රංජන් කස්තුරි
ඇමෙරිකානු සබ්මැරින් ප්රහාරයකින් විනාශ වූ ඉරාන නැවේ සිට මියගිය නාවිකයන්ගේ මළ සිරුරු 95 ක් පමණ ඊයේ (5) පස්වරුව වන විට කරාපිටිය ජාතික රෝහලේ ගොඩ ගැසී තිබූ අතර ඒවා තැන්පත් කිරීමට අධිශීතකරණ නොමැතිවීමෙන් රෝහලේ පාලනාධිකරණය දැඩි අර්බුදයකට මුහුණ පා තිබිණ.
කරාපිටිය රෝහලේ තිඛෙනුයේ අධිශීතකරණ 17 ක් පමණ වන අතර ඇතැම් අවස්ථාවල දී එක් ශීතකරණයක මළ සිරුරු දෙක බැගින් තැන්පත් කර තබන බවද රෝහල් ප්රකාශකයෙක් ලංකාදීපයට පැවසීය. ඒ අනුව ඉරාන ජාතිකයන් 60 කගේ පමණ මළ සිරුරු ඊයේ පස්වරුව වන විටත් අයිස් සහ ලීකුඩු මිශ්රකර මෘත ශරීරාගාරවල තබා තිබිණ.
මේ අතර මළ සිරුරු ගොඩ ගැසී තිබීම නිසා රෝහල් පරිශ්රය තුළ විශාල ආසාදන තත්වයක් පැතිර යාමේ බියක් තිබෙන බව ද සෞඛ්ය අංශ කියයි.මෙතරම් මළ සිරුරු ප්රමාණයක් තබා ගැනීමට මෘත ශරීරාගාරයේ නොමැති නිසා ශීතාගාරයක් කන්ටේනරයක් ලෙස සෞඛ්ය අමාත්යාංශයෙන් ඉල්ලා සිටි බව ද ඔහු සඳහන් කළේය.
මේ අතර සෞඛ්ය අමාත්යාංශය කරාපිටිය රෝහල් පාලනාධිකාරියට උපදෙස් දී තිබුණේ ගාල්ල දිසාපතිවරයාගේ මූලිකත්වයෙන් යුත් දිස්ත්රික් ආපදා කළමනාකරණ ඒකකය සමග අවශ්ය ක්රියාමාර්ග ගන්නා ලෙසය. මළ සිරුරු තැන්පත් කිරිම සඳහා දක්ෂිණ නාවික කඳවුර සහ ධීවර සංස්ථාව සමග සම්බන්ධීකරණයෙන් කුලී පදනම අධිශීතකරණ ලබා ගන්නා ලෙසද සෞඛ්ය අමාත්යාංශ රෝහල් බලධාරින්ට උපදෙස් නිකුත් කර තිබිණ.
ඉරාන ජාතික රෝගීන්ගේ ආරක්ෂාව ආහාර සහ ඇඳුම් ලබාදීමට වැඩ පිළිවෙළක් සකස් කරන ලෙසත් ඒ සඳහා කොළඹ පිහිටි ඉරාන තානාපති කාර්යාලය සමග සම්බන්ධීකරණය කරන ලෙසත් සෞඛ්ය අමාත්යාංශය රෝහල් පාලනාධිකාරියට උපදෙස් දී තිබිණ.රෝහලේ හදිසි අරමුදලින් අයිස් මිලදී ගෙන දිනපතා ලී කුඩු සමග කලවම් කර මළ සිරුරු ආරක්ෂා කරන නමුත් එසේ තබා ගත හැක්කේද පැය විසි හතරක කාලයක් පමණක් බව ද එම ප්රකාශකයා සඳහන් කළේය මෙම මළ සිරුරු මුදා හැරිම සම්බන්ධයෙන් තවම තීරණයක් ගෙන නැති බවද ඔහු තවදුරටත් පැවසුවේය.
මියගොස් ඇති සියලුම දෙනා මුස්ලිම් ජාතිකයන් නිසා ඔවුන්ගේ ආගම අනුව එම්බාම් කිරීමක් නොකරන බව ද මළ සිරුරු හඳුනා ගැනීමට ඉදිරියේ දී කටයුතු කරන බව ද ඔහු සඳහන් කළේය.මේ අතර ගාල්ල මහේස්ත්රාත් සමීර දොඩන්ගොඩ මහතා සහ අතිරේක මහේස්ත්රාත් මහේෂිකා විජේතුංගම මහත්මිය ද ඊයේ දහවල් කරාපිටිය රෝහලට ගොස් මේ පිළිබඳ පරීක්ෂණ පැවැත් වූහ.
මේ අතර මළ සිරුරු හඳුනා ගැනීම සඳහා වාට්ටුවේ ප්රතිකාර ලබන ඉරාන ජාතිකයෝ තිදෙනෙක් ඊයේ පෙරවරුවේ මෘත ශරීරාගාරය වෙත කැඳවාගෙන යනු ලැබූහ. ගාල්ල පොලිසියේ නිලධාරිහු ඊයේ රෝහලේ මෘත ශරීරාගාරයට ගොස් මළ සිරුරවල ඡායාරූප ලබා ගැනීම ද සිදු කළහ.මෙම සිද්ධිය වාර්තා කිරීම තහනම් කරමින් මාධ්යවේදීන්ට රෝහල් භූමියට ඇතුළුවීම රෝහල් පාලනාධිකාරිය විසින් තහනම් කර තිබීම ද විශේෂ සිදුවීමකි. මෙසේ මාධ්යවේදීන්ට රෝහල් භූමියට ඇතුළුවීම තහනම් කරනු ලැබුවේ කරාපිටිය රෝහල් ඉතිහාසයේ ප්රථම වතාවටය. මාධ්යවේදීන් රෝහල් භූමියට ඇතුළුවීම වැළැක්වීම සඳහා දැඩි පොලිස් ආරක්ෂාවක් යොදවා තිබිණ.මේ අතර රෝහලේ ආරක්ෂාව සඳහා යුද හමුදාව හා පොලිසිය ද යොදවා තිබිණි.

