Showing posts with label local G6. Show all posts
Showing posts with label local G6. Show all posts

Tuesday, August 4, 2020

හිරගෙදරට කුඩු යවන්න හැදූ බළල් සංදේශයේ මොළකරුවා සොයා විමර්ශන



බළලකුගේ ගෙලෙහි බැඳ බන්ධනාගාරයට එවීමට සුදානම් කර තිබු හෙරොයින් ඇතුළු තහනම් හාණ්ඩ බොරැල්ල පොලිසියට බාර දී ඇතැයි බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම්) වන්දන ඒකනායක මහතා 'ලංකාදීප' යට ඊයේ (03) පැවසීය.

පටියක ආධාරයෙන් බළලාගේ ගෙලෙහි බැඳ තිබූ මෙම හෙරොයින් ඇතුළු තහනම් භාණ්ඩ සමග බළලා බන්ධනාගාර බුද්ධි අංශ නිලධාරියකු විසින් සොයාගනු ලැබුවේ ඉකුත් පළමු වැනිදාය. හෙරොයින් ග්‍රෑම් එකයි මිලි ග්‍රෑම් පහක ප්‍රමාණයක්, සිම් කාඩ් පත් දෙකක් සහ මෙමරි පත් දෙකක් ඉටි කවරයක ඔතා බළලාගේ ගෙලෙහි බැඳ තිබිය දී මෙලෙස සොයාගෙන තිබේ. 

මේ ආකාරයෙන් බළලකු උපයෝගී කර ගනිමින් බන්ධනාගාරය තුළට හෙරොයින් එවීමට සැලැස්වූයේ කවුරුන්ද යන්න සම්බන්ධයෙන් විශේෂ විමර්ශනයක් ද මේ වන විට බන්ධනාගාරයෙන් ආරම්භ කර ඇතැයි ද සඳහන් වේ.

එම අදාළ නඩු භාණ්ඩ මේ වන විට බොරැල්ල පොලිසියට භාර දී ඇති අතර බළලා බන්ධනාගාර භූමිය තුළ නිරුපද්‍රිතව සිටින බව ද බන්ධනාගාර කොමසාරිස් (මෙහෙයුම්) වන්දන ඒකනායක මහතා පැවසීය.

(නිමන්ති රණසිංහ)

Friday, July 31, 2020

ජන්ද වැඩ කළැයි ඕ.අයි.සීලා 2ක් ඉවතට

පක්ෂග්‍රාහී වැඩකළ පොලිස් ස්ථානාධිපතිවරුන් දෙදෙනකු එම තනතුරුවලින් ඉවත් කළ බව මැතිවරණ කටයුතු බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා පැවැසීය.

දෙදෙනා තනතුරුවලින් ඉවත් කරනු ලැබුවේ පොලිස් කොමිසමේ අනුමැතිය අනුව යැයි ද ඔහු කීය. මෙසේ තනතුරුවලින් ඉවත් කරනු ලැබ ඇත්තේ පොලොන්නරුව මූලස්ථාන ප්‍රධාන
පොලිස් පරික්ෂකවරයා හා ජාඇල පොලිස් ස්ථානාධිපතිවරයායි.  පොලොන්නරුව මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂකවරයා  පානදුර පොලිස් කොට්ඨාසයටත් ජාඇල පොලිස් ස්ථානාධිපතිවරයා පොලිස් මූලස්ථානයටත් මෙසේ මාරු කරනු ලැබ සිටිති.

මෙයට අමතරව, මැතිවරණ රාජකාරි කටයුතුවලදී පක්ෂග්‍රාහී කටයුතු කරන්නේ යැයි චෝදනා එල්ලවී ඇති පොලිස් නිලධාරින් තවත් 12 දෙනකුට විරුද්ධව විමර්ශන අරඹා තිබෙන බව ද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය. මේ චෝදනා එල්ලවී ඇත්තේ කල්මුණේ, සමන්තුරේ පුත්තලම හා කුරුණෑගල ඇතුළු ප්‍රදේශ කිහිපයක පොලිස් නිලධාරින් දොළොස් දෙනකුටයි.

ක‍්‍රියාකාරිව මැතිවරණ කටයුතුවලට සහභාගිවීමේ චෝදනාව  යටතේ අත්අඩංගුවට ගනු ලැබූ පොලිස් නිලධාරියකු වැඩ තහනමට ලක්කර ඇතැයිද ප්‍රියන්ත වීරසූරිය මහතා කීය. මේ අතර මැතිවරණ නීතිය කඩ කරන පොලිස් නිලධාරින්ට විරුද්ධව තරාතිරම නොබලා නීතිය ක්‍රියාත්මක කරන්නැයි - වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා අදාළ වීමර්ෂන අංශවලට උපදෙස් දී ඇත.

මැතිවරණ නීති කඩ කිරීමේ චෝදනා යටතේ 317 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි පොලිස් මැතිවරණ අංශයේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අශෝක ධර්මසේන මහතා පැවැසීය.

(සුජිත් හේවාජුලිගේ සහ ඉන්දිකා රාමනායක)

ජන්ද නීති කැඩූ අපේක්ෂකයෝ 6 ක් අත්අඩංගුවට

පාර්ලිමේන්තු මහ මැතිවරණයට අදාළව මැතිවරණ නීති උල්ලංඝනය කිරීම හා මැතිවරණ පැමිණිලිවලට අදාළව අපේක්ෂකයන් හය දෙනකු ඇතුළු 317 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මැතිවරණ බාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ප්‍රියන්ත වීරසුරිය මහතා පැවසීය.

මැතිවරණ පැමිණිලි හා මැතිවරණ නීති උල්ලංඝනය කිරිමේ පැමිණිලි 289ක් වෙනුවෙන් මෙම පිරිස අත්අඩංගුවට ගත් බව නියෝජ්‍ය පොලිස්පතිවරයා කීය. 

 පසුගිය ජනාධිපතිවරණයට සාපේක්ෂව මෙවර ප්‍රචණ්ඩ ක්‍රියා පැමිණිලි ප්‍රමාණය වැඩි වුවද 2015 වසරේ මහ මැතිවරණට සාපේක්ෂව ඒවා සියයට තිස්පහක පමණක් අඩුවක් දක්නට ලැබෙන බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා සඳහන් කළේය. ප්‍රචණ්ඩ ක්‍රියා අඩුවීමට හේතුව මැතිවරණය ප්‍රකාශයට පත් කළ දිනයේ සිටම ප්‍රචාරක කටයුතු සම්බන්ධයෙන් මැතිවරණ නීතිය අකුරටම ක්‍රියාත්මක කිරීම බවද ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයා පැවසීය.

ජනාධිපතිවරයාගේ, මැතිවරණ කොමිසමේ, ආරක්ෂක ලේකම්වරයාගේ උපදෙස් අනුව පොලිසියට කිසිදු බලපෑමක් නොමැතිව කටයුතු කිරීමට හැකි වූ බවද හෙතෙම කියා සිටියේය.

වාර්තා වූ පැමිණිලි අතර වැඩිම පැමිණිලි ඇත්තේ පොදුජන එක්සත් පෙරමුණට විරුද්ධව බවත් එවැනි පැමිණිලි 91 ක් වාර්තා වී ඇති බවත්, එක්සත් ජාතික පක්ෂයට විරුද්ධව පැමිණිලි 22ද, සමගි ජන බලවේගය පක්ෂයට එරෙහිව 44 ක්ද,
වෙනත් පක්ෂවලට එරෙහිව පැමිණිලි 45 ක්ද වශයෙන් මෙම පැමිණිලි ලැබී ඇති බවද පොලිසිය වැඩිදුරටත් පවසයි.

(ඉන්දිකා රාමනායක)

සම්පායෝගේ සොහොයුරාගෙන් පැය 5 ක ප්‍රකාශනයක් ගනී

වරෙන්තු ලැබ සිටින මීගමුව හිටපු බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතාගේ සොහොයුරු නෙරංජන් සම්පායෝ මහතාගෙන් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඊයේ (30) පැය පහක ප්‍රකාශයක් සටහන් කර ගත් බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. 

 මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ දූෂණ හා විෂමාචාර ක්‍රියා සම්බන්ධයෙන් වරෙන්තු ලැබ සිටින හිටපු මීගමුව බන්ධනාගාර අධිකාරි අනුරුද්ධ සම්පායෝ මහතා සම්බන්ධයෙන් කරුණු විමසීම සඳහා පැමිණෙන ලෙසට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කර තිබූ දැනුම්දීමකට අනුව නෙරංජන් සම්පායෝ මහතා ඊයේ (30) පෙරවරු 9.00ට පමණ අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණි බව පොලිසිය පවසයි. පැය පහක ප්‍රශ්න කිරීමෙන් පසුව පස්වරු 2.30ට පමණ නෙරංජන් සම්පායෝ මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශනයට ඒකකයෙන් පිටත්ව ගිය බවද පොලිසිය කියයි. 

නෙරංජන් සම්පායෝ මහතා වැඩ තහනමට ලක්ව සිටින පොලිස් පරීක්ෂකවරයකු වන අතර අනුරුද්ධ සම්පායෝ මහතාගේ වැඩිමහලු සහෝදරයා ද වෙයි. මෙම සිද්ධිය සම්බන්ධයෙන් අනුරුද්ධ සම්පායෝ මහතා අත්අඩංගුවට ගන්නා ලෙසට මීගමුව මහේස්ත්‍රාත් අධිකරණය වරෙන්තු නිකුත් කර ඊයේ (30) වන විට දින 10කි.

(නිමන්ති රණසිංහ)

අගතියට පත් පාර්ශවයක් ලෙස පෙනී සිටීමට ඕමල්පේ හිමියන් කළ ඉල්ලීම සලකා බැලීම ලබන 28 දා

ලක්ෂපාන වාලමලෙයි වතු යායේදි මන්දකට හසු වී මිය ගිය කළු කොටියා වෙනුවෙන් අගතියට පත් පාර්ශ්වයක් වශයෙන් පෙනීසිටීමට ශ්‍රී බෝධි රාජ පදනමේ සභාපති ආචාර්ය ඕමල්පේ සෝහිත හිමියන් සහ තවත් පාර්ශ්වයක් හැටන් මහේස්ත්‍රාත් අධිකරණයෙන් කළ ඉල්ලීම සලකා බැලීම ලබන මස 28 දින දක්වා කල් තැබීමට හැටන් දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් ජේ. ට්‍රොස්කි මහතා පෙරේදා (29) නියෝග කළේය.

ශ්‍රී බෝධිරාජ පදනම වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනුර මැද්දේගොඩ මහතා කරුණු ඉදිරිපත් කරමින් මෙම නඩුවේ අගතියට පත් පාර්ශ්වයක් වෙනුවෙන් නඩුවට පෙනීසිටීමට අවසර ලබා දෙන්නැයි ඉල්ලා සිටියේය. 

2020.05.26 දින ලක්ෂපාන වාලමලෙයි වතු යායේ එළවළු වගා භූමියක වතු කම්කරුවකු විසින් අටවා තිබූ මන්දකට හසු වී පැන්තරා පාදුස් වර්ගයේ ශ්‍රී ලංකාවට පමණක් ආවේනික වූ දුර්ලභ ගණයේ කඳුකර කළු කොටියකු මියයාම සම්බන්ධයෙන් නල්ලතන්නිය වනජීවී කාර්යාලය මගින් හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ කර තිබූ පැමිණිල්ලක් පෙරේදා කැඳවූ අවස්ථාවේ ශ්‍රී බෝධි රාජ පදනම සහ පාරිසරික සහ සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානය අධිකරණය හමුවේ පෙනීසිටිමින් හැටන් දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ.ට්‍රොස්කි මහතා ඉදිරියේ කරුණු ඉදිරිපත් කළේය. 

පාරිසරික සහ සංස්කෘතික අධ්‍යයන මධ්‍යස්ථානය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුජීව ජාසිංහ මහතා කියා සිටියේ මෙම නඩුවට අදාළ දිවියා සම්බන්ධයෙන් 1982 අංක 12 දරන පොදු දේපළට අදාළ වැරැදි පිළිබඳ පනතේ සහ එහි සංශෝධනවල ප්‍රතිපාදන උල්ලංඝනය කිරීම සම්බන්ධවද විමර්ශන සිදුකර චෝදනා ගොනු කළ යුතු බවත්, දිවියාගේ වටිනාකම පිළිබද තක්සේරු වාර්තාවක් කැඳවීම සහ එයට අදාළ විමර්ශනයක් සිදුකරන ලෙසට වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂකවරයාට නියෝගයක් නිකුත් කරන ලෙසත්ය.

දෙපාර්ශ්වයේම කරුණු සලකා බැලු හැටන් මහේස්ත්‍රාත් අධිකරණයේ දිසා විනිසුරු සහ මහෙස්ත්‍රාත් ජේ. ට්‍රෝස්කි මහතා විවෘත අධිකරණය හමුවේ පැවසුවේ දෙපාර්ශ්වයම කඳුකර කොටියා ආරක්ෂා කර ගැනීමට හෝ මදු අටවන අය දැනුවත් කිරීමට හෝ වන සතුන් ආරක්ෂා කර ගැනීමට යම් ව්‍යාපෘතියක් මීට ප්‍රථම මෙම අධිකරණ බල ප්‍රදේශයේ ක්‍රියාත්මක කර ඇතිද යන වගයි. 

 මෙහිදී අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටි නීතිඥයන් මහේස්ත්‍රාත්වරයා හමුවේ පැවසුවේ මේ සදහා ව්‍යාපෘතියක් සකස් කර ඇති බවත්, එය ඉදිරියට ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවත්ය. 

දෙපාර්ශ්වයේ කරුණු විමසා බැලූ මහේස්ත්‍රාත්වරයා මෙම නඩුවට සම්බන්ධ අගතියට පත් පාර්ශ්වය වෙනුවෙන් පෙනීසිටීමට නියෝගයක් ලබා දීම ලබන 2020 ඔක්කතෝබර් 28 දිනට කල් තැබූ අතර, ඊට ප්‍රථම මේ සම්බන්ධයෙන් කරුණු තිබේ නම් ලිඛිතව අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස නියෝග කළේය.

(නෝර්වුඩ් රංජිත් රාජපක්ෂ)

ජන්දය ගණින්නේ දිනකට පසුව නිසා මනාප වංචා සිදුවෙන්න පුළුවන්

මෙවර පාර්ලිමේන්තු මහ මැතිවරණයේ ඡන්ද ගණන් කිරිම සිදුවන්නේ ඡන්ද විමසීමෙන් දිනකට පසුව නිසා මනාප වංචා සිදුවිය හැකි බැවින් ඡන්ද ගණන් කිරිමේ මධ්‍යස්ථානවලට සි. සි.ටී.වී කැමරා සවිකරන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය මැතිවරණ කොමසාරිස්වරයාගෙන් ඉල්ලීමක් කරයි.

ප්‍රතිඵල ගණන් කිරීම දිනක් ප්‍රමාදවීම නිසා මනාප ප්‍රතිඵල විකෘතිවීමේ අවදානමක් ඇති බැවින් හා, එක් අයෙකුගේ මනාප තවත් අයකුට දමා ගණන් කිරීම වැනි ක්‍රියා අතීතයේදී ද සිදුවූ බැවින් එවැන්නක්වීම වළක්වා ගැනීමට උපරිම ක්‍රියාමාර්ග ගන්නැයි ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ නීතිඥ සංගමය මැතිවරණ කොමසාරිස්වරයාට ලිපියක් යොමු කරමින් ඉල්ලීමක් කර තිබේ.

ශ්‍රී ලංකා නිදහස් නීතිඥ සංගමයේ ලේකම් නීතිඥ කොග්ගල වෙල්ලාල බන්දුල මහතාගේ අස්සනින් මැතිවරණ කොමසාරිස්වරයා වෙත මෙම ලිපිය යොමුකර ඇත.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ මූලස්ථානයේදී ඊයේ (30) පැවැති මාධ්‍ය හමුවක් අමතමින් නීතිඥ වෙල්ලාල බන්දුල මහතා පැවසුවේ මෙවර මැතිවරණයේදී ප්‍රචණ්ඩ ක්‍රියාවල කැපීපෙනෙන අඩුවක් දක්නට ලැබෙන බවයි.
2001 මහ මැතිවරණයේදී මරණ 81 ක් හා 2015 දී මරණ 4 ක් වාර්තා වූ බව ද ඔහු සඳහන් කළේය.
මෙවර මැතිවරණ ප්‍රතිඵලය ද ඉතා සාධාරණ අයුරින් ලබාදෙනු ඇතැයි අපේක්ෂා කරන බව ඔහු කීවේය.

ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උප සභාපති මහාචාර්ය රෝහණ ලක්‍ෂ්මන් පියදාස මහතා එහිදී අදහස් දක්වමින් පැවසුවේ ගෝඨාභය රාජපක්‍ෂ මහතාගේ ජයග්‍රහණය වඩාත් තහවුරු කිරීමට නම් යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩනැගිය හැකි පිරිසක් පාර්ලිමේන්තුවට යැවීමට ජනතාව කටයුතු කළයුතු බවයි.

ඡන්ද ගණන් කිරීමේ මධ්‍යස්ථානවලට පොහොට්ටුව ලකුණ නියෝජනය කරමින් යන්නේ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නියෝජිතයන් පමණක් ද යනුවෙන් මෙහිදී මාධ්‍යවේදියකු නැගූ පැනයකට පිළිතුරු දෙමින් රෝහණ ලක්‍ෂමන් පියදාස මහතා පැවසුවේ ඒවාට යන්නේ කවුරුන්ද යන්න මේ වනවිට සාකච්ඡා වෙමින් තිබෙන බවයි.

මැතිවරණ වේදිකාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂ අපේක්‍ෂකයන්ට අපහාස කරන අයට මැතිවරණයේදී ඡන්දදායකයන් පිළිතුරු දෙනු ඇතැයි ද හෙතෙම කීවේය.

(ඩයනා උදයංගනී)

Thursday, July 30, 2020

ක්‍රිකට් උපසභාපති මතිවානන් ඉල්ලා අස්වෙයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපතිවරයෙකු ලෙස කටයුතු කළ කේ. මතිවානන් මහතා සිය ඉල්ලා අස්වීම ඊයේ (29දා) ක්‍රිකට් ආයතනය වෙත සහ ක්‍රීඩා අමාත්‍ය ඩලස් අලහප්පෙරුම මහතා වෙත යොමු කර තිබේ. මීට අමතරව ඔහු ක්‍රීඩා අමාත්‍යාංශ ලේකම් කේ.ඩී.එස්. රුවන්චන්ද්‍ර මහතාටද ඔවුන්ගේ ඉල්ලා අස්වීම යොමු කර ඇති බව අනාවරණය වේ.

ක්‍රිකට් ආයතනයේ පසුගිය කාලය පුරාවට සිදුවූ මුල්‍ය ගනුදෙනුවල විනිවිදභාවය ප්‍රශ්න කරමින් මතිවානන් මහතා උපසභාපති ධුරයෙන් ඉවත්ව ඇත. ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති ධුරයෙන් ඉල්ලා අස් වූ කේ. මතිවානන් මහතා වෙනුවට හිටපු සභාපතිවරයෙකු වන ජයන්ත ධර්මදාස මහතා පත් කිරීමට ඊයේ (29දා) සවස රැස්වූ ක්‍රිකට් විධායක කමිටුව පියවර ගෙන තිබේ. 

 සිය ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් මතිවානන් මහතා පෙන්වා දෙන්නේ විධායක කමිටු තීරණ සටහන් තැබීම්වල ඔහු නගන විරෝධතා හෝ අදහස් ඇතුළත් නොවීම හරහා ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඔහු උපයාගත් ඉහළම කීර්තිනාමයට හානි කරගැනීමට තවදුරටත් සුදානම් නොමැති බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ උපසභාපති ධුරයෙන් ඉල්ලා අස්වීම සම්බන්ධයෙන් ඔහු නිකුත් කළ මාධ්‍ය නිවේදනයේ වැඩිදුරටත් මෙසේ සඳහන් වේ.

"ශ්‍රී ලංකා ක්‍රිකට් ව්‍යවස්ථාවට අනුව ප්‍රධාන උපසභාපතිවරු දෙදෙනාගේ මූලික වගකීම් අතර ජාත්‍යන්තර ක්‍රිකට් හා දේශීය ක්‍රිකට් යන අංශ මෙහෙයවීමේ සම්ප්‍රදායක් පැවැති නමුත් වර්තමානයේ මට කිසිදු වගකිවයුතු කටයුත්තක් ලබා නොදීම හේතුවෙන් වත්මන් පරිපාලනය මා හුදෙකලා කර ඇත. මාව ක්‍රිකට් පරිපාලනයේ ප්‍රධාන ධාරාවෙන් ඉවත් කර ඇති බව මට වැටහී තිබිණි. 

එමෙන්ම විධායක කමිටුව තුළ මෙන්ම කළමනාකරණ කමිටුව තුළද විවාදයට තුඩුදෙන ඇතැම් මුල්‍ය ගනුදෙනු සහ සාකච්ජා වන කරුණු සම්බන්ධයෙන් මා නගන විරෝධයන් හා අදහස් දැක්වීම් වත්මන් පරිපාලනය දැඩි සේ නොසලකා හරින බව කිව යුතුය. විධායක කමිටු තීරණ සටහන් තැබීමිවල මා නගන විරෝධතා හෝ අදහස් ඇතුළත් නොවීම හරහා අනාගතයේදී මේ සිදුවන ක්‍රියාවලිය තුළ ක්‍රිකට් ක්‍රීඩාවෙන් මා උපයාගත් ඉහළම ධනය වන මගේ කීර්තිනාමයට හානි කරගැනීමට මා තවදුරටත් සුදානම් නැත.

සාකච්ඡා වන කරුණු ඇතුළත් ලිපි ලේඛන විධායක කමිටු රැස්වීම්වලට සැලකිය යුතු කාල සීමාවකට පෙර ලබා දිය යුතු නමුත් එය මෙතෙක් සිදු වී නොමැත. ඒ හරහා ඇතැම් කරුණු පිළිබඳ තොරතුරු සොයා බැලීමට හා අදහස් දැක්වීමට ලැබෙන කාලය සීමාවීම වත්මන් පරිපාලනයේ විනිවිධභාවය පිළිබඳ ගැටලු මතු කරන්නකි.

සැමවිටම ක්‍රිකට් ක්‍රීඩාවේ ඉදිරි අනාගතය වෙනුවෙන් අවංකවම කටයුතු කළ මා හට හෘදසාක්ෂියට එකඟව තවදුරටත් වත්මන් ක්‍රිකට් පරිපාලනය තුළ රැදී සිටිය නොහැකි තත්ත්වයක් උදාවී ඇත. මෙරට ක්‍රිකට් ක්‍රීඩාවට පණ මෙන් ආදරය කළ මා හට ක්‍රිකට් ක්‍රීඩාව හේතුවෙන් ලැබුණු දේ මෙන්ම, අහිමි වූ දේද බොහෝය. ඒ සියල්ල උපේක්ෂා සහගතව විඳදරාගත් මා දැන් සිටින්නේ තීරණාත්මක මොහොතකය. ඒ අනුව වත්මන් ක්‍රිකට් උපසභාපති  තනතුරට සමුදීම හැරෙන්නට අන් විකල්පයක් මේ අවස්ථාවේ මට නොපෙනේ. එබැවින් වත්මන් ක්‍රිකට් පරිපාලනයේ තනතුරුවලට සමුදීමට තීරණය කළෙමි. යම්කිසි දිනෙක මෙරට ක්‍රිකට් ක්‍රීඩාව වෙනුවෙන් සැබෑ ගෙරවණීය සේවාවක් ඉටුකළ හැකි දිනයක් උදාවුවහොත් ඒ වගකීම භාරගැනීමට මා සුදානම්ය.”

(පැතුම් ශ්‍රී විජේරත්න)

විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් 12,000කට රැකියා අහිමියි.

විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ ලියාපදිංචි වී රැකියා සඳහා විදෙස්ගත වී සිටින ශ්‍රී ලාංකිකයන් 12,000කට ආසන්න පිරිසකට මේ වනවිට රැකියා අහිමි වී ඇතැයි වාර්තා වන බව ශ්‍රී ලංකා විදේශ සේවා නියුක්නි කාර්යාංශය පවසයි.

එමෙන්ම කොන්ත්‍රාත් කාලය අවසන් වූ ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් 30,000කට අධික පිරිසක් සිටින බවද විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක, නියෝජ්‍ය සාමාන්‍යධිකාරී මංගල රන්දෙණිය මහතා පැවසිය.

"අද'' කළ විමසීමකදී ඔහු වැඩිදුරටත් පවසා සිටියේ විදෙස්ගත පුද්ගලයන් ලබාදුන් තොරතුරු අනුව මෙම දත්ත ලබා ගැනීමට හැකි වූ බවයි. ජෝර්දානයේ රැකියා විරහිතව සිටි ශ්‍රී ලාංකිකයන් පිරිසකට එරට පොලීසිය පහරදීමේ සිදුවීමේ නවතම තත්වය පිළිබඳ අප කළ විමසීමේදී රන්දෙණිය මහතා පවසා සිටියේ, ඔවුන් පිළිබඳ නිරන්තර සොයා බැලීම් එරට තානාපති කාර්යාලය හරහා සිදු කරන බවත්, මේ වනවිට ඔවුන් ආරක්ෂිතව සිටින බවත්ය.

ඩුබායිහි අපහසුතාවට පත්ව සිටින ශ්‍රී ලාංකික ශ්‍රමිකයන් පිළිබඳවද නිරන්තර සොයා බැලීම් සිදු කරන බවත්, ඔවුන්ගෙන් පිරිසක් හෙට (31දා), අනිද්දා (01) යන දෙදින තුළ මෙරටට ගෙවීමට විදේශ සබඳතා අමාත්‍යාංශය කටයුතු සුදානම් කරමින් සිටින බවත් රන්දෙණිය මහතා කියා සිටියේය.

(නවෝද්‍ය පවනි)

අපරික්ෂාකාරී බස්, ටිපර්, කන්ටේනර් රථ මඟින් මරණයක් වුණොත් ප්‍රවාහන බලපත්‍ර අහෝසියි

අපරීක්ෂාකාරී ලෙස බස් රථ, ටිපර් රථ හා කන්ටේනර් රථ මගින් සිදුවන අනතුරුවලදී පුද්ගල මරණ සිදුවුවහොත් රියැදුරුට නීතිය ක්‍රියාත්මක කිරීමට අමතරව ප්‍රවාහන බලපත්‍ර අහෝසි කිරීමට අදාළ
නෛතික ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මූලස්ථානය සඳහන් කරයි. 

මේ අනුව වැඩබලන පොලිස්පතිවරයා විසින් ඊයේ (29දා )මේ පිළිබඳව සියලුම පොලිස් ස්ථානවලට උපදෙස් ලබාදුන් බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී නීතිඥ ජාලිය සේනාරත්න මහතා සඳහන් කළේය. මෙවැනි අනතුරු සිදු වූ පසු රියැදුරට නෛතික පියවර ගැනීමට අමතරව තරඟකාරී ලෙස, අනතුරුදායක ලෙස මාර්ගය ධාවනය කිරීමේදී පුද්ගලයන් මියගියහොත් බස් රථවල මාර්ග බලපත්‍ර අහෝසි කිරීම සඳහා අදාළ බලධාරීන් වෙත නෛතිකව කරුණු ඉදිරිපත් කර අදාළ කටයුතු කරන ලෙසට උපදෙස් ලබාදුන් බවද ඒ මහතා පවසා සිටියේය.

මෙම තීරණය ගැනීම සඳහා පසුගිය වසර පහක් තුළ සිදු වූ අය අනතුරු පිළිබඳව සොයා බැලූ බවත්, 2015 වසර සැලකීමේදී මාරක රිය අනතුරු දෙදහස් හයසීයක් සිදුව තිබෙන බවත්, මෙහිදී ලංගම බස් රථ හැටපහක් හා පුද්ගලික බස් රථ එකසිය හැත්තෑ හතක් මාරක රිය අනතුරු සිදුකර තිබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

මේ අනුව සමස්ත මාර්ග අනතුරුවලින් 10% ප්‍රමාණයක් බස් රථවලින් සිදුව තිබෙන බවත්, 2016 වර්ෂයේදී දෙදහස් අටසිය තිස් හතක් මාරක රිය අනතුරු සිදුව තිබෙන අතර, මෙහිදී ලංගම බස් රථ අනූ දෙකකින් හා පෞද්ගලික බස් රථ එකසිය හැට හතරකින් මාරක රිය අනතුරු සිදුව තිබෙන බවත් ඒ මහතා පැවසීය. ප්‍රතිශතයක් ලෙස එය ආසන්න වශයෙන් 9%ක් බවද හෙතෙම පවසා සිටියේය. 

2017 වසර සැලකීමේදී මාරක අනතුරු දෙදහස් නවසිය හැටපහක් සිදුව තිබෙන බවත්, මෙහිදී පෞද්ගලික බස් රථ එකසිය අනු හතරකින් හා ලංගම බස් රථ. පනස් නවයකින් මාරක අනතුරු සිදුව තිබෙන බවද ඒ මහතා සඳහන් කළේය. එය ප්‍රතිශතයක් ලෙස 8.5%ක ප්‍රතිශතයක් බවද ඒ මහතා පවසා සිටියේය.

2018 වසර සැලකීමේදී මාරක රිය අනතුරු දෙදහස් නවසිය අනූ හතරක් සිදුව තිබෙන බවත්, ලංගම බස් රථ හැට එකකින් හා පෞද්ගලික බස් රථ දෙසිය තිස් නවයකින් මාරක රිය අනතුරු සිදුව තිබෙන අතර, එය ප්‍රතිශතයක් ලෙස 10%ක ප්‍රමාණයක් බවද ඒ මහතා සඳහන් කළේය. 2019 වසරේදී මාරක රිය අනතුරු දෙදහස් හයසිය අසූ අටක් සිදුව තිබෙන බවත්, ලංගම බස් රථ තිස් හතරකින් හා පුද්ගලික බස් රථ එකසිය අසූ හතරකින් මාරක රිය අනතුරු සිදුව තිබෙන බවත්, එය ආසන්න වශයෙන් රිය අනතුරුවලින් 8%ක ප්‍රමාණයක් බවත් ජාලිය සේනාරත්න මහතා පවසා සිටියේය.

දල වශයෙන් සැලකීමේදී 10%ක ප්‍රමාණයක් අනතුරු සිදුවනුයේ බස්රථවලින් බවත්, මේ අනුව රිය අනතුරු සිදුකරන බස්රථ රියැදුරන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරනවා සේම ප්‍රවාහන බලපත්‍ර අවලංගු කිරීම සඳහා නෛතික පියවර ගන්නා බවද ඒ මහතා සඳහන් කළේය.

මීට අමතරව ගෙවී ගිය වසර පහක කාලය සැලකීමේදී සිදුවූ මාරක අනතුරුවලින් එක්දහස් අටසිය හතළිස් පහක් සිදුව තිබෙනුයේ ටිපර් රථ හා කන්ටේනර් රථවලින් බවත්, මෙවැනි අනතුරු සිදුකරනු ලබන්නේ බර වාහන නොසැලකිලිමත් ලෙස අපරීක්ෂාකාරී ලෙස ධාවනය කිරීම තුළින් බවත් ඒ මහතා පවසා සිටියේය.

මේ නිසා අන්තරාදායක ලෙස රිය අනතුරු සිදුකරන වාහනවල රියැදුරන්ට නීතිය ක්‍රියාත්මක කිරිමට අමතරව අදාළ වාහනවලට ලබාදී තිබෙන ව්‍යාපාරික බලපත්‍ර අවලංගු කිරීම සඳහා අවශ්‍ය නෛතික ක්‍රියාමාර්ග ගන්නා බවද ඒ මහතා පවසා සිටියේය.

(ඉන්දික හේවාවිතාරණ)

සමාජ මාධ්‍ය විසින් ඉවත්කළ මැලේරියා එන්නත ගැන වීඩියෝව වෙනුවෙන් ට්‍රම්ප් පෙනී සිටියි.

නව කොරෝනා වෛරසය ආසාදනය වූ රෝගීන් සඳහා ලබා නොදිය යුතු බවට සඳහන්ව ඇති හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් හෙවත් මැලේරියා ඖෂධය සම්බන්ධයෙන් ඉදිරිපත්ව ඇති වීඩියෝවක් සමාජ මාධ්‍ය තුළින් ඉවත් කිරීමට කටයුතු යෙදීම සම්බන්ධයෙන් ව්‍යාජ කෝපයට පත්ව ඇතැයි වාර්තා වෙයි. 

 මෙම විඩියෝව හරහා අනුමත නොවූ ඖෂධයක් ප්‍රවර්ධනය කරන බවත්, එය වැරැදි තොරතුරු ජනතාව අතරට යාම සඳහා වැඩි ඉඩක් පවතින බවත් පවසමින් ට්විටර්, ෆේස්බුක් සහ යුටියුබ් යන සමාජ මාධ්‍ය තුළ මෙම වීඩියෝව සංසරණය වීම නවත්වා තිබේ. 

කෙසේ වෙතත් මෙම මැලේරියා ඖෂධය නව කොරෝනා වෛරසය ආසාදිත පිරිස් සඳහා ලබාදිය හැකි ප්‍රතිකාරයක් බව යළි යළිත් පවසා සිටියි. ඒ අනුව වෛද්‍ය කණ්ඩායම් කිහිපයකගේද අදහස් ඇතුළත් මෙම වීඩියෝව ප්‍රසිද්ධියට පත්විය යුතු බව ඔහු පවසා ඇත.

"මම හිතන්නේ ඔවුන් පිළිගැනීමක් සහිත වෛද්‍යවරුන්. ඔවුන් මේ ඖෂධය ගැන විශ්වාස කරනවා. ඒ වගේම මේ වීඩියෝවේ ඒ ඖෂධය ලබාගත්ත කාන්තාවකුත් ප්‍රකාශයක් සිදු කරනවා." ට්‍රම්ප් එලෙස පවසා ඇත.

 එහෙත් මෙම වීඩියෝවේ සිටින වෛද්‍යවරුන් සියලු දෙනාම ඇමරිකාවේ පෙරමුණගත්
වෛද්‍යවරුන් නම් සංවිධානයක සාමාජිකයන් බව පැවසෙයි. එසේම ඔවුන් ට්‍රම්ප් හිතවාදී දේශපාලන ක්‍රියා කමිටුව වෙත අරමුදල් රැස් කිරීමේ නිරත වන බවත් අනාවරණය වී තිබේ.

ජනපති ට්‍රම්පිට අමතරව ඔහුගේ පුත්‍රයා වන කණිෂ්ට ඩොනල්ඩ් ට්‍රම්ස් සිය ට්විටර් ගිණුම හරහා මෙම
වීඩියෝව ප්‍රසිද්ධියට පත් තිබුණි. කෙසේ වෙතත් වහා ක්‍රියාත්මක වූ ට්විටර් සමාගම ඔහුගේ ගිණුම පැය 12ක කාලයකට අක්‍රියකර තැබීමටද පියවර ගෙන තිබේ. මෙම වීඩියෝව හරහා සිය සමාජ මාධ්‍ය ජාලයේ ඇති COVID-19 සම්බන්ධ වැරදි තොරතුරු ප්‍රසිද්ධියට පත් නොකිරිමේ ප්‍රතිපත්තිය උල්ලංඝනය කරන බව සමාගම සඳහන් කර තිබේ. 

 මේ අතර, ජනපති ට්‍රම්ප් පවා මීට පෙර නිකුත් කළ නිවේදනයකට අනුව ඔහුද ආසන්න කාලසීමාවේදී මෙම හයිඩ්‍රොක්සිලෝරොන් ඖෂධය දෛනිකව ලබාගන්නා බව පවසා ඇත. එහිදී සිය වෛද්‍යවරුන් එම ඖෂධය නිර්දේශ කර ඇතැයි ඔහු සඳහන් කර තිබුණි. කෙසේ වෙතත් එරට ප්‍රධාන වෛද්‍යවිශේෂඥයන් මෙම ඖෂධය භාවිතය සුදුසු නොමැති බව අවධාරණය කර සිටියි.

"මෙම හයිඩ්‍රොක්සික්ලෝරොක්වින් ඖෂධය සායනික අත්හදා බැලීම් සඳහා යොදාගැනීම සම්පුර්ණයෙන්ම නවත්වන්න කියන්නේ. මොකද මේ ඖෂධයෙන් කොරෝනා වෛරසයට එරෙහිව කිසිදු බලපෑමක් එල්ල කරන්නේ නැහැ.එක්සත් ජනපදයේ අසාත්මිකතා සහ බෝවන රෝග පිළිබඳ ආයතනයේ ප්‍රධානී වෛද්‍ය ඇන්තනි ෆවුසිද වරෙක පවසා තිබුණි.

බැසිල්ට පොලිස් ආරක්ෂාව ඉල්ලයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙහි ජාතික සංවිධායක, බැසිල් රාජපක්ෂ මහතාට පොලිස් ආරක්ෂාව ලබාදෙන
ලෙසට පොලිස්පතිවරයාගෙන් ඉල්ලා සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා පැවසීය.

ඔහු මේ බව පවසා සිටියේ බත්තරමුල්ල, නෙළුම් මාවතෙහි පිහිටි ශ්‍රී ලංකා පොදුජන පෙරමුණු මුලස්ථානයේදී ඊයේ (29දා) පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

බැසිල් රාජපක්ෂ මහතා දේශපාලනයෙන් ඉවත් කිරීම සඳහා කුමන්ත්‍රණයක් දියත් වන බවත්, ඒ අනුව ඒ මහතාට ජීවිත තර්ජනයක් ඇති විය හැකි බවත් පෙන්වා දුන් ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා එහිදී පොලිස් ආරක්ෂාව අවශ්‍ය වන බවද කීය. මාධ්‍ය හමුවේදී වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් යාපා අබේවර්ධන මහතා, 

 "ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ පසුගිය කාලයේ මැතිවරණ ජයග්‍රහණයේ පසුබිම තුළ ක්‍රියාකළ බැසිල් රාජපක්ෂ මහතා දේශපාලන භූමියෙන් ඉවත් කිරීමේ කුමන්ත්‍රණයක් සිදුවෙනවා. හිටපු ඇමතිවරයෙකු මෙන්ම විදේශීය රටවල් සමග සබඳකම් ඇති ශ්‍රී ලාංකිකයෙකු හා තවත් දෙදෙනෙකු කොළඹ තරු පහේ හෝටලයක සාකච්ඡා කරලා තියෙනවා. 2/3ක බලයක් ලබා ගන්න සම්පුර්ණ පසුබිම් වූ බැසිල් රාජපක්ෂ කෙසේද ඉවත් කරන්නේ කියලා සාකච්ඡා කරලා තියෙනවා. ඒ සම්බන්ධයෙන් තොරතුරු අප වෙත ලැබී තිබෙනවා. අද දිනයේ එම කරුණු පරික්ෂණ සඳහා පොලිස්පතිතුමාට ලබාදෙන බව කියන්න ඕන.  

ඒ හිටපු ඇමතිවරයා කියලා තියෙනවා බැසිල් රාජපක්ෂ කියන චරිතය දේශපාලන භූමියෙන් ඉවත් කරලා දානකම් බලයට එන්න බැරිවෙයි කියලා. එහෙම වුණොත් මේ රාජපක්ෂවරු අවුරුදු ගණනාවක් මේ පාලන බලයේ හිඳීවි කියලා. විපක්ෂයක් හැටියට ගොඩඑන්න බැරි වෙන එක එහිදී සාකච්ඡා කරලා තියෙනවා. අද දිනයේ සිදුකරනු ලබන පැමිණිල්ලට අමතරව බැසිල් රාජපක්ෂ මහතාට ආරක්ෂාව සපයන්න කියලා කියනවා, සමහර විට ජීවිතයට පවා තර්ජනයක් විය හැකියි. බැසිල් රාජපක්ෂ මහතා ඉවත් කරන කුමන්ත්‍රණ කරලාම බැහැ. එතුමා උපක්‍රමශීලී දේශපාලනඥයෙක්. ඔහුව ඉවත් කරන්න නම් ජීවිත හානියක් කළ යුතුයි. පැමිණිල්ල කළ විගස පොලිස්පතිතුමාට කියා සිටිනවා විශේෂයෙන්ම පොලිස් ආරක්ෂාව ලබාදෙන්න කියලා” යැයිද පැවසීය.

(නිදර්ශනී වික්‍රමසිංහ)

Wednesday, July 29, 2020

රාජසභා මණ්ඩපය කඩා ඉවත් කිරීම: කුරුණෑගල නගරාධිපති අත්අඩංගුවට ගන්න

කුරුණෑගල නගර මධ්‍යයේ පවතින ඓතිහාසික බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය කඩා ඉවත් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා අත්අඩංගුවට ගෙන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කරන ලෙසත් , එම සිද්ධිය සම්බන්ධයෙන් නිසි පරික්ෂණයක් පවත්වා නීතිය ක්‍රියාත්මක කරන ලෙස වැඩබලන පොලිස්පතිවරයා ඇතුළු බලධාරින්ට නියෝග කරන ලෙසත් ඉල්ලා ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂක නාමල් කරුණාරත්න මහතා අභියාචනාධිකරණය හමුවේ ඊයේ (28) රිට් පෙත්සමක් ගොනු කළේය.

ජාතික ජන බලවේගයේ කුරුණෑගල දිස්ත්‍රික් අපේක්ෂකයකු වන නාමල් කරුණාරත්න මහතා ගොනු කළ මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් ලෙස වැඩබලන පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න, කුරුණෑගල මූලස්ථාන පොලිස් පරීක්ෂක කපිල අධිකාරි, පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය සෙනරත් දිසානායක, කුරුණෑගල නගරධිපති තුෂාර සංජීව විතාරණ, කුරුණෑගල නගර සභාව සහ නීතිපතිවරයා නම් කරනු ලැබ සිටිති.

දේශපාලන බලපෑම් හේතුවෙන් මෙම සිද්ධියට අදාළ පරික්ෂණ විධිමත් ආකාරයෙන් සිදු නොවන හෙයින්, එම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කර අදාළ නීතිය ක්‍රියාත්මක කරතැයි වැඩබලන පොලිස්පතිවරයාට සහ කුරුණෑගල මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා වෙත රිට් ආඥාව නිකුත් කරන්නැයි ද පෙත්සම්කාර නාමල් කරුණාරත්න මහතා සිය පෙත්සම මගින් අධිකරණයෙන් ඉල්ලා සිටී. 

 නීතීඥ සුනිල් වටගල මහතා මාර්ගයෙන් ගොනු කළ එම රිට් පෙත්සමේ මෙසේ ද සඳහන් වේ. 

 කුරුණෑගල නගර මධ්‍යයේ දෙවැනි බුවනෙකබාහු රාජසභා මණ්ඩපය පිහිටා තිබූ අතර එය පුරාවස්තුවක්
ලෙස නම් කරනු ලැබ තිබිණි. වර්ෂ 1293 සහ වර්ෂ 1302 අතර කාල සීමාව තුළ ඉදි කළ බව කියන දෙවැනි බුවනෙකබාහු රජුන්ගේ මෙම රාජසභා මණ්ඩපය ඉකුත් 14 වැනිදා ද කඩා ඉවත් කිරීම සම්බන්ධයෙන්
පෙත්සමේ වගඋත්තරකරුවකු ලෙස නම් කර සිටින තුරුණෑගල නගරාධිපතිවරයා වෙත චෝදනා එල්ල
විණි.

 මේ සම්බන්ධයෙන් සොයා බැලීමට අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා විසින් කමිටුවක් ද පත් කරනු
ලැබීය. මෙම රාජසහා ගොඩනැගිල්ල පුරාවිද්‍යා පනත යටතේ පුරා විද්‍යා වටිනාකමක් සහිත ස්ථානයක් ලෙස ප්‍රකාශයට පත්කර තිබිය දී එය කඩා ඉවත් කිරීමෙන් පුරාවිද්‍යා පනත යටතේ වරදක් සිදුවී ඇත. මෙම අපරාධ ක්‍රියාව පිළිබඳව පෙත්සම්කරු ඉකුත් 23 වැනිදා කුරුණෑගල මූලස්ථාන පොලිසියට ගොස් පැමිණිල්ලක් සිදු කළ ද මේ දක්වා විධිමත් පරීක්ෂණයක් පවත්වා නොමැත.

පෙත්සමේ වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙසත්, එම සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටින කුරුණෑගල නගරාධිපතිවරයා අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කොට අදාළ නීතිය ක්‍රියාත්මක කරන ලෙසට වැඩබලන පොලිස්පතිවරයාට සහ කුරුණෑගල මූලස්ථාන පොලිස් පරික්ෂකවරයා වෙත රිට් ආඥාව නිකුත් කරන්නැයි ද පෙත්සම්කාර නාමල් කරුණාරත්න මහතා ඉල්ලා සිටී.

(රංජන් කටුගම්පොළ)

වේගවත් සැඩ සුළඟක්: හෙට දවල් 12 වනතුරු මුහුදු යන්න එපා

මන්නාරම සිට හලාවත, කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වන මුහුදු ප්‍රදේශයන්හී හෙට (30) දහවල් 12.00 දක්වා ධීවර කටයුතුවල නිරතවීමෙන් වළකින්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දෙයි.

 එම මුහුදු ප්‍රදේශයන්හි පැයට කිලෝමිටර 60, 70 පමණ දක්වා වේගවත් තද සුළං ඇතිවිය හැකි නිසා විටින් විට ඉතා රළු විය හැකි බවත්, නාවුක ප්‍රජාව ද මේ සම්බන්ධව අවධානයෙන් කටයුතු කළ යුතු බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.   දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (29) දිනයේදී තද වැසි ඇතිවන අතර ඇතැම් ප්‍රදේශයන්ට මිලිමීටර 150 ඉක්ම වූ ඉතා තද වැසි ඇතිවිය හැකි බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානයන්හී මිලිමීටර 150 ඉක්ම වූ ඉතා තද වැසි ඇතිවන අතර උතුරු, උතුරුමැද සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවල මිලිමීටර 100 ඉක්ම වූ තද වැසි ඇතිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් පැවැසීය.

සෙසු ප්‍රදේශවල ද සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව එම ප්‍රකාශකයා සඳහන් කළේය. දකුණු පළාතේත්, පොළොන්නරුව සහ මාතලේ දිස්ත්‍රික්කවලත්, මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත් විටින් විට පැයට කිලෝමීටර 60, 70 පමණ වේගවත් තරමක තද සුළං ඇතිවිය හැකි බව ද ඔහු පැවැසීය. 

බේරුවල සිට ගාල්ල හරහා හම්බන්තොට  දක්වා වෙරළාසන්න මුහුදු ප්‍රදේශවල මුහුදු රළ ඉහළ යාම හා ගොඩබිමට පැමිණීම සිදුවිය හැකි බැවින් වෙරළාසන්න ප්‍රදේශවල ජනතාව විමසිලිමත් විය යුතු බව ද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි. ගිගුරුම් සහිත වැසි ඇතිවන විට අකුණු අතතුරු ද ඇතිවිය හැකි බැවින් අනතුරු අවම කරගැනීමට ක්‍රියා කරන්නැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දෙයි.

(ඩයනා උදයංගනී)

පී.එච්.අයිලා වර්ජනය අත්හරිති.

මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් ක්‍රියාත්මක කළ අඛණ්ඩ වැඩ වර්ජනය අද (29) පෙරවරුවේ සිට අත්අරින බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරික්ෂකවරුන්ගේ සංගමය සදහන් කරයි. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා සමග ඊයේ (28) කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවකදී ගැටලුව නිරාකරණය කරගැනීමට හැකි වූ නිසා වැඩ වර්ජනය අත්හළ බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපති උපුල් රෝහණ මහතා පැවැසීය. 

 1897 අංක 3 දරන නිරෝධායන, රෝග ස්පර්ශකයන් වෙන්කර තැබීමේ සහ බෝවන රෝග පාලනය කිරීමේ ආඥා පනතට අනුව මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට පරිශ්‍රයට ඇතුළු වීමට, වැරැදිකරුවන් අත්අඩංගුවට ගැනීමට සහ නඩු පැවැරීමට බලතල තිබෙන බව නීතිපතිට දෙපාර්තමේන්තුව එම සාකච්ඡාවේදී පැහැදිලි කළ අතර එය සෞඛ්‍ය බලධාරින් පිළිගැනීම නිසා ගැටලුව විසඳුන බව ද සභාපතිවරයා කීය.

මේ අතර අග්‍රාමාත්‍ය කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ට ඇති බලතල අනුව යම් නඩු පැවැරීමකදී ඒ පිළිබඳව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයාගෙන් විමසා සිදු කිරීමටත් එහිදී යම් පරස්පරතාවක් ඇති වුවහොත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා විමසා ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමටත් ශ්‍රී ලංකා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගමය එම සාකච්ඡාවේදී එකගතාව පළ කළ බවය. 

 රාජකාරි කිරීමේදී නිරෝධායන රෝග ස්පර්ශකයන් සහ බෝවන රෝග පාලනය කිරීමේ ආඥා පනත උල්ලංඝනය නොවන පරිදි කටයුතු කිරීමට ද එහිදී මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් එකග වූ බව ද අග්‍රාමාත්‍ය කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

කොළඹ අරලියගහ මන්දිරයේ පැවැති සාකච්ඡාවෙන් අනතුරුව අදහස් දක්වමින් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා මෙසේ  කීය.

“මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් යම් නඩු කටයුත්තකට යනවානම් එහිදී සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිගේ එකගතාව ලබාගන්නා ලෙසත් ඉන් ඔබ්බට ගැටලුවක් තිබෙනවා නම් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයාගෙන් විමසා ඉදිරි ක්‍රියාමාර්ග  ගැනීමටත් එහිදී එකගතාව හිමිවුණා. මෙම 1897 පළ
කරනු ලැබූ ආඥා පනත තුළ ශක්‍යතාවක් තිබෙනවා වත්ම ඇතැම් තැන්වල සුළු ගැටලු තිබෙනවා. ඒවා කාලීනව වෙනස් විය යුතුයි. මෙහිදී ඉදිරියේදී පත්වන පාර්ලිමේන්තුව හරහා මෙම ආඥා පනතේ සංශෝධන ඇති කිරීම කෙරෙහි අවධානය යොමුවුණා."

 රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම් වෛද්‍ය හරිත අලුත්ගේ මහතා අදහස් දක්වමින් මෙසේ කීය. 

“සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලයක් කියන්නේ එක පවුලක් වගේ වැඩ කළ යුතු තැනක්. එහි විශේෂ සාමාජිකයෙක් තමයි මහජන සෞඛ්‍ය පරික්ෂකවරයා කියන්නේ. එහිදී ඔවුන්ට නායකත්වය දෙනවා. සෞඛ්‍ය වෛද්‍ය නිලධාරින් සහ අතිරේක සෞඛ්‍ය‍  වෛද්‍ය නිලධාරිවරුන්. ඒ අනුව අද දිනයේ එකගතාවකට පැමිණියා ආඥා පනත කිසිවක් උල්ලංඝණය නොවන පරිදි පවතින නීති රාමුව යටතේ නීතිපතිතුමාගේ උපදෙස් පරිදි ඒ සියල්ල සැලකිල්ලට ගෙන නීති කිසිවක් සංශෝධනය නොකර කොවිඩ් පාලන කටයුතු සහ මැතිවරණ සෞඛ්‍ය නීති සම්බන්ධයෙන් කටයුතු කිරීමට. කණ්ඩායමක් හැටියට ඉදිරියේදී පැරැණ පනත් යාවත්කාලීන කරලා වර්තමානයට ගැළපෙන ලෙස මහජන සෞඛ්‍ය සේවාව කාර්යක්ෂමව සිදු කරගෙන යාමට අවශ්‍ය ලෙස සකස් කරගැනීමටත් මෙහිදී එකඟතාවකට පැමිණියා. කණ්ඩායමක් හැටියට ඒකාබද්ධව ඉදිරියට කටයුතු කරන්න සියලු දෙනා අද දිනයේ එකග වුණා.”

අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණී සෙනරත්, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ ලේකම් වෛද්‍ය එස්.එච්. මුණසිංහ, සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයේ නීති නිලධාරි ආර්. අහමඩ්, නීතිපති දෙපාර්තමේන්තුව නියෝජනය කරමින් ජ්‍යෙෂ්ඨ නීතිඥ ආචාර්ය අවන්ති පෙරේරා සහ රජයේ නීතිඥ ඉන්දුනී පුංචිහේවා, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සභාපති පරාක්‍රම වර්ණසුරිය, රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සහකාර ලේකම් නවීන් ද සොයිසා මහත්ම  මහත්මීහුද ශ්‍රී ලංකා මහජන සෞඛ්‍යය පරීක්ෂකවරුන්ගේ සංගමයේ නියෝජිත පිරිසක්ද මෙම සාකච්ඡාවට සහභාගී වූහ.

(රංජන් කස්තුරි)

කූල් නැති අධිශීතකරණ ලොරියකින් සොසේජස් ගෙන ගියාට 10,000 ක් දඩ

නියමිත උෂ්ණත්ව නියාමනය නොකරමින් කුඩා ලොරි රථයකින් සොසේජස් ඇසුරුම් නමසිය අසූවක් ප්‍රවාහනය කිරීම සම්බන්ධයෙන් චෝදනාවට ලක්ව අධිකරණය හමුවේ වරද පිළිගත් අයකුට මතුගම ප්‍රධාන මහේස්ත්‍රාත් ධම්මික උඩුවවිදාන මහතා පසුගියදා රුපියල් දසදහසක (10,000) දඩ මුදලක් නියම කරමින්, අධි ශීතකරණයේ උෂ්ණත්ව පරිමාව යථා පරිදි සකසා සෞඛ්‍ය බලධාරින් වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඔවුන් විසින් අනුමැතිය ලබා දුන් සහතිකය සමග අගෝස්තු 17 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ඒ.ඩී. දසුන් රුචිරංග (කඹුරාගල්ල, රුග්ගල්විල) නමැති විත්තිකරුට වැඩිදුරටත් නියෝග කළේය.

 මතුගම මහජන සෞඛ්‍ය පරීක්ෂක ආර්. අයි. මුණසිංහ මහතා පැමිණිල්ල ඉදිරිපත් කරමින් අධිකරණය හමුවේ වැඩිදුරටත් කරුණු දැක්වීය.

(මතුගම අධිකරණ වික්‍රම පී.කුමාරසිංහ)

කොමිසමෙන් පිටතදී වොයිස් කට් දීම නතර කරවන්න.

දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවිමේ ජනාධිපති කොමිසමේ පැමිණිලි විමර්ශනයේදී කැඳවන ලබන සාක්ෂිකරුවන් හා පැමිණිලිකරුවන් කොමිෂන් සභාවෙන් පිටත, කොමිසම රැස්වීම් ශාලාව පිහිටි බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදී මාධ්‍යවලට ප්‍රකාශ ලබාදීම වළක්වන්නැයි මැතිවරණ කොමිසම දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමට ලිඛිත ඉල්ලීමක් කර ඇත.

ඒ අනුව පැමිණිලි විමර්ශනයට කැඳවනු ලබන පැමිණිලිකරුවන්ගෙන්, සාක්ෂිකරුවන්ගෙන් හා වගඋත්තරකරුවන්ගෙන් බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත්‍රණශාලා පරිශ්‍රයේදී ප්‍රකාශ ලබාගැනීමෙන් වළකින ලෙසට දේශපාලන පළිගැනීම් පිළිබඳ සෙවීමේ ජනාධිපති කොමිසමේ සභාපති, හිටපු ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු උපාලි අබේරත්න මහතා මාධ්‍යවේදීන්ට ඊයේ (28) අවවාද කළේය. 

 එම අවවාදයට පටහැනිව කටයුතු කරන අය සම්බන්ධයෙන් මැතිවරණ කොමිසමට පැමිණිලි කරන අතර නීති මගින් කටයුතු කරන බව ද සභාපතිවරයා සඳහන් කළේය.

මැතිවරණ සමයකදී මෙසේ ප්‍රකාශ ලබාදීමෙන් තමන්ට අගතියක් සිදුවන බවට විවිධ දේශපාලන පක්ෂ හා දේශපාලනඥයන් විසින් ඉදිරිපත් කරන ලද පැමිණිලි සලකා බලමින් මෙම ලිපිය යොමුකරන බව ද මැතිවරණ කොමිසම සිය ලිපියේ සඳහන් කර ඇති බව උපාලි අබේරත්න මහතා මාධ්‍යවේදීන් දැනුවත් කරමින් පැවැසීය.

(මුදිතා දයානන්ද)

Tuesday, July 28, 2020

වාහනයක් හදද්දී කාබයිට් ටැංකිය පිපිරී පෑස්සුම් ශිල්පියා මරුට

නවගමුව රණාල කැන්දහේනවත්ත ප්‍රදේශයේ රථවාහන අංගනයක වාහනයක පෑස්සුමක් සිදු කරමින් සිටියදී එක්වරම කාබයිට් ටැංකියක් පිපිරී යාමෙන් ඒ අසල පෑස්සුම් කරමින් සිටි පෑස්සුම් ශීල්පියෙකු ඊයේ (27) දහවල් එම සිද්ධස්ථානයේදී මිය ගොස් ඇතැයි නවගමුව පොලිසිය පවසයි. 

අනතුර සිදුවූ ස්ථානයේ රථ වාහන අංගනය හිමියගේ දැනුම්දීම වන මොහු සිය වාහනය අදාල උපකරණ රැගෙන එම ස්ථානයට පැමිණ වාහන අලුත්වැඩියා කටයුතු සිදුකරමින් සිටියදී මෙම අනතුර සිදුව ඇතැයි සිදු කළ මූලික පරීක්ෂණයේදී අනාවරණය වූ බවද පොලීසිය පවසයි.

එලෙස පිපිරීමට ලක් වූ කාබයිට් ටැංකිය මිය ගිය පුද්ගලයාටම අයත් වු ටැංකියක් බවත් එය ඉතා පැරණි තත්වයේ පැවතීම නිසාවෙන් මෙලෙස පිපිරීම් වලක්වන්නට ඇති බවට සැක පළ කරන බවද පොලීසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ රණාල වලව්වත්ත ප්‍රදේශයේ පදිංචිකරුවකු වන ඒ.පී.වීරසිංහ නමැති 47 හැවිරිදි දරු පියකු වන රථවාහන කාර්මික ශිල්පියෙකි.  අනතුර සිදුවූ ස්ථානයට පැමිණි කඩුවෙල හදිසි මරණ පරික්ෂක ඩබ්.ඒ.කේ.නිමල් මහතා විසින් මූලික පරීක්ෂන කටයුතු සිදුකර දේහය මුල්ලේරියාව රෝහල වෙත රැගෙන ගොස් පශ්චාත් මරණ පරික්ෂණය පවත්වන ලෙස නියෝග කරන ලදී.

නවගමුව පොලීසියේ අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක වීරවර්ධන මහතා ප්‍රමුඛ නිලධාරිහු පරීක්ෂණ පැවැත්වුහ.

(මොරගහහේන-කේ. බුද්ධික කුමාරසිරි)

අභිරහස් ලෙස මියගිය අයකුගේ සිරුරක් රුක්මල්ගමින් හමුවෙයි.

කොට්ටාව, රුක්මල්ගම ප්‍රදේශයේ අභිරහස් ලෙස මියගිය පිරිමි මළ සිරුරක් පෙරේදා (26) කොට්ටාව පොලිසිය මගින් සොයාගනු ලැබීය. 

 එසේ මියගොස් ඇත්තේ වයස අවුරුදු 73ක පුද්ගලයකු බව පොලිසිය කියයි. මියගිය පුද්ගලයා ජීවත්ව සිටි නිවෙසේ තිබියදී මෙම මළ සිරුර දින පහකට පසු සොයාගත් බව පොලිසිය කියයි. පොලීසිය එම ස්ථානයට ගොස් සිදුකළ පරීක්ෂණවලදී මළ සිරුර අධික ලෙස නරක් වී තිබූ බවත් මීට දින පහකට පෙර මෙම පුද්ගලයා මිය ගොස් ඇති බවටත් අනාවරණය වී
ඇත. 

ඒ අනුව මේ පිළිබඳව මහේස්ත්‍රාත් පරික්ෂණය පෙරේදා (26) පැවැත්වීමට නියමිතව තිබුණි. මේ පිළිබඳව වැඩිදුර පරික්ෂණ කොට්ටාව පොලීසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක කරුණාරත්න මහතාගේ උපදෙස් මත අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක සංජය සෝමරත්න, සුළු පැමිණිලි අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක ඒකනායක යන මහත්වරු සිදුකෙරුණි.

(හෝමාගම ප්‍රියන්ත ජයලත්)

බෝතලේ විහාරයේ තරුණ හිමිනමකගේ සිරුර ළිඳකින් හමුවේ.

බෝතලේ රාජමහා විහාරස්ථානයේ වැඩ විසූ තරුණ භික්ෂූන් වහන්සේ නමකගේ සිරුර විහාර භූමියේ ළිඳක වැටී තිබියදී ඊයේ (27) සවස සොයාගත් බව මීරිගම පොලිසිය කියයි.

මෙසේ ළිඳේ වැටී අපවත් වී ඇත්තේ මාබෝපිටියේ ආනන්ද නමැති විසිපස් හැවිරිදි හිමි නමකි. මෙම හිමි නම පෙරේදා (26) සවස සිට ආගිය අතක් නොමැති ව ඇතැයි ද, ඒ අනුව සිදු කළ සොයා බැලීමේදී, උන්වහන්සේගේ දේහය ළිඳේ වැටී තිබෙනු ඊයේ (27) සවස දැක ඇතැයි ද පොලිසිය සඳහන් කරයි.

දේහය පිළිබද හදිසි මරණ පරික්ෂණය හෝ මහේස්ත්‍රාත් පරීක්ෂණයක් පැවැත්වීමට කටයුතු කරන බව මීරිගම පොලිසිය සඳහන් කරයි. අසනීප තත්වයකින්ද පෙළුණු බව කියන මෙම හිමිනම ළිදේ වැටුණේ කෙසේදැයි හෙළි කර ගැනීම සඳහා අධිකරණ නියෝග ලබා ගැනීමෙන් අනතුරුව දේහය ගොඩගෙන පශ්චාත් මරණ පරීක්ෂණයකට ලක් කර මරණයට හේතුව අනාවරණය කර ගැනීමට නියමිත බව මිරිගම පොලිසියේ නිලධාරියෙක් සඳහන් කළේය. මීරිගම පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක ප්‍රියන්ත මහතාගේ මෙහෙයවීම යටතේ පරික්ෂණ පැවැත්වේ.

(මීරිගම පුෂ්පකුමාර මල්ලවආරච්චි)

කුඩු - පාතාල ඔත්තු දෙන්න දුරකතන අංක දෙකක්

මත්ද්‍රව්‍ය, අපරාධ කල්ලි හා ජාතික ආරක්ෂාවට තර්ජනයක් වන තොරතුරු  දැනුම්දීම සඳහා පොලිස් මූලස්ථානය විසින් 1997 සහ 1917 යන විශේෂ දුරකතන අංක දෙකක් අද (28) සිට
හඳුන්වා දී ඇත. 

 ඒ අනුව විෂ මත්ද්‍රව්‍ය, ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි ක්‍රියාකාරකම්, මහජන සාමයට බාධාවක් වන ක්‍රියාකාරකම්, මහා පරිමාණ දූෂණ, සංවිධානාත්මක අපරාධ කල්ලිවල ක්‍රියාකාරකම් සහ කප්පම් ගැනීම් ආදී තොරතුරු 1997 අංකයට දැනුම් දෙන ලෙස පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ජාලිය සේනාරත්න මහතා මහජනතාවගෙන් ඉල්ලීමක් කරයි. 

අපරාධ කල්ලි සාමාජිකයන් සහ වෙනත් කූට ගනුදෙනුකරුවන් විසින් උපයාගනු ලබන නීතිවිරෝධී වත්කම් පිළිබඳ තොරතුරු, බුද්ධිමය දේපළ වරද සම්බන්ධයෙන් තොරතුරු 1917 අංකයට දැනුම් දෙන ලෙසත් ඔහු සඳහන් කළේය. 

1997 අංකයට ලැබෙන තොරතුරු පොලිස් මූලස්ථානයේ ඇති විශේෂ රහස්‍ය ඒකකයක් මගින් විමර්ශනය
කෙරෙන අතර 1917 අංකයට ලැබෙන ද තොරතුරු අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවේ දැනට පිහිටුවා අති නව ඒකකය මගින් විමර්ශනය කෙරෙන බවද ඔහු පැවසීය. 

මහජනතාවගේ රහස්‍යභාවය ආරක්ෂා කරමින් මෙම දුරකථනවලට ලැබෙන තොරතුරු විමර්ෂණය කරනු ලබන බවද පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා සඳහන් කළේය.  පොලිස් මූලස්ථානයේ ඊයේ (27). පැවති මාධ්‍ය හමුවකදී පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා ද මෙම කරුණු සඳහන් කළේය.

(නිමල කොඩිතුවක්කු)