
ඇගේ වෛරය 1- සහ ඇගේ වෛරය 2 යන චිත්රපටි තිරගතවීමත් සමඟම සිනමා ප්රේක්ෂකයින් අතර වැඩි කතාබහකට ලක්වූ එහි ප්රධාන චරිතය නිරූපණය කළ චන්දි රසිකා නම් සම්මානනීය නිළියයි මෙවර අප සමඟින් හමුවන්නේ.
චිත්රපටයේ රඟපෑම වෙනුවෙන් 1985 වසරේ හොඳම නිළියට සහ දක්ෂම නිළියට පිදෙන OCIC සම්මානය සහ ජනාධිපති සම්මාන හිමිකරගත්තේද ඇයයි.
ඉතින් ඔබගේ උපන් ගම කියන්න බලන්න?

පැඟිරිවත්ත, නුගේගොඩ
පවුලේ විස්තර?
අපේ තාත්තා දුම්රිය දෙපාර්තමේන්තූවේ රැකියා කළා. අම්මා ගෘහණියක්, පවුලේ පිරිමි දරුවන් දෙන්නයි, ගැහැනු දරුවන් දෙන්නයි. අපේ ලොකු අයියා දේශපාලනයට සම්බන්ධයි. නම ජයතිස්ස පෙරේරා. ඔහු හෝමාගම ආසනයේ ශ්රී.ල.නි. පක්ෂයේ සංවිධායක ලෙස පත්වී සිටියදී හදිසියේ මිය ගියා.
චන්දිගේ කුඩා කාලය මතකද?
හොඳට මතකයි. මං පුංචි කාලේ මහා දඟ මල්ලක් කිවොත් වැරැදි නැහැ. මගේ මේ දඟකාරකම් පාලනය කරන අම්මා දැඩි නීති රීති දමා තිබුණි. මේ නිසා මට මගේ ළමා කාලය නිදහසේ ගත කරන්න ලැබුණේ නැහැ. මේවාට දොස් කියන එක වැරදියි. අම්මාගෙන් නොලැබුණු නිදහස පාසලේදී හොඳට භුක්ති වින්දා.
ඒ කිව්වේ ?

ළමයි සමග හොඳට දුවලා පැනලා සෙල්ලම් කළා. විශේෂයෙන් ක්රීඩා තරගවලට සහභාගී වුණා.
ඉගෙනගත්ත පාසල?
නුගේගොඩ සමුද්ර දේවි බාලිකා විද්යාලය.
කොහොමද ඉගෙනීමේ කටයුතු
හොඳින් කරගෙන ගියා. මං තාරුණ්යයට පාතබන කාලේ අම්මා මට පැනවූ දැඩි නීති රිති ලිහිල් කරන්න පටන් ගත්තා. ඉඳහිට පවුලේ අපි කට්ටියක් සමග චිත්රපට බලන්නත් ගියා.
මොකක්ද ප්රථමයෙන් බලපු චිත්රපටය?
මුලටම බැලුවේ 'වෙසතුරු සිරිත' ඊළඟට 'සිකුරු තරුව' සහ 'පාරා වළලු' මේ චිත්රපට බැලුවාම මටත් ඒ වගේ රඟපාන්න ඇත්නම් කියලා හිතුණා.
හිතලා මොකද කළේ?
මං අම්මට හොරා තාත්තට කිව්වා.
තාත්තා මොකද කිව්වේ?
තාත්තා අම්මටත් හොරා මාව එක්කරගෙන ගියා මෝතිලාල් ගුණස්කර කියන නළුවා ළඟට. ටෝතිලාල් ඒ දවස්වල ධර්ම ශ්රී කල්දේරාගේ චිත්රපටවල රඟපෑවා.
ඊට පස්සේ?
අපි කට්ටියම ගියා ධර්ම ශ්රී කල්දේරා අධ්යක්ෂවරයා මුණගැහෙන්න. පුංචි පරීක්ෂණයකින් පසුව ධර්ම ශ්රී කල්දේරාගේ 'කල්යාණි ගංගා' චිත්රපටයේ සමූහ නැටුමකට මාවත් ගත්තා. ඊට අමතරව දයානන්ද සල්වතුර කියන නළුවා සමග ප්රේම ජවනිකාවක් රඟපාන්න මට ලැබුණා. දෙබස් තිබුණේ නැහැ. එතකොට මට වයස අවුරුදු දහතුනයි.
ඒ චිත්රපටය බැලුවද?
අම්මයි අපි කට්ටියම ගිහින් චිත්රපටය බැලුවා. ඒ දර්ශන දෙක දැක්කම මට හිතුණා දිගටම රඟපාන්න.
එදා අම්මා මොකද කිව්වේ?
මීට පස්සේ එහෙම බයිස්කෝප්වල රඟපෑම තහනම් කිව්වා.
ඉතින්?
මං අම්මට වැඳලා කිව්වා අනේ අම්මේ මට රඟපාන්න අවසරය දෙන්න කියලා.
ඉතින් අම්මා මොකද කිව්වේ?
හා හොඳයි හිතේ ආසාව යන්න තව එකක දෙකක විතරක් රඟපාන්න කිව්වා. ඔන්න ඔය දවස්වල අම්මලා අපි කට්ටිය ගියා'සුහද පැතුම' චිත්රපටය බලන්න. ඒ පික්චර් එක බැලුවම තමයි මට පික්චර් පිස්සුව නියමෙට හැදුනේ. මේ තමයි මං ඕ ලෙවල් කරන කාලේ.
ඒ මොකද?
මාලනී ෆොන්සේල්කයි, තිස්ස විජේසුරේන්ද්රයි දෙන්නා නටනටා කුරුකු... කුරුකු.. කුරුකු සින්දුවට රඟපෑ හැටියට මං වශී වුණා. මං කොච්චර වශී වුණාද කිව්වොත් ගෙදර ඇවිත් කාමරය වසාගෙන මාලනී ෆෝන්සේකා වගේ කුරුකු.. කුරුකු සින්දුවට නටන්න පටන් ගත්තා.
ඕ ලෙවල් කරන කාලේ ඔබ ඇත්තටම කුරුකු..කුරුකු.. කුරුක කියන්න පටන් ගන්නේ නැද්ද?
එහෙමත් කාලයක් තිබුණා.
ඒ කතාව කියන්නකෝ අපි අහන් ඉන්නම්?
ඒ ළමයා නුගේගොඩ සාන්ත ජෝන් පිරිමි පාසලේ. එයත් එතකොට ඕ ලෙවල් පන්තියේ. ඉස්කෝලේ ඇරීලා අපි දෙන්නා කතාකර කර බස් හෝල්ට් එකට එන එක කවිදෝ දුෂ්ටයෙක් දැකලා අපේ අම්මට කියලා.
ඉති?
ඉතින් මොකුත් නැහැ. ඊට පසුවදා ඉඳලාම අම්මා මාව මුර කරන්න උදේ හවස එන්න පටන් ගත්තා. ඒ ප්රේම කතාව එතැනින් අවසාන වුණා.
ඒ ළමයගේ නම මතකද?
මතකයි.
මොකක්ද?
කියන්න හොඳ නැහැ. මගේ හිතේ විතරක් තිබුණාවේ.
අපි දැන් නැවතත් චිත්රපට පිස්සුව ගැන කතා කරමු. අම්මා අවසරය දීමෙන් පස්සේ?
'රත්තරන් අම්මා', 'මගේ නංගී ශ්යාමා' රජයේ චිත්රපට අංශය වෙනුවෙන් පෝල් සිල්ස් මහතා අධ්යක්ෂණය කළ 'චාරුලතා’ වාර්තා චිත්රපටයේ දිගු චරිතයක් රඟපාන්න මට ලැබුණා. ඊට පස්සේ කරාටේ ජෝ', මේ චිත්රපටයේ රගපෑමට පෙර කරාටි ශිල්පය ගැන මාස තුනක පුහුණුවක් ලබන්න සිදුවුණා මට. ඊට පස්සේ 'රන්මලීගේ වාසනාව' සහ සබීතා පෙරේරාගේ අක්කා විදියට 'ආදර ගීතය' චිත්රපටයේ රඟපෑවා.
ඊට පස්සේ?
"ආදර ගීතය' චිත්රපටයේ රඟපාන කාලේ චිත්රපට අධ්යක්ෂක අමරනාත් තිලක මහත්මයා මාව සොයාගෙන ආවා.
ඒ මොකටද?
එතුමා අධ්යක්ෂණය කරන්න සුදානමින් සිටි "අරුණට පෙර' චිත්රපටයේ එන මැණිකාගේ චරිතයට මාව සම්බන්ධ කරගන්න. ඒ චරිතයට මාව සුදුසුයි කියලා එතුමා දැඩි තීරණයක් අරගෙන තිබුණා. මා සමඟ චිත්රපටයේ රඟපෑවා විජේරත්න වරකාගොඩ, සුමින්ද සිරිසේන, චන්ද්රා කළුආරච්චි ඇතුළු තවත් නළු නිළියන් කිහිපදිනෙක්.
අමරනාත් ජයතිලක මහතාගේ විත්රපට අධ්යක්ෂණය ගැන ඔබගේ මතය කොහොමද?
ඉතාම දක්ෂ අධ්යක්ෂවරයෙක්. මාව මෙහෙයවද්දී ඔහු මට තදින් කතාකළා, සැරෙන් කතා කළා. එසේ මෙහයවමින් ඔහුට උවමනා කළ මැණිකාගේ චරිතය මගෙන් උදුරා ගත්තා කියලයි මං හිතන්නේ.
'අරුණට පෙර' චිත්රපටය වෙනුවෙන් එවැනි කැපවීමක් කළ චන්දි රසිකාට ලැබුණු ප්රතිලාභ මොනවාද?
චිත්රපටියේ රඟපෑම වනුවෙන් 1995 වසරේ හොදම නිළියට පිදෙන OCIC සම්මානයත්, දක්ෂතම නිළියට පිදෙන ජනාධිපති සම්මානයත් මට හිමිවුණා.
නවසීලන්තය, චීනය, ජපානය, ඇමෙරිකාව ආදී රටවල් රැසක පැවැති තරගවලට ඉදිරිපත් කරලා "අරුණට පෙර' චිත්රපටයට තවත් සම්මාන රැසක් ලබාගැනීමට හැකියාව ලැබුණා.
ඔබ රඟපෑ 'අරුණට පෙර' චිත්රපටය තවත් සුවිශේෂී වාර්තාවක් තබා ඇති බවට ආරංචියි?
ඕව්. ඇමෙරිකාවේ ලොස් ඇන්ජලීස්වල සංරක්ෂණාගාරයක අරුණම පෙර චිත්රපටයේ පිටපතක් තැන්පත් කර තිබීම තමයි විශේෂත්වය. මා විශ්වාස කෙරෙන ආසියාවේ එකම චිත්රපටය මෙයයි, එසේ සංරක්ෂණය කර තිබෙන්නේ දේශීය කෘෂිකර්මය පිළිබඳව එහි විශ්වද්යාල සිසුන්ට දැනුම ලබා ගැනීමටයි.
මේ තරම් වාර්තා ගණනාවක් තැබූ "අරුණට පෙර' වෙනුවෙන් ඔබ සම්මානයට පාත්රවූ විට සිනමා ක්ෂේත්රයෙන් ඔබ ලද ප්රතිචාර කොහොමද?
සමහරු අවංකවම මට සුබ පැතුවා. තවත් කට්ටියක් කතා කළේවත් නැහැ. මම හිස උදුම්මවා ගනීවි කියලා හිතන්න ඇති. කොහාම කෙහොමහරි ඒ ප්රතිචාරවල ප්රතිඵලය තමයි මට එයින් පස්සේ චිත්රපටවල ප්රධාන චරිත ලැබෙන්නේ නැතුව ගියා. ලැබුණේ නැහැ නොවෙයි ලැබෙන්න ඉඩ දුන්නේ නැහැ සමහරු.
ඉති?
ඒත් අමරනාත් ජයතිලක මහතා රජයේ චිත්රපට අංශය වෙනුවෙන් නිර්මාණය කල 'චාරුලතා' නම් චිත්රපටයට මාව සම්බන්ධ කර ගත්තා. ඒක පවුල් සංවිධානය ගැන කියැවෙන චිත්රපටයක්.
ඊට පස්සේ?
සිනමාවට තියන ආදරේ නිසාම මම හවුල් නිෂ්පාදනයක් විදිහට 'ඇගේ වෛරය' චිත්රපටය නිෂ්පාදනය කරමින් මම ප්රධාන චරිතය රඟපෑවා. මේ චිත්රපටය සම්පූර්ණයෙන්ම නරඹන්නේ නැතුව " ඇගේ වෛරය - 2" චිත්රපටය රඟපාන්න මම ගිවිසුමට අත්සන් කළා. කොහොමහරි "ඇගේ වෛරය"තිරගත වෙනකොට මගේ චරිතයට නිරුවත් දර්ශන පෙළක් ඒකතු කරලා තිබුණි. මේ නිසා අපේ ඥාතීන්ගෙන් මට මහා දොසක් එල්ල වුණා. චිත්රපටය නැරඹූ ප්රේක්ෂකයින් මා ගැන වැරදි විදිහට හිතන්න පටන් ගත්තා. අපේම සිනමා නිළියන් මට අමු කුණුහබ්බයෙන් ලියුම් එවන්න පටන් ගත්තා. මෙසේ එල්ලවුණු පීඩනය මට දරාගන්න බැරිවුණා.
මේ නිසා මං අධිකරණයට ගිහින් කිව්වා ඒ නිරුවත් දර්ශනවලට මං පෙනීසිටීයේ නැහැ කියලා. අධිකරණය සාධාරණ විනිශ්චයක් දුන්නා. සියල්ල අවසාන වනවිට මගේ අතේ ඉතිරිකරගෙන සිටි සල්ලි ටිකත් ඉවරවලා ගියා. මේ සියල්ල සිදුවුණේ මගේ නොදැනුවත්කම නිසා. ඔව් මම පිළිගන්නවා. ඒ කාලේ ගිවිසුම් ගැන මම ඒ තරම් දෙයක් දැනගෙන හිටියේ නැහැ. මගේ අයියාවත් ජීවතුන් අතර හිටියා නම් මේ වීනාශය වෙන්නේ නැහැ.
ඊට පස්සේ මොකද කළේ?
රඟපාන්න ආරාධනා ආවත් මං ගියේ නැහැ. අවුරුදු 10ක් ගෙදරටවලා හිටියා. අන්තිමට රඟපෑවේ. 'ආත්ම වරුෂා" චිත්රපටියේ.
ටෙලිනාට්යවලත් රඟපෑවා නේද?
ඔව්.සිහින නිමිනය', 'සන්නාලියනේ', 'කතරක සෙවණැලි', 'අවන්හල' ඇතුළු ටෙලිනාට්ය 15කට විතර සම්බන්ධ වුණා.
ඉතින් ඔබ තවමත් ගෙදරට වෙලාද?
ඔව්. මගේ තනියට මගේ අක්කා ඉන්නවා.
හැමදාම තනියෙන් ඉන්නද කල්පනාව?
ඔව්. ඒ දවස්වල චිත්රපට නළුවෙක් සමග මගේ සම්බන්ධයක් තිබුණා. අම්මා අවසර දුන්නා. ඒත් ඒ නළුවා එකපයින්ම කියා සිටියා රඟපෑමෙන් සමුගන්න කියලා. මං කැමති වුණේ නැහැ. ඒ නිසා මම සමගියෙන් සාමයෙන් එයාට සමුදුන්නා.
දැන් මොකද කල්පනාව?
මට අම්මා කියන්න දරුවෙක් නැති එකට මං හරියට හිතින් දුක් වීදිනවා. ඒක නිවාගන්න අපේ පවුලේ ඥාතීන්ගේ සහ අසල්වැසියන්ගේ දරුවන්ට ආදරේ කරනවා.
වෙන මොනවද ඔබට කියන්නට තියෙන්නේ?
"මුළු ලොවම නැති වුණත් ඒකම හදවතක් ඇත ඔබේ නාමයෙන්.. කියන සින්දුවට මං හරි කැමතියි. ඒත් මං වෙනුවෙන් එහෙම කියන්න කෙනක් මේ ආත්මයේදී මට හමුවෙන්නේ නැති බව මං දන්නවා. මටත් එහෙම කියන්න කෙනෙක් මේ ආත්මයේදී හමුනොවන බව මං දන්නවා. ඒ නිසා මං ආගමට දහමට නැඹුරුවෙලා ඉවරයි.
-අමරදාස සිල්වා-