Friday, January 31, 2025

ලොහාන් රත්වත්තේ රැඳවියකුට තර්ජනය කිරීම

 


ලොහාන් රත්වත්තේ බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍යවරයා ලෙස සිටිමින් රාත්‍රි කාලයේ බීමත්ව අනුරාධපුර බන්ධනාගාරයට ඇතුළුවී එම බන්ධනාගාරයේ රඳවා සිටි දමිළ ජාතික රැඳවියකුගේ නළලට පිස්තෝලයක් තබා වෙඩි තබා මරා දැමීමට හැකි බව පවසමින් තැති ගැන්වීමක් ඇති වන ආකාරයෙන් සාපරාධී බිය වැද්දීමක් සිදු කර තර්ජනය කිරීමේ සිද්ධියට අදාළ නඩුව ලබන අප්‍රේල් මස 24 දින යළි විභාගයට ගැනීමට අනුරාධපුර වැඩබලන මහෙස්ත්‍රාත් නදී ආකාශ් කුරේරා මහත්මිය නියෝග කළාය.


මෙසේ නියෝග කළේ මෙම සිද්ධියට අදාළ නඩුව අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ ඊයේ (30දා) යළි කැඳ වූ අවස්ථාවේදීය. මෙම නඩුව මෙදින විභාගයට ගැනීමට නියමිතව තිබුණද අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත් නාලක සංජීව ජයසූර්ය මහතා හදිසියේ නිවාඩු ලබා ගොස් සිට බැවින් නඩුව අප්‍රේල් මස 24 යළි විභාගයට ගැනීමට වැඩබලන මහෙස්ත්‍රාත්වරිය මෙලෙස නියෝග කළාය. මේ අතර මෙම සිද්ධිය සම්බන්ධයෙන් බන්ධනාගාර දෙපාර්තමේන්තුව මඟින් පවත්වා ඇති විමර්ශනයේ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කෙරිණි. 


ඒ අදාළ වාර්තාව අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට අනුරාධපුර ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා බන්ධනාගාර කොමසාරිස් ජනරාල්වරයාට මීට පෙර කර තිබූ නියෝගයකට අනුවය. මෙම සිද්ධිය සමීබන්ධයෙන් සිදු කළ විමර්ශනයට අදාළව පැමිණිල්ලේ එකේ සිට 12 දක්වා. සාක්ෂිකරුවන් ලබාදී ඇති ප්‍රකාශවල පිටපත් විත්ති පාර්ශ්වයේ නීතිඥයන්ට ලබා දෙන ලෙසටද ප්‍රධාන මහෙස්ත්‍රාත්වරයා කොළඹ අපරාධ කොට්ඨාසයට නියෝග කරනු ලැබීය. මෙම නඩුව ඊයේ(30දා) යළි කැඳවූ අවස්ථාවේ විත්තිකාර හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් එවින්ද රත්වත්තේ විවෘත අධිකරණය හමුවේ පෙනී සිටියේය. ඔහුට යළි අප්‍රේල් මස 24 දින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද තවදුරටත් නියෝග කළ වැඩබලන මහෙස්ත්‍රාත්වරිය පැමිණිල්ලේ පළමු සහ හත් වැනි සාක්ෂිකරුවන්ටද සාක්ෂි ලබාදීමට එදින අධිකරණය හමුවේ පෙනී සිටින ලෙසටද නියෝග කළාය.


මෙම සිද්ධිය සම්බන්ධයෙන් කොළඔ අපරාධ කොට්ඨාසය ස්වකීය මූලික කරුණු දැක්වීම්වලදී අධිකරණය හමුවේ කියා සිටියේ 2021 වසරේ සැප්තැම්බර් මස 12 වැනි දින හෝ ඊට ආසන්න දිනයක සැකකරු(බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් එවින්ද රත්වත්තේ) අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එම බන්ධනාගාරයේ රඳවා සිටි රැඳවියෙක් වන පුබාර සිංහන් සූරිය පාලන් යන අය දෙසට ගිනි අවියක් එල්ල කර වෙඩි තබා මරා දැමීමට හැකි බව පවසමින් සාපරාධී බියවැද්දීමක් සිදු කර තර්ජනය කර වරදක් සිදු කර ඇති බවට ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 183 වගන්තිය ප්‍රකාරව ප්‍රමාණවත් සාක්ෂි අනාවරණ වන බවට නීතිපතිවරයා දැනුම්දී ඇති බවයි.


ඒ අනුව නීතිපතිවරයාගේ උපදෙස් ප්‍රකාරව සැකකාර ලොහාන් එවින්ද රත්වත්තේට (හිටපු බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය) එරෙහිව ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 486  වැනි වගන්තිය යටතේ මෙම අධිකරණය හමුවේ චෝදනා පත්‍රයක් ගොනු කරන බවද කොළඹ අපරාධ කොට්ඨාසය තවදුරටත් අධිකරණයට සැල කර සිටියේය.සැකකාර හිටපු රාජ්‍ය අමාත්‍ය ලොහාන් එවින්ද රත්වත්තේ විසින් මෙම වරද සිදු කර ඇති බව කියන දිනයේ අනුරාධපුර බන්ධනාගාරයේ රාජකාරියෙහි යොදවා සිටි දෙවන පෙළ ජේලර් කුඹුරේගෙදර ජයතිලක පොලිස් මූලස්ථානයේ නීති කොට්ඨාසයේ සහකාර පොලිස් අධිකාරී ආර්. එමි.පී.ජී.එස්.ඩී.බී. රත්නායක, කොළඹ අපරාධ කොට්ඨාසයේ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලලිත් රණසිංහ යන මහත්වරුන් සහ බන්ධනාගාර නිලධාර්න් සහ අනුරාධපුර බන්ධනාගාරයේ එදින රඳවා සිටි රැඳවියන් ඇතුළු 14 දෙනකු මෙම නඩුවේ සාක්ෂිකරුවන් ලෙස නම් කරනු ලැබ සිටිති.




හෙරොයින් ග්‍රෑම් 12ක් සමඟ හසුවු සැකකරු නිදොස් කොට නිදහස්

 


හංසි නානායක්කාර


හෙරොයින් ග්‍රෑම් 12.4 ප්‍රමාණයක් සන්තකයේ තබා ගැනීම හා ජාවාරම් කළැයි කියන චෝදනාවන් යටතේ පවරා තිබූ නඩුවකින් විත්තිකරුවකු සියලු චෝදනාවන්ගෙන් නිදොස් කොට නිදහස් කිරීමට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඊයේ (30දා) නියෝග කළේය.


කේ. චලන සම්පත් යන එම විත්තිකාර තරුණයා විත්තිකූඩුවේ සිට ලබා දුන් ප්‍රකාශය නඩුවේ විත්තිවාචකය මනාව සලකා බැලීමේදී විත්තිකරුට එරෙහිව පැමිණිල්ල ගොනු කර ඇති චෝදනා සම්බන්ධයෙන් එහි විය හැකි භාවය පිළිබඳව තම අධිකරණයට බලවත් සැකයක් ඇති වන බව විවෘත අධිකරණය හමුවේදී පෙන්වා දුන් විනිසුරුවරයා සැකයේ වාසිය විත්තියට ලබා දෙමින් මෙම තීන්දුව නිකුත් කළේය.


එම විත්තිකරු පොලිස් නිලධාරීන් දැක ඉක්මන් ගමනින් මාර්ගය හරහා ගමන් කිර්ම නිසා ඇති වූ සැකය මත ඔහු ලුහුබැඳ ගොස් සිදු කළ පරීක්ෂණයේදී හෙරොයින් අඩංගු බෑගයක් කලිසම් සාක්කුවේ තිබී ඔහුව අත්අඩංගුවට ගත් බව විමර්ශන නිලධාරීන් අධිකරණය හමුවේ සාක්ෂි ලබාදී ඇති නමුත් එතරම් විශාල හෙරොයින් ප්‍රමාණයක් සමඟ අත්අඩංගුවට ගත් සැකකරුවකුගේ නිවෙස පරීක්ෂා නොකිරීම බලවත් අඩුපාඩුවක් බවත් විනිසුරුවරයා සිය තීන්දුව මඟින් ප්‍රකාශ කළේය.

විත්තිකරු ඔහුගේ අනන්‍යතාව තහවුරු කිරීමට අසමත් වීම හේතුවෙන් ඔහු පරීක්ෂා කළ බවත් ඔහු පලායෑමට කිසිදු උත්සාහයක් නොකළ බවත් කිසිවක් නොපවසා නිහඬව සිටි බවත් පැමිණිල්ල වෙනුවෙන් සාක්ෂි ලබා දුන් පොලිස් නිලධාරියකු පවසා ඇතැයිද ප්‍රකාශ කළ විනිසුරුවරයා සෑම විත්තිකරුවකුටම නිර්දෝෂී භාවයේ පූර්ව නිගමනය ඇති බවත් විවෘත මනසකින් යුතුව සියලු කරුණු සලකා බැලීම අධිකරණයේ වගකීම් වන බවත් පෙන්වා දුන්නේය.


සැකපිට අත්අඩංගුවට ගත් මවට ග්‍රෑන්ඩ්පාස් පොලිසියේ නිලධාධාරින්  පිරිසක් ඔහු ඉදිරිපිටදීම පහරදීම නිසා තම සේවාදායකයා මානව හිමිකම් කොමිෂන් සභාවට පැමිණිලි කර ඇති බවත් පොලිසියට එරෙහිව එම සිදු කරන ලද පැමිණිල්ලට හොඳ පාඩමක් උගන්වන බවට තර්ජනය කරමින් අසත්‍ය චෝදනා ගොනු කර පොලිසිය විසින් ඔහු අත්අඩංගුවට ගෙන ඇති බවත් විත්තිය වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ නිව්මන්ඩ් හෙන්රි මහතා අධිකරණයට ප්‍රකාශ කළේය.


මන්ත්‍රී අර්චුනාට දේශපාලනය තිත්ත වෙලා

 


 


 බී.පී. චතුරංග



වසර 38ක කාලයක් තුළ තමන් කවදාවත් ඡන්දය  ප්‍රකාශ කර නොමැති බවත්, තමන් අකමැති ක්ෂේත්‍රයක් වන දේශපාලනය තුළ වැඩි කාලයක් රැඳී සිටීමට බලාපොරොත්තු නොවන බවත්, දේශපාලනය තුළ රැඳී සිටින කෙටි කාලය තුළදී ජනතාව වෙනුවෙන් කෙළින් වැඩ කටයුතු කරන බව යාපනය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී රාමනාදන් අර්චුනා  මහතා පැවැසීය.අර්ජුනා මහතා මේ. බව පැවැසුවේ පෙරේදා (29) රාත්‍රි අනුරාධපුර පොලිසිය මගින් යාපනය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන අනුරාධපුර මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කර ඇප මත නිදහස් වීමෙන් අනතුරුවය.


මෙහිදී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්න සහ මන්ත්‍රීවරයා දුන් පිළිතුරු මෙසේය.


ප්‍රශ්නය: දැන් මන්ත්‍රීතුමා රටේ ප්‍රධාන චරිතයක් වෙලා තියෙනවා. මොකක්ද මෙකට හේතුව ?


පිළිතුර ඔයාලාම තමයි මාව ලොක්කා කරලා තියෙන්නේ, මේ දේශපාලනයට එන්න ඕනෑ කියලා උපාධි මොකුත් කරලා නැහැ. මම ඇත්තටම දේශපාලනයට කැමැති නැහැ. මම අවුරුදු 38ක් කවදාවත් ඡන්දය දීලා නෑ. දැන් ඇත්තටම ඉන්නේ මිනිස්සු වෙනුවෙන්, මම වැඩි කාලයක් දේශපාලනයේ ඉන්නේ නෑ. මම කැමැතිම නැති පැත්තක් තමයි දේශපාලනය. හැබැයි දේශපාලනයේ ඉත්ත කාලය තුළ නම් මම කෙලින් වැඩ කරනවා.


ප්‍රශ්නය: ඔබතුමා ජාති භේදය අවුස්සන තත්ත්වයක් තියෙනවා කියලා සමාජයේ දැඩි කතා බහක් තියෙනවා. ඒ සම්බන්ධයෙන් මොනවද කියන්න තියෙන්නේ?


පිළිතුර: අද දවසෙ. මෙතැන ඉන්න සියලු නීතිඥවරුන් සිංහල, එතකොට එහෙම ජාති භේදය අවුස්සන තත්ත්වයක් තියෙනවද? එහෙම දෙයක් තියෙනව නම් මේ නීතිඥවරුන් මං වෙනුවෙන් පෙනී සිටියිද? රාමනාදන් අර්ජුනා මන්ත්‍රීවරයා මහේස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇපමත මුදා හැරුණු අවස්ථාවේදී, මාධ්‍ය වෙත. අදහස් දැක්වූ මන්ත්‍රීවරයා වෙනුවෙන් පෙනී සිටි නීතිඥ සුනන්ද තෙන්නකෝන් මහතා මෙසේ පැවැසීය.


“අද දිනයේ අනුරාධපුර මූලස්ථාන පොලිසියේ ස්ථානාධිපතිතුමා යාපනය ප්‍රදේශයට ගොස් රානොදන් අර්ජුනා මන්ත්‍රීවරයා අත්අඩංගුවට අධිකරණයට ඉදිරිපත් කළා. එම අවස්ථාවේදී පොලිසිය පෙර දින ඉදිරිපත් කළ බි වාර්තාවට වැඩිදුර කරුණු දැක්වීම් සිදු කළා. පොලිසිය කරුණු දක්වමින් කියා සිටියේ මාර්ගයේ ගමන් කරමින් සිටියදී ඇතිවූ සිද්ධිය පමණයි.


වැඩිදුර විමර්ශන සිදු කෙරෙනවාද කියා මහේස්ත්‍රාත් -වරයා පොලිසියෙන් අසා සිටියා. ඒ අවස්ථාවේදී කරුණු දැක්වූ පොලිස් නිලධාරින් සඳහන් කළේ මන්ත්‍රීවරයාගේ වාහනේ සිටි එක් තැනැත්තියකගේ කරුණු සටහන් කර ගැනීමට අවශ්‍ය බවයි.


එම අවස්ථාවේදී තම සේවාදායකයා වෙනුවෙන් අප සඳහන් කළේ පොලිසියේ කිසිම අවස්ථාවක ප්‍රකාශයක් දීමට පැමිණෙන ලෙසට තම සේවාදායකයාට දන්වා නොමැති බවයි. ඒ අනුව මහේස්ත්‍රාත්වරයා සියලු කරුණු සැලකිල්ලට ගෙන රුපියල් ලක්ෂ දෙකක් බැගින් වූ ශරිර ඇප දෙකක් මත මන්ත්‍රීවරයා මුදා හැරීමට නියෝග කළා. ඒ අනුව හෙට දිනයේ අදාළ කාන්තාව ප්‍රකාශයක් ලබා දීමට පොලිස් මූලස්ථානයට යාමට නියමිතයි. මාගේ සේවාදායකයා මුල් අවස්ථාවේ සිටම එම විමර්ශනවලට පොලිසියට සහාය ලබා දීමක් කළා. ඒත් පොලිසිය සඳහන් කරන්නේ සහාය ලබා දීමක් නොකළ බවයි.


රථ වාහන සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය අධිකරණයට කරුණු වාර්තා කළ දිනට පසුදිනම යහපත් පුරවැසියකු හැටියට මේ රටේ නීතියට ගරු කරමින් අර්චුතා මන්ත්‍රීවරයා මෝසමක් මගින් අනුරාධපුර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් වුණා.



මාලිමා කතුන්ගේ විරෝධතාවට ජල ප්‍රහාර

 


රංජන් කටුගම්පොල


ජාතික ජන බලවේගයේ කාන්තා සංවිධානයේ සාමාජිකාවන් පිරිසක් පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දුව මංසන්ධියේ දී පසුගිය වසරේ පැවැත්වූ විරෝධතාවට බාධා කරමින් පොලීසිය ජල ප්‍රහාර එල්ල කිරීමේ සිද්ධියට අදාළව රහස් පොලිසිය කළ විමර්ශනවල වාර්තාව තමන්ට ලැබී ඇතැයි නීතිපතිවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට ඊයේ (30) දැනුම් දුන්නේය.

විරෝධතාවට බාධා කරමින් පොලීසිය ජල ප්‍රහාර එල්ල කිරිමෙන් සිය අයිතිවාසිකම් කඩවූ බව සඳහන් කරමින් එවක පාර්ලිමේන්තු මන්ත්‍රීවරියක වූ අගමැතිනී ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය ඇතුළු පිරිසක් ගොනුකළ මූලික අයිතිවාසිකම් පෙත්සමක් කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාධව තෙන්නකෝන් මහතා එසේ දැනුම  දුන්නේය.


ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරුවරුන් වන ඵස්. තුරේරාජා, අචල වෙන්ගප්පුලි සහ අර්ජුන ඔබේසේකර යන මහත්වරුන්ගෙන් සැදුම්ලත් විනිසුරු මඬුල්ලක් හමුවේ පෙත්සම කැඳවිණි. අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය මෙනෙවිය, ජාතික ජන බලවේගය පක්‍ෂයේ ජාතික විධායක කමිටු සාමාජිකාවත් දෙදෙනකු සහ පක්‍ෂයේ සාමාජික නීතිඥවරියන් දෙදෙනකු ගොනු කර ඇති මෙම පෙත්සමේ වගඋත්තරකරුවන් වශයෙන් එවක වැඩබලන පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්, වැලිකඩ, තලංගම හා මිරිහාන පොලිසිවල ස්ථානාධිපතිවරුන්, නුගේගොඩ දිසාව භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා, නීතිපතිවරයා ඇතුළු නව දෙනකු නම් කර ඇත. 2024 වසර සඳහා වන විසර්ජන පනත් කෙටුම්පතේ කාන්තා කටයුතු සඳහා වෙන්කර තිබෙන ප්‍රතිපාදන සියයට 51 කින් අඩු කිරීමට රජය ගෙන ඇති තීරණයට විරෝධය පළකිරීමට සහ ඒ පිළිබඳ මහජනතාව දැනුවත් කිරිම සඳහා කාන්තා හා ළමා කටයුතු අමාත්‍යාංශයට අදාළ වැය ශීර්ෂය පිළිබඳ පාර්ලිමේන්තු විවාදය පැවති දින පාර්ලිමේන්තුවට පිවිසෙන පොල්දූව මංසන්ධියේ දී තමන් ඇතුළු කාන්තාවන් පිරිසක් සාමකාමී විරෝධතාවක නිරත වූ බව සඳහන් කරන පෙත්සමකාරියෝ කිසිදු සාධාරණ හේතුවක් නොමැතිව පොලිස් නිලධාරීන් එම විරෝධතාවට ජල ප්‍රහාර එල්ල කළ බවත් එහිදී කාන්තාවන් කිහිප දෙනකු අමානුෂික සැලකීම්වලට ලක් වූ බවත් පෙන්වා දෙති. 


පොලිසියේ මෙම අත්තනෝමතික සහ අසාධාරණ ක්‍රියාකලාපය හේතුවෙන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් සහතික කර ඇති භාෂණයේ මෙන්ම අදහස් ප්‍රකාශ කිරීමේ අයිතිය ඇතුළු තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය වූ බවට ප්‍රකාශ කරන්නැයි ඉල්ලා සිටින පෙත්සම්කාරියෝ තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම වෙනුවෙන් වැඩබලන පොලිස්පතිවරයා වශයෙන් කටයුතු කළ දේශබන්දු තෙන්නකෝන් ඇතුළු වගඋත්තරකාර පොලිස් නිලධාරින්ගෙන් රුපියල් ලක්ෂ 10 බැගින් වන්දි අයකර දෙන්නැයි ඉල්ලා සිටිති.


පෙත්සම කැඳවූ අවස්ථාවේදී වගඋත්තරකරුවන් වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල් මාව තෙන්නකෝන් මහතා කරුණු දක්වමින් සිද්ධියට අදාළව රහස් පොලිසිය කළ විමර්ශන කටයුතු මේ වන විට අවසන් වී ඇතැයි ද රහස් පොලිස් වාර්තාව තම දෙපාර්තමේන්තුවට ලැබි ඇතැයි ද දැනුම් දුන්නේය.එම රහස් පොලිස් වාර්තාව සම්බන්ධයෙන් අධ්‍යයනය කරගෙන යත්තේ යැයි කී මාධව තෙන්නකෝන් මහතා වාර්තාව අධ්‍යයනය කිරිමෙන් පසු ඒ සම්බන්ධයෙන් ගන්නා අවසන් තීරණය අධිකරණයට දැනුම් දීමට පියවර ගන්නා බවද දැනුම් දුන්නේය. පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා කරුණු දක්වමින් නීතිපතිවරයා ගන්නා ක්‍රියාමාර්ගය අනුව මෙම පෙත්සම පවත්වාගෙන යන්නේද? නැද්ද? යන්න පිළිබඳව දක්වන බව දැනුම් දුන්නේය.කරුණු සලකා බැලීමෙන් අනතුරුව නීතිපතිවරයාගේ ස්ථාවරය දැනුම් දීම සඳහා පෙත්සම අප්‍රේල් 03 වැනිදා කැඳවීමට විනිසුරු මඩුල්ල නියෝග කළේය.


වෛද්‍ය චමල් සංජීවගේ වැඩ තහනම්

 


 


සුජිත් හේවාජුලිගේ


වෛද්‍ය හා සිවිල් අයිතිවාසිකම් පිළිබද වෛද්‍යවරුන්ගේ වෘත්තීය සමිති සන්ධානයේ සභාපති වෛද්‍ය චමල් සංජීව මහතාගේ වැඩ තහනම් කර ඇතැයි සෞඛ්‍ය ආරංචි මාරිග සදහන් කරයි.වෛද්‍යවරයා ආයතනය සංග්‍රහය උල්ලංඝනය කරමින් කටයුතු කර ඇතැයි රාජ්‍ය සේවා කොමිෂන් සභාව කළ දැනුම් දීමකින් පසු අමාත්‍යාංශය මේ පියවරගෙන ඇත.මේ සම්බන්ධයෙන් අප වෛද්‍ය චමල් සංජීව මහතාගෙන් කළ විමසුමක දී ඔහු පැවැසුවේ පසුගිය මහ මැතිවරණයට ඉදිරිපත් වූ අවස්ථාවේ දී තමා රාජ්‍ය සේවයෙන් ඉවත් වූ බවයි.


ඒ සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයට විධිමත් ඉල්ලා අස්වීමේ ලිපියක් බාර දී ඇති බව ද ඔහු සඳහන් කළේය. කෙසේ වෙතත් ඔය කියන ආකාරයේ වැඩ තහනම් ලිපියක් තමාට මෙතෙක් ලැබී නැති බවත් තමා රාජ්‍ය සේවයෙන් ඉවත් වී ඇති හෙයින් වැඩ තහනම් ලිපියක් ලැබුණත් තමා ඊට කිසිදු ප්‍රතිචාරයක් නොදක්වන බවත් වෛද්‍ය චමල් සංජීව මහතා පැවැසීය.චමල් සංජීව මහතා පසුගිය මහ මැතිවරණයේ දී සමගි ජන බලවේගයෙන් කොළඹ දිස්ත්‍රික්කයට තරග වැදුණු නමුත් පරාජයට පත්විය.


සරසවි පෙමට දිවි දුන් තරුණියගේ පියා කියයි

 

 



ලසන්ත නිරෝෂණ පෙරේරා


මමත් පුතාත් ගෙදරින් පිටවී ගිය වෙලාවේ දී සැකකරු ගෙදරට හොරෙන් ඇතුළු වී දුවගේ ගෙල කපා තිබූ බව රත්නපුර ඇලපාත ප්‍රදේශයකම්පාවට පත් කරමින් සිදු වූ 29 හැවිරිදි උපාධිධාරිනියගේ මරණය සම්බන්ධයෙන් ඇයගේ පියා වන කේ. ගුණරත්න මහතා පැවැසීය.රත්නපුර ඇලපාත පොලිස් බල ප්‍රදේශයට අයත් දෙල්ලබඩ කරන්ගොඩ ප්‍රදේශයේ දී 29 හැවිරිදි උපාධිධාරිනියක වූ චන්දිමා හර්ෂණී ගුණරත්න මෙනෙවියගේ ගෙල කපා පෙරේදා 29 වැනිදා උදෑසන හය හමාරත්, හතත් අතර දී ඝාතනය කර තිබූ බව පොලිස් පරීක්ෂණවල දී අනාවරණය විය.

මෙම ඝාතනය ගැන උපාධිධාරි තරුණියගේ පෙම්වතා බව කියන 32 හැවිරිදි පුද්ගලයකු ගැන සැක කරයි. අනුරාධපුරය ප්‍රදේශයේ පදිංචිකරුවකු බව කියන ඔහු නිවෙසට ඇතුඵ වී ගෙල කපා තරුණිය ඝාතනය කළ සැකකරු වස ශරීරගත වී රෝහල් ගත කර ඇතැයි හෙළිවී තිබේ.


32 හැවිරිදි සැකකාර තරුණයා මියගිය තරුණියගේ නිවෙස ආසන්නයේ කුඹුරක වැටී සිටිය දී ගම්වාසීන් විසින් රත්නපුර මහ රෝහලට යවා ඇතුළත් කරනු ලැබීය.ඔහුගේ තත්වය ජීවිත අවදානමෙන් මිදී ඇති අතර අධිකරණ නියෝගයකට අනුව සැකකරු රිමාන්ඩ් කිරිමට නියෝග ලබාගෙන බන්ධනාගාර නියාමකයන්ගේ ආරක්ෂාව යටතේ ප්‍රතිකාර ලබමින් සිටින බව පරීක්ෂණ සිදු කරන ඇලපාත පොලිසිය පවසයි.සැකකරුගෙන් ඊයේ 30 වැනිදා දහවල් වනතෙක් ප්‍රකාශයක් ලබා ගැනීමට නොහැකි තත්වයක් තිබූ බව ද පොලිසිය පවසයි.


සැකකරු ගුරුවරයකු බව ද ඔහු රත්නපුර ආසන්න ප්‍රදේශයක උපකාරක පන්ති පවත්වා ඇති බවට තොරතුරු ලැබී ඇතැයි පොලිසිය පවසයි. මියගිය තරුණියගේ පියා මෙසේ පැවැසීය. මගේ දරුවා සැකකරු සමග පැවැති සම්බන්ධය අත්හැර දමා තිබුණා. ආදර සම්බන්ධය නැවත ආරම්භ කරන ලෙස අවස්ථා කීපයක දී සැකකරු දුවගෙන් ඉල්ලා සිටියත් ඊට දුව අකැමැති වුණා. සැකකරුගේ කල් ක්‍රියාව හොඳ නැති නිසා නිවෙසට නොඑන ලෙස ද ඔහුට අපි කියා සිටියා. මෙයා ඇවිත් තිබෙන්නේ මමත් පුතාත් නිවෙසේ නැති බව දැන ගෙනයි. කොහේ හෝ සැගවිලා බලාගෙන ඉන්න ඇති. මම හිටියා නම් කීයටවත් මේ දෙය වෙන්න දෙන්නේ නැතැයි තරුණියගේ පියා පැවැසීය.


විශ්ව විද්‍යාල කාලයේ ආරම්භ වූ ප්‍රේම සම්බන්ධය විවාහයකින් අවසන් කිරීමට බාධාවීම හේතුවෙන් මෙම ඝාතනය සිදුව ඇතැයි පරීක්ෂණ සිදු කරන පොලිසිය පවසයි.සැකකරු අවස්ථා කිපයක දී මියගිය. හර්ෂණගේ නිවෙසට පැමිණ ඇත. ඒ නිසා නිවෙසට පැමිණෙන මාර්ග ගැන ද ඔහු හොඳ අවබෝධයකින් සිටි නිසා 28 වැනිදා රාත්‍රි හෝ අලුයම් කාලයේ දී එම නිවෙස ආසන්නයට පැමිණ සැඟවී සිටින්නට ඇතැයි පොලිසිය විශ්වාප කරයි.දෙල්ලබඩ ප්‍රදේශයේ වසා දැමූ පාසල් ගොඩනැගිල්ල තුළ සැකකරු රාත්‍රිය ගතකර නිවෙස අලුයම කාලයේ දී තරුණියගේ ආසන්නයට පැමිණෙන්නට ඇතැයි පරීක්ෂණ කණ්ඩායම් සඳහන් කරයි.ඝාතනය සඳහා මාළු කපන පිහියක් භාවිත කර තිබේ.කැලණිය විශ්ව විද්‍යාලයෙන් උපාධිය. ලද චන්දිමා මූල්‍ය ආයතනයක රත්නපුර ශාඛාවේ නිලධාරිනියක ලෙස රැකියාවක නිරත වූවාය.සිද්ධිය වූ 29 වැනිදා උදෑසන චන්දිමා සිය මව සමග ආහාර පිසිමින් සිටි අතර මව එම ස්ථානයෙන් ඉවත්ව ගිය අවස්ථාවේ දී සැකකරු හොර රහසේ මුළුතැන් ගෙට රිංගා ඇතැයි පොලිසිය අනාවරණය කරගෙන තිබේ.


තරුණිය නිවෙසේ මුළුතැන්ගෙයි ලූනු කපමින් සිටිය දී හොර රහසේ ගෙට ඇතුළු වූ තරුණයා එකවරම පිටුපසින් ගොස් පිහියකින් ඇයගේ ගෙල කපා මරා දමා ඇත්තේ ඇයට කිසිවක් සිතා ගැනීමටවත් ඉඩ නොතබමින් බවට පොලිසිය හෙළි කරගෙන ඇත.දරුණු කැපුම් තුවාලයකට ලක් වූ ඇය මුළුතැන් ගෙය තුළ ඇද වැටී සිටියේ ඒ වන විටත් අවසන් සුසුම් හෙළමිණි.

තරුණියගේ ගෙල කපා දැමූ තැනදීම සැකකරුට වස ශරීරගත වී ඇතැයි පරීක්ෂණවල දී අනාවරණය කර ගනු ලැබීය. මීටර් දෙතුන් සියයක් යද්දී තරුණියා කුඹුරකට ඇද වැටී ඇතැයි පොලිසිය පවසයි.


තරුණිය සමග පැවැති ප්‍රේම සම්බන්ධතාව බිඳී යාම මෙන්ම ඇයට වෙනත් සම්බන්ධතාත් ඇතිදැයි සැකකරු තුළ ඇති වූ සැකය ඝාතනයට හේතුව විය හැකි බව පරීක්ෂණ සිදු කරන ඇලපාත පොලිසිය පවසයි.කෙසේ වෙතත් ඇය ඝාතනය කරන්නට තරම් බලපෑ හේතුව ගැන විමසීමට පොලිසියට තවමත් නොහැකිව ඇත්තේ සැකකරු ප්‍රකාශයක් දිය හැකි මට්ටමක තවමත් නොමැති නිසාය. මෙම ඝාතනය ගැන.


අධිකරණ වෛද්‍ය පරික්ෂණය මහේස්ත්‍රාත් පරික්ෂණයේ සාක්කි විභාගය ඊයේ 30 වැනිදා රත්නපුර දී පැවැත්වීමට නියමිතව තිබුණි.සිද්ධිය පිළිබඳව ඇලපාත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වන අතර රත්නපුර අපරාධ ස්ථානගාර ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරික්ෂක මායාදුන්න මහතා ඇතුඵ නිලධාරිහු ද පරීක්ෂණ සිදු කළහ.රත්නපුර නියෝජ්‍ය පොලිස්පති පවිත්‍ර දයාරත්න මහතාගේ සහ රත්නපුර පොලිස් අධිකාරි කපිල ප්‍රේමදාස මහතාගේ උපදෙස් අනුව පරික්ෂණ සිදු කෙරේ.


සුද්දො පිරිසක් හෝටලේ පිළිගැනීමේ නිලධාරිනිය පිහිනුම් තටාකයට දාලා

 

 


සුමිත් පොතුපිටිය


පෝලන්ත ජාතිකයන් පිරිසක් වාද්දුව තරු පන්තියේ හෝටලයක පිහිනුම් නටාකයේ අවේලාවේ දියනාමින් සිටියදී එයට විරෝධය පළ කළ පිළිගැනීමේ නිලධාරිනියක පිහිනුම් තටාකයට දැමූ පුවතක් පානදුර පොලිසියෙන් වාර්තාවේ.


හෝටලයේ පිළිගැනීමේ නිලධාරිනිය පසුගිය දිනක රාත්‍රී රාජකාරියේ යෙදී සිටියදී පෝලන්ත ජාතිකයන් පිරිසක් පිහිනුම් තටාකයේ දිය නාමින් සිට ඇති බව සදහන් වේ.ඔවුන් මත්පැන් පානය කරමින් අවේලාවේ දියනාමින් සිටි නිසා එසේ නොකරන ලෙස පිළිගැනීමේ නිලධාරිනිය ඉල්ලීමක් කර ඇති බවද පැවැසේ.මෙම උපදෙසට උරණ වූ පෝලන්ත ජාතිකයන් ඇය නිල ඇඳුම පිටින්ම පිහිනුම් තටාකයට දමා ඇති අතර, එහිදී තුවාල ලැබූ පිළිගැනීමේ නිලධාරිනිය පානදුර මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය කියයි.


සිද්ධියට සම්බන්ධ පෝලන්ත ජාතික පිරිස නැවත සිය මව් රටට යාමට අවශ්‍ය බැවින් අධිකරණ කටයුතුවලින් තොරව පොලිසියේ මැදිහත්වීමෙන් හෝටලයේ සම්බන්ධීකරණයෙන් ඇයට චන්දියක් ලෙස ඇමරිකන් ඩොලර් 900 ක මුදලක් ලබාදී ඇති බව පානදුර උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය. හෝටල් කළමනාකාරීත්වයේ උපදෙස් පරිදි ඇයට වැටුප් සහිත නිවාඩු ලබාදී ඇති බව ද පානදුර දකුණ පොලිසිය පවසයි.



කෝටි 3000ක තවත් පිරමීඩ ජාවාරමක්

 

රෝෂන් තුෂාර


පීරමීඩාකාර මුල්‍ය ගනුදෙනු වලින් මුදල් ලබාගෙන රුපියල් කෝටි 3000කට අධික වංචාවක් කළැයි කියන “අයිකන් ඇඩ්වටයිසින් ප්‍රයිවට් ලිමිටඞ්” නමැති මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරුන් හයදෙනකුට හා එහි ලේකම්වරයාට විදේශ ගතවීම තහනම් කරමින් විදේශ ගමන් තහනමක් පැනවු කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලී මහත්මිය ගනුදෙනුකරුවන් වංචාවට ලක් කළැයි කියන අන්තර්ජාල වෙබ් අඩවිය සම්බන්ධයෙන් විශේෂඥ වාරිතාවක් ඉදිරිපත් කිරීමට පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයට ඊයේ (30) නියෝග කළාය. 


අන්තර්ජාලයේ පළවන වෙළෙඳ දැන්වීම්වල මුදල් ආයෝජනය කර ප්‍රතිලාභ ලබා දෙන බවට පවසමින් මෙම පිරමීඩ වංචාව කර ඇතැයිද සැකකරුවන් හොර රහසේ විදේශගතවීමේ සුදානමක් ඇතැයිද දැනුම් දෙමින් රහස් පොලිසිය කළ ඉල්ලීමක් පිළිගනිමින් අදාළ ගුවන් ගමන් තහනම පැනවූ මහේස්ත්‍රාත්වරිය ඒ බව ආගමන විගමන පාලකවරයාට දැනුම් දීමටද නියම කළාය. මෙලෙස විදෙස් ගමන් තහනම් කරන ලද්දේ කොට්ටාව ප්‍රදේශය කේන්ද්‍ර කරගෙන ලංකාව පුරා රැකියා අපේක්ෂිත තරුණ තරුණියන් තැන්පත්කරුවන් වංචාවට ලක් කළැයි කියන “අයිකන්” පිරමීඩාකාර මුල්‍ය ආයතනයේ අධ්‍යක්ෂවරුන් වන හම්බන්තොට ජයසිංහ කුරුණෑගල. සමන්ත ගුණතිලක, හිඳගොල්ල ජයලත් සේනාධිර, පිළියන්දල ආර්.ඩී. විමලසේත, හේනේගම අෂාන් පුෂ්පකුමාර පීරමීඩාකාර මුල්‍ය ආයතනයේ ලේකම්වරයා වූ පන්නිපිටියේ විකී කුලසිංහ නමැත්තන්ටය.


සිද්ධියට අදාළව කරන ලද විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ රහස් පොලිස් නිලධාරීහු 'අයිකන්' නමැති සමාගම් පවත්වාගෙන ගිය "බ්‍රැන්ඩි රේට් ඩොට් කොම්” නමැති වෙබ් අඩවිය හරහා රැකියා දෙන බවට වෙළෙඳ දැන්වීම් පළකර ඇති බවත් රැකියා අපේක්‍ෂාවෙන් සැකකාර සමාගමේ මුදල් ආයෝජනය කරන පුද්ගලයන්ට ප්‍රතිලාභ දෙන බව පවසා මෙම වංචාව කර ඇතැයි කීහ.රුපියල් 10,000/- සිට ලක්ෂ 50 දක්වා වූ පැකේජ සඳහා පුද්ගලයන්ට මුදල් ආයෝජනය කළ හැකි අතර එසේ ආයෝජනය කළ පුද්ගලයන් 700 කගෙන් ලැබුණු පැමිණිලි අනුව මෙම විමර්ශනය ආරම්භ කළ බවත් වංචාව පිළිබඳ තවත් පැමිණිලි ලැබෙමින් ඇති බවත් දැනුම් දුන් රහස් පොලිස් නිලධාරීහු වංචාව පිළිබඳ මේ වන විට තැන්පත්කරුවන් විසිදෙනකුගෙන් ප්‍රකාශ සටහන් කරගෙන ඇති බවත් දැනුම් දුන්හ.


සැකකාර පිරමීඩාකාර ආයතනය භාවිත කළ වෙබ් අඩවිය පිළිබඳ විශේෂඥ වාර්තාවක් ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදයෙන් කැඳවන්නැයිද සැකකාර ආයතනය නමින් බැංකුවල පවත්වාගෙන ගිය ගිණුම් පහත විස්තර දෙන ලෙස බැංකු කළමනාකරුවන්ට නියම කරන්නැයිද ඉල්ලා සිටි රහස් පොලිස් නිලධාරීහු සැකකරුවන් හොර රහසේ විදේශ ගතවීමේ සුදානමක් ඇතැයිද එසේ වුවහොත් විමර්ශනවලට බාධා විය හැකි හෙයින් ඔවුන්ගේ විදේශ ගමන් තමනම් කරන්නැයිද ඉල්ලා සිටියහ.කරුණු සලකා බැලීමෙන් අනතුරුව අදාළ නියෝග නිකුත් කළ මහේස්ත්‍රාත්වරිය සිද්ධියට අදාළව කරන විමර්ශනවල ප්‍රගතිය වාර්තා කිරීමට රහස් පොලිසියට නියෝග කළාය.


නෙදර්ලන්ත කොන්ත්‍රාත්කරු ජලමණ්ඩලේ කෝටි 95ක් ගිලලා

 

 


සුජිත් හේවාජුලිගේ


ජල සම්පත්  මණ්ඩලයේ දත්ත මධ්‍යස්ථාන ගොඩනැගිල්ලක් ඉදිකිරීම අතරමග නතරවීමෙන් නෙදර්ලන්ත කොන්ත්‍රාත්කරුට ගෙවා තිබූ රුපියල් කෝටි 54 කට අධික අත්තිකාරම් මුදල නාස්ති වී ගොස් තිබූ බව ජාතික විගණන කාර්යාලය නිකුත් කළ වාරිතාවක සදහන් වේ. 


මෙම ගොඩනැගිල්ල ඉදිකිරීමට නියමිතව තිබී ඇත්තේ නාගරික සංවර්ධන අධිකාරියට අයත් බත්තරමුල්ලේ ඉඩමක බව එම වාර්තාවේ දැක්වේ.මෙම අත්තිකාරම් මුදල ගෙවීමෙන් පසු ඉඩමේ හිමිකාරිත්වය නොලැබීම හේතුවෙන් දත්ත මධ්‍යස්ථානය ඉදිකිරීම අතරමග නතර වී තිබූ බව ජාතික විගණන කාර්යාලය පවසයි.


දත්ත මධ්‍යස්ථාන ගොඩනැගිල්ල ඉදිකිරීම සඳහා රුපියල් කෝටි 25 ක් වෙන්කර තිබූ අතර රුපියල් කෝටි තිස් දෙකක අවිනිශ්චිත වෙන් කිරීම්ද දත්ත මධ්‍යස්ථානය සඳහා භාවිත කිරීමට තීරණය කර තිබූ බව වාර්තාව සඳහන් කරයි.මේ අතර ජල සම්පත් මණ්ඩල පනත සංශෝධනය කිරීමට අදාළ කෙටුම්පත පිළියෙල කිරීම සඳහා පෞද්ගලික නීතිඥයකු සහ නීතිඥ සමාගමක සේවය ලබාගෙන මිලියන 0.645ක් ගෙවා තිබුණද එම කාර්යය ඉටුකර නොතිබූ බව වාර්තාව සඳහන් කරයි. මේ තොරතුරු සඳහන් වන්නේ ජාතික විගණන කාර්යාලය ජල සම්පත් මණ්ඩලයට අදාළව නිකුත් කළ විගණන වාර්තාවේය.


Thursday, January 30, 2025

කෝටි ගණක රන් බඩු ගන්න එඬේරමුල්ල තරුණ පෙම්වතුන් ගහපු ගැටය

 මවුපියන් සතු රන් ආභරණ සිය පෙම්වතාට ලබා දීම සඳහා අමුතුම මාදිලියේ සැලැස්මක් සෑදූ පෙම්වතියක් ගැන පුවතක් පසුගියදා එඬේරමුල්ල පොලිස් වසමෙන් වාර්තා විය.එම සිදුවීම පොලිස් පොත්වල සටහන් වන්නේ මෙලෙසිනි.


ඉකුත් 27 වැනිදා එඬේරමුල්ල පොලිසියට දුරකථන ඇමැතුමක් ලැබිණි. ඒ එඬේරමුල්ල, තුඩුව, පාදිලියාතුඩුව ප්‍රදේශයේ නිවෙසකට සොරුන් පැන එහි සිටි තරුණියකගේ අත- පය බැඳ නිවෙසේ තිබූ රන් ආභරණ කොල්ලකා ඇති බව කියමින්ය. එඬේරමුල්ල පොලිස් ස්ථානාධිපති සුනිල් ප්‍රියන්ත ඇතුළු කණ්ඩායමක් සිද්ධිය වූ නිවෙසට යන්නේ ඉන් පසුවය. ඒ වන විට අත-පය ගැටගසා සිටි තරුණිය අවට පිර්ස විසින් ලිහා දමා තිබූ අතර ඇගේ මවුපියන්ද නිවෙසට පැමිණ සිටියහ. ඒ එම අසල්වාසීන් සිදුවීම ඇගේ මවට දැන්වීමෙන් පසුවය. නිලධාර්න් සිද්ධිය සම්බන්ධයෙන් එම තරුණියගෙන් විමසන්නට විය.ඇය විසි හැවිරිදි රූමතියකි.


"අම්මයි, තාත්තයි වැඩකට ගෙදරින් ගිහින් හිටියේ. මම විතරයි ගෙදර හිටියේ. මම නිදාගෙන හිටියේ එකපාරට සද්දයක් ඇහිලා මම නැඟිටලා ගිහින් බලද්දි කවුදෝ කෙනෙක් ජනේල ගාව ඉඳලා බෙල්ලට පිහියක් තියලා මාව බය කරලා කොහේද රත්තරන් බඩු තියෙන්නේ කියල ඇහුවා. මම එතකොට ඒ බඩු තියෙන තැන

පෙන්නුවා. පස්සෙ මගේ කටට පාන්කඩයක් ඔබලා ලණුවකින් මාව ගැටගහලා ගෙදර තිබුණු රත්තරන් බඩු අරගෙන ගිහින් තිබුණා."

ඇය නිලධාර්න් ඉදිරියේ පවසන්නට වූවාය. එමෙන්ම අසල්වාසීන් ඇය කෑගහන ශබ්දය ඇසී නිවෙසට පැමිණ ඇති අතර ඔවුන්

සිය ජංගම දුරකථනයකින් ඇය ගැට ගසා සිටි ආකාරය ඡායාරූප ගතකර ඇති බවත් නිලධාරීන්ට දැනගන්නට ලැබිණි.නිලධාරීන් එම ඡායාරූප එකිනෙක පිරික්සමින් අසල්වැසියන්ගෙන්ද ප්‍රශ්න කළේය.


කෙසේ වෙතත් කොල්ලකරු මෙම තරුණිය ලණුවකින් ගැටගසද්දී ඇය කිසිම පොරබැදීමක් කර නැති බව නිලධාරීන්ට පෙනිණි. එමෙන්ම ඇය ලණුවෙන් ගැටගසා තිබූ ආකාරයද නිලධාට ගෙන ආවේ සැකයකි.

ඉන් පස්සේ අපි මේ පුද්ගලයා ගෙට ඇතුළු වුණේ කොතැනින්ද කියලා බැලුවා. කෑම කන කාමරයේ ජනේලයක් අපිට පෙන්නුවා. ඒක එළියෙන් ඇරපු බවක් තමයි කිව්වේ. ඒත් අපිට තේරුණා ඒ ජනේලය ඇතුළෙන් ඇරපු එකක් බව. ඔන්න ඔය වගේ සැක කිහිපයක් ආවා.”


ඒ වගේම ගෙදර ටීපෝ එකක් යට තමයි පොඩ් සේප්පුවක් වගේ එකක් හදලා ඒකේ තමයි ඔය රත්තරන් බඩු දාලා තිබුණේ. ඒකේ තිබුණු රත්තරන් බඩු සේරම හොරා අරගෙන ගිහින් තිබුණා. මේ ළමයත් ටිකක්

බය වෙලා වගේ හිටියේ එයාගෙන් ප්‍රශ්න කරද්දී. තිබුණු සැකය තවත් වැඩි වුණා. පස්සේ අපි ඒ ගෑනු මයව පොලිසියට අරගෙන ගිහින් ප්‍රශ්න කළා. පොලිස් කාන්තාවක් යොදවලා ඇයට දීර්ඝ ලෙස කරුණු පහදලා දීලා බොරු කියලා වැඩේ වරද්ද ගන්න එපා ඔයාට හිරේ යන්නවෙයි. ඇත්ත කිව්වොත් අපි ඔයාව බ්‍රෙන්නම් කියලා. එයාව අපේ පැත්තට නම්ම ගත්තා, පස්සේ එයා ඇත්ත කිව්වා. පැය තුනක විතර කාලයක් ගියා. ඒ ගෑනු ළමයට තේරුම් කරලා දීලා ඇත්ත දැනගන්න.විමර්ශන නිලධාරියෙක් සඳහන් කළේය.ඇය සත්‍ය සිදුවීම එකිනෙක විස්තර කළාය.


“මම එයාව හඳුනගත්තේ ෆේස්බුක් එකෙන්. මගේ උපන් දිනයට එයා සුබපැතුවා. එතැනින් තමයි අපි කතබහ කරන්න පටන් ගත්තේ."


ඒ අනුව හෙළිවන්නේ ඇය නිවෙසේ තිබූ රන් ආභරණ සියල්ලම ලබාදී ඇත්තේ එලෙස දැනහඳුනාගත් ඇගේම 21 හැවිරිදි පෙම්වතාට බවය. නිලධාර්න් ඇගෙන් පෙම්වතා ගැන කරුණු විමසුවේය. ඇය දන්නා සියලු දේ නිලධාරීන්ට කීවාය. වසර හතරක් පමණ කාලයක් තිස්සේ ඔහු සමඟ ඇය ප්‍රේම සබඳතාවක් පවත්වාගෙන ගොස් තිබිණි. නිලධාරීන් ඔහු සොයා කැලණියට යද්දී ඔහු නිවෙසේ සිටියේය.නිලධාරීන් ඔහුගෙන් සිද්ධිය සම්බන්ධයෙන් දීර්ඝ ලෙස ප්‍රශ්න කරන්නට විය. එහිදී අනාවරණය වන්නේ දෙන්නා අතර ඇති ප්‍රේමය නිසාම පෙම්වතා සහ පෙම්වතිය එක්ව මෙම සැලසුම සකස් කර ඇති බවය. ඒ අනුව හෙළිවන්නේ සිය නිවෙසේ තිබූ රුපියල් කෝටි එකයි පන් ලක්ෂයක රන් ආභරණ පෙම්වතිය විසින් වර්න් වර පෙම්වතාට ලබා දී ඇති බවය.


සිය දියණියට පෙම්වතකු සිටින බව ඇගේ මවට දැනගන්නට ලැබුණද එය තහවුරු වී තිබුණේ නැත. ඒ බව ඇය සිය දියණියගෙන් විමසා ඇත. එවිට ඇය පවසා ඇත්තේ තම පෙම්වතා ඉතාලියේ රැකියාව කරන බවය. “උඹ හිතුවක්කාර වැඩක් කරනවා එහෙම නෙවේ. එහෙම කළොත් අපි උඹට කිසිම දෙයක් දෙන්නේ නැහැ.” මව වරෙක සිය දියණියට පවසා ඇත. එහෙත් ඇය ඊට කිසිදු ප්‍රතිචාරයක් දක්වා නැත. එහෙත් ඇය මෙම කැලණිය පෙම්වතා සමඟ ප්‍රේම සබඳතාව දිගින් දිගටම පවත්වාගෙන ගොස් ඇති අතර ඒ අතර තුර සිය පෙම්වතාට මෙලෙස වරින්වර රන් ආභරණ ඇය විසින් ලබාදී ඇත.


අවසානයේ නිවෙසේ ඇති සියලු රන් ආභරණ පෙම්වතාට ලබා දීමට ඇය එකඟ වී සිය පෙම්වතා සමඟ මෙම සැලසුම සකස් කර තිබිණි. ඒ අනුව සොරකු ජනේලයෙන් ගෙට ඇතුළු වී ඇගේ අත-පය ලණුවකින් ගැටගසා නිවෙසේ තිබූ රන් ආභරණ රැගෙන පලාගිය බවට කියමින් ඇය කිසියම් රංගනයක යෙදුණාය. පොලිසිය පෙම්වතා අත්අඩංගුවට ගැනීමෙන් පසු එම සැලසුම එකක් නෑර හෙළිවිය. පෙම්වතාගෙන් ප්‍රශ්න කිරීමෙන් පසු ඔහුගේ නිවෙසේ තිබී පෙම්වතියගේ නිවෙසින් සොරාගත් රුපියල්

ලක්ෂ 37ක් වටිනා රන් පවුම් 18ක්ද පොලිසිය සොයා ගත්තේය. එමෙන්ම මෙලෙස සොරකම් කරන ලද රන් ආභරණ උකස්කොට ලබාගත් මුදල්වලින් මිලදී ගත් රුපියල් ලක්ෂ 23ක් වටිනා යතුරුපැදි දෙකක්ද කොම්පියුටර්, පරිගණක,ඔරලෝසු ඇතුළු වටිනා ද්‍රව්‍ය තොගයක්ද නිලධාර්න් සිය භාරයට ගත්තේය. එමෙන්ම සැකකාර පෙම්වතා සතුව තිබී එක්තරා ප්‍රසිද්ධ උකස් ආයතනයකට උකස් කරන ලද රුපියල් ලක්ෂ 54ක රිසිට්පත් තොගයක් නිලධාර්න් සිය භාරයට ගත්තේය. එමෙන්ම සැකකරු සන්තකයේ තිබී රුපියල් ලක්ෂ 2ක මුදලද පොලිසිය සොයාගෙන තිබිණි. මොවුන් මෙසේ හොරාගෙන ඇත්තේ පෙම්වතියගේ මවුපියන් විසින් කාලයක් තිස්සේ හරිහම්බ කරගත් මුදල්වලින් මිලදී ගෙන එකතු කරගත් රන් ආභරණ බව එඬේරමුල්ල පොලිසිය කීවේය. මේ කොල්ලයි කෙල්ලයි ඔය ෆෝන්වලින් ගේම් ගහලා සල්ලි ණයවෙලා තියෙනවා. ඒවා බේරගන්න තමයි ඔය ගෙදර තියෙන රත්තරන් බඩු එකින් එක මේ ගෑනු ළමයා ඔය කොල්ලට දෙන්නේ. කොල්ලා ඒ ණයත් බේරගෙන ඒ සල්ලිවලින් බයික් එහෙමත් අරගෙන තිබුණා.


අපි මේ ගෙදරට ගිහින් විමර්ශන කරන කොටම ඒ ගෑනු ළමයාගේ හැසිර්මෙනුයි කතාවෙනුයි එයා ගැටගහලා හිටිය විධියෙනුයි අපිට සැකයක් ආවා. ඒත් මෙයාලගේ මවුපියන් ඒක විශ්වාස කළේ නැහැ. දුව කවදාවත් එහෙම දෙයක් කරන්නේ නැහැ කියලා එයාලා කිව්වා. පස්සේ අපි පොලිසියට අරන් ගිහින් ප්‍රශ්න කරලා ඇත්ත දැනගත්තම කෙල්ලගේ අම්මයි, තාත්තයි පුදුම වුණා.” සිද්ධිය සම්බන්ධයෙන් කළ විමසීමේදී විමර්ශන නිලධාරියෙක් සඳහන් කළේය. සැකකාර පෙම්වතා සහ ඔහුගේ 20 හැවිරිදි පෙම්වතිය අධිකරණයට ඉදිරිපත් කිර්මට නියමිතය.


දේවාලයට පුජා කල ඒළවා කපුවා විසින්ම මස් කඩේට යවලා

 


මංජු බණ්ඩාර


මාවනැල්ල, තලපිතිගම ප්‍රදේශයේ පවත්වාගෙන යන දේවාලයකට තරුණ යුවළක් විසින් පූජා කළ එළුවකු මස්කඩයට විකිණීමට ගිය සැකකරුවන් තිදෙනකු හා ප්‍රවාහනය සඳහා යොදාගත් තුරෝද රිය මාවනැල්ල නගරයේදී පස්වරුවේදී අත්අඩංගුවට ගත් බව පොලිසිය පැවසීය. අපරාධ විමර්ශන ඒකකයේ පොලිස් පරීක්ෂක සමන් කුමාර මහතාට ලද තොරතුරක් මත අත්අඩංගුවට ගත් සැකකරුවන් වයස අවුරුදු 18, 23, 25 යන වයස් කාණ්ඩවල පසුවන මාවනැල්ල, තලපිතිගම පදිංචිකරුවන් බවද පොලිසිය පැවැසීය.


මාතලේ ප්‍රදේශයේ සිට තලපිතිගම දේවාලයට පැමිණි තරුණ යුවළක් විසින් තමන් බලාපොරොත්තු වන්නාවූ කාරණාවක් ඉෂ්ට කර දෙන්නැයි ඉල්ලා දේවාලයට එළුවකු පූජාකර ඇත. පසුව දේවාලයේ කපු මහතාගෙන් තරුණ යුවළ විසින් විමසූ විට එම එළුවට මොකද කරන්නේ කියා කපු මහතා විසින් එළුවා අලුත්නුවර දේවාලයට පූජා කරන බවට පැවසීමෙන් අනතුරුව තරුණ යුවළ විසින් කියා ඇත්තේ අපේ වාහනයෙන්ම එළුවා ගිහින් දාමු කියාය. එවිට කපු මහතා පවසා ඇත්තේ නෑ නෑ . මේ එළුවා එහෙම ගෙනියන්න බැහැ දෙවියන්ට භාර කරල අපේ වාහනයකින් දේවාලයට ගිහින් දානවා යැයි පැවසීමෙන් අනතුරුව තරුණ යුවළ දේවාලයෙන් පිටත්ව ගොස් ඇති බවද පොලිසිය පැවසීය.


තරුණ යුවළ විසින් දේවාලයට පූජා කළ එළුවා දේවාලය අවට තරුණයන් තිදෙනකු අතේ මස් කඩයට එළුවා විකිණීම සඳහා කපු මහතා විසින් එවා ඇති අතර එහිදී මස් කඩයේ අයට සැක සිතී සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය දැනුවත් කිරීමෙන් පසු සැකකරුවන් අත්අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීමේදී අනාවරණය කරගත් තොරතුරු මත එළුවා දේවාලයට පූජා කළ තරුණ යුවළ පොලිසියට කැඳවා කරුණු විමසීමෙන් පසුව දේවාලයට පූජා කළ එළුවා තරුණ යුවළ විසින් නැවැත රැගෙන ගිය බවද පොලිසිය පැවසීය.


සංචාරක බස් රථ රියැදුරන්ට කන්න - නිදියන්න - විවේක ගන්න පහසුකම් නෑ

 



සචිත්‍ර පෙරේරා


සංචාරක බස් රථ රියැදුරන්ට කිසිදු නිදහසක් හා හෝටල්වල නවාතැන් පහසුකම් නොමැති බවත් සම්මත මාසික වේතනයක් නොලැබෙන බවත් සංචාරක රියැදුරු හා සහායක සංගමයේ සභාපති එරන්ද චන්ද්‍රකුමාර මහතා පවසයි.සංචාරය අවසානයේ නිසි නවාතැන් පහසුකම් නොමැතිකමත් එකවර දිනකට සංචාර කිහිපයක් ලබා ගැනීමත් නිසා රියැදුරන් වෙහෙසට පත්වීමත් හේතුවෙන් බස් අනතුරු සිදුවන බවත් ඔහු පෙන්වා දෙයි.


කොළඹ රියැදුරන්ට සියයට සියයක්ම නවාතැන් නොමැති බවත් පිට පළාත්වලත් බොහෝ අවස්ථාවල නවාතැන් නොදෙන බවත් කන්ටේනර් රථවල නවාතැන් ලැබෙන අවස්ථා ඇති බවත් ඔහු පවසයි.මේ සඳහා සංචාරක සංවර්ධන අධිකාරිය සහ හෝටල් සංගම් වගකිව යුතු බවත් ඒ මහතා චෝදනා කළේය. බස් රථ හිමියන් රියැදුරන්ට නිසි ගෙවීමක් හා වැටුපක් ලබා නොදෙන බවටත් එම රියැදුරු හා සහායක සංගමයේ සභාපතිවරයා චෝදනා කළේය.


මේ අතර සංචාරකයන් මෙරටට ගෙන්වන සමාගම්වලින් සංචාරක බස් හිමියන්ට ප්‍රමාණවත් ගෙවීමක් නොලැබෙන බවට සංචාරක බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ජී.එච්. නීල් ජයතිස්ස මහතා 'මව්බිම' සමඟ පැවැසුවේය.තමන්ට සිදුවන අක්‍රමිකතා අප්‍රමාණ බවත් ඊට හේතුව සංචාරකයන් ගෙන්වන සංචාරක සමාගම්වලින් සාධාරණ ගෙවීමක් නොකිරීම බවත් ඔහු කීවේය.


සංචාරක සමාගම් සේවාව ලබාගෙන ගෙවන්නේ සොච්චම් මුදලක් බවත් රියැදුරන්ට කෑම - බීම - ඉඳුම් - හිටුම් නොලැබෙන බවත් ඔහු කීය.මේ පිළිබඳව නව රජයේ වගකිව යුත්තන් දැනුවත් කර ඇති බවත් විසඳුමක් දැන් හෝ ලැබෙනු ඇති බවත් ඔහු කීය.


“සංචාරක ව්‍යාපාරයේදී විදේශිකයන් ලංකාවට ගෙන්වන සමාගම් 40ක් පමණ තියෙනවානේ. මේ සංචාරක සමාගම්වලට අයත් බස්සියයට 5ක් වත් නැහැ. සියයට 95ක් පමණ පෞද්ගලික බස් රථ හිමියන් මෙම ක්ෂේත්‍රයේ ආයෝජනය කරලා තියෙන්නේ. ලක්ෂ 200 සිට 300 දක්වා ආයෝජනය කරලා තියෙන්නේ පෞද්ගලික බස් රථ හිමියන්. අපේ ඊයැදුරන්ට කන්න නෑ. ඉන්න නෑ. අපිට ටයර් දාගන්න සල්ලි නෑ. ගොඩක් සංචාරක කොම්පැනි රියැදුරන්ට පහසුකම් දෙන්නෙ නෑ. ඇතැම් හෝටල් තියෙනවා බස් රථ පාක් කරන්නවත් දෙන්නේ නැහැ. කන්න දෙන්නෙත් නැහැ. කාමරයක් ලක්ෂ ගණන්.”


රාජ්‍ය විශ්වවිද්‍යාල හයක් විදෙස් විශ්වවිද්‍යාල සමඟ ගිවිසුම්වල

 


ලාංකේය විශ්වවිදයාල  ලෝක ශ්‍රේණිගත කිරීම් දර්ශකවල ඉහළට ඔසවා තැබීමේ අරමුණෙන් ජාතික විශ්වවිද්‍යාල 6ක් හා විදෙස් විශ්වවිද්‍යාල 10ක් අතර ගිවිසුම්ගත වීමට රජය තීරණය කර ඇත.ඒ අනුව මහජන චීන සමූහාණ්ඩුවේ වූහාන් ක්‍රීඩා විශ්වවිද්‍යාලය, ජපානයේ අයිසු විශ්වවිද්‍යාලය, නෝර්වේ ඇග්ධර් විශ්වවිද්‍යාලය, ඕස්ට්‍රේලියාවේ ඩිකින් විශ්වවිද්‍යාල, චීනයේ ලින්යී විශ්වවිද්‍යාල, ඉන්දියාවේ මහත්මා ගාන්ධි වෛද්‍ය විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය, චීනයේ ෂැන්ඩොන්ග් විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය, එක්සත් ජනපදයේ කෝට්ලන් හි නිව්යෝර්ක් රාජ්‍ය විශ්වවිද්‍යාලය, ඕස්ට්‍රේලියාවේ රෝයල් මෙල්බර්න් තාක්ෂණ ආයතනය හා කොරියානු ජනරජයේ ජාතික කොරියානු සමුද්‍රීය හා සාගර විශ්වවිද්‍යාලය යන විශ්වවිද්‍යාල දහය සමග මෙම ගිවිසුම්ගතවීම් සඳහා කැබිනට් පත්‍රිකාවක් ඉදිරිපත් කර තිබේ.


අධ්‍යාපන සහ පර්යේෂණ පුහුණු වැඩසටහන් ප්‍රවර්ධනය කිරීම, සංවර්ධනය කිරීම සහ ස්ථාපිත කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම,ඒකාබද්ධව වැඩමුළු සම්මන්ත්‍රණ සංවිධානය කිරීම, උසස් අධ්‍යාපනය, විද්‍යාව හා තාක්ෂණය සම්බන්ධයෙන් දෙපාර්ශ්වය අතර අන්‍යොන්‍ය අවබෝධය සහ සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීම, උසස් අධ්‍යාපන විද්‍යාත්මක පර්යේෂණ සහ ඒ ආශ්‍රිත ක්‍රියාකාරකම් සම්බන්ධ තොරතුරු, අධ්‍යයන කාර්ය මණ්ඩල, පර්යේෂකයන් හා ශිෂ්‍යයන් හුවමාරුව සහ ඒකාබද්ධ පර්යේෂණ ක්‍රියාකාරකම් ප්‍රවර්ධනය කිර්ම, අන්‍යොන්‍ය අවශ්‍යතා සහ ප්‍රතිලාභ මත පදනම්ව, පශ්චාත් උපාධි වැඩසටහන්වල සහයෝගිතාව ප්‍රවර්ධනය කිරීමේ අරමුණ සහිතව සම්මන්ත්‍රණ සහ ශාස්ත්‍රීය රැස්වීම්වලට සහභාගි වීම ඇතුළු ක්‍රියාකාරකම් රැසක් මේ ගිවිසුම් හරහා සිදුවේ.


අධ්‍යාපන, උසස් අධ්‍යාපන සහ වෘත්තීය අධ්‍යාපන ඇමැති වශයෙන් අගමැතිනි හර්නි අමරසූරිය මෙනෙවිය ඉදිරිපත් කළ මෙම කැබිනට් යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරනු ලැබ ඇත.මෙහිදී ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය සමඟ ගිවිසුම්ගත වීමට නියමිත වන්නේ මහජන චීන සමූහාණ්ඩුවේ වූහාන් ක්‍රීඩා විශ්වවිද්‍යාලය, ජපානයේ අයිසු, නෝර්වේ ඇෆ්ටර්, ඕස්ට්‍රේලියාවේ ඩිකින් යන විශ්වවිද්‍යාලයි.කැලණිය විශ්වවිද්‍යාලය ඇමරිකා එක්සත් ජනපදයේ කෝට්ලන්හි නිව්යෝර්ක් රාජ්‍ය විශ්වවිද්‍යාලය හා කොරියානු ජනරජයේ ජාතික කොරියානු සමුද්‍රීය හා සාගර විශ්වවිද්‍යාලය අතර අවබෝධතා ගිවිසුමක් අස්සන් තැබීමට නියමිතය.


මොරටුව විශ්වවිද්‍යාලය හා චීනයේ ලින්යී විශ්වවිද්‍යාලය අතරද, පේරාදෙණිය විශ්වවිද්‍යාලය හා ඉන්දියාවේ මහත්මා ගාන්ධි වෛද්‍ය විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය අතරද ගිවිසුම් අස්සන් තැබෙද්දී ශ්‍රී ලංකා අග්නිදිග විශ්වවිද්‍යාලය චීනයේ ෂැන්ඩොන්ග් විද්‍යා හා තාක්ෂණ විශ්වවිද්‍යාලය සමඟත් ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලය ඕස්ට්‍රේලියාවේ රෝයල් මෙල්බර්න් තාක්ෂණ ආයතනය සමඟත් ගිවිසුම්ගත වන බව කැබිනට් යෝජනාවේ දැක්වේ. 



ධර්මාශෝක විහාරස්ථානයේ රන්වැට හා දොළොස්මහේ පහන සොරාගත් වලව් මහත්තයා අත්අඩංගුවට

 



 බිමල් ශ්‍යාමන් ජයසිංහ 


මාලබේ කහන්තොට ධර්මාශෝක විහාරස්ථානයේ බෝධිය වටා සවිකර තිබු රන්වැට හා අඩි හයක පමණ උසින් යුත් දොළොස්මහේ පහන සොරාගත් අපරාධ රැසකට සම්බන්ධ වලව් මහත්තයා නැමැත්තා අත්අඩංගුවට ගත් බව මාලබේ පොලිසිය කියයි.එම සැකකරු සමග සොරාගෙන තිබූ රන් ආලේපිත කණු 41 ක්, පිත්තලවලින් නිමවන ලද දොළොස්මහේ පහන හා ඒවා ප්‍රවාහනයට යොදාගත් ත්‍රිරෝද රථයක්ද පොලිස් භාරයට ගෙන ඇත.


රුපියල් 560,000/= ක් වටිනා රන් ආලේපිත පිත්තල කණු 80 න් 41 ක් මෙන්ම පිත්තල වලින් නිමවන ලද දොළොස්මහේ පහන ඉකුත් 26 වැනිදා රාත්‍රී 11.30ත් පසුදින අලුයම 5.00. ත් අතර කාලයේදී කිසියම් කණ්ඩායමක් විසින් සොරාගෙන ගොස් ඇති බව විහාරස්ථානයේ වැඩ සිටින හල්මිල්ලෑවේ තිලක ජෝති හිමියන් පොලිසියට පැමිණිලි කර තිබිණි.

අදාළ පැමිණිල්ල සම්බන්ධයෙන් වහා ක්‍රියාත්මක වූ මාලබේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද රත්නායක මහතා ඇතුළු නිලධාරීන් කණ්ඩායමක් කහන්තොට ප්‍රදේශයේ ධාවනය වෙමින් තිබූ සැක කටයුතු ත්‍රිරෝද රථයක් නවතා පරික්ෂා කිරීමේදී ඊට පැය කිහිපයකට ඉහතදී කහන්තොට විහාරස්ථානයේ බෝධිය වටා ඉදිකර තිබූ රන්වැට සොරා ගත් පුද්ගලයා බවට අනාවරණය කරගෙන සැකකරු අත්අඩංගුවට ගැනීමට කටයුතු කර ඇත.


සැකකරු අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව සිදුකළ මූලික විමර්ශනවලදී සොරකම සඳහා යොදාගත් ත්‍රිරෝද රථයද එම සොරකම සිදුකළ දින රාත්‍රියේ කොට්ටාව පොලිස් වසමේදි සොරාගත් ත්‍රිරෝද රථයක් බවට අනාවරණය කර ගැනීමට හැකි වී ඇත.  සැකකරු මේ ආකාරයෙන් පාදුක්ක හෝමාගම කහතුඩුව ආදී ප්‍රදේශවල විහාරස්ථානවල බෝධි වටා ඉදිකර තිබෙන රන්වැටවල් හා ත්‍රිරෝද රථ සොරා ගැනීමේ සිද්ධීන් ගණනාවකට සම්බන්ධ පුද්ගලයකු බවට අනාවරණය කර ගැනීමට වැඩිදුරටත් හැකිවී ඇත.


35 හැවිරිදි සැකකරු රන්න වාඩිගල ප්‍රදේශයේ පදිංචි වඩු කාර්මිකයකු ලෙස රැකියාව කරන්නෙකි. මාලබේ පොලිසියේ ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ප්‍රසාද් රත්නායක මහතාගේ උපදෙස් මත අපරාධ විමර්ශන අංශයේ ස්ථානාධිපති උප පොලිස් පරික්ෂක ජයමහ පොලිස් සැරයන් 6731 සරත් ඇතුළු නිලධාරීහු පරික්ෂණ පවත්වති.


‘ගෞතම බුද්ධ මාතා’ ගැලවීම: උසාවියෙන් වාරණයක්

 


 රෝෂන් තුෂාර


‘ගෞතම බුද්ධ මාතා' චිත්‍රපටය දිවයින පුරා සිනමාහල්වල ප්‍රදර්ශනය වීම අද 30 වැනිදා සිට අත්හිටුවීමට ඊ. ඒ. පී. සමාගම ගෙන ඇති තීරණය ක්‍රියාත්මක කිරීම වළක්වමින් වාරණ නියෝගයක් කොළඹ ප්‍රධාන දිසා විනිසුරු සදුන් විතාන මහතා ඊයේ (29) නිකුත් කළේය.ගෞතම බුද්ධ මතා චිත්‍රපටයේ නිෂ්පාදකයන් වන සුමති යුනිවර්සල් පුද්ගලික සමාගම පැවරු නඩුවක් සලකා බැලීමෙන් පසුව මෙම වාරණය ඊ.ඒ.පී. ෆිල්ම් ඇන්ඩ් තියටර් පුද්ගලික සමාගමට එරෙහිව නිකුත් කළේය.


පැමිණිල්ල වෙනුවෙන් ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක මහතා අධිකරණයට කරුණු දක්වමින් කියා සිටියේ පැමිණිකාර සමාගම, වග උත්තරකාර ආයතනය සමග ඇති ඇතිකරගත් ගිවිසුම ප්‍රකාරව චිත්‍රපටය තවදුරටත් ප්‍රදර්ශනය කිරීමට වග උත්තරකරුවන් බැඳී සිටින බවය.අදාළ ගිවිසුමේ කොන්දේසි ප්‍රකාරව චිත්‍රපටයක් ප්‍රදර්ශනය කිරීමෙන් ඉවත් කළ හැක්කේ සිකුරාදා, සෙනසුරාදා, ඉරිදා සහ සඳුදා යන දිනවලදී සිනමාහල්වලට එන ප්‍රේක්ෂකයන්ගේ ප්‍රමාණය සියයට 25ට වඩා අඩු වූ අවස්ථාවක බවත් සඳහන් කළේය.


මෙම චිත්‍රපටය ප්‍රේක්ෂකයන් විසින් තවමත් වැළඳගෙන සිටින බවත්, එසේ හෙයින් චිත්‍රපටය සිනමාහල්වලින් ඉවත් කිරීමට වගඋත්තරකරුට නොහැකි බවත් සඳහන් කළේය.පැමිණිල්ල මගින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලූ ප්‍රධාන දිසා විනිසුරුවරයා චිත්‍රපටය අද 30 වැනිදා සිට ප්‍රදර්ශනයෙන් ඉවත් කිරීම වළක්වමින් ලබන 11 වැනිදා දක්වා බල පැවැත්වෙන පරිදි වාරණ නියෝගයක් හා අතුරු තහනම් දැන්වීම් නිකුත් කළේය. වග උත්තරකාර ඊ පී සමාගමට ලබන 11වැනිදා අධිකරණයේ හමුවේ කරුණු දක්වන ලෙසට නියෝග කරමින් නොතීසි නිකුත් කළේය. පැමිණිල්ල වෙනුවෙන් නීතිඥ රංසිබවා ඇසෝසියට් හි උපදෙස් පරිදි නීතිඥ සමීර අන්ද්‍රාදි, නීතිඥ සමාධි ගම්ලත් සමග ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක මහතා පෙනී සිටියේය.


බිරියගේ අනියම් පෙම්වතා කපා කොටා මරා දමලා

 


ගයාන් සූරියආරච්චි


මාදම්පේ ප්‍රදේශයේ නිවෙසක සිටි කාන්තාවකට සහ පුද්ගලයකුට එම කාන්තාවගේ සැමියා එල්ල කළ තියුණු ආයුධ ප්‍රහාරයකින් පිරිමියා බරපතළ තුවාල ලබා හලාවත රෝහලට ඇතුළත් කිරීමෙන් අනතුරුව පෙරේදා (28) මියගොස් ඇති බව මාදම්පේ පොලිසිය පවසයි.ප්‍රහාරයෙන් තුවාල ලැබූ කාන්තාව ද හලාවත රෝහලේ ප්‍රතිකාර ලබන බව පොලිසිය සඳහන් කරයි.මියගොස් ඇත්තේ මාදම්පේ පැරැණි නගරය ප්‍රදේශයේ 60 හැවිරිදි පුද්ගලයෙකි.


මියගිය පුද්ගලයා සැකකරුගේ බිරිය සමග කාලයක පටන් අනියම් සම්බන්ධතාවක් පවත්වාගෙන ගොස් තිබූ අතර, සිද්ධිය වූ දින මරණකරු සැකකරුගේ රිය සමග මාදම්පේ පැරැණි නගරය ප්‍රදේශයේ නිවෙසක සිට ඇති බව පොලිසිය කියයි.එහිදී එම ස්ථානයට කඩා වැදුණු සැකකරු තම බිරියට සහ අනියම් පුද්ගලයාට පිහියකින් කපා කොටා තුවාල කර තිබූ බව විමර්ශනවලදී අනාවරණය වී ඇත.


මාදම්පේ පැරැණි නගරය ප්‍රදේශයේ නිවෙසක කාන්තාවක සහ පුද්ගලයකු කපා කොටා තුවාල කර ඇති බවට ලද තොරතුරක් මත මාදම්පේ පොලිසියේ නිලධාරීන් කණ්ඩායමක් එම ස්ථානයට ගොස් තුවාලකරුවන් වහාම රෝහල් ගත කිරීමට පියවර ගත්තේය. එහිදී බරපතළ තුවාල ලබා සිටි පුද්ගලයා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මිය ගොස් ඇත.සිද්ධිය සම්බන්ධයෙන් මාදම්පේ, පට්ටියගම ප්‍රදේශයේ පදිංචි 45 හැවිරිදි පුද්ගලයකු එදිනම රාත්‍රියේ පොලිසිය අත්අඩංගුවට ගෙන ඇති අතර සැකකරු අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව සිටියේය.


හිටපු ජනපතීන්ගේ වරප්‍රසාද කැපිල්ලට ව්‍යවස්ථාව බාධකයක්

 


කැලුම් බණ්ඩාර


හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ කපා හැරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව බාධාවක් වන බව ඒ පිළිබඳ සොයා බැලීමට ජනාධිපති පත් කළ කමිටුවට නිරීක්ෂණය වී ඇතැයි ආරංචි මාර්ග ප්‍රකාශ කළේය.සිය මැතිවරණ ව්‍යාපාරය අතරතුර ලබාදුන් පොරොන්දුව පරිදි රජයේ වියදම් සීමා කිරීම සඳහා දරණ උත්සාහයේදී හිටපු මන්ත්‍රීවරුන්ට සහ ජනාධිපතිවරුන්ට ලබාදී ඇති වරප්‍රසාද සහ ප්‍රතිලාභ කප්පාදු කිරිම සඳහා අවස්ථාවක් ඇත්දැයි සොයා බැලීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා කමිටුවක් පත් කළේය.


හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති විශ්‍රාම වැටුප ඇතුළු ප්‍රතිලාභ කීපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයකින් තොරව කපා හැරීමට හෝ අහෝසි කිරීමට හෝ නොහැකි බව කමිටුව සොයාගෙන ඇත.ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 36(2) උප වගන්තිය යටතේ ජනාධිපති ධුරයට පත්වීමෙන් පසු එම ධුර දරන තැනැත්තාට පාර්ලිමේන්තුව විසින් තීරණය කරනු ලබන වැටුප් හා දීමනා සහ ඉන් අනතුරුව විශ්‍රාම වැටුපක් ලැබීමට හිමිකම් ඇත්තේය. පසුව මෙම ව්‍යවස්ථාවට කරනු ලබන සංශෝධනයක්, මෙම ව්‍යවස්ථාව පරිච්චින්න කිරීමක් නැතහොත් ප්‍රතියෝජනය කිරිමක් සහ මෙම ව්‍යවස්ථාවට අනුකූලවන පසුව පනවනු ලැබූ යම් නීතියක් හෝ ඒ නීතියක යම් විධිවිධානයක් අතීතයට බලනොපාන බව ද එහි දැක්වේ.

ඉන් අදහස් වන්නේ හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ කපා හැරීමට හැකිවන ආකාරයේ නීතියක් බලාත්මක කිරීම ඉතාමත් අපහසු කාර්යයක් යන්නයි. එසේම හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සහ ප්‍රතිලාභ කපා හැරීමට ජනාධිපති හිමිකම් පනත ද හරස් වන අතර එහි සඳහන් වන්නේ හිටපු ජනාධිපතිවරයකුට සුදුසු නිවාසයක් කුලී රහිත පදනම මත ලබා දිය යුතු බවයි.


රජයේ ඇස්තමේන්තුවට අනුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට ලබා දී ඇති නිවෙසේ කුලිය ලක්ෂ 46 ක් බව ජනාධිපති අනුර කුමාර දිසාතායක මහතා පසුගියදා ප්‍රකාශ කළේය.එසේම සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස ඇතුළු රජයේ ප්‍රධානීන් රාජපක්ෂ මහතාට නිවෙසින් ඉවත් වන ලෙස පසුගියදා ඉල්ලීමක් ද කළ අතර එම ඉල්ලීමට පිළිතුරු දෙමින් මඟින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කළේ ඉල්ලීම ලිඛිතව ලබාදුනහොත් නිවෙස හිස් කරන බවයි.


හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති විශ්‍රාම වැටුප ඇතුළු ප්‍රතිලාභ කීපයක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විධිවිධාන ප්‍රකාරව කපා දැමිය නොහැකි බව මේ පිළිබඳ විමසූ අවස්ථාවේ මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කළේය. ඒ සඳහා ජනාධිපතිවරයා පත් කළ කමිටුව මේ වනවිට කමිටු වාර්තාව බාර දී අවසන් බව ද ආනන්ද විජේපාල මහතා පැවැසුවේය. එනමුත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශ්‍රාම වැටුප කප්පාදු කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් බාධාවක් නොමැති බව ද ඔහු ප්‍රකාශ කළේය.මහින්ද රාජපක්ෂ මහතා සිටින වර්ග අඩි 30,000 නිවෙස වෙනුවට වෙනත් නිවෙසක් ලබාදීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා පොරොන්දු වී තිබෙන බව ද ඔහු පැවැසුවේය.


යෝෂිතගෙ ගිනි අවි හතෙන් පහක් ආරක්ෂක අමාත්‍යාංශය භාරයේ

 


ගයාන් සූරියආරච්චි


හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ මහතා සන්තකයේ තිබූ ගිනි අවි හතෙන් පහක් ආරක්ෂක අමාත්‍යාංශය භාරයට ගෙන ඇති බව, ආරක්ෂක ලේකම්, එයාර් වයිස් මාර්ෂල් (විශ්‍රාමික) සමිපත් තුයියකොන්තා මහතා පැවැසීය.යෝෂිත රාජපක්‍ෂ මහතා සන්තකයේ ගිනි අවි තවත් දෙකක් තිබෙන බවත්, ඉන් එක් ගිනි අවියක් භාර දෙන ලෙස දැනුම් දුන්න ද, එය මෙතෙක් භාර දී නොමැති බවත් ආරක්ෂක ලේකම්වරයා කීය. යෝෂිත රාජපක්ෂ මහතාගේ ආරක්ෂාවට ලබා දී ඇති ගිනි අවියත් ලබා දිය යුතු ද යන්න පිළිබඳ, බුද්ධි අංශ වාර්තා අනුව නිගමනයකට පැමිණීමෙන් අනතුරුව නිකුත් කිරීමට පියවර ගන්නා බව ද තුයිය කොන්තා මහතා කීය.


ඔහු මේ බව පැවැසුවේ ඊයේ (29) ආරක්ෂක අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවකදීය.එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ ආරක්ෂක ලේකම්වරයා කියා සිටියේ, සමහර පුද්ගලයන් සඳහා ගිනි අවි එකකට වඩා ලබා දී ඇති අතර, ආරක්ෂක අමාත්‍යාංශය වශයෙන් එක් පුද්ගලයකුට එක් ගිනි අවියක් පමණක් ලබා දීමට කටයුතු කරන බවත්, එය ලබා දෙනුයේ බුද්ධි අංශ තොරතුරු වාර්තාවලට අනුව බවත්ය.එක් පුද්ගලයකුට ගිනි අවි කිහිපයක් ලබා දී ඇත්නම් එම ගිනි අවි වහාම ආරක්ෂක අමාත්‍යාංශයට ලබා ගැනීමට පියවර ගන්නා බව තුයියකොන්තා මහතා කීය.


ආරක්ෂක  අමාත්‍යාංශය මගින් පුද්ගලයන්ගේ පෞද්ගලික ජීවිත ආරක්ෂාව සඳහා පුද්ගලයන් 1,550කට ගිනි අවි 1,697ක් ලබා දී තිබූ අතර, විගණනය සඳහා රජයට භාර දී ඇති ගිනි අවි සංඛ්‍යාව 1,368ක් බවත්, ගිනි අවි තවත් 182ක් රජයට භාර දී නොමැති බවත් ආරක්ෂක ලේකම්වරයා පැවැසීය.ගිවි අවි ලබා ගත් සමහර පුද්ගලයන් විදේශගත වී රැකියාවල නිරතව සිටින අතර, එම ගිනි අවි භාර දෙන බවට පිරිසක් දන්වා ඇති බවත්, ගිනි අවි භාර නොදුන් පිරිස් සම්බන්ධයෙන් නීතිමය ක්‍රියාමාර්ග ගෙන ඇති බවත් තුයියකොන්තා මහතා පැවැසීය. පුරප්පාඩු වී ඇති ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානි තනතුර තවදුරටත් අවශ්‍ය නොවන අතර, ඒ සම්බන්ධව පවතින රාජකාරි ආරක්ෂක අමාත්‍යාංශය මගින් සිදු කරන බව කී ආරක්ෂක ලේකම්වරයා, අවශ්‍ය වුවහොත් එම තනතුර නැවත පිහිටුවිය හැකි බව ද කීය.


ඉන්දීය ජාතික ධීවරයන් දෙදෙනකුට වෙඩි වැදීමේ සිද්ධිය සම්බන්ධයෙන් එහිදී අදහස් දැක්වූ නාවික හමුදාපති, වයිස් අද්මිරාල් කාංචන බානගොඩ මහතා කියා සිටියේ, ඉන්දීය ජාතික ධීවරයන් පිරිස නාවික හමුදා නිලධාරින් එම ට්‍රෝලර් යාත්‍රාවට ගොඩවීමේදී විරෝධය පළ කර, ගිනි අවිය උදුරා ගැනීමට පොර බැඳීමේදී ගිනි අවිය පත්තු වීමෙන් එක් ඉන්දීය ධීවරයකුගේ කලවා ප්‍රදේශය සහ අනෙක් ධීවරයාගේ යටිපතුල ප්‍රදේශය වෙඩි වැදීමකට ලක්ව තිබූ බවය. එම අවස්ථාවේ ක්ෂණිකව ක්‍රියාත්මක වූ නාවික හමුදාව, යාත්‍රාවක් මගින් එම ධීවරයන් දෙදෙනා යාපනය ශික්ෂණ රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර තිබූ අතර, නාවික හමුදාපතිවරයා පැවැසුවේ, මෙම සිදුවීම සම්බන්ධයෙන් සිදු කළ මූලික විමර්ශන වලින් අනාවරණය වී ඇත්තේ, එම උණ්ඩය හදිසියේ නිකුත් වූ උණ්ඩයක් බවය.

මීට දින කිහිපයකට පෙර මෙරට මුහුදු සීමා උල්ලංඝනය කරමින් ධීවර කටයුතු කළ ඉන්දීය ධීවර යාත්‍රා 3ක සිටි ධීවරයන් 34 දෙනකු අත්අඩංගුවට ගත් අවස්ථාවේදී, ඔවුන් නාවික හමුදා අණට කීකරු වී බෝට්ටු පරික්ෂා කිරීමට අවස්ථාව ලබා දී ලංකා නීතියට යටත් වූ බව ද බානගොඩ මහතා පැවැසුවේය.ඉන්දීය ප්‍රදේශයේ සිට මුහුදු මාර්ගයෙන් අයිස් මත්ද්‍රව්‍ය, කේරළ ගංජා, මත් පෙති, මිනිස් ජාවාරම් සහ හෙරොයින් ජාවාරම් සිදු කෙරෙන බවට නිරීක්ෂණය වී ඇති බැවින්, එම ජාවාරම් වැළැක්වීම සඳහා අනවසරයෙන් මෙරට මුහුදු තීරයට පැමිණෙන යාත්‍රා නිරන්තරයෙන් සෝදිසි කිරීම් සිදු කළ යුතු බව ද නාවික හමුදාපතිවරයා පැවැසීය.


මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන්නේ වටිනාකම නොදැනද?

 


රෝෂන් තුෂාර


නොසැලකිලිමත් ලෙස රාජකාරී කටයුතු කර මිනිස් ජීවිත එක්ක සෙල්ලම් කරන්නේ එහි වටිනාකම නොදන්නා නිසා දැයි ප්‍රශ්න කළ කොළඹ අතිරේක මහේස්ත්‍රාත් හර්ෂණ කැකුණවල මහතා පැණිබීම ඉල්ලා සිටි තරුණියකට පිරිසුදු කාරක දියරයක් දුන් පිටකොටුවේ හෝටල් සේවකයන් දෙදෙනාට ඇප දෙමින් ඊයේ (29) විමසා සිටියේය.වරක් භාවිත කර ඉවතලන බෝතල් නැවත භාවිත කිරීම සම්බන්ධයෙන් නීතිය ක්‍රියාත්මක කළ යුතු බවත්, අදාළ ප්‍රසිද්ධ බීම සමාගම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කර ඇත්ද යන්න පිළිබඳවත් මහේස්ත්‍රාත්වරයා මෙහිදී පොලිසියෙන් විමසුවේය.


පීපල්ස් පාර්ක් වෙළෙඳ සංකීර්ණයට පැමිණි පිටකෝට්ටේ ප්‍රදේශයේ තරුණියකට පසුගිය දෙසැම්බර් 31 දින පැණි බිම වෙනුවට පිරිසුදු කාරකයක් දුන්නේ යැයි ඊයේ (29) දින අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කළ දික්ඔය රාජානම් බිතොන් සහ වඳුරඹ කේ.ඩී. නෙත්මිණ යන සැකකරුවන්ට ඇප නියම කරමින් මහේස්ත්‍රාත්වරයා එසේ විමසා සිටියේය. සැකකරුවන්ට රුපියල් ලක්ෂ 15ක ශරීර ඇප දෙකක් නියම කළ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද නියෝග කළේය. වේල්ලවීදිය පොලිසිය සැකකරුවන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරමින් කියා සිටියේ පසුගිය 31 වැනි දින වෙළෙඳ සංකීර්ණයට පැමිණි මවක සහ දියණියකට ‘මිහිරි" නමැති ආයතනයේ කටයුතු කළ මෙම සේවකයන් දෙදෙනා පැණිබීම වෙනුවට අදාළ පිරිසුදුකාරක බිම බෝතල් දී ඇති බවය.


සුරේකා විජේරත්න නමැති ඇය අසාධ්‍ය තත්වයට පත්වීමෙන් පසු අයි.ඩී.එච්. රෝහලට ඇතුළත් කර ප්‍රතිකාර ලබාගෙන ඇති බවත්, ඉන්පසු කළ පැමිණිල්ලක් අනුව විමර්ශනය කිරීමෙන් අනතුරුව එම ආයතනයේ සේවය කළ ගබඩා භාරකරු හා සේවකයකු මෙසේ අධිකරණයට ඉදිරිපත් කරන බවද සඳහන් කළේය.


සැකකරුවන් විසින් ප්‍රසිද්ධ බිම බෝතල් සමාගමක ලේබලය සහිත ඉවතලන බිම බෝතල් භාවිත කරමින් පිරිසුදු කාරක ද්‍රව්‍ය, එම බිම බෝතල්වලට දමා අලෙවි කර ඇති බවත්, එසේ අලෙවි කිරීමට තිබූ පිරිසුදුකාරක බෝතල්, බිම බෝතල් සමග මිශ්‍රවීමෙන් පසුව තරුණියට දී ඇති බවත් සඳහන් කළේය.ඊට වගකිවයුතු ගබඩා භාරකරු හා බිම බෝතලය දුන්නේ යැයි කියන සැකකරු මීට වගකිවයුතු හේතුවෙන් ඔවුන් අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බවත් පැවසීය. මිනිස් ජීවිතයට අනර්ථයක් කිරීමට තැත්කිරීම සම්බන්ධයෙන් දණ්ඩ නීති සංග්‍රහය යටතේ දඬුවම් ලැබිය යුතු වරදක් සිදුකිරිමට එරෙහිව සැකකරුවන් ඉදිරිපත් කරන බවද කීය.


මෙහිදී සැකකරුවන් ඇමතු මහේස්ත්‍රාත්වරයා, මිනිස් ජීවිතත් සමග සෙල්ලම් කරන්නේ මන්දැයි විමසා සිටියේය. "ජීවිතයක වටිනාකම දන්නවද ? මෙහෙම නොසැලකිලිමත් ලෙස වැඩ කරලා මිනිස් ජීවිතයක් අහිමි වුණා නම් ඒකට මොකක්ද දෙන විසඳුම” යනුවෙන් විමසුවේය.

මෙහිදී පොලිසිය ඇමතූ මහේස්ත්‍රාත්වරයා වරක් භාවිතා කර ඉවතලන බිම බෝතල් නැවත නැවත භාවිත කිරීම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදු කරන්නේද යන්න පිළිබඳව පොලිසියෙන් විමසුවේය. වරක් භාවිත කරලා ඉවතලන බිම බෝතල් නැවත පාවිච්චි කරන්න බැහැ.

 

අදාළ ප්‍රසිද්ධ බීම බෝතල් සමාගම සම්බන්ධයෙන් විමර්ශනයක් සිදුකර ඇත්ද? යනුවෙන් විමසා බෝතල් අවභාවිත කිරීම සම්බන්ධයෙන් අවශ්‍ය නම් අදාළ සමාගමට වුවද නීතිය ක්‍රියාත්මක කළ හැකි බව මහේස්ත්‍රාත්වරයා පෙන්වා දුන්නේය.එහිදී පොලිසිය සඳහන් කර සිටියේ අදාළ බිම බෝතල් සමාගමෙන් ප්‍රකාශ සටහන් කර ගත් බවත්, එම සමාගම මෙම සිද්ධියට සම්බන්ධ නොමැති බව සාක්ෂි අනාවරණය වී ඇති බවත්ය. සැකකරුවන් විසින් කිසිදු ලේබලයක් හෝ සටහනක් නොතබා හිස් බිම බෝතල්වලට මෙසේ පිරිසුදු කාරක ද්‍රව්‍ය ඇතුළත් කර ගබඩාව හරහා විකිණීම් කටයුතු කර ඇති බව සඳහන් කළේය. සැකකරුවන් වෙනුවෙන් නීතිඥ රඛිත අබේගුණවර්ධන මහතා පෙනී සිටි අතර, අත්වැරැදීමකින් මෙම පිරිසුදු කාරක දියර පැමිණිලිකරියට දී ඇති බව පැවසීය.


සැකකරුවන්ගේ නොසැලකිලිමත්භාවය සම්බන්ධයෙන් හෝ වෙනත් කරුණු අධිකරණයට ඉදිරිපත් නොකරන බව සඳහන් කළ නීතිඥවරයා අගතියට පත් තැනැත්තිය වෙනුවෙන් සෑම අවස්ථාවකම පෙනී සිටි බවද පැවසීය. සිදුවූ අත්වැරැද්ද සම්බන්ධයෙන් සාධාරණයක් කිරීමට සැකකරුවන් කැපවන බැවින් සුදුසු ඇපයක් නියම කරන ලෙස ඉල්ලා සිටියේය.aදෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරයා සැකකරුවන්ට දැඩි ලෙස කරුණු අවධාරණය කරමින් ඇප නියම කළේය. විමර්ශන ප්‍රගතිය මැයි මස 4 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට පොලිසියට් නියම කළේය.


පෙම්වතා ඒක්ක කොල්ල රංගනය අතේ පත්තු වෙයි

 



ගයාන් සූරියආරච්චි 


ඔන්ලයින් ක්‍රීඩාවලට ඇබ්බැහිවී තමන්ගේම නිවසේ තිබූ  එක්කෝටි පනස් ලක්ෂයකට අධික වටිනාකමකින් යුත් පවුම් 56ක රන්බඩු සහ රුපියල් ලක්ෂ 2ක මුදලක් සැලසුම් සහගතව කොල්ලකෑ බව කියන තරුණියක සහ ඇගේ පෙම්වතා ඊයේ (29) අත්අඩංගුවට ගත් බව එඬේරමුල්ල පොලිසිය පවසයි.  සොරකම් කරන ලද රන් භාණ්ඩ උකස් තබා ලබාගත් මුදල්වලින් මිල ගෙන තිබූ රුපියල් ලක්ෂ දහඅටක් වටිනා යතුරුපැදියක්, පරිගණකයක් සහ පරිගණක මේසයක්ද පොලිසිය භාරයට ගෙන ඇත.මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ එඬේරමුල්ල, පාදිලියාතුඩුව ප්‍රදේශයේ පදිංචි 20 හැවිරිදි තරුණියක සහ සිංහාරමුල්ල කැලණිය පදිංචි 25 හැවිරිදි ඇගේ පෙම්වතා බව පොලිසිය කියයි.


පොලිසිය කළ මූලික විමර්ශනවලින් අනාවරණය වී ඇත්තේ මෙම තරුණිය සහ ඇගේ පෙම්වතා ඔන්ලයින් ක්‍රීඩාවලට ඇබ්බැහිවී ඔට්ටු අල්ලා රුපියල් ලක්ෂ 20ක පමණ මුදලක් පරාජයට පත්වී ඇති බවය.එඬේරමුල්ල, පාදෙනියාගොඩ ප්‍රාදේශයේ නිවෙසේ ජනේලයක් ගලවා නිවෙසට ඇතුළු වූ මුහුණ ආවරණය කරගත් පුද්ගලයකු නිවෙසේ තනිව සිටි තමා බියවද්දා පුටුවක ගැට ගසා කාමරයක තිබූ රන් බඩු සහ මුදල් කොල්ල කා පලාගිය බවට එම නිවෙසේ තරුණිය පොලිසියට පැමිණිලි කර තිබිණි.


ඒ අනුව එඬේරමුල්ල පොලිසියේ අපරාධ අංශයේ නිලධාරීන් ස්ථානීය පරීක්ෂාව සිදුකිරිමෙන් පසු අනාවරණය වී ඇත්තේ නිවසේ කොල්ලකෑමක් සිදුවී ඇති බවයි.පසුව තරුණිය පිළිබඳව සැකපළ කළ පොලීසිය තරුණියගෙන් පැය 4ක් පමණ කළ ප්‍රශ්න කිරිම්වලදී අනාවරණය වී ඇත්තේ එම තරුණිය සැලසුම් සහගතව ඇගේ පෙම්වතා සමග එක්ව එම රන්බඩු සහ මුදල් කොල්ලකා ඇති බවයි.එම තරුණියගේ දුරකථන තොරතුරු විශ්ලේෂණය කිරීමේ දී ඇය පෙම්වතා සමග තොරතුරු හුවමාරු කරගෙන ඇති බවත් ඇය වසර 4ක පමණ සිට මෙම අත්අඩංගුවට ගත් තරුණයා සමග ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇති බවත්ය.අත්අඩංගුවට ගත් සැකකරුවෝ මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව සිටියහ.


පෙම් පලහිලව්වකට උපාධිධාරිනිය ගෙල කපා මරලා පෙම්වතාත් වසබී රෝහලේ

 


 ඒ.ජී. වික්‍රමසිංහ 

එකම විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ කාලයේ සිට ආදර සම්බන්ධතාවක් පැවැති බව කියන උපාධිධාරී පෙම්වතියගේ ගෙල කපා ඝාතනය කළ පෙම්වතා ද වස පානය කර ඇතැයි රත්නපුර ඇලපාත පොලිසිය පවසයි.රත්නපුර ඇලපාන පොලිස් ඛල ප්‍රදේශයට අයත් දෙල්ලබඩ කරන්ගොඩ ප්‍රදේශයේ ඇයගේ නිවෙසේදී 29 හැවිරිදි උපාධිධාරිනියගේ ගෙල කපා ඇත්තේ ඊයේ (29 වැනිදා) උදෑසන හය හමාරත් හතත් අතරදී බව පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.


රත්නපුර ඇලපාත දෙල්ලබඩ පදිංචි කැලණිය විශ්වවිද්‍යාලයේ ඉගෙනුම ලැබූ 29 හැවිරිදි චන්දිමා හරිෂණී ගුණරත්න නමැති තරුණියක මෙලෙස ඝාතනය කර ඇති අතර, ඇය රත්නපුර නගරයේ පෞද්ගලික මූල්‍ය ආයතනයක රැකියාවක නිරතව සිටියාය.


ඊයේ උදෑසන මුළුතැන්ගෙය තුළ මියගිය තරුණිය සහ ඇයගේ මව ආහාර පිසිමින් සිට මව එම ස්ථානයෙන් ඉවත්ව ගිය අවස්ථාවේදී ඝාතනය සිදුව ඇතැයි පොලිසිය පවසයි.තරුණිය නිවෙසේ මුළුතැන්ගෙයි ලූනු කපමින් සිටියදී හොර රහසේ ගෙට ඇතුළුවූ තරුණයා පිටුපසින් ගොස් පිහියකින් ඇයගේ ගෙල කපා මරා දමා ඔහු ද එම ස්ථානයේදීම වස බෝතලයක් පානය කර බෝතලය ගෙයි මේසයක් මත තබා නිවෙසෙන් පලා ගොස් ඇතැයි පොලිසිය පවසයි.තරුණියගේ පියා නිවෙසෙන් පිටතට ගොස් සිටි බව ද පරීක්ෂණවලදී හෙළිවී තිබේ.


වස පානය කළ 32 හැවිරිදි තරුණයා මියගිය තරුණියගේ නිවෙස ආසන්නයේදී කුඹුරකට වැටී සිටියදී ගම්වාසීන් විසින් රත්නපුර මහ රෝහලට පිටත් කර යවා ඇත.ඔහු එම අවස්ථාවේ සිට ඇත්තේ යට ඇඳුම පිටින් බව ඇසින් දුටුවෝ පවසති. අනුරාධපුර ප්‍රදේශයේ පදිංචි මෙම තරුණයා රාත්‍රී කාලයේදී තරුණියගේ නිවෙස ආසන්නයේ රහසේ රැඳී සිටි බවට ද පොලිසිය සැක කරයි. ඝාතනය වූ උපාධිධාරිනිය සහ වස පානය කළ උපාධිධාරියා කලක් තිස්සේ ප්‍රේම සම්බන්ධතාවක් පවත්වා ඇති බව ද, තරුණියගේ පාර්ශ්වයේ විරෝධතාවක් නිසා ප්‍රශ්න ඇතිවී ඇතැයි ද පරීක්ෂණවලදී හෙළිවී තිබේ.


මිලි ලීටර් හාරසියයේ වස බෝතලයෙන් වැඩි ප්‍රමාණයක් තරුණයා විසින් පානය කර ඇතැයි පොලිසිය පවසයි. සිද්ධිය පිළිබඳව රත්නපුර අපරාධ ස්ථානාගාර නිලධාරීහු ද පරීක්ෂණ පැවැත් වූහ. ඇලපාත පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.


Wednesday, January 29, 2025

සාමණේර හිමිවරුන්ට කරදර කල සුද්දා සොයා පොලිස් මෙහෙයුමක්

 


 නඳුන් ගුණතිලක


සියඹලාණ්ඩුව පොලිස් බල ප්‍රදේශයට අයත් සියඹලාණ්ඩුව අම්පාර පාරේ පිහිටි පිරිවෙනක නේවාසිකව අධ්‍යාපනය ලබන සාමණේර හිමිවරුන් දෙදෙනකුට 27 වැනිදා අලුයම ලිංගික අතවර කර සැඟවී සිටින සුද්දා නමින් හඳුන්වන අයකු අත්අඩංගුවට ගැනීමට සියඹලාණ්ඩුව පොලිසිය පරීක්ෂණ ආරම්භ කර ඇත.සියඹලාණ්ඩුව ශ්‍රී ජිතාරාම පිරිවෙන් කෘත්‍යාධිකාරි ස්වාමීන් වහන්සේ විසින් 27 වැනිදා පොලිසියට පැමිණිල්ලක් කරමින් පිරිවෙනේ ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ තිස්පස් දෙනකු සහ ගිහි ශිෂ්‍යයන් විසිපස් දෙනකු ඉගෙනුම ලබන බවත් ශිෂ්‍ය භික්ෂුන් වහන්සේ ව්සිදෙදෙනකු පිරිවෙනේ නේවාසිකව අධ්‍යාපනය ලබන බවත් සඳහන්කර තිබේ.


27 වැනිදා අලුයම පහට පමණ තමන් අවදිවී අනෙක් භික්ෂුන් වහන්සේට අවදිවීමට සීනුව නාදකළ බව පවසා තිබේ.ඒ අවස්ථාවේ තමා ඉදිරියට දාහත් හැවිරිදි හිමිනමක් පැමිණ සුද්දා නමැති අය පාන්දර හතරට පමණ සැතපී සිටින ස්ථානයට පැමිණ තමාගේ ශරීරය අතපතගා ලිංගික අතවර කිර්මට උත්සාහ කළ බවත් තමා ඔහුව තල්ලුකර දමා ගැලවුණු බවත් ඒ අසල සැතපී සිටි අවුරුදු පහළොවක් වන සාමණේර හිමි නමට සුද්දා විසින් බරපතළ ලිංගික අපයෝජනය සිදුකරන අයුරු තමා දුටු බවත් සඳහන් කර ඇත.පසුව ඒ පිළිබඳව විහාරාධිපති හිමි පොලිසියට පැමිණිලි කර ඇත. 

සිද්ධියට සම්බන්ධ පිරිවෙන ආසන්නයේ පදිංචි ඩී.එම්. මදූෂ ප්‍රසාද් ප්‍රේමචන්ද්‍ර නොහොත් සුද්දා යන අය ප්‍රදේශයෙන් පලාගොස් ඇති අතර ඔහු අත්අඩංගුවට ගැනීමට පොලිසිය පරීක්ෂණ ආරම්භකර තිබේ.ලිංගික අතවරයට ලක්වූ සාමණේර ස්වාමීන් වහන්සේ දෙනම වෛද්‍ය පරීක්ෂණයක් සඳහා මොනරාගල දිස්ත්‍රික් මහ රෝහලට ඇතුළත් කර ඇත.සියඹලාණ්ඩුව පොලිස් ස්ථානාධිපති රවීන්ද්‍ර හේරත් මහතා පරීක්ෂණ පවත්වයි.


පැදවූ යතුරුපැදියේ සාරිය එතී පෙරපාසල් පාලිකාව මරුට

 




නන්දන කැලේගම පොල්පිතිගම


දංගොල්ලාගම කුමුදු පෙරපාසල් පාලිකාව ඇඳගෙන සිටි සාරිය ඇය පැදවූ යතුරුපැදියේ එතීමෙන් සිදුවූ අනතුරකින් රෝහල් ගත කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා මාරුකර යවන අතරවාරයේදී ඊයේ (27දා )පෙරවරුවේදී ජීවිතක්ෂයට පත්ව ඇත.මෙලෙස අවාසනාවන්ත අයුර්ජීවිතක්ෂයට පත්ව ඇත්තේ පොල්පිතිගම, ගස්ටැන්වැව, දංගොල්ලාගම ප්‍රදේශයේ පදිංචිව සිටි එම ග්‍රාමයේම පෙරපාසලේ ඉගැන්වීම් සඳහා යමින් සිටි ඒ.එම්.ඒ. ලලන්ති නමැති 53 හැවිරිදි විවාහක දෙදරු මවක බවද පොලිසිය සඳහන් කළේය.


ඇය තම නිවෙසේ සිට සුපර් කප් වර්ගයේ යතුරුපැදියෙන් පෙරපාසල කරා ගමන් ගැනීමේදී ඊයේ 27දා පෙරවරු 7.45ත් 8.30ත් අතර කාලයේදි වේගයෙන් පැද වූ යතුරුපැදියේ පිටුපස රෝදයේ සාරි පොට එතී සාරිය ගැලවී ගොස් රෝදය හිරවෙන තෙක් ඇයට යතුරු පැදිය පාලනය කර ගැනීමට නොහැකිව ඉදිරියට ඇදීයාමෙන් මෙම අනතුරු සිදු වී ඇතැයි ඒ සම්බන්ධව කළ විමර්ශනවලදී අනාවරණය වූ බව පොලිසිය කීය.  

 

 

තුවාලකරු ත්‍රීවීලරයකින් හිපපිටිය රෝහලට ඇතුළත් කොට වැඩිදුර ප්‍රතිකාර සඳහා කුරුණෑගල ශික්ෂණ රෝහලට යවන අතරවාරයේදී ජීවිතක්ෂයට පත්ව ඇතැයි රෝහල් ආරංචිමාර්ග කියයි.ඇයගේ සැමියා පිළිකා රෝගයකින් මීට පෙර මියගොස් ඇති අතර බාල පුතා මව සමඟ නිවෙසේ පසුවෙයි. අනෙක් වැඩිමල් පුතා කොරියාවේ රැකියාවක් සඳහා ගොස් ඇති බවත් අන් දරුවන් දස දෙනකුට පමණ සිප් සතර කියා දෙන්නට පෙරපාසල කරා යන ගමනේදී මෙම සිද්ධිය සිදු වී ඇති බවත් පවුලේ උදව්ය පැවැසූහ.


පෞරාණික වටිනාකමක් ඇති එය කෞතුකාගාරයක් කරන්න

 



අක්කර 125ක භූමියක පිහිටා ඇති නුවරඑළියේ ජනපති මැදුර බ්‍රිතාන්‍ය රජයේ 1,500කට වික්කේ තම සීයා බවත් පෞරාණික වටිනාකමින් යුත් එය කෞතුකාගාරයක් කරන ලෙස තමන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවත් 1871 සිට 1875 දක්වා වූ බ්‍රිතාන්‍ය පාලන කාලයේ ආණ්ඩුකාර ධුරය දැරූ විලියම් හෙන්රි ග්‍රෙගරි මහතාගේ මිනිපිරිය වන බෙලෙන්ඩා හන්ඩි මහත්මිය පවසයි. ඇය මෙසේ පැවැසුවේ ශ්‍රී‍‍ ලංකාවේ සංචාරයකට පැමිණි තම සීයා පදිංචිව සිටි වර්තමාන නුවරඑළිය ජනාධිපති මන්දිරය නැරැඹීමට ගිය අවස්ථාවේදීය.


සංචාරය සම්බන්ධයෙන් නුවරඑළිය ඇල්පන් හෝටලයේදී ඇය මාධ්‍යයට අදහස් දැක්වූවාය. 1871 වසරේ සිට 1875 දක්වා විලියම් හෙන්රි ග්‍රෙගරි මහතා සිවු වසරක කාලයක් ආණ්ඩුකාරවරයා වශයෙන් කටයුතු කර ඇත. නුවරඑළියේ ජනාධිපති මැඳුර විලියම් හෙන්රි ග්‍රෙගරි මහතාට අයත් ගොඩනැඟිල්ලක් බවත් එම ගොඩනැගිල්ල බ්‍රිතාන්‍ය රජයේ අවසරයක් නොමැතිව බ්‍රිතාන්‍ය පවුම් 1,500කට ශ්‍රී ලංකා රජයට අලෙවි කර ඇති බව බෙලෙන්ඩා හන්ඩ් මහත්මිය කීවාය.


ශ්‍රීලංකාවේ ප්‍රථම වරට සංචාරයක් සඳහා එක් වූ තමන්ට සහ සැමියා වන මායල්ස් තම සීයා රැඳී සිටි නුවරඑළියේ පිහිටි ගොඩනැඟිල්ල වන වත්මන් ජනාධිපති මැඳුර නැරැඹීමට වුවමනාවක් තිබූ බවත් ඒ අනුව එය නැරැඹීමට අවසර ලබාදෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලයේ නිලධාරීන්ගෙන් කළ ඉල්ලීමට ක්ෂණිකව අවසර ලබාදීම සම්බන්ධයෙන් අදාළ නිලධාරීන්ට සිය ස්තුතිය පුද කරන බවද ඇය පැවැසීය. 


ජනාධිපති මැදුර වෙත ගිය තමාව සහ සැමියාව එහි නිලධාරීන් උණුසුම් අයුරින් පිළිගෙන තේ පැන් සංග්‍රහයක් ලබාදුන් බවත් ජනාධිපති මැඳුර අක්කර 125කින් සමන්විත භූමියක පිහිටි ප්‍රෞඪත්වය පිළිබිඹු කරන ගොඩනැඟිල්ලක් බවත් ශ්‍රී ලංකා රජය විසින් එය හොඳින් නඩත්තු කරන බවත් ඇය කියා සිටියාය. වර්තමානයේ විශාල වටිනාකමකින් යුත් එම ගොඩනැඟිල්ල සීමාවන්ට යටත්ව කෞතුකාගාරයක් වශයෙන් පවත්වාගෙන ගොස් එහි ඉතිහාසය ජනතාවට දැනගැනීමට ඉඩ ලබාදෙන ලෙසද ඇය. අදාළ බලධාරීන්ගෙන් ඉල්ලා සිටියාය. ඇයගේ සීයා විසින් ඉදිකරන ලද ග්‍රෙගරි වැව නැරැඹීමට බෙලෙන්ඩා හන්ඩ් මහත්මිය එක්වී ඇති අතර ග්‍රෙගරි වැවද නුවරඑළියේ සුන්දරත්වය වර්ණවත් කරන ස්ථානයක් බව ඇය පැවැසීය. අක්කර 26කින් යුත් වික්ටෝරියා උද්‍යානය සහ කෞතුකාගාරය නැරැඹීමට ඇය එක් වී ඇති අතර එම කෞතුකාගාරය ඉදිකළ නුවරඑළිය නගර සභාවේ හිටපු නගරාධිපති මහින්ද දොඩම්පේගමගේ මහතාද නුවරඑළියේදී හමුවී එම කෞතුකාගාරය මීට වඩා ක්‍රමවත් ආකාරයෙන් පවත්වාගෙන යෑමට පියවර ගන්නා ලෙසට ඉල්ලීමක් කර ඇත.


එම සංචාරයට එක් වූ බෙලෙන්ඩා හන්ඩ් මහත්මිය ශ්‍රී ලංකා ගුවන් හමුදාව මඟින් නුවරඑළිය ශාන්තිපුර ප්‍රදේශයේ ඉදිකළ ඊගල්ස් නැරැඹුම් ස්ථානය විවෘත කිරීමේ අවස්ථාවට එක් වී විදේශ කටයුතු සහ සංචාරක අමාත්‍ය විජිත  හේරත් අමාත්‍යවරයා සමඟ සුහද කතාබහකද නියැළිණි.නුවරඑළියේ සංචාරය සඳහා එක්වීමට ඇය පැමිණ ඇත්තේ දුම්රියෙනි. ' 


රාජ්‍ය මර්දනයට ඒරෙහිව මුළු විපක්ෂයම තනි වේදිකාවට ගෙනවා

 


අමිත් මධුරංග ගමගේ


වත්මන් ආණ්ඩුවේ මර්දනයට මුහුණදීමට විපක්ෂයේ සියලු දේශපාලන පක්ෂ තනි වේදිකාවට ගෙන ඒමට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මැති-ඇමැතිවරුන්ගේ කණ්ඩායම මේ දිනවල උත්සාහ කරමින් සිටින බව හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා පැවැසීය.පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී නව ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණට (සිලින්ඩරය) සහාය පළ කළ පොදුජන පෙරමුණේ කණ්ඩායම විපක්ෂයේ ප්‍රධාන දේශපාලන පක්ෂ සියල්ල එකතු කිරීමේ වැඩසටහනක් ආරම්භ කළ බවද හිටපු රාජ්‍ය ඇමැතිවරයා සඳහන් කළේය.


එහි එක් පියවරයක් වශයෙන් එක්සත් ජාතික පක්ෂයේ නායක, හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සමඟ හෙට (30දා) දින සාකච්ඡා කරන බව කී හෙතෙම එක්සත් ජනරජ පෙරමුණේ නායක පාඨලී චම්පික රණවක මහතා ඊයේ හමුවී අදහස් හුවමාරු කරගත් බව ප්‍රකාශ කළේය.එසේම ශ්‍රී ලංකා නිදහස් පක්ෂය සහ සර්වජන බලය පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රි දිලිත් ජයවීර සමඟ පසුගිය දිනවලදී පළමු වටයේ සාකච්ඡා පැවැත්වූ බවත් එම පක්ෂ දෙක සමඟ තවත් සාකච්ඡාවක් අද දින පැවැත්වෙන බවත් ඔහු කීය.


ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ සමඟ නිල වශයෙන් ඉදිරියේදී සාකච්ඡා කරන බව කී තෙන්නකෝන් මහතා එම පක්ෂයේ හිටපු මැති ඇමැති කණ්ඩායම හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පසුගියදා හමුවූ අවස්ථාවේදී සාධනීය ප්‍රතිචාර ලැබුණු බවද පැවැසීය.ඉදිරි පළාත් පාලන මැතිවරණයට මුහුණදීමට පොදු සන්ධානයක් ගොඩනැඟීම පිළිබඳව විපක්ෂයේ දේශපාලන පක්ෂ සමඟ සාකච්ඡා කරන බව කී හිටපු රාජ්‍ය ඇමැතිවරයා ශ්‍රීලනිප, ශ්‍රීපොපෙ, එජාප ඇතුළු විපක්ෂයේ දේශපාලන පක්ෂ සමඟ පොදු ලකුණක් යටතේ දිස්ත්‍රික්ක කිහිපයකට තරග කිරීමට සැලසුම් කර ඇතැයිද සඳහන් කළේය.


විපක්ෂය තවදුරටත් බෙදී වෙන්වී සිටියහොත් ආණ්ඩුවේ මර්දනයට ශක්තිමත්ව මුහුණදිය නොහැකි බව කී හෙතෙම මර්දනයට එරෙහි ඕනෑම වැඩපිළිවෙළකට තම කණ්ඩායම කොන්දේසි විරහිතව පෙනී සිටින බව ප්‍රකාශ කළේය.


රතු කැකුළු හිඟය ඔඩුදුවයි

 


යොහාන් භාසුර


රට පුරා ප්‍රදේශ ගණනාවක තවමත් රතු කැකුළු සහල්වල දැඩි හිඟයක් පවතින බව වෙළෙඳපොළේ කළ සංචාරයකදී අනාවරණය විය.රතු කැකුළු සහල් තොග ඇතැම් වෙළෙඳුන් සඟවා ඇතැයි ද, ඔවුන් තෝරාගත් පාරිභෝගිකයන් පිරිසකට පමණක් එම සහල් අලෙවි කරන බව ද මෙහිදී අනාවරණය විය.


මේ අතර, වෙළෙඳුන් තවත් පිරිසක් පවසන්නේ, රජයේ පාලන මිලට රතු කැකුළු සහල් විකිණිය නොහැකි නිසා එම සහල් නොගන්නා බවය.තවත් ප්‍රදේශවලින් වාර්තා වූයේ, රතු කැකුළු සහල් මිලදී ගැනීමට ඇතැම් වෙළෙඳසල් ඉදිරිපිට දවස පුරා ඉතා දිගු පෝලිම් දැකගන්නට ලැබුණු බවය.මේ අතර, අප කළ සොයා බැලීමේදී පිටකොටුව සහල් තොග ව්‍යාපාරිකයන් සඳහන් කළේ, ආණ්ඩුව ආනයනික සහල් කිලෝවකට රුපියල් 65ක අධික බද්ද සහ සහල්වලට පනවා ඇති උපරිම මිල ඉවත් කරන තෙක් සහල් ගැටලුවට විසඳුමක් නොලැබෙන බවය.


සහල් ආනයනය කළ අවස්ථාවේදී බද්ද අඩු කරන ලෙස ආණ්ඩුවෙන් ඉල්ලා සිටිය ද එය ඉටු නොකළ බවත්, උපරිම මිල ඉවත් කළහොත් සහල් ව්‍යාපාරිකයන් තරගකාරි මිලකට සහල් අලෙවි කරනු ඇති බවත්, සහල් වෙළෙන්දෝ මෙහිදී සඳහන් කළහ.ආණ්ඩුවට ජනතාවට සහන දීමට සැබෑ වුවමනාවක් තිබුණේ නම්, අවම වශයෙන් සහල් ආනයන බද්ද කිලෝවක් සඳහා රුපියල් 30ක් දක්වාවත් අඩු කිරීමේ අවස්ථාව තිබුණු බවත්, එසේ වූයේ නම් සහල් මිල අඩු කිරීමේ අවස්ථාව ඇති බවත් ඔවුහු සඳහන් කළහ.


තොග හෝ සිල්ලර හෝ ලෙස පාලන මිලට සහල් මිලදී ගැනීමට රට තුළ කිසිම ස්ථානයක් නොමැති බවත්, පාලන මිලට වඩා වැඩි මිලට සහල් විකුණන වෙළෙඳුන් සොයා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය වැටලීම් කිරීම නිසා සහල් අලෙවි කළ නොහැකි තත්වයක් උද්ගත වී ඇති බවත් වෙළෙන්දෝ පැවැසූහ.ආනයනික නාඩු සහල් කිලෝවක් රුපියල් 230ක සහ පොන්නි සම්බා කිලෝවක් රුපියල් 240ක තොග මිල පවතින බවත්, ආණ්ඩුව බද්ද අඩු නොකිරීම හේතුවෙන් මෙසේ ඉන්දීය සහල් මිල ද ඉහළ ගිය බවත් ඔවුහු කියති.


දේශීය රතු කැකුළු සහල් කිලෝවක් රුපියල් 265ක තොග මිලට ගෙන ගොස් සිල්ලර වෙළෙඳුන්ට පාලන මිලට අලෙවි කිරීමේ හැකියාවක් නොමැති වීම නිසා රතු කැකුළු සහල් අලෙවි නොවන බව කී පිටකොටුව ව්‍යාපාරිකයෝ, සෙසු සහල් සම්බන්ධයෙන් ද එවැනිම තත්වයක් පවතින බව සඳහන් කළහ. සහල් සම්බන්ධයෙන් පවතින ගැටලුකාරි තත්වයට විසඳුම් දෙන ලෙස ආණ්ඩුවට බල කිරීම සඳහා සහල් අලෙවියෙන් ඉවත් වීමේ විරෝධතාවක නිරත වීමේ යෝජනාවක් ද ඇතැම් ව්‍යාපාරිකයන්ගෙන් ඉදිරිපත්ව ඇති බව ද ඔවුහු පැවැසූහ. ඉදිරියේදී සහල් ව්‍යාපාරිකයන් ඒ පිළිබඳව අවධානය යොමු කරන බව ද ඔවුහු වැඩිදුරටත් සඳහන් කළහ.


හිටපු ජනපතිගේ ලිපියක අත්සනකට උසාවිය සී.අයි.ඩී. වාර්තා කැඳවයි

 


 විමුක්ති එස්. රුද්‍රිගු


ජාවාරම්කරුවකුගේ ජාවාරම් කටයුතු බාධාවකින් තොරව කරගෙන යා හැකි වන ආකාරයට කටයුතු කරන්නැයි හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට, හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට නියෝග කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලිපි ශීර්ෂයක ඔහුගේ අත්සනින් යුතුව යවා ඇති ලිපිය ව්‍යාජ එකක් ද, සත්‍ය එකක් ද යන්න පිළිබද විමර්ශනය කර, අධිකරණයට වාර්තා කරන ලෙස කොටුව මහේස්ත්‍රාත් නිලුපුලී ලංකාපුර මහත්මිය අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළාය.


හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලිපි ශීර්ෂයක ඔහුගේ අත්සනින් යුතුව යවා ඇති ලිපිය ව්‍යාජ එකක් ද, සත්‍ය එකක් ද යන්න පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර ඇතැයි සඳහන් කරමින් රහස් පොලිසිය ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය එලෙස නියෝග කළාය.සිද්ධිය සම්බන්ධයෙන් කළ විමර්ශන පිළිබඳ ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ගොනු කළ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීහු, දකුණු පළාතේ ජාවාරම්කරුවකුට ඔහුගේ ජාවාරම් කටයුතු කරගෙන යා හැකි වන ආකාරයට කටයුතු කරන්නැයි හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතාට, හිටපු ආරක්ෂක ලේකම්වරයාට සහ හිටපු ජනාධිපති ලේකම්වරයාට නියෝග කරමින් හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ ලිපි ශීර්ෂයක ඔහුගේ අත්සනින් යුත් ලිපියක් යවා ඇතැයි දැනුම් දුන්හ.


මාතර තැපැල් කාර්යාලයෙන් මෙම ලිපිය තැපැල් කර ඇතැයි විමර්ශනවලදී හෙළි වී ඇතැයි දැනුම් දුන් රහස් පොලිස් නිලධාරිහු, මෙම ලිපිය සම්බන්ධයෙන් විමර්ශනයක් කරන ලෙස හිටපු පොලිස්පති සී.ඩී. වික්‍රමරත්න මහතා නියෝග කර තිබී ඇතැයි ද දැනුම් දුන්හ.එලෙස යවා ඇති ලිපිය සත්‍ය ලිපියක් ද, එසේත් නැති නම් අසත්‍ය ලිපියක් ද යන්න සෙවීම සඳහා විමර්ශනයක් ආරම්භ ද කර ඇතැයි දැනුම් දුන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරිහු, විමර්ශනවල ප්‍රගතිය දැනුම් දීම සඳහා කල් දෙන්නැයි ඉල්ලීමක් ද කළහ.ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරිය ඒ සඳහා අවසර දුන්නාය.


 

‘පිවිතුරු අරණ’ ලත්තැනම ලොප්: කුණු කන්දල් රක්ෂිතයට දාලා

 


 


 කාංචන කුමාර අදාස

 

දඹුල්ල හබරණ ප්‍රධාන මාර්ගයේ දිගම්පතහ ප්‍රදේශයේ පිවිතුරු අරණ දඹුල්ල මහනගර සභාව ආරම්භ කළ කාබනික පොහොර නිෂ්පාදනාගාරයේ වැඩ මේවනවිට අතරමග නතර වුවද පරිසරයට බාධාවන ආකාරයෙන් කසළ රක්ෂිතයට මුදාහැරීම නිසා වන අලින්ට සහ වනසතුන්ට දැඩි හානියක් බව ප්‍රදේශවාසීහු පවසති.ඉතාමත් අලංකාරව ‘පිවිතුරු අරණ' නමින් පසුගිය කාලයේ ලොවපුරා ජනතාවගේ අධීක්ෂණයට ගෞරවයට පාත්‍රවෙමින් හබරණ, දඹුල්ල, මාතලේ, අකුරණ, නාවලපිටිය, ආදී ඉතා දුරබැහැර නගරවල එකතුවන කැළිකසළ පවා මෙම ස්ථානයට රැගෙනවිත් ඒවා කාබනික පොහොර බවට පත් කෙරිණි.කාබනික පොහොර නිෂ්පාදනය නතර වුවද එම ප්‍රදේශවල කසළ සියල්ල ඒ ආකාරයටම පිවිතුරු අරණට ලැබුණද ඒවා සියල්ල තැන තැන රක්ෂිතයේ දමා ඇති අයුරු දැකගත හැකි විය. මෙම ස්ථානයේ ඇති යන්ත්‍ර සූත්‍ර දෝෂයට ලක්ව මාස ගණනාවක් ගතවී ඇතත් ඊට විසඳුමක් ලබානොගෙන ඇති බව සේවකයෝ පෙන්වා දෙති.


මෙම පරිසර හිතකාමී කාබනික පොහොර නිෂ්පාදනාගාරය සංචාරක පාරාදීසයක් බවට පත් කිරීම සඳහා එම ස්ථානයේ ඉදිකරන ලද ගොඩනැගිලිද මෙචන විට වල්ගෙවී විනාස මුඛයට ලක්වෙමින් පවතින අයුරු දැකගැනීමට හැකිවිය.මේ ප්‍රශ්නය පිළිබඳව දඹුල්ල මහනගර සභාවේ නාගරික කොමසාරිස් චතුරිකා නවරත්න මහත්මියගෙන් විමසීමේදී කියා සිටියේ පහුගිය දිනවල ක්ලීන් ශ්‍රී ලංකාව ව්‍යාපෘතිය යටතේ සිදුකරන ලද ශ්‍රමදාන නිසා කසළ තේරීමකින් තොරව වනයට මුදාහැරුණු බවය.කෙසේ වෙතත් මේ සඳහා යොදා ගන්නා යන්ත්‍රසූත්‍ර කාර්මික දෝෂයකට ලක්ව තිබෙන බවද ඇය පිළිගත්තාය.


ශ්‍රීලනිපයයි - සර්ව ජනයයි රනිල්ගේ පොහොට්ටුවයි පුංචි ඡන්දයේදී එකම පිලක

 


 සුජිත් හේවාජුලිගේ


ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, සර්ව ජන බලය සහ රනිල් වික්‍රමසිංහ මහතාට සහාය පළ කිරීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ මන්ත්‍රී කණ්ඩායමේ පිරිසක් ඉදිරි පළාත් පාලන මැතිවරණයේදී එක්ව තරග කිරීමේ සූදානමක් පවතින බව වාර්තා වේ.මෙම පක්ෂ තුනේ නියෝජිතයන් කොළඹ ඩාර්ලි පාරේ ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී පෙරේදා (27) සවස හමුවී මේ සම්බන්ධයෙන් සාකච්ඡා පවත්වා ඇතැයි එහි ආරංචි මාර්ගවලින් පැවැසේ.


නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, අතර ප්‍රියදර්ශන යාපා, දුමින්ද දිසානායක, ලසන්ත අලගියවන්න යන හිටපු මන්ත්‍රීවරුන් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය වෙනුවෙන් ද,ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත්ව ගිය කණ්ඩායම වෙනුවෙන් ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා ඇතුළු පිරිසක් ද සර්ව ජන බලය වෙනුවෙන් මහාචාර්ය චන්න ජයසුමන මහතා ද මෙම සාකච්ඡාවට සහභාගි වී ඇත.


පළාත් පාලන මැතිවරණය සහ වර්තමාන දේශපාලන තත්වය ඇතුළු කරුණු ගණනාවක් සම්බන්ධයෙන් මෙහිදී සාකච්ඡා කර ඇති බව දැනගන්නට ඇත.මේ කාරණය සම්බන්ධයෙන් මෙම නියෝජිතයන් මීට පෙර අවස්ථා කිහිපයකදී ද සාකච්ඡා පවත්වා තිබිණ.


රනිල්ගේ පොහොට්ටු පිරිස මහින්දගේ ගෙදර පාටියක

 


 සුජිත් හේවාජුලිගේ


පසුගිය ජනාධිපතිවරණයේදී සහ මහ මැතිවරණයේදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් ඉවත් වී හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට උදව් කිරීමට ඉදිරිපත් වූ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් 17 දෙනකු එම පක්ෂයේ නායක හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පෙරේදා (27) රාත්‍රී හමුවී ඇතැයි වාර්තා වේ.


මෙම හමුව සිදුව ඇත්තේ හිටපු ජනපතිවරයාගේ කොළඹ විජේරාම පිහිටි නිවෙසේදීය.හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් එම හිටපු මන්ත්‍රීවරු පිරිස මෙම හමුවට සහභාගි වූහ.රටේ වර්තමාන දේශපාලන තත්වය ඇතුළු කරුණු කාරණා ගණනාවක් පිළිබඳව මෙහිදී සාකච්ඡා කෙරුණු බව දැනගන්නට ඇති අතර, මෙම හමුවට ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් සහ ජාතක වක්කුඹුර ඇතුළු මන්ත්‍රීවරුන් 17 දෙනකු සහභාගි වී යැයි පක්ෂ ආරංචි මාර්ග සඳහන් කරයි.සාකච්ඡාවෙන් අනතුරුව හිටපු ජනාධිපතිවරයා මෙම මන්ත්‍රී පිරිසට රාත්‍රී භෝජන සංග්‍රහයක් ද පිරිනමා ඇත.


ඊ ටිකට් ජාවාරමට එස්එම්ලාත් හවුල්ද...?

 


 


රෝෂන් තුෂාර


ඔන්ලයින් ක්‍රමය ඔස්සේ දුම්රිය ආසන වෙන් කිරීමේ ටිකට්පත් වැඩි මිලට විකිණීමේ ජාවාරමට දුම්රිය ස්ථානාධිපතිවරුන් හා කාර්යමණ්ඩලය සම්බන්ධ වී ඇද්ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශන කරන බව රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් තනුජා ලක්මාලි මහත්මියට ඊයේ (28) දැනුම් දුන්නේය. 


 ආසන වෙන් කිරීමේ ටිකට්පත් අන්තර්ජාලයට මුදාහල වහාම එය මිලදී ගත්තා පුද්ගලයන් විදේශිකයකුට එම ටිකට්පත නැවත විකිණීමේදී, මුල් මිලදී ගැනීම අවලංගු කර විදේශිකයාගේ නමට එම ටිකට්පත නැවත මිලදීගත යුතු බව ද, නැවත මිලදී ගැනීම දුම්රිය ස්ථානයකින් කළ යුතු බවත්, එසේ දීර්ඝ කාලයක් මෙම ක්‍රියාදාමය සිදු කිරීමේදී දුම්රිය දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ හෝ කිසියම් සංවිධානාත්මක ජාලයකගේ හෝ මැදිහත් වීම ඊට ලැබී ඇද්ද යන්න පිළිබඳව තවදුරටත් විමර්ශනය කරන බව රහස් පොලිසිය වැඩිදුරටත් පැවැසීය.


ටිකට්පත් වංචාව සම්බන්ධයෙන් රහස් පොලිසියේ අත්අඩංගුවට පත්ව රක්ෂිත බන්ධනාගාරගත වූ සැකකරුවන් තිදෙනකු හා ඇප ලැබූ සැකකරුවකුට එරෙහි පැමිණිල්ල කැඳවූ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරිණි.බන්ධනාගාරගතව සිටි ප්‍රදීප් කාරියවසම්, චමින්ද කුමාර හා තිළිණ ලක්මාල් යන සැකකරුවන් බන්ධනාගාර නිලධාරින් මගින් අධිකරණයට ඉදිරිපත් කළ අතර, ඇප මත සිටින මධුක අසාන් නමැති සැකකරු අධිකරණයේ පෙනී සිටියේය.


රහස් පොලිසිය වැඩිදුරටත් කරුණු දක්වමින් කියා සිටියේ, ටිකට්පත් ජාවාරමේ මුදල් ගලා යාම සම්බන්ධයෙන් සාක්ෂි අනාවරණය කරගැනීමට සැකකරුවන්ගේ බැංකු ගිණුම් පරික්ෂා කරමින් පවතින බවය.දුරකතන විස්තර වාර්තා කැඳවා ඇති බවත්, විමර්ශන අවසන් වී නොමැති බැවින් සැකකරුවන් රක්ෂිත බන්ධනගාරගත කරන ලෙසත් රහස් පොලිසිය ඉල්ලා සිටියේය. සැකකරුවන් වෙනුවෙන් නාලක ජයසිංහ මහතා ඇතුළු නීතිඥ මණ්ඩලයක් පෙනී සිටි අතර, රහස් පොලිසියේ විමර්ශනයන්ට සැකකරුවන්ගෙන් කිසිදු බාධාවක් එල්ල නොවන බැවින් අප ලබා දෙන ලෙස ඉල්ලා සිටියේය.


සැකකරුවන් රාජ්‍ය නිලධාරීන් නොවන බවත්, අන්තර්ජාලයට මුදාහල ටිකට්පත් මිලදී ගැනීමට ඕනෑම අයකුට හැකි බැවින්, ඔවුන් වෙනත් පුද්ගලයන් වෙනුවෙන් එම ටිකට්පත් මිලදී ගෙන ඇති බවත් පෙන්වා දුන්නේය.ටිකට්පත් මිලදී ගැනීම, එම ටිකට්පත්වල මුල් මිලදී ගැනීම අවලංගු කර නැවත මිලදී ගැනීම නීති විරෝධි නොවන්නේ නම්,සැකකරුවන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරන්නේ කෙසේ දැයි නීතිඥවරු ප්‍රශ්න කළහ.


සැබැවින්ම මේ සම්බන්ධයෙන් කිසියම් නීතිමය ක්‍රියාදාමයක් ගත යුතු නම් ඒ සඳහා ප්‍රතිපාදන දුම්රිය ආඥා පනතේ 07ඈ වගන්තිය යටතේ පවතින බව ද නීතිඥවරු පෙන්වා දුන්හ.සැකකරුවන්ට එරෙහිව විදේශිකයන්ගෙන් හෝ ටිකට්පත් මිලදීගත් අයගෙන් හෝ ප්‍රකාශ සටහන් කිරිමට ඇප ලබා දීම බාධාවක් නොවන බව ද සඳහන් කෙරිණි. රහස් පොලිසිය විමර්ශනයක් ආරම්භ කර ඇතිමුත්, ටිකට්පත් මිලදී ගැනීම සම්බන්ධයෙන් කිසිදු පැමිණිල්ලක් ලැබී නොමැති බව ද පෙන්වා දුන්නේය. දෙපාර්ශ්වයේ කරුණු සලකා බැලූ මහේස්ත්‍රාත්වරිය, සැකකරුවන්ට දීමෙන් විමර්ශනයන්ට බාධාවක් නොවන බවට ප්‍රකාශ කරමින්, එක් සැකකරුවකුට රුපියල් ලක්ෂ පහ බැගින් ශරීර ඇප නියම කළාය. විමර්ශන ප්‍රගතිය පෙබරවාරි 24 වැනි දින අධිකරණයට ඉදිරිපත් කරන ලෙසට රහස් පොලිසියට දන්වා සිටියාය.


Tuesday, January 28, 2025

මා වරදක් කළේ නැහැ ,සිසුවියගේ මානසික අසරණ වීමේදී පිහිටවූවා පමණයි

 


 එල්. නිරෝෂණ 


සිසුවියකට මත්පැන් පානය කිරීමට උදවු කළ බව කියන තරුණ උපකාරක පන්ති ගුරුවරයකු පැල්මඬුල්ල නගරයේදී නගරවාසීන් විසින් අල්ලා පහර දෙන විට එම ප්‍රහාරයෙන් ඔහු මුදාගෙන සැක්කාර ගුරුවරයා පැල්මඬුල්ල පොලිසිය විසින් අත්අඩංගුවට ගනු ලැබීය.උසස් පෙළ උපකාරක පන්ති ගුරුවරයකු සැකපිට අත්අඩංගුවට ගෙන ඇති අතර ඔහු වෛද්‍ය පරීක්ෂණයක් සදහා යොමු කරවන බවත්, සිසුවි කගවත්ත මූලික රෝහලට ඇතුළත් කර ඇතැයි පොලිසිය පවසයි. සැකකරුගේ ආරක්ෂාවද සලකා ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.


පැල්මඬුල්ල ප්‍රදේශයේදී සිසුවියක් අපහසුවකින් පාරේ ගමන් කරනු දුටු නගරවාසීන් පිරිසක් ඒ ගැන විමසිලිමත්වීමේදී ඇය මත්ව සිටි බවට හදුනාගෙන තිබේ.පෙරේදා (26දා) උදැසන මෝටර් රථයකින් මෙම සිසුවිය බැස යනු පැල්මඬුල්ල ඔරලෝසු කණුව මංසන්ධියේ සිටි පිරිසක් විසින් දැක තිබේ. ඇයගේ හැසිරීම ගැන සැකසිතූ නගරවාසීන් පිරිස ඇය අසලට ගොස් කරුණු විමසීමේදී සිසුවිය බීමත්ව සිටින බවට තේරුම් ගොස් තිබේ. ඒ අවස්ථාවේදී මෝටර් රථයේ සිටි උපකාරක පන්ති ගුරුවරයාගේ රථය නවත්වා කරුණු විමසන විට ඔහුද බීමතින් සිටින බව හඳුනාගත් නිසා නගරවාසීන් කිහිපදෙනකු ඔහුට පහරදී ඇතැයි පොලිසිය පවසයි. මෙම දෙදෙනා රත්නපුර  බළන්ගොඩ මාර්ගයේ මෝටර් රථය තුළ සිටිනු ගම්වාසීන් දැක ඇතැයිද පොලිසිය පවසයි.


උපකාරක පන්ති ගුරුවරයා නගරවාසීන්ගෙන් බේරීමට උපකාරක පන්ති පවත්වන ගොඩනැගිල්ලේ ඉහළ මහලට දිව ගොස් ඇති අතර පැල්මඬුල්ල පොලිසියේ වැඩබලන පොලිස් ස්ථානාධිපතිවරයා ඇතුඵ නිලධාර්න් පැමිණ ඔහු අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.උපකාරක පන්ති ගුරුවරයා එම ගොඩනැඟිල්ලේ සිට බිමට පැනීමට උත්සාහ දරා ඇතැයිද පොලිසිය පවසයි. තමා වරදක් නොකළ බවත් තමාගෙන් ඉගෙනුම ලබන සිසුවියකගේ මානසික අසරණ වීමකදී පිහිට වීමට උත්සාහ ගත් බවද නීති විරෝධී කිසිවක් සිදු නොකළ බව ගුරුවරයා පොලිසියට ප්‍රකාශ කර තිබේ.


මත්පැන් වර්ගයක බෝතලයක භාගයක් ගුරුවරයා හා සිසුවිය විසින් උදෑසනම පානය කර ඇතැයි පොලිස් පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.සිසුවියට බලහත්කාරයෙන් මත්පැන් පානය කිර්මට දුන්නේදැයි සොයා බලන බව පොලිසිය පවසයි. 19 හැවිරිදි සිසුවිය පැල්මඩුල්ල නගරයේ උපකාරක පන්තියකට එන බව කියා උදෑසන හතට පමණ නිවෙසින් පැමිණි බවත් තම දියණිය රවටා ඇයට මත්වතුර ලබාදී ඇතැයි සිසුවියගේ පියා පැල්මඬුල්ල පොලිසියට පැමිණිලි කර තිබේ.


උපකාරක පන්ති ගුරුවරයා පැල්මඬුල්ල පොලිසියට රැගෙන ආ අවස්ථාවේදී නගරවාසීන් පිර්සක් පොලිසියට පැමිණ සිටි අතර මෙවැනි ගුරුවරුන්ගෙන් දරුවන් බේරාගන්නා ලෙස ඔවුහු ඉල්ලා සිටියහ.සැකකරුගේ ටියුෂන් පන්තිය ඊයේ පැවැත්වීමට නියමිතව තිබූ අතර අදාළ සිසුවියද ඊට සහභාගිවීමට පැමිණ තිබේ.පැල්මඬුල්ල පොලිසිය වැඩිදුර පරීක්ෂණ සිදු කරන අතර සැකකරු පැල්මඩුල්ල මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබේ.


මෝටර් රථය අඟුරුවල පාලමෙන් ඇදවැටී බැංකු කළමනාකරු මරුට

 


 උපුල් මහේෂ්


බද්දේගම - නාගොඩ ප්‍රධාන මාර්ගයේ අඟුරුවල පාලමෙන් මෝටර් රථයක් පහළට ඇදවැටීමෙන් 26දා සවස සිදුවූ අනතුරකින් මෝටර් රථයේ ගමන් කළ පුද්ගලයෙක් ජීවිතක්ෂයට පත්ව ඇතැයි නාගොඩ පොලීසිය කියයි. අනතුර්ග් ජීවිතක්ෂයට පත්ව තිබෙන්නේ රාජ්‍ය බැංකුවක කළමනාකරුවෙක් ලෙස සේවය කළ අයි.ඩී.ජී.එස්. කුමාර නැමැති 44 වියැති අයෙක් බවද පොලිසිය කියයි.


බද්දේගම දෙසට ධාවනය කරමින් තිබූ මෝටර් රථය අඟුරුවල පාලම මතින් පහළට වැටී තිබේ. පහළට ඇද වැටී තිබූ මෝටර් රථය බූම් ට්‍රක්රථයක් ආධාරයෙන් (ක්‍රේන්) ගොඩට ගෙන ප්‍රදේශවාසීන් විසින් එහි සිරවී සිටි පුද්ගලයා බේරාගෙන 1990 ගිලන් රථයකින් රෝහලට යැවීමට කටයුතු කර ඇති අතර එහෙත් රෝහල්ගත කරන විටද එම පුද්ගලයා ජීව්තක්ෂයට පත්ව සිට ඇති බව පොලිසිය කියයි. අනතුර පිළිබඳ නාගොඩ පොලීසිය පක්ෂණ පවත්වයි.


නව ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් ඛන්දු එදිරිසිංහ

 


ගයාන් සූරියආරච්චි


ශ්‍රී ලංකා ගුවන් හමුදාවේ 20 වැනි ගුවන් හමුදාපතිවරයා ලෙස එයාරි මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා හෙට (29) සිට පත් කරනු ලැබ සිටී.ගුවන් හමුදාපති ධුරය ලැබීමෙන් අනතුරුව බන්දු එදිරිසිංහ මහතා එයාර් මාර්ෂල් තනතුරට පත්වනු ඇත.ශ්‍රී ලංකාවේ 19 වැනි ගුවන් හමුදාපතිවරයා වන එයාර් මාර්ෂල් උදේනි රාජපක්ෂ මහතා හෙට (29) විශ්‍රාම යාමට නියමිත අතර ඒ පුරප්පාඩුව වෙනුවෙන් ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා විසින් එයාර් වයිස් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා පත් කරනු ලැබීය.


එයාර් වයිස් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා ගුවන් හමුදාපතිවරයා ලෙස පත්කිරීමට පෙර ගුවන් හමුදාවේ සැලසුම් අධ්‍යක්ෂවරයා ලෙස කටයුතු කළේය.1991 වසරේදී 24 වැනි බඳවාගැනීම යටතේ කැඩෙට් නිලධාරියකු ලෙස ගුවන් හමුදාවට එක්වූ එදිරිසිංහ මහතා 1993 වසරේදී පියාසර නිලධාරියකු ලෙස පත්වීම් ලැබීය. අනතුරුව ‘එස්. එෆ්. 26 වෝරියර්ස්” පියාසර කිරීමේ පාඨමාලාව සාර්ථකව හැදෑරීමෙන් පසු ප්‍රවාහන හා ස්ථාවර පියාපත් උසස් පුහුණු කිරිම් සඳහා පත් කෙරිණි.


හිඟුරක්ගොඩ ගුවන් හමුදා මූලික පුහුණු ආයතනයෙන් පුහුණු කිරීමේ උපදේශක පාඨමාලාව හැදෑරු එදිරිසිංහ මහතා 1998 වසරේදී හෙලිකොප්ටර් උපදේශකයකු ලෙස පත් කෙරිණි.ඔහු ගූගල් සමාගමේ නයිට් විෂන් හි හෙලිකොප්ටර් පියාසර කිරීමේ උපදේශකයෙකි. එමෙන්ම ඇමෙරිකා එක්සත් ජනපදයේ ඇල්බාමා හි ගුවන් විශ්වවිද්‍යාලයේ එක්සත් ජනපද ගුවන් හමුදාවේ මාණ්ඩලික පාඨමාලාව හදාරා උපාධිය ද ඔහු හිමිකරගෙන ඇත. එදිරිසිංහ මහතා බංග්ලාදේශය, ඉන්දියාව සහ සිංගප්පූරුව වැනි රටවලද පාඨමාලා හදාරා තිබේ. එමෙන්ම 2011 වසරේදී පාකිස්තානයේ ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය සඳහා ආරක්ෂක උපදේශක ලෙසද පත් කෙරිණි.උතුරු නැගෙනහිර ක්‍රියාන්විතයේ සක්‍රීය රාජකාරියේ යෙදී සිටි ඔහු ගුවන් හමුදාවේ අත්දැකීම් බහුල නිලධාරියෙකි.එයාර් වයිස් මාර්ෂල් බන්දු එදිරිසිංහ මහතා මහනුවර ශාන්ත සිල්වෙස්තර විද්‍යාලයේ ආදි සිසුවෙකි.


ඇල්ල ඉල්ලුමට නව දුම්රිය දෙකක්

 


 යොහාන් භාසුර


උඩරට දුම්රිය මාර්ගයේ ඇල්ල දක්වා දුම්රිය ගමනාන්තයට ඇති ඉහළ ඉල්ලුම් පිළිබඳව අවධානය යොමුකර පෙබරවාරි මස සිට නව දුම්රිය දෙකක් ආරම්භ කිරීමට පියවර ගන්නා බව දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා ඊයේ (27) පැවසීය.ඒ අනුව මහනුවර සිට දෙමෝදර දක්වා සති අන්ත දුම්රියක් ලබන පෙබරවාරි මස 1 වැනිදා ආරම්භ කරන බව කී ඒ මහතා නානුඔය සිට ඇල්ල දක්වා දෛනික දුම්රියක් පෙබරවාරි මස 10 වැනිදා ආරම්භ කරන බව ද කීය.


දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා කොළඹ දුම්රිය මූලස්ථානයේදී විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් එසේ පැවසීය.ඇල්ල දක්වා දුම්රිය ප්‍රවේශපත් සම්බන්ධයෙන් සිදුව ඇතැයි කියන අයථා කටයුතු පිළිබඳව පොලිසිය පියවර ගනිමින් සිටින බව කී ජයසුන්දර මහතා ප්‍රවේශපත් වෙන්කිරීමේ මාර්ගගත ක්‍රමයේ පහසුකම් වැඩි කිරීමට කටයුතු කරමින් සිටින බවද ප්‍රකාශ කළේය.


කොළඹ සිට ඇල්ල දක්වා සැපයුම වැඩි කිරීමේ පියවරක් ලෙස පෙබරවාරි මස 1 වැනිදා සිට මහනුවර සිට දෙමෝදර දක්වා වන සති අන්ත දුම්රියේ ආසන 300 ත් 350 ත් අතර සංඛ්‍යාවක් ඇති අතර එහි ප්‍රවේශපතක් රුපියල් 7,000 ක මුදලට වෙන්කරවා ගත හැකි බවද කීවේය.පෙබරවාරි මස 10 වැනිදා නානුඔය සිට ඇල්ල දක්වා ධාවනය කරන දෛනික දුම්රියේ ආසන 350 ක් ඇති බවත් සාමාන්‍යාධිකාරිවරයා කීය.

එම දෛනික දුම්රිය නානු ඔයෙන් පෙරවරු 8.10 ට ආරම්භ වී බදුල්ලට ගොස් නැවත පස්වරු 1ට බදුල්ලෙන් පිටත්ව පස්වරු 5ට නානු ඔයට නැවත ළඟා වන බවත් එම දුම්රිය දවල් කාලයේ ධාවනය කරන නිසා වඩා ජන ආකර්ෂණයක් ඇති ඇල්ල සහ නානු ඔය කොටසේ තදබදය අඩුවනු ඇතැයි බලාපොරොත්තු වන බවත් ජයසුන්දර මහතා පැවසීය.

යාපනය සමඟ දුම්රිය සම්බන්ධතාව නැවතත් ඉහළ නැංවීමේ අරමුණින් ජනවාරි මස31 වැනිදා සිට යාපනය දක්වා රාත්‍රි තැපැල් දුම්රිය ධාවනය ආරම්භ කරන බවද දුම්රිය සාමාන්‍යාධිකාරි ධම්මික ජයසුන්දර මහතා වැඩිදුරටත් සඳහන් කළේය.


වාහන මිල නැග්ගේ වැරැදි තක්සේරුවලින්

 


රංජන් කස්තුරි


දේශීය වෙළෙඳපොළේ වාහන මිල කාලයක් තිස්සේ අධික ලෙස ඉහළ යෑමට ප්‍රධානතම හේතුව වී ඇත්තේ ඒ වාහන සම්බන්ධයෙන් වැරැදි තක්සේරු වාර්තා නිකුත් කිරීම බවට රථවාහන සහ යන්ත්‍රෝපකරණ  තක්සේරු කරන්නන්ගේ ආයතනය චෝදනා කරයි.ශ්‍රී ලංකාවේ තක්සේරුකරුවන්ට ප්‍රමිතිගත අධ්‍යාපනයක් හෝ තක්සේරුකරණයට නිසි නියාමත ක්‍රමවේදයක් නොමැති වීමෙන් වෙළෙඳ පොළේ වාහන මිල ඉහළ යාම මාෆියාවක් බවට පත්වී තිබෙන බවද එම සංගමය පවසයි.වාහන පරීක්ෂාවකින් තොරව තක්සේරු වාර්තා ඉදිරිපත් කිරීම නීති විරෝධී වුවද ඇතැම් ලීසිං සමාගම් වාහනවල ඡායාරූපය පමණක් ලබාගෙන වැරදි ආකාරයෙන් තක්සේරු වාර්තා නිකුත් කරන බවද එම ආයතනය කියයි.


වංචාසහගත ලෙස එවැනි ආකාරයට ණය නිකුත් කරන නිසා වාහනවල සැබෑ වටිනාකමට වඩා වැඩි මිලකට වාහනය තක්සේරු වන බවද එම ආයතනය සඳහන් කරයි.මෙම මාෆියාව කෙතරම් බලවත්ද කිවහොත් ඇතැම් එක්ලස් කළ ඇතැම් නීති විරෝධී වාහනවලට පවා බැංකු හා මූල්‍ය සමාගම් තක්සේරු වාර්තා ඉදිරිපත් කරන බවද එම ආයතනය කියයි.රජය තක්සේරුකරණය පිළිබඳව විධිමත් නීති සකස් කර නොමැති අතර තක්සේරුකරුවන්ගේ වෘත්තිය අධ්‍යාපන මට්ටම ඉහළ නැංවීමට විෂය මාලාවක් ක්‍රියාත්මක කර නැතැයිද එම ආයතනය පවසයි.


මෙරට වාහන හා යන්ත්‍රෝපකරණ තක්සේරුකරුවන්ට නිසි ආචාර ධර්මපද්ධතියක් නොමැති අතර ඔවුන් බඳවා ගැනීම සහ ලියාපදිංචි කිරීම ඉතා අවිධිමත් ලෙස සිදුවන බවද රථ වාහන සහ යන්ත්‍රෝකරණ තක්සේරු කරන්නන්ගේ ආයතනය සඳහන් කරයි.ඇතැම් තක්සේරුකරුවන් සිය නුපුහුණු පිරිස් ලවා දිවයිනේ පිට පළාත්වල තිබෙන වාහනවලට වැරැදි තක්සේරු වාර්තා සකස්කර මූල්‍ය හා ලීසිං ආයතනවලට ඉදිරිපත් කරන බවද මෙම තත්ත්වය වළක්වාලීමට රජය දැඩි නීති පැනවිය යුතු බවද එම ආයතනය පෙන්වා දෙයි.


ඇතැම් විට ඉවත් කළ යුතු මට්ටමේ තිබෙන වාහනවලට පවා වංචනික ආකාරයෙන් තක්සේරු වාර්තා ලබාදීමට ඇතැම් තක්සේරුකරුවන් පියවර ගෙන ඇති අවස්ථා තිබෙන බවද එම ආයතනය ප්‍රකාශ කරයි. මීට අමතරව ඇතැම් ලීසිං සමාගම් තක්සේරු වාර්තා නොමැතිව ණය නිකුත් කරන අතර තවත් ආයතන තමන්ගේම නුපුහුණු තක්සේරුකරුවන් ලවා වාර්තා සකස් කර ණය නිකුත් කිරීමට පුරුදුව සිටින බවද එම ආයතනය පවසයි.


වාහන ගෙන්නුවත් ජනතාවට සහනයක් නෑ

 

නිමල කොඩිතුවක්කු


වාහන ආනයනයට පෙබරවාරි 1 දා සිට අවසර දුන්නත් ජනතාව අපේක්ෂා කරන ආකාරයේ සහනදායී මුදලකට වාහන මිලදී ගැනීමට නොලැඛෙන බවට වාහන ආනයනකරුවෝ පවසති. බදු සියල්ල එක් වූ විට ජනතාවට දැරිය නොහැකි මුදලකට වාහන ගෙන්වීමට සිදුවන බවත් ඔවුහු කියති.


මේ දක්වා බදු මුදල් අයවන ආකාරය සහ බදු ප්‍රතිශත සම්බන්ධයෙන් රජය නිල දැනුම් දීමක් කර නොමැති බවත් ආනයනකරුවෝ පවසති. වාහන සඳහා නිෂ්පාදන බද්ධ, වැට් බද්ද, සුඛෝපභෝගි බද්ද සහ සමාජ ආරක්ෂණ ආදී සියලු බදු ඇතුළත් වේ.පෙබරවාරි පළමුවැනිදා සිට වාහන ආනයනය සඳහා අවසර දෙන බවට ජනාධිපතිවරයා සහ ආණ්ඩුව ප්‍රකාශ කළත් වාහන ගෙන්වන ආකාරය සම්බන්ධයෙන් වාහන ආනයනකරුවන් වෙත මෙතෙක් දැනුම් දීමක් කර නොමැති බවත් ඔවුහු පවසති.


කොරෝනා වයිරසය ව්‍යාප්තිය සමග ඇතිවූ ආර්ථික අර්බුදය හමුවේ මෝටර් රථ ආනයනය කිරීම 2020 වසරේ මාර්තු 19 වැනිදා සිට අත්හිටුවීමට රජය පියවර ගත්තේය.අවුරුදු පනකට ආසන්න කාලයක් වාහන නොමැති වීමෙන් පාරිභෝගිකයන් මෙන්ම වාහන ආනයනය කර ආනයනකරුවන්ද දැඩි දුෂ්කර තත්වයකට මුහුණ පා ඇතැයිද ඔවුහු ප්‍රකාශ කරති.


ජනතාව වැඩි වශයෙන් මිලදී ගනු ලබන සුසුකි වැගන් ආර්, ටොයටා පැසෝ, ටොයටා විට්ස්, ටොයටා සී.එච්.ආර්, ටොයටා ඇක්සියෝ, ටොයටා වෙසල් ආදී මෝටර් රථවල මිල ගණන් සම්බන්ධයෙන් ජනතාව දැඩි උනන්දුවක් දක්වන බවත් වාහන ආනයනකරුවෝ පවසති. වාහන සඳහා අය කරන බදු ප්‍රතිශත, වාහන ආනයනය කරන ක්‍රමවේදය ඇතුළු ගැටලු සම්බන්ධයෙන් ඉදිරි දින කිහිපයේදී රජයෙන් පැහැදිලි පිළිතුරක් අපේක්ෂා කරන බවද වාහන අපනයනකරුවෝ වැඩිදුරටත් කියති.


Monday, January 27, 2025

ජිවිත 7ක් බිලිගත් බඩෝවිට අසංක - කොස්මල්ලි ගැටුම

 ඩුබායි රාජ්‍යයේ වෙසෙමින් මිනිස් ඝාතන සහ වෙඩි තැබීම් සිදුකරන ‘බඩෝවිට අසංක’ සහ ‘කොස්මල්ලි‘ පාර්ශ්ව දෙක අතර උත්සන්න වී ඇති ගැටුම්වලින් තවත් ජීවිත අහිමි වීම වැළැක්වීම සඳහා පොලිස් වසම් කිහිපයක් ඒකාබද්ධ කරමින් විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළක් ගල්කිස්ස පොලිස් කොට්ඨාසය පුරා ක්‍රියාත්මකය. ඒ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ප්‍රසන්න බ්‍රාහ්මණගේ උපදෙස් මතය. ඊට අමතරව විශේෂ කාර්ය බළකා නිලධාරීන්ද මීට අනුයුක්ත කර ඇත. ගල්කිස්ස, කොහුවල, දෙහිවල, අඟුලාන ආදී පොලිස් වසම් කේන්ද්‍ර කරගනිමින් මෙම විශේෂ ආරක්‍ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කෙරෙන අතර ඒ සඳහා ගිනි අවි සහිත නිලධාරීන් යොදවා ඇත. ගල්කිස්ස, බඩෝවිට ප්‍රදේශයේ අදියර හයම ආවරණය වන පරිදි මෙම මෙහෙයුම් සිදුකෙරේ.


පොලිසිය මෙම ආරක්‍ෂක වැඩපිළිවෙළ ක්‍රියාත්මක කිරීමට මූලික හේතුව වූයේ ඉකුත් 19 වැනිදා උදෑසන ගල්කිස්ස පොලිස් වසමේ සිරිපාල මාවතේදී පුද්ගලයකු වෙඩි තබා ඝාතනය කිරීමත් සමඟය.එලෙස ඝාතනය වූයේ ගල්කිස්ස, බඩෝවිට දෙවැනි අදියරේ පදිංචි 24 හැවිරිදි සවිඳු තරුෂ නමැති අයෙකි.


එම වෙඩි තැබීමත් සමඟ ගල්කිස්ස හා ඒ අවට වාහන තදබදයක් ඇති විය. ඒ අතරතුර පොලිස් පරීක්‍ෂකවරයකු ඇතුළු කණ්ඩායමක් වරෙන්තුකරුවකු රැගෙන දෙහිවල පොලිසිය වෙත පැමිණෙමින් සිටියහ. යතුරුපැදියක් ඊට පිටුපසින් විය. වාහන තදබදය අස්සේ එම යතුරුපැදිය ඉදිරියට ධාවනය කිරීමට තැත් කරන්නට වූ අතර ඉදිරියේ ඇති ත්‍රිරෝද රිය ඊට මහත් බාධාවක් ගෙන දුන්නේය. ඉන් කෝපයට පත් යතුරුපැදියේ සිටියවුන් ත්‍රිරෝද රිය ඉවත් කර මාර්ගයේ ඉඩ ලබා දෙන ලෙස කියමින් පරුෂ වචනයෙන් ඔවුනට බැන වදින්නට විය. ඒ ඉක්මනින් පලා යෑම සඳහාය.


මේ අවස්ථාවේ ඊට පිටුපසින් ගමන්ගත් කොස්තාපල් ලහිරු මෙම සිදුවීම දැක ත්‍රිරෝද රියට වෙට්ටු දමා පලා යන්නට උත්සාහ කරන යතුරුපැදිය පසුපස හඹා යන්නට විය. කෙසේ වෙතත් දෙහිවල, කවුඩාන පාරේදී පලායන යතුරුපැදිය හරස්කර සිය පැදිය නතර කරලීමට කොස්තාපල් ලහිරුට හැකි විය. ඒ සමඟම යතුරුපැදියේ පිටුපස අසුනේ සිටි පුද්ගලයා කොස්තාපල් ලහිරු වෙත ගිනි අවියක් දිගුකොට වෙඩි තැබීමට උත්සාහ

කරන යතුරුපැදිය පසුපස හඹා යන්නට විය. කෙසේ වෙතත් දෙහිවල, කවුඩාන පාරේදී පලායන යතුරුපැදිය හරස්කර සිය පැදිය නතර කරලීමට කොස්තාපල් ලහිරුට හැකි විය. ඒ සමඟම යතුරුපැදියේ පිටුපස අසුනේ සිටි පුද්ගලයා කොස්තාපල් ලහිරු වෙත ගිනි අවියක් දිගුකොට වෙඩි තැබීමට උත්සාහ ගෙන ඇතත් ගිනි අවිය ක්‍රියාත්මක වී නැත. ඒ සමඟම කොස්තාපල් ලහිරු තුවක්කුරු වෙත කඩා පැනීමත් සමඟ එම පුද්ගලයාගේ අත තිබූ ගිනි අවිය බිම වැටී ඇත. ඒ සමඟම එම පුද්ගලයා සිය ග්‍රහණයට නතුකර ගත් කොස්තාපල්වරයාගේ සහායට ත්‍රිරෝද රියකින් ගමන්ගත් පොලිස් කණ්ඩායමද එක්ව සැකකරු අත්අඩංගුවට ගෙන ඔහු දෙහිවල පොලිසියට රැගෙන ගොස් තිබේ. ඒ අතරතුර පුද්ගලයන් දෙදෙනාගෙන් කෙනෙකු පැදිකරු එතැනින් පලාගොස් ඇත. පසුව කරන ලද ප්‍රශ්න කිරීමේදී හෙළිවන්නේ එලෙස අත්අඩංගුවට ගත් සැකකරු ඊට මොහොතකට පෙර සිර්පාල මාවතේදී තරුෂ නමැත්තාට වෙඩි තබා මරා දැමූ බවය.


ඔහුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී හෙළිවන්නේ මෙම වෙඩි තැබීම සඳහා ඔහු මෙහෙයවා ඇත්තේ බඩෝවිට අසංකගේ පාර්ශ්වයෙන් බවය.

එමෙන්ම සිය ජීවිතය පරදුවට තබා තුවක්කුකරු අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල් ලහිරු (103420) මහජන ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවි සෙනෙව්රත්න මහතාගේ ආරක්‍ෂාව සම්බන්ධයෙන් ඔහු පදිංචිව සිටින නිවෙස අවට ආවේක්‍ෂණ රාජකාරියේ යෙදී සිටින අයකු බවද හෙළිවිය.කෙසේ වෙතත් දෙහිවල පොලිසියට රැගෙන ගිය තුවක්කුකරුගෙන් කළ දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් පසු ඔහු ගල්කිස්ස පොලිසිය වෙත භාර කෙරුණු අතර ඉන් අනතුරුව දීර්ඝ ලෙස ප්‍රශ්න කිරීම සඳහා ඔහු බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට රැගෙන ගියේය.


මෙම ප්‍රශ්න කිරීමේදී අනාවරණය වන්නේ එම මනුෂ්‍ය ඝාතනයද බඩෝවිට අසංක සහ කොස්මල්ලි අතර ඇතිව තිබෙන ගැටුමක ප්‍රතිඵලයක් මත සිදුවූවක් බවය. ඒ අනුව මේ වන විට ගල්කිස්ස සහ ඒ අවට සිදුවූ මිනිස් ඝාතන සංඛ්‍යාව 7ක් දක්වා ඉහළ ගියේය. මෙම දෙපාර්ශ්වය අතර ඇතිවූ ගැටුමෙන් අනතුරුව ඉකුත් වසරේ සැප්තැම්බර් මස 16 වැනිදා මෙම සිද්ධීන්වලට සම්බන්ධ මුල් ඝාතනය සිදුවන අතර එහිදී තුවක්කුකරුවන් අතින් මැරුම්කන්නේ බඩෝවිට තරිඳු සුවාරිස් නමැත්තෙකි.


එම සිද්ධියෙන් දින දෙකකට පසු දෙහිවල සරණංකර පාරේ හෝටලයක් තුළ සිටි ආනන්ද නමැති අයකු වෙඩි තබා ඝාතනය කෙරිණි. සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන ඇරැඹූ පොලිසිය අනාවරණය කරගන්නේ එම

පුද්ගලයන් දෙදෙනාම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වන බඩෝවිට අසංකගේ සමීපතමයන් බවකි. ඒ අනුව මෙම ප්‍රහාර එල්ල කර ඇත්තේ අසංකගේ විරුද්ධ පාර්ශ්වය වන කොස්මල්ලිගේ මෙහෙයවීම මත බවට නිලධාරීන් සැක කරන ලදී. ගතවූයේ තවත් දින පහකි. ඒ සැප්තැම්බර් මස 20 වැනිදාය. තවත් පුද්ගලයකු දෙහිවල, නැදිමාල ප්‍රදේශයේදී ඝාතනයට ලක්විය. එලෙස මරාදමා තිබුණේ දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ සේවකයකු වූ අනුර කොස්තා නමැත්තෙකි. ඔහු විදේශගතව සිටින චූවා

සමන්තගේ මස්සිනාය. සමන්ත බඩෝවිට අසංකට එරෙහිව කොස්මල්ලි සමඟ සිටින අයෙකි. ඒ අනුව විමර්ශන නිලධාර්න් සැක කළේ බඩෝවිට තන්ඳු සහ ආනන්ද යන දෙදෙනා ඝාතනය කිර්මට පළිගැනීමක් ලෙස කොස්තා මරා දමන්නට ඇති බවය. ඒ අනුව කොස්තා ඝාතනය බැරවූයේ බඩෝව්ට අසංකගේ ගිණුමටය.


ඒ නොවැම්බර් මස 13 වැනිදාය. නාඳුනන තුවක්කුකරුවන් යළි ගල්කිස්ස බඩෝවිට ප්‍රදේශයට කඩාපැන්නේය. ටී. පනස්හය ගිනි අවියක් එල්ල කොට දැවැන්ත වෙඩි ප්‍රහාරයක් එල්ල කළ ඔවුහු පැමිණි යතුරුපැදියේම නැඟී පලාගියහ. වෙඩි ප්‍රහාරයෙන් ගයාෂාන් චතුරංග නමැත්තා ජීවිතක්‍ෂයට පත්විය.විමර්ශන ඇරැඹූ පොලිසිය සැක කළේ බඩෝවිට අසංකට එරෙහිව කොස්මල්ලි පාර්ශ්වයෙන් එම වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවය, ගයාෂාන්ට ඊට පෙරත් කොස්මල්ලිගේ පාර්ශ්වයෙන් මරණ තර්ජන එල්ලව තිබූ අතර ඒ නිසා ගයාෂාන්ගේ ඝාතනය කොස්මල්ලි ගිණුමට බැරවිය. එමෙන්ම කොස්තා මරා දැමීමට එකට එකක් කිරීම මත ගයාෂාන් මරා දමන්නට ඇතැයි නිලධාහු සිතූහ.


කෙසේ වෙතත් මාසයකට වැඩි කාලයක් දෙපාර්ශ්වයම නිහඬ වූහ. පොලිසිය පවසන්නේ දිගින් දිගටම සිදුවූ වෙඩි තැබීම් නිසා පොලිසිය මෙන්ම අවිගත් එස්.ටී.එෆ්. නිලධාර්ම්ක ගල්කිස්ස, බඩෝවිට සහ ඒ අවට යෙදවීම නිසා තුවක්කුකරුවන් එම කාලය තුළ වෙඩි තැබීම් සිදු කරන්නට නැති බවය. ඒ එස්.ටී.එෆ්. නිලධාරීන්ගෙන් මැරුම් කන්නට වෙතැයි යන සැකය නිසා වන්නට ඇත.


මෙම නිහඬතාව බිඳිමින් යළි ගිනි අවි පත්තු විය. ඒ ඉකුත් 7 වැනිදාය. නාඳුනන තුවක්කුකරුවන් ගල්කිස්ස, වටරප්පල පාරේ නිවෙසකට 7 වැනිදා අලුයම කඩා වැදී එම නිවෙසේ සිටි පුද්ගලයන් දෙදෙනකුට වෙඩි තබා මරා දැමීය.සිද්ධියෙන් මරණයට පත්වූයේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු සහ පාතාල සාමාජිකයකු වූ ඇටයා නමැත්තාගේ මාමා සහ මස්සිනාය. ඇටයා ඒ වන විට සිටියේ මත්කුඩු සම්බන්ධයෙන් අත්අඩංගුවට පත්ව බන්ධනාගාරයේය.


කොස්මල්ලි සහ ඇටයා අතර කාලයක් තිස්සේද දැඩි වෛරයක් තිබිණි. ඇටයා මේ වන විට බන්ධනාගාර ගතව සිටීම නිසා ඇටයා මරා දමන්නට අපහසු වීම මත ඇටයාගේ ඥාතීන්ට වෙඩි තබන්නට ඇතැයි පොලිසිය සැක කළේය. ඒ සමඟම දෙපාර්ශ්වය අතර සිදුවූ ඝාතන රැල්ල 6ක් දක්වා වැඩි විය.7 වැනි ඝාතනය පොලිසියට වාර්තා වන්නේ ඉකුත් 19 වැනිදාය. ඒ ගල්කිස්ස සිරිපාල මාවතේදීය. මෙම ඝාතනය සිදුවන්නේද පොලිසිය සහ එස්.ටී.එෆ්. භටයන් රැකවල්ලා සිටියදීය. තුවක්කුකරුවන්ට ඔවුන් අදාළ නැත. ලැබෙන කොන්ත්‍රාත්තුවට අනුව කෙසේ හෝ ගොස් තම ඉලක්කය සපුරා ගැනීම තුවක්කුකරුවන්ගේ අරමුණය. කෙසේ හෝ ඉකුත් 19 වැනිදා ඝාතනය සිදුකළ පුද්ගලයන් දෙදෙනාගෙන් එක් අයකු පොලිස් කොස්තාපල්වරයකුගේ දක්‍ෂතාව මත අත්අඩංගුවට පත්වීම අගය කළ යුතුය. මේ අතර බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය විසින් ගිනිඅවිය සමඟ භාරගත් සිරිපාල මාවතේ වෙඩි තැබීමට යතුරුපැදියෙන් පැමිණි පුද්ගලයා එම වෙඩි තැබීමේ වෙඩික්කරු බව පොලිසිය ඒ මොහොතේ පැවැසුවද මේ වන විට අනාවරණය වන්නේ ඔහු එම වෙඩි තැබීමට යතුරුපැදිය පැදවූ පුද්ගලයා බවය.


කෙසේ වෙතත් ඔහුගෙන් කරන ලද දීර්ඝ ප්‍රශ්න කිරීමෙන් පසු එම සිද්ධියට අදාළ වෙඩික්කරු ඉකුත් 24 වැනිදා බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසය මඟින් අත්අඩංගුවට ගෙන ඇත. ඒ බියගම ප්‍රදේශයේ සිටියදීය.


යුද හමුදාවේ 19 වැනි ගැමුණුහේවා බළකායේ රාජකාරී කර ඇති මොහු 2011 වසරේ පොදු සමා කාලයේදී යුද හමුදාවෙන් නීත්‍යනුකූලව ඉවත් වී ඇත. කිසියම් වරදකට මහර බන්ධනාගාර ගතවූ මොහුට නාත් නමැත්තා එහිදී මුණගැසී තිබේ. බන්ධනාගාරය තුළදී ඇති කර ගත් මිතුරුකම ඉන් පිටතට පැමිණීමෙන් පසුවද දෙදෙනා අතර විය. ඩුබායි රාජ්‍යයේ සිටින සංවිධානාත්මක අපරාධ කල්ලි නායකයකු වූ බඩෝවිට අසංකගේ සමීපතමයකු නාත් නමැත්තා දුරකථනයෙන් අමතන්නේ ඔය අතරය. "වැඩක් තියෙනවා. එකෙක්ට ගහන්න ඕන. මොකද කියන්නේ, ලක්ෂ 15ක් දෙන්නම්, අසංකගේ සමීපතමයා කියන ඉල්ලීමට නාත් කැමැති විය. ඒ නාත් අතේ කිසිදු මුදලක් ඒ වන විට නොතිබූ නිසාය. ඉන් අනතුරුව නාත් බන්ධනාගාරයේදී හමුවූ සිය මිතුරා වූ හමුදා සෙබළා බඩෝවිට අසංකගේ සමීපතමයාට දුරකථනයෙන් සම්බන්ධ කරදී ඇත. දෙදෙනා අතර සාකච්ඡාව යන්නේ ඇප් එකක් හරහාය. "මොකද කියන්නේ එකෙක් ඉන්නවා ගහලා දානවද..?"


"හරි... පුළුවන්..."


“එහෙනම් එකවුන්ට් නම්බරේ දාපන්" ඒ අනුව හමුදා සෙබළා අසංකගේ සමීපතමයාට සිය ගිණුම් අංකය ලබාදී ඇත. දෙදෙනා අතර ඇති වූ සාකච්ඡාවෙන් පසු 13 වැනි දින හමුදා සෙබළා කොළඹට පැමිණෙන අතර ඔහුගේ ගිණුමට රුපියල් 15,000ක්ද බැරවී තිබුණේය.


"රත්මලාන එයාපෝර්ට් එක ගාවට යන්න. ස්කූටි බයික් එකක කොල්ලෙක් එක්කගෙන යාවි ගෙදරකට. එහෙ නැවැතිලා ඉන්න මම කියනකම්.” ඒ ඩුබායි රාජ්‍යයෙන් ලැබුණු උපදෙස්ය. කී පරිදිම ස්කූටි යතුරුපැදියකින් පැමිණෙන පුද්ගලයකු හමුදා සෙබළා රත්මලාන ගුවන් හමුදාවට නුදුරු වත්තක නිවෙසකට ඔහු රැගෙන යන අතර එහිදී ඔහුට නාත් හමුවී ඇත. 14 වැනිදා සිට 18 වැනිදා දක්වා දෙදෙනාම සිටින්නේ එම ගෙදරය.කන්න බොන්න පමණක් නොව අවශ්‍ය මත්ද්‍රව්‍ය පවා ඔවුන්ට ලබා දෙන්නේ අසංකගේ සමීපතමයාගේ උපදෙස් මතය.


"19 වැනිදා වැඩේට යන්න ලෑස්ති වෙයන්. ස්කූටි බයික් එකේ යන එකා ගහන්න ඕන මිනිහව පෙන්නාවි. ඌට විතරක් ගහපන්. ගෑනියි, ළමයටයි මුකුත් වෙන්න බැහැ හොඳද."


ඒ අනුව 19 වැනිදා උදෑසන වෙඩි ප්‍රහාරයට යෑම සඳහා අවශ්‍ය යතුරුපැදිය සහ ගිනිඅවිය තවත් පුද්ගලයකු විසින් එමනිවෙසට ගෙනැවිත් දී ඇත.


යතුරුපැදිය පදින්නේ නාත්ය. හමුදා සෙබළා පසුපස අසුනේය. ඉදිරිපසින් ස්කූටි බයික් එකක තවත් අයෙකි. තුවක්කුකරුවන්ට ඉලක්කගත පුද්ගලයා පෙන්වීම ඔහුට අයත් කාර්ය විය. ඔහුගේ මඟපෙන්වීම මත

ගල්කිස්ස සිර්පාල මාවතේදී මොවුන් ඉලක්ක ගත පුද්ගලයාට වෙඩි තබා තිබේ. ඉන් අනතුරුව හමුදා සෙබළා දිවවිත් යතුරුපැදියට නැඟගත්තද පැදිය ක්‍රියාත්මක වී නැත. පසුව නාත් පසුපසට දමාගත් හමුදා සෙබළා යතුරුපැදිය ධාවනය කර තිබේ. ඒ සිය අවිය පිටුපස අසුනේ සිටි නාත්ට ලබා දීමෙන් පසුවය.


නාත් දෙහිවල පොලිස් නිලධාරීන්ට කොටුවන අතර තුවක්කුකරු යතුරුපැදියද සමඟ පලාගොස් එය අතරමඟ දමා යන්නේ එය හන්හැටි ක්‍රියාත්මකනොවන නිසාය. ඉන් අනතුරුව බසයකින් පිටකොටුවට පැමිණෙන තුවක්කුකරු පිටකොටුවෙන් බියගමට ගොස් ඇති අතර බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයේ පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර ඇතුළු කණ්ඩායම අත්අඩංගුවට ගත්තේ බියගම ප්‍රදේශයේදීය. අත්අඩංගුවට ගත් සැකකරුගෙන් කළ ප්‍රශ්න කිරීමේදී ඔහු පොලිසියට පවසන්නේ වෙඩි තැබීමෙන් පසුද ඔහුගේ ගිණුමට රුපියල් 50,000ක් බැර වූ බවය. පොරොන්දු වූ රුපියල් ලක්ෂ 15 බැර කිරීම සඳහා අසංකගේ පාර්ශ්වයෙන් ගිණුම් අංකයක් ඉල්ලා ඇති අතර එම මුදල බැරවීමට කලින් මොහු අත්අඩංගුවට ගැනීමට පොලිස් පරීක්ෂක හේමන්ත කුමාර ඇතුළු කණ්ඩායමට හැකි විය.


කෙසේ වෙතත් මෙම ඝාතන 7ට සම්බන්ධ තුවක්කුකරුවන් තිදෙනකු මේ වන විට පොලිස් අත්අඩංගුවට පත්ව හමාරය.එම තුවක්කුකරුවන්ගෙන් ප්‍රශ්න කිර්මෙන් පසු බඩෝවිට තරිඳු සහ සරණංකර පාරේ ආනන්ද ඝාතනය කළ ආකාරය හෙළිවිය. ඉන් අනතුරුව දෙහිවල - ගල්කිස්ස නගර සභාවේ අනුර කොස්තා නමැත්තා වෙඩි තබා මරා දැමූ තුවක්කුකරුද  කොටුකර ගැනීමටද නිලධාරීන්ට හැකි විය. ඔහු අත්අඩංගුවට ගෙන ඇත්තේ තවත් ඝාතනයක් සිදුකිර්ම සඳහා පිස්තෝල අවියද රැගෙන යතුරුපැදියකින් යමින් සිටියදීය. එම තුවක්කුකරුවන් බඩෝවිට අසංකගේ පාර්ශ්වයට මෙන්ම කොස්මල්ලිගේ පාර්ශ්වයන්ටද සම්බන්ධ වූවන්ය.කෙසේ වෙතත් ගයාෂාන්ගේ ඝාතකයා තවමත් නිදැල්ලේය. එමෙන්ම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු වූ ඇටයාගේ මස්සිනා සහ මාමා වෙඩි තබා මරා දැමූ තුවක්කුකරුවන්ද තවමත් පොලිසියට කොටුවී නැත. ඔවුන් සොයා විමර්ශන ක්‍රියාත්මකය.


කීර්ති මෙන්ඩිස්


විදුලි රැහැන් අලුත්වැඩියාවට ගිය සේවකයන් සමඟ විදුලි කණුව කඩා වැටීලා

 


එස්. කුට්ටපිටිය


පෙරේදා (25දා) දහවල් සෙවණගල ප්‍රදේශයේ විදුලි රැහැන් අලුත්වැඩියාවට ගිය සේවකයන් සමඟ විදුලි කණුවක් කඩා වැටීමෙන් තිදෙනකු තුවාල ලබා රෝහල් ගත කර ඇත.විදුලිබල මණ්ඩලයේ සේවකයන් තිදෙනකු විදුලි රැහැන් ඇදීම සඳහා විදුලි කණුව මත නැඟ රැහැන් තද කරන විට විදුලි කණුව මැදින් කඩා වැටී ඇත. කණුව මත සිටි තිදෙනා තුවාල ලබා ඇඹිලිපිටිය මහ රෝහල වෙත රැගෙන ගොස් ඇත. එහිදී බරපතළ තුවාල ලැබූ එක් සේවකයකු කරාපිටිය රෝහල වෙත මාරු කර යවා ඇත. ඔහුගේ තත්ත්වය බරපතළ බව රෝහල් ආරංචිමාර්ග සඳහන් කරයි.


අනතුරින් තුවාල ලබා ඇත්තේ විදුලිබල මණ්ඩලයේ සේවයේ නියුතු අටකලන්පන්න පදිංචි දෙමටහැත්තගේ සමන්ත පුෂ්පකුමාර (44), බොලදගල මාරපන පදිංචි පල්ලදොරු තෝල්ක මුදලිගේ ජනක ප්‍රියන්ත (44), බටතොට, කුරුවිට පදිංචි සූරියආරච්චිගේ අජිත් කුමාර (30) යන අයයි.සබරගමුව පළාත් සභාවට අයත් ඇඹිලිපිටිය විදුලි ඉන්ජිනේරු කාර්යාලය මඟින් මෙම ප්‍රදේශයේ විදුලිය නඩත්තු කටයුතු කරගෙන යනු ලබන අතර සෙවණගල ප්‍රදේශයේ තෙකලා විදුලි රැහැන් පද්ධතිය ඉතා ඉක්මනින් අලුත්වැඩියා කිරීමේ අවශ්‍යතාවක් සේ සලකා රත්නපුර, කුරුවිට, බලවින්න ආදී ප්‍රදේශවල සේවය කරනු ලබන සේවකයන් පිර්සක් කැඳවා පෙරේදා (25දා) මෙම අලුත්වැඩියාව පෙරවරුවේ සිට කර ඇත. දහවල් 03.00ට පමණ සෙවණගල ස්වර්ණ ප්‍රදීප ප්‍රාථමික විද්‍යාලය අසල පිහිටි විදුලි කණුවක් මත සිට විදුලි රැහැන් ඇද ඒවා තද කරමින් සිටියදී විදුලි කණුව කඩා වැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.


එම ස්ථානයට පැමිණි ප්‍රදේශවාසීන් චෝදනා කරනු ලැබුවේ විදුලි කණුවේ ප්‍රමිතියක් නොමැති වීම හේතුවෙන් විදුලි කණුව කඩා වැටී ඇති බවටයි. කඩා වැටුණු විදුලි කණුවේ එක් පසෙක කිසිදු කම්බියක් නොයොදා තිබීම කණුවේ අනිත් පසද විදුලි කණුවට සර්ලන කම්බි නොයොදා තිබීම අනතුරට හේතුව බවට ජනතාව චෝදනා කරනු ලැබීය. මේ පිළිබඳව පොලිස් පරීක්ෂණ සෙවණගල පොලිසිය විසින් සිදු කරනු ලබයි. පොලිසිය ප්‍රකාශ කළේ ධිමත් පක්ෂාවකින් තොරව කිසිවක් කිව නොහැකි බවයි.


ජනාධිපති අරමුදල ප්‍රා. ලේකම් කාර්යාලයට එයි

 


අංජුල මහික වීරරත්න


ජනාධිපති අරමුදලේ සේවා දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 341 ටම ව්‍යාප්ත කිරීමට රජය තීරණය කර ඇත. ජනාධිපති අරමුදලේ සේවා මෙතෙක් ලබා දුන්නේ කොළඹ ජනපති අරමුදලේ කාර්යාලයෙන් පමණි.ප්‍රාදේශීය ලේකම් කාර්යාලවල ස්ථාපිත කෙරෙන ජනාධිපති අරමුදලේ උප කාර්යාල මගින් අදාළ සේවා ලබා දීමට සැලසුම් කර ඇතැයි ජනාධිපති කාර්යාලය පවසයි. මෙම වැඩ පිළිවෙළ ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් අරලියගහ මන්දිරයේදී පෙබරවාරි 7 වැනිදා ආරම්භ කිරීමට නියමිතය.


තෝරාගත් ප්‍රාදේශීය ලේකම් කාර්යාල පහක මීට අදාළ නියමු ව්‍යාපෘතිය දැනටමත් ක්‍රියාත්මක වන අතර පෙබරවාරියේ සිට එම වැඩසටහන දිවයින පුරා ක්‍රියාත්මකය. ජනාධිපති අරමුදලේ නව වැඩපිළිවෙළ සම්බන්ධයෙන් ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කිරීම සඳහා මාර්ගගත සාකච්ඡාවක් ද ජනාධිපති කාර්යාලයේ දී පැවැත්විණි.ජනාධිපති අරමුදලට නව ඩිජිටල්කරණ හා ජාලකරණ වැඩපිළිවෙළ හඳුන්වාදීමෙන් ජනතාවට වඩාත් කාර්යක්ෂම සහ ඵලදායී සේවාවක් සැපයීමට කටයුතු කරන ජනාධිපති අරමුදලේ ලේකම්, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රෝෂන් ගමගේ මහතා සඳහන් කළේය.


මෙහිදී ඕනෑම කෙනකුට තම ප්‍රාදේශීය ලේකම් කාර්යාලය හරහා තමන්ගේ රෝගයට අදාළ මුදල ඉල්ලුම් කළ හැකි අතර ඊට අදාළ ලිපි ලේඛන ප්‍රාදේශීය ලේකම් කාර්යාල වෙත ගෙනවිත් බාර දිය හැකිය.රෝගීන් තෝරා ගන්නා ආකාරය, ඔවුන්ගේ ලිපි ලේඛන සකස් කරන ආකාරය, සහ ජනාධිපති අරමුදලේ වගකීම සම්බන්ධයෙන් ද ප්‍රාදේශීය ලේකම්වරුන් දැනුවත් කර තිබෙන බව ජනාධිපති කාර්යාලය කියයි.


ප්‍රමිතියක් නැති පැන්සලෙන් සිසුන් ලෙඩුන්වීමේ අවදානමක්



රංජන් කස්තුරි


ඇතැම් පාසල් සිසුන් ප්‍රමිතියෙන් තොර පැන්සල් භාවිත කිරීම නිසා බැර ලෝහ ශරීරගත වන අතර, එමගින් පසු කාලීනව ඔවුන්ට පිළිකා සහ වකුගඩු රෝග ඇති වන බවට විද්‍යාත්මකව තහවුරු කර ඇතැයි, ලංකා විදුහල්පතිවරුන්ගේ සංගමයේ ප්‍රධාන ලේකම් පියසිරි ප්‍රනාන්දු මහතා පැවැසීය. පැන්සල් තුඩ නිපදවීම සඳහා භාවිත කරන මිනිරන් සිසුන්ගේ නහය, කට, කන සහ දිවට ස්පර්ශ වීම මගින් මෙම අහිතකර තත්වය ඇති වන බව විද්‍යාඥයන්ගේ මතය වන බව ද පියසිරි ප්‍රනාන්දු මහතා කීවේය.


යුරෝපා කමිටුව මගින් පැන්සල් සහ පාට පැන්සල් සඳහා CN හෝ EN 71වැනි ප්‍රමිති හඳුන්වා දී ඇති බව ද, කොළඹදී ඊයේ (26) පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී ලේකම්වරයා කීවේය. නව පාසල් වාරය සඳහා දරුවන්ට පොත් ලැයිස්තු සැකසීමේදී ප්‍රමිතියකින් යුත් පාසල් උපකරණ භාවිතය පිළිබඳ අවධානය යොමු කරන්නැයි තමා ගුරුවරුන්ගෙන් සහ මවුපියන්ගෙන් ඉල්ලා සිටින බව ද ප්‍රනාන්දු මහතා පැවැසීය.


දරුවන්ට භාවිතය සඳහා නුසුදුසු පැන්සල් විශාල වශයෙන් වෙළෙඳපොළේ ඇති අතර, එවැනි පැන්සල් සහ පාට පැන්සල් භාවිතයෙන් දරුවන්ගේ අධ්‍යාපනික කටයුතු සඳහා සිදු වන පසුබෑම මෙන්ම සෞඛ්‍යය සඳහා වන අහිතකර බලපෑම පිළිබඳව මවුපියන් සහ ගුරුවරුන් සැලකිලිමත් විය යුතු බව ද ප්‍රධාන ලේකම්වරයා සඳහන් කළේය.


රිමාන්ඩ් යෝෂිත අද උසාවියට

 


මනෝප්‍රිය ගුණසේකර 


සිය මිත්තණිය සමග එක්ව රත්මලානේ සිරිමල් පෙදෙසේ පිහිටි නිවෙසක් සහිත ඉඩමක් රුපියල් කෝටි තුනහමාරක පමණ මුදලකට මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රිමාන්ඩ් භාරයට පත් කර සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ දෙවැනි පුත් යෝෂිත රාජපක්ෂ මහතා අද (27) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


නීනිතිපතිවරයාගේ උපදෙස් මත මුදල් විශුද්ධිකරණ පනත යටතේ දඬුවම් ලැබිය හැකි වරදක් කළැයි කියමින් පෙරේදා 25 වැනිදා බෙලිඅත්තේදී අත්අඩංගුවට ගනු ලැබූ යෝෂිත රාජපක්ෂ මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී මහත්මියගේ නිවෙසට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව කළ නීතිපති නියෝගයකට අනුව ඔහු අද අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.


සිය මිත්තණිය වන ඩේසි ෆොරස්ට් නමැත්තිය සමග එක්ව රත්මලානේ සිරිමල් පෙදෙසේ පිහිටි නිවෙසක් සහිත ඉඩමක් රුපියල් මිලියන 340ක මුදලකට මිලදී ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් කළ විමර්ශනයකින් අනතුරුව දක්ෂිණ අධිවේගී මාර්ගයේ බෙලිඅත්ත පිවිසුමේ දී සැකකරු අත්අඩංගුවට ගනු ලැබීය.එලෙස අත්අඩංගුවට ගැනීමෙන් අනතුරුව අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට රැගෙන ආ යෝෂිත රාජපක්ෂ මහතාගෙන් පැය 4කට අධික කාලයක් ප්‍රශ්න කර ප්‍රකාශ සටහන් කර ගනු ලැබීමෙන් අනතුරුව මහේස්ත්‍රාත්වරියගේ නිල නිවෙසට ඉදිරිපත් කරනු ලැබීය.


සිද්ධියට අදාළව කළ විමර්ශනවල ප්‍රගතිය දැක්වෙන වාර්තාවක් ඉදිරිපත් කළ රහස් පොලිස් නිලධාරිහු සිරිමල් පෙදෙසේ පිහිටි නිවෙසක් හා ඉඩම මිලදී ගැනීම සඳහා රුපියල් මිලියන 340 ක මුදල ලැබුණු ආකාරය පිළිබඳව මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ කළ විමර්ශනයකට අදාළ උදෘත නීතිපතිවරයා වෙත යොමු කළ පසු නීතිපතිවරයාගෙන් ලැබුණු උපදෙස් මත ඔහු අත්අඩංගුවට ගත් බව දැනුම් දුන්හ.එම සිද්ධියට අදාළව යෝෂිත රාජපක්ෂ මහතා සැකකරුවකු බවට නම් කිරිමට තරම් ප්‍රමාණවත් සාක්කි ඇති බව නීතිපතිවරයා තමන්ට උපදෙස් ලබා දී ඇතැයි දැනුම් දුන් රහස් පොලිස් නිලධාරිහු මෙම සිද්ධියට අදාළව තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට විමර්ශනය කරන බව ද දැනුම් දුන්හ.


මේ අතර, කොළඹ අතිරේක මහේස්ත්‍රාත් පවිත්‍රා සංජීවනී පතිරාජ මහත්මිය හමුවේ කරුණු දැක්වූ ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා පැවැසුවේ, පස්සෙන් එළවාගෙන ගොස් අත්අඩංගුවට ගැනීමට තරම් අපරාධයක් හෝ විමර්ශනයක් යෝෂිතට එරෙහිව නැති බවය.සිද්ධිය සම්බන්ධයෙන් රහස් පොලිසිය විමර්ශන ආරම්භ කරන ලද්දේ මීට වසර අටකට පෙර බවත්, මෙම විමර්ශනයේ පළමු සැකකාරිය වන ඩේසි ෆොරස්ට් යන අයට අධිකරණය මගින් මීට වසර අටකට පෙර ඇප නියම කර ඇති බවත් ඔහු සඳහන් කළේය. යෝෂිත රාජපක්ෂ මහතාට මෙම විමර්ශනය සම්බන්ධයෙන් නොතීසියක් නිකුත් කරන ලෙසට වසර අටකට පෙර අධිකරණයට කරන ලද ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇති බවත් ඔහු කීවේය.

රත්මලාන සිරිමල් පෙදෙසේ පිහිටි නිවෙසක් හා ඉඩමක් රුපියල් මිලියන 34ක මුදලකට මිලදී ගැනීමේ සිද්ධියකට අදාළව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මගින් යෝෂිත රාජපක්ෂ මහතා දක්ෂිණ අධිවේගි මාර්ගයේ බෙලිඅත්ත පිවිසුමේදී අත්අඩංගුවට ගෙන පෙරේදා (25) පස්වරුවේ මහේස්ත්‍රාත්වරිය හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදී මෙම කරුණු ඉදිරිපත් කෙරිණි.


2006 අංක 5 දරන මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ සිදු කරන විමර්ශනයකට අදාළ උද්ධෘත ගොනුව නීතිපතිවරයාට ඉදිරිපත් කිරීමෙන් පසුව නීතිපතිවරයාගේ උපදෙස් පරිදි සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන බව පොලිසිය කරුණු ඉදිරිපත් කරමින් සඳහන් කළේය.සැකකරු අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කිරිමට තරම් ප්‍රමාණවත් කරුණු අනාවරණය වී ඇති බව ද, සැකකරු රක්ෂිත බන්ධනාගාරගත කරන ලෙස ද පොලිසිය එහිදී අධිකරණයෙන් ඉල්ලා සිටියේය.මෙම විමර්ශනයේ ප්‍රධාන සැකකාරිය ලෙස යෝෂිත රාජපක්ෂගේ මිත්තනියක වන ඩේසි ෆොරස්ට් නමැත්තිය නම් කර ඇත.

සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා පෙනී සිටි අතර, ඒ මහතා කරුණු දක්වමින් කියා සිටියේ, මෙම විමර්ශනය 2015 වසරේ ආරම්භ කර ඇති බවත්, විමර්ශනයේ පළමු සැකකාරිය අධිකරණය නිකුත් කළ නොතීසියක් පරිදි 2016 අගෝස්තු 26 වැනිදා අධිකරණය හමුවේ පෙනී සිටීමෙන් පසුව ඇප නියම කර ඇති බවත්, මෙම විමර්ශනය ඇප දිය හැකි කරුණක් වන බවත්ය.


මෙම සිද්ධියට ආධාර අනුබල දුන්නේ යැයි කියන යෝෂිත රාජපක්ෂ මහතාට එරෙහිව නොතීසියක් නිකුත් කරන ලෙසට රහස් පොලිසිය විසින් වසර අටකට පෙර අධිකරණයෙන් කළ ඉල්ලීම ප්‍රතික්ෂේප වී ඇති බව ද ඔහු සඳහන් කළේය.මෙන්ඩිස් මහතා මෙසේ ද පැවැසීය.


“වසර අටකට පසුව සැකකරුවකු කිරිමට අවශ්‍ය සාක්ෂි තිබෙන බව නීතිපති කියනවා.


ඩේසි ෆොරස්ට්ලි නොතීසි නිකුත් කර ඇය නොතීසි මත පෙනී සිටින විට ඇප මත මුදාහැරලා. ප්‍රධාන සැකකරු නොතීසි මත පෙනී සිට ඇප මත මුදා හල අවස්ථාවේදී සහ පරීක්ෂණ ආරම්භ කර වසර 8කට වැඩි කාලයක් ගත වී ඇති හෙයින්, ආධාර අනුබල දීම සම්බන්ධයෙන් පමණක් චෝදනා එල්ල වී ඇති යෝෂිත රාජපක්ෂ රිමාන්ඩ් භාරයේ තබන ලෙසට රහස් පොලිසිය ඉල්ලා සිටින්නේ මොන පදනමකින් ද?


2017 ජනවාරි මාසයේදී උපදෙස් ලබා ගැනීම සඳහා නීතිපති වෙත උද්ධෘත යවා තිබෙනවා. වසර 8කින් පසු උපදෙස් පමණක් දී තිබෙනවා.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අතිරේක මහේස්ත්‍රාත්වරිය, සැකකරු අද (27) දක්වා රක්ෂිත බන්ධනාගාරගත කළාය.


සැකකරු වෙනුවෙන් ජනාධිපති නීතිඥ සම්පත් මෙන්ඩිස් මහතා සමග නීතිඥ මනෝජ් ගමගේ මහතා පෙනී සිටියේය.


සිද්ධිය සම්බන්ධයෙන් ඉදිරිපත් කළ විමර්ශන වාර්තා සැලකිල්ලට ගැනීමෙන් අනතුරුව සැකකරු රිමාන්ඩ් භාරයට පත් කළ මහේස්ත්‍රාත්වරිය ඔහු අද දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට බන්ධනාගාර අධිකාරිවරයාට නියම කළේය.ඒ අනුව යෝෂිත රාජපක්ෂ මහතා අද කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරිමට නියමිතව සිටී.


ඔඩිසි 2 ,000 ප්‍රවේශපත් 27,500කට විකුණලා

 


 ජේ.ඒ.එල්. ජයසිංහ 


ඇල්ල, බදුල්ල සහ බණ්ඩාරවෙල සංචාරක පෙදෙස්වලට ගමන් ගන්නා ඔඩිසි විශේෂ දුම්රියේ රුපියල් 2,000ක් වටිනා ප්‍රවේශපත් දෙකක් රුපියල් 27,500ක මුදලකට විදෙස් සංචාරකයන් දෙදෙනකුට අලෙවි කළ බව කියන පුද්ගලයෙක් මහනුවර පොලිස් මුලස්ථානයේ විශේෂ අංශයක පොලිස් කණ්ඩායමක් විසින් පේරාදෙණිය දුම්රිය ස්ථානයේදී ප්‍රවේශපත් දෙකක් සමග අත්අඩංගුවට ගනු ලැබීය.


මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ අධීක්ෂණය මත යොදවන ලද විශේෂ පොලිස් කණ්ඩායම සැකකරු විදෙස් සංචාරකයන්ට දුම්රිය ප්‍රවේශපත් විකුණද්දීම අත්අඩංගුවට ගෙන ඇත.මෙම සැකකරු සංචාරක සේවා ආයතනයකට සම්බන්ධ බවට ද තොරතුරු හෙළිව තිබේ.අත්අඩංගුවට ගනු ලැබූ මෙම සැකකරු වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට භාර දීමට මහනුවර පොලිස් මූලස්ථානය කටයුතු කරයි.


සැකකරුට මෙම දුම්රිය ප්‍රවේශපත් ලැබුණු ආකාරය, ඒවා දුන්නේ කවුද යන්න ප්‍රශ්න කර තොරතුරු ලබා ගැනීමට මහනුවර කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි  අනුරුද්ධ බණ්ඩාරනායක මහතාගේ  මෙහෙයවීම මත මහනුවර පොලිසියේ විශේෂ විමර්ශන අංශය පරීක්ෂණ පවත්වයි.මහනුවර පොලිසියේ විශේෂ පොලිස් කණ්ඩායම් කිහිපයක් දුම්රිය ප්‍රවේශපත් ජාවාරමේ නිරත වන පුද්ගලයන් අල්ලා ගැනීමට මහනුවර නගරය තුළ සේවයට යොදවා ඇති බව උසස් පොලිස් නිලධාරියෙක් පැවැසීය.