ජනශක්ති රක්ෂණ සමූහ ව්යාපාරයේ අධ්යක්ෂ දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මරණයට හේතුව ලෙසින් සඳහන් වන වෛද්ය වාර්තා පරස්පර විරෝධී බවත් එහෙයින් ඒවා පිළිගත නොහැකි බවත් මරණකරුගේ පවුලේ ඥාතීන් වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි ජනාධිපති නීතීඥ අනූජ ප්රේමරත්න මහතා කොළඹ අතිරේක මහේස්ත්රාත් රජින්ද්රා ජයසූරිය මහත්මිය ඉදිරියේ ඊයේ (09) ප්රකාශ කළේය.
මෙම මරණය සිදු වී දිනකට පසුව එනම් දෙසැම්බර් මස 16 වැනිදා අධිකරණ වෛද්ය නිලධාරි රුහුල් හක් මහතා මරණය සම්බන්ධයෙන් වන කෙටි පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව ඉදිරිපත් කරමින් සඳහන් කර ඇත්තේ, 'තන්තුවකින් ගෙල සිර කිරීමෙන් ස්වසනය ඇණ හිට මරණය සිදුව ඇති බව' යැයි ජනාධිපති නීතීඥ අනූජ ප්රේමරත්න මහතා අධිකරණයට දැනුම් දුන්නේය. ඉන් අනතුරුව මරණයට හේතුව සඳහන් සම්පූර්ණ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ඉදිරිපත් කරමින් අධිකරණ වෛද්ය නිලධාරී රුහුල් හක් මහතා ප්රකාශ කර ඇත්තේ, ‘තන්තුවකින් ගෙල සිර කර ගැනීමෙන් ස්වසනය ඇණ හිට මරණය සිදුව ඇති බව' යැයිද ජනාධිපති නීතීඥවරයා අධිකරණයට කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.
ඒ අනුව අධිකරණ වෛද්ය නිලධාරිවරයාගේ සම්පූර්ණ පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාව සකස් කිරීමේ දී මරණයට හේතුව වෙනස් වන බවත්, එහිදී ඔහු සඳහන් කර ඇත්තේ සයනයිඩ් වස කෑම සමග මිශ්ර වූ බවට ඔහු මතයක් ප්රකාශ කර ඇති බවත්ය. මෙම පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව ලබාදෙන අධිකරණ වෛද්ය නිලධාරි රුහුල් හක් මහතා වෙනත් හේතුවක් මත ඉකුත් දෙසැම්බර් මස 22 වැනිදා සිට මාස 08ක කාලයක් සඳහා වෛද්ය සභාව විසින් වෛද්ය වෘත්තියේ යෙදීම තහනම් කරනු ලැබූ අයකු බව ද ජනාධිපති නීතීඥවරයා අධිකරණයට දැනුම් දුන්නේය. මෙම සිද්ධියට මහේස්ත්රාත් මරණ පරීක්ෂණ සාක්ෂි විභාගය ඊයේ (09) අධිකරණය හමුවේ යළි කැඳවූ අවස්ථාවේදී මරණකරුගේ ඥාතීන් ගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතීඥවරයා මෙම කරුණු ඉදිරිපත් කළේය. මෙහිදී වැඩිදුරටත් අධිකරණයට කරුණු ඉදිරිපත් කළ ජනාධිපති නීතීඥවරයා මෙසේ ප්රකාශ කළේය.
ජනාධිපති නීතිඥ අනූජ ප්රේමරත්න මහතා : ස්වාමීනි, දිනේෂ් ෂාෆ්ටර් මහතාට විද්යුත් ලිපින විශාල සංඛ්යාවක් තිබෙනවා. ඔහු අධ්යක්ෂ ධූරය දැරූ ජනශක්ති ඉන්ෂුවරන්ස් එකට වගේම අනෙක් ආයතනවලටත් වෙන වෙනම ඊමේල් ලිපින තිබුණා.ඔහු මියගිය අවසන් දිනයේදී එනම් දෙසැම්බර් මස 15 වැනිදා අදාළ සමාගමක සූම් තාක්ෂණය ඔස්සේ රැස්වීමක් තිබුණා. ඒ සූම් මීටින් එක සම්බන්ධ ඔහුගේ අදහස් සියල්ල ඔහු සටහන් කරලා එදින පෙරවරු 11.23ට ඊමේල් කරලා තිබුණා. ඒ වගේම ඔහුගේ මරණය සම්බන්ධයෙන් ස්ථානීය පරීක්ෂාව සහ නිරීක්ෂණය සඳහා අධිකරණ නිලධාරියකු අදාළ ස්ථානයට යනවා. එහිදී එම නිලධාරියා නිරික්ෂණ සටහන් යොදා තිබුණා.
ඒ සටහන් අතර, මරණකරුගේ දකුණු කනට ඉහළින් අඟල් දෙකහමාරක ප්ලාස්ටරයක් දමා තිබූ බව, වම් ඇසට අඟල් තුන් කාලක් පමණ පහළින් රතු පැහැති සීරීම් ලකුණක් ඇති බව, දකුණු ඇසට පහළින් මිලි මීටර් 2ක තුවාල ලකුණක් ලෙස සිතිය හැකි කුඩා සීරීම් ලකුණක් ඇති බව, බෙල්ල වටේ රත් පැහැ ගැන්වී තිබීම, දෙඅතේම මහපට ඇඟිලි දෙකේ ඉහළ සිට පළමු පුරුක ඇතුල් පැත්ත දම්පැහැ ගැන්වී ඇති බව, දේහයේ යටි කය පහළින් උදරය මැද සිට වම්පසට වන්නට අඟල් හතරක පමණ ප්රමාණයක් රත්පැහැ ගැන්වී තිබීම, උදරයේ මැද සිට දකුණු කකුලේ වළලුකරට අඟල් හයක් ඉහළින් කකුලේ ඉදිරිපස අඟලක පමණ රත්පැහැ ගැන්වූ තුවාලයක් තිබීම ආදිය තිබුණා. විමර්ශන නිලධාරියාගේ සාක්ෂිවලින් නම් මේ දේවල් ගැන කියැවුණේ නැහැ. අධිකරණ වෛද්ය නිලධාරිවරයා පවසනවා කෑමත් එක්ක සයනයිඩ් ගත්තා කියලා. ඔහු කොහොමද එහෙම කියන්නේ.
මරණකරුගේ බඩේ මොනවද තියෙන්නේ? ඔහුගේ වාර්තාවේම තියෙන්නේ යම්තාක් දුරට ජීරණය වූ ආහාර ද්රව්ය ආසන්න වශයෙන් මිලි ලීටර් 150ක් අන්තර්ගත වෙලා කියලා. වතුර බිව්වොත් වතුරත් යම් කාලයක් බඩේ රැඳෙනවා. කෑමවලට ඒවා මිශ්ර වෙනවා. එහෙම තමයි බඩේ තියෙන කොටස මැන බලන්නේ. මේ කියන විදිහයට මේ 150ම සයනයිඩ් තිබිලා. ලෝකේ සයනයිඩ් වර්ග දෙකයි. සෝඩියම් සයනයිඩ් සහ පොටෑසියම් සයනයිඩ්. සයනයිඩ් ශරීර ගත වුවහොත් ඉතාමත් කෙටි කාලයක් තුළ පුද්ගලයකුගේ මරණය සිදුවෙනවා. ඇමරිකාවේ යූස්ටන් විශ්වවිද්යාලයේ අපරාධ යුක්තිය පිළිබඳ මහාචාර්වරයා සඳහන් කරන්නේ සයනයිඩ් විෂ ශරීර ගත වූ පුද්ගලයකුගෙන් ශරීරය කපද්දි එය රෝස පැහැ ගැන්වී ඇති බවයි. සයනයිඩ් ශරීර ගත වුණාම සිදුවන්නේ සෛල මැරීමක් නොවේ. සෛලවලට ඔක්සිජන් උරාගැනීමේ හැකියාව නැති වීමයි. ඒත් මේ ශරීරය කපද්දි අධිකරණ වෛද්ය නිලධාරිවරයා කියන්නේ දේහයේ පපුව ප්රදේශය කළු පැහැ ගැන්වීමක් සිදුවෙලා කියලා, සයනයිඩ් බිව්ව කෙනෙකුට වෙන්න ඕන දෙයක් තමයි ගලනාලය දිගේ යම් පිලිස්සීමක් ඇති වෙලා එය ආමාශය දක්වා ගමන් කිරීම. දිනේෂ් ෂාප්ටර්ගේ රස පරීක්ෂක වාර්තාවේ කොටස් තුනක් පරීක්ෂා කරන්න අරිනවා. ලකුණු නොකරන ලද ලේ සාම්පල්, ලකුණු කරන ලද ලේ සාම්පල් සහ උදරයේ තිබී සොයා ගත් දෑ වශයෙන්.
මෙහි ලකුණු නොකළ ලේ සම්බන්ධයෙන් මිලි ලීටරයකට මිලි ග්රෑම් 6.9ක්, ලකුණු කළ ලේ සම්බන්ධයෙන් මිලි ලීටරයකට මිලි ග්රෑම් 2.3ක් සහ උදරයේ මිලිලීටරයකට මිලි ග්රෑම් 4ක් වශයෙන් සයනයිඩ් වස මිශ්ර වෙලා කියලා පශ්චාත් මරණ පරික්ෂණ වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා. සාමාන්යයෙන් යමෙකුගේ ශරීරයට වසක් කලවම් වුණොත් එය මුළු ශරීරයේ ලේවලටම එකතු වෙනවා. විශේෂයෙන්ම කෙනෙකුගේ මරණය සයනයිඩ් විසවීමෙන් සිදුවුණි නම්, ඔහුගේ ලේවල මිලිලීටරයකට අඩුම තරමේ ග්රෑම් 3කට වැඩියෙන් තියෙන්න ඕන. මේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවේදී අධිකරණ වෛද්ය නිලධාරියා කියනවා එයා මරණකරුගේ ගෙල තට්ටුවෙන් තට්ටුවට ඉවත් කළ බවත් බෙල්ලේ ලේ කැටි ගැසීමක් හෝ වෙනත් යමක් ඔහු නොදුටු බවත්. ඒ අනුව මා විසින් සඳහන් කරන්නේ, මේ මරණයට හේතුව ලෙස වෛද්ය වාර්තාව පරස්පර විරෝධි එය පිළිගත නොහැකි එකක් බවයි.
මෙම මරණයට අදාළ මරණ පරීක්ෂණ සාක්ෂි විභාගයේදී අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ මනුෂ්ය ඝාතන හා සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ විමර්ශන නිලධාරී උපපොලිස් පරීක්ෂක වීරසිංහ ආරච්චිගේ මනෝජ් ගයන්ත මහතා සාක්ෂි දුන් අතර, මියගිය දිනේෂ් ෂාෆ්ටර් මහතාගේ මෘත දේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාව අධිකරණ වෛද්ය නිලධාරී රුහුල් හක් මහතා විසින් සිදුකළ බවත්, මරණයට හේතුව සයනයිඩ් ශරීර ගත වීමක් මගින් සිදු වූ මරණයක් බවට එහි සඳහන්ව ඇති බවත් ඔහු ප්රකාශ කළේය.
මෙහිදී සාක්ෂි දෙමින් විමර්ශන නිලධාරියා මෙසේ ද ප්රකාශ කළේය.
“ස්වාමිනි, මෙම සිද්ධියට අදාළව විමර්ශන කණ්ඩායම් 14ක් යොදා ගැනුණා. මරණකරු ඉකුත් 2022 දෙසැම්බර් මස 15 වන දින ඔහුගේ නිවසින් පිටවූ වේලාවේ සිට බොරැල්ල කනත්තට ගමන් කරනා තෙක් මාර්ගය සම්බන්ධයෙන් විශේෂ අවධානයක් යොමු කළා. ඒ සඳහා සී සී ටීවී දර්ශන පද්ධති 12ක් මගින් නිරීක්ෂණය කළා. එදින පැය 14ට ඔහු නිවසින් පිටව තිබුණා. ඒ බව ඔහුගේ නිවසේ ගරාජයේ සහ ගේට්ටුවේ තිබූ සී සී ටී වී දර්ශනවලින් පෙන්නුම් කළා. එම සී සී ටී වී දර්ශන සමීපවම පරීක්ෂා කර බැලීමේ දී ඔහු ගමන් ගන්නා ලද කාර් රථයේ රියැදුරු අසුනට යාබද අසුනේ සුදු පැහැති සිප් පටියක් සහ ඔහු මිය යන අවස්ථාවේ දී ඔහුගේ ගෙලේ තිබූ කේබලයට සමාන කේබලයක් එම රූප රාමුවල දිස්වුණා. ඒ වගේම ඔහුගේ රථය පිටුපසින් හෝ ඉදිරියෙන් ඔහුගේ රථය කවුරුන් හෝ ලුහු බඳින ආකාරයක් නිරීක්ෂණය වන්නේ නැහැ. ඒ වගේම ආගන්තුක පුද්ගලයකු මේ රථයේ ගමන් කරන බවක් නිරීක්ෂණය වුණේ නෑ. ඒ වගේම ඔහු මලලසේකර මාවතේ පිහිටි ‘රෙද්රිගූ' නමැති වෙළෙඳසලෙන් පැටිස් එකක් සහ පේස්ට්රියක් මිලට ගෙන ඇති අතර, පැය 14. 18ට පමණ කනත්තට ඇතුළු වෙලා තියෙනවා. ඔහු ගුවන් හමුදා ස්මාරකය අසලට එන්නේ පැය 14.19ට. ඒ බව සුපර් ලිවින් ගොඩනැගිල්ලේ සී සී ටී වී දත්ත පරීක්ෂා කිරීමේ දී පැහැදිලි වෙනවා. එම අවස්ථාවේ දී කනත්ත තුළ භූමදානය සඳහා දේහයන් හයක් ආදාහනයන් සඳහා දේහයන් 8කුත් රැගෙන ඒමට නියමිතව තිබූ දිනයක්.
ඒ මොහොතේ කනත්තේ සේවය කළ සේවකයන් දෙදෙනකු වන මීඩ්න් නිලාම් සහ මඩසාමි ජෝන් ඇන්ටන් යන අයගෙන් ප්රකාශ සටහන් කරගත්තා. ඔවුන් දේහයන් තැන්පත් කිරීම සඳහා මල් සකස් කරමින් සිට ඇති අතර මරණකරුගේ කාර් රථයට මීටර් 200ක් දුරින් සිට තිබුණා. ඔවුන්ගේ ප්රකාශයන්ට අනුව එම කාර් රථයෙන් පුද්ගලයකු බැස යන ආකාරයක් හෝ ඒ අසලට එන ආකාරයක් ඔවුන් දැක නැහැ. පසුව ඔවුන් එම කාර් රථය අසලට පැමිණි සුදු මහත පුද්ගලයකු කෑ ගසන ශබ්දයෙන් එම ස්ථානයට දිව ගොස් තිබෙනවා. ඒ අවස්ථාවේ දී කාර් රථයේ රියැදුරු අසුනේ සිටි පුද්ගලයකු බෙල්ල වම් පැත්තට බරව හැඳ සිටි ටී ෂර්ටයේ වමනය ද සහිතව සිටි බව දැක තිබෙනවා. දෑත පටියකින් බැඳ ඇති අතර පපු ප්රදේශයේ වයරක් තිබූ බවත් ඔවුන් දැක තිබෙනවා. පසුව එම සුදු මහත පුද්ගලයා ද සමග එම මෝටර් රථයෙන්ම ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර තිබෙනවා. එම සුදු මහත පුද්ගලයා බොස් සහ දිනේෂ් වශයෙන් මෝටර් රථයේ සිටි අය ඇමැතූ බව ද ඔවුන් පැවසුවා.
මරණකරුගේ බෙල්ලේ තිබූ කේබලය මරණකරුගේ නිවසේ තිබූ ඩිෂ් ටීවී කේබලයට සමාන බවට හඳුනා ගත්තා. මරණකරුගේ දෑතට යොදා තිබූ සුදු පැහැති ස්පිල් ටයි පටියට සමාන පටි 8ක් මරණකරුගේ නිවසේ කාර්යාල කාමරයේ තිබි සොයා ගත්තා. මරණකරු මිලට ගත් කෙටි කෑම වලින් ආහාරයට නොගත් පේස්ටියක් ද සොයා ගත්තා. මරණකරුගේ ඥාති පාර්ශ්වයෙන් ප්රකාශ සටහන් කරගත්තා. එහි දී ඔවුන් ප්රකාශ කර සිටියේ මරණකරු මාස ගණනක සිට දැඩි කලකිරීමකින් සිටි අතර දිගටම කේන්ති යන ගතියක් සහ ව්යාපාර කෙරෙහි උනන්දුවක් නොදක්වන ගතියක් තිබූ බවයි. මරණකරු ඉකුත් නොවැම්බර් මස 27 වැනිදා පැය 15.05ට පමණ ජනශක්ති සමූහ ව්යාපාරයේ සේවකයන් සඳහා වන හමුවක් සඳහා කළුතර අවානි හෝටලයට ගොස් ඊට සහභාගී වී තිබෙනවා. ඔහු එම හෝටලයේ 144 වන කාමරයේ සිට ලිපි කිහිපයක් සකස් කර තිබෙන බවට ඔහුගේ පරිගණක දත්ත වලට අනුව හෙළිවී තිබෙනවා. මරණකරු මිය යන අවස්ථාවේදී බ්රයන් තෝමස් යන අයට වස්අප් කෙටිපණිවිඩ කිහිපයක් යවා තිබුණා. මරණකරු ව්යපාරිකයන් කිහිප දෙනෙකු සමග ව්යාපාර කටයුතු සඳහා මුදල් ගනුදෙනු කර තිබුණා. බ්රයන් තෝමස්, එලියන් ගුණවර්ධන, එස්. කුගනාදන්, දීප්ති පෙරේරා යන අය සමග යම් යම් මත ගැටුම් ඇතිකරගෙන තිබුණා කියලා අනාවරණය වුණා. ඒ අය සම්බන්ධයෙන් දීර්ඝ විමර්ශනයක් කළා. එහිදී ද මරණකරු මියගිය දින බොරැල්ල කනත්තට හෝ ඒ සමීපයේ කුලුනු ආවරණය වන පරිදි ඔවුන් සම්බන්ධ වී තිබුණේ නැහැ. මේ පුද්ගලයන්ගෙන් යම් ආරවුලක් තිබුණේ බ්රයන් තෝමස් එක්ක. ඔහුට විරුද්ධව දිනේෂ් මහතා සී අයි ඩී එකට ගිහින් පැමිණිල්ලක් පවා දාලා තිබුණා. බ්රයන් තෝමස් නිසා මරණකරුට සිදුවූ මූල්යම පාඩුව කෝටි 140යි.
එලියන් ගුණවර්ධන යන අය කෝටි 12ක්ද එස්. කූගනාදන් යන අය කෝටි 82ක් සහ දීප්ති පෙරේරා කෝටි 10ක් වශයෙන් මෙන්ම ඊට අමතරව දිනේෂ් මහතා නුවරඑළිය ප්රදේශයෙන් ලබාගන්නා ලද ඉඩමකට සිදු වූ පාඩුව කෝටි 300කට අධික බව හෙළිවී තිබෙනවා. දිනේෂ් මහතා විෂාදය නැමැති රෝගයෙන් පෙලී ඇති බවත් ඒ සඳහා ප්රතිකාර ලබා ගත් බවත් විශේෂඥ වෛද්ය නීල් ප්රනාන්දු මහතාගේ වාර්තාවකින් දැක්වුණා. මේ සම්බන්ධයෙන් විමර්ශන තවමත් අවසන්ව නැහැ ස්වාමිනි. ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධීරණය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට අවවාද කරමින් සඳහන් කළේ අවසන් වාර්තාව ඉදිරි දිනට හෝ ඊට පෙර අධිකරණයට ලබා දෙන ලෙසය. ඒ අනුව එම වාර්තාව සැලකිල්ලට ගැනීමෙන් පසුව මරණ පරීක්ෂණයේ නියෝගය ලබා දෙන බවද මෙහිදී අධිකරණය සඳහන් කළේය. වැඩිදුර පරීක්ෂණය ලබන මාර්තු 08 වැනිදා තෙක් කල් තැබිණි.
නිමන්ති රණසිංහ