Showing posts with label Local5. Show all posts
Showing posts with label Local5. Show all posts

Friday, February 14, 2020

කොළඹ පරිසරය රකින්න බස් රියැදුරන් කොන්දොස්තරලා දැනුවත් කරයි.




කොළඹ නගරයට දෛනිකව පැමිණෙන ජනතාව බැහැර කරනු ලබන කසළ නැවත ප්‍රයෝජනයට ගැනීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන බව පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක බණ්ඩාර යාපා මහතා ඉකුත්දා කොළඹදී පැවසීය. 

එහි පළමු පියවර ලෙස ජංගම වෙළඳුන් ජනතාවට අලෙවි කරනු ලබන ප්ලාස්ටික් වතුර බෝතල් ජනතාවගෙන් නැවත එකතු කර ගැනීම සඳහා කොළඹ ජනාකීරණ ප්‍රදේශවල විශාල ප්‍රමාණයේ පෙට්ටි සවිකරන බව ද ඔහු කීය.

රටතුළ නිසි ආචාර ධර්ම පද්ධතියක් ක්‍රියාත්මක කරනවිට රටේ පොදු නීතිය ක්‍රියාවට නැංවීම ඉතාමත් පහසු කාර්යයක් බවත් කොතරම් දුරට දඩ මුදල් අය කළ ද පුද්ගලයින් අතින් සිදුවන වැරදි නිවැරදි කළ නොහැකි බව ද බණ්ඩාර මහතා පැවසීය.

කොළඹ නගරයේ පරිසරය පිරිසිදු කිරීම සඳහා ගතයුතු පියවර පිළිබඳව බස් රථ රියදුරන්, කොන්දොස්තරවරුන්, වෙළඳසැල් හිමියන්, ජංගම වෙළඳුන් දැනුවත් කිරීම සඳහා පිටකොටුව බැස්ටියන් මාවතේ පිහිටි මාර්ගස්ථ මගී ප්‍රවාහන අධිකාරියේ කොළඹ කාර්යාලයේදී ඉකුත්දා (11) පැවැති විශේෂ වැඩසටහනකට එක්වෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.

නාගරික රථවාහන දිසාව බාර හා පරිසර ආරක්ෂණ දිසාව බාර නියෝජ්‍ය පොලිස්පති මුදිත පුස්සැල්ල මහතාගේ උපදෙස් පරිදි මෙම වැඩසටහන ක්‍රියාවට නංවනු ලබයි.

එහිදී පොලිස් පරීක්ෂක බණ්ඩාර යාපා මහතා මෙසේ පැවසීය.

බස් රථයේ කළමණාකාරිත්වය කොන්දොස්තරවරයා සතුයි. බස් රථයේ සිටින මගීන් බැහැර කරනු ලබන කසළ දැමීම සඳහා බස් රථය තුළ කුණු කූඩයක් සෑදීමේ අවශ්‍යතාව අපේ රටට තදින්ම තිබෙනවා. එවැනි වැඩපිළිවෙළකට ගියවිට ජනතාව ඉබේම හැදෙනවා.

අවට පරිසරය පිරිසිදුව තබා ගැනීම සඳහා බාල මහලු දුප්පත් පොහොසත් බේදයකින් තොරව සියලු දෙනාම එකට එකතු විය යුතුයි. පරිසරය පිරිසිදු කිරීමට රැයක් දවාලක් හෝ වැස්ස අව්ව බල බල ඉඳලා බැහැ. බස් රථයේ, නැවතුම්පොළේ හෝ ගමන් කරන මාර්ගයේ කොහේ හෝ ස්ථානයක කසළ තිබුණහොත් එය අහුලා කසළ බැහැර කරන ස්ථානයකට දැමීමට ජනතාව පුරුදු විය යුතුයි.

වර්තමානය වනවිට මිනිසුන් පරිසරයට හානි කරන අවස්ථා වැඩිවී තිබෙනවා. මෙම මානව ක්‍රියාකාරකම් නවතා ගත හැකි වුවහොත් අලංකාර පරිසරයක් නිර්මාණය කළ හැකියි. කොළඹ පරිසරය පිරිසිදු කරන්න රාජ්‍ය අංශයේත් පෞද්ගලික අංශයේ විශාල ආයතන සංඛ්‍යාවක් දැවැන්ත වෙහෙසක් ගනු ලබනවා. එහෙත් මිනිසා ස්වේච්ඡාවෙන්ම මෙයට දායක නොවුණහොත් ආයතන කොතරම් වෙහෙසක් ගත්තත් වැඩක් නැහැ.

පරිසර ආරක්ෂණ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක රෂින්ත ජයරත්න, පිටකොටුව ප්‍රජා පොලිස් ස්ථානාධිපති ග්‍රේෂන් ජාතික ගමනාගමන කොමිෂන් සභාවේ ඉන්දික වීරසේන යන මහත්වරුන් ඇතුළු විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගීවී සිටියහ.

- හසිත රංග ගුණතිලක -

දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරවකුඹුක - හම්බන්තොට කොටස 23දා විවෘත කරයි


දක්ෂිණ අධිවේගී මාර්ගයේ බරවකුඹුක - හම්බන්තොට දක්වා වන කොටස පෙබරවාරි 23 වැනිදා විවෘත කරන බව පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා සඳහන් කළේය. ඒ අනුව බරවකුඹුක සිට මත්තල දක්වා අන්දරවැව හරහා වන කිලෝමීටර් 21.8ක කොටස මෙන්ම අන්දරවැව සිට හම්බන්තොට දක්වා වන කිලෝමීටර් 16.6ක කොටස මෙසේ විවෘත කිරීමට නියමිතය.

පසුගිය ජනාධිපතිවරණයට පෙර යහපාලන රජය විසින් දක්ෂිණ අධිවේගී මාර්ගයේ මෙම කොටස නියමිත පරිදි ඉදිකිරීම් අවසන් කිරීමට පෙර විවෘත කිරීමට කටයුතු කළේය.

කෙසේ වෙතත් මෙම කොටසේ සියලුම වැඩ නිසි පරිදි අවසන් කරන ලෙස අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා පසුව අදාළ අංශ වෙත උපදෙස් දුන්නේය. 

මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පැවසුවේ දක්ෂිණ අධිවේගී මාර්ගයේ නව කොටස විවෘත කිරීම මඟින් ලංකාවේ ප්‍රධාන වරායන් දෙකක් හා ගුවන්තොටුපොළවල් දෙකක් සම්බන්ධ කරන හෙයින් ඒ හරහා භාණ්ඩ හා මගී ප්‍රවාහනය තවදුරටත් පහසු වන බවයි. 

එය ආර්ථික සංවර්ධනයට ධනාත්මක  බලපෑමක් එල්ල කරනු ඇති බවද මන්ත්‍රීවරයා පැවසීය. දක්ෂිණ අධිවේගී මාර්ගයේ ඉදිකිරීම් චීනය මඟින් සිදු කෙරිණි.


බොරලුගොඩ ඇළවල් දෙකකට විෂ මිශ්‍ර කිරීමෙන් ආවේණික මත්‍ස්‍යයන් දහස් ගණනක් මරුට - තිදෙනෙක් පොලිස් අත්අඩංගුවට

බදුරලිය පොලිස් වසමට අයත් බොරලුගොඩ ප්‍රදේශයේ 'රණහින් ඇළ'ට සහ 'ගොරොක්ගහ දොළ'ට විෂ මිශ්‍ර කිරීමක් හේතුවෙන් ශ්‍රී ලංකාවට ආවේණික, එසේම වඳවීමේ දැඩි තර්ජනයට ලක්වූ විශේෂ 13ක් ඇතුළු මිරිදිය මත්ස්‍ය විශේෂ 22කට පමණ අයත් මත්ස්‍යයන් දහස් ගණනක් මිය ගොස් තිබේ.

මේ පිළිබඳ අප කළ විමසීමේදී බදුරලිය පොලීසියේ ස්ථානාධිපති, පොලිස් පරීක්ෂක චින්තක පනාවල මහතා තහවුරු කර සිටියේ, අදාළ විෂ මිශ්‍ර කිරීමට සම්බන්ධ යැයි සැකපිට පුද්ගලයන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවයි.

මත්ස්‍යයන් ඇල්ලීම සඳහා අදාළ පුද්ගලයන් විසින් මෙම ජල පහරවලට විෂ මිශ්‍ර කර ඇති බවද හෙතෙම සඳහන් කර සිටියේය.               

වඳ වීමේ දැඩි තර්ජනයට ලක්වූ ශ්‍රී ලංකාවට ආවේණික මත්ස්‍ය විශේෂ වැඩි වශයෙන් දක්නට ඇති මෙම රණහින්දොළ සහ ගොරොක්ගහ යන දොළවල් මගුරු ගඟට සම්බන්ධවන අතර, එය ශ්‍රී ලංකාව තුළ මිරිදිය මත්ස්‍යයන් බහුලව දක්නට ලැබෙන ප්‍රදේශයන්ගෙන් එකකි. 

ඒ අනුව දැඩි ලෙස වඳවීමේ තර්ජනයට ලක්ව ඇති ජන්ක්ලාස් අයිරාවා හෙවත් පුල්ලි අයිරාවා, ලේ තිත්තයා, බුලත් හපයා, විල්පිට දණ්ඩියා, කොළ කණයා, කැළුම්ගේ පෙතියා, හල්මල් දණ්ඩියා, මස් පෙතියා මෙන්ම ඉස්සන් හා කකුළුවන් විශේෂ කිහිපයක් ඇතුළු මත්ස්‍ය විශේෂ ගණනාවක් මෙම විෂ හේතුවෙන් මරණයට පත්ව තිබෙනු දක්නට ලැබේ.

මේ පිළිබඳ අප කළ වැඩිදුර සොයා බැලීමේදී අනාවරණය වූයේ අදාළ සැකකාර පුද්ගලයන් අතර මීට පෙර අවස්ථාවලදී ද පාරිසරික හානි සිදුකිරීම් සම්බන්ධයෙන් නීතිය හමුවට පමුණුවනු ලැබූවන් හා නීතිවිරෝධී මත්පැන් අලෙවි කරන්නන්ද සිටින බවයි.

ඒ අනුව මෙම විෂ මිශ්‍ර කිරීම් හේතුවෙන් සිදුව ඇති පාරිසරික හානිය පිළිබඳ අදහස් දක්වමින් ජලජ සම්පත් කළමනාකරණ සංවිධානයේ සභාපති ශාන්ත ජයවීර මහතා සඳහන් කර සිටියේ නීතිවිරෝධී ලෙස බදු ඉඩම්වල ගස් කැපීමක්ද මීට සමගාමීව සිදුව ඇති බවයි. “මෙය වැසි වනාන්තර ආශ්‍රිත ප්‍රදේශවලින් ලංකාවේ මේ වනවිට වැඩි වශයෙන් දිය පහරවල් ඉතිරිව ඇති ප්‍රදේශයක්. මිරිදිය විශේෂ 52ක් පමණ මෙහි දක්නට පුළුවන්. රණහින් ඇළ සහ ගොරොක්ගහ දොළ අවසානයේදී එක්වන්නේ මගුරු ගඟ. ඒ අනුව මෙම විෂ මගුරු ගඟට එකතු වෙනවා. මගුරු ගඟ ඉතා වටිනා ශ්‍රී ලංකාවට ආවේණික ජලජ ජීවීන්ගෙන් බහුල ප්‍රදේශයක්. ඉස්සන්, කූනිස්සන්, කකුළුවන් ඇතුළු තවත් මත්ස්‍ය විශේෂ 22ක් පමණ මේ වනවිට මියගොස් සිටිනවා. ඉන් 13ක්ම ශ්‍රී ලංකාවට ආවේණික විශේෂයි” යනුවෙන්ද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.

-නිදර්ශනී වික්‍රමසිංහ-

Thursday, February 13, 2020

CID, FCID ,SIU නඩු තාවකාලිකව නවත්වන්න - පොලිස්පතිගේ ඉල්ලීම නීතිපති ප්‍රතික්ෂේප කරයි



රහස් පොලීසිය, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකරනු ලැබූ විමර්ශන කටයුතු අගතිදායක අන්දමින් සිදුකොට ඇත්ද යන්න පිළිබඳ නහවුරු කරගන්නා තෙක් එම නඩු කටයුතු තාවකාලිකව බහා තබන්නැයි වැඩබලන පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයාගෙන් කළ ඉල්ලීම සම්බන්ධයෙන් පියවර ගැනීමට තමන්ට බලයක් නැතැයි නීතිපතිවරයා වැඩබලන පොලිස්පතිවරයාට ඊයේ (12දා) දැනුම් දුන්නේය. 

අධිකරණය ඉදිරියේ පවතින නඩුවක් අත්හිටුවිය හැක්කේ ඉහළ අධිකරණයක නියෝගයකින් බවත්, එය විධායක බලතලවලින් බැහැර කාරියක් වන බවත් වැඩ බලන පොලිස්පතිවරයාට දැනුම් දෙන නීතිපතිවරයා අධිකරණයක් ඉදිරියේ ඇති සිද්ධියක් සම්බන්ධයෙන් තහනම් නියෝගයක් නිකුත් කිරීමට හා නීතිපතිවරයාට නියෝග දීමට කොමිෂන් සභාවකට බලයක් නැති බවද වැඩිදුරටත් අවධාරණය කොට ඇත.

වැඩබලන පොලිස්පතිවරයා විසින් පෙබරවාරි මස 03 දාතමින් යුතුව නීතිපතිවරයා වෙත ලිපියක් යොමු කරමින් රහස් පොලීසිය, මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය සහ පොලිස් විශේෂ විමර්ශන ඒකකය විසින් සිදුකරනු ලැබූ විමර්ශන කටයුතු අගතිදායක අන්දමින් සිදු කොට ඇත්ද යන්න පිළිබඳ තහවුරු කරගන්නා තෙක් එම නඩු කටයුතු තාවකාලිකව බහා තබන්නැයි ඉල්ලමින් වැඩබලන පොලිස්පතිවරයා විසින් නීතිපතිවරයාට යොමුකළ ලිපියට පිළිතුරු සපයමින් නීතිපතිවරයා විසින් වැඩබලන පොලිස්පතිවරයාට
යොමු කළ ලිපියේ මෙසේද සඳහන් කොට ඇත.


"උක්ත කරුණ සම්බන්ධයෙන් ඔබගේ 2020.02.03 දිනැති ලිපිය හා බැඳේ. 

ඉහත ලිපියේ කරුණු කෙරෙහි මාගේ අවධානය යොමු වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් මුල සිටම නිරීක්ෂණය වන්නේ එහි සඳහන් සාක්ෂි මගින් තහවුරු වී නොමැති අතර, එකී කරුණු විමර්ශනයකටද භාජනය වී නැති බවයි.

තවද අධිකරණය ඉදිරියේ පවතින ක්‍රියාවලියක්, අත්හිටුවිය හැකි වනුයේ අධිකරණ නියෝගයකින් වන අතර, එවැනි කටයුත්තක් විධායක බලතලවලින් බැහැර කාර්යයක් වනු ඇති බවද දක්වමි. පරීක්ෂණ කොමිෂන් සභා පනත (393 අධිකාරය වූ) යටතේ විමර්ශනයකින් හෝ පරීක්ෂණයකින් අනතුරුව උද්ගත වී ඇති සිද්ධියක් සම්බන්ධයෙන් නිර්දේශ එකී සිද්ධිය හෝ කාරණය පවතින අධිකරණ ක්‍රියාවලියක් මගින් සලකා බලා එකී සිද්ධිය හෝ කාරණය මගින් එකී අධිකරණමය ක්‍රියාදාමයට අගතිගාමී බලපෑමක් සිදුවේද යන්න සලකා බැලීම සහ ඒ සම්බන්ධයෙන් සුදුසු නියෝගයක් දීම, අදාළ සිද්ධිය හෝ කාරණය පවතින අදාළ අධිකරණමය ආයතනය සතු වගකීමක් බව වැඩිදුරටත් දන්වමි.


එසේ හෙයින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 4 (ඈ) සමඟ කියවිය යුතු 105 ව්‍යවස්ථාව ප්‍රකාරව නීතියෙන් පිහිටුවන ලද යුක්තිය පසිඳලන ආයතනයකින් එවැනි නියෝගයක් නොමැති අවස්ථාවක, ඒ සම්බන්ධයෙන් වගකීමෙන් යුක්තව කටයුතු කර පැමිණිල්ලක් 
සම්බන්ධයෙන් අවශ්‍ය සියලු පියවර ගැනීමට මා සහ මා යටතේ කටයුතු කරන නිලධාරීන්ගේ කාර්යභාරයක් වන අතර, එම කාර්යයෙන් බැහැරව කටයුත්තක් කිරීමට මා හට හෝ මාගේ නිලධාරින්ගෙන් බැහැර කාර්යයක් වනු ඇත. 

තවද නීතියෙන් පිහිටුවන ලද යුක්තිය පසිඳලන අධිකරණයක් හා ආයතනයක් ඉදිරියේ පවතින සිද්ධියක් සම්බන්ධයෙන් තහනම් නියෝගයක් නිකුත් කිරීම හෝ එවැනි සිද්ධියක් සම්බන්ධයෙන් පැමිණිල්ල වෙනුවෙන් අවශ්‍ය කටයුතු කරගෙන යාම සම්බන්ධයෙන් නීතිපති වෙත නියෝගයක් නිකුත් කිරීමට 2008 අංක 16 දරන කොමිෂන් සභා පනතින් සංශෝධිත කොමිෂන් පරීක්ෂණ සභා පනත (393 අධිකාරය වූ) යටතේ කොමිෂන් සභාවට බලයක් නොපවතින බවද මින් සඳහන් කරමි.

තවද ඔබගේ ලිපියේ 03 වැනි ඡේදයේ සඳහන් කරුණු මාගේ F/33/2019 සමාංක සහ 2020.01.20 වැනි දින ලිපියේ සඳහන් කරුණු නිවැරදිව පිළිබිඹු කිරීමක් නොවන බවද මින් දන්වමි."

-මනෝප්‍රිය ගුණස්කර -

Wednesday, February 12, 2020

'චීනය ගැන විශ්වාසය තබන්න, කොරෝනා ගැන අනියත බියක් ඇතිකරගන්න එපා' - ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන්-



වීනයේ වුහාන් නගරය කේන්ද්‍ර කරගෙන පැතිර යෑමට පටන් ගත් නව කොරෝනා වෛරසය නිසා මේ වනවිට මියගිය සංඛ්‍යාව 1000කට අධිකය. මේ අතර මෙම වෛරසය පැතිර යාමත් සමග චීනය සමග සමීප මිත්‍රත්වයක් අති ශ්‍රී ලංකාව තුළද චීනය සම්බන්ධයෙන් විවිධ අදහස් පැතිර යන්නට පටන් ගැනුණි. විශේෂයෙන් ශ්‍රී ලංකාවේ චීන ආයෝජන වල සේවය කරන  චීන ජාතිකයන් සම්බන්ධයෙන් යම් ඍණාත්මක ආකාරයකින් බැලීමක්ද එම සැලකීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ චීන තානාපතිවරයාගේ දැඩි කනස්සල්ල පළ වූ බවද වාර්තා විය. මෙවැනි තත්ත්වයක් තුළ ශ්‍රී ලංකාව සහ චිනය අතර ඇති සම්බන්ධය සහ නව කොරෝනා වෛරසය සම්බන්ධයෙන් චීනය දක්වන ආකල්පය පිළිබඳ ශ්‍රී ලංකාවේ චීන තානාපති චෙංග් ෂියුආන් මහතා සමග සාකච්ඡා කළෙමු. මේ එහිදී අප යොමු කළ ප්‍රශ්න සඳහා නානාපතිවරයා ලබා දුන් පිළිතුරයි.

වුහාන් නගරය කේන්ද්‍ර කරගෙන පැතිර යන නව කොරෝනා වෛරසය මැඩලීමට චීනයට ඇති හැකියාව කොතරම්ද?

නව කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වීම වැළැක්වීම සඳහා වුහාන්හි දැඩි පියවර ගෙන තිබෙනවා. වුහාන්හි පිටවීමේ හා පිවිසුම් මාර්ග තාවකාලිකව වසා දමා තිබෙන්නේ ද ඒ නිසයි. වුහාන් පුරවැසියන්ට නිවසේ රැඳී සිටිමින් හැකිතාක් දුරට ගමන්වලින් වැළකී සිටින ලෙසට උපදෙස් දී තිබෙනවා. වුහාන්හි ආසාදිතයන්ගේ සංඛ්‍යාව අඛණ්ඩව වැඩිවීමට ප්‍රධාන වශයෙන් හේතුවක් වී ඇත්තේ සැකසහිත ලක්ෂණ ඇති පුද්ගලයන්
පවා ආසාදිතයන් මෙන් නැවත නැවත පරික්ෂාවට ලක්වීමයි.

මීට පෙර 2003දී සාර්ස් වෛරසය පැතිර ගිය අවස්ථාවේ එය මැඩලීමට චීනය සතුව තිබූ ශක්තිය සහ මේ අවස්ථාව වනවිට චීනයට ඇති ශක්තිය අතර වෙනස ඔබ පැහැදිලි කරන්නේ කෙසේද? 

නව කොරෝනා වෛරසය හෝ සාර්ස් වෛරසය වේවා ඒවා ජය ගැනීමට චීනයට පූර්ණ ශක්තිය තිබෙනවා. මීට වසර 17කට පෙර පැවැති වසංගතවලට එරෙහිව සටන් කළ අවස්ථාවේදී තිබූ හැකියාවට වඩා ඉතා විශාල හැකියාවක් වර්තමානයේදී චීනයට වසංගත සමග සටන් කිරීමට තිබෙනවා. අපට ඒ ගැන විශ්වාසයි.

ඔබ කියන්නේ චීනයේ වෛද්‍ය විද්‍යාවේ දියුණුව පිළිබඳ බාහිර ලෝකයට පූර්ණ විශ්වාසයක් තැබිය හැකි බවද?

ඇත්තවශයෙන්ම, ආත්ම විශ්වාසය රත්‍රන්වලටත් වඩා වටිනවා. පසුගිය දශක කිහිපය  තිස්සේ ඕනෑම දුෂ්කරතාවක් සෑම විටම පරාජය කිරීමට හැකියාව ඇති බව චීනය ඔප්පු කර පෙන්වූවා. මෙවරද එය එසේමයි. ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයෙසස් පසුගියදා පැවසුවේ චීනය මේ අවස්ථාවේදී ක්‍රියාකරන්නේ තම ජනතාව ආරක්ෂා කිරීමට පමණක් නොව මුළු ලෝකයේම ජනතාව ආරක්ෂා කිරීමට අවශ්‍ය ආකාරයට බවයි. ඔහුගේ විශ්වාසය වෙන්නේත් අප ගෙන ඇති පියවර මගින් වසංගතය ඵලදායී ලෙස පාලනය කිරීමට හැකි වනු ඇති බව හා මෙම තත්වය ජය ගැනීමට අපට හැකි වනු ඇති බවයි.

මම වෛරසය සම්බන්ධයෙන් පැතිරුණු ඇතැම් ප්‍රචාර නිසා බොහෝ ශ්‍රී ලාංකිකයන් අනවශ්‍ය භීතියකට පත්වනු අපට දැකගත හැකි වුණා, මේ ප්‍රචාර ගැන ඔබේ අදහස?

සමහර බටහිර මාධ්‍ය සත්‍ය කරුණු නොදැන කරුණු ඉදිරිපත් කිරීමට පුරුදු වී සිටිනවා. එයින් අනෙක් රටවල් කරදරයටත් බියටත් පත්වෙනවා. මම හිතන්නේ ශ්‍රී ලංකා ජනතාව ඒ ගැන හොඳින් දන්නවා. එබැවින්, එවැනි ප්‍රකාශ ගැන බිය වීමට කිසිඳු අවශ්‍යතාවක් නැහැ.

මම වෛරසය විනයේ ජීව අවියක් වශයෙන් වුහාන්හි පරීක්ෂණාගාරයක නිර්මාණය කළ එකක් බවත්, එය වැරදීමකින් නිදහස් වූ බවටත් විශාල අනාවරණයක් සිදු වුණා. මෙම අනාවරණය සම්බන්ධයෙන් චීනයේ ප‍්‍රතිචාරය කුමක්ද?

මහජනතාව හදිසි අවස්ථාවලට මුහුණදෙන සෑම අවස්ථාවකම කටකතා පැතිරෙනවා. මෙම ප්‍රශ්නයෙන් අහන 'ගොතන ලද කතාව' එවැනි සිද්ධියක තවත් එක් පුනරාවර්තනයක් පමණයි. චීන කියමනක් තිබෙනවා 'බුද්ධිමත් අය කිසි විටෙකත් කටකතාවලට රැවටෙන්නේ නෑ” කියලා. මෙම ප්‍රශ්නයට නිවැරදි පිළිතුර ලබාගැනීමට ශ්‍රී ලාංකික මිතුරන් බුද්ධිමත් බව මම විශ්වාස කරනවා.

මෙම හදිසි අවස්ථාවේ ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන්ට ඇතැම් ශ්‍රී ලාංකිකයන්ගෙන් සිදු වූ අකටයුතුකම් ගැන ඔබ කනගාටු වූ බව මාධ්‍ය වාර්තා පළ වුණා?

අතිගරු ජනාධිපති, ගරු අගමැති, ගරු කථානායක, ගරු සෞඛ්‍ය ඇමතිනී, ශ්‍රී ලංකා රජය සහ ශ්‍රී ලංකා සමාජයේ සියලුම අංශ මේ අවස්ථාව වනවිට චීනය වෙත දක්වන අවංක මිත්‍රත්වය මා මේ අවස්ථාවේදී අතිශය සංවේදීව අගය කරනවා. එයින් දෙරට අතර ඇති සැබෑ මිත්‍රත්වය ඔප්පු වූ බවයි මගේ අදහස. චීන රජය සහ ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාලය නව කොරෝනා වෛරසය පැතිරීම වැළැක්වීමට (ශ්‍රී ලංකාව තුළ) ගත හැකි සෑම පියවරක්ම ගෙන තිබෙනවා. සියලුම සංචාරක කණ්ඩායම් චීනයෙන් පිටතට යෑම කල් දමා තිබෙනවා. නිවාඩු සමයේ චීනයට ආපසු පැමිණි විදේශයන් වල සේවය කරන චීන ජාතිකයන්ට චීන රජය දන්වා සිටිනවා තම නිවෙස්වලම රැඳී සිටින ලෙසට ඔවුන් නැවත ශ්‍රී ලංකාවේ ව්‍යාපෘතිවල සේවය කිරීමට පැමිණෙන්නේ වසංගතය සමනය වීමෙන් පසුවයි.

මම ඔබට නැවතත් අවධාරණය කරන්නේ කරුණාකර චීනය ගැන විශ්වාසය තබන්න. අනියත බියක් ඇති කරගන්න එපා. 

මා විශ්වාස කරනවා සුළු පිරිසක් නොදැනුවත්වම සිදු කරන ක්‍රියා නිසා දීර්ඝකාලීන චීන-ශ්‍රී ලංකා මිත්‍රත්වයට හානියක් සිදු වී නැතැයි කියා?

ඇත්තවශයෙන්ම, ඔබ සමග මා සම්පුර්ණයෙන්ම එකඟයි. ඒ වගේම ඇතැම් ශ්‍රී ලාංකිකයන්ගේ නොසන්සුන් වීමද අපට තේරුම්ගත හැකියි. කෙසේ වෙතත්, විශේෂයෙන්ම චීනය වැනි සැබෑ මිතුරෙකුට එරෙහිව ප්‍රමාණය ඉක්මවා ක්‍රියා කිරීම බුද්ධිමත් ක්‍රියාවක් නෙවෙයි.

ශ්‍රී ලංකාවේ සිටින චීන ජාතිකයන් මේ අවස්ථාවේදී කටයුතු කළ යුතු ආකාරය ගැන ඔබ ඔවුන් දැනුවත් කර තිඛේද? මේ අවස්ථාවේ ඔවුන්ගේ ප්‍රතිචාර කෙබඳුද?

චීනය කියන්නේ වගකීමෙන් කටයුතු කරන රටක්. තානාපති කාර්යාලය ශ්‍රී ලංකාවේ සිටින සියලුම චීන ජාතිකයන්ට රෝග වළක්වාගැනීමට අවශ්‍ය සියලු ක්‍රියාමාර්ග අනුගමනය කරන ලෙසද නැවත ශ්‍රී ලංකාවට පැමිණීමෙන් පසුව දින 14ක් නිරෝධායන කටයුතුවල නිරත වෙන ලෙසත් අප දන්වා තිබෙනවා.

ශ්‍රී ලංකාවේ ශිෂ්‍ය ශිෂ්‍යාවන්ට උසස් අධ්‍යාපනය ලබා ගැනීමට වැඩිම ශිෂ්‍යත්ව ප්‍රමාණයක් ලබාදෙන්නේ චීනයයි. මේ අවස්ථාවේ ශ්‍රී ලංකාවට පැමිණි එහෙත්, තවදුරටත් වීනයේ අධ්‍යාපනය හැදෑරීමට නියමිත ශ්‍රී ලාංකික සිසුන්ට ඔබදෙන පණිවුඩය කුමක්ද?

ශ්‍රී ලංකාවේ සැබෑ මිතුරෙකු ලෙස චීනය සෑම විටම තමන්ගේ ශක්ති ප්‍රමාණයෙන් ශ්‍රී ලංකාවට උසස් අධ්‍යාපනය ඇතුළු විවිධ අංශවලින් සහයෝගය ලබාදීමට හා උපකාර කිරීමට උපරිම උත්සාහය දරා තිබෙනවා. මේ නිසා තමයි ශ්‍රී ලාංකික සිසුන්ට උසස් අධ්‍යාපනය සඳහා වැඩි අවස්ථාවක් ලබාදීමට චීනය කටයුතු කරන්නේ. මේ අවස්ථාවේදී චීනයේ ඉගෙන ගනිමින් සිටි සිසුන්ගේ අධ්‍යාපන කටයුතු යළිත් සාර්ථකව කරගෙන යෑමට අවශ්‍ය විධිමත් වැඩපිළිවෙළක් සැකසීමට චීන රජය සුදුසු පියවර ගන්නා බවට මට විශ්වාසයි. 

නව කොරෝනා වෛරසය පැතිරීම හේතුවෙන් චීන ආර්ථිකය කඩා වැටෙයිද?

වෛරසය චීන ආර්ථිකයට යම් දුරකට බලපෑම් එල්ල කරනු ඇති බව පැහැදිලියි. නමුත් එයට දැවැන්ත හානියක් කළ නොහැකියි. අපි 2003දී SARS වෛරසය පැතිරුණ අවස්ථාවේදී මෙවැනි අත්දැකීමක් ලබා තිබෙනවා. SARS වෛරසයෙන් පසුව චීන ආර්ථිකය ඉක්මනින් යථා තත්ත්වයට පත් වුණා. මේ නව කොරෝනා වෛරසය හේතුවෙන් ආර්ථිකයට ඇතිවන බලපෑම ඉක්මනින් යථා තත්ත්වයට පත්වෙනු ඇති.

-චානක චන්ද්‍රසේකර- 














Tuesday, February 11, 2020

පොහොට්ටු සන්ධානයට සම සභාපති තනතුරක් නම් කරන පුවත කටකතාවක් පමණයි - (රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන)



ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රමුඛ සන්ධානය සඳහා 'සම සභාපතිත්වයක් නම් කෙරෙනවා' යන්න හුදෙක් කටකතාවක් පමණක් වන බවත්, ඒ අනුව සිටිය හැකි එකම නායකයා ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු නායක මහින්ද රාජපක්‍ෂ මහතා පමණක් වන බවත් බලශක්ති රාජ්‍ය අමාත්‍ය රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය. 

හෙතෙම මේ බව පවසා සිටියේ, බත්තරමුල්ල, නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මුලස්ථානයේදී ඊයේ (10දා) පැවති මාධ්‍ය හමුවකට එක්වෙමිනි.

වෙනත් පක්‍ෂයන්හි නායකයන් පිළිබඳ තම පාර්ශවයට අදාළ නොවන බවද ඒ මහතා සඳහන් කර සිටියේය. කෙසේවුවද ලැබෙන ඕනෑම අභියෝගයකට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සුදානම් බවද පැවසූ රාජ්‍ය අමාත්‍යවරයා මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දක්වමින්,

"සම සභාපතිත්වය කියන්නේ හුදෙක් කටකතාවක් විතරයි. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ඉන්නේ එකම නායකයායි. ඒ මහින්ද රාජපක්‍ෂ මැතිතුමායි. වෙනත් පක්‍ෂවල නායකයන් ගැන අපට අදාළ නෑ. අභියෝගවලට අපි බය නෑ. 113 අපට කිසිම ප්‍රශ්නයක් නෑ. ඒ වගේම තමයි යහපාලන රජය අත්සන් කළ ගිවිසුම් අපි කිසිසේත්ම පිළිගන්නේත් නෑ.

එක්සත් ජාතික පක්‍ෂය ප්‍රමුඛ නව සන්ධානයට අපි නමක් යෝජනා කරනවා. ඒ තමයි 'එක්සත් ජාතික රට විනාශ කළ සන්ධානය' කියන නම. ලකුණ තමයි 'කොකා'. සැමටම කොකා පෙන්වූ පක්‍ෂය ලෙස ඒ නම අපි යෝජනා කරනවා. පාස්කු ප්‍රහාරය, මහ බැංකු කොල්ලය වගේ නැව් පිටින් ගිලපු අය ඒ කණ්ඩායමේ ඉන්නේ. සජිත් ප්‍රකාශ කළා බලය දීලා කකුලෙන් අදින්න එපා කියලා. ජනාධිපති වෙන්න බැරිවුණ සජිත්ට පුළුවන්ද අගමැති වෙන්න?" යනුවෙන් පවසා සිටියේය.

-නිදර්ශනී වික්‍රමසිංහ-