Wednesday, July 31, 2019

හමුදා වෙඩි ප්‍රහාරයෙන් මියගිය වෑන් රථ කොල්ලකරු කොස්ගොඩ තාරකගේ ගෝලයෙක්








යතුරු පැදියකින් ගොස් මත්තේගොඩ කිරිගම්පමුණුවේ දී පෙරේදා (29) රාත්‍රියේ වෑන් රථයක් කොල්ල කා එම වෑන් රථය ද සමග පලායන අවස්ථාවේ පානදුර පින්වත්ත ප්‍රදේශයේ දී හමුදාව සිදුකළ වෙඩි තැබීමෙන් බරපතළ තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගිය කොල්ලකරු කොස්ගොඩ තාරක නමැති සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයාගේ ගෝලයෙකු බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණස්කර මහතා පැවසීය.

සිද්ධියෙන් මියගොස් ඇත්තේ බලංගොඩ මෙගොඩ කිරිදියගල පදිංචි කෝදාගොඩගේ ප්‍රියන්ත (47) හෙවත් "ඔවුටා" නැමත්තා බවත් මොහු කොස්ගොඩ තාරක නැමැත්තා සමග එක්ව මිරිහාන ප්‍රදේශයේ බැංකු කොල්ලයක් ඇතුළු අපරාධ රැසක් සිදුකර ඇති පුද්ගලයෙකු බවද රුවන් ගුණස්කර මහතා කියා සිටියේය.

මෙම වෙඩි තැබීමත් තුවාල ලබා සිටි සෙසු සැකකරු උඩුගම්පොල අස්ගිරිවල්පොල පදිංචි ජයසිංහ ආරච්චිලාගේ සලුජ නිකෝ ශාන්ත (37) නමැත්තා බවත් ඔහු පොලිස් ආරක්ෂාව යටතේ පානදුර රෝහල් තවදුරටත් ප්‍රතිකාර ලබන බවත් රුවන් ගුණසේකර මහතා කියා සිටියේය.

වාද්දුව මාර්ග බාධකයේදී හමුදා සෙබළුන් මෙම වෑන් රථය නැවැත්වීමට උත්සාහ කිරිමේදී එම මාර්ග බාධකය හමුදා සෙබළුන් මෙම වෑන් රථය ඉදිරියට ධාවනය කරවීම හේතුවෙන් වෑන් රථයේ ගැටී හමුදා සෙබළුන් දෙදෙනකු තුවාල ලබා පානදුර රෝහලේ ප්‍රතිකාර ලබමින් පසුවන බවද රුවන් ගුණසේකර මහතා පැවසීය.

පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා මේ බව කියා සිටියේ පොලිස් මූලස්ථානය රියේ පැවති මාධ්‍ය හමුවකදීය. මෙම සැකකරුවන් දෙදෙනා පෙරේදා (29) රාත්‍රි 7.30 පමණ යතුරුපැදියෙන් මත්තේගොඩ කිරිගමුණුව ප්‍රදේශයට පැමිණ මාර්ගයේ ගමන් ගත් වෑන් රථයක් නවතා එහි රියදුරුව ගල්කටස් වර්ගයේ ගිනිඅවියක් හිසට එල්ල කර වෑන් රථය කොල්ලකා පළාගොස් ඇති බව ද රුවන්  ගුණසේකර මහතා පැවැසීය.

 එම වෑන් රථයේ රියැදුරු වහාම සිද්ධිය කහතුඩුව  පොලිසියට දන්වා කොල්ලකරුවන් ගමන්ගත් වෑන් රථයේ ප්‍රදේශ හදුනාගත හැකි ජී.පී.එස්. තාක්ෂණ උපකරණයක්  කර ඇති බවට ද දැනුම් දී ඇත.

ජී.පී.එස්. තාක්ෂණය අනුව මෙම වෑන් රථය අඟුරුවාතොට දෙසට ගමන් ගන්නා බවට අනාවරණය කරගෙන කහතුඩුව පොලිසිය ඒ සම්බන්ධයෙන් අඟුරුවාතොට පොලිසියට දැනුම් දී ඇති බවද රුවන් ගුණසේකර මහතා පැවසීය.

අඟුරුවාතොට ප්‍රදේශයේ දී පොලිසිය මෙම වෑන් රථය නැවැත්වීමට අණ කළද එම අණනොතකා වෑන් රථය ධාවනය කරවීම හේතුවෙන් අඟුරුවාතොට පොලිසියේ පොලිස් නිලධාරිහු සිව් දෙනෙක් යතුරු පැදි දෙකකින් මෙම වෑන් රථය පසුපහ හබා ගොස් ඇති බවද හෙතෙම සඳහන් කළේය.

 මෙම වෑන් රථය කළුතර දෙසිත් ගාලු පාරේ කොළඹ දසට අවතීර්ණ වන බවට එහි සවිකර තිබූ ජී.පී.එස්. තාක්ෂණයෙන් පොලිසිය අනාවරණය කරගෙන ඒ සම්බන්ධයෙන් ඒ ආසන්නයේ පිහිටි වාද්දුව පොලිසියට දැනුම් දී ඇති අතර වාද්දුව පොලිසිය නගරයේ පිහිටි යුද හමුදා හා පොලිස් ඒකාබද්ධ මාර්ග බාධකයට මේ සම්බන්ධයෙන් දැනුම් දී ඇති බව මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

මාර්ග බාධකයේ සිටි යුද හමුදා නිලධාරින් කිහිප දෙනකු මෙම වෑන් රථය නැවැත්වීමට උත්සාහ කිරීමේදී වෑන් රථයේ ගමන් ගත් කොල්ලකරුවෝ වෑන් රථය යුද හමුදා සෙබළුන් දෙදෙනකුගේ ඇගේ හප්පාගෙන පලා යන අතරේ හමුදාව මුල්ම වෙඩි ප්‍රහාරය වෑන් රථය වෙත එල්ල කළ ද වෙඩි ප්‍රහාර හමුවේ වෑන් රථය කොළඹ දෙසට ගමන් ගෙන තිබූ බව ගුණසේකර මහතා පැවසීය.

වලාන දූෂණ මර්දන ඒකකයේ පොලිස් කණ්ඩායමක් වැටලීමකට ගොස් කැබ් රථයකින් යළිත් එන අතරේ මාර්ගයේ අධික වේගයෙන් වෑන් රථයක් කැබ් රථය ඉස්සර කරන අන්දමත් එම වෑන් රථය මාර්ගයේ ධාවනය වෙමින් තිබූ තවත් වෑන් රථයක ගැටුනද නොනවත්වා කොළඹ දෙසට ගමන් ගන්නා අයුරු ද නිරීක්ෂණ වී ඇති බවද ගුණස්කර මහතා සඳහන් කළේය.

වලාන ඒකකයේ පොලිස් නිලධාරීන් ගමන් ගත් කැබ් රථයඳ මෙම වෑන් රථය පසුපස හඹාගොස් ඇති බවත්, අඟුරුවාතොට පොලිස් නිලධාරීන් සිව්දෙනා ද මෙම වෑන් රථය පසුපස යතුරු පැදිවලින් හඹා යමින් සිට ඇති බවද ගුණසේකර මහතා කීය.

වෙඩි වැදුණු තුවාලකරුගේ තත්වය බරපතළ  හේතුවෙන් ඔහු කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන්  පසු එම කොල්ලකරු මියගොස් ඇත.

වෙඩි ප්‍රහාර හමුවේ පලාගිය සෙසු සැකකරු සොයා ප්‍රදේශයේ පැය දෙකක කාලයක් පුරා සිදුකළ සෝදිසි මෙහෙයුමකදී පිංවත්ත ප්‍රදේශයේ වෙරළ ආසන්නයේ ලග කැලෑවක සැඟව සිටියදී ඔහු අත්අඩංගුවට පත්විය.

ඔහුගේ පාදයකට වෙඩි වැදී තුවාල සිදුවී ඇති අතර වාද්දුව මාර්ග බාධකය හමුදා සෙබළුන් හප්පා වෑන් රථය පලා යන අවස්ථාවේ හමුදාව සිදුකළ වෙඩි ප්‍රහාරයෙන් එම කොල්ලකරු තුවාල ලබා සිටි බව රුවන් ගුණස්කාර මහතා කියා සිටියේය.
මියගිය අයගේ පශ්චාත් මරණ පරීක්‍ෂණය ඊයේ (30) පැවැත්වීමට නියමිතව තිබුණි.

-ඉන්දිකා රාමනායක-

අසරණ පවුලකට තාවකාලික නිවසක් ඉදිකර දීමට ගිය තරුණයන්ට පොලිසියෙන් කල පහරදීමට එරෙහිව විරෝධතාවයක්



නිවසක් අහිමි අසරණ පවුලකට කටුමැටි ගසා නිවසක් ඉදිකර දුන්න හේතුවක් නිසා කහවත්ත පොලීසියේ නිලධාරීන් පිරිස් විසින් තරුණයකුට පහරදී බරපතළ තුවාල සිදුකිරීමට එරහිව රත්නපුර ඇඹිලිපිටිය ප්‍රධාන මාර්ගයේ කෙටේතැන්න ප්‍රදේශයේ ඊයේ (30දා) පෙරවරුවේ නීලගම ප්‍රදේශයේ ගම්වාසීන් පිරීසක් විරෝධතාවක නිරත වූහ. කහවත්ත නීලගම පට්ටියදෙනිය ප්‍රදේශයේ ජීවත්වූ අසරණ පවුලකට ප්‍රදේශයේ තරුණයන් පිරිසක් විසින් කහවත්ත වතු සමාගමට අයත් මාර්ගයක් අසළ කටුමැටි පැලක් ඉදිකර දීමට කටයුතු                                                                                     කළ බව විරෝධතාකරුවෝ පැවැසූහ.



කහවත්ත පොලීසියේ නිලධාරීන් පිරිසක් පසුගිය 29 දින පෙරවරුවේ එම පැල්පත අසලට පැමිණ ඒ අසල සිටි තරුණ පිරිසට පහරදුන් බවත්, තරුණයකුගේ හිසට එල්ල කළ පහර දීමකින් තුවාල ලබා රෝහල්ගත කර ඇති බවත් ඔවුහු පෙන්වා දුන්හ. මෙලෙස පහරකෑමට ලක්ව රෝහල්ගත කර ඇත්තේ, රොෂාන් චන්දිම කරුණානායක (අවු.24) නමැත්තෙකි. තම ප්‍රදේශවාසී තරුණයන්  සිදු කළේ නිවසක් නොමැතිව සිටින  අසරණ පවුලකට කටුමැටි ගසා තාවකාලික නිවසක් ඉදිකර දීම බවත්, පොලීසිය සමග එම වතු සමාගම්  සහකාර වතු අධිකාරයා එම වතුයායේ  මුරකරුවෙක්ද පහර දුන් ස්ථානයට පැමිණි සිටි බවද ඔවුහු පැවසූහ.

මෙසේ තුවාල ලැබූ තරුණයා ප්‍රදේශවාසීන් විසින් ත්‍රිරෝද රථයකින් කහවත්ත මූලික රෝහලට ඇතුලත් කළ බවත් එදින පෙරවරුවේම එම තුවාලකරු කහවත්ත රෝහලෙන් රත්නපුර මහ රෝහල වෙත මාරුකර යවා තිබේ. මෙම අසාධාරණයට සාධාරණයක් ඉටුකර දෙන ලෙස එම පිරිස බලධාරින්ගෙන් ඉල්ලමින් විරෝධතාවය පැවැත්වූහ.

එම ස්ථානයට පැමිණි රත්නපුර දිස්ත්‍රික් සහකාර පොලිස් අධිකාරී ටී.ඒ.එච්, නිශ්ශංක මහතා එම පිරීස අමතා ප්‍රකාශ කළේ, මාර්ගය අවහිර නොකරන ලෙසත් යළි පහරදීමක් සිදුවී ඇත්නම් වහා පරික්ෂණයක් පවත්වා සාධාරණයක් ඉටුකරන බව පැවසීමත් සමග විරෝධතාකරුවා විසිර ගියහ.මේ සම්බන්ධයෙන් කහවත්ත වතු සාමාගම් වතු අධිකාරී ලක්කන පෙරේරා මහතාගෙන් විමසීමේදී මෙසේ පැවැසීය.

"අප වතු සමාගමකට අයත් ප්‍රදේශයක තමා මෙම අනවසර ඉදිකිරීම කරලා තිබෙන්නේ. එම ඉදිකිරීම පසුගිය 28 දින රාත්‍රී කාලයේ සිදුකර තිබෙනවා. මේ සම්බන්ධව අපි කහවත්ත පොලීසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළා. එම පැමිණිල්ල අනුව පොලීසියේ නිලධාරින් එම ස්ථානයට පැමිණ එම ඉදිකිරීම ඉවත් කරන්න කියලා ඉදිකිරීම් කළ අයට උපදෙස් දීලා තිබෙනවා.

අපේ වතු සමාගම් අදාළ ප්‍රදේශය භාරව සිටින නිලධාරීන් දෙදෙනෙක් හා සේවකයන් දෙදෙනක් එම ස්ථානයට පිටත් කර හැරීයා, මම ගියේ නැහැ. මම සේවකයන් ගෙන්වා පහරදීමක් සිදුවුවාද කියලා විමසීළි කළා. එවැනි පහරදිමක් පොලීසිය සිදුකර නැති බව එම නිලධාරී මට පැවැසුවා.

පොලීසිය එම පරීක්‍ෂණය කළ අවස්ථාවේ පනහක පමණ පිරිසක් එහි රැදී සිටි බව මගේ නිලධාරීන් පැවැසුවා. වතු සමාගමට අයත් බල ප්‍රදේශවල යම් ඉදිකිරීමක් කළහොත් නීතිමය පියවර ගැනීමට අපී බැදී සිටිනවා"

"කිසිම පුද්ගලයකුට අපි පහරදීමක්  සිදුකළේ නැහැ. කහවත්ත වතු සමාගම්  පැමිණිල්ලකට අනුව එම ස්ථානයට ගොස් අනවසර ඉදිකිරීම ඉවත් කිරීමට පියවර ගත්තා. සාමාන්‍ය ජනතාවට පහරදීමට අප කිසිසේත්ම පෙළඹෙන්නේ නැ" යැයි මේ සම්බන්ධයෙන් කහවත්ත පොලිස්ථානාධිපතිවරයාගෙන් වීමසීමේදී පැවසීය.

-කසුන් දර්ශන-

ශ්‍රී ලංකාවට එපා වූ තිලාන් නවසීලන්තයට ඕනෑ වෙයි



අගෝස්තු මස 14 වැනිදා ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වන තරග 2කින් සමන්විත ශ්‍රී ලංකා නවසිලන්ත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේදී නවසීලන්ත කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු පිතිකරණ පුහුණුකරු තිලාන් සමරවීර පත් කිරීමට පියවර ගෙන තිබේ. ඒ අනුව වසර 7කට පමණ පසු ශ්‍රී ලංකාවේ ටෙස්ට් තරග සංචාරයක් සඳහා එක්වන නවසීලන්ත පිල ශ්‍රී ලංකාවේදී ටෙස්ට් තරග 15කට ක්‍රීඩා කරමින් ඉන් තරග 6ක් පරාජයට පත්ව තිබීම නිසා ශ්‍රී ලංකා ජාතික කණ්ඩායමේ හිටපු පිතිකරණ පුහුණුකරුවා සතු දැනුම මෙම සංචාරයේදි නවසීලන්ත කණ්ඩායමට වඩාත් ප්‍රයෝජනවත් විය හැකි බව එම නිවේදනයේ දක්වා තිබිණි.

තවද කේන් විලියම්සන් සහ රොස් ටේලර් හැරුණු විට මෙම කණ්ඩායමේ සෙසු සාමාජිකයන්ට ශ්‍රී ලංකාවේ තණතීරුවල තත්ත්වය පිළිබඳව ප්‍රමාණවත් අවබෝධයක් නොමැති වීම මෙම පත්කිරීම සඳහා ප්‍රධාන හේතුවක් වූ බවද එම නිවේදනයේ වැඩිදුරටත් දක්වා ඇත. මේ අතර මෙම පත්කිරීම සම්බන්ධයෙන් විදෙස් මාධ්‍ය වෙත කරුණු දක්වා ඇති නවසීලන්ත ප්‍රධාන පුහුණුකරු ගැරී ස්ටෙඩ් පවසා ඇත්තේ මෙවැන්නකි.

 “මෙම ටෙස්ට් තරගාවලියේදි අපගේ කණ්ඩායමට එක්වන ශ්‍රී ලංකා හිටපු පිතිකරණ පුහුණුකරුවකු සහ විශිෂ්ට ගණයේ ටෙස්ට්  පිතිකරුවකු වන තිලාන් සමරවීරගේ ශ්‍රී ලංකා තණතීරු සම්බන්ධයෙන් පවතින මිල කළ නොහැකි දැනුම් සම්භාරය. මෙම තරගාවලියේදී අපට වඩාත් ප්‍රයෝජනවත් වේවි. එමෙන්ම මෑතකදී වැඩ භාරගත් අපගේ පිතිකරණ පුහුණුකරු  පිටර් ෆුල්ටන්ට  මෙම තරගාවලියේදි සමරවීරගෙන් විශාල සහායක් හිමි වන බව අපට දැඩි විශ්වාසයක් තිබෙනවා.

ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේදිත් අමතර පිතිකරණ පුහුණුකරුවකු සිටීමේ වාසිය අපට ලැබීම නිසා ශ්‍රී ලංකාව  සමඟ පැවැත්වෙන මෙම ටෙස්ට් තරගාවලියේදිත් එම ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමට අප පියවර ගත්තා." යනුවෙනි.

දැන් රට මත්පැන්, ස්ටිකරය නැතිව අළෙවිය තහනම්

මෙරටට ආනයනය කරන සියලුම මත්පැන් බෝතල්වල ආරක්ෂිත ස්ටිකරයක් ඇලවීම අනිවාර්ය කර තිබේ.

ඒ අනුව සුරාබදු දෙපාර්තමේන්තුව මගින් හඳුන්වා දෙනු ලබන ආරක්ෂිත ස්ටිකරය රහිත ආනයනික මත්පැන් සන්තකයේ තබාගැනීම ප්‍රවාහනය කිරීම, ගබඩා කිරීම සහ විකිණීම තහනම් වන බව මුදල් අමාත්‍යාංශය කියයි.

ආනයනික මත්පැන් සඳහා මෙම නීතිය ජූලි මස 20 වැනි දින  සිට ක්‍රියාත්මක කර ඇති අතර ඉදිරියේදී දේශීය නිෂ්පාදනය කරන මත්පැන් වර්ගවලටද එම ස්ටිකර් නීතිය ක්‍රියාත්මක කරන බව මුදල් අමාත්‍යයාංශය පවසයි.

 නීති විරෝධී ආකාරයට විදේශ මත්පැන් රට තුළට ගෙනඒම මෙන්ම ප්‍රමිතියෙන් තොර හා ව්‍යාජ මත්පැන් අලෙවි කිරීම වැළැක්වීම සඳහා මෙම පියවර ගත් බව අමාත්‍යාංශය කියයි.

ගුවන්තොටුපොළේ තීරුබදු රහිත සාප්පු සංකීර්ණයේ අළෙවි කරන මත්පැන් සඳහාද නව නීතිය වලංගුවේ.

මෙම ස්ටිකරය ආරක්ෂිත උපාය මාර්ගයන් යටතේ විදේශ සමාගමක මුද්‍රණය කිරීමට නියමිතය.

මෙම නීතිය ක්‍රියාත්මක වීමත් සමග සුරාබදු
දෙපාර්තමේන්තුවේ ආදායම කවුදරටත් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බවද මුදල් අමාත්‍යශය සඳහන් කරයි.

2016 වසරේ රුපියල් බිලියන 120ක්ව පැවැති සුරාබදු ආදායම් 2019 වසරේදී රුපියල් බිලියන 130 දක්වා ඉහළ යනු ඇතැයි  අපේක්ෂා කරන බවද එම අමාත්‍යශය සඳහන් කරයි.

ළිඳේ විස වායුව වැදී අයෙක් මරුට: ගොඩගන්න පැය ගණනාවක මෙහෙයුමක්



ගලේවෙල, පට්ටිවෙල ප්‍රදේශයේ නිවෙසක පිටුපස පිහිටි ළිඳක් ශුද්ධ පවිත්‍ර කිරීමට ගිය පුද්ගලයකු ළිඳට බැස්ස අවස්ථාවේ ඇති වූ හුස්ම ගැනීමේ අපහසුතාව හේතුවෙන් ළිඳ තුළම මියගොස් සිටියදි දැඩි පරිශ්‍රමයක් යොදා ඊයේ (30දා) සිරුර ගොඩගත් බව ගලේවෙල පොලිසිය කියයි.ගලේවෙල, පිට්ටිවෙල ප්‍රදේශයේ පෞද්ගලික ළිඳක් ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා කොන්ත්‍රාත්කරුවකුට භාරදී තිබෙන බවත් පසුව පුද්ගලයන් තුන්දෙනකු පැමිණ අඩි හතළිහක් පමණ ගැඹුරු ළිඳ ශුද්ධ පවිත්‍ර කිරීම සඳහා සුදානම් කොට ජලය ඉවත් කිරීමෙන් පසු එක් පුද්ගලයකු ලණුවක ආධාරයෙන් ළිඳට බැස ඇති බවද ගලේවෙල පොලිසිය කියයි.

පසුව ඔහු හුස්ම ගැනීමට නොහැකිව දැඩි අපහසුතාවයෙන් සිටින බව ගොඩ සිටි අයට දැනුම් දී තිබුණු බවත් ඔහු ගොඩගැනීම සඳහා උත්සාහ කළ නමුත් ඔහු ගොඩගැනීමට නොහැකිවීම නිසා නිවැසියන් පොලිසියට සහ අවට අයට දැනුම් දී තිබෙන බවත් පොලිසිය සඳහන් කළේය. මෙසේ මියගොස් ඇත්තේ ගලේවෙල, රංවැඩියාව ප්‍රදේශයේ කුලී වැඩ හා පොල් කඩන කම්කරුවකු බවද පොලිසිය කියයි.

අවස්ථා කීපයකදී පුද්ගලයා ගොඩ ගැනීමට උත්සාහ කොට නොහැකි වූ තැන ගලේවෙල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක නිලංග ප්‍රනාන්දු මහතාට දැනුම්දුන් බවත් දඹුල්ල මහ නගර සභාවේ ගිනි නිවන ඒකකයේද සහාය ඇතිව එම ස්ථානයට පැමිණ විදුලි පංකාවක් තුළින් ළිඳ පතුලට බටයක් දිගේ වාතය ලැබෙන්නට සලස්ව ප්‍රදේශවාසීන්ගේද ආධාර හා ගිනි නිවන ඒකකයේ නිලධාරින්ගේද සහාය ඇතිව ළිඳ තුළට පුද්ගලයකු බස්සවා වැටී සිටි  පුද්ගලයා ලණුවක ආධාරයෙන් ගොඩට ගෙන ප්‍රථමාධාර ලබාදි ගලේවෙල රෝහලට රැගෙන යෑමට පියවර ගනු ලැබීය.

ගලේවෙල රෝහලේ ප්‍රකාශකයකු කියා සිටියේ ළිඳ පතුලෙන් ගොඩගත් පුද්ගලයා ගලේවෙල රෝහලට ඇතුළත් කරන විටත් මියගොස් සිටි බවයි. ළිඳ ඉසීම සඳහා කොන්ත්‍රාත්තුව ලබාදුන් නිවැසි කාන්තාව කියා සිටියේ තමන් සුපුරුදු පරිදි ළිඳ ශුද්ධ පවිත්‍ර කරන පුද්ගලයකුට කුලී පදනම මත ළිඳ ශුද්ධ කිරීමට කි බවයි.
සිය මෑණියන් තමන්ට දුරකථනයෙන් මේ බව දැනුම් දීමත් සමහ පොලිසියට ගිලන්රථ සේවයට හා අවට පිරිසට දැනුම්දි වහාම එම ස්ථානයට පැමිණි බව ඇය සඳහන් කළාය.

එම නිවෙසේ සිටි බව කියා සිටියේ ළිදේ වතුර ඉවත් කිරිමෙන් පසු කොළ රොඩු ඉවත් කිරීම සඳහා ළිඳට බැසගත් කම්කරුවා ගොඩඒමට නොහැකි බව දැනුම්දීමත් සමඟ ඔහු සමඟ පැමිණි දෙදෙනාද දැඩි උත්සාහයක් දරා ඇති බවත් තවත් අයකු ළිඳට බැස ඇති අතර මඟට යද්දී ඔහුටද හුස්ම ගැනීමේ අපහසුතාව ඇතිවීමත් සමග ඔහු ගොඩ ආ බවත් පසුව අසල්වාසීන්ගේ සහ පොලිසියේ සහාය ඇතිව මෙම පුද්ගලයා ගොඩට ගත් බව ඇය පැවැසුවාය. ගලේවල පොලිසියේ ස්ථානාධිපති පොලිස් පරීක්ෂක නිලංග ප්‍රනාන්දු මහතාගේ ප්‍රධානත්වයෙන් පරික්ෂණ පැවැත්විණි.

-කේ.කේ.ආරියදාස-

පාස්කු ඉරිදා බෝම්බකරුවන්ගේ මරණ පරීක්‍ෂණ වාර්තා උසාවියෙන් ඉල්ලයි



ඉකුත් අප්‍රේල් මස 21දා පාස්කු ඉරිදා ෂැංග්‍රීලා හෝටලයට එල්ල කළ මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය සිදුකළ බෝම්බකරුවන් වන මොහොමඩ් කාසිම් මොහොමඩ් සහරාන් මොහොමඩ් ඉබ්‍රහීම් දුල්හාම් අහමඩ් යන බෝම්බකරුවන් දෙදෙනාගේ පශ්චාත් මරණ පරික්ෂණ සිදුකොට පශ්චාත් මරණ පරීක්‍ෂණ වාර්තා එවන ලෙසට ප්‍රධාන විශේෂඥ අධිකරණ වෛද්‍ය නිලධාරියාට කොළඹ කොටුව මහෙස්ත්‍රාත් රංග දිසානායක මහතා පෙරේදා (29දා) නියෝගයක් නිකුත් කළේය.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් කළ ඉල්ලීමක් සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝගය නිකුත් කරමින් මහෙස්ත්‍රාත්වරයා දන්වා සිටියේ පරීක්ෂණ වාර්තා අධිකරණයට යොමු කළ පසුව බෝම්බකරුවන් දෙදෙනා සම්බන්ධයෙන් මරණ පරීක්‍ෂණ සාක්කි විමසීම් සිදුකරන බවයි. ඊට අමතරව බෝම්බ ප්‍රහාරයට පසු අතුරුදන්ව සිටි ෂැන්ග්‍රිලා හෝටලයේ වේටර්වරයකු වශයෙන් කටයුතු කළ දිවල දේවකගේ විහඟ තේජාන්ත නමැති තරුණයකුගේ පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තවක් එවන ලෙසට ද මහෙස්ත්‍රාත්වරයා නියෝගයක් නිකුත් කෙරිණි.

අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව සිදුකළ ඉල්ලීමක් අනුව එම නියෝගය ද නිකුත් කෙරිණි. අදාළ තරුණයා බෝම්බ ප්‍රහාරයෙන් පසුව අතුරුදන්ව සිටි අතර ඔහුගේ ශරීර කොටස් ඔහුගේ පියා වන දිවල දේවගේ සුරාජ් නිලංග යන අයගේ ඩී.එන්.ඒ. (ඒ) සාම්පල සැසැඳිමෙන් පසු අදාළ සාම්පල ගැළපී තිබිණි.ඒ අනුව එම තරුණයා ෂැංග්‍රිලා හෝටලයේ වේටර්වරයකු වශයෙන් ද කටයුතු කළ දිවල දේවගේ විහහ තේජාන්ත නමැත්තා බවට හඳුනාගෙන ඇත.

ඊට අමතරව සිනමන් ග්‍රෑන්ඩ් බෝම්බකරු වන මොහොමඩ් ඊබ්‍රහිම් දුන්ෂාන් අහමඩ් යන අයගෙන් ලබාගත් ලකෂ 20ක මුදලක් ගිණුමට බැරකරගෙන ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති මොහොමඩ් මුපායිල් නමැත්තකුගේ කොමර්ෂල් බැංකුවේ බම්බලපිටිය ශාඛාවේ ඇති බැංකු ගිණුමක් අත්හිටුවීමට සඳහා ලේඛන වගයක් නිකුත් කරන ලෙසට නියෝගයක් නිකුත් කරන මෙන් අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර එය සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා ඊට අදාළ නියෝගද බම්බලපිටිය කොමර්ෂල් බැංකු ශාඛාවේ කළමනාකාරවරයා වෙත නිකුත් කෙරිණි.

මේ වන විට සහරාන්ගේ බිරිය වන ෆාතිමා කාදියා යන අය සමඟ රැඳවුම් භාරයේ සිටින ෂැංග්‍රිලා හෝටලය ප්‍රධාන බෝම්බකරු වන මොහොමඩ් සහරාන් යන අයගේ දියණිය සුදුසු භාරකාරිත්වයකට මුදාහැරීම සඳහා නියෝගයක් නිකුත් කරන ලෙසටද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරින් අධිකරණයෙන් ඉල්ලීමක් කළ අතර එය සලකා බැලූ මහෙස්ත්‍රාත්වරයා දියණිය සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් ලැබුණු පසු ළමා සහ යෞවන ආඥා පනත යටතේ සුදුසු භාරකාරිත්වයකට පත් කිරීම සඳහා නියෝගයක් නිකුත් කරන බවට දැනුම් දුන්නේය.

ඒ අනුව අදාළ දියණිය සම්බන්ධයෙන් පරිවාස වාර්තාවක් අධිකරණයට යොමුකරන ලෙසට මහෙස්ත්‍රාත්වරයා පරිවාස නිලධාරීන් වෙත නියෝගයක් නිකුත් කළේය. බෝම්බ ප්‍රහාරයට අදාළව මේ වන විට රැඳවුම් නියෝග මත රඳවා තබාගෙන සිටින මොහොමඩ් සහරාන් යන අයගේ බිරිය වන අබ්දුල් කාදර් ෆාතිමා කාලින් අබ්දුල් හමීඩ් මොහොමඩ් රිෆාස්, මොහොමදු මර්ෂුන් මොහොමදු රිලා, මොහොමඩ් අස්රුඩීන් මොහොමඩ් ඉල්මි, මොහොමදු අමීර් මොහොමදු අයතුල්ලා, මොහොමඩ් මුබාරක් මොහොමඩ් මුෆායිල් යන අය සම්බන්ධයෙන් විමර්ශන සිදුකර වැඩිදුර කරුණු දැක්වීම සඳහා දිනයක්ද අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව අධිකරණයෙන් ඉල්ලා සිටිනු ලැබිණි. සිද්ධියට අදාළ නඩුව ලබන මස 21 වැනිදා යළි කැඳවීමට නියමිතය.

-අමිල අබේරත්න-

රජයේ ප්‍රබල ඇමැතිවරයකු සතු සමාගමක් අධිවේගයේ සංවර්ධන කටයුතු මුවාවෙන් පස් ජාවාරමක නිරත වෙනවා



රජයේ ප්‍රබල අමාත්‍යවරයකුට අයත් සමාගමක් දඹ දෙණිය මැතිවරණ කොට්ඨාසයේ සාරවත් ඉඩම්වල වගා කර ඇති වසර 10ක් 12ක් තරම් වයසැති පැළ පොල් ගස් දහස් ගණනක් කපා ඉවත් කර අධිවේගී මාර්ගයේ සංවර්ධන කටයුතු මුවාවෙන් පස් ජාවාරමේ නිරත වන බව එක්සත් ජාතික නිදහස් පෙරමුණේ දඹදෙණිය, ප්‍රධාන සංවිධායක සුදත් පෙරේරා මහතා පවසයි.

මධ්‍යම අධිවේගී මාර්ගයේ සංවර්ධන කටයුතු සඳහා දඹදෙණිය මැතිවරණ බල ප්‍රදේශයේ විවිධ සමාගම් විසින් බලපත්‍ර නොගෙන බොරලු පස් කපන අතර අදාළ ඇමැතිවරයාගේ සමාගමට කිසිදු බලපත්‍රයක් නොමැතිව පස් ජාවාරමේ නිරත වන බවත් බලපත්‍ර සහිත සමාගම් මධ්‍යම අධිවේගී මාර්ගයට පමණක් බොරලු පස් ලබාදිමක් සිදුකරන අතර මෙම සමාගම ඒ මුවාවෙන් පිටස්තර පුද්ගලයන්ට හා විවිධ සමාගම්වලට වැඩි මිලට පස් විකුණනු ලබන බවත් සුදත් පෙරේරා මහතා පෙන්වාදෙයි.

බලපත්‍ර ලබාගෙන බොරලු පස් කපා අධිවේගී මාර්ගයට බොරලු පස් ලබාදෙන සමාගම්වල වැඩබිම් වෙත පොලිසිය හා පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් හදිසියේ වැටලිම් කර විවිධ හේතු දක්වමින් වාහන හා පුද්ගලයන් අධිකරණය වෙත ඉදිරිපත් කළද බලපත්‍ර රහිතව පස් ජාවාරමේ යෙදෙන අදාළ ඇමැතිවරයාට සම්බන්ධ සමාගමේ කිසිදු වැඩබිමක පොලිසිය හෝ පොලිස් විශේෂ කාර්ය බළකාය විසින් කිසිදු වැටලීමක් සිදුකොට නොමැති බවත් අදාළ සමාගම ඇතුළු සමාගම් හතරක් මඟින් අලව්ව-ගිරිඋල්ල මාර්ගය කාපට් කර සංවර්ධනය කිරීමට කොන්ත්‍රාත් ගිවිස ගෙන තිබූ අතර අනෙකුත් සමාගම් තුනම තමන්ට පැවරුණු කොටස ඉතා ඉක්මනින් සංවර්ධනය කර භාරදී තිබුණද අදාළ සමාගම පමණක් භාරගෙන තිබූ කොටස පමණක් ඉබිගමනේ සිදුවෙමින් පැවතිණි.

එහිදි ජනතාවගේ උඝෝෂණය නිසා අදාළ සමාගමටද එය ඉතා ඉක්මනින් සිදුකිරීමට සිදුවිය. එයද කිසිදු ප්‍රමිතියකින් තොරවය. මෙම සමාගම විසින්ද මධ්‍යම අධිවේගී මාර්ගයේ කොටසක් සංවර්ධනය කිරීමට භාරගෙන ඇත. එහෙත් එම සමාගමට සම්බන්ධ සේවකයන්ට මාස කිහිපයකම වැටුප් ගෙවීමට ඇත. මේ තත්වය මත අදාළ සමාගමේ සේවකයන් රැකියාව අතහැර යන තැනට පත්ව ඇත.

-රෝහිත ශ්‍රි හේමන්ත-

ඉවතලන පොලිතීන් සහ රබර් වලින් පන්ති කාමර හදන අයිවරි කෝස්ට් රාජ්‍යය ලොවටම ආදර්ශයක්.







අප්‍රිකානු මහාද්වීපයේ පිහිටි අයිවරි කෝස්ට් රාජ්‍යයේ දරුවන් සඳහා පාසල් ඉදිකිරීම වෙනුවෙන් අඩු වියදම්, පරිසර හිතකාමී ක්‍රමවේදයක් හඳුන්වා දෙන්නට යුනිසෙෆ් අරමුදල සහ කොලෝම්බියානු සමාජ සංවිධානයක් ඉදිරිපත්ව ඇතැයි වාර්තා වෙයි.

මෙහිදී ඔවුන් අදාළ පාසල් ගොඩනැගිලි ඉදිකිරීම සඳහා අවශ්‍ය ගඩොල් නිපදවා ගැනීම ඉවතලන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මගින් සිදුකිරීම මෙහි ඇති විශේෂත්වයයි.

ඉතාමත් පහසුවෙන් හැසිරවිය හැකි මෙම ප්ලාස්ටික් ගඩොල් අනෙකුත් සමාන ගඩොල් හා සැසඳීමේදී මිල අතින්ද අඩු අගයක් ගැනීම එම ඉදිකිරීම් කටයුතු වඩාත් සරල කර තිබේ.

වාර්තාවලට අනුව දැනටමත් අධ්‍යාපනය ලැබීම සඳහා ප්‍රමාණවත් ඉඩකඩක්  නොමැති එරට වෙසෙන දරුවන්
වෙනුවෙන් පන්ති කාමර 15,000ක් ඉදිකිරීම අනිවාර්ය වී ඇත.

ඒ අනුව, පන්ති කාමර අවශ්‍ය එරට දරුවන්ගේ, එම අවශ්‍යතාව සැපිරීම සඳහා මෙම ප්ලාස්ටික් අපද්‍රව්‍ය යොදා සකසන ගඩොල් වඩාත් ඵලදායී බව අදහස වී තිබේ.

"මේ ක්‍රමවේදය මගින් අපිට තෙවැදෑරුම් ප්‍රතිඵල අත්වෙනවා. ඉන් එකක් තමයි, අයිවරි කෝස්ට් හි දරුවන්ට වැඩිවශයෙන් පන්ති කාමර හිමිවීම. අනෙක පරිසරයේ ඇති ප්ලාස්ටික් අපද්‍රව්‍ය ක්‍රමයෙන් අඩුවීම. ඒ වගේම තමයි, බොහෝ පවුල් වලට අමතර ආදායමක් හිමි කරගැනීමට හැකිවීම” යනුවෙන් යුනිසෙෆ් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ හෙන්රීටා ෆෝරේ පවසයි.

කොන්සෙප්ටොස් ප්ලාස්ටිකොස් නම් සමාගමක් මම ප්ලාස්ටික් ගඩොල් නිපදවයි. එරට අබිඩ්ජාන් අගනුවර අවට ප‍්‍රදේශවලදී එකතුවන ප්ලාස්ටික් අපද්‍රව්‍ය මේ සඳහා එකතු කෙරේ.

 වාර්තාවලට අනුව සෑම දිනකදීම එරට අගනුවරදී පමණක් ප්ලාස්ටීක් අපද්‍රව්‍ය ටොන් 280කට වඩා වැඩි ප්‍රමාණයක් එකතු වෙයි. ඒ අතරින් ප්‍රතිචක්‍රීයකරණය කෙරෙන්නේ 5%කට වඩා අඩු ප්‍රමාණයකි. ඒ අනුව, මෙහිදී ප්ලාස්ටික් සහ රබර් අපද්‍රව්‍ය එකට මිශ්‍ර කරමින් සකසා කරගන්නා අමුද්‍රව්‍ය යොදා ගෙන මෙම ප්ලාස්ටික් ගඩොල් නිපදවයි.

ඉදිරි වසර දෙක ඇතුළතදී දරුවන්ට පත්ති කාමර 500ක් ඉදිකිරීම ඔවුන්ගේ අදහසයි.

 -හසිත විතානගේ-

මාකොළ සිසුවෙක් දුවද්දී වැටී මියයයි



මාකොළ, සපුගස්කන්ද මහා විද්‍යාලයේ 12 වැනි වසරේ ඉගෙනුම ලබමින් සිටි සිසුවකු ඊයේ (30දා) උදෑසන මැරතන් ධාවන තරගයක පුහුණුවීම්වල නිරත වෙමින් සිටින අතරතුරදි ක්‍රීඩාපිටියේදි ක්ලාන්ත වී ඇදවැටීම නිසා කිරිබත්ගොඩ මූලික රෝහලට ගෙන ගොස් ඇති අතර ප්‍රතිකාර ලැබිමටත් පෙර සිසුවා මියගොස් ඇතැයි සපුගස්කන්ද පොලිසියෙන් වාර්තා වේ.

මෙලෙස අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ සපුගස්කන්ද ප්‍රදේශයේ පදිංචි අරුණ ධනංජය හෙට්ටිආරචිචි නමැති 17 හැවිරිදි උසස්පෙළ හදාරන සිසුවෙකි. මෙම ශිෂ්‍යයාගේ වැඩිමහල් සොහොයුරාද මීට පෙර මෙලෙසම ක්‍රීඩා පුහුණු වීම් අතරතුරදී හදිසියේ මිය ගොස් ඇතැයිද කිරිබත්ගොඩ රෝහලෙන් තොරතුරු වාර්තා වෙයි.

මේ වනවිට මියගිය සිසුවාගේ මෘත දේහය රාගම රෝහලේ මෘත ශරීරාගාරයේ තබා ඇති අතර අද (31දා) උදෑසන පශ්චාත් මරණ පරීක්ෂණයෙන් පසුව දේහය ඥාතීන්ට භාරදීමට නියමිතය. සපුගස්කන්ද පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක තුසිත ජයකොඩි මහතාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි පරීක්ෂාණ කටයුතු සිදු කෙරේ.

-කේ.දුමින්ද-



විල්පත්තුව වන උද්‍යානයේ විල්ලු සිඳී යාම නිසා බවුසර් මඟින් සතුන්ට ජලය ලබාදීමට පියවර ගැනේ



පුත්තලම දිස්ත්‍රික්කයට මේ වනවිට බලපා ඇති වියළි කාලගුණික තත්වය හේතුවෙන් විල්පත්තුව ජාතික වන උද්‍යානයේ විල්ලු රැසක් සිදී යැම නිසා එහි ඉදිකර ඇති සිමෙන්ති පොකුණු වෙත බවුසර් වලින් ජලය පිරවීම මේ වනවිට සිදු කරන බව උද්‍යාන පාලක චමත් ලක්ෂමන් පෙරේරා මහතා පැවසීය. මේ වනවිට උද්‍යානයේ ඇති විල්ලු 42ක අතරින්  30කට වැඩි ප්‍රමාණයක් සම්පූර්ණයෙන් සිදී යාම නිසා  වනසතුන් ආහාර සහ ජලය සොයා සැතපුම් ගණනක් ගමන් කිරීම සිදුවන බවද හෙතෙම පවසා සිටීයේය.

මේ හේතුව නිසා උද්‍යානයේ ඉදිකර ඇති කොන්ක්‍රීට් පොකුණු වෙත වනජීවී නිලධාරින් විසින් දින කිපයකට වරක් බවුසර් යොදා ගනිමින් ජලය දැමීම සිදුකරන බවද හෙතෙම වැඩිදුරටත් පවසා සිටියේය.  දිය පිරවූ පොකුණුවලට කුඩා කුරුල්ලන්ගේ සිට වලහා, මුවා, ගෝනා, දිවියා හා අලියා ඇතුළු අනිකුත් වන සතුන් දිය පානය කිරීමට පුරුදුව ඇති බවද වනජීවී නිලධාරීහු පවසති.

එළුවන්කුලම විල්පත්තු පිවිසුම් කාර්යාලයේ ස්ථාන භාර නිලධාරී වනජීවී අඩවි ආරක්ෂක පී.ඩී.එල්. ලලිත් නිශාන්ත මහතා පවසා සිටියේ උද්‍යානයේ ඇති මෙම කොන්ක්‍රීට් පොකුණු වෙත කලා ඔයේ සිට බවුසර් මගින් කිලෝමීටර් 30කට අධික දුරක් ජලය රැගෙන යාම සිදුවන බවයි. මේ අතර ආනවිළුන්දාව රම්සා තෙත් බිමේ වැව් පද්ධතිය සිදී ගොස් ඇති බව වනජීවී නිලධාරීහු පවසති.

හෙක්ටයාර් 1397 විශාලත්වයකින් යුත් ආනවිළුන්දාව රැමිසා තෙත් බිම වැව් පද්ධතියකින් සමන්විත වන අතර වසරේ නොවැම්බර් සිට මැයි වන තෙක් වැව් පද්ධතියේ ජලය පිරී ඇත්තේ පවතින වර්ෂාවෙන් ලැබෙන ජලය එක්රැස්ව තිබීම නිසාවෙනි. පසුව වැසි නොලැබීමත් සමග සෑම වසරකම ක්‍රමයෙන් වැව් සිඳී යාම සිදුවන්නේ මේ සුන්දර අභයභුමියට නිසි ලෙස ජලය ගලා එමේ ක්‍රමවේදයක්
නොමැතිවීම නිසාවෙනි.

අවස්ථා ගණනාවකදී ආනවිළුන්දාවට ජලය ලබාදීමට ව්‍යාපෘති රැසක් ක්‍රියාත්මක කළද මේ වනවිටත් එම සැලසුම් ලිපි ගොනුවලට පමණක් සීමා වී ඇති බව ආනවිළුන්දාවට ඇලුම් කරන්නෝ පවසති. ජලය සිඳී යෑමත් සමග මෙම භූමියේ සැරිසරන පක්ෂින් ක්‍රමයෙන් අතහැර යාම සිදුවන්නේ නැවත ජලයත් ආහාරත් සොයා ගැනීමේ ගැටලුවට මුහුණදෙමිනි .  මේ වනවිට පවතින වියළි කාලගුණය නිසා වැව් පද්ධතියේ ඇතැම් ස්ථානවල සුළු ජලය ප්‍රමාණයක් තිබුණද ඇතැම් ස්ථාන වියළී ගොස් තිබෙන ආකාරය  දැක ගත හැකිය.

-හිරාන් ප්‍රියංකර ජයසිංහ-

කාර්යමණ්ඩල ප්‍රවාහනය කිරීමට අධිවේගයේ බලපත්‍ර ලබාගෙන මගීන් ප්‍රවාහනය කළ බස්රථ අත්අඩංගුවට



කාර්යාල කාර්යමණ්ඩල ප්‍රවාහනය කිරීම සඳහා බලපත්‍ර ලබාගෙන, ඒ  මුවාවෙන් බස් නැවතුම්පළවල රැදී සිටින සාමාන්‍ය මගීන් ප්‍රවාහනය කිරීමේ යෙදුණු බස් රථ කිහිපයක් පසුගියදා (26දා) නීතියේ රැහැනට හසුකර ගැනීමට බස්නාහිර  පළාත් මාර්ගස්ථ මගී ප්‍රවාහන  අධිකාරිය සහ ජාතික ප්‍රවාහන කොමිසමට හැකි විය. මෙසේ අනවසර මුදල් ඉපෑයීමක නියැලී සිටි බස් රථ හසු කර ගත්තේ මාකුඹුර පිහිටි බහුකාර්ය මගී ප්‍රවාහන පරිශ්‍රයේදී සිදු කරන ලද හදිසි පරීක්ෂාවකදීය.

පොදු මගී ප්‍රවාහන  සේවයේ නියැළී සිටින බස් හිමියන් සහ බස්  සේවකයින් සිදු කරන ලද පැමිණිලිවලට අනුව සිදුකළ  මෙම පරීක්ෂාවේදී මගී ප්‍රවාහනයේදී ලද බලපත්‍ර කොන්දේසි උල්ලංඝණය කළ බස් සේවකයින් කිහිපදෙනෙකුට එරෙහිව  අධිකරණමය ක්‍රියා මාර්ගයන්ට යොමු වීමට අවශ්‍ය පියවර ගැනීමට බලධරයින් පියවර ගත්තේය.

එහිදී මාධ්‍ය වෙත අදහස්  පළ කළ බස්නාහිර පළාත් මාර්ගස්ථ ප්‍රවාහන අධිකාරියේ සභාපති නුවන් වනිගරත්න මහතා, අපි බසි හිමියන්ගෙන මගී ජනතාවට සිදුවන අපහසුතා පිළිබඳව විමසිලිමත් වෙනවා.
ඒ වගේම රටේ ජනතාවට ගමන් පහසුකම් ලබාදෙන බස් හිමියන් සහ බස් සේකයින්ටත්, ඔවුන්ගේ වෘත්තීය අයිතිවාසිකම් ලබා දිය යුතු වෙනවා.

ඒත් කාර්යාල කාර්යමණ්ඩල ප්‍රවාහකයින් සිදු කරලා තියෙන්නේ මගී ප්‍රවාහනයේ  යෙදී සිටින්නගේ ආදායම  සූරා කෑමක්. ඒ නිසා අපි ඔවුන්ට එරෙහිව නීතිය  ක්‍රියාත්මක කරනවා. බස්  කර්මාන්තයේ නියැළී සිටින්නන්ගේ වෘත්තීය  අයිතිවාසිකම් ආරක්ෂා කර දෙනවා "යැයි පැවසුවේය.

-අමිල සංකල්ප-

නුගේගොඩ ව්‍යාපාරිකයා ඝාතනය කළ පුද්ගලයින්ට පලායෑමට උදවු කළ අයෙක් කොටු





නුගේගොඩ, ජම්බුගස්මුල්ල ප්‍රදේශයේදී ව්‍යාපාරිකයෙකුට වෙඩි තබා ඝාතනය කර, තවත් ව්‍යාපාරිකයෙකුට බරපතළ තුවාල සිදු කිරීමේ සිද්ධියකට අදාළ සැකකරුවන් දෙදෙනෙකුට පලා යෑමට ආධාර අනුබල දුන් බවට පැවසෙන පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බව බස්නාහිර පළාත දකුණු දිසාව අපරාධ කොට්ඨාසය පවසයි.

මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ කෝට්ටේ නගර සභාවේ රියැදුරෙකි. ඝාතනයට පැමිණි සැකකරුවන් පැලඳ සිටි බවට පැවසෙන ආරක්ෂක හිස් වැසුම් දෙක අත්අඩංගුවට ගත් පුද්ගලයාගේ නිවාස  ඉදිරිපිට සඟවා තිබියදී හමු වූ බව පොලීසිය පවසයි.

වෙඩි තැබීමෙන් අනතුරුව සැකකරුවන් දෙදෙනා යතුරුපැදිය ප්‍රදේශයේ අතුරු මාර්ගයක සඟවා, ආරක්ෂක හිස් වැසුම් දෙක අත්අඩංගුවට ගත් පුද්ගලයාට ලබාදී එය සඟවා තබන ලෙස පවසා ඇති බවත්, අනතුරුව එම පුද්ගලයා ලවා ත්‍රිරෝද රථයක් ගෙස්වාගෙන අත්තිඩිය, බෙල්ලන්තර දක්වා ගොස් ඇති බවත් විමර්ශනවලදී හෙළි වී තිබේ.

එසේ පැමිණි පුද්ගලයන් අතර සංවිධානාත්මක අපරාධකරුවෙකුද සිට ඇති බවත්, එම පුද්ගලයා මේ වන විට ඩුබායි රටට පලාගොස් ඇති බවත් උසස් පොලිස් නිලධාරියෙකු පැවසීය. සිද්ධියට අදාළ සැකකරුවන් බෙල්ලන්තර දක්වා රැගෙන ගිය ත්‍රිරෝද රථ රියදුරාගෙන්ද ප්‍රකාශ ලබාගත් බච පොලීසිය පවසයි.

අත්අඩංගුවට ගත් පුද්ගලයා අධිකරණයට ඉදිපත් කිරීමට නියමිතව තිබිණි. 

බන්ඩාරගම - බිමල් ශ්‍යාමන් 

මුස්ලිම් සම්මේලනයේ මහලේකම් හෙලිකොප්ටරයෙන් ගොඩබහිද්දි අවට නිවාසවලට හානි.








ජාත්‍යන්තර මුස්ලිම් සම්මේලනයේ මහලේකම් ෂෙයික් මොහොමඩ් බින් අබ්දුල්ලා කරීම් අල් ඉෂා මහතා පැමිණි හෙලිකොප්ටරය මැණික්හින්න  යූ.පී.වයි. ජිනදාස ක්‍රීඩාංගණයට ගොඩබාන අවස්ථාවේ ඇති වූ අධික සුළං තත්වය හේතුවෙන් ඊයේ (30) උදේ අවට නිවාස කිහිපයක වහලය සෙවිලි කර තිබූ සෙවිලි තහඩු ගැලවී යාමෙන් නිවාසවලට හානි සිදුවී ඇති බව නිවැසියෝ පවසති.

ෂෙයික් මහතා මැණික්හින්නේ විද්‍යාසාගර පිරිවෙනේ වැඩ විසූ නාපානේ පේමසිරි ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ මහානායක හිමියන් බැහැදැකීම සඳහා ගුවන් හමුදාවේ විශේෂ හෙලිකොප්ටර් යානයකින් මැණික්හින්න ප්‍රදේශයට පැමිණි අවස්ථාවේ හෙලිකොප්ටරය ගොඩබැමේ දී මෙම සිද්ධිය වී තිබේ.

මෙම සිද්ධියෙන් පසුව ස්ථානය පරික්ෂාවට පැමිණි මහනුවර මස්ජීඩ් සම්මේලනයේ සභාපති එම්. සිද්ධික් මහතා හෙලිකොප්ටර් යානාව ගොඩබාන අවස්ථාවේ හානි වූ ක්‍රීඩාංගණය අවට තිබූ නිවාස පිළිසකර කරදෙන බව නිවාස හිමියන්ට දන්වා තිබේ.

හානි වූ නිවාසවල හිමිකරුවෝ තමන්ගේ නිවාස පිළිසකර කර දෙන ලෙස වගකිවයුත්තන්ගෙන් ඉල්ලා සිටිති.  මධ්‍යම පළාත් නියෝජ්‍ය පොලිස්පති ඩී.එල්.ආර්. රණවීර මහතාගේ උපදෙස් පරිදි මැණික්හින්න පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

(ජේ.ඒ.එල්. ජයසිංහ)

Tuesday, July 30, 2019

අයි.සී.සී.ය ටෙස්ට් ලෝක ශුරතාවයට සුදානම්


අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය (අයි.සී.සී) පළමු වරට සංවිධානය කරන අන්නජාතික ටෙස්ට් ලෝක ශූරතාව (World Test Championship) අගෝස්තු පළමුනිදා ආරම්භ වීමට නියමිතය. මෙම නිල එළිදැක්වීම (Launches)  ඊයේ (29දා) සිදුවිණ.

රටවල් නවයක, තරගාවලි 27ක් යටතේ පැවැත්වෙන තරග 72කින් යුත් තරගාවලියක් ලෙස 2021 වර්ෂය දක්වාම ක‍්‍රියාත්මක වීමද මෙම තරගාවලියේ විශේෂත්වයකි. තරගාවලියේ මුලික වටයේ තරග 71ක් ලීග් ක්‍රමයට පැවැත්වීමෙන් අනතුරුව තරගාවලියේ අවසන් මහා තරගය 2021 වර්ෂයේ ජුනි මාසයේදී පැවැත්වීමට නියමිතව ඇත්තේ ලන්ඩනයේ ලෝඩිස් ක්‍රීඩාංගණයේදීය.

තරගාවලියේ සංයුතිය

තරගාවලිය තවත් උප තරගාවලි 27ක එකමුතුවක් ලෙස පැවැත්වෙන ඇත. තරගාවලිය ආරම්භ වන්නේ අනිද්දා (01දා) එංගලන්තය හා ඔස්ට්‍රේලියාව අතර එංගලන්තයේදී ආරම්භ වන 'අළු බඳුන' තරගාවලිය සමඟිනි. තරගාවලිය සඳහා අන්තර්ජාතික ටෙස්ට් ශ්‍රේණිගත කිරීම්හි ඉදිරියෙන් සිටින ඉන්දියාව, නවසීලන්තය, ද. අප්‍රිකාව, එංගලන්තය, ඔස්ට්‍රේලියාව, ශ්‍රී ලංකාව, පකිස්තානය, බ.ඉ.කොදෙව් හා බංග්ලාදේශය යන කණ්ඩායම් සහභාගි වෙති.

සමස්ත තරගාවලියේ සංයුතිය ගත් කළ තරග පහකින් යුත් තරගාවලි දෙකක්, තරග හතර බැගින් පැවැත්වෙන තරගාවලි දෙකක්, තරග තුන බැගින් පැවැත්වෙන තරගාවලි හතක් හා තරග දෙක බැගින් පැවැත්වෙන තරගාවලි 16කින් මෙම සමස්ත ටෙස්ට් ලෝක ශුරතාවේ සංයුතිය සෑදී ඇත. තරගාවලියේ වැඩිම තරඟ සංඛ්‍යාවක් එංගලන්තයට, ඔස්ට්‍රේලියාවට හා ඉන්දියාවට හිමිවී ඇත. ඒ පිළිවෙළින් 22, 19 හා 18ක් ලෙසිනි.

ඊට අමතරව ද. අප්‍රිකාවට 16ක් හා බ,ඉ, කොදෙව් සදහා 15ක් බැගින් හිමි වී ඇත. ඊට අමතරව නවසීලන්තයට හා බංග්ලාදේශයට 14ක් බැගින් හිමි වී ඇත. තරගාවලියේ අවම තරග සංඛ්‍යාවක් ශ්‍රී ලංකාවට හා පකිස්තානයට හිමිවී ඇති අතර එය ගණනින් 13 කි. ලකුණු ලබාදීමේ ක්‍රමවේදය  මෙහි ප්‍රසාද ලකුණු ලබාදීමේ ක්‍රමවේදයට අනුව තරඟ දෙකකින් යුත් තරගාවලියක ජයග්‍රහණයක් සඳහා ප්‍රසාද ලකුණු 60ක්ද, ලකුණ සමවීමකට ප්‍රසාද ලකුණු 30ක්ද, ජය පැරැදුමින් තොර වීමකට ප්‍රසාද ලකුණු 20ක් බැගින්ද හිමි වේ.

තරග තුනකින් යුත් තරගාවලියක ජයග්‍රහණයක් සදහා ප්‍රසාද ලකුණු 40ක්ද, ලකුණු සමවීමකට ප්‍රසාද ලකුණු 20ක්ද, ජය පැරැදුමින් තොර නිමාවකට ප්‍රසාද ලකුණු 13ක්ද හිමි වේ. තරග හතරකින් යුත් තරගාවලියක ජයග්‍රහණයක් සඳහා ප්‍රසාද ලකුණු  30ක්ද, ලකුණු සම වීමකට ප්‍රසාද
ලකුණු 15ක්ද, ජයපැරැදුමින් තොර නිමාවකට ප්‍රසාද ලකුණු 10ක්ද හිමි වේ.

තරඟ පහකින් යුත් තරගාවලියක ජයග්‍රහණයකට ප්‍රසාද ලකුණු 24ක්ද, ලකුණු සමවීමකට ප්‍රසාද ලකුණු 12ක්ද, ජය පැරැදුමින් තොරවීමකට ප්‍රසාද ලකුණු 08ක් ලබාදීම සිදුකරයි. මෙම කිසිදු තරගාවලියක පරාජයක් සඳහා ප්‍රසාද ලකුණු ප්‍රදානයක් සිදු නොකෙරේ.

මෙවර තරගාවලියේ සැලැසුම

මෙවර තරගාවලිය පැවැත්වෙන්නේ පසුගිය තරගාවලි දෙකක් අසාර්ථකවීමෙන් අනතුරුවය. මෙම තරගාවලිය පැවැත්වීමට මූලික යෝජනාව 2010 වර්ෂයේදී එළිදැක්වූ අතර තරගාවලිය මුලින්ම පැවැත්වීමට නියමිතච තිබුණේ 2013 වර්ෂයේදීය.  කෙසේ වෙතත් එය අවලංගුවීමෙන් අනතුරුව 2017 වර්ෂයේදී නැවතත් තරගාවලිය පැවැත්වීමට නියමිතව තිබුණත් එයද අවලංගුවීමෙන් අනතුරුව මෙම වර්ෂයේදී එය පැවැත්වීමට තීරණය කෙරීණි.

-ඕෂිත වරකපිටිය-

සමන්තුරේ මවක් ගෙල කපා මාස 09ක නිවුන් සිඟිත්තන් දෙදෙනා මරලා.

අම්පාර සමන්තුර, පොලිස් බල  ප්‍රදේශයේ නින්දවුර්  පදිංචි කාන්තාවක්  මාස නවයක් වයසැති තම නිවුන් දරු
දෙදනාගේ ගෙල  කපා ඔවුන් මරා දමා ඇතැයි වාර්තා වේ.

 මෙසේ මියගොස්  ඇත්තේ සේහා අයිනා සහ සේහා සෙයිනා නමැති නිවුන් දැරියන් දෙදෙනෙකි.

මෙම ඝාතනය  ඊයේ 29 අලුයම 3.30ට පමණ සිදුකරන්නට ඇති  බව පරීක්ෂණ පවත්වන සමන්තුරේ පොලිසිය විසින් සොයාගෙන තිබේ. මෙදින රාත්‍රියේ මෙම කාන්තාව තම දරුවන් දෙදෙනා සමග අලුයම 03 පමණ වනතුරු සතුටින් සිට ඇති අතර එම අවස්ථාවේ ඇය දරුවන්ට කිරිදුන් බවද ඇගේ සැමියා පොලීසියට පවසා තිබේ.

පාන්දර ඇගේ සැමියාට නින්ද ගොස් ඇති අතර පසුදින උදේ 8ට පමණ  අවදිවී දරුවන් දෙදෙනා සොයන විට ඔවුන් නාන කාමරයේ සිටින බව බිරිය පවසා ඇත.

ඔහු නාන කමරයට ගොස් බලනවිට දරු දෙදෙනා ලේ ගොඩක් මැද මැරී සිටිනු දැක තිබේ.  මේ පිළිබඳව අසල්වැසියන්ට සහ පොලිසියට ඇනුම්දි ඇති අතර සමන්තුරේ පොලීසිය සහ අම්පාර පොලිස් ස්ථානයේ අපරාධ පරීක්ෂණ නිලධාරින් එහි ගොස් පරික්ෂණ ආරම්භ කරෙ තිබේ.මෙම ඝාතන සිදු කිරීම යොදාගත් පිහියද නාන කාමරයේ තිබී පොලිසිය විසින් සොයාගෙන තිබේ.‍

සැකකාර කාන්තාව මානසික රෝගී තත්වයකින් පසුවූ බව කියන අතර ඇය මේ වන විට පොලිස් ආරක්ෂාව මැද කල්මුණේ උතුර රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටි.

නිවසේ තනිවී සිටි කාන්තාවට අතවර කිරීමට ආ පුද්ගලයාගේ ඇඟිලි සැපු කාන්තාවගේ දත් ගැලවී රෝහලේ



කටුපොත, දෙබරවැව ප්‍රදේශයේ නිවසක තනිව සිටි කාන්තාවකට අතවර කිරීමට පැමිණි පුද්ගලයකුගේ අතේ ඇඟිලි දෙකක් සපා කෑමට යමේදී කාත්තාවගේ කටේ දත් දෙකක් ගැලවී කටුපොත ප්‍රාදේශීය බී රෝහලට ඇතුළත්ව ප්‍රතිකාර ලබමින් සිටින බව කටුපොත පොලීසිය පවසයි.  පෙරේදා (28දා) අලුයම 5ට පමණ මෙම සිද්ධිය වී ඇත. කාන්තාවගේ සැමියා රැකියාව සඳහා අලුයම නිවෙසින් පිටවි යනු බලා සිටි මේ බීමත් පුද්ගලයා කාන්තාව සිටි නිවෙසට ඇතුළු වී රෙද්දක් ගෙන කාන්තාවගේ මුහුණ වසද්දී ඇය දඟලා ඇත.

එවිට බීමත් පුද්ගලයාගේ අතේ ඇගිලි දෙකක් කාන්තාවගේ කට තුළට ගොස් ඇත. කාන්තාව ඇඟිලි දෙක සපා ඇත. බීමත් පුද්ගලයා ඇඟිලි දෙක කටින් එළියට ගැනීමට තැත් කිරීමේදී කාන්තාවගේ දත් දෙකක් ගැලවී ඇත. ඇය රෝහල් ගත කර ඇතැයි කටුපොත පොලිසිය පැවැසීය. සකකරු කටුපොත, දෙබරවැව පදිංචි දෙදරු පියකු බවට හඳුනාගෙන ඇත.

ඔහු නිතර බීම නිවසේ බිරියට සහ දරුවන්ට පහර දෙන බවටද පැමිණිලි ලැබී ඇති බවත් මෙයට පෙර අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගතව නිදහස්ව පැමිණි පුද්ගලයකු බවත් පොලිසිය පැවැසීය. සැකකරු පලා ගොස් සැගවී සිටින බවත්  ඔහු අත්අඩංගුවට ගැනීමට පරීක්ෂණ පවත්වන බවත් කටුපොත පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ආර්.ඇම්.එස්.ඒ. පද්මසිරි මහතා පැවැසීය.


-කේ.එස්.ජයසුරිය-



පාස්කු ප්‍රහාරයට පුපුරන ද්‍රව්‍ය සැපයු බව කියන සැකකරු දින 90කට පසු රක්ෂිත බන්ධනාගාරයට



පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පිරිස් වෙත පුපුරන ද්‍රව්‍ය සැපයූ බවට අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව විසින් අත්අඩංගුවට ගෙන දින 90ක රැඳවුම් භාරයේ තබා ගැනීමෙන් පසු කුලියාපිටිය අධිකරණයට ඉදිරිපත් කළ සැකකරුවකු ලබන මස 05 වැනිදා දක්වා රක්‍ෂිත බන්ධනාගාරගත කරන ලෙස කුලියාපිටිය මහේස්ත්‍රාත් ජනනි එස්. විජේතුංග මහත්මිය ඊයේ (29දා) නියෝග කළාය.

මෙම සිද්ධියට ආධාර අනුබල දුන් බව පැවසෙන තවත් සැකකරුවන් තිදෙනකුට අදාළ නඩුව කැඳවූ අවස්ථාවේ එම නඩුවම නාරම්මල, කැකුණගොල්ල ප්‍රදේශයේ පදිංචි අබ්දුල් කාදර් මොහොමඩ් අමීර් නමැති අදාළ සැකකරු ඉදිරිපත් කළ අවස්ථාවේදී, සෙසු සැකකරුවන් තිදෙනෙකු සමගින් අදාළ සැකකරුද රකෂිත බන්ධනාගාරගත කෙරී  එහිදී අධිකරණයට කරුණු දක්වමින් අපරාධ පරිකෂණ දෙපාර්තමේන්තුව පවසා සිටියේ, සහරාන් හෂීම් නමැත්තා සමග පාස්කු ප්‍රහාරයේ සැලසුම්වලට සහභාගි වූ බවට තිබූ තොරතුරු මත ඊයේ (29දා) අධිකරණයට ඉදිරිපත් කරන ලද සැකකරු මැයි මස 06 වැනිදා අත්අඩංගුවට ගෙන ආරක්‍ෂක අමාත්‍යවරයාගේ අනුමැතිය මත රදවාගෙන ප්‍රශ්න කළ බවයි.

එසේම සිද්ධිය සම්බන්ධයෙන් තවත් සැකකරුවන් කිහිප දෙනෙකු රැඳවාගෙන ප්‍රශ්න කරන බවත් මෙවැනි සිදුවීමක පරික්‍ෂණ දැඩි සංකීර්ණ බවත් පැවසූ අපරාධ පරික්‍ෂණ දෙපාර්තමේන්තුව, 1979 අංක 48 දරන ත්‍රස්තවාදය වැළැක්වීම් පනතේ 'ඉ' හා 'උ' වගන්ති ප්‍රකාරව සැකකරුවන් ඉදිරිපත් කරන බවද පැවසීය.
අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව වැඩිදුරටත් අධිකරණයට දැනුම් දුන්  සයින්දමර්දු, කල්මුණේ, වනාතවිල්ලුව හා නාරම්මල ආදී ප්‍රදේශවල තිබී හමු වූ නඩු භාණ්ඩද අධිකරණයට ඉදිරිපත්
කර ඇති බවයි.

 ඒහිදී වෙඩි බෙහෙත් අලෙවි කළ බවට අත්අඩංගුවට පත්ව සිටින වැන්සස් ලාසරස් හා විජිත ජයරත්න නමැති සැකකරුවන් වෙනුවෙන් අධිකරණය හමුවේ කරුණු දැක්වූ නීතිඥවරුන් පෙන්වා දුන්නේ, දැනට රක්‍ෂිත බන්ධනාගාරයේ පසුවන තම සේවාදායකයන් නීත්‍යනුකූල බලපත්‍ර සහිතව එම ව්‍යාපාරයේ නියැළෙන බවත්, 2019 වසර සදහාද එම බලපත්‍ර වලංගු බවත්ය.

එහෙත් අපරාධ පරිකෂණ දෙපාර්තමේන්තුව කරුණු දක්වමින් පැවසුවේ, බලපත්‍ර කොන්දේසි උල්ලංඝනය කරමින් පුපුරන ද්‍රව්‍ය ත්‍රස්තයන් අතට පත්කර ඇතැයි විමර්ශනවලදී හෙළි වූ බවයි. දිවයිනේ ස්ථාන 08කදී සිදු වූ පිපිරුම්වලට ඍජුව භාවිත කර ඇත්තේද අදාළ සැකකරුවන් විසින් නිකුත් කරන ලද පුපුරන ද්‍රව්‍ය බවද අපරාධ පරීක්‍ෂණ සිදපාශිමේන්තුව වැඩිදුරටත් කරුණු දැක්වීය.

ඉදිරිපත් වු කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය සියලු සැකකරුවන් අගෝස්තු 05 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම කළාය.

-දිනේෂ් උපේන්ද්‍ර-

රූපවාහිනී වැඩසටහනකදී තර්ජනය කළැයි රතන හිමිට-මනොජ් ගමගේට ශානිගෙන් පැමිණිලි.








පෞද්ගලික රූපවාහිනී නාලිකාවක් මහින් විකාශය කෙරුණු දේශපාලන වැඩ සටහනකදී පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන් සහ නීතිඥ සංවිධාන ජාතික එකමුතුවේ සභාපති මනෝජ් ගමගේ මහතා තමාට තර්ජනයක් වන ආකාරයේ ප්‍රකාශයක් කළ බව සඳහන් කරමින් ඒ දෙදෙනාට විරුද්ධව රහස් පොලිසියේ අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර මහතා පෙරේදා (28) සවස කොටුව පොලිසියට
පැමිණිල්ලක් කර ඇති බව පොලිසිය කියයි.

රහස් පොලිසියේ අධ්‍යක්ෂකවරයා විසින් සිදුකරන ලද මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් විධිමත් පරීක්ෂණයක් සිදුකරන බව ජ්‍යෙෂ්ඨ පොලිස් නිලධාරියෙක් පැවසීය.

මේ සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියන්ගෙන් සහ නීතිඥ මනෝජ් ගමගේ මහතාගෙන් ප්‍රශ්න  කර ප්‍රකාශයක් ලබාගැනීමට පොලිසිය කටයුතු යොදාගෙන යයි.

කොටුව පොලිසියේ විවිධ පැමිණිලි විමර්ශන අංශය විසින් මේ සම්බන්ධයෙන් වැඩිදුර පරික්ෂණ පවත්වාගෙන යනු
ලැබේ.

-ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය-

නුගේගොඩ ව්‍යාපාරිකයා ඝාතනයට සම්බන්ධ සැකකරු රට පැනලා?








නුගේගොඩ ජම්බුගස්මුල්ල මාවතේදී  අවන්හල් ව්‍යාපාරිකයාගේ ඝාතනයට සම්බන්ධ සැකකරුවෙකු විදෙස් රටකට පලා ගොස් ඇතැයි පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි.

මෙසේ පැනගොස් ඇති පුද්ගලයා 2004 වසරේදී බැංකු කොල්ලයකට හා ඊට පසු තවත් අපරාධ රැසකට මොහු සම්බන්ධව සිට පොලිස් අත්අඩංගුවට  පත් වූවකු බවත්, ඝාතනය සිදුකර පැය කිහිපයක් තුළදී ඔහු ඩුබායි රටට පලා ගොස් ඇති බවත්, ඝාතකයා අදාළ වනපාරිකයා හා කලක් කුලුපඟ මිතුරෙකුව සිට පසුව අමනාපව සිට ඇති බව සනාථ වූ බවත් පොලීසිය පවසයි.

 පසුගිය 27 වැනිදා මිතුරෙකුගේ නිවසේ සාදයකට සහභාගි වී, යළි නිවස කරා පැමිණීමට සුදානම් වෙද්දී මෙසේ ඝාතනයට ලක් වී ඇත්තේ නුගේගොඩ උඩගහමුල්ල මැදිවෙල පාර පදිංචි සුනිල් රුවන් පෙරේරා තිස් අට හැවිරිදි වියේ ව්‍යාපාරිකයෙකි.

 අපරාධයට අදාළ සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිස් කණ්ඩායම් තුනක් යොදවා ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසීය.

- බිමල් ශ්‍යාමන් ජයසිංහ-

සුඛෝපභෝගී බස් රථ 2000ක් ධාවනය කිරීමේ ව්‍යපෘතිය අතරමග නැවතිලා?



වායුසමනය කළ සුබෝපභෝගී නවීන බස් රථ 2,000ක් ධාවනයට එක්කිරිම් ව්‍යාපෘතිය අතරමග නවතින තත්ත්වයක් මතුව ඇතැයි  වාර්තා වේ. නවීන බස් රථ2,000ක් ආනයනය කිරීම සදහා ප්‍රවාහන අමාත්‍යාශය
යොමුකළ කැබිනට් පත්‍රිකාවට පසුගිය වසරේදී අනුමැතිය ලැබුනද මේ සම්බන්ධයෙන් කටයුතු කරන විවිධ රාජ්‍ය ආයතනවල ක්‍රියා හේතුවෙන් එය මෙතෙක් සිදුකර ගැනීමට නොහැකි වී තිබේ.

නවීන බස් රථ ගෙන්වීමේ ව්‍යපෘතිය සම්බන්ධයෙන් විවිධ රාජ්‍ය ආයතන ලිපි හුවමාරු කරගනිමින් සිටින අතර, බස් රථ ගෙන්වීමට කඩිනමින් කටයුතු නොකරන බවට ප්‍රවාහන අමාත්‍යාශය තාර ඇමතිවරු චෝදනා කරති. නිලධාරීවාදය හේතුවෙන් මෙම ව්‍යාපෘතිය මෙතෙක් යථාර්ථයක් කරගැනීමට නොහැකි වී ඇතැයි මේ සම්බන්ධයෙන් කළ විමසීමකදී ප්‍රවාහන හා සිවිල් ගුවන් සේවා රාජ්‍ය අමාත්‍ය අශෝක්
අබේසිංහ මහතා පැවසීය. ඒ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ රාජ්‍ය අමාත්‍යවරයා,

"ලංකාවේ බස් කියලා ධාවනය වෙන්නේ ලොරි චැසිවල හදපු වාහන. මේ නිසා අපට අවශ්‍ය වුණා නවීන බස් රථ ගෙන එන්න, නවීන බස් රථ 2,000ක් රටට ගෙන්වීමට අපි සැලසුම් කළා. නමුත් මේ බස් රථ 2,000 ගෙන ඒකට නිලධාරීන් කොපමණ බාධා කරනවද කියලා බාහිර කවුරුත් දන්නේ නැහැ.


මේ යෝජනාව කැබිනට් මණ්ඩලයට මම ඉදිරිපත් කළේ පසුගිය වසරේ ජුනි මාසයේ. කැබිනට් මණ්ඩලයට දාලා ඊට පස්සේ ජාතික ප්‍රතිපත්ති සභාවෙන් අනුමැතිය ගන්න කිවාම ඒකෙ ඉන්න නිලධාරීන් පුදුම වදයක් දෙන්නේ. මේක කරන්න දෙන්නේම නැහැ. මේ වගේ තමයි හැමදෙයක්ම. එතැනින් අවසරය දෙන්නේ නැතිව දිග ලියුම් එවනවා පිළිතුරු යවන්න කියලා. ඒකට පිළිතුරු යැව්වාම තව එකක් එවනවා.

මේ වගේ පිළිතුරු යව යව ඉන්නවා වැඩේ වෙන්නේ නැහැ. නිලධාරිවාදය නිසා වැඩ කරන්න බැහැ. අන්තිමට මමයි, ඇමතිවරයයි තීන්දු කළා මේ නිලධාරීන් කරන වැඩේ ජනතාවට පැහැදිලි කරලා දෙනවා කියලා" යනුවෙන් පවසා සිටියේය.  ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය සදහා වායුසමනය කළ සුඛෝපභෝගී නවීන බස් රථ ‍09ක් පසුගියදා ලබාදුන් අතර, කින්ග් ලෝන්ග් (Kingdong) නමැති එම සුඛෝපභෝගී නවීන බස් රථ නවය චීනයේ Xiamen Kinglong United Automotive Industry සමාගමෙන් ඇණවුම් කර තිබිණි.

එම එක් බස් රථයක වටිනාකම රුපියල් මිලියන 17.1කි. මීට පෙර ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලයට ගෙන් වූයේ ලොරි චැසි යොදාගෙන සකස් කළ බස් රථ වන අතර, පොදු ප්‍රචාහන සේවාවක් ලෙස ශ්‍රී ලංගම ඉදිරියට ගෙන යැමට නම්, එම ලොරි  චැසි බස් රථ වෙනුවට සුඛෝපභෝගී වායුසමනය කළ නවීන බස් රථ අතවශ්‍ය බව සඳහන් කරමින් සුඛෝපභෝගී බස් රථ ආනයනය කිරීමේ ව්‍යාපෘතිය  ප්‍රවාහන අමාත්‍යාංශය ආරම්භ කළේය.

-චාමර සම්පත්-

ජාතික පාසල් ගුරුවරුන් 162 කගේ ළමයි එම පාසල්වලටම.







දිවයිනේ ජාතික පාසල්වල සේවය කරන ගුරුවරුන්ගේ දරුවන් 162 දෙනකු එම ගුරුවරුන් සේවය කරන පාසලටම ඇතුළත් කිරීම සඳහා ලිපි පිරීනැමීම ඊයේ  (29) සිදු කෙරිණි.

උතුරු පළාත් ජාතික පාසල් ගුරුවරුන් හැර අනෙකුත් පළාත්වල  ගුරුවරුන් 153කගේ දරුවන් වෙනුවෙන් එම ලිපි නිකුත් කෙරිණ.

ජාතික පාසලක වසර තුනක සේවා කාලයක් සම්පූර්ණ කළ සියලු ගුරුවරුන්ට කමා සේවය කරන පාසලටම තම දරුවන් ඇතුළත් කර ගැනීමත් අවස්ථාව ලබාදීමට අධ්‍යාපන ඇමැතිවරයා තීරණය කර තිබුණි.

ඒ අනුව සුදුසුකම් සපුරන තිබූ ගුරුවරුන්ගේ දරුවන්ට සිය මවුපියන් සේමය කරන පාසලට ඇතුළත්වීමේ
අවස්ථාව ලබාදීම ප්‍රථම වරට ඊයේ (29)  සිදු කෙරිණ.

සුදුසුකම් සපුරන ගුරුවරයා සිටින  පාසල බාලක හෝ බාලිකා වන අවස්ථාවේදි තම දරුවා ඒ හේතුව නිසා ඇතුළත් කර ගැනීමට ගැටලුවක් වන විට එම ගුරුවරයා සේවය කරන පාසලට  අසන්නතම ජාතික පාසලට ඇතුළත් වීමච අවස්ථා සලසා දී තිබේ.

මීට අමතරව 1, 5 සහ 6 ශ්‍රේණිය හැර අමනකුත් අතරමැදි ශ්‍රේණි සඳහා ජාතික පාසල පවත්නා පුරප්පාඩු
පුවත්පත් දැන්වීම් මගින් ප්‍රසිද්ධ කර විනිවිදභාවයකින් යුතුව දරුවන් ඇතුළත්  කිරිමට ද අධ්‍යාපන අමාත්‍යාංශය පියවර
ගෙන තිබේ.

-රංජන් කස්තුරි-

කැරම් හා දාම් බෝඩ් 2500ක් ගෙන්වා බෙදාහැර රජයට මිලියන 53ක පාඩුවක් කළැයි චෝදනා ලැබු මහින්දානන්ද අලුත්ගමගේ ඇත්ළු දෙදෙනාට ඇප



පසුගිය ජනාධිපතිවරණය සමයේ ක්‍රීඩා සමාජ වෙත බෙදාදීම සඳහා කැරම් බෝඩ් සහ දාම් බෝඩ් 25,000කට ආසන්න සංඛ්‍යාවක් සතොස ආයතනය හරහා ආනයනය කිරීම තුළින් රජයට රුපියල් මිලියන 53ක පාඩුවක් සිදුකළේ යැයි චෝදනා කරමින් හිටපු ක්‍රීඩා ඇමැති සහ ඒකාබද්ධ විපක්ෂයේ පාර්ලිමේන්තු  මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ සහ සතොස ආයතනයේ හිටපු සභාපති නලීන් ප්‍රනාන්දු යන  මහත්වරුන්ට අධි චෝදනා භාරදීමෙන් අනතුරුව ඔවුන් ඇප මත මුදා හරින ලෙස කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණය (අංක2) විසින් නියෝග කළේය.

ආර්. ගුරුසිංහ, ශෂී මහේන්ද්‍රන් අමල් රණරාජා යන මහත්වරුන්ගෙන් සමන්විත ත්‍රිපුද්ගල  විශේෂ මහාධිකරණය හමුවේ මෙම අධිචෝදන පත්‍ර භාරදීම සිදුය. මෙම නඩු විභාගය දැක බලාගැනීම සඳහා ඒකාබද්ධ විපක්ෂ නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්35දෙනකු පමණ අධිකරණ ශාලාවට පැමිණ සිටීම කැපීපෙනෙන  සිද්ධියක් විය.

අධි චෝදනා පත්‍ර භාර භාරදීමේන් පසුව විත්තිකරුවන් රුපියල් ලක්ෂය බැගින් වූ මුදල් ඇප සහ රුපියල් ලක්ෂ 10ක් බැගින් වූ ශරීර  ඇප දෙකක් මත මුදාහරින ලෙස නියම කළ  ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණ විනිසුරු මඬුල්ල  විත්තිකරුවන්ගේ ඇඟිලි සලකුණු ලබාගෙන වර්තාවක් කැඳවන ලෙසටද නියෝග කෙරිණි. නඩුවට අදාළ ලේඛන විත්තිය වෙත නිසි පරිදි ලැබී තිබේද යන්න පරීක්ෂා කිරීම සඳහා නඩුව නැවත අගෝස්තු මස 2වැනිදා කැඳවන ලෙසද නියෝග කෙරිණි.

මෙහි පැමිණිල්ල වෙනුවෙන් අල්ලස් කොමිසමේ සොලිස්ටර් ජනරාල් අයේෂා ජීනසේන මහත්මිය පෙනී සිටියාය. විත්තිකාර මහින්දානන්ද අලුත්ගමගේ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ නලින් ලද්දුවහෙට්ටි මහතා ප්‍රමුඛ නීතිඥ මණ්ඩලයක් පෙනී සිටි අතර  විත්තිකාර නලීන් ප්‍රනාන්දු මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ අනිල් සිල්වා මහතා පෙනී සිටියේය.

-කේ.එස්.උදයකුමාර්-

තිස්සගේ දේශපාලන ව්‍යාපාරයේ ඇරඹුමට අමරවීර,විජයදාස, අතාවුද,දුමින්ද, රණවිර එති



2020 වසරේදී රටේ නායකයා පත් කර  ගැනීම වෙනුවෙන් ඒක්සත් ජාතික පක්‍ෂයේ  හිටපු මහලේකම් තිස්ස අත්තනායක  මහතා ඇතුළු දේශපාලන පක්‍ෂ නායකයන්  පිරිසක් එක්ව 'පරමාදර්ශී දේශපාලනයක් සදහා වූ ජාතික ව්‍යාපාරය' නමින් දේශපාලන වැඩපිළිවෙළක් හඳුන්වාදීම කොළඹ නවනගර ශාලාවේදී ඊයේ (29දා) සචස සිදුකෙරුණි.  පවතින දේශපාලන අරාජිකත්වයට විසදුමක් ලෙස දේශපාලන පක්‍ෂ සියල්ල එකතු කර, රට දියුණු කළ හැකි වැඩපිළිවෙළක් හදුන්වාදීම සඳහා නව දේශපාලන සංවිධානය පිහිටු වූ බව පරමාදර්ශී දේශපාලනයක් සඳහා වූ ජාතික ව්‍යාපාරයේ කැඳවුම්කරු රංජිත්  පීරිස් මහතා පැවසීය.

මෙම වැඩපිළිවෙළ දිනවීම සඳහා දමිළ එක්සත් විමුක්ති පෙරමුණ ඇතුළු දේශපාලන පක්‍ෂ 17ක් හා සිවිල් සංවිධාන ගණනාවක් එක්ව සිටින බවද හෙතෙම ප්‍රකාශ කයිය. මෙම අවස්ථාවට එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම් මහින්ද අමරවීර, ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂයේ ජාතික සංවිධායක දුමින්ද දිසානායක, හිටපු අමාත්‍යවරුන් වන විජයදාස රාජපක්ෂ, අතාවුද සෙනෙවිරත්න, ජයතිස්ස රණවීර යන මහත්වරුන් ඇතුළු පිසක් එක්ව සිටියහ. එහිදී සිය අදහස් දැක්වූ තිස්ස අත්තනායක මහතා පවසා සිටියේ,
               

"ජනතාවට දේශපාලනය හා දේශපාලන නායකයන් එපා වෙලා තියෙන්නේ. ඒ නිසා සමාජය දැනුවත් කිරීමේ නව දේශපාලන වැඩසටහනක් මෙසේ ආරම්භ කළා. නායකයන් අවශ්‍ය රටේ ජනතාව බලාගන්න පමණයි. නිදහසට කරුණු කියන නායකයන්ට මින්පසු රටේ ඉඩක් නැහැ, ඊළඟ ජනාධිපතිවරණය තීරණාත්මකයි, අපි බිහි කරන්න හදන රාජ්‍ය නායකයාට ජාතික වගකීමක් ඉටු කරන්න තිබෙනවා. ජනාධිපතිවරයා, අගමැතිවරයා, මැති‍ ඇමතිවරුන්ගේ ව්‍යවස්ථානූකුලව අද හරියට වැඩ කර නැති නිසා ජනතාව විවේචනය කරන එක සාධාරණයි.

ඉදිරි මැතිවරණය සාම්ප‍්‍රදායික දේශපාලන පක්‍ෂවලට තනියෙන් ජයගන්න  අමාරුයි. එය පවුල් සන්ධානවලටත්  පහසුවෙන්නේ නෑ. පාවෙන ඡන්ද ප්‍රමාණය සාම්ප්‍රදායික පක්‍ෂවල ඡන්ද ප්‍රමාණයට වඩා වැඩි බැවින් සියලු නායකයන් කල්පනාවෙන් වැඩ කළ යුතුයි" යනුවෙනි.  එසේම එක්සත් ජනතා නිදහස් සන්ධාන මහලේකම් මහින්ද අමරවීර මහතා එහිදී සිය අදහස් දක්වමින් පවසා සිටියේ,

"දවසින් දවස ජනාධිපති අපේක්‍ෂකයන්  බිහිවුවත් ජනතාවට ඔවුන් ගැන  විශ්වාසයක් ගොඩනැගී නැහැ. ඒ නිසා  සියලු දේශපාලන පක්‍ෂ නායකයන් එක වේදිකාවකට ගෙනවිත් ජනතාව දිනවිය  හැකි වැඩපිළිවෙළක් හඳුන්වාදීම සුදුසුයි. මේ රට විනාශ වීම සදහා එක හේතුවක් තමයි විධායක ජනාධිපති ක්‍රමය. විධායක ජනාධිපති ධුරය අහෝසි කිරීම නිසා රට බෙදෙන බව කීම බොරුවක්. දැන් රටේ යුද්ධයක් නැහැ. යුද්ධයකට මුහුණ දීමට පෙර ජිවින යුද්ධය ජයගත යුතුයි.

ආයුධ ගන්න පෙර ජනතාවට ආහාර තිබිය යුතුයි. විධායක ජනාධිපති ධුරය නිසා රට ණය බරින් වැඩි වුණා. විධායක ජනාධිපති ධුරය නිසා රටට මත්ද්‍රව්‍ය, පාතාලය පැමිණියා. ඒ නිසා රට ගැන සිතා විධායක ජනපති ධුරය ආහෝසි කළ යුතුයි. මේ සැරේ කාටවත් තනියෙන් ඉල්ලලා ජයගත්න ලේසි වෙන්නේ නෑ.
එකතුවෙලත් දිනන්න පුළුවන්ද කියන ප්‍රශ්නය තිබෙනවා. කෙසේ වෙතත් පසුගිය කෙටි කාල සීමාව තුළ ජනාධිපතිවරයා ඇතුළු ඕනෑම නායකයෙක් විවේචනය කරන්න, රැස්වෙන්න, චෝදනා ඉදිරිපත් කරන්න ලැබීම ගැන සතුටු වෙනවා, අද ජනතාවට වෙනදාට චඩා නිදහස තිබෙනවා" යනුවෙනි.

එහිදී සිය අදහස් පළ කළ පාර්ලිමේන්තු මන්ත්‍රී විජයදාස රාජපක්‍ෂ මහතා, "අද දේපාලනඥයන් අප්‍රසන්න සත්ත්ව කොට්ඨාසයක් වෙලා. නිර්පාක්ෂික ලෙස කටයුතු කරන බව පවසමින් පැමිණි මෛත්‍රීපාල සිරිසේන මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හා එක්සත් ජනතා නිදහස් සන්ධානයේ නායකත්වය භාර ගැනීම නිසා නිර්පාක්ෂිකභාවය නැති වුණා. 2020ට නායකයෙකු තේරීමට පෙර රටක් ඉතුරුවේවිද කියා සැකයි.

පාලකයන්ගේ කොන්දෙන් වැඩක් නැහැ. මොළයෙන් වැඩ කළ යුතුයි. කොන්ද ගැන කතා කරලා වැඩක් නැහැ. රට දියුණු කරන චරිතය අපට වැඩක් නැහැ. ප්‍රතිපත්තියක්, නීතියක් තිබීමයි වැදගත් වෙන්නේ,
අද ප්‍රතිපත්ති දේශපාලනය යට ගිහින් ජාතිවාදී දේශපාලනය හිස ඔසවමින් තිබෙනවා. අපට අහවලාගේ අහවලා රටේ නායකයා කරන්නෙ උවමනා නැහැ. අහවල්  දේශපාලන පක්‍ෂය පත් කරන්න අවශ්‍ය නැහැ. නීතියේ ආධිපත්‍යය ගොඩනැගිය හැකි අයෙකු 2020දී රට භාරගත යුතුයි "  යනුවෙන් පවසා සිටීයේය.


-අමීත් මධුරංග-

ඇමතිගේ ඡායාරූපය පෙළපොතට දැමීම ගැන ජනපති කොමිසමට පැමිණිළි කළ අධ්‍යක්ෂකට මාරුවක්.






පාසල් පෙළපොත්වලට අමතර වියදමක් දරමින් අධ්‍යාපන අමාත්‍යවරයාගේ ඡායාරූපයක් පළකිරීම පිළිබඳ විශේෂ ජනාධිපති කොමිසමට පැමිණිලි කළ සැපයුම් අධ්‍යක්‍ෂවරයාට නීතිවිරෝධී ස්ථාන මාරුවමක් ලබාදී තිබෙන බව ලංකා ගුරු සංගමය සඳහන් කරයි.

 මේ පිළිබද ඊයේ (29) රජයේ වංචා, දූෂණ සොයන විශේෂ ජනාධිපති කොමිසමට පැමිණිලි කළ බවත්, මෙම ස්ථාන මාරුවීම අවලංගු නොකළහොත් අධ්‍යාපන පරිපාලන සේවා නිලධාරින් ඒකාබද්ධ කරගෙන වෘත්තීය ක්‍රියාමාර්ග ගන්නා බවත් එම සංගමයේ ලේකම් ජෝසප් ස්ටාර්ලින් මහතා සඳහන් කළේය.

සැපයුම් අධ්‍යක්‍ෂවරයා ලෙස කටයුතු කළ අදාළ නිලධාරීයා අධ්‍යාපන පරිපාලන පළමු පන්තියේ නිලධාරියකු බවත්, ඔහු මේ වනවිට කාර්යභාරයක් නොමැති නිලධාරියෙකු බවට පත්කර තිබෙන බවත් හෙතෙම පවසා සිටියේය.

අධ්‍යාපන අමාත්‍යවරයා තම නිරවද්‍යතාවය තහවුරු නොකර නිලධාරීන් දඩයම් කිරීමේ පිළිවෙතක නිරත වන බවත්, අධ්‍යාපනය තුළ සිදු වූ වංචා, දූෂණ පිළිබඳ සාක්ෂි ලබාදෙන නිලධාරින් දඩයම් කිරීම හරහා ගැටලු රැසක් නිර්මාණය වන බවත් ලේකම්වරයා පැවසීය.

මේ හේතුවෙන් වහාම අදාළ නිලධාරියාගේ ස්ථාන මාරුව අවලංගු කිරීමට අධ්‍යාපන ලේකම්වරයා කටයුතු කළ යුතු බවත්, එම ස්ථාන මාරු ලබාදී තිබෙනුයේ අධ්‍යාපන ලේකම්වරයා විසින් බවත් ජෝසප් ස්ටාර්ලින් මහතා සඳහන් කළේය.

-එච්.අයි. තුෂාර-

තාත්තාට බැරි උනාට මම කොහොමහරි උඩරටින් ජනාධිපති වෙනවා-ඇමති නවීන් දිසානායක




මේතාක් කලක් උඩරටින් ජනාධිපතිවරයක් ෙ බිහිගවලා නැහැ.උඩරටින් බිහිවන්න සිටි ජනාධිපති මගේ තාත්තා ගාමිණී දිසානායක මහතායි. ඒ සිහිනය සැබෑ කර ගන්න මමත් උත්සාහ කරනවා යැයි වැවිලි කර්මාන්ත අමාත්‍ය නවීන් දිසානායක මහතා පැවසීය.

කොත්මලේ නියම්ගම්දොර විහාරස්ථානයේ පැවැති උත්සවයක් අමතමින් නවීන් දිසානායක මහතා මෙසේද කීය.

එක්සත් ජාතික පක්ෂයට වැඩිපුරම ඡන්දය තියෙන්නේ උඩරටයි. හැබැයි උඩරටින් ඡන්දය අරගෙන පහත රට ජනාධිපතිවරුන් තමයි මෙතෙක් බිහි වුනේ. ඇතැම් ජනාධිපතිවරු උඩරට දිහා බැලුවේ නැහැ. මගේ තාත්තාට උඩරටින් ජනාධිපති වෙන්න තිබුණා. ඒක බැරිවුණා. ඒ
සිහිනය සැබෑ කර ගත්ත මම උත්සාහ කරනවා හැබැයි ඉතින් ඒකට තව අවුරුදු දහයක්වත් ගතවේවි.

කොත්මලේ නියම්දොර  විහාරස්ථානයේදී කුඩා තේවතු හිමියන්ට පාංශු රක්ෂණය සඳහා ආධාර ලබාදීමේ උත්සවය පැවැති අතර එහිදී එක් කුඩා තේ වතු හිමියකුට රුපියල් 10,000 බැගින් දහසකට එම ආධාර පිරිනැමිණි.

-රංජන් කස්තුරි-

Monday, July 29, 2019

පාස්කු ප්‍රහාරයෙන් පසුව රට තුළ වෛරී ප්‍රකාශන ඉදිරිපත් කිරීම වැඩි වෙලා- එ.ජා විශේෂ නියෝජිත න්‍යාලෙට්සොසි වුලි


පාස්කු ඉරුදින ප්‍රහාරයෙන් පසුව රට තුළ වෛරී ප්‍රකාශන ඉදිරිපත් කිරීම වැඩි වී ඇති බවත්, සමාජ මාධ්‍ය හරහා එය තවදුරටත් තීව්‍ර වී ඇති බවත් ශ්‍රී ලංකාවට පැමිණි එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිත (සාමකාමීව රැස්වීම් සහ සංගම් පැවැත්වීම් නිදහසට ඇති අයිතිය පිළිබඳව) න්‍යාලෙට්සොසි වුලි (Clement Nyaletsossi Voule ) පැවසීය.

රට තුළ සාමකාමීව රැස්වීමේ නිදහස සහ සංගමයේ අයිතීන් ක්‍රියාත්මක වන ආකාරය සම්බන්ධයෙන් නිරීක්‍ෂණය කිරීමේ අරමුණෙන් ශ්‍රී ලංකාවට පැමිණි වුලි මහතා ඔහුගේ සංචාරය නිමා කිරීමෙන් පසුව මාධ්‍ය අමතමින් මේ බව සඳහන් කළේය.

කොළඹ පිහිටි එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා කාර්යාලයේදී මෙම මාධ්‍ය හමුව පැවැත්විණි.

වෛරී ප්‍රකාශන වැඩි වීමට ඉඩහැර තිබීම සම්බන්ධයෙන් තම කණස්සල්ල පළ කරන බව පැවසු ක්ලෙමන්ට් වුලි මහතා මෙලෙස සිය අදහස් දැක්වීය.

"අයි.සි.සී.පී.ආර්. පනත යටතේ වෛරී භාෂණය වැළැක්වීමේ නීතිය පවතින නමුත්, ඒවා සමානව, වෙනස් කර සැලකීමෙන් තොරව යෙදෙන්නේ නැත.

විශේෂයෙන්ම බහුතර ප්‍රජාවේ සාමාජිකයන්ගේ ප්‍රචණ්ඩ කතාවන්ට නිරන්තරයෙන්ම පාහේ දඩුවමක් කෙරෙන්නේ නැත. වෛරී ගිනි දැල් ඇවිලවීමට සහ සාවද්‍ය ප්‍රවෘත්ති
 පතුරුවා හැරීමට සමාජ මාධ්‍ය යොදාගැනීමෙන් මෙය තවදුරටත් තීව්‍ර වී තිබෙනවා. මෙය ඕනෑම නියෝජනාත්මක ප්‍රජාතන්ත්‍රවාදයකට අත්‍යවශ්‍ය ලක්ෂණයක් වූ සමාජයේ සියලු අංශ අතර ගෞරවාන්විත සහ සාමකාමී සංවාදයක් පැවැත්වීමට බරපතළ තර්ජනයක්."

එසේම රාජ්‍ය නොවන සංවිධාන නියාමනය කිරීමේ නීති සහ ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත, ඒකාබද්ධ සේවා නියුක්ති කෙටුම්පත ආදිය සකස් කිරීම ඇතුළත් කර ඇති වගන්ති සම්බන්ධයෙන් සිවිල් සමාජයේ දැඩි විරෝධය එල්ල වී ඇති බවද ඒ මහතා සඳහන් කළේය.

මෙම විරෝධතා හේතුවෙන් අදාළ පනත් කෙටුම්පත් ඉවත් කරගෙන ඒ වෙනුවට සිවිල් සමාජය සමග සාකච්ඡා කොට කෙටුම්පතක් සකස්කර ගැනීමට අවස්ථාව ලබාදෙන ලෙස අදාළ අමාත්‍යවරුන්ගෙන් ඉල්ලා සිටින බවද වුලි මහතා පැවසීය.

හමුදා කෝප්‍රල් ගසක එල්ලී සියදිවි නසාගෙනද?

කතරගම තිස්සමහාරාම මාර්ගයේ කාවන්තිස්සපුර යුද හමුදා කඳවුරට අනුයුක්ත කෝප්‍රල්වරයකු කඳවුර පිටුපස මයිල ගසක එල්ලී සිටියදී පෙරේදා (27) උදෑසන 5.45ට පමණ සොයාගෙන ඇති බවට තිස්සමහාරාම පොලිසිය වෙත පැමිණිල්ලක් ලැබී තිබේ.

මෙසේ මියගොස් ඇත්තේ අම්පාර මහඔය ප්‍රදේශයේ පදිංචි ඒ.එම්.පී. පේමතිලක නමැති 36 හැවිරිදි අයෙකි.

තුන්වන ජාතික ආරක්ෂක බලමුළුවට අයත් මෙම කෝප්‍රල්වරයා කාවන්තිස්සපුර යුද හමුදා කඳවුරේ සේවය  කර ඇති බවත්, අදාළ මරණ පරීක්‍ෂණ කටයුතු පවත්වා මේ පිළිබදව පුළුල් පරීක්‍ෂණයක් පවත්වන බවත් තිසමහාරාම පොලිසිය කියයි.

(කතරගම එම්.කේ. නන්දසේන)

බල්ලාට ගැසූ බව කියමින් තරුණයින් දෙදෙනෙක් විසින් පුද්ගලයෙකුට මියයනතුරු පහර දීලා.






අසල නිවෙසක ඇතිදැඩි කළ බල්ලෙකු පාරේ යමින් සිටි අයෙකු සපා කෑමට පැමිණි අවස්ථාවේ නිවැසියන් හා පාරේ යමින් සිටි අය අතර ඇතිවූ බහින්බස් වීමක් පහරදීමක් දක්වා දුරදිග යාමෙන් පාරේ ගමන් කළ අය මරණයට පත්වීමේ පුවතක් සම්බන්ධයෙන් පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.

මරණයට පත්වී ඇත්තේ පොල්ගහවෙල කැන්දගොල්ලවත්තේ පදිංචි එල්. ආරියවංශ නමැති එක්දරු පියෙකි. ඔහු තම බිරිද හා දියණිය සමග හිතවතෙකුගේ නිවසට ගොස් ආපසු එමින් සිටියදී මෙම සිද්ධිය වී තිබේ.

 බල්ලා සපා කෑමට පැමිණි අවස්ථාවේ ඔහු ගල් කැටයක් ගෙන බල්ලා එළවා දමන විට නිවසේ සිටි තරුණයන් දෙදෙනකු ඔහුට බැණ වැදි ඇත. ආරවුල දුරදිග ගොස් තරුණයන් දෙදෙනා පාර් ගිය අයට අතින් පයින් හා පොලු වලින් පහර දි තිබේ. පහර කා බරපතළ තුවාල ලද අය පොල්ගහවෙල රෝහලටත් එයින් පසු කරුණෑගල රෝහලටත් ඇතුළත් කළ පසු ඔහු රෝහලේදී මියගොස් ඇත.

මරණය පිළිබඳ සැකපිට පොල්ගහවෙල කොස්වත්ත පුහුරියේ තරුණයෝ දෙදෙනෙක් පොල්ගහවෙල පොලීසීය මගින් අත්අඩංගුවට ගනු ලැබූහ. ඉන් එක් අයෙකු යුද හමුදා සෙබළෙකු බව පැවසේ. සැකකරුවන් පොල්ගහවෙල මහේස්ත්‍රාත් නෙළුම් ප්‍රියදර්ශනී මහත්මිය වෙත ඉදිරිපත් කිරීමෙන් පසු රක්ෂිත බන්ධනාගාරගත කිරීමට නියම විය.
(ජේ.ඒ. විජේසිංහ)

කෝටිපතියාගේ සාක්කුවේ තිබූ මැණික් ටිකට බස් එකේදි විදලා



කෝටිපති මැණික් ව්‍යාපාරිකයකු සතුව තිබූ රුපියල් කෝටියකට ආසන්න මැණික් තොගයක් සොරා ගත් පුද්ගලයකු පැය හයක පමණ කාලයකදී වැල්ලවත්තේදි අත්අඩංගුවට ගත් බව බම්බලපිටිය පොලිසිය කියයි. පුෂ්පරාග, ගෙවුඩ, නිල් හා රතු ආදී මැණික් වර්ග රැසක් සොරාගත් මැණික් ගල් දහනවය අතර තිබූ බව පොලිසිය කියයි. බේරුවල පදිංචි මැණික් ව්‍යාපාරිකයා එම ප්‍රදේශයේ මැණික් ව්‍යාපාරිකයන්ගෙන් ලබා ගන්නා මැණික් කොළඹ ගෙනැවිත් විකිණීම කලක සිට කරගෙන ගොස් තිබූ බව පොලිසිය කියයි.

ඉකුත් 26 වැනිදා ව්‍යාපාරිකයා එම මැණික් ගල් තොගය හා රුපියල් එක් ලක්ෂ තිස්දහසක් පමණ වටිනා චෙක්පතක්ද රැගෙන ඔහුගේ පුත්‍රයා සමහ දෙහිවල දක්වා මෝටර් රථයකින් පැමිණි අතර පුත්‍රයා වෙනත් අවශ්‍යතාවක් සඳහා පිටවී යෑමෙන් අනතුරුව ව්‍යාපාරිකයා දෙහිවල පල්ලියකට ගොස් ආගමික වතාවත්වල නිරත වී කොළඹ බලා යෑම සඳහා බස් රථයකට ගොඩ වී අසුන් ගෙන ඇතැයි පොලිසිය කියයි.

වැල්ලවත්තට පැමිණ කලිසම් සාක්කුව පරික්ෂා කිරීමේදී එහි තිබූ මැණික් ගල් අඩංගු කර තිබූ බෑගය නොමැති බව දැක ඇතැයි පොලිසිය කියයි. ඒ සමඟම බම්බලපිටිය පොලිසිය වෙත ගිය ව්‍යාපාරිකයා, තමන් දෙහිවලින් බස් රථයකට කොළඹ බලා යෑමට ගොඩ වූ බවත් වැල්ලවත්ත බස් රථය පැමිණෙන විට විනාඩි දහයක්වත් ගත නොවූ බවත්, එම කාලය තුළදී කලිසම් සාක්කුවේ තිබූ රුපියල් කෝටියක් පමණ වටිනා මැණික් ගල් තොගය කිසියම් අයකු සොරාගෙන ඇති බවට පැමිණිල්ලක් කළ බව පොලිසිය කියයි.

ලද පැමිණිල්ල අනුව වහා ක්‍රියාත්මක වූ බම්බලපිටිය පොලිසියේ අපරාධ අංශයේ ස්ථානාධිපති පොලිස් පරික්ෂක අජිත් මෙත්තානන්ද මහතා මෙවැනි ආකාරයට බස් රථවල ගමන් ගන්නා මගීන්ගේ මුදල් පසුම්බි හා වටිනා දේපළ සොරා ගන්නා ලද හඳුනාගත් සැකකරුවන්ගේ ඡායාරූප හා පූර්ණ විස්තර ලේඛනයේ සඳහන් ඡායාරූප පෙන්වීමෙන් පසු පැමිණිලිකරු විසින් හඳුනාගන්නා ලද සැකකරුවකු සම්බන්ධයෙන් විමර්ශන කර එම පුද්ගලයා වැල්ලවත්ත සිනමාහලක් අසලදී සොරාගත් මැණික් ගල් තොගයද සමග අත්අඩංගුවට ගත් බව පොලිසිය කියයි.

අත් අඩංගුවට ගත් එම පුද්ගලයා දිවයිනේ ලියාපදිංචි අපරාධකරුවකු බවත් මේ ආකාරයේ සොරකම් රැසකට චෝදනා ලැබූවකු බවත් පොලිස් නිලධාරියෙක් පැවැසීය. වයස අවුරුදු 46ක් වන සැකකරු පානදුර, සංඝානන්ද මාවත, වත්තල්පොල පදිංචිකරුවකු බව පොලිසිය කියයි.

-එම්.සී.පෙරේරා-

ඇතැම් දේශපාලකයෝ මාධ්‍යවේදීන්ගේ කැමරා කුඩු කරා-මමයි එයාලා වෙනුවෙන් හිටියේ-විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ






 මාධ්‍යවේදීන් නැතුවම බැරිවුණු ඇතැම් දේශපාලනඥයන් ඔවුන්ගේ කැමරා කුඩු කළ අවස්ථා අපි ඉතිහාසයේ දැක තිබෙනවා යැයි විපක්ෂ නායක, හිටපු ජධිපති මහින්ද රාජපක්ෂ  ඉකුත් 26 වැනිදා පැවසීය.  රාජපක්ෂ මහතා මෙසේ පැවසුවේ ඡායාරූප මාධ්‍යවේදින්ගේ සංගමය සංවිධානය කළ ඡායාරූප ප්‍රදර්ශනය විවෘත කිරීමේ හා ජයග්‍රාහකයින්ට ත්‍යාග හා සහතික පත් පිරිනැමීමේ අවස්ථාවට එක්වෙමිනි.

 එහිදී හොඳම ඡායාරූප ශිල්පියාට හිමි රන් සම්මානය ලංකාදීප ඡායාරූප ශිල්පී ලහිරු හර්ෂණටන්. දෙවැනි ස්ථානය සී/ස එක්සත් ප්‍රවෘත්ති පත්‍ර සමාගමේ රුක්මාල් ගමගේටන්,තෙවැනි ස්ථානය ඩේලි එෆ්.ටී. පුවත්පතේ චමිල කරුණාරත්නටත් හිමි වූ අතර එම සමාන හා සහතික පත් කනානායක කරු ජයසූරිය මහතා අතින් පිරිනමනු ලැබිණි.

ජනමාධ්‍ය ක්ෂේත්‍රයට විශාල සේවයක් කළ හිටපු ඡායාරූප මාධ්‍යවේදින් අට දෙනෙකුට උපහාර පිදීමද මෙහිදී සිදු කෙරිණි. ඒ අනුව සේන විදානගමගේ, වොල්ටර් පෙරේරා, චිත්‍රානන්ද, ඇල්ප්‍රඩ් සිල්වා, ශ්‍රීලාල් ගෝමස්, බන්දු කොඩිකාර, සරණපාල පමුණුව, යූ.එන්. පෙරේරා යන මහත්වරුන්ට උපහාර තිළිණ ප්‍රදානය කිරිම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ අතින් සිදු කෙරිණ.

එහිදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, විපක්ෂ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ හා කනානායක කරු ජයසූරිය මහත්වරුන්ටද ඡායාරූප මාධ්‍යවේදීන්ගේ සංගමය සමරු තිළිණයක් පිරිනැමීය.

එහිදී තවදුරටත් අදහස් දැක්වු රාජපක්ෂ මහතා

"එදා ඔබ නැතුවම බැරි වුණා. ඔබ ඉන්නවාද කියලා අහලා රැස්වීම්වලට සම්බන්ධ වුණ ඇතැම් දේශපාලනඥයෙක්  ඔබගේ කැමරා කුඩු කරපු ආකාරය මට මතකයි. එවැනි අවස්ථාවක ප්‍රතිඵලයක් ලෙස තමයි මේ සංවිධානය බිහිවුණේ කියලා මම හිතනවා. 1990 දී පමණ සිදුවුණ ඒ සිද්ධිය වන අවස්ථාවේ මම කම්කරු ඇමති.




එදා විපක්ෂයේද ආණ්ඩු පක්ෂයේද කියලා හිතන්නේ නැතිව මම එදා පහරදීමට ලක්වුණු ඔබ වෙනුවෙන් පෙනී සිටියා. කැමරා කුඩු වුණ අයට කැමරා අරන් දෙන්න වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කළා.

ඒ කාලේ මට චෝදනාවකුත් එල්ල වුණා රනිල්ට කඩේ යනවා කියලා. හැබැයි මම විතරක් නෙවෙයි තවත් පිරිසක් සිටියා එදා ඔබ වෙනුවෙන් පෙනී සිටින්න.  ඡායාරූප මාධ්‍යවේදින්ට දැන් තමන්ගේ  ශිල්පීය හැකියාවන් දියුණු කරගන්න වැඩිපුර හදාරන්න අවස්ථාවක් නැහැ.

ඒ අවස්ථාව සලසා දීම අපේ යුතුකමක්.  ලංකාවේදී බැරි නම් විදේශ ගතවෙලා හෝ ඔවුන්ගේ වෘත්තීමය හැකියාවන් දියුණු කරගන්න අවස්ථාව සලසා දිම වගේම සලසා ගැනීම ඔබේ වගකීමක් ලෙස මා දකිනවා.

(මුදිතා දයානන්ද)

කාලගුණය නිසා හානි වූ විදුලිය ගොඩනගන්න රු.මිලියන 84ක්



පසුගිය දිනවල ඇති වූ ස්වභාවික විපත් හේතුවෙන් අඩාල වූ දකුණු පළාතේ විදුලි සැපයුම ඉතා කෙටි කාලසීමාවකින් යථා තත්වයට පත්කිරීමට හැකි වූ බවත් ඒ සඳහා රුපියල් මිලියන 84ක මුදලක් වැය වූ බවත් විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවි කරුණානායක මහතා පැවසීය. පසුගියදා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශ පරිශ‍්‍රයේදී දකුණු පළාත් නියෝජ්‍ය සාමාන්‍යධිකාරි ඇතුළු අදාළ නිලධාරින් හමු වූ අවස්ථාවේදී අමාත්‍යවරයා මේ බව පැවසීය.

අයහපත් දේශගුණික තත්වයන් හමුවේ හානියට පත් නිවාස 174,000කට පමණ දින 5ක් වැනි ඉතාම කෙටි කාලසීමාවක් තුළ විදුලිය යථා තත්වයට පත්කිරීමට ලංකා විදුලිබල මණ්ඩලයේ දකුණු පළාත් භාර නියෝජ්‍ය සාමාන්‍යාධිකාරිවරයා ප්‍රමුඛ සේවක පිරිසට හැකි වීම ඉතාමත් ප්‍රශංසනීය කරුණක් බව අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

-තියේෂා ද සිල්වා-

මහනුවර කසළ කොරියාවට අලෙවි කෙරේ



මහනුවර ගොහාගොඩ පිහිටි තේක්කවත්ත කසළ අංගණයෙහි  කසල තොග කොරියාවට අලෙවි කිරීමට පියවර ගෙන තිබේ. මේ වන විට එම අංගණයෙහි කසළ සාම්පල පරික්ෂාව සඳහා කොරියාව වෙත යවා ඇති අතර ඒ සම්බන්ධ විධිමත් සාකච්ඡා මේ වන විට සිදුවෙමින් පවතින බවත් ඉදිරි මාස දෙක තුළ මෙම කසළ එරටට අලෙවි කිරීමට හැකිවන බවත් මධ්‍යම පළාත් ආණ්ඩුකාර මෛත්‍රී ගුණරත්න මහතා පැවසීය.

කසල ටොන් මිලියන 1.5ක පමණ ප‍්‍රමාණයක් මෙම අංගණයෙහි ඇති අතර දිනකට මහනුවර මහනගර සභාවේ හා හාරිස්පත්තුව ප්‍රාදේශීය සභාවේ කසළ ටොන් 120 – 140ත් අතර ප්‍රමාණයක් මෙම අංගණයට එක් වේ. ඒ අනුව කසළ කිලෝවක් රුපියල් 2.50 -300 අතර මුදලකට අලෙවි කිරීමට හැකි වනු ඇතැයි මෛත්‍රී ගුණරත්න මහතා පැවසීය.

-ඉන්දික පොල්කොටුව-

සීගිරියට එන සංචාරකයින් 70%කින් ඉහළට



පාස්කු ප්‍රහාරයෙන් පසු සිගිරිය නැරඹීම සඳහා විදේශීය සංචාරකයන්ගේ පැමිණීම සියයට 70කින්  මේ වන විටත් වර්ධනය වී තිබේ.  මේ දිනවල වැඩි වශයෙන් සීගිරිය නැරඹීම සඳහා බටහිර රටවල සංචාරකයන් පැමිණෙන බව මධ්‍යම සංස්කෘතික අරමුදල සීගිරිය ව්‍යාපෘති කළමනාකරු මේජර් අනුර නිශාන්ත මහතා පැවසීය.  එක් දිනකට විදේශීය සංචාරකයන් 900කට අධික පිරිසක් එහි පැමිණෙන බවත් දේශීය සංචාරකයන් 600කට පමණ වැඩි පිරිසක් පැමිණෙන බවත් හෙතෙම සඳහන් කළේය.

සති අන්තයේදී විදේශීය සංචාරකයන්ගේ වැඩි වීමක් නොමැති වුවද දේශීය සංචාරකයන්ගේ පැමිණිම 2500 දක්වා ඉහළ යෑම විශේෂත්වයක් බව හෙතෙම සඳහන් කළේය.

-ශ්‍යාමලි නිශාන්ති-

සති 3ට බීමත් රියැදුරන්ගෙන් රු. මිලියන 142ක දඩ ආදායමක්



දිවයින පුරා සිදු කළ විශේෂ මෙහෙයුමේදී අත්අඩංගුවට ගත් බීමත් රියදුරන් සංඛ්‍යාව 5,924ක් බවත් ඔවුන්ගෙන් රුපියල් මිලියන 142කට ආසන්න දඩ මුදලක් අය කිරීමට යන බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය. එසේම ඊයේ (28) උදෑසන 6.00න් අවසන් වූ පැය 24ක කාලය තුළ බීමත් රියදුරන් 219 දෙනකු අත්අඩංගුවට ගෙන ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය නිකුත් කළ නිවේදනයේ සඳහන් වේ.

පසුගිය ජුලි 5  වැනිදා සිට ක්‍රියාත්මක බීමත් රියදුරන් අත්අඩංගුවට ගැනීමේ මෙම විශේෂ මෙහෙයුම් කලබන අගෝස්තු 5 වැනිදා දක්වා ක්‍රියාත්මක අතර එය දිවයින පුරා ක්‍රියාත්මක බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය සදහන් කළේය. මෙසේ අත්අඩංගුවට ගන්නා රියදුරන්ගෙන් රුපියල් 25,000ත් 30,000ත් අතර දඩ මුදලක් අය කර ගන්නා බවත් පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය වැඩිදුරටත් සදහන් කළේය.

-තියේෂා ද සිල්වා-

Friday, July 26, 2019

වෑන් රථයට පහරදුන් ගණිත ගුරාගේ ප්‍රාඩෝ රථය අපරාධ කොට්ඨාසයට







කොළඹ මහනුවර මාර්ගයේ කළගෙඩිහේන ප්‍රදේශයේදී වෑන් රථ රියැදුරෙකුට පහරදීමේ සිද්ධිය සම්බන්ධයෙන් රිමාන්ඩ් බාරයේ පසුවන ගණිත ගුරුවරයාට අයත් ප්‍රාඩෝ රථය පෙරේදා (24) කොළඹ අපරාධ කොට්ඨාසය වෙත බාරදී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

සැකකාර ගණිත ගුරුවරයා වන දිනේෂ් නුවන් අමරතුංග යන අයට අයත් සමාගමක ගිණුම් සහකාරවරියක් නීතිඥවරයෙකු සමග පැමිණ ඩබ්ලිව්. සී.ඒ.ජී. 0550 ප්‍රාඩෝ රථය රැගෙන විත් බාරදි ඇතැයි මාධ්‍ය ප්‍රකාශක කාර්යාලය කියයි.

වෑන් රථ රියදුරු පහරදීමට සැකකරුවන් පැමිණි ඩිපෙන්ඩර් රථය මහරගම ඇල්හේන නිවසක සඟවා තිබිය දී මීට දින කිහිපයකට ඉහත දී සොයා ගනු ලැබිණි.


(බිමල් ශ්‍යාමන් ජයසිංහ)

ගෝඨාට එරෙහි නඩු විභාගය ශ්‍රේෂ්ඨාධිකරණය අත්හිටුවයි



මූල්‍ය අපරාධ චෝදනා කඩිනමින් විභාග කොට තීන්දු ලබාදීම සඳහා රජය විසින් පිහිටුවන ලද විශේෂිත ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතාට එරෙහිව පවරා ඇති අද (26දා) දින ආරම්භ කොට දිනපතා විභාග කොට අවසන් කිරීමට සැලසුම් කොට තිබූ රාජ්‍ය මුදල් අවභාවිත කළේ යැයි යන චෝදනාව යටතේ වූ නඩුව විභාගයට ගැනීම ඊයේ (25දා) ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අත්හිටුවනු ලැබීය.

ශ්‍රේෂ්ඨාධිකරණය විසින් එම නියෝගය නිකුත් කරන ලද්දේ ගෝඨාභය රාජපක්ෂ මහතා විසින් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ සභාපති විනිසුරුවරයා ඇතුළු විනිසුරුවරුන් තිදෙනා වගඋත්තරකරුවන් කරමින් ගොනුකර තිබූ විශේෂ අභියාචනාවසර (Special Leave to Appeal) පෙත්සමක් විමසුමට ලක්කිරීමෙන් අනතුරුවය.

ජේයෂ්ඨ නීතිඥ සනත් විජේවර්ධන මහතා මඟින් 2019 ජූලි මස 02 වැනිදා ගොනු කරන ලද එම පෙත්සම මඟින් ත්‍රිපුද්ගල විශේෂ මහාධිකරණයේ සභාපති විනිසුරු සම්පත් බී. අභයකෝන්, විනිසුරු එම්.එස්.කේ.බී. (සම්පත්) විජේරත්න හා විනිසුරු ඒ.ඒ. චම්පා ජානකී රාජරත්න යන මහත්ම මහත්මින්ට අමතරව නීතිපතිවරයාද වගඋත්තරකරුවන් කොට ඇත.

එම පෙත්සම ඉකුත් 18 වැනිදා විමසුමට ලක්වූ අවස්ථාවේදී බුවනෙක අලුවිහාරේ, එස්. තුරෙයිරාජා සහ ඊ.ඒ.ජී.ආර්. අමරසේකර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය එතෙක් උභය පාර්ශ්වයන්ගෙන් ඉදිරිපත් වූ කරුණු විමර්ශනය කිරීමෙන් අනතුරුව පෙත්සම ඉදිරියට පවත්වාගෙන යෑම පිළිබඳවත් එතෙක් වගඋත්තරකාර ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ පෙත්සම්කරුට එරෙහිව විභාගයට ගැනීමට නියමිතව ඇති නඩු විභාගය  අත්හිටුවිය යුතුද නැද්ද යන්න පිළිබඳවත් සිය නිගමනය මෙම නඩු දිනයේදී ඊයේ (25දා) ප්‍රකාශ කරන බව කියා සිටියේය.

ඒ අනුව ඊයේ (25දා) එකී ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයම වූ බුවනෙක අලුවිහාරේ, එස්. තුරෙයිරාජා සහ ඊ.ඒ.ජී.ආර්. (ගාමිණි) අමරසේෂ්කර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් ත්‍රිපුද්ගල ශේෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලය මෙම පෙත්සම ප්‍රථමයෙන්ම කැඳවා සිය නිගමනය ප්‍රකාශ කර සිටියේය.

පෙත්සම්කරු විසින් සිය පෙත්සම මගින් ඉදිරිපත් කොට දිවුරුම් පිට සහතික කොට ඇති කරුණුද, සාක්ෂිමය වශයෙන් සහතික පිටපත්වලින් යුතුව ඉදිරිපත් කොට ඇති ලේඛනමය සාක්ෂිද, 2018 අංක 09 දරන අධිකරණ සංවිධාන (සංශෝධන) පනතට අදාළ ඉදිරිපත් කිරිම්ද ඊටත් අමතරව 2018 සැප්තැම්බර් මස 10 වැනිදා ප්‍රශ්නගත නඩුව කැඳවා ඇති ප්‍රථම දිනයේදි පෙත්සම්කරු වෙනුවෙන් ඔහුගේ නීතිඥවරයා විසින් වගඋත්තරකාර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවේ ඉදිරිපත් කොට ඇති නීතිමය පැහැදිලි කිරීම්ද පෙත්සම් විභාගයේදි උගත් ජනාධිපති නීතිඥවරයා විසින් ගෙනහැර දක්වමින් තහවුරු කොට සිටි කරුණුද මත මෙම විශේෂ අභියාචනාවසර පෙත්සම මගින් ඉදිරිපත් කරනු ලබන වාචකය බැලූ බැල්මට (Prima Facia) නීතිමය විමර්ශනයකට යොමු කළ යුතු බවට හැඟී යන හෙයින් එය විභාගයට ගැනීමට තීරණය කරන බවත් ඒ අනුව මෙම කරුණු විභාග කොට අධිකරණමය නිගමනයකට එළැඹීම සඳහා පෙත්සම විභාග කොට අවසන් කරන තෙක් පෙත්සම්කරුට එරෙහිව ඇති මහාධිකරණ නඩු විභාගය අත්හිටුවීමට නියම කරන බවත් ප්‍රකාශ විය.

අධිකරණයක් හමුවට පැමිණෙන කුමන පාර්ශ්වයකට වුවද තම වාචකය ඉදිරිපත් කිරීමට ඇති යුක්ති යුක්තභාවය අධිකරණය විසින් පිළිගත යුතු වන අතර එය සාධාරණ විමර්ශනයකින් මිස ඉවත දැමීම සිදු නොවිය යුතු බවද එබැවින් මෙම පෙත්සම්කරුගේ ආයාචනය සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට විනිශ්චය මණ්ඩලය නිගමනය කළ බවද එහිදී ප්‍රකාශ විය. පෙත්සම ඔක්තෝබර් මස 01 වැනිදා යළි විභාගයට ගැනීමට දින නියම විය.

හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වෙනුවෙන් ජනාධිපති නීතිඥ රොමේෂ් ද සිල්වා මහතා, සුගත් කල්දේරා, රුවන්ත කුරේ, හරිත් ද මෙල් යන නීතිඥ මහතුන් සමඟ ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ කරුණු දැක්වීය. අතිරේක සොලිසිටර් ජනරාල් ප්‍රියන්ත නාවාන මහතා නීතිපතිවරයා නියෝජනය කරමින් ත්‍රිපුද්ගල මහාධිකරණ විනිශ්චය මණ්ඩලය වෙනුවෙන් කරුණු දැක්වීය.

-කමල් මහෙන්ද්‍ර වීරරත්න-

ස්ටේජ් උඩ අනුන්ගේ සින්දු කිවුවොත් දැන් සල්ලි ගෙවන්න වෙනවා










කිසිවෙකු විසින් කිසියම් ගීතයක් හෝ ගීතයක කොටසක් ඕනෑම ආකාරයට ප්‍රතිනිෂ්පාදනය කර වාණිජමය පරමාර්ථ සඳහා භාවිත කරන්නේ නම් එම ගීතයේ අයිතිකරුවන්ට එකඟ විය හැකි ආකාරයට කර්තෘ භාගය ගෙවීමට ලිඛිත ගිවිසුමක් ඇති කර ගත යුතු බවට බුද්ධිමය දේපළ යටතේ ගැසට් නිවේදනයක් නිකුත් කිරීමට රජය පියවර ගෙන තිබේ.

ප්‍රතිනිෂ්පාදනය කළ ගීතයක් රූපවාහිනිය, ගවත්විදුලිය හෝ වාණජ පරමාර්ථයෙන් දුරකතන මාධ්‍ය තුළ රිගින් ටෝන් ලෙස භාවිත කරන විට එහි අයිතිකරුවන්ට කතෘ හාගය ගෙවිය යුතු බව එම ගැසට් නිවේදනයේ සඳහන් වේ.

එමෙන්ම ප්‍රතිභා පූර්ණ දක්‍ෂයන් තෝරාගැනීම සදහා පවත්වන ගීතමය තරඟවලදී (රියැලිටි ෂෝ) සම්පූර්ණ ගීතයම භාවිත කරන්නේ නම් එම ගීතයේ කිසිදු වෙනස් කිරීමක් සිදු නොකළ යුතු අතර ඒ සඳහා ගාස්තුවක් ද  එම ගැසට් නිවේදනයට අනුව ගෙවිය යුතු වේ.

2003 අංක 36 දරණ බුද්ධිමය දේපළ පනතෙහි වගන්ති කිහිපයක් යටතේ විද්‍යා තාක්ෂණ පරියේෂණ ඇමැතිවරයා විසින් මෙම අවශේෂ ගැසට් නිවේදනය නිකුත් කර තිබේ.

(ඩයනා උදයංගනී සහ නාලක සංජීව දහනායක)

නිසි බලපත්‍ර නොමැතිව අලි ඇතුන් 5ක් සන්තකයේ තබා ගැනීම නිසා නඩුව නිමාවන තුරු අලි රොෂාන් ඇතුළු 8ක් රිමාන්ඩ්




නිසි පරිදි බලපත්‍ර නොමැතිව අලී ඇතුන් පස්දෙනකු සන්තකයේ තබා ගැනීම සහ ජාවාරම් කිරීම සම්බන්ධයෙන් චෝදනා එල්ල වී සිටි සමරප්පුලිගේ නිරාජ් රොෂාන් හෙවත් අලි රොෂාන් ඇතුළු විත්තිකරුවන් 08 දෙනකු නඩු විභාගය අවසන් වනතුරු රිමාන්ඩ් බන්ධනාගාර ගත කිරීමට කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඬුල්ල පෙරේදා (24දා) නියෝග කළේය. විකුම් කළුආරච්චි, ධම්මික ගනේපොළ සහ ආදිත්‍ය පටබැඳි යනමහත්වරුන්ගේන් සමන්විත ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල විසින් මෙම නියෝගය කරන ලදී.

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි මේ පිරිස අතර වනජීවී දෙපාර්තමේන්තුවේ හිටපු සහකාර අධක්‍ෂවරයකු වූ උපාලි පද්මසිරි සහ එම දෙපාර්තමේස්තුවේ ලිපිකාරිනියක වූ ප්‍රියංකා සංජීවනී නමැත්තිය ද වෙති. මෙම නඩුව කැඳවූ අවස්ථාවේදී විත්තිකරුවන්ට විවෘත අධිකරණය හමුවේ චෝදනා පත්‍ර භාර දෙන ලදී. ඉන් අනතුරුව නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටියේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් දිලීප පීරිස් මහතා මෙම විත්තිකරුව ඇප මත මුදා හැරීම සම්බන්ධයෙන් සිය එකඟතාව පළ නොකරන බව සඳහන් කළේය.

ඒ අනුව විත්තිකරුවන් නඩුව අවසන්  වනතුරු රිමාන්ඩ් භාරයට පත් කරන ලෙස රජයේ නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරයා අධිකරණයෙන් ඉල්ලා සිටියේය. මෙම විත්තිකරුවන් වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියේ  මෙම විත්තිකරුවන්ව දැනටමත් මහෙස්ත්‍රාත් අධිකරණය මඟින් ඇප මත මුදාහැර තිබෙන බැවින් එම පෙර ඇපය මතම විත්තිකරුවන් මුදාහරින ලෙස ඔවුන්ගේ නීතිඥවරු  අධිකරණයෙන් ඉල්ලා සිටියහ.

එහෙත් නියෝගය ප්‍රකාශයට පත් කරමින් ත්‍රිපුද්ගල විනිසුරු මඬුල්ල සඳහන් කළේ අපරාධ නඩු විධාන සංග්‍රහයේ 450 වැනි වගන්තියට අනුව නීතිපතිවරයා එකඟතාව  පළ නොකරන අවස්ථාවක විත්තිකරුවන්ට ඇප ලබා දීම සඳහා තම අධිකරණයට බලයක් නොමැති බවයි. ඒ අනුව විත්තිකරුවන්ගේ ඇප ඉල්ලීම ප්‍රතික්‍ෂේප කර විත්තිකරුවන් නඩුව අවසන් වනතුරු රිමාන්ඩ් භාරයට පත් කිරීමට  විනිසුරුවරු නියෝග කළහ.

නඩුව නැවතත් අගෝස්තු මස 02 වැනිදා කැඳවීමට නියම විය. බලපත්‍ර නොමැතිව අලි ඇතුන් 05 දෙනකු සන්තකයේ තබා ගනිමින් ජාවාරම් කිරීම තුළින් පොදු දේපළ පනත යටතේ වරදක් සිදුකර ඇතැයි චෝදනා කරමින් නීතිපතිවරයා විසින් අලී රොෂාන් ඇතුළු විත්තිකරුවන්ට එරෙහිව  මෙම නඩුව ගොනුකර තිබේ.

-කේ.එස්.උදයකුමාර්-

කුණු ගෙන්වූයේ කවුද?-මේ කුණුවලින් වියයුතු හානිය මේ වනවිට සිදුවී හමාරයි.-ඇමති මංගල


පිටරටින් ගෙන්වූ කසළ සති ගණනක් තිස්සේ මෙහි තිබීම නිසා ඉන් අපේ රටේ පරිසරයට සිදුවිය යුතු හානිය මේ වනවිට සිදුවී හමාර යැයි මුදල් අමාත්‍ය මංගල සමරවීර මහතා ඊයේ අනුරාධපුරයේදී පැවසීය.

අනුරාධපුර වලිසිංහ හරිශ්චන්ද්‍ර උද්‍යානයේ පැවැත්වෙන "එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා'' ප්‍රදර්ශනයේ සමාරම්භක උත්සවයට සහභාගී වූ මංගල සමරවීර අමාත්‍යවරයා ප්‍රදර්ශන භූමියේ මාධ්‍ය කලාපයට පැමිණි අවස්ථාවේ මාධ්‍යවේදියෙකු නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් එසේ ප්‍රකාශ කළේය.

අමාත්‍ය මංගල සමරවීර මහතා එහිදි මෙසේද කීය.

මා විදෙස්ගතව සිටියදී කසළ කන්ටේනර් සිද්ධිය ගැන දැනගත්තේ. ඒ සම්බන්ධයෙන් සම්පූර්ණ වාර්තාවක් ලබාදෙන ලෙස ඒ අවස්ථවේදීම රේගු අධ්‍යක්ෂ ජනරාල්වරයාට දැනුම් දුන්නා.

අපි සම්පූර්ණ වාර්තාවක් පිටරටකට ඕස්ට්‍රේලියාවට ඇමරිකාවට යනකොට පිසින ලද කෑම ටිකක්වත් අරගෙන යන්නේ නැත්තේ ඒ තුළින් විෂබීජ ඒ රටවලට පැතිරී කෘෂිකර්මයට හානි වේය කියන භීතිකාව නිසයි.

නමුත් පිටරටවලට එපාවූ කුණු ශ්‍රී ලංකාවට ගෙන්නුවේ කවුද? ගෙන්නුවේ කොහොමද? ගෙනෙන්න අවසර දුන්නේ කවුද? යන්න එය සොයා බලා ඊට වගකිවයුතු ඒ උදවියගේ තරාතිරම නොබලා නීති මගින් දඬුවම් කිරීමට කටයුතු කරනවා.

ඒ වගේම ඒ කුණු ආපසු ආපු දිහාවටම යන්න ඕනෑ. නමුත් ඒක නොවෙයි විසඳුම, මේ වෙනකොට ඒ කුණු කසළ ලංකාවට ඇවිත් සති ගණනාක් තියේ තිබිලා සිද්ධ වියයුතු හානිය මේ වනවිට සිදුවී හමාරයි.

ඇත්ත වශයෙන්ම ඒවායේ තිබුණු විෂබීජ මේ වනවිටත් අපේ රටේ පරිසරයට මුසුවෙලා ඉවරයි. ඒ නිසා ඒ ගැනත් නීතිමය ක්‍රියා මාර්ග ගැනීමට කටයුතු කරන බවත් කිසි දෙයක් සැඟවීමේ අවශ්‍යතාවක් ආණ්ඩුවට නැති බවත් අමාත්‍යවරයා කියා සිටියේය.

(අතුල බණ්ඩාර)

මාලිංගට ජයග්‍රාහී සමුදීමක් ලබා දීමට ශ්‍රී ලංකා පිල අද සැරසෙයි



ශ්‍රී ලංකාව හා බංගලාදේශය අතර පැවැත්වෙන එක්දින ක්‍රිකට් තරගාවලියේ පළමු තරගය අද (26දා) කොළඹ ආර්. ප්‍රේමදාස ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදි දිවා/රාත්‍රී තරගයක් ලෙසින් පැවැත්වීමට නියමිතය. ඒ අනුව තරග 3කින් සමන්විත මෙම තරගාවලිය සඳහා සහභාගි වීමට නියමිත ක්‍රීඩකයන් 16 දෙනකුගෙන් යුත් අවසන් සංචිතය ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මඟින් පසුගියදා නිවේදනය කළේය.

එහිදී මින් පෙර නම් කරන ලද 22 දෙනකුගෙන් සමන්විත වූ මූලික සංචිතයට ඇතුළත්ව සිටි නිරෝෂන් දික්වැල්ල, ධනුෂ්ක ගුණතිලක, ලක්ෂාන් සඳකැන්, ළහිරු මධුසංක සහ අමිල අපොන්සු හට එහි ස්ථාන අහිමිව ගොස් ඇත. ලෝක කුසලාන සංචිතය සඳහා නම් නොකළ අකිල ධනංජයට මෙම 16 දෙනාගේ සංචිතයේ ස්ථානයක් හිමිව තිබීම කැපී පෙනෙන සිදුවීමකි.

තවද දෙවැනි සහ තුන්වැනි තරග සඳහා දසුන් චානක ඇතුළත් කිරීමටත් පියවර ගෙන තිබීම විශේෂත්වයකි.කෙසේ වෙතත් අද තරගය සඳහා සහභාගි වන ශ්‍රී ලංකා කණ්ඩායමේ සූදානම් සම්බන්ධයෙන් ඊයේ (25දා) පැවැති මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් එහි නායක දිමුත් කරුණාරත්න පවසා සිටියේ ලසිත් මාලිංග සහභාගි වන අවසන් එක්දින ජාත්‍යන්තර තරගය ජයගෙන ඔහුට ජයග්‍රාහී සමුදිමක් ලබා දිම තම අරමුණ බවයි.

“ලසිත් මාලිංග ගේ සමුගැනීම වෙනුවෙන් තරගය ආරම්භ කිරීමට පෙරත් තරගයෙන් පසුවත් අපි උත්සව කිහිපයක් සංවිධානය කරල තිබෙනවා. ඔහුගේ අවසන් තරගය ජයගෙන ඔහුට සමුදීමට හැකි නම් හොඳම සමුදීම එය බව අපේ හැඟීමයි. එම නිසා මෙම තරගය ජයගෙන සතුටින් ඔහුට සමුදීමට අපි හැකි උපරිම ශක්තිය යොදවන්න බලාපොරොත්තු වෙනවා.” යනුවෙන් පැවැසීය.

අද තරගය සඳහා භාවිත වන තණතිල්ල සහ කණ්ඩායමේ සංයුතිය සම්බන්ධයෙන්ද එහිදී අදහස් දැක්වූ ශ්‍රී ලංකා නායකයා “තරගය සඳහා යොදාගන්නා තණතීරුව පිතිකරුවන්ට වඩාත් යෝග්‍ය තණතීරුවක් විය හැකියි. එය තීරණය කළ හැක් පරීක්ෂා කිරීමෙන් අනතුරුවයි. මේ තණතීරුවෙන් වේගපන්දු යවන්නන්ටත් යම් සහායක් දැක්වීමට ඉඩක් පවතීවි.

එම නිසා වෙනස්කම් එකක් හෝ දෙකක් සමඟින් ලෝක කුසලාන තරගාවලියේදි ක්‍රීඩා කළ කණ්ඩායමට බොහෝ දුරට සමාන කණ්ඩායමක් හෙට (අද) තරගයට ක්‍රීඩා කිරීමට වැඩි ඉඩක් තිබෙනවා. ඒ වගේම බංග්ලාදේශ කණ්ඩායම සතුව පිට දඟ පන්දු යවන්නන් දෙදෙනකු ක්‍රීඩා කිරීමට හැකි නිසා පිතිකරණ අනුපිළිවෙළත් යම් තරමක වෙනසක් දැකිය හැකි වේවි.  කොහොම වුණත් ළහිරු තිරිමාන්න තවදුරටත් අංක 6 පිතිකරුගේ වගකීම ඉටුකරාවි.” යනුවෙන් වැඩිදුරටත් අදහස් දක්වමින් දිමුත් පැවසීය.

මේ අතර ලෝක කුසලාන තරගාවලිය සඳහා සහභාගි වූ බංගලාදේශ කණ්ඩායමේ සාමාජිකයන් වූ සකිබ් අල් හසන්, ලිතන් දාස් සහ මෂ්රෆී මොර්ටාසා මෙම තරගාවලිය සඳහා සහභාගි නොවීම නිසා එහි නායකත්වය ආරම්භක පිතිකරු තමීම් ඉක්බාල් හට හිමිව තිබෙන නතර, බංගලාදේශ නායකයා මාධ්‍ය හමුවේ අදහස් දක්වමින් පවසා සිටියේ පළමු වරට නායකත්වය හිමි වීමෙන් අනතුරුව ශ්‍රී ලංකාව සමඟ පැවැත්වෙන මෙම තරගාවලිය අතිශයින් අභියෝගාත්මක තරගාවලියක් වනු ඇති බවයි.

එමෙන්ම සකිබ්, මොර්ටාසා සහ ලිතන් දාස් ක්‍රීඩා නොකළද නවක ක්‍රීඩකයන් තම වගකීම නිසි අයුරින් ඉටු කරනු ඇති බවද වැඩිදුරටත් අදහස් දැක්වූ බංග්ලාදේශ නායකයා ප්‍රකාශ කළේය.

-ගමිත දෙහිපිටිය-

විභාග ප්‍රවේශ පත්‍රය ගන්න ගිය a/L සිසුවිය හදිසියේ ජීවිතක්ෂයට



මෙවර උසස් පෙළ විභාගයට පෙනී සිටින කොත්මලේ ගාමිණී දිසානායක ජාතික පාසලේ ඉගෙනුම ලැබූ සිසුවියක් ඊයේ (25දා) හදිසියේම රෝගාතුරවී, කොත්මලේ ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කිරිමෙන් පසුව මියගොස් ඇත. එලෙස අවාසනාවන්ත අන්දමින් මියගොස් ඇත්තේ කුඹල්ඔලුව, කිරිඳිවෙල පදිංචි ඊ.ජී. අයේෂා මධුවන්ති නමැති 19 හැවිරිදි සිසුවියකි. ඇය මෙවර උසස් පෙළ විභාගයට තාක්ෂණවේදය අංශයෙන් පෙනී සිටින සිසුවියකි.

විභාග ප්‍රවේශ පත්‍රය ලබා ගැනීම සඳහා පාසලට පැමිණ ගුරුවරයකු ලබාදෙමින් සිටි උපදෙස් පන්තියකට සහභාගි වෙමින් සිටියදී ඇය හදිසියේම රෝගාතුරවී ඇති බව විදුහල්පති ප්‍රියන්තසිරි ආරියසේන මහතා පවසයි. ඇයට තවත් සහෝදරියන් දෙදෙනකු සිටින අතර පියා අංශභාග රෝගයට ලක්ව ප්‍රතිකාර ලබන අයකු බව වාර්තාවේ. සිරුර අධිකරණ වෛද්‍ය පරීක්ෂණයක් සඳහා නාවලපිටිය මූලික රෝහලට රැගෙන ගොස් ඇති අතර කොත්මලේ පොලිසිය පරීක්ෂණ කරයි.

-මාධව බණ්ඩාර-

වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් 1,500ක්


ශ්‍රීලංකාවේ වෙරළ තීරයේ අනවසර ඉදිකිරීම් 1500ට වැඩි සංඛ්‍යාවක් හදුනාගෙන ඇති බවත් එම සියලු අනවසර ඉදිකිරීම් කරන ලද පුද්ගලයින් වෙරළ සංරක්ෂණ පනත යටතේ අධිකරණයට පමුණුවා දඩ මුදල් අය කරගෙන ඇති බවත් වෙරළ සංරක්ෂණ සහ වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් නීතිඥ ප්‍රභාත් චන්ද්‍රකීරති මහතා පැවසීය.

වෙරළ සම්පත් කළමණාකරණය පිළිබඳව ගාල්ල දිස්ත්‍රික්කයේ රාජ්‍ය නිලධාරීන්, ත්‍රිවිධ හමුදාව, පොලිසිය සහ සංචාරක හෝටල් හිමියන් දැනුවත් කිරීම සදහා ගාල්ල හෝල් ඩි ගෝල් ශාලාවේ පැවති වැඩමුළුවකදී ඒ මහතා මේ බව පැවසීය.වෙරළ තීරයේ පවතින අනවසර ඉදිකිරීම් ඉවත් කිරීමට යෑමේදී ඒ ඒ ප්‍රදේශවල ප්‍රදේශීය දේශපාලන අධිකාරියෙන් යම් යම් බලපෑම් එල්ල වූ නමුත් එම බලපෑම්වලට යටත් නොවී ඒ සියලු අනවසර ඉදිකිරීම් ඉවත් කළ බවත් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගෙන් ඒ සඳහා නිරතුරු සහයෝගය ලැබෙන බවත් ඒ මහතා සඳහන් කළේය.

පොදු ජනතාවට අයිති වෙරළ තීරය කිසියම් පුද්ගලයෙකු විසින් පෞද්ගලිකව පරිහරණය කරනවා නම් ඒ සඳහා නීතියේ ඉඩක් නොමැති බවද නීතිඥ චන්ද්‍රකීර්ති මහතා අවධාරණය කළේය.

-ෆර්හාන් නිසාම්දින්-

Thursday, July 25, 2019

පාසලේ සෙල්ලම් කරමින් සිටි සිසුවා හිස ගලක වැදී මිය ගිහින්

 පාසැල් විවේක කාලයේදී ක්‍රීඩාපිටියේ සෙල්ලම් කරමින් සිටි 12  හැවිරිදි සිසුවකු බිම වැටී හිස ගලක වැදීමෙන් මාවතගම රෝහලට ඊයේ (24) ඇතුළත් කිරිමෙන් පසු මියගොස් ඇතැයි මාවතගම පොලිසිය කියයි.

මෙසේ මියගොස් ඇත්තේ මාවතගම නගරයේ ඩි.බි.  වික්‍රමසිංහ විදුහලේ 07 වසරේ ඉගෙනුම ලැබූ හිදගොල්ල  වැවගෙදර පදිංචිව සිටි හසිත දෙව්මිත් (12) නමැති සිසුවෙකු බව ද පොලිසිය කියයි. සිද්ධිය සම්බන්ධව පොලිසිය දැනට කළ පරීක්ෂණ අනුව මෙම සිසුවා විවේක කාලයේ පාසල් ක්‍රීඩාපිටියේ ඊයේ  (24) සෙල්ලම් කරමින් සිටියදී බිම වැටී ඇති බැවින් විදුහලේ ආරක්ෂක කැමරා පද්ධතිය පරික්ෂා කිරීමේදී හෙළි වී ඇති බවත් සිසුවාගේ නළල පෙදෙසෙහි තැළුම් තුවාල තිබුණු බවත් මාවතගම රෝහලට ඇතුළත් කර ටික වේලාවකදී සිසුවා  මියගිය බවයි.

සිසුවාගේ මරණය සම්බන්ධව පශ්චාත් මරණ පරීක්ෂණයක්  පැවැත්වීමට නියමිතය.

-අතුල පී. බණ්ඩාරනායක-

සයින්දමරුදුවලට මුස්ලිම් කොංග්‍රසය වෙනම ප්‍රාදේශීය සභාවක් ඉල්ලයි



සයින්දමරුදු ප්‍රදේශය වෙනුවෙන් වෙනම ප්‍රාදේශීය සභාවක් ස්ථාපිත කරන්නැයි ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය රජයෙන් ඉල්ලා තිබේ. මේ පිළිබඳ  වෙත අදහස් දැක්වූ එම කොංග්‍රසයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එච්.එම්.එම්. හාරිස් මහතා පැවැසුවේ කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිළිබඳ ගැටලුව විසඳීමට සමාන්තරව සයින්දමරුදු ප්‍රදේශය වෙනුවෙන් වෙනම ප්‍රාදේශිය සභාවක් ඉල්ලා ඇති බවත් රජයද එම ඉල්ලීම පිළිගෙන ඇති බවය.

මේ පිළිබඳ සාකච්ඡාවක් මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් මහතාගේ නිවෙසේ ඊයේ පැවැති අතර කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලය පිළිබඳ ගැටලුව කඩිනමින් විසඳෙන බව එහිදී හකීම් මහතා පවසා ඇත.කල්මුණේ උතුර උප ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඉඩම් හා මුදල් බලතල ලබා දෙන්නැයි එම ප්‍රදේශයේ දෙමළ ජනතාව ඉල්ලා සිටින අතර ඒ අනුව එම බලතල දෙමින් එම ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ගණකාධිකාරිවරයකු පත් කිරීමට රජය දෙමළ ජාතික සන්ධානයට පොරොන්දු වී ඇත.

කෙසේ වෙතත් මෙම තීරණයට ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය සිය කැමැත්ත මෙතෙක් පළ කොට නොමැති අතර ඔවුන් ඉල්ලා සිටින්නේ කල්මුණේ උතුර උප ප්‍රාදේශීය කාර්යාලයට සියලු බලතල දෙන්නේ නම් කල්මුණේ උතුර හා මරදමුණේ ලෙස ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 03ක් ස්ථාපිත කරන ලෙසත් සයින්දමරුදු ප්‍රදේශය වෙනුවෙන් වෙනම ප්‍රාදේශීය සභාවක් ස්ථාපිත කරන ලෙසය.මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වූ හාරිස් මන්ත්‍රිවරයා සඳහන් කළේ රජය තම ඉල්ලීම් පිළිගෙන තිබෙන බවයි.

-ලක්ෂ්මි ජයකොඩි-

මාස 2කින් වැටුප් ගෙවා නෑ: දක්ෂිණ අධිවේගයේ කම්කරුවෝ විරෝධතාවක



දක්ෂිණ අධිවේගී මාර්ගයේ අදියර හතරෙහි සේවයේ නියුතු කම්කරුවන්ට මාස 02ක් තිස්සේ වැටුප් නොගෙවීමට විරෝධය පළ කරමින් කම්කරුවෝ පිරිසක් මත්තල පිහිටි චයිනා හාබර් චීන ඉදිකිරීම් සමාගමේ ප්‍රධාන කාර්යාලයේ ගේට්ටුව අවහිර කරමින් ඊයේ (24දා) දහවල් විරෝධතාවක නිරත වූහ. දක්ෂිණ අධිවේගී මාර්ගයේ අන්දරවැව සිට හම්බන්තොට, මත්තල දක්වා වූ අදියර හතර කොටසෙහි සේයේ නියුතු කම්කරුවෝ පිරිසක් මෙලෙස විරෝධතාවයේ නිරත වූහ.

විරෝධතාකරුවන් පවසන්නේ මාස දෙකක් තිස්සේ තමන්ට හිමි වැටුප් අදාළ කොන්ත්‍රාත් සමාගම විසින් මෙතෙක් ලබාදී නොමැති බවත් වැටුප් ලබාදෙන දිනයක් පිළිබඳ විමසුවත් ඊට නිසි පිළිතුරක් වගකිව යුතු පාර්ශව ලබා නොදෙන බවය.

මාස දෙකකට වැඩි කාලයක් තිස්සේ දෛනික වැටුපකට වැඩ කළ තමන්ට මෙතෙක් වැටුප් නොලැබීම නිසා දැඩි අසරණ තත්ත්වයට තමන් පත්ව ඇති බවත් ඒ නිසා තමන්ට හිමි වැටුප් ඉල්ලා මෙලෙස විරෝධතාවයේ නිරත වන බවත් කම්කරුවෝ පවසති. විරෝධතාකරුවන් මත්තල පිහිටි චින ඉදිකිරීම් සමාගමේ ප්‍රධාන කාර්යාලයට යන මාර්ගය අවහිර කරමින් විරෝධතාවයේ නිරත වන අතර මේ ගැටලුව සඳහා විසඳුමක් ලබාදෙන තෙක් ඔවුන් මේ ස්ථානයෙන් පිටව නොයන බවද පැවැසිය.මේ සම්බන්ධයෙන් අප ඉදිකිරීම් සිදුකරන චීන සමාගමෙන් විමසීමට උත්සාහ කළද කිසිවකුත් ඊට පිළිතුරු නොදිණි.

-ඩී.එන්.ජයසේකර-

ඔවු අපි තමයි වීල් එක ඉස්සුවේ-පුලුවන් දෙයක් කරපන්- ත්‍රී රෝද රථ හොරුන්ගේ පොලිසියට තරජනාත්මක ඇමතුම්

සොරකම් කළ ත්‍රීරෝද රථය සහ සොරකමට සම්බන්ධ බව කියන තිදෙනා හැකිනම් අත්අඩංගුවට ගන්නැයි දුරකතනයෙන් පොලීසියට අභියෝග කළ සොර කණ්ඩායමක් අත්අඩංගුවට ගැනීමට ඊයේ (24) මෙහෙයුමක් ක්‍රියාත්මක කළ බව හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශය කියයි.

ත්‍රිරෝද රථයේ අයිතිකරු පොලිසියට කළ පැමිණිල්ල අනුව වහා ක්‍රියාත්මක වූ හැටන් පොලිසියේ නිලධාරින් අදාළ මූල්‍ය ආයතනයට ගොස් එම ආයතනයේ තිබූ ආරක්ෂිත කැමරා දර්ශන පරික්ෂා කර බලා එම ආයතනය වෙත ලබාදුන් දුරකතන අංකයට පොලිස් නිලධාරීන් ඇමතුමක් ලබාගැනීමේ දී එම ඇමතුම ලබාගත් ත්‍රිරෝද රථය සොරාගත් අයෙකු බවට සැක කෙරෙන කෙනෙකු හැටන් පොලිසියේ නිලධාරින්ට පවසා ඇත්තේ තමන් ත්‍රිරෝද රථය සොරාගත් බවත්, හැකිනම් ත්‍රිරෝද රථය සහ තමන් අත්අඩංගුවට ගැනීමට කටයුතු කරන ලෙසත්ය.

හැටන් නගර මධ්‍යයේ ප්‍රධාන පෞද්ගලික මූල්‍ය ආයතනයක් ඉදිරිපිට ගාල් කර තිබූ රුපියල් හය ලක්ෂයක් පමණ වටිනා මෙම ත්‍රිරෝද රථය සොරාගෙන යාම සම්බන්ධයෙන් හැටන් පොලිසිය පුළුල් විමර්ශනයක් ආරම්භ කර ඇත.

හැටන් නගරයේ දුම්රිය පාලම ඉදිරිපිට රථගාල් මෙම ත්‍රිරෝද රිය නතර කර තිබියදී පෙරේදා (23) දහවල් 2ට පමණ තිදෙනකු පැමිණ සොරාගෙන ගොස් ඇත.

රියේ අයිතිකරු නෝර්වුඩ් ප්‍රදේශයේ පදිංචිකරුවකු වන අතර ත්‍රිරෝද රථ අයිතිකරු මුණගැසීමට පෙරේදා (23) උදෑසන පැමිණි නාදුනන තිදෙනකු ත්‍රිරෝද රථය අළෙවි කරන බවට ලද තොරතුරක් මත පැමිණිය බවත්. ත්‍රිරෝද රථය අළෙවි කරනවා නම් එය අද දිනම මිල දී ගැනීමට සූදානම් බවත් එම තිදෙනා ත්‍රිරෝද රථයේ අයිතිකරුට පවසා ඇත.

 එහිදී අයිතිකරු ගැනුමකරුවන්ට පවසා ඇත්තේ තමන්ගේ අතට රුපියල් එක්ලක්ෂ විසිදහසක මුදලක් දී ත්‍රිරෝද රථයේ පෞද්ගලික මූල්‍ය ආයතනයට ගෙවීමට ඇති ඉතිරී වාරික ගණන ගෙවන්නේ නම් ත්‍රිරෝද රථය අද දිනම අළෙවි කළ හැකි බවයි.

ඒ අනුව දෙපාර්ශවයම එකඟතාවට පත් වී හැටන්  නගරයේ පිහිටි අදාළ මූල්‍ය ආයතනයට පැමිණ ත්‍රීරෝද රථය මිල දී ගන්නා බව පැවසූ තිදෙනාගෙන් එක් අයෙකු ඔහුගේ ජංගම දුරකතන අංකය මූල්‍ය ආයතනයට ලබාදී අදාළ ත්‍රිරෝද රථයේ ගෙවිය යුතු ඉතිරි වාරික ගණින ගණනය කර දැනුම් දෙන ලෙස පවසා ත්‍රිරෝද රථයේ අයිතිකරු අදාළ මූල්‍ය ආයතනයේම නතර කර හැටන් නගරයට ගොස් යළි මූල්‍ය ආයතනයට පැමිණෙන බව දන්වා ඔවුන් තිදෙනා පිටව ගොස් ඇත.

මූල්‍ය ආයතනයෙන් පිටතට ගිය තිදෙනා දිගු වේලාවක් මූල්‍ය ආයතනයට නොපැමිණි නිසා ත්‍රිරෝද රථයට අයිතිකරු තම ත්‍රිරෝද රථය ගාල්කර තිබූ ස්ථානයට පැමිණ පරික්ෂා කර බැලීමේදී එම ස්ථානයේ එය නොතිබුණු නිසා හැටන් පොලිසියට ගොස් පැමිණිලි කර ඇත. 

මෙම සොරකම සම්බන්ධයෙන් හැටන් පොලිසියේ අපරාධ විමර්ශන අංශය, අංශ කිහිපයක් ඔස්සේ පරීක්ෂන ආරම්භ කර ඇත.

(රංජිත් රාජපක්ෂ)