Showing posts with label lo. Show all posts
Showing posts with label lo. Show all posts

Tuesday, September 2, 2025

පොල් ගෙඩියේ මරුවා දරුවා බිලි ගනී

 


නන්දන කැලේගම


ගසෙන් වැටුණු පොල් ගෙඩියක් ගන්නට   අනාරක්ෂිත වගා ළිඳකට බැසීමට තැත්කළ පළමු ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවෙක් ළිඳට වැටී දියේ ගිලී 31 වැනිදා ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙලෙස මරණයට පත්ව ඇත්තේ පොල්පිතිගම පොලිස් වසමේ පතිරැන්නේගම්, වෙල්පිටිය ලිපිනයේ පදිංචිව සිටි කඩවල විද්‍යාලයේ 1 ශ්‍රේණියේ ඉගෙනුම ලබන මිනුක සත්සර බාලසූරිය නමැති අවුරුදු හයක් වයසැති පවුලේ වැඩිමලා යැයි පොලිසිය සඳහන් කරයි.


සෞඛ්ය සේවාවේ සේවය කරන පියා නිවාඩු ලබා නිවෙසට පැමිණ සිටියදී ළිඳට වැටුණු පොල් ගෙඩිය දරුවා පියාට පෙන්නා ඇතත්, පියා එය පසුවට ගමු යැයි පවසා දරුවා එතැනින් ඉවත් කොට ඇතත්, දරුවා නැවත තනියම් ගොස් බාථා දෙක ගලවා ළිං කනේ බැසීමට තැත් කිරීමේදී පය ලිස්සා ඇද වැටීමෙන් දියේ ගිලී ඇති බවත්, කෙසේ  වෙතත් දරුවා නිවෙසේ නොමැති බව දැනී අවට සෙවීමේදී ඔහුගේ දිය මත පාවෙමින් තිබූ සිරුර දැක ගොඩට ගෙන පොල්පිතිගම මූලික රෝහලට ඇතුළත් කර තිබේ. ඔහු ඒ වන විටත් මියගොස් සිටි බැවින් මෘත දේහය වැඩිදුර පශ්චාත් මරණ පරික්ෂණය සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට යැවූ බව රෝහල් ආරංචිමාර්ග අනාවරණය කරයි. සිද්ධිය පිළිබඳව පොල්පිතිගම පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.


Monday, June 9, 2025

කන්ටේනර්වල තිබුණේ මොනවාද?

 


රෝහණ සමරවීර 


අර්චුනා මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය බරපතළ බවත් කන්ටේනර් තුන්සිය විසිතුනක් කිසිම පදනමක් තොරව රේගුවෙන් නිදහස් කිරීමට නියෝග දුන්නේ කවුදැයි කීමට නොහැකි නම් මෙතනින් එහාට ආණ්ඩුව කෙරෙහි ජනතා විශ්වාසයක් නැති බවත් ජනතා විශ්වාසයක් ආණ්ඩුවට නැතැයි සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී හේශා විතනගේ මහතා පැවැසීය. ඔහු මෙසේ පැවැසුවේ ඇඹිලිපිටියේදී පෙරේදා (7) පැවැති මාධ්‍ය හමුවකදීය. මන්ත්‍රීවරයා මෙසේද කීය. මේ රටේ ජනතාවගෙන් විශාල පිරිසක් ජාතික ජනබල වේගය බලයට ගේන්න කටයුතු කළා. ඒ සියලු දෙනාගේ විශ්වාසය පළුදු කරලා අවසානයි මේ ආණ්ඩුව,

මේ රටේ පරම්පරාවට වෘත්තිකයන්ට මේ රට හදන්න කියලා හිතක් පහළ කරගෙන ජාතික ජනබල වේගයට ඡන්දය දෙන්න හිතක් පහළ වුණු සියලු දෙනාටම කියනවා රටට ආදරේ මිනිස්සු විදිහට මේ පළවැනි කාරණේ මේ කන්ටේනර් එළියට දාන්න අවසරේ දුන්නේ තවුද කියල කියන්න.


දෙවැනි කාරණය යාපන දිස්ත්‍රික් අර්ජුනා මන්ත්‍රීවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා බරපතළ ප්‍රකාශයක් කරනවා. ඒ ප්‍රකාශය ආණ්ඩුවට බැහැර කරන්න පුළුවන්ද?. මේ රට ලේ විලක් කරලා ත්‍රිවිධ හමුදා සාමාජිකයන් හා සාමාත්‍ය ජනතාව දහස් ගාණක් මරා දමා ලෝකයම තහනම් කරපු එල්ටීටී ත්‍රස්තවාදී සංවිධානයක් නියෝජනය කරමින් අර්චුනා මන්ත්‍රි වරයා පාර්ලිමේන්තු වරප්‍රසාද වලටය මුවා වෙලා කතා කරන අවස්ථා තිබෙනවා.


ඒත් වඩා බරපතළ හෙළිදරව්වක් ඔහු කරනවා. ප්‍රභාකරන් මියයන අවස්ථාවේ ඉතුරු වෙලා තිබුණු ඔහු සතු අවිආයුධ තායිලන්තයේ තිබුණා. ඒ බඩු ටික තමයි ඩයස්පෝරාව හරහා ලංකාවට ගෙනාවේ. ඒ සඳහා ගෙවිය යුතු මුදල් ඩයස්පෝරාවෙන් ආණ්ඩුවට ලබාදුන් බවත් අච්චුනා හෙළි කරනවා.ඒ කතාව බොරුද ඇත්තද අදාළ නැහැ. උත්තරිතර පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් දෙසිය විසි පහෙන් එක් අයෙක් මේ හෙළිදරව්ව කරන්නේ. ඒකෙන් බරපතළ කාරණා ටිකක් මතු වෙනවා. ආණ්ඩුවට මේක බැහැර කරන්නත් බැහැ. ඇයි කන්ටේනර් තුන්සිය විසි තුන පරික්ෂාවකින් තොරව එළියට දැම්මේ.


මෙතැන සැකයක් නෙමෙයි තියෙන්නේ. බඩු ගෙනාවේ අපි කියනවා. ඒ සඳහා මුදල් දුන්නා කියනවා. මේක දේශපාලන කතාවක් නොවෙයි. මේ හේතුවෙන් රටේ දැඩි අනාරක්ෂිත තත්වයක් නිර්මාණය වෙලා තිබෙනවා. මේ අනාරක්ෂිතභාවය ඇතිවෙලා තියෙන්නේ කොතැන ඉදලද කියලා අර්ජුනා මන්ත්‍රීවරයා හෙළි කරලා තිබෙනවා.ඒ නිසා දැන් සෙල්ලම් කරන්න එපා. පුටු බංකු අරගෙන රටේ ආරක්ෂාව පිළිබඳව සම්මන්ත්‍රණ පවත්වන කාලයක් නෙවෙයි දැන් නිර්මාණය වෙලා තියෙන්නේ. වහාම මේ සම්බන්ධව සොයා බලන්න. මුහුණු පොතේ සැරිසරණ දේශපාලන හෙයියංචයිලාට රටේ ආරක්ෂාව ගැන වගේ වගක් නැති වුණාට රටේ අනිත් සියලු පොදු ජනතාව මේ සම්බන්ධයෙන් නැගිටිය යුතු කාලයක් ඇවිල්ලා තිබෙනවා.


මේ රටේ ආර්ථිකය හදන්න ඉස්සෙල්ලා රටේ ආරක්ෂාව තහවුරු කරන්න. කන්ටේනර් වල මොනවද තිබුණේ? කවුද ගෙනාවේ? නිදහස් කිරිමට කවුද නියෝග දුන්නේ?, අර්චුනා කියන විදිහට ඒවගේ තිබුණු අවිආයුධ වලින් එල්ටීටීය නැවැත බලගැන්වෙනව ද සොයා බලන්න.ඒ වගේම විනිවිදව රටේ ජනතාව ආරක්ෂා කරන්න ආවට ලුනු හා හාල් ජාවාරම් කාරයෝ දැන් රජ කරමින් සිටිනවා දැන් ආණ්ඩුව විවාද වලට ගේනවා කියන්නේ බල්ලෝ නාවත්ත ගෙනියනවා වගේ වැඩක්.


Thursday, March 27, 2025

උත්සව කාලසීමාවේ අතරමැදියන්ගෙන් බඩු ගන්නේ බලාගෙන

 


 අනුර බාලසූරිය


එළැඹෙන උත්සව කාලසීමාවේ අතරමැදියන් විසින් සිල්ලර වෙළෙඳසල් වෙත සපයනු ලබන භාණ්ඩ පිළිබඳව සැලකිලිමත් වන ලෙස පාරිභෝක කටයුතු පිළිබඳ අධිකාරිය සියලු සිල්ලර වෙළෙඳුන්ට දැනුම් දෙයි.එමෙන්ම සුපිරි වෙළෙඳසල් මඟින් සත්ත්ව ආහාර සඳහා නිකුත් කරනු ලබන ආහාර අතරමැදියන් විසින් නැවත පාරිභෝගිකයන්ට අලෙවි කිරීමට නොහැකිවන අයුරින් නිකුත් කිරීමට කටයුතු කළයුතු බවත් සුපිරි වෙළෙඳසල් වෙත දන්වා සිටී.


කල් ඉකුත් වීම මත සුපිරි වෙළෙඳසල්වලින් ඉවත් කරනු ලබන ආහාර වැල්ලම්පිටිය, සේදවත්ත ප්‍රදේශයේ සත්ත්ව ආහාර සැපයුම්කරුවකු විසින් මිලදී ගෙන නැවත මනුෂ්‍ය පරිභෝජනයට අලෙවි කිරීම සම්බන්ධව පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වෙත ලැබුණු පැමිණිල්ලක් සම්බන්ධව පසුගිය 14 වැනි දින අධිකාරියේ නිලධාර්න් එම සත්ත්ව අහාර සැපයුම්කරුගේ ගබඩාව සහ සිද්ධියට අදාළ වෙනත් සිල්ලර වෙළෙඳසලක් ඉලක්ක කර ගනිමින් වැටලීමක් සිදුකර ඇත.

එම වැටලීමේදී සත්ත්ව ආහාර නිෂ්පාදකයා විසින් මිලදී ගෙන තිබූ කන්ඉකුත් වූ ලුණු, අතරමැදියකු යොදාගනිමින් පිටකොටුව ප්‍රදේශයේ වෙනත් වෙළෙඳසලකට අලෙවි කර තිබූ අතර එකී වෙළෙඳසල් හිමියා විසින් වැටලීම සිදුකරනු ලබන අවස්ථාව වන විටත් මනුෂ්‍ය පරිභෝජනය සඳහා එකී ලුණු පැකට් 06ක් විකුණා තිබූ බවත් විකිණීම සඳහා කිලෝග්‍රෑම් 2,700ක තොගයක් සූදානම් කර තිබූ බවත් අනාවරණය වී ඇත.


ඒ අනුව සේදවත්ත ප්‍රදේශයේ අදාළ ආයතනයට, වැල්ලම්පිටිය ප්‍රදේශයේ අතරමැදියාට සහ කොළඹ 12 සිල්ලර ව්‍යාපාරිකයාට එරෙහිව ඊයේ (25දා) දින මාලිගාකන්ද මහෙස්ත්‍රාත් අධිකරණයේ නඩු පවරනු ලැබීය.එහිදී අදාළ චූදිතයන් වරද පිළිගැනීමෙන් පසුව සත්ත්ව ආහාර සැපයුම්කරුට රුපියල් 50,000ක් සහ අනෙත් චූදිතයන් දෙදෙනාට රුපියල් 7,500 බැගින් අධිකරණය මඟින් දඩ නියම කරනු ලැබීය. අදාළ නඩු භාණ්ඩ වන ලුණු කිලෝග්‍රෑම් 2,700ක ප්‍රමාණය විනාශ කිරීමටද නියෝග කර ඇත.


Tuesday, February 25, 2025

ලග්ගල රෝහලේ නොසැලකිල්ලෙන් දරුවා මිය ගිය බව කියා මවුපිය යුවළක් ජවපතිට ලියයි

 





උණ සෑදී රජයේ රෝහලකට ඇතුළත් කිරීමෙන් පසුව මියගිය වස්ස අවුරුදු එකයි මාස නවයක් වූ පුංචි දියණිය රෝහලේ නොසැලකිලිමත්කම නිසා ජීවිතය අහිමි වී තිබෙන බවත් තවත් දරුවකුට මෙවැනි ඉරණමක් අත් නොවීමට පරීක්ෂණයක් පවත්වන ලෙස මියගිය දියණියගේ පියා සහ මව ජනාධිපතිවරයාට, පාර්ලිමේන්තුවට, මධ්‍යම පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයට, විෂය භාර අමාතවරයාට, මාතලේ සෞඛ්‍ය අධ්‍යක්ෂවරයාට මෙන්ම පොලිසියටද පැමිණිලි කොට තිබේ.


මාතලේ,ලග්ගල හත්තොටඅමුණ, කන්දෙපිටවල ගම්මානයේ පදිංචිව සිටින යුද හමුදා සෙබළකු වූ සුරංග පුෂ්ප කුමාර මහතා සහ ඔහුගේ බිරිය ඩබ්ලිව් ජී. කුමුදුනි රේණුකා රත්නායක දෙපළ මෙම චෝදනාව මාතලේ ලග්ගල ප්‍රාදේශීය රෝහලේ පරිපාලනයට විරුද්ධව චෝදනා කරමින් මෙසේ පැමිණිලි කොට තිබේ.


වයස අවුරුදු එකයි මාස නවයක් වූ මාතලේ, ලග්ගල, කන්දේපිටවල පදිංචි අමීෂා ගිම්හානි දියණිය පසුගිය පහළොස් වැනි දින උදෑසනක උණ සහ වමනය යෑම හේතුවෙන් ලග්ගල ප්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බවත් එදින සිට දින දෙක හමාරකට අධික කාලයක් මිශ්‍ර වාට්ටුවක තබාගෙන නිසි ලෙස අවධානයක් යොමු නොකර රඳවා ගෙන සිටි බව මව රේණුකා රත්නායක මහත්මිය චෝදනා කරන්නීය.


තම දියණිය ආහාර නොගැනීම පිළිබඳව මලානිකව හඬා වැටීම පිළිබඳව සහ අසනීප උග්‍ර බවට රෝහලේ වෛද්‍ය නිලධාරිනියට දැනුම් දුන්නද නිසි අවධානයක් යොමු නොකොට උණ සෑදුණු වැඩිමල් අයටද ආහාර අරුචිය ඇතිවන බව ප්‍රකාශ කරමින් සිටි බවද ඇය චෝදනා කළාය.

රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ගත්තද නැවත තම දියණිය සමඟ දිනකට පසු වාට්ටු රෝගීන් බැලීමට වෛද්‍ය නිලධාර්නිය නොපැමිණි නිසා බාහිර රෝගී අංශයට පැමිණ වෛද්‍යවරයකුට පෙන්නු බවත්ඇය චෝදනා කරන්නීය.


දින දෙකහමාරකට පසුව ලග්ගල රෝහලේ වෛද්‍ය උපරියකට තමන් කළ ඉල්ලීමකට අනුව නැවත පරීක්ෂා කිරීමේදී දියණියට අසාධ්‍ය බව පවසා දඹුල්ල  මූලික රෝහලේ දිනක් ප්‍රතිකාරකොට දියණිය අසාධ්‍ය තත්ත්වයේ පසුවන බව පවසා අනුරාධපුර රෝහලට මාරු කර යැවුණු අතර එහිදී තම දියණිය මියගිය බවත් මරණයට හේතුව අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් ලබා නොදී එම සිරුරේ කොටස් පරීක්ෂණ සඳහා යොමු කර තිබෙන බවත් පියා කියයි. පසුව අමීෂා ගිම්හානි දියණියගේ සිරුර ලග්ගල තම නිවෙසට ගෙනවිත් භූමදානය කළ බව මෙම දෙපළ කියති.මෙම මව පියා ලග්ගල පොලිසියට පැමිණිල්ලක් කරමින් තම දරුවාට සහ තමන්ට සිදුවූ - මෙම අසාධාරණය පිළිබඳව පරික්ෂණයක් පවත්වන ලෙස ඉල්ලා පැමිණිල්ලක් ඉදිරිපත් කොට තිබේ.


ලග්ගල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ්ලිව්.ඒ. ධර්ම රාජ් මහතාගෙන් විමසීමේදී කියාසිටියේ පැමිණිල්ලක්ලැබී තිබෙන බවත් ඒ සඳහා නීති උපදෙස් ලබාගෙන ඉදිර්යේදී පක්ෂණ කටයුතු ආරම්භ කරන බවය. කෙසේ වෙතත් මෙම දියණිය මිය යෑමේ සිද්ධිය මව සහ පියා නඟන චෝදනා සලකා බැලීම සඳහා ජනාධිපතිවරයා විසිහත් වැනි බ්‍රහස්පතින්දා උදෑසන ජනාධිපති කාර්යාලයට පැමිණෙන ලෙස තමන් වෙත දන්වා ඇතැයි හෙතෙම සඳහන් කළේය.  




 


Tuesday, September 3, 2024

පාටියකට ගිහින් කොච්චියේ පිස්සු නැටූ හමුදාවේ 8ක් අත්අඩංගුවට

 


 

බදුල්ල සිට කොළඹ බලා ධාවනය වූ තැපැල් දුම්රියේ දී සහ බණ්ඩාරවෙල දුම්රිය ස්ථානයේ දී පුද්ගලයකුට තුවාල සිදුකර කලහකාරී ලෙස හැසිරුණේ යැයි කියන යුද හමුදා සෙබළු 8 දෙනෙක් පෙරේදා (1) බණ්ඩාරවෙල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූහ.අත්අඩංගුවට ගෙන ඇත්තේ දියතලාව යුද හමුදා විද්‍යා පීඨයට අයත් පොල්ගහවෙල, කහටගස්දිගිලිය, කඹුරුපිටිය, ආඬිගම, බිබිල, තලංකැටිය, අත්තනකඩවල සහ ගලේවෙල ප්‍රදේශවල පදිංචි අවුරුදු 25 ත් 33 ත් අතර යුද හමුදා සෙබළුන් පිරිසක් බව පොලිසිය පවසයි. 


මෙම සෙබළුන් පිරිස ප්‍රිය සම්භාෂණ අවස්ථාවකට සහභාගි වී බදුල්ල කොළඹ දුම්රියේ දියතලාව බලා පැමිණ ඇති අතර ඔවුන් දුම්රියේ ද කලහකාරී ලෙස හැසිරී ඇති බව පොලිසිය පවසයි.එහිදී මෙම සෙබළුන් පිරිස දුම්රිය මගියකු සමග ආරවුලක් ඇති කර ගෙන මගියාට පහරදී තිබූ බවත් පොලිස් විමර්ශන වල දී අනාවරණය වී ඇත.


සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරවෙල පොලිසියට ලද තොරතුරු අනුව නිලධාරීහු කණ්ඩායමක් බණ්ඩාර වෙල දුම්රිය ස්ථානයට පැමිණ යුද හමුදා සෙබළුන් අට දෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.යුද හමුදා සෙබළුන් පිරිස දුම්රිය ප්‍රවේශ පත්‍ර මිලදී ගෙන නොතිබුණු බව ද විමර්ශන වලදී අනාවරණය වී ඇත.බණ්ඩාරවෙල දිසාව බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී කේ.එම්.යූ.පී. කළුපහන මහතාගේ උපදෙස් පරිදි බණ්ඩාරවෙල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරයි.

 ගයාන් සූරියආරච්චි

Monday, September 2, 2024

අනියම් බිරිඳගේ සැමියාට තැබූ වෙඩිල්ල වැදී බිරිඳට බරපතළ තුවාල

 


(සඳූපම සූරියආරච්චි)


අනියම් සම්බන්ධතාවක් දුරදිග යෑමෙන් ඇති වූ ආරවුලක් මත අනියම් බිරියගේ සැමියාට වෙඩි තැබීමට යෑමේදී ඇතිවූ පොර බැදීමකදී විවාහක ගැබිනි බිරියට වෙඩි වැදීමෙන් පසු අනියම් බිරියගේ අවුරුදු 3ක දැරිය ඇපයට තබාගනිමින් පැහැරගෙන ගිය බව කියන කුරියර් සමාගමක ප්‍රාදේශීය කළමනාකරුවකු අත්අඩංගුවට ගත් බව බදුල්ල පොලීසිය සඳහන් කරයි.35 හැවිරිදි යුද හමුදා හිටපු සෙබළෙකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇත.

සැකකරු සතුව තිබූ ගිනි අවියක්, අත්බෝම්බයක්, ජීව උණ්ඩ 5 ක් සහ තියුණු ආයුධයක්ද පොලීසිය භාරයට ගෙන ඇත.මොහු විසින් සිදු කළ වෙඩි තැබීමෙන් සැකකරුගේ ගැබිනි විවාහක බිරියගේ වම් උරහිසට බරපතළ තුවාල සිදුවී බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇති බව පොලීසිය පවසයි.සැකකරු 2009 වසරේ යුද හමුදාවෙන් ඉවත්වී පසුව කුරියර් සේවා ආයතනයක රැකියාවට බැඳී ඇති අතර මේ වනවිට එම ආයතනයේ ප්‍රාදේශීය කළමනාකරුවකු ලෙස කටයුතු කරන බව විමර්ශකවලදී අනාවරණය වී ඇත.

මේ අතර ඔහු සේවය කරනු ලබන ආයතනයේ විවාහක කාන්තාවක සමග සැකකරු අනියම් සම්බන්ධතාවක් පත්වාගෙන ගොස් තිබූ අතර පසුව අනියම් බිරිය සහ විවාහක බිරිය ඇතුළු දෙපිරිස ඒකතුවී අනියම් සම්බන්ධතාව නවතා දැමීමට අනියම් බිරියගේ නිවසට පැමිණ සාකච්ඡා පවත්වා ඇති බව පොලීසිය පවසයි.ඉන් දින කිහිපයකට පසුව නැවත සැකකරු අනියම් බිරිය අවශ්‍ය බව පවසමින් අනියම් බිරියෙග් නිවස ඉදිරිපිටට බීමතින් පැමිණ ඇති බවත්, පසුව අනියම් බිරිය විසින් ඔහු නැවත නිවෙසට හරවා යවා ඇති බවත් පොලීසිය සඳහන් කරයි.

සිද්ධිය වූ දින සැකකරු, විවාහක බිරිය සහ දරුවන් දෙදෙනා අනියම් බිරියගේ නිවසට පැමිණ ඇති අතර එහිදී අනියම් බිරියට තමා සමග යෑමට පැමිණෙන ලෙස පවසමින් ආරවුලක් ඇති කර ගෙන ඇත. පසුව සැකකරු ඔහුගේ ඉනේ තිබූ ගල්කටස් වර්ගයේ ගිනි අවියක් ගෙන අනියම් බිරියගේ සැමියාට වෙඩි තැබීමට තැත්කර ඇති බව පොලීසිය පවසයි

අනතුරුව විවාහක බිරිය සැකකරුගේ අතේ එල්ලී වෙඩි තැබීම ව්‍යර්ථ කිරීමට යෑමේදී ඇගේ බිරියගේ වම් අතේ උරහිසට වෙඩි වැදී බරපතළ තුවාල සිදුවී ඇති බවද පොලීසිය පවසයි. පසුව සැකකරු ඔහුගේ කලිසම් සාක්කුවේ තිබූ අත්බෝම්බයක් ගෙන අනියම් බිරියගේ සැමියාට දමා ගැසීමට තැත්කර ඇති බ ද විමර්ශනවලදී අනාවරණය වී තිබුණි.

පසුව වෙඩි වැදී තුවාල ලැබූ විවාහක බිරිය සහ අනියම් බිරියගේ අවුරුදු 3 දැරිය ද බලෙන් මෝටර් රථයේ නංවාගෙන රෝහලට රැගෙන ගොස් සිටියදී පොලීසිය සැකකරු අත්අඩංගුවට ගෙන තිබිණි.සැකකරුගේ මෝටර් රථයේ තිබූ අත්බෝම්බයක්ද සොයා ගෙන තිබූ අතර මෝටර් රථය ද අත්අඩංගුවට ගත් බව පොලීසිය පවසයි.


Monday, November 21, 2022

රුපියල් 475 මාස්ක් 2050 ගාණේ 1080ක් අරන් රජයට ලක්ෂ 17ක් පාඩු කරලා


රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවෙන් එකක් රුපියල් 475 කට මිලදී ගත හැකිව තිබියදී රාගම ශික්ෂණ රෝහලේ කළමණාකාරීත්වය 2020 වසරේදී එකක් 2050 බැගින් එන් 95 මුහුණු ආවරණ 1080ක් මිලදී ගැනීමෙන් රජයට රුපියල් දාහත් ලක්ෂයක පාඩුවක් සිදුකිරීම සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් කරන ලෙස විගණකාධිපති මේ බව සඳහන් වන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය සම්බන්ධයෙන් 2021 වසරේ දෙසැම්බර් 31 දිනට සිදුකළ විගණන වාර්තාවේය.මෙම මුහුණු ආවරණ මිලදී ගෙන තිබුණේ වෛද්‍ය සැපයුම් අංශය එම රෝහලට ප්‍රමාණවත් තරම් මුහුණ ආවරණ සපයා තිබියදී බවද එහි සඳහන් වේ.

වෛද්‍ය සැපයුම් අංශයෙන් ලබාදුන් මුහුණු ආවරණ රසායනාගාර සේවකයන්ගේ ආරක්ෂාවට තර්ජනයක් විය හැකි බවට ක්ෂුද්‍රජීව විශේෂඥ වෛද්‍යවරිය දුන් නිර්දේශයකට හා ඇයගේ ඉල්ලීම පරිදි නව මිලදී ගැනීම සිදුකළ බව රෝහලේ කළමනාකාරීත්වය විගණනයට දැනුම් දී තිබේ.  මෙම භාණ්ඩ මිලදී ගැනීමේදී නිසි ප්‍රසම්පාදන ක්‍රියාවලියකට යටත්ව සිදුකර නැතිව තිබූ බවද එම ක්‍රියාවලියේ ගැටලු රැසක් ඇති බවද එහි සඳහන් වේ.

විගණන වාර්තාවට අනුව ප්‍රසම්පාදනයේදී ඉදිරිපත් කර තිබූ ලංසුවලින් එකක් ව්‍යාජ වේ. ලංසුකරුවන් තිදෙනකුට මෙම භාණ්ඩ සැපයුම සඳහා ලියාපදිංචි වූවන් නොවන බවද එහි දැක්වේ. එසේම මෙම මිලදී ගැනීම සිදුකළ සැපයුම්කරුගෙන් සිදුකළ මිල ගණන් කැඳවීම් විගණනයට ඉදිරිපත් නොකළ අතර එය සිදු කළේ ෆැක්ස් මගින් බවට ද කළමණාකාරීත්වය දන්වා ඇතැයි ද එහෙත් එම වාර්තාවේ සඳහන් වේ. ඒ සඳහා සාක්ෂිද ඉදිරිපත්ව නැතැයිද පසුව රෝහල් කණමණාකාරිත්වය කරුණු දක්වමින් සඳහන් කර තිබෙන්නේ හදිසි මිලදී ගැනීමක් නිසා දුරකතනයෙන් මිල ගණන් ලබාගෙන ගනුදෙනුව සිදුකළ බව යැයිද විගණන වාර්තාව පෙන්වා දෙයි.


මුදිතා දයානන්ද