මධ්යම පළාතේ ඇතැම් ගව ඝාතකාගාර තුළ මස් පිණිස රෝගී ගවයන් මරා අලෙවි කරන්නේදැයි පැවැති සැකය, සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්ය දෙපාර්තමේන්තුව කළ හදිසි පරීක්ෂණයකදී තහවුරු කරගත් බව එහි අධ්යක්ෂිකා ආර්. පී.කේ.එම්. රාජනායක මහත්මිය පැවසුවාය.
ඉකුත් සතියේ සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්ය දෙපාර්තමේන්තුව කුර සහ මුඛ රෝගය ව්යාප්ත වීම වැළක්වීම පිණිස මසට සතුන් මැරීමේ ස්ථානයන්හි සතුන්ට එන්නත් ලබාදීමේ වැඩසටහනක් ආශ්රිතව මහනුවර සහ නුවරඑළිය දිස්ත්රික්කයේ විමර්ශනයක නිරත වන අතර, ගව ඝාතකාගාර ඇසුරෙන් කළ විමර්ෂන අනුව ඇය එසේ තහවුරු කළාය.
තවදුරටත් අප කළ විමසීමේදී කරුණු දැක්වූ අධ්යක්ෂිකා ආර්.එම්.කේ.පී. රාජනායක මහත්මිය මෙසේ පැවසුවාය.
"අපි කොත්මලේ හපුගස්තලාව ගව ඝාතකාගාරය විමර්ශනය කළා. මෙතනදි මුඛ සහ කුර රෝගය වැලදුණු ගවයන් තිදෙනකු සොයා ගැනීමට හැකි වුණා. ඉකුත් සතියේ ගම්පොළ, කහටපිටිය ගව ඝාතකාගාරයට ගියා. එහි සිටි මුඛ සහ කුර ලෙඩ සෑදුණු ගවයෙකු සොයා ගත්තා. එතැනදී මැරීම සදහා අනීතිකව ගෙනැවිත් තිබූ හොර හරක් තුන්දෙනෙක් අපේ නිලධාරින් සොයා ගත්තා. ඔවුන්ටද මෙම රෝගය තිබුණා. එයට පෙර උඩුනුවර සහ වත්තෙගම ගව ඝාතකාගාරයෙන්ද මේ ආකාරයෙන් මුඛ සහ කුර රෝගය වැළඳුණු ගවයන් මසට මැරීමට ගෙනවිත් සිටියදී තෝරා ගැනීමට අපට හැකි වුණා.
මෙය කොරෝනාවට වඩා භයානක තත්ත්වයක්. රෝගී සතුන් හොර රහසේ මරා ජනතාවට අලවි කිරීමෙන් විවිධ වෛරසයන් ජනතාව අතරට යා හැකියි.
ඔබ එහෙම කියන්නේ ඇයි?
උදහරණයක් හැටියට ක්ෂය රෝගය ඇති සතුන් සිටිය හැකියි. එය බැලූ බැල්මට මහජන සෞඛ්ය පරික්ෂකවරයෙකුට තීරණය කරන්න බැරි අවස්ථාවක්. එය ද වෛද්යවරු කළ යුතුයි. නගර සභාපතිවරුන් විසින් පශු වෛද්යවරුන්ගෙන් කෙරෙන ලිඛිත ඉල්ලීම අනුව සතා මරණයට පැය 24කට පෙර පරික්ෂා කළ යුතුයි. කොළඹ වගේ පළාත් පාලන ආයතනවල ඒ අයගේම පශු වෛද්යවරු ඉන්නවා. මෙවැනි දේ ගව ඝාතකාගාර තුළ සිදුවන බව නොදන්නා ජනතාව ඒ මස් අනුභව කරනවා. ඔවුන් මේ පිළිබද අවධානයෙන් සිටිය යුතුයි. මේක හරීම භයානක තත්ත්වයක්. අපි නිරතුරුවම විමසිලීමව ඉන්නේ. ඒත් අපට නොදැනී හොරෙන් යම් අනීතික දේ සිදුවෙනවා. එතනදි ජනතාවගේ සහයෝගයත් අවශ්ය වෙනවා.
එහම නම් ජනතාව මෙවැනි සතුන් හෝ රෝග හඳුනාගන්නේ කොහොමද?
අපේ රටේ බොහෝ ප්රදේශවල මේ රෝග තත්ත්වය වාර්තා වෙනවා. විශේෂයෙන්ම මිහින්තලේ, මොනරාගල, වැල්ලවාය වැනි ප්රදේශවලින් ගත වූ දිනවල මෙවැනි රෝගී හරක් ප්රවාහනය කර තිබෙනවා, හපුගස්තලාවට ගෙනැවිත් තිබුනෙද වැල්ලවායෙන්.
සතුන් ප්රවාහනයට අවසර ලබාදීමේදී පියවර දෙකක් යොදා ගනු ලබනවා. පළමුව සතා නිරෝගී බවට පශු වෛද්යවරයා විසින් සහතිකයක් ලබාදිය යුතුයි. දෙවැන්න සතුන් ප්රවාහනය සඳහා ප්රාදේශීය ලේකම් කාර්යාලයෙන් සහතිකයක් ලබාගත යුතුයි. ගවයෙකු මරණයට පෙර අනුගමනය කළ යුතු නීතිමය කරුණු පිළිබද එම ව්යාපාරිකයන්ට දැනුම තිබෙනවා. ගව ඝාතකාගාරයක් පවත්වාගෙන යාමටත් පළාත්පාලන ආයතනයේ අවසරය ලබාගත යුතුයි. එම ස්ථානයද ඒ නිසි ප්රමිතිය අනුව තිබිය යුතුයි.
එකවරම ගෙනා විගස සතෙකු මරා දැමිය නොහැකියි. පෙර එළිමහනේ ජනතාවට ප්රදර්ශනය වන පරිදි බැඳ තැබිය යුතුයි. සමහර තැන්වල එහෙම කරන්නේ නැහැ. වෙතත් ඉඩම්වල ගැටගහලා තිබෙනවා. අනික සතාගේ ආතතිය අඩු වනතුරුද යම් කාලයක් අවශ්යයි. තවත් දෙයක් රෝග තත්ත්වයන් හඳුනා ගැනීමට කාලයක් තිබිය යුතුයි. ඒ වගේම යමෙකුගෙන් හොරෙන් ගෙනා සතෙකු නම් ඒ බව දැනගැනීමටත් මෙය අවස්ථාවක් වෙනවා. කිරි ගන්නා ගැහැනු සතුන් මැරිය නොහැකියි.
එසේ සිදුවෙනවා නම් වගකීමට සත්ත්ව නිෂ්පාදන දෙපාර්තමේන්තුව ඒ කියන්නේ රජයේ පශු වෛද්යවරු වගකිව යුතුයි නේද?
මේක පැහැදිලි කරගත යුතු දෙයක්. අපට පැවරී ඇති රාජකාරිය වන්නේ සතුන්ගේ ලෙඩ රෝග විනිශ්චය සහ ඒවාට අදාළ ප්රතිකර්ම කිරීම පමණයි. දැනට ඔවුන් සතා ඝාතනයට පෙර සතා පරික්ෂා කර බලනවා. මස් පරිභෝජනයට සුදුසු බව දක්වා මුද්රාව තබනවා. ඒත් ලෙඩරෝග හඳුනා ගැනීම සම්බන්ධයෙන් ඔවුන්ට ඇති දැනුම පිළිබද ප්රශ්නයක් තිබෙනවා. නමුත් සතුන් මරණයට පෙර පරික්ෂා කිරීමට පශු වෛද්යවරයාට බලය තිබිය යුතුයි.
එහෙම නම් මේ වගකීම පශු වෛද්යවරුන්ට නොපැවරෙන්නේ ඇයි?
මේවාට අදාළව අදටත් තියෙන්නේ එදා ඉංග්රීසි පාලකයන් සමයේ සිට පැවත එන ආඥා පනත්. එතනදි පළාත් පාලන ආයතනවලටත් යම් වගකීමක් පැවරි තිබෙනවා. මෙතනදි නගර සභාවල එම කටයුතු මහජන සෞඛ්ය පරික්ෂකවරුන් කරනවා. ඒත් සතෙකු මැරීමට පෙර ප්රදේශයේ පශු වෛද්ය නිලධාරියා ඉදිරියට සතා පරීක්ෂාවට ඉදිරිපත් කළ යුතුයි. එසේ සිදුනොවන අවස්ථා ගැන ක්රමවේදයක් සම්පාදනය කළ යුතුව තිබෙනවා. මරා දැමීමෙන් පසු මහජන සොඛ්ය පරික්ෂකවරුන් මානව සෞඛ්යයට නුසුදුසු යයි මුද්රාව තබනවා.
දැන් පළාත් පාලන ආයතන ගත්තොත් රජයේ පශු වෛදවරයක් නැති නම් ඒ අය අපේ දෙපාර්තමේන්තුවට ඉල්ලීමක් කරන්නැහැනේ. ඒ වෙනුවට තමන්ගේ මහජන සෞඛ්ය පරික්ෂකවරයාට මෙම කාර්යය පවරා තිබෙනවා.
එහෙම වෙන්නේ කොහොමද?
එහෙම වෙනවා කියන්නේ මිනිස් පාරිභෝජනයට ගන්නා ආහාර පිළිබද අද අපනත අනුව එම වගකීම ප්රදේශයේ සෞඛ්ය වෛද්ය නිලධාරිවරයාට ඒ කියන්නේ එම්.ඕ.එච් මහතාට පැවරි තිබෙනවා. ඒ නිසා එම ගව මස් මිනිස් පරිභෝජනයට සුදුසුද යත්න ඔහුගේ මහජන සෞඛ්ය පරීක්ෂකවරයා හරහා සිදුකරනවා. දැනට සිදුවන්නේ ඒ ක්රමයයි.
නමුත් අපි කියන්නේ අපේ වෘත්තීය විෂයපථයට අදාළව සිදු කළ යුතු සතාගේ සෞඛ්ය සහ රෝග සම්බන්ධ කටයුතු පශු වෛද්යවරුන් හරහා සිදු විය යුතු බවයි. ඒ කිව්වේ මහජන සෞඛ්ය පරික්ෂකවරුන්ට එම තාක්ෂණික වෘත්තීය දැනුම නැහැනේ. විදේශවල සතුන් මරණයට පත්කිරීමට පෙර සිට වෙළද පොළ දක්වා පශු වෛද්ය නිලධාරින්ගේ අවධානය සහ අධික්ෂණය යටතෙහි පවතිනවා. අපගේ එහෙම ක්රමයක් නැහැ.
අනික දැනට සතුන් ඇසුරෙන් බෝ වෙන රෝග පිළිබද අවදානම වැඩියි. කෝවිඩ් ගැන හිතන්න. මෙහෙම ලෙඩ සතුන්ගෙන් ඇති විය හැකි අවදානම ගැන දැඩි පියවර ගැනීමේ අවශ්යතාව තිබෙනවා. මෙය නිරෝගී ගව සම්පතක් පවත්වාගෙන යමින් සිදු කරන කිරි නිෂ්පාදන කර්මාත්තයටත් විශාල තර්ජනයක්.
එහමනම් මේ රෝගය පැතිර යාම ගැන පැහැදිලි කළොත්?
ගව ඝාතකාගාරයක්, ගොවිපළක් ගත්තත් ආසාදිත සතුන් වගේම ඒ සතුන් සමඟ වැඩකරන පුද්ගලයන් හා උපකරණ මගින් ව්යාප්ත විය හැකියි. ආසාදිත සතුන් ගොවිපළට ගෙන ඒම මගින් වගේම සතුන් සදහා බීමට ජලය සපයන පොදු තටාක මගින් රෝග ව්යාප්තිය සිදු වෙනවා. එහි කම්කරුවන් විසින් භාවිත කරන වෛරස් තැවරුණු ඇදුම්, පාවහන්, බූටිස් හෝ උපකරණ මගින් ව්යාප්ත වීම වෙනවා. ආසාදිත සතුන් මරණය සදහා ප්රවාහනය කර ඇති ලොරිවලින් නිරෝගී සතුන් ප්රවාහනය කිරීමෙන් නිරෝගී සතුන්ට ඉක්මනින් මෙම රෝගය ව්යාප්ත වෙනවා.
එහිදී අපට හමුවූ සත්ත්ව නිෂ්පාදන සහ සෞඛ්ය දෙපාර්තමේන්තුවේ පශු වෛද්ය ප්රදීප් කුමාරවඩු මහතා මෙසේ අදහස් දැක්වීය.
" මහනුවර සහ නුවරඑළිය අවට ප්රදේශවල මුඛ සහ කුර රෝගය ව්යාප්ත වීමෙහි යම් අවදානමක් අපට පෙනී ගියා. මම එහෙම කියන්නේ අපේ දෙපාර්තමේන්තුවෙන් ඉතා සාර්ථක ආකාරයෙන් ගවයන් සඳහා මුඛ සහ කුර රෝගය සඳහා එන්නත් ලබාදීමේ දීප ව්යාප්ත වැඩසටහනක් ක්රියාත්මක කරනවා. එහෙම කළත්, රෝගී සතුන් දැකගත හැකි වන්නේ යයි කියන දේ ගැන, රෝග කාරකමූලය සොයත්ත අප පශු වෛද්යවරුන් ක්ෂේත්ර පරීක්ෂාවක් කරගන යමින් ඉන්නවා. ගොවිපළවල සිටින සතුන් එන්නත් කිරීම ගැන කටයුතු කරමින් සොයා බලනවා."
පශු වෛද්යවරුන් සතා පරීක්ෂා කර ඔවුන්ගේ අවසරය නොමැතිව ප්රවාහනය නොකළ යුතු නම් රෝගී සතුන් ප්රවාහනය සිදුවන්නේ කොහොමද?
ඇත්තටම එහෙම රෝගී සතුන් ප්රවාහනයට අවසර දෙන්න බැහැ. එය කවදා කෙසේ සිදුවීදැයි අප දැන් සොයා බලනවා. අනික සතුන් හඳුනා ගැනීමට කනෙහි සලකුණක් යොදනවා. හොර හරක් විවිධ ක්රම යටතේ රහසින් ප්රවාහනය වෙනවා.
මේ සම්බන්ධයෙන්, විමර්ෂනයට ලක්වූ ගව ඝාතකාගාරයක මහජන සෞඛ්ය පරීක්ෂකවරයකුගෙන් විමසුවෙමු.
සතුන් පරික්ෂාව සම්බන්ධයෙන් අපට දැනුමක් තිබෙනවා. අපි මැරීමට පෙර අදාළ සතුන් පරික්ෂා කරනවා. ඒ පරික්ෂාවෙන් පසු මානව සෞඛ්යයට සුදුසු යැයි මුද්රා තබා සහතික කරනවා. එය මහජන සෞඛ්ය පරීක්ෂකවරුන්ට රාජකාරිමය වශයෙන් පැවරී ඇති වගකීමක් .
එසේනම් රෝගී සතුන් ඝාතකාගාරයක් තුළට පැමිනෙන්නේ කෙස්ද?
ඒ වැරදීමක් විය හැකියි. රෝගී සතුන් තුන්දෙනෙකු හිටිය නම් ඒ දවසේ ගව ඝාතනයන් පසු එම අයිතිකරු විසින් සතුන් මරණ කොටසට ගෙනැවිත් උන් එහි ගැට ගසා ඇති.
(එසේ සිදුවන්නේ නම් එයද වරදක් බවත්, එහිලා විධිමත් නියාමනයක අවශ්යතාවය පශු නිලධාරිහු අවධාරණය කරති.)
අර්බුදය ඇත්තේ රාජ්ය යාන්ත්රණය තුළද?
මේ සම්බන්ධයෙන් පශු විද්යාව පිළිබද විශ්වවිද්යාල මහාචාර්යවරයෙකු පැවසූ අදහස් පාලකයන්ට ඇසිය යුතු කරුණකි.
"මෙතෙනදි ඒ නිෂ්පාදනය පිළිබඳ නියම ප්රමිතීන් සහ ගුණාත්මක සේවය ගැන වගකීම දරන්නේ සත්ව නිෂ්පාදන සහ සෞඛ්ය දෙපාර්තමේන්තුව නම් එම වගකීම එකී දෙපාර්තමේන්තුවට පැවරිය යුතුයි. සත්ත්ව සෞඛ්යය ගැන මිනිසුන්ට වෙදකම් කරන රජයේ වෛද්යවරයකුට සහතිකයක් දෙන්න බැහැ. ඒ සඳහා රජයේ පශු වෛද්යවරයෙකු බවට පිළිගත් සහතිකයක් ලබාගත යුතුයි. ඒ සඳහා නියමිත උපාධි සමත් කළ යුතුයි. ලියාපදිංචිය තිබිය යුතුයි. ඒ නිසා මෙය මහජන සෞඛ්ය පරික්ෂකවරුන්ට පැවරීම ගැන ප්රශ්නයක්.
අනික මෙතන අණපනත් භාවිත නොවීම පිළිබඳ කතාබහක් තියෙනවානේ. ඒවා නැවත හැදෑරිය යුතුයි. ඒවා කියවිය යුතුයි. පළාත්පාලන ආයතනවල වගකීම තම බදු ගෙවන්නන්ට පරිභෝජනයට සුදුසු මට්ටමේ රෝග වෛරස් නැති මස් , මාශ ලබාදීම නම්, ඒ අයට දැනට තියෙන අණපනත් අනුව පශු වෛද්ය නිලධාරියකු කවදවත්ත බැරි ඇයි?
මෙතැන වැදගත්ම දේ ඒක නෙවෙයි. මම දකින විදිහට මේ දේ ගැන ජනතාව අවබෝධයෙන් සිටිය යුතුයි. තමන් කන මස් මාශවල පිරිසිදුතාව ගැන ඒ අයත් හොයා බලන්න ඕනනේ. ජනතාව නිලධාරින්ගෙන් අපේක්ෂා කරන්නෙත්, මහජන නියෝජිතයන් පත්කර යවන්නෙත් තමන්ට නුසුදුසු ආහාර මුදල් ගෙවා ලබාගෙන ලෙඩ හදාගන්නද කියලා මම අහනවා."
- ලාල් ජයසුන්දර -