Showing posts with label crimeg5. Show all posts
Showing posts with label crimeg5. Show all posts

Wednesday, March 9, 2022

නිවසකට බලහත්කාරයෙන් ඇතුළු වී පාසල් සිසුවියක පැහැරගෙන ගිහින්

මිනුවන්ගොඩ,වත්තේගෙදර ප්‍රදේශයේ නිවසකට පෙරේදා (07දා) රාත්‍රී අයුතු ලෙස ඇතුළු වී ඇති කණ්ඩායමක් එම නිවැසියන්ට පහර දී නිවසේ සිටි 14 හැවිරිදි පාසල් සිසුවියක පැහැරගෙන ගොස් ඇතැයි මිනුවන්ගොඩ පොලීසිය ඊයේ (08දා) පැවසීය. පැහැර ගත් එම සිසුවිය ඊයේ (08දා) දහවල් වන විටත් සොයාගෙන  නොතිබුණි. කඩු පොලු රැගත් කණ්ඩායමක් වත්තේගෙදර ප්‍රදේශයේ කලහකාරී ලෙස හැසිරෙන බවට මිනුවන්ගොඩ පොලීසියට ලද තොරතුරක් මත (07දා) රාත්‍රී ජංගම සංචාරයේ යෙදී සිටි පොලිස් නිලධාරින් එම ස්ථානයට ගොස් තිබේ. පොලිස් නිලධාරීන් එම ස්ථානයට යන විට කලහකාරී ලෙස හැසිරෙමින් සිටි කණ්ඩායම සිසුවිය රැගෙන පළා ගොස් තිබූ බවද පොලීසිය පවසයි. කලහකාරී කණ්ඩායමේ එක් අයකු පැමිණිලිකරුගේ ප්‍රකාශ මත හඳුනා ගැනීමෙන් අනතුරුව අත්අඩංගුවට ගැනීමට යැමේදී සැකකරු පොලිස් නිලධාරියෙකුගේ නිල ඇඳුමේ උඩ කොටසේ කොලරයෙන් අල්ලා පොලිස් නිලධාරියාට පහර දීමට තැත් කර රාජකාරියට බාධා කරමින් කලහකාරී ලෙස හැසිරී ඇති බවද පොලීසිය කීය. එම සැකකරු රාජ්‍ය ඇමතිවරයකුගේ නමක් පවසමින් පොලිස් නිලධාරීන් මාරු කරන බවට තර්ජනය කර ඇති බව ද පොලීසිය වැඩිදුරටත් පැවසීය. අත්අඩංගුවට පත් සැකකරු මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. සිද්ධියට සම්බන්ධ සැකකරුවන් අත්අඩංගුවට ගැනීමටත් පැහැර ගැනීමට ලක් වූ පාසල් සිසුවිය සොයා ගැනීමටත් මිනුවන්ගොඩ පොලීසිය වැඩිදුරටත් පරික්ෂණ සිදු කරන බව පවසයි.


(ගම්පහ - ටෝනි කරුණානායක) 


Thursday, August 26, 2021

පාස්කු ප්‍රහාරය කෙටි කලකින් සැලසුම් කල අපරාධයක් නොවෙයි

පාස්කු ඉරු දින ප්‍රහාරය කෙටි කාලයක් තුළ සැලසුම් කරන ලද හුදු තනි අපරාධයක් නොවන බවත්, එය දිර්ඝ කාලයක සිට සැලසුම්සහගතව සිදුකළ ත්‍රස්තවාදී ක්‍රියාවක් බවට පෙනී යන බවත් පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා සඳහන් කළේය. මෙම ප්‍රහාරයට අදාළ පරික්ෂණ කටයුතු තවදුරටත් සිදුකරන අතර, මෙතෙක් සිදුකර තිබෙන පරීක්ෂණවලට අනුව මේ වනවිට සැකකරුවන් 723දෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙන බවද ඒ මහතා පවසා සිටියේය.එම පිරිසෙන් සැකකරුවන් 311දෙනෙකු රඳවා තබාගෙන හෝ රිමාන්ඩ් භාරයේ පසුවන බවද ඔහු කීය. අදාළ පරීක්ෂණවලට අනුව දුරකථන අංක ලක්ෂයක පමණ ප්‍රමාණයක් විශ්ලේෂණය කළ බවත්, බැංකු ගිණුම් විශාල ප්‍රමාණයක්ද පරික්ෂවට ලක්කළ බවත් හෙතෙම සඳහන් කළේය. පොලිස්පතිවරයා මේ බව ප්‍රකාශ කර සිටියේ ඊයේ (25දා) විශේෂ ප්‍රකාශයක් සිදුකරමිනි.

ත්‍රස්තවාදී පුද්ගලයන්ගේ හා ඔවුන්ට ආධාර අනුබල ලබාදුන් පුද්ගලයන්ගේ රුපියල් මිලියන 365ක් වටිනා මුදල්, චංචල හා නිශ්චල දේපළ රාජසන්තක කර තිබෙන බවත්, මීට අමතරව රුපියල් මිලියන 168ක් වටිනා දේපළ හා මුදල් තහනමට ලක්කර තිබෙන බවත් පොලිස්පතිවරයා පවසා සිටියේය. පාස්කු ප්‍රහාර සිද්ධියට අදාළව නීතිපතිවරයා විසින් පුද්ගලයන් 46දෙනෙකුට එරෙහිව මහාධිකරණයට අධිචෝදනා පත්‍ර 11ක් ගොනුකර තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය.මීට අමතරව පාස්කු ප්‍රහාරයට අදාළව විමර්ෂන ගොනු 100කට අධික ප්‍රමාණයක් විමර්ශන අවසන් වීමෙන් පසු නීතිපතිවරයා වෙත යොමු කර තිබෙන බවත්, එම විමර්ශනවලට අදාළව අධිචෝදනා ගොනු කිරීම සඳහා නීතිපති දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අධ්‍යයන කටයුතු සිදුකරන බවත්, පොලිස්පතිවරයා පවසා සිටියේය. මේ වනවිට පාස්කු ප්‍රහාරයට අදාළ විමර්ශනවලට අනුව නීතිපති දෙපාර්තමේන්තුවට වෙළුම් 104ක් යොමුකර තිබෙන බවත්, ඒවා පිටු 52,000කින් සමන්විත බවත් පොලිස්පතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.

(ඉන්දික හේවාවිතාරණ) 

Friday, July 16, 2021

පෙම්වතා පියා ඇතුළු 6ක් ලබන 19 තෙක් රිමාන්ඩ්

නාවලපිටිය රංගල ඉලුක්තැන්න ප්‍රදේශයේ වයස අවුරුදු 13ක බාලවයස්කාර දැරියක අපයෝජනය කළැයි නාවලපිටිය පොලීසියට අත්අඩංගුවට ගත් දැරියගේ පෙම්වතා, පියා ඇතුළු හයදෙනකු ලබන 19 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාර ගත කරන ලෙස නාවලපිටිය මහේස්ත්‍රාත් නිලන්ත විමලරත්න මහතා ඊයේ 15 නියෝග කළේය. මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත්තේ වින්දිත දැරියගේ පෙම්වතා බව කියන තිස් දෙහැවිරිදි අයෙකු, දැරියගේ පියා වන හතළිස් දෙහැවිරිදි අයකු ඇතු හය දෙනෙකි.මෙම දැරිය ඉකුත් 01 වැනිදා සිට අතුරුදන්ව ඇතැයි එම දැරියගේ මව නාවලපිටිය පොලිසියට කරන ලද පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ආරම්භ කළ බව පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය. මෙම දැරියගේ ඥාතීන් පිරිසක් දැරිය ගල් ගුහාවක සිටි බව කියමින් ඉකුත් 07 වැනිදා දැරිය පොලිසියට බාර කළ බවත් එහිදී බාලවයස්කාරිය නාවලපිටිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා වෙත ඉදිරිපත් කළ බවත් පොලීසිය අධිකරණයට කරුණු වාර්තා කළේය. අධිකරණ වෛද්‍ය නිලධාරී මහානාම මහතාගේ වාර්තාවලට අනුව දැරිය විශාල පිරිසකගෙන් අතවරයට පත්ව ඇති බවට හෙළිවීම මත සිදුකරන ලද විමර්ශනයේ දී මෙම සැකකරුවන් අත්අඩංගුවට ගත් බව ද පොලිසිය අධිකරණයට කරුණු සඳහන් කලේය.සිද්ධිය සම්බන්ධයෙන් දැරියගේ ප්‍රකාශ මත ඇය වයස අවුරුදු 06 කාලයේ සිටම අපයෝජන වී ඇති බවත් ප්‍රදේශයේ වැඩිහිටි කිහිප දෙනකු සහ දැරියගේ පියාගෙන් ද ඇය අතවරයට පත්ව ඇති බවත් හෙළි වී ඇතැයි ද පොලිසිය කරුණු වාර්තා කළේය. දැරියගේ පියා අධික ලෙස මත්පැන් පානයට ඇබ්බැහි වී ඇති අයකු වන අතර ඇගේ මව දැරිය අසල නිවසක රඳවා තේ දළු කැඩීමේ රැකියාවට ගොස් ඇතැයි ද පොලීසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.ඒ අවස්ථාවේ දී දැරිය අසල නිවැසියකු විසින් අපයෝජනය කරනු ලැබ ඇති අතර පසුව දැරියගේ පියා ද දැරිය අපයෝජනය කර ඇති බවටත් කරුණු අනාවරණය වන බව පොලිසිය සඳහන් කළේය.මෙම දැරිය විවාහකයකු ඇසුරු කර ඔහු සමග දින කිහිපයක් ජීවත් වීමෙන් පසුව ඉකුත් 01 වැනිදා ප්‍රදේශයේ ගල්ගුහාවක එම පුද්ගලයා සමග ජීවත්ව ඇති බව ද පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.මෙම සිද්ධියට අදාළව දැරිය අපයෝජන කිරීමට ආධාර අනුබල දුන් දැරියගේ නැන්දණියක ද අත්අඩංගුවට ගත් බවත් තවත් සැකකරුවන් කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීමට සිටින බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය.

(ගම්පොළ සුරංග රාජනායක) 

Tuesday, February 23, 2021

කුලී කාමරේක ඉඳන් තනියම ගිහින් ලක්ෂ 40 ක බඩු සොරාගෙන

කොළඹට තදාසන්න දිවයිනේ ප්‍රදේශ කිහිපයකම නගරබදව පිහිටා තිබූ ජංගම දුරකතන අලෙවි සල් හා නිවාස රාශියක් බිද ජංගම දුරකතන සහ විදුලි උපකරණ, රන් භාණ්ඩ කොල්ල කෑ පුද්ගලයකු රුපියල් ලක්ෂ හතළිහකට ආසන්න භාණ්ඩ සමග රාජගිරි බණ්ඩාරනායකපුර ප්‍රදේශයේ දී පෙරේදා 21 වැනිදා සවස අත්අඩංගුවට ගෙන ඇතැයි බස්නාහිර පළාත දකුණු අපරාධ කොට්ඨාසය පැවසීය.සොරාගත් භාණ්ඩ අතර ජංගම දුරකතන හා ලක්ෂ 8 කට වඩා වටිනා විදුලි උපකරණ ද වන බව පොලිසිය සඳහන් කරයි.රාජගිරිය බණ්ඩාරනායකපුර වත්ත ප්‍රදේශයේ කුලී පදනම මත ලබාගත් කාමරයක තාවකාලිකව ලැගුම් ගෙන සිටින මෙම සැකකරු රාත්‍රී කාලයේ නගර මධ්‍යයෙහි පිහිටි ජංගම දුරකතන අලෙවිසල් හා නගරයෙන් පිටත ග්‍රාමීයව පිහිටා ඇති නිවාස බිඳ දේපළ සොරාගෙන ඔහුගේ මිත්‍රයන්ට ලබා දී මුදල් ලබාගෙන එම මුදලින් හෙරොයින් පානය කර ඇති බවත් අනාවරණය කර ගැනීමට හැකි වූ බව ද පොලීසිය පැවසීය.සොරකම් කිරීමට කිසිදු වාහනයක් පාවිච්චි නොකර තනිවම මාර්ග බස් රථ වලින්ම ගොස් සිදුකර ඇති බවත් එම ගමන් ගන්නා බස් රථ වලද කැසට් යන්ත්‍ර සොරකම් කර ඇති බව ද උපාංග විකිණීමේ නියුතු වෙළෙඳසල රාත්‍රී කාලයේ දී වහලයේ සෙවිලි කර ඇති තහඩු ඉවත් කර ඇතුළුවී මෙම සොරකම් කර ඇති බවත් දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවන් ගණයේ ලේඛනවල මෙම පුද්ගලයාගේ නම සටහන්ව ඇති බවත් මීට පෙරද මෙවැනිම ක්‍රියා හේතුවෙන් රක්ෂිත බන්ධනාගාර ගතව සිට 2020 ජුලි මස ඇප පිට නිදහස්ව පැමිණ නැවත මෙම සොරකම් කර ඇති බවත් පොලිසිය සිදුකළ විමර්ශණයේ දී අනාවරනය වූ බව පොලිසිය පැවසීය.සැකකරුගේ පියා මීට වසර දෙකකට පමණ පෙර මිය ගොස් ඇති බවත් මව ඉන්නා තැනක් නොදන්නා බවත් පදිංචිව සිටින ස්ථිර ස්ථානයක් පිළිබඳව පැවසීමට නොහැකි බවත් සැකකරු ප්‍රකාශ කළ බව ද පොලිසිය පැවසීය. අත් අඩංගුවට පත්වූ සැකකරු ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව සිටියේය.

 (බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ) 

Tuesday, February 18, 2020

පහස ලබා දීමට කතක් දී වීඩියෝ කළ සිද්ධියේ සැකකරු අත්අඩංගුවට


විශ්‍රාමික බැංකු නිලධාරීයකුට සමීප ඇසුරක් පැවැත්වීමට කාන්තාවක් ලබාදී හොර රහසේ වීඩියෝගත කර රුපියල් ලක්ෂ හතළිහක කප්පම් මුදලක්ලබාගැනීමට උත්සාහ දැරූ ප්‍රධාන සැකකරු මාසයකට පසු මතුගම නගරයේදී අත්අඩංගුවට ගත් බව කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි. 

මෙම සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙක් පැමිණිල්ල ලද දිනවලදීම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

කාන්තාවක් සමඟ පැවැත්වූ සමීප ඇසුර අන්තර්ජාලයට මුදා හරින බව පවසා තර්ජනය කර රුපියල් ලක්ෂ හතළිහක මුදලක් ඉල්ලන බවට එම විශ්‍රාමික බැංකු නිලධාරියා කරන ලද පැමිණිල්ලක් අනුව මෙම සැකකරු අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි. 

කාන්තා ඇසුරට දැඩි ඇල්මක් දැක්වූ පැමිණිලිකරුගේ ඉල්ලීම අනුව සැකකරු කාන්තාවක් ඔහුගේ නිවෙසටම සපයා දී තිබූ බව පොලිසිය කියයි. අනතුරුව මීට පෙර අත්අඩංගුවට ගත් සැකකරු හා එක්ව ජංගම දුරකථනයෙන් වීඩියෝගත කර දින කිහිපයකට පසු එය විශ්‍රාමික බැංකු නිලධාරියාට පෙන්වා රුපියල් ලක්ෂ හතළිහක මුදලක් ඉල්ලා ඇති අතර එය ලබා නොදුනහොත් අන්තර්ජාලයට මුදා හරින බවට පවසමින් තර්ජනය කර තිබූ බව පොලිස් නිලධාරියකු පැවැසිය. 

මෙයින් දැඩි භීතියට පත්වූ පැමිණිලිකරු සැකකරුවන්ට රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබා දී තිබූ අතර ඉතිරි මුදල් ඊට සතියකට පසු ලබාදෙන බව පවසා තිබූ බව පොලිසිය කියයි. ඒ අතරතුර බැංකු නිලධාරියා ඒ බව කරන ලද පැමිණිල්ලකට අනුව ඉතිරි රුපියල් ලක්ෂ 38ක මුදල ලබාගැනීම සඳහා බැංකු නිලධාරියාගේ නිවෙසට පැමිණ සිටි සැකකරු එම දිනවලම අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

ඒ සම්බන්ධයෙන් සැකකරුගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී ඔවුන් සැලසුම්සහගතව බැංකු නිලධාරියාට කාන්තාවක් සපයා දී එය වීඩියෝ ගත කළ බවත් එම කාන්තාවට ඒ සඳහා රුපියල් ලක්ෂයක මුදලක් ලබාදුන් බව ප්‍රකාශ කළ බව පොලීසිය කියයි. එලෙස මුදල් ලබාගත් එම කාන්තාවද අත්අඩංගුවට ගැනීම සඳහා පරීක්ෂණ පවත්වන බව පොලිසිය කියයි. 

කළුතර දිසාව භාර නියෝජ්‍ය පොලිස්පති විජිත ගුණරත්න පොලිස් අධිකාරී කපිල ප්‍රේමදාස මහත්වරුන්ගේ උපදෙස් මත කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග සංජීව, පොලිස් පරීක්ෂක වීරසිරි, පොලිස් සැරයන්වරුන් වන වීරසේන (55202), ජයන්ත (17668), දයාසේන (26019) , රත්නායක (37109), කොස්තාපල්වරුන් වන ජගත් (41055), මුණසිංහ (50880), සරත් (49251), ගුණවර්ධන, ගයාන් (44817), ගුණවර්ධන (76034) ගුණවර්ධන (85848), මලින්ද (968). ප්‍රියන්ත (95150), කොස්තාපල්වරියන් වන දිලූපා (2678) , වත්සලා (7602), පොලිස් සැරයන් රියැදුරු තිලකරත්න (80621) යන මහත්වරු පරීක්ෂණ පවත්වති.

- එම් සී පෙරේරා -

තැනට සුදුසු නුවණ යොදා 8 හැවිරිදි පාසල් දැරියක් ස්ත්‍රී දූෂකයකුගෙන් බේරිලා



තැනට සුදුසු නුවණ හේතුවෙන් අට හැවිරිදි පාසල් දැරියක් පෙරේදා (16 දා) ස්ත්‍රී දූෂකයකුගෙන් ගැලවී ගොස් ආරක්ෂාව සපයා ගැනීමට සමත්ව ඇතැයි ගොවිඳුපුර පොලිසිය පවසයි. 

මෙම දැරිය තනිව නිවෙසේ සිටින විට අසල්වැසි පුද්ගලයකු ඇගේ අත්දෙක පිටුපසට කර අල්ලාගෙන ගොස් දූෂණය කිරීමට තැත් කරද්දී මෙම දැරිය "අන්න වහලේ සර්පයෙක් යනවා” යැයි පැවැසූ විට සැකකරු නැගිට බූරු ඇඳ මත නැග වහල පරීක්ෂා කරන විට බූරු ඇඳ පෙරළී ඇති බවත් එවිට ඇය නිරුවතින්ම ඇගේ බාල සහෝදරියද රැගෙන යාබද නිවෙසට දිව ගොස් ආරක්ෂාව සපයා ගෙන ඇති බවත් මේ පිළිබඳ විමර්ශනය කළ ගොවිඳුපුර පොලීසියේ ප්‍රකාශකයකු කීය. 

සැකකරු මෙම දැරිය දූෂණය කිරීමට තැත් කර ඇත්තේ ඇගේ මවුපියන් කුලී වැඩට ගොස් සිටියදී බව අනාවරණය වී ඇත. මෙම දැරියගේ මවුපියන් සිද්ධිය වූ දින දැරිය දහම් පාසල් යවා කුලී වැඩට ගොස් ඇති අතර දැරිය දහම් පාසල නිම වී දහවල් යාබද ඥාති නිවෙසකට ගොස් තිබේ. එහිදී මෙම දැරිය ඇඳ සිටි ළමා සාරිය ගලවා ඇඳුම් මාරු කරගෙන ඒමට යන බව එම ඥාති නිවසේ කාත්තාවට පවසා මෙම දැරිය ඇගේ නිවෙසට ගොස් ඇත. එවිට මෙම දැරිය පදිංචි නිවෙසට ආසන්න නිවසක සිටින සැකකරු නිවෙසට පැමිණ ඇගේ දෑත් පසුපසට කර අල්ලාගෙන ගොස් දූෂණය කිරීමට තැත් කර ඇති බව පොලිසිය පවසයි.

සිද්ධියට සම්බන්ධ සැකකරු පොලිසියෙන් අත්අඩංගුවට ගෙන තිබේ. සැකකරු විසිතුන් හැවිරිදි පුද්ගලයකු බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත. වින්දිත දැරිය ඇගේ මව භාරයේ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කර තිබේ.

සැකකරු ඊයේ  (17දා) සියඹලාණ්ඩුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට පැමිණීමට නියමිතව තිබිණි. මොනරාගල කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී සාමන්ත විජේසේකර, සහකාර පොලිස් අධිකාරී ඩී.ඒ.පී. පෙරේරා යන මහත්වරුන්ගේ උපදෙස් හා නියෝග මත ගොවිඳුපුර පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එච්.එම්.කේ. රවීන්ද්‍ර හේරත් මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරේ.

මොනරාගල - සංජීව බණ්ඩාර