Showing posts with label local . g3. Show all posts
Showing posts with label local . g3. Show all posts

Monday, January 25, 2021

චීන එන්නත ලියාපදිංචිය මේ සතියේදී




කෝවිඩ්-19 මර්දන චීන එන්නත මෙම සතියේදී බොහෝවිට ලියාපදිංචි කෙරෙනු ඇති බව ඖෂධ නිෂ්පාදනය, සැපයුම් හා නියාමන රාජ්‍ය අමාත්‍ය මහාචාර්ය චන්න ජයසුමන මහතා ප්‍රකාශ කළේය.  මේ සම්බන්ධයෙන්  කළ විමසීමේදී හෙතෙම සඳහන් කර සිටියේ හදිසි භාවිතය සඳහා අවසර ලබාදීමක් ලෙස එය සිදු  කිරීමට නියමිත බවයි.  ශ්‍රී ලංකාවේ ජනගහණයෙන් 65%කට එන්නත් ලබා දිය යුතු බවට තීරණය කර ඇති බවත්, ඒ අනුව ප්‍රදාන ලෙස ලැබෙන එන්නත්වලට අමතරව තවදුරටත් එන්නත් අවශ්‍ය වුවහොත් එම ප්‍රමාණය මුදලට ලබා ගැනීමට තීරණය කර ඇති බවත් රාජ්‍ය අමාත්‍යවරයා පැවසීය.


ඉන්දීය රජය විසින් ශ්‍රී ලංකාවට නොමිලේ ලබාදෙන කෝවිඩ්-19 මර්දන එන්නත් පළමු තොගය අනිද්දා (27දා)  දින දිවයිනට රැගෙන එන බවත්, ඒ අනුව සෞඛ්‍ය හා ආරක්‍ෂක අංශ සාමාජිකයන්ට එම එන්නත එන්නත් කිරීම එළඹෙන 28වැනිදා ආරම්භ කරන බවත් ජනාධිපති  ගෝඨාභය රාජපක්‍ෂ මහතා පසුගියදා ප්‍රකාශ කළේය.  ජනාධිපතිවරයා සඳහන්  කර සිටියේ ඉන්දියාව, චීනය සහ රුසියාව සමග මේ වනවිට සාකච්ඡා කර ඇති පරිදි අවශ්‍ය එන්නත් ප්‍රමාණය කඩිනමින් ගෙන්වා ගැනීමට සියලු පියවර ගෙන ඇති බවයි.

 


-නිදර්ශනි වික්‍රමසිංහ-




Tuesday, January 12, 2021

අගමැති මාධ්‍ය අංශයේ අධ්‍යක්ෂ ජනරාල්ට ඇප





බීමත්ව රිය පදවා පුද්ගලයන් තිදෙනකුට බරපතළ තුවාල සිදුකිරිමේ චෝදනාව යටතේ නවගමුව පොලිසිය අත්අඩංගුවට ගෙන කඩුවෙල අධිකරණයට ඉදිරිපත් කර රිමාන්ඩ්ගත කරනු ලැබ සිටි අගමැති මාධ්‍ය මාධ්‍ය අංශයේ අධ්‍යක්‍ෂ ජනරාල් විජයානන්ද හේරත් මහතා රුපියල් ලක්ෂ 10ක මුදල් හා ලක්ෂ 10ක ශරීර ඇප මත මුදාහැරිමට කඩුවෙල මහේස්ත්‍රාත් හා අතිරේක දිසා විනිසුරු මංජුල රත්නායක මහතා ඊයේ (ii) නියෝග කළේය. ඉකුත් සෙනසුරාදා (09) රාත්‍රී ඔහු රාජකාරි නිමවා රණාල ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවසට යමින් සිටියදී මහමඟ ගමන් ගත් පුද්ගලයන් තිදෙනකු මෝටර් රථයේ හප්පා අනතුරකට ලක් කිරිම් සිද්ධියකට අදාළව පොලිසිය මෙම පැමිණිල්ල අධිකරණයට ඉදිරිපත් කර තිබිණි.


එදින සැකකරුට එක් දිනක රක්‍ෂිත නියෝගයකින් පසුව ඊයේ (ll) ‘ස්කයිප්” තාක්ෂණය ඔස්සේ විනිසුරුවරයා නඩුව කැඳවූ අවස්ථාවේ පොලිසිය කරුණු  ඉදිරිපත් කරමින් සැකකාර රියදුරු අනතුර සිදුවන අවස්ථාවේ බීමත්ව සිට  ඇති බවත් ඔහුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුවී ඇතැයි අනාවරණය වූ බවත් දන්වා සිටියේය.  සියලු කරුණු සැලකිල්ලට ගත් විනිසුරුවරයා ඉහත කී ඇප කොන්දේසි යටතේ සැකකරු මුදාහරිමින් වැඩිදුර විභාගය ලබන 27 වැනි දිනට කල් තැබීය.  මෙය කඩුවෙල අධිකරණයේ ප්‍රථම වරට ස්කයිප් තාක්‍ෂණය යටතේ විභාගයට ගත් නඩුව බවට සටහන් විය. සැකකරුගේ අයිතිවාසිකම් වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ නීතිඥ සන්ධ්‍යා තල්දුව මහත්මිය පෙනී සිටියාය.



-ගුණවතී ඉලංගකෝන් මැණිකේ -

Tuesday, December 22, 2020

පැයට කිලෝමීටර් සියයකින් රේස් ගිය ත්‍රිරෝදය අල්ලයි



පැයට කිලෝමිටර් සියයක වේගයෙන් ධාවනය කළ හැකි ත්‍රිරෝද රථයක් පෙරේදා (20) රාත්‍රී අත්අඩංගුවට ගත් බව හඟවැල්ල පොලිසිය පවසයි.  මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ දැඩිගමුව ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි අවිවාහක තරුණයකු බව පොලිසිය කියයි. පනාගොඩ ඇඹුල්ගම මාර්ගය හරහා විදුලි ලාම්පු නොදල්වා ධාවනය වෙමින් තිබූ ත්‍රිරෝද රථයක් නවත්වන ලෙසට මාර්ග බාධකයේ රැදී සිටි රථවාහන අංශයේ පොලිස් නිලධාරින් සංඥා කළ ද අණ නොතකා ධාවනය වීම නිසා පොලිස් යතුරුපැදියෙන් ත්‍රිරෝද රථය පසුපස ලුහුබැඳ ගොස් මෙසේ අත්අඩංගුවට ගෙන ඇති බව කීය.


ලුහුබදින අවස්ථාවේදී පැයට කිලෝමීටර් 100ක වේගයෙන් ත්‍රිරෝද රථය ධාවනය වී ඇති බව ද පොලිසිය පවසයි.  මෙම ත්‍රිරෝද රථය තරගාවලියක් සඳහා සකස් කළ එකක් බවට පොලිසිය සැක කරයි. පසුව ත්‍රිරෝද රථය පොලිස් බාරයට ගෙන පරික්ෂා කිරිමේදී ත්‍රිරෝද රථය පැදවූ රියැදුරු බලපත්‍ර තිබුණ ද ත්‍රිරෝද රථයේ වෙනත් කිසිදු බලපත්‍රයක් ඉදිරිපත් කිරිමට අපොහොසත් වූ බව ද පොලිසිය කියයි.  තවදුරටත් පරික්ෂා කිරිමේදී ත්‍රිරෝද රථයේ සයිලන්සරය සහ එන්ජිම වෙනස් කර ඇති බවට කරුණු අනාවරණය වූ බවත්, ඒ අනුව මෝටර් රථ ප්‍රවාහන පරික්ෂකවරයකුට ඉදිරිපත් කොට වාර්තාවක් ලබාගැනීමට නියමිත බවත් පොලිසිය පවසයි. 


ත්‍රිරෝද රථය පොලිස් බාරයට ගන්නා අවස්ථාවේදී එහි එන්ජිම, සුක්කානම, රෝද තුන සහ තට්ටුව හැර වෙනත් කිසිදු උපාංගයක් සවි කර නොතිබූ බව ද පොලිසිය පවසයි. අත්අඩංගුවට ගත් දැඩිගමුව ප්‍රදේශයේ පදිංචි විසි හැවිරිදි සැකකරු හෝමාගම අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතය.

-බිමල් ශ්‍යාමන් ජයසිංහ-

Friday, December 18, 2020

බිල හදන්න ගියාම බල්ලෙක් කාලා මනු කියවන්නා පොලිසි යයි





කෑගල්ල පොලිස් බල ප්‍රදේශයේ නිවසකට විදුලි බිල්පත දීමට ගිය මනු කියවන්නෙකු බල්ලෙකුගේ සපා කෑමට  ගොඳුරුව ඇත. ගෙහිමි තරුණියට එරෙහිව කෑගල්ල  මූලස්ථාන පොලිසියට අනතුරුව මනු කියවන්නා විසින් පැමිණිල්ලක් ඉදිරිපත් කරනු ලැබ ඇතැයි කෑගල්ල පොලිසිය කියයි.  මනු කියවන්නා ද එම නිවසේ සපා කන විශාල බල්ලකු ඇති දැඩි කරන බව කලක සිට දැනගෙන සිට ඇතැයි  පොලිසිය කියයි. මෙම මනු කියවන්නා අදාළ ගම්මානයේ නිවෙස් වලට විදුලි බිල්පත් ලබා දී පසුව විශාල බල්ලෙකු ඇති දැඩි කරන මෙම නිවසට යෑමට පෙර ඈත තියා කතා කර ඇති බවත් පසුව නිවසේ සිටි තරුණියක් කතා කරන්නේ කවුරුන් දැයි බැලීමට නිවසේ මිදුලට පැමිණ ඇති බවත්  පොලිසිය කළ පරීක්ෂණ වලින් හෙළි වී ඇත. 


මනු කියවන්නා ඈත සිට මිදුලේ සිටි තරුණියට බල්ලා බැඳලා ද නැති නම් බැඳ ගන්න යනුවෙන් ප්‍රකාශ කර ඇති බවත් පොලිසිය කියයි.  තරුණිය ප්‍රකාශ කර ඇත්තේ බල්ලා නිවස ඇතුළත  බැඳ ඇති බවයි.  මනු කියවන්නා නිවසට පැමිණ විදුලි මීටරය දෙස බලා විදුලි බිල් පත් සටහන් කරද්දී නිවසේ බැඳ සිටි බල්ලා වයරය ගලවා ගෙන පැමිණ මනු කියවන්නා සපා කා ඇති බවත් පොලිසිය කියයි. බල්ලා අල්ලා ගැනීමට තරුණියට නොහැකි වී ඇති අතර පසුව මනු කියවන්නාගේ ද සහයෝගය ඇතිව බල්ලා මෙල්ල කර ගත් තරුණිය බල්ලා රැගෙන නිවසට ගොස් කාමරයකට දමා දොර වසා ඇති බවත් පොලිසිය කියයි. සිද්ධිය වූ නිවසට ඉකුත් දිනක කෑගල්ල මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණිලි අංශයේ නිලධාරියකු පැමිණ මූලික විමර්ශනයක් කර ඇත. ඉදිරි දිනයකදී දෙපාර්ශවයම කෑගල්ල මූලස්ථාන පොලිසියට කැඳවා විභාග කිරීමට නියමිත බවත් පොලිසිය කියයි.


- චමින්ද වැවතැන්න-


Thursday, December 17, 2020

මැරයාගේ පිහි පහරින් අම්මා බේරාගත් පුතුට ඇඟිල්ලක් අහිමි වෙයි




මවට එල්ල කළ මාරාන්තික පිහි පරහක් වළක්වා ගැනීමට උත්සාහ කළ ඇයගේ 28 හැවිරිදී පුතාගේ දකුණු අතේ මහපට ඇගිල්ල කැපීගොස් ඇතැයි උහන පොලිසිය කියයි. දකුණු අත ඉදිරියට දමා එම මාරාන්තික පිහි පාර වලක්වා මවගේ ජීවිතය බේරා ගැනීමට පුතා සමත්ව තිබෙන බව උහන පොලිසියේ නිලධාරියෙක් පැවසීය.  මවගේ ජීවිතය බේරා ගැනීමට ගොස් අතේ ඇඟිල්ලක් අහිමි වූ පුතා අම්පාර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බව පොලිසිය කියයි. සිරුරින් කැපී වෙන්වී ගොස් තිබූ ඇඟිලි කොටස ද සොයාගත් බව පොලිසිය පවසයි. බහින් බස්වීමකින් පසු අසල්වසියකු එම පිහිපහර එල්ල කර තිබෙන බවත් ඔහු කසිප්පු පානයට තදින්ම ඇබ්බැහි වී සිටින්නකු බවත් පොලිසිය කීය.


මවට පිහි පහර එල්ල කළ බව කියන පුද්ගලයා කසිප්පු ජාවාරමේ නිරත වූවකු බවත් ඔහුට එරෙහිව අධිකරණයේ එවැනි නඩු කීපයක් විභාග වෙමින් පවතින බවත් පොලිසිය සඳහන් කරයි. ඇඟිල්ල අහිමි වූ පුතා පොල්ලකින් පහර දුන් බව කියමින් පිහි පහර එල්ල කළ බව කියන පුද්ගලයා ද අම්පාර රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් පසුවන බව  පොලිසිය කීය. රෝහලෙන් ප්‍රතිකාර ලබා පිටත් කර හැරිය පසු පිහි පහර එල්ල කළ බව කියන පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට නියමිතය.



ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-


Wednesday, December 16, 2020

සේනා තිරප්පනේ අක්කර 2,500ක ඉඟුරු වනසති



තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ  මෙවර මහ කන්නයේ වගා කළ බඩඉරිගු වගාවන්ට ද සේනා දළඹු උවදුර පැමිණීම නිසා බඩඉරිගු අක්කර දෙදහස් පන්සීයක පමණ ප්‍රමාණයක් විනාශ වෙමින් පවතින බව ගොවීහු කියති. තිරප්පනේ ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ මාවතවැව, පුලියන්කුලම, පඬිකෙටුවැව, ඌරාකොටේ, කුට්ටිකුලම, පෙරියකුලම, වළගම්බාහුව, ලබුනෝරුව හා සන්දානන්කුලම ඇතුළු තවත් ගම්මාන බොහොමයක බඩඉරිගු වගාවන්ට මේ වනවිට සේනා දළඹුවා ව්‍යාප්ත  වී ඇතැයි ද ගොවීහු පවසති.  මෙම වගාවන් සේනා ව්‍යාප්තියේ මැද මට්ටමේ පවතින නිසා එය මර්දනය කරගැනීමට නොහැකි වුවහොත් අක්කර දෙදහස් පන්සීයකට ආසන්න සංඛ්‍යාවක් විනාශවීම වැළැක්විය නොහැකි බව ද ඔවුහු කියති.


බන්දුල පුලියන්කුලම ගොවි මහතා මෙසේ කීය. 

“අපේ ගම්මාන තමයි ර‍ජරට බඩඉරිගු වගාවට වැඩිම දායකත්වයක් දෙන්නේ. මේ මාස් කන්නයේ අක්කර දාහකට ආසන්න ප්‍රමාණයක් බඩඉරිඟු වගා කර තියෙනවා. තිරප්පනේ කොට්ඨාසයේම ගත්තොත් අක්කර දෙදහස් පන්සීයක් විතර බඩඉරිඟු වගා කරලා තියෙනවා. වගාව ආරම්භයේ වැස්ස  නොමැතිවත් බාධා ආවා. කොහොම වුණත් දැන් වගා සරුවට වැවීගෙන එනවා. අපේ ගොවි මහත්වරු කීපදෙනකුගේ වගාවල මේ වනවිට සේනා දළඹුවා ශීඝ්‍රයෙන් පැතිරෙමින් යනවා. ඒ උවදුර පාලනය කිරීමට අධික මිලක් දිලා විවිධ කෘමිනාශක වර්ග යොදනවා. නමුත් පාලනයවීමක් නම් පේන්න නෑ. සේනා මර්දනය නොවුණොත් ගොවීන්ගේ දහදිය මහන්සිය විතරක් නෙමේ මුළු සේසතම නැති වෙනවා. කොරෝනා නිසා වැටුණු අපේ  ගොවීන්ගේ ආර්ථිකය ගොඩයන්න කියලා මෙවර ගොවීන් විශාල වශයෙන් බඩඉරිගු වගා කර තිබෙනවා" යැයිද ඔහු කීය.” 


මේ සම්බන්ධයෙන් තිරප්පනේ ගොවිජන  සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක  සාලින්ද දිසානායක මහතා මෙසේ කීය. 

“මුළු අනුරාධපුර දිස්ත්‍රික්කයටම සේනා උවදුර ව්‍යාප්ත වෙලා. තිරප්පනේ කොට්ඨාසයේ විතරක් අක්කර දෙදහස් පන්සීයක් විතර මෙවර ගොවීන් බඩඉරිඟු වගා කළා. අපි ක්ෂේත්‍ර පරික්ෂා කළා. සියලු වගාවන්ට මේ වනවිට සේනා ව්‍යාප්ත වෙමින් තියෙන්නේ . ඒ නිසා මේ සඳුදා සිට අපි ගොවීන් දැනුම්වත් කිරීමේ සතියක් ක්‍රියාත්මක කරනවා. කෘෂිකර්ම නිලධාරීන් කෘ.ප.නි.ස. නිලධාරීන් හා ගොවීන් මේ සඳහා සහභාගි වෙනවා. දැනටමත් 1, 2, 3 යනාදී පියවර වශයෙන් කෘමිනාශක ඉසීමට ගොවීන්ව අපි දැනුම්වත් කරලා තියෙන්නේ" යැයි ඔහු කීය.


- ජයවර්ධන දිසානායක-


Thursday, December 10, 2020

මීනිමැරුමකට සේවයෙන් නෙරපූ ගුරුවරියගේ ඇපෑල ඉවතට


සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයකට වරද පිළිගත් ගුරුවරියක් සේවයෙන් නෙරපීමට රාජ්‍ය සේවා කොමිෂන් සමාව ගත් තීරණය නීත්‍යානුකූල බව තීන්දු කළ අභියාචනාධිකරණය අදාළ නියෝගයට එරෙහිව ගුරුවරිය ගොනු කර තිබූ අභියාචනය නිෂ්පහ කිරිමට ද නියෝග කළේය.  අභියාචනාධිකරණය මෙසේ නියෝග කළේ මාතලේ ප්‍රදේශයේ පදිංචි ගුරුවරියක ගොනු කර තිබූ අභියාචන පෙත්සමේ තීන්දුව ප්‍රකාශයට පත් කරමිනි. මාතලේ අලුවිහාරේ රණවිරුගම පදිංචි ලෙච්චමි ක්‍රිෂ්ණකාන්තා නමැත්තිය විසින් ගොනු කරන ලද  මෙම අභියාචන පෙත්සමේ වගඋත්තරකරු ලෙස මධ්‍යම පළාත් අධ්‍යාපන දෙපාර්තමේන්තු අධ්‍යක්ෂ, පළාත් රාජ්‍ය සේවා කොමිෂන් සභාව ඇතුළු අට දෙනෙක් නම් කරනු ලැබ සිටියහ.


විනිසුරු ආචාර්ය රුවන් ප්‍රනාන්දු මහතාගේ එකඟත්වයෙන් විනිසුරු ශිරාන් ගුණරත්න මහතා විසින් ප්‍රකාශිත තීන්දුවේ මෙසේ ද සඳහන්  වේ.  මහනුවර පළාත් මහාධිකරණයේ තීන්දුව බලශුන්‍ය කරන ලෙස ඉල්ලා පෙත්සම්කාරිය විසින් මෙම අභියාචනය ඉදිරිපත් කරනු ලැබ ඇත. මෙම පෙත්සමට අදාළ සිද්ධිමය කරුණු මෙසේය. අභියාචන පෙත්සම්කාරිය ශ්‍රී ලංකා ගුරු සේවයේ තුන්වැනි ශ්‍රේණියේ ගුරුවරියක් හැටියට පත්වීම් ලැබ ඇත.  මේ අතර ඉස්මයිල් ෂේක් මොහිදීන් නමැත්තා මරා දැමීමේ සිද්ධියේ පළමු විත්තිකාරිය හැටියට චෝදනා කරමින් පෙත්සම්කාරියට එරෙහිව නඩු පවරනු ලැබීය. ඉන්පසු මෙම නඩු විභාගය අවසන් වනතුරු පෙත්සම්කාරියගේ  සේවය ද අත්හිටවනු ලැබීය. මේ අතර 2013 ඔක්තෝබර් 14 වැනි දින පෙත්සම්කාරිය සිද්ධිය සම්බන්ධයෙන් සාවද්‍ය නොවන  මනුෂ්‍ය ඝාතනයට වරද පිළිගැනීමෙන් පසු ඇයට අත්හිටවූ සිර දඬුවමක් නියම කළේය. 

ඉන්පසු පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂවරයා පෙත්සමිකාරියගේ  සේවය අවසන් කළ බව දැනුම් දුන්නේය. මේ තීරණයට එරෙහිව රාජ්‍ය  සේවා කොමිෂන් සභාවේ ලේකම්වරයාට අභියාචනයක් ඉදිරිපත් කළත් ඉන් පලක් නොවිණි.  මෙම තීරණයෙන් අගතියට පත් පෙත්සම්කාරිය තීරණය බලශුන්‍ය කර තමා යළි ගුරු සේවයේ පිහිටුවන ලෙස ඉල්ලා පෙත්සමක් මහාධිකරණයට ඉදිරිපත් කළාය. එම රීට් පෙත්සම ද නිෂ්ප්‍රභ කෙරිණි.   ඉන් අගතියට පත් පෙත්සම්කාරිය අභියාචනාධිකරණයට ද පෙත්සමක් ගොනු කළාය.  පෙත්සම්කාරිය ගොනු කළ අභියාචනය සලකා බැලීමේදී පෙත්සම්කාරිය සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයට වරද පිළිගනිමින් නිසි අධිකරණයකින් දඬුවම් ලැබූ තැනැත්තියක් බව හෙළිවිය.


මේ අනුව පෙත්සම්කාරිය යළි ගුරු සේවයේ පිහිටුවීම සෘජු ලෙසම ශිෂ්‍ය ප්‍රජාවට බලපෑම් කරන්නකි. එය පූර්ව නඩු තීන්දු කිහිපයකින්ම තහවුරු කරනු ලැබ ඇත. ඒ අනුව මෙම අභියාචන පෙත්සමේ වගඋත්තරකරුවන් සිදු කළ ක්‍රියාව නීතියට පටහැනි නොවේ. එබැවින් අදාළ රිට් ආඥාව ප්‍රතික්ෂේප කරන බව ද තීන්දුවේ සඳහන් වේ.   ඒ අනුව සාවද්‍ය නොවන මනුෂ්‍ය ඝාතනයකට වරද පිළිගත් පෙත්සම්කාර ගුරුවරියක සේවයෙන් නෙරපීමට රාජ්‍ය සේවා කොමිෂන් සභාව ගත් තීරණය නීත්‍යනුකූල බව තීන්දු කළත් අභියාචනාධිකරණය අදාළ තීරණයට එරෙහිව ගුරුවරිය ගොනු කර තිබූ අභියාචනය නිෂ්ප්‍රභා කරන බව තීන්දුවේ සඳහන් වේ. අභියාචක පෙත්සම්කාරිය වෙනුවෙන් නීතිඥ කමින්ද ද සිල්වා මහතා පෙනී සිටියේය. නීතිපති වෙනුවෙන් රජයේ නීතිඥ රාජන් ගුණරත්න මහතා පෙනී සිටියේය.


 -රංජන් කටුගම්පොළ -

Tuesday, December 8, 2020

උණෙන් පෙළුණ සේවකයන්ට බේත් පෙති දීදි වැඩ අරන්




මිනුවන්ගොඩ බ්‍රැන්ඩික්ස් ආයතනයේ ඇතැම් සේවකයන් උණ රෝගයෙන් පෙළෙද්දීත් වේදනා නාශක පෙති ලබා ගනිමින් අතිකාල දීමනා ලබා ගැනීම සඳහා දිගටම රාජකාරි කටයුතුවල නිරතව සිට ඇතැයි මෙතෙක් කරන ලද පොලිස් පරික්ෂණවල දී තොරතුරු අනාවරණය වී තිබෙන බව මහජන ආරක්ෂක අමාත්‍ය විශ්‍රාමික රියර් අද්මිරාල් සරත් වීරසේර මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (7) පැවැසීය.  මිනුවන්ගොඩ බ්‍රැන්ඩින්ස් ආයතනයේ විදේශිකයන් අට  දෙනකු සේවය කළ ද මේ වසරේ දී විදේශයෙන් පැමිණ ඇත්තේ එක් අයකු පමණක් බවත් ඒ විදේශිකයා ද පී.සී.ආර්. පරීක්‍ෂණයකට භාජනය වීමෙන් පසුව නිරෝධායනයට ලක්ව සිටින බවත් පොලිස් පරික්ෂණවල දී තොරතුරු හෙළිවී ඇතැයි වීරසේකර මහතා කීය.  ඉන්දියාවේ විසාකාපට්ටම්හී බ්‍රැන්ඩින්ස් ආයතනයේ සේවය කරන ශ්‍රී ලංකිකයන් පන්සිය දෙනාගෙන් තුන්සිය හතළිස් එක් දෙනකු පසුගිය කාලයේ අවස්ථා තුනක දී මෙරටට පැමිණ ඇති බවටත් ඉන් දසදෙනකට කොරෝනා වයිරසය ආසාදනය වී හඳුනා ගැනුණු බවටත් තොරතුරු අනාවරණය වී ඇතැයි කී මහජන ආරක්‍ෂක ඇමැතිවරයා පොලිසිය මේ වන විට ආසාදිතයන් සියයකට වැඩි පිරිසකගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇතැයි ප්‍රකාශ කළේය.


වීරසේකර මහතා මෙසේ පැවැසුවේ බ්‍රැන්ඩික්ස් පොකුරේ ආරම්භය ගැන කෙරෙන පොලිස් පරික්ෂණවල ප්‍රගතිය දැනුම් දෙමිනි.  සරත් වීරසේකර මහතා මෙසේද පැවසීය. 


නීතිපතිවරයා පොලිස්පතිවරයාට කළ දැනුම්දීම අනුව කොරෝනා දෙවැනි රැල්ල ගැන කොළඹ අපරාධ කොට්ඨාසය පළමුවෙන්ම විමර්ශන ආරම්භ කළා. දින දෙකකට පසුව එහි නිලධාරින් හැත්තෑවකට කොවිඩ් වැළදී තිබුණා. ඊට පසුව ඒ පරික්‍ෂණ කටයුතු නොවැම්බර් 15 වැනිදා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට බාර දුන්නා. දැනට ආසාදිතයන්ගෙන් කට උත්තර සියයකට වඩා අරගෙන තිබෙනවා. කොහෙන්ද ආවේ කියලා අවසාන තීරණයක් නැහැ.


පොලිසිය විමර්ශන කරන්නේ වසංගත රෝග අංශයේ නීතිවලට යටත්වයි. ඒ පොකුරු ගැන පරික්‍ෂණ කළ හැක්කේ ඔවුන් අනුමැතිය දුන්නොත් විතරයි. විමර්ශන පැවැත්වූ සී.අයි.ඩී. එකේ විසි දෙනකුටත් කොරෝනා වැළඳී තිබෙනවා.  මිනුවන්ගොඩ සේවකයන් 1500 න් 400 කට පී.සී.ආර්. පොසිටිව් වුණේ නැහැ. ඒ නිසා ඒ හාර සියයට ඇන්ටිජන් පරික්ෂණය කරනවා.  ඒක කරන්නෙ හැදිල සුවපත් වුණා ද බලන්නයි. සමහර  සේවකයන්ට උණ හැදිලා තියෙද්දි වේදනා නාශක අරගෙන වැඩ කරලා තියෙනවා. එහෙම කරලා තියෙන්නේ අතිකාල දීමනා ගන්නයි. පොලිසියට දීපු ප්‍රකාශවල ඒ තොරතුරු සඳහන් වෙනවා. බ්‍රැන්ඩික්ස් ආයතනයේ විදේශිකයන් අට දෙනකු වැඩ කරනවා. ඉන් හත් දෙනකු මේ වසරේදී කිසිම අවස්ථාවක රටින් පිටට ගිහිල්ලා නැහැ. පිටව ගිහින් තියෙන්නේ එක්කෙනයි.


එයා එංගලන්තයට ගිහින් ඇවිල්ලා පී.සී.ආර්. කරලා නිරෝධායනය වී සිටිනවා. ඉන්දියාවේ විසාකාපට්ටම්හි බ්‍රැන්ඩික්ස් ආයතනයේ ලංකාවේ පන් සියයක් වැඩ කරනවා. ඒ පන්සියයෙන් තුන්සිය හතළිස් එකක් ලංකාවට අවස්ථා ගණනාවක දී ඇවිල්ලා තියෙනවා.  ඒ අයට පී.සී.ආර්. කළ අවස්ථාවේ දී පොසිටිව් වුණේ දහසකට පමණයි. මෙරටට පැමිණි ඒ තුන්සිය හතළිස් එකෙන් කිසිවකු ලංකාවේ බ්‍රැන්ඩින්ස් ආයතනයට ගිහින් නැහැ. මේ පොලිස් පරික්‍ෂණය ඉක්මනට කරලා ඒ තොරතුරු ඉක්මනට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තු වෙනවා යැයි ද ඔහු කීව්වේය.



මහික වීරරත්න-

Monday, November 30, 2020

දකුණු පළාතේ සිදු වූ ප්‍රථම කෝවිඩ් මරණය අකුරැස්සෙන්



දකුණු පළාතේ සිදු වූ ප්‍රථම කෝවිඩ් මරණය අකුරැස්ස සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වාර්තා වන බව දකුණු පළාත් ආණ්ඩුකාර ලේකම් කාර්යාලයේ පිහිටුවා ඇති කෝවිඩ් -19 මෙහෙයුම් මැදිරියේ ප්‍රධාන සම්බන්ධීකරණ නිලධාරී චාමර මහගමගේ මහතා පැවසීය. මෙසේ මිය ගොස් ඇත්තේ අකුරැස්ස, අමලගොඩ පදිංචිව සිටි 70 හැවිරිදි කාත්තාවකි. කෝවිඩ් වෛරසය ආසාදනය වීමෙන් අනතුරුව හෝමාගම මූලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (28දා) මෙම කාන්තාව මිය ගොස් ඇත.


මේ අතර දකුණු පළාතේ කෝවිඩ් -19 ආසාදිතයන්ගේ සංඛ්‍යාවද මේ වනවිට 266 දක්වා ඉහළ ගොස් ඇත. ඒ අනුව ගාල්ල දිසාවෙන් ආසාදිතයන් 3දෙනෙක් වාර්තා වී ඇති අතර, මාතර දිසාවෙන් ආසාදිතයන් 9දෙනෙක් වාර්තා වී තිබේ. මෙම නවදෙනාගෙන් අටදෙනෙක්ම වැලිපිටිය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයෙන් වාර්තා වී තිබේ. මේ අතර දකුණු පළාතේ ආසාදිතයන්ගෙන් 149දෙනෙක් මේ වනවිට සුවය ලබා ඇත. ඒ අනුව ගාල්ල දිසාවෙන් 95දෙනෙක්ද, මාතර දිසාවෙන් 32නෙක්ද, හම්බන්තොට දිසාවෙන් 22නෙක්ද සුවය ලබා ඇතැයි චාමර මහගමගේ මහතා පැවසීය.


මේ වනවිට දකුණු පළාතේ පවුල් 1079ක පුද්ගලයන් 2519දෙනෙක් නිරෝධායනයට යොමු කර ඇති බවද වාර්තාවේ. එමෙන්ම දකුණු පළාතේ පුද්ගලයන් 31438දෙනෙක් සඳහා පී. සී. ආර්. පරීක්ෂණ සිදුකොට තිබේ. මේ අතර නිවාසවල නිරෝධායනය වෙමින් සිටින පවුල්වලට සහනයක් ලෙස රජයෙන් රුපියල් 10000ක් වටිනා බඩු මල්ලක් ලබාදීමේ වැඩපිළිවෙළ යටතේ දකුණු පළාත්තේ පවුල් 2948ක් සඳහා ඊයේ වනවිට මෙම බඩු මලු බෙදා දී තිබේ. ඒ අනුව ගාල්ල දිසාවේ පවුල් 2111ක් සහ මාතර දිසාවේ පවුල් 837ක් සඳහා මෙම බඩු මලු බෙදා දුන් බවද චාමර මහගමගේ මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


-රවිඳු දියගහගේ-


Friday, November 13, 2020

හදිසි අනතුරකින් නිවෙස තුළ සිටි තරුණයා සැත්කමකට යද්දී කොවිඩ් රෝගීයේක් වෙලා


හංවැල්ල පොලිස් වසමේ පහත්ගම 18 හැවිරිදි තරුණයකුට කොළඹ ජාතික රෝහලේදී සිදුකළ පී.සී.ආර්. පරික්ෂණයකින් කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බව තහවුරුවීමෙන් පසු ඔහුගේ පවුලේ තිදෙනකු ඇතුළු අවට පවුල් 08ක 33 දෙනකු නිවෙස්වලම නිරෝධායනය කළ බව හංවැල්ල  මහජන සෞඛ්‍ය පරික්ෂක ලක්ෂ්මන් රාජපක්ෂ මහතා  පැවැසිය.  මෙම 18 හැවිරිදි තරුණයා පසුගිය වසරේ දෙසැම්බර්  මාසයේ හදිසි අනතුරකට ලක්වී නිවෙසේ සිට ඇත.  එම රෝගී තත්වය හේතුවෙන් සිදුකළ යුතුව තිබූ ශල්‍යකර්මයක් සඳහා මෙම තරුණයා ඉකුත් 10 වැනිදා කොළඹ ජාතික රෝහලට ඇතුළත් වී ඇති අතර එහිදී සිදුකර ඇති පී.සී.ආර්. පරික්ෂණයකින් මොහුට කොවිඩ්-19 වයිරසය ආසාදනය වී ඇති බව තහවුරුව වැඩිදුර ප්‍රතිකාර සඳහා රෝගියා ඉරණවිල කොවිඩ් ප්‍රතිකාර මධ්‍යස්ථානයට යවා ඇතැයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා පැවසීය.

මෙම තරුණයා රෝහල් ගතවීමට ප්‍රථම පසුගිය දිනවලදී ඔහුගේ අවට නිවෙස්වල යහළුවන් සමග විනෝද වෙමින් සෙල්ලම් කර ඇති බවට තහවුරු කර ගැනීම නිසා ඔහු සබඳකම් පැවැත්වූ පවුල් 08ක්ද ඔහුගේ නිවෙස්වල තිදෙනා ද සමග 33 දෙනකු ඔවුන්ගේ නිවෙස්වල නිරෝධායනයට ලක්කළ බව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා වැඩිදුරටත් පැවසීය. හංවැල්ල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය ජගත් වික්‍රමසිංහ මහතාගේ උපදෙස් මත මහජන සෞඛ්‍ය පරික්ෂකවරු වැඩිදුර පරික්ෂණ පවත්වති.


 -නිහාල් වෙත්තසිංහ-

Friday, November 6, 2020

බදුල්ල දිස්ත්‍රික්කයේන් කෝවිඩ් ආසාදිතයන් 25 දෙනෙකු හමුවීම නිසා පුද්ගලයන් 2,393 දෙනෙක් ස්වයං නිරෝධායනයට


බදුල්ල දිස්ත්‍රික්කයේ ආසාදිතයන් 25 දෙනෙකු පසුගිය මස 03 වැනිදා සිට වාර්තා වුවත් සියලුදෙනා හඳුනාගෙන අවදානම අවම කර ඇති බවත්, මේ කාලය තුළ පී.සී.ආර්. පරීක්‍ෂණ 1,177 සිදුකර අවදානම් කණ්ඩායම්වලට අයත් පුද්ගලයන් 2,393 දෙනෙක් ස්වයං නිරෝධායනයට ලක් කර ඇති බවත් ඌව පළාත් ප්‍රජා සෞඛ්‍ය විශේෂඥ වෛද්‍ය නිමල්ශාන්ත ගමගෙදර මහතා පැවසීය. ඌව පළාත් ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල් මහතාගේ ප්‍රධානත්වයෙන් බදුල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය ශ්‍රවණාගාරයේදී ඊයේ (05දා) පැවති බදුල්ල දිස්ත්‍රික් කෝවිඩ්-19 මෙහෙයුම කමිටු රැස්වීමේදී ඒ මහතා මේ බව පවසා සිටියේය.


පවතින තත්වය පිළිබඳ ඉදිරිපත් කිරීමක් කළ ගමගෙදර මහතා, ආසාදිතයන් හමු වූයේ දියතලාව, හපුතලේ, ඇල්ල, ගිරාඳුරුකෝට්ට, බදුල්ල, බණ්ඩාරවෙල, හන්දුම්මුල්ල, හාලිඇල, කන්දකැටිය, ලුනුගල, පස්සර, වැලිමඩ හා ඌව පරණගම යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් මේ ආසාදිතයන් හමු වූ නමුත්, සෞඛ්‍ය කාර්යමණ්ඩලවල හා පොලීසියේ, යුද හමුදාවේ කාර්යක්‍ෂමතාව නිසා එම ආසාදිතයන්ගේ ආශිතයන් ඉක්මනින් හඳුනාගෙන ස්වයං නිරෝධායනයට ලක් කිරීම නිසා රෝගය පැතිරයාම වැළකී ගිය බවද හෙතෙම අවධාරණය කළේය. එසේම මීගහකිවුල, මහියංගණය හා සොරණාතොට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලින් කිසිදු ආසාදිතයෙකු හමු නොවූ බවද වෛද්‍යවරයා සඳහන් කළේය.


හල්දුම්මුල ප්‍රදේශයෙන් හමු වූ ආශ්‍රිතයන් සිවුදෙනා අතර දවස් 12ක් වයසැති ළදරුවෙකු සිටි බව පැවසූ නිමල් ශාන්ත මහතා, එම දරුවාගේ මව, මිත්තණිය, බාප්පා සහ තාත්තා හටද වෛරසය ආසාදනය වී ඇති බවට හඳුනාගත් බවද ප්‍රකාශ කළේය. මේ පවුල ස්වයං නිරෝධායනයට ලක් කර තිබූ බැවින් පැතිරයාමේ අවදානමක් ඇති නොවූ බවත්, මේ වනවිට ඔවුන් ප්‍රතිකාර සඳහා රෝහල්ගත කර ඇති බවත් වෛද්‍ය නිමල්ශාන්ත ගමගෙදර මහතා සඳහන් කළේය. මේ අයගේ ආශ්‍රිතයන් බවට වැල්ලවායේ බැංකු කාර්යමණ්ඩලයක් ඇතුළු 34දනෙකු හදුනා ගැණුනු අතර, ඔවුන් ස්වයං නිරෝධායනයට ලක් කර පී.සී.ආර්. පරීක්‍ෂණවලට ලක් කර ඇතැයිද හෙතෙම පවසා සිටියේය.


ටෙලිනාට්‍යයක් රූගත කිරීම සඳහා පැමිණ සිටියදී බණ්ඩාරවෙල ප්‍රදේශයේ ගෙස්ට්හවුස් එකක් තුළ ස්වයං නිරෝධායනයට ලක් කර ඇති නළු නිළියන් ඇතුළු ශීල්පීන් පිළිබඳ දේශපාලන අධිකාරිය කළ ප්‍රශ්න කිරීම් හමුවේ නිමල් ශාන්ත මහතා පැවසුවේ, කෝවිඩ්-19 නීතිවලට පටහැණිව ඔවුන් නිරෝධායනයෙන් ඉවත් කිරීමට හෝ එම කාලය අවසන් වනතෙක් විවෘත සමාජයේ රූගත කිරීමට අවස්ථාව ලබාදීම දැඩි අවදානමක් බවට සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීන් පෙන්වාදී ඇති බවයි. කෙසේ නමුත් වගකීම භාර ගෙන කිසියම් වගකිවයුතු පුද්ගලයෙකු විසින් ලිඛිතව ඉල්ලීමක් කළහොත් එසේ කටයුතු කළ හැකි බවද වෛද්‍යවරයා පෙන්වා දුන්නේය.


එසේම බදුල්ල දිස්ත්‍රික්කයේ දැනට ස්වයං නිරෝධායනයට ලක්ව ඇති පවුල්වලට කඩිනමින් රුපියල් දසදහසේ වියළි ආහාර සළාකය ලබාදීමට පියවර ගන්නා ලෙස ඌව ආණ්ඩුකාර, මුසම්මිල් මහතා එහිදී නිලධාරින්ගෙන් ඉල්ලා සිටියේය. ඒ සඳහා අවශ්‍ය තොරතුරු කඩිනමින් ලබාදෙන ලෙසත්, මහජන සෞඛ්‍ය පරීක්‍ෂකවරුන්ගේ අධීක්‍ෂණය යටතේ ග්‍රාම නිලධාරීන් හරහා ඒවා නිරෝධායනයට ලක් වූවන් වෙත ලබාදෙන ලෙස බදුල්ල දිස්ත්‍රික් ලේකම් දමයන්ති පරණගම මහත්මිය එහිදී ප්‍රාදේශීය ලේකම්වරුන් වෙත උපදෙස් දුන්නාය.


පොහොර නොලැබීම නිසා බදුල්ල දිස්ත්‍රික්කයේ මහියංගණය, වැලිමඩ, ඌව පරණගම ඇතුළු ප්‍රදේශ ගණනාවක ගොවි ජනතාව ගැටලුවකට මුහුණපා සිටින බවට පාසල් හා ග්‍රාමීය ක්‍රීඩා යටිතල පහසුකම් රාජ්‍ය ඇමති ෙතනුක විදානගමගේ මහතා මෙහිදී අවධාරණය කළ අතර, පෙහොර ප්‍රවාහනය කරන ආයතනය පොහොර ප්‍රවාහනය කර නොදීම නිසා මේ තත්වය ඇති වූ බව කෘෂිකර්ම හා ගොවිජන සේවා නිලධාරීහු මෙහිදී පෙන්වා දුන්හ. එම ප්‍රවාහන ගැටලුව විසඳීමට තමා ඉදිරිපත් වන බවද විදානගමගේ මහතා සඳහන් කළේය. එමෙන්ම රාජ්‍ය සේවකයන් මේ දිනවල කැපවීමකින් කටයුතු කරන අතර, ඔවුන්ගේ සෞඛ්‍ය පිළිබඳ සැලකිලිමත් විය යුතු බව අවධාරණය කළ බදුල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුදර්ශන දෙණිපිටිය මහතා, මේ සඳහා දේශීය ආයුර්වේද ශක්ති ජනක පාන ලබාදීමට පියවර ගන්නා ලෙස නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියේය. එහිදී පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා සහ බදුල්ල ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි වසන්ත කන්දේවත්ත මහතා අදහස් දැක්වීය.


 -පාලිත ආරියවංශ-


Wednesday, November 4, 2020

බේරුවල රෝහලේ දන්ත වෛද්‍යවරයකුට සහ රසායනාගාර සේවකයකුට කොරෝනා


බේරුවල රජයේ රෝහලේ දන්ත වෛද්‍යවරයකුට සහ රසායනාගාර සේවකයකුට කොරෝනා වයිරසය ආසාදිත වී ඇතයි කළුතර ජාතික වසංගත රෝග විදහයතනයේ හා නාගොඩ මහ රෝහලේ වෛද්‍ය අධ්‍යක්ෂ තමර කළුබෝවිල මහතා පැවැසීය. එම රෝහලේ කාර්ය මණ්ඩලයේ සේවයේ නියුතු අයකුගේ සැමියා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ හා සම්බන්ධව කටයුතු කිරීම හේතුවෙන් ඉකුත් සිකුරාදා මෙම වෛද්‍යවරයා ඇතුළු කාර්ය මණ්ඩලයේ 30 දෙනකුට ආසන්න සංඛ්‍යාවකට පී.සී.ආර්. පරික්ෂණ සිදුකළ බව අධ්‍යක්ෂකවරයා කීය.


එම පරික්ෂණවල වෛද්‍ය වාර්තා පෙරේදා (2) පැමිණීමෙන් අනතුරුව මේ බව තහවුරු වූ බව අධ්‍යක්ෂවරයා කීය. මේ හේතුව මත එම වෛද්‍යවරයාගේ සහ රසායනාගාර සේවකයාගේ දෙවැනි පෙළ ආශ්‍රිතයන් 40 දෙනකුගේ පී.සී. ආර්. පරික්ෂණ ඊයේ (3) සිදුකළ බව ද අධ්‍යක්ෂවරයා වැඩිදුරටත් පැවැසීය.


 -බිමල් ශ්‍යාමන් ජයසිංහ-

කුඹුර වටා ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී උසස් පෙළ සිසුවා මියයයි


වල් ඌරන්ගෙන් කුඹුර ආරක්ෂාකර ගැනීම සදහා කුඹුර වටා ඇද තිබූ අනවසර විදුලි රැහැනක පැටලී 19 වියැති තරුණයකු මරණයට පත්ව ඇතැයි හතරලියද්ද පොලීසියෙන් වාර්තා වේ. මෙසේ මරණයට පත්ව ඇත්තේ හතරලියද්ද - ඇලෝටුව පදිංචි ඩබ්ලිව්.ජී. සුමිත් සාන්තකුමාර නමැති අයෙකි. ඔහු මෙවර පැවැත්වෙන අ.පො.ස. (උසස් පෙළ) විභාගය සඳහා පෙරේදා (2) සහභාගී වූ බවත් ඊයේ (3) දිනද විභාගය ලිවීමට සූදානමින් සිටි බවත් කියයි. පෙරදා (2) රාත්‍රී 10.30 ට පමණ වෙනත් නිවසක සිට සිය නිවස කරා පැමිණෙමින් සිටියදී කුඹුර හරහා ඇද තිබුණ විදුලි කම්බිවල පැටළී ඔහු මරණයට පත්ව ඇත.


කුඹුරු හිමියන් සිව්දෙනකු විසින් මීටර් 200 ක් පමණ දුරට ප්‍රධාන විදුලි රැහැනින් විදුලිය ලබාගෙන කුඹුරු යාය වටා කම්බි ඇද තිබුණ බවද, එම කුඹුරු හිමියන් සිව්දෙනා සැකපිට අත්අඩංගුවට ගත් බවද පොලිසිය කියයි. මහනුවර සහකාර පොලිස් අධිකාරි නිපුණදෙහිගම මහතාද, මහනුවර අපරාධ පරියේෂණ අංශ නිලධාරිහුද ස්ථාන පරික්ෂණ පැවැත්වූහ. ගලගෙදර මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් මංගලා අබේසිංහ මහත්මිය මහේස්ත්‍රාත් පරික්ෂණෙය පවත්වා පශ්චාත් මරණ පරික්ෂණය සඳහා දේහය මහනුවර මහ රෝහලට යැවීමටත් සැකකරුවන් අධිකරණය වෙත ඉදිරිපත් කිරිමටත් නියම කළාය.


 -ජී.පී.එම්. රත්නායක-


Monday, November 2, 2020

හැඳල කෙරවලපිටියේ සෙල්ලම් බඩු කම්හලක 49කට කොරෝනා

හැඳල කෙරවලපිටිය ප්‍රදේශයේ පවත්වාගෙන ගිය අපනයනය සඳහා සෙල්ලම් භාණ්ඩ නිෂ්පාදනය කරන කර්මාන්තශාලාවක සේවකයන් 49 දෙනකු කොරෝනා ආසාදිතයන් බවට තහවුරු වී ඇති බව වත්තල පරිපාලන මහ සෞඛ්‍ය පරීක්ෂක වරුණ අමරසේකර මඟතා පැවැසිය. ආසාදිතයන් අතරින් 45 දෙනකු කාන්තාවන් වන අතර සිවුදෙනකු පිරිමි සේවකයන් බව හෙළි වී ඇත. කර්මාන්තශාලාව මේ වනවිට තාවකාලිකව වසා දමා තිබේ. සේවක සේවිකාවන් දහසකට අධික සංඛ්‍යාවක් සේවයේ නිරතව සිටින මෙම කර්මාන්තශාලාව ජර්මනියට අනුබද්ධ සමාගමකට අයත් බව අනාවරණය වී ඇත.

කරමාන්තශාලාවේ සේවක සේවිකාවන් 1,000කට අධික පිරිසක් සේවයේ යෙදී සිටියත් කොරෝනා වයිරසය ආසාදිත රෝගීන් 49ක් වාර්තා වූයේ එම පිරිසේ සේවිකයන් 120 දෙනකු පමණක් අහඹු පී.සී.ආර්. පරික්ෂණයකට යොමු කිරීමෙන් ලද ප්‍රතිඵලවලින් බව ද මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා ප්‍රකාශ කළේය.


හඳුනාගෙන ඇති රෝගීන් රෝහල්ගත කිරීමට කටයුතු යොදා ඇති අතර, කර්මාන්තශාලාවේ සේවයේ නියැළී සිටි සෙසු සේවක පිරිස කඩිනමින් පී.සී.ආර්. පරික්ෂණ සඳහා යොමු කිරීමට කටයුතු යොදා ඇති බව වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයේ වෛද්‍ය නිලධාරිනී යූ. ඇසුන්ටා මහත්මිය සඳහන් කළාය.වත්තල සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසයේ කොවිඩ්-19 වයිරසය ආසාදිතයන් ගණන 350කට ආසන්න වී ඇති බව ද ඇය පැවැසුවාය.




Wednesday, October 28, 2020

වේල්ලවීදිය, කොළඹ අපරාධ කොට්ඨාසය පොලිස් ක්ෙෂ්ත්‍ර බලකා කැන්ටින් පාලක රළහාමිලා තිදෙනකුට කොරෝනා



වේල්ලවීදිය, කොළඹ අපරාධ කොට්ඨාසය සහ පොලිස් ක්ෙෂ්ත්‍ර බළකා මූලස්ථානයේ භෝජනාගාර පාලකවරුන් ලෙස කටයුතු කළ පොලිස් කොස්තාපල්වරුන් තිදෙනකුට නව කොරෝනා වයිරසය ආසාදනය වී ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. මෙම පොලිස් නිලධාරින් තිදෙනාද පෑලියගොඩ මාළු වෙළදපොළෙන් මාළු ලබාගෙන පැමිණ ඇති බැවින් ඔවුන්ගේ පී.සි. ආර්. පරික්ෂණ සිදුකළ බවත් එහිදී ඔවුන් කොරෝනා ආසාදිතයන් බවට හඳුනාගෙන ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මේ වනවිට එම පොලිස් නිලධාරීන් තිදෙනා රෝහල් ගතකර ඇති අතර ඔවුන්ගේ ආශ්‍රිත පොලිස් නිලධාරින් පිරිසක් ස්වයං නිරෝධායනයට යොමුකර ඇති බවද එම ආරංචි මාර්ග පවසයි. වේල්ලවිදිය පොලිසියේ 18 දෙනකු නිරෝධායනයට යොමුකර ඇති අතර එම පොලිසියට ඇතුළුවීම මෙන්ම පිටවීම ද ඊයේ දිනයේ සිට තාවකාලිකව නතර කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි.


මහරගම 23 දෙනකුට කොවිඩ්



මහරගම නගරයේ සුපිරි වෙළෙඳ සංකීරණයේ පවත්වා ගෙන යනු ලබන මත්ස්‍ය වෙළෙඳසල්හි මාළු වෙළෙන්දන් හා සේවකයන් 110 දෙනකුගේ පිසිආර් පරික්ෂණ සිදුකර ඇති අතර ඉන් 23 දෙනකුට කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බව එම කාර්යාලය පවසයි.

මහරගම නගර සීමාවේ පවත්වා ගෙන යනු ලබන පිසූ ආහාර ද්‍රව්‍ය පිටතට රැගෙන යන අලෙවි සල් සහ ආපන ශාලාවල සේවකයන්ට සිදුකරනු ලැබූ පීසීආර් පරික්ෂණල දී ආසාධිතයන් හමුනොවූ බවද පවසයි. මහරගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිනී වෛද්‍ය රෂිණි මාරසිංහ මහත්මියගේ උපදෙස් මත මහජන සෞඛ්‍ය පරික්ෂකවරු ඊට එක්වූහ.


Friday, October 23, 2020

බැංකු පොලීයේ වෙනසක් නැහැ


ශ්‍රී ලංකා මහ බැංකුව සිය ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය නොවෙන පවත්වාගෙන යෑමට තීරණය කර ඇත. මේ අනුව දැනට තිබෙන බැංකු පොලී අනුපාත එම අගයවලම පවත්වාගෙන යෑමට පෙර්දා (21) රැස් වූ ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල්  මණ්ඩලය තීරණය කර තිබේ. ශ්‍රී ලංකා මහ බැංකුවේ මේ වසරේ අවස්ථා පහකදී බැංකු පොලී අනුපාත අඩු කර ඇත. බැංකු පොලී අඩු කිරීම තුළින් වාණිජ බැංකු අතර කෙරන ගනුදෙනුවලට අදාළ පොලී අනුපාත පහළ වැටෙන බවත් එම නිසා අඩු පොලියට ණය නිකුත් කිරිමට වාණිජ බැංකුවලට අවස්ථාව සැලසෙන බවත් ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

මෙම වසරේ මේ දක්වා කාලයේදී පෙර නොවූ විරූ අයුරින් ක්‍රියාත්මක කරන ලද ලිහිල් මුදල් ප්‍රතිපත්තිය හේතුවෙන් සමස්ත වෙළෙඳපොළ ණය පොලී අනුපාතික පහළ ගොස් ඇතැයි ද ඉදිරියේදී ද පොලී අනුපාත පහළ යනු ඇතැයි ද මහ බැංකුව නිවේදනයක් ද නිකුත් කරමින් සඳහන් කරයි. ලිහිල් මුදල් ප්‍රතිපත්ති ස්ථාවරය අඛණ්ඩව පවත්වාගෙන යෑම හේතුවෙන්  දැනට පවත්නා අඩු උද්ධමන තත්වය තුළ ද ආර්ථිකයේ ඵලඳායී අංශ වෙත අඩු පොලී යටතේ ණය ලබාදීමට හැකියාව ලැබෙන බව ද ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ . මේ අනුව නිත්‍ය තැන්පතු පහසුකම් අනුපාතිකය සියයට 4.50, නිත්‍ය ණය පහසුකම් අනුපාතිකය සියයට 5.50, බැංකු අනුපාතිකය සියයට 8.50, ව්‍යවස්ථාපිත සංචිත අනුපාතිකය සියයට 2 වශයෙන් දැනට පවතින අගයවලම පවතිනු ඇතැයි ද මහ බැංකුව නිවේදනය කරයි.

-හර්ෂණ තුෂාර සිල්වා-

Friday, October 16, 2020

මාකොළ බැංකු නිළධාරිනියට ව්‍යාපාරිකයකුට කොරෝනා


බියගම, මාකොළ දකුණ ප්‍රදේශයේ පදිංචි බැංකු නිලධාරිනියක සහ ව්‍යාපාරිකයකු ඊයේ (15) කොවිඩ් 19 වයිරසය ආසාදිතයන් බවට තහවුරු වූ බව බියගම පරිපාලන මහජන සෞඛ්‍ය පරික්ෂක සමන් පෙරේරා මහතා පැවසීය.  කොළඹ මරදාන ප්‍රදේශයේ වාණිජ බැංකුවක නිලධාරිනියක වන වයස අවුරුදු 33 ක කාත්තාවකට සහ මාකොල ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකු වන අවුරුදු 49 ක පුද්ගලයකුට මෙසේ කොවිඩ් 19 වයිරසය ආසාදනය වී ඇත. 

මෙම පිරිමි පුද්ගලයා නඩු කටයුත්තක් සඳහා පසුගිය දිනක මිනුවන්ගොඩ ප්‍රදේශයේ නීතිඥවරයකු මුණගැසී ඇති අතර, පසුව එම නීතිඥවරයාට කොවිඩ් 19 වයිරසය ආසාදනය වූ බවට වාර්තතා වීමෙන් අනතුරුව මෙම පුද්ගලයා  ස්වයං නිරෝධායනයට ලක්කර පසුව කළ පී. සී. ආර්. පරික්ෂණයෙන් ඔහු කොවිඩ් ආසාදිතයෙකු බවට තහවුරු වී ඇත. මෙම දෙපලගේ ආශ්‍රිතයින් 15 දෙනකු ද ස්වයං නිරෝධායනයට යොමු කර ඇත.

-සුදත් පුබුදු කිර්ති-


Thursday, October 15, 2020

ශ්‍රි ලංකාවට ගැළපෙන අශ්ව විශේෂයක් බිහි කරයි

ශ්‍රි ලංකාවේ දේශගුණික තත්ත්වයට ඔරොත්තු දෙන ආකාරයේ නව අශ්ව විශේෂයක් බිහි කිරීමට ප්‍රවීණ සත්ත්ව පලකයෙකු වන පාලිත සමරකෝන් මහතා සමත්ව තිබේ. ඇමෙරිකාවේ සත්ව ගොවිපොළකින් අරාබි සම්භවයක් සහිත උසස් පෙළපතක අශ්වයෙකුගේ ශුක්‍රාණු මෙරටට රැගෙනවිත් කත්‍රිම සිංචන ක්‍රමය මාර්ගයෙන් මෙහි සිටින නවසීලන්ත සම්භවයකින් යුත් උසස් වෙළඹක් ගැබ් ගන්වා එම පැටවා බිහි කළ බව සමරකෝන් මහතා පැවසීය. එම පැටවා මේ වනවිට ඉතා හොඳ සෞඛ්‍ය තත්ත්වයෙන් සිටින බවද ඔහු කීය.   හනුවර පල්ලෙකැලේ යුද හමුදා රයිෆල් බළකා කදවුර ආශ්‍රිතව පිහිටි අශ්වගාල කේන්ද්‍ර කරගනිමින් දීර්ඝ කාලයක් තිස්සේ සිදු කළ පර්යේෂණ ක්‍රියාවලියක ප්‍රතිඵලයක් ලෙස මෙම නව අශ්ව විශේෂය බිහි කිරීමට හැකි වූ බවද ඔහු කීය.

මෙම අශ්ව විශේෂය අප රටට ගැළපෙන විශේෂිත වූ අශ්ව ප්‍රභේදයක ආරම්භක පුරුක ලෙස හැඳින්විය හැකි බව පවසන හෙතෙම අදාළ පැටවා මීට දින තුනකට පමණ පෙර උපත ලද බවත්, එම පැටවාට සමන්තා ලෙසින් නම් තැබූ බවත් කියා සිටියේය.  මෙම ක්‍රමය උපයෝගී කරගනිමින් මෙරටට අවශ්‍ය ඉතා  උසස් තත්වයේ ගවයන් හා එළුවන් වැනි සතුන්ට පහසුවෙන් බිහි කරගත හැකි බවද සමරකෝන් මහතා සඳහන් කරයි.  පේරාදෙණිය විශ්වවිද්‍යාලයේ පශු වෛද්‍ය අංශයේ මහාචාර්ය බැසිල් ඇලෙක්සැන්ඩර් මහතා හා ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ධම්මික පෙරේරා යන මහත්වරුන් මෙම කටයුතු සඳහා විශේෂ දායකත්වයක් ලබා දී තිබේ.

 -ෂේන් සෙනෙවිරත්න-

Tuesday, September 29, 2020

දක්ෂිණ අධිවේගියේ හම්බන්තොට කොටසේ ඉදිකෙරෙන නව විදුලි වැටට විරෝධය

දක්ෂිණ අධිවේගී මාර්ගයේ හම්බන්තොට කොටසේ ඉදිකරන්මින් පවතින නව විදුලි වැටට විරෝධය පළ කිරිමේ උද්ඝෝෂණයක් ඉකුත් 25 වැනි දින හම්බන්තොට වල්සපුගල ප්‍රදේශයේ දී පැවැත්විණි. මෙම විරෝධතාව සඳහා හම්බන්තොට හා සූරියවැව යන ප්‍රදේශවල ගොවි  පවුල් රැසක් සහභාගි වී සිටියහ. විරෝධතාකරුවන් පවසන්නේ වල් අලීන්ගෙන් අධිවේගී මාර්ගය ආරක්ෂා කර ගැනීම සඳහා මේ වන විට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් වඩා ශක්තිමත් නව විදුලි වැටක් ඉදි කරමින් පවතින බවයි. වල් අලීන් 200කට ආසන්න ප්‍රමාණයක් ගොවිබිම් වල සැරි සරද්දී ඒ සම්බන්ධයෙන් කිසිදු අවධානයක් යොමු නොකට මාර්ග සංවර්ධන අධිකාරිය මගින් ඉදි කරමින් පවතින තව විදුලි වැටී නිසා සූරියවැව හා හම්බන්තොට යන ප්‍රදේශවල ගොවි පවුල් 3500ක් පමණ දැඩි අනාරක්ෂිත තත්වයට පත් වෙන බව විරෝධතාකරුවෝ පවසති.

විරෝධතාවට එක්වූ වලව වම් ඉවුර ඒකාබද්ධ ගොවි සංවිධානයේ ප්‍රධාන ලේකම් සමන් සුදර්ශන මහතා පවසතේ ඉදිකරමින් පවතින නව විදුලි වැට නිසා අලි මිනිස් ගැටුම බරපතළ තත්ත්වයකෙට පත් වෙමින් පවතින බවයි.  අධිවේගී මාර්ගය විවෘත කිරීමට පෙර මාර්ග සංවර්ධන අධිකාරිය මගින් හම්බන්තොට ප්‍රදේශය ආවරණය කරමින් විදුලි වැටක් ඉදි කොට තිබෙනවා. ඒ සදහා මහජන මුදල් කෝටි ගණනක් වෑය කළා. ඒ වැට අසාර්ථක බව පවසමින් නැවතත් විදුලි වැටක් අධිවේගී මාර්ගය මදපස ඉදි කරන්නට මාර්ග සංවර්ධන අධිකාරිය පියවර අරන් තිබෙනවා. මාර්ග සංවර්ධන අධිකාරියේ නිලධාරින් බලන්නේ  අධිවේගී මාර්ගයේ ආරක්ෂාව ගැන පමණයි. 

මේ ප්‍රදේශවල ඉන්න 8000 කට ආසන්න ගොවි පවුල්වල ආරක්ෂාව ගැන ඔවුන් සැලකිලිමත් වෙන්නේ නෑ.  රක්‍ෂිතවල සිටී වල් අලින් 200ට ආසන්න ප්‍රමාණයක් දැන් ගොවිබිම්වල සැරි සරනවා. වල් අලින් දිනපතා ගොවි බිම් විනාශ කරනවා. නිවාස කුඩු පට්ටම් කරනවා. අහිංසක මිනිසුන් මරණවා. මෙම විදුලි වැට ඉදිකිරීමත් සමග වල් අලීන් තව දුරටත් ගම්බිම්වලට කොටු වෙනවා.  අපි හැමෝටම වල් අලින් ගේ පහර කෑමට ලක් වෙන්න වෙනවා. මේ නිසා අධිවේගී මාර්ගයේ ඉදි කරමින් පවතින නව විදුලි වැටට අපි විරෝධය පළ කරනවා.  සමන් සුදර්ශන මහතා වැඩි දුරටත් පවසා සිටියේ ගම් වැදී සිටින වල් අලීන් 200 ක් පමණ ප්‍රමාණය රක්ෂිත වලට පළවා හැරීමෙන් තොරව නව විදුලි වැට ඉදි කරන්නට තමන් ඉඩ නොදෙන බවයි. 

ගම් වැදී සිටින වල් අලින් රක්ෂිතවලට පළවා හැර රක්ෂිත වටේ නව විදුලි වැටවල් ගසා ගොවි ජනතාව ආරක්ෂා කිරීමට කටයුතු කරන ලෙසට තමන් බලධාරින්ගෙන් ඉල්ලා සිටින බවද සමන් සුදර්ශන මහතා පැවසීය. මාර්ග සංවර්ධන අධිකාරියේ අධිවේගී මාර්ග 04 ව්‍යාපෘති අධ්‍යක්ෂක ඒ.පී.කේ. අබේධීර මහතා පැවසුවේ අධිවේගී මාර්ගයේ ආරක්ෂාව සඳහා නව විදුලි වැට ඉදි කළ යුතු එකක් ම බවයි. අධිවේගී මාර්ගයට වල් අලීන් පැමිණීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බව ඔහු පැවසීය. කෙසේ වුවද ප්‍රදේශයේ ගොවි ජනතාවගේ ගැටලු ගැන ද අවධානය යොමු කොට තව විදුලි වැට ඉදිකිරිමට කටයුතු කරන ලෙසට ඉහළ නිලධාරින් දැනුම්වත් කරන බවද ඔහු පෑවසීය.

-චන්ද්‍රෙස්න ගමගේ-