ජාත්යන්තර අධිමාත්රාව පිළිබඳ දැනුම්වත් කිරීමේ දිනය (International Overdose Awareness Day) හෙට (31දාදාට යෙදී තිබේ. එහි අරමුණ වන්නේ අහිතකර බලපෑම්වලට ලක් වූ සෑමදෙනාම ඉන් මුදාගැනීම සේම, ඔවුන් සුවපත් කිරීමට අවශ්ය පුනරුත්ථාපන කටයුතු ඇතුළු සියලු සහාය ලබාදීමයි. මේ පිළිබඳ ජනතාව දැනුම්වත් කිරීම සඳහා, කොළඹ ජාතික රෝහලේ ජාතික විෂ තොරතුරු මධ්යස්ථානය, සෞඛ්ය ප්රවර්ධන කාර්යාංශය හා එක්ව පසුගියදා ප්රවෘත්ති සාකච්ඡාවක් පැවැත්විණි. එහිදී කොළඹ ජාතික රෝහලේ ජාතික විෂ තොරතුරු මධ්යස්ථානයේ අංශ ප්රධානී, විශේෂඥ වෛද්ය රවී ජයවර්ධන මහතා ඉදිරිපත් කළ අදහස් මෙසේය.
ජාත්යන්තර අධිමාත්රාව පිළිබඳ දැනුම්වත් කිරීමේ දිනය (international Overdose Awareness Day) අපට එතරම් හුරුපුරුදු මාතෘකාවක් නොවෙයි. නමුත් මෙවැනි දිනයක් යෙදී තිබෙන්නට හේතු තිබෙනවා. සාමාන්යයෙන් අධිමාත්රාවක් ගැනීම නිසා ලෝකයේ වසරකට මිලියන විස්සක්, තිහක් පමණ ජීවිත නැති වෙනවා. ඇමරිකාවේ පමණක් ලක්ෂයක පමණ පිරිසක් මියයනවා. ලංකාවේ මේ වන විට මේ පිළිබඳව සංඛ්යාලේඛන නැහැ. මේ නිසා අපි මොන මොන හේතුසාධක මතද අධිමාත්රාවන්ට ලක්වන්නේ කියන කාරණය පිළිබඳව විමසීම වඩාත් වැදගත්. අපි සාමාන්යයෙන් භාවිත කරන ඖෂධ වැඩි ප්රමාණයක් ගත් විට එය ශරීරයට හානිදායක තත්ත්වයට පත්වෙනවා. ඒ තුළින් මරණය පවා ඇතිවිය හැකියි.
ඊට අමතරව නිර්දේශිත නොවන විශේෂයෙන්ම මත්ද්රව්ය භාවිත කිරීම නිසා ලෝකයේ විශාල සංඛ්යාවක් සෞඛ්ය තත්ත්ව පිරිහීම, ජීවිතක්ෂයට පත්වීම වැනි දේ තුළට ගොදුරු වෙනවා. මේ වන විට මෙම ප්රවණතාව ලංකාව තුළත් තිබෙනවා. මෑතකාලයේ සිදුවූ සිදුවීමක් ලෙස මොරටුව ආශ්රිත ප්රදේශයේ ජීවත් වූ විශ්වවිද්යාල සිසුන් පිරිසක් රාත්රියේ තිබූ විනෝද සාදයකට සහභාගි වී ඇල්කොහොල් අඩංගු මත්ද්රව්ය භාවිත කිරීමෙන්, කිහිපදෙනෙකු අසනීප තත්ත්වයට පත්ව කළුබෝවිල රෝහලට ඇතුළත් කර තිබෙනවා. මෙයින් කිහිපදෙනෙකු දැඩි සත්කාර ඒකකයට ඇතුල් කිරීමෙන් අනතුරුව වයස අවුරුදු 26ක පමණ තරුණයෙක් මියගියා. ඔබ නොදැනුවත් උනාට ලංකාව තුළත් මත්ද්රව්ය අධිමාත්රාවෙන් ගැනීම හේතුවෙන් හෘදයාබාධවලට ලක් වීම්, ජීවිත අඩා වීම, මියයෑම් බහුලව සිදුවනවා. එම නිසා මෙවැනි දිනයක් නිර්මාණය වන්නේම මෙවැනි අනතුරු පිළිබඳව සමාජය දැනුම්වත් වීම සඳහායි.
ඔබේ ශරීරයට ඖෂධ අධිමාත්රාවක් ඇතුල් විය හැකි ක්රම
සාමාන්යයෙන් ඖෂධයක් නියම කරනු ලබන්නේ වෛද්යවරයෙක්. වෛද්යවරුන් නියම කරන ඖෂධ පැහැදිලිව ලියා නොමැති වීම, වෛද්යවරයාගේ අතපසු වීමකින් ලබාදීමට තිබෙන මාත්රාවට වඩා වැඩි මාත්රාවක් බෙහෙත් තුන්ඩුවේ ලියා තිබීම, දිනකට දෙපාරක් ගැනීමට නියමිත ඖෂධ දිනකට තුන් හතර වතාවක් ලෙස ලියා තිබීම, බෙහෙත් ගැනීමට අවශ්ය කාලය අදාළ දින ඉක්මවා ලබාගැනීම, රෝගියාට නුසුදුසු බෙහෙත් වර්ගයක් නිර්දේශ කර තිබීම වැනි දෑ අත්වැරදීමෙන් හෝ සිදුවෙන්න පුළුවන්. එම නිසා වෛද්යවරුන් නිවැරදි මාත්රාවක් ලිවීමට සැලකිලිමත් විය යුතුයි. බොහෝ විට සුදුසුකම් ලත් වෛද්යවරුන් වෙත යෑමෙන් මෙවැනි ගැටලු අවම කර ගැනීමට හැකියාව තිබෙනවා. වෛද්යවරුන්ට මෙන්ම ඉතාම වැදගත් කාර්යභාරයක් ඖෂධවේදීන් (Pharmacists) සතුයි. ඖෂධවේදීන් ඔවුන්ගේ දැනුම භාවිත කරමින්, මේ වෛද්යවරයා නිර්දේශ කරලා තිබෙන බෙහෙත් නිවැරදි මාත්රාවද, භාවිත කිරීමට නිර්දේශ කර තිබෙන ප්රමාණයද, බෙහෙත් ලබාදීමට සඳහන් කර ඇති කාලය, එකවර භාවිත කිරීමට නුසුදුසු ඖෂධ වර්ග දෙකක් එකවර බෙහෙත් තුන්ඩුවේ ලියා තිබෙනවාද යන කරුණු පිළිබඳව ඖෂධවේදීන් විමසිල්ලෙන් සිටීම වැදගත්. ඒ වගේම රෝගියා වෙනුවෙන් බෙහෙත් ලබාදෙන පුද්ගලයාද හොඳ අවබෝධයෙන් එම බෙහෙත් ලබාදීම වැදගත්. මීට අමතරව බහුලව දක්නට ලැබෙන දෙයක් වන්නේ සිතා මතා ඖෂධ අධිමාත්රාවන්ගෙන් භාවිත කිරීමයි. ලංකාවේ සාමාන්යයෙන් වසරකට විසිදාහක පමණ ප්රමාණයක් ඖෂධ ශරීරගත වීම මත රෝහල්ගත වෙනවා. 20%, 30%ක පමණ පිරිසක් අත්වැරදීමකින් ඖෂධ ශරීරගත වීම මත හා 70%, 80%ක පමණ පිරිසක් සිතාමතාම බෙහෙත් ශරීරගත කරගැනීම යන කාරණා මත රෝහල්ගත වීම් සිදුවනවා.
ඔබට කුමන ආකාරයකින් හෝ ඖෂධ විෂ වීමක් සිදුවුවහොත් ජාතික විෂ තොරතුරු නිවාරණ මධ්යස්ථානය පැය විසිහතර පුරාම විවෘතයි. එයට කතා කිරීම සඳහා 0112686143 යන දුරකථන අංකය භාවිත කළ හැකියි. එවිට අපි අවශ්ය උපදෙස් ලබාදීමට කටයුතු කරනු ලබනවා.
ඖෂධ වගේම අප සැලකිලිමත් විය යුතු තවත් දෙයක් වන්නේ මත්ද්රව්ය අධිමාත්රාවන් භාවිත කිරීම මේ වන විට ලෝකයේම උවදුරක් බවට පත්වෙලා තිබෙනවා. ඒ වගේම ලංකාව තුළත් විශාල උවදුරක් බවට පත්වී තිබෙනවා. මත්ද්රව්යවලට ඇබ්බැහි වීමක් සිදුවුවහොත්, ඒ තුළින් සෞඛ්යයට හානි සිදුවනවා. සාමාන්යයෙන් පාසල් වියේ සිටින වයස අවුරුදු 12, 19 වයස් කාණ්ඩයන්ගේ දරුවන් මත්ද්රව්ය සඳහා යොමුවීම් වැඩි වශයෙන් දක්නට ලැබෙනවා. එහිදී තමන්ගේ කුඩා කාලයේ ආදරය, රැකවරණය නොලැබුණු දරුවන්, ආර්ථිකමය වශයෙන් දුක් පීඩා තිබෙන දරුවන්, ගෙදර මවගේ, පියාගේ අඩදබර තිබෙන දරුවන්, නිවසේ කවුරුන් හෝ මත්ද්රව්යවලට ඇබ්බැහි වී තිබෙනවා නම්, ශාරීක කරදරවලට ලක්වී තියෙන දරුවන් අනාගතයේදී මත්ද්රව්ය සඳහා යොමු වීමේ හැකියාව වැඩි වෙලා තිබෙනවා. නමුත් මුළු ජීවිතයම මත්ද්රව්යවලින් තොරව ගත කිරීම තුළින් ශරීරයට වන හානි අවම කර ගැනීමේ හැකියාව තිබෙනවා.
දරුවන් සහ තරුණ පිස ඇබ්බැහි වී ඇති මත්ද්රවදුරුවලින් ඈත් කරගැනීම සඳහා සහ ඒ ආශ්රිත ගැටලුවක් ඇත්නම් ජාතික මානසික සෞඛ්ය ආයතනය තුළ ප්රතිකාර ලබාගත හැකි සායන පැවැත්වෙනවා. එහිදී අවශ්ය රෝගීන්ට නේවාසික ප්රතිකාර ලබාගන්නට පුළුවන්. ඒ වගේම අන්තරායකාර ඖෂධ පාලක මණ්ඩලය 1927 අමතා වැඩි විස්තර ඔබට ලබාගැනීමේ හැකියාව තිබෙනවා. ඔබ ලංකාවේ කොහේ හිටියත් ඒ සඳහාම පුහුණු වූ වෙනම පිරිසක් පත්කර තිබෙනවා. ඒ අයගේ සහයෝගය ලබාගැනීමේ හැකියාව තිබෙනවා. මෙවැනි ආකාරවලින් දැනුම්වත් වීම තුළින් මත් උවදුරු වළක්වා ගැනීම සහ මත් උවදුර නිසා සමාජයට සිදුවන හානිය වළක්වා ගැනීමේ හැකියාව තිබෙනවා. ඕනෑම දෙයක් මාත්රාව ඉක්මවා ගැනීම තුළින් ඔබේ ජීවිතයේ යහපැවැත්ම අඩාළ වීමක් සිදුවන බව මතක තබා ගැනීම වැදගත්.






