Friday, July 31, 2026

දිවයින පුරා එළවළු හිඟයක අවදානමක්

 


පවතින වියළි කාලගුණය සහ පොහොර නොමැති වීම හේතුවෙන් ශ්‍රී ලංකාව තුළ එළවළු හිඟයක් මතුවෙමින් පවතින බව වෙළෙඳුන් පවසයි.


දඹුල්ල ආර්ථික මධ්‍යස්ථාන වෙළෙඳ සංගමයේ සභාපති සී. ඒ. සිරිවර්ධන මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළේ, පසුගිය දින කිහිපය තුළ ආර්ථික මධ්‍යස්ථානයට ලැබෙන දෛනික එළවළු සැපයුම කිලෝග්‍රෑම් 600,000 සිට කිලෝග්‍රෑම් 400,000 දක්වා කිලෝග්‍රෑම් 200,000කින් පහත වැටී ඇති බවයි.


වෙළඳපොළේ පවතින මිල ගණන් අනුව මාළු මිරිස් කිලෝවක් රුපියල් 500ත් 550ත් අතර ද, කැරට් කිලෝවක් රුපියල් 230ත් 250ත් අතර ද පවතී. එමෙන්ම වම්බටු කිලෝවක් රුපියල් 350කට, මුරුංගා කිලෝවක් රුපියල් 150ත් 200ත් අතර සහ වට්ටක්කා කිලෝවක් රුපියල් 115කට අලෙවි වන බව සඳහන් වේ.


මේ අතර, මෑතකදී ඇති වූ මෙම හිඟයට මූලිකවම හේතු වී ඇත්තේ රට තුළ පවතින වියළි කාලගුණ තත්ත්වය බව මැනින් වෙළඳපොළ වෙළෙඳුන්ගේ සංගමයේ හිටපු සභාපති එස්. එම්. උපසේන මහතා දේලි මිරර් පුවත්පතට ප්‍රකාශ කර තිබේ. ජලාශ සහ වැව්වල ජල මට්ටම සීඝ්‍රයෙන් පහත බැසීම හේතුවෙන් ගොවීන් එළවළු වගා කිරීමට අකමැත්තක් දක්වන බව ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.


කෙසේ වෙතත්, අත්‍යවශ්‍ය ද්‍රව්‍ය සඳහා පවා වියදම් කිරීමට ජනතාව අත මුදල් නොමැති වීම නිසා එළවළු සඳහා පවතින ඉල්ලුම පහත වැටී ඇති බැවින් මිල ගණන් තවදුරටත් ඉහළ යාමේ ප්‍රවණතාවක් නොමැති බව ද උපසේන මහතා සඳහන් කළේය. එළවළු සඳහා අතිරේක තොග පවත්වාගෙන යාමේ හැකියාවක් නොමැති වීම නිසා ඉදිරියේදී මෙම එළවළු අර්බුදය දැඩි බලපෑමක් එල්ල කළ හැකි බවට ද ඔහු අනතුරු අඟවයි.


අත්‍යවශ්‍ය වෛද්‍ය සේවා ප්‍රමාදයන් වැළැක්වීමට 1990 සුව සැරියෙන් යතුරුපැදි සේවාවක්

 


හදිසි වෛද්‍ය ප්‍රතිකාර අවශ්‍ය වන රෝගීන් වෙත ඉක්මනින් ළඟා වීම සඳහා 1990 සුව සැරිය පදනම මගින් යතුරුපැදි පදනම් කරගත් හදිසි වෛද්‍ය සේවාවක් හඳුන්වා දීමට පියවර ගෙන තිබේ. ගිලන්රථ ගමනාගමනයට බාධා එල්ල වන අධික රථවාහන තදබදයක් සහිත නාගරික ප්‍රදේශ ඉලක්ක කරගනිමින් මෙම නව සේවාව ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇත.


හදිසි වෛද්‍ය අවශ්‍යතාවයක් මතු වූ මොහොතේ සිට ගිලන්රථයක් එම ස්ථානයට ළඟා වන තෙක් ගතවන තීරණාත්මක කාල පරතරය අවම කිරීම මෙම වැඩසටහනේ ප්‍රධාන අරමුණයි. ඒ සඳහා අත්‍යවශ්‍ය ඖෂධ සහ වෛද්‍ය උපකරණවලින් සන්නද්ධ, විශේෂ පුහුණුව ලත් හදිසි ප්‍රතිචාර දක්වන්නන් යෙදවීමට කටයුතු යොදා තිබේ.


රථවාහන තදබදය සහ මාර්ග බාධා හේතුවෙන් ගිලන්රථ පැමිණීමට වැඩි කාලයක් ගතවන කොළඹ ඇතුළු ප්‍රධාන නාගරික ප්‍රදේශ කෙරෙහි මුලින්ම අවධානය යොමු කිරීමට පදනම තීරණය කර ඇත. සුව සැරිය ගිලන්රථයක් එම ස්ථානයට ළඟා වන තෙක් රෝගීන්ට අවශ්‍ය ප්‍රථමාධාර සහ මූලික වෛද්‍ය සේවාවන් සැපයීම මේ හරහා සිදු කෙරේ.


යෝජිත ක්‍රමවේදය යටතේ විශේෂ පුහුණුව ලත් වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් අත්‍යවශ්‍ය ඖෂධ සහ හදිසි වෛද්‍ය උපකරණ සහිත යතුරුපැදි ධාවනය කරනු ඇත. එමගින් රෝගීන් වෙත ඉක්මනින් ළඟා වී මූලික ප්‍රතිකාර ආරම්භ කිරීමට ඔවුන්ට හැකියාව ලැබේ.


මෙම යතුරුපැදි හදිසි සේවාව නියමු ව්‍යාපෘතියක් ලෙස මෙම වසර අවසන් වීමට පෙර හඳුන්වා දීමට අපේක්ෂිත අතර, එහිදී කොළඹ සහ අනෙකුත් ජනාකීර්ණ ප්‍රදේශ සඳහා ප්‍රමුඛතාව හිමිවේ.


මේ අතර, දිවයින පුරා හදිසි වෛද්‍ය සේවාවන් තවදුරටත් ශක්තිමත් කිරීම සඳහා දැනට පවතින සුව සැරිය ගිලන්රථ සංඛ්‍යාව ඉහළ නැංවීමටද පියවර ගනිමින් සිටී. ඉන්දීය රජයේ සහාය ඇතිව 2016 ජූලි 28 වන දින ආරම්භ කරන ලද සුව සැරිය ගිලන්රථ සේවාව, පසුගියදා සිය 10 වන සංවත්සරය සමරනු ලැබීය. ආරම්භයේ සිටම මෙම නොමිලේ සැපයෙන ගිලන්රථ සේවාව, විශේෂයෙන් හදිසි වෛද්‍ය අවස්ථාවලදී සහ ආපදා අවස්ථාවලදී රෝගීන්ට රෝහල් පූර්ව සත්කාර ලබාදීමට මෙන්ම ඔවුන් රෝහල් වෙත ප්‍රවාහනය කිරීමට විශාල මෙහෙවරක් ඉටුකර ඇත.


ගිලන්රථවලට ළඟාවීමට අපහසු ප්‍රදේශවල සිටින රෝගීන් වෙත ඉක්මනින් ළඟාවීමට වෛද්‍ය කණ්ඩායම්වලට අවස්ථාව සැලසීම මගින්, සුව සැරිය පද්ධතියේ කාර්යක්ෂමතාව තවදුරටත් ඉහළ නැංවීමට මෙම යතුරුපැදි සේවාව සමත් වනු ඇත.


විල්පත්තුවට දැඩි නියඟයක්: වනසතුන්ට ජලය සැපයීමට බවුසර් යොදවයි

 

පවතින අධික වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් විල්පත්තු ජාතික වනෝද්‍යානය පුරා ඇති ජල මූලාශ්‍ර සීඝ්‍රයෙන් සිඳී යමින් පවතින අතර, එම ප්‍රදේශය දැඩි නියඟයකට ගොදුරු වී තිබේ. මෙම තත්ත්වය හමුවේ වනෝද්‍යානයේ වෙසෙන වනසතුන්ගේ පිපාසය සංසිඳුවීම සඳහා වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුව විසින් බවුසර් රථ යොදා ගනිමින් කොන්ක්‍රීට් පොකුණු වෙත ජලය ප්‍රවාහනය කිරීමට පියවර ගෙන ඇත.


විල්පත්තු ජාතික වනෝද්‍යානයේ නැගෙනහිර කලාපයේ පිහිටි මරදන්කඩවල, පාරසිංහබෙන්දිවැව සහ කුකුළ්කටුව ඇතුළු ප්‍රධාන වැව් රඳවා තබාගෙන තිබූ ජල ප්‍රමාණය සම්පූර්ණයෙන්ම හිඳී ගොස් ඇති බව වනෝද්‍යාන භාරකරු ආර්.ඩී.ඩී.ඩී. සමරනායක මහතා සඳහන් කළේය. මේ හේතුවෙන් සතුන්ට පානීය ජලය සොයා ගැනීම දැඩි අභියෝගයක් වී තිබේ.


තාවකාලික පැවැත්මක් ලෙස බවුසර් රථ මගින් ජලය ගෙනැවිත් පොකුණු වෙත පම්ප කිරීමේ වැඩපිළිවෙලක් මේ වන විට ක්‍රියාත්මක කෙරේ. කෙසේ වෙතත්, උද්‍යානයේ අනෙකුත් කලාපවල පිහිටි විල් කිහිපයක ජල මට්ටම තවමත් සෑහීමකට පත්විය හැකි මට්ටමක පවතින බවද වනෝද්‍යාන භාරකාරවරයා වැඩිදුරටත් පැවසීය.


විශ්‍රාමික පොලිස් නිල සුනඛයන් 26 දෙනෙකු මහනුවරදී වෙන්දේසි කිරීමට පියවර

 


මහනුවර අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාසය යටතේ සේවය කර දැනට විශ්‍රාම ගන්වා සිටින නිල සුනඛයන් 26 දෙනෙකු ප්‍රසිද්ධ වෙන්දේසියේ අලෙවි කිරීමට පොලීසිය තීරණය කර ඇත. මෙම වෙන්දේසිය එළඹෙන අගෝස්තු 01 වනදා පැවැත්වීමට කටයුතු යොදා තිබේ.


මෙලෙස වෙන්දේසි කිරීමට නියමිත සුනඛයන් මත්ද්‍රව්‍ය හා පුපුරණ ද්‍රව්‍ය සොයාගැනීමේ මෙහෙයුම් මෙන්ම විවිධ අපරාධ පරීක්ෂණ කටයුතු සඳහාද පොලිස් දෙපාර්තමේන්තුවට සක්‍රීයව දායකත්වය ලබාදී ඇත.


මිලදී ගැනීමට බලාපොරොත්තු වන පාර්ශ්වයන්ට සහ මහජනතාවට වෙන්දේසියට පෙර මෙම සුනඛයන් නිරීක්ෂණය කිරීමේ අවස්ථාව ලබාදීමට කටයුතු යොදා තිබේ. ඒ අනුව අගෝස්තු 01 වනදා උදෑසන 9.00 සිට 10.00 දක්වා අස්ගිරිය පොලිස් නිල සුනඛ කොට්ඨාස ක්‍රීඩාංගණයේදී මෙම පරීක්ෂණ කටයුතු සිදුකෙරෙන අතර, ඉන් අනතුරුව වෙන්දේසිය ආරම්භ කිරීමට නියමිතය.


කොන්ත්‍රාත්තුව කළුබෝවිල පාතාලයකුගෙන්

 


ගල්කිස්ස පන්සල පාරේ නිවෙසකට යතුරු පැදියකින් පැමිණි නාදුනන දෙදෙනකු එම නිවෙසේ පුද්ගලයකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කිරීමේ සිද්ධියට ආධාර අනුබල දුන් කාන්තාවක අයිස් මිලි ග්‍රෑම් දහදාස් දෙසීයක් සම්භ (29 දා) අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ විමර්ශන කොට්ඨාසය පවසයි.


මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ රත්මලාන ධර්මාරාම පාරේ වලව්වත්ත ප්‍රදේශයේ පදිංචි (48) හැවිරිදි ව්‍යාපාරික කාන්තාවක බව පොලිසිය කියයි. මෙම සිදුවීම ඉකුත් 21 දා සිදුව තිබූ අතර එහිදී නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු යතුරු පැදියකින් ගල්කිස්ස පන්සල පාරේ නිවෙසකට පැමිණ එහි පුද්ගලයෙකුට වෙඩි තබා ඝාතනය කිරීමට තැත් කර ඇත. එහෙත් ගිනි අවිය ක්‍රියාත්මක නොවීම නිසා එම නිවෙසේ පුද්ගලයාට පහරදී මරණීය තර්ජනය කර පලාගොස් තිබූ බව පොලිසිය කියයි.


මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ විමර්ශන කොට්ඨාසයේ උප පොලිස් පරීක්ෂක හොන් බස්නායක ඇතුළු නිලධාරි කණ්ඩායමක් සිදු කළ විමර්ශනයේදී වෙඩි තැබීමට පැමිණි යතුරු පැදියේ පැදිකරු ඉකුත් 26 දා අයිස් ඕලිග්‍රෑම් 7200 සමග දෙල්කද ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන රඳවා ගැනීමේ නියෝග ලබා සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී අනාවරණය කරගත් තොරතුරකට අනුව රත්මලාන ධර්මාරාමපාර වලව්වත්ත ප්‍රදේශයේ නිවෙසකදී අයිස් මිලිග්‍රෑම් 10200 සමග (29) දා මෙම කාන්තාව අත්අඩංගුවට ගත් බව පැවසේ.


අත්අඩංගුවට ගත් සැකකාරියගෙන් සිදු කළ ප්‍රශ්න කිරීමවලදි මෙම වෙඩි තැබීම සදහා වෙඩික්කරුට ගිනි අවිය ලබා දී ඇත්තේ මෙම සැකකාරිය බවත් සංවිධානාත්මක අපරාධකරුවෙකු හා ඔහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දැනට විදේශ රටකට පලා ගොස් සැඟව සිටින දිසානායක මුදියන්සේලාගේ අවිශ්ක ඒෂාන් දිසානායක නොහොත් කළුබෝවිල අවිශ්ක නමැත්තාගේ මෙහෙය වීම මත මෙම වෙඩි තැබීම සිදුකර ඇති බවත් ඒ වෙනුවෙන් ඇයට රුපියල් 50.000 මුදලක් හා අයිස් මත්ද්‍රව්‍ය තොගයක් දී ඇති බවට තොරතුරු අනාවරණය වූ බවත් පැවසේ.


එසේ ලබාදුන් මුදලින් සැකකාරිය සන්තකයේ තිබී රුපියල් 35060 මුදලක්, අයිස් මිලිග්‍රෑම් 10270 හා ගිනි අවිය භාරදීමට පැමිණි ස්කූටි වර්ගයේ යතුරුපැදිය, හිස් වැසුම, හැඳ සිටි ජර්සිය හා ජංගම දුරකථනය මෙහිදී පොලිස් භාරයට ගෙන තිබේ.අත්අඩංගුවට ගත් සැකකාරිය 30 දා ගල්කිස්ස අධිකරණයට ඉදිරිපත් කොට රඳවා ගැනීමේ නියෝග ලබා වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිතය.


විනිසුරු විශ්‍රාමයට මාලිමාවේත් මත දෙකක් පක්ෂයේ බහුතරය එකඟයි

 



සුජිත් හේවාජුලිගේ


ඉහළ අධිකරණවල විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණය සම්බන්ධයෙන් ජාතික ජන බලවේගය තුළ ද බෙදීමක් හටගෙන ඇතැයි වාර්තා වේ.ජාතික ජන බලවේගයේ ඇතැම් ජ්‍යෙෂ්ඨයන්න්ද මෙම තීරණය විවේචනයට ලක් කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග සඳහන් කළේය.


ජාතික ජන බලවේගය පක්ෂයේ නායකත්ව මණ්ඩලයේ සහ මෙහෙයුම් කමිටුවේ සාමාජික නීතිඥ ලාල් විජේනායක මහතා ද ආණ්ඩුවේ එම තීරණයට එරෙහිව සෘජුවම විරෝධය පළ කර ඇත.ජාතික ජන බලවේගය පක්ෂයේ විධායක සභාවේ හෝ වෙනත් කිසිදු සභාවක විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් තීරණයක් නොගත් බව ජාතික ජන බලවේගයේ නායකත්ව මණ්ඩලයේ සහ විධායක සභාවේ සාමාජික ජ්‍යෙෂ්ඨ නීතිඥ ලාල් විජේනායක මහතා පැවසීය. 


යම් යම් පුද්ගලයන්ගේ සිතේ පෞද්ගලිකව මෙම යෝජනාව ඇත්දැයි තමන් නොදන්නා නමුත් ජාතික ජනබලවේගය පක්ෂයක් හැටියට විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීම සම්බන්ධයෙන් කිසිදු තීරණයක් නොගත් බව ද ඔහු කීවේය. මේ සම්බන්ධයෙන් විරෝධය පළ කළ විට තමන්ට නිශ්ශබ්දව සිටින්නැයි දැනුම් දුන් බව ද ලාල් විජේනායක මහතා ප්‍රකාශ කළේය.


මේ සම්බන්ධයෙන් අප ජාතික ජන බලවේගයේ ලේකම් පාර්ලිමේන්තු මන්ත්‍රී වෛද්‍ය නිහාල් අබේසිංහ මහතාගෙන් කළ විමසුමකදී ඔහු පැවැසුවේ ඉහළ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ යෝජනාවට පක්ෂයේ බහුතරයකගේ එකඟත්වය ලැබුණු බවයි.මේ සම්බන්ධයෙන් නීතිඥ ලාල් විජේනායක මහතාගේ මතයට පක්ෂයේ බොහෝ පිරිසක් එකඟ නොවූ නමුත් ඔහුගේ මතයට කිසිවකුත් බාධා නොකළ බව ද සඳහන් කළේය.ඒ වගේම අපි ඔහුට නිහඬව ඉන්න කියලා කිව්වෙත් නැහැ යැයි ද නිහාල් අබේසිංහ මහතා පැවැසීය.


මේ අතර විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ තීරණයට ශ්‍රී ලංකා නීතිඥ සංගමය මෙන්ම රට පුරා මහේස්ත්‍රාත්වරුන් සහ දිසා විනිසුරුවරුන් නියෝජනය කරන අධිකරණ සේවා සංගමය ද දැඩි ලෙස විරෝධය පළ කර ඇත.


එම තීරණයට එරෙහිව ශ්‍රී ලංකා නීතිඥ සංගමය ඉහළම පියවර ගැනීමට ද පෙරේද (29) තීරණය කළේය. මේ අතර ශ්‍රී ලංකා නීතිඥ සංගමය මේ සම්බන්ධයෙන් අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා සමග පෙරේද සවස දීර්ඝව සාකච්ඡා කර ඇත. නීතිඥ සංගමයේ ඉල්ලීම සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දැනුවත් කිරීමට පියවර ගන්නා බව එහිදී අධිකරණ අමාත්‍ය වරයා නීතිඥ සංගමයට පොරොන්දු වී ඇත.




බිරිය එක්ක තරහට ලයිට් කණුවට නැග්ග සැමියාට ලක්ෂ 2 ක් දඩ

 

ක්‍රිෂාන් ජීවක ජයරුක්


තම බිරිය සමග අමනාප වී කඹුරුපිටිය නගර මධ්‍යයේ අධිබැලැති විදුලි රැහැන් කුලුනකට නැග විරෝධය දැක් වූ සැකකරුට ලංකා විදුලිබල මණ්ඩලයට සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් දෙලක්ෂයක මුදලක් ගෙවන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා නියෝග කළේය.අදාළ සැකකරු ඉකුත් 21 වැනිදා කඹුරුපිටිය පොලීසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඊට පසු දින අධිකරණයට ඉදිරිපත් කෙරිණි.


එහිදී ඔහු ඉකුත් 24 වැනි දින දක්වා දින තුනක කාලයකට රිමාන්ඩ් භාරයට පත් කළ අතර එම සැකකරුගේ ක්‍රියාව හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලයට සිදුව ඇති හානිය ගණනය කර වර්තාවක් කැඳවන ලෙස මාතර ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා එදින පොලීසියට නියම කර තිබිණි.ඒ අනුව සැකකරු ඉකුත් 28 වැනි දින දක්වා තවදුරටත් රිමාන්ඩ් භාරයේ තැබීමට නියම කළ අතර එහිදී ඔහු චෝදනාවට වරද පිළිගත්තේය. ලංකා විදුලිබල මණ්ඩලයට රුපියල් දෙලක්ෂ එක් දහස් නවයයි ශත අනූවක අලාභයක් සිදුවී ඇති බවට පොලීසිය අධිකරණයට දැනුම් දුන්නේය.


ඒ අනුව අදාල අලාභය ගෙවන ලෙසට මාතර ප්‍රධාන මහේස්ත්‍රාත් චතුර දිසානායක මහතා සැකකරුට නියම කළ අතර ඔහු රුපියල් ලක්ෂය බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදා හැරීමට නියෝග කළේය.මෙම නඩුවේ වැඩිදුර විභාගය ලබන නොවැම්බර් මස03 වැනි දින දක්වා කල් තැබිණි.


තම බිරිඳ සමග අමනාප වී පැමිණ කඹුරුපිටිය නගරාසන්නයේ දී අධිබලැති විදුලි රැහැන් කුලුනට නැග විරෝධය දැක්වීම හේතුවෙන් ඉකුත් 21 වැනි දින මාතර දිස්ත්‍රික්කයේ විශාල කොටසක විදුලිය විසන්ධි කර තැබීමට විදුලිබල මණ්ඩලයට සිදුවිය.එහිදී මාතර නාදුගල, තිහගොඩ, කඹුරුපිටිය, අකුරැස්ස, රන්දෑගොඩ, මාපලාන, විටියල, මුලටියන, දෙයියන්දර, දෙනියාය, මාවරල ආදි ප්‍රදේශ ගණනාවක ජනතාවට පැය තුනකට ආසන්න කාලයක් අඳුරේ සිටීමට සිදුවිය. ඊට අමතරව කඩ සාප්පු වේලාසන වසා දැමීම හේතුවෙන් ව්‍යාපාරිකයන්ට ද අලාභ සිදුවිය. පසුව අදාළ පුද්ගලයාගේ පවුලේ ඥාතීන් එම ස්ථානය වෙත කැඳවා ඔවුන්ගේ සහාය ඇතිව ඔහු බිමට බස්සවා ගැනීමට පොලීසිය සමත් විය.


ඉන් පසුව ඔහු සැකපිට අත්අඩංගුවට ගෙන අධිකරණයට වෙත ඉදිරිපත් කොට රිමාන්ඩ් භාරයට පත් කරන ලදී.කඹුරුපිටිය පොලීසියේ ස්ථානාධිපති මනෝජ් දිසානායක මහතාගේ උපදෙස් මත සිද්ධිය පිළිබඳව පරීක්ෂණ පැවැත්වීය.


හරක් කටාලාගේ නඩුව ත්‍රස්ත පනතෙන් ගෙනයන්න බෑ

 


 


මනෝප්‍රිය ගුණසේකර


රහස් පොලිස් අත්අඩංගුවෙන් පලායෑමට කුමන්ත්‍රණය කිරීම ඇතුළු චෝදනා ලැබ සිටින ප්‍රබල මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු යැයි කියන නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ ඇතුළු විත්තිකරුවන්ට එරෙහි නඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවත්වාගෙන යෑමට හැකියාවක් නොමැති බව කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා ඊයේ (30) තීරණය කළේය. ‘


හරක් කටා’ ඇතුළු විත්තිකාරුවන්ට එරෙහි නඩු විභාගය ආරම්භ කිරීමට සුදානම් වූ අවස්ථාවේ දී විත්තිකරුවන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩුව පවත්වාගෙන පැමිණිල්ලට හැකියාවක් නොමැති බවට විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතඥ යු.ආර්. ද සිල්වා මහතා ඇතුළු නීතිඥවරුන් ඉදිරිපත් කළ මූලික විරෝධතාවය පිළිගනිමින් විනිසුරුවරයා එලෙස තීරණය කළේය.


 

නදුන් චින්තක වික්‍රමරත්න හෙවත් ‘හරක් කටා’ නමැත්තාට අමතරව මෙලෙස චෝදනා ලැබ සිටින්නේ පොලිස් කොස්තාපල්වරයකු වන රවිඳු සංදීප ගුණසේකර, දිනේෂ් තරංග, රුවන් චාමර සහ සංජය අබේසිංහ නමැත්තය. 2023 සැප්තැම්බර් 10 වැනිදා හෝ ඊට ආසන්න දිනයක කොළඹ රහස් පොලිසිය බාරයේ රඳවා සිටිය දී ආරක්‍ෂාවට යොදවා සිටි පොලිස් නිලධාරීයාට පහර දී රහස් පොලිසිය බාරයෙන් පලා යෑමට තැත් කිරීම, පහර දී තුවාල කිරීම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව දණ්ඩ නීතී සංග්‍රහය සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ විත්තිකරුවන්ට එරෙහිව චෝදනා නඟා තිබිණි.


නඩුව විභාග කිරීම සඳහා කැඳවනු ලැබු අවස්ථාවේ දී විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ යු.ආර්. ද සිල්වා මහතා සහ නීතිඥවරුන් වන ජාලිය සමරසිංහ, උඳුල් පේමරත්න හරිත් හෙට්ටිආරච්චි මහත්වරු මූලික විරෝධතාවක් මතූ කරමින්, තම සේවාදායකයන්ට එරෙහිව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ නඩුවක් ගොනු කිරීමට තමන් විරුද්ධ බවත්, පොලිස් නිලධාරීයකුට පහරදීම සම්බන්ධයෙන් දණ්ඩ නීතී සංග්‍රහයේ 314 වැනි වගන්තිය යටතේ චෝදනා ඉදිරිපත් කරන්නේ නම් අදාළ චෝදනාවන්ට වරද පිළිගැනීමට වුවත් තම සේවාදායකයන් සුදානම් බවත් දැනුම් දුන්හ.


ඒ අවස්ථාවේ දී පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ රජයේ නීතිඥ සජිත් බණ්ඩාර මහතා කරුණු ඉදිරිපත් කරමින්, නීතීපතිවරයා ගොනු කර ඇති අධි චෝදනා පත්‍රයක ඇති වලංගුභාවය මහාධිකරණයක් හමුවේ ප්‍රශ්න කිරීමට නොහැකි බවටත් ඒ පිළිබඳ ප්‍රශ්න කිරීමට හැකියාව ඇත්තේ ඉහළ අධිකරණයක් හමුවේ බවටත් තර්ක කළේය.දීර්ඝ වශයෙන් දෙපාර්ශ්වයේ කරුණු දැක්වීම්වලින් අනතුරුව විත්තිකරුවන්ට එරෙහි නඩුව ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ පවත්වාගෙන යෑමට හැකියාවක් නොමැති බව විනිසුරුවරයා තීරණය කළේය.

 

විත්තිකරුවන්ට එරෙහි චෝදනා දණ්ඩ නීතී සංග්‍රහය යටතේ පවත්වාගෙන යෑමට බාධාවක් නොමැති බව පෙන්වා දුන් විනිසුරුවරයා, විත්තිකරුවන්ට එරෙහි අධි චෝදනා පත්‍රය සංශෝධනය කරන්නේ නම් ඒ බව මෙම නඩුව යළි කැඳවන ලබන 03 වැනිදා අධිකරණයට දැනුම් දෙන ලෙස ද පැමිණිල්ලට නියම කළේය.


කංජිපාණි ඉම්රාන් මැලේසියාවෙන් පැනලා

 

ගයාන් සූරියආරච්චි


මැලේසියාවේදී අත්අඩංගුවට ගත් රත්මලානේ සයිමා නමැති මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුගෙන් අනාවරණය වූ තොරතුරුවලට අනුව අපරාධ කල්ලි නායක කංජිපාණි ඉම්රාන් මැලේසියාවේ රැඳී සිටි ස්ථානයෙන් පලාගොස් ඇති ඇති බවට පොලිසිය තොරතුරු අනාවරණය කරගෙන ඇත.


කංජිපාණි ඉම්රාන් නමැත්තා අත්අඩංගුවට ගැනීම ඉලක්ක කරගෙන මෙරට පොලිස් කණ්ඩායමක් ඉකුත්දා මැලේසියාවට ගොස් තිබූ අතර, එහිදී කංජිපාණි ඉම්රාන් නමැත්තාගේ මත්ද්‍රව්‍ය ජාලයේ සමීපතමයකු වූ රත්මලානේ සයිමා නමැත්තා මැලේසියානු පොලිසියේ සහාය ඇතිව මෙරට පොලිස් කණ්ඩායමක් අත්අඩංගවට ගෙන තිබිණි.


 

කෙසේ වෙතත් පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතාගේ සෘජු අධීක්ෂණය යටතේ මෙරටින් ගිය පොලිස් කණ්ඩායම මැලේසියානු පොලිසිය සමග එක්ව කංජිපාණි ඉම්රාන් නමැත්තා අත්අඩංගුවට ගැනීම සඳහා විමර්ශන සිදුකරන බවද අනාවරණය වේ.මැලේසියාවේදී අත්අඩංගුවට ගත් රත්මලානේ සයිමා නමැත්තා කාලයක් රත්මලානේ කුඩු අංජු සමග එක්ව මත්ද්‍රව්‍ය ජාලය මෙහෙයවා තිබූ අතර පසුව කංජිපාණි ඉම්රාන් නමැත්තා සමග එක්ව මත්ද්‍රව්‍ය ජාවාරමේ යෙදී තිබූ බව පොලිස් විමර්ශනවල දී අනාවරණය වී ඇත.


මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධ කල්ලි නායක කෙහෙල්බද්දර ප නමැත්තා ද එම මත්ද්‍රව්‍ය ජාලයේ සිටි ජාවාරම්කරුවකු වන අතර ඔහු ‍ වනවිට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් නියෝග මත රඳවා ඇත.මැලේසියාවේ දී අත්අඩංගුවට ගෙන ඇති රත්මලානේ සයිමා නමැත්තා කඩිනමින් මෙරටට රැගෙන ඒමට බලාපොරොත්තු වන බවද පොලිසිය පැවසීය.



මාධ්‍යයෙන් හෙළි නොකරන්නැයි උසාවි නියෝග

 



උපාලි ආනන්ද 


මීගමුව බන්ධනාගාරය තුළ බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් අතර ගැටුම සිදුවන අවස්ථාවේ එහි ප්‍රධාන ජේලර්වරයා ලෙසකටයුතුකළ නිලධාරියා පැය2කපමණ කාලයක් අධිකරණය හමුවේ දුන් සාක්ෂියේ ජාතික ආරක්ෂාවට දැඩි සංවේදීතාවක් ඇති තොරතුරු ඇතුළත් බැවින්, එම සංවේදී සියලු තොරතුරු මාධ්‍ය මගින් හෙළිදරව් කළහොත් රටේ ජාතික ආරක්ෂාව බරපතළ අවදානමකට ලක්විය හැකි බව ප්‍රකාශ කළ මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් සීලනී පෙරේරා මහත්මිය, ප්‍රධාන ජේලර්වරයා දුන් සාක්ෂියේ අන්තර්ගත කිසිදු තොරතුරක් මාධ්‍ය ඔස්සේ පළ නොකරන ලෙස නියෝග කළාය.


ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙසේ නියෝග කළේ මීගමුව බන්ධනාගාරයේ ගැටුමට අදාළ නඩුකරය මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (30) යළි කැඳවූ අවස්ථාවේ මීගමුව බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර් වික්‍රම ජයන්ත කුමාර මහතා පැය 2 ක කාලයක් සාක්ෂි දීමෙන් අනතුරුවය. මීගමුව බන්ධනාගාරය තුළදී බන්ධනාගාර නිලධාරීන් සහ රැඳවියන් අතර ගැටුම සිදුවන අවස්ථාවේ එම බන්ධනාගාරයේ ප්‍රධාන ජේලර්වරයා ලෙස නිල රාජකාරි කළ වික්‍රම ජයන්ත කුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන්ගේ සාක්ෂි මෙහෙයවීම මත සාක්ෂි දීම ආරම්භ කළේ පස්වරු 1ට පමණය. 


පස්වරු 1ට සිය සාක්ෂි දීම ආරම්භ කළ ප්‍රධාන ජේලර්වරයා පස්වරු 3දක්වා පැය දෙකක කාලයක් සාක්ෂි දුන්නේය. ප්‍රධාන ජේලර්වරයා දුන් අතිශය සංවේදී සහ ජාතික ආරක්ෂාවට සංවේදී තොරතුරු ඇතුළත් සාක්ෂි සම්පිණ්ඩනය සුරක්ෂිතව අධිකරණය භාරයේ තබන ලෙසට ද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය මෙහිදී අධිකරණ රෙජිස්ට්‍රාර්වරයාට තවදුරටත් නියෝග කළාය.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ වාර්තාවක් කරන අධිකරණය හමුවට ඉදිරිපත් ලෙසටද ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය. මීගමුව බන්ධනාගාර ගැටුම ඇතිවූ අවස්ථාවේදී එය පාලනය කිරීමට වැලිකඩ බන්ධනාගාරයේ සිට විශේෂ රාජකාරි සඳහා මීගමුව බන්ධනාගාර පරිශ්‍රයට කැඳවනු ලැබූ උපක්‍රමික බන්ධනාගාර පොලිස් නිලධාරීන් අසූ දෙනා (80) සම්බන්ධයෙන් සවිස්තර වාර්තාවක් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයට ඉදිරිපත් කළේය.


මීගමුව බන්ධනාගාරයේ ගැටුම සම්බන්ධයෙන් සිදුකෙරෙන විමර්ශන පිළිබඳව වැඩිදුර වාර්තාවක් ඉදිරිපත් කරමින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව දැනුම් දුන්නේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සහකාර පොලිස් අධිකාරිවරුන් සිවුදෙනකු යටතේ අංශ කිහිපයක් ඔස්සේ පුළුල් විමර්ශන තවදුරටත් සිදු කෙරෙමින් පවතින බවයි. එකී විමර්ශනවල ප්‍රගතිය වරින් වර පියවර අධිකරණය දැනුවත් කිරීමට ගන්නා බවද අධිකරණයට දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මීගමුව බන්ධනාගාර ගැටුමට අදාළව නඩු භාණ්ඩ ලෙස නම්කළ ගිනි අවි සහ තියුණු ආයුධ ඇතුළු මෙවලම් සම්බන්ධයෙන් මෙතෙක් රස පරීක්ෂක වාර්තා ලැබී නැති බවද කීවේය.


මීගමුව බන්ධනාගාරයේ ඇති වූ ගැටුම සම්බන්ධයෙන් වූ මූලික විමර්ශන මීගමුව මූලස්ථාන පොලිසිය මගින් සිදුකෙරුණු අතර පසුව එම සියලු විමර්ශන මීගමුව මූලස්ථාන පොලිසියෙන් ඉවත් කර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව යටතට පැවරීමට මීගමුව ප්‍රධාන මහේස්ත්‍රාත්වරිය අධිකරණයට අවසර දුන්නාය.


අපරාධ නඩු විධාන සංග්‍රහ පනතේ 125 වන වගන්තිය ප්‍රකාරව තමාට ලැබී ඇති බලතල ප්‍රකාරව පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය මහතාගේ උපදෙස් මත අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව භාර නියෝජ්‍ය පොලිස්පති ශානි අබේසේකර මහතා අධිකරණයෙන් කළ ඉල්ලීමකට අනුවය ඒ.


දෙහිවල පරිසර ඕ.අයි.සී අත්අඩංගුවට

 

 ශ්‍රීනාත් ප්‍රසන්න ජයසුරිය,


ජාවාරම් කිරීම සඳහා සන්තකයේ තබාගත් බවට සැක කරන අයිස් මත්ද්‍රව්‍ය, හෙරොයින්, ගංජා, මත්කරල් සහ නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද දුම්වැටි 128 ක් සමග දෙහිවල පොලිස් ස්ථානයේ පරිසර ඒකකයේ ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගත් බව දෙහිවල පොලිසිය පවසයි.


මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අවුරුදු 27 ක් වන ආධුනික උප පොලිස් පරීක්ෂකවරයෙකි.දෙහිවල පොලිසි ස්ථානාධිපතිවරයාට ලද තොරතුරක් මත එම පොලිසියේ පරිසර ඒකකයේ ස්ථානාධිපතිවරයා කැඳවා ඔහුගේ මුදල් පසුම්බිය පරීක්‍ෂා කිරීමේ දී අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 375ක් සහිත පැකට්ටුවක් සොයාගෙන තිබුණු අතර ස්ථානාධිපතිවරයාට මතු වූ සැකයක් මත නිලධාරියා රැඳී සිටින පරීක්ෂක ශේණියේ භට නිවස්නයේ ඔහුගේ බෑගයේ පරීක්ෂා කිරීමේ දී මත්ද්‍රව්‍ය තොගයක් සොයාගෙන ඇතැයි පොලිසිය කියයි.


එහි තිබී හෙරොයින් කුඩා ප්‍රමාණයේ පැකට් 68 ක්, ගංජා ග්‍රෑම් 2 ක් සහ මිලිග්‍රෑම් 370 ක පැකට්ටුවක්, මල්පෙති තුනක්, තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම් වැටි එකසිය විසි අටක්, ගංජා සුරුට්ටුවක්, අලියකුගේ යයි සැක සිතිය හැකි කෙඳි කීපයක් පොලිසිය සොයාගෙන ඇත.

විෂ මත්ද්‍රව්‍ය ළඟ තබා ගැනීම, මත්ද්‍රව්‍ය ජාවාරම, විෂ මත්ද්‍රව්‍ය ජාවාරම් කිරීම සඳහා ආධාර අනුබලදීම, තීරු බදු රහිතව මෙරටට ගෙන්වන ලද දුම්වැටි ළඟ තබා ගැනීම, සංරක්ෂිත සත්වයකු වන අලියකුගේ කෙඳි සන්තකයේ තබා ගැනීම යන චෝදනා මත පරිසර ඒකකය ස්ථානාධිපතිවරයා අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි. අත්අඩංගුවට ගත් උප පොලිස් පරීක්ෂකවරයා වැඩිදුර සඳහා බස්නාහිර පළාත් දකුණ අපරාධ කොට්ඨාසයට බාරදී ඇත.සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. 


දෙහිවල අවන්හලක යකා නැටූ සැරයන් දෙදෙනා වසර 9ක් හිරේ

 


 මනෝප්‍රිය ගුණසේකර


දෙහිවල ප්‍රදේශයේ අවන්හලක කලහකාරී ලෙස හැසිරෙමින් පිස්තෝල පෙන්වා එහි සේවකයන්ට පහර දී අනර්ථය කිරීම සහ දේපළ කොල්ලකෑම ඇතුළු චෝදනාවන්ට වරදකරුවන් වූ පොලිස් සැරයන්වරුන් දෙදෙනකු ඇතුළු තිදෙනකුට කොළඹ මහාධිකරණ විනිසුරු රශ්මි සිංගප්පුලි මහතා වසර 09 බැගින් බරපතළ වැඩ සහිත සිර දඬුවම් ඊයේ (30) නියම කළේය.


මීට වසර 18කට පෙර විත්තිකාර පොලිස් නිලධාරීන් ඇමති ආරක්‍ෂක අංශයට අනුයුක්තව සේවය කරමින් සිටිය දී මෙම අපරාධය කර ඇති බව පැමිණිල්ල සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇතැයි තීරණය කරමින් විත්තිකරුවන්ට අදාළ දඬුවම් පැමිණ වු විනිසුරුවරයා එම දඬුවම් කාලය වසර 03ක කාලයක් තුළ ගෙවී යන අන්දමට ක්‍රියාත්මක කිරීමට නියම කළේය.


චෝදනාවන්ට වරදකරුවන් වීම නිසා මෙලෙස දඬුවම් නියම වූයේ ඇමති ආරක්‍ෂක අංශයට අනුයුක්තව සේවය කළ මේ වන විට මීගමුව පොලිස් කොට්ඨාසයේ පොලිස් ස්ථානවල සේවය කරන පොලිස් සැරයන්වරුන් වන ලියනගේ වසන්ත ජයකොඩි චමින්ද බණ්ඩාර සකලසූරිය ඇතුළු තිදෙනෙකුටය.


2008 ජුලි 29 වැනිදා හෝ ඊට ආසන්න දිනයක දෙහිවල දී ‘ස්ටේෂන් ෆැමලි රෙස්ටුරන්ට්' නමැති අවන් හලේදී කලහාකාරී අන්දමින් හැසිරෙමින් පිස්තෝල පෙන්වා එහි සේවකයන්ට පහරදී තුවාල කිරීම, අවන්හලට රුපියල් 19,500/-ක අනර්ථයක් කිරීම රුපියල් 11,600/-ක දේපළ කොල්ලකෑම ඇතුළු චෝදනා යටතේ විත්තිකරුවන්ට එරෙහිව නීතීපතිවරයා නඩු පවරා තිබිණී. දීර්ඝ නඩු විභාගයකින් අනතුරුව විත්තිකරුවන්ට එරෙහි චෝදනා පැමිණිල්ල විසින් සාධාරණ සැකයකින් තොරව ඔප්පු කර ඇති බවට තීරණය කළ විනිසුරුවරයා පොලිස් සැරයන්වරු දෙදෙනකු ඇතුළු විත්තිකරුවන්ට වසර 09 බැගින් බරපතළ වැඩ සහිත සිරදඬුවම් නියම කර එම දඬුවම වසර 03ක කාලයකින් ගෙවී යන අන්දමට ක්‍රියාත්මක කිරීමට නියම කළේය.


ජනපති වැය ශිර්ෂයේ වැටුප් 2ක් ගැනීම සුගීෂ්වර බණ්ඩාර යළිත් රිමාන්ඩ්

  

 

රෝෂන් තුෂාර


ජනාධිපති වැය ශීර්ෂය යටතේ ජනාධිපති ලේකම් කාර්යාලය මගින් වෙන් කරන ලද මුදල් අවභාවිත කළේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට ඉදිරිපත් කෙරුණු හිටපු ජනාධිපති පෞද්ගලික ලේකම්වරයෙකු මෙන්ම ජනාධිපති කාර්යාල හිටපු විශේෂ ව්‍යාපෘතියක අධ්‍යක්ෂ ජයසිංහ මුදියාන්සේලාගේ සුගීෂ්වර බණ්ඩාර සැකකරු ලබන 12 වැනිදා දක්වා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා ඊයේ (30) නියෝග කළේය.


බන්ධනාගාර නිලධාරීන් විසින් සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් පසුව පොලිස් මධ්‍යම අපරාධ විමර්ශන කොට්ඨාසය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් පසුව මෙසේ යළි රක්ෂිත බන්ධනාගාර ගත කරනු ලැබීය.

2022 වසරේ විශ්‍රාමික ජනාධිපතිවරයකු වූ හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ ලේකම්වරයකු වශයෙන් සිටිමින් හා රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපති ධූරය දැරූ එම කාල වකවානුව තුළම ජනාධිපති ලේකම් කාර්යාලයේ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් ජනාධිපති වැය ශීර්ෂය යටතේ වැටුප් දෙකක් ලබා ගැනීම සම්බන්ධයෙන් විමර්ශනය සිදු කෙරේ.


සුගීෂ්වර බණ්ඩාර මහතා ඉහත තනතුරු දරමින් සිටිය දී රජයේ වාහන අවභාවිත කිරීමක් හා එහි සේවකයන් දේශපාලන කටයුතු සඳහා යොදවා ගැනීමට කටයුතු කිරීමක් සම්බන්ධයෙන් පොදු දේපළ පනතේ 5 (1) යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය යුතූ වැරැදි සිදුකර ඇති බව මධ්‍යම අපරාධ විමර්ශන කාර්යාංශය අධිකරණයට කරුණු ඉදිරිපත් කර ඇත.

 

සැකකරු හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ පෞද්ගලික ලේකම් ලෙස සහ හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ සමයේදී විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂවරයකු ලෙස කටයුතු කරමින් වැටුප් දෙකක් ලබා ගත්තේ ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන කරන බව පොලිසිය වැඩිදුරටත් කරුණු ඉදිරිපත් කර ඇත.කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරු යළි රක්ෂිත බන්ධනාගාර ගත කරමින් විමර්ශන ප්‍රගතිය ලබන 12වැනිදා අධිකරණයට ඉදිරිපත් ලෙසට නියෝග කළේය.


කුරුදුවත්තේ ගණිකා නිවාසයකින් තායි කතුන් 11ක් අත් අඩංගුවට

 


ගයාන් සූරියආරච්චි


සම්බාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් කුරුඳුවත්ත ප්‍රදේශයේ මහා පරිමාණයෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා තායිලන්ත ජාතික කාන්තාවන් 11 දෙනකු අත්අඩංගුවට ගත් බව කොළඹ දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.ගණිකා නිවාසයේ හිමිකරු මේ වනවිට ප්‍රදේශයෙන් පලාගොස් ඇති බව පොලිසිය කියයි.අත්අඩංගුවට ගත් කාන්තාවන් අවුරුදු 22ත් 48ත් අතර පසුවන බව පොලිසිය පවසයි.


අපරාධ විමර්ශන කාර්යාංශයේ ස්ථානාධිපතිට ලැබුණු තොරතුරක් මත උපාය දූතයකු මාර්ගයෙන් කළ විමර්ශනවලින් පසුව එම කාන්තාවන් අත්අඩංගුවට ගෙන ඇත. එම තායි කතූන් මාසයකට පමණක් වීසා බලපත්‍රයක් ලබාගෙන මෙම ස්පා මධ්‍යස්ථානයේ රැඳී සිටිමින් නීති විරෝධි ආකාරයට ගණිකා වෘත්තියේ යෙදී ඇති අතර මසකට ලක්ෂ ගණනින් මුදල් උපයා ඇති බව පොලිසිය පවසයි.


එක් කාන්තාවක් රුපියල් 20,000ත් 30,000 අතර මුදලකට අලෙවි කර ඇති බව විමර්ශනවල දී අනාවරණය වී ඇත. මෙම තායි කතුන් එකොළොස් දෙනා අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියහ.


Thursday, July 30, 2026

MSC Elsa 3 නෞකා අනතුර: ශ්‍රී ලංකා වෙරළෙන් ප්ලාස්ටික් පෙති බහාලුම් 43කට වැඩි ප්‍රමාණයක් ඉවත් කරයි

 

ඉන්දියාවේ කේරළ වෙරළට ඔබ්බෙන් වූ මුහුදේදී ලයිබීරියානු ධජය යටතේ යාත්‍රා කළ 'MSC Elsa 3' බහාලුම් නෞකාව ගිලී යාමෙන් පසු ශ්‍රී ලංකා වෙරළ තීරයට ගොඩගැසූ ප්ලාස්ටික් පෙති බහාලුම් 43කට අධික ප්‍රමාණයක් මේ වන විට එකතු කර ඇති බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය පවසයි. 2025 මැයි මස 25 වන දින කේරළ වෙරළට නාවික සැතපුම් 38ක් පමණ දුරින් ඇති වූ ජල කාන්දුවක් හේතුවෙන් මෙම නෞකාව මුහුදුබත් වී ඇති අතර, අනතුර සිදුවන අවස්ථාවේදී එහි බහාලුම් 643ක් ප්‍රවාහනය කරමින් තිබී ඇත.


සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපති සමන්ත ගුණසේකර මහතා ප්‍රකාශ කළේ, යාපනය දූපත්වල සිට ගාල්ල දක්වා වූ මුහුදු තීරයට මෙම ප්ලාස්ටික් පෙති දිගින් දිගටම ගොඩගසමින් පවතින බවයි. විශේෂයෙන්ම පවතින මෝසම් කාලගුණික තත්ත්වය හේතුවෙන් මෙම තත්ත්වය තවදුරටත් උග්‍ර වී තිබේ. කෙසේ වෙතත්, මෙම ප්ලාස්ටික් පෙති වෙරළෙන් ඉවත් කිරීමේ මෙහෙයුම් සඳහා සේවකයින් 1,800ක් පමණ මේ වන විටත් යොදවා ඇති අතර, ඊට අදාළ සියලුම පිරිවැය අදාළ නැව් සමාගම විසින් දරනු ලබන බවද සභාපතිවරයා සඳහන් කළේය.


මෙම නෞකාව ගිලී යාමෙන් ශ්‍රී ලංකාවේ සාගර පරිසර පද්ධතියට සිදු වූ දැවැන්ත හානිය තක්සේරු කර ඒ සඳහා අවශ්‍ය වන්දි මුදල් ලබා ගැනීමේ මූලික කටයුතු මේ දිනවල ක්‍රියාත්මක වෙමින් පවතී. මෙම කාර්යය සඳහා පත් කරන ලද විශේෂඥ කමිටුව ඊයේ දිනයේදී ද රැස්වී ඒ පිළිබඳව සාකච්ඡා කළ බව සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරියේ සභාපතිවරයා වැඩිදුරටත් ප්‍රකාශ කර සිටියේය.


ජාතික ජන බලවේගයට මා හට එරෙහිව විනය පියවර ගත නොහැකියි: ලාල් විජේනායක

 

තමන් පක්ෂයේ කිසිදු තීරණයකට එරෙහිව කටයුතු කර නොමැති බැවින්, ජාතික ජන බලවේගයට (NPP) තමාට එරෙහිව කිසිදු විනය පියවරක් ගත නොහැකි බව එම පක්ෂයේ විධායක කමිටු සාමාජික, නීතිඥ ලාල් විජේනායක මහතා මාධ්‍යවේදීන් හමුවේ ප්‍රකාශ කළේය.


විනිසුරුවරුන්ගේ විශ්‍රාම යාමේ වයස දීර්ඝ කිරීමේ යෝජනාව සම්බන්ධයෙන් ජාතික ජන බලවේගයේ කිසිදු කමිටුවක සාකච්ඡා කර නොමැති අතර, ඒ පිළිබඳව පක්ෂය කිසිදු නිල තීරණයකට එළඹ නැත. එබැවින් තමන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ගයක් ගැනීමට පක්ෂයට හැකියාවක් නොමැති බව ඒ මහතා වැඩිදුරටත් අවධාරණය කළේය.


මෙය රජයට එරෙහිව ගෙන යන සටනක් නොව, අධිකරණයේ ස්වාධීනත්වය ආරක්ෂා කිරීම වෙනුවෙන් සිදුකරන අරගලයක් බව හෙතෙම පෙන්වා දුන්නේය. අධිකරණයේ ස්වාධීනත්වයක් නොමැති වාතාවරණයක් තුළ හෝ යම් නඩුවක ප්‍රතිඵලය පිළිබඳව කල්තියා දැනගත හැකි තත්ත්වයක් යටතේ කිසිදු නීතිඥවරයෙකුට සිය වෘත්තියේ නිරත වීමට නොහැකි වනු ඇති බවද විජේනායක මහතා පැහැදිලි කළේය.


විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමේ කාරණය සම්බන්ධයෙන් නිහඬව සිටින ලෙස ජාතික ජන බලවේගයේ නායකත්වය තමන්ගෙන් මින් පෙර ඉල්ලා සිටි බවද ඔහු මීට පෙර සඳහන් කර තිබිණි. මේ අතර, ඊයේ දිනයේ පැවති ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ විශේෂ රැස්වීමට සහභාගී වූ නීතිඥවරුන් අතරට ලාල් විජේනායක මහතා ද එක්ව සිටියේය.


හිටපු පොලිස්පති මහේස්ත්‍රාත් පරීක්ෂණය:සර් කවදාවත් නැතිව මගෙන් පිස්තෝලය බලන්න කියා ඉල්ලාගෙන වෙඩි තියාගත්තා

 

 උපාලි ආනදී


හිටපු පොලිස්පති සී.ඞී. වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස වසර 16 කට අධික කාලයක් රාජකාරි කළ තමාගෙන් මෙම කාලයෙදී කිසිදු දිනයක තම පිස්තෝල ගිහි අ හිටපු පොලිස්පතිවරයා තමාගෙන් ඉල්ලා නැති බවත් මියගිය දිනය පරීක්ෂා කිරීමට බව පවසා ඔහු තම පිස්තෝල ගිනි අවිය සහ ඊට යොදන ඉල්ලාගෙන ඔහු එම පිස්තෝලයෙන් වෙඩි තබා ගත් බවත් වෙඩි වැදී මියගිය හිටපු පොලිස්පති චන්දන දීපාල් විහුමරත්න මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරියා ලෙස රාප්තාරි කළ ප්‍රභූ ආරක්ෂක අංශයේ පොලිස් සැරයන් (697) ප්‍රසන්න මහතා අධිකරණය හමුවේ පෙරේදා (28) පැවසීය.


හිටපු පොලිස්පති  චන්දන දීපාල් වික්‍රමරත්න මහතා වෙඩි වැදි මියයාමේ සිද්ධියට අදාළ ඔහේස්ත්‍රාන් පරීක්ෂණයේ සාක්ෂි දෙයින් ඔහු එසේ කීය.කඩුවෙල ඔහේස්ත්‍රාත් අරුණ ඉන්ද්‍රජිත් බුද්ධදාස මහතා ඉදිරිපිටදී සාක්ෂි ගැනීම සිදුවිය.

 

හිටපු පොලිස්පතිවරයා වෙඩි වැදි මියයාම සම්බන්ධයෙන් බස්නාහිර දකුණ විශේෂ විමර්ශනඒකකයේ මෙහෙයවීම මත සාක්ෂි දෙමින් හිටපු පාලිස්පතිවරයාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරි (697) සැරයන් ප්‍රසන්න මහතා විවෘත අධිකරණයේදී මෙසේද කීවේය.


මම වසර 16 කට අධික දීර්ඝ කාලයක් හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාගේ පෞද්ගලික ආරක්ෂක නිලධාරිය ලෙස සේවය කරනවා. මෙම කාලය තුල සර් කිසිම දවසක මගෙන් පිස්තෝලය කුමන හේතුවකටවත් ඉල්ලලා නැහැ.ඒ වගේම ව්‍යායාම කිරීමට ගිය කිසිම දිනයක වතුර බෝතල් රැගෙන ගියේ නැහැ. වතුර බෝතල් රැගෙන යන්න කියලා මට කියලත් නැහැ. මෙම සිද්ධිය වුණ දිනයේ සර් ව්‍යායාම කිරීමට යෑම සඳහා ව්‍යායාම කරන ඇඳුමින් සැරසී සිටියා එහෙත් ඒ වෙලාවේ සපත්තු දාලා හිටියේ නැහැ.


සාමාන්‍යයෙන් මීට පෙර නම් සර් ව්‍යායාම කිරීමට යැමට සූදානම් වෙලා සපත්තු නොදමා ඉන්නේ නැහැ.එහෙත් මෙහි දවසේ සහ කරන ඇඳුම් ඇදගෙන සිටියත් සපත්තු දාලා හිටියේ නැහැ. එදා සර් මට කිව්වා ප්‍රසන්න ඔයාගේ පිස්තෝලය මට දෙන්න කො පරික්ෂා කරලා බලන්න කියලා, ඔඔ සර්ට පිස්තෝලය දුන්නා. හැබැයි සර්ට පතුරම් දුන්නේ නැහැ. ඊට පස්සේ සර් කිව්වා පරීක්ෂා කරලා බලන්න කෝ පතුරයි දෙන්න කියලා. සර් ඉල්ලපු නිසා පතුරම් සහිත මැගසිනයත් සර්ට දුන්නා. පිස්තෝලයයි පතුරයි සහිත මගෙන් මැගසිනයයි ඉල්ලාගෙන අතට අර ගත්තට පස්සේ සර් මට කිව්වා ප්‍රසන්න ව්‍යායාම කරන්න යන්න වතුර බෝතලයක් ගේන්න කියලා. 


මම වතුර බෝතලයක් ගේන්න ගියා. යනවාත් සමග වෙඩි ශබ්දයක් අසුණා. ගිහින් බලන විට සහ එතන වෙඩි වැදී වැටී සිටියා. ගෙදර අය සමඟ ඉක්මනට සර් මුල්ලේරියාව රෝහලට රැගෙන ගියා පසුව දැ ගන්න ලැබුණ සහ මියගොස් ඇති බව.හිටපු පොලිස්පතිවරයා වෙඩි වැදුණු බවට සැක කෙරෙන පිස්තෝල ගිනි අවිය සහ ඊට සහිත යොදන ජීව උණ්ඩ මැගසිනය සහ පිස්තෝල හිස් පතුරම් කොපුව රජයේ රස පරීක්ෂකරවයා වෙත යවා වාර්තාවක් කැඳවන ලෙසට ද නියෝග කළේය.


හිටපු පොලිස්පති චන්දන දිපාල් වික්‍රම රත්න බාලයයි. තලාහේනේ පිහිටි ඔහුගේ නිවසේදී ඉකුත් ජූලි මස 17 වැනිදා වෙඩි වැදී මිය යාහේ සිද්ධිය සම්බන්ධයෙන් බාලබේ පොලිසිය මගින් සිදු කළ සියලු විමර්ශන අධිකරණ නියෝග මත බස්නාහිර දකුණ විශේෂ විමර්ශන ඒකකය  යටතට පැවරිණි. පොලිස්පති නීතිඥ ප්‍රියන්ත වීරසූරිය ඕහතාගේ උපදෙස් මත අපරාධ නඩු විධාන සංග්‍රහයේ 125 වන වගන්තිය ප්‍රකාරව බස්නාහිර දකුණ දිශාව බාර නියෝජ්‍ය පොලිස්පතිවරයා කඩුවෙල අධිකරණයෙන් මහේස්ත්‍රාත් කළ ඉල්ලීමට අනුවය ඒ.


 

මේ අතර හිටපු පොලිස්පතිවරයාග් මෘතදේහය සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වු නැගෙනහිර කොළඹ මුල්ලේරියාව මුලික රෝහලේ අධිකරණය වෛද්‍ය නිලධාරිවරයා  හිටපු පොලිස්පතිවරයාගේ මරණයට හේතුව අදාළ පශ්චාත් මරණ පරීක්ෂණයේදී ප්‍රකාශ කර නැති අතර විවෘත තීන්දුවක් පමණක් ලබා දී ඇත.


ඒ අනුව පලිස්පතිවරයාගේ මරණයට හේතු සහිත ස්ථිර පශ්චාත් ඔරන් පරීක්ෂණ වාර්තා නැගෙනහිර කොළඹ (මුල්ලේරියාව) මූලික රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයා විසින් ඉදිරි දිනයක කඩුවෙල මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරනු ඇ‍ත.



අනුරපුර රැදවියෙක් දිවි නසාගන්න හදලා

 


දයාරත්න ඇබෝගම


අනුරාධපුර බන්ධනාගාරයේ රඳවා සිටි රුඥාවියකු සිය දිවි හානිකර ගැනීම සදහා තැත්කිරීමේදී බරපතළ තුවාල ලබා ඔහු පෙරේදා (28) රෝහල් ගත කළ බව අනුරාධපුර පොලිසිය කියයි.මෙසේ රෝහල් ගත කරන ලද්දේ තිරප්පනේ ප්‍රදේශයේ පදිංචි 35 හැවිරිදි පුද්ගලයෙකි.


 

හෙරොයින් වර්ගයේ මත්කුඩු සන්තකයේ තබා ගැනීමේ චෝදනාව මත අධිකරණයේ නියමයෙන් මීට මාස දෙකකට පෙර මෙම පුද්ගලයා බන්ධනාගාර ගත කොටි තිබුණි.ඔහු පෙරේදා (28) වැසිකිළිය තුළ රෙදිවලින් සාදක කඹයක් ආධාරයෙන් ගෙල වැලලා ගැනීමට තැත් කර ඇති අතර, මේ සම්බන්ධ සෙසු රැඳවියන් දැක. බන්ධනාගාර නිලධාරීන්ට දැනුම්දී රැඳවියා ඉන් මුදා වහාම අනුරාධපුර මහ රෝහල වෙත යොමු කරන ලද බව පොලිසිය කියයි.


මෙම පුද්ගලයා සිය දිවි හානිකර ගැනීමට තැත්කිරීමේ මෙතෙක් හේතුව අනාවරණය වී නොමැත.සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර නිලධාරීන් හා අනුරාධපුර පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.



හිරේට නියමවූ මන්ත්‍රී චමින්දගෙන් අභියාචනයක්

 

පාලිත ආරියවංශ


පොලිස් නිලධාරීන් දෙදෙනකුට පහර දී තුවාල කර මරණීය තර්ජනය කිරීමේ චෝදනාවලට වැරැදිකරුවී අවුරුදු එකහමාරක සිරදඬුවමක් සඳහා බන්ධනාගාර ගත කර ඇති සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා වෙනුවෙන් අභියාචනා පෙත්සමක් සහ ඇප අයැදුම්පතක් සිය නීතිඥයන්ගේ මාර්ගයෙන් බදුල්ල මහාධිකරණයට ඉදිරිපත් කර ඇත.


 

පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි ඇතුළු තිදෙනකුට විරුද්ධව පවරා තිබූ මෙම නඩුවේ චෝදනා තුනක් සම්බන්ධයෙන් වැරැදිකරුවූ තෙවැනි විත්තිකරු, ඇමැති ආරක්ෂක අංශයේ සේවය කළ පොලිස් නිලධාරී රසික කරුණාතිලක මහතා වසර 10 ක අත්හිටවූ සිර දඬුවමක් නියම කරනු ලැබීය.ඊට අමතරව තුවාලකරුවන් දෙදෙනාට රුපියල් ලක්ෂයක වන්දියක් ගෙවන ලෙසට ද විනිසුරුවරයා නියෝග කළේය. ඒ අනුව ඔහු එම වන්දි මුදල පෙරේදා (28) බදුල්ල මහාධිකරණයේ තැන්පත් කර ගෙදර ගොස් ඇත.


මහාධිකරණ විනිසුරු ජෙයරාම් ට්‍රොට්ස්කි මහතා වරදකරුවන්ට දඬුවම් නියම කරමින් මෙම විත්තිකරු පිළිබදව විශේෂ සඳහනක් කළේය.මොහු මින් පෙර කිසිදු විනය චෝදනාවක් නොලබා වසර 33 ක සේවා කාලයෙන් පසු ලබන වසරේ විශ්‍රාම යාමට නියමිතව සිටින බවත්, යාපනය, වවුනියාව, කිලිනොච්ච යන ප්‍රදේශවල යුද්ධය තිබෙන කාලයේ සේවය කර ඇති බවත්, සේවය වෙනුවෙන් ප්‍රශංසා ලිපි 711 ක් ලබා සිටින බවත් ඔහු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා දඬුවම් ලිහිල් කිරීමේ ආයාචනයක් කරමින් අවධානයට යොමු කළ බව විනිසුරුවරයා එහිදී පැවැසීය. 


මේ කාරණා ද සැලකිල්ලට ගනිමින් මෙ විත්තිකරුට මාසයක ලිහිල් සිරදඬුවමක් වසර 10 ක අත්සිටවූ සිරදඬුවමක් ලෙස නියම කරන බවත්, මෙම තීන්දුව විශ්‍රාම වැටුප් ලබාදීමට හානියන් නොවන අයුරින් ලබාදෙන බවත් විනිසුරුවරයා අවධාරණය කළේය.


2019 වසරේ පෙබරවාරි 10 වැනිදා පස්වරුවේ බණ්ඩාරවෙල නගරයේ වටරවුම අසල දී පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා ඇතුළු පිරිස ජීප් රථවලින් ගමන් කරමින් සිටියදී, පොලිස් ජීප් රථයක් ඔහුගේ ජීප් රථය ඉස්සර කරගෙන යාම සම්බන්ධයෙන් ඇතිවූ බහින්බස්වීමක් මෙම සිද්ධියට මුල්වී ඇති බව නඩු විභාගයේ දී අනාවරණය විය.


තමන් පසු කරගෙන ගිය පොලිස් ජීප් රථයේ බග හරස් කළ හිටපු මන්ත්‍රීවරයා ඇතුළු පිරිස, එහි සිටි නිලධාරීන්ට මරණීය තර්ජන කර පහර දී තුවාල කර ඇති බව ද මෙම නඩුවේ දී නඩු විභාගයේදී පැමිණිලි පාර්ශ්වය කියා සිටියේය.


වම නඩුව විභාග වන අවස්ථාව වන විට පළමුවැනි විත්තිකරු වූ රියැදුරු බන්දුල රත්නායක නමැත්තා මියගොස් ඇති බව ද අනාවරණය විය.රජයේ අධිනිතිඥ ශක්ති ජාගොඩආරච්චි මහතා මෙම නඩුවේ පැමිණිල්ල මෙහෙයවූ අතර, දෙවැනි විත්තිකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා ද, තෙවැනි විත්තිකරු වෙනුවෙන් නීතිඥ සුජීවන සිල්වා මහතා ද පෙනී සිටියහ.


ලක්ෂ 15ක පිරිසකට මානුෂීය ආධාරත් දෙන්න වන ලකුණු

 

විමුක්ති එස්. රුද්‍රිගු


ඉකුත් ජූනි මාසයේ සිට එළැඹෙන වසරේ ජනවාරි මාසය දක්වා කාලයේ දී මෙරට ලක්ෂ 10 ත් 15ත් අතර ජනතාවකට ප්‍රමාණවත් පෝෂ්‍යදායී ආහාර වේලක් ලබාගැනීම සඳහා මානුෂීය ආධාර අවශ්‍ය වනු ඇතැයි යූ.එස් ඒඞ් සංවිධානයේ ආධාර මත පිහිටුවා ඇති සාගත පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ජාලය පුරෝකතනය කරයි.


එම අවශ්‍යතාව වෙළෙඳපොළ මත යැපීම වැඩි එළැඹෙන ඔක්තෝබර් සිට දෙසැම්බර් දක්වා කාලයේ දී දැඩි වනු ඇති බව ද එම ජාලය ප්‍රකාශ කරයි.

ඉහළ යන ආහාර මිලට සාපේක්ෂව මෙරට බොහෝ ජනතාවගේ වැටුප් වර්ධනය වී නොමැති බව ද එම ජාලය පවසයි.ආර්ථික අර්බුදය පැවැති කාලයට සාපේක්ෂව නගර සහ නගර ආසන්න දිස්ත්‍රික්කවල වැඩි රැකියා අවස්ථා ප්‍රමාණයක් වර්තමානය වනවිට  නිර්මාණය වී ඇතත් ඉහළ ගොස් ඇති ආහාර මිල, ප්‍රවාහන ගාස්තු, විදුලි සහ ජල ගාස්තු මෙන්ම ණය ආපසු

වීමේ කැපවීම්වලට සාපේක්ෂව එම රැකියාවල වැටුප් වර්ධනය වී නැතැයි සාගත පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ ජාලය ප්‍රකාශ කරයි.


අඩු දවස් පඩි සහ දුප්පත් පවුල්වලට දරාගත නොහැකි ආහාර මිල හේතුවෙන් ඇතැම් දුප්පත් පවුල් කුසගින්න නිවා ගැනීම සඳහා ගන්නා ආහාර ප්‍රමාණය හෝ වේල් ගණන අඩු කිරීමට, අත්‍යවශ්‍ය නොවන භාණ්ඩ සඳහා සිදු කරන වියදම අඩු කිරීමට පෙළැඹී ඇති බව ද එම ජාලය පවසයි.යූඑස් ඒඩ් සංවිධානයේ ආධාර මත 1985 වසරේ පිහිටුවා ඇති සාගත පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ජාලය ලොව පිළිගත්ම ආයතන අතරින් එකකි.


ප්‍රවාහන වියදම්, කෘෂිකාර්මික නිෂ්පාදන පිරිවැය සහ ධීවර කර්මාන්තයට අවශ්‍ය යෙදවුම් වියදම් ඉහළ යාමත් සමග මෙරට ආහාර මිල ඉහළ මට්ටමක පැවැතීම හේතුවෙන් එළැඹෙන සැප්තැම්බර් මාසය දක්වා කාලයේ දී මෙරට බොහෝ පවුල්වල මිලදී ගැනීමේ හැකියාව සීමා වනු ඇතැයි යූඑස් ඒඩ් සංවිධානයේ ආධාර මත පිහිටුවා ඇති සාගත පිළිබඳ පූර්ව අනතුරු ඇඟවීමේ පද්ධති ජාලය පුරෝකතනය කරයි.


අඩු වැටුප්, ඉහළ ණය බර, ඉහළ ආහාර වියදම් සහ වෙළෙඳපොළ මත යැපීම හේතුවෙන් මෙරට පවුල් වල මිලදී ගැනීමේ හැකියාව පහළ යනු ඇති බවත් ඒ හේතුවෙන් ආහාර නොවන භාණ්ඩ සඳහා මුදල් වැය කිරීම මෙරට පවුල්වලට අපහසු වනු ඇති බවත් එම ජාලය පවසයි.වැඩිම අවදානමක් ඇත්තේ තෙත් කලාපයේ අඩු ආදායම් වැවිලි කම්කරුවන්ට, වෙරළබඩ ධීවර කර්මාන්තය මත යැපෙන්නන්ට සහ නාගරික දුප්පත් ජනතාවට බව ජාලය සඳහන් කරයි.


හදිසි ආහාර සහාය සපයන මහා පරිමාණ වැඩසටහනක් ලංකාවේ ක්‍රියාත්මක නොවන බව ද සාගත පිළිබඳව පූර්ව අනතුරු ඇඟවීමේ ජාලය පෙන්වා දෙයි.ඉදිරි කාලයේ දී ආහාර සුරක්ෂිතතාව පිළිබඳව වැඩිම බලපෑමක් එල්ල වන්නේ ශ්‍රී ලංකාවේ තෙත් කලාපය, බටහිර හා උතුරු වෙරළබඩ ප්‍රදේශ මෙන්ම නාගරික සහ නාගරික ආසන්න දිස්ත්‍රික්කවල ජනතාවට බව ද එම ජාලය පුරෝකතනය කරයි.


ජපුර නව උපකුලපති ජ්‍යෙෂ්ඨ මහාචාර්ය උපුල් සුඛසිංහ

 


 අංජුල මහික වීරරත්න


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ නව උපකුලපතිවරයා ලෙස ජ්‍යෙෂ්ඨ  මහාචාර්ය උපුල් සුඛසිංහ මහතා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් පත්කරනු ලැබේ සිටියි. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් විද්‍යාවේදී (B.Sc. Special in Botany) ප්‍රථම උපාධියත්, එක්සත් රාජධානියේ බ්‍රිතානය වේල්ස්හි බැංගෝරි විශ්ව විද්‍යාලයෙන් වන කළමනාකරණය පිළිබඳ පශ්චාත් උපාධිය (M.Sc.) සහ ආචාර්ය උපාධියත් (Ph.D.) හිමිකර ගත් සුඛසිංහ මහතා ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික විද්‍යා පීඨයේ (Faculty of Applied Sciences) පීඨාධිපති ලෙසද කටයුතු කළේය.


වන විද්‍යා හා පාරිසරික විද්‍යා අධ්‍යයන අංශයේ ජ්‍යෙෂ්ඨ මහාචාර්යවරයකු ලෙස ශාස්ත්‍රීය මෙහෙවරක නිරත වූ මහාචාර්ය සුඛසිංහ මහතා වන විද්‍යා හා පාරිසරික කළමනාකරණය පිළිබඳ ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම විද්වතෙකි. ව්‍යා කළමනකරණය, පරිසර පද්ධති ආකෘතිකරණය, වන කාබන් සංචිත (Forest Carbon) සහ ස්වාභාවික සම්පත් කළකරණය ඔහුගේ පර්යේෂණ ක්ෂේත්‍ර වේ. විශේෂයෙන්ම මහාචාර්ය උපුල් සුබසිංහ මහතා ශ්‍රී ලංකාවේ අගරපත ශාක   (Agarwood/KGyrinopswalla) සහ oga (Sandalwood) ශාක සම්බන්ධයෙන් පර්යේෂණ කළ ප්‍රමුඛ විද්‍යාඥයෙකි.



පියාගේ ගජමිතුරා 13 දුව කෙලෙසලා

 

ශ්‍රීනාත් පුසන්න ජයසූරිය


අවුරුදු දහතුනක බාල වයස්කාර පාසල් සිසුවියක සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වාගෙන යමින් ලිංගික අපයෝජනයට ලක් කළේ යැයි කියන 35 හැවිරිදි පුද්ගලයෙක් පෙරේදා (28) සවස මාරවිල පොලිසිය විසින් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.මෙසේ සැකපිට අත්අඩංගුවට ගත් පුද්ගලයා කම්කරු වෘත්තියේ නිරතව සිටින අයකු වන අතර, සිසුවියගේ පියාගේ හොඳම මිතුරකු බවද පොලිසිය පවසයි.


සැකකරු මෙම බාල ව්යස්කාර පාසල් සිසුවිය සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ගෙන යමින් කිසිවකු නොමැති අවස්ථාවක ඇයගේ නිවෙස තුළදී ද, තොඩුවාව පොලිස් වසමේ පිහිටි නිවාඩු නිකේතනයකට කැඳවාගෙන ගොස් එහිදී ද දූෂණය කර ඇති බව පරීක්ෂණ වලින් හෙළි වී ඇතැයි පොලිසිය කියයි.


සැකකරු මෙම දැරිය අවස්ථා තුනකදී ලිංගික අපයෝජනයකට ලක් කර දූෂණය කර තිබෙන බවද පොලිසිය කියයි. දැරිය දුන් ප්‍රකාශ මත පරීක්‍ෂණ පවත්වා සැකකරු පෙරේදා (28) සවස සැකපිට අත්අඩංගුවට ගෙන ඇත.බාල වයස්කාර දැරියක මවුපියන්ගේ භාරකාරත්වයෙන් අපහරණය කර දුෂණය කළේ යැයි කියන චෝදනාව යටතේ සැකකරු අත්අඩංගුවට ගත් බවද පොලිසිය සඳහන් කරයි.


පාසලක හත්වැනි වසරේ ඉගෙනුම ලබන මෙම බාල වයස්කාරිය වෛද්‍ය පරීක්ෂණයක් සඳහා රෝහල්ගත කරන ලදැයි පොලිසිය කියයි. මාරවිල මූලස්ථාන පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක සරත් සමර වික්‍රම මහතාගේ උපදෙස් මත එම මූලස්ථාන පොලිසියේ ළමා හා කාන්තා කාර්යාංශයේ පොලිස් පරික්ෂිකා සිරිමාන්න මහත්මිය ප්‍රධාන පොලිස් නිලධාරීහු කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් තවදුරටත් විමර්ශන පවත්වති. සැකකරු මාරවිල මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.


අත්දැකීම් ඇති පිරිස් රඳවා ගැනීම අරමුණයි

 



අංජුල මහික වීරරත්න


රාජ්‍ය සේවයේ අත්දැකීම් සහිත නිපුණතාවක් ඇති වෘත්තිකයන් රඳවා ගැනීම සදහා තෝරාගත් ක්ෂේත්‍ර කිහිපයක විශ්‍රාම් ගැන්වීමේ වයස ඉහළ හැංවීමට අවධානය යොමුව තිබෙන බව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පැවසීය.රාජ්‍ය පවත්වාගෙන යාම වෙනුවෙන් වැඩි ප්‍රතිපාදන ප්‍රමාණයක් වැය කිරීම ජනතාවගේ පාර්ශ්වයෙන් කිසිසේත් සාධාරණ නොවන බව ජනාධිපතිවරයා කීය.


ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මේ බව සඳහන් කළේ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේදී පෙරේද (28) පස්වරුවේ පැවති ගාල්ල දිස්ත්‍රික් විශේෂ සම්බන්ධිකරණ කමිටු රැස් වීමට එක් වෙගිනි. 2026 අයවැය ප්‍රතිපාදන යටතේ ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්ම ඇතුළුව ගාල්ල දිස්ත්‍රික් ලේකම් කාර්යාලය විසින් ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘතිවල ප්‍රගතිය සහ 2027 මුල්‍ය අවශ්‍යතා පිළිබඳව ද මෙහිදී පුළුල් ලෙස විමසා බැලිණි. සියයට 9ක  තේ පවතින පුනරාවර්තන වියදම් අඩු කර ගනිමින්, සියයට 4ක් වන ප්‍රාග්ධන වියදම් ඉහළ නැංවීමේ අරමුණ ඇතිව ඉදිරි වසරේ ආර්ථික සැලසුම් සකස් කර තිබෙන බව ජනාධිපතිවරයා සඳහන් කළේය.


 

2027 වසරේ ප්‍රාග්ධන වියදම් ලෙස රුපියල් ට්‍රිලියන දෙකක් වෙන් කිරීමට සැලසුම් කර තිබෙන බවත්, එය සියයට 40ක පමණ වැඩිවීමක් බවත් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.  භාණ්ඩාගාරයට ලැබෙන සෑම රුපියලක්ම රටේ සංවර්ධනය සහ උන්නතිය උදෙසා යෙදවීම අපේක්ෂාව බව මෙහිදී අවධාරණය කළ ජනාධිපතිවරයා අනාගත පරපුරට ණය ගෙවීමට සිදු නොවන, මුල්‍ය විනයක් සහිත රටක් ගොඩ නැගීම රජයේ අපේක්ෂාව බව ද සඳහන් කළේය. ජාත්‍යන්තර වාර්තා තුළ මේ වන විට ශ්‍රී ලංකා ආර්ථිකයේ ප්‍රගතිය සහ සමාජ දර්ශක පිළිබඳ ඇගැයීම් යහපත් මට්ටමක පවතින බවත්, එක් යුගයක ණය ගෙවාගත නොහැකි වූ, දූෂණය සහ සමාජ අපරාධ පිරුණු රටක් ලෙස ජාත්‍යන්තරයේ කතාබහට ලක් වූ රට අද ප්‍රශස්ත ආර්ථිකයක් සහිත සහ දූෂණය අවම වූ රටක් ලෙස ජාත්‍යන්තරයේ ඇගැයීමට් ලක්ව තිබ බවත් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා මෙහිදී වැඩිදුරටත් පැවසීය.


රාජ්‍ය අංශයේ කාර්යක්ෂමතාව ඉහළ නැංවීම සහ ජනතාවට නිවසේ සිටි සිය සේවා ඉටුකරගත හැකි අන්දමින් රාජ්‍ය සේවය ඩිජිල්කරණයට, රජය ඉදිරි අයවැයෙන් විශේෂ අවධානය යොමු කර තිබෙන්නේ යැයි ද ජනාධිපතිවරයා සඳහන් කළේය.රාජ්‍ය අංශය රැකියා පුරවන තැනක් බවට පත් කරමින් රාජ්‍ය දේහය කඩා දැමීම හේතුවෙන් අහිතකර ආර්ථික ප්‍රතිවිපාකවලට මුහුණ දීමට සිදු වූ බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා රැකියා ඇතිවන එළියේ ආර්ථිකයක් ගොඩනැගිම රජයක වගකීම බවත්, ඒ තුළින් තරුණ තරුණියන්ට රැකියා අවස්ථා උදාකර දිය හැකි බවත් පෙන්වා දුන්නේය.


ගාල්ල දිස්ත්‍රික් සංවර්ධන සැලැස්මේ ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනය කෙරුණු අතර නගර යනු ගොඩනැගෙන ඒවා මිස ගොඩනැගුණු ඒවා නොවන බවත්, ඒ අනුව විධිමත් සැලැස්මක් යටතේ යුගයේ අවශ්‍යතාව අනුව නගර නිර්මාණය වීමේ වැදගත්කමක් ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.මෙහිදී පළාත් සභා මගින් ක්‍රියාත්මක ව්‍යාපෘති පිළිබඳව ද අවධානය යොමු කෙරුණු අතර ඒ යටතේ භෞතිකව ව්‍යාපෘති සියයට 90ක කටයුතු මේ වන විට අවසන් කර තිබෙන බව සඳහන් කෙරිණි.


ආයතන අතර පවතින ගැටුම හේතුවෙන් ඇතැම් ව්‍යාපෘති ප්‍රමාදවී තිබිම පිළිබඳව මෙහිදී ජනාධිපතිවරයාගේ අවධානය යොමු කෙරුණු අතර එම ගැටලු විසඳාගනිමින් ජාතික සැලැස්මක් අනුව සියලුදෙනා කටයුතු කිරීමේ අවශ්‍යතාව ද පැහැදිලි කළේය.ග්‍රාමීය මාර්ග සංවර්ධනය පිළිබඳවද මෙහිදී විශේෂ අවධානයක් යොමු කෙරුණු අතර රුපියල් මිලියන 250 ක ප්‍රතිපාදන යටතේ ව්‍යාපෘති 122 ක් අනුමත වි ඇති අතර, ඉන් ව්‍යාපෘති 57 ක වැඩ දැනටමිත් අවසන් කර තියන බව අනාවරණය කෙරිණි.


බහුමානීය දිළිඳුකම පිටු දැකීම අරමුණු කරගත් ප්‍රජායක්ති වැඩසටහන යටතේ නිෂ්පාදන ආර්ථිකය, ආහාර සුරක්ෂිතතාව, සමාජ පරිසරය, මානව සම්පත් සංවර්ධනය සහ සැපයුවාල ප්‍රවේශය රැකවරණය කෙරෙහි ව්‍යාපෘති අවධානය යොමු කරමින් රැසක් ක්‍රියාත්මක අතර එහිදී ප්‍රගතිය ද සමාලෝචනය කෙරිණි.


දිස්ත්‍රික්කයේ නිල සෙවන කාර්යාල ඉදිකිරීම පාසල් - ක්‍රීඩා සංවර්ධනය සඳහා ද විශේෂ ප්‍රතිපාදන වෙන් කර තිබෙන අතර රට තුළ ක්‍රීඩා සංස්කෘතියක් ගොඩනැගිමේ දී ක්‍රීඩා පිටි ඉදිකිරීම පමණක් ප්‍රමාණවත් නොවන අතර ක්‍රීඩාව දෛනික ජන ජීවිතයේ කොටසක් බවට පත් කිරීම සඳහා සමාජය තුළ ආකල්පමය ෂනසක් ඇති කිරීමේ වැඩපිළිවෙළක අවශ්‍යභාව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.


නිවසක් ඉදිකර ගැනීම සඳහා ලක්ෂ 10ක් දීමේ වැඩසටහන ඇතුළු දිස්ත්‍රික්කයේ ජනතාව ඩනුෂඩන් ක්‍රියාත්මක නිවාස වැඩසටහන්හි ප්‍රගතිය ද ජනාධිපතිවරයා මෙහිදී විමසා බැලීය. මෙහිදී Rebuilding Sri Lanka වැඩසටහන ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳව ද සාකච්ඡා කෙරුණු අතර දිව්වා ආපදා තත්වය වෙනුවෙන් වෙන් කළ මුදල් මෙහි මුල්‍ය වර්ෂය තුළඹ වියදම් කිරීමේ අවශ්‍යතාව ද ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.

විෂ ඔත්ද්‍රව්‍ය උවදුර මුලිනුපුටා දැමීමේ “රටම එකට” ජාතික මෙහෙයුමේ ගාල්ල දිස්ත්‍රික් ප්‍රගතිය ද මෙහිදී සමාලෝචනය කෙරුණු අතර “රටම එකට” මෙහෙයුම ආරම්භ වූ 2025- 10 - 30 දින සිට මේ දක්වා දිස්ත්‍රික්කය තුළ සිදු කළ වැටලීම් 12,608ක් අනුව විෂ මත්ද්‍රව්‍ය කිලෝ ග්‍රෑම් 119.6ක් අන්ඩඅංගුවට ගෙන තිබෙන බව අනාවරණය කෙරිණි. 


දිස්ත්‍රික්කය තුළ මත්ද්‍රව්‍ය ජාලය බිඳ දැමීමේදී සියලු ආයතන ඒකාබද්ධව කටයුතු කිරීමේ අවශ්‍යතාව ජනාධිපතිවරයා පෙන්වා දුන්නේය.ගාල්ල නගර සංවර්ධන සැලැස්ම පිළිබඳව ද මෙහිදී විශේෂ අවධානය යොමු කෙරුණු අතර ගාල්ල කොටුව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීම, ගාල්ල නගරය ආර්ථික කලාපයක් ලෙස සංවර්ධනය කිරීම සහ මහමෝදර පරිපාලන කලාපයක් ලෙස සංවර්ධනය කිරීම ඒ යටතේ සිදු කෙරේ.


මීගමුව බන්ධනාගාරයේ ප්‍රතිසංස්කරණ කටයුතු නිම වන තෙක් එම රැඳවියන් තාවකාලිකව ඔහුණෝදර සහ බෝගම්බර කඳවුරුවල තාවකාලිකව රඳවා තැබීමට තීරණය කළද, එය ස්ථිර බන්ධනාගාර බවට පත් කිරිමක් සිදු නොවන බව ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නේය. කෙසේ වෙතත් මහමෝදර බන්ධනාගාරය පිළිබඳ තීරණය නැවත සලකා බැලීමට ද මෙහිදී අවධානය ගයාමු විය.


ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සයි සභාපති වෘත්තීය අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය නලින් හේවයේ ධීවර ජලස් සන සාගර සමීපත් නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ, ගාල්ල දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටු සම සභාපති දකුණු පළාත් ආණ්ඩුකාර මහාචාර්ය සුසිරිපාල මානවඩු, ගාල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන නිසාන්ත සමරවීර, ටී.කේ. ජයසුන්දර, නියාන්ත පෙරේරා, තිලංක යූ. ගමගේ, හසාරා ලියනගේ, චානක මෘදුගොඩ, ගාල්ල නගාරාධිපති සුනිල් ගමගේ, ප්‍රධාන ගල්කයි ඩන්දිම සී. මුහන්දිරම්ගේ යන මහත්ම මහත්මින් ඇතුළු පක්ෂ, විපක්ෂ දේශපාලන අධිකාරිය සහ ගාල්ල දිස්ත්‍රික් ලේකම් කේ.යූ. ඩන්දුලාල් මහතා සහ රාජ්‍ය නිලධාරීන්, ආරක්ෂක අංශ ප්‍රධානී ඇතුළු පිරිසක්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.


ගුවනින් සිරි බලන යානය මුහුදට වැටී ලෙබනන් කත මරුට

 


 එම්. සුසිල් ප්‍රියන්ත 


බෙන්තොට සංචාරක පුරයේ අහසින් සිරි නැරඹීම සඳහා යොදා ගැනෙන පැරා මෝටර් නමැති කුඩා යානයක් බෙන්තොට මුහුදට ඉහළින් පියාසර කරමින් තිබියදී ඊයේ (29 දා) සවස ඛෙන්තොට වෙරළේ සිට මීටර් 600 ක් පමණ ඈතින් මුහුදට කඩා වැටීමෙන් එහි ගමන් ගත් ලෙබනන් ජාතික 31 හැවිරිදි කාන්තාවක මියගොස් ඇතැයි බෙන්තොට පොලිසිය කියයි.


මෙම අනතූර ඊයේ (29) සවස 4 ට පමණ සිදුවී ඇති අතර, යානය කඩා වැටෙනවාත් සමග එහි නියමුවා ලෙස කටයුතු කළ කොලොම්බියා ජාතික මනිල් ඊබ්‍රහිම් යානයෙන් මුහුදට පැන ගොඩට පිහිනා දිවි ගලවාගෙන ඇත. යානය කඩාවැටීමට හේතුව යානයේ කාර්මික දෝෂයක් බවට සැකකෙරේ.


මෙම සිද්ධියෙන් අතුරුදන්ව සිටි විදෙස් ජාතික කාන්තාව සිද්ධිය වී පැය එකහමාරකට පමණ පසුව සොයාගත් බවත්, බේරුවල, මරදාන ප්‍රදේශයේ ධීවරයන් පිරිසක් කුඩා ධීවර බෝට්ටු මගින් ගොස් මෙම කාන්තාවගේ සිරුර සොයාගෙන බේරුවල, මරදාන ධීවර තොටුපොළට රැගෙන ආ බව පොලිසිය කියයි.


ගොඩට ගෙන ආ සිරුර කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට යැවූ බව පොලිසිය කියයි. මෙම සිද්ධියෙන් දිවි ගලවාගත් විදේශිකයා ද කළුතර නාගොඩ ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය කියයි.මෙම පැරා මෝටර් යානය අලුත්ගම ප්‍රදේශයේ සංචාරක සේවා සපයන ආයතනයකට අයත් එකක් බව පොලිසිය පැවසීය. බෙන්තොට පොලිස් ස්ථානාධිපති අජන්ත පුෂ්පකුමාර මහතාගේ මෙහෙයවීමෙන් වැඩිදුර පරීක්ෂණ පැවැත්වේ.


පාර්ලිමේන්තු වාහන 50 ක රාජ්‍ය ලාංඡනය ගලවලා

 

 සුජිත් හේවාජුලිගේ


සියලුම රජයේ සංචිත වාහනවල රාජ්‍ය ලාංඡන යෙදිය යුතු වූවත් පාර්ලිමේන්තුවේ සංචිත වාහන පනහක රාජ්‍ය ලාංඡනය සවිකර නොතිබුණු බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාර්තාවක සඳහන් වේ.මේ අතර පාර්ලිමේන්තුවේ වාහන හතළිස් එකක ඉන්ධන දහන පරීක්ෂාව ද චක්‍රලේඛ ප්‍රකාරව කර නොතිබුණු බව එහි දැක්වේ.


සෑම ඉන්ධන පරීක්ෂාවකට පසු මාස දොළහක කාල සීමාවකින් පසුව හෝ කිලෝමීටර් 25,000ක දුර ප්‍රමාණයක් ධාවනය කිරීමෙන් පසු හෝ එන්ජිම සම්බන්ධ ප්‍රධාන අලුත්වැඩියාවකට පසුව හෝ යන කාරණා අතුරින් මුලින්ම යෙදෙන අවස්ථාවකට පසුව නැවත ඉන්ධන පරීක්ෂාවක් කළ යුතු බව 2016 දෙසැම්බර් 29 රාජ්‍ය පරිපාලන චක්‍රලේඛයේ සඳහන් වන බව ජාතික විගණන කාර්යාලය පවසයි.


මේ අතර පාර්ලිමේන්තුවට අයත් වාහන 12ක් වෙන්දේසි කිරීමට නිලධාරීන් පස් දෙනකුගෙන් යුතු කමිටුවක් පසුගිය වසරේ මැයි 28 වැනිදා තීරණය කර තිබුණ ද, මේ දක්වාම එම කාර්යය සම්පූර්ණ කර නැතැයි විගණන වාර්තාවේ දැක්වේ.


මේ අතර පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයට සහනදායී පදනම මත මෝටර් රථ බලපත්‍ර ලබාදීම සම්බන්ධ චක්‍රලේඛ විධිවිධාන සහ උපදෙස්වලට පටහැනිව ජ්‍යෙෂ්ඨ මට්ටමට අයත් විධායක තනතුරක වසර හයක සක්‍රීය සේවා කාලයක් සම්පූර්ණ කර නොතිබුණ පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ නිලධාරීන් තිදෙනකුට සහනදායී මෝටර් වාහන බලපත්‍ර නිකුත් කිරීම සම්බන්ධයෙන් විධිමත් අනුමැතියක් විගණනය වෙත ඉදිරිපත් නොකෙරුණු බව ද එම වාර්තාව සඳහන් කරයි.තොරතුරු සඳහන් වන්නේ ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ 2025 වාර්ෂික වාර්තාවට ඇතුළත් කරනු ලැබ ඇති විගණන වාර්තාවේ


කුඩා වැව් හිඳෙන ලකුණු: වතුර පරෙස්සම් කරන්න

 


රසාංජලී වාසල


එල්නිනෝ තත්වය හමුවේ රට පුරා කුඩා ධාරිතාවක් ඇති වැව් සිඳී යාමේ අවදානමක් පවතින බව වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ඉංජිනේරු කිත්සිරි වැලිගෙපොලගේ මහතා පැවැසීය.එල්නිනෝ තත්වය හමුවේ ජලාශවල ධාරිතාව ශීඝ්‍රයෙන් අඩුවන හෙයින් වගා කටයුතුවලදීත්, අනෙකුත් කටයුතු වලදීත් ජලය අරපිරිමැස්මෙන් භාවිත කරන ලෙස ඔහු ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.


සමස්ත වාරි පද්ධතියේ ජල ධාරිතාව සහ වර්ෂාපතනයේ ප්‍රමාණය සැලකිය යුතු ලෙස අඩු වුවහොත් මහ කන්නයේ දී වගා කළ යුතු බිම් ප්‍රමාණය පිළිබදව තීරණයක් ගැනීමට සිදුවනු ඇතැයි කී හෙතෙම ඔක්තෝබර් මාසයෙන් ඇරඹෙන මහ කන්නයට අවශ්‍ය ජල ප්‍රමාණය රඳවා තබා ගැනීමට අවශ්‍ය සැලසුම් සකස් කර ඇතැයි ද සඳහන් කළේය.


කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද පුරෝකථනවලට අනුව එල්නිනෝ තත්වය වනවිට ක්‍රියාත්මක වන බවත් ඉදිරි සති දෙක ඇතුළත යල කන්නයේ අස්වනු නෙළීම සාර්ථකව අවසන් වන බැවින් වාරිමාර්ග දෙපාර්තමේන්තුවට අයත් ජලාශවලින් බොහෝමයක වාරි ව්‍යාපාරික කටයුතු අවසන්ව ඇති බවත් කිත්සිරි වැලිගෙපොලගේ මහතා පැවැසීය.


වාරිමාර්ග දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන ප්‍රධාන ජලාශ 73 ක් සහ මධ්‍යම පරිමාණයේ ජලාශ 21025 පවතින බව පැවැසූ වාරිමාර්ග අධ්‍යක්ෂ ජනරාල්වරයා සමස්ත වාරි පද්ධතියෙහි සියයට හතළිහකට ආසන්න ජල ධාරිතාවක් දැනට පවතින බව ද කීවේය.ජනතාවගේ පානීය ජල අවශ්‍යතාව සපුරාලීමට ප්‍රමාණවත් ජල පරිමාවක් ජලාශවල පවතින බැවින් ඒ පිළිබඳව අනිසි බියක් ඇති කර නොගන්නා ලෙස අධ්‍යක්ෂවරයා ජනතාවගෙන් ඉල්ලීමක් කළේය.


ජලාශවල ප්‍රමාණවත් ජල ධාරිතාවක් පවතින නිසා සාමාන්‍යයෙන් මහ කන්නයේ දී වගා කරන ප්‍රමාණයම මෙවරත් වගා කිරීමට බලාපොරොත්තු වන බව හෙතෙම පැවැසුවේය. මේ කන්නයේදී ඉතා හොඳ අස්වැන්නක් ලබාගත් හෙයින් මහ කන්නයේ යම් ප්‍රමාණයකට සාර්ථක අස්වැන්නක් ලබා ගතහොත් ඉදිරියේ දී සහල් අර්බුදයක් ඇති නොවනු ඇතැයි ඔහු කීය.


රට ගිය අක්කාගේ ලක්ෂ අටහමාරක මාලය සොරාගෙන

 

ප්‍රසාද් රුක්මල්


මහියංගණ මාපාකඩවැව කෙසෙල්පොත ප්‍රදේශයේ නිවසක අල්මාරියේ ලාච්චුවක ආරක්ෂිතව තබා විදේශ රටක රැකියාවකට ගිය කාන්තාවගේ රුපියල් 8,50000ක් පමණ වටිනා රන්මාලයක් සොරකම් කළැයි සැකපිට විදේශ ගතවූ කාන්තාවගේ නැගණියක සමග දියණියක ඊයේ (29) සැකපිට අත්අඩංගුවට ගත් බව මහියංගණ පොලිසිය පවසයි.


මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අරාවවත්ත වෙලන්පැලේ කුඩාඔය ප්‍රදේශයේ පදිංචි අවුරුදු 21ක් දියණියක සහ 43 හැවිරිදි මවක යැයි පොලිසිය කීය. රන්මාලය සොරකම් කිරීමේ චෝදනාව යටතේ දියණියද, සොරකමට අනුබල දීමෙ චෝදනාව යටතේ මවත් මෙලෙස අත්අඩංගුවට ගනු ලැබිණැයි පොලිසිය පැවසීය.


මාපාකඩවැව කෙසෙල්පොත ප්‍රදේශයේ පදිංචි කාන්තාව ඉකුත් 2025 වසරේ දෙසැම්බර් මස විදේශ රටක රැකියාවකට ගොස් ඇති අතර, එසේ ගිය ඇය සිය වටිනා රන්භාණ්ඩ සියල්ල ඇගේ දියණියට සුරක්ෂිතව රැකබලා ගැනීමට බාරදී ගොස් ඇති බවත් පොලිසිය කියයි.


ඇය රන්භාණ්ඩ සියල්ල ආරක්ෂිත උපකරණයක බහා නිවසේ කාමරයේ අල්මාරියේ ලාච්චුව තුළ තබා තිබී ඇතැයි පොලිසිය සඳහන් කළේය.මේ අතරතුරේ කුඩා කල පටන් මෙම නිවසේ හැදී වැඩී ඇති විදේශ ගතවූ කාන්තාවගේ සහෝදරියගේ දියණිය මෙම වටිනා රන්මාලය සොරාගෙන ගොස් මහියංගණ නගරයේ උකස් මධ්‍යස්ථානයකට රුපියල් ලක්ෂ තුනක මුදලකට උකස් කර ඇති බවත්, එම රන්මාලයේ උකස් කාලය අවසන්වී එය බේරාගන්නා ලෙසට දැනුවත්කර ලිපියක් නිවසට ලැබීමෙන් පසුව මේ  සොරකම පිළිබඳව තොරතුරු අනාවරණය විණැයි පොලිසිය පවසයි. 


ඒ අනුව විදේශ රටක රැකියාවකට ගිය කාන්තාවගේ සැමියා විසින් සම්බන්ධයෙන් මහියංගණ පොලිසියට පැමිණිලි කිරීමෙන් අනතුරුව මෙසේ සැකකාර මව, දියණිය අත්අඩංගුවට ගත් බවත්, සොරාගන්නා ලද රන්මාලය මහියංගන නගරයේ උකස් මධ්‍යස්ථානයකට උකස් කර තිබියදී සොයාගනු ලැබිණැයි පොලිසිය වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

පෝදා තිත් මුවාට වෙඩි තියලා

 


සරත් නිශ්ශංක වෙලගෙදර


පිපාසය නිවාගැනීම සඳහා පොළොන්නරුව හෙළ කලා ගම්මානය ආශ්‍රිත මුනියන්ඩි වැවට ඇසළ පුර පසළොස්වක පොහෝ දින (29) දහවල් පැමිණි තිත් මුවකුට නාඳුනන දඩයක්කරුවකු වෙඩි තබා තුවාල සිදුකර ඇති බව මනම්පිටිය වනජීවී කාර්යාලය පවසයි.දහවල් 12.00ට පමණ සිදුවූ මෙම සිද්ධියෙන් පසු වෙඩි වැදී තුවාල ලබා සිටි මුවා ගම්වාසීන්ගේ අවදානයට ලක්ව ඇති අතර, ඔවුන් වහාම මනම්පිටිය වනජීවී කාර්යාලයේ නිලධාරීන් දැනුවත් කර තිබේ. 


තොරතුර ලැබීමත් සමගම ස්ථානයට පැමිණි වනජීවී නිලධාරීන් ගම්වාසීන්ගේ සහයෝගයෙන් තුවාල ලැබූ තිත් මුවා බේරාගෙන ගිරිතලේ වනජීවී පශු වෛද්‍ය ඒකකය වෙත රැගෙන ගොස් ප්‍රතිකාර සඳහා භාරදී ඇත. මෙම සත්කාරක මෙහෙයුම සඳහා මනම්පිටිය වනජීවී කාර්යාලයේ වනජීවී අඩවි සහකාර ඒ.ඩී. වික්‍රමසිංහ මහතා, සිවිල් ආරක්ෂක නිලධාරීන් වන කේ.ඩබ්ලිව්. දයාසේන, වික්‍රමරත්න, දිසානායක සහ රියැදුරු නවරත්න කරුණාරත්න යන නිලධාරීහු එක්ව කටයුතු කළහ.


සිද්ධිය සම්බන්ධයෙන් මනම්පිටිය වනජීවී කාර්යාලය වැඩිදුර විමර්ශන ආරම්භ කර ඇති අතර, තිත් මුවාට වෙඩි තැබූ දඩයක්කරු සොයා පරීක්ෂණ ක්‍රියාත්මක බව ද වනජීවී නිලධාරීහු සඳහන් කළහ. 


ලුණු කන්ටේනර් 1200ක් වරායේ හිරවෙයි

 

විමුක්ති එස්. රුද්‍රිගු


ඉකුත් වසරේ මැයි මාසයේ දී ලුණු ආනයනය කිරීමට රජය දුන් සහන කාලය ප්‍රයෝජනයට ගනිමින් මෙරටට ගෙන්වූ ලුණු බහාලුම් 1200 ක් තවමත් වරායේ සිරවී තිබෙන බව වාර්තා වේ.ලුණු තොගය විනාශ කිරීමට හැකියාවක් නොමැතිව රේගුව දැඩි අර්බුදයකට පත්ව ඇති බවත්, විනාශ කිරීමට රුපියල් කෝටි 50 කට වැඩි මුදලක් සහ විශාල මිනිස් ශ්‍රමයක් අවශ්‍ය වී තිඛෙන බවත් රේගු ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.


ඒවා ගෙන්වූ ආනයනකරුවන් තමන් ගෙන්වූ ලුණු පිළිබඳව වගකීම බාරගැනීම මගහරිමින් පැන යන බවත් ඊට හේතු වී ඇත්තේ ලුණු ආනයන සීමා ලිහිල් කරමින් පසුගිය වසරේ මැයි 19 වැනිදා පළ කල ගැසට් පත්‍රය සංශෝධනය නොකිරිම බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කලේය.



 ලබා දුන් සහන කාලයෙන් උපරිම ප්‍රයෝජන ගනිමින් ලාභ ලැබීමේ අරමුණින් ආනයනකරුවන් අවශ්‍ය ප්‍රමාණයටත් වඩා ලුණු තොගයක් වට ගෙන්වා ඇති බවත් මෙම බහාලුම් 1200 ලුණු මෙට්‍රික් ටොන් 30,000 ක් පමණ තිබෙන බවත් ආරංචි මාර්ග සඳහන් කළේය.වාරයේ සිරවී තිබෙන බහාලුම් 1200 න් බහාලුම් 30ත් 40ත් අතර ප්‍රමාණයක මෙට්‍රික් ටොන් 1000 කට ප්‍රමිති සහතිකය ලබාදීම එස්.එල්.එස් ආයතනය ප්‍රතික්ෂේප කර තිබෙන බව ද ආරංචි මාර්ග පවසයි. ලාභ ලැබීමෙ අරමුණින් මෙරටට ගෙන්වූ ලුණු තොගයක් විනාශ කිරීම සඳහා රජය රුපියල් කෝටි 50 ක මුදලක් වියදම් කිරීම කිසිසේත් කළ යුතු නැති බවත්, කළ යුත්තේ එම ලුණු තොගය ගෙන්වූ ආනයනකරුවන්ට දඬුවම් දිය හැකි පරිදි ගැසට් පත්‍රය සංශෝධනය කිරීම බවත් රේගු ආරංචි මාර්ග සඳහන් කළේය.


 තමන් ගෙන්වූ ලුණුවල වගකීම බාර   නොගන්නා ආනයනකරුවන්ට දඬුවම් දීමට පවතින ගැසට් පත්‍රය යටතේ හැකියාවක් නොමැති බවත්, ගැසට් පත්‍රය සංශෝධනය කරන ලෙස මුදල් නියෝජ්‍ය අමාත්‍යවරයාගෙන් කීප වතාවක් ඉල්ලීමක් කළත් ඔහුගෙන් ද නිසි පිළිතුරක් තවමත් ලැබී නැති බවත් පැවසෙයි.දඬුවම් නොලැබෙන ආනයනකරුවන් දන්නා නිසා රේගුවට පැමිණෙන දැනුම් දුන්නත් ඔවුන් එය නොසලකා හරිනු ඇතැයි ද ආරංචි මාර්ග කළේය.


ආනයනකරුවන්ගෙන් ප්‍රශ්න කළවිට ඔවුන් පවසන්නේ පවතින ගැසට් පත්‍රය ගනිමින් සොයාගත් තොගය ප්‍රති ප්‍රයෝජනයට ගැනුම්කරුවකු වහාම ලුණු අපනයනය කරන බව යැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. ලුණු මෙට්‍රික් ටොන් 30,000 විනාශ කිරීම සඳහා ක්‍රම කීපයක් පිළිබඳව සාකච්ඡා වුවත්, ඒ සියලු ක්‍රම ප්‍රයෝගික නොවූ බව ද එම ආරංචි මාර්ග පැවැසීය.මුල් අවස්ථාවේ දී ලුණු තොගය වැළලීම සඳහා අවධානය යොමු වුවත් එලෙස වැළලූවා ලුණු තොගය පොළොවට උරා ගැනීමෙන් පසුව එම ප්‍රදේශයේ ජලය පානය කිරීමට මෙන්ම වගා කිරීමට ද නොහැකි වන බව ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. 


ඉන් අනතුරුව ලුණු තොගය පොල් පොහොර සඳහා යොදා ගැනීමට අවධානය යොමු වූවත් ලුණු කිලෝවක් ක්ලෝරයිඩ් හිඟ පොල්ගසක් සඳහා ප්‍රමාණවත් යැයි බලධාරීන් දන්වා සිටි බව ද වාර්තා වේ. මේ වනවිට ඇති එකම විකල්පය ලුණු තොගය මුහුදට දැමීම බවත්, එහිදී බහාලුමකට රුපියල් 50,000 ක් පමණ වියදම් කර නෞකාවක පටවාගෙන මුහුද මැදට ගෙනගොස් එක් එක් ලුණු කොට්ටය කපා මුහුදට දැමීමට සිදුවනු ඇති බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. එලෙස ලුණු කොට්ටය කොට්ටය කපා මුහුදට දැමීම නෞකාවක් තුළ බහාලුම් 1200 හැසිරවීමට යන්ත්‍රෝපකරණ හෝ මිනිස් ශ්‍රමය නොමැති බව ද ආරංචි මාර්ග පැවැසුවේය.


රේගුව විනාශ කිරීමට තීරණය කර තිබෙන ලුණු බහාලුම් 1200 පසුගිය වසරේ ජූනි මස 10 වැනිදා පසුව නැව්ගත කළ ඒවා හෝ ප්‍රමිති සහතිකය නොලැබුණු ඒවා බවත්, ආනයනය සීමා ලිහිල් කිරීම හිමිවූයේ පසුගිය ජුනි 10 වැනිදා හෝ ඊට පෙර නැව්ගත කළ ලුණුවලට බවත් ආරංචි මාර්ග ප්‍රකාශ කළේය. එම ලුණු තොගයේ වටිනාකම රුපියල් කෝටි 100 ක් පමණ වන බව ද ආරංචි මාර්ග පැවැසුවේය. කාලගුණික හේතු නිසා මෙරට ලුණු නිෂ්පාදනය පසුගිය වසරේදී පහළ වැටුණු අතර, ඒ හේතුවෙන් මෙරට දැඩි ලුණු හිඟයක් ඇතිවිය. එම ලුණු හිඟයට පිළියමක් ලෙස පසුගිය වසරේ ජූනි 10 වැනිදා දක්වා ලුණු ආනයනයට පනවා තිබූ සීමා ඉවත් කිරීමට පසුගිය වසරේ මැයි 15 වැනිදා කැබිනට් මණ්ඩලය අනුමැතිය දුන්නේය. 


එහිදී ලුණු මෙට්‍රික් ටොන් 1 50,000 ක් මෙරටට ආනයනය කිරීමට රජය අවසර ලබාදී තිබිණි. ඊට අදාළ ගැසට් පත්‍රය පසුගිය වසරේ මැයි 19 වැනිදා ප්‍රකාශයට පත්කර තිබිණි.


Tuesday, July 28, 2026

වන අලි ප්‍රහාරවලින් පුද්ගලයින් පස් දෙනෙකු මියයයි

 


අපරාධ සහ වන අලි ගැටුම් හේතුවෙන් දිවයිනේ ප්‍රදේශ කිහිපයකින් පුද්ගලයින් පස් දෙනෙකු මියගොස් ඇති බව වාර්තා වේ. ඉතිමලේ, විජයපුර ප්‍රදේශයේදී වන අලි ප්‍රහාරයකින් සිවිල් ආරක්‍ෂක බලකා සාමාජිකයෙකු සහ හේන් වගාකරුවෙකු ජීවිතක්ෂයට පත්ව ඇත.


ඉතිමලේ කොටිගල පදිංචි 42 හැවිරිදි ඩී.එම්. සුගත් නයනන්ද සහ විජයපුර පදිංචි 47 හැවිරිදි ලියනගේ රංජිත් ශාන්ත යන අය මෙලෙස මියගොස් ඇති අතර, ඉන් සුගත් නයනන්ද දෙදරු පියෙකු වන අතර ඔහු සිවිල් ආරක්‍ෂක දෙපාර්තමේන්තුවේ කොස්තාපල්වරයෙකු ලෙස කටයුතු කර ඇත. හේන් වගාව වෙත යමින් සිටි රංජිත් ශාන්ත නම් ගොවියාට වගාවට කඩා වැදුණු වන හස්තියෙකු විසින් පහර දී මිම දමා මරා දමා ඇති අතර, එම ස්ථානයට පැමිණි වනජීවී නිලධාරීන් අලි පිරිස වනාන්තරයට පැදවීමට මෙහෙයුමක් දියත් කර තිබියදී වනජීවී දෙපාර්තමේන්තුවට අනුයුක්තව සිටි සිවිල් ආරක්‍ෂක කොස්තාපල් නයනන්ද ද අලියාගේ ප්‍රහාරයට ලක්ව ඇත.


වන අලීන් ගම්වැදී සිටියදීත් ඔවුන් පලවා හැරීමට නිලධාරීන් අපොහොසත් වී යැයි චෝදනා කරමින් කලබල වූ පිරිසක් වනජීවී නිලධාරීන්ට පහර දී ඇති අතර, ඉන් තුවාල ලැබූ වනජීවී නිලධාරීන් හතර දෙනෙකු සියඹලාගුම මූලික රෝහලට ඇතුළත් කර ඇත. ඉතිමලේ පොලිසියේ ස්ථානාධිපති වසන්ත ආනන්ද සහ මොනරාගල වනජීවී කලාප භාර නිලධාරී හර්ෂ රුවන් කුමාර යන මහත්වරුන් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


මේ අතර අනුරාධපුර දිස්ත්‍රික්කයෙන්ද වන අලි ගැටුම් හේතුවෙන් පුද්ගලයින් තිදෙනෙකුගේ මරණ වාර්තා වී තිබේ. යාපනය රෝහලේ ප්‍රතිකාර ලබාගෙන පුතා සමඟ නැවත පැමිණෙමින් සිටියදී කැකිරාව දුම්රිය ස්ථානය අසලදී වන අලියෙකුගේ පාගපට පහරින් 52 හැවිරිදි යූසූෆ් අයුබ්ඛාන් මියගොස් ඇති අතර, ඔහුගේ පුතා දිවගොස් බේරී ඇත.


මීට අමතරව, තලාව ප්‍රදේශයේ සිය සොයුරිය බැලීමට ගොස් යමින් සිටි නුවරඑළිය, කෙටඹුමාව පදිංචි 64 හැවිරිදි ජේ.ජී. ශ්‍රියාලතා සහ ශ්‍රාවස්ථිපුර පදිංචි 48 හැවිරිදි කරුණාරත්න මුදියන්සේලාගේ දිසානායක බණ්ඩා යන අයද වන අලි ප්‍රහාරවලින් මියගොස් ඇති අතර, දිසානායක බණ්ඩා මියගොස් ඇත්තේ සිය නිවෙස් වත්තට පැමිණි තනිකඩ අලියෙකු පලවා හැරීමට උත්සාහ කිරීමේදීය.

රුපියල් මිලියන 20ක කොල්ලයක්

 

රුපියල් මිලියන විස්සක කොල්ලයක් සම්බන්ධයෙන් අනුද ජනදිත් බණ්ඩාර ඇප මත මුදා හැරීමෙන් පසු ශාන්ත බණ්ඩාර මුව විවර කරයි


චීන ජාතිකයෙකුගෙන් රුපියල් මිලියන විස්සක මුදලක් කොල්ලකෑමේ සිද්ධියට අදාළව, හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාරගේ පුත්‍රයා වන අනුද ජනදිත් බණ්ඩාර ඇතුළු සැකකරුවන් පස් දෙනෙකු කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය විසින් ඊයේ දින ඇප මත මුදා හැරීමෙන් අනතුරුව, රටේ අධිකරණ පද්ධතිය කෙරෙහි තමාට පූර්ණ විශ්වාසයක් පවතින බව හිටපු රාජ්‍ය ඇමති ශාන්ත බණ්ඩාර මහතා ප්‍රකාශ කර තිබේ.


අධිකරණ පරිශ්‍රයෙන් බැහැර වන අවස්ථාවේදී මාධ්‍යවේදීන් හමුවේ අදහස් දක්වමින් ඒ මහතා අවධාරණය කර ඇත්තේ, පුද්ගලයන්ගේ තත්ත්වය හෝ පෞද්ගලික සම්බන්ධතා නොසලකා නීතිය සැමට එකසේ ක්‍රියාත්මක විය යුතු අතර එම න්‍යාය තමාගේ පුත්‍රයාටද එකසේ බලපාන බවයි.


මෙම අධිකරණ ක්‍රියාවලියට තමා සම්පූර්ණයෙන්ම ගරු කරන බවත්, කිසිදු බාහිර බලපෑමකින් තොරව මෙම නඩු විභාගය ඉදිරියට යා යුතු බව තමා විශ්වාස කරන බවත් හිටපු රාජ්‍ය ඇමතිවරයා වැඩිදුරටත් පවසා ඇත.


තම පුත්‍රයාගේ අත්අඩංගට ගැනීමෙන් පසු සමාජ මාධ්‍ය හරහා සහ ඇතැම් ප්‍රධාන පෙළේ මාධ්‍ය ආයතන විසින් ප්‍රචාරය කරන ලද අසත්‍ය සහ ද්වේෂසහගත වාර්තා සම්බන්ධයෙන් බණ්ඩාර මහතා දැඩි අප්‍රසාදය පළ කර ඇති අතරම, සිද්ධිය සම්බන්ධයෙන් පුළුල් හා අපක්ෂපාතී පරීක්ෂණයක් සිදු කිරීම පිළිබඳව පොලිසියට සිය ප්‍රශංසාවද හිමිකර දී තිබේ.


ඉකුත් ජූලි 13 වන දින කොල්ලකරුවන් පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මුදල් රැගෙන පළා යාමට පෙර කොල්ලුපිටියේදී චීන ජාතිකයෙකුගෙන් රුපියල් මිලියන 20ක් කොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් මෙම සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබූ අතර, නඩුව අවසන් වන තෙක් සැකකරුවන්ට විදේශ ගමන් තහංචි පනවමින් සහ එක් අයෙකුට රුපියල් 500,000ක පුද්ගලික ඇප නියම කරමින් කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය ඊයේ දින මෙම නියෝගය නිකුත් කර ඇත.


මහා සංඝරත්නයෙන් විශේෂ හමුවක්: බුදු දහම ආරක්ෂා කිරීමට දැඩි සංස්කෘතික හා නීතිමය ඉල්ලීම්

 

බුදු දහමට එල්ල වන අපහාස, හිරිහැර සහ ආගමික ස්ථානවලට සිදුවන අසාධාරණකම් සම්බන්ධයෙන් විනිවිදභාවයකින් යුත් අපක්ෂපාතී පරීක්ෂණයක් වහාම පවත්වන ලෙස මහා සංඝරත්නය රජයෙන් දැඩි ලෙස ඉල්ලා සිටියහ. බෞද්ධ භීක්ෂූන්ට එරෙහි විවිධ හිරිහැර සහ බුදු දහමේ අයිතිවාසිකම් කප්පාදු කිරීමට දරන උත්සාහයන් වැළැක්වීමේ අරමුණින් කොළඹදී මෙම විශේෂ සංඝ සභාවක් කැඳවා තිබුණි. වත්මන් පාලන කාලය තුළ බුදු දහමේ උරුමයන් සහ අභිමානය ආරක්ෂා කිරීමට බලධාරීන් අපොහොසත් වී ඇති බවට මෙහිදී බරපතළ චෝදනා එල්ල විය.


බුදු දහම වෙනුවෙන් පෙනී සිටින බවටත්, බුද්ධ ශාසනය සුරක්ෂිත කර ඉදිරියට පෝෂණය කරන බවටත් මහා සංඝරත්නය මෙහිදී ඒකමතිකව ඓතිහාසික යෝජනාවක් සම්මත කර ගත්හ. අනෙකුත් සියලුම ආගම්වලට සහ ඒවායේ පූජනීය ස්ථානවලට උසස් ලෙස ගරු කරන බව අවධාරණය කළ භීක්ෂූන් වහන්සේලා, කිසිදු ජාතික හෝ ආගමික කණ්ඩායමකට එරෙහිව වෛරී ප්‍රකාශ, ભેදවාදී ක්‍රියා හෝ වෙනස් කොට සැලකීම් අනුමත නොකරන බව පැහැදිලි කළහ. දයාව, අහිංසාව, යුක්තිය මෙන්ම ධර්මිෂ්ඨකම යන උතුම් මූලධර්ම මත පදනම්ව කටයුතු කරන බවද උන්වහන්සේලා තවදුරටත් පෙන්වා දුන්හ.


බෞද්ධ අනන්‍යතාව දුර්වල කිරීමට, දහම් අධ්‍යාපන ක්‍රමවේද කඩාකප්පල් කිරීමට, පුරාවිද්‍යාත්මක වටිනාකම් බිඳ දැමීමට සහ ඓතිහාසික පන්සල් මෙන්ම ගම්මාන අතර පවතින ගැඹුරු සබැඳියාව දුර්වල කිරීමට ගන්නා සෑම නීති විරෝධී උත්සාහයක්ම දැඩි ලෙස ප්‍රතික්ෂේප කරන බව මෙම යෝජනාවලියේ සඳහන් වේ. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 9 වැනි වගන්තිය අකුරටම ක්‍රියාත්මක කරමින් බුදු දහමට හිමි ප්‍රමුඛස්ථානය තහවුරු කරන අතරතුරම, සෙසු සියලු ආගම්වල අයිතිවාසිකම්ද අකුරටම ආරක්ෂා කරන ලෙස රජයට දැඩිව බලපෑම් කළේය.


කිසිදු રાજකීය පක්ෂයක හෝ බලවේගයක දේශපාලන මෙවලමක් බවට බුද්ධ ශාසනය පත් කිරීමට කිසිවිටෙකත් ඉඩ නොදෙන බව මහා සංඝරත්නය ප්‍රකාශ කර සිටියහ. මෙම සංඝ සභාව කිසිදු රජයකට විරුද්ධව සංවිධානය කරන ලද්දක් නොවන අතර, කිසිදු පුද්ගලයෙකුට, කණ්ඩායමකට හෝ ආයතනයකට දේශපාලන බලය ලබා දීමේ අරමුණින් ක්‍රියාත්මක වූවක්ද නොවන බව උන්වහන්සේලා වැඩිදුරටත් පැහැදිලි කළහ.


මෙම විශේෂ සමුළුව සංවිධානය කිරීමේ මූලික අදියරේදී සමාජ මාධ්‍ය හරහා දැඩි ප්‍රහාර එල්ල වීම ඇතුළු විවිධ අභියෝග සහ බාධක රැසකට මුහුණ දීමට සිදු වූ බව පූජ්‍ය උලාපනේ සුමංගල හිමියන් මාධ්‍ය වෙත අදහස් දක්වමින් සඳහන් කළහ. එහෙත්, එම සියලු දුෂ්කරතා සහ අභියෝග මධ්‍යයේ වුවද මහා සංඝරත්නය එකමුතු කරමින් මෙම උත්සවය සාර්ථක කර ගැනීමට හැකි වීමම සැබෑ ජයග්‍රහණයක් බව උන්වහන්සේ පෙන්වා දුන්හ. ඓතිහාසික දළදා පෙරහැරේ සම්ප්‍රදායන් සහ අංග තීරණය කිරීමට පවා ඇතැම් පාතාල මට්ටමේ පුද්ගලයන් උත්සාහ දරන බවත්, පාරම්පරික සිරිත් විරිත් කිසිදු ලෙසකින් වෙනස් කිරීමට කිසිවෙකුට නොහැකි බවත් උන්වහන්සේ තරයේ කියා සිටියහ.

හනුමාන්ට මුවාවී කෝටි ගණන් හරන්න හැදු දෙදෙනා රිමාන්ඩ්

 


රෝෂන් තුෂාර 


පුරාවස්තු වටිනාකමින් යුත් හනුවාන් දෙවියන්ගේ මැණික් හා රත්තරන් සහිත ලෝභවය පිළිමයක් ඉන්දියාවට අලෙවි කරනවා යැයි පවසමින් පුද්ගලයන්ගෙන් කෝටි ගණනින් මුදල් වංචා කිරීමට කළ සැකකරුවන් දෙදෙනා ලන පස්වැනිදා (5) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොටුව මහේස්ත්‍රාත් පසන් අමරසේන මහතා නියෝග කළේය.


එල්.ටී.ටී.ඊ. යුද සමයේදී ගන්නා සොයා ලද පුරාවස්තු වටිනාකමින් යුත් හනුමාන් දේව ප්‍රතිමාව 2016 වසරේදී යාපනයේ සිට දකුණට ගෙනැවිත් වළදමා තිබෙනවා යැයි පවසමින් විඩියෝ සහිත පින්තූර වට්ස් ඇප් මගින් යවමින් මුදල් වංචා කිරීමට තැත්කළ කෑගල්ලේ පදිංචි ජයන්ත බණ්ඩාර අතුකෝරල සහ තලවතුගොඩ සුදුහකුරුගේ ලයනල් රණවීර නමැති සැකකරුවන් අත්අඩංගුවට ගෙන ඉදිරිපත් කිරීමෙන් පසුව මෙසේ රක්ෂිත බන්ධන්ධනාගාර ගත කර ඇත.


අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ නියෝජ්‍ය අමාත්‍ය සුනිල් වටිගල මහතා කළ පැමිණිල්ලක් අනුව සැකකරුවන් අත්අඩංගුවට ගත් බවය.පැමිණිලිකාර සුනිල් වටගල මහතා රහස් පොලිසියට ඉදිරිපත් කඳු විඩියෝ පටයේ සදහන් ආකාරයට පළමුවැනි සැකකරු වටගල මහතාගේ නම් සම්බන්ධ කරමින් පුරාවස්තුව විකුණා මුදල් රැස් කිරීමට තැත් කර ඇති බවත්, සැකකරු විසින් එසේ තවත් පුද්ගලයකුට දුරකතන ඇමතුමක් දෙමින් සිටියදී අත්අඩංගුවට ගත් බවත් පොලිසිය අධිකරණයට කරුණු ඉදිරිපත් කළේය.


 

පළමුවැනි සැකකරුගෙන් අනාවරණය කර ගත් තොරතුරු අනුව දෙවැනි සැකකරු එහි පිළිමය විකිණීමට ගැනුම්කරුවකු සොයා දී සහාය සලසන්නා ලෙස කටයුතු කර ඇති බවටද කරුණු ඉදිරිපත් කර ඇත.ඇමැතිවරයකුගේ නම විකුණා මුදල් වංචා කිරීමට තැත් කළ සැකකරුවන් පුරාවස්තු පනත යටතේ වරදක් සිදු කර ඇත්ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන සිදු කරන බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාර ගත ලෙසද රහස් අධිකරණයෙන් සිටියේය.


මෙම ගනුදෙනුවේදී වටගල මහතාගේ නම සඳහන් කරමින්, මෙම ගනුදෙනුවෙන් මුදල් කොටසක් වටගල මහතාට දිය යුතු බවට සඳහන් වීඩියෝ පටය නඩු භාණ්ඩයක් ලෙස අධිකරණයට ඉදිරිපත් කළේය.ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන් ලබන පස් වැනිදා (5) දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කරමින් විමර්ශන ප්‍රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙසට  රහස් පොලිසියට නියෝග කළේය.


සොරකම් කළ ත්‍රීරෝදවල ගිහින් ගෙවල් බිඳලා

 


ත්‍රිරෝද රථයකින් ගොස් නිවාස බිදුම්කර දේපළ සොරා ගන්නා ලද පුද්ගලයෙකු එම ත්‍රිරෝද රථය හා හෙරොයින් මිලි ග්‍රෑම් 2120 ක් සොරාගත් විශාල මල්වාස් දෙකක්ද සමග ඉකුත් (24) දින අත්තිඩිය කහවිට ප්‍රදේශයේදී බොරලැස්ගමුව පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය පැවසීය.


සැකකරු රත්මලාන, විජයපාර පදිංචි වයස අවුරුදු (48) අයෙකි.මෙදින බොරලැස්ගමුව පොලිසිය මගින් අත්තිඩිය කහවිට මාවත මාර්ග බාධක යොදා තිබියදී කහවිට මාවතෙන් පැමිණ පොලිසිය දැක හදිසියේ ආපසු හරවා යාමට උත්සාහ කළ අවස්ථාවේ පොලිසිය පැමිණීමත් සමග කලබලයට පත් සැකකරු ත්‍රීරෝද රථය අතහැර පලායන අවස්ථාවේ පොලිස් නිලධාරීන් දෙදෙනකු ඔහු පසුපස හඹාගොස් මෙල්ල කර අත්අඩංගුවට ගෙන ඔහු සන්තකයේ සඟවා තිබූ හෙරොයින් මිලි ග්‍රෑම් 2120 ක් හා වේරහැර බෝධිරාජපුර නිවසකින් සොරාගත් රුපියල් 49000 ක් වටින දුරකතනයක් උකස්කර ලබාගත් ලදුපතක්ද, ත්‍රීරෝද රථය පරීක්ෂාවට ලක්කළ විට එහි තිබූ වේරහැර නිවසකින් සොරාගත් විශාල පිත්තල මල්වාස් දෙකක්ද පොලිස් භාරයට ගෙන ඇතැයිද පොලීසිය පැවසීය. 


මේ අනුව සැකකරු මෙම ත්‍රිරෝද රථය යොදාගන කිසියම් අපරාධයන් සඳහා යොදා ගත්තේද යන්නත් පිළිබඳව විමර්ශනය කරගන යනු ලබන බවත් පොලිසිය පැවසීය.


ලක්ෂ දෙකේ කොන්ත්‍රාත්තුවට මුරකරු මැරූ පැදිකරු අල්ලයි

 



දෙහිවල නිසල සෙවණ සුසාන භූමියේදී පුද්ගලයකුට වෙඩි තබා බරපතළ තුවාල සිදු කිරීම හා ගල්කිස්ස පන්සල් පාරේ පුද්ගලයකුට වෙඩි තැබීමට තැත් කිරීමේ සිද්ධීන් දෙකෙහි පැදිකරු ලෙස ක්‍රියාකළ පුද්ගලයා අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පවසයි.


මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ අත්තිඩිය යශෝරාපුර පදිංචි (25) හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය කියයි.ඉකුත් 19 ද දෙහිවල නිසල සෙවණ සුසාන භූමියට් ඩියෝ වර්ගයේ යතුරු පැදියකින් පැමිණි නාඳුනන පුද්ගලයන් දෙදෙනෙකු කුරුප්පු ආරගේ සුමිත් රූපසිංහ යන අයට වෙඩි තබා බරපතළ තුවාල සිදුකර පලා ගොස් තිබුණි.


එසේම ඉකුත් 21 දා ගල්කිස්ස පන්සල පාරේ නිවසකට පැමිණ දොන් මුණසිංහ ආරච්චිගේ චමින්ද ආනන්ද යන අයට වෙඩි තැබීමට තැත් කොට පහරදී පලායාමේ සිද්ධියක් වාර්තා වී තිබුණි.මේ සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය පරීක්ෂණයක් ආරම්භ කළ අතර එහිදී එම කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරි ජාතක කුමාර මහතාට ලද තොරතුරකට අනුව ඉහත සිද්ධීන් දෙකට වෙඩික්කරුවන් ප්‍රවාහනය කළ යතුරු පැදිවල පැදිකරු ලෙස ක්‍රියා කළ පුද්ගලයා අයිස් මත්ද්‍රව්‍ය මිලිග්‍රෑම් 7200 සමග දෙල්කඳ ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ. 


පසුව අත්අඩංගුවට ගත් සැකකරුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීමේදී මෙම වෙඩි තැබීම් සංවිධානාත්මක අපරාධකරුවකු හා මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන දැනට විදේශ රටකට පලාගොස් සැඟව සිටින දිසානායක මුදියන්සේලාගේ අවිශ්ක ඒන් දිසානායක නොහොත් කළුබෝවිල අවිෂ්ක නමැත්තාගේ මෙහෙයවීම මත සිදු කළ බවට තොරතුරු අනාවරණය වී තිබේ. මෙම වෙඩි තැබීම් සඳහා පැදිකරු ලෙස ක්‍රියා කිරීමේදී ඔහුට රුපියල් ලක්ෂ දෙකක මුදලක් ලබා දී ඇති අතර ඉන් සැකකරු සන්තකයේ තිබි රුපියල් 55000 මුදලක් හා ජංගම දුරකතන 3ක් අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිසිය කියයි.


සිද්ධියට අදාළ ගිනි අවිය වෙඩික්කරු හා යතුරුපැදිය භාරයට ගැනීම සඳහා ඉදිරි පරීක්ෂණ පවත්වති.ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරු අධිකරණයට ඉදිරිපත් කොට රඳවා ගැනීමේ නියෝග ලබා වැඩිදුර විමර්ශන සිදුකිරීමට නියමිතය. විස්නාහිර සිද්ධිය සම්බන්ධයෙන් පළාත දකුණු අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ සහකාර පොලිස් අධිකාරී ජනක කුමාර මහතාගේ අධීක්ෂණය යටතේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ඉසුරු ෂාමික මහතාගේ උපදෙස් මත ඒකක අංක 01 භාර ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක බස්නායක මහතාගේ මෙහෙයවීමෙන් වැටලීම සිදුකර ඉදිරි පරීක්ෂණ පවත්වති.

ඩෙංගු මරණ 61ට නගී: හතළිස් හතක්ම කතුන්

 

 නිමල කොඩිතුවක්කු


ඩෙංගු වසංගත තත්වය හේතුවෙන් මේ දක්වා සිදුව ඇති මරණ සංඛ්‍යාව 61ක් දක්වා ඉහළ ගොස් ඇතැයි ජාතික ඩෙංගු පිපිදන ඒකකය පවසයි.එහි ​මරණ අතර 47 දෙනකුම කාන්තාවන් බව ද එහි වැඩ බලන අධ්‍යක්ෂ වෛද්‍ය කපිල කන්නන්ගර මහතා පැවැසීය.වසරේ මේ දක්වා කාලය තුළ ඩෙංගු රෝගීන් 82,011 ක් වාර්තා වී ඇති බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.


ජූලි මාසයට පමණක් හඳුනා ගෙන ඇති ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 26,636 කි,ඊයේ (27) දිනයේ පමණක් ඩෙංගු රෝගීන් 500 ක් වාර්තා වී ඇතැයිද කන්නන්ගර මහතා පැවැසීය. වැඩිම ඩෙංගු රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 17,395 කි.


දෙවැනියට වැඩිම රෝගීන් සංඛ්‍යාවක් කොළඹ දිස්ත්‍රික්කයෙන් වාර්තා වී ඇති අතර එම සංඛ්‍යාව 16,294 ක් ලෙසද සටහන් වී තිබේ.මේ අතර වැඩිම රෝගීන් සංඛ්‍යාවක් වාර්තා වී ඇති පළාත් ලෙස බස්නාහිර පළාත තවදුරටත් පවතින අතර ඒ අනුව වසරේ මේ දක්වා බස්නාහිර පළාතෙන් වාර්තා වූ රෝගීන්ගේ සංඛ්‍යාව 43,388 කි.


දෙවැනියට දකුණු පළාතෙන් වැඩිම ඩෙංගු රෝගීන් ප්‍රමාණයක් වාර්තා වී ඇති අතර ඒ අනුව එම පළාතෙන් වාර්තා වී ඇති සංඛ්‍යාව 12,419කි.රට පුරා පවතින ඩෙංගු වසංගත තත්වය සැලකිල්ලට ගනිමින් දිවයින පුරා අඛණ්ඩව විශේෂ ඩෙංගු මර්දන වැඩසටහනක් ක්‍රියාත්මක බවත් වෛද්‍යවරයා සඳහන් කළේය.


ආරක්ෂක හමුදාව, පරිසර පොලිසිය මෙම කටයුතු සඳහා යොද ගැනෙන බවත් සිදුරුවන් බෝවන ස්ථාන පවත්වාගෙන යන අයට එරෙහිව ඉතා තදින් නීතිය ක්‍රියාත්මක කරන බවත් ඔහු පැවැසීය.ඩෙංගු වසංගත තත්වය හේතුවෙන් කොළඹ ඇතුළු දිවයිනේ බොහෝ ප්‍රදේශවල රජයේ සහ පෞද්ගලික රෝහල් ඩෙංගු රෝගීන්ගෙන් පිරි තිබෙන බවත් සෞඛ්‍ය අංශ පවසයි.


එමෙන්ම අවදානම් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාස 175 ක් මේ වන විට හඳුනාගෙන ඇති බවත් වෛද්‍යවරයා පැවැසීය.එමෙන්ම ගර්භණී මවරුන්, දරුවන්, වියපත් පිරිස් පැය 24 ක් තුළ උණ ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවිය යුතු බවත් වෛද්‍යවරයා පැවැසීය. සෙසු පිරිස් දින දෙකකට වඩා උණ වැළඳී ඇත්නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර සඳහා යොමුවන ලෙසත් ඔහු සඳහන් කළේය. මේ අතර ඩෙංගු රෝගය මර්දනය කිරීම සම්බන්ධයෙන් තොරතුරු ලබා ගැනීමට ඩෙංගු මෙහෙයුම් මැදිරියක්ද ස්ථාපිත කර තබේ.


ඒ අනුව 0117 966 366 දුරකථන අංකය ඔස්සේ ඩෙංගු රෝගය සම්බන්ධයෙන් වන සියලු තොරතුරු සඳහා සම්බන්ධ වන ලෙසත් සෞඛ්‍ය අමාත්‍යාංශය ඉල්ලීමක් කරයි.


බැස්ටියන් බස්පොළේ හිමිනමක් ළඝ ලක්ෂ 45 ක කුඩු

 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


හෙරොයින් මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරතව සිටියේ යැයි කියන හලාවත ප්‍රදේශයේ විහාරස්ථානයක වැඩවාසය කරන හිමිනමක් වෙළෙඳපොළ වටිනාකම රුපියල් ලක්ෂ 45 ක් පමණ වන බවට සැලකෙන හෙරොයින් සමග පිටකොටුව ප්‍රදේශයේදී පිටකොටුව පොලිසියේ දූෂණ මර්දන අංශයේ නිලධාරීන් විසින් පෙරේදා (26) සව්ස අත්අඩංගුවට ගනු ලැබීය.


සැකකාර හිමි නම සන්තකයේ තබාගෙන සිටියදී හෙරොයින් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 88යි මිලිග්‍රෑඕ700ක් සොයා ගත් බව පොලිසිය කියයි.මෙම හිමිනම කොළඹ බැස්ටියන් මාවතේ බස් නැවතුම් පොළේ හතරවැනි වේදිකාවේ වැසිකිළියක් අසල රැඳී සිටියදී පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබ ඇත.


මෙම මත්ද්‍රව්‍ය හලාවතට ගෙන ඒමෙන් අනතුරුව ඒ අවට ප්‍රදේශ වල විකිණීමට සුදානම්ව සිට ඇති බව පරීක්ෂණ වලින් පෙනී ගොස් ඇතැයි පොලිසිය පවසයි.මෙම  හිමිනමට ඔත්ද්‍රව්‍ය ලැබුණු ආකාරය ගැන තොරතුරු හෙළිකරගෙන ඔවුන් ද අත්අඩංගුවට ගැනීමට පිට කොටුව පොලිසියේ දුෂණ මර්දන අංශයේ නිලධාරිනු පුළුල් පරික්ෂණ පවත්වාගෙන යති.


ඇප ඉල්ලීම ඉවතට

 

 රෝෂන් තුෂාර


රේගු ආඥා පනත උල්ලංඝනය කළේ යැයි රක්ෂිත බන්ධනාගාරගත ප්‍රසිද්ධ ඇඟලුම් අලෙවි ආයතනයක හිමිකාර ප්‍රියලාල් බන්දුලූ පීනි ජයවර්ධන නමැති සැකකරුගේ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප කළ කොළඹ අතිරේක ස්ත්‍රාත් ඕෂද මිගාර මහාරච්චි මහතා වගඋත්තරකරු ලඛින 06 වැනිදා දවා යළි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ඊයේ (27) නියෝග කළේය.


රේගු අධිකාරිය පැවරූ පැමිණිල්ල පවත්වාගෙන යාමට නොහැකි බවට බිත්තිය ඉදිරිපත් කළ විරෝධතාව පදනම් විරහිත බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා වග උත්තරකරු මිලියනයකට අධික රේගු වංචාවක් කර ඇති බවට පැමිණිල්ලෙන් කරුණු ඉදිරිපත් කරන හෙයින් පැමිණිල්ල නිෂ්ප්‍රභ කරන ලෙසට විත්තිය කළ ඉල්ලීම ද ප්‍රතික්ෂේප කළේය.වගඋත්තරකරුට එරහිව ඉදිරිපත් කරන චෝදනාව රුපියල් මිලියනයකට වඩා අධික බැවින් රේගු ආඥා පනත ප්‍රකාරව ඇප දීමේ බලයක් මහේස්ත්‍රාත් අධිකරණයට නොමැති බව ප්‍රකාශ කළ මහේස්ත්‍රාත්වරයා ඇප ලබා ගැනීම මහාධිකරණයක් මගින් කළ යුතු බව ද පෙන්වා දුන්නේය.


පැමිණිල්ල ඉදිරිපත් කරන කරුණු අනුව විමසීමට නඩුකරයක් ඇති බැවින් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 115 වගන්තිය යටතේ වගඋත්තරකරු මුදා හරින ලෙසට විත්තිය කළ ඉල්ලීම ද මහේස්ත්‍රාත්වරයා ප්‍රතික්ෂේප කළේය.

පැමිණිල්ල වෙනුවෙන් කරුණු දැක්වූ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ශනිල් කුලරත්න මහතා ඇප දීමට විරෝධතාව ප්‍රකාශ කරමින් සඳහන් කර සිටියේ රේගු ආඥා පනත උල්ලංඝනය කරමින් රේගු විමර්ශනවලට සහාය නොදැක්වීම මත රක්ෂිත බන්ධනාගාර ගත කළ වග උත්තරකරු බන්ධනාගාරගත  කිරීමෙන් පසුව වැරැදි රැසක් අනාවරණය වූ බවය.නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් ජනාධිපති නීතිඥ ශනිල් කුලරත්න මහතා මෙසේද පැවැසීය.


රේගු ආඥා පනතේ 127 (ආ) වගන්තිය යටතේ වරදක් කර ඇති සැකකරු චීන සමාගමක් හරහා භාණ්ඩ ගෙන් වීමට මුදල් යවා ඇතත් ආනයනය කළභාණ්ඩ මොනවාදැයි මෙතෙක් හඳුනාගෙන නෑ- මෙම ආයතනයේ ප්‍රධාන සැපයුම්කරු චීන සමාගමක්, එම චීන සමාගමට මෙරට ආයතන 30ක් භාණ්ඩ ආනයනයට මුදල් ආයෝජනය කරලා තියෙනවා. එහෙත් ගෙන්නපු බඩුවක් නෑ. සැකකරු බන්ධනාගාර ගත කිරීමෙන් පසුව අනාවරණය කර ගත් තොරතුරු අනුව රුපියල් මිලියන 500කට අධික භාණ්ඩ ගෙන්වීම සම්බන්ධයෙන් විමර්ශනයක් කළ යුතුව තිබෙනවා.


එම නිසා රේගු ආඥා පනතේ 127 (ඇ) වගන්තිය යටතේ ඇප දීමේ බලය තිබෙන්නේ මහාධිකරණයට පමණයි.විත්තිය වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින් ලද්දුව හෙට්ටි මහතා සහ නීතිඥ චමින්ද අතුකෝරල මහත්වරු කරුණු දක්වමින් වග උත්තරකරුට එරෙහි පැමිණිල්ලට විරෝධතා ගොනුකරමින් තම සේවාදායකයා ඇප මත මුදා හැරීමට හෝ සාක්ෂි ඉදිරිපත් කර නොමැති බැවින් අපරාධ නඩු විධාන සංග්‍රහ ප්‍රකාරව නිදහස් කරන ලෙස ඉල්ලා සිටියහ. දෙපාර්ශ්වයේ කරුණු මහේස්ත්‍රාත්වරයා අධිකරණයෙන් සලකා බැලූ ඇප නියෝගය ප්‍රකාශයට පත් කරමින් සඳහන් කර සිටියේ වගඋත්තරකරුට ඇප දීමට අධිකරණයට බලයක් නොමැති බවය. විත්තිය මගින් කළ ඉල්ලීම් ප්‍රතික්ෂේප කළ ෂිහේස්ත්‍රාත්වරයා වගඋත්තරකරු ලබන 06 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට ද නියෝග කළේය.සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර තොරතුරු අගෝස්තු 06 වැනිදා අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට දෙපාර්ශ්වයට නියෝග කළේය.


Monday, July 27, 2026

මෙම වසරේ මේ දක්වා කොළඹින් ගිනි ගැනීම් සිදුවීම් 250 කට අධික ප්‍රමාණයක් වාර්තා වේ

 

මෙම වසරේ මේ දක්වා කාලය තුළ කොළඹ සහ ඒ අවට ප්‍රදේශවලින් ගිනි ගැනීම් සිදුවීම් 258 ක් වාර්තා වී ඇති බව ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව අනාවරණ කර තිබේ. ෂීන් ප්‍රනාන්දුපුල්ලේ විසින් වාර්තා කර ඇති මෙම තොරතුරු අනුව, අදාළ කාල සීමාව තුළ මෙම ගිනි ගැනීම් සම්බන්ධයෙන් ගැලවීමේ මෙහෙයුම් 17 ක්ද ක්‍රියාත්මක කර ඇත.


පසුගිය වසර පුරා කොළඹ දිස්ත්‍රික්කය තුළ ගිනි ගැනීම් සිදුවීම් 382 ක් වාර්තා වී තිබූ අතර ඊට අමතරව ගැලවීමේ මෙහෙයුම් 46 ක්ද සිදු කර ඇති බව නිලධාරීහු සඳහන් කරති. මෙම වසරේ ජනවාරි මාසයේ සිට මේ දක්වා කොළඹ දිස්ත්‍රික්කයෙන් ගිනි ගැනීම් සිදුවීම් 258 ක් වාර්තා වී තිබීම දැඩි අවධානයට ලක්විය යුතු කරුණක් බව දෙපාර්තමේන්තුව අවධාරණය කර ඇත.


මීට අමතරව ගිනි ගැනීම් හැරුණු කොට හදිසි ඇමතුම් 13 කටද මේ වසරේ ගිනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව විසින් ප්‍රතිචාර දක්වා තිබේ. මාර්ග අවහිරතා, බිම වැටුණු ගස් සහ මගී රථවාහන අනතුරු සම්බන්ධ ගැලවීමේ මෙහෙයුම්ද මෙම ක්‍රියාකාරකම්වලට ඇතුළත් වේ.


වැඩබිම්වල ප්‍රමාණවත් ගිනි ආරක්ෂණ ක්‍රමවේද නොමැතිකම, හදිසි අවස්ථාවලදී වහා ක්‍රියාත්මක වීමට අපොහොසත් වීම, නිවෙසවල සහ වාණිජ පරිශ්‍රවල අනාරක්ෂිත විදුලි ස්ථාපනයන් සහ භාවිතයන් මෙන්ම පවතින වියළි කාලගුණ තත්ත්වයන් ගිනි ගැනීම් ඉහළ යාමට බලපා ඇති ප්‍රධාන සාධක කිහිපයක් බව පරීක්ෂණ මඟින් අනාවරණ වී ඇති බවද දෙපාර්තමේන්තුව ප්‍රකාශ කර ඇත.


දරුවන්ට පැය 24කට වඩා උණ පවතී නම් වහාම වෛද්‍ය ප්‍රතිකාර ලබා දෙන්න

 

ඩෙංගු රෝගය ව්‍යාප්ත වීමේ ප්‍රවණතාව ඉහළ යෑම හේතුවෙන්, දරුවෙකුට පවතින උණ තත්ත්වය පැය විසිහතරකට වඩා වැඩි කාලයක් පවතී නම් කිසිදු ප්‍රමාදයකින් තොරව වෛද්‍ය ප්‍රතිකාර ලබා ගැනීමට දෙමාපියන් කටයුතු කළ යුතු බව සෞඛ්‍ය අංශ දැඩි ලෙස අවධාරණය කර සිටියි.


කොළඹ ලේඩි රිජ්වේ ළමා රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ප්‍රදීප් රත්නසේකර පෙන්වා දෙන්නේ, නිවෙස්වලටම වී අശാസ്ത്രීය ගෘහස්ථ ප්‍රතිකාර ක්‍රමවල යෙදීමෙන් දරුවෙකුට ප්‍රතිකාර ලබා දීමට ඇති වටිනා කාලය අපතේ යන බවයි. එබැවින් එවැනි ක්‍රමවලට යොමු නොවී, ළඟම පිහිටි රජයේ රෝහල වෙත දරුවා රැගෙන ගොස් නිසි වෛද්‍ය උපදෙස් ලබා ගන්නා ලෙස ඔහු දෙමාපියන්ගෙන් ඉල්ලා සිටී.


වර්තමානයේදී ලේඩි රිජ්වේ රෝහලේ පමණක් ඩෙංගු ආසාදිත දරුවන් පනස් දෙනෙකු නේවාසිකව ප්‍රතිකාර ලබන අතර, ඉන් හතරෙන් එකක පමණ සංඛ්‍යාවක් බරපතල තත්ත්වයේ පසුවන බව වාර්තා වේ. ඉදිරියේදී මෙම තත්ත්වය තවත් නරක අතට හැරුනහොත් රෝහල්වල ධාරිතාව පිළිබඳ ගැටලු මතුවිය හැකි වුවද, දුර බැහැර ප්‍රදේශවල සිටින සියලුම රෝගී දරුවන් ලේඩි රිජ්වේ රෝහල වෙතම රැගෙන ඒම අත්‍යවශ්‍ය නොවන බව වෛද්‍යවරයා සඳහන් කරයි.


බොහෝ ඩෙංගු මරණ වාර්තා වීමට ප්‍රධානම හේතුව ලෙස රෝගීන් රෝහලට රැගෙන ඒම ප්‍රමාද වීම දැක්විය හැක. දින ගණනක් නිවසේ රැඳී සිටිමින් ගෘහ වෛද්‍ය ප්‍රතිකාර කරමින් කාලය නාස්ති නොකර, සුදුසුකම් ලත් වෛද්‍යවරයකු හෝ රජයේ වෛද්‍යවරයකු වෙත දරුවා ඉක්මනින් ඉදිරිපත් කිරීම රෝගය සුව කර ගැනීමට අතිශයින්ම වැදගත් වේ. මේ වන විට ලේඩි රිජ්වේ රෝහලෙන් වාර්තා වී ඇත්තේ එකම එක ඩෙංගු මරණයක් පමණක් බවද වැඩිදුරටත් අනාවරණය කර ඇත.

ඇමෙරිකානු තීරු බද්දේ සියයට 2.5ක සුළු වෙනසත් තරගකාරීත්වයට තීරණාත්මක සාධකයක් - JAFF

 


ශ්‍රි ලංකාව ඇමෙරිකාව අපනයනය කරන භාණ්ඩ සඳහා සියයට 125 ක තීරු බදු කාණ්ඩයට ඇතුළත් වනු ඇතැයි අපේක්ෂා කළ ද, එසේ නොවී සියයට 10 ක තීරු බදු කාණ්ඩයට හැකිවීම. ඇතුළු වීමට ලංකාවට සුවිශේෂී ජයග්‍රහණයක් බව ඒකාබද්ධ ඇගලුම් සංගම් සංසදය (JAAF) සඳහන් කරයි.


එක්සත් ජනපද වෙළෙඳ නියෝජිත කාර්යාලය පසුගියද (USTR) කළ නිවේදනයකට අනුව, බලහත්කාර ශ්‍රෂියෙන් නිෂ්පාදනය කරන ලද භාණ්ඩ ආනයනය තහනම් කිරීමේ නෛතික ක්‍රියාවලිය බලාත්මක කිරීමේ හැකියාව සහ එම නීති ඵලදායී ලෙස බලාත්මක කිරිම පිළිබඳ 301 වගන්තියට අදාළ විමර්ශන වල අවසන් තීරණ අනුව, රටවල් 18 ක් සඳහා සියයට 10ක තීරුබද්දක් පැනවීමට තීරණය කර තිබීමත් ශ්‍රී ලංකාව ඊට ඇතුළත් වීමත් සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරමින් එම සංසදය මෙම කරුණු පවසා සිටියි.


ජූලි මුල් භාගයේදී ශ්‍රී ලංකාව USTR වෙත ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව, ශ්‍රී ලංකාව සියයට 10 තීරුබදු කාණ්ඩයට ඇතුළත් කර තිබීම ගැන JAAF සිය සතුට පළ කරනවා. ඒ අනුව ශ්‍රී ලංකාව බංග්ලාදේශය, පාකිස්තානය, ඉන්දියාව සහ කාම්බෝජය ඇතුළු ප්‍රධාන තරගකාරී රටවල් සමඟ සමාන සියයට 10 තීරුබදු අනුපාතයකට ඇතුළත් වී තිබෙනවා."


විශේෂයෙන්ම මෙම තීරුබදු ප්‍රතිපත්තිය යටතේ රටවල් 42 සඳහා සියයට 12.5ක තීරුබද්දක් පැනවෙන බව ද USTR නිකුත් කළ නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වෙයි. මුලදී සඳහන් වූ පරිදි ශ්‍රී ලංකාව සියයට 12.50 තීරුබදු කාණ්ඩයට ඇතුළත් වනු ඇතැයි අපේක්ෂා කෙරුණා. එසේ සිදු වුණා නම් නම් ප්‍රධාන තරගකාරී රටවල් රැසක් සමග සැසඳීමේදී ශ්‍රී ලංකාවට සැලකිය යුතු අවාසියක් ඇති වීමට ඉඩ තිබුණා '' JAAF පවසයි.


ශ්‍රී ලංකාවේ ඇඟලුම් කර්මාන්තය දැඩි තරගකාරී ජාත්‍යන්තර වෙළෙඳපොළක ක්‍රියාත්මක වන බවත්, තීරුබදු අනුපාතයෙහි සියයට 2.5ක පමණ සුළු වෙනසක් පවා තරගකාරි රටකට ඇණවුමක් අහිමි වීමට හෝ දිනා ගැනීමට තීරණාත්මක සාධකයක් විය හැකි බවත් එම සංසදය මෙහිදී පෙන්වා දෙයි.


"බංග්ලාදේශය, පාකිස්තානය, ඉන්දියාව සහ කාම්බෝජය වැනි ප්‍රධාන තරගකාරී රටවලට හිමි තීරු බදු මට්ටමට සමාන තීරුබදු අනුපාතයක් ශ්‍රී ලංකාවට ද ලබා ගැනීම, මෙරට විශාලතම අපනයන ආදායම් මාර්ගය වන ඇඟලුම් කර්මාන්තයේ තරගකාරීත්වය ආරක්ෂා කිරීම සඳහා අත්‍යවශ්‍යයි. '


' මෙලෙස තරඟකාරී රටවල් සමඟ සමාන තීරුබදු අනුපාතයක් ලබා ගැනීම සඳහා තගින් දිගු කලක් තිස්සේ අඛණ්ඩව සහ සක්‍රීයව මැදිහත්ව සිටි ප්‍රධාන කරුණක් බව පෙන්වා දෙන එම සංසදය, මෙම ප්‍රතිඵලය ලබා ගැනීම සඳහා එක්සත් ජනපද බලධාරීන් වෙත ශ්‍රී ලංකාවේ ස්ථාවරය ප්‍රබල ලෙස ඉදිරිපත් කිරීමට කටයුතු කළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ රජයට් කෘතඥතාව පළ කරන බව සඳහන් කරයි.එමෙන්ම, එක්සත් ජනපදයේ ලංකා තානාපති මහින්ද සමරසිංහ සහ වෙළෙද අමාත්‍යාංශයේ ලේකම් කේ.ඒ. විමලෙන්තිරාජා මහතාට ද විශේෂ ස්තුතියක් පිරිනැමිය යුතු බව එම සංසදය අවධාරණය කරයි.


" ඔවුන් වාණිජ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් සහ වොෂිංටන්හි ශ්‍රී ලංකා තානාපති කාර්යාලයේ කණ්ඩායම සමග එක්ව පසුගිය මාස කිහිපය පුරා මෙම කාර්යය සාර්ථක කරගැනීමට අඛණ්ඩව කැපවී කටයුතු කළා '' යනුවෙන්ද එම සංසදය වැඩිදුරටත් පවසා සිටියි.මෙම ප්‍රතිඵලය අහඹු ලෙස ලැබුණු එකක් නොවන බවත්, ඇමෙරිකානු නියෝජිත වෙළෙඳ කාර්යාලයට ඉදිරිපත් කළ කරුණු දැක්වීම්වල සිට වොෂින්ටන් නුවරදී සිදු කළ සෘජු නියෝජනයන් දක්වා, කර්මාන්ත අංශය සහ රජය සියලු මට්ට මවලදී අඛණ්ඩව හා සම්බන්ධීකරණයෙන් කටයුතු කිරීමේ ප්‍රතිඵලයක් ලෙස මෙම ජයග්‍රහණය අත්කර ගැනීමට හැකි වූ බව ඒකාබද්ධ ඇඟලුම් සංගම් සංසදය සඳහන් කරයි.


හැදල උපන් දින සාදයේ වෙඩිතැබීමේ සිද්ධිය

 

ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය


හැදල පල්ලියවත්ත ප්‍රදේශයේ පසුගිය 24 වැනිදා රාත්‍රියේ පැවැති උපන්දින සාදයකට වෙඩි ප්‍රහාරයක් එල්ල කිරීමේ සිද්ධියේ මහමොළකාරිය ලෙස සැලකෙන කාන්තාවක ඇතුළු දෙදෙනෙක් අයිස් මත්ද්‍රව්‍ය ද සමග වත්තල පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ නිලධාර්න් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.


ඩුබායි රටට පලා ගොස් සැඟව සිටින ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් ලෙස සැලකෙන සුදු මල්ලී යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයකුගේ සහ ප්‍රියංකර යන නමින් හැඳින්වෙන පුද්ගලයකුගේ කීමට අත්අඩංගුවට ගත් කාන්තාව කුඩු රොහන් යන නමින් හැඳින්වෙන මන්දුව්‍ය ජාවාරම්කරුවා ඝාතනය කිරීමට සැලසුම් කර ඇතැයි කියන අතර කුඩු රොෂාන් ඉලක්ක කර තබන ලද වෙඩි ප්‍රහාරයෙන් ඔහුගේ ගෝලයකු බවට පැවසෙන ඔහේස් ඔදුශංක හෙඬක් සුමේද නමැත්තා මිය ගියේය.


ජීවිතය බේරාගෙන පලා ගිය කුඩු රොෂාන් නමැත්තා තවමත් සොයා ගැනීමට නොමැති බව ද පොලිසිය කියයි.මනුෂ්‍ය ඝාතනයක් සඳහා ආධාර අනුබලදීම සහ අයිස් මත්ද්‍රව්‍ය ළඟ තබාගෙන සිටියේ යැයි කියන චෝදනා යටතේ අත්අඩංගුවට ගන්නා ලද සැකකාර කාන්තාව සහ අනෙක් පුද්ගලයා පෙරේදා (25) වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව දින හතක කාලයක් සඳහා කැඳවුම් නියෝග ලබාගක් බද්ධ උසස් පොලිස් නිලධාරියෙක් ඊයේ (26) පැවැසීය. ඩුබායිහි සැඟව සිටින සුදු මල්ලී යන අන්වර්ථ නාමයෙන් හැඳින්වෙන පුද්ගලයා සහ ප්‍රියංකර නැමැත්තා ඝාතනය කිරීමේ සැලැස්ම ක්‍රියාත්මක කිරීම සඳහා රුපියල් දෙලක්ෂ හැටදහසක පමණ මුදලක් ද ලැබීමට සලස්වා ඇතැයි පොලිස් ආරංචි මාර්ග තොරතුරු අනාවරණය කළේය.


මෙම සිද්ධියට සම්බන්ධ යැයි කියන තවත් පාස්තාවක ඇතුළු කිහිප දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා ද වත්තල පොලිසියේ අපරාධ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි.වෙඩි ප්‍රහාරය එල්ල කිරීමට වෙඩික්කරු පැමිණි බවට පැවසෙන මෝටර් රථය අත්හැර දමා ගොස් තිබියදී පොලිසිය විසින් සොයා ගන්නා ලද අතර රිවෝල්වර අවියකට යොදන උණ්ඩයක් ද තිබී පොලිසියට හමුවී ඇත.


මෙම මෝටර් රථය කඳාන ප්‍රදේශයේ පිහිටි වාහන කුලියට දෙන ස්ථානයකින් ලබා ගත් අයකු එය තවත් අයකු අතට පත් කර ඇතැයි පොලිස් පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වී තිබෙන බව එම උසස් පොලිස් නිලධාරියා කීය.මෙම ඝාතන සිද්ධියේ මහ මොළකාරිය ලෙස සැලකෙන හැඳල ප්‍රදේශයේ පදිංචි කාන්තාවගේ ඉල්ලීමකට අනුව එම මෝටර් රථය රුපියල් දෙලක්ෂ හැටදහසක මුදලකට එම කාන්තාව ලබාගෙන ඇතැයි පොලිසිය පැවසීය. මෙම මෝටර් රථය ලබාගත් කාන්තාව එය ඇය දන්නා හඳුනන හිතවතකුට දී වෙඩික්කරු රැගෙන ඒම සඳහා කොළඹ ආමර් වීදිය ප්‍රදේශයට පිටත් කර යවා ඇති බව එම පොලිස් ආරංචි මාර්ග තොරතුරු අනාවරණය කළේය.


වෙඩික්කරු රැගෙන ඒමට ආමර් වීදියට මොටර් රථය පදවාගෙන ගොස් ඇත්තේ කාන්තාව සමග අත්අඩංගුවයට ගනු ලැබූ එම පුද්ගලයා බඩ පොලිසිය කීවේය.මෙම පුද්ගලයා මීට පෙර අවස්ථා කිහිපයකදීම ඔත්ද්‍රව්‍ය සමග පොලිස් අත්අඩංගුවට පත්ව කාලයක් රිමාන්ඩ් භාරයේ පසු වී පසුව ඇප මත මුදා හැර සිටි බව ද පොලිසිය කීය.


උපන් දින සාදය පවත්වනු ලැබුවේ කුඩු රොෂාන්ගේ ඩුබායි සැඟව සිටින සහෝදරයාගේ අවුරුදු තුනක් වයස දියණියගේය.ඩුබායිහි සිටින මෙම පුද්ගලයා තම දියණියගේ උපන් දින සාදය පැවැත්වු උත්සවශාලාවට රුපියල් 75,000ක මුදලක් ගෙවා තිබු බව ද කියති.උපන්දින සාදයට සහභාගී වීමට පැමිණෙන් නකු ලෙස වෙස් වලාගෙන නටමින් පැමිණි වෙඩිකරු කුඩු රොෂාන් වාඩි වී සිටි සය ආසන්නයට පැමිණ වඩි තැබීම කර ඇති අතර වෙඩ් ප්‍රහාරයෙන් ඔහුගේ සගයකු බව කියන මදුශංක නමැත්තාට වැදී බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටියදී මිය ගියේය.වෙඩි ප්‍රහාරයෙන් දිවි ගලවා ගත් කුඩු රොෂාන් නමැත්තා හෝටලයේ තාප්පයෙන් එළියට පැන පලා ගොස් තිබිණි.

කුලී පැදිකරුගේ ගෙල කපා ඝාතනය -සැකකාර හමුදා සෙබළා අත්අඩංගුවට

 


බිමල් නමන් ජයසිංහ


අමතර රැකියාවක් ලෙස කුලී යතුරුපැදි ගමන්වල යෙදෙන ඇඟලුම් ආයතනයක තත්ව පාලකවරයකුගේ ගෙල කපා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීම මෙන්ම කොල්ලකෑම් ගණනාවකට සම්බන්ධව සිටි බව කියන යුද හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව හෝමාගම මූලස්ථාන පොලිසිය කියයි.


අත්අඩංගුවට ගත් සැකකරු පනාගොඩ යුද හමුදා කඳවුරේ ක්‍රීඩා අංශයට අනුයුක්ත නිලධාරියෙකි. එම සැකකරු සමග මෙරට නිෂ්පාදිත අත්බෝම්බයක්, හෙරොයින් මත්කුඩු මිලිග්‍රෑම් 500 ක්, කොල්ලකෑම් සඳහා යොදාගත් යතුරුපැදියක් පොලිස් භාරයට ගෙන තිබේ.ඉකුත් 16 වැනිදා හෝමාගම පිටිපන ගලගාහේන සිංහ අරණ ප්‍රදේශයේදී හෝමාගම, පිටිපන උතුර, සමගි මාවතේ පදිංචිව සිටි ඇඟලුම් ආයතනයක තත්ව පරීක්ෂක ලෙස කටයුතු කළ කේ.ඒ.ඩී. රජිත් ධනුෂ්ක (41) යන අයගේ ගෙල කපා මනුෂ්‍ය ඝාතනයක් සිදුකිරීමේ අපරාධයේ සැකකරු බවට අනාවරණය වී යැයි පොලිසිය කියයි. 


 සැකකරු හෝමාගම  ප්‍රදේශයේ නිවසේදී පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත. ඝාතනයට ලක් වූ පුද්ගලයාගේ මළ සිරුර දොළහේන පිටිපන ගලහාහේන, සිංහ අරණ වැඩිහිටි නිවාස ආසන්නයේ පිහිටි වෙන්දේසි ඉඩමේ ඇළ ඉවුරේ තිබී සොයා ගෙන තිබිණි.මරණකරු අමතර රැකියාවක් ලෙස සිය යතුරු පැදියෙන් කුලී ගමන් සේවාවේ යෙදෙන අතර අවසන් වරට ඔහු කුලී ගමනක් ගොස් තිබූ බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී තිබිණි.


එම ගමන් වාරය අතරතුරදී සැකකරු විසින් ඔහුගේ ගෙල කපා ඝාතනය කර ඔහුගේ යතුරුපැදිය, මුදල් පසුම්බිය, පවුමක් බර රන් මාලය, ජංගම දුරකථනය කොල්ලකා පලා ගොස් තිබිණි.යතුරු පැදිය මොරගහහේන්න පොලිස් වසමේ දමා ගොස් තිබියදී සොයාගැනීමට පොලිසිය සමත් විය. අත්අඩංගුවට ගත් 29 හැවිරිදි සැකකරු හෝමාගම මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර 31 වැනිදා දක්වා රැඳවුම් නියෝග ලබාගෙන වැඩිදුර විමර්ශන කටයුතු සිදුකිරීමට නියමිතය.

යතුරුපැදිය පෙරළී විසිවුණු දරුව මෝටර් රියට බිලි

 



 බිමල් ශ්‍යාමන් ජයසිංහ


මව හා පියා සමඟ යතුරුපැදියෙන් යමින් සිටි තුන් හැවිරිදි දරුවකු පෙරේදා (25) අළුයම රාජගිරිය අඹගහ හන්දිය ප්‍රදේශයේදී යතුරුපැදියෙන් ඉවතට විසි වී මෝටර් රථයක ගැටී මිය ගොස් ඇතැයි වැලිකඩ පොලිසිය සදහන් කරයි.අනතූරින් මියගොස් ඇත්තේ අයි.ජී. නිසිදු හුමෙත් නමැති දරුවෙකි.


මියගිය දරුවා මව හා පියා සමග ඥාති නිවසකට ගොස් යළි රාජගිරිය පොල්වත්ත, ජනාධිපති විද්‍යාල මාවතේ නිවස කරා යතුරුපැදියෙන් අඹගහ හන්දිය දෙස සිට රාජගිරිය දෙසට යමින් සිටියදී යතුරුපැදියේ පැදිකරුට බුත්ගමුව මාර්ගයේදී යතුරුපැදියේ වේගය පාලනය කර ගැනීමට නොහැකි වී ගොස් යතුරු පැදිය මාර්ගයේ වම්පසට පෙරළී පැදිකරු හා පසු පැදිකරු කාන්තාව මාර්ගයේ වම් පසට වැටී ඇති අතර, යතුරුපැදියේ පැදිකරු අසුනට ඉදිරියෙන් සිටගෙන ගිය වයස අවුරුදු තුනක පමණ වන මියගිය දරුවා මාර්ගයේ දකුණු පසට වැටී ඉදිරියට ඇදී ගොස් රාජගිරිය සිට අඹගහ හංදිය දෙසට මුහුණලා ධාවනය කරමින් තිබූ මෝටර් රථයේ ඉදිරි දකුණු රෝදයට අසුවීමෙන් මෙම මාරක රිය අනතුර සිදුවී ඇති බව පොලිසිය සිදු කළ මූලික විමර්ශනවලදී අනාවරණය වී ඇත.


අනතුරින් බරපතළ තුවාල ලද දරුවා අයි. ඩී.එච්. රෝහල වෙත ඇතුළත් කිරීමෙන් පසු විනාඩි කිහිපයක් තුළදී මියගොස් ඇති බව පොලිසිය කියයි.සිදු වූ අනතුරින් පැදිකරු ලෙස කටයුතු කළ මියගිය දරුවාගේ පියාට මෙන්ම, පසු පැදිකරු ලෙස සිටි මවට කිසිදු තුවාලයක් සිදුවී නැතැයි පොලිසිය සඳහන් කරයි.


නොසැලකිලිමත් හා අපරීක්ෂාකාරී රිය ධාවනයේ යෙදුණු මෝටර් රථ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර, මෙම අනතුර යතුරු පැදිකරු ලෙස කටයුතු කළ මියගිය දරුවාගේ පියාගේ ද නොසැලකිලිමත් හා අපරික්ෂාකාරී රිය ධාවනය හේතුවී ඇති බව පොලිස් විමර්ශනවලදී හෙළි වී ඇත. ඔහුද අත්අඩංගුවට ගැනීමට නියමිතය. මෝටර් රථ රියැදුරු කොටිකාවත්ත, මහ බුද්ගමුව පදිංචි 36 හැවිරිදි පුද්ගලයෙකි.

එජා මානව හිමිකම් මහ කොමසාරිස් පත්වීම: ලංකාව ඡන්දයෙන් වළකී

 


විමුක්ති එස් රුද්‍රිගු


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝකර්ටර්ක් මහතා තවත් අවුරුදු හතරක කාලයකට මහ කොමසාරිස් ධුරය සඳහා තෝරා පත්කර ගැනීමට පසුගිය 24 වැනිදා පැවැති ඡන්ද විමසීමේදී ශ්‍රී ලංකාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට ඇත.කෙසේ නමුත් පසුගියදා පැවැති ඡන්ද විමසීමේදී සාමාජික රටාවල් 144 ක ඡන්දය ලබා ගනිමින් වෝකර්ටර්ක් මහතා තවත් අවුරුදු හතරකට මහ කොමසාරිස් ධුරයට පත්විය.


ටර්ක් මහතා නැවත මහ කොමසාරිස් ධුරයට පත් කිරීමට පක්ෂව චීනයද ඡන්දය ප්‍රකාශ කර තිබීම විශේෂත්වයකි.එහිදී සාමාජික රටවල් 10 ක් එම පත්වීමට එරෙහිව ඡන්දය ප්‍රකාශ කළේය. ආර්ජන්ටිනාව, බුර්කිනා ෆාසෝ, කොරියාව, ඊශ්‍රායලය, මාලි, නිකරගුවාව, නයිජර්, රුසියාව, ට්‍රිනිඩෑඩ් සහ ටොබැගෝ සහ ඇමරිකාව ටර්ක් මහතාගේ නැවත පත්වීමට විරුද්ධව ඡන්දය ප්‍රකාශ කර තිබිණි. බෙලරුසය, ඩොමිනිකන් ජනරජය, ඉක්වදෝරය, ගයනාව, ඉරාකය, නවසීලන්තය, පැරගුවේ, පේරු, කොරියානු ජනරජය, දකුණු සුඩානය, සුරිනාමය, උගන්ඩාව සහ ශ්‍රී ලංකාව යන රටවල් 13 ඡන්ද විමසීමේදී ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිට ඇත.


එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතා පසුගිය වසරේ ජුනි 23 වැනිදා සිවුදින නිල සංචාරයක් මෙරටට පැමිණියේය. 2016 වසරින් පසුව පැමිණි පළමු එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස්වරයා වුවේද වෝකර් ටර්ක් මහතාය.

වෝකර් ටර්ක් මහතා පසුගිය වසරේ සැප්තැම්බර් මාසයේදී පැවැති, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 60 වැනි සැසිවාරය වෙත ශ්‍රී ලංකාව පිළිබඳ වාර්තාවක් ඉදිරිපත් කළේය. එම වාර්තාව, එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලය මෙරට සම්බන්ධයෙන් මීට පෙර ඉදිරිපත් කළ වාර්තාවලට සාපේක්ෂව ශ්‍රී ලංකා රජයේ අභිප්‍රායන් පිළිබඳව වඩාත් ධනාත්මක ආකල්පයක් පළ කළ වාර්තාවක් ලෙස සැලකුණි.


කෙසේ නමුත් එහිදී එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් වෝකර් ටර්ක් මහතා ප්‍රකාශ කර තිබුණේ ශ්‍රී ලංකාව පොරොන්දු ඉටු කිරීම සඳහා නිශ්චිත පියවර ගත යුතු බවයි.


වික්ටෝරියා ජලාශය සිඳී පරණ පාරවලුත් මතුවෙලා

 

ජේ.ඒ.එල්. ජයසිංහ 


පවතින දැඩි නියඟය හේතුවෙන් තෙල්දෙණිය වික්ටෝරියා ජලාශයේ ජල මට්ටම ශීඝ්‍ර ලෙස පහත බැස, වික්ටෝරියා ජලාශය හිස් පිට්ටනියක් බවට පත්ව ඇත. ජලාශය සිඳී යාමත් සමග පැරැණි මාවත්ද මතුවී ඇති අයුරු දැකගත හැකිය. වික්ටෝරියා ජලාශයේ දැනට සක්‍රීය ජල ධාරිතාවය සියයට 35.14 ක් දක්වා අඩුව තිබෙන බව බලධාරීහු කියති.


ජල සම්පාදන හා වාරිමාර්ග වාර්තාවලට අනුව ඊයේ (26) අලුයම 4.30 පමණ වන විට ජලාශයේ ජල මට්ටම මුහුදු මට්ටමෙන් මීටර් 410.73 ක් ලෙස පහතට වැටී තිබූ බව ඉංජිනේරුවරු පවසති.මේ වන විට ජල ධාරිතාව මීටර මිලියන 256.03 ක් වන අතර සියයට 35,41 ක විදුලි බල උත්පාදනය සඳහා භාවිත කළ හැකි සක්‍රීය ජල ධාරිතාව මීටර් මිලියන 252.97 කි. ජලාශයට ජලය ගලා එන ජල ප්‍රමාණයට වඩා වැඩි ජල ප්‍රමාණයක් ජල විදුලි උත්පාදනය සඳහා මුදා හැරීම හේතුවෙන් ජල මට්ටම පහත වැටී තිබෙන බවද, ඉංජිනේරුවරු පවසති. ලැබෙන ජල ප්‍රමාණය මෙන් තෙගුණයකට ආසන්න ප්‍රමාණයක් දිනපතා පිටතට මුදා හැරීම නිසා ජලාශයේ ජල ධාරිතාව ශීඝ්‍රයෙන් අවම වෙමින් පවතින බවද, ඉංජිනේරුවරු කියති.

වාහන 1,025 ක් හම්බන්තොට වරායේ හිරවෙලා

 

යොහාන් භාසුර


ආනයනය කර මාස තුනකට වඩා වැඩි කාලයක් ගත වුවද නිදහස් කර නොගත් වාහන 1,025 ක් හම්බන්තොට වරායේ ගාල් කර ඇති බවත් එම වාහන අතරින් වාහන 625 ක් මෙරටට ආනයනය කර මාස හයකට අධික කාලයක් ගත වී ඇති බවත් රේගු දෙපාර්තමේන්තුවේ මාධ්‍ය ප්‍රකාශක, රේගු අධ්‍යක්ෂ චන්දන පුංචිහේවා මහතා ඊයේ (26) පැවසීය.


හම්බන්තොට වරායේ වාහන නිදහස් කිරීම සම්බන්ධයෙන් පසුගිය දින කීපයේ මාධ්‍යයේ පළවූ වාර්තා සම්බන්ධයෙන් කරුණු දක්වමින් විශේෂ ප්‍රකාශයක් කරමින් රේගු මාධ්‍ය ප්‍රකාශක චන්දන පුංචිහේවා මහතා එසේ පැවසීය.එම වාහනවලින් එකම වාහනයක්වත් රේගුවේ වරදක් හේතුවෙන් නවත්වාගෙන නොමැති බවත් එම සියලුම වාහන ආනයනකරුවන් විවිධ හේතු මත නිදහස් කරගෙන නොමැති වාහන බවත් පුංචිහේවා මහතා කීය.


ආර්ථික ප්‍රශ්න, එසේත් නැත්නම් වෙළඳපොළේ ඉල්ලුම අඩුවීම යනාදී විවිධ ගැටලු හේතුවෙන් ආනයනකරුවන්ට එම වාහන නිදහස් කර ගැනීමට නොහැකි වන්නට ඇති බව කී පුංචිහේවා මහතා රේගු ආඥා පනතේ 109 වැනි වගන්තිය යටතේ කිසිදු රේගු වරදක් සිදුවී නොමැති වුවද අදාළ ආනයනකරුවන් මාසයක් තුළ අදාළ වාහන, නියමිත තීරු බදු සහ සෙසු බදු ගෙවීමෙන් පසුව වරායෙන් නිදහස් කර නොගතහොත් රේගු දෙපාර්තමේන්තුවට වෙන්දේසි කිරීමෙන් හෝ ටෙන්ඩර් කැඳවීමෙන් අලෙවි කළ හැකි බව ද සඳහන් කළේය.


එම වාහන එසේ අලෙවි කිරීමෙන් ලැබෙන මුදලින් රජයට අදාළ බදු මුදල්, වරාය ගාස්තූ, ගුදම් ගාස්තු අයකර ගැනීමට සහ කිසියම් මුදලක් ඉතුරු වන්නේ නම් එම මුදල ආනයනකරුට ලබාදීමට ද හැකියාව ඇති බව ද චන්දන පුංචිහේවා මහතා කීය.ආනයනය කර මාස තුන ඉක්ම වූ වාහන මෙතරම් ප්‍රමාණයක් තිබෙන බව හම්බන්තොට වරාය දැනුම් දී ඇති මෙම අවස්ථාවේදී කිසියම් හේතුවක් මත එම වාහන මුදාගැනීමට නොහැකි වූයේ යැයි ආනයනකරුවකු ඉල්ලීමක් කරන්නේ නම් ආනයනකරුට එම වාහන නිදහස් කර ගැනීමට අවස්ථාව ලැබෙන බවත් විදේශ විනිමය ගැටලුවකට රට පත්ව තිබෙන මෙවැනි අවස්ථාවක ආනයනකරුවන් විදේශ විනිමය වැය කර රට තුළට වාහන ගෙනවිත් නිදහස් නොකර ගැනීමෙන් ආර්ථිකයට ගැටලුවක් ඇතිවන බවත් ඔහු සඳහන් කළේය.


සැකකරුගෙන් අසූදාහක් බලෙන් අරන්: එස්.අයි. රිමාන්ඩ්

 

ශ්‍රීනාත් පුසන්න ජයසූරිය


සොර බඩු ළඟ තබා ගත්තේ යැයි කියන පුද්ගලයකුගෙන් රුපියල් අසූ දහසක මුදලක් බලහත්කාරයෙන් ලබාගත්තේ යැයි කියමින් සැකපිට අත්අඩංගුවට ගත් කඳාන පොලිසියේ අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂකවරයා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට පෙරේදා (24) ඉදිරිපත් කිරීමෙන් අනතුරුව රිමාන්ඩ් භාරයට පත් කරනු ලැබ ඇත. මෙසේ රිමාන්ඩ් භාරයට පත් කරන ලද උප පොලිස් පරීක්ෂකවරයාගේ රාජකාරි වැඩද කැලණිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා විසින් තහනම් කර තිබේ.


සිද්ධියට සම්බන්ධ යැයි කියන තවත් පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනකු සම්බන්ධයෙන්ද පරීක්ෂණ ආරම්භ කර ඇතැයි පොලිස් ආරංචි මාර්ග තොරතුරු අනාවරණය කළේය.කොළඹ මෝදර ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු සොරකමක්  සම්බන්ධයෙන්   සැකපිට අත්අඩංගුවට ගෙන ඔහුගෙන් ප්‍රශ්න කිරීමේදී සොරා ගත් එම දේපොළ ළඟ තබාගෙන සිටි බව කියන වත්තල හැඳල ප්‍රදේශයේ පදිංචි පුද්ගලයා ගැනද තොරතුරු හෙළි කර තිබුණේ යැයි පොලිසිය කියයි.


කඳාන පොලිසියේම අපරාධ විමර්ශන අංශයේ උප පොලිස් පරීක්ෂකවරයා ඇතුළු පොලිස් නිලධාරීන් කිහිප දෙනෙකු එම පුද්ගලයා සොයා ගොස් සොරා ගන්නා ලද දේපළ ළඟ තබාගෙන සිටින බවට බියවද්දා රුපියල් අසූ දහසක මුදලක් ඔහුගෙන් බලහත්කාරයෙන් ලබාගෙන තිබෙන බව පොලිසිය පවසයි.


එම පුද්ගලයා මේ පිළිබඳව කැලණිය කොට්ඨාසය බාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නුවන් අසංක මහතාට පැමිණිලි කිරීමෙන් අනතුරුව කැලණිය කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යාංශයේ නිලධාරීන් කණ්ඩායමක් මේ සම්බන්ධයෙන් විමර්ශන පවත්වා හෙළිවූ තොරතුරු මත මෙම උප  පොලිස් පරීක්ෂකවරයා පසුගිය සිකුරාදා සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.

බඩෝවිට සැන්ඩෝගේ පියාට වෙඩි තැබීමේ සිද්ධියට පලි ගැනීමක්

 

 බුද්ධික කුමාරසිරි


ඛෙල්ලන්විල ප්‍රදේශයේදී අවන්හල් හිමිකරුවකුට වෙඩි තබා ඝාතනය කර යතුරුපැදියකින් පලායමින් සිටි බව කියන වෙඩික්කරුවන් දෙදෙනා පැයක් ගතවීමටත් ප්‍රථම නවගමුව ප්‍රදේශයේ සුසාන භූමියක සිටියදී පෙරේදා (25) රාත්‍රී අත්අඩංගුවට ගත් බව පොලිසියේ උසස් නිලධාරියෙක් පැවැසීය.සැකකරුවන් බොරැලැස්ගමුව ප්‍රදේශයේදී ව්‍යාපාරිකයාට වෙඩි තබා පලායන අවස්ථාවේදී වහාම ක්‍රියාත්මක වූ පොලිසිය සැකකරුවන් සොයා විමර්ශනය කිරීමේදී සැකකරුවන් නවගමුව දෙසට යතුරුපැදියෙන් ගමන් කරන බවට තොරතුරු අනාවරණය කරගැනීමෙන් පසුව ඔවුන් පසුපස හඹාගොස් තිබුණි.


එහිදී සැකකරුවන් දෙදෙනා නවගමුව ප්‍රදේශයේ සුසාන භූමියක් අසල යතුරුපැදිය, ඔවුන් පැලඳ ආ හෙල්මට් සහ අත්අවරණ ගලවා දමා එම ස්ථානයෙන් පලායාමට සූදානම් වීමේදී පොලිස් විශේෂ කාර්ය බළකාය සහ නවගමුව පොලිසිය වහා ක්‍රියාත්මකවී සැකකරුවන් දෙදෙනා අත්අඩංගුවට ගෙන ඇත.


සැකකරුවන් වෙඩි තැබීමට යොදාගත් ගිනි අවිය සොයාගෙන නොමැති අතර, සැකකරුවන් අතරමගදී ගිනි අවිය කිසියම් පුද්ගලයකුට බාර දෙන්නට ඇති බවට පොලිසිය සැක කරයි. වෙඩි තැබීමට යොදාගත් යතුරුපැදිය, ජංගම දුරකතන  2 ක් සහ අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 6 ක් සහ මිලිග්‍රෑම් 600 ක් ද පොලිසිය භාරයට ගෙන ඇත.


මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවකු වන බඩෝවිට සැන්ඩෝ නමැත්තාගේ පියාට මීට දින කීපයකට පෙර දෙහිවල සුසාන භූමියක් ඉදිරිපිටදී වෙඩි තබා තුවාල කිරීමේ සිද්ධියකට පළිගැනීමක් වශයෙන් එම වෙඩි තැබීම කර ඇති බව මූලික විමර්ශනවලදී අනාවරණය කරගෙන ඇත.


අත්අඩංගුවට ගත් වෙඩික්කරු යුද හමුදාවෙන් පලාගිය අයකු වන අතර, ඔහු අවසන්වරට ඉංජිනේරු බළකායේ රාජකාරියේ යෙදී සිටි අයකු බවත්, යුද හමුදාවේ රාජකාරියේ යෙදී සිටියදී ගිනි අවියක් අස්ථානගත කිරීම සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටි පුද්ගලයකු බවත් පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත. වෙඩික්කරු සමග අත්අඩංගුවට ගත් අනෙක් පුද්ගලයා යතුරුපැදිය  පැදවූ පුද්ගලයා බවට තොරතුරු   අනාවරණය වේ. 


අත්අඩංගුවට ගත් සැකකරුවන් බකමූණ ගගේයාය සහ ඔරුබැදි සියඹලාව පදිංචි අවුරුදු 28 ත් 38 ත් අතර වයස්වල පසුවන්නන් බව පොලිසිය කියයි.මත්ද්‍රව්‍ය හා සංවිධානාත්මක අපරාධකරුවකු වන බඩෝවිට අසංක සහ සැන්ඩෝ යන අපරාධකරුවන් සහ සංවිධානාත්මක අපරාධකරුවකු වන කොස්මල්ලී නැමැත්තා අතර මත්ද්‍රව්‍ය ජාවාරමක් සම්බන්ධයෙන් දීර්ඝ කාලයක් තිස්සේ ආරවුලක් පවතින බව පොලිසිය පවසයි.මීට දින කීපයකට පෙර දෙහිවල සුසාන භූමියක් ඉදිරිපිටදී සංවිධානාත්මක අපරාධකරුවකු වන සැන්ඩෝ නැමැත්තාගේ පියාට නාඳුනන තුවක්කුකරුවකු විසින් වෙඩි තබා තිබූ අතර, එහිදී ඔහු බරපතළ තුවාල ලබා රෝහල්ගත කර තිබුණි.


එම වෙඩි තැබීමේ සිද්ධියට පලිගැනීමක් වශයෙන් සංවිධානාත්මක අපරාධකරුවකු කොස්මල්ලී නැමැත්තාගේ පාර්ශවයේ පුද්ගලයකු මෙසේ ඝාතනය කර ඇති බව පොලිසිය කියයි.වෙඩි තැබීමෙන් මියගොස් ඇත්තේ දෙහිවල ප්‍රදේශයේ පදිංචි සුදත් අමරසිංහ නැමැති 55 හැවිරිදි ව්‍යාපාරිකයකු වන අතර, ඔහු කොස්මල්ලී නැමැති සංවිධානාත්මක අපරාධකරුගේ ඥාතියකු වන බවත් පොලිසිය පවසයි. සැකකරුවන් වෙඩි තැබීම සදහා යොදාගත් ගිනි අවිය සොයා පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත. අත්අඩංගුවට ගත් සැකකරුවන් රැඳවුම් නියෝග ප්‍රශ්න කිරීමට නියමිතව ඇත.


Friday, July 24, 2026

මීගමුව බන්ධනාගාරයේ කලබල අපරාධයක් ලෙස නම් කෙරේ; වෙඩි තැබීම්වලින් 17 දෙනෙක් මිය යති

 


මීගමුව බන්ධනාගාරයේ මෑතකදී ඇති වූ නොසන්සුන්කාරී තත්ත්වය තුළ අපරාධමය වරදක් සිදුව ඇති බව මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් ප්‍රකාශයට පත් කරනු ලැබ තිබේ. එහිදී සිදුවූ මරණ 28 අතරින් පුද්ගලයන් 17 දෙනෙකුගේ මරණ සිදුව ඇත්තේ වෙඩි තැබීම් හේතුවෙන් බව අනාවරණය වී ඇත.


මෙම සිදුවීමට සම්බන්ධ වැරදිකරුවන් කඩිනමින් හඳුනාගෙන, ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට මීගමුව මහේස්ත්‍රාත් ශිලානි පෙරේරා මහත්මිය නියෝග කර තිබේ. බන්ධනාගාරය තුළ මරණ 28ක් වාර්තා වී ඇති අතර, ඉන් 17 දෙනෙකු මියගොස් ඇත්තේ ගිනි අවිවලින් සිදුවූ තුවාල හේතුවෙනි. ඉතිරි 11 දෙනාගේ මරණ සිදුව ඇත්තේ මෙම නොසන්සුන්කාරී තත්ත්වය අතරතුර මාරාන්තික ආයුධවලින් එල්ල වූ බරපතල පහරදීම් නිසා බව මහේස්ත්‍රාත්වරිය සඳහන් කර ඇත.


ජූලි මස 5 සහ 6 යන දිනවල මීගමුව බන්ධනාගාරයේ ඇති වූ මෙම කලබලකාරී තත්ත්වයට අදාළ නඩුව අද දින මහේස්ත්‍රාත් හමුවේ කැඳවන ලදී. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින් විමර්ශනවල ප්‍රගතිය පිළිබඳ වැඩිදුර වාර්තාවක් එහිදී අධිකරණයට ඉදිරිපත් කරනු ලැබීය.


බන්ධනාගාරය තුළට මත්ද්‍රව්‍ය රැගෙන ඒමේ උත්සාහයන් පිළිබඳව බන්ධනාගාර නිලධාරීන්ට රහසිගතව තොරතුරු ලබා දුන් බවට සැක කරන රැඳවියන් පිරිසක් ඉලක්ක කර ගනිමින් මෙම නොසන්සුන්කාරී තත්ත්වය මුල් අවස්ථාවේදී ආරම්භ වී ඇති බව මූලික විමර්ශනවලදී හෙළි වී තිබේ. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මේ බව අධිකරණයට දැනුම් දී ඇත.


මෙම සිද්ධියට සම්බන්ධ සැකකරුවන් 40 දෙනෙකුගේ අන්වර්ථ නام මේ වන විට හඳුනාගෙන ඇති බව සීඅයිඩී නිලධාරීන් වැඩිදුරටත් අධිකරණයට දන්වා සිටියේය. එම සැකකරුවන්ගේ සැබෑ අනන්‍යතාව කුමක්ද යන්න තහවුරු කර ගැනීම සඳහා පුළුල් පරීක්ෂණ ක්‍රියාත්මක කරමින් පවතින බවද ඔවුන් සඳහන් කර ඇත. විමර්ශනවල වර්තමාන ප්‍රගතිය අධිකරණයට වාර්තා කිරීමේදී විමර්ශන නිලධාරීන් විසින් මෙම කරුණු ඉදිරිපත් කරන ලදී.


සුළු වරදක් නිසා වුවත් අමෙරිකාවට ඇතුළුවීම තහනම් විය හැකැයි අමෙරිකානු තානාපති කාර්යාලයෙන් අනතුරු ඇඟවීමක්

 

කොළඹ පිහිටි අමෙරිකානු තානාපති කාර්යාලය විසින් නිකුත් කර ඇති නවතම නිවේදනයකට අනුව, සුළු මට්ටමේ වැරදි සඳහා පවා වරදකරුවන් වීම අමෙරිකාවට ඇතුළුවීම සදහටම වැළකී යාමට හේතු විය හැක.


වීසා අපේක්ෂකයින් තම අපරාධ ඉතිහාසය සම්බන්ධයෙන් කිසිදු සඟවා තැබීමකින් තොරව සම්පූර්ණ සත්‍ය හෙළි කළ යුතු බව එමගින් අවධාරණය කර ඇත.


මෙම තොරතුරු අනාවරණය කර ගනිමින් වීසා පරීක්ෂණ ක්‍රියාවලිය හැසිරවීමට කොන්සල් නිලධාරීන්ට අදාළ අයදුම්කරුවන්ගේ අපරාධ පසුබිම් වෙත සෘජු ප්‍රවේශයක් පවතියි.


ඒ හරහා පෙර සිදු කර ඇති අත්අඩංගුවට ගැනීම් මෙන්ම වරදකාරී තීන්දු පහසුවෙන් හඳුනා ගැනීමට නිලධාරීන්ට හැකියාව ලැබෙන බව නිල ෆේස්බුක් පිටුවෙහි දැක්වේ.


වීසා අයදුම්පත් පත්‍රිකා පිරවීමේදී සහ සම්මුඛ පරීක්ෂණවලට මුහුණ දීමේදී අසත්‍ය තොරතුරු ඉදිරිපත් කිරීමෙන් දැඩි ලෙස වැළකී සිටින ලෙසට ද තානාපති කාර්යාලය අයදුම්කරුවන්ට දන්වා සිටියි.


එම මාර්ගෝපදේශ උල්ලංඝනය කරමින් බොරු කීම හෝ නොමඟ යවන සුළු තොරතුරු සැපයීම හේතුවෙන් අමෙරිකානු වීසා බලපත්‍රයක් ලබාගැනීමේ අවස්ථාව සදහටම අහිමි වී යා හැකි බව ඔවුන් වැඩිදුරටත් පෙන්වා දී ඇත.


පොලිස් නිලධාරීන් කිසිවිටෙකත් ඔබෙන් OTP අංකයක් හෝ බැංකු මුරපදයක් ඉල්ලන්නේ නැත

 


මූල්‍ය වංචාකරුවන් විසින් පොලිස් නිලධාරීන් සහ රාජ්‍ය නිලධාරීන් ලෙස පෙනී සිටිමින් මුදල් හා රහසිගත බැංකු තොරතුරු සොරකම් කිරීමේ නව වංචා රැල්ලක් සම්බන්ධයෙන් ශ්‍රී ලංකා පොලිසිය විසින් හදිසි ජනතා දැනුවත් කිරීමක් සිදු කර ඇත. වට්ස්ඇප් සහ ටෙලිග්‍රෑම් වැනි පණිවුඩ හුවමාරු වේදිකාවල සොරකම් කරන ලද හෝ කෘත්‍රිමව සකස් කරන ලද ඡායාරූප භාවිත කරමින් වංචනිකයන් මහජනතාව නොමඟ යවන බව පොලිසිය පෙන්වා දෙයි. පෙර අවස්ථාවලදී අත්අඩංගුවට ගැනීම් සහ දැනුවත් කිරීම් සිදු කර තිබුණද, තවමත් ජනතාව මෙම උගුල්වලට හසුවන බව පොලිසිය සඳහන් කරයි.


මහ බැංකුව, අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හෝ වෙනත් පොලිස් ඒකක නියෝජනය කරන බව පවසමින් මෙම පිරිස් ජනතාව අමතන බව අනාවරී වී තිබේ. වින්දිතයන්ගේ ජාතික හැඳුනුම්පත නීති විරෝධී කටයුතුවලට සම්බන්ධ බවට හෝ ඔවුන්ගේ බැංකු ගිණුම් මුදල් විශුද්ධිකරණය වැනි අපරාධවලට හසුවී ඇති බවට මෙම ඇමතුම් ලබා දෙන්නෝ චෝදනා නගති. තම ප්‍රකාශ සැබෑ ඒවා ලෙස පෙන්වීම සඳහා වංචනිකයන් ව්‍යාජ පොලිස් හැඳුනුම්පත්, නිල ලේඛන සහ ලාංඡන සමාජ මාධ්‍ය හරහා යවන අතර, නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට බිය ගන්වමින් විමර්ශන විසඳීමට උදව් කරන බව පවසති.


එමඟින් වින්දිතයන්ට එක් වරක් පාවිච්චි කරන මුරපද හෙවත් OTP අංක, බැංකු අක්තපත්‍ර සහ රහස් අංක හෙළි කිරීමට වංචනිකයන් පෙළඹවන බව පොලිසිය පවසයි. ඇතැම් අවස්ථාවகளில் නාඳුනන බැංකු ගිණුම් වෙත මුදල් මාරු කිරීමට හෝ යූඑස්ඩීටී ඇතුළු הקריפטෝ මුදල් මිලදී ගෙන හුවමාරු කිරීමට වින්දිතයන් බලපෑමට ලක් වේ. කිසිදු රජයේ ආයතනයක් හෝ පෞද්ගලික ආයතනයක් දුරකථනයෙන් හෝ සමාජ මාධ්‍ය හරහා OTP අංක, CVC අංක, බැංකු මුරපද හෝ වෙනත් රහස්‍ය බැංකු තොරතුරු ඉල්ලන්නේ නැති බව පොලිසිය අවධාරණය කර ඇත.


නිල පොලිස් සන්නිවේදනයන් සිදු කරනු ලබන්නේ විධිමත් ලිඛිත දැනුම්දීම් මඟින් හෝ නිල රාජකාරී ඉටු කරන නිලධාරීන් විසින් היපැහැදිලිවම පුද්ගලිකව හමුවීමෙන් පමණි. සැක සහිත වෙබ් සබැඳි ක්ලික් කිරීමෙන්, නොදන්නා මූලාශ්‍රවලින් ගොනු බාගත කිරීමෙන් හෝ සත්‍යාපනය නොකළ QR කේත ස්කෑන් කිරීමෙන් වැළකී සිටින ලෙස මහජනතාවට උපදෙස් දී ඇත. රාජ්‍ය ලාංඡන සහිත ව්‍යාජ ලේඛන ලැබෙන ඕනෑම අයෙකු වහාම ළඟම ඇති පොලිස් ස්ථානයට ඒ බව දැන්විය යුතුය.


අපරාධ පරීක්ෂණ සඳහා කිසිදු ගාස්තුවක් අය නොකරන බව පොලිසිය වැඩිදුරටත් ජනතාවට මතක් කර දී ඇත. එවැනි වංචාවලට ලක් වූ හෝ ඉලක්ක වූ අයෙකුට 011-2300756 හෝ 071-8592918 සහ 071-8591765 යන අංකවලින් පරිගණක අපරාධ විමර්ශන අංශය සම්බන්ධ කර ගැනීමට හෝ පැමිණිල්ලක් ඉදිරිපත් කිරීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත යාමට හැකියාව ඇත.