Monday, September 30, 2024

රු.කෝටි 2කට වාලම්පුරියක් අලෙවි කිරීමට තැත් කළ 4ක් අත්අඩංගුවට



රංජිත් කරුණාවීර 


රුපියල් කෝටි දෙකහමාරක මුදලකට වාලම්පුරියක් අලෙවි කිරීමට තැත් කළ සිවුදෙනෙක් මහියංගණ පොලීසියේ නිලධාර්න් පිරිසක් විසින් පෙරේදා (28දා) මහියංගණ, 50 කණුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගනු ලැබ තිබේ.හල්මිල්ලවැව, මහියංගණ 51, කණුව ප්‍රදේශයේ පදිංචිකරුවෝ සිවුදෙනෙක් මෙසේ අත් අඩංගුවට පත්ව සිටිති.


යුද හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත මහියංගණ පොලීසියේ නිලධාර්න් සමග සිදු කළ වැටලීමකදී සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබිණි. අත් අඩංගුවට ගත් වාලම්පුරිය හා සැකකරුවන්, මහියංගණය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. මහියංගණය පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩි දුර පරීක්ෂණ සිදු කරයි.


වෙල් ඉපනැල්ලෙන් රජ ගෙදරට ආ, ඔහු සොයා නල්ලච්චිය ගමට ගිය ගමන



 නල්ලච්චිය ගම්මැද්දේ පුරාණ ගල් විහාරස්ථානයේ සෑ කොත් කැරැල්ල ඈතින් ඈතට දිස්වේ. සොබාදහම ගැඹුරු නිහැඬියාවක ගිලී ඇත. සියල්ල සන්සුන් වී තිබේ. කලක් තිස්සේ පංති කෙනෙහිලිකමින් හෙම්බත්ව, ඉරිසියාවෙන්, වෛරයෙන් මත් වූ සිරිලක ජන සමාජය නැවුම් මාවතක එළිපත්තට පිවිස සිටී. මේ වෙල්දෙහි, වැව් අමුණු, ගුරු පාර හා බැඳුණු ජීවන යථාර්ථය පිළිබද සැබෑ අවබෝධයෙන් යුතු මිනිසෙකු කෙරෙහි වූ ගැඹුරු විශ්වාසය කොතෙක් දැයි දැන් සනාථ වී තිබේ. පිපී සියපතක් සේ ගැමි ජන හදවත්හි නැගී ආ ඒ විශ්වාසය සොබාදහමේ ආශ්චර්යක් මෙන්ය. තුඩ තුඩ රැව් පිළිරැව් දුන් සේම අද ‘රට අනුරට' භාර වී තිබේ.


අනුරාධපුර, මාතලේ දිස්ත්‍රික් දෙමායිමේ පිහිටි ගලේවෙල, දේවහුව ප්‍රදේශයේදී 1968 නොවැම්බර් මස 24වැනිදාවක අනුර කුමාර දිසානායක මහතා ජන්ම දායාදය ලැබීය. ඒ දිසානායක මුදියන්සේලාගේ රන්බණ්ඩා සහ දිසානායක මුදියන්සේලාගේ සීලවතී යුවළට දාවය. කලක් අනුරාධපුරයේ, කලාවැවට යාබද පළාගල ප්‍රදේශයේ ළමා දිවියේ මුල් වසර කිහිපය ගතකොට ඇති අනුර, අද රට පතළ තඹුත්තේගම, නල්ලච්චිය ගම්මැද්දට පැමිණ ඇත්තේ ඉන් අනතුරුවය. ඉනික්බිතිව අප මෙසිරිලක වත්මන් ජනපති අනුර කුමාර දිසානායක මහතාගේ දිවි පෙවෙත සොයා නල්ලච්චිය ගම්මැද්දට ගියෙමු. නල්ලච්චිය ගමේ අනුරගේ මහ ගෙදරට ඉදිරිපස නිවසේ හැත්තෑ වියද ඉක්මවා අදත් නිරෝගී සම්පත්තියෙන් දිවි ගෙවන පියදාස නිශ්ශංක මහතා අතීතය සිහිපත් කළේ මෙපරිද්දෙනි.


"අනුර කියන්නේ පොඩි කාලේ ඉඳන්ම මනුස්සකම පිරිච්ච දරුවෙක්. මේ ගම් ගෙවල් එයාට හොඳට පුරුදුයි. මට අදත් මතකයි පොඩි දරුවෙක් විදිහට අනුර මේ මිදුලේ සෙල්ලම් කරපු හැටි. කොළඹ ඉඳලා ගමට ආපු වෙලාවක හදිසියේ හරි හම්බ වුණොත් නැවතිලා කටපුරා හිනාවෙලා කතා කරනවා. පාරම්පරිකව වෙන වෙන පක්ෂවලට ඡන්ද දුන්න මිනිස්සු මේ පාර අනුරට ඡන්දේ දුන්නා. මමත් එහෙම කෙනෙක්. ඉතිං මේ ගම්වල දුක් විඳින මිනිස්සු එක්ක දුක් විඳපු මනුස්සයෙක් රටේ ජනාධිපති වුණා කියන එක පුදුම ජයග්‍රහණයක්. ඇත්තටම වෙලක, නියරක ගියපු, වැවෙන්, ඇළෙන් නාපු, මිනිස්සුන්ට බය නැතිව කිට්ටු වෙන්න පුළුවන් අපේ මනුස්සයෙක් ඔය තැනට ගියා කියන එකම ඇති. සොබාදහමේ ආශීර්වාදෙන් සිද්ධ වෙච්ච දෙයක් ඒක.”


1965 මැයි 14වනදා ගාල්ල, අක්මීමනදී ජනතා විමුක්ති පෙරමුණ ආරම්භ කරමින් එහි එවක නායක රෝහණ විජේවීර පැවසුවේ, නව හිරු උදාවට මත්තෙන් අප අවදිව සිටිය යුතුය යනුවෙනි. එපරිද්දෙන්ම දැන් නව ඉරක් පායා තිබේ. නේක ඉච්ඡා බසින් අතෝරක් පීඩාවන්ට ලක්ව තිබූ ලක්වැසි ජන හදවත්හි නිහඬ පරිවර්තනයක් සිදුවෙමින් තිබිණි. සාම්ප්‍රදායික දේශපාලනය කරපින්නා ගත් කිසිවෙකුට ඒ වග දැනුණේ නැත. ජාතිවාදය, ආගම්වාදය, මුසාවාද, අපවාද අභිභවමින් මතුව ආ විසල් ජනරැල්ල පිළිබඳව ඔවුනට නිසි කියවීමක් තිබුණේද නැත. අවසන ඇත්ත මහ පොළොව හා බැඳුණු ජීවන යථාර්ථය ජය ගෙන තිබේ. ගරු ගාම්භීර ඇමතුම් පසෙකලා මේ ගම්මැදිවල අනුර නමින් එසවුණු ධජ පතාක තුළ සිත්තම් වී තිබුණේ “ජනාධිපති සහෝදරයාට සුබ පැතුම්" යනුවෙනි. තඹුත්තේගම නිමල් ජයකොඩි ඒ හැඟීම ඔප දැමුවේ මෙපරිද්දෙනි.


“දේශපාලනේ කරන ගොඩක් අය අවංකව මිනිස්සුන්ට කිට්ටු වෙන්නේ ඡන්ද කාලෙට විතරයි. ඒක වෙනස් කරන්න පුළුවන්, සහෝදරයා කියලා කට පුරා කතා කරන්න පුළුවන් මනුස්සයෙක් රටේ ජනාධිපති වෙලා තියෙනවා. මේ ගම්වල දුක් විඳින මිනිස්සු ගැන අවංකව බලන්න කෙනෙක් මෙතුවක් හිටියේ නෑ, ගම්වල ‘ඉඳලා ගිහින් ඇමතිකම් ගත්ත අයත් අවසානේ මිනිස්සු අමතක කරලා ඒ ගොල්ලෝ හම්බ කරගත්තා. අපිට පුද්ගලිකව මොකුත් එපා. ඒත් අනුර මහත්තයාට රට වෙනස් කරන්න ලොකු වගකීමක් තියෙනවා. ඒක කරන්න කියන එක තමයි අපේ ඉල්ලීම”


අනුරට එක් සහෝදරියක් පමණක් සිටියි. ඇය ශ්‍රියාලතා දිසානායකය. අනුරගේ ළමා දිව්ය ගත වු නල්ලච්චිය ගම්මැද්දේ  මහ ගෙදර අද සිටිනුයේ ඇයය. අසූ වියද ඉක්මවා දිවියේ සැදෑ සමයට පිවිස සිටින ඔවුනගේ මවද ඇය සමග සිටින්නීය. අනුර හා මව එක්ව කලකට මත්තෙන් ගත් සේයාරුවක් නිවසේ ආලින්දයේ පසෙක දිස්වේ. විවිධ ජීවන දුෂ්කරතා මැද ගෙවීගිය ඔවුනගේ ළමා දිවිය පිළිබඳව අද ශ්‍රියාලතා මහත්මියට ඇත්තේ උපේක්ෂාසහගත හැඟීමකි. ඉතා සරල බවින් ඔප වැටුණු ඔවුනගේ ජීවන පෙවෙත නිව්‍යාජ බව විද්‍යාමාන වන කැඩපතක් බඳුය. රටක වගකීම් දෙවුර දැරුවද, අදත් ඇයට ඔහු ආදරණීය මල්ලීමය. මේ වෙල් සුළඟට මුසු වූ අතීත ජීවිත මතකයන් පිළිබඳව ශ්‍රියාලතා දිසානායක මහත්මිය අද මෙසේ පවසන්නීය.


“අපි ඉස්සර හිටියේ අද මේ තියෙන ගෙට පිටිපස්සේ තිබ්බ පොඩි ගේක. මට තාමත් මතක් වෙනවා අපි හතරදෙනො ඒ පොඩි ගෙදර හිටපු හැටි. ඒ පොඩි ගේ ඉස්සරහා අරලියා ගහක් තිබ්බා, ඉස්කෝලේ ඇරිලා ඇවිල්ලා ඔය අරලිය ගහට නැගලා මල්ලි පොත් පාඩම් කරනවා. එයාට තිබ්බ තව පුරුද්දක් තමයි කෑම කන ගමන් මේසේ උඩ තියාගෙන පොතක් හරි පත්තර කෑල්ලක් හරි කියවන එක. මල්ලී පොඩි කාලේ ඉඳන් ඉගෙන ගන්න හරීම දක්ෂයි. මල්ලි ලේසියෙන් වැටෙන් නැති, ලොකු අධිෂ්ඨානයක් තියෙන කෙනෙක්. ඒ නිසාමයි එයා අද ඉන්න තත්වෙට ආවේ. ඒ ගැන හිතන කොට පුදුම සතුටක් දැනෙන්නේ.”


අනුර දිසානායක දරුවා එකලෙහි මූලික අධ්‍යාපනය සඳහා ඇතුළත්ව ඇත්තේ තඹුත්තේගම ගාමිණි විද්‍යාලය හෙවත් වර්තමානයේ තඹුත්තේගම ප්‍රාථමික විද්‍යාලයටය, ගාමිණි විද්‍යාලයේදී සාමාන්‍ය පෙළ විභාගය ඉහළින් සමත් වන අනුර කුමාර සිසුවා, උසස් පෙළ හැදැරීම සඳහා ඇතුළත්ව ඇත්තේ, තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලයටය. එම විද්‍යාලයේ මුල්ම උසස් පෙළ ශිෂ්‍ය කණ්ඩායම වන්නේද අනුර ඇතුළු ශිෂ්‍ය පිරිවරය. එහිදී ගණිත අංශයෙන් උසස් පෙළ සමත් වන ඔහු, කැලණිය විශ්වවිද්‍යාලයට පා තබනුයේ 1992 වසරේදීය.


අනුර කුමාර දිසානායක තරුණයා සිය උසස් අධ්‍යාපනය අහවරව, 1995 වසරේදී විශ්වවිද්‍යාලයෙන් නික්ම යනුයේ, විද්‍යාවේදී උපාධිධරයෙකු ලෙසිනි. අනුර ගාමිණි විද්‍යාලයට ගිය අවදියෙහි එහි විදන ගුරුවරයා වූ ජී.එම්. අමරසූරිය මහතා නඹුත්තේගම ගම්මැද්දට වී විශ්‍රාමිකව අද දවස ගෙවන්නේය. ඔහු අතීතය සිහිපත් කළේ මෙපරිද්දෙනි.


1984 අවුරුද්දේ තමයි තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලය ආරම්භ කෙරුවේ. ඒ වෙනකන් දැන් ඔය ගාමිණි විද්‍යාලය විදිහට තියෙන, ඒ කාලේ ගාමිණි විද්‍යාලයේ තමයි සාමාන්‍ය පෙළ වෙනකන් පංති තිබ්බේ. මට අනුරව මුලින්ම මුණගැහුණේ එයා හයේ පංතියේ ඉගෙන ගන්න කොට. මං උගන්වපු දරුවෙක් අද මේ ඉන්න තත්වේ ගැන මට තියෙන්නේ ලොකු සතුටක්. ඇත්තටම අනුරලා තමයි ගාමිණි විද්‍යාලෙන් අවසානෙට සාමාන්‍ය පෙළ විභාගේ ලියපු ළමයි කට්ටිය වුණේ. ඒ ගොල්ලෝ තමයි තඹුත්තේගම මධ්‍ය මහා විද්‍යාලේ මුලින්ම උසස් පෙළ පටන් ගන්න කොට හිටපු ළමයි කට්ටිය වුණෙත්. ඒ අයගෙන් දෙන්නෙක් තමයි මුලින්ම විශ්වවිද්‍යාලෙට ගියේ. එක් කෙනෙක් අනුර. ඒ කාලේ ඉඳන්ම අනුර ඉගෙන ගන්න හරිම දක්ෂයි. නිකං ඉන්නෑ ප්‍රශ්න කරනවා. තර්ක කරනවා. ගණිත අංශයෙන් තඹුත්තේගම ඉස්කෝලෙන් විශ්වවිද්‍යාලයට ගියපු පළවැනි දරුවා තමයි අනුර."


1987 වසරේදී පාසල් ශිෂ්‍යයෙකු ලෙස ඉන්දු - ලංකා ගිවිසුමට එරෙහිව සමාජවාදී ශිෂ්‍ය සංගමයේ ක්‍රියාකාරිකයෙකු වූ අනුර, සරසවි භූමිය තුළද කැපීපෙනෙන දේශපාලන චරිතයක් බවට පත්වෙයි. එහිදී ජනතා විමුක්ති පෙරමුණට අනුබද්ධිත සමාජවාදී ශිෂ්‍ය සංගමය නැවත ගොඩනැගීමට දායක වන අනුර, සරසව් සිසුන් අතර ආකර්ෂණීය නාමයක් බවට පත්වෙයි. එකලෙහි ඔහු කැලණිය විශ්වවිද්‍යාලයීය බෞද්ධ සංගමයේ සභාපති ධුරයද හොබවනු ලැබ තිබේ. නුවර කලාවියෙන් අගනුවරට පැමිණි අනුරගේ දේශපාලන ගමන් මගෙහි තීරණාත්මක සංධිස්ථානයක් සනිටුහන් කරමින් 1997 වසරේදී ඔහු ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කාරක සභාවට තේරී පත්වෙයි.


ඉන් වසරක් ඇවෑමෙන් 1998 දී ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩලයට ඇතුළත් වීමට අනුර කුමාරට වරම් හිමිව තිබේ. එම වසරේදීම ඔහු මධ්‍යම පළාත් සභාවේ මහ ඇමති ධුරය සඳහාද තරග වැදුණේය. මෙවර ජනපතිවරණ සටනත් සමග අන් කවරදාටත් වඩා අනුර මේ කලාපයේ තරුණ උන්මාදයක් බවට පත්වෙයි. ඔවුහු අන් කවරෙකු හෝ කෙරෙහි නොවූ විශ්වාසයකින් ඔහු වටා රොද බඳිති. නල්ලච්චියේ ඩී.එම්. ශ්‍රියාලතා ඒ පිළිබඳ වූ සිය සිතැගි මෙසේ හෙළි කළාය.


"අපිට දැන් හොඳට තේරෙනවා කවුද ඇත්තටම හිනා වෙන්නේ, කවුද බොරුවට හිනා වෙන්නේ කියන එක. ඒක තේරුම් ගත්ත මිනිස්සු වැඩි හින්දා තමයි රටේ මේ පෙරළිය සිද්ධ වුණේ. නැත්නම් අපිට මේ පාරත් සිද්ධ වෙන්නේ දහදුක් විඳගෙන අපිට නෙමෙයි එයාලට හම්බ කරන්න. මං හිතන්නේ දැන් ඒ යුගේ ඉවරයි. මේ පාර ඡන්දෙන් පස්සෙත් ඒක හොඳට පෙනුණා. අඩුම තරමින් කවුරුවත් කාගෙවත් හිත් රිදෙන විදිහේ වචන හුවමාරුවක්වත් කරගත්තේ නෑ. ඒ කාලේ ඡන්දයක් ඉවර වෙනකොට මිනිස්සු පුදුම බයකින් ඉන්නේ. ඒත් මේ පාර හැමදේම වෙනස් වුණා."

 

අනුර කුමාර දිසානායක මහතාගේ විසිහතර වසරක පාර්ලිමේන්තු දිවිය ඇරඹෙනුයේ 2000 වසරේදී පළමුවරට ජාතික ලැයිස්තු මන්ත්‍රීවරයෙකු ලෙස පාර්ලිමේන්තුවට පත් වීමත් සමගය. 2001 වසරේදී එවක ජනාධිපතිනී චන්ද්‍රිකා කුමාරතුංග මහත්මිය ප්‍රමුඛ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සමග ඇති කළ පරිවාස ආණ්ඩුව බිහි කිරීමට ඔහු දායකත්වය දුන්නේය. අනුර යළි 2004 වසරේදී කුරුණෑගල දිස්ත්‍රික්කය නියෝජනය කරමින් පාර්ලිමේන්තුවට තේර්පත් වූයේ වැඩිම මනාප ඡන්ද සංඛ්‍යාවක්ද ලබා ගනිමිනි. 2004 වසරේදී පිහිටුවන ලද එක්සත් ජනතා නිදහස් සන්ධාන ආණ්ඩුවේ කෘෂිකර්ම, ඉඩම්, වාරිමාර්ග හා පශු සම්පත් අමාත්‍ය ධුරය අනුර කුමාර දිසානායක මහතා හොබවනුයේ පුර්වාදර්ශී මෙහෙවරක නියැළෙමිනි.


2008 වසරේදී අනුර ජනතා විමුක්ති පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්ඩායමේ නායකයා ලෙස පත් විය. අනතුරුව 2010 වසරේ පැවති මහ මැතිවරණයෙන් ජාතික ලැයිස්තුවෙන් නැවතත් ඔහු පාර්ලිමේන්තු පැමිණියේය. 2014 වසරේ පෙබරවාරි මස දෙවනදා පවත්වන ලද ජනතා විමුක්ති පෙරමුණේ 7වන ජාතික සම්මේලනයේදී ජනතා විමුක්ති පෙරමුණේ අනුර කුමාර දිසානායක මහතා පත්වනුයේ ඔහුගේ දේශපාලන දිවියෙහි පැහැදිලි කඩඉමක් සනිටුහන් කරමිනි. 2015 වසරේ සිට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ ප්‍රධාන සංවිධායකවරයා ලෙස කටයුතු කළ ඔහු, 2015 අගෝස්තු මහ මැතිවරණයෙන්ද කොළඹ දිස්ත්‍රික්කය නියෝජනය කරමින් නැවතත් පාර්ලිමේන්තුවට තේරි පත්විය.


2019 වසරේ අගෝස්තුවේදී ජනතා විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්ෂ, සිවිල් සංවිධාන හා දේශපාලන ක්‍රියාකාර්න් ගණනාවක් එක්කර ගනිමින් ජාතික ජන බලවේගය නම් නව දේශපාලන ව්‍යාපාරයකට මුලපුරනු ලැබීය. 2019 ජනාධිපතිවරණයට ජාතික ජන බලවේගයේ ජනාධිපති ධුර අපේක්ෂකයා ලෙස ඉදිරිපත් වන්නේ අනුර කුමාර දිසානායක මහතාය. එතැන් සිට ඉකුත් ජනාධිපතිවරණය දක්වා දියත් වූ නිර්ව්‍යාජ වැඩපිළිවෙළ යථාර්ථයක් බවට පත්කිරීමේ  අවස්ථාව දැන් අනුර කුමාර දිසනායක මහතාට හිමිවී තිබේ. 


මෙරට ඈත ගම්මැදිවල ජනී ජනයා පනස් හත් ලක්ෂයකට වැඩි පිරිසක් ඒ සඳහා අනුමැතිය පළ කොට තිබේ. ඉනික්බිතිව මිලියන 22ක ජනයා ඒ කෙරෙහි දෑස් දල්වා බලා සිටිති.


“නුඹට මඩ ගෑ බොහෝ උන් හට හිනාවක් හෙට මවාපන්

වහල් බව කොතරම් නිවටදැයි

ලොවට හඬ ගා කියාපන්

බිදුණු හිත් ඇති මිනිස් සිතුවිලි

නැවතී නැවතී අසාපන්

පරණ හිරු ළඟ අලුත් දවසක්

රැගෙන සෙනෙහස ඛෙදාපන් ..." 


තඹුත්තේගම නගර මධ්‍යයේ අභිනව ජනපති අනුර කුමාර දිසානායක මහතා වෙනුවෙන් එල්ලූ බැනරයක මේ කලාපයේ ජනතා අපේක්ෂාව කවරක්ද යන්න එසේ සනිටුහන් කොට තිබිණි.


සියලුම වර්ගවල සහල් රජයේ පාලන මිලට ජනවාරි 22දා දක්වා අලෙවි කරනවා

 


නිමල් ජයරත්න


නව රජයට සහාය දැක්වීමක් වශයෙන් සියලුම වර්ගවල සහල් රජයේ පාලන මිලට අලෙවි කිරීමට කටයුතු කරන බව අරලිය සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්ෂ ඩඩ්ලි සිරිසේන මහතා මාධ්‍ය සාකච්ඡාවකදී පැවසීය.ඩඩ්ලි සිරිසේන මහතා එසේ ප්‍රකාශ කළේ පොළොන්නරුව නවනගරය සුදු අරලිය හෝටලයේ දී ය.මෙම සාකච්ඡාවට මහා සංඝරත්නයද වැඩමකර සිටි අතර පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගොවි සංවිධානවල නියෝජිතයෝ ද සහභාගි වූහ. 


මෙහිදී වැඩිදුරටත් කථා කළ ඩඞ්ලි සිරිසේන මහතා රජයේ පාලන මිලට සහල් අලෙවි කිරිමට සහල් මෝල් සංගමයේ සභාපති වර්ණ ගයාන් රංජිත් යන මහතා ඇතුළු සහල් නිෂ්පාද ව්‍යාපාරිකයන් සමග සාකච්ඡා කර මෙම තීරණය ගත් බව පැවසීය.ඔහු මෙසේද කීය.


“අපට නාඩු සහල් කිලෝවක් රුපියල් 220ට දෙන්න අපහසුයි. නාඩු වී මිටියක් අපි ගන්නේ රුපියල් 7800 කට. එවිට නාඩු වී කිලෝවක් රුපියල් 122ක් වෙනවා. ලාබ වුණත් පාඩු වුණත් ලබන ජනවාරි මාසේ 20 දින දක්වා සහල් කිලෝවක් රුපියල් 220 ක් වන රජයේ පාලන මිලට අලෙවි කිර්මට කටයුතු කරනවා. සහල් මිල වැඩිවී ඇති බව පවසන පුද්ගලයන් සිගරැට් එකක් රුපියල් 150ක් දීලා ගන්නවා. සහල් කිලෝවක් රුපියල් 250 කට ගන්න බැරි පුද්ගලයන් ද අප අතර සිටිනවා .


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගේ රජයට සහාය දැක්වීමක් වශයෙන් සහල් මිල අඩුකර දෙන්න අදහස් කළා. අලුත් පාර්ලිමේන්තුවක් සැදී අලුත් රජයක් යටතේ ගොවිතැන් කටයුතුවලට සහනයක් සලස්වනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා. නාඩු වී මිල පහත බැස කීර් සම්බා වී මිල වැඩි වුණාම ගොවි මහතුන් වැඩි වශයෙන් ඒ කන්නයේ කීර් සම්බා වැඩියෙන් වගා කරනවා. නාඩු වී අඩු වුණාම නාඩු වී මිල වැඩි වෙනවා . මිල ඉහළ පහළ යන්නේ මේ වගා පිළිබඳ ගොවි මහතුන් දැනුවත් වීමක් නොමැති නිසයි.


වී වගාව ක්‍රමවත්ව සැලසුම්කර කළ යුතුයි. ඒ සඳහා මෙතෙක් පැවැති රජයන් කිසිදු වැඩපිළිවෙළක් සැලසුම්කර නැහැ.”දේශපාලනය කරන්න අදහසක් නැද්දැයි මාධ්‍යවේදීයකු ඇසු ප්‍රශ්නයකට පිළතුරු දුන් ඩඩ්ලි සිරිසේන මහතා “අවුරුදු 64ක් තිස්සේ දේශපාලනය නොකළ මට දේශපාලනයට එන්න කියා හීනයකින්වත් පෙනුණේ නැතැ”යි සඳහන් කළේය.


ප්‍රභූ ආරක්ෂක 1000ක් අද හෙටම පොලිසිවලට

 

 


ප්‍රභූ ආරක්ෂාව සඳහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයින පුරා පොලිස් ස්ථානවලට තව දින දෙක තුනකින් අනුයුක්ත කරන බව පොලිස් මූලස්ථානය පවසයි. ප්‍රභූ ආරක්ෂක රාජකාරියේ යෙදී සිටි පොලිස් නිලධාරීන් මේ වනවිට වැල නොකැඩී ඇමැති ආරක්ෂක කොට්ඨාසයට වාර්තා කරමින් රාජකාරි ගිනි අවි බාර දෙන බව පොලිස් ආරංචි මාර්ග පවසයි.


ප්‍රභූ ආරක්ෂාවේ යෙදී සිටි පොලිස් නිලධාරීන්ට පහසු පොලිස් ස්ථානයක් අනුයුක්ත කොට්ඨාසයෙන් ඉල්ලා සිටිය හැකි අතර ඒ සම්බන්ධයෙන් පොලිස් මූලස්ථානය සමග සාකච්ඡා කර පොලිස් ස්ථාන වලට යෙදවීමට නියමිත බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.හිටපු කතානායක හිටපු නියෝජ්‍ය කතානායක සහ විපක්ෂ නායකවරයාගේ ආරක්ෂාව සදහා යොදවා සිටින පොලිස් නිලධාරීන් හැර දිවයින පුරා සිටින අනෙකුත් සියලුම ඇමැති ආරක්ෂක කොට්ඨාසයට අනුයුක්ත පොලිස් නිලධාරීහු ඇමැති ආරක්ෂක කොට්ඨාසයට ඉකුත් 24 වැනිදා කැඳවනු ලැබූහ.


ප්‍රභූ ආරක්ෂාව සදහා පොලිස් නිලධාරීහු 1300 කට අධික සංඛ්‍යාවක් යොදවනු ලැබ සිටියහ.ඒ අනුව සියලුම අමාත්‍යවරුන්, නියෝජ්‍ය අමාත්‍යවරුන්, රාජ්‍ය අමාත්‍යවරුන් සහ පාර්ලිමේන්තුව නියෝජනය කළ අනෙකුත් මන්ත්‍රීවරුන්ගේ ධූර ඉකුත් 24 වැනිදා මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමග සියලුම මන්ත්‍රීවරුන්ගේ ධුර එදින පටන් අවලංගු විය.


එම ප්‍රභූවරුන්ගේ ආරක්ෂාව සඳහා යොදවා තිබූ ප්‍රභූ ආරක්ෂක නිලධාරීන් සහ මින් මින් පෙර අමාත්‍යවරුන්, මන්ත්‍රීවරුන්, හිටපු ආණ්ඩුකාරවරුන්, පළාත් සභා නියෝජනය කළ හිටපු අමාත්‍යවරුන් හා මන්ත්‍රීවරුන් වෙත ලබාදී තිබූ ප්‍රභූ ආරක්ෂාව ද ඉවත් කරනු ලැබීය.වින්දිතයන් සහ සාක්ෂිකරුවන් ආරක්ෂා කිරීමේ පනත අනුව අධිකරණ නියෝගයක් මත විශේෂ ආරක්ෂාවක් ලබා දිය යුතු බවට නියෝග කර ඇති පාර්ලිමේන්තු හෝ පළාත් නියෝජනය කළ හෝ ආණ්ඩුකාර ධුර දැරූ ප්‍රභූවරුන් සිටී නම් ඔවුන් වෙත පමණක් ආරක්ෂාව තවදුරටත් ලබාදෙන බව ද ඇමැති ආරක්ෂක කොට්ඨාසය පවසයි.


ගයාන් සූරියආරච්චි

මැති ඇමැති පිස්තෝල ආපසු ගනී

 

 


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී තිබූ ආරක්ෂක ගිනිඅවි (පිස්තෝල) ආරක්ෂක අමාත්‍යාංශයට වහාම බාර දෙන ලෙස පාර්ලිමේන්තුවේ මන්ත්‍රී සේවා අංශය එම ගිනි අවි ලබා ගෙන ඇති හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලිඛිතව දන්වා ඇත. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 225 දෙනාගෙන් සියයකට ආසන්න පිරිසක් එම ආරක්ෂක ගිනි අවිය ලබාගෙන ඇත. 


පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට දී ඇති සියලුම පහසුකම් පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමගම අහෝසි වෙයි. මන්ත්‍රී දීමනාව, මන්ත්‍රී කාර්ය මණ්ඩල දීමනා, ඉන්ධන පහසුකම් සහ මුද්දර ගාස්තු මෙසේ අහිමි වන පහසුකම්ය. කෙසේ වෙතත් මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීර්ණයෙන් මන්ත්‍රීවරුන්ට ලබා දී ඇති නිල නිවාස පමණක් ඡන්දය පැවැත්වෙන දින තෙක් පාවිච්චි කිරීමට ඔවුනට ඉඩකඩ සලසා දී ඇත.මහ මැතිවරණයෙන් යළි තේරී පත් නොවන මන්ත්‍රීවරුන් සියලු දෙනා ඡන්ද විමසීමෙන් පසු දිනම එම නිල නිවාස යළි බාර දිය යුතුව ඇත.



සුජිත් හේවාජුලිගේ

දේශපාලක තැබැරූම් බලපත් ගත් ව්‍යාපාරිකයෝ අවුලක

 

 

හිටපු ආණ්ඩුව යටතේ අරක්කු තැබෑරුම් බලපත්‍ර ලබාගෙන පක්ෂ මාරු කළ මහනුවර දිස්ත්‍රික්කයේ ඇතැම් දේශපාලනඥයන්ගෙන් එම බලපත් රුපියල් කෝටි දෙක තුන වැනි මුදලකට මිලදී ගත් ව්‍යාපාරිකයන් කීහිප දෙනකු එම මත්පැන් බලපත් අවලංගු කිරීමේ වත්මන් රජයේ තීරණය හේතුවෙන් කබලෙන් ළිපට වැටී ඇතැයි මහනුවර දිස්ත්‍රික්කයේ ප්‍රධාන පෙළේ මත්පැන් අවන්හල් ජාල පවත්වාගෙන යන ව්‍යාපාරිකයන් අතර කතා බහට ලක්ව ඇත.


අලුතෙන්ම අරක්කු තැබෑරුම් ආරම්භ කළ ව්‍යාපාරිකයන් පවසන්නේ නව රජය අලුතෙන් දුන් තැබෑරුම් බලපත් අවලංගු කරන බවට මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන අතර එවැනි තත්වයකට මුහුණ දීමට සිදු වුවහොත් තමන්ගේ ව්‍යාපාරවලට ඉන් තදබල බලපෑමක් ඇතිවිය හැකි බවයි.මහනුවර සහ අවට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවල අලුතෙන්ම ආරම්භ කළ තැබෑරුම් රැසක් තිබෙන බව රජයේ බලපත්‍ර ලාභී මත්පැන් අලෙවි ජාලයන් හිමි ව්‍යාපාරිකයෝ පවසති. 


තමන්ට ලද අරක්කු තැබෑරුම් බලපත් ව්‍යාපාරිකයන්ට විශාල මුදලකට විකුණූ හිටපු ආණ්ඩුවල දේශපාලනඥයන් රැසක් මහනුවර සිටින බව ජාතික ජනබලවේගයේ ජ්‍යෙෂ්ඨ දේශපාලනඥයෙක් පැවසීය.තම පක්ෂයේ කිසිදු දේශපාලනඥයකු කිසිම ආණ්ඩුවකින් අරක්කු තැබෑරුම් බලපත්‍ර ලබාගෙන නැති බවද හෙතෙම කීය.


ජේ.ඒ.එල්. ජයසිංහ


මාධ්‍යවේදිනියකට අතවර කළැයි හමුදාවෙන් පලා ආ සෙබළකුට මාංචු



 ශාන්ත ප්‍රදීප් කුමාර කුලරත්න 


සේවය නිමවා නිවසට යමින් සිටි මාධ්‍යවේදිනියකට ලිංගික අතවරයක් කළ බව පැවසෙන යුද හමුදාවෙන් පලා ආ සෙබළකු අත්අඩංගුවට ගත් බව මත්තේගොඩ පොලිසිය පවසයි. මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ හෝමාගම පිටිපන උතුර ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි සාමාන්‍ය සෙබළකු බව පොලිසිය කියයි.


මෙම පුද්ගලයා කිලිනොච්චිය කොකාවිල් යුද හමුදා කඳවුරට අනුයුක්තව සේවයේ නිරතව සිටියදී මාස තුනකට පෙර නිවාඩු ලබා පැමිණ යළි සේවයට වාර්තා නොකර කුලී ගමන් ලබාදෙන සමාගමකට සම්බන්ධ වී ත්‍රිරෝද රථයක් හයර් කරමින් සිට ඇත. එසේ සිටින අතරතුරදී මත්තේගොඩ පොල්ගඕවිට පාර ප්‍රදේශයට කුලී ගමනක් පැමිණ එය අවසන් කර යළි කුලී ගමන් ඇණවුමක් ලැබෙන තෙක් මහමග රැඳී සිටියදී සේවය නිමවා නිවසට යමින් සිටි තරුණියක් ත්‍රිරෝද රථය පසු කරමින් ගොස් ඇත. එසේ යන අවස්ථාවේදී සැකකරු ඇයගේ සිරුර ස්පර්ශ කරමින් ලිංගික අතවරයක් කර ඇතැයි පොලිසිය පවසයි.


ඒ අනුව කලබලයට පත්වූ තරුණිය කෑ ගසනවාත් සමග අසල්වාසීන් එම ස්ථානයට පැමිණෙද්දී සැකකරු සැඟව සිට ඇත. පසුව ප්‍රදේශවාසීන් ඔහු සොයා අවට පරීක්ෂා කිරීමේදී ඉන්ධන නොමැතිව ත්‍රිරෝද රථය නැවතුණු බව පවසමින් සැඟව සිටි සැකකරු පලායාමට උත්සාහ කර ඇතැයි පොලිසිය කියයි. එහිදී ඔහුට පලායාමට ඉඩ නොදී 119 හදිසි ඇමතුම් අංකයට දැනුම් දී රාත්‍රී ජංගම මුර සංචාරයේ යෙදී සිටි පොලිස් ජීප් රථයක් එම ස්ථානයට ගෙන්වාගෙන සැකකරු ත්‍රිරෝද රථයද සමග අත්අඩංගුවට ගැනීමට සලස්වා ඇත. ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු යුද හමුදාවෙන් පලා ආ අයකු බවට තොරතුරු අනාවරණය වී තිබේ. අත්අඩංගුවට ගත් සැකකරු කැස්බෑව අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය. 

අම්මා හෙළි කරන අනුරගේ දුෂ්කර ආරම්භය



 රටේ නව වැනි ජනාධිපතිවරයා වීමට අනුර කුමාර දිසානායක ගිය මාර්ගය ඔහුගේ පූජිවගාමීන් එම තනතුරට ගිය මාර්ගය මෙන් රෝසමල් ඇතුරූ යහනක් නොවීය. අල්පේච්ඡතාවෙන් යුතු ආරම්භයක් හා බොහෝ අසීරුතා එම මාර්ගයේ වූයේය. ‘එක පාරක් බෞද්ධ විහාරයක ආරක්ෂකයා ඔහු මහණ කරන්නට මගෙන් ඉල්ලුවා."

යනුවෙන් ඔහුගේ මව වන ඩී.එම්. සීලවතී අතීතය මතක් කළාය. අවුරුදු ගණනකට පසු ඇගේ පුතු අනුරට සිය පියාගේ අවමංගල්‍යයට සහභාගී වීමට නොහැකි වූයේය. පොලිසිය සහ හමුදාව ඔහු අත්අඩංගුවට ගන්නට බලා සිටියේ යැයි ඔහුගේ මව හෙළිදරව් කළාය.


“එකපාරක්, දරුවට මාස හයේ විතර වයසෙදි කේන්දරේ බලාගන්න මං අනුරව නක්ෂත්‍රකරුවෙක් ළඟට එක්ක ගියා. ගල් ගැහුණු මුහුණෙන් ඔහු කිව්වා. මගේ පුතා දවසක රජ වෙනවා කියලා." අසූහය වැනි වියේ පසුවන ඇයට තමා ගැන කරුණු කියා පෑමට සෑහෙන තරම් අපහසු වූ අතර ඇගේ 62 හැවිරිදි දියණිය වූ ඩී.එම්. ශ්‍රියාලතා ඇයට ඒ සඳහා උදව් කරන්නට සිදු වූයේය.


මට ඇය මුණගැසුණේ කලාවැව මැතිවරණ කොට්ඨාසයේ, මහවැලි එච්. කලාපයේ ගොඩ නැගූ චාම් නිවසකදීය. ඔවුන් එම නිවස වෙත ගොස් තිබුණේ 1972දීය. එය ගොවිතැනට යොමුවූ නගරයක් වූ තඹුත්තේගම සිට වාහනයක විනාඩි දහයක ගමනක යන දුරින් (අනුරාධපුරයේ සිට එය කිලෝමීටර් 25ක් දුරින් පිහිටා තිබිණි) රැළි ගොඩැලි සහිත පාරක පිහිටියේය. සෙල්ලම් පිටියක් පසු කරගෙන ඒ කරා යා යුතුය. ක්‍රිකට් ක්‍රීඩාව ගම් නියම්ගම් ආක්‍රමණය කිරීම නිසා එම පිටියේ මැද හරියේ තණකොළ ඉවත් වී ක්‍රිකට් පිච් එක මතු වී තිබිණි. ඊළඟට හමුවන්නේ බෞද්ධ විහාරයයි. ඉන් පසු ටික දුරක් වාහනය පදවා යද්දී කටු කම්බිවලින් වට කරනු ලැබූ නිවසක් හමුවේ. එහි එක් පැත්තක් අලුතෙන් සෙවිලි ෂීට් වලින් ආවරණය කළ වහළයක් තිබෙන නිසා එය අලුත් වැඩියා කළ ලකුණු එයින් දිස්වේ.


ශ්‍රියාලතා දියණිය ඇයගේ මව සාලයේ තිබෙන ඇඳි පුටුව වෙත එක්කරගෙන පැමිණියාය. ඊට ඉදිරියෙන් රූපවාහිනී යන්ත්‍රයක් තිබිණි. “මල්ලී පෙනී සිටින හැම වෙලාවකම රාත්‍රියට ඈ ප්‍රවෘත්ති බලනවා. ඈ මගෙන් මෙහෙම අහනවා. ‛එයා මගේ පුතාද’ පුතා දිහා දැඩි සෙනෙහෙසින් ඈ බලා ඉන්නවා." යයි ශ්‍රියාලතා කීවාය. ‘මගේ මල්ලි අනුරත් ඈට හරිම ආදරෙයි. මේ පැත්තෙ එන හැම වතාවකම එයා අපව බලන්න එනවා”. ජනාධිපති දිසානායකගේ බාල විය ඇගේ මව සිහිපත් කළාය. ඔහු සරුංගල් යැවීම අතීතයේ ප්‍රිය කළේය. ඔහු දිනපතා නිරත වූ තවත් කාර්යයක් නම් පිහිණීමේ යෙදීමයි. ඔහු ඊට අතිශය දක්ෂයකු විය. 


දිනපතාම ඒ අසල විනාඩි පහක් පයින් ඇවිදින දුරින් පිහිටි නාලච්චිය වැවට ඔහු පිහිණීම සඳහා ගියේය. ඔහුගේ වඩාත් බැරූරුම් ගති ගැන කී ඔහුගේ සොයුරිය, අනුර වඩාත් අභිරුචියෙන් පොත පත කියවන අයකු බව හෙළිකළාය. '' පොත් කියවීම එයාට කෑමක් බීමක් වාගේ. අපේ ගේ ඉස්සරහ අරලිය ගහක් තිබුණා. එයා ඒ ගහට නැගල අත්තක් උඩ ඉඳගෙන හඬ නගල පොත් කියවන්න ආසා කළා." සිනාසෙන ගමන් ඇය කීවාය.


“එයාට නිතරම පොතක් නැත්නම් පත්තරයක් ඕනා වුණා. අපි කෑම මෙසෙ ඉඳගන්න හැම වාරෙකම. මට කිසිම වෙලාවක එයාට පාඩම් කරන්න කියන්න සිද්ධ වුණේ නෑ. එයා එයාගෙ පාඩුවෙ නිතරම ඒ වැඩේ කළා."යයි ඇය සිහිපත් කළාය.


“අනුරගෙ තාත්තා,මගේ මහත්තය වැඩ කළේ මිනින්දෝරු ජෙනරාල් දෙපාර්තමේන්තුවෙ. ඔහු 1992 දී අන්තරා වුණා. අපට හුගක් අමාරු කාලයක් වුණා ඒක. අනුර යන්න අධිෂ්ඨාන කරගත්ත ගමන් මග තීරණය වුණේ ඒකෙනුයි.'' සීලවතී මහත්මිය පැවසුවාය.


ඔහුගේ මව කියන අන්දමට දේශපාලනය පිළිබඳ අනුරගේ උනන්දුව වර්ධනය වූයේ ඔහු අපොස උසස් පෙළ විභාගයට පෙනී සිටින අවධියේය. ඉන් පසු ඔහුට මරණ තර්ජන ආවේය. ඔහු සමීපව ඇසුරු කළ ඔහුගේ පියාගේ සොයුරා ඝාතනය කරනු ලැබුවේය. "මගේ පුතා අද දවසෙ ඉන්න තත්වය ගැන මට සතුටුයි වගේම ආඩම්බරයි.” ඇය පැවසුවාය.


“මගේ පුතා බොරු කාරයෙක් වංචාකාරයෙක් නොවෙයි. ඒ වගේ කරපු වැඩක් ගැන කතාවක් ඇහුණු ගමන් ඔහුට කේන්ති යනවා. මගේ පුතාට අශිර්වාද කරන්න අනුරාධපුරේ පූජනීය තැන්වලට යාගන්න තමයි මගේ ආසාව. ඔහු ඉදිරියට ආවෙ බොහොම නිහමානී පටන් ගැනීමකින්."


ජනාධිපති දිසානායක රාජකාරි භාර ගැනීමට අදාළ උත්සව වලදීත් ඊට පෙරත් ඔහුගේ චාම් ආරම්භය පිළිබිඹු වූයේය. ජනාධිපතිවරණ ප්‍රචාරක කටයුතු අතරතුරදී ඔහු තම වාහනයේ නිදාගත් බව ටික දෙනෙක් පමණක් දන්නා කරුණකි. රැස්වීම් අවසන් වනවිට බොහෝ රෑ බෝවූ අතර තවත් රැස්වීමක් පැය කිහිපයක් තුළ ආරම්භ වූයේය. ඔහු දිවුරුම් දෙනු ලැබුවේ වැඩි උත්සවශ්‍රීයකින් තොරවයි. පොලිස් අශ්වයන්, නර්තන කණ්ඩායම්, රතු පළස්, ජය මංගල ගාථා හා අචාර පෙළපාලි එතැන නොතිබිණි. ඒවා ජනතාවගේ ජනාධිපතිවරයකුගේ සැබෑ ලක්ෂණයි.


ඒදා වගේ පොත පත ලියු දේශපාලකයන් අද කෝ


ලංකාවේ ප්‍රධාන පෙළේ. පොත් සල්පිල මේ දිනවල කොළඹ දී පැවැත් වෙයි. සැප්තැම්බරය සාහිත්‍ය මාසයය. ඔක්තෝබරය පොත් කියැවීමේ මාසයය. ඞීමන් ආනන්දයන්ගේ ත්‍රාසජනක පොත්වලින් කියැවීමට වඩාත් නැඹුරු වූ සෝවියට් දේශයෙන් අඩු මිලට ලැබුණු විශ්ව සාහිත්‍ය කෘති නිසා කියැවීමේ පිපාසයකට ගොදුරු වූ ලාංකික ජනතාව සාහිත්‍ය ලෝලීන් බව නම් නිසැකය. සෝවියට් සමාජවාදී සමූහාණ්ඩු සංගමය මහජන චීන සමූහාණ්ඩු වැනි සමාජවාදී රටවල් තම ජනතාව කන බොන දේ අඩු මිලට දුන්නා හා සමානවම බුද්ධිය ද අඩු මිලට දුන්නේය. කියැවීමෙන් ඇසූ පිරූ තැන් ඇති මිනිසුන් බිහිවන බවට ඒ රටවල නායකයන් විශ්වාස කරගෙන සිටි හෙයිනි. අපේ රටේ නායකයන් විශ්වාස කරන්නේ බුද්ධිය අඩු මිලට දිය යුතු බව නොව අඩුවෙන් බුද්ධිය තිබුණාට කමක් නැති බවය. එනිසාම ඉහළම බදු ගහන ලැයිස්තුවේ පොතපත ද වෙයි.


 මෙවර තරග වැදුණු ප්‍රධාන පෙළේ ජනාධිපතිවරණ අපේක්‍ෂකයන් කිහිප දෙනාගේ බාහිර සුදුසුකම් පරීක්‍ෂා කර බලනවිට පොතක් පතක් රචනා කළ කිසිවකුවත් අපට හමු නොවෙයි. චිත්‍රපටයකට, වේදිකා නාට්‍යයකට, ටෙලිනාට්‍යයකට හෝ ගීතයකට කළ කිසිම දායකත්වයක් කිසිවකුගේවත් නැත. එමගින් අපට පෙන්නුම් කළේ නූතන දේශපාලකයා හුදෙක් කතා පෙට්ටියක් මිස සාහිත්‍යයේ හෝ කලාවේ හෝ සමීපතමයකු නොවන බවය. එනිසාම සාහිත්‍යයට කලාවට එවැනි දේශපාලකයන්ගෙන් රැකවරණයක් නොලැබේ. මහ මැතිවරණය පැවැත්වීම සඳහා දිනය ද නියම කර ඇත. එම මහා මැතිවරණයේ දී ග්‍රන්ථකරණයේ යෙදෙන දේශපාලකයන් කිහිප දෙනකු හෝ මැති සබයට තේරී පත්වේවාය යන්න අපේ පැතුමය. එවැනි අය සිටී ද යන්න ඊළඟ ප්‍රශ්නයය.


ලංකා දේශපාලනයේ ආරම්භක අවදියේ එහි සිටි බොහෝ දෙනා උගත් පඬිවරයෝ වූහ. කසිප්පු වෙළෙන්ඳන් අපරාධකාරයන් නූගතුන් එකල දේශපාලනයට පැමිණ තිබුණේ නැත. එවැනි එක් පඬිවරයකු වූයේ ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතාය. ව්‍යවස්ථාදායක මන්ත්‍රී මණ්ඩලයේ ඇමැති මට්ටමේ තනතුරු දැරූ ඔහු නිදහස් ලංකාවේ පළමු ඉන්දියානු මහ කොමසාරිස්වරයා ලෙසද පත්විය. ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතා ලියූ අග්‍රගණ්‍යම සාහිත්‍ය නිර්මාණය වන්නේ ඔහු දස වසරක් පුරා වෙහෙස මහන්සි වී ලේඛනගත කළ සිංහල ශබ්ද කෝෂයයි. එම කෘතිය නිකුත් වූයේ 1937 වර්ෂයේදීය. එතෙක් සිංහල ශබ්ද කෝෂයක් නොතිබීමේ අඩුපාඩුව සපුරමින් බ්‍රිතාන්‍යය, ප්‍රංශය වැනි රටවල තිබූ ලිපි ලේඛන ද පිරික්සා බලා මෙම අගනා කෘතිය සම්පාදනය කළේය. පළමු පොත සංඥාපනා, ප්‍රස්තාවනා, සිංහල භාෂා ඉතිහාසය, නණළල බේදය ආදී මූලික කරුණු වලින් පිටු 40ක ආකාරාදියෙන් ද යුතු විශාල ග්‍රන්ථයකි. පසුව තවදුරටත් ශබ්ද කෝෂය වර්ධනය කරනු සඳහා විචක්‍ෂණ කාර්ය මණ්ඩලයක් ද පුරුදු කළේය. 1931 දී පළමු රාජ්‍ය මන්ත්‍රණ සභාවේ ස්වදේශ කටයුතු භාර ඇමැතිවරයා වූයේ ද ශ්‍රීමත් ඩී.බී. ජයතිලක මහතාය.


පැරණි දේශපාලන නායකයෝ බොහෝ දෙනෙක් සාහිත්‍ය හා කලාව ඇසුරු කළ අයය. මේ අතරින් අඩුම ගණනේ පොත් දෙක තුනක් හෝ රචනා කළ දේශපාලකයන් ගණනාවකින් අපට හමුවෙයි.1956 දී බිහි වූ බණ්ඩාරනායක රජය එවැනි සාහිත්‍යවේදීන්ගෙන් පෝෂිත විය. අගමැති බණ්ඩාරනායක ප්‍රකටව සිටියේ ඉංග්‍රීසි රහස් පරීක්‍ෂක කතා කියැවීමේ ලෝලියකු හැටියටය. එලෙසම බණ්ඩාරනායක ශ්‍රීමතාණන් ඉංගිරිසියෙන් රහස් පරීක්‍ෂක නවකතා දෙකක් රචනා කර තිබේ. එම කෘති දෙක ‘මාහේනේ රීරි යකා” සහ “අතුරුදන් වූ අපේක්‍ෂකයා " නමින් සිංහලයට ද නැගී ඇත. “මාහේන්නේ රීරි යකා '' එතුමාගේ අභාවයෙන් පසුව චිත්‍රපටයට ද නැගිණි. කැන්ඩි පෙරහර නමින් ඉංග්‍රීසියෙන් ලියූ කෙටි කතාවක් ද ඔහුගේ නම ඉදිරියෙන් සටහන් වෙයි.


බණ්ඩාරනායක රජයේ සිටි ආහාර ඇමැතිවරයා වූ ටිකිරි බණ්ඩා ඉලංගරත්න විශිෂ්ට ඝනයේ ලේඛකයෙකි. සුමදුර බස් ආරකින් වැඩිපුරම ළමා හා යොවුන් පරපුරට පොත් ලියූ ඉලංගරත්නගේ පොත් අදටත් පාසල් අතිරේක කියැවීම් පොත් ලෙස ද භාවිත වෙයි. ලේඛකයකුට අමතරව ඉලංගරත්නයෝ නාට්‍ය රචකයෙක් හා වේදිකා නාට්‍ය නළුවෙක් ලෙසද සිය ප්‍රතිභාව ප්‍රකට කර ඇත. ඔහු ''අඹ යාළුවෝ '' නවකතාව රචනා කරන ලද්දේ ඇමැතිවරයකු ලෙසද කටයුතු කළ 1957 වසරේය. 


විලම්භීත, තිලක, තිලක හා තිලකා යන තුන් ඈඳුතු නවකතා ද අම්බලම, ළසඳා, නයනා, දායාදය, නෑදෑයෝ, හපනා, සැඩ පහර, මංගලා, පෙරලිය ඔහු ලියූ ජනප්‍රිය පොත් අතර වෙයි. අයි.ඇම්.ආර්.ඒ. ඊරියගොල්ල අධ්‍යාපන ඇමැතිවරයෙකි. ඔහු අදටත් සාහිත්‍ය ලෝකයේ සැරිසරන්නේ ඔහුගේ දේශපාලනය නිසා නොව ඔහු ලියූ පොත් කිහිපයක් නිසාය. ප්‍රංශ ජාතික වික්ටර් හියුගෝ ගේ “ද ලේ මිසරාබ්ල” නමැති නවකතාවේ සිංහල අනුවර්තනය ඔහු දායාද කළේ ‘‘මනුතාපය" යන නමිනි. එය කලක් තිස්සේම සාමාන්‍ය පෙළ සිංහල නිර්දේශ ග්‍රන්ථ අතරට ද අයත්ව තිබිණ. දේවතාවිය සහ පූර්ණ විප්ලවය ඊරියගොල්ලගේ තවත් ජනප්‍රිය පොත් දෙකක් විය.


“ලෝකෙන් උතුම් රට ලංකාවයි' ගීය රචනා කළේ ද ඊරියගොල්ලය. ඔහුගේ සාහිත්‍ය සේවය නිසාම 1965 බිහි වූ ඩඩ්ලි. සේනානායක රජයේ අධ්‍යාපන ඇමැති ධුරය ඊරියගොල්ලට පිරිනැමුණි. අග්‍රාමාත්‍ය රණසිංහ ප්‍රේමදාස සමාජ සේවයෙන් සහ ලේඛන කලාවෙන් දේශපාලනය නමැති ගංගාව තරණය කිරීම ආරම්භ කර එය සාර්ථක කරගත් නායකයෙකි. ඔහු තරුණවියේ දේශපාලන ගමන ආරම්භ කළේ සමාජ සේවයෙනි. රට ගැන ආදර්ශවත් කවි කියා පුවත්පත්වලට යොමු කිරීම තරුණ ප්‍රේමදාසගේ විනෝදාංශයක් විය. කොළඹ සාන්ත බස්තියමේ පදිංචිව සිටි ප්‍රේමදාස තම කවි පළකර ගැනීම සඳහා බොහෝ පුවත්පත් කාර්යාලවලට ඇවිද්දේය. තරුණ ප්‍රේමදාස විවිධ කලා ක්ෂේත්‍රවල පියමං කළේය. අභාවප්‍රාප්ත ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේ දී ඒ.ඩී. රංජිත් කුමාර තම ස්වයං

ලිඛිත චරිතාපදානයේ ප්‍රේමදාසගේ රංගන හැකියාවක් ගැන සටහන් කරන්නේ මෙසේය.


“කානිවල් නාට්‍යය රසිකයන් අතර ඉතාම ජනප්‍රිය රසාංගයක් විය. ලංකාව පුරා විවිධ පළාත්වල සංචාරය කරමින් කරළිය එළිය කළ ඒ.ඩී.ජේ. මාතුපාලගේ “ කානිවල්'' නාට්‍යයේ පුහුණුවීම් කරන ලද්දේ කොළඹ කොස්ගස් හන්දියේ පිහිටි රංග ශාලාවකය. රණසිංහ ප්‍රේමදාස මහතා ද මේ නාට්‍යයේ රඟපෑමට කෙසෙල්වත්තේ සිට කොස්ගස් හන්දියට යාමට පුරුදුව සිටියේය. මේ වනවිට වන විට ප්‍රේමදාස මහතාගේ වයස අවුරුදු 22 කි. මෙහි සංගීත ශිල්පීන් අතර සිටි තබ්ලා වාදකයා හා සංගීත අධ්‍යක්‍ෂවරයා වූයේ හිටපු ක්‍රීඩා අමාත්‍ය එම්. වින්සන්ට් පෙරේරාය.’


ක්‍රමයෙන් දේශපාලනයේ ඉහළටම නැගි ප්‍රේමදාස ඒ අතරතුර තම කලා හැකියාව ද ප්‍රගුණ කර ගත්තේය. ඔහු ලියූ රසවත් නවකතා ගණනාවක් අද ද වැඩිහිටි පාඨකයන්ගේ මතකයේ රැඳී තිබේ. “ගොළු මුහුද, පරෙවියෝ ඉගිලෙති, රන්මිණිමුතු, හිතවතිය පෙම්වතිය, ජීවන කඳුළු එම නවකතා ය. දේශපාලකයකු වූ ප්‍රේමදාස ගී පද රචකයකු ද විය. පෙරදිග අහසේ පෙරමුණ අරගෙන සිතුවිලි නව හිරු කිරණ නැගේ..., දාගැබ් මහා වැව් බැන්දේ නුඹයි පුතේ..., සමනල මුදුනේ සිරි පද සිඹ සිඹ..., උත්සාහය උක් දණ්ඩක් වැන්නේ... ප්‍රේමදාස නමැති දේශපාලකයා ලියූ ගී අතරින් කිහිපයකි.


ප්‍රථම විධායක ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන තම රාජකාරි ඇරඹූ පසු සියලු පාසල් සිසුන් සඳහා ඔහු ලියූ පොතක් බෙදා හැරියේය. “ස්වර්ණ පුත්‍ර” නමැති මේ පොත සාර්ලිස් මාස්ටර් ඇඳි කැලණි විහාරයේ චිත්‍ර කිහිපයකින් ද හැඩ වැඩවී තිබුණේය. 


විජය කුමරුගේ පැමිණීමේ සිට දළදා වහන්සේ රැගෙන හේමමාලා දන්ත රාජකීය යුවල පැමිණීම මෙන්ම තවත් ඉතිහාසගත කරුණු රැසකින් යුතු එම පොත ජේ.ආර්. ගේ රජයේ නවතම සංවර්ධන ව්‍යාපෘතිවලින් අවසන් වෙයි. පොතේ අවසන් පණිවිඩය කෙසේ වෙතත් එම පොත දැනුමෙන් පෝෂිතය. රචකයා ජනාධිපතිවරයා වුවත් එහි ඇතුළත් දේ ඉතිහාසය පිළිබඳ අධ්‍යාපනයකි. කලක් මෙරට විපක්‍ෂනායකවරයා වූ ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා ද ග්‍රන්ථ ගණනාවක් ලියූ ලේඛකයෙකි. යටත් විජිත යුගයේ ලියූ ‘‘නිදහස් අධ්‍යාපනයේ ස්වරූපය'' කෘතිය, බ්‍රිතාන්‍යයේ අධ්‍යාපනය ලබමින් සිටි අවදියේ ලියූ “පාර්ලිමේන්තු පිළිබඳ තුලනාත්මක අධ්‍යයනය" ඒ අතරින් විශේෂ වෙයි. 


මෙම ග්‍රන්ථයට අදාළ උපාධිය ඔහුට ලැබුණේ ද මහනුවර බෝගම්බර සිර මැදිරියේ රඳවා සිටි කාලයේ ය. උගතකු හා බුද්ධිමතකු වශයෙන් මෙරට දේශපාලනයේ සිටි කිහිප දෙනා අතර ඉහළින්ම ආචාර්ය ඇන්.ඇම්. පෙරේරා වැජඹෙයි. ආචාර්ය උපාධිය ලත් මෙරට එකම විපක්‍ෂනායකවරයා ද ඔහුය.


ලංකා දේශපාලනයේ සිටි අග්‍රගන්‍ය බුද්ධිමතකු වන්නේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා මහතා ය. කොළඹ රාජකීය විද්‍යාලයේ දී පසුව ජනපති වූ ජේ.ආර්. ජයවර්ධන සමග එකම පන්තියේ උගත් කොල්වින් ලන්ඩන් විශ්ව විද්‍යාලයෙන් උසස් අධ්‍යාපනය ලබා දර්ශනවාදය පිළිබඳ ආචාර්ය උපාධිය ලැබීය.


" බ්‍රිතාන්‍යයන් යටතේ ලංකාව" කෘතිය ඔහු තම ආචාර්ය උපාධිය සඳහා ඉදිරිපත් කළ ග්‍රන්ථය වේ. 1972 ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සකස් කිරීම සඳහා නායකත්වය දුන්නේ ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාය. එහි සෑම වගන්තියක්ම කෙටුම්පත් කළේ කොල්වින්ය. ඔහුගේ බුද්ධියෙනි. එපමණක් නොවේ. 1956 බණ්ඩාරනායක රජයේ ඇමැතිවරයකු වූ පිලිප් ගුණවර්ධනද ලේඛකයෙකි. ඔහු ලියූ " සීතාවක උරුමය” කෘතිය මුද්‍රණය වන අතරතුර ඔහුගේ අභාවය සිදුවිය. වාමාංශික නායක පීටර් කෙනමන් පුවත්පත් කර්තෘවරයෙක් ද විය. වසර ගණනාවක් ඉංග්‍රීසි පුවත්පත් ගණනාවකම ඔහුගේ ලිපි පළවිය. ‘‘සෝවියට් මග’” ඔහු ලියූ කෘතියකි.


ජනතා විමුක්ති පෙරමුණේ නායක රෝහණ විජේවීර ග්‍රන්ථ හතරක කර්තෘවරයෙකි. සෝවියට් සමාජවාදී සංගමයේ ලුමුම්බා සරසවියේ ප්‍රථම ශිෂ්‍ය කණ්ඩායමට ඇතුළත් වූ විජේවීර එම සරසවි පුස්තකාලයේ තිබූ බෝහෝ පොත් කියවා කොමියුනිස්ට් වාදයට වඩාත් නැඹුරුවූ බව කියැවේ. ඔහු වඩාත් පරිශීලනය කර ඇත්තේ ලෙනින්ගේ කෘතිය. රුසියානු භාෂාව මෙන්ම තවත් භාෂා කිහිපයක් ද නිපුණතාවක් විජේවීරට තිබූ බවත් ප්‍රකටය. ජාතික අර්බුදය හමුවේ අප ගත යුතු මග දෙමළ ඊළම් අරගලයට විසඳුම කුමක්ද? - අත්දැකීම් කීපයක් යන ග්‍රන්ථ තුන ඇතුළු ග්‍රන්ථ හතක් ඔහු ලියා ඇත. විජේවීරගේ ඝාතනයෙන් පසු ඔහුගේ කෘති ජනතා විමුක්ති පෙරමුණ මගින් මුද්‍රණය කරන බව පවසමින් විජේවීර බිරිඳ ශ්‍රීමතී චිත්‍රානි විජේවීර මහත්මිය කොළඹ වාණිජ මහාධිකරණයේ නඩු පැවරුවාය. ඇය එමගින් ඉල්ලා සිටියේ තම පවුලේ උරුමයක් වන මෙම කෘති ජවිපෙ විසින් මුද්‍රණය කර බෙදා හැරීමවක් වන ආඥාවක් නිකුත් කරන ලෙසය.


කවියකු වු සෝමවීර චන්ද්‍රසිරි 1971 ආණ්ඩුවේ සංස්කෘතික   නියෝජ්‍ය ඇමැතිවරයා විය. සිරගතව සිටි සමය අලලා ලියූ ‘සිරගෙදරින් පාර්ලිමේන්තුවට '' නමැති ස්වයං ලිඛිත චරිතාපදානය ද පෝරකය කෙටි කතා සංග්‍රහය සහ කවි පොත් දොළහක් ද ලේඛකයකු ලෙස ඔහු රටට ඉතිරි කළ නිර්මාණ වේ.


විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන, චම්පික රණවක, රංජිත් සියඹලාපිටිය මෑත කාලීන දේශපාලනයේ නිරත වූ අය අතරින් පොත පත ලියූ කිහිප දෙනෙකි.වර්තමාන රජය මාක්ස්වාදී මූලයකින් හෙබි පොදුජන රජයකි. ඉදිරි පාර්ලිමේන්තු මහා මැතිවරණයේ දී ඔවුන්ට ආණ්ඩු පක්‍ෂයේ දී බහුතර බලය ද ලැබෙනු ඇත. නව රජයට සාහිත්‍යවේදීන් දෙතුන් දෙනකුවත් ඇතුළත් වුවහොත් එය සාහිත්‍ය ලෝලීන්ගේ බලාපොරොත්තු ඉටුවීමක් වනු ඇත.



දේශපාලකයොයි සීඅයිඩී කාරයොයි මා හූරාගෙන කෑවා

 


තමා විදේශ රටවලින් නීත්‍යනූකූලව උපයාගත් මුදල් හා දේපළවලින් මෙරට ණය බරින් අඬක් ගෙවා නිම කිරීමට හැකියාව ඇතැයි ද තමන් එලෙස උපයා ගත් ධනය සමහර දේශපාලනඥයන් සහ අපරාධ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් උසස් නිලධාරීන් කොල්ලකෑවේ යැයි ද අවුරා ලංකා සමාගමේ සභාපති විරන්ජිත් තාඹුගල මහතා අනුරාධපුර අතිරේක මහේස්ත්‍රාත් මනෝදි හේවාවසම් මහත්මිය හමුවේ පැවසීය.


සමහර දේශපාලනඥයන් සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඇතැම් උසස් නිලධාරීන් තමාගේ ධනය කොල්ලකෑ බව ඔප්පු කිරීමට ඕඩියෝ සහ වීඩියෝ සාක්කි තමා සතුව ඇතැයි විවෘත අධිකරණයේ දී පැවසු විරන්ජිත් තාඹුගල මහතා මේවා සිහියට නැඟෙන විට සියදිවි නසා ගැනීමට තමාට සිතුණු බවද ප්‍රකාශ කළේය.පොලිසිය බාරව සිටි අමාත්‍ය ටිරාන් අලස් මහතා කළ ඉල්ලීමකට අනුව සෑම පොලිස් ස්ථානයකටම සීසීටීවී කැමරා අවුරා ලංකා කන්ට්‍රක්ෂන්ස් මඟින් සවි කර දීමට කැමැති වුවත් මෙම ව්‍යාපෘති සඳහා වැය වන සියලු මුදල් ඔහුගේ අතට දෙන්නැයි කියා ටිරාන් අලස් මහතාගේ කීමට තමා එකඟ නොවීම නිසා ඔහු හා පොලිසිය තමා සමඟ අමනාප වූයේ යැයි ද කීය.


නීති විරෝධී ආකාරයෙන් වත්කම් උපයා ගෙන ඇතැයි කියන සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසය ඉදිරිපත් කර ඇති පැමිණිල්ල සම්බන්ධයෙන් විවෘත අධිකරණයේ ප්‍රකාශයක් කරමින් විරන්ජිත් තාඹුගල මහතා එසේ පැවසීය. නීතිඥ උපාලි ජයමාන්න මහතාගේ මෙහෙයවීම යටතේ ස්වේඡාවෙන් වැඩිදුරටත් ප්‍රකාශය කළ අවුරා ලංකා සමාගමේ සභාපති විරන්ජිත් තාඹුගල මහතා මෙසේ ද පැවසීය.


ජනාධිපති නීතිඥ විජයදාස රාජපක්ෂ මහත්තයාගේ පුතා වන නීතිඥ රඛිත රාජපක්ෂ සහ මන්ත්‍රී පාලිත රංගේ බණ්ඩාරගේ බෑනා වන නීතිඥ එරංග වැලිඅංගේ යන මහත්වරු දෙන්නා දවසක් මා හමුවෙන්න ඇවිත් මුදල් විශුද්ධිකරණ පනත යටතේ ඔයාට විරුද්ධව රහස් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇති බව මට කිවා.

‛එම විමර්ශන හරියට කළොත් ලලිත් කොතලාවලට වගේ ඔයාටත් හිරේ යන්න වෙයි කියලත්, ඔයාගේ වත්කම් අත්හිටුවයි කියලත්' එයාලා මට කිව්වා. මෙම විමර්ශනය නවතා ගන්න නම් රහස් පොලිසියේ ඉහළ නිලධාරීන්ට යම් මුදලක් දෙන්න වෙයි කියා ඔවුන් මට කිව්වා.


වත්කම් සම්බන්ධයෙන් මට විරුද්ධව පැවැත්වෙන විමර්ශනය නවත්වන්න නම් රුපියල් කෝටි තිහක මුදලක් තමන්ට ඕනේ කියා එවකට රහස් පොලිසියේ හිටපු නියෝජ්‍ය පොලිස්පති ප්‍රසාද් රණසිංහ සහ රහස් පොලිසියේ නීති විරෝධී වත්කම් විමර්ශන කොට්ඨාසයේ වත්මන් අධ්‍යක්ෂ ලක්සිරි ගීතාල් නමැත්තන් මට කිව්වා.


පසුව මා ඔවුන් සමඟ කතා කර රුපියල් කෝටි තිහේ කප්පම් මුදල රුපියල් කෝටි දොලහ දක්වා අඩු කර ගත්තා. තවදුරටත් කතා කර කෝටි දොළහේ කප්පම් මුදල කෝටි පහ දක්වා අඩු කරගෙන එම රුපියල් කෝටි පහක මුදල ඔවුන්ට දීමට මා එකඟ වුණා. මා පොරොන්දු වූ කෝටි පහේ මුදලින් රුපියල් කෝටි දෙකක මුදලක් මා ඔවුන්ට දුන්නා. ඊට අමතරව රහස් පොලිසියේ නීති විරෝධි වත්කම් විමර්ශන කොට්ඨාසයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස්

පරීක්ෂක සම්පත් රාජකරුණටත් තවත් රුපියල් කෝටි දෙකහමාරක මුදලක් මා දුන්නා. මේ මුදල් දුන් බව තහවුරු කිරීමට අවශ්‍ය ඔඩියෝ සහ වීඩියෝ සාක්ෂි මෙන්ම වෙනත් සාක්ෂි රැසක් මා ළඟ තියෙනවා. විශාල මූල්‍යමය වත්කම් ප්‍රමාණයක් මා සතුව තියෙනවා. 


එම මුදල් ප්‍රමාණයන් කොපමණද කියා හරියටයම මේ වෙලාවේ කියන්න මට බැහැ. මා ළඟ දැනට තියෙන මූල්‍යමය වත්කම් වලින් මෙරට ණය මුදලින් අඩක් ගෙවා නිම කරන්න මට පුළුවන්. මේ වත්කම් සියල්ල මා විදෙස් රට වලින් නීත්‍යනූකූලව උපයා ගත් ඒවා. ඒ බව ඔප්පු කිරීමේ හැකියාව මට තිබෙනවා. මෙම මුදල් මා මෙරට දී උපයා ගත් මුදල් නොවෙයි. ඒ සියල්ල විදේශ රට වලින් උපයා ගත් ඒවා. දැනටත් විදෙස් රට වලින් මා නීත්‍යනුකූලව මුදල් උපයා ගනිමින් සිටිනවා.


මා සතුව ඇති නීත්‍යානූකූල මෙම වත්කම්වලට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ වන විට විවිධ අභූත චෝදනා නගමින් විවිධ බලපෑම් සහ හිරිහැර කරමින් ඉන්නවා. මගේ ඇතැම් බැංකු ගිණුම් පවා අත්හිටුවා තිබෙනවා. කිසිදු පදනමක් නොමැතිව මෙලෙස දිගින් දිගටම ද්වේෂ සහගතව කරන කෙනෙහිලිකම්, බලපෑම් මෙන්ම හිරිහැර සිහියට නැගෙන විට සිය දිවි නසා ගැනීමට මට සිතෙන වාර අනන්තයි. මහජන අරක්ෂාව බාර අමාත්‍යවරයාව සිටි ටිරාන් අලස් මහතා ඇමැතිවරයා වශයෙන් සිටියදී මගෙන් ඉල්ලීමක් කළා ලංකාවේ පොලිස්ථාන අලුත්වැඩියා කර දෙන්න කියලා. ඊට එකඟ වූ මා ඒ සඳහා එස්ටිමේට් එකක් ඉල්ලූවා. ඊට අමතරව සෑම පොලිස් ස්ථානයකටම සීසීටීවී කැමරා එක ගානේ සවි කර දෙන්න මා පොරොන්දු වුණා. මේ සියල්ල මට අයත් ‘අවුරා ලංකා කන්ට්‍රක්ෂන්ස්' මගින් කර දෙන්නම් කියා මා අමාත්‍ය ටිරාන් අලස් මහතාට කිව්වා. ඒත් ඔහු ඒකට අකැමැති වුණා. මෙම ව්‍යාපෘති සඳහා වැය වන සියලු මුදල් එයාගේ අතට දෙන්න කියා ඔහු මට කිව්වා. ඒත් මම ඒකට එකඟ වුණේ නැහැ.


එතැන් සිට ටිරාන් අලස් මහතා මා ගැන වෛරයෙන් කටයුතු කළා. රහස් පොලිසියේ නීති විරෝධී දේපළ හා වත්කම් විමර්ශන කොට්ඨාසයේ නිලධාරීන් රුපියල් කෝටි 30ක මුදලක් කප්පම් වශයෙන් මගෙන් ඉල්ලීමත් එම කප්පම් මුදල් වලින් කොටසක් ඔවුන් ලබා ගැනීමත් තහවුරු කිරීමට අවශ්‍ය සියලු සාක්ෂි මා සතුව තිබෙනවා.

 

 රහස් පොලිසියේ නීති විරෝධි ත්කම් විමර්ශන කොට්ඨාසය මගෙන් කප්පම් ඉල්ලීමත් කප්පම් ගැනීමත් යන සිද්ධීන්වලට අදාළ සාක්ෂි එක්රැස් කර ගැනීමට ඒ.එස්.පී. මහානාම මහතාගේ සහය මා ලබා ගත්තා. එලෙස සහාය ලබා ගත් දිනයේ සිට රහස් පොලිසිය ඒ.එස්.පී. මහානාම මහතාට එරෙහිව අසත්‍ය චෝදනා එල්ල කරමින් ඔහු පස්සේ පන්නනවා. ඒ.එස්.පී. මහනාම මහතාගෙන් පලි ගන්න උත්සාහ කරනවා.


මෙම තත්වය යටතේ රහස් පොලිසියෙන් මගේ ජීවිතයට විශාල අනතුරක් තියෙනවා. සමහර විට මාව මරා දමන්න වුණත් පුළුවන්. මෙරට ඇතැම් දේශපාලනඥනයන් සහ රහස් පොලිසියේ ඇතැම් උසස් නිලධාරීන් මගේ ධනය කොල්ලකෑවා. මේ දේවල් කියන්න මට වෙන කිසිදු තැනක් නැහැ. ඒ කියන්න ඇති එකම ස්ථානය මෙම ගරු අධිකරණය පමණයි. අවුරා ලංකා සමාගමේ සභාපති විරන්ජිත් තාඹුගල මහතා වෙනුවෙන් නීතිඥ හික්කඩුව ලියනගේ ඉසුරි මහත්මිය සමඟ නීතිඥ උපාලි ජයමාන්න මහතා පෙනී සිටියේය.

 උපාලි ආනන්ද

අනාගතයේ වෛද්‍යවරියක වී රෝගීන් සුවපත් කරනවා

 



සමන් කාරියවසම්


අනාගතයේ වෛද්‍යවරියක වී රෝගීන් සුවපත් කිරීමට බලාපොරොත්තු වන බව අ.පො.ස. (සා.පෙළ) විභාගයෙන් දිවයිනෙන්ම හත්වැනි ස්ථානය සහ කළුතර දිස්ත්‍රික්කයේ ප්‍රථම ස්ථානය ලබාගත් පානදුර ශ්‍රී සුමංගල බාලිකා විද්‍යාලයේ තමාෂී ධනංජනා වික්‍රමගේ සිසුවිය පවසන්නීය.


පාසලේ ලබාදෙන වැඩ එදිනම අවසන් කිරීමට කටයුතු කළ බවත් ඉගෙනීමට ද අමතරව විෂය බාහිර ක්‍රියාකාරකම්වල ද නිරතව ඇති ඇය විද්‍යා විෂයන් වලින් ඔලිම්පියාඩ් සමස්ත ලංකා තරගාවලියේ තුන්වැනි ස්ථානයට දිනා ගැනීමට සමත්ව ඇති බවත් සඳහන් වේ.මෙම ජයග්‍රහණය ලබා ගැනීමට විදුහල්පතිනිය වන ඉමාලී තිරිමාන්න සමඟ සියලු ගුරුභවතුන් ලබාදුන් සහයට ස්තූතිවන්ත වන බවද තමාෂී පැවසීය.


ඇයගේ පියා වන ඩබ්ලිව්. මහින්ද රත්න මහතා, අධ්‍යාපන සේවකයන්ගේ සමූපකාර සකසුරුවම් සහ ණය දෙන සමිතියේ කොළඹ කලාප කළමනාකරු ලෙස සේවය කරන අතර මව වන චමිලා හේවාගම මහත්මිය එම ආයතනයේම සහකාර ගණකාධිකාරීවරියකි. සිය දියණියගේ ජයග්‍රහණය පිළිබඳ හඬ අවදි කළ චමිලා හේවාගම මහත්මිය. මමයි ස්වාමි පුරුෂයයි දෙදෙනාම රැකියාවල නිරත වෙන නිසා සවස ගෙදර එනවිට දුව එයාගේ පාසලේ වැඩ අවසන් කරලා ගෙදර වැඩත් කරලා තියෙනවා. ඇය හොඳ ප්‍රතිඵලයක් ගනිවී කියා විශ්වාසයක් තිබුණත් ලංකාවෙන් හත්වෙනියා වේවි කියා සිතුවේ නෑ.

ඇයගේ ජයග්‍රහණය ගැන සඳහන් කරමින් පියා ඩබ්ලිව්. මහින්දරත්න මහතා මෙසේ පැවසීය. ලොකු දුවත් පානදුර ශ්‍රී සුමංගල බාලිකාවෙන් ශිෂ්‍යත්ව ශිෂ්‍යත්ව සමත්වෙලා දේවි බාලිකාවේ ජීව විද්‍යා අංශයෙන් උසස් පෙළ හදාරනවා. පොඩි දුවත් හොඳ ප්‍රතිඵලයක් ලබාගනීවී කියා බලාපොරොත්තු තිබුණා.


ඉලක්කයක් තබාගෙන උනන්දුවෙන් වැඩකළා

 



 

මගේ මහන්සියේ ප්‍රතිඵල මම ලබාගත්තා. මම පාසලේ දී අධ්‍යාපන කටයුතුවල යෙදෙන අන්දම දුටු මගේ ගුරුවරුන් මම ඉහළින් සමත්වන බව දැන සිටියා. නමුත් මෙතරම් ඉහළ ජයක් ගුරුවරුන් හෝ මමවත් බලාපොරොත්තු  වුණේ නැතැයි මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් සමස්ත ලංකා සිව්වැනි ස්ථානය හිමිකර ගත් ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහලේ පමුදිතා රණවක සිසුවිය පැවැසුවාය.

 

මම නිශ්චිත කාල සටහනකට අනුව වැඩ කළා. දිනපතා පාසල් ගොස් පැමිණ කෑම ගැනීමෙන් පසුව පැය කීපයක් පාඩම් කළා. පාසල් අධ්‍යාපනයට අමතරව මම විෂයන් තුනකට පමණක් උපකාරක පන්තිවලට ද ගියා. ඉදිරියේ දී විභාගයට මුහුණ දෙන නංගිලාට මල්ලිලාට මම කියන්නේ ඉලක්කයක් තියාගෙන උනන්දුවෙන් පාඩම් කරන්න කියා. එවිට ඔබට පහසුවෙන් විභාගය සමත් වෙන්න පුළුවන් මගේ අනාගත බලාපොරොත්තුව වෛද්‍යවරියක වී ජනතාවට සේවය කිරීම යැයි ද නදුනි වැඩිදුරටත් කීවාය.


පෞද්ගලික සමාගමක මෙහෙයුම් කළමනානරුවකු වන විජය රණවක සහ සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සමුද්‍රීය නිලධාරිනියක වන දේවිකා සුභාෂිනී යුවළ නදුනිගේ මාපියෝ වෙති. ඔවුන්ගේ එකම දරුවා වන නදුනි පමුදිතා එක වසරේ සිට ගාල්ල ජනාධිපති බාලිකා විදුහලේ ඉගෙනුම ලබා පස්වන ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගය සමත් වීමෙන් පසුව ගාල්ල සංඝමිත්තා බාලිකා විදුහලට ඇතුළුවී මෙම ජයග්‍රහණය ලබා ඇත.


මගේ අම්මා, තාත්තා සංඝමිත්තා විදුහල්පතිනි අසේනි පරණවිතාන මැඩම්, ඒ වගේම එම්. එම්. එන්. මස්නුන් පන්ති භාර ගුරුතුමිය ද මෙම ජයග්‍රහණය ලබා ගැනීමට මට විශාල ශක්තියක් වූවා යැයි ද නදුනි පැවසුවාය.

 ජේ.කේ.එල්. චාමින්ද


වෛද්‍යවරියක වී රටට සේවය කරනවා

 



තිලකරත්න දිසානායක 


මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් ඒ සාමාර්ථ 9ක් ලබාගනිමින් උසස් ලෙසින් සමත්ව ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ තත්සරා කාවින්දි සිසුවිය දිවයිනෙන් හත්වන ස්ථානයට පත්ව සිටින්නීය. දිවුලපිටිය, බඩල්ගම ශ්‍රී සරණතිස්ස කනිටු විදුහලෙන් සහ මැල්ලවගෙදර රෝමානු කතෝලික කනිටු විදුහලින් මූලික අධ්‍යාපනය ලබා 5 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 192ක් ලබා ඇය රත්නාවලී බාලිකාවේ හය වන ශ්‍රේණියට ඇතුළත්ව ඇත. 


ඉංග්‍රීසි මාධ්‍යයෙන් ප්‍රධාන විෂයයන් හදාරා ඇති තත්සරා සිසුවිය වැඩි වශයෙන් විද්‍යා විෂයට කැමැත්තක් දක්වා ඇති අතර  අනාගත අපේක්ෂාව වී ඇත්තේ වෛද්‍යවරියක වී රටට සේවයක් කිරීමය. පාසලෙන් දුන් විෂය කටයුතු සඳහා පමණක් වැඩි කැමැත්තක් දක්වා ඇති තත්සරා පෞද්ගලික පන්ති යාමට කැමැත්තක් දක්වා නැති බව ප්‍රකාශ විය.

පාසලේ ගුරු මහත්ම මහත්මීන් දෙන දැනුම කෙරෙහි ලොකු විශ්වාසයක් තබාගෙන කටයුතු කළ බවත් නිදිවරා පාඩම් නොකළ බවත් ඇයගේ මව පැවසූ අතර පියා සහ තමා දියණියට අවශ්‍ය ලෙස පාඩම් කටයුතු කරගෙන යාමට නිවසේ පරිසරය සලසා දුන් බවත් තත්සරා සිසුවියගේ මව පැවසුවාය.

 

මෙම දියණිය පාසලේ  දී කරාතේ පුහුණුව ලබා ඇති අතර පියානෝ සහ ගිටාරය වාදනය කිරීමට ද දක්‍ෂය. තත්සරා සිය ඉහළ සාමාර්ථය සම්බන්ධයෙන් අදහස් දක්වමින් පැවසුවේ, මෙම ජයග්‍රහණයට, තමන් ප්‍රාථමික අධ්‍යාපනය ලැබූ විදුහල් දෙකෙහි ගුරු මහත්ම මහත්මීන්ටත්, රත්නාවලී බාලිකා විද්‍යාලයේ හය වන ශ්‍රේණියේ සිට මේ දක්වා අධ්‍යාපනය දුන් සියලුම ගුරු මහත්ම මහත්මීන්ටත්, පන්ති භාර ගුරු මහත්මීන් සහ විදුහල්පතිනී වසන්තා කුමාරි මහත්මියටත් සිය කෘතවේදීත්වය පුද කරන බවය. රත්නාවලී බාලිකා විදුහලින්ම උසස් පෙළ හැදෑරීමට ද ඇය අදහස් කරගෙන සිටී. දිවුලපිටිය, ගොඩිගමුව ප්‍රදේශයේ පදිංචි දරු පවුලක වැඩිමල් දරුවා වන තත්සරාට සොයුරකු සහ සොයුරියක සිටින අතර පියා යුද හමුදා පොලිසියේ නිලධාරියකු ලෙස කටයුතු කර විශ්‍රාම ලබා සිටී. 


මව කලක් රැකියාවක නිරතව සිට දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට සහාය වීමට රැකියාවෙන් ඉවත්ව ඇත. තත්සරා කාවින්දි සිසුවියගේ ඉහළ සාමාර්ථය පිළිබඳව අදහස් දක්වමින් රත්නාවලී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනී වසන්තා කුමාරි මහත්මිය කියා සිටියේ, මෙම සිසු දැරිය මෙවන් සාමාර්ථයක් ලැබීම සම්බන්ධයෙන් සතුටට පත් වන බවත් රත්නාවලී බාලිකාවට කීර්තියක් දුන් මෙම සිසු දියණියගේ අනාගතය සර්වප්‍රකාරයෙන් සාර්ථක වේවායි ප්‍රාර්ථනය කරන බවත්ය.


ජයග්‍රහණයක් ලැබෙයි කියා බලාපොරොත්තුවෙන් හිටියා

 



නිමල කොඩිතුවක්කු


මෙවර සාමාන්‍ය පෙළ විභාගයෙන් දිවයිනෙන්ම සිව්වන ස්ථානයට පත් වූයේ කොළඹ විශාඛා විද්‍යාලයේ සෙශානි සෙහංසා ජයවර්ධන දියණියයි.තම ජයග්‍රහණය පිළිබඳව ඇය පැවසුවේ මෙවන් අදහසකි. 


“ඇත්තටම ගොඩක් සතුටුයි. බලාපොරොත්තුවක් තිබුණා රෑන්ක් එකක් එයි කියලා.හැමදාම ඉස්කෝලෙ ගියා. එදිනෙදා වැඩකටයුතු කළා. සාමාන්‍ය පෙළ ළංවන සාමාන්‍ය

විට ඉස්කෝලේ පවත්වපු සම්මන්ත්‍රණ සහ ප්‍රශ්න පත්තර කළා. මම උපකාර පන්තිවලට වැඩිපුර සහභාගි වුණේ නැහැ. ගණිතය සහ ඉංග්‍රීසි සාහිත්‍යය සඳහා පමණක් උපකාරක පන්තිවලට සහභාගි වුණා.


මට නංගිලා දෙන්නෙක් ඉන්නවා.  තාත්තා වෛද්‍යවරයෙක්. අම්මා නීතිඥවරියක්.මේ ජයග්‍රහණයට මට අම්මා තාත්තා පාසලේ ගුරුවරුන් ලොකු සහයෝගයක් ලබා දුන්නා. මම පොඩි කාලේ ඉඳන් ගියේ විශාක විද්‍යාලයට. මට ශිෂ්‍යත්වයට ලකුණු 170 ක් තිබුණා. මම උදෙන්ම නැගිටලා පාඩම් කරා. මට ඇත්තටම රෑට පාඩම් කරන්න අමාරුයි. මම මේ ලබපු ජයග්‍රහණය ගැන ඇත්තටම ගොඩක් සතුටුයි.

 


මගේ කැපවීමේ ප්‍රතිඵලය දැන් ලැබී තිබෙනවා

 




සුනිල් එස්. පැල්ලන්දෙණිය 


“තමන් ඉගෙන ගන්න දේ පිළිබදව නිසි ඉලක්කයක් තියාගෙන, ඒ ඉලක්කයට අඛණ්ඩව වැඩකටයුතු කරනවා නම් කාටවත් අතරමග නතර නොවී ජයග්‍රහණය කරා ළඟා වෙන්නට පුළුවන් කියලා මම අත්දැකීමෙන් දන්නවා. මගේ මේ ජයග්‍රහණය පිටුපස තියෙන්නෙත් මම මේ වෙනුවෙන් කරපු කැපවීම. ඒ වෙනුවෙන් ගුරුවරුන්ගෙන් මවුපියන්ගෙන් සහ ඥාති හිතමිත්‍රාදීන්ගෙන් ලැබෙන සහය ඉතාමත් වැදගත්. ඒ බවත් අමතක නොකළ යුතුයි.” යැයි කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ එස්.එච්. විමංශා ජයනදී රත්නවීර පවසයි.


වාරියපොළ මහකෙළිය තල්ගමුව ප්‍රදේශයේ පදිංචි විමංශා ජයනදී ශිෂ්‍යාව මෙවර අපොස සාමාන්‍ය පෙළ විභාගයෙන් මුළු දිවයිනෙන්ම දෙවන ස්ථාන ලබාගත් ශිෂ්‍යයින් දෙදෙනාගෙන් අයෙකි. වාරියපොළ ශ්‍රී සුමංගල ආදර්ශ විද්‍යාලයෙන් ප්‍රාථමික අධ්‍යාපනය හදාරා ඇති ජයනදී පහ වසර ශිෂ්‍යත් විභාගයෙන් ඉතා උසස් ලෙස සමත්ව සාමාන්‍ය පෙළ අධ්‍යාපනය වෙනුවෙන් කුරුණෑගල මලීයදේව බාලිකා විද්‍යාලයට ඇතුළත්ව ඇත. ජයනදීගේ පවුලේ මව සහ පියා හැරුණුකොට ඇයට ඇත්තේ නිවුන් සොහොයුරියක පමණි.

 

ජයනදී පහ වසර ශිෂ්‍යත්වය සමත් වන විට ඇගේ නිවුන් සොහොයුරිය ද ඒ හා සමගම පහ වසර ශිෂ්‍යත්වය සමත්ව ඇයත් සමග මලියදේව බාලිකා විද්‍යාලයේ ඉගෙනීම් සඳහා ඇතුළත්ව ඇත. ඇයද මෙවර සාමාන්‍ය පෙළ විභාගයේ දී ඒ සාමාර්ථ නවයක් ගැනීමට සමත්ව ඇති සිටින්නීය. ජයනදීගේ පියා සෞඛ්‍ය සේවයේ සිට විශ්‍රාම ලබාගත් රජයේ සේවකයෙකි. ඇගේ මව වාරියපොළ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයේ සේවය කරන නිලධාරිනියකි.


ලෙකෝ වාහනයක් නාමල්ගේ ඡන්ද වැඩට ගත්තාද?

 


 මනෝප්‍රිය ගුණසේකර


ලංකා විදුලි පුද්ගලික සමාගමේ (ලෙකෝ) සුබසාධන අංශයට අයත් රථයක් හිටපු අමාත්‍යවරයකු වන ජනාධිපති අපේක්ෂක පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගේ දේශපාලන කටයුතුවලට යෙදා ගත් බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන බව කොල්ලුපිටිය පොලිසිය කොටුව මහේස්ත්‍රාත් තනූජා ලක්මාලි මහත්මියට දැනුම් දුන්නේය.


මැතිවරණ කොමිසමෙන් ලැබුණු පැමිණිල්ලකට අනුව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කරන බව දැනුම් දෙමින් කළ ඉල්ලීමකට අවසර දුන් මහේස්ත්‍රාත්වරිය අදාළ රථයේ රියැදුරාගේ ජංගම දුරකතනයට අදාළ වාර්තා අධිකරණයට කොල්ලුපිටිය පොලිසියට දෙන ලෙස දුරකතන සමාගමේ කළමනාකාරවරයාට නියම කළාය. සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ කොල්ලුපිටිය පොලිසියේ නිලධාරීහු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු මෙන්ම හිටපු අමාත්‍යවරයකු වන නාමල් රාජපක්ෂ මහතා පසුගිය ජනාධිපතිවරණයේදී ජනාධිපති අපේක්ෂකයකු ලෙස ඉදිරිපත් වූ බවත් ඔහුගේ දේශපාලන රැලියක් පසුගිය අගෝස්තු 21 වැනිදා අනුරාධපුර පවත්වා ඇති බවත් දැනුම් දුන්හ.


ලංකා විදුලි පුද්ගලික සමාගමේ සුබසාධන ආංශයට අයත් මොන්ටෙරෝ ජීප් රථයක රියදුරු වශයෙන් කටයුතු කළ පුද්ගලයා රථය අලුත්වැඩියා කටයුතු සඳහා ගරාජයට යෙමු කරන බව දැනුම් දී ඇතැයිද පසුව ඔහු හොරොව්පතානේ තම නිවසේ දානයක් ඇතැයි කියමින් ඒ සඳහා දෙදිනක නිවාඩු ලබාගෙන ඇතැයිද දැනුම් දුන් නිලධාරීහු එසේ කියා ඔහු අදාළ මොන්ටෙරෝ ජීප් රථය ජනාධිපති අපේක්ෂක නාමල් රාජපක්ෂ මහතාගේ අනුරාධපුරයේ පැවැති රැස්වීමේ ප්‍රචාරක කටයුතු සඳහා යොදවා ඇති බවට කරුණු වාර්තා වී ඇතැයිද දැනුම් දුන්හ.


මේ සම්බන්ධයෙන් කරන විමර්ශන සඳහා අදාළ වාහනයේ රියැදුරාගේ ජංගම දුරකතන ඇමතුම් පිළිබඳ වාර්තා අවශ්‍ය වී ඇතැයි දැනුම් දුන් නිලධාරීහු අදාළ ජංගම දුරකතනයේ ඇමතුම් පිළිබඳ දත්ත වාර්තා තමන්ට ලබාදීමට අදාළ දුරකතන සමාගමේ නිලධාරීන්ට නියම කරන්නැයිද ඉල්ලා සිටියහ.ඉල්ලීම පිළිගනිමින් ඊට අවසර දුන් මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව කරන විමර්ශන වල ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමට පොලිසියට නියම කළාය.


Friday, September 27, 2024

හිටපු ඇමති මංගලගේ ආරක්ෂකයෙකුගේ නිවසින් පිස්තෝලයක් හා උණ්ඩ 12ක් සොයා ගැනේ


 

දිවංගත හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියෙකුගේ මාතර වෙහරගම්පිට ප්‍රදේශයේ නිවසක සඟවා තිබූ විදේශීය රටක නිෂ්පාදිත පිස්තෝලයක් හා උණ්ඩ 12 ක් ඊයේ (26දා) අත්අඩංගුවට ගත් බව මාතර කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.ඒ පිළිබඳව මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාර් පණ්ඩුල වීරසිංහ මහතාට ලද තොරතුරකට අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂිකා වරුනී කේශලා බෝගහවත්ත මහත්මිය ඇතුළු කණ්ඩායමක් අදාළ නිවස පරීක්ෂා කොට එහි තෙවැනි මහලේ පරෙවි කූඩුවක සඟවා තිබියදී ගිනි අවිය සොයා ගෙන ඇත.ඒවන විට නිවසේ සිට ඇත්තේ 17 හැවිරිදි පාසල් සිසුවකු වන අතර පොලිසිය ඔහුගෙන් ප්‍රකාශයක් සටහන් කර ගෙන තිබේ.


එම සිසුවාගේ පියා හිටපු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියෙකු ලෙස කටයුතු කර ඇති බවද, එම පිස්තෝලය පියා පරිහරණය කළ එකක් බවද ඔහු ප්‍රකාශ කර තිබේ.කෙසේ වෙතත් හිටපු පොලිස් කොස්තාපල්වරයෙකු ද වන එම පියා ඔහුගේ බාල පුතු පාසල වෙත රැගෙන යන අතරවාරයේ එම දෙදෙනාම මාතර වල්පල දුම්රිය හරස් මාර්ගයේ දී දුම්රියේ හැපී ජීවිතක්ෂයට පත්ව ඇත.


ඔහුගේ බිරිඳ ද කකුලේ අස්ථි බිඳී යාමක් හේතුවෙන් මේ වන විට මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටින බව කියති. මංගල සමරවීර මහතාගේ පුද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස කටයුතු කිර්මට පෙර ඔහු හිටපු ජනාධිපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මියගේ ආරක්ෂක අංශයේ ද සේවය කර ඇති බවට පොලිසිය වෙත තොරතුරු ලැබී ඇත.චෙකොස්ලෝවෙකියාවේ නිෂ්පාදිත අදාළ පිස්තෝලය ආරක්ෂක අංශයට අයත් එකක් ද එසේත් නොමැති නම් නීතිවිරෝධී ගිනි අවියක් ද යන්න සෙවීමට පුළුල් විමර්ශනයක් ආරම්භ කර තිබේ.


ක්‍රිෂාන් ජීවක ජයරුක්


ඉස්ලාම් ආගමට අපහාස කළැයි ඥානසාර හිමිට එරෙහි නඩුවේ තීන්දුව නොවැම්බර් 14දා


 

ඉස්ලාම් ආගමට අපහාස කර ආගමික සංහිඳියාවට බාධා කළ බවට චෝදනා කරමින් 'බොදු බල සේනා' සංවිධානයේ නායක ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව කොළඹ අපරාධ කොට්ඨාසය පවරා ඇති නඩුවේ තීන්දුව නොවැම්බර් 14 වැනිදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (26දා) දැනුම් දුන්නේය.


2016 ජූලි 06 වැනිදා කිරුළපන පැවැති මාධ්‍ය සාකච්ඡාවේදී ඉස්ලාම් ආගම සම්බන්ධයෙන් කරන ලද ප්‍රකාශයකින් ආගමික සංහිඳියාව බිඳීයන ආකාරයේ කටයුතු කර ඇති බවට චෝදනා නඟා ඇත. දණ්ඩ නිති සංග්‍රහයේ 291 (ආ) වගන්තිය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් කර ඇති බවටද චෝදනා කරමින් කොළඹ අපරාධ කොට්ඨාසය මෙම නඩුව පවරා ඇත. නඩුව කැඳවූ අවස්ථාවේදී සැකකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියෝ අධිකරණයේ පෙනී සිටියහ. උන්වහන්සේ වෙනුවෙන් පෙනී සිටි නීතිඥ ගාමිණි අල්විස් මහතා විත්තියේ විරෝධතා ලිඛිතව ඉදිරිපත් කරමින් තම සේවාදායකයාට එරෙහිව ඉදිරිපත් කර ඇති චෝදනා සනාථ කිරිම  සඳහා වන සාක්ෂි පැමිණිල්ල විසින් ඉදිරිපත් කර නැති හෙයින් උන්වහන්සේ නිදහස් කරන්නැයි ඉල්ලා සිටියේය. පැමිණිල්ල වෙනුවෙන් කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාහු අධිකරණය පෙනී සිටියහ. දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා නඩුවේ තීන්දුව නොවැම්බර් 14 වැනිදා ප්‍රකාශයට පත් කරන බව දැනුම් දුන්නේය.

බුද්ධිමාල් රුබේරු


ජනපති අපේක්ෂකයෙකුට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානම ගැන විමර්ශන නඩු ගොනුව අධිකරණයේ සේප්පුවට



 

ජනාධිපතිවරණයට ඉදිර්පත් වූ අපේක්ෂකයෙකුට ප්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමක් සම්බන්ධයෙන් රහස් පොලිසිය කරන විමර්ශනවලට අදාළ නඩු ගොනුව සේප්පුවේ තැබීමට කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඊයේ (26දා) නියෝග කළේය.


සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය රහස් පොලිසියේ විශේෂ විමර්ශන ඒකකයේ නිලධාර්න් විසින් නිල මැදිරියේදී මහේස්ත්‍රාත්වරයාට ඉදිරිපත් කරමින් කළ ඉල්ලීමක් පිළිගනිමින් මහේස්ත්‍රාත්වරයා එලෙස නියම කළේය.පසුගියදා පැවති ජනාධිපතිවරණයට ඉදිරිපත් වූ ජනාධිපති අපේක්ෂකයෙකුට ප්‍රහාරයක් එල්ල කිරීම සම්බන්ධයෙන් ලද තොරතුරකට අනුව විමර්ශනයක් ආරම්භ කළ බව සිද්ධියට අදාළ රහස් වාර්තාවක් ගොනු කරමින් රහස් පොලිසියේ විශේෂ විමර්ශන අංශයේ කාන්තා ප්‍රධාන පොලිස් පරීක්ෂක එන්. දිසානායක මහත්මිය අධිකරණයට දැනුම් දී තිබිණ. 


නුවර ප්‍රදේශයේ පදිංචි හිටපු පොලිස් නිලධාරියකු සිද්ධියට අදාළව දුන් තොරතුරු ඔස්සේ ඉදිරි විමර්ශන කරන බවත්, එම නිලධාරියා පසුගියදා ප්‍රකාශයක් දුන් බවත් දැනුම් දුන් රහස් පොලිස් නිලධාරිහු  විමර්ශනවල ප්‍රගතිය වාර්තා කිරිමට දිනයක් දෙන්නැයි ඉල්ලීමක්ද කළහ. ඉල්ලීම පිළිගනිමින් විමර්ශනවල ප්‍රගතිය වාර්තා කරන ලෙස රහස් පොලිසියට නියම කළ මහේස්ත්‍රාත්වරයා නඩු ගොනුව සේප්පුවේ තැබීමට නියම කළේය.

බුද්ධිමාල් රුබේරු


තඹුත්තේගම හිටපු OIC සේවය හැරගියා සේ සලකයි

 

 


තඹුත්තේගම මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා ලෙස රාජකාරි කටයුතු කරමින් සිටින අතරතුර, විධිමත් නිවාඩු අනුමත කරවා ගැනීමකින් තොරව රාජකාරියට වාර්තා නොකර සිටි ප්‍රධාන පොලිස් පරීක්ෂක එම්. සාගර විලේගොඩ ලියනගේ මහතා, තනතුර අතහැර ගියා සේ සලකා පොලිසිය මගින් නිවේදනයක් නිකුත් කර තිබේ.ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ 2022.12.13 දිනැති, අංක 2316/29 දරන අති විශේෂ ගැසට් පත්‍රය මගින් ප්‍රසිද්ධ කර ඇති රාජ්‍ය සේවා කොමිෂන් සභා කාර්ය පටිපාටික රිති  1 වැනි කාණ්ඩයේ XV පරිච්ඡේදයේ, 214 වැනි වගන්තිය ප්‍රකාරව 2024. 9.18 දින සිට සේවය අතහැර ගිය ලෙස මෙම නිවේදනය නිකුත් කර තිබේ.


ලබන ඔක්තෝබර් මස 9 වැනි දිනට පෙර ඒ මහතා සතුව ඇති රජයේ දේපළ, යතුරු , පරිගණක මුර පද හා රාජකාරි හැඳුනුම්පත විධිමත් ලෙස භාර දීමට කටයුතු කරන ලෙසත්, එසේම භාර දීමට අපොහොසත් වුව හොත් ඒ පිළිබඳව නීති මගින් කටයුතු කිරීමට සිදු වන බවත් එම නිවේදනයේ සඳහන් වේ. මෙලෙස තනතුර අතහැර යාම හේතුවෙන් නැවත රජයේ එම තනතුරට පත් කිරීමට ඇති අයිතිවාසිකම් සහ විශ්‍රාම වැටුපක් හෝ දීමනාවක් ලබා ගැනීමට ඇති අයිතිවාසිකම් අහිමිවන බවද එම නිවේදනයෙහි වැඩි දුරටත් සඳහන් වේ.

 බී.ජී. චතුරංග

මග නැගුමින් ගෙවීමට තිබූ කෝටි 1ක මුදලක් නඩුව අවසන්වන තුරු නොගෙවන ලෙස නියෝග

 


 බුද්ධිමාල් රුබේරු


හිටපු බලධාන්ගේ බලපෑම් මත නීතියට පටහැනිව 'මග නැගුම' ආයතනය විසින් '2 කේ' නමැති ඉදිකිරීම් සමාගමකට ගෙවීමට සූදානම් වූ රුපියල් කෝටි 1 1/2ක මුදලක් නඩු විභාගය අවසන් වනතුරු නොගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය අදාළ බලධාරීන්ට ඊයේ (26දා) නියම කළේය.'2 කේ' නමැති ඉදිකිරීම් සමාගමකට අදාළ රුපියල් කෝටි 1 1/2ක මුදල ගෙවීම අනුමත නොකිරීම හේතුවෙන් මග නැගුම' අධ්‍යක්ෂ මණ්ඩලය විසුරුවා හැරීමට ගත් තීරණයට එරෙහිව ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.


ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන යසන්ත කෝදාගොඩ, අර්ජුන ඔබේසේකර සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණ.'මඟ නැගුම' විධායක අධ්‍යක්ෂ මහේෂ් වික්‍රම මහතා ගොනු කර ඇති පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් මාර්ග සංවර්ධනය අධිකාරිය, හිටපු මහාමාර්ග ඇමැති බන්දුල ගුණවර්ධන, මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම්වරයා සහ නීතිපතිවරයා ඇතුළු පිරිසක් නම් කර ඇත.


මාර්ග සංවර්ධන අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන ‘මඟ නැගුම' ආයතනයේ විධායක අධ්‍යක්‍ෂවරයා වශයෙන් තමන් කටයුතු කළ බවත්, මාර්ග ඉදිකිරීම් කටයුත්තක් වෙනුවෙන් '2 කේ’ නමැති ඉදිකිරීම් සමාගමට ගෙවීමට නියමිතව තිබූ මුදල් ගෙවා අවසන් කළ බවත් සඳහන් කරන පෙත්සම්කරු එම මුදල් ගෙවා අවසන් කළ පසු අදාළ සමාගමට රුපියල් මිලියන 150ක අමතර මුදලක් ගෙවන ලෙස විෂය භාර හිටපු අමාත්‍යවරයා සහ එවකට අමාත්‍යාංශයේ ලේකම්වරයා වශයෙන් කටයුතු කළ පුද්ගලයා මඟ නැගුම' අධ්‍යක්ෂ මණ්ඩලයට දිගින් දිගටම බලපෑම් කළ බවද සඳහන් කළේය.


දිගින් දිගටම එල්ල වන බලපෑම් පිළිබඳව 'මඟ නැගුම’ අධ්‍යක්ෂ මණ්ඩලය විසින් මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය දැනුම්වත් කළ බවද, එම දැනුම්වත් කිරීම අනුව මෙම මුදල නොගෙවීමට මාර්ග සංවර්ධන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය තීරණය කර ඇති බවද සඳහන් කරන පෙත්සම්කරු මෙම සිදුවීම පාදක කරගනිමින් අමාත්‍යංශයෙහි හිටපු ලේකම්වරයා විසින් තමා මාර්ග සංවර්ධන අධිකාරියේ සභාපතිධුරයෙන් ඉවත් කළ බව පෙත්සමේ සඳහන් කර ඇත. තමා එම ධුරයෙන් ඉවත් කළ පසු වගඋත්තරකාර අමාත්‍යාංශ ලේකම්වරයා වැඩබලන සභාපති ධුරයට පත් වූ බවත්, ඉන් අනතුරුව ඔහු 'මග නැගුම' අධ්‍යක්ෂ මණ්ඩලයද විසුරුවා හළ බවත් සඳහන් කරන පෙත්සම්කරු අමාත්‍යාංශ ලේකම්වරයා ගත් අදාළ තීරණය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටී.


තම පෙත්සම විභාග කර තමාගේ මූලික අයිතිවාසිකම් කඩවු බවට තීන්දුවක් දෙන්නැයිද ඉල්ලීමක් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම ලබන වසරේ පෙබරවාරි 22 වැනිදා යළි කැඳවීමට තීරණය කළ විනිසුරු මඬුල්ල අදාළ නියෝගය කළේය. පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ කනිෂ්ක විතාරණ මහතාද මග නැගුම' ආයතනය වෙනුවෙන් ජනාධිපති නීතීඥ චන්දක ජයසුන්දර මහතාද පෙනී සිටියහ. '2කේ' නමැති ඉදිකිරීම් සමාගම වෙනුවෙන් නීතිඥ චතුර ගල්කේන මහතා පෙනී සිටියේය.


මන්නාරම විනිසුරුට එරෙහිව පෝස්ටර් ඇලවූ 3කගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේපයි

 


 


සාමාන්‍ය ඡන්ද පෝස්ටර දැන්වීමක් මෙන් නොව විනිසුරුවරයෙකුගේ රුව සහිත පෝස්ටර ඇලවීම අධිකරණයට කළ බලපෑමක් බව පෙන්වා දෙමින් මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට එරෙහිව පෝස්ටරයක් ඇලවූ පෞද්ගලික බස් රථ රියැදුරු ඇතුළු තිදෙනාගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තිළිණ ගමගේ මහතා ඔවුන් තිදෙනා ලබන 10 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඊයේ (26දා) නියෝග කළේය.


මෙලෙස රිමාන්ඩ් බාරයට පත් කරන ලද්දේ මන්නාරම මහාධිකරණ විනිසුරු එම්.එම්.එම්. මිහාල් මහතාගේ ඡායාරූප ඇතුළත් කරමින් ඒ මහතාට අපහාසයක් වන පරිදි කොළඹ සහ තදාසන්න ප්‍රදේශවල පෝස්ටර් ඇලවූ බව කියන මාතලේ ඉෂාන් රවිෂ්ක, මඩපාත මනෝජ් මධුසංඛ හා ඇරැව්වල ක්‍රිෂාන් නාලක නමැත්තන්ය.සිද්ධියට අදාළව රිමාන්ඩ් බාරයට පත් කර [සිටින සැකකරුවන් තිදෙනා නඩුව කැඳවූ අවස්ථාවේදී බන්ධනාගාර නිලධාර්න් විසින් අධිකරණයට ඉදිර්පත් කරන ලදී.


මන්නාරම මහේස්ත්‍රාත් අධිකරණයට පහරදීම සම්බන්ධයෙන් චෝදනාලත් විත්තිකරුවන් පස් දෙනෙකුට එරෙහිව මන්නාරම මහාධිකරණයේ විභාග කෙරුණු නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කිර්මට පෙර දිනය වූ ඉකුත් අගෝස්තු 28 වැනිදා කොටුව දුම්රිය ස්ථානය අසල, රේගුව ආසන්නයේ, අලුත්කඩේ මහාධිකරණය ආසන්නයේ, පැලවත්ත, බත්තරමුල්ල හා ගල්කිස්ස ආදි ජනාකීර්ණ ප්‍රදේශවල මන්නාරම මහාධිකරණ විනිසුරුවරයාට අපහාස වන අන්දමට සැකකරුවන් පෝස්ටරයක් අලවා ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාර්න් අධිකරණයට දැනුම් දී තිබිණ.


මහාධිකරණයේ චෝදනා ලැබූ විත්තිකරුවන්ගේ මිතුරන් පිරිසක් මෙම අපරාධය මෙහෙයවා 3 ඇති බවට කරුණු ඉදිරිපත් වී ඇතැයිද සැකකරුවන් විසින් පෝස්ටර් අලවා ඒවායේ ඡායාරූප ලබාගෙන අපරාධය මෙහෙය වූ පුද්ගලයන්ට යවා ඇතැයිද, කී කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාහු මෙම පෝස්ටරයෙන් මහාධිකරණ විනිසුරුවරයාට අපහාසයක් වී ඇතැයිද දැනුම් දුන්හ.සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීහු සැකකරුවන්ට අදාළ පෝස්ටර් ලබාදුන් පුද්ගලයින් අනාවරණය කරගෙන ඇති බවත්, ඔවුන් අත්අඩංගුවට ගැනීමට විමර්ශන ක්‍රියාත්මක කරන බවත් දැනුම් දුන්හ.


සැකකරුවන් වෙනුවෙන් නීතිඥ සාබ්දික වෙල්ලප්පුලි හා නාලක ජයසිංහ මහත්වරුන් අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සැකකරුවන් පෝස්ටර් අලවා ඇත්තේ මුදලට බවත්, රැකියාවට අමතරව මෙවැනි පෝස්ටර් ඇලවීම ඔවුන් දිගින් දිගටම කරගෙන ගොස් ඇති බවත් දැනුම් දුන්හ.සැකකරුවන් සාමාන්‍ය පුද්ගලයන් බවත්, ඔවුන් පසුගිය සමයේ දිගින් දිගටම ඡන්ද පෝස්ටර් අලවා ඇති බවත් සඳහන් කළ නීතිඥවරු ඕනෑම කොන්දේසියක් යටතේ ඔවුන්ට ඇප නියම කරන්නැයි ඉල්ලා සිටියහ.දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරමින් විමර්ශන ප්‍රගතිය ලබන 10 වැනිදා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියෝග කළේය.

බුද්ධිමාල් රුබේරු

හිටපු මන්ත්‍රි ලක්ෂ 53ක් වන්දි ගෙවයි

 


බුද්ධික කුමාරසිරි

හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහන් ප්‍රදීප් මහතා කාලයක් තිස්සේ නොගෙවා පැහැරහැර තිබුණේ යැයි කියන රුපියල් ලක්ෂ පනස් තුනක පමණ වාහන අනතුරු වන්දි මුදලක් ඔහු බස්නාහිර පළාත් සභාවට පෙරේදා (25) ගෙවා අවසන් කර ඇත. සහන් ප්‍රදීප් මහතාගේ පාවිච්චිය සඳහා බස්නාහිර පළාත් සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් ලෑන්ඩ් රෝවර් වර්ගයේ ජීප් රථයක් 2021 වර්ෂයේ දී ලබා දී තිබූ අතර එය 2022 වර්ෂයේදී අනතුරකට ලක්වීමෙන් දැඩි ලෙස හානිවී තිබිණ.


රුපියල් කෝටි දෙකකට ආසන්න මෙම හානියට අදාළව රක්ෂණ සමාගමෙන් එක්කෝටි තිස් ලක්ෂයක පමණ වන්දි මුදලක් ගෙවා තිබූ අතර සහන් ප්‍රදීප් මහතා ගෙවා අවසන් කර ඇත්තේ එහි ඉතිරි මුදල බව පළාත් සභා ආරංචි මාර්ග සඳහන් කළේය. අනතුරෙන් පසු මෙම වාහනය කාලයක සිට තිබී ඇත්තේ කොළඹ ගරාජයකය.මේ සම්බන්ධයෙන් අප බස්නාහිර පළාත් ප්‍රධාන ලේකම් ධම්මිකා කේ. විජයසිංහ මහත්මියගෙන් කළ විමසුමකදී ඇය සඳහන් කළේ එම වාහන අනතුරට අදාළ මෙතෙක් නොගෙවා තිබූ ඉතිරි වන්දි මුදල හිටපු මන්ත්‍රීවරයා ගෙවා අවසන් කළ බවයි.මෙම අනතුර සහ ඊට අදාළ වන්දි මුදල සම්බන්ධ කාරණය විගණන වාර්තාවල ද පසුගිය කාලයේදී සඳහන්ව තිබිණ.


වෑන්-යතුරුපැදි ගැටුමෙන් ගුරුවරියත් සැමියාත් මරුට

 


 



ප්‍රියන්ත දසනායක


අකුරැස්ස, සියඹලාගොඩ පිටබැද්දර මාරිගයේ බෝපගොඩ මංසන්ධිය ආසන්නයේදී පෙරේදා (25) පස්වරු 04.30ට පමණ සිදූවූ රිය අනතුරින් 32 හැවිරිදි පාසල් ගුරුවරියක සහ ඇගේ සැමියා මියගොස් ඇතැයි අකුරැස්ස පොලිසිය කියයි.මියගොස් ඇත්තේ මාතර, මාකදුර පාතකෑල්ල ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි භාග්‍යා බොරලැස්ස හා ඇයගේ සැමියා වන 38 හැවිරිදි ඉන්දික සම්පත් නමැති දෙදෙනකු බවට හදුනාගෙන ඇති බව පොලිසිය සදහන් කරයි.


ගුරුවරිය පිටබැද්දර, මෙදේරිපිටිය පාසලෙන් මාරු වී යෑමේ උත්සවයේ දී ලද තෑගි ද රැගෙන සිය සැමියා සමග මාකඳුර නිවෙස දෙසට සිය යතුරුපැදියෙන් ගමන් කරමින් සිටියදී පිටබැද්දර ව්‍යාපාරිකයකු අකුරැස්ස දෙස සිට පිටබැද්දර දෙසට ගමන් කරමින් තිබූ වෑන් රථයක් ඔවුන් යට කරගෙන ගොස් අසල පස් කණ්ඩියක හැපී නතර වී ඇතැයි පොලීසිය සදහන් කරයි.


ව්‍යාපාරික රියැදුරු අකුරැස්ස පොලීසිය අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු බීමත්ව සිට නොමැති බවත් අනතුරට හේතුව සොයා විමර්ශන ආරම්භ කර ඇති බවත් පොලීසිය පවසයි.මියගිය භාග්‍යාගේ දේහය අකුරැස්ස රෝහලේ මෘත ශරීරාගාරයට යොමු කර ඇති අතර ඉන්දිකගේ දේහය කරාපිටිය රෝහලේ තැන්පත් කර ඇත.මියගිය භාග්‍යා ගැබිනියක බව ද පොලිසිය වැඩිදුරටත් කීය.

රියැදුරු බීමත්ව සිට ඇති බවට පැතිරී යන කටකතා නිසා පොලීසියට මරණකරුවන්ගේ පාර්ශ්වයෙන් එල්ල කරන චෝදනාව ප්‍රතික්ෂේප කරමින් බීමත් රියැදුරන් පරීක්ෂණ නළ නොමැතිකම නිසා රියැදුරු අකුරැස්ස රෝහලේ ප්‍රධාන වෛද්‍ය නිලධාරි මානක විදානපතිරණ මහතාට ඉදිරිපත් කර අනතුරුව මාතර කොට්ඨාස අපරාධ පරික්ෂණාගාරයේ මත්ද්‍රව්‍ය පරීක්ෂණ යන්ත්‍රයට ඇතුළත් කර වාර්තාවක් ලබාගෙන ඇති බවත් පොලිසිය කියයි.සැකකාර ව්‍යාපාරික රියැදුරු ඊයේ (26) මොරවක මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ලේ පරීක්ෂණ වාර්තාවක් ලබාගන්නා බවත් පොලීසිය වැඩිදුරටත් පවසයි.


මැති ඇමැති බංගලා වහා දෙනු

 


 


හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් එම අමාත්‍ය ධුර දැරූ සමයේදී පරිහරණය කළ සියලුම රජයේ නිවාස සහ බංගලා වහාම නැවත බාර දෙන ලෙස රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශය හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන්ට ඊයේ (26) ලිඛිතව දැනුම් දී ඇත.


හිටපු අමාත්‍යවරුන් සහ රාජ්‍ය අමාත්‍යවරුන් පහළොවකට ආසන්න පිරිසක් රජයේ නිල නිවාස සහ බංගලා බාර දීම සඳහා දැනටමත් විමසීම් කර ඇතැයි එම අමාත්‍යාංශ ආරංචි මාර්ග සඳහන් කළේය.හිටපු අමාත්‍යවරුන්ට රාජ්‍ය අමාත්‍යවරුන්ට සහ ආයතන  කිහිපයකට රජය ලබා දී තිබූ කොළඹ රජයේ බංගලා සංඛ්‍යාව 50 කි.


මේ අතර මාදිවෙල මන්ත්‍රී නිල නිවාස මහ මැතිවරණය පවත්වන දිනය තෙක් පාවිච්චි කිරීමට පාර්ලිමේන්තු ප්‍රධානීන් හිටපු මන්ත්‍රීවරුන්ට අවසර දී ඇත.පාර්ලිමේන්තු මැතිවරණය පැවැත්වෙන දිනයේ හෝ ඊට පසු දින එම නිවාස යළි බාර දිය යුතු බව පාර්ලිමේන්තු ප්‍රධානීහු සියලුම හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ඊයේ දැනුම් දුන්හ. පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට ලබා දී තිබූ සියලු ආකාරයේ දීමනා, මුද්දර ගාස්තු ඇතුළු සියලු පහසුකම් ද පාර්ලිමේන්තුව විසුරුවා හැරීමත් සමගම අහෝසි වී ගියේය.

සුජිත් හේවාජුලිගේ

රනිල්ගේ උරුමය -අනුරගේ ඉරණම

 2022 ජුලි 13 වැනිදා උදෑසන වන විට ශ්‍රී ලංකාවේ කිසිම දෙයක ස්ථිර බවක් පෙනෙන්නට තිබුණේ නැත. ඊට යාන්තම් මාස දෙකකට පෙර, රට බංකොලොත් බව ප්‍රකාශ කර තිබූ අතර, ඩොලර් බිලියන 50 කට වැඩි ස්වෛරී ණය ගෙවීම පැහැර හැර තිබුණි. “දේශප්‍රේමී‘ යැයි කියාගත් ජනාධිපතිවරයා බියපත්ව රටින් පලා ගොස් තිබුණේ භාණ්ඩ ප්‍රවාහන ගුවන් යානයකිනි. දින කිහිපයක් යනතුරු ශ්‍රී ලංකාව පාලනය කරන්නේ කවුරුන් ද යන්න පැහැදිලි නොවීය. රට නිසැකවම වෙනිසියුලාව, ආර්ජන්ටිනාව හෝ ටියුනීසියාව ගිය අඩි පාරේ ස්ථිරව ගමන් කරන බව පුරවැසියන්ට සහ අනාවැකි කියන්නන්ට හැකි වූයේ, ජනප්‍රිය ජනතා නැගිටීම අත්තනෝමතිකත්වයට සහ ආර්ථික විනාශයකට හේතුවීමෙන් රට තවදුරටත් පසුබෑමකට ලක්වන නිසාය.


ඉන් යාන්තම් වසර දෙකකට පමණ පසුව, ශ්‍රී ලංකාව සිය විදේශ සංචිත නැවත පුරවා ගෙන, 20 වැනි සංශෝධනයෙන් ඉඩ ලැබුණු අධිකාරිවාදී අත්තනෝමතිකව කටයුතු කිරිමේ බලය අර්ධ වශයෙන් අහෝසි කිරීම සඳහා ව්‍යවස්ථාව සංශෝධනය කොට, ණයහිමියන් සමග සාර්ථකව සාකච්ඡා කරමින්, අධිකරණයේ සහ ස්වාධීන කොමිෂන් සභාවල ස්වාධීනත්වය රැකගෙන ඉතිහාසයේ වඩාත්ම සංකීර්ණ හා සාමකාමී ජනාධිපතිවරණය පවත්වනු ඇතැයි එම බදාදා උදෑසන කිසිවකුට අනාවැකියක් පවා කීමට නොහැකි විය. 2022 ජුලි මාසයේ දී එම දේවල්වලින් එකක් ගැන හෝ පුරෝකථනයක් ඉදිරිපත් කිරීම ශුභවාදී කාරණක් වුවත්, ඒ සියල්ල සිදුවනු ඇතැයි අනාවැකි කීම තනිකරම උමතුවක් විය හැකිව තිබුණි.


රාජ්‍ය නායකයා ලෙසින් තවත් වසර පහක කාලයක් සඳහා ඔහුට රට බාර දීමට මෙම ජයග්‍රහණ පමණක් ප්‍රමාණවත් නොවන බව ඡන්දදායකයන් තීරණය කර ඇති නිසා රනිල් වික්‍රමසිංහ තවදුරටත් මේ රටේ ජනාධිපති නොවේ. කෙසේ වෙතත්, ඔහු මැතිවරණ දේශපාලනයෙන් විශ්‍රාම යන බව ප්‍රකාශ කරන විට, වසර 15 කට පසු තෙවැනි වරටත්, අර්බුදයට ලක් වූ රටක පාලනය බාරගෙන ගෙන, තම උරුමය අමතක වීමේ අද්දරෙන් ඉවතට හරවා යවමින් ශක්තිමත්ව තහවුරු කර ගැනීමට රනිල් වික්‍රමසිංහට හැකියාවක් ලැබී තිබේ.


2001 සහ 2015 දී අගමැති ලෙස කටයුතු කළා සේම, 2022 ජනාධිපති ලෙසත් වික්‍රමසිංහ මහතා එහි බරපතළකම පැහැදිලි කිරිමට කාලය නාස්ති නොකර, විදේශීය හා දේශීය පාර්ශ්වකරුවන් සම්බන්ධ කර ගනිමින් ආර්ථික විපත්තිවලින් රට මුදා ගැනීමට කටයුතු කළේය. එහෙත් 2001 සහ 2015 වසරවල මෙන්ම, වික්‍රමසිංහ යළිත් වරක් තමා ගනුදෙනු කළ අය අතින්ම ආබාධිත තත්වයට පත් විය.


ඔහු අගමැති ලෙසින් 2001 සහ 2015 දී, ඔහු ඉවසා අවසානයේ ඔහු සමඟ ගැටුණු ජනාධිපතිවරුන් වෙනුවෙන් පෙනී සිටියේය. 2022 දී ජනාධිපති ලෙස ඔහුට, රාජපක්ෂ පවුල විසින් විශ්වාසයෙන් බාර දෙනු ලැබූ කැබිනට් මණ්ඩලය, පාර්ලිමේන්තු බහුතරය සහ රාජ්‍ය යාන්ත්‍රණය සමඟ කටයුතු කිරීමට සිදුවිය. තමා ජනාධිපති ලෙස තේරී පත් වී තමාගේම කැබිනට් මණ්ඩලයක් සහ කණ්ඩායමක් තෝරා ගැනීමට බලය ලබා දෙන්නේ නම් තමාට කළ හැකි දේ සිතා ගන්නා ලෙසට වික්‍රමසිංහ නොයෙක් වර ශ්‍රී ලාංකිකයන්ට ආරාධනා කර ඇත.


යථාර්ථයෙන් පිට පැනීම


කෙසේ වෙතත්, ඔහු අග්‍රාමාත්‍යවරයා ලෙස හෝ මෑතකාලීනව ජනාධිපතිවරයා ලෙසත් පෙනී සිටියේ, සාමාන්‍ය පුරවැසියන්ගේ දුක්ඛිත තත්වයට වඩා තමන්ගේ දේශපාලන සහ පෞද්ගලික ප්‍රතිලාභ කෙරෙහි වැඩි උනන්දුවක් දක්වන පෞද්ගලික කාර්ය මණ්ඩලයක් වට කරගත් නායකයකු ලෙසිනි. ඔහුගේ පණිවිඩය ජනතාව අතරට ගෙන යා හැකි සහ ඔවුන්ගේ අවශ්‍යතාවලට මුල් තැන දිය හැකි කණ්ඩායමක් ගොඩනගනවා වෙනුවට, තමාගේ හෝ පුරවැසියාගේ අවශ්‍යතා හදවතේ නැති අය විසින් තමාව යථාර්ථයෙන් සහ විරුද්ධ මත වලින් ඈත්කර හැරීමට ඔහු ඉඩ දුන්නේය. වසර 30කට පෙර එක්සත් ජාතික පක්ෂයේ නායකත්වයට පත්වීමෙන් අනතුරුව, මහත් වෙර වීරියෙන් ලුහුබැඳ ගිය අවස්ථාව ඔහුට කිසිදා නොලැබුණේ මේ අසාර්ථකත්වය නිසාමය.


කිසිවකුත් බාර ගැනීමට පවා එඩිතර නොවූ ශ්‍රී ලංකාවේ ආර්ථිකය පසුගිය දෙවසර තුළ විපත්තියෙන් ගලවා ගත්තද, වික්‍රමසිංහ විශේෂයෙන් දුප්පත්ම ශ්‍රී ලාංකිකයන්ගේ දුක් වේදනා සම්බන්ධයෙන් උදාසීන බවක් දක්වන්න අයෙක් යැයි සලකනු ලබන අතර, ඔහු වටා සිටින අය දකින්නේ ස්පර්ශයෙන් සමෘද්ධිමත් වන බවකි.


ඉතිහාසය ඔහු සිහිපත් කරනුයේ මෙම ඛේදනීය දේශපාලන අසාර්ථකත්වය සඳහා නොව, තුන්වරක් ශ්‍රී ලංකාවේ ආර්ථිකය මුදාගත්, සාපරාධී අපකීර්තිය අහෝසි කර, එල්.ටී.ටී.ඊ.ය බිඳ දමමින්, ඔවුන්ගේ අවසාන අභාවයට වේදිකාව සකසා ඔවුන් මුලිනුපුටා දමා, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 17, 19 සහ 21 වැනි ප්‍රගතිශීලි සංශෝධන හඳුන්වා දුන් නායකයා ලෙසින්ය.


පසුගිය සතියේ වික්‍රමසිංහගේ ජනාධිපති ධූරයට හිරු බැස ගියේ වික්‍රමසිංහ අසාර්ථක යැයි සිතූ ධනවත්, දුප්පත්, මහලු, තරුණ, ගැහැනු, පිරිමි බේදයකින් තොරව සෑම ජනවාර්ගික ප්‍රජාවක්ම නියෝජනය කරන මිලියන 5.7ක් ශ්‍රී ලාංකිකයන්, තමන්ට සාර්ථක යැයි සිතුණු අනුර කුමාර දිසානායකට රට භාර දීමට තීරණය කිරීමත් සමගය.

ශ්‍රී ලංකාවේ අලුතින් තේරී පත් වූ ජනාධිපතිවරයාගේ වඩාත්ම කැපී පෙනෙන ලක්ෂණය වන්නේ ඔහු සමීපව අනුගමනය නොකළ හෝ සහාය නොදැක්වූ බොහෝ දෙනකුට ඔහු ප්‍රහේලිකාවක් ලෙසින් පැවතීමයි. ඔහුගේ දේශපාලන ඥානය නිසා, මාධ්‍ය තුළ තම පෞද්ගලික ප්‍රතිරූපය “කරකැවීමට” කැප වූ කණ්ඩායමක් යොදා නොගත් ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු ජනාධිපතිවරයා දිසානායක විය හැකිය. මෙය ඔහුගේ දේශපාලන ප්‍රතිවාදීන්ට ඔහු නොගැළපෙන ලේබල් වලින් කොටු කර කූඩු කරගැනීමට පහසු කර ඇත.


දිසානායක යනු ශ්‍රී ලාංකිකයන් විසින් ඡන්දයකින් පත්කර ගත් පළමු උපාධිධාරි ජනාධිපතිවරයා බව දන්නේ ස්වල්ප දෙනෙකු නිසා ඔහු “බුද්ධිමතුන්ට විරෝධය දක්වන්නකු” ලෙසින් ලේබල් කර ඇත.


ඔහු ජනතා විමුක්ති පෙරමුණ බාරගෙන එන්ජිපී පිහිටුවීමේ සිට 2018 දින 52 කුමන්ත්‍රණය ඇතුළුව 2005 සිට රාජපක්ෂවරුන් පරාජය කිරීමට දරන සෑම උත්සාහයකම ප්‍රධාන පෞද්ගලික භූමිකාවක් ඉටු කර තිබුණද, ලිබරල් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා හෝ ඒවා ක්‍රියාත්මක කිරීමකදීම ප්‍රබලම ලිබරල්වාදියෙක් ලෙසින් හඬ නැගුවද, ඔහු අරාජිකවාදියකු හෝ ඒකාධිපතියකු ලෙස ලේබල් කර ඇත. ගජමිතුරු ධනවාදයෙන් තොර විචිත්‍රවත් පුද්ගලික අංශයක් සඳහා තීරණාත්මක භූමිකාවක් අවධාරණය කරන වේදිකාවලට ඔහු දෙවරක් ගොඩ නැගුණද, යුරෝපයේ, ඕස්ට්‍රේලියාවේ හෝ කැනඩාවේ වැනි රටවල බොහෝ ආණ්ඩුවලට මධ්‍ය- වාමවාදීන් ප්‍රතිපත්තිමය තනතුරු දැරුව ද, අනුර කුමාර දිසානායක අන්ත වාම කොමියුනිස්ට්වාදියකු ලෙසින් ලේබල් කර ඇත.


මෙය 2019 දී ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති ලෙස තේරි පත්වීම සමග සංසන්දනය කිරීමේ දී වෙනස් තත්වයකි. රාජපක්ෂට ඇත්තේ දිසානායකගේ සුදුසුකම්වලින් කොටසකි. ඔහු යුද්ධයේ උච්චතම අවස්ථාවේ දී හමුදාවෙන් ඉවත් වී, ශ්‍රී ලංකාව හැර දමා ගොස්, වෙනත් රටකට පක්ෂපාතී බව ප්‍රතිඥා දී, ඔහුගේ පුරවැසිභාවය ද අතහැර දැමූ අතර, ඔහු ආපසු ශ්‍රී ලංකාවට ආවේ ඔහුගේ සොහොයුරාගේ ආරක්ෂක ලේකම් ලෙස බලය ලබා ගැනීමටය.


තමා බුද්ධිමතෙකු ලෙස හඳුන්වා ගැනීමට “වියත්මග” සංවිධානය ආරම්භ කළේය. එපමණකින් නොනැවතී, මුළුමනින්ම පාහේ බහුතර භීතියට අනුග්‍රහය දැක්වීම සඳහා ඔහු ප්‍රචාරක කටයුතු කළේය. එහෙත් ඔහුගේ මේ නැග්ම ශ්‍රී ලංකාව එක්සේසත් කරන සබුද්ධික, දේශප්‍රේමී තාක්ෂණවේදියකු ලෙස පුළුල් ලෙස පැසසුමට ලක් විය.


කැබිනට් මණ්ඩලයක් පත් කිරීමට පෙර සිටම ගෝඨාභය රාජපක්ෂ රාජ්‍ය යාන්ත්‍රණය තම සතුරන්ට එරෙහිව යොදා ගැනීමට උත්සාහ ගත්තේය. ඔහු භීතිය සහ විජාතික භීතිකාව හරහා රට පාලනය කළ අතර, කොවිඩ් වසංගත සමයේදී මුස්ලිම්වරුන්ට වධ හිංසා පමුණුවා ඔවුන්ගේ මෘත දේහ ආගමික පදනමට පටහැනිව ආදාහනය කිරීමට නියෝග කළේය.


අවසානයේ දී ජ්‍යෝතිෂ්‍ය උපදෙස්වලට අනුව ව්‍යාප් විද්‍යාත්මක වැරදි කළමනාකරණය හරහා ආර්ථිකය අවුල් ජාලයක් බවට පත් කළේය. එහෙත් 55 හැවිරිදි අනුර කුමාර දිසානායක ඊට ඉඳුරාම වෙනස් මගක් ගනිමින්, ජනතා විමුක්ති පෙරමුණේ නායකයා ලෙස තේරි පත් වූ දා සිට ගත වූ වසර 10 පුරාවට ඔහුගේ අඛණ්ඩතාව සහ දේශපාලන බුද්ධිය ප්‍රදර්ශනය කර ඇත. බලය වෙනුවෙන් බලය ගැන අසාමාන්‍ය ලෙස සුපරික්ෂාකාරී වන අතරම, තමාට හෝ තම පක්ෂයට දේශපාලන හානියක් සිදු වුවත්, රටේ යහපතට හේතු වන දේශපාලනික වශයෙන් නිර්භීත තීරණ ගැනීමෙන් ඔහු අනෙකුත් පක්ෂ නායකයන්ගෙන් කැපී පෙනේ.


එය පළමුවරට ප්‍රදර්ශනය වූයේ 2014 මැයි මාසයේ දී ලන්ඩන් නුවරදී ය. ජවිපෙ නායකත්වයට පත් වී කෙටි කලකට පසු, 1971 සහ 1987 ප්‍රචණ්ඩ කැරලිවල දී තම පක්ෂය විසින් සිදු කරන ලද සංහාරය ගැන ඔහු විවෘතව සමාව අයැද සිටි අතර, එම ඛේදවාචක පිළිබඳ ඔහුගේ ඉදිරිදර්ශන බෙදාහදා ගත්තේ දුර්ලභ ගනයේ අවංකභාවයක් ප්‍රදර්ශනය කරමිනි.ඉන් වසරක් යන්නට මත්තෙන් ඔහු 2015 දී රාජපක්ෂ පාලනය පරාජය කිරීමට පෙළ ගැසුණු ඒකාබද්ධ විපක්ෂයේ පිටුපසින් ජනතා විමුක්ති පෙරමුණේ බර තැබුවේය. මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ලෙස තෝරා පත් කර ගැනීම සඳහා ප්‍රධාන සාධකයක් වුවද, දිසානායක තම පක්ෂයට සභාග ආණ්ඩුවකට එක්වීම සඳහා වූ ආරාධනය ප්‍රතික්ෂේප කළේය. එසේ කළේ කැබිනට් අමාත්‍යාංශවල උගුලේ නොවැටී, පාර්ලිමේන්තුවේ විපක්ෂයේ සිටිමින් රජය ආරක්ෂා කිරිම සඳහාය.


පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු වශයෙන් දිසානායක, පාර්ලිමේන්තු ක්‍රියා පටිපාටිය, කමිටු භූමිකාව සහ ව්‍යවස්ථාපිත නීතිය පිළිබඳව දැඩි අවබෝධයක් පෙන්නුම් කළේය. 2018 දින 52 ක කුමන්ත්‍රණය අතරතුර, හිටපු ජනාධිපති රාජපක්ෂ නීතිවිරෝධී ලෙස අගමැති ධුරයට පත් වූ විට, දිසානායක කිසිදු පැකිලීමකින් තොරව, ජනප්‍රිය නොවන වත්මන් පාලනය බේරා ගැනීම සඳහා ජවිපෙ පෙළ ගැස්වීය. එසේ කිරීම තම පක්ෂයට දේශපාලනිකව සියදිවි

නසාගැනීමක් බව ඔහු දැන සිටි නමුත් ගෙවීමට සිදුවන මිල කුමක් වුවත් ප්‍රජාතන්ත්‍රවාදය සහ නීතියේ ආධිපත්‍යය වෙනුවෙන් පෙනී සිටින බවට ඔහු අවධාරණය කළේය.

මේ සති අන්තයේ, ඔහුගේ ජයග්‍රහණය සහතික වූ විට, ඔහුගේ පළමු ප්‍රමුඛතාව වූයේ රට එක්සේසත් කිරීමට උත්සාහ කිරීමයි. තම ජයග්‍රහණය සැමරීමෙන් වළකින ලෙස ඔහු තම ආධාරකරුවන් දිරිමත් කළේය. 


මැතිවරණයක් ජයග්‍රහණය කිරීම සැමරිමට අවශ්‍ය දෙයක් නොවන බවත්, එය සැමරීමට වටිනා දෙයක් ඉටු කිරීම සඳහා ලැබූ අවස්ථාවක් බවත් ඔහු පැවසීය. ඔහු ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති ගිවිසුමට තම කැපවීම යළිත් තහවුරු කළේය. ඔහුගේ සමාරම්භක උත්සවය වාමාංශිකයන් පමණක් නොව, අනුර කුමාර දිසානායකගේ පාලන තන්ත්‍රයකින් වඩාත්ම බිය විය යුතු යැයි සැලකෙන සමාජයේ ඉතා ඉහළ පෙළේ ව්‍යාපාරික නායකයන් සහ වෘත්තිකයන් කිහිප දෙනකු සහභාගී වූ රසික රසිකාවියන් නොමැති ඉතා චාම් උත්සවයක් විය.


පොළවට පය ගසා සිටීමේ හැකියාව


දිසානායක ඡන්දදායකයන් වෙත කරන ආයාචනයෙන් බොහෝමයක් පැමිණෙන්නේ ඔහු එක රැයකින් දේශපාලන සංසිද්ධියක් බවට පරිවර්තනය වී තිබෙන තත්වයක දී පවා පහළට බැස සිටීමට ඔහුට ඇති හැකියාව මගිනි. 2015 දී ඔහු ජනතා විමුක්ති පෙරමුණේ නායකත්වය බාරගෙන යන්තම් වසරකට පසුව මට මෙය සියැසින් දැක ගැනීමට හැකිවිය. මා දන්නා හඳුනන ගෘහ සේවකයකු, ඔහුගේ පක්ෂයේ සාමාජිකයකු වූ අතර, ඔහු වරක් හෘදයාබාධයකින් පෙළෙමින් රෝහල් ගතකර භයානක ශල්‍යකර්මයකට භාජන කිරීමට සූදානම්ව සිටියේය. ඔහු ජිවත් වෙයිද? මිය යයිද? කියා කිසිවකුවත් දැන සිටියේ නැත.


ශල්‍යකර්මය කිරීමට කලින් එම පුද්ගලයා එක ඉල්ලීමක් කළේය. ඒ තමා අගය කරන තම පක්ෂයේ නායක අනුර දිසානායක හමුවී ඔහුට මුහුණට මුහුණ කතා කිරීමට ආශාවක් ඇති බවය. මම දිසානායකට මේ බව සැලකළ විට ඔහු නොපමාව රෝහලට පැමිණියේය. මම ඔහුට ආචාර කොට, ඔහු අදාළ කාමරයට යද්දී රෝගියාගේ පසුබිම සහ රෝග තත්වය පිළිබඳව දිසානායක මගෙන් තොරතුරු විමසා සිටියේය.


එදා ඔහු රෝහල් ඇඳ ළඟ සිට රෝගියා දෙස බලා සිටින විට විස්මයට පත් වූයේ මමද? රෝගියාද කියලා මට සිතා ගැනීමට නොහැකි විය. ශල්‍යකර්මයෙන් පසු ඔහු නැවත එම පුද්ගලයා බැලීමට නැවත පැමිණෙන බවට පොරොන්දු වූ දිසානායක බිය වීමට හේතුවක් නැතැයි කීවේය. ඒ කියූ ලෙසටම ඔහු නැවත වරක් රෝගියා බැලීමට පැමිණියේය. දිසානායක පසුගිය දශකය නිහඬව ගත කළේ විවිධ මතවලට නිරාවරණය වෙමින් වෙනස් දේශපාලන පසුබිම්වල සිටින ඔහුගේ ආධාරකරුවන් සහ විරුද්ධවාදීන් ඔහුගේ හිටපු කැරලිකාර පක්ෂයේ අඛණ්ඩතාව විවිධත්වය හා දේශපාලනිකත්වය සමඟ ඒකාබද්ධ කොට ජාතික ජන බලවේගය වැනි පුළුල් සන්ධානයක් ගොඩ නැගීමටයි.අනුර කුමාර දිසානායක මොන වගේ නායකයකු වේදැයි අනාවැකි කීමට කිසිවකුටත් නොහැක. එහෙත් එක දෙයක් පමණක් කීම හැකියාශ්‍රීලංකාව කිසිදු දිනෙක ඔහු වැනිං නායකයකු තෝරාගෙන නොමැති බවය.


හෝටල් හිමිකරු ඝාතනයට යතුරුපැදිය ගෙන ඇත්තේ අයිතිකරුට අයිස් දීලා

 


 


දෙහිවල සරණංකර පාරේ හෝටල් හිමිකරුට වෙඩි තබා ඝාතනය කිරිම සඳහා පැමිණි වෙඩික්කරුවන්ට යතුරුපැදිය ලබා දී ඇත්තේ යතුරුපැදියේ ලියාපදිංචි අයිතිකරුට අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3 ලබා දී බවට අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනකුගේ ප්‍රශ්න කිරීමේදී අනාවරණය වී යැයි කොහුවල පොලිසිය කියයි. එම එක් සැකකරුවකු මීගොඩ ප්‍රදේශයේදීත් අනෙක් සැකකරු පාදුක්ක ප්‍රදේශයේදීත් අත්අඩංගුවට ගැනීමට හැකි වූ බව පොලිසිය සඳහන් කරයි.


ඉකුත් 18 වැනි දින රාත්‍රියේදී දෙහිවල සරණංකර පාරේ ස්ටාර් හෝටලේ හිමිකරු වන නායගම් විශ්ව ඥනම් (43) යන අය හෝටලය තුළදී වෙඩි තබා ඝාතනය කර තිබුණි.දැනට විදේශගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන කසුන් ධම්මික යන අය පාදුක්ක ප්‍රදේශයේ පුද්ගලයකුට දුරකතනයෙන් කරන ලද දැනුම් දීමක් අනුව පාදුක්ක, වටරැක, ගාලබැඳිහේන ප්‍රදේශයේ නිවෙසක් ඉදිරිපිටට ඔහුගේ යතුරුපැදිය රැගෙන විත් එය නවතන ලෙසත්, ඒ ආසන්නයේ තිබෙන ජම්බු ගසක් යට තිබෙන අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 3 ලබාගෙන යන ලෙස උපදෙස් ලබා දී තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.


අනතුරුව එම ප්‍රදේශයේම පදිංචි බුද්ධික ප්‍රසාද් යන පුද්ගලයකුට ඇමතුමක් ලබාදී එය අලුත්වැඩියා කිරීම සඳහා රුපියල් 18000/= ක මුදලක් ලබා දී ඇතැයිද පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත.විදේශගතව සිටින කසුන් ධම්මික නමැත්තා බුද්ධික ප්‍රසාද් යන අයට නැවතත් ඇමතුමක් ලබාදී මුදිත ප්‍රසාද් නොහොත් චීන පුතා නමැත්තා සමග එම යතුරුපැදිය ඩුබායි රාජ්‍යයේ සැඟවී සිටින කොස්මල්ලි යන අයගේ අනුදැනුම මත මීගොඩ ආර්ථික මධ්‍යස්ථානය අසලදී ගල්කිස්ස ප්‍රදේශයේ පුද්ගලයන් දෙදෙනකු වෙත ලබා දී ඇතැයි පොලිසිය කියයි. එම යතුරුපැදිය හෝටල් හිමිකරු ඝාතනය සඳහා යොදාගෙන ඇති බව අනාවරණය වී ඇතැයි පොලිස් නිලධාරියෙක් පැවසීය.


බඩෝවිට කුඩු අසංක සහ දෙහිවල රජයේ නිවාසවල සමන්ත යන දෙදෙනා අතර පවතින මත්ද්‍රව්‍ය ආරවුලක් මත ඉකුත් දින කීපය තුළ දෙහිවල සහ කොහුවල පොලිස් බල ප්‍රදේශවල දී තිදෙනෙකු ඝාතනයට ලක්කෙරිණි.හෝටල් හිමිකරු ඝාතනයට ආධාර අනුබල දීම යටතේ සැකකරුවන් දෙදෙනා නුගේගොඩ මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය.

 බිමල් ශ්‍යාමන් ජයසිංහ

කතකගේ කෙස් ගැලවුණ සැලූනයට සීල් තියයි

 


කීර්ති ප්‍රනාන්දු


හිසකෙස් සැකසීම සදහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ‍ හිස කෙස් ගැලවී යාමේ සිද්ධියට සම්බන්ධ රූපලාවණ්‍යාගාරය පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන් විසින් ඊයේ (26) දහවල් පරීක්ෂා කර මුද්‍රා තබනු ලැබීය. එහිදී සිදුවීමට මුහුණ දුන් කාන්තාවගේ කොණ්ඩය සැකසීම සඳහා භාවිතා කර තිබූ ආලේපන ද්‍රව්‍ය දෙකක සාම්පල් ලබාගත් බව ගම්පහ පාරිභෝගික සේවා අධිකාරියේ ප්‍රධානී උදය නාමල්ගම මහතා පැවැසීය.

එසේ ලබාගත් ආලේපන ද්‍රව්‍ය සාම්පල මුද්‍රා තබා රජයේ රස පරීක්ෂකවරයාට යොමු කර වාර්තාවක් ලබා ගැනීම කරන බවත් මේ පිළිබඳව සියලුම විමර්ශන කටයුතු අවසන් වන තුරු එම රූපලාවණ්‍යාගාරයට මුද්‍රා තැබූ බව ද නාමල්ගම මහතා කීය. මේ පිළිබඳව අද ( 27 ) මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට වාර්තාවක් ඉදිරිපත් කරන බව ද පැවැසීය.


අධිකරණය මගින් අත්අඩංගුවට ගැනීම සඳහා වරෙන්තු නිකුත් කර සිටින එම රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය නීතිඥ සංජීව හෙට්ටිආරච්චි මහතා මගින් අපේක්ෂිත ඇප අයදුම් පතක් මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර ඇය නීතිඥ සංජීව හෙට්ටිආරච්චි මහතා සමග රූපලාවණ්‍යාගාරයට පැමිණ පාරිභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්හට එහි ඉබි යතුරු විවෘත කර පරීක්ෂා කිරීමට පහසුකම් සලසා දී තිබිණ.රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය මිනුවන්ගොඩ මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර ඇති ඇප අයදුම්පත අද (27) සලකා බැලීමට නියමිතය.


ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍රයේ විමර්ශන යට ගහන්න දේශපාලකයෝත් අතදාලා

 


 

පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර අක්‍රමිකතා සම්බන්ධයෙන් වැඩ තහනමට ලක්ව සිටින සහ චෝදනාවට ලක්වී සිටින අනුරාධපුර දිස්ත්‍රික්කයේ විදුහල්පති හා ගුරුවරුන් සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති නිලධාරීන්ට කරන දේශපාලනික < බලපෑම් නැවතීමට මැදිහත් වන ලෙසට ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අගමැතිනි සහ අධ්‍යාපන අමාත්‍ය හරිනී අමරසූරිය මහත්මියගෙන් ඉල්ලීමක් කරයි.


මෙවර පැවැති පහ වසර ශිෂ්‍යත්ව විභාගයේදී අනුරාධපුර විභාග මධ්‍යස්ථානයකදී ප්‍රශ්න පත්‍රය ඡායාරූපගත කර බෙදා හැරීමේ චෝදනාව මත තිදෙනකු වැඩ තහනමට ලක්ව, තවත් ගුරුවරුන් (ටියුෂන් ද පවත්වාගෙන යන) නව දෙනකුගේ ජංගම දුරකතන විභාග දෙපාර්තමේන්තුව මගින් ඉදිරි පරීක්ෂණ සඳහා භාරයට ගැනිණි. මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙසේ පැවැසීය.


“මේ වනවිට මෙම ප්‍රශ්න පත්‍ර සිද්ධිය යට ගහන්න විවිධ දේශපාලන බලපෑම් සහ යම් යම් වෘත්තීය සමිති බලපෑම් කරමින් තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස්වරයා මේ ගැන කියන්නේ මේ සිද්ධියට පරීක්ෂණ කරන තුරු විභාග පිළිතුරු පත්‍ර ඇගයීම නතර කරනවා කියලයි.


එසේ බලන විට මේ යන විමර්ශනය කොච්චර කොපමණ කාලයක් දැයි කියන්න බෑ. එය අවුරුද්දක පමණ කාලෙකින් පවා අවසන් වෙයි ද කියන්න බෑ. එතෙක් ප්‍රතිඵල දෙන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නය අපට තියෙනවා.උතුරු මැද පළාතේ නව දෙනකුසැකපිට විභාග දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිරීම් කර දෙපාර්තමේන්තු මගින් ඔවුන්ගේ දුරකතන භාරයට ගත්ත ද දැනට එම පරීක්ෂණ නැවැතී තියෙනවා. එතැනින් එහාට මේ විමර්ශන ගිහින් නෑ. අඩු තරමේ ඔවුන් සම්බන්ධයෙන් ගත යුතු මූලික ක්‍රියාමාර්ග ගැනීම් පවා නැවතී තිබෙනවා. අත්අඩංගුවට ගත් අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන් ද ආයතන මට්ටමේ ගතයුතු ක්‍රියා මාර්ග ද අරගෙන නෑ.


මේ වනවිට හෙළිදරව් වූ සහ හෙළිදරව් වෙමින් පවතින කරුණු අනුව අවුරුදු අටක පමණ සිට කාලයක් තිස්සේ මෙසේ විභාග වංචා වෙලා තියෙනවා. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ගුරුවරුන් ටියුෂන් ගුරුවරුන් එකතු වෙලා මෙතරම් කාලයක් මෙය කර තිබෙනවා.මෙය ගුරුවරුන් දෙතුන් දෙනකුගේ හෝ නිලධාරී දෙතුන් දෙනකුගේ හෝ ටියුෂන් මුදලාලිලා දෙතුන් දෙනකුගේ ප්‍රශ්නයක් නොව සිසුන් තුන් ලක්ෂ විසිපන්දාහකගේ ප්‍රශ්නයක් යැයි ද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය.

බී.ජී. චතුරංග


රුසියානු යුද්ධයට කුලී හේවායන් යව්වාට හිටපු ලොක්කකු සීඅඩියෙන් හොයයි

 

 


රුසියානු යුක්‍රේන යුද්ධයට කුලී හේවායන් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් යැවීමේ මිනිස් ජාවාරම පිටුපස සිටි බව කියන රජයේ ඉහළ පෙළේ තනතුරක් හෙබවූ මෙරට විශ්‍රාමික හමුදා ප්‍රධානියකු සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විමර්ශන ආරම්භ කළේය.අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ තැනැත්තන් වෙළෙඳාම ජාවාරම් විමර්ශන අංශය කළ විමර්ශන වල දී එම ආරක්ෂක අංශ ප්‍රධානියා සම්බන්ධයෙන් තොරතුරු හෙළි වූ බව එහි උසස් නිලධාරියෙක් පැවැසීය.


මෙම හිටපු හමුදා ප්‍රධානියා අවස්ථා කිහිපයකදීම රුසියාවට ගොස් මෙම ජාවාරම මෙහෙයවා ඇති බවත්, රුසියාවට යවන මෙරට හමුදා සෙබළකු වෙනුවෙන් මෙම හමුදා ප්‍රධානියාට රුපියල් ලක්ෂ 25 ක මුදලක් ගෙවා ඇතැයි තොරතුරු ලැබී ඇති බවත් එම උසස් පොලිස් නිලධාරියා සඳහන් කළේය. මෙම ආරක්ෂක ප්‍රධානියා සම්බන්ධයෙන් ලැබී ඇති තොරතුරු විමර්ශනය කර ඉදිරියේදී ඔහු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවට කැඳවා ප්‍රශ්න කිරීමට බලාපොරොත්තු වන බව ද එම නිලධාරියා කීය.


මෙරට ප්‍රධාන පෙළේ ආරක්ෂක සමාගමක නමින් රුසියාවේ යුද හමුදා කඳවුරක් පැවැත්වෙන බවත් මෙරටින් යැවෙන විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමාජිකයන් එම කඳවුරට රැගෙන ගොස් එහිදී සති තුනක පමණ පුහුණුවක් ලබා දී යුද්ධයට අවශ්‍ය නිල ඇඳුම් ගිනි අවි ලබා දී ඇති බවත් හෙළිවී ඇත.


මෙරට ප්‍රධාන පෙළේ පෞද්ගලික ආරක්ෂක සමාගම සහ රුසියාවේ සමාගමක් නමින් පවත්වාගෙන යන හමුදා කඳවුර අතර සම්බන්ධයක් ඇති බවට තොරතුරු හෙළිව ඇතැයි පවසන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු ආරංචි මාර්ග රුසියානු යුද්ධයට කුලී හේවායන් යැවීමේ ජාවාරම හෙළිවීමත් සමග එම ජාවාරම විමර්ශනය කිරීම සඳහා යැයි පවසමින් චෝදනා ලත් හිටපු හමුදා ප්‍රධානියා තවත් පිරිසක් ද සමග පසුගිය කාලයේදී රුසියාව බලා පිටත්ව ගොස් සිටි බව ද සඳහන් කරයි.


ඉහළ පෙළේ දේශපාලන සම්බන්ධකම් ඇති මෙම හිටපු හමුදා ප්‍රධානියාට ඇති බිය නිසා රුසියානු යුද්ධයේ බොහෝ බොහෝ සෙබළුන් තොරතුරු දීමට බියෙන් පසු වූ බවත් රටේ වත්මන් වාතාවරණය සැලකිල්ලට ගෙන මෙම ආරක්ෂක අංශ ප්‍රධානියා සම්බන්ධයෙන් සහ ඔහුගේ ජාවාරම ගැන තොරතුරු සියල්ල දැනුම් දී ඇති බවත් වැඩිදුරටත් පැවැසීය.


ඉන්දිකා රාමනායක

Thursday, September 26, 2024

ඇෆ්ගනිස්තානයේ උමතුවක් බවට පත් වූ ශක්තිජනක පාන භාවිතය

 


වර්තමානයේදී තලේබාන් පාලනය යටතේ පවතින ඇෆ්ගනිස්තානය තුළ ශක්තිජනක පාන අලෙවිය පෙර නොවූ විරූ ආකාරයෙන් දැකගත හැකි බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ අනුව කුඩා දරුවාගේ සිට වයස්ගත තැනැත්තා දක්වා අද වන විට අධික ලෙස කැෆේන් අඩංගු මෙම ශක්තිජනක පාන සඳහා වන ඉල්ලුම ඉහළ ගොස් තිබේ.මෙලෙස ඇෆ්ගනිස්තාන ජනතාවට ශක්තිජනක පාන භාවිතය සම්බන්ධයෙන් මූලික උනන්දුව ඇති කර ඇත්තේ දශකයකට අධික කාලයක් ඇෆ්ගනිස්තානයේ ආරක්ෂාවට යොදවා සිටි එක්සත් ජනපද ආරක්ෂක අංශ සාමාජිකයන්ය. ඔවුන් එරට අතහැර ගොස් වසර දෙකකට අධික කාලයක් ගත වී තිබුණද ඇෆ්ගනිස්තාන ජනතාව එම පාන වර්ග කෙරෙහි වැඩි වශයෙන් ඇල්ම දක්වමින් සිටිති. විශේෂයෙන්ම තලේබාන් පාලනය එරට තුළ මත්පැන් භාවිතය තහනම් කිරීමත් මීට හේතුවක් වී තිබේ.


 ඒ අනුව අද වන විට ඇෆ්ගනිස්තාන වෙළෙඳපොළ තුළ ආනයනික ශක්තිජනක පාන වර්ග මෙන්ම දේශීයව නිපදවන ශක්තිජනක පාන නිෂ්පාදනද දැකගත හැකිය. කඩසාප්පුවල පවා ඉදිරියෙන්ම ප්‍රදර්ශනය කර ඇත්තේ මෙම නිෂ්පාදනය. මහාමාර්ග පුරා පවා වැඩි වශයෙන්ම දැකගත හැක්කේ මෙම නිෂ්පාදන පිළිබඳ දැක්වෙන ප්‍රචාරක පුවරුය. එය ඇතැම්විට තලේබාන් සංවිධානය පිළිබඳ ප්‍රචාරක පුවරුවලටත් වඩා වැඩිය.


මෙලෙස ඇෆ්ගනිස්තානය තුළ දේශීයව නිපදවන ශක්තිජනක පාන Commando, Attack සහ Predator යන වෙළෙඳ නාමයන්ගෙන් ඉදිරිපත් කර තිබේ. ඒ අනුව පැහැදිලිවම මෙම පාන වර්ග තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් ඉදිරිපත් කර ඇත. විශේෂයෙන්ම ඇෆ්ගනිස්තානය තුළ තමන් ගත කරන වඩාත් දුෂ්කර දිවි පෙවෙත අමතක කර දමමින්, සිරුරට වඩාත් වැඩි ශක්තියක් ලබා ගැනීමේ අරමුණින් එරට ජනතාව මෙලෙස වැඩි වශයෙන් කැෆේන් අඩංගු පාන වර්ග වෙත ඇබ්බැහි වී සිටින බව අදහස වී තිබේ. ඒ අනුව මෙය අද උමතුවක් බවටද පත්ව තිබේ.


“ඔවුන් තමන්ට සුවයක් ගෙන දෙන ඕනෑම දෙයක් පානය කරනවා. අද දකින දකින හැමෝම මේ ශක්තිජනක පාන බොනවා. අපි බොන්නේ ශක්තිය." යනුවෙන් 19 හැවිරිදි වියේ පසුවන, කලක් මෙම ශක්තිජනක පාන වෙත අධික ලෙස ඇබ්බැහි වූවෙකු පවසයි. කෙසේ වෙතත් මෙම පාන වර්ගවල පවතින අයහපත් සෞඛ්‍ය කාරණා හේතුවෙන් ඔහු අද ඉන් ඈත් වී තිබේ.


අධික හිරු රශ්මියක් පතිත වන ඇෆ්ගනිස්තානයේ මහාමාර්ග දෙපස පවා ජල බෝතල්වලට වඩා ඇත්තේ මෙම කැෆේන් සහ අධික සීනි අඩංගු ශක්තිජනක පානය. ඇතැම් ඇෆ්ගනිස්තානුවන් ආහාර වේලක් වෙනුවට මෙම ශක්තිජනක පාන වර්ග පානය කරන බවත් සඳහන් වෙයි.

ලෝක ආහාර වැඩසටහනේ වාර්තා අනුවද අද වන විට ඇෆ්ගනිස්තානයේ 90' ක ප්‍රතිශතයක් දරිද්‍රතාවයෙන් පෙළෙයි. ඒ අනුව ඔවුන්ට ප්‍රමාණවත් ආහාරයක් ලබා ගැනීම පවා අපහසු වී තිබේ. මේ වසරේ මාර්තු මාසයේදී නිකුත් වුණු වාර්තාවකට අනුව ඇෆ්ගනිස්තානයේ නිවැසියන් වැඩි වශයෙන් මිල අඩු, පෝෂණයෙන් අඩු ආහාර වෙත යොමුවන බව සඳහන්ව තිබේ. එසේම ජනහනයෙන් තුනෙන් එකක්සිය ආහාර වේල් අඩු කර ඇති අතර, අඩකට වැඩි ප්‍රමාණයක් ලබා ගන්නා ආහාර ප්‍රමාණය අඩු කර තිබේ. කම්කරුවෙකු ලෙස කටයුතු කරන 40 හැවිරිදි ගුල්සාර් සිය පැය 14ක වැඩ කාලය තුළදී මෙවැනි ශක්තිජනක පාන හතරක් පානය කරන බව පවසයි. "අපි එළිමහනේ වැඩකරන්නේ. හරියට දහඩිය දානවා, අපිට මහන්සි වුණාම අපි ශක්තිජනක පාන බොනවා."


කෙසේ වෙතත් ගුල්සාර් එක් දිනකට පානය කරන මෙම ශක්තිජනක පාන තුළ අඩංගු සීනි ප්‍රමාණය ග්‍රෑම් 100කට අධිකය. මෙය ලෝක සෞඛ්‍ය සංවිධානය පවා මිනිසෙකු දිනකට ලබා ගත යුතු බවට නිර්දේශ කර ඇති සීනි ප්‍රමාණයට වඩා දෙගුණයකි. එසේම මෙම පාන වර්ග තුළ ඇති කැෆේන් ප්‍රමාණය එප්‍රෙසෝ කෝපි පාන හයක ඇති කැෆේන් ප්‍රමාණයට සමානය.


අධික ලෙස කැෆේන් භාවිතය අධික රුධිර පීඩනය, හෘද වේගය වැඩිවීම සහ නින්ද නොයෑම යන තත්ත්වයන් ඇති කරන බව සෞඛ්‍ය අංශවල අදහස වී තිබේ.අද වනවිට ඇෆ්ගනිස්තානය තුළ නිපදවන ශක්තිජනක පානයක් ඇෆ්ගනි 30ක එනම් ඩොලර් ශත 40ක පමණ මිලකට මිලදී ගත හැකිය. එහෙත් ආනයනික ශක්තිජනක පාන මිල අධිකය. එසේම ශක්තිජනක පාන මිලදී ගත නොහැකි ජනතාව පවා අද වනවිට පා සමගින් කැෆේන් අඩංගු ග්‍රීන් ටී පානයට යොමුව තිබෙන බවත් වාර්තා පවසයි.


ඇෆ්ගනිස්තානය තුළ මෙම ශක්තිජනක පාන නිපදවන සමාගම් අතරින් එකක් වන හේරාට්හි පිහිටි පාමීර් කෝලා සමාගම අද වනවිට දිනකට මෙම පාන කෑන් මිලියනයකට අධික සංඛ්‍යාවක් නිපදවන බව පවසයි. එහෙත් මෙම නිෂ්පාදනය ඉතා සීමිත බව පවසන එම සමාගම,තමන්ට වඩා වැඩි දෛනික නිෂ්පාදනයක් සහිත සමාගම්ද එරට ඇතැයි සඳහන්කර සිටියි.


කුකුළු මස් මිල රු.100 -150කින් අඩු වේවි

 


ඉන්දික හේවාවිතාරණ


කුකුළු මස් සඳහා පවතින ඉල්ලුම විශාල ලෙස අඩු වී තිබෙන බවත්, මේ නිසා ඉදිරි සති දෙකක කාලය තුළද, කුකුළු මස් කිලෝවක මිල රුපියල් සියයත්, රුපියල් එකසිය පනහත් අතර මුදලකින්අඩු විය හැකි බවත් සමස්ත ලංකා කුඩා කර්මාන්ත හිමියන්ගේ සංගමය සඳහන් කරයි.කුකුළු මස් කිලෝවක සිල්ලර මිල මේ වන විට රුපියල් දහසත්, රුපියල් එක්දහස් එකසියත් අතර මිලක පවතින බවද එම සංගමයේ සභාපති නිරුක්ෂ කුමාර මහතා සඳහන් කළේය.ඉදිරි දෙසතිය තුළදී මෙම මිල රුපියල් 900ත් රුපියල් 850ත් අතර මිලක් දක්වා පහත වැටිය හැකි බවද පවසා සිටියේය.

දෛනිකව අවශ්‍ය කුකුළු මස් ප්‍රමාණය මේ වනවිට වෙළෙඳපොළට පැමිණෙමින් තිබෙන බවත්, මීට අමතරව බිත්තර දැමීම අවසන් මට්ටමේ පවතින කිකිළියන්ද, මේ වන විට මස් බවට පත් වී වෙළෙඳපොළට පැමිණෙමින් තිබෙන බවද සඳහන් කළේය.


මේ අනුව කුකුළු මස් ඉදිරි දිනවල අඩු වන බවත්, නත්තල් සමය වන විට කුකුළු මස් ඉල්ලුම යම් ප්‍රමාණයකින් ඉහළ යන නිසා එවිට කුකුළු මස් මිල යළිත් යම් මුදලකින් ඉහළ යා හැකි බවද පවසා සිටියේය. දෛනික බිත්තර ඉල්ලුම ලක්ෂ හැටක් බවත්, මෙම ප්‍රමාණය වෙළෙඳපොළට පැමිණෙමින් තිබෙන බවත්, මේ නිසා බිත්තර මිල පවා මේ වන විට සැලකිය යුතු මුදලකින් අඩු වී තිබෙන බවත්, ආර්ථික අර්බුදයට පැමිණීමට පෙර දෛනික බිත්තර ඉල්ලුම බිත්තර ලක්ෂ අසූවත් අනූවත් අතර ප්‍රමාණයක් වූ බවද පවසා සිටියේය.


ආර්ථික අර්බුදයත් සමග බිත්තරයක මිල රුපියල් 60 දක්වා ඉහළ ගිය බවත්, මේ නිසා දෛනික බිත්තර ඉල්ලුම ලක්ෂ පනහත් හැටත් දක්වා පහත වැටුණු බවද සඳහන් කළේය. බිත්තර ඉල්ලුම පහත වැටුණත් පසුගිය කාලයේදී ඉල්ලුමට සරිලන සැපයුමක් නොතිබුණු නිසා බිත්තරයක මිල රුපියල් 50ත් රුපියල් 55ත් සීමාවේ පැවැති බවත්, මේ වන විට බිත්තරයක මිල රුපියල් 30ත් රුපියල් 36ත් දක්වා පහත වැටී තිබෙන බවද පවසා සිටියේය.


ලබන මාසය වන විට බිත්තරයක මිල රුපියල් 25ක් දක්වා පහත වැටිය හැකි බවත්, කර්මාන්තය දියුණු කිරීමට අවශ්‍ය සහාය ලැබුණහොත් බිත්තර මිල තවදුරටත් අඩු කළ හැකි බවත් සඳහන් කළේය. නත්තල් සමය හා වර්ෂ අවසානය වන විට බිත්තර ඉල්ලුම යළිත් යම් ප්‍රමාණයකින් ඉහළ යන බවත්, මේ අනුව යළිත් සුළු මුදලකින් බිත්තර මිල ඉහළ යා හැකි බවත් පවසා සිටියේය.


ශිෂ්‍යත්ව අක්‍රමිකතා සිදුකළ විදුහල්පති, ගුරුවරු හා නිලධාරියා ගැන විමර්ශනවලට දේශපාලන හා වෘත්තීය සමිති බලපෑම්

 


 


මෙවර පැවැති පහ වසර ශිෂ්‍යත්ව විභාග ප්‍රශ්න පත්‍ර අක්‍රමිකතා චෝදනාව සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ වැඩ තහනමට ලක්ව සිටින සහ පරීක්ෂණ සඳහා චෝදනාවට ලක්වී සිටින විදුහල්පති හා ගුරුවරු සම්බන්ධයෙන් විමර්ශන කටයුතු ආරම්භ කර ඇති නිලධාරීන්ට සිදු කරන දේශපාලනික බලපෑම් නැවතීමටත්, ඒ සඳහා සාධාරණය ඉටු කිර්මට මැදිහත් වන ලෙසටත් අධ්‍යාපන අමාත්‍ය සහ අගමැතිනී හරිනි අමරසූරිය මහත්මියගෙන් ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා ඉල්ලීමක් කළේය.


මෙවර පැවැති පහ වසර ශිෂ්‍යත්ව විභාගයේදී අනුරාධපුර විභාග මධ්‍යස්ථානයකදී ප්‍රශ්න පත්‍රය ඡායාරූපගත කර බෙදාහැරීමේ චෝදනාව මත, තිදෙනෙකුගේ වැඩ තහනමට ලක්ව, තවත් ගුරුවරුන් (ටියුෂන්ද පවත්වාගෙන යන) නවදෙනෙකුගේ ජංගම දුරකථන විභාග දෙපාර්තමේන්තුව මගින් ඉදිරි පරීක්ෂණ සඳහා භාරයට ගත්තේය.


මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ලංකා ගුරු සංගමයේ සභාපති ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා මෙසේ පැවැසීය.


“මේ වන විට මෙම ප්‍රශ්න පත්‍ර සිද්ධිය යට ගහන්න විවිධ දේශපාලන බලපෑම් සහ යම් යම් වෘත්තීය සමිති බලපෑම් කරමින් තිබෙනවා. විභාග දෙපාර්තමේන්තුවේ විභාග කොමසාරිස්වරයා මේ ගැන කියන්නේ මේ සිද්ධියට පරීක්ෂණ කරනතුරු විභාග පිළිතුරු පත්‍ර ඇගැයීම නතර කරනවා කියලයි.


එසේ බලන විට මේ යන විමර්ශනය කොපමණ කාලයක් දැයි කියන්න බෑ. එය අවුරුද්දක පමණ කාලෙකින් පවා අවසන් වෙයිද කියන්න බෑ. එතෙක් ප්‍රතිඵල දෙන්න පුළුවන් වෙයිද කියන ප්‍රශ්නය අපට තියෙනවා.


උතුරු මැද පළාතේ නවදෙනෙකු සැකපිට විභාග දෙපාර්තමේන්තුව ප්‍රශ්න කිර්ම් කර, දෙපාර්තමේන්තු මගින් ඔවුන්ගේ දුරකථන භාරයට ගත්තද, දැනට එම පරීක්ෂණ නැවතී තියෙනවා. එතැනින් එහාට මේ විමර්ශන ගිහින් නෑ. අඩු තරමේ ඔවුන් සම්බන්ධයෙන් ගත යුතු මූලික ක්‍රියාමාර්ග ගැනීම් පවා නැවතී තිබෙනවා. 


අත්අඩංගුවට ගත් අධ්‍යක්ෂවරයා සම්බන්ධයෙන්ද ආයතන මට්ටමේ ගත යුතු ක්‍රියාමාර්ගද අරගෙන නෑ. මේ වන විට හෙළිදරව් වූ සහ හෙළිදරව් වෙමින් පවතින කරුණු අනුව අවුරුදු අටක පමණ සිට කාලයක් තිස්සේ මෙසේ විභාග වංචා වෙලා තියෙනවා. අධ්‍යාපන දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, ගුරුවරු, ටියුෂන් ගුරුවරු එකතු වෙලා මෙතරම් කාලයක් මෙය සිදුකර තිබෙනවා.මෙය ගුරුවරු දෙතුන්දෙනෙකුගේ හෝ නිලධාර්න් දෙතුන්දෙනෙකුගේ හෝ ටියුෂන් මුදලාලිලා දෙතුන්දෙනෙකුගේ ප්‍රශ්නයක් නෙවෙයි, සිසුන් තුන් ලක්ෂ විසිපන්දහසකගේ ප්‍රශ්නයක්.”


මේ බරපතළ කරුණු සියල්ල සැලකිල්ලට ගෙන, රටේ සමස්ත දරු පරපුර වෙනුවෙන් මැදහත්ව සිට ඉතා අපක්ෂපාතී සහ සාධාරණ පරීක්ෂණයක් සිදු කරන ලෙසට තමන් නව අධ්‍යාපන ඇමැතිවරියගෙන් ඉල්ලා සිටින බවද ප්‍රියන්ත ප්‍රනාන්දු මහතා අවධාරණය කළේය.

 බී.ජී. චතුරංග

පෙම්වතාට පහරදී පෙම්වතියව අපයෝජනය කරලා

  


සුනිල් එස්. තන්ත්‍රිආරච්චි


සිය පෙම්වතාට පහරදී ඔහු සමග සිටි 17 හැවිරිදි පාසල් සිසුවියක වන ඔහුගේ පෙම්වතිය අපයෝජනය කළ බව කියන සිද්ධියට සම්බන්ධ අයෙකු අත්අඩංගුවට ගැනීමට තෙබුවන පොලීසිය පරීක්ෂණ පවත්වයි.තෙබුවන, පැලපිටියාගොඩ පදිංචි 11 වැනි ශ්‍රේණියේ ඉගෙනුම ලබන සිසුවියක මෙම සිද්ධියට මුහුණදී තිබේ.තමා 21 හැවිරිදි තරුණයෙකු සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වාගෙන යන බවත් ඉකුත් අගෝස්තු 23 වැනිදා රාත්‍රි 11.30 ට පමණ නිවසේ කිසිවෙකුට නොදන්වා පෙම්වතා සමග යතුරුපැදියෙන් ගොස් පැලපිටියාගොඩ මාලනී වත්තේ කිරි මඩුව ඉදිරිපිට කළු ගල් තලාවේ කතා කරමින් සිටියදී සැකකරුවන් පැමිණ පහර දෙද්දී පෙම්වතා යතුරුපැදිය දමා පලා ගිය බවත් ඇය පොලීසියට ප්‍රකාශ කර ඇත. මෙම අවස්ථාවේදී තමා සැකකරුවන්ගෙන් මිදී පලා යන විට ඇළට වැටුණු බවත් සැකකරුවන් තමාව ගොඩගත් බවත් ඇය පොලීසියට කර තිබූ පැමිණිල්ලේ සඳහන්ය.


ටික වේලාවකින් පෙම්වතා එම ස්ථානයට පැමිණ තමා පිළිබඳව සොයා බැලුවද එක් සැකකරුවෙකු තම ඇඟ උඩ නැග කෑ ගැසීමට නොහැකි වන සේ කට වසාගෙන සිටි බවද ඇය කර තිබූ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වේ. පෙම්වතා මදක් සොයා බලා දමා ගිය යතුරු පැදිය රැගෙන ගිය පසු සැකකරුවන් දෙදෙනා තමා අපයෝජනය කළ බව ඇය පොලීසියට ප්‍රකාශ කර ඇත. තමාට අසනීප ගතියක් දැනීමෙන් පසු ඉකුත් 24 වැනිදා පාසලේ ඉංග්‍රීසි ගුරුතුමියට මේ බව කී බවත් ඇය පොලීසියට යොමු කළ බවත් ඇය පොලීසියට කර තිබූ ප්‍රකාශයේ තවදුරටත් සඳහන් වේ.

මෙම සිද්ධියට අදාළ 26 හැවිරිදි වියේ පසු වන එක් සැකකරුවකු මේ වනවිටත් හෙරොයින් මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීමේ සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාරගත කොට සිටින අතර, අනෙක් සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ පවත්වයි . තෙබුවන පොලීසිය සිද්ධිය පිළිබඳ වැඩිදුර පරීක්ෂණ සිදු කරයි.


පෞද්ගලික වෛද්‍ය ආයතනවලින් 79%ක් ලියාපදිංචි වී නෑ


 


ශ්‍රී ලංකාවේ දිස්ත්‍රික් 25 තුළ පවත්වාගෙන යන පෞද්ගලික වෛද්‍ය ආයතනවලින්, වෛද්‍ය සේවා නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී ඇති වෛද්‍ය ආයතන සංඛ්‍යාව 21%ක් බවත් 79%ක් ලියාපදිංචි වී නොමැති බවත් පසුගියදා නිකුත් කරන ලද නවතම විගණන වාර්තාවකින් අනාවරණය වේ.මෙම විගණන වාර්තාවට අනුව 2023 ජනවාරි 30වන දින වනවිට මෙරට පවත්වා ගෙන යන වෛද්‍ය ආයතන ලෙස හඳුනාගත් ආයතන 6,002කින් වෛද්‍ය නියාමන කොමිෂන් සභාවේ ලියාපදිංචි වී ඇත්තේ සෞඛ්‍ය වෛද්‍ය ආයතන 1,265ක් බව එම විගණන වාර්තාවේ සඳහන් වේ. ඊට අමතරව විගණන වාර්තාවට අනුව මෙරට දිස්ත්‍රික් 25 තුළ පවත්වාගෙන යනු ලබන වෛද්‍ය රසායනාගාරවලින් 71%ක් ලියාපදිංචි වී නොමැති බවද අනාවරණය වී ඇත.


ඒ අනුව මෙරට පවතින පෞද්ගලික රසායානාගාර 1,631කින් ලියාපදිංචි වී තිබෙනුයේ 65ක් පමණ බවත් විගණනය මගින් අනාවරණය වේ. පෞද්ගලික දන්ත චිකිත්සකවරියන් විසින් දිවයිනේ දිස්ත්‍රික් 25ක ආවරණය වන පරිදි පවත්වාගෙන යනු ලබන දන්ත ශල්‍යාගාර 172කින් 153ක් ක්‍රියාත්මක වන අතර, සෞඛ්‍ය අමාත්‍යාංශය මගින් අනුමත නොවූ විශේෂඥ වෛද්‍ය ආයතන 27කින් 25ක්ද පවත්වාගෙන යන අතර, පූර්ණ කාලීන වෛද්‍ය සේවා ආයතන 31කින් 21ක් ලියාපදිංචි වීමකින් පවත්වා ගෙන යයි. 


සුදුසුකම් සපුරා නැති සෞඛ්‍ය ආයතන සඳහා මෙම වර්ෂයේ දෙසැම්බර් මස 31වනදා දක්වා සුදුසුකම් සපුරා ගැනීමට කාලය ලබා දී ඇති බවත්, එසේ නොකරන වෛද්‍ය ආයතනවලට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගැනීමට අදහස් කරන බවත් විගණනය විසින් නිර්දේශ කර ඇත. මෙම තොරතුරු ඇතුළත්ව ඇත්තේ, ශ්‍රී ලංකාවේ පෞද්ගලික සෞඛ්‍ය සේවා නියාමනය කිරීමේ කාර්යසාධක ඇගැයීම් පිළිබඳව විගණන වාර්තාවක් ඇසුරිනි.


චන්දන සමරවික්‍රම

IMF ප්‍රධානියා ජනපති අනුරව විශ්වාස කරයි

 


වත්මන් ජනාධිපතිවරයාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකාවට ස්ථාවරත්වය, සෞභාග්‍යය සහ සුරක්ෂිත අනාගතයක් උදාකරලීමට හැකිවනු ඇතැයි තම විශ්වාසය බව, ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ කළමනාකරණ අධ්‍යක්ෂිකා, ක්‍රිස්ටලිනා ජෝර්ජියේවා මහත්මිය පවසයි. ඇය ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා වෙත සුබ පැතුම් ලිපියක් යොමු කරමින් මේ බව සඳහන් කර ඇත.


එමෙන්ම දැනට ක්‍රියාත්මක වන IMF වැඩසටහන ඇතුළු ශ්‍රී ලංකාවේ සංවර්ධන සහ ප්‍රතිසංස්කරණ ඉලක්ක සාක්ෂාත් කරගැනීම සඳහා ජාත්‍යන්තර මූල්‍ය අරමුදල තිරසාර සහකරුවෙකු සහ පාර්ශ්වකරුවෙකු ලෙස තවදුරටත් කටයුතු කිරීමට සූදානම් බවද එම ලිපියේ සඳහන් වේ.


ශ්‍රී ලංකාවේ ආර්ථිකය ප්‍රකෘතිමත් කිර්ම සඳහා සහාය වීමට නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පෙරේදා (24දා) නිවේදනය කර තිබුණි. එහි ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ශ්‍රී ලංකාව සඳහා වූ මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහනේ තුන්වැනි ඇගැයීමේ කාලරාමුව සම්බන්ධයෙන් නව පරිපාලනය සමග අවස්ථාව ලැබුණු වහාම සාකච්ඡා කරන බවය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීර්ණ ණය වැඩසටහන යටතේ ලබා ඇති ප්‍රගතිය ඉදිරියට ගෙනයාම සඳහා නව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සමග සහයෝගයෙන් කටයුතු කිරීමට අපේක්ෂා කරන බවද ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පවසයි.

 


නවෝද්‍යා පවනි

සරසවි නව වද වළකන මාර්ගෝපදේශ මාලාවක්

 


 



රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිදුවන නවක වද සිද්ධි වැළැක්වීම සදහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කර ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (25) දැනුම් දුන්නේය.රාජ්‍ය විශ්වවිද්‍යාලවල විශ්ව විද්‍යාල වල සිදුවන නවක වධය පිටුදැකීමේ මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ 2020 වසරේදී වූ නවක වධ සිද්ධියකින් පීඩාවට පත් පසිඳු හර්ෂණ සිල්වා නමැති සිසුවකු ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්, ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය මේ බව දැනුම් දුන්නාය.


අගවිනිසුරු ජයන්ත ජයසූරිය, ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ශිරාන් ගුණරත්න සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම සලකා බැලිණි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ සිසුවකු වූ පසිඳු හර්ෂණ සිල්වා නමැත්තා ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල උපකුලපතිවරයා ඇතුළු විශ්ව විද්‍යාල 16ක  උපකුලපතිවරු සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටියහ.


ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේදී වූ නවක වධ සිද්ධියකදී බැකෝ ටයරයක් පෙරැළීම නිසා තම හිසට සහ මොළයට බරපතළ තුවාල වූ බවත්, මෙම සිද්ධිය නිසා මාස තුනකට ආසන්න කාලයක් රෝහල්ගතව ප්‍රතිකාර ලැබූ තමන්ට මේ දක්වා පූර්ණ සුවයක් ලැබී නැතැයි ද සඳහන් කරන පෙත්සම්කරු, මෙම සිද්ධියෙන් සිය මූලික මිනිස් අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට තීන්දුවක් දෙන ලෙස ද, විශ්ව විද්‍යාල වල සිදුවන නවක වද සිද්ධි පිටුදැකීම සඳහා මාර්ගෝපදේශ මාලාවක් සකස් කිරීමට නියෝගයක් නිකුත් කරන ලෙස ද ඉල්ලා සිටී.


පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්, ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය කරුණු දක්වමින්, රාජ්‍ය විශ්වවිද්‍යාලවල සිදුවන නවක වද සිද්ධි වැළැක්වීම සඳහා මාර්ගෝපදේශ මාලාවක්මේ  වන විට සකස් කර ඇතැයි කීවාය. ඒ අවස්ථාවේදී අධිකරණය ඇමතූ අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා, එම මාර්ගෝපදේශ මාලාව සියලු විශ්වවිද්‍යාලවලට යොමු කර, සංශෝධන යෝජනා ඇත්නම් ඒවා ද ලබාගෙන අවසන් කෙටුම්පත සකස් කරන්නැයි ද, එලෙස සකස් කළ අවසන් කෙටුම්පත අධිකරණයට ඉදිරිපත් කරන්නැයි ද දැනුම් දුන්නේය.පෙත්සම්කරු වෙනුවෙන් නීතිඥ අස්ථික දේවේන්ද්‍ර සහ ජනාධිපති නීතිඥ උදිත ඉගලහේවා මහත්වරු පෙනී සිටියහ.නීතිපති වෙනුවෙන් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්, ආචාර්ය අවන්ති පෙරේරා මහත්මිය පෙනී සිටියාය.

 රන්ජන් කටුගම්පොළ

මහ මැතිවරණයට කඳවුරු බසිති

 


ශ්‍රී ලංකාවේ නව වැනි ජනාධිපතිවරයා ලෙස ජාතික ජන බලවේගයේ නායක අනුර කුමාර දිසානායක දිවුරුම් දුන්නේය. 22 වැනිදා අලුයම වන විට ජයග්‍රාහකයා කවුරුන්දැයි ඉතාම පැහැදිලිව දිස්වන්නට විය. ඒ වන විට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාසිටියේමල්පාරේ නිවෙසේය.


" අලුත් ජනාධිපතිතුමාට දිවුරුම් දෙන්න කටයුතු සූදානම් කරන්න" ජනාධිපති රනිල් තම කාර්යමණ්ඩලයට උපදෙස් දුන්නේය. අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මැදියම් රැය වනතුරු අවදියෙන් සිටියේය. ජනාධිපති රනිල් වික්‍රමසිංහ පරාජය වන බව අගමැතිවරයාට දැනී තිබිණි.


"ඔබතුමා කොහේද ඉන්නේ" අගමැතිවරයා ජනාධිපතිවරයාගෙන් විමසුවේ ඉංග්‍රීසි භාෂාවෙනි. 


“මම ගෙදර” රනිල් කෙටි උත්තරයක් දුන්නේය. “මම ඉල්ලා අස්වීමේ ලියුම උදෙන්ම ඔබතුමාට එවන්නම්” අගමැති දිනේෂ් කීවේය.


“ඔව්, ඒක හොඳයි. අපි ඒ අයට වැඩ කරගෙන යන්න ඉඩ දෙන්න ඕනෑනේ." රනිල් කීවේය.


අගමැති දිනේෂ් කී පරිදිම පසු දින හිමිදිරියේම සිය ඉල්ලා අස්වීමේ ලිපිය ජනාධිපති රනිල්ට යොමු කළේය. ඒ සමගම කැබිනට් මණ්ඩලය ද විසිරුණි.


ජාතික ජන බලවේගය කල් ඇතුවම තීන්දුවක් ගෙන තිබිණි.

“අනුර සහෝදරයා ජයග්‍රහණය කරනවා. ඒක ස්ථිරයි. එතකොට අපේ අගමැති වෙන්න ඕනෑ හරිති සහෝදරිය." ඒ, ජාතික ජන බලවේගය කලින්ම ගෙන තිබූ තීරණය විය.

හරිනි අමරසූරිය නියෝජනය කරන්නේ ජාතික ජන බලවේගය වේ. එහෙයින්, අනුර කුමාර දිසානායකගෙන් හිස් වන මන්ත්‍රී ධුරය ජ.වි. පෙ.ට දිය යුතු බවට යෝජනා විය. ලක්ෂ්මන් නිපුණආරච්චි මන්ත්‍රීවරයකු වශයෙන් පත් කෙරුණේ ඒ අනුවය.


තිදෙනෙකුගෙන් යුත් අමාත්‍ය මණ්ඩලය දිවුරුම් දුන්නේ 24 වැනිදාය. මෙම අවස්ථාවට ජ.වි.පෙ. හා ජාතික ජන බලවේගයේ තෝරාගත් සීමිත පිරිසක් පමණක් සහභාගි වීම කැපී පෙනුණි.


“අලුත් ජනාධිපතිතුමා දිවුරුම් දෙන්න එන්නේ රජ ගෙදර ඉඳලා ද? අරලියගහ මන්දිරයේ ඉඳලා ද? එහෙම නැත්නම් තමන්ගේ නිවෙසේ සිට ද?" 23 වැනිදා පෙරවරුවේ බොහෝ දෙනකුට තිබූ ප්‍රශ්නය එය විය.


ඒ ප්‍රශ්නය මතු කළ බොහෝ දෙනකුට අමතක වූයේ, නව ජනාධිපතිවරයා අනුර කුමාර දිසානායක බවය.

අනුර කුමාර දිසානායක ජනාධිපතිවරයා දිවුරුම් දීමේ අවස්ථාවට පැමිණියේ සුපුරුදු පරිදි බත්තරමුල්ල පක්ෂ මූලස්ථානයේ සිටය.


දිවුරුම් දීමේ උළෙල පැවැතියේ ජනාධිපති ලේකම් කාර්යාලයේය.


“චාම් උත්සවයක් තියමු" ජනාධිපති අනුර කල් තියාම කියා තිබිණි. සියලු කටයුතු සංවිධාන වී තිබුණේ ඒ අනුවය.

ජනාධිපති අනුර කුමාර ජනාධිපති ලේකම් කාර්යාලයට පිවිසියේ මැතිවරණ ව්‍යාපාරයේදීත් ඔහු ගමන් කළ වාහනයෙනි. අතිරේකව පැමිණි වාහන සංඛ්‍යාව 2කි. රතු පලස නැත. අශ්වාරෝහක බල ඇණි නැත. සාමාන්‍ය මිනිසකු ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයට ඇතුළු වූ ජනාධිපති අනුර, මහා සංඝරත්නයට වැඳ නමස්කාර කර අනෙකුත් ආගමික ප්‍රසාදීන් වහන්සේලාට ආචාර කළේය.


අගවිනිසුරු ජයන්ත ජයසූරිය මහතා ඉදිරිපිට දිවුරුම් දුන් ජනාධිපති අනුර දෑත් එක්කාසු කර අගවිනිසුරුවරයාට ආචාර කළේය. අගවිනිසුරුවරයා ද දෑත් එක්කොට ආචාර කළේය. මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනා කර අභිනව ජනාධිපතිවරයාට සෙත් පතා පිරිත් නූල් ගැට ගැසූහ.  අනතුරුව ජනාධිපතිවරයා ජාතිය ඇමතුවේය.

  


" මා ඉන්ද්‍රජාලිකයකු හෝ මැජික්කරුවෙක් නොවේ.   රට ගොඩනැගීම සඳහා සියලු දෙනාගේ සහයෝගය අපේක්ෂා කරනවා." ජාතිය අමතමින් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.


උත්සව සභාවෙන් අනතුරුව ජනාධිපතිවරයා ත්‍රිවිධ හමුදා ප්‍රධානීන් හමු වූහ.

 

දිවුරුම් දීමේ උළෙලට  තෝරාගත් පිරිසක් පමණක් සහභාගි වූ අතර, පාක්ෂිකයෝ ජනාධිපති ලේකම් කාර්යාලය ඉදිරිපිට ජය ඝෝෂා නගමින් සිටියහ. “ලාල් සහෝදරයට පොඩ්ඩක් කතා කරන්න." ජනාධිපති අනුර එසේ කිව්වේ. ලාල්කාන්ත පෙනෙන්න නොසිටිය නිසාය. හැම තැනම සොයා බැලුව ද ලාල්කාන්ත සොයා ගැනීමට නොහැකි විය.


“දැන් මෙතැන හිටියනේ." හරිනි අමරසූරිය කිව්වාය. එහෙත් ලාල්කාන්ත නැත.


“ලාල් සහෝදරයා නුවර යනවා." බිමල් රත්නායක කීවේය.


දිවුරුම් දීමේ උළෙලින් පසුව ජනාධිපති අනුර කුමාර මහනුවර දළදා මාලිගාවට ගොස් දන්ත ධාතූන් වහන්සේ වැඳ පුදාගෙන මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා බැහැදැකීමට නියමිතව තිබිණි. ඒ කටයුතු සංවිධාන කිරීමේ වගකීම පැවැරී තිබුණේ ලාල්කාන්තටය. දිවුරුම් දීමේ උත්සවයෙන් පසු ලාල්කාන්ත හනිකට නුවර බලා ආවේය. කොළඹ සිට නුවර බලා එන ගමනේදී ලාල්කාන්ත නුවර කටයුතු සංවිධාන කළේය.


“අපි උපරිම තිහක විතර පිරිසක් රැස් කරමු." ලාල් දුරකතනයෙන් අවශ්‍ය උපදෙස් දුන්නේය. ජාතික ජන බලවේගයට සම්බන්ධ තිස් දෙනකු පමණ පිරිසක් ලාල්කාන්ත එනතුරු නුවර බලා සිටියහ. ලාල් කෙළින්ම ගියේ දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මුණගැසීමටය. ඒ වන විටත් දියවඩන නිලමේ බොහෝ කටයුතු සංවිධාන කර තිබිණි. මහනුවර ආරක්ෂක ප්‍රධානීන්, ශ්‍රී දළදා මාලිගාවේ භාරකාර නිලධාරීන් ආදි වශයෙන් සියලු දෙනා එක්වී ලාල්කාන්ත සහ දියවඩන නිලමේ සමග සාකච්ඡා කරමින් අවශ්‍ය ආරක්ෂක පියවර ගනිමින් සිටියහ.


පෙරවරු 2.300 පමණ ජනාධිපති අනුර දළදා මාලිගාවට පැමිණියේය. ලාල්කාන්ත ජනාධිපතිවරයා පිළිගත්තේය. ජනාධිපතිවරයා සමග බිමල් රත්නායක සහ ජනාධිපතිවරයාගේ සමීපතමයෝ දෙතුන් දෙනෙක් ද පැමිණ සිටියහ. චාම් හා චාරිත්‍රානුකූලව සියලු කටයුතු සූදානම් කර තිබිණි.


පත්තිරිප්පුව පාමුල එක් ස්ථානයක පුටු දෙකක් තබා තිබිණි. ජනාධිපතිවරයා ඉන් එක් පුටුවක වාඩි වී සපත්තු ගලවා අදාළ ස්ථානයෙන් තැබුවේය. එතැන වතුර පිරවූ බේසමකි. සබන් ගා දෑත් සෝදාගත් ජනාධිපතිවරයා අතට දළදා මාලිගාවේ අදාළ රාජකාරි බාර අයකු සුදු තුවායක් පිරිනැමීය. එයින් දෑත් පිසදාගත් ජනාධිපතිවරයා ඉදිරියට ගියේය.


“ආයුබෝවන් ජනාධිපතිතුමනි!" දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල දෑත් එක්කාසු කර ආචාර කරමින් ජනාධිපතිවරයා පිළිගත්තේය. ජනාධිපතිවරයා ද එලෙසින්ම ආචාර කළේය. එතැන චාරිත්‍රානුකූල කටයුතු සඳහා තවත් නිලමේවරු පිරිසක් රැඳී සිටියහ. එහිදී මල් වට්ටි තුනක් සූදානම් කර තිබිණි. දළදා මාලිගාවේ සිරිත් විරිත්වලට අනුව එම මල් වට්ටි බැහැරින් රැගෙන යා නොහැක. දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑලගේ මග පෙන්වීම යටතේ ජනාධිපතිවරයා මල් වට්ටිය දෑතින් ගෙන දන්ත ධාතූන් වහන්සේ වැඩ සිටින කුටියට ඇතුළු විය. මෙම අවස්ථාවට සහභාගි වීමට අවස්ථාව හිමි වූයේ ජනාධිපතිවරයාට අමතරව ලාල්කාන්තට හා බිමල් රත්නායකට පමණි. ජනාධිපතිවරයා දළදා සමිඳුන්ට මල් පූජා කර ආශිර්වාද ලබා ගත්තේය.


එම අවස්ථාවේදී වැඩම කර සිටි මහා සංඝරත්නය පිරිත් සජ්ඣායනා කර ජනාධිපතිවරයාගේ අතෙහි පිරිත් නූල් ගැට ගසා ආශිර්වාද කළහ. එම කටයුතු හමාර වීමෙන් පසුව ජනාධිපතිවරයාට බුදු පිළිමයක් තෑගි කිරීම සිදු විය.

දළදා මාලිගා පරිශ්‍රයේම රාජ්‍යතාන්ත්‍රික අමුත්තන්ට සංග්‍රහ කිරීම සඳහා විශේෂ කොටසක් තිබේ. දියවඩන නිලමේවරයා ජනාධිපතිවරයාව එම ස්ථානයට රැගෙන ගියේය. තේ පැන් සංග්‍රහය අතරතුර ආගිය කතාබහ ද විය.


දියවඩන නිලමේ ඇතුළු සෙසු නිලමේවරු ජනාධිපතිවරයා සමග සමූහ ඡායාරූපයකට පෙනී සිටි අතර, මේ අවස්ථාවට දියවඩන නිලමේගේ බිරිඳ හා දරු දෙදෙනා ද එක්ව සිටියහ. ඔවුන් ද ජනාධිපතිවරයා සමග ඡායාරූප ගත්තේය.


මෙම කටයුතුවලින් අනතුරුව තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල සියම් මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ බැහැදුටුවේය. ජනාධිපතිවරයා අටපිරිකර පූජා කිරීමෙන් අනතුරුව මහා සංඝ රත්නය පිරිත් සජ්ඣායනා කර ආශිර්වාද කළහ. අනතුරුව වරකාගොඩ ශ්‍රී ඤාණරතන අස්ගිරි පාර්ශ්වයේ මහනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ ද බැහැදැකීමෙන් අනතුරුව පස්වරු 4.00ට පමණ අසල පිහිටි කෝවිලට ජනාධිපතිවරයා ගියේය. එය සංවිධාන කර තිබුණේ ජාතික ජන බලවේගයේ මහනුවර දෙමළ ක්‍රියාකාරීන් පිරිසකි.


“ලාල් සහෝදරයා, මම මෙහෙමම අනුරාධපුරයේ යනවා. අටමස්ථානයට යන්න ඕනෑ. අම්මාවත් බලාගෙන එන්න ඕනෑ." ජනාධිපති අනුර කුමාර ලාල්කාන්තට කීවේය.


ජනාධිපතිවරණ පරාජයෙන් පසුව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සිය දේශපාලන සගයන් හමු වූයේ මල් පාරේ පිහිටි දේශපාලන කාර්යාලයේදීය.


“සර්, දැන් මොකද කරන්නේ?" රුවන් විජයවර්ධන පළමුවෙන්ම විමසුවේය.

“ජනතා තීන්දුවක් දීලා තියෙනවා. අපි ඒ තීන්දුවට හිස නමමු." රනිල් කීවේය.

“සර් පාර්ලිමේන්තු මැතිවරණයට එයි කියලා පාක්ෂිකයන් බලාගෙන ඉන්නවා." හරින් ප්‍රනාන්දු කීවේය.

“මම ආපහු මැතිවරණවලට ඉදිරිපත් වෙන්න බලාපොරොත්තු වෙන්නේ නෑ. ඒත් මම පක්ෂයට දේශපාලන කඳවුරට නායකත්වය දෙනවා." රනිල් වික්‍රමසිංහ තිර හඬින් කීවේය.

“ඔව්. එක්සත් ජාතික පක්ෂයේ හිටපු කිසිම ජනාධිපතිවරයෙක් මන්ත්‍රීවරයෙක් වෙලා ආපහු පාර්ලිමේන්තුවට ඇවිත් නෑ. ඒ සම්ප්‍රදාය අපි රකිමු." රාජිත සේනාරත්න කීවේය.

“අපි බෙදිලා ගිය නිසා තමයි මෙහෙම වුණේ. මේ පක්ෂ දෙක එකතු වෙන්න ඕනෑ. නැත්නම් සන්ධානයක් හදාගන්න ඕනෑ." වජිර අබේවර්ධන කීවේය.

“ඒ යෝජනාව හොඳයි. සමගි ජන බලවේගය එක්ක මේ ගැන කතා කරන්න. අපි ඒ වැඩේ රුවන්ටයි, තලතාටයි බාර දෙමු." රනිල් කීවේය. ඒ අනුව සමගි ජන බලවේගය සමග සාකච්ඡා කිරීමේ වගකීම රුවන් විජයවර්ධන සහ තලතා අතුකෝරළ බාරගත්හ.

වජිර අබේවර්ධන යළිත් මෙසේ කීවේය.


“අනුර කුමාරගේ ජන වරම ක්‍රියාත්මක කරන්න අපි ඔහුට සහයෝගය දිය යුතුයි. හැබැයි නැවත පෝලිම් යුගයක් ඇති  නොවන්න අලුත් ජනාධිපතිතුමා කටයුතු කළ යුතුයි.”


 එක්සත් ජාතික පක්ෂයේ සන්ධාන යෝජනාව සමගි ජන බලවේගයේ ආසන සංවිධායකවරුන්ගේ හමුවේදී සාකච්ඡාවට බඳුන් විය.


“ඊළඟ මහ මැතිවරණයේදී සජිත් ප්‍රේමදාස නායකතුමාගේ නායකත්වයෙන් අපි තරග කරනවා. එතුමා අගමැති කරලා අපි අපේ ආණ්ඩුවක් පිහිටුවිය යුතුයි." ස.ජ.බ. මහලේකම් රංජිත් මද්දුම බණ්ඩාර කීවේය.

“යූඑන්පිය අපිත් එක්ක සන්ධානයකට කැමතියිලු. මොකක්ද ගන්න තීරණය?" ලක්ෂ්මන් කිරිඇල්ල පැවැසුවේ ඔහුට ලැබුණු අලුත්ම ආරංචිය සභාව හමුවේ තබමිනි.

“අපිට යූඑන්පියත් එක්ක සන්ධානයකට යන්න පුළුවන්. හැබැයි ඒ යූ එන්පියෙ රනිල් වික්‍රමසිංහ මැතිතුමා ඉන්න බෑ. තිස්ස මන්ත්‍රීතුමා ප්‍රෙස් එකක් තියලා මේ කතාව රටට කියන්න." විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස කීවේය.

මැතිවරණ පරාජය ගැන පොහොට්ටුවේ එතරම් තැකීමක් ඇති බවක් පෙනෙන්නට නැත. ඒ, ඔවුන් එම ප්‍රතිඵලය කල් ඇතිව දැන සිටි නිසා විය හැකිය.


“අපි කොහොමත් මහ මැතිවරණයට ඉදිරිපත් වෙලා ආණ්ඩුව පිහිටුවමු. හැබැයි මොන හේතුවක් නිසාවත් අපි යූඑන්නී එකත් එක්ක නම් සන්ධානයකට යන්නේ නෑ." හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ පොහොට්ටුවේ ප්‍රබලයන් සමග කීවේය.


පෙරේදා මධ්‍යම රාත්‍රියේ පාර්ලිමේන්තුව විසුරුවා හැරියේය. ඒ ජනපතිවරයාට පැවැරී ඇති බලතල අනුවය. ඒ අනුව ඉදිරි මහ මැතිවරණය ඉල්කක කරමින් සියලු පක්ෂ සන්ධාන ගොඩ නැගීමට කටයුතු කරමින් සිටී.