Friday, November 30, 2018

තාජුදීන් ඝාතනය ගැන සාක්ෂි NASA ආයතනයෙනුත්-වහාම නියම සැකකරුවන් අත්අඩංගුවට ගන්න-මහේස්ත්‍රාත් රහස් පොලිසියට නියම කරයි





රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩීන්ගේ ඝාතන සිද්ධියට අදාළ නියම මිනීමරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක  මහේස්ත්‍රාත් ඉසුරු නෙත්තිකුමාර මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට ඊයේ (29) නියෝග කළේය.

මෙම සිද්ධියට අදාළව මෙතෙක් අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් තිදෙනා මිනීමැරීමේ චෝදනාවට සම්බන්ධ අය නොවූ බැවින් සිද්ධියට අදාළ නියම සැකකරුවන් වහාම අත්අඩංගුවට ගෙන අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙසත් ඒ සඳහා අනවශ්‍ය ප්‍රමාදයක් ඇති නොකරන ලෙසත් අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට වැඩිදුරත් නියම කළේය.

 මෙම සිද්ධියට අදාළ නඩුව ඊයේ (29) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදි මෙසේ නියෝග නිකුත් කෙරිණි. ඝාතනය සම්බන්ධයෙන් සාක්ෂි වසන් කර කුමන්ත්‍රණය කළැයි රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඇප මත මුදාහැරුණ බස්නාහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ  නියෝජ්‍ය පොලිස්පති පී.එම්. අනුර සේනානායක, නාරාහේන්පිට පොලිසියේ අපරාධ අංශයේ හිටපු පොලිස් පරීක්ෂක අංගොඩගේ සුමිත් චමිපික පෙරේරා සහ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරි ආනන්ද සමරසේකර යන මහත්වරු ඊයේ අධිකරණයේ පෙනී  සිටියහ.

පැමිණිල්ල වෙනුවෙන් අපරාධ පරීක්ෂණ  දෙපාර්තමේන්තුවේ සහකාර පොලිස් අධිකාරී  ඉන්දික ලොකුහෙට්ටි, මිනීමැරුම් විමර්ශන අංශයේ  ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක රංජිත්  මුණසිංහ, උපපොලිස් පරික්ෂක රත්නප්‍රිය මහතා ඇතුළු
නිලධාරින් පිරිසක් අධිකරණය හමුවේ පෙනී සිටියහ.

 අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මෙම සිද්ධියේ සැකකරුවන් පිළිබඳව ඉදිරිපත් වූ සාක්ෂි සහ ගත හැකි පියවර සම්බන්ධයෙන් නීතිපතිවරයා ඉකුත් 23 වැනි ලිපියක් මගින් දැනුම් දෙනු ලැබුවා. මෙය රිය අනතුරක් ලෙසයි මුල් වරට වාරිතාවන්නේ. වසර ගණනාවකට පසුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තූව මෙහි පරීක්ෂණ බාරගැනිමෙන් පසුව එය මිනීමැරුමක්  ලෙස අනාවරණය කර ගනු ලැබුවා. ඒ අනුව මෙම සිද්ධිය සම්බන්ධයෙන් පුද්ගලයින් 1200ක ගෙන් ප්‍රකාශ සටහන් කරගෙන තිබෙනවා. දුරකතන ඇමතුම් ලක්ෂය 22 ක විශ්ලේෂණ  ලබාගෙන තිබෙනවා. මේ විමර්ශනයේදී ඩිෆෙන්ඩර් රථයක් සම්බන්ධයෙන්  කරුණු අනාවරණය වුණා. එහි රස පරික්ෂක වාර්තාව මෙතෙක් ලැබී නැහැ. ඊට අමතර අධිකරණ නියෝග ප්‍රකාරව මරණකරුගේ ජංගම දුරකතනය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ වෝහාරික විද්‍යා තාක්ෂණ පරික්ෂණාගාරය වෙත යොමුකර වාර්තා ලබා ගනු ලැබුවා. ඒ අනුව පිටු 172ක වාර්තාවක් ලැබී තිඛෙනවා.

මරණුකරු; අවසන් වරට රැඳී සිටි ස්ථානය වූ හැව්ලොක් පාර ලාෆ් ආයතය අසල යම් යම් සී  සී ටී වී දර්ශන විමර්ශනයට භාජනයවී තීබනවා. එම දර්ශන පැහැදිලිව හඳුනාගැනීම සම්බන්ධයෙන් පරිගණක හදිසි තොරතුරු සංසදය වෙත යොමු කරනු ලැබුවා. එම සී සී ටී වී දර්ශනවල මරණකරුගේ වාහනය පිටුපසින් තවත් වාහනයක් ලුහුබඳින දර්ශනයක් තිබෙනවා. එය පැහැදිලිව හඳුනාගැනීමටයි එම සංසදය වෙත යොමු කර ඇත්තේ එමෙන්ම අදාළ දිනයේදී අපරාධය සිදු වූ ස්ථානයේ චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ ලබාගත් ඡායාරූප සහ වීඩියෝ දර්ශන අප වෙත ලබා දෙන ලෙස අප නාසා ආයතනයෙන් ඉල්ලා තිබෙනවා. එමගින් අපරාධකරුවන් නිශ්චිතව හඳුනාගැනීමට කටයුතු කරනවා.

දෙවැනි සැකකරු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි නීතිඥ අජිත් පතිරණ මහතා අද දින අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුව ඉදිරිපත් කළ කරුණු මත පැහැදිලි වෙනවා තාම මේ නඩුවේ සැකකරුවකු අනාවරණය කරගෙන නැති බව. මේ විමර්ශනයට අවුරුදු හය හමාරක් ගත වෙලා. ඒත් තවම සැකකරුවකු නැහැ.

අධිකරණය දැනට මෙහි සැකකරුවන් ලෙස නම් කර ඇති පුද්ගලයන්ට විරුද්ධව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 198 සහ 215 වගන්ති ප්‍රකාරව චෝදනා ඉදිරිපත් කරන්න පුළුවන් කියා නීතිපතිවරයා ලිපියක් මහින් දන්වා එවා තිබෙනවා. ඒ, සාක්ෂි සැහවීම සහ අසත්‍ය ලේඛන සැකසීම සම්බන්ධයෙනුයි. මේ අනුව දැනට ප්‍රබල සාක්ෂි අනාවරණය වී තිබෙනවා. තවදුරටත් මේ සම්බන්ධයෙන් විමර්ශන කරන්න අවශ්‍ය නම් අපරාධ නඩු විධාන සංග්‍රහයේ 115 යටතේ කාලය ලබාදෙන්න පුළුවන්.

 මීට අමතරව සැකකරුවන් තිදෙනාම මිනී මැරිමට කුමන්ත්‍රණය කළ බවට සාක්ෂි සඳහන් වී නැහැ ඉදිරිපත් වූ කරුණු සැලකිල්ලට ගත් අධිකරණය සිද්ධියට අදාළ නියෝග ලබා දෙමින් නඩුව යළි කැඳවීම ලබන පෙබරවාරි මස 28 වැනිදාට කල් තැබිය. 2012 වර්ෂයේ මැයි මස 17 වැනි දින නාරාහේන්පිට පොලිස් වසමේ පාරක් පාරේ ශාලිකා ක්‍රීඩාංගණය අසල මාර්ගයේදි රගර් ක්‍රීඩක මොහොමඩ් වසීම් තාජුඩින් කාර් රථයක් තුළ සැක සහිත ලෙස පිළිස්සී මිය යාම සම්බන්ධයෙන් රහස් පොලීසිය වෙත පැමිණිලි කර තිබුණේ අංක 20, මුරුගන් පෙදෙස, කොළඹ 06 පදිංචි අයේෂා තාජුඩීන් විසිනි.

-නිමන්ති රණසිංහ-



රෙගේ සංගීතය යුනෙස්කෝ සංස්කෘතික උරුමයට ලැයිස්තුවට






ලෝ ප්‍රකට සංගීත ප්‍රභේදයක් වන ''රෙගේ සංගීතය''  ''ගෝලීය සංස්කෘතික වස්තු'' ලැයිස්තුවට ඇතුළත් කිරීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය ඊයේ (28) පියවර ගත්තේය.
එක්සත් ජාතීන්ගේ අනුබද්ධිත සංවිධානයක් වන එක්සත් ඡාතීන්ගේ අධ්‍යාපන, සංස්කෘතික හා විද්‍යා සංවිධානය එම තීරණය ගෙන තිබේ. 
බොබ් මාල් වැනි සංගීතඥයන්ට ස්තූතිවන්ත විය යුතුයි 'රෙගේ සංගීතය' වඩාත් ඡනප්‍රියත්වයට පත්කිරීම ගැන.

ජැමෙයිකාව  කේන්ද්‍ර කරගනිමින් ආරම්භ වූ සංගීත ප්‍රභේදයක් වන 'රෙගේ සංගීතය' 'ස්පර්ශ කළ නොහැකි සංස්කෘතික උරුමයක් බවත් එය ආරක්ෂ කිරීම සහ ප්‍රවර්ධනය කිරිම ඉතා වැදගත් බවත් අදාළ තීරණය ගනිමින් එක්සත් ඡාතීන්ගේ අධ්‍යාපන, සංස්කෘතික හා විද්‍යා සංවිධානය ප්‍රකාශ කර ඇත. 
ජාත්‍යන්තර දේශපාලනයේ අයුක්තිය සහ අසාධාරණය විරෝධය පළ කිරීමටත් ආදරය සහ මානව දයාව ප්‍රවර්ධනය කිරීමේදී රෙගේ සංගිතය ලෝකයට විශාල දායකත්වයක් සපයා ඇතැයි ද යුනෙස්කෝ සංවිධානය සඳහන් කර තිබේ.
මානව ප්‍රඡාවගේ මනස්, හැඟීම් සහ අධ්‍යාත්මය අවදි කිරීම සහ සමාජ-දේශපාලන කරුණු ද රෙගේ සංගීතය තුළින් ආවරණය වී ඇතැයි ද  යුනෙස්කෝ සංවිධානය පෙන්වා දී ඇත.

පෝට් ලුවිහිදීය (ඒ.එෆ්.පී)

කොදෙව් පිලේ පුහුණූකරු තනතුරට යන කතාව චන්දික හතුරුසිංහ ප්‍රතික්ෂේප කරයි


ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතා බටහිර ඉන්දීය කොදෙව් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා නම් කිරීමට යෝජිත කෙටි ලැයිස්තුවට ඇතුළත් පුහුණුකරුවන් කිහිපදෙනා අතර ඉදිරියෙන්ම සිටින බව වාර්තා විය. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පුහුණුකරු චන්දික හතුරුසිංහ මහතාගෙන් ඊයේ (29දා) කළ විමසීමකදී එම වාර්තාව සම්පූර්ණ අසත්‍යක් බව ඔහු ප්‍රකාශ කළේය.

ඒ අනුව මීට සති කිහිපයකට පෙර චන්දික හතුරුසිංහ මහතා එම  තනතුර සඳහා ඉතාමත් රහසිගතව ඉල්ලුම් පත් යොමු කර ඇතැයි  එකී වාර්තා සඳහන් කළ අතර ඔහු  සමඟ බටහිර ඉන්දීය කොදෙව් පිලේ හිටපු වේගපන්දු යවන්නකු වන කට්නි වෝල්ෂ් සහ එංගලන්ත හිටපු ක්‍රිකට් ක්‍රීඩක ක්‍රිස් ඇඩමිස්  යන පුහුණුකරුවන් ද එම තනතුර හිමි වීමේ වැඩි ඉඩක් පවතින අනෙක් පුහුණුකරුවන් දෙදෙනා බවද පැවැසේ.

තවද බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් පාලක මණ්ඩලයේ ප්‍රධාන පෙළේ නිලධාරියක් විදෙස් මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් "චන්දික හතුරුසිංහ, කට්නි වෝල්ෂ් සහ ක්‍රිස් ඇඩම්ස් බටහිර ඉන්දීය කොදෙව් ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු තනතුර සඳහා තොරාගැනීමට ඉඩ ඇති ඉදිරියෙන්ම සිටින කිහිපදෙනා බව  සත්‍යයක්. නමුත් හතුරුසිංහ මහතා සමඟ මුහුණට මුහුණ සාකච්ඡාවක් පවත්වන තෙක් ඒ සම්බන්ධයෙන් යමක් ප්‍රකාශ කිරීමට නොහැකියි.  කට්නි වෝල්ෂ් සම්බන්ධයෙනුත් අපගේ දැඩි අවධානය යොමු කර තිබුණත් ඔහු කොන්දේසි කිහිපයක් ඉදිරිපත් කර තිබෙනවා." යනුවෙන් ප්‍රකාශ කර ඇති බව එම වාර්තාව මඟින් වැඩිදුරටත් සඳහන් කරයි.

කෙසේ වෙතත් බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසින් කටයුතු කළ ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රීඩක ස්ටුවර්ට් ලෝ එම තනතුරෙන් ඉවත් වීමෙන් අනතුරුව අන්තර්කාලීන වැඩ බලන පුහුණුකරු වශයෙන් මේ වන විට නික් පෝතාස් කටයුතු කරයි. මේ අතර පසුගිය ජුනි මාසයේදී නිමාවට පත් වූ ශ්‍රී ලංකා කණ්ඩායමේ බටහිර ඉන්දීය කොදෙව් සංචාරයේ අවසන් ටෙස්ට් තරගය නිමා වීමෙන් අනතුරුව පැමිණි ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායම සමඟ චන්දික හතුරුසිංහ මහතා  එක් නොවීය.

නමුත් පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ඔහු 2019 ලෝක කුසලානයට වසරක කාලයක් ඉතිරී තිබියදීත් එම තරගාවලිය පැවැත්වීමට නියමිත ක්‍රීඩාංගණ සම්බන්ධයෙන්  විශේෂ පරීක්ෂණ චාරිකාවක් සිදුකිරීම සඳහා එංගලන්තය බලා පිටත්ව යැමට බටහිර ඉන්දීය කොදෙව් දූපත්හි නතර වුණු බවයි. නමුත් හතුරුසිංහ මහතා එංගලන්ත පරීක්ෂණ චාරිකාවට සහභාගි නොවී ඕස්ට්‍රේලියාව බලා පිටත්ව ගොස් නැවතත් ශ්‍රී ලංකාවට පැමිණි බව පසුව හෙළි විය. එම අවස්ථාවේදීද ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ නිසි වේලාවට වීසා බලපත්‍ර ලබා ගැනීමට ඔහුට නොහැකි වීම නිසා එම එංගලන්ත සංචාරය සිදු කිරීමට නොහැකි වූ බවයි.



චීනෙන් ගෙන්වූ ජරා ටින්මාළු දැන් පිටකොටුවේ විකුණනවා






චීනයෙන් ආනයනය කළ පණුවන් සහිත බව තහවුරු කළ ටින්මාළු තොගය වරින්වර වෙළඳපොළට නිකුත් කරන බව වාර්තා වේ.

චීනයෙන් ආනයනය කළ ටින්මාළු කන්ටේනනර් 108 ක් තත්වයෙන් බාල බව හා පනුවන් සිටින බව තහවුරු වීමෙන් පසුව වරාය පරිශ්‍රයෙන් මුදාහැරිම ප්‍රතික්ෂේප කර තිබිණි.

එහෙත් එම ටින්මාළු තොගය කොටස් වශයෙන් විටින්විට පිටකොටුව තොග වෙළෙඳසල්වලට ලැබෙන බවද ටින්මාළු ආනයනකරුවෝ සඳහන් කරති.

ඉකුත් පෙබරවාරි මාසයේ නිෂ්පාදිත දිනය සඳහන් කළ එම තොගය පැරැණි මිල ගණන්වලටම පිටකොටුව තොග වෙළෙඳසල් මගින් රටපුරා බෙඳාහැරෙමින් තිබුන බවද ඔවුහු කියති.

මෙවැනි ගුණාත්මක තත්වයෙන් බාල ටින්මාළු පරිභෝජනයෙන් ජනතාවට  සෞඛ්‍ය ගැටලු මතුවිය හැකි බවද එම ටින්මාළු
තොගය තහනම් කළ අවස්ථාවේ සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා නිවේදනය කර තිබිණි.

-රංජන් කස්තුරි-

දේශපාලනය කරන්න මගේ කිසිම අදහසක් නැහැ


ඉදිරීයේදී පැවැත්වීමට නියමිත මැතිවරණය සඳහා තමන් ඉදිරිපත් වන බවට පසුගිය දිනවල සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පළවූ වාර්තා සම්පූර්ණයෙන්ම අසත්‍ය බව හිටපු ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක රොෂාන් මහානාම මහතා පවසයි.මේ සම්බන්ධව නිවේදනයක් නිකුත් කරමින් මහානාම පවසා ඇත්තේ එම වාර්තා සම්බන්ධයෙන් තමන් මවිතයට පත් වූ බවත් කිසිදු අයුරක දේශපාලන කටයුත්තක් සඳහා තමන් සහභාගි වී නොමැති බවයි.

තවද එම ව්‍යාජ පුවත් සම්බන්ධයෙන් දැඩි කනස්සල්ලට පත් වන බවත් පවසන මහානාම “එම අසත්‍ය පුවත් දැකීමෙන් මා විස්මයට පත්වුණා වගේම සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ පැතිර යන එම පුවතෙහි කිසිදු සත්‍යතාවක් නැහැ. එමෙන්ම එළැඹෙන මැතිවරණය සඳහා ඉදිරිපත් වීමේ කිසිදු අපේක්ෂාවක් මා හට නොමැති අතර සමාජ මාධ්‍ය ජාලා ඔස්සේ එවැනි අසත්‍ය පුවත් පැතිරවීම සම්බන්ධයෙන් මා දැඩි කනස්සල්ලට පත් වෙනවා.

එමෙන්ම වගකිවයුතු පුරවැසියකු ලෙසින් මම මගේ උපරීමයෙන් සමාජීය කාර්යයන් සඳහා එක්වනවා. දේශපාලන උපක්‍රම මගින් කිසිවෙක්, තවත් පුද්ගලයකුගේ ජීවිතය වෙනස් කිරීම සඳහා උත්සාහ නොකළ යුතුයි. තවද මා අවධාරණය කිරීමට කැමතියි මා හට ජීවිතයේ වෙනත් වටිනාකම් සහ මූලධර්ම තිබෙනචා. එම නිසා සියලු සමාජ මාධ්‍ය ජාලා භාවිතා කරන්නන්ගෙන් මා ඉල්ලා සිටින්නේ මාගේ කීර්තිනාමයට හානිකර වැරැදි තොරතුරු ප්‍රචාරය කිරීමෙන් වළකින ලෙසයි.” යනුවෙන් එම නිවේදනය මඟින් ප්‍රකාශ කර ඇත

දියණිය බලා සිටියදී පිහි පහර 11ක් ඇන බිරිය මැරූ සැමියා එල්ලුම් ගස්


වසර 20කට පෙර පවුල් ආරවුලක් දුර දිග ගොස් සිය දියණිය ඉදිරිපිටදීම පිහි පහර 11ක් ඇන බිරි මැරූ අයකුට හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා ඊයේ (29දා) මරණ දඬුවම නියම කළේය. මෙලෙස මරණ දඬුවම නියම වූයේ මැලේ කොලනිය, බඳිගිරි ලිපිනයේ පදිංචි 60 හැවිරිදි සරත් ලියනගේ නමැති දෙදරු පියකුටය.  සැකකරු 1998 වසරේදී ජූලී 27 වැනි දින බිරිය ඝාතනය කර ඇත්තේ පවුල් ආරවුලක් දුරදිග යෑම හේතුවෙනි.

ඝාතනයට ලක් වූයේ සැකකරුගේ බිරිය වූ පකීර් මොහොමඩ් ජුලෙයි නමැති දෙදරු මවකි. මියගිය කාන්තාව වසර ගණනාවක් මැදපෙරදිග රැකියාවක නිරත වී ලංකාවට පැමිණ ඇති අතර දෙදෙනා අතර නිතර නිතර පවුල් ආරවුල් ඇති වී තිබේ. එලෙස ඇතිව තිබූ පවුල් ආරවුලක් දුරදිග යම් හේතුවෙන් සැකකාර සැමියා විසින් බිරිය සිය දියණියද බලා සිටියදී පිහියකින් ඇන මරා දමා තිබේ.  මෙම ඝාතනය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ හම්බන්තොට පොලිසිය සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කර තිබේ.

සැකකරුට එරෙහිව නීතිපතිවරයා විසින් හම්බන්තොට මහාධිකරණය හමුවේ නඩු පවරනු ලැබූ අතර සැකකරු අධිකරණයට පැමිණ අධිචෝදනා පත්‍ර භාරගැනීමෙන් පසු අධිකරණය මඟ හැර සිට තිබේ. ඒ අනුව සැකකරුට වරෙන්තු නිකුත් කර තිබු අතර 2016.07.04 දින සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු සැකකරුගේ ඇප  අවලංගු කර රක්ෂිත බන්ධනාගාරගත කර නඩු විභාගය පැවැත්විණි.

එලෙස පැවැති නඩු විභාගයේදී සැකකරුට එරහිව නඟා තිබූ අධි චෝදනා සාධාරණ සැකයන් ඔබ්බට ඔප්පු වීම හේතුවෙන් මෙසේ දඬුවම් නියම කෙරිණි. හම්බන්තොට මහාධිකරණ විනිසුරු තාමර තෙන්නකෝන් මහතා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා  විසින් නියම කරන දිනකදී වේලාවකදී හා  ස්ථානයකදී චුදිත බෙල්ලෙන් එල්ලා මරන ලෙස නියම කෙරුණි. එතෙක් චූදිත වැලිකඩ  බන්ධනාගාරයේ රඳවන ලෙස නියම කෙරිණි. පැමිණිල්ල වෙනුවෙන් රජයේ අධිනීතිඥ රංගිකා රාජපක්ෂ මහත්මිය හම්බන්තොට පොලිසියේ පොලිස් කොස්තාපල් මහින්ද (50598) මහතා සමග පෙනී සිටියේය.

-ඩී.එන්.ජයසේකර-

රත්නපුර බැංකුවක් අසලදී කෙලි රංචුවක් පුද්ගලයෙකුගේ ලක්ෂ 03කට විදලා-ඇඟේ තෙරපිලා සාක්කුවට අත දමා අරගෙනත් ගිහින්


රත්නපුර නගරයේ පෞද්ගලික බැංකුවක තම ගිණුමෙන් රුපියල් ලක්ෂ 3ක මුදලක් ආපසු ගත් ගනුදෙනුකරුවකු බැංකුවෙන් පිටතට පැමිණෙද්දී ඔහුගේ ඇගේ හැපී එම මුදල රැගෙන පලා ගිය තරුණියන් සිවුදෙනා හඳුනාගෙන  ඇති බව රත්නපුර මූලස්ථාන
පොලිසිය පවසයි.

මෙම සැකකාර තරුණියන් හතරදෙනා කොළඹ ග්‍රෑන්ඩ්පාස් ප්‍රදේශයේ පදිංචිකාරිනියන් බවත් ඔවුන් මේ වනපිට ඒ ප්‍රදේශයෙන් පැනගොස් ඇති බවත් රත්නපුර ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක්  පැවැසීය.

මෙම සොරකම බැංකුවේ ආරක්ෂිත කැමරා පද්ධතියේ පැහැදිලිවම රූගත වී තිබූ බවත් ඒ රූප රාමු ඔස්සේ සිදුකළ පරීක්ෂණයක් මගින් සොරකමට සම්බන්ධ තරුණියන් සිවුදෙනා හඳුනා ගැනීමට හැකි වූ බවත් පොලිසිය කියයි.

මෙම සොරකම බැංකු ආරක්ෂිත කැමරා පද්ධතියේ පැහැදිලිවම රූගත වී තිබූ බවත් එම රූප රාමු ඔස්සේ  සිදුකළ පරීක්ෂණයක් මගින් සොරකමට සම්බන්ධ තරුණියන් සිවුදෙනා හඳුනා ගැනීමට හැකි වූ බවත් පොලිසිය කියයි.

මෙම තරුණියන් සිවුදෙනා මීට පෙර ද මේ ආකාරයට මුදල් සොරාගෙන යාමේ සිද්ධීන් ගණනාවකට සම්බන්ද වී කාලයත් රිමාන්ඩ් භාරයේ ද පසුවි ඇති බවට පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වී ඇතැයි ද එම ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියා කීය.

රත්නපුර නගරයේ පිහිටි පෞද්ගලික බැංකුවක  ගනුදෙනුකරුවකු පසුගිය 24 වැනිදා උදෑසන එම බැංකුවෙන් ලබාගත් රුපියල් ලක්ෂ 3ක මුදලක් තම සාක්කුවේ දමාගෙන ඛැංකු දොරටුව අසලට එන විටම එක්වරම තරුණියන් හතර දෙනකු ඔහුගේ ඇගේ හැපී ඔහු තෙරපීමකට ලක් කර ඇති බවත් ඒ අවස්ථාවේ එක් තරුණියක්  ඔහුගේ සාක්කුවට අත දමා මෙම මුදල් සොරාගෙන පසුව සිවුදෙනාම පළාගොස් තිබූ බවත් පොලිසිය කියයි.

සැකකාර තරුණියන් අත්අඩංගුවට ගැනීමට රත්නපුර මූලස්ථාන පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් කොළඹට පැමිණ ඇත.

බැඳුම්කර වංචා නඩුව දෙසැ.4දා සිට කොළඹ මහෙස්ත්‍රාත්වරිය හමුවට


බැඳුම්කර සිද්ධියට (බැදුම්කර වංචාවට) අදාළ නඩුව දෙසැම්බර් 4 වැනිදා සිට කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය හමුවේ කැඳවීමට අධිකරණ සේවා කොමිෂන් සභාව තීරණය කර ඇතැයි කොළඹ කොටුව මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා ඊයේ (29දා) දන්වා සිටියේ. එම සිද්ධියට අදාළ නඩුව ඊයේ (29දා) අධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේ මහෙස්ත්‍රාත්වරයා එලෙස  දන්වා සිටියේය.

පෞද්ගලික හේතුවක්ම කොළඹ කොටුව මහේස්ත්‍රාත්වරයා  අධිකරණ සේවා කොමිෂන් සභාවෙන්  සිදුකරන ලද ඉල්ලීමක් සලකා බලා කොමිෂන් සභාව විසින් අදාළ නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත්වරිය වෙත යොමු කර තිබේ. ඒ අනුව සිද්ධිය සැකකරුවන් වන පර්පචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු ලෙස සැලකෙන අර්ජුන් ඇලෝසියස්, එම සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිහේන යන අය ලබන 4 වැනිදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කරන ලෙස කොටුව මහේස්ත්‍රාත්වරයා කොළඹ මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාරීවරයාට නියෝග කළේය.

එසේම අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන යන අය එදින (4දා) තෙක් රක්ෂිත බන්ධනාගාරගත කිරීමටද මහෙස්ත්‍රාත්වරයා නියෝග කෙළේය. බැඳුම්කර නිකුතුවන්ට අදාළ හඬපට සහිත ඩීවීඩී තැටි වෙනස් කර විකෘති කර ස්නාධිපති බැඳුම්කර කොමිසමට ලබාදීමේ සිද්ධිය මෙහෙයවීම සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු පවරා ඇති නඩුවට අදාළවද ඔවුන් දෙදෙනා ලබන 4 වැනිදා කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරීපත් කරන ලෙසද මහෙස්ත්‍රාත්වරයා මැගසින් බන්ධනාගාරයේ බන්ධනාගාර අධිකාපඵවරියට නියම කෙරිණි. එම නඩුවට අදාළවද අර්ජුන් ඇලෝසියස්, කසුන් පලිසේන යන අය ලබන 4 වැනිදා තෙක් රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස කොටුව මහෙස්ත්‍රාත්වරයා නියෝග කළේය.

සැකකාර අර්ජුන් ඇලෝසියස් සම්බන්ධයෙන් ඔහු වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටින විත්තියේ නීතිඥයන් මේ වන විට ලිඛිතව ඇප ඉල්ලීමක් අධිකරණයෙන් සිදු කර තිබෙන අතර සැකකාර කසුන් පලිසේන යන අය වෙනුවෙන්ද ඇප ඉල්ලිමක් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


-අමිල අබේරත්න-

වඩිවෙල් සුරේෂ්ගේ පැමිණිල්ල දේශපාලන වාසි තකා කළ සාවද්‍ය එකක්


තමා ඉලක්ක කර බෝම්බ ගැසීමේ සුදානමක් පැවැති බවට හා පොලිසිය නිසි පරිදි කටයුතු නොකළ  බව එක්සත් ජාතික පක්ෂ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල්  සුරේෂ් විසින් කරන ලද පැමිණිල්ල දේශපාලන වාසි තකා සිදු කළ සවාද්‍ය පැමිණිල්ලක් බව මූලික පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී තිබේ.
මන්ත්‍රීවරයාගේ එම පැමිණිල්ල සම්බන්ධයෙන් බදුල්ල කොට්ඨාස භාර පොලිස් අධිකාරී වසන්ත කන්දෙවත්ත මහතා විසින් විශේෂ පරික්ෂණයක් ආරම්භ කර තිබෙන අතර පස්සර එක්සත් ජාතික පක්ෂයේ පස්සර ආසන බල මණ්ඩල රැස්වීම පසුගියදා (26දා) පස්සර ප්‍රාදේශීය සභා පරීශ්‍රයේදී පැවැති අතර මීට සහභාගි වීම ප්‍රමාද වීමෙන් වඩිවෙල් සුරේෂ් මන්ත්‍රිවරයාට එජාප නියෝජිතයන්ගෙන් සහ පාක්ෂිකයන්ගෙන් දැඩි විරෝධයක් හා ඝෝෂාවක් මතුවී තිබේ.

විරෝධය මත මන්ත්‍රීවරයා එම ස්ථානයට යෑම මඟරීමින් උසස් පොලිස් නිලධාරීන් අමතා තමාට බෝම්බ ගැසීමේ උත්සාහයක් පවතින බවත් තම ජීවිතයට තර්ජන එල්ල වී ඇති බවත් තමාට පොලිස් ආරක්ෂාවක් ලබාදී නොමැති බවත් පැමිණිලි කර තිබිණි. ඒ වනවිටත් පස්සර පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස්
පරීක්ෂක රත්නවීර මහතා විසින් උප පොලිස් පරීක්ෂකවරු දෙදෙනකුද ඇතුළු පොලිස් නිලධාරීන් 15 දෙනකු මන්ත්‍රිවරයාගේ ආරක්ෂාවට සපයා තිබුණු බවත් මන්ත්‍රිවරයාගේ පැමිණිල්ලට අනුව තවත් පොලිස් නිලධාරීන් 20 දෙනකු ආරක්ෂාවට යෙදවූ බවත් උසස් පොලිස් නිලධාරියෙක් කීය.

පොලිසියේ මැදිහත්වීම මත මන්ත්‍රිවරයා ආසන බල මණ්ඩල  රැස්වීමට කැඳවාගෙන යාමට උත්සාහ කළත් මන්ත්‍රිවරයා තමාට ජීවිත තර්ජන ඇතැයි කියමින් එම රැස්වීම මඟහැර  සිටි බවත් අනතුරුව සිය ආධාරකරුවන් 20 දෙනකු පමණ එක්කර ගනිමින් පස්සර කෝච්චිල අසල රැස්වීමක් පවත්වා විසිරගොස් ඇති බවත් එම ප්‍රකාශකයා කීය. වඩිවෙල් සුරේෂ් මන්ත්‍රීවරයාගේ  පැමිණිල්ල සම්බන්ධයෙන් පස්සර  ප්‍රාදේශීය සභාවේ එක්සත් ජාතික  පක්ෂ ද්‍රවිඩ මන්ත්‍රිවරුන් දෙදෙනකුත් දේශපාලන නියෝජිතයන්ද ඇතුළුව රැස්වීමට සහභාගි වූ සිවු දෙනකුගෙන් පස්සර පොලිසිය විසින් ප්‍රකාශ සටහන් කරගෙන ඇති අතර ඔවුන් සය දෙනාගේම ප්‍රකාශවලින් සඳහන් කර ඇත්තේ මන්ත්‍රී වඩිවෙල් සුරේෂ්ගේ  මෙම චෝදනාව පැතිමාරු කිරීමෙන්  අප්‍රසාදයට පත්වීම මත නැවතත් ජනතා ප්‍රසාදය දිනා ගැනීමේ අරමුණින්  සිදුකොට ඇති බවය.


-ඒ.අයි.හසන්-

හිස කෙස් වවන්න ෆෙස්බුක් මඟින් බොරු ප්‍රචාරණයක්


හිස කෙස් අකලට වැටෙන පිරිසගේ කොණ්ඩය ඉතා ඉක්මනින්ම එන බවත් අකලට දී හිස කෙස් ඉතා කෙටි කාලයකදී නැවත වර්ධනය වන බව පවසමින් ෆේස්බුක් හරහා බෙහෙත් තෙල් වර්ගයක් මිලදී ගැනීමට දමා තිබූ වෙළඳ ප්‍රචාරණයට රැවටි කෑගල්ලේ බොහෝ තරුණ තරුණියන් මෙන්ම වැඩිහිටියන් ඒ සඳහා මුදල් වියදම් කර ඇතත් එය අසත්‍ය වෙළෙඳ ප්‍රචාරණයක් බව කාලයකට පසුව ඔවුන්ට වැටහී ගොස් ඇති පුවතක් අපට වාර්තා විය.

පොදු ජනතාවගේ දැවෙන ප්‍රශ්න ඉතා සූක්ෂමව හඳුනා ගන්නා සමහර පිරිස් ඒ සඳහා ක්‍රම උපායන් සකස් කර ඒ වෙනුවෙන් විවිධ වූ ක්‍රියාවල නිරත වී මුදල් උපයා ගැනීම බහුලව කරයි. කිසිදු වගකීමකින් තොරව වෙළෙඳ භාණ්ඩ ප්‍රසිද්ධ කර මුදල් ලබා ගැනීම කාලයක සිට තාක්ෂණයේ දියුණුවත් සමඟ වෙන්නකි. එමෙන්ම මෙවැනි කටයුතු සම්බන්ධයෙන් නීතියට ගියද ඔවුන් කොටු කර ගැනීමට නොහැකි වී ඇත්තේ ඉතා සූක්ෂ්මව මෙම ක්‍රියාවන් ඔවුන් කරන හෙයිනි.

කොණ්ඩය වෙනුවෙන් දමන මෙම තෙල් මිලිලීටර් 100ක බෝතලයක් රුපියල් 1,900ක මුදලකට අත්තර්ජාලයෙන් අලෙවි කරන අතර ඒ සඳහා කිසිදු ප්‍රමිති සහතියක්ද නැත. වගකීමක් දරන ආයතනයක් හෝ දුරකථන අංකයද නැති අතර මුදල් ලබා ගැනීමට විවිධ වූ ක්‍රම උපායන් අනුගමනය කරයි. ඒ හරහා මුදල් ලබා ගැනීම වෙන අතර සමහර මුදල් ඊසි කෑෂ් හරහා බහුලව ලබා ගැනීම කරයි. බෙහෙත් තෙල් ලබා ගැනීම සඳහා ෆේස්බුක් ගිණුමට ලිපිනය ටයිප් කර දැමිය යුතු අතර ඒ කිසි දිනෙක මුදල් දැමූ පසු එම සේවාව ලබා ගැනීමට නොහැකි වූ බව බොහෝ දෙනා පැවැසූහ.

මුදල් ලබාගත් පසුව අදාළ පුද්ගලයාගේ ෆේස්බුක් ගිණුම අදාළ පිරිස විසින් අත්හිටුවා සිය ව්‍යාපාරය සූක්ෂමව  පවත්වාගෙන යයි. නිරන්තරයෙන් ජනතා මේ සම්බන්ධයෙන් විවිධ ක්‍රම උපායන්වලින් දැනුවත් කර තිබුණත් ඔවුන් ඉතා ඉක්මනින් ඔවුන්ගේ දැවෙන ගැටලු හමුවේ මෙවැනි හොරුන්ට ගොදුරු වීම සමාජය බහුල ලෙස සිදුවෙයි.

-කේ.වී.බණ්ඩාර-

කුරුණෑගල වෙල් යායකට විශාල වලාකුළක් වැටිලා?






 මහනුවර ප්‍රධාන මාර්ගයට ආසන්නව ගැට්ටුවාන ධීවර සංස්ථා ගබඩාව පිහිටි මාර්ගයේ ඇති වෙල්යායක ගොයමේ ඊයේ (27) අලුයම් කාලයේ සිට බොහෝ වේලාවක් යනතෙක් අඩි ගණනක් උසට වලාකුළක් මෙන් විසුරුණු සුදු පැහැයෙන් යුත් යමක් දර්ශනය විය.

මෙය කිසි දිනෙක දැක නොමැති අපුරු දර්ශනයක් වු බැවින් විශාල පිරිසක් මෙය දැකගැනීම සඳහා එම ස්ථානයට පැමිණ  සිටියහ.




පීදෙන ගොයමු මත සබන් පෙනවලට සහ පුළුන්ලට සමාන වූ ද්‍රව්‍යයක් කුඹුරේ විශාල ප්‍රදේශයක් පුරා පැතිර පවතින ආකාරය දර්ශනය වූ අතර ඒවා සපර්ශ කළ සැණින් සබන් පෙන බෝල මෙන් බිඳීයන ආකාරය දැකගත හැකිවිය.

එම ස්ථානය අසළ පදිංචිකරුවකු පැවසුටේ උදෑසන 5.30 පමණ සිට මෙය දර්ශනය වූ බවය. අඩි දහයක් පමණ උසට විශාල කන්ටේනර් පෙට්ටියක ප්‍රමාණයෙන් එම ද්‍රව්‍ය ගොයම මත විසිරි තිබුණි.  මෙම‍ ආගන්තුක ද්‍රව්‍ය නැරඹීමට සහ අතපතගෑමට ඡායාරූප ගැනීමට යාමෙන් ගොයමටද හානි සිදුව තිබුණි. බොහෝ දෙනා පැවසුවේ මෙය වළාකුලක් කඩා වැටි ඇති දරශනයක් මෙසේ බවය.




අගමැතිකම සජිත්ට දෙන්න




එළැලඹෙන මහ මැතිවරණයේදී අගමැති අපේක්‍ෂකයා ලෙස සජිත් ප්‍රේමදාස මහතා ඉදිරීපත් කළ යුතු බව රවුෆ් හකීම්, මනෝ ගනේෂන් හා පලනි දිගම්බරම් යන පක්‍ෂ නායකයන් එක්සත් ජාතික පෙරමුණට යෝජනා කර තිබේ. පෙරේදා කොළඹ පැවැති එක්සත් ජාතික පෙරමුණේ පක්‍ෂ නායකයන්ගේ රැස්වීමකදී මේ යෝජනාව ඉදිරිපත් කොට ඇත.

මේ පිළිබඳව දෙමළ ප්‍රගතිශීලී  සන්ධානයේ නායක මනෝ ගනේෂන් මහතාගෙන් අප විමසූ විට ඔහු සඳහන් කළේ එවැනි යෝජනාවක් ඉදිරිපත් වූ බවයි.  එක්සත් ජාතික පෙරමුණ ජයග්‍රහණය කරවීමෙහිලා සිය පක්‍ෂ විශාල කාර්යභාර්යක් ඉෂ්ට කළ බවත්, එබැවින් පෙරමුණ ජයග්‍රහණය කරවීමෙහිලා තම පක්‍ෂයටද විශාල අයිතියක් ඇති බවත්, එබැවින් පක්‍ෂය ජයග්‍රහණය කළ හැකි අගමැති අපේක්‍ෂකයකු ඉදිරීපත් කිරීම අනිවාර්ය කළ යුත්තක් බවත් තමන් අවධාරණය කළ බව ද                                                                  ගනේෂන් මහතා සඳහන් කළේය. 

ඒ මහතා වැඩිදුරටත් පැවැසුවේ පැරදෙන අපේක්‍ෂකයන් මැතිවරණයට ඉදිරිපත් කොට මැතිවරණ පරාජය විය නොහැකි බව තම පක්‍ෂය පෙන්වා දුන් බවයි.

-ලක්ෂමී ජයකොඩි-

කැබිතිගොල්ලෑව විදුහලේ 6 වසර සිසුවෙකුට පහරදුන් 7 වසර සිසුවාගේ ඥාතීන් පොලිසියේලු-පහරකෑ සිසුවන්ගේ දෙමව්පියන්ට පොසීසියේදිත් පරුෂ වචනයෙන් බැන වදියි


කැබිතිගොල්ලෑව ගෝනුහද්දෙනාව විද්‍යාලයේ 6 වසරේ ඉගෙනුම ලබන තම පුතු හට, දින කීපයක සිට මරණ තර්ජනය කර, පසුව පාසල තුළදී දරුණු ලෙස පහර දී එක්‌ අතකට බරපතළ හානි සිදු කළ, එම විද්‍යාලයේ 7 වසරේ ඉගෙනුම ලබන සිසුවකු සම්බන්ධයෙන්, කැබිතිගොල්ලෑව පොලිසිය නිසි ක්‍රියා මාර්ගයක්‌ නොගෙන පක්‍ෂග්‍රාහිව කටයුතු කරමින් සිටින බව පහරකෑමට ලක්‌වූ සිසුවාගේ දෙමවුයෝ පවසති.

 පසුගිය 23 වැනිදා පාසලේ තවත් සිසුවකුගේ පහර කෑමට ලක්‌ව මෙලෙස කැබිතිගොල්ලෑව රෝහලට ඇතුළත් කර, ඉන් අනතුරුව වව්නියාව රෝහලට ඇතුළත් කර තිබුණේ, කැබිතිගොල්ලෑව ගෝනුහද්දෙනාව විද්‍යාලයේ 6 වසරේ ඉගෙනුම ලැබූ, රවිඳු විශ්ව බස්‌නායක 11 නැමැති සිසුවෙකි.

 පහර කෑමට ලක්‌වූ රවිඳු බස්‌නායක සිසුවා සිදුවීම සම්බන්ධයෙන් මෙසේ කීවේය.

 ''එදා උදේ මමයි කවීෂයි විද්‍යාව විභාගයට ඉස්‌කෝලේ ඇතුලේ පාඩම් කර කර හිටියේ, ඒ වෙලාවේ ගහපු ළමයා මුලින්ම ඇවිත් කිව්වා තෝ අද මරනවා, ඉන්ටවල් වෙනකං හිටපිය කියලා. ඊට පස්‌සේ ටික වෙලාවක්‌ ඉන්නකොට පිටිපස්‌සෙන් දුවගෙන ඇවිත් මගේ ඇඟට පැන්නා. මම වැටුනට පස්‌සේ මගේ අතක්‌ එයා කකුල තියලා පාගලා අතින් ඇදලා ඒ අත කඩන්න හැදුවා. ඊට පස්‌සේ ඩෙස්‌ එකකට නැගලා මගේ ඇඟට පැන්නා. එයාගේ තවත් යාළුවෙක්‌ ඒ වෙලාවේ ගේට්‌ටු වහගෙන හිටියා, ළමයින්ට ඒ පැත්තට එන්න නොදී. ඒ වුනාට ළමයි කොහොම හරි දැකලා මිස්‌ලට කියලා මම වැටිලා ඉන්නවා කියලා, පස්‌සේ ඒ මිස්‌ලා ඇවිත් ඉක්‌මණින් මාව කැබිතිගොල්ලෑව රෝහලට අරගෙන ගියා. ඊට පස්‌සේ වව්නියාව රෝහල අරන් ගියා."


 මේ සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ එම සිසුවාගේ මව වන ධම්මිකා කුමුදුනී (33) මහත්මිය

 "පසුගිය 23 දා තමයි මගේ පුතාට පහර දීලා තිබුණේ, පොලිසියෙන් සාධාරණයක්‌ වුණේ නැති නිසා තමයි මේ ගැන අපි පත්තරේට කියන්නේ, ලොකු මහත්තයෙක්‌ හරි දැකලා අපිට සාධාරණයක්‌ වෙයි කියලා හිතනවා.''

 කට උත්තර දෙන්න ගියාට පස්‌සේ කට උත්තරය ලියන මහත්තයට, පහරදීම කරපු ළමයගෙ මාමා කෙනෙක්‌ ඇවිත්, සැරින් සැරේට පෝන් එක දෙනවා. මැඩම් කතා කරනවා කියලා. පහරදුන් ළමයාගේ ඥාති කෙනෙක්‌ කැබිතිගොල්ලෑව පොලිසියේ සේවය කරනවා. එයා සැරින් සැරේ ඇවිත් සුළු පැමිණිලි අංශයේ ස්‌ථානාධිපතිට මොනවද කියලා එළියට යනවා. පොලිසියෙ එක්‌ නිලධාරියෙක්‌ කිව්වා දැන් හරි අපිට යන්න කියලා, තවත් නිලධාරියෙක්‌ ඇවිත් ඉන්න කිව්වා. බැරිම තැන ගොඩක්‌ වෙලා ඉඳලා අපි යන්නද කියලා ඇහුවම තමුසෙට ඕන නම් යනවා, ඕනේ නම් ඉන්නවා, කියලා කිව්වා. පැමිණිල්ල ලියා ගත්ත පොලිස්‌ කාන්තා නිලධාරිනියක්‌ද අපිට බැණ වැදුනා.





 ''මේ වෙන කොට මගේ පුතාට විතරක්‌ නෙවේ, මේ ළමයා පාසලේ ගොඩාක්‌ සිසුන්ට පහර දීලා තියෙනවා. සමහර සිසුන්ගේ ඇස්‌වල කොච්චි මිරිස්‌ ගාලා තියෙනවා, සමහර ළමයින්ගේ කොන්ඩේ කපලා තියෙනවා. මගේ දරුවගේ අතක්‌ කඩලා හානි වෙලා. හදිසියේ හෝ ජීවිතය නැති වුණා නම් අපිට ඉඳලා වැඩක්‌ තියෙනවද? එහෙම වුණත් පොලිසිය ස්‌වාධීනව කටයුතු කරයිද කියලා හිතා ගන්න බැහැ.''

 මෙහිදී අදහස්‌ දැක්‌වූ දරුවාගේ පියා වන ජගත් රවින්ද්‍ර බස්‌නායක (43)

 ''අපි මේ සම්බන්ධයෙන් කට උත්තරයක්‌ දෙන්න පොලිසියට ගියාට පස්‌සේ සුළු පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති කට උත්තර ගත්තේ, පොලිසියේ රාජකාරිය කරන පහරදුන් ළමයාගේ කිරිඅත්තා කියන විදියටයි. ළමා කටයුතු අංශයේ ඉන්න පොලිස්‌ නිලධාරිනිය අපි කියන දේවල් ගණන් ගත්තේ නෑ. අපි කියන සමහර දේවල් සටහන් කර ගත්තෙත් නෑ, සැරින් සැරේට අපිට පරුෂ වචනයෙන් බැණ වැදුනා. පස්‌සේ සුළු පැමිණිලි අංශයේ ස්‌ථානාධිපති වරයා ඇවිත් අපිට කිව්වා, උඹලට ඕන දේ ලියන්න බැහැ, ඕන දෙයක්‌ කරගනින් කියලා, රාජකාරි කරන්නේ උඹල කියන විදියට නෙවෙයි. ඩී.අයි.ජී නෙමෙයි, පොලිස්‌පතිට කිව්වත් අපි බය නෑ කියලා අපිට බැණ වැදුනා. අපි පොලිසියෙ ඉන්නකොට ටයිප් කරන පොලිස්‌ නිලධාරියා තව කෙනෙකුට කිව්වා. මගේ කනට දෙකක්‌ ගහලා එළියට දාන්න කියලා.''

 අපි ගොවිතැන් කරල ජීවත්වන අහිංසක මිනිස්‌සු. පොලිස්‌ කූඩුවටවත් දාලා වහයි කියන බයට අපි පොලිසියෙන් පිට වෙලා ආවා. පොලිසියෙන් පිහිටක්‌ නැති නිසා තමයි මාධ්‍යයට කියන්න හිතුනේ.

 මේ සම්බන්ධයෙන් අදහස්‌ දැක්‌වූ පාසල් ගුරුවරයකු මෙම සිදුවීම සම්බන්ධයෙන් කියා සිටියේ, මෙම පහර දීමට සම්බන්ධ දරුවා මේ වන විට පාසලේ විනය විරෝධී ක්‍රියා කීපයක්‌ කර තිබෙන බවත්, දෙමාපියන් හට විදුහල්පති හරහා පාසලට පැමිණෙන ලෙස කැඳවීම් කළත් ඔවුන් පාසලට නොපැමිණෙන බවය.

 මෙම සිද්ධිය සම්බන්ධයෙන් අප කැබිතිගොල්ලෑව පොලිසියේ ස්‌ථානාධිපති ප්‍රධාන පොලිස්‌ පරීක්‌ෂක එච්. ඩබ්. කේ. ජයන්ත මහතා ගෙන් විමසීමක්‌ කළ අතර ඒ සම්බන්ධයෙන් ස්‌ථානාධිපතිවරයා මෙසේ පැවසීය.

මේ සම්බන්ධයෙන් නොවැම්බර් 23 වැනිදා දින වවුනියාව පොලිසියෙන් දැනුම් දීමක්‌ කළා. මේ ළමයා රෝහල් ගත කිරීම සම්බන්ධයෙන්, පසුදාම අපි ඒ ළමයාගේ කටඋත්තරයක්‌ සටහන් කර එවන්න කියලා රෝහල් පොලිසියට දැනුම් දුන්නා. 25 දා රෝහලෙන් පණිවිඩයක්‌ ලැබුණා ඒ ළමයා රෝහලේ සිට ගෙදර ගිය බවට. පස්‌සේ කවුරු හරි 119 අංකයට කතා කරලා කියලා තිබෙනවා 26 වැනිදා දරුවෙකු පහරකෑමට ලක්‌ වෙලා රෝහල් ගත කලා කියලා. 27 වැනි දින පහර දීමට සම්බන්ධ ළමයා අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කළා නඩු අංක 1031 යටතේ. උසාවියට ඉදිරිපත් කළ පසුව දරුවාට, වයස අවුරුදු 12 ක්‌ වීම හේතුවෙන් පරිවාසයට යටත් කර ඇප මත දරුවාගේ මවට භාර දෙනු ලැබුවා. පොලිසිය 28 දා දිනයේත් එම පාසලට ගොස්‌, පාසලේ ළමුන්ගෙන් ගුරුවරුන්ගෙන් හා විදුහල්පතිවරයාගෙන් කට උත්තර ලබා ගත්තා.



අත්අඩංගුවට ගත් සැකකරියක තියුණු ආයුධයකින් කොස්තාපල්වරයකුගේ කට කපලා පැනලා ගිහින්


අත්අඩංගුවේ සිටියදී පිටකොටුව පොලිසියෙන් පලායමින් සිටි සැකකාර කාන්තාව අල්ලා ගැනීමට උත්සාහ කළ පොලිස් කොස්තාපල්වරයකුගේ කට පෙදෙස තියුණු ආයුධයකින් කැපු එම කාන්තාව ඒ මොහොතේම නැවතත් අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි. කොස්තාපල් ප්‍රේමචන්ද්‍ර කිත්සිරී නමැති (49741) නිලධාරීයා බරපතළ තුවාල ලැබ රෝහල්ගත කර ඇත.

පිටකොටුව පොලිසියේ පොලිස් සැරයන් රණසිංහ (29650), පෙරේරා (48926) යන නිලධාරීන් 28 වැනිදා රාත්‍රි පාමුර සංචාරයේ යෙදී සිටියදී ඕල්කොට් මාවතේ සිනුරේ හන්දිය අසලදී කාන්තාවක හා පිරිමි පුදීගලයකු දබර කර ගන්නා අයුරු දැක ඇත. නිලධාරීන් එම ස්ථානයට ගොස් ඔවුන් දෙදෙනාම අත්අඩංගුවට ගෙන පිටකොටුව පොලිසියට රැගෙන පැමිණ සැකකාර පිරිමි පුද්ගලයා සිර මැදිරියට දමා සැකකාර කාන්තාව එහි රඳවා කාන්තා නිලධාරිනියකට දැනුම් දී ඇත.

ඒ සමඟම සැකකාර කාත්තාව පැන දුවන අයුරු දුටු පොලිස් නිලධාරීන් කෑ ගසමින් ඇය පසු පස පන්නා ගොස් තිබේ. පොලිස් ස්ථානය ඉදිරිපස දොරටුව ඉදිරියේ රාජකාරියේ නිරතව සිටි පොලිස් කොස්තාපල්වරයා සැකකාරිය අල්ලාගෙන ඇත. ඒ සමගම ඇය සගවා ගෙන සිටි කුඩා තියුණු ආයුධයකින් කොස්තාපල්වරයාගේ වම්පස කම්මුල ආසන්නයට වන්නට කට අසල කපා පලා යෑමට තැත්කර තිබේ.

එහෙත් පසු පසින් හඹා ආ සෙසු නිලධාරීන් එම සැකකාර කන්තාව අඩංගුවට ගෙන තිබූ බව පොලිස් නිලධාරියෙක් කීය. අත්අඩංගුවට ගත් සැකකාරිය නුගේගොඩ පදිංචිකාරියක වන අතර ඇය සමඟ දබර කර ගත් පුද්ගලයා ඕපනායක අයකු යැයි පොලිසිය කියයි. පිටකොටුව පොලිසිය පරීක්ෂණ පවත්වයි.


-එම්.සී.පෙරේරා-

ඔලිම්පික් පදක්කම්ලාභී පාරමීගේ නිවාස අලූත් වැඩියාවට දුන් මුදලටත් විදලා


යොවුන් ඔලිම්පික් ක‍්‍රීඩා උළෙලේදී මෙරටට ප‍්‍රථම වතාවට ලෝකඩ පදක්කමක් හිමිකර දුන් පාරමී වසන්ති මාරිස්ටෙලා ක‍්‍රීඩිකාවගේ නිවාස සිහිනය බොඳ වී යන ලකුණු මේ වන විට පහළ වී ඇත.

 හලාවත - අඹකදවිල පදිංචිව සිටින පාරමී වසන්ති මාරිස්ටෙලා ක‍්‍රීඩිකාවට කොළඹ ප‍්‍රදේශයෙන් නිවසක් ලබා දීමට හිටපු නිවාස අමාත්‍ය සජිත් පේ‍්‍රමදාස මහතා පොරොන්දු විය. ඒ පාරමීගේ නිවසට ගිය හිටපු රාජ්‍ය අමාත්‍ය පාලිත රංගේබණ්ඩාර මහතා විසින් කරන ලද ඉල්ලීමක් අනුවය. නාගරික ජනාවාස අධිකාරිය විසින් මෙම නිවස ලබා දීමට නියමිතව තිබුණි.

 පිරිනැමීමට යෝජිත නිවාසය සම්බන්ධයෙන් වූ හිමිකම් පත පසුගිය 31 වැනිදා කරුවලගස්වැව ප‍්‍රදේශයේ උදා ගම්මානයක් විවෘත කරන අවස්ථාවේදී ප‍්‍රදානය කිරීමට නියමිතව තිබුණි. එම උදා ගම්මානය විවෘත කිරීමද මේ වන විට දින නියමයක් නොමැතිව කල් දමා ඇත. ඒ අතර පාරමී වසන්ති පදිංචිව සිටින හලාවත - අඹකදවිල පිහිටි නිවස අලූත්වැඩියා කිරීම සඳහා රුපියල් ලක්ෂ 10 ක මුදලක් වෙන් කරන ලෙසද හිටපු රාජ්‍ය ඇමති පාලිත රංගේබණ්ඩාර මහතා නිවාස සංවර්ධන අධිකාරියෙන් ඉල්ලා සිටියේය.

 ඒ අනුව එම නිවාසය කඩිනමින් ප‍්‍රතිසංස්කරණය කිරීම් ආරම්භ කරන ලදී. නමුත් මේ වන විට එම නිවස ප‍්‍රතිසංස්කරණය කිරීම සඳහා වෙන් කර ඇත්තේ රුපියල් ලක්ෂ 07 ක් පමණක් බව අප කරන ලද විමසුමකදී ජාතික නිවාස සංවර්ධන අධිකාරියේ පුත්තලම දිස්ත‍්‍රික් කාර්යාලයේ නිලධාරියකු පැවසීය.

Thursday, November 29, 2018

පත්තිනි දේවාලේ කපු මහතා අමානුෂික ලෙස මරා දැමු සිවුදෙනාට මරණ දඬුවම



නීති විරෝධි රැස්වීමක සාමාජිකයන් වෙමින් නොච්චියාගම පොලිස් වසමේ බිලීබෑව පත්තිනි දේවාලය තුළදී වසර දහතුනකට ඉහතදී එහි කපු මහතා ලෙස කටයුතු කළ තැනැත්තා කපා කොටා අමානුෂික අන්දමින් මරා දැමූ බවට අනුරාධපුර මහාධිකරණය හමුවේ අධිචෝදනා ලැබ සිටි පස් දෙනකු අතරින් සිවු දෙනකුට උතුරු මැද පළාත්බද මහාධිකරණ විනිසුරු මහේෂ් වීරමන් මහතා ඊයේ (28දා) සවස මරණ දඩුවම නියම කළේය.

මෙසේ මරණ දඬුවම නියම වූයේ නොච්චියාගම, පොලිස් වසමේ ඔත්තප්පුව ගාලදිවුල්වැව පදිංචි එච්.එම්. නිතුනේ වෙලේගෙදර ක්‍රිෂාන්ත උදයකුමාර නොහොත් 'චුටි මහත්තයා' (47) කේ.ජී. ස්වර්ණතිලක නොහොත් 'හිදපිටිය සරත්' (35) ඊ.ඩබ්ලිව්. ඒ. තිලකරත්න නොහොත් ‘මීමින්නා’ (56) හා කේ.පී. ධම්මික දයානන්ද නොහොත් 'ලාරා’ (32 යන විත්තිකරුවන්ටය.

2005 මාර්තු මස 11 වැනි දින හෝ ඊට ආසන්න දිනයකදී විත්තිකරුවන් පස් දෙනා විසින් නොච්චියාගම බිලීබෑව ප්‍රදේශයේ පිහිටි පත්තිනි දේවාලයේ කපු මහතා වශයෙන් කටයුතු කළ දඩුගමගේ සරත් කුමාර යන අයට පහරදී කපා කොටා බරපතළ තුවාල කර ඝාතනයට ලක් කර ඇති බව කියමින් නීතිපතිවරයා විසින් අනුරාධපුර මහාධිකරණය හමුවේ අධි චෝදනා තුනක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව අධි චෝදනා ගොනුකර තිබිණි.

අධි චෝදනා ලැබ සිටි පස්වැනි විත්තිකරු අධි චෝදනා ලැබීමෙන් අනතුරුව අධිකරණය හමුවේ පෙනී සිට නැති අතර පස්වැනි විත්තිකරු වන ජානක වික්‍රමසිංහ නොහොත්  'වෑත්තෑවා' යන  අර්ථ නාමයෙන් හඳුන්වන විත්තිකරු නොමැතිව නඩුව විභාගයට ගැනුණත් ඔහු  සියලුම චෝදනාවලින් නිදොස් කර නිදහස්
කිරීමට විනිසුරුවරයා නියෝග කළේය.

මේ වසරේදී විභාගයට ගත් මනුෂ්‍ය ඝාතන නඩුවකට වැඩිම පිරිසක් එකවර වරදකරු වූ ප්‍රථම අවස්ථාව මෙය වන අතර තීන්දුව ප්‍රකාශයට පත් කළ විනිසුරු මහේෂ් වීරමන් මහතා විවෘත අධිකරණය හමුවේ කියා සිටියේ විත්තිකරුවන්ට එරහිව පැමිණිල්ල නඟා ඇති චෝදනා සාධාරණ සැකයෙන් ඔබට ඔප්පු කිරීම සඳහා පැමිණිලි පාර්ශ්වය සමත්ව ඇති බැවින් විත්තිකරුවන් සිවු දෙනාට මිනීමැරීමේ චෝදනාවට මරණ දඬුවම නියම කරන බවයි.

-මහේෂ් විජේසුරිය-

ජනාධිපති අර්බුදය විසඳුවේ නැත්තම් අපි විතරක් නෙමෙයි රටත් ඉවරයි



ජනාධිපති මෙමත්‍රීපාල සිරිසේන වහාම මේ ප්‍රශ්නය විසදීමට පියවර නොගතහොත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත්, එක්සත් ජාතික පක්ෂයත්, පොහොට්ටුවන් සමස්ත රටත් ඉවර වෙනවා යැයි කළුතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී කුමාර වෙල්ගම මහතා පසුගියදා මතුගමදී කීවේය. මතුගම නගරයේදී මාධ්‍යවේදීන් හමුවේ රටේ වත්මන් තත්ත්වය  පිළිබඳ අදහස් දක්වමින් වෙල්ගම මහතා මෙසේ කීවේය.

‘මේ අවස්ථාවේදී ජනාධිපතිවරයා හැංගි හොරා සෙල්ලම් නොකර පැහැදිලිව තීරණයක් ගත යුතුයි. මෛත්‍රිපාල සිරිසේන මහතා වළේ වැටිලා ඉන්න නිසා රනිල් මහත්තයවත් මහින්ද රාජපක්ෂ මහතාවත් වළට ඇදලා දැම්මා.  දැන්වත් පක්ෂ ගැන පුද්ගලයෝ ගැන නොසිතා රට ගැන හිතල තීන්දුවක් ගත යුතුයි. මහ මැතිවරණයකට ගියොත් මේ ප්‍රශ්නය විසඳන්න පුළුවන්. නමුත් මහ මැතිවරණයට යන තීන්දුව දෙන දෙසැම්බර් මාසෙ හත් වැනිදායින් පස්සෙයි. තුනෙන් දෙක නැතිව එතෙක් අපට මහ මැතිවරණයකට යන්න බැහැ.

නමුත් තුනෙන් දෙකක් ඒකට ලැබෙන්නේ නැහැ. මේ තීන්දුව එනතුරු හැම කෙනම  බලාගෙන ඉන්නවා. තීන්දුව ආවේ නැති නම් 2020 මාර්තු වනතුරු මේ පවතින ආණ්ඩුවට යන්න පුළුවන්. එම නිසා රට ගැන හිතලා ඒකාබද්ධය විදියට එක අඩියක් පස්සට ගත යුතුයි. මේක ව්‍යවස්ථා අර්බුදයක්. ඒ නිසා මේක ඉක්මනින් විසදාගත යුතුයි. අපේ සමහර අය කට ඇරියොත් බොරු කියන්නේ. ඒ අයව මතක් කරන්න එපා. අපව මුළුමනින්ම අමාරුවේ දැම්මෙ ඒ අයයි. ඒ අයගේ නමවත් මතක් කරන්න කැමැති නැහැ.

බහුතරය තියෙන අයට ආණ්ඩුව ලබා දිය යුතුයි. අගමැතිකම කාට දිය යුතුද කියලා මම දන්නෙ නැහැ. නමුත් බහුතරය තියෙන අයට ආණ්ඩුව දිය යුතුයි. රටේ හැම කෙනාගෙම මතය ඒකයි. මේ ගැන ජනාධිපතිතුමාට තීරණයක් ගත හැකියි. පලිමේන්තුවේ 122ක් පෙන්නල තියෙනවා. ලබන 29 වැනිදාත් ඡන්දයක් තියන්න පුළුවන්. බහුතරයට ආණ්ඩුව දෙනවද කියල ජනාධිපතිතුමා හරි තීන්දුවක් ගත යුතුයි. තේරීම් කාරක සභා පත් කිරීමේදී විපක්ෂයට වැඩි බලයක් තිබෙන බව ඔප්පු වුණා.

අපිට බහුතරයක් නැතිව යන්න බැරි බව මම මුල ඉඳලම කිව්වා. පාර්ලිමේතුවේ ස්ථිවරම හරී බහුතරයක් නැතිව අණ පනත් සම්මත කරගන්න බැහැ. එහෙම අණ පනත් සම්මත නොකර රටක් පාලනය කරන්න බැහැ. මේක අපි තේරුම් ගත යුතුයි. අද රටේ ජනතාව මුළු පාර්ලිමේන්තුවම එපා වෙලා ඉවරයි. පාර්ලිමේන්තුවේ ඉන්න 225 දෙනාම ගෙදර යා යුතුයි කියලයි ජනතාව කියන්නේ.

මේ ගොල්ලා ගෙදර යවල අලුත් අය එන්න ඕන කියලයි රටේ මහජනතාව කියන්නෙ මහජන නියෝජිතයා විදියට රටේ ජනතාව අපව පාර්ලිමේත්තුවට යවන්නේ එකේ ඇතුළෙ ජෝගී දාගන්න නෙවෙයි. මම නම් පාර්ලිමේන්තුව ඇතුළෙ ජොගි දාගන්න සුදානම් නැහැ. ගහගන්න ඔතැනට යන්න ඕන නැහැ, ඔය විනාශ වෙන්නේ මේ රටේ අහිංසක මිනිස්සුන්ගේ මුදල්.'

-වසන්ත කුමාර-

විවාහක තරුණියගේ සිරුර අත ගන්න ගිය අසල්වැසි තරුණයා කොටු වෙයි


ප්‍රතිකාර ලබන නැන්දම්මාගේ සුවදුක් බැලීම සඳහා අනුරාධපුර ශික්ෂණ රෝහලට  පැමිණි අසල්වැසි තරුණයකුගේ යතුරු  පැදියෙන් නිවසට ගිය තරුණියකගේ සිරුර ස්පර්ශ කිරීමට උත්සාහ කළ තරුණයා  අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශය මගින් (27දා) සැකපිට  අත්අඩංගුවට ගෙන තිගයි. අනුරාධපුර පොලිස් වසෙම් පහළ කීරික්කුළම ගල්කුළම ලිපිනයේ පදිංචි 18 හැවිරිදි විවාහක කාන්තවක් අනුරාධපුර මූලස්ථාන පොලීසියේ ළමා හා කාන්තා කාර්යාංශයට කළ පැමිණිල්ලකින් අනතුරුව සැකකාර 28 හැවිරිදි පුද්ගලයා පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන තිබුණි.

පැමිණිලිකාර තරුණ කාන්තාවගේ පුරුෂයාගේ මව රෝගාතුරව අනුරාධපුර ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබන බැවින් ඇයගේ සුවදුක් බැලීම සඳහා ලේලිය ගොස් ඇති බව පොලීසිය පැවැසුවේය. ඇය නැන්දම්මාව බලා නැවතත් නිවසට යෑම සඳහා අනුරාධපුර කඩ පනහා බස් නැවතුම්පොළට වී සිටියදී සැකකරු යතුරු පැදියකින් පැමිණ නිවසට ඇරලවීම සඳහා යතුරුපැදියට නගින ලෙස ඉල්ලීමක් කර තිබේ. එහෙත් පැමිණිලිකාරිය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ අවස්ථාවේ සැකකරු  "වරෙන් යන්න නංගි, අපි සහෝදරයෝ" යනුවෙන් පැවසු අවස්ථාවේ නිවසට යෑමට රෑ බෝවීම නිසා කාන්තාව සැකකරුගේ යතුරු පැදියට නැග තිබෙන බව පොලීසිය පැවැසුවේය. සැකකරු ගල්කුළම බොරළු වල ආසන්නයේදී යතුරුපැදිය නවතා කාන්තාවගේ සිරුර ස්පර්ශ කිරීමට උත්සහ කළ අවස්ථාවේ ඇය ඊට බියවී නිවස දෙසට දිවිගොස් ඇති බවත් ඒ අවස්ථාවේ සැකකරු "උඹ මේක කාටහරි කිවුවොත් හොඳ  වැඩක් කරනවා, මම බොරුවකට පටලලා මිනිහව පොලිසීයට අල්ලලා දෙනවා යනුවෙන් පවසා සැකකරු ඇයට තර්ජනය කර තිබෙන බව පොලිසිය පැවැසුවේය.

පැමිණිලිකාරිය සිදුවීම සැමියාට පැවැසීමෙන් පසුව කාන්තාව පැමිණ අනුරාධපුර ළමා හා කාන්තා කාර්යාංශයට ඒ සම්බන්ධයෙන් පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ. පසුව සැකකරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය කටයුතු සිදුකර තිබූ අතර ඔහු  කාන්තාවගේ නිවස ඉදිරිපිට නිවසේ පදිංචි 27 හැවිරිදි පුද්ගලයකු බව පොලීසිය පැවැසුවේය. 


-බුද්ධික මහේෂ්-

නවසීලන්ත වෙරළෙන් හමුවූ අසාමාන්‍ය ජීවියා පිටසක්වල ජීවියෙක්ද






වෙරළට ගසාගෙන විත් තිබූ අසාමානය පෙනුමක්  ඇති සත්ව ශරීරයක් නිසා එය පිටසක්වල ජීවියෙකුද, නැත්නම් මෙතෙක් නොදුටු සාගර ජිවියෙකුද යන්න පිළිබඳව නවසීලන්තය, කැන්ටබරි ජනතාව අතර උගතෝකෝටික ප්‍රශ්නයක්  ඇතිවී තිබේ.

බැලු බැල්මට මෙම සත්වයාගේ ශරීරයේ පාද දෙකක්, වලිගයක්, පියාපත් දෙකක්, වීශාල දත් ප්‍රමාණයකින් යුතු දත් ඇන්දක් දැක ගැනීමට පුළුවන. නිව්සීලන්ඩ් හෙරල්ඩ් පුවත්පත වාර්තා කරන ආකාරයට ඉතා දිගු හා තියුණු හොටක් වැනි ශරීර අවයවයක්ද
මෙම සත්වයාගේ හිසෙහි සිට ඉදිරියට නෙරා පැවතී ඇත.

හනා මේරී සහ ඇගේ මව කැන්ටබරී වෙරළේ ඇවිදිමින් සිටියදී මේ අසාමාන්‍ය සත්වයා දැක ඇති අතර, ඔවුන් තමන් දුටු දසුනින් විස්මයට පත්ව ඇති බවද එම පුවත්පත වාර්තා කරයි.

 "මම මුලින්ම හිතුවෙ, ඒ පිටසක්වල ජීවියෙක් කියල.ඒත් මේ ගැන තවදුරටත් හොයන්න මට අවශ්‍ය වුණා."  ඒ නිසාම ඔවුන් මෙම සත්ව ශරය චර්ම ශිල්පියෙකු වෙත ගෙනගොස් තිබුණේ ඔවුන් පත්ව ඇති උගතෝකෝටික ප්‍රශ්නය විසඳා ගැනීමේ අදහස ඇතිවය.


අවාසනාවකට මෙන් එම චර්ම ශිල්පියාද මේ සත්ත්වයා දැකීමෙන් පුදුමයට පත්ව ඇති අතර, ඔහු මේ ප්‍රශ්නය විසඳා ගැනීම සදහා එම ඡායාරූප ෆේස්බුක් සමාජජාලය තුළ මුදා හරිමින් ඒ පිළිබඳ ජනතා අදහස් විමසීමක් කර ඇත, එහිදී, බොහෝ දෙනෙකු මෙම අසාමාන්‍ය ඇට සැකිල්ල මඩු මත්ස්‍යයෙකුගේ ඇට සැකිල්ලක් විය හැකි බව පවසා ඇතැයි නිවිසීලන්ඩ් හෙරල්ඩ් පුවත්පත කියයි.

 "මම හිතන්නේ මේ ගැඹුරු ජලයේ ජීවත් වන මඩුවෙකුගේ වියළී සිය ශරීරයක්" එක් අදහසක විය.

"මේ නම් මාළුවෙක් වෙන්න බෑ" තවත් අදහසක ඒසේ වීය.
කෙසේ වෙතත්, මඩුවා යනු සාගරයේ ජීවත් වන තවත් මත්ස්‍ය වර්ගයක් වන අතර, එම සත්ත්වයාට ශරීර අස්ථි වෙනුවට කෝමලාස්ථි පවතී.





සරම් ගැටේ කුඩු සඟවාගෙන සිටි කොන්දොස්තර හා ගෝලයා මාට්ටු


පාසල් අධ්‍යාපනයෙන් පසුව හෙරොයින් හා ගංජා අලෙවි කිරීමේ ජාවාරමක නිරතවූ තිරප්පනය පොලිස් වසමේ පදිංචි තරුණ පෞද්ගලික බස් රථ කොන්දොස්තරවරයකු හා ඔහුගේ ගෝලයකු උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයා යටතේ ක්‍රියාත්මක පළාත් වැටලීම්  ඒකකයේ නිලධාරින් විසින් ඉකුත් 26දා දහවල් හෙරොයින් ග්‍රෑම් එකයි මිලි ග්‍රෑම් 110ක් සමග සැකපිට අත්අඩංගුවට ගෙන තිබේ.

තිරප්පනය නුවර පාර  තිත්තියාගම ප්‍රදේශයේ පදිංචි 25 හැවිරිදි තරුණයකු නීතියේ රැහැනට හසු නොවෙමින් මහා පරිමාණයෙන් තිරප්පනය නගරය හා ගම්මානවල පදිංචි තරුණයන් මතට ඇබ්බැහි කරන බවට උතුරු මැද පළාත භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාට ලැබුණු මහජන පෙත්සමකට අනුව එම ස්ථානය වටලන ලෙස කළ නියෝගය මත වැටලීම සිදුකර තිබුණි.

වැටලීමේදී විසිපස් හැවිරිදි තරුණයා පොලිස් අත්අඩංගුවට පත් වී තිබූ අතර ඔහුගේ සරම් ගැටයේ තිබී හෙරොයින් ග්‍රෑම් එකයි මිලි  ග්‍රෑම් 50ක් අඩංගු පැකට්ටුව පොලීසියට හමු වී තිබේ. ඔහු අත්අඩංගුවට ගන්නවාත් සමගම ඔහුගේ ගෝලයා බව කියන අහංගම ප‍්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි තරුණයා නිවස පිටුපසින් පැන පලා ගොස් තිබෙන අතර වැටලීමට සහභාගි වූ නිලධාරීන් පිරිසක් ඔහු පසු පස හඹාගොස් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු පරීක්ෂාවට ලක් කරද්දී සන්තකයේ තිබී හෙරොයින්  මිලිග්‍රෑම් 60ක් අඩංගු කුඩා පැකට්ටුවක් පොලීසියට හමු වී  තිබුණි. සැකකරු පෞද්ගලික බස් රථ සේවාවේ නිරත බැවින් ඔහු කොළඹ ප්‍රදේශයෙන් හෙරොයින්  මිලට ගෙන ඉතා සූක්ෂම ආකාරයට තිරප්පනය නගරයට හෙරොයින් රැගෙන එන බවත් අවස්ථා කිහිපයකදීම සැකකරු හෙරොයින් හා ගංජා සමග  අත්අඩංගුවට පත්වී අධිකරණයට ඉදිරිපත් කර තිබෙන බවත් පොලීසිය පවසයි.  එමෙන්ම සැකකරු වැටලීමකට සහභාගි වූ පොලිස් නිලධාරියකුට පහරදීම සම්බන්ධයෙන් චෝදනා  ලැබ සිටින්නෙකු බවද පොලීසිය අනාවරණය කර ගෙන තිබුණි.

-බුද්ධික මහේෂ්-

තරුණියකට නිවස තුළින් සම්භාහන මධ්‍යස්ථානය ඉවත් කරන්නැයි උපදෙස්


ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක තෙරපිවරියන පලස කටයුතු කර පසුව මවගේ නිවසේම ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක් බව කියන ස්ථානයක් පවත්වාගෙන ගිය සුරූපි තරුණියකට සම්බාහන මධ්‍යස්ථානය නතර කිරීමට අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිවරයා විසින් උපදෙස් ලබාදී තිබේ. අනුරාධපුර මූලස්ථාන පොලීසියට පැමිණී වයස අවුරුදු 32ක් පමණ වන සුරූපි තරුණියක් චිසින් ගම්වැසියන් පිරිසක් පහර දීමට උත්සාහ කරමින් තර්ජනය කළ බවට අනුරාධපුර මූලස්ථාන පොලිසියේ විවිධ පැමිණීළි අංශයට කර තිබූ පැමිණිල්ලක් විභාගයට ගැනීමෙන් පසුව එය වැඩිදුර විභාගය සඳහා අනුරාධපුර පොලිස්ථානයේ                                                                                                    ස්ථානාධිපතිවරයාට යොමුකර තිබුණි.

පසුව පැමිණිල්ල විභාගයට ගැනීම සඳහා දෙපාර්ශ්වයම කැඳවූ අවස්ථාවේ කාන්තාවට හිරිහැර සිදු කිරීමට හේතුව විමසු අවස්ථාවේ විත්ති පාර්ශ්වය පවසා ඇත්තේ ඇය පදිංචිව සිටින නිවසේ සම්බාහන මධ්‍යස්ථානයක් පවත්වාගෙන යාම නිසා ගම්මානය ජන ජීවිතයට බාධාවක් එල්ල වී තිබන බවයි.දිවා රාත්‍රීයේ විවිධ පුද්ගලයන් ගම්මානයට පැමිණීම නිසා අධ්‍යාපනය ලබන දරුවන්ට හිංසාවක් සිදුවීම නිසා අදාල නිවසේ කුමක් සිදුවන්නේද යන්න සම්බන්ධයෙන් සොයා බැලීමට ගිය අවස්ථාවේ එහී සම්බාහන මධ්‍යස්ථානයක කටයුතු සිදුවන බව හැගී යා මෙන් ඇයට ඒ පිළිබඳ විරෝධය පෑ අවස්ථාවේ බහින් බස්වීමක් සිදු වූ බව ගම්වැසියන් මූලස්ථාන ප්‍රධාන පොලිස් පරික්ෂාකවරයාට දන්වා තිබුණි.

දෙපර්ශවයේම කරුණු සලකා බැලු පොලිස්ථානාධිපතිවරයා ගම්මානයේ ජනතාවට හිංසාවක් පීඩාවක් සිදුවන අයුරින් පවත්වාගෙන යන සම්භාහන මධ්‍යස්ථානය නිවසේ පවත්වා ගෙන යාම වහාම නතර කරන ලෙස තරුණියට දන්වා තිබෙන අතර එය සුදුසු ස්ථානයක නීත්‍යනුකූල අන්දමින් පවත්වා ගෙන යාමට කටයුතු කරන ලෙස ඇයට වැඩිදුරටත් දන්වා තිබුණි. තරුණ කාන්තාව මීට පෙර අනුරාධපුර නගරයේ පිහිටි ආයුර්වේද සම්බාහන මධ්‍යස්ථානයක තෙරපිවරියක් ලෙස කටයුතු සිදුකර  තිබෙන බවත් ඇයගෙන් සේවාව ලබා ගැනීමට පැමිණි පුද්ගලයන් සමග හිතවත් වී විශාල මුදලක් තමන්ට උපයා ගත හැකි නිසා මව සිටින නිවසේ ආයතනය පවත්වාගෙන  ගොස් තිබෙන බව පොලිසිය අනාවරණය කර ගෙන තිබුණි.

ඇය විහාරපාළුගම ප්‍රදේශයේ පිහිටි නිවසේ සම්බාහන මධ්‍යස්ථානය ආරම්භ කිරීමත් සමඟම ඇගේ ගනුදෙනුකරුවන් බොහෝ පිරිසක්  උදැසන සිට රාත්‍රිය දක්වා රථවාහන වලින් එහි පැමිණිමෙන් ගම්වැසියන්ට  හිරිහැරයක් වීම නිසා ඇය සමග බහින් බස් වී ඒ ආරවුල ඇති වී තිබෙන බව පොලිසිය පැවැසුවේය.


-බුද්ධික මහේෂ්-

ඩොලරය 182.54ට නගී-අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට මීළඟ ණය වාරිකය දීම පළිබඳ සාකච්ඡාත් කල් දමයි





දේශපාලන අර්බුදය මධ්‍යයේ, ඉතිහාසයේ ප්‍රථමවරට ඇමෙරිකන් එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල ඊයේ (28) රුපියල් 182 සීමාව ඉක්මවා ගියේය. ශ්‍රී ලංකා මහ බැංකුව ඊයේ (28) නිකුත් කළ විනිමය අනුපාතිකවලට අනුව ඇමෙරිකන් ඩොලරයක විකුණුම් මිල 182.54ක් ලෙසින් ගැනුම් මිල 178.32ක් ලෙසින් දැක්විණි.

ශ්‍රී ලංකා මහ බැංකුව සතිපතා නිකුත් කරන දත්තවලට අනුව ජනවාරි 1 වැනිදා සිට නොවැම්බර් 23 වැනිදා දක්වා කාලයේ දී ඇමරිකන් ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල් සියයට 14.3කින්  අවප්‍රර්මාණය වී තිබේ.

''රෙෆිනිට්ව් ඉකෝන්'' ජාත්‍යන්තර මූල්‍ය විශලේෂණ ආයතනයේ දත්තවලට අනුව එම කාලයේ දී ශ්‍රී ලංකා රුපියල් සියයට 17.2කින් අවප්‍රමාණය වී ඇත. මෙම 2010 දී ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම ඇරඹු මුඩිස් ජාත්‍යන්තර  ගත කිරීමේ ආයතනය පළමු වරට පසුගිය 20 වැනිදා ශ්‍රී ලංකාව ශ්‍රේණිගත කිරීම පහළ දැමීය. වත්මන් දේශපාලන අර්බුදය, දැනටමත් තිබෙන ආර්ථික අර්බුදය තවදුරටත් උග්‍ර කරනු ඇතැයි ද මුඩිස් ශ්‍රේණිගත ආයතනය එහිදී පෙන්වා දී තිබේ. නමුත් එම පහළ දැමීම් පදනම් විරහිත යැයි ශ්‍රී ලංකා මහ බැංකුව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර තිබිණි.

අන්තර්ජාතික මූල්‍ය අරමුදල ශ්‍රී ලංකාවට මීළඟ ණය වාරිකය දීම පළිබඳ සාකච්ඡා ද කල් දමා ඇත.

මේ අතර ශ්‍රී ලංකාවේ විදෙස් සංචිත ප්‍රමාණය නොවැම්බර් 14 වැනිදා වනවිට ඇමෙරිකානු ඩොලර් බිලියන 7.2ක් වූ බවත් එය වසර අවසන් වනවිට ඩොලර් බිලියන 3.3ක් දක්වා වැඩිවනු ඇති බවත් මහ බැංකු අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා ඉකුත් දිනක පැවැසීය.

-හර්ෂණ තුෂාර සිල්වා-

ආවා කල්ලි ප්‍රධානියෙක් අධිකරණයට භාර වෙයි


ආවා කල්ලියේ නායකයෙකු මෙන්ම ආවා කල්ලිය මෙහෙය වූ අශෝක් කුමාර් නොහොත් මෝහන් අශෝක් නමැත්තා ඊයේ (28දා) යාපනය මල්ලාකම් අධිකරණයට පැමිණ භාර වී ඇතැයි යාපනය පොලීසිය කියා සිටියේය. මල්ලාකම් අධිකරණයට භාරවීමෙන්  පසුව ඔහු දෙසැම්බර් 12 වැනිදා දක්වා  රක්ෂිත බන්ධනාගාරගත කිරීමට මල්ලාකම්  මහෙස්ත්‍රාත් ඒ. ඇලෙක්ස්රාජා මහතා නියෝග කළේය.

යාපනය දිස්ත්‍රික්කයේ ක්‍රියාත්මක වු  ආවා කල්ලිය මෙහෙය වූ අශෝක් කුමාර්. නොහොත් මෝහන් අශෝක් නමැත්තා විවිධ ස්ථානවල සැඟව සිටීම හේතුවෙන් පොලිස් අත්අඩංගුවට ගැනීමට නොහැකි විය.

සැකකරු නීතිඥයකු මාර්ගයෙන් අධිකරණයට භාර වී ඇත්තේ තවදුරටත් ආවා ක්‍රියාකාරකම් කිරීමට නොහැකි බව පවසමිනි.

උතුරේ ආරක්ෂක අංශ විසින් කියා සිටියේ වත්මන් රජයේ ආරක්ෂිත වැඩපිළිවෙළ යටතේ ආවා කල්ලි සාමාජිකයන් සියලුම දෙනා අත්අඩංගුවට ගැනීම් කටයුතු සිදු වෙමින් පැවැති අවස්ථාවේදී පලායෑමට අවස්ථාවක් නොමැති වූ විට ආවා කල්ලි නායකයා මෙසේ භාර වී ඇති බවයි.
කෙසේ වෙතත් ආවා නමින් හැඳින්වෙන විනෝදන් නමැත්තා තවමත් නිදැල්ලේ සිටින අතර, ඔහු ද අත්අඩංගුවට ගැනීමට පොලීසිය පරීක්ෂණ අරඹා තිබේ.

මතක තියගන්න මම මඩකළපුවේ කරුණා අම්මාන්



එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් තමන්ට තර්ජනය කරන බව හිටපු නියෝජ්‍ය ඇමැති විනයාගමූර්ති මුරලිදරන් හෙවත් කරුණා අම්මාන් පවසයි. ඔහු සිය නිල ට්විටර් ගිණුමේ පණිවුඩයක් තබමින් මේ බව සඳහන් කර ඇත.

එක්සත් ජාතික පක්ෂයේ ඇතැමුන් මට තර්ජනය කර තිබේ. බොහෝ දෙනකු මට පණිවුඩ එවා ඇති අතර දුරකථන ඇමතුම්ද ලබාදී තිබේ. කරුණාකර මතකයේ තබා ගන්න මම මඩකළපුවේ කරුණා අම්මාන් බව. 2004ට පෙර කරුණා අම්මාන් කවුද යන්න කවරකුගෙන් හෝ අසන්න" යැයි ඔහු සිය ට්විටර් පණිවුඩයේ වැඩිදුරටත් සඳහන් කර ඇත.


-ලක්ෂමී ජයකොඩි-

කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ පුහුණුව ලබන සිසුවියන් කිහිපදෙනෙකුට PHI කෙනෙකුගෙන් ලිංගික අතවර?


කළුතර සෞඛ්‍ය විද්‍යායතනයේ පුහුණුව ලබන සිසුවියන් කිහිපදෙනකුට මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකු
ලිංගික අතවර කරන බවට ලද පැමිණිල්ලක් අනුව ඊයේ (28දා) පරීක්ෂණ ආරම්භ කළ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි. සිද්ධිය පිළිබඳ මේ වනවිට සිසුවියන් දෙදෙනකුගෙන් පොලිසිය
ප්‍රකාශ ලබාගෙන තිබේ.

දැනට මාස දෙකක තුනක සිට කළුතර සෞඛ්‍ය විද්‍යාතනයේ පුහුණුව ලබන සිසුවියන් මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුගේ අතවරයට ලක්වන බව ළමා හා කාන්තා කාර්යාංශ මූලස්ථානයට ලද පැමිණිල්ලක් අනුව කළුතර කොට්ඨාස ළමා හා කාත්තා කාර්යාංශය ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ ආරම්භ කළ බව කළුතර දකුණ පොලිසියේ උසස් නිලධාරීයෙක් පැවැසීය.


-එම්.සී.පෙරේරා-

මේ සෙල්ලම් ආණ්ඩුව නිසා මාසයක් ගතවෙද්දී රුපියලේ අවප්‍රමාණය රු.8යි ශත27ක්-ජනතා විමුක්ති පෙරමුණ







සෙල්ලම් ආණ්ඩුව සකස් කර මාසයක කාලයක් ගතවන විට ඩොලරයට ගෙවිය යුතු රුපියල්  ප්‍රමාණය රුපියල් 8යි ශත 27කින් ඉහළ ගොස් ඇතැයි ජනතා විමුක්ති පෙරමුණ සඳහන් කරයි.

ඔක්තෝබර් 26 වැනිදා වනවිට ඩොලරයකට ගෙවිය යුතු රුපියල් ප්‍රමාණය රුපියල් 174ක් වූ බවත්, එහෙත් ඊයේ (28)දා වතට ඩොලරයකට රුපියල් 182 ශත 27ක් වී තිබෙන බවත් එම පක්ෂයේ භාණ්ඩාගාරික සුනිල් හඳුනත්ති මහතා සඳහන් කළේය.

සෙල්ලම් ආණ්ඩුවක් සකස් කිරීම නිසා රට තුළ ආණ්ඩුවක් හා  කැබිනට් මණ්ඩලයක් නොමැති බවත්, ආණ්ඩුව යැයි කියාගන්නා කණ්ඩායම පාර්ලිමේන්තුවට නොපැමිණෙන නිසා විපක්ෂයේ කණ්ඩායම් පාර්ලිමේන්තූව පවත්වාගෙන යන බවත් ඔහු පවසා සිටී.

 එම පක්ෂ මූලස්ථානයේදී ඊයේ (28)දා පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී මේ බව කී සුනිල් හඳුන්නෙත්ති මහතා වැඩිදුරටත් සඳහන් කළේ, කොටස් වෙළෙඳ පොළ පවා බරපතළ ලෙස කඩාවැටීමකට ලක්වී තිබෙන බවයි.

නොවැම්බර් මාසය තුළදී පමණක් විදේශ ආයෝජන රුපියල් බිලියන 4.5ක කොටස් ඉවත් කරගෙන තිබෙන බවත්, ස්වෛරී බැඳුම්කර රුපියල් මිලියන 1804ක් කොටස් වෙළෙඳ පොළ තුළින් ඉවත් කරගෙන තිබෙන බවද ඔහු පවසා සිටියේය.

ලබන ජනවාරි 15 වැනිදා වනවිට ඩොලර් බිලියනයක ණය වාරිකයක් ගෙවිය යුතුව තිඛෙන බවද හෙතෙම සඳහන් කළේය.

මොරොන්තුඩුවෙන් අතුරුදන් වූ දියණියදැයි සොයන්න ඇගේ පියා DNA පරීක්ෂණයට




සෙවණගල කිරිඉබ්බන්ආර වැවේ තිබී හමු වූ කාන්තා සිරුරක කඳ කොටස සහ බොල්ගොඩ ගඟ රක්ෂිතයේ තිබී හමුවූ කාන්තාවකගේ හිස මීට මාසයකට පෙර මොරොන්තුඩුව ප්‍රදේශයෙන් අතුරුදන් වූ රූමත් කාන්තාවන්ගේ දැයි නිශ්චිතව දැන ගැනීමට එම කාන්තාවන්ගේ පියා ඊයේ (28දා) ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා යොමු කර තිබේ. මොරොන්තුඩුව තරුණ සේවා මාවතේ පදිංචිව සිටි අර්යේෂා කල්හාරි නමැති 19 හැවිරිදි එක්දරු මවක් අතුරුදන්ව තිබිණි.

මෙම කාන්තාවගේ අතුරුදන්වීම ගැන ඇයගේ ස්වාමිපුරුෂයා වන ක්‍රිෂාන් මධුසංක නමැත්තා පොලිසියට පැමිණිලි කර තිබිණි. එම පැමිණිල්ලේ සඳහන් වන්නේ මෙසේය. තම බිරිය වන අයේෂා කල්හාරී ගැබ්ගෙන ඇත්දැයි පරික්ෂණයක් සිදු කර ගැනීම සඳහා තම මව සමඟ ඇය මිල්ලගස්හන්දිය ප්‍රදේශයේ වෛද්‍යවරයකු හමුවට ගිය බවත් ත්‍රිරෝද රථයෙන් යළි නිවෙස කරා පැමිණමින්ට සිටියදී මොරොත්තුඩුව තරුණ සේවා මාවත ආසන්නයේදී ඇය එයින් බිමට බැසීමට අවශ්‍ය බව පැවසූ බවත්ය.

ත්‍රිරෝද රථය නැවැත්වූයේ නැති නම් එයින් බිමට පනින බවට ඇය තර්ජනය කිරීම හේතුවෙන් ත්‍රිරෝදය නැවැත්විය බවත් ඇය එයින් බැස පා ගමනින් ප්‍රධාන මාර්ගය දෙසට ගිය බවත් අතුරුදන් කාන්තාවන්ගේ සැමියා වන ක්‍රිෂාන් මධුසංක නමැත්තා එම සිද්ධිය වූ ඉකුත් ඔක්තෝබර් 27දා මොරොත්තුඩුව පොලිසියට කරන ලද පැමිණිල්ලේ සඳහන්ය. තරුණියගේ ගම් ප්‍රදේශය වන දෙයියන්දර කැටියපේ උඩහගෙදර අංක 74/1/1 ලිපිනයෙන් විමසුවද ඇය නිවෙසට නොගිය බව අනාවරණය වූ බව මොරොත්තුඩුව පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ජයසම්පත් රණසිංහ මහතා කීය.

මෙම කාන්තාව අතුරුදන් වූ දිනට පෙර දින (26දා)  රාත්‍රියේ ඇය හා ඇයගේ සැමියා වන ක්‍රිෂාන් මධුසංක අතර බහින්බස් වීමක් සිදුවී ඔහු ඇයට මඤ්ඤෝක්කා අලයකින් හා ඇය ඔහුට තේ කෝප්පයකින් එකිනෙකාට පහර දීගෙන ඇති බවටද පොලිසිය තොරතුරු සොයාගෙන ඇත. මෙම කාන්තාව ඇයගේ ස්වාමිපුරුෂයා හා නැන්දම්මා සමඟ වෛද්‍යවරයා හමුවට ගිය බවට පරික්ෂණවලදී  සනාථ වී තිබේ.

ඇය එදින පා ගමනින් සිය වෙළෙඳසලට පැමිණ සෙරෙප්පුව කැඩුණා කියා ආයකටුවක් ඉල්ලා සිටි බවද එම ප්‍රදේශයේ වෙළෙඳසල් හිමිකරුවකු පොලිසියට ප්‍රකාශයක් ලබාදී තිබිණි. මීට දින කිහිපයකට පෙර කරන ලද ඩී.එන්.ඒ. පරීක්ෂණයක් මඟින් බණ්ඩාරගම, බෝල්ගොඩ ගඟ රක්ෂිතයෙන් හමුවූ කාන්තා හිසත් සෙවණගල කිරිඉබ්බන්ආර වැවෙහි පාවෙමින් තිබී හමුවූ කඳ කොටසත් එකම කාන්තාවගේ බවට තහවුරු වී ඇති බව  පොලිස් නිලධාරියකු කීය.

පානදුර මූලික රෝහලේ මෘත ශරාගාරයේ තැන්පත් කර ඇති බොල්ගොඩ ගඟේ තිබී හමුවූ හිස අතුරුදන් තම  දියණියගේ බව ජනක දිලිප් කුමාර නමැති අතුරුදන්  කාන්තාවගේ පියා පොලිසියට ප්‍රකාශයක් දී තිබිණි. ඒ අනුව ඊයේ (28) ඔහු පානදුර මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය ඩී.එස්.කේ. කරුණානායක මහත්මිය වෙත ඩී.එන්.ඒ. පරීක්ෂණයක් සඳහා යොමු කළ බව බණ්ඩාරගම පොලිසියේ ප්‍රකාශකයෙක් කීය.

අතුරුදන් කතගේ ස්වාමිපුරුෂයාගේ නිවෙසේ පරිහරණය කරන ජංගම දුරකථන තුනක අංක කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරීපත් කර විශලේෂණ වාර්තා ලබාගෙන විමර්ශන කටයුතු සිදු කිරීමට මෙම ඇයගේ ජාතික හැදුනුම්පත් අංකය උපයෝගී කරගෙන ජංගම  දුරකථන සිම් කාඩ්පත් ලබාගෙන ඇත්දැයි සොයා බලන  බව මොරොන්තුඩුව පොලිසියේ ස්ථානාධිපතිවරයා  වැඩිදුරටත් පැවැසීය. ඇය ජංගම දුරකථනයක් පෞද්ගලිකව පරිහරණය නොකළ බව ස්වාමිපුරුෂයා පොලිසියට ලබා දුන් ප්‍රකාශයක සඳහන් වන බව පොලිසිය කියයි.

-ඒ.ම්.සී.පෙරේරා-

ඉදිරි ඡන්දයෙදි එජාපය ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණකින් ඉදිරිපත් වෙනවා - නායක රනිල් කියයි






එක්සත් ජාතික පක්‍ෂය ඉදිරි මැතිවරණයට මුහුණදීම සඳහා ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණක් ගොඩනගා එය ලියාපදිංචි කරන බව එජාප නායක රනිල් වික‍්‍රමසිංහ මහතා පැවසීය.

ඒ මහතා මේ බැව් පැවසුවේ ඊයේ (28) වැනිදා අරලියගහ මන්දිරයේදී පැවැති එජාප පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ හමුවේදීය.

රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඇති කළ යුතු බවටත්, ඉදිරි මැතිවරණයේදී එක්සත් ජාතික පක්‍ෂය ජයග‍්‍රහණය කිරීම සඳහා පුළුල් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පෙරමුණක් ලෙස ඉදිරිපත් වන බවත් එම පෙරමුණ ගොඩනැඟීම වහාම ආරම්භ කරන බවත් රනිල් වික‍්‍රමසිංහ මහතා සඳහන් කළේය.

ඒ මහතා මේ බැව් පැවසුවේ ඊයේ (28 වැනිදා) අරලියගහ මන්දිරයේදී පැවැති එජාප පළාත් පාලන ආයතන නියෝජිතයන්ගේ හමුවේදීය.

රට තුළ ප්‍රජාතන්ත්‍රවාදය ඇති කළ යුතු බවටත්, ඉදිරි මැතිවරණයේදී එක්‌සත් ජාතික පක්‍ෂය ජයග්‍රහණය කිරීම සඳහා පුළුල් ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණක්‌ ලෙස ඉදිරිපත් වන බවත් එම පෙරමුණ ගොඩනැඟීම වහාම ආරම්භ කරන බවත් රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේය.

-අකිත පෙරේරා-

රාජ්‍ය සේවක වැටුප් කොමිසමේ වාර්තාව ජනපති අතට



රාජ්‍ය සේවයේ වැටුප් සමාලෝචනය කර නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් පත් කරන ලද විශේෂ කොමිසමේ වාර්තාව ඊයේ (28දා) ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා වෙත පිළිගැන්විණි.

කොමිසමේ සභාපති එස්. රනුකගේ මහතා විසින් වාර්තාව ජනාධිපතිවරයා වෙත පිළිගැන්වූ අතර එහි සෙසු සාමාජිකයෝද ඊට එක්ව සිටියහ. රාජ්‍ය සේවයේ වැටුප් හා දීමනා සම්බන්ධයෙන් දැනට ක්‍රියාත්මක වන චක්‍රලේඛ හා විධිවිධාන කෙරෙහි අවධානය යොමු කරමින් රාජ්‍ය අංශයේ වැටුප් ආශ්‍රිත ගැටලු හෝ විෂමතා ඇත්නම් ඒවා විසදීමට නිර්දේශ ඉදිරිපත් කිරීම සඳහා ජනාධිපතිවරයා විසින් මෙම කොමිසම පත්කරන ලදී.

ඒ 2018-08-14 වන දිනැති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී එළැඹි තීරණයකට අනුවය. එස්. රනුකගේ මහතා සභාපතිවරයා වශයෙන් ද, එච්.ජී. සුමනසිංහ මහතා ලේකම්වරයා වශයෙන්ද පත්කොට ඇති මෙකී                                                                                               කොමිසමට සාමාජිකයෝ 15 දෙනෙක් ඇතුළත් වෙති.




බන්ධනාගාර ප්‍රධානියාගේ බිරිඳ සමග ගැටුමක් ඇති කරගෙන රිමාන්ඩ් කළ බෝගම්බර සිරගෙදරදී වධ හිංසාවට ලක්‌ වූ කතට ලක්‍ෂ 10 ක වන්දියක්‌ - ''තෝව බාගෙට මරන්න කියලයි ඕ.අයි.සී. මහත්තයා අපිට කිව්වේ'' කියමින් පහර දීලා


අසල්වැසි කාන්තාවකට පිහියකින් ඇන තුවාල සිදු කළැයි කියන සිද්ධියක්‌ සම්බන්ධයෙන් රිමාන්ඩ් භාරයට පත් වූ කාන්තාවකට බෝගම්බර සිරගෙදරදී ඉතා අමානුෂික ලෙස පහරදීමෙන් සහ වධ හිංසා කිරීමෙන් ඇයගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වී ඇතැයි තීන්දු කළ ශ්‍රේෂ්ඨාධිකරණය ඇයට රුපියල් ලක්‍ෂ 05 ක වන්දියක්‌ සහ නඩු ගාස්‌තු වශයෙන් තවත් රුපියල් 50,000 ක්‌ ගෙවීමට රජයට නියම කළේය.

ඊට අමතරව එම කාන්තාවට රුපියල් ලක්‍ෂ 05 ක වන්දියක්‌ ගෙවන ලෙස සිරගෙදර ජ්‍යෙෂ්ඨ නිලධාරියකුට සහ කාන්තා බන්ධනාගාර නියාමක නිලධාරිනියන් 04 දෙනෙකුට ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළේය.

එකී වන්දි මුදල ගෙවීමට නියම වූ බන්ධනාගාර නිලධාරියා එච්. එම්. ඒකනායක නමැති අයෙකි. ඔහු මෙම සිද්ධිය වන විට මාතලේ බන්ධනාගාරයේ ප්‍රධානියා ලෙස සේවය කර ඇත. ඔහුට ගෙවීමට නියම වූ වන්දි මුදල රුපියල් ලක්‍ෂ 02 කි.

රුපියල් 75,000 බැගින් වන්දියක්‌ ගෙවීමට කාන්තා බන්ධනාගාර නියාමක නිලධාරිනියන්ට නියම විය. මේ වන්දිය ඔවුන්ගේ පුද්ගලික මුදල් වලින් ගෙවිය යුතු යයි ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළ නඩු තීන්දුවෙන් නියම කර ඇත.

මේ අනුව මහනුවර බෝගම්බර හිර ගෙදරදී අමානුෂික ලෙස පහරදීමට ලක්‌ වූ කාන්තාවට ලැබුණු සම්පූර්ණ වන්දි මුදල රුපියල් ලක්‍ෂ 10 කි.

බී. එම්. අමුණුගම, එල්. ඩී. විඡේසිංහ, එම්. එස්‌. කුමාරි සුබසිංහ, සහ එන්. පී. සෝමපාල, රුපියල් 75,000 බැගින් වන්දි ගෙවීමට නියම වූ කාන්තා බන්ධනාගාර නියාමක නිලධාරිනියන් 04 දෙනායි. සිද්ධිය වන විට ඔවුන් බෝගම්බර සිරගෙදර සේවය කර ඇත.

ශ්‍රේෂ්ඨාධිකරණය ඉහතින් නියෝග නිකුත් කළේ මාතලේ කයිකාවල බෝගම්බර පදිංචි ගල්පිට හේනගෙදර නන්දනී කුමාරී නමැත්තිය විසින් ගොනු කර තිබූ මූලික අයිතිවාසිකම් පෙත්සමක්‌ විභාග කිරීමෙන් අනතුරුවය.

සිසිර ද ආබෲ, විජිත් කේ. මලල්ගොඩ සහ මුර්දු එන්. බී. ප්‍රනාන්දු, යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවන් හමුවේ පෙත්සම් විභාගය පැවැත්විණි.

පෙත්සම් විභාගයේදී අනාවරණය වූ අන්දමට මෙම නඩුවට අදාළ සිද්ධිය එනම් කාන්තාවන් දෙදෙනා අතර ගැටුම සිදුව ඇත්තේ 2008 ජුනි 27 දා සවස 2.00 ට පමණ මෙහි පෙත්සම්කාරිය වූ නන්දනී කුමාරිගේ නිවස අසලදීය. පද්මා කුමාරි ඒකනායක අනිත් කාන්තාවයි.

ඇය මාතලේ හිරගෙදර ප්‍රධානියා වූ එච්. එම්. ඒකනායකගේ විවාහක බිරිඳයි.

පෙත්සම්කාරිය වන නන්දනී කුමාරි තිදරු මවකි. නිවෙස්‌ අසල එකතු වී තිබූ කසළ ගොඩක්‌ ඉවත් කිරීමේදී කාන්තාවන් දෙදෙනා අතර ගැටුම ඇති වී තිබේ. පෙත්සම්කාරිය තමාට පිහියකින් ඇන තුවාල සිදු කළ බවට අනිත් කාන්තාව (පද්මා කුමාරි) පොලිසියට පැමිණිලි කර ඇත.

එම පැමිණිල්ල විභාග කළ රත්තොට පොලිසිය පෙත්සම්කාරිය අත්අඩංගුවට ගෙන උසාවියට ඉදිරිපත් කොට රිමාන්ඩ් බාරයට පත් කර තිබේ. පෙත්සම්කාරිය ඇප පිට නිදහස්‌ කරන්නැයි ඇගේ නීතිඥවරයා ඉල්ලා සිටි විට තුවාලකාරිය රෝහල්ගත කොට ඇති බව කියමින් පොලිසිය පෙත්සම්කාරියට ඇප දෙන්නට විරුද්ධ වී ඇත.

රිමාන්ඩ් භාරයට නියම වීමෙන් අනතුරුව මාතලේ හිර ගෙදරට ගෙන ගිය පෙත්සම්කාරිය පසුව බෝගම්බර හිර ගෙදරට මාරු කර ඇත.පෙත්සම්කාරියට අමානුෂික ලෙස පහර දී ඇත්තේ බෝගම්බර හිරගෙදරදී මාතලේ හිරගෙදර සේවය කරමින් සිටි ඉහත නම් සඳහන් කාන්තා බන්ධනාගාර නියාමක නිලධාරිනියන් 04 දෙනායි.

''තෝව බාගෙට මරන්න කියලයි ඕ.අයි.සී. මහත්තයා අපිට කිව්වේ'' යනුවෙන් පවසමින් ඒ හතර දෙනා බිම පෙරලාගෙන හොඳටම පහර දුන් බව ඇය ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කළ පෙත්සමේ සඳහන් කර තිබිණි.

පෙත්සම්කාරිය ඇප පිට නිදහස්‌ වීමෙන් පසුව රෝහල්ගත වී ප්‍රතිකාර ලබා ඇත. ඇයට තුවාල 5 ක්‌ සිදු වී ඇති බවත් එකක්‌ බරපතළ බවත් ඇය පරීක්‍ෂා කළ වෛද්‍යවරයා වාර්තා කර තිබිණි.

කාන්තාවන් දෙදෙනා අතර ඇතිවූ ගැටුම පිළිබඳ පොලිස්‌ පරීක්‍ෂණ අපක්‍ෂපාතීව සිදුවී නැති බවත්, කිසියම් පුද්ගලයකුගේ බලපෑමකට යටවී රත්තොට පොලිසිය ක්‍රියා කර ඇති බව පෙත්සම් විභාගයේදී පෙනී ගිය බවත්, ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශයට පත් කළ තීන්දුවේ සඳහන් කර ඇත.

අධිනීතිඥ ශාන්ත ජයවර්ධන, දිනේෂ් ද සිල්වා, හිරන්‍යා දමුණුපොල සහ චාමර නානායක්‌කාරවසම් යන නිතීඥවරු සමග පෙත්සම්කාරිය වෙනුවෙන් පෙනී සිටියේය.

ජනාධිපති නීතිඥ සාලිය පීරිස්‌ පෙත්සමේ 02 වැනි වගඋත්තරකරු වන මාතලේ බන්ධනගාරයේ ප්‍රධානී එච්. එම්. ඒකනායක වෙනුවෙන් පෙනී සිටි අතර 06 - 09 වැනි වගඋත්තරකරුවන් වෙනුවෙන් ද අධිනීතිඥ රසික බාලසූරිය, නීතිඥ දුලංගා කුමාරි සමග 4 වෙනි වගඋත්තරකාර රත්තොට පොලිසියේ වසන්ත රාළහාමි 6 - 9 වගඋත්තරකරුවන් වන බෝගම්බර හිරගෙදර කාන්තා බන්ධනාගාර නියාමක නිලධාරිනියන් 04 දෙනා වෙනුවෙන් පෙනී සිටියහ.
නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් වරුණිකා හෙට්‌ටිගේ නීතිපති, පොලිස්‌පති සහ බන්ධනාගාර කොමසාරිස්‌ ජනරාල් වෙනුවෙන් පෙනී සිටියාය.

-සරත් ධර්මසේන-

කථානායකට ස්තූති කරලා යාපනයේ පෝස්ටර් ගහලා




කථානායක කරු ජයසූරිය මහතා වෙත ප්‍රණාමය පුද කරමින් යාපනයේ පොස්ටර් අලවා තිබේ. මෙම වර්තමාන දේශපාලන අර්බුදයේදී කථානායකවරයා කටයුතු කරනු ලබන ආකාරය උතුරේ ජනතාවටත් රටටත් ආඩම්බරයක් බව සඳහන් කරමින් එම පෝස්ටර් අලවා ඇත.

පාර්ලිමේන්තු සම්ප්‍රදායන්, බලතල ජනතාවගේ අභිලාෂයන් හා රටේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන බැවින් නොබියව  තම කාර්යය ඉටු කරනු ලබන කථානායකවරයාට ජනතාවගේ ආශීර්වාදය හිමිවනු                                                                                        ඇති බවද එම පෝස්ටරයේ වැඩිදුරටත් දක්වා ඇත.


                                                                                  -ලක්ෂ්මී ජයකොඩි-

උසාවියේ නඩුවක් තියනවා ඒ හින්දා අගමැති හා කැබිනෙට්ටුව ගැන යෝජනා විවාද බැහැ - දයාසිරි ජයසේකර

අගමැතිවරයාට හා ඇමැති මණ්ඩලයට එරෙහිව මේ වනවිට අභියාචනාධිකරණයේ නඩුවක් විභාගයට ගෙන ඇති නිසා පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 36 වැනි වගන්තිය යටතේ අගමැති හෝ ඇමැති මණ්ඩලය පිළිබඳ යෝජනාවක් විවාදයට ගැනීමට නොහැකි බව කැබිනට් සම මාධ්‍ය ප‍්‍රකාශක ඇමැති දයාසිරි ජයසේකර මහතා පැවැසීය.

අධිකරණයක විනිශ්චයට භාජනය වී ඇති හෝ විභාගයට ගෙන ඇති නඩු කටයුත්තක්‌ සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ විවාද කළ නොහැකි බවට ස්‌ථාවර නියෝගවල පැහැදිලිව සඳහන්ව ඇති බවද ඇමැතිවරයා සඳහන් කළේය.

විපක්‍ෂය අද දිනයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර ඇති යෝජනාවද ඊට සම්බන්ධ කරුණක්‌ බැවින් එය විවාද කළ නොහැකි බව ඇමැතිවරයා කියා සිටියේය.

කෙසේ වෙතත් අද දිනයේදී පැවැත්වෙන පාර්ලිමේන්තු රැස්‌වීම් වාරයට සහභාගි වන්නේද නැද්ද යන්න අද (29 දා) උදැසන රැස්‌වන ආණ්‌ඩු පක්‍ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී කණ්‌ඩායම් රැස්‌වීමේදී තීරණය කරන බවද ඊයේ (28 දා) පැවැති කැබිනට්‌ තීරණ දැනුම්දීමේ මාධ්‍ය හමුවේදී ඇමැතිවරයා සඳහන් කළේය.

රනිල් ධර්මසේන

Wednesday, November 28, 2018

බන්ධනාගාරයේ කුඩ්ඩෙක් මුදාගෙන රැගෙන ගිය ජේලර් ඇතුලු 8කගේ වැඩ තහනම්





කෑගල්ල බන්ධනාගාරයේ සිට කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරය වෙත රැගෙන විත් ඇති ප්‍රධාන පෙළේ මත් කුඩු ජාවාරම්කාර සැකකරුවකු "චිකාගෝ" ක්‍රමයට මුදාගෙන ගොස් ඇතැයි කියන  සිද්ධිය සම්බන්ධයෙන් කෑගල්ල බන්ධනාගාරයේ ජේලරේ කෙනෙකු සහ නියාමකයන් හත් දෙනකුගේ වැඩ තහනම් කළ බව බන්ධනාගාර කොමසාරිස්, මාධ්‍ය ප්‍රකාශක‍ෙ තුෂාර උපුල්දෙණිය මහතා පැවැසීය.

මෙම සිද්ධිය පිළිබඳ පූර්ණ පරික්ෂණ වාර්තාවක් බන්ධනාගාර මූලස්ථානය වෙතින් කැඳවා ඇතැයි ද එම අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම් බන්දුල ඡයසිංහ මහතා පැවැසීය. ඉකුත් 16 වැනිදා සිදුවී ඇතැයි කියන මෙම සිද්ධියේ තොරතුරුවලට අනුව බන්ධනාගාර නිලධාරින් ලෙස වෙස්වළාගෙන පැමිණ පැහැරගෙන ගොස් ඇත්තේ ගාල්ලේ පදිංචිකරුවකු වන සුනිල් ශාන්ත නමැත්තෙකි.

මේ වනවිට ජීවිතාන්ත සිරදඬුවම් විඳින ජාත්‍යන්තර මට්ටම් මත් ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වත සුසෙයි නමැත්තාගේ ප්‍රධාන පෙළේ ගෝලයකු වන මොහු හෙරොයින් කිලෝ 2 ක් සමඟ හොරණ ප්‍රදේශයේ නිවසකදී අත්අඩංගුවට ගෙන තිබිය.

පොලිසිය විසින් ඔහු කළුතර බන්ධනාගාරයේ රඳවා සිටිය දී වෙනත් නඩු කටයුත්තක් සඳහා කෑගල්ල බන්ධනාගාරය වෙත යවා ඇති අතර පසුව හොරණ අධිකරණයේ නඩුවට රැගෙන එන ලෙසට කළුතරින් දන්වා තිබේ.  ඒ අනුව කෑගල්ලෙන් කොළඹ රිමාන්ඩ් බන්ධනාගාරයට රැගෙන එමින් සිටියදී මම පැහැර ගැනීම සිදුවී ඇතැයි හෙළිවී ඇති බව ද අප වාර්තාවට අනුව වග කිව යුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන බව ද ජයසිංහ මහතා බන්ධනාගාර මූලස්ථානයේ සහකාර බන්ධනාගාර අධිකාරි අනුර ගුණවර්ධන මහතා මෙහි පරික්ෂණය කටයුතු සඳහා පත්කර ඇත.

(ජයන්ත සමරකෝන්)

නාමල්ට-අමිත්ට පොහොට්ටුවෙන් නාමයෝජනා දෙන් නැහැලු





නාමල් කුමාරට හෝ අමිත් වීරසිංහට කිසිසේත්ම තම පක්ෂයෙන් නාම යෝජනා දෙන්නේ නැතැයි ශ්‍රී ලංකා පොදුජන  පෙරමුණේ පාලක ලේකම් හිටපු පළාත් සභා මන්ත්‍රී රේණුක පෙරේරා මහතා ඊයේ (27) පැවැසීය.

 ඔහු මේ බව පැවසුවේ බත්තරමුල්ල නෙළුම් මාවතේ පිහිටි ශ්‍රී
ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන කාර්යාලයේදී පැවති මාධ්‍ය  හමුවකදී නාමල් කුමාරට හා අමිත් වීරසිංහට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාම යෝජනා ලබාදී තිබේදැයි මාධ්‍යවේදියකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

තවදුරටත් අදහස් දැක්වූ රේණුක පෙරේරා මහතා කියා  සිටියේ, විවිධ හස්තයන් විසින් මෙහෙයවනු ලබන මුදලට ඕනෑම දෙයක් කරන්න සූදානම්, තමන් කළ කී ඇතැම් දේවල්වලට එලෙස මුදල් ලබාගත් බව කියන මෙවැනි  පුද්ගලයින් පාර්ලිමේන්තුව වැනි තැනකට කිසිසේත්ම සුදුසු  නොවන ඛවය.  දැනටමත් පාර්ලිමේන්තුවේ ඉන්න ඇතැමුන් මුදලට විකිණෙන  බව කියන තත්වයක් යටතේ තවත් එවැනිම පුද්ගලයන්ට නාම යෝජනා දිමට තම පක්ෂයට කිසිම අවශ්‍යතාවක් නැති බවද  රේණුක පෙරේරා මහතා පැවසීය.

එක්සත් ජාතික පෙරමුණ මැතිසබේ ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නවද?තීරණය හෙට-ජෝන් අමරතුංග කියයි


විපක්ෂයේ මන්ත්‍රීවරුන් මැති සබයේ ආණ්ඩු පක්ෂයේ අසුන් ගන්නේ දැයි හෙට (29) තීරණයක් ගන්නා බව  දිස්ත්‍රික් මන්ත්‍රී ජෝන් අමරතුංග මහතා (එජාප) පාර්ලිමේන්තුවේදී ඊයේ (27) පැවසීය.  අමරතුංග මහතා මේ බව පැවසුවේ සංචාරක කර්මාන්තය පිළිබඳව සභාව කල් තබන අවස්ථාවේ විවාදයේදීය.

ජෝන් අමරතුංග මහතා මෙසේ ද කීය. ආණ්ඩුව විරුද්ධව තවත් යෝජනා කිහිපයක් හෙට ඉදිරිපත් කිරිමට බලාපොරොත්තු වෙනවා. අද තිබෙන්නේ අවජාතක ආණ්ඩුවක්. මේ අවඡාතක ආණ්ඩුව කිසිම රටක් පිළි අරගෙන නැහැ.

මහින්ද රාජපක්ෂට කිසිම රටක් සුබ පැතුම් නොඑව්වේ ඒ නිසයි.

කතරගම පුදබිමේ ගවයින්ගෙන් බැත්මතුන්ට හිරිහැර


කතරගම පුදබිම මේ දිනවල ගව ගාලක් ලෙස දිස්වේ. අයාලේ යන මීගවයින් හා එළ ගවයින් විශාල ලෙස කතරගම කිරි වෙහෙර හා දේවාල භුමියේත් කතරගම නගරයේත් තැනින් තැන දිව යන අයුරු දිස්වේ.

මෙම ගවයින් පූජා භුමියේ සැරීසැරීම මත රාතී‍්‍ර කාලයේ දී වන්දනාකරුවන් ගවයින් ලැග සිටින ස්ථාන තුළ ඇද වැටීමත් ගවයින් දිව යෑම නිසා වන්දනාකරුවන්ගේ ඇඟේ හැපී තුවාල සිදුවීම්ද වැඩිවෙමින් පවතී.

 රුහුණු කතරගම දේවාලයේ බස්නායක නිල කාර්යාලයේ නිලධාරියකු පැවසුවේ මේ වන විට වඳුරන් මෙන්ම අයාලේ යන ගවයින්ද දැඩි ගැටලුවක් බවට පත්ව ඇති බවයි.

මෙම අයාලේ යන ගවයින් සම්බන්ධව නීතිය කි‍්‍රයාත්මක කිරීමට බලය ඇත්තේ කතරගම ප‍්‍රාදේශීය සභාව වෙතයි. මේ සම්බන්ධව කතරගම ප‍්‍රාදේශීය සභාවේ සභාපති චානක අමිල් රංගන මහතා පැවසුවේ මේ වනවිට ගව පට්ටි හිමියන් කැඳවා කීපවිටක් උපදෙස් දී ඇති බවත් ඉදිරියේ දී ගව පට්ටි හිමියන් නැවත ගෙන් වා නීතිය මගින් ක‍්‍රියා කරන බව සභාපති චානක අමිල් රංගන මහතා සඳහන් කරනු ලැබීය.

රෑට උයන්න පොල් ගෙඩියක් ගේන්න ගිය දියණියගේ ජීවිතය හුළු ඔයේදි අවසන් වෙයි

''අපේ අම්මා මිය ගිහින් තාත්තා අපිව අතහැර දාලා ගිහින් මමයි අක්කයි නංගියි ඉන්නේ සීයා ළඟ. රෑට උයන්න පොල් ගේන්න අපි උඩකන්ද මාමාලාගේ ගෙදර ගියා අම්මා මිය ගිහින්, පියා හැර ගිහින්..අපි ගිහින් එන අතරේදී තද වැස්ස නිසා මඩුවකට වෙලා ටික වේලාවක් ඉඳලා වැස්ස අඩු වුනාට පස්සේ ගෙදර යන්න ඇවිත් ගඟෙන් එගොඩ වෙන්න හැදුවා. අක්කා පය ලිස්සා ගගට වැටුනා.

 මම අක්කට කිව්වා අතේ තිබුන පොල් ගෙඩි තුන තියන බෑග් එක අතඇරලා කුඬේ අල්ලගෙන ගොඩට එන්න කියලා මම කුඬේ දික් කළා. අක්කා පොල් බෑගය එක අතකින් අල්ලගෙන ගොඩට එන්න හැදුවා.

 එහෙත් රැල්ලට අහු වෙලා ගසාගෙන ගියා. මමත් නංගිත් කෑ ගැසුවා. අක්කා ගගේ යනවා බේරා ගන්න කියලා. ගමේ අය ඇවිත් සෙව්වා නමුත් එදා හම්බවුනේ නැහැ.අම්මායි තාත්තායි නැතිව මාවයි නංගිවයි ඉස්කෝලේ යැව්වේ උයලා කන්න දුන්නේ මේ අක්කා. අපිට එයා නැති වුනා''

 ඉහත සඳහන් ප‍්‍රකාශය කරන ලද්දේ බළන්ගොඩ හැරමිටිගල විදුහලේ 7 වසරේ ඉගෙනුම ලබන අලගුරාජ් සසිකලා  නැමැති දැරිය විසිනි. ඉකුත් (24) දා හුලූ ඔයේ ජල පහරට හසු වී මිය ගිය අලගුරාජ් සිවගවුරි (17) නැමැති අයගේ මරණය පිළිබඳ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් මිය ගිය අයගේ නැගණිය එසේ ප‍්‍රකාශ කළාය. පශ්චාත් මරණ පරීක්ෂණය බළන්ගොඩ මූලික රෝහල් වෛද්‍ය අධිකාරි බී.එම්.සී දසනායක මහතා විසින් සිදු කළේය. සාක්ෂි මෙහෙයවීම බළන්ගොඩ පොලිසියේ පො.කො  චන්දිමාල් මහතා විසින් සිදු කළේය.

මෙය ගඟ හරහා යාමට උත්සහ ගැනීමේ දී සැඩ පහරට හසු වී දියේ ගිලී සිදු වූ හදිසි මරණයක් බවට බළන්ගොඩ වැඩ බලන නාගරික හදිසි මරණ පරික්ෂක එස්.එම්.අයි.ඞී මීගස්දෙනිය මහතා තීන්දු කළේය.

විභාගය කට උඩ තියාගෙන 13 වසරේ සිසුවාට පහරදුන් සා/පෙළ චණ්ඩි 25 දෙනෙකුට පෙලිසියෙන් අවවාද

 අම්පාර උහන පොලිස් බල ප‍්‍රදේශයේ පිහිටි පාසලක 13වැනි වසරේ ඉගෙනුම ලබන සිසුවකුට පාසල් භුමිය තුළ දී පහර දුන් බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් එම පාසලේම 11 වසරේ ඉගෙනුම ලබන සිසුන් 25ක් ප‍්‍රශ්න කිරීම සඳහා අත්අඩංගුවට ගත් බව උසස් පොලිස් නිලධාරියකු සඳහන් කරයි.

 මෙම සිද්ධියෙන් පහර කෑමට ලක් වූ බව කියන සිසුවා ප‍්‍රදේශයේ රජයේ රෝහලකින් දින 02ක කාලයක් නේවාසිකව ප‍්‍රතිකාර ගෙන ඇති බව ද පොලිසිය කියයි.

 පේ‍්‍රම සම්බන්ධතාවක් මෙම පහර දීමට හේතු වී ඇති බව මෙතෙක් කරන ලද පරීක්ෂණවලින් පොලිසියට දැන ගැනීමට ලැබී ඇත. පේ‍්‍රම සම්බන්ධතාවක් පවත්වාගෙන ගිය බව කියන සිසුවා ඔහුත් සමග පේ‍්‍රම සම්බන්ධතාවක් පැවැත්වූ බවට පැවසෙන සිසුවිය ඉගෙනුම ලබන පන්ති කාමරය ළඟට ගොස් සිටි අවස්ථාවේ මෙම පහර දීම සිදු වී ඇතැයි ද උසස් පොලිස් නිලධාරියෙකු වැඩි දුරටත් සඳහන් කරයි.

 එම පාසලේ විදුහල්පතිවරයා පොලිසියට කරන ලද දැනුම් දීමකට අනුව උහන පොලිසියේ විවිධ පැමිණිලි විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරීක්ෂක

 පේ‍්‍රමරත්න මහතා එම විදුහලට ගොස් මේ සම්බන්ධයෙන් පරීක්ෂණයක් පවත්වා ඇත.

 13 වෙනි වසරේ සිසුවාට පහර දීමට 11 වසරේ අධයාපනය ලබන සිසුන් 25 දෙනෙකු මෙම සිද්ධියට සම්බන්ද බවට මෙතෙක් කරන ලද පරීක්ෂණවලින් තොරතුරු අනාවරණය වීමෙන් පසුව එම සිසුන් 25 දෙනා අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

 සැකකාර සිසුන් 25 දෙනා 2018 වර්ෂයේ පැවැත්වෙන අධ්‍යයන පොදු සහතික පත‍්‍ර සාමාන්‍ය පෙල විභාගයට පෙනී සිටින නිසා ඔවුන්ගේ අනාගතය ගැන සිතා ඔවුන්ට එරෙහිව නීතිය ක‍්‍රියාත්මක නොකරන ලෙස පහර කෑමට ලක් වූ සිසුවාගේ පියා කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් පසුව එම සිසුන් 25 දෙනාට දැඩි ලෙස අවවාද කර මුදා හැරිය බව උහන පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක එල්.ඞී.එන්. කරුණාරත්න මහතා වැඩි දුරටත් සඳහන් කළේය
-පී.ජයසිංහ-

පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබු මළ සිරුරු දෙකක් මාරු වෙලා



පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ මෘත ශරීර දෙකක් මාරු වී ඇති බව හෙළිවීමෙන් පසු මීට මාස 10කට පමණ පෙරදී වීදියගොඩ පොදු සුසාන භූමියේදී මිහිදන් කළ සිරුරක් පෙරේදා (26දා) හොරණ අධිකරණයේ මහෙස්ත්‍රාත් ජයරුවන් දිසානායක මහතා ඉදිරීයේදී නැවත ගොඩගෙන පානදුර රෝහලේ මෘත ශරීරාගාරය වෙත රැගෙන යනු ලැබීය. මීට වසරකුත් මාස දහයකට ඉහතදී කෙසෙල්වත්ත පොලිස් වසමේ  බොල්ගොඩ ගඟහි පාවෙමින් තිබියදී හමු වී පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර තිබූ කාන්තා මළ සිරුර පානදුර මූලීක රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය උත්පල ආටිගල මහතා විසින් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා සොයා බැලීමේදී මෘත ශරීරාගාරයේ තැත්පත් කර තිබූ එම මළ සිරුර අස්ථාන ගතවී ඇති බව දැනගෙන තිබේ.

එම සිරුර වෙනුවට පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ බණ්ඩාරගම වීදියගොඩ කනන්තගොඩ ප්‍රදේශයේ 65 හැවිරිදි පුද්ගලයකුගේ මළ සිරුර තිබෙන බව හෙළිවීමෙන් අනතුරුව මෙම මෘත ශරීර මාරුවීමේ සිද්ධිය අනාවරණය වී තිබේ.  මේ මළ සිරුරු දෙකම විකෘති වී හඳුනා ගැනීමට නොහැකි තත්ත්වයේ තිබීමත්, සිරුරූ දෙකෙන්ම දකුණු පාදයන් නොමැතිව තිබීමත් මෙම මෘත දේහයන්  මාරු වීමට ආසන්න හේතුව බව පානදුර මූලීක රෝහලේ ප්‍රකාශකයකු කීය.  කාන්තා මළ සිරුර හමුවන විට එහි දකුණු පාදය සතුන් කා දමා තිබී ඇති  අතර ලණුවකින් එල්ලෙමීන් තිබියදී හමුවූ අනෙක් සිරුර කාගේ කවුදැයි නිශ්චිතව හඳුනා ගැනීමට ඩී.එන්.ඒ. පරීක්ෂණය සඳහා එහි දකුණු පාදයේ අස්ථි කොටස් ලබා ගැනීම හේතුවෙන් එම සිරුරේ දකණු පාදයද නොමැතිව තිබී ඇත.

සිද්ධිය අනාවරණය වීමෙන් අනතුරුව මිහිදන් කළ මළ සිරුර පෙරේදා (26) ගොඩගනු ලැබීය. ගෝනපල කුඹුක, පිටවල පාරේ නිවෙසක් පිටුපස අත්හැර දමන ලද ළිඳක ලණුවකින් එල්ලෙමින් තිබී 2017.01.20 දින හමුවූ පිරිමි මළ සිරුරක් ඉදිමී විකෘති වී තිබිණි. එය තම සැමියා වන ටී.කේ, විමලසේන (65) නොවන බව  වීදියගොඩ, යටගම පදිංචි කන්තාවක් මොරගහහේන පොලිසියට කරන ලද ප්‍රකාශයක් අනුව මළ සීරුරේ පශ්චාත් මරණ පර්යේෂණය පැවැත්වූ අතර ලණුවකින් එල්ලීමෙන් ගෙල හිර වී සිදුවූ මරණයක් බවට අනාවරණය වූ නමුත් මළ සිරුරට හිමිකරුවකු නොමැතිවීමෙන් තවදුරටත් පානදුර මූලික රෝහලේ මෘත ශරිරාගාරයේ තැන්පත් කර තිබිණි.

මළ සිරුරු සම්බන්ධයෙන් අයිතිවාසිකම් කීමට කිසිවකු නොවූ බැවින් මොරගහහේන පොලිසියට අධිකරණයෙන් ලබාගත් නියෝගයක් මත එල්ලී මියගිය බවට සැකකරන ටී.කේ. විමලසේන මහතාගේ දරු දෙදෙනාගෙන් ලබා ගත් ලේ සාම්පල් ආධාරයෙන් ඩී.එන්.ඒ. පරික්ෂණයක් කළ අතර එහි ප්‍රතිඵල අනුව එලෙස මියගොස් තිබුණේ ඔහුගේ පියා බවට අනාරණය වී තිබිණි.

එම ඩී.එන්.ඒ. වාර්තාව ලැබීමෙන් අනතුරුව 2018/01/13 දින ඔහුගේ ඥාතීන් මළ සිරුර භාරන්ගෙන තිබිණි.  මෙම මළ සිරුර මීට වසරකට පමණ පෙර එල්ලෙමින් තිබියදී සොයා ගන්නා විටත් විකෘති වී තිබූ බැවින් සිරුර භාර ගැනීමට පානදුර මූලික රෝහලේ මෘත ශරීරාගාරයට ගීය ඥාතීන් එය භාර ගැනීම සඳහා යන විට සුදු හා කළු පාට ඉටි කොළ දෙකක් රැගෙන ගොස් තිබේ. ඔවුන් මල් ශාලාවක සේවකයන් හා පෙට්ටියක්ද රැගෙන ගොස් ඇති අතර මෘත ශරීරාගාර සේවකයා ඉටි කොළයකින් ඔතන ලද මළ සිරුරක් පෙට්ටියක බහා ලබා දුන් බව මියගිය අයගේ ඥාතීන් ලබා දුන් ප්‍රකාශයේ සඳහන්ය.

එසේ ලබා දුන් සිරුර වීදියගොඩ කනත්තගොඩ සුසාන භූමියේ වළදමා ඔහු වෙනුවෙන් මාස 10 තුළ දානමය පින්කමද පැවැත්වූ බව ඊයේ 26දා මියගිය පුද්ගලයාගේ බිරිය මහෙස්ත්‍රාත්වරයා ඉදිරියේදී ප්‍රකාශ ලබා දෙමින් කීවාය. කළු පාට ඉරි කොළයකින් ඔතා මිහිදන් කර තිබූ මළ සිරුර ගොඩගෙන පරීක්ෂා කිරීමේදී රතු හා විවිධ පාටින් යුත් මල් සහිත සායක් හා කළු පාටට හුරු හැටයක් වැනි දෙයක් තිබු බවත් හිස් කබල හා අස්ථි කොටස්ද ඒ තුළ තිබූ බව දැකගැනීමට හැකි වූ බව පොලිස් නිලධාරීන් කීය. මළ සිරුර ගොඩ ගන්නා අවස්ථාවට පානදුර මූලික රෝහලේ විශේෂඥ අධිකරණ වෛද්‍ය හෂිණි කරුණාරත්න හා අධිකරණ වෛද්‍ය රුචීර නදීර මහත්ම මහත්මීහුද සහභාගි වී සිටියහ.


-එම්.සී.පෙරේරා-


බාලවයස්කාර සිසුවාට ලිංගික අතවර කළ දහම් පාසලේ ප්‍රධාන ආචාර්ය අත්අඩංගුවට


කළුතර නගරයේ පාසලක 7 වසරේ ඉගෙනුම ලබන 12 හැවිරිදි පිරිමි ළමයකුට බරපතළ ලිංගික අතවරයක්‌ සිදු කළ බව කියන දහම් පාසලක ප්‍රධාන ආචාර්යවරයකු උතුරු කළුතර පොලිසිය මගින් අත්අඩංගුවට ගෙන ඇත.

ගම්ගොඩ උදුපිටිගොඩ ප්‍රදේශයේ දහම් පාසලක උගන්වන බව කියන මෙම සැකකරු යුධ හමුදාවේ සේවය කරන අයෙක්‌ වන අතර තවත් මාස කීපයකින් විශ්‍රාම යැමට නියමිත බව පොලිසිය කියයි.

 මෙම දරුවාව සැකකරු යතුරු පැදියක නංවාගෙන පාළු ස්‌ථානයකට ගෙන ගොස්‌ අතවර කර ඇති බවට පොලිසියට පැමිණිලි ලැබී තිබේ.

සැකකරු කළුතර මහෙස්‌ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණි.

 - කළුතර සමූහ-

ව්‍යවස්ථා අර්බුදයේදි මා පැවසුවේ මගේ පෞද්ගලික මතය මිස නීතිඥ සංගමයේ මතය නොවේ-යූ.ආර්.ද සිල්වා


ව්‍යවස්ථාව අර්ථ නිරූපණය කිරීම සම්බන්ධයෙන් තමා ඉදිරිපත් කළේ නීතිඥ සංගමයේ මතය නොව තමාගේ පෞද්ගලික මතයයැයි ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපති ජනාධිපති නීතිඥ යූ.ආර්.ද. සිල්වා මහතා සඳහන් කරයි.

යු.ආර්. ද සිල්වා මහතා ඒ සම්බන්ධයෙන් නිකුත් කළ නිවේදනයේ මෙසේද සඳහන් වේ.


පසුගිය කාල වකවානුව තුළ ශ්‍රී ලංකාවේ ඇති වූ ව්‍යවස්ථා අර්ථ නිරූපණය කිරීම සම්බන්ධ ගැටලුවලට අදාළව, විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය හරහා ඡනාධිපති නීතිඥ යූ.ආර්. ද සිල්වා ලෙස පැහැදිලිව හදුන්වා දෙමින් ඉදිරිපත් කළ මතයන් කිසිසේත්ම නීතිඥ සංගමයේ මතයන් නීතිඥ සංගමය වෙනුවෙන් කළ මතයන් නොව මගේ වෘත්තීය දැනුම අනුව සිදුකළ පෞද්ගලික මතයන් බව අවධාරණයෙන් සඳහන් කර සිටිමි.

ජ'පුර වෛද්‍ය ප්‍රදර්ශනය දෙසැම්බර් 02 සිට 08 දක්වා


ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය පීඨය 1993 වර්ෂයේදී ආරම්භ වූයේ මෙරට 06 වැනි වෛද්‍ය පීඨ වශයෙනි. විද්‍යා පීඨයේ රජත ජයන්තිය සමරමින් වසර පුරා විවිධ කටයුතු කෙරුණු අතර විශේෂ අංගය වශයෙන් 'වෙදැස 2018' නමින් වෛද්‍ය විද්‍යා ප්‍රදර්ශනය ලෙස පැවැත්වීමට දෙසැම්බර් මස 04 සිට 08 වැනිදා දක්වා බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මත්‍රණ ශාලාවේදී පැවැත්වෙන බව වෙදැස රූප ප්‍රදර්ශන කමිටුවේ සම සභාපති වෛද්‍ය තුෂාරී දිසානායක මහත්මිය 24දා ප්‍රකාශ කළාය.

වෛද්‍ය තුෂාරි දිසානායක මහත්මිය  මෙසේද කීවාය 
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ වෛද්‍ය විද්‍යා පීඨය මගින් වෛද්‍ය විද්‍යා උපාධියට අමතරව මානව විද්‍යාව,හෙද විද්‍යාව, ඖෂධවේදය සහ වෛද්‍ය රසායනාගාර යන උපාධි පිරිනමනවා. පීඨය ආරම්භ වී ගතවී ඇති වසර 25ක් වූ කෙටි කාලය තුළදී දැවැන්ත ලෙස සංවර්ධනය වී රටට අතිමහත් සේවාවක් ඉටුකිරීමට සමත්ව තිබෙනවා. මේ වනවිට මෙම පීඨයේ දෙපාර්තමේන්තු 17ක් තුළ මහාචාර්යවරුන් 31ක් ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරුන් 52ක් සේවය කරනවා.

මේ වනවිව 3000කට අධික වෛද්‍ය ශිෂ්‍යයන් ස 700ක් පමණ සම සෞඛ්‍ය විද්‍යා උපාධිධාරීන් පිරිසක් රටට දායාද කිරීමට පිඨයට හැකිවීම සතුටක්. ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ "ස්වර්ණ ජයන්තිය සහ වෛද්‍ය පීඨයට 15  වසරක් සම්පූර්ණ වීම නිමිතිකොටගෙන 2009 වසරේදී මේ පීඨයේ ප්‍රථම වෛද්‍ය ප්‍රදර්ශනය පවත්වනු ලැබීය. වසර 5ක් පුරා සෞඛ්‍ය සම්පන්න ජාතියක් ගොඩනැගීමට ශ්‍රී ජයවර්ධනපුර වෛද්‍ය විද්‍යා පීඨයේ දායකත්වය වෛද්‍ය ප්‍රදර්ශනයෙන් පෙන්නුම් කරනවා.

යහපත් කායික මානසික සමාජීය සෞඛ්‍ය පිළිබඳ දැනුවත් කිරීම මෙහි අරමුණයි. වෛද්‍ය පීඨ විෂය නිර්දේශයට අනුකුලව ශාරීරික පද්ධතිවල කාර්යයන් සහ අසමානතා නිරූපණය කරමින් ප්‍රදර්ශන කුටී නිර්මාණය කර ඇතැයිද වෛද්‍යවරිය කීවාය. හෘදය සහ රුධිර සංසරණ, ශ්වසන, ආහාර මාර්ග, වකුගඩු, ස්නායු යන අවයව පද්ධති මෙන්ම මත්ද්‍රව්‍ය භාවිතය රුධිරගත රෝග, පිළිකා, බෝවන රෝග පිළිබඳවද දැනුවත් කෙරෙයි. ශල්‍ය වෛද්‍ය විද්‍යාව, ජාන විකෘති, විකලාංග සහ හදිසි අනතුරු, පවුල් සෞඛ්‍ය වෛද්‍ය විද්‍යාව සහ අසාත්මිකතා  පිළිබඳව ප්‍රදර්ශනයේදී දැනුවත් කරන  බවද ප්‍රකාශ විය.

ඕනෑම වෛද්‍ය ප්‍රදර්ශනයකදී වැඩිම ජනතා අවධානයක් දිනා ගන්නේ මිනිස් සිරුරේ අභ්‍යන්තර අවයව කොටස්, දක්වන ප්‍රදර්ශන කුටිය මින් පෙර නොවූ විරු ලෙස නව මුහුණුවරකින් ඉදිරිපත් කිරීමට කටයුතු යොදා ඇති අතර එය  ජනතාවට අපූර්ව අත්දැකීමක් වනු ඇත. ඊට අමතරව නීතිමය අධිකාරිය අපරාධ විමර්ශනය කරන අයුරු ඉතා සවිස්තරාත්මකව අධිකරණ වෛද්‍ය විද්‍යාව සඳහා වෙන් කරන ලද අංග  සම්පුර්ණ කුටියකදී ප්‍රදර්ශනය කෙරෙන බවද වෛද්‍යවරිය පෙන්වා දුන්නාය.

පීඨය තුළ ක්‍රියාත්මක එම සෞඛ්‍ය විද්‍යා අංශයට ඔෂධවේදී, හෙද, වෛද්‍ය, රසායනාගාර සේවා ඇතුළු ප්‍රදර්ශන කුටිද මෙහි ඇතුළත්ව ඇත. මීට අමතරව ජාතික දුම්කොළ හා මත්ද්‍රව්‍ය අධිකාරි, ජාතික විස තොරතුරු මධ්‍යස්ථානය, ජාතික රුධිර මධ්‍යස්ථානය  සහ බෝවන රෝග පාලනය සඳහා වූ ජාතික වැඩසටහන් සමඟද එක්වී ප්‍රදර්ශනය පැවැත්වේ. ප්‍රදර්ශනය පවත්වන සෑම දිනකම එක් එක් දිනය සඳහා කාලීන වශයෙන් වැදගත් මාතෘකා මුලික කොටගෙන තේමාවක් කර ඇත. එම තේමාවන් පිළිබඳ සවිස්තරාත්මක තොරතුරු ලබාදීම සඳහා විද්වත් සංවාද දේශන හා වීඩියෝ දර්ශන ආදිය උපයෝගී කරගනියි.

මානසික සුවය සහ යහපැවැත්ම තේමාව කරගනිමින් සෑම දිනකම 'සවිමත් බව' වෙනුවෙන් විශේෂ උපදේශන මාලාවක් පවත්වනු ලබයි. ප්‍රදර්ශනයට සහභොගි වන්නන්ගෙන් තෝරාගත් පිරිසක් සඳහා නොමිලේ විවිධ වෛද්‍ය පරීක්ෂණවලට යොමු වීමට අවස්ථාව සැලසෙන අතර පරීක්ෂණ ප්‍රතිඵල අනාගතයේදීත් භාවිත කිරීමට හැකිවන පරිදි නව තාක්ෂණය යොදාගෙන ලබාදීමට පහසුකම් සලසා ඇත. විශේෂයෙන්ම වර්තමානයේ වසංගත තත්ත්වයට පත්ව ඇති බෝ නොවන රෝග( දියවැඩියාව, අධි රුධිර පීඩනය ආදී වළක්වා ගැනීම පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කරන බව වෛද්‍ය තුෂාර දිසානායක මහත්මිය වැඩිදුරටත් සඳහන් කළාය.

ඉතා උසස් තත්වයේ වෛද්‍ය ප්‍රදර්ශනයක් ශ්‍රී ලාංකික ජනතාවට ලබාදීම උදෙසා වෛද්‍ය විද්‍යා පීඨයේ අධ්‍යයන හා අනධ්‍යයන කාර්ය මණ්ඩල සියලු ශිෂයන්ද සමඟ ඉතාමත් උනන්දුවෙන් හා කැපවීමෙන් කටයුතු සම්පාදනය කරමින් සිටිති. පොදු මහජනතාවට විශේෂයෙන්ම  පාසල් හා විශ්විද්‍යාල සිසු සිසුවියන්ට මෙම ප්‍රදර්ශනය අධ්‍යාපනික වටිනාකමකින් සපිරි නැවුම් අත්දැකීමක් වනු ඇති බවට සංවිධායක මණ්ඩලය විශ්වාසය පළකරය මහජනතාව අතර සෞඛ්‍ය විද්‍යාත්මක දැනුම වැඩි දියුණු කිරීමෙහිලා මෙම තොරතුරු ජනතාව අතරට ගෙනයම සඳහා ඔබ සැමගේ නොමසුරු සහයෝගය බලාපොරොත්තුවෙන් සිටින බව "වෛදැස 2018" වෛද්‍ය ප්‍රදර්ශනයේ සංවිධායකවරු පවසති.

මෙම මාධ්‍ය හමුවට පැමිණි පීඨාධිපති මහාචාර්ය සුරංගි යසවර්ධන, විශේෂඥ වෛද්‍ය ශ්‍යාමලි සමරනායක වෛද්‍ය හෂිනි බන්නැහැක මහත්මියද කරුණු දැක්වූහ.මාධ්‍ය හමුවේදී කරුණු දැක්වූ පීඨාධිපති මහාචාර්ය සුරංගි යසවර්ධන විශේෂඥ වෛද්‍ය ශමලී සමරනායක  වෛද්‍ය හෂිනි බන්නැහැක මහත්මියද මෙහි වෙති.

-ආරියරත්න ගනේගොඩ-