Showing posts with label education. g3. Show all posts
Showing posts with label education. g3. Show all posts

Monday, January 25, 2021

බස්නාහිර පාසල්වලින් කොටසක් ලබන 15දා අරින්න හැකිවේවි


බස්නාහිර පළාතේ හුදෙකලා කළ ප්‍රදේශවල පිහිටි පාසල් හැර සෙසු පාසල් මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින සිසුන් වෙනුවෙන් අද (25) සිට විවෘත කෙරෙන බව කී ඇමැතිවරයා සෙසු ශ්‍රේණිවල සිසුන්ට ද ලබන 15 වැනිදා සිට ක්‍රමයෙන් පාසල් විවෘත කරන බව සඳහන් කළේය. ඒ අනුව එම පළාතේ ඇති පාසල් 1,576 ක ප්‍රමාණය අතුරින් පාසල් 900 ක පමණ අධ්‍යාපන කටයුතු ලබන මස 15 වැනිදා වන විට ආරම්භ කිරීමට හැකිවනු ඇතැයි අමාත්‍යවරයා කීවේය.  මෙවර අ.පො.ස. සාමාන්‍ය පෙළ විභාගය මාර්තු මස 1 වැනිදා සිට 11 වැනිදා තෙක් පැවැත්වෙන අතර බස්නාහිර පළාතේ සිසු සිසුවියන් 79,000ක් ඒ වෙනුවෙන් පෙනී සිටින බවත් ඇමැති ජී.එල්. පීරිස් මහතා ප්‍රකාශ කළේය.


කොරෝනා වසංගත තත්වය හේතුවෙන් පාසල් වසා තිබූ කාලයේදී මගහැරී ගිය එම සිසුන්ගේ අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීම වෙනුවෙන් අද සිට ඔවුන්ට පාසල් විවෘත කෙරන බවද ඇමැතිවරයා කීවේය. ඉන්පසු සෞඛ්‍ය අංශවල උපදෙස් හා මාර්ගෝපදේශ යටතේ ලබන 15 වැනිදා සිට බස්නාහිර පළාතේ පාසල් සෙසු ශ්‍රේණිවල සිසුන් වෙනුවෙන් ද විවෘත කෙරෙන බව මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා සඳහන් කළේය. බස්නාහිර පළාතේ පාසල් ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡාවක් අධ්‍යාපන හා සෞඛ්‍ය බලධාරීන්ගේ සහභාගීත්වයෙන් ඉකුන්දා පැවැති බව කී ඇමැතිවරයා ඒ සම්බන්ධයෙන් නිශ්චිත තීරණයක් දිස්ත්‍රික් සංවර්ධන කමිටු හරහා ගැනීම සුදුසු බව එහිදී තීරණය වීම නිසා දිස්ත්‍රික් කමිටු  සභාපතිවරුන්, සාමාජිකයන් සහ ප්‍රදේශයේ සෙසු සෞඛ්‍ය අධ්‍යපන නිලධාරීන් ලබන මස 3 වැනිදාට පෙර සාකච්ඡාවක්  පවත්වා පාසල් ආරම්භ කිරීමේ හැකියාව තීරණය කර අමාත්‍යාංශය වෙත දැනුම් දෙන්නැයි දන්වා ඇති බවද ඇමැතිවරයා කීවේය.

Wednesday, November 18, 2020

පාසල් 23 වැනිදා ආරම්භ කරනවාද නැද්ද තීරණය අද



රජයේ පාසල්වල තුන්වැනි වාරය ලබන 23 වැනිදා ආරම්භ කරනවාද? නැද්ද? යන්න පිළිබඳව, ජනාධිපති ගෝඨාභය රාප්පක්‍ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් අද (18) පැවැත්වෙන කොවිඩ් -I9 වැළැක්වීමේ ජනාධිපති කාර්ය සාදක බලකායේ රැස්වීමේ දී තීරණය කරන බව අධ්‍යාපන අමාතයාංශයේ ලේකම් මහාචාර්ය කපිල පෙරේරා මහතා පැවැසීය. එම සාකච්ඡාවේ දී ලැබෙන සෞඛ්‍ය නිර්දේශ මත පාසල්වල තුන්වැනි වාරය ආරම්භ කරන දිනය තීරණය කරන බව ද ඔහු සඳහන් කළේය.


පාසල් වසා ඇති කාලය තුළ සිසුන්ට ඔන්ලයින් ඔස්සේ ඉගැන්වීම් හා පැවරුම් මගින් අධ්‍යාපන කරුණු පිළිබඳව අවබෝධයක් ලබාදීමේ වැඩ සටහන් අඛණ්ඩව ක්‍රියාත්මක කරන බව ද මහාචාර්යවරයා පැවසීය. පාසල්වල තුන්වැනි වාරය නොවැම්බර් 9 වැනිදා ආරම්භ කිරීමට නියමිතව තිබුණ ද කොවිඩ් -19 ව්‍යාප්තිය නිසා පාසල් ආරම්භ කිරීම සති දෙකකින් කල් දැමීමට රජය තීරණය කළේය.


 -නාලක සංජීව දහනායක- 

Friday, October 16, 2020

ඌව සරසවියට වෛද්‍ය පීඨයක්



ඌව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට වෛද්‍ය පිඨයක් ලබාදීමට රජය තීරණය කර ඇතැයි අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්. පීරිස් මහතා පැවසිය. මෙරට අවශ්‍ය  වෛද්‍යවරුන් බිහිකිරීම සඳහා වෛද්‍ය අධ්‍යාපනය පුළුල් කළ යුතු බව ද  අමාත්‍යවරයා සඳහන්  කළේය.  අමාත්‍යවරයා මේ බව පැවසුවේ උසස් අධ්‍යාපන අමාත්‍යාංශයේ දී පැවති සාකච්ඡාවක දීය.  ගතානුගතික පාඨමාලාවලින් බැහැරව නව අකෘතිගත  වෛද්‍ය පීඨයක් උඋව වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට අනුබද්ධව පිහිටුවීම ඵලදායී බව ද මෙහිදී සාකච්ඡා කෙරිණි.

ආරම්භයේ දී මෙම පීඨය වෙනත් විශ්වවිද්‍යාලවල වෛද්‍ය පීඨයට අනුබද්ධ පීඨයක් ලෙස පවත්වා ගෙන යාම සුදුසු බව ද අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා පැවසිය. විශ්ව විද්‍යාල ප්‍රතිපාදන කොමිසම සහ සෙසු  වෛද්‍ය පීඨ අතර සාකච්ඡා කර මෙම විද්‍යා පීඨය ස්ථාපිත කිරිම සඳහා අදාළ යෝජනා මාසයක් ඇතුළත සකස් කරන ලෙස ද අමාත්‍ය ජී.එල්. පීරිස් මහතා මෙහිදී උපදෙස් දුන්නේය.  මෙම සාකච්ඡාවට එක් වූ කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසුවේ, ඌව  වෙල්ලස්ස විශ්වවිද්‍යාලයට වෛද්‍ය පීඨයක් ලබාදෙන ලෙස තමන් මෙම සරසවිය පිහිටු වූ දින සිට දිර්ඝ කාලයක් ඉල්ලීම් කළ බවයි.

ගුණාත්මක අතින් ඉහළ පාඨමාලා නිසා විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය සම්පූර්ණ කරන සෑම  අයෙකුටම රැකියා ස්ථිර බවට ඉහළ පිළිගැනීමක් පවතින බව ද ඇමතිවරයා කීවේය.  මෙම විශ්වවිද්‍යාලයට අවශ්‍ය සියලු යටිතල පහසුකම් සම්පූර්ණ කර ඇති බවත්, එය පුළුල් කිරීම සඳහා අවශ්‍ය අතිරේක ඉඩම් ද වෙන් කර ඇති බවත් නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසිය. වෛද්‍ය පීඨයේ සායනික කටයුතු සඳහා සියලු පහසුකම්වලින් සමන්විත බදුල්ල රෝහල ද හෙද විදුහල ද ඇති බව කී අමාත්‍යවරයා පරිවාරයේ ඇති මහියංගන, දියතලාව සහ වැලිමඩ රෝහල් ද එහි සායනික කටයුතුවලට බද්ධ කර ගත හැකි බව සඳහන් කළේය. 

බදුල්ල හා මොනරාගල දිස්ත්‍රික්වලින් වසරකට  වෛද්‍ය විද්‍යාව හැදෑරීම සඳහා 150 කු පමණ සමත් වන බවත්, ඒ අයට සිය නිවෙස්වල සිටම සිය වෛද්‍ය උපාධිය හැදෑරිමට මෙමගින් පහසුව සැලසෙන බව මෙහි දී සඳහන් විය.  විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති මහාචාර්ය සම්පත් අමරතුංග, කොළඹ, කරාපිටිය, ජයවර්ධනපුර,වෛද්‍ය පීඨ පීඨාධිපතිවරුන් ඇතුළු පිරිසක් මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.


-ඩයනා උදයංගනී-


Thursday, October 15, 2020

උසස්පෙළ විභාග මධ්‍යාස්ථානයක සෞඛ්‍යයට වෙන්කරන 1000 මදි

 

අධ්‍යයන පොදු සහතික පත්‍ර උසස් පෙළ විභාග මධ්‍යස්ථානයක සෞඛ්‍ය කටයුතු වෙනුවෙන් විභාග දෙපාර්තමේන්තුව ලබාදෙන රුපියල් 1,000ක මුදල කිසිසේ් ප්‍රමාණවත් නොවන බවට ලංකා ගුරු සංගමය චෝදනා කරයි.  විභාග මධ්‍යස්ථානයක ශිෂ්‍යයන් 160ක් පමණ විභාගයට පෙනී සිටින අතර කාර්ය මණ්ඩලය ද විස්සක් පමණ සිටින අතර දින 22ක් පුරා පැවැත්වෙන උසස් පෙළ විභාගය  වෙනුවෙන් සෞඛ්‍ය කටයුතු සිදුකිරීමට එම මුදල කිසිසේත් ප්‍රමාණවත් නැතැයි ද ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝසප්  ස්ටාලින් මහතා පැවැසීය. 

සිසුන්ට අත් සේදීමට සබන්, විෂබීජනාශක ලබාදීමටත්, විභාග නිරික්ෂකයින්ට මුඛ ආවරණ හා හිස් ආවරණ ආදිය ලබාදීමටත් සිදුව ඇති හෙයින් විභාග ශාලාධිපතිවරුන් දැඩි අපහසුතාවකට පත්ව සිටින බව ද ෂ්ටාලින් මහතා කීය.  විභාග මධ්‍යස්ථානවල සෞඛ්‍ය ආරක්‍ෂක කටයුතු වෙනුවෙන් ශාලාධිපතිවරයා එම රුපියල් දහසක මුදල පෞද්ගලිකව වැය කළ යුතු අතර එය විභාගයෙන් පසුව ගෙවීමට විභාග දෙපාර්තමේන්තූව කටයුතු කරන බව ද ජෝසප් ස්ටාලින් මහතා කීවේය.

-රංජන් කස්තුරි-


Thursday, October 8, 2020

ලබන වසරේ සිට පන්තියකට ළමුන් 45ක්


ලබන වසරේ සිට පාසලක එක් පන්තියක සිටිය හැකි උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව 10 දෙනකුගෙන් ඉහළ නංවන බව අධ්‍යාපන අමාත්‍යාංශය කියයි.  ඒ අනුව එක් පන්තියක උපරිම ශිෂ්‍ය සංඛ්‍යා 45 දක්වා ඉහළ  නංවන බවද එම අමාත්‍යාංශය පවසයි.  

පත්තියක සිටිය යුතු උපරිම ශිෂ්‍ය සංඛ්‍යාව ඉහළ නැංවීමටත් කැබිනට් මණ්ඩල අනුමැතිව හිමි වී තිබෙන අතර අවශ්‍ය නීතිමය කටයුතු සිදුකිරීමට නිතිපතිවරයාට බාරදුන් බවද එම අමාත්‍යාංශය පවසයි.  ඉකුත් 2016 වසරේදී පැවැති එක් පන්තියක උපරිම ශිෂ්‍ය  සංඛ්‍යාව 40 සීමාව වසරකට එක බැගින් 2020 වසර වනවිට 35  දක්වා අඩුකරන්නැයි මීට ඉහතදී ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දුවක් දී  තිබිණි.


-රංජන් කස්තුරි-







Friday, September 25, 2020

විදුහල්පති ඇතුළු ගුරු පිරිසක් පාසල කලින් ඇර මඟල් ගෙදරක ගිහින්



දිඹුලාගල අධ්‍යාපන කලාපයට අයත් මැදගම මහා  විද්‍යාලයේ විදුහල්පතිවරයා ඇතුළු ගුරුවරුන් පිරිසක් ඊයේ (24) වේලාසනින් පාසල නිමාකර මංගල කටයුත්තක් සඳහා බැහැර යෑමත් සමග පාසල් දරුවන් ඇතුළු තමන්  දැඩි අසීරුතාවට පත්වූ බවට එම පාසල් දරුවන්ගේ මවුපියෝ චෝදනා කරති. මෙම විදුහලේ පළමු වසර සිට 13 වසර දක්වා පන්ති පැවැත්වෙන අතර තමන්ට මගුල් ගෙදරකට යෑමට ඇති බැවින් වේලාසනින් පාසැල අරින බව ඒ ඒ පත්තිභාර ගුරුවරත් සිසුන්  දරුවන්ට දවල් 12.30 පමණ දන්වා ඇත. සිසුන් හරහා මවුපියන්  ද දැනුවත් කර ඇත.  කුඩා දරුවන් රැගෙන යෑමට පැමිණෙන මවුපියන් ඒ පිළිබඳ දැනුවත්වී නොසිටි හෙයින් එම දරුවන් කල්වේලා ඇතිව නිවෙස්වලට පැමිණ ඇති බවත් මගුල් ගෙදරකට යන බවට  කලාප අධ්‍යපන කාර්යාලයේ නිලධාරින් ද ලිඛිතව දැනුවත් කර නොමැති බවත් මවුපියෝ කියති. 

මේ නිසා එක වසරේ සිට 13 වසර දක්වා විදුහලේ සිසු  දරුවන් 800කට ආසන්න පිරිසක් අසීරුතාවකට මුහුණදුන් බව ද පැවසේ.  පාසල් සිසුන් සහ මවුපියන් නගන මේ චෝදනාව පිළිබඳ අප මැදගම මහා විද්‍යාලයේ විදුහල්පති ගාමිණී හේරත් මහතාගෙන් දුරකතනයෙන් කළ විමසීමක දී ඔහු මෙසේ පිළිතුරු දුන්නේය.  ඔව් මං මේ මගුල් ගෙදර යන්න තමා හදන්නේ . පාසල ඇරියේ එකට විතර. යකෝ අපි පාසල කලින් ඇරියට දරුවන්ට හවස පන්ති කරනවා. ඇවිත් බලපියව් තොපේ පත්තරේ ඕනෑ එකෙකුට කියලා ඕක දාගනියව්. මම බය නැහැ යැයි ආවේගශීලීව පිළිතුරු දුන්නේය.  අනතුරුව අප දිඹුලාගල කලාප අධ්‍යාපන අධ්‍යක්ෂිකා චන්දිමා වාසලමුදලි මහත්මියගෙන් දුරකතනයෙන් කළ විමසීමක දී ඇය පැවසුවේ එලෙස පාසල් කාලයේ විවාහ උත්සවයකට සහභාගි වන බවට තමාට ලිඛිතව හෝ වාචිකව දැනුම් දීමක් සිදු නොකළ බවත් එලෙස සහභාගිවීම නීති විරෝධී බවත් එලෙස ගොස් ඇතිනම් මවුපියන් ලිඛිතව දැනුවත් කළහොත් ඒ සම්බන්ධව නීතිමය පියවර ගන්නා බවය.

-නිමල් ජයරත්න-

Thursday, September 24, 2020

ජාතික පාසල් අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ගැනීම තාවකාලිකව නවතයි



දිවයිනේ සියලුම ජාතික පාසල්වල අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීම තාවකාලිකව  අත්හිටවූ බව අධ්‍යාපන අමාත්‍යාංශය සදහන් කරයි. අතරමැදි ශ්‍රේණිවලට සිසුන් ඇතුළත් කිරීමට දැනට පවතින ක්‍රමවේදය සමාලෝචනය කර නැවත තීරණයක්  ගන්නා බවද එම අමාත්‍යාංශය පවසයි.

-රංජන් කස්තුරි-


Tuesday, September 22, 2020

සෞඛ්‍යාරක්ෂිත ක්‍රම නැත්නම් පොත් ප්‍රදර්ශනය නවත්තන්න හෝ දින ගණන අඩු කරන්න



කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් සෞඛ්‍ය අමාතයංශය ලබාදී ඇති සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද අනුගමනය නොකරන්නේ නම් දැනට පැවැත්වෙන කොළඹ ජාත්‍යන්තර පොත් ප්‍රදර්ශනය නතර කර දැමීමට හෝ දින ගණන අඩුකිරීමට සිදුවන බව කොළඹ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී රුවන් විජයමුනි මහතා ඊයේ (2) පැවසීය. ඉකුත් 18 වෙනි දින කොළඹ බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේදී ආරම්භ වූ මෙම පොත් ප්‍රදර්ශනය මෙම 27 දක්වා පැවැත්වේ .මෙම ප්‍රදර්ශන භූමියේ විශාල පිරිසක් සැරිසරන බවද සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේද පිළිබඳව ඔවුන් විශේෂ අවධානයක් යොමු  කළ යුතු අතර, මේ පිළිබඳව සකස් කළ වාර්තාවක් ඊයේ (21) සෞඛ්‍ය අධ්‍යක්ෂ ජනරාල් වෙත භාරදුන් බවද ඒ මහතා කීය.

මුබ ආවරණ පැළඳීම, දුරස්ථභාවය තබාගැනීම මෙන්ම අනෙකුත් සෞඛ්‍යාරක්ෂිත ක්‍රමවේදවලින් බැහැරව ඇතැමුන් කටයුතු කරන බවට මුල් දිනවල නිරීක්ෂණය වූ බව ද, මේ පිළිබඳව සංවිධායකයින් දැනුවත් කළ බව ද හෙතෙම සඳහන් කළේය. කෙසේ වෙතත් මේ පිළිබඳව සම්මන්ත්‍රණ ශාලාවේ සේවකයින්ට සහායවීම ප්‍රදර්ශන සංවිධායකයින්ගේ වගකීම බව ද ඔහු කිවේය.  එසේ නොවුණහොත් ප්‍රදර්ශනය අවලංගු කිරිමට හෝ දින ගණන සීමා කිරිමට සිදුවන බව ද ඔහු පැවසීය.

-ජයන්ත සමරකෝන්-

Thursday, September 17, 2020

පේරාදෙණිය ඉංජිනේරු දෙවැනි වසර නවත්වයි



පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ දෙවැනි වසරේ සිසුන්ගේ අධ්‍යයන පාඨමාලාව ඊයේ (16) සිට තාවකාලිකව නතර කළ බව එම විශ්ව විද්‍යාලයේ උපකුලපති මහාචාර්ය උපුල් බී. දිසානායක මහතා පැවැසීය.  විශ්වවිද්‍යාලය තුළ නවකවදය ක්‍රියාත්මක වන බවට පාර්ශව කිහිපයකින් ලැබුණු පැමිණිලි සලකා එම පියවර ගත් බව ද උපකුලපතිවරයා කිය. 

ඉංජිනේරු පීඨයේ දෙවන වසර සිසුන් ඊයේ පස්වරුවේ සිට නේවාසිකාගාරවලින් ඉවත් කළ අතර ඔවුන්ට විශ්වවිද්‍යාල පරිශ්‍රය තහනම් කලාපයක් බවට පත්කළ බව ද දිසානායක මහතා සඳහන් කළේය. ඉංජිනේරු පීඨයේ නවක සිසුන් හා අනෙකුත් වසරවල සිසුන් වෙනුවෙන් අධ්‍යයන කටයුතු සාමාන්‍ය පරිදි සිදුකරන බව ද උපකුලපතිවරයා කීය.

-රංජන් කස්තුරි-

Tuesday, January 21, 2020

කොළඹ ලොකු ඉස්කෝල 2ක් අමාත්‍යාංශ චක්‍රලේඛයටත් පයින් ගහලා



රජයේ පාසල්වල අතරමැදී පත්තිවලට සිසුන්  ඇතුළත් කිරීමේ වැඩපිළිවෙළ යටතේ ඉකුත් වසරේදී එම පත්තිවලට ඇතුළත්වීම සදහා සුදුසුකම් ලැබූ සහ අධ්‍යාපන ලේකම්වරයා නිර්දේශ කළ සිසුන් ඇතුළත් කිරීම ඇතැම් විදුහල්පතිවරුන් ප්‍රතික්ෂේප කර තිබේ. එම නිසා එම ශිෂ්‍ය ශිෂ්‍යාවන්ගේ මවුපියෝ මාස ගණනාවක් තිස්සේ බලවත් අපහසුතාවකට පත්ව සිටිති.

කොළඹ රාජකීය කොළඹ දේවිබාලිකා සහ තවත් පාසල් කීපයක විදුහල්පතිවරුන් විසින් අධ්‍යාපන අමාත්‍යාංශයේ ලේකම්වරයාගේ නිර්දේශ කඩකරමින් හිතුවක්කාරී ලෙස කටයුතු කරන බවට ද එම මවුපියෝ චෝදනා කරති.රජය හෝ අමාත්‍යාංශයක් හෝ ප්‍රතිපත්තිමය තීරණයක් ගතහොත් එය ක්‍රියාත්මක කිරීමට රාජ්‍ය නිලධාරීන් බැඳී සිටින නමුත් අඳාළ චක්‍රල්බ උල්ලංඝනය කරමින් හා සදාචාරාත්මක මූලධර්මවලට පටහැනිව ඉහළ නිලධාරීන්ගේ නියෝගය කඩකිරීමට ඔවුන්ට නොහැකි බව ද ඇතැම් විදුහල්පතිවරුන් ආදි ශිෂ්‍ය සංගම්වලට මුවාවී ඉන් ගැලවී සිටින බව ද මවුපියෝ පවසති.

අධ්‍යාපන ලේකම්වරයාගේ 2008/37 චක්‍රලේඛ ප්‍රකාරව ඉකුත් 2019 වසරේ සැප්තැම්බර් මස 23 වැනිදා කොළඹ රාජකීය විද්‍යාලයේ දී 10 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීමට සම්මුඛ පරික්ෂණයක් පැවැති අතර ඉන් ඉහළ ලකුණු ලැබූ සිසුන් 9 දෙනා මේ දක්වා විද්‍යාලයට ඇතුළත් කරගෙන නැතැයිද ඔවුන්ගේ මවුපියෝ කියති.  එම සිසුන් මෙම වසරේදී අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටින අතර ඔවුන් පාසලට ඇතුළත් කර ගැනීම තවදුරටත් ප්‍රමාද වීමෙන් විභාග කටයුතුවලට පවා බාධා පැමිණෙන බව ද මවුපියෝ පෙන්වා දෙති.

කොළඹ රාජකීය විද්‍යාලයේ ආදි ශිෂ්‍ය සංගමය පවරා ඇති  නඩු කටයුත්තක් තිබෙන බව කියමින් හා වර්තමාන අධ්‍යාපන ලේකම්වරයාගේ අනුමැතිය අවශ්‍ය බව ආදී එකිනෙකට පරස්පර හේතු කියමින් එම විදුහලේ බලධාරින් තවදුරටත් එම සිසුන් අසාධාරණයට ලක්කරමින් සිටින බව ද ඔවුහු කියති.මේ අතර කොළඹ දේවී බාලිකා විද්‍යාලයේ විදුහල්පතිනිය අධ්‍යාපන ලේකම්වරයාගේ නියෝග නොසලකා හැර  මවුපියන්ට කරුණු පැහැදිලි කිරීමටවත් අවස්ථාවක් ලබාදී නැතැයිද පැවසේ.

එහෙත් දේවි බාලිකා විදුහල්පතිනිය ගුරුවරියන් දෙදෙනකුගේ සිසුන් තිදෙනකු ඉකුත් ජනාධිපතිවරණ සමයේදී මැරිතිවරණ  කොමිසමේ නියෝග කඩකරමින් පාසලට ඇතුළත් කර ඇති බව  ද වාර්තා වේ. අතරමැදි පාසල්වලට සිසුන් ඇතුළත් කිරීමේදී ඉකුත් වසරේ සිදුව ඇතැයි කියන මෙම අක්‍රමිකතා පිළිබඳව මවුපියන් පිරිසක්  මානව කොමිෂන් සභාවට ද පැමිණිලි කර තිබේ.

Tuesday, October 8, 2019

ශිෂ්‍යත්ව ප්‍රතිඵලවල ස්ථාන නම් නොකළ නිසා දරුවන්ට පීඩනයකින් තොරව අධ්‍යාපන කටයුතුවල යෙදීමේ වරම දීමට හැකිවුණා



පහ ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථම, දෙවැනි හා තෙවැනි ආදී ස්ථාන  නම් නොකර මෙවර ප්‍රතිඵල නිකුත් කිරීම නිසා එම විභාගයට පෙනී සිටි දරුවන්ට තවත් සිසුවකු සමඟ සැසදීමකින් හා කිසිදු පීඩනයකින් තොරව ඉදිරි අධ්‍යාපන කටයුතුවල යෙදීමේ වරම ලබාදීමට හැකි වූ බව අධ්‍යාපන අමාත්‍ය නීතිඥ අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

සිසු දරුවන් විභාගවලදී පැය කිහිපයක් ඇතුළත ප්‍රශ්න පත්‍රවලට සපයන පිළිතුරුවලින් ලබන ප්‍රතිඵල මත පමණක් ඔවුන්ගේ දක්ෂ අදක්ෂ බව තක්සේරු කිරීම තමන් අනුමත නොකරන බවත්, පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් දිවයින් ප්‍රථම, දෙවැනි, තෙවැනි යනාදී ස්ථාන  නම් නොකිරීමට ගනු ලැබූ තීරණය පරීදි මෙවර ශිෂ්‍යත්ව ප්‍රතිඵල නිකුත් කළ බවත් අමාත්‍යවරයා සදහන් කරයි.

ශිෂ්‍යත්ව විභාගය සඳහා පවතින අනවශ්‍ය තරගකාරීත්වය මත දරුවන්ට අහිමි වන ළමා කාලය නැවතත් ඔවුන්ට ලබාදීමට ගනු ලැබූ මෙම තීරණය ඉදිරියටත් ක්‍රියාත්මක කරන බවද ඒ මහතා ප්‍රකාශ කරයි.
පාසලක සියලුම දරුවන්ට සමානව සැලකිය යුතු වුවත්, පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගය ඉහළින් සමත් වූ කිහිප දෙනෙකු පමණක් ප්‍රදර්ශනාත්මකව අගය කිරීම මෙතෙක් සිදු වූ බවත්, අනෙක් සිසුන් අපහසුතාවට පත් කරන එම සම්ප්‍රදාය  වෙනස් කිරීම සඳහා ගත් මෙම තීරණය දරුවන්ට පමණක් නොව ඔවුන්ගේ  මවුපියන්ට, ගුරුවරුන්ට අස්වැසිල්ලක් වූ බවත් හෙතෙම පවසයි.

දරුවන්ට නිදහසේ සිය අධ්‍යාපනය ලබාගැනීමට අවස්ථා සලසාදීම සඳහා අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන පෙළ විභාගයේ සමත් අසමත්භාවය නොසලකා සිය නිපුණතාව හා කැමැත්ත පරිදි අඛණ්ඩ අධ්‍යපනයක් ලබාදීම (13වසරක සහතික කළ අධ්‍යාපනය) වැනි විප්ලවීය වැඩසටහනක් දැඩි කැපවීමකින්
ක්‍රියාත්මක කිරීමට හැකි වූ බවද අමාත්‍යවරයා සඳහන් කරයි.

වසර 11 ක් වැනි දීර්ඝ කාලයකට පසුව පහ ශ්‍රේණිය ශිෂ්‍යාධාර ලබන සිසුන්ගේ සංඛ්‍යාව 15,000 සිට 20,000 දක්වා වැඩි කිරීමටත්, එයින් විශේෂ අධ්‍යාපනය ලබන සිසුන් 250කට ශිෂ්‍යධාර ලබාදීම අනිවාර්ය කිරීම සහ මාසික ශිෂ්‍යාධාර මුදල රුපියල් 500 සිට රු 750 දක්වා ඉහළ දැමීමටත් පියවර ගෙන තිබෙන බවත්, ශිෂ්‍යාධාර මුදල් ප්‍රමාදයකින් තොරව Online ක්‍රමයට සිසුන්ට ලබාගැනීමේ පහසුකම් සලසා ඇති බවත් හෙතෙම කියා සිටියේ.


Friday, August 2, 2019

උ.පෙළ උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ගුරුවරු ඉවත්වීමේ සුදානමක්




ගුරු විදුහල්පති ගැටලු විසදීම සදහා ලිඛිත  පොරොන්දුවක් මේ මස 15 වැනිදාට පෙර ලබාදීමට කටයුතු නොකළහොත් මෙවර පැවැත්වෙන උසස් පෙළ විභාගයේ උත්තර පත්‍ර පරීක්ෂාවෙන් ඉවත්වන බව සමස්ත ලංකා උපාධිධාරී ගුරු සංගමය පවසයි. මේ සම්බන්ධයෙන් ඊයේ (01දා) අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතාට ලිඛිතව දැන්වූ බවත්, 1997 වසරේ සිට පවතින වැටුප් ගැටලු, උසස්වීම් ගැටලු හා නව සේවා ව්‍යවස්ථා ගැටලු හේතුවෙන් ගුරු විදුහල්පතිවරුන්ට දැඩි අසාධාරණයක්  සිදුව තිබෙන බවත් එම සංගමයේ ප්‍රධාන ලේකම් ඊ.එම්.ජේ.එස්. ද සේරමි  මහතා සඳහන් කළේය.

ගුරු විදුහල්පතිවරුන් ඇති වී තිබෙන ගැටලු විසඳන ලෙසට බලධාරීන්ගෙන් අඛණ්ඩව ඉල්ලා  සිටි නමුත් එම ඉල්ලීම්වලට කිසිදු ප්‍රතිචාරයක් නොමැති බවද හෙතෙම පවසා සිටියේය. මේ හේතුවෙන් උත්තර පත්‍ර පරීක්ෂා කිරීමේ කටයුතුවලින් ගුරුවරුන් ඉවත්කර ගැනීමට කටයුතු කරන බවට විෂයභාර අමාත්‍යවරයා දැනුවත් කළ බවත්, උත්තර පත්‍ර පරීක්ෂා කරන පිරීසෙන් අති බහුතරය උපාධිධාරී ගුරුවරුන් වන බවත් රි.එම්.ජේ.එස්. ද සේරමි මහතා වැඩිදුරටත් පැවසීය.

-එච්.අයි.තුෂාර-

Thursday, July 11, 2019

වසර තුනකට වැඩි සේවා කාලයක් ඇති ගුරුවරුන්ට එම පාසලටම දරුවන් ඇතුළත් කර ගැනීමට වරම්



තමන් සේවය කරන ජාතික පාසලේ වසර තුනකට වැඩි සේවා කාලයක් සම්පූර්ණ කර ඇති සියලු ගුරුවරුන්ට එම පාසලටම සිය දරුවන් ඇතුළත් කර ගැනීමට අවස්ථාව ලබාදීමට කඩිනමින් පියවර ගන්නා ලෙස අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා ඊයේ (10දා) නිලධාරීන්ට උපදෙස් දී තිබේ. දහස් සංඛ්‍යාත දරුවන් වෙනුවෙන් ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලියෙහි නිරත වන ගුරුවරුන්ට තමන් සේවය කරන පාසලට සිය දරුවන් ඇතුළත් කර ගැනීම ගැටලුවකින් තොරව සිදුකර ගැනීමට අවකාශ සැලසිම වෙනුවෙන් අමාත්‍යවරයා මේ උපදෙස් දී තිබේ.

මේ තුළින් යහපත් මානසික තත්ත්වයකින් යුතුව තම ඉගැන්වීම් කටයුතු පවත්වාගෙන යෑමට ගුරුවරුන් පෙලඹෙනු ඇති බවත් ඵලදායී සේවයක් ඔවුන්ගෙන් අධ්‍යාපන පද්ධතියට ලබාගැනීමට ඒ හා යම් දිරි ගැන්වීමක් ද ලැබෙන බවත් අමාත්‍යවරයා සඳහන් කරයි. ජාතික පාසල් වල 1, 5,6 සහ 11 ශ්‍රේණි හැර අනෙකුත් අතරමැදි ශ්‍රේණිවලට දරුවන් ඇතුළත් කිරීමේදී ගුරුවරුන් සඳහා වන මේ විශේෂී තීරණය බලපැවැත්වෙන බව ද අධ්‍යාපන අමාත්‍යාංශය පවසයි.

මේ අතර පාසල්වලට දරුවන් ඇතුළත් කිරීම වෙනුවෙන් අධ්‍යාපන අමාත්‍යාංශය වෙත පැමිණෙන සියලු මවුපියන්ගේ දැන ගැනීම පිණිස එක් එක් පාසල්වල පවත්නා පුරප්පාඩු ප්‍රසිද්ධියට පත්කර ඒ අනුව අදාළ අයැදුම්පත් යොමු කිරීමට හැකිවන අයුරින් වඩාත් විනිවිද භාවයකින් යුත් වැඩපිළිවෙළක් අධ්‍යාපන අමාත්‍යවරයාගේ උපදෙස් මත ඉතිහාසයේ ප්‍රථමවරට ක්‍රියාත්මක කර තිබේ.

-උදයන්ති මුණසිංහ-

රුහුණු සරසවියේ තුන්කොන් ගැටුමක්



රුහුණ විශ්වවිද්‍යාලයේ වැල්ලමඩම සංකීර්ණයේ සිසුන්, ගම්මුන් හා ආරක්ෂක අංශ නිලධාරීන් අතර උද්ගත වී ඇති ගැටුම්කාරී වාතාවරණය හේතුවෙන් වැල්ලමඩම විශ්වවිද්‍යාල සංකීර්ණයේ මානව ශාස්ත්‍ර හා සමාජීය පීඨය, විද්‍යා පීඨය, කළමනාකරණ හා මූල්‍ය පීඨය, ධිවර හා තාක්ෂණ විද්‍යා පීඨය, පශ්චාත් උපාධි යන පීඨවල සිසුන්ට වහා ක්‍රියාත්මක වන පරිදි ඊයේ සවස 4.00ට පෙර විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් හා නේවාසිකාගාරවලින් ඉවත්වන ලෙස උප කුලපති ජේයෂ්ඨ මහාචාර්ය සුජීව අමරසේන මහතා නියෝග කළේය. මේ බව දැනුම්දෙමින් විශ්වවිද්‍යාල පරිශ්‍රයේ දැන්වීම්ද ප්‍රදර්ශනය කිරීමට කටයුතු කර තිබිණි.

         
ඊයේ දහවල් කාලය වන විට සිසුන් පිරිසක් ඉන් ඉවත්ව ගිය අතර පස්වරු වනතෙක් තවත් සිසුන් පිරිසක් එහි රැඳී සිටින ආකාරය දක්නට ලැබිණි. රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන්ට එරෙහිව ගම්මු ප්‍රහාරයක් එල්ලකර පලා යෑමත් සමඟ සිසුන් සහ ආරක්ෂක අංශ අතර පෙරේදා රාත්‍රි  ඇතිවූ ගැටුම හේතුවෙන් සිසුන් අට දෙනකු තුවාල ලබා ඇති අතර ආරක්ෂක අංශයේ එක් නිලධාරියකු තුවාල ලබා මාතර මහ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබයි.

පෙරේදා දහවල් විශ්වවිද්‍යාලයේ සිසුන්ගේ නොසන්සුන්කාරී ක්‍රියාකාරකම් වලට එරෙහිව අනධ්‍යයන කාර්ය මණ්ඩලය විරෝධතාවක් සංවිධානය කළ අතර අනධ්‍යයන කාර්ය මණ්ඩලයේ විරෝධතාවලට විශ්වවිද්‍යාලයේ සිසුන් පහරදීම නිසා අනධ්‍යයන කාර්ය මණ්ඩල සහ සිසුන් අතර විශ්වවිද්‍යාල පරිශ්‍රය තුළ ගැටුමක් ඇතිකරගෙන තිබේ. මෙම ගැටුමෙන් පසු පෙරේදා (09දා) රාත්‍රි
හතට පමණ මුහුණු ආවරණය කරගෙන පැමිණි සිවු දෙනෙක් පමණ රුහුණු විශ්වවිද්‍යාල සිසුන් පිරිසකට පහරදි යතුරුපැදිවලින් පලාගොස් තිබේ.

මෙලෙස පහර කා ඇත්තේ රුහුණු විශ්වවිද්‍යාලයේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය සමඟ ගැටුම් ඇතිකර ගත් සිසුන් පිරිසක් බව විශ්වවිද්‍යාල අභ්‍යන්තරයෙන් වාර්තා වේ. මුහුණු වසාගත් පුද්ගලයන් පලාගිය පසු රුහුණු විශ්වවිද්‍යාලයේ සිසුන් දෙසීයක් පමණ පැමිණ ආරක්ෂක අංශයේ නිලධාරීන්ට පහරදි තිබේ. මෙම ගැටුම අතරතුර ආරක්ෂක අංශයේ නිලධාරීන් වහාම පොලිසියට දැනුම් දීමෙන් පසු පොලිසිය එම ස්ථානයට පැමිණි අතර තත්වය පාලනය කර ගැනීමට නොහැකිව යුද හමුදාව කැඳවීය. පසුව පෞද්ගලික ආරක්ෂක නිලධාරීන් සේවයෙන් ඉවත් වූ අතර යුද හමුදාව සම්පූර්ණ ආරක්ෂාව ලබාදීම සිදු කළේය.

ප්‍රචණ්ඩකාරී ලෙස හැසිරුණු සිසුන් ආරක්ෂක නිලධාරින්ගේ කුටියටද දැඩි හානි කර තිබේ. පෙරේදා රාත්‍රි කාලයේ සිට උපකුලපතිවරයා ඇතුළු ඇදුරු මඩුල්ලට හැර සෙසු ස්ථානවලට ජලය අවහිර කර ඇති බවත් ඇතැම් වතුරට  මෝටර්වලට සපයන විදුලිය විසන්ධි කර ඇති බවත් විශ්වවිද්‍යාල සේවකයෝ චෝදනා කරති. මේ හේතුවෙන් සිසු සිසුවියන් හය දහසක් පමණ මහත් අසීරුතාවකට පත් වූ බව ශිෂ්‍යයෝ චෝදනා නඟති.

විශේෂයෙන්ම වැසිකිළි පිරිසුදු නොකිරීම, ජලය කප්පාදු කිරීම, විදුලිය විසන්ධි කිරීම වැනි කඩාකප්පල්කාරී ක්‍රියාවන් කර විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවකයන් සේවයෙන් ඉවත්වී ඇතැයි ශිෂ්‍යයෝ චෝදනා කරති. සියලු ශිෂ්‍යයන් විශ්වවිද්‍යාල පරිශ්‍රයෙන් ඉවත් වූ පසු නැවත විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු ආරම්භ කිරීමට අදාළ සාකච්ඡා පැවැත්වීමට සලකා බලන බවද උපකුලපතිවරයා පැවැසුවේය.

ශිෂ්‍යයන්ගේ ප්‍රචණ්ඩකාරී හැසිරීම් හේතුවෙන් ආරක්ෂක මුරපළට දැඩි හානි සිදුව ඇතැයි ආරක්ෂක නිලධාරීහු පවසති. ඊයේ (10දා) පස්වරු වනතෙක් යුද හමුදාව විශ්වවිද්‍යාලයට ආරක්ෂාව දෙන අයුරු කැමරාවේ සටහන් විය. සිසුන් චෝදනා කරන්නේ අනධ්‍යයන කාර්ය මණ්ඩලය හා රජය සිසුන්ට මැර තර්ජන එල්ල කරන බවයි. එහෙත් තම අරගලය ඊට යට නොවි සිදු කරන බවද ශිෂ්‍යයෝ කියති.ගැටුමට සම්බන්ධ සිසුන් අත්අඩංගුවට ගැනීමට සහ මුහුණු වසාගෙන පැමිණි පුද්ගලයන් හඳුනා ගැනීමට පොලිස් බුද්ධි අංශ විමර්ශන අරඹා ඇත.

-උදය කුමාර රණවිර-

කොස්තාපල් සරසවි සිසුවියකගේ ඇඳුම ගලවන්න කියලා



කැලණි විශ්වවිද්‍යාලයේ ආරක්ෂක මුරකුටියේ රාජකාරියේ නිරතව සිටි නාවික හමුදා සෙබළකු එම විශ්වවිද්‍යාලයේ සිසුවකුට තර්ජනය කර පපුවට ගිනි අවියක් එල්ල කිරීමේ සිද්ධියකට විරෝධය පළ කිරීමට හා පෙරේදා (09දා) කොළඹ විශ්වවිද්‍යාල සිසුන්ට පොලිසිය එල්ල කළ මැර ප්‍රහාරවලට විරෝධය පෑමට ඊයේ (10දා) දහවල් කැලණි විශ්වවිද්‍යාලයේ සිසුහු උද්ඝෝෂණයක නිරත වූහ.

කැලණි විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති සුදේශ් මදුශංක ශිෂ්‍යයා සිද්ධිය පැහැදිලි කරමින් මෙසේ පැවැසිය.

"පළමු වසරේ ඉගෙනුම ලබන අපේ සහෝදර සිසුවියක් යුද හමුදා (කැමා) ටිෂර්ට් පෙනුමට සමාන ටිෂටයකින් සැරසී පසුගිය 10  වැනිදා කැලණි විශ්වවිද්‍යාලයට එන විට විශ්වවිද්‍යාලයේ ආරක්ෂක මුරකුටියේ රාජකාරියේ නිරතව සිටි පොලිස් නිලධාරියකු එම ටිෂර්ට් එක ගලවන ලෙස සිසුවියට පවසා තිබෙනවා.

තරුණියක් කොහොමද ඇය ඇඳගෙන සිටින උඩුකය ඇඳුමක් ගලවා ඉගෙනගන්න  යන්නේ. බහින්බස් වීම දුරදිග යද්දි පෙම්වතියගේ ගැටලුවට සහායට පැමිණි ඇගේ පෙම්වතා බව කියන අපේ විශ්වවිද්‍යාලයේ ශිෂ්‍යයකුගේ පපුවට ඒ අවස්ථාවේ මුරකුටියේ සිටි නාවික හමුදා සෙබළකු තුවක්කුව එල්ල කරමින් තර්ජනය කර තිබෙනවා. ඒ තර්ජනයත් ගාල්ල පාසලේ වගේ වුණා නම් මොකද වෙන්නේ.

මේ වනකොට කැලණි විශ්වවිද්‍යාලයේ පඤ්ඤානන්ද නේවාසිකාගාරය හමුදාවෙන් සෝදිසි කරනවා. අපි පාලනාධිකාරිය දැනුවත් කළා. ඔවුන් ගැටලුව මඟහරිනවා. ඒ නිසායි විරෝධතාව කළේ" යැයි ශිෂ්‍ය සංගම් සභාපතිවරයා පැවැසීය. කොළඹ නුවර ප්‍රධාන මාර්ගයට පැමිණි සිසුන් විරෝධතාවයේ නිරත වූ අතර කිරිබත්ගොඩ පොලිසිය නීතිය හා සාමය රැකීමට රාජකාරියේ නිරතව සිටියේය.

-කුසුම් එස්.හැන්නදි-

Thursday, June 20, 2019

ශිෂ්‍යත්වය - සාපෙළ 'වෙනියා' නවතී



ඉදිරියේදී පැවැත්වෙන පහේ ශිෂ්‍යත්ව සහ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග සඳහා සමත් - අසමත් භාවය මිස ලංකාවෙන්ම පළමුවැනියා, දෙවැනියා, තෙවැනියා ආදී වශයෙන් ලකුණු පදනම් කරගනිමින් ශ්‍රේණි ලබාදීමක් සිදු නොකරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

අමාත්‍යවරයා මේ අදහස් පළ කළේ ළඟම පාසල හොඳම පාසල' ව්‍යාපෘති ආධාර යටතේ රුපියල් මිලියන 34ක වියදමින් කුරුණෑගල කුඩාකත්තෝරුව ශ්‍රී සිද්ධාර්ථ මහා විද්‍යාලයේ අභිනවයෙන් ඉදිකළ ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානය සහ තාක්ෂණික ගොඩනැගිල්ල සිසු අයිතියට පත්කිරීමේ උත්සව අවස්ථාවට පසුගියදා (14) එක් වෙමිනි.

බොහෝ පාසල් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු නිදහසේ සැහැල්ලුවෙන් සිදුකරගෙන යෑමට අවකාශ අහිමි වී තිබෙන්නේ, පහේ ශිෂ්‍යත්වය සහ අ.පො.ස සාමාන්‍ය පෙළ විභාග තවමත් මෙරට අධ්‍යාපන පද්ධතිය තුළ කඩඉම් විභාග ලෙස ක්‍රියාත්මක වීම හේතුවෙන් බවත්, විභාගවලින් සිසුන් ශ්‍රේණිගත කිරීම අනවශ්‍ය කටයුත්තක් බවත් අමාත්‍යවරයා පැවසීය.

මේ තත්වය වෙනස් කිරීම වෙනුවෙන් තම උපදෙස් මත විශේෂ කමිටුවක් පත් කර ඇති බවද, ඉදිරියේදී එම කට්ටු නිර්දේශ සැලකිල්ලට ගනිමින් ශිෂ්‍යත්ව සහ සාමාන්‍ය පෙළ විභාග සඳහා ශ්‍රේණි ලබාදීම නතර කිරීමට පියවර ගන්නා බවද අධ්‍යාපන අමාත්‍යවරයා සඳහන් කළේය.

-නිර්මාණි බණ්ඩාරනායක-

Wednesday, April 24, 2019

දින නියමයක් නොමැතිව සරසවි වැසේ




දිවයිනේ සියලුම විශ්වවිද්‍යාලවල අධ්‍යයන කටයුතු නැවත දැනුම් දෙන තුරු ආරම්හ නොකිරීමට විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසන් සභාව තීරණය කර තිබේ. ඒ අනුව පවතින අයහපත් තත්ත්වය අවම වන තුරු විශ්වවිද්‍යාල වසා දමනු ලැබේ. මීට අමතරව සියලුම පෞද්ගලික කතෝලික පාසල් අප්‍රේල් 29 වැනිදා දක්වා තාවකාලිකව වසා දමන බව පෙරේදා (22) නිවේදනය කළේය.

එසේම සිංහල සහ දෙමළ අලුත් අවුරුදු නිවාඩුවෙන් පසු අද (24) ආරම්භ කිරීමට නියමිතව තිබූ අනුරාධපුර ශ්‍රී ලංකා  හික්ෂු විශ්වවිද්‍යාලයේ අධ්‍යයන කටයුතු නැවත දැනුම් දෙන තුරු ආරම්භ නොකිරීමට එම විශ්වවිද්‍යාලයීය පාලන අධිකාරියද තීරණය කර තිබේ. මීට පෙර ඉකුත් 22 වැනිදා අධ්‍යයන කටයුතු සදහා විවෘත කිරීමට නියමිතව තිබු එම විශ්වවිද්‍යාලය රටේ පවතින තත්වය සැලකිල්ලට ගනිමින් අද (24) දින දක්වා කල් දැමීමට පියවර ගනු ලැබූවද එම විශ්වවිද්‍යාලය අධ්‍යයන කටයුතු සඳහා නැවත ආරම්භ කරන දිනය පසුව දැනුම් දෙනු ලබන බව එහි ලේඛකාධිකාරි යූ. ඩී. දොඩම්වල මහතා පැවසීය.

-දිනුක මලින්ද හේරත්-

Monday, April 1, 2019

සා/පෙළ අසමත් වුනත් සැමට උ/පෙළ වරම්



වසරේ පැවති සාමාන්‍ය පෙළ විභාගය සමත් මෙන්ම අසමත් දරුවන්ටද සුබවාදී බලාපොරොත්තු දල්වා ගනිමින්, 2018 රැකියා ලොව ජයගත හැකි සාර්ථක පුරවැසියෙකු වීම සඳහා අවස්ථාව ලබාදී ඇති බවත්, සාමාන්‍ය පෙළ විභාගය තවදුරටත් කඩඉම් විභාගයක් නොවන බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියි.

අ.පො. ස. සාමාන්‍ය පෙළ විභාගයෙන් මෙවර  සියලු විෂයන් සඳහා A සාමාර්ථ ලබාගත් සිසුන් මෙන්ම සියලු විෂයන් අසමත්වූ සිසුන් වෙතද එකසේ සුබ පැතුම් එක් කිරිමට හැකි වීම සතුටට කරුණක් බවත් සාමාන්‍ය පෙළ විභාගය ඉහළින්ම සමත් සිසුන් මෙන්ම විභාගය අසමත් සිසුන්ද උසස් පෙළ දක්වා අධ්‍යාපන පද්ධතිය තුළ රඳවා ගැනීමට 13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ අවස්ථාව සලසා ඇති බවත් අමාත්‍යවරයා පැවසීය. එසේම කිසිම දරුවෙක් උසස් පෙළ හදාරන තෙක් පද්ධතියෙන් ඉවත් නොකරන බවද අමාත්‍යවරයා එම නිවේදනය මගින් කියා සිටී.

13 වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන යටතේ වෘත්තීය විෂයන් 26ක් සහිතව උසස්පෙළ වෘත්තීය විෂය ධාරාව ප්‍රථම වරට පාසල් පද්ධතියට හඳුන්වා දී තිබේ. එම වැඩසටහන  2019 වසරේ සිට දීපව්‍යාප්ත මට්ටමින් ක්‍රියාත්මක කර ඇති අතර මෙවර සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටි සියලු සිසුන්ට උසස් පෙළ සඳහා වෘත්තීය විෂය ධාරාව තෝරාගැනීමට අවස්ථාව හිමිවේ. එමෙන්ම පාසල් හරහා වෘත්තිය පුහුණු ආයතනයක අධ්‍යාපනය සඳහා යොමු වන සිසුන් සඳහා ප්‍රවාහන හා අනෙකුත් වියදම් වෙනුවෙන් රුපියල් 500ක දෛනික දීමනාවක් ලබාදීමට අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පසුගියදා 26 වැනිදා ඉදිරිපත් කළ යෝජනාවකටද අනුමැතිය හිමි වී ඇත.

-නිර්මාණී බණ්ඩාරනායක-



Friday, February 22, 2019

වසර 13ක පාසල් අධ්‍යාපනය අනිවාර්යයි



ලෝකයේ දියුණු රටවල අධ්‍යාපන ක්‍රමය වත්මන් සමාජයට ගැළපෙන ආකාරයට සකස් කර තිබෙන අතර අප ගමන් කළ යුත්තේ නවීන අධ්‍යාපන ක්‍රමය සමග බවත් ඒ අනුව වසර 13ක අනිවාර්ය පාසල් අධ්‍යාපන ක්‍රමය ක්‍රියාත්මක කර තිබෙන බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය. අග්‍රාමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ඊයේ (21) පෙරවරුවේ අරලියගහ මන්දිරයේ පැවැති දහතුන් වසරක සහතික කළ අධ්‍යාපන වැඩසටහන සිසුගත කිරීමේ ජාතික උත්සවය අමතමිනි.

ජපානය, කොරියාව, චීනය වැනි රටවල මෙන් ශ්‍රී ලංකාවේ ද වසර 13ක පාසල් අධ්‍යපනය අනිවාර්ය කරමින් නූතන ආර්ථිකයට ගැළපෙන ආකාරයට රැකියා සහ ආදායම් මාර්ග ඇති කරන බව එහිදී පැවසූ අග්‍රාමාත්‍යවරයා, නිදහස් අධ්‍යාපන ක්‍රමය පළමුවෙන් ආරම්භ වූයේ ශ්‍රී ලංකාවේ වුවද පවතින ක්‍රමය තුළ සිසුන් සියයට 50ක් පමණ පාසල් අධ්‍යාපනය අතරමඟ හැර යන බව පැවසීය.

Wednesday, February 13, 2019

A/L දරුවන්ට ටැබ් දීම අනුමතයි


උසස් පෙළ සිසුන් ඉලක්ක කර ගනිමින් 1 ඒ.බී. කාණ්ඩයේ සියලු පාසල්වල ක්‍රියාත්මක කිරීමට අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කළ උසස්පෙළ සිසුන් සඳහා ටැබ් පරිගණක ලබාදීමේ ව්‍යාපෘතිය සඳහා වන කැබිනට් පත්‍රිකාවට එකඟතාව පළවී ඇත. නූතන අධ්‍යාපනයේ විශ්වීය අවශ්‍යතාවන්ට ගැළපෙන ආකාරයෙන් පාසල් අධ්‍යාපනය සකස් කිරීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර ඇති අතර ඒ සඳහා ප්‍රමුඛතාව ලබාදෙමින් මුදල් වෙන් කිරීමට මුදල් ඇමැති මංගල සමරවීර එකඟතාව පළ කර තිබේ.

1 ඒ.බී. පාසල්වල උසස් පෙළ හදාරන සිසුන් ඉලක්ක කරගනිමින් මෙහි නියාමන ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන අතර එහි ප්‍රගතිය සහ සෙසු කරුණු පිළිබඳ අවධානය යොමු කරමින් මාස තුනකට පසුව අදාළ ව්‍යාපෘතිය දිවයිනේ සියලු උසස් පෙළ දරුවන් ඉලක්ක කරගනිමින් දියත් කිරීමට සැලැසුම් කර ඇත.

ටැබ් පරිගණක ලබාදීමේ වැඩසටහන පිළිබඳ සමස්ත සැලසුම සහ නියමු ව්‍යාපෘතිය ක්‍රියාත්මක කෙරෙන ආකාරය පිළිබඳ අධ්‍යාපන ඇමැති අකිල විරාජ් කාරියවසම් විසින් මීළඟ අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, අගමැති රනිල් වික්‍රමසිංහ ඇතුළු ඇමැති මණ්ඩලය වෙත සවිස්තරව කරුණු ඉදිරිපත් කිරීමට නියමිතය.

ජේ.ටී. ද සිල්වා