සිතුවම් රැසට සිදුවිය හැකි හානිය සහ පැවැත්ම පිළිබද සංවාදයකි.
පුරාවිද්‍යා කොමසාරිස් ආචාර්ය චාල්ස් ගොඩකුඹුරේ මහතා ඇමරිකන් තානාපති කාර්යාලයට ගියේය. ඔහු ඉන්දියන් තානාපති කාර්යාලයේ රසායන විද්‍යාඥ ආර්.බී. ලාල් මහතාද හමු විය. සිදුව ඇති විනාශය පැහැදිලි කළේය. දිගු සාකාච්ඡාවකින් පසු සිතුවම් යථා තත්ත්වයට පත්කිරීමට හැකි රසායන විද්‍යාඥයෙකුගේ සේවය ලබාගැනීමට තීරණය විය.
ඒ අනුව එම අභියෝගය භාරගත හැකි වඩා සුදුසු පුද්ගලයා ලෙස ඉතාලියේ රසායන විද්‍යාඥ ආචාර්ය ලුසියානෝ මරන්සි මහතාට ඇති හැකියාව අවධාරණය විය. සංස්කෘතික වස්තූන් හැදෑරීමේ සහ සංරක්ෂණය කිරීමේ අන්තර්ජාතික මධ්‍යස්ථානයේ අනුග්‍රහය ලබාගැනීමට (International Centre for the Study and Preservation of Culturel Property) අවස්ථාව උදාවිය.
ඒ අතර මෙම සාහසික ක්‍රියාව පිළිබඳ සෙවීමට රජය විසින් කමිටුවක් පත් කළේය. තවත් පුවතකින් කියවුණේ මෙදින එහි සේවය කරමින් සිටි මුරුගන් නමැති සේවකයෙකු අතුරුදන් වීම පිළිබඳ පුවතකි.
විනාශයක තරම -
ලලනාවියන් වෙත විසිකර ඇත්තේ දොර ජනෙල්වල ආලේප කරන තීන්ත විශේෂයක් බව ප්‍රකාශ විය. අගුළු දමා තිබූ දොරට උඩින් පැන යතුරකින් අවසාන පිවිසුම විවර කර, එතැනට පැමිණි පුද්ගලයෙකු මෙම තීන්ත ප්‍රහාර එල්ල කරන්නට ඇතැයි අනාවරණය විය.
සිතුවම් 19කින් 17ක්ම විනාශව තිබුණි. A කුටියේ සිතුවම් 5කි. B කුටියේ සිතුවම් 14කි. කුටියේ අංක 3 සිතුවමෙහි හිස විනාශ කර තිබුණි. B කුටියේ 4 සිතුවම් දෙකක හිස උඩු කොටස සූරා විනාශ කර තිබූ අතර, B කුටියේ 5 සිතුවමට උල් පිහියකින් ඇත හානි සිදුවී ඇත. එක් සිතුවමක හිස කොටස දැඩි හානියට පත්කර ඇතැයි එම සිදුවීම නිරීක්ෂණයට ගිය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ රාජා ද සිල්වා මහතා වාර්තා කළේය.
විද්වතෙකුගේ මැදිහත් වීම -
දින අටක් තුළ එනම් 1967 ඔක්තෝබර් 22 දින මරන්සි මහතා ලංකාවට පැමිණියේය. ඔහු සියල්ල සියුම්ව නිරීක්ෂණය කළේය. ඔහු මෙරට දේශීය චිත්‍ර කලාව පිළිබඳ තවදුරටත් අවබෝධයක් ලබාගැනීමට උත්සාහ කළේ, එකී ශිල්පීය සහ තාක්ෂණික දැනුම නොමැතිව මෙවැනි භාරධූර කාර්යයක යෙදීමෙන් සිදුවිය හැකි අනර්ථය සම්බන්ධයෙන් තිබූ වෘත්තීමයභාවය තුළ යැයි විද්වත්හු අදටත් අගය කරති. ඔහු නිහතමානීව මෙරට චිත්‍ර කලාවේ පුරෝගාමියෙකු වූ සෝයිලියස් මැන්දිස් මහතා සොයා මාරවිල ඔහුගේ නිවසට ගියේය. ඔහුගෙන් ඒ සම්බන්ධයෙන් උපදෙස් ලබාගත්තේය. මතුපිටින් ඇති තීන්ත ඇතුළතට විනිවිද යා නොදී ඒවා සියුම්ව ඉවත්කර ගැනීම කෙරෙහි ඔහු අවධාරණය කළේය.
දින 11ක් තිස්සේ වෙහස දරමින් කළ කාර්යය නිම කර 1967 නොවැම්බර් 4වන දින ඔහු නැවත ඉතාලියට පිටත් විය. ලොවට අහිමි වීමට ගිය ජාතික වස්තුවක් නැවත පුනර්ජීවය ලද්දේය. අනතුරුව එහි දෙවන පියවර සඳහා 1968 මාර්තු 4වන දින ලංකාවට පැමිණි අතර, එකී කටයුතු එම වසරේ අප්‍රියෙල් මාසයේ නිම කර එම මස 11වන දින මෙරටින් බැහැරව ගියේය.
එහිදී සිතුවම් මත ඇරලොයිඩ් රෙසිනයනක් තවරන ලද අතර, එයින් සිතුවම්වල ආරක්ෂාවත්, පැහැදිලි බවත් තීව්ර කිරීම ඉලක්කය වී යැයි පුරාවිද්‍යා වාර්තා දක්වයි. මාස ගණනාවක උත්සාහයෙන් පසු ලුසියානෝ මරන්සි මහතාගේ මැදිහත්වීමෙන් ජාතියට අහිමි වීමට ගිය අපේ උරුමයක් රැක ගැනීමට හැකි විය.
පුනර්ජීවය ලද ලලනාවියන් -
වර්ෂ 1968 මැයි 9වන දින සීගිරිය නැගෙනහිර ඉසව්ව දෙසින් පායන ඉර වෙනදාට වඩා සුන්දර මෙන්ම හිතද ගතද සනසන සිතුවම් පෙළක් ලෙස ඈතට දිස් විය. සංස්කෘතික ඇමති ඊරියගොල්ල මහතාගේ ප්‍රධානත්වයෙන් සීගිරි රාජ සභා මණ්ඩපයේ පැවති රාජකීය උත්සවයකින් පසු, නැවත සීගිරි ළඳුන්ගේ පහසින් නෙත සිත සනහා ගැනීමට දෙස් විදෙස් සංචාරකයන්ට අවස්ථාව ලැබුණි.
එහෙත් අදටත් එම මිලේච්ඡ ප්‍රහාරය එල්ල කළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බවක් හෝ පැනවූ දඬුවමක් ගැන අසන්නට නැතැයි සීගිරිය අවට ජනතාව පවසති. නමුත් එදා ආරක්ෂක අංශ විසින් සැකකරුවන් සොයා අවට ගම් තුළට රිංගා ජනතාවට කළ අඩත්තේට්ටම්, හිංසන ඔවුන්ගේ මතකයෙන් ගිලිහී නැත.
ඇත්තටම කවුරුන් කුමකට, කාගේ අවශ්‍යතාවට ඒ තීන්ත පැල්ලම් එකතු කළාද? ජනතාව අසන ප්‍රශ්න ඉදිරියේ සුකුමළ වූ ළඳුන්ද මුනිවත රකින සෙයකි.
සීගිරියේ සුන්දරත්වය -
සිගිරිය කාශ්‍යප රජුගේ ආරක්ෂක බළකොටුවකි. තවත් විවරණයකට අනුව ආලකමන්දාවකි. එය කුමක් වුවද හෙළයන්ගේ ජාතික අභිමානයකි.
සීගිරිය ජල තාක්ෂණය අතින් ඉහළ තැනක් ගත් ජල මල් නිර්මාණය කළ අපූර්ව ස්ථානයකි. ඉහළ සිට පහළට ගලා එන ජලය යම් තැනකදී බාධක යෙදීමෙන් ඉහළට ඔසවා, එම ජල මල් නිර්මාණය කර ඇතැයි පැවසේ. කාන්තාවන් ඉලක්ක කරමින් කුරුටු ගී ලියැවුණු කැටපත් පවුර තවත් අගනා කතාබහක් කෙරෙහි අදටත් සහෘදයන් කැඳවාගෙන යයි. හිස සහ උරහිස් මුහුණෙන් පිටතට නෙරන පරිදි උක්කුටිකයෙන් සිටින සිංහයෙකු නිරූපණය කෙරෙන පරිදි සිංහ සෝපානය සහිත දොරටුව නිසා එය සීගිරිය නම් වූ බවටද මතයකි. නයි පෙන ගුහාව විශාල ගල් කුට්ටියක් කඩා වැටීමෙන් නිර්මාණය වූ අපූර්වතම නිමාවකි. එය කාශ්‍යප යුගයට පෙර සංඝවාසයක් ලෙස භාවිත කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. එහි කරන ලද කැණීම් කටයුතුවලදී මානව සිරුරු කොටස් නවයක් හමුවී ඇතැයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
මරන්සිගේ ඛේදවාචකය -
ඒ සීගිරියේ වෙනත් සුවිශේෂී ස්ථාන කීපයක් ගැන කතාවකි. අනෙක් කතාව එයට වඩා වෙනස්ය. එසේනම් සීගිරියේ ලලනාවියන්ට නැවත ජීවය දුන් ආචාර්ය ලුසියානේ මරන්සි මහතා දැන් කොහිද?
ගෙවුණු 2011 වසරේදී පමණ ඉතාලියේ නපෝලි නගරයේ යම් මන්ද මානසිකත්වයෙන් ඇවිදින මහළු මිනිසෙකු ඇතැමෙකුගේ නෙත ගැටුණද කිසිවකු ඔහු ගණන් නොගත් සේ ඈත බලාගන්නට ඇත. පසුව පෙර කී පුද්ගලයා නපෝලි නගරයේ රෝහලකට ඇතුළත් කෙරිණි. එහිදී ඔහු මියගියේය. ඔහු නමින් ලුසියානෝ මරන්සි නම් විය.
මරන්සි මහත්මාණෙනි. ඔබ අපේ රට වෙනුවෙන් යුතුකම් ඉටුකළේය. ඔබ නොවන්නට අද මෙරටට ඩොලර් ලැබෙන මග පටුවන්නට ඉඩ තිබුණි. අපේ ජාතික උරුමයක් අපෙන් වසන් වන්නට ඉඩ තිබුණි. එහෙත් මේ සා විශාල කැපවීමක්, කාර්යභාරයක් ඉටු කළ ඔබ වෙනුවෙන්, සීගිරියේ අක්කර දහස් ගණනාවක් අතර ඔබේ සිහිවටනයක් වෙනුවෙන් හතරැස් අඩියක් වෙන් කිරීමට තරම් අප කෘතවේදී මිනිසුන් වීදැයි නොදනිමු.
රට විනාශ කළ දේශපාලකයන් වෙනුවෙන් මං මාවත්, වීදි නාමපුවරු ඉදිවන රටක මෙවැනි ජාතියට හිතෛෂියෙකු වූ මහත්මයෙකු වෙනුවෙන් සමරු ඵලකයක් හෝ ඉදිවුණාදැයි නොදනිමු. එසේ වී නම් එය අපේ මහත්මා ගතියකි. එසේ සිදුනොවී නම් අප ගැන අප තක්සේරු කළ යුත්තේ කෙසේදැයි යන පැනය අසාධාරණද නැත.
(කළු සුදු සේයා රූ අන්තර්ජාලය ඇසුරෙනි.)
• විමසුම සහ ඡායාරූප- ලාල් ජයසුන්දර