Showing posts with label crimeg3. Show all posts
Showing posts with label crimeg3. Show all posts

Monday, November 1, 2021

සිගිත්තාගේ පැම්පස් එක ඇතුළේ ලක්ෂ පහ හාමරක කුඩු



 අවුරුද්දක් වයස සිය සිගිති දරුවාට අන්දවා ඇති පැම්පස් එක තුළ හෙරොයින් සහ අයිස් මත්ද්‍රව්‍ය පැකට් සගවා තබාගෙන,   ඒවා විකිණිමේ යෙදුණු බව කියන විසි හැවිරිදි පියෙක් කොම්පඤ්ඤ වීදිය ප්‍රදේශයේ මහල්  නිවෙසකදී බස්නාහිර පළාත් බුද්ධි කොටිඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් පෙරේදා (30 වැනිදා) අත්අඩංගුවට ගනු ලැබීය. මෙම දරුවාට අන්දවා තිබූ පැම්පස් එක තුළ සැඟවා තිබූ හෙරොයින් ග්‍රෑම් 6 මිලිග්‍රෑම් 680ක් පමණ අඩංගු පැකට් 7ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 25 මිලිග්‍රෑම් 680ක් අඩංගු පැකට් 1ක් ද සොයාගත් බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය. 


මෙම මත්ද්‍රව්‍ය වල වෙළෙඳපොළ වටිනාකම ලක්ෂ  5 1 /2ක් පමණ එන බව පොලිසිය කියයි. මෙම නිවෙසේ සඟවා තිබූ කඩු දෙකක් ද  පොලිසිය බාරයට ගෙන ඇත. බස්නාහිර පළාත් බුද්ධි කොට්ඨාසයේ  පොලිස් සැරයන් ගාමිණි මහතාට (9574) ලැබුණු තොරතුරක් මත කරන ලද වැටලීමකදී මත්ද්‍රව්‍ය  සමග ජාවාරම්කාර පුද්ගලයා අත්අඩංගුවට ගෙන තිබේ.  සිය සිඟිති දරුවාට අන්දවා ඇති පැම්පස් එක තුළ සගවාගෙන මේ ආකාරයට මත්ද්‍රව්‍ය  අලෙවි කරන්නේ පොලිසියට අසු නොවීමේ උපක්‍රමයක් වශයෙන් බව පරීක්ෂණවලින් හෙළි වී ඇතැයි එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.


පොලිස් කණ්ඩායම වැටලීම සිදු කරන අවස්ථාවේ සැකකාර මත්ද්‍රව්‍ය  ජාවාරම්කරු  සිඟිති දරුවා වඩාගෙන සුරතල් කරමින් සිටි බව කියති.  අත්අඩංගුවට ගත් සැකකරු ඔහුගේ බිරිය සහ සිඟිති දරුවා ද සමග මෙම මහල් නිවාස සංකීණයේ පදිංචි නිවෙසේ මාසික කුලිය රුපියල් 35,000ක් බවත්, මාලිගාවත්ත ප්‍රදේශයේ පිහිටි ඔහුගේ නිවෙසේ රුපියල් ලක්‍ෂ 1 ක් පමණ වටිනා සුනඛයකු ද සුරතලයට ඇති කරන බවත් පොලිසිය කියයි.


 -ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-

Tuesday, October 27, 2020

කුඩු සමඟ චීවරධාරියෙක් පිළියන්දලදී මාට්ටු


හෙරොයින් මක්කුඩු මිලිග්‍රෑම් 50ක් ළග තබාගෙන සිටි බව  කියන චීවරධාරියෙක් පිළියන්දල පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් පෙරේදා (25) රාත්‍රියේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.  අත්අඩංගුවට ගත් චීවරධාරියා 19 හැවිරිදි වියේ  පසුවන අයෙකි. මෙම සැකකාර චීවරධාරියා දැඩි ලෙස හෙරොයින් මත්කුඩුවලට ඇබ්බැහි වී සිටින අයෙක් බව පරීක්ෂණවලින් පෙනී ගියේ යැයි පොලිසිය කියයි.

පිළියන්දල පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක එල්.ආර්.එස්. රංජිත් මහතාට ලැබුණු තොරතුරක් මත වැටලීමක් සිදුකර චීවරධාරියා හෙරොයින් ද සමග සැකපිට අත්අඩංගුවට ගෙන ඇත. මෙම ගල්කිස්ස කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි රොහාන් ප්‍රේමරත්න මහතාගේ උපදෙස් මත පිළියන්දල පොලිසිය සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ  පවත්වාගෙන යයි.


-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය- 

Wednesday, October 21, 2020

දින 23ක බිලිඳකු විකිණීමට ගිය කතක් ත්‍රිරෝද රථ රියදුරෙක් අත්අඩංගුවට



මහනුවර තල්වත්ත ප්‍රදේශයේ දී දින 23 ක බිලිඳකු විකිණීමට සූදානම් වූ බව කියන කාන්තාවක සහ ත්‍රීරෝද රථ රියැදුරකු අත්අඩංගුවට ගත් බව මහනුවර මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශය කියයි. පොතුහැර ප්‍රදේශයේ සිට මහනුවර ප්‍රදේශයට මෙම බිලිඳා රැගෙන ආ බවට තොරතුරු හෙළි වී ඇතැයි ද පොලිසිය කියයි.මෙම බිලිඳු මහනුවර ප්‍රදේශයේ දරුවන් නොමැති  කාන්තාවකට කිසියම් රහසිගත ක්‍රමයකින් විකුණා ඇති බවට ද පොලිසියට තොරතුරු ලැබී ඇත. 

පොතුහැර පොලිසිය මහනුවර මූලස්ථාන පොලිසියේ විශේෂ කාර්යංශයට ලබා දුන් තොරතුරක් මත මෙම ළමා ජාවාරම අනාවරණය කර ගැනීමට මහනුවර පොලිස් මූලස්ථානයේ ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් කණ්ඩායමකට හැකි වී තිබේ. සිද්ධියට අදාළ බිලිඳා මේ වන විට මහනුවර ජාතික රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවෙන බව මහනුවර පොලිස්  මූලස්ථානයේ ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් කීය.

-ජේ.එ.එල්.ජයසිංහ-

Friday, October 16, 2020

අවු 15 සිසුවා බරපතළ අපයෝජනයකට ලක්කල 27 ගුරුවරිය ඇපමත මුදාහරි



උපකාරක පන්තියකට පැමිණි 15 හැවිරිදි පිරිමි ළමයකු බරපතළ ලිංගික අපයෝජනයට ලක් කළ බව පැවසෙන 27 හැවිරිදි උපකාරක පන්ති ගුරුවරියක් වැලිගම පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් අතිරේක දිසා විනිසුරු ඉසුරු නෙන්ති කුමාර මහතා වෙත ඉදිරිපත් කළ අවස්ථාවේ රුපියල් ලක්ෂයක ශරීර ඇපයක් තබන ලෙසට නියෝග කළේය.  ඇප තැබීමෙන් පසු මනෝ වෛද්‍ය සායනයට ඉදිරිපත් වී වාර්තාවක් ලබාගෙන 2021 ජූනි තුන් වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට ද නියෝග කළේය.  ඇප තැබීමට නියම වූයේ එක්දරු මවක් වන  උපකාරක පන්ති ගුරුවරියකටය.  පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි වැලිගම පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ පොලිස්  පරික්ෂක ධර්මවර්ධන මහතා මෙසේ කීය.  

පසුගිය හය වැනි දින උපකාරක පන්තියට 15 හැවිරිදි සිසුවා ගොස් තිබෙනවා. සිසුවා ආපසු සවස නිවසට නොපැමිණීම පිළිබඳව මව  ගුරුවරියගේ නිවසට ගොස් විමසා තිබෙනවා.  එහිදී ගුරුවරියගේ මව තම දියණිය හා සිසුවා  ත්‍රිරෝද රථයකින් ගිය බවට දන්වා තිබෙනවා. දින  හයකට පසුව උපකාරක පන්ති ගුරුවරිය හා සිසුවා 12 වැනි දින පොලිසියට පැමිණියා.

සිසුවාගෙන් විමසීමේ දී හය වැනි දින රාත්‍රී කොළඹ හෝටලයක නැවතී සිටි බවත් ඊට පසු දින නුවර ප්‍රදේශයට ගොස් හෝටලයක දින තුනක් ගත කළ බවත් එහිදී හෝටල් හිමියා පිටව යන ලෙස දැන්වූ බවත් කියා සිටියා. එවිට උපකාරක පන්ති ගුරුවරියගේ ඥාතියකුගේ නිවසට ඔහු කැඳවා ගෙන ගොස් 12  වැනි දින පැමිණි බවට දන්වා සිටියා. සිසුවා වෛද්‍ය පරික්ෂණ සඳහා රෝහලේ  නේවාසිකව සිටිනවා. බාල වයස්කාර සිසුවාට ලිංගික අපයෝජනයක් සිදුකිරීමේ චෝදනාවට සැකකාර උපකාරක පන්ති ගුරුවරිය අත්අඩංගුවට ගත් බව වැඩිදුරටත් පැවසීය.


-ජයන්ත ජයවර්ධන-

Wednesday, September 23, 2020

පයාගල, වෙරළේ කෝටියක කොකේන් පාර්සලයක්

 

පයාගල, දළුවත්ත, ගිස්බන් ප්‍රදේශයේ මුහුදු  වෙරළේ තිබී කොකේන් මත්කුඩු පාර්සලයක් ඊයේ (22) පෙරවරු 8.30 ට පමණ සොයාගත් බව පයාගල පොලිසිය කියයි. මෙම පාර්සලයේ කොකේන් මත්කුඩු කිලෝවක ප්‍රමාණයක් තිබූ අතර එහි වෙළෙඳපොළ වටිනාකම රුපියල් කෝටියකට අධික බවද පොලිසිය පවසයි. මෙම වෙරළ තීරයේ සැකකටයුතු පාර්සලයක් ඇති බවට පයාගල පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිසිය එහි ගොස් මෙම පාර්සලය සොයා ගත් බවද උසස් පොලිස් නිලධාරියෙක් කීය.  

මුහුදු ජලය කාන්දු නොවන අයුරින් කොකෙන් පාර්සලය ඊයම් කොළ ඇතුළු කොළ කිහිපයකින් ඔතා තිබූ බව එම උසස් නිලධාරීයා පැවැසිය.  ජාවාරම්කරුවන් පිරිසක් මුහුදු මගින් හෙරොයින් ප්‍රවාහන කරද්දී මෙම පාර්සලය මුහුදට වැටෙක්නට ඇති බවත් එම පාර්සලය මෙලෙස ගොඩබිමට ගසාගෙන එන්නට ඇති බවට පොලිසිය සැක කරයි. සිද්ධිය සැලවීමත් සමග බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ නියෝග මත පොලිස් නිලධාරින් බෝට්ටු උපයෝගී කරගෙන පයාගල අවට මුහුදු ප්‍රදේශයේ සහ වෙරළ ප්‍රදේශයේ දැවැන්ත සෝදිසි මෙහෙයුම් ආරම්භ කළ බවද පොලිස් ආරංචි මාර්ග කියයි.  මුහුදු මගින් හෙරොයින් ප්‍රවාහන කළ පිරිස අත්අඩංගුවට ගැනීම සඳහා ඔවුන් ගොඩබිම වෙත මෙම හෙරොයින් ප්‍රමාණය රැගෙන විත් ඇතිද යන්න හෙළි කරගැනීම සඳහා මෙම මෙහෙයුම් ආරම්භ කර ඇත.

-ඉන්දිකා රාමනායක-


Thursday, September 17, 2020

සෙබළා අල්ලන විට ගිල්ල පැකට් 15ක් වමනය කරවා එළියට ගනී


මත්කුඩු පැකට් මුඛයේ සගවාගෙන යතුරු  පැදියෙන් ගොස් කුඩු ජාවාරමේ යෙදුණු හිටපු  හමුදා සෙබළෙක් මත්කුඩු පැකට් 15 ක් සමග  වත්තල ලන්සියාවත්ත ප්‍ර දේශයේදී පෙරේදා 15 රාත්‍රියේ  වත්තල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය. පොලිසිය සැකකරු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ මුඛයේ සඟවාගෙන සිටි මත්කුඩු පැකට් ගුලිය එකවරම ගිල දමා ඇති අතර පොලිසිය ඔහුට වමනය කිරීමට සලස්වා ගිල තිබු හෙරොයින් ගුලිය ඉවතට ගෙන ඇත. සැකකරු ගිල දමා ඉවතට ගෙන තිබු මත්කුඩු ගුලියේ පැකට් 15 ක් තිබු බව පොලිසිය පවසයි. 

සැකකරු කාලයක් තිස්සේ යතුරු පැදියකින් ගොස් මත්කුඩු ජාවාරමේ යෙදෙන බවට  පොලිසියට ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායමක් විසින් මග රැක සිට සැකකරු මත්කුඩු සමග අත්අඩංගුවට ගන්නා ලදී.  සීදුව ප්‍රදේශයේ පදිංචි (40) හැවිරිදි සැකකරු  ඔහු ට්‍රේල් යතුරු පැදියෙන් වැල්ලම්පිටිය ප්‍රදේශයට පැමිණි මත්කුඩු පැකට් මිලදී ගෙන එක් පැකට්ටුවක් රුපියල් 1500 ක මුදලකට අලෙවි කරන බව ද පොලිසිය පවසයි. හමුදා සේවයෙන් ඉවත් කර ඇති අයකු බව කියන ඔහු තදින්ම මත්කුඩුවලට ඇබ්බැහිව සිටින්නකු බව ද පොලිසිය සඳහන් කළේය.


-ඉන්දිකා රාමනායක-

Tuesday, September 15, 2020

මන්ද මානසික තරුණියක වරින්වර අපයෝජනය කළ පෙදරේරුවා වසර 54ක් හිරේ



මන්ද මානසික තරුණියක වරින්වර දූෂණය කිරීමේ චෝදනාවන්ට වරදකරු වූ පෙදරේරුවකුට මහනුවර මහාධිකරණ විනිසුරු ආර්.එස්.එස්. සපුවිද මහතා බරපතළ වැඩ සහිත වසර 54ක සිර දඩුවමක් නියම කළේය. දූෂණයට ලක් කළ මන්ද මානසික තරුණියට රුපියල් ලක්ෂ 10ක වන්දියක් ගෙවීමට නියම කළ මහාධිකරණ විනිසුරුවරයා ඊට අමතරව රුපියල් 75,000ක දඩයකට ද ඔහු යටත් කළේය.  දඩ සහ වන්දි මුදලට අමතරව රුපියල් 15,000ක මුදලක් වින්දිතයන් ආරක්ෂා කිරීමේ අරමුදල් තැන්පත් කිරිමට නියම කළ විනිසුරුවරයා එම දඩ සහ වන්දි මුදල්  නොගෙවුවහොත් වසර හතර හමාරක බරපතළ වැඩ සහිත සිර දඬුවම්වලට විත්තිකරු යටත් කෙරිණි. වර්ෂ 2012 දෙසැම්බර් මස 18 වැනිදාත් 2013  පෙබරවාරි මස 18 වැනිදාත් අතර කාලයේ මැද මහනුවර ප්‍රදේශයේ දී මන්ද මානසික තරුණියක් දූෂණය කළ බවට නීතිපතිවරයා විත්තිකරුට  එරෙහිව වෙන වෙනම චෝදනා තුනක් යටතේ නඩු පවරා තිබුණි.

මේ සම්බන්ධයෙන් පැවැති දිර්ඝ නඩු විභාගය අවසානයේ දී විත්තිකරුට එරෙහිව නගා තිබු සියලු චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි මහාධිකරණ විනිසුරුවරයා සිය දීර්ෂය නඩු තීන්දුවේ සවිස්තරව සඳහන් කර තිබිණි. චෝදනාවට වරදකරු වූ විත්තිකරුට එක් මචෝදනාවකට වසර 18 බැගින් චෝදනා තුනට වසර 54ක සිර දඬුවම් නියම කළ මහාධිකරණ විනිසුරුවරයා එක් චෝදනාවකට රුපියල් 25,000 බැගින් චෝදනා තුනට රුපියල් 75,000 ක දඩ නියම කළේය. ඊට අමතරව දූෂණයට ලක්වූ තරුණියට සහ වින්දිතයන් ආරක්ෂා කිරිමේ අරමුදලට වන්දි  ගෙවීමට විනිසුරුවරයා විසින් වැඩිදුරටත් නියම කරනු ලැබිය.පැමිණිල්ල වෙනුවෙන් රජයේ නිතිඥ ධනුෂ්ක රාහුබද්ද මහතා පෙනී සිටියේය.

-ජේ.එල්.ජයසිංහ-

Wednesday, September 9, 2020

ප්ලාස්ටික් පයිප්පවලින් පාරුවක් හදාගෙන හොර පාරේ ලංකාවට එන්න හදලා



ප්ලාස්ටික් පයිප්පවලින් පාරුවක් සකස්කර එය යොදාගෙන මන්නාරම් බොක්ක හරහා නීතිවිරෝධී ලෙස ශ්‍රී ලංකාවට පලා ඒමට උත්සාහ කළ ශ්‍රී ලාංකිකයකු අතුළු තිදෙනකු ඉන්දියාවේ තමිල්නාඩු එර්වාඩි වෛරළ ප්‍රදේශයේ දී එරට පොලිසිය විසින් පෙරේදා (7) අත්අඩංගුවට ගනු ලැබ ඇතැයි වෙන්නායි තානාපති ආරංචි මාර්ගවලින් පැවසේ.

එලෙස අත්අඩංගුවට ගත් ලාංකිකයා අම්පාර ප්‍රදේශයේ පදිංචිව සිටි මොහොමඩ් අලි නමැති 43 හැවිරිදි අයකු වන අතර ඔහු 2006 දී තමිල්නාඩුවට ගොස් ඇතැයි ද එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී. ඔහු ඉන්දියාවේ රැඳී සිට ඇති අතර විසා බලපත්‍රය කල් ඉකුත් වුවද ශ්‍රී ලංකාවට නොපැමිණ නීතිවිරෝධී  ලෙස රැදී සිටමීන් තමිල්නාඩුවේ සරණාගත කඳවුරු කීපයක වරින් වර වාසය කර ඇති බවද වාර්තා වේ. 

මෙම ලාංකිකයා ඇතුළු තිදෙනා ඒර්වාඩි වෙරළ තීරයේ සිට මන්නාරම් බොක්ක හරහා නීතිවිරෝධී ලෙස මෙරටට පැමිණීමට පෙරේදා උත්සාහ කර ඇති අතර ඒ බව දුටු ධීවරයින් ප්‍රදේශයේ පොලීසියට එය දැනුම් දී ඇතැයි සඳහන් වේ. පසුව පොලිසිය එම ස්ථානයට පැමිණ මොහොමඩ් අලි ඔහුගේ සහෝදරයා වන ඉන්දීය පුරවැසිභාවය හිමි 35 හැවිරිදි මොහොමඩ් හසන් නමැත්තා සහ සාහුල් හමිඩ් නමැති ඉන්දීය ජාතිකයා අත්අඩංගුවට ගෙන ඇතැයි තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් කියයි. තමා යුද සමයේදී තමිල්නාඩුවට පැමිණි බවත්, මේ වනවිට අසනීපව සිටින බවත්, ප්‍රතිකාර ගැනීමට මුදල් නොමැතිකම නිසා නැවත ශ්‍රී ලංකාවට යෑමට තීරණය කළ බවත් ඔහු පොලීසියට පවසා ඇතැයිද චෙන්නායි තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

පොලිස් බලධාරින් සැකකාර ලාංකිකයා ඇතුළු තිදෙනා පසුව එරට අධිකරණයට ඉදිරිපත් කර ඇති අතර, ඔවුන් තිදෙනා පුලාල් බන්ධනාගාරයේ රඳවා තබන ලෙස විනිසුරුවරයා නියෝග කර තිබේ. දනුෂ්කොඩි ප්‍රදේශයේ සිදුවූ ගංජා සහ රන් ජාවාරම්වලට මොවුන් සම්බන්ධ දැයි සොයා පොලීසිය පරික්ෂණ පවත්වන අතරම සැකකරුවන් තිදෙනා ඒර්වාඩි ප්‍රදේශයේ සැගවී සිටියේ කෙසේදැයි සොයා වැඩිදුරටත් පොලිස් පරික්ෂණ පවත්වන බවද එම තානාපති ආරංචි මාර්ග වැඩිදුරටත් කියා සිටී.


-තිළිණි ද සිල්වා-

Monday, September 7, 2020

කෝටි විසිතුනේ කුඩු කොස්තාපල් ඉන්දියාවේදී අල්ලයි



සපුගස්කන්දේ වඩු මඩුවකින් හමුවූ රුපියල් කෝටි විසිතුනකට වැයි වටිනා හෙරොයින් තොගයට අදාළ ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට සොයමින් සිටි කොළඹ අපරාධ විමර්ශන කොණ්ඨාසයේ (C.C.D.) පොලිස් කොස්තාපල් ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරීන් කණ්ඩායමක් විසින් එරට රාමේෂ්වරම් වෙරළ තීරයේදී පෙරේදා අත්අඩංගුවට ගනු ලැබිය. වැඩිදුර විමර්ශන කටයුතු සඳහා සැකකාර පොලිස් කොස්තාපල් විදේශ කටයුතු අමාත්‍යංශයේ හා ජාත්‍යන්තර පොලිසියේ (ඉන්ටර්පෝල්) සහායෙන් මෙරටට ගෙන්වා ගැනීමට කටයුතු කරගෙන යන බව පොලිස් මූලස්ථානයේ උසස් නිලධාරියෙක් ඊයේ (6) පැවැසීය. මෙසේ අත්අඩංගුවට ගනු ලැබ සිටින්නේ ප්‍රදීප් කුමාර බණ්ඩාර නමැති පොලිස් කොස්තාපල්ය. මොහු මොනරාගල පදිංචිකරුවෙකි.

සිය බාල සොහොයුරාට අයත් සපුගස්කන්ද සමගි මාවතේ වඩු මඩුවක සඟවා තිබියදී ඉහත සඳහන් හෙරොයින් තොගය සොයා ගැනීමෙන් පසුව සැකකාර පොලිස් කොස්තාපල් හදිසි අසනීපයකට ප්‍රතිකාර ගැනීමට කොළඹ ජාතික රෝහලට යන බව පවසා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයෙන් පිටව ගොස් මන්නාරමේ සිට බෝට්ටුවකින් ඉන්දියාවේ  රාමේෂ්වරම් ප්‍රදේශයට මෙසේ පලාගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී තොරතුරු හෙළි වී තිබිණි. මොහු බෝට්ටුවක් එවා ඉන්දියාවට මෙසේ ගෙන්වා ගනු ලැබ ඇත්තේ එරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු විසිනැයි පොලිසිය පවසයි. රාමේෂ්වරම් වෙරළට පැමිණි කොස්තාපල් කිසියම් කණ්ඩායමක් තමන් රැගෙන යෑමට පැමිණෙන තෙක් එහි රැඳී සිට ඇත.  ඉන්දීය වෙරළාරක්ෂක නිලධාරින්ට ඔහු කොටුවී ඇතැයි පැවැසෙන්නේ ඒ අවස්ථාවේදීය.

පොලිස් කොස්තාපල් මත්ද්‍රව්‍ය ජාවාරම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගනු ලැබුවහොත් එම  මත්ද්‍රව්‍ය  ජාලයේ සියලු තොරතුරු ඔහුගෙන් හෙළිවනු ඇතැයි සිතා  මත්ද්‍රව්‍ය  ජාවාරම්කරුවන් ඔහු ඉන්දියාවට මෙසේ කැඳවා ගන්නට ඇතැයි විමර්ශන නිලධාරිහු පවසති.  මේ පොලිස් කොස්තාපල් අත්අඩංගුවට ගැනීමේ සිද්ධිය ඇතැම් ඉන්දීය මාධ්‍ය පවා මේ වනවිට වාර්තා කර තිබෙන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.  සපුගස්කන්ද හෙයියන්තුඩුව ප්‍රදේශයේ වඩු මඩුවක සගවා තිබී මෙම හෙරොයින් කිලෝ විසිතුන මීගහවත්ත පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් විසින් සොයා ගනු ලැබුවේ ඉකුත් 2 වැනිදාය. 

සැකකාර පොලිස් කොස්තාපල්ගේ සහෝදරයකු විසින් එම වඩු මඩුව පවත්වාගෙන යනු ලැබූ අතර සිද්ධිය සම්බන්ධයෙන් එම පුද්ගලයා ද පොලිසිය විසින් ඒ අවස්ථාවේදීම අත්අඩංගුවට ගනු ලැබීය.  සැකකරු රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කරගෙන යන අතර තම සහෝදරයා වූ පොලිස් කොස්තාපල් අවස්ථා ගණනාවකදීම වඩු මඩුවට පැමිණ හෙරොයින් පැකැට් තොග රැගෙන ගිය බව ඔහු එම ප්‍රශ්න කිරීම්වලදී ප්‍රකාශ කර ඇතැයි පොලිසිය පවසයි. තම සහෝදරයා හෙරොයින් රැගෙන ගොස් බාර දුන්නේ කාටදැයි තමා කිසිවක් නොදන්නා බව ද ඔහු වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.

-ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය-

වාහන අලෙවිකරුවකු ලක්ෂ 25ක් වංචා කළැයි මන්ත්‍රී ෆයිසාල්ගෙන් පැමිණිල්ලක්




කොහුවල, දුටුගැමුණු මාවතේ වාහන අලෙවිකරුවකු තමාට වාහනයක් විකුණන බව අගවමින් රුපියල් කෝටියක මුදලක් වංචාකර එම මුදලින් විටින් විට රුපියල් ලක්ෂ 75 ක් පමණක් ගෙවා ඉතිරි ලක්ෂ 25වංචාකර සැගවී සිටින බවට පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් කාසිම් මොහොමඩ් ෆයිසාල් මහතා කොළඹ  වංචා විමර්ශන කාර්යාංශයට පැමිණිල්ලක් කර තිබේ.  තමා 2018 වසර වනවිට සෞඛ්‍ය නියෝජ්‍ය ඇමැතිධුරය දරමින් සිටි අතර එම වසරේ ඔක්තෝබර් මාසයේදී එම ධුරයෙන් ඉවත්වූ පසුව රජයේ නිල වාහන බාරදුන් නිසා පෞද්ගලික පරිහරණයට වාහනයක් මිලදී ගැනීමට තීරණය කළ බවද මන්ත්‍රීවරයාගේ පැමිණිල්ලේ සඳහන් වේ. ඒ අනුව තමාගේ සම්බන්ධීකරණ ලේකම්වරයා එම වසරේ  නොවැම්බර් මස 28 වැනි දින කොහුවල දුටුගැමුණු මාවතේ වාහන අලෙවි සලකට ගොස් මිට්සුබිෂි මොන්ටෙරෝ ජීප්  රථයක් මිලදී ගැනීමට කතිකා කරගත් බවද තමා ඊට කැමැත්ත පළ කර රුපියල් කෝටියක මුදලක් දුන් බවද එම පැමිණිල්ලේ සදහන් කර තිබිණි.

එහෙත් වාහන අලෙවිකරු පොරොන්දු වූ පරිදි මුදල් ගෙවූ දින පස්වරුවේ වාහනය නිවසට ගෙනැවිත් නොදුන් අතර දින තුනකින් දෙන බවත් නැවත දින කීපයකින් ලබාදෙන බවටත් පොරොන්දු වුවද මේ දක්වා කිසිදු දිනක වාහනය ගෙනැවිත් නොදුන් බවද පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් ෆයිසාල් මහතා කොළඹ වංචා විමර්ශන කාර්යාංශයට කර ඇති පැමිණිල්ලේ සඳහන් කර ඇත.  වාහන අලෙවිකරු වංක ලෙස කටයුතු කරමින් මොන්ටෙරෝ ජීප් රථය සඳහා තමාගෙන් මුදල් ලබාගත් බවත් බොරු පොරොන්දු දී හා නැවත මුදල් ඉල්ලීමේදී අගරු චෙක්පත් කීපයක් දුන් බවත් එම පැමිණිල්ලේ සඳහන් වේ.  කෙසේ වෙතත් මුදල් දෙනතුරු ඇපයක් ලෙස පාවිච්චි කර තබා ගැනීම සඳහා වාහන අලෙවිකරු තමාට වෙනත් මෝටර් රථයක් දුන් බවද පැමිණිල්ලේ සඳහන් කරන මන්ත්‍රීවරයා කෙසේ හෝ විටින් විට ලක්ෂ 75 ක මුදලක් පමණක් ලබාගත් බවද සඳහන් කර ඇත.

වාහන අලෙවිකරු මේ වනවිට තමාගේ ඉතිරි රුපියල් ලක්ෂ 25 නොදී සැගවී සිටින බවද දුරකථන ඇමතුම් වලට පවා පිළිතුරු නොදෙන බවද පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් කාසිම් මොහොමඩ් ෆයිසාල් මහතා කොළඹ වංචා විමර්ශන  කාර්යාංශයට කර ඇති පැමිණිල්ලේ සඳහන් වේ.  එමගින් වාහන අලෙවිකරු සාපරාධී විශ්වාස කඩකිරීමක් සහ තමාගේ මුදල් දේපළ සාපරාධී අයථා භාවිත කිරීමක් කර ඇති බැවින් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නැයිද මන්ත්‍රීවරයා එම පැමිණිලෙන් ඉල්ලා තිබේ.

-රංජන් කස්තුරි-

Thursday, September 3, 2020

කොස්තාපල් මල්ලිගේ කෝටි 23ක කුඩු අයියාගේ වඩුමඩුවේ


හෙයියන්තුඩුව, සමගි මාවතේ පිහිටි වඩුමඩුවක සඟවා තිබූ රුපියල් කෝටි 23ක් පමණ වටිනා හෙරොයින් තොගයක් එම වඩුමඩුවේ හිමිකරු ද සමග මීගහවත්ත පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඊයේ (2) අත්අඩංගුවට ගනු ලැබීය.  හෙරොයින් තොගය සඟවා තබාගන්නා ලෙස පවසා කොළඹ අපරාධ විමර්ශන කොට්ඨාසයේ රාජකාරි කරන පොලිස් භටයකු වන තම මල්ලී විසින් ඔහුගේ අයියා වන මෙම සැකකරුට මීට මසකට පමණ ඉහතදී ගෙනැවිත් බාර දෙන ලද බව සැකකරුගෙන් ප්‍රශ්න කිරීමේ දී අනාවරණය වී යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය. 

මේ බව අනාවරණය වීමෙන් පසු මීගහවත්ත පොලිසියේ නිලධාරින් කණ්ඩායමක් සැකකාර පොලිස් කොස්තාපල් අත්අඩංගුවට ගැනීමට කොළඹ  අපරාධ කොට්ඨාස මූලස්ථානයට ගොස් ඇත.  එම කොස්තාපල් හදිසියේ රෝගාතුර වූ බව කියමින් ප්‍රතිකාර ගැනීමට කොළඹ ජාතික රෝහලට යන බව කියා ඒ වනවිටත් පිටත්ව ගොස් ඇති බව දැනගැනීමට ලැබිණි  යැයි පොලිසිය කියයි.  මෙම කොස්තාපල් රෝහලට ගොස් නොමැති බව පරික්ෂණවලින් අනාවරණය වී යැයි පොලිසිය පවසයි.  තම සහෝදරයාට බාරදී තිබූ හෙරොයින්  තොගය පොලිසියට අසුවී ඇති බව දැනගත් සැකකරු උපක්‍රමශීලි ලෙස රාජකාරි ස්ථානයෙන් පිටව ඇති බව මේ අනුව පෙනී යන්නේ යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවැසීය.  

කැලණිය කොට්ඨාසය භාර ජ්‍යෙෂ්ඨ  පොලිස් අධිකාරි රොෂාන් ඩයස් මහතාගේ උපදෙස් මත මෙම කොස්තාපල් අත්අඩංගුවට ගැනීමට පොලිස් කණ්ඩායමක් පරික්ෂණ පවත්වාගෙන යයි. හෙරොයින් ග්‍රෑම් 12යි මිලිග්‍රෑම් 105ක් සමග මීට දින කිහිපයකට ඉහතදී මීගහවත්ත පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබූ සැකකරුවකු රැඳවුම් නියෝග මත රඳවාගෙන ප්‍රශ්න කිරිමේ දී හෙයියන්තුඩුව සමගි මාවතේ පිහිටි වඩුමඩුවේ අයිතිකරුගෙන් මෙම හෙරොයින් මිල දී ගත් බව ඔහු හෙළි කළේ යැයි ද එම නිලධාරියා කීය. වඩුමඩුව වටලා හෙරොයින් කිලෝ එක බැගින් අඩංගු පාර්සල් විසිතුනක්  සොයාගෙන එහි අයිතිකරු අත්අඩංගුවට ගනු ලැබූයේ ඒ අනුවය.


-ශ්‍රිනාත් ප්‍රසන්න-

Wednesday, September 2, 2020

පාතාලයන්ගේ කෝටි 400ක ඉඩම් 12ක් -සැප කාර් 26ක් තහනම්



විවිධ අපරාධකරුවන් බස්නාහිර පළාතේ මෙහෙයවා ඇති මත්ද්‍රව්‍ය ජාවාරම්  ඇතුළු නොයෙකුත් අපරාධ මගින් උපයා ගෙන ඇති රුපියල් කෝටි 400කට වැඩි වටිනාකමින් යුත් ඉඩම් ඇතුළු  දේපළ 12ක්ද, සුඛෝපභෝගී මෝටර් රථ ඇතුළු වාහන 20ක්ද සොයාගෙන ඇති අතර ඒවා තහනම් කිරීමට කටයුතු කරගෙන යන බව වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නීතිඥ රුවන් ගුණසේකර මහතා පැවැසීය. අපරාධකරුවන් සතු පර්චස් 900ක පමණ ඉඩම් ද බස්නාහිර පළාතෙන් සොයා ගෙන ඇතැයි ගුණසේකර මහතා කීවේය. මේ අපරාධකරුවන්ට අයත් බැංකු ගිණුම් 102ක් ද සොයා ගත් බවත්, මේ ගිණුම් ඔස්සේ රුපියල් කෝටි 260කට වැඩි මුදලක් සංසරණය වී ඇති බවට  තොරතුරු අනාවරණය වී තිබෙන බවත් ඔහු පැවසීය.

මේ බැංකු ගිණුම්වල ඇති රුපියල් කෝටී දහයකට ආසන්න මුදලක් තහනම් කිරීමට මේ දිනවල කටයුතු කරගෙන යන බව ද රුවන් ගුණසේකර මහතා පැවැසීය. මේ අතර අපරාධකරුවන් නීති වීරෝධීව ඉපයූ දේපළ සම්බන්ධයෙන් ඉකුත් අගෝස්තු මාසයේ දී පොලිසියට පැමිණිලි 110ක් ලැබී තිබෙන අතර, ඒ පැමිණිලි සම්බන්ධයෙන් විමර්ශන කර එම දේපළ තහනම් කිරීමට ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කටයුතු කරගෙන යයි. 

මේ අතර විදේශයන්ට පලාගොස් සිටින දරුණු ගණයේ අපරාධකරුවන් 14 දෙනකු අත්අඩංගුවට ගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ජාත්‍යන්තර  පොලිසියෙන් (ඉන්ටර්පෝල්) රතු නිවේදන ලබාගෙන ඇතැයි වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.  මේ දාහතර දෙනාම මෙරට සිදු වූ මනුෂ්‍ය ඝාතන මත්ද්‍රව්‍ය ජාවාරම් ඇතුළු අපරාධ සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍යව සිටින පුද්ගලයන් බව කී වැඩබලන පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඔවුන් අත්අඩංගුවට ගැනීමට දැනටමත් විමර්ශන අරඹා ඇති බව ද ප්‍රකාශ කළේය.

-ඉන්දිකා රාමනායක-


Friday, August 28, 2020

අභය භූමිය ඩෝසර් කර ඉස්සන් කොටු ගහලා



රැම්සා සම්මුතිය අනුව තෙත් බිමක් වශයෙන් ද ප්‍රකාශයට පත්කර ඇති පුත්තලම, ආනවිළුන්දාව අභය භූමියේ කොටසක් කිසියම් පිරිසක් විසින් ඉකුත් 25 වැනිදා රාත්‍රියේ ඩෝසර් යන්ත්‍ර යොදා ගනිමින් විනාශ කරනු ලැබ ඇත. ආනවිළුන්දාව අභය භූමියට අයතා මුතුපන්තිය, කාසන්වත්ත සීමාවේ කොටසක් මෙලෙස විනාශ කර ඇති අතර ඉස්සන් කොටු සෑදීම සඳහා කිසියම් පිරිසක් විසින් මෙසේ කරන්නට ඇතැයි ප්‍රදේශවෑසීහු චෝදනා කරති. මේ සම්බන්ධයෙන් කළ විමසීමක දී පුත්තලම සහකාර වනජීවී අධ්‍යක්‍ෂ එරන්ද ගමගේ මහතා පැවසුවේ ආනවිළුන්දාව අභය භූමියේ සිදුකර ඇති විනාශය පිළිබඳව හලාවත දිසා අධිකරණයට ද කරුණු වාර්තා කර ඇති බවයි. 

මෙම විනාශය සිදු කළ සැකකරුවන් හා යොදාගත් යන්ත්‍ර අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වමින් සිටින බව ද පුත්තලම සහකාර වනජීවී අධ්‍යක්‍ෂවරය සඳහන් කළේය.  ආනවිළුන්දාව පරිසර පද්ධතිය වනජීවී නීතිය  යටතේ අභය භූමියක් ලෙස ප්‍රකාශයට පත්කර ඇති අතර රැ සම්මුතිය අනුව තෙත් බිම් පද්ධතියක්  ලෙස ද ප්‍රකාශයට පත්කර ඇතැයි ඔහු පැවසීය.

ඉකුත් 25 වැනිදා පස්වරු 4.30ට පසු කිසියම් පිරිසක් ඩෝසර් යන්ත්‍රයක් රැගෙන අභය භූමියට ඇතුළු වී මෙම විනාශය සිදුකර ඇතැයි ද එරන්ද  ගමගේ මහතා කීවේය. එම විනාශ කළ කොටසේ ශාක ස්ථර සම්පුර්ණයෙන් ඉවත් කර ඇතැයිද ඔහු ප්‍රකාශ කළේය. මීට පෙර ද මෙම පරිසර පද්ධතියට ඇතුළු වූ පිරිස් මෙවැනි විනාශයත් කර ඇති බව ඔහු කීවේය.  මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් වයඹ පරිසර හඬ සංවිධානය නියෝජනය කරන පරිසරවේ දී අජිත් ගිහාන් මහතා පැවසුවේ උඩප්පුව ප්‍රධාන මාර්ගය ඔස්සේ මුතුපන්තිය වෙත ගමන් ගන්නා අතුරු මාර්ගයකින් මෙම ඩෝසර් යන්ත්‍ර ඇතුළු කරන්නට ඇතැයි සැක කරන බවයි.  මෙයට පෙර ද ආනවිළුන්දාව අභය භූමියට අවස්ථා ගණනාවක දී විවිධ පිරිස් ඇතුළු වී එහි කොටස් බලහත්කාරයෙන් අල්ලාගෙන ඉස්සන් කොටු සකසා ඇති බවයි. මෙම සිදුවීම් 2000 වසරේ හා ඉන් පසුව ද වාර්තා වී ඇති අතර ඒවාට විරුද්ධව නීතිය ක්‍රියාත්මකවීමත් සමඟ අදාළ පිරිස් එම ස්ථාන අතහැර ගිය බව ද අජිත් ගිහාන් මහතා කීවේය.

පරිසරය රැකගැනීම ගැන නිරන්තරයෙන් අදහස් දැක්වූ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා මෙම විනාශයට එරෙහිව නිසි පියවර ගනිමින් මෙම පරිසර පද්ධතිය ආරක්‍ෂ කර ගැනීමට කටයුතු කරනු ඇතැයි අපේක්‍ෂ කරන බව ද ඔහු සඳහන් කළේය. කිසියම් දේශපාලන සහයෝගයක් නොමැතිව අභය භූමියකට ඇතුළු වී මෙවැනි විනාශයක් කිරීම අපහසු බැවින් මේ පිටුපස කිසියම් දේශපාලන හස්තයක් ඇති බවට සැකයක් පවතින බව ද ගිහාන් මහතා පැවසීය. මෙසේ වනසා දැමූ කොටසේ නැවත කඩොලාන රෝපණය කිරීමට පරිසරවේදීන් හා වනජීවී නිලධාරින් එක්ව මේ වන විටත් පියවර ගෙන තිබෙන බව ඔහු කීවේය. ආනවිළුන්දුව අභය භූමිය හෙක්ටයාර් 1397 කින් සමන්විත අතර එය 2001 අගෝස්තු 3 වන දින ජාත්‍යන්තර රැම්සා සම්මුතිය අනුව තෙත් බිමක් ලෙසට ප්‍රකාශයට පත් කර තිබේ . 

ප්‍රධාන වැව් තුනක් ඇතුළු අලංකාර වැව් පද්ධතියකින් සමන්විත ආනවිළුන්දාව දේශීය හා මෙරටට පැමිණෙන විදේශීය සංචාරක පක්‍ෂීන් වර්ග රැසක් වාසය කරන සුවිශේෂ අභය භූමියක් වන බව ද වනජීවී නිලධාරිහු පවසති. පුත්තලම-කොළඹ ප්‍රධාන මාර්ගයේ ආරච්චිකට්ටුව ආනවිළුන්දාව ප්‍රදේශයෙන් මෙම සුන්දර පරිසර පද්ධතියට නැරඹීමට පැමිණිය හැකිය. කිසියම් දේශපාලන සහයෝගයක් නොමැතිව අභ්‍ය භූමියකට ඇතුළු වී මෙවැනි විනාශයක් කිරීම අපහසු බැවින් මේ පිටුපස කිසියම් දේශපාලන හස්තයක් ඇති බවට සැකයක් පවතින බව ද ගිහාන් මහතා පැවැසීය.

-ඩයනා උදයංගනී-

Thursday, August 27, 2020

අංගොඩ ලොක්කාගේ රහස් නිවසක කෝටි 40ක කුඩු -ගිනිඅවි



සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයකු වන අංගොඩ ලොක්කා නමැත්තා මුල්ලේරියාව අඹතලේ හන්දියේ පවත්වාගෙන ගිය රහසිගත ආරක්ෂිත නිවසක් වටලා රුපියල් කෝටි 40කට ආසන්න වෙළෙඳ වටිනාකමින් යුත් හෙරොයින් කිලෝ 42ක්, ටී 56 ගිනි අවි තුනක්, මැගසින් පහක්, ටී 56 උණ්ඩ 170ක්, පිස්තෝලයක් සහ එම මැගසිනයක් ඊයේ (26) සොයාගත් බව කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. අත්අඩංගුවට ගත් හෙරොයින් තොගය කිලෝ 1 පැකැට් වශයෙන් තිබූ බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය. අංගොඩ ලොක්කා විසින් මත්කුඩු හා ගිනි අවි ගබඩා කිරීම සඳහා භාවිත කරන ලද ආරක්ෂිත නිවසක් පොලිසියෙන් සොයාගත් ප්‍රථම අවස්ථාව මෙය බව ද පොලිසිය සඳහන් කරයි.

ඩුබායි රාජ්‍යයට පලා යෑමට තැත් කිරීමේදී ඉකුත් 23 වැනිදා අලුයම අත්අඩංගුවට ගත් සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන් සිවුදෙනා අතර සිටි අංගොඩ ලොක්කාගේ ගෝලයකු වන වෙන්නෙවත්තේ පදිංචි  මොහොමඩ් සුබීර් නමැත්තාගෙන් ප්‍රශ්න කිරීමේ දී හෙළි වූ තොරතුරු අනුව මෙම නිවස සොයාගත් බව පොලිස් නිලධාරියෙක් පැවැසීය. මෙම නිවස පාළුවට ගිය පැරැණි නිවසක් බවත්, මෙය විකිණීම සඳහා සූදානම් කර තිබූ එකක් බව ද පොලිස් ආරංචි මාර්ග පවසයි.  

අගොඩ ලොක්කාගේ උපදෙස් මත ඔහුගේ ගෝලයන් ඉහත නිවස පවත්වාගෙන ගොස් ඇති අතර  මෙම නිවස සම්බන්ධයෙන් කිසිදු පුද්ගලයකුට සැකයක් ඇති නොවන අයුරින් එහි ඉබි යතුරු දමා වසා දමා තිබූ බව ද පොලිසිය කියයි. කාමර තුනකින් සමන්විත  එම නිවසේ මැද කාමරයේ සිමෙන්තියෙන් තතත ලද කබඩ් එකක් තුළ ආරක්ෂිත ලෙස මෙම මත්කුඩු හා අවි ගබඩා කර තිබී ඇත.  මේ ආකාරයේ තවත් නිවාස මොවුන් විසින් පවත්වාගෙන යනු ලබන්නේ ද යන්න හෙළිකර ගැනීම සඳහා පොලිසිය සැකකරුවන්ගෙන් දීර්ඝ වශයෙන් ප්‍රශ්න කරගෙන යයි.


-ඉන්දිකා රාමනායක-

කතකගේ ලිංගික අල්ලස් ඉල්ලූ හොරණ එස්.අයි.ලැඟුම්හලේදීම මාට්ටු

කාන්තාවකගෙන් ලිංගික අල්ලසක් ලබාගැනීමට තැත්කළ බව කියන හොරණ මූලස්ථාන පොලිසියේ රාජකාරි කරන උපපොලිස් පරීක්ෂකවරයකු ඉංගිරිය, නම්බපාන ප්‍රදේශයේ ලැගුම්හලක් තුළදී ඊයේ (26) දහවල් සැකපිට අත්අඩංගුවට  ගත් බව අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසමේ විමර්ශන අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී පමිණී වීරසූරිය මහත්මිය පැවසුවාය. ගෝනපල ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසින් කරනු ලැබූ  පැමිණිල්ලක් අනුව වැටලීමක් සිදුකර සැකකාර උපපොලිස් පරික්ෂකවරයා අත්අඩංගුවට ගෙන ඇතැයි ද ඇය සඳහන් කළාය.

පැමිණිලිකාර කාන්තාවගේ පුතකු විසින් හොරණ පොලිසියට කරන ලද පැමිණිල්ලක පිටපතක් වෙනුවට ලදුපතක් පැමිණිලිකාර කාන්තාවට ලබාදීම සඳහා ඒ වෙනුවෙන් ලිංගික අල්ලසක් ඉල්ලා ඇතැයි ද වීරසූරිය මහත්මිය කීවාය. නම්බපාන ප්‍රදේශයේ ලැගුම්හලක් වෙත පැමිණිලිකාර කාන්තාවට පැමිණෙන ලෙසට දැනුම් දී එහි කාමරයක් තුළදී කාත්තාවගෙන් ලිංගික අල්ලසක් ලබාගැනීමට සැකකාර උපපොලිස් පරීක්ෂකවරයා තැත්කළ අවස්ථාවේදී ඔහු අත්අඩංගුවට ගත්තේ යැයි ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරිය පැවසුවාය. සැකකරු සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වා ඔහු හොරණ මහේස්ත්‍රාත් අධිකරෂ්ණය හමුවට ඉදිරිපත් කිරීමට අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම කටයුතු කරගෙන යයි.


-ශ්‍රිනාත් ප්‍රසන්න ජයසුරිය-

මහර බන්ධනාගාර නියාමක ගුවන් හමුදා සේවක අත්අඩංගුවට


හෙරොයින් ජාවාරමේ යෙදී සිටි බව පැවැසෙන බන්ධනාගාර නියාමකවරයකු හා ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ සිවිල් සේවකයකු ඇතුළු සිවුදෙනකු හෙරොයින්, මුදල් හා තවත් භාණ්ඩ තොගයක් සමග ඊයේ (26) උදෑසන සිදුකළ වැටලීම් කිහිපයකින් අත්අඩංගුවට ගත් බව වේයන්ගොඩ පොලිසිය පවසයි. බන්ධනාගාර නියාමකවරයා මහර බන්ධනාගාරයේ සේවයේ නියුතු උඩුගම්පොල, ගොයිගම, කජුහේනවත්ත ප්‍රදේශයේ පදිංචි තිස්හත් හැවිරිදි අයකු බව ද ගුවන් හමුදා මූලස්ථානයේ සේවයේ නියුතු සිවිල් සේවකයා  වේයන්ගොඩ බෙම්මුල්ලේ පදිංචිකරුවකු බව ද පොලිසිය                                                                                                         කියයි.

බන්ධනාගාර නියාමකවරයාගේ නිවෙසේ සහ ඔහු සන්තකයේ තිබී බැංකු ගිණුම් පොත් 10 ක්, ඒටීඑම් කාඩ්පත් 13ක්, මුදල් රුපියල් 56,000ක්, පෙන්ඩ්‍රයිව් 2ක්, ජංගම දුරකතන 3ක් හා එම සිම් කාඩ්පත් 3ක් ද අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි. වේයන්ගොඩ සහ ඒ අවට ප්‍රදේශවලට හෙරොයින් බෙදාහරින්නෙකු බව පැවැසෙන වේයන්ගොඩ කොරස පදිංචි 'පොඩි කොයිය' යන අන්වර්ථ නාමයකින් හැඳින්වෙන ජාවාරම්කරුවකු යතුරුපැදියක් ද සමග මෙම වැටලීමේදී පොලිස් අත්අඩංගුවට පත්ව ඇත.

මොහු දැනට බන්ධනාගාරගතව සිටින මහා පරිමාණ හෙරොයින් ජාවාරම්කරුවකු බව පැවැසෙත අතුල චමින්ද කුමාර හෙවත් රගරා නමැති පුද්ගලයාගේ ප්‍රධාන ගෝලයා බව ද පොලිසිය කියයි. බන්ධනාගාර නියාමකවරයා සහ ගුවන් හමුදා සිවිල් සේවකයා ඇතුළු අත්අඩංගුවට පත්  සිවුදෙනාට අලෙවිය සඳහා හෙරොයින් සපයා ඇත්තේ පොඩි කොයියා යන අනවර්ථ  නාමයෙන් හැඳින්වෙන ජාවාරම්කරු විසින් බව ද පොලිස් පරීක්ෂණවලදී හෙළිවී තිබේ. ගුවන් හමුදා සිවිල් සේවකයා සන්තකයේ තිබී හෙරොයින් මිලිග්‍රෑම් 3ක් සහ ඔහුගේ නිවෙසේ තිබී හෙරොයින්වල බර කිරීම සඳහා යොදාගෙන ඇති බවට සැක කරන නවීන විද්‍යුත් තරාදියක් හා යතුරුපැදියක් ද පොලිසිය අන්දඅඩංගුවට ගෙන ඇත.

-එස්.යු.ඩබ්ලිව්.කේ.ජයවර්ධන-

Monday, August 24, 2020

හැරමිටියෙන් යන වයස 72 මවට තනි කකුලේ පුතා පහරදී අතක් කඩලා

හැරමිටි වාරුවෙන් යමින්සිටි 72 හැවිරිදි මවට පොල්ලකින් පහර දී අතක් කඩා දැමූ බව කියන ඇයගේ පුතකු ඊයේ (23) අත්අඩංගුවට ගත් බව උහන පොලිසිය කියයි. සැකකරු එක් පාදයක් අහිමි විශ්‍රාමික යුද හමුදා සාජන් මේජර්වරයෙකි. පහර කෑමට ලක්වූ මව අම්පාර රෝහලේ වෛද්‍ය ප්‍රතිකාර  ලබමින් පසුවන බව පොලිසිය පවසයි.පහර කෑමට ලක්වූ 12 හැවිරිදි මවගේ එක් අතක් අස්ථි බිඳීමකට ලක්වී ඇති බව ඇය පරික්ෂා කළ වෛද්‍යවරුන් දැනුම් දුන් බව එම පොලිස් නිලධාරියා කීය. 

බීමතින් පැමිණි බව කියන සැකකාර පුතා හැරමිටි වාරුවෙන් වැසිකිළියට යමින් සිටි තමාට පොල්ලකින් දිගට හරහට පහරදුන් බව කියමින් එම මව උහන පොලිසියට පැමිණිලි කර ඇත.  පහර නොදෙන ලෙස මව පුතාගෙන් ඉල්ලා සිටිය ද එය නොතකා පහරදීම සිදුකර ඇති බවත් ඉන් නොනැවතුණ සැකකරු සිය වයෝවෘද්ධ මවගේ හිස කිහිපවරක්ම බිත්තියේ ගසා ඇති බවත් පොලිසිය සඳහන් කරයි.

පහරදීම සිදු කළ බව කියන සැකකාර පුතා 2006 වසරේ දී කොටි බෝම්බයකට හසුව එක් පාදයක් අහිමිව සිටින විශ්‍රාමික යුද හමුදා සාජන් මේජර්වරයෙකි.මොහුට අවුරුදු 05 ක පමණ වයසේ පසුවන පුතකු ද සිටින අතර බාලවයස්කාර පුතා බලා සිටිය දී මෙම පහරදීම  සිදුකර ඇති බව ද පැවසේ.

බීමතින් පැමිණි පුතා තමාට නිතර හිරිහැර හා කරදර  කරන බව ඇය කළ පැමිණිල්ලේ වැඩිදුරටත් සඳහන් වන බව ද පැවසේ. වයෝවෘද්ධ මෙම මව කළ පැමිණිල්ල අනුව පරික්ෂණ පවත්වා සැකකරු ඊයේ අත්අඩංගුවට ගත් බව ද පොලිසිය කීය.

-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය-


රටින් පනින්න යද්දී පාතාලයෝ 4ක් ගුවන් තොටේදී කොටුවෙති



ඩුබායි රාජ්‍යයට හොර රහසේ පලා යැමට උත්සාහ දැරු ප්‍රසිද්ධ පාතාල නායකයකු ලෙස සැලැකෙන සාරංග ප්‍රදීප් හෙවත්  'වැල්ලේ සාරංග' නමැත්තා ඇතුළු ප්‍රබල අපරාධකරුවා සිවුදෙනෙක් රුපියල් ලක්ෂ විසිනවයක මුදල් ද සමග කොළඹ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් කටුනායක ගුවන්තොටුපොළේදී ඊයේ (23) අලුයම 2.30ට පමණ ,අත්අඩංගුවට ගනු ලැබූහ.

වැල්ලෙ සාරංග පාතාලයේ ප්‍රබල වෙඩික්කරුවකු ලෙස ප්‍රසිද්ධියට පත්ව සිටි අයකු යැයි කියති. අත්අඩංගුවට ගත් සෙසු තිදෙනා වන්නේ අංගොඩ ලොක්කා නමැත්තාගේ ගෝලයන් දෙදෙනකු වන වැල්ලම්පිටිය කොටුවිල පදිංචි බුද්ධික සංජීව, වැල්ලම්පිටිය වෙන්නවත්තේ පදිංචි තබීන් මොහොමඩ් සුබීර් සහ වැල්ලම්පිටිය සේඳවත්තේ පදිංචි ඉෂාර ලක්මාල් නමැති සැකකරුවන් බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය. අපරාධ රැසක් සම්බන්ධයෙන් පොලිසියට අවශ්‍ය කර සිටි තබීන් මොහොමඩ් සුබීන් නමැත්තා ඩුබායි රාජ්‍යයට පලා යැම සඳහා කටුනායක ගුවන්තොටුපොළට පැමිණ සිටින බවට කොළඹ අපරාධ කොට්ඨාසයට ලැබුණු තොරතුරක් මත පොලිස් කණ්ඩායම් ඔහු අත්අඩංගුවට ගැනීමට ගුවන්තොටුපොළට ගොස් සිටි අවස්ථාවේ සෙසු සැකකරුවන් තිදෙනා ද එම පොලිස් කණ්ඩායමට කොටු වූ බව එම තිලධාරීයා කියා සිටියේය.

මොවුන් සියලුදෙනාම ඔවුගේ උප්පන්නයේ සඳහන්  නම්වලින්ම ගුවන්ගත වීමට කටුනායක ගුවන්තොටුපොළට,පැමිණ සිට ඇති බව ද කොළඹ අපරාධ කොට්ඨාසය කියයි. පොලිසිය හා හමුදාව පාතාලය පසුපස දිගින් දිගටම හඹා එන හෙයින් ජීවිත ආරක්ෂාව සඳහා ඩුබායි රාජ්‍යයට මෙසේ පැන යෑමට උත්සාහ දැරූ බව සැකකරුවන් පොලිස් ප්‍රශ්න කිරීමේදී ප්‍රකාශ කර ඇතැයි උසස් පොලිස් නිලධාරියෙක්  ඊයේ (23) පැවැසීය.

අත්අඩංගුවට ගනු ලැබූ සිවුදෙනාම හෙරොයින් හා ගංජා ජාවාරම්වල නිරතව සිටියවුන් බවත් පොලිසිය පවසයි.  මෙසේ අත්අඩංගුවට ගනු ලැබූ අංගොඩ ලොක්කාගේ එක් ගෝලයකුට විරුද්ධව අධිකරණයේ අපරාධ නඩු කිහිපයක්  පවතින අතර අනෙක් ගෝලය හංවැල්ල ප්‍රදේශයේ රජයේ බැංකුවක් කොල්ලකෑමේ සිද්ධියක සැකකරුවකු යැයි ද පොලිස් පරික්ෂණවලදී තොරතුරු හෙළිවී ඇත.

අත්අඩංගුවට ගනු ලැබූ අනෙක් සැකකරු කේරළ ගංජා  මෙරටට ගෙන්වීමේ ප්‍රධාන ඒජන්තවරයා ලෙස කටයුතු කර ඇතැයි කියති. කොළඹ අපරාධ කොට්ඨාසයට ලැබුණු ඔත්තුවක් අනුව කළ මෙහෙයුමකදී අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරුවන්  සිවුදෙනාගෙන් දිගින් දිගටම ප්‍රශ්න කරගෙන යන බව පොලිස් මූලස්ථානය පවසයි. මෙම වැල්ලේ සුරංග ඇතුළු සිවුදෙනා පැය 72ක කාලයක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අධිකරණය අවසර දුන් බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


-ඉන්දිකා රාමනායක-