Showing posts with label Weather 3g. Show all posts
Showing posts with label Weather 3g. Show all posts

Wednesday, August 5, 2020

සුළං හේතුවෙන් නුවරඑළියේ හා බලන්ගොඩ නිවාස 04කට හානි


නුවරඑළිය ප්‍රදේශයට ඊයේ (04දා) පැවති දැඩි සුළං තත්වය හේතුවෙන් කිකිලියාමාන ප්‍රදේශයේ ෆයිනස් වගා රක්ෂිතයක් අසල පිහිටි නිවාස පේළියක් මතට ගසක් කඩා වැටීමෙන් නිවාස තුනක පදිංචි කුඩා දරුවන් දෙදෙනෙක් හා කාත්තාවක් තුවාල ලබා සිටිති.  මේ හේතුවෙන් නිවාස එම නිවාසවලට දැඩි අලාභ හානි සිදු වී ඇති අතර, ඒවායෙහි පදිංචි පවුල් තුනකට අයත් සමාජිකයන් 17 දෙනෙකු තාවකාලිකව ඔවුන්ගේ ඥාති නිවාසවල නතර කර ඇති බව නුවරඑළිය ආපදා කළමනාකරණ ඒකකය පවසයි. 


අදාළ ගස් කපා ඉවත් කරන ලෙසට බලධාරින් දැනුවත් කළ ද එයට  මෙතෙක් විසදුමක් ලබා  නොදීම නිසා මෙම තත්වයට තමන්ට මුහුණදීමට සිදු වූ බව එම නිවාසවල පදිංචිකරුවෝ පැවසූහ. මේ අතර බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම්  කොට්ඨාසයට අයත් මැද්දෙකන්ද වතු යායේ වෙක්නෝල් කොටසේ නිවසක් මතට ඊයේ (04දා) අලුයම විශාල නුග ගසක් සහ බෝ ගසක් කඩා වැටීමෙන් එහි පදිංචි අඹුසැමි යුවළක තුවාල ලබා තිබේ. මේ හේතුවෙන් එම නිවසට දැඩි අලාභ හානි සිදුව ඇත. සිද්ධියෙන් තුවාල ලැබූ අඹුසැමි යුවළට  ප්‍රතිකාර සදහා බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කර සිටිති. බලන්ගොඩ ප්‍රාදේශීය ලේකම් එච්.එම්. හේමන්ත  බණ්ඩාර මහතාගෙන් මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී හෙතෙම පැවැසුවේ නිවසට සිදුව ඇති අලාභය ඇස්තමේන්තු කර සහන සැලසීමට කටයුතු කරන බවයි.


-රංජිත් රාජපක්ෂ-

Wednesday, March 11, 2020

දැඩි පෑවිල්ලෙන් කඳුකරයේ තේ වගාවෙන් සීයට 60ක් වේළීලා



මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවල මේ දිනවල පවතින දැඩි වියළි කාලගුණය සහ අධික උෂ්ණත්වය හේතුවෙන් තේ වගාවෙන් සියයට 60 ක් පමණ වියළී ගොස් ඇති බව වතු අධිකාරිවරු කියති. 1991 වසරෙන් පසු තේ වගාවට මෙවැනි දැඩි බලපෑමක් එල්ල වුණේ මේ වසරේ බවද ඔවුහු වැඩිදුරටත් පවසති. වියළි කාලගුණයට වඩා කඳුකරයේ පවතින අධික උෂ්ණත්වය තේ වගාව විනාශ වීමට හේතුව වී ඇති බවත්, පවතින තත්ත්වය මත තේ නිෂ්පාදනය ද සියයට 40 කින් පහත වැටී ඇති බවත් ඔවුහු පෙන්වා දෙති. ජල පෝෂක ප්‍රදේශවලට සහ රක්ෂිතවලට ගිනි තැබීම්, ගස් කැපීම් සහ මධ්‍යයම කඳුකරයේ සිදු  කරන පරිසර විනාශයන් වියළි කාලගුණයට සහ  අධික උෂ්ණත්වයට හේතුව වී ඇති බවද වතු  අධිකාරිවරු කියති.

අධික උෂ්ණත්වය හේතුවෙන් තේ වගාවේ විශාල කොටසක් වියළී යාමෙන් වතු කම්කරුවන්ට දෛනිකව ලබාදෙන වැඩ දින ගණනද අඩු වීමෙන් වතු කම්කරුවන්ගේ ආදායම් තත්ත්වය පහත වැටී තාවකාලිකව තේ කර්මාන්ත රැකියාවලින් ඉවත් වී වෙනත් රැකියාවල නිරත වීමේ අවදානමක් ඇති බවද ඔවුහු පවසති. තේ වතු ආශ්‍රිතව රක්ෂිතවලට ගිනි තැබීමෙන් තේ වගාවේ විශාල කොටසක් පිළිස්සී යාම හේතුවෙන් පානීය ජලය ලබාදෙන ල මූලාශ්‍ර සිඳී යාමේ අවදානමකට ද ලක්ව තිබේ. පවතින දැඩි වියළි කාලගුණය සහ අධික උණත්වය හමුවේ උඩරට තේ කර්මාන්තය කඩා වැටීමේ දැඩි අවදානමක් පවතින බවත් ඒ තුළින් තමගේ රැකියාවලට දැඩි අවදානමක් පවතින බවත් වතු කම්කරුවෝ කියති.

පවතින දැඩි වියළි කාලගුණය සහ අධික උෂ්ණත්වය හමුවේ උඩරට තේ කර්මාන්තය කඩා වැටීමේ දැඩි අවදානමක් පවතින බවත් ඒ තුළින් තමන්ගේ රැකියාවලට දැඩි අවදානමක් පවතින බවත් වතු කම්කරුවෝ කියති. දිනක රුපියල් 750 ක වැටුපට අමු තේ දළු කිලෝ 15 ක් නෙළිය යුතු බවත්, තේ ගස් වියළී යාම නිසා එම තේ දළු ප්‍රමාණය මැනෙළීමට නොහැකි බවත් වතු කම්කරුවෝ සඳහන් කරති. පවත්නා තත්ත්වය මත තේ කර්මාන්තය යළිත් යථා තත්වයට පත්වන තෙක් තමන්ට සිහනාධාරයක් ලබාදෙන ලෙස ද වතු කම්කරුවෝ රජයෙන් ඉල්ලා සිටිති.

-රංජිත් රාජපක්ෂ-

Tuesday, March 10, 2020

අධික උණුසුම අප්‍රේල් මුල සිට තවත් නගීවි



දිවයිනේ ප්‍රදේශ ගණනාවක පවතින අධික උණුසුමට අප්‍රේල් මුල් සතියේ සිට තවත් වැඩිවනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අනාවැකිකරණ අංශයේ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ මෙරිල් මෙන්ඩිස් මහතා ඊයේ (9) පැවැසිය. ශ්‍රී ලංකාවට හිරු මුදුන්වීම අප්‍රේල් 5 වැනිඳා සිට 15 වැනිදා දක්වා සිදුවන බැවින් එම කාලයේදි උෂ්ණත්වය තවත් ඉහළ යනු ඇතැයි නියෝජ්‍ය අධ්‍යක්‍ෂවරයා සඳහන් කළේය.  මෙම උණුසුම මැයි මස මුල දක්වාම පවතිනු ඇතැයි ද හෙතෙම ප්‍රකාශ කළේය. මෙම අවසාන සතියේදී අන්තර් මෝසම සක්‍රීය වී දිවයින් බොහෝ ප්‍රදේශවලට සවස් කාලයේ වැසි ඇතිවන නමුත් එම කාලයේදීත් දහවල් කාලයේ දැඩි උණුසුමක් පවතිනු ඇතැයි මෙරිල් මෙන්ඩිස් මහතා කීවේය. මේ අතර අද වයඹ, බස්නාහිර, සබරගමුව සහ දකුණු පළාත්වලත්, මොනරාගල දිස්ත්‍රික්කයේත් අද (10) දෑඩි උණුසුමක් පවතිනු ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.

සබරගමුව පළාතේ ඇතැම් ස්ථානවල පස්වරු 2.00න් පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර දිවයිනේ සෙසු සියලු ප්‍රදේශවල අද (10) දිනයේදී වැසි රහිත කාලගුණ තත්වයක් පවතිනු ඇතැයි ද ඔහු පැවැසිය.
මේ අතර වැඩිවන උණුසුමට මුහුණ දීම සඳහා අනුගමනය කළ යුතු දේ සම්බන්ධයෙන් සෞඛ්‍ය හා දේශීය වේද්‍ය සේවා අමාත්‍යාංශය විටින් විට අවාදාත්මක නිවේදන නිකුත් කරමින් ජනතාව දැනුවත් කිරිම සිදුකරන බව එම අමාත්‍යාංශය පවසයි. විශේෂයෙන් ළදරුවන්, අවුරුදු 4ට අඩු ළමයින්, අවුරුදු 65ට වැඩි වයස්ගත පුද්ගලයින්, තරබාරු පුද්ගලයන්, අධික ලෙස කය වෙහෙසවන අය සහ රෝගී පුද්ගලයින් මෙම තත්වයෙන් ආරක්‍ෂ විය යුතු බව සෞඛ්‍ය අමාත්‍යාංශය නිකුත් කර ඇති නිවේදනයේ දැක්වේ .

අධික උණුසුම් කාලගුණයෙන් විය හැකි අයහපත් ශාරිරික බලපෑම් අවම කරගැනීමට ගත හැකි ප්‍රධානම පියවර වන්නේ ජලය වැඩි ප්‍රමාණයක් පානය කිරීම වන අතර කය වෙහෙසවන අවස්ථාවලදී පැයකට ජලය වීදුරු 2ත් 4ත් අතර ප්‍රමාණයක් ගැනීම සුදුසු බව ද එහී සඳහන්ය. හැකි සෑම විටම ගෘහස්ථව හෝ සෙවණ සහිත ස්ථානවල රැඳී සිටීම, වායුසමීකරණ හෝ විදුලි පංකා භාවිතය, සිසිල් ජලයෙන් ස්නානය කිරිම හෝ ඇග
සේදීම, ළා පැහැති, කපු රෙදිවලින් මැසූ සැහැල්ලු ඇඳුම් ඇඳීම, තොප්පියක් පැළඳීම හා කුඩයක් භාවිතය

ආදී පියවර අනුගමනය කළ යුතු බව ද එම නිවේදනයේ දැක්වේ. මෙවැනි කාලගුණ තත්ත්වයකදී උණුසුම් ආහාර හෝ දියර, විශේෂයෙන් උණු ත් ගැනීමෙත් වැළකී සිටිය යුතු බවත්, මනා වාතාශ්‍රයක් නොමැති ස්ථානවලට නොසිටිය යුතු අතර මධ්‍යසාර, අධික සීතල හෝ පැණි රස බිම පානය ඉතා අහිතකර බව ද සෞඛ්‍ය අමාත්‍යාංශය සඳහන් කරයි. හිරු රශ්මියට සම රතු වීම, කැසීම වැනි තත්වයන් ඇති විය හැකි අතර හිරු එළියෙන් සම ආරක්ෂා කරන ක්‍රීම් භාවිතය, සම සිසිල්වා තබා ගැනීම මගින් ඒවායින් වැළකිය හැකි අතර හිරු රශ්මිය නිසා දරුවාගේ පිළිස්සුම් තුවාල ඇතිවුවහොත් සුදුසුකම්ලත් වෛද්‍යවරයකුට පෙන්විය යුතු බව ද එහි දැක්වේ .

මස්පිඩු පෙරලීම් ඇතිවිය හැකි අතර එවැනි අවස්ථාවලදී ලවණ සහ සීනි සහිත දියර බීම සහ විවේකීව සිටීම කළ යුතු අතර පැයක් ඇතුළත යථා තත්තවයට පත්නොවේ නම්, වෛද්‍යවරයකු වෙත යා යුතු බව ද අමාතව්‍යංශය සඳහන් කරයි. මේ අතර ඊයේ (9) පෙරවරු 8.30න් අවසන් වූ පැය 24 තුළ දිවයිනේ වැඩිම උෂ්ණත්වය ලෙස සෙල්සියස් අංශක 35.8ක උෂ්ණත්වයක් මත්තල ප්‍රදේශයෙන් වාර්තා වී ඇති අතර මාතර බෙරලපනාතර ප්‍රදේශයෙන් මිලි මීටර් 28ක වර්ෂාපතනයක් වාර්තා වී තිබේ.

-ඩයනා උදයංගනී-