Showing posts with label sportG7. Show all posts
Showing posts with label sportG7. Show all posts

Thursday, February 29, 2024

ඔලිම්පික් කමිටුවේ පාපැදි අසුනට සංගීත පුටු තරගයක්

ජාතික ඔලිම්පික් කමිටුවේ නියෝජනය අරභයා ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ පාර්ශ්ව දෙකක් අතර පැන නැගී තිබෙන අර්බුදය විසඳා ගැනීම එම කමිටුවේ විධායක සභාව වෙත යොමු කරන බව ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා පවසයි.

කමිටුවේ මීළඟ විධායක සභා රැස්වීම ලබන බ්‍රහස්පතින්දා (7) කැඳවා තිබේ. කෙසේ වුවත් මෙම අර්බුදයට මැදිව සිටින පාපැදි සම්මේලනයේ හිටපු සභාපති එන්. කරුණාරත්න මහතාගේ පාර්ශ්වය පෙරේදා (27) ජාතික ඔලිම්පික් කමිටුවේ කැඳවීම් සඳහා සහභාගි නොවීය.

ඔවුන් ඔලිම්පික් කමිටුවට දැනුම් දී ඇත්තේ පාපැදි සම්මේලනය අරබයා අධිකරණයේ නඩුවක් විභාගවෙමින් පවතින බැවින් නීති උපදෙස් මත තමන් ඊට සහභාගි නොවීමට තීරණය කළ බවයි .

ශ්‍රී ලංකා පාපැදි සම්මේලනයේ වත්මන් විධායක සභාව එහි වෙනුවෙන් එහි ලේකම් නලින් අධිකාරිආරච්චිගේ හා උප සභාපතිවරයකු වන ගෲප් කපිතාන් රංග පෙරේරා මහතා පෙරේදා කැඳවීම් හමුවේ ඔලිම්පික් කමිටුවේ පෙනී සිටියහ.

ජාතික ඔලිම්පික් කමිටුව ශ්‍රී ලංකා පාපැදි සම්මේලනය වෙනුවෙන් නියෝජනය නීත්‍යානුකූලව කිරීමේ අවස්ථාව සම්බන්ධයෙන් එහි වත්මන් විධායක සභාව අරබයා පවතින සියලු අවහිරතා ඉවත් කර එම අවස්ථාව වහාම සලසාදිය යුතු බව නලින් අධිකාරිආරච්චිගේ මහතා පෙරේදා ඔලිම්පික් කමිටුවට දැඩි ලෙස අවධාරණය කර සිටි බව වාර්තා වේ.

මේ අතර වාර්තා වන්නේ එන්. කරුණාරත්න මහතාගේ පාර්ශ්වය වෙනුවෙන් ජාතික ඔලිම්පික් කමිටුව නියෝජනය කරන ශ්‍රී ලංකාවේ නිල පාපැදි පරිපාලන පාර්ශ්වය ලෙස පිළිගන්නා බවට සහතික කරමින් ඔලිම්පික් කමිටුවට යළිත් ලිපියක් යොමු කර තිබෙන බවයි.

මේ සම්බන්ධයෙන් ‘ලංකාදීප’ය කළ විමසුමකදී පාපැදි සම්මේලනයේ ලේකම් නලින්  අධිකාරිආරච්චිගේ මහතා පැවසුවේ මෙම ප්‍රශ්නය අරබයා ශ්‍රී ලංකාවට වසර 2019 සිට අන්තර්ජාතික පාපැදි තරග සහභාගිත්වය අහිමිවී තිබෙන තත්ත්වයක් තුළ එය විසඳා ගැනීම අර්බුදයට මැදිව සිටින සියලු පාර්ශ්වයන්හි වගකීමක් වන බවයි.

ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා පැවසුවේ අර්බුදයට මැදිව සිටින පාර්ශ්ව එකගතාවයෙන් මෙම ප්‍රශ්නයට විසඳුම් සොයාගත යුතු බවත් ඒ සඳහා ඔලිම්පික් කමිටුවේ සියලු සහයෝගය හිමිවන බවත්ය.


නාමල් පතිරගේ


Monday, February 26, 2024

පැතූම් බංග්ලාදේශ සංචාරයට අවිනිශ්චිතයි

ශ්‍රී ලංකා සීමිත පන්දුවාර කණ්ඩායමේ සුපිරි ක්‍රීඩක පැතුම් නිශ්ශංක එළඹෙන බංග්ලාදේශ තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීම තවමත් අවිනිශ්චිත වී ඇත. ඒ ඔහුගේ ආබාධය තවමත් සියයට සියයක්ම සුව අතට හැරී නොමැතිවීම හේතුවෙනි. පැතුම් පසුගියදා (21දා) ඇෆ්ගනිස්තානය සමග පැවති තෙවැනි හා අවසන් විස්සයි20 තරගයේ පිතිකරණය අතරතුරදී කලවයේ ආබාධයකට ලක්වීමෙන් පිටියෙන් ඉවත්විය. 

කෙසේ වෙතත් හෙට (27දා) ආරම්භ වන බංග්ලාදේශ තරගාවලිය සඳහා පුහුණුවීම්වලට පැතුම් එක්වන බවත් ඔහුගේ ආබාධ තත්ත්වය පිළිබඳ සියයට සියයක්ම තොරතුරු මේ වන තෙක් කිව නොහැකි බවත් කණ්ඩායමේ ප්‍රකාශකයෙක් පැවසීය.

නිමාවූ ඇෆ්ගනිස්තාන සංචාරයේදී ශ්‍රී ලංකාව වෙනුවෙන් එක්දින හා විස්සයි20 තරගාවලි ද්විත්වයේදී විශිෂ්ට දක්ෂතා දැක්වූ පැතුම් එක්දින තරගාවලියේදී ද්විත්ව ශතකයක් හා ශතකයක් වාර්තා කළේය. ඊට අමතරව විස්සයි20 තරගාවලියේදීද ඔහු අරිධ ශතකයක් රැස් කරමින් ලකුණු අතරට පිවිසියේය. මේ අතර ඇෆ්ගනිස්තාන තරගාවලිය අතරතුරදී ආබාධයට ලක්වූ ශ්‍රී ලංකා වේගපන්දු යවන ක්‍රීඩක දුෂ්මන්ත චමීර බොහෝ විට බංග්ලාදේශ තරගාවලිය ක්‍රීඩා නොකරනු ඇති බව වාර්තා වේ.

විස්සයි20 තරග තුනක්, එක්දින තරග 3 ක් හා ටෙස්ට් තරඟ දෙකකින් යුත් ශ්‍රී ලංකා කණ්ඩායමේ බංග්ලාදේශ තරග සංචාරය එළඹෙන මාර්තු 04 වැනිදා ආරම්භ වේ.


ඕෂිත වරකපිටිය


ක්‍රීඩා මාධ්‍යවේදීන් දෙදෙනෙකුට ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිටදීම චණ්ඩිපාට්

ප්‍රවීණ ක්‍රීඩා මාධ්‍යවේදීන් දෙදෙනෙකු වන කේ. රාමක්‍රිෂ්ණන් හා සීවලී එදිරිවීර යන දෙදෙනාට පිරිසක් තර්ජනය කර පහරදීමට උත්සාහ කිරීම සම්බන්ධයෙන් ඔවුන් දෙදෙනා කුරුඳුවත්ත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත. 

පසුගියදා 21දා ක්‍රීඩා අමාත්‍යාංශය ඉදිරිපිටදී මෙම සිදුවීම සිදුවී ඇත්තේ ශ්‍රී ලංකා කබඩි සම්මේලනයේ හිටපු සභාපති අනුර පතිරණගේ හිතවතුන් පිරිසක් අහම්බෙන් මෙන් මුණගැසුණු අවස්ථාවේදී බව මෙම මාධ්‍යවේදීහු චෝදනා එල්ල කරති. 

මෙම සිදුවීමට සිවුදෙනෙකු සම්බන්ධ වූ බවත් ගීත් ජයකොඩි නමැත්තෙකු නායකත්වය ලබාදී ඇති බව මෙම මාධ්‍යවේදීන් හඳුනාගෙන ඇති අතර, ඔහු නාවික හමුදාවට සම්බන්ධ අයෙකුද වන බව ඔවුහු පවසති. කෙසේ නමුත් අනෙක් තිදෙනා කවුරුන්දැයි යන්න ඔවුන් හඳුනාගෙන නැත. මෙම මාධ්‍යවේදීන් දෙදෙනා කබඩි සම්මේලනයේ හිටපු සභාපති අනුර පතිරණ හා ලේකම් සජීවන් යන මහත්වරුන්ගේ ක්‍රියාකලාප විවේචනය කරමින් සිය යූටියුබ් මාධ්‍ය ජාලයේ නිකුත් කර තිබූ වීඩියෝවක් මෙම ගැටුමට මූලික හේතුව වී ඇති බව පැවසේ. මේ සම්බන්ධයෙන් මෙම මාධ්‍යවේදීන් දෙදෙනාට ප්‍රකාශ සටහන් කර ගැනීමට ඊයේ (25දා) නාවික හමුදාවටද පැමිණෙන ලෙස දන්වා තිබූ බව වාර්තා වේ.



Thursday, February 22, 2024

තරුෂි තරග සංචාර හතරක් ඉල්ලයි

පැරිස් ඔලිම්පික් (2024) නිර්දේශ කරගැනීමේ අභිප්‍රායෙන් ආසියානු රන් පදක්කම්ලාභී ශ්‍රී ලංකා ක්‍රීඩිකා තරුෂි දිල්සරා කරුණාරත්න මැයි හා ජුනි අතර කාලසීමාවේදී පැවැත්වෙන අන්තර්ජාතික තරගාවලි හතරකට සහභාගි වීමේ අනුමැතිය ශ්‍රී ලංකා මලල ක්‍රීඩා ආයතනයෙන් ඉල්ලා තිබේ.

ඒ අනුව, මැයි 3 වැනිදා ඩුබායි නුවරදී පැවැත්වෙන එමීර් රාජ්‍ය ගෝන්ෆ්‍රී මලල ක්‍රීඩා තරගාවලිය, මැයි 10 වැනිදා කටාර්හිදී පැවැත්වෙන ඩෝහා ඩයමන්ඩ් ලීග් මලල ක්‍රීඩා තරගාවලිය, මැයි 28 වැනිදා පැවැත්වෙන ඔස්ට්‍රාවා ගෝල්ඩන් ස්ෆයික් තරගාවලිය සහ ජුලි 23 වැනිදා පෝලන්තයේ පොස්නාන්හිදී පැවැත්වෙන කැස්ලව් සිබුල්ස්කි අනුස්මරණ තරගාවලියට සහභාගි වීම සඳහා ඇය අනුමැතිය ඉල්ලා තිබේ.

ප්‍රංශයේ පැරිස් නුවරදී මීළඟ ඔලිම්පික් උළෙල ජුලි 26 වැනිදා සිට අගෝස්තු 11 වැනිදා දක්වා පැවැත්වේ. ඒ සඳහා මළල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට නිර්දේශ ලබා ගැනීමේ අවස්ථාව ජුනි 30 වැනිදා දක්වා හිමිව තිබේ. මීටර් 800 (කාන්තා) ඉසව්වෙන් පැරිස් ඔලිම්පික් උළෙල සඳහා නිර්දේශ ලබා ගැනීමේ අපේක්ෂාවෙන් පසු වන, 20 හැවිරිදි තරුෂි දිල්සරා කරුණාරත්න එහි ඇගේ මෙතෙක් හොඳම දක්ෂතාව දක්වා ඇත්තේ විනාඩි 2යි තත්පර 0066කි.

පැරිස් ඔලිම්පික් උළෙලේ නිර්දේශය සඳහා එහිදී එම ඉසව්වෙන් අවම විනාඩි 1යි තත්පර 59.2ක දක්ෂතාවක් ක්‍රීඩිකාවන් පළ කළ යුතුය. ලෝක ශ්‍රේණිගත කිරීම් අනුව තරුෂි මේ වන විට මීටර 200 (කාන්තා) ඉසව්වේ 67 වැනි ස්ථානයේ පසු වේ.

පසුගියදා නිමාවට පත්වූ උසස් පෙළ විභාගයට වාණිජ විෂයයන්ගෙන් පෙනී සිටි ඇය, මේ වන විට දිගන මධ්‍යම පළාත් ක්‍රීඩා සංකීර්ණයේදී ඇගේ පෞද්ගලික පුහුණුකරු සුසන්ත ප්‍රනාන්දු මහතා යටතේ නැවත දෛනික පුහුණුවීම් ආරම්භ කර ඇත.

මේ අතර, කොන්දේ පැවැති සුළු ආබාධ තත්ත්වයකට විදේශයකට ගොස් ප්‍රතිකාර ගැනීමේ අදහස ඇය මේ වන විට අත්හැර දමා තිබේ. ඒ අතර, විදේශගතව පුහුණුවීම් හැදෑරිම වෙනුවට තවදුරටත් සුසන්ත ප්‍රනාන්දු මහතා යටතේ මෙරටදී පුහුණුවීම් දිගටම පවත්වාගෙන යාමට ඇය තීරණය කර තිබේ.

සුසන්ත ප්‍රනාන්දු මහතා, තරුෂි 12 හැවිරිදි වියේ සිටම ඇගේ පෞද්ගලික පුහුණුකරු ලෙස කටයුතු කරයි.

බැංකොක් ආසියානු ශූරතාවලිය, (විනාඩි 2යි තත්පර 0066), හංජෝ ආසියානු ක්‍රීඩා උළෙල (විනාඩි 2යි තත්පර 03.20), යෙචියොන් ආසියානු වයස 20න් පහළ තරගාවලිය (විනාඩි 2යි තත්පර 05.64) යන ඇය 2023 වසරේදී සහභාගි වූ අන්තර්ජාතික තරග මාලා තුනකදීම පිට පිටම මීටර 800 (කාන්තා) රන් පදක්කම් දිනාගත් ඇය, ආසියානු ක්‍රීඩා මලල ක්‍රීඩා තරගාවලියේදී ජය ගත්තේ, එහි වසර 25ක් පැරැණි වාර්තාවක් බිඳ දමමිනි.

උසස් පෙළ විභාගයට පෙර ඇය සිය අවසන් අන්තර් පාසල් මලල ක්‍රීඩා තරගාවලියට සහභාගි වෙමින් කොළඹ සුගතදාස පිටියේදී පැවැති 2023 සමස්ත ලංකා පාසල් මලල ක්‍රීඩා තරගාවලියට් සහභාගි වෙමින් මීටර් 400 (බාලිකා) වයස 20න් පහළ ඉසව්ව ජය ගත්තාය.

වසර 2023 දී ඇය සහභාගි වූ ප්‍රධානතම ආසියානු මලල ක්‍රීඩා තරගාවලි (ජ්‍යෙෂ්ඨ හා කනිෂ්ඨ) තුනකදී සහාය දිවීමේ ඉසව්වලින් ද ඇතුළුව රන්, රිදී හා ලෝකඩ පදක්කම් අටක් දිනා ගැනීමට සමත්ව තිබේ.

2023 වසරේදී එම සියලු ජාත්‍යන්තර ජයග්‍රහණ ලබන විට ඇය වලල ඒ. රත්නායක මධ්‍ය මහ විදුහලේ ඉගෙනුම ලැබූ, 19 හැවිරිදි වියේ පසු වන සිසුවියක් වීම කැපී පෙනුණුම සිදුවීමයි.



                                                                                        නාමල් පතිරගේ


Thursday, February 15, 2024

භානුකට ලොකු ක්‍රීඩා සමාජයකින් ඇරයුමක්



ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රහාරාත්මක පිතිකරු භානුක රාජපක්ෂ මුම්බායි ඉන්දියන්ස් ක්‍රීඩා සමාජය සමගින් එක්වී ඇත. ඒ මේ වනවිට එ.අ.එමීර් රාජ්‍යයේදී පැවැත්වෙන අන්තර්ජාතික විස්සයි20 ලීග් ක්‍රිකට් තරගාවලියටයි. මෙහිදී භානුක එක්වී ඇත්තේ මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායමට අනුබද්ධ එම්.අයි.එමිරේට්ස් කණ්ඩායමටයි. මෙම කණ්ඩායමට එංගලන්ත වේගපන්දු යවන ක්‍රීඩක ර්ස් ටොප්ලි හා ඇමර්කානු ක්‍රීඩක මොනාන්ක් පටෙල් ගිවිසුම්ගත වී ඇත.


Thursday, February 8, 2024

එක්දින සංචිතයෙන් දසුන් හැලෙයි

ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්තානය අතර පල්ලෙකැලේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන තරග තුනකින් සමන්විත එක්දින තරගාවලිය සදහා නම් කරන ලද ක්‍රීඩකයන් 16 දෙනෙකුගෙන් යුත් ශ්‍රී ලංකා සංචිතයෙන් ශ්‍රී ලංකා සීමිත ඕවර කණ්ඩායම් දෙකේම හිටපු නායකයා වූ දසුන් ශානකගේ නම හැළී ගොස් තිබේ.

පසුගිය මාසයේදී සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහිව කොළඹ පැවැති තරගාවලියේදී සංචිතයට ඇතුළත්ව සිටි පිතිකරු නුවනිදු ප්‍රනාන්දු සහ පා දඟ පන්දු යවන ක්‍රීඩක ජෙෆ්රි වැන්ඩර්සේ ද එක්දින සංචිතයෙන් ඉවත් කර ඇත.

ඇෆ්ඝනිස්තානු පිලට එරෙහිව, ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකළ පැතුම් නිශ්ශංක එක්දින තරගාවලිය සඳහා කැඳවා ඇතත් කණ්ඩායමේ තුන්වැනි ආරම්භක පිතිකරුවා වශයෙන් ෂෙවෝන් ඩැනියෙල් තවදුරටත් සංචිතයේ රඳවාගෙන තිබේ.

පසුගිය ලෝක කුසලාන තරගාවලියේදී නායකත්වය මෙන්ම කණ්ඩායමේ ස්ථානයත් අහිමි කරගත් දසුන් ශානක, සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති තරගාවලියේදී තරග දෙකකදී ලබාගත්තේ ලකුණු 8 ක් සහ 7 ක් පමණි. දසුන්ගේ අවසන් එක්දින ඉනිම 21 දී දක්නට ඇත්තේ එකම අර්ධ ශතකයකි. දසුන් ශානක වෙනුවට තූන් ඉරියව් ක්‍රීඩක චාමික කරුණාරත්න එක්දින සංචිතයට පැමිණ තිබේ.

වනිඳු හසරංග ප්‍රමුඛතම පා දග පන්දු වශයෙන් කණ්ඩායමට එක්වන බැවින් වැන්ඩර්සේට ස්ථානය අහිමි වී ඇත.

වෛරස් උණ රෝගයක් හේතුවෙන් සිම්බාබ්වේ පිලට එරෙහිව පැවැති එක්දින තරගාවලියට ක්‍රීඩා නොකළ ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ද දිගු ඉනිමක් කරා යාමේ හැකියාවෙන් යුතු අයෙකි.

එක්දින ශතක 3 ක් සහ අර්ධ ශතක 13 ක හිමිකරුවකු වන පැතුම් නිස්සංක එක්දින තරග 49 කදී රැස්කරගෙන ඇති ලකුණු සංඛ්‍යාව 1728 කි. ඉනිමක සාමාන්‍යය 38.40 කි. ටෙස්ට් තරගයට ක්‍රීඩා නොකළ නිස්සංක පසුගිය සතියේදී පැවැති ජාතික සුපර් ලීග් (සිවුදින) තරගයකදී කොළඹ කණ්ඩායමට එරෙහිව ලකුණු 151 ක් ලබා ගත්තේය.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්තානය අතර එක්දින තරගාවලිය ලබන සිකුරාදා (9 වැනිදා) පල්ලෙකැලේ ක්‍රීඩාංගණයේදී ආරම්භ වෙයි. තරගාවලිය තරග 3 කින් සමන්විතය.


ශ්‍රී ලංකා එක්දින සංචිතය

කුසල් මෙන්ඩිස් (නායක), චරිත් අසලංක (උප නායක), පැතුම් නිශ්ශංක, අවිශ්ක ප්‍රනාන්දු, සධීර සමරවික්‍රම, සහන් ආරච්චිගේ, ෂෙවෝන් ඩැනියෙල්, චාමික කරුණාරත්න, ජනිත් ලියනගේ, මහීෂ් තීක්ෂණ, ඩිල්ෂාන් මධුශංක, දුෂ්මන්ත චමීර, දුනිත් වෙල්ලාලගේ, ප්‍රමෝද් මධුශාන්, අකිල ධනංජය සහ වනිඳු හසරංග.



                                                                                                                   දමින්ද විජේසූරිය


Friday, February 2, 2024

අනුමැතිය දීමේ ඇමති බලය ස්වාධීන කමිටුවකට

ලෝකයේ කිසිම රටක ක්‍රීඩා කණ්ඩායම්වලට ක්‍රීඩා ඇමති අනුමැතිය ලබාගත යුතු ක්‍රියාදාමයක් නොමැති බවත් එය ශ්‍රී ලංකාවේ ක්‍රීඩා ඇමතිවරයාට ලැබුණු වැරදි ඔටුන්නක් බවත් ක්‍රීඩා ඇමති හරින් ප්‍රනාන්දු මහතා පැවසීය.

ජනාධිපති ලේකම් කාර්යාලයේ දී පෙරේදා (31) පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් එහිදී හරින් ප්‍රනාන්දු මහතා පැවසුවේ රටේ යල් පැනගිය ක්‍රීඩා පනත වෙනස් කරමින් ක්‍රීඩා ඇමතිවරයාගේ බලතල කප්පාදු කරන නව ක්‍රීඩා පනතක් සකස් කිරීම සඳහා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ වන විටත් උපදෙස් ලබාදී තිබෙන බවයි. 

මෙම මාධ්‍ය හමුවේදී ඇමති හරින් ප්‍රනාන්දු මහතා මෙසේද පැවසීය. "ක්‍රීඩා කණ්ඩායම් ඇමති අනුමැතිය ගත යුතුයි කියන නීතිය වඩාත්ම ක්‍රියාත්මක කරන්න වුණේ එල්.ටී.ටී.ඊ.ය වගේ සංවිධාන ක්‍රියාත්මක වුණු අවධියේ. මොකද අපේ රටේ සමහර ක්‍රීඩකයන් එල්.ටී.ටී.ඊ.යේ කොඩියෙන් පිටරට යනවද කියලා හොයලා බලන්න වුණු කාලයකුත් රටේ තිබුණා. 

ක්‍රීඩා කණ්ඩායම්වලට අනුමැතිය දීම ක්‍රීඩා ඇමතිවරයා නොවෙයි ස්වාධීන කමිටුවකට පැවරිය යුතුයැයි මම කියනවා. ඇමති අනුමැතිය දෙන මේ ක්‍රමය දේශපාලනීකරණය වීමක් වගේ.

රටේ ක්‍රිකට් ප්‍රශ්නය මඩ ගහගෙන විසඳන්න බෑ. දැන් වෙලා තියෙන්නේ අපි උඩ බලාගෙන කෙළ ගහගන්න එකයි. හිටපු ක්‍රීඩා ඇමැතිවරයායි තව කෙනෙකුයි එකතුවෙලා මට දැන් මඩ ගහගෙන යනවා. විවිධ අවලාද නගනවා. මම ඒ එකකටවත් උත්තර දෙන්න යන්නේ නෑ.

රටේ ක්‍රිකට්වල ප්‍රශ්නයක් තිබෙනවා. එය විසඳිය යුතුයි. ප්‍රශ්නය වෙලා තියෙන්නේ මේ රටේ ක්‍රිකට් ක්‍රීඩාවට වියදම් කරන හැම රුපියලක්ම දීලා තිබෙන්නේ අයි.සී.සී.ය මිසක් මුදල් අමාත්‍යාංශය නොවෙයි. ඒ හින්දා ක්‍රීඩා අමාත්‍යාංශයට ක්‍රිකට් ප්‍රශ්නයට උවමනා විදියට මැදිහත් වෙන්න බෑ.

රටේ ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුවීම් වැඩි ප්‍රමාණයක් වෙන්නේ බෙත්තාරාම (ආර්. ප්‍රේමදාස) ක්‍රීඩාංගනයේදී. නමුත් එතන පඩි ගන්න සමහර අය මාස ගණනකින් ගිහිල්ලා නෑ.

නව ක්‍රිකට් ව්‍යවස්ථාවක් ඉදිරියේදී එළිදක්වනවා. එතනදි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ ඡන්ද ගණන 60කට සීමා කරන්න යෝජනා වෙලා තිබෙනවා. ඊට සියලු පාර්ශ්වවල සුබවාදී අදහස් පළ වෙලා තිබෙනවා.

රටේ ක්‍රිකට් ක්‍රීඩාව අද තියෙන්නේ මාතර ඉදලා කොළඹ ප්‍රදේශ කීපයක විතරයි. කුරුණෑගල වගේ ප්‍රදේශයකින් රංගන හේරත් වගේ එක්කෙනෙක් දෙන්නෙක් ආවා. නුවරින් කුමාර් සංගක්කාර, මුරලිදරන් වගේ අය ආවා. වෙන රටේ ක්‍රිකට් තියෙන්නේ කොහේද?

මේ වෙන තෙක් බදුල්ලෙන් සීගිරියෙන් ක්‍රිකට් ක්‍රීඩකයෙක් ශ්‍රී ලංකා කණ්ඩායමට ඇවිල්ලා තිබෙනවද? රටේ ක්‍රීඩාංගණ රුපියල් මිලියන තුන්සිය ගණන් වියදම් කරලා හදලා ටික දවසකින් ජරාවාස වෙලා තිබෙනවා. රටේම ක්‍රීඩාංගණවල තත්වය මෙයයි. ඉදිරියේදී අපි පෞද්ගලික අංශයත් සම්බන්ධ කර ගනිමින් රටේ ක්‍රීඩාංගණ පවත්වාගෙන යන්න බලාපොරොත්තු වෙනවා.

ආසියානු පාපන්දු සමුළුවේ සභාපතිතුමා අපිට පොරොන්දු වෙලා තිබෙනවා කටාන ප්‍රදේශයේ ඉදිවන ජාත්‍යන්තර පාපන්දු ක්‍රීඩාංගණයකට අනුග්‍රාහකත්වය ලබා දෙන්න. ලබන අප්‍රේල් මාසයේදී ඔහු ඒ සඳහා ලංකාවට එනවා.

සූරියවැව ක්‍රීඩාංගණයේ දී මීළඟ අයි.පී.එල්. තරගාවලියේ තරග දෙක තුනක් තියන්න මා කළ ඉල්ලීමට ඉන්දීය ක්‍රිකට් ආයතනයේ සභාපතිවරයා ඉතාම සුබවාදී ප්‍රතිචාර පළ කරලා තිබෙනවා.

ඇමති ධුරයට ආවට පස්සේ ක්‍රිකට් ආයතනයට සම්බන්ධ කමිටුවක් පත් කළා කියලා මාධ්‍යවල පළ වුණා. එය අසත්‍යයක්. නමුත් අයි. සී.සී. සභාපති අපිට පොරොන්දු වෙලා තිබෙනවා අලුත් ක්‍රිකට් ව්‍යවස්ථාව හදනකොට තාක්ෂණික පැත්තෙන් උදව් දෙන්නට. සනත් ජයසූරිය මහතා ක්‍රිකට් ආයතනයේ තනතුරකට පත් කළාට පස්සේ මම හොයලා බැලුවා එතුමා මොනවද කරන්නේ කියලා. දැන් එතුමා මේ දවස්වල ඉන්නේ දකුණු අප්‍රිකාවේ. මම හොයලා බැලුවා පඬිය ගත්තද කියලා. ඒත් එතුමා තාම පඩිය අරගෙන නෑ.



                                                                                                                                  නාමල් පතිරගේ


Thursday, February 1, 2024

ෂම්මිගේ යෝජනාවෙන් ජේ ෂාගේ සභාපති ධුරය දිගුවෙයි

ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයට අඛණ්ඩව තෙවැනි වරටත් ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ෂා තේර් පත්විය. ඒ එම කවුන්සිලයේ ඊයේ (31දා) පැවති වාර්ෂික මහාසභා රැස්වීමේදීය. ඉන්දුනීසියාවේ බාලිහිදී මෙය පැවැත්වීණි. 

මෙහිදී ෂාගේ ධුර කාලය දිගුකිරීමේ යෝජනාව ශ්‍රී ලංකා ක්‍රිකට් සභාපති ෂම්මි සිල්වා විසින් කර ඇති අතර, එය කවුන්සිලයේ සාමාජිකයන්ගේ ඒකමතික තීන්දුවෙන් සම්මත වී ඇත. මේ අනුව ඉදිරි වසරක කාලය තුළ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ භාරකාරත්වය ජේ. ෂාට හිමිවනු ඇත.

2021 වර්ෂයේදී මුල්වරට ජේ. ෂා තේරී පත්වන්නේ ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති නස්මුල් හසන්ගෙන් පසුවයි. ෂාගේ සභාපතිත්වය යටතේ 2022 වසරේ ආසියානු කුසලානය විස්සයි20 තරග ආකෘතියකිනුත්, 2023 වසරේ එම තරගාවලිය එක්දින ආකෘතියකිනුත් පැවැත්විණි. ජේ. ෂා ශ්‍රී ලංකාව සමගින් සුහදත්වයෙන් කටයුතු කළ අයෙකු ලෙසින්ද ප්‍රකටය.

කෙසේ වෙතත් ඔහු මේ වසරේ නොවැම්බර් මසදී පැවැත්වීමට නියමිත අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ (ICC) සභාපති ධුරය සඳහා තරග කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලයේ සභාපති ධුරයෙන් ඉවත්වීමේ සූදානමක්ද ඇති බව පසුගියදා වාර්තා පළවිය.

සිය ධුර කාලය දිගුවීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ජේ.ෂා පවසන්නේ, ආසියාව පුරා ක්‍රිකට් පෝෂණය කිරීමට ආසියානු ක්‍රිකට් කවුන්සිලය පියවර ගන්නා බවයි.


                                                                                                                           ඕෂිත වරකපිටිය


Wednesday, January 31, 2024

ටෙස්ට් සංචිතය පිතිකරුවන්ගෙන් පුරවයි

ජාතික සුපර් ලීග් තරගාවලියේදී ගෙවී ගිය සති අන්තයේ ශතක ලබාගත් පිතිකරුවෝ සිවු දෙනෙක්ම ටෙස්ට් සංචිතයට ඇතුළත්ව සිටිති. පසුගිය සති අන්තයේදී පැවැති ජාතික සුපර් ලීග් තරගාවලියේ තරග දෙකකදී කමිදු මෙන්ඩිස් (115), ඇන්ජලෝ මැතිව්ස් (146), දිමුත් කරුණාරත්න (161) සහ ධනංජය ද සිල්වා (113) ශතක ලබාගත්හ.

ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර ලබන සිකුරාදා (02 වැනිදා) ආරම්භ වන එකම ටෙස්ට් තරගය සඳහා නම් කරන ලද ක්‍රීඩකයන් 15 දෙනකුගෙන් සමන්විත සංචිතයට නවක ක්‍රීඩකයෝ තිදෙනෙක් ද ඇතුළත්ව සිටිති. තවමත් ටෙස්ට් වරම් ලබා නොමැති ළහිරු උදාර, චාමික ගුණසේකර සහ මිලාන් රත්නායක ද මෙම සංචිතයට ඇතුළත් කර තිබේ. එසේ වුවත් තේරීම් කමිටු නිලධාරීන්ගේ වැඩි අවධානය යොමු වී ඇත්තේ පිතිකරුවන් කෙරෙහිය.

පසුගිය සති අන්තයේදී ශතක ලබා නොගත් නමුත් කුසල් මෙන්ඩිස්, දිනේෂ් චන්දිමාල්, සධීර සමරවික්‍රම, නිශාන් මධුෂ්ක මෙන් ළහිරු උදාරත් කණ්ඩායමේ සිටින ප්‍රබලතම පිතිකරුවෝ වෙති. ශ්‍රී ලංකා පිලට ඇති එකම කනස්සල්ල වන්නේ තරග කිහිපයකදීම සධීර සමරවික්‍රම අසාර්ථක වීමයි. පිතිකරුවකු වශයෙන් ලකුණු ලබා නොගත් නමුත් සධීර විසින් රැකගනු ලබන ඇතැම් උඩපන්දු නිරීක්ෂණයෙන් වටහාගත හැක්කේ ඔහු දිගු ඉනිමක් අබියස සිටින බවකි.

හිටපු නායක දිමුත් කරුණාරත්න කණ්ඩායමේ සිටියදීම, ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම තරග වදින පළමු අවස්ථාව මෙයයි. මෙම තරගය ශ්‍රී ලංකාව සහ ඇෆ්ඝනිස්ථානය අතර පැවැත්වෙන මංගල ටෙස්ට් තරගයයි.

ශ්‍රී ලංකාවේ අවසන් ටෙස්ට් තරග දෙකම දඟ පන්දු යවන්නන්ගේ රජ දහනක් වන ගාල්ල ක්‍රීඩාංගණයේදී පැවැති නමුත් එම තරග දෙකේදීම පාකිස්තානුවන් හමුවේ ශ්‍රී ලංකාව දැවැන්ත පරාජයන් දෙකකට මුහුණ දුන්නේය. ඇෆ්ඝනිස්ථානය සතුව ප්‍රබල පන්දු යවන්නන් රැසක්ම සිටින බැවින් එස්.එස්.සී. පිටියේ තණතීරුව පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය තත්ත්වයකින් සූදානම් කෙරෙන බවත් දැනගන්නට තිබේ. 

කෙසේ වෙතත් ඇෆ්ඝනිස්ථානයට එරෙහිව පැවැත්වෙන මෙම තරගය ලෝක ටෙස්ට් ශූරතාවලියට අයත් තරගයක් නොවේ. ලෝක ටෙස්ට් ශූරතාවලියේ නවතම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාවට හිමිවී ඇත්තේ 9 වැනි ස්ථානයයි. 


ශ්‍රී ලංකා සංචිතය -

ධනංජය ද සිල්වා (නායක), කුසල් මෙන්ඩිස්, දිමුත් කරුණාරත්න, ඇන්ජලෝ මැතිව්ස්, දිනේෂ් චන්දිමාල්, සධීර සමරවික්‍රම, නිශාන් මධුෂ්ක, කමිඳු මෙන්ඩිස්, ළහිරු උදාර, ප්‍රභාත් ජයසූරිය, අසිත ප්‍රනාන්දු, කසුන් රාජිත, මිලාන් රත්නායක, විශ්ව ප්‍රනාන්දු සහ චාමික ගුණසේකර



                                                                                                                                    දමින්ද විජේසූරිය


Monday, January 29, 2024

ලාරාගේ සතුටු කඳුළු හා ගිල්ක්‍රිස්ට්ගේ මහත්මා ගුණය

බ.ඉ.කොදෙව් කණ්ඩායමේ මෙවර ඔස්ට්‍රේලියානු තරග සංචාරය ආරම්භ වන විට බොහෝදෙනෙකු ප්‍රකාශ කළේ මෙම තරගාවලියේදී ඔස්ට්‍රේලියාවට පහසුවෙන් තරග 2-0ක ජයග්‍රහණයක් ලබාගත හැකිවනු ඇති බවයි.

ඒ පසුගිය (2021-23) ටෙස්ට් ලෝක ශූරයන් ලෙස කිරුළු පැලඳි ඔස්ට්‍රේලියාව, ඔවුන්ගේ රටේදීම පරාජයට පත් කිරීම එතරම්ම අභියෝගයක් වූ බැවිනි. එය සාක්ෂාත් කර ගනිමින් පළමු තරගයෙන් පහසු ජයක් ඔස්ට්‍රේලියාව හිමිකර ගත් නමුත් සියල්ල උඩු යටිකුරු කරමින් දෙවැනි තරගයෙන් ලකුණු 8ක තියුණු ජයක් හිමිකර ගැනීමට කොදෙව්වන් සමත් වූයේ වසර 30කට ආසන්න කාලයක් තමන්ට සිහිනයක් වූ දෙය ඉටු කරගනිමිනි. 

මෙහිදී තරගයේ විස්තර විචාරය කරමින් සිටියේ බ.ඉ.කොදෙව් හා ඔස්ට්‍රේලියානු කණ්ඩායම්වලින් බිහිවූ පුරාවෘත්ත ක්‍රීඩකයන් දෙපළක් වූ බ්‍රයන් ලාරා හා ඇඩම් ගිල්ක්‍රිස්ට්ය. 

සිය කණ්ඩායමට නොතිබූ ජයක් අවසන් මොහොතේදී හිමිකර ගැනීමත් සමගින් කොදෙව් ක්‍රීඩක ලාරාට එය අදහාගත නොහැකි වූ අතර, ඔහුගේ නෙතඟ සතුටු කඳුළින් තෙත්විය.

එහිදී විස්තර විචාරක කුටියේ සිටි ප්‍රතිවාදී ඔස්ට්‍රේලියානු පාර්ශ්වය නියෝජනය කළ ඇඩම් ගිල්ක්‍රිස්ට්, තම කණ්ඩායම ලැබූ පරාජය මදකට අමතක කරමින් සිය විස්තර විචාරක සඟයා වැලඳ ගනිමින් ඔහුගේ සතුට බෙදා ගැනීමට කටයුතු කිරීම විශේෂත්වයකි.

මෙම ජයග්‍රහණයට පෙර 1997 වර්ෂයේ කොදෙව්වන් අවසන් වරට ඔස්ට්‍රේලියානු භූමිය තුළ ටෙස්ට් ජයග්‍රහණයක් ලබා ගැනීමේදී, පිත්තෙන් එහි නියමුවකු බවට පත්වීමටද ලාරාට හැකි විය. කොදෙව්වන්ට කඩුලු 10ක ජයක් ලැබුණු මෙම තරගයේදී ලාරා පිත්තෙන් ලකුණු 132ක් රැස් කරමින් තරගයේ වාර්තා වූ ඉහළම ඉනිමේ හිමිකරුවා බවට පත්විය.

                                                                                                                                 ඕෂිත වරකපිටිය


Thursday, January 18, 2024

බෙන්සෙමා එරට ඇමතිවරයෙකුට එරෙහිව නඩු මගට

ප්‍රංශ පාපන්දු කණ්ඩායමේ සුපිරි ප්‍රහාරක ක්‍රීඩක කරීම් බෙන්සෙමා, එරට අභ්‍යන්තර කටයුතු අමාත්‍ය ජෙරල්ඩ් ඩර්මානින්ට එරෙහිව නඩු මගට පිවිසීමට සූදානම් වන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඒ එම අමාත්‍යවරයා විසින් බෙන්සෙමා ඊජිප්තු ඉස්ලාමීය සංවිධානයක් වන Muslim brotherhood සමග සබඳතා පවත්වන බවට චෝදනා එල්ල කිරීම හේතුවෙනි. මෙමගින් තමන් ත්‍රස්තවාදී කටයුතුවලට අනුබල දෙන බව අමාත්‍යවරයා චෝදනා කර ඇති බවත්, සිය කීර්තිනාමයට එමගින් කැළලක් ඇති බව බවත් පවසමින් බෙන්සෙමා මෙම ක්‍රියාමාර්ගය ගෙන ඇත.

ගාසා තීරයේ වෙසෙන ජනයා වෙත කෙරෙන ඊශ්‍රායල් ප්‍රහාරයන්ට විරොධය පළ කරමින් බෙන්සෙමා පසුගිය වසරේ ඔක්තෝබර් මාසයේදී සිය නිල සමාජ මාධ්‍ය වෙබ් අඩවියෙහි පළ කළ ප්‍රකාශ සම්බන්ධයෙන් අමාත්‍ය ජෙරල්ඩ් ඩර්මානින් විසින් බෙන්සෙමා අලලා මෙම ප්‍රකාශ සිදු කර තිබුණේ Muslim brotherhood සංවිධානය සමගින් බෙන්සෙමාගේ නීතිවිරෝධී සම්බන්ධයක් ඇති බවයි. කෙසේ වෙතත් බෙන්සෙමා පවසන්නේ අදාළ සංවිධානය සමගින් තමන්ගේ කිසිදු සම්බන්ධයක් නොමැති බවයි.

36 හැවිරිදි වියේ පසුවන බෙන්සෙමා 2007 වර්ෂයේ සිට 2022 වර්ෂය දක්වා ප්‍රංශ පාපන්දු කණ්ඩායම නියෝජනය කළ අතර, එහිදී තරග 97කදී ඔහු රැස්කර ඇති ගෝල සංඛ්‍යාව 37කි. එය ප්‍රංශය වෙනුවෙන් ක්‍රීඩකයෙකු රැස්කළ හයවැනි වැඩිම ගෝල සංඛ්‍යාවයි.

අන්තර්ජාතික පිටියට වඩා ක්‍රීඩා සමාජ පිටියේ වැඩි දස්කම් පෙන්වා ඇති බෙන්සෙමා ස්පාඤ්ඤ රියල් මැඩ්රිඩ් කණ්ඩායම වෙනුවෙන් තරග 648කදී ගෝල 354ක් රැස් කරගෙන ඇත. එම ක්‍රීඩා සමාජය වෙනුවෙන් සුපිරි පෘතුගාල ක්‍රීඩක ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ හැරුණු විට වැඩිම ගෝල රැස්කර ඇති ක්‍රීඩකයා වන්නේද බෙන්සෙමාය.


Tuesday, January 16, 2024

ඉරියව් දෙකක් සම්පූර්ණ වී ඵලක් නැත

සංචාරක සිම්බාබ්වේ හා ශ්‍රී ලංකා කණ්ඩායම් අතර පැවැත්වෙන දෙවැනි විස්සයි20 තරගය අද (16දා) කොළඹ ආර්. ප්‍රේමදාස පිටියේදී පැවැත්වේ. තරගාවලියේ පළමු තරගය ජය ගනිමින් ශ්‍රී ලංකාව මෙම තරගයට පිවිසෙන්නේ ජයග්‍රාහී මානසිකත්වයෙනි.

එහිදී පසුගිය වසර පුරාවටම ශ්‍රී ලංකා කණ්ඩායමෙන් දක්නට ලැබුණු දුර්වල පන්දු රැකීම ඉතා හොඳින් සකස් කර ගැනීමට ඔවුන් සමත් වී තිබීම කැපීපෙනෙන වර්ධනයකි. උපුල් චන්දන ශ්‍රී ලංකා කණ්ඩායමේ පන්දු රැකීමේ උපදේශකයා බවට පත්වීමේ වඩාත්ම වර්ධනයක් පෙන්වීමේ අවස්ථාවක් ලෙසද මෙය හැඳින්විය හැකිය.

1996 ලෝක කුසලානයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේද සාමාජිකයෙකු වූ උපුල් චන්දන, ශ්‍රී ලංකාවෙන් බිහිවූ අතිදක්ෂ පන්දු රකින්නෙක් ලෙසින්ද හැඳින්විය හැක. සිම්බාබ්වේ සමගින් පැවැති පළමු එක්දින තරගයේදී ලකුණු 150 සීමාව ඉක්මවිය හැකිව තිබූ සිම්බාබ්වේ ඉනිම මන්දගාමී කිරීමට ලංකා දක්ෂ පන්දු රැකීම හේතු විය.

නමුත් අප දිගින් දිගටම කියූ පරිදි පිතිකරණ අංශයේ නම් කිසිදු වර්ධනයක් සිදුවී නොතිබීම කනගාටුවට කරුණකි. ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ්, පිතිකරණ පුහුණුකරු නවීඩ් නවාස්, පුහුණු උපදේශක සනත් ජයසූරීය, පිතිකරණ උපදේශක තිළිණ කණ්ඩම්බි ඇතුළු පුහුණුකරුවන් රාශියක් සිටියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ පිතිකරණ අංශය මෙලෙස දිගින් දිගටම දුර්වල වීම කනගාටුවට කරුණකි.

විශේෂයෙන් පසුගිය කාලයේ අන්තර්ජාතික විස්සයි20 පිටියේ නොකඩවා අත්දැකීම් සහිත ඉදිරි පෙළ පිතිකරණයක් තිබියදී කලකට පසු කණ්ඩායමට පැමිණි ඇන්ජලෝ මැතිව්ස් නොසිටියේ නම් ශ්‍රී ලංකා කණ්ඩායමේ ඉරණම එම තරගයේදී වෙනස් වීමට බොහෝ දුරට ඉඩක් තිබිණි.

විස්සයි20 තරග රටාව සාපේක්ෂව තරගකාරීත්වය වැඩි, ඉතා ඉක්මනින් ප්‍රතිඵලය වෙනස් වන සුළු තරග රටාවක් බව සැබෑය. නමුත් පිට පිට විස්සයි20 ලෝක කුසලාන දෙකකට සුදුසුකම් ලැබීමට නොහැකි වූ, උගන්ඩාව වැනි රටකට පවා පරාජය වූ සිම්බාබ්වේ කණ්ඩායම ඉදිරියේ තම රටේදී ශ්‍රී ලංකා පිතිකරුවන්ට මීට වඩා යමක් සිදු කළ හැකි බව අපගේ විශ්වාසයයි. පිතිකරණ අංශයේ මෙවැනි අඩුපාඩුවක් තිබියදී සිම්බාබේ වැනි කණ්ඩායමක් සමග ජයග්‍රහණය කළද අනෙක් කණ්ඩායම් පාලනය කිරීම ශ්‍රී ලංකාවට බොහෝ අසීරු විය හැකි බව අපගේ විශ්වාසයයි. අද (16දා) තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමේ වෙනසක් සිදු විය හැකි බව බලාපොරොත්තුව නොවිය හැකි වුවද නුවන් තුෂාර වෙනුවට මතීශ පතිරණ ක්‍රීඩා කිරීමට අවස්ථාවක් ඇත.

තරගය ශ්‍රී ලංකාව වේලාවෙන් අද (16දා) සවස 7.00 ට ආරම්භ වීමට නියමිතව ඇත.


ඕෂිත වරකපිටිය


Wednesday, January 10, 2024

කොළඹ හිටපු ප්‍රධානීන් 3කට තහනම් නියෝග

කොළඹ දිස්ත්‍රික් මල්ලවපොර සංගමයේ හිටපු ප්‍රධානීන් තිදෙනකුට එරෙහිව තහනම් නිර්දේශ ඉදිරිපත් කරමින් ඔවුන් ඉදිරි නිලවරණයන්ට ඉදිරිපත් වීම නීති විරෝධී විය හැකි යැයි දක්වමින් ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ (හිටපු) සභාපති සරත් හේවාවිතාරණ මහතා ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට ලිපියක් යොමු කර තිබේ. 

කොළඹ දිස්ත්‍රික් මල්ලවපොර සංගමයේ හිටපු සභාපතිවරයකු වන නිරෝෂන් සංජීව පෙරේරා, එහි හිටපු ලේකම්වරයකු වන එච්.එම්. ලක්ෂ්මන් හා එහි හිටපු උප සභාපතිවරයකු වන සමන් දිනේෂ් කුමාර යන මහත්වරුන්ට එරෙහිව එම සංගමයේ විනය කමිටුව විසින් ගනු ලැබූ තීරණයකට අනුව මල්ලවපොර සම්මේලනයේ හිටපු සභාපතිවරයා එම ලිපිය ඔහුට යොමු කර තිබේ.

විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා ලැබූ මෙම ඉහත හිටපු නිලධාරීන්ට මතු මල්ලවපොර නිලවරණ පාදක කර ගනිමින් පත්කර ගන්නා තනතුරු දැරීම තහනම් කරමින් කොළඹ සංගමය ඔවුන්ට තහනම් නියෝග නිකුත් කර ඇතැයි ක්‍රීඩා අධ්‍යක්ෂ ජනරාල්වරයාට මල්ලවපොර සම්මේලනයේ හිටපු සභාපති සරත් හේවාවිතාරණ මහතා යොමු කළ ලිපියේ වැඩිදුරටත් දැක්වේ. 

මේ සම්බන්ධයෙන් මල්ලවපොර සම්මේලනයේ හිටපු ලේකම් අජන්ත රත්නායක මහතාට කොළඹ දිස්ත්‍රික් මල්ලවපොර සංගමයේ විනය කමිටුව විසින් යොමු කරන ලද ලිපි, ලිඛිත සාක්ෂි ලෙස ඉදිරිපත් කළ හැකි බවත් එම ලිපියේ සඳහන් වේ.

ශ්‍රී ලංකා මල්ලවපොර සම්මේලනයේ මීළඟ නිලවරණය (2024-26) මෙම වසරට යෙදී තිබෙන අතර තමා නැවත සභාපති ධුරයට නාමයෝජනා බාර දෙන බව මේ අතර සරත් හේවාවිතාරණ මහතා පවසයි. 

මේ අතර කොළඹ දිස්ත්‍රික් මල්ලවපොර සංගමයේ හිටපු ලේකම් එච්.එම්. ලක්ෂ්මන් මහතා නොබෝදා ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතාට ලිපියක් යොමු කරමින් චෝදනා කරන්නේ, පසුගිය 2021-23 පාලන කාලය හෙබ වූ මල්ලවපොර සම්මේලනයේ නිලධාරීන් ක්‍රීඩා අමාත්‍යාංශයෙන් රුපියල් ලක්ෂ 50කට ආසන්න මුදලක් ලබාගෙන ඇතත් එකී කාලය තුළදී කිසිදු දේශීය තරගාවලියක් පවත්වා නැති බවත්ය.

එහිදී 2023 ජනවාරි මාසයේ සිට මල්ලවපොර සම්මේලනයේ ලේකම් ධුරය හිස්ව තබා ගැනීම වරදක් බවත් ඔහු ක්‍රීඩා ඇමැතිවරයාට පෙන්වා දී තිබේ.

                                                                                                                 නාමල් පතිරගේ


Tuesday, January 9, 2024

තීක්ෂණ නැවතත් සුපුරුදු රිද්මයට

සත්කාරක ශ්‍රී ලංකාව සමග පැවති දෙවැනි එක්දින තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 44.4කදී සියලු දෙනා දැවී රැස් කළේ ලකුණු 208ක් පමණි. කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේ ඊයේ (08දා) පැවති මෙම තරගය එම ක්‍රීඩාංගණයේ පැවති 200වැනි අන්තර්ජාතික ක්‍රිකට් තරගයද විය.

ජෝයිලෝඩ් ගම්බී හා ටිනාශේ කුමුනුකම්වේ ඉනිම ආරම්භ කළද, පළමු තරගයේදී මෙන්ම පළමු පන්දුවාරයේදීම කුමුනුකම්වේ ලකුණු නොලබා දවාගැනීමට වේගපන්දු යවන ක්‍රීඩක ඩිල්ෂාන් මධුසංඛ සමත් විය.

නමුත් දෙවැනි කඩුල්ලට පන්දු 68කදී ලකුණු 60ක සබඳතාවක් පැවැත්වීමට නායක ක්‍රේග් අර්වින් හා ගම්බී සමත් වූ අතර, එහිදී මහීෂ් තීක්‍ෂණගේ පන්දුවක් හමුවේ ගම්බී ලකුණු 30කට දැවී ගියේය. අනතුරුව පිටියේ ක්‍රේග් අර්වින් සමග එක් වූ මිල්ටන් ෂුම්බා තෙවැනි  කඩුල්ලට ලකුණු 54ක සබඳතාවක් පැවැත්වීය. අර්වින් සිය 20වැනි එක්දින අර්ධ ශතකය මෙහිදී වාර්තා කළේය.

නමුත් සිම්බාබ්වේ මැදපෙළ කඩුලු 02ක් එක් ලකුණක් තුළ දවා ගැනීමට වැන්ඩසේ සමත් වීමත් සමඟ සිම්බාබ්වේ ඉනිම තරමක් මන්දගාමී විය. එහෙත් නැවතත් ශ්‍රී ලංකාවට හිසරදයක් වූ අර්වින් හා රයන් බර්ල් 05වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 67ක සබඳතාවක් පැවැත්වූයේ පන්දු 70ක් තුළදීය.

සිම්බාබ්වේ ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ නායක අර්වින් ලකුණු 82කට දැවී ගියේ දුෂ්මන්ත චමීගේ පන්දුවකට සදීර සමරවික්‍රම විසින් රැකගත් විශිෂ්ට උඩපන්දුවක් හේතුවෙනි. අනතුරුව රයන් බර්ල්ද දවා ගනිමින් සිම්බාබ්වේ මැද පෙළ අසරණ කිරීමට චමීර සමත් විය.

එහිදී කඩුලු 04කට ලකුණු 182ක්ව තිබූ සිම්බාබ්වේ ඉනිමේ අවසන් කඩුලු 06ම ලකුණු 28ක් තුළ දැවී යාම විශේෂත්වයකි. කලකට පසු නැවතත් සිය සුපුරුදු රිද්මයට අවතීර්ණ වූ මහීෂ් තීක්‍ෂණ කඩුලු 04ක් දවා ගත්තේය.

සිම්බාබ්වේ 208/10 (පන්දුවාර 44.4) ක්‍රෙග් අර්වින් 82 (102, 4x9, 6x1), රයන් බර්ල් 31 (37, 4x1, 6x1), ජෝයිලෝඩ් ගම්බී 30 (37, 4x4), මිල්ටන් ශුම්බා 26 (45, 4x2), මහීෂ් තීක්‍ෂණ 4/31 (9,4), දුෂ්මන්ත චමීර 2/44 (8), ඩිල්ෂාන් මධුසංක 1/24 (7) සැ. යු. - මෙය ප.ව. 6.30 වනවිට පැවැති තත්ත්වයයි


Thursday, January 4, 2024

කාටවත් පක්ෂග්‍රාහී වෙන්නේ නැහැ දක්ෂතාවලටයි මුල්තැන දෙන්නේ

තමන් ඇතුළු නව තේරීම් කමිටුව කිසිදු ක්‍රීඩකයෙකුට පක්‍ෂග්‍රාහී නොවන බවත්, මුල්තැන ලබාදෙන්නේ දක්‍ෂතාවලට පමණක් බවත් ශ්‍රී ලංකා ක්‍රිකට් නව තේරීම් කමිටු සභාපති උපුල් තරංග පැවසීය. අභිනව තේරීම් කමිටුවේ පළමු මාධ්‍ය සාකච්ඡාවට ඊයේ (03දා) එක්වෙමින් හෙතෙම තවදුරටත් පවසා සිටියේ, තරුණ ක්‍රීඩකයන්ගෙන්ම කණ්ඩායම සමන්විත විය යුතු යැයි තමන් විශ්වාස නොකරන බවයි.

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් අර්බුද පිළිබඳ පැහැදිලි කළ උපුල් තරංග, "ලෝක කුසලාන තරගාවලියේදී අපි හිතුව තරම් සාර්ථක වුණේ නැහැ. අපට දක්‍ෂ පිතිකරුවන් සිටියත් ඔවුන් තමන්ගේ දක්‍ෂතා පවත්වාගෙන ගියේ නැහැ. එක දවසක් හොඳින් ක්‍රීඩා කළොත්, තරග කිහිපයක් යනකම් ඒ දක්‍ෂතාව නැහැ. පන්දු රැකීම ගත්තත් හදාගන්න දේවල් තියෙනවා. කෙසේ නමුත් පසුගිය අවුරුදු කිහිපයම අපේ පන්දු යැවීමේ අංශය හොඳින් තියෙනවා කියලා හිතනවා. 

සිම්බාබ්වේට එරෙහි තරගාවලියට ක්‍රීඩකයන් තෝරාගැනීම ගැන පැහැදිලි කළ තරංග, “ගොඩක් වෙලාවට අපේ ක්‍රීඩක ආදේශන (backup players) තිබුණේ අඩුවෙන්. නමුත් අපි ජාතික කණ්ඩායම ශක්තිමත් කරගන්න නම්, අපේ බැකප් ශක්තිමත් කරගන්න ඕන. ඒක තේරීම් කමිටුව ලෙස අපි බලන ප්‍රධානම දෙයක්. 

අපි කිසිම ක්‍රීඩකයෙකු අතහරින්නේ නැහැ. ඒ වගේම කිසිම ක්‍රීඩකයෙකු වර්ගීකරණය කරන්නේ නැහැ. නවක ක්‍රීඩකයන්ට ඔවුන්ගේ ක්‍රිකට් දියුණු කරගන්න අත්දැකීම් ගොඩක් බලපානවා.

නව තේරීම් කමිටුවේ දිගු කාලීන හා කෙටි කාලීන සැලසුම් පිළිබඳවද මෙහිදී උපුල් තරංග පැවසීය. "අපේ දිගුකාලීන සැලසුම තමයි 2027 එක්දින ලෝක කුසලානයට කණ්ඩායම සූදානම් කිරීම, ඒ වගේම තවත් මාස කිහිපයකින් ආරම්භ වන විස්සයි20 ලෝක කුසලානයට සූදානම්වීම කෙටි කාලීන සැලසුම.

ඒ වෙනුවෙන් දිගටම කුසල් හා වනිදු නායකයන් ලෙස තබාගැනීමට අපි බලාපොරොත්තු වෙනවා. කුසල්ට නිත්‍ය නායකයෙකු ලෙස කටයුතු කරන්න හරි අවස්ථාවක් ලැබුණේ නැහැ.

නායකත්වය දසුන්ගෙන් කුසල්ට දෙන්න හේතු වුණේ දසුන් පිතිකරුවෙකු ලෙස හොඳින් සාර්ථක නොවීම, දසුන් අන්තිම තරගාවලි කිහිපයේම පිතිකරණ අංශයෙන් හොඳින් ක්‍රීඩා කළේ නැහැ. එනිසයි නව සැලසුමත් එක්ක කුසල් තෝරාගත්තේ.

වනිදුගෙන් විස්සයි20 ලෝක කුසලානයට යන්න බලාපොරොත්තු වෙනවා. ශල්‍යකර්මයෙන් පසු ඔහු සුවවීගෙන එන්නේ. ඔහු අන්තර්සමාජ ක්‍රිකට් තරගාවලියේ මේ වනවිට තරග දෙකක් ක්‍රීඩා කරලා තියෙනවා. ඒ අනුව කණ්ඩායමේ භෞතචිකිත්සක වාර්තා අනුව සිම්බාබ්වේට එරෙහි තරගාවලියේ තෙවැනි එක්දින තරගයේ සිට කණ්ඩායම සමග එක්වීමට වනිදුට හැකිවෙයි.

ඒ වගේම තරුණ ක්‍රීඩකයන්ගෙන්ම යන්න ඕන කියලා අපි විශ්වාස කරන්නේ නැහැ. අපේ ජාත්‍යන්තර තරග ක්‍රීඩා කළ අත්දැකීම් තියෙන ක්‍රීඩකයන් රැසක් සිටිනවා. ඒ නිසා ඔවුන් දක්‍ෂතා අතර ඉන්නවා නම්, ෆිට්නස් නම් යම් කිසි කාලයකට වුණත් කණ්ඩායමට ගන්න පුළුවන්නම්.

කෙසේ නමුත් ධනංජය ද සිල්වා  ඇතුළු ජ්‍යෙෂ්ඨ හා තරුණ ක්‍රීඩකයන් කිහිප දෙනෙකුම සිම්බාබ්වේට එරෙහි ශ්‍රී ලංකා එක්දින සංචිතයට නම්කර නොමැති අතර, ඔවුන් කණ්ඩායමේ නොමැති වීම පිළිබඳ මෙහිදී විමසනු ලැබීය.

"අපි විශ්වාස කරනවා ධනංජය හොඳින්ම පිතිකරණයේ යෙදිලා තියෙන්නේ මුල් පිතිකරුවන් තිදෙනා අතර ස්ථානයක ක්‍රීඩා කරද්දී. නමුත් ඔහු අවසන් කාලයේ ක්‍රීඩා කළේ අංක 06, 07 වගේ. ඒ නිසා ඔහු එක්දින කණ්ඩායමට එනවා නම්, මුල් තුනේ තමයි ඔහුව ක්‍රීඩා කරවන්න බලාපොරොත්තු වන්නේ.

ඒ වගේම චන්දිමාල් අතහැරලත් නැහැ. චන්දිමාල් ක්‍රීඩාකරන්නේ අංක 04 හෝ 05. නමුත් මේ අවස්ථාවේදී සදීරත්, චරිත් අසලංකත් ඒ ස්ථාන දෙකේ හොඳින් ක්‍රීඩා කරනවා. ඒ නිසා චන්දිමාල්ට ස්ථානයක් ගන්න අමාරුයි. අපි බලාපොරොත්තු වෙන්නෙ ක්‍රීඩකයන් කණ්ඩායමට ගෙනල්ලා, ස්ථාන වෙනස් කරන්නේ නැතිව ඔවුන්ට ආවේණික ස්ථානයේ වැඩිපුරම ක්‍රීඩාකරන්න අවස්ථාව ලබාදෙන්න.

ඒ වගේම අවිශ්ක එක්දින විතරක් ක්‍රීඩා කරවන්නේ, ඔහුගේ විස්සයි20 දක්‍ෂතා එතරම් නොමැති නිසා. ඒ නිසා අපට විශ්වාසයෙන් කියන්න පුළුවන්, අපි කාටවත් පක්‍ෂග්‍රාහී වෙන්නේ නැහැ කියලා. අපි දක්‍ෂතාවලට තමයි මුල්තැන දෙන්නේ. 

නායකයෙක් තෝරා පත්කර ගැනීමේදී ඔවුන්ගේ විනය හැසිරීම පිළිබඳ සැලකිල්ලක් නොදක්වන්නේ දැයිද මෙහිදී විමසනු ලැබීය. ඊට හේතු වූයේ කුසල් මෙන්ඩිස් ඉකුත්දා පැවති අන්තර් සමාජ එක්දින ක්‍රිකට් තරගාවලියේ බ්ලූම්ෆීල්ඩ්  ක්‍රීඩා සමාජයට එරෙහිව පැවැති තරගයේදී ක්‍රීඩාගාරයේ දොරකට හානිකර තිබීමයි.

"විනය කියන එක සෑහෙන්න වැදගත්. කණ්ඩායම් ක්‍රීඩා කරද්දී විශේෂයෙන් බලනවා. ඒ නිසා නායකයාගේ විනය ඉතා වැදගත්. කුසල්ගේ සිදුවීම ගැන අපි ක්‍රිකට් ආයතනයෙන් විමසීමක් කළා. එහිදී ඔවුන් කීවේ අපට වාර්තාවක් දෙන්නම් කියලා.

නමුත් මේ දක්වා ඒ වාර්තාව අපට ලැබිලා නැහැ.

වත්මන් පළමු පෙළ එක්දින ක්‍රිකට් තරගාවලියේදී සමස්තයක් ලෙස බොහෝ ක්‍රීඩා සමාජ ආකර්ෂණීය ලකුණු පුවරු ගොඩනැගීමට අසමත්වීම පිළිබඳ තේරීම් කමිටුවේ මතයද මෙහිදී විමසන ලදි.

"ක්‍රීඩාකිරීමට ලැබෙන තණතීරු ගැන නම් සතුටුවෙන්නේ නැහැ. ක්‍රීඩකයන් එක්ක කතා කළාම ඔවුන් කියන්නෙත්, ජාත්‍යන්තර තණතීරු හා මේවා හාත්පසින්ම වෙනස් කියලා. ඒ නිසා තමන්ට ඊද්මය පවත්වාගෙන යන්න අමාරුයි කියලා.

නමුත් මේක ගොඩක් කාලයක ඉදන් පැවතගෙන එන එකක්. ඒ නිසා ක්‍රිකට් ආයතනය සැලසුම්කර තිබෙනවා ඔවුන්ගේ අධීක්‍ෂණය යටතේ ලබන වසරේ දේශීය ක්‍රිකට් තරගාවලියේ සිට ජාතික තණතීරු සකසන්නන් පස්දෙනෙක් යොදාගෙන තණතීරු සකසන්න.

මෙහිදී අවසන් වශයෙන් විමසා සිටියේ, ඉදිරියේදී ආරම්භවීමට නියමිතව ඇති ඇෆ්ගනිස්තානයට එරෙහි ටෙස්ට් තරගයේදී ශ්‍රී ලංකා ටෙස්ට් නායකත්වයේ වෙනසක් සිදුවනවා දැයි යනුවෙනි. 

"ටෙස්ට් කණ්ඩායමේද වෙනසක් කර තිබෙනවා. නායකයා ලෙස ධනංජය ද සිල්වා හා උපනායකයා ලෙස කුසල් මෙන්ඩිස් පත්කර තිබෙනවා. කෙසේ නමුත් මම පෞද්ගලිකව කැමැති ආකෘති තුනටම එක් නායකයෙකු පත්කරනවාට, නමුත් අපේ තියෙන තත්ත්වයත් එක්ක අපට හිතුණා ඒක කරන්න බැහැ කියලා” යනුවෙන් පැවසීය.

                                                                                                                   සංජිව ධර්මසේන


Thursday, December 21, 2023

ශ්‍රී ලංකාවේ පාපන්දුවට කෝටි 65ක්

උදාවන 2024 සඳහා ශ්‍රී ලංකාවට අන්තර් ජාතික පාපන්දු සම්මේලනයෙන් හා ආසියානු පාපන්දු සමුළුවෙන් ඩොලර් මිලියන දෙකක ප්‍රතිපාදන පිරිනැමෙනු ඇතැයි වාර්තා වේ. එයින් ඩොලර් ලක්ෂ හයකට වැඩි මුදලක් ලබන මාර්තු වන විට ශ්‍රී ලංකාවට ලැබීමට නියමිතව ඇතැයි ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාරි මහතා පවසයි.

ඩොලර් මිලියන දෙකක මුදලක් යනු අද ශ්‍රී ලංකාවේ රුපියලේ වටිනාකමින් රුපියල් කෝටි 65කට වැඩි අගයක් ගනියි.

පසුගිය ජනවාරි 21 වැනිදා සිට බලපැවැත්වුණු ශ්‍රී ලංකාවේ ජාත්‍යන්තර පාපන්දු තහනම ඉකුත් අගෝස්තු 28 වැනිදා ඉවත් කිරීමට අන්තර් ජාතික පාපන්දු සම්මේලනය කටයුතු කළේය. එම තහනම හමුවේ රඳවා ගත් අරමුදල් ද ඒ අනුව ශ්‍රී ලංකාවට නිදහස් කෙරේ. ශ්‍රී ලංකාවේ පාපන්දු යටිතල පහසුකම් සංවර්ධනය සඳහා මෙම අරමුදල් පිළිගැන්වෙන්නේ අන්තර් ජාතික පාපන්දු සම්මේලනයෙන් හා ආසියානු පාපන්දු සමුළුවට වාර්ෂිකව සිය සාමාජික රටවලට ලබාදෙන ප්‍රතිපාදන යටතේය. 

‘ලංකාදීප'ය කළ විමසුමක දී පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා පැවසුවේ එළඹෙන වසරේ ප්‍රධානතම ඉලක්කය වන්නේ ශ්‍රී ලංකා පාපන්දු ආයතනයට හිමිකම් ලැබෙන අන්තර් ජාතික මට්ටමේ පාපන්දු ක්‍රීඩාංගණයක් ඉදිකිරීම බවයි.

ඒ සඳහා ප්‍රදේශ කිහිපයක ඇති ඉඩම් කට්ටි තුනක් මේ වන විට නිරීක්ෂණය කර ඇති බවත් ඔහු එහිදී පැවසීය.

කෙසේ වෙතත් පසුගිය 2022 ඔක්තෝබර් මාසයේ සිට අත්හිටුවා ඇති දේශීය පාපන්දු තරගමාලා ආරම්භ කිරීම ලබන මැයි මාසය දක්වා පමා කිරීමට ශ්‍රී ලංකා පාපන්දු ආයතනය තීරණය කර තිබේ.

ඒ ක්‍රීඩා සමාජ ක්‍රීඩකයන් ලියාපදිංචි කිරිමේ කටයුතු සඳහා කාලයක් ගත වන බැවිනි. අන්තර් පළාත් තරගාවලිය හා ශූරයන්ගේ තරගාවලිය ඇතූළු තවත් දේශීය තරගාවලි කීපයක්ම ලබන මැයි මාසයේ සිට පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා පාපන්දු ආයතනය අපේක්ෂා කරයි.

අන්තර් පළාත් තරගාවලියට කණ්ඩායම් 10ක් හා ශූරයන්ගේ තරගාවලියට කණ්ඩායම් 17ක් එක්වන අතර මෙම ප්‍රධානතම දේශීය තරගමාලා සඳහා සහභාගි වන සියලු කණ්ඩායම් වෙත ක්‍රීඩකයන් හා පුහුණුකරුවන්ට වෙන වෙනමත් ගෙවීම් ලබා දීමට නියමිතය.

ඒ අතර අන්තර් ජාතික පාපන්දු තරග අවම හතරකටත් මෙරටදී සිවු ජාතීන්ගේ ජාත්‍යන්තර පාපන්දු තරගාවලිය පැවැත්වීමටත් පාපන්දු සම්මේලනය අපේක්ෂාවෙන් පසුවේ.

ලබන මාර්තු මාසයේ සිට ශ්‍රී ලංකාව අන්තර් ජාතික පාපන්දු තරග සඳහා සහභාගිවීමට සැලසුම් කර ඇත. එහිදී සෑම ජාත්‍යන්තර තරග සහභාගිත්වයට අවම දින 16ක් තිබිය දී ජාතික පාපන්දු සංචිතය නේවාසික ගත කිරීමට පියවර ගැනේ.

පසුගිය සැප්තැම්බර් 29 වැනිදා පැවැති නිලවරණයේ දී ඉදිරි සිවු වසරක පාලන කාලයක් සඳහා ජස්වර් උමාර් මහතාගේ සහභාගිත්වයෙන් යුත් නව පාපන්දු විධායක සභාව වැඩි ඡන්දයෙන් තේරී පත්විය.

මේ අතර ශ්‍රී ලංකා ජාතික පාපන්දු කණ්ඩායම් ප්‍රධාන උපදේශක ස්කොට්ලන්ත ජාතික ඇන්ඩි මොරිසන් මහතාගේ සේවය ලබන සැප්තැම්බර් 31 වැනිදා දක්වා දීර්ඝ කිරීමටත් ශ්‍රී ලංකා පාපන්දු ආයතනය ඉකුත් දා කටයුතු කළේය.

ඔහුගේ මෙහෙයවීමෙන් ශ්‍රී ලංකාව පළමුවරට ජාත්‍යන්තර තරගයකට සහභාගි වූයේ ඉකුත් ඔක්තෝබර් 12 වැනිදාය. යේමනය සමග සෞදි අරාබියේ 'අබා' නුවර දී පැවති ලෝක කුසලාන (2026) පූර්ව සුදුසුකම් තරග වටයේ පළමු තරගයෙන් ශ්‍රී ලංකාව ගෝල 3-0 ක පරාජයක් ලැබීය.

එහෙත් දෙපිල අතර දෙවනුව කොළඹදී පැවැති තරගය ගෝල 1-1 කට සම කිරීමට ශ්‍රී ලංකාව සමත් විය. එය සැලකිල්ලට ගනිමින් මොරිසන් මහතාට සේවා දිගුවක් ලබාදීමට පියවර ගත් බව ශ්‍රී ලංකා පාපන්දු ආයතනය පවසයි.

ශ්‍රී ලංකාව මේ වන විට ලෝක පාපන්දු ශ්‍රේණිගත කිරීම්හි 204 වැනි ස්ථානයේ පසුවේ. ඉකුත් දෙසැම්බර් 15 වැනිදා සිදු කළ ලෝක පාපන්දු කාන්තා අලුත්ම ශ්‍රේණිගත කිරීම් අනුව ශ්‍රී ලංකාව රටවල් 192කින් 157 වැනි ස්ථානයේ පසුවේ.

මෙරට කඩා වැටී ඇති කාන්තා පාපන්දු කීඩාව නැංවීම සඳහා අලුත් ප්‍රවර්ධන වැඩසටහන් මාලාවක් දියත් කරන බව ශ්‍රී ලංකා පාපන්දු ආයතනයේ සභාපති ජස්වර් උමාර් මහතා පවසයි.

                                                                                                                                     නාමල් පතිරගේ


Monday, December 11, 2023

ඔස්ට්‍රේලියාවට වටිනා චමරි ඉන්දියාවට නොවටියි

ඉන්දීය ප්‍රිමියර් ලීග් කාන්තා තරගාවලිය (WPL) සඳහා වූ වෙන්දේසිය පෙරේදා (09දා) ඉන්දියාවේ මුම්බායිහිදී පැවති අතර, එහිදී ශ්‍රී ලංකා නායිකා චමරී අතපත්තුව කිසිදු කණ්ඩායමක් විසින් මිලදී ගැනීමට ඉදිරිපත් නොවීය. මෙම වෙන්දේසියට මුම්බායි ඉන්දියන්ස් නිත්‍ය පුහුණුකරු ශ්‍රී ලංකා හිටපු නායක මෙන්ම ජාතික කණ්ඩායමේ උපදේශක මහේල ජයවර්ධනද සිටියදී ඇයව අලෙවි නොවීම සුවිශේෂීය. 

නිමා වූ ඔස්ට්‍රේලියානු බිග් බෑග් ලීගයේ (WBBL) චමරි දෙවැනි ඉහළම ලකුණුලාභිනිය බවට පත් වූ අතර, එහිදී ඇය ඉනිම 14කදී ලකුණු 552ක් රැස් කළාය. පිත්තෙන් මෙන්ම පන්දු යැවීමෙන්ද එහිදී ඇය දක්‍ෂතා දැක්වූවාය.

එනිසාම චමරි මෙම වෙන්දේසියේදී ඉහළම වටිනාකමකට අලෙවි වන ක්‍රීඩිකාව ඇය වනු ඇතැයි විදෙස් මාධ්‍යයන් පවා වෙන්දේසියට පෙර මත පළ කර තිබිණි. කෙසේ නමුත් ඇය තෝරා නොගැනීමෙන් පසු ඇතැම් මාධ්‍ය වාර්තා කර තිබුණේ, පිට පිටම දෙවැනි වරටත් ශ්‍රී ලංකා නායිකාවගේ ගිනිකෙළි දකින්න නොලැබන බවයි.

මෑත කාලයේ ශ්‍රී ලංකාව මෙන්ම බිග් බෑෂ් ලීගය අලෝකමත් කළ ඇයව කිසිදු කණ්ඩායමක් මිලදී නොගැනීම විශාල පුදුමයක් බවද, ඇය වැනි ගුණාත්මකභාවයෙන් යුත් ක්‍රීඩිකාවකට අයි.පී.එල්. අහිමිවීම ප්‍රශ්නසහගත බවද වාර්තා කර තිබුණි.


Thursday, December 7, 2023

සනත්ට ඉහළම උපදේශක තනතුර

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම වැටී සිටින අගාධයෙන් ගොඩගැනීම අරමුණු කරගනිමින් ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩාවේ ඉහළම උපදේශක තනතුර සදහා සනත් ජයසූරිය මහතා පත්කරගැනීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව සාකච්ඡා කරමින් සිටී. 

මේ සම්බන්ධයෙන් සනත් ජයසූරිය මහතා සහ ශ්‍රී ලංකා ක්‍රිකට් නිලධාරීන් අතර විශේෂ සාකච්ඡාවක් දින කිහිපයකට ඉහත ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේදී පැවැත්වී තිබේ. 

උසස් දස්කම් මධ්‍යස්ථානයට (HPC) අනුබද්ධ කෙරෙමින් ‘උපදේශක' තනතුරට පත්කරනු ලබන සනත් ජයසූරියගේ මූලික වගකීම් වන්නේ උසස් දස්කම් මධ්‍යස්ථානයේ කටයුතු නිසි පරිදි කළමනාකරණය කිරීමත්, 19 න් පහළ කණ්ඩායම්, ශ්‍රී ලංකා ‘ඒ' කණ්ඩායම් සහ අනෙකුත් ජාතික මට්ටමේ කණ්ඩායම් පිළිබඳ සොයා බැලීමත්ය.

ඊට අමතරව ජාතික කණ්ඩායමේ අවශ්‍යතා පරිදි අනුගමනය කළ යුතු දූරදර්ශී ක්‍රියාකාරකම්, උපක්‍රම, තාක්‍ෂණික උපදෙස් මෙන්ම ක්‍රීඩකයන්ගේ අභ්‍යාස සහ පුහුණු කටයුතු සම්බන්ධයෙන් සොයා බැලීමත් සනත් ජයසූරියගේ කාර්යයන්ට අයත් වේ. 

සමස්තයක් වශයෙන් ගත් කල්හි ශ්‍රී ලංකා කණ්ඩායමේ පූර්ණ සංවර්ධනය පිළිබඳ වගකීම සහ වගවීම ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු නායකයාට පැවරෙනු ඇත.

2000 දශකය මුලදී, ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය දරමින්, එක දිගට ටෙස්ට් තරග 9 ක් ජයගත් සනත් ජයසූරිය 2002 ශූරයන්ගේ කුසලාන තරගාවලියේ සම ශූරතාව කරාත්, 2003 ලෝක කුසලාන තරගාවලියේ අවසන් පූර්ව තරගය කරාත් ලංකා කණ්ඩායම කැඳවාගෙන ගියේය.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ මීළඟ විධායක කමිටු රැස්වීම සඳහා තවමත් දින නියම වී නැතත් එම විධායක කමිටු රැස්වීම පෙර හෝ, කමිටු සාමාජිකයන්ගේ ලිඛිත අනුමැතිය ඇතිව, සනත් ජයසූරිය මහතා ඉහත තනතුරට පත් කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කරමින් සිටී.

                                                                                                                           දමින්ද විජේසූරිය


Wednesday, December 6, 2023

සාග් ක්‍රීඩා උළෙලේ සත්කාරය ශ්‍රී ලංකාව ඉල්ලයි

මීළඟට යෙදී තිබෙන 14 වැනි සාග් (දකුණු ආසියානු) ක්‍රීඩා උළෙලේ සත්කාරය ශ්‍රී ලංකාවට ලබා ගැනීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලන ලෙස නව ක්‍රීඩා ඇමැති හරින් ප්‍රනාන්දු මහතා ජාතික ඔලිම්පික් කමිටුවට උපදෙස් ලබා දී තිබේ.

ඊට අවස්ථාවක් සැලසෙන්නේ  නම්, ක්‍රීඩා අමාත්‍යාංශය අවශ්‍ය සහයෝගය ලබා දීමට සූදානම් බවත් එහිදී ක්‍රීඩා ඇමැතිවරයා ඔලිම්පික් කමිටුවට ප්‍රකාශ කර තිබේ.

කෙසේ වුවත්, 2024 මාර්තු 14 වැනිදා සිට අප්‍රේල් 2 වැනිදා දක්වා ‘ලාහොර්’ නුවරදී 14 වැනි දකුණු ආසියානු (සාග්) ක්‍රීඩා උළෙල පැවැත්වීම සඳහා තමන් සත්කාරය දරන බවට පාකිස්තානය නිල වශයෙන් කළ ප්‍රකාශය මේ දක්වා වෙනස් කර නැත. 

එවැනි පසුබිමක් තුළ මීළඟ සාග් ක්‍රීඩා උළෙලේ සත්කාරය ශ්‍රී ලංකාවට ලැබීම සම්බන්ධයෙන් ස්ථිර අදහසක් මේ වන විට ප්‍රකාශ කළ නොහැකි බව ජාතික ඔලිම්පික් කමිටුවේ සභාපති සුරේෂ් සුබ්‍රමනියම් මහතා ‛ලංකාදීප`ය කළ විමසුමකදී පැවැසීය.

අවසන් වරට 13 වැනි සාග් ක්‍රීඩා උළෙල නේපාලයේ කත්මණ්ඩු නුවරදී පැවැත්වුණේ 2019 දෙසැම්බර් 1 වැනිදා සිට 10 වැනිදා දක්වාය. එයින් පසුව 14 වැනි සාග් ක්‍රීඩා උළෙලේ සත්කාරය පාකිස්තානයට බාර වූ අතර, එය 2021 වසරේදී පැවැත්වීමට අපේක්‍ෂා කළත්, කොවිඩ් වසංගතය ඇතුළුව පාකිස්තානය තුළ පැනනැගුණු අභ්‍යන්තර ගැටලු හේතුවෙන් මේ දක්වා පැවැත්වීමට නොහැකි වී ඇත.

මේ දක්වා පාකිස්තානය 1989 දී හා 2004 දී දකුණු ආසියානු ක්‍රීඩා උළෙල දෙකක සත්කාරය දරා තිබේ. එය දිගින් දිගටම කල් දැමීමෙන් ශ්‍රී ලංකාව ඇතුළුව කලාපයේ රටවල ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට සිදුවන අසාධාරණය සැලකිල්ලට ගනිමින් එය හැකි ඉක්මණින් පැවැත්වීම සඳහා දකුණු ආසියානු ක්‍රීඩා සම්මේලනයට බලපෑම් කරන ලෙස එහිදී ජාතික ඔලිම්පික් කමිටුවේ ප්‍රධානීන්ගෙන් ක්‍රීඩා ඇමැතිවරයා ඉල්ලීම් කර තිබේ.

ඒ සඳහා සත්කාරය ලබාගත් පාකිස්තානය ඊට පාකිස්තානු රුපියල් බිලියන දෙකක මුදලක් වෙන්කර තිබෙන බව ද වාර්තා වේ. කෙසේ වුවත් කලාපයේ බලවතා වන ඉන්දියාව ක්‍රීඩා උළෙලේ පාකිස්තානයේ සත්කාරය සම්බන්ධයෙන් සිය නොසතුට පළ කර තිබේ. එය එහි සත්කාරය ලබා ගැනීමට උනන්දු වී සිටින ශ්‍රී ලංකාවට වාසිදායක තත්ත්වයක් නිර්මාණය කර තිබේ.

අවසන් වරට වසර 2019 දී ‘කත්මණ්ඩු' නුවර දී පැවැති 13 වැනි සාග් ක්‍රීඩා උළෙලේ ශ්‍රී ලංකාවේ සහභාගීත්වය වෙනුවෙන් රුපියල් විසිඅට කෝටියකට ආසන්න මුදලක් (276,840,000) ශ්‍රී ලංකා රජය වැය කර තිබේ.

එහිදී ශ්‍රී ලංකාවේ ක්‍රීඩක ක්‍රීඩිකාවන් හා නිලධාරීන් 800 දෙනකු සඳහා නේපාලයේ නවාතැන් හා ආහාර පාන සඳහා රුපියල් දහතුන් කෝටියකට ආසන්න (129,600,000) මුදලක් ද ගුවන් ප්‍රවේශ පත්‍ර වියදම සඳහා රුපියල් දස කෝටියක් ද (10,000,000) වැය කර තිබේ.

එහිදී තවදුරටත් ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ රක්‍ෂණ ආවරණ සඳහා රුපියල් අසූ ලක්ෂයක් ද (8,000,000) හා අමතර වියදම් සඳහා තවත් රුපියල් කෝටි දහයක් ද (10,000,000) වියදම් කර තිබේ.

එම ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකාව තෙවැනි ස්ථානයට පත්වෙමින් රන් පදක්කම් 40ක්, රිදී පදක්කම් 83ක් හා ලෝකඩ පදක්කම් 128ක් (එකතුව 251) දිනා ගත්තේය.

ක්‍රීඩා උළෙල ජයගත් ඉන්දියාව රන් පදක්කම් පමණක් 174ක් දිනා ගැනීමට සමත් විය. එහිදී පාකිස්තානයට සිවුවැනි තැන හිමි වූයේ රන් පදක්කම් 31ක් ලබා ගැනීමෙනි.

මෙම ක්‍රීඩා උළෙල සම්බන්ධයෙන් එවකට ක්‍රීඩා ඇමැති ධුරය දරමින් සිටියදී අදහස් දැක්වූ නාමල් රාජපක්‍ෂ මහතා පැවැසුවේ තවදුරටත් සාග් පදක්කම් ඉලක්ක කිරීම හා ලංකාවේ ජාත්‍යන්තර ක්‍රීඩා ප්‍රවර්ධනයට ඵලදායී නොවන බවත් ඉන් ඉහළ ජාත්‍යන්තර පදක්කම් ජයග්‍රහණ කෙරෙහි ශ්‍රී ලංකාව දැන් අවධානය යොමු කළ යුතු බවත්ය.

                                                                                                                               නාමල් පතිරගේ

 

Tuesday, December 5, 2023

හිටපු ක්‍රීඩා ඇමති රොෂාන්ට එරෙහිව ශ්‍රී ලංකා ක්‍රිකට් අල්ලස් කොමිසමට යයි

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ජාතික ක්‍රීඩා අරමුදලට ප්‍රදානය කළ බව කියන මුදල් අවභාවිතා කළේ යයි චෝදනා කරමින්, හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතාට එරෙහිව ශ්‍රී ලංකාවේ අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට පැමිණිලි කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය ඊයේ (04 වැනිදා) පියවර ගත්තේය. ශ්‍රී ලංකාවේ අනෙකුත් ක්‍රීඩා සංවර්ධන කිරීම සඳහා මෙම මුදල් ප්‍රදානය කළ බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කියයි.

මෙම පැමිණිල්ල ගොනු කිරීමට තීරණය කර ඇත්තේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් වෙන් කරන ලද මුදල් අපේක්ෂිත අරමුණු සඳහා යොදා ගැනීම පිළිබඳව ක්‍රීඩා අමාත්‍යාංශය සවිස්තරාත්මකව හෙළි නොකිරීම හේතුවෙනි.

ජාතික ක්‍රීඩා අරමුදලට ප්‍රදානය කරන ලද මුදල් වියදම් කිරීම සම්බන්ධයෙන් හිටපු ක්‍රීඩා ඇමතිවරයා විසින් මාධ්‍ය වෙත අනාවරණය කරන ලද තොරතුරු සහ තොරතුරු දැනගැනීමේ අයිතිය (RTl) යටතේ අයදුම්පතක් ඉදිරිපත් කළ අවස්ථාවේ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයට ලැබුණු පිළිතුර අතර ඇති පැහැදිලි විෂමතා මෙන්ම වියදම් වල විශේෂතා ද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය උලුප්පා දක්වා තිබේ.

“මූල්‍ය ගණුදෙණුවල පාරදෘශ්‍ය බව පවත්වා ගැනීමේ වැදගත්කම ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය අවධාරණය කරයි. ක්‍රීඩා ක්ෂේත්‍රය තුළ ඉහළම පාලන ප්‍රමිතීන් සහ ආචාර ධර්ම ආරක්ෂා කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ කැපවීම අල්ලස් කොමිසම වෙත ගොනු කර ඇති පැමිණිල්ල මගින් අවධාරණය කෙරේ” යයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් ඊයේ (04 වැනිදා) නිකුත් කරන ලද මාධ්‍ය නිවේදනයකින් කියැවේ.

 “මේ සම්බන්ධයෙන් පුළුල් පරීක්ෂණයක් පවත්වා කරුණු සොයා බලා අවශ්‍ය පරිදි සුදුසු ක්‍රියාමාර්ග ගනු ඇති බවට ශ්‍රී ලංකා ක්‍රිකට් විශ්වාස කරයි" යයි නිවේදනය කරන ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය, ගැටලුවට සාධාරණ විසඳුමක් සහතික කිරීම සඳහා අදාළ බලධාරීන් සමග අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කරන බවත් ප්‍රකාශ කරයි.