ඉසුරු පෙරේරා
අත්අඩංගුවට පත්ව රැඳවුම් භාරයේ සිටි පාතාල කල්ලි සාමාජික නඳුන් චින්තක වික්රමරත්න නොහොත් ‘හරක්කටා‘ ට සහන සැලසීමට රුපියල් කෝටි 50 ක අල්ලසක් ඉල්ලා එය කෝටි 20ට අඩුකර රුපියල් කෝටි 12ක් නඳුන් චින්තකගේ බිරිඳගෙන් ලබා ගත්තේ යැයි කියන හිටපු අධිකරණ අමාත්ය විජයදාස රාපක්ෂ මහතාගේ පුතා ඇතුළු සැකකරුවන් තිදෙනා ලබන 03 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට කොළඹ ප්රධාන මහේස්ත්රාත් අසංග එස්. බෝදරගම මහතා ඊයේ (25) නියෝග කළේය.
අල්ලස් පනත යටතේ ඉදිරිපත් කරන සැකකරුවකුට ඇප දීමට සුවිශේෂී කරුණු ඉදිරිපත් විය යුතු බවට ප්රකාශ කළ කොළඹ ප්රධාන මහේස්ත්රාත්වරයා හිටපු අධිකරණ අමාත්ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ ආසන සංවිධායක චරිත් අබේසිංහ හා සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්යක්ෂවරයකු වන අරුණ වරුණ හැන්දිගේ ඇප ඉල්ලීම ප්රතික්ෂේප කරමින් මෙසේ රක්ෂිත බන්ධනාගාර ගත කළේය.
සැකකරුවකු නීතිඥවරයකු වීම ඇප දීමට සුවිශේෂී කරුණක් නොවන බව පෙන්වා දුන් මහේස්ත්රාත්වරයා කියා සිටියේ ගත වූ විට නීතිඥවරයකුට සිය සේවා දායකයන්ට සේවා සැලසීමට අවස්ථාව නොලැබෙන බවය. සැකකරුවන්ට රෝගී තත්වයක් ඇති බවට කරුණු ඉදිරිපත් වුවද ඒවා සනාථ කරන ලිය කියවිලි ඉදිරිපත් කර නොමැති බවත් කෙසේ වෙතත් ඉදිරිපත් කර ඇති රෝගී තත්වයන් මරණාසන්න රෝගී තත්වයන් නොව සාමාන්ය රෝගී තත්වයන් බවත් මහේස්ත්රාත්වරයා වැඩිදුරටත් පැවසීය.
අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම මගින් ඊයේ (25) උදේ අත්අඩංගුවට ගත් අධිකරණයට සැකකරුවන් ඉදිරිපත් කිරීමෙන් පසුව දෙපාර්ශ්වය ඉදිරිපත් කළකරුණු සලකා බැලීමෙන් පසුව ඇප ප්රතික්ෂේප කරමින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ නියෝගය නිකුත් කළේය.
සංවිධානාත්මක හා පාතාලඅපරාධකරුවකු කල්ලි සාමාජිකයකු යැයි කියන මැඩගස්කරයේ දී අත්අඩංගුවට පත්ව රැඳවුම් භාරයේ සිටි නඳුන් චින්තක වික්රමරත්න නොහොත් ‘හරක්කටා ට සහන සැලසීමට රුපියල් කෝටි 50 ක අල්ලසක් ඉල්ලා එය කෝටි 20ට අඩුකර රුපියල් කෝටි 12 ක් නඳුන් චින්තකගේ බිරිඳගෙන් ලබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සැකකරුවෝ මෙසේ රක්ෂිත බන්ධනාගාරගත කරනු ලැබූහ.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්යක්ෂ නීතිඥ අනුෂා සම්බන්ධප්පෙරුම මහත්මිය කරුණු දක්වමින් මෙසේ පැවසුවාය.
නඳුන් චින්තක අත්අඩංගුවට ගැනීමෙන් පසුව රඳවා ප්රශ්න කිරීමට අධිකරණය නියෝග කර තිබෙනවා. මෙම රඳවා ප්රශ්න කිරීමේ දී නඳුන් චින්තකගේ ජීවිතයට තර්ජනයක් නොවීමට, ඔහු බූස්ස බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයකට මාරු කිරීම සහ තවත් සහන සැලසීමට මෙම අල්ලස් මුදල් ලබාගෙන ඇති බවට ඉදිරිපත් වන කරුණු අනුව විමර්ශනය ආරම්භ කළා.
මේ සම්බන්ධයෙන් පාතාල සාමාජිකයකු යැයි කියන මිදිගම රුවන් නඳුන් චින්තකගේ බිරිඳගෙන් සහ මෙම අල්ලසට සම්බන්ධ වූයේ යැයි කියන නිර්මල බණ්ඩාර නොහොත් හර්බි යන අයගෙන් ප්රකාශ සටහන් කර තිබෙනවා. නිර්මල බණ්ඩාර අදාළ සිද්ධිය සම්බන්ධයෙන් දිවුරුම් ප්රකාශයක්ද දී තිබෙනවා. ඔහු මෙම සිද්ධිය සම්බන්ධයෙන් හඬ පටයක් ද ඉදිරිපත් කරනවා. එම හඬ පටය රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර නිවැරැදිතාවය තහවුරු කිරීමෙන් පසුව අධිකරණයට ඉදිරිපත් කරනවා. එම හඬ පටය අද මෙම අධිකරණය තුළ වාදනය කරන්න වුණත් පුළුවන්
මෙම සැකකරුවන් තිදෙනා 2023 වසරේ මාර්තු 23 දින ඩුබායි රාජ්යයට ගිය බවට ආගමන විගමන පාලකවරයාගේ වාර්තාවක් අධිකරණයට ඉදිරිපත් කරනවා. ඔවුන් ඩුබායි රාජ්යය වෙත ගොස් හරක් කටාගේ බිරිඳ වන මධුෂිකා මධුවන්ති හා සංවිධානාත්මක අපරාධකරුවකු වන ජයසේකර විතානගේ රුවන් චාමර
නොහොත් මිදිගම රුවන් නමැත්තා නිර්මල බණ්ඩාර යන අයගේ නිවසේ දී හමුවී තිබෙනවා.එහිදී හරක් කටා පොලිසිය විසින් ඝාතනය කිරීම වැළැක්වීම, රැඳවුම් නියෝග ඉවත් කිරීම,බූස්ස අධි ආරක්ෂිත බන්ධනාගාරය හැර වෙනත් බන්ධනාගාරයක් වෙත යොමු කිරීම හා විමර්ශන කටයුතු වලින් නිදහස් කිරීමට අවශ්ය කටයුතු සිදු කර දෙන බව පවසා රුපියල් කෝටි 50ක අල්ලස් මුදලක් ඉල්ලා ඇති බවට නිර්මල බණ්ඩාර දිවුරුම් ප්රකාශයක් ඉදිරිපත් කරමින් සඳහන් කරනවා.
අනතුරුව එය රුපියල් කෝටි 20ක් දක්වා අඩුකර අත්තිකාරම් වශයෙන් රුපියල් කෝටි 10ක මුදලක් පළමුව ලබාගෙන ඇති අතර,තවත් රුපියල් කෝටි 2 ක මුදලක් පසුව ලබාගෙන ඇති බව ද විමර්ශන වලදී අනාවරණය වුණා.ආදළ මුදල උණ්ඩියල් ක්රමය හරහා මෙරටට ගෙන්වා ගැනීමට තෙවැනි සැකකරු කටයුතු සම්පාදනය කර තිබෙනවා.
රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ හා අරුණ වරුණ හැන්දිගේ යළි එකම ගුවන් යානයකින් මෙරටට පැමිණ ඇති බව ද විමර්ශන වල දී අනාවරණ වෙනවා. ඔවුන් යළි මෙරටට පැමිණ තිබෙන්නේ 2023 මාර්තු මස 29 වැනි දින. මෙසේ ලබාගත් මුදල් වලින් අරුණ වරුෂ හැන්නදිගේ විසින් 2024 වර්ෂයේ දී බී එම ඩබ්ලිව් වර්ගයේ අති සුඛෝපබෝගී මෝටර් රථයක් මිලදී ගෙන මොහුගේ නිවස අති සුඛෝපභෝගී අලුත්වැඩියා කර තිබෙනවා. චරිත අබේසිංහ යන අයද 2024 වර්ෂයේ දී රේන්ජ් රෝවර් වර්ගයේ අති සුඛෝපභෝගී ජිප් රථයක් මිලදීගෙන කහතුඩුව ප්රදේශයේ නවීන පන්නයේ නිවසක් ඉදිකරමින් පවතිනවා.
සැකකරුවන් සම්බන්ධයෙන් දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය ප්රකාරව අල්ලස් කොමිසමේ සහතිකයක් ඉදිරිපත් කළ නීතිඥවරියසැකකරුවන්ට ඇප දීම සම්බන්ධයෙන් තරයේ විරුද්ධ වන බවත් සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙසටත් ඉල්ලා සිටියාය.සම්බන්ධප්පෙරුම මහත්මිය මෙසේ ද පැවසුවාය.
දෙවැනි සැකකරු රඛිත රාජපක්ෂ ඩුබායි රාජ්යයට ගියාට පස්සේ නැවතිලා ඉන්නේ ඔහුගේ ඥාතිවරයකුගේ නිවසේ. මුලින් රුපියල් කෝටි 10ක අතිකාරම අරගෙන ඉතුරු කෝටි දෙක ගන්න ය වන්නේ එම ඥාතිවරයා. එම ඥාතිවරයාගෙන් ප්රකාශය සටහන් කර ගත යුතුයි. එම නිසා නිසා සැකකරුවන්ට සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමේ ප්රවණතාව වැඩියි. එම නිසා ඇප දීමට විරුද්ධ වෙනවා. ඒ වගේම මෙම අල්ලස් මුදල පිරිනැමීම සම්බන්ධයෙන් මුලින්ම කරුණු අනාවරණය කළ යූ ටියුබ් නාලිකාවක හිමිකරුවකුට එරෙහිව හිටපු ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පොලිසියට පැමිණිලි කිරීමෙන් පසුව පොලිසිය මගින් නාලිකාවේ හිමිකරුට මෙම අධිකරණය තුළ ඔන්ලයින් පනත යටතේ නඩු පවරා තිබෙනවා. තමන්ගේ පුතාගේ කරුණු සම්බන්ධයෙන් නාලිකාවෙන් හෙළි කර පසු එම නාලිකාව මගින් අසත්යය ප්රකාශ කරනවා කියලා මේ අධිකරණය තුළ දෙවතාවක් මෙම පැමිණිල්ල කැඳවා තිබෙනවා.
එවැනි බලපෑම් සාක්ෂිකරුවන්ට සිදු කර ඇති බැවින් ඇප දීමට විරුද්ධ වෙනවා. දෙවැනි සැකකාර රඛිත රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා කරුණු දක්වමින් කියා සිටියේ සැකකරුගේ පියා දේශපාලනඥයකු වීම හා රජයේ කටයුතු විවේචනය කිරීම හේතුවෙන් මෙම අල්ලස් ක්රියාවෙහි පැටලී ඇති බවය. කට වහගෙන සිටියා නම් මෙවැනි ක්රියා සිදු නොවන බව ද පැවසීය.
කෙසේ වෙතත් මෙහිදී ඇප පනතේ 14වන වගන්තිය ඇප දීමට අදාළ වන බව පෙන්වා දුන් නීතිඥවරයා මෙය විවෘත විමර්ශනයක් බැවින් දූෂණ විරෝධී පනතේ 149 වගන්තිය මීට අදාළ කරගත නොහැකි බව පෙන්වා. දුන්නේය. එම වගන්තිය අනුව කොමසාරිස්වරයාගේ ලිඛිත නියෝගයක් ඉදිරිපත් කරනුයේ සැකකරු රක්ෂිත බන්ධනාගාර ගත කිරීමේ අදහසින් බව ද පැවසීය.
බන්ධනාගාරගත කිරීම කොතරම් සාධාරණදැයි අධිකරණ මනස යොමු විය යුතු බවය. මෙම සැකකරුවන්ට පෙරවැරැදී ඇති මහා ජාවාරම්කාරයන් නොවන බවත් සාක්ෂිකරුවන්ට බලපෑම් කිරීමට කිසිඳු අවස්ථාවක පෙළඹී නොමැති බවත් පෙන්වා දුන්නේය. සැකකරු හෘද රෝගියකු වන බැවින් ඇප දෙන ඉල්ලා සිටියේ ය.
තෙවැනි සැකකරු වෙනුවෙන් නීතිඥ ගීත් ගුණසේකර මහතා කරුණු දක්වමින් අල්ලස් මුදලක් ලබාගත් බවක් හෝ අල්ලස් මුදලක් පිරිනැමීමක් සම්බන්ධයෙන් කිසිදු සාක්ෂියක් නොමැතිව සැකකරුවන් රක්ෂිත බන්ධනාගාරගත කිරීම නීත්යනුකූල නොවන බව පෙන්වා දුන්නේය. මෙය අල්ලස් ලබා ගැනීමේ දී කරන ලද වැටලීමක් නොවන බවද ඔහු පැවසීය. කෙසේ වෙතත් තෙවැනි සැකකරුද නීතිඥයකු වන බැවින් බන්ධනාගාර ගත කළහොත් විශේෂ ආරක්ෂාවක් සලසන ලෙස ඉල්ලා සිටියේය.
කරුණු සලකා බැලූ මහේස්ත්රාත්වරයා 149 /1වගන්තිය යටතේ අල්ලස් කොමිසමේ සහතිකයක් ඉදිරිපත් කරන අවස්ථාවක දී සැකකරුවන්ට ඇප දීමට විශේෂ හේතු ඉදිරිපත් කළ යුතු බව පෙන්වා දුන්නේය රෝගී තත්වයන් විශේෂ හේතු ලෙස සැලකිය නොහැකි බව පැවසූ මහේස්ත්රාත්වරයා ඇප ප්රතික්ෂේප කරමින් රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කළේය. නීතිඥවරුවීම හේතුවෙන් බන්ධනාගාරය තුළදී විශේෂ ආරක්ෂාවක් සලසන ලෙසට බන්ධනාගාර අධිකාරිවරයාට නියෝග කළේය.
සාක්ෂිකරුවන් පාතාලයන් ද එසේත් නැත්නම් වෙනත් පුද්ගලයන් ද යන්න පිළිබඳව මෙම අවස්ථාවේ දී සලකා බැලිය නොහැකි බවට කරුණු ඉදිරිපත් කළ මහේස්ත්රාත්වරයා සාක්ෂි සම්පිණ්ඩන වාර්තාවක් අනුව එම සාක්ෂිය පිළිගත හැකිද නොහැකිද යන්න සලකා බලාසැකකරුවන්ට ඇප ප්රදානය කිරීමේ ක්රම වේදයක් නොමැති බවද පහදා දුන්නේය.
ඒ අනුව සැකකරුවන් ලබන 3 වැනි දින දක්වා රක්ෂිත බන්ධනාගාර ගත කළ මහේස්ත්රාත්වරයා විමර්ශන ප්රගතිය එදිනට ඉදිරිපත් කරන ලෙසට අල්ලස් කොමිසමට නියෝග කළේය.