Wednesday, September 30, 2020

18 කෙල්ලයි කොල්ලෝ 4යි හෝටල් කාමරයක කුඩු ගහලා

දහඅට හැවිරිදි තරුණියක් සමඟ පානදුර පිංවත්ත ප්‍රදේශයේ හෝටලයක හෙරොයින් මත්කුඩු පානය කරමින් සිටි තරුණයන් සිවු දෙනකු ඉකුත් 28 වැනිදා අත්අඩංගුවට ගත් බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශය කියයි.

අත්අඩංගුවට ගත් එම පිරිස අතර මත්කුඩු ජාවාරම්කරුවකු සහ තරුණියගේ පෙම්වතා ද සිටින බව පොලිසිය කියයි. ඔවුන් සන්තකයේ තිබී මත්කුඩු ග්‍රෑම් තුනකට ආසන්න ප්‍රමාණයක් පොලිසිය බාරයට ගෙන ඇත.

තරුණියක් ඇතුළු පිරිසක් පිංවත්ත ප්‍රදේශයේ හෝටලයක කාමරයක් කුලියට ගෙන මත්කුඩු පැකට් කරන බවට පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ උපපොලිස් පරික්ෂක අයි.එම්.එස්. බණ්ඩාර මහතාට ලද තොරතුරක් අනුව වැටලීම සිදු කළ බව පොලිසිය කියයි. ලද තොරතුරු අනුව එම හෝටලය කරා ගිය පොලිස් නිලධාරින් එම සැකකරුවන් සිටි කාමරයේ දොර විවෘත කරන ලෙස පැවසුව ද ඔවුන් විවෘත නොකිරීම නිසා ඇතුළට ගොස් පරික්ෂා කිරීමේ දී කාමරය තුළ ඔවුන් මත්කුඩු පානය කරමින් සිටි බව පොලිස් නිලධාරියෙක් පැවැසීය.

තරුණියගේ පෙම්වතා තරුණිය ද මත්කුඩු පානයට යොමු කර ඇය මිතුරන් සමඟ විනෝද වෙමින් ඔහු ද මක්කුඩු පානය කිරීම සඳහා පැමිණ සිටින බවට ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වූ බව පොලිසිය කියයි.

අත්අඩංගුවට ගත් පිරිසට මත්කුඩු සපයා ඇත්තේ අත්අඩංගුවට ගත් මත්කුඩු ජාවාරම්කරු බව ද විමර්ශනයේ දී හෙළි වූ බව පොලිස් නිලධාරියා වැඩිදුරටත් පැවසීය.

අත්අඩංගුවට ගත් තරුණිය සහ පෙම්වතා වස්කුඩුව පදිංචිකරුවන් බවත් සෙසු පිරිස පානදුර පදිංචිකරුවන් බවත් පොලිසිය සඳහන් කරයි. 

-බිමල් ශ්‍යාමන් ජයසිංහ -

නලීන් බණ්ඩාර කුරුඳුවත්ත නිවෙසින් නෙරපීමේ නියෝගයක්




රජයේ නිල නිවාස බාර නොදීමේ සිද්ධියක් සම්බන්ධයෙන් හිටපු අමාත්‍ය නලීන් බණ්ඩාර මහතා, කුරුඳුවත්තේ පිහිටි  නිවසින් ඉවත් කිරීම සඳහා කොළඹ අතිරේක මහේස්ත්‍රාත්  බණ්ඩාර නෙළුදෙණිය මහතා ඊයේ (20) නියෝගයක් නිකුත් කර ඇත. මෙලෙස තෙරපීමේ නියෝගයක් නිකුත් කර ඇත්තේ හිටපු අමාත්‍ය නලීන් බණ්ඩාර ජයමහ මහතා පදිංචිව සිටින සී ඩී 90, හෙක්ටර් කොබ්බෑකඩුව මාවත, කොළඹ 07 ලිපිනයෙහි පිහිටි රජයේ නිල නිවාසයෙනි.  කොළඹ 07, නිදහස් චතුරස්‍රය ලිපිනයෙහි පළාත් පාලන අමාත්‍යාංශයේ එම්.ඩී.කේ. පලිහවඩන මහතා විසින් මෙම  නෙරපීමේ නියෝගය නිකුත් කරන ලෙසට අධිකරණයට ගොනු කරන ලද පැමිණිල්ලකට අනුව මෙම නියෝගය නිකුත්  කෙරිණි.

1985 අංක 45, 1981 අංක 08, 1974 අංක 40 සහ 1971 (1) පනත් වලට අනුකූලව නෙරපීමේ නියෝගයක් ලබාදෙන ලෙසට පළාත් සභා හා පළාත් පාලන (රාජ්‍ය සේවා) අමාත්‍යාංශය අධිකරණය හමුවේ මෙම නඩුව ගොනු කර ඇත්තේ ඉකුත් ජුලි මස 6 වැනිදාය.  රජයේ නිල නිවාස බාර නොදීම සම්බන්ධයෙන් මෙම තැනැත්තාට අවස්ථා කිහිපයකදීම සිහි කැඳවීමේ ලිපි යොමු කර තිබුණ ද ඔහු එම නිවසින් බැහැර නොවීම මත මෙම නඩුව අධිකරණය වෙත ගොනු කළ බව පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය සිය පැමිණීමෙන් දක්වා තිබිණි.  ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය 1985 අංක 45, 1981 අංක 08, 1974 අංක 40 සහ 1971 (1) පනත් ප්‍රකාරව මෙම නෙරපීමේ නියෝගය දුන්නේය.

-නිමන්ති රණසිංහ

ප්‍රේම සබඳකම නතර කළාට පෙම්වතිය පැහැරගෙන පෙම්වතා අතකුයි බෙල්ලයි කපාගෙන

ප්‍රේම සම්බන්ධතාව අතරමග නතර කළැයි උරණ වී සිය 22හැවිරිදි පෙම්වතිය මාතර කුමාරතුංග මාවතේදීම බලහත්කාරයෙන් ත්‍රීරෝද රථයකට දමා පැහැරගෙන ගොස් ඇයට තම ආදරය ඔප්පු කිරිම සඳහා පිහියකින් තමන්ගේ ගෙල හා අත කපා ගෙන තුවාල සිදු කරගත් පෙම්වතකු අත්අඩංගුවටගත් බව මාතර මූලස්ථාන පොලිසිය පවසයි. 

මාතර නගරයේ පෞද්ගලික ආයතනයක සේවය කරන තරුණිය මිතුරියන් දෙදෙනකු සමඟ ලඝු ලේඛන පන්තියකට සහභාගිවී නැවත නිවස බලා යන අතරතුරදී මෙම සිද්ධියට ලක්ව තිබේ. 

පිහියක් පෙන්වා එම තරුණිය ත්‍රිරෝද රථයට බලහත්කාරයෙන් නංවාගෙන යන අතරතුර කාන්තාවක ඒ අසල රථ වාහන හැසිරවීමේ රාජකාරියේ නිරත පොලිස් සැරයන්වරුන් දෙදෙනකුට ඒ බව දැනුම්දී ඇත.

ඒ සමගම ත්‍රිරෝද රථය පිටුපසින් පොලිස් යතුරුපැදිය ලුහුබැඳ ගෙන ගොස් තිබේ.

පසුව ත්‍රිරෝද රථය කිරල කැලැවතුළට පලා ගොස් තිබූ අතර සැකකරු තරුණිය ද අල්ලා ගෙන පිහිය පෙන්වමින් පොලිසිය ඉදිරියට පැමිණීම වළක්වා ගෙන ඇත.  එම අවස්ථාවේ දී තරුණියගේ ජීවිතයට අනතුරක් සිදුවීම වැළැක්වීම සඳහා පොලිසිය ඉතා සූක්ෂම ලෙස සැකකරු සමඟ කතා බහ කරමින් ඔහු සන්සුන් කර ගැනීමට උත්සාහ කර තිබේ. 

පොලිස් සැරයන් තුෂර ප්‍රියදර්ශන (61924) හා ඩී.එල්.ආර්. තුෂාර (60792) මේ අවස්ථාවේදී ඉතාම සුක්ෂම ලෙස සැකකරුගේ අවධානය ගනිමින් ඒ අතරතුරදී මාතර පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති නුවන් විජේතුංග මහතාටද ඇමතුමක් ගෙන සිද්ධිය දැනුම්දී ඇත.

සිද්ධිය ඉංග්‍රීසි චිත්‍රපටයක ත්‍රාසජනක දර්ශනයක් වැනිවිය. තරුණයා තරුණියට ඇති ආදරය පෙන්වීම සඳහා පළමුව තම අත වැලමිට අසල සිට පහලට කපාගෙන ගෙල ද කපා ගෙන තිබේ.

එවිට තරුණිය සිහිසුන්ව ඇද වැටී ඇති අතර ඇයට වතුර ටිකක් ඉසීමට පොලිසිය ළංවී ඇයගේ පියවි සිහිය ගැනීමට උත්සාහකරද්දී පොලිස් සැරයන්වරුන් දෙදෙනා පිහිය සමග සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. මාතර මුලස්ථාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති නුවන් විජේතුංග මහතා ඇතුළු කණ්ඩායමක් ද පෞද්ගලික වාහනයකින් එම ස්ථානයට පැමිණ ප්‍රකෝපකාරීව හැසිරුණු සැකකරු අත්අඩංගුවට ගැනීමට සහාය වී තිබේ.

තුවාල සහිතව සිටි සැකකරු ඉතා ඉක්මණින් මාතර මහ රෝහලට ඇතුළත් කිරීමට පොලිසිය ක්‍රියාකළේය. පොලිස් සැරයන්වරුන් දෙදෙනා ඉක්මනින් ක්‍රියාත්මකවී උපක්‍රමශීලීව කටයුතු නොකළේ නම් විශාල අපරාධයක් සිදුවීමට ඉඩ තිබූ බව උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන හේරත් මහතා ද ඔවුන්ගේ එම ක්‍රියාව ප්‍රශංසාවට ලක්කර තිබේ. මාතර හිත්තැටියේ පදිංචි 24 හැවිරිදි සැකකරු මාතර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

ඔහු දැනට පොලිස් ආරක්ෂාව යටතේ මාතර මහ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටී. මාතර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චන්දන හේරත් මහතාගේ උපදෙස් මත මාතර මූලස්ථාන පොලිස් පරික්ෂක ධම්මික අමරසේන මහතා ඇතුළු කණ්ඩායමක් මේ පිළිබඳව වැඩිදුර පරික්ෂණ මෙහෙයවයි.

- ක්‍රිෂාන් ජීවක ජයරුක් -


නිල නිවාස බාරදී නැති පරාජිත මන්ත්‍රීවරුන්ට දිනකට 500 බැඟින් දඩ


නිල නිවාස බාරදී නැති පරාජිත මන්ත්‍රීවරුන්ගෙන් ඒ නිවාස පාවිච්චිය  වෙනුවෙන් දිනකට රුපියල් පන්සියය බැගින් දඩ මුදලක් අය කිරීමට පාර්ලිමේන්තු බලධාරීන් තීරණය කර ඇත.  මහ මැතිවරණය පැවැත්වුණු ඉකුත් අගෝස්තු මස 5 වැනි සිට ගණනය කර  මෙම දඩ මුදල අය කෙරෙනු ඇත. මේ අතර පසුගිය මහ මැතිවරණයේදී පරාජයට පත්වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් තවත් 13 දෙනෙකු මාදිවෙල මන්ත්‍රී නිල නිවාස සංකීරණයේ නිල නිවාස මෙතෙක් බාරදී නැතැයි පාර්ලිමේන්තු ආරංචි මාර්ග සඳහන් කරයි.  නිල නිවාස නැවත බාරදී ඇති හිටපු (පරාජිත) මන්ත්‍රීවරුන් සංඛ්‍යාව හතළිහකි.

පරාජිත මන්ත්‍රීවරුන් කිහිප දෙනෙකු නිල නිවාස බාරදීමට තවත් කාලයක් ඉල්ලා ඇතැයි පාර්ලිමේන්තු නිලධාරීහු පවසති.  පාර්ලිමේන්තුවට අලුතින් පත්වුණු මන්ත්‍රීවරුන්ට මාදිවෙල මන්ත්‍රී නිල නිවාස පූර්ණ වශයෙන් ප්‍රතිසංස්කරණය කර ලබාදීමට පාර්ලිමේන්තු නිලධාරීන් තීරණය කර ඇත. මේ අනුව නවක මන්ත්‍රීවරුන් අට දෙනෙකුට දැනටමත් මාදිවෙල මන්ත්‍රී නිල

නිවාස ලබාදී ඇත.  නිල නිවාස ඉල්ලා පාර්ලිමේන්තු නිලධාරින්ට අයදුම්පත් යොමුකරනු ලැබ ඇති නවක මන්ත්‍රීවරුන් සංඛ්‍යාව හැට පහකි.  මේ සියලුම දෙනාට නිල නිවාස ලබාදීමට කටයුතු කරගෙන යන බව පාර්ලිමේන්තු ප්‍රකාශකයෙක් පැවැසීය.

-සුජිත් හේවාජුලිගේ-


කතුන් 10ක් විවාහ කරගෙන ලක්ෂ ගණන් අරන් පැනලා



ධනවත් කාන්තාවක් විවාහ කරගෙන එම කාන්තාවන් රවටා රුපියල් ලක්ෂ ගණනින් මුදල් වංචාකර පලා යන වැඩ තහනමට ලක්ව සිටින ග්‍රාම නිලධාරියකු අත්අඩංගුවට ගැනීමට පොලිස් මූලස්ථානයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාශය පුළුල් පරික්ෂිණ ආරම්භ කර ඇත.  කුරුණෑගල ප්‍රදේශයේ පදිංචිකරුවකු වන 58 හැවිරිදි මෙම ග්‍රාම නිලධාරියා මේවනවිට ප්‍රදේශය අතහැර ගොස් සැඟවී සිටින බවත් ඔහු විවාහක එක් දරු පියකු බවත් පොලිසිය පවසයි.  රෝහල් සේවයෙන් විශ්‍රාම ලබා සිටින මේට්‍රිවරියකගෙන් ලක්ෂ 70ක පමණ මුදලක්ද, නොච්චියාගම ප්‍රදේශයේ පදිංචි ධනවත් වැන්දඹු කාන්තාවකගෙන් ලක්ෂ 20ක පමණ මුදලක් සහ  මැදවච්චිය ප්‍රදේශයේ පදිංචි මැදිවියේ පසුවන  අවිවාහක ගුරුවරියකගෙන් ලක්ෂ 10ක පමණ මුදලක්ද මෙම පුද්ගලයා විසින් වංචාවෙන් ලබාගෙන ඇති බව පොලිස් අපරාධ විමර්ශන කොට්ඨාස නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත ජයකොඩි මහතා ලංකාදීපයට ඊයේ (29) පැවැසීය.

මොහු දිවයිනේ විවිධ ප්‍රදේශවල පදිංචි කාන්තාවන් තවත් 10 දෙනෙකු පමණ සමඟ වරින්වර විවාහ වී ඔවුන් සතු ලක්ෂ ගණනින් මුදල් වංචාවෙන් ලබාගෙන තිබෙන බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය. බිරිඳ මියගොස් දරුවන් නොමැති මැදිවයසේ පසුවන අයකු වැන්දඹු හෝ අවිවාහක කාන්තාවක් විවාහකර ගැනීමට සොයන බව සඳහන් කොට සති අන්ත පුවත්පතක මංගල දැන්වීමක් පළකර එසේම  හඳුනා ගන්නා කාන්තාවන් මෙම පුද්ගලයා විවාහ කරගෙන ඇති බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවැසීය. මෙසේ කාන්තාවක් විවාහ කර ගන්නා  මෙම පුද්ගලයා විවාහයෙන් මාස කිහිපයක් ගත වූ පසුව කාර් රථයක් මිලදී ගැනීමට බව පවසා විවාහකරගත් කාන්තාවගෙන් ලක්ෂ ගණනින් මුදල් ඉල්ලාගෙන රහසේම පලායන බවද නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය.

මෙම පුද්ගලයාට රැවටි ඔහු විවාහ කරගෙන ලක්ෂ ගණන්නින් මුදල් අහිමිකරගත් කාන්තාවන් ගණනාවක් සිටින බවට තොරතුරු ලැබී ඇති බවත් ලැජ්ජාව නිසා ඔවුන් මේ ගැන පැමිණිලි කිරීමට ඉදිරිපත් නොවන බවත් පොලිස් මූලස්ථානය පවසයි.  මෙවැනි පුද්ගලයින්ට නොරැවටෙන ලෙසද ප්‍රියන්ත ජයකොඩි මහතා කාන්තාවගෙන් විශේෂ ඉල්ලීමක් කරයි.

-ශ්‍රිනාත් ප්‍රසන්න ජයසූරිය-


තනියම කුඩු ගැහුවාට උරණ වී මිතුරා මරා දමලා

ගල්කිස්ස පීරිස් පාර ප‍්‍රදේශයේ නිවෙසක දී පුද්ගලයකු ඉකුත් 27 වැනිදා පිහියෙන් ඇන ඝාතනය කළ බව කියන සැකකරු ගකිස්ස පොලිස් අපරාධ අංශය මගින් 28 වැනිදා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පවසයි.

අත්අඩංගුවට ගත් සැකකරු පීරිස් පාර පදිංචිව සිටින වයස (34) ක් වන අතර අධික ලෙස හෙරොයින් පානයට ද ඇබ්බැහි වී සිටින අයකු ද වන බවත් පොලිසිය පැවසීය.

ඝාතනයට ලක්වූ ගල්කිස්ස පීරිස් පාර නාගරික නිවාසවල පදිංචිව සිටි ටයිටස් පෙරේරා නම් 46 වියැති අයකු ද වන අතර ඔහු ද අධික ලෙස හෙරොයින් පානයට ඇබ්බැහි වී ඇති අතර එදින සැකකරු විසින් ලබාදුන් රුපියල් පන්සියයක හෙරොයින් පැකට්ටුවක් ඝාතනයට ලක්වූ පුද්ගලයා තනියම පානය කිරිමට උරණ වී ඇති වූ බහින්බස්වීමක් දුරදිග ගොස් සිය මිතුරා මෙලෙස ඝාතනය කර පලාගොස් ඇතැයි ද පොලිසිය අනාවරණය කරගෙන ඇත.

මේ පිළිබඳව ගල්කිස්ස අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නාලක අලහකෝන් මහතා වෙත ලද රහසිගත තොරතුරකට අනුව සිදුකළ වැටලීමේ දී බඩෝවිට පාසල අසල දී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත. සැකකරු ඉකුත් 29 දා ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමටත් නියමිත බවත් පොලිසිය පැවසීය. වැඩිදුර විමර්ශන ගල්කිස්ස ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතාගේ අධීක්ෂණය මත ගල්කිස්ස මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක දිලීප සී. පෙරේරා මහතාගේ උපදෙස් පරිදි ගල්කිස්ස අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නාලක අලහකෝන් මහතාගේ මෙහෙයවීම මත පොලිස් මකොස්තාපල්වරු වන 69679 විජේබණ්ඩාර, 78800 ශිවන්ත, 86614 තරින්ද, 29357 දිසානායක, 24295 සඳරුවන් යන නිලධාරිහු සිදු කරති.

- එච් එම් ධර්මපාල -

ආර්මේනියා - අසර්බයිජාන ගැටුම මැදට තුර්තියෙන් ඩ්‍රෝන ප්‍රහාර

ආර්මේනියාව සහ අසර්බයිජානය අතර දේශසීමාවේ පිහිටි Nagorno-Karabakh region පළාත මූලික කරගනිමින් දෙරට හමුදා අතර ඇතිව තිබෙන ගැටුම්කාරි තත්වය මේ වනවිට වඩාත් දරුණු අතට හැරි ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. එහිදී අසර්බයිජාන යුද හමුදාව වෙත සහාය දක්වමින් තුර්කි ගුවන් හමුදාව විසින් ආමේනියානු යුද ටැංකි කිහිපයක් වෙත සිය ඩ්‍රෝන ප්‍රහාර එල්ල කිරීමත් සමග  මෙම තත්ත්වය උද්ගතවී තිබේ. ඊයේ දිනයේදී අසර්බයිජාන ආරක්ෂක අමාත්‍යාංශය මගින් නිකුත් කළ වීඩියෝවක් තුළ මෙම ප්‍රහාර එල්ල වන ආකාරය සටහත්ව තිබේ. එහිදී ආමේනියාවට අයත් සෝවියට් සමුහාණ්ඩු යුගයට අයත් T72 වර්ගයේ යුද ටැංකියකට මිසයිල ප්‍රහාරයක් එල්ල වන බවත්, එහි සිටි හමුදා සාමාජිකයන් තිදෙනෙකුද සමගින් එය පුපුරා යන ආකාරයත් එහි දැක්වෙයි.

විදෙස් මාධ්‍ය සඳහන් කරන ආකාරයට මෙම යුද්ධය වෙනුවෙන් තුර්කියේ මැදිහත්වීම මෙම කලාපයේ ක්‍රියාත්මක ආර්මේනියානු බෙදුම්වාදීන්ට එරෙහිව සිදුකරන සටනේ තවත් එක් අවස්ථාවක් බවට පත්ව තිබේ. ගැටුමට හේතු වී ඇති Nagorno-Karabakh region නම් පළාතේ නීත්‍යනුකූල අයිතිය අසර්බයිජානයට හිමිව තිබුණත් වාර්ගික ආර්මේනියානුවන්  එහි පදිංචිව සිටියි. ඒ අනුව මෙහිදී තුර්කිය එහි සිටින "අසර්බයිජාන සහෝදරයන්" නම් ආයුධ සන්නද්ධ කණ්ඩායමක් වෙත සහාය දක්වන අතර 1990 දශකයේදීද  මෙම පළාත සම්බන්ධයෙන් මෙවැනිම් ගැටුම්කාරී තත්වයක් හටගෙන තිබේ.  වාර්තාවලට අනුව දින තුනක් පුරා පවතින මෙම ගැටුම් හේතුවෙන් මේ දක්වා පුද්ගලයෝ 39 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇත. පවතින මෙම තත්වය සම්බන්ධයෙන් එක්සත් ජනපද වේලාවෙන් ඊයේ පස්වරුවේදී සාකච්ඡාවක් පැවැත්වීමට එක්සත් ජාතීන්ගේ සංවිධානයද තීරණය කර තිබුණි. මෙම සාකච්ඡාව මාධ්‍යයට විවෘත නොවී පැවැත්වීමද විශේෂත්වයක් විය.

COVID-19 එන්නතකට පෙර මරණ දෙගුණයක් වේවිලු


අද වනවිට ලොව පුරා වාර්තා වී ඇති ලක්ෂ 10කට අධික නව කොරෝනා මරණ සංඛ්‍යාව එම වෛරසයට එරෙහිව එන්නතක් සොයාගැනීමේ අවස්ථාව උදාවීමට පෙර දෙගුණයක් වීමේ හැකියාවක් ඇතැයි සෞඛ්‍ය විශේෂඥයන් සඳහන් කර සිටියි. එක්සත් ජනපදයේ ජෝන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයට අනුව ඊයේ (29) දිනය වනවිට ලොව වාර්තා වී තිබූ සමස්ත නව කොරෝනා මරණ සංඛ්‍යාව 1,OO2,628ක් ඉක්මවා තිබුණි.

විදෙස් මාධ්‍ය වාර්තාවලට අනුව මේ වනවිට ලොව පුරා නව කොරෝනාවට එරෙහි එන්නත් 35ක් පරීක්ෂණ මට්ටමේ පවතින අතර, ඉන් වැඩි ප්‍රමාණයක් මානව අත්හදා බැලීම් සඳහාද යොමුකර තිබේ. එහෙත් එම කිසිඳු එන්නතක් සාමාන්‍ය ජනතාව කෙරෙහි භාවිත කළ හැකි අවස්ථාවක් පිළිබඳව මෙතෙක් අනාවරණය වී නැත.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ ප්‍රධාන විද්‍යා නිලධාරී වෛද්‍ය සෞම්‍යා ස්වාමිනාදන්, මෙලෙස එන්නතක් හදුන්වාදීම වසර 2022ක් දක්වා ඇදෙනු ඇති බව පවසා සිටියි.

මේ අතර නව කොරෝනා වෛරසය ආශ්‍රිත මුල් මරණ ලක්ෂ 5ක සීමාව පසු කිරීමට මාස හයක කාලයක් ගත වුවත්, දෙවැනි ලක්ෂ 5 සීමාව පසු කිරීම සඳහා මාස තුනක් වැනි කාලයක් ගතවීම වැදගත් අවස්ථාවක් බව ලෝක සෞඛ්‍ය සංවිධානයේ සෞඛ්‍ය හදිසි අවස්ථා වැඩසටහනේ විධායක අධ්‍යක්ෂ වෛද්‍ය මයික් රයන් පසුගියදා පවසා තිබුණි. ඒ අනුව ලොව පුරා නව කොරෝනා මරණ මිලියන 2ක් බවට පත්වීම සිතාගත නොහැකි අවස්ථාවක් වන බවත්, එහෙත් එය සිදුවිය නොහැකි තත්ත්වයක් නොවන බවත් සඳහන් කර තිබුණි.

"අපි බැලුවොත් මේ මාස නවයක කාලයකදී අපිට මරණ ලක්ෂ 10ක් දකින්න ලැබුණා. ඒ කියන්නේ අපි යථාර්ථය අනුව බැලුවොත් තවත් මාස නවයක කාලයක් එනතක් නොමැතිව ගත වෙනවා කියන්නේ මෙවැනිම මරණ ප්‍රමාණයක් වාර්තා වීමයි. එය ලෝකයේ හැමෝටම බලපාන තත්ත්වයක් වේවි." ඔහු පවසා සිටියි.



සැහැල්ලු දුම්රිය ව්‍යාපෘතිය අවලංගු කරයි





ජපාන ජාත්‍යත්තර සහයෝගිතා ආයතනයේ (JICA) ආධාර යටතේ බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මක කිරීමට යෝජිතව තිබූ සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධති (LRT) ව්‍යාපෘතිය අවලංගු කිරිමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර ඇත. අමාත්‍ය මණ්ඩලය මෙම තීරණය ගෙන ඇත්තේ, මේ වනවිට එම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමේ වගකීම පැවරී ඇති ප්‍රවාහන අමාත්‍ය ගාමිණී ලොකුගේ මහතා විසින් ඉදිරිපත් කර ඇති කරුණු සැලකිල්ලට ගනිමින් බව සඳහන් වේ.  ඒ අනුව කුලුණු මත ඉදිකෙරෙන දුම්රිය මාර්ගයක් ඔස්සේ මෙම සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතිය ක්‍රියාත්මක කිරීම සඳහා අවශය මූලික පියවර පසුගිය රජය විසින් ගෙන ඇති බවත්, ව්‍යාපෘතිය ක්‍රියාත්මක කරනු ලැබුවහොත් නිවාස හා ව්‍යාපාරික ස්ථාන ඇතුළු විශාල ගොඩනැගිලි සංඛ්‍යාවක් කඩා ඉවත් කිරීමටත් එසේම කුලුනු මත දුම්රිය මාර්ගය ඉදිකිරීම සඳහා ඉහළ පිරිවැයක් දැරීමට සිදුවන බවට පෙනීගොස්  ඇති බවත් අමාත්‍යවරයා විසින් පෙන්වාදී තිබේ. 

මීට අමතරව තම පෞද්ගලික මෝටර් රථ භාවිත කරමින් කොළඹ නගරයට පැමිණෙන්නන් ආකර්ෂණය කරගත හැකි විකල්ප ප්‍රවාහන මාධ්‍යයක් ලෙස මෙම සැහැල්ලු දුම්රිය සංක්‍රමණ පද්ධතිය යටතේ ක්‍රියාත්මක කිරීමට අපේක්ෂිත දුම්රිය මගින් අවශ්‍ය පහසුකම් සලසාදීමට හැකියාවක් නොමැති බවට නිරීක්‍ෂණය වී ඇති බවටද හෙතෙම කරුණු ඉදිරිපත් කර ඇත. එහිදී අමාත්‍යවරයා වැඩිදුරටත් පෙන්වාදී ඇත්තේ ව්‍යාපෘතිය ක්‍රියාත්මක කළහොත් සඳහා විශාල මෙහෙයුම් පිරිවැයක් දැරීමට සිදුවන බව පෙනීගොස් ඇති බවයි.

-නිදර්ශි වික්‍රමසිංහ-






කොරෝනාවට එරෙහිව මවුකිරෙන් ඉහළ ආරක්ෂාවක් - චීන පර්යේෂණයකින් හෙළි වෙයි


 අලුත උපන් බිළිඳුන් වෙත නව කොරෝනා වෛරසය ආසාදනය නොවීම සඳහා ඔවුන් වෙත ලැබෙන මවුකිරි මඟින් යම් උදව්වක් සැපයෙන බව චීනයේ විද්‍යාගාරයක් තුළ සිදුකළ අලුත්ම අධ්‍යයනයක් මගින් පෙන්වා දී තිබේ. ඒ අනුව මෙම අලුත උපන් දරුවන්ගේ සිරුරු තුළ ප්‍රතිදේහ නොමැති වුවත්, ඔවුන්ගේ සෛල වෙත මෙම වෛරසය ආසාදනය වී ඒවා වර්ධනය වීම මෙම මවුකිරි නිසා වැළකෙන බව මෙහිදී හඳුනාගෙන ඇත.

චීනයේ රසායනික තාක්ෂණය පිළිබඳ බීජිං විශ්වවිද්‍යාලය මඟින් මෙම අධ්‍යයනය සිදුකර තිබේ. එසේම මෙහි ඇති විශේෂත්වය වන්නේ එළ කිරි හෝ එළු කිරි වැනි වෙනත් සත්ව කිරි වර්ග හා සැසඳීමේදී වඩාත් වැඩි බලපෑම් සහගත තත්ත්ව යක් මවුකිරි සතුව පැවතීම බවද මෙම පර්යේෂකයන් සඳහන් කර සිටියි. මෙම විද්‍යාගාර පර්යේෂණයේදී එම පිරිස වසංගතය ඇතිවීමට පෙරාතුව, එනම් 2017 වසරේදී රැස්කරගත් මවුකිරි වෙතින් මෙම වෛරසය වෙත පවතින බලපෑම පිළිබඳව අධ්‍යයනය කර ඇත. 

එහිදී වඩාත් නිරෝගී සෛල කිහිපයක් ඔවුන් එම මවුකිරි සමඟ මිශ්‍ර කර ඇති අතර, පසුව එම මවුකිරි සෝදා ඉවත් කර ඇත. අනතුරුව එම සෛල වෛරසය වෙත නිරාවරණය කර තිබේ. ඒ අනුව කිසිවිටෙකත් එම වෛරසය සෛල සමඟ බැඳීමක් නොදැක්වූ බවත්, ඊට අමතරව එම වෛරසය සෛල වෙත ඇතුළුවීමක් හෝ ඒ තුළදී තවත් වෛරස ගුණනය කරගැනීමක් හෝ සිදු කිරීමටත් අවස්ථාවක් නොලැබුණු බවත් පර්යේෂකයන් පවසයි.

තමන්ගේ මෙම සොයාගැනීම ලෝක සෞඛ්‍ය සංවිධානය මඟින් දැනට සිදුකර ඇති නිර්දේශ කිරීම් හා සහාය දක්වන බවත්, මෙම COVID-19 වසංගතයත් සමඟ මවුවරුන් තුළ තම දරුවන් වෙත මවුකිරි දීම පිළිබඳව උනන්දුවක් ඇති කරවන බවත් ඔවුන් වැඩිදුරටත් පවසා සිටියි.


ගව ඝාතන තහනම යෝජනා 3ක් ඉටුකිරීමෙන් අනතුරුවයි

ගව ඝාතනය සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක පනත් හා නීතිරීතීන් සංශෝධනය කිරීම ඇතුළු යෝජනා  03ක් ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව වහාම ක්‍රියාත්මක වන පරිදි රට තුළ ගව ඝාතනය තහනම් කිරීමට අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලැබී තිබේ. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින්  මෙම යෝජනා අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කර ඇති අතර එමඟින් හෙතෙම ඉල්ලා ඇත්තේ, ගව ඝාතනය සම්බන්ධයෙන් මේ වනවිට ක්‍රියාත්මක 1958 අංක 29 දරන සත්ත්ව පනත, 1893 අංක 09 දරන හෝ ඝාතක ආඥාපනත සහ අදාළ අනුශාංගික වෙනත් නීති හා පළාත් පාලන ආයතන විසින් සම්මත කර ඇති නීතිරීතින් සංශෝධනය කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම නොපමාව සිදු කරන ලෙසයි.

එසේම ගව මාංශ පරිභෝජනය කරනු ලබන ජනතාව වෙනුවෙන් අවශ්‍ය මාංශ ආනයනයට හා සහන මිලකට ලබාදීමට අවශ්‍ය ක්‍රියාමාර්ග නොපමාව ගැනීම මෙන්ම කෘෂිකාර්මික කටයුතු සඳහා ඵලදායී අන්දමින් යොදාගත නොහැකි වයස්ගත තත්වයට පත්වන ගවයන් සම්බන්ධයෙන් යෝග්‍ය වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටද සිය යෝජනාව මගින් අග්‍රාමාත්‍යවරයා ඉල්ලා ඇත. ඒ අනුව මෙම යෝජනා 03 ක්‍රියාත්මක කිරීමෙන් අනතුරුව ගව ඝාතනය තහනම් කිරිමට අමාත්‍ය මණ්ඩලය තීරණය කර තිබේ.  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (29)දා පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ කැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කර සිටියේ  "ගව ඝාතනය සම්බන්ධයෙන් තිබෙන පනත් සංශෝධනය කර විද්‍යානුකූලව පියවර ගන්නවා" යනුවෙනි.

-නිදර්ශි වික්‍රමසිංහ-

නව කොරෝනාවෙන් වැඩිම අවධානමක් ඇත්තේ පිරිමින්ටලු


 නව කොරෝනා වෛරසය ආසාදනය වූ කාන්තාවන්ට වඩා පිරිමින් තුළ ඒ පිළිබඳ වන මාරාන්තික අවදානම ඉහළ බව තුර්කියේ මෙර්සින් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් සිදුකළ අලුත්ම අධ්‍යනයකින් පවසයි. එහිදී ඔවුන් දැනට එරට රෝහල් තුළ ප්‍රතිකාර ලබන COVID-19 රෝගී පිරිමි පුද්ගලයන් 200 දෙනෙකුගේ ටෙස්ටෝස්ටෙරෝන් හෝමෝනය සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇත. 

ඒ අනුව මෙම පිරිසගෙන් 51%ක ප්‍රමාණයක් තුළ හයිපොගොනඩිස්ම් (hypogonadism) තත්වයක් පෙන්නුම් කර තිබේ. එවැනි අවස්ථාවකදී පිරිමින් තුළ ප්‍රමාණවත් තරමින් ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය නිපදවීමක් සිදු නොවන බවත්, ඒ හරහා ඔවුන්ගේ සෞඛ්‍ය තත්ත්වය යම් පිරීහීමකට පත්වන බවත් හඳුනාගෙන ඇත. එහිදී ඇතැම් දරුණු රෝගී තත්ත්වයන් සහ මෙම අඩු ටෙස්ටොස්ටෙරෝන් හෝමෝන මට්ටම අතර සමාන බවක් පවතින බවත් මෙම පර්යේෂකයන් පවසා සිටියි. 

මෙම ටෙස්ටොස්ටෙරෝන් හෝමෝනය ලිංගික ඉන්ද්‍රියන් වර්ධනයට මෙන්ම, මාංශපේෂි වර්ධනය සඳහාද හේතුවෙයි. එසේම වෛරස ආසාදනය වීම්වලට එරෙහිව සටන් කිරීම ඇතුළු ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර දැක්වීම් සඳහාද එය උපකාරී වෙයි. 

මෙම හෝමෝනයේ අඩු මට්ටමක් පැවතීම උණ රෝගී තත්ත්වයන් හරහා වුවද යම් පුද්ගලයෙකු මරණයට පත්වීමේ අවදානමක්ද ඇති කරවයි. එසේම හෘද රෝග සහ අධි රුධිර පීඩනය මෙන්ම, ප්‍රදාහය වැනි රෝගී තත්ත්වයන්ද මේ හේතුවෙන් හට ගන්නා බව වෛද්‍ය මතය වී තිබේ.


පළමු වසරට ළමයින් ඇතුළත් කිරීමේදී ඔප්පුව ළමයාගේ මවුපියන්ගේ නමට පැවතිය යුතු බව සඳහන් වී වෙනස් කිරීම ගැන කැබිනට්ටුවේ අවධානය



පළමු වසරට ළමයින් ඇතුළත් කිරීමේදී ළමයාගේ දෙමවුපියන්ගේ නමට ඔප්පුව පැවතිය යුතු බවට සඳහන් වීම වෙනස් කිරීම සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩලයේ අවධානයට ලක්ව තිබේ. පුවත්පත් කතුවරුන් හා මාධ්‍ය ආයතන ප්‍රධානීන් සමග අද දින පැවති සාකච්ඡාවකදී අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්‍ෂ මහතා සඳහන් කළේ, ඊයේ පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ පිළිබඳ සාකච්ඡා වූ බවයි.

මෙම සාකච්ඡාවට එක් වූ මාධ්‍ය නියෝජිතයන් සඳහන් කළේ, ඔප්පුව අනිවාර්ය වීම හේතුවෙන් දෙමවුපියන් දැඩි අසීරුතාවකට පත්ව ඇති බවයි.මෙම සාකච්ඡාවට එක් වූ අමාත්‍ය විමල් වීරවංශ මහතා සඳහන් කළේ,   "චක්‍රලේඛය සංශෝධනය කිරීමට අවධානය යොමු වුණා. ඡන්ද හිමි නාමලේඛනයේ නම පැවැතීම පමණක් ප්‍රමාණවත් කියන තැනට කැබිනට් මණ්ඩලයේ එකඟතාව පැමිණියා" යනුවෙනි.

නරීන්ගෙන් ජලභීතිකා පැතිරයාම වැළැක්වීමට ගෘහස්ථ සුනඛයන් 30,000කට ජල භීතිකා එන්නත් ලබාදීමේ වැඩසටහනක්

ජල භීතිකා රෝගය වැලඳුණ නරි හරහා ගෘහස්ථ සුනඛයන්ට එම රෝගය පැතිරීයාමේ අවදානම සලකා එම අවදානම් කලාපවල වෙසෙන ගෘහස්ථ සුනඛයන් 30,000ක් සඳහා ජල භීතිකා එන්නත් කිරීමේ වැඩසටහනක් ආරම්භ කර ඇති බව කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක මහතා පැවසීය.

එමෙන්ම මේ සඳහා එන්නත්කරුවන් තිස්දෙදෙනෙකු අලුතෙන් පුහුණු කර ඇති බවත්, මෙම වැඩසටහන යටතේ අයාලේ යන සුනඛයන්ටද එන්නත ලබාදීමට කටයුතු කරන බවත් උදය රත්නායක මහතා සදහන් කළේය. මෙම අවදානම වැඩි වශයෙන් පවතින මිල්ලනිය සහ මදුරාවල යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස තුළ සුනඛයන්ට එන්නත් කිරීමේ කටයුතු සති දෙකක් තුළ අවසන් කරන බවත්, අවදානමට ලක්විය හැකි හොරණ සහ ඉංගිරිය යන සොඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාස තුළ සුනඛයන්ට එන්නත් කිරීම ඉදිරි මාස දෙක තුළ අවසන් කරන බවත් උදය රත්නායක මහතා පැවසීය.

කළුතර ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය උදය රත්නායක, කළුතර දිස්ත්‍රික් වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය ප්‍රසාද් ලියනගේ සහ කළුතර ප්‍රාදේශීය පරිපාලන මහජන සොඛ්‍ය පරික්ෂක සමන් ගීගනගේ යන මහත්වරුන්ගේ උපදෙස් මත කඵතර ජලභීතිකා මර්දන ඒකකය භාර පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක ආර්.එල්. දර්ශනප්‍රිය මහතාගේ මෙහෙයවීමෙන් මෙම කටයුතු ක්‍රියාත්මක කෙරේ.

- සුනිල් එස්. තන්ත්‍රීආරච්චි -

මිනුම් කාණ්ඩ 06ක් යටතේ නිල ඇඳුම් රෙදි කපා සිසුන් සඳහා ලබාදෙනවා

 


එළඹෙන වසර වනවිට මිනුම් කාණ්ඩ  06ක් යටතේ නිල ඇඳුම් රෙදි කපා පාසල් සිසුන් සඳහා ලබාදීමට කටයුතු කෙරෙන බව කැබිනට් ප්‍රකාශක, ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.  රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේදී ඊයේ (29)දා පැවති අමාත්‍ය මණ්ඩල තීරණ දැනුම් දීමේ මාධ්‍ය හමුවේදී මේ බව පැවසූ ඒ මහතා  පෙන්වා දුන්නේ නිල ඇඳුම් සඳහා එලෙස රෙදි කපා ලබා දීම තුළ රෙදි අපතේ යාම වළක්වාගත හැකි වන බවය. පාසල් නිල ඇඳුම් රෙදි ලබා ගැනීම සඳහා තිළිණපත් වෙනුවට සිසුන් වෙත නිල ඇඳුම් රෙදි ලබාදීම සඳහා පෙරේදා (28දා) පැවැති  අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එහි අනුමැතිය ලැබිණි. ඒ අනුව 2021 වර්ෂය සඳහා අවශ්‍ය සමස්ත පාසල් නිල ඇඳුම් රෙදි ප්‍රමාණය දේශීය රෙදි නිෂ්පාදකයන් වෙතින් මිලට ගැනීමට එහිදී තීරණය වී තිබේ. 

එසේම මේ සඳහා දේශීය රෙදිපිළි  නිෂ්පාදකයන් 04 දෙනෙකු විසින් මිල ගණන් ඉදිරිපත් කර ඇති බවත්, එහිදී ඔවුන් විසින් අදාළ සමස්ත රෙදිපිළි අවශ්‍යතාවෙන් 40%ක පමණ ප්‍රමාණයක් නිෂ්පාදනය කර ඇති බව ක්ෂේත්‍ර පරීක්ෂණ මගින් නිරීක්ෂණය වී ඇති බවත් රජය ප්‍රකාශ කරයි. රජය වැඩිදුරටත් පෙන්වා දෙන්නේ 2021 ජනවාරි මස අවසානය පමණ වනවිට සමස්ත පාසල් නිල ඇඳුම් රෙදි අවශයතාව සැපිම සඳහා අදාළ ආයතනයන්ට හැකියාව පවතින බවට තහවුරුව ඇති බවයි.  ඒ අනුව පාසල් නිල ඇඳුම් රෙදි ලබාදීම සඳහා සති 02ක හෝ 03ක පමණ ප්‍රමාදයක් සිදුවිය හැකි යැයි සමකැබිනට් ප්‍රකාශක, අමාත්‍ය කෙහෙලිය රඹුක්වැල්ල මහතා ප්‍රකාශ කළේය.

-නිදර්ශි වික්‍රමසිංහ-


Tuesday, September 29, 2020

ගල්ගමුවේ වන අලි ප්‍රහාරයෙන් දෙදෙනකු මරුට

 



ගල්ගමුව, දේවගිරිය ප්‍රදේශයේ දී පෙරේදා (27) රාත්‍රී හතට පමණ වල් අලි පහර දීමකින් පුද්ගලයන් දෙදෙනකු ඒ ස්ථානයේදීම මියගොස් ඇතැයි ගල්ගමුව පොලීසිය කියයි. ගල්ගමුව, ගල්ලෑව, ගලපිටදිගන පදිංචිව සිටි ඩබ්ලිව්.එම්. නිමල්  හේරත් වන්නිනායක (අවුරුදු 41) හා ගල්ගමුව, ගල්ලෑව, නිතලව පාර, ඔරුගලකන්ද පදිංචිව සිටි පී.එම්. පියදාස (අවුරුදු 65) යන දෙදෙනා මෙසේ මරණයට පත්ව ඇති බව මරණ සම්බන්ධයෙන් කළ හදිසි මරණ පරික්ෂණවලින් අනාවරණය වී තිබේ.

නිමල් හේරත් යන අය අවිවාහකයකු බවත් පියදාස නමැති අය එක් දරු පියකු බවත් පරික්ෂණවලදී හෙළි වී තිබේ.  ගල්ගමුව, බුළුගොල්ල ප්‍රදේශයේ අලුතින් ඉදිකරන නිවසක කුලියට අත්තිවාරම් කැපීමට මේ දෙදෙනා ඇතුළු දහ දෙනකු පෙරේදා (27) උදේ එහි ගොස් ඇති බවත් හවස ආපසු නිවෙස්වලට එමින් සිටියදී ඔවුන් දෙදෙනා අනතුරට ලක්ව ඇති බවත් පරික්ෂණවලදී හෙළි වී තිබේ.  පාපැදිවල නැගී පස් දෙනකු මුලින් ගොස් ඇති අතර අනෙක් පස් දෙනා පසුව ගොස් ඇති බවත් අනතුරට ලක්ව ඇති දෙදෙනා පසුව ගමන් කළ කණ්ඩායමේ සිට ඇති බවත්  මරණ පරික්ෂකවරයා කීය. ඔවුන් වෙන වෙනම පාපැදිවල ගමන්කොට ඇති බවත් පැවසේ.

පිරිස දේවගිරිය රජමහ වෙහෙර පසුකොට මීටර් 100ක් පමණ දුරට යනවිට ඉදිරියෙන් පැමිණි තනි අලියකු මේ දෙදෙනාට පහර දී ඇති බවත් අනෙක් තිදෙනා දුවගොස් බේරි ඇති බවත් පරික්ෂණවලදී අනාවරණය වූ බව හදිසි මරණ පරිකවරයා කීය. ගල්ගමුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුජීව නාලක ද සොයිසා  මහතා ඇතුළු නිලධාරින්ගේ මැදිහත්වීමෙන් වල් අලියා පලවා හැර සිරුරු ගල්ගමුව මූලික රෝහලේ මෘත ශරීරාගාරයට රැගෙනවිත් තිබේ.  මේ දෙදෙනා සමග එකට ගමන් කළ ගල්ගමුව, මඩදොඹේ පදිංචි ආර්.එම්. ඒකනායක මහතා මෙසේ කීය.  “අපි දහදෙනෙක් ඊයේ (27) උදේ අත්තිවාරම් කපන්න ගියා. නේවි එකේ වැඩ කරන මහත්තයකුගේ අත්තිවාරමක් තමයි කැපුවේ. හවස හතර හමාරට විතර වැඩ ඉවර වුණා. 

පස්දෙනෙක් අපට කලින් ගියා.  අපි පස් දෙනාගෙන් ඉස්සරහින් බයිසිකලේ පැදගෙන ගියේ මම. ඒ යනකොට දේවගිරිය පන්සල පහුකරලා ටික දුරක් ගියා විතරයි .මං දැක්කා අලියෙක් මට අඩි විස්සකට විතර ඉස්සරහින් ඉන්නවා. ඌ අපේ ඉස්සරහට දුවගෙන ආවා. මා ඉක්මනින්ම පාරේ අයිනේ කානුවට බැහැලා මුනින් අතට නිදාගත්තා.   අලියට මාව හොයාගන්න බැරිව ඉස්සරහට හියා. මා හෙමිහිට නැගිටලා ළග තිබුණ ගෙදරකට ගියා. ඒත් එක්කම ගෙදර අයිති කෙනාට කෝල් එකක් ආවා පාරේ ගිය දෙදෙනකුට අලි ගහලා කියලා. පස්සේ මං ඒ  පුද්ගලයා සමග පාරට ඇවිත් ටෝච් ගහලා බලද්දි පියදාසයි, නිමලුයි පාරේ වැටිලා ඉන්නවා. ඒ දෙන්නා ඒ වන විටත් මියගොස් සිටියේ."


-නිහාල් ජයවීර-


මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන ඉදිකිරීම් කටයුතු ආරම්භ කෙරේ


 

මධ්‍යම අධිවේගී මාර්ගයේ කඩවත සිට මීරිගම දක්වා වන කිලෝමීටර් 37ක දුරින් යුත් පළමු අදියරෙහි ඉදිකිරීම් කටයුතු මේ වන විට ආරම්භ කර ඇති බව එම ව්‍යාපෘති අධ්‍යක්ෂ කාර්යාලය සඳහන් කරයි. වසර හතරක කාලයක් තුළ මෙහි ඉදිකිරීම් අවසන් කිරීමට සැලසුම් කර ඇති බවත්, මෙම පළමු අදියර සදහා චීනයේ එක්සිම් බැංකුවෙහි සහන ණයක් මත රුපියල් බිලියන 158ක මුදලක් වැය කෙරෙන බවත් ව්‍යාපෘති අධ්‍යක්ෂ ඩබිලිව්.කේ. කොඩිතුවක්කු මහතා පැවසීය. අධිවේගී මාර්ගයේ කඩවත අන්තර් හුවමාරුව ආසන්නයන් මධ්‍යම අධිවේගී මාර්ගය ආරම්භ කිරීමේදී මීටර් 23ක් උසැති කුලුනු මතින් මාර්ගය ඉදිකෙරෙන අතර, කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි කිලෝමීටර් 13ක දුරක් කුලුනු මතින් ඉදිකරනු ලබයි.

කඩවත සහ මීරිගම අතර අන්තර් හුවමාරු ස්ථාන හතරකින් සමන්විත වනු ඇත. එය ගම්පහ සිට අධික වාහන සංඛ්‍යාවක් අධිවේගී මාර්ගයට එක්වීම සැලකිල්ලට ගනිමින් ගම්පහ උතුර, ගම්පහ දකුණ, වේයන්ගොඩ සහ මීරිගම වශයෙන් නම් කර ඇත.

ගම්පහ - ජා-ඇළ මාර්ගයෙහි අකරවිට ප්‍රදේශයෙන් ඉදිවන ගම්පහ දකුණ හුවමාරුවෙන් ගම්පහ සිට කොළඹ දෙසට ගමන් ගැනීමටත්, කොළඹ දෙස සිට ගම්පහ නගරයට පිවිසීමටත් හැකි වන අතර, ගම්පහ යක්කල මාර්ගයේ බණ්ඩාරනායක විදුහලට නුදුරු ආනන්ද මාවත අසලින් ඉදිවන ගම්පහ උතුර හුවමාරුවෙන් කොළඹ දෙසට සහ මහනුවර ඇතුළු සියලුම දිසාවන්ට ගමන් කිරීමට හැකි වනු ඇත.

ගම්පහ අන්තර් හුවමාරු ඔස්සේ වැඩි රථ වාහන සංඛ්‍යාවක් ගමන් ගැනීම සැලකිල්ලට ගෙන ගම්පහ යක්කල මාර්ගයත්, ගම්පහ-මිරිස්වත්ත මාර්ගයත් මන්තීරු හතරකින් සමන්විත වන ලෙසින්ද, ආනන්ද මාවත සහ කල්‍යාණි මාර්ගය මංතීරු දෙකක් වන ලෙසින්ද පුළුල් කිරීමට සැලසුම් කර ඇති බව ව්‍යාපෘති නියෝජ්‍ය අධ්‍යක්ෂ ඒ.එම්. රාෆි මහතා සදහන් කළේය. 

ආනන්ද මාවත සහ කල්‍යාණි මාර්ගය පුළුල් කිරීමේදී දෙපස පදිංචිකරුවන්ට හානිය අවම වන ලෙසින් අත්පත් කර ගැනීම සිදු කිරීමට සැලසුම් කර ඇති අතර, එම මාර්ග දෙක සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් මාර්ග සංවර්ධන අධිකාරිය මගින් පාරිසරික හා සාමාජීය අධ්‍යයනයක් සිදු කරමින් පවතී.

මෙම ව්‍යාපෘතියට සමගාමීව ගම්පහ - නව මිනුවන්ගොඩ මාර්ගයද උඩුගම්පොළ දක්වා මංතීරු හතරකින් සමන්විත වන ලෙසින් පුළුල් කර සංවර්ධනය කිරීමට සැලසුම් කර ඇති බව නියෝජ්‍ය අධ්‍යක්ෂ රාෆි මහතා පැවසීය.

කඩවත සිට මීරිගම දක්වා වන කොටසෙහි ඉදිකිරීමේ කටයුතු මාර්ග සංවර්ධන අධිකාරියෙහි අධීක්ෂණය මත මෙට්රෝ ලොජිකල් කෝපරේෂන් චයිනා සමාගම මඟින් සිදුකරනු ලබයි.


- තිලකරත්න දිසානායක -


කඩ සාප්පු වසා දමා යාපනේ හර්තාල් : ත්‍රිමලේ නෑ

දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් වෙනුවෙන් රජය කරන බලපෑම් නවතා දමන ලෙස ඉල්ලමින් උතුරු පළාතේ  වෙළඳ ව්‍යාපාරිකයෝ කඩසාප්පු වසාදමා ඊයේ (28) හර්තාලයක නිරතවූහ. වවුනියාව, මුලතිව්, කිලිනොච්චිය, මන්නාරම හා යාපනය දිස්ත්‍රික්කවල හා  මඩකලපුවේ මෙම හරිතාලය ක්‍රියාත්මක විය. ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ ද මෙම හර්තාලය ක්‍රියාත්මක කරන ලෙස කොටි හිතවාදීන් මුහුණු පොත හරහා පුළුල් ප්‍රචාරයක් කර තිබුණද  ජනතාව ඊට අනුකූලතාවක් නොදැක්වීම නිසා එය කඩාකප්පල් වූ බවක් දක්නට ලැබිණි.  ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ දෙමළ පාසල් කීපයක පමණක් සිසුන්ගේ පැමිණීමේ අඩුවක් හැරෙන්නට අනෙකුත් සියලුම පාසල් කටයුතු සාමාන්‍ය පරිදි සිදුවිය. දෙමළ ව්‍යාපාරික ප්‍රජාව  සිය වෙළෙඳසල් විවෘතකර සාමාන්‍ය පරිදි පවත්වාගෙන යනු දක්නට ලැබිණි.

හිටපු එල්.ටී.ටී.ඊ. නායකයකු වූ ත්‍යාගදීපන් තිලීපන් නමැත්තාගේ 33 වැනි ගුණ සැමරුම් සතිය නිමිත්තෙන් සැමරුම් සිදුකිරිම තහනම් කරමින් උතුරු පළාතේ අධිකරණ තහනම් නියෝග නිකුත් කර තිබූ අතර ඊට විරෝධය දැක්වීම සඳහා මෙම හර්ෂතාල් ව්‍යාපාරය ආරම්භ කළ බවද දෙමළ දේශපාලන නියෝජිතයෝ පවසති.  අත්‍යවශ්‍ය භාණ්ඩ මිලට ගැනීමට නොහැකිව පීඩාවට පත්ව සිටි වවුනියාව ජනතාව පොලිස් නිලධාරීන්ගෙන් කළ ඉල්ලීමක් මත නගරයේ වසා දමා තිබූ අත්‍යවශ්‍ය භාණ්ඩ අලෙවිසල් ගණනාවක හිමිකරුවන් සමග පොලිස් නිලධාරින් සාකච්ඡාකර මහජනතාව සඳහා විවෘත කිරීමටත් පියවර ගැනීමෙන් අනතුරුව පෙරවරු 11.00 පමණ වන විට නගරයේ එම වෙළෙඳසල් විවෘත කර තිබිණි.

වසා තිබෙන වෙළෙඳ ව්‍යාපාරික ස්ථාන විවෘත කරන ලෙස පොලීසිය ශබ්ද විකාශනය යන්ත්‍ර මගින් වෙළඳුන්ගෙන් ඉල්ලා සිටි අතර සියලු දෙනාගේ ආරක්ෂාව වෙනුවෙන් කටයුතු කරන බවද පොලිසිය වෙළඳුන්ට දැනුම් දුන්නේය. ඒ අනුව වවුනියාව නගරයේ පොදු වෙළඳපොළ, මාළු වෙළෙඳසල්, ඖෂධ අලෙවිසල් හා ආපන ශාලා ඇතුළු අත්‍යවශ්‍ය භාන්ඩ අලෙවිසැල් විවෘත කිරීමට පියවර ගැනිණි.  උතුරු පළාත තුළ හරිතාලය ක්‍රියාත්මක වුවද සියලු දිස්ත්‍රික්කයන් හි පොදු ප්‍රවාහනය හා රාජ්‍ය ආයතන සුපුරුදු පරිදි විවෘතව තිබු අතර හලය හේතුවෙන් පාසල්වලට සිසුන්ගේ පැමීණිමේ අඩුවක් පැවැති බව උතුරු පළාත් අධ්‍යාපන බලධාරිහු පැවසූහ.

මඩකලපුවේද වාලච්චේන, සෙන්ගලඩි, කලවංචිකුඩු ඇතුළු දෙමළ ජනතාව පදිංචි ප්‍රදේශවල ව්‍යාපාරික ස්ථාන වසාදමා තිබිණි. පාසල් කටයුතුවලට ද මෙම හරිතාලයෙන් බලපෑම් එල්ල වී තිබූ අතර රජයේ කාර්යාල සාමාන්‍ය පරිදි විවෘත කර තිබිණ.  තම ව්‍යාපාරික ස්ථාන, පාසල් හා රාජ්‍ය ආයතන විසාදමා හර්තාලයට සහයෝගය පළකරන ලෙස දෙමළ ජාතික සංධානය ඇතුළු පක්ෂ කිහිපයක් හා සිවිල් සංවිධාන රැසක් උතුරේ රාජ්‍ය ආයතන හා ව්‍යාපාරිකයන්ගෙන් ලිඛිතව ඉල්ලීමකර තිබිණි.


ප්‍රී ෂූට් කතාව මාධ්‍යවල පළවීමෙන් පසු මරණ තර්ජන

ප්‍රී ෂූට් කතාව මාධ්‍යවල පළටීමෙන් පසු එම සිද්ධියේ තොරතුරු මාධ්‍යයට ලබා දුන්නේ යැයි දුරකතන ඇමතුමක් දෙමින් තමන්ට මරණ තර්ජනයක් සිදුකළේ යැයි පුද්ගලයකු පැමිණිලිකර ඇතැයි හක්මන පොලිසිය පවසයි.

පැමිණිලිකරු විසින් ප්‍රී ෂූටි සිද්ධියට අදාළ ඡායාරුප සංස්කරණය කර ඇති බවට චෝදනා කරමින් එම සිද්ධිය සම්බන්ධ තොරතුරු මාධ්‍ය ආයතනයකට ලබාදීම සිදුකර ඇති බවට බැණවැදී ඉකුත් විසිපස් වන දින රාත්‍රී මරණ තර්ජන එල්ල කළ බවට පැමිණිලිකරු සඳහන් කර ඇති බව පොලිසිය කියයි.

දුරකතන ඇමතුම ලබාදෙන ලද අංකයට ඇමතීමෙන් ප්‍රතිචාර නොදක්වන අතර අධිකරණයට කරුණු වාර්තා කර දුරකතන විශේෂණ වාරිතාවක් ලබාගෙන සැකකරු අත්අඩංගුවට ගැනීමට නීතිමය පියවර ගන්නා බව පොලිසිය පවසයි. හක්මන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක නලින් වීරවර්ධන මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර විමර්ශන සිදුකරයි.

- යසන්ත ආරියසේන -

හිටපු එස් එස් පී ඡන්දෙට තරඟ කළ පසු සේවයට අරන්

හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රිශාන්ත ජයකොඩි මහතා 2015 වසරේදී එක්සත් ජාතික පක්‍ෂයෙන් මැතිවරණයට තරඟ කිරීමෙන් පසුව පොලිස් කොමිසම ඔහු නැවත පොලිස් සේවයට බදවාගෙන ඇති බව කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා ඊයේ (28) පැවැසීය.

මේ වනවිට එය ගැටලුවක් වී තිබෙන බවත් එම පත්කිරීම වැරැදි බව වැඩ බලන පොලිස්පතිවරයා පවා පිළිගෙන ඇති බවත් ඔහු කීවේය. බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු ප්‍රධාන කාර්යාලයේදී ඊයේ (28) පැවැති මාධ්‍ය හමුවකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය. 

එහිදී අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළේ 19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයෙන් ඇතැම් පත්කිරීම් වැරැදි බවට කොමිෂන් සභා විසින් පිළිගෙන තිබෙන බවය. 

තමන්ට වැඩ කිරීමට ජනාධිපතිවරයා, අගමැතිවරයා හා කතානායකවරයා ඉඩ නොදුන් බවට මැතිවරණ කොමිසමේ කාර්ය සාධක වාර්තාවේ සඳහන් වන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී මධුර විතානගේ මහතා සඳහන් කළේය. මහජන මුදලින් කොමිෂන් සභා නඩත්තු කිරීම හැරුණුවිට සිදුවූ වෙනත් දෙයක් නැතැයි ද ඔහු පැවැසීය.

- නාලක සංජීව දහනායක -

පොලසිය බුදි : කළුබෝවිල රෝහලේ මිනී ගොඩනැහෙයි

 


කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාගාරයේ ශීතකරණ තිස්හයෙන් ශීතකරණ විසි හතකම හඳුනා නොගත් සිරුරු වසර දෙකක පමණ කාලයක සිට තත්පත් කර තිබීමත් දෛනිකව පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමු කෙරෙන සිරුරු තැන්පත් කිරීමට හෝ පහසුකම් නොමැතිව, කාර්ය මණ්ඩලය සහ ජනතාව දැඩි අපහසුතාවට පත්ව ඇතැයි රෝහල් ආරංචිමාර්ග පවසයි.  වාර්තා වූ සැණින්, හඳුනා නොගත් සිරුරු මෘත ශරීරාගාරයට යොමු කරනවා විනා, ඒ පිළිබඳව පසුවිපරම් කොට, පශ්චාත් මරණ පරික්සණ පවත්වා මෘත දේහ ඥාතීන්ට බාරදීමට පොලීසිය දක්වන උදාසීන බව මීට  හේතු වී ඇතැයි ද එම ආරංචි මාර්ග  වැඩිදුරටත් කියා සිටී. මේ අතර, හෝමාගම පොලිස් වසමත් 2018.06.26 වැනිදා රැගෙන ආ මළ සිරුරක් ද, 2017.08.08 දින පානදුරෙන් රැගෙන ආ මළ සිරුරක්ද, 2019.10.05 දින පිළියන්දලින් රැගෙන ආ මළ සිරුරක්ද                                                                                     මෙම ශීතකරණවල තිබෙන බව පැවසේ.

ඊට අමතරව මිරිහාන පොලිස් වසමෙන් මළ සිරුරු 04 ද, ගල්කිස්සෙන් 03 ද, මහරගමින්  03 ද, බොරලැස්ගමුවෙන් 02 ද, පිළියන්දලින් 03 ද, මොරටුවෙන් 02 ද, කහතුඩුවෙන් 01 ද, මොරටුමුල්ලෙන් 01, කොහුවලින් 03, මීගොඩින් 01, වැල්ලවත්තෙන් 01 ලෙස හඳුනා නොගත් මළ සිරුරු 27ක් මේ වනවිට තැත්පත් කර ඇති බව ජොලිසිය කියයි.මෙහි ඇති ශීතකරණ 36න් ශීතකරණ විසිහතක් මේ සඳහා වෙන් කළ විට, ඉතිරිව ඇති ශීතකරණවලින් 02ක් වැදමහ තැත්පත් කිරීමට ද තවත් 03ක් ශල්‍යාගාර පහසුකම් සඳහා ද වෙන් වූ විට ඉතිරිව ඇත්තේ ශීතකරණ හතරක් පමණක් බැවින් ඒවා  දෛනික සේවා සැපයීමට ප්‍රමාණවත් නොවන බවද පැවසේ. එක ශීතකරණයක සිරුරු දෙක බැගින් තැපත් කිරීමට හැකියාවක් නැති බවද රෝහල් අභ්‍යන්තර ආරංචිමාර්ග පවසයි.

සාමාන්‍යයෙන් දිනකට සිරුරු 6-8 අතර ප්‍රමාණයක් පශ්චාත් මරණ පරීක්ෂණ සඳහා යොමු කරන අතර ඇතැම් අවස්ථාවලදී එම සිරුරු  තැත්පත් කිරීමට පවා පහසුකම් නොමැතිවීමෙන් බාරකරුවන් පැමිණෙන තෙක් ට්‍රොලියක් මත තැබීමට සිදුවන බව ද කියා සිටි.. මේ පිළිබඳව අවස්ථා ගණනාවකදී පොලිසියේ බලධාරීන් දැනුවත් කර ඇතත් පිට ස්ථිරසාර විසඳුමක් මෙතෙක් නොලැබීම කනගාටුවට කරුණක් බව එම ආරංචිමාර්ග අවධාරණය කරයි. මෙම තත්ත්වය තවදුරටත් පැවතියහොත් කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරිරාගාරයට ඉදිරියේදී රැගෙන එන හඳුනා නොගත් සිරුරු බාර නොගැනීමේ අවදානමක් මතුව ඇති බවද පැවසේ.

විවිධ පොලිස් වසම්වලින් රැගෙන එන  හඳුනා නොගත් සිරුරු පමණක් කොළඹ ජාතික රෝහලේ මෘත ශරීරාගාරයට යැවීමට  සිදුවන බවත් එසේ වුවහොත් ජනතාව දැඩි අසීරුතාවකට ලක්විය හැකි බවත් රෝහල් ආරංචිමාර්ග පවසයි. මේ පිළිබඳව කළුබෝවිල ශික්ෂණ රෝහලේ බලධාරියකුගෙන් විමසූවිට ඔහු මෙසේ කීය.  “මෙම කාරණය ඇත්ත. දැනට කළුබෝවිල ශික්ෂණ රෝහලේ මෘත ශරීරාංගාරයේ හඳුනා  නොගත් මළ සිරුරු විසිහතක් තිබෙනවා. මේ නිසා දෙනික වැඩ කටයුතුවලට බාධා එල්ල  වෙලා තියෙන්නෙ . මේ තත්ත්වය අද විතරක්  නෙමෙයි කාලෙක සිට පවතින දෙයක්. මෙම සිරුරු හැකි ඉක්මනින් නිදහස් කරන්නට ක්‍රමවේදයක් එනවා නම් හොඳයි. අපි ළග තියෙන්නේ 2000 වසරට කලින් ලැබුණු ශීතාගාර. එහි සිරුරු දෙකක් තැත්පත් කිරීමට පහසුකම් නෑ. ඒ නිසා එක ශීතකරණයක එක සිරුරයි තැත්පත් කරන්න පුළුවන්. මේ පිළිබඳව පොලිසියේ ඉහළ බලධාරීන් දැනුවත් කරලා තිබෙනවා. ඉතා ඉක්මනින් විසඳුමක් ලැබේවි කියා හිතනවා.

-ශාන්ත ප්‍රදීප් කුමාර-

ලොව පුරා COVID-19 මරණ ලක්ෂ 10 ඉක්මවයි


නව කොරෝනා වෛරස (COVID-19)වසංගතය හේතුවෙන් ලොව පුරා මරණයට පත්ව ඇති සංඛ්‍යාව ඊයේ (28දා) දිනය ආරම්භයේදීම ලක්ෂ 10ක් හෙවත් මිලියනයේ සීමාව ඉක්මවීය. එක්සත් ජනපදයේ ජොන්ස් හොප්කින්ස් විශ්වවිද්‍යාලයේ නව කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයේ දත්ත අනුව මෙම අගය ලැබී තිබේ.

ඒ අනුව පසුගිය වසරේ දෙසැම්බර් මාසයේදී චීනයේ වුහාන් පළාතෙන් ආරම්භ වූ මෙම වෛරසය මාස 10 කට ආසන්න කාලයක් තුළ මෙලෙස ලක්ෂ 10ක පිරිසක් මරණයට පත්කර තිබේ. මේ අතරින් මුල් මරණ ලක්ෂ 5ක වාර්තා වීම සඳහා මාස 6ක් ගත වී තිබීමත්, ඉතිරි ලක්ෂ 5 සඳහා ගතව ඇත්තේ මාස 4ක් පමණක් වීමත් මෙහි ඇති බරපතළ තත්ත්වය වී තිබේ. කෙසේ වෙතත් මෙම මිලියනයක සංඛ්‍යාව සෑම රටක්ම පාහේ නිල වශයෙන් නිකුත් කර ඇති තොරතුරු දත්ත අනුව සකස් කෙරුණක් වන අතර, ඇතැම් විට මේ වසරේ ජනවාරි සිට මාර්තු දක්වා (වසංගතය ලොව පුරා ව්‍යාප්ත වීම ආරම්භ වූයේ මාර්තු මාසයේදීය.) කාලය තුළ සිදු වූ මරණ අතරින්ද සැලකිය යුතු ප්‍රමාණයක් COVID-19 හේතුවෙන් සිදුවූ ඒවා බවට විශ්වාස කෙරේ. ඒ අනුව මෙම මරණ මිලියනය මීට කලින් සම්පුර්ණ වීමට තිබූ අවස්ථාවක් විය හැකි බවද ඇතැම් දෙනාගේ අදහස වී තිබේ. වාර්තාවලට අනුව මේ වනවිට COVID-19 වසංගතය ලොව ස්වයං පාලන ප්‍රදේශ ඇතුළුව රටවල් 210ක් පුරා ව්‍යාප්ත වී තිබේ. එසේම එය මේ දක්වා ලොව බිලියන 7කට අධික සමස්ත ජනගහනයෙන් මිලියන 32ක පිරිසක් ආසාදිතයන් බවට පත් කිරීමටත් සමත්ව තිබේ. එසේම පළමු වැනි රැල්ල නිමා වීමෙන් අනතුරුව මේ වනවිට යුරෝපය ඇතුළු තවත් රටවල් කිහිපයක්ම නව කොරෝනා දෙවැනි රැල්ලෙන්ද බැට කමින් සිටියි. එහිදී එළඹෙන ශීත ඍතුව දැඩි අවදානමක් මතු කර තිබෙන අතර, සාමාන්‍යයෙන් බටහිර රටවලදී එම කාලසීමාවේදී මතු වන ඉන්ෆ්ලුවෙන්සා උණ නිසා සිදුවන මරණ සමඟ මෙවර නව කොරෝනාවේ මරණද ඉහළ යා හැකි බව පුරෝකථනය කෙරී ඇත. ඒ අනුව ඒ සඳහා එම  රටවල් මේ වනවිටත් සුදානම් වෙමින් සිටියි.

COVID-19 නිසා මරණයට පත් වූ මෙම මිලියනය අතරින් වැඩි පිරිසක් වයස අවුරුදු 80ට වඩා වැඩි වයසේ පසුවන්නන්ය. එසේම පිළිකා, ශ්වසන ආබාධ ඇතුළු විවිධ දිගුකාලීන රෝගාබාධ තිබූ පිරිස්ද මෙහිදී මරණයට පත්ව ඇත. ඊට අමතරව මැදි වයසේ පසුවන්නන් සැලකිය යුතු ප්‍රමාණයක්ද මෙහිදී මරණයට පත්ව තිබේ. කෙසේ වෙතත් තරුණ වයසේ පසුවන්නන් සහ දරුවන් මෙම වෛරසයෙන් මරණයට පත්වීම අඩු මට්ටමක පවතී. එහෙත් ඔවුන් සම්බන්ධයෙන් පවතින අවදානම ඉහළ බව සෞඛ්‍ය විශේෂඥයන් සඳහන් කර සිටියි. මේ දක්වා වාර්තා වී ඇති නව කොරෝනා හා සම්බන්ධ ආසාදනය වීම් සහ මරණයට පත්වීම් අතරින් වැඩිම ප්‍රමාණය සටහන්ව ඇත්තේ එක්සත් ජනපදය, ඉන්දියාව සහ බ්‍රසීලය අතරයි. ඒ අතරින් ආසාදිතයන්ගෙන් මිලියන 15ක්ම මෙම රටවල් අතර බෙදී ගොස් ඇත. එසේම මෙම මරණ මිලියනය අතරින්ද හාරලක්ෂ හතළිස් දෙදහසකට අධික සංඛ්‍යාවක් වාර්තා වන්නේ මෙකී රටවල් තුන අතරිනි.

මෙම රටවල් අතරින් එක්සත් ජනපදය තුළ නව කොරෝනා වසංගත තත්ත්වය පාලනයකින් තොර මට්ටමකට පත්ව තිබේ. එහිදී රටෙහි ජනාධිපතිවරයා ඇතුළු පරිපාලනයේ අත්තනෝමතික තීරණ ඊට හේතු වී තිබෙන බව විචාරකයෝ සඳහන් කරති. මේ තත්ත්වයත් සමඟ ඊයේ දිනය වනවිට එක්සත් ජනපදයේ සමස්ත ආසාදිතයන් සංඛ්‍යාව ලක්ෂ 70ක් බවට පත්ව තිබූ අතර, මරණ සංඛ්‍යාව 208,000ක් ඉක්මවා තිබේ. එසේම මේ වනවිට එරට දෛනික ආසාදිතයන් 55,000කට අධික පිරිසක් හමුවන බවත් පැවසෙයි.


එළුගාලක මුවාවෙන් ගෙනගිය වල්ලාපට්ටා නිස්සාරන මධ්‍යස්ථානයක් වැලිගමින් අල්ලයි

වැලිගම, දෙනිපිටිය ප්‍රදේශයේ එළුගාලක් කරගෙන යන මුවාවෙන් බලපත්‍ර රහිතව මහා පරිමාණ වල්ලපට්ටා නිස්සාරන මධ්‍යස්ථානයක් වටලා වල්ලාපට්ටා කිලෝ 446 ක් අම්බර කිලෝ 50 කට අධික ප්‍රමාණයක් සහ ඒවා නිෂ්පාදන සදහා යොදා ගන්නා උපකරණ තොගයක් සමඟ හිමිකරුගේ පුත‍්‍රයා පෙරේදා (27) පස්වරුවේ සැකපිට ප්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව දෙනියාය පොලිස් විශේෂ කාර්ය බළකා කඳවුර පවසයි .

ගුවන් හමුදා බුද්ධි අංශයට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් සැකකරු 22 හැවිරිදි කපුවත්ත, දෙනිපිටිය ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු බව විශේෂ කාර්ය බළකා කඳවුරෙහි අණදෙන නිලධාරි පී.කේ දිනුක ගයාන් මහතා පැවසීය.

නිෂ්පාදනාගාරය පවත්වාගෙන යෑම සඳහා බලපත්‍ර සම්බන්ධ විශේෂ කාර්ය බළකායේ නිලධාරින් හිමිකරුගේ පුතාගෙන් ප්‍රශ්න කිරිමේදී තනි පුද්ගල ව්‍යාපාර ලියාපදිංචි කිරීමේ බලපත්‍රයක් පෙන්වා ඇති බවත් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අවසරයකින් හා බලපත්‍රයකින් තොරව එවැන්නක් සිදුකරගෙන යා නොහැකි බවත් විශේෂ කාර්ය බළකායේ නිලධාරිහු පවසති.

යන්ත්‍රානුසාරයෙන් වල්ලා පට්ටා සිහින්ව කපා විශාල බොයිලේරු යොදාගෙන ඒවායින් ලබා ගන්නා යුෂ හොර රහසේ මුහුදු මාර්ග ඔස්සේ ඉන්දියාවට යැවෙන බව පැවසේ.

අත්අඩංගුවට ගන්නා වල්ලාපට්ටා වැඩිදුර විමර්ශන කටයුතු සඳහා අකුරැස්ස අඩවි වන තිලධාරි කාර්යාලයට භාරදී ඇති අතර අම්බරු තොගය වනජීවී කාර්යාලය වෙත බාර දුන් බව විශේෂ කාර්ය බළකාය පවසයි. 


- එස් ඩී කොඩිකාර -

දක්ෂිණ අධිවේගියේ හම්බන්තොට කොටසේ ඉදිකෙරෙන නව විදුලි වැටට විරෝධය

දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට කොටසේ ඉදිකරන්මින් පවතින නව විදුලි වැටට විරෝධය පළ කිරිමේ උද්ඝෝෂණයක් ඉකුත් 25 වැනි දින හම්බන්තොට වල්සපුගල ප්‍රදේශයේ දී පැවැත්විණි. මෙම විරෝධතාව සඳහා හම්බන්තොට හා සූරියවැව යන ප්‍රදේශවල ගොවි  පවුල් රැසක් සහභාගි වී සිටියහ. විරෝධතාකරුවන් පවසන්නේ වල් අලීන්ගෙන් අධිවේගී මාර්ගය ආරක්ෂා කර ගැනීම සඳහා මේ වන විට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් වඩා ශක්තිමත් නව විදුලි වැටක් ඉදි කරමින් පවතින බවයි. වල් අලීන් 200කට ආසන්න ප්‍රමාණයක් ගොවිබිම් වල සැරි සරද්දී ඒ සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඉදි කරමින් පවතින තව විදුලි වැටී නිසා සූරියවැව හා හම්බන්තොට යන ප්‍රදේශවල ගොවි පවුල් 3500ක් පමණ දැඩි අනාරක්ෂිත තත්වයට පත් වෙන බව විරෝධතාකරුවෝ පවසති.

විරෝධතාවට එක්වූ වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ ප්‍රධාන ලේකම් සමන් සුදර්ශන මහතා පවසතේ ඉදිකරමින් පවතින නව විදුලි වැට නිසා අලි මිනිස් ගැටුම බරපතළ තත්ත්වයකෙට පත් වෙමින් පවතින බවයි.  අධිවේගී මාර්ගය විවෘත කිරීමට පෙර මාර්ග සංවර්ධන අධිකාරිය මගින් හම්බන්තොට ප්‍රදේශය ආවරණය කරමින් විදුලි වැටක් ඉදි කොට තිබෙනවා. ඒ සදහා මහජන මුදල් කෝටි ගණනක් වෑය කළා. ඒ වැට අසාර්ථක බව පවසමින් නැවතත් විදුලි වැටක් අධිවේගී මාර්ගය මදපස ඉදි කරන්නට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර අරන් තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් බලන්නේ  අධිවේගී මාර්ගයේ ආරක්ෂාව ගැන පමණයි. 

මේ ප්‍රදේශවල ඉන්න 8000 කට ආසන්න ගොවි පවුල්වල ආරක්ෂාව ගැන ඔවුන් සැලකිලිමත් වෙන්නේ නෑ.  රක්‍ෂිතවල සිටී වල් අලින් 200ට ආසන්න ප්‍රමාණයක් දැන් ගොවිබිම්වල සැරි සරනවා. වල් අලින් දිනපතා ගොවි බිම් විනාශ කරනවා. නිවාස කුඩු පට්ටම් කරනවා. අහිංසක මිනිසුන් මරණවා. මෙම විදුලි වැට ඉදිකිරීමත් සමග වල් අලීන් තව දුරටත් ගම්බිම්වලට කොටු වෙනවා.  අපි හැමෝටම වල් අලින් ගේ පහර කෑමට ලක් වෙන්න වෙනවා. මේ නිසා අධිවේගී මාර්ගයේ ඉදි කරමින් පවතින නව විදුලි වැටට අපි විරෝධය පළ කරනවා.  සමන් සුදර්ශන මහතා වැඩි දුරටත් පවසා සිටියේ ගම් වැදී සිටින වල් අලීන් 200 ක් පමණ ප්‍රමාණය රක්ෂිත වලට පළවා හැරීමෙන් තොරව නව විදුලි වැට ඉදි කරන්නට තමන් ඉඩ නොදෙන බවයි. 

ගම් වැදී සිටින වල් අලින් රක්ෂිතවලට පළවා හැර රක්ෂිත වටේ නව විදුලි වැටවල් ගසා ගොවි ජනතාව ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසට තමන් බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවද සමන් සුදර්ශන මහතා පැවසීය. මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග 04 ව්‍යාපෘති අධ්‍යක්ෂක ඒ.පී.කේ. අබේධීර මහතා පැවසුවේ අධිවේගී මාර්ගයේ ආරක්ෂාව සඳහා නව විදුලි වැට ඉදි කළ යුතු එකක් ම බවයි. අධිවේගී මාර්ගයට වල් අලීන් පැමිණීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බව ඔහු පැවසීය. කෙසේ වුවද ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ගැටලු ගැන ද අවධානය යොමු කොට තව විදුලි වැට ඉදිකිරිමට කටයුතු කරන ලෙසට ඉහළ නිලධාරින් දැනුම්වත් කරන බවද ඔහු පෑවසීය.

-චන්ද්‍රෙස්න ගමගේ-




අනාගතය අවිනිශ්චිතයි - ඉන්දියාවේ නව කොරෝනා ආසාදිතයින් මිලියන 06ක්


 

ඉන්දියාව COVID-19 වෛරසය ආසාදිතයන් මිලියන 6ක් ඉක්මවා ගියේ, ගෙවීගිය දිනයේ නව ආසාදිතයන් 82,170ක් වාර්තා කරමිනි. ඉන්දියාවේ සෞඛ්‍ය අමාත්‍යාංශයට අනුව ආසාදිතයන් මිලියන 6.1ක් ලෙස මේ වනවිට සටහන් වන අතර, වැඩිම ආසාදිතයන් සංඛ්‍යාවක් සිටින රට ලෙස ඉන්දියාව ඉදිරි සතිවලදී එක්සත් ජනපදය පසුකර යනු ඇති බව විෂ්ලේෂකයෝ පෙන්වා දෙති.

එසේම COVID-19 මරණ ගෙවීගිය දිනය තුළ 1,039කින් ඉහළ ගොස් මේ වනවිට සමස්ත මරණ සංඛ්‍යාව 95,542ක් දක්වා ඉහළ ගොස් තිබේ. එය සමස්ත ආසාදනවලින් 1.6%ක අගයකි.

බිලියන 1.3ක ජනගහනයක් ජීවත් වන ඉන්දියාව, ලෝකයේ වඩාත්ම ජනාකීර්ණ නගරවල නිවහනක් වන අතර, COVID-19 රෝගීන් විශාල සංඛ්‍යාවක් වාර්තා කරනු ඇතැයි කියා වසංගතය පැතිරීම ආරම්භ වන විටම ඉඟි කෙරුණු රාජ්‍යයකි.

අගෝස්තු අග සිට ලෝකයේ ඉහළම දෛනික ආසාදන වාර්තා කිරීමට පටන් ගත් දා සිට ඉන්දියාව දිනකට නව ආසාදිතයන් 80,000ත් 90,000ත් අතර ප්‍රමාණයක් එක් කරමින් සිටියි.

ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි පෙරේදා (27දා) ජනතාවගෙන් ඉල්ලා සිටියේ තම නිවෙස්වලින් පිටතට යන විට මුඛ ආවරණ පැලඳ සිටින ලෙසය. 

"මේ නීති කොරෝනාවට එරෙහි යුද්ධයේ ආයුධයි. සෑම පුරවැසියෙකුගේම ජීවිතය බේරා ගැනීමට ඒවා ප්‍රබල මෙවලම් වෙනවා” යැයි මෝදි සිය මාසික ගුවන් විදුලි ඇමතුමේදී පැවසීය. නව කොරෝනා වෛරසය මුලදී මුම්බායි සහ නවදිල්ලිය ඇතුළු විශාල අගනගරවලට පහර දුන් අතර, එතැන් සිට සෞඛ්‍ය සේවා පද්ධති වහා බිඳෙනසුලු හා දුර්වල ප්‍රාන්ත හා ග්‍රාමීය ප්‍රදේශ කරා ව්‍යාප්ත විය.

වසංගතයේ අඛණ්ඩ වර්ධනයක් තිබියදීත් ඉන්දීය රජය විසින් පනවා තිබූ අගුලු දැමීම් ක්‍රමයෙන් ඉවත් කිරීමට සිදුව ඇත්තේ දැඩි සීමාවන් හේතුවෙන් ආර්ථිකයට ඇති වූ පීඩනය දුගීන් ඇතුළු මිලියන ගණනක ජනතාවගේ ජීවනෝපායන් විනාශ කර ඇති නිසාය. එමෙන්ම සමහර පාසල් නැවත විවෘත කර ඇති අතර දුම්රිය, බස්, දේශීය ගුවන් ගමන්, වෙළඳසැල් සහ ආපනශාලා සඳහා සීමාවන් සහිතව ක්‍රියාත්මක වීමට අවසර දී ඇත.

දිල්ලියේ සමස්ත ලංකා වෛද්‍ය විද්‍යා ආයතනයේ (AIMS) ප්‍රජා වෛද්‍ය මහාචාර්ය ආනන්දු ක්‍රිෂ්ණන් පැවසුවේ වෛරසය ආසාදනය වන පුද්ගලයන්ට ප්‍රතිකාර කිරීම කෙරෙහි අවධානය යොමු කළ යුතු බවය. "ආසාදනය ප්‍රජාව තුළ විශාල ලෙස පැතිරී තිබෙනවා. අපට කළ හැකි එකම දෙය වන්නේ රෝගී පුද්ගලයන් රැකබලා ගැනීමයි. ඔවුන් වේගයෙන් හඳුනාගෙන ඔවුන්ට වඩා හොඳින් සැලකීමයි. සමාජ දුරස්ථ සම්මතයන් අනුගමනය කළ යුතුයි. ඉන් ඔබ්බට, නිශ්චිත දෙයක් කළ හැකි යැයි මා සිතන්නේ නැහැ." දිල්ලියේ සමහර නිවැසියන් කියා සිටියේ, ඔවුන් පරිස්සමින් ජීවත් වුවද, වසංගතය පිළිබඳ ඔවුන් තුළ පවතින බිය අඩු වී නොමැති බවය. අනාගතය අවිනිශ්චිත බව ඔවුන් කියයි. යමෙකුට පරිස්සම් විය හැක්කේ සියලු සෞඛ්‍යාරක්ෂක විධි අනුගමනය කිරීමෙන් පමණක් බව ඔවුන් වැඩිදුරටත් කියයි.


ඇමේනියාව අසර්බයිජානය යුද්ධයක පැටලෙයි


ආසියානු මහද්වීපයට අයත් යුරෝපයට සමීප ආමේනියාව සහ අසර්බයිජානය අතර යුද ගැටුම් ඇවිළෙමින් පවතී.  දෙරට හමුදා එකිනෙකාට එල්ල කළ ප්‍රහාර හමුවේ  ඊයේ (28) වනවිට මියගිය ගණන 24 ක් ලෙස වාර්තා විය.  ගැටුම් වහා නවත්වන ලෙසත්, හටගත් අර්බුදය තවත් උත්සන්න වීමට ඉඩ නොතබන ලෙසත් එක්සත් ජාතීන්ගේ සංවිධානය ආමේනියාවෙන් සහ අසර්බයිජානයන් ඉල්ලීමක් කර ඇත. ආමේනියාව සහ අසර්බයිජානය අතර අර්බුදුයක්  පවතින්නේ දෙරටම අයිතිය ඉල්ලන නගොර්නෝ කරබාක් නමැති ප්‍රදේශය මුල්කොට ගනිමිනි. මෙම ප්‍රදේශය ඇත්තේ අසර්බයිජානයට අයත් සීමාවේ වන නමුත් මෙහි වාසය කරන බහුතරය ආමේනියානුවය. නගොර්නෝ කරබාක් ප්‍රදේශය වෙනුවෙන් වෙනම පාලනයක් ද ඇත.  ආමේනියාව සහ අසර්බයිජානය අතීතයේ සෝවියට් සමූහාණ්ඩුවට අයත් විය. 

90 දශකයේ සෝවියට් සමූහාණ්ඩුවෙන් වෙන්වීමට පෙර සිටම නගොර්නෝ කරබාක් මුල්කොට ගනිමින් අර්බුදය පැවැතිණි.  1988 වසරේදීත්, 1994 වසරේදීත් ඉන්පසු 2016 වසරේදීත්, දෙරට අතර ගැටුම් පැවැතිණි. 1992 දී  යුරෝපා රටවල් මැදිහත් වී සාමය වෙනුවෙන් ආමේනියාවත් අසර්බයිජානයත් කැමැති කරවා ගත්තේය. යුද ගැටුම් පැවැතියත් එම සාම ගිවිසුම තවමත් ක්‍රියාත්මක යැයි පැවැසෙයි. ආමේනියාව හෝටල් අසර්බයිජානය හෝ එයින් ඉවත් වෙනවා යැයි පවසා නැත.  නගොර්නෝ කරබාක් ප්‍රදේශය "ආර්ටික්" යනුවෙන් ද හැඳින්වෙයි. වර්ග කිලෝ මීටර් 4,400 ක් පුරා විසිරී පැතීරි  පවතින මෙම ප්‍රදේශය, කඳුවලින් සහ                                                                                      තවත් වනාන්තරවලින් පිරුණු තැනකි. 

ආමේනියාවත් අසර්බයිජානයත් නගොර්නෝ කරබක් ප්‍රදේශය සම්බන්ධයෙන් අයිතිය ඉල්ලා සිටියත්, ජාත්‍යන්තරය පිළිගන්නේ, නගෙර්නෝ කරබක් ප්‍රදේශය අයත් වන්නේ, අසර්බයිජානයට අයත් බවය.  ගෙවී ගිය සති අන්තයේ, අසර්බයිජානයට අයත් හෙලිකොප්ටරයක්, ආමේනියා හමුදා ප්‍රහාරයකින් බිම හෙලීමත් සමඟ දෙරට අතර ගැටුම් යළි ඇවිළිණ. ආමේනියා අග්‍රාමාත්‍ය නිකෝල් පෂින්යාන් චෝදනා කර තිබෙන්නේ, අසර්බයිජාන හමුදා සොල්දාදුවන් තම හමුදා ඉලක්ක කර ගනිමින් කාලතුවක්කු සහ ගුවන් ප්‍රහාර එල්ල කරන බවය. අසර්බයිජාන හමුදාව පවසා ඇත්තේ, ආමේනියාවෙන් ආ ෂෙල් වෙඩි ප්‍රහාරයට පිළිතුරු  දෙමින්, කාලතුවක්කු සහ ගුවන් ප්‍රහාරය එල්ල කළ බවය.

ආසියානු මහද්වීපයට අයත් වුවත් ආමේනියාව සහ අසර්බයිජානය ඇත්තේ ආසියා යුරෝපා කොකේසියානු කලාපයේය. ආමේනියාවේ ජනගහනය මිලියන 2,965 කි. අගනුවර වන්නේ එරෙවෑන්ය. ආමේනියාවේ ජනාධිපති ධුරය  හොබවන්නේ ආර්මෙත් සර්කිසියැන්ය. අසර්බයිජානය පිහිටා ඇත්තේ කැස්පියන් මුහුදට සහ කොකේසියානු කඳු වැටියට මායිම්වය. ආමේනියාව මායිම් වන්නේ බටහිර දෙසිනි. අසර්බයිජානයේ ජනගහනය මිලියන 9.981 ක් වන අතර අසර්බයිජාත අගනුවර ලෙස  සැලකෙන්නේ බාකුය. ඉල්හාම් අලියේව් අසර්බයිජාන ධුරය හොබවති.

පොඩි ලැසීගේ ගෝල තෙල්වත්තේ නීල් ළඟ තිබී ඇල්ලුවේ යුද හමුදාවේ ගිනිඅවියක්

සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු සහ හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන “පොඩි ලැසි" ගේ ගෝලයකු වන “තෙල්වත්තේ නීල්" නමැත්තා සතුව තිබී අත්අඩංගුවට ගත් රිවෝල්වරයක් ශ්‍රී ලංකා යුද හමුදාවට අයත් ගිනි අවියක් බවට අනාවරණය වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් මොහොමඩ් මිහාල් මහතා ඉදිරියේ ඊයේ (28) කරුණු අනාවරණය කළේය. 

“තෙල්වත්තේ නීල්” යන අය සතුව තිබී අත්අඩංගුවට ගත් අවි ආයුධ අතුරින් මිලිමීටර් 9 මාර්ක් 2 වර්ගයේ පිස්තෝල ගිනි අවිය ඉකුත් 1996 වර්ෂයේ දෙසැම්බර් මස 31 වැනිදා ශ්‍රී ලංකා යුද හමුදාවේ යාපනය බළසේනා මූලස්ථානයට නිකුත් කළ එකක් බවට වාර්තතා වී ඇතැයි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය. නීල් නමැත්තා සතුව තිබී හෙරොයින් කිලෝග්‍රෑම් 11ක්, ටී 56 ගිනි අවි 2ක් සහ පිස්තෝල අවි 3ක් අත්අඩංගුවට ගත් බවත්, එම අවිවල අංක සම්බන්ධයෙන් වාර්තාවක් කැඳවීමේ දී මෙම කරුණු අනාවරණය වී ඇති බවත් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

ශ්‍රී ලංකා යුද හමුදාව සතු ගිනි අවි මේ ආකාරයෙන් පාතාල සාමාජිකයන් අතට පත්වූයේ කෙසේද? යන්න සම්බන්ධයෙන් මෙන්ම ඒවා මගින් පාතාල සාමාජිකයන් සිදුකර ඇත්තේ කෙබඳු අපරාධ ද? යන්න පිළිබඳව මේ වන විට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරික්ෂණයක් ආරම්භ කර ඇති බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට සඳහන් කළේය.

යුද හමුදාවේ කිනම් නිලධාරියා විසින් මෙම අවිය ලබාදෙනු ලැබුවේ ද? යන්න සම්බන්ධයෙන් ද මෙහිදී විමර්ශනය කෙරෙනු ඇතැයි ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා පැවසීය.

හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරම් කළැයි කියන නාකොටික් නිලධාරින් සම්බන්ධ මහේස්ත්‍රාත් පරික්ෂණය ඊයේ (28) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේ දී මෙම කරුණු ඉදිරිපත් විය.

මෙම ජාවාරම් සිද්ධියට සම්බන්ධ බව කියන සැකකාර නාකොටික් පොලිස් නිලධාරින් 13 දෙනා අගුණකොළපෑලැස්ස බන්ධනාගාරය තුළ රඳවා ඇති බවත්, කොවිඩ් වසංගතය හේතුවෙන් සෞඛ්‍ය හේතු මත සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් නොකරන බවත් බන්ධනාගාරය වාර්තතාවක් මගින් අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ ලදපාර්තමේන්තුව තුළ රඳවාගෙන ප්‍රශ්න කරන පොලිස් නිලධාරින් පස් දෙනකු සහ සිවිල් පුද්ගලයන් පස් දෙනකු ඇතුළු සැකකරුවන් 23 දෙනකු සිටින බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.

පැමිණිල්ල වෙනුවෙන් නීතිපතිවරයා නියෝජනය කරමින් නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා සහ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරි මෙරිල් රන්ජන් ළමාහේවා, විශේෂ විමර්ශන ඒකකයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ලලිත දිසානායක, උප පොලිස් පරික්ෂක උපාලි, උප පොලිස් පරික්ෂක විජේසූරිය යන නිලධාරීන් ඇතුළු කණ්ඩායමක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

බූස්ස බන්ධනාගාරයේ රඳවා සිටින අරුමාහන්දි ලසිත් මධුසංඛ ද සිල්වා (28) නොහොත් “පොඩි ලැසී" නමැත්තාගේ ගෝලයකු වන, ගාල්ල තෙල්වත්තේ පදිංචි දළුවතුමුල්ල ගමගේ නීල් නන්දන නොහොත් “තෙල්වත්තේ නීල්” යන අය රුපියල් කෝටි 10කට අධික හෙරොයින් මත්ද්‍රව්‍ය සහ ආයුධ සමඟ අත්අඩංගුවට ගත්තේ ඉකුත් ජුලි මස 25 වැනිදා බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දී තිබුණේ සිය බි වාර්තාව මගිනි. ඒ අනුව මෙම නීල් නමැත්තා ද මේ වන විට තම දෙපාර්තමේන්තුව තුළ රඳවාගෙන ප්‍රශ්න කිරිම් සිදුකරන බවද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට කරුණු වාර්තා කර ඇත. 

නීල් නමැත්තාගෙන් කරන ලද ප්‍රශ්න කිරීම්වල දී මාතර සිට බලපිටිය දක්වා හෙරොයින් මත්කුඩු කිලෝග්‍රෑම් 130ක් ප්‍රවාහනය කිරීමේ සිද්ධියට අදාළව පාත්තරකැටිය පාර, බටපොල පදිංචි අලුත්ගම ගුරුගේ මංජුල නොහොත් මංජු නමැත්තා ඉකුත් 24 වැනිදා අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය. “පොඩි ලැසී"ගේ හෙරොයින් “නීල්" නමැත්තා මගින් මෙම සැකකරුට ලබා දී මාතර සිට බලපිටිය දක්වා ප්‍රදේශවල බෙදාහැර ඇති බව ද නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය. නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයට දැනුම් දෙමින් සඳහන් කළේ මෙම සැකකරු ද අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ රඳවාගෙන ප්‍රශ්න කිරීම් සිදුකරන බවය.

සැකකරුවන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නිතීඥ අජිත් පතිරණ මහතා සඳහන් කළේ තම සේවාදායකයන් මෙම සිද්ධිය සම්බන්ධයෙන් මාස එකහමාරක පමණ කාලයක සිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින බවත් අත්අඩංගුවේ පසුවන පොලිස් නිලධාරින්ගේ ප්‍රකාශ මත පමණක් තම සේවාදායකයන් අත්අඩංගුවට ගෙන ඇති බවත්ය.

ස්වාදායකයන් වෙනුවෙන් නැවතත් ලිඛිත සැලකිරීම් සිදුකිරීමට අවසර ලබා දෙන ලෙසට සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි නිතීඥවරුන් අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා ද සඳහන් කළේ සැකකරුවන්ට එවැනි අවස්ථාවක් ලබා දෙන්නේ නම්, තමන්ට ද නැවතත් ලිඛිත දේශන ලබා දීමට අවසර ලබා දෙන ලෙසය. 

ඒ අනුව දෙපාර්ශවයේම ලිඛිත දේශන ලබන 07 වැනිදාට ලබා දෙන ලෙසට මහේස්ත්‍රාත්වරයා නියෝග කළේය. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සැකකාර නාකොටික් නිලධාරින් ලබන 07 වැනිදා තෙක් තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරමින් එදින තෙක් නඩුව කල් තැබීය.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයට අනුයුක්ත නිලධාරින් කණ්ඩායමක් මෙරට මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් සමඟ සම්බන්ධ වෙමින් මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කරමින් සංවිධානාත්මක අපරාධ කණ්ඩායම් සමඟ සම්බන්ධ වී අවි ආයුධ රැස් කිරීම, මනුෂ්‍ය ඝාතනයක් කිරීමට අධාර අනුබල දීම, සැලසුම් කිරීම, කුමන්ත්‍රණය කිරීම, සාහසික ක්‍රියා සිදුකරමින් මහජන සාමයට උපද්‍රව කිරිම හා සමාන්‍ය ජන ජීවිතය කඩා කප්පල් කිරීමේ සිද්ධියකට අදාළව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ බව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන ඒකකය අධිකරණයට කරුණු වාර්තා කර තිබිණි.

මෙම සිද්ධියේ දී රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණේ පොලිස් මත්ද්‍රව්‍ය තාශක කාර්යාංශයට අනුයුක්තව සේවය කළ පොලිස් පරික්ෂක විමලසේන ලයනල්, උප පොලිස් පරික්ෂක සීක්කුවාවසම්, ගයාන් තරංග, ප්‍රේමරත්ත සිල්වා, උප පොලිස් පරික්ෂක දහනායක රාළලාගේ අතුල ජයන්ත බණ්ඩාර, පොලිස් සැරයන් (15819) මුතුබණ්ඩාගේ චමින්ද ලක්ෂ්මන් ජයතිලක, පොලිස් සැරයන් (20637) ජයසිංහගේ සමන් කුමාර ජයසිංහ, පොලිස් සැරයන් (61756) වතුකාරගේ චමිල ප්‍රසාද් වතුකාර, පොලිස් කොස්තාපල් (69351) විජේසිංහ මුදියන්ස්ලාගේ ප්‍රියන්කර ජයසේන, පොලිස් කොස්තාපල් (73084) බටුවත්තගේ රුවන් පුෂ්පකුමාර, පොලිස් කොස්තාපල් (74811) රතුගමගේ අසංක ඉන්ද්‍රජිත් රතුගමගේ, පොලිස් කොස්තාපල් (84346) චිත්‍රආචාරිගේ සමීර ප්‍රදීප් කුමාර, පොලිස් කොස්තාපල් (85372) වන්නිආරච්චිගේ ලක්ෂාන් සමීර වන්නිආරච්චි සහ පොලිස් කොස්තාපල් (87226) හේරත් මුදියන්සේලාගේ ලලිත් ජයසිංහ යන අයවලුය.

මෙම සිද්ධියටම අදාළව නාකොටික් නිලධාරින් 11 දෙනා සම්බන්ධ මුදල් විශුද්ධීකරණය නඩුව ද ඊයේ (28) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ දී අදාළ සැකකරුවන් ද ලබන 12 වැනිදා තෙක් එම නඩුවට අදාළව රක්ෂිත භාරයේ තැබීමට අධිකරණය නියෝග කළේය. සැකකාර නාකොටික් නිලධාරින් සන්තකයේ තබාගෙන සිටි බව කියන ව්‍යාජ මුදල් නෝට්ටු සම්බන්ධයෙන් මහ බැංකු වාර්තා ලැබී ඇති බවත්, එම වාර්තා අනුව එම මුදල් නෝට්ටු ව්‍යාජ ඒවා බවට තහවුරු කර ඇතැයි අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට දැනුම් දුන්නේය. ඒ අනුව එම නඩුවට අදාළ සැකකාර තාකොටික් නිලධාරින් තිදෙනා ද ලබන 12 වැනිදා තෙක් නැවතත් රක්ෂිත භාරයේ තැබීමට අධිකරණය නියෝග කළේය.

 - නිමන්ති රණසිංහ -

 

තැපෑලෙන් එවූ බේත්වලින් පෙනීම අහිමි වූ දරුවාට බේත් ගන්න ලක්ෂයක්


කොරෝතා සමයේ මීරිගම මූලික රෝහලේ සායනයකින් තැපැල් මගින් නිවසට එවූ ඖෂධයක් හේතුවෙන් පෙනීම අහිමි වූ මීරිගම, වැවහේනේ පදිංචි ලතින් නිරෝෂන් නමැති 16 හැවිරිදි දරුවාගේ ඉදිරි ප්‍රතිකාර කටයුතු වෙනුවෙන් ඖෂධ නිෂ්පාදනය, සැපැයීම හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය වන්න ජයසුමන මහතාගේ මැදිහත්වීමෙන් රුපියල් ලක්ෂයක මුදලක් ඊයේ (28) පරිත්‍යාග කෙරිණි. රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතාගේ මැදිහත්වීමෙන් දිලීප හේරත් හා වෛද්‍ය ප්‍රසන්න රත්නායක මහත්වරුන්ගේ මූල්‍ය දායකත්වයෙන් මෙම මුදල් පරිත්‍යගය සිදුකර තිබේ.  ලෙනින් නිරෝෂන් දරුවා වෙත එම මුදල පිරිනැමීම රාජ්‍ය අමාත්‍යවරයා අතින් එම                                                                                     අමාත්‍ය කාර්යාලයේ දී ඊයේ (28) සිදු කෙරිණි. 

මෙම දරුවාගේ අනාගතය වෙනුවෙන් දෙනෙත් පාදාදීමට අවශ්‍ය සියලු කටයුතු සඳහා තමන් මැදිහත්වන බව රාජ්‍ය අමාත්‍ය චනන් ජයසුමන මහතා මෙහිදී පැවසීය.  එමෙන්ම දැඩි ආර්ථික අපහසුතාවට පත්ව සිටින  මෙම දරුවාගේ ඉදිරි අධ්‍යාපන කටයුතු සඳහා අවශ්‍ය සහයෝගය ලබාදෙන බව ද රාජ්‍ය ඇමැතිවරයා කීවේය. ලෙනින් දරුවාගේ පියා වන කේ.කේ. අනිල් කුමාර මහතා සහ මව වන කේ.කේ. සුජාතා කුමාරි මහත්මිය ද මෙම අවස්ථාවට සහභාගි වූහ.


-ඩයනා උදයංගනී-

වටප්‍රමාණය මැන පොල් විකිණීමට ගත් තීන්දුව අනුවණ වැඩක්


පොල් ගෙඩියේ වටප්‍රමාණය අනුව මැන විකිණීමට ගත් තීන්දුව හා ඊට අදාළව ගැසටුවක් නිකුත් කිරීම උගතුන් ඉන්නා ආණ්ඩුවක් ගත් අනුවණ ක්‍රියාවකැයි රටවැසි බලය සංවිධානයෙන් මාධ්‍ය ප‍්‍රකාශක ඕ. විමලසේන මහතා නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කරයි.  මෙවැනි තීන්දුවක් ගැනීම ජනපතිවරයාට සහ අගමැතිවරයාට කරන අපහාසයකැයි එම නිවේදනයේ සඳහන් වේ. ආහාර සඳහා අවශ්‍ය දෙයක් වන පොල් වටප්‍රමාණය අනුව මැන අලෙවි කිරිම මෝඩ ක්‍රියාවකි. එය උපහාසය දන්වන්නකි. ආණ්ඩුව පොදු තීරණ ගැනීමේ දී  කල්පනාකාරිව සිතා බලා තීන්දු ගත යුතුය.

මෙවැනි ගැසට්ටුවක් පිළිබඳව මාධ්‍ය මගින් ප්‍රචාරය කිරීමත් සමග රටපුරා හැමතැනම පිරිස් පිට උපහාසයෙන් සිනාසෙති. පොල්වර්ග කිරිමේ දී ලොකුපොල්, පොඩිපොල්, කුඩාපොල් යනුවෙන් තෝරා විකිණීම මිල නියම කිරීම ප්‍රමාණවත්ය. එවැන්නක් නොකර මෙවැනි ගැසට්ටුවක් නිකුත් කිරිම බොළඳ ක්‍රියාවකි. පාරිභෝගිකයන්ට ටේප්පටයක් ද රැගෙන වෙළෙඳපොළට යෑමට සිදුවේ. මෙම ගැසට්ටුව අවලංගු කර පොල්වලට උපරිම සිල්ලර මිලක් නියම කරන්නැයි රජයෙන් ඉල්ලා සිටින බව ද එම නිවේදනයේ සඳහන් වේ.

Monday, September 28, 2020

රටේ ප්‍රමුඛ ළමා රෝහලක රාත්‍රි 10 වනවිටත් ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයකු නොමැති වීම ඛේදවාචකයක්



ශ්‍රී ලංකාවේ සුප්‍රසිද්ධ ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයකු වන මහාචාර්ය ඒ.එච්. ෂෙරෆ්ඩිස් මහතා ඉතා සිත් වේදනාවෙන් යුතුව ශ්‍රී ලංකා ශල්‍ය වෛද්‍යවරුන්ගේ සංගමයට මෑතක දී ලිපියක් යවා තිබේ. එම ලිපිය සංගමයේ සියලුම සාමාජික වෛද්‍යයවරුන් අතරේ බෙදා හරින්නැයි ද ඔහු ඉල්ලීමක් කර තිබුණේය. මහාචාර්ය ෂෙරෆ්ඩීන් යැවු ලිපියේ සිංහල අනුවාදය මෙසේය.  ඉකුත් අගෝස්තු මස 22  වැනි සෙනසුරාදා සිදු වූ සිද්ධියක් සම්බන්ධයෙන් ඇති වූ සිත් වේදනාවෙන් මම මේ ලිපිය ලියමි.  ඇපෙන්ඩිසයිටීස් රෝගය වැළඳුණු දැඩි ලෙස  රෝගාතුර වූ වයස අවුරුදු 10ක පමණ පිරිමි දරුවකු එදින පෙරවරු 11 ට පමණ මට මුණ ගැසිණි.  පෞද්ගලික රෝහලකින් ප්‍රතිකාර ලබා ගැනීමට අවශ්‍ය වියදම් දැරීමට නොහැකි බව ළමයාගේ මව කීවාය. මම ඇයට රිජිවේ ළමා රෝහලට යන්නැයි කියා ලිපියක්  දුන්නෙමි. දරුවාට එහිදී නොවරදවාම අවශ්‍ය රැකවරණය ලැබෙන බව මම ඇයට සහතික කර කීවෙමි.දරුවාගේ මිත්තනිය හඬමින් කියා සිටියේ කනකර ආභරණ උකස් කර හෝ පෞද්ගලික රෝහලකට යාමට තමන් කැමති බවය. අපේ වෛද්‍යවරුන්  ගැන මට දැඩි විශ්වාසයක් ඇති බවත් ළමා රෝහලට යන ලෙසත් මම නැවත ඔවුන්ට සහතික කර කීවෙමි.

එදිනම රාත්‍රී 7.30 ට පමණ දරුවාගේ පියා මට දුරකථනයෙන් ඇමතුමක් දුන්නේය. ඔහු කියා සිටියේ උණ්ඩුක පුච්චය පුපුරා ගොස් ඇතැයි වෛද්‍යවරුන් කියන බවය. දරුවාට ශල්‍ය කර්මයක් කළ යුතු නමුත් ඒ වන විට රෝහලේ විශේෂඥ වෛද්‍යවරයකු නොමැති බවත් ඔවුන් කියන බව ද පියා මට කීවේය. ළමා රෝහලේ ඒ වන විට සිටි වෛද්‍යවරුන් කිසිඳු විසඳුමක් ලබා දී තිබුණේ නැත. රාත්‍රියේ හදිසි ශල්‍යකර්ම මා නොකරන බව මම ඔවුන්ට කීවෙමි. පෞද්ගලික රෝහල් කීපයක නම් මම ඔහුට කීවෙමි. දරුවාගේ පියා බෙහෙවින් කලබලයට පත්ව සිටියේය. ඔහුගේ බලාපොරොත්තු සුන් වී ඇති බවත් මට දැනුණේය.  මා දැඩි සිත් තැවුලට පත් වූයේ එම අවස්ථාවේදීය. මා මගේ කාලය නාස්ති කර ගත්තේ මක් නිසා දැයි මම මගෙන්ම නැවත විමසා ගතිමි. වෘත්තිය නිපුණතාව ගැනත් ආචාර ධර්ම ගැනත් කියමින්  මා කාලය නාස්ති කර ගත්තේ ඇයිදැයි මම මගෙන්ම විමසා ගතිමි. ශල්‍යකර්ම වලදී වෘත්තිය නිපුණතාවය හා ආචාර ධර්ම නම් ග්‍රන්ථය ඉදිරිපත් කළ කමිටුවේ මූලාසනය දරමින් මා කාලය නාස්ති කළේ ඇයි? මෙම සිද්ධියට අදාළ මුළු වාතාවරණයම එහි දෙවැනි පරිච්ඡේදයේ රෝගී සත්කාරය සමස්තයක් ලෙස කොටසේ දක්වා තිබේ. 

මේ වෙද්‍යවරුන්ට හෝ ඔවුගේ ඥාතීන්ට මෙවැනි හදිසි ශල්‍යකර්මවලට භාජනය කළ යුතු දරුවන් නැත් ද? තමන්ගේ දරුවකුට  මෙවැන්නක් සිදු වුව හොත් එම වෛද්‍යවරුන් කුමක් කරන්නේ ද? කාලීනව හඳුනා ගත් උසස් වෛද්‍ය ක්‍රම  යාවත්කාලීන ක්‍රම රොබෝ ශල්‍ය ක්‍රම උපදේශන වැඩසටහන් විද්‍යාත්මක සැසි වැඩමුළු ආදිය ගැන කතා කරමින් අප කාලය නාස්ති කරන්නේ කුමකට ද? රටේ ප්‍රමුඛ ළමා රෝහලක අවුරුදු 10ක් වයසැති දරුවකු ජ්‍යෙෂ්ඨ ශල්‍ය වෛද්‍යවරයකු නොමැති වීම නිසා උණ්ඩුක පුචය පපුරා මිය ගිය හොත් එය කුමන තත්වයක් ද? මුළු ශ්‍රී ලංකාව පුරාම තත්වය මේක  ද?  මගේ ශල්‍ය වෛද්‍ය මහාචාර්යවරයා වූයේ මහාචාර්ය මිල්රෝයි පෝල්ය. ඒ 1960 ගණන් වලදීය. රිජ්වේ රෝහලේ ඔහුගේ ශල්‍ය වාට්ටුවක් විය. ඩිප්තිරියාවෙන් හා ස්වරාලයේ ආබාධයෙන් පෙළෙන දරුවකුට සැත්කමක් කිරීමට ඔහු පැරණි රිලේ කාරය පදවාගෙන හදිසියේ රාත්‍රියක පැමිණියේය. කළු කලිසමකින් හා රාත්‍රී භෝජන සංග්‍රහයකට යෑමට සැරසුණු ඇඳුමින් ඔහු රාත්‍රී 10 ට පමණ පැමිණියේය. අනිවාර්යයෙන්ම ඔහු පැමිණියේ නැටුම් සහිත රාත්‍රී භෝජන සංග්‍රහයක සිට විය යුතුය. එකල දියුණු ජංගම දුරකතන තිබුණේ නැත. ඔහු  තමා සම්බන්ධ කර ගත හැකි  ස්ථාවර දුරකථන අංකයක් වාට්ටුවේ තබා ගියේය. ඇතැම් විට රෙජිස්ට්‍රාර් ටැක්සියකින් හෝ කාරයකින් පැමිණ ඔහු රෝහලට කැඳවාගෙන ආවේය. ඔහුට බාල් නැටුමටත් රාත්‍රී භෝජනයටත් වඩා රෝගියා වැදගත් විය.

රජයෙන් වෛද්‍යවරුන්ට තීරු බදු රහිත වාහන දී ඇත්තේය. ජංගම දුරකථන දී ඇත්තේය. ඔවුන්ට මේ වන වට සන්නිවේදන ගැටලු නැත. මේ දරුවාට සත්කාරය අවශ්‍ය වෙලේ එය කළත් නොහැකි වූයේ නම් එවැනි සුඛෝපභෝගී කාර් වලින් පළක් නැත. සියල්ල සිදු වූයේ  වෛද්‍යවරුන්ගේ කැපවීම මද නිසාය. කැපවීමට රැයක් දවාලක් නැත. විශ්වාසය කඩා නොකිරීමට  වෛද්‍යවරුන් වග බලා ගත යුතුය. මේ රටේ ජනතාව ඔබ වෙත තබා ඇති විශ්වාසය කඩ වීමට ඉඩ නොහරින්න දෙවියන්ගේ නාමයෙන් විශ්වාසය කඩ නොකරන්නට වග බලා ගත්තා.  මේ සඳහා හේතු දැක්වීම් විමර්ෂන පැවැත්වීම් වලින් එලක් නැත. 

අවශ්‍ය වන්නේ හැඳියාවේ සංස්කෘතියේ පරමාර්ථ  වෙනසකි. එම දරුවා මේ වන විට සුව ව වී සිටිය හැකිය. එහෙත් මෙම කාරණයේ දී එය අදාළ නොවේ. ඇපෙන්ඩිසයිටිස් උදරාබාධ සාමාන්‍ය රෝග විකලාංග චිකිත්සා ස්නායු ශල්‍ය ක්‍රම, මුත්‍රා රෝග හෘද රෝග ආදිය සඳහා තවත් නිදහසට කරුණ තිබිය හැකිය. ඒවායේ නිමක් නොතිබේ ද?  මේ ලිපිය මා ලියන්නේ මගේ සිත් වේදනාවට පිළියමක් ලෙසයි. මට දැනුණු අප්‍රසාදය ඉන් ඉවත් නොවේ.  වෛද්‍ය පරිපාලකවරයකු වරක් මෙසේ කීවේය.  මිනිස්සු මිය යති. එය නැවැත්විය නොහැකිය. අපටත් අපේ රෝගීන්ටත් දෙවියෝ පිහිට වෙත්වා. එම ලිපිය පිළිබඳව අදහස් දැක් වූ වෛද්‍ය ජයේන්ද්‍ර ප්‍රනාන්දු මහතා සඳහන් කර ඇත්තේ එහි අන්තර් ගත කරුණ සම්බන්ධයෙන් සාකච්ඡාවක් ඇරඹීමට බලාපොරොත්තු වන බවය.

අංගොඩ ලොක්කාගේ නීති වීරෝධී වත්කම් :සොහොයුරිගෙන් දෙපැයැක් ප්‍රශ්න කරයි


ඉන්දියාවේ දී මියගිය බව කියන ලසන්ත චමින්ද පෙරේරා හෙවත් අංගොඩ ලොක්කා නමැත්තාන්ගේ නීති  විරෝධී වත්කම් සම්බන්ධයෙන් හෙළිකර ගැනීම සඳහා ඔහුගේ සොහොයුරියගෙන් පැය  දෙකකට අධික කාලයක්  ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කරගත් බව බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.  පොලිසිය කළ දැනුම් දීමකට අනුව පෙරේදා (26) පෙරවරුවේ ඇය කොළඹ දකුණු අපරාධ කොට්ඨාසය හමුවට පැමිණ ඇති අතර ප්‍රශ්න කිරීම දහවල් දක්වා කළ බව උසස් පොලිස් නිලධාරියෙක් කීවේය. ප්‍රශ්න කිරිමේදී ඉඩම් දේපළ ඇතුළු වත්කම් රැසක තොරතුරු හෙළි වූ බවද උසස් නිලධාරියා කීය. 

දැනට කළ පරික්ෂණ අනුව ඉඩම් අක්කර 3 කට අධික ප්‍රමාණයක තොරතුරු හෙළි වී ඇති බවත් ඉන් අක්කර 1 1/2 ක ප්‍රමාණයක් බලෙන් අත්පත් කරගෙන ඇති බවත් හෙතෙම පැවසීය. තවත් ප්‍රමාණයක් බලහත්කාරයෙන් ඉතා අඩු මුදලට මිලදී ගත් ඉඩම් බවද පොලිසිය පවසයි.  බස්නාහිර දකුණ කොට්ඨාසයේ අධ්‍යක්ෂ පොලිස් අධිකාරි ලලිත් අබේසේකර මහතාගේ මෙහෙයවීමෙන් ඉදිරි පරික්ෂණ පැවැත්වෙයි.  ඉදිරියේදී අංගොඩ ලොක්කාගේ බිරිඳගෙන් ද ප්‍රකාශ ලබාගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

-ඉන්දිකා රාමනායක-

මිදුල අතුගාමින් සිටි දැරිය වැසිකිළි වළකට ඇදවැටී මරුට

 



අවුරුදු 14 ක පාසල් දැරියක නිවසේ මිදුල අතු ගාමින් සිටියදී වැසිකිළි වළකට වැටි මිය ගොස් ඇතැයි මාවනැල්ල පොලිසිය පවසයි. මෙසේ මිය ගොස් ඇත්තේ මාවනැල්ල ගනේතැත්න උදය මාවතේ පදිංචි වී සිටි අවුරුදු 14 ක් වයසැති ගනේතැන්න මහා විද්‍යාලයේ 9 වසරේ ඉගෙනුම ලබන ෂෙනුරි ජයසූරිය නමැති ශිෂ්‍යාවකි.

ඇය මිදුල අතුගාමින් සිටියදී වැසිකිළි වළේ කොන්ක්‍රීට් තට්ටුව කැඩී ඇය වළකට වැටී ඇති අතර අසල්වාසීන් විසින් ගොඩ ගැනීමට උත්සාහ කළද එය අසාර්ථක වී ඇත. පසුව මියගිය දරුවාගේ පියා පැමිණ ඇය ගොඩගෙන රෝහලට ගෙන යන විටත් මියගොස් සිටි බව පොලිසිය පවසයි. මාවනැල්ල පොලිසිය මේ සම්බන්ධ වැඩිදුර පරික්ෂණ සිදුකරයි. 


- පී ශාන්ත බණ්ඩාර -

එංගලන්තයෙන් එවූ කසළ බහාලුම් 263න් 21ක් ආපසු යවයි

ජාත්‍යන්තර නීති රීති උල්ලංඝණය කරමින් එංගලන්තයේ සිට මෙරටට එවා තිබූ අපද්‍රව්‍ය බහාලුම් 263න් බහාලුම් 21ක් එංගලන්තය බලා ප්‍රතිනැව්ගත කිරීමට පියවර ගත් බව රේගු දෙපාර්තමේන්තුව පවසයි. මේ බහාලුම් 21ක කොළඹ වරායෙන් නැවත එංගලන්තය බලා හරවා යැවීමට Seamax Norwalk, (V/039R)නැවට පෙරේදා (26) සවස පැටවූ බව රේගු අධිකාරි ලාල් වීරකෝන් මහතා පැවසීය.

2017 වසරේ දෙසැම්බර් මස එංගලන්තයෙන් නීති විරෝධී ලෙස මෙම අපද්‍රව්‍ය බහාලුම් 263 ලංකාවට එවා තිබූ අතර එම සිද්ධිය රටේ විශාල ආන්දෝලනයකට ලක්විණි.

බහාලුම් 263න් බහාලුම් 243ක් සම්බන්ධයෙන් අධිකරණය ඉදිරියේ නඩු කටයුතු පවතින බවද ලාල් වීරකෝන් මහතා කීය.

මින් බහාලුම් 112ක් කොළඹ වරායේ ඇති බවත්, තවත් බහාලුම් 130ක් වාණිජ කේන්ද්‍ර යටතේ (Hub 0peration) කටුනායක ආයෝජන කලාපයේ නිෂ්කාශනය කටයුතු සඳහා රඳවා ඇති බවත් ලාල් වීරසිංහ මහතා පැවසීය.

රේගු නීතිය උල්ලංඝනය කරමින් ගෙනැවිත් තිබූ මෙම අපද්‍රව්‍ය බහාලුම්වල නිවාසවලින් ඉවතලූ දෑ මෙන්ම නාගරික අපද්‍රව්‍ය ද තිබිණි. මේවා එංගලන්තයෙන් පිට කිරිමට පෙර ලංකාවෙන් අවසර ගත යුතුව තිබුණත් ඒ සඳහා අවසර ගෙන නොතිබූ බව ද ලාල් වීරකෝන් මහතා සඳහන් කළේය. ශ්‍රී ලංකාව හා එංගලන්තය යන දෙරටම පාර්ශවකරුවන් වන ජාත්‍යන්තර සම්මුතියක් වන බාසල් සම්මුතිය යටතේ ද මෙවැනි ඒවා එවීමට පෙර රටින් පූර්ව අවසර ගැනීම කොන්දේසියක් වුවද මෙහිදී කොන්දේසිය කඩ වී ඇති බවද හෙතෙම පැවසීය.

අපද්‍රව්‍ය බහාලුම් ප්‍රතිනැව්ගත කිරීම සඳහා නීතිපතිවරයා, පරමාණුක බල ශක්ති අධිකාරිය, වෛද්‍ය පර්යේෂණ ආයතනය, සෞඛ්‍ය අමාත්‍යාංශය, වරාය පර්යන්ත හා නැව් සමාගම්, මධ්‍යම පරිසර අධිකාරිය, ශ්‍රී ලංකාවේ බ්‍රිතාන්‍යය මහ කොමසාරිස් කාර්යාලය, විදේශ කටයුතු අමාත්‍යාංශය විශාල මෙහෙවරක් කළ බවද ලාල් වීරකෝන් මහතා වැඩිදුරටිත් කීය. මේ ප්‍රතිනැව්ගත කිරීම මෙතෙක් දකුණු ආසියා කලාපයේ වූ මේ ආකාරයේ ප්‍රථම අවස්ථාව ලෙස ද සැලකේ. මේ කාර්යය සඳහා හිටපු රේගු අධ්‍යක්ෂ ජනරාල් ජී.එස්.එම්. චාල්ස්, වර්තමාන රේගු අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජනරාල් විජිත් රවිප්‍රිය යන මහත්ම මහත්මීන් ඇතුළු රේගු නිලධාරිහු පිරිසක් සහභාගී වූහ.

- ඉන්දිකා රාමනායක -

ශීත සෘතුවත් සමඟ ඇමෙරිකානු COVID-19 රෝගීන්ගේ දැවැන්ත පිපිරුමක්


ඉදිරි මාස කිහිපයේදී ඇමෙරිකා එක්සත් ජනපදය වෙත බලපාන ශීත ඍතු තත්ත්වයන් සමඟ එරටින් වාර්තා වන නව කොරෝනා හෙවත් COVID-19 රෝගීන් සංඛ්‍යාවේ පිපිරුමක් දැකගත හැකි වෙනු ඇතැයි, වොෂිංටන් විශ්වවිද්‍යාලයේ සෞඛ්‍ය මිතිය සහ ඇගයීම් සදහා වන ආයතනයේ IHME (Institute for Health Metrics and Evaluation)අධ්‍යක්ෂ වෛද්‍ය ක්‍රිස් මරේ අනතුරු අඟවා සිටියි.

"පළමුවෙන්ම අපි දැක්කා ඇතැම් ප්‍රාන්තවල රෝගීන්ගේ අඩු වීමක්. හැබැයි එතැනදී ජනතාව තමන්ගේ පරෙස්සම අතහැරියා. ඔවුන් පෙරට වඩා එකිනෙකා අතර සබඳතා පවත්වා ගන්න උත්සාහ කළා. එතැනදී යළිත් වටයකට එම ප්‍රාන්ත තුළ ආසාදිතයන් ඉහළ ගියා. ඒ වගේම තමයි, මේ වෙරසය ගැන බලද්දී ඍතුමය වශයෙන් එල්ල වන බලපෑමත් වැදගත්. 

මෙම IHME ආයතනය මඟින් සකස් කර ඇති ආදර්ශනයකට අනුව අද වනවිට එක්සත් ජනපදය තුළ COVID-19 හේතුවෙන් දෛනිකව සිදුවන මරණ සංඛ්‍යාව 765කි. එහෙත් ලබන දෙසැම්බර් මාසය වනවිට එම සංඛ්‍යාව 3,000ක් දක්වා ඉහළ යා හැකි බව එහි සඳහන් වෙයි.

මේ අතර ඉදිරියේදී උදා වන මෙම තත්ත්වය පිළිබඳව මීට පෙර අදහස් දක්වා සිටි එක්සත් ජනපදයේ රෝග පාලනය සහ වළක්වා ගැනීම පිළිබඳ මධ්‍යස්ථානයේම අධ්‍යක්ෂවරයා, “මේ ශීත සෘතු කාලසීමාව ඇමෙරිකානු මහජන සෞඛ්‍ය සම්බන්ධයෙන් අත්දකින්නට ලැබෙන වඩාත් අසීරුතම කාලයයි.”යනුවෙන්ද පවසා තිබුණි.

එරට ජෝන්ස් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ නව කොරෝනා තොරතුරු මධ්‍යස්ථානයට අනුවද මේ දක්වා එරට තුළ ලක්ෂ 70කට අධික පිරිසකට වෛරසය ආසාදනය වී ඇති අතර, ඉන් ලක්ෂ දෙකක සංඛ්‍යාවක් දැනටමත් මරණයට පත්ව ඇත. එසේ පසුගිය සතිය හා සාපේක්ෂව මේ සතියේදී එරට ප්‍රාන්ත 24කදීම රෝගීන් වැඩි වීමක් පෙන්නුම් කර තිබේ. මේ අතර පසුගිය සතියේදී අදහස් දක්වා සිටි එරට අසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ ප්‍රධානී වෛද්‍ය ඇන්තනි ෆවුසිද ශීත සෘතුවත් සමඟ පැමිණෙන අභියෝගයට’ සුදානමින් සිටින ලෙස එරට නගරවලින් ඉල්ලා සිටියේය. සෞඛ්‍ය විශේෂඥයන්ගේ අදහස් සනාථ කරමින් පසුගිය සිකුරාදා දිනයේදී එක්සත් ජනපදය තුළ නව කොරෝනා ආසාදිතයන් 55,054ක් වාර්තා වූ අතර, එය පසුගිය අගෝස්තු මාසය මැද සිට මේ දක්වා දිනක් තුළ වාර්තා වූ වැඩිම සංඛ්‍යාවද වී තිබේ.

එසේම එරට ප්‍රාන්ත හතරක් තුළ වාර්තා වූ අගයන් දිනක් තුළ වාර්තා වූ වැඩිම රෝගීන් සංඛ්‍යාවේ වාර්තාවද තබා ඇත.  මෙලෙස දෛනික ආසාදිතයන් ඉහළ යද්දී ලබන නොවැම්බර් 20දා පැවැත්වීමට නියමිත එක්සත් ජනපද ජනාධිපතිවරණය පැවැත්වීමේ ගැටලුවක්ද උද්ගතවී ඇතැයි වාර්තා පවසයි. විශේෂයෙන්ම නව කොරෝනාව හේතුවෙන් එරට ඡන්ද පොළ තුළ සේවය කිරීම සඳහා පිරිස් සොයා ගැනීමට නොහැකි වීම ඊට හේතුවයි. ඒ අනුව ප්‍රමාණවත් තරම් පිරිසක් සම්බන්ධ කරගැනීමට නොහැකි වුවහොත් එම ඡන්ද පොළ විවෘත කිරීමේ අවස්ථාවක් උදා නොවෙනු ඇතැයිද අදහස් පළ වී තිබේ.



බිරියට කාරයක් ගන්න ටියුෂන් ගුරු කුඩු ජාවාරමේ



රුපියල් ලක්ෂ 50 කට අධික වටිනාකමින් යුත් හෙයින් හා කේරළ ගංජා තොගයක් මෝටර් රථයකින් ප්‍රවාහනය කරමින් සිටි උපකාරක පන්ති ගුරුවරයකු ඇතුළු තිදෙනකු සීදූව ප්‍රදේශයේදී පෙරේදා (23) පස්වරුවේ මීගමුව විශේෂ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබූ බව පොලිසිය පවසයි. ගුරුවරයාට අමතරව අත්අඩංගුවට ගත් සෙසු සැකකරුවන් දෙදෙනා ඔහුගේ ගෝලයන් බවද අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔවුන් සතුව හෙරොයින් ග්‍රෑම් 152 ක් හා කේරළ ගංජා කිලෝ 5 ක් තිබූ බවද පොලිසිය කියයි.  සැකකාර උපකාරක පන්ති ගුරුවරයා මට්ටක්කුලියේ  පදිංචි හතළිස් හැවිරිදි පුද්ගලයකු බවටත්, ඔහු ගෝලයන් මාර්ගයෙන් මීගමුව අවට ප්‍රදේශයේ මත්කුඩු හා කේරළ ගංජා අලෙවි කරන බවටත් පොලිසියට තොරතුරු ලැබී ඇත.  එම තොරතුරු මත පොලිස් කණ්ඩායමක් ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇති අතර, ඔහුගෙන් හෙළි වූ තොරතුරු මත මෝටර් රථයකින් මත්කුඩු හා ගංජා ප්‍රවාහනය කරමින් සිටි සෙසු සැකකරුවන් දෙදෙනා සීදුව ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇත.

ගුරුවරයා අත්අඩංගුවට ගෙන ඇත්තේ මත්කුඩුද සමග  යතුරුපැදියකින් ගමන් කරමින් සිටියදී බව පොලිසිය කියයි.  සැකකාර උපකාර පන්ති ගුරුවරයා මට්ටක්කුලිය ප්‍රදේශයේ පදිංචිකරුවකු බවත් මට්ටක්කුලියේ ජාවාරම්කරුවන්ගෙන් මත්ද්‍රව්‍ය හා කේරළ ගංජා ලබාගෙන ජාවාරම් කරන බවට  තොරතුරු ලැබී ඇති බවත් පොලිසිය පවසයි. මොහුට මෙම ගංජා ලබා දෙන ජාලය සම්බන්ධයෙන්ද පොලිසිය තොරතුරු හෙළිකරගෙන ඇත.  සැකකරුවන් සතුව තිබී මත්කුඩු කිරිම සඳහා භාවිතා කරන විද්‍යුත් තරාදි 3ක් හා ජංගම දුරකතන 5ක් බාරයට ගත්  බව පොලිසිය කියයි. තම බිරිඳට මෝටර් රථයක් ලබා දීම සඳහා මෙම ජාවාරමේ නිරත වන බව උපකාරක පන්ති ගුරුවරයාගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු පවසා ඇතැයි පොලිසිය පවසයි.  

-ඉන්දිකා රාමනායක-

කුවේට් ශ්‍රි ලංකාව තනාපති කාර්යාලයෙන් සුරක්ෂා නිවසේත් ලංකික 47කට කොරෝනා



කුවේටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ ලාංකික සේවකයන් තිදෙනකුට හා එම තානාපති කාර්යාලය බාරයේ පවතවන සුරක්ෂා නිවාසයේ (සේෆ් හවුස්) රැඳී සිටින ලාංකික කතුන් 44 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි එම ශ්‍රී ලංකා තානාපති කාර්යාලය සඳහන් කරයි.  මේ හේතූවෙන් තානාපති කාර්යාලය  පෙරේදා (26) සිට සති දෙකකට තාවකාලිකව

වසා දැමු බව එම තානාපති කාර්යාලය  නිවේදනය කරයි. එම ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවය කරන රියැදුරුට, භාෂා පරිවර්තකට හා තවත් සේවකයකුටම කොරෝනා වයිරසය ආසාදනය වී ඇති අතර, තානාපති කාර්යාලයට යාබදව පිහිටි සුරක්ෂි නිවස්නයේ සිටින මෙරට කතුන් 44 දෙනකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට කුවෙට් සෞඛ්‍ය බලධාරින් තහවුරු කර ඇතැයි එම තානාපති කාර්යාලය කියයි.

මෙම කාත්තාවන් පිරිස ගෘහ සේවය, පවිත්‍රතා සේවා ඇතුළු රැකියාවලට පැමිණ පොරොන්දු වූ පරිදි වැටුප් නොලැබ, හාම්පුතුන්ගේ විවිධ වධ හිංසාවලට ලක්වීම නිසා තානාපති කාර්යාලයේ රැකවල් යටතේ සිටින අය වෙති.  මෙවැනි තත්වයක් යටතේ තානාපති කාර්යාලයේ අනෙකුත් කාර්ය මණ්ඩල සාමාජිකයන් හා කොන්සියුලර් මසේවා සඳහා පැමිණෙන ලාංකිකයන්ගේ ආරක්ෂාව හේතුවෙන් මෙම තීරණය ගත් බවද එම  තානාපති කාර්යාලය සඳහන් කරයි.

කුවේට්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කාර්යමණ්ඩල සාමාජිකයන් තිදෙනකුට සහ සුරක්ෂා නිවාසයේ හතළිස් හතර දෙනකුට එම වයිරසය අසාදනය වීම හේතුවෙන් තානාපති කාර්යාලය ඔක්තෝබර් මස 11 වන දින දක්වා වසා තැබෙනු ඇත. මෙම කාලය තුළ හදිසි සේවාවන් සඳහා slemb.kuwait@mfa.gov.lk යන විද්‍යුත් තැපෑල ඔස්සේ සම්බන්ධ විය හැකි බවද කුට්ටයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය කියයි. 

තානාපති කාර්යාල සේවකයන් තිදෙනා වෛද්‍ය බලධාරීන්ගේ උපදෙස් මත නිරෝධායනයට යොමු කර ඇති අතර අනෙකුත් කාර්යමණ්ඩල සාමාජිකයන්ට එම වයිරසය වැළඳී ඇතිදැයි යන්න තහවුරු කර ගැනීමට පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කරමින් ස්වයං නිරෝධායනයට යොමුකර ඇත.  සෞදි අරාබියේ ජෙඩා නුවර පිහිටි ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලයේ සේවය කළ අයකුට කොරෝනා වයිරසය ආසාදනය වීමත් සමග එම කාර්යාලයද සති දෙකක කාලයකට තවකාලිකව වසා දමා තිබූ අතර එය ඊයේ (27) සිට යළිත් මහජනතාවට විවෘත කෙරිණි.  කටාර් හි දෝහා නුවර පිහිටි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ සේවකයකුට කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා එම  තානාපති කාර්යාලයද ඉකුත් සතියේ දී  තාවකාලිකව වසා දැමූ අතර එය ලබන ඔක්තෝබර් 05 වැනිදා යළි මහජනතාවට විවෘත කෙරේ.

-තිළිණ ද සිල්වා-


දේශපාලනඥයන් පවසන කොරෝනාවට එරෙහි එන්නත ආශ්චර්යක් නෙමෙයි - බ්‍රිතාන්‍ය වෛද්‍යවරියක් පවසයි



බ්‍රිතාන්‍ය තුළ ව්‍යාප්ත වී ඇති නව කොරෝනා වෛරසය මැඩපැවැත්වීම සඳහා යම්කිසි අවස්ථාවකදී එන්නතක් හඳුන්වා දීමට හැකි වුවහොත් එය එරට අගමැතිවරයා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා ඇතුළු දේශපාලනඥයන් සඳහන් කරන ආකාරයේ ආශ්චර්යවත් රීදී උණ්ඩයක් නොවන බව එරට වෛද්‍යවරියක වන එලී කැනොන් පවසයි.

විශේෂයෙන්ම මෙම පිරිස් පවසන ආකාරයට එන්නතක් සොයාගැනීමත් සමඟ එක්වරම රටෙහි සහ ලෝකයෙහිම නව කොරෝනා තුරන් වී නොයන බවත්, එවැනි දෑ ඇත්තේ හොලිවුඩයේ සිනමාපට තුළ පමණක් බවත් ඇය පවසයි. විශේෂයෙන්ම බලධාරීන් ජනතාව තුළ මෙම ප්‍රතිශක්තිකරණය සම්බන්ධයෙන් වන බලාපොරොත්තු ඉහළ දමමින් සිටින නමුත්, ජනතාව ලෙස එවැනි තත්ත්වයක් පිළිබඳව එතරම් දැඩි අපේක්ෂාවකින් නොසිටීම වඩාත් වැදගත් බවත් ඇය සඳහන් කරයි. 

“සෞඛ්‍ය අමාත්‍යවරයා පවසනවා, මේ එන්නත දැන් නිපදවමින් තිබෙන්නේ කියලා. ඔහු පවසනවා මේ එන්නත මේ අවුරුද්දේදි හරි ලබන අවුරුද්ද මුලදී හරි ඉදිරිපත් කරන්න පුළුවන් වේවි කියලා. හැබැයි වෛද්‍යවරියක ලෙස මට දැනෙන දේ තමයි, මම පවසන්නේ . මම මගේ රාජකාරියට අවංක වෙන්න ඕනේ." ඇය පවසයි.

මේ වනවිට බ්‍රිතාන්‍යයේ ඔක්ස්ෆර්ඩ් විශ්වවිද්‍යාලය මගින් ඉදිරිපත් කර ඇති නව කොරෝනාවට එරෙහි එන්නත සම්බන්ධයෙන් බලධාරින්මෙන්ම ජනතාවද වැඩි බලපාපොරොත්තු තබා තිබේ. එහෙත් එය ලබාදුන් ඇතැම් පිරිස් අතර යම් සංකූලතා මතුවීමත් සමග එම කටයුතු තාවකාලිකව නැවැත්වීමත් සිදුවිය. කෙසේ වෙතත් විශ්වවිද්‍යාලය මගින් යළිත් එම කටයුතු අරඹා ඇති අතර, ලොව තුළ නව කොරෝනාවට එරෙහි එන්නත් අතර එය ඉදිරියේ සිටියි.

වෙළඳපොළේ වාහන හිඟය උග්‍ර වෙයි



මෝටර් රථ ආනයනය නතර කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් වෙළඳපොළේ උග්‍ර වාහන හිඟයක් පවතින බව ශ්‍රී ලංකා වාහන ආනයනකරුවන්ගේ සංගමයේ සභාපති රන්ජන් පීරිස් මහතා පැවසිය. වාහන අලෙවි අංගනවල ලියාපදිංචි නොකළ වාහන 3000ක් වත් නොමැති බවද පීරිස් මහතා සඳහන් කළේය. ඇතැම් වාහන අංගනවල වාහන දෙක තුන වශයෙන් පමණක් ඉතිරිව ඇති බවත් ඉල්ලුම අනුව සැපයුම නොමැතිවීම හේතුවෙන් එම වාහන සඳහා සම්මත මිලක් නොමැති බවත් ඔහු කීය.  ජනතාව වැඩි වශයෙන් මිලදී ගනු ලබන සුසුකි වැගන් ආර්, ටොයෝටා පැසෝ, ටොයෝටා විට්ස්, ටොයෝටා සී.එච්.ආර්. ටොයෝටා වෙසල්, ටොයෙටා ප්‍රේස් රථ වෙළෙඳපොළේ උග්‍ර හිගයක් පවතින බවද රජන් පීරිස් මහතා පැවසීය.

ටොයෝටා ඇක්සියෝ, ටොයෝටා ප්‍රිමියෝ,  ටොයෝටා රයිස් ආදී මෝටර් රථ කිහිපයක් පමණක් වාහන අංගන තුළ පවතින බවත් එම වාහන මිලද විශාල වශයෙන් ඉහළ ගොස් ඇති බවත් ඔහු කීය. ඒ අනුව ටොයෝටා ඇක්සියෝ රථයක් රුපියල් ලක්ෂ 79කට වඩා වැඩි මුදලකටත්,  ටොයෝටා ප්‍රිමියෝ රථයක් රුපියල් ලක්ෂ 100 කට වැඩි මිලකටත්, ටොයෝටා රයිස් රථයක් රුපියල් ලක්ෂ 80 කට වැඩි මිලකට අලෙවි වන බවද ඔහු සඳහන් කළේය.

මෝටර් රථ ආනයනය කිරීමට රජය අවසර නොදීම හේතුවෙන් සේවකයන්ට වැටුප් ගෙවීමට නොහැකිව හා බැංකු ණය ගෙවීමට නොහැකිව වාහන අලෙවිකරුවන් විශාල මූල්‍ය අර්බුදයකට පත්ව ඇතැයිද ඔහු පැවසීය.  මේ හේතුවෙන් වාහන අලෙවිසැල් විශාල සංඛ්‍යාවක් වැසී ගොස් ඇතැයිද පැවසූ හෙතෙම මේ සම්බන්ධයෙන් රජයෙන් සහනයක් බලාපොරොත්තු වන්නේ යැයිද කීවේය.

මෝටර් රථ ආනයනය කිරීමට රජය අවසර දුන්නත් වාහන ගෙන්වා ගැනීම සඳහා තවත් මාස තුනක පමණ කාලයන්වත් ගතවනු ඇතැයිද ඔහු කීය.  මෝටර් රථ ආනයනය නතර කිරීමට රජය ගත් තීරණය හේතුවෙන් ලියාපදිංචි කළත් වාහන මිලද ශීඝ්‍රයෙන් ඉහළ ගොස් ඇතැයි වෙළඳම්පොළ ආරංචි මාර්ග සඳහන් කරයි.  කොරෝනා වයිරසය ව්‍යාප්තියත් සමග ඇතිවූ ආර්ථික අර්බුදය හමුවේ මෝටර් රථ ආනයනය කිරීම ඉකුත් මාර්තු 19 වැනිදා සිට අත්හිටුවීමට රජය පියවර ගත්තේය.


-නිමල කොඩිතුවක්කු-

පොල්ගහවෙල කාන්තාවක් ඝාතනය කළ සිද්ධියට සම්බන්ධ තිදෙනෙක් අත්අඩංගුවට

පොල්ගහවෙල යොගොමුවා කන්ද මාර්ගයේ ජයසුන්දර ගාන්ඩිහි නිවසක පදිංචි වී සිටි කාන්තාවක් ඝාතනය කිරිමේ සිද්ධියට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව කුරුණෑගල පොලීසිය පවසයි. මෙම ඝාතනය සම්බන්ධයෙන් මහේස්ත්‍රාත් පරීක්ෂණ පෙරේදා (26දා) සිදු කළ අතර එහිදී අනාවරණය වූ කරුණු මත පොල්ගහවෙල ජයසුන්දර ගාන්ඩ්හි නිවස සහ අලව්ව කපුවරල නිවස සහ මා ඔය පරික්ෂාවට ලක් කිරීමේදී මෙම මළසිරුරේ යැයි සැක කළ හැකි කොටස් කිහිපයක් හමුවී තිබේ. මෙලෙස ඝාතනයට ලක්ව ඇත් ඩබ්.එම්. දිපිකා නමැති 48 හැවිරිදි කාන්තාවකි.

මෙම කාන්තාව අතුරුදන් වී ඇති බවට ඇයගේ ඥාති සහෝදරියක් පසුගිය 23 වැනිදා කුරුණෑගල පොලීසියට කරන ලද පැමිණිල්ලකට අනුව මියගිය කාන්තාව සමඟ සම්බන්ධතාවක් පවත්වා ගෙන ගිය පුද්ගලයෙකු පසුගිය 24දා කුරුණෑගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. මෙලෙස අත්අඩංගුවට ගත් සැකකාර පුද්ගලයාගෙන් කළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය වූයේ පොල්ගහවෙල ජයසුන්දර ගාන්ඩිහි පදිංචි නිවසේදී මෙම සැකකරු ඝාතනයට ලක් වූ කාන්තාව සමග අගෝස්තු මස 18 වැනිදා රාත්‍රියේ ඇති වූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් තියුණු ආයුධයකින් පහරදී මෙම කාන්තාව ඝාතනය කළ බවයි. 

පසුව සැකකරු ඔහුගේ පියා සහ මෝටර් රථ රියැදුරු සමඟ මියගිය කාන්තාවගේ සිරුර පොහොර උරයක දමා මෝටර් රථයකින් අලව්ව කපුවරල ප්‍රදේශයේ තම පියාගේ නිවසට රැගෙනවිත් නිවස පිටුපස සිරුර පුලුස්සා දමා ඉතිරි කොටස් නිවස ඉදිරියේ ඇති මා ඔයට දමා ඇති බවට අනාවරණය වී තිබේ. ඒ අනුව මෙම සැකකාර පුද්ගලයාගේ පියා සහ මෝටර් රථ රියදුරා කුරුණෑගල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණි. මෙම අබිරහස් මරණය පිළිබඳ පරීක්ෂණ පොල්ගහවෙල වැඩබලන මහේස්ත්‍රාත් ටී.එම්.ජේ. තෙන්නකෝන් මහතා ඉදිරියේ පෙරේදා (26දා) සිදු කෙරිණි. සිද්ධිය සම්බන්ධයෙන් කුරුණෑගල පොලිස් ස්ථානයේ ප්‍රධාන පොලිස් පරික්ෂක පුෂ්පලාල් මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

- ශ්‍යාමා ධර්මසේන -

මෝටර් රථයක් ත්‍රීරෝද රථයක ගැටී දියණිය සහ පියා ජිවිතක්ෂයට


පාදෙණිය ප්‍රධාන මාර්ගයේ ශ්‍රාවස්තිපුර ප්‍රදේශයේදී ඊයේ (27දා) අලුයම සිදුවූ රිය අනතුරකින්, පියෙකු සහ දියණියක පිවිතක්ෂයට පත්ව තවත් සිවු දෙනකු තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කළ බව අනුරාධපුර පොලීසිය පවසයි. මෙලෙස ජීවිතයට පත්වූයේ, වික්ටෝරියා පෙදෙස අනුරාධපුරය ගම්මාන අංක 1 පදිංචිව සිටි ඒ.පී රන්බණ්ඩා (අවු.60) සහ නේරංජලා ප්‍රියදර්ශනී (අවු.32) නමැති දෙදෙනෙකි. අනුරාධපුර දෙස සිට තලාව දෙසට ගමන් කළ ත්‍රිරෝද රථයක් සහ තලාව දෙස සිට අනුරාධපුර දෙසට ගමන් කළ මෝටර් රථයක් මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇති බවත්, මරණකාරිය විසින් ත්‍රිරෝද රථය පදවාගෙන ගොස් තිබෙන අතර, ත්‍රිරෝද රථයේ පිටුපස අසුනේ සිටි ඇයගේ පියාද මෙම අනතුරින් ජීවිතක්ෂයට පත්ව ඇගේ ඥාති දියණියක් සහ නැගණියක් බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලට ඇතුළත් කර තිබෙන බවත් පරීක්ෂණවලදී අනාවරණය විය. 

අනතුරට පත් මෝටර් රථය වෛදයවරයෙකු විසින් ධාවනය කර ඇති අතර එම අවස්ථාවේ ඔහුගේ බිරිඳ සහ දරු දෙදෙනා මෝටර් රථයේ ගමන් කර ඇති ඇති බවත් අනතුරින් වෛද්‍යවරයා සහ බිරිද සුළු තුවාල ලබා ඇති බවත් පොලීසිය පවසයි. මෝටර් රථයේ රියදුරුට නින්ද යාම හේතුවෙන් මෝටර් රථය මාර්ගයේ දකුණු පසට ඇදී ගොස්, නිවැරදි මංතීරුවේ පැමිණි ත්‍රිරෝද රථයේ මුහුණට මුහුණ ගැටී මෙම අනතුර සිදුව ඇතැයි හෙළි වී තිබේ.

අනතුර සම්බන්ධයෙන් සැකකාර වෛද්‍යවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි. සිද්ධිය සම්බන්ධයෙන් අනුරාධපුර මූලස්ථාන පොලිස් ප්‍රධාන පොලිස් පරික්ෂක සජීව මහනාම මහතාගේ උපදෙස් මත රථ වාහන අංශයේ ස්ථානාධිපති, සේනක ප්‍රසන්න මහතාගේ මෙහෙයවීමෙන් රථ වාහන අංශයේ නිලධාරිහු වැඩිදුර පරික්ෂණ පවත්වති.


 - බි.ජි. චතුරංග -

ආරක්ෂක කවුන්සිලයට මට ජිවිතේට යන්න දුන්නේ නෑ

 

පාස්කු ඉරිදා ප්‍රහාරය සිදුවීමට පෙර දින රාජ්‍ය බුද්ධ ප්‍රධානී නිලන්ත ජයවර්ධන මහතා තමා සමග තත්පර 927ක් දුරකතනයෙන් කතා කළත් ප්‍රහාරයක් පිළිබඳ වූ 'බුද්ධි තොරතුර' ගැන කිසිම සඳහනක් නොකළ බව පොලිස් විශේෂ කාර්ය බළකායේ හිටපු අණදෙන නිලධාරි එම්.ආර්. ලතීෆ් මහතා පාස්කු ඉරුදින ප්‍රහාර මාලාව සම්බන්ධයෙන් විමර්ෂනය කරන ජනාධිපති  කොමිසම හමුවේ සාක්ෂි දෙමින් පෙරේදා (26) පැවසීය.  කාත්තන්කුඩි ප්‍රදේශයේ යතුරුපැදියක වූ පිපිරිම සම්බන්ධයෙන් පමණක් එම දුරකතන සංවාදය සිදුවූ බවත් පාස්කු ඉරුදින ප්‍රහාරයට අදාළ බුද්ධි තොරතුරු සම්බන්ධයෙන් තමා සමග කිසිවක් ප්‍රකාශ නොකිරිම පිළිබඳව තමාට මේ විනවිටත් ඇත් ප්‍රහේලිකාවක් බවත් සාක්ෂි දෙමින් එම්.ආර්. ලතීෆ් මහතා සඳහන් කළේය.

මෙම ප්‍රහාරය සම්බන්ධයෙන් ලද විදෙස් තොරතුරක් පිළිබඳව 2019 අප්‍රේල් මස 04  දිනැති ලිපියකින් මා දැනුවත් කර තිබූ බවත්, එම ලිපිය තමා වෙත ලැබුණේ අප්‍රේල් මස 09  වැනිදා බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.  පසුව තමා ඊට අදාළව ගත යුතු සියලු ආරක්ෂක වැඩපිළිවෙළ යෙදූ බවත් අප්‍රේල් මස 11 වැනිදා ආරක්ෂක ලේකම්වරයා හමුවූ පසු මත්ද්‍රව්‍ය සහ සංවිධානාත්මක අපරාධ සම්බන්ධයෙන් වූ වැඩමුළුවක් සඳහා අසර්බයිජානය වෙත පිටවී යන ලෙස තමාට  දැන්වූ බවත් සාක්ෂිකරු සිය සාක්ෂියෙන්  පැවසිය.

ඒ අනුව තමන් අප්‍රේල් මස 14 වැනිදා විදෙස් ගත වූ බවත් නැවත අප්‍රේල් මස 19 වැනිදා මෙරටට පැමිණි බවත් පසුවට පොලිස්පතිවරයාටත් ආරක්ෂ ලේකම්වරයාටත් තමා පැමිණි බව පවසා විශේෂ තොරතුරු ඇතිදැයි විමසූ බවත් ඔවුන් තමන්ට කිසිවක් නොපැවසු බවත් සාක්ෂිකරු සඳහන් කළේය.  පොලිස් විශේෂ කාර්ය බළකාය ජාතික ආරක්ෂක කවුන්සිලයේ සාමාජිකයකු වුවත් එහි කිසිදු රැස්වීමකට තම සේවා කාලය තුළ සම්බන්ධ වීමට තමට ඉඩ නොදුන් බවත්  තමන් ඒ සම්බන්ධයෙන් ආරකෙ ලේකම්වරයා  අතුළු වගකිව යුත්තන්ට දැනුම් දුන් බවත් සාක්ෂිකරු කොමිසම හමුවේ ප්‍රකාශ කළේය.

රාජ්‍ය බුද්ධි ප්‍රධානියා අප්‍රේල් මස 14 වැනිදා එවූ තොරතුරට පසුව වෙනත් කිසිදු තොරතුරක් සහිත ලිපියක් තමන් වෙත නො වූ බවත්, ඔහු  වෙනත් පාර්ශව වෙත සවිස්තරාත්මක තොරතුරු යවා ඇති බවට තමන් දැනගත් බවත් සාක්ෂිකරු සිය සාක්ෂිය දෙමින් සඳහන් කළේය. එම සවිස්තරාත්මක තොරතුරු තමන්ටද එවා තිබුණි නම් ඒ සම්බන්ධයෙන් වැඩිදුරටත් විමර්ශනය කර විනාශය වළක්වා ගැනීමට තමන්ටද කටයුතු කළ හැකිව තිබූ බවදකොමිසම හමුවේ සාක්ෂි දෙමින් පොලිස් විශේෂ කාර්ය බළකායේ හීටපු අණ දෙන නිලධාරි එම්.ආර්. ලතීෆ් මහතා පැවසිය.

රියැදුරු බලපතට ලකුණු ක්‍රමය ලබන වසරේ සිට ක්‍රියාත්මකයි

 රියැදුරු බලපත්‍ර සඳහා යම් ලකුණු ප්‍රමාණයක් අන්තර්ගත කර රියැදුරු විසින් සිදුකරනු ලබන වැරදිවලට අනුව අදාළ ලකුණු ක්‍රමයෙන් අඩු වී යන ක්‍රමවේදයක් එළඹෙන වසරේ සිට ක්‍රියාත්මක කිරීමට වාහන නියාමනය, බස් රථ ප්‍රවාහන සේවා හා දුම්රිය මැදිරි හා මෝටර් රථ කර්මාන්ත රාජ්‍ය අමාත්‍යංශය කටයුතු යොදා තිබේ.

මෙම ලකුණු ලබාදීමේ ක්‍රමවේදය, එළඹෙන වසරේ සිට හඳුන්වා දීමට නියමිත වාණිජ සහ සාමාන්‍ය ලෙස කොටස් 02කින් යුත් රියැදුරු බලපත්‍ර ක්‍රමයට අන්තර්ගත කිරීමට නියමිතය. ඒ අනුව රියැදුරු බලපත්‍රයට ලබාදෙනු ලබන ලකුණු ප්‍රමාණය 'බිංදුව' දක්වා අඩු වූ පසු එම රියැදුරු බලපත්‍රය අහෝසි වී යන අතර, එවිට අදාළ පුද්ගලයාට නැවත රියැදුරු බලපත්‍රයක් ලබා ගැනීමේ හැකියාව අහිමි වන බව විෂය භාර රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා ප්‍රකාශ කර සිටියේය.


- නිදර්ශනී වික්‍රමසිංහ -

අලුත බැඳපු ජෝඩුව දුන් පාටියට ආ මිතුරන් 9 ළඟ ලක්ෂ 3 1/2ක මත්ද්‍රව්‍ය

මෑතකදී විවාහ වූ යුවළක් වෙනුවෙන් තෙලිකඩ, හොරගම්පිට, දීපගොඩ ප්‍රදේශයේ පොල්වත්තක නිවසක පැවති මිතුරු සාදයකට සහභාගි වූ නවදෙනකු රුපියල් 352000ක් පමණ වටිනා විවිධ වර්ගයේ මත්ද්‍රව්‍ය තොගයක් සමග සැකපිට පෙර්දා (26) අත්අඩංගුවට ගත්බව තෙලිකඩ පොලිසිය පවසයි. රුපියල් 180000ක් වටිනා මුද්දර මත්ද්‍රව්‍ය 45ක්, රුපියල් 72000ක් වටිනා මත්පෙති 18ක්, රුපියල් 20000ක් වටිනා කේරළ ගංජා ග්‍රෑම් 05ක්, රුපියල් 40000ක් වටිනා හෑෂ් ග්‍රෑම් 07ක්, රුපියල් 40000 වටිනා එම්.ඩී. එම්. ග්‍රෑම් 02ක් සමග මෙම සැකකරුවන් 09 දෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

මෙම සාදය සදහා පිරිමි පුද්ගලයින් 12 දෙනෙකු හා කාන්තාවන් 05 දෙනෙකු සහභාගිවී සිටි බව පොලිසිය පවසයි. මෑතකදී විවාහ වූ යුවළක් වෙනුවෙන් සාදය සංවිධානය කොට තිබූ බව පරික්ෂණවලදී අනාවරණය වී ඇත. මොවුන් නුවර, කොළඹ, කෑගල්ල,  කුරුණෑගල, මැදිරිගිරිය ආදි ප්‍රදේශවල පදිංචිකරුවන් බවත් සැකකරුවන් වයස අවුරුදු 25ත් 35ත් අතර වියේ පසුවන අය බවද  අත්අඩංගුව පොලිසිය පවසයි.  නිලධාරින් සාදය පැවති ඉඩමේ අයිතිකරු කොළඹ ප්‍රදේශයේ පදිංචිකරුවකු බවද පොලිසිය පවසයි. සැකකරුවන් 09 දෙනා ඊයේ බද්දේගම අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.


-ජේ.කේ.එල්.චාමින්ද-

Friday, September 25, 2020

විදුලි බඩු හදන කඩවලට පැන ලක්ෂ 5ක ටී වී උස්සලා

ගොඩගම, අතුරුගිරිය, ඤාණවිමල මාවත හා පෝරේ යන ප්‍රදේශවල පිහිටි විද්‍යුත් භාණ්ඩ අලුත්වැඩියා කරන ආයතනවලට කාලයක් තිස්සේ හොර රහසේ ඇතුළු වී ඒවායේ තිබූ රුපියල් ලක්ෂ 05 කට අධික වටිනාකමක් ඇති රූපවාහිනී යන්ත්‍ර ඇතුළු අමතර කොටස් සොරාගෙන ගිය අයෙක් අතුරුගිරිය පොලිසියේ අපරාධ විමර්ශන අංශය මගින් අත්අඩංගුවට ගනු ලැබීය. 

අග්ගොන ප්‍රදේශයේ සිට ත්‍රිරෝද රථයකින් පැමිණ අතුරුගිරිය පොලිස් වසම තුළ සැරිසරමින් පෝරේ ශ්‍රී මහා විහාරස්ථානය ආසනයේ පිහිටි එවැනි ආයතනයක කම්බි දැලක් කපා රහසිගතව ඇතුළු වී රූපවාහීනී යන්ත්‍ර ඇතුළු විදුලි භාණ්ඩ සොරා ගෙන යාමට සුදානම් වන බවට ලැබුණු තොරතුරු මත සැකකරු අත්අඩංගුවට ගන්නා ලදැයි පොලිසිය කියයි.

සැකකරු විසින් එවැනි විද්‍යුත් භාණ්ඩ අලුත්වැඩියා කරන ආයතන තුනකින් සොරා ගන්නා ලද රූපවාහිණි යන්ත්‍ර 17 ක්, ශබ්දවාහිනී බෆල් කට්ටලයක්, රූපවාහීනී ස්ටූල් කිහිපයක් හා ඒවා ප්‍රවාහනයට යොදා ගෙන තිබූ ත්‍රිරෝද රථය ද පොලිසිය බාරයට ගෙන ඇත.

අතුරුගිරිය පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක සුනිලක රූපසිංහ මහතාගේ උපදෙස් ඇතිව අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක අසංක ප්‍රේමලාල්, පොලිස් පරික්ෂක දිනුක වීරසිංහ යන මහත්වරුන්ගේ මෙහෙයවීමෙන් විමර්ශන සිදුකර සැකකරු මෙසේ අත්අඩංගුවට ගත්හ.

- ගුණවතී ඉලංකෝන් මැණිකේ -

"මම මේඝන්ට කැමති නෑ. ඒත් හැරීට සුබ පතනවා" - ට්‍රම්ප් පවසයි

ඇමෙරිකානුවන් එරට ජනපති ට්‍රම්ප් එම ධුරයෙන් ඉවත් කළ යුතු බවට බ්‍රිතාන්‍යයේ හැරී කුමරුන් සහ ඔහුගේ බිරිඳ වන මේඝන් මර්කල් පසුගියදා සිදුකළ ප්‍රකාශයට ප්‍රතිචාර දැක්වීමට ජනපති ට්‍රම්ප් ඊයේ (24දා) කටයුතු කළේය.

ඒ අනුව තමන් කිසිවිටෙකත් මේඝන් මර්කල්ගේ රසිකයෙකු නොවන බවත්, එහෙත් හැරීට සුබපතන බවත් ඔහු එහිදී පවසා සිටියේය. ධවල මන්දිරයේදී පැවැති මාධ්‍ය හමුවකදී හැරීගේ සහ මර්කල්ගේ මේ ප්‍රකාශය සම්බන්ධයෙන් සිදුකළ විමසීමකට පිළිතුරු දෙමින් ට්‍රම්ප් එම කරුණු දක්වා තිබේ.

"මම මේඝන් මර්කල්ගේ රසිකයෙක් නෙමෙයි. මට මේ දේ කියන්න ඕනේ... ඇයත් මේ දේ අහලා ඇති. මම හැරීට ගොඩක් සුබපතනවා. මොකද ඔහුට ඒ සුබපැතීම් ඕනෑ නිසා.” ට්‍රම්ප් මෙහිදී පවසා තිබේ. 

ලබන නොවැම්බර් 20 වැනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සම්බන්ධයෙන් පසුගියදා අදහස් දක්වමින් හැරී සහ මේඝන් මේ අදහස පළකර තිබුණි. බ්‍රිතාන්‍ය රජ පවුලෙන් ඉවත් වුණු මෙම දෙපළ මේ වනවිට ලොස් ඇන්ජලීස් නුවර මන්දිරයක් මිලට ගෙන එහි වාසය කරයි. එහිදී අදහස් දක්වා තිබුණු හැරී කුමරුන් ඇමෙරිකානුවන් දැන්වත් "වෛරීසහගත අදහස් දැක්වීම්’ ප්‍රතික්ෂේප කළ යුතු බවට පෙන්වා දී ඇත. එසේම මේඝන් මර්කල් "මෙය ඇමෙරිකානුවන්ගේ ජීවිතයේ වඩාත් වැදගත්ම මැතිවරණය’ බවටත් සඳහන් කර ඇත. කෙසේ වෙතත් හැරී සහ මේඝන් මෙලෙස අදහස් දැක්වීම බ්‍රිතාන්‍ය රාජකීය පවුලේ සම්ප්‍රදායට එරෙහි වීමක් ලෙසටද ඇතැම් පිරිස් සඳහන් කරති. විශේෂයෙන්ම මෙවැනි කාරණා සම්බන්ධයෙන් දෙවැනි එලිසබෙත් මහ රැජින ඇතුළු ඇගේ රජ පවුලේ සාමාජිකයන් සැමවිටම නිෂ්ක්‍රීය අදහසකින් සිටීමට කටයුතු කිරීම ඊට හේතුවයි. 

ඒ අනුව හැරී කුමරුන්ගේ ප්‍රකාශය පිළිබඳව නිවේදනයක් නිකුත් කර ඇති බ්‍රිතාන්‍යයේ බකිංහැම් මන්දිරයද, සසෙක්ස්හි ආදිපාදවරයා වන හැරී කුමරුන් තවදුරටත් බ්‍රිතාන්‍ය රජ පවුලේ සාමාජිකයෙකු ලෙස කටයුතු නොකරන බව පවසා තිබේ. එසේ ඔහුගේ අදහස් දැක්වීම පෞද්ගලිකව සිදුකළ අදහස් දැක්වීමක් බවටත් සඳහන් කර ඇත.


ඉන්දියාවට පනිද්දී ගොනා කෝවිලේ රොහා වෙඩි කා නසී



මහා පරිමාණ මත්කුඩු ජාවාරම්කරුවකු හා රත්මලාන පුද්ගල සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වශයෙන්  හැඳින්වෙන  දේමුණි හැරල්ඩ් රෝහණ ද සිල්වා (44) හෙවත්  "ගොනාකෝවිලේ රොහා” නමැත්තා බෝට්ටුවකින් ඉන්දියාවට පලායැමට උත්සාහ  කිරීමේදී කොච්චිකඩේ කම්මන්තොට වාඩියකදී පොලිසිය සමග ඇති වූ වෙඩි හුවමාරුවකින් ඊයේ (24) අලුයම මියගිය බව පොලිසිය කියයි.   වෙඩි වැදී මියගිය සැකකරු සන්තකයේ තිබී ටී 56 ගිනි අවියක්, පිස්තෝලයක්, උණ්ඩ හා ඉන්දියානු රුපියල් ලක්ෂ 3ක මුදලක්, ජංගම දුරකතන පහක්, සි නිපත් 25 ක් සහ ඉන්දියාවට රැගෙන යාම සඳහා රැගෙනවිත් තිබූ ඇඳුම් තොගයක් ද පොලිස් බාරයට ගෙන ඇත.  අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි “ගොනා කෝවිලේ රොහා" නමැත්තා ඉන්දියාවට පලා යෑම සඳහා කොච්චිකඩේ කම්මල්තොට ප්‍රදේශයේ වාඩියක සැගවී සිටින බවට බස්නාහිර පළාත් උතුර කොට්ඨාස දිසා අපරාධ විමර්ශන ඒකකයට ලැබුණු බුද්ධි තොරතුරක් අනුව ප්‍රධාන පොලිස් පරීක්ෂක නිවුල්ල මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් ඊයේ අලුයම 3.00 ට පමණ එම ප්‍රදේශයට ගොස් සෝදිසි මෙහෙයුමක් සිදුකර ඇති බවට උසස් පොලිස් නිලධාරියෙක් පැවසීය.

පොලිස් නිලධාරින් සැකකරු රැදී සිටි ස්ථානය පරික්ෂා කිරීමේ දී ඔහු එම ස්ථානයේ සිට නොමැති අතර පසුව පොලිස් නිලධාරින් චාඩියට ගොස් සෝදිසි කිරීමේ දී සැකකරු හමුවී ඇති අතර ඔහු නිලධාරින්ට  වෙඩි ප්‍රහාරයක් එල්ල කර ඇති බව ද එම උසස් පොලිස් නිලධාරියා පැවසීය. පොලිසිය පෙරළා කළ වෙඩි තැබීමෙන් සැකකරු වෙඩි වැදී බිම ඇද වැටී ඇති බව ද පොලිසිය පවසයි. වෙඩි වැදී බරපතළ තුවාල ලබා සිටි සැකකරු තිලධාරීන් විසින් මීගමුව රෝහලට ඇතුළත් කරනු ලැබ ඇති අතර වෛද්‍යවරුන් සැකකරු පරික්ෂා කර බැලීමෙන් පසු ඔහු මියගොස් ඇති බවට දැනුම් දී ඇත. සැකකරු කුඩා ඩිංගි යාත්‍රාවකින් දියඹට ගොස් පසුව ට්‍රෝලර් යාත්‍රාවකින් ඉන්දියාව බලා යෑමට සූදානම්ව සිට ඇති බව ද පොලිස් ආරංචිමාර්ග පවසයි.  සිද්ධිය වන අවස්ථාවේ ඔහු සමග තවත් සැකකරුවකු සිට ඇති අතර පළාගිය එම සැකකරු සොයා පොලිස් පරික්ෂණ ආරම්භ කර ඇත.

2016 වසරේ කුරුණෑගල මාස්පොත ප්‍රදේශයේ දී පොලිස් නිලධාරීන් පිරිසක් සැකකරු රැදී සිටි හෝටලයක් පරීක්ෂා කිරීමේ දී සැකකරු පොලිස් නිලධාරින්ට වෙඩි තබා පලාගොස් ඇති අතර එහිදී වෙඩි වැදී බණ්ඩාර නමැති උපපොලිස් පරික්ෂකවරයෙක් මිය ගියේය.  එම සිද්ධිය සම්බන්ධයෙන් වසර කිහිපයක් බන්ධනාගාර ගත කර සිටි සැකකරු පසුගිය ජනවාරි මස ඇප මත මුදාහරිනු ලැබිය.  රත්මලාන්නේ අංජු නමැත්තාගේ ප්‍රතිවාදී කල්ලියේ සමාජිකයකු වූ රොහා නමැත්තාට ප්‍රතිවාදී කල්ලිවලින් එල්ල වී තිබූ ජීවිත තර්ජන හේතුවෙන් සහ අපරාධ සම්බන්ධයෙන් පොලිසිය ඔහු අත්අඩංගුවට  ගැනීමට සොයන හෙයිත් සැකකරු තැන තැන සැඟවී සිට පසුව ඉන්දියාවට පළා යෑමට සුදානම්ව සිට ඇති බව ද පොලිස් ආරංචිමාර්ග කියයි.

2003 වසරේ ජනවාරි මස 01 දින බෝම්බ ගසා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම, 2006 වසරේ දී ගොනාකෝවිලේ ලංසියා නමැත්තා මෝටර් රථය තුළ වෙඩි තබා ඝාතනය කිරීම, 2007 මාර්තු මස 31 දින රුපියල් ලක්ෂ එකහමාරක මුදලක් කොල්ලකෑම, එම මැයි මස පුද්ගලයකු වෙඩි තබා ඝාතතය කිරිම, 2008 වසරේ අගෝස්තු මස 12 දින ටී 56 අවියකින් වෙඩි තබා මනුෂ්‍ය ඝාතනයක් කිරීම, එම වසරේම සැප්තැම්බර් මස 25 දින ගිනි අවි පෙන්වා මුදල් කොල්ලකෑම, 2017 පෙබරවාරි මස 13 දින පුද්ගලයකුට යකඩ පොල්ලකින් පහර දී වෙඩි තබා ඝාතනය කිරීම, 2014 වසරේ අගෝස්තු මස මෝටර් රථයක සිටි පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීම, රත්මලානේ රොහා නමැත්තාට එරෙහිව ඇති නඩු කිහිපයකි.

කුරුණැගල මාස්පොත දී පොලිස් නිලධාරින්ට එල්ල කළ වෙඩි ප්‍රහාරයෙන් උපපොලිස් පරික්ෂකවරයා මියයාමට අමතරව තවත් පොලිස් කොස්තාපල්වරයෙක් ද බරපතළ තුවාල ලැබීය.  2017 වසරේ දී රොහා නමැත්තා නඩුවට ඉදිරිපත් කිරීමට ගල්කිස්ස අධිකරණයට  රැගෙනවිත් එහි සිරමැදිරියේ රඳවා සිටිය දී ඔහු ඝාතනය කිරීම සඳහා ප්‍රතිවිරුද්ධ කල්ලි සාමාජිකයකු වන ලොකු මයියා නමැත්තා පිස්තෝල දෙකක් අධිකරණ භූමයට ඒවා තිබූ අතර එම ගිනි අවි දෙක එදින පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීම නිසා එදින රොහා නමැත්තාගේ දිවි බේරුණු බව ද පොලිසිය පවසයි. එම සිද්ධිය සම්බන්ධයෙන් ලොකු මයියා නමැත්තා ගල්කිස්ස පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.  මිගමුව වැඩබලන මහේස්ත්‍රාත් කේ.ජී. ගුණදාස මහතා සිද්ධිය වූ ස්ථානයට ඊයේ (24) උදේ පැමිණ මූලික මහේස්ත්‍රාත් පරීක්ෂණයක් සිදුකර පශ්චාත් මරණ පරීක්ෂණ මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයාට නියම කළේය.

-ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය-