Showing posts with label Localg2. Show all posts
Showing posts with label Localg2. Show all posts

Thursday, March 28, 2024

දැන්වීම් පළකර මුදල් කොල්ල කෑ ජාවාරමා පොලිස් වෙඩිපහරින් මරුට

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය, දඹදෙණිය ධර්මසිරි රණසිංහ, අලව්ව සිසිර අබේකෝන් සහ ගයාන් සූරියආරච්චි

නවීන පන්නයේ ජංගම දුරකථන විකිණීමට ඇති බවට අන්තර්ජාලයේ දැන්වීම් පළ කර ඒවා මිලදී ගැනීමට පැමිණෙන ගැනුම්කරුවන් කඩුවලින් කපා කොටා තුවාල සිදුකර ඔවුන් සතු රුපියල් ලක්ෂ ගණන් මුදල් පැහැරගෙන පලාගිය බව කියන සංවිධානාත්මක කල්ලියක අයකු ඊයේ (27) නාරම්මල ප්‍රදේශයේ දී පොලිස් වෙඩි ප්‍රහාරයකින් මැරුම් කෑ බව නාරම්මල පොලිසිය පවසයි.

මෙසේ වෙඩිකා මිය ගොස් ඇත්තේ නාරම්මල, වීරගලවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි දිනේෂ් දුර රාල නමැති අයෙකි.කල්ලියට සම්බන්ධ තවත් දෙදෙනෙකු පලාගොස් ඇති අතර, ඔවුන් දෙදෙනා අත්අඩංගුවට ගැනීමට නාරම්මල පොලිසියේ අපරාධ විමර්ශන අංශය පුළුල් පරීක්ෂණ පවත්වාගෙන යයි.

කඩු පහරකෑමෙන් තුවාල ලැබූ ජංගම දුරකථන මිලදී ගැනීමට පැමිණි කෑගල්ල, රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි ඒ.ආර්.ඩී. ගුණවර්ධන සහ සේනාධීර නමැති අය කුරුණෑගල ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙති.නවීන පන්නයේ ජංගම දුරකථන අඩු මිල ගණන්වලට විකිණීමට ඇති බවට අන්තර්ජාලයේ පළ කර තිබෙන අයුරු දුටු රුවන්වැල්ල ප්‍රදේශයේ පදිංචි මෙම දෙදෙනා සහ සෙනරත් නමැති අයෙකු ඒවා මිලදී ගැනීමට අන්තරජාලයේ පළව තිබූ දුරකථන අංකයට කතා කර ඇතැයි පොලිසිය කියයි.

පොල්ගහවෙල ප්‍රදේශයට රාත්‍රී කාලයේ පැමිණෙන ලෙස රුවන්වැල්ලේ පදිංචි පුද්ගලයින් තිදෙනාට දැනුම් දුන් අවස්ථාවේ ඒ ගැන ඇති වූ සැකයක් මත ඔවුන් මේ බව රුවන්වැල්ල පොලිසියට දැනුම් දීමෙන් පසු රුවන්වැල්ල පොලිසිය මේ ගැන පොල්ගහවෙල පොලිසියට දැනුම් දී ඔවුන් දෙදෙනා එම පොලිස් ස්ථානයට පිටත් කර යවා ඇතැයි කියති.පොල්ගහවෙල පොලිසියේ සැරයන් ලලිත් (66372), කොස්තාපල්වරුන් වන විජේවර්ධන (99757) සහ ඉන්දික (83005 ) යන මහත්වරුන් සමග මොවුන් තිදෙනා පොල්ගහවෙල ප්‍රදේශයට ගිය අවස්ථාවේ ඔවුන් තිදෙනාට නාරම්මල පොල් වත්තේගෙදර පන්සල අසල පිහිටි කුඹුරු යාය ළඟට පැමිණෙන ලෙස දැනුම් දී ඇත.

කුඹුරු යාය අසලට ගිය අවස්ථාවේ පුද්ගලයින් තිදෙනකු පැමිණ මොවුන්ට කඩු ප්‍රහාර එල්ල කර ජංගම දුරකථන මිලදී ගැනීමට රැගෙන ආ මුදල් කොල්ල කෑමට උත්සාහ කළ අවස්ථාවේ පොලිස් නිලධාරීන් තිදෙනා ඔවුන් අල්ලා මෙල්ල කර ගැනීමට ගොස් ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.වෙඩිවැදී මියගිය පුද්ගලයා සහ පලාගිය පුද්ගලයා මෙවැනි ආකාරයට දැන්වීම් පළ කර පැමිණි පසු ගැනුම්කරුවන්ට පහරදී හෝ කඩුවලින් කොටා ඔවුන් සතු ලක්ෂ ගණන් වටිනා මුදල් පැහැරගෙන යෑමේ නිරතව සිටින අය බවට තොරතුරු හෙළි වී ඇතැයි පොලිසිය කියයි.

වයඹ පළාත් භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති වසන්ත කිත්සිරි ජයලත් මහතාගේ අධීක්ෂණය යටතේ කුරුණෑගල දිසා බාර නියෝජ්‍ය පොලිස්පති සුජිත් වෙදමුල්ල මහතාගේ උපදෙස් මත කුලියාපිටිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී මහේෂ් කුමාරසිංහ සහ කුලියාපිටිය සහකාර පොලිස් අධිකාරි රුවන් කුමාර යන මහත්වරුන්ගේ මෙහෙයුම යටතේ නාරම්මල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක හර්ෂ සමරකෝන් මහතා ප්‍රධාන පොලිස් නිලධාරීහු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වාගෙන යති.




රජයේ වාහන වල අමුතු ගැහිල්ලක්

සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න

කිලෝමීටරයක් රුපියල් 300ක පිරිවැයකින් ධාවනය කරන රාජ්‍ය ආයතන වාහනයක් රුපියල් සීයක පිරිවැයකින් ධාවනය කළ හැකි බව බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාවේ සභාවේදී තොරතුරු අනාවරණය විය.

මිනිස් බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් සකස් කරන ලද පර්යේෂණ පත්‍රිකාවක මේ බව සඳහන් වන්නේ යැයි එම කාරක සභාව පවසයි.බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ පාර්ලිමේන්තු කාරක සභාව එහි සභාපති මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු සංකීර්ණයේ දී පසුගිය 20 වැනිදා රැස්විය. මෙම තොරතුරු අනාවරණය වූයේ එම රැස්වීමේදීය.

රාජ්‍ය අංශය සතුව වාහන අසූ දෙදාහක් පමණ පවතින බවත් ඉන් ධාවන තත්වයේ පවතින්නේ වාහන හැත්තෑහය දාහක් පමණක් බවත් කාරක සභාවේදී හෙළිවිය. මේ අනුව ධාවන තත්වයේ නොපවතින වාහන සංඛ්‍යාව 5500කි.ධාවන තත්වයේ පවතින වාහනයක් කිලෝ මීටරයක් ධාවනය කිරීම සඳහා යන වියදම ආසන්න වශයෙන් රුපියල් 300ක් 500ක් අතර වන බවත් මෙම පර්යේෂණ වාර්තාව අනුව පෙනී යන බවද කාරක සභාව සඳහන් කරයි.

රාජ්‍ය ආයතන වලට අවශ්‍ය වාහන කුලී හෝ බදු පදනම යටතේ පෞද්ගලික අංශයෙන් ගන්නේ නම් රුපියල් සීයක් හෝ ඊට වඩා අඩු මුදලකින් කිලෝමීටරයක් ධාවනය කිරීමට හැකි බව එහිදී අනාවරණය විය.මේ අනුව ක්‍රමානුකූලව රාජ්‍ය සතු වාහන ඉවත් කරමින් මෙම ක්‍රියාදාමය අනුගමනය කරන්නේ නම් රුපියල් කෝටි 2000 ක් පමණ රාජ්‍ය ආදායම ඉතිරි කර ගත හැකි බව කාරක සභාව පෙන්වා දෙයි.මෙම තොරතුරු සැලකිල්ලට ගනිමින් පර්යේෂණ පත්‍රිකාව පිළිබඳවද ගැඹුරින් අධ්‍යයනය කර පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා මන්ත්‍රී යදාමනී ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් අනුකාරක සභාවක් පත් කිරීමට කාරක සභාවේ සභාපතිවරයා නිර්දේශ කළේය.






පොහොට්ටුවේ ජාතික සංවිධායක නාමල් රාජපක්‍ෂ

යොහාන් භාසුර

හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්‍ෂ මහතා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායකවරයා ලෙස පත් කරනු ලැබ සිටී.ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මීට පෙර ජාතික සංවිධායක ලෙස බැසිල් රාජපක්ෂ මහතා කටයුතු කළේය.නව පත් කිරීමත් සමග නාමල් රාජපක්‍ෂ මහතාට ඉදිරි මැතිවරණ ඇතුළු ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ සියලුම සංවිධාන කටයුතු වල වගකීම බාර වන බව පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.


මීගමුවේ ස්පා 55 කට සීල් - කතුන් දෙදෙනකුට ඒඩ්ස්

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය

මීගමුව ප්‍රදේශයේ නීති විරෝධී සම්බාහන මධ්‍යස්ථාන දෙකක තෙරපිවරියන් ලෙස සේවය කළ කාන්තාවන් දෙදෙනකුට ඒඩ්ස් වයිරසය ආසාදනය වී ඇති බවට වෛද්‍ය පරීක්ෂණවලින් තහවුරුවීමෙන් අනතුරුව එම ප්‍රදේශයේ සම්බාහන මධ්‍යස්ථාන පනස් පහක් වටලා ඒවායේ තෙරපිවරියන් ලෙස සේවය කරමින් ගණිකා වෘත්තියේ නිරතව සිටියේ යැයි කියන තරුණියන් සහ කාන්තාවන් එකසිය පනස් දෙනකු සැකපිට අත්අඩංගුවට ගත් බව මීගමුව මූලස්ථාන පොලිසිය පවසයි.මේවා කළමනාකරණය කළ කාන්තාවන් සහ පිරිමි පුද්ගලයන්ද මේ සමග සැකපිට අත්අඩංගුවට ගෙන ද ඔවුනට එරෙහිව නීතිය ක්‍රියාත්මක කර ඇතැයි පොලිසිය සඳහන් කරයි.බලපත්‍ර නොමැතිව නීති විරෝධී ලෙස පවත්වාගෙන ගිය මෙම සම්බාහන මධ්‍යස්ථාන පනස් පහ වසා දැමීමට ද කටයුතු කළ බව පොලිසිය පවසයි.යුක්තිය මෙහෙයුමට සමගාමීව කරනු ලැබූ වැටලීමක දී මත්ද්‍රව්‍යවලට ඇබ්බැහි වූ පිරිසක් පසුගිය දිනක සැකපිට අත්අඩංගුවට ගෙන ඔවුන් පුනරුත්ථාපන මධ්‍යස්ථානයකට යොමු කර ඇත.

මෙම මත්ද්‍රව්‍ය ලෝලීන් පිරිසට සමාජ රෝග වැළඳී ඇත්දැයි සොයා ගැනීමට වෛද්‍ය පරීක්ෂණ වලට යොමු කිරීමේදී එක් අයකුට ඒඩ්ස් වයිරසය ආසාදනය වී ඇති බවට වෛද්‍ය වාර්තා මගින් තහවුරු වී යැයි පොලිසිය කියයි.ඒඩ්ස් වයිරසය ආසාදනය වූ බවට තහවුරු වූ මත්ද්‍රව්‍ය වලට තදින්ම ඇබ්බැහි වී සිටි බව කියන පුද්ගලයාගෙන් ප්‍රශ්න කිරීමේදී ඔහු මීගමුව ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථානයක තෙරපිවරියක ලෙස සේවය කරන කාන්තාවක සමග අඹු සැමියන් ලෙස ගත කළ බව පොලිසියට හෙළි කර ඇත.

මේ සමග සිදු කළ මීගමුව ප්‍රදේශයේ පිහිටි සම්බාහන මධ්‍යස්ථාන වැටලීම්වලදී සැකපිට අත්අඩංගුවට ගත් කාන්තාවන් සහ තරුණියන් එකසිය පනස් දෙනා වෛද්‍ය පරීක්ෂණවලට යොමු කිරීමෙන් අනතුරුව එයින් දෙදෙනෙකුට ඒඩ්ස් වයිරසය ආසාදනය වී ඇති බවට අනාවරණය වී යැයි පොලිසිය හෙළි කළේය. මීගමුව කොට්ඨාසය භාර පොලිස් අධිකාරී එරික් පෙරේරා මහතාගේ උපදෙස් මත මීගමුව මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක චන්න රණසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් මෙම වැටලීම් සිදු කළහ.




Wednesday, March 27, 2024

මුහුණු පොතේ තරුණියකගෙන් ලිංගික අල්ලස් ඉල්ලු හිටපු සෙබළා දැලේ

බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ

23 හැවිරිදි තරුණියකගේ මුහුණු පොතේ ගිණුමට හොර රහසේ ඇතුළු වී ඇයගේ නිරුවත් ඡායාරූප අන්තර්ජාලයට මුදා හරින බව පවසා ලිංගික අල්ලස් ඉල්ලූ 21 හැවිරිදි හිටපු හමුදා සෙබළකු පිළියන්දල බස් නැවතුම්පොළේ දී අත්අඩංගුවට ගත් බව පිළියන්දල පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් සැකකරු අපොස සාමාන්‍ය පෙළ විභාගයට පමණක් පෙනී සිටි අයෙකු බවත් කිසිදු පරිගණක දැනුමක් නොලබා ඇතත් වෙනත් පුද්ගලයකුගේ සමාජ මාධ්‍ය ජාලයට පිවිසීමේ අපූරු හැකියාවක් තිබෙන තැනැත්තෙකු බවත් පොලිසිය සඳහන් කළේය.

පැමිණිලිකාර රාගම තරුණිය  සමග මුහුණු පොතේ මිතුරෙකු වූ සැකකරු තරුණියට ආදරය කිරිමට අවසර පතා ඇති අතර තරුණිය එයට අකමැති වීමෙන් අනතුරුව සැකකරු ලින්ක් එකක් තරුණියගේ පෙම්වතාට යවා ඔහු එය විවෘත කිරීමත් සමඟම ඔහුගේ ගිණුමට අනවසරයෙන් ඇතුළු වී තිබූ සැකකරු ඔහු යවන ආකාරයෙන් තරුණියට කෙටි පණිවිඩ යවා නිරුවත් ඡායාරූප ඉල්ලා ඇතැයි පොලිසිය කීය. තම මුහුණු පොතේ ගිණුමට බාහිර පුද්ගලයකු හොර රහසේ ඇතුළු වී ඇති බව දැනගත් තරුණියගේ පෙම්වතා ඒ බව තරුණියට ද පවසා ඇති අතර වෙනත් පුද්ගලයන්ගේ නිරුවත්  පිංතූර සකස් කර ඡායාරූප තරුණියට ඒවා ඒවා සමාජගත කරන බවට තර්ජනය කර ඇයව හමුවීමට පැමිණෙන ලෙස සැකකරු පවසා තිබූ බව පොලිසිය සඳහන් කළේය.එම තරුණිය විසින් තම මුහුණු පොතේ ගිණුමට ඇතුළු වූ කිසියම් පුද්ගලයකු තම පෙම්වතා ආකාරයෙන් කෙටි පණිවිඩ එවමින් තමන්ගේ නිරුවත් ඡායාරූප ඉල්ලමින් සහ හමුවන ලෙස පවසමින් තර්ජනය කරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පරිගණක අපරාධ විමර්ශන අංශය වෙත පැමිණිල්ලක් කර තිබූ බව පොලිසිය කියයි.අනතුරුව තරුණිය සැකකරුගෙන් ගැලවීමක් නොමැති බැවින් කෙටි පණිවිඩයක් යවමින් හමුවීම සඳහා පිළියන්දල බස් නැවතුම්පොළට පැමිණෙන ලෙස පවසා ඒ බව පිළියන්දල පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක මදාරා සමරදිවාකර මෙනෙවිය හමුවී පැවසීමෙන් අනතුරුව එම නිලධාරීනිය සහ තවත් පොලිස් නිලධාරීන් කීප දෙනකු සිවිල් ඇඳුමින් සැරසී බස් නැවතුම් පොළට ගොස් සැකකරු තරුණිය හමුවීම සඳහා පැමිණි අවස්ථාවේ දී අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු හික්කඩුව ගෝනාපීනුවල නිවසේ සිට තරුණිය හමුවීම සඳහා පැමිණීමේ දී මව්පියන්ට පවසා ඇත්තේ ජා ඇල ප්‍රදේශයේ කර්මාන්ත ශාලාවක සම්මුඛ පරීක්ෂණයකට සහභාගී වීමට යන බවත් එලෙස පැමිණීමේ දී සැකකරු තරුණියට චොක්ලට් පැකට් කිහිපයක් ද රැගෙන ආ බවත් පොලිසිය සඳහන් කළේය.ගල්කිස්ස කොට්ඨාස බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රසන්න බ්‍රාහ්මණ, සහකාර පොලිස් අධිකාරී වික්‍රමසිංහ මහත්වරුන්ගේ උපදෙස් මත පිළියන්දල පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක දිනේෂ් අත්තරගම, අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සංජීව අලුත්ගෙදර, ළමා හා කාන්තා කාර්යාංශයේ ස්ථානාධිපතිනි උප පොලිස් පරීක්ෂක මදාරා සමරදිවාකර, කොස්තාපල්වරුන් වන 102361 මුණසිංහ, 102362 විමලරත්න ,102363 සමීර යන මහත්වරු පරීක්ෂණ පවත්වති.






හරක් කටාගේ ඉල්ලීම් වලට ඉඩදිය හැකිදැයි සොයා අධිකරණයට දැනුම් දෙන්න. නීතිපතිට උපදෙස්


මනෝප්‍රිය ගුණසේකර 


සංවිධානාත්මක අපරාධකරුවකු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට පිටතින් ආහාර ලබාගැනීමට, විත්තිකරුට මව, පියා, බිරිඳ සහ නීතිඥවරුන් හමුවීමට දී ඇති කාලය දීර්ඝ කිරීමට කරන ඉල්ලීම්වලට අදාළ පහසුකම් සලසාදීමට හැකියාවක් ඇතිදැයි සොයා අධිකරණයට දැනුම් දෙන ලෙස කොළඹ මහාධිකරණ විනිසුරු දමිත් තොටවත්ත මහතා නීතිපතිවරයාට ඊයේ (26) දැනුම් දුන්නේය.

අධිකරණ නියෝග මත තංගල්ල පැරණි බන්ධනාගාරයේ රඳවා සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තා වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා මෝසමක් මාර්ගයෙන් කළ ඉල්ලීමට අදාළ පහසුකම් සලසාදීමට ඇති හැකියාව මෙම නඩුව යළි කැඳවන ලබන මස 08 වැනිදා අධිකරණයට දැනුම්දෙ දෙන ලෙස විනිසුරුවරයා වැඩිදුරටත් නීතිපතිවරයාට දැනුම් දුන්නේය.

පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ට සහ රහස් පොලිස්  නිලධාරීන්ට පහරදී කුමන්ත්‍රණකාරීව පළායාමට තැත් කිරීම සම්බන්ධයෙන් සංවිධානාත්මක අපරාධකරුවකු ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා නමැත්තාට සහ හිටපු පොලිස් කොස්තාපල්වරයකුට එරෙහි නඩුව මෝසමක් මාර්ගයෙන් කැඳවූ අවස්ථාවේදී ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කළ ඉල්ලීම සම්බන්ධයෙන් විනිසුරුවරයා එලෙස දැනුම් දුන්නේය.

හරක් කටා නමැත්තාට බන්ධනාගාරයෙන් පැනයාමට උදව් කර මේ වන විට අතුරුදන්ව ඇතැයි කියන අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු නිලධාරියකු වූ රවිඳු සංදීප නමැත්තා අත්අඩංගුවට ගැනීමට නියම කර ඇති විනිසුරුවරයා නඩුවේ තුන්වන විත්තිකාර හිටපු පොලිස් නිලධාරියකු බව කියන දිනේශ් සුරංග නමැත්තා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමටද නියම කෙරිණි.

කොළඹදී රහස් පොලිස් නිලධාරීන්ගෙන් මිදී පළා යාමට කුමන්ත්‍රණය කිරීම, ඒ සඳහා කටයුතු කිරීම හා ඊට ආධාර අනුබල දෙන ලදැයි විත්තිකරුවන්ට එරෙහිව නීතිපතිවරයා චෝදනා 22 ක් යටතේ නඩු පවරා තිබුණි.මෙලෙස චෝදනා ලැබ සිටින්නේ නඳුන් චින්තක වික්‍රමරත්න හෙවත් හරක් කටා, හිටපු පොලිස් කොස්තාපල්වරයකු වන රවිඳු සංදීප සහ හරක් කටා රහස් පොලිසියෙන් පිටතට පැනගත් විට ඔහු රැගෙන යාමට සුදානමින් සිටි බව කියන හිටපු පොලිස් කොස්තාපල්වරයකු වන දිනේෂ් තරංග නමැත්තන්ය.

නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකාර හරක් කටා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා කරුණු දක්වමින් රැඳවුම් භාරයේ පසුවන තම සේවාදායකයාට නීතිඥවරු හමු වී උපදෙස් ගැනීම සඳහා දැනට දිනකට එක් නීතිඥවරයකුට විනාඩි 15ක කාලයක් දෙන බවත් මව, පියා සහ බිරිඳ හමුවීම සඳහා විනාඩි 15 ක කාලයක් දෙන බවත් පැවැසීය.එම කාලය පැයක කාලයක් දක්වා දීර්ඝ කරන්නැයි ඉල්ලා සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා තම දරුවා සමග දුරකථන මාර්ගයෙන් කතා කිරීමට ඔහුට පහසුකම් සලසා දෙන්නැයි ද ඉල්ලා සිටියේය.

තම සේවාදායකයා රඳවා සිටින ස්ථානයේ ආරක්ෂක කැමරා ඇද්දැයි වාර්තාවක් ඉදිරිපත් කිරීමට නියම කරන්නැයිද විත්තිකරු තංගල්ල රෝහලේ සර්වාංග වෛද්‍යවරයෙකු හමුවට ඉදිරිපත් කර වාර්තාවක් කැඳවීමට නියම කරන්නැයි ඉල්ලා සිටි ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා තම සේවාදායකයාට පිටතින් ආහාර ලබා ගැනීම සඳහා අවසර දෙන්නැයිද ඉල්ලා සිටියේය.කරුණු සලකා බැලූ විනිසුරුවරයා විත්තිකරු ඉල්ලා සිටින පහසුකම් අතුරින් ලබා දිය හැකි ඒවා කවරේදැයි පරීක්ෂා කර බලා මෙම නඩුව යළි කැඳවන අප්‍රේල් මස 08 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස නීතිපතිවරයාට නියම කළේය.





රාජ්‍ය ආයතන සතු වාහන වෙනුවට පෞද්ගලික වාහන යොදාගත්තොත් රු.බි. 20ක් ඉතුරුයි


දිනේෂ් සමරකෝන්


කිලෝමීටරයක් රු.300ක පිරිවැයකින් ධාවනය කරන රාජ්‍ය වාහන කිලෝමීටරයක් රු.100 පිරිවැයකින් ධාවනය කළ හැකි බව බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය විය.මිනිස්බල හා රැකීරක්ෂා දෙපාර්තමේන්තුව විසින් රාජ්‍ය සම්පත් කළමනාකරණය සම්බන්ධයෙන් සකස් කරන ලද පර්යේෂණ පත්‍රිකාවක දත්ත අනුව මේ පිළිබඳ අනාවරණය කර ගැනීමට හැකි විය.බලශක්ති සහ ප්‍රවාහනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතාගේ සභාපතිත්වයෙන් පාර්ලිමේන්තුවේදී රැස් වූ අවස්ථාවේදී මෙම කරුණු අනාවරණය කර ගැනුණි.

මෙහිදී අදාළ පර්යේෂණ පත්‍රිකාව මගින් පෙන්වා දුන්නේ 2022 වර්ෂයේ සංඛ්‍යාලේඛන අනුව රාජ්‍ය ආයතන සතුව වාහන 82,000ක් පමණ පවතින බවත් ඉන් 76,000ක් පමණ ධාවන තත්ත්වයේ පවතින බවත්ය.මේ අනුව වාහන 5,500ක් පමණ ධාවන තත්ත්වයේ නොපවතින බවද මෙහිදී අනාවරණය විය.

එසේම ධාවන තත්ත්වයේ පවතින එක් වාහනයක් කිලෝමීටරයක් ධාවනය කිරීම සදහා යන වියදම ආසන්න වශයෙන් රු.300ත් 500ත් අතර වන බවද මෙම පර්යේෂණ පත්‍රිකාව අනුව හඳුනාගෙන තිබුණි.නමුත් රාජ්‍ය ආයතනවලට අවශ්‍ය මෙම වාහන කුලී හෝ බදු පදනම යටතේ පෞද්ගලික අංශය මගින් ගන්නේ නම් රු.100ක් හෝ ඊට වඩා අඩු මුදලකින් කිලෝමීටරයක් ධාවනය කිරීමට හැකි බව මෙහිදී මෙම පර්යේෂණයේ දත්ත අනුව හඳුනා ගැනුණි. මේ අනුව ක්‍රමානුකූලව රාජ්‍ය සතු වාහන ඉවත් කරමින් මෙම ක්‍රියාදාමය අනුගමනය කරන්නේ නම් සෘජුවම රු. බිලියන 20ක් පමණ රාජ්‍ය වියදම ඉතිරි කර ගත හැකි බව මෙහිදී අනාවරණය විය.

මෙම තොරතුරු සැලකිල්ලට ගනිමින් මෙම පර්යේෂණ පත්‍රිකාව පිළිබඳ ගැඹුරින් අධ්‍යයනය කර පාර්ලිමේන්තුවට වාර්තාවක් ඉදිරිපත් කිරීම සඳහා පාර්ලිමේන්තු මන්ත්‍රී යදාමිණී ගුණවර්ධන මහතාගේ සභාපතිත්වයෙන් අනුකාරක සභාවක් පත් කිරීමට මෙම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී නාලක බණ්ඩාර කෝට්ටේගොඩ මහතා නිර්දේශ කළේය.එසේම සුනිත්‍ය බලශක්තිය සම්බන්ධයෙන් මෙරට ගත හැකි ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් විද්වත් අදහස් ලබා ගැනීමද මෙහිදී සිදු විය.



ජනපති නියමයෙන් පොලිස් භාරයට ගත් දෙහිවල හා බේරුවල නිවාස යළි ඉල්ලීම ප්‍රතික්ෂේපයි

 බුද්ධිමාල් රුබේරු


ජනාධිපතිවරයාගේ නියෝග මත පොලිස් භාරයට ගෙන ඇති දෙහිවල සහ බේරුවල ප්‍රදේශයේ නිවාසවල, පාස්කු ඉරු දින ප්‍රහාරයට පෙර තවුහිද් ජමාද් සංවිධානයේ සහ අල් කයිඩා සංවිධානයේ දේශන පවත්වා ඇති බවට කරුණු අනාවරණය වී ඇතැයි නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශවින්ද වික්‍රම මහතා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (26දා) දැනුම් දුන්නේය.

ජනාධිපතිවරයාගේ නියෝග මත තම නිවාස පොලිස් භාරයට ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි කියමින් එම නිවාස හිමිකරුවන් විසින් ගොනුකර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක් සලකා බැලූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශවින්ද වික්‍රම මහතා ඒ බව දැනුම් දුන්නේය. ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ප්‍රීතිපද්මන් සූරසේන, ශිරාන් ගුණරත්න සහ මහින්ද සමයවර්ධන යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ලක් හමුවේ මෙම පෙත්සම් කැඳවන ලදී.

දෙහිවල සහ බේරුවල ප්‍රදේශයේ පදිංචි මොහමඩ් හයිතුල්ලා, මොහොමඩ් හසිම් යන මහත්වරුන් ගොනු කළ මෙම පෙත්සම්වල වගඋත්තරකරුවන් වශයෙන් නීතිපතිවරයා, පොලිස්පතිවරයා සහ ත්‍රස්තවාදී විමර්ශන අංශයේ අධ්‍යක්ෂවරයා නම් කර ඇත. ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ තම නිවෙස් පොලිස් භාරයට ගැනීමෙන් තම මූලික අයිතිවාසිකම් කඩවී ඇතැයි සඳහන් කරන පෙත්සම්කරුවෝ, එම තීරණය බලරහිත කරන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලා සිටිති. පෙත්සම කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශවින්ද වික්‍රම මහතා කරුණු දක්වමින් ජනාධිපතිවරයාගේ නියෝග මත පොලිස් භාරයට ගෙන ඇති දෙහිවල සහ බේරුවල ප්‍රදේශයේ නිවාසවල පාස්කු ඉරුදින ප්‍රහාරයට පෙර තවුහිද් ජමාද් සංවිධානයේ සහ අල් කයිඩා සංවිධානයේ දේශන පවත්වා ඇති බවට කරුණු අනාවරණය කරගෙන ඇතැයි පැවසීය. කරුණු සලකා බැලූ විනිසුරු මඬුල්ල පෙත්සම විභාගයට ගැනීම ප්‍රතික්ෂේප කළේය. පෙත්සම්කරුවන් වෙනුවෙන් නීතිඥවරුන් වන කීර්ති තිලකරත්න සහ අස්විද රවීන් මහතා සමග ජනාධිපති නීතිඥ ෆයිසර් මුස්තපා මහතා පෙනී සිටියේය.නීතිපතිවරයා වෙනුවෙන් ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ ශ්‍රවීන්ද්‍ර වික්‍රම මහතා පෙනී සිටියේය.


Tuesday, March 26, 2024

අපේ නැකැත් පිළිපදින්න: රාජ්‍ය නැකැත් කමිටුව කියයි

 විවිධ මතිමතාන්තරවලට නොරැවටී රාජ්‍ය නැකැත් කමිටුව සකස් කරන ලද නැකැත් සීට්ටුවට අනුව සිංහල අලුත් අවුරුදු නැකැත් චාරිත්‍ර සිදුකරන ලෙස බුද්ධශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යංශයේ ලේකම් සෝමරත්න විදානපතිරණ මහතා ජනතාවගෙන් ඉල්ලා සිටී.

1993 වර්ෂයේ පැවැත එන සම්ප්‍රදායට අනුව 2024 වර්ෂය සඳහා නැකැත් සීට්ටුව සකස් කර ඇත්තේ ප්‍රවීණ ජෝතීර්වේදීන් 22 දෙනෙකුගෙන් සැදුම්ලත් රාජ්‍ය නැකැත් කමිටුව විසින් බවද සඳහන් කරන විදානපතිරණ මහතා මෙම නැකැත් සීට්ටුව සකස් කිරීමට දායක වී එම නැකැත් නිවැරදි බවට අත්සන් කළ එක් ජෝතීර්වේදීයකු තවත් සුළු පිරිසක් සමග එක්වී සාම්ප්‍රදායික ක්‍රමයට අභියෝග කිරීම නිසා මේ තත්වය උද්ගතව ඇතැයිද සඳහන් කර ඇත.මෙම පිරිසගේ විරෝධතාවයන් අපගේ සංස්කෘතික සම්ප්‍රදායන්ට පටහැනි හෙයින් විවිධ මතිමතාන්තර වලට නොරැවටෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක්ද කර ඇත.


බඩ රිදෙනවා කියා දුව රෝහලට ගියාම සුළු සැත්කමක් කරන්න ඕනෑ කියලා - මියගිය සරසවි සිසුවියගේ පියා කියයි









ගිරාඳුරුකෝට්ටේ - එස්.එස්.එස්. ගුණරත්න


“මගේ දුවට සරසවියෙන් පිට වීමට තව ඉතිරිව තිබුණේ මාස තුනක් වැනි සුළු කාලයක්. අපි දුව ගැන ලොකු බලාපොරොත්තු තබා ගෙන සිටියා. දුවටත් අනාගත බලාපොරොත්තු රැසක්ම තිබුණා. අපේ හැම බලාපොරොත්තුවක්ම දුවගේ මේ ගමනත් එක්ක නැති වෙලා ගියා” යැයි ගිරාදුරුකෝට්ටේ මහවැලි කොට්ඨාසයේ දිවුලපැලැස්ස පොලිස් වසමේ පදිංචි, කැලණිය සරසවියේ ඉගෙනුම ලබමින් සිටි, 23 වියැති, ලක්මිණි දිසානායක නමැති, සරසවි ශිෂ්‍යාවගේ මරණය පිළිබඳව ඇයගේ පියා වන ගුණරත්න දිසානායක මහතා එසේ පැවැසීය.

බඩේ කැක්කුමකට ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහලට ඇතුළත් කළ සරසවි සිසුවියක දින තුනකට පසු රෝහලේදී මිය යාමේ ඉතා ශෝචනීය සිද්ධියක් හේතුවෙන් මුළු මහවැලි ගම්මානයම කම්පාවට පත්ව සිටී.මෙසේ අකල් මරණයට පත්වූ තම එකම දියණියගේ හදිසි වියෝව පිළිබඳව දැඩි ශෝකයෙන් මෙන්ම විටින් ව්ට කඳුළු සලමින්, මියගිය ලක්මිණිගේ පියා වන ගුණරත්න දිසානායක මහතා මෙසේ පැවැසීය.

මෙම රැකියාවට කරන්නේ ගොවිතැන් වැඩ. පොඩි කුඹුරක් තමයි අපිට තියෙන්නේ. මමත් මගේ බිරිඳගේත් දැඩි උත්සාහයෙන් තමයි පවුල නඩත්තු කරගෙන යන්නේ. පවුලේ දරුවන් තුන්දෙනයි. මියගියේ පවුලේ දෙවැන්නා. ඇය කුඩා කල සිටම ඉගෙනුමට දක්ෂයි. සාමාන්‍ය පෙළ දක්වා ගමේ පාසලට ගියා.උසස් පෙළ සඳහා කිලෝමීටර් 20ක් පමණ දුරින් පිහිටි ගිරාඳුරු කෝට්ටේ මධ්‍ය මහා විද්‍යාලයට ගිහින් තමයි විශ්ව විද්‍යාලයට තේරුණේ.අපට වෙනත් ආදායම් මාර්ග නැහැ."මේ වන විට ඇය23 වියැතිය. උසස් අධ්‍යාපනය ලබමින් සිටියේ, කැලණිය විශ්ව විද්‍යාලයේ මානව ශාස්ත්‍ර පීඨයේ හතර වැනි වසරේ ශිෂ්‍යාවක් ලෙසිනි. මාර්තු 19 වැනිදා ඇය තමාගේ බඩ රිදෙන බව පවසමින් තම යෙහෙළියන් කිහිප දෙනකු ද සමග ප්‍රතිකාර ලබාගැනීම සඳහා කිරිබත්ගොඩ රෝහලට පැමිණි පසු, ඇය පරීක්ෂා කිරීමෙන් අනතුරුව එම රෝහලේ වෛද්‍යවරුන් පවසා ඇත්තේ, සුළු සැත්කමක් කිරීමට අවශ්‍ය බවයි.

ඒ අනුව, ඊට අදාළ පහසුකම්වලින් යුත් රාගම මහරෝහල වෙත යොමු කර තිබේ. එම රෝහලේදී නියමිත සැත්කම සිදුකර නේවාසික රෝගියකු වාට්ටුවට ඇතුළත් කර ඇත.එදින වෛද්‍ය උපදෙස් මත කිසියම් එන්නතක් ශරීර ගත කර ඇත. පසු දින හෙවත් මාර්තු 21 වැනිදාත් එන්නතක් ශරීර ගත කර තිබේ. ඉන් පසුව, එනම්, 21 වැනිදා දන්වා ඇත්තේ ඇය මිය ගොස් ඇති බවයි.මියගිය ලක්මිණි දියණියගේ මෘත දේහය ඉකුත් 23 වැනිදා ඇයගේ නිවෙස වෙත රැගෙන පැමිණි අතර, තම සහෝදර සිසුවියගේ අකල් වියෝවෙන් දැඩි ලෙසටම කම්පනයට පත් වූ සරසවි සිසු සිසුවියෝ කණ්ඩායමක් ද ඒ අතර වූහ. තම මිතුරිය පිළිබඳව පැවැසූ පරිදි සරසවියේ ආචාර්ය මණ්ඩලයේත්, සියලු සහෝදර සිසු සිසුවියන්ගේත් ආදරයට ලක් වෙමින් සිටි මෙවන් ලෙන්ගතු සහෝදරියක වෙන්ව යාම මවුපිය ඥාති මිත්‍රාදීන්ට ගම්වාසීන්ට මෙන්ම සරසවි සිසු අප සැමටමත් රටටත් සිදු වූ බලවත් පාඩුවක් බවත්, ඇයට නිවන් සුව ලැබේවායි සරසවි සිසුන් සමූහයම වෙනුවෙන් අපි ප්‍රාර්ථනා කරන බවත්ය.








දූෂිත ලොක්කන්ට දඬුවම් නැතැයි මගී සේවකයන්ගෙන් චෝදනා



කඩුවෙල කේ. බුද්ධික කුමාරසිරි 


බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ සේවයේ නිරත ජ්‍යෙෂ්ඨ නිලධාරින් දෙදෙනෙකු සම්බන්ධයෙන් විවිධ දූෂණ චෝදනා පිළිබඳව ජාතික විගණන කාර්යාලය මගින් වාර්තාවක් ලබා දී මාස තුනකට වැඩි කාලයක් ගත වුවත් ඒ සම්බන්ධයෙන් මෙතෙක් කිසිදු පියවරක් ගෙන නොමැති බව එහි සේවකයෝ පවසති.

ඉකුත් වර්ෂයේ දෙසැම්බර් 23 දින නිකුත් කළ එම විගණන වාර්තාවට අනුව බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ නිලධාරීන් විසින් කර තිබූ ඇතැම් බරපතළ විෂමාචාරී ක්‍රියා සම්බන්ධයෙන් විධිමත් විමර්ශනයක් සිදු කර නොතිබීම සහ බරපතළ විෂමාචාර ක්‍රියා සිදු කර තිබූ නිලධාරීන් මාර්ගස්ථ මඟී ප්‍රවාහන අධිකාරියේ ඉහළ තනතුරු වල වැඩ බැලීමට දීර්ඝ කාලයක සිට පත්කර තිබීම පිළිබඳව ජ්‍යෙෂ්ඨ සහකාර විගණකාධිපති ආර්.ජී. හෙට්ටිආරච්චි නිකුත් කළ වාර්තාවෙන් චෝදනා කර ඇත.

ඒ අනුව එම අධිකාරියේ ජ්‍යෙෂ්ඨතම තනතුරක වසර හයකට ආසන්න කාලයක් වැඩ බැලීමේ තනතුරක කටයුතු කරන නිලධාරියකු සඳහා ඔහු බඳවා ගන්නා අවස්ථාවේදී මූලික අධ්‍යාපන සුදුසුකම් හෝ තිබී නොමැති බවත් එසේම අදාළ නිලධාරියා විවිධ කාලවකවානුවලදී විවිධ තනතුරු සහ උසස් වීම් සඳහා අවධිමත් ලෙස පත්කර ඇති බවට සාක්ෂි සටහන් සමගින් එම වාර්තාව මගින් ඉදිරිපත් කර ඇත.

එමෙන්ම එම නිලධාරියා විසින් පෞද්ගලික උපකාරක පන්තිවල නිබන්ධන සකස් කිරීම සඳහා අධිකාරිය සතු ලිපි ද්‍රව්‍ය අවභාවිතා කිරීම, සම්මුඛ පරීක්ෂණයක දී ව්‍යාජ සහතික ඉදිරිපත් කිරීම විධිමත් ආකාරයෙන් කාර්යාලයට පැමිණීම සහ පිටවීම සලකුණු නොකිරීම අධිකාරියේ පූර්ව අවසරයකින් තොරව මැතිවරණ නීතියට හා ආයතන සංග්‍රහයට පටහැනිව කටයුතු කරමින් ප්‍රාදේශීය සභා අපේක්ෂකයකු ලෙස ඉදිරිපත්ව සිටීම, මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරිය සතුව තිබූ ලැප්ටොප් පරිගණක යන්ත්‍රයක් අස්ථානගත කර තිබීම මගින් අධිකාරියට සිදුව තිබූ අලාභය පියවා නොතිබීම, අධිකාරිය සතු මුදල් පොත අවිධිමත් ලෙස භාවිත කිරීම යන චෝදනා අදාළ විගණන වාර්තාව මගින් දක්වා ඇත.

එසේම තවත් ජ්‍යෙෂ්ඨ නිලධාරියකු නිසි සුදුසුකම් නොමැතිව අවධිමත් ලෙස උසස් තනතුරුවලට පත් කිරීම, එම නිලධාරියා විසින් සාවද්‍ය විභාග සහතික ඉදිරිපත් කර තිබූ නිලධාරීන් පිළිබඳව විනයානුකූල පියවර නොගැනීම, මාර්ග බලපත්‍ර ලබාදීමේදී සිදු වූ අක්‍රමිකතා සම්බන්ධයෙන් වැරදිකරුවකු ලෙස තීරණය වී තිබීමත් එය නොසලකා අදාළ නිලධාරියාට උසස්වීම් ලබාදීමට කටයුතු කිරීම ආදී චෝදනා රාශියක් සම්බන්ධයෙන් එම නිලධාරියාට එරෙහිවද ජාතික විගණන කාර්යාලය මගින් නිකුත් කළ විගණන වාර්තාවේ චෝදනා එල්ල කර තිබේ.මම සියලු කටයුතු සඳහා දේශපාලන මැදිහත් වීම් සහ බලපෑම් සිදුව ඇති බව සිදු කළ විමර්ශනයේදී හමු වූ ලිපි ලේඛන අනුව තහවුරු වී ඇති බවද එම වාර්තාවේ සඳහන් වේ.

මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ ප්‍රවාහන ලේකම් චම්පා එස්. පෙරේරා මහත්මියගෙන් සිදුකළ විමසීමකදී ඇය මෙසේ කීවාය. අදාළ වාර්තාව සම්බන්ධයෙන් ප්‍රවාහන අධිකාරියේ අධ්‍යක්ෂ මණ්ඩලය වෙත කරුණු වාර්තා කර තිබෙනවා. එම අධ්‍යක්ෂ මණ්ඩල තීරණය අනුව ඉදිරියේදී ආණ්ඩුකාර තුමා වෙත කරුණු වාර්තා කර තීරණයක් ගැනීමට කටයුතු කරනවා. මෙම විගණන වාර්තාව සම්බන්ධයෙන් සාකච්ඡා වට කිහිපයක්ම අභ්‍යන්තරව පැවැත්වීමටත් කටයුතු කළා.


පුතාගේ යාළුවෙක් ලොකු පුතාට කියලා මල්ලි අසනීපවෙලා රෝහලට ඇතුළත් කළා කියලා - මියගිය සරසවි සිසුවාගේ පියා ඇඩු කදුලින් කියයි









 වැල්ලවාය - අයි.ආර්. ඉන්දික


පුතාගේ අවසන් විභාගෙට කරන්න තිබුණ නිබන්ධනයේ වැඩ අවසන් කරගන්න කියලා ඇවිල්ලා ගියේ ඉකුත්  (22දා) රෑ පුතාගේ යාළුවෙක් ලොකු පුතාට කතා කරලා කියලා තිබුණා. මල්ලි අසනීප වෙලා ඉස්පිරිතාලෙට ඇතුළත් කළා කියලා. ඊට පස්සේ දැනගන්න ලැබුණා පුතා නැතිවුණා කියලා. දෙයියනේ අපිට හිතාගන්නවත් බෑ මොනවද මගේ පුතාට සිද්ධ වුණේ කියලා යැයි හදිසියේ මියගිය කැලණි විශ්ව විද්‍යාලයේ අවසන් වසරේ සිසුවෙකු වන එච්.එම්. නිරෝෂන් නම් සරසවි තරුණයාගේ පියා වන එච්.එම්. සිරිසේන මහතා හැඬු කඳුළින් කියා සිටියේය. බඩල්කුඹුර ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයට අයත් බෝගහ පැලැස්ස වසමේ කරමැටිය ගම්මානයේ පදිංචිව සිටි, නිරෝෂන් පවුලේ දෙවැනි දරුවා විය. 1999 නොවැම්බර් මස 10 දින මෙලොව එළිය දුටු නිරෝෂන් කුඩා කල සිට ඉගෙනීමෙහි දක්ෂයෙකු විය. නිරෝෂන්ට පවුලේ කවුරුත් ආදරේට කතා කළෙ සුද්දා යන ආදර වචනයෙනි. ගමේ ඕනෑම පොදු වැඩකටයුත්තකදී මෙන්ම ගමේ ලොකු කුඩා කාටත් ආදරෙන් කතාබහ කළ නිරෝෂන්ට ගමේ කවුරුත් බෙහෙවින් ආදරය කළේය. ඔහු කාගෙත් හිත දිනාගෙන සිටියේ ද ඒ නිසාය.නිරෝෂන් සාමාන්‍ය පෙළ, උසස් පෙළ විභාගයෙන් ඉහළින්ම සමත් වූ අතර විශ්ව විද්‍යාල වරම් හිමිකරගත්තේ පළමු අවස්ථාවේදීමය.

තම පුතා, නිවසට පැමිණ ගිය අවසන් ගමන ගැන පවසන පියා මෙසේද කියා සිටියේය.අවසාන විභාගේ තියෙනවා කිව්වේ අප්‍රේල් මාසේ.කණ්ඩායමක් එක්ක කරන්න ව්‍යාපෘතියක් තියෙනවා කිව්වා. ඒක කරලා පොත භාරදීලා එනවා කියලා තමයි කිව්වේ මේ මාසේ අවසානේ නිවාඩු දෙනවා කියලා කිව්වා.පුතා මොන දේ කළත් එයාට හරියට පිළිවෙළට කරන්න ඕනේ අපි වුණත් හරියට කළේ නැත්නම් ඒකට කෑ ගහනවා. අපිට කිව්වෙත් කරන වැඩේ හරියට කරන්න කියලා. එයා අවසන් නිබන්ධනය හැදුවෙත් මේ පැත්තේ ලුනුගල ජනපදය අරම්භ කිරීම, එහි විස්තර ගැන පොතක්. ඒකට ගොඩාක් මහන්සි වුණා. තොරතුරු හොයලා එක එක්කෙනා මුණ ගැහෙන්න ගිහිල්ලා වැඩේ හරියට කරන්න තමයි මහන්සි ගත්තේ. අවසන් වැඩ ටික කැම්පස් එකට ගිහින් කරනවා කියලා තමයි ගෙදරින් ගියේ.පුතාට කැම්පස් එකේ කවුරුත් ආදරෙයි. එයාට කැම්පස් එකේ හිටපු ඔක්කොම යාළුවෝ, කාත් එක්කවත් ආදර සම්බන්ධයක්වත් තිබුණා කියලා අපි දැනගෙන හිටයේ නෑ. එයා කියලා තිබුණෙත් නෑ. එයා නිතරම මුල් තැන දුන්නේ ඉගෙන ගන්න හොඳින් අධ්‍යාපනය අවසන් කරන්න.ගෙදරින් යන කොට පොඩි සෙම ගතියක් තිබුණට වෙන කිසිම අසනීපයක් පුතාට තිබුණේ නෑ. ඊයේ රෑ පුතාගේ බෝඩිම් කාමරේ හිටපු යාළුවෙක් තමයි විස්තරේ කිව්වේ. එක සැරේම එයාගේ ඇඟ ගල් ගැහිලා සීතල වෙලා බෙල්ල කඩාගෙන වැටුණා කියලා. වෙන දෙයක් කිව්වේ නෑ. එක සැරේම පුතාට මෙහෙම දෙයක් වුණේ කොහොමද කියලා අපිට හිතාගන්න බෑ. දහදුක් විඳලා උගන්වලා අවසානේ පුතාගේ මරණ තමයි අපිට දකින්න සිද්ධ වුණේ යැයි පියා හඬමින් අප සමග කියා සිටියේය.





නරක් වූ මාළු කන්ටේනර් 102 ගැන CIDයට පැමිණිලි කරන්න








දිනේෂ් සමරකෝන්


නරක් වූ මාළු කන්ටේනර් 102ක් රට තුළට ගැනීමේ සිද්ධිය අපරාධමය කාරණාවක් බව පෙනී යන බැවින් ඒ සම්බන්ධව වහාම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණිලි කරන ලෙස රජයේ ගිණුම් පිළිබද කාරක සභාව (කෝපා) විසින් මුදල් අමාත්‍යාංශ නිලධාරීන්ට පසුගියදා උපදෙස් ලබා දෙන ලදි.

එසේම ඒ සම්බන්ධයෙන් කඩිනමින් විමර්ශන කටයුතු මෙහෙයවන ලෙසද එම අවස්ථාවට සහභාගි වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ඉහළ නිලධාරීන්ට දැනුම් දෙන ලදි.සී ෂෙල්ස් සිට තායිලන්තය දක්වා ගමන් කළ තරක්වූ මාළු බහාලුම් සහිත නැවක් කොළඹ වරායෙන් රට තුළට ගැනීම පිළිබඳව විගණන විමසුමෙන් හෙළිදරව් වූ කරුණු පිළිබඳ පරීක්ෂා කිරිම සදහා රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්ත මහතාගේ ප්‍රධානත්වයෙන් රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම දැනුම් දීම සිදු කෙරිණ.සී ෂෙල්ස් සිට තායිලන්තය දක්වා මාළු කන්ටේනර් 102ක් (මෙ.ටො 2700කට අධික) සහිතව ප්‍රවාහනය කරන නෞකාවක් ශ්‍රී ලංකාව ආසන්නයේ මුහුදු සීමාවේ කාර්මික දෝෂයකට ලක්වී ඇත. නෞකාවේ විදුලිය බිඳවැටීම නිසා මෙම මාළු නරක්වීමට ලක්ව ඇති බවත් අනාවරණය විය. ඒ අනුව නැව 2022.01.13 දින කොළඹ වරාය වෙත ළඟා වී ඇති අතර නැවෙහි අලුත්වැඩියා කටයුතු නිමවී පිටත්වීම වෙනුවට මෙම බහාලුම් මෙරටට ගැනීම ඔස්සේ ගැටලු රැසක් ඇතිවී ඇති බවට විගණකාධිපති ඩබ්.පී.සී. වික්‍රමරත්න මහතා මෙහිදී කරුණු දක්වා සිටියේය.

හදිසි අවස්ථාවක නෞකාවට සිදුවන දෝෂයකදී ආසන්නතම වරායේ යම් පහසුකම් ලබා දීම සිදු කළද මෙරට රේගු ආඥා පනතට අනුව පළුදු වූ දුගඳ හමන ආහාරයට නුසුදුසු ලෙඩරෝග සෑදෙනසුලු මාළුවර්ග, ධාන්‍ය වර්ග හා වෙනත් දේ ආනයනය තහනම්” බවට සඳහන් කර තිබියදී මෙම මාළු තොගය මෙරටට ගොඩබෑමට තීරණය කිරීම ඉතා ගැටලු සහගත බව ද ඒ මහතා වැඩිදුරටත් පෙන්වා දුන්නේය.මෙම නරක්වූ මාළු මෙරටට ගොඩබෑම පවතින නීතියට පටහැණි බැවින් රේගුව විසින් පත් කරන ලද ඉහළ රේගු නිලධාරීන්ගෙන් සමන්විත කමිටුවක නිර්දේශ මත මෙරටට ගැනුම්කරුවකු, ආනයනයකරුවකු ලෙස යොදා ගනිමින් තව කස්ඩෙක් (CUSDEC) අවසරයක් ලබාගෙන මෙම බහාලුම් මෙරටට ගොඩබා ඇති බවත් මෙහිදී අනාවරණය විය. ආනයනය නොකළ බහාලුම් ආනයන ලෙස පෙන්වා දෙමින් මෙලෙස සිදු කිරීම වංචාවක් බවත් මෙහිදී සාකච්ඡා විය.

එසේම ආනයනයක් ලෙස දක්වමින් ඉදිරිපත් කර ඇති ඉනිවොයිසියේ දිනය 2021.12.10 ලෙස සඳහන්ව ඇති බවත්, එය නැව වරායට පැමිණි 2022.01.13ට පෙර දිනයක් බවත් ඒ අනුව එය ගැටලු සහගත බවත් විගණකාධිපතිවරයා පෙන්වා දුන්නේය.කෙසේ වෙතත් ආනයන හා අපනයන පාලන ජෙනරාල්තුමිය පැවසුවේ රේගු කමිටුවේ වාර්තාව පරිදි මධ්‍යම පරිසර අධිකාරියේ නිර්දේශ මත අදාළ ආයතනය කාබනික පොහොර නිෂ්පාදනය සඳහා මෙම මාළු ආනයනයට ඉල්ලීමක් යොමුවූ බවත්, ආනයන හා අපනයන පාලන පනත අනුව අදාළ අවසරය හිමි වූ බවත්ය.

බහාලුම් 102න් 4 ක් විනාශ කිරීමට ලක් කළ බවත්, ඉතිරි 98න් 43 ක් පොහොර නිපදවීම සඳහා යොදා ගත් බවත්, තවත් 40ක් ප්‍රතිඅපනයනය කළ බවත්, තවත් 15ක් මෙරට තවමත් ඉතිරිව පවතින බවත් මෙහිදී අනාවරණය විය.2023 ජූලි මාසයේදී සිදු කළ භෞතික පරීක්ෂාවකදී ඉතිරි වී ඇති බහාලුම් 15 ඇති නරක් වූ මාළුවලින් අධික දුගද වහනය වන බවට නිරීක්ෂණය වී ඇති බවද කාබනික පොහොර සෑදීමට යැයි පවසමින් රට තුළට ගත් මාළු බහාලුම් මෙලෙස ප්‍රතිඅපනයන කිරීමත් ගැටලු සහගත බවද සාකච්ඡා කෙරිණ.එසේම පොහොර සෑදීම සඳහා මෙම මාළු තොගය ලබාගත් සමාගමේ ප්‍රධාන ව්‍යාපාරය, සැමන් නිෂ්පාදනය කිරීම වීම ගැටලු සහගත බවත් විගණකාධිපතිවරයා පැවසීය. කෙසේ වෙතත් ඒ සම්බන්ධයෙන් පැමිණ සිටි රේගු නිලධාරීන් පැවසුවේ එය ව්‍යාපාර දෙකක් බවත්, සැමත් සෑදීම සඳහා මෙම මාළු යොදා නොගත් බවට නිලධාරීන් සාක්ෂි දරන බවත්ය.






පොලිස්පති දේශබන්දුට එරෙහි නීතිපති ගොනුකළ අභියාචනය සලකා බැලීම ඔක්තෝබර් 03දා

 


බුද්ධිමාල් රුබේරු

‘ගෝඨා ගෝගම' අරගල භූමියේ රැඳී සිටි අරගලකරුවන්ට පහරදීමේ සිද්ධියේ සැකකරුවෙකු වශයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කරන්නැයි ඉල්ලා තමන් නිකුත් කළ ලිපිය බලරහිත කරමින් අභියාචනාධිකරණය නිකුත් කළ රිට් ආඥාවට එරෙහිව නීතිපතිවරයා ගොනු කර ඇති අභියාචන පෙත්සම ඔක්තෝබර් 03වැනිදා සලකා බැලීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ ඊයේ (25දා) දින නියම කළේය.

ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන එස්. තුරේරාජා, ශිරාන් ගුණරත්න සහ අචල වෙන්ගප්පුලි යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඬුල්ල හමුවේ පෙත්සම සලකා බැලිණ. නීතිපතිවරයා ගොනු කර ඇති මෙම අභියාචන පෙත්සමේ වගඋත්තරකරු වශයෙන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කර ඇත.

'ගෝඨා ගෝගම' අරගල භූමියේ රැඳී සිටි අරගලකරුවන්ට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එවකට නියෝජ්‍ය පොලිස්පතිවරයෙකු වශයෙන් සිටි වත්මන් පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා නම් කරන්නැයි දැනුම් දෙමින් 2022 අප්‍රේල් 19 වැනිදා නීතිපතිවරයා විසින් නිකුත් කළ ලිපියට එරෙහිව දේශබන්දු තෙන්නකෝන් මහතා අභියාචනාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කළ බව අභියාචන පෙත්සමේ සඳහන් වේ.එම පෙත්සම සලකා බැලූ අභියාචනාධිකරණය දේශබන්දු තෙන්නකෝන් මහතා අදාළ සිද්ධියේ සැකකරුවකු වශයෙන් නම් කරන්නැයි දැනුම් දෙමින් 2022 අප්‍රේල් 19 වැනිදාතමින් යුතු ලිපිය බල රහිත කරමින් රීට්  ආඥාවක් නිකුත් කළ අතර ඊට එරෙහිව නීතිපතිවරයා මෙම අභියාචන පෙත්සම ගොනු කර ඇත.



ඇෆ්ගන් කාන්තාවන්ට යළි අවස්ථාවක් දෙන ප්‍රංශයේ බෙගම් ටීවී








ඇෆ්ගනිස්තානයේ යළිත් ක්‍රියාත්මක තලේබාන් පාලනය හේතුවෙන් දරුණු ලෙස පීඩාවට පත්ව සිටින එරට කාන්තාවන් වෙනුවෙන් යම්කිසි සහනයක් ලබාදීමේ අරමුණින් ප්‍රංශය කේන්දු කරගත් නව චන්ද්‍රිකා රූපවාහිනි නාලිකාවක් 'බෙගම් ටීවී' නමින් පසුගියදාට යෙදුණු ලෝක කාන්තා දිනයේදී ආරම්භ වී තිබේ.පැරිස් අගනුවර පිහිටි මැදිරි සංකීර්ණයක සිට විකාශය කෙරෙන මෙම රූපවාහිනී නාලිකාවේ නිර්මාතෘවරිය වන්නේද ඇෆ්ගනිස්තාන-ස්විට්සර්ලන්ත ව්‍යවසායිකාවක වන හමීඩා අමාන්ය. මෙම රූපවාහිනි නාලිකාව හරහා ඇෆ්ගනිස්තාන ගැහැනු දරුවන්ට සහ කාන්තාවන්ට තලේබාන් සංවිධානය විසින් අහිමිකර ඇති අධ්‍යාපනය ලැබීමේ අයිතිය ඔවුන් වෙත ලබාදීම අපේක්ෂාවයි.

“මෙහි අරමුණ වෙන්නේ පාසල් අධ්‍යාපනය සහ දැනුම  නිවෙස් තුළට රැගෙන යාමයි. ඒ වගේම, තොරතුරු සහ විනෝදාස්වාදනය හරහා ලැබෙන සුළු සතුටක් සමග කාන්තාවන්ගේ සිත් සුවපත් කිරීමත් අපේක්ෂාවයි." යනුවෙන් ඇය පවසයි.පැරිසියේ ක්‍රියාත්මක කාන්තාවන් සදහා වන රාජ්‍ය නොවන සංවිධානයක් වන බෙගම් සංවිධානය මෙම නාලිකාව පිටුපස සිටියි. දැනටමත් ඔවුන් ගුවන් විදුලි නාලිකාවක්ද පවත්වා ගෙනයයි. අලුත් ආරම්භවූ මෙම රූපවාහිනි නාලිකාවේ තිරය පිටුපස සිටිමින් බොහෝ රාජකාරි කරන්නේ කාන්තාවන්ය.

මෙම නාලිකාවේ වැඩසටහන් ඉදිරිපත් කරන්නේද තලේබාන් පාලනයට අකමැතිව එරටින් ප්‍රංශය වෙත පලාගිය ඇෆ්ගන් තරුණියන්ය. ඔවුන් ඇෆ්ගනිස්තාන රූපවාහිනි නාලිකාවන්හි දැකගත හැකි ආකාරයට සිය මුහුණ සම්පූර්ණයෙන්ම ආවරණය කරගනිමින් කැමරාව ඉදිරියේ පෙනී නොසිටීම මෙහි ඇති විශේෂත්වයයි.මේ නිවේදිකාවන් අතරින් එක් අයෙකු වන 25 හැදී දීබා  අක්බාරි ඉතාමත් හොදින් සිය වැඩසටහන මෙහෙයවයි.

එම වැඩසටහන් අතර ඇෆ්ගනිස්තානය තුළ කාන්තාවන් මුහුණදෙන විවිධාකාරයේ ප්‍රචණ්ඩ ක්‍රියාවන් පිළිබදව සාකච්ඡා කිරීමක්ද සිදු කෙරේ.“ඇෆ්ගනිස්තාන පිරිමියෙකු කාන්තාවක හා විවාහ වීමත් සමග ඇය නිවසේ මුල්ලකට වැටෙනවා. ඇය ගෙදර වැඩවලට පමණක් සීමා කෙරෙනවා. ඇයට තියන්නේ ජීවිත කාලය පුරාම දරුවන් වැදීම පමණයි. කොහොම නමුත් ඇයගේ අධ්‍යාපනික කටයුතු සහ යම් පුහුණුවක් ලැබීමේ අවස්ථාව වැළැක්වීම ප්‍රචණ්ඩත්වයක්. ” යනුවෙන් අක්බාර් පවසයි.

2021 අගෝස්තු මාසයේදී ඇෆ්ගනිස්තානයේ පාලනය තලේබාන්වරුන් යටතට පත්වීමත් සමග එරට කාන්තාවන් කෙරෙහි දැඩි සීමාවන් පැනවීමට ඔවුන් පියවර ගෙන තිබේ. එහිදී ඉස්ලාමීය ජනරජයක් ලෙස එරට ක්‍රියාත්මක ෂරියා නීතිය අනුවද කාන්තාවන් ප්‍රසිද්ධ ස්ථානවලින් ඈත් කර ඇති අතර, ඔවුන් අනිවාර්යයෙන්ම සිය මුහුණ වසාගෙන සිටිය යුතු බව දැනුම් දී තිබේ.එසේම ගැහැණු දරුවන් සහ කාන්තාවන්ට පාසල් සහ විශ්වවිද්‍යාල අධ්‍යාපනය තහනම් කර ඇති අතර, රජයේ රැකියවන්හි නිරත වූ කාන්තාවන් දහස් ගණනකටද එම රැකියා අහිමි වී ඇත. ඒ වෙනුවට ඔවුන්ට වැටුප් සහිතව නිවෙස්වලට වී සිටින ලෙස දැනුම්දී තිබේ. මෙම නාලිකාවේ දෛනික වැඩසටහන් පෙළගැස්ම යටතේ වැඩි කාලයක් ද්විතියික අධ්‍යාපනික වැඩසටහන් විකාශය කරයි. ඒවා ඩාරි සහ පෂ්ටෝ  යන ඇෆ්ගන් භාෂාවලින් නිෂ්පාදනය කෙරේ. පෙරවරුවේදී විකාශය වන වැඩසටහන නැවතත් සන්ධ්‍යාවේදීද විකාශය කරයි.එසේම,ඇෆ්ගනිස්තාන ජාතික විෂයමාලාව ආවරණය වන පරිදි සකස් කළ වීඩියෝපට 8,500ක්ද මෙම නාලිකාව මගින් නිෂ්පාදනය කර සිය සහෝදර වෙබ් අඩව්ය වෙත එක්කර තිබේ. අන්තර්ජාල පහසුකම සහිත ඕනෑම අයෙකුට මේවා නැරඹිය හැකිය.

මේ අතර, සෑම දිනකට සන්ධන ගුවන් කාලය පැය තුනක විනෝදාස්වාදන වැඩසටහන් වෙනුවෙන් වෙන් කිරීමටද නාලිකාව කටයුතු කර තිබේ. එහිදී ශරීර සෞඛ්‍ය වැඩසටහන් මෙන්ම මානසික සෞඛ්‍ය පිළිබඳ වැඩසටහන්ද පවතී.තලේබාන් සංවිධානය මගින් කාන්තාවන්ට බාහිර සමාජය සමග පවත්වන සබදතා සම්බන්ධයෙන් බොහෝ සීමා පැනවුවද මෙම කාන්තාවන් නිවෙස්වලටම වී සිටීමත් සමග ඔවුන්ට රූපවාහිනී නාලිකා වෙත යොමුවීමේ අවස්ථාවක් උදාවීම 'බෙගම්  ටීවී' හි උත්සාහය යම් තරමකින් හෝ සාර්ථකවීමට හේතුවකි.බී.බී.සී. ආයතනය පවා සිදුකළ සමීක්ෂණයකට අනුව අද වනවිට ඇෆ්ගනිස්තානයේ ජනගහනයෙන් 80%ක ප්‍රතිශතයක් දෛනිකව රූපවාහිනිය නරඹන බව අනාවරණයවී තිබේ.



Monday, March 25, 2024

රිය අනතුරින් මියගිය තරුණියගේ අවයව දන්දෙයි









• අනුරාධපුර - බී.ජී. චතුරංග


රිය අනතුරකින් බරපතළ තුවාල ලබා අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි 21 හැවිරිදි තරුණියක් පෙරේදා (23දා) ජීවිතක්ෂයට පත් වීමෙන් පසු ඇගේ අවසන් කැමැත්තට අනුව අක්ෂි යුගළය, අක්මාව සහ වකුගඩු දන්දීම ඊයේ (24දා) සිදු කෙරිණි. අනුරාධපුර රඹෑව, කෑදෑව, සියඹලාගස්වැව ප්‍රදේශයේ පදිංචිව සිටි උපේක්ෂා සඳමාලි සේනාරත්න (21) නමැත්තියගේ අවයව මෙසේ පරිත්‍යාග කරන ලදී.

දිවයිනේ ප්‍රසිද්ධ සුපිරි වෙළෙඳ සැල් ජාලයක අනුරාධපුර ශාඛාවේ, වෙළෙඳ සේවිකාවක ලෙස සේවයේ නිරතව සිට ඇති ඇය ඉකුත් (08දා) රඹෑව මහා විද්‍යාල ක්‍රීඩා පිටියේ පැවති සංගීත ප්‍රසංගයක් නැරඹීමෙන් පසු පසුදා (9දා) අලුයම නිවසට යාමට සූදානම් වූ අවස්ථාවේදී කැබ් රථයක ගැටීමෙන් අනතුරට ලක්ව බරපතළ තුවාල ලබා තිබිණි.

අනතුරින් බරපතළ තුවාල ලැබූ ඇය අනුරාධපුර ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියදී පෙරේදා (23දා) ජීවිතක්ෂයට පත්වූවාය.ඇගේ පියා වන විශ්‍රාමික කෘෂිකර්ම පර්යේෂණ සහකාර වරයෙකු වූ, සී.එම්. සේනාරත්න මහතා සඳහන් කළේ, සිය දියණියගේ අවසන් කැමැත්ත අනුව ඇගේ අක්ෂි යුගළය, වකුගඩු සහ අක්මාව පරිත්‍යාග කළ බවයි.

වසර 10කට අධික කාලයක් යතුරුපැදි සොරාගත් කල්ලියක 4ක් දැලේ -යතුරුපැදි 116ක අංක තහඩු සොයා ගැනේ









අනුරාධපුර - බී.ජී  චතුරංග

දිවයිනේ විවිධ ප්‍රදේශවල යතුරුපැදි සොරකම් කර, කොටස්වලට ගලවා එම යතුරුපැදි අමතර කොටස් විකිණීමේ ජාවාරමක නිරත වූ පුද්ගලයන් හතරදෙනකු පෙරේදා (23දා) අත්අඩංගුවට ගත් බව අනුරාධපුර කොට්ඨාස විමරිශන අංශය සදහන් කරයි. අනුරාධපුර ශ්‍රාවස්තිපුර අලුත් වැව, දඹුල්ල කිතුල්හිටියාව, මිරිස්ගෝනියාව හන්දිය, හීන් මොරගොල්ල යන ප්‍රදේශවල පදිංචි 29 - 44 හැදි සිවුදෙනෙක් මෙසේ අත්අඩංගුවට පත්ව සිටිති. සැකකරුවන් සතුව තිබූ යතුරුපැදි අංක තහඩු 116 ක්ද පොලිස් භාරයට ගනු ලැබ තිබේ.

රාජාංගණය, පහළමාරගහවැව කෝමාරිකා වගා ව්‍යාපෘති භූමියක පසුගියදා පැවති සංගීත ප්‍රසංග මාලාවක් අතරතුරදී සොරකම් කරන ලද යතුරුපැදි දෙකක් සම්බන්ධයෙන් සිදු කළ, දීර්ඝ විමර්ශනයකින් අනතුරුව මෙම ජාවාරම සම්බන්ධයෙන් වැදගත් කරුණු රැසක් හෙළි කර ගැනීමට හැකි වූ බවද පොලීසිය කියයි.මෙම ජාවාරමේ නිරත ප්‍රධාන සැකකරු සංගීත ප්‍රසංග භූමියේදී යතුරුපැදියක් සොරකම් කර එය රැගෙන යමින් සිටියදී එය ලොරියක ගැටීමත් සමග එම ස්ථානයේ දමා නැවතත් සංගීත ප්‍රසංග භූමියට පලා ගොස් තවත් යතුරුපැදියක් සොරකම් කිරීමට අදාළ පැමිණිල්ලක් සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කිරීමේදී සැකකරු අත්අඩංගුවට ගත් බව පොලීසිය කියයි.රාජාංගණය ප්‍රදේශයෙන් සොරකම් කරන ලද එම යතුරුපැදිය ප්‍රධාන සැකකරු‚ දඹුල්ල නගරයේ පදිංචි ඔහුගේ මිතුරෙකු සමග සම්බන්ධ වී කිතුල්හිටියාව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයෙකුට රුපියල් 50,000ක මුදලකට විකුණා තිබූ බවද පොලීසිය කියයි.

එම යතුරුපැදිය මිලදීගත් පුද්ගලයා, දඹුල්ල මිරිස්ගෝනියාව ප්‍රදේශයේ ප්‍රසිද්ධ යතුරුපැදි අමතර කොටස් විකිණීමේ ආයතනයකට එය රුපියල් 85,000ක මුදලකට විකුණා ඇති අතර, විමර්ශන සිදු කරන අවස්ථාවේදී එම යතුරුපැදියේ අංක තහඩු පමණක් ඉතිරිව තිබූ බව පොලීසිය පවසයි.වැඩිදුර විමර්ශන  සිදු කිරීමේදී එම යතුරුපැදි අමතර කොටස් අලෙවි සැලේ සකසා තිබූ විශේෂිත රහස් කුටියක තිබී, යතුරුපැදි අංක තහඩු 116ක් සොයාගත් බවද පොලීසිය සඳහන් කළේය.මෙම ජාවාරම, වසර දහයකට වැඩි කාලයක සිට සිදු කරගෙන ගොස් ඇති බවට මූලික විමර්ශනවලදී අනාවරණය වූ බවද පොලීසිය කීය.අත්අඩංගුවට ගත් මෙම යතුරුපැදිවල අංක තහඩුවලට අදාළ යතුරුපැදිවල නීත්‍යනුකූල හිමිකරුවන් සොයා ගැනීමට මොටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව දැනුවත් කරන බවද පොලීසිය පවසයි.



උපාධිධාරීන් 40,000කට රැකියා නෑ- රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය






ඉන්දික හේවාවිතාරණ 


උපාධිධාරීන්ට රැකියා ලබා දීමට වැඩපිළිවෙළක් සකස් නොකිරීම නිසා මේ වන විට 40,000කට ආසන්න උපාධිධාරීන්  පිරිසක් රැකියා විරහිතව සිටින බව රැකියා විරහිත උපාධිධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

කඩිනමින් රැකියා ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට බලධාන්ගෙන් දිගින් දිගටම ඉල්ලීම් සිදුකළත් මෙතෙක් රැකියා විරහිත උපාධිධාරීන්ට රැකියා ලබා දීමට වැඩපිළිවෙළක් සකස් කිරීමට බලධාරීන් කිසිදු උනන්දුවක් නොදක්වන බවද එම සංගමයේ මාතර දිස්ත්‍රික් නියෝජිත සුමිත් රත්නායක මහතා සඳහන් කළේය.ඊයේ (24) කොළඹ ගුරු මැදුරේදී පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව සඳහන් කළ සුමිත් රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ, ගුරු සේවය ඇතුළු රාජ්‍ය අංශයේ විශාල පුරප්පාඩු ප්‍රමාණයක් ඇති වී තිබෙන නිසා අදාළ පුරප්පාඩු ගණනය කර උපාධිධාරීන් බඳවා ගැනීමට වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවයි.

මෙම ඉල්ලීම් මුල් කර ගනිමින් අප්‍රේල් මස පළමු සතියේ දිනක කොළඹදී දැවන්ත විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට සැලසුම් කර තිබෙන බවත් 2020 වසරේ ජනවාරි 01වන දින සිට උපාධිය ලබා ගත් පිරිස් මේ ආකාරයට රැකියා ව්රහිතභාවයට පත් වී තිබෙන බවද ඔහු පවසා සිටියේය.උපාධිධාරීන්ට රැකියා ලබා දෙන ලෙස ඉල්ලා පළාත් මට්ටමින් ආණ්ඩුකාරවරුන්ට හා දේශපාලනඥයන් සංදේශ පවා භාර දී තිබෙන බවත් ඒ සඳහා කිසිදු ප්‍රතිචාරයක් නොලැබුණ නිසා සියලුම පළාත්වල සිටින රැකියා විරහිත උපාධිධාරීන් ඒකාබද්ධ වී දෙමාපියන්ද සම්බන්ධ කර ගනිමින් විරෝධතා ව්‍යාපාර පැවැත්වීමට කටයුතු කරන බවද පැවසීය.



ගැබ්ගෙල පිළිකා වැළැක්වීමේ එන්නත් මාස 6ක් තිස්සේ ලබාදී නෑ - විශේෂඥ වෛද්‍ය චමල් සංජීව







• පියුමිකා වීරසූරිය


ජාතික ප්‍රතිශක්තිකරණ වැඩසටහන යටතේ ගැහැනු දරුවන් සඳහා ලබාදෙන හියුමන් පැපිලෝමා වෛරස (HPV) එන්නත් දැනට මාස හයකට අධික කාලසීමාවක් මුළුල්ලේ මෙරට ප්‍රතිශක්තීකරණ වැඩසටහන තුළ ක්‍රියාත්මක නොවන බව, වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබඳ වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති, විශේෂඥ වෛද්‍ය චමල් සංජීව මහතා පෙන්වා දෙයි. කාන්තාවන් තුළ පසුකාලීනව ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ අවදානම පහත හෙළීම සඳහා මෙම එන්නත ලබාදීම ඉතා වැදගත්ය. වෛද්‍ය චමල් සංජීව මහතා සඳහන් කරන්නේ, සාමාන්‍යයෙන් හය ශ්‍රේණියේ අධ්‍යාපනය ලබන ගැහැනු දරුවන් සඳහා මෙම එන්නත ලබාදෙන අතර, පසුගිය වර්ෂයේද ලබා නොදීම නිසා ලබන වසර වන විට එන්නත ලබා ගැනීමට අපේක්ෂා කරන ගැහැනු දරුවන් ප්‍රමාණය වැඩි වීම. ගැටලුවක් විය හැකි බවයි.

එබැව්න් ප්‍රතිශක්තීකරණ වැඩසටහනේදී මෙම එන්නත ලබාදීම සම්බන්ධයෙන් දැනට ඇතිවී ඇති ගැටලු සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා ඉක්මන් අවධානය යොමු කිරීම ඉතා වැදගත් බව ඔහු අවධාරණය කරයි.ලෝක සෞඛ්‍ය සංවිධානය (WHO) HPV එන්නත් නිර්දේශ කරනුයේ සියලුම රටවල සාමාන්‍ය එන්නත්වල කොටසක් ලෙසය. HPV එන්නත් සඳහා පුද්ගලයාගේ වයස සහ ප්‍රතිශක්තීකරණ තත්ත්වය අනුව මාත්‍රා දෙකක් හෝ තුනක් අවශ්‍ය වේ.වයස අවුරුදු නවයේ සිට දහතුන දක්වා ගැහැනු ළමයින්ට එන්නත් කිරීම  සාමාන්‍යයෙන් නිර්දේශ කෙරේ. එන්නත් අවම වශයෙන් වසර 5 සිට 10 දක්වා ආරක්ෂාව සපයයි. එන්නත් කිරීමෙන් පසුව ගැබ්ගෙල පිළිකා පරීක්ෂාව තවමත් අවශ්‍ය වේ. ජනගහනයෙන් විශාල කොටසකට එන්නත් කිරීම එන්නත් නොකළ අයටද ප්‍රයෝජනවත් විය හැක.

හියුමන් පැපිලෝමා වෛරසය (HPV) එන්නත් යනු මානව පැපිලෝමා වෛරස (HPV) මගින් ආසාදනය වීම වළක්වන එන්නතකි. පවතින HPV එන්නත් HPV වර්ග දෙකකින්, හතරකින් හෝ නවයකින් ආරක්ෂා කරයි. සියලුම HPV එන්නත් අවම වශයෙන් HPV වර්ග 16 සහ 18කට එරෙහිව ආරක්ෂා කරයි. එය ගැබ්ගෙල පිළිකා ඇතිවීමේ විශාලතම අවදානම නැති කරයි. 19 HPV එන්නත් මගින් ගැබ්ගෙල පිළිකාවලින් 70%ක්ද, ගුද පිළිකාවෙන් 80%ක්ද, යෝනි පිළිකාවලින් 60%ක්ද, යෝනි මාර්ගයේ පිළිකාවලින් 40%ක් සහ HPV ධනාත්මක oropharyngeal පිළිකා වැළැක්වීමේ 90%කට වඩා වැඩි කාර්යක්ෂමතාවයක් පෙන්නුම් කරන බව ගණන් බලා ඇත.



විශේෂ කාර්ය බළකායට තුවක්කු දී තිබෙන්නේ අතගගා ඉන්න නෙවෙයි ,ප්‍රජා පොලිස් කමිටු ගැන අසත්‍ය තොරතුරු දුන් නිලධාරීන්ට එරෙහිව උපරිම ක්‍රියාමාර්ග ගන්නවා- මහජන ආරක්ෂක ඇමති ටිරාන් අලස්

 








රත්නපුර - ඒ.ජී. වික්‍රමසිංහ/ලසන්න නිරෝෂන/ අජිත්ලාල් ශාන්න උදය.


රටේ සියලු දූ දරුවන් වෙනුවෙන්, අනාගත පරපුර වෙනුවෙන් පාතාලය හා මත් ද්‍රව්‍ය මෙරටින් වැඩි දිනක් යෑමට පෙර තුරන් කරන බවත්, විශේෂ කාර්ය බළකායට තුවක්කු දී තිබෙන්නේ අත ගගා ඉන්නට නොවන බවත් මහජන ආරක්ෂක ඇමති ට්රාන් අලස් මහතා පැවසීය. රත්නපුර දිස්ත්‍රික්කයේ පොලිස් ප්‍රජා ආරක්ෂක කමිටු සාමාජිකයන් දැනුවත් කිරීමේ වැඩසටහනක් කුරුවිට ග්‍රෑන්ඩ් ගාඩියන් හෝටලයේ පැවති අවස්ථාවේ ඇමති ට්රාන් අලස් මහතා එසේ පැවසීය.මෙහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ඇමති ට්රාන් අලස් මහතා මෙසේද කීය. "මම මේ ඇමතිකම භාර ගත්තාට පසුව පොලිස් නිලධාරීන්ට කීවේ කිසිම වැරදි වැඩකට අත ගහන්න එපා කියලයි. කුඩු ව්‍යාපාරයේ පාර්ශ්ව 3ක් සිටිනවා. මහා පරිමාණයේ ජාවාරමිකාරයන් ඉන්නවා. මුහුදු මාර්ගයේ ප්‍රවාහනය කරනවා, අපි ඒ සම්බන්ධව නාවික හමුදාවට සහ අදාළ ආරක්ෂක අංශවලට යොමු කර තිබෙනවා.අපි කියා තිබෙන්නේ කුඩු බොන අය අමතක කරන්න කියා. මට ඕනෑකම තිබුණේ කුඩු විකුණන ජාලය නැති කරන්නයි.යුක්තිය මෙහෙයුම පටන් ගත්තේ සෑම පෙදෙසකම කුඩු විකුණන අය සම්පූර්ණයෙන්ම ඒ ව්‍යාපාරයෙන් අයින් කරන්නයි.යුක්තිය මෙහෙයුම පටන් ගන්න කලින් ප්‍රජා පොලිස් කමිටු සමහර පැතිවල හරියට කරලා නැහැ. බොරු තොරතුරු දීලා තිබෙන එවැනි නිලධාරීන්ට විරුද්ධව ගන්න පුළුවන් උපරිම ඇක්ෂන් එක ගන්නවා.

මේ දේ කරන්න බැහැ සියලු දෙනාම එකට එකතු වෙලා කටයුතු කළේ නැතිනම්. කවුරු හරි ඉන්නවා නම් අපට ඕනැ විදියට වැඩ කරන්න බැරි අය, යුනිෆෝම් ගලවලා යන්න පුළුවනි. අපි සියලු දෙනා එකතු වෙලා කළොත් තමයි මේක ජයගන්න පුළුවන් වන්නේ. මේ ගම්වල නගරවල චණ්ඩි ඉන්න බැහැ.ඔබට පුළුවන් තොරතුරු සපයන්න. තොරතුරු දෙන අය ආරක්ෂා කරනවා. ඒ ගැන බිය නොවන්න. ඉස්සර තොරතුරු දෙන අයට හිරිහැර ආවා. දැන් ඒ යුගය අවසන්.නීති විරෝධී වැඩ කරන අය පසුපස අපි එළවනවා. පොලිස්පතිතුමාට, මට මේවා අයින් කරගන්න කියා කියනවා. කුඩු සල්ලි පාවිච්චි කරලා සමහර දේශපාලනඥයන් අල්ලනවා. නීතිඥයන් අල්ලනවා. ජාත්‍යන්තර  බලපෑම් එනවා. නවත්වන්න කියා නිවේදන එනවා. කවුරු බලපෑම් කළත්, අපි මෙරට කුඩු සහ පාතාලය ශුද්ධ කරන තෙක් මෙහෙයුම නතර කරන්නේ නැහැ.මම පොලිස් නිලධාරීන්ට කියා තිබෙන්නේ කොයි ලොක්කා ටෙලිපෝන් කරලා බලපෑම් කළත් කරන්න එපා කියලයි. දේශපාලනඥයන් කෝල් කරලා කීවත් කරන්න එපා. ප්‍රශ්නයක් තිබෙනවා නම් මට කියන්න මම දේශපාලනඥයා සමඟ බලා ගන්නම්”.පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතා අදහස් දක්වමින් මෙසේ පැවසීය.

"ප්‍රජාවගේ දායකත්වය නැතිව රටේ ජාතික ආරක්ෂාව තහවුරු කරන්න අමාරුයි. අපරාධ ,මත් ද්‍රව්‍ය දුරු කරන්න අමාරුයි. පොලීසියට දිවැස් නැහැ, හැම ගෙයක් ගානේම ගිහින් කුඩු තියෙනවාද කියා සොයන්න. ඒ නිසා අපට ගමේ මිනිසුන් අවශ්‍යයි.විශාල වගකීමක් තිබෙන, නෛතික බලයක් තිබෙන පොලීසිය පිළිගන්න බිම් මට්ටමේ ක්‍රියාත්මක වන කමිටු තමයි ප්‍රජා පොලිස් කමිටු.මම සබරගමුවට එව්වා ප්‍රජා පොලිස් කණ්ඩායමක්. ඒ අයට ප්‍රජා පොලිස් කමිටු සමිබන්ධව දීලා තිබෙන තොරතුරු සත්‍යයෙන් තොරයි කියා ඒ නිලධාරීන්  මට කීවා.මෙහෙම ගියොත්, අපි අපිම රවට්ටා ගත්තොත් අවසානයේදී කමිටුවෙන් අපේක්ෂා කරන දේ සිදුවන්නේ නැහැ. අද ලෝකයේම ප්‍රජා පොලිස් කමිටු පිළිගෙන තිබෙනවා.යුක්තිය මෙහෙයුම තුළ අදවන විට අත්අඩංගුවට ගෙන ඇති මත්ද්‍රව්‍ය වල වටිනාකම මිලියන 8993ක් වෙනවා. සැකකරුවන් 70,000ක් පමණ අත්අඩංගුවට ගෙන තිබෙනවා. සමහරු කියනවා මේවා මාධ්‍ය සංදර්ශන කියලා. මේවා මාධ්‍ය සංදර්ශන නොවෙයි”.

විශේෂ කාර්ය බලකායේ අණදෙන නිලධාරී  වරුණ ජයසුන්දර, සබරගමුව කොට්ඨාස ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පපති සංජීව ධර්මරත්න යන මහත්වරුද මෙහිදී අදහස් දැක්වූහ. නියෝජ්‍ය පොලිස්පති පවිත්‍ර දයාරත්න, අමාත්‍යාංශයේ ලේකම් වියානි  ගුණතිලක, සබරගමුව පළත් සභා ලේකම් මහින්ද එස්. වීරසූරිය යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.මෙහිදී රත්නපුර දිස්ත්‍රික්කයේ මත්ද්‍රව්‍ය වැටලීම් සිදුකරන ජාවාරමිකරුවන් සමග මත්ද්‍රව්‍ය අත්අඩංගුවටගත් පොලිස් නිලධාරීන්ට මුදල් ත්‍යාගද පිරිනැමිණ.