ජනවාරි 20 වැනිදා අලූත් සිසු පිර්සක් 6 වැනි ශ්රේණියට අයත් නේවාසික සිසුන් ලෙස රාජකීය විද්යාලයට ඇතුළත් වූහ. මාර්තු 6 වැනිදා රාජකීය - ශාන්ත තෝමස් මහ ක්රිකට් තරගය උදෙසා නේවාසිකාගාරය වසා දැමුණු අතර ඉන් පසු කොරෝනා ලොක්කවුන් නිසා නේවාසිකාගාරය විවෘත වූයේම නැත. මාර්තු 18 වැනිදා සිසුන් වෙනුවෙන් ඔන්ලයින් පාඩම් ඇරැඹිණි. ඉන් පසු ඒ ඉක්මනින්ම 6 වැනි ශ්රේණියේ සිසුන් කිහිපදෙනකු ඔන්ලයින් පාඩම් වලට එක්වීමට නොහැකිව සිටින්නේ ද යන්න විමසා බලන්නට අපි පටන් ගතිමු. එය සම්බන්ධීකරණය කළ දෙමාපියන්ගේ ඉමහත් පරිශ්රමයට පින් සිදුවන්නට සිසුන් 7 දෙනකුට ඔන්ලයින් පාඩම්වල උපකාරය ලබාගන්නට නොහැකිව සිටින බව අපට දැන ගන්නට ලැබුණේය. ඊට හේතුව වූයේ ඒ සඳහා ප්රමාණවත් උපකරණ ඔවුන් සතුව නොතිබීමයි. එක් සිසුවකු පදිංචිය වෙනස් කර තිබුණ නිසා (අලි මිනිස් ගැටුම හේතුවෙන් ඔහු සොයාගත නොහැකි විය. ඔහු සොයා යන්නට පණිවිඩකරුවන් පිටත්කොට යැවූ පසු ජුනි 19 වැනිදා ඔහු ඉන්නා තැන සොයාගත හැකි විය.
ඉහත කී සිසුනට අවශ්ය උපකරණ සොයා ගැනීමේ මෙහෙයුමක් දියත් කරන ලදුව අප සම්බන්ධ වූ පළමු ත්යාගශීලියාගෙන්ම උපකරණ 5ක් ලබා ගැනීමට හැකි වූයේය. ඉතිරි උපකරණ 3 කීර්තිමත් ආදි සිසුහු ප්රදානය කළහ. එකක් රුපියල් 70,000ක් පමණ මිල වූ මෙම උපකරණවලට අදාළ සම්බන්ධීකරණ පැකේජය සඳහා අවුරුද්දක වියදම මෙල්බර්න් හා බ්රිස්බේන් නුවර පරිත්යාගශීලීන් වෙතින් ලැබිණි. රාජකීය විද්යාලයේ මගේ කනිෂ්ඨ සිසුවකුගේ සහාය මට ඒ සඳහා නොමඳව ලැබුණේය. ශ්රී ලංකාවේ විවිධ පළාත්වල පදිංචිව ඉන්නා එම සිසුන්ට මෙම උපකරණ බෙදා දෙන්නට අපි තීරණය කළෙමු. ශ්රී ලංකාවේ ඈත පිටිසර පළාත්වලින් පැමිණි මෙම සිසුන් එදිනෙදා ජීවිතයේදී විවිධ දුෂ්කරතාවට හා අභියෝගවලට මුහුණ දුන් අයයි. මෙම සිසුන්ට 5 ශ්රේණිය සමත් වී රාජකීය විද්යාලයට පිවිස රටේ තරු බවට පත්වන්නට ඔවුන්ගේ දෙමාපියන්ගේ සහ ගුරුවරුන්ගේ නිරන්තර සහයෝගය ලැබී තිබිණි.
මුලින්ම අපේ අරමුණ වූයේ මෙම උපකරණ එම සිසුන්ට ලබා දී එමගින් ඔවුන් ඔන්ලයින් පන්තිවලට සහභාගි කරවන්නට හැකි දැයි තහවුරු කොට දැන ගැනීමයි. එහෙත් ඔවුන් පදිංචිව ඉන්න ප්රදේශවලට ගොස් බැලූ විට ඔවුනට තවදුරටත් මග පෙන්වීමේ සහාය අවශ්යවේ ද යන්න අපට වැටහිණි. ඔවුන් සෑම දෙනාගේම අධිෂ්ඨානය අපට පෙනී ගියේය. ඔවුන්ට ප්රවීණයන්ගේ සහයෝගය අවශ්ය බව අපට වැටහුණු නිසා අපි තවදුරටත් ඔවුන් හා එක් වුණෙමු. අප පළමුව සිතුවේ ආර්ථික අභියෝගවලට මුහුණ දී ඇති දරුවන් අතට වටිනා උපකරණ ලබාදීම බව සැබෑය. එහෙත් එවැනිම තවත් අදහසක් අපගේ සිතට නැගුණේය. මෙය ජාතික වශයෙන් වැදගත් පරේෂණයක් කරගත හැකි වේ ද? අවුරුදු 10ක් වයසැති දරුවකුට අතට ටැබ් එකක් දීමෙන් ඔහුගේ ජීවිතය වෙනසකට ලක්කිරිමට හේතු වේ ද? තමා නොදත් විශ්ව දැනුමක් මේ නිසා ඔහුට විවෘත වේ ද? මේ මගින් ඔහු මුළුමනින්ම ස්වාධීන අයකු බවට පත්ව ටියුෂන් සංස්කෘතියට නැඹුරු වීමෙන් මිදුණු, ආත්ම විශ්වාසය ඇත්තකු බවට ඔහු පත්වේ ද? මෙය වසංගතය නිසා උදාවුණු දුර්ලභ අවස්ථාවක් විය හැකි ද? අගෝස්තු 2, 3 සහ 5 දිනවල ටැබ් 8ක් බෙදා දෙනු ලැබූයේ රට පුරා කිලෝමීටර් 1,000ක් පමණ දුර ගෙවා දමමිනි.
සිසුන් පදිංචිව සිටියේ වයඹ, උතුරු මැද, ඌව, සබරගමුව සහ දකුණු පළාත්වලය. මෝටර් රථයක් පවා ළඟාවිය නොහැකි කඳුකර අඩි පාරවල බොහෝ වේලා ගත කොට එම සිසුන්ගේ පිටිසරට නිවෙස්වලට යා යුතු වූයේය. එම ටැබ්වලට 4G ධාරිතාවෙන් යුතු ඩයලොග් සහ මොබිටෙල් යන සම්බන්ධතා දෙවර්ගයම තිබුණ බැවින් ඔවුන් ඉන්නා ප්රදේශයේ පවතින සම්බන්ධතාව භාවිත කළ හැකි විය. සෑම සිසුවකුටම එම ටැබ් පරිහරණය කරන ආකාරය, gmail ලිපින, වැදගත් Bookmarks හා වීඩියෝ පාඩම් පිළිබඳ කෙටි පැහැදිලි කිරීමක් කරන ලදී. ඇතැම් ස්ථානවල සංඥා පහසුකම් නොතිබුණ නිසා සිසුනට 4G සංඥා හසුවන ගමේ පන්සලට ගොස් එහිදී අපට හුරුවීමේ පුහුණුව ලබනට සිදුවිය. සෑම සම්බන්ධතාවක්ම රුපියල් 600ක පෙර ගෙවුම්පතකින් පුරවා දැමිණි. ඩයලොග් සම්බන්ධතා ඇති පෙදෙස්වල රුපියල් 495ක (35 GB සහිත) පෙර ගෙවුම් ලබාදුන් අතර මොබිටෙල් සම්බන්ධතා ලබාදීමේදී 25 GB සහිත මසෙකට රුපියල් 160ක පැකේජය ලබාදෙන ලදී. ඒ සමග මසකට සීමා රහිත යූටියුබ් පැකේජයක් ද ලබාදුනි. ඉතිරි ප්රමාණය Anytime Data වලින් ආවරණය කළ හැකි විය. මෙහි අදහස වූයේ Zoom භාවිත කිරිමේ හැකියාවත්, Youtube වීඩියෝ දර්ශන භාවිත කිරිමේ හැකියාවත් රාජකීය විද්යාලයේ Cloud Smart අධ්යාපන වැඩසටහන්වලට සම්බන්ධ වීමේ හැකියාවක් ලබාදීමයි.
අගෝස්තු 16 දින සිට අපි සතිපතා අධ්යාපන සැසි ආරම්භ කළෙමු. Zoom හරහා සම්බන්ධීකරණය වී Whatsapp කණ්ඩායමට සියලු දෙනා එක් කරන ලදී. පළමු සැසියෙන් 6 ශ්රේණියේ ගණිත පාඩමක් ඉගැන්වූ අතර අධ්යාපන දෙපාර්තමේන්තුවේ විඩියෝ පාඩම්වල සහාය ඊට ලබාගතිමු. අධ්යාපනයට අමාත්යාංශයෙන් නිර්මාණය කරන ලද e-තක්සලාවේ ඔන්ලයින් ප්රශ්නවලට පිළිතුරු සපයන ලෙස සිසුනට කීවෙමු. සිසිහු සැණෙකින් එම පිළිවෙළ උගත්හ. තනිවම එම ප්රශ්න මාලාවට පිළිතුරු දීමේ හැකියාව සිසුහු ලබාගත්හ. දෙවැනි පියවර ලෙස (ICT) තොරතුරු තාක්ෂණ ක්රියාකාරකම් හඳුන්වා දුනිමු. එහිදී ඉංග්රීසි මාධ්යයෙන් වූ ඔන්ලයින් වීඩියෝ පාඩම් අධ්යාපන ප්රකාශන දෙපාර්තමේන්තුවේ වැඩ පොත හා පෙළ පොත ඊට ඉවහල් කර ගැනිණි. මුලදී සිසුනට පාඩම් අවබෝධ කරගන්නට අපහසු වූයේ උපදෙස් දුන් මාධ්ය ඉංග්රීසි නිසාය. උපදෙස් ගැනීමත් ඇගයුම් කිරීමත් ඒ නිසා අපහසු විය. එම නිසා ඔන්ලයින් පාඩ්මවලදී ඒවා සිංහලෙන් කියා දීමට සිදුවිය. එහිදී ඉවහල් කර ගැනුණේ ඉංග්රීසි පෙළ පොත හා වැඩ පොතයි. ප්රගතිය ඉතා සෙමෙන් අත් කරගත්ත ද සැප්තැම්බර් අග වනවිට තොරතුරු සන්නිවේදන තාක්ෂණ ක්රියාකාරකම් මුළුමනින් ආවරණය කරගන්නට හැකි විය. මේ වනවිට Scratch භාවිත කොට තම පරිගණක වැඩසටහන් වර්ධනය කරගන්නා ආකාරය ගැන සිසුහු පර්යේෂණ කරමින් සිටිති.
සතිපතා සැසි ආරම්භ කිරිමෙන් පසු ඇතැම් ස්ථානවල සම්බන්ධතා මීට වඩා හොඳ විය යුතු බව පෙනී ගියේය. ඇතැම් Zoom සංවාද සිසුනට නැසී ගොස් තිබිණි. මේ නිසා අඹන්පොල, හුරිගස්වැව, අරලගංවිල සහ වඳුරඹ සිසුන් හමුවී ඔවුනට 4G රවුටර් ලබාදෙන්නට සිදු විය. අරලගංවිල හා හුරිගස්වැවට අමතර ඇන්ටෙනා සවි කරන්නට ද සිදුවිය. ටැබ් ලබා දී මාස 2ක් ගිය තැන සිසුන් අටදෙනාටම Zoom වීඩියෝ සාකච්ඡාවලට එක්වන්නට හැකියාව ලැබිණි. ඇතැම් අධ්යාපන සැසි සිදුවන රාත්රී කාලයේ සිසුනට වඩා හොඳින් සංඥා ලැබෙන තැන්වලට යන්නට ද සිදුවූයේය. සම්බන්ධතා ගැටලු ඇතුළු අනෙකුත් බාධක ජය ගනිමින් තමන්ගේ දරුවන් පාඩම් වලට සම්බන්ධ කරන්නට මවුපියන් ගත් උත්සාහය අතිශය සංවේදීය.
ටැබ් ලබා දී කෙටි කලකින් පාසල් ආරම්භ විය. ටැබ් න්වාසිකාගාරයේ තබා ගැනීම පරෙස්සම් සහිත නොවූ නිසා සිසුනට ඒවා ගෙදර දමා යන්නට සිදුවිය. මේ මගින් අධ්යාපන සැසි සති අන්තවලට පමණක් සීමා විය. කෙසේ වුව ද දෙවැනි කොරෝනා රැල්ලෙන් පසු ටැබ් භාවිත කොට නිවසේදී ඉගෙනීමේ අවස්ථාව ආපසු උදා වූයේය. පාසල නැවත Zoom ඔස්සේ පාඩම් සැසි ඇරැඹිණි. මේ වනවිට ඒවා සතියට දෙවරක් පැවැත්වේ . ඔක්තෝබර් මැද සිට සෑම මසකම එතෙර පවුල් සිසුන් සමග විඩීයෝ සාකච්ඡා පවත්වති. එතර පදිංචි විශේෂඥ දැනුම සහිත ශ්රී ලාංකිකයනට මෙම සිසුන්ගේ උනන්දුව දල්වා දක්ෂ තරුණයන් ලෙස ඔවුන් ඉදිරියට ගෙන ඒමේ ඉඩ ප්රස්ථා මේ වනවිට උදා වී තිබේ. මෙම සිසුන් 8 දෙනා පාසලේදී සහ ජීවිතයේදී උපරිම විභවතාවෙන් යුතුව ක්රියාකාරි වනු දැකීම අපගේ අභිප්රායයි. මෙම ටැබ් මගින් ඔවුන්ගේ ජීවිත වෙනස් වන අත්දැකීමක් ඔවුන් ලබනු දැකීම අපගේ ආසාවයි.