යොහාන් භාසුර
ජාතික පද්ධති මෙහෙයුම් පෞද්ගලික සමාගම මෙම වසරේ දෙවැනි සහ තෙවැනි කාර්තු සඳහා විදුලි ගාස්තු ඉහළ දැමීමට ඉදිරිපත් කළ යෝජනාව සම්බන්ධයෙන් මහජන අදහස් විමසීමට තීරණය කළ බවත්, විදුලි ගාස්තු පිළිබඳ අවසන් තීරණය ලබන මස 9 වැනිදා නිලවශයෙන් ප්රකාශ කරන බවත්, මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අධ්යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසීය.
ජාතික පද්ධති මෙහෙයුම් පෞද්ගලික සමාගම ඉදිරිපත් කළ විදුලි ජනන පිරිවැය ඇස්තමේන්තු සමාලෝචනය කිරීමෙන් අනතුරුව කොමිෂන් සභාව සකස් කළ විදුලි ගාස්තු සංශෝධන උපදේශන පත්රිකාව ප්රකාශයට පත්කළ බවත්, එම උපදේශන පත්රිකාව පරිශීලනය කර සියලුම පාර්ශ්වවලට අදහස් හා යෝජනා ඉදිරිපත් කළ හැකි අතර, ලබන මැයි 6 වැනිදා දක්වා ලිඛිත අදහස් යෝජනා බාර ගන්නා බවත් හේරත් මහතා කීය.
එම යෝජනාව පිළිබඳව වාචික අදහස් දැක්වීමේ සැසිය මැයි 6 වැනිදා කොළඹ බණ්ඩාරනායක ජාත්යන්තර සම්මන්ත්රණ ශාලාවේදී පැවැත්වෙන අතර, අදහස් හා යෝජනා තැපෑලෙන්, ඊමේල්, වට්ස්ඇප් හෝ ෆැක්ස් හරහා ඉදිරිපත් කළ හැකි බව කී හේරත් මහතා වාචික අදහස් දැක්වීම සඳහා පූර්ව ලියාපදිංචිය අවශ්ය වන අතර, 0764271030 දුරකතනයට අමතා ලියාපදිංචි විය හැකි බව ද ප්රකාශ කළේය.
එහිදී ඉදිරිපත් වන අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන විදුලි ගාස්තු සංශෝධනය පිළිබඳව අවසන් තීරණයට එළැඹෙන බව ද මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ ආයතනික සන්නිවේදන අධ්යක්ෂ ජයනාත් හේරත් මහතා පැවසීය. ලෝක වෙළෙඳ පොළේ ඉන්ධන මිල ඉහළ හේතුවෙන් 2026 වසරේ දෙවැනි සහ තෙවැනි කාර්තු සඳහා විදුලි ජනනයට අදාළ සංශෝධිත පිරිවැය ඇස්තමේන්තුවක් ජාතික පද්ධති මෙහෙයුම් පෞද්ගලික සමාගම ඉකුත් 27 වැනිදා ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ අනුමැතිය සඳහා ඉදිරිපත් කර ඇත.
එම යෝජිත විදුලි ගාස්තු සංශෝධනයට අදාළ උපදේශන පත්රිකාවේ රුපියල් බිලියන 15 ක රජයේ සහනාධාරය මැයි 10 වැනිදා සිට විදුලි පාරිභෝගිකයන්ට දීම, ගෘහස්ථ ආගමික සිද්ධස්ථාන විදුලි ඇතුළු පාරිභෝගිකයන් සියයට 95 කට රජයේ සහනාධාරය මත ගාස්තු ඉහළ නොදැමීමේ නිර්දේශය, පොදු කාර්ය, රාජ්ය ආයතන හා සංචාරක හෝටල් යන කාණ්ඩවල මාසික පරිභෝජනය ඒකක 180ට වඩා අඩු අනුකාණ්ඩ සඳහා ද ගාස්තුව ඉහළ නොදැමීමේ නිර්දේශය, කර්මාන්ත අංශයේ පළමු අනුකාණ්ඩය සඳහා ද විදුලි ගාස්තු ඉහළ නොදැමීමට නිර්දේශ සහ ගල් අඟුරු තත්වය හේතුවෙන් වන අතිරික්ත පිරිවැය විදුලි ගාස්තුවලට ඇතුළත් නොකිරීම යන කාරණා උපදේශන පත්රිකාවට ඇතුළත්ව ඇත. මෙම වසරේ දෙවැනි සහ තෙවැනි කාර්තු සඳහා විදුලි ජනන පිරිවැය ඉහළ යාම හේතුවෙන් ජාතික පද්ධති මෙහෙයුම් පෞද්ගලික සමාගම රුපියල් බිලියන 38ක හිඟයක් ඇතිවන බවට ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට යොමුකළ ඇස්තමේන්තුවේ සඳහන්ව ඇත.
මෙම හිඟය තුළ ගල් අඟුරු තත්වය ලංකා විදුලි ජනනය සඳහා බලපෑ අතිරේක වියදම් අඩංගු කර නොමැති අතර සමස්ත හිඟයෙන් රුපියල් බිලියන 15ක් සහනාධාර වශයෙන් දීමේ රජයේ තීරණය මහ භාණ්ඩාගාරය කොමිෂන් සභාව වෙත දැනටමත් දන්වා තිබේ.මේ අතර විශේෂ විදුලි ගාස්තු සංශෝධනය සම්බන්ධයෙන් ලිඛිත අදහස් හා යෝජනා ශ්රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව, 6 වැනි මහල, ලංකා බැංකු වෙළෙඳ කුලුන, ශාන්ත මයිකල් පාර, කොළඹ 3 යන ලිපිනයට, consultation@pucsl.gov. lk යන ඊමේල් ලිපිනයට, 0112392641 යන ෆැක්ස් අංකයට හෝ 0764271030 යන වට්ස්ඇප් අංකයට යොමුකළ හැකිය.
මහජන උපයෝගිතා කොමිසම මෙම මස 1 වැනිදා සිට ක්රියාත්මක වන පරිදි විදුලි ගාස්තුව සියයට 10 කින් ඉහළ දැමීමට පසුගිය මාර්තු මස 30 වැනිදා පියවර ගත්තේය.ජාතික පද්ධති මෙහෙයුම් පුද්ගලික සමාගම ඉන් පසුව මෙම වසරේ දෙවැනි කාර්තුව සඳහා සියයට 15ක විදුලි ගාස්තු ඉහළ දැමීමක් යෝජනා කරමින් මෙම මස 6 වැනිදා මහජන උපයෝගීතා කොමිසමට යෝජනාවක් ඉදිරිපත් කළ ද එම කොමිසම එම යෝජනාව සලකා බැලීමකින් තොරව ප්රතික්ෂේප කළේය. අප්රේල් මස සිට ජූනි මාසය දක්වා කාලයේ විදුලි ගාස්තුව සියයට 15 කින් පමණ ඉහළ දැමීමක් කළ හොත් අදාළ කාලය තුළ විදුලි ගාස්තුව සියයට 25 කින් පමණ ඉහළ යන බව පවසමින් මහජන උපයෝගිතා කොමිසම එම යෝජනාව අවස්ථාවේදී ප්රතික්ෂේප කළේය.
