Showing posts with label Localg5. Show all posts
Showing posts with label Localg5. Show all posts

Thursday, June 9, 2022

ජංගම දුරකථනයක් ගැන ඇතිවූ ආරවුලකදී පුද්ගයෙක් මරුට

ජංගම දුරකථනයක් සම්බන්ධයෙන් ඇතිවූ බහින් බස්වීමක් දුරදිග යාමෙන් පෙරේදා (07දා) රාත්‍රියේ ඇතිවූ ගැටුමකදී තියුණු ආයුධයකින් පහර කෑ පුද්ගලයෙකු බරපතළ තුවාල සහිතව රාගම රෝහලට ඇතුළත් කිරිමෙන් අනතුරුව ජීවිතක්ෂයට පත්ව ඇති බවත් ඝාතනය සම්බන්ධයෙන් සැකකරුවෙකු අත්අඩංගුවට ගත් බවත් රාගම පොලීසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්ව ඇත්තේ, වයස අවුරුදු 55ක් වූ ගල්මුල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. 44 හැවිරිදි සැකකරු වැලිපිල්ලෑව, පොකුහන්දිය ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ගැටුමේදි ඇතිවූ කැපුම් තුවාල නිසා පොලිස් භාරයට ගෙන ඇති සැකකරුද ප්‍රතිකාර සඳහා රාගම රෝහලට ඇතුළත් කර එතනින් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළ බව රාගම පොලීසියේ වැඩබලන ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක අසේල පෙරේරා මහතා පැවසීය.රාගම පොලිසිය සිද්ධිය සම්බන්ධයෙන් සිදුකළ වැඩිදුර විමර්ශන කටයුතුවලදී මියගිය පුද්ගලයාගේ දියණිය සහ සැකකරු අතර ප්‍රේම සම්බන්ධයක් තිබී ඇති බවත් මියගිය පුද්ගලයාගේ ජංගම දුරකථනය නැතිවු අවස්ථාවේ ඒ පිළිබද විමසීමට මරකරු තවත් දෙදෙනෙකු සමග සැකකරුගේ නිවසට  ගොස් ඇති අතර එහිදී ගැටුමක් ඇතිවී සැකකරු තියුණු ආයුධයකින් මරණකරුට පහරදී ඇති බවත් පරික්ෂණවලදී අනාවරණය වී තිබේ. මරණකරු සමග සැකකරුගේ නිවසට ගිය අනෙක් පුද්ගලයන් දෙදෙනාටද සැකකරු පහර දීමට උත්සාහ ගත් අවස්ථාවේ ඔවුන් එම ස්ථානයෙන් බැහැරට දිව ගොස් බේරී ඇති බවද පොලීසියට කළ ප්‍රකාශයට පැමිණිල්ලේ සඳහන් වේ. මියගිය පුද්ගලයා නීතිවිරෝධී මන්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බවත් ඔහුගේ බිරිද නීතිවිරෝධී මන්ද්‍රව්‍ය චෝදනා සම්බන්ධයෙන් සිරගතවී සිටින බවත් සැකකරුද කලක් මොවුන් සමග මත්ද්‍රව්‍ය ජාවාරම් නිරත වූ පුද්ගලයෙකු බවද පරික්ෂණවලදී හෙළිවී තිබේ.සිද්ධිය සම්බන්ධයෙන් රාගම පොලීසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.


( ජාඇල - තිස්ස කොටින්කඩුව)


Tuesday, April 26, 2022

සබන් මිලට එරෙහිව සබන් කර්මාන්තශාලා ඉදිරිපිටදී 28 දා විරෝධතාවයක්

අසාධාරණ ලෙස ඇතැම් සබන් වර්ගවල මිල ඉහළ දැමීමට විරෝධය දැක්වීම සඳහා මේ මස 28 වැනිදා මිල ඉහළ දැමූ සබන් නිෂ්පාදන කර්මාන්තශාලා ඉදිරිපිටදී සිවිල් සංවිධාන ඒකාබද්ධ වී විරෝධතා ව්‍යාපාරයක් පවත්වන බව මහජන අයිතීන් සුරකීමේ පදනම සඳහන් කරයි. සබන් කැටයක මිල මීට පෙර ඉහළ දැමීමට කටයුතු කරණු ලැබුවේ රුපියල් දෙකකත් පහත් අතර මුදලකින් බවත්, එහෙත් මේ වනවිට සමහර සබන් වර්ගවල මිල රුපියල් 30කට වැඩි මුදලකින් ඉහළ දමා තිබෙන අතර, මේ පිළිබඳ පාරිභෝගික කටයුතු අධිකාරිය වහාම සොයා බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගතයුතු බවද එම සංගමයේ ජාතික සංවිධායක අසේල සම්පත් මහතා පැවසීය. එසේ නොමැති වුවහොත් අදාළ ගැටලුව විසඳා ගැනීමට ඉදිරියේදී පාරිභෝගික කටයුතු අධිකාරිය ඉදිරිපීටටත් යාමට සිදුවන බවද හෙතෙම පවසා සිටියේය. ඇතැම් සබන් වර්ගවල මිල ඉහළ දැමීමට කටයුතු කිරීම නිසා ඊයේ (25දා) දිනයේදී ඇතැම් සුපිරි වෙළෙඳ සැල් තුළ සබන් මිලදී ගැනීමට පෝලිම් පවා ඇති වී තිබූ බවට වාර්තා වන බවත්, මේ අනුව රාක්ක තුළ දිගු කාලයක් ගොඩගසා තිබූ සබන් සියල්ලම ඉතාමත් කෙටිකාලයක් තුළ අලෙවි තිබෙන බවත් අම්ල සම්පත් මහතා සඳහන් කළේය. මුදල් යහමින් තිබෙන පිරිස් එකවර විශාල සබන් තොගයක් මිලදී ගැනීම නිසා ඉදිරී දිනවල සබන් හිඟයක් ඇති වීමේ තත්ත්වයක්ද නිර්මාණය වී තිබෙන බවත්, සබන් හිඟයක් ඇති වුවහොත් එම තත්වය මත තව තවත් මිල ඉහළ දැමිය හැකි බවත් ඒ මහතා ප්‍රකාශ කළේය. සබන් යනු සීමිතව අවශ්‍ය වන භාණ්ඩයක් බවත්, මේ නිසා අවශ්‍ය ප්‍රමාණයට පමණක් සබන් රැගෙන යන ලෙසත් එසේ නොමැතිව හාල්, පොල් තොග රැගෙන යන ආකාරයට සබන් ගෙන ගොස් අනවශ්‍ය ආකාරයට සබන් හිඟයක් ඇති වීම වළක්වා ගැනීමට ජනතාව කටයුතු කළ යුතු අතර, එසේ නොමැති වුවහොත් සබන් මිලදී ගැනීමටත් ඉදිරියේදී දිගු පෝලිම්වල රැදීසිටීමට සිදුවිය හැකි බවත් අසේල්ල සම්පත් මහතා පවසා සිටියේය. මීට අමතරව ඇතැම් බිස්කට් වර්ගවල මිල පවා විශාල ලෙස. ඉහළ දමා තිබෙන බවත්, පාරිභෝගිකයන් ආරක්ෂා කිරීමට රට තුළ වැඩපිළිවෙළක් නොමැති නිසා ඒවාරකාර ව්‍යාපාරිකයන් ජවාරම්කාර සමාගම් තම නිෂ්පාදන අධික මුදලකට අලෙවි  කරමින් පාරිභෝගික ජනතාව ගසාකෑමටකට ලක් කරන බැවින් පාරිභෝගික ජනතාව ආරක්ෂා කිරීමට කඩිනමින් වැඩපිළිවෙළක් අවශ්‍ය බවත් ඒ මහතා සඳහන් කළේය.



 (එච්.අයි. තුෂාර)

Friday, August 13, 2021

ගෑස් සොයා ඇමතිගේ නිවසට ගිය කනිෂ්කට තේ එකක්

සමගි ජන බලවේගයට සම්බන්ධ තරුණ සමගි බලවේගයේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කනිෂ්ක ලැනරෝල් මහතා ප්‍රදේශයේ ගෑස් මිලදී ගැනීමට නොමැති බව පවසා ගෑස් හිස් ටැංකියක්ද හිසේ තබාගෙන ඊයේ (12දා) වැවිලි අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ නිවස වෙත ගියේය. ගාල්ල, කහදූවවත්ත හන්දියේ සිට පා ගමනින් අමාත්‍ය රමේෂ් පතිරණ මහතාගේ නිවස වෙත ගිය කනිෂ්ක ලැනරෝල් මහතා, ගැස් සොයා එහි පැමිණි බව අමාත්‍යවරයාගේ නිවසේ සිටි පුද්ගලයන්ට පවසා සිටියේය.අනතුරුව අමාත්‍යවරයාගේ නිවසේ සිටි පිරිස කනිෂ්ක මහතාට පවසා සිටියේ, “එන්න මහන්සිත් ඇතින්නේ අපි තේ එකක් බොමු” යනුවෙනි. එහිදී කනිෂ්ක මහතා පවසා සිටියේ, තමන් කිරි තේ පමණක් බොන බවත්, මේ දිනවල කිරිපිටිද නොමැති බවයි.

(හිනිදුම - රවින්ද්‍ර ශ්‍රීලාල්)

Wednesday, May 5, 2021

කොරෝනා වාර්තාව

*කැලණියෙන් කෝවිඩ් ආසාදිතයන් 21ක්

(කැලණිය - ලාල් එස්. කුමාර)

කැලණියේ ඊයේ (04දා) සහ පෙරේදා (03දා) දින දෙකට කෝවිඩ් ආසාදිතයන් 21දෙනෙකු වාර්ත වී ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති.මෙලෙස වාර්තා වූ වැඩි පිරිසක් කැලණිය ප්‍රදේශයෙන් පිට ප්‍රදේශවල සේවය කල අය බව සෞඛ්‍ය අංශ පවසයි.ඔවුන් සේවය කරන ආයතනවලින් සහ පෞද්ගලිකව සිදුකළ පී.සී.ආර්. පරික්ෂණ වාර්තා අනුව රෝගී ආසාදිතයන් ලෙස වාර්තා වී ඇත.පෑලියගොඩ 04,පොල්හේන්න 04, දළුගම 02, ගල්බොරැල්ල 02 සහ අනෙක් ගම්වලින් ආසාදිතයෙකු බැගින් වාර්තා වී ඇත අතර, මෙම ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් නිවෙස්වල නිරෝධායනයට යොමු කර තිබේ. පෑලියගොඩ මැනිං වෙළද පොළේ ව්‍යාපාරික කටයුතුවල යෙදෙන සේවක පිරිස් අතරින් 120දෙනෙකු පෙරේදා (03දා) දින පී.සී.ආර්. පරික්ෂාවට ලක්කළ අතර, පෑලියගොඩ මත්ස්‍ය වෙළඳපොළේ සේවක පිරිස් අතරින් 160 දෙනෙකුද ඊයේ (04දා) පී.සී.ආර්. පරික්ෂාවට ලක් කර ඇතැයි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පවසති. එහි ප්‍රතිඵල අද (05දා) ලැබීමට නියමිත අතර, ඒ අනුව ඉදිරි කටයුතු සිදුකිරීමට නියමිතය. 

*බලන්ගොඩ පළමු කෝවිඩ් මරණය වාර්තා වෙයි

(රාස්සගල සම්පත් )

බලන්ගොඩ පළමු කෝවිඩ් මරණයඊයේ (04දා) වාර්තා වන බව බලගොඩ සොඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. බලන්ගොඩ පොල්වත්ත හන්දියතැන්නහේන මාර්ගයේ පදිංචිව සිටි 70 හැවිරිදි වයෝවෘද්ධ කාන්තාවක මෙලෙස මියගොස් ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂක නිලධාරි පැවැසූහ. ඇය ඉකුත් 02 වැනිදා නිවසේ සිට ගෙවත්තට යන අතරතුර ක්ලාන්තය හටගෙන ඇද වැටී තිබෙන අතර අනතුරුව බලන්ගොඩ මූලික රෝහලට ඇතුළත් කරන විටද මියගොස් ඇතැයි සෞඛ්‍ය අංශ පවසයි. මෘත දේහය සම්බන්ධයෙන් බලන්ගොඩ මූලික රෝහලේදී පී.සී.ආර්. පරික්ෂණ සිදු කිරිමෙන් පසු එහි ප්‍රතිඵල අනුව ඇයට කෝවිඩ් වෛරසය ආසාදනය වීම හේත්තුවෙන් මියගොස් ඇති බවට තහවුරු වී තිබේ.

*පුලියාවත්ත කඩ වීදිය වසා දමයි

(හැටන් - චන්දු සෙල්ලහේවා)

බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය බල ප්‍රදේශයේ ඉන්ජස්ට්‍රි හා ෆෝඩයිස් වතු වලින් කෝවිඩ් ආසාදිතයන් හමුවීමත් සමග එම වතු දෙකට මායිම්ව පවතින පූලියාවන්ත කඩ වීදිය ඊයේ (04දා) සිට වසා දැමීමට පියවර ගත් බව බගවන්තලාව සෞඛ්‍ය වෛද්‍ය කාර්යාලයේ නිලධාරියෙක් පැවසීය. | මේ පිළිබදව වැඩිදුරටත් කරුණු දැක්වූ එම නිලධාරියා පැවසූවේ, කෝවිඩ් ආසාදිතයන් හමුවීමත් සමග ඊයේ (04) හුදෙකලා ඉන්ජස්ට්‍රි හා ෆෝඩයිස්  ග්‍රාම සේවා වසම්වලට මායිම්ව මෙම පුලියාවන්ත කඩ වීදිය පිහිටා ඇති බවත් එම තත්වයන් මත මෙම කඩ වීදිය මෙසේ වසා දැමීමට කටයුතු කළ බවත්ය. හුදකලා කෙරුණු ග්‍රාම සේවා වසම් දෙකේ ආසාදිතයන්ගේ ආශ්‍රිතයන් හා පුලියාවත්ත කඩ වීදියේ වෙළඳුන් පී.සී.ආර්. පරික්ෂාවට ලක්කිරීමට පියවර ගන්නා බවද එම නිලධාරියා වැඩිදුරටත්පැවසීය.

*බුජ්ජම්පොළ ප්‍රදේශයේදී බිමට ඇදවැටී මියගිය පුද්ගලයාට කෝවිඩ්

(වෙන්නප්පුව - රවින්ද්‍ර ලියනගේ)

දන්කොටුව බුජ්ජම්පොළ ප්‍රදේශයේ මාර්ගයක පා ගමනින් යමින් සිටියදී හදිසියේ බිමට ඇදවැටී මියගිය පුද්ගලයාට කෝවිඩ් වෛරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී ඇයි දන්කොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලය පවසයි. බුජ්ජම්පොළ ප්‍රදේශයේම පදිංචි 56 හැවිරිදි පුද්ගලයෙකු මෙලස ජිවිතක්ෂයට පත්ව ඇති බවට අනාවරණය වී තිබේ. අදාළ පුද්ගලයා මාර්ගයේ බිම වැටීමෙන් පසු මාරවිල රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එහිදී සිදු කළ පී.සී.ආර්. පරික්ෂණයකින් ඔහුට කෝවිඩ් වැලදී ඇති බවට අනාවරණය වී ඇතැයි දන්කොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය පවසයි. මියගිය පුද්ගලයාගේ පවුලේ සාමාජිකයන් සියල්ල නිවෙස්වලම නිරෝධායනයට යොමු කර ඉදිරියේදී ඔවුන්ට පී.සී.ආර්. සිදු කිරීමට පියවර ගන්නා බව දන්කොටුව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කාර්යාලයේ පරිපාලන මහජන සෞඛ්‍ය පරීක්ෂක අමිල ගුණවර්ධන මහතා පැවැසීය.

Friday, January 8, 2021

කොවිඩ් ආසාදිත ගුවන් නියමුවන් තිදෙනා කිසිඳු ගමනකට යැව්වේ නැහැ

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ නියමුවන් තිදෙනකු කොවිඩ් 19 ආසාදිත බවට වාර්තා වුවද, ඔවුන් පසුගිය දිනවල කිසිඳු ගුවන් ගමනකට සහභාගි නොකළේ යයි ශ්‍රී ලංකන් ගුවන් සමාගම පවසයි. 

මෙම ගුවන් නියමුවන් තිදෙනාට සිදුකළ පී.සී.ආර්. පරික්ෂණවලින් ඔවුන් ආසාදිතයන් බවට ඊයේ (06) තහවුරු වූ බවත්, ඔවුන්ට තිදෙනා මේ වනවිට කන්දකාඩු නිරෝධායන මධ්‍යස්ථානයට යොමු කොට එහි ප්‍රතිකාර ලබමින් සිටින බවත් ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ප්‍රකාශකයෙක් පැවසීය.

මෙම ගුවන් නියමුවන් තිදෙනාට වයිරසය ආසාදනය වී ඇත්තේ ඔවුන් බාහිර සමාජයේ ඇසුරු කළ පිරිස්වලින් විය හැකි බවද එම ප්‍රකාශකයා වැඩිදුරටත් සඳහන් කළේය.

ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ ගුවන් නියමුවන් ගුවන් ගත වන්නේ නම් ඊට පෙර ඔවුන් කොවිඩ් ආසාදිතයන්ද යන්න තහවුරු කිරීමට පරික්ෂණ කිහිපයක් පැවැත්වීම සාමාන්‍යයෙන් සිදුවන බවද එම ප්‍රකාශකයා කියා සිටියේය.


- තිළිණි ද සිල්වා -

Wednesday, November 18, 2020

වල් ඌරකුයයි සිතා සිසුවකුට වෙඩිතබා මැරූ හේන් ගොවියා වසර 20ක් හිරේට

තම පියාට අයත් හේනක තම සොහොයුරා සමඟ කජු පුහුලන් ඇහිඳිමින් සිටි 16 හැවිරිදී පාසල් සිසුවකුට වල් ඌරෙකු යැයි සිතා වෙඩි තබා එම සිසුවා මරණයට පත් කිරීෙම් සිද්ධියක් සම්බන්ධයෙන් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ලබා සිටි ගොවියකු එකී චෝදනාවට වරදකරු බවට නිගමනය කළ උතුරු මැද පළාත් බද මහෝධිකරණයේ පූර්වගාමි විනිසුරු සහ පානදුර පළාත් බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා ඔහුට වසර විස්සක බරපතළ වැඩ සහිත සිර දඩුවමක් නියම කළේය.

මෙසේ දඩුවම් නියම වූයේ ඇලයාපත්තුව දිගනේගම පදිංචි ඩබ්.එම්. විජේදාස නමැති 55 හැවිරිදි හේන් ගොවියෙකුටය.

2009 වසරේ අප්‍රේල් මස 22 වැනි දින හෝ ඊට ආසන්න දිනයක අනුරාධපුර මහාධිකරණ බල ප්‍රදේශයට අයත් ඇලයාපත්තුව දිගනේගමදී 16 හැවිරිදි ඒ.ඒ. ප්‍රදීප් හර්ෂ කුමාර නමැති සිසුවෙකුට වෙඩි තබා ඔහු මරා දැමීයැයි නීතිපතිවරයා විසින් ඔහුට එරෙහිව අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා ගොනු කර තිබිණ.

විත්තිකරුට විසි වසරක සිර දඬුවම් නියම කරමින් මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා සඳහන් කළේ විත්තිකරුට එරෙහිව පැමිණිල්ල විසින් නගා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබ්බට ඔප්පු කිරීමට පැමිණිලි පාර්ශවය සමත්ව ඇති බවයි.

ඒ අනුව විත්තිකරුට විසි වසරක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කරන බවද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා කීවේය.

2009 වසරේ අප්‍රේල් මස 22 වැනි දින සවස 6.30 ත් 7 ත් අතර රාත්‍රිය උදාවෙන්නට ආසන්න වෙත්ම ප්‍රදීප් හර්ෂ කුමාර නැමැති 16 හැවිරිදි මෙම පාසල් සිසුවා තම පියාට අයත් හේනක කජු ගසකින් කජු පුහුලන් ඇහීඳීමට සිය බාල සොහොයුරා සමඟ ගොස් ඇති බවත්, එසේ ගොස් හේනේ කජු ගසක් යට කජු පුහුලන් ඇහිඳිමින් සිටි අවස්ථාවේ වන සතුන් දඩයමේ ගොස් ඇති මෙම විත්තිකරු වල් ඌරෙකු යැයි සිතා මෙම පාසල් සිසුවාට වෙඩි තබා ඇති බවත් අධිකරණ නඩු විභාගයේදී අනාවරණය විය. 

වල් ඌරෙකු යැයි සිතා තමා වෙඩි තබා ඇත්තේ ළමයෙකුට බව මෙම විත්තිකරු දැන ගෙන ඇත්තේ වෙඩි තැබීමත් සමඟ මෙම ළමයා සහ ඔහුගේ සහෝදරයා කෑගැසූ අවස්ථාවේ බවද අධිකරණ නඩු විභාගයේදී තවදුරටත් හෙලි විය. 

වෙඩි තැබීමෙන් මරණයට පත් ප්‍රදීප් හර්ෂ කුමාර සිසුවා ඒ වන විට අනුරාධපුර ඇලයාපත්තුව දිගනේගම විද්‍යාලයෙන් අධ්‍යාපනය ලබා අ.පො.ස. සාමන්‍ය පෙළ විභාගයට පෙනී සිට ඉන් සමත්ව අනුරාධපුර වලිසිංහ හරිශ්චන්ද්‍ර මහ විද්‍යාලයෙන් උසස් පෙළ අධ්‍යාපනය ලැබීමට සුදානම්ව සිට ඇත.

සිසුවාට වෙඩි තබා ඔහු මරණයට පත් කිරීමේ වරදට විසි වසරක බරපතළ වැඩ සහිත සිර දඩුවම් නියම වූ ඩබ්.එම්. විෙජ්දාස නමැති මෙම හේන් ගොවියා මරණයට පත් සිසුවාගේ පියාගේ ඉතා සමීප මිතුරෙකු වන අතර හේන් ගොවිතැන් කටයුතු සිදු කර ඇත්තේද ඔවුන් දෙදෙනා එකටය. 

මෙම නඩුවේ ලඝු නොවන මූලික විභාගය අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයේදී පැවති අතර විත්තිකරුට අධිචෝදනා බාර දීමෙන් අනතුරුව එය වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර මහාධිකරණයට යොමු කර තිබිණ.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතීඥ පද්මාල් ද සිල්වා මහතා පෙනී සිටි අතර විමර්ශන මෙහෙයවූ අනුරාධපුර මූලස්ථාන පොලිසිය වෙනුවෙන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂක සංජීව මහනාම මහතාගේ උපදෙස් මත සැරයන් (47965) සරත් ගුණසේන මහතා පෙනී සිටියේය. විත්තිකරු වෙනුවෙන් නීතීඥ ආනන්ද ප්‍රේමරත්න මහතා පෙනී සිටියේය.

- උපාලි ආනන්ද -

Thursday, November 5, 2020

බදුරලියේ අවුරුද්දයි මාස දහයක දැරියක් මිය යයි

බදුරලිය ප්‍රදේශයේ පදිංචිව සිටි දැරියක් පෙරේදා (03දා) රාත්‍රියේදී හදිසියේ මිය ගොස් ඇති අතර, එය කෝවිඩ් මරණයක් දැයි සැක සහිත බව පාලින්ද නුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී වෛද්‍ය නාලක ජයසිංහ මහතා පැවසීය.

මෙසේ මියගොස් ඇත්තේ බදුරලිය, වතුරාන ප්‍රදේශයේ පදිංචි අවුරුදු 01යි මාස 10ක් වයැසැති දැරියකි. මෙදින සවස දැරියට හුස්ම ගැනීමේ අපහසුවක් ඇති වී බදුරලිය රෝහලට ඇතුළත් කළ බවත්, අනතුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා නාගොඩ රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව එහිදී දැරිය මිය ගොස් ඇති බවත් වෛද්‍ය නාලක ජයසිංහ මහතා පැවසීය.

මෙම දැරිය සහ පවුලේ අය මාසයක පමණ කාලයක් නාගොඩ ප්‍රදේශයේ ඥාති නිවසක පදිංචිව සිට 03 දින බදුරලියට පැමිණ තිබේ.

දැරියගේ පවුලේ හිතවතෙකු පැවසුයේ, දැරිගේ පියා නාගොඩ සිට තම කුඹුරු අස්වැද්දීම සඳහා දින හතරකට පමණ පෙර බදුරලියට පැමිණ ඇති බවයි. ඒ අතර ඇඳිරි නීතිය ක්‍රියාත්මක වූ බැවින් ආපසු නාගොඩ යාමට නොහැකි වී ඇතැයිද, දැරිය ආහාර නොගෙන සාංකා ගතියක් පෙන්නුම් කිරීම නිසා, 03 දින බදුරලිය නිවස වෙත රැගෙන ආ බවද හෙතෙම පැවසීය.

මිය ගිය දැරියගේ ජෛව සාම්පල් ලබාගෙන පී.සී.ආර්. පරීක්ෂණ සඳහා යොමු කර ඇතැයිද එම වාර්තා අනුව ඉදිරි පියවර ගන්නා බවද පාලින්ද නුවර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීවරයා පැවසීය.

- ප්‍රේමතිලක පෙරමුණ -

Monday, September 7, 2020

පුහුණුවට බඳවාගත් උපාධිධාරිනියන්ට ප්‍රසූත නිවාඩු දින 42යි

රැකියා පුහුණුවට බඳවාගත් උපාධිධාරිනියන්ට ප්‍රසූත නිවාඩු ලෙස අනුමත කර තිබෙන්නේ අඛණ්ඩව දින හතළිස් දෙකක ප්‍රමාණයක් බවත්, එයට එරෙහිව අද (07) දා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කරන බවත් ඒකාබද්ධ සංවර්ධන නිලධාරී මධ්‍යස්ථානය සඳහන් කරයි. 

ලංකාවේ නීතිවලට අනුව ප්‍රසූත නිවාඩු ලෙස වැඩකරන දින අසූහතරක් ලබාදිය යුතු වුවත්, පසුගිය 02වන දින රැකියා පුහුණුවට බඳවාගත් උපාධිධාරින්ට එම වරප්‍රසාදය අහිමි කර තිබෙන බව එම සංගමයේ ලේකම් ධම්මික මුණසිංහ මහතා සඳහන් කළේය. අදාළ තීරණය වෙනස් කරන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටියත් ඒ සඳහා බලධාරීන් කිසිඳු ප්‍රතිචාරයක් නොදක්වන බවත්, පසුගිය 02වන දින බඳවාගත් උපාධිධාරීන් පනස් එක්දහසක ප්‍රමාණයෙන් තිස් අටදහසක් කාන්තාවන් බවද පවසා සිටියේය. 

ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට අනුව මාස තුනකට වැඩි කාලයක් දරුවාට මවුකිරි ලබාදිය යුතු යැයි සඳහන් වුවත්, පසුගියදා බඳවාගත් උපාධිධාරීනියන්ට ප්‍රසුත නිවාඩු ලෙස ලබාදී තිබෙන්නේ දින හතළිස්දෙකක ප්‍රමාණයක් බවද හෙතෙම කියා සිටියේ.

- එච්.අයි. තුෂාර -

Monday, July 13, 2020

රත්නපුර පාසලක ගුරුවරයකුට කොරෝනා


කන්දකාඩු මත්ද්‍රව්‍ය පුනරුත්ථාපන කඳවුරට අනුබද්ධව සේවය කළ කැඩෙට් නිලධාරියකු වන රත්නපුරයේ පාසලක ගුරුවරයකුට කොවිඩ්-19 ආසාදිත බව තහවුරු වී ඇත. එම ගුරුවරයා කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයේ සිට රත්නපුරයට පැමිණ දින කිහිපයක් ඔහුගේ නිවසේ ගත කර ඇතැයි සෞඛ්‍ය බලධාරිහු පවසති. 

ඔහු පාසල් ආරම්භ වීමට ප්‍රථම එනම් ජුලි මස තුන්වන සිකුරාදා පෙරවරු 10ට පමණ වැටුප් ලබාගත් බවට අත්සන් කර පාසලෙන් පිටව ගොස් ඇත. ඒ වනවිට අනධ්‍යයන කාර්ය මණ්ඩලය පාසලේ රැඳී සිටි අතර ගුරුවරුන් හෝ ශිෂ්‍යයන් රැඳී සිට නැති බවට බලධාරින් තොරතුරු සොයා ගෙන තිබේ.

පාසල් ආරම්භ වූයේ ජුලි මස 6 වන සඳුදා දිනය. එහෙත් එම ගුරුවරයා සමීපව ඇසුරු කළ අය සිටිය හැකිය යන සැකය මත සෞඛ්‍ය අංශ, ආරක්ෂක අංශ ඇතුළු අධ්‍යාපන දෙපාර්තමේන්තුව මේ පිළිබඳව අවශ්‍ය පියවර ගනිමින් සිටී.

මේ වනවිට එම විද්‍යාලයේ විදුහල්පති, කිසිඳු ගුරුවරයකු හෝ ශිෂ්‍යයකු නිරෝධායන ක්‍රියාවලියට යොමු කර නොමැති බව රත්නපුර සෞඛ්‍ය බලධාරියෙක් කීවේය. විවිධ කටකතා ප්‍රදේශයේ පැතිරී ඇති අතර කැඩෙට් පුහුණුකරුවකු වූ මෙම ගුරුවරයා රත්නපුරයේ සිටියදී ඔහු ළඟින් ඇසුරු කළ පුද්ගලයින් පී.සී.ආර්. පරීක්ෂණවලට ලක්කිරීමට කටයුතු යොදා තිබේ. 

රත්නපුර සමන් දේවාලයට නුදුරු ගනේගොඩ ප්‍රදේශයේ මෙම ගුරුවරයා පදිංචිව සිටි අතර ඔහුගේ බිරිඳ සහ දරුවා ද පී.සී.ආර්. පරීක්ෂණයකට යොමු කර තිබේ.

රත්නපුර ගුරුවරයකුට කොවිඩ්-19 ආසාදිත බවට ආරංචි පැතිරී යාම නිසා ප්‍රදේශවාසීන් කැළඹීමට පත්ව සිටින අතර ඔහුගේ සමීපතමයන් හඳුනාගෙන අවශ්‍ය පියවර ගන්නා නිසා අනවශ්‍ය බියක් ඇති කරගත යුතු නැතැයි රත්නපුර මහජන සෞඛ්‍ය අංශ පවසයි.

එහෙත් සෞඛ්‍ය උපදෙස් ක්‍රියාත්මක කරමින් ආරක්ෂිතව සිටින ලෙස රත්තපුර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු ද ඊයේ ප්‍රවාසීන්ගෙන් ඉල්ලා ඇත.

- ලසන්ත නිරෝෂණ පෙරේරා -

උණ ගැනී හලාවත රෝහලට ඇතුළු කිරීමේදී මියගිය තරුණයාට කොරෝනා නෑ


උණ රෝගය වැළඳී හලාවත රෝහලට ඇතුළත් කිරීමේදී මියගිය තරුණයා කොරෝනා රෝගියකු නොවන බව වෛද්‍ය පරීක්‍ෂණයෙන් තහවුරු වූයේ යැයි හලාවත දිස්ත්‍රික් මහ රෝහලේ අධ්‍යක්‍ෂ කපිල මල්ලවආරච්චි මහතා පැවැසිය.

ඔහු සම්බන්ධයෙන් පවත්වන ලද විශේෂ වෛද්‍ය පරීක්ෂණයේ වාර්තාව අනුව ඒ බව තහවුරු විණි යැයි වෛද්‍යවරයා සඳහන් කළේය. 

මෙසේ මිය ගොස් ඇත්තේ මාරවිල බටහිර වීරහේන ප්‍රදේශයේ විසු එම්. නිරෝෂන් මධුවන්ත (23) නමැති විවාහකයෙකි.  ඔහු මුන්දලම ප්‍රදේශයේ පදිංචි සිය මවගේ සුවදුක් විමසීමට ගිය අවස්ථාවේදී උණ රෝගයට ලක් වී ප්‍රතිකාර ලබාගැනීම සඳහා ඉකුත් 10 වැනිදා මුන්දලම රජයේ රෝහලට ඇතුළත් කළ අවස්ථාවේ ඔහුගේ තත්ත්වය බරපතළ බැවින් හලාවත දිස්ත්‍රික් මහ රෝහලට මාරු කර යවා ඇති අතර රැගෙන යන අතරතුර ඔහු මිය ගොස් තිබිණි.

ඔහුට කොරෝනා රෝගය වැළඳී ඇත්දැයි සැකයක් මතු වූ බැවින් පී.සී.ආර්. පරීක්ෂණයක් පැවැත්වීමට පියවර ගත් අතර එම වාර්තාව පෙරේදා (11) දහවල් ලැබුණු බවත් ඒ අනුව රෝගියාට කොරෝනා රෝගය වැළඳී නැති බව අනාවරණය වී ඇති බවත් රෝහල් අධ්‍යක්ෂවරයා කීය.

පසුව මෙම මෘත ශරිරය සම්බන්ධයෙන් පශ්චාත් වෛද්‍ය පරීක්ෂණයක් හා මරණ පරීක්ෂණයක් පවත්වා කොරෝනා නීති රීති යටතේ එම දේහය සම්බන්ධ අවසන් කටයුතු හලාවත, ආදාහනාගාරයේ සිදුකිරීමට පියවර ගත් බව ද රෝහල් අධ්‍යක්ෂවරයා කීය.

- ඔගස්ටින් ප්‍රනාන්දු -

රුපියල් 20ක් 30ක් දී වයස එකොළහේ දැරියකට 15 වතාවක් අතවර කරලා


එකොළොස් හැවිරිදි පාසල් දැරියක බරපතළ ලිංගික අපයෝජනයකට ලක්කළ බව කියන 77 හැවිරිදි ධනවත් ව්‍යාපාරිකයකු සැකපිට අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලිසිය කියයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මහනුවර නගරයේ කාන්තා ආයිත්තම්, සුවඳ විලවුන් හා ආලේප අලෙවි කරන සාප්පුවක අයිතිකරුවකු වන පුද්ගලයෙකි. බරපතළ ලෙස ලිංගික අපයෝජනයට ලක් වූ බව කියන බාල වයස්කාර දැරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මහනුවර ජාතික රෝහලට ඇතුළත් කර ඇත.

මරණ බවට තර්ජනය කර දැරිය බියවද්දා සැකකාර ධනවත් ව්‍යාපාරිකයා අවස්ථා 15කදී පමණ දැරිය බරපතළ ලිංගික අපයෝජනයට ලක්කර ඇති බව පරීක්ෂණවලදී හෙළිවූ බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.

මේ බව නිවසේ අයට නොකියන ලෙස පවසා වයෝවෘද්ධ ව්‍යාපාරිකයා දැරිය අපයෝජනය කළ සෑම වාරයකදීම ඇයට රුපියල් 20ක් 30ක් වැනි මුදලක් දී තිබෙන බව පොලිසිය පවසයි. මෙම දැරියගේ මව විදෙස් රැකියාවක නිරතව සිටින අතර දැරිය ඇයගේ මිත්තණිය (පියාගේ මව) ළඟ සිටිමින් පාසල් ගොස් ඇති බව ද පොලිසිය කියයි.

බාල වයස්කාර දැරියගේ මිත්තණිය මහනුවර නගරයේ ලොතරැයිපත් අලෙවි කිරිමේ යෙදී සිටින තැනැත්තියක වන අතර එසේ යන අතර ඇය දැරියද කැටුව යන බව පොලිසිය සඳහන් කරයි. 

දැරියගේ මිත්තණිය විකිණීමට ලොතරැයිපත් රැගෙන ඒමට ලොතරැයි අලෙවි නියෝජිත ආයතනය වෙත ගිය අවස්ථාවක දැරිය මුහුණු ආලේපනයක් මිලදී ගැනීමට ව්‍යාපාරිකයාගේ වෙළෙඳසලට ගොස් ඇති බවත් ඇය ව්‍යාපාරිකයාගේ අපයෝජනයට ලක්වී ඇත්තේ එහිදී බවත් පොලිසිය පවසයි.

මේ බව කිසිවකුට හෝ පැවැසුවහොත් මරා දමන බවට සැකකරු දැරියට මරණ තර්ජනය කර වරින් වර ඇය මෙසේ ලිංගික අපයෝජනයට ලක්කර ඇති බව පොලිසිය කියයි.

බාල වයස්කාර දැරියක ව්‍යපාරිකයා විසින් කලබලයෙන් මෙන් වෙළඳසල තුළට කැඳවාගෙන යන අයුරු දුටු නාටාමියකු ඒ ගැන තවදුරටත් විමසිල්ලෙන් පසුව මේ බව පොලිස් විශේෂ කාර්යාංශයේ මහනුවර ඒකකයේ නිලධාරියකුට දැනුම් දී ඇත. 

එම ඔත්තුව අනුව පොලිස් විශේෂ කාර්යාංශයේ නිලධාරීන් කිහිපදෙනකු දැරියගෙන් කරුණු විමසීමේදී ඇය සිද්ධිය ගැන පොලිස් නිලධාරින් හට පවසා ඇතැයි කියති.

මහනුවර පොලිස් අධිකාරි (01) යූ.බී. පලිහවඩන මහතා, විශේෂ කාර්යාංශයේ නිලධාරීන්ට මේ පිළිබඳව දැනුම්දීමෙන් පසුව ඒ පිළිබඳ පරීක්ෂණ පැවැත්වීමට මහනුවර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයට පවරා ඇත. 

දැරිය හෙළි කළ තොරතුරු අනුව පරීක්ෂණ පවත්වා සැකකරු අත්අඩංගුවට ගත් බව ද පොලිසිය පවසයි.

මධ්‍යම පළාත බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න සහ මහනුවර දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති ඩී.ආර්.එල්. රණවීර යන මහත්වරුන්ගේ පූර්ණ අධීක්ෂණය යටතේ මහනුවර කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සුදත් මාසිංහ සහ මහනුවර පොලිස් අධිකාරි (01) යූ.බී. පළිහවඩන යන මහත්වරුන්ගේ උපදෙස් මත මහනුවර මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක තුසිත හලංගොඩ මහතාගේ මෙහෙයවීම යටතේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපති කාන්තා පොලිස් පරීක්ෂිකා දිලේකා මහත්මිය ඇතුළු පොලිස් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්‍ෂණ පවත්වාගෙන යයි.

- ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය -

Friday, March 13, 2020

ගුවන් යානයෙන් බසිත්ම නිරෝධායනය දැනුම්වත් කරයි

ඉරානය, ඉතාලිය සහ දකුණු කොරියාවේ සිට කටුනායක ගුවන් තොටුපළට පැමිණෙන ගුවන් මගීන් නීරෝධායන කිරීමේ වැඩ පිළිවෙළ සම්බන්ධයෙන් ඔවුන් ගුවන් යානයෙන් බසිත්ම, දැනුවත් කිරිමේ විශේෂ වැඩසටහනක් ක්‍රියාත්මක කර ඇති බව සීමාසහිත ගුවන් තොටුපළ සහ ගුවන් සේවා සමාගමේ අධ්‍යක්ෂ ෂෙහාන් සුමනසේකර මහතා පැවසීය .

මේ නිසා මෙම ගුවන් මගීන් ශ්‍රී ලංකාවේ සිදුකෙරෙන මෙම නිරෝධායන වැඩසටහන පිළිබඳව දැක්වූ විරෝධතාව, එම වැඩසටහන ආරම්භ කර තෙවැනි දිනය වනවිට මගහරවා ගැනීමට සමත් වූ බව අධ්‍යක්ෂවරයා කීවේය. ආරක්ෂක නිලධාරීන්, සෞඛ්‍ය නිලධාරීන්, වෛද්‍යවරුන්, ගුවන් තොටුපළ ඉහළ කළමනාකරණ නිලධාරීන් ඇතුළු පිරිස් මෙම දැනුවත් කිරීමේ වැඩසටහනට එක් වී සිටිති. 

ඒ අනුව ඊයේ (12) සවස 6.00 පමණ වනවිට මෙම රටවල් තුනෙන් පැමිණි ගුවන් මගීන් 1133 දෙනකු පොලොන්නරුව කන්දකාඩු මධ්‍යස්ථානයට සහ මඩකලපුව පෞද්ගලික විශ්ව විද්‍යාලයට නිරෝධායන කටයුතු සඳහා යොමු කර ඇත. 

ඒ අතර ඊයේ (12) මැදියම් රාත්‍රි 12.00 සිට සවස 6.00 දක්වා කාලයේ ගුවන් මගීන් තවත් 287 දෙනකු ඉහත රටවලින් කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණි අතර ඔවුන්ද නිරෝධායන කටයුතු සඳහා යොමු කර තිබේ. එමෙන්ම ශ්‍රී ලාංකික තවත් ගුවන් මගීන් 100 ක් රැගත් ගුවන් යානයක් ඊයේ (12) රාත්‍රී ඉතාලියේ මිලානෝ ගුවන් තොටුපළේ සිට කටුනායක ගුවන් තොටුපළ වෙත පැමිණීමට නියමිත බව ද පැවසේ.

- ටී කේ ජී කපිල -

කුඩු කිලෝ 100ක් අල්ලයි

පාකිස්තානයේ සිට මෙරටට එවා තිබූ අල කන්ටේනරයක කෘතිම අමු ගෙඩි අතර සගවා තිබූ
හෙරොයින් මත්කුඩු 100කට ආසන්න ප්‍රමාණයක් මීගමුව කොච්චිකඩේ ප්‍රදේශයේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය සහ පොලිස් විශේෂ කාර්ය බළකාය එක්ව කරන වැටලීමකදී ඊයේ (12) පස්වරුවේ අත්අඩංගුවට ගත් බව පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශය පවසයි. 

මෙම කන්ටේනර් රථය කොච්චිකඩේ ප්‍රදේශයේ මහජන ක්‍රීඩාපිටියකට රැගෙන සිදුකළ පරීක්ෂාවේදී එම හෙරොයින් තොගය අත්අඩංගුවට ගෙන ඇති අතර ඊයේ රාත්‍රිය වනතුරුත් කන්ටේනර් රථය පරීක්ෂාවට ලක් කෙරෙමින් තිබිණි.

පාකිස්තානයේ සිට පැමිණි මෙම කන්ටේනරය සම්බන්ධයෙන් ලැබුණු බුද්ධි තොරතුරක් මත නිලධාරීන් පරීක්ෂණ ආරම්භ කර තිබූ අතර මෙම කන්ටේනරය ඊයේ රේගුව විසින් මුදා හැරීමෙන් අනතුරුව පොලිස් කණ්ඩායම් කන්ටේනරය පසුපස හඹා ගොස් කොච්චිකඩේ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගත් බව උසස් නිලධාරියෙක් පැවසීය.

කන්ටේනරය පොලිස් භාරයට ගෙන පරීක්ෂා කිරීමේ දී එහි තිබූ අලගෙඩි අතර ව්‍යාජව සකස් කළ අලගෙඩි ද තිබී ඇති අතර එම අලගෙඩි අතර හෙරොයින් තොගය තිබූ බවද එම උසස් නිලධාරියා පැවසීය‍.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රධාන ජාවාරම්කරු ලෙස කටයුතු කළ පාකිස්තාන ජාතිකයා ඇතුළු සැකකරුවන් සිවුදෙනකු පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.

පාකිස්තාන ජාතික සැකකරු කන්ටේනර් රථයට ඉදිරියෙන් මග පෙන්වන්නා ලෙස වෙනත් මෝටර් රථයකින් ගමන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන ඇති අතර සෙසු සැකකරුවන් තිදෙනා අල කන්ටේනරය සමග ගමන් ගත් පිරිස  බව ද පැවසේ.

මෙම කන්ටේනරය වෙන්නප්පුව ප්‍රදේශය බලා ගමන් ගෙන ඇති බවද පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය පවසයි.

මෙලෙසම ව්‍යාජ අල තුල හෙරොයින් සැඟවූ කාරයක් 2013 වසරේ සැප්තැම්බර් මස ඔරුගොඩවත්ත රේගු අංගනයේ තිබී අත්අඩංගුවට ගෙන ඇති අතර එහි කෘත්‍රිම අල සහ ග්‍රීස් ටින්වල අසුරා තිබූ කිලෝ 261 හෙරොයින් තොගයක් අත්අඩංගුවට ගෙන තිබිණි.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය භාර නියෝජ්‍ය පොලිස්පති සංජීව මැදවත්ත මහතාගේ උපදෙස් මත එහි අධ්‍යක්ෂ මංජුල සේනාරත්න මහතාගේ මෙහෙයවීමෙන් පරීක්ෂණ පැවැත්වේ.

- ඉන්දිකා රාමනායක -

මෝටර් රථයකින් හෙරොයින් ප්‍රවාහනය කළ සැකකරුවන් දෙදෙනෙක් අත්අඩංගුවට

යොවුන් පාර්ලිමේත්තු මන්ත්‍රී වී.අයි.පී ලේබලය සහිත නවීන මෝටර් රථයකින් හෙරොයින් මත්කුඩු ප්‍රවාහනය කරමින් සිටි සැකකරුවන් දෙදෙනෙකු මත්කුඩු මුදල් වෙනත් රථවාහන අංක තහඩු දෙකක් සමග කට්ටාපිටිය ප්‍රදේශයේදී පෙරේදා (11) සවස අත්අඩංගුවට ගත් බව කොබෙයිගනේ පොලීසිය පවසයි.

සැකකරුවන් වාරියපොළ, අවුලේගම ප්‍රදේශයේ පදිංචිකරුවෝ වෙති. අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ කුඩා පෙට්ටියක අසුරන ලද හෙරොයින් ග්‍රෑම් 85ක්ද, මුදල් රුපියල් 85,000ද වෙනත් වාහන දෙකක අංක තහඩු දෙකක්ද සැකකරුවන් සන්තකයේ තිබී සොයාගෙන තිබේ. මෙම සැකකරුවන් පන්නල ප්‍රදේශයේ සිට මෙම මත්කුඩු රැගෙන විත් ඇති අතර, අතරමගදී මත්කුඩු බෙදාහැර ඇති බවත්, මෙම මහා පරිමාණ මන්ද්‍රව්‍ය ජාවාරම වාරියපොළ බන්ධනාගාරයේ සිටින රැඳවියන් විසින් මෙහෙයවා ඇති බවට පරික්ෂණවලදී අනාවරණය වී තිබේ.

සැකකරුවන් දෙදෙනා ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනෙකු බවත්, රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා අත්අඩංගුවට ගනු ලැබූ හෙරොයින් මත්කුඩු තොගය වාරියපොළ, නිකවැරටිය, කොබෙයිගනේ ප්‍රදේශවලට බෙදාහැරීමට සැකකරුවන් සැලසුම් කරගෙන සිට ඇති බවද හෙළිවී තිබේ. 

නිකවැරටිය ආසනය යොවුන් පාර්ලිමේන්තු මන්ත්‍රී යන වී.අයි. පී. ලේබලය සහ මෝටර් රථය සැකකරුවන් අතට පත්වූයේ කෙසේද යන්න පිළිබඳව පරීක්ෂණ සිදුකරන බවද පොලීසිය වැඩිදුරටත් සඳහන් කරයි. සිද්ධිය සම්බන්ධයෙන් නිකවැරටිය කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී උපුල් චන්දන අබේසිංහ මහතාගේ උපදෙස් අනුව සහකාර පොලිස් අධිකාරී අලවත්ත මහතාගේ අධීක්ෂණයෙන් කොබෙයිගනේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක බණ්ඩාර ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන් උප පොලිස් පරීක්ෂක රාජපක්ෂ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරයි.

- ප්‍රියානි මංගලිකා -

ගුවන් මගීන් නිරෝධායනයට රජය ගෙනයන වැඩපිළිවෙළට සහය වන්න


ඉතාලිය, දකුණු කොරියාව හා ඉරානයෙන් පැමිණෙන ගුවන් මගීන් ශ්‍රී ලාංකිකයන් නිරෝධායනය කිරීමට රජය ගෙනයන වැඩපිළිවෙළට සහාය දක්වන ලෙස ශ්‍රී ලාංකික පුරවැසියන් ඔවුන්ගෙන් ඉල්ලා සිටියි.මෙසේ නිරෝධායනයට ලක් පිරිස් පහසුකම් ප්‍රමාණවත් නොවන බව සඳහන් කරමින් විරෝධතා පවත්වමින් සිටිති.

මේ පිළිබඳ සිය සමාජ මාධ්‍ය ඔස්සේ අදහස් දැක්වූ සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ වූවෙකු වන ගයාන් මංජුල සපරමාදු මහතා සඳහන් කරන්නේ මෙහිදී ඔවුන් කොන් කිරීමක් නොකරන බවත්, සියලු දෙනාගේම ආරක්ෂාව වෙනුවෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක කරන බවත්ය.

"අපි අවුරුදු 15-16ක් තිස්සේ දුක් විඳිනවා (සංචාරක ක්ෂේත්‍රයේ). දැන් දවස් 14ක් දුක් විඳින්න බැරිලු. දවස් 14ක් දුක් විදින්න බෑ එයාලගේ බිරිඳ හා දරුවන් ළඟට යන්න. අපිත් දුක් විදිනවා. ඒ අය හිතාගෙන ඉන්නේ ඒ අයට ලොකු දුකක්, කරදරයක් ලැජ්ජාවක් කියලා. අපි නිකං ලැබෙන අශ්වයාගේ දත් ගණින්න යන්නේ නෑ. 
පාකිස්තානයේ නිරෝධායනය කරන්නේ කුඩාරම්වල තියාගෙන”යනුවෙන්ද ඔහු සඳහන් කරයි.

"නිරෝධායන වෙන එක තමන්ටත් හොඳයි. එතකොට රෝගය නෑ කියලා දැනගන්න පුළුවන්. තමන්ගේ දරුවන් වෙනුවෙන් ඉවසන්න. 

අද රුපියල් 7500කට ඇඹරෙනවා. පහසුකම් ඕන නම් හොඳ හෝටලයකට ද යන්න තිබුණා. දවසකට රුපියල් 40,000යි. ඔයාලා හොයනවට වඩා වැඩි විදේශ විනිමයක් අපි සංචාරක ක්ෂේත්‍රයෙන් උපයනවා. ඔයලා හිටපු රටවල්වල නිරෝධායනය වුණා නම් මේ වගේ සැපක් ලැබෙයි කියලා හිතන්නේ නෑ.

මේක සමස්ත රට වෙනුවෙන් කරන දෙයක්. ඒ නිසා ඉදිරියේදී එන්න ඉන්න අයත් දැන් ඇවිත් ඉන්න අයත් කල්පනාවෙන් වැඩ කරන්න. බොරුවට රඟපාලා ලෝකේ හිනස්සවන්න එපා. මේ කොන්කිරීමක් නෙවෙයි. සමස්ත රට වෙනුවෙන් කරන දෙයක්. දවස් 14 ඉවසන්න. මීට වඩා දේවල් ඔයාලා ඉවසලා තිබෙනවා.” යනුවෙන්ද ඔහු සඳහන් කරයි.

Thursday, March 12, 2020

වෙඩීවැදී මියගිය කෙනරකගේ සිරුරක් සොයාගනී



මොරගොල්ලාගම, කුඹුක්කඩවල, කදුරුවැව ප්‍රදේශයේ වෙඩි වැදී තුවාල ලබා අසාධ්‍ය තත්වයෙන් පසුවූ කෙනරක ජීවිතක්‍ෂයට පත්ව සිටින බවත්, එම කෙනරගේ බවට සැකකරන මාස හතක් පමණ වයසැති අලි පැටවෙකු ඒ අවට කැලබද ප්‍රදේශයේ තනිව සැරිසරමින් සිටින බවත් වනජීවී කාර්යාලය පවසයි.

මියගොස් සිටින අලියෙකුගේ මළ සිරුරක් වනාන්තරයක තිබෙන බවත්, තවත් අලි පැටවෙකු ඒ අවට සැරිසරමින් සිටින බවටත් ප්‍රදේශවාසීන් වනජීවී කාර්යාලයට දැනුම්දීමෙන් අනතුරුව කෙනරගේ මළසිරුර සායාගෙන තිබෙන අතර, එම කෙනෙර මියගොස් දින කිහිපයක් ගතවීමෙන් එකී සිරුර දැඩි ලෙසට නරක්වී තිබේ.

මීගලෑව හා හේරත්ගම වනජීවී කලාප සීමාවන් අතරට අයත් මොරගොල්ලාගම කදුරුවැව ප්‍රදේශයේ මෙම කෙනර අසාධ්‍ය තත්වයේ පසුවන බවට ප්‍රදේශවාසින් දැනුම් දීමෙන් අනතුරුව අපේ නිලධාරීන් පිරිසක් පසුගිය 08 වැනිදා එහි ගොස් සතා නිර්වින්දනය කර ප්‍රතිකාර ලබා දුන් බවත්, ප්‍රතිකාර ලබා දෙන අවස්ථාවේදී ඉදිරි
පාදයක තිබෙන තුවාලයකින් සැරව ආදීය ගැලීම හේතුවෙන් අසාධ්‍ය තත්වයෙන් පසුව කෙනර ඊට පසුදින මිය යන්නට ඇති බවද වනජීවී කාර්යාලය සඳහන් කරයි.

මියගිය බවට ප්‍රදේශවාසීන් කළ දැනුම්දීමෙන් පසුව කෙනර මීට දින හතරකට පමණ පෙර මිය යන්නට ඇති බවත්, නමුත් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා අදාළ නිලධාරීන් වෙනත් රාජකාරීමය කටයුතුවල නියැළෙන නිසා මෙහි පැමිණෙන්නට නොහැකි තත්වයක් උදාවී තිබූ බවත් එම කාර්යාලය සඳහන් කරයි.‍

කෙසේ වෙතත් නිකවැරටිය වනජීවී කාර්යාලයේ පශු වෛද්‍ය (වයඹ) ඉසුරු හේවාකෝට්ටගේ මහතාගේ ප්‍රධානත්වයෙන් අසාධ්‍ය තත්වයේ සිට මිය ගිය කෙනරගේ පශ්චාත් මරණ පරීක්ෂණය ඊයේ (11 )දින පැවැත්වීමට කටයුතු යොදා ඇත. මේ අතර එම කෙනරගේ බවට සැකකරන අඩි තුනක් පමණ උසැති පැටවා රංචුවෙන් ඉවත්ව කිරි බීමට නොහැකිව ඒ අවට සැරිසරන බවට ප්‍රදේශවාසීන් කළ දැනුම් දීමක් මත පෙරේදා (10දා) සවස් යාමයේ එහි ගොස් අවට කලාව පුරාවට පරික්ෂාවට ලක් කළත් එවැනි පැටවෙකු සොයාගැනීමට නොහැකිවූ බවත් වනජීවී කාර්යාලය පවසා සිටියේය.

කෙසේ වෙතත් එවැනි පැටවෙකු සිටී නම් එම සතා වනජීවී භාරයට ගෙන ජීවිතය බේරාගැනීමට අවශ්‍ය කටයුතු කරන බව හේරත්ගම අඩවි වන ආරක්ෂක ඩී.පී.ගාමිණි බණ්ඩාර මහතා පැවසීය.

- සිසිර කැලේගම -

කුකුළු මස් කිලෝවක උපරිම මිලක්


කුකුළු මස් මිල ඊයේ (11දා) මධ්‍යම රාත්‍රී සිට පහත දැමූ බවට පාරිභෝගික සේවා අධිකාරිය සඳහන් කරයි. ඒ අනුව මිල රුපියල් 475කට පැවති හම සහිත බ්‍රොයිලර් කුකුළු මස් කිලෝවක මිල රුපියල් 430ක් දක්වාත් එසේම මිල රැපියල් 600ක්ව පැවති හම රහිත බ්‍රොයිලර් කුකුලු මස් කිලෝවක මිල රැපියල් 530ක් දක්වාත් පහත දමා තිබේ. 

රට තුළ බඩඉරිඟු හිඟයක් නිර්මාණය කොට උත්සව සමයේදී කුකුළු මස් මිල ඉහළ දැමීමට ඇතැම් පිරිස් උත්සාහ දරන බවට තොරතුරු ලැබීම හේතුවෙන් රජය මෙම තීරණයන්ගෙන ඇත. ඒ අනුව බඩඉරිඟු වෙළෙඳාමෙන් අසාධාරණ ලාභ උපයන අතරමැදියන් මෙම ප්‍රයත්නය පිටුපස සිටින බවට හෙළි වී තිබේ.

මේ අතර ප්‍රමාණවත් පරිදි බඩඉරිඟු තොග තිබියදී රට තුළ කෘත්‍රිමව බඩඉරිඟු හිඟයක් නිර්මාණය කිරීමේ උත්සාහය පිළිබඳව වහා පරීක්‍ෂණයක් සිදුකරන ලෙස ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර මහතා විසින් පාරිභෝගික සේවා අධිකාරියට උපදෙස්දී ඇත.

හෙතෙම මෙම උපදෙස් ලබාදී ඇත්තේ බඩඉරිඟු ගොවි සංගම් නියෝජිතයන් මෙන්ම කෘෂිකර්ම අමාත්‍යාංශයේ සහ පාරීභෝගික සේවා අධිකාරියේ නිලධාරීන්ගේද සහභාගිත්වයෙන් ජනාධිපති කාර්යාලයේදී ඊයේ (11දා) පැවති සාකච්ඡාවකින් අනතුරුවය. 

අක්කර 70,000ක භූමි ප්‍රමාණයක මෙරට බඩඉරිගු වගා කර ඇති අතර, ඉන් මෙට්‍රික් ටොන් ලක්‍ෂ තුනක අස්වැන්නක් ලැබී ඇති බවත්, එහෙත් එය වෙළෙඳ පොළට පැමිණ නැති බවත් මෙම සාකච්ඡාවේදී අනාවරණය වී ඇත. එසේ සත්ව ආහාර නිෂ්පාදනය ඇතුළු වාර්ෂික බඩඉරිඟු අවශ්‍යතාව මෙට්‍රික් ටොන් 450,000කි. ඒ අනුව 2018 වර්ෂයේදී මෙට්‍රික් ටොන් 133,128ක් ආනයනය කරනු ලැබ ඇති අතර, ඒ සඳහා රුපියල් මිලියන 6,718ක මුදලක් වැය කර තිබේ. 

මෙම සාකච්ඡාවේදී වැඩිදුරටත් අනාවරණය වී ඇත්තේ, පසුගිය වර්ෂයේ ඔක්තෝම්බර් දක්වා බඩඉරිඟු මෙට්‍රික් ටොන් 87,109ක් ආනයනය කර ඇති බවත්, ඒ සඳහා රුපියල් මිලියන 4,846ක මුදලක් වැය කර ඇති බවත්ය. බඩඉරිගු කිලෝවක් සඳහා ගොවීන්ට ගෙවිය යුතු අවම මිල රුපියල් 50ක් වන අතර, උපරිම අලෙවි මිල කිලෝවකට රුපියල් 55ක් ලෙස නියම කර තිබේ. මේ අතර බඩඉරිඟු වගාව සංවර්ධනය කරමින් ගොවියාත්, පාරිභෝගිකයාත් ආරක්‍ෂා කිරීමේ වැඩපිළිවෙළ යටතේ බඩඉරිගු ආනයනය පසුගියදා නතර කරනු ලැබීය.

ඒ අනුව ඉදිරියටත් බඩඉරිගු ආනයනය නොකෙරෙන බවට ජනාධිපති මාධ්‍ය ඒකකය ප්‍රකාශ කළේය. මීට අමතරව කෘෂිකර්ම අමාත්‍යාංශය විසින් හඳුනාගෙන ඇති සියලු ඉඩම්වල බඩඉරිඟු වගා කිරීමට රජය සැලසුම් කර ඇති බවත්, එහිදී වාර්ෂික බඩඉරිඟු නිෂ්පාදනය මෙට්‍රික් ටොන් ලක්‍ෂ 08 දක්වා ඉහළ නැංවීමට අපේක්ෂා කෙරෙන බවත් එම මාධ්‍ය ඒකකය සඳහන් කළේය. ඒ අනුව මහා පරිමාණ වගාකරුවන්ට අවශ්‍ය ණය පහසුකම් රාජ්‍ය බැංකු හරහා සැපයෙනු ලැබේ.

- නිදර්ශනී වික්‍රමසිංහ -

හමුදා බුද්ධි නිලධාරීන් 07 දෙනා අදාළ චෝදනාවට නිවැරදිකරුවෝ බව කියති


මාධ්‍යවේදී ප්‍රගීත් එක්නැළිගොඩ සිරකර තැබීම සඳහා පැහැරගෙන යෑමට කුමන්ත්‍රණය කළ බවට චෝදනා ලැබ සිටින යුද හමුදා ලුතිනන්, කර්නල්වරුන් දෙදෙනෙකු ඇතුළු හමුදා බුද්ධි නිලධාරින් 07 දෙනා අදාළ චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ ඊයේ (11දා) පැවසුහ.

වසර නවයකට පෙර සිදු වූ මෙම අපරාධය සම්බන්ධයෙන් සිදුකළ දීර්ඝ විමර්ශනයකින් අනතුරුව විත්තිකරුවන්ට එරෙහිව නගා ඇති චෝදනා විවෘත අධිකරණයේදී ඔවුන්ට කියවා දුන් අවස්ථාවේදී අදාළ චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව පැවසීම නිසා මෙම නඩුව විභාග කිරීමට විනිසුරු මඩුල්ල තීරණය කළේය.

සම්පත් අබේකෝන් (සභාපති) සම්පත් විජේරත්න සහ ගිහාන් කුලතුංග මහත්වරුන්ගෙන් සමන්විත විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල එලෙස නියම කළේය.

මෙම නඩුවෙන් චෝදනා ලැබ සිටින්නේ ගිරිතලේ යුද හමුදා කඳවුරේ අණදෙන නිලධාරියාව සිටි යුද හමුදා ලුතිනන් කර්නල් ශම්මි අර්ජුන් කුමාරරත්න, ආර්.එම්.පී.කේ. රාජපක්‍ෂ හෙවත් නාදන්, වීනී ප්‍රියන්ත ඩිලන්ජන් උපසේන හෙවත් සුරේෂ්, එස්.එම්. රවින්ද්‍ර රූපසේන හෙවත් රංජි, වයි.එම්. චමින්ද කුමාර අබේරත්න, එස්.එම්. කණිෂ්ක ගුණරත්න, අයියසාමි බාලසුබ්‍රමනියම්, ඩී.පී. තරංග ප්‍රසාද් ගමගේ සහ ටී.ඊ.ආර්. පීරිස් නමැති යුද හමුදා නිලධාරින්ය.

2010 ජනවාරි මස 24 වැනිදාත්, 27 වැනිදාත් අතර කාලයේ ගිරිතලේ, කොස්වත්ත, බත්තරමුල්ල, අඩලච්චේන හා අක්කරපත්තුව ප්‍රදේශවලදී පැමිණිල්ල නොදත් පිරිසක් සමග එක්ව ප්‍රගීත් රන්ජන් බණ්ඩාර එන්නැළිගොඩ නමැත්තා අයුතු ලෙස සිරකර තැබීමේ අදහසින් ඔහු පැහැරගෙන යාමට කුමන්ත්‍රණය කළ බවද ඒ අනුව නීතිවිරෝධී රැස්වීමක සාමාජිකයන් ලෙස කටයුතු කරමින් ඔහු පැහැරගෙන ගොස් ඔහුගේ මරණය සිදුකළ බවටද විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නගා ඇත.

මෙම අපරාධ සිදුකිරීම සඳහා ආධාර අනුබල දුන් බවටද විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා විසින් වැඩිදුරටත් චෝදනා නගා ඇත.

මෙම අපරාධයට අදාළව අපරාධ නඩු විධාන සංග්‍රහ පනත යටතේ අධි චෝදනා 17ක් යටතේ නීතිපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත. විත්තිකරුවන් විසින් සිදුකළ වරදවල බරපතළ තත්ත්වය, එම වරදවල් සම්බන්ධයෙන් ඇති අවස්ථානුගත කරුණු මෙන්ම එම සිද්ධීන් හේතුවෙන් දේශීය වශයෙන් මෙන්ම ජාත්‍යන්තර වශයෙන් ඇති වූ ආන්දෝලනාත්මක තත්ත්වය හේතුවෙන් මෙවැනි සංකීර්ණ, තාක්‍ෂණික නඩුවක් ඇති කරුණු මෙන්ම එම කරුණුවල ඇති ගුණාත්මකභාවය කඩිනමින් අවබෝධ කරගත හැකි ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම නඩුව විභාග කිරීම යෝග්‍ය බව පෙන්වා දෙමින් නීතිපතිවරයා කළ ඉල්ලීමක් පිළිගනිමින් නඩුව විභාග කිරීම සඳහා අගවිනිසුරුවරයා විසින් මෙම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල පත් කරන ලදී. 

මෙම විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් කරන ලද නියෝගයකට අනුව නඩුව කැඳවනු ලැබූ අවස්ථාවේදී විත්තිකරුවෝ අධිකරණයේ පෙනීසිටියහ. අධිකරණයෙන් නිකුත් කොට තිබූ සිතාසිවලට අනුව මෙම නඩුවේ සිවැනි සාක්කිකරු වන හිටපු එල්.ටී.ටී.ඊ. සාමාජිකයෙකු වන සුගතපාල සුරේෂ් කුමාර් හෙවත් මුරලි නමැත්තා හැර සෙසු සාක්කිකරුවෝ අධිකරණයේ පෙනී සිටියහ.

විත්තිකරුවන්ට එරෙහි අධිචෝදනා පත්‍ර හා ඊට අදාළ ඇමිණුම් හා ගොනු මීට පෙර දිනයක විවෘත අධිකරණයේදී වෙන වෙනම බාරදුන් අතර, අදාළ අධිචෝදනා විත්තිකරුවන්ට කියවා තේරුම් කර දෙන ලදී. ඒ අවස්ථාවේදී විත්තිකරුවෝ වෙන වෙනම අධිකරණය අමතමින් අදාළ චෝදනාවන්ට තමන් නිවැරදිකරුවන් බව පැවසූහ.

පැමිණිල්ල වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සුදර්ශන ද සිල්වා මහතා අධිකරණය අමතමින් සන්ධ්‍යා එන්නැළිගොඩ මහත්මියගේ සාක්ෂියෙන් මෙම නඩුවේ සාක්ෂි විභාගය ආරම්භ කිරීමට පැමිණිල්ල අපේක්‍ෂා කරන බවත්, සන්ධ්‍යා එන්නැළිග්ගොඩ මහත්මියගේ සාක්‍ෂිය නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා විසින් මෙහෙයවනු ඇති බවත් පැවසීය.

අත්‍යවශ්‍ය රාජකාරි කටයුත්තක් සඳහා ජනාධිපති පරීක්‍ෂණ කොමිසමක් හමුවේ පෙනී සිටීම සඳහා නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා ගොස් ඇති හෙයින් මෙම නඩුවේ විභාගය වෙනත් දිනයකට යොමු කරන්නැයි ඉල්ලා සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සුදර්ශන ද සිල්වා මහතා අධිකරණයේ පෙනී නොසිටින නඩුවේ සිව්වැනි සාක්ෂිකරුට වරෙන්තු නිකුත් කරන්නැයි ඉල්ලා සිටියේය.

නඩුවේ සාක්ෂි විභාගය ලබන 16 වැනිදා තෙක් කල් තැබූ විනිසුරු මඩුල්ල නඩුවේ සිව්වැනි සාක්කිකරුට වරෙන්තු නිකුත් කළේය. මෙම පැමිණිල්ල වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සුදර්ශන ද සිල්වා මහතා පෙනී සිටියේය. විත්තිකරුවන් වෙනුවෙන් ජනාධිපති නීතිඥවරුන් වන අනිල් සිල්වා, අනුජ ප්‍රේමරත්න, අනුර මැද්දේගොඩ යන මහත්වරුන් ඇතුළු නීතිඥ කණ්ඩායමක් පෙනීසිටියහ.

- බුද්ධිමාල් රුබේරු -

Wednesday, March 11, 2020

ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඇති වූ සිද්ධිය පිළිබඳ පරීක්ෂණ දෙකක් සිදු කෙරෙනවා



" ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කළමනාකරණ පීඨයේ දරුවෙක් හදිසි අනතුරකට ලක්වෙලා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ සිටිනවා. කළුබෝවිල රෝහලේ සහ කොළඹ ජාතික රෝහලේ වෛද්‍යවරුන් සහ කාර්ය මණ්ඩලය ඒ දරුවාගේ ජීවිතය බේරා ගැනීම සඳහා උපරිම කැපවීමෙන් කටයුතු කරනවා. ඒ සම්බන්ධව මම ස්තූතිවන්ත වෙනවා." යැයි උසස් අධ්‍යාපන, තාක්ෂණ හා නවෝත්පාදන, තොරතුරු හා ජනමාධ්‍ය අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පැවසීය.

කොළඹ ජාතික රෝහලේ හදිසි අනතුරු ඒකකයේ ප්‍රතිකාර ලබන ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ කළමනාකරණ පීඨයේ සිසුවකුගේ සුවදුක් විමසීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් හෙතෙම මේ බව පැවසීය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා,

" මේ දරුවාගේ මොළයට හානි වෙලා තිබෙනවා. සිහිය නැතිව තමයි රෝහලට ගෙනැත් තිබෙන්නේ. මෙතැන වැරැද්දක් තිබෙනවා. රාත්‍රී 1.30 වන තෙක් මත්ද්‍රව්‍ය භාවිත කරමින් සිසුන් ඉඳලා තිබෙනවා. මේක නවකවදය නිසා සිදු වුණු එකක් ද නොඑසේ නම් වෙනත් සිදුවීමක් නිසා වුණු දෙයක් ද කියලා පරීක්ෂණ අවසානයේ තමයි කියන්නට වෙන්නේ. කොහොම වුණත් මෙවන් තත්ත්වයන් ඇති නොවන පරිදි කටයුතු කිරීම තමයි ශිෂ්‍යයන්ගේ වගකීම වෙන්නේ. මේ සම්බන්ධව විශ්වවිද්‍යාල මට්ටමින් හා මිරිහාන පොලීසියෙන් පරීක්ෂණ දෙකක් සිදු කරනවා.

විශ්වවිද්‍යාල අභ්‍යන්තර කටයුතු සඳහා රාජ්‍ය මැදිහත්වීමක් සිදු නොකරන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පැහැදිලි මතයක සිටිනවා. එහෙම අභ්‍යන්තර මැදිහත්වීමක් කිසිසේත් සිදු නොකරන බවට පසුගිය කාලය තුළ අපි පෙන්නුවා. එතුමාට අවශ්‍ය නැහැ ශිෂ්‍ය මර්ධනය. එතුමාට අවශ්‍ය වෙලා තියෙන්නේ වෙනම දෙයක්. ඒ තමයි විශ්වවිද්‍යාල සුදුසුකම් ලබන නමුත් විශ්වවිද්‍යාලවලට ඇතුළත්වීමට වරම් නොලබන සියලු සිසුන්ට විශ්වවිද්‍යාල උපාධියක් දක්වා යාමට අවශ්‍ය මාවත සකසා දීම. අපි ශිෂ්‍ය ශිෂ්‍යාවන් සඳහා දයාවෙන් කටයුතු කරන විට සමහර සිසුන් නවකවදය තවදුරටත් භාවිත කරනවා. ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා කියලා තියෙනවා පැහැදිලිවම එතුමාගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ සිංහල, දෙමළ, මුස්ලිම්, බර්ගර් සියලු දෙනාට නිදහසේ අධ්‍යාපනය හැදෑරීමට නවකවදය තුරන් කරන බව.

විශ්වවිද්‍යාල තුළ පමණක් නොව ශිෂ්ට සම්පන්න ලෝකය තුළ පියෙක් විසින් දරුවන්ට දඬුවමක් කළත් එය දරුවන්ට කළ හිංසනයක් ලෙස නීතියෙන් දඬුවම් දෙන්න පුළුවන්. අපි නවකවදය වැළැක්වීමට සහයෝගය දක්වන ලෙස සියලුම ආගමික නායකයන්ගෙන්, ගුරුවරුන්ගෙන්, මවුපියන්ගෙන් සහ දරු දැරියන්ගෙන් ඉල්ලා සිටින්න කැමතියි.

පසුගිය වසරවල 2000කට වැඩි විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් වාර්ෂිකව විශ්වවිද්‍යාල අධ්‍යයන කටයුතුවලින් ඉවත්වෙලා විශ්වවිද්‍යාල දාලා ගිහින්. මේක බරපතළ ත්ත්වයක්. වාර්ෂිකව 3000ක් ඇතුළත් වෙනකොට ඒකෙන් 2000ක් නවකවදය නිසා සරසවි දාලා යන එක. මේ සියලු දෙනාට නැවත උසස් අධ්‍යාපන අවස්ථා ලබාදීමටත් තමන්ට සිදු වූ අසාධාරණය පිළිබඳ පැමිණිලි කිරීමටත් විශ්‍රාමික ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරයෙකුගේ සභාපතිත්වයෙන් යුත් කමිටුවක් පත් කරලා තිබෙනවා. බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ තිබෙන එම කමිටුවට පැමිණ තමන්ගේ පැමිණිල්ල ඉදිරිපත් කිරීමෙන් පසු අදාළ කමිටු නිර්දේශ අනුව සිසුන්ට සාධාරණය ඉටු කර දෙනවා. මේ කමිටු වාර්තාව පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා ප්‍රතිපත්තිමය තීන්දුවකින් එම කටයුත්ත සිදු කරන්නට අපේ රජය බලාපොරොත්තු වෙනවා.” යැයිද පවසා සිටියේය.

- සාකළ්‍යා සඳමාලි -

බාලවයස්කාර දැරියක් අපයෝජනය කළ ආබාධිත සෙබළාට වසර 45 ක බරපතළ වැඩ සහිත සිරදඬුවම්



බාල වයස්කාර දැරියක වරින් වර බරපතළ ලෙස අපයෝජනය කිරීම ඇතුළු චෝදනා හයක් සම්බන්ධයෙන් මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි යුද හමුදාවේ හිටපු ආබාධිත සෙබළකු එකී අධි චෝදනා හයෙන් පහකටම වරදකරු බවට නිගමනය කළ උතුරුමැද පළාත් බද සිවිල් අභියාචනා මහාධිකරණයේ විනිසුරු සහ අනුරාධපුර අංක දෙක මහාධිකරණයේ විනිසුරු සුමුදු ප්‍රේමචන්ද්‍ර මහතා ඔහුට වසර 45 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් ඊයේ (10දා) නියම කළේය.

මෙසේ දඬුවම් නියම වූයේ, ගල්නෑව රණවිරු ගම්මානය අංක 8 ලිපිනයේ විසූ යුද හමුදා හිටපු ආබාධිත සෙබළෙකු වන මාගල හෙට්ටිහච්චිගේ සුමනසිරි නොහොත් මක්කේ මාමා නමැත්තෙකුටය.

ඒ අනුව විත්තිකරුට පළමු චෝදනාවට වසර 15 ක බරපතළ වැඩ සහිත සිරදඬුවමක් නියම කළ විනිසුරුවරයා ඊට අමතරව රුපියල් ලක්ෂ දෙකක වන්දි මුදලක් අගතියට පත් දැරියට ගෙවන ලෙසටද නියෝග කළේය.
එම වන්දි මුදල ගෙවීම පැහැර හරින්නේ නම් තවත් වසර 2ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් නියම කළේය.
ඊට අමතරව රුපියල් 5000ක දඩයක් ගෙවන ලෙසටද විත්තිකරුට නියම කළ විනිසුරුවරයා එම දඩ මුදල නොගෙවන්නේ නම් තවත් මාස 6 ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්ද නියම කළේය.

3වැනි චෝදනාවට විත්තිකරුට වසර 10 ක්ද 4 වැනි චෝදනාවට වසර 05ක්ද 05වැනි චෝදනාවට වසර 10ක්ද 6 වැනි චෝදනාව වසර 05ක්ද වශයෙන් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කළ විනිසුරුවරයා, 03 වැනි හා 04 වැනි චෝදනාවලට රුපියල් 5,000 බැගින් 10,000ක්දඩ මුදලක් නියමකළ අතර, එම මුදල් නොගෙවන්නේ නම් මාස 06 බැගින් වූ වසරක බරපතළ සිරදඩුවම් නියම කළේය.

විත්තිකරුට එරෙහිව නීතිපතිවරයා විසින් අධිචෝදනා 6ක් යටතේ මහාධිකරණය හමුවේ කරුණු ගොනු කර තිබූ අතර, ඉන් 2වැනි අධිචෝදනාව හැර අනෙක් අධිචෝදනා 5ටම විත්තිකාර හිටපු ආබාධිත යුද හමුදා සෙබළා වරදකරු බැවින් ඔහුට වසර 45 ක බරපතළ වැඩ සහිත සිරදඩුවමක් නියම විය.

2015 වසරේ අගෝස්තු මස 8වන දින සහ 31 වන දින අතර කාලය තුළ අනුරාධපුර මහාධිකරණ බලප්‍රදේශයට අයත් ගල්නෑවේදී විත්තිකරු මෙම වරද සිදුකර ඇති බවට නීතිපතිවරයා විසින් විත්තිකරුට එරෙහිව චෝදනා 6ක් යටතේ 2018වසරේ නොවැම්බර් මස 21 වන දින අධිචෝදනා ගොනු කරනු ලැබීය.

විත්තිකරු ශ්‍රී ලංකා යුද හමුදාවේ 8 වන ගැමුණු හේවා බළකායට අනුයුක්තව සේනපුර යුද හමුදා කඳවුරේ සේවය කරමින් සිටියදී වෛද්‍ය හේතුන් මත විශ්‍රාම ගන්වා ඇති බව අධිකරණ නඩු විභාගයේදී අනාවරණ විය.
විත්තිකරු මෙම අපරාධය සිදුකළ අවස්ථාවේ ප්‍රදේශවාසීන් විසින් ඔහු අල්ලා සේනපුර යුද හමුදා කඳවුරට භාරදීමෙන් පසුව සේනපුර යුද හමුදා කඳවුර මගින් මෙම ආබාධිත සෙබළා වැඩිදුර විමර්ශන සහ නීතිමය කටයුතු සඳහා ගල්නෑව පොලීසියට භාරදී ඇති බව අධිකරණ නඩු විභාගයේදී හෙළි විය. 

අනුරාධපුර ශික්ෂණ රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරි එස්.එම්.කේ. සේනානායක මහතා සහ ගල්නෑව පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි පොලිස් පරීක්ෂිකා මැණිකේ හේරත් මහත්මිය ඇතුළු 9 දෙනෙක් මෙම නඩුවේ සාක්ෂි ලබාදුන්හ.

ගල්නෑව පොලීසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ප්‍රියන්ත අප්පුහාමි මහතාගේ මෙහෙයවීම මත මෙම අපරාධය සම්බන්ධයෙන් විමර්ශන මෙහෙයවා තිබූ අතර නඩුවේ ලඝු නොවන මූලික විභාගය කැකිරාව මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පැවැති අතර වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර මහාධිකරණයට යොමු කර තිබිණ.

පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ ක්‍රිෂාන් ද අල්විස් ගුණතිලක මහතා සමග ගල්නෑව පොලීසියේ නිලධාරීන් පෙනී සිටි අතර, විත්තිකරු වෙනුවෙන් කිසිඳු නීතිඥයෙකු පෙනී සිටියේ නැත.

- බී ජී චතුරංග -