ඉන්දියන් ප්රිමියර් ලීග් (අයි.පී.එල්. ක්රිකට් තරඟාවලී ඉතිහාසයේ බිහි වූ දක්ෂතම ක්රිකට් ක්රීඩකයන් අතරට ශ්රී ලංකාවේ සුපිරි වේග පන්දු යවන ක්රීඩක ලසිත් මාලිංගද ඇතුළත් කොට තිබේ. ඒ එංගලන්ත බී.බී.සී. පුවත් සේවය මගින් "සිදුකළ සමීක්ෂණයකට අනුවය. සිය පාඨකයන් අතුරින් ඡන්ද විමසීමකින් මෙම සමීක්ෂණය සිදුකොට ඇත. මෙහිදී පාඨකයන් අතරින් සියයට 93ක් මාලිංග තෝරා ගැනීමට සිය ඡන්දය ප්රකාශ කොට තිබේ.
(ඕෂිත වරකපිටිය)
එය එම ලැයිස්තුවේ ක්රීඩකයෙකු ලැබූ සම ඉහළම ප්රතිශතයද වේ. මාලිංග සමගින්ද, අප්රිකා පිතිකරු ඒ.බී. ඩිවිලියර්ස්ද මෙම ප්රතිශතය හිමි කරගෙන ඇත. මාලිංගට මෙහි පිතිකරණ අනුපිළිවෙළෙහි (Batting order) හිමි වී ඇත්තේ 9 වැනි ස්ථානයයි.
අයි.පී.එල්. ඉතිහාසයේ වැඩිම කඩුලු ප්රමාණයක් හිමි කරගත් ක්රීඩකයා වන ලසිත්, තරග 122කට සහභාගි වී කඩුලු 170ක් බිඳ හෙළා ඇත. එහි සාමාන්ය 19.80කි. 'යෝකර් රජු" ලෙස අනවර්ථ නාමයෙන් හැඳින්වෙන හෙතෙම අයි.පී.එල්. ඉතිහාසය තුළදී පිතිකරුවන්ට යොමු කළ යෝකර් පන්දු සංඛ්යාව 525කි.
එය දෙවැනි ස්ථානයේ පසුවන ක්රීඩකයාට වඩා පන්දු 325ක වැඩිවීමක් වන අතර, මාලිංග2009 වර්ෂයේ පටන් මේ දක්වාම නියෝජනය කරනුයේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමයි. එම කණ්ඩායම අයි.පී.එල්.හි වැඩිම ශුරතා ප්රමාණයක් (4) දිනා ගැනීමටද සමත්ව තිබේ.
මෙම ලැයිස්තුවට පන්දුවාර 20 පිටියේ විශේෂඥයන් ලෙසින් හැඳින්වෙන බ.ඉ.කොදෙව් කණ්ඩායමේ ක්රීඩකයන් සිවුදෙනෙකු අන්තර්ගත වී ඇත. ඊට අමතරව වැඩිම සහභාගිත්වයක් දරන ඉන්දීය ක්රීඩකයන් සිවුදෙනෙකු, ඔස්ට්රේලියා හා දකුණු අප්රිකා ක්රීඩකයෙකු බැගින් මෙයට අන්තර්ගත වේ.
බී.බී.සී.ය මගින් තෝරාගත් මෙම ලැයිස්තුවේ ආරම්භක පිතිකරුවන් ලෙස බ.ඉ.කොදෙව් ක්රීඩක ක්රිස් ගේල් හා ඩේවිඩ් වෝනර් තෝරාගෙන තිබේ. අයි.පී.එල්. ඉතිහාසයේ බිහි වූ වඩාත්ම ප්රහාරාත්මක පිතිකරුවෙකු වන බ.ඉ. කොදෙව් ක්රීඩක ගේල් තෝරා ගැනීමට පාඨකයන් 80%ක් සිය ඡන්දය ප්රකාශ කොට තිබේ.
තරග 125කදී ලකුණු 4484ක් රැස් කරගෙන සිටින ගේල් පන්දුවාර විස්ස ඉහළම ඉනිමටද (175) හිමිකම් කියයි. එමෙන්ම ඔස්ටේලියා ක්රීඩක ඩේවිඩ් වෝනර්, ගේ සහායකයා ලෙසින් තෝරා ගැනීමට පාඨකයන් 67%ක් ඡන්දය ප්රකාශ කොට ඇති අතර, ඔහු තරග 126කදී ලකුණු 4706ක් ලබා සිටී.
මේ අතර ඉන්දියාව තුළ මේ වනවිට වඩාත් කැපී පෙනෙන පිතිකරුවා වූ විරාත් කෝලි අංක 3 පිතිකරු ස්ථානයට පත් කිර්මට බොහෝ ප්රේක්ෂකයන් ප්රමාණයක් කටයුතු කර තිබේ. මේ සඳහා 92%ක් සිය ඡන්දය ප්රකාශ කොට තිබේ. තරග 177කදී ලකුණු 5412ක් රැස් කරගෙන ඇති කෝලි පිතිකරුවෙකු තරග සමයකදී රැස්කළ වැඩිම ලකුණු ප්රමාණයේ වාර්තාවද හිමිකරගෙන ඇත්තේ 2016 තරග සමයේදී ලකුණු 973ක් රැස් කරමිනි.
දකුණු අප්රිකා ක්රීඩක ඒ.බී. ඩිවිලියර්ස් මෙහි අංක 4 ස්ථානයේ පිතිකරු බවට පත්කිරීමට ප්රේක්ෂකයන් 93%ක් කටයුතු කර තිබීම විශේෂත්වයකි. ඉතා වේගවත් පිතිහරඹයක යෙදීමට හැකි ක්රීඩකයෙකු වන ඩිවිලියර්ස් මේ දක්වා තරග 154කදී ලකුණු 4395ක් රැස් කරගෙන තිබේ.
මේ අතර ඉන්දියාවෙන් මෙතෙක් බිහි වූ සාර්ථකම නායකයෙකු ලෙස හැදින්වෙන එම්.එස්. දෝනිට මෙහි පිතිකරු අංශයේ 5 වැනි ස්ථානය හිමි වී ඇත. ඒ 82%කගේ කැමැත්ත මතය. තරග 190කට සහභාගි වී, ලකුණු 4432ක් රැස් කරගෙන ඇති දෝනි සැලකෙනුයේ ලොව මෙතෙක් බිහි වූ දක්ෂම තරග අවසන් කරන්නෙකු ලෙසිනි.
මේ අතර අයි.පී.එල්. පිටියේ මෙතෙක් බිහි වූ වේගවත්ම ප්රහාරකයෙකු ලෙස සැලකෙන කොදෙව් දේශයේ ඔන්ඩ්රෙ රසල්ට මෙහි අංක 6 පිතිකරු ස්ථානය හිමි වී තිබේ. තරග 64කදී ලකුණු 1538ක් රැස් කරගෙන සිටින රසල්ගේ පිති ප්රහාරය කෙතරම්ද කිවහොත් ඔහුගේ අයි.පී.එල්. ලකුණුවලින් සියයට 85%කටත් වඩා ලබාගෙන ඇත්තේ හයේ හෝ හතරේ පහරවලිනි. රසල් තෝරා ගැනීම සඳහා 54%ක් සිය ඡන්දය ප්රකාශ කොට තිබේ.
කොදෙව් කණ්ඩායමේ දක්ෂ තුන් ඉරියව් ක්රීඩකයෙකු වන ඩිවෙයින් බ්රාවෝ මෙම සටහනේ හත්වැනි පිතිකරු ලෙස ස්ථානය දිනාගෙන තිබේ. තරග 134 දී ලකුණු 1438ක් ලබාගෙන ඇති බ්රාවෝ කඩුලු 147ක් දවාගෙන තිබේ. පන්දුවාර විස්ස පිටියේ උපක්රමශීලී ක්රීඩකයෙකු ලෙසින් ප්රසිද්ධ බ්රාවෝ තෝරා ගැනීම සඳහා 52%ක් සිය ඡන්දය ප්රකාශ කොට තිබේ.
මීට අමතරව කලක් පන්දු යවන්නෙකු ලෙස විශිෂ්ට දක්ෂතා දැක්වූ කොදෙව් ක්රීඩක සුනිල් නාරීන් පසුව සිය පිතිකරණ අංශයද දියුණු කර ගැනීමට සමත් වීම මෙම සටහනට ඇතුළත් වීමට වඩාත්ම හේතු වී තිබේ. 52%ක් දෙනා නාරීන් කණ්ඩායමේ 8 වැනි පිතිකරු ලෙස තෝරාගෙන ඇති අතර, ඔහු තරග 110කදී ලකුණු 771ක් රැස් කරමින් කඩුලු 122ක් දවාගෙන තිබේ.
මෙම පිතිකරණ ලැයිස්තුවේ 9වැනි ස්ථානය හිමි කරගෙන සිටින මාලිංගට අගනා සහායක් ලබාදෙන මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමේම ජස්ප්රිට් බුම්රා මෙම ලැයිස්තුවේ දසවැනි ස්ථානය හිමිකරගෙන තිබේ. ඉන්දීය කණ්ඩායමේ ප්රධාන වේගපන්දු යවන්නා වන බුම්රා අයි.පී.එල්. පිටියේදී තරග 77කට සහභාගි වී බිඳහෙළා ඇති කඩුලු සංඛ්යාව 82කි.
64% දෙනෙකුගේ තේරීම වූ බුම්රා හැදින්වෙනුයේ අවසන් පන්දුවාරවලදී පන්දු යැවීමේ විශේෂඥයෙකු ලෙසිනි. මේ අතර මෙම ලැයිස්තුවේ එකොළොස් වැනි පිතිකරණ ස්ථානය හිමි වී ඇත්තේ බුවනේෂ්වර් කුමාර් හටය. 43 දෙන්නෙකුගේ තේරීම වූ බුවනේෂ්වර් පන්දුව දෝලනය උදෙසා විශිෂ්ට දස්කම් දක්වන ක්රීඩකයෙකු ලෙසින් හැඳින්වෙන අතර, ඔහු සන්රයිසස් හයිද්රාබාද් කණ්ඩායමේ වැඩිම කඩුලු ලාභියාද වේ. ඒ තරග 117කදී කඩුලු 133ක් බිඳ හෙළමිනි.
(ඕෂිත වරකපිටිය)
