Showing posts with label local g5. Show all posts
Showing posts with label local g5. Show all posts

Friday, August 19, 2022

හෝමාගම අවට සැරිසරන මුවන්ට ජලභීතිකාව

හෝමාගම ප්‍රදේශයේ ගැවසෙන මුව රංචුවෙන් කිහිපදෙනෙකු ඉකුත් දින දෙකක පමණ කාලයක් තුළදී හිටිහැටියේමේයයාමෙන් අනතුරුව මුවන් දෙදෙනකුගේ හිස් වෛද පර්යේෂණ ආයතනයට යොමු කර සිදු කරන පරික්ෂණ වලදී එම සතුන් දෙදෙනාටම ජලභීතිකා රෝගය වැලදී ඇති බවට අනාවරණය වූ බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ ,මහජන සෞඛ්‍ය පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂ වෛද්‍ය එල්.ඩී. කිත්සිරි මතා පැවසීය. අදාළ ප්‍රදේශයේ සිදු කළ සංචාරයෙන් අනතුරුව මාධ්‍යයට අදහස් දක්වමින් හෙතෙම මේ බව පවසා සිටියේය. එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ පශු වෛද්‍ය සේවා අධ්‍යක්ෂවරයා, "ඉකුත් 13 සහ 14 දිනවල එම ප්‍රදේශයේ ගැවසෙන මුවරංචුවෙන් 15ස්දෙනෙකු පමණ මුවන් මිය යාමෙන් අනතුරුව වනජීවී දෙපාර්තමේන්තුව මුල්වී එම සතුන් දෙදෙනකුගේ හිස් වෛද්‍ය පරික්ෂණ ආයතනයට යොමුකිරීමෙන් අනතුරුව ඒ බව අනාවරණය වූවා. ඒවගේම ජලභීතිකා රෝගය එම ප්‍රදේශයේ තිබෙන බවට අනාවරණය වූ බැවින් කොළඹ දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂවරයා යටතේ තිබෙන සුනඛ එන්නත් කණ්ඩායම මේ වනවිට එත්ත ලබාදීම සිදු කරනවා. මුවන් මියයාම සම්බන්ධයෙන් වනජීවී කාර්යාලයේදී අපිරැස්වීමක්ද පැවැත්වූවා. එයට ප්‍රාදේශීය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ දෙපාර්තමේන්තුවේ කණ්ඩායමක්, මහජන සොඛ්‍ය පශු වෛද්‍ය සේවා කණ්ඩායමත් සහභාගි වෙලා සාකච්ඡාවක යෙදුණි. ඒ සඳහා විස්ඇප් එකක් දාගත්තා. මුවන් සාමාන්‍යයෙන් සපා කන සතෙක් නොවේ. එම නිසා ජලභීතිකාව සෑදීමේ ප්‍රවණතාව ඉතාම අවමයි. මෙම මුවන් ප්‍රදේශයෙන් ඉවත් කිරීමේ කටයුතු මීට කලින්ද වජිවී දෙපාර්තමේන්තූව මගින් සිදුකර තිබෙනවා. නමුත් මෙම මුවන් ප්‍රදේශයේනතාවට තිබෙන්නේ වෙනස් විදියේ ආකල්පයක්. එයට ප්‍රදේශයේවගෙන් අවහිර වෙලා තිබෙනවා. මේකට ප්‍රාදේශීය බලධාරීන් මැදිහත්විය යුතුයි.”


(බණ්ඩාරගම - බිමල් ශමන් ජයසිංහ)


Wednesday, August 17, 2022

කැටබුලා ඔයේ ගසා ගෙන ගොස් අතුරුදන් වු අයෙකුගේ මළසිරුර සොයා ගැනේ.

මීට දින 15කට පෙර නාවලපිටිය කැටබුලා ඔයේ ගසා ගෙන ගොස් අතුරුදන් වූ තිදෙනාගෙන් තවත් අයෙකුගේ මළසිරුරක් ගමිපොළ මොරගොල්ල ප්‍රදේශයේ මහවැලි ගගේ තිබී හමුවූ බව නාවලපිටිය පොලීසිය පවසයි. මෙසේ හමු වූ අය 44 හැවිරිදි තිදරු මවක වූ ජෙයරාම් ජෙයලක්ෂමිගේ බව ඥාතීන් විසින් ගම්පොළ රෝහලේ හදිසි මරණ පරික්ෂක නලින්මැදිවක මහතා ඉදිරියේදී පෙරේදා (15දා) හඳුනාගනු ලැබීය. මෙමෙ කැටඹුලා අක්කරවත්ත ප්‍රදේශයේ පදිවි පිරිමි පුද්ගලයන් දෙදෙනකු හා එක් කාන්තාවක පසුගිය පළමුවැනි දින කැටඹුලා ඔයෙන් එගොඩවීමට ගොස් මෙසේ ගසා ගෙන යාමෙන් අතුරුදන්ව තිබිණි. මෙලෙස අතුරුදන්වූයේ, තිදරු පියකු වූ 36 හැවිරිදි අමාවාසි චන්ද්‍රමෝගන්, සිවුදරු පියකු වූ 49 හැවිරිදි සත්‍ය ශීලන් සුරේෂ් කුමාර් හා තිදරු මවක වූ 44 හැවිරිදි ජෙයරාම්ය ජයලක්ෂ්මි යන නැමැත්තන්ය. මෙසේ අතුරුදන් වූ තිදෙනාගෙන් සත්‍ය ශීලන් සුරේෂ් කුමාර්  යන අයගේ සිරුර පසුගිය 11 වැනිදා ගම්පොළ මොරගොල්ල ප්‍රදේශයේ මහවැලි ගගේ තිබී හමු වූ අතර මෙම කාන්තාවගේ සිරුරද ඊට මදක් පහළින් තිබී මෙසේ හමුවී ඇත. කඳුකරයේ පැවති අධික වර්ෂාව සමග කැටඹුලා ඔය උතුරා යාමෙත් පුදුකාට්ටු හා අක්කරවත්ත යා කරන සපත්තු පාලම මතින්ද මෙම ජලය ගලා යමින් තිබීයදි පාලම මතදී පසුගිය 01 වැනිදා මොවුන් මෙසේ අනතුරට මුහුණ පා තිබේ. සිරුර පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණ කටයුතු ගම්පොළ රෝහලේදී සිදුකිරිමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් නාවලපිටිය පොලිසිය වැඩිදුර පරික්ෂණ පවත්වයි.


(ගම්පොළ- සුරංග දිල්ශාන්)


Friday, April 8, 2022

අන්සතු ගුවන් ගමන් බලපත්‍රයකින් ප්‍රංශයට පැන යෑමට තැත් කළ තරුණයෙක් දැලේ

අත්සතු ගුවන් ගමන් බලපත්‍රයකින් මෙරටට ඇතුළු වී ප්‍රංශයට පැන යැමට තැත් කළ ඉරාක ජාතික තරුණයෙකු පෙරේදා (06දා) රාත්‍රී කටුනායක ගුවන්තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරින් විසින් අත්අඩංගුවට ගෙන පිටුවහල් කිරීමට පියවර ගෙන තිබේ. 26 හැවිරිදි ඉරාක ජාතික. උසස් අධ්‍යාපනය හදාරන සිසුවෙකු මෙසේ අත්අඩංගුවට පත්ව ඇත. මොහු පෙන්වා (06දා) රාත්‍රී 07.30 ට තුර්කියේ ඉස්තාන්බුල් නුවර සිට තුර්කි ගුවන් සේවයට අයත් ගුවන්යානයකින් කටුනායක ගුවන්තොටුපළට පැමිණ තිබුණි. අනතුරුව සිය වීසා බලපත්‍රය සදහා අනුමැතිය ලබා ගැනීමට ආගමන කවුළුවට පැමිණ, තමා සතු ප්‍රංශ ජාතික ගුවන් ගමන් බලපත්‍රය , එහි රාජකාරි සිදු කරමින් සිටි ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාර්වරයාට ඉදිරිපත් කර තිබේ . එම ගුවන් ගමන් බලපත්‍රය පරික්ෂා කළ එම නිලධාරියා, ඒ පිළිබද සැක මතු වීමෙන් පසුව, වැඩිදුර විමර්ශන කටයුතු සදහා ගුවන්තොටුපළ ආගමන විගමන දෙපාර්තමේන්තූවේ දේශසීමා ආවේක්ෂණ ඒකකයේ නිලධාරින්ට භාර දී ඇත.එහිදී එම නිලධාරින් විසින් සිදු කළ තාක්ෂණික පරික්ෂණවලදී, මෙම ගුවන් ගමන් බලපත්‍රය, මම තරුණයාට අයත් එකක් නොවන බවට තහවුරු වී තිබේ.ඒ සම්බන්ධයෙන් මෙම තරුණයාගෙන් ප්‍රශ්න කිරීම් සිදු කළ අතර, ඔහු රැගෙනවිත් තිබූ ගමන් මලු ද පරික්ෂාවට ලක් කිරීමට එම නිලධාරීන් පියවර ගෙන තිබිණි. එහිදී එම ගමන් මල්ලක ඉතා සූක්ෂම ලෙස සගවා තිබූ මෙම ඉරාක ජාතික තරුණයාගේ සැබෑ ගුවන් ගමන් බලපත්‍රය සොයා ගැනීමට මෙම නිලධාරීන්ට හැකි වී තිබුණි.එසේ සොයා ගත් ගුවන් ගමන් බලපත්‍රය ඔහුගේ සැබෑ ගුවන් ගමන් බලපත්‍රය බව එම තරුණයා විසින් පිළිගෙන ඇති, තමා ශ්‍රී ලංකාවට පැමිණ ප්‍රංශයට පැන යාම තම අපේක්ෂාව වූ බවද අනාවරණය කර තිබුණි.ඔහුගේ රුවට සමාන රුවක් සහිත මෙම ව්‍යාජ අන්සතු ප්‍රංශ ගුවන් ගමන් බලපත්‍රය, තැරැවුකරුවෙකු මගින් තුර්කියේදී ලබා ගත් බවත්, එහෙත් තමන් තුර්කියේ සිට ශ්‍රී ලංකාවට පැමිණීමට, තම ඉරාක ගුවන් ගමන් බලපත්‍රය යොදා ගත් බවත් ප්‍රකාශ කර තිබිණි. අනතුරුව මෙම ගුවන් ගමන් බලපත්‍රය පිළිබද විමර්ශන කටයුතු අවසන් කළ ආගමන විගමන දෙපාර්තමේන්තු නිලධාරීන්, මෙතෙක් තම අත්අඩංගුවේ සිටි මෙම තරුණයා, ඔහු පැමිණි තුර්කියේ ඉස්තාන්බුල් නුවර ගුවන්තොටුපළට ආපසු පිටුවහල් කිරීමට, තුර්කි ගුවන් සේවයේ නිලධාරීන්ට භාර දීමට පියවර ගෙන තිබුණි.


(කටුනායක - ටී.කේ.ජී.කපිල)

Friday, March 18, 2022

ඇමති නෑ කිව්වත් ඉන්ධන පෝලිම් අවසන් නෑ

රටට අවශ්‍ය තරම් ඉන්ධන තොග දෛනිකව බෙදා හරින බවට බලශක්ති අමාත්‍යවරයා ප්‍රකාශ කළත් ඊයේ (17දා) දිනයේදීත් ඉන්ධන පිරවුම්හල් අසල දිගු පෝලිම් දක්නට ලැබුණු අතර, සමහර ඉන්ධන පිරවුම්පලට අවශ්‍ය ඉන්ධන තොග නොලැබීම නිසා එම පිරවුම්හල් වසා දැමීමටත් කටයුතු කර තිබුණි.දෛනිකව අවශය කරන ඉන්ධන තොග තෙල් සංස්ථාවෙන් ඇණවුම් කළද නිසි ලෙස ඉන්ධන තොග ලබා නොදෙන බවත්, මේ නිසා රථවාහනවලට ඉන්ධන නිකුත් කිරීමත් යම් යම් සීමාවන් යටතේ සිදු කිරීමට සිදුව තිබෙන බවත් ඉන්ධන පිරවුම්හල් හිමියෝ සඳහන් කරති.මේ වනවිට දෙනික ඩීසල් ඉල්ලුම මෙට්‍රික්ටොන් 7,000 ඉක්මවා තිබෙන බවත්, දෛනික පෙට්‍රල් ඉල්ලුම මෙට්‍රික්ටොන් 6,000 ඉක්මවා තිබෙන බවත් එම පීරිස් පෙන්වා දෙති. එහෙත් මේ වනවිට දෙනිකව නිකුත් කරනු ලබන්නේ ඩීසල් මෙට්‍රික්ටොන් 45005000 අතර ප්‍රමාණයක් බවත්, පෙට්‍රල් නිකුත් කරනු ලබන්නේ මෙට්‍රික්ටොන් තුන්දහස් 3500- 4000 අතර ප්‍රමාණයක් බවත් ඉන්ධන පිරවුම්හුහල් හිමියෝ සඳහන් කරති.මේ වනවිට තෙල් සංස්ථාව සතුව ඩීසල් මෙට්‍රිටොන් 55,000 කට ආසන්න ප්‍රමාණයක් පවතින බවත්, පෙට්‍රල්. මෙට්‍රික්ටොන් 35,000කට අධික ප්‍රමාණයක් තිබෙන බවත් බනිතෙල් වෘත්තීය සමිති පවසා සිටියි. මීට අමතරව ලෝක වෙළෙඳ පොළේ පිරිපහදු ඉන්ධන බැරලයක මිල ඩොලර් 130 සිට ඩොලර් 90 දක්වා පහත වැටී තිබෙන නිසා මෙරට ඩීසල් හා පෙට්‍රල් ලීටරයක මිල සැලකිය යුතු ප්‍රමාණයකින් අඩු කළ හැකි බවද වෘත්තීය සමිති පෙන්වා දෙයි.



(එච්.අයි. කුමාර)


Friday, March 12, 2021

නැති වූ හිස සෙවීම

තරුණියක ඝාතනය සහ සැකකරු සියදිවි නසා ගැනීම පිළිබඳ වාර්තාකරණය, නාටකීයකරණය සහ ප්‍රබන්ධකරණය සඳහා මෙරට ප්‍රධාන දහරාවේ මාධ්‍ය සහ සමාජ මාධ්‍ය මැදිහත් වන ආකාරය විසින් ඇති කරන සමාජ ව්‍යසනය කෙරෙහි කෙටි විමර්ශනයක යෙදීම අරමුණ ය. චෝදනාවට ලක්වන මාධ්‍ය සහ පොලීසිය මා සමග හෝ පුවත්පත සමගෙ හෝඋරණ නොවී මේ ලිපිය කියවනු ඇතැයි සිතමි.සිදුවීම පිළිබඳ පොලීසිය විසින් ලද තොරතුරු සහ දෘශ්‍ය සාක්ෂි අනවශ්‍ය ලෙස, අවිද්‍යාත්මක ලෙස සහ නොසැලකිලිමත් ලෙස මාධ්‍ය සහ සමාජය වෙත ලබාදීම පළමු වැරැද්දය. ඊට වගකිව යුත්තේ පොලීසිය ය. ලද තොරතුරු සහ දෘශ්‍ය සාක්ෂි අපරාධ වාර්තාකරණය පිළිබඳව ඇති පිළිගත් කිසිදු ආකාරයේ නියාමනයකින්, සදාචාරාත්මක පදනමකින් සහ විද්‍යාත්මක භාවයකින් තොරව සමාජගතකොට සැකකරුගේ සියදිවි නසා ගැනීමට පහසුකම් සැපයූ ප්‍රධාන දහරාවේ මාධ්‍ය ඊළඟ වගඋත්තරකරු ය. මේ ආයතන දෙකම කටයුතු කොට ඇත්තේ පිළිගත් සහ අනුගමනය කළ යුතු ගුණාත්මක සහ සදාචාරාත්මක මූලධර්ම නොතකා ය. අපරාධ පරීක්ෂණවල දී පිළිපැදිය යුතු පරෙස්සම්කාරී උපායමාර්ග ගැන අවධානය යොමු නොකරය. එසේ කළා නම් පොලීසියට සැකකරු ජීවග්‍රහයෙන් අත්අඩංගුවට ගැනීමත් තරුණියගේ හිස සොයාගැනීමත් යන දෙකම සාර්ථකව කරගැනීමට ඉඩ තිබුණාය යන්න සාධාරණ උපකල්පනයකි. මෙම එසේම වාරිතාකරණය, ප්‍රබන්ධකරණය, නාටකීයකරණය සහ යළි යළිත් විකාශනය සහ වාර්තාකරණය මගින් සමාජයට සිදු වූ සහ සිදුවන විනාශය අති මහත් ය. ඒ අතින් හැමෝම මාධ්‍යකරුවන්කාරියන් වී සිටින සමාජ මාධ්‍ය සහ ප්‍රධාන දහරාවේ මාධ්‍ය අතර කිසිදු ගුණාත්මක වෙනසක් නැත. දරුවන්ටවත් පෙන්වන්න එපා කී ලිපිය මුළු ලොවටම පෙන්වූ මාධ්‍ය එය, එනම් නඩු භාණ්ඩයක් මාධ්‍ය සතු කළ පොලීසිය, එසේම සැකකරුගේ බිරිඳගේ, දරුවන්ගේ සහ තරුණියගේ පවුලේ ම පොදු සහ පෞද්ගලික සියලු තොරතුරු ප්‍රචාරය කළ විද්‍යුත් සහ මුද්‍රිත මාධ්‍ය මෙහෙයුම මගින්. පිළිබිඹු වන්නේ ශුද්ධ වූ සියලු දේ කෙලෙසී ඇති බව නොවේ ද? මෙම සිදුවීමේ දී ඇතැම් මාධ්‍ය හැසිරුණු ආකාරය පිළිබඳව, ඒවාට අපගේ ප්‍රශංසාව හිමි විය යුතු ය.දැනට දශක කීපයකට පෙර ලෝකයේ විවිධ පැතිවල ආණ්ඩුවලින්, දරදඬු පාලකයන්ගෙන්, ජාවාරම්කාර බලවත් පුද්ගලයන්ගෙන්, සංවිධානාත්මක අපරාධ කල්ලිවලින් සහ වෙනත් සමාජ විරෝධී සහ සන්නද්ධ කණ්ඩායම්වලින් මාධ්‍යකරුවන්ට සහ මාධ්‍ය ආයතනවලට එල්ල වූ තර්ජන, බියවැද්දීම්, පහරදීම්, ඝාතන සහ වාරණ සුලබ ප්‍රවෘත්ති විය. එසේම ඒවාට විරුද්ධව මතුවූ සමාජ-දේශපාලන ව්‍යාපාර ද බොහෝ ය. මාධ්‍ය නිදහස, මාධ්‍යකරුවන්ගේ ආරක්ෂාව සහ මාධ්‍ය ආයතනවල ආරක්ෂාව තහවුරු කර ගැනීම ඒ ව්‍යාපාරවල මුඛ්‍ය අරමුණු විය. මාධ්‍යයට එරෙහිව ආණ්ඩු විසින් යෙද වූ රාජ්‍යයන් බලහත්කාරය එහි දී නිර්දය ලෙස හෙළා දකිනු ලැබීය. එසේම මාධ්‍යයට එරෙහිව සිදුවන රාජ්‍ය නොවන බලහත්කාරකම් වැළක්වීමට ආණ්ඩු අපොහොසත් වීම සහ නොසලකා හැරීම පිළිබඳව මතු වූ සමාජ විරෝධය ප්‍රබල විය. මේ සමස්තය තුළ ජනමාධ්‍ය සමාජ අනුකම්පාව සහ රැකවරය ලබන කලාපයක් විය. මාළුවාට ජලය සේ මාධ්‍යකරුවාට සමාජය අදාළ විය. එසේ සමාජ යහපැවැත්ම සහ ප්‍රගමනය ජනමාධ්‍යයේ ප්‍රමුඛ වගකීමක් වූ අතර ජනයාට වඩා මාධ්‍ය ඉදිරිගාමී විය යුතුය යන්න ප්‍රධාන ආචාරධර්මයක් වූවා මෙන්ම මාධ්‍යකරුවා සහ මාධ්‍ය වෘත්තීය වගකීම් සහගත සමාජ සංවේදී පදනමක පිහිටා කටයුතු කළ යුතුය යන පිළිගත් මූලධර්මයක් විය. ඒ ආචාරධර්ම සහ මූලධර්ම අදට ද අදාළය. එහෙත් මේ මොහොතේ ඒ සියල්ල වෙනස් ස්වරූපයක් ගෙන ඇත. මාධ්‍ය බලහත්කාරය සහ අශීලාචාරය ආණ්ඩු බලහත්කාරයට සහ අශීලාචාරයටත් වඩා ප්‍රබල වී ඇත. බලහත්කාරයටත් වඩා හානිකර වී ඇත්තේ අශීලාචාරකමය. ස්වයං නියාමනයකුත් නැති විධිමත් සහ ගුණාත්මක ආයතනික හෝ රාජ්‍ය නියාමනයකුත් නැති වෘත්තීයමය සහ ගුණාත්මක බවින් ගිලිහුණු මාධ්‍ය හැසිරීම සමස්ත සමාජයම විනාශ කරමින් සිටී. මාධ්‍ය නිදහස යනු අදහස් ප්‍රකාශ කිරිමේ අයිතිය භුක්ති විදීම යනු, මෙය නොවන බව අප

තේරුම් ගත යුතු ය. එසේම නිදහස සහ අයිතිය යනු ශිෂ්ට සමාජ භාවිතයක් මිස නොදක්නහුගේ සහ ජාවාරම්කරුවන්ගේ මෙවලමක් නොවන බව ද අප තේරුම් ගත යුතු ය. සමාජය ශිෂ්ට කිරීම මිස අශීලාචාර අශිෂ්ට කලාපයක් කිරීම මාධ්‍ය සතු කාර්යයක් නොවුවද සිදුවෙමින් පවතින්නේ ඒ නොවිය යුතු දේමය. මෙය ලෝකයට තත්වයකි. සමාජ වගකීමෙන් මිදී අධි ලාභ ලැබිය හැකි කර්මාන්තයක් වෙළඳාමක් බවට මාධ්‍ය පත් වීම සහ අන්තර්ජාල මාධ්‍ය විසින් නිදහස සහ අයිතිය පිළිබඳ සියලු ගුණාත්මක සීමා බිඳ දැමීම මෙන්ම ඕනෑම අයකුට කිසිදු වෘත්තීයමය හෝ ගුණාත්මක හෝ සදාචාරාත්මක පදනමකින් සහ සුදුසුකමකින් තොරව මාධ්‍ය කලාපය තුළ සැරිසැරීමට ඉඩ ලැබීම මේ ව්‍යසනයට ප්‍රධාන හේතූය.මෙවැනි පසුබිමක මාධ්‍යයට අදාළ සටන් පාඨ වෙනස් විය යුතු ය. එනම් මාධ්‍යයෙන් සමාජය බේරා ගමු, මාධ්‍ය බලහත්කාරයට එරෙහිව පෙළ ගැසෙමු, මාධ්‍ය දුරාචාරය පිටු දකිමු, අශීලාචාර මාධ්‍ය භාවිතය පිටු දකිමු, මාධ්‍ය පචණ්ඩත්වයට එරෙහි වෙමු, සහ ප්‍රජාතන්ත්‍ර විරෝධී මාධ්‍ය පිටුදකිමු යනාදිය ඒ අලුත් සටන් පාඨ විය යුතු ය. මෙවැනි සටන් පාඨ යෝජනා කරන විට සිහියට නැගෙන්නේ කලකට පෙර පුවත් වාරණයට එරෙහිව, පුවත් බලධාරින්ට එරෙහිව, මාධ්‍යකරුවන්ට පහර දීමට එරෙහිව, මාධ්‍යකරුවන් ඝාතනයට එරෙහිව, අතුරුදන් කිරිමට එරෙහිව අප සාමූහිකව නැගු හඬ ය. රිචඩ් ඩි සොයිසා සැමරුම සහ මාධ්‍ය නිදහස උදෙසා කොරළවැල්ලේ සිට කොළඹ විහාරමහාදේවී උද්‍යානයට පැමිණි පා ගමනය. එවක නුවරඑළිය පුරපතිනිය විසින් යුක්තිය පුවත්පත ඒ ප්‍රදේශයේ තහනම් කළ විට ඊට එරෙහිව විශ්වවිද්‍යාල සිසුන් ලෙස අප ද සහභාගි වූ උද්ඝෝෂණ ව්‍යාපාරය ය. එහෙත් ඒ මතක අපට වැදගත් වූවාට අදට වැදගත් නැත. මන්ද ඒ සියලු විරෝධතා දැතේ එල්ල විය යුත්පත් මාධ්‍යයට ය. වෙනසට හේතුව කාලය නොව මුග්ධකම සහ පෙරේතකම යන මගේ දැක්මය.මලාවි මාධ්‍ය කවුන්සිලයේ (Media Council of Malawi) විධායක අධ්‍යක්ෂ බාල්ඩ්වින් චියම්වකා පෙන්වා දෙන ආකාරයට වගකීම් විරහිතව මාධ්‍ය ක්‍රියාකරනවිට ජන සමාජයට අත්වන්නේ අනවශ්‍ය සහ අනපේක්ෂිත විපත් ය. එසේම මාධ්‍ය කෙරෙහි වන විශ්වසනීයත්වය බිඳ වැටෙන අතර සමාජයේ මුර බල්ලන් ලෙස මාධ්‍යයට හිමි වැදගත් භූමිකාව දුර්වලවී ප්‍රජාතන්ත්‍රවාදයේ යහපැවැත්ම අර්බුදයට ලක්වනු ඇත. මෙම ෆ්ලොරිඩාවේ පොයින්ටර් ආයතනයේ (Poynter institute in Florida) බොස්ටීල් යනු පුවත් කලාවේ ආචාරධර්ම ප්‍රවර්ධනය කිරීම පිළිබඳව කටයුතු කරන ලොව පිළිගත් ප්‍රමුඛයෙකි. ස්ටීල් සිය මාධ්‍යවේදියා සඳහා "මාර්ගෝපදේශ මූලධර්ම" (Guiding Principles for the Journalist) නම් වූ ලිපිය මගින් පෙන්වා දෙන්නේ පුවත් කලාවේදී මාධ්‍යවේදීන් ප්‍රධාන කරුණු තුනක් අනුගමනය කළ යුතු බවය. ඔහු පළමුවැන්න ලෙස දක්වන්නේ සත්‍යය සෙවීම සහ හැකි තරම් එය වාර්තා කිරීමය. දෙවැන්න ලෙස දක්වන්නේ ස්වාධීනව කටයුතු කිරීම ය.

තෙවැන්න වන්නේ හානි අවම කිරීම ය. ඊට තවත් මූලධර්මයක් එකතු කළේ වෘත්තීය ජනමාධ්‍යවේදීන් සඳහා වූ සංගමය. එනම් ස්ටීල්ගේ ඉහත සඳහන් මාර්ගෝපදේශ තුන අනුගමනය කළ යුතු අතරම ඊට “වගවීම” නම් මූලධර්මය ද එකතු කළේය.

මේ මූලධර්ම හතර තුළ ඇති හානි අවම කිරීම කෙරෙහි පමණක් මා අවධාරණය කරන්නේ මෙරට මෑත කාලීන මාධ්‍ය හැසිරීම්වලට එය තීරණාත්මක නිසා ය. වාර්තකරණයේ දී හානි සිදුවීම සියයට සියයකින් ම වැළක්විය නොහැකි බව ස්ටීල් පිළිගනී. එහෙත් හානි උපරිම අයුරින් අවම කිරීමේ වගකීම සහ අවංක උනන්දුව මාධ්‍ය ආයතන සහ මාධ්‍යකරුවන් විසින් ගත යුතුම ය. හොඳම වාර්තාකරණය පවා මිනිසුන්ට ගැටලු සහ හානි ඇති කළ හැකි බව ස්ටීල් හඳුනාගනී. එහෙත් ඒ අවම හානිය පවා සිදුවිය යුත්තේ වින්දිතයන්ට, ජනතාවට, සහ සමාජයට වැඩි ප්‍රතිලාභයක් ලැබෙන ආකාරයට ය. එනම් ඒ අවම හානිය සමාජයට වැඩි ප්‍රතිලාභයක් ලබා ගැනීම සඳහා වූ ආවස්ථික පිරිවැයක් විය යුතුම ය. සමාජ ප්‍රතිලාභය හානියේ ප්‍රමාණය ඉක්මවා යා යුතුයි. වාරිතාකරණය සැමවිටම සැලකිලිමත් විය යුත්තේ එමගින් විශාලතම සංඛ්‍යාවකට වඩාත්ම හොඳ දේ ප්‍රවර්ධනය කරන්නේ ද යන්න පිළිබඳවය. එකී කාරණා මනසේ තබාගෙන හානි උපරිම ලෙස අවම කරමින් ක්‍රියා කිරිම මාධ්‍යයේ අග්ගළ නොයුතු වගකීමක් ය.ස්වකීය ආයතනික සහ පෞද්ගලික ලාභ පමණක් අරමුණු කරගත් මාධ්‍ය භාවිතය සමාජයට අත්කර දෙන්නේ බලවත් හානියකි. සමාජය පදනමින්ම දෙදරුම් කවන විනාශයකි. මාධ්‍යයේ කාර්යභාරය සහ වගකීම විය යුත්තේ ඌරන් කැකුණ ඇට හපන විට හබන් කුකුළන්ට ජය මගුල් න්‍යායෙන් ක්‍රියා කිරීම නොව ජරාජීර්ණ වී ඇති සමාජය ගොඩ ගැනීමේ අරමුණෙන් කටයුතු කිරීමය. සමාජය විනාශ කිරිමේ කාරකයක් නොවී ගොඩ ගැනීමේ පහසුකාරකයක් බවට මාධ්‍ය පත්විය යුතුය. ඒ සඳහා අනුගේ හිසක් සොයනවාට වඩා තමන්ට හිසක් සවිකර ගැනීම අත්‍යාවශ්‍යය.


Thursday, March 11, 2021

ලක්ෂ 7 ක මුහුදු කූඩැල්ලන් සමග සිවුදෙනෙක් අත්අඩංගුවට

ඉන්දියාවේ සිට මුහුදු මාර්ගයෙන් රැගෙන ආ ලක්ෂ 7ක් පමණ වටිනා මුහුදු කූඩැල්ලන් තොගයක් සමග සැකකරුවන් සිවුදෙනෙක් තලේමන්නාරම මුහුදු සීමාවේදී නාවික හමුදාව අත්අඩංගුවට ගෙන මන්නාර ධීවර අධ්‍යක්ෂ කාර්යාලයට පෙරේදා (09දා) සවස භාරදීමට කටයුතු කර තිබුණි. සැකකරුවන් කල්පිටිය හා සිලාවතුර ප්‍රදේශවල පදිංචිකරුවෝ වෙති.උතුරු මැද නාවික විධානයට අයත් නාවික නවුකා තම්මැන්නා කඳවුරට අයත් නාවික යාත්‍රාවක් මගින් තලේමන්නාරම මුහුදු සීමාවේදී මුහුදු මාර්ගයෙන් නීතිවිරෝධි අයුරින් ඉන්දියාවේ සිට ධීවර යාත්‍රා දෙකක් උපයෝගී කරගනිමින් රැගෙන එමින් තිබූ මුහුදු කූඩැල්ලන් කිලෝග්‍රෑම් 1100ක ප්‍රමාණයක් සමග සැකකරුවන් සිවුදෙන්නෙකු අත්අඩංගුවට ගෙන තිබේ. අදාළ සැකකරුවන් ධීවර යාත්‍රා දෙක හා මුහුදු කූඩැල්ලන් තොගය මන්නාරම ධීවර කාර්යාලයට භාර දී තිබුණි. මන්නාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා පවසා සිටියේ, ධීවර හා ජලජ සම්පත් පනතේ 1996 අංක 2 දරන ධීවර පනතට අනුව මුහුදු මාර්ගයෙන් මුහුදු කුඩැල්ලන් ප්‍රවාහනය තහනම් බවයි. ඒ අනුව අත්අඩංගුවට ගත් සැකකරුවන් හා මුහුදු කූඩැල්ලන් සම්බන්ධව පරීක්ෂණ කිරීමෙන් අනතුරුව මන්නාර අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය. සිද්ධිය සම්බන්ධයෙන් මන්නාර ධීවර අධ්‍යක්ෂ සරත් චන්ද්‍රනායක මහතා ඇතුළු නිලධාරීහු වැඩිදුර පරීක්ෂණ සිදුකරති.



 (පුත්තලම - හිරාන් ප්‍රියංකර ජයසිංහ)

Monday, March 8, 2021

'අපේ ගමේ අපේ කඩේ' අද ඇර‍ඹෙයි

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයට අනුව ආර්ථික පුනර්ජනනීය හා දරිද්‍රතාව පිටු දැකීම සඳහා වන ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ සංකල්පයක් පරිදි කිලෝ මීටර් ලක්ෂයක් සංවර්ධනය කිරීමේ ජාතික වැඩසටහන යටතේ දිවයිනේ ග්‍රාම නිලධාරි කොට්ඨාස 14,022 හි තෝරා ගත් එක් මාර්ගයක් සංවර්ධනයේදී නිවසක් හා එයට යාබදව ව්‍යාපාරික ස්ථානයක් 'අපේ ගමේ අපේ කඩේ' නමින් ඉදිකිරීමට සැලසුම් කර ඇතැයි මහාමාර්ග අමාත්‍ය ජොන්ස්ටන් ප්‍රනාන්දු හා ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍ය නිමල් ලාන්සා මහත්වරු පවසති.ජාත්‍යන්තර කාන්තා දිනයට සමගාමීව මෙම වැඩසටහන අද (08දා) ආරම්භ කරන අතර මේ අනුව සෑම ගමකින්ම කාන්තා ව්‍යවසායිකාවක් බිහි කරමින් ආර්ථික ක්‍රියාවලියට ඔවුන්ගේ සෘජු දායකත්වය ලබා ගැනීම රජයේ අපේක්ෂාව වී තිබේ. ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරිපත් කළ රට හදන "සෞභාග්‍යයේ දැක්ම" ප්‍රතිපත්ති මාලාව ක්‍රියාත්මක කරමින් ග්‍රාමීය යටිතල පහසුකම් සංවර්ධනය හා ග්‍රාමීය ආර්ථිකය නංවාලීම මූලික කොටගෙන ආර්ථික පුනර්ජනනීය හා දරිද්‍රතාව පිටුදැකීම සඳහා වන ජනාධිපති විශේෂ කාර්ය සාධක බලකා ප්‍රධානී බැසිල් රාජපක්ෂ මහතාගේ උපදෙස් මත මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ. මෙම ව්‍යාපෘතිය ක්‍රියාත්මක කිරීමෙන් පවුල් 14,022ක ආර්ථිකයද ඉහළ නැංවීමට අපේක්ෂා කෙරේ.මහාමාර්ග අමාත්‍යාංශය, ග්‍රාමීය මාර්ග හා අවශේෂ යටිතල පහසුකම් රාජ්‍ය අමාත්‍යාංශය, නිවාස අමාත්‍යාශය, තරුණ කටයුතු හා ක්‍රීඩා අමාත්‍යාංශය, කාන්තා හා ළමා සංවර්ධන කටයුතු අමාත්‍යාංශය, වෙළෙඳ අමාත්‍යාංශය, සමෘද්ධි දෙපාර්තමේන්තුව ඇතුළු අමාත්‍යාංශ හා දෙපාර්තමේන්තු ඒකාබද්ධව මෙම වැඩසටහන ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවයි අමාත්‍යවරු සඳහන් කළහ.

 (සාකල්යා සඳමාලි) 

Monday, March 1, 2021

ආයතනික අවශ්‍යතාව මත සේවය අවසන් කරද්දී උපරිම වන්දිය රුපියල් ලක්ෂ 25ක් වෙයි

පෞද්ගලික අංශයේ සහ අර්ධ රාජ්‍ය ආයතනවල  ආයතනික අවශ්‍යතාව පරිදි, යම් සේවකයෙකුගේ සේවය අවසන් කරන්නේ නම්, ඔහුට ලබාදිය යුතු වන්දි මුදල් උපරීමය රුපියල් ලක්ෂ 25 දක්වා වැඩි කරමින් කම්කරු කොමසාරිස් ජනරාල් ප්‍රභාත් චන්ද්‍රකීරිති මහතා විසින් අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් කර තිබේ. සේකයකුගේ සේවය අවසන් කිරීම සම්බන්ධ වන්දි මුදල ලෙස අර්ධ රාජ්‍ය ආයතන වන සංස්ථා මණ්ඩල හා ව්‍යවස්ථාපිත ආයතනද පෞද්ගලික අංශයේ ආයතනද රුපියල් දොළොස් ලක්ෂ පනස් දහසක උපරීම මුදලක් ගෙවීම මේ දක්වා සිදුකෙරිණි.එම නීති සංශෝධනය කරමින් එම මුදල මෙලෙස රුපියල් ලක්ෂ 25 දක්වා වැඩි කර ඇත.ඒ අනුව, 1971 අංක 25 දරන කම්කරුවන්ගේ රැකියාව අවසන් කිරීමේ විශේෂ විධි විධාන පනතට ප්‍රකාරව 2005 ප්‍රකාශයට පත් කළ අදාළ වන්දි සූත්‍රයට අනුව මෙම ගෙවීම් මුදල සංශෝධනය කර ඇති බව ගැසට් නිවේදනයේ සඳහන් වේ.කම්කරු ජනතාවට උපරිම සහන සැලසීමේ පරමාර්ථය පෙරදැරීව මෙතෙක් පැවති වන්දි මුදල වන 1,250,000 වදි මුදල රුපියල් ලක්ෂ 25දක්වා වැඩි කළ බව මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් කම්කරු අමාත්‍ය නිමල් සිරිපාල ද සිල්වා මහතා පැවසීය. මෙම වන්දි මුදල වැඩි කරනු ලැබූයේ වසර පහළොවකට පමණ පසුව බව අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය. එමෙන්ම වර්තමානයේ රැකියාවක් අහිමි වන පුද්ගලයෙකුට රුපියල් 1,250,000 ඔහුගේ ඉදිරි ජීවිකාව පවත්වාගෙන යාමට කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බවත්, ඔහුගේ පවුලේ වියදම් සඳහා එම මුදල ප්‍රමාණවත් නොවන බවත් විවිධ සංවිධාන හා වෘත්තීය සමිති විසින් පෙන්වා දීමද පිළිගනිමින් මෙම පනත සංශෝධනය කිරීමට කම්කරු දෙපාර්තමේන්තුවේ සහ අමාත්‍යංශයේ අවධානය යොමුව ඇත.මෙම වන්දි මුදල ගෙවීම පෙබරවාරි 19 වැනිදා සිට ක්‍රියාත්මක වන බව කම්කරු කොමසාරිස් ජනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා පැවසීය.

(චාමර සම්පත්)

නාරංගල කන්ද තරණය කල තරුණයෙකු ප්‍රපාතයකට ඇදවැටී මරුට

මිතුරන් පිරිසක් සමග හාලිඇල නාරංගල කන්ද තරණය කර කුඩාරමක් ඉදිකර රාත්‍රිගත කරමින් සිටියදී තරුණයෙකු කඳු මුදුනෙන් අඩි දහසක පමණ ප්‍රපාතයකට ඇදවැටී ජීවිතක්‍ෂයට පත්ව සිටියදී මළසිරුර පෙරේදා (27දා) සොයාගත් බව බදුල්ල පොලිසිය පවසයි. මෙලෙස ජීවිතක්ෂයට පත්වූයේ. අවිස්සාවේල්ල මානියන්ගම ප්‍රදේශයේ පදිංචිව සිටි එම්.එල්. අකලංක පෙරේරා (අවු.22) නමැත්තෙකි.මරණකරු තවත් මිතුරන් හයදෙනෙකු සමග පොහෝ දින (26දා) පස්වරුවේ හාලිඇල නාරංගල කන්ද තරණය කර කුඩාරම් ගසා රාත්‍රිය එහි ගත කරමින් සිටියදී මෙම තරුණයා වැසිකිළි යන බව මිතුරන්ට පවසා බෝතලයක් රැගෙන කූඩාරමෙන් පිටව ගොස් ඇති බව පරීක්ෂණවලදී අනාවරණය විය.මොහු යළි නොපැමිණි හෙයින් පසුදින පොලිසියට කළ දැනුම් දීම මත පොලීසිය හා යුද හමුදාව එක්ව සිදුකළ මෙහෙයුමකදී තරුණයාගේ සිරු නාරංගල කදු මුදුනේ සිට අඩි දහසකට පමණ ප්‍රපාතයකට ඇද වැටී තිබියදී සොයාගෙන තිබේ.

ඇල්ල - ප්‍රසාද් රුක්මල්  



Thursday, February 18, 2021

කෝවිඩ් එන්නත පොලිසියේ අයට ලබාදීම සඳහා නිසි වැඩපිළිවෙළක් නෑ

කෝවිඩ්-19 රෝගීන් හඳුනාගැනීමේදී හා පුද්ගලයන් නිරෝධායනයට ලක්කිරීමේදී සෞඛ්‍ය අංශ මෙන් විශාල කාර්යභාරයක් සිදුකරන පොලිස් නිලධාරීන්ටද කෝවිඩ්-19 එන්නත ලබාදීම සඳහා නිසි වැඩපිළිවෙළක් ක්‍රියාත්මක නොවන බව ශ්‍රී ලංකා පොලිස් ඥාති සංසදය සඳහන් කරයි.පොදුවේ ජනතාව සමග ළඟින්ම කටයුතු කරන රාජ්‍ය නිලධාරීන් අතර, ප්‍රමුඛස්ථානයක් පොලිස් නිලධාරින්ට හිමිවන බවත්, මේ හේතුවෙන් සමස්ත පොලිස් නිලධාරීන්ටම කෝවිඩ්-19 එන්නත ලබාදිය යුතු බවත් එම සංගමයේ ලේකම් වෙදගේ ප්‍රසාද් මහතා සඳහන් කළේය.කෝවිඩ්-19 එන්නත ලබාදීම යටතේ යම් පොලිස් නිලධාරීන් ප්‍රමාණයකට කෝවිඩ්-19 එන්නත ලබාදී තිබෙන බවත්, එහෙත් සමස්ත ලංකාවම ආවරණය වන පරිදි මෙම වෛරසයට අදාළව අතිවිශාල පොලිස් නිලධාරීන් ප්‍රමාණයක් රාජකාරී කටයුතුවල නිරත වන බවත් ඒ මහතා පවසා සිටියේය.

මීට අමතරව මාර්ග රාජකාරි කටයුතු කිරීම සහ හදිසි අනතුරු අවස්ථාවේදී අදාළ ස්ථාන වෙත ක්ෂණිකව ගමන් කිරීම හා අනෙකුත් අත්‍යවශ්‍ය සේවා රාජකාවල පොලිස් නිලධාරීන් පැය 24 පුරාම රාජකාරී කටයුතු කරන බවද හෙතෙම සඳහන් කළේය.මේ හේතුවෙන් කෝවිඩ්-19 තත්වයෙන් සමස්ත පොලිස් නිලධාරීන්ම ආරක්ෂා කළ යුතු බවත්, මේ නිසා ජනතාවට කෝවිඩ්-19 එන්නත ලබාදීමට සමගාමීව සියලුම පොලිස් ස්ථාන ආවරණය වන පරිදි කෝවිඩ්-19 එන්නත ලබාදීමට වැඩපිළිවෙළක් සකස් කරන ලෙසට බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් වෛදගේ ප්‍රසාද් මහතා පවසා සිටියේය.

(එච්.අයි. තුෂාර)

Wednesday, February 17, 2021

පී.සී.ආර්.පරික්ෂණ සඳහා දෛනිකව වැය කරන මුදල මිලියන 60 ක්

පී.සී.ආර්.පරික්ෂණ සඳහා රජය විසින් දෛනිකව මිලියන 60කට ආසන්න මුදලක් වැය කරන බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂක ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන මහතා ප්‍රකාශ කළේ හෙතෙම මේ බව සඳහන් කර සිටියේ කළුතර ජාතික සෞඛ්‍ය විද්‍යායතනයේ නව පී.සී.ආර්. යන්ත්‍ර දෙකක් සහිත වෛද්‍ය රසායනාගාර පර්යේෂණ ඒකකය විවෘත කිරීමේ අවස්ථාවට ඊයේ (16)දා එක්වෙමිනි.ඒ අනුව එහිදී වැඩිදුන්ටත් අදහස් දැක්වූ අධ්‍යක්ෂක ජනරාල්වරයා,

"කොවිඩ් දෙවැනි රැල්ලේ ආරම්භයේ සිට මේ දක්වා ප්‍රාදේශීයව පී.සී.ආර්.පර්යේෂණ ධාරිතාව ඉහළ නංවා තිබෙනවා. මෙරට නිදහස් සෞඛ්‍ය සේවාව සඳහා අතිවිශාල මුදලක් වැය කරනවා. දිනකට මෙරට පී.සී.ආර්.පෙර්යේෂණ 15,000-20,000 අතර ප්‍රමාණයක් සිදුකරනවා. පෞද්ගලික අංශයෙන් 4000-5000 පමණ සිදුකරනවා. පි.සි.ආර්. පරික්ෂණ සඳහා රජය ජනතාවගෙන් කිසිදු මුදලක් අය කරන්නේ නැහැ. පෞද්ගලික අංශයෙන් එක පී.සී.ආර්. පරික්ෂණයකට රුපියල් 5000ක් 6000ක් අය කරනවා. රජය දෛනිකව සාමාන්‍යයෙන් මිලියන 60කට ආසන්න මුදලක් පී.සී.ආර් පරික්ෂණ සදහා වැය කරනවා.ජනතාව නියමිත සෞඛ්‍ය පුරුදු පිළිපදින්න, අනවශ්‍ය ගමන් බිමන්වලින් වළකින්න. අප සියලුදෙනා රට බේරාගන්න නම් කැපවීමක් සිදුකළ යුතුයි. සෞඛ්‍ය පුරුදු පිළිපදින්නේ නැතිනම් අපට සිදුවෙනවා නීතිරිති දැඩි කරන්න.ඉන්දියානු රජයෙන් ලැබුණු ලක්ෂ 05ක එන්නත් ප්‍රමාණය ගිය ඉරිදා වනවිට සියලු සෞඛ්‍ය කාර්යමණ්ඩලවලට එන්නත් කළා. ත්‍රිවිධ හමුදාව පොලීසිය සහ හඳුනාගත් විශේෂිත කණ්ඩායම්වලට දැන් ලබාදීමට කටයුතු කරගෙන යනවා.කොළඹ දිස්ත්‍රික්කයේ මහනතාවටඑන්නත ලබාදීමට පටන්ගත්තා. රජයෙන් ගන්න එන්නත සහ ලෝක සෞඛ්‍ය සංවිධානයේ එන්නත් ලැබුණු විගස නිසි ක්‍රමවේදයකට අනුව මහජනතාවට ලබාදීමට බලාපොරොත්තු වෙනවා" යැයිද සඳහන් කළේය.

හොරණ වාසනා බේකර්ස් පෞද්ගලික සමාගමේ ධන පරිත්‍යාගයෙන් හා සෞඛ්‍ය සුව සරණ අරමුදලේ මුල්‍ය පරිත්‍යාගයෙන් ස්ථාපිත මෙම පී.සී.ආර් යන්ත්‍ර රුපියල් මිලියන 20ක පමණ වටිනාකමකින් යුතු බව සෞඛ්‍ය අමාත්‍යංශය පැවසිය.

 (නිදර්ශනී වික්‍රමසිංහ)

යාළුවෙලා පැනලා ගිය පෙම්වතියට වෙච්ච වින්නැහිය

තම ආදර සම්බන්ධයට මවුපියන් විරුද්ධ වීම නිසා පෙම්වතා සමග හොර රහසේ පලාගිය තරුණියක තමා විවාහ කරගැනීමට නම් පෙම්වතා රුපියල් කෝටි 2ක දෑවැද්දක් ඉල්ලන බව පසුව මවුපියන්ට දැනුම් දීම නිසා මාසයකට පසුව ඇය යළිත් නිවසට ගෙන්වා ගැනීමේ සිද්ධියක් යාපනය කොඩිකාමම් ප්‍රදේශයෙන් වාර්තා වේ.

තම 24 හැවිරිදි දියණිය අබිරහස් ලෙස නිවසින් අතුරුදන්ව ඇති බවට කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචි මවුපියන් පොලිසියට පැමිණිලි කර ඇත. මෙම දියණිය අබිරහස් ලෙස අතුරුදන් වූ බව කියමින් පැමිණිලි කළ තරුණියගේ පියා කොඩිකාමම් ප්‍රදේශයේ පදිංචි ධනවත් තැනැත්තකු බව ද සඳහන් වේ. මෙම තරුණියගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් පරික්ෂණ පැවැත්වූ පොලිසිය අබිරහස් ලෙස අතුරුදන්ව ඇතැයි පැවැසු තරුණිය තරුණයකු සමග පලාගොස් ඔහු සමඟ එකට ජීවත්වෙන බවට තොරතුරු හෙළි කරගෙන ඒ බව මවුපියන්ට ද දැනුම් දී ඇත. මෙම පලා ගිය තම දියණිය සිටින තැන හෙළි කරගත් මවුපියන් ඇය සොයා ගොස් නැවත නිවසට එන ලෙස ඉල්ලා ඇතත් ඇය ඒ ඉල්ලීම ප්‍රතික්ෂේප කර ඇතැයි පොලිසිය කියයි.

මේ අතර තරුණිය තමාව විවාහ කරගන්නා ලෙස පෙම්වතාගෙන් දිගින් දිගටම ඉල්ලීම් කරන විට ඇය විවාහ කරගැනීමට තමාට කෝටි 2ක දෑවැද්දක් අවශ්‍ය බව පෙම්වතා පවසන බව තරුණිය ටික දිනකට පසුව තම මවුපියන්ට දැනුම් දී තිබේ. මෙම තරුණයාට හරිහැටි රැකියාවක් ද නැති බව පොලිසියට දැනගැනීමට ලැබී ඇත.මේ අතර මවුපියන් ද දියණිය විවාහ කරගන්නා ලෙස තරුණයාගෙන් ඉල්ලා ඇති අතර ඒ සෑම අවස්ථාවකම ඔහු විවාහය සිදුවීමට නම් රුපියල් කෝටි 2ක දෑවැද්දක් තමාට අවශ්‍ය බව මවුපියන්ට ද පවසා ඇතැයි කියති.තරුණයා කෝටි 2ක දෑවැද්දක් ඉල්ලමින් නිතර තමාට හිරිහැර කරන බව දියණිය ඇයගේ මවුපියන්ට දැනුම් දී තිබේ.යාපනය දිසා බාර නියෝජ්‍ය පොලිස්පති කාර්යාලයට පැමිණි එම මවුපියන් මෙම සිද්ධිය නියෝජ්‍ය පොලිස්පති මහේෂ් සේනාරත්න මහතාට ඉදිරිපත් කර ඇත.සිය දුක්ගැනවිල්ල ඉදිරිපත් කරමින් සිය දියණිය යළි නිවසට පැමිණීමේ බලාපොරොත්තුවෙන් පසුවන බව ද මවුපියන් නියෝජ්‍ය පොලිස්පතිවරයාට පවසා ඒ සම්බන්ධයෙන් ඔහුගේ උපදෙස් ඉල්ලා ඇතැයි ද පොලිසියේ ප්‍රකාශකයෙක් 'ලංකාදීප' යට පැවැසීය.

දියණිය නිවසට කැඳවාගෙන යන ලෙසත් ඇය නිවසට පැමිණි පසුව පෙම්වතා කරදර කළහොත් ඒ ගැන පැමිණ පොලිසියට දන්වන ලෙසටත් නියෝජ්‍ය පොලිස්පතිවරයා මවුපියන්ට දැනුම් දී ඇති අතර ඒ අනුව තරුණිය මාසයක පමණ කාලයකට පසුව යළි නිවසට කැඳවාගෙන ගොස් තිබෙන බව ද පොලිසියේ ප්‍රකාශකයා සඳහන් කළේය.

 (ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූර්ය)

Tuesday, January 12, 2021

ගුරුවරුන්ගේ හා සිසුන්ගේ පැමිණීම හොඳ තත්ත්වයක් - ලංකා ගුරු සංගමය


නව පාසල් වාරය ආරම්භ වූ ඊයේ (11) දිනයේ දී ගුරුවරුන්ගේ හා සිසුන්ගේ පැමිණීම හොඳ තත්වයක පැවති බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි. 

කෝවිඩ්-19 තත්ත්වයෙන් ගුරු විදුහල්පතිවරුන් හා ශිෂ්‍ය ශිෂහවන් ආරක්ෂා කර ගැනීමට කඩිනමින් නිසි වැඩපිළිවෙළක් සකස් කර මෙම තත්ත්වය තවදුරටත් වර්ධනය කර ගැනීමට අධ්‍යාපන බලධාරින් කටයුතු කළ යුතු බවද එම සංගමයේ ලේකම් ජෝෂප් ස්ටාලින් මහතා ප්‍රකාශ කළේය.

බස්නාහිර පළාත හා හුදෙකලා ප්‍රදේශ හැර අනෙකුත් ප්‍රදේශවල පාසල්වල කටයුතු ආරම්භ කළ බවත්, මේ අනුව නාගරික ප්‍රදේශවල පාසල්වලට සිසුන් සියයට හතළිහකට ආසන්න ප්‍රමාණයකුත් ග්‍රාමීය ප්‍රදේශවල සියයට හැත්තෑවක පමණ ප්‍රමාණයකුත් සහභාගි වූ බවට වාර්තා වන බවත් ඒ මහතා පවසා සිටියේය.

කෝවිඩ්-19 තත්වය තුළ දරුවන් පාසල් එවීමට දෙමවුපියන් කටයුතු කර තිබෙන නිසා දරුවන් කෝවිඩ්-19 තත්වයෙන් ආරක්ෂා කර ගැනීම අධ්‍යාපන බලධාරින්ගේ වගකීමක් බවද ලේකම්වරයා සඳහන් කළේය.

එහෙත් පාසල්වල සනීපාරක්ෂක කටයුතු සඳහා අවශ්‍ය මුදල් ලබාදීමට අධ්‍යාපන බලධාරීන් කටයුතු කර නොමැති බවත්, මේ නිසා කඩිනමින් අදාළ කටයුතු සඳහා මුදල් ලබාදීමේ වැඩපිළිවෙළක් හා පෙළපොත් හා නිල ඇඳුම් රෙදි ලබාදීමටත් කඩිනමින් වැඩපිළිවෙළක් සකස් කළ යුතු බවත් ජෝෂප් ස්ටාලින් මහතා අවධාරණය කළේය.


- ඉන්දික හේවාවිතාරණ -