Showing posts with label crime g7. Show all posts
Showing posts with label crime g7. Show all posts

Monday, January 8, 2024

දරු දෙදෙනාට වස පොවන්න හැදූ සැමියා බිරියගේ පිහි පහරින් මරුට

සිය දරුවන් දෙදෙනාට වස පෙවීමට උත්සාහ කළැයි කියන දෙදරු පියකු බිරිය විසින් එල්ල කරන ලද පිහි පහරකින් මරණයට පත්ව ඇතැයි මහියංගණය පොලිසිය කියයි.

මහියංගණ,කපුරුගස්මුල්ල ප්‍රදේශයේ නිවසක පෙරේදා (06) රාත්‍රියේදී ඇති වූ පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් විශ්‍රාමික හමුදා නිලධාරියකු එසේ මියගොස් ඇතැයි පොලිසිය කියයි. සැමියාගේ නිරන්තර පහරකෑම්වලට වධහිංසාවලට කාලයක් මුළුල්ලේ කාන්තාව ලක්ව ඇති අතර, ඒ සෑම අවස්ථාවකම මරණීය තර්ජන කරමින් දරුවන්ට හා බිරිඳට වස පොවන බවට මරණකරු තර්ජනය කර ඇත.

බිරිඳගේ මවගේ නිවසේ රැඳී සිටි දරුවන් හා බිරිඳ මීට දින කිහිපයකට ප්‍රථම නැවත ආරවුල් ඇති කර නොගන්නා බවට පොරොන්දු දෙමින් යළි නිවසට රැගෙන විත් පෙරේදා (6) රාත්‍රි 10ට පමණ බීමතින් බිරිඳ සමග රණ්ඩු වී ඇති අතර, එම අවස්ථාවේදී වස පොවනු ඇති බවට සැකයක් ඇති වී අතර රණ්ඩුව දුරදිග ගොස් ඇය සැමියාගෙන් බේරීම හා ආත්මාරක්ෂාව පතා සැමියාගේ කකුලට පිහි පහරක් එල්ල කර දරුවන් දෙදෙනා සමඟ පලා ගොස් සැමියාගෙන් සිදුවන කරදර පිළිබඳව මහිංගණ පොලිසියට නැවතත් පැමිණිල්ලක් කර ඇත. පිහි ප්‍රහාරයට ලක් වූ පුද්ගලයා රෝහල් ගත කිරීමට කිසිවකු නොමැති වීම හේතුවෙන් රුධිර වහනය අධික ලෙස සිදුවීම නිසා ඔහු නිවස තුළම මිය යන්නට ඇති බවට පොලිසිය විශ්වාස කරන අතර, පිහි ප්‍රහාරයට ලක්වූ පුද්ගලයා රාත්‍රියේ රෝහල් ගතකරන විටත් මියගොස් සිට ඇත.

බිරිඳ එල්ලා මරණ බවට තර්ජනය කරමින් දිනක් නිවසේ බාල්කයක කඹයක් ගැට ගසා තිබූ බවද පවුලේ ඥාතීන් පැවැසූ බව පොලිසිය කියයි.

දරුවන්ට හා බිරිඳට පෙවීම සඳහා වස බෝතලයක්ද ඔහු සූදානම් කර තිබූ බව නිවැසියන් පොලිසියට කියා ඇත.

මිය ගොස් ඇත්තේ මහියංගණය, සොරබොර පදිංචිව සිටි වයස 42ක විශ්‍රාමික යුද හමුදා නිලධාරියෙකි.

පිහි ප්‍රහාරය කළ බව කියන බිරිය මහියංගණය පොලිසියට භාර වී ඇතැයි පොලිසිය කියයි. 

මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණයේ වැඩබලන මහේස්ත්‍රාත් එස්. ගොවින්ද මහතා පෙරේදා (6) දහවල් මහේස්ත්‍රාත් පරීක්ෂණය සිදු කළේය. 

මීට සති කිහිපයකට ඉහත දී බිරියට කළ පහර දීමක් හේතුවෙන් මෙම මරණකරු පොලිස් අත්අඩංගුවට ගෙන මහියංගණ මහේස්ත්‍රාත් අධිකරණය විසින් රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබ සිට ඇප මත නිදහස්ව පැමිණ ඇත.

මහියංගණ පොලිසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

                                                                                                                   මහියංගණ - රංජිත් කරුණාවීර


Wednesday, September 6, 2023

ශබ්දෙට තිබූ කැසට් එක නිව්වයි පියා මරලා

අධික ශබ්දයක් නැගෙන සේ ක්‍රියාත්මක කර තිබූ කැසට් යන්ත්‍රය ක්‍රියා විරහිත කළ බව කියන 64 හැවිරිදි පියාට පහර දී ඝාතනය කළේ යැයි කියන26හැවිරිදි පුතා දංකොටුව පොලීසිය විසින් පෙරේදා (4) රාත්‍රියේ අත්අඩංගුවට ගනු ලැබීය.

මෙසේ ඝාතනය කර ඇත්තේ දංකොටුව, යෝගියාන ප්‍රදේශයේ පදිංචිව සිටි හෙට්ටිආරච්චිගේ ආනන්ද නමැති තිදරු පියෙකි.

පසුගිය තිස් එක් වැනිදා රාත්‍රී කාලයේ සැකකරු නිවසේ තිබූ කැසට් යන්ත්‍රය අධික ශබ්දයක් නැගෙන ආකාරයට ක්‍රියාත්මක කර තිබූ නිසා එහි ශබ්දය අඩු කරන ලෙස පියා පුතාට දැනුම් දී ඇතැයි කියති.

කැසට් යන්ත්‍රයේ ශබ්දය අඩු නොකළ නිසා පියා එය ක්‍රියා විරහිත කර දැමූ අවස්ථාවේ දෙදෙනා අතර ඇති වූ බහින්බස් වීමකින් මෙම පහරදීම සිදු කර ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය කියයි.

පහර කා බිම ඇද වැටුණු පියා සැකකරු විසින්ම දංකොටුව රෝහලට රැගෙන ගොස් බාර දී ඇතැයි පොලිසිය සඳහන් කරයි. 

පියා නිවස ඉදිරිපිට පාරේ රැඳී සිටිය දී නාඳුනන පුද්ගලයින් කිහිප දෙනෙකු පැමිණ පහර දුන් බව සැකකාර පුතා රෝහල් බලධාරීන්ට දැනුම් දී තිබිණි යැයි ද පොලීසිය පැවසීය.

මූලික ප්‍රතිකාර වලින් පසු ආනන්ද නමැත්තාව වැඩිදුර ප්‍රතිකාර සඳහා මීගමුව මහ රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබමින් සිටිය දී පෙරේදා (4) මියගොස් ඇත.

අසාධ්‍ය තත්ත්වයේ සිටි නිසා ආනන්ද නමැත්තාගෙන් ප්‍රකාශයක් ලබා ගැනීමට ද පොලිසියට හැකියාවක් තිබී නොමැත. 

නාඳුනන කණ්ඩායමක් නොව පුතා විසින් සිය පියාට පහරදීමක් සිදුකර ඇති බවට දංකොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමරවීර මහතාට තොරතුරක් ලැබී ඇත.

ලැබුණු එම තොරතුර ඔස්සේ පරීක්ෂණ පවත්වා හෙළි වූ තොරතුරු මත පියාට පහර දී මරා දැමූ බව කියන පුතා අත්අඩංගුවට ගනු ලැබීය.

අත්අඩංගුවට ගත් සැකකරුගෙන් පොලිසිය ප්‍රශ්න කිරීමේ දී පියාට පහර දීමට හේතු වූ කරුණු හෙළි වී ඇතැයි කියති.

වෙන්නප්පුව පොලිස් අධිකාරි වසන්ත කුමාර මහතාගේ උපදෙස් මත දංකොටුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සමරසිංහ මහතා ඇතුළු පොලිස් කණ්ඩායමක් සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

                                                                                                                ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


Monday, September 4, 2023

වැල්ලම්පිටියේ ත්‍රීරෝද රියැදුරු ඝාතනය ඩුබායි සිට බ්ලූමැන්ඩල් රවි කළ වැඩක්

වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයේදී ත්‍රිරෝද රථ රියැදුරකුගේ හිසට වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය ඩුබායි රටේ සැඟවී සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බ්ලූමැන්ඩල් රවී නමැත්තා විසින් මෙහෙය වූ එකක් බවට අනාවරණය වූ බව බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය කියයි.

එම ඝාතනයට ආධාර අනුබලදීම සහ කුමන්ත්‍රණය කිරීම සම්බන්ධයෙන් බ්ලූමැන්ඩල් රවී නමැත්තාගේ මෙරට මත්ද්‍රව්‍ය ජාවාරමේ මුදල් පරිපාලක ලෙස කටයුතු කරන කොටහේන, කොටහේන වීදිය ප්‍රදේශයේ පුද්ගලයකු හා ජාවාරමට සහ ඝාතන සිද්ධියට ඍජුව සහාය ලබා දුන් කාන්තාවක්ද පොලිස් අත්අඩංගුවට ගෙන ඇත.

එම සැකකරු සන්තකයේ තිබී එම මත්ද්‍රව්‍ය ජාවාරමෙන් උපයා ගත් බව කියන රුපියල් දාහත් ලක්ෂ පනස් නව දහසක (17,59,000) මුදලක්, අලුත්ම ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන 9ක් අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 10ක්, යතුරුපැදි, ත්‍රිරෝද රථ හා ලොරි රථ 21 කට අයත් ආදායම් බලපත හා රක්ෂණ සහතික 21ක් විවිධ බැංකු පොත් දහයක් සැකකරුගේ නිවසේ තිබී පොලිස් භාරයට ගෙන ඇත. 

කොළඹ 15 මෝදර මාදම්පිටිය පාර පදිංචිව සිටි මොහොමඩ් තමිම් මොහොමඩ් සාජාහාන් නමැත්තා ඉකුත් 28 වැනිදා උපක්‍රමශීලීව වැල්ලම්පිටිය කිත්තම්පහුව ප්‍රදේශයට ගෙන්වාගෙන හිසට වෙඩි තබා ඝාතනය කර තිබිණි.

එම ඝාතනය සම්බන්ධයෙන් බස්නාහිර පළාත් ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ උපදෙස් හා නියෝග මත බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසය මගින් විමර්ශන පවත්වා ඝාතනයට ලක්වූ පුද්ගලයා සමග අවසන් වරට දුරකතන සබඳතා පැවැත්වූ කාන්තාව වන සැකකාරිය කොළඹ 15 අලුත් මාවත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන කළ ප්‍රශ්න කිරීමේදී ඝාතනයේ සුලමුල අනාවරණය කර ගැනීමට හැකි වූ බව පොලිසිය කියයි.

ඉන්දියාවේ සිරගතව සිටින මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන ෆු කුඩු කන්නාගේ ප්‍රධාන ගෝලයා වන ඩුබායි රටේ සැඟවී සිටින බ්ලූමැන්ඩල් රවී නමැත්තා මෙරට මෙහෙය වන මත්ද්‍රව්‍ය ජාවාරමේ මුදල් භාරකරු ලෙස කටයුතු කරන සැකකරු සම්බන්ධයෙන් තොරතුරු අනාවරණය අනතුරුව එම සැකකරු ද අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

එම සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඝාතනය සිදුකර ඇත්තේ ඝාතනයට ලක්වූ ත්‍රීරෝද රථ රියැදුරු ප්‍රබල පාතාල නායකයකුගේ බිරිඳ සමඟ පැවැත් වූ අනියම් සම්බන්ධතාවකට පළිගැනීමට බව අනාවරණය වූ බව පොලිසිය සඳහන් කරයි.

එම ඝාතනයට ලක්වූ පුද්ගලයා මීට පෙර ඉන්දියාවේ සිරගතව සිටින ෆු කුඩු කන්නාගේ නැගණිය සමඟ ද අනියම් සබඳතාවක් පවත්වා තිබූ අතර එයට ෆු කුඩු කන්නා අවවාද කිරීමෙන් අනතුරුව එය නවතා දමා තිබූ බවද පොලිසිය කියයි.

බ්ලූමැන්ඩල් රවී නමැත්තා මත්ද්‍රව්‍ය ජාවාරමට සහ සෙසු අපරාධ සඳහා අලුත්ම ස්මාර්ට් වර්ගයේ ජංගම දුරකතන ඔහුගේ මුදල් පරිපාලකවරයාට එවා එක් අපරාධයක් සිදු කිරීමෙන් අනතුරුව එම දුරකතනය විනාශ කිරීම සඳහා උපදෙස් දී තිබූ බවද සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේදී අනාවරණය වූ බව පොලිසිය පවසයි.

ඉකුත් මස 1 වැනි දින සිට 27 වැනි දින දක්වා සැකකාරිය ඝාතනයට ලක්වූ ත්‍රිරෝද රථ රියැදුරු සමඟ කුලී ගමන් ගොස් හිතවත් වී ඇති අතර අනතුරුව ඩුබායිහි සිටින බ්ලූමැන්ඩල් රවීගේ උපදෙස් මත නිවසේ සිට ත්‍රිරෝද රථ රියැදුරුට දුරකතන ඇමතුමක් දී වැල්ලම්පිටියට ගෙන්වා ගෙන බව පොලිස් විමර්ශන වලදී වැඩිදුරටත් අනාවරණය වී ඇත.

සැකකරු සහ සැකකාරිය අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතය. 

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, නියෝජ්‍ය පොලිස්පති (අපරාධ) සරත් කුමාර, බස්නාහිර පළාත් දකුණු දිසාව අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ලලිත් අබේසේකර, ස්ථානාධිපති සුමිත් ජයසිංහ, පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර, පොලිස් සැරයන්වරුන් වන (40248) ප්‍රසන්න, (38723) රංජිත්, (72979) චමින්ද, (69598) අනිල්, ( 21284) බණ්ඩාර, පොලිස් කොස්තාපල්වරුන් වන (72338) ලලන්ත, (84762) කුමාර, (35145) හුමේශ්, (87699) චානක, (104675) කේසර, (20545) විජේවර්ධන, (80734) ජයතිලක මහත්වරු පරීක්ෂණ පවත්වති.

                                                                                                        බණ්ඩාරගම - බිමල් ශ්‍යාමන් ජයසිංහ 


Monday, August 28, 2023

කෙසෙල්වත්තේ හෝටලයක තරුණයා ඝාතනය: වෙඩික්කරු අත්අඩංගුවට

කෙසෙල්වත්ත මාටින් පෙදෙසේ හෝටලයක් තුළ දී ටී 56 ගිනි අවියකින් 20 හැවිරිදි තරුණයකු වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියේ ප්‍රධාන වෙඩික්කරු ගිනි අවියක් සමඟ අත්අඩංගුවට ගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි.

ගිනි අවිය සොයාගෙන ඇත්තේ කඩවත නිවසක් පිටුපස ප්ලාස්ටික් භාජනයක බහා වළ දමා තිබියදීය. එම ගිනි අවි සමඟ උණ්ඩ 20 ක් ද සිය බාරයට ගැනුණ බව පොලිසිය කියයි.

ගිනි අවියේ රහස් අංකය මකා තිබූ අතර එය ආරක්ෂක අංශ මගින් පරිහරණය කරන ලද එකක් බව ද බොහෝ දුරට සැක කළ හැකි යැයි පොලීසිය කියයි.

කොළඹ අපරාධ කොට්ඨාසයේ සංවිධානාත්මක අපරාධ විමර්ශන අංශයේ නව ස්ථානාධිපති ලෙස පත් වූ දුමින්ද ජයතිලක මහතාට ලද තොරතුරකට අනුව ඉකුත් 20 වැනිදා දින කඩවත ප්‍රදේශයේ දී රුපියල් ලක්ෂ 25 කට ආසන්න වටිනා අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 100 ක් සමග අත්අඩංගුවට ගත් සැකකරු රඳවා ගැනීමේ නියෝග මත සිදු කළ දීර්ඝ ප්‍රශ්න කිරීමේ දී කෙසෙල් වත්ත ඝාතනයේ ප්‍රධාන සැකකරු මෙන්ම වෙඩික්කරුවා ලෙසත් අනාවරණය වූ බව පොලිසිය කියයි.

ඊට අමතරව එම ගිනි අවිය සම්බන්ධයෙන් ද තොරතුරු අනාවරණය වූ බව පොලිසිය කියයි. එම ගිනි අවිය දැනට විදේශගතව සැඟව සිටින සංවිධානාත්මක අපරාධකරුවකු වන ගනේමුල්ල සංජීව නමැත්තා පුද්ගල ඝාතනයක් සඳහා සන්තකයේ තබාගන්නා ලෙස ලබාදුන් එකක් බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී ඇත.

කෙසෙල්වත්ත හෝටලය තුළදී විසි හැවිරිදි තරුණයාගේ ඝාතනය සිදු කළේ මීට දින කිහිපයකට ඉහතදී ඉන්දියාවේ දී ආරක්ෂක අංශ මගින් අත්අඩංගුවට ගත් බව කියන ඩනේශ් නමැත්තා ගේ හා ඩුබායිහි සැඟව සිටින ඉර්ෆොන් නමැත්තාගේ උපදෙස් මත බව සැකකරුගෙන් අනාවරණ වූ බව පොලිසිය කියයි.

සැකකරු අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව සිටී.

කොළඹ අපරාධ කොට්ඨාසය අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී නෙවිල් ද සිල්වා, ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ඇන්සලම් ද සිල්වා මහත්වරුන්ගේ උපදෙස් මත සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසයේ නව ස්ථානාධිපති පොලිස් පරීක්ෂක දුමින්ද ජයතිලක මහතාගේ මෙහෙයවීමෙන් විමර්ශන පැවැත්වේ.

                                                                                                            බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ 


Friday, August 25, 2023

රත්මලානේ වෙඩි තැබීමට රගර් ක්‍රීඩකයෙක් අත්අඩංගුවට

රත්මලාන දුම්රියපොළ අසල මස් වෙළෙඳසලක හිමිකරුට වෙඩි තබා ඝාතනය කිරිමේ සිද්ධිය සම්බන්ධයෙන් රගර් ක්‍රීඩකයකු අත්අඩංගුවට ගත් බව ගල්කිස්ස මූලස්ථාන පොලීසිය සඳහන් කරයි.

එම සැකකරු සමඟ හෙරොයින් මත් කුඩු සහ ජංගම දුරකතනයක් ද පොලිස් බාරයට ගෙන තිබේ.

ඉකුත් 21 වැනි දින රාත්‍රියේ දී රත්මලාන අරලිය මාවතේ පදිංචිව සිටි අනුර දේශප්‍රිය සිල්වා (40) නමැති කුකුල් මස් වෙළෙඳසලක හිමිකරු වෙළෙඳසල තුළ රැඳී සිටියදී යතුරු පැදියකින් පැමිණි පුද්ගලයන් දෙදෙනෙකු වෙඩි තබා පලාගොස් තිබිණි.

සැකකාර රගර් ක්‍රීඩකයා අත්අඩංගුවට ගෙන ඇත්තේ කුමන්ත්‍රණය කිරීම සහ ආධාර අනුබල දීමේ චෝදනාව මත බව පොලීසිය සඳහන් කරයි. 

එම සැකකරු මීට පෙර අවස්ථාවක පොලිස් විශේෂ කාර්ය බළකාය මඟින් හොරෙන් මත්කුඩු තොගයක් සමඟ අත්අඩංගුවට පත් වූවෙකු බවත් ඔහුට විරුද්ධව මහාධිකරණයේ නඩුවක් විභාග වෙමින් පවතින බවත් පොලිසිය කීය.

වෙඩික්කරුවන් පැමිණි යතුරුපැදිය අඟුරුවාතොට කෙසෙල්කේනාව ඇළ මාර්ගයක දමා ගොස් තිබියදී ඝාතනයට පසු දින පොලිසිය මඟින් සොයාගෙන තිබිණි.

යතුරු පැදියේ චැසි අංකය හා එන්ජින් අංකය මකා තිබූ අතර ඉදිරිපස ලියාපදිංචි අංක තහඩුව පමණක් තිබූ අතර එය රජයේ රස පරික්ෂකවරයා වෙත ඉදිරිපත් කර යතුරු පැදියෙහි අනන්‍යතාව සාර්ථක කර ගැනීමට කටයුතු කරන බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.

ගල්කිස්ස කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි මංගල දෙහිදෙණිය, පොලිස් අධිකාරි සමන් ජයසේකර මහත්වරුන්ගේ උපදෙස් මත ගල්කිස්ස කොට්ඨාස අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක රංග පෙරේරා, උපපොලිස් පරීක්ෂක නිල් ප්‍රියන්ත මහත්වරු පරීක්ෂණ පවත්වති.

                                                                                                           බණ්ඩාරගම බිමල් ශ්‍යාමන් ජයසිංහ


Thursday, August 24, 2023

ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුනේ මියගිය කාන්තා සිරුර ඥාතීහූ හඳුනා ගනිති

තලවකැලේ ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුනේ තිබී පසුගිය 01වැනිදා ලිඳුල පොලීසිය සොයාගත් අබිරහස් ලෙස මියගිය කාන්තා මළසිරුර පෙරේදා (22දා) දින ඇයගේ නීත්‍යනුකූල සැමියා සහ ඥාතීන් විසින් හඳුනාගැනීමෙන් අනතුරුව නුවරඑළිය මහේස්ත්‍රාත්වරයාගේ නියෝගයක් මත සිරුර පෙරේදා (22දා) දින පස්වරුවේ ඥාතීන් වෙත භාරදුන් බව ලිදුල පොලීසිය පවසයි.

මියගිය කාන්තාවගේ සිරුර හඳුනාගැනීම සඳහා ලිදුල පොලීසිය මගින් එම කාන්තාවගේ ඇඟිලි සලකුණු රැගෙන ඇඟිලි සලකුණු පොලිස් දෙපාර්තමේන්තුවේ ඇගිලි සලකුණු රෙජිස්ට්‍රාර් කාර්යාලය වෙත යොමු කිරීමෙන් අනතුරුව මියගිය කාන්තාවගේ ඇඟිලි සලකුණු එම රෙජිස්ටාර් කාර්යාලයේ සටහන් වී තිබූ බවත්, ඒ අනුව මියගිය කාන්තාවගේ ඥාතීන් හඳුනාගැනීමට හැකිවූ බව ලිදුල පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක සිසිර කුමාර මහතා පැවසීය.

මෙසේ ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුනේ අබිරහස් ලෙස මියගොස් සිටියේ, තංගල්ල, කිරින්ද ප්‍රදේශයේ පදිංචිව සිටි ජුනයිඩ් ක්‍රිෂාණි (අවු.36) නමැති මුස්ලිම් ජාතික කාන්තාවකි.

අබිරහස් ලෙස මියගොස් සිටි කාන්තාව නීත්‍යනුකූල සැමියාගෙන් වෙන්වී වෙනත් පුද්ගලයන් සමග සමීප සම්බන්ධකම් පවත්වා ඇති බවත්, මියගිය කාන්තාවගේ නීත්‍යනුකූල විවාහයෙන් ඇයට දරුවන් තිදෙනෙකු සිටින බවද පරීක්ෂණවලදී අනාවරණය විය.

මියගිය කාන්තාවගේ වම් අතෙහි මදුසංඛ' යනුවෙන් සටහන් කර තිබූ පච්චයෙන් ඇයගේ සැමියා විසින් සිරුර හඳුනාගත් බවත්, මියගිය කාන්තාව ග්‍රේට් වෙස්ටර්න් කඳු මුදුනට පැමිණි පිරිස අත්අඩංගුවට ගැනීම සදහා ලිඳුල පොලීසිය අංශ කිහිපයක් ඔස්සේ තවදුරටත් විමර්ශන සිදු කරයි.

ග්‍රේට් වෙස්ටර්න් කදු මුදුනේ තිබී හමු වූ පුනයිඩ් ක්‍රිෂාණිගේ සිරුර සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ නුවරඑළිය දිස්ත්‍රික් මහ රෝහලේ අධිකරණ වෛද්‍යවරයා මෙය ඝාතනයක් බවට සැකකරයි.

අබිරහස් ලෙස මියගිය කාන්තාවගේ ශරීරයේ කොටස් කිහිපයක් අධිකරණ වෛද්‍යවරයා විසින් රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇත.

සිද්ධිය සම්බන්ධයෙන් ලිදුල පොලීසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

                                                                • හැටන් - රංජිත් රාජපක්ෂ/ චන්ද්‍ර සෙල්ලනේවා/ ශාන් හුලංනුගේ


අලවතුගොඩ කාන්තාවගේ මරණයට සැකපිට සැමියා අත්අඩංගුවට

අලවතුගොඩ, ඇල්ලේකඩේ ප්‍රදේශයේ පදිංචිව සිටි විවාහක කාන්තාවක මාස පහකට පමණ පෙර එනම් පසුගිය මාර්තු මස 10වැනිදා අමානුෂික ලෙස ඝාතනය කර වෙල් යායක තිබීමේ සිද්ධිය සම්බන්ධයෙන් ඝාතනයට ලක්වූ තරුණ කාන්තාවගේ සැමියා පෙරේදා (22දා) අලවතුගොඩ පොලීසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාරීන් විසින් අත්අඩංගුවට ගනු ලැබ තිබේ.

මෙලෙස ඝාතනයට ලක්ව තිබුණේ, ධනුකා මධුවන්ති (අවු.26) නමැත්තියකි. 

27 හැවිරිදි සැකකාර සැමියා අලවතුගොඩ, ඇල්ලේකඩේ පදිංචිකරුවෙකි.

මෙම ඝාතනය සම්බන්ධයෙන් ලබාගත් ඉව ඔස්සේ නිල සුනඛයෙකු ගමන් කළ නිවසක සිටි විවාහක පුද්ගලයෙකු සැකපිට අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර තිබුණද සිද්ධිය සම්බන්ධයෙන් තවදුරටත් පරීක්ෂණ පැවැත්වූ පොලීසිය මියගිය කාන්තාවගේ සැමියා සම්බන්ධයෙන් ඇතිව තිබූ සැකයක් මත දීර්ඝ ලෙස විමර්ශනය සිදුකර තිබේ. 

මෙලෙස ඝාතනයට ලක්ව තිබූ කාන්තාවගේ සිරුරේ ඇදුම් ඉවත් කර වෙල මැද මඩ ගොහොරුවක ඔබා තිබූ අතර එම සිරුර දකින ඕනෑම කෙනෙකු සිතන්නේ ඇය දූෂණය කොට මරා දමන්නට ඇති බවයි. එසේ වුවත් මේ සම්බන්ධයෙන් කරනු ලැබූ ඩී.එන්.ඒ සහ රස පරීක්ෂක වාර්තා අනුව ඇය දූෂණයට ලක්ව නොමැති බව අනාවරණය වී ඇති බව පොලීසිය කියයි.

මෙලෙස ඇගේ ඇඳුම් ඉවත් කරන්නට ඇත්තේ පරීක්ෂණ නොමග යවන්නට බවත් පොලීසියේ සැකයට හේතුවී තිබේ. මෙයට අමතරව සිද්ධිය වූ දින අසල වු මළ ගෙයකට ගිය බව කියන මෙම සැකකරු පැයක පමණ කාලයක් අතුරුදන්ව සිට ඇති බවත්, නිවසේ කුස්සියේ විදුලි බුබුළ නිවැරැදි ස්ථානය සොයා නිවා දමා තිබීමත් නිවසේ හදා ගන්නා සුනඛයා කිසිදු බිරීමක් සිදුකර නොතිබීමත් ඝාතනයට ලක්වූ කාන්තාවගේ සිරුර නිවෙසේ සිට මීටර් 100ක් පමණ දුරින් පිහිටි වෙලක මඩ ගොහොරුවක ඔබා තිබීමත් ඇතුළු කාරණා රැසක්ම සැකකරු ගැන සැක කිරීමට හේතුවී තිබේ.

සිද්ධිය වූ දින රාත්‍රියේ නිවසේ සිට මීටර් කිහිපයක දුරින් ඔහු විසින් පවත්වාගෙන යනු ලබන වෙළද සැල වසා දමා ත්‍රිරෝද රථයකින් නිවසට ගොස් ඇති බවද අනාවරණය වී ඇති බවත් පොලීසිය කියයි.

පොලිසියට පැමිණිලි කිරීමට ගිය අවස්ථාවේ සිට මේ දක්වා ඔහුගේ හැසිරීම් රටාවේ නිරීක්ෂණය වූ වෙනස්කම් ද ඔහුව සැක කිරීමට හේතු වී තිබේ.

සැකකරු මහනුවර මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කිරීමට නියමිතව තිබිණ.

සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නීතිඥ ලලිත් පතිනායක සහ නියෝජ්‍ය පොලිස්පති මහින්ද දිසානායක මහත්වරුන්ගේ උපදෙස් සහ මහනුවර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි චමිල් රත්නායක සහ සහකාර පොලිස් අධිකාරී එච්.එම්. ගුණවර්ධන යන මහත්වරුන්ගේ අධීක්ෂණය යටතේ අලවතුගොඩ පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සුජීව ගුණතිලක මහතා සමග අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උපපොලිස් පරීක්ෂක උපාලි කරුණාවංශ මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ පවත්වති.

                                                                              • මහනුවර - මොහොමඩ් ආසික්/ ෂේන් සෙනෙවිරත්න