රෝෂන් තුෂාර
කොළඹ 07, බාන්ස් පෙදෙසේ පදිංචි සුපිරි ධනවතියක, ගෙවිලියක බවට අඟවා අඩු ආදායම් සහතිකයක් ලබා දී කිලිනොච්චියේ ගොවි ඉඩම් අක්කරයක් (පර්චස් 160 ක්) ලබා ගැනීමට කටයුතු සැලැස් වූ සියලු රජයේ නිලධාරීන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කරන බව කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්' බෝදරගම මහතා හමුවේ කරුණු දැක්වූ අල්ලස් කොමිසම ඊයේ (30) පැවසීය.
අක්කර පනහක ඉඩමක්, තරු පහේ හෝටලයක් සහ විදුලි බලාගාරයක් හිමි කොළඹ බාන්ස් පෙදෙසේ කාන්තාවගේ ආදායම රුපියල් දස දහසක් (රුපියල් 10"000) බවට සනාථ කෙරෙන ආදායම් සහතිකයක් ලබා දුන්නේ යැයි කියන කොළඹ කුරුඳුවත්ත හිටපු ග්රාම සේවක කුලසේකරගේ නිමල් ජයසිරි සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම එසේ පැවැසීය.
සිද්ධියට සම්බන්ධ ප්රාදේශීය ලේකම් කාර්යාලයේ නිලධාරීන්ට පමණක් නොව, ඉඩම ලබාගත් තැනැත්තියට එරෙහිව නීතිය ක්රියාත්මක කරන ලෙස ප්රධාන මහේස්ත්රාත්වරයා එහිදී අල්ලස් කොමිසමට නියෝග කළේය.
අත්අඩංගුවට ගත් කොළඹ කුරුඳුවත්ත හිටපු ග්රාම සේවක සැකකරු අධිකරණයට ඉදිරිපත් කරමින් අල්ලස් කොමිසම කියා සිටියේ අඩු ආදායම්ලාභී ගොවීන්ට ලබාදිය යුතු රජයේ ඉඩම් පර්චස් එකසිය හැටක් (160) අනීතිකව ලබා ගැනීමට කටයුතු සලස්වමින් රජයට රුපියල් 10,625, 000 ක් පාඩුවක් සිදුකිරීම හා තවත් පිරිසකට ලාභයක් සිදුකිරීම යටතේ දූෂණය නම් වැරැදි සිදු කිරීමට එරෙහිව සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවය.
අල්ලස් කොමිසම වැඩිදුරටත් කරුණු දක්වමින් මෙසේ පැවැසීය. සැකකරු ඉඩම් අක්කර පනහක්, තරු පහේ හෝටලයක් සහ ගිනිගහේන ප්රදේශයේ විදුලි බලාගාරයක් හිමි කොළඹ හත බාන්ස් පෙදෙසේ පදිංචි තැනැත්තියකගේ ආදායම රුපියල් දස දහසක් බවට ලිපියක් ලබා දී තිබෙනවා. එම ලිපිය පාදක කරගෙන අදාළ තැනැත්තිය කිලිනොච්චියේ කුච්චවේලි ප්රදේශයේ පර්චස් 80 බැගින් වූ රජයේ ඉඩම් දෙකක් ලබාගෙන, මේ නිසා රජයට විශාල පාඩුවක් සිදුවෙලා. එම ඉඩම් අඩු ආදායම්ලාභී ගොවි ජනතාවට ලබා දීමට තිබූ ඉඩම් බවත් පැවසීය.
අදාළ ආදායම් සහතිකය මගින් 2016 වසරේ දී ඉඩම් ලබාදීමට මෙම සැකකරු මුල පුරා ඇති බවත්, එම ලිපිය පාදක කරගෙන ඉඩම් ලබා දුන් ප්රාදේශීය ලේකම්වරිය ඇතුළු අනික් නිලධාරීන්ට එරෙහිව නීතිය ක්රියාත්මක කරන බවත් අල්ලස් කොමිසම පැවසීය.ඊට ප්රතිචාර දැක්වූ ප්රධාන මහේස්ත්රාත්වරයා ඉඩම් ලබා ගත් තැනැත්තිය සම්බන්ධයෙන් නීතිය ක්රියාත්මක කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කළේය.
සැකකරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥ උපුල් ද සිල්වා මහතා කරුණු දක්වමින් සිය සේවාදායකයා මේ වන විට විශ්රාම ගොස් ඇති බවත්, යම් තැනැත්තියක හෝ තැනැත්තකු ආදායම් සම්බන්ධයෙන් ලිපියක් ලබා දෙන ලෙසට ඉල්ලූ පසු එය ලබා දී ඇති බවත් පැවැසීය.
ලබා දී ඇත්තේ ආදායම් සහතිකයක් නොව ලිපියක් පමණක් බවත් එම ලිපිය පාදක කරගෙන යම් අකටයුත්තක් කර ඇත්නම් එයට සැකකරු සම්බන්ධව නොමැති බවත් පැවසීය. කෙසේ වෙතත් සැකකරු මෙම විමර්ශන වලට මුල් අවස්ථාවේ පටන් සහාය පළ කර ඇති බැවින් ඕනෑම කොන්දේසියක් යටතේ ඇප ලබා දෙන ලෙසද ඉල්ලා සිටියේය.කරුණු සලකා බැලූ ප්රධාන මහේස්ත්රාත්වරයා සැකකරු මේ වන විට විශ්රාම ගොස් ඇති බැවින් ලක්ෂ දහය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හරින ලෙසට නියෝග කළේය.සැකකරුගේ විදෙස් ගමන් තහනම් කරන බවට ද නියෝග කළ මහේස්ත්රාත්වරයා විමර්ශන ප්රගතිය අගෝස්තු 25 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කළේය.

